දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)
කප්රුක් පූජාව නිවනට උපනිශ්‍රය වන ආකාරය
{0:00} : කප්රුක් පූජාව නිවනට උපනිශ්‍රය වන්නේ කෙසේද?
දැන් මේ තව ප්‍රශ්නයක්, මේ කප්රුක් පූජාව නිවනට උපනිශ්‍රය වෙන්නේ කෙසේද කියලා පහදලා දෙන්න කියලා මේ ඉල්ලීමක් කරනවා. මේ “කල්ප වෘක්ෂ පූජාව” කියන වචනෙ තියෙන්නෙත් මොකද්ද, කිසිම දෙයක් අඩුපාඩුවක් නැතිවෙන විදිහට සකස් කරලා, සියලු දෙයින් අංග පූර්ණ වෙන විදිහේ පූජාවක් හදනවා.
කල්ප වෘක්ෂය සංකේතයක්. කල්ප වෘක්ෂය කියන එක මේ දෙවුලොව තියෙන, පුන්‍ය සෘද්ධියෙන් පහලවෙච්චි දෙයක්. ඒ දේවතාවෙකුට මොනවා හරි අවශ්‍යයතාවයක් තියෙනවා නම්, ඒ වෘක්ෂය වෙතට ගිහිල්ලා බලාපොරොත්තු වෙනකොට, මැවිලා එනවා. අධිෂ්ටාන කරනකොට, හිතනකොට මැවිලා යනවා එතෙන්ට. ඒක පුන්‍ය සෘද්ධියෙන් පහලවෙච්චි වෘක්ෂයක්.
වෘක්ෂ කියලා කිවුවට සියල්ලම එකවාගෙ අපි හිතාගෙන ඉන්නෙ, මොකද මේ ලෝකෙ තියෙන වෘක්ෂ විතරයි අපි දැකලා තියෙන්නෙ. විවිධ ක්‍රමවේදයෙන් හැදෙන ඒවා තියෙනවා. අපි දැකලා නෑ කවදාවත් වෘක්ෂයක ඇඳුම් හැදෙනවා, සළු හැදෙනවා. නමුත් මේ කල්ප වෘක්ෂය කියන එකේ එහෙමත් හැදෙනවා. ඒවා මනුෂ්‍යයින්ට ඇහැට පේන එකක් නෙමෙයි.
දැන් අපි දකිනවා මේ ගස්වල විවිධාකාර වූ දියසෙවෙල් එහෙම බැඳෙනවා, සමහර වෙලාවට ඒවගෙ නිකං බොහොම සිවි වාගෙ ඒවා ගැලවිලා යනවා, ඒ අපි එහෙම දැක්ක ඒවයෙ එහෙම වුනාට, අර කල්ප වෘක්ෂය කියන එකේ හරියට මල් පෙති වාගෙ, අවශ්‍යය කරන දිව සළු සකස් වෙලා, විහිදිලා, හරියට මෝරපු කොලයක් ගැලවිලා යනවා වාගෙ හැදිලා ඒ ඒ පැත්තට විහිදිලා යනවා. අඩුපාඩුවක් නෑ, සියලු දේ හැදෙන විදිහක් තියෙනවා. ඒක පුන්‍ය සෘද්ධියෙ ස්වභාවයක්.
අන්න ඒක සංකේතවත් කරලා තමයි කල්ප වෘක්ෂ පූජාව කියන පූජාවක් තියෙන්නෙ, හදලා. ඒකෙ සාමාන්‍යයෙන් කෙනෙකුට මොනවද ඕනෑ කරන්නෙ, “නැත” යන වචනය කියන්න බැරිවෙන තරමට හොය හොයා, හැම දෙයක් ම ඒකෙ තියෙනවා. ආහාර වර්ග, ඇඳුම්-පැළඳුම්, නොයෙක් දේවල්, පාවිච්චියට ගන්නාවූ දේවල්, මේ සියලු දේවල් අඩංගු කරලා තියෙනවා. සංකේතවත් කරනවා කල්ප වෘක්ෂයක්. එහෙම කරලා සාසනය උදෙසා පූජා කරනවා.
