දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)
ලෝක විග්‍රහය, සතර සතිපට්ඨානය, සසර ණය
{ 0:00:00 } : “සියළු ලෝක” කියන්නෙ මොනවද?
“සියළු ලෝක සියළු සත්ත්වයෝ” යන්නෙහි “සියළු ලෝක” පැහැදිලි කරන්න. මෙම ලෝක පිළිබඳව විස්තරයක් ඉල්ලා සිටිනවා.
“සියළු ලෝක සියළු සත්ත්වයෝ” කියන වචනය කියනකොට මේක හොඳට තේරුම් අරගන්න ඕනෙ දෙයක්, “සියළු ලෝක” මොනවද, “සියළු සත්ත්වයෝ” මොනවද කියන එක. දැන් “ලෝක” නානාප්‍රකාරයෙන් මේ බුදු දහම තුළ විග්‍රහ වෙනවා. “පංචස්කන්ධය කියලා තුන් ලෝකයක් විග්‍රහ වෙනවා. ඒ එක ක්‍රමයක්. සියළු සත්ත්ව කොටස් සත්ත්ව ලෝකයට අයිතියි, ඒ අය කරන පුණ්‍යාභිසංඛාර, අපුණ්‍යාභිසංඛාර, ආනෙඤ්ජාභි සංඛාර කියලා කියන සංඛාරයන් තව ලෝකයක් හැටියට ගණං අරගෙන ඒක “සංඛාර ලෝක“ කියලා කියනවා. ඉතින් බාහිර ගස් කොළං, ගල් පර්වත, ඉර හඳ තාරකා, මේ ආදී වශයෙන් තියෙන ලෝකය ඔක්කොම ඕකාස ලෝක කියලා බාහිර ලෝකයක් හැටියට හඳුනවනවා, මේ තුන සත්ත්ව ලෝක, සංඛාර ලෝක, ඕකාස ලෝක කියලා මෙහෙමත් හඳුන්වනවා.
ඒ වගේම “කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක” කියලා, කාම ආශ්‍රයේ ඉන්න අය කාම ලෝකයටත්, රූපාවචර ආශ්‍රයේ ඉන්න අය රූප ලෝකයටත්, අරූපාවචර ආශ්‍රය කරන අය අරූප ලෝකයටත් සම්බන්ධ කරලා, එහෙමත් කොටස් තුනකට බෙදනවා මේ සත්ත්වයෝ පිළිබඳ උපදින තැන් වශයෙන්. ඒ සත්ත්වයා සහ ඒ අවට ලෝකය, ඒ පරිසර ලෝකය, කාම ලෝකය – කාම සත්ත්වයා සහ, කාමයේ ඉන්න සත්ත්වයා සහ කාම ලෝකය එක ලෝකයක් හැටියටත්, රූපාවචර අදහස් ඇති ඒ සත්ත්වයා සහ රූපාවචර ලෝකය රූප ලෝකය හැටියටත්, අරූපාවචර සහ අරූපාවචර නාම ලෝකය අරූපාවචර ලෝකය හැටියටත්, මෙහෙමත් සළකනවා.
එතකොට ඊටපස්සෙ තවත් තියෙනවා “පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය” – රූප ලෝක, වේදනා ලෝක සංඥා ලෝක, සංඛාර ලෝක, විඤ්ඤාණ ලෝක කියලා, සියළු සත්ත්වයෝ පොදුවේ අරගෙන පෙන්වන පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය කියලා තව ලෝකයක් පෙන්වනවා.
ඒ වගේම ඉන්ද්‍රිය වශයෙන්, චක්ඛු ලෝකය, ඒ වගෙම රූප ලෝකය, සෝත ලෝකය, සද්ද ලෝකය, ඝාන ලෝකය, ගන්ධ ලෝකය, ජිව්හා ලෝකය, රස ලෝකය, කාය ලෝකය, ඵොට්ටබ්බ ලෝකය, මනෝ ලෝකය, කර්ම ලෝකය කියලා මෙහෙම ලෝක විග්‍රහ වෙනවා.
ඔය කොයි ආකාරයෙන් විග්‍රහ වුනත් “ලෝක” කියනකොට විග්‍රහ වුන හරිය තමයි ඔය තියෙන්නෙ. ඉතින් “ලුජ්ඣති – පලුජ්ඣතීති ලෝකේ” කියලා මේ ලෝකය පිළිබඳව, කැඩෙන හෙයින්, පළුදු වෙන හෙයින්, වැනසෙන හෙයින් ලෝකය කියනවා කියලා මේ අට්ඨකතාවක් තියෙනවා. {{ ලොකසුත‍්තවණ‍්ණනා }} වචනෙම අර්ථයත් තියෙනවා, මේ ලෝක සත්ත්වයෝ මේ ලෝක හදාගන්න හේතුව, ලෝකයේ පැවැත්මට – ලෞඛිකත්වයට වැටුනට පස්සෙ පුද්ගලයා “ක්‍ෂය භාවයට” පත්වෙනවා. ඒ කියන්නෙ එයාට සැපතක් නෑ. සැප හොය හොයා දුක පස්සෙ රවුම් ගහන එක තමයි ලෝක සත්ත්වයාගෙ හපන්කම. ලෝක සත්ත්වයා කරන්නෙ ඕක.
ඉතින් “සැප හොය හොයා යනවා” කියන එකට කියන තව වචනයක් තමයි “ලොවන්න” යනවා. රූප ලොවනවා, සද්ද ලොවනවා, ගන්ධ ලොවනවා, රස ලොවනවා, ස්ඵර්ශ ලොවනවා, ධර්ම ලොවනවා, මේ ලොව ලොවා ක්‍ෂයවෙන පැත්තට යනවා. එතකොට නාම …(2:36 පැහැදිලි නැත)… වෙන මේ ඔක්කොම ලෝක ටික අහුවෙලා ඉවරයි ලොවන්න ගිහිල්ලා ක්‍ෂය වෙන පැත්තට ගමන් කරපුහම. ලෝකෙ සැරිසරණවා කියල කියන්නෙ පංච කාම සම්පත් ලොවන්න ගිහිල්ලා පහත් භාවයට පත් මේ පැවැත්මෙ සැරිසරණ එකට. ඒක තමයි වචනයේ අර්ථයෙන්ම “ලෝකය”.
එතකොට දැන් “සත්ත්වයෝ” කිවිවහම අපි ගණං ගන්න පුරුදුවෙලා තියෙන්නෙ සත්ත්වයාගෙන් පුංචි කොටසක්. දැන් සත්ත්වයෙක් කියන්න කිවුවම බල්ලා, හරකා, මිනිහා… ඉතින් ඔහොම අපි දන්න සත්ත්වයෙක් කියනවා. ඒ සත්ත්වයා කියලා අපි හැඳින්වුවෙ සත්ත්වයාගෙන් පුංචිම පුංචි කොටසක් විතරයි. දැන් “පංචස්කන්ධය සත්ත්වයායි” කියලා කිවුවොත් එහෙම, පංචස්කන්ධය විග්‍රහ කරගත්තහම සත්ත්වයා විග්‍රහ වෙනවා. එතකොට පේනවා සත්ත්වයා ලොකුද පුංචිද කියලා හොයන්න පුළුවන්, කොච්චර කල් ඉඳන් එන එක්කෙනෙක්ද, කොච්චර ඉදිරියට යන එක්කෙනෙක්ද, ඒ සත්ත්වයාගේ ස්වභාවය මොකද්ද, මේක හොයාගන්න පංචස්කන්ධය විග්‍රහ කරගන්න ඕනෙ.
රූපස්කන්ධය විග්‍රහ කරනවා බුදුරජාණන් වහන්සේ “අතීත, අනාගත, වර්තමාන, සියුම්, ඝන, දුර, ලඟ, හීන, ප්‍රණීත රූප යැයි යමක් යම්තැනක වීද, යම්තැනක වෙයිද, මතු යම්තැනක වන්නේද, සියල්ල කැටි කරගත් විට රූපස්කන්ධයයි” {{ඛන්‍ධවිභඞ‍්ගො}} මෙන්න අපේ කොටසක්, සත්ත්වයාගෙ කොටසක්. ඒ වගේම දුර වේවා, ලඟ වේවා, සියුම් වේවා, ඝන වේවා, හීන වේවා, ප්‍රණීත වේවා, වේදනාවයි යමක් යම් තැනක අතීතයේ වීද, දැන් වෙයිද, මතු වන්නේද, සියල්ල කැටි කළ විට වේදනා ස්කන්ධයයි. දුර වේවා, ලඟ වේවා, සියුම් වේවා, ඝන වේවා, හීන වේවා, ප්‍රණීත වේවා, අතීත වේවා, වර්තමාන වේවා, අනාගත වේවා සංඥා යැයි යමක් යම්තැනක වීද, යම් තැනක වෙයිද, මතු යම් තැනක වන්නේද, සියල්ල කැටි කළ විට සංඥා ස්කන්ධයයි. දුර වේවා, ලඟ වේවා, සියුම් වේවා, ඝන වේවා, හීන වේවා, ප්‍රණීත වේවා, අතීත වේවා, වර්තමාන වේවා, අනාගත වේවා සංඛාර යැයි යමක් යම් තැනක වීද, යම් තැනක වෙයිද, මතු යම් තැනක වන්නේද, සියල්ල කැටි කළ විට සංඛාර ස්කන්ධයයි. දුර වේවා, ලඟ වේවා, සියුම් වේවා, ඝන වේවා, හීන වේවා, ප්‍රණීත වේවා, අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා, විඤ්ඤාණ යැයි යමක් යම් තැනක වීද, යම් තැනක වෙයිද, යම් තැනක වන්නේද, සියල්ල කැටි කළ විට විඤ්ඤාණස්කන්ධයයි. ඔන්න සත්ත්වයා.
දැන් සත්ත්වයා කියන්නෙ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන මේ සම්පිණ්ඩනයට. දැන් දුර වේවා, ලඟ වේවා, පේන වේවා, නොපෙනෙන වේවා, සියුම් වේවා, ඝන වේවා, හීන වේවා, ප්‍රණීත වේවා, අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා, රූප වේදනා සංඥ සංඛාර විඤ්ඤාණ යන යමක් වීද, යමක් වෙයිද, මතු යමක් වන්නේද, ඒ සත්ත්වයායි කියන්නෙ ඔන්න ඔය ටීක.
දැන් එතකොට දුර ඉඳන්ම, අනාදියේ දුර ඉඳන්ම සත්ත්වයාට සම්බන්ධයි. කොච්චර කල් මතු උප්පත්තියකට යනවද, ඒ තාක්කල් ඔහු විසින් ගොඩනඟාගෙන තියෙනවා නම් ඉදිරි අනාගත …(0:05:20 පැහැදිලි නැත)…, ඒ තාක්කල් ඔහු මතු අනාගතයට සම්බන්ධයි. දැන් මේ පැවැත්මක් තුළ ක්‍රියාත්මක වෙනවද, ඒ ටිකත් සත්ත්වයාට සම්බන්ධයි. ඔන්න ඔයටික කැටිවුනාට පස්සෙ “සත්ත්වයා” කියනවා.
දැන් “බල්ලා” කියන්නෙ, දැන් මේ පේන හරියෙ දැකලා “බල්ලා” කියනවා. දැන් සත්ත්වයාට සම්බන්ධ හරියට බැලුවොත් බල්ලා කියන හරිය ගන්න බෑ. මොකද ඊට ඉස්සෙල්ලා හරියත් අයිතියි. දැන් ඊට ඉස්සෙල්ලා මිනිස් සත්ත්වයා වගේ හිටියා නම් ඒ මිනිස් සත්ත්වයා සේ හිටපු කාලෙත් ඒ සත්ත්වයාට අයිතියි. අද බලු අත්බැවත් ඒ සත්ත්වයාට අයිතියි. ඊට ඉස්සෙල්ලා දෙවියෙක් වෙලා හිටියා නම් ඒකත් ඒ සත්ත්වයාට අයිතියි. ඊට එහා බ්‍රහ්මයෙක් වෙලා හිටියා නම් ඒකත් ඒ සත්ත්වයාට අයිතියි. මතුවට දැන් බල්ලා මිනිහෙක් වෙනවා නම් ඒ කාරණයත් සත්ත්වයාට අයිතියි. බල්ලා නැවත දෙවියෙක් වෙනවා නම්, ඒ කාරණය එතෙන්ට එනකනුත් සත්ත්වයාට අයිතියි.
එහෙනම් සත්ත්වයා හැඩරුවකින් පෙන්වන්න පුලුවන්ද? සත්ත්වයා කියන්නෙ බල්ලෙක්ය, මිනිහෙක්ය, දෙවියෙක්ය, තිරිසනෙක්ය කියලා මේ ආදී වශයෙන් වෙන්කරන්න බෑ මේ සත්ත්වයා ගැන, මේ සියල්ලම කැටිවෙච්ච එකක්. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නෙ? අතීතයේත්, අනාගතයේත්, වර්තමානයේත් කියන මේ තුන් කාලයේම මේ පුද්ගලයො මේ පංච කාම සම්පත්තිය ලොවන බලාපොරොත්තුවෙන් ඒකට බැඳී, රැඳී කටයුතු කරනවද, ඡන්දරාගයෙන් බැඳිලා ඉන්නවද, ඒ තාක්කල් සත්ත්වයෙක් වශයෙන් විද්‍යාමානයි. ඔහු මේ ලෝකයට කියන හිත සම්බන්ධ දහම්, ගත සබන්ධ දහම් සහ ලෝකය සම්බන්ධ දහම් පිළිබඳව ඡන්දරාගයෙන් බැඳිලා ඉන්නකන් කියනවා ඒවා “සත්” කියන කුලයට අරගෙන, “සත්” දේවල් හැටියට අරගෙන ඒ මත්තෙ ඉඳීම කරගෙන යනවා.
මේවගේ “සත් දේවල්, යහපත් දේවල්, හොඳ දේවල්” කියන නිගමනයේ, “අවිද්‍යාවෙ නිගමනයේ” ඉඳගෙන ඒ මත්තෙ සැරිසරන්නෙ කොච්චර කල්ද, ඒ තාක්කල් සියල්ල සම්පිණ්ඩනය කරපුහම “සත්ත්වයා”. එහෙනම් සත්ත්වත්වය ඉවර කරන්න නම් අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් මිදිලා ඡන්ද රාගයෙන් මිදුනහම ඔහු අතීතයේ යම් පංචස්කන්ධයක් තිබුණා නම් ඒ සම්බන්ධයෙන් ඇලිලා නැහැ; ඒකෙන් නිදහස් වුනා. වර්තමාන කාලයේ යම් පංචස්කන්ධ ක්‍රියාවලියක ඇලිලා ඉන්නවා නම් ඒකෙන් නිදහස් වුනා, අනාගත බලාපොරොත්තුවක් තියාගෙන හිටියා නම් ඒකෙන් නිදහස් වුනා. සත්ත්වත්වයෙන් නිදහස් වුනහම, සත්ත්වත්වය තුළ උපදින්නෙ නැත්නම් සසර ගමන ඉවරයි. ඒ අරිහතුන් වහන්සේ, සත්ත්වත්වය ඉක්ම ගිය කෙනා.
“සත්ත්වයෝ” කියලා ගන්නකොට, අරිහතුන් වහන්සේ සත්ත්වත්වය ඉක්මෙවුවා. පංචකාම රසාස්වාදය හොයමින්, ඡන්ද රාගයේ සැරිසරණ අවිද්‍යා සහගත, මෝහ සහගත, මුළා සහගත විදිහට යන්නෙ ඒ අය සත්ත්වයෝ කියලා. ඒ නිසා තමයි සත්ත්වයාට හැඩරුව කියන්න බැරි. සත්ත්වයා කියනකොට අපි හැඩරුව කරලා එකක් ගත්තොත්, සත්ත්වයාගෙ කොටසකට සත්ත්වයා කිවුවා. එහෙනම් මේ යන අතරතුරදි මේ ලෝක සත්ත්වයෝ, නැත්නම් ඒ සත්ත්වයා කියලා සැරිසරන්නෙ මොනවද, ඒ “ප්‍රියයි, මනාපයි, යහපතයි” කියන දෘෂ්ඨියෙන් අල්ලගත්ත ඇස කය දිව නාසය ශරීරය මන කියන හයට ගෝචර කරගන්න රූප සබ්ද ගන්ධ රස ස්ඵර්ශ ධර්ම කියන හය තුළ, මෙන්න මේවා ලෝක වශයෙන් අල්ලගෙන තමයි සැරිසරන්නෙ.
එතකොට “සියළු ලෝක සියළු සත්ත්වයෝ” කියනකොට අපි ගොඩනඟාගෙන තියෙන ඒ සියළුම ලෝක අවිද්‍යාවේ – තෘෂ්ණාවේ නිගමනයෙන් ගොඩනඟාගත්ත ඒවා. “සියළු සත්ත්වයෝ” කිවුවහම ඡන්ද රාගයෙන් ඇලි ඇලී මේකෙ ඉන්නකන් සත්ත්වයා. එහෙනම් ඡන්ද රාගයෙන් ඇලි ඇලී ඉන්න දෘෂ්ඨියත්, ඒ දෘෂ්ඨිය මත ගොඩනඟාගත්තාවූ යමක් ඇත්නම් එයත්, අපිට දුක දෙන්න හේතුවෙනවා. එතකොට ඒකෙන් මිදුනොත් තමයි සත්ත්වත්වයෙන් මිදෙන්නෙ, ලෝකයෙන් මිදෙන්නෙ. ඉතින් ඇසත් ලෝකයක්, කනත් ලෝකයක්, දිවත් ලෝකයක්, නාසයත් ලෝකයක්, කයත් ලෝකයක්, රූපත් ලෝක, සද්දත් ලෝක, ගන්ධත් ලෝක, රසත් ලෝක, ඵොට්ටබ්බත් ලෝක, ධර්මත් ලෝක. ඔය ලෝක වලට ඡන්ද රාගයෙන් ඇළුනහම “මමය මගේය” කියන දෘෂ්ඨියක් එනවා. අන්න ඒ “සත්ත්ව දෘෂ්ඨිය” පහලවෙනවා. එතකොට “සියළු ලෝක සියළු සත්ත්වයෝ” කිවුවහම ඒ දෘෂ්ඨිය නිසා පහලවෙච්චි ඒවා හැමවෙලේම ඇවිල්ලා විපාක ගෙනදෙනවා. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මතුකරපු නිසා ලොභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යුක්තව කටයුතු කරපු නිසා, ඒ හටගන්න විපාකය අනිෂ්ඨ විපාක දෙන්න හේතුවෙන විදිහේ විපාක කඳක් ඇතිකරවනවා. ඒකයි එතන කරන්නෙ.
{ 0:09:18 } : සසර ණය ගණු දෙණු හැදෙන හැටි සහ එයින් නිදහස් වෙන හැටි…
එතකොට ඒ විපාක කඳක් ඇතිකරනකොට, විපාක කඳක් ඇතිකරනවා නම් ඒකට අපි ප්‍රතිකාරයක්, නැත්නම් ප්‍රතිකර්මයක් කෙරුවොත් ඒ විපාකයට බාධා පමුණුවනවා, එන දුක් කරදරයෙන් නිදහස් වීමේ හැකියාවක් ලැබෙනවා. දැක් අපි හිතමු මෙහෙම දෙයක්, කෙනෙක්ගෙන් ණයට මුදලක් කත්තොත්, අපි ණය ගෙවනතුරු ඔහුගෙන් අපිට කරදරයි. අපි බැඳිලා ඉන්නවා ණය කාරයෙක් හැටියට. ණය අයිතිකාරයා ණය බලාපොරොත්තුවෙන් ඉන්නවා, ඔහු කෙරෙහි හූල්ල හූල්ල බලාගෙන ඉන්නවා. දැන් ඉතින් මේ කාරණය අපි විසින්ම ගොඩනඟපු දෙයක්. ඒකත් ලෝකයට අයිතියි. ලෝභ ද්වේෂ මෝහ නිසා ණය නොදී ඉඳලා, ණයට අරං පොරොන්දු කඩකරලා, ණය නොදී ඉඳලා, අපි ඇතිකරගත්ත එකක්. එහෙනම් ඒ ණයවීම කියන එකත්, “ණයකාරයා” කියන එකත් ලෝකයට අපි බැහැලා හදාගත්ත එකක්.
දැන් අපිට ණයකාරකමෙන් නිදහස් වෙන්න බැරිද? ඒ මිනිහගෙ සල්ලි ගෙවුවා නම් ඉවරයිනෙ…. අපි කරගත්ත එකෙන් අපිට නිදහසක් ලැබෙන්නෙ නැද්ද එතකොට? ආයිත් අර ණයකාරයා බලාගෙන ඉන්නවද? අපි ණය තියෙනවා කියලා හැංගිලා යන්න ඕනෙද? අපිට අසහනයක් තියෙනවද? ඒ නිසා ඇතිවෙන බැණුම් අහන්න වෙනවද? ණය ගෙවුවනම් ඉවරයි! ඉතින්, ණය වුනා වගේම ණය ගෙවාගන්න ක්‍රමයකුත් තියෙනවා. ණය වුනොත් අපි ණයකාරයෙක් වෙලා දුක් විඳිනවා. බාහිර ලෝකයේ තියෙන නොයෙක් අඩම්තේට්ටම් වලට, නොයෙක් අනිෂ්ට අරමුණු වලට ගොදුරුවෙන්න සිද්ධවෙනවා. නමුත් අපි ඔය ණය ගෙවුවොත් එදාට අපි ණයෙන් නිදහස්. ණයෙන් නිදහස් වෙච්චි පුද්ගලයට එක්තරා පැවැත්මේ ඉඳගෙනම නිදහසක් ලැබෙනවා.
“සතිය ශ්‍රේෂ්ඨයි, එහෙත් වෛරයෙන් නොමිදේ…” කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා {{ මණිභද‍්දසුත‍්තං }} වෛරයෙන් මිදෙන්න නම් අපි මොකද කරන්න ඕනෙ? මෙත්තා සහගත ක්‍රියා කලාපය තුළින් ඒ ණය ගෙවලා ඒකෙන් මිදෙන්න ඕනෙ. ඉතින් ණයෙන් නිදහස් වෙන මඟ එකක්, නිවන් දකින එක තව එකක්. නිවන් දකින්න ඉඩ දෙන්නෙ නෑ ණයෙන් නිදහස් වෙනකන්.
කෙනෙක් විදේශගතවෙන්න ලෑස්තිවෙලා ඉන්නවා නම් මෙහෙ ණයවෙලා ණයවෙලා, හැබැයි දැනගත්ත ගමන් ණයකාරයො කොටු කරගන්නවා. “ආ හා, යන මගුලක පලයං අපේ සල්ලි දීලා…, අපේ ගත්ත ඒවා දීලා” කිසි කරුණකට පැනලා යන්න දෙන්නෙ නෑ, කොටුකරනවා. මෙන්න මේ වගේ සසරෙදි අපි එක එක්කෙනාට වෙච්ච ණය තුරුස් කෙළවරක් නැතුව තියාගෙන ඒවට ණයකාරයො වෙලා තමයි මේ සසරෙ ඉන්නෙ. නිවන් මඟ කියනවා “සතිය ශ්‍රේෂ්ඨයි.. ඒක ඉතින් සතිමත් උපට්ඨානයට අනුකූලව නිවන් දකින්න මඟ පාදාගන්නවා”. හැබැයි නිවන් දකින්න මඟ පාදාගෙන එනකොට අනික් අය නිවන් දක්වන්න අපිට බෑ, අපි නිවන් දකින්න ඕනෙ, අපේ විමුක්තිය අපි සළසාගන්න ඕනෙ.
විමුක්තිය සළසාගන්න ලෑස්තිවෙන්නෙ ණයකාරයෙක් නම්, ණය හිමියො අපිට ඉඩදෙන්නෙ නෑ එහෙම පැනලායන්න. විමුක්තියට ගියා කියන්නෙ ආයි ණය ගෙවන්න එක්කෙනෙක් නෑ, එයාගෙ ගමන ඉවරයි. ආයි ණය ගන්න විදිහකුත් නෑ. ඕක දැනගත්තොත් එහෙම ඔය නොපෙනෙන ලෝකෙ විශාල පිරිසක්, අපිට ඉඩ දෙන්නෙ නැතුව පසුපස හඹා එනවා “ඕකාට එහෙම බේරිලා යන්න දෙන්න බෑ අපේ ඒවා ගන්නෙ නැතුව” ඒක අපිට පේන්නෙ නෑ. අපිට මේකෙ අවුරුදු සීයක් ඉඳලා මැරිලා යනවා, තව කොහෙහරි අවුරුදු දහයක් පහළොවක් ඉඳලා, ඉපදිලා ආයි සීයක් ඉඳලා මැරිලා යනවා. ආයි කොහෙහරි ඉඳලා ආයි මැරිලා යනවා. ඔය කාලෙ ණය කාරයෙක්, භූතයෙක් වෙලා හිටියොත් උගෙ වයස බලපුහම ඌට අවුරුදු දහදාහයි, ලක්‍ෂයයි, කෝටියයි උගේ අවුරුදු. ඌ බලා ඉන්නවා මේකා මැරෙනකල්, “කෝ කොයිවෙලේද?”
අර මාරයා බලාගෙන හිටියෙ අර ගෝධික හාමුදුරුවො බෙල්ල කපාගත්තහම ගිය දිහාව? {{ ගොධිකසුත‍්තං. }} හැමතැනම හෙවුවා කියන්නෙ, මුල්ලක් ගානෙ බැලුවලු “කොහෙද ආත්මෙ ගියෙ?” කියලා. මෙන්න මේ වගේ යන එකක් තියෙන නිසා, පේන නිසා ඒ භූත ලෝකෙ ඉන්න අයට අපි මළාට පස්සෙ අපි කොහෙද ගියෙ, මොකද වුනේ කියලා පේනවා. ණය ගන්න පස්සෙන් හඹාගෙන එන එකා මොකද කරන්නෙ, “ආං අරූ මළා… ආං ඇදිලා යනවා, අන්න දැන් රූකඩේ වගේ වුනා, අන්න ඌ ඇදිලා යනවා තව බඩකට… ආං ගිහිල්ලා බඩට, ගැබ ඇතුළෙ උපදිනවා, උප්පත්තිය අල්ලාගත්තා. ආ …(0:13:01 පැහැදිලි නැත)… මෙළොවදී පහලවෙලා, මනුෂ්‍යයෙක් වශයෙන් යමක් කරලා, අකමැතිනම් ඌ පස්සෙන් ගිහිල්ලා බලා ඉන්නවා ළමයා වෙලා උපන් එකාගෙ, ඒ පස්සේ ඉන්නවා එතෙන. ඉතින් මොකද කරන්නෙ, පොඩි එකාගෙන් ණය ගන්න බෑ, පුංචි එකා උපන් කාලෙ ඉඳන් ඌ ලඟට වෙලා ඉඳලා නාහෙ මිරිකනවා, කන මිරිකනවා, බෙල්ල මිරිකන්න හදනවා, ඉතින් පොඩි එකාට “බාලගිරි දෝසෙ” කියලා කෑ ගහනවා. ඇඹරෙනවා පොඩි එකා. එතන ඉඳන් පටන්ගත්තම අපි දන්නෙ නෑ ඌට භූත දිෂ්ඨි එනවා. භූත දිෂ්ඨියෙ මුළ මොකද්ද? කවදහරි ණය වෙච්චි එකේ ණය කාරයා තමයි භූත දිෂ්ඨියට අහුවෙන්නෙ. එයා ඒ ණය ගන්නකල් පස්සෙන්.
ඔන්න ඔහොම අපි හැම කෙනෙකුටම විශාල පිරිසක් ඉන්නවා ණය බලාපොරොත්තුවෙන්. ඉතින් ඔය පිරිස බලාපොරොත්තු වෙන්නෙ නෑ නිවන් අවබෝධය, “උඹලට අපි නිවනෙන්ට ආශිර්වාද කරන්නම්” කිවුවට, “අපිට ඕනැති කෙහෙම්මල් නිවනක් නෑ! මගෙන් ගත්ත රුපියල් පන්සීය දීපිය…!, මගෙන් ගත්ත පොල් ගෙඩිය දීපිය! මගෙන් ගත්ත කොස් ගෙඩිය දීපිය! මගෙන් ගත්ත හාල් සේරුව දීපිය! මට ඕනැති නිවනක් නෑ, මගෙන් ගත්ත එක දීපිය!” ඌ ලෞකිකත්වයේ බැඳිලා රැඳිලා ඉඳගෙන ඕක බලාපොරොත්තු වෙනවා. දැන් ඉතින් අපි ඕවට “නිවන් සාක්‍ෂාත් කරගන්න ලැබේවා! උඹට ආශිර්වාද කරනවා!” කියලා ආශිර්වාද කරොත් ඌට වැඩක් තියෙනවද ඒකෙන්?
අර එක්තරා තාපසයෙක් ගමනක් යන්න ගිහිල්ලා තොටියට කියලා එගොඩ වුනා ගඟෙන්. එගොඩට ආවම අහනවා ඉතින්
“මේකෙන් අහක් කරන්න කීයක් ගන්නවද ?”
“මං තුට්ටුවක් ගන්නවා!”
“ඉතින් තාපසයින් ගාව සල්ලි නැතිබව දන්නවනේ…! තුට්ටු කෝටියක් වටින්න දෙන්නම් උපදෙසක්”
“මට උඹේ උපදෙස් වලින් වැඩක් නෑ, මට සල්ලි දීලා යන දිහාවක පළයං” අර තොටියා කියනවා.
“ඉතින් තාපසවරුන්ට සල්ලි නෑ නෙ”
“නැත්නම් මොන මගුලකටද එගොඩ වුනේ? මගෙ සල්ලි දීලා පළයං යන දිහාවක, වෙන කතා කරන්න එපා, ඉක්මං කරලා දීපං!”
අල්ලගත්තා, ගැහුවා, සල්ලි ගත්තා. හොඳටම ගහලා පැන්නුවා තාපසයව. අර තුට්ටු කෝටියකට වැඩිය වටියි අර කිවුව උපදෙස ගත්තනම්, තුට්ටුව වගේ නෙමෙයි. ඒ වුනත් තොටියා බලාපොරොත්තු වෙන්නෙ නෑ, අර වටිනා ඒවා උට ඕනෙ නෑ. ඌ ජීවත්වෙන ලෝකෙ යමක් ඌ බලාපොරොත්තු වෙනවනම්, ඌ ඒක තමයි බලාපොරොත්තු වෙන්නෙ. එහෙනම් තුට්ටුව බලාපොරොත්තු වෙනවා මිසක් ඌට තුට්ටු කෝටියක් වටින උපදෙසින් ඌට වැඩක් නෑ.
අන්න ඒ වගේ මේ අපේ ලෝකෙදි අපි එක එක්කෙනාට හාල් සේරුව හරි ණයවෙලා මැරිලා ගිහිං තියෙනවා. රෙදි කෑල්ලකට ණයවෙලා මැරිලා ගිහින් තියෙනවා. ඉඩං කෑල්ල දෙන්නම් කියලා බොරු කියලා උන්ගෙන් සල්ලි අරං උන්ට නොදී ඉඳලා මැරිලා ගිහිල්ලා තියෙනවා. අහවල් වැඩේ කරලා දෙන්නම් කියලා සල්ලි අරගෙන, ගාස්තුව අරගෙන, මඟ ඇරලා නිකං ඉඳලා තියෙනවා. මේවා අපි මේ ශුද්ධවන්තයො වශයෙන් ඇවිල්ලා, සුදනො වෙලා මේ සසර ගමනෙ ඇවිදින්නෙ නෑ. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් දූෂ්‍යකම් කර කරා ආපු ගමන තුළ අප්‍රමාණයක් කරල තියෙන්නෙ ඒවා. ඔය අතරෙ කලාතුරකින් 1% ක් විතර පිනක් කරලා තියෙනවා. 99% ක් අර ජාතියෙ ඒවා කරලා තියෙනවා. ඉපදෙන ඉපදෙන තැනට අපි බලාපොරොත්තු වෙනවා “ඔය පිනේ එක ප්‍රතිඵලය විතරක් අපිට ලැබුණා නම්…” කියලා. “සුගති, සුඛෝපභෝගීව ඉන්න ලැබුණා නම්, කරදරයක් නැතුව මට නිදහසේ ඉන්න ලැබුණා නම්…” අර පිනේ ප්‍රතිඵලය නිසා පැවැත්මෙදි අපි බලාපොරොත්තු වෙනවා. අපි ඒක බලාපොරොත්තු වුනාට අපි කරල තියෙන්නෙ මොනවද? ඒ වගේ සිය ගුණයක්, දහස් ගුණයක් යටපත් කරගෙන දුක් කරදර එන්න වැඩපිළිවෙලක් කරල තියෙන්නෙ. හේතුවට ඵලය අපිට ඵලදෙනවා මිසක් අපිට වෙන එකක් ඵලදෙන්නෙ නෑ. හැබැයි අපි හේතු ඵලය ගැන විශ්වාසයකුත් නෑ, දන්නෙත් නැති නිසා “අනේ, මෙච්චර හොඳින් ඉන්න මට ඇයි මේ කරදර කරන්නෙ? මොන අපරාධයක්ද? කොච්චර අසාධාරණද මේ ලෝකෙ?” මෙහෙම කිය කිය ලෝකෙට දොස් කියනවා.
හැබැයි මේකට හේතු ඵලය දැක්ක කෙනා ලෝකෙට දොස් කියන්නෙ නෑ, එයා දැනගන්නවා “මං වෙච්ච ණය, මං ලෝකෙට කරපු අඩුපාඩු, මා කරා දුක් කරදර වශයෙන් එනවා. මං මේකෙන් මිදෙන්න නම් මං ඒක ගෙවන්න ඕනෙ. ඒක ගෙවන්න මොනවද මං කරන්න ඕනෙ?” කළයුතු හැම කටයුත්තක්ම කරලා දෙන්න ඕනෙ. යම් කාය කර්මයක් බලාපොරොත්තු වෙනවනම් ඒක කරල දෙන්න ඕනෙ. ලෞකික යමක් බලාපොරොත්තු වෙච්චි අය ඉන්නවා, ඒගොල්ලන්ට ලෞකික දේ දෙන්න ඕනෙ. ඒ වගෙම ලෝකෝත්තර යමක් බලාපොරොත්තුවෙන කෙනෙක් ඉන්නවා නම්, හරි කලාතුරකින් ඉන්නෙ, එයාට ඒකත් දෙන්න ඕනෙ. මෙලොව සුඛෝපභෝගී යම් සැනසුමක් බලාපොරොතු වෙනවනම් අපි ඒකටත් මඟ පාදලා දෙන්න ඕනෙ.
