දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)
ස්ත්‍රී පුරුෂ සංඛාර, පටිච්ච සමුප්පාදය, සෝවාන් ලක්ෂණ, ආනාපානසතිය
{ 0:00:00 } : සංඛාරය අනුව උප්පත්තිය සඳහා ස්ත්‍රී / පුරුෂ බව තීරණය වන හැටි
(ස්වාමීන් වහන්සේ ලැබී ඇති පැණයක් කියවති): මේ ස්ත්‍රී – පුරුෂයින් වශයෙන් උප්පත්තිය ලැබෙන්නේ කුමන කුසළයක් හෝ අකුසළයක් නිසාද? කියලා මේ ප්‍රශ්නයක් අහනවා.
(පිළිතුර): මේකෙදි මේ කුසළ – අකුසළ කියන දෙකට විග්රහ කරලා ගන්න ගිහාමත් අර පිං – පවු කියන වචනෙ ගත්තා වගේ වැඩක්. අපි පිං – පවු දෙක තෝරගන්න හේතු – ඵල ක්‍රමය ගත්තා. පිං – පවු තෝරගන්න පහසු ක්‍රමයක් තමයි හේතුවට අනුකූල ඵලයක් ලැබෙනවා කිවුවහම, හේතුව යහපත් නම් ඵලය යහපත් වෙනවා, හේතුව අයහපත් නම් ඵලය අයහපත් වෙනවා, හේතුව යම් ආකාරද ඵලය ඊට අනුකූලයි, මේ ආකාරයෙන් අපි ගත්තම.
එතකොට මෙන්න මේවගේ, ස්ත්‍රී සංඛාරයෙන් ස්ත්‍රීන් උපදිනවා, පුරුෂ සංඛාරයෙන් පුරුෂයො උපදිනවා. මේක පිං – පවු දෙක අනුව වැඩක් කියලා නිගමනය කරන්න පුලුවන් එකක් නෙමෙයි. දැන් දෙවඟනක් වෙන්නෙ පිං කරලා. එතකොට “පවු වලින් ස්ත්‍රීන් වෙනවා” කියල ගත්තහම, පවු කරලා දෙවඟනක් වෙන්න බෑනෙ! පිනක ඵලයක් වශයෙන් උපන්නා නම් එහෙ දෙවඟනන් උපදිනවා. දෙවඟන කියන්නෙ ස්ත්‍රියක්. එහෙනම් මේ පිං – පවු දෙකෙන් හොයන්න ගිහාම මේක තෝරා බේරාගන්න බැරුව යනවා.
සංඛාරය යම් ආකාරයක්ද, විඤ්ඤාණය ඊට අනුකූලයි. සංඛාරය ස්ත්‍රී නම් විඤ්ඤාණයත් ස්ත්‍රී. ස්ත්‍රී සංඛාරයෙන් ස්ත්‍රී විඤ්ඤාණ පහලවෙනවා, පුරුෂ සංඛාර වලින් පුරුෂ විඤ්ඤාණ පහලවෙනවා. ඒක පිං – පවු දෙකට දාන්න පුලුවන් එකක් නෙමෙයි. ඒක “භවගාමි”යි. “භවගාමී” සහ “පුණ්යගාමී – පාපගාමී” කියන්නෙ දෙකක්. භවයට හේතුවන්නාවූ සංස්කාරය භව ගමනට හේතුවෙන ආකාරය තව එකක්. දැන් ස්ත්‍රී සංඛාරය කියලා කියන්නෙ පිං – පවු දෙකට දාන්න පුලුවන් එකක් නෙමෙයි. ඒක කාම සංඛාරයන් තුළම ගොඩන්නැඟෙන එක්තරා අවස්ථාවක් තියෙනවා, එක්කෙනෙක් ඉන්නවා “බැගෑපත් වෙමින් බලාපොරොත්තුවෙන” කෙනෙක්. ඔවුන් කෙරෙහි උදවු උපකාර කරන මානසිකත්වය තව කෙනෙකුට තියෙනවා.
දැන් තමන්ට පිළිසරණක් බලාපොරොත්තුවෙන ජාතියෙ මානසිකත්වයක් ගොඩනැඟෙනකොට ඔහු හැමවෙලේම තව කෙනෙක්ගෙන් පිහිටක් බලාපොරොත්තු වෙනවා. එතෙනදි අධෛර්යයක් හටගන්නවා මනස තුළ. “මට තනියෙන් ජීවත්වෙන්න බෑ, මට කවුරුහරි මගෙ පිළිසරණට ඉන්න ඕනෙ…” ඒ වෙලාවෙ චිත්ත අධෛර්යයක් මතුවෙනවා. ඒක පවු කියන කොටසට දාන්න බෑ, ඒක තමයි “ස්ත්‍රී කොටස” කිවුවෙ, “ස්ත්‍රී සංඛාරය”. “අනේ, බැරි කෙනාට අපි උදවු උපකාර කරන්න එපැයි… බැරි අයනෙ…” අන්න එහෙම හැඟීමක් මතුවෙනවා. එයා උත්සාහය, ධෛර්යය වඩලා අනික් එක්කෙනාට උදවු උපකාර කරනවා. එතකොට මේක “පුරුෂ සංඛාරය”. ඒ ස්ත්‍රී සංඛාරයි, පුරුෂ සංඛාරයි හැදෙන්නෙ ඔය ක්‍රමයට.
දැන් නැති බැරි කෙනා ඉල්ලන්න අත මෙහෙම (අත්ල උඩු අතට හරවා) කරනවා. තියෙන කෙනා දෙන්න අත මෙහෙම (අත්ල යටි අතට හරවා) කරනවා. ක්‍රම දෙකක්නෙ… “කෝ දෙන්න” කිවුවොත් මෙහෙමයි ඉල්ලන්නෙ, “ආ ගන්න” කිවුවොත් මෙහෙමයි දෙන්නෙ, ඇඟිලි මුනින් හරවගෙන, අල්ල – පිටි අල්ල උඩට අරගන්නවා. ගන්න කෙනා අල්ල උඩට ගන්නවා, එහෙම ඉල්ලනවා. අන්න, ඉල්ලන එක ස්ත්‍රී සංඛාර, දෙන එක පුරුෂ සංඛාර, ක්‍රම දෙක ඕකයි.
ඉතින් සසරෙහි පුද්ගලයො ඔය විදිහට ඔය දෙකම ඒ ඒ තමන්ගෙ මානසික මට්ටම් ඔය දෙකෙන්ම ගෙනියනවා. ඉතින් අනුන්ගෙ පිළිසරණක් පතාගෙන ඉන්න එක්කෙනාගෙ එක්තරා බැගෑපත් බවක් ඇතිවෙනවා. ඒ මානසිකත්වය බැගෑපත් නිසා ඔහු ඒ වෙලාවෙම බලාපොරොත්තු වෙනවා ඔහුට පුළුවන් උදවුව කරන්න. එයාට හිනාවකින් උදවු කළහැකි, අත-පත ගාලා උදවු කළහැකි, මොනවාහරි ඔවුන්ට පහසක් ලබාදීලා උදවු කළහැකි, එයාගෙ මානසිකත්වය මෘදු වෙනවා ඒ පැත්තෙන්.
තමාට දෙන කෙනා කෙරෙහි, උදවු උපකාර කරන කෙනා කෙරෙහි ඔහු ප්‍රතිඋපකාර සළකන්න මෘදු භාවය ගන්නවා, පැවැත්මෙන් මෘදු භාවය. අන්න මානසික ගතියක් ඒකෙන් මෘදු බවට හටගන්නවා. ඉතින් ඒ මානසික ගතිය, ඒ සංඛාරය මෘදු සංඛාරයක් නිසා, බැගෑපත් සංඛාරයක් නිසා, බැගෑපත් බව සහ මෘදු බව ස්ත්රීන්ට ආවේනික වෙනවා. එහෙනම් ශරීරය මෘදු වෙනවා, බැගෑපත් ලක්ෂණයට පහලවෙනවා, අනුන් යටතෙ ඉන්න මානසිකත්වයක් ගොඩනැඟෙනවා, එතකොට ස්ත්‍රී ලක්ෂණ පහලවෙනවා.
අනුන්ට උදවු කරන කෙනා අරවගේ බැගෑපත් නෑ එතකොට. එයාට තියෙන්නෙ එක්තරා විදිහක උත්සාහය, වීර්යය සහිත, ඕන එකකට ඔරොත්තුදෙන රළු ගතියක් ඇති, අධෛර්යය නොවී, ධෛර්යයමත්ව අනුන්ට උදවු උපකාර කරන ඒ ගති ලක්ෂණයට අනුව පුරුෂ සංස්කාරය, ශරීරය දැඩි වෙනවා, පුරුෂ ගතිලක්ෂණ පිහිටනවා, “ලබාදෙන” ලක්ෂණයෙන් උපදිනවා. “ලබාගන්න” ලක්ෂණයෙන් ස්ත්‍රීන් උපදිනවා.
ඒක පිං-පවු දෙකට දාන්න බැහැ “පවු කරලා ස්ත්‍රීන් වෙනවා” කිවුවහමත් එහෙම ගළපන්න බෑ. හැබැයි එක්තරා අධෛර්යයක්, බැගෑපත් බවක්, අන්‍යන්ගේ පිළිසරණක් බලාපොරොත්තුවෙන ලක්ෂණයක් තියෙනවා. මේක භව පැවැත්ම තුළ තිබෙන ස්ත්‍රී – පුරුෂ ලක්ෂණයේ ස්වභාවය. “ස්ත්‍රී සංඛාරය” කියලයි ඒකට කියන්නෙ. “සංඛාර පච්චයා විඤ්ඤාණං” කියන සිද්ධාන්තය සංඛාර කියනකොට විවිධාකාරයි. ඒ විවිධාකාර සංඛාර වලින් මැනගන්න ඕනෙ, ඒ විඤ්ඤාණයට අනුකූලයි නාම රූප, ඊට අනුකූලයි සළායතන. ඒ සළායතන එහෙම පහලකරන්නෙ, සංඛාරයන්ට අනුකූලව විඤ්ඤාණ පහලවෙලා, විඤ්ඤාණයන්ට අනුකූලව නාම රූප පහලවෙලා, නාම රූපයන්ට අනුකූලව සළායතන පහලවෙනවා.
එහෙනම් පටිච්ච සමුප්පාද ක්‍රමය තුළින් ඕක විසඳාගන්න හරි ලේසියි. ඕක පිං ද පවුද කියලා ගත්තට පස්සෙ මිනිස්සු එක එක අදහස් ගන්නවා, “පවු කරලා ස්ත්‍රී වෙනවා, පිං කරලා පුරුෂ වෙනවා” කියලා. දැන් පිං – පවු කියන දෙක එකක්, භව පැවැත්මට හේතුවෙන ක්‍රියාවලිය තව එකක්. (ශ්‍රාවක මහතෙක් යමක් පවසයි, පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ): ඔවු, ඒක හොඳට පැහැදිලි වෙනවා පාපයෙන් ස්ත්‍රී වුනා නෙමෙයි කියලා. හැබැයි එක්තරා අධෛර්යයක් තියෙනවා, බැගෑපත් කමක් තියෙනවා, අනුන්ගෙ පිළිසරණක් බලාපොරොත්තුවක් තියෙනවා. ඒක ස්ත්‍රී පක්ෂයට තියෙනවා. ඒක තමයි ස්ත්‍රී සංඛාරයේ හැටි. ඉතින් ඒ සංඛාරය වෙනස් කරන්න ඕනෙ නම් ඒ ස්ත්‍රී ලක්ෂණ අයින් කරලා යම් කෙනෙකුට උත්සාහයෙන්, වීර්යයෙන්, ධෛර්යයෙන් අනික් අයට උදවු කරන්න, උපකාර කරන්න, ඒ ගති ලක්ෂණ ප්‍රගුණ කරගත්තොත් ක්‍රම ක්‍රමයෙන් නැවත පුරුෂ සංඛාර වර්ධනයට වැටෙනවා.
හැබැයි, පුරුෂ සංඛාර දැන් 49% ක් වැඩිලා, ස්ත්‍රී සංඛාර තව 1% වැඩුනම මැද පණිනවා, මිම්ම පණිනවා. 49%ක් පුරුෂ සංඛාර වඩලා තිබුණත් 51%ක් තව ස්ත්‍රී සංඛාර නම්, එයා ස්ත්‍රියක් වෙලාම උපදිනවා, හැබැයි පුරුෂ ගති ලක්ෂණ වලින් පිරිලා ඉන්නවා. හැබැයි ඔය සංඛාරයේ බලය නැඟිලා, ඒකෙන් විඤ්ඤාණය පහලවෙන අවස්ථාවෙදි ප්‍රවෘති විපාක වශයෙන් ජීවිතේ අතරමැද්දෙදි අර 1% පිරුනහම මොකද වෙන්නෙ? ඒ ස්ත්‍රිය පුරුෂයෙක් වෙනවා, අතරමැදදි. එතකොට ස්ත්රියව ඉපදිලා, වයස අවුරුදු විසි පහක්, තිහක් හරි ගිහිල්ලා අන්න අර සංඛාරය පූර්ණ වෙච්චි ගමන් පුරුෂ පැත්තට බහිනවා. එතකොට ස්ත්‍රී ගති ලක්ෂණය 49%ක් වෙනවා, පුරුෂ ගති ලක්ෂණය 51%ක් වෙනවා. වැඩි පැත්තට ගිහිල්ලා පුරුෂ වෙනවා.
දැන් පුරුෂයො ස්ත්‍රී ලක්ෂණයෙන් ඉන්නවා. ක්‍රම ක්‍රමයෙන් පුරුෂ සංඛාරය බැහෑලා ගිහිල්ලා පුරුෂ සංඛාරය 51%ක් තියෙනවා. ස්ත්‍රී සංඛාරය 49%ක් වෙනකල් නැඟිලා තියෙනවා. එයා ඒ පැත්ත නම් නඟාගෙන යන්නෙ, එයා උපදිනකොට පුරුෂයෙක් වෙලා ඉපදිලා, අතරමැද්දෙ ස්ත්‍රී සංඛාරය ඉතුරු ටික සම්පූර්ණ වෙලා සමවෙච්චි ගමන්ම ස්ත්‍රී – පුරුෂ භේදය වෙනස්වෙලා පුරුෂයා ස්ත්‍රියක් වෙනවා. ඔය ක්‍රමයට ස්ත්‍රී – පුරුෂ අතරමැද වෙනස් වෙනවා.
(ශ්‍රාවක මහතෙක්): අවසරයි ස්වාමීන් වහන්ස, දැන් රහතන් වහන්සේ නමකටත් අර රජකෙනෙක් අතරමගදි….
(ස්වාමීන් වහන්සේ): ඔවු, තියෙනවා. පිළින්දවච්ච හාමුදුරුවන්ට “මෙයා මට භාර්යාවක් වුනා නම්…” කියලා මේ විදිහට හැඟීමක් ඇතිවුනා. ඒ හැඟීමක් ඇතිකරගන්නවත් එක්කලම එයාගෙ අර ස්ත්‍රී සංඛාරයේ අඩු එකක් තිබිලා නැඟිලා ආවා. අන්න එයා බලාපොරොත්තු ඇතිකරගත්තා. කාම පැත්තෙන් අධික බලාපොරොත්තුවක් ඇතිකරගත්තා. බලාපොරොත්තුව එයාට අසහනයක් වුනා.
(ශ්‍රාවක මහතෙක්): දැන් ඔය ප්‍රඥාවන්ත අය වැඩිවුනහම පිරිමි වැඩිවෙනවා කියන්නෙ….
(ස්වාමීන් වහන්සේ): වෙන්නෙ ඒකයිනෙ ඉතින්… දැන් ප්‍රඥා චෛතසිකය වැඩිවුනාට පස්සෙ අනුන්ගෙ ආධාර උපකාර බලාපොරොත්තුවෙන මානසිකත්වය එයාට නැතුව යනවා. ඔය පුණ්‍ය චෛතසික, පාප චෛතසික, ප්‍රඥා චෛතසික කියන්නෙ තුනක්. දැන් අලෝභ – අද්වේෂ – අමෝහ, පුණ්‍ය. එතන “අමෝහ” කියන්නෙ එකක්, අමෝහ කියන එකේ ප්‍රඥා කියන්නෙ ඊට වඩා ඒකෙ ගැඹුරු පැත්තක්. ප්‍රඥා චෛතසිකය ප්‍රකාරයන් දකිනවා, යථාර්තය දකිනවා. ප්‍රඥා චෛතසිකයෙ තීරණය එකක්, අමෝහ චෛතසිකයේ තියෙන්නෙ යමක් තේරුම් ගැනීමේ හැකියාව. ප්‍රඥා චෛතසිකය කියන්නෙ ඒක ඉක්මවා ගිය තව හැකියාවක්, බලවත් හැකියාවක්. එතෙනදි කළයුත්ත – නොකළයුත්ත, වැඩ – අවැඩ, තම අනුන්ගෙන් පාලනය වෙනවද, ස්වෛරීව තමා පාලනය වෙනවද, මේ ආදී වශයෙන් නිගමනය කරනවා ප්‍රඥාවෙන්.
