දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)
ඉතිහාසය, මනෝමය පූජා, සතිපට්ඨාන වඩන ආනාපානසතිය
{ 00:00 } : ඉතිහාසය වැළලීම සහ සොයා ගැනීම
අවුරුදු දාහකට යම් ප්‍රමාණයක පස් මට්ටමක් උඩ මතුවෙලා හිටිනවා. භෞතිකව මේ ලෝකෙ තිබිච්ච …(0:09 පැහැදිලි නැත)… ආදී දේ, ඒවා යටකරගෙන අර පස් මතුවෙනවා, අරවා යටයනවා. මෙහෙම එක්තරා ක්‍රම සිද්ධාන්තයක් මේ ලෝකෙ සිද්ධවෙනවා. මෙන්න මේ සිද්ධාන්ත ක්‍රමය අරගෙන අවුරුදු දහස් ගණනකට ඉස්සෙල්ල දෙයක් අද හොයන්න ගිහාම පොළව කණින්න සිද්ධවෙනවා ඇතුළට. ඒ වැඩිච්ච මට්ටම තුළින් තමයි දැනගන්නෙ, “මේක මෙච්චර යට තිබුණා නම්, මෙච්චර කාලෙකට ඉස්සෙල්ලයි මේක මෙතන තියල තියෙන්නෙ කියලා. ඒ පොළවේ පස මතුපිටට ගොඩනැඟීම නිසා ඒක මෙච්ච්ර යටවෙලා තියෙන්න ඕනෙ මේ කාලෙ වෙද්දි…” එහෙම කියලා. එහෙම කරලා, ඒ එක්තරා නිගමනයකින් පොළව හාරලා බලල්නකොට ඒ අවුරුදු දහස් ගණනකට ඉස්සෙල්ලා තිබිච්ච එවුවා යටවෙලා තිබිලා මතුවෙනවා. ඒ ලෝකයේ මේ පසේ ඇතිවෙන එක්තරා ස්වභාවයක් නිසා ඒක ඒ ගන්න එක ක්‍රමයක්. අවුරුදු දහස් ගණනකට ඉස්සෙල්ලා තිබුණ යමක්, යම් අත්තිවාරමක් එහෙම තිබුණා නම්, ඒක හාරලා බලනකොට ගිය යට මට්ටමෙන් කියනවා “මෙන්න මෙච්චර අවුරුදු දහස් ගාණකට ඉස්සෙල්ලා මේ අත්තිවාරම තිබිලා තියෙන්නෙ මේ ක්‍රමයට.”
අනික් ක්‍රමය තමයි එදා හදලා තිබිච්ච ගලක් හෝ යම්කිසි දෙයක් ක්‍රමානුකූලව දිරීමට පත්වෙනවා. මේ භෞතික හේතු නිසා දිරීමට පත්වෙනවා. මෙන්න මේ දිරීමට පත්වෙන දෙයක් අරගෙන ඒ දේ තුළ ඇතිවෙන්නාවූ ඒ කාබන් චක්‍රය කියන ක්‍රමයෙන් පරීක්ෂා කරපුහම කියන්න පුළුවන් “මෙන්න මේක දිරල තියෙන මේ මට්ටම අනුව මේකෙ වයස මෙන්න මෙච්චර වෙනවා. මේ ගල මේ මට්ටමට පත්වෙලා මෙන්න මෙච්චර කල් වෙනවා…” දැන් ගලක් පළලා ගත්තට පස්සෙ ඒ පළපුහම ඇතුළෙ පැත්තෙ තියෙනවා අළුත් බවක් තියෙනවා. අවුරුදු දහස් ගාණක් යනකොට ඕකෙ එන්න එන්න මළ බැඳිලා වගේ ඒකෙ දිරීමක් තියෙනවා. ඒ දිරීම් මට්ටම පරීක්ෂා කරලා බලලා “මෙන්න මේ මට්ටමට දිරන්නෙ මේ ගල් කැටයක්, කළු ගලක්, ඒ දිරීමේ ක්‍රියාවලිය මෙන්න මේ විදිහට සිද්ධවෙන්න අවුරුදු මෙච්චර කාලයක් යනවා…” කියල එහෙම කාල නිර්ණයක් මණින ක්‍රමයක් තියෙනවා. මේක විද්‍යානුකූල පරීක්ෂණ කරලා හොයාගත්ත, බොහෝකොට සත්‍ය ක්‍රමයක්.
මෙන්න මේ ක්‍රමයෙන් ඉන්දියාවෙ තියෙන ගල් බැමි පරීක්ෂා කරලා, ඔය ශිලා ලිපි පරීක්ෂා කරලා පැරණි බව බලපුහම, ඒවයෙ පැරණි බව පෙන්නන්නෙ අවුරුදු දාහයි. ලංකාවෙ තියෙන ලෝවාමහාප්‍රාසාදයේ තියෙන ගල් ටැම් පරීක්ෂා කරලා බලනකොට ඒකෙන් පෙන්වනවා අවුරුදු දෙදාහක් පැරණි බව. දැන් මෙතන ලොකු වෙනසක් එනවා. ඉතිහාස කතාව බැලුවොත් එහෙම අශෝක ටැම් ලිපි පිහිටෙවුවට පස්සෙ තමයි ලංකාවෙ ඒවා හදල තියෙන්නෙ. එහෙනම් ධර්මාශෝක රජ්ජුරුවන්ගෙ කාලෙ ඔය කියන ඉතිහාසගත කාලය නම්, අර පරීක්ෂණය ලංකාවෙ තිබෙන ඒවා පරීක්ෂා කළහම කාබන් චක්‍රයෙන්, වැඩි කාලයක් පරණ වෙන්නත්, ඉන්දියාවෙ අවුරුදු දාහකට සීමා වෙන්නත් හේතු තියෙනවද? දැන් නියම විදිහට තියෙන්න ඕනෙ මොකද්ද? ඉන්දියාවෙ ඒවට කාලෙ වැඩියි, ලංකාවෙ ඒවට කාලෙ අඩුයි, තිබිය යුත්තෙ මේක.
