නිවැරදිව දුක්ඛ අරිය සත්‍යය දකිමු – 2 කොටස

karmasthana_wadimata_pera_2
03 සං‍යුක්ත තැටියමූලික දේශනාසිවු අරි සස්

දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)

සප්ත විසුද්ධියට කර්මස්ථාන වැඩීමට පෙර නිවැරදි දුක්ඛ අරිය සත්‍යය දකින අයුරු - 2 කොටස

 

{00:00} : දුකට හේතුව හෙවත් දුක සඟවන ප්‍රිය මධුර ස්වභාවය

අප්‍රිය ජරාව දුකයි, අනික තමයි ව්‍යාධි. යම් ජාතියක් ප්‍රියද, අප්‍රියද, ඒ ජාති දෙකම ලෝකෙ තියෙනවා. ඒ දෙකමත් ජරාවට පත්වෙනවා, ඒ දෙකමත් ව්‍යාධියට පත්වෙනවා, වැහැරිලා යනවා. එතකොට, ප්‍රිය දෙයක් වැහැරිලා යනකොට අපිට ඒක දුකයි. අපි ඒකට කැමති නෑ. අන්න “අප්‍රිය වැහැරීමක්”.

 

“ප්‍රිය වැහැරීම” ත් තියෙනවා. යමක් අපිට අනිෂ්ට ද, අපිට අප්‍රිය ද, එබඳු ජාතියක් තුළ වැහැරීමක් පත්වෙනවා, ඒක අපිට සතුටක් මිසක් දුකක් ගෙනදෙන්නෙ නැහැ. එහෙනම්, මොනවද අපිට යම්කිසි ව්‍යාධියකින් දුක දෙන්නෙ? අපි ප්‍රිය නොකරන ජාතියක් අපිට ආවා නම්, අපි ප්‍රිය කරන, මනාප කරන දේකට ව්‍යාධියක් එන එක තමයි අපිට දුක එන්නෙ.

 

එහෙනම්, “ව්‍යාධි අපි දුක්ඛා – ව්‍යාධිපි දුක්ඛා” අප්‍රිය ව්‍යාධියක් ඇත්ද, ඒක දුකයි, මෙන්න යථාර්තය. අප්‍රිය ව්‍යාධියක් තියෙනවා නම් අන්න ඒකයි දුක. ඕක තමයි “ව්‍යාධි අපි දුක්ඛා” කියන එකයි “ව්‍යාධිපි දුක්ඛා” කිවුවෙ.

 

ඒ වාගෙම මරණයට පත්වෙනකොටත්, යම් ජාතියක් හටගන්නකොට ම, ප්‍රිය මනාප ජාති තියෙනවා, අප්‍රිය අමනාප ජාති තියෙනවා, මරණයට පත්වෙනකොට ඒ ප්‍රිය මනාප ඒවටයි, අප්‍රිය අමනාප ජාති වලටයි ඔක්කොටම උරුමයි මරණය.

 

එහෙනම්, අපිට දුක දෙන්නෙ කෝවද ඕවයින්? අපිට ප්‍රිය මනාප දෙයක් මැරිලා ගියොත් අපිට දුක දෙනවා. අපිට අප්‍රිය, අමනාප දෙයක් මැරිලා ගියොත් ඒකත් දුක දෙනවද? ඒක දුකක් ඇතිවෙන්නෙ නෑ අපිට, ඔප්පු කරන්න බෑ. අපි අප්‍රිය නම්, අමනාප නම් යම් ජාතියක්, මොනවා හෝ අප්‍රිය, අමනාප ජාතියක් නැතිවෙලා ගියොත්, මැරිලා ගියොත්, අපි ඒකට කැමතියි, අපිට ඒක දුකක් වෙන්නෙ නෑ.

 

එහෙනම්, යථාර්තයෙන් ම දුක දකින්න ඕනෑ බොරුවෙන් රවට්ටන්නෙ නැතුව. අවංකව ම පේන දුක දකීන්න ඕනෙ. එහෙනම් අප්‍රිය මරණයක් ඇත්ද, යමක් ප්‍රිය ස්වභාවයෙන් යුක්ත නම්, මධුර ස්වභාවයෙන් යුක්ත නම්, මේවායෙ මරණයට අපි ප්‍රිය කරන්නෙ නෑ, මෙන්න මේවා අපිට දුකයි. එහෙනම් “මරණං අපි දුක්ඛං” තමයි “මරණම්පි දුක්ඛං” කිවුවෙ. අන්න පද නිරුක්තිය, “මරණං අපි – මරණම්පි”. “මරණං අපි” කිවුවෙ අප්‍රිය මරණ. අප්‍රිය මරණ දුකයි. මෙන්න “මරනම්පි දුක්ඛං” කිවුව එක.

 

අන්න ඔය අපි මෙච්චර වෙලා කිවුව වචනෙ ලස්සනට තේරුම් කරලා දෙන ඊලඟ අවස්ථාවෙ වාක්‍යය එනවා. “අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ”. අප්‍රිය කරන්නාවූ ඒවා සමඟ එකතු වෙන එක දුකයි. අන්න “අපි” කියන වචනයෙ අර්ථය හරියට ආවා. “අප්පියේහි සම්පයෝගෝ…” – අප්‍රිය වූ ඒවා සමඟ යෙදීමක් ඇත්ද, ඒක දුකයි. “පිය ඒහි විප්පයෝගෝ දුක්ඛෝ” තමයි ඔය “පියේහි විප්පයෝගෝ දුක්ඛෝ” කිවුවෙ. ප්‍රිය කරන්නාවූ ඒවායින් වෙන්වීම දුකයි.

 

එහෙනම්, මේ ලෝකෙ තියෙන්නෙ මොනවද? අන්න ඒ අප්‍රිය ඒවා සමඟ එක්වෙන්න වෙන එක ලෝක ධර්මතාවයක්. අන්න ඒ ප්‍රිය ස්වභාවයන් ගෙන් වෙන් වෙන එක ලෝක ධර්මතාවයක්. එහෙනම්, මේ ලෝකය තුළ එහෙම නොවන ලෝකයක් හොයන්න නැති නිසා, මෙන්න මේක මෙහෙමයි දුකෙන් පිරෙන්නෙ.

 

“දුකට හේතුව” නිසා කොටු වෙනවා, දුකට පිරිලා බැඳගන්න සිද්ධ වෙනවා. එහෙනම් “දුක” දුක හැටියට දකින්න ඕනෙ, “දුකට හේතුව” දුකට හේතුව හැටියට දකින්න ඕනෙ. දුකට හේතුව ප්‍රිය ස්වභාවය, මධුර ස්වභාවය කියලා දැක්කෙ නැත්තම් අපිට සිද්ධ වෙන්නෙ මොකද්ද, අපි “දුක” දැකලත් නෑ, “දුකට හේතුව” දැකලත් නෑ. චතුරාර්ය සත්‍යයෙන් දෙකක් දැකලා නෑ.

 

වචන කියාගෙන ගිහෑකි, “යායං තණ්හා, පෝණෝභවිකා, නන්දිරාග සහගතා, තත්‍ර තත්‍රාභිනන්දනී, සෙය්‍යතීදං කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා…” කියලා “දුක්ඛ සමුදය ආර්ය සත්‍යය” තේරුවට, තේරුණාද? අන්න නොතේරෙන තැන. තෝරාගන්න නම් ඔය ක්‍රමයට දකින්න ඕනෑ, හරි ආකාරව දුකයි, දුකට හේතුවයි.

 

එහෙනම්, “ජාතියක්” තුළ තියෙනවා “දුක” යි, “දුකට හේතුව” යි. “ජරාවක්” තුළ තියෙනවා “දුක” සහ “දුකට හේතුව”. ව්‍යාධිය තුළත් තියෙනවා, මරණය තුළත් තියෙනවා දුකක් සහ දුකට හේතුවක්. අප්‍රිය දේවල් මැරෙනවා නම්, අපි ඒක ප්‍රිය කරනවා. ප්‍රිය කරන්න, ප්‍රිය කරන්න මොකද කරන්නෙ? “හෙණ ගහලා ගිය එකමයි හොඳ ඕකාට! හැඳිගෑවිලා ම ගිය එකමයි හොඳ..!” සතුටු වෙනවා.

 

මොකද්ද වෙලා තියෙන්නෙ? අපිට දැන් ප්‍රිය ස්වභාවයක් හම්බවෙලා. මොකද? අපි අනිශ්ට, අප්‍රිය එකා වැනසිලා. ඒකට අපි සතුටු වෙලා, අපි උද්දාම වෙනවා. උද්දාම වෙනකොට මොකද වෙලා තියෙන්නෙ? අපේ ආත්ම ලාභයට, අපේ වාසියට අපි අනිකා ට වැනසීමක් වෙච්චි එක, අනිකා ට දුකක්, කරදරයක් වෙච්චි එක ගැන සතුටු වෙනවා. අපි දන්නෙම නැතුව කොටු වුනා “දුකට හේතුවක්” නිසා “දුක” ට.

 

අප්‍රිය, අමනාප වූ යම්කිසි පුද්ගලයෙකුට හිංගියක්, හිංසාවක් වුනා කියලා, “අනේ සාදු! ඕකා ට වෙච්චි එකමයි හොඳ… ඕකට හෙන ගහලා ම ගියා නම්… ඕකා ගෙ පරම්පරාව ම නැතිවෙලා ගියා නම්… හොඳටම හොඳයි! ගමට මනුස්සයෙක්ට හිටියැහැකි නේ හොඳට….” අපි උද්දාම වෙවී කියන්නෙ මොකද්ද මේ? ද්වේෂය… ද්වේෂ සහගත වචී කර්ම. මේකේ පාපයක් තියෙනවා. හැබැයි අපි හිතුවෙ නෑ එහෙම දෙයක් ගැන.

 

අන්න ඒ පාපය වැහිලා ගියා අපේ ප්‍රිය ස්වභාවයෙන්, මධුර ස්වභාවයෙන්. මොකද, අපි කැමතියි සුන්දර ලෝකයක් තුළ, කාගෙන් වත් හිංගි හිංසා නොලබා ජීවත් වෙන්න. ඒ අපේ “ප්‍රිය ස්වභාවය”. නමුත් ලෝකය තුළ තියෙන්නෙ එහෙම එකක් නෙමෙයි, එහෙම දෙයක් ලෝකෙ නෑ.

 

යම් ප්‍රිය ස්වභාවයක්, මධුර ස්වභාවයක් කොච්චර හොඳයි කියලා හරි අල්ලන්න ගියා නම්, අප්‍රිය, අමධුර දේවල් වලින් වටවෙලා තියෙන්නෙ, හෙන තරඟෙකට බහින්න වෙලා තියෙනවා. මහා තරඟයක් කරන්න වෙලා තියෙනවා. “අපේ වැඩේ ජය ගත්තා” කියලා අපි සතුටු වෙනවා නම්, සතුටු වෙලා තියෙන්නෙ මොනවටද? තව එකෙකුට කරදරයක්, දුකක් ආපුහාම අපි සන්තෝස වෙනවා.

 

අනිකෙකුට, අන්‍යයෙකුට කරදරයක්, හිංගියක්, හිංසාවක් එනකොට සංතෝස වෙනවා නම්, මේක පාපයක්! අන්න ඒ පාපයට කොටු වෙනවා, සුන්දර ලෝකය, ශාන්ත ලෝකයක් හොයන්න ගියොත් අපි. දැන් බුදු දහම කොච්චර වැහෙනවද?

 

{05:25} : “සාධාරණ සමාජයක්” හදන්න කී දෙනෙක් පවු කරනවද? ඒක මිච්චා සංකල්පයක්

එහෙනම්, පැවැත්ම තුළ යම් සුන්දරත්වයක් ගැන බලාපොරොත්තු වෙනවා නම් යම් කෙනෙක්, ඔහු ඉන්නෙ බුදු දහමෙ නෙමෙයි. “පැවැත්ම තුළ සුන්දර ලෝකයක හිත පිහිටුවාගන්න දෙයක් නෑ” කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය දැකලා නැත්නම්, අපි බලාපොරොත්තු වෙනවා “හොඳ අවිහිංසා සහගත සමාජයක් හදාගන්න ඇත්නම්…” පැවැත්ම!

 

දැන් මොකද කරන්නෙ? දෘෂ්ටියෙන්, අපි දෘෂ්ටි ස්ඵර්ශයකින් ස්ඵර්ශ කරලා තියෙනවා “අවිහිංසා සහගත සමාජයක්”, කොහෙද තියෙන්නෙ? කවද්ද තිබුණෙ? කොයි කාලෙද එහෙම එකක් තිබුණෙ? අවිහිංසා සහගත සමාජයක් ලෝකෙ බිහිවෙච්ච දවසක් කාටවත් කියන්න පුලුවන්ද? අවිහිංසා සහගත සමාජයක් නම් ලෝකයක් හැදෙනවද?