මේ විදිහට අපි ඒ හැම දෙයක්ම කෙරුවෙ නැත්නම් අපිට ඒ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම ටිකෙන් මෙත්තා සහගතව කටයුතු කරලා මිදෙන්න බෑ, අර ණයෙන් නිදහස් වෙන්න බෑ. මේකට අපේ සමහර අය ඉතින් “බුද්ධ පූජා තියන්නෙ මොකටද? ඕවා කරන්නෙ මොකටද? දං දෙන්නෙ මොකටද? ඕවා කරලා මොකද්ද කරන්න තියෙන්නෙ? මිත්‍යාදෘෂ්ඨිකයින්ට පිං දෙන්න එපා, සම්‍යක් දෘෂ්ඨික අයට විතරක් පිං දෙන්න” මේ ආදී වශයෙන් කියනවා. මිත්‍යාදෘෂ්ඨිකයින්ට අප්‍රමාණ සංසාරයේ ගණු දෙනු කර කර, කරගෙන ඇවිදිල්ලා උං බලාගෙන ඉන්නවා උන්ගෙන් ගත්ත ණය ගන්න, අපි කියනවා මෙහෙ ඇවිදිල්ලා “මිත්‍යාදෘෂ්ඨිකයන්ට පිං දෙන්න එපා, සම්‍යක්දෘෂ්ඨිකයින්ට විතරක් දෙන්න”. නිදහස් වෙන්න බලා ඉන්න කැමති එකෙකුට ඒකත් කරන්න. මිත්‍යාදෘෂ්ඨිකයො පිං අරගෙන බලවත්වෙලා අපිට කරදර කරනවා කියලා දෘෂ්ඨියක් හදාගෙන, ඒකෙන් තමයි ඒ ප්‍රශ්නය ඇතිවෙන්නෙ.
දැන් දාමරිකයෙක් ණය කාරයෙක් වෙලා, ණය හිමිකාරයෙක් වෙලා අපිට කරදර කරනවා නම්, ඔහු දාමරිකකම නිසා නෙමෙයි කරදර කරන්නෙ, ණය හිමිකම නිසා ණය දෙනකන්. ණය දුන්නට පස්සෙ ඌ ආයි කරදර කරන්න එන්නෙ නෑ ඒ පස්සෙ. දාමරික බව ඇත්ත. ඌ දාමරික වෙලා ඇයි පස්සෙන් එන්නෙ? ඇයි දාමරිකයෙකුට ගෝචර වුනේ අපි? අපි එවුන්ට කරපු අවැඩක් තිබිච්ච නිසා. මෙන්න මේක අපි හේතු ඵල වශයෙන් දැනගත්තා නම් ආයෙ සම්‍යක්දෘෂ්ඨික මිත්‍යාදෘෂ්ඨික කියලා දෘෂ්ඨියක්ට බහින්නෙ නැතුව අපි ණය ගනුදෙනුවෙ හැටි තේරුම් අරගෙන ඒ සියල්ලන්ටම ණය ගෙවන්න ඕනෙ. ඉතින් ණය නැති කෙනෙකුට ආධාර දුන්නම පාඩුවක් වෙයිද? කෙනෙකුට ණය වෙලා තියෙනවා, කෙනෙකුට ණය නොවී ඉන්නවා. ණය නොවී ඉන්න කෙනාට අපි ආධාරයක් වශයෙන් යමක් දෙනවා. ණය වෙච්චි කෙනාට ණයත් පියවනවා. මේකෙදි ආයෙ ප්‍රශ්නයක් වෙන්නෙ නෑ නෙ.
එහෙනම් සියළු ලෝක සත්ත්වයන් අතරෙ කාට කාට හරි අපි ණය වෙලා තියෙනවා. ඔය අතර ණය වෙච්ච අයත් ඉන්නවා, දැන් ණය ගෙවපු අයත් ඉන්නවා, අනන්ත අප්‍රමාණ සංසාරයේ ණය වෙච්චි නැති කෙනෙක් නෑ. වෙලා ගෙවපු නැති කෙනෙකුත් නෑ. ණය වීමයි ණය ගෙවීමයි කියන එක අප්‍රමාණ සංසාරයේ කුරා කුහුඹුවාගෙන් පටන්ගෙන ක්‍ෂුද්‍ර ජීවියාටත් අනන්ත අප්‍රමාණ කාලයක් අපි වෙලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ එක සත්ත්වයෙක් තවත් සත්ත්වයෙකුට මවු වෙච්ච වාර, පිය වෙච්ච වාර, සහෝදරයා වෙච්ච වාර, සහෝදරී වෙච්ච වාර, දුව වෙච්ච වාර, පුතා වෙච්ච වාර කොච්චරද කියලා උපමාවක් වශයෙන් කියනවා නම්, මේ මුළු මහ පොළවෙ තියෙන පස් දෙබරයකට තරම් ගුළි කරොත් ගුළි කොච්චර ද? මේ නෙල්ලි ගෙඩි වගේ ගෙඩි වර්ගයක් දෙබර ගෙඩි කියන්නෙ. එබඳු ගුළි කොච්චර ඇත්ද? එයිට වැඩිය වැඩි වාර ගාණක් මවු වෙලා තියෙනවා, පිය වෙලා තියෙනවා, සහෝදරයා වෙලා තියෙනවා, සහෝදරී වෙලා තියෙනවා, සසර ගමනේ මේ තරම් අනාදිමත් කාලයක පටන් මේ ලෝක සත්ත්වයෝ එකිනෙකාගෙ අන්‍යොන්‍ය සම්බන්ධතාවයෙන් ඉන්නවා කියලා පෙන්නනවා. එහෙනම් මේ එන ගමනෙදි අපි ඔක්කොටෝම ණය වෙලත් තියෙනවා, ණය ගෙවලත් තියෙනවා. ගෙවාගන්න බැරිවෙච්චි ඒවා තමයි ණයකාරයො හැටියට පස්සෙන් ඇවිදින් කරදර කරන්නෙ. ඒ වගෙම අපි ලෝකෙට කරපු අවැඩක් අසාධාරණයක් තියෙනවනම්, ඒ ස්වභාවධර්මය ක්‍රියාත්මක වෙලා අනිෂ්ට අරමුණු එන්නාවූ ලෝකයක් අපිට ගොඩනැඟෙනවා.
දැන් අපායෙ තියෙන ගින්දර කියලා කියන්නෙ සත්ත්වයෙක් නෙමෙයි. <19:14> අපි විසින් කරනලද පාපකර්මයට හරස්වෙච්ච බාහිර ලෝකය. ඒකෙ ගිහින් උපන්නට පස්සෙ බාහිර ලෝකයේ තිබෙන නොයෙක් දුක් ගැහැට වෙන දේ වලට අපිට ගෝචර වෙන්න වෙනවා. ගෝචර වෙලා අපිට ඒකෙ දුක විඳින්න වෙනවා. එතකොට ඒ අපායෙ තියෙන ගිණි හැදුනෙ, අපායෙ තියෙන ලෝදිය හැදුනෙ, අපායෙ තියෙන ගල් මුල් හැදුනෙ, කටු ඉඹුල කියන එක හැදුනෙ, ඒවා අපි හැදුවා නෙමෙයි. අපි කරපු කර්ම ශක්තිය ඇසුරෙන් නැඟිලා ගොඩනැඟිලා ආවා අපිට දුක් දෙන්න. එහෙනම් අපි යහපතක් කරපුහම අපිට සැප විඳින්න බාහිර ලෝකයකුත්, අයහපතක් කළොත් ඒකෙ දුක විඳින්න බාහිර ලෝකයකුත්, මේ දෙකම ගොඩනැඟෙනවා.
{ 0:19:54 } : මහා සසර ණය ගෙවා නිදහස් වෙන ක්‍රමය, ආර්ය මෛත්‍රියේ බලය
“කල්ල සුක්ඛං – කල්ල සුක්ඛ විපාකං” කියලා මේ කළු සුදු හෙවත් හොඳ සහ නරක දෙකෙහි මිශ්‍රණය වෙච්ච, කරන ලද කර්ම බලවේගයන්ගෙන් තමයි මනුෂ්‍ය වෙලා උපදින්නෙ. {{ පඨම කම‍්මසුත‍්තං }} දැන් මනුස්සයෙක් වෙලා ඉපදිලා සියළු තැනින්ම සැප සුවයම හෙවුවට, ඒකට අපි කරලා තියෙන වැඩපිළිවෙල ඒකට හේතු කාරක වෙන්නෙ නෑ ඒ විදිහට. කළේ යම් සේද, විපාකය ඒ විදිහයි. එහෙනම් අපිට සැප දුක දෙකේම විපාක එන්න සිද්ධවෙනවා. මෙන්න මේ වෙලාවෙදි අපිට ඒ එන දුක, කරදරය ආර්ය මාර්ගයට බාදා පමුණුවන තරමට බලවත් නම් අපිට විශාල පාඩුවක් වෙනවා ආර්ය මාර්ගය පූර්ණය කරගන්න. ආර්ය මාර්ගය පූර්ණය කරගන්න එන වෙලාවට අමනුස්සයො කරදර කරනවා නම්, හිංගි කරනවා නම්, ඔළුව තද කරනවනම්, ඇඟ හිරකරනවා නම්, එහෙම ඒවත් තියෙනවා. ඒ වාගෙම අපි කරගත්ත පාපකර්මයන් නිසා වා පිත් සෙම් කෝප කරන්න පුලුවන්. බාහිර ලෝකයෙන් අපිට අවැඩ වෙන අනිෂ්ඨ අරමුණු එන්න පුලුවන්. ඒ හැම එකක්ම අපිට ආර්ය මාර්ගය පූර්ණය කරගන්න හදන වැඩපිළිවෙලට බාදාවක්. ආර්ය අෂ්ඨාංගික මාර්ගය පූර්ණය කරගන්න බැරුව යනවා.
ඒ නිසා අපිට ඉස්සෙල්ලාම අත්‍යාවශ්‍ය නිදහස තියෙන්නෙ මේ ලෝකෙ පෙම් කෙළින්න හදාගෙන, මේකෙ වැජබෙන්න පිං කරන්න නෙමෙයි. අන්න අර ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩනකොට යම් බාදකයක්, කරදරයක් එනවනම් අඩු තරමින් ඒ මට්ටම දුරුකරගෙන අපි ඒකෙන් රැකිලා අපේ වැඩේ කරගත්තොත් මේ අත්බැව කෙළවරේදි ගමන ඉවරයි. ඊටපස්සෙ යම් විපාක ටිකක් තියෙනවනම් අහෝසි වෙනවා මිසක් ආයි ඔහුට සම්බන්ධවෙලා දුක් විඳින්න, වේදනා වින්දවන්න එකක් ඉතුරු කරන්න බෑ, කෙනෙක් නැති නිසා. සත්ත්ව පුද්ගලත්වය විද්‍යාමාන වෙච්චි එක ඉවරයි. ඒක ඉවර නම් ආයි සැරයක් ලෝකය තුළ හැදිච්ච පිං පවු වල විපාක විඳින්නෙක් විද්‍යාමාන වෙන්නෙ නෑ. එහෙනම් අපිට එතෙන්ට අවශ්‍යය මඟ පාදා ගැනීමයි අත්‍යාවශ්‍ය කාරණය, ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම.
අන්න ඒකට බාදා පමුණුවන යමක් ඇත්නම් ඒකට අවශ්‍යය කරන්නාවූ අපි විසින් බාදා වෙච්ච දේට අපි “ප්‍රතිකර්ම” වශයෙන් යහපත් දෙයක් කරන්න ඕනෙ. අනුකූල අනුකූල යහපත් දේ කිරීමේදී ඒ ඒ දෙයින් මිදීමක් ලබනවා. කරුණු තේරුම් අරගෙන කළොත් එයා “ඥාන සම්ප්‍රයුක්ත” පිනක් කරපුහම මහා පින බලවත් නිසා, ඒ වගේම සමාජයේ “ආත්ම ලාභයට” කරන එකකුත් ඒකෙ නැති නිසා, වෙන බාහිර පැවැත්ම සඳහා, ඒක “සෝමනස්ස සහගතයි, ඥාන සම්ප්‍රයුක්තයි, අග්‍ර ශ්‍රේෂ්ඨ, මහත් ඵල මහානිසංස ගෙනදෙන ලොකු පිනක්” වෙනවා. ඒක පිරිලා ඉතිරිලා යන මහා පිනක් නිසා අන්න එබඳු පිනකින් “මහා ණය ගෙවන්න” පුළුවන්. සසරෙ වෙච්ච ණය, සත්ත්වයින්ට වෙච්ච ණය අපි පින කරලා පුණ්‍යානුමෝදනා කිරීමෙන්, පිං පෙත් පිහිටුවීමෙන් ඒකෙන් නිදහස් වීමේ ක්‍රමයක් තියෙනවා. මෙන්න මේකට කියනවා “මෙත් වැඩීම”.
ඉතින් මෙත් වඩන එක දන්නෙ නැති වුනහම “සියළු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!” කියලා කොතෙන්ට හරි වෙලා ඉඳගෙන ඇස්දෙක පියාගෙන ඕක කිය කියා ඉඳලා “මං මෙච්චර කිවුවා” කිවුවට හරියන්නෙ නෑ. මෙත් වැඩීම විග්‍රහ කරල තේරුම්ගන්න ඕනෙ. මෙත් වඩනවයි කියලා කියන්නෙ ඔන්න ඕකයි. මෙත් වැඩීමෙන් අපි කරගන්නෙ අපිට තියෙන බාදකය දුරුකරගන්නවා. බාදකය ආපු හැටි දැනගන්න ඕනෙ, බාදකයට හේතුව දැනගන්න ඕනෙ, හේතුවට ප්‍රතිකර්මය කළොත් බාදකයෙන් නිදහස් වෙනවා. ඕක අහක් කරලා “මම සුදනා වෙන්න” හදපු එක්කෙනෙකුටවත් මෙත් වඩලා ජයගන්න බෑ. “මම හරි! මම හරි! අනික් එවුන් වැරදියි!” ඔතන ඉන්න තාක්කල් අපිට බෑ කවදාවත් ජයගන්න. “මම හරි නෑ! අප්‍රමාණ වැරදි වැඩ කරලා ආපු මම කොහොමද හරි වෙන්නෙ? හරි කෙනෙක් වෙන්නෙ? මම ණය කාරයෙක්! ඒ ණය ගන්නයි මුං දඟලන්නෙ. ඒ නිසා මම ණයෙන් නිදහස් වෙන්න මගෙ වරද, වරද හැටියට තේරුම් අරගෙන මීටපස්සෙ එබඳු වැරදි නොකර, එබඳු අයුතුකම්, අසාධාරණකම් නොකර, වෙච්ච ඒවට මම දයානුකම්පා වෙලා, මම යහපත් දේ කරලා ඒවට ණය ගෙවනවා” කියලා අවංකව තීරණය කරගත්තොත්, වැඩිකල් යන්න ඉස්සෙල්ලා මෙත් වැඩීම සම්පූර්ණ වෙනවා. ඔහුට ආපු බාදකයක් ආවානම් ක්‍රම ක්‍රමයෙන් බාදකය ඉවත්වෙනවා.
මෙන්න මේ කරුණු ටික දැනගෙන මෙත් වැඩුවොත් සියළු ලෝක වලට අපි විසින් කරගත්ත කර්ම විපාක ලෝකයට අපි ඒ ආකාරයෙන් සෙත පතුරුවන්න ඕනෙ. ඒ සෙත පතුරුවනකොට මොකද වෙන්නෙ? අපි විසින්ම අවුළුවපු ගින්නට අපි විසින්ම ජලය දැම්මොත්, අපි විසින්ම කරපු එක අපි විසින්ම නිවාගන්නවා. ජලය නොදා හිටියොත් අපිට ගිණි තැප තැප ඉන්න වෙනවා. අපිම ජලය දාලා, ක්‍රියාත්මකවෙලා ඒක නිවුවොත් ඒ බාහිර ලෝකයෙන් එන්න තිබිච්ච අනිෂ්ඨ අරමුණ අපෙන් අහක් වෙනවා. අපිම කුණු ගොඩක් ගහගත්තොත් ගේ වටේ, අපිටම කුණු ගඳ ගගහා ඉන්න වෙනවා. අපි ඒක යටකරලා හරි පුච්චලා හරි ඒක විනාස කරලා දැම්මොත්, ඒකට අවශ්‍යය දෙයක් කරලා – එතැන් පටන් ඒ කුණු ගඳ අපිට වදදෙන්නෙ නෑ. මෙන්න මේ ක්‍රමයට අපි දැනගන්න ඕනෙ ඒකෙන් නිදහස් වෙන ආකාරය. එහෙම වුනොත් තමයි අපිට පුළුවන්කම ලැබෙන්නෙ මෙත් වඩලා ජයගන්න.
දැන් “සියළු ලෝක සහ සියළු සත්ත්ව” කියන එකට ඔය කියන අපේ විපාක ලෝකයමයි මේ “සියල්ල”. ඒ ලෝකයට අසත්ධර්ම කරපුවට සත්ධර්මයෙන් අපි ණය ගෙවුවහම, යහපත් දෙයින් ණය ගෙවාගත්තහම, අපි එතකොට නිදහස්. හැබැයි හේතු ඵලය ඔය විදිහට දකින්නෙ නැතුව අපිට පුළුවන්කමක් නෑ ඒ ටික කරගන්න. ඕක තේරුම් අරගන්න ඕනෙ.
ඉතින් මොනවහරි අඩුපාඩුවක්, තේරුම්ගත්තෙ නැති දෙයක් තියෙනවනම් ඒක අහන්න. “සියළු ලෝක සියළු සත්ත්වයෝ” කියන එකේ “සියළු ලෝක” කියන එකයි මේ අහන්නෙ. ඇහැ කියන ලෝකෙ, කන කියන ලෝකෙ, නාසය කියන ලෝකෙ හැදෙන්නෙත් ඔය විදිහට. බලු විදිහට වැඩ කළොත් ඇහැ කියන ලෝකෙ බලු එකක් වෙනවා. ඉතින් බලු ඇහැක් හම්බෙනවා. “මම” කියන එක බලු ඇහැක් එතකොට හම්බවෙන්නෙ. මේ කන කියන ලෝකෙත් අර දුශ්චරිත විදිහට වැඩ කරලා හදාගත්තොත්, බලු කනක් හම්බෙනවා, මිනිස් කනක් නෙමෙයි. අන්න කන කියන ලෝකෙ නරක් කරගත්තෙ අපිමයි. නාසය කියන ලෝකෙත් හොම්බක් එක්කලා හටගත්ත ජාතියෙ එකක් වෙනවා, එතකොට අපි කරගත්ත වැඩේ මිසක් කවුරුවත් කරල හදලා දුන්නෙ නෑ අපේ නහය. මිනිහෙක් වෙලා ඉඳලා, හොඳ නාසයක් තිබිලා, බලු වැඩ කරලා, බලු නාහෙකට උරුමකාරයෙක් වුනා ඊටපස්සෙ. එහෙනම් ඇහැ කියන ලෝකයට, කන කියන ලෝකයට, නාසය කියන ලෝකයට, දිව කියන ලෝකයට, කය කියන ලෝකයට උරුමකාරයා අපිම මිසක්, අපිම හදපු ගොඩනඟාගත්ත අපේම වැඩපිළිවෙල නිසා ගොඩනැඟුන එකක් මිසක් වෙන කාගෙවත් එකකින් ගොඩනැඟුන එකක් නෙමෙයි. ඉතින් ඒවගේ “ලෝක” දැනගන්න ඕනෙ. “සියලු ලෝක” ගොඩනැඟෙන්නෙ ඔය ක්‍රමයට, කර්ම විපාකයක් වශයෙන්. ඒකට ප්‍රතිකර්ම කරගත්තහම ඒකෙන් බේරෙනවා.
{ 0:25:43 } : කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක විස්තරය
“කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන ඒවා හඳුන්වා දෙන්න” කියනවා. ඉතින් “කාම ලෝක” කියන වචනයෙන් පෙන්වන්නෙ, “කාම” කියන වචනය තෝරාගන්න ඕනෙ. “අම” කියලා වචනයක් මේ ලෝක පැවැත්මෙ තියෙනවා. “අමර” කියනවා දෙවියන්ට. මොකද ඒකට හේතුව? මිනිහා මිනිස් නුවණින්, මිනිස් ඥානයෙන් යම්කිසි දෙයක් මේ ලෝකය ගැන දකිනවා නම්, එක්තරා කාලසීමාවක් තුළ හටගෙන විපරිණාමයට පත්වෙලා වැනසෙන හරිය විතරයි දකින්නෙ. ඒ නුවණට ගෝචර වෙන්නෙ නැති බොහෝ දුර ඒවා තියෙනවා. හටගන්නවා පේනවා, විපරිණාමයට පත්වෙන ඒවා පේන්නෙත් නෑ ඒකෙ කාලය බොහෝ වැඩි නිසා. වැනසෙනවා පේන්නෙත් නෑ කාලය වැඩිහරිය නොපෙනෙන නිසා.
මෙන්න මේ විදිහට ලෝක සත්ත්වයා එබඳු ලෝක ගැන නිගමනයකට බහිනවා “නොමැරෙන ලෝක” කියලා, “නොමැරෙන අත්බැවු” කියලා. ඒ කියන්නෙ “මැරෙන්නෙ නැතුව ඉන්න නම් දෙවියෙක් වෙයං!”. ඒ මට්ටමේ නුවණ තියෙන අය “අමර” වෙන්න තැනක් පෙන්නනවා, නොමැරි ඉන්න තැනක් පෙන්නනවා. හැබැයි ඒකෙ මැරෙන බව එයා දන්නෙ නැත්තෙ, අවිද්‍යාව නිසා දන්නෙ නැතුවා මිසක්, නොමැරෙන දෙයක් – ලෝකෙ සත්ත්වයෙක් හටගන්නෙ නෑ. එතනත් මැරෙණවා කියලා දැනගන්න තවත් නුවණ වැඩුනොත් එහෙම එයා දකිනවා “බ්‍රහ්ම ලෝකයේ ඊට වඩා කල් ආයුෂයි”. හැබැයි ඒකෙ කාලෙ ගෙවෙනවා කියලා දකින්නෙ නෑ, ඒකෙ ආයුෂ එයාගෙ නුවණින් බලනකොට පේනවා “අන්න නොමැරෙන තැන”. එතකොට බ්‍රහ්මත්වයට නොමැරෙන තැන, “අමර” කියලා හඳුන්වනවා. මෙන්න මේ ආකාරයෙන් මේ “අම” කියන්නාවූ තත්ත්වය සුගතියටයි අහුවෙන්නෙ. මේ අම ක්‍ෂයවෙලා ගියාම, පහත් බවට පත්වුනා නම් බලාපොරොත්තුවෙන අමෘත සහගත ලෝකෙ, ඒකෙන් ඒ ඇසුරු කරන්න ගිහින් වෙන්නෙ පහත් බවට පත්වීම නම්, ඒවට කියනවා “ක + අම හෙවත් කාම”
මන වඩන රූප පස්සෙ, මන වඩන සද්ද පස්සෙ, මන වඩන ගන්ධ, රස, ස්ඵර්ශ පස්සෙ යම් කෙනෙක් යනවනම්, ඔහුට “අම” හොයාගෙන යන්නෙ ක්‍ෂය වෙන දේවල් ඇසුරු කරන පැත්තට. ඒ නිසා “ක + අම හෙවත් කාම ලෝකය” කියලා ඕකට කියනවා. අමෘතය හොයාගෙන වැහැරෙන, වැනසෙන, ක්‍ෂය වෙලා යන පැත්තට ගමන් කරනවනම්, ඒ ජාතියට අයිති ලෝක වලට කිවුවා “කාම ලෝක”.
එහෙනම් මේකෙ බලවත්ම හරියක් තියෙනවා. නාසය පිනවන ගන්ධය පස්සෙ යනවනම්, දිව පිනවන රසය පස්සෙ යනවනම්, කය පිනවන පහස පස්සෙ යනවනම්, මෙන්න මේ නිසා ඒකෙ විපාකය වශයෙන් හටගන්නවා නොයෙක් විදිහෙ ඇලීම්, ගැටීම්, මුළා සහගත රාග ගිණි, ද්වේෂ ගිණි, මෝහ ගිණි හටගන්න පැත්තක්. ඒවා බල්ලන්ට අහුවෙච්ච මස් කටු වගේ, තරඟකාරී ලෝකයකයි ඒකෙ විපාකය ගොඩනැඟෙන්නෙ. ඒ නිසා ඔහුට සිද්ධවෙනවා මහා තරඟයකට බැහැලා තමංගෙ ටික රැකගන්න, “තමංගෙ” කිවුව ටික රැකගන්න. ඒ හේතුවෙන් ඔහුට ද්වේෂය නඟාගන්න වෙනවා, මුළාවට පත්වෙන්න හේතු වෙනවා. මානසික වශයෙන් දූෂ්‍යතාවයට පත්වෙන්න හේතුවෙනවා. ඒ දූෂ්‍යතාවයේ ප්‍රතිඵලය වශයෙන් සතර අපා උප්පත්තියට උරුමකාරයෙක් වෙනවා ඊලඟට.
මෙන්න මේ නිසා දිව, නාසය, ශරීරය පිනවන පැත්ත බල්ලන්ට අහුවෙච්ච මස් කටු වැනි තරඟකාරී පොර බඩු වලට අයිති විපාකයක් ගෙනදෙන නිසා ඒ පස්සෙ යනකොට, ඒවයෙ හටගත්ත ලෝකෙට කියනවා “කාම ලෝකය”. අන්න කාම ලෝකයේ පැවැත්ම, බල්ලන්ට අහුවෙච්ච මස්කටු වගේ එවයෙ තියෙන පැවැත්ම. මන වඩන රූපයක් ලබාගෙන ඉවරවුනාට පස්සෙ බල්ලන්ට අහුවෙච්ච මස්කට්ට වගේ. හැමපැත්තෙම ඇහැකනවා, පොරකනවා ඒ වස්තුව ඩැහැගන්න. ශබ්ද, ගන්ධ, රස, ස්ඵර්ශ ආදියක් යමකින් දෙනවනම් ඒ දේ ලබාගන්න ඒ වස්තුවට බල්ලන්ට අහුවෙච්ච මස්කට්ටකට වගේ ඒ ජාතියෙ ඉන්න පිරිසම පොරකනවා, තරඟ කරනවා. ඊටපස්සෙ ඒක ලබාගන්න, “මම” කරගන්න “මගෙ” කරගන්න අයිති කරගන්න විශාල තරඟෙකට මූණදීලා ජයගන්න ඕනෙ. හැබැයි අල්ලගත්ත මොහොතෙ පටන්ගෙනත් උන් හදන්නෙ මොකද්ද, කොහොමහරි ඒක පැහැරගන්න. ඒ අල්ලගත්ත මොහොතෙ පටන්ගෙන “කඩයිද, බිඳීද, විනාස කරයිද, කැඩෙයිද, බිඳෙයිද, විනාස වෙයිද, හොරු පැහැර ගනීද, විනාස කර දමයිද…” මේ ආදී විශාල සැකයකින්, කුකුසකින් ජීවත්වෙන්න වෙනවා.
අපි බලාපොරොත්තුවෙන සුවය නෙමෙයි හම්බවෙන්නෙ, සුවය බලාපොරොත්තුවෙන් යමක් ඩැහැගත්තට පස්සෙ “මම – මගෙ” කරල අයිති කරගන්න ගියාට පස්සෙ ඒ වස්තුව නිසා හටගන්න තිබිච්ච නොයෙක් ආදීනව සිහි කර කරා ඒ නිසා ලැතැවෙන්න සිද්ධවෙනවා. ඉතින් අපිට සිද්ධවෙන්නෙ හොඳ හොයන්න ගිහිල්ලා ලතැවෙන මානසිකත්වයකට ගෝචර වෙන්න. මෙන්න මේ නිසා ඒක තේරුම් අරගත්ත කෙනෙක් “මට එබඳු වන්නාවූ ලතැවෙන, බල්ලන්ට අහුවෙච්ච මස් කටු වගේ මෙහෙම ලෝකයක් එක්ක තරඟ කරලා අයිතිකරගෙන ඉඳලා මේ දුක වෙහෙස විඳින්න මට ඕනෙ නෑ, මං මේවයින් ඈත් වෙනවා…” කියලා අර දිව, නාසය, ශරීරය පිනවන හරිය අහක් කරපුහම ඉතුරුවෙන ඇහැ, කන පිනවන හරිය කවුරුත් නැහැ, එක්තරා මට්ටමක නිදහස් පිණිස වෙනවා. ඒක ඕනෙ තරම් තියෙනවා.
ඒ නිසා ඇහැ පිනවන, කන පිනවන, හිත පිනවන හරියට හිත තියාගෙන “මම නිදහස් වෙනවා” යි කිවුවොත් මහා කුණු ගොඩකින් කියලා, අර දිව, නාසය, ශරීරය පිනවන්න බාහිරින් එකතු කරගන්න කෑම එන්නෙ නැති තැනක ජීවත්වෙනවා. අරණ්‍ය, රුක් මුල්, ශුණ්‍යාගාර වලට වෙලා මෙහෙම ඉඳලා මහ කැළෑ වල, කවුරුවත් අයිතිකාරයෙකුත් නෑ, මුකුත් නෑ, “ඔතනින් පලයං” කියන්න කෙනෙකුත් නෑ, ඒකට පොරකන්න කෙනෙකුත් නෑ, එහෙම පොරකන බඩු එකක්වත් තියාගන්නෙත් නෑ, පුළුවන් තරම් ඒවයින් අයින් කරනවා. මේ ඇඳගෙන ඉන්න රෙද්දට පොරකනවනම් ඔය මළ මිණී ඔතලා දාපු රෙද්දක් හරි, අසූචි පිහලා දාපු රෙද්දක් හරි කමක් නෑ, ඕක දැක්කම “චික්!” කියලා නහය වහගෙන යන එකක් දැක්කහම, ඕක හෝදලා ඇඳගත්තහම “අප්පොච්චියේ! මේක අරං යන්නෙ කවුද? අර මළ මිණී ඔතලා තිබිච්ච එකනෙ! කුණුගොඩේ දාලා තිබිච්ච එකනෙ මේ තියෙන්නෙ!” කියලා මිනිස්සු දාලා යනකොට “මට කමක් නෑ, මට ඕනෙ කරල තිබුණෙ ප්‍රයෝජනය ගන්න විතරයි, මට ඕනෙ මට තරඟකාරීත්වයෙන් මිදිලා, මට අවශ්‍යය ප්‍රයෝජනය ගන්න, හීත උෂ්ණ නැති කරගන්න, ලැජ්ජා ස්ථාන මුවහ කරගන්න, මට ඒ ටික තිබුණහම හොඳටම ඇති. කියලා අන්න ඒ වගේ සිද්ධකරන එක. දැන් ඒක “කාම රෙද්දක්” නෙමෙයි. කාම ලෝකෙ පොරකන රෙද්දක් නෙමෙයි. අන්න “සිවුර” හැදෙන හැටි.
ඉතින් අද වෙනකොට මොකද කරන්නෙ? පාත්තරයක් කියලා අපි අරගෙන ගිහින් පාත්තරේ හදලා ගන්න එකක් තියෙනවා. දැන් ලෝක සම්මතයක් තියෙනවා “අප්පොච්චියේ! පාත්තරේ කන්න ලැජ්ජා නැද්ද? චිරාගතයි නොවෑ, ඕවයෙ නම් අපිට කන්න බෑ, පාත්තරේ දැන් ගෙවල්වල නෑ, ඒවයෙ කන්නෙ හාමුදුරුවරු…” ඒකටම වෙන් වෙලා ගිහින් තියෙනවා, ඒවා ගන්නෙ නෑ කවුරුවත් “සුභ වස්ත්‍ර” හැටියට ගන්නෙ නෑ. ඕක හැදුවෙත් තව ක්‍රමයකට. ලෝක සම්මතයේ මනුස්සයො මේ කළයක් එහෙම හිල් වුනොත්, කැඩුණොත් එහෙම, කට කැඩිච්ච කළය, හිල්වෙච්චි කළය කියල පැත්තකට දානවා, “අසුභයි! ඕක අරගෙන යන්නත් එපා, ඕවා අපිට සුඛෝපභෝගී වස්තුවක් වෙන්නෙ නෑ, කරදර වෙනවා” කියලා ඕවා විසිකරනවා. “මීයො කාපුව, වේයො කාපුවා, ගැබ් මළ පිහිදාපුවා, රෙදිකෑලි විසිකරනවා ඕවා තියාගන්න එපා, ඕවා අසුභ වස්ත්‍ර” හැටියට විසිකරනවා. “ආං ඒවා මට හොඳයි…” කියලා යනකොට ඉතින් “පිඟානක් අරං ගියොත් ඕක හොරකම් කරගෙන යන්න පුළුවන්, ඕකත් අරං යන්න පුළුවන් නිසා අසුභ වස්ත්‍ර හැටියට අහක දාපු මගෙ ප්‍රයෝජනයට ගන්න එකක් කොහෙද තියෙන්නෙ?” කියලා බලනකොට දකිනවා අර හිල්වෙච්ච හෝ කට කැඩිච්ච කළයක්. “ආ… මේ තියෙන්නෙ මට හොඳ භාණ්ඩයක්!” ඕක අරං ගිහිල්ලා පුංචි ගල් කෑල්ලකින් හිමින් හිමින් කඩලා කඩලා, එක්කෝ කළු ගල් කෑල්ලකින් මැදලා මැදලා, වටේට කට සමතලා කරලා ගත්තට පස්සෙ හැදුනා පාත්තරේ. ඊටපස්සෙ මිනිස්සු දන්නවා “අප්පොච්චියේ, අර කට කැඩිච්ච කළය නෙ අර, ඕකෙං ඉතින් අපිට වැඩක් ඇතැයි..” ඒකට පොරකන්නෙ නෑ, පොර බඩුවක් නෙමෙයි. අන්න තව එකකින් නිදහස් වෙච්ච භාණ්ඩයක් හදාගත්තා ආහාර වලට. ඒක තමයි “පාත්තරේ” වුනේ.