ලෝකයේ වෘක්ෂ පරීක්ෂා කරලා බලන නානාප්‍රකාර ක්‍රම වලින් ඒවයෙ වයස මණින ක්‍රම තියෙනවා. ඒවත් විද්‍යානුකූලව හොයාගත්ත ක්‍රම. අපේ කතා හා මෙතෙක් එන කටකතා ඔක්කොගෙම තියෙනවා “ඉන්දියාවෙ තිබිච්ච ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ කපලා කොටලා විනාශ කළාට ආනන්ද බෝධීන් වහන්සේ තාම තියෙනවා” කියලා. අපේ බෞද්ධ ඉතිහාසයේ පෙන්වනවා ආනන්ද බෝධීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ජීවමාන අවධියෙහි පිහිටෙවුවා කියලා. ඊට අවුරුදු 236 කදි තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සෙ තමයි ජය ශ්‍රී මහා බෝධීන් අතින් එහෙ ලංකාවෙ තිබිච්චි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, ඒ ශාඛාවක් වැඩමවලා මෙහෙ රෝපණය කරා කියලා කියන්නෙ. හැබැයි අර තැන පරීක්ෂණයෙන් ඔප්පු වෙනවා “ලෝකයේ පැරණිම වෘක්ෂය ලංකාවෙ තියෙන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේය” කියලා. ඒ වෘක්ෂ විද්‍යාඥයින් බලලා කරපු සියළුම පරීක්ෂණ වලින් පෙන්වල තියෙනවා.
හැබැයි ඉතිහාස කතාවම ඊට වඩා අවුරුදු 236 කට පැරණි ආනන්ද බෝධිය පිහිටුවනවා ඉන්දියාවෙ. එහෙනම් පැරණිම වෘක්ෂය වෙන්න ඕනෙ ඉන්දියවෙ තියෙන ආනන්ද බෝධිය, ලංකාවෙ තියෙන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේටත් වඩා අවුරුදු 236 ක් පැරණි වෙන්න ඕනෙ. හැබැයි ඔප්පු වෙලා නෑ. පටක රෝපණය, “පටක නවීකරණය” වෙන යම් වෘක්ෂයක් ලෝකෙ තියෙනවා නම්, එකම වෘක්ෂයක් මුළු ලෝකෙටම තියෙන්නෙ. ඒකත් විද්‍යාඥයින්ට ඔය පරීක්ෂණ වලින් හම්බෙලා තියෙනවා. ඒ එකම වෘක්ෂය ලංකාවෙ තියෙන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදිත් උන්වහන්සේ විසින්ම, එම ස්ථානයේ උන්වහන්සේගෙම අනුදැනුම පරිදි රෝපණය කරවලා, උන්වහන්සේ ඵල සමාපත්තියට සමවැදුනයි කියන ආනන්ද බෝධීන් වහන්සේ ඉන්දියාවෙ තිබුණා නම්, පටක නවීකරණයක් ඒ බෝධියෙ නෑ. එහෙනම් මුළු ලෝකෙටම තියෙන්නෙ එක වෘක්ෂයයි පටක නවීකරණය වෙන.
එහෙනම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේම ශාඛාවක්මයි මෙහෙ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ. ආනන්ද බෝධියත් ඒකෙ ශාඛාවක් නම් ඒකෙ විශේෂයක් තව තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඵල සමාපත්තියට සමවැදිලා හිටියා, මෙයිටත් වඩා වැදගත්කමක්, විශේෂත්වයක්, බල දරන්න ඕනෙ ආනන්ද බෝධීන් වහන්සේගේ. හැබැයි පටක නවීකරණය වෙන එකම වෘක්ෂයක්වත් මුළු ලෝකෙම නෑ, ලංකාවෙ තියෙන මේ ජය සිරි මහා බෝධීන් වහන්සේ හැරෙන්න තව දෙයක්. එහෙනම් විශේෂයක් දකිනවා, මොකද්ද මේ බෝධීන් වහන්සේ ලෝකයේ තියෙන අති විශේෂ වස්තුවක්. හැබැයි මහා ජය සිරි මහ බෝධීන් වහන්සේ ඉන්දියාවෙ තිබිලා, එයින් අරගත්ත ශාඛාවක් එහෙම ගත්ත නිසා අති විශේෂ වුනානම්, මෙයිට වඩා අති විශේෂයක් තියෙන්න ඕනෙ ආනන්ද බෝධීන් වහන්සේ – ආනන්ද බෝධියට ඉන්දියාවෙ තියෙන. නමුත් ඔප්පුවෙන්නෙ නෑ එහෙම විශේෂත්වයක් තියෙන බව.
කැණීම් කටයුතු වලදි අඩි 6 කින් යට කිසිම වස්තුවක් තියෙන බවට, පුරාවිද්‍යා වස්තුවක් තිබුණ බවට ඉන්දියාවෙ කැණීම් වලින් අද දක්වා ඔප්පු වෙලා නෑ. හැබැයි ලංකාවෙ බලපුහම අඩි 25 – 30 යන කැණීම් වලදිත් ඔප්පුවෙලා තියෙනවා මීට ඉස්සෙල්ලා තිබිච්ච අඩිතාලම. දැන් එතකොට වැඩිපුර මෙහෙ ජනාකීර්ණ වෙලා තිබිලා තියෙන්නෙ. ඉතිහාස කතා වල බැලුවොත් එහෙම විජය රජ්ජුරුවන්ගෙන් පස්සෙ තමයි මෙහෙ ඔක්කොම කරල තියෙන්නෙ. හැබැයි අර කරපු කැණීම් කටයුතු ගැන බලනකොට දැනට අවුරුදු 17,000 කට 20,000 කට ඉස්සෙල්ලත් මෙහෙ ජනාකීර්ණ, හොඳ ජනාකීර්ණ නගර තිබිලා තියෙනවා කියල ඔප්පුවෙනවා. ඉතින් අර ඉතිහාස කතාවල් ඇත්ත වෙන්නෙ විද්‍යානුකූලව පෙන්නන සාධක උඩ.