 

“කල්ල සුක්ඛං – කල්ල සුක්ඛ විපාකං” <<ත්‍රිපිටක සූචිය අවශ්‍යයි>> කියන, කලු-සුදු සහ කලු-සුදු විපාක වලින් හටගත්ත මේ ලෝකෙ තුළ, නැත්නම් පවු විඳින්නයි, පිං විඳින්නයි, දෙකටම හටගත්ත ලෝකය තුළ, දුකයි සැපයි දෙකම විඳින ලෝකය තුළ, සැප විතරක් විඳින, සාන්ත වූ, ප්‍රණීත වූ ලෝකයක් මේකෙ මවන්න හැදුවොත් අපි, අපි යථාර්තය ඇතුලෙ ඉඳලා තියෙනවද? අපේ මානසිකත්වය “අවිද්‍යාව” අල්ලාගෙන.

 

හැබැයි, ලොවුතුරා බුදු පියාණන් වහන්සේ අල්ලපු වැටේ හිටපු චුන්ද සූකර අයින් කරන්න බැලුවෙ නැත්තෙ ඔන්න ඔය හේතුව උඩ. මොකද හේතුව? මේ ලෝකය සාන්තූ වරුන්ගෙන් බිහිවෙච්ච ලෝකයක් කරන්න බෑ! එහෙම හේතු නෑ. දුක, සැප කරලා, දුක් විපාකයි, සැප විපාකයි දෙකටම භුක්ති වින්ද, ගෝචර කරගත්ත සත්වයාගේ ජීවිත පැවැත්මක් ගෙනියන, විපාක පැවැත්මක් ගෙනියන ලෝකෙ, අපි හිතාගත්තොත් “සැප සහගත ම ලෝකයක්, ශාන්ත ලෝකයක් බිහි කරන්න ඕනෑ” කියලා, මේක හේතු නැති කතාවක්, ධර්මානුකූල නැති කතාවක් වෙනවා.

 

එහෙනම් අපේ දෘෂ්ටියක් මිසක්, වෙන මොකද්ද තිබිලා තියෙන්නෙ? අවිද්‍යාව නිසා අපිට දෘෂ්ටියක් ඇතිවෙන්න පුලුවන්, “සාන්තූවරුන්ගෙන් පිරිච්ච ලෝකයක් කවදා හරි අපි ගොඩනගමු…” එහෙනම්, ඒක අවිද්‍යා සහගත දෘෂ්ටියක් මිසක්, ඇත්තක් නෙමෙයි.

 

නමුත්, ඒ නිසා අද කී දෙනෙක් දුක් වෙනවද? කී දෙනෙක්, කී දෙනෙකුට බණිනවද? “මෙබඳු අවැඩ කරන අය, මෙබඳු අසාධාරණ කරන අය, ඔවුන් වැනසෙන්න ඕනෑ, ඔවුන් නැතිවෙලා යන්න ඕනෑ, රටක් හදන්න බෑ උන් එක්කලා….” දැන් “සාධාරණ රටක්” හදන දෘෂ්ටිය අපේ හිතට ඇවිදිල්ලා අපිට වද දෙනවා. අපි මොකද කරන්නෙ? ඒක හදාගන්නකන් අපිට ඉස්පාසුවක් නැතුව දඟලනවා, හදන්න බැරි දෙයක් කරන්න ගිහිල්ලා අපි ඉස්පාසුවක් නැතුව මැරෙන්න සිද්ධ වෙනවා මිසක්, අසහනයෙන් මැරෙන්න සිද්ධ වෙනවා මිසක්, හදලා මැරෙන්න නම් හම්බවෙන්නෙ නෑ කවදාක වත්.

 

ලොවුතුරා බුදු පියාණන් වහන්සේටත් වැඩිය මේ ලෝකෙ හදන්න තව කෙනෙක් හිටියායි කියලා අපිට කියන්න තියෙනවද? ලෝකෙ හිටපු මහා ම දාර්ශනිකයා, මහා ම විද්‍යාඥයා, සියලු හේතු-ඵල, යථාර්තයන් පෙන්නපු කෙනා, යම් සුගතියක් ලබන්න පුලුවන් නම්, උපරිමයෙන් ම පෙන්නපු උත්තමයන් වහන්සේ, උන්වහන්සේ වත් පෙන්නුවෙ නෑ සියල්ලෝ සියලු ආකාරයෙන් සුගතිගාමී කරන මාර්ගයක්. සියල්ලන්ට, සියලු ආකාරයෙන් සංසුන්ව, සාන්තව ජීවත් වෙන්න පුලුවන් මිනිස් ලෝකයක්. එහෙම එකක් හදන්න බැරි බව උන්වහන්සේලා යථාර්තයෙන් දන්න නිසා ඕකට අත ගැහුවෙ නෑ.

 

නමුත්, අද මොකද වෙලා තියෙන්නෙ? ලොවුතුරා බුදුන්ට කරන්න බැරි වැඩක් කරන්න අපි අතගහනවා. අපිට පුලුවන්ද? අන්න, “අවිද්‍යාවේ සංකල්පයක්”. ඔය යථාර්තය දකින්න ඕනෙ. ඉතින්, මේක දැක්කා නම් අපිට තේරුම් ගන්න පුලුවන් වෙනවා ඉස්සෙල්ලාම, අපි යන මග මොකද්ද? අර “මග්ගාමග්ග ඥාණ දස්සන විසුද්ධිය” අපිට ඕනෙ. මාර්ගය මේකයි, අමාර්ගය මේකයි කියලා දැක්කෙ නැති කෙනා, තේරුම්ගන්න බැරි නිසා, නානාප්‍රකාර දෘෂ්ටි වලට බැහැලා, සියලු සාන්තූවරුන් ගෙන් පිරිච්ච සමාජයක් හදන්න හදනවා, සියලු දාමරිකයන් ගෙන් තොර සමාජයක් හදන්න හදනවා, එහෙනම් අපි එතෙනදි ම දැකලා තියෙන්න ඕනෙ, “මාර්ගය ඒක නෙවෙයි, එහෙම මාර්ගයක් නෑ…”

 

එහෙනම්, ඒක “අමාර්ගයක්”. එහෙනම්, “මග්ගාමග්ග ඥාණ දස්සන විශුද්ධිය” ලැබුණා නම්, එයා ට කම්පා නෑ නෙ. එයා දන්නවානෙ, “මේක හරි මග, මේක වැරදි මග, මේක නිවන් මග, මේක ගිණි මග”. මාර්ග දෙක දන්නවා නෙ. “මේක කළ හැකි මග, මේක නොකළ හැකි මග”. ඒකත් දන්නවා නෙ.

 

එහෙනම්, අන්න අපි සප්ත විශුද්ධියෙන් මූලික වශයෙන් දකින්න ඕනෙ පැත්තක්. “මග්ගාමග්ග ඥාණ දස්සන විශුද්ධියෙන්” දකින්න ඕනෑ “නිවන් සඳහා මට යමක් කරගත හැකිද, ලෝකයාට යමක් කළ හැකිද, මෙන්න මෙපමණකින් එය කළ හැකියි, මෙයින් එහාට බෑ…!” ඒක දැක්කෙ නැත්තම් අපිට “මග්ගාමග්ග ඥාණ දස්සන විශුද්ධියක්” නැත්නම්, “පටිපදා ඥාණ දස්සනයක්” පහලවෙන්න විදිහක් නෑ. ප්‍රතිපදාව කොහොමද ගන්නෙ? අන්න දැකගත යුතු දේ. දැන් මේකෙන් අපි තේරුම් ගන්න ඕනෙ, මූලික ව “දුක්ඛ ආර්ය සත්‍යය” ගැන දැනගෙන ඉන්න ඕනෑ කර්මස්ථානයක් ගන්න ඉස්සෙල්ලා. තව ටිකක් අපි විග්‍රහ කරගනිමු.

 

{09:39} : පංච උපාදාන නොවේ දුක, පංච උපාදාන වෙනුවෙන් “සං” කිරීමයි…

“අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ” ඊලඟට. අප්‍රිය වන්නාවූ යමක් ඇත්ද, ඒවා සමග එකතු වීම දුකයි. “පියේහි විප්පයෝගෝ දුක්ඛෝ” එහෙනම්, අප්‍රිය සම්පයෝගයක් නැති, ප්‍රිය විප්පයෝගයක් නැති ලෝකයක් හොයන්න නෑ. මෙන්න ලෝක ධර්මතාවයක්. මෙන්න මේ ලෝක ධර්මතාවය එක්තරා නියාමයක්. ඒක ගත්විට සිද්ධාන්ත. මේ “විද්‍යානුකූල සිද්ධාන්ත” කියන්නෙ මේවට මිසක්, මේක මේ බුදු හාමුදුරුවො දේශනා කරපු වෙනම පද වැළක් නෙමෙයි.

 

බුදුරජාණන් වහන්සේ දේශනා කළා සත්‍යය, සත්‍ය සිද්ධාන්ත. මහා විද්‍යාඥයෙක් විද්‍යා සිද්ධාන්ත ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වචනෙන් ගන්න කියලා ම නිතරම කියන්නෙ මොකද, නැත්නම් බුදුරජාණන් වහන්සේ බුදු බණ කියලා තියෙනවා කිවුවොත් එහෙම මිනිස්සු රැවටිලා, “ඒක බෞද්ධයන්ට විතරයි, අපිට නෑ නෙ…!” කියලා එහෙම නිගමනයකට බහිනවා. මහා විද්‍යාඥයෙක් විද්‍යා සිද්ධාන්ත ඉදිරිපත් කරලා තියෙනවා. එහෙනම්, කිසිම ජාති, කුල, මල ආගම් භේදයක කතාවක් ඒකෙ නෑ.

 

එහෙනම්, අන්න ඒ මහා විද්‍යාඥයා ඉදීරිපත් කරපු විද්‍යා සීද්ධාන්ත පොදු මිනිස් වර්ගයාට ම අයිතියි, පොදු සත්වයාට ම හිමියි. ඒ නිසා ඒක දකින්න ඕනෙ. එහෙනම්, බුදුරජාණන් වහන්සේ “ආගමික නායකයෙක්” නෙමෙයි. “ආගම් කර්තෘ” වරයෙකුත් නෙමෙයි. ආගම් හදපු කෙනෙක් නෙමෙයි, ඔක්කෝම ආගම් පැත්තකට දාලා, “ඕවා පස්සෙ ගිහිල්ලා මට හොයාගන්න බැරිවුනා සත්‍යය මොකද්ද, කුසළය මොකද්ද කියලා මං ම හොයාගන්නම්” කියලා “කිං සච්ච ගවේසී, කිං කුසළ ගවේසී” කියලා, ඒ පසුපස ගවේශනය කරලා ගිහිල්ලා හොයාගත්තා මිසක් ඇත්ත, ඒ නිසා විද්‍යාඥයෙක් විසින්, මහා විද්‍යාඥයා තත්වයට පත්වෙලා, අන්න ඒ විද්‍යා සිද්ධාන්ත ලෝකයට කියලා දුන්නා, මෙන්න ආගමක්, ජාතියක්, කුලයක්, භේදයක් කරන්නෙ නැතුව, මෙන්න මේක හිතලා බලන්න.

 

මොන ආගමේ කිවුවත් කමක් නෑ සම්මතයේ, මේක ඇත්තද කියලා හිතලා බලන්න. ඇත්ත කියලා වැටහුනා නම් පිළිගන්න. නැත්නම් තව හිතලා බලන්න. බොරුයි කියලා වැටහෙන්න හේතු නෑ, මොකද මේක සත්‍ය සිද්ධාන්තයක් නිසා. මෙන්න මේක තමයි ඔය බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ, “මෙන්න මේ ටිකෙන් මේ දුක කියන්නෙ මොකද්ද කියලා බලාගන්න…”

 

“යම්පිච්චං න ලභති තමිපි දුක්ඛං” – යම්පි ඉච්චං කියන එකයි “යම්පිච්චං” කිවුවෙ. යම්පි හි ඉච්ච දෙයක්, යම් ඉච්චත්වයක්, නැත්නම් කැමැත්තක් ලැබෙන්නෙ නැද්ද, අන්න ඒක දුකයි. එහෙනම්, කැමැත්ත මොකද්ද? අපි බලාපොරොත්තු වෙන ශාන්ත, සුන්දර ලෝකයක් කැමැත්ත. ප්‍රිය ස්වභාවය, මධුර ස්වභාවය වෙනස් වෙන්නෙ නැත්නම්, අප්‍රිය, අමධුර දේකට ගෝචර වෙන්න වෙන්නෙ නැත්නම්, ඒ ප්‍රිය ස්වභාවය, මධුර ස්වභාවය ගෙවිලා, වැනසිල යන්නෙ නැත්නම්, අපි බලාපොරොත්තු වෙනවා අන්න එහෙම එකක්. අන්න ඒ “ඉච්ච” වූ කැමැත්ත අපිට ලබන්න බෑ, “යම්පි ඉච්චං න ලභති” – අන්න ඒක දුකයි.