ඉතින් බෙහෙත් ජාති අරවා මේවා ගන්න ගිහාම මොකද කරන්නෙ, ඒකෙත් වටිනවයි කියල තිබුණොත් අරගෙන යනවා, හොරකම් කරගෙන යනවා, තෙල් ටිකක් තිබුණත් “මේක හොඳ තෙලක් නෙ, අපිත් දානවා මේ තෙල්, මේක අරගෙන යං, හාමුදුරුවන්ගෙ වුනත් කමක් නෑ” කියලා ඕක අරං යනවා. ඒ වෙලාවෙදි මොකද කරන්නෙ, බෙහෙත් ගැන උපක්‍රමශීලීව හොයලා බැලුවා, “ඔක්කොම ගුණ තියෙන බෙහෙතක් මොනවද කවුරුවත් ප්‍රිය කරන්නෙ නැති?” අරළු හරි කහටයි, තිත්තයි, ඒක කන්න බෑ. කවුරුවත් අරං යන්නෙත් නෑ, ළමයෙක් අරං යන්නෙත් නෑ, අනික් කෙනෙක් ගන්න කැමතිත් නෑ. ගව මුත්‍ර කියන එක ඖෂධයක්. අරළු තළලා ගව මුත්‍ර වලට දැම්මට පස්සෙ හටගන්න ඕජස වා පිත් සෙම් නසන බෙහෙතක්. හැබැයි මිනිහෙක් ඕක දැක්කොත් එහෙම “අනේයි…!” කියලා යනවා මිසක් ඒක එහෙම උස්සගෙන යන්නෙ නෑ කොහෙ එළිපිට දාල තිබුණත්. ඉතින් ඕක අරගෙන කළ කට්ටක් ඇතුළට දාලා, අරළු ටිකක් තළලා දාලා, ගව මුත්‍ර ටිකක් දාලා පැත්තකින් තියල තියනවා පල්වෙන්න, තියලා. ඕක පෙරලා අරගෙන බෝතලේකට දාගත්තහම ඕක කොච්චර අප්පිරිය වුනත් හොඳ බෙහෙතක්. හැබැයි කවුරු දැක්කත් කිසි ප්‍රශ්නයක් නෑ, තරඟ කරන්න දෙයක් නෑ. ඕන තැනක දාලා ගිහෑකි. “ආ… ඔය තියෙන්නෙ හොඳම බෙහෙත!” ගව මුත්‍ර වල දාපු අරළු බෙහෙත වශයෙන් අරගත්තා.
ඉන්න තැන් හදාගත්තට පස්සෙ බලපුහම මිනිස්සු ඒකෙ තියෙන බඩු මූට්ටු ඔක්කොම අරගෙන යනවා, හොරකම් කරගෙන යනවා මොකද කරන්නෙ? “ගල් ගෙවල් වල ඉන්නෙ කවුද? ඒවයෙ ඉන්න පුළුවන් යෑ මනුස්සයින්ට? ආ… අපිට හොඳයි!” හොරකම් කරගෙන යන්න එන්නෙත් නෑ, උස්සගෙන යන්න දේකුත් නෑ, වහලෙ හදලා තිබුණොත් වහලෙ කඩාගෙන හරි යනවා දර කෑලි වලට ගැණු. දැන් මුකුත් තියෙන්නෙ නෑ, ගල උස්සගෙන යන්න යෑ. නිදාගන්නවා එතන, ඉන්න තැනකුත් හම්බුණා.
ලෝකයා තාම පංචකාම ලෝලී ලෝකයා තරඟ කරන්නෙ නැති කොටස් හතරකින් ජීවිත පරිහරණයට අවශ්‍යය දේ හදාගෙන වෙන්වුනාට පස්සෙ එයාට තරඟකාරී ලෝකයේ තියෙන අසහනයෙන් නිදහස්. මෙන්න මේ නිසා මූළික වශයෙන් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය කියන හතරක් හැදුනා, “සිවුපසය” කියලා. අන්න ඒ කියන ගති යෝගීන් ලඟත් ඔය ටික තිබුණා ඔය විදිහට. ඒගොල්ලෝ ඒ තත්ත්වය රැකගෙන එහෙම ජීවත්වෙලා, රූපාවචරව ඉඳලා ඒවා ඇසුරින් ඇසුරුකොටගෙන විතරක් ජීවිතය ගෙවලා, කාම ලෝකෙ ඇසුරුකරන හිත නැතිකරගෙන, ගිහින් උපන්නා එබඳු නිදහස් ලෝකයක ජීවිතයක. අන්න ඒ ලෝකය “රූපාවචර ලෝකය”. මේ සංඛාරය වඩලා, අනුකූල වන්නාවූ ඵලය වශයෙන් ජාතිය උපද්දලා, ඊට ගැළපෙන නිදහස් ලෝකයක් ඒ අයට මැවෙනවා, නිර්මාණය වෙනවා. ඒ ලෝකෙ තියෙන්නෙ රූපාවචර බඹ තල. ඒ කයට කියනවා “රූපාවචර බ්‍රහ්ම කය”. බ්‍රහ්ම කයෙන් බඹ තලයකට වෙලා නිදහස්ව ජීවත්වෙනවා.
ඉතින් ඕකෙ ජීවත්වෙලා බැලුවත් මේ ලෝක සත්ත්වයෝ දිහා බලනකොට අනුකම්පා හිතෙනවා, සංවේගයක් ඇතිවෙනවා. “අනේ, තරඟ කරන උන් කපාගන්නවා, කොටාගන්නවා, ගහ-මරාගන්නවා, නොයෙක් ඒවා – අඬනවා, සෝක වෙනවා, දුක් වෙනවා, අපිට ඕවා බලන්න සිද්ධවුනානෙ… මේ ඇහැ තිබිච්ච හින්දනෙ මේක බලන්න සිද්ධවුනේ. මේ කන තිබිච්ච හින්දනෙ මේවා අහන්න සිද්ධවුනේ. අර කෑ ගහගන්නවා, මර හඬ දෙනවා, දෙයියනේ කියනවා අපිට ඇහෙනවා. අපෙත් පපුවත් එක්කලා කම්පා වෙනවා මුං කෑගහනකොට, අපි මොනව කරන්නද? උන් පවු කරගෙන, පාප විපාක විඳිනවා දුක් විඳ විඳා. මේවා බලන්න සිද්ධවෙනවනෙ අපිට මෙහෙම ඉන්නකොට. මේවා නොපෙනෙන තැනක් තියෙනවනම් කොච්චර හොඳද?” කියලා ඇහෙන්නෙ නැති, පේන්නෙ නැති තැනකට හිත තිබ්බට පස්සෙ රූපාවචර ලෝකෙදි තිබිච්ච ඇහැයි කනයි දෙකෙත් තිබෙන්නාවූ මානසිකත්වයත් දුරුවෙලා ගියාට පස්සෙ හිත විතරක් ඉතුරුවෙනවා, දැන් අනිත් අය කියන දේවල් ඇහෙන්නෙ නෑ. ඉන්න බව දැනෙනවා, “ඒ වුනත් මම ජීවත්වෙන්න ඕනෙ” කියන ජීවිතාසාව තියෙන නිසා මොකද කරන්නෙ, ඇහැයි කනයි දෙකේ බලාපොරොත්තුව අහක් කරපුහම “අරූප දැහැනට” පත්වෙනවා. “අරූප සමාධිය”.
අරූප සමාධිය වැඩිච්ච එක්කෙනා මොකද කරන්නෙ, එතනින් මැරිල ගිහිල්ලා ඉපදෙනවා, කාගෙවත් කියන ඒවා ඇහෙන්නෙ නැති, පේන්නෙ නැති ලෝකෙක ගිහිල්ලා උපදිනවා. එයා දන්නවා “මම ඉන්නවා”. හැබැයි තවත් කෙනෙක් පේන්නෙත් නෑ, තව කෙනෙක් ඉන්න බවක්, සද්දයක් ඇහෙන්නෙත් නෑ, ඉන්න බවක් පේන්නෙත් නෑ, ඒ නිසා දැන් අර ලෝකයා කා කොටාගන ඒවා, ගහ මරාගන්න ඒවා එකක්වත් ඇහෙන්නෙ, පේන්නෙ නැති තැනක ඉන්නවා. අන්න ඒකට කියනවා “අරූප ලෝක”. ඔය තමයි මේ සත්ත්වයො සැරිසරණ ලෝක ටික.
ඔය තුනේ සංඛාර ඔහොම ගොඩනඟලා ඒකෙ විපාකය වශයෙන් ඊට අනුකූල වන්නාවූ ලෝකයක ඉපදුනාම, කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියලා සත්ත්වයෝ සැරිසරණ ලෝක තුනක් තියෙනවා. වෙන යන්න තැනක් නෑ ලෝක සත්ත්වයාට, ජීවත්වීමේ කැමැත්ත තියෙන තාක්කල් පැවැත්මෙන් මිදෙන්න බැරි නිසා ඔය ලෝක තුනේ ගැළපෙන ගැළපෙන අදහස් පරිදි ඒ තැන් වලට ගිහිල්ලා, ඒ තැන් වල ජීවත්වෙනවා.
“පැවැත්ම කියන එක හරයක් නෑ” කියලා දැනගත්ත දවසට යථාර්තයෙන් අනිච්ච, දුක්ඛ, අනත්ථ වශයෙන් දැකලා, “පැවැත්මෙන් වැඩක් නෑ මට, පැවැත්ම ඕනෙත් නෑ!” කිවුව දාට මනේන්ද්‍රියට තියෙන්න තැනකුත් නෑ, ඒකත් නිදහස්. එහෙනම් ඒ සංඛාරය සංඛාර නිරෝධ කරපු එකක්. සංඛාර නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධ වුනාට පස්සෙ එයාට පහලවෙන්න විඤ්ඤාණයක් නෑ. එහෙනම් විඤ්ඤාණ නිසා පහලවෙන නාමරූපත් නෑ, සළායතනත් නෑ, ස්ඵර්ශත් නෑ, වේදනාත් නෑ, එහෙනම් තණ්හා උපාදාන භව ජාති ජරා මරණත් නෑ. සියල්ලෙන්ම නිදහස් වෙනවනම් අරිහත්වය. අරිහත්වයට පත්වෙලා නිවන් අවබෝධ කරපු එක්කෙනාගෙ ප්‍රතිඵලය ලෝකයේ කොහෙද? අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නුවා, “සියළු දුකෙන් නිදහස් වෙන්නෙ ඔතනයි. ඊටපස්සෙ නැවත වාරයක් ලෝකයා සම්බන්ධයක් නෑ. ඒකෙ කෙළවරටම ආවා”.
දැන් අපි මේකට රහ වැටෙන්නෙ මොකද, එක එක්කෙනා පරීක්‍ෂණ කරලා හොයාගත්ත ඒවා තුළින් උපරිම පරීක්‍ෂණය විද්‍යාවෙ හොයාගත්ත බුදුපියාණන් වහන්සේ හොයාගත්ත ධර්මය තුළින් පෙන්නුවා මෙන්න නිදහසින්ම නිදහස් වෙන්න තියෙන තැන. නැවත දුකකට නොවැටී සදහටම නිදහස් වෙන්න තියෙන්නෙ මෙන්න මෙතෙන්ට පත්වුනහමයි කියලා මාර්ගයේ පෙන්නපු තැනක්. ඒ මාර්ගය අනුගමනය කරනවා අපිත්, අපිටත් ලොකු දෙයක් ඒ උත්තමයන් වහන්සේ දුන්න මාර්ගය අනුගමනය කරලා සියළු දුකෙන් නිදහස් වෙලා අපිත් කෙළවර කරගත්තනම්, අපිටත් ශාන්තියක්නෙ! කියලා අපිත් ඒක අනුගමනය කරනවා එතෙන්ට යන්න. ඔන්න බෞද්ධයො. ඔය ලෝක තුන ගැන තව අවශ්‍ය දෙයක් තියෙනවනම් අහලා තේරුම්ගන්න.
{ 0:37:27 } : සීමා නොකර සිහි කළයුතු අනන්ත බුදු ගුණ වල ලෝකවිදූ ගුණය
(ශ්‍රාවිකාවක් ස්වාමීන් වහන්සේගෙන් ලෝකවිදූ ගුණය සම්බන්ධ පැණයක් අසයි, හඬ පැහැදිලිව නොඇසේ. ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙති) ඔවු ඉතින් විග්‍රහ කරන අටුවා වල එහෙම විග්‍රහ කරනවා. “ලෝකවිදූ කියන ගුණය සත්ත්ව ලෝක, සංඛාර ලෝක, අවකාස ලෝක කියන මේ ලෝක තුනම සියළු ආකාරයෙන් දැන වදාරණ නිසා ලෝකවිදූ කියනවා” කියලා අටුවා වල විග්‍රහ කරනවා. ඉතින් “අවකාශ ලෝක” කියල කියන්නෙ ගස් කොළං, තාරකා, තව මීට එහා තියෙන සක්වළක් තියෙනවා නම් ඒ සක්වළ, මේ ආදී වශයෙන් බාහිර තව ඈතට ඈතට තියෙන දේවල් වලට.
සත්ත්ව ලෝක කිවුවහම සත්ත්ව ලෝක කියලා කියනවා මේ සියළුම ඉන්න ලෝක සත්ත්වයෝ කොතනක හරි ඉපදිලා ඉන්නවනම් සත්ත්වයෙක් හැටියට, මොන හේතුව නිසා හරි එතකොට මේ කොයි කොයි තැන්වලද සත්ත්වයො ගිහින් ඉන්නෙ, එක තැනක් අස්සක් මුල්ලක් නෑර සත්ත්වයෙක් යම් තැනක කයක් ලබාගෙන උපදිනවා නම්, පහලවෙනවා නම්, නිසැකවම පහලවෙනවා නම්, ඒ පහලවෙන ස්ථානය සම්පූර්ණම මේ මේ ස්ථාන වලයි මේ පහලවෙලා තියෙන්නෙ කියලා ඒක දැකගැනීමේ මහා ඥාන ශක්තිය, මහා දිවැස නිසා උන්වහන්සේ සත්ත්ව ලෝකය දකිනවා. ඒ ඒ සත්ත්වයෝ ඒ ඒ ලෝක වල උපදින්නෙ මොනවා කරලද, මොනවා කියලද, මොනවා හිතලද, මොන හේතුවකින්ද? අන්න එහෙම දැක්කහම කියනවා මෙසේ කියපු, මෙසේ කරපු, මෙසේ හිතපු හේතුවේ ඵලයක් වශයෙන් ලෝක සත්ත්වයා මේ මේ තැන් වලට යනවා. අන්න “සංඛාර ලෝකය” දැනගන්නවා.
ඒ ඒ ලෝක මේ මේ තැන්වල මේ මේ ආකාරයෙන් පිහිටලා තියෙනවා. හැඩතලය පිහිටන්නෙ මෙහෙමයි, දුර පිහිටන්නෙ මෙහෙමයි, වෙන්වෙලා පිහිටන්නෙ මේ මේ හේතුවෙන්. මේ ආදී වශයෙන් ලෝකය පිළිබඳ තොරතුරු සියල්ල දන්නවා. එහෙම උන්වහන්සෙ “අවකාශ ලෝකය” ගැනත් දන්නවා. එහෙනම් “තුන් ලෝකය” ගැන දැනගැනීම ඒ “ලෝකවිදූ” කියන ගුණයට අඩංගු ගුණයක් විතරයි. “මෙතෙකින් ලෝකවිදූ වෙනවා” කියලා අපිට කියන්න බෑ. ලෝකවිදූ කියන්නෙ අප්‍රමාණ ගුණයක් නිසා ඒ ගුණයට ඇතුළත් ලෝකය පිළිබඳ සියළු දැනීම් ඒකට ඇතුළත්.
ඉතින් ලෝකය පිළිබඳ සියළු දැනීම් දැනගැනීමට අපේ මනස දියුණු නෑ. නමුත් අපි විශ්වාසයක් කරනවා, බුදුරජාණන් වහන්සේගේ අනිකුත් හේතුත් දැකලා, අහන ඕනෙ ප්‍රශ්නෙකට හේතු ඵල ඇතුව විස්තර කරලා දෙන නිසා, මිනිහෙක් විසින් අහන්න තියෙන, මිනිස් නුවණකින් අහන්න යොමුකරගන්න තියෙන යම් ප්‍රශ්නයක් ඇත්නම් ඒ සියල්ලටම පිළිතුරු දෙන නිසා, ඒවයෙ කිසිම ඇදක් පළුද්දක් නැතුව, හේතු ඵල ඇතුව පිළිගන්න පුළුවන් හේතුත් තියෙන නිසා, විද්‍යානුකූලව පෙනෙන නිසා, උන්වහන්සේ කෙතෙක් නුවණින් යුක්තද කියලා අපි නිගමනය කරනවා මිසක්, අපිට නිගමනය කරන්න බෑ බුදු නුවණේ ප්‍රමාණය.
බුදුරජාණන් වහන්සේගේ ලෝකය පිළිබඳ දැනීම, අපේ දැනීමෙන් කියන්න බෑ මෙතෙක් දුරට බුදුරජාණන් වහන්සේ දන්නවා කියලා. ඒ දැනීමෙන්ම පූර්ණය වෙච්ච තව කෙනෙක් ඉන්නවනම් තවත් ලොවුතුරා බුදුවරයන් වහන්සේ නමක් පමණයි ඒ දැනීමෙන් පූර්ණ වුනේ. එහෙනම් “මා හා සමානයි මීට පෙර හිටපු කාශ්‍යප බුදුරජාණන් වහන්සේ” කියලා බුදුරජාණන් වහන්සෙට කියහැකියි. “ඊට ඉස්සෙල්ලා හිටපු කකුසඳ, කෝණාගමන කියන බුදුවරයන් වහන්සේලාත් හිටියා, ඒගොල්ලොත් මට සමානයි” එහෙම නැත්නම් “අසම වූ මා හා සමානයි ඒ තවත් අසම වූ එබඳුම තවත් බුදුවරයන් වහන්සේ නමක්” කියලා උන්වහන්සෙලාම නිගමනය කරනවා මිසක්, තව කෙනෙකුට කියන්න පුළුවන්කමක් නෑ එයින් මෙහා කිසිම ශ්‍රාවකයෙක්ට “බුදුරජාණන් වහන්සේ මෙතෙකින් ලෝකවිදූ වෙනවා” කියලා. ඒ කියන්න බැරි මොකද, තමන්ට දත්තයක් නෑ. නමුත් අපි දකිනවා එක දෙයක්, සියළු ආකාරයෙන් පූර්ණ දැනීමෙන් යුක්තයි කියන එක විශ්වාසයට පිළිගන්නවා. විශ්වාස කරන්න හේතු තියෙනවා. දැන් උන්වහන්සේ යමක් අහනකොට, අහන අහන හැම එකටම පිළිතුරු දෙනවා නම්, උන්වහන්සේමත් ප්‍රකාශ කරනවා “මං මේ පිළිතුරු දෙන්නෙ මේ ලෝකය පිළිබඳ සියළු දේ මම දන්න හින්දයි” කියලා, උන්වහන්සේගේම දේශනාව, උන්වහන්සේගේම කියමන විශ්වාස කරලා “අනේ සාදු සාදු! අපිත් පිළිඅරගන්නවා ඔබවහන්සේ සියල්ල දන්නවා කියලා, නැත්නම් ඔබවහන්සේගේම වචනයේ පරිදි මා විශ්වාස කරනවා” අන්න ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවෙන් අදහනවා, ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා කියන්නෙ ඒක.
එහෙනම් බුදු ගුණ පිළිගන්නෙ ශ්‍රද්ධාවෙන් මිසක්, අපි දැනුවත් වෙලා, සියළු බුදුගුණ දැනගෙන අපි “මෙතෙකින් අරහං වෙනවා, මෙතෙකින් සම්මා සම්බුද්ධ වෙනවා, මෙතෙකින් විජ්ජා චරණ සම්පන්න වෙනවා…” ආදී වශයෙන් අපිට කියන්න බෑ. හැබැයි උන්වහන්සේ පෙන්වල තියෙන කාරණා අනුව උන්වහන්සේට කිසි තැනක රහසක් නැති නිසා ඒ බව අපිට ඔප්පුවෙනවා, අපි අහන අහන අපිට රහසක් වෙලා තියෙන ප්‍රශ්න උන්වහන්සේ විවරණය කරල දෙනවා, මතුකරලා දෙනවා. “ආතික්කනා, දේශනා, විවරණා, විභජනා, පඤ‍්ඤපනා, පට‍්ඨපනා..” ආදී වශයෙන් උන්වහන්සේ ඒක විග්‍රහ කරනවා. ඒක සකස් වෙච්ච හැටි, ඒක සකස් කරගන්න විග්‍රහ කරලා එකින් එකට හරියට අනුකූලව කරන දේශනාව, ඒක ප්‍රඥාව පිහිටුවල බැලුවොත් සම්බන්ධවෙන හැටි, පට්ඨාන ධර්මයට අනුකූලව අනුකූල පිහිටන න්‍යාය ධර්මය, විවරණය කරලා එකිනෙක හටගන්න හැටි විග්‍රහ කරන හැටි, බෙදලා බලන ක්‍රමය, මේ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ නානාප්‍රකාරයෙන් ඒ දන්න දැනුම තුළින් අපේ ප්‍රශ්නයට පිළිතුරු දෙනවා. අපි දන්නවා අපිට අවශ්‍යය සියළු දේට පිළිතුරු දෙන නිසා අපි පිළිගන්නවා “උන්වහන්සේ කෙතෙක් ඥාන දර්ශනයෙන් යුක්තද…” උන්වහන්සේගේ ඥන දස්සනය අසීමිත බව උන්වහන්සේමයි කියන්නෙ, සියල්ලෙන් පූර්ණයි කියලා.
“මේ කියන දේ තුළින් මට විශ්වාස කරන්න පුළුවන් උන්වහන්සේගේ කියමන සම්පූර්ණ ඇත්තක් කියලා, මම උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබලා එහෙනම් උන්වහන්සේ “ලෝකවිදූ” කියන එක ඇත්තයි කියලා පිළිගන්නවා. අන්න ශ්‍රද්ධාවෙන් පිළිගත්තා. අන්න, අපේ පිළිගැනීම ගුණ පිළිබඳව එසේ විය යුතුයි.
අපි ඔහොම ගන්නෙ නැතුව “මෙතෙකින් ලෝකවිදූ වෙනවා, මෙතෙකින් පුරිසදම්මසාරථී වෙනවා…” ඔය ආදී වශයෙන් කියන්න ගියොත් අපි නොදන්න දෙමළයක් කියන්නයි අපි ඒ යන්නෙ. එතකොට අපිට බුදුගුණ වැඩෙන්නෙ නෑ, බුදුගුණ පිළිබඳ යථාර්තය අපෙන් ගිළිහෙනවා. සමහරවිට අපිට දොස් හිටින්න පුළුවන්. නොදන්න දෙයක් දන්නවා කියල කීමේ දෝෂය එන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සීමා කරන්න, බුදුරජාණන් වහන්සේ මිමි වලින් මණින්න අපි යන්න හොඳ නෑ.
උන්වහන්සේගේ දේශනාවක් හරිද වැරදිද කියලා අපේ ධර්මය තුළින් අපි තෝරාගන්නවා මිසක් අපිට ඒ දේශනාව විවේචනය කරන්න මානසිකත්වයක් අපිට නැතිබව හොඳට තෝරාගන්න ඕනෙ. ඒ නිසා උන්වහන්සේ යමක් දේශනා කළාට පස්සෙ ඒ දේශනා කරපු එක බොරු වෙන්න බෑ. එහෙනම් ඒ නිසා “අපිට වැරදුනෙ කොතනද?” එහෙමයි, “අපි මේ තේරෙන්නෙ නැත්තෙ ඇයි?” අපි දන්න උගතෙක්ගෙන්, ඒක ගැන දන්න කෙනෙක්ගෙන්, ඒක ගැන අහගත්ත කෙනෙක්ගෙන් ඒක ගැන අහගමු කියලා, ධර්ම දේශකයන් වහන්සේලා හමුවෙලා කොහොමහරි තෝරලා ඒක හරියට තෝරාගෙන, “ඕං දැන් තමයි මට මේ වැහිලා තිබිච්ච එක මතුවෙලා තේරෙන්න පටංගත්තේ” කියලා තේරුම්ගන්න පුළුවන් වුනොත්, අන්න එදාට එයා දැනගන්නවා අප්‍රමාණ ගුණ ඇති බුදුපියාණන් වහන්සේ කොච්චර සූක්‍ෂම තැන් දැකලද විග්‍රහ කරල තියෙන්නෙ කියලා. අපිට කොච්චර අමාරුද ඒක, ප්‍රශ්නයක් වෙලා තියෙනවා මෙච්චර කල්, උන්වහන්සේ කළ ඒ විවරණය කිරීම තමයි ශ්‍රාවකයන් වහන්සේලා විසින් ගෙනාපු ඒ ධර්මයෙන් තමයි ඕකත් ඒ විස්තර කරලා දුන්නෙ.
එහෙනම් ශ්‍රාවකයන් වහන්සේගෙත් නෙමෙයි මේ ධර්මය, උන්වහන්සේත් ඒ ධර්ම ගෝචර, ඥාන ගෝචරත්වයට පත්වෙලා, ඒ ධර්මය අහලා තමයි එතෙන්ට පත්වෙලා තිබුණෙ. එහෙනම් උන්වහන්සේගේ ඥානයත් අපිට වඩා වැඩියි. මොකද්ද හේතුව? බුද්ධඥානය ඇසුරු කළ උන්වහන්සේගේ ශ්‍රාවක ඥානය මුහුකුරා ගිහිල්ලා. එහෙනම් උන්වහන්සේත්, අපි නොදන්න ප්‍රශ්න උන්වහන්සේ දන්නෙ ඒකයි. එහෙනම් උන්වහන්සේත් බුද්ධ ඥානය පිළිබඳ, අසීමිත ඥානයට ගෝචර නැතිවුනත්, අපේ ප්‍රශ්න විසඳලා දෙන්න උන්වහන්සේ ඥානවන්තයි. ඒ අපිට හොඳටම ඇති, ඒ සඟ පිළිසරණ කියලා, සංඝයා කෙරෙහි විශ්වාසය තබාගන්නවා ඔය ක්‍රමයට. ඉතින් අපිත් කවදහරි පත්වෙන්න පුළුවන් තැනක් තියෙනවා නම් එතෙන්ට, එහෙනම් එතෙන්ට මට පත්වෙන්න ඕනෙ නම්, උන්වහන්සේ එතෙන්ට පත්වුනේ කෙබඳු ආකාරයකින්, ක්‍රියාවලියකින්ද, කියලා එබඳු වැඩපිළිවලක කුසළ සංඛාරය මමත් වඩලා, මටත් ඕනෙනම් එතෙන්ට පත්වුනහැකි. මට සියල්ල දැනගන්න ඕනෙනම්, වැඩ ඔක්කෝම පැත්තකින් තියලා මමත් බහිනවා ලොවුතුරා බුදුවෙන්න පාරමිතා පුරන්න.
බැහැලා බැහැලා අන්තිමට ගිහින් දැනගත්තට පස්සෙ, දැන් හිතෙනවා “නෙදකිං විතරක්! මෙච්චර කල් ආවෙ මේක දැනගන්නද? හරයක් ඇති එකක් තියෙනවැයි මේ ඉතින් දැනගත්තා තමයි. බලාපුහම මේකෙ හරයක් නෑ එකක්වත්. බලපුහම වැඩක් නැති ඒවනෙ මේ ගොඩාක් දැනගෙන තියෙන්නෙ. මේකෙන් අතළොස්සයි තියෙන්නෙ ලෝකයාට වැඩක් ඇති විමුක්තිය සළසා දෙන ඒවා. හැබැයි මම දන්න දහම් බලපුහම අප්‍රමාණයි. ඒ දන්න දහම් වල කිසි වැඩක් නෑ. ඕං බුදු බවට පත්වෙලා මට වෙච්චි දේ!” උන්වහන්සෙත් දකිනවා අන්තිමට ඔය ටික. “මං දැනගත්ත ඒවා බැලුවොත්…” මේ අතට අහුවෙච්ච ඇට්ටේරියා වනාන්තරේ තියෙන කොල ටිකක් පෙන්නල කියනවා, “මම දන්න ඒවා මේ මහා වනාන්තරේ කොල වගේ, ඒ වුනාට මම දේශනා කරපුවා මේ අතේ තියෙන කොල මිට වගේ” කියලා. මොකද, විමුක්තියට කිසිම හරයක් ඇති ඒවා නෙමෙයි දන්න අනිත් හරිය. “හැබැයි දන්නවා, වැඩක් නෑ. ඕවා කියල දීලා මිනිස්සු රස්තියදු කරලා, මුළා කරලා වැඩක් නෑ. හැබැයි මම දන්නවා, දන්නවා වුනත් කියන්නෙ නැත්තෙ ඔන්න ඕකයි! හැබැයි, ඕක දන්නෙ නැති නිසාම මම ඔක්කොම දැනගන්න ඕනෙ කියල තමයි පෙරුම් පිරුවෙ. පෙරුම් පිරීමේ ප්‍රතිඵලය නම් හම්බුනා, ඊටපස්සෙ දැනගත්තා පුස්ස බින්දා වගේ එකක් නෙමෙයිද කියලා. මේ දැනීම් වලින් ඇති වැඩේ මොකද්ද? දැනගන්න ඕනෙ හරිය, මම ශ්‍රාවකයන්ට ගෝචර හරියක් තියෙනවා විමුක්තියෙ දැනගන්න ඕනෙ හරිය, මටත් දැනගන්නවා නම්, මටත් ඕනෙ ඔච්චරනෙ, විමුක්තියට හරිය, අනික් අයටත් ඕනෙ එච්චරනෙ, එහෙනම් ඒ ටික ප්‍රකාශ කරනවා ඉතින්, අනික්වා ටික ගියාවෙ, පිරිනිවන්පෑමත් එක්කල අතුරුදහන් වෙලා යනවා. දැනගත්ත පුද්ගලත්වය, විද්‍යාමානත්වය ඉවරයි…” අන්න බුදුරජාණන් වහන්සෙලාගේ ස්වභාවය.
{ 0:45:59 } : බණ තේරෙන්නෙ නැද්ද? තේරුම්ගන්න මඟ කාලාම සූත්‍රයෙන් ඉගෙනගමු
දැන් මේ කර්මස්ථාන ගැන ඉතින් අපි දෙශනා කරලා, දේශනා කරලා ඒ දේශනාවේ සාරාංශය කැටි කරලා කර්මස්ථාන දෙනවා. මේ අහනවා එක්කෙනෙක් ඒවගේ දුන්නම ටිකක් පැහැදිලි වෙනවා අඩුයිලු, ඒ කියන්නෙ තේරුම්ගන්න බැරිවෙනවලු අන්තිමට, මෙහෙම කියනවා.
ඉතින් මෙච්චර ලොකුවට තේරෙන්න ඕනෙ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කලේ තේරුම්ගන්න බැරි ඒවා පස්සෙ යන්න නෙමෙයි. ඔය ටිකෙන් තේරුම්ගන්න පුළුවන් එක හොයාගන්න. තමන්ට තේරෙන්නෙ මොකද්ද? අවධානයෙන් ඉඳලා තමන්ට තේරෙන මට්ටම තේරුම්ගන්න ඕනෙ ඉස්සෙල්ලා. ඒ මට්ටමේ ඉඳලා ආරම්භ කරන්න ඕනෙ. එතකොට තමයි පුළුවන්කම ලැබෙන්නෙ එයින් එහා මට්ටම තෝරගන්න. පාර දිගටම තියෙනවා. හැතැක්මක් දෙකක් ඈතට බලනකොට ක්‍ෂිතිජය කෙළවරින් අහස පොළවෙ ගෑවිලා වගේ පේනවා. එයින් එහාට පාර පේන්නෙ නෑ. හැබැයි පාර තව දිගටම තියෙනවා. දිණුම් කණුවක් තියෙනවනම් ඒ පාරෙ හැතැක්ම දහයක් විතර ඈත, කී වතාවක් තව ඉස්සරහට යන්න ඕනෙද දිණුම් කණුව පේන තැනට වෙනකන්? එතකම්ම යන්නෙ පාර පේන්නෙ නැති මට්ටමක් තියෙනවනම්, ටික දුරක්. පේන මට්ටම තියෙනවනෙ, ඒ ටික ගියානම් හොඳටම ඇති. හැබැයි ඒ මට්ටම ගිහින් බලනකොට ආයි ටික දුරක් ආයි පේනවා. තව දිණුම් කණුව පේන්නෙ නෑ. හැබැයි පාර පේනවා, මට්ටම පේනවා යන්න ටිකක් දුර. පේන මට්ටම ගිහාම තව ටිකක් ඈතට පේනවා. අවසානෙට ඔහොමෙන් ඔහොම පාදගෙන යනකොට දිණුම් කණුව පේන මට්ටමේ “ආං දැන් නම් දිණුම් කණුවෙ මුදුන පේනවා”. දැන් තව ටිකක් එහට යනකොට “ආං මැද හරියත් පේනවා, දැන් අන්න දිණුම් කණුව සම්පූර්ණ පේනවා”. දැන් ගිහිල්ලා දිණුම් කණුව අල්ලගන්නවා. අර පෙනිච්ච පාරෙ මට්ටම දිණුම් කණුව අල්ලගන්න හොඳටම ඇති. හැබැයි අර පටන්ගන්න, ආරම්භක හැතැක්මේ ඉඳලා බලපුහම හැතැක්මක් විතර ඈත ක්‍ෂිතිජයෙන් අහසයි පොළවයි එක්වෙලා වගේ පේන තැන මිසක් එයින් එහට පාර පේන්නෙ නැත්නම්, “අනේ මට මෙතෙන ඉඳලා බැලුවම දිණුම් කණුව පේන්නෙ නෑ, මට ඔය ගමනෙන් වැඩක් නෑ” කියල කිවුවොත් මොකක් වෙයිද?
මෙන්න මේ වගේ බුදු දහමත් දැනගන්න ඕනෙ. නිවන කියන තත්ත්වය ඉස්සෙල්ලාම පේන්නෙ නෑ. ඒ තත්ත්වය වැටහෙන්නෙ නෑ. පේනවා කිවුවොත්, නිවන් දකිනවා කිවුවොත් “ඇහැට පේන එකක්ද?” කියලත් සැක එනවා. “මේක පාටක එකක්ද දන්නෙත් නෑ, ලස්සන එකක්ද දන්නෙත් නෑ, එළියක්ද දන්නෙත් නෑ, මොකද්ද දන්නෙත් නෑ මේ නිවන කියන්නෙ, මටනම් තේරෙන්නෙ නෑ එයින් එහා දෙයක්…” ඔයවගේ අවස්ථා වල ඔතන පටලවාගන්න යන්නෙ නැතුව පෙන්නපු හරියෙන් තමන්ට තේරුම්ගන්න පුළුවන් හරියක් පේනවා.
“ප්‍රාණඝාතය කියන එක මට තෝරගත්තහැකි, සත්ත්ව හිංසාව කියන එක මට තේරෙනවා. ඒක කරපුහම දූෂ්‍ය වෙන හැටිත් පේනවා. ඒකෙන් අහක්වෙලා ඉන්නකොට තියෙන ශාන්තියත් තේරෙනවා…”
“හොරකම් කරන එක මහ ජඩ වැඩක් කියලා තේරෙනවා. ඒක කරන්න ගිහාම දූෂ්‍ය වෙන බවත් පේනවා.ඒවා නොකර ඉන්නවනම් ශාන්තයි කියලත් වැටහෙනවා.”
“කාම මිත්‍යාචාරය මහ ජඩ වැඩක්, බලු වැඩක් බව පේනවා. නින්දා ලබන්න වෙන බව පේනවා. ඒකෙන් වෙන්වෙලා හිටියා නම් ඒ අවංකත්වය, ශුද්ධ භාවය මට සැනසුමක් දෙන බවත් පේනවා.”