ඉතිහාස කතාව අපිට ඇවිත් තියෙන්නෙ “මහාවංසය” නැමැති පොතෙන්. මහාවංසය නැමැති පොත ලියවිලා තියෙන්නෙ අවුරුදු 700 ක කටකතා එකතු කරලා තමයි පළවෙනි මහාවංසයෙ පළවෙනි පිටුව, නැත්නම් පළවෙනි කොටස ලිවුවෙ. ඊටපස්සෙ යම් යම් කාල වල තව තවත් අය විසින් එකතු කරපු කොටස් නිසා තමයි දෙවෙනි, තුන්වෙනි කොටස් එකතුවෙලා අද තියෙන මහාවංසය පවතින්නෙ කියල ඉතිහාස කතාවෙ තියෙනවා. අවුරුදු 700 ක කටකතාවක් ගෙනාවෙ කවුද මහාවංසයට? දැන් කියනකොට කියනවා අපේ ථේර පරපුරේ හාමුදුරුනමක් තමයි මහාවංසයේ පළවෙනි පිටුව ලිවුවෙ, නැත්තම් පළවෙනි කොටස ලිවුවෙ කියලා. හැබැයි බුදු දහම තුළ “දෙතිස් කතා” තහනම් කරලා තියෙන, දෙතිස් කතා භාවිතා නොකරපු අදටත් කුඩාවූ ඇවැතක් වත් සිද්ධ නොවෙන විදිහට ආරක්ෂා කරපු, එදා හිටිය සඟ පරපුර රාජ කතා, චෝර කතා, ගාම කතා, නිගම කතා, ජනපද කතා ඔක්කොම එකතුකරල තියෙන මහාවංසය ලියන්නෙ කොහොමද? වචන මාත්‍රයක් භාවිත නොකරන තැනක දෙතිස් කතා අත්හැරලා හිටපු භික්ෂූන් වහන්සෙලා නම් හිටියෙ, මහාවංසයේ තොරතුරු, හත්සීයක් අවුරුදු තොරතුරු කාගෙන්ද ගත්තෙ? රාජ කතා කවුද ගෙනාවෙ? කවුද දැනගෙන හිටියෙ? ඒව ලිවුවෙ කවුද? ථේරවාදී පරපුරක් අතර එහෙම එකක් ඒ දවසට තියෙන කියන්න වත් අවසරයක් නැත්නම්, කථාකරන්න වත් අවසරයක් නැත්නම්, පොතක් ලියන්න අවසර දෙයිද ඔය කතාවලට?
ඉතින් හේතු සාධක දකින්න ඕනෙ. අපිට පෙන්වන ඉතිහාසය එකක්, යථාර්තය තව එකක්. ඉතින් මේවා අපිට අවශ්‍යය දේවල් නෙමෙයි. මේ හේතු සාධක තියෙන නිසා මම පියවියක් පෙන්නුවෙ, මේවායෙ පරස්පර දේවල් බොහෝ තියෙනව කියලා. අපිට මේ ටික අවශ්‍යය නැහැ. මේවා කොහොම වුනත් කමක් නෑ, සත් තිස් බෝධි පාක්ෂික ධර්ම නිරුපද්‍රිතව තියෙන බව ප්‍රඥාගෝචරයි. ඒ නිසා ඒකෙන් තේරුම්ගන්න පුළුවන් රාගක්ෂය, ද්වේශක්ෂය, මෝහක්ෂය කරන්න අවශ්‍යය ධර්මය නිරුපද්‍රිතව තියෙනවා. ඒකෙන් නිවන් අවබෝධ කරගන්නවා මිසක් මේවා පස්සෙ වැඩිපුර හොයන යන්න එපා, අවශ්‍යය නෑ.
{ 08:45 } : උපහාර පූජා සහ මනෝමය පූජා වල වැදගත්කම ත්‍රිපිටකය තුළින්
ඉතින් තවත් ඒවගේ ඒවා තියෙනවා නම්, මේකත් අර අරවගේ දෙයක්. අර අපි කියෙවුවෙ “වර්තමානයේ අරිහත්වයට පත්වීයැයි කියාගන්නා හිමිනමක් විසින් පිළිම වන්දනා, බෝධි වන්දනා කිරීම වැඩක් නැතිබව කියලා ඒ විදිහට ධර්ම පණිවිඩයක් කියලා තියෙනවා” කියලා පෙන්වනවා. ඉතින් මේවයෙදි අපිට ඇත්ත වශයෙන්ම කවුරු කිවුවත්, අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් ගන්න තියෙන්නෙ යමක් යමක් හේතුකොටගෙන රාගය, ද්වේෂය, මෝහය ක්ෂය කරන්න ආධාර වෙනබව තමන්ට පේනවා නම් ඒ දේ අනුගමනය කරන්න, මෙන්න පළවෙනි කාරණය. අනික් කාරණය දැනට තියෙන පෙළ දහමෙත් අදහස් …(9:18 පැහැදිළි නැත)… මෙබඳු දේ තුළින් පුද්ගලයාට විමුක්ති මාර්ගයට සමීප වීමට අවශ්‍යය මානසිකත්වය, හැඩතලය උදාවෙන බව හොඳට පැහැදිළිව පෙන්වල තියෙනවා.
“අපදාන පාළිය” නැමැති කොටසෙ තියෙනවා “ථේරාපදාන – ථේරීඅපදාන” කියල කොටසක්. එදා හිටපු මහරහත් බවට පත්වෙච්ච තෙරුණ් වහන්සේලා ඒ ගමන ආරම්භ කරන්න මේ සසරෙදි යොදාගත්ත ක්‍රමය. මෙන්න මේ ක්‍රමය තුළින් “වැල්ලෙ වැලි ගොඩක් එකතු කරල ඕකෙ මලක් ගිහින් පූජා කරලා බුදුහාමුදුරුවන්ට කියල කරපු වැඩපිළිවෙලක් මුල් කරගෙන එතෙන පටන්ගෙන ඒ වැඩුනු ආර්ය මාර්ගයට අවතීර්ණ වෙච්චි ගමන මේ ගෞතම බුද්ධ ශාසනයෙ අරිහත්වයෙන් කෙළවර කළා” කියල පෙන්නපු තැන් තියෙනවා. බෝධීන් වහන්සේ ලඟ පහනක් පත්තුකරලා, බෝධීන් වහන්සේ ලඟ මලක් තියලා, උපහාර කරන කොඩියක් එල්ලලා උපහාර කරලා, පහනක් පත්තුකරලා උපහාර කරලා, සමන් මල් වටාපතකින් බෝධීන් වහන්සේට පවන් සැළීමෙන්, බුදුරජාණන් වහන්සේට, බෝධියට උපහාරයක් කරලා, මේවගේ කරගත්ත පිරිස් “මෙන්න මෙබඳු ආකාර කාලයක් දුගතියට පත්වෙන්නෙ නැතුව, කල්ප මෙච්චර ගණනක් ගෙවල ඇවිදිල්ලා මේ බුද්ධ ශාසනයේදි මම සසර ගමන කෙළවර කරගත්තා” කියලා තවත් අපදාන පාළි කතා තියෙනවා එක එක භික්ෂූණ් වහන්සෙලාගෙ. “සක්මන් කරන මළුවකට වැලි ටිකක් ගෙනත් දාලා, එල්ලලා තිබිච්චි බුද්ධ චීවරයකට නමස්කාර කරලා ගිහිල්ලත්, ඒ පිනෙන් මෙච්චර කාලයක් දුගතියකට පත්වෙන්නෙ නැතුව මෙච්චර කල්ප ගාණක් ගෙවිලා ඇවිදිල්ලා සසර ගමන කෙළවර කරගෙන විමුක්ති ලාභියෙක් වුනා මම, ඒ කරගත්ත පින මුල්කරගෙන” කියලා අපදාන පාළියෙ ඕනෙතරම් කතා තියෙනවා. කතා සිය ගණනක් තියෙනවා. ඉතින් අපිට හිතු මනාපෙට ඕවා ගැන කතාකරලා අපි කොහොමද අයින් කරන්නෙ?
ආනන්ද බෝධි කතාවකදි, ආනන්ද බෝධිය කොහෙද තියෙන්නෙ කියල මීනිස්සු දන්නෙ නැති එකයි තියෙන්නෙ, පටලවගත්තම. ඒවයෙදි පෙන්නනවා ඒ කාල වලදී “මා හට කරන යම් වතාවතක් ඇත්නම්, පූජාවක් ඇත්නම්, මෙ බෝධීන් වහන්සේටත් කරන්න කියන්න මා සිහි කරලා. පිනේ අඩුවක් නෑ කියන්න….” {{ කාලිඞ්ගබොධිජාතකවණ්ණනා }} එහෙමත් දේශනා තියෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේම දේශනා කරපු දේශනාවක් තියෙනවා නම්, බුදුරජාණන් වහන්සේ සිහිකර කරන්නාවූ ඇප උපස්ථානයක්, පූජාවක් ඒ උදෙසා කෙරුවනම් පිනේ අඩුවක් නෑ කියන්න කියලා, බුද්ධෝපස්ථානය අද කරන්න බැරිද?
උන්වහන්සේ චාරිකා වැඩපුහාම ජේතවනාරාමයේ කවුරුවත් නෑ. මිනිස්සු බුදුරජාණන් වහන්සේ හම්බවෙන්න නොයෙක් දේවල් අරගෙන එනවා, පුද පූජා දේවල් අරං එනවා. උන්වහන්සේ නැතුවහම ඒවා තැනින් තැන දාලා යනවා. මෙන්න මේ කාරණය මුල්කරගෙන තමයි පූජනීය වස්තුවක් විදිහට බුදුරජාණන් වහන්සේ ආනන්ද බෝධිය පිහිටවෙවුවා කියල තියෙන්නෙ.
එහෙනම් බුදුරජාණන් වහන්සේ චාරිකා ගිය වෙලාවෙ බුදුරජාණන් වහන්සේ උදෙසා යම්කිසි දෙයක් පූජා කිරීම එදත් සිරිතක් වශයෙන් කරලා තිබුණ බවත්, ඒක බුදුරජාණන් වහන්සේ අනුමත කරල තිබුණ බවත් ධර්මයේ සඳහන් වෙනවා. එහෙමනම් අපිට ඒ තුළින් බුදුරජාණන් වහන්සේ උදෙසා කරන පූජාවක ප්‍රතිඵලයක් නෑ කියල කියන්න කිසීම හේතුවක් නැත.
අපදාන පාළියේ පළවෙනි බුද්ධාපදානයේ “ත්‍රී වේද දේව චක්‍රවර්ති” කියන රජ කෙනෙක් මනෝමය වශයෙන් මහා පූජාවක් මවලා පිරිනිවන් පාපු බුදු, පසේබුදු මහරතතන් වහන්සේලා එකම මණ්ඩපයක් හදලා, මවලා ගෙන්නලා මනෝමය වශයෙන් වැඩමවල, ඒ මහා දානයක් දුන්නා මනෝමය වශයෙන් කියලා පූජාවක් තියෙනවා. අපි අද කරන්නෙත් අන්න ඒ ජාතියෙ පූජාවක්. මනෝමය මහා පූජාවක්. “ඒ පූජා කරපු පින නිසා සසරෙ උපනූපන් තැනනක මට අත දිගු කරන්න හම්බෙන්නෙ නෑ, විශාල ලැබීමක් පහලවුනා. මේ තරම් මහත්ඵල මහානිසංස දරණ පිංකමක් තමයි එදා මං කරේ” කියලා අපදාන පාළියෙ ත්‍රි වේද දේව නමින් චක්‍රවර්ති රජකෙනෙක් වෙලා මහබෝසතාණන් වහන්සේව ඉපදිලා කරපු පූජාව සඳහන් වෙනවා. {{ බුද්ධාපදානං }} එහෙනම්, මේ පූජාව ධර්මානුකූලයි. බුදුරජාණන් වහන්සේ අනුමත කරපු පූජාවක්. ඉතින් මෙහෙම දෙයක් බුදුරජාණන් වහන්සේගෙ අනුමැතිය තියෙනවා, ඒකෙ ප්‍රතිඵලත් ලෞකික වශයෙන් මිනිස්සු පෙනි පෙනී ලබනවා. හොඳට පැහැදිලිව පේනවා නොයෙක් අමනුෂ්‍යය ආදීන් වෙලා නොයෙක් කරදර කරපු අමනුෂ්‍යයො ඒ පින් ඵලයෙන් සුඛිත මුදිත වෙලා සුඛිත බවට පත්වුනු බවට හොඳට ඔප්පුවෙන සාධක තියෙනවා. අපිට නම් මේවා අත්දැකීම් සහිතව තියෙන නිසා මේක අමුතුවෙන් කාගෙන්වත් අහන්න දෙයක් නෑ. ඒකෙ ප්‍රතිඵල ඒවගේම ලඟාවෙලා ලබනවා පිරිස. ධර්මානුකූලවත් එදා ගෙනාපු මෙතෙක් කල් ථේර පරපුරේ අදහස් වලටත් ඒක එකඟයි.
මේ සියළුම අදහස් අයින් කරලා මේ දැන් ඉන්න එක එක පණ්ඩිතයො “මම අර තත්වෙට පත්වුනා, මේ තත්වෙට පත්වුනා, මේකයි හරි, අරකයි හරි…” කියලා ධර්මයට නොගැලපෙන දේවල් ප්‍රකාශ කරලා මිනිස්සුන්ව මුළාවට පත්කරනවා. “පිළිමෙ බත් කනවද? මේ පිළිමෙ බෙහෙත් බොනවද?” මේ වගේ භෞතික තර්ක ඉදිරිපත් කරනවා. ඉතින් ඒවගේ අවස්ථාවල් තියෙනවා.
{14:10} : ගරු සරු ඇතිව, අවබෝධයෙන් ප්‍රඥාවෙන් යුතුව බුද්ධ පූජාව පූජා කරමු
ඉතින් මේවගේ අවස්ථාවල් අපි හොඳට පැහැදිලිව, දැන් මේ වගේ සමහර කට්ටියට ප්‍රශ්නයක් තියෙනවා බුද්ධ පූජාව මෙතන තියලා ඇයි වැහුම් අරින්නෙ නැත්තෙ කියලා. සමහරවිට තව එක්කෙනෙක් කියන්න එනවා “අත දිග මදිනෙ, ඇයි ටිකක් උඩින් තිබ්බෙ නැත්තෙ…” කියල ඊලඟට කියන්න පුළුවන්. ඔය මත!
දැන් අපි ගරුත්වයට කරන යමක් තියෙනවා. කෙනෙකුට ආහාරයක් දෙනකොට අපි ඇහුවොත්, දැන් අපි මඟුල් ගෙදරකට ගිහාම මොකද කරල තියෙන්නෙ? ඉස්සෙල්ලාම මඟුල් ගෙදර මේසෙ අපි ඉඳගන්නකොට මොකද්ද තියෙන්නෙ? වැහුමක් වහලා නේද? උඩ පිරුවටයෙන් වහලා, පස්සෙ නේද අරින්නෙ ඒක අහකට? දාසයෙකුට කන්න ටිකක් දෙනවා. ඕකත් අරවගේ වහනවද? වෙනසක් නැද්ද? ගරුත්වයෙන් යම්කිසි කෙනෙකුට යමක් තියනකොට අපේ සාමප්රදායික ක්‍රමයක් නැද්ද ඒක වහල තියන එක? පාවිච්චියට ගන්න වෙලාවෙදි, ඒ වෙලාවෙ එයා නේද ඇරගන්නෙ?
එහෙනම් බුදුරජාණන් වහන්සේ උදෙසා යමක් තියනකොට අපේ ගරුත්වය නම් ඒක අරින්න බැරි පෙට්ටියක දාලා වහලා නෙමෙයි, යම්කිසි පිරුවට කෑල්ලකින් වහලා තියන්නෙ, දූවිලි පොදක්වත් නොවදින්න. ඔන්න පෙට්ටියක දාලා වහලා පූජා කරානම් ඒක ගැලපෙනෙ නැති එකක් වෙනවා. එතන තියෙනවා මොනවහරි කෙනෙකුට කියන්න. “ආ කන්න” කියලා, බලනකොට යතුර දාලා පෙට්ටියක දාලා වහලා නම් එහෙම තියෙන්නෙ, ඒක නම් ගැළපෙන්නෙ නෑ. නමුත් කෙනෙකුට කෑම කන්න දෙනකොට බලිය වගේ ඇරලා දාලා දෙනවනම් ගිහින් කාලා එන්න කියලා, බලනකොට මැස්සොත් වහලා, අරහෙ – මෙහෙ කරලා තියෙනවා නම් ඉතින් ගැළපෙනවද? එහෙනම් නියම ගැළපීම මොකද්ද?