අරිහත්වයට පත්වුනොත් ස්ත්‍රියක්, එයාගෙ ස්ත්‍රී ලක්ෂණයෙ එතනින් එහාට සංඛාර ඉවරයි. ස්ත්‍රී සංඛාර ඉවරයි. එයාට පුරුෂ සංඛාරත් ඉවරයි. එයාට ප්‍රඥා සංඛාර වැඩෙනවා, ප්‍රඥාවට අනුව. එක්තරා තෙරණින් වහන්සේ නමකට මාර දිව්‍ය පුත්‍රයා ඇවිදිල්ලා “දෑඟුලක නුවණැති ස්ත්‍රිය, කෙසේනම් උත්තරී මනුශ්‍යය ධර්මයක් අවබෝධ කරන්නද…? ඔය බොරු වැඩ කරන්නෙ නැතුව ගිහිල්ලා ගෑණියෙක් වගේ ජීවත්වෙයන්!” කියලා මෙහෙම අපහාසයක් කළා. “ස්ත්‍රී යන හැඟීම යමෙකුට ඇත්නම්, උඹ ගිහින් එයාට කියපං! ඔය උඹගේ බලාපොරුත්තුව, උඹ කියන් ඔය ස්ත්‍රී හැඟීම මට නෑ. ස්ත්‍රී යයි සංඥාව ගත්ත කෙනෙක් ඇත්නම් එයාට ගිහිල්ලා උඹ ඔය කතාව කියපං!” කියලා මාරයට උපදෙසක් දුන්නා අර තෙරණින් වහන්සේ. මාරයා යන්න ගියා. {ත්‍රිපිටක සූචිය}}
එහෙනම් එතනින් හොඳට පැහැදිලිව පේනවා “ස්ත්‍රී” යන යම් සංඥාවක් ඇත්ද, ස්ත්‍රී සංඥාවේ බැඳීමක් අරිහත්වයට පත්වෙච්ච කාන්තාවට නෑ. එහෙනම්, තෙරණින් වහන්සේට නෑ. “පුරුෂ” යයි යම් බැඳීමක් ඇත්නම් ඒකත් නෑ. පුරුෂ කෙනෙක් අරිහත්වයට පත්වෙලා හිටියා නම්, එයාටත් ස්ත්‍රී සංඥාවකුත් නෑ, පුරුෂ සංඥාවකුත් නෑ. ඒ දෙකම කාමය මුල්කරගත්ත සංඥා දෙකක්, ස්ත්‍රී සංඥාවයි, පුරුෂ සංඥාවයි. කාමයෝ ඉක්මෙවුවට පස්සෙ ඔය සංඥා දෙකම නැති නිසා ඊලඟ උප්පත්තියක් ඇත්නම්, බ්‍රහ්ම උප්පත්තියෙදි ස්ත්‍රී කියන්නත් බෑ පුරුෂ කියන්නත් බෑ, ඒ භේදය නෑ. ඇතිවෙන වෙනස ඒකයි. දැන් ස්ත්‍රී කෙනෙක් ධ්‍යානලාභී වෙලා හිටියොත් එයාට ඒ ප්‍රඥා ගුණය වැඩිලා තියෙනවා ඒ මට්ටමට. ඒ නිසා එයාට ස්ත්‍රී සංඥාවෙන් නැඟෙන ස්වභාවය එයාගෙ නෑ. එහෙනම් ඒ ධ්‍යාන චිත්තයේ ස්වභාවය ස්ත්‍රී – පුරුෂ භේදය අත්හැරපු එකක්, කාමය ඉක්මෙවුව එකක්. ඉතින් කාමය ඉක්මවපු තැන ස්ත්‍රී – පුරුෂ සංඥාවට අයිති නැතුව උප්පත්තියක් ලැබෙන්නෙ. දැන් බ්‍රහ්මයින්ට ස්ත්‍රී – පුරුෂ සම්බන්ධයක් නෑ, ස්ත්‍රී – පුරුෂ භේදයක් නෑ.
(ශ්‍රාවක මහතෙක්): ස්වාමීන් වහන්ස එතකොට මේ කාන්තාවන්ට “බවලතා” කියලා කියනවා, ඒකෙ නිරුක්තිය කොහොමද කියන්නෙ ?
(ස්වාමීන් වහන්සේ): භවයට ලතාවක් වෙන නිසා “බවලතා” කියනවා. පැවැත්මට ලතාවක් වෙන, වෙලෙන ගතිලක්ෂණය නිසා තමයි, “ලතා” කියන්නෙ වැල.
(ශ්‍රාවක මහතෙක්): පිරිමි අයත් ඉතින් භවයට ලතාවක් වෙනවනෙ…
(ස්වාමීන් වහන්සේ): භවයට ලතාවක් වගේ, දැන් පිරිමියා වැළඳගැනීම කියන එකයි, වැළඳගැනීමට ගෝචර වීමයි දෙකක්. දැන් වැලේ ස්වභාවයයි, ගහේ ස්වභාවයයි ගත්තම දෙකම වැඩෙන ඒවා, දෙකම ජීවත්වෙන ඒවා, අන්යොන්යාධාරියි. හැබැයි ගහ කෙළින් ඉඳලා ජීවත්වෙනවා, වැල ඒකෙ වෙළිලා ජීවත්වෙනවා. ඔන්න ඔය “වෙළෙන” ලක්ෂණය තමයි “ලතා” කිවුවෙ. භවයට වෙළෙන ලක්ෂණයෙන්, “භව” කියන්නෙ පැවැත්ම. පැවැත්ම තුළ වෙළෙන ලක්ෂණයක් කියන්නෙ අනුන්ගෙ ආධාරයක් – උපකාරයක් අරගෙන ජීවත්වෙන ලක්ෂණය. ස්වෛරීත්වය එතෙනදි දෙවෙනි වෙනවා, ස්වෛරී භාවය දෙවෙනි කරපුහම කවුරුහරි ඉන්න ඕනෑ පිළිසරණට, රැකවරණයට ඉන්න ඕනෙ, බලාපොරොත්තු තියාගන්නවා. ඒ ගතිලක්ෂණය තමයි එතෙන හිටින්නෙ.
{ 0:13:26 } : සම්පයුත්ත පටිච්ච සමුප්පාදය විග්‍රහය
(ස්වාමීන් වහන්සේ පැණයක් කියවති): මේ සම්පයුක්ත පටිච්ච සමුප්පාදය, අඤ්ඤ-මඤ්ඤ පටිච්ච සමුප්පාදය, හේතු පටිච්ච සමුප්පාදය, දැන් මේක කෙටියෙන් පහදලා දෙන්න කියලා කියනවා.
(ස්වාමීන් වහන්සේගේ පිළිතුර): මේ “සම්පයුක්ත” කියන්නෙ “සමඟ යෙදෙනවා” කියන එකයි. දැන් “අවිජ්ජා පච්චයා සංඛාරා – අවිජ්ජා සම්පයුක්තා” අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංඛාර වේ, අවිද්‍යාව සමඟ යෙදේ. යම් තැනක සංඛාර ගොඩනැඟෙනවා නම්, අවිද්‍යාවෙන් නැඟෙන සංඛාරයක් ඇත්නම්, ඒ සංඛාරය අවිද්‍යාව සමඟ සම්පයුක්තයි, එතකොට අවිද්‍යාව සමඟ යෙදෙනවා; අවිද්‍යා සහගතයි.
දැන් අපි හිතමුකො රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යුක්තව යම් කෙනෙක් හිතනකොට, කියනකොට, කරනකොට, ඒ සිතිවිල්ල සමඟ, ක්‍රියාව සමඟ, කථාව සමඟ අවිද්‍යාව යෙදිලා තියෙනවා. අවිද්‍යාව නිසාම තමයි ඒ සිතිවිල්ල එසේ මෙහෙයවන්නෙ, රාගයට මෙහෙයවන්නෙ, ද්වේෂයට මෙහෙයවන්නෙ, මෝහයට මෙහෙයවන්නෙ. ඉතින් රාගය, ද්වේෂය, මෝහය අවිද්‍යාව නිසා හටගන්න ලක්ෂණ තුනක්. අවිද්‍යාව යම් තැනක නැත්නම් රාගය, ද්වේෂය, මෝහය එතන නෑ. රාගය, ද්වේෂය, මෝහය යම් තැනක නැත්නම් රාග සහගතව, ද්වේෂ සහගතව, මෝහ සහගතව හිතන, කියන, කරන වැඩ එතන නෑ. එහෙනම් අවිද්‍යාව යම් තැනක ඇත්ද, රාගය ද්වේෂය මෝහය එතන මතුවෙනකොට රාගයට අනුව හිතනවා, කියනවා, කරනවා, ද්වේෂයට අනුව හිතනවා, කියනවා, කරනවා, මෝහයට අනුව හිතනවා, කියනවා, කරනවා.
එතකොට “අවිජ්ජා පච්චයා සංඛාරා – අවිජ්ජා සම්පයුත්තා“
අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංඛාර වේ – අවිද්‍යාව සමඟ යෙදේ කිවුවෙ ඒකයි. එතකොට ඒකෙන් හටගන්න විඤාඤාණයක්, බලාපොරොත්තුවක් ඇතිවුනා නම් මනස තුළ, නව බලාපොරොත්තුවක් රාග සහගතව ගොඩනැඟුනා නම්, ද්වේෂ සහගතව – මෝහ සහගතව ගොඩනැඟුනා නම්, අන්න ඒ මානසිකත්වයට කියනවා “සංඛාර පච්චයා විඤ්ඤාණ” වුනා. “සංඛාර පච්චයා විඤ්ඤාණං – සංඛාර සම්පයුත්තා” ඒ සංඛාර වලින් ගොඩනැඟෙන විඤ්ඤාණයක් ඇත්නම් සංඛාරත් එක්කලයි ඒක ගොඩනැඟෙන්නෙ.
දැන් විඤ්ඤාණ ලැබීමේ හේතුව එකක්, ඒක “අනුසය”. සංඛාර සමඟ ඒ බලාපොරොත්තුව නැඟිලා එනවා. දැන් රාග සංඛාරයෙන් හිතනකොට, කියනකොට, කරනකොට, රාග සහගතව හිතනකොට, කියනකොට, කරනකොට, එතන රාග හිතක් පහලවෙනවා, රාග බලාපොරොත්තුවක් ඇතිවෙනවා. ද්වේෂ සහගතව හිතනකොට, කියනකොට, කරනකොට දෙවේෂ බලාපොරොත්තුවක් ඇතිවෙනවා. ඒ හිතිවිල්ල, ක්‍රියාව, කතාව යම් තැනක නැත්නම්, එබඳු බලාපොරොත්තුව ගොඩනැඟිලා එන්නෙ, මතුවෙලා එන්නෙ නෑ. ආවොත් එන්නෙ, අනුශය වශයෙන් අවිද්‍යාව තියෙනවනම්, “අනුසය” කිවුවෙ අන්න යටපත්වෙලා තියෙනවා. අරමුණු නැති නිසා යටපත්. අරමුණ ආපු ගමන් මතුවෙනවා. අන්න, මතුවෙලා ආපුහම තමයි විඤ්ඤාණ මතුවෙන්නෙ. විඤ්ඤාණ වලට හේතු තියෙනවා අනික් අයට, අරමුණක් ආපුහම විඤ්ඤාණ මතුවෙනවා. රාග විඤ්ඤාණයට හේතු තියෙන කෙනාට අවිද්‍යා සහගතව රාග සිතිවිලි, ක්‍රියා, වදන් මතුවෙනකොට රාග සහගත හිතක්, බලාපොරොත්තුවක්, රාගය සඳහා කටයුතු කරන බලාපොරොත්තුවක් එයාගෙ මනසෙ මතුවෙනවා. ඒ මතුවෙච්ච බලාපොරොත්තුවෙන් එයා ඒ සමඟ අවශ්‍යය කරන නාම-රූපයන්ගෙ යෙදෙනවා. අන්න විඤ්ඤාණයට අනුව නාම-රූප. ඒ නාම-රූප වල යෙදෙන්නෙත් අර අවිද්‍යා සහගත විඤ්ඤාණයේ, ඒ විඤ්ඤාණයේ යෙදෙන ඇසුරු කරන නාම-රූපයක් ඇත්නම් ඒ නාම-රූප වලත් අවිද්‍යාවෙ ඉඳන්ම සම්බන්ධයි.
“විඤ්ඤාණ පච්චයා නම රූපං – විඤ්ඤාණ සම්පයුත්තා”
විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාම-රූප වේ, විඤ්ඤාණ සමඟ යෙදේ. විඤ්ඤාණය අවිද්‍යා සහගත නම් ඒකෙන් යෙදෙන නාම-රූපයත් ඒ සමඟ යෙදිලා ඒකත් එක්ක අවිද්‍යා සහගතව ගොඩනැගෙනවා. ඉතින් ගොඩනැඟෙන නාම-රූපත් අවිද්‍යා සහගතයි.
ඉතින් “නාම-රූප පච්චයා සළායතනං”
ඒකෙන් ඇස, කන, නාසය, දිව, ශරීරය ඒවට ආයතන වුනා නම්, ඒකත් “නාමරූප සම්පයුත්තා” – නාම-රූප සමඟ යෙදෙනවා. ඉතින් නාම-රූප වල අවිද්‍යා සහගතව නම් තිබුණෙ, අවිද්‍යා සහගත නාම-රූපයන්ගෙන් නැඟෙන්නාවූ සළායතනත් අවිද්‍යා සහගතයි. ඔක්කොම එකට සම්බන්ධයි.
ඉතින් “සළායතන පච්චයා ඵස්සෝ” කිවුවහම,
ඒ අවිද්‍යා සහගත වූ සළායතනයන්ගෙන් හටගන්න ස්ඵර්ශයක් ඇත්නම්, ඒ ස්ඵර්ශයත් අවිද්‍යාව සමඟයි යෙදෙන්නෙ. අවිද්‍යා සහගතයි ඒකත්. ඒ ස්ඵර්ශයටත් අවිද්‍යා, සංඛාර, විඤ්ඤාණ, නාමරූප ඔක්කොම සමඟ යෙදිලා. එහෙනම් යම් තැනක ස්ඵර්ශය ඇත්ද, එතන අවිද්‍යා, සංඛාර, විඤ්ඤාණ, නාම-රූප, සළායතන ඔක්කොම තියෙනවා අවිද්‍යා සහගත ස්ඵර්ශයේ.
“ඵස්ස පච්චයා වේදනා – ඵස්ස සම්පයුත්තා”
ස්ඵර්ශය සමඟ ඇතිවෙන්නෙ වේදනාවයි. එහෙනම් අවිද්‍යාවෙන් හටගන්න සැප, දුක්, උපේක්ෂා කියන අවිද්‍යා සහගත වේදනාවක් හටගත්තා නම්, ඒ වේදනා සම්පිණ්ඩනයත් සමඟම අවිද්‍යා, සංඛාර, නාම-රූප, සළායතන, ස්ඵර්ශ, වේදනා ඔක්කොම සම්බන්ධයි. එකක්වත් අත්හැරලා වේදනා නඟන්න බෑ.
“වේදනා පච්චයා තණ්හා – වේදනා සම්පයුත්තා”
තණ්හාවක් අවිද්‍යා සහගතව ගොඩනැඟුනා නම්, ඒ තණ්හාව ක්‍රියාත්මකවෙන, විද්යාමානවෙන වෙලාවෙදි අවිද්‍යා, සංඛාර, විඤ්ඤාණ, නාමරූප, ස්ඵර්ශ, වේදනා ඔක්කොම එක්ක සම්බන්ධයි, සම්පිණ්ඩනයක්.
“තණ්හා පච්චයා උපාදානං” කිවුවානම්,
තණ්හාව අවිද්‍යා සහගත නම්, අවිද්‍යා සහගත තණ්හාවෙන් බැඳීමක් තියෙනවා නම් ඒකත් උපාදානය, අවිද්‍යා සහගතයි. එහෙනම් උපාදානයට එනකොට අවිද්‍යා, සංඛාර, විඤ්ඤාණ, නාමරූප, සළායතන, ස්ඵර්ශ, වේදනා, තණ්හා, උපාදාන කියන ඔක්කොගෙම සම්පිණ්ඩනයක් තමයි උපාදානය කියන්නෙ. අවිද්‍යාවේ උපාදානය.
“උපාදාන පච්චයා භවෝ”
හැබැයි එතන “උපාදාන සම්පයුත්තෝ” කියලා එතෙන්ට කියන්නෙ නෑ. සමඟ යෙදෙන්නෙ උපාදානයට වෙනකල් විතරයි. උපාදානයට ආවට පස්සෙ මොකද කරන්නෙ, ශක්තියක් නිපදවනවා. අන්න නිපදවපු ශක්තිය නිදහස් වෙනවා විශ්වයට. තමාගේ භවයට ගෝචර වෙලා, භවය සමඟ බැඳිලා, භව කොටසට වැටිලා තියෙනවා උපාදාන කිරීමෙන් ගොඩනැඟිච්ච ශක්තිය. අන්න ඒ ශක්තිය කොයි මොහොතක හරි ක්‍රියාත්මක වෙලා තමයි ආයි සැරයක් භවයක් නිපදවන්නෙ.
ඉතින් අවිද්‍යාවෙන් ගොඩනඟාපු ශක්තිය නිදහස්වෙලා තිබිලා, ශක්තියෙන් නැවත වාරයක් ගොඩනඟනවා භවයක්. ඉතින් එතකොට ගොඩනඟපු ශක්තියෙන් අවිද්‍යාව නිසා භවය ගොඩනැඟුවට ඒ භවයට අවිද්‍යා සහගත වෙන්නෙ නැහැ, භවයෙන් මිදෙන්න බෑ එහෙම වුනානම්. ජාතියෙන් මිදෙන්න බෑ අවිද්‍යා සහගත වුනානම්. අවිද්‍යා සහගත වෙන්නෙ සංඛාර කොටසට විතරයි. උපාදානයට එනකොට, සංඛාර කොටස සම්බන්ධ උපාදානයට, කර්ම කොටස සම්බන්ධ උපාදානයට. භවය සහ ජාති විපාක. අන්න, භව – ජාති විපාක. එතකොට කර්ම කොටසෙන් ගොඩනැඟුව එකක් ඇත්ද, ඒක පූර්ව කර්ම ඔක්කොටම අහුවෙනවා. කර්මයක් ගොඩනඟපුහම, කර්මය ගොඩනඟපු වෙලාවෙදි කර්මය ගොඩනඟලා, ශක්තියක් නිපදවලා කර්මය කෙළවර වෙනවා. අවිද්‍යාවෙන් උපාදානයට වෙනකල් සම්පිණ්ඩනයක් වෙලා, කර්ම බීජයක් ගොඩනඟනවා.
(ශ්‍රාවක මහතෙක්): එතකොට හාමුදුරුවනේ සළායතන නිර්මාණය වුනාට පස්සෙ ඒක විපාක වෙනකොට ආපහු වෙනස් වෙනවනෙ…?
(ස්වාමීන් වහන්සේ): නෑ, ඒ ඉස්සෙල්ලා සළායතනයන්ගෙන් ගොඩනඟලා නෙ ස්ඵර්ශ, වේදනා, තණ්හා ලැබුවෙ, උපාදාන කළේ. උපාදාන කළාට පස්සෙ මේ ශක්තිය බලවත් වුනා, ශක්තියක් විහිදෙන මට්ටමට ආවා. විහිදෙන මට්ටමට ආවට පස්සෙ නව ප්‍රතිඵලයක් නිපදෙවුවා. භව කියන්නෙ නිර්මාණ අවස්ථාවේ ශක්තිය. නිර්මාණ ශක්තිය, භව. දැන් “භව”: සහ “භව ශක්තිය” තෝරගන්න ඕනෙ. නිර්මාණාත්මක වෙන එක “උප්පත්ති භව”, නිර්මාණ කරන ශක්තිය “කර්ම භව”. “අත්ති කම්ම භවෝ – අත්ති උප්පත්ති භවෝ” {{ත්‍රිපිටක සූචිය}} ඔය භව දෙකක් වෙන්කළේ ඒකයි. භව එකක් නෙමෙයි, කර්ම භව සහ උප්පත්ති භව කියලා භව දෙ ආකාරයි.
එතකොට භවය කියනකොට, කර්ම භවය සහ උප්පත්ති භවය වශයෙන් භවය දෙ ආකාර වෙනවා. අන්න කර්ම භව කියන එක තමයි නිශ්පාදනය කළේ උපාදානයට වෙනකන් ගොඩනඟලා. උපාදානය ඒක කළාට පස්සෙ, ඒක අර චිත්තක්ෂණයක් සමඟ සම්බන්ධ වෙලා උපාදානයට වෙනකන්, “උප්පාද, තිථි, භංග” කියන අවස්ථා තුනෙන් චිත්තක්ෂණය භංග වුනා. ක්‍රියාකාරී අවස්ථාව ඉවරයි. හැබැයි ඒක ක්‍රියාකාරී අවස්ථාව ඉවර කළේ කර්ම භව නැමැති ශක්තිය ගොඩනඟලා. අන්න කර්ම භව නැමැති ශක්තිය කොයිවෙලාවෙ හරි නිර්මාණාත්මකව පවතිනකොට උප්පත්ති භව වුනා. එතකන් ශක්තිය නිදහස්ව තිබුණා අපේ කර්ම කෝෂයේ. අන්න, “කර්ම කෝෂ” හැම කෙනාටම තියෙනවා.
අන්න අනන්තරය ඒක. දැන් අනන්තරය, සමනන්තරයට ඇදෙන්න නම් අර අනන්තරය, සමනන්තරයත් එක්ක සම්බන්ධ වෙලා නැවත ඇදෙනකොට තමයි අර කර්ම භව, උප්පත්ති භව වෙවී එන්නෙ. ඉතින් උප්පත්ති භවයක “ජනක කර්ම උපත්ති භව” එකක්, ඒකෙන් උපතක් ගෙනදෙනවා. උපතක් ගෙනදුන්න තැන් පටන් අතරමග අතුරු විපාක හටගන්න “ප්රවෘත්ති උප්පත්ති භව” ඒවට ක්‍රියාත්මක වෙනවා. එතකොට ජනක කර්මයක් ගෙනත් දෙන කර්ම භව, ජනක කර්මයක් උපද්දනවා මිසක් වෙන එකක් කරන්නෙ නෑ, උප්පත්ති කර්මයක් නිපදවනවා. ඒ කර්ම භවය තුළ ප්රවෘත්ති කර්ම භවත් තියෙනවා නම්, ඉපදුනට පස්සෙ ප්රවෘත්ති උප්පත්ති භවත් නිපදවනවා. ඒකෙ ප්රවෘත්ති උප්පත්ති භව තුළින් අතරමග විපාක එනවා, විඳින විපාක. ඒකෙන් තමයි පැවැත්ම තුළ අතරමඟ තියෙන විපාක හටගන්නෙ.
ජනක කර්ම උප්පත්තිය – ජනක කර්ම උප්පත්ති භව. අර “අත්ථි කම්ම භවෝ – අත්ති උප්පත්ති භවෝ” කිවුව එකේ කර්ම භවයක් ජනක කර්ම උප්පත්ති භව එකක්,
ජනක කර්ම භව,
උපස්තම්භක කර්ම භව,
උපපීඩක කර්ම භව,
උපඝාතක කර්ම භව කියලා ඔය හතර ආකාරයෙන් කර්ම භව නිපදවනවා.
එතකොට ඒ අනුව උප්පත්ති භව නිපදවන්නෙ,
ජනක කර්ම උප්පත්ති භව,
උපස්ථම්භක උප්පත්ති භව, එතකොට ඒ වගේම
උපපීඩක උප්පත්ති භව,
උපඝාතක උප්පත්ති භව
(ශ්‍රාවක මහතෙක්): අපෙ හාමුදුරුවනේ එතකොට අර කුසළ මූල පච්චයා සංඛාර කරලා ආර්යයන් වහන්සේ නමක් ඒ අරිහත් ඵලය ලබාගත්තට පස්සෙ, ඒත් අර විපාක වශයෙන් ප්රවෘත්ති විපාක පඩිසන් දෙන්නෙ ඔය හේතුව හින්දා ?
(ස්වාමීන් වහන්සේ): ඔව්, ඔය ක්‍රමයටයි එන්නෙ. ඒ සම්බන්ධයෙන් තිබිච්ච නිසා. දැන් අවිද්‍යා සහගත නිර්මාණය තුළින් නිෂ්පාදනය කරලා ගත්ත ශක්තියෙන්, නිදහස් වෙලා තිබිලා ඒකෙන් ගොඩනඟපු භව ශක්තියත් අවිද්‍යා සහගතව තිබිච්ච නිසා මුළදි, නිර්මාණය කළේ ඒකෙන් නිසා, අන්න ඒකෙදි අනුසය වශයෙන් අන්න අර අවිද්‍යා අනුසය සමඟ සම්බන්ධවෙනවා අපි අර නිෂ්පාදනය කරන අර භවය, නව භවයක් නිෂ්පාදනය කරනකොට ඒක. ඒක අවිද්‍යා අනුසය සහිතයි. පරියුට්ඨාන අවිද්‍යාවක් ඒකෙ නෑ.
දැන් අරිහතුන් වහන්සේගේ තියෙන විපාකස්කන්ධය අවිද්‍යා අනුසයෙන් තිබිච්ච මූලික කොටස තිබුණා. මූලික කොටසෙන් නිපදෙවුවා. එතෙන පටන්ගෙන යථාවබෝධයක් ලැබුණු තැන් පටන් සංඛාර ගොඩනඟන්නෙ නෑ අවිද්‍යා සහගතව, ප්රවෘත්ති විපාක පඩිසන් දෙනවා, ඒකයි. එහෙනම් සංඛාර සම්පූර්ණයෙන් නිරෝධ කරනවා, “අවිජ්ජා යත්තේව අසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ” සංඛාරයක් ගොඩනඟන අවිද්‍යාව ඇත්තෙම නෑ. විපාකස්කන්ධයට අවිද්‍යාව හේතුකාරක වුනා නම් ඒකට කරන්න දෙයක් නෑ ඉතින්, පිරිනිවන්පානකල් තියෙනවා. ඒක ගෙවන්න වෙනවා. ඉතින් අවිද්‍යාවෙන් හේතු කරපු නිසා තමයි බඩගින්න ඇතිවෙන්නෙ, පිපාසය ඇතිවෙන්නෙ. අවිද්‍යාවෙන් දුකක් නිෂ්පාදනය කළා මිසක් සැනසුමක් නිෂ්පාදනය කළේ නෑ. ඉතින් අරිහතුන් වහන්සේගේ කයටත් අර දුකට ගෝචරවෙන්න සිද්ධවෙනවා. මොකද, අවිද්‍යා සහගතව මුළදි නිෂ්පාදනය කරපු විපාකයක් නිසා. හැබැයි උන්වහන්සේට සංඛාර නිෂ්පාදනය කරන අවිද්‍යාවක් සහමුළින්ම නෑ, ඒක බිඳහැරියා. ඒකයි තියෙන වෙනස.
{ 0:25:06 } : ධ්‍යානාංග ප්‍රීතිය සුඛය ලෞකික ප්‍රීති සුඛයන්ගෙන් වෙනස් වෙන හැටි
(ස්වාමීන් වහන්සේ ශ්‍රාවක පැනයක් කෙටියෙන් කියවති): දැන් මේ “ප්‍රීති, සුඛ” කියන ධ්‍යානාංගයන් වල තියෙන ප්රිති චෛතසිකය සහ සුඛ චෛතසිකය…
(ස්වාමීන් වහන්සේගේ පැහැදිලි කිරීම): මේ “ප්‍රීතිය, සුඛය” කියන දෙකම අපිට ලෞකික වශයෙන් මේ කාම ලෝකෙත් දැනෙනවා. කාම වස්තුවක් ඇසුරු කරනකොටත් ප්‍රීතිය දැනෙනවා, සුඛය දැනෙනවා. එතකොට එතන තියෙන්නෙ ධ්‍යානාංග නෙමෙයි. ධ්‍යානාංග වලින් දැනෙන එක එකක්, කාම වස්තූන් නිසා ඇතිවෙන ප්‍රීතිය, සුඛය, චෛතසික, ඒක තව එකක්. එතකොට ඒවා කාමාවචර ලෝකේ කාම ධර්මයන් හා සම්බන්ධයි, ඒ ප්‍රීති – සුඛ චෛතසික. එතකොට මේකෙම තියෙන විශේෂ අවස්ථාවක් තමයි, ධ්‍යානයේ ලබන්නාවූ ප්‍රීතිය සහ ධ්‍යානයේ ලබන සුඛය. ඒ “ප්‍රීතිය නිරාමිසයි”, “නිරාමිස සුඛය” පංචේන්ද්‍රිය ගෝචර වෙන සුඛය වෙන එකක්, ඒවා නිසා වෙන දාහයෙන්, පෙළීමෙන් වෙන්වීමෙන් ලබන, ඒ දාහයෙන් නිදහස් වීමේ සුඛය තව එකක්.
දැන් පංචකාම ඉන්ද්රියයන් අරගන්නවා පංච කාම අරමුණු අරගෙන ආස්වාද විඳින්න. දැන් අසහනකාරී, ඌන මානසිකත්වයකින් ගොඩනැඟින්ච්ච ඉන්ද්රිය පහක් තමයි ඇස, කන, දිව, නාසය, ශරීරය කියන්නෙ. දැන් ඒ නිසා මේ ඇස, කන, දිව, නාසය, ශරීරය නොයෙක් ආකාරයේ තැලීමට, පෙළීමට, උෂ්ණයට, දාහයට ගෝචර වෙනවා. ගෝචර වීම නිසා ඒවට අපිට ඒකෙන් සැප විඳින්න හදාගත්ත එක දාහයට හේතුකාරයකයක් නිසා ඒ දාහයෙන් දැවි දැවී, පෙළි පෙළී ඉන්නවා. එතකොට ඒ දාහයෙන් දැවි දැවී, පෙළි පෙළී ඉන්න එක සිය දහස් ගුණයක් වර්ධනය කරනවා යළි යළි කාම සිත් ගොඩනැඟීම නිසා හටගන්න නව නිර්මානයක් වන කාම දාහයන්ගෙන් අරක දැවෙනවා. මෙන්න මේ දාහයෙන් තමයි කාම ලෝකෙ ජීවත්වෙනකල් ඒකෙ ඒ පංචේන්ද්‍රිය ජීවත්වෙන්නෙ.
එතකොට මේ පංචේන්ද්‍රියන් ජීවත්වෙන ලෝකය තුළ අර සිතිවිලි රූපාවචර වුනානම්, කාමාවචර අත්හැරියා නම්, කාමාවචර හිත් පහලවෙන්නෙ නැති නිසා ඒ වෙලාවෙ කාමාවචර දාහයෙන් දවන යම් දැවිල්ලක් තිබුණා නම් අර ඉන්ද්රියයන් ඒවයින් පෙළන්නෙ නෑ. ඒ හිත් ක්‍රම ක්‍රමයෙන් විශ්කම්භනය කළා නම්, “තදංග, විශ්කම්භන” කියලා දෙකක් තියෙනවනෙ, විශ්කම්භනය කළාට පස්සෙ කාලයක් ගොඩනැඟෙන්නෙ නෑ, කාමයෝ ක්‍රම ක්‍රමයෙන් සංසිඳිලා යනවා. කාම සිත් සංසිඳෙනකොට, කාම සිත් නිසා මේ ඉන්ද්රියයන් පෙළෙන දාහයක් තිබුණා නම්, ඒ දාහය දැන් ගොඩනැඟෙන්නෙ නෑ. එතකොට ඉන්ද්රියයන් නිසා අමතරව වින්ද දාහය කාම සිත් නැති නිසා මතුවෙන්නෙ නැතිවෙනකොට, අන්න එයාට එච්චර කල් අත්නොදැකපු, ඒ භවයේ අත්නොදැකපු සුවයක් ලැබෙනවා. ඉන්ද්රියයන්ගේ සමතාවය නිසා ලැබෙන්නාවූ දාහයෙන් මිදීමේ සුවය, මෙන්න මේකට කියනවා අර කියන “නිරාමිස සුවය”.
පංච කාමයෝ ආමිස වශයෙන් වළඳනවා නම්, පරිභෝග කරනවානම්, ඒ නිසා හටගත්ත දාහයෙන් මිදිලා ගියානම්, ඒක නැත්නම්, අන්න ඒක දැනෙන්න පටන්ගන්නවා කය නිසා තිබිච්ච දාහ අඩුවෙලා ගිහිල්ලා, සැහැල්ලු වෙච්ච හැටි. අන්න ඒ සැහැල්ලුව සුවයක් ගෙනදෙනවා “පීති මනස්ස කායෝ පස්සද්දති” අර නිරාමිස ප්‍රීතිය, සැහැල්ලුව ගෙනදෙනවා.
“පස්සද්ද කායෝ සුඛං දේති, සුඛිනෝ සමාධියති…” අන්න එතකොට ඒ ලබන සුවය මොකද්ද, අර පංච කාමයන්ගෙන් දාහයට පත්වෙලා තිබිච්ච දාහය, කාමයන් නිසා ගොඩනඟපු දාහය කාම හිත් නැති වෙලාවෙදි ගොඩනඟන්නෙ නැතුව ගිහාම, ඒකෙන් “නො දවන” පචේන්ද්රිය පද්ධතියක් ඇතිවෙනවා. ඒ පංචේන්ද්‍රිය පද්ධතිය අනික් අයගෙ පංචේන්ද්‍රිය පද්ධතිය ඉක්මවා ගිය එක්තරා ආමිස දුකකින් නිදහස් වෙච්ච තැනක්. මෙන්න මේ නිසා ඇතිවෙන්නාවූ ප්‍රීතියක් ඇතිවෙනවා, “මට පෙර කාම ඉන්ද්රියයන් පෙළ පෙළා තිබුණා. දැන් මේ සමාධි අවස්ථාවෙදි ඒ පෙළීමේ දාහය නෑ නෙ…” අන්න ඒක මතක්වෙනකොට ඇතිවෙනවා ප්‍රීතියක් සහ සුවයක්. අන්න ඒ ඇතිවෙන නිදහස් ප්‍රීතිය සහ නිදහස් සුවය කාමයන්ගෙන තොර එකක්.
කාමයන්ගෙන් අත්හැරී ගියහම, කාම ආදීනවයන්ගෙන් අත්හැරී ගියහම ලැබූ නිදහස් සුවය, ප්‍රීතිය දැන් හිත තුළ වැඩෙනකොට “රූපාවචර හිත්” කියලා අපි ඕවට කියනවා. දැන් ක්‍රියාත්මක වෙන්නෙ රූපාවචර හිත් නිසා, ඒවා ආලෝකයි, දීප්තිමත්, අඳුරු නෑ. ඒ ආලෝකය විහිදිලා, පැතිරිලා යනකොට, චිත්ත රූපත් ආලෝක වෙනවා. චිත්තාලෝකය චිත්ත රූප බවට පත්කරනවා. මොහොතක් ගානෙ චිත්ත රූප, “උතුජ රූප කළාප” වශයෙන් නිදහස් කරනවා. ඒ නිදහස් කරන උතුජ රූප කළාප කියන චිත්තක්ෂණ, නැත්නම් ඔය ඒකට කියන්නෙ “කිරණ නිපදෙවුවා හා සමානයි” කියලා. ඒක ක්‍රියාත්මක වෙන්න පටන්ගන්නවා අර පංචේන්ද්‍රියන්ගේ මස්-ලේ පද්ධතිය ඇසුරු කරගෙන. ඒකට අනුරූපව මස් – ලේ පද්ධතිය සකස්කරනකොට, දාහයෙන් තොර වුන මාංසලය සහිත ස්නායු පද්ධතියක් සකස් කරනකොට, “ඇඟ සැහැල්ලු වෙලා ගියා, ඇඟේ බර නැතිවෙලා ගියා, හරි නිදහසක් ආවා, ඇඟක් තියෙනවද කියලා දැනෙන්නෙ නැතුව ගියා…” කිය කියා සුවයට පත්වෙනවා.
දැන් ඒක මතක්වෙනකොට ප්‍රීතියක් සහ සුඛයක් තියෙනවා. අන්න ධ්‍යානාංග වල තියෙන ප්‍රීතියයි, සුඛයයි. ඒක කාම ප්‍රීතිය නෙමෙයි කිවුවෙ ඒකයි. ධ්‍යානාංග වශයෙන් ගන්න ප්‍රීති සුඛය අන්න ඒකයි. එතනත් ලැබෙනවා ප්‍රීති චෛතසිකයක්, සුඛ චෛතසිකයක් – ඒක ධ්‍යානාංග. ඒ චෛතසිකය ධ්‍යානාංග වලට සම්බන්ධවෙන්නෙ. කාම ලෝකයේ ලබන ප්‍රීති, සුඛ චෛතසික දෙක කාමය හා සම්බන්ධ දෙක. ඒ කාමාස්වාදය ලබන ප්‍රීති සුඛ. පංච කාමාස්වාදය ඉක්මවා ගිය ප්‍රීති සුඛයක් තමයි ධ්‍යානයෙන් ලැබෙන්නෙ. හැබැයි ඒක අරකට වඩා විශාල සහනයක්. ඒ ක්‍රම දෙකක් තියෙන්නෙ.
අර කාම විඤ්ඤාණ තියෙන තාක්කල් අපිට ඒක සම්පූර්ණ දැනෙන්නෙ නෑ, අර කාම ආස්වාදයෙන් වහන නිසා, නැවත නැවතත් කාම ආස්වාදයට ඇදලා දමනවා. නමුත් “ආසේවිත, භාවිත, බහුලීකෘත” කියන ඇසුරු කරන, භාවිතා කරන, බොහෝකොට ඇසුරු කරන ධ්‍යානලාභියාට ඊටපස්සෙ මොකද වෙන්නෙ, අර කාම හිත් හටගන්න කාම විඤ්ඤාණ හටගන්න තිබිච්ච සංඛාර ගොඩනඟන අවස්ථාව දුර්වල වෙනවා. ඒ විඤ්ඤාණ වලට ආහාර දුර්වල වෙනකොට කාම හැඟීම් ඇතිකරපු විඤ්ඤාණ දැන් නැතිවෙනවා, ඒවා නිරෝධ වෙනවා. එතකොට රූපාවචර විඤ්ඤාණ විතරයි දැන් ක්‍රියාත්මක වෙන්නෙ. එතකොට නිරන්තරයෙන් ඉන්න වෙලාවටත් රූපාවචර ස්වභාවයම ප්‍රිය කරන්න පටන්ගන්නවා.