“බොරුවෙන් අනුන් රවට්ටන එක මහ ජඩ වැඩක්, බලු වැඩක්, නීච වැඩක් කියලත් පේනවා. සත්‍ය භාවිත කරගෙන සත්‍ය තුළ ඉන්නවා නම් කොච්චර ශාන්තද, කොච්චර හොඳද කියලත් පේනවා, වැටහෙනවා.”
“කේලාම් කියලා අනුන් බිඳවනවනම් මොන නීච වැඩක්ද, බලු වැඩක්ද, තුච්ඡ වැඩක්ද කියලත් පේනවා. එහෙම කේලම් කිය කියා අනුන් බිඳවන්නෙ නැතුව සමඟි කරවන, යහපත් සාමදාන කතා කියනවා නම් කොච්චර හොඳද කියලත් පේනවා. ඒකෙ තියෙන හොඳත් පේනවා”. එහෙනම් හොඳ ටික කරගන්න, දැකපු හරිය ඔයටික ඔක්කොම.
“ඵරුෂ වචන කියනවා නම් කොච්චර සැඩද, බලුද කියලා දකිනවා. ඵරුෂ වචන නැතුව හොඳ වචන කතා කරනවනම් කොච්චර හොඳද කියලා පේනවා. එහෙනම් ඒ දේ කතා කිරීමේ නරකත්, පාප දේ නරක දේ අත් හැරීමේ තියෙන හොඳත්, ඔය දෙකම පේනවා”
“ප්‍රලාප කියන එක කොච්චර නීච වැඩක්ද, කොච්චර හිස් වැඩක්ද කියලා පේනවා. හරවත් දේ භාවිත කරන එක, ඇසුරු කරන එක, කොච්චර හොඳ දෙයක්ද කියලත් පේනවා. ඒ දෙකේම ආදීනව සහ ආනිසංස දකින නිසා ප්‍රලාප අත්හැරීමට පුළුවන්, ආදීනව දැකලා. අත්හැරීමේ යහපත් දේ කතාකිරීමේ ආනිසංස දැකලා ඒකට බැහැලා පවත්වාගෙන යන්නත් පුළුවන්.“
“ලෝභකම් කරන එක කොයි තරම් නීච වැඩක් ද කියලා පේනවා. අලෝභීකම කොච්චර හොඳද කියලත් පේනවා. ලෝභය අත්හැරලා අලෝභි වෙන්න තමන්ට පුළුවන්.”
“ද්වේශ සහගතව ඉන්න එක කොච්චර නීචද, කොච්චර දාහයෙන්ද කියලා පේනවා. අද්වේෂයෙන් ඉන්න එක කොච්චර හොඳද කියලා පේනවා. ඔය දෙක දැනගන්න නුවණ ඇති. ඒකත් කරගන්නවා”
“මිසදිටු ගති ඇති පුද්ගලයො ඇසුරු කරගෙන මිසදිටු ගති ගන්නවා නම්, ඒක කොච්චර නරකද කියලා පේනවා. ඉස්සෙල්ලාම දකිනවා දස වස්තුක මිත්‍යා දෘෂ්ඨිය ගැන.”
ආර්ය සම්මා දිට්ඨියෙන් අහකට යන්න බෑ… එච්චර යන්න ඕනෙ නෑ. හැට දෙකක් මිත්‍යා දෘෂ්ඨි දකින්නෙ පස්සෙ. ඉස්සෙල්ලා දන් දෙන එකේ විපාක නෑ, සිල් රකින එකේ විපාක නෑ, ඒ වගෙම පූජා ආදියේ විපාක නෑ, මේ ආදී වශයෙන් එක එක්කෙනා තමන්ගෙ මත ප්‍රකාශ කරනවා. ඕවා අහලා මිත්‍යා දෘෂ්ඨි වෙන්නෙ නැතුව ඥානවන්ත වූ උත්තමයන් හේතු ඵල වශයෙන් මෙබඳු යහපත් ප්‍රතිඵල තියෙනවා, මේවා හේතු ඵල වශයෙන් මේවයෙ විපාකයක් තියෙනවා, හොඳ විපාකයක් තියෙනවා කියලා කියපුවා අදහලා, විශ්වාස කරලා, තේරුම් අරගෙන, ඒ තුළ විශ්වාසයක් තියලා සම්මා දිට්ඨියට පත්වෙන්න පුළුවන්. තමන්ටම තේරෙනවා ඒක නරකක් වෙන්නෙ නැති බව. මනසට දූෂ්‍යතාවයක් නෑ, ප්‍රසන්න බව, පැහැපත් බව, අන්න එහෙම තමන්ම අත්දැකීමෙන් එතෙන්ට පත්වෙන්නත් පුළුවන්.
එහෙනම් ඉස්සෙල්ලාම ආරම්භක අවස්ථාව බෞද්ධත්වයෙ, ඔන්න ඔතන. “තමන් දැකලා” යන ගමන. යම් කෙනෙක් ඔතනින් යම් දවසක ආදීනව, ආදීනව හැටියට දැකලා දස අකුසළයේ ආදීනව කියලා වැටහිලා, හොඳට අත්දැකීමෙන් වැටහිලා, ඒකෙන් වෙන්වීම මෙහෙම ආනිසංසයක් තියෙනවා කියලා, “මට අත්දැකීමෙන්ම ශාන්තයි, ප්‍රණීතයි කියලා වැටහෙනවනෙ” කියන තැනට පත්වුනහම, අන්න මනස එක්තරා මට්ටමකට කිළුටු ඇරුණා. අන්න ඒ කිළිටි ඇරිච්ච මානසිකත්වයට එයින් එහා ඉස්සෙල්ලා නොපෙනිච්ච හරිය, ක්‍ෂිතිජය බලන් ඉන්නවා වගේ ඉස්සෙල්ලා පෙනිච්ච තැනට ගිහිල්ලා, තවදුරටත් පෙනෙනවා වගේ ආයිත් පේන්න පටන්ගන්නවා “මෙයිට වඩා ගැඹුරු ධර්මයක් වැටහෙන මානසිකත්වයක් මට දැන් තියෙනවනෙ…” අන්න එතෙනදි අර කල්පණාව එනවා.
ඒ ඒ භාවනා කළොත්, ඒ ඒ ආකාරයේ පිං දහම් කෙරුවොත් ලැබෙන්නාවූ දෙවුලොවක්, බඹලොවක් ඇත්නම්, ඒවයෙ හටගත්තා නම් ඒවයෙත් විනාශයක් තියෙනවා, කෙළවරක් තියෙනවා කියලා ධර්ම න්‍යායක් තියෙනවා. ඔන්න ඕක වැටහෙන්න පටන්ගන්නවා. එතකොට එයාට එනවා “අනේ මට එහෙනම් එහෙම තැනක ඉපදිලා ඇති වැඩක් නෑ. එහෙම තැනක් ලබලා ඇති වැඩක් නෑනෙ..” අන්න තවත් ධර්මඥානය මුහුකුරා ගිහිල්ලා වැටහෙන තැනක්. එහෙනම් මොකද කරන්න ඕනෙ? ඇයි ඒවයෙ ඉපදෙන්නෙ? මොනවා නිසාද? අන්න එතකොට තව ටිකක් ඥානය මුහුකුරා ගිහිල්ලා ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මන කියන මේ ඉන්ද්‍රිය හයට මේ පංච කාමයන්ගෙන් අරගන්න ඒවා අරගෙන, ගෝචර කරගෙන, ඡන්ද රාගයෙන් බැඳිලා, ඒ පස්සෙ යන නිසයි ඒවයෙ උපදින්නෙ. අන්න කිවුව දහම තේරෙනවා. ඒක අත්හැරියොත් ඒවයෙ ඉපදිච්ච හේතුව නැත්නම් ඒ හරයක් නැති පැත්තේ උපදින්නෙ නෑ. දැන් මට ඕනැකම තියෙන්නෙ හරයක් නැති දේ අත්හැරලා, නිදහස් වෙන්න. අන්න නිවන දැක්කා. දැන් එයා නිවනට යන්නෙ කොහොමද? ඒ ඒ තැන් වල ඡන්ද රාගයක් ඇත්නම් ඒක දුරුකිරීමෙන් කියලා දැක්කා.
“ඡන්ද රාගය දුරුකරගන්න කොහොමද මම කරන්න ඕනෙ?” කියල ප්‍රශ්නෙ දැන් මතුවෙනවා. අන්න, ඒකායන මාර්ගය හෙවත් සතර සතිපට්ඨානයෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය පූර්ණය කරගන්න අවශ්‍යය තැනට මනස සකස් වෙනවා. දැන් එයාට කියනවා ඡන්ද රාගය ඒ ඒ තැන ඇලෙන ගැලෙන ආසාව දුරුකරගන්න, ඒ ආසා කරන දේවල් වල අසාරත්වය මෙන්න මෙහෙම බලන්න පුරුදුකරගන්න. අත්හැරීමෙන්, නොඇල්මෙන්, මිදීමෙන් නිවනේ සාරත්වය බලන්න පුරුදුවෙන්න. මෙන්න ආර්ය මාර්ගයට, ඒකායන මාර්ගයට බැහැගත්තා. එතැන පටන්ගෙන වැඩෙන මාර්ගය මාර්ග-ඵල සහිතයි, සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත් කියන ටිකෙන් නිවන අත්දැක අත්දැක ගිහින් කෙළවර කරනවා. ඕකයි ක්‍රමය.
ඉතින් ඕක නිසා අපි දඟලන්න ඕනෙ නෑ ගැඹුරු අයට කියන බණ අහලා “අනේ, මටනම් ඒක තේරුණේ නෑ, මට බුදු බණ තේරෙන්නෙ නෑ!” කියලා ඉන්න ගියොත් එහෙම කවදාවත් තේරෙන්නෙ නෑ. තේරුම්ගන්න පුළුවන් තැන තේරුම්ගන්න ඕනෙ ඉස්සෙල්ලා. කාලාමයන්ට ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ දෙශනා කරපු “කාලාම සූත්‍රය” අද පටලවාගෙන මුළු ධර්මය ගැනම විග්‍රහ කරන්න යනවා ඔක්කොම, මේ පොඩි “බාල පණ්ඩිතයො”. “බුදුරජාණන් වහන්සේ දේශනා කළා මොන විදිහකින්වත් කරන්න එපා, කවුරුවත් කිවුවට ගන්න එපා, මං කිවුව වුනත් ගන්න එපා කියලා, එහෙමයි කියල තියෙන්නෙ. විමසලා බලලා තමන්ට තේරෙනවනම් ගන්න කියලා…” ඉතින් ඕක ගන්නවා අර පොඩි එකා, හෝඩියෙ වගේ ඉන්න එකා ගන්නවා වගේ, පහළ බාලාංශයේ ඉන්න එකා ගන්නවා වගේ, “අන්ධෝ බාලෝ පුතුජ්ජනෝ” කිවුව මනුස්සයත් ඕක අරං බලන්න ගියොත් එහෙම මොකද වෙන්නෙ? එයාට කොහෙද ඒවා පේන්නෙ?
එහෙනම්, කාළාමයන්ටත් ඉස්සෙල්ලා පෙන්නනවා කාරණා හතරක් ගැන හිතන්න පුරුදුවෙන්න.
1. ප්‍රාණඝාතය හොඳද නරකද?
2. හොර මැර වංචා හොඳද නරකද?
3. කාම මිත්‍යාචාරය හොඳද නරකද?
4. බොරු කියන එක හොඳද නරකද?
ඔන්න ඔය හතරෙන් පටන්ගන්න. තමාගේම නුවණට ගෝචර වෙන්නෙ, කවුරුවත් කියන එක, පොතේ තියෙන එක, අනුන්ගෙ එක අහන්නෙ නැතුව, තමාම නුවණට ගෝචර කරගෙන ඕක තේරුම්ගන්න. ඔතනින් ආරම්භ කරන්න. ඔතනින් ආරම්භ කරපුහම මාර්ගය වැඩීම ආරම්භ වෙනවා. කාළාම සූත්‍රය දේශනා කළේ ඕකට මිසක් මේ ලෝකෙ තියෙන සියළුම අභිධර්මය ගැටළු විසඳන්න නෙමෙයි. ඔයටික විසඳගන්න ඉස්සෙල්ලම. ඔතනින් විසඳගෙන ආරම්භ කරපු ගමන කවදහරි ධර්මයේ මහා ගැඹුරු තැන්, නිවන පිළිබඳ සියුම් තැන් පවා විග්‍රහ කරගන්න පුළුවන් නුවණ වැඩෙන බවට පත්වෙනවා. “යාවදේව ඥාන මත්තාය පඨිස්සති මත්තාය” කියන තැනට පත්වෙනවා. මෙසේ කටයුතු කරලා ඥානය මුදුන්පත් වෙනවා, සතිය මුදුන්පත් වෙනවා. අන්න වැඩෙන ක්‍රමයෙ ආරම්භය ඔතන. {{ මහාවග‍්ගො-3. 2. 2. 5. }}
ඉතින් අපිත් ඥානය මුදුන්පත් කරගන්න ඕන්නම් ඒ පල්ලෙහා තැන ඉඳලා අනුකූලව යන්න ඕනෙ. අනුකූලව තේරුම් අරගෙන ඒ ටික කරන්න ඕනෙ. ඒ කරගෙන යන පුද්ගලයට වැඩෙන නුවණ තමන්ටම වැටහෙනවා. “දැන් මත තව ටිකක් තෝරගත්තහැකි” ඒ වෙලාවෙ ඒ ටික තෝරගන්නවා. වැටහිච්ච හරිය විතරක් පූර්ණය කරගෙන යනකොට තව ටිකක් තේරෙනවා. ඒ ඒ ක්‍රමයට ගිහිල්ලා උපරිම තේරීම එනවා.
ඉතින් එහෙම දැනගන්න ඕනෙ. ඉතින් මෙච්චර ගන්න දෙයක් නෙමෙයි අපි පුංචි වචන හතරක් දුන්නා. “අවංකයි, පිරිසිදුයි, පවිත්‍රයි, ප්‍රභාශ්වරයි” ඔන්න වචන හතර. මේ දස අකුසළය තෝරගෙන, දස අකුසළයෙන් වෙන්වීමේ මානසිකත්වය ගොඩනඟාගත්ත අපිට ඒ තුළින් දකින්න පුළුවන් අපිතුළ තියෙන ශුද්ධ භාවයන්. “මගෙ ක්‍රියා කළාප අවංකයි, බොරු කේලාම් ඵරුෂ වචන ප්‍රලාප පාවිච්චි කරන බලාපොරොත්තුවක් මගෙ නෑ. එහෙනම්, මම පිටකරන වචනයක් ඇත්නම් හරවත් වචනයක්. එහෙනම් මගෙ වචන පිරිසිදුයි. ඒ වගේ, ලෝභ තරහා මෝඩ ආදී ගති නිසා පවිටු වෙච්ච මනසක් මම ඇතිකරගන්නෙ නෑ. මගෙ හිත පවිත්‍රයි”. ඉතින් එච්චර දුර යන්නෙ නැතුව “අවංකයි, පිරිසිදුයි” කියලා විතරක් ගන්නවා ඉස්සෙල්ලා, ආරම්භ කරනකොට. ධ්‍යාන ලාභියෙකුට චිත්ත පාරිශුද්ධිය, ඒකාග්‍රතාවයට එනකම් ඔය වචන දෙක “අවංකයි – පිරිසිදුයි, අවංකයි – පිරිසිදුයි, අවංකයි – පිරිසිදුයි” භාවනාවක් වශයෙන් වඩනවා. ඊටපස්සෙ මොකද කරන්නෙ? සුළුවෙන් වචන ටික හිතාගත්තට සුළු වචන දෙකක් එහෙම නෙමෙයි, ඕක බුදුරජාණන් වහන්සේ දේශනා කළ “සීල විශුද්ධිය!” ඔය ශීල විශුද්ධිය සිහිකරනකොට “චිත්ත විශුද්ධිය” ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා චතුර්ථ ධ්‍යානයට යනකම්. එහෙනම් චතුර්ථ ධ්‍යානයට යනකම් වඩන මාර්ගය මොකද්ද? තමා තුළ තියෙන අවංකත්වයයි පිරිසිදු බවයි. ඒක ලේසිම ක්‍රමය.
“දස අකුසළයෙන් මං වෙන්වෙලා ඉන්න නිසා මගේ සිතිවිලි, ක්‍රියාකළාපය අවංකයි. මගෙ වැරදි වචන නෑ, වචන පිරිසිදුයි”. කතාවයි, ක්‍රියාවයි දෙකේ සංවරත්වය සිහිකරලා ශීල විශුද්ධියට එන්න “අවංකයි පිරිසිදුයි” කියන වචන දෙක තෝරාගත්තහම එනවා. අනික් බණ ඇහුවට කමක් නෑ, ඒවා පටලවගන්නෙ නැතුව. කර්මස්ථානයක් වශයෙන් “අවංකයි – පිරිසිදුයි, අවංකයි – පිරිසිදුයි” කියන වචන දෙක වඩන්න.
ඔය වචන දෙක වඩාගෙන ගිහිල්ලා එදිනෙදා තමංගෙ ජීවිතයේ කටයුතු කරනකොට වංක වැඩක්, වැරදි වැඩක් කරන්න වුනොත්, “අවංකද? තෝ අවංකද?” අපි අපෙන්ම අහගන්නවා. “මෝඩයා! මෝඩ වැඩ කරන්න එපා, තෝ අවංකද? කිවුවෙ කොහොමද? ලොකූ වැඩ කරන්නා වගේ එක තැනක ඉඳගෙන ඉඳලා පැය ගාණක් තෝ අවංකයි, අවංකයි කියලා ඉඳං මොකද්ද මේ කරන්න යන වංක වැඩේ?” ඒ විදිහට අපි අපිට නිග්‍රහ කරගන්න පුරුදුවෙන්න ඕනෙ. අපි සුදනා වෙන්න ගියොත් එහෙම ඒ බුදු බණ වඩන්න බෑ. අපි හැමවෙලේම අපි කරන කියන හිතන දේවල් වලින් අරවගේ අවැඩට හේතුවෙන, දස අකුසළයට හේතුවෙන දෙයක් නම් ඒ කෙරෙන්නෙ, අපි අපිට ඔය විදිහට නීච කරගන්න ඕනෙ.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “නීච කළයුතු තැන, එතන නීච කරන්න. නිග්‍රහ කළයුතු තැන නිග්‍රහ කරන්න. ප්‍රශංසා කළයුතු තැන ප්‍රශංසා කරන්න. ඒ මාර්ගයයි” මේ හිත වඩන මාර්ගය. “නෙද්දකිං විතරක් කාළකන්ණියා! මේකා මොකද කරන්නෙ? බේබද්දා! මූට ඉන්න බෑ බොන්නෙ නැතුව, පළ ඉතින් අදත් බොන්න!…” අපි අපිට කියාගන්නවා. “ඔය පුරුදුවෙලා තියෙනවනෙ, දවස ගානෙ බොන්න ගිහින් පුරුදුවෙලා…” අපි අපිට කියාගන්නවා. “ඕං නීචයා යනවා නීච වැඩේ කරන්න. නීච කම ඇරගන්න බෑ නෙ තොට තව!” අපේ හිතට අපි බැණගන්නවා. “පළ, ගිහිං බීපිය! කුණු වලේ දපලා වර, බල්ලා වගේ ගෙට පළ! ගිහිල්ලා බල්ලෙක් වගේ විය අයිතිකාරයෙක් නැති. තෝ යකෝ බල්ලෙක් නේද…!” අපි අපිට බැණගන්න ඕනෙ. කාටවත් බැණලා හරියන්නෙ නෑ.
අපිට නීච කරලා, අපිට බැණගන්න ඒවා ඕනෙතරම් අපි ලඟ තියාගෙන අපි අනුන්ට බණිනවා. දැන් මේක තමයි අද පෘතග්ජනයා කියන ලෝකයාගේ තියෙන මුළා ගතිය. අපි අපිට බැණගන්න පුරුදුවෙන්න ඕනේ අපේ වරද දැකලා. වැඩිකල් යන්න ඉස්සෙල්ලා අපේ හිත බැණුම් අහලා හරියනවා. ඕනෙ මිනිහෙකුට බණිනකොට, බණිනකොට ඒ වැඩේ ගැන අත්හැරලා යන්නත් බැරිනම් ඒ කෙරෙහි කළකිරීමක් ඇතිවෙනවා. තාත්තෙක් පුතෙකුට අවවාද කරනවා වගේ “දැන් ඉතින් මොනවා කරන්නද, කාලකන්ණියාගෙ තියෙන තුච්ඡ කමට! බීපිය, හැබැයි අද මූඩියක් අත්හැරපිය! එක මූඩියක් බොන්නෙ නැතුව බීලා වර! තෝ කොච්චර බොනවද? බාගයක් නැත්නම් මට බෑ” හිතම උත්තර දෙනවා. “කාළකන්ණියා, බාගයක් නෙමෙයි අද බීපිය, රුපියල් කීයක විතර බොනවද? දහයක බොනවා. අද අටක බීපිය! එහෙම වත් හැදිය! ටික ටික අඩුකරපිය ඕක” අපේ හිතට ඔහොම කියාගන්න ඕනෙ. කොච්චර කිවුවත් දෙන්න එපා ඔක්කොම, අද අටක දෙන්නකො, අටක බීපිය. පොඩ්ඩක් නං තෝ හොඳයි දැන්. එදා දහයක, දැන් අටක නෙ බිවුවෙ. හෙට පහක බීපිය. බොන්න එහෙම එපා, හොඳට මතක තියාගනිං…” අපේ හිතට අපි කියන්න ඕනෙ. එකඟ වෙලා, “අද පහක දෙන්නකො…. කළිංට නං වඩා හොඳයි. හොඳයි, තෝ බලු වැඩේනෙ තවම කරන්නෙ. හෙට දෙහෙක විතර බීපිය! කොහොමහරි ඕක අඩුකරගන්න” ආං හිතට කියලා යන්න ඕනෙ.
ඕක පුරුදු කරගත්තොත් බලා ඉන්දැද්දි නරක වැඩ අඩුකරගන්න තමා තමාට අපවාද කරගන්න පුළුවන්. නිග්‍රහ කළයුතු තැන නිග්‍රහ කරනවා කිවුවෙ ඕකයි. අපි පුරුදුවෙලා තියෙන්නෙ අනුංගෙ ඒවා බල බලා අනුන්ට නිග්‍රහ කරන්න. අපේ හිතට නිග්‍රහ කරලා අරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය පැත්තක වැහිලා. ඉතින් ඔය ක්‍රමය දැනගන්න ඕනේ සුද්ධ වෙන්න. අනුන්ට කියලා කරන්න බෑ, තමුන්ටම කියලා කරගන්න පුළුවන් ක්‍රමයක්. මොනවා හරි නරක වැඩක් කරනවා නම් ඒ නීච කමට, තමා නීචයා කියලා තමාටම දොස් කියාගන්න ඕනෙ. එහෙම කියල කියලා ක්‍රම ක්‍රමයෙන් අඩුකරගන්න ඕනෙ. ඒක තමයි යමක් අඩුකරගන්න තියෙන හොඳම ක්‍රමය. ඉතින් එහෙම සකස් කරගන්න ඕනෙ.
ඉතින් මේ තේරෙන්නෙ නෑ, මොනවත් නෑ කියන්නෙ මේ නීවරණ පහ. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීන මිද්ධ, උද්දච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණ පහ තමයි මේ ඔක්කොම කරන්නෙ. මාර්ගය වහනවා, ආවරණ කිවුවෙ ඒකයි, නීවරණ කිවුවෙ ඒකයි. ඒ නිසාම තමයි ඒ ඡන්ද රාගයෙන් බැඳිලා, අත්හැරගන්න බැරුව ඒකෙ ඇලි ඇලී දඟලන්නෙ. ඒවා එකින් එක, එකින් එක එහම සුද්ධ කරගන්න ඕනෙ.
{ 0:59:54 } : අනුන්ට පෙනෙන්න නොව තමංට අවංකව ඇති ප්‍රශ්නයම අසන්න
දැන් මේ “අද අපට නිවන් දැකීමට හැකි පිරිසිදු ධර්ම මාර්ගය…” ඉතින් ඒක තමයි මේ කියන්නෙ. දැන් මේ ප්‍රශ්නෙටත් පිළිතුර ඒකෙන්ම ආවා. පිරිසිදු ධර්ම මාර්ගය තියෙන්නෙ ඔතනයි. ඕක ඇරෙන්න “මේ අභිධර්මය ඉගෙනගන්න යන්න ඕනෙ මම, සතර සතිපට්ඨානය කියන්න ඕනෙ, වදන් ටික මොනවද, මොනවද තියෙන්නෙ පටිච්ච සමුප්පාදයෙ ඔක්කොම විග්‍රහ කරගන්න ඕනෙ…” අපි ඔතෙන්ට නෙමෙයි යන්න ඕනෙ, ඉස්සෙල්ලාම බහින්න ඕනෙ තැන ඔය, බෞද්ධයෙක්ගෙ තියෙන මුළ. ඔතන යන යන කෙනාට ඒ ඒ මට්ටමේ හැටියට ප්‍රශ්නයක් මතුවෙයි. “මෙහෙම වුනොත් මෙහෙම වෙන්නෙ කොහොමද?” අන්න ප්‍රශ්නයක් මතුවුනේ පිළිතුර ලබාගැනීමට හැකි මානසිකත්වයක් මතුවෙලා තියෙද්දි. හැබැයි අනුන් කියන කියන එකට “මේක මෙහෙමද, කොහොමද කියලා අහපංකො” කිවුවොත්, එයාගෙ ඒ මොටකම මිසක් එයාට එහෙම දැනීමක් නෑ. තමාගේ මනසටම ආවා නම් “අවිජ්ජා පච්චයා සංඛාරා කිවුවෙ මොකද්ද? ඒක මට තෝරගන්න ඕනෙ. මේ අවිජ්ජා පච්චයා සංඛාරා කියන එක තමයි මේ මුළ. මොකද්ද දන්නෑ ඒක. අවිජ්ජා කිවුවෙ මොකද්ද?” තමංගෙ හිත තමංගෙන් අහන්න පටන්ගත්තහම අන්න ගුරුවරයගෙන් අහන්න ඕනෙ “මොකද්ද අවිද්‍යාව කියන්නෙ?” දැන් අවධානය යොමුකරගෙන ඉන්නවා.
සමහර කෙනෙක් මොකද කරන්නෙ, “මමත් ගැඹුරු දහම් දන්නවා කියල අනික් එවුන්ට පෙන්නන්න ඕනෙ” කියලා කොහෙහරි පොතකින් කෑල්ලක් හොයාගෙන ඇවිදිල්ලා “ස්වාමීන් වහන්ස, මොකද්ද අවිජ්ජා පච්චයා සංඛාරා කියන්නෙ? වටපිට අයත් බලනවා මොන තත්ත්වයක්ද කියලා, දැක්කද..” හැබැයි මුට මොටකම මිසක් පිහිටන්නෙ නෑ. ඉතින් අවිජ්ජා විග්‍රහ කරගෙන යනකොට ඌ හිතනවා “යකෝ…!” ඊටපස්සෙ තේරෙන්නෙ නෑ. එතකොට වෙන ප්‍රශ්නයක් අහනවා. දැන් තමන්ගෙ ප්‍රශ්නයට අදාල පිළිතුරේ තමංගෙ ආස්වාදය ලබලා ඉවරයි. ආස්වදය ධර්මය දැනගැනීම නෙමෙයි, “අනිකා මං දන්න කෙනෙක් කියලා දැනගත්තද” කියන මාන්නක්කාර හිත. දැන් වචනෙ අහපු ගමන් ප්‍රශ්නෙ අහන්න බැරුව ඒ ටික හම්බෙලා ඉවරනෙ, වටපිට බලනවා. “අනික් අය මූණ ඇඹුල් කරගෙනද? පුදුම වෙනවද මා දිහා බලලා? වෙනවනම් හරි!” තුට්ටුවකට ගණං ගන්නෙ නෑ කියල දැනගත්තොත්? “නෙදකිං මේ අසත්පුරුෂයො, මුං ඇවිල්ලා, මුං තරහයිනෙ මං ඉගෙනගන්නවට… මං දන්න කෙනෙක් කියලා දැනගන්න තරහයිනෙ…” හිත ඇතුළට වද දිදී තමං එක්ක අනික් අය මුල් කරගෙන පළුද්දක් ඇතිකරගන්නවා.
ඉතින් මේ වගේ දේවල් අපි අපේම මනසට ප්‍රශ්නෙටම උත්තර දීලා අපි අපෙන් අහගන්න ඕනෙ. ඒ වගේ අපිට අවශ්‍ය පිළිතුර අපි ගන්න ඕනෙ, අපිට අවශ්‍යය දන්නැති දෙයක් තේරුම්ගන්න ඕනෙ. එතකොට ක්‍රමානුකූලව හරි මඟ පත්වෙලා ඉන්නවා.
{ 1:02:04 } : අවබෝධ නොවුනු මාර්ග ඵල වල ලක්‍ෂණ නොසොයා ආස්වාදයේ ආදීනව බලමු
දැන් ගහක් පැළයක්, බීජයක් හිටවලා පොහොර දාලා හදාගන්න ගොවියට, ගහට සාත්තුව කරනකොට, කොළ එන හැටි දැනගෙන හිටියත් නැතත් කොළ එන්නෙ ඒ බීජය යම් වෘක්‍ෂයකට අයිතිද, ඊට අනුවයි. ඒකෙ අතු රිකිලි එන්නෙ ඊට අනුවයි. මල් ඵල එන්නෙ ඊට අනුවයි. ගෙඩි හැදෙන්නෙ, පැහෙන්නෙ ඊට අනුවයි. අපිට තියෙනවා එක දෙයක්, “සාත්තුව” හරියට කරගෙන යන එක. නියම බීජය හිටවගෙන සාත්තු කළොත් කොළ ආපුහම කොළ වල හැටි දන්නවා. වෙනස් ජාතියෙ කොළ එන්නෙ නෑ. ඒ බීජයට ඒ හැදුනහම ඒ ජාතියෙ කොළ එනවා මිසක්, වෙන ජාතියෙ කොළ එන සිරිතක් නෑ. කඳ හැදෙනකොට කඳේ හැටි පේනවා, ඒ ජාතියට අනුකූල කඳක් එනවා මිසක් වෙන ජාතියේ කඳක් ඒකට එන්නෙ නෑ. කොස් බීජයක් හිටවගෙන පැළ කරගත්තා නම්, කොස් කඳක් හැදෙනවා මිසක් දෙල් කඳක් හැදෙන්නෙ නෑ ඒකෙ, පොල් කඳක් හැදෙන්නෙ නෑ. ඒ බීජයට අනුකූල වන කඳයි අපිට දකින්න හම්බෙන්නෙ, හැදෙන්නෙ ඒක. “සාත්තුව” හරියට කරගෙන යෑමයි අපිට තියෙන්නෙ.
ඒ වගේ සෝවාන්, සකෘදාගාමී, ආදී තියෙන ඒවයෙ ලක්‍ෂණ ඒ ඒ අවස්ථා වල තියෙනවා. මේ ලෝකෝත්තර ලක්‍ෂණ ගැන මේ අහන්නෙ. අනාදිමත් සසරේදී අත්නොවිඳපු නොදත් දත්තයන් පිළිබඳව, ලැබුණට පස්සෙ දැනගත්තහම මිසක් කල්තියා අහගත්තහම ලෞකික අදහසකින්ම මේකට බැහැගන්නවා. මොකද ලෞකික මානසිකත්වයකට සෝවාන් පුද්ගලයාගේ මානසිකත්වය, සකෘදාගාමී පුද්ගලයාගේ මානසිකත්වය, හරි ආකාරව වටහාගන්න බෑ. වටහාගන්න බැරි මොකද, ඒ අපේ තියෙන එක්තරා බාල කමක් තියෙනවා, අපි ලඟ තියෙන දහම් නුවණ නැති නිසා. ඒ බාල කමට එන හැටියෙදි අපිට යමක් දුකක් කිවුවොත් ඒ දුක වැටහෙනවා.
දැන් අපි මෙහෙම හිතන්නකො, අවුරුදු තුනේ – හතරෙ ළමයෙක්ට චොකලට් ටිකකුයි, ඔප්පු ටිකකුයි අරං ඇවිදිල්ලා ඒ ළමයගෙන් අහනවා “චොකලට් දෙන්නද ඔප්පු දෙන්නද?” කියලා ඒ ළමයින්ට. ඔප්පුත් ඉල්ලයිද පොඩි එවුන්? එතකොට මොකද කරන්නෙ, “නෑ නෑ පුතේ, ඔය ඔප්පු හරි වටිනවා. උඹට තව තේරෙන්නෙ නෑ, ඔප්පුව ගනිං. ඔය චොකලට් ටික අරං පලයං ඇතුළට…” කවුරුහරි ආවොත්. දැන් පොඩි එකා අඬන්න පටන්ගන්නවා “මට වැඩක් නෑ ඔය කඩදාසි කොළ වලින්, මට චොකලට් දියෝ…!” කියලා කෑ ගහනවා. දැන් ඒ ළමයටත් දුකක් ආවා. මොනවා නැතුවද, ඔප්පු නැති දුක නෙමෙයි චොකලට් නැති දුක.
ඕකා ම ලොකු මහත් වෙලා, අවුරුදු පහළොවක්, විස්සක්, විසි පහක් විතර ගියාට පස්සෙ අර මිනිහා එනවා ඔප්පු ටිකයි, චොකලට් ටිකයි අරගෙන. “ඔප්පු දෙන්නද, චොකලට් දෙන්නද?” ඇහුවොත් එහෙම… අහන්න වත් පුළුවන්ද ඔය වචනෙ? “චොක්ලට් එකක් මොන මගුලකටද? ඔප්පු දීලා පල” අර මිනිහා චොකලට් ටික “ඕං, කාපං” කියලා ඔප්පු ටික අරං යනවා. පොඩි එකා නම් සංතෝස වෙනවා. දැන් මොකද කරන්නෙ? “අරූ අපිව රැවැට්ටුවා. ඔප්පු ටික බොරුවට පෙන්නලා මේ කෙහෙල්මලක් දීලා ගියා. ඕකෙන් අපිට වැඩක් තියෙනවැයි, චොකලට් වලින්? ඌ අපි රවට්ටලා චොක්ලට් දාලා ඔප්පු ටික අරං ගියා…” දැන් අපි එතකොට දුක් වෙනවා ඔප්පු නැති දුකට. එක ළමයගෙම අවස්ථා දෙකක දුක් වුනේ කාරණා දෙකකට. පුංචි කාලෙ චොකලට් නැතුව දුක්වෙනවා, වැඩිමහත් වුනාට පස්සෙ ඔප්පු නැතුවට දැන් දුක්වෙනවා. චොකලට් කන්න දැන් ඒකට දුක්වෙන්නෙ නෑ.