කන්න බොන්න තියන දෙයක් දූවිලි, ඒ වාගෙම කෘමි සතුන්ගෙන් ඇතිවෙන කරදර නැතිවෙන්න ඒක යමකින් වහලා තියන එක ඉතාම හොඳයි. අඩු තරමෙ කඩදාසියකින් හරි වහල තියන එක බොහොම වැදගත්. ඒක ආහාරයට වැරදීමකින් වත් බාදකයක් නෙමෙයි, ආරක්ෂාවක්. ඒක හොඳ දෙයක්. ඉතින් මෙහෙම ඒවා, මේ එක එක්කෙනාගෙ මත තියෙනවා. එහෙම හරයක්, හේතු ඵලයක් නැතුව “අරක වහල තියන්න ඕනෑ, මේක ඇරල තියන්න ඕනෑ” ඉතින් ඔයවගේ එක එක්කෙනාගෙ කතා. ඉතින් ඔහොම ගත්තහම තමයි අන්තිමට ගිහිල්ලා ඉතින් අර කතාවක් තියෙන්නෙ, ආප්ප දෙකක් ගෙනල්ලා බුදු හාමුදුරුවන්ගෙ අතේ තිබ්බා කියලා, එක උපාසක අම්මා කෙනෙක්. කූඹි රැලක් ඇවිදිල්ලා මොකද කරන්නෙ, එනවලු ලොකු හාමුදුරුවො බලපුහම මහ කූඹි රැළක් එනවලු, තෙල් කූඹි රැළක්. මුං කොහෙද යන්නෙ විහාරෙ ඇතුලෙ කියල බලාගෙන යනකොට පිළිමෙ දිගේ යනවලු. බලනකොට අත උඩ ආප්ප දෙකකුත් තියෙනවලු. ඊටපස්සෙ ලොකු හාමුදුරුවො ඇහුවලු පොඩි හාමුදුරුවන්ගෙන්…
“කවුද මේ ආප්ප තිබ්බෙ?”
ඒ පාර කියනවලු, “මම දන්නෑ…”
“දන්නෑ කියලා හරියනවද මේ කරල තියෙන මෝඩ වැඩක හැටි! මේ ආප්ප දෙකක් තියලා …(16:42 පැහැදිළි නැත)… මේ බලන්නකො කරල තියෙන මෝඩ වැඩක හැටි!”
ඊටපස්සෙ ඉතින් බලපුහම ඒක අහක් කරලා, සුද්ධ කරලා, පිහිදාලා තිබ්බලු. ඊලඟ දවසෙදිත් බලනකොට තියලලු. එදත් හොයාගන්න බැරිවුනා තිබ්බ කෙනා. පොඩි හාමුදුරුවො හැංගිලා බලා හිටියා දොර මුල්ලෙ. බලනකොට උපාසක අම්මා කෙනෙක් ඇවිදිල්ලා, කියවනව ඇහෙනවලු මොනවදෝ…
“අනේ හාමුදුරුවනේ, මෙච්චර කල් ඔබවහන්සේ බඩගින්නේ! මිනිස්සුන්ගෙ මෝඩකමේ හැටියට ඔබවහන්සෙගෙ මේ අත් දෙක දික් කරන්න පුලුවන් යෑ මෙතෙන්ට… මේ පල්ලෙ ආහාර තියලා වහල තියලා දුන්නහම ඕවා ඉතින් කොහොම වළඳන්නද? ඊයෙ ආප්ප තිබ්බා, මං උදේ ඇවිදින් බැලුවා, හවස බැලුවා, වළඳලා නෙ! පෙරේදා තිබ්බ එකත් වළඳලා තිබ්බනේ! අනේ ස්වාමීනි බලන්නකො, මෙච්චර කල් බඩගින්නෙ නේ…” කියනවලු මේක උඩට ඇවිත්. එතකොට මල් ආසනේ උඩලු උපාසක අම්මා. ආප්ප දෙක තියන්න නැගලා.
“මොකද උපාසකම්මෙ කරන්නෙ ඔය? ආප්ප කැවුවද?” කියල අහනකොට ගැස්සිලා බැස්සා බිමට.
“උඹලා කරපු එක වැරදියි! මෙච්චර කල් කරේ මොකද්ද? බුදු හාමුදුරුවො බඩගින්නෙ මෙච්චරකල්… මෝඩයො!” කියලා පොඩි හාමුදුරුවන්ට බැන්නා.
ඒපාර පොඩි හාමුදුරුවො ටිකක් සැරවෙලා කිවුවා “මෝඩ වැඩ කරන්න එපා, ඔය ආප්ප දෙක අරං යනවා යන්න!” කිවුවා.
“ආප්ප දෙක අරගෙන යන්න? දෙන්නංකො වැඩක්, දානෙ දෙන්නෙත් නෑ මීටපස්සෙ” කිවුවා, ආයෙත් නැග්ගා අරකට, ආප්ප දෙක අරං ගැහුවා පොළවෙ, යන්න ගියා.
දැන් මෙන්න මේ වගේ මිනිස්සුන්ගෙ මෝඩ වැඩ තියෙනවා. ඉතින් ඒ වගේ අපි යමක් කරනකොට මේ හේතුව මොකද්ද, ඵලය මොකද්ද කියලා දැකලා සංකේතයක් ගොඩනඟනකොටත් ඒ සංකේතය, සංකේතාත්මකව කරන්න ඕනෙ. වැළඳීමත්, උපහාරයත් දෙක දැනගන්න ඕනෙ. සිවුපස පූජාවත්, උපහාර පූජාවත් තේරුම්ගන්න ඕනෙ. මේවා එකින් එක තේරුම්ගෙන කරන්න ඕනෙ.
උපහාර පූජාව එකක්, සිවුපස පූජාව එකක්. එහෙම ක්‍රම දෙකක් මේ ලෝකෙ ඉස්සරත් තිබුණා, දැනුත් තියෙනවා. නවීන සමාජයේ මේක නෑ කියන්න බෑ. අදත් ඇමතිවරයෙක් මළහම, මහ ජනාධිපති වරයෙක් නැති වුනහම එයා වෙනුවෙන් පිළිරුවක් හදලා තියනවා, හරියට එයාගෙ මියගිය දිනය මුල් කරලා අඩුතරමේ මල් මාලයක් හරි කරට දාලා යනවා. එහෙම එකක් තියෙනවා, උපහාරයක් වශයෙන්. මෙබඳු උපහාර ක්‍රමයක් අපේ චර්යාවල තියෙනවා. ඒ වගේ උපහාර ක්‍රම හරි වැදගත්. ඒවයෙන් ඇතිවෙන්නෙ ගුණ සිහිකිරීමක්.