එතකොට එයාට හිතෙනවා “කාම ඇසුරෙ ඉන්නවට වැඩිය ධ්‍යාන සුවය ඇසුරෙ ඉන්න එක කොච්චර හොඳද” කියලා. ඉතින් දවසකට ධ්‍යානය ලබාගෙනත් පැයක් – දෙකක් ඉන්නකොට ඇතිවෙනවා නම්, ඊටපස්සෙ පැය දෙක හිටියට මදි, පැය තුන හතරක් ඉන්න හිතෙනවා. හත අටක් ඉන්න හිතෙනවා. අන්තිමට ගියාට පස්සෙ කන බොන වෙලාවයි, අත්‍යවශ්‍යය කටයුතු කරන මේ ලෝකෙ, කාම ලෝකෙ, කාම ලෝකෙ ඇසුරු කරන වෙලාවයි ඇරෙන්න හැමවෙලේම නිදහසක් බලාගෙන ඉන්නවා, අර වැඩට ගිය එකා “කොයි වෙලේද විවේකයක් එන්නෙ අපිට එළියට බහින්න” කියලා හිතං ඉන්නව වගේ “කොයි වෙලේකද ධ්‍යානයට සමවදින්න මට වෙලාවක් අහුවෙන්නෙ” කියලා එයා ධ්‍යානයට හිත තියාගෙනම ඉන්නවා අවස්ථාව එනකන්. ඊටපස්සෙ මොකද කරන්නෙ, ඒක වටිනාකම වැඩිවෙන්න වැඩිවෙන්න කාම ලෝකයේ කාම කටයුතු සඳහා යම් වැඩපිළිවෙලක් යොදාගෙන තිබුණද, ඒ රාමුව ටිකෙන් ටික කඩාදමනවා. කඩාදමන්න කඩාදමන්න එයා කාමයන්ගෙන් වෙන්වෙලා, අකුසළ ධර්මයන්ගෙන් වෙනවෙලා ධ්‍යානය පැත්තට නැමිලා හිටියට පස්සෙ කාම ලෝකෙ තියෙන කාම සංඛාරික සම්බන්ධය ක්‍රම ක්‍රමයෙන් අඩුවෙලා යනවා.
ඊටපස්සෙ රූපාවචර සම්බන්ධයට වැටෙනවා. රූපාවචර සම්බන්ධය කාමයෝ මත් කරන එකක් නොවන නිසා ඒක “සතිය” ට තෝතැන්නක් වෙනවා, පසුතලයක් වෙනවා, නුවණට පසුතලයක් වෙනවා. සිහි නුවණට පසුතලයක් වෙන රූපාවචර ක්‍රියා කළාපය නිසා ධර්මාවබෝධය බොහෝ බලවත් වෙලා ඇවිල්ලා මාර්ගඵල අවබෝධයෙන් අත්හැරී, නො ඇලී, මිදී යනවා. එතෙනදි දකිනවා “කාමාස්වාදය අත්හැරලා රූපාස්වාදයක හිටියනම්, ඒකත් පැවැත්ම සතුයි. පැවැත්ම අත්හැරීමෙන් ලබන්නාවූ විමුක්තියක් ඇත්නම් ඒක අති ශ්‍රේෂ්ටයි” කියලා අන්න මාර්ග ඵල පැත්තට බහිනවා. එතකොට එයා ධ්‍යානයේ හිටියට, ධ්‍යානයේ ඇලිලා නෑ. ඡන්ද රාගයක් තිබුණා නම් ඒක දුරුවෙනවා. කාමයන්ට ඡන්ද රාගයක් තිබුණා නම් ඒකත් දුරුවෙනවා, රූපාවචර පැවැත්මට ඡන්ද රාගයක් තිබුණා නම් ඒකත් දුරුවෙනවා. “පැවැත්ම ම වැඩක් නෑ” කියලා තේරුම් ගත්තම අරූපාවචර ඡන්ද රාගයක් තිබුණා නම් ඒකත් දුරුවුනහම තුන් භවයේ ඡන්ද රාගය ඉවරයි. එදාට අරිහත්වයේ! ඉතින් යන ක්‍රමය ඒකයි.
{ 0:32:56 } : යෝනිසෝමනසිකාරය, ප්රීතිතර ප්‍රීතිය සහ සුඛතර සුඛය
(ශ්‍රාවක මහතෙක්): හාමුදුරුවනේ අර “යෝනිසෝමනසිකාරය” කියන වචනය හාමුදුරුවනේ නිරුක්තිය මොකද්ද?
(ස්වාමීන් වහන්සේ): දැන් “යෝනිසෝ” කියල කියන්නෙ, “යෝනි” කියන වචනයෙන් පෙන්නන්නෙ උප්පත්තියට හේතුවෙනවා කියන එකයි. “සෝ” කියන්නෙ, තමාගේ උපතට හේතුවෙන්නෙ මෙන්න මේ ටිකයි කියලා මනසිකාරයෙන් තේරුම්ගන්න පුලුවන් නම් “මන ඉසිකාර” කරනකොට, එහෙනම් මැනලා දකිනකොට එයා දැනගන්නවා “මෙන්න මේවයි මමත්වයේ උප්පත්තියට හේතුවෙන්නෙ, මමෙක් හටගන්නෙ, මමෙක් ජනිතවෙන්නෙ මෙන්න මේ ටිකෙන්” කියලා තේරුම් ගත්තහම, අන්න ඒ නුවණට කියනවා “යෝනිසෝමනසිකාරය”.
(ශ්‍රාවක මහතෙක්): දැන් ඔය වචනෙ හාමුදුරුවනේ කොහොමත් “භාවනාව” කියන වචනයට සම්බන්ධ කරන්න බෑනෙ… ?
(ස්වාමීන් වහන්සේ): ඒකට සම්බන්ධ කරන්න… දැන් භාවනාවෙදිත් අපි දකිනවා කාම ලෝකයේ කාම පැවැත්ම හටගන්නෙ මෙන්න මේ කාම සංඛාරයන්ගෙන්, අන්න “කාමයන්ට යෝනිය”.
(ශ්‍රාවක මහතෙක්): දැන් අපෙ හාමුදුරුවනේ යෝනිසෝමනසිකාරය කියන වචනයෙන් අදහස් කරන්නෙ භාවනාව කියන අදහස ගත්තොත් වැරදියි නෙ?
(ස්වාමීන් වහන්සේ): එහෙම වැරදියි, එහෙම ගන්න බෑ. යෝනිසෝමනසිකාරය ප්‍රඥාව සතුයි.
(ශ්‍රාවක මහතෙක්): සාමාන්‍යයෙන් කියනකොට ස්වාමීන් වහන්ස, “නුවණින් මෙනෙහිකරනවා” කියලනෙ අපි ගන්නෙ…
(ස්වාමීන් වහන්සේ): ඔවු නුවණින් මෙනෙහිකරනවා – ඉතින් නුවණින් නම් මොකද්ද මෙනෙහිකරන්න තියෙන්නෙ? කාමයෝ ආදීනව හැටියට මෙනෙහිකරන්න ඕනෙ, කාමයන්ගෙන් වෙන්වීම ආනිසංස හැටියට මෙනෙහිකරන්න ඕනෙ. නුවණින් මෙනෙහිකරනවා කිවුවම නුවණින් මෙනෙහිකරනවයි, නුනුවණින් මෙනෙහිකරනවයි දෙකක්. කාමයෝ හොඳයි කියලා මෙනෙහිකරනවා නම් ඒක නුවණින් නෙමෙයි මෙනෙහිකලේ. කාමයෝ ආදීනව වශයෙන් මෙනෙහිකරනවා නම් නුවණින් මෙනෙහිකළා. ඒත් යෝනිසෝමනසිකාරයම නේ ආවෙ… ඉතින් නුවණින් මෙනෙහිකරනවා කියන එකෙත් ඔය අර්ථය තියෙනවා.
හැබැයි නුවණින් මෙනෙහිකිරීම කියන එක මේ ලෞකික අදහසින් ගත්ත කෙනා තුවක්කුවක්, පිස්තෝලයක් හදන එකත් නුවණින් මෙනෙහිකරන්න එපැයි, නැත්තම් අත කඩාගන්න වෙනවනෙ බෝම්බයක් එහෙම නිෂ්පාදනය කරන්න ගියොත්. හොඳ මනා නුවණකින් “මේකත් කරන්න ඕනෙ අත කඩාගන්නෙ නැතිවෙන්න, මෙහෙම කළොත් මේක පත්තුවෙනවා. ඒ හින්දා මේක මේ මේ විදිහට ඔතන්න ඕනෙ, ගන්න ඕනෙ, මේ මේ විදිහට පාවිච්චි කරන්න ඕනෙ, මේ බෙහෙත් වර්ගය මෙච්චර දාන්න ඕනෙ…” එහෙමත් නුවණින් මෙනෙහිකිරීමක් තියෙනවා. හැබැයි ඒක නුනුවණින් මෙනෙහිකිරීම. ඒක ලෞකික වශයෙන් කිවුවත්, නුවණ කියන එක ලෞකික ප්‍රඥාව. ඒක තමයි කියන්නෙ “මිත්‍යා ඥානය” කියලා.
මිත්‍යා දෘෂ්ඨියෙන් නැඟුන හින්දා මිත්‍යා ඥානයක් තියෙනවා, මිත්‍යා විමුක්තියක් තියෙනවා. එතනත් අංග දහයක් තියෙනවා, සම්මා ඥාන වගේම අනික් පැත්තෙත් තියෙනවා. මිත්‍යා ඥාන, මිත්‍යා විමුක්ති ආපු කෙනාට කියනවා “පරම අසත්පුරුෂයා”. ඒ මිත්‍යා ඥානයෙන් තමයි බෝම්බ හදන්නෙ, අහස් යානා (යුධ) හදන්නෙ, ප්ලේන් (යුධ), යුධ නැවු හදන්නෙ, යුධ අහස්යානා හදන්නෙ, මිසයිල හදන්නෙ, ඒ මිත්‍යා ඥානයෙන්. ඒගොල්ලන්ගෙ බලාපොරොත්තුව මොකද්ද? නිවන නෙවෙයි, “රටක් පරාජය කරලා අපි ජයගන්නවා” කියන එක. ඒ ඥානය වැඩිවෙච්ච කෙනා අනිකා පරද්දන්න උපකරණ හදලා, ඒවයින් පරද්දලා, මිත්‍යා විමුක්තියට පත්වෙලා සංතෝස වෙනවා, ජය පැන් බොනවා, “මං ජයගත්තා” කියලා. අන්න පරම අසත්පුරුෂයා. ඒ අසත්පුරුෂ පැත්ත.
යෝනිසෝමනසිකාරය කියලා මෙතන කියන්නෙ සම්මා ඥානයෙන් මෙනෙහිකරන පැත්තට. එකතුවෙන් මිදීම සඳහා නුවණ මෙහෙයවන පැත්ත. ඉතින් ප්‍රීති සුඛ කියන්නෙ අන්න ඒකයි. චෛතසික වල තියෙන ස්වභාවය ඒකයි. චෛතසික කියන්නෙ හිතක් ගොඩනඟනවා නම් චෛතසිකයන්ගෙන් ගොඩනඟනවා. එහෙනම් ප්‍රීතිය, සුඛය කියල කියන්නෙ චෛතසික ඔය “අන්‍ය සමාන සිත්” කියල කියනවා. ඒකට ගැලපෙන සිත්වලට යෙදෙනවා. ලෞකික සිත්වලත් යෙදෙනවා, ලෝකෝත්තර සිත්වලත් යෙදෙනවා, ඒ වගෙම “මහත්ගත සිත්” හැටියට ඔය ධ්‍යාන සිත්වලත් යෙදෙනවා. ඒවට යෙදෙන්නෙ එකින් එක. ලෝකෝත්තර සිත්වල යෙදෙන එකට කියනවා “ප්රීතිතර – සුඛතර” කියලා. ඒ තියෙන චෛතසිකය ඉක්මවා ගිය අයට. ඒ අය අත්හැරීමේ, නො ඇල්මේ, මිදීමේ සැනසීම ලබනවා. ඒ සැනසුම ලබන එකට තමයි කිවුවෙ ප්රීතිතර – සුඛතර කියලා. අනික්වට ප්රීතිතර කියන්නෙ නෑ, අනික් ප්‍රීති වලට. ආමිස ප්‍රීතිය, නිරාමිස ප්‍රීතිය, ප්රීතිතර ප්‍රීතිය. ආමිස සුඛය, නිරාමිස සුඛය, සුඛතර සුඛය. එහෙනම් සුඛතර කියන වචනයෙන් කියන්නෙ “සුඛයන්ගෙන් එතෙර කරපු” සුඛය. ලෝක සුඛයන්ගෙන් එතෙර ගිය සුඛයක් තියෙනවා. ඒක තමයි ලෝකෝත්තර සුවය. ඒක අර චෛතසිකයන්ගේ ඉක්ම ගිය එකක්. ඒක චෛතසික වලට දාන්න බෑ. “නොවිඳින සුඛය” කිවුවෙත් අන්න ඒකයි.
{ 0:37:44 } : ඉතිහාසය වෙනුවට දහම ගැන අවධානය යොමු කරමු…
(ස්වාමීන් වහන්සේ ශ්‍රාවක පැනයක් කියවති): දැන් මේ තව එකක් තියෙනවා, මේ ශාඛ්‍යය – කෝලිය යුද්දෙදි එය වැළැක්වූ එක් අවස්ථාවක් පිළිබිඹු කරන තැන මේ ගැල් එරුණු ස්ථානය අදත් ඉන්දියාවේ දැකගත හැකිය.
(ස්වාමීන් වහන්සේ): දැන් මේවගෙ දේවල් ඉතින් දැනගත්තට පස්සෙ ඕනෙ කෙනෙකුට හදන්නත් පුලුවන්. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි, ගලක කොටන එක ගැලක් එරිච්ච හැටියට. අර බෙල්ල කපපු එක්කෙනෙක් ඉන්නෙ මේ අපේ සංඝබෝධි කුමාරයා මේ විදිහට බෙල්ල කපාගත්තා කියලා අපේ අත්තනගල්ලේ කියලා මෙහෙ එකෙත් ඉන්නෙ… හදලනෙ… ඔයවගේ දේවල් කළහැකි.
{ 0:38:21 } : විවිධ සමාධි අරමුණු මාර්ග ඵල ලෙස ගෙන රැවටීම
(ස්වාමීන් වහන්සේ තවත් ප්‍රශ්නයක් කියවති): මේ සෝවාන් වීමේදී කය ගල්ගැසී සුවයක් ලැබුණා. යම් මඟපෙන්වීමක් යටතේ… ආර්යයන් වහන්සේගේ හිස් මුදුනේ සිට වම් පතුල දක්වා ශරීරය කොටස් විසි පහකට බෙදා….
(ස්වාමීන් වහන්සේ): දැන් මෙහෙම දෙයක් තියෙනවා. මේ සෝවාන් පුද්ගලයෙක් “භාවනා කරනකොට සෝවාන් වුනා” කිවුවා නම් මේක ධර්ම විරෝධියි. භාවනා කිරීමේදී සෝවාන් වෙනවා කියලා යම් කෙනෙක් කියනවා නම්, භාවනා කරමින් ඉන්න වෙලාවක නෙමෙයි “පරතෝඝෝෂක ප්‍රත්‍යය” ලැබිච්ච මොහොතකයි සෝවාන් වෙන්නෙ. කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය, පරතෝඝෝෂක ප්‍රත්‍යය, ඒ වගෙම යෝනිසෝමනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන මේ හතර එකතු වෙච්චි තැනකයි සෝවාන් ඵලය ලැබෙන්නෙ. ඔයිට විරුද්ධව යම්කිසි කෙනෙක් භාවනා කර කර ඉන්නකොට සෝවාන් වුනයි කිවුවා නම්, භාවනා කරනකොට සෝවාන් වුනා කියන්නෙ ඔය කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය, සත්ධර්ම ශ්‍රවණය, එතකොට ඔය දෙක ඔතන නෑ. එහෙනම් ප්‍රත්‍යය දෙකක් නැතුව සෝවාන් වෙන්න බෑ.
සෝවාන් ඵලය දෙපාරක් ලැබෙන්නෙ නෑ. ඔය භාවනා කර කර ඉන්න වෙලාවට කී වතාවක් ඔය කය ගල්ගැහෙන ඒවා දකිනවද? දැන් පෙළක් අය කියනවා “මගෙ කය උඩගියා වගේ උනා, මට ආලෝකයක් පහලවුනා…” ඉතින් සෝවාන් වුනා කියලා අනුමත කරනවා. ආයි භාවනා කරකර ඉන්නකොට ආයිත් පහලවෙනවනෙ ඒ වගේ අවස්ථා. දෙපාරක් සෝවාන් වෙනවද? යම්කිසි සත්වයෙක් සෝවාන් ඵලයට පත්වෙන්නෙ එක වතාවයි. සකෘදාගාමී ඵලයට පත්වෙන්නෙ එක වතාවයි, අනාගාමී ඵලයට පත්වෙන්නෙ එක වතාවයි, අරිහත්වයට පත්වෙන්නෙ එක වතාවයි, දෙවතාවක් සිද්ධ වෙන කාරණයක් නෙමෙයි. සෝවාන් ඵලයට පත්වුන කෙනා යම්කිසි සෝවාන් ඵලයට පත්වීමේ යම් සංඥාවක් ගත්තා නම්, සකෘදාගාමී ඵලයට පත්වෙනකොට ආයි අර සෝවාන් ඵලයේ සංඥාව එතන නෑ.
දැන් ධ්‍යාන වල නම් ප්‍රථමධ්‍යාන ලබලා, ද්විතීය ධ්‍යාන ලබලා, තෘතීය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන ලබලා ඕන්නම් එයාට ප්‍රථමධ්‍යානයට ආයි සමවැදුනහැකි. ඕන්නම් ද්විතීය ධ්‍යානයට හිතලා සමවදින්න පුළුවන්. ඒ වගේ සෝවාන් ඵලය ලබලා, සකෘදාගාමී ඵලය ලබලා, අනාගාමී ඵලයෙන් අරිහත් ඵලයටම පත්වුනත් නැවත හිතලා සෝවාන් ඵලයට, සකෘදාගාමී ඵලයට, අනාගාමී ඵලයට එහෙම සමවදින්න බෑ. එහෙම ක්‍රමයක් නෙමෙයි “ඵල සිත” කියන්නෙ. ලැබු ලැබූ යම් ඵලයක් තියෙනවනම් ඒ ඵල චිත්තයට පත්වෙන්න පුලුවන්. නමුත් පත්වෙනවා කියන එකයි, දෙකක්… අවබෝධය එකක්, අවබෝධයෙන් ප්රත්යක්ෂයට පත්වීම තමයි “මාර්ගක්ෂණය” සහ “ඵලක්ෂණය” කිවුවෙ. ඒ අවස්ථාව ඉක්ම ගියාට පස්සෙ ලැබූ ඵලයෙහි ආවර්ජනා කිරීම කරන්න පුලුවන්, ඵල සිත් පහලකිරීම් වශයෙන්. ඵල සමාපත්තිය වශයෙන්. ඵලයෙ දෙපාරක් ලබන්න දෙයක් නෑ.