දැන් ලොකු වෙනසක් වුනානෙ, මේ දුක ඇතිවෙන්න හේතුව. පුංචි ළමයට දුක ඇතිවෙන්න හේතුව චොකලට් නැතිකම. ලොකු කෙනාට දුක ඇතිවෙන්න හේතුව ඔප්පු නැතිකම. ඒ වගේ ආර්යයන්ට දුක ඇතිවෙන්න හේතුව මොකද්ද? ලෝකයා “ප්‍රියයි, මනාපයි, යහපතයි” කියලා ගන්න මේ සම්පත් පරිහරණය කරන්න වෙන එක. ඒකට කොටුවෙන එක. “අන්ධෝ බාලෝ පුතුජ්ජනෝ” කියන පෘතග්ජනයට දුක ඇතිවෙන්න හේතුව මොකද්ද? අර තේරුම්ගත්ත කෙනා අහක් කරපු පංච කාම සම්පත් සහිත වැඩපිළිවෙල, වස්තු කාමයට තියෙන ක්ලේෂ කාමය අල්ලගන්න බැරි එක. එයා දුක් විඳින්නෙ ඒකට.
ඉතින් වස්තු කාම, ක්ලේෂ කාම නැති කමේ අසහනයෙන් පෙළෙන පුද්ගලයට කියනවා දුකෙන් නිදහස් වෙන්න කියලා. “අනේ, මාත් කැමති ඒක තමයි. කොහොමද දුකෙන් නිදහස් වෙන්නෙ? තිබූ හැටියට වස්තු කාමයයි ක්ලේෂ කාමයයි මට ලැබුණා නම් මට දුකක් නෑ!” ඔන්න එයා බහින නිගමනය. දැන් දුක දැක්කද? දුක්ඛ ආර්ය සත්‍යය දැකලා ඉතින් එයාට කියන්න පුළුවන්ද දුක්ඛ ආර්ය සත්‍යය ගැන? එයාට කිවුවොත් එහෙම “ඔය වස්තු කාම, ක්ලේෂ කාම අත්හැරපුහම තමයි සැනසුම තියෙන්නෙ” කියලා, “මං දන්නෑ, මට ඒවා නැතුව තමයි මේ අසහනයෙන් පෙළි පෙළී ඉන්නෙ, ඒක සැනසුමක් වෙන්නෙ කොහොමද?” එයා කියන්නෙ අන්තිමට ඒක. ඉතින් එයාට දුක පෙන්නන්න පුළුවන්ද?
මෙන්න මේ වගේ වස්තු කාම වල, ක්ලේෂ කාම වල තියෙන ආදීනව දැක්කනම්, ඒ ආදීනව දැකපු කෙනාට ඒ ආදීනව තුළින් මුහුකුරා ගිය දැනීමක් පහලවුනා නම්, එයා දකිනවා “මෙච්චර කල් අපි මර උගුල් වලට රැවටුනා. කාම වස්තු හරි වටිනවයි කියලා රැවටුනා. දැන් තමයි තේරෙන්නෙ මේවා මහා මර උගුල් කියලා. ලෝකෙ දුකට වැටෙන මුළ තියෙන මර උගුල තමයි වස්තු කාමය, ක්ලේෂ කාමය. ඒවට තියෙන ඡන්දරාගය. මෙන්න මේක ඇරගත්තා නම් මේ දුකෙන් නිදහස් වෙන්න තිබුණා” කියලා එයා දකින ක්‍රමයක් තියෙනවා. ආර්ය ධර්මයට පත්වෙච්ච කෙනාට වැටහෙන එක කවුරුවත් කියාදෙන්න ඕනෙ නෑ. කවුරුවත් කියාදීලා දැනුවත් කරන්න පුළුවන් එකකුත් නෙමෙයි.
එහෙනම් “චතුරාර්ය සත්‍යය” කියල කියන්නෙ ප්‍රඥා ගෝචර දහමක්. තමන්ට ප්‍රඥාව වැඩුනම ප්‍රඥාවට ගෝචර වෙනවා. ඒකට අවශ්‍යය කරන මූලික ප්‍රතිපත්තියක් තියෙනවා, දුකසේ හරි හැකි අන්දමින් ඒක කරගෙන යන්න කියනවා. ප්‍රඥාව වැඩුනට පස්සෙ කරන නිගමනය තව එකක්. එහෙනම් එතෙන්දි දකින්නාවූ දුකෙන් නිදහස්වීම දකිනවා ආර්යයෝ යථාර්තයෙන් ලෝක දුක දැකලා. ලෝකයා සැපයි, ප්‍රියයි, මනාපයි කියන ඒවයෙ හරයක් නෑ කියල දැක්කට පස්සෙ, ඒකෙන් නිදහස් වුනහම එයා දකිනවා “මට දැන් කොච්චර නිදහස් ද…”
එක රජකෙනෙක් “අහෝ සුඛං! අහෝ සුඛං!” කිය කියා ඉන්නවලු මහණ වෙලා. පෘතග්ජන භික්‍ෂූණ් වහන්සේලාට, තව එතෙන්ට ආපු නැති අයට ලොකූ ප්‍රශ්නයක් ඕක. “අපි කිවුවෙ ඕකනෙ මහණ වෙන්න එපා කියලා, හිටපු රජකම කරගෙන හිටියනම් මොකද වෙන්නෙ, අද ඉතින් අහෝ සුඛං අහෝ සුඛං කිය කියා එදා විඳපු අන්තඃපුරය මතක්වෙලා මේ…” කිය කියා ඉන්නවා. දැන් අනික් අය එහෙම කියනවා, “රජ සැප මතක්වෙලා, එදා විඳපු රජ සැප මතක්වෙලා අහෝ සුඛං! අහෝ සුඛං! කියනවා, මං විඳපු සුඛයක හැටි ඒ කාලෙ කියලා ඔය හිත හිතා, දැන් ඔය දුක් වෙවී ඉන්නවා” අනික් අය කියනවා. ඉතින් ඔහොම කියලා මොකද කරන්නෙ අරගොල්ලො ගිහිල්ලා බුදුරජාණන් වහන්සෙටත් කියනවා. “ස්වාමීණි, අර රජ්ජුරුවො මහණ වෙලා ඉන්නවා. රජකම් කරපුවා මතක්වෙලා, ඒ සුවය මතක්වෙලා අහෝ සුඛං! අහෝ සුඛං! කිය කියා ඉන්නවා අන්න” ඉතින් අඬගහලා ඇහුවා. “අනේ ස්වාමීණී! මම ඒ කාලෙ ගින්න අත්හැරලා අද මේ ලැබූ නිදහස මතක්වෙනකොට මට දැනෙනවා මම කොච්චර සුවයකද අද මේ ඉන්නෙ කියලා. ඒ නිදහස් සුවය මතක්වෙලා මට අහෝ සුඛං! කියවෙනවා. ඒක තේරුම්ගන්න බැරිව මේ අනික් ලාබාල දැනුම නැති හාමුදුරුවරුන්ට ඕක තේරුම්ගන්න බෑ. ඒගොල්ලො හිතන්නෙ මං රජකම නැතිව විඳපු දුක මතක්වෙලා, විඳිනවා කියලා. රජකමේ තිබිච්ච දුක මතක්වෙන්නෙ දැනුයි. අත්හැරීමෙන් ලැබූ නිදහස මතක්වෙන්නෙ, සුවය දැනෙන්නෙ දැනුයි. ඒ නිදහස් සුවය මතක්වෙන මතක්වෙන ගානෙ මට, නිකම්ම මගෙ කටින් පිටවෙනවා අහෝ සුඛං! අහෝ සුඛං! කියලා…” අනාගාමී වෙච්ච ස්වාමීන්වහන්සේ නමකගෙ අදහස. {{ භද‍්දියසුත‍්තං }} ඉතින් ලෞකික පෘතග්ජන හාමුදුරුවරුන්ට ඕක තේරුණේ නෑ. ඒගොල්ලො “සුඛ” දැක්කෙ අර ලෞකිකත්වයේ තියෙන රජ සැප.
ඉතින් මෙන්න මේ වගේ අපිට මේ “සැප – දුක” කියන වචනෙ ගන්න පුළුවන් මොකටද? ප්‍රඥාව තුළින් ධර්මාවබෝධය ආපු කෙනාගෙ තියෙන පරිවර්තනය අනික් අයට කියන්න, බලන්න බැහැ. ඒක “ආර්යයන්ගෙ අදහස” කියන්නෙ අන්න ඒකයි. ආර්යයෝ සුවයි කියල ගන්න එක ලෝකයා කියන්නෙ දුකයි. ආර්යයෝ දුකයි, අසහනකාරියි, හරයක් නෑ කියන එක ලෝකයා කියන්නෙ හරි සුවයි, ශ්‍රේෂ්ඨයි, හරි හරයක් තියෙන එකක් කියලා. මේ අදහස් සම්පූර්ණ කණපිට යාමක් ආර්ය වෙනවා කියන්නෙ. ඉතින් ආර්යයාගෙ අදහස කොහොමද, ඒක හොඳද කියලා අහලා අර පල්ලෙහා මට්ටමක ඉඳලා ඇහුවට කොහොම තේරුම්ගන්නද? මෙන්න මේනිසා මේවගේ අවස්ථා වලදි මේ සෝවාන්, සකෘදාගාමි අයගෙ ලක්‍ෂණ දැන් කිවුවොත් එහෙම එපා වෙනවා.
අර එක උපාසකම්මා කෙනෙක් එක පංසලකට ගිහිල්ලා, ඒ උපාසකම්මා උදේම ගිහිල්ලා. කවදාවත් සිල් අරං නෑ, එදා සිල්ගන්න ගිහිල්ලා. යනකොට කවුරුවත් නෑ, හාමුදුරුවො විතරක් ඉන්නවා. ඉතින් හාමුදුරුවන්ගෙන් ඇහුවා…
“හාමුදුරුවනේ, මේ ඔබවහන්සෙ සිල්ගන්නෙ මොකටද? මාත් මේ අද ආවෙ සිල්ගන්න තමයි. මොකටද සිල්ගන්නෙ?”
ඉතින් “අනේ උපාසකම්මෙ, ඇයි දන්නැත්ද? නිවන් දකින්නනෙ… නිවන් මඟ පාදාගන්න”
“ඒ කියන්නෙ මොකද්ද? නිවන් දැක්කහම මොකද කරන්නෙ? ”
“එතකොට ඔක්කොම දුක් ඉවර ඒක හින්දනෙ. එතකොට ඔය ගෙදර කරදරත් නෑ, ඔක්කොමත් නෑ, ඉතින් අඹු – සැමි සම්බන්ධයකුත් නෑ, ඒ වගෙම දේපොළ ඉඩකඩම් වල සම්බන්ධයකුත් නෑ, ඔක්කොම තිබිච්ච ඒවයෙ තිබිච්ච දුක, ඔක්කොම කරදරේ ඉවරයි, සෙනඟ නෑදෑ පිරිසගෙන් ප්‍රශ්නෙකුත් නෑ, ඔක්කොම තිබිච්ච ඒවයෙ තිබිච්ච කරදරකාරී තත්ත්වය ඔක්කොම ඉවරයි!” කියලා හාමුදුරුවො උත්තරයක් දුන්නා අර ආපු උපාසකම්මට.
“මොනවා! අඹු සැමියොත් නෑ, දූ පුත්තුත් නෑ, දේපොළත් නෑ… එහෙම එකක් කොරගන්නද මේ එන්නෙ? ඕකට සිල්ගන්න ඕනැයි, හරි මගුලක් නෙ! මම යනවා යන්න..” කියලා ගියා.
අන්න කල්තියා අහන්න ගිහිල්ලා වෙච්ච දේ!
ඉතින් අන්න එහෙම ඒවා වෙනවා මේ කල්තියා මේ උත්තමයන්ගේ තියෙන ප්‍රතිඵල ස්වභාවය කොහොමද කියලා කල්තියා අහන එකෙන්. මොකද ඒ ප්‍රතිඵල ශාන්තිය මේ ලෝක ශාන්තියෙන් විශාල පරස්පරයි. මේක තේරුම්ගත්තට එතෙන්ට පත්වුන කෙනා තමයි දකින්නෙ “පොච්චියේ! මං එදා එහෙම මේක ඇහුවා නම් එහෙම මෙතෙන්ට එන්න මං ඉන්නෙත් නෑ නෙ. යංතම් වෙලාවට මං ඒක අහන්න ගියෙ නෑ! ඒක හින්දයි යන්තම් මට අතෑරීමේ සැනසිල්ල දකින තත්ත්වෙට මගෙ මනස පත්වුනේ..” කියලා පත්වුනාට පස්සෙ නම් දකිනවා. ඊටපස්සෙ එයත් හරි බයයි ඕක කියන්න අනිත් අයට, “මෙච්චර ශාන්තියක් තියෙද්දි අනිත් කෙනා මමත්වයත් එක්ක ගත්තෙ කොහොමද? “අත්හැරපුහාම සුවයි” කියන එක මමත් හිතාගෙත්තෙ අත්හැරපුහාම මහා පාළුවක්, දුකක් කියලා. දැන් තමයි මටත් තේරෙන්නෙ අත්හැරපුහම සුවයි කියලා. මං දැං කිවුවොත් එහෙම මං ඉස්සෙල්ලා හිටපු මට්ටමේ කෙනෙකුට මේක සුවයි කියලා, මේ අත්හරින එක? මං එදා ගන්න හිටපු තීරණය ඌ ගන්නවනෙ… “ඒ ගැන කියන්න ඕනෙ නෑ, මේ මාර්ගය වඩාගෙන පලයංකො…“ කියලා කියනවා කිවුවා. ගිහාම ප්‍රතිඵලය තමන්ටම වැටහෙයි.
නිවන් සුවය ගැන අපිට කියන්න තියෙන්නෙත් ඔන්න ඔය ටිකයි. වැඩිපුර නිවන විග්‍රහ කරන්න ගියොත් සිද්ධවෙන්නෙ මේ මාර්ගයත් එපාකරලා දාලා නිකං ඉන්න එක. එතෙන්ට පත්වුන කෙනාගෙ මානසිකත්වය විශාල පරිවර්තනයක් වෙනවා, අංග සම්පූර්ණ පරිවර්තනයක්. එතෙනින් පස්සෙ ලෝකයා “සැපයි සැපයි” කියන යමක් ඇත්නම්, ආර්යයො ඒක දුකයි කියලා අයින්කරනවා. ලෝකයා “දුකයි පාළුයි” කිවුව යමක් ඇත්නම් ආර්යයෝ ශාන්තයි ප්‍රණීතයි කියන තත්ත්වයට පත්වෙනවා. මෙන්න මෙබඳු මානසික පරිවර්තනයක් මේ දහම් අවබෝධයේදි සිද්ධවෙනවා. ඒක තමයි “යථා අවබෝධය” කියන්නෙ. ඒ යථා අවබෝධයෙන් ඔබ ලැබුවාවූ ශාන්ත ප්‍රණීත භාවය, ඒක තමයි ඒකාන්තයෙන් විමුක්ති සුවය. ඒ මඟ අනුගමනය කරපු කෙනාගෙ ඒකාන්තයෙන්, සදාකාලික විමුක්තිය ලැබෙනවා මිසක් අතරමං වෙන්නෙ නෑ. විමුක්තිය බලාපොරොත්තුවෙන් අවිද්‍යාව පස්සෙ යන කෙනාට විමුක්තිය බලාගෙන ගිහිල්ලා අසහනයට පත්වෙනවා මිසක් විමුක්තියක් කවදාවත් ලැබෙන්නෙ නෑ.
අප්‍රමාණ සංසාරෙ අපි ආවෙත් විමුක්තියක් බලාගෙන, ලෝකෙ ඇසුරු කරන්න ගිහිල්ලා හොයාගෙන අවිද්‍යාවෙ නිගමනය පස්සෙ. ඒ නිසා අපිට කවදාවත් විමුක්තියක් හම්බුණේ නෑ, අසහනයෙන් පිරිලා මළා මිසක්. ඉතින් ඒ නිසා මේකෙන් අපි දකින්න ඕනෙ, අපිට එච්චර දුර හිතන්න දෙයක් නෑ. ද්වේෂ – මෝහ කියන දෙක නැඟෙන මුළ රාගයයි. රාගය කියන්නෙ, “ඡන්දරාගයයි” ප්‍රධාන වෙන්නෙ. ඒ ඒ තැන ප්‍රියයි, මනාපයි කියලා මන වඩන රූප වලට, ශබ්ද වලට, ගන්ධ වලට, රසයන්ට, ස්ඵර්ශයන්ට ඇලෙනවා නම්, බැඳෙනවා නම්, මේ ලෝක සත්ත්වයා විශාල වශයෙන් ප්‍රිය කරන, “මහා යහපතක්, හරි ශාන්තයි, සුඛයි” කියලා හිතාගෙන හිටපු මෙන්න මේ ටික තමයි මේ දුකට ඇදලා දමන මර උගුල කියලා දැක්ක දවසට එයා ඒකෙන් අහක් වෙන්න අවශ්‍යය කරන්නාවූ “හරයක් නැති බව” සිහි කරගන්නවා.
වැටුන තරමක් දුක් වලට වැටිල තියෙන්නෙ මොකක් නිසාද? මේ පංච කාම ආස්වාදය පස්සෙ හිත තිබ්බ නිසයි. ඒ මුල්කරගෙන ගැටගහගත්ත ගැට ගොඩ තමයි මේ ලෙහාගන්න බැරුව දඟලන්නෙ. “අත්හැරපුහාම මුළදිම අපි දන්නවනම් එහෙම ඒ ගැට එකක්වත් ගහගන්නෙ නැනෙ…” කියලා, “දැන් ඉතින් ගැටගහගත්ත ඒවට කරන්න දෙයක් නෑ, මින් ඉදීරියට ගැටගහගන්නෙ නෑ” කියලා තේරුම් අරගෙන ඉන් එහාට මිදෙන්න හිත තියාගන්නවා. ඉතින් ඒක තමයි දහම් මඟ. ඊටපස්සෙ එයා ඇසුරු කරන තැන ඇසුරු කළත්, “හිරවෙච්චි ගැටෙන් ගැළවෙන්නෙ කවද්ද, කොයි මොහොතෙද?” කිය කියා හිතාගෙන, ඒක අකම්ප්‍යව ඇසුරු කරනවා මිසක් ඇලිලා ඇසුරු කරන්නෙ, ඡන්ද රාගයෙන් ඇසුරු කරන්නෙ නෑ. ඔන්න ඇතිවෙන ආර්යයන්ගේ ලෝකෙ ඇසුරු කිරීම.
අරිහතුන් වහන්සේ අන්තිමට කය ඇසුරු කරන්නෙත් “මොනවා කරන්නද, පෙර භවයෙ හොඳයි කියලා හදාගත්තනෙ කෙහෙල්මල, තියෙන කය ජීවත්වෙලා ඉන්නකන්. බඩගින්නට ඉතින් ප්‍රතිකර්ම කරන්න ඕනෙ. පිපාසයට ජලය දෙන්න ඕනෙ. නාවන්න ඕනෙ, දාඩිය උපදිනකොට ඒකට ප්‍රතිකර්ම කරන්න ඕනෙ, වැස්සෙ තෙමි තෙමී ඉන්න බෑ කොහෙහරි රිංගගෙන ඉන්න ඕනෙ. මොනවා කරන්නද? ඒක හින්දා මේ කුණුගොඩ රැකගෙන ඉන්නවා. දන්නවනම් එහෙම මේ කුණුගොඩ හදන්නෙ නෑ නෙ, ඉස්සෙල්ලා අත්බැවේම ඡන්දරාගය ඉවර කරගන්නවනෙ. මොනවා කරන්නද? මේ කුණුගොඩට ඉතිං ප්‍රතිකර්මයක් කර කරා ඉන්නවා මේක මැරෙනකම්” කියලා උන්වහන්සේ ඒ අදහසේ ඉන්නවා.
ඉතින් ඕක දකින අනික් කෙනෙක් මොකද කරන්නෙ? “අනේ මන්දා, උන්වහන්සෙට හරී පාළු ඇති. කතාකරන්නෙත් නෑ, මොකුත් නෑ, අර පැත්තකට වෙලා ඉන්නවා, සද්ද නැතුව ඉන්නවා, කන්න කිවුවම එයි, දානෙ ගන්න කිවුවට එහෙම ගන්නෙත් නෑ. මේවා හරි හොඳයි කියලා බෙදුවා කියලා ඒකට විශේෂයෙන් ඉල්ලන්නෙත් නෑ, බලාපොරොත්තු වෙන්නෙත් නෑ, ඉතින් මෙච්චර තියෙනවා, ඇඳුම් තියෙනවා, සිවුරු තියෙනවා ගන්නකො කිවුවට එහෙම ගන්නෙත් නෑ, එහෙම තියාගන්නෙත් නෑ. ගත්තත් ඔය කාටහරි දීලා නිකාඉන්නවා. ඔය යන්තම් බුදියාගන්නවා. මොකද මේ? අනේ ඇත්තට මොකද දන්නෙ නෑ එහෙම ඉන්නෙ.. නේද? මහිතෙ කළකිරිලා වෙන්නැති…” ඉතින් යනවා ඉතින් අර ගොඩේ ප්‍රශ්න වලට, අර මන්දබුද්ධික ප්‍රශ්න ටික දාගෙන. “මොකෝ, කළකිරිලද ඉන්නෙ? මොනවා හරි තියෙනවද ප්‍රශ්න? පවුලෙ ප්‍රශ්නද දන්නෙත් නෑ නෙ….!” ඕං යනවා ඉතින් ප්‍රශ්න ටික. ඉතින් ප්‍රශ්න විසඳන්න යනවා. අර උත්තමයන්ගෙ මානසිකත්වය විනිශ්චය කරන්න යනවා අර පල්ලෙහා තැනක ඉඳගෙන.
දැන් මෙන්න මේවගේ ප්‍රශ්න හරීයට ඇතිවෙනවා මේ අපේ පිරිස අතර. ඉතින් ඕවයෙදි දැනගන්න ඕනෙ අපි ඉන්න තැන ඉඳන් අපේ තත්ත්වය තේරුම්ගන්නවා මිසක් මේ ලෝකෙ ඔය විදිහට විමර්ශනය කරන්න, ලෝකෙට තීන්දු දෙන්න අපේ මානසික තත්ත්වයෙන්, පල්ලෙහා මානසිකත්වයෙ ඉඳගෙන ඒ තීන්දු දෙන්න යන්න හොඳ නෑ. ඒකෙන් අපි වික්‍ෂිප්ත වෙනවා මිසක්, අපේ මාර්ගයටත් බාදා වෙනවා. ඉතින් මේවගේ එහෙම දේවල් ඔක්කොම අයින් කරලා දාලා කෙසේ හෝ මේ ආර්ය මාර්ගය තුළින් අපි දැනගන්න පුළුවන් වෙන්න ඕනෙ එක දෙයක්. “හොඳයි කියන ඒවා හොයන්න ගිහිල්ලා මට මොකද වුනේ?” අන්න අපේ පරීක්‍ෂණයට බහින්න ඕනෙ. අර දස අකුසළයෙන් වෙන්වෙන මානසිකත්වය තුළ අපි සුද්ධ වෙලා හිටියා නම් එතෙන්ට එනකොට, අපේ මනස “පංච නීවරණයන්” ගෙන් වෙන්වෙච්ච අවස්ථාවක් එනවා. අන්න ඒ පංච නීවරණයන්ගෙන් වෙන්වෙච්ච අවස්ථාව ධර්මාවබෝධයට ගැළපෙන මානසිකත්වය ගොඩනැඟීමක්.
ඊටපස්සෙ, “මට යම් දුකක් ආවා නම් ඒකට හේතු වුනේ මොකද්ද?” අනුන්ගෙ එක නෙමෙයි තමංගෙ ඒවා හොයනවා. “මට මෙහෙම කරදරයක් ආවා, මොකද්ද මුල් වුනේ? කොතනින්ද මුල් වුනේ? ඒ කරදරකාරී වස්තුව ඇසුරු කරපු හින්දනෙ… ඇයි මං ඒ ඇසුරු කරන්න වුනේ? කවද්ද වැටුනෙ, කොහොමද වැටුනෙ, මෙන්න මේ විදිහට? ඒ කාලෙ මට මොකද්ද කිවුවෙ? මං එතකොට මොනවද කිවුවෙ? අර එකා එක්ක යන්න දුන්නෙ නැත්නම් මං මැරෙනවා වස බීලා! කිවුවා. ඒකි එක්ක යන්න දුන්නෙ නැත්නම් වහ බීලා මැරෙනවා කිවුවා!. අම්මට තාත්තාටත් බැන්නා. බැණලා බැණලා තමයි කරගත්තේ”. දැන් මොකද කියන්නෙ? “මේකි මහ යක්‍ෂණියක්! ඒකා මහ යක්‍ෂයෙක්! දන්නවා නම් මම එන්නෙ නෑ ඕකත් එක්ක, ඕකිත් එහෙමයි” දෙන්නට දෙන්නා හිතනවා දෙපැත්තෙ ඉඳගෙන. එතකොට මොකද වෙලා තියෙන්නෙ? කවුද මේ වේදනාවට මුළ පුරාගත්තෙ?
“අනේ, හොඳ ප්‍රිය වස්තුවක්, වටිනා වස්තුවක්, රන් කඳක්” කිය කියා බදාගෙන ගිහිල්ලා ඔය මුළදි ගියෙ ඡන්දරාගයෙන් නේද මේ දුක දුන්නෙ, ඇදලා දැම්මෙ? එදා ඔය ඡන්දරාගය නොතිබුණා නම් අද මට මේ දුක එන්නෙ නෑ නෙ. එහෙනම් මේ දුකට මුළ මොකද්ද? “මේ ලෝකෙ වස්තූන් ප්‍රියයි මනාපයි කියන ඡන්දරාගයට මං බැඳිලා කරගත්ත හපන්කම. අන්න කොටුවෙච්චි එකේ විපාක” මෙන්න මෙහෙම දැනගන්න ඕනෙ ඡන්දරාගයේ ආදීනව දකින්න. එහෙනම් මේ දුකට හේතු වුනේ මොකද්ද? “මං මෙහෙම එකක් නෙමෙයි බලාපොරොත්තු වුනේ, මට කිවුවෙත් නෑ මෙහෙමයි කියලා. සත්මහල් ප්‍රාසාදයේ, හත් මාලයක් පළන්දලා තියලා, උඩ තියලා උඹ තියාගෙන ඉන්නෙ මං මෙහෙමයි කියලා මට කිවුවෙ එනකොට නම්. අද තමයි මට මේ වැරැහැල්ලක් අන්දලා, මං දුක් විඳින්නෙ. මං රැවටුණා මුගෙ කියමනට….” දැන් එතකොට රැවටිලා කියනවා අනික් පැත්ත.
එදා කියනකොට බලාපොරොත්තු වුනේ බොරුවක් නෙමෙයි. සුන්දර ලෝකෙ මවාගත්ත එක එහෙම එකක් තමයි. හැබැයි එයා දන්නෙ නෑ මේ ලෝකෙ කියන්නෙ මහ කුණ කටුවක් කියන එක. මේකෙ එහෙම ඉන්න පුළුවන් එකක් නෙමෙයි. අදහස් කියන්නෙ ගැළපෙන ඒවා නෙමෙයි. ලෝකෙ තියෙන දේවල් කියන්නෙ අනිච්ච, දුක්ඛ, අනත්ථ දේවල් කියලා එදා දැක්කෙ නැති නිසා නිච්ච වශයෙන්, සුඛ වශයෙන්, ආත්ම වශයෙන් හිතාගත්ත මුළා සහගත බුද්ධියේ නිගමන තමයි එදා දුන්නෙ.
“මේ සැප ඇති සුන්දර ලෝකයක් හදාගෙන, මේ මෙතන ගෙයක් හදාගමු, හදලා ඉවරවෙලා මෙහෙම (…1:17:31 පැහැදිළි නැත…) හදාගමු. අපි මෙහෙම කතා කරකරා අත්වැල් බැඳගෙන ඉම්මු” දැන් ඔය මොනවද ඔය ? අර මුළා සහගත ලෝකයේ සුන්දර වූ මවා පෙන්වන උගුලෙ හැටි. කැමති එකක් නෙමෙයි මේ පෙන්නන්නෙ, “මාර උගුල” කියන්නෙ ඕකයි. අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ථ වශයෙන් ඇති ලෝකයක අනිච්ච දුක්ඛ අනත්ථ දකින්නෙ නැතුව, නිච්ච වශයෙන් සුඛ වශයෙන් ආත්ම වශයෙන් දෘෂ්ඨියට බැහැලා අපි මවනවා සුන්දර ලෝක. මවාගත්ත සුන්දර ලෝකයක් මවාගෙන, ඊටපස්සෙ මොකද කියන්නෙ? “මේකා එක්ක ආපු හින්දයි මේක වුනේ, අරකා එක්ක ගියානම් ඔය ප්‍රශ්න මොකුත් නෑ, අපූරුවට පවුල් කාලා ඉන්නවා, මං ගියා නම් මටත් හොඳට පවුල් කාලා ඉන්න තිබුණා…” “අරකි ගෙනාවානම් මට හොඳට පවුල් කාලා ඉන්න තිබුණා මේකි ගෙනාවෙ…” ඒකි ගෙනාවත් එකයි, මේකා ගෙනාවත් එකයි. පස්සෙ බලනකොට හේතු – ඵල එක විදිහට යන්නෙ. නමුත් දකින්න නෑ අපි ඕක. මෙන්න මෙහෙම ක්‍රමයක්.
“මේ පැත්තෙ ඉන්න එවුන් හරි අසත්පුරුෂයි, අරෙහෙ වුනුත් අසත්පුරුෂයි, ගෙයි ඉන්න බෑ ගිහිල්ලා විකුණලා දාලා ගම්මු හොඳ පැත්තක. අර බලන්නකො අපි අර ගෙයි ඉඩම බලන්න ගිය තැන, එතන දැක්කහම හිනහ වෙලා අල්ලපු ගෙදර කට්ටිය ආවා. අක්කෙ, නංගියෙ කියලා කතා කළා. අපේ එවුන් වගේ නෙමෙයි, හරී හොඳ පිරිස! ගම්මු ගම්මු ඉඩම…” ඉඩම අරගෙන දවස් දෙකයි යන්නෙ…
“ආං අරකි ඇවිදින් ගස්සලා ගියා, කුණු කුල්ලක් විසිකරලා අපේ වත්තට!”
“අපි ඉස්සෙල්ලත් ඔතන තමයි කුණු දැම්මෙ, උඹලා එන්න ඉස්සෙල්ලා.“
“බලහල්ලකො කතාව, උන්ගෙ ඉඩම වගේ… එතනත් එකයි, මෙතනත් එකයි. ඕං අපිට වෙච්චි එක.” අතන අල්ලපු වැටේ එකා හිටියෙ හැතැක්ම කාළක් භාගයක් ඈත, උගෙන් බේරෙන්න දැන් මෙහෙට ඇවිල්ලා, දැන් අල්ලපු වැටේ ඉන්නවා හතුරො. එතකොට උන් අපිට ඊටත් වඩා හතුරුකම් කරනවා. “අපි දන්නවා නම් ඔතෙන්ට එන්නෙ නෑ, එදා නම් ඔහොම නෙමෙයි නෙ කිවුවෙ…” ආං එහෙම පටන්ගන්නවා. ඇයි, සුන්දර ලෝකයක් මවලා පෙන්නලා තමයි අපිව උගුල් වලට ඇදලා දාන්නෙ. එහෙම තමයි “මර උගුල” හැදෙන හැටි.
මෙන්න මේ වගේ අපි දකින්න ඕනෙ, නිතර කල්පණා කරන්න ඕනෙ ලෝකෙ යථාර්තය. මේක මෙහෙම තමයි වෙන්නෙ. ඉතින් ඒක ලෝකෙට බැණලා බෑ. රාග ද්වේෂ මෝහ කියන මේ තුනෙන් මත්වෙලා, නිච්චයි සැපයි ආත්මයි කියන දෘෂ්ඨියෙන්, අවිද්‍යාවෙන් දෘෂ්ඨිගත ලෝක සත්ත්වයා හොයාගෙන ආපු තරඟකාරී ලෝකෙ ඇතුලෙ අපි කොහේ ගිහින් ඉන්න හැදුවත් ඔය ජාතියෙ ඒවට තමයි නිතර ගෝචර වෙන්නෙ. එහෙනම් ලෝකෙ ඇතුලෙ හොඳ තැන් හොයන්න නෙමෙයි දකින්න ඕනෙ, ලෝකෙ කියන්නෙ ඔහොම එකක්. හොඳ පෙන්නලා නරක දෙන එකක්. එහෙනම් මේ හොඳ පෙන්නන එකට රැවටෙන නිසා තමයි නරකට කොටුවෙන්නෙ. නරකෙන් බේරෙන්න ඕනෙ නම්, මර උගුලෙන් බේරෙන්න නම්, මේ “ආදීනවය තියෙන ආස්වාදය” තමයි මර උගුල.
“ලෝක ආස්වාදයන් මහා වටිනා දේවල්” කියලා හිතාගෙන හිටපු මුළා අදහස අත්හැරලා, ඒවයෙ රැවටුම් සහගත ස්වභාවය මේකයි කියලා සිහිකරන්න පටන්ගත්තා නම් අන්න ආර්ය මාර්ගය. එදාට ආස්වාදයන් ගෙන් හිත මිදිලා යනවා, හිස් ආස්වාදය පස්සෙ යන්න යන්න අර මුළා එන්නෙ. එතැන් පටන්ගෙන මොකද වෙන්නෙ, ආස්වාදයන්ගෙන් මිදුනහම ඡන්දරාගයෙන් අල්ලන්න යමක් තියෙනවා නම් ඒක මිදිලා යනවා. අන්න අත්හැරී ගියානම්, නොඇලී ගියානම්, මිදී ගියානම් රාගක්‍ෂයයි, ද්වේෂක්‍ෂයයි, මෝහක්‍ෂයයි, ශාන්තිය. ඕක තේරුම්ගන්න ඕනෙ. එකින් එකට අත්දකින්න පුළුවන් තම තමන්ට. ඒකයි කියන්නෙ මේ ධර්මය තමාම අත්දකිනවා කියලා. යන යන තැනම අත්දකිනවා.
{ 1:20:25 } : “නීතාර්ථ – නෙය්‍යාර්ථ” සහිත බුදු වදන ඒ ඒ තැනදි නිවැරදිව වටහා ගන්න හැටි
මෙන්න මේ තවත් ප්‍රශ්න තියෙනවා, මෙහෙම දේවල් තියෙනවා. දැන් මේ ස්වාමීන් වහන්සේ නමක්, උන්වහන්සේ අරිහත්වයට පත්වුනයි කියලා බෙල්ලන පැත්තෙ විස්තරයක්. දැන් මෙහෙම විස්තර එක එක්කෙනා දෙනවා. දැන් මේ කාන්තාවන් සාසනයේ මහණ වීම ගැන තවත් විස්තරයක් මේ පෙන්වන්නෙ, උපමා කරලා.