ඒ පූජා කරපුහාම, අපි සංකේතවත් කළේ “කිසි දෙයක් අඩුපාඩුවක් නැතුව, සර්ව සම්පූර්ණ මහා පූජාවක් දෙනවා” කියලා. ඉතින් අන්න ඒ සංකේතවත් කරලා පූජා කරපුහාම ඒකෙදි ඇතිවෙන්නෙ, අපිට කිසි දවසක අඩුපාඩුවක් නොවෙන, සියලු දෙයින් පූර්ණ වන්නාවූ පරිසරයක්, සියලු දෙයින් පූර්ණ වන්නාවූ කායික-මානසික පරිසරයකට ඒ හේතුවෙන පුන්‍ය සෘද්ධියක් ලැබෙනවා. අන්න ඒ පුන්‍ය සෘද්ධිය නිවනට හේතුවෙන්න අපි හිතාගත්තොත්, නිවන් මඟට හේතුවෙන විදිහට සියලු කටයුතු සම්පූර්ණ වෙන්න ක්‍රමයක් හැදෙනවා.
අවශ්‍යය කරන්නාවූ දහම් අහන්න, දැන් අද එහෙම ක්‍රමයක් නෑ, බොහොම අඩුයි. අද “යන්න ඕනෙ බණ අහන්න” කිවුවොත් “උඹ බණ අහන්න පළයන්, අර රෙදි ටික අර මුල්ලෙ! තව ටිකක්, තව ටිකක්, තව මොනවා හරි තියෙනවා, ගෙදර තියෙන වැඩ කොටසක් තියෙනවා, ඒවා එකක් වත් කරන්නෙ නෑ, පලයවු!” කිය කියා බණිනවා. ඉතින් සාප කරද්දි කන් දෙකේ ඇඟිලි ගහගෙන තමයි සිල් ගන්නත් එන්නෙ සමහර අය. එනවට තරහයි. සිල් සමාදන් වෙලා ආපහු ගිහාම, “ආවද ගිහිල්ලා, රස්තියාදු ගහල-ගහලා..?” දවස් හතරක්-පහක් බැණුම් අහන්න ඕනෙ සිල් අරගත්තහම මාසෙකට සිල් ගත්ත දවස වෙනුවෙන්. මෙහෙමත් අවස්ථා තියෙනවා. දැන් මොකද වෙන්නෙ? අන්න ඒවා අපේ තිබිච්ච හිඟ පාඩු නිසා අපිටත් විඳින්න සිද්දවෙච්චා.
කල්ප වෘක්ෂ පූජාවක් කිරීමෙන් කෙරෙන්නෙ මොකද්ද, එබඳු සියලු ආකාර බාදා-කරදර නැති වෙන්න ඒක උපනිශ්‍රය වෙනවා. සැනසුමේ-නිදහසේ දහමක් අහලා, දහම් අවබෝධයක් ලබාගන්න මඟ පෑදෙනවා. ගෙදර පිරිසක් ගෙන් හෝ බාහිර පිරිසක් ගෙන් කිසිම කරදරයක් එන්නෙ නැතුව යනවා. මෙන්න මෙහෙම ක්‍රමවේදයක් හැදෙනවා, සියලු ආකාරයෙන් සැනසිල්ලේ-ශාන්තියේ කටයුතු කරගෙන, බාදා-කරදරත් නැතුව, ධර්මාවබෝධය තුළින් ලෝකෙ අසාර බවත් තේරුම් අරගෙන, මැරෙනකන් හරි බඩගින්නෙ වේලි-වේලි, කරවෙලා මැරෙන්නෙ නැතුව හොඳින් සැනසිල්ලේ ඉඳලා මැරෙන්නත් පුලුවන්. ධර්මාවබෝධය නිසා ඊට පස්සෙ ලෝකෙ අල්ලගන්න බලාපොරොත්තුව අත්හැරිලා ගියා නම්, සසර ගමනත් කෙළවර කරලා එයින්ම ඉවර කරන්නත් පුලුවන්. ඒ හින්දා තමයි නිවනට උපනිශ්‍රය වෙන්නෙ.