 

“සංකිත්තේන පංච උපාදානක්ඛන්දා දුක්ඛා” කියන එක තෝරන්න ගිහිල්ලා “කොටින් කියනවා නම් පංච උපාදානස්කන්ධය ම දුකයි” කියලා තෝරනවා. දැන් උපාදානස්කන්ධය දුකයි කියලා කියනකොට ම උපාදාන කළේ මොකද්ද? “තණ්හා පච්චයා උපාදානං” – උපාදාන කළේ තණ්හාවෙන්. තණ්හාව කොහෙද හටගන්නෙ? “යං ලෝකේ පිය රූපං, සාත රූපං, එත්තේසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ත නිවිස්සමානා නිවිස්සති” – ලෝකයෙහි යම් ප්‍රිය ස්වභාවයක් ඇත්ද, මධුර ස්වභාවයක් ඇත්ද, ඒ තෘෂ්ණාව එහි හටගන්නවා, එහිම පවතිනවා.

 

එහෙනම්, උපාදාන කරලා තියෙන්නෙ, ලෝකයෙහි යම් ප්‍රිය ස්වභාවයක් ඇත්ද, මධුර ස්වභාවයක් ඇත්ද, උපාදාන කළේ ඒක නෙ. එහෙනම්, “කොටින් කියනවා නම් මේ උපාදාන පහ ම දුකයි” කිවුවොත්, උපාදානය ප්‍රියයි නෙ…?, එහෙනම් උපාදානය දුකයි කියලා කොහෙද පෙන්වන්නෙ? උපාදානය නේන්නම් “දුකට හේතුව”. දුකට හේතුව “ප්‍රිය” යි නෙ, “මධුරයි” නෙ. එහෙනම් “පංච උපාදානස්කන්ධය” කියලා කියන්නෙ ලෝක සම්මතයෙ දුකක් නෙමෙයි. පංච උපාදානස්කන්ධය, දුකට හේතු වෙලා තියෙන්නෙ ඕක තමයි.

 

ප්‍රිය ස්වභාවයෙන්, මධුර ස්වභාවයෙන් යුක්ත නිසා යම් රූපයක් උපාදානය කරනවා නම්, සියලු රූප උපාදාන කරන්නෙ නෑ. උපාදාන කරන්නෙ මොනවද? ප්‍රිය නිසා, මධුර නිසා තියෙන රූප. යම් වේදනාවක් ප්‍රිය ස්වභාවයෙන්, මධුර ස්වභාවයෙන් යුක්ත නම්, ඒක උපාදාන කරනවා. අන්න, “වේදනා උපාදානස්කන්ධය” ට වැටෙන්නෙ ඒක. යම් සංඥාවක් ප්‍රිය නම්, මධුර නම්, ඒක උපාදාන කරනවා. “සංඥා උපාදානස්කන්ධය” ට අහුවෙන්නෙ ඒක. අප්‍රිය නම්, අමධුර නම් උපාදාන කරන්න බලන්නෙ නෑ, ඉවත්වෙන්න බලනවා. යම් සංඛාරයක් ප්‍රිය නම්, මධුර නම්, ඒක උපාදානය කරනවා. යම් විඤ්ඤාණයක් ප්‍රිය නම්, මධුර නම් ඒක උපාදානය කරන්න බලනවා.

 

එහෙනම්, මොකද්ද ඔතන පෙන්නුවෙ? “සංඛිත්ත ඒන පංච උපාදානක්ඛන්දා”“සංකෘත්‍ය” කියන්නෙ ඔන්න ඔය පංච උපාදානස්කන්ධය සකස් කිරීම සඳහා කරන කටයුත්තක් ඇත්ද, ඒක දුකයි. “සං ඛිත්ත ඒන” – “යේන පංච උපාදානස්කන්ධා දුක්ඛා” කියන එක තමයි “සංඛිත්තේන පංචුපාදානක්ඛන්දා දුක්ඛා” කියලා පද සම්බන්ධ වෙලා තියෙන්නෙ.

 

“සං ඛිත්ත යේන පංච උපාදානක්ඛන්දා” – යම් පංච උපාදානස්කන්ධයක් ඇත්ද, අන්න ඒක සකස් කිරීමට කරන කෘත්‍යයක් ඇත්ද, අන්න ඒක දුකයි.

 

අන්න “සබ්බේ සංඛාරා දුක්ඛාති” කිවුව තැන. ප්‍රිය නිසාම, මධුර නිසාම, ඒ ප්‍රිය ස්වභාවයෙන්, මධුර ස්වභාවයෙන් අතමිදෙන්න බැරුව අන්න ඒ උපාදානස්කන්ධ පහ ලබාගන්න, කටයුතු කරන්න, දරාගන්න යම් කටයුත්තක් කරනවද අපි, හිතනවද, මෙන්න මේක දුකයි.

 

“කොටින් කිවුවොත් පංච උපාදානස්කන්ධය දුකයි” කියලා තෝරපුහම අපිට, සම්පූර්ණ අර්ථය ගිහිල්ලා, වැහිලා ගියා, දුක්ඛ ආර්ය සත්‍යය වැහුනා. දැන් පැහැදිලිව තියෙන දුක, හොඳට තේරුම් ගන්න, කිසිම කෙනෙකුට විවේචනය කරන්න බැරි දුක දැන් ඔතන කියවුනා. දැන් මෙන්න මේක “හැඟවිච්ච දුක” හැඟවිලා තියෙන ආකාරය මේකයි කියලා කිවුවහම, ඒක එහෙම නෙමෙයි කියලා කියන්න විදිහක් නෑ. හොඳට පැහැදිලියි, ආස්වාදයන් පස්සෙ යන්න වෙහෙස විඳිනවා. ආස්වාදයක් ලෝකේ පස්සෙන් යන්න තිබුනෙ නැත්තම් සත්වයාට වෙහෙස විඳ විඳ සැරිසරන්න දෙයක් නෑ. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ “ලෝකයේ යම් ප්‍රිය ස්වභාවයක්, මධුර ස්වභාවයක් ඇත්ද, ඒ නිසා ම ලෝක සත්වයෝ සැරිසරනවා, එහෙම දෙයක් නොතිබුණා නම් සැරිසරන්න හේතු නෑ…”

 

එහෙනම් බුදුරජාණන් වහන්සේ හරියටම ඇත්ත පෙන්නුවා. පස්සෙ විග්‍රහ කරන්න ගිහිල්ලා, භාෂා රීති වලට අනුව අපිට සිංහල අර්ථ දෙන්න ගිහාම ඔය තැන් සියුම් විදිහට වැහිලා ගියා. දුක්ඛ ආර්ය සත්‍යය වැහූනා, හොයාගන්න බැරුව ගියා. මෙන්න මේකයි සිද්ධ වුනේ. එහෙනම් මොකද්ද දැන් අපි දකින්නෙ? ඔන්න දුක පිළිබඳව විග්‍රහ කරල තිබුණ ඔය යථාර්තයෙන් අපි එකක් දකිනවා, ලෝක ධර්මතාවයක්. මේ ලෝකයේ ඔය ධර්මතාවය ඉක්මවාගෙන පවත්වන්න පුලුවන් කිසිම සමතෙක්, කිසිම තැනක් නෑ. “ලෝකය” යැයි යමක් යම් තැනක පවතිනවා නම්, ඔන්න ඔය කියන ධර්ම රටාවට අනුවයි පවතින්නෙ.

 

එහෙනම් අපි එකක් දකිනවා, යමක් අපිට ප්‍රිය ස්වභාවයෙන්, මධුර ස්වභාවයෙන් යුක්ත නම්, යම් රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්ඵර්ශයක්, ධර්මයක් ප්‍රිය ස්වභාවයෙන්, මධුර ස්වභාවයෙන් යුක්ත නම්, ඕක හැම වෙලේම, අප්‍රිය අමධුර දේවල් වලින් වහගන්නවා, අප්‍රිය, අමධුර දේවල් ඔය කරා හඹා එනවා. ඕක වළක්වන්න බෑ. ඔන්න ධර්මතාවය! එහෙනම්, ඒක අපි කැමති නෑ, නමුත් සිද්ධ වෙනවා.

 

ඒ වාගෙම, ඒ ප්‍රිය ස්වභාවය, මධුර ස්වභාවය ගෙවිලා යනවා, ඒක වෙන් කරලා තියාගන්න පුලුවන් එකක් නෙමෙයි. මොකක් නිසාද? ගෙවෙන දහම් ඇසුරු කරගෙන, මැරෙන දහම්, ජරාවට පත්වෙන, වැහැරෙන දහම් ඇසුරු කරගෙන තමයි අර ප්‍රිය ස්වභාවය, මධුර ස්වභාවය ඒ තුළිනුයි ඔප්නැංවෙන්නෙ. ඒ නිසා මොනම විදිහකින් වත්, අපි බලාපොරොත්තු වුනාට “මේ ප්‍රිය ස්වභාවය, මේ මධුර ස්වභාවය නොවැනසේවා! නොදිරාවා! නොමැරේවා! විනාස නොවේවා!” කියලා බලාපොරොත්තු වුනාට, ඒක කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. එහෙනම්, සෑම සියලු ප්‍රිය ස්වභාවයක් ඇත්ද, මධුර ස්වභාවයක් ඇත්ද, කොච්චර අකමැති වුනත් ගෙවිලා යනවා, වැනසිලා යනවා, කැමති සේ නෑ.

 

“ඒකට විරුද්ධ ව මොන දහම් වත් එන්න එපා, මේක රැකෙන්න ඕනෑ” කියලා හිතුවට හරියනෙ නෑ, බාහිර විරුද්ධ දහම් වලින් ඒක වහගන්නවා. මෙන්න ලෝක ධර්මතාවය. මෙන්න, “ධර්මය දැක්කා” කියන්නෙ ත්‍රිපිටකය කටපාඩම් කළා නෙමෙයි, ඔන්න ඕක දකින එකයි.

 

ඔය එක දැක්කා නම්, එයා ලෝක ධර්මය ම දැක්කා. මෙන්න මේකට කියනවා “ලෝකෙ ධර්මය”, නිවන් දකින ධර්මය කියන්නෙ ඔන්න ඕකයි. නිවන් දකින්න, ඔය ධර්මය දකින්න ඕනෙ. ඔය ටික දැක්කා නම් අපි දැනගන්නවා “මේකද ලෝකෙ කියන්නෙ? මේකද සාරයි කියලා හිතාගෙන හිටියෙ? මේකද වටිනවයි කියලා හිතාගෙන හිටියෙ? එහෙනම් මේක වටින්න විදිහක් නෑ නෙ! කැමති සේ නැති නිසාම මේක දුකක් එනවා.

 

එහෙනම් මේ “දුක්ඛ ස්වභාවය” නෙමෙයි අපි මේ “දුක” කියන්නෙ, ඒ “ප්‍රිය මනාප ස්වභාවය” කැමති සේ නෑ, ඔය කියන්නාවූ දුක් වලින් වහගන්නවා. ඔය දුක් වලින් වහගන්නෙ නැති ප්‍රිය මනාපයක්, මධුර ස්වභාවයක් ලෝකේ විද්‍යාමාන කරන්න ක්‍රමයක් නෑ, එහෙම තැනක් නෑ. යම් තැනක ලෝකේ ප්‍රිය ස්වභාවයක්, මධුර ස්වභාවයක් විද්‍යාමාන කරගන්නවා නම්, ඔන්න ඔය කියන්නාවූ “ආදීනව” පරම්පරාවෙන් වහගන්න එකක්. එහෙනම්, ඒක කැමති සේ නෑ කවදාක වත්.

 

එහෙනම්, ප්‍රිය මනාප වූ සැනසීම කැමති සේ නැත්නම්, එහෙම එකක් ගොඩනගන්න ක්‍රමයකුත් නැත්නම්, ඒ පස්සෙ යනවා නම්, දුකට ම තමන් ගෝචර වෙන්න වෙනවා. එහෙනම්, යමක් කැමති සේ නැද්ද, අන්න ඒ “කැමති සේ නැති කම මයි දුක” – “යදනිච්චං තං දුක්ඛං” යමක් කැමති සේ නැද්ද, ඒක දුකයි.

 

දැන් මේකට තර්ක, වාද කරන්න බෑ කිසි කෙනෙකුට. කැමති සේ නැත්නම් දුක මයි, කැමති සේ තියෙනවා නම් දුකක් නෑ. නමුත් කැමති සේ තියෙන ලෝකයක් මවන්න හැදුවට, ගොඩනගන්න හැදුවට, එහෙම ලෝක ධර්මතාවයක් නෑ. අන්න, ලෝක ධර්මතාවය දැක්ක දාට නිගමනයක් එනවා, “එහෙනම් එහෙම දේවල් දුක් ගොඩ ම මිසක්, ඒ ආස්වාදය පස්සෙ ගියොත් දුකට වැටෙන්න සිද්ධ වෙනවා මිසක්, කවදාවත් දුකෙන් තොර කරගත්ත ආස්වාදය වෙන් කරන්න ලෝක ධර්මතාවයක් නෑ…”

 

{18:59} : අන්ත වලට නොවැටී නිවැරදිව “අනත්ථ” දැකිය යුතු ආකාරය

එහෙනම් කොච්චර ප්‍රිය ස්වභාවයෙන්, මධුර ස්වභාවයෙන් තිබුණත්, පස්සෙන් ගියොත් වැටෙන්නෙ දුකට නම්, ගන්න නිගමනය මොකද්ද? “යම්කිසි දුකක් එනවා නම්, ඒ දුක් එන වැඩපිළිවෙල අනාථ වැඩපිළිවෙලක් මිසක්, අනර්ථ වැඩපිළිවෙලක් මිසක්, අල්ලගන්න දෙයක් නෑ..” – “යං දුක්ඛං තදනත්ථා” [ත්‍රිපිටක සූචිය] යමක් දුක ද, ඒක අනත්ථයි. “අනත්ථ සංහිතෝ”.

 

අන්න, “අනාත්මයි” කියලා ඕකට තෝරන්නෙ. “ආත්ම” කියන්නෙ ඇත, “අනාත්ම” කියන්නෙ නැත. “ඇත යනු එක අන්තයකි, නැත යනු එක අන්තයකි. තථාගතයන් වහන්සේ මේ අන්ත දෙකටම පත් නොවී මාධ්‍යය තුළින් යථාවබෝධය ලැබුවා”

 

දැන් “අනාත්ම” කතාවක් අපිට සිංහලට දීලා තියෙනවා, මොන පාලි පදයක වත් “අනත්ථා” කියලා තියෙනවා මිසක් “අනාත්මා” කියන එකක් නෑ. “අසාරට්ඨේන අනත්ථා” [ත්‍රිපිටක සූචිය] කියලා අටුවාවත් විග්‍රහ කරනවා. “හීනෝ, ගම්මෝ, පෝතුජ්ජනිතෝ, අනරියෝ, අනත්ථ සංහිතෝ” [ත්‍රිපිටක සූචිය] කියලත් හොඳට අන්තයේ විග්‍රහ කරනවා, අනත්ථ සහිතයි – අනර්ථ සහිතයි, අනර්ථයි. ඇත යන අන්තයෙත් නෑ, නැත යන අන්තයෙත් නෑ “හරයක් නෑ” කියන එක, අසාරයි!

 

“එහෙනම් ඔය වැඩපිළිවෙලවල් තිබුණත් එකයි, නැතත් එකයි, මට ඒ කථාවෙන් වැඩක් නෑ. ඇතිවුනා හෝ නැතිවුනා, ඔය වැඩපිළිවෙල අසාර බව මම දැක්කා. එහෙනම් මට ඕක ඇද්ද නැද්ද හොයන්න ඕනෙත් නෑ, කවදා පටංගත්තද හොයන්න ඕනෙත් නෑ, කවදා කෙළවර වෙනවද හොයන්න දෙයක් නෑ, ඕකෙ හැටි මම දැක්කා නම්, මට ඕකෙන් වැඩක් නෑ…” අන්න අත්හැරිලා ගියා, අත්හැරී, නොඇලී, මිදී ගියා. අන්ත දෙකට නො පත්ව, යථාවබෝධය තුළින් අත්හැරී ගියා. අන්ත දෙකට බැහැගන්නකන්, “ඇත” යනු එක අන්තයක්, “නැත” යනු එක අන්තයක්, ඇත-නැත දෙකෙන් යනකොට යථාවබෝධය වැහෙනවා.

 

එහෙනම් මොකද, යමක් දුක නම් ඒක “මම නෙමෙයි, මම නෙමෙයි, මගෙ නෙමෙයි..!” කියලා, මේ විදිහට අත්හරින්න ගිහිල්ලා, ඒක “මම” කියලා ගන්න ගිහාම මොකද වෙන්නෙ? “වෙමි” යනු එක අන්තයක්, “නොවෙමි” යනු එක අන්තයක්. සසර ගමනෙ අනන්තයේ පටන්ගෙන සත්වයා ආවෙ “වෙමි-නොවෙමි” කියන දෙකට බැහැගෙන. ආසා නම්, ප්‍රිය නම් ඒ “මම” කියලා ගන්නවා. ආසා නැත්නම්, ප්‍රිය නැත්නම්, “ඒක මගෙ නෙමෙයි” අයින් කරනවා. මෙන්න මෙබඳු ස්වභාවයකින් තමයි ලෝක සත්වයා දෘෂ්ඨියක ආවා නම් ඒ ආවෙ “වෙමි-නොවෙමි” කියන දෙකේ ආවෙ.

 

ඒ නිසා, භාවනාවක් කරන්න ගිහාම “මම නෙමෙයි” කියන අර්ථය ගන්නකොටම සංසාරගත ව ආපු දෘෂ්ඨිය ඔතෙන්ට වැදිලා එයා වැටෙනවා උච්ඡේද දෘෂ්ඨියට, දන්නෙම නෑ. යථාර්තයෙ ඉන්නෙ නැතුව යනවා, එහෙනම් “මම නෙමෙයි, මගෙ නෙමෙයි” කියන වචනෙ කියන්න, කියන්න ඔන්න ඔහොම දෙයක් සිද්ධ වෙනවා. එහෙනම් “මම යැයි ගන්න, මගේ යැයි ගන්න සුදුසු නෑ” අන්න යථාර්තය ට ආවා. එතකොට ඇත්ත තේරෙනවා. “මම වෙමි, මම නොවෙමි” දෙකම නැතුව, “මගෙ යැයි ගන්න සුදුසු නෑ”, නොවෙමි කිවුවෙත් නෑ, වෙමි කිවුවෙත් නෑ.

 

කොහොමද සුදුසු නැති බව දන්නෙ? මේක ස්ථිරයි, කැමති සේ නෑ. ස්ථිර නෑ කියන එක නෙමෙයි, ස්ථිර නැති එක ධර්මතාවයක්. ඒක ධර්මතාවයෙන් දැනගන්න ඕනෑ. ධර්මතාවය දැනගත්තහම අවබෝධ ඥාණයක් ලැබෙනවා “කැමති සේ නෑ නෙ මේක”

 

කැමති සේ නැත්නම් ඒ හේතුවෙන් ම ඔහුට බහින්න බහින්න, කැමති සේ නැති එකට බහිනකොටම, බහින බහින එක කැමති සේ නැත්නම්, ඒ බහින බහින එකෙන් දුක එනවා මිසක් කොහොමද සැපක් එන්නෙ? අන්න විද්‍යානුකූලව ම, ධර්මානුකූලව ම ආවා යථාර්තයෙන් දුක දකින තැන. “කැමති සේ නැත්නම්, මම කොච්චර කැමති වුනත් ඒක සැප සේ තියාගන්න, කැමති සේ නැති ඒවයින් වහනවා නම්, ඒ මං ප්‍රිය මනාපයෙන් අල්ලපු දේ නිසා මට දුක එනවා. කැමති සේ නැති නිසාමයි…” අන්න අපි දැකගන්න ආකාරය.

 

කොච්චර ප්‍රිය වුනත්, මනාප වුනත්, ඒක අපි කැමති සේ පවත්වන්න පුලුවන් ද බැරිද? මේක අපි හිතලා බලන්න ඕනෑ, විග්‍රහ කරලා බලන්න ඕනෑ. බලනකොට අපිට පේනවා, අපිට දුක දෙන්නෙ, ගිණි දෙන්නෙ මොනවායින්ද? අපි යමක් කැමතිද, ඒ කැමති දේ ආශ්‍රයේ ම තමයි දුක තිබුණෙ, ගිණි තිබුණෙ. අපි යමක් අත්හැර දැම්මද, ඒකෙන් අපිට දුක්ගිණි දෙන්න විදිහක් නෑ කියන එක ධර්මානුකූලව දකිනවා.

 

ඉතින් අපි ඕවා නිකන් කිවුවට බෑ, ඕක අපි හේතුවක් අරගෙන, උදාහරණයක් අරගෙන විග්‍රහ කරලා බලන්න ඕනෙ. අපි හිතමු කොහෙ හරි අනුරාධපුර, පොළොන්නරුව පැත්තෙ හරි, වන්දනා ගමනක් හරි, විනෝද ගමනක් හරි ගියා කියලා, අපේ සල්ලි පර්ස් එකක් තියෙනවා, අපිට වැසිකිළියට යන්නත් ඕනෙ, දැන් කැලේ තමයි දුවන්නෙ, ඔය ගිහාම මහ කැලෑවෙ දුවලා පහරලා එනවා ඉතින්, සත්තු ඉන්න නිසා කනවා, ඉතින් කිසි ජරාවක් පේන්නෙත් නෑ, මොකුත් නෑ, අපි ඉතින් පුරුද්දට මොකද කරන්නෙ, ගියා කොටයක් උඩට, ඔය වැටිච්ච ගහක කොටයක් උඩට ගිහිල්ලා අපේ වැඩේ කරගෙන ආවා.

 

හැබැයි එනකොට, ඉනේ ගහලා තිබිච්ච සල්ලි පර්ස් එක තිබ්බා කොටේ උඩින්, තියලා අපේ වැඩේ කරගෙන, ටක් ගාලා හදිස්සියේ ආවා. බස් එකටත් නැගලා ටිකක් දුර එනකොට මතක් වුනා, “ෂා! සල්ලි පර්ස් එක අර මලපහ කරපු තැන, කොටේ උඩ… හරි වැඩේ වුනේ…” දැන් අපි දැවෙනවා. “යකෝ, මගෙ පන්දාහක් විතර තිබුණා, දහදාහක් විතර තිබුණා, මෙච්චර සල්ලි තිබුණා, කවුරුවත් අරගත්තා ද දන්නෙත් නෑ, දැන් මොකද කරන්නෙ? ආපහු යන්න වෙලාවකුත් නෑ, නොගිහිනුත් බෑ, හරි ප්‍රශ්නෙ වුනේ මට…” දැන් ඇතුලෙ, අභ්‍යන්තරයෙන් දැවෙනවා, කම්පාවක්.

 

දැන් අපිට, සල්ලි පර්ස් එක ගැන අපි හිතන් හිටියේ, අපිට සැප දෙන එක, අහක දාපු එක අපිට දුක් දෙන එක. දැන් අසූචි ගොඩ, අහක දාපු එක, අපි අල්ලපු එක නෙමෙයි. අපි හිතන් හිටියෙ, “දුක් දෙන ඒවයි අපිට දුක් දෙන්නෙ, ප්‍රිය මනාප ඒවා සැප දෙනවා” කියලා. එහෙනම් බස් එකේ එනකොට, අසූචි පිඩ ද දුක් දෙන්නෙ, පර්ස් එකද? දැන් පර්ස් එක කඳ උඩ, කඳ පල්ලෙ අසූචි ටික. දැන් අපිට හිතෙනවද කොයි වෙලාවක වත් “ෂාහ්! අසූචි ටික සතෙක් කාලා ගියාද දන්නෙත් නෑ… හරි වැඩේ!” එහෙමත් හිතෙනවද, අපිට දුකක් එනවද? “සල්ලි පර්ස් එක අරං ගියාද දන්නෙත් නෑ, හරි වැඩේ…” ඒක ගැන මොකද හිතෙන්නෙ?

 

ප්‍රිය කරන, මනාප කරන දේ ම අපිට දුක දෙනවා කියන එක අන්න ඔප්පු වෙන තැන. අපි අප්‍රිය කරන, අමනාප කරන, අහක දාපු ඒවා අපිට දුක් දෙන්නෙ නෑ. ඒක තිබුණත් එකයි, නැතත් එකයි, අරං ගියත් එකයි, තියාගෙන හිටියත් එකයි, මොනවා කළත් අපිට ප්‍රශ්නයක් නෑ. නමුත් අපි ප්‍රිය මනාප වශයෙන් යමකට හිත තිබ්බා නම්, “කැඩෙයිද, බිඳෙයිද, විනාස වෙයිද? කඩයිද, බිඳියිද, විනාශ කරයිද? කැඩී, බිඳී, විනාස වී යයිද? මොන විදිහෙන් හරි ඒ තත්වෙ වෙනස් වෙයිද?”

 

මෙන්න මේ වෙන්න ඉස්සෙල්ලා දුක් වෙන අවස්ථාවක් තියෙනවා. තව වෙලා නෑ, වෙන්න ඉස්සෙල්ලා ම දුකෙන් ඉන්නවා, ගත්ත වෙලේ ඉඳන්, ප්‍රිය මනාප දේ අල්ලාගත්ත වෙලේ ඉඳන්, කැඩෙන, බිඳෙන, විනාස වෙන දෙයක් ම අල්ලාගත්ත නිසා අපි කැඩෙයිද, බිඳෙයිද, විනාස වෙයිද කියන මේ සැකයට භාජනය වෙනවා.

 

කඩන, බිදින, විනාස කරන ස්වභාවය ඇති දෙයක් ම ප්‍රියයි, මනාපයි කියලා අල්ලාගත්ත නිසා “කඩයිද, බිඳියිද, විනාස කරයිද?” කියන සැකයට භාජනය වෙලා, වික්ෂිප්ත වෙලා ඉන්නවා. කැඩී යන, බිඳී යන, විනාස වී යන දෙයක් ම අල්ලාගත්ත නිසා, ප්‍රිය මනාපයි කියලා, “කැඩී යයිද, බිඳී යයිද, විනාස වී යයිද…” කියන්නාවූ සැකයෙන් කම්පිත වෙලා ඉන්නවා.

 

{24:45} : “සාරයි” කියලා, “සැපයි” කියලා අපි මිත්‍යා දෘෂ්ඨියෙන් දකින්නෙ ගිණි මයි

එහෙනම්, වෙන්න ඉස්සර වෙලා අපි කම්පාවක ඉන්නෙ, හැම මොහොතක් පාසා ම. එහෙනම් මන වඩන දෙයක් අල්ලාගත්ත මොහොතෙ පටන් ඔහු “ගිණි විඳිනවා” කියන්නෙ ඔන්න ඕකයි. ඕක ඇත්ත, නමුත් හැඟවිලා තිබුණෙ. “වටිනා දෙයක්” වටිනවයි කියලා තමා සතු, වෙන තරමට ගිණි එනවා. නමුත් අපි හිතාගෙන ඉන්නෙ ඒ දේ අපිට ප්‍රිය මනාපය දෙනවා කියලා.

 

“අනේ, අපිට හොඳ කොලු පැටියෙක් හිටියා නම්… විවාහ වෙලා දැන් මෙච්චර කල් වෙනවා, දැන් අවුරුදු දෙකක් වෙනවා, තුනක් වෙනවා, අනික් අය නම් දරුවො හුරතල් කරනවා, අපිට දරු සම්පතක් නැද්ද?” ඉතින් ඔක්කොම කරගෙන, මහා සම්පත්තියක් ගන්න දේවාලයක් ගානෙයි, පංසලක් ගානෙයි හැම තැනම ගිහිල්ලා, පඩුරු ගැට ගහලා, අරවා – මේවා කරලා, යාතිකා කරලා, ඔක්කොම කරලා හරි කමක් නෑ, කොහොම හරි හටගත්තා කියමුකො… දැන් අපි (ගැබක්) හටගත්ත ගමන් හරී සන්තෝසයි. “අපිටත් දැන් දරු පැටියෙක් ඉන්නවා හුරතල් කර කරා ඉන්න…”

 

දැන් මෙච්චර කල් නොතිබිච්ච ගින්නක් අපිව වට කළා කියලා දැක්කෙ නෑ. දැන් ඔතන පටන්ගෙන ම අපි බලන්න ඕනෙ, ප්‍රිය-මනාප කීයක් තිබුණද ඒ අපි අල්ලාගත්ත “දරුවා” කියන වස්තුවට, අප්‍රිය – අමනාප කීයක් එක්ක වට කරලා තියෙනවද? එකක් ප්‍රිය මනාප විඳිනකොට, අප්‍රිය – අමනාප කීයක් අපට දැවිල්ල දෙනවද ඒ වස්තුව නිසා? “පුත්‍ර ස්නේහය” කියන එක, “දරු සෙනේහය” කියන එක දරුවා දකිනකොට ම අම්මා ටත් පහල වෙනවා, තාත්තා ටත් පහල වෙනවා, දරු සෙනෙහස.

 

හැබැයි, හරී සතුටු දෙයක් හැටියට, මහා වාසනාවක් හැටියට හිතාගත්තට, මොකද්ද හම්බවුනේ? බැරි වෙලා හරි යටිගිරියෙන් කෑ ගහනවා ඇහුනොත් අම්මා ට මොකද වෙන්නෙ? බොක්ක රත් වෙලා දුවගෙන එනවා, දරු සෙනෙහසින් අල්ලාගත්ත වටිනා වස්තුවට මොකද වෙලා තියෙන්නෙ බලන්න. “අප්පොච්චියේ! මං බය වෙච්චි තරමක්, එකපාර කෑ ගහනකොට!” ඉතින් ඔතනින් පටන්ගත්ත පටන්ගැන්ම, “අනේ බලන්නකො, කිරි ටික බොන්නෙ නෑ… කට අහකට ගන්නවා, ඇඟ රත්වෙලා….” දැන් මොකද පටන්ගන්නෙ, එතන ඉඳලා මොකද්ද පටන්ගන්නෙ? සැප ද දෙන්නෙ? “දරුවට කරදරයක් ද දන්නෙ නෑ, අනේ ඉක්මන් කරලා එක්ක යමු…..” වහාම ඉස්පිරිතාලෙට එක්ක යන්න කිවුවොත් එහෙම, එතන (දෙමවුපියන්ට) බඩයන්න එනකොට නවත්තා ගන්නවා බොහොම අමාරුවෙන්. ඒ තරම් අමාරුයි, දරුවට කරදරයක් දෙන්න.

 

“ඇයි දොස්තර මහත්තයො, හදිස්සිද? අමාරුවක් ද? වැඩි ද අමාරුව?” දැන් ඉතින් අපි ඉන්නෙ කොහෙද මතකද? නෑ! සෑහෙන මහංසියක්, මහා ගින්නක් විඳිනවා. මොකද්ද අපි හිතාගත්තෙ? “සැප සම්පත් දෙන මහා පුන්‍ය වස්තුවක් මට පහල වුනා, මේ දරුවෙක්…” දරු සම්පත්තියේ වටිනාකම ඉහට උඩින් හිතාගෙන හිටියට, ඒ දරු සම්පත්තියම දෙන ගින්න කොච්චරද ? දරු සම්පත්තිය ගිණි දෙනවා කියලා අපි හිතුවෙ නෑ, මොකද්ද? දරු සම්පත්තිය නැමැති “මායා ආස්වාදයෙන්” අර ගින්න වැහුවා. කොච්චර කිවුවත් ගින්න මතුවෙලා එන්නෙ නෑ, ගින්න, ගින්න හැටියට පේන්නෙ නෑ. එහෙනම්, “ප්‍රිය දේ, මනාප දේ ගිණි දෙනවා” කිවුවට, ඇත්ත පේන්නෙ නෑ, නමුත් දෙන්නෙ මොනවද? “ප්‍රිය මනාප දේ ගිණි දෙනවාම, අප්‍රිය – අමනාප දේ නෙමෙයි ගිණි දෙන්නෙ…” ඔන්න එක වස්තුවක්.

 

ඔතන පටන්ගෙන, අපි දැන් බලනවා කල්පණා කරලා, කොච්චර ඒවා තියෙනවද? අපේ ගේ පුංචි නම්, ඕකෙ තියෙන්නෙ ඇඳ කබලකුයි, ඔය පුටු කබලකුයි, මොන මොනවා හරි ඔය වළං කෑල්ලකුයි, අරවා මේවා තියෙනවා නම්, වහලා දාලා, ඇරලා දාලත් ඔහෙ යනවා යන්න. “මොනවා ගෙනියන්නද ඒ ගෙදර?” ගාණක් නැතුව ඉන්නවා. ඔන්න ටික දවසක් ඉඳලා මොකද කරන්නෙ? පොඩ්ඩක් හරි ගිහාම පුටු සැට් එකක් ගෙනල්ලා, ගේ ටිකක් ලොකු කරලා, අර ටී.වී. එකක් ගෙනල්ලා, ටිකෙන් ටික බඩු ටිකක් ගෙනත් දාලා, දැන් යනවා දොර ඇරලා දාලා, දැන් පුලුවන්ද යන්න?

 

දැන් ලස්සන, සුන්දර ලෝකෙ මවනවා වාගෙම, යන යන මොහොතක් පාසා ම “ටී.වී. එක අරං යයිද? පුටු සැට් එක අරං යයිද? …(පැහැදිලි නැත)… බඩු මූට්ටු තියෙනවා, එළියට දැම්මද? දොර වැහුවට හයිය නෑ, සමහර විට කඩාගෙන යයිද?…” දැන් ඉතින් අපි උපක්‍රම යොද යොදා, හැම මොහොතක් පාසාම අපි දැවෙනවා. ගමනක් යන්න බෑ කවදාවත්, නිදහසේ ඇවිල්ලා බණක් අහන්නත් බෑ අද, ඔය ටික කරලා තිබුණොත්. හැමවෙලේ ම අපිට කැඩෙන, බිඳෙන, විනාස වෙන, කඩන, බිඳින, විනාස කරන, කැඩී, බිඳී, විනාස වී යන, හොරු පැහැරගන්න, නොයෙක් ආකාරයෙන් ආපදා වලට ගොදුරු වෙන ලෝකයක් අල්ලාගෙන සැනසෙන්න හිතුවට, අවිද්‍යාවේ නිගමනය නිසා “සාරයි” කියන දෘෂ්ටිය නිසා සැනසුමක් ඇතියි කියලා අපි හිතනවා මිසක්, හම්බවෙන්නෙ ගිණි.

 

නමුත්, අර “ආස්වාද මායාවෙන්” වහන නිසා මේ ගින්න වැහිලා යනවා, දුක පේන්නෙ නෑ, අන්න “දුක්ඛ ආර්ය සත්‍යය” වැහිලා. අන්න යම් දවසක අපි දැනගත්තොත් අර “ආස්වාද ගෙන දෙන්නාවූ මායා ලෝකෙ අපිව රවට්ටනවා, අප්‍රමාණ සංසාරයේ පටන් රැවැට්ටුවා මිසක් අපිට සැනසිල්ලක් උදා කළේ නෑ. යම් තරමක් අපිට ගිණි දුන්නා නම්, යම් තරමක් පාපයට අපිව පෙළඹෙවුවා නම්, පොළඹවලා අපිව රවට්ටලා තියෙන්නෙ ඔය ප්‍රිය මනාපය මිසක් වෙන එකක් නෙමෙයි” කියලා දැනගත්තා නම්, ප්‍රිය මනාපය “සර්පයෙක්” වාගෙ දකින්න පටන්ගන්නවා.

 

යම් ලෝකයේ ප්‍රිය ස්වභාවයක් ඇත්ද, මධුර ස්වභාවයක් ඇත්ද, ඒ තමයි සර්පයා, මේ තමයි උගුල, මේ තමයි මායාව, මේක තමයි අපිව මෙච්චර කල් කොටු කළේ.

 

“අනේක ජාති සංසාරං – සන්ධා විස්සං අනිබ්භිසං

ගහකාරකං ගවේසන්තෝ – දුක්ඛා ජාති පුනප්පුනං”

 

බුදුරජාණන් වහන්සේ උදානයක්, උදාන වනනවා යථර්තය දැක්කට පස්සෙ.

 

“ගහකාරක දිට්ඨෝසි – පූන ගේහං න කාහසී,

සබ්බා තේ පාසුකා භග්ගා – ගහකූටං විසංකිතං,

විසංඛාරගතං චිත්තං – තණ්හානං ඛය මඣ්ජගා ති”  [ත්‍රිපිටක සූචිය]

 

අන්න, “තණ්හාව නැමැති මෙන්න මේ වඩුවා හොය හොයා මං අප්‍රමාණ සංසාරයේ ඇවිද්දා, හොයාගන්න බැරුව. අද මට මේකා හම්බුනා. මේකා තමයි මේ දුක් ගිණි දෙන ගේ හැදුවෙ, මේ දුක් පැවැත්ම හැදුවෙ. මීට පස්සෙ වඩුව, උඹ මාත් එක්ක සම්බන්ධයක් නෑ, ආයි ගෙවල් හැදිල්ල ඉවරයි, මං උඹව දැකලා ඉවරයි…” කියලා මේ උදම් වාක්‍යය වැනුවා.

 

දැන් නමුත් අපි දකින්නෙ ඔය තණ්හාව ම තමයි සාන්ත, සිසිල් ජලාසය කියලා අපි දකින්නෙ. අන්න, යථාර්තය මොකද්ද? මේක තනිකර කණපිට ගැහිල්ල. මෙච්චර කල් හිතා ඉන්නෙ, ලෝකෙ අපි හිතා ඉන්නවා නම් “මේක සැපයි” කියලා, ඒක දුකයි කියලා දකින එකත්, මේක සිසිල් කියලා දැක්කා නම්, මේක ගින්නක් කියලා දකින එකත්, ඒක යථාර්තය.

 

මේ “යථාර්තවත් නුවණ” කියන එක සියල්ලන්ට පොදුවෙ බෙදන්න බෑ. ඒ නිසා සියල්ලන්ට පොදුවෙ බණ කියන්න ගියොත් මොකද වෙන්නෙ, ධර්මයට දොස් කියනවා, යථාර්තය ගන්න බෑ.

 

“පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ – නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස” කිවුවෙ ඕකයි. සියල්ලන්ටම බණ දෙන්න බෑ. අන්න යථාර්තය දන්න කෙනාට ඇත්තවශයෙන්, අවංකව, මධ්‍යස්ථව එයා හිතන්න පටන්ගන්නවා, “මේ කියන කියන එක ඇත්තද? මේක හරයක් තියෙනවද? මේකද ලෝක ධර්මතාවය, වෙන එකක්ද? බලනකොට මේ ධර්මතාවය ඉක්ම ගිය එකක් නෙමෙයි ලෝකෙ කියන්නෙ, මේක තමයි ලෝක ධර්මතාවය” කියලා දැක්ක දාට ධර්මය දකිනවා.

 

{30:15} : සැපේ දුක දකින්න “දහම් ඇස” ලැබුණම හෙළි වෙන “සංඛාර දුක්ඛය”

අන්න, “දහම් ඇස” පහලවුන දවසට දකිනවා, “යං කිංචි සමුදය ධම්මං – සබ්බං තං නිරෝධ ධම්මං ති” [ත්‍රිපිටක සූචිය] යම් ධර්මයක්, “හටගත්ත එක නැතිවෙන සුළුයි” කියලා අද විග්‍රහ කරනවා. “නැතිවෙන” කථාවක් ඔතන කිවුවෙ නෑ, “ඇත-නැත” දෙක අන්ත දෙක.

 

එහෙනම් මොකද්ද “නිරෝධ” කියන්නෙ? “රෝද” කියන්නෙ රවුම් ගහනවා, සැරිසරණවා. “නිරෝධ” කියන්නෙ, සැරිසරන්න වටින එකක් නෙමෙයි. ලෝකයේ යම් ධර්මයක් උදාවෙනවද, එකක් වත් සැරිසරන්න වටින ඒවා නෙමෙයි. මෙන්න, පළමු දහම් නුවණට වැටහෙන එක, දහම් අවබෝධයට වැටහෙනවා නම්. “නිරෝධ ධර්ම” කියන්නෙ? රවුම් ගහන්න වටින ධර්ම නෙමෙයි, රවුම් ගහන්නෙ නැති ධර්ම. රවුම් ගහන්න වටින ධර්මයක් ඒවයෙ නෑ. සැරිසරන්න එකක් නෑ කියන එකයි, රවුම් ගහනවා කියන එක තමයි අපේ වචනෙට ආවෙ.

 

කොහෙද රවුම් ගැහුවෙ? “රෝන්දෙ ගහලා ආවද මෙච්චර වෙලා?” අපි අහනවා. මොකද්ද “රෝන්දෙ” කියන්නෙ? “රෝ” කියන්නෙ, ඔක්කොම රෝද ධර්ම. රෝද ධර්ම වල ගියොත් මොකද වෙන්නෙ? අවිද්‍යාව නිසා අන්ධ වෙන්න වෙනවා. අපේ පැරණි බෞද්ධයො දැනගෙන හිටියා, අවිද්‍යාව නිසා ප්‍රිය ස්වභාවයන්, මධුර ස්වභාවයන් පස්සෙ රවුම් ගහන්න ගියොත් අන්ධ වෙන්න වෙනවා. “අන්ධ බාල පෘතග්ජනයා” ගෙ ස්වභාවය ඕකයි. එහෙනම්, රවුම් ගහන්න ගියොත් අන්ධ වෙන නිසා තමයි “රෝ – අන්දෙ යනවද..?” කියලා ඇහුවෙ. “රෝ” කියන්නෙ සැරිසරනවා, කොහෙද? අන්ධ භාවයේ.

 

ඔය ළමයා එහෙම එනකොට අහනවා, “කොහෙද, රෝන්දෙ ගියාද අද, කොහෙද රෝන්දෙ ගහන්න ගියෙ?” මොකද මේ? අන්ධ වෙන රවුමෙ යනවද? අන්ධ වෙන රවුමෙ සැරිසරනවට කියනවා, රෝ – අන්දෙ යනවා, රෝන්දෙ යනවා. ආං පද නිරුක්තිය. ඕවයේ කොච්චර ලස්සන හරයක් තියෙනවද? අන්න, නිරෝධ කරපුහාම මොකද වෙන්නෙ? අන්ධ වන පැත්තෙ යන්නෙ නෑ, “දහම් ඇහැ” පහල වෙලා තියෙන්නෙ, “ධර්ම චක්ෂුසය” පහල වුනා නම්, අන්ධ පැත්තෙ ගමන් කරන්නෙ නෑ, අන්ධ වැඩ වල යන්නෙ නෑ, රෝන්දෙ නෑ, නිරෝධයි – “යං කිංචි සමුධය ධම්මං, සබ්බං තං නිරෝධ ධම්මං ති”

 

මොනවද මේ ලෝකෙ උදාවෙන්නෙ? “සං උදය – සමුදය“. “සං” කියන්නෙ එකතුවක්, උදා වෙනවා. එකතුව ගොඩනැඟෙනවා නම් ඒවා සමුදය. අන්න, සමුදය ධර්ම වල සැරිසරන්න වටිනා හරයක් නෑ, ඔන්න ඕක දකිනවා. දැක්කට පස්සෙ පළවෙනි යථාවබෝධ නුවණ, ධර්මඥාණය පහල වෙනවා. මෙන්න මේක පහලවුනාට පස්සෙ දකිනවා “යං ලෝකේ පිය රූපං, සාත රූපං…”  කියලා තියෙන ලෝකෙ යම් ප්‍රිය ස්වභාවයක්, මධුර ස්වභාවයක් යමක ඇත්ද, මන වඩන රූප, මන වඩන ශබ්ද, මන වඩන ගන්ධ, මන වඩන රස, මන වඩන ඵොට්ටබ්බ, මන වඩන ධර්ම කියන යමක් ඇත්නම්, මේවා එකක් වත් සැරිසරන්න වටින ඒවා නෙමෙයි, හරයක් නැති, අසාර ඒවා.

 

ඔන්න ඕක දැක්ක දාට මොකද කරන්නෙ? ඕක තමයි අපිව වහලා තිබුණෙ, අපේ දුක වහලා තිබුණෙ. දැන් පේන්න පටන් ගන්නවා, අසාර දෙයක් පස්සෙ ගොඩනඟන්න මම වෙහෙස විඳිනවා නම්, අන්න “සංඛාර දුක්ඛය” ඉස්මතු වුනා. අන්න මෙච්චර කල් දකින්න බැරුව තිබිච්ච, “ආර්යයන් විසින් දකින” දුක්ඛ සත්‍යය මතුවුනා, “දුක්ඛ ආර්ය සත්‍යය” මතුවුනා. සංඛාර පිළිබඳ මායාවෙන් වැහිලා හිටියා, සාරයි කියන මායාවෙන් වැහිලා ඉන්න තාක්කල් ඒ සඳහා කරන උත්සාහය, වෙහෙස, වීර්යය සුවයි කියලා දැනුනා මිසක්, දුකක් කියලා අවංකව ඒකේ තිබිච්ච යථාර්තය දැක්කෙ නෑ. දැන් පේනවා, උත්සාහ කරන්නෙ, වීර්යය කරන්නේ හරයක් නැති දේකට නම්, ඒ උත්සාහය, වීර්යය වෙහෙසක් මිසක් වෙන මොකද්ද?

 

එහෙනම් අන්න අපි දකිනවා ඊට පස්සෙ, “සංඛාර දුක්ඛය”, එච්චර කල් වැහිලා තිබිච්ච එක, “ආර්යත්වයට පත් වෙනකොට දුක දකින්න පටන් ගත්තා” කිවුවෙ ඔන්න ඕකයි, “සංඛාර දුක්ඛය” දකින එක. අන්න ඒක දකිනකොට ම, දැන් දකිනවා දුකට හේතුව මොකද්ද? ඒක මෙච්චර කල් නොවැටහී තිබිච්ච එක නේ… දැන් “දුක්ඛ නිරෝධය” මොකද්ද? මේ තෘෂ්ණාවෙන් අල්ලාගෙන තිබිච්ච හරයක් නැති, ඒ කියන්නෙ හරයක් නෑ කියලා දැනගත්තහම, සංඛාර දුක්ඛය එතනම නිරෝධයි නේ, දැන් මේක කරන්න හිතෙනවැයි? දැන් ඒකට බැඳෙනවැයි? ඒ වෙහෙස විඳිනවැයි? “මට මොනවා කරන්නද? මට ඔය කරන්න දෙයක් නෑ ලෝකෙ, මට මොනවා හදාගන්නද? මට මොනවා ගොඩනඟන්නද? ඉන්නකන් මේ කයට කන්න දෙයක් තිබුණහම ඇති, ඉන්න තැනක් තිබුණහම ඇති, ලෙඩකට බෙහෙතක්, ඉන්නකන් තිබුණහම ඇති, ඉන්නකන් කොහේ හරි හිටපුහම මට හොඳටම ඇති. ඉතින් කන්න ආහාරයක්, ඉන්න තැනක්, ලෙඩට බෙහෙතක්, ඉනට වස්ත්‍රයක් මට හොඳටම ඇති, මට ඔයින් එහාට කරන්න දෙයක් නෑ….”

 

කවදා හරි ඔය තැනට එනවා, එන්න එන්න, එකපාර එන්නෙ නෑ. ඔය යථාවබෝධය වැඩෙන්න, වැඩෙන්න, අන්තිමට පිහිටන්නෙ මොකද්ද, “ජීවත් වෙලා ඉන්නකන් මට ඔය පොඩ්ඩක් තියෙනවා මිසක්, ඔයිට එහා මට ඒක ඕනෙත් නෑ…” අන්න සීමා වුනා, අන්න ලෝකෙ අත්හැරියා, සංඛාර දුක්ඛයෙනුත් මිදුනා, එහෙනම් “දුක්ඛ දුක්ඛය” තිබුණෙ මොකද්ද, ඔය මත මයි.

 

එහෙනම්, මෙලොව දී අපි ගොඩනඟාගත්ත 90% ක් දුක්ඛ දුක්ඛය ඉවරයි, මේ විපාක දුක්ඛයක් වශයෙන් කය පවතිනකන් බඩගිනි වෙනකොට කන්න දෙන්න ඕනෑ, පිපාසයට යමක් බොන්න දෙන්න ඕනෑ, සීත, උෂ්ණ නිසා අඳින්න ඕනෑ, අවු වැසි පිණි නිසා යම් තැනක ඉන්න ඕනෑ, ඔය ටික තව ඉතුරු දුක්ඛ දුක්ඛයක් තියෙනවා, විපාක දුක්ඛය වශයෙන්, පෙර භවයෙන් මේ භවයේ කය හදපු නිසා. ඒ දුක්ඛ කාලය මැරෙනකන් විතරයි තියෙන්නෙ කියලා දන්නවා, එහෙනම් එයින් එහාට මම ගොඩනඟන දුක්ඛයක් නෑ, විපාක දුක්ඛය 10% ක් විතර ඉතුරු වෙලා තියෙන එක, ඒක මරණයෙන් ඉවරයි, එහෙනම් අන්තිම මරණය දවසෙදි සියලු දුකෙන් නිදහස්. අන්න “අනුපාදිශේෂ නිර්වාණය”.

 

එහෙනම් “කළ යුත්ත සියල්ල කරලා ඉවරයි, මතු කරන්න දෙයක් නෑ කියලා දැනගත්තා, බ්‍රහ්මචරියාව පුරලා ඉවරයි, යථාර්තය තේරුම් ගත්තා, එහෙනම් ඉතින් මට වෙන එකක් කරන්න නෑ, මැරෙනකම් ඉඳලා කෙළවර කරන එකයි තියෙන්නෙ…” කියලා අරිහතුන් වහන්සේ නිගමනය කරනවා.

 

{35:01} : දහම් ඇස පහල වුනු පසු නිරායාසයෙන් ම ආර්ය කාන්ත සීලයෙහි පිහිටන හැටි

දැන් එතකොට, අපිට දැන් කොච්චර ලස්සන, පහසු මාර්ගයක් ද…? ඉතින් ඒ නිසා මුලින් පටන් ගන්නකොට, එක පාරකම ඔක්කොම අත්හැරලා යනවා කියන එකට පත්වෙන්නෙ නෑ. ඉස්සෙල්ලම දැනගන්නවා “වැඩක් නැති දුස්චරිත වලින් මට වැඩක් නෑ, සීමාව ඉක්මාවා ගිය ආස්වාදයන් පස්සෙ යාමෙන් මට වැඩක් නෑ…” එහෙමයි අත්හරින්න පටන් ගන්නෙ, ආරම්භයේ. එහෙනම් සෝතාපන්න කියන ආර්ය ශ්‍රාවකයා පටන්ගත්තහම “අසීමිත බලාපොරොත්තු” අත්හැරලා දානවා.