ඉතින් බුදුරජාණන් වහන්සේගේ දේශනාව, දැන් මේකෙ පෙන්වනවා මේ “මාගම කියන්නෙ කාන්තාව. කාන්තාව කියන්නෙ විඤ්ඤාණය ලෙස පෙන්වා දෙනවා”. විඤ්ඤානයටයි කාන්තාව කිවුවෙ කියලා. එයා කියනවා “විඤ්ඤාණය උගත්කම ලෙසත් පෙන්වා දෙනවා, එතකොට ධර්මය අවබෝධ කිරීම නොකර, ධර්මය ග්‍රන්ථකරණයට යාම තුළ මේ ධර්මය පවතින්න තිබූ කාලය භාගයක් අඩු වූ බව පෙන්වා දෙනවා…” මේ කියන්නෙ කාන්තාව පැවිදි කරගත්ත නිසා ඇතිවෙන්නාවූ වෙනස හැටියට පෙන්වන්නෙ මේ ලෝකයේ තිබෙන්නාවූ දැන උගත්කම් ගන්න ඒවා කාන්තාව හැටියට පෙන්වලා, ඒ වගේම එයාව මේකට ඇතුළත් වෙච්ච එක, කියන්නෙ දැන උගත්කම ආපු නිසා මේ සාසනයෙ අඩක් බැහැලා ගියා කියලා, දැන් එහෙම අදහසක් තමයි මේ විග්‍රහ කරලා පෙන්වලා තියෙන්නෙ. දැන් කුළය කියන්නෙ මොකද්ද කියල අහපුවම ඇස කන නාසය දිව කය කියන එක මේ ඉන්ද්‍රිය පහ කුළය හැටියට, වර්ණය කියන්නෙ රූප ශබ්ද ගන්ධ රස ස්ඵර්ශ වර්ණය හැටියට. උගත්කම කියන එක රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ උගත්කම හැටියට…
දැන් මෙහෙම නානාප්‍රකාර විදිහෙන් අර්ථ පෙන්වන ක්‍රම තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මෙන්න මෙහෙම දෙයක්. “මා විසින් නීතාර්ථ වශයෙනුත් නෙය්‍යාර්ථ වශයෙනුත් ධර්මය දේශනා කළා…” ඒ කියන්නෙ අභ්‍යන්තරයේ සැඟවුනු අර්ථයක් තියෙන, පිටින් පෙන්වනවා උපමාවක්. මේවට කියනවා “නෙය්‍යාර්ථ”. ඒ වාගෙම එබඳු උපමාවක් නැති, උඩින් මත්තෙන් පෙනෙන දේ තුළින්ම ධර්මයක් දේශනා කරනවා. එතකොට ඒවට කියනවා “නීතාර්ථ”. සමහර අය සැඟවුනු අර්ථයක් දීලා පිටින් පෙන්නපු උපමාවක් දුන්න එකට, ඒ පිටින් පෙන්නපු උපමාව මුල්කරගෙන, ඒ හැඟවුනු අර්ථය පෙන්නන්නෙ නැතුව අර උපමාවම පෙන්නලා ඒ විදිහට කියනවා. ඒ කියන්නෙ සැඟවුනු අර්ථයක් සහිතව දේශනා කරපු දහම්, සැඟවුනු අර්ථය පැත්තක දාලා උඩින් මත්තෙන් කිවුව අර්ථයම ගන්නවා, බුද්ධ දේශනාව හැටියටම පිළිගන්නවා. මේක බුද්ධ ධර්මයට කරන නිග්‍රහයක්, බුදුරජාණන් වහන්සේට කරන නිග්‍රහයක්.
සමහර අය ඉන්නවා “නීතාර්ථ” වශයෙන් කියලා උඩින් මත්තෙන්ම පෙන්නපු උපමා කරලා හරි ආකාරව දුන්න දහම, ඒක ගැඹුරු අර්ථයක් ඇතිකරලා පෙන්නනවා. “ඒ කිවුව එක නෙමෙයි ඕකෙ තියෙන්නෙ, මෙන්න මේකයි” කියලා. එතකොට නීතාර්ථ, නෙය්‍යාර්ථ වශයෙන් හඳුන්වනවා; නෙය්‍යාර්ථ, නීතාර්ථ වශයෙන් පෙන්නලා දහම් දෙසනවයි කිවුවෙ ඔන්න ඕකට. මෙන්න මේ කරන දෙකම ධර්මයට නිගරුවක්, බුදුන්ට නිගරුවක් කියලා තේරුම්කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා {{ බාලවග‍්ගො-2. 1. 3. 4. }}, මේක අපරාධයක් කියලා.
දැන් මේ සමහර දේශකයන් වහන්සෙලා ඉන්නවා මුළු ත්‍රිපිටකයම නෙය්‍යාර්ථ කරලා, හැඟවුනු අර්ථ කරලා. “ඕක ඇතුලෙ තියෙන ඒවා ඔක්කෝම වෙන අර්ථයක් තියෙන්නෙ” කියලා ඒ වෙච්ච සිද්ධාන්ත, සිද්ධි ගැන කියපුවා ඔක්කෝම සම්පූර්ණ අනික් පැත්ත, කණපිට පෙරළලා පෙන්නනවා. එතකොට ඒකෙන් අළුත්ම දහමක් හැටියට බිහිකරලා තව දෙයක් පෙන්නනවා.
සමහර අය මොකද කරන්නෙ, හැඟවුනු අර්ථය තිබුණ එකට, ඒ සැඟවුනු අර්ථයට එළිපිට තිබුණු අර්ථයක්ම පෙන්නපු හැටියට ඒ එළිපිටින් පෙන්නපු අර්ථය අරගෙන ඒ ගැන කියන්න යනවා. මං පැවිදි වෙන්න ඉස්සෙල්ලා එක තැනක එක්තරා මහත්මයෙක් හිටියා, එයා ඉතින් දැන උගත් මහත්මයෙක්. ඉංග්‍රීසි පවා හොඳට දැනීමක් තියෙන කෙනෙක්. භාෂා පරිවර්තනය කරන්න පවා දන්න කෙනෙක්. අපේ ස්වාමීන් වහන්සේ නමක් පොතක් ලියන්න ගියාම එයාට ගෙනත් දීලා තියෙනවා එක්තරා පෙළ දහමෙ තිබෙන කොටසක් ඉංග්‍රීසියට පරිවර්තනය කරලා දෙන්න ගැළපෙන විදිහට කියලා. ඒකෙන් එයා එක්තරා කොටසක් මේ බුදු දහමෙන් දැනගෙන. මොකද්ද ඒකෙන් කියල තිබිලා තියෙන්නෙ, “කඩුව අමෝරාගෙන එනවිට පැනලා දුවන්න එපා. එතකොට කඩුව අමෝරාගෙන එන වෙලාවට ඒ සමඟ සටන් කරලා ජයගන්න” කියන අර්ථයක් තමයි මේ පෙළ දහම වාක්‍යයේ තියෙන්නෙ.
දැන් ඉතින් යුද්දෙට යනව කියන එක, යුද්දෙට ගිහිල්ලා ජයගන්න එක බුදු දහමට එකඟයි කියලා ලියන්න, ලිපියක් ලියන්න උන්වහන්සේ ඒකට පෙළ දහමෙන් සාක්‍ෂියක් තමයි මේ ඉංග්‍රීසියට පරිවර්තනය කරගත්තෙ, ඉංග්‍රීසි ලිපියක් ලියන්න. දැන් ඉතින් එයා මොකද කරන්නෙ, ඒ කියපු එක ඉංග්‍රීසියට පරිවර්තනය කරලා දුන්නා. කඩුව අමෝරාගෙන එන වෙලාවට පැනලා දුවන්න එපා කියලා තියෙනවා බුද්ධ දේශනාවෙ කොටසක්, එතන අරගෙන එයා ඉංග්‍රීසියට පරිවර්තනය කරලා දුන්නා. එයාට හොඳට මතකයි මේක.
දවසක් ඒක මාත් එක්කලා විස්තර කරල, මං කිවුවා දැන් “ගැහුවට ගහන්නෙ නැති, බැන්නට බණින්නෙ නැති, හිංසා පීඩා කළාට හිංසා පීඩා කරන්නෙ නැති නිසි ආකාරයට ඉවසන, ලෝකයේ ස්වභවය තේරුම් අරගෙන, මේ විදිහට මේ ලෝකය සමඟ ගැටෙන්නෙ නැතුව ඉඳලා මේ තමංගෙ වැඩේ කරගන්න ඕනෙ…” මෙහෙම කියලා විග්‍රහයක් කරනකොට “ඒ වුනාට බුදුරජාණන් වහන්සේ ඔහොම නෙමෙයිනෙ දේශනා කරලා තියෙන්නෙ” කියලා ඒ මහත්තයා කියනවා. “කඩුව අමෝරාගෙන එන වෙලාවට පැනලා දුවන්න එපා කියලයි පෙන්නල තියෙන්නෙ. එහෙම එකක් තියෙනවා…”
“එතකොට මහත්තයා කොහොමද එහෙම කියන්නෙ?”
“එහෙම කියන්නෙ පෙළ දහමෙ තියෙන එක මම දන්න හින්දා”
“මහත්තයා කොහොමද දන්නෙ?”
ඉතින් අඬගහගෙන ගිහිල්ලා කිවුවා මෙන්න මේකයි සිද්ධිය, ඉතින් ඔය මහත්තයා ත්‍රිපිටකයෙ ඔක්කොම බලන්නෙ නෑ නෙ, මෙන්න මේ සිද්ධිය කියලා, මට මේක ගෙනල්ලා, ඒ ඡේදයම බලන්න හම්බුණා. ඉතින් මෙයා කියනවා මෙහෙම, මං දැන් කල්පණා කරන්නෙ දැන් මේක කොහොමද මෙයාට විග්‍රහ කරලා දෙන්නෙ? දැන් මෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නෙය්‍ය අර්ථයක්, හැඟවුනු අර්ථයක්.
දැන් පිටින් පෙන්නන අර්ථය මොකද්ද, “කවුරුහරි කඩුවකින් කොටන්න ආවොත් එහෙම පැනල දුවන්න එපා, ඌට ගහපිය! ගහලා ජයගන්න”. ඒක තමයි පිටින් පෙන්නන අර්ථය. දැන් ඉතින් මං කල්පණා කරනවා දැන් මෙයාට මේකෙ ඇත්ත කියල දෙන්නෙ කොහොමද? එයා කල්පණා කරනවා, මට ඉතින් වැරදිලා මං කල්පණා කර කරා ඉන්නවා ටිකක් සංවේගෙන් කියලා. එයාගෙ පෙළදහම ඉගෙනගෙන දැනගත්තනේ.
“මහත්තයා, මේ අමනාප වෙන්න එපා, කලබල වෙන්න එපා. අපි අද සංතෝස වෙමු. …(1:26:19 පැහැදිලි නැත)… ටිකක්, කියලා දුන්නා. මං කිවුවා “කඩුව අමෝරාගෙන එන වෙලාවට සටන් කර කරා ඉන්න වෙලාවක් නෑ, ඉතින් මට සටනක් තියෙනවා. ඒකෙන් ජයගන්න මං ඒකට යන්න ඕනෙ…” දැන් එයා උඩ බිම බලනවා මොකද්ද මේ කියලා. මං කිවුවා “සංගීතය කියන්නෙ, ඕක තමයි අමෝරාගෙන එන කඩුව. දැන් ඕකට යටවෙලා මමත් සංගීත කරන්න ගියොත් එහෙම මම සතුරාට යටවෙනවා. පංච කාමය නැමැති හතුරා තමයි ඔය කඩුව අමෝරාගෙන එන්නෙ. දැන් ඔය තමයි එක හතුරෙක්. දැන් ඔය පස්සෙ සංගීතයට ගියාට පස්සෙ, සංගීතයෙන් මත්වෙන මට සිද්ධවෙන්නෙ මේ ලෝකයට වහල්වෙන්න. මාරයා ජයගත්තා, මාරයගෙ පැත්තට මං කොටු වුනා. දැන් මං සටනක් කරනවා ඕවත් එක්කලා. ඒක හිංදා සංගීතයෙන් මං මත්වෙන්නෙ නෑ, මං ඕවා පැත්තකට දාලා විමුක්තිය කරා යන ගමනට මං යනවා, මං ජයගන්න යනවා” කියලා කිවුවා. එයා කම්මුලට අත තියාගෙන බලා හිටියා වෙච්ච දෙයක් මතක නැතුව.
අන්න එතකොටයි එයාට තේරුණේ කඩුව මොකද්ද, සතුරා කවුද, සතුරා එනකොට සතුරට වහල්වෙන්න එපා, සතුරාට ගෝචර වෙන්න එපා කිවුවෙ මොකද්ද කියලා. මං කිවුවා “මහත්තයා, ඕක තේරෙන්නෙ නෑ. මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා බුදු දහම තුළ. ව්‍යංගාර්ථ වශයෙන් තියෙනවා හැඟවුනු අර්ථයක් තියෙන දහම්. එළිපිට තියෙන ධර්මය අරගෙන බුදු දහම කියන්නෙ ඒකයි කියන්න ගියොත් මහ විනාසයක් වෙනවා, ඕක තේරුම්ගන්න…” කියලා මං ඉතින් “රාග, ද්වේෂ, මෝහ යමකින් හටගන්නවනම්, ඇලීම ගැටීම මුළාව යමකින් හටගන්නවනම්, ඒක මනා සේ නුවණින් තේරුම් අරගෙන, ඒක අත්හැරපුහාම අන්න ඒකයි ආර්ය මාර්ගය හොයාගන්න ක්‍රමය” කියලා එයාට කියලා දුන්නා, මෙන්න මේ ක්‍රමයෙන් හොයාගන්න. එතකොට ව්‍යංගාර්ථයත් හොයාගන්න පුළුවන්, නීතාර්ථ – නෙය්‍යාර්ථ ත් හොයාගන්න පුළුවන්, ඒ මතයේ විග්‍රහ කරලා බලනකොට. යම් මඟක් කියනකොට ඇලීමට, ගැටීමට, මුළාවට හේතුවෙන එකක් නම් ඒ කිවුවෙ, ඒක බුදු දහම නෙමෙයි. ඒක ඇතුළෙ තියෙන්න පුළුවන් ගැඹුරු කොටසක්.
ඇලීමට, ගැටීමට, මුළාවට යන හේතු තමයි, හේතුවෙන කාරණා තමයි කිවුවෙ, කළේ ඒ කාලෙ හිටපු පරිබ්‍රාජකයො. ඔය අන්‍ය පරිබ්‍රාජකයො පිරිසක් මේ බුද්ධ සාසනයෙ මහණ වෙලා හිටියා. හැබැයි කොයිවෙලේ හරි කටේ තියෙන්නෙ වල් පල්, මේ වටපිටාවෙ තියෙන ඒවා ගැන කතා කරනවා. ඒකෙ තියෙන බැරෑරුම් කමක් අර මුළදි මහණ වෙච්ච නිසා, සතර සතිපට්ඨානය පුරුදු කරලා නැති නිසා ඕක තේරෙන්නෙ නෑ. ඉතින් වැස්සක් වහිනකොට අද මහා ධාරින්පාත වැස්සක් වහිනවා, හම්මෝ මහ විසාල වැස්සක්. බුදුරජාණන් වහන්සේටත් කියනවා ඒ හාමුදුරුවරු, “අද ස්වාමීණි වහිනවනෙ හරියට…” බුදුරජාණන් වහන්සේ හිස් කතා පස්සෙ යන කෙනෙක් නෙමෙයි, ඔය වැඩක් නැති කතා පස්සෙ යන කෙනෙක් නෙමෙයි. ඒ වෙලාවෙදි මොකද කරන්නෙ? “ඔවු ඔවු, අද වහිනවා මහා වැස්සක්. ඒ වැස්ස මෙහාට විතරක් නෙමෙයි, අද හතර මහා දිවයිනටම වහිනවා. අන්න ඒ වැස්සට තෙමිලා නිරුවත්ව නාගත්තොත්, එයාට සුද්ධ වෙන්න පුළුවන්…” කියලා බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කළා. අරගොල්ලො කිවුවෙ එක වැස්සක්, බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සදහම් අමා වැස්ස. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහලවුනාට පස්සෙ වහින සදහම් අමා වැස්ස සතර මහා දිවයිනටම වහිනවා. ඒ සදහම් අමා වැස්සෙන් නාගෙන පිරිසිදු වෙච්චි කෙනාට විමුක්තිය ලැබෙනවා. මේකයි ඒකෙ ගැඹුරු අර්ථය.
අර හිස් ප්‍රලාපයක් වශයෙන්, “හපොයි අද හරි මහා වැස්සක්නෙ වහින්නෙ” කියපු හාමුදුරු වරුන්ට බුදුරජාණන් වහන්සේ ඔය ටික කියලා වැඩියා. අර මෝඩයින්ට මේක තේරුම්ගන්න බැරුව ගියා, ඔක්කොම එක්කලා මොකද කරන්නෙ, නිර්වස්ත්‍රව එළියට බැහැලා නෑවා අර වැස්සට, සුද්ධ වෙන්න බලාගෙන. ඉතින් ඔය අවස්ථාව වෙනකොට විශාඛා උපාසිකාවගෙ දානයක් තිබිච්චි දවසක්. එක්තරා දාසියක් එවුවා “දැන් ගිහිල්ලා කියන්න හාමුදුරුවරුන්ට, දානෙ හදලා ඉවරයි. මේ දානෙට වඩින්න අවස්ථාව ආවයි කියලා කියන්න” කිවුවා. දාසිය ඇවිදින් බලනකොට කවුරුවත් නෑ හාමුදුරුවරු, ඔක්කොම නිඝණ්ඨයො ගොඩක්. පස්සෙ කිවුවා “අනේ ස්වාමීණි, ජේතවනාරාමයේ නිඝණ්ඨයො පිරිලා ඉන්නවනෙ, එක්කෙනෙක්වත් නෑ හාමුදුරුවරු” කියලා. දැනගත්තා මොනවහරි ලොකු අකරතැබ්බයක් වෙලා ඇති කියලා. පැය බාගෙකට පස්සෙ කිවුවා “දැං ගිහින් බලන්න, හාමුදුරුවරු ඇති” කියලා. එනකොට හාමුදුරුවො වැස්සට හොඳට තෙමිලා තෙමිලා පිහිදාගෙන, සිවුරු පොරවගෙන ඉන්නවා. ඒ පාර ගිහිල්ලා ආරාධනා කරලා ආවා.
ඔය කාරණය දැනගෙන බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කිවුවා “ස්වාමීණි මේ භික්‍ෂූණ් වහන්සෙලාට වැසි සළුවක් අනුදැන වදාරන්න, මේ හෙළුවෙන් නානවට!” ඊටපස්සෙ බුදුරජාණන් වහන්සේ “හෙළුවෙන් නාන්න එපා” කියලා වැසි සළුවක් අඳින්න කියලා පැණෙවුවා භික්‍ෂූණ්ට. මහාවග්ග පාළියේ, නෙවෙයිනම් විනය පිටකයේ ඇති විස්තරේ. {{ චීවරක‍්ඛන්‍ධකං }} අන්න හැඟවුනු අර්ථයක් පෙන්නුවා, ගැඹුරු අර්ථයක් ඇතුලෙ තියෙන එකක්. “අද මේ මහ වැස්ස හතර මහා දිවයිනටම වහිනවා. හොඳට නිරුවත්ව නාගන්න” කියලා කිවුවෙ, විවෘත මනසකින් යුක්තව, සැඟවුනු කුණු කසල තියාගන්නෙ නැතුව, මේ දහම් ජලාශය පානය කරලා, දහම් ජලාශයේ නාගෙන, විමුක්තිය නැමැති ඵලයට පත්වෙලා පිරිසිදු වෙන්න. මේකයි මේකෙ ගැඹුරු අර්ථය. ඒක පෙන්නුවෙ කොහොමද? අර වැස්සක් උපමා කරගෙන කිවුව කතාව නිසා, ඔය මහ වැස්ස හතර දිවයිනටම වහිනවා, නිරුවත්ව ගිහින් නාගෙන පිරිසිදුවෙලා එන්න කියලා කිවුවෙ අන්න ඒකයි අර්ථය.
දැන් මේකෙ “නෑ නෑ, බුදුරජාණන් වහන්සේ නාලා පිරිසිදු කරගන්න පුළුවන් කිවුවා” කියලා දේශනාවෙ පෙන්නන්න බැරිද අර කෑල්ල? “වැස්සට තෙමිලා, නාලා පිරිසිදු වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නපු සූත්‍ර පිටකයෙ මෙන්න මේ කොටසේ…” කියලා කියන්න බැරිද? එහෙමත් කිවුවහැකි කෙනෙකුට. ඉතින් ත්‍රිපිටකයෙ තිබුණු පළියට කරුණු ඔප්පුකරන්න වාක්‍ය වලින් පෙන්නපු පළියට ඔප්පුකරන්න බෑ. අන්න, නුවණ මෙහෙයවලා දකින්න ඕනේ ගැඹුරු දහම්, ගැඹුරු දහම් හැටියට. හැඟවුනු දහම්, හැඟවුනු දහම් හැටියට. එළිපිට දුන්න දහම්, එළිපිට දුන්න දහම් හැටියට.
ඉතින් එළිපිට දුන්න දහමක්ද නැද්ද කියලා මේක බලාගන්න නම්, දැන් ඔතෙන්ට ගිහාම මේ වගේ අය සමහර වෙලාවට මොකද කරන්නෙ, අන්තිමට විග්‍රහ කරගෙන ගිහිල්ලා? දැන් ප්‍රජාපතී ගෝතමීත් විග්‍රහ කරනවා ඔහොම එකකින්. යසෝදරා දේවියත් විග්‍රහ කරනවා තව විෂයකින්. එතකොට රාහුල කුමාරයාත් විග්‍රහ කරනවා, පුතෙක් හැටියට නෙමෙයි වෙන කෙනෙක් හැටියට. ඒක වෙන මොනවාහරි ධර්ම කාරණයක් හැටියට. අන්තිමට බලනකොට උන්වහන්සේ බුදුවෙන්න ඉස්සෙල්ලා එහෙම ජීවිතයක් ගතකරලා නෑ, අර කියන්නෙ ගැඹුරු දහම් හැටියට ගත්තොත්. දැන් මොකද වෙන්නෙ? එළිපිටින් කියන්න තියෙන එකත් ඇතුළෙන් කියනකොට, ඔයවගේ ගැඹුරු අර්ථයට ගන්න ගියොත් නීයාර්ථය නෙය්‍යාර්ථ කරලා විග්‍රහ කරන්න ගියා වෙනවා. එහෙම ගියහමත් දහම් පැටලෙනවා.
ඉතින් මේ කියන විදිහට බලාපුහම, දැන් මේකෙ පෙන්වන හැටියට මෙහෙණි සස්නක්වත්, මෙහෙණි සස්නක් නිසා හටගත්ත ප්‍රශ්නයක්වත්, ප්‍රජාපතී ගෝතමීන් වහන්සේ කියන මහ තෙරණින් වත්, ඒ ටිකක් නෑ. ඇයි දැන් මොකද, මේ කාන්තාවට – “මේ කාන්තාව කියන්නෙ විඤ්ඤාණයයි, ඉතින් මේකෙ විඤ්ඤාණයෙන් යුක්තවෙලා මේ උගත්කම ඇතිකරගෙන, ධර්මය ගැන මේ නොයෙක් ග්‍රන්ථකරණය සිද්ධ කරලා, ඒවා ඉගෙනගත්ත කෙනාට තමයි ඒකට අනුව මෙහෙණි සස්න කිවුවෙ. ඉතින් ඒක ආවට පස්සෙ තමයි මේ ධර්මය අඩක් වැහිලා ගියෙ…” දැන් මෙහෙම තෝරන්න ගිහාම අන්තිමට බලනකොට එදා ප්‍රජාපතී ගෝතමීන් වහන්සේ කියලා පැවිදි වෙච්ච කෙනෙකුත් නෑ. ඉතින් ඊටපස්සෙ මොකද කරන්නෙ, අන්තිමට පිරිනිවන් පාන්න යනකොට පසුපසින් ගිහිල්ලා උපචාර දැක්වුව කතාවක් තියෙන එක, ඒකත් කපන්න ඕනෙ ඒකත් බොරු වෙනවා. අර ප්‍රජාපතී ගෝතමීන් වහන්සේ මහණ වෙන්න ආවා කියන කතාවෙන් පිට ඉන්න හින්දා ඒකත් බොරුවක්, ඒවා ඔක්කොම කපන්න වෙනවා. ඒවයෙ අර්ථය තියෙන්නෙ ඒක නෙමෙයි, මේ හිත පිළිබඳ කිවුවෙ එකක් ඒ කියල තියෙන්නෙ කියල ගත්තහම, අර භෞතික සිද්ධි ඔක්කොම අයින්කරන්න වෙනවා.
අන්න ඒකට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ “නීතාර්ථ වශයෙන් දේශනා කරලා තියෙන එක නෙය්‍යාර්ථ කරන්න යනවනම්, මටත් ධර්මයටත් කරන අපවාදයක්” කියලා පෙන්නුවා. ඉතින් මේවයෙදිත් සිද්ධවෙනවා ඔන්න ඔය කාරණය. හරි භයානකයි. ඉතින් මෙහෙම ඕනෙ දේකට පෙන්නන්න පුළුවන්. මෙහෙම ක්‍රම තියෙනවා, ඉතින් මෙහෙම ඒවා පෙන්නන්න මේ තත්ත්වෙට පත්වෙන්න ඕනෙ නෑ. අරිහත්වයට පත්වෙන්නම ඕනෙ නෑ මෙහෙම ඒවා මේ ගොතන්න, හදන්න. පිටින් වචනයක් කිවුවට පස්සෙ ඕක ඇතුළෙන් කුණුහරුපයක් ගොඩනඟන්න අපේ විශ්වවිද්‍යාල කොල්ලො හරියට දක්‍ෂයි. පිටින් ලියල තියෙනවා “මතක සිරිදම්”, ඇතුළෙ තියෙනවා හෙන කුණුහරුපයක්. ඕවා කියන්න බෑ මේ තැන්වල. ඉතින් කොල්ලෙක්, කෙල්ලෙකුට ලියපු ලියුමක්, කෙල්ලෙක් කොල්ලෙකුට ලියපු ලියුමක්, එක කාලයක් මමත් දැක්කා ඉස්කෝලෙ යන කාලෙ. ඒක අමු කුණුහරුපයක් ලියල තියෙන්නෙ, හැබැයි දෙන්නම ලියල තියෙන්නෙ රටවල් දෙකක විස්තර. එකෙක් ලංකාවෙ ඉඳන් විස්තර කරනවා, අනිකා ඉන්දියාවෙ ඉඳන් විස්තර කරනවා. ඉන්දියාවෙ හැටි එකෙක් කියනවා, ලංකාවෙ හැටි එකෙක් කියනවා. මේ අන්ත පට්ටපල් කුණුහරුපයක් තමයි මේකෙ මේ කියල තියෙන්නෙ අභ්‍යන්තරයේ.
දැන් මෙන්න මේවගේ කරුණු දක්‍ෂයි මේ ගොතන්න මේ ඔය මොන දෙයක් ගැන හරි මිනිස්සු යනකොට හොයාගෙන, හදාගෙන ඔය පිටින් පේන කරුණට ඕක ඇතුළෙ තියෙන කරුණක් පෙන්නන්න හැකියාවක් තියෙනවා. හොඳ පැත්තට මෙන්ම නරක පැත්තටත් තියෙනවා. ඒ වගේ යම්කිසි කාරණා කියපුහම ඒ කාරණයම අභ්‍යන්තරයේ ධර්ම කාරණයක් මුල්කරගෙන, ධර්මධර අයට ඒකෙන් ගැඹුරු ධර්මයක් පෙන්නන්නත් පුළුවන්. එහෙමත් ක්‍රමයක් තියෙනවා. ඉතින් එහෙම ක්‍රම රටාවක් අරගෙන ඒ ක්‍රම රටාව උපයෝගී කරගෙන මේ පෙළදහමේ තියෙන දහම් වල නීතාර්ථ, නෙය්‍යාර්ථයෙන් පෙන්නන්න ගියොත් එහෙම, නෙය්‍යාර්ථ නීතාර්ථ වශයෙන් වක්‍ර කරලා පෙන්නන්න ගියොත් සිද්ධවෙන්නෙ නියම ධර්මය යටපත්වෙලා යනවා. එතනත් තේරුම්ගන්න බැරිවෙනවා.
ඉතින් මේකෙදි අපි දකින්න ඕනෑ, නිවන් දැකීමට අවශ්‍යය කරන මූලධර්මයක් තියෙනවා “සත් තිස් බෝධි පාක්‍ෂික ධර්ම” කියලා. අන්න ඒ ටික ගැන විග්‍රහ කරගත්තහම අපිට මේ නැති ඒවා ඇතිකරන්න ගිහිල්ලා, ඇති ඒවා නැතිකරන්න ගිහාම වැටෙන අමාරුවෙ අපි වැටෙන්නෙ නෑ. ඔය කාරණය මොකක් වුනත් අපිට කමක් නෑ. සාසනෙන් භාගයක් පැවතෙනවා කිවුවත්, සාසනේ ඉවරවෙන්න තියෙනවා කිවුවත් අපිට ඕකෙ නෙමෙයි ප්‍රශ්නෙ තියෙන්නෙ. “සතර සතිපට්ඨානය” ගැන අපට තේරුම්ගන්න පුළුවන්ද? “සතර සම්‍යක්ප්‍රධානය” තේරුම්ගන්න පුළුවන්ද? “සතර සෘද්ධිපාද” තේරුම්ගන්න පුළුවන්ද? “පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ඨාංගික මාර්ගය” කියන මේ සත් තිස් බෝධි පාක්‍ෂික ධර්ම තේරුම්ගන්න පුළුවන් නම්, මෙන්න මේ තුළින් අපිට හැකියාවක් ලැබෙනවා නිවන් දකින්න අවශ්‍යය කරන කොටස සම්පූර්ණ කරගන්න. අපිට අවශ්‍යය කරන්නෙ ඔන්න ඔයටික බලාගන්න එකයි.
ඔයිට අමතරව අපිට අවශ්‍යයතාවයක් ඇතිවෙන්නෙ නෑ “බුදුහාමුදුරුවො මෙහෙද හිටියෙ, වෙන දිහාවකද හිටියෙ? ලංකාවට වැඩියද, එහෙ හිටියද?” ඉතින් මේවා ඔක්කොම අතිරේක බාහිර ප්‍රශ්න. දැන් මෙහෙම දේවල් අපි නොයෙක් සැක, කුකුස් ඇතිකරගන්න දේවල් වෙනවා. ඉතින් මේවයෙ ඇත්ත – නැත්ත බලාගන්න ඕනෙනම්, නමුත් බැලුවට ඇති වැඩකුත් නෑ. සත් තිස් බෝධි පාක්‍ෂික ධර්ම තේරුම් අරගත්තනම්, ආර්ය මාර්ගය වඩලා සිහි නුවණ දෙකම වැඩිකරගන්න පුළුවන්. තම තමන්ගේ තිබිච්ච මට්ටමට අනුව දිවැස, දිව කන, පර සිත් දැකීම, මනෝමය සෘද්ධි, සෘද්ධිවිධ, ඒ වගේ නුවණක් අතීතස්ස ඥාන, අනාගතස්ස ඥාන ආදී වශයෙන් අතීතය දකින, අනාගතය දකින නුවණක් ඊට ගැලපෙන හේතු තිබුණා නම් ඒ අයට පහලවුනහම ඒගොල්ලො දකිනවා පොත පතකින් ගත්තෙ නැතිවුනාට, කාගෙන්වත් අහගත්තෙ නැතුවට, අතීත ඉතිහාසෙ වෙච්චි ඒවා හරියට දකිනවා. අනාගත පැවැත්ම ක්‍රියාත්මක වෙන ආකාරයත් දකිනවා. ඒක නුවණකට ගෝචර වෙන දෙයක්.
හැබැයි ඉතින් ඒවා අපිට දැනගත්තා කියලා ඕක නිවන් දකින්න ඕනෙ නෑ. නිවන් දැකපු කෙනාට ලැබෙන විශේෂ වරප්‍රසාද තමයි ඒ චිත්ත පාරිශුද්ධියෙදී ලැබෙන එබඳු දැකීමේ හැකියාව. නමුත් ඒ හැකියාව තුළින් කියන ඒවා ඔප්පු කරන්න අපිට සාධක ඕනෑ වෙනවා බාහිරෙන් එතකොට. බාහිරින් සාධක ඔප්පුකරන්න ගිහාම විවිධාකාර මතිමතාන්තර වලට කොටුවෙන්න සිද්ධවෙනවා. ඊට පස්සෙ “අරක හරිද, මේක හරිද, අරයා මෙහෙම කිවුවා, මෙයා මෙහෙම කිවුවා” කියලා පැටලෙන්න වුනහම අපිට සිද්ධ වෙන්නෙ ආර්ය මාර්ගය පූර්ණය කරන සතර සතිපට්ඨානයේ හිත පිහිටුවාගන්න තිබිච්ච මානසිකත්වය දුරුවෙලා, වික්‍ෂිප්ත මානසිකත්වයට කොටුවෙන්න.
ඉතින් ඊට වඩා හොඳයි, ඒවා ඕනෙ එකක් වෙච්චාවෙ. සතර සතිපට්ඨානය කියන්නෙ කාන්තාවො පැවිදි කිරීම නෙමෙයිනෙ. කොහොම පැවිදි කරගත්තත් අපිට කමක් නෑ. සතර සතිපට්ඨානයට අයිති යමක් ඇත්නම් අපි ඒ ටික තේරුම්ගන්න ඕනෙ. සතර සම්‍යප්‍රධාන කියන්නෙ මොනවද කියලා ඒ ටික තෝරගන්න ඕනෙ. සතර සෘද්ධිපාද කියන්නෙ මොනවද, ඔය ඔක්කොම නිවන් දැකීමට අවශ්‍යය කරන කාරණා. ඒ ටික තේරුම්ගන්න ඕනෙ. ඒ වගේම පංච ඉන්ද්‍රිය කියන්නෙ මොනවද, පංච බල කියන්නෙ මොනවද තෝරගන්න ඕනෙ. සප්ත බොජ්ඣංග කියන්නෙ මොනවද, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නෙ මොකද්ද කියලා, ඔය ගැන හැදෑරුවා නම් දහම් වටහාගැනීමට, දහම් අවබෝධයට බාදකයක් නෙමෙයි. ඒ ටික තුළින් දහම් දැනුම වර්ධනය වුනා, තුන් කාලයක වෙනස් නොවන ධර්මතාවයක් හින්දා.
