තථාගත දේශනාවට අනුව ම අනිච්ච විග්‍රහය – පළමු කොටස

තථාගත දේශනාවට අනුව ම අනිච්ච විග්‍රහය
අනිච්චතිලකුණතිලකුණ දැනගමුමූලික දේශනා

දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)

තථාගත දේශනාවට අනුවම අනිච්ච විග්‍රහය - 1 කොටස

 

මේ පිංවතුන් විසින් දහම් පැණයක් ඉදිරිපත් කළ විට, ඊට අවශ්‍යය කරන දහම් පිළිතුරු ලබාදීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. අදත් අපිට ප්‍රශ්න සමූහයක් ලැබිලා තියෙනවා. ඒවායින් අත්‍යාවශ්‍යය ම ප්‍රශ්නයක් මුල් කරගෙනයි අද මේ ධර්ම දේශනාව පවත්වනන්ට බලාපොරොත්තු වෙන්නේ.

 

ඒ නිසා, සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාළ පරිදි, “තං සුනාථ – සාධුකං මනසිකරෝථ” කියන ආකාරයෙන් මෙය හොඳට අහන්න, මනා සේ මෙනෙහි කරන්න. එතකොට මේ දහම් අවබෝධය ලබා ගන්නට පුළුවන්! දැන් අපි බලාපොරොත්තු වෙමු ඒ උතුම් සම්මා සම්බුදු පියාණන් වහන්සේට අති ගෞරව නමස්කාරය සිද්ධ කරලා, ඒවාගේම මේ ධර්ම දේශනාව ආරම්භ කරන්න.

 

උත්තම පුරිස වූ බුදු පියාණන් වහන්ස, ඔබ වහන්සේට මම නමස්කාර කරමි, මාගේ නමස්කාරය වේවා! පරම පුරිස වූ බුදු පියාණන් වහන්ස, ඔබ වහන්සේට මම නමස්කාර කරමි, මාගේ නමස්කාරය වේවා! සසර කතරින් එතෙර වුනාවූ බුදු පියාණන් වහන්ස, ඔබ වහන්සේට මම නමස්කාර කරමි, මාගේ නමස්කාරය වේවා! සාධු සාධූ සාධූ!!!

 

අද මේ පිංවත් පිරිස ඉදිරිපත් කර තිබෙන්නාවූ ප්‍රශ්න අතරින්, අවශ්‍යය ම ප්‍රශ්නයක් – වැදගත් ම ප්‍රශනයක් අපි අරගෙන සාකච්ඡා කරන්නටයි මේ බලාපොරොත්තු වෙන්නේ. මේ ප්‍රශ්නය මෙහෙමයි. “බුදු පියාණන් වහන්සේ වැඩ සිටි අවධියේත්, ඉන් පසුව අවුරුදු දහසක් පමණ කාලයක් ගත වන තුරුත්, එක් ධර්ම දේශනාවක් ශ්‍රවණය කළ පමණින් දායක – දායිකාවන් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී ආදී මාර්ග-ඵල වලට පැමිණි බව බෞද්ධ සාහිත්‍යයේ මෙන් ම ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථයන් තුළ ද සඳහන් වෙනවා. එහෙත්, අද වන විට ධර්මශ්‍රවණය කිරීමෙන් එසේ මාර්ග-ඵල වලට පත් නොවන්නේ මන්දැයි පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි” කියන එකයි මේ ප්‍රශ්නේ.

 

මේ ප්‍රශ්නේ බොහොම වටිනා ප්‍රශ්නයක්. අපි තේරුම් ගත යුතු කාරණයක් තිබෙනවා, ඇත්ත වශයෙන් ම දැනට අවුරුදු දහස් ගණනකට එහා කාලයේ ඉඳලා ඒ කියන උතුම් අවස්ථාව මේ බෞද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට ලැබිලා තිබුණා. එසේ නමුත් අද වන විට “මාර්ග-ඵල” කියන වචනය හාස්‍යයට ලක් වන තරමට පහත් වෙලා තියෙනවා. යම් කෙනෙක් කිවුවත් ඒක හාස්‍යයට ලක් කරනවා, “සෝවාන් වෙනවා” කිවුවත්. හැබැයි, බුදු පියාණන් වහන්සේ වැඩ වාසය කරන කාලේ දී සැවැත් නුවර ජනගහනය හත් කෝටියකින්, කෝටි පහක් ම මාර්ග-ඵල ලාභීන් කියලා සඳහන් වෙනවා. එහෙනම්, ඒ තරමට ඒ මාර්ග-ඵල අවබෝධය කෙරුවේ, අද වාගේ මේ ත්‍රිපිටක ග්‍රන්ථ තිබුණු කාලෙකුත් නෙමෙයි. ලොවුතුරා බුදු පියාණන් වහන්සෙ පහල වෙලා ඉතාම සුළු කාලයක් තුළ විශාල ජනතාවක් මාර්ග-ඵල අවබෝධ කළේ ධර්ම දේශනා එකක්-දෙකක් ශ්‍රවණය කරපු අවස්ථාවකදී. එහෙනම්, ඒ තුළින් දහම් හරයක් ලැබිලා තියෙනවා, ඒ දහම් හරය අවබෝධ වෙලා තියෙනවා, ඒ වටිනා දහම් හරය අවබෝධ වීමට යම් බාදාවක් මේ කාලේ තිබුණා ද, තියෙනවා ද කියන කාරණය දහම් කරුණු හොඳින් විමර්ශනය කරලා බලලා තේරුම් ගන්න ඕනේ.