දැන් ගණනක් හදන හැටි දන්නෙ නැති කෙනෙක් කල්පණා කරනවා, කල්පණා කරනවා, ගාණ හදන ක්‍රමය අහුවෙන්නෙ නෑ. තමන්ට තේරුම්ගන්නත් බෑ… යනවා, ගුරුවරයා හම්බවෙලා කියනවා “මේ ගාණ කොහොමද මේ උත්තරේ එන්නෙ? මට මේ ක්‍රමය තේරෙන්නෙ නෑ නෙ…”
දැන් එයා “හොඳට එහෙනම් අවධානයෙන් අහගන්නකො…මෙන්න මෙහෙමයි මේ උත්තරේ ගත්තෙ, මෙන්න මේකයි න්යායධර්මය මේ ගාණ හදන…” කියලා ගුරුවරයා කියාදෙනකොට එක මොහොතකදි ටක් ගාලා “ආ…. දැන් නම් තේරුණා!” කියනවා.
“දැන් මට හැදුවහැකි… “
“එහෙනම් හදන්න බලන්න මේ ගාණ”
අර ක්‍රමයෙන් හදලත් පෙන්නනවා. දැන් එයාට වෙනසක් තියෙනවා, තේරිච්ච අවස්ථාව එකක්. දැන් ආයි සැරයක් ගාණක් හදනකොට තේරිච්ච අවස්ථාවට අනුව හදලා ප්‍රතිඵල ගන්න පුලුවන්, දෙපාරක් තේරුම්ගන්න බෑ. තේරුම්ගත්තෙ එක අවස්ථාවයි. වැටහුන අවස්ථාව මතකයි.
“මේ ගාණ හදනකොට, මේක මෙච්චරකල් මට හදන්න බැරුව තිබිලා, මට කියල දෙනකොට මට හරියටම තේරුණා අහවල් වෙලාවෙදි”
“කොයි වෙලාවෙද? කොහොමද? ඒ තේරිච්චි වෙලාව මතකද?”
“ඔවු මට මතකයි. අහවල් තැන පුටුවෙ ඉඳගෙන, මේ ඩෙස් එක උඩින් මේකත් තියාගෙන, රතු පෑනක්, නැත්තම් මේ විදිහට පෑනක් අරගෙන, මෙහෙම ඉන්න වෙලාවෙදි මට ටක්ගාලා තේරුණා, ගුරුවරයා කියාදෙනකොට. අන්න මට තේරිච්ච වෙලාව”
“ඊටපස්සෙ එයා මොකද කිවුවෙ?”
“තේරිච්ච දේට අනුව දැන් හැදියහැකි. දැන් ඒ ක්‍රමය මට ආයි දෙපාරක් අහන්න ඕනෙ නෑ…”
අන්න, එකපාරක් තේරුම්ගත්තා. තේරුම්ගත්තට පස්සෙ තේරුම්ගත්ත දේට අනුව ඕනෙතරම් හැදියහැකි ඊට පස්සෙ. මෙන්න මේ වගේ සෝවාන් ඵලය හෝ සකෘදාගාමී ඵලය හෝ එක පාරක තේරෙනවා, වැටහෙනවා. වැටහෙච්චි තැන් පටන්ගෙන එයා එතන පිහිටියට පස්සෙ ආයි ඒ අවබෝධය වෙනස්වෙන්නෙ නෑ. අන්න එහෙම ලබන අවබෝධයක් තමයි ඒ ඵලයත් එක්කල ලබන වෙලාව. ඒක වෙනම විශේෂයෙන් දකිනවා, තේරෙනවා. ඊටපස්සෙ වැටහිච්ච දේට අනුව යළි යළි සිහිකරන්න ඕනෙනම් පුළුවන්. හැබැයි අපිට ආයි සැරයක් දෙපාරක් තේරුණද? “ඕං, ආයිත් මට තේරුණා..” එහෙමත් එකක් කියන්න පුලුවන්ද? දැන් එක සැරයක් ගාණ හදලා තේරුම්ගත්තා, දැන් තේරෙනවා. ආයි ගාණ හදලා ගත්ත දවසෙ “ඕං මට ආයිත් තේරුණා අර ඉස්සෙල්ලා වගේම…” එහෙම එකක් එනවද? නෑ ඉස්සෙල්ලා තේරිච්ච එක තේරුණා, ආයි සැරයක් දෙපාරක් තේරෙන්නෙ නෑ. තේරිච්චි එකට අනුව නම් දැන් හැදියහැකි.
අන්න ඒවගේ, ඵලය ඕං ලැබුණා “අහවල් තැන, අහවල් වෙලාවෙදි මට මෙහෙම ලැබුණා…” ඕන්නම් කියන්නත් පුලුවන්. ඊටපස්සෙ? “ලැබිච්ච ඵලය ආවර්ජනා කරන්න මට ඕනෙවෙලාවක පුලුවන් දැන්.” අන්න ඵල සිත. ඉතින් එහෙනම් ඒකට ඒ ලබන්න අවශ්‍යය කරන වෙලාවට ඔය කියන සෝවාන් අංග හතරක් තියෙනවා.
1. කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය
2. සත්ධර්ම ශ්‍රවණය
3. යෝනිසෝමනසිකාරය
4. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය
ඔය හතරම සම්පිණ්ඩනය වෙච්චි වෙලාවක තමයි ඔය තේරීම එන්නෙ, වැටහීම එන්නෙ. වැටහෙන්නෙ මොකද්ද? “මට දැන් මේ ලොකෙ හරි වටිනා දෙයක් කියලා හිතාගෙන හිටියා, මේක අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ථ වශයෙන් මට මේ විදිහට බලනකොට, ඒ අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන් බලනකොට මට වැටහීමක් ආවා – ඇත්තටම මේ ලෝකෙ හරයක් නෑනෙ. දැන් තමයි මට එකපාරට ඒක තේරුණේ…” ආං වැටහීමක් ආවා. ඒක ගල් ගැහෙන එකක්වත්, උඩයන එකක්වත්, එහෙම එකක් නෙමෙයි. ඒක මනසට දැනෙන, ප්‍රඥා ගෝචර තේරීමක්, වැටහීමක්. ඒ ප්රඥාවෙන්ම වැටහෙන එකක් තමයි මාර්ග ඵලය කියන්නෙ, ඵලය ලැබුවා කියන්නෙ.
ඕන්නම් ඊටපස්සෙ ඵල චිත්තය ආවර්ජනා කරමින් ඉන්නකොට චිත්ත ප්‍රසාදය මතුවෙලා අර “ප්‍රීති මනස්ස කායෝ පස්සද්දති – පස්සද්ද කායෝ සුඛං දේති – සුඛිනෝ සමාධියති” කියලා, අර ඉස්සෙල්ලා ගියා විදිහටම, “උපසමානුස්සතිය” තුළින් එයාට ධ්‍යානයට යන්නත් පුලුවන්. ඵලය සිහිකරගෙන, ඵලය සිහි කර කර ඉන්නකොට “උපසමය” හෙවත් “සංසිඳීම් සුවය” එනවා. නිවනට හිත පිහිටුවගෙන සංසිඳීම් සුවයෙ ඉන්නකොට ඒකෙන් නිරාමිස ප්‍රීතියයි, නිරාමිස සුඛයයි ඇවිල්ලා ඒකාග්‍රතාවයට පත්වෙලා ධ්‍යානයත් ලැබෙනවා. ඕන්නම් ඒ සුවයම සිහිකරගෙන අර කියන විදිහට “උපසමානුස්සතියෙන්” – දස අනුස්සති වලින් එකක්, නිවන් ධ්‍යාන ලබන්නත් පුලුවන්, මාර්ග ඵලය අවබෝධ කරන්නත් පුලුවන්.
ඉතින් මේ තියෙන්නෙ ඔක්කොම මේ ධ්‍යාන – ඵල ලබන පුද්ගලයා ධ්‍යාන මාර්ගයට යනකොට ඇතිවෙන්නාවූ කායික වෙනස්කම්. මනස ප්‍රීතිය – සුඛය එනකොට, ඊට අනුව ඒකාග්‍රතාවය නැඟෙනකොට, අර කාමයන් නිසා බැඳලා, හිරකරලා තිබිච්චි, ඒ පැත්තට අඹරවලා තිබිච්චි ස්නායු පද්ධතිය ගැලවිලා, ලෙහිලා, අනික් පැත්තට කරකවනවා. ඒ වෙලාවට කැරකිලා යනවා වගේ, ගල් ගැහිලා ගියා වගේ, හිරවුනා වගේ, ලිහිල් වුනා වගේ, උඩ ගියා වගේ, එහෙම ගති ලක්ෂණ දැනෙනවා මේ ධ්‍යානයේ අතුරු ලක්ෂණ.
දැන් මේ අතුරු ලක්ෂණ ධ්‍යානයේ, මාර්ග ඵලයේ කියල තෝරාගන්න බැරි අය මේ ධ්‍යානයක් ලබනකොට පිහිටන අතුරු ලක්ෂණ වලට රැවටිලා, ඔය වෙලාවට කියනවා “ඔබට මාර්ග ඵලයක් ලැබුණා” කියලා. ඉතින් එතකොට එයා දන්නෙ නෑ ඒ මාර්ග ඵලය මොකද්ද? හොඳයි, ගල් ගැහිලා වගේ ඉඳලා නතරවුනාට පස්සෙ දැන් ඔබට මෙච්චර කල් දැක්ක අනිච්චතාවයේ වෙනසක් ආවද? මෙච්චර කල් දුක්ඛ ලක්ෂණය පිළිබඳ වෙනසක් ආවද? ඔබට අනත්ථ ලක්ෂණය පිළිබඳ වෙනසක් දැනුනද? ඔබට යම්කිසි ආකාරයක… ඇහුවොත් එහෙම… සුඤ්ඤත විමෝක්ෂය පිළිබඳ මතකයක් වෙනසක් ආවද? අනිමිත්ත විමෝක්ෂය පිළිබඳ වෙනසක් දැනුණද? අප්පණිහත විමෝක්ෂය පිළිබඳව? ඔය තුන් විමෝක්ෂයෙන් මොන එකක් හරි අමුත්තක් දැනුණද?
ඔවු කියන්නද? “මට ඒකෙන් පස්සෙ, ඒ මොහොතෙ ඉඳලා මෙන්න මේ විදිහට මේ ලෝකය සාරත්වයෙන් ශූණ්‍යයි කියන මානසික වශයෙන් පරිවර්තනයක් වුනා. දැන් මට ඒ නිසා අත්හැරී, නො ඇලී, මිදීයාමක් සිද්ධ වුනා. මේ මේ කෙළෙස් මං ලඟ දැන් නෑ, එතෙන පටන්”. එහෙම එකක් කියන්න පුලුවන්ද ගල් ගැහිලා වගේ ඉඳලා ආපහු සිහි(සිහියට පත්) වුනහම? සාමාන්‍යයෙන් වුනත් එහෙමයි, එතෙන එහෙම එකක් මතකයි, එහෙම එකක් වුන බව. “එළියක් දැක්කා වගේ” කියනවා. “ආ එහෙනම් ඉස්සෙල්ලම විදුලි කෙටුවා වගේ, ඉස්සෙල්ලම නිවන දැක්කා” ආං එහෙම බහිනවා නිගමනයට.
මේ එළි දකින ඒවා, උඩ යනවා වගේ ඇතිවෙන ඒවා, ඇඟ සැහැල්ලු වෙන ඒවා, ඒ වගේම කරකෝලා අතෑරියා වගේ වෙන ඒවා, උඩුකුරු යටිකුරු කළා වගේ වෙන ඒවා, එතකොට මේ ශරීරය කරකවලා ගියා වගේ, නිකන් සුළියක් වෙල ගියා වගේ වෙන ඒවා, ගල් ගැහුනා, තද වුනා වගේ වෙන ඒවා, මේවා මේ ධ්‍යාන වඩන පුද්ගලයට මේ පංච කාමයන් ඇසුරු කරලා හිරවෙලා තිබිච්ච කයේ ස්නායු පද්ධති වෙනස් වෙනකොට, පරිවර්තනය වෙනකොට ඇතිවෙන්නෙ නානාප්‍රකාර විවිධ ලක්ෂණ. මේවා එකක්වත් මාර්ග ඵල නෙමෙයි. ඉතින් මේවට අපිට උගන්වන ආචාර්යවරු ඒ වෙලාවෙදි රවට්ටනවා “වැඩේ හරි! දැන් ඔක්කොම හරි!”
දැන් එක්තරා උපාසක අම්මා කෙනෙක් ඇවිදින් අහනවා “ඉතින් මේ පස්චිම දේහය දැරුවත්…” මං එතකොට මහණ වෙලත් නෑ. “මහත්තයා පස්චිම දේහය දැරුවට ඉතින් අපිත් ඔය සිල් සමාදන් වුනාට කමක් නෑ නෙ.., නේද? ” කිවුවා
මං ඇහුවා “පස්චිම දේහය දරන්න? කවුද පස්චිම දේහය දරන්නෙ? අරිහතුන් වහන්සේ නෙ… ඉතින් ඔබ කවුද?”
“නෑ ඉතින් අපිට කියලා තියෙනවා එහෙම, පස්චිම දේහය දරනවා කියලා”
මං කිවුවා “කොහොමද දැනගත්තෙ පස්චිම දේහය දරන බව? ”
“ආත්මෙ ඉවරවුනා නෙ, දියවුනානෙ…”
මං කිවුවා “ඒ මොන ආත්මෙද? මොකද්ද, වෙච්චි හැටි කියන්නකො…”
භාවනා කර කරා ඉන්නකොට මෙයා ගියාලු මනෝමය ව පාවෙලා ගියා වගේ දැක්කලු. ගංගාවක් තිබුනලු. එයා ගඟ මැදට ගියාලු. ඔක්කෝම දියවෙලා, දියවෙලා ගියාලු, මොකුත් නෑ ලු ඉතුරු වුනේ. හාමුදුරුවන්ට කිවුවහම කිවුවලු “ඔයටික තමයි කරගන්න ඕනෙ වුනේ, ආත්මෙ ඉවරයි. ආයි උපදින එකක් නෑ, ඒ උපදින එක දියවෙලා ගියා”
තව එක්කෙනෙක් කිවුවා “මමත් දැක්කා”
“ඔයා කොහොමද කිවුවෙ?”
“මම ඒ වගේ ගිහිල්ලා කඩදාසියක් වුනා. හුළඟේ ගියා වගේ, කඩදාසියක් යනවා වගේ ගියා. ඒක ගිණිගත්තා. අළුවෙලා අළුවෙලා ගිහිල්ලා හුලඟේ විසිරිලා ගියා. ඉතින් ඒක අතුරුදහන් වුනා…”
“ඔයාගෙ වැඩෙත් ඉවරයි” කිවුවලු. “ආත්මෙ කඩදාසියක් වෙලා පිච්චිලා ගියා, දැන් උපදින්න එකක් නෑනෙ, පිච්චිලා ඉවරයිනෙ, අළු වෙලත් ඉවරයිනෙ. දැන් ඔයා කොහොම හිටියත් උපදින්නෙ නෑ…” ඔය තව තීරණයක් දුන්නා.
දැන් බලන්න, මේ වගේ මානසිකත්වයන් කොයිතරම් ඇතිවෙනවද? මේ ධ්‍යාන ලාභීව වඩාගෙන යනකොට “උද්ගහ නිමිති” කියල අවස්ථාවක් තියෙනවා. මේ “උද්ගහ නිමිති” කියන එකෙන් තමන් මොනවහරි ගත්ත දෘෂ්ඨි, වාද, අරවා මේවා ගත්ත ඒවට අනුකූලව මනස හැදිලා ඔයිට අනුකූලව මනෝමය ක්‍රියාවලියක් අර හීන ලෝකයක් නිර්මාණය වුනා වගේ සිද්ධ වෙනවා. ඔය නිර්මාණය වෙච්ච හීන ලෝකය තුළ ඔය උද්ගහ නිමිති අවස්ථාවන් ඔයිට අනුව ක්‍රියාත්මක වෙනකොට, ඒක තමයි ඔය එකේ පෙන්වන ලක්ෂණ. “පටිභාග නිමිත්ත” කියන එකවත් නෑ ධ්‍යානයේ ඔතන. “උග්ගහ නිමිත්ත” කියන එකේදි සිද්ධවෙන දෙයක් ඕක, ඔහොම දේවල් සිද්ධවෙනවා. ඉතින් ඒවගේ අවස්ථා…
තව එක්කෙනෙක් ඔයවගේ කිවුවා “මං ඇඟෙන් පිටවෙලා ගියා, හරී ලස්සන කුමාරයෙක් වගේ වුනා, ඊටපස්සෙ ආයිසැරයක් බලනකොට ඔක්කොම මස්ටික දියවෙලා ගිහිල්ලා ඇටසැකිල්ලක් වගේ වුනා, ඒකත් අතුරුදහන් වුනා…” අර හාමුදුරුවො කිවුවනම් කියන්නෙ “ඔබගෙත් ආත්මෙ ඉවරයි, දියවෙලා ගියානෙ… ඇටත් ඉවරයිනෙ… ආයි ඇටකටු සහිත, මස් සහිත කයක් හටගන්න ඔබට හේතු නෑ, මොකද ආත්මෙ ඉවරයිනෙ…”
“ආත්ම දෘෂ්ඨිය” වත් ඇරගෙන නෑ නෙ… “මේක ඇතුලෙ ආත්මයක් තියෙනවා” කියන දෘෂ්ඨිය වත් ඇරිලා නෑ නෙ. තිබිච්චි එකක් පිච්චුනා කියල ගත්තහම, එතකන් මෙයාගෙ ආත්මයක් තිබිලා තියෙනවා. ඒක තමයි දියවෙලා ගියෙ. එහෙනම් “ඒකච්ච සාස්සතවාදියෙක්” නෙ, එතනම! මෙච්චරකල් ආත්මයක් තිබුණා…
“ආත්මයක් ඇත්ද, නැත්ද?” කියන ප්‍රශ්නෙ කියනකොට අර වච්චගොත්ත පරිබ්‍රාජකයට උත්තර දුන්නෙ නැතුවහම ආනන්ද හාමුදුරුවො අහනවා…
“ස්වාමීණී, ඇයි ඒකට උත්තරයක් දුන්නෙ නැත්තෙ?”