මෙබඳු ගුණ සිහිකිරීමක් කරන පූජාවල් ක්‍රම ක්‍රමයෙන් ඒ ගුණ සිහිකරලා, ඒවා කම්මැලිකමට හරි, එක්කෝ ඒවා කියන්න දන්නැතිකම, තේරුම්ගන්න දන්නැතිකමට හරි වෙනස් කරලා, නමට තියන්න ගිය කාලයක් ගියාට පස්සෙ කාලෙකදි අමතක වෙලා යනවා මේවා මොකටද කරේ කියන එක. ඒ නිසා පුද්ගලයො එක එක විකෘති අදහස් ගන්නවා. ඉතින් මේ වෙලාවට අපි දැනගන්න ඕනෙ, යම්කිසි කෙනෙකුට යමක් දෙන ආකාරය. සංකේතවත් කරලා කරනකොටත් ගුණයක් වැඩෙනවා. ඉතින් එක්තරා කෙනෙක් අහන්න පුලුවන් “පිලිම වලට ලෙඩ හැදෙන්නෙත් නෑ, පිළිම වලට බඩගිණි වෙන්නෙත් නෑ, ඔය කරන්නෙ මෝඩ වැඩක්. ඕකෙ කොහෙද පිනක් සිද්ධවෙන්නෙ?”
දැන් එයාට මං ඇහුවා “දැන් ඕගොල්ලො දන්නවනෙ ඔය ඡන්ද කාලෙට එක එක පෙළපාලි තියෙනවා. මේ පෙළපාලි වලදි යම්කිසි පුද්ගලයෙක්ගෙ, ඇමති වරයෙක්ගෙ ඔළුවක්, නැත්නම් ඇඟක් හදලා, පඹයෙක්ට වගේ ඕක අරං ගිහිල්ලා තියලා පුච්චනවා. ඔය වෙලාවෙදි ඒ මනුස්සයගෙ මානසිකත්වය මොකද්ද? ඒ තරහක් එහෙම මතුවෙන්නෙ නැද්ද? තරහෙන් පළිගැනීමකට එහෙම කරන වැඩක් වෙන්නෙ නැද්ද ඒක? ඒ වැඩේ කරපුහාම ඒ ඇමතිවරයට හරි ඒ මන්ත්‍රීවරයට වරයට හරි හිත පෑරෙන්නෙ නැද්ද? ඒ කෙනාට හිංගියක්, හිංසාවක් එහෙම නැද්ද? ඔබේ අදහස මොකද?” කියලා
“එතන ඒ අය ද්වේෂයෙන් නෙ එහෙම කරන්නෙ” කියල කියනවා.
මං කිවුවා “හරි ඇත්ත, බලන්නකො ඇමතිවරයගෙ, මංත්රීවරයගෙ මයිල් ගහක් වත් පුච්චන්නෙ නැතුව පිදුරු කටු ටිකක් හරි මොනවහරි ගෙනිහිල්ලා පුච්චපුහම එයාට ද්වේෂයක් නැඟෙන බව ඔයා පිළිගන්නව නේද? මොකක් නිසාද? සංකේතයකට නිගරු කරහම ද්වේෂයක් හටගන්නවන්න පුළුවන් නම්, සංකේතයකට ගරු කරපුහම? කුසළයක් හටගන්නෙ නැද්ද?”
එහෙම කරල එතනදි විග්රහ කරල දුන්නට පස්සෙ එයාගෙ නොදැනුවත්කම අවංකව පිළිගත්තා. මෙන්න මෙහෙම දේවල් තියෙනවා. ඒ සංකේතාත්මක අගය අපි දකින්නත් ඕනෙ, ඒ සංකේත කරනකොට ගරුත්වයෙන් කරන ක්‍රමයක් තියෙනවා, ඒ ක්‍රමයට ඒවා කරන්න ඕනෙ. ඒක “උපහාර පූජාවක්”. උපහාර පූජාවකින් විශාල පිනක් තියෙනවා.
ජේතවනාරාමය පූජා කරපු අනේපිඬු සිටුතුමාට වැඩිය පිනක් කරගත්තා ඒ කෙරෙහි පැහැදිලා සංතෝසයෙන් සාධුකාර දුන්න එක්තරා උපාසක මහත්මයෙක්. මුගලන් මහරහතන් වහන්සේ තවුතිසා දෙවුලොවට වැඩපු වෙලාවෙ ජේතවනාරාමය වගේම හිස් රිදී විමානයක් තියෙනවා එක තැනක. ඉන්න දෙවියන්ගෙන් අහනවා “මේ විමානය කාගෙද? ජේතවනාරාමය වගේ”
“ස්වාමීණි, අනේපිඬු සිටුතුමා ජේතවනාරාමය පූජා කරන වෙලාවෙදි එයාගෙ පුණ්‍ය ශක්තියෙන් ඕක එයා වෙනුවෙන් මැවුනෙ…”
“අර උඩ තව එකක් තියෙනවනෙ, ඊට ඉහළින් රත්තරං විමානයක්. ඒකත් ජේතවනාරාමය වගේ! මීට වඩා හරි ලස්සනයිනෙ ඒක. ඒක මැවුනෙ කොහොමද?”
“ඒ වෙලාවෙදි එක්තරා උපාසක මහත්මයෙක් බොහෝම ගරු භක්තියෙන්, ගෞරවයෙන් සාධුකාර දුන්නා. අන්න ඒ සාධුකාර දුන්න කෙනාගෙ පිනට ඒක මැවුනා”
දැන් රත්තරං විමානෙ මැවිල තියෙන්නෙ කාටද? රිදී විමානෙ මැවුනෙ කාටද? තමංගෙ ශ්‍රමය, ධනය ඔක්කොම වියදම් කරලා, කාලය, ධනය වියදම් කරලා හදලා දුන්න අර අනේපිඬු සිටුතුමාට රිදී විමානයක් හම්බුනා, චිත්තප්‍රසාදයක් මතුකරපු කෙනාට රත්තරන් විමානයක් පහලවුනා. ඒ පිනේ තරමට මොකද්ද බලපෑවෙ? ක්‍රියාව දෙවෙනි වුනා, චේතනාව පළවෙනි වුනා. මෙන්න මේ ගතියට පින තියෙන්නෙ.