 

වැදගත් කාරණා කීපයක් අපිට මුලින් කතා කරන්න වෙනවා, මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න ඉස්සෙල්ලා. ඒ මොකද, බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාළ විශේෂ කාරණයක් දැන් අවුරුදු සිය ගණනක ඈත ඉඳලා, අද ඉන්න ස්වාමීන් වහන්සේලාට මේ ගැන කරන්න දෙයක් නෑ! මීට පෙරදී, යම් කාලෙක සිද්ධ වෙච්චි දෙයක් තියෙනවා. බුදු පියාණන් වහන්සේ එපා කිවුව භාෂාවක වචන අපි ධර්මය විග්‍රහ කරන්න ඈඳලා තියෙනවා. බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ “යමෙලු, තෙපුලා” කියලා මේ ත්‍රිවේද පරප්‍රාත බ්‍රාහ්මණයෝ දෙන්නෙක් මේ සාසනයේ පැවිදි වුනා. මේ අය මේ සංස්කෘත භාෂාව පිළිබඳ ව බොහොම හදාරලා, දක්ෂ අය. එතකොට, මේ දක්ෂතාවය නිසා මොකද කරන්නේ, මේ අයට ඒ දැනීම නිසා ම ඔය ගම්බැදි භාෂාව අද අපි කියන හැටියට “ගොඩේ බාසාව” ආදී වශයෙන් කියන්නේ නෑ, ඒකාලෙත් එක එක පැති වලින් පැවිදි වෙලා හිටපු භික්ෂූන් වහන්සේලා තම තමන්ගේ ඒ-ඒ ප්‍රදේශ වල භාෂාවන් කතා කරන්න පටන් ගත්තා. ඒ භාෂාවෙන් තමයි ඒ ධර්ම කරුණු ගැන ඒ අය සාකච්ඡා කළේ, කතා කළේ, දේශනා කළේ.

 

මේ ත්‍රිවේද පරප්‍රාප්ත බමුණන් වශයෙන් හිටපු අය, පැවිදි වෙලා හිටපු පිංවතුන්ට ඒක අල්ලන්නේ නෑ, රුස්සන්නේ නෑ! ඒක නිසා, බලාපොරොත්තු වෙලා බුදුරජාණන් වහන්සේට කියනවා, “ස්වාමීනි, ඔබවහන්සේ දේශනා කළ ධර්මය අපි වෛදික භාෂාවට පරිවර්තනය කර සටහන් කරන්නද, ඒ විදිහට සකස් කරන්නද?” කියලා. වෛදික භාෂාව කියලා කියන්නේ සංස්කෘත භාෂාවට. වේදය හැදෑරීමට සකස් කරගෙන තිබිච්ච භාෂාව නිසා වෛදික භාෂාව කියලා කියනවා. බමුණන් ගේ “ත්‍රී වේදය” කියලා තිබුණා, “සෘග්, යජුර්, සාම” කියලා වේද තුනක්. පැරණි සෘෂි වරු දුන්න කාරණා මෙන්ම, ඒවා අරගෙන කලින් කලට වෙනස් කරමින්, ඒවාගේම ගෙනහල්ලා ඔය සංස්කෘත, නැත්තම් “සංස්කෘත” කියන්නේ “සකස් කරගත්ත” බාසාවක් කියන එකයි.

 

ඝාම්භීර කමට, අහංකාර කමට සකස් කරගත්ත බාසාවක් තිබුණා. වචන හර-බර කරලා එහෙම සකස් කරගෙන. අන්න එහෙම හදාගත්ත බාසාවකින් තමයි ඊට පස්සේ ඒවා ලියන්න පටන් ගත්තේ. ඒක විශේෂ භාෂාවක් කරලා, … {6:37} කමට කතා කරන්න හදාගත්ත බාසාවක්, ආඩම්බරේට! ඉගෙනගත්ත අයගේ ආඩම්බරයක් තියෙනවා. අන්න ඒ වගේ දෙයක්, ඒක.

 

ඉතින් මොකද කරන්නේ, මේ භාෂාවට නඟන්න අහපුහාම බුදුරජාණන් වහන්සේ නිග්‍රහ කළා. නිග්‍රහ කරලා, “මහණෙනි, ඔබලා මොකද්ද මේ කියන මෝඩ කතාව? මා විසින් දේශනා කළ ධර්මය වෛදික භාෂාවට පරිවර්තනය කරන්න පුළුවන් දෙයක් ද?” කියලා ඔහොම නිගරු කරලා පෙන්නලා කියනවා, “මහණෙනි, වෛදික වාචනා මාර්ගයට මාගේ ධර්මය නොනැඟිය යුතුයි! යමක් නඟන්නේ නම් දුකුලා ඇවැත් වේ” දුක්ඛට ආපත්තිය කියලා යි ඒ ඇවැතට කියන්නේ. කරන කටයුතු දුෂ්කර වෙනවා, මාර්ග-ඵල අවබෝධ කරගැනීමට බාදා වෙනවා. මොකද හේතුව, දහම් අර්ථ වැහෙනවා. දහම් අර්ථ දෙන්න පුළුවන් කමක් නෑ, මේ ලෞකික කටයුතු සඳහා සකස් කරගත්ත බාසාවක, ලෝකෝත්තර දහම් අර්ථ දෙන්න දේශනා කරපු වචන වලට අර්ථ දෙන්න වචන නෑ! ඒවාට වචන අමුතුවෙන් හදන්න වෙනවා, එක්කෝ ඒ අය භාවිත කරපු ආදේශ වචනයක් ඒ සඳහා යොමු කරන්න වෙනවා.

 

මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන වෙලාවක, මුල් කාලේ බුදු රජාණන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මයට අනුකූලව යි අපේ මහා සඟ පරපුර කරයුතු කළේ. යමක් එපා කිවුවා නම් කවදාවත් ඒ එපා කියපු දේ කළේ නෑ. ඒ නිසා වෛදික, සංස්කෘත භාෂාවේ වාචනා මාර්ගයට මේ දහම් නඟන්න එපා කිවුවා නම් නැඟුවේ නෑ! හැබැයි, අද වෙනකනුත් ඒ ලියා තිබෙන ත්‍රිපිටක පාලිය එහෙම වෙන බාසාවකින් ලියලා නෑ. එහෙම්ම ම ලියලා තියෙනවා. වෙනසක් කරලා නෑ, අටුවාව වත් වෙනසක් කරලා නෑ, මූලික අටුවා. “පටිසම්භිදා මග්ගප්‍රකරණය, නෙත්ති ප්‍රකරණය, පිටකෝපදේසය” ආදී ඒවා තමයි සංගායනාව හා සම්බන්ධ වෙච්චි මූලික අටුවා කියලා තියෙන්නේ. ඒවාට වත් එහෙම සංස්කෘත වචන ගාවලා නෑ.