“මම එච්චරකල් ආත්මයක් කියල එකක් තිබුණා, දැන් නෑ කිවුවා නම්, ඒක නැතිකරන්නෙ මෙහෙමයි කිවුවා නම්, ආත්මයක් තියෙනවා කිවුව ගමන් එයා හිතාගන්නවා භවත් ගෞතමයන් වහන්සේටත් ඉස්සෙල්ලා ආත්මයක් තිබිලා තියෙනවා, උන්වහන්සේ විදර්ශනා වඩලා ඒක නැතිකරලා… ඒ වගෙම රහතන් වහන්සේලාටත් ඉස්සෙල්ලා ආත්මයක් තිබිලා තියෙනවා, ඒක මාර්ගය වඩලා නැතිකරගත්තා… කියලා මේ දෘෂ්ඨියට බහිනවා, ආත්මයක් නැතිකරන්න පුලුවන් කියල එකක් කිවුවනම්.
ආත්මයක් නෑ කිවුවනම්, පිං පවු කරන එකෙක් කවුරුවත් නෑ, ඔයවගේ කියන එක ඇත්ත, උච්ඡේද දෘෂ්ඨිය කියන එක තමයි එහෙනම් සත්‍යය… කියල ඒකට බහිනවා. වරද්දලා ගන්න තීරණය නිසා ඔය දෙකටම උත්තර දුන්නෙ නෑ” කිවුවා. {{ත්‍රිපිටක සූචිය}}
දැන් මේවගෙ දෙයක් තමයි ඔය සිද්ධකරන්නෙ.
{ 0:51:41 } : නිවැරදි ලෝකෝත්තර ආනාපානසතිය
මේ ආනාපානසතිය පිළිබඳව තේරුම්ගන්න ක්‍රම කීපයක් තියෙනවා. ලෞකික ආනාපානසතියත් තියෙනව, ලෝකෝත්තර ආනාපානසතියත් තියෙනවා. මේ දෙක වෙනම තෝරගන්න ඕනෙ. මේ ලෞකික වූ ආනාපානසතිය කියන එක බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහලවෙන්න ඉස්සෙල්ලත් ලෝකෙ ඉන්න යෝගීන් වැඩුව එකක්. ආලාරකාලාම, උද්දකාරාමපුත්ත ආදී වන්නාවූ අයත් ඕක වැඩුවා. ඒ කාලෙ හිටපු අයත් ඔය වාතය මුල්කරගෙන ගන්නාවූ “කසින මණ්ඩලයක්” හැටියට, “වායෝ කසිනය” ඔතන ගන්නෙ. ඔය වායුව මුල්කරගෙන, වායුවට හිත තියාගෙන, එකඟ කරපු හිතකින් “ආනාපානසතිය” කියල එකක් වැඩුවා.
හුස්ම අරගන්නවා, හුස්ම පහකරනවා, මෙන්න මේ කියන එකට හිත තියාගෙන, ඒ වාතය ඇසුරු කරගෙන, වාත අරමුණට හිත තියාගෙන, කාලයක් වඩනකොට ඒ මුල්කරගෙන, වාතය කියන්නෙ “රූපාවචර අරමුණක්”, කාමාවචර නෙමෙයි. ඒ රූපාවචර අරමුණට අනුකූලව ඒ සංඛාරය වඩලා, ඒකෙන් හටගත්තාවූ ධ්‍යානයට පත්වුනා. ඒකත් ධ්‍යාන මාර්ගයක්, එහෙම නැත්තෙ නෑ.
එතකොට මෙබඳු මාර්ග බුදුරජාණන් වහන්සේ අනුගමනය කරලා, මේක “අත්ථඛිලමතානුයෝගයට අයිතියි, මේකෙන් නිවන් දකින්න බෑ” කියල පැත්තකට කරපු එකක්. ඔය ආලාරකාලාම, උද්දකාරාමපුත්ත, ඔයගොල්ලො ලඟ ඉඳලා බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලෙදි ඔය ඔක්කෝම අත්හදා බැලුවා. එතෙක් තිබිච්ච සියලුම භාවනාවල් ඔක්කොම බලලා, කාම ලෝකයේ කාමාස්වාදයන් තියෙන ඒවා “කාමසුඛල්ලිකානුයෝගයට” ඒ පැත්තට වෙහෙසුනොත් යනව කියලා දැකලා, ඒ වාගෙම “මේ අත්බැව ක්ලාන්ත බවට පත්වෙනවා, වෙහෙසට පත්කරනවා මිසක්, මේවයෙ වෙන හරයක් නෑ, හටගත්ත යමක් ඇත්නම් විපරිණාමයට පත්වෙන, වැනසෙන දෙයක් මේකෙන් හම්බෙනවා මිසක්, බ්‍රහ්මයෙක් වුනත් වැඩක් නෑ, කවුරු වුනත් වැඩක් නෑ” කියලා එහෙනම් “එබඳු ප්‍රතිඵලයක් නම් දෙන්නෙ, එබඳු භාවනාවෙ ඇති හරය මොකද්ද? ක්ලාන්ත බවට පත්කරනවා වෙහෙසට පත්කරනවා මිසක්” කියලා, වැඩක් ඇති එකක්, නිවන් මඟක් නෙමෙයිනෙ, කියලා ඒකත් අත්හැරියා.
ඔය දෙකම අත්හැරලා තමයි “ඒ තේ තේ උභවන්තො අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා” {{ත්‍රිපිටක සූචිය}} කියලා පෙන්නුවෙ. මේ අන්ත දෙකම අත්හැරලා, මාධ්‍ය ප්‍රතිපදාව තුළින් තථාගතයන් වහන්සේ අවබෝධය ලැබුවා. දැන් මෙතෙන්දි අදත් පටලවාගෙන තියෙන්නෙ ඔය “ආනාපානසති භාවනාව” කියන දැනට භාවිත කරන හුස්ම ගන්න, අරින ක්‍රමය බුදුරජාණන් වහන්සේ අනුමත කරපු ආනාපානසති භාවනාව කියලයි අදත් භාවිතා කරන්නෙ. “ආස්සාස – පස්සාස” කියන මේ දෙක පිළිබඳව බුදුරජාණන් වහන්සේ පෙන්වපු තැන් ටිකක් ඉස්සෙල්ලා පරීක්ෂා කරලා බලලා ඉන්න ඕනෙ. බුදුරජාණන් වහන්සේ ආනාපානසති භාවනාව ගැන පෙන්වනකොට විග්රහ කරපු “අස්සසාස – පස්සසාස” කියන මේ වචන දෙක මොන අදහසකින් පෙන්වපු තැන් තියෙනවද කියලා ත්‍රිපිටකයෙ නොයෙක් තැන්වල පෙන්වල තියෙනවා. “ආස්සාස දහම් සහ අනස්සාස දහම්” ඔය දෙකේ වෙනස පෙන්වලත් තියෙනවා.
“හන්දාමයං ආනන්ද සබ්බේ සංඛාරා අනස්සාසිකා” – ආනන්ද, මේ සියළු සංස්කාරයෝම ආස්වාස විරහිතයි. ආස්වාස කරන්න වටින ඒවා නෑ, අනස්සාසිකයි. “සීහ සූත්‍රයේ” තියෙනවා, අංගුත්තර නිකායෙ සීහ සූත්‍රයේ සීහ සේනාධිපති අහන ප්‍රශ්න වලට උත්තර දීලා බුදුරජාණන් වහන්සේ වැඩිමනත් උත්තරයක් දුන්නා. “යමෙක් මට ආස්සාසවාදියි කියනවා නම්, කරුණු සහිතව කියන්නෙ, භවත් ගෞතමයන් වහන්සේ චාතුර් මාර්ගඵල සංඛ්‍යාත උත්තම ආස්වාසයෙන් ආස්වාසක වූයේ, එම උත්තම ආස්වාසය සඳහා දහම් දෙසන්නේ, එයින් සවුවනුද හික්මවන්නේ යැයි කියා නම්, මේ සත්‍යය කරුණයි, වෙන කරුණකින් නෙවෙයි…” {{ ත්‍රිපිටක සූචිය }}
මෙන්න බුදුරජාණන් වහන්සේට කෙනෙක් සත්‍ය වශයෙන් “ආස්වාසවාදියි” කියනවනම්, මෙන්න මේ හේතුවෙන් කියන්නෙ. “චාතුර් මාර්ගඵල සංඛ්‍යාත උත්තම ආස්වාසය” අන්න නිවනට ආස්වාස කියනවා කියලා වචනයක් එකතැනක විග්රහ කරලා පෙන්නුවා. අන්න, “චාතුර්මාර්ගඵල” කියල කියන්නෙ උත්තම ආස්වාසය. එහෙනම් ආස්වාස කරන්න කිවුවෙ මොනවද? මාර්ග ඵල අවබෝධය. අන්න ආස්වාසයක්. ඒ ආස්වාස මාර්ගය මොකද්ද, ආර්ය අෂ්ඨාංගික මාර්ගය. ආර්ය අෂ්ඨාංගික මාර්ගය ආස්වාස කරගෙන යනකොට එයා “අස්වැසිල්ලට” පත්වෙනවා, නැත්නම් ආස්වාසයට පත්වෙනවා. ඒ ආස්වාසය රාගක්ෂයයි, ද්වේෂක්ෂයයි, මෝහක්ෂයයි. ඒක තමයි ඵලය. මෙන්න මෙතෙන්ට පත්වීම සඳහා පෙන්වන මාර්ගයට කිවුවා, “ආස්සාසය” කියලා තව තැනක.
“අස්සාස සූත්‍රය” සහ “පරමස්සාස සූත්‍රය” කියලා සූත්‍ර දෙකක් තව අංගුත්තර නිකායෙ තියෙනවා. “ස්ඵර්ශ ආයතන හය පිළිබඳව උදයංගම, අත්ථංගම, ආස්වාද, ආදීනව, නිස්සරණ තතු සේ දකීද, එකල්හි ආස්වාසයෝ පූර්ණය…” මෙන්න පූර්ණ කරන ආස්වාසයක් ගැන තව සඳහන්වෙන තැනක්. දැන් මේවගේ ආස්වාස කියන වචනය බොහෝ තැන්වල ත්‍රිපිටකයෙ, පනස් පොළකට වැඩියෙන් ආස්වාස කියන වචනය භාවිත කරනවා, “අස්සසාස” කියන වචනය. “චත්තාරෝ අස්සසාසෝ අධිගතෝ හෝති” කියලා “වෛර පහක්, භය පහක් දුරුකළ සෝතාපන්න ආර්ය ශ්රාවකයා ඉහාත්මයේදීම…” ඒ කියන්නෙ මේ උපන් ආත්මයේ මැරෙනකන් ඉන්න කාලය තුළ “ආස්වාස හතරක් ලබනවා” කියලා දේශනා කළා “චත්තාරෝ අස්සසාසෝ අධිගතෝ හෝති” කියන වචනයෙන්.
ඒ ආස්වාස හතර කියන්නෙ මොනවද? යථාවබෝධය ලබාගෙන පවු අත්හැරපු, පංච දුස්චරිත, නැත්නම් ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර, මුසාවාද, පිසුණාවාචා, ඵරුෂාවාචා ආදී මේ දස අකුසල් අත්හැරලා ඉන්න, ඒවා වැඩක් නෑ කියලා දැනගන්න ආර්ය ශ්රාවකයට කවුරුහරි බණක් කියනවා, ඔය ඒ කාලෙ ඉන්නවා ඕනෙතරම් බණ කියකියා යන අය. එක එක දෘෂ්ඨි, ලබ්ධි අරගෙන කියනවා. පෙළක් අය කියනවා “පිං – පවු දෙකක් තියෙනවා, මේ පවු කරන්න හොඳ නෑ, පිං කරන්න…” එහෙම කියාගෙන යනවා. ඉතින් එයාගෙ කියමන අහලා, ඒ හේතුවෙන් පවු නොකර ඉන්නවත් පිං කරන්නවත් හේතුවක් අර ධර්මාවබෝධයෙන් යථාවබෝධය දැක්ක කෙනාට අවශ්‍යය නෑ. පවු තිබුණත් එකයි, පිං තිබුණත් එකයි, මට ඒක ප්‍රශ්නයක් නෑ, මං මේ පවු නොකර ඉන්නෙ ඒ හේතුවෙන් නෙමෙයි. මේක අවැඩ බව, දුස්චරිත බව, නොගැළපෙන බව, මම වටහාගත්ත නිසා, මං ඒ නිසයි නිකං ඉන්නෙ. මට පවු තිබුණත් එකයි ඕකෙ, පිං තිබුණත් එකයි, මට පවු – පිං නොතිබුණත් එකයි, මට ප්‍රශ්නයක් නෑ. මං මේවා නොකර ඉන්නෙ ඒ හේතුවෙන්. මේ මට ඕකෙ අමුතු බණක් අහන්න දෙයක් නෑ ඔහොම. පවු තියෙනවද, පිං තියෙනවද කියලා අහලා බලලා, ආ මං එහෙනම් පවු තියෙන හින්දා විශ්වාස කරලා නොකර ඉන්නම්කො…” එහෙම කියන්න එකක් අවශ්‍යය නෑ.
සමහරු කියනවා “ඔය පිං – පවු කියන එක බොරුවක්, ඔහොම දෙයක් ලෝකෙ නෑ. ඕවා මේ එක එක්කෙනා හදාගත්ත ඒවා…” ඔහොම බණක් ඇහෙනවා. “ඉතින් ඒ බණ කිවුවත් මගෙ මොකද? පිං – පවු කියන එක බොරු වුනත්, මට ඇති ප්‍රශ්නයක් නෑ. මං මේ පවු නොකර ඉන්නෙ ඒක ඇත්තද – බොරුද කියන ප්‍රශ්නෙ වත්, පවු සිද්ධ වෙනවද කියන ප්‍රශ්නෙ වත් උඩ නෙමෙයි, මේක වැරදි බව, දුස්චරිතයක් බව, නොගැලපෙන්නක් බව යථාර්තයේ වැටහිච්ච නිසයි මං නොකර ඉන්නෙ. හැබැයි කරපු කෙනාට පවු සිද්ධ වෙනවා. ඒ නිසා එයාට දුක් විඳින්න වෙනවා, අපාගතත් වෙන්න වෙනවා. හතර අපායෙත් යන්න වෙනවා. ඒක හින්දා කරන්න හොඳ නෑ. මං ඒ හින්දා පවු කරන්නෙ නැතුවා නෙමෙයි, මට සතර අපායක් තිබුණත් එකයි, නැතත් එකයි. මට ඒකෙ ප්‍රශ්නයක් නෑ. දුස්චරිතයක් නිසා, අවැඩක් නිසා, නොගැලපෙන්නක් නිසා යථාවබෝධය මට නුවණට වැටහිච්ච නිසා, මගෙ හෘද සාක්ෂියට එකඟව තේරුම්ගත්ත නිසා, මං ඔවා කරන්නෙ නෑ…” ඔය තුංවෙනි ආස්වාසයත් ලබනවා.
ඉතින් “පිං පවු කළත්, නොකළත් මේ සසර ගමන යම්කිසි ක්‍රමයකට ගිහිල්ලා කෙළවරවෙනවා..” ඔය ආදී වශයෙන් තව බණක් කියනවා. “ඉතින් මට ඔයගොල්ලන්ගෙ බණ අහලා කවදා හරි කොහොම කළත් එකයිනෙ, කෙළවර වෙනවනෙ… කියලා මට එහෙම අහලා මේ පවු කරන්න මට අවශ්‍යයතාවයක් නෑ. මං හෘදසාක්ෂියට එකඟව මේක අවැඩක්, දුස්චරිතයක්, නොකළයුත්තක් කියලා තේරුම්ගත්ත නිසයි මං පවු කරන්නෙ නැත්තෙ…”
මෙන්න මේ සෝතාපන්න පුද්ගලයා තමාට තමා සාක්ෂි කරලා දැනගෙන ඔය කියන හතර ආකාරයකින්ම ආස්වාසයක් ලබනවා, අස්වැසිල්ලක් ලබනවා. කාගෙවත් ප්‍රශ්න උඩ අසහනයට පත්වෙන්න දෙයක් නෑ. මෙන්න මේකට කියනවා “සතර අස්සාස”. මේ ආස්සාස කියන්නෙ මොකද්ද, යථාර්තය අවබෝධ කිරීම නිසා යම්කිසි අස්වැසිල්ලකට පත්වුනානම්, මෙන්න මේ අස්වැසිලි ස්වභාවයට පත්වීමට කියනවා “ආස්වාසයට පත්වුනා”. මෙන්න “සතියෙන්” තේරුම් අරගන්න ඕන “ආස්වාසය”.
සතියෙන් මෙන්න මේ ආස්වාසය තේරුම්ගත්ත කෙනාට පුලුවන්කම ලැබෙනවා අන්න එතෙන්ට පත්වෙන්න. ඒ පුද්ගලයා දන්නවා මේ අස්වැසිල්ල ලබාගන්න නම් “ආර්ය අෂ්ටාංගික මාර්ගය” මනා සේ ප්‍රගුණ කළයුතුයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය මනා සේ ප්‍රගුණ කරන පුද්ගලයට තමයි මේ කියන “නිවනේ අස්වැසිල්ල” හම්බවෙන්නෙ. “නිවන් ආස්වාසය” හම්බවෙන්නෙ. ඒ නිසා මං සතියෙන් යුක්තව ආර්ය අෂ්ටාංගික මාර්ගය තේරුම් අරං ඊට අනුකූලව හිතින් හිතන්න ඕනෙ, කියන්න ඕනෙ, කරන්න ඕනෙ, ඊට අනුකූලව. අන්න “සතෝව අස්සසති”.
එතකොට මෙයින් පිටස්තර තිබෙන්නාවූ යම්කිසි ලෝක මාර්ගයක් ඇත්ද, අනිච්චයි – දුක්ඛයි – අනත්ථයි. ඒක ආස්වාස කරන්න ගියොත් එහෙම මෙච්චර කල් මේ සසර ගමනේ ආවා වගේ මට සිද්ධවෙන්නෙ “අනස්සාසික දහමක්” ආස්වාස කරන්න. ඒවා ආස්වාස කරන්න ගැලපෙන්නෙ නෑ, පස්සාස කළයුතුයි, පහකළයුතුයි. එහෙනම් “අනාර්යෂ්ඨාංගික මාර්ගයේ” යමක් ඇත්ද, පස්සාස කරමින්, ආර්ය අෂ්ටාංගික මාර්ගය යයි යමක් ඇත්ද, ආස්වාස කරමින් කටයුතු කරන කෙනාට නිවන නැමැති ආස්වාසය පූර්ණ වෙනවා.