අතීත – වර්තමාන – අනාගත කියන තුන් කාලයේ කොයි කාලෙක වත් සතර සතිපට්ඨානය, වෙන සතර දෙයක් සතර සතිපට්ඨානය වෙන්නෙ නෑ. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා සතර සතිපට්ඨානය කියලා විග්‍රහ කළා නම්, කකුසඳ බුදුපියාණන් වහන්සේ කියන අතීත බුදුපියාණන් වහන්සේත්, ඒ කෝණාගමන, කාශ්‍යප ආදී පෙර බුදුපියාණන් වහන්සෙලාත් සතර සතිපට්ඨානය දේශනා කලේ ඔය හතර මයි, තව එකක් නෙමෙයි. ගෞතම බුදුපියාණන් වහන්සේ සතර සතිපට්ඨානය දේශනා කළානම්, කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ සතර සතිපට්ඨානයම මිසක් ඕකට වෙන එකක් ඈඳලා වෙන එකක් පෙන්නුවෙ නෑ. මතු මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුදු වෙච්චි කාලෙකදි සතර සතිපට්ඨානය දේශනා කළානම්, කායානුපස්සනාව, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ හතර විග්‍රහ කරලා සතර සතිපට්ඨානය ඕකයි කියනවා මිසක් වෙන එකක් සතර සතිපට්ඨානය කියලා දේශනා කරන්නෙ නෑ.
අන්න, නොවෙනස්වෙන ධර්මතාවයක්. සතර සම්‍යප්‍රධාන කියන්නෙ මොනවද අහපුහම ඒ සතර සම්‍යප්‍රධානයෝ වෙනස්ව දේශනා කරන්නෙ නෑ ඒ ආකාරයට. සතර සෘද්ධීපාද කිවුවම ඡන්ද, චිත්ත, විරිය, විමංසා ආදී වන්නාවූ ඒ හතර මිසක් තව හතරක් ඒ වෙනුවට ඈඳලා විග්‍රහ කරන්නෙ නෑ. පංච ඉන්ද්‍රිය කිවුවම සද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන මේ පංච ඉන්ද්‍රියන් හැටියට විග්‍රහ කලේ ඒ ටික නම්, කොයි බුදුරජාණන් වහන්සේ විග්‍රහ කළත්, මතු බුදුරජාණන් වහන්සේ විග්‍රහ කළත් පංචේන්ද්‍රිය කිවුවම ඔය ටික විග්‍රහ කරනවා. ඒ කියන්නෙ, සත් තිස් බෝධි පාක්‍ෂික ධර්ම වලට අයිති පංචේන්ද්‍රිය. පංච බල කිවුවා නම් සද්ධා බල, වීරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල කියලා ඔය පහ ඔය විදිහට විග්‍රහ කරනවා මිසක් වෙන එකක් විග්‍රහ කරන්නෙ නෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කිවුවා නම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා මේ ආර්ය හංග අට විග්‍රහ කරනවා මිසක් ඕකට වෙන එකක් දාලා විග්‍රහ කරන්නෙ නෑ. සප්ත බොජ්ඣංග කිවුවා නම්, අර ඉස්සෙල්ලා සති, ධම්මවිජය, ප්‍රීති, පස්සද්ධි ඒ වගේම විරිය, සමාධි, උපේක්‍ෂා කියන ඔය හත විග්‍රහ කරනවා මිසක්, වෙන එකක් දාලා නම් සප්ත බොජ්ඣංගයක් හදන්නෙ නෑ.
මෙන්න මේ ටික අතීත, අනාගත, වර්තමාන, කියන තුන් කාලයේ කිසිම බුදුවරයන් වහන්සේ නමක් විසින් වෙනස් නොකර පෙන්නපු එකම ධර්ම නියමයක් තමයි, ධර්ම න්‍යායක් තමයි ඒක. අන්න ඒ නිසා ඒ ටික තමයි නිවන් දකින්න අවශ්‍යය වෙන්නෙ. ඒක හරියට තෝරාගත්තා නම් රාගක්‍ෂයට, ද්වේශක්‍ෂයට, මෝහක්‍ෂයට හේතුවෙනවා. අපි හෙවියයුත්තේ ඒ ටිකයි. මේ එක එක්කෙනාගෙ මත අපිට අවශ්‍යතාවයක් නෑ.
යමක් ඇසුරු කරනකොට රාගක්‍ෂය වෙනබව, ද්වේශක්‍ෂය වෙනබව, මෝහක්‍ෂය වෙනබව පේනවා නම්, ඒ ආර්ය මාර්ගය කියලා තේරුම් අරගෙන, වඩලා, ඒ ප්‍රතිඵලය ලබාගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් අපි එතන හිටියා නම් අපිට මේ ප්‍රශ්න එකක්වත් ප්‍රශ්නයක් නෙමෙයි. මේ එක එක්කෙනාගෙ ප්‍රශ්න විසඳන්න වත්, එක්කෙනෙක්ගෙ අරිහත් ඵලය තවකෙනෙකුට වත් වැඩක් නෑ. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ විශ්වාස කරනවා නම් අපිට ඒත් වැඩක් තියෙනවද අපි කරගත්තෙ නැත්තම්? තුන්ලෝකාග්‍ර වූ බුදුපියාණන් වහන්සේ හැටියට අපි බුදුරජාණන් වහන්සේ නිසැකව සළකනවා කියලා කිවුවත් අපි නිවන් දකිනවද? සැරියුත් හාමුදුරුවො, මුගලන් හාමුදුරුවො රහතන් වහන්සේලා බව නිසැකව විශ්වාස කරනවා කිවුවත් අපි නිවන් දැක්කද? ඒ වගේ කවුරුහරි මේ කාලෙ හිටියත් කමක් නෑ, “අරයා රහත්වෙලා, මෙයා රහත්වෙලා” කියන එක දැනගත්තා කියලා, විශ්වාස කරා කියලා අපි නිවන් දකිනවද?
මාර්ගයක් පිළිපැදලා එහෙනම් ප්‍රතිඵලයක් ලබාගත්තොත්, ඒ ප්‍රතිඵලය අනුව නිගමනය කරතැහැකි “මං දැන් මේ මඟ තුළ මෙන්න මෙතෙන්ට වඩලා තියෙනවා. නිවන මට මෙච්චර ලැබිලා තියෙනවා.” ඒ ටික තමන්ට ප්‍රතිඵලයක් තියෙනවා. ඔය එක එක්කෙනාගෙ කියන නිවන් මඟ ගැනයි, එක එක්කෙනාගෙ තත්ත්ව ඨානාන්තර ගැනයි, ඕවා අහන්න හොයන්න වත් වටින ඒවා නෙමෙයි.
{ 1:41:35 } : සතර සතිපට්ඨානයෙන් ඡන්දරාගය නිරෝධ කරන අයුරු
“මේ සතර සතිපට්ඨානය ධර්මානුකූලව පහදා දෙන්න” කියනවා. අපි මේක නිතරම භාවිත කරලා, නිතරම විග්‍රහ කරලා පෙන්නපු දෙයක්. “නිවනට හේතුවෙන ආකාරයත් පැහැදිලි කරලා දෙන්න” කියල පෙන්නනවා.
සතර සතිපට්ඨානය තෝරගන්න ඉස්සෙල්ලා, මේ සතර සතිපට්ඨානය භාවනාවක්. මේ සතර සතිපට්ඨානය නැමැති භාවනාව සුද්ධ කරගෙන ඒ මඟට එන්න නම් ඒකට අවශ්‍යය කරන මානසික පසුතලය ධර්මාවබෝධයෙන් ලඟාකරගෙන සිටිය යුතුයි. ඒ ධර්මාවබෝධය නැති කෙනෙක් සතර සතිපට්ඨානය වඩනවා කිවුවොත් ඒකට හේතු නෑ.
එහෙනම් සතර සතිපට්ඨානය වඩනවා කියන්නෙ මොකද්ද කියල තෝරගන්න ඕනෙ. මේ ලෝකෙ පැවැත්මට අහුවෙන, සසර ගමනට අහුවෙන අපි බැඳුනු තැන් හතරක් තියෙනවා. අපේ මේ කයින් කරන්නාවූ නානාප්‍රකාර ක්‍රියා කළාප, වචනයෙන් කියන්නාවූ දේවල් මේ කය මුල්කරගෙන, කතාකරන, ක්‍රියාකරන වැඩපිළිවෙලක් තියෙනවා. මෙන්න මේ වැඩ පිළිවෙල හරි අගේ ඇති එකක් කියලා හිතාගෙන, මුළාව නිසා අපි මේ වැඩපිළිවෙලට බැඳිලා ඉන්නවා ඡන්දරාගයෙන්. මෙන්න මේ සසර පැවැත්මට හේතුවෙන අපේ එක කොටසක්. ඒ වගේම ලැබෙන්නාවූ සැප, දුක්, මධ්‍යස්ථ කියන වේදනාවල් එනකොට ඇලීම, ගැටීම, මුළාව කියන මේවට පත්වෙලා, ඒවා හරි වටිනා දේවල් කියලා, ඒ ආස්වාදයන්, ඒ වින්දනයන් වටිනවයි කියලා ඒ වේදනා කෙරෙහි ඡන්දරාගයෙන් බැඳිලා ඉන්නවා.
ඒ ඒ ආකාර හටගන්න චිත්ත ස්වභාව උඩ හරි වටිනා දේවල් කියලා හිතාගෙන අපි ඒවට බැඳෙනවා. ඒවට බැඳිලා නිසා ඇලීම, ගැටීම, මුළාව කියන මේ තුනට පත්වෙලා ව්‍යාකූල වෙනවා. පැවැත්මෙන් ගැලවෙන්න බෑ. මේ ලෝකයේ ස්වභාව, දරන ස්වභාවයන්ගේ තිබෙන යථාර්තය දැක්කෙ නැතුවහම හරි වටිනා දේවල් මේ ලෝකෙ තියෙනවා කියලා ඒවා හිතමින්, පතමින් ඒ තුළ ජීවත්වෙන්න බලනවා. මෙන්න මේ හතර ආකාරය නිසා මේ පැවැත්මෙන් නිදහස් වෙන්න බෑ, විමුක්තිය ලබාගන්න බෑ. ලෝකයේ ඡන්දරාගයෙන් බැඳුනා කියන එක හතර ආකාරයකට විග්‍රහ කරලා, විස්තර කරලා දීම තමයි “කාය, වේදනා, චිත්ත, ධම්ම” කියන මේ හතර පොළේ බැඳිලා ඉන්නවා කියලා පේන්නෙ.
එකපාරටම ඡන්දරාගය දුරුකරගන්න කියන එක තේරුම්ගන්න බැරි නිසා ඒ ඡන්දරාගයෝ හටගන්න තැන් විග්‍රහ කරලා තේරුම්ගන්න ඕනෙ. ඒකට අවශ්‍යය කරන හතර ආකාරයට කරන විග්‍රහයක් තියෙනවා “කාය වේදනා චිත්ත ධම්ම” කියන මෙන්න මේ හතර කොටසට ඡන්දරාගයෙන් බැඳෙන තැන් බලාගන්න විග්‍රහ කරපු ක්‍රමයක්.
ඊටපස්සෙ “කාය” කියන කොටස විග්‍රහ කරනවා. “ඇලීමට ගැටීමට මුළාවට හේතුවෙන විදිහේ කායික ක්‍රියාකලාපයෝ මොනවද?” කියලා හොයලා බලන ක්‍රමයක් කියල දුන්නා “මෙන්න මේ ක්‍රමය තමයි මේ ඇලෙන්න ගැටෙන්න මුලාවට පත්වෙන්න මේ ස්වභාවය ඇතිවෙන්නෙ” කියලා. මෙන්න මෙබඳු වන්නාවූ ක්‍රියා කලාපයන්ට, කතා විලාසයන්ට ගෝචර වුනහම, ඒවා තමයි හේතුවෙන්නෙ එක්තරා සසර පැවැත්මේ ඡන්දරාගයෙන් බැඳීමකට, ඡන්දරාගයක් ගොඩනඟන්න.
එහෙනම් ඔන්න ඕක විග්‍රහ කරලා තේරුම්ගත්තහම අපිට යමක් අයින් කරගතයුතු ද? ඡන්දරාගයට ආහාරය දෙන කායික ක්‍රියාවලිය අයින් කරගන්න පුළුවන්. කායික ක්‍රියාවලිය නිසා යම් හටගත් ඡන්දරාගයක් ඇත්ද, ඒ කායික ක්‍රියාවලියේම ක්‍රියා කලාපය ආහාර කරගෙන තමයි ඒ ඡන්දරාගය ජීවත්වෙන්නෙ. ඒක හේතු ඵලයක් මිසක්, කයින් වචනයෙන් කරන්නාවූ වැඩපිළිවෙල නිසා ගොඩනඟාගත්ත මානසික ඵලයක් නිසා ඒ ඡන්දරාගය, ඒක ජීවත්වෙන්නෙත් ඒවම ආහාර කරගෙන. ඉතින් මනා සිහියෙන් ඉඳලා ඒ ආහාරය නතර කරන්න අපිට පුළුවන් වුනාට, ඒ කායික වාචසික ක්‍රියාවලිය නිසා ගොඩනඟපු ඡන්දරාගයට ආහාර නැතුව යනවා. අන්න කායික, වාචසික වශයෙන් ගොඩනඟාගත්ත ඡන්දරාගය නැතිවුනහම ඒ කොටස මැරිලා යනවා, විඤ්ඤාණ නිරෝධ වෙනවා. අන්න නිවන් මඟ.
ඒ වගේම වේදනාවන් ප්‍රියයි, නිච්චයි, සැපයි, ආත්මයි කියන දෘෂ්ඨියෙන් බදාගෙන ඒවා පස්සෙ ඇලි ඇලී, ගැටි ගැටී ඒ පස්සෙ යනකොට වේදනා නිසා මුල්වෙච්ච ඡන්දරාගයට ඒවා ආහාර වෙනවා. ඒවයින් ගොඩනැඟිච්ච ඡන්දරාගයට ඒවා ආහාර කරගෙන මිසක් ජීවත්වෙන්න බෑ. ආහාර නොගත්තොත් ජීවත්වෙන්න බෑ. ඒ නිසා මොකද කරන්නෙ, උපක්‍රමයකින් අපි දැනගන්නවා එබඳු වේදනා ආහාර වෙන ඒවා තේරුම් අරගෙන, ඒ ඡන්දරාගයට ආහාර දෙන්නෙ නැතුව නවත්වනවා. වේදනාව නැමැති ඡන්දරාගයේ බැඳීමේ ආහාර නැතිවීමෙන්, ඒ ඡන්දරාගයට ආහාර දුරුවුනහම වේදනා නිසා හටගත්ත ඡන්දරාගය නිරෝධ වෙනවා.
ඒ ඒ චිත්ත ස්වභාවයෝ ප්‍රියයි, මනාපයි, යහපතයි කියලා අරගෙන, ඒකෙ බඳවගෙන හිත බැඳිලා, රැඳිලා නිච්චයි, සැපයි, ආත්මයි කියන දෘෂ්ඨියෙන් ඒ පසුපස හඹා ආ නිසා සිත පිළිබඳ ඡන්දරාගයන්ගෙන් ලෝක සත්ත්වයා ග්‍රහණය වෙලා, ඒවා ගොඩනඟාගෙන ඉන්නවා. පැවැත්මට හේතුවෙන ඡන්දරාගයක් නිසා ඒ ඡන්දරාගය හටගත්ත යම් චිත්ත නිසා හටගත්ත නිච්චයි, සැපයි, ආත්මයි කියන දෘෂ්ඨියෙන් බැඳිච්ච ගතිලක්‍ෂණය අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ථ වශයෙන් දකින්න පුරුදු වෙනකොට ඒ චිත්ත කෙරෙහි ඡන්දරාගයට ආහාර නැතිවෙලා යනවා. එබඳු සිතිවිලි දරන්නෙ නැතුව යනවා. රාග සිත් දරන්නෙ නෑ, ද්වේෂ හිත් දරන්නෙ නෑ, මෝහ හිත් දරන්නෙ නෑ. ඒ ඒ හිත්වල හැටි ස්වභාවය දැනගෙන, ඡන්දරාහයට හේතුවෙන යම්කිසි හිතක් ඇත්නම් ඒවා මනා සේ දැනගෙන, පහකර දමලා, අත්හැරලා දමලා කටයුතු කරනකොට, හිත නිසා හටගත්ත ඡන්දරාගයට ආහාර නැත්නම්, ආහාර නිරෝධයෙන් ඡන්දරාගය නිරෝධ වෙනවා. අන්න එතකොට හිත නිසා හටගත්ත කොටසත් නිරෝධයි.
මේ ලෝකයේ ධර්මතාවය නිච්චයි, සුඛයි, ආත්මයි කියලා දෘෂ්ඨියෙන් අල්ලගත්ත, අවිද්‍යා සහගත වැඩපිළිවෙල නිසා මේ ධර්මයන්ගෙන් මිදෙන්න බැරුව ඉන්නවා, ලෝක ස්වභාවයන්ගෙන් මිදෙන්න බැරුව ඉන්නවා. ඒවා අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ථ වශයෙන් දැකලා, ඒවයෙ යථාර්තය දැනගත්තහම, ඒවයෙ බැඳීම, රැඳීම දුරුවෙනකොට, ඒවා තුළ ගැවසීම දුරුවෙනකොට, ඒ ධර්මතාවයන්ගේ බැඳී රැඳී තිබුණ ඒවා දුරුවෙනකොට, ඒ නිසා හටගත්ත ඡන්දරාගයට ආහාරය නැතිවෙලා, ආහාර නිරෝධ වෙනවා. ධර්මයන් කෙරෙහි ඡන්දරාගයත් දුරුවෙලා ගිහාම, ඡන්දරාග නිරෝධයෙන් භව ගමනට හේතුවෙන්නාවූ තණ්හා, උපාදාන නිරෝධ වෙනවා. උපාදාන නිරෝධ වුනහම භව නිරෝධයි. භව නිරෝධ වුනහම ජාති නිරෝධයි, ජාති නිරෝධ වුනහම ජරා, මරණ, සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස ඔක්කොම නිරෝධයි.
ඔය හතර වර්ගයක ආහාරයක් ආහාර කරගෙන හතර ආකාරයකින් ගොඩනැඟෙන ඡන්දරාගය පවතිනවනම්, අන්න ඒ කාරණය තේරුම් අරගෙන, ඒකට හේතුවෙන ආහාරය නිරෝධ කිරීම තමයි “සතර සතිපට්ඨානය වඩනවා” කියල කියන්නෙ. සතර සතිපට්ඨානය වඩනවා කියන්නෙ ඔන්න ඕකයි. ඕකෙ “කාය අනු පස්සනා” කරන්න ඕනෙ. “කාය අනු” කියන්නෙ මේ ක්‍රියා ගොඩක්. අපි නානාප්‍රකාරයෙන් මේ කය ක්‍රියාත්මක කරවනවා. මනා සිහියෙන් ඉන්න ඕනෙ “මේ කය මොනවටද ක්‍රියාත්මක කරවන්නෙ?” මූලික පටංගැන්මෙදි “ලෝභයට, ද්වේෂයට, මෝහයට කොයි මොහොතක හරි මම මේ කය ක්‍රියාත්මක කරනවද?” කියලා මනා සිහියෙන් ඉන්න ඕනෙ. “මගෙ වචනය ක්‍රියාත්මක කරනවද?” කියලා මනා සිහියෙන් ඉන්න ඕනෙ. කය – වචනය මුල්කරගෙන ලෝභයට, ද්වේෂයට, මෝහයට යම් කටයුත්තක් කරන්න යෙදිච්ච අවස්ථාව මනා සිහියෙන් ඉන්නකොට අහුවෙනවා. අන්න ඒ අවස්ථාව ගොඩනැඟිලා එනකොටම මනා සිහිය පිහිටුවාගෙන, සති පට්ඨානය කරගෙන, “මම ඒ රාගයට, ද්වේෂයට, මෝහයට, මේ කයෙන් සහ වචනයෙන් දෙන ක්‍රියා කලාපයෙන් ආහාර දෙන්නෙ නෑ! ඒක නවත්තනවා”.
මොකටද නවත්තන්නෙ? කය වචනය හේතුකොටගෙන හටගත්ත යම් ඡන්දරාගයක් ඇත්ද, ඒ ඡන්දරාගය ආහාර නිසා ජීවත්වෙනවා. ඒකට ආහාර මොනවද? මුළදි පටංගන්නෙ ලෝභ, ද්වේෂ, මෝහ සහගත ආහාර. තව ටිකක් දුරට පුළුවන් වෙනකොට ලෝභ වෙනුවට රාග මුල්කරගන්නවා. රාගය, ද්වේෂය, මෝහය කියන මෙන්න මේ ආහාර තුන මුල්කරගෙන, ඒ ගති මුල්කරගෙන මම කතා කළා නම්, ක්‍රියා කළා නම්, මනා සිහියෙන් ඉඳගෙන ඒ ඒ මොහොතෙදි ඒක හඳුනගෙන, රාග සහගත කථාවක් නම්, ක්‍රියාවක් නම් වහාම පහකර දමනවා. ක්‍රියාත්මක කරන්නෙ නෑ, අක්‍රීය කරනවා. ද්වේෂ සහගත, මෝහ සහගත කතාවක් නම්, ක්‍රියාවක් නම්, මනා සිහියෙන් ඉඳලා ඒ එනකොටම නතර කරනවා. මෙන්න මේක ටික දවසක් පුරුදු වෙනකොට කය වචන දෙක බලා සිටියදි සංවර වෙනවා.
දැන් මේක කාගෙන්වත් ඉගෙනගත්ත එකක්, පොතපතකින් අහගත්ත එකක් නෙමෙයි, තමා දහම් ගෝචර නුවණක් ආවොත් සතියෙන් ඉඳලා, “රාග, ද්වේෂ, මෝහයන්ට මගේ කය වචනය ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙමයි” කියලා දැනගෙන, එබඳු අවස්ථාවක් ආපුහම තේරුම් අරගෙන, අන්න ඒකට මූණදුන්නා, ඒවා බිඳහරින්න. හැබැයි හරි අමාරු වැඩක්. අමාරුවෙන් හරි කරගත්තොත් මොකද වෙන්නෙ, ඡන්දරාගයට ආහාර නොදුන්නොත් ඡන්දරාගය මැරිලා යනවා. අපිට අමාරුව තිබුණෙ ඡන්දරාගය අපිව කුලප්පු කරන නිසා, අපි මෙහෙයවන නිසා. අපිට නිකං ඉන්න දෙන්නෙ නෑ. බොරු කියලා, කේලාම් කියලා, ඵරුෂ වචන කියලා, ප්‍රලාප කියලා පුරුදුවෙච්චි එකෙකුට කට කහනවා කියන්න එකක් අහුවුනහම කියන්න නැත්තම්. හරී අමාරුයි, කේළමක් කියන්න එකක් අහුවුනානම්, එහෙම සිද්ධියක්, අනුන්ගෙ ඇද පළුද්දක් අහුවුනා නම්, කාගෙන්හරි අහගත්තා නම්, විජහට ගිහිල්ලා තමංගෙ යාළුවට ඕක කියනකම් ඉවසගන්න බෑ.
“උඹ දන්නවද වැඩක්, කියන්න එපා කාටවත්. අහගනිංකො, අර ගෙදර එකාට වෙච්ච සිද්ධිය, මෙන්න මේකක් වුනා…” දැන් හරි කැමතියි ඔය ළාමක කියමන් වලට. හරි ප්‍රිය ස්වභාවයක් තියෙන්නෙ. හැබැයි සියල්ලන්ටම කේලාම් කියන්න ආසා නෑ. ඔය තැනින් තැන කියලා ඕකෙ රස විඳින්න පුරුදුවෙච්චි එකාට හරී අමාරුයි ඕක නොකර ඉන්න. අනුන්ගෙ ඇද පළුද්දක්, අනුන්ගෙ අඩුපාඩුවක් ගිහින් කියලා තව කෙනෙක් එක්ක සතුටුවෙන්න තියෙනවනම් කිය කියා, අහන්නත් කැමතියි, කියන්නත් කැමතියි ඒ ජාතියෙ දෙන්නෙක් එකතු වුනහම. හැබැයි මොකද්ද වෙන්නෙ? වචනය නිසා යම් ඡන්දරාගයට ආහාරයක් ලැබුණා නම්, සසර පැවැත්මට හේතුවෙන, සතර අපා දුකට හේතුවෙන වැඩකට ඡන්දරාගය ගොඩනැඟෙනවා.
මෙන්න මේනිසා අපි දැනුවත් වෙන්න ඕනෙ, දුකට හේතුවෙන මර උගුලක් වන බොරුව, කේලම, ඵරුෂ වචන, ප්‍රලාප කියන ඒවට ආසා තියෙන ඡන්දරාගය දුරුකරගන්න ඕනෙ. අමාරුවෙන් හරි මුළ පටන්ගත්තා නම් ටික කාලයක් යනකොට මොකද වෙන්නෙ, “ඔය ගෑණි පැත්තට ගෙන්නන්න එපා. මොකද, ආවොත් ගිණියක් ගෙඩියක් අවුලවලා යන්නෙ. අනුන්ගෙ මොකක්හරි කුණුගොඩක් ගෙනත් දාල, ඔළුවට දාලා තමයි යන්නෙ. මහ කාළකන්ණි ගෑනි, ඔය ගෑනි ආපුහම මේ පවුලෙ හැමදාම අවුල්. මටනම් පෙන්නන්න බෑ ඔය ගෑනි එනකොට…” කියලා කට්ටියක් බණිනවා. ප්‍රිය කරන්නෙ නෑ ඒවා. “ඔය මිනිහා ආවොත් හැමවෙලේම මොකක්හරි එකක් අවුස්සලා යන්නෙ. අනුන්ගෙ ඇදක් පළුද්දක් කියලා, නැති එකක් හදලා කියලා තමයි යන්නෙ. කවුරුහරි විකිණෙන එකක්මයි කියලා යන්නෙ. ගෙන්නගන්න එපා පළාතක, මහ කාළකන්ණි ජාතියක්. පවුල් අවුල් වෙනවා ඕකුන් ආපුහම…” දැන් ඔය නිග්‍රහය ලබන්න හේතුවෙනවා මෙළොව වශයෙන්ම පේනවා බොරුව, කේළම ඇසුරුකරන පුද්ගලයාගේ ස්වභාවයට ලෝකයා දෙන ප්‍රතිචාරය.
නීච වචන, ඵරුෂ වචන කියනවනම්, “අපෝ හරි කරදරේ. පොඩි එකෙක් හදාගන්න නෑ ගෙදරක. අර කාළකන්ණියගෙ සද්දෙ ඇහිලා තමයි මේකත් මේ අර පදේ කියන්නෙ…” දැන් කොච්චර කියනවද ගෙවල්වල? “ළමයෙක් හදාගන්න විදිහක් නෑ මේ කාළකන්ණියා හින්දා. නෙද්දකිං විතරක් කියන කතා වල හැටි. අහං ඉන්න බෑ කියන ඒවා”. ඵරුෂ වචන කියනකොට ස්වභාවය ඒකයි. දැන් මෙළොවදිම ඔය නිග්‍රහය පුද්ගලයා මුල්කරගෙන ලැබෙනවා නේද. “ඕං ආවා රස්තියාදුකාරයා, දැන් ඉතින් වැඩක් කරගන්න එකාට වැඩක් කරගන්න දෙන්නෙත් නෑ, ඔහෙ කොළොප්පං කර කරා, විහිළු කර කරා කාලෙ ගතකරලා යන්න යනවා, කාළකන්ණියෙක්. අපේ එවුන්ටත් කැඳ නැතිවෙනවා මූ ආවට පස්සෙ මෙතන. ඕකා නම් නොඑන එකමයි කාරිය…” දැන් අන්න එනවට කැමතිත් නෑ. මොකද, හිස් පුද්ගලයා හිස් වචන කිය කියා දොඩව දොඩවා ඉන්න එකා එනවට කැමති නෑ. බලපුහාම කියපු දේකුත් නෑ, කරපු දේකුත් නෑ. බක බක බක ගගා හිටියා, හිනා වෙවී හිටියා, අරවට මේවට තට්ටු කර කරා හිටියා, කාලෙ කාලා යන්න ගියා. බලපුහම ළූණු ගෙඩියත් ඉවරයි, අල ගෙඩියත් ඉවරයි, මිරිස් කරලත් ඉවරයි, පාං කෑල්ලත් ඉවරයි, තිබිච්ච එක අනිකාට ගෙනත් තිබිච්ච ආහාර පංගුවත් ඉවරයි. ඒකත් කාලා, සීනි බෝතලෙත් ඉවර කරලා, හොද්දට බස්ස්ලා යනවා. යන්නෙ නෑ එත්, පන්නගත්තහම බැරිම තැන තමයි යන්නෙ. උට ඒ ප්‍රලාපය ඒ තරම් හරි වටිනවා. මිනිස්සුන්ගෙ ලෝකෙ ඉන්න සියළු මනුස්සයන්ගෙ වැඩකටයුතු අඩාල කරනවා.
දැන් මෙහෙම මනුස්සයා දැක්කට පස්සෙ ලෝකයා ප්‍රිය කරන්නෙ නෑ. හැබැයි ඒ මනුස්සයට කිවුවොත් එහෙම, “මා තරම් වටිනා කෙනෙක් තව කවුරුත් නෑ. මං තමයි සමාජයේ හොඳින් ඉන්න දන්නෙ…” මං තමයි කවුරුත් එක්කල හොඳින් ඉන්නෙ. එයා තමාගෙ වාසියට කතාකරනවා. මිත්‍යා දෘෂ්ඨිය නිසා, මුළාව නිසා තමාගෙ අවැඩ, තමංගෙ අඩුපාඩුව තමංට පේන්නෙ නෑ. ඉතින් මෙන්න මේවගේ බොරු, කේලාම්, ඵරුෂ වචන, ප්‍රලාප කියන ඒවා මනාසේ මේවා අහල තේරුම් අරගෙන, “මං අතිනුත් මේවා කොතනකදි හරි සිද්ධවෙනවද?” කියලා යම් කෙනෙක් මනා සිහියෙන් ඉඳලා තේරුම් අරගත්තා නම් අන්න එතනදි ඔහුට පුළුවන් වෙනවා කායානුපස්සනාව තුළින් වචනයෙන් වෙන්නාවූ ඡන්දරාගයට හේතුකාරක වන ආහාරය දුරුකරගන්න.
එතකොට මොකද කරන්නෙ? කයින් කෙරෙන වැඩපිළිවෙලක් තියෙනවා. ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර කයින් කරන ක්‍රියා කළාප. “අනේ අපේ ගෙදර එකා මේ හරි ලස්සනට, බොහොම හොඳට හිටියෙ ගෙදර. සතෙක් මරන්න තියා කූඹියෙක් මරන්නෙ නැතුව හිටපු එකා, බලන්නකො. ඔය හොරෙන් කුරුම්බා කාලා අරගෙන ගියා. අන්න අරපැත්තෙන් නම් වෙඩි සද්ධයක් ඇහුනා. බලන්නකො ඌත් එක්කල ගිහිල්ලනෙ දඩයමේ. දැන් අපේ එකාටත් සත්තු මරනවා කියන එකේ ගානක් නෑ. හරි වැඩේ වුනේ අර අසත්පුරුෂ කාළකන්ණියා එක්කල එකතුවෙලා…” අන්න ප්‍රාණඝාතය කරන එකෙක් එක්කලා එකතු වුනහම සිද්ධවෙන දේවල්. හොර, මැර, වංචා කරන එකෙක් කියමු, “ඌ කතාකරලා හෙමින් සීරුවෙ එක්ක ගියා. අපේ එකත් පටලවලා අහවලාගෙ ගේ කැඩුවනෙ. කොච්චර හොඳට හිටපු ළමයද දැන් නම කැත වෙලා ගියානෙ”. අන්න නිග්‍රහ කරනවා. දැන් ඔය මෙළොවදිම ලබන්න තියෙන පැහැදිලි ම නිග්‍රහ, නරක දේවල්.
කාම මිත්‍යාචාරය, “මහ ජඩයා, කාළකන්ණියා. ගෙදරට තියා පැත්ත පළාතට ගෙන්නගන්න වටින එකෙක් නෙමෙයි, මහ කුපාඩියා” නීච නිග්‍රහ ඔක්කොම ලබන්න වෙනවා කාම මිත්‍යාචාරයටත්.
ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර කියන මේ කයින් කරන රාග ද්වේෂ මෝහ සහගත වැඩ වලට අයිති ඒවා දැනගෙන, “මෙන්න මේවා පහකළ යුතුයි, මේවා තමයි අපිව සතර අපායට ඇද දමන්නෙ, සසර ගමනෙ මුළාවට පත්කරලා දිග්ගස්සන්නෙ මේවා නිසයි කියලා, මෙන්න මේවා තමයි කය නිසා හටගන්න ඡන්දරාගයන්ට මූළික හෙතුටික කියලා දැකලා, ඒ හටගන්න ඡන්දරාගය දුරුකරගන්න නම් ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාරයට අහුවෙන හිතිවිල්ලක්, ක්‍රියාවක්, කතාවක් ගොඩනඟන්නෙ නෑ මම” කියලා යථාර්තය දැනගෙන අත්හරින්න පටන්ගත්තා නම්, අන්න එයා කායානුපස්සනාව තුළින් නිවන් අවබෝධයට අවශ්‍යය කරන වැඩකටයුතු කරගත්තා, සතිපට්ඨානයෙන් යුක්ත වුනා.
ඉතින් අද කායානුපස්සනාව කියන්නෙ මොකේටද? කායානුපස්සනාව හරියට තේරුම්ගත්තා නම් ඔහු ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර, මුසාවාදා, පිසුනාවාචා, ඵරුෂාවාචා, සම්ප්‍රපලාප කියන ක්‍රියාවෙන් සහ කතාවෙන් කරන්නාවූ යම්කිසි රාග ද්වේෂ මෝහ සහගත වැරදි වැඩපිළිවෙලක් ඇත්ද, මෙන්න මේ ටික මනාසේ තේරුම් අරගෙන “මා විසින් කරන, කියන, හිතන මොහොතක, ඕවට අයිති එකක් කොයි මොහොතක හරි සිද්ධවෙනවද” කියලා මනා සිහියෙන් ඉන්න ඕනෙ. එහෙම එකක ඉන්නවද කියලා මනා සිහියෙන් ඉඳලා “ඒකට හේතුකාරකයක් නම්, ඒකට හේතුකාරක ඇසුරක් නම් මට හම්බුණේ වහාම මං ඒකෙන් ඉවත්වෙනවා” මෙන්න මනා සිහියෙන් ඉඳලා ඔයටික කරගෙන යන කෙනාට කායානුපස්සනාව වැඩෙනවා.