 

ඊට පසු කාලයක, මේ සිංහලට පරිවර්තනය කරලා දෙන්න ගිහිල්ලා පාලි වචන, ඔය සංස්කෘත ඉගෙනගෙන ආපු පණ්ඩිත පිරිස් සිංහල කියලා සංස්කෘත දුන්නා. එපා කිවුව වැඩක් කළා! මෙන්න මේ එපා කියපු වැඩේ කරපු නිසා ලොකු ප්‍රශ්නයක් මතු වෙලා තියෙනවා. මොකද්ද? දහම් අර්ථ දෙන්න අදහස් නැති පද වලට සංස්කෘතෙන් උත්තර දෙන්න ගිහිල්ලා, නැත්තම් ඒවාට අදහස් දෙන්න ගිහිල්ලා, වෙනත් වෙනත් එන අර්ථ පෙන්නුවා, ගැලපෙන අර්ථ එන්නේ නෑ, බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අර්ථ දෙන්න පුළුවන් කමක් නෑ ඔය වේද පොත් හදාරණ, හදාගත්ත බාසාවකින්. ඒක සකස් කරගත්ත එකක්. බමුණන් විසින් සකස් කරගත්ත බාසාවක්!

 

මෙන්න මේ නිසා, එතකොට මේ දහම් පද ඒ වාචනා මාර්ගයට නඟන්න එපා කියලා තියෙද්දීත්, මේවායේ අර්ථ අහනකොට ඒවායෙන් ම දෙන්න පටන් ගත්තා. කලක් යනකොට, සියේට හතලිකට – පනහකට වැඩිය අපි කතා කරන බාසාවේ වචන සංස්කෘත වුනා. දැන් අද වෙනකොට අපිට කරන්න දෙයක් නෑ, කතා කරන බොහෝ වචන එන්නේ සිංහල වචන හැටියට, සංස්කෘත වචන. අපේ මූලික ම දහම් කරුණු ඔක්කෝම සංස්කෘත වචන වලින් දැන් කියවෙන්නේ. පාලි වචනයට, මේකේ අර්ථය මොකද්ද අහපුවාම සංස්කෘත පදයකින් තමයි ඒක කියලා දීලා තියෙන්නේ. මෙන්න මේක, ලොකු වරදක් කරලා තියෙන්නේ. ඒ පදයේ නියම අර්ථය එතකොට එන්නේ නෑ! ගැලපෙන්නේ නෑ! ඒ නිසා බලන්න ඒක ඇති කරලා තියෙන වෙනස කොච්චරද කියනවා නම්, අපිට අවශ්‍යය ම කරන දේවල් තියෙනවා – “චතුරාර්‍යය සත්‍යය” කියලා අපි කියනවා. “චත්තාරි අරිය සච්චානි” කියන මේ පාලි වචනය “සිවු අරිසස්” කියලා අපිට කියාදෙන්න තියෙන්නේ, අපේ බාසාවෙන්. ඒක තෝරා ගන්න ඕනේ, සිවු අරිසස් කියන්නේ මොනවාද කියලා, දහම් අර්ථය සිංහලට. මේ “චත්තාරි අරිය සච්චානි” කියන්නේ මොකද්ද කියලා අහපුවාම “චතුර්‍යය සත්‍යය” කියලා සංස්කෘත පදයක් දැම්මා. එපා කිවුව එකක් කළා! දැන් තේරෙන්නේ “චතුර්‍යය සත්‍යය” කිවුවහාම තමයි, ආයි මේක කියන්නේ අර චත්තාරි අරිය සච්චානි කිවුව එක සිංහලෙන් නේ කියලා හිතාගෙන ඉන්නවා.

 

“අනිච්ච” කියලා කියන්නේ මොකද්ද අහපුහාම “අනිත්‍ය” කියලා සංස්කෘත පදයක් දැම්මා. “අනත්ථ” කියන්නේ මොකද්ද අහපුහාම “අනාත්ම” කියලා සංස්කෘත පදයක් දැම්මා. මෙන්න මේ විදිහට සිංහල පද කියලා සංස්කෘත පද පුරුදු කළා. සිංහල අර්ථය වැහිලා ගියා. පාලි බාසාවේ කියලා තියෙන අර්ථය ගන්න බැරුව ගියා. මොකද හේතුව? මේ අනිච්ච, දුක්ඛ, අනත්ථ කියන පද තුන, බුදු පියාණන් වහන්සේ දුන්න අදහස දෙන්න ඔය හදාගත්ත බාසාවකින් බෑ! ඒ අදහස වෙනුවට, ආසන්න වචනයක් දෙනවා ඒ අය දන්න හැටියට. ඊට පස්සේ, ඒ වචනෙට කියන්නේ යම් අදහසක් ද, ඒ අදහස තමයි කියන්නේ, “මෙන්න මේක තමයි ඕකේ අදහස” කියලා.

 

මෙන්න මේ විදිහට, “ත්‍රිලක්ෂණ” කියන වචනයත් සංස්කෘත. “තිලක්ඛණ” කියන්නේ පාලි. “තිලකුණු” කියන්නේ සිංහල. සිංහල වෙනුවට, “ත්‍රිලක්ෂණ” කියලා ඒකත් සංස්කෘතයට ගත්තා. “සිවු අරිසස්” කියන එක “චතුරාර්‍යය සත්‍යය” කිවුවා. “අරි අටඟි මඟ” කියන එක “ආර්ය අෂ්ඨාංගික මාර්ගය” කියලා සංස්කෘතෙන් කිවුවා. ඒ විදිහට එකක් නෙමෙයි, මේ පද බොහෝමයක් – අත්‍යාවශ්‍යය දහම් පද බොහෝමයක් සංස්කෘතෙන් කියන්නේ අද. එපා කිවුව එකෙන් කරන්නේ. බුදුරජාණන් වහන්සේ එපා කියලා ඇවැතක් පනවපු එක මයි කරලා තියෙන්නේ! අද කොච්චර දහම් අහන්න ගියත්, ඔය පද වැල කියනකොට දහම් අර්ථය මතු වෙන්නේ නෑ!

 

මෙන්න මේ නිසා තමයි, අදහසක් නැතුව නිවන් දක්න්න බෑ! නිවන් අවබෝධ කරන්න බෑ! “අදහස වැටහේවා, වචනය අමතක වේවා!” කියලා කාල සිටු පුත්‍රයාට ධර්ම දේශනා කළා කියලා දේශනා කරනවා, බුදුරජාණන් වහන්සේ. දේශනාවේ තියෙනවා කාල සිටු පුත්‍රයා ඒ දහම් අහාලා සෝවාන් ඵලයට පත් වුනා, අදහස වටහාගෙන! එහෙනම්, අදත් තේරුම් ගන්න ඕනේ, මොන විදිහකින් හරි දහම් අදහස වටහාගන්නට පුළුවන් නම්, නිවන් අවබෝධ කරන්න හේතු වෙන්නේ අන්න ඒකයි! ඒක තේරුම් ගන්න ඕනේ. දහම් අවබෝධ කරගැනීමට අදහස වටහාගන්න ඕනේ!