ඔය ක්‍රමයට අපිට නිවනට හුඟාක් බාදක එනවා. මොකද මූලික වශයෙන් ධර්මාවබෝධයේ ඉහළට යනකන් හරි අමාරුයි මනසට දුකක්-කරදරයක් එනකොට පාලනය කරගන්න. එතකොට නැඟෙන්නෙ මොනවද, ද්වේෂය නැඟෙනවා. ද්වේෂ-මෝහ නැඟෙනවා, ඉවසගන්න බැරි වෙනවා. ඉවසගන්න බැරි තත්වෙට පත්වුනොත් ඔය ක්‍රමයට මහා දුකක් විඳින්න සිද්ධ වෙනවා. ඒ ඕන කරදරයක්, ජීවිතේ විනාස කළත් ඉවසන්න පුරුදු තත්වයට සකස් වෙලා එනකොට, හුඟාක් දුරට වැඩිච්ච හිතකටයි ඒක වෙන්නෙ.
කොස් ගහක් කියන්නෙ, මිල්ල ගහක් කියන්නෙ බොහොම හයිය ගහක්. අලියෙක්-ඇතෙක් බැන්දැහැකි ගහේ, උන්ට කඩාගෙන යන්න බෑ, ගහ කඩාගෙන. එච්චර හයියයි. හැබැයි අර පැළ වෙලා එන වෙලාවෙදි ගොළුබෙල්ලාටත් පුලුවන් ගිහිල්ලා ඒ ගහ කාලා දාන්න. ගොළුබෙල්ලා කියන්නෙ හයි-හත්තිය ඇති සතෙක් නෙමෙයි. අර කොණ්ඩි වෙලා, යන්තං දෙපෙති වෙලා එනකොට, ගොළුබෙල්ලාටත් පුලුවන් ඒ කොස් පැළේ කන්න. තව ටිකක් ලොකුවෙලා එනකොට හාවාටත් පුලුවන් කාලා දාන්න. තව ටිකක් ලොකු වුනහම එළුවට කන්නත් පුලුවන්. නමුත්, ගහ මහත් වෙලා, උස්-මහත් වුනාට පස්සෙ අලියෙකුට වත් ඒක කඩන්න බෑ.
මෙන්න මේ වගේ, මේ ආර්ය මාර්ගය මුල පටන් ගන්න කාලෙ, පුංචි දේකිනුත් ඇති රොස්-පරොස් වෙන්න. අධෛර්යය වෙන්න පුංචි දේකිනුත් ඇති. අන්න ඒ වගේ අවස්ථාවක් තුළ රැකවරණයක් සැළසෙනවා නම්, ලොකු වාසනාවක් එනවා හිත මෝරවාගන්න. ඒ කියන්නෙ, ආර්ය ධර්මය තුළ මෝරන්න. ඊට පස්සෙ නම්, කවුරු බැන්නත් එකයි, කවුරු ගැහුවත් එකයි, හිංගි-හිංසා කළත් එකයි, ඒ මානසිකත්වය ආපහු යන්නෙ නෑ. ධර්මයෙන් පිට පනින්නෙ නෑ. රාගයට-ද්වේෂයට-මෝහයට පැටලෙන්නෙ නෑ,
ඒ නිසා අන්න ඒ වාසනාව එන්න, මුලින් අරවගේ නිදහසක් තියෙන්න ඕනෙ. ඉතින් ඒ නිදහස ගන්න උත්සාහ කරනවා වගේම, ඒකට බාදක වෙන්නෙ මොකද්ද, අපි විසින් අවශ්‍යය කරන කුසලය පූර්ණය කරලා තිබුණෙ නැත්නම්, අන්න ඒ වෙලාවෙදි බලපානවා. මෙන්න මේ නිසා තමයි පිං කිරීමේ වටිනාකම තියෙන්නෙ ආර්ය දහම තුළ.