 

“සියලු බලාපොරොත්තු” අත්හැරියෙ නෑ, කාමරාගය, තව පටිඝ තියෙනවා, ඒවා ඉවර වෙලා නෑ. හැබැයි එයාගෙ කාමරාගය, නමුත් ඒක “ගිණි මග” බව දන්නවා. කවදා හරි අත්හැරපු දාටයි සහමුළින් සැනසීම කියලත් දන්නවා. දැනගෙන, ඒ මග අනුගමනය කරන ගමන් යථාවබෝධය වැඩෙන්න, වැඩෙන්න සකෘදාගාමී ත් වෙනවා, අනාගාමී ත් වෙනවා, අරිහත්වයට පත්වෙනවා, ක්‍රමානුකූලව. අන්තිම තමයි සහමුළින් කෙළවර වෙන්නෙ. ඉතින් මේකෙ රකින්න දෙයක් වත්, අමුතුවෙන් කරන්න දෙයක් නෑ, ඒ නිසා කරන්නෙ “වතක් රැකලා” මේක කරන්න දෙයක් නෑ කියලා දැනගන්නවා, යථාවබෝධය තුළින් තමයි මේ අත්හැරී, මිදී යන්නෙ, මේක තමයි දහම් ඖෂධය, වෙන ක්‍රමයක් නෑ කියලා දැනගත්තහම අන්න ඒ ක්‍රමය අනුගමනය කරනවා.

 

දැන් මෙතෙන්ට ඒ ටික තේරුම් ගත්තා නම් දැන් මේ ටිකටත් අපි දැකලා තියෙනවා එක දෙයක්, එහෙනම් ලෝකයේ මේ “ප්‍රියයි, ස්වභාවයි” කියලා අපි මොනවා හරි අල්ලන්න ගියා නම්, දැන් අපිට එක්තරා “වටිනාකමක්” බැහැලා ඉවරයි. අර එදා තිබිච්ච පෘතග්ජන මානසිකත්වය දැන් නෑ, ධර්මය ශ්‍රවණය කරලා තියෙනවා, ධර්මය තේරුම් අරගත්තා. එහෙනම්, මේ වෙලාව වෙනකොටත් අනන්ත සංසාරයේ අහන්න නොලැබිච්ච වටිනා ධර්මයක්, බුද්ධ ධර්මයක් ඇහුනා. ඒ ධර්මයෙන් තීරණයක් ආවා, “මේක ඇත්තක්… එහෙනම් අල්ලන්න හරයක් නෑ කියන එක බොරු නෙමෙයි. සාර ධර්ම නෑ ලෝකෙ, සාරයි කියලා පෙන්වන මායාවකින් වැහිලා තියෙන අසාර ධර්මයන් ගෙන් පිරිලා තියෙන්නෙ. අසාර ධර්මයන් තුළ මම මොනවා අල්ලාගෙන සාරත්වයක් හොයාගන්නද?”

 

ඒ තුළ සාරත්වයක් නෑ කියලා තේරුම් අරගත්ත ගමන් ම ධර්ම ඇස පහලවෙලා ඉවරයි. එහෙනම්, දහම් ඇස පහල වුනා කියන්නෙ සෝතාපන්නයි. එහෙනම් ඊට පස්සෙ කවදාවත් එයාට සතර අපාගත වෙන්න හේතු වෙන, දැඩි පාපකර්මයක් කෙරෙන්න, බලවත් චේතනා පිහිටන්න ක්‍රමයක් නෑ. මොකද, අසීමිත ව තිබිච්ච “සාර ධර්මයන්” පිළිබඳ අදහස ගැලවිලා ගිහින් ඉවරයි. දැන් තියෙන්නෙ සීමා සහිත, එක්තරා තමන් ඇසුරු කරන පංච කාම ලෝකයකට සීමා වෙච්ච කොටසක් විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ. “ඊට වඩා වටිනා හරියක් තිබුණා” කියලා අසීමිත බලාපොරොත්තු ඉවර නම්, ඊටපස්සෙ එයා ඒ ටිකේ වත් අල්ලලා නෑ, එක්තරා ලිහිල් තත්වෙකින් තමයි ඒකෙත් ඉන්නෙ.

 

ඒ නිසා, එයාට කවදාවත් පංච කාමයන් නිසා සතර අපාගත වීමට හේතුකාරක වන පාප ධර්මයක් කරන යම් ක්‍රියාවලියක් කරන්න තියෙනවා නම්, දැන් ඒ ක්‍රියාවලියට හේතු නෑ. අන්න, අනුශය බිඳිලා ගිහිල්ලා. එහෙනම්, සතර අපාගත වන ප්‍රාණඝාතයක්, අදත්තාදානයක්, කාම මිත්‍යාචාරයක් කරනවා කියන, ඒ තරම්, සතර අපාගත වෙන මට්ටමේ එකක් එයාට නෑ, සියල්ලෙන් තොර වුනා කියන එක නෙමෙයි කියන්නෙ. සතර අපාගත වීමට හේතු වෙන දූෂ්‍ය අන්දමේ එකක් කෙරෙන්නෙ නෑ. අන්න ඒක තමයි “පළමු අවංකත්වය”. ක්‍රියා කළාපය අවංක වෙලා, මොකක් නිසාද? මේ ධර්මාවබෝධය නිසා. අන්න, තමා ලඟ අවංකත්වයක් දැන් විද්‍යාමාන වෙනවා, සිහි කරලා බලනකොට.

 

වචන පිරිසිදුයි. ඉස්සර බොරු වලින් රවට්ටනවා, කේලමින් අනුන් බිඳවනවා, ඵරුෂ වචනයෙන් සැඩ බවට පත් කරනවා, ප්‍රලාපයෙන් අනුන් මුළාවට පත් කරනවා, මෙහෙම එකක් ඉස්සර තිබුණා. දැන් කතා කළොත් කතා කරන්නෙ බණ පදයක්. වෙන මොනවා කථා කරන්නද? බොරුවෙන් රවට්ටන්න හිතෙන්නෙ නෑ, කේළමෙන් බිඳවන්න කැමති නෑ, කැමැත්තක් ඇතිවෙන්නෙ නෑ, ඵරුෂ වචනයෙන් සැඩ බවට පත් කරන්න, ලෝකයා දූෂ්‍ය කරන්න කැමති නෑ, ප්‍රලාපයෙන් මුලාවට පත් කරන කථා කිය කියා, ලෝකයා මුළා කරන්න කැමති නෑ. “ඒවා නෙමෙයි, හරයක් ඇති දහමක් තියෙනවා, මෙන්න මේක අහපල්ලා… මෙන්න මේක ඔයිට වඩා වටිනවා, ඔය වැඩක් නැති කතා අත්හැරපල්ලා…. මෙන්න මේක හිතපල්ලා…. මේකෙ හරයක් තියෙනවා” කියලා, තමා දැකපු හරය තියෙන නිසා, ඒ දර්ශන ඥාණයට ගෝචර වෙච්ච ධර්මය මයි එළි බස්සන්න හදන්නෙ, තව කෙනෙකුට ලබාදෙන්න.

 

එහෙනම්, බොරු නෑ, කේලම් නෑ, ඵරුෂ වචන නෑ, ප්‍රලාප නෑ, සම්මා වාචා ත් එතන, සම්මා කම්මන්ත, ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර වලින් යම් වෙන්වීමක් වුනා නම් සම්මා කම්මන්ත මාර්ග හංගය පිරිලා. බොරු, කේලාම්, ඵරුෂ වචන, ප්‍රලාප නැත්නම් සම්මා වාචා මාර්ග හංගය පිරිලා, අන්න එකින් එක සකස් වෙලා එන හැටි.

 

“මට දැන්, නොදැහැමි විදිහට ජීවත් වෙන්න මට ඕනෑ කමක් නෑ. මොනවා ලබාගන්නද? මය ඔන්න ඔය යන්තම් මොනවා හරි ජීව්ත් වෙන්න ක්‍රමයක් තිබුණොත් හොඳටම ඇති. ඕකට අයුතු කම් කරලා, අසාධාරණ කම් කරලා, අනුන් රවට්ටලා, බොරු කියලා, හොරට මැනලා, හොරට කිරලා, බොරු වැඩ කරලා, අනුන් රවට්ටලා, අනුන් ගෙ දේ කඩා වඩාගෙන, මට එහෙම ජීවත් වෙන්න ඕනෙ නෑ. එහෙම හරයක් නෑ නෙ, මොකටද එහෙම මම, මොන වටිනාකමට ද එහෙම ජීවිතයක් ගත කරන්නෙ? මගෙ ජීවිතය මම ගතකරන්නෙ දැන්, ප්‍රධාන කාරණයක් තියෙනවා, මෙච්චර කල් මේ ලෝකෙ අල්ලන්න තමයි මම මීට ඉස්සෙල්ලා අදහස් කරගෙන හිටියෙ, නමුත් දැන් මම ඉන්නෙ යථාවබෝධය පූර්ණ කරගැනීමේ වටිනාකම දැකලා, ඒ සඳහා මෙහෙයැවෙන තැනටයි මගේ ජීවත් වීම. එහෙනම්, මගේ ජීවිතය නිවන් සඳහා මිසක්, වෙන එකකට නෙමෙයි…” කියන අදහස ඇවිදින් ඉවරයි එතෙන්ට එනකොට. එහෙනම් එයාගෙ ජීවිතය සම්මා ආජීවයෙන් යුක්තයි. අන්න මාර්ග හංග එකින් එක වැඩෙන හැටි.

 

එහෙනම් මෙන්න මෙතන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන ඒවා ආයිත් ආධ්‍යාත්මික ගුණය තුළින් මතුවුනා නම්, මෙන්න මේකට කියනවා මේ සාසනයේ “සීල සාසනය” මතුවුනා. මෙන්න මේවට කියනවා, “අඛණ්ඩ, අචිද්‍ර, අසබල, අකල්මාස වූ මෙන්න මේ කියන සීල ගුණයෙන් යුක්ත වුනාවූ ආර්ය කාන්ත සීලයෙන් යුක්ත වුනා” කියලා. ආර්ය ධර්මය දැකලා ලැබෙන්නාවූ දීප්තිය, කාන්තිය තුළින් මේ ධර්මය අවබෝධ කළා. මෙන්න ආර්යයන්ගෙ සීලය, ආර්ය සීල සාසනය. සතර අපාගත වෙන්න හේතු නැතුව ගියා, අන්න මුල පටන්ගන්නකොට.

 

{39:36} : අවබෝධයට පත්වීමෙන් ලැබෙන “කුසළ සීලය” නිවනට ම මඟ පාදන අයුරු…

දැන් එයාට තියෙන්නෙ මොකද්ද? දුටු දහම් ආවර්ජනා කරන එකයි. තව දහමක් දකින්න නෑ, දැකිය යුතු නියම දහම් දැකලා ඉවරයි. නිවන කරා කෙළවර වෙනකන් යන දහම තේරුම් අරං ඉවරයි. අමුතුවෙන් තේරුම් ගන්න දහමක් තව ඉතුරු වෙලා නෑ, නිවන් දකින්න. ඒ නිසා පර ප්‍රත්‍යය රහිතයි, ආධාර ඕනෙ නෑ, අනුන්ගෙ ආධාරයක් ඊට පස්සෙ ඕනෙ නෑ. එහෙනම් මොකද්ද කරන්න ඕනෙ, දැක්ක ඇත්ත යළි යළි ආවර්ජනා කරන්න, කරන්න ප්‍රඥාව මතුවෙලා එන්න පටන්ගන්නවා, ප්‍රබල වෙලා.

 

අන්න මොකද්ද කරගන්නෙ, දැන් අපි දකිනවා, යන ක්‍රමයක් තියෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා “සීල සම්පන්න සිල්වත්නට අවිප්‍රතිසාරය උපදීවා යි චේතනාවෙන් කටයුත්තක් නැත, ලැබීම ධර්මතාවයකි…” [ත්‍රිපිටක සූචිය] ඒක ලැබෙනවා. මොකද්ද? දැන් සීල සම්පන්න වෙලා ඉවරයි, යථාවබෝධය ලැබෙනකොට ම, ධර්මාවබෝධය ලබනකොට ම, අන්න සීල ගුණයක් එනවා. දැන් සමාදන් වෙච්ච වතක් නෙමෙයි මේ කියන්නෙ. යථාවබෝධය තුළින්, “අසාර ලෝකයේ මොකට ප්‍රාණඝාත කරන්නද, මොකට හොර මැර වංචා කරන්නද, මොකට සුරා සූදු දුරාචාර කරන්නද, මොකට බොරුවෙන් රවට්ටන්නද, මොනවට කේලමෙන් බිඳවන්නද, මොනවට ඵරුෂ වචනයෙන් සැඩ බවට පත්කරන්නද, මොනවට මේ ලෝකයා ප්‍රලාපයට පත් කරලා මුලා කරන්නද, මොනවට ලෝභකම් කරන්නද, මොනවට තරහෙන් ඉන්නද, මොනවට මෝඩකම් කරන්නද? මට මේ දහයෙන් ම වැඩක් නෑ…” කියලා තමන්ට වැටහිලා ඉවරයි, යථාවබෝධයෙන්. මෙන්න සීල සාසනය!