 

එහෙනම්, මෙන්න මෙතන මේ ප්‍රශ්නය හොඳින් තේරුම් අරගෙන, අපි බලන්න ඕනේ “කුමක් දැනගත්තොත් ද නිවන් දකින්න පුළුවන්?” බුදු රජාණන් වහන්සේ ගෙන් බොහෝ විට භික්ෂූන් වහන්සේලා, “ස්වාමීනි, ඉක්මණින් නිවන් අවබෝධ කරගැනීමට මට ගැලපෙන කර්මස්ථානයක් වදාරන සේක්වා!” කියලා ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීමක් කරපුවාම බුදුරජාණන් වහන්සේ හැම විටම ඒ ගැලපෙන්නාවූ දහමක් විග්‍රහ කරනවා, දේශනා කරනවා. “මහණ, ඇස ගැන මොකද්ද ඔබට හිතෙන්නේ?” මේ බොහොම පොඩි දෙයක් අහන්නේ. “ඇස ගැන මොකද ඔබට හිතෙන්නේ? මේ ඇස අනිච්ච ද නිච්ච ද? අනිච්චයි ස්වාමීනි! යමක් අනිච්ච නම්, ඒක දුක ද සැප ද? දුකයි ස්වාමීනි! යමක් අනිච්ච නම්, දුක නම්, විපරිණාමයට පත් වෙනවා නම්, ඒක අත්ථ ද අනත්ථ ද? අනත්ථයි ස්වාමීනි! එහෙනම්, ඒක මම කියලා ගන්න – මගේ කියලා ගන්න – සාර ධර්මයක් කියලා ගන්න සුදුසු ද? සුදුසු නෑ ස්වාමීනි! ස්වාමීනි, මට ඉතුරු ටිකත් වැටහෙනවා!” කියලා අන්න භික්ෂූණ් වහන්සේ තමන්ගේ අවබෝධය කියන්න පටන් ගන්නවා. “හොඳයි මහණ, එහෙනම් කියන්න. ස්වාමීනි, කණ ත් අනිච්චයි, යමක් අනිච්ච නම් දුක්ඛයි, යමක් අනිච්ච නම් – දුක්ඛ නම් – විපරිණාමයට පත් වෙනවා නම් ඒක අනත්ථයි!”

 

මෙන්න මේ ආකාරයෙන්, නාසය, දිව, කය, මන ගැන කියලා, මේ ඔක්කෝම ගැන කියනකොට, “මහණ ඔබට වැටහිලා තියෙනවා. අන්න, අරණ්‍ය – රුක් මුල් – ශුන්‍යාගාර තියෙනවා. අප්‍රමාදයෙන් යුක්ත ව සිහි කරලා ධර්මාවබෝධය කරගන්න” ඔච්චරයි දේශනා කරන්නේ. ඔය ටික කරගෙන ගිහිල්ලා, සමහර වෙලාවට ඔය සතියකින්, බොහොම සුළු කලක් තුළ ඇවිදිල්ලා, “ස්වාමීනි, කළ යුතු සියල්ල කළා! බ්‍රහ්ම චරියාව පූර්ණය කළා! මීට එහා කරන්න දෙයක් නෑ, ඵලය පූර්ණ කරගත්තා!” කියලා අරිහත් ඵලය ගැන බුදුරජාණන් වහන්සේට ප්‍රතිඥා දෙනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරනවා.

 

මෙන්න මේ ආකාරයෙන් තමයි එදා ධර්ම දේශනා කරලා තියෙන්නේ. එහෙනම්, අත්‍යාවශ්‍යය කාරණයක් තියෙනවා. මොකද්ද මේ කාරණය? දහම් අවබෝධ කරගැනීමට “අනිච්ච” වටහා ගන්න ඕනේ. එසේ නැත්තම් “දුක්ඛ” වටහා ගන්න ඕනේ. එසේ නැත්නම් “අනත්ථ” වටහා ගන්න ඕනේ.

 

“සබ්බේ සංඛාරා අනිච්ඡාතී, යදා පඤ්ඤාය ඵස්සති – අථ නිබ්බින්දති දුක්ඛේ, ඒස මග්ගෝ විසුද්ධියා”

 

මේ එක මාර්ගයක්, විශුද්ධියට හෙවත් නිවනට මාර්ගයක්. සියළු සංඛාර අනිච්චයි කියලා යම් දවසක ප්‍රඥාවෙන් දැක්කා නම්, අවබෝධ කළා නම්, එදාට දුකෙන් නිදහස් වෙනවා. ඒ නිවනට මාර්යයයි! ඒ වගේම,

 

“සබ්බේ සංඛාරා දුක්ඛාති, යදා පඤ්ඤාය ඵස්සති – අථ නිබ්බින්දති දුක්ඛේ, ඒස මග්ගෝ විසුද්ධියා”

 

ඒත් නිවන් මඟක්. මේ සියළු සංඛාර දුක්ඛයි කියලා යම් දවසක ප්‍රඥාවෙන් ස්ඵර්ශ කළා නම්, අවබෝධ කළා නම්, එදාට මේ දුකට බැඳෙන්නේ නෑ. දුකෙන් නිදහස් වෙනවා. ඒ නිවනට මාර්ගයයි! එහෙම නැත්තම් තවත් එකක් තියෙනවා.