ආස්වාසය පූර්ණ වුනහම මේ චක්ඛු සම්ඵස්ස, සෝත සම්ඵස්ස, ඝාන සම්ඵස්ස, ජිව්හා සම්ඵස්ස, කාය සම්ඵස්ස, මනෝ සම්ඵස්ස කියන මේ ප්‍රිය-මනාපයි කියන මේ ස්ඵර්ශයන් අල්ල අල්ලා, එකතුවෙලා, ඒ පස්සෙ හඹාගෙන ගිය කෙනාට ඔන්න ඔයටිකේ “මේවා මේ අවිද්‍යාව නිසා, තෘෂ්ණාව නිසා මෙසේ උදාවෙනවා…” කියලා දකිනවා “උදයංගමය” දකිනවා. ඒ අවිද්‍යාවේ, තෘෂ්ණාවේ බැහැලා තීරණ අරගෙන, ඒවා අත්විඳින්න යනකොට “අත්ථංගමය” ඒකයි කියලා දකිනවා, උදාවෙන ඒවයෙ හැටි. ඒවයෙ අවිද්‍යාසහගත මුළාව නිසා ලබන්නාවූ “ආස්වාදය” මේ ආකාරයි කියලා දකිනවා, ඒවා අල්ලන්න ගිහිල්ලා ලබන්නාවූ කෙළවරක් නැති “ආදීනව” මේවයි කියලා දකිනවා. ඕක අත්හැරලා දැම්මහම දුකෙන් නිදහස් කියලා දකිනවා. ඔන්න ඔයටික හරියට පූර්ණය කරපු දාට ස්ඵර්ශ ආයතන හය පිළිබඳ උදයංගම, අත්ථංගම, ආස්වාද, ආදීනව, නිස්සරණ තතු සේ පූර්ණ කරන්නේද, එදාට ආස්වාසය පූර්ණයි. එදාට නිවන් සැනසිල්ල, අස්වැසිල්ල පූර්ණයි, අරිහත්වය!
මෙන්න කෙටියෙන් කියනවනම් මේ ආර්ය විනයේ ආස්වාස සහ ප්‍රස්වාස දෙක, නිවන් දකින්න තියෙන. දැන් මේක එකක්, ඉතින් මේකෙදි “යන-එන, කරන-කියන, කතා කරන – නොකරන, වටපිට බලන, මල – මුත්‍රා පහකරන, මේ ආදී සියලු ඉරියවු පවත්වන හැම මොහොතක් පාසාම රාගයට, ද්වේෂයට, මෝහයට හේතුවෙන වැඩපිළිවෙලක්ද, ලෝක පැවැත්මට හේතුවෙන වැඩපිළිවෙලක්ද, එහෙම නැත්තම් රාගක්ෂයට, ද්වේෂක්ෂයට, මෝහක්ෂයට හේතුවෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අයිති වැඩපිළිවෙලට අයිති වන්නාවූ ක්‍රියාවක්ද, කතාවක්ද මං මේ කරන්නෙ, කියන්නෙ? ඊට අනුකූල වන්නාවූ ධර්මයක්ද මේ හිතන්නෙ? ඊට අනුකූල වන්නාවූ දෘෂ්ඨිය පිරිසිදු කරගෙනද මේ ඉන්නෙ?
එහෙනම්, සම්මා දිට්ඨියෙන්ද මං ඉන්නෙ?
මම නිතර ගතකරන්නෙ සම්මා සංකප්පයෙන්ද?
මගෙ වචන සම්මා වාචාවට අනුකූලවද, බොරු නැති, කේලාම් නැති, ඵරුෂ – ප්‍රලාප නැති එකක්ද?
මගෙ ක්‍රියාව ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාරයෙන් තොර එකක්ද?
මගෙ ජීවත්වීම දැහැමින්, සාමයෙන්, කෙනෙකුට කරදරයක් නැති, බාදකයක් නැති, නිවන් මඟට හිත පිහිටුවාගෙන, ඒ සඳහා උත්සාහය – වීර්යය කරමින්, ඒ සඳහා වෙන ජීවත්වීමක් ද?
මගේ උත්සාහයක් – වීර්යයක් තියෙනවද මේ නිවන් දැකීමට හේතුකාරක වන්නාවූ ආර්ය මාර්ගය තේරුම් අරං ඊට අනුකූලව හිතන්න, කියන්න, කරන්න කරන උත්සාහයක්, වීර්යයක්ද තියෙන්නෙ?
එහෙනම් මට පිහිටල තියෙන ඇත්ත – නැත්ත දැනගැනීමෙදි, සත්‍යය දැනගැනීමෙදි මේ ලෝක පැවැත්මයි, මේ නිර්වාන පැවැත්මයි කියලා පැවැත්මට අනුකූල දේ දැකලා, ඊට අනුකූලව සිහි-නුවණින් තේරුම්ගන්න පුලුවන් නුවණ මට්ටමකද මම ඉන්නෙ?
ඊට අනුකූල අකම්ප්‍ය භාවයට මම පත්වෙලාද?”
ඔයටික තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කිවුවෙ.
දැන් මට තියෙනවද අත්හැරුණු බව, නො ඇලුනු බව, මිදුනු බව, මේ කෙරෙහි සංසිඳී ගිය බවට නුවණක් තියෙනවද? එහෙම ඥානයකින් මට වැටහෙනවද මා ලඟ එහෙම එකක් තියෙන බව? එහෙනම් සම්මා ඥානත් තියෙනවා. දැන් මට මිදීමේ ශාන්තියකුත් ලැබිලා තියෙනවද? එහෙනම් සම්මා විමුක්තියකුත් තියෙනවා.
පූර්ණද?
පුර්ණ වෙච්ච දාට, පූර්ණයි කියලා දැක්ක දාට කියනවා “මෙයින් එහාට කරන්න දෙයක් නෑ, කළයුතු සියල්ල කරලා ඉවරයි, මතු කරන්න දෙයක් නෑ, සියල්ල පූර්ණය කරලා ඉවරයි. ආස්වාසය පූර්ණයි, අරිහත්වය පූර්ණයි!”
මෙන්න ආර්ය විනයෙහි “ආස්වාසය”. කෙටියෙන් කිවුවෙ ඔයටික.
දැන් ඉතින් මේකෙ තියෙනවා (ස්වාමීන් වහන්සේ ශ්‍රාවකයකු විසින් එවන ලද පැණයක් කියවමින්) අරඤ්ඤගතෝවා…. මේ… “කතමාචානන්ද ආනාපානසති” කියලා මේ පෙන්නන ආකාරයෙන් තියෙනවා. ඉතින් “ඉදානන්ද භික්ඛු අරඤ්ඤගතෝවා, රුක්ඛ මූලගතෝවා, සුඤ්ඤාගාරගතෝවා…” දැන් ඔතන ඉඳන් පටන්ගන්නකොටම ක්‍රම දෙකක් ලෝකෙත් තියෙනවා. ලෝකෙත් අරඤ්ඤ ගතවීමක්, රුක්ඛ මූල ගතවීමක්, සුඤ්ඤාගාර ගතවීමක් තියෙනවා. ඒක භෞතික ලෝකෙ තියෙන සම්මතයක්. ආරණ්‍යයට ගිහිල්ලා හරි, ගහක් මුළ ඉඳගෙන හරි, මිනිස්සු නැති හිස් ගෙයකට ගිහිල්ලා හරි කරන එකක්.
බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේශනාව තුළම තියෙනවා මේ “ආර්ය විනයේ” අරඤ්ඤ ගතවීම කියල කියන්නෙ, මේ රාග ද්වේෂ මෝහයන්ට දැවෙන, තැවෙන, කම්පණයවෙන ගති ලක්ෂණ වලින් වෙන්වෙලා, සටනට පත්වෙන්නාවූ, ගැටීමට, තරඟකාරීත්වයට පත්වෙන්නාවූ මානසිකත්වය දුරුකරලා, තැන්පත් මානසිකත්වයක් ඇතිවීමක් ඇත්ද, මේක අරඤ්ඤගතයි.
රුක්ඛ මූලයක් වැනි, දැන් ගහේ උඩ කම්පා වෙනවා. හුළඟ එනකොට ඒ අතන නැවෙනවා, මේ අතට නැවෙනවා. ගහේ මුළ හෙල්ලෙන්නෙ නෑ. රුක් මුළක් හා සමාන තත්වයට මනස පත්කරගත්තහම එයා ඇළීම්, ගැටීම්, මුළාසහගත වැඩවලින් අකම්ප්‍ය භාවයට පත්වෙලා ඉන්නෙ. එයාව හොල්ලන්න බෑ. “යතින්දඛීලෝ පඨවිං සිතෝසියා – චතුම්භි වාතේහි අසම්පකම්පියෝ” අන්න ඒවගේ තත්වයට පත්වෙනවා. ඉන්ද්‍රඛීලයක් හතර පැත්තෙන් එන වාතයෙන් කම්පා කරන්න බැරුවා වගේ, අකම්ප්‍යය තත්වය. අන්න ගහ මුළ වගේ තත්වය ඒකයි. ගහේ උඩ කැළඹුනට මුළ කැළඹෙන්නෙ නෑ, රුක් මුළ වගේ.
ඒ වගේම පෙන්වනවා, තමා මේ ඉන්න ගේ, නැත්තම් මේ ශරීරය ශුණ්යාගාරයක් කරන්න. මේක ඇතුලෙ රාගයට, ද්වේෂයට, මෝහයට කටයුතු කරන්න ඉඩදෙන්න එපා. ඒ මුළා සහගත ලෝභයට, ද්වේෂයට, මෝහයට කටයුතු කරන්නෙ නැත්නම්, මේක ඇතුළෙ එබඳු කැළඹීම් එකක්වත් නැත්නම්, ඒක රාගයෙන් ශුණ්‍යයි, ද්වේෂයෙන්, මෝහයෙන් ශුණ්‍යයි. මෙන්න මේ තත්වයට පත්වීමයි මුල්කරගන්නෙ. අරණ්‍යයක් මෙන්, රුක් මුළක් මෙන්, ශුණ්යාගාරයක් මෙන් මනස සකස් කරගැනීමයි මේ මූළධර්මයේ ස්වභාවය.
“නිසීදති පල්ලංකං” දැන් එරමිණිය ගොතාගෙන ඉඳගන්න කියලා මේකට කියන්නෙ. “පල්ලංකය” කියල කියන්නෙ මොකද්ද? පහතම තැන. “පා පිස්නා බිස්සක් සේ මන් නැතුව…” කියල පෙන්නනවා. මානයක් නැතුව ඉන්නලු පාපිස්නා බිස්සක් වගේ. අන්න, අහංකාර කමක් නැතුව, මානයට පත්වෙන්නෙ නැතුව, පහතම තැන ඕකයි ලෝකෙ තියෙන. උච්ඡස්ථානය තමයි මාන්නය. මාන්නයට පත්වෙන්නෙ නැතුව පල්ලෙම තැන හිටියා නම්, “නිසීදති පල්ලංකං”
“උජුං කායං” – ක්‍රියා කලාපය අවංක කරගන්න. කොන්ද කෙළින් කළාට හරියන්නෙ නෑ, භාවනා කරනකොට කොන්ද කෙළින් වෙනවා, ඒක වෙනම ක්‍රමයක්. එහෙම ක්‍රමයක් තියෙනවා. “කායජ්ජුතුකා” කියන වචනයෙන් පෙන්වන්නෙ ක්‍රියා කළාපය අර ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර ආදී වංක වැඩ වලට යොදන්නෙ නැති තත්වයට පත්වෙන්න. අවංක කාය ක්‍රියා කළාපයක් ඇතිකරගන්න.
“පණිදාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා” – සතිය මුල්කරගෙන, “පණිදාය පරිමුඛං” ප්රණිදාය කියල කියන්නෙ, අපි යම්කිසි ප්‍රණීතත්වය, නැත්නම් නිවන කරා යන්නාවූ තැනක හිත පිහිටුවාගෙන, මූඛ්‍ය කරගෙන, මූඛ්‍ය පරමාර්ථය කරගෙන පිහිටුවාගන්න. නිවන මුල් කර හිත පිහිටුවාගන්න කියන එකයි ඔය “පණිදාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා”.
“සෝ සතෝව අස්සසති” – අන්න එසේ ඉඳලා සතියෙන් යුක්තව, සිහි නුවණින් තේරුම් අරගෙන නිවන් මඟ, නිවනට හේතුවෙන මාර්ගය තමයි ආස්වාස කරන්න කිවුවෙ.
“සතෝව පස්සසති” – ඒ සතියෙන්ම නිවනට හේතු නොවන්නාවූ ලෝක මාර්ගය දැනගෙන, දුක් ඇතිවෙන මාර්ගය දැනගෙන ප්‍රස්වාස කරන්න, පහකරන්න. දැන් ඕකෙන් ආරම්භ කරන්න.
“දීඝංවා අස්සසංතෝ දීඝං අස්සසාමීති පජානාති” – දැන් මොකද්ද කරන්නෙ? ඇසුරු කරනහැටි, පහ කරනහැටි දැනගන්න ක්‍රමයක් තියෙනවා. දැන් මෙච්චර කල් මේ සසර ගමනෙ ඇවිදිල්ලා හුරු පුරුදු හදාගෙන ආපු රාග ගති, ද්වේෂ ගති, මෝහ ගති, ජඩ ගති එක එක ගති තියෙනවා. ගති පුරුදු බවට පත්වෙලා. පුරුදු බවට පත්කරගත්ත ඒවා ලේසියෙන් දහමක් අහලා “මෙන්න මේක බණ, ඕක වැරදියි” කිවුවට එහෙම හරියන්නෙ නෑ. ඒ වරදේ ආදීනව බොහෝකොට බලලා, වෙන්වීමේ ආනිසංස බොහෝකොට සිහිකරනකොට තමයි ඒකෙන් අයින්වෙන්න පුලුවන්. අන්න “දීර්ඝ ආස්වාස” දැනගන්න ඕනෙ. දීර්ඝ ලෙස දහමක් ආස්වාස කරන්න ඕනෙ, ආදීනව බලමින්, නිවනේ ආනිසංස බලමින්, තමන් කරපු අවැඩක්, අසාධාරණයක්, අයුක්තියක්, කිළිටක් තියෙනවනම්, ඒ කිළිටි ගතිලක්ෂණය කොච්චර ආදීනව සහිතද, “මේ රාග කිළිටක් මට එනවා, මහ දැඩිව එනවා. මේක නිකං හටගත්ත එකක් නෙමෙයි, මෙබඳු දුස්චරිත ඇසුරු කරලා හටගත්ත එකක්. මේකෙ ආදීනව මෙන්න මේ ආකාරයි, මේකෙන් වෙන්වීම කොච්චර ශාන්තද, ප්‍රණීතද…” කියලා මෙහෙම දීර්ඝ ලෙස ඇසුරු කරන්න ඕනෙ. දහම ඇසුරු කරලා ඕනෙ අර විෂ සහගත, දුෂ්ට සහගත, දුස්චරිත සහගත ගතිය අයින්කරගන්න.
අන්න, මුළදි පටන් අරගන්නෙ දීර්ඝ ලෙස ඔය තියෙන ඒවා දැකලා අල්ලගන්න ඕනෙ. ඕවා තමයි ලොකුම අසහන. රාගය නිසා රත්වෙන, ද්වේෂය නිසා දැවෙන නානාප්‍රකාර ක්‍රම තියෙනවා එක එක්කෙනාට, එක එක විදිහේ. ඉතින් මුළ ආරම්භ කරලා ගන්නකොට ඇළීමයි ගැටීමයි, යම් තැනක ඇළීම හටගන්නකොටම ගැටීම එතන, මුළාව එතන. එහෙනම් ඇළීමයි, ගැටීමයි, මුළාවයි දුරුකරන රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය කරන මාර්ගය තියෙද්දි ඉස්සෙල්ලම දැනගන්න ඕනෙ, “මගෙ හිත මේ ලෝක ආස්වාදයන්ගෙන් මොනවටද වැඩිපුර ඇලෙන්නෙ? මොනවටද ගැටෙන්නෙ? ගැටෙන්න හේතුවක් එනවනම් ඒ හා සමානව බලවත් එකක් ඇලෙන්න හේතුවක් තියෙන්න ඕනෙ එතන. එහෙනම් ඇලෙන්න වෙච්චි හේතුව මොකද්ද කියලා මං හොයාගන්න ඕනෙ” කියලා තමා තමා ගැන හොයාගන්න ඕනෙ.
“මෙන්න මෙබඳු අදහස් එනකොට, මෙන්න මෙබඳු රූප ඇහැට පේනකොට, මට කාමයෝ නැඟී එනවනෙ… මෙබඳු හඬ ඇහෙනකොට, මෙබඳු ගන්ධ, රස, ස්ඵර්ශ එනකොට, මට කාමයන් පාලනය කරගන්න බෑ නෙ… එහෙනම් මට තියෙන ලොකු ප්‍රශ්නයක් ඕක…. අන්න, දීර්ඝ ආස්වාසයකින් ඕක අයින්කරන්න ඕනෙ, පහකරන්න ඕනෙ එකක්…” දැන් ධර්මය වශයෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අනුකුලව ඒ අපි ඇසුරු කරන, වටිනවයි කියල හිතාගත්ත, පංච කාමයන්ගෙන් අල්ලගත්ත එකේ ආදීනව බලමින්, ඒක අත්හැරී, නො ඇලී, මිදී ගියානම් කොච්චර ශාන්තද, ප්‍රණීතද කියලා ආනිසංස සිහිකරමින්, යළි යළි ආවර්ජනය කරමින් කාලයක් යනකොට, දීර්ඝ ලෙස ආස්වාස කිරීමක්, දීර්ඝ ලෙස ප්‍රශ්වාස කිරීමක් සිද්ධවෙලා, සමතයට පත්වෙනවා අරකෙන් දැඩි කාමය. දැන් එයාට තේරෙනවා, “දැන් නම් ඉස්සර වගේ ප්‍රශ්නයක් නෑ… දැන් යන්තම් යන්තම් මතුවෙන්නෙ..” දැන් කෙටි කළහැකි. ඉස්සෙල්ලා යන්තම් සිහිකළාට නවත්තන්න බෑ. බොහෝ ආදීනව සිහිකරලා, වෙන්වීමේ ආනිසංස සිහිකරලා, මෙහෙම යනකොට තමයි, භාවනානුයෝගීව කටයුතු කරනකොට තමයි මේක සංශුද්ධ වෙන්නෙ. දැන් මොකද වෙන්නෙ? ක්‍රම ක්‍රමයෙන් සකස්වෙලා අන්න කෙටි වෙනවා.