සමහර අය කියනවා “පිං කරන්න එපා, සසර දික් වෙනවා!” දැනගෙන කතා කරන කතාවක් නෙමෙයි. “මා භික්ඛවේ පුඤ්ඤාණං භායිත්ථ” – මහණෙනි, පිනට බියවෙන්න එපා. “සුඛස්සේතං භික්ඛවේ අධිවචනං පුඤ්ඤංති” – මහණෙනි, මේ සුඛයට කියන තව නමක් පින කියන්නෙ. {{ත්‍රිපිටක සූචිය}} බුදුරජාණන් වහන්සේ ගේ දේශනාවක තියෙනවා, “මඛාදේව සූත්‍රයේ” විග්රහ කරලා තියෙනවා ලස්සනට {{ත්‍රිපිටක සූචිය}}
ඉතින් අන්න ඒ වගේ අවස්ථා තියෙනවා, තේරුම් අරගන්න ඕනෙ. ඉතින් ඒ නිසා, පිනට බයවෙන්න දෙයක් නෑ, පින නිසා සසර ගමනක් එහෙම කවදාවත් දික් වෙන්නෙ නෑ, සසර ගමනට හේතුවෙන්නෙ අවිද්‍යා-තෘෂ්ණා දෙක. පිං කියන්නෙ අවිද්‍යා-තෘෂ්ණා නෙමෙයි. අවිද්‍යාවයි, තෘෂ්ණාවයි දෙකට නම් පිං කියන්නෙ, බුදුරජාණන් වහන්සේ, “මහණෙනි, අවිද්‍යාවයි තෘෂ්ණාවට බය වෙන්න එපා” කියනවනෙ. හිස ගිණි ගත්ත කෙනෙක් ගිණි නිවනවා වගේ මහණෙනි සක්ඛාය දිට්ඨිය දුරුකරන්න උත්සාහ ගන්න කියනවා. එහෙනම් බයවෙන්න එපා කිවුවෙ පිනට. පින කියන්නෙ, අවිද්‍යා-තෘෂ්ණා නෙමෙයි. අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන් යුක්තව කරන යහපත් දේවල් වලට පින කියන්නෙ.
අවිද්‍යා-තෘෂ්ණා දෙකෙන් කෙරෙන එක වෙනයි, ඕක තෝරාගන්න ඕනෙ. අවිද්‍යාවෙන් කෙරෙන පිනක් තියෙනවා, සසරෙ විසාල පැතුම් පතාගෙන, මේ සසරෙ කොහොල්ලෑ ලාටුවෙ වගේ ඇලිලා, මේකෙන් මිදෙන්න බලාපොරොත්තුවක් නෑ, මේකෙම ලැගගෙන, “අනේ අපි දෙන්නට දෙවි වෙලා ඉන්න ලැබෙන්න, පස්සෙ කාලෙක රජ, සිටු වෙන්න, අපේ කට්ටියට මෙහෙම හම්බෙන්න, කට්ටියම එකතුවෙලා පිං කරගමු…” ඔය ජාතියෙ පිනුත් තියෙනවා. චතුරාර්ය සත්‍යය අහළක වත් නෑ, එහෙම ප්‍රශ්නයක් නෑ. ලෝකෙ සම්පත් විඳගෙන ඉන්න, අන්න ඒ ජාතියෙ පිං කරනකොට අවිද්‍යාව එතන රජ වෙනවා. ඒක “අවිද්‍යා පච්චයා සංඛාරා” කියන එකේදි, “අවිද්‍යා පච්චයා පුඤ්ඤාභිසංඛාරා” කියන කොටසක් තියෙනවා, ඒකට වැටෙනවා.
ඒක නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්නුවෙ, නිවනට උපනිශ්‍රය වෙන්නාවූ පිං තියෙනවා. ඒ පින උපනිශ්‍රය කරගන්න ඕනෙ, කරුණු තේරුම් අරගෙන. ඒ නිසා ඒ පින ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඉතින් තේරුම් අරගන්න ඕනේ, කප්රුක් පූජාවත් උපනිශ්‍රය වෙන්නෙ ඔය ක්‍රමයට.
~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~
දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://www.waharaka.com/listen/CD083-24