 

“සබ්බේ ධම්මා අනත්ථාති, යදා පඤ්ඤාය ඵස්සති – අථ නිබ්බින්දති දුක්ඛේ, ඒස මග්ගෝ විසුද්ධියා”

 

මේ සියළු ධර්මයෝ අනත්ථයි කියලා යම් දවසක ප්‍රඥාවෙන් දැක්කා නම් මේ දුකෙන් නිදහස් වෙනවා, දුකෙන් මිදෙනවා. ඒ නිවනට මාර්ගයයි! මෙන්න මේ විදිහට, මේ අනිච්ච, දුක්ඛ, අනත්ථ කියන මේ තිලකුණු – අර සංස්කෘතෙන් කිවුවොත් ත්‍රිලක්ෂණ යම් කිසි ආකාරයෙන් හරියට තේරුම් ගත්තා නම්, එදාට මේ දහම් අවබෝධය ලැබෙනවා. එහෙනම්, අපි හොයලා බලන්න ඕනේ මෙන්න මෙතන යම් අඩුපාඩුවක් තියෙනවා ද කියන එකයි. ඒකයි අපි හොයලා බලන්න ඕනේ. මොකද හේතුව, අද අපි යම්කිසි විදිහකින් “මේ සීලයෙන් අඩුවක් ද, සමාධියෙන් අඩුවක් ද, අපි පවු කරලා ද?” ඔය ජාතියේ නොයේක් අදහස් කියනවා. “ඇයි අපිට මේ ඵලය ලබන්න බැරි?” කියලා ප්‍රශ්න ඇති කරගන්නවා. එතකොට, එහෙම ප්‍රශ්න ඇති කරගෙන ඉන්නකොට අධෛර්‍යය වෙන කතා තමයි හුඟාක් කියන්නේ, ඇහෙන්නේ.

 

සමහර පිංවතුන් කියනවා, “මේ කාලේ බැරි වෙලා තියෙන්නේ සසරේ පුරුදු කරලා නැති හින්දා” එක්කෝ එහෙම කියනවා. සමහර අය කියනවා “මුළු ත්‍රිපිටකය ම කටපාඩම් කරගෙන, සසරේ එන්න ඕනේ, එහෙම අයට තමයි එක ගාථාවක් කිවුවත් ඒ ගාථාවෙන් නිවන් අවබෝධ කරන්න පුළුවන්” කියලා. මෙන්න මේ විදිහට කතා කියනවා. හැබැයි, මේ බුද්ධ සාසනේ නම් කොතැනක වත් පෙන්නලා නෑ සාක්ෂියක්, සසරේ දේ ත්‍රිපිටකය කටපාඩම් කරගෙන ආපු අයටයි නිවන් හම්බවෙන්නේ කියලා. හැබැයි, එක කතාවක් තියෙනවා පෝඨිල කියලා හාමුදුරු කෙනෙක් ගැන.

 

කකුසඳ බුදු රජාණන් වහන්සේගේ කාලේත් ත්‍රිපිටකධාරී ව හිටියා, කෝණාගමන බුදු රජාණන් වහන්සේ ගේ කාලෙත් ත්‍රිපිටකධාරී ව හිටියා, කාශ්‍යප බුදු රජාණන් වහන්සේ ගේ කාලෙත් ත්‍රිපිටකධාරී ව හිටියා, හැබැයි ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ කාලෙත් ඔය විදිහට ත්‍රිපිටකධාරී වෙලා කටයුතු කරනකොට, ඒ “ත්‍රිපිටකධාරී” කියලා කියන එක පොඩ්ඩක් වෙනස් මේ අද තියෙන අපි කිවුව විනය, සූත්‍ර, අභිධර්මය කියන ඔය ටිකට වඩා වෙනස් ආකාරයක්, පොඩ්ඩක් වෙනස්. නමුත්, ඒ ධර්මය ම තමයි කැටි කරලා ඔය කිවුවේ. ඉතින් මෙහෙම බුදු රජාණන් වහන්සේ ඉදිරියේ කියා සිටියා. “ස්වාමීනි, මෙහෙම මම ඒ කාලේ හිටියා” මේ ප්‍රශංසාවක් ලැබෙයි කියලා යි පෙන්නුවේ. එහෙනම් හිතලා බලන්න, එච්චර හිටපු කෙනෙක් ඒ ටික දැනගත්තේ කොහොමද? එහෙනම්, දිවැසක් පහල වෙලා තියෙන්නත් ඕනේ. නැත්තම් කොහොමද දන්නේ ඒ වගේ සිද්ධියක් ගැන?

 

එතකොට තේරුම් ගන්න ඕනේ, බුදුරජාණන් වහන්සේ මොකද්ද දුන්න පිළිතුර? එහෙම කියනකොට බුදු රජාණන් වහන්සේ නිහඬව වැඩ ඉන්නවා. ඒ නිසා එතනින් නැඟිටලා යන්න ලැහැස්ති වෙනකොට, “තුච්ඡ පෝඨිල යනවාද?” කියලා ඇහුවා. “තුච්ඡ පෝඨිල” කිවුවා. “ඔබ ඔබේ වැඩේ කරගන්න එක පැත්තක තියලා බණ කිය කියා හිටියා!” දැන් මෙහෙම තමයි පෙන්නුවේ. ත්‍රිපිටකය පාඩම් කරපු එක්කෙනා ගැනයි සඳහන් වෙන්නේ, ඔය ටික! අනෙක් කවුරුවත් ගැන සසරේ එන ගමන් ත්‍රිපිටකය කටපාඩම් කරගෙන ආපු කතාවල් නෑ! හැබැයි, පිං – දහම් කරලා තියෙනවා, දාන – මාන දීලා තියෙනවා, පූජා – සත්කාර කරලා තියෙනවා, එහෙම නම් සඳහන් වෙනවා!

 

එහෙනම්, ඥාණය හරියට නැඟිලා එන්න හේතු-වාසනා ලබලා, ඒ ත්‍රිහේතුක උප්පත්තියක්, පටිසන්ධියක් ලබලා ඇවිදින් හිටපු පිංවතුන්ට හරියට දහම් කරුණු එනකොට, ධර්මාවබෝධය ලැබෙනවා. අන්න ඒ හේතුකොටගෙන ඔය කියන උතුම් මාර්ග-ඵල අවබෝධය ලබා ගන්නවා. ඒකයි කාරණේ!