දැන් “රස්සංවා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති – රස්සංවා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති” – දැන් පුලුවන් කෙටියෙන්ම අරවගේ රාගයක්, ද්වේෂයක්, මෝහයක්, අරමුණක් එන මොහොතක් එනකොටම, සුළුවෙන්, මොහොතින් හිතනකොටම වැඩිච්ච ප්‍රඥාවට, වැඩිච්ච මාර්ගයට අහුවෙලා “අසාරයි, අසාරයි” කියලා වැටහෙනවා. වැටහෙනකොට මොකද වෙන්නෙ? පහවෙලා යනවා අර රාග, ද්වේෂ මෝහයෝ. දැන් දකිනවා, “දැන් ඉස්සර වගේ නෙමෙයි, දැන් යන්තම් ධර්මය සිහිකරනකොටත් රාග ද්වේෂ මෝහ පහවෙලා යනවනෙ… පවතින්නෙ නෑ නෙ…” අන්න එකින් එක දැනගන්න හැටි.
එතකොට මොකද කරන්නෙ? එතකොට එයා දැනගන්නවා, “දීඝංවා අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජානාති” දැන් එයා දැනගන්නවා මේ ධර්මය, මේ ධර්මය හැටියටම දැනගෙන, ඒකෙ ප්‍රතිඵලත් පෙනි පෙනී, දැනුවත් වෙලාම ඒ විදිහට පහකිරීමත් දැනගන්නවා ඒ විදිහටම. ඊටපස්සෙ “රස්සංවා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති – රස්සංවා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති” දැන් එතෙන්ට එනකොට එයා දන්නවා “පෙර මෙන් රාග, ද්වේෂ, මෝහ දැන් මතුවෙන්නෙ නෑ බලවත්ව, මතුවෙලා එනකොටම, ධර්මය සිහිකරනකොටම ඒක හිඳිලා යනවා…” දැන් ඒ තත්වයට පත්වුනා.
අන්න “සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති” – දැන් ඉතින් හික්මෙන හැටි. දැන් එයා බලනවා “මොනවද සබ්බ කාය?” චක්ඛු කාය – රූප කාය, සෝත කාය – සද්ද කාය, ඝාන කාය – ගන්ධ කාය, ජිවුහා කාය – රස කාය, කාය කාය – ඵොට්ටබ්බ කාය, මනෝ කාය – ධර්ම කාය, ඔච්චරයි කාය තියෙන්නෙ. ඇස, කන, දිව, නාසය, ශරීරය, මන, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්ඵර්ශ, ධර්ම කියන මේවායේ බැඳෙන හැටි, මේවයෙ ඡන්ද රාගයෙන් බැඳිලා ඉන්න ආකාරය එකින් එකට බලනවා.
මගෙ ඇහැ කෙරෙහි ඡන්ද රාගයෙන් මං තව බැඳිලා ඉන්නවද? මොන මොන රූප කෙරෙහි මගෙ ඡන්ද රාගය තව ඇදිලා බැඳිලා යනවද? කන කෙරෙහි මගෙ ඡන්ද රාගය කොහොමද? කන පැවැත්වීම ගැන කොහොමද? කුමන කුමන ශබ්දයන් කෙරෙහි මගෙ හිත බැඳෙනවද? නාසය කෙරෙහි මගෙ තියෙන ඇලීම, බැඳීම කොහොමද? ගන්ධයන් කෙරෙහි ඇලීම, බැඳීම කොහොමද? දිව කෙරෙහි, රසය කෙරෙහි, කය කෙරෙහි, පහසවල් කෙරෙහි ඇලීම – බැඳීම කොහොමද? අන්න ඒ ටික බලනකොට මොකද වෙන්නෙ, “සබ්බකාය පටිසංවේදී” හොඳට පැහැදිලිවෙන්න පටන්ගන්නවා “මේ තියෙන්නෙ තව අහවල් අහවල් තැන්වල…!” බලවත් හරිය ගෙවිලා ගිහිල්ලා රාග ද්වේෂ මෝහ නැතුවා වගේ පෙනුනට, තව තියෙනවා මේ කායන්ට බැඳිච්චා… මගෙ, මගෙ ඇහැට මං හරි ආසයිනෙ… ඇහැ පවත්වන්නත් ආසයිනෙ… ඒ ඇහැට ගෝචර වෙන රූප, ඔක්කොම පවත්වන්න මං කැමති නොවුනට මට අහවල් අහවල් ඒවා දකින්න මං කැමතියිනෙ… ඒවා යළි යළි දකින්න මං කැමතියිනෙ… අන්න මන අර මෙහෙයවීම කරනවා, අන්න බැඳිච්ච තැන්. අන්න අපි ලෝකෙට බැඳුනා, “මම” කියන එකෙන් “මගෙ” කියන ඒවට බැඳුන හැටි.
ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන ඒවට බැඳිලා තියෙන්නෙ කොච්චරද? කොයි කොයි විදිහටද බැඳුනෙ? එහෙනම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්ඵර්ශ, ධර්ම කෙරෙහි කොච්චර බැඳිලා තියෙනවද? මොන මොන විදිහටද මගෙ හිත යන්නෙ? අරමුණු යනකොටම දැනගන්නවා බැඳිලා තියෙන ආකාරය, අන්න “පටි” දකිනවා – බැඳිලා තියෙන බැඳුම්, ඡන්ද රාගයෙන්. එතකොට මොකද වෙන්නෙ? ඒක දැක දැකා මොකද කරන්නෙ, බැඳිලා ඉන්න එක ආදීනවයක් කියලා ධර්මානුකූලව දකිනවා, වෙන්වීම, අත්හැරී, නො ඇලී, මිදීම ආනිසංස වශයෙන් සිහිකරනකොට අන්න මිදි මිදී යනවා. එතකොට මොකද වෙන්නෙ? “සබ්බ කාය පටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති” දැන් මේ හික්මෙන ආකාරය.
“ඵස්සං භයං කායසංඛාරං අස්සසිස්සාමීති සික්ඛති” මේ කාය සංඛාරයෝ පහකරදමනවා කියලා මං ඒකටයි මේ දහම් ඇසුරු කරන්නෙ, දහම හොඳ හින්දා නෙමෙයි. පෙළක් අය දහම් ඇසුරු කරන්නෙ ලොකුකම අරගන්න, ලොකු ධර්මධරයෙක් වෙන්න, අනික් අයට බණ කියලා ජයගන්න, ඔයවගේ පණ්ඩිතකම් වලට පෙළක් අය බණ හොයාගන්නෙ, ධර්මය පස්සෙ යන්නෙ. දැන් මම යන්නෙ ඒකට නෙමෙයි, මේ කාය සංඛාරයක් ඇත්ද, මේ කාය සංඛාරයෝ පහකර දමන්න ඕනෙ. මෙන්න මේ සඳහයි මට ධර්මය ඕනෙ. අනුං එක්ක වාද කරන්නවත්, අනුංගෙන් ජයගන්නවත්, එහෙම එකකට මට ඕනෙ නෑ. මං මෙච්චර දන්න කෙනෙක් කියලා – දැන උගතෙක් කියල ලෝකෙට පෙන්නන වත්, ඒවාට නෙමෙයි මං මේ ධර්මය හොයාගන්නෙ. එහෙනම් මට ඕනෙ කරන්නෙ මේ කාය සංඛාර පහකිරීම සඳහායි මං මේ ධර්මය ඇසුරු කරන්නෙ; වෙන එකකට නෙමෙයි. “ඵස්සං භයං කාය සංඛාරං පස්සසිස්සාමීති සික්ඛති” මේ කාය සංඛාර වශයෙන් මේ කය මුල්කරගෙන කරන්නාවූ යම්කිසි අවැඩක් ඇත්ද, දුස්චරිතයක් ඇත්ද, පාපයක් ඇත්ද, මෙන්න මේ ටික අයින් කරගැනීමයි මගෙ පරමාර්ථය. මම ඒ සඳහායි මේ දහම ඇසුරු කරන්නෙ, ඒ ඇසුරු කරගෙන ඒකටමයි මේ පහකරන්නෙ. වෙන මොකුත් ලබන්නවත්, ලෞකික සම්පත්තියක් ලබන්නවත් නෙමෙයි. මෙන්න මෙතෙන්ට එනකොට මොකද වෙන්නෙ? ඔන්න ඕකට කියනවා “කායානුපස්සනාවෙ” කොටස. සතර සතිපට්ඨානයෙන් කායානුපස්සනාවෙ යෙදෙනවා ඔතෙන්ට එනකන්.
දැන් ඔතනින් එහාට ඉතුරු ටික පස්සෙ ඊලඟ දවසක ගමු, කායානුපස්සනාවට අනුකූලව ඔය ආර්ය මාර්ගයට වැටෙන ආකාරයේ එක ක්‍රමයක් ඔය පෙන්වන්නෙ. ඒ වගේම මේ ආනාපානසතියෙ එන මේ හුස්ම ගැනීම සම්බන්ධයෙනුත්, හෙළීම සම්බන්ධයෙනුත් තව ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය දැනගන්නත්, ඉස්සෙල්ලා මේ ක්‍රමය වටහගෙන ඉන්න ඕනෙ. මේ ක්‍රමයෙන් දහම් තේරුම්ගත්තට පස්සෙ තමයි ආස්වාස – ප්‍රස්වාස කරන වාතයේ ඒ එක ක්‍රමයකට හිත තියලා ගිහිල්ලා ඒ තුළින් ධ්‍යානයෙන් නව අනුපූර්ව සමාපත්තියට යන්න පුලුවන් තව ක්‍රමයක් තියෙනවා, චේතෝ විමුක්තියට. ඒක ඊලඟට විස්තරයක් කරන වෙලාවකයි, මේක දැනගත්තට පස්සෙයි ඒක කරන්න ඕනෙ. ඉස්සෙල්ලා “චේතෝ විමුක්තිය” ලබන්න ඉස්සෙල්ලා ධර්මය තේරුම් අරං ඉන්න ඕනෙ. නිවන් මඟ වැඩෙන මාර්ගය තෝරගන්න ඕනෙ. ඊටපස්සෙ තමයි ඒකට අනුකූලව අර ආස්වාස – ප්රාස්වාස කරන වාතයේ ක්‍රියා කළාපය බලන්න පුරුදුවෙන්න ඕනෙ ඊටපස්සෙ. ඒ මූළධර්මය දකින්නෙ නැතුව අර ක්‍රමය බලන්න ගියාට, අලි බලන හැටි දන්නෙ නැතුව හෙන්ඩුව අරගෙන අලි බලන්න ගියා වගේ වෙනවා. වැඩේ හරියන්නෙ නෑ, ඒකෙන් වෙන්නෙ තැළිලා මැරුම් කන්න. ඒ වගේ, ඉස්සෙල්ලා අලි නිල සාස්තරේ දැනගෙන, ඒ වැඩේ ඉගෙනගෙන, ඊට පස්සෙ ඕනෙ හෙන්ඩුවත් අරං අලියා ලඟට යන්න. ඒක පැත්තකින් තියලා නිකම්ම හෙන්ඩුවත් අරං අලියා ලඟට ගිහාම ඔය අපිට වෙන්නෙ අලියට පෑගිලා, බොකු එළියට යන්න තෙරපෙන්න.
(ශ්‍රාවක මහතෙක්): ඊයෙ මම කියවපු සූත්‍රයක තිබුණා බුදුරජාණන් වහන්සේ දේශනා කරන, මේ සූත්‍රයේ නම මතක නෑ, කනෙන් ආස්වාස කරන එකයි, නාහෙන් ආස්වාස කරන එකයි, කටින් ආස්වාස කරන එකයි නැවැත්තුවම ශරීරයට යකඩ උලකින් අනින්නා වගේ තද වේදනාවක් එනවා කියලා.
(ස්වාමීන් වහන්සේ): තියෙනවා. දැන් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළා “අරිය පරියේෂණ සූත්‍රයේ” {{ත්‍රිපිටක සූචිය}} “ආර්ය පර්යේෂණය කරපු මුල් කාලයේ මං මේවා කළා. ඒවා කරලා බලලා, බලලා වැඩක් නෑ කියලා දැනගෙන තමයි මම ඒවා අත්හැරලා දාලා මේ මාධ්‍ය ප්‍රතිපදාව හොයාගත්තෙ. ඕවා තමයි ඉස්සෙල්ලා කළේ. ඔච්චර විතරක් නෙමෙයි, සොහොන් වල හිටියා. සොහොනෙ ඉඳලා ඇට කෑලි වලින් මුලු ඇඟ වහගෙන මහා අවුවෙ ඇට අස්සෙන් එන රස්නෙට තැම්බි තැම්බී, ඒවා ඉවසගෙන, අර ගඳ ඉවසගෙන, එහෙමත් සොහොන් වල හිටියා. මෙහෙමත් පවු තවන්න හැදුවා. ඔය අස්සෙ කොල්ලො ඇවිදිල්ලා මොකද කරන්නෙ, අර දිග ඇටකෑලි අරගෙන, අරවා අස්සෙන් බලලා අනිනවා ඇඟට. ඇඟට ඇන්නට පස්සෙ මොකද කරන්නෙ, ඇලීමට – ගැටීමට පත්වෙන යෝගීන්ට හරි තරහා යනවා. අසභ්‍ය වචනයෙන් බැනගෙන, දඩි බිඩි ගාලා නැඟිටලා කොල්ලො පස්සෙ පන්නනවා අර ඇට ගොඩවල් විසිකරගෙන. ඇඟම ඇට වලින් වහගෙන තමයි මේක අස්සෙ ඉන්නෙ. අර ඇටකෝටු වලින් ඇන්නම මෙහෙම විසිකරනවා. ඒ පුරුද්දට උන් ඇවිදිල්ලා මටත් ඇනලා ගියා. හැබැයි මම ඉවසගෙන, සද්ද නැතුව නිකං හිටියා”.
“ඒ තාපසයට ඇන්නට වැඩක් නෑ, ඒ තාපසයා අපිට ඒකට අපේ පස්සෙ පන්නන්නෙ නෑ නෙ… එයාට ඇනලා වැඩක් නෑ, එයා එක්කලා විහිළුවට ගන්න බෑ, අපි නිකං ඉමු”, කියලා නිකං හිටියා කියල තියෙනවා. “ඒවා ඉවසගෙන හිටපු නිසා ඒ කොල්ලන්ගෙන්, කුරුට්ටන්ගෙන් ඇතිවෙන ප්‍රශ්නයක් මට ආවෙ නෑ… “කියලා එහෙමත් තියෙනවා.
මේ ආරිය පරියේෂණය. ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගය නෙමෙයි, අත්ථඛිලමථානුයෝගයට හය අවුරුද්දක් තියලා දුෂ්කර ක්‍රියා කරපු කාලෙ කරපුවා, ඔහොම පෙන්වලා තියෙනවා. එකක් – දෙකක් නෙමෙයි, නානාප්‍රකාර ක්‍රම. “අප්රාණිකධ්යානය” කියලා ඔය විදිහට වැඩුව හැටි, හුස්ම නවත්තගෙන, හිර කරගෙන හිටපු හැටි, නාසයෙන් – කනෙන්, ඔය ආදී වශයෙන් එක එක පැත්තෙන්, ඇස් වලින්, අර වාතය පිටවෙච්ච හැටි, මහා වේදනා සහිතව “හෝ..” සද්දයක් මතුවෙලා කැළඹිච්ච හැටි, ඒවයින් වත් හිත අධෛර්යය වෙච්චි නැති හැටි, අන්තිමට ඕවා ඔක්කොම කරලා, කරලා, ක්ලාන්ත වෙලා වැටිලා ගිහිල්ලත් අන්තිමට බලනකොට දැනගත්තා මේක නම් මාර්ගය නෙමෙයි කියලා. හැබැයි එතකොට ලෝකෙ විඳින්න තියෙන, යමෙක් දුකක් විඳින්න තියෙනවද නිවන් සඳහා විඳිය යුතුයි කියලා, යම් ක්‍රමයක් තියෙනවද, ඒ දුකේ සියල්ලන් අභිබවා ගිය දුකක් විඳලා, වැඩක් නෑ කියලා අත්දැකීම් ලබලා ඉවරයි.
“එහෙම ලබාගෙනයි මං ඒ අත්ථඛිලමතානුයෝගය අතෑරියෙ” කියල තියෙනවා. නිවන් දකින්න කරපුවා නෙමෙයි, නිවන් දකින්න ඉස්සෙල්ලා කරපු පරීක්ෂණ. ඉතින් ඒ කතාව මේකට පටලවාගන්න එපා, බුදුරජාණන් වහන්සේ මෙහෙම කරලා තියෙනවා කිවුවෙ – බුදුරජාණන් වහන්සේ නෙමෙයි, බෝධිසත්වයෝ.
(ශ්‍රාවක මහතෙක්): එතකොට ස්වාමීන්වහන්ස, අරිය පරියේෂණය කරද්දි කළයි කියලා සූත්‍රයේ සඳහන් වෙන්නෙ?
(ස්වාමීන් වහන්සේ): අරිය පරියේෂණ සූත්‍රයේ කියලනෙ තියෙන්නෙ.
(ශ්‍රාවක මහතෙක්): නෑ ස්වාමීන්වහන්ස, ඒ අරිය පරියේෂණය කරන කාලෙදි කළයි කියලා (හුස්ම නවතා සිටීම) ඒ හැම සූත්රයකම සඳහන් වෙනවද?
(ස්වාමීන් වහන්සේ): නෑ, ඔය කියන විස්තරේ තියෙන තැන සඳහන් වෙනවා. ඒක පැහැදිලිවම පෙන්වලා තියෙනවා ඒ කාලය තුළ කරපු ක්‍රියා කලපය කියල. එයිට පස්සෙ කරපුවා නෙමෙයි, ඒක විස්තර කරලම පෙන්වනවා.
එහෙනම් ඉතුරු වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨානයේ ඉතුරු අනුපස්සනා තුනත් මේ ආනාපානසතියත් එක්ක තියෙනවා, මේකෙ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක අපි ඊලඟ අවස්ථාවක විස්තර කරලා ගමු. අද දවසේ වෙලාව පැනලා, කාලය ඉක්ම ගියා. හැමදෙනාටම යහපතක් වේවා!
~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~
දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://www.waharaka.com/listen/CD013-03