ඉතින් ඇයි ඕවා කරන්නෙ? ඇයි මේ වින්දනයට තියෙන ආසාව? ප්‍රිය මනාප මන වඩන වේදනාව පස්සෙ ඇයි මේ යන්නෙ? “මා විසින්ම අරවගේ ක්‍රියා කළාපයන් සිද්ධකරලා, ඒවයින් ගොඩනඟාගත්ත මානසිකත්වය උඩ තමයි දුෂ්ට දේ, අප්‍රිය දේ, නීච දේවල් මට ප්‍රිය වෙන්නෙ, ප්‍රිය වේදනා හැටියට මට ඇතිවෙන්නෙ. මේවා රාග සහගත, ප්‍රියයි කියලා ලෝක සම්මතයෙ ඇතිකරගත්ත වේදනා. මේක ද්වේෂ සහගත වේදනා…” අනුන්ට බැණලා අනුන් අඬනවා දකින්න කැමතියි. අනුන්ට නීච කරලා සංතෝස වෙන්න කැමතියි. අනුන්ට විහිළු – කොළොප්පං කරලා සංතෝස වෙන්න කැමතියි. ඒවා කරලම ගොඩනඟාගත්ත කයෙන්, වචනයෙන්, රාග ද්වේෂ මෝහයන්ට අයිති ඒවා කරලා ගොඩනඟාගත්ත මානසිකත්වය තමයි එබඳු වින්දනයන්ට කැමති.
“එහෙනම් මට මේ පහළවෙච්චි වින්දනය, කෙබඳු කෙබඳු වින්දනයන්ට, ආශ්වාදයන්ට මං කැමතිද, මගෙ මනසෙ ලබන වින්දන මොනවද? මෙන්න මේ මේ ආකාරයෙන් කරන වින්දන වලට මං කැමතියි…” කියලා දකිනවා. සමහර අය සතුන්ට ගහලා, සතුන් මරලා, සතුන්ට හිංගි හිංසා කරලා, උන් වේදනා විඳිනකොට ඒකටත් කැමති වෙනවා. අන්න ඔය සැප වේදනාව විඳිනවා ඔහු ඒකෙන්. හැබැයි මහා විනාසයකට පත්වෙන සැප වේදනාවක්.
හොර මැර වංචා කරලා ඒකෙන් ලාභයක් ලබාගෙන, සුරා සූදු දුරාචාර කරලා ඒකෙන් වින්දනයක් ලබාගෙන, ඒකට ආස්වාද විඳින්න කැමතියි. මෙන්න මේ වගේ ආස්වාද වින්දනයක් ඇත්නම්, මේවට කියනවා මේ හිතේ හටගන්න “පාපකාරී සැප වේදනා”. ඒවාගෙන් එබඳු වේදනාවන් පස්සෙ ගිහිල්ලා හෝ ඒ අයට එබඳු දේවල් ලබන්න නැත්නම් අසහනකාරී දුක් වේදනා වලට පත්වෙනවා. හැබැයි පාපකාරී දේවල් කරන්නෙ නැති දුක් වේදනාව තියෙන එකත් මහ හරයක් නැති වැඩක්.
මෙන්න මේවගේ එතකොට, වේදනා හදුනාගන්න ඕනෙ. මේ මොන මොන ජාතියෙ වේදනාද? රාග, ද්වේෂ, මෝහ තුනට අයිති යම් වේදනාවක් ඇත්නම් ඒවා පාපකාරී වේදනා කියලා මනා සේ තේරුම් අරගෙන එබඳු වින්දනයන් පිළිබඳව, ඒවට ආහාර දෙනවනම්, දෙන්න දෙන්න ඒ වේදනා වැඩෙනවා. ඒකෙ ඡන්දරාගයෙන් බැඳෙනවා ඇතිවෙන්නෙ බෑ කියලා දැනගෙන, අන්න ඒවට දෙන ආහාරය වශයෙන් සිතිවිලි, ක්‍රියා, වදන් අයින් කළානම් වේදනා මුල්කරගෙන සිතිවිලි ක්‍රියා වදන් පාලනය වෙනවා. අන්න වේදනානුපස්සනාව.
එක එක මට්ටමේ චිත්ත ස්වභාවයන් ඇතිකරගෙන, උද්දාමයන් මහන්තත්තයන් ඇතිකරගෙන, තත්ත්ව ඨානාන්තර උදුම්මාගත් හිස් ඇතිකරගෙන මේ ආකාරයෙන් ලෝක සත්ත්වයා චිත්ත ස්වභාවයක් හදනවා. හිතෙන් උස්සගෙන ඉන්නවා “මං මෙහෙම කෙනෙක්, මගෙ තත්ත්වය මේකයි…” ඒ වගෙම තමන්ගෙ හිත්වල තියෙන ආගන්තුග උපක්‍ලේෂ හේතුකරගෙන ඇතිවෙන්නාවූ පාප ගතිලක්‍ෂණ තියෙනවා. රාග ගතිලක්‍ෂණ, ද්වේෂ ගතිලක්‍ෂණ, මෝහ ගතිලක්‍ෂණ මුල්කරගෙන එහෙම ඉන්නවා. අන්න ඒ ගති මනා සිහියෙන් ඉඳගෙන “රාගයට, ද්වේෂයට, මෝහයට හේතුවෙන යම් චිත්ත ස්වභාවයක් මා ලඟ පහලවෙනවා නම් ඒක නීචයි!” කියලා නිග්‍රහ කරලා, “එබඳු දේ පහකර දමලා ඒ මානසිකත්වයෙන් මං ඉවත්වෙනවා” කියලා නිතර හිත වැඩුවොත් එහෙම, එබඳු චිත්තයන් නිසා හටගන්න ඡන්දරාගය, තියෙන ආසාව නැතිවෙනවා, ආහාර නැතුව යනවා. ඒ ආහාරය නිරෝධය නිසා එබඳු හිත් පිළිබඳව හටගන්න තිබිචිචි ඡන්දරාගයක් තියෙනවා නම් ඒක දුරුවෙලා යනවා.
මේ ලෝකෙ නානාප්‍රකාර දේවල් වලට තියෙන ආශාවල් තියෙනවා. කාම වස්තු දැකලා කාමඡන්දයෙන් දැඩි හැඟීමෙන් බැඳෙනවා බාහිර ලෝකයේ වස්තු එක්කලා. විරුද්ධකාරයෙක් දැකලා දැඩිසේ ගැටෙනවා, ව්‍යාපාදය නඟනවා. කාමච්ඡන්ද – ව්‍යාපාද මුල්කරගත්තහම ධර්මයට හිත තියන්න බෑ, ඒවා මයි වැඩපිළිවෙල. ධර්මයට හිත තියනකොට ඇකිලිලා යනවා. ධර්මය අහන්න හිතෙන්නෙ නෑ, ඒකට සංවර වෙන්න හිතෙන්නෙ නෑ. අර ඇලීම – ගැටීම ඒ තරම් බලවත්ව හිතේ ක්‍රියාත්මක වෙනවා. එක විදිහට එක මානසිකත්වයක් තියාගන්න බෑ “උද්දච්ඡකුක්කුච්ඡ” නිසා වික්‍ෂිප්ත කරනවා. හැමවෙලේම තමා මේ බාහිර ලෝකයේ දෙයක් වටිනවයි කියලා අල්ලගෙන, “කැඩෙයිද බිඳෙයිද විනාස වෙයිද, කඩයිද බිඳියිද විනාස කරයිද හොරු පැහැරගනීද, මා කැමති සේ නැති දෙයක් සිද්ධවෙයිද” කියලා සැකෙන් – කුකුසෙන් කල් ගතකරනවා. ඒවට සැලි සැලී දඟලනවා. එබඳු මානසික වික්‍ෂිප්තතාවයන් ඇතිවෙනවා.
“මෙන්න මෙබඳු වන්නාවූ නීවරණයෝ මා ලඟ ක්‍රියාත්මක වෙනවද” කියලා තමා තමා තුළ විමසලා බලන්න ඕනෙ. වෙනවනම් දැනගන්න ඕනෙ, රාග සහගත ද්වේෂ සහගත මෝහ සහගත ඒවට අයිතිනම් ඒවා, ඒවා සතර අපා උප්පත්තියට සහ අසහනකාරී පැවැත්මට හේතුවෙනවා. නිවන් මඟට බාදයි. නිවන් මඟ වැහිල තියෙන්නෙ ඒවයින්. අනාථය තේරුම් අරගෙන, ආදීනව තේරුම් අරගෙන, එබඳු බැඳීම් – රැඳීම් තිබුණා නම් මනසින් ඉවත්කරගන්න ඕනෙ අසහන බව දැනගෙන. මෙන්න මේටික කරනකොට ඒ ඒ තැන, ඒ ඒ තත්ත්වයක් දරන “ධම්ම අනුදකිනවා” – ධර්ම කොටස් දකිනවා.
ඡන්දරාගයෙන් බැඳිලා රැඳිලා හිටපු කොටස් දකිනකොට “අත්හැරිය යුතුයි, නොඇලිය යුතුයි, මිදිය යුතුයි” කියලා නිගමනයක් එනවා. අත්හැරිය යුතු දේවල්, ඒ වගේම නොබැඳිය යුතු දේවල්, මිදියයුතු දේවල් කියලා ඒවා පිළිබඳව නිගමනයක් ඇතිවෙනවා. “අත්හැරිය යුතු දේවල් අත්හැරිය යුතුයි. මං එසේ ක්‍රියාත්මක විය යුතුයි” කියලා ක්‍රියාත්මක වෙන්න පටන්ගත්ත වෙලේ පටන් සතර සතිපට්ඨානය වැඩෙන්න පටන්ගන්නවා. බලනකොට ශාන්ත බවට – ප්‍රණීත බවට පත්වෙලා තියෙනවනම්, ආහාර නැති නිසා ඡන්දරාගය නිරෝධ වෙලා එතකොට.
“පෙර මට මෙබඳු කාමරාගයක් තිබුණා, දැන් ඒක නෑ. අත්හැරී ගිහින් – නො ඇලී ගිහින් – මිදී ගිහින්” අත්හැරී ගියා, නොඇලී ගියා, මිදී ගියා කියල දැකගන්නවා. “පෙර මෙබඳු ව්‍යාපාදයක් තිබුණා දැන් ඒක නෑ. මොකද, අත්හැරී ගියා, නොඇලී ගියා, මිදී ගියා”. මනා සිහියෙන් ඉඳලා ආහාර නොදී හිටපුහම සංඝ තත්ත්වයට පත්වෙලා, විඤ්ඤාණ මැරිලා ගිහිල්ලා ඡන්දරාගය නිරෝධ වෙනවා. “දැන් මට ප්‍රශ්නයක් නෑ, ශාන්තයි – ප්‍රණීතයි! අත්හැරීමේ, නොඇලීමේ, මිදීමේ ශාන්තිය, ප්‍රණීතය මං අත්දැක්කා… ඒ තමයි නිවන් සුවය”. අන්න දකිනවා.
එතකොට දකිනවා, සතර සතිපට්ඨානය වැඩුවා, හිතලා හොයලා බලනකොට අංශු මාත්‍රයකවත් අස්සක් මුල්ලක් නෑර බැලුවම කොතනකවත් නැත්තම් මාත්‍රයක්වත් පහලවෙලා, අයින්කරන්න ඕනෙ ඔක්කොම අයින්කරලා ඉවරයි. තව අයින්කරන්න දෙයක් ඉතුරුවෙලා නෑ. යම්කිසි බ්‍රහ්ම චරියාවක් පූර්ණය කරානම් මේ තත්ත්වයට පත්වෙන්න, මං ඒක කරගෙන ඉවරයි. මීටපස්සෙ ඡන්දරාගයක් මට නැත්නම් ඡන්දරාගය නිසා බැඳුනු ලෝක සම්බන්ධයම මගෙ නෑ. එහෙනම් ලෝකයත් එක්කලා යම් තැනක හටගැනීමට, පැවැත්මට හේතුවක් තිබුණා නම් හේතුව නිරෝධයි. එහෙනම් මින් එහාට උප්පත්තියක් මට නෑ! කියලා දැක්ක නම් අරිහත් ඵලය ප්‍රකාශ කරනවා “මං මෙතෙන්ට පත්වුනා” කියලා.
අන්න, යමෙක් අරිහත් ඵලය ප්‍රකාශ කරනවනම් ඔය ආකාරයෙන් තමා තුළ රාගය, ද්වේෂය, මෝහය අන්තිම අඩුවටම, ඉවරෙටම ප්‍රහීණයි කියල දකින්න ඕනෙ. තමා තුළින් මේක දැකගන්න ඕනෙ. එහෙම දැක්කනම් කියන්න පුළුවන් “මං රාගක්‍ෂයයි, ද්වේෂක්‍ෂයයි, මෝහක්‍ෂයයි, මෙන්න මේ ක්‍රමයට අනුගමනය කලේ. මේ ක්‍රමයටයි සතර සතිපට්ඨානය වැඩුවෙ, වැඩීමේ ප්‍රතිඵලය මෙහෙමයි ලැබුවෙ. මෙන්න මෙහෙම මිදීමට පත්වුනා. මින් එහාට මට ආර්ය මාර්ගය පූර්ණය කරලා ඉවරයි, තවත් කරන්න දෙයක් ඉතුරුවෙලා නෑ” කියලා අරිහත් ඵලය ප්‍රකාශ කළහැකි අන්න එහෙම කෙනෙකුට. එතකන් සතර සතිපට්ඨානය ඔය විදිහට වඩන්න ඕනෙ.
ඉතින් සතර සතිපට්ඨානය වඩනවා කියන්නෙ ප්‍රායෝගික ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය කරගෙන යනකොට හේතුව නිරෝධයෙන් ඵල නිරෝධ වීම නිසා ඡන්දරාගය නිරෝධ වෙනවා. ඡන්දරාගය නිරෝධ වීමෙන් භවයට බැඳීමක්, රැඳීමක් රැඳීමක් ගැන තණ්හාවක්, උපාදානයක් තිබුණා නම් ඒක නිරෝධ වෙනවා. උපාදානයක් නිරෝධ වුනානම් භව නිරෝධයි, භව නිරෝධ නම් ජාති නිරෝධයි, ජාති නිරෝධ නම් ජරා මරණ සෝක පරිදේව දුක් දොම්නස් උපායාස නිරෝධයි. ඉන් එහාට තවත් දුකක් නැතිකිරීම සඳහා යමක් කටයුතුද, කටයුතු සියල්ල කරලා ඉවරයි කියලා තමාටම තීරණයක් තියෙනවා. මෙන්න, සතර සතිපට්ඨානය වඩනවා කියන්නෙ මෙන්න මේකයි.
ඉතින් ඔයටික තේරුම්ගන්නකොට දැන් අපි මේ කිවුවෙ “පහ කළයුතු පැත්ත”. පැත්තක් පහ කරනකොට පැත්තක් ඇසුරු කරන්න තියෙනවා. මොනවද, “රාගක්‍ෂයට – ද්වේෂක්‍ෂයට – මෝහක්‍ෂයට හේතුවුනේ කුමක්ද? මං මේ පහ කරපු දේ පහ කිරීමට කුමක්ද ඇසුරු කලේ? පහ කළයුතු දේ මම නිකම්ම පහ කළා නෙමෙයි. පහ කරපු ක්‍රමයක් තිබුණා. මොනවද, රාග සහගත – ද්වේෂ සහගත – මෝහ සහගත හිතිවිලි, ක්‍රියා, වදන් මුල්කරගෙන හටගත්ත කායික ක්‍රියාවලියක් නිසා බැඳීමක් තිබුණද, ඒකෙ ආදීනව බලලයි මම අයින් කලේ. ඒකෙන් වෙන්වීමෙන් ලබන්නාවූ විමුක්තියේ ආනිසංස සිහිකරලයි මං ඒකෙන් මිදුනෙ. මෙන්න මම නිවිච්ච මාර්ගය”.
වේදනාවන් පිළිබඳව, සතර අපායට පත්වෙන පාප සහගත වේදනාවන් පිළිබඳව හඳුනගෙන, ඒ වේදනාවට හේතුවෙන්නාවූ රාග, ද්වේෂ, මෝහ තේරුම් අරගෙන, ඒ මුල්කරගෙන ඒවට ආහාර වශයෙන් දුන්න සිතිවිලි ක්‍රියා වදන් ගොඩනඟපු එක නතර කරලා ආහාර නිරෝධය නිසා වේදනාවේ ඡන්දරාගය නිරෝධ කිරීමෙන් මං වේදනාවන්ගෙන් නිරෝධ වුනා. වේදනා නිරෝධය කියන්නෙ වේදනාවේ බැඳීමෙන් තියෙන නිරෝධය. සුව දැන්නෙ නැතුව නෙමෙයි, රස දැනෙන්නෙ නැතුව නෙමෙයි. රසය දැනෙන එකත් විඳීමක්, ඒකත් දැනීමක් නෙ. ඒක නෙමෙයි මෙතන “වේදනා නිරෝධ කරනවා” කිවුවෙ. “වේදනා අනුපස්සනා කරනවා”.
යම් වේදනාවක් නිසා යම් තැනක බැඳෙනවනම් ප්‍රියයි මනාපයි කියලා, අවිද්‍යාවෙන් නිච්චයි, සැපයි, ආත්මයි කියන මේ දෘෂ්ඨිය මුල්කරගෙන මෙන්න මේ බැඳෙන එක තමයි ඡන්දරාගයට මුල්වෙන්නෙ, ඡන්දරාගයට ආහාරය. රහ දැනෙන එකවත්, සුවඳ දැනෙන එකවත් නෙමෙයි. නිච්චයි, සැපයි, ආත්මයි කියන දෘෂ්ඨියෙන් ඒවා පිළිබඳව තිබෙන්නාවූ දෘෂ්ඨි සහගත බැඳීම ඡන්දරාගයට ආහාරයක් වෙනවා. අන්න ඒක දැනගෙන ඉවරවෙලා ඒ වේදනාවන් දුරුකරගත්තා නම් “මේ වේදනා මේ ආකාරයෙන් මට තණ්හාවට හේතුවෙනවා. එබඳු වේදනාවක් හටගත්තානම් ඒ තාක්කල් මම වේදනා පච්චයා තණ්හා – තණ්හා පච්චයා උපාදානං – උපාදාන පච්ච්යා භවෝ – භව පච්චයා ජාති කියන මේ චක්‍රයෙන් මිදිලා නෑ”.
මේ චක්‍රයෙන් මිදෙන්න නම් රාග සහගත, ද්වේෂ සහගත, මෝහ සහගතව ඡන්දරාගයෙන් බැඳිලා හටගන්න යම්කිසි දෙයක් පිළිබඳ යම් වේදනාවක් ඇත්ද, මෙන්න මේ වින්දනයෙ ඡන්දරාගයෙන් මිදෙන්න ඕනෙ. වේදනා පිළිබඳ යම් ඡන්දරාගයක් තිබුණා නම් ඒවා නිකම්ම වේදනා නෙමෙයි, සසර ගමනට හේතුවෙන “සම්ඵස්සජා වේදනා”. වේදනා – සම්ඵස්සජා වේදනා වෙනවා අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් ඔය විදිහට බැඳුනොත්. අන්න ඒ ඡන්දරාගය නිසා බැඳීම අයින්වුනාට පස්සෙ වේදනා වේදනා ඉතුරුවෙනවා, සම්ඵස්සජා නිරෝධයි. සම්ඵස්සජා නිරෝධ වෙච්චි වේදනා වලින් සසර ගමනට ගෙනියන්න හේතු නෑ. එහෙනම් සසර ගමනට “වේදනා පච්චයා තණ්හා” ඇතිකරන්නෙ, “සම්ඵස්සජා වේදනා” වලින් තමයි තණ්හා ඇතිකරන්නෙ. වේදනාව හෙවත් දැනීමක් ආව පලියට තණ්හාව ඇතිවෙන්නෙ නෑ. ආපු දැනීම තුළ මුළා සහගත හිතකින් බැඳුනොත්, ඡන්දරාගය පහල කළොත්, ඡන්දරාග සහගත වේදනාව තමයි සම්ඵස්සජා වේදනා කියන එක හටගන්නෙ. අන්න ඒ සම්ඵස්සජා වේදනාව තමයි “වේදනා පච්චයා තණ්හා – තණ්හා පච්චයා උපාදාන” කියන තැනට සම්බන්ධ වෙන්නෙ. ඉතින් මේ නිසා කරුණු තේරුම් අරගෙන ඡන්දරාගය දුරුකරගන්න ඕනෑ වේදනා වල. වේදනා නිරෝධ කරනවා කියනකොට “වේදනාවෙ ඡන්දරාගය නිරෝධ කරන්න ඕනෙ”.
දැන් අපි කතාවට කියනකොට මේ කතාව කියනකොට එක අර්ථයක්, ඒකෙන් ගැඹුරු අර්ථයක් එන්න නම් මේ ගැඹුරු අර්ථ හැමවෙලේම වටහගන්න ඕනෙ. දැන් අපි කියනවා “බත් උයන්නෙ නැද්ද?” මොකටද බත් උයන්නෙ? “බත් ඉවුවෙ නැත්තම් කන්නෙ මොනවද?” කියලත් අහනවා. “ඉතින් බත් උයන්න ඕනැයි, බත් තිබුණම කන්න බැරියෑ! බත් ඉවුවොත් කැඳ වෙනවනෙ…” දැන් අපි තව කතාවක් දානවා ඕකෙ. එතකොට කියනවා “හාල් උයන්න ඕනෙ” කියලා අනිත් සැරේ කියද්දි. දැන අපි ගත්තොත් සම්මතයෙ කතාකරපුහාම කිවුව අදහස ගත්තෙ නැතුව ඒ වචනෙම තෝරන්න ගියොත් මොකද වෙන්නෙ, “බත් උයන්න ගියා” කිවුව ගමන්ම ඉතින් “බත් උයන” හැටි අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා. බත් උයනවා කිවුවට බත් නෙමෙයි ඉවුවෙ, හාල්. හැබැයි කිවුවෙ බත් උයනවා කියලා.
ඉතින් මෙන්න මේ විදිහට “ලිපට ගින්දර දැම්මෙ නැත්තම් හොඳට, බත් හැළිය ඇට්ටකුණා වෙනවා” යි කියනවා.
“මම අන්න ලිපට ගින්දර දැම්මා. බත් හැළිය ඉදුනෙ නෑ නෙ…”
“ඒ කොහොමද?”
“ඉතින් ලිපට ගින්දර දැම්මහම බත් හැළිය හොඳට ඇට්ටකුණා වෙන්නෙ නැතුව ඉදෙනවා කිවුවනෙ, ඉතිං මං ලිපට ගින්දර දැම්මා”
“එතකොට බත් හැලිය”
“ඒක තියෙනවනෙ පැත්තක, හාල් ටික… ඉතින් මට කිවුවයෑ එහෙම එකක්! මට කිවුවෙ හොඳට ලිපට ගින්දර දාන්න කියලා. ඉතින්ං මං ලිපට ගින්දර දැම්මා නෙව…”
දැන් මේ එක වචනයක් කියනකොට මේකට ඈඳිලා තියෙනවා අදහසක්. ඒ අදහස ගන්නෙ නැතුව අර කිවුව වචනයේ කිවුව ටික විතරක් ක්‍රියාත්මක කරොත් අපිට මොකක් වෙයිද? අපිට එහෙම අපේ ජීවිතයේ කතා කරනකොට අපේ කතා ශෛලියක් තියෙනවා. ඉතින් මේක අපි හරියට දැනගන්න ඕනෙ, කියන දේවල්.
“ඔය රෙද්ද ඇඳගන්න” කියනවා. එහෙම ඒක කරේ ඔතාගෙන යනවා.
“මොකද්ද ඔය කරන්නෙ?”
“ඉතින් මට කිවුවැයි ඉනේ ඇඳගන්න කියලා?”
“දැන් ඒක කියන්න ඕනැද?”
දැන් අපේ භාවිතයෙදි අපි කෙටියෙන් කතා කරන වචනෙන් ඒකෙන් හැඟීම දුන්නෙ මොකද්ද කියලා අපි දැනුවත් වෙලා තියෙනවා. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කලේ පොත්වල ලියන්න යන්නෙ නැතුව, බුදුරජාණන් වහන්සේ දේශනා කළා “මේ ධර්මය පොත්වල ලියන්න එපා, මේක මුඛ පරම්පරාවෙන් අර්ථවත්ව අරං එන්න. මේ වචනයෙන් කිවුවෙ මොකද්ද කියලා අහලා දැනුවත් වෙන්න. ඊටපස්සෙ වචන භාවිතා කරන්න.” අන්න වචන භාවිත කරනකොට ඒ වචනෙන් කිවුවෙ මොකද්ද කියලා ඉස්සෙල්ලා ඒ මූල ධර්මධරයන් වහන්සෙලාගෙන් අහගන්න ඕනෙ. එතකොට “මේ වචනෙ කියනකොට මේකෙන් කිවුවෙ අහවල් එකයි” කියලා එයා දැනුවත් වෙනවා.
හැබැයි පොතක ලියන්න ගියොත් ඔය වැඩේ කරන්න බෑ. මොකද එක එක්කෙනාට දැනුවත් වෙන්න එක එක විදිහෙ අදහස් වලින් කියලදෙන්න ඕනෙ. එක අදහසකින් කිවුවම ඒකෙන් දැනුවත් කරන්න බෑ සියල්ල. ඒ ඒ පුද්ගලයාගේ මති මතාන්තර නොයෙක් ආකාරයි, අදහස් නොයෙක් ආකාරයි. තේරුම්ගන්න පුළුවන් දේශකයන් වහන්සෙලා ඔහුට වැටහෙන හැටියට, ඔහුට ගැළපෙන උදාහරණ, උපමා වලින් අවශ්‍යය කිවුව කාරණය විග්‍රහ කරලා දෙන්න ඕනෙ, “මෙන්න මේ අදහසටයි ඕක කිවුවෙ” කියලා. දැන් එයාට ඒ පදය භාවිතා කරනකොට අර මතක් කරලා, විග්‍රහ කරලා දුන්න අදහස හිතට එනවා. අන්න එතකොට ධර්මය වරදින්නෙ නෑ. “වචනය අමතක වේවා, අදහස වැටහේවා!” කියලා කාල සිටු පුත්‍රයට ධර්ම දේශනා කරලා, කාල සිටු පුත්‍රයා සෝවාන් වුනේ වචනෙන් නෙමෙයි, අදහසින්. {{ අනාථපිණ‍්ඩකපුත‍්තකාලවත්‍ථු }}
මෙන්න මේ වගේ, අදහස ඔප්නංවන්න හරි අමාරුයි පොතක ලිවුව වචනයකින්. ඒක දේශකයන් වහන්සේ නමක් ඒ ඒ පුද්ගලයාගේ චරිත ලක්‍ෂණ බල බලා, ඔහුට වැටහෙන ක්‍රම අහලා, ඔහුගෙන් ප්‍රශ්න කරමින්, ඔහුට වැටහුනද කියලා තීරණය කරගෙන, හරිආකාරව දැනුවත් වෙලා, එහෙම දැනුවත් කළොත් තමයි ධර්මාවබෝධයකින් යමෙක් දැනුවත් වෙන්නෙ.
ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවල් වල අපි දැනගන්න ඕනෙ මේ සතර සතිපට්ඨානය ආදී හැම එකක්ම කියනකොට මේක විග්‍රහ කරන්න ඕනෙ. අන්න විග්‍රහ කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මූලධර්මයට එකඟ වෙන්න ඕනෙ. යම් මඟක් ඇසුරු කරනකොට රාගක්‍ෂය වෙනවා නම්, ද්වේෂක්‍ෂය වෙනවා නම්, මෝහක්‍ෂය වෙනවා නම් ඒක බුදු මඟ, ඒක නිවන් මඟ, ඒක සතර සතිපට්ඨානය.
ඉතින් නානාප්‍රකාරයෙන් සතර සතිපට්ඨානය විග්‍රහ කරන්න පුළුවන් එක එක්කෙනාට. “පොතේ තියෙන්නෙ ඔහොම නෙමෙයි, මෙහෙමයි” කියලා තව එක්කෙනෙක් කියන්න පුළුවන්. “අටුවාවෙ කියල තියෙන්නෙ මෙහෙමයි” කියලා තව කෙනෙක් කියන්න පුළුවන්. හැබැයි කියපු ක්‍රමය තුළින් රාගක්‍ෂය, ද්වේෂක්‍ෂය, මෝහක්‍ෂය වෙන්න හේතු න්‍යාය එකඟව තියෙනවා කියලා දැක්කා නම්, පේනවා නම්, ඒක හරියි කියලා පිළිගත්තහැකි. එහෙම නැත්නම් ඒ කරපු විග්‍රහයේ තේරුම්ගන්න පුළුවන් තැනක තව කරුණු අඩුයි කියලා ඒකෙ දකින්න ඕනෙ.
දැන් බුදුරජාණන් වහන්සේ මූලධර්මය දේශනාකරපුවම, “පෙළ දහම” කියලා කියන්නෙ ඒ දේශනා කරපු එකේ සාර ධර්මය, සාර කොටසට, සාරාශය එකතුකරලා එදා මහරහතන් වහන්සේලාගේ ගත්ත කැටිකරපු අදහස්. හැබැයි උන්වහන්සෙලා ඔය අදහස විතරක් දීලා පුද්ගලයා අතරමං කලේ නෑ. ඒකෙන් කියලා දුන්න දේ මෙන්න මේකයි කියලා කියාදුන්නා.
දැන් අපි ලඟ තියෙනවා භාෂාවක් “ශෝට් හෑන්ඩ්” කියලා. යම් සළකුණක් දානවා, වචනයක් වෙනුවට එක සළකුණක් දානවා. හැබැයි සළකුණු ටික විතරක් කෙනෙකුට භාරදෙනවා “මෙන්න මේක කියවන්න පුළුවන් නම් බලන්න …” දැන් කියවයිද? “මොනවදෝ ඉරිකෑලි ටිකක් එහාට ගහලා, මෙහාට ගහලා ටී අකුරු වගේ, අයි අකුරු වගේ මොනවද මේ? ඇතුලට ගහලා, කෑලි කෑලි දඟර ගහලා, මොනවද මේ?” කියල එහෙම කියනවා. හැබැයි ඕක ආචාර්ය පරපුරෙන් ආවා නම්, ඒ ටී අකුරෙ හැඩයට අපි පෙන්නුවෙ “රට” කියන වචනෙ කියලා. දැන් මොනවහරි දානවා එහෙම කෑලි. ඒ හරස් ඉරි කෑල්ලෙන් පෙන්නුවෙ “බෲනා” කියන වචනෙ කියන්න. ඉතින් මේ වගේ එක එක ක්‍රමයක් තියෙනවා ඒගොල්ලො හදලා. ඒකත් ඉගෙනගන්න ඕනෙ. ඒකත් ඉගනගෙන ඒ අනුසාරයෙන් පුරුදුවෙච්චි කෙනාට අර ජාතියෙ අර ඉරිකෑලි ගහලා “ශෝට් හෑන්ඩ්” කියන ලියපු එක දුන්නම හරියට බලාගෙන පත්තරේ කියවගෙන යනවා වගේ කියවගෙන කියවගෙන යනවා ඒකෙ කියාපුවා.
අන්න එතකොට මෙතන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි භාෂාවෙ තියෙන ක්‍රමය ඉගෙනගැනීම. අනික තමයි ඒ ක්‍රමයෙන් කිවුවෙ මොකද්ද කියන එක අහලා, ගුරුවරයගෙන් කල්තියා අහලා තේරුම් අරං ඉගෙනගැනීම. දැන් ඒකට ගුරුවරයා ඉන්න ඕනෙ ඒ ටික කරලා දෙන්න. ඊටපස්සෙ නම් අර ක්‍රම රටාවට ලියපු එක තෝරගන්න පුළුවන් මොකද්ද මේ කිවුවෙ කියලා.
මෙන්න මේවගේ තමයි බුදු දහම තුළ තියෙන පෙළ දහමත්. බුදුරජාණන් වහන්සේ සියළු ආකාරයෙන් පූර්ණව දේශනා කරපු ධර්මය තුළ එදා මහරහතන් වහන්සේලා ඒ ධර්මයේ සාරාංශය කැටිකරලා ඔය විදිහට සටහන් කරල තියලා, “ඔය සටහන් කරපු එකෙන් පෙන්නුවෙ මෙන්න මේ කාරණයයි” කියලා ශුද්ධ අටුවා වශයෙන්, හෙළ අටුවා වශයෙන් විග්‍රහ කළා. හැබැයි විග්‍රහ කරලා දුන්න අදහස බැලුවොත් එහෙම වීත රාගී, වීත දෝසී, වීත මෝහී ගතිලක්‍ෂණය මිසක් කිසිම ලාභයක්, කීර්තියක්, ප්‍රශංසාවක් ගන්න ඉඩක් නෑ එවෙලෙ. පුද්ගලයට ලෞකික වශයෙන් කිසිම ආකාරයකින් බැඳෙන්න – රැඳෙන්න බලාපොරොත්තු වෙන ලෞකික භුක්තිය එතන නෑ.
මෙන්න මේ නිසා මොකද වෙන්නෙ? පංච කාම සම්පත් බලාපොරොත්තුවෙන් ඉන්න පෘතග්ජනයෙක් පැවිදි වුනාට පස්සෙ, ඒ පැවිද්දට නායකත්වය ආවට පස්සෙ, එයා කවදාවත් කැමති නෑ අර ලාභ – කීර්ති – ප්‍රශංසා නැතිදාක මේක පවතිනවට. ඒ පුද්ගලයා මොකද කරන්නෙ? තමංට ඕනෑ එකක් ඒ කියවන පොතට දාලා, තමන්ට ලාභය වැඩෙන, කීර්තිය – ප්‍රශංසාව වැඩෙන එකට අදහස හැටියට දෙනවා. දුන්න තැන් පටන් මොකද වෙන්නෙ? රාගක්‍ෂයට, ද්වේෂක්‍ෂයට, මෝහක්‍ෂයට එතෙනදි යම් විමුක්ති මාර්ගයක් තිබුණා නම්, අදහසක් තිබුණා නම්, අදහස වැහිලා යනවා. ඊට පස්සෙ කොච්චර භාවිත කළත් අපිට නිවන් දකින්න බැරිවෙලා යනවා. මෙන්න හේතුව.
ඉතින් සතර සතිපට්ඨානය වඩන්න කිවුවම ඉතින් “සති භාවනා” කියලා එක එක ජාතියෙ ක්‍රම දෙනවා ඉතින්. “සතිය” වඩන භාවනාවට “දවස් හතක්” වඩන භාවනාව කියලා හත් දවසක් යනකල් ඇරලා සති භාවනාව වඩනවා කියනවා වෙනත් තැන්වල. “අර අහවල් පංසලේ, අහවල් ස්ථානයේ සති භාවනාවක් තියෙනවා කියනවා. එතන “සති” කිවුවෙ මොකද්ද? දින හත සති එකයි කිවුව වෙලාව. දින හතේ භාවනාව – සති භාවනාවක් කියලා කියනවා, මේක හරිද? “සති භාවනාව නම් දින හතක් වඩන්න ඕනෙ” සතියයි, සතියක් භාවනා කරපුහම “සති භාවනාව” සතියෙන් භාවනා කරන තත්පරයක් තියෙනවා නම් තප්පරෙත් සති භාවනාව. “සත් සතිය” කියලයි ඒකට කියන්නෙ.
~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~
දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://www.waharaka.com/listen/CD013-07