 

එහෙනම්, මෙන්න මේ විදිහට දහම් අවබෝධයක් ලබා ගන්න මඟ පාදා ගත්තේ ඔය “අනිච්ච, දුක්ඛ, අනත්ථ” කියන ත්‍රිලක්ෂණය හරිආකාරව අවබෝධය ලැබූ නිසා, හරි ආකාරව දැනගත්ත නිසා. එතකොට මේ “අනිච්ච” කියන එක තෝරන්න ගිහාම මොකද්ද ඇහුවේ, කාගෙන් ද අහලා තියෙන්නේ “අනිච්ච” කියන එකේ අර්ථය? සංස්කෘත දන්න අයගෙන්. ඒ නිසා සංස්කෘත අර්ථයක් දුන්නා “අනිත්‍ය” කියලා. අනිච්ච කියන්නේ අනිත්‍ය කියන එකට කියලා. අනිත්‍ය කියන්නේ මොකද්ද කියලා සංස්කෘත අය තෝරලා තියෙන්නේ කොහොමද කියලා බලනකොට, අනිත්‍ය කියන්නේ “අනියත” කියන එකේ අදහස දුන්නා. එතකොට “අනිත්‍ය” කියන වචනය “අනියත” කියන එකට සංස්කෘතෙන් කියන වචනය. නියතවාද, අනියතවාද ආදී වශයෙන් ඒ කාලෙත් තිබුණා වාද. ඒවායේදී භාවිත කරපු වචනයක් නිසා, අනිච්ච කියන එක වෙනුවට ඔන්න ඔය වචනයේ අර්ථය දුන්නා. එහෙනම්, අනිච්ච කියන්නේ ස්ථිර නෑ! කියලා කෙටියෙන් කෙටි අර්ථයකට බැස්සා.

 

මේ අනිච්ච තෝරනකොට, ඒකත් පුංචි කෑල්ලක් තමයි. හැබැයි, පුංචි කෑල්ලකින් අනිච්ච සම්පූර්ණයෙන් ම විග්‍රහ කරන්න බෑ. ස්ථිර නෑ කියන පොඩි කෑල්ලෙන් විග්‍රහ කරන්න බෑ අනිච්ච කියන ලක්ෂණය. ඊට වඩා හුඟාක් ගැඹුරුයි! හුඟාක් විස්තර සහිතයි! එහෙනම්, ස්ථිර නැති එක ඔය අනිච්ච කියන කාරණය තුළ තිබෙන, අදහස තුළ තිබෙන පුංචි කොටසක්. අලියා පෙන්නන්න කියපුවාම “ආං” කියලා නැට්ට ට ඇඟිල්ල දික් කළා වාගේ! අලියා ගෙ නඟුට ට ඇඟිල්ල දික් කරනවා අලියා පෙන්නන්න කිවුවහාම. නඟුට බැලුවා ට අලියා ගේ හැටි පේන්නේ නෑ! හැබැයි, නඟුටත් අලියා ගේ නිසා, ඒක අයිති නෑ කියන්නත් බෑ! මෙන්න මෙහෙම සිද්ධියක් කියන්න පුළුවන් උපමාවකට.

 

එහෙනම්, අපි බලන්න ඕනේ මේ සංස්කෘතයෙන් තෝරන එක පැත්තකින් තියලා, ලොවුතුරා බුදු පියාණන් වහන්සේ අනිච්ච තෝරලා තියෙන්නේ කොහොමද කියලා. අපිට දැනගන්න, අපි අසරණ වෙලා නෑ! ලොවුතුරා බුදු පියාණන් වහන්සේ අනිච්ච තෝරපු හැටි ත්‍රිපිටකයේ තියෙනවා. ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා! ඒවාගේම ඒ සූත්‍රයේ අනිච්ච තෝරලා ඒ පිළිබඳ නියම විග්‍රහයක් කරපු හරිය සැරියුත් මහ රහතන් වහන්සේ විග්‍රහ කරපු අටුවා වන පටිසම්භිදා මග්ගප්‍රකරණයේත් තියෙනවා. ඒ වාගේම ඒ පිළිබඳව තවත් විග්‍රහයක් තෝරපු තැනක් නෙත්තිප්‍රකරණය කියන, මහා කච්චායන මහ රහතන් වහන්සේ විග්‍රහ කරපු අටුවාවෙත් තියෙනවා. එහෙනම්, අපි අතරමං වෙලා නෑ, අනිච්ච තෝරාගන්න! නිසැකව ධර්මය තුළින් තෝරාගන්න පුළුවන්. අන්න එහෙම තෝරා ගත්තා නම් අපේ ප්‍රශ්නය නිරාකරණය කරගන්න පුළුවන්.

 

“කතමාචානන්ද, සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා?” බුදු රජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවොන් ගෙන් මේ ප්‍රශ්නය අහනවා. කතමාචානන්ද, සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා ආනන්ද, මේ සියළු සංඛාර අනිච්චයි කියන අදහස මොකද්ද? ඒ හැඟීම මොකද්ද?” ප්‍රශ්නයක් නඟලා, උන්වහන්සේ ම පිළිතුරු දෙනවා. “ඉධානන්ද භික්ඛු සබ්බ සංඛාරේහි අට්ඨීයති, හරායති, ජිගුජ්ඡති, අයං වුච්චතානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥාකාගෙවත් වචන පස්සේ යන්න අවශ්‍යය නෑ දැන්! ලොවුතුරා බුදු පියාණන් වහන්සේ ගේ ශ්‍රී මුඛ දේශනාවෙන් දේශනා කරපු අදහස තියෙනවා, අනිච්ච කියන්නේ මොකද්ද කියලා.

 

මෙන්න මේක තෝරා ගන්න ඕනේ. “ආනන්ද, මේ භික්ෂුව මේ සියළු සංඛාර කෙරෙහි පෙලෙන ස්වභාවය දකිනවාද, ලැජ්ජා වෙනවා ද, ඒ වාගේම මලමුත්‍රා සේ පිළිකුල් කරනවා ද, මෙන්න මේ ස්වභාවය දැක්කහාම, මේකට කියනවා අනිච්ච සංඥා කියලා.” දැන් මේ ලොවුතුරා බුදු පියාණන් වහන්සේ අනිච්ච සංඥාව, සියළු සංඛාර පිළිබඳ අනිච්ච සංඥාව විග්‍රහ කරලා තියෙන හැටි!

 

එහෙනම්, “සබ්බේ සංඛාරා අනිච්චාති, යදා පඤ්ඤාය ඵස්සති” කියනකොට ඔන්න ඔය අදහස ගන්න ඕනේ. මේ සියළු සංඛාර අනිච්චයි කියලා ප්‍රඥාවෙන් දකින්න නම්, අර ලොවුතුරා බුදු පියාණන් වහන්සේ තෝරලා දීලා තියෙන ක්‍රමයට ගන්න ඕනේ. එතකොට මේ යථාර්තය තේරෙන්න පටන් ගන්නවා. මොකද්ද “අනිත්‍ය” කිවුවේ කියලා අන්න එතකොට වැටහෙන්න පටන් ගන්නවා.

 

එහෙනම්, “මේ සියල්ල අනිච්චයි!” බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දැන් අපි “සියල්ල” ත් තෝරා ගන්න ඕනේ. “අනිච්ච” ත් තෝරා ගන්න ඕනේ. “පෙලෙන හැටි” තෝරා ගන්න ඕනේ. “සියල්ල” මොනවාද? සියල්ල ලොවුතුරා බුදු පියාණන් වහන්සේ ඉතා හොඳින් පැහැදිලි කළා, මේ “සියල්ල” කියන එක දේශනා කරලා තියෙනවා. “පංච උපාදාන ස්කන්ධවශයෙන් සියල්ල විග්‍රහ කරනවා – එක ක්‍රමයක්! ඒ වාගේම ධාතු හය කින්, ධාතු දහ අටකින් සියල්ල විග්‍රහ කරනවා – රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය කියලා උපාදානස්කන්ධ පහකින් මේ සියල්ල හෙවත් ඔය තුන් ලෝකයට අයිති – කාම, රූප, අරූප කියන තුන් ලෝකය ඇතුලේ සියල්ල ම විග්‍රහ කරලා තියෙනවා. එක් තිස් තලයක උපදින්න තියෙන, පවතින සියල්ල විග්‍රහ වෙනවා ඔය ටිකෙන්.

 

ඒ වාගේම ධාතු වශයෙන්, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු, ආකාස ධාතු, විඤ්ඤාණ ධාතු කියන මේ ධාතු හයකට ඔය කියන එක් තිස් තලය හෙවත් මේ සත්ත්වයෝ සැරිසරණ “ලෝකය” යි කියන සියළු තැන තියෙන සියල්ල විග්‍රහ වෙනවා. ඒ ටික කැටි වෙනවා.

 

ආයතන වශයෙන්, චක්ඛායතන – රූපායතන, සෝතායතන – සද්දායතන, ඝානායතන – ගන්ධායතන, ජිව්හායතන – රසායතන, කායායතන – ඵොට්ටබ්බායතන, මනායතන – ධර්මායතන කියන මෙන්න මේ ටිකට කොටු වෙන යම් තාක් දේ ඇත්ද, ඔය සියල්ල ඔය ටිකටත් කොටු වෙනවා. ඒ තව ක්‍රමයකින් සියල්ල පෙන්වනවා. ස්කන්ධ, ධාතු, ආයතන!

 

පටිච්ච සමුප්පාද වශයෙනුත් පෙන්වනවා, අවිජ්ජා – සංඛාර – විඤ්ඤාණ – නාම රූප – සළායතන – ස්ඵර්ශ – වේදනා – තණ්හා – උපාදාන – භව – ජාති – ජරා මරණාදී වශයෙන්. ඔය සියල්ල ඔක්කෝම ඒ ටිකට අහු වෙලා පෙන්වනවා. දැන් මේ සියල්ල පෙන්වපු ආකාර!

 

තවත් විග්‍රහයක් පෙන්වනවා, “ආදිත්ත පරියාය සූත්‍රය” කියන සූත්‍රයේ ඉතා හොඳට පෙලෙන හැටි පෙන්වනවා. දැන් මොකද්ද මේ කිවුවේ, “අට්ඨීයති” – පෙලෙනවා. අන්න, සියල්ල පෙලෙනවා. මොනවායින් ද පෙලෙන්නේ? පෙලෙන හැටි බලන්න ආදිත්ත පරියාය සූත්‍රය පොඩ්ඩක්, කරලා තියෙන දේශනාවේ අර්ථය බලාගන්න ඕනේ. ඒ අර්ථ බලනකොට හොඳින් තේරෙනවා. “මහණෙනි, සියල්ල ඇවිලගත්තේය!” මෙන්න පෙලෙන හැටි. පෙලෙන්නෙ මොනවායින්ද? උපමාව ගින්න, ගින්නට පෙලෙනවා. පෙලෙන්න අවශ්‍යය වෙන දෙයක්. එහෙනම්, මෙන්න මේ විදිහට මේ සියල්ල පෙලෙනවා කිවුවා නම්, “සියල්ල අනිච්චයි” කියන එක තව වචනයකින් කියනවා, “සියල්ල පෙලෙනවා! – සියල්ල අනිච්චයි!” මෙන්න පෙලෙනවා කියන එකයි මේ අර්ථය, බුදු රජාණන් වහන්සේ දුන්න අර්ථය!

 

දැන් පෙලෙන හැටි, මොනවායින් ද පෙලෙන්නේ? එකොළොස් ගින්නකින් පෙළෙනවා. අන්න ඒක තමයි ආදිත්ත පරියාය සූත්‍රයේ විග්‍රහ කළේ. “මහණෙනි, සියල්ල ඇවිලගත්තේය!” එහෙනම් “සියල්ලකොහොමද බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ? මෙන්න බුදුරජාණන් වහන්සෙ “සියල්ල” පෙන්නපු හැටි, “ඇස ඇවිලගත්තේය, රූපය ඇවිලගත්තේය, චක්ඛු විඤ්ඤාණය ඇවිලගත්තේය, චක්ඛු සංස්ඵර්ශය ඇවිලගත්තේය, චක්ඛු සම්ඵස්සජා වේදනාව ඇවිලගත්තේය!” ඔන්න ඇස පිළිබඳ සියල්ල.

 

ඊලඟට තවත් කොටසක් තියෙනවා, සියල්ල සම්පූර්ණ වෙන්න, තව කොටසක් – කණ පිළිබඳ සියල්ල. ඒ මොනවාද? “කණ ඇවිලගත්තේය, ශබ්දයෝ ඇවිලගත්තේය, සෝත විඤ්ඤාණයෝ ඇවිලගත්තේය, සෝත සංස්ඵර්ශයෝ ඇවිලගත්තේය, සෝත සම්ඵස්සජා වේදනාවෝ ඇවිලගත්තේය!” මෙන්න කණ පිළිබඳ සියල්ල.

 

තවත් සියල්ලක් තියෙනවා, නාසය පිළිබඳව. “නාසය ඇවිලගත්තේය, ගන්ධයෝ ඇවිලගත්තේය, ඝාන විඤ්ඤාණයෝ ඇවිලගත්තේය, ඝාන සංඵස්සයෝ ඇවිලගත්තේය, ඝාන සම්ඵස්සජා වේදනාවෝ ඇවිලගත්තේය!” මෙන්න නාසය පිළිබඳ ඇවිලගත්ත සියල්ල. ඔයිට වඩා නාසය පිළිබඳ තව දෙයක් නෑ.

 

එහෙනම්, තවත් එකක් තියෙනවා – දිව පිළිබඳ සියල්ල. ඒ මොනවාද? “දිව ඇවිලගත්තේය, රසයෝ ඇවිලගත්තේය, ජිව්හා විඤ්ඤාණයෝ ඇවිලගත්තේය, ජිව්හා සංඵස්සයෝ ඇවිලගත්තේය, ජිව්හා සම්ඵස්සජා වේදනාවෝ ඇවිලගත්තේය!” මෙන්න දිව පිළිබඳ සියල්ල.

 

තවත් සියල්ලට අයිති තව කොටසක් තියෙනවා. කය පිළිබඳ සියල්ල යි මේ කියන්නේ, “කය ඇවිලගත්තේය, ඵොට්ටබ්බයෝ ඇවිලගත්තේය, කාය විඤ්ඤාණයෝ ඇවිලගත්තේය, කාය සංඵස්සයෝ ඇවිලගත්තේය, කාය සම්ඵස්සජා වේදනාවෝ ඇවිලගත්තේය!” මෙන්න කය පිළිබඳ අයිති සියල්ල.

 

සියල්ල සම්පූර්ණ වෙන්න තවත් එකක් තියෙනවා. මන පිළිබඳ සියල්ලත් එකතු වුනහම සියල්ලෙන් සියල්ල සම්පූර්ණයි. “මන ඇවිලගත්තේය, ධම්මයෝ ඇවිලගත්තේය, මනෝ විඤ්ඤාණයෝ ඇවිලගත්තේය, මනෝ සංඵස්සයෝ ඇවිලගත්තේය, මනෝ සම්ඵස්සජා වේදනාවෝ ඇවිලගත්තේය!”

 

ඔන්න සියල්ලෙන් සියල්ල. ඔයිට වඩා සියල්ලක් තුන් ලෝකෙම නෑ! ඔක්කෝම ඔය ටිකට අඩංගුයි. එහෙනම්, මෙන්න මේ ටික ඇවිල ගත්තේ මොනවායින් ද? එකොලොස් ගින්නකින් ඇවිල ගත්ත හැටි පෙන්වනවා. මොනවා ද ඇවිල ගත්ත ගිණි? රාග ගින්නෙන් ඇවිලගත්තේය, ද්වේෂ ගින්නෙන් ඇවිලගත්තේය, මෝහ ගින්නෙන් ඇවිලගත්තේය, ජාති ගින්නෙන්, ජරා ගින්නෙන්, මරණ ගින්නෙන්, සෝක ගින්නෙන්, පරිදේව ගින්නෙන්, දුක්ඛ ගින්නෙන්, දෝමනස්ස ගින්නෙන්, උපායාස ගින්නෙන් ඇවිලගත්තේය. එකම ගිණි ජාලාවක්!

 

එහෙනම්, මේ සියල්ල එකම ගිණි ජාලාවක්, ඇයි පේන්නේ නැත්තේ? පෙලෙනවා, එහෙනම් දැක්කා නම් අනිච්ච දකිනවා. සියල්ල අනිච්චයි කියලා දකින්න, ඔන්න ඔය ඇවිලීමෙන් පෙලෙන හැටි දකින්න ඕනේ, මේ සියල්ල. එදාට දකිනවා “සියල්ල අනිච්චයි!” කියලා. “සියල්ල ස්ථිර නෑ” කිය කියා හිටියාට කවදාවත් ඔය ටික දකීද? දැන් ඇවිලෙන හැටි, පෙලෙන හැටි දකින්න ඕනේ. එකක් – එකක් විග්‍රහ කරලා දකින්න ඕනේ, එතකොට තමයි පෙලෙන හැටි දකින්නේ. කොහොමද පෙලෙන්නේ? දැන් මේ පෙලෙන හැටි දකින්න ඕනේ එකින් එක.

 

එහෙනම්, මේ සියල්ල මොනවාද කියලා හොයාගෙන ඉන්න ඕනේ. අපි දැන් කිවුවා ඇස, කණ, නාසය, දිව, කය, මන කියලා හයක්, මන ත් එක්ක හයයි. එතකොට මේ තමයි ප්‍රධාන ම කොටස. ඔය හැම දුක් වේදනාවක් ම එන්න, හැම දුකක් ම දැනෙන්න, වින්දනය කරන අසහනයක් එන්න, පෙලෙන්න නම් ඔන්න ඔය හය ඕනේ. හයෙන් මන මුල් කරගෙන ඔය ඉතුරු කොටස් ටික එන්න ඕනේ ගැලපෙන ගැලපෙන විදිහට. ආවහාම තමයි මේ පෙලීම හටගන්නේ, පෙලීම දැනෙන්නේ. පෙලෙන එක දැනෙනකොට තමයි අසහනය – දුක හටගන්නේ. දරාගන්න බැරි මානසිකත්වයක්, දුක් වේදනාවක් හටගන්නේ, වෙහෙස වෙන්නේ. මෙන්න මේක තමයි සසරේ දී වින්ද අප්‍රමාණ දුක! එහෙනම් දැනුත් විඳිනවා, අනන්ත සංසාරෙත් වින්දා. ඇයි තවත් යන්නේ? දුකක් ම විඳ විඳ, සැප හොය හොයා යනවා. මෙන්න මේකයි වෙලා තියෙන්නේ.

 

එහෙමනම් මේ දුකෙන් බේරෙන්න ඉස්සෙල්ලා දුක හඳුනාගන්න ඕනේ. මොනවාද දුක කිවුවේ? ඒ ඇවිලෙන ඒවා ඇවිලෙන හැටි බලාන්න ඕනේ. අන්න ඇවිලෙන හැටි බලනකොට තේරෙනවා පෙලෙන හැටි. එහෙනම්, මේ පෙලෙන හැටි බලාගන්න එකින් එක විග්‍රහ කරලා දැනගන්න ඕනේ.

 

~අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර හිමිපාණන් වහන්සේ ~

උපුටා ගැනීම  : https://waharaka.com/listen/Thilakuna-Denagamu-01

ඉතිරිය අනිච්ච විග්‍රහය දෙවන කොටසින්