 

ඔන්න, “සීල සම්පන්න සිල්වත්නට අවිප්‍රතිසාරය හෙවත් විපිළිසර බව…”, නැත්නම් හිතේ විසිරෙන බව, විසිරෙන බව නැතිවීම තමයි අවිප්‍රතිසාරය කිවුවෙ, විප්‍රතිසාරය කියන්නෙ විපිළිසර බව. ඒකෙන් අහක් වෙලා අවිප්‍රතිසාරී වෙනවා කියන්නෙ විපිළිසර නොවන තත්වයට හිත තැන්පත් වුනා. මෙන්න මේක අමුතුවෙන් කරන්න දෙයක් නෑ, “සීල සම්පන්න සිල්වත්නට අවිප්‍රතිසාරය උපදීවා යි චේතනාවෙන් කටයුත්තක් නැත, ලැබීම ධර්මතාවයකි” මෙන්න, ආර්යයන්ට ධර්මතාවයෙන් ම ලැබෙනවා විපිළිසර බවක් නැතිකම, අවිප්‍රතිසාරී බව.

 

“අවිප්‍රතිසාරය ඇත්තහුට ප්‍රමෝදය උපදීවා යි චේතනාවෙන් කටයුත්තක් නැත, ලැබීම ධර්මතාවයකි..” චිත්ත ප්‍රබෝධය ලැබිලා තියෙන්නෙ, ආයි අමුතුවෙන් උපදවන්න මොනවත් ඉතුරු වෙලා නෑ. අර මුල් වර්ණය එනකොටම, යථාර්තය වැටහෙනකොට ම ඒ චිත්තය නිදහස් වෙලා, ප්‍රබෝධ වෙලා ඉවරයි. ආයි කම්මැලි ගති, ඇඟ මැලි කඩන ගති ඉතුරු වෙන්නෙ නෑ. යථාර්තයෙන් හැමවෙලාවෙම ධර්මය දැකපු දහම් ප්‍රබෝධය, හැම වෙලේම ක්‍රියාත්මක වෙනවා.

 

“ප්‍රමුදිතයා ට පස්සද්ධිය උපදීවා යි චේතනාවෙන් කටයුත්තක් නැත, ලැබීම ධර්මතාවයකි…” ඉතින් හිත, කය සැහැල්ලුයි, හොඳ සැහැල්ලු ජීවිතයක් ගතකරන්නෙ. ඒ සැහැල්ලුවට අමුතුවෙන් කරන්න දෙයක් නෑ. ඔය මුල පටන්ගත්ත කෙනාට, ඒ සැහැල්ලුව ධර්මතාවයන් ම ලැබෙනවා.

 

එතකොට, “පස්සද්ධියට පත් වූවහුට ප්‍රීතිය උපදීවා යි චේතනාවෙන් කටයුත්තක් නැත, ලැබීම ධර්මතාවයකි…” මෙන්න නිරාමිස ප්‍රීතිය. දහම් දැකීම නිසා දකින ප්‍රීතියක් එනවා. ඒක පංච කාම ප්‍රීතිය වාගෙ නෙමෙයි, ඊට වඩා විශාල සැනසුමක් සහිතයි. “මං කොච්චර නිදහස් ද, දැන් මං කොච්චර සැනසිල්ලෙ ඉන්නවද?” අන්න ප්‍රීතිය මතුවෙලා එනවා.

 

එතකොට, “ප්‍රීති මනසක් ඇත්තා හට සුඛය උපදීවා යි චේතනාවෙන් කටයුත්තක් නැත, ලැබීම ධර්මතාවයකි – ප්‍රීති මනස්ස කායෝ පස්සද්ධති, පස්සද්ධ කායෝ සුඛං දේති” අන්න, ප්‍රීතිය නිසා පස්සද්ධිය, සැහැල්ලුව ඇතිවෙනවා. සැහැල්ලුව නිසා මොකද වෙන්නෙ, සුඛයට පත්වෙනවා. කායික, මානසික සුවයෙන් ඉන්නෙ. නිදහස් සුවය හැමවෙලේම බලපානවා.

 

“සුඛිතයා හට සමාධියට පත්වෙමි යි චේතනාවෙන් කටයුත්තක් නැත, ලැබීම ධර්මතාවයයි” අන්න වැදගත් එකක්. දැන් සමාධියට මොකද්ද කරන්න තියෙනවයි කිවුවෙ? බුදුරජාණන් වහන්සේ මොකද්ද දේශනා කරන්නෙ? “සුඛිත සිත් ඇත්තා හට සමාධියට පත්වෙමි යි චේතනාවෙන් කටයුත්තක් නැත, ලැබීම ධර්මතාවයකි…” එහෙනම් සමාධිය ධර්මතාවයක් නෙ.

 

“සමාධි සිත් ඇත්තා හට යථාභූත ව දනිමි යි, දකිමි යි චේතනාවෙන් කටයුත්තක් නැත, ලැබීම ධර්මතාවයකි…” එහෙනම් ප්‍රඥාව පහල වෙනවා නෙ, එතෙන්ට, සමාධිය තියෙන තැනට. අමුතුවෙන් කියන්න දෙයක් නෑ, අමුතුවෙන් ඉගෙනගන්න දෙයක් නෑ.

 

“යථාභූත ව දන්නා හට, දක්නා හට විරාගයට පත්වෙමි යි චේතනාවෙන් කටයුත්තක් නැත, විරාගික වීම ධර්මතාවයකි…” එතකොට… ?

 

“විරාගියකයා ට විමුක්ති ඥාණ දර්ශනය පසක් කරමි යි චේතනාවෙන් කටයුත්තක් නැත, ලැබීම ධර්මතාවයකි…” අරිහත් ඵලයට පත්වෙනකන් ම ධර්මතාවයක්.

 

“මෙසේ කුසළ සීලය අවිප්‍රතිසාරයත්, අවිප්‍රතිසාරය ප්‍රමෝදයත්, ප්‍රමෝදය පස්සද්ධියත්, පස්සද්ධිය ප්‍රීතියත්, ප්‍රීතිය සුඛයත්, සුඛය සමාධියත්, සමාධිය යථාභූත ඥාණ දර්ශනයත්, යථාභූත ඥාණ දර්ශනය නිර්වේදයත්, නිර්වේදය විරාගයත්, විරාගය විමුක්තිය ත්, විමුක්තිය විමුක්ති ඥාණ දර්ශනයත් ලබා දේ. මෙසේ ධර්මයෝ ම ධර්මයෝ පවත්වයි, නිර්වාණ පර තෙරට යාම සඳහා ධර්මයෝ ම ධර්මයෝ පුරවයි…” න චේතනා කරණිය සූත්‍රයේ අර්ථය. [ත්‍රිපිටක සූචිය]

 

ඉතින්, අපිට මොනවද කරන්න තියෙන්නෙ නිවන් දකින්න? “සීල සම්පන්න වෙන එක” විතරයි හරියට, යථාර්තය දැනගෙන. “සීල සම්පන්න” කියන්නෙ වත නෙමෙයි, බණ අහලා යථාර්තයෙන් ශික්ෂණයට පත්වෙන්න ඕනෙ, ධර්මය අවබෝධ කරනකොට ඒක වෙලා ඉවරයි.

 

එහෙනම්, ධර්මය අවබෝධ කරගැනීම විතරයි අපිට කරන්න තියෙන්නෙ, ආර්ය මාර්ගය අමුතුවෙන් වඩන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑ. ඊට පස්සෙ මොකද වෙන්නෙ, අහගත්ත, තේරුම් ගත්ත ධර්මය යළි යළි ආවර්ජනා කරනකොට අන්න වැඩිලා එනවා ඉතුරු ටික ඔක්කොම. අන්න “කුසළ සීලය”.

 

{44:00} : “ශීල විශුද්ධිය” ට පත්වුනු උතුමන් ගේ “කුසලයේ” සහ “පිනෙහි” වෙනස

“කෝසානි විචෙය්‍ය කේවළානී දිබ්බං, මානුස කංච, බ්‍රහ්ම කෝසං, සබ්බ කෝස මූල බන්ධනා පමුත්තෝ කුසලෝ තාදි පවුච්චතෝ තථත්තා….” [ත්‍රිපිටක සූචිය] දිව්‍ය කෝෂ, මනුස්ස කෝෂ, බ්‍රහ්ම කෝෂ, සකළවිධ කර්ම කෝෂ, මේ උපදින තැන්, ඒවායේ ඉපැද්මට හේතුවෙන අවිද්‍යා තෘෂ්ණා යන මූල බන්ධනයන් ගේ පහ කිරීමක් ඇත්ද, “කුසල්” යැයි කියනු ලැබේ, මෙන්න කුසල්.

 

“පිං” කියන එක වෙනයි, ඒක සසර පැවැත්මට හේතු වෙන එකක්, කුසල් කියන්නෙ ආර්ය අෂ්ඨාංගික මාර්ගය, නිවනට හේතු වෙන ඒවා. එහෙනම්, කොතන හරි උපදින අවිද්‍යා – තෘෂ්ණා දෙකේ පහ කිරීමක් තියෙනවද, අන්න කුසල්, අන්න වඩන එක.

 

එහෙනම්, අවිද්‍යා – තෘෂ්ණා දෙක පහ වෙන්න නම්, “දුටු ඇත්ත” යළි යළි ආවර්ජනා කරන්න ඕනෙ. අන්න අරගත්තා යථාර්තය. දැන් ක්‍රම දෙකක් තියෙනවා, එකක් “ශීල විශුද්ධිය” සිහි කරන්න ඕනෙ. පහසු ම ක්‍රමයක්. දැන් අපි ලඟ තියෙනවා, මොකද්ද…. (දේශනාවේ ඉතා සුලු කොටසක් මඟහැරී ඇත…) අන්න කැමැත්තක් නැති කම නිසා මොකද වෙලා තියෙන්නෙ? අන්න ලෝකයට ඇලුම් කිරීමට තියෙන යම් චේතනාවක් තිබුණා නම්, ඒක අපෙන් අත්හැරිලා ගිහිල්ලා.

 

දැන් මොකද්ද වෙලා තියෙන්නෙ? ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර කියන ඒවට කැමැත්තක් නැත්තම්, අපේ ක්‍රියා කලාපය අවංකයි, අපිටම පේනවා. එහෙනම්, පෙර ක්‍රියා කලාපය වංකයි. යථාවබෝධය ඇවිල්ලා ඉස්සෙල්ලාම මේ බණ අහන්න ඉස්සෙල්ලා, ලෝකෙ අසාරයි කියලා තේරුම් ගන්න ඉස්සෙල්ලා, ලෝකෙ සාරයි කියලා හිතන් ඉන්න කාලෙ, “මරලා හරි කමක් නෑ, හොරකම් කරලා හරි කමක් නෑ, මොන විදිගෙන් හරි කමක් නෑ, මගෙ බඩ වඩාගත්තොත් මට හරි” කියන අදහස තිබුණා. දැන් ඒ අදහස ගැලවිලා ඉවරයි, එහෙනම් “දැන් ප්‍රාණඝාත කරලා මට, අසාධාරණ කරලා හරිහම්බ කරලා වැඩක් නෑ. හොර මැර වංචා කරලා, සුරා, සූදු, දුරාචාර ආදී අධාර්මික ක්‍රම මට ඇති වැඩක් නෑ…” අන්න යථාර්තය දැක්කා.

 

එහෙනම් මොකද වෙන්නෙ? ඔහු ලඟ යථාවබෝධය ලැබීමෙන් අවංකත්වයට පත්වෙලා තියෙනවා, දැන් ඇද නෑ, ක්‍රියා කලාපය අවංකයි. අන්න යථාවබෝධයෙන් තමන්ට ලැබිච්ච “සීල විශුද්ධිය”. විශේෂ ශුද්ධියක් හම්බවෙලා තියෙනවා. “අවංකත්වය” කියන්නෙ වතක් නෙමෙයි, අවංකත්වය කියන්නෙ “සංවරට්ඨේන සීලං” – අභ්‍යන්තර සංවරත්වය තුළින් ලැබුණා වූ සීලය. “සං වැරුවා” – සං කියන්නෙ එකතුව. “සං කර” ගතියක අපි හිටියෙ, “සං කර කරා” ඇවිල්ලා දැන් “සං වරලා”. වරනවා කියන්නෙ… ( මීලඟ දේශනාව හා සම්බන්ධයි…)

 

 

~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~

 

දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://waharaka.com/listen/CD003-07