ඉතින් ඒ වගේ ගරුත්වයෙන් කරන්නාවූ චේතනාවක තියෙනවා විශාල බලයක්. මේක “කර්මවාදයක්” මිසක් “ක්රියාවාදයක්” නෙමෙයි බුදුදහම කියන්නෙ. චේතනාව මුල්කරගත්ත කර්මවාදයක්. ඒ තුළින් නැඟෙන්නාවූ ගොඩනැඟෙන පුණ්‍ය කුසළ බලයක්. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වල තියෙන්නෙ ක්‍රියා වලින් සිද්ධවෙන එකක් නෙමෙයි.
ඉතින් අපි මේ ටිකෙන් දැනගන්න ඕනෙ මේ එක එක්කෙනාගෙ කියමන් වලින් අපිට ඇති වැඩක් නැහැ. සාම්ප්‍රදායකව ගෙනාපු දේවල් වලින් හේතු ඵල න්‍යාය තේරුම් අරගෙන, ඒ තුළින් අපේ ප්‍රතිපත්තිය පූර්ණය කරගන්නවා මිසක්, මේ වගේ මත ඕනෙතරම් තියෙනවා. ඉතින් ඔය මත වලට වෙලා තියෙන්නෙ “බොරුවට ආයුෂ නෑ” කියන එක මතක තියාගන්නකො. එච්චරයි තියෙන්නෙ. ටික කාලයක් ගිහාම බලන්නකො ඒ රහතන් වහන්සෙලා මොකක් කරයිද කියලා. එතකොට තේරෙයි.
{23:00} : සතර සතිපට්ඨානයම වැඩෙන නිවැරදි ආනාපානසතිය
තව එක ප්‍රශ්නයකට පිළිතුරක් තියෙනවා. ඒකත් මොකද මේ… වෙලාව නම් මදි ඒක විග්රහ කරන්න. ආනාපානසතිය පිළිබඳව දැනට තියෙන මේ “සෝ සතෝව අස්සසති – සතෝ පස්සසති” ආදී වශයෙන් දේශනා කරලා තියෙනවා. මේ “දීඝංවා අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජානාති…” ආදී වශයෙන් මේ විග්රහ කරල තියෙන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “සතර සතිපට්ඨානයම මේ ආනාපානසතියෙ තියෙනවා” කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සතර සතිපට්ඨානයට වැටෙන හැටි එකින් එකට, ඒ ආනාපානසතිය මොකද්ද කියලා ඊලඟ අපි අවස්ථාවකදි විග්රහ කරලා ගමු නැවත ධර්ම දේශනාවකදි මේ වගේ දවසක. එතකොට අපිට ඒක හුඟක් දෙනෙකුට යහපතක් වෙනවා.
මේ “ගිරිමානන්ද සූත්‍රයේ” ඔය ආදියේ පෙන්වලා තියෙනවා බොහොම ලස්සනට ඒ විස්තරය. දහසය ආකාරයක විස්තරයක් තියෙනවා. මේ විස්තරය සතර සතිපට්ඨානයම වැඩෙන හැටි පෙන්වල තියෙනවා. මේ “දීඝංවා අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජානාති” කියන තැන ඉඳලා “ඵස්සං භයං කාය සංඛාරං අස්සසිස්සාමීති සික්ඛති – ඵස්සං භයං කාය සංඛාරං පස්සසිස්සාමීති සික්ඛති” කියන තැනට වෙනකන් කායානුපස්සනාව වැඩෙන හැටි.
“පීති පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති” කියලා පටන්ගත්ත තැන ඉඳලා “සුඛ පටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති” කියන තැනට එනකන් වේදනානුපස්සනාව විග්රහ වෙනවා.
“චිත්ත සංඛාර පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති” කියන තැන ඉඳලා “විමෝචයං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති” කියන තැනට වෙනකන් චිත්තානුපස්සනාව විග්රහ වෙනවා.
“අනිච්ඡානුඵස්සී අස්සසිස්සාමීති සික්ඛති” කියන තැන ඉඳලා “පටිනිස්සග්ගානුඵස්සී පස්සසිස්සාමීති සික්ඛති” කියන තැනට වෙනකන් ධම්මානුපස්සනාව විග්රහ වෙනවා.
මජ්ඣිම නිකායෙ මේක විග්රහ කරපු හැටි වෙන්කරලා හොඳට පැහැදිලිව පෙන්වලත් තියෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආනාපානසතිය සතර සතිපට්ඨානයෙන්ම යුක්තයි. ඒ නිසා ඒක ඒකාන්තයෙන් නිවන් මඟක්. තව එකක් වඩන්න දෙයක් නෑ, ඒ ආනාපානසතිය වැඩුවොත් කෙළවර වෙන්නෙ අරිහත් ඵලයෙන්. සතර සතිපට්ඨානයම වැඩෙනවා. ඉතින් අද වඩන ආනාපානසතියයි ඒ දේශනා කරපු ආනාපානසතියයි දෙකේ වෙනස මොකද්ද කියලා මේක පැහැදිලිව තේරුම් අරගන්න ඕනෙ.
ඉතින් ඕක අපි ඊලඟ අවස්ථාවක විග්රහ කරමු, අද දවසෙ කාලය මදි. එතකොට තෝරගන්න පුලුවන් නියම ආනාපානසතිය මොකද්ද කියලා. අනුමෝදනාවට කාලය ඊලඟට තියෙන්නෙ, ඉඳගන්න.
~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~
දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://www.waharaka.com/listen/CD013-05
සැළකිය යුතුයි:-
පටිගත වී ඇති ආකාරය අනුව දේශනාවේ බොහෝ අපැහැදිලි තැන් ඇත. පිටපත් කිරීමේදී යම්කිසි වරදක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව කමාව ලැබේවා! දේශනාව කියවීමේදී යම් අපැහැදිලිතාවයක් ඇතිවූයේ නම් ඒ සියල්ල දේශනාවට සවන් දීමෙන් එසේ පැහැදිලි කරගන්නාමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. තෙරුවන් සරණයි!