දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)
චිත්ත බලයෙන් ශුද්ධාෂ්ඨක නිපදවීම හා සර්ව අවිහිංසාවාදයේ අප්‍රායෝගික බව
{ 00:00 } : බීමට ජලය උණු කිරීමෙන් ප්‍රාණඝාතය සිදුවේද?
අද අපිට ප්‍රශ්න කිහිපයක් ලැබිලා තියෙනවා උත්තර දෙන්නට. අපි ඒකෙන් අත්‍යවශ්‍ය ප්‍රශ්න ටික තෝරාගමු ඉස්සෙල්ලා. මේ සුළු ප්‍රශ්නයක් තියෙනවා, “මේ ජලය පිරිසිදු කිරීම සඳහා විශබීජ නැසීමට උණු කිරීම හෝ රසායන ද්‍රව්‍යය යෙදීම මඟින් ප්‍රාණඝාතය සිදුවේද? විශබීජ සත්ත්ව ගණයට නොවැටේද?” කියලා ප්‍රශ්නයක් අහනවා.
මෙතෙනදි අපි විශේෂයෙන්ම දකින්ට ඕනෙ දෙයක් තියෙනවා, මෙන්න මෙහෙම දෙයක්. බෞද්ධයින්ට අවශ්‍යය වෙන්නෙ රාගක්ෂය, ද්වේශක්ෂය, මෝහක්ෂය කිරීමෙන් ලබන නිවන. පරමාර්ථය තියෙන්නෙ මෙතනයි. මේ පැවැත්මට ඉන්න තාක්කල් ලෝක සත්වයෙකුට, ලෝක සත්වයෙක්ගෙන් තවත් සත්වයෙකුට හිංසාවක් නොවෙන ජීවිතයක් එක මොහොතක්වත් ගතකරන්න බෑ. අපි යම් තැනක ඉඳගත්තොත් ඔතනත් ඉන්නවා ක්ෂුද්‍ර ජීවීන්. දැන් අපි ඉඳගත්තොත් ක්ෂුද්‍ර ජීවීන් පොඩිවෙලා යනවා. අපි ගමනක් ගියොත් තියන පියවරක් පියවරක් පාසාම ක්ෂුද්‍ර ජීවීන්ගේ පටන්ගෙන ක්ෂුද්‍ර ප්‍රාණීන් මරණයට පත්වෙනවා. උංගෙත් අත පය තියෙනවා පුංචි වුනත්. ඒවත් කැඩෙනවා, තැලෙනවා, පොඩිවෙනවා. අපි එක වැඩක් කරනකොට ඒකට සම්බන්ධවෙලා තියෙන ක්ෂුද්‍ර ජීවීන්ගෙන් පිරිලා තියෙන, අනන්ත සත්වයින්ගෙන් පිරිලා ඉන්න ලෝකෙ අපිට අතක් පයක් හොලවන්නවත්, හැරෙන්නවත් ඉඩක් නෑ එකම ප්රාණියෙකුටවත් හිංසා නොවෙන විදිහට. මෙහෙම ප්‍රශ්නයක් මෙතන තියෙනවා.
දැන් සියලුම ප්‍රාණීන්ට හිංසා නොකරන ජීවිතයක් ගතකරන්න කෙනෙක් හිතනවා නම්, ඒ පැවැත්ම තුළ එහෙම එකක් නෑ. යම්කිසි කෙනෙක්ගෙ පැවැත්මක් තුළ අපි ජලය ටිකක්, නිකං ඇල් වතුර ටිකක් පානය කළත් ඕකෙත් ක්ෂුද්‍ර ජීවීන් ඉන්නවා. ඇල්වතුර උණු කළත් ඒකෙත් ක්ෂුද්‍ර ජීවීන් මැරෙනවා. දැන් වෙන දෙයක් ඕනෙ නෑ, පරිප්පු ටිකක් අරං පොළන්නකො, ගුල්ලො කොච්චර ඉන්නවද? හාල් ටිකක් අරං හෝදනකොට අන්වීක්ෂයක් අරං හාල් ඇට ටික පරීක්ෂා කරලා බැලුවොත් ඕකෙත් ඉන්නවා ක්ෂුද්‍ර ජීවීන්. හාල් ටික හෝදන්න ගත්තත්, හෝදනකොට විශාල ගණනක් එවුන් මැරිලා. ගහක් කොළක් හිටවන්න පොළව කෙටුවහමත් එතනත් මැරෙනවා විශාල කොටසක්.
මෙතනදි එබඳු ආකාරයක් නොවන්නාවූ සත්ත්ව හිංසාවක් සිදු නොවන ජීවිතයක් ගතකරන්න බැහැ. ඒකට හේතුවක් තියෙනවා. ලෝකයේ ක්ෂුද්‍ර වැඩ කරලා, පහත් වැඩ කරලා, අනුන්ට වැනසීමක් ඇතිකරපු යම් සත්ත්ව කෙනෙක් ඇත්නම්, ඒකෙ විපාකය පලදෙන්න ගිහාම එයා ඒ විපාකයට ගෝචර වෙන තැනක උපදිනවා, ඒ තැනකට පිවිසෙන්න වෙනවා. එහෙනම් ස්වභාවිකවම සත්ත්වයෙක් යනකොට, එනකොට පමණක් නෙමෙයි ගහක කොළයක් බිම වැටෙනකොටත්, ඒ ක්‍රියාවලිය නිසත් ඒ සත්ත්වයින්ට දුක් කරදර ඇතිකරන පරිසරයක් වෙලා තියෙනවා ඒකෙ ජීවත්වීම. දැන් කොළයෙ බිත්තර දාලා යනවා, කොළය ඉදිලා වැටෙනවා. වැටිච්ච කොළය වේලිලා යනවා. ඒකෙ දාපු බිත්තරත් වේළිලා යනවා. අපි කවුරුවත් කලේ නෑ, ඒ ගහේ කොළය වැටෙන එක අපිට නතර කරන්න බෑ. මනුස්සයො හෝ ගමනක් යනවා, එහෙම නැත්නම් ගලක් පෙරළෙනවා පොළවෙන් තව තැනකට, මහ වැස්සක් වහිනවා, මේ වැස්ස වහිනකොට ක්ෂුද්‍ර ජීවීන් කොච්චර විනාස වෙනවද?
මේ “ස්වභාවධර්මය” කියලා අපි වචනයක් කියනවා. අපි පැවැත්මක් නිර්මාණය කළා නම්, ඒ නිර්මාණය කරපු ආකාරයට, ගති ලක්ෂණයට අනුව තමයි පැවැත්ම නිර්මාණය වෙන්නෙ. එතකොට එබඳු පරිසරයක අපි උපදිනවා නම්, එයිට ගෝචරවෙන විපාකයක් විඳින්නයි උපදින්නෙ. මේක තමයි “ධර්ම ස්වභාවය” කියන්නෙ ඔන්න ඕකයි. මිනිහෙක් දැනගෙන කළාහරි නොදැන කළාහරි යමක් කරනකොට, ක්‍රියාවක් වෙනකොට, මේ පැවැත්මේ ක්‍රියාවලියක් තුළදි එකිනෙක සම්බන්ධය මාධ්‍යය කරගෙන උපදින ලෝක සත්වයාට ඒ පැවැත්මේ ක්‍රියාවලියේ දුක සැප දෙකටම ඔරොත්තුදෙන විදිහෙ, නැත්නම් ඔය දෙකටම ගෝචරවෙන විදිහෙ ජීවිත පැවැත්මක් තමයි “විපාකස්කන්ධයක්” වශයෙන් ලැබෙන්නෙ. ඒ නිසා මේ ලෝක සත්වයාට ඒ විපාකය විඳින්න සිද්ධවෙනවා.
මෙතෙනදි අපිට යම්කිසි ආකාරයෙන් යමක් අත්හරින්න පුළුවන්, අපිට දැනුවත්ව යමක් කරන්න පුළුවන් නම්. අපේ හිත දූෂ්‍ය වෙන, අපේ මාර්ගයට බාධා වෙන යමක් ඇත්නම් අපි මනා සේ සිහියෙන් ඉඳලා ඒක අයින්කරගන්න ඕනෙ. සියළුම සත්ත්ව හිංසාවක් නොවෙන ජීවිත ගතකරන්න අපි ගියොත්, පරමාර්ථය ඒක නම්, පැවැත්මෙ කොතනකවත් ඒක කරන්න බෑ. ඕක ඔයවිදිහට කරන්න යනකොට තමයි “නිඝන්ඨනාථපුත්ත” සහ “ජෛන මහාවීර” කියන එක්කෙනා නහයෙ පුළුන් කෑලි ගහගන්නවා ක්ෂුද්‍ර ජීවීන් ආස්වාස කරනකොට ඇතුළට ඇදෙයි, මැරෙයි කියලා. වතුර උණු කරන්නෙ නෑ, ඇල්වතුර පානය කරනවා උණු කළොත් සත්තු මැරෙනවට. බිම අඩිය තියලා ගමනක් කරන්නෙ නෑ, පයට පෑගෙන සත්තු මැරෙනවට. මෙ වගේ පැවැත්මේ “අවිහිංසාව” පරමාර්ථ කරගෙන ජීවත්වුනා. ඒකට බණකුත් කිවුවා. හැබැයි මේ පැවැත්ම තුළ අවිහිංසාවෙන් ජීවත්වෙනවා කිවුවහම, සත්වයෙකුට හිංසාවක් නොවී පැවැත්මක් ගෙනියන්න බෑ.
“පවු” කියන එක සිද්ධවෙන්නෙ අපි විසින් ඒ පැවැත්ම තුළ යම්කිසි විදිහක ප්‍රාණඝාතයක් කරන්න බලාපොරොත්තුවෙන් යමක් කළානම්, ඒක පාපයට වැටෙනවා. සිද්ධවෙන දේ සහ සිද්ධ කරන දේ, මේ දෙකක්. යමක් කරනකොට තව යමක් සිද්ධ වෙනවා. සිද්ධවෙන දේ පාප චේතනාවට වැටෙන්නෙ නෑ. එල්ල කරලා කළානම් යම්කිසි දෙයක්, දැන් “වතුර උණුකරන්නෙ ප්‍රාණීන් නසන්න” කියන බලාපොරොත්තුවෙන් කළානම් ඒක අහුවෙනවා ප්‍රාණඝාතයට. වතුර උණුකළේ මොන පරමාර්ථයෙන්ද කියන එකයි බලන්න ඕනෙ. පොළව කෙටුවෙ ප්‍රාණීන් මරන්න නම් ප්‍රාණඝාතයට අහුවෙනවා. පොළව කෙටුවෙ ගොවිතැන් කරන්න නම් ප්‍රාණීන් මරණ බලාපොරොත්තුවකින් එතන ඒ වැඩේ කෙරුණෙ නෑ. හැබැයි අපි දන්නවා ප්‍රාණීන් මැරෙන බව. නමුත් ඒක වළක්වන්න බැරි දෙයක්. දැන් ගමනක් යනකොට ප්‍රාණීන් මැරෙනබව අපි දන්නවා. ප්‍රාණීන් මරන බලාපොරොත්තුවෙන් ගමනක් ගියානම් ඒක පාප චේතනාවට අයිතියි. ගමනක් යනවා වෙන දේකට, ප්‍රාණීන් මැරෙනවා. ඒක පාප චේතනාව හා සම්බන්ධ නෑ, නමුත් සත්ත්ව හිංසාව සිද්ධවෙනවා. සත්ත්ව හිංසාව වෙන එක වළක්වන්න මේ පැවැත්මෙ ඉන්න කිසි කෙනෙකුට බෑ. සත්ත්ව හිංසාව කරන එක වළක්වන එක තමයි පවෙන් වැළකීම.
සත්ත්ව හිංසාව කරනවයි කියන්නෙ සත්ත්ව හිංසාවක් කරන බලාපොරොත්තුවෙන් යමක් කරනවනම්, අන්න ඒක වැටෙනවා ඒකට (සත්ත්ව හිංසාවට). ඔය විෂබීජ කියන්නෙ සත්ත්ව කොටසක් නෙමෙයි. විෂබීජ කියල කියන්නෙ එක්තරා විදිහක ගස්-කොළං වල ජීවිතයක් තියෙනවා, පැවැත්මක් තියෙනවා වගේ අන්න එහෙම ඒවත් (විෂබීජත්) ක්‍රියාත්මක වෙනව මේ ලෝකෙ. දැන් හතු පිපෙනවා, හත්තක් පිපෙනකොට හත්ත සතෙක් නෙමෙයි. නමුත් ඒකත් බුබුලක් ඇවිදිල්ලා, ඒක සකස්වෙලා, ක්‍රියාත්මකවෙලා, ගස්-කොළං හැදෙනව වගේ ඒකත් හැදෙනවා. ඒවගේ මේ “බැක්ටීරියා” කියන ඒවත් අන්න එහේම කොටසක්, හතු වර්ගයක් වගේ. “වෛරස්” කියන ඒවා, ඒවත් එහෙම ක්‍රමයක්. සත්ත්ව කොටස් ඔය අතරෙ ඉන්නවා, ජීවීන් ඉන්නවා. දැන් බඩ විරේක වෙන්න බෙහෙතක් බොනකොට අප්‍රමාණ සත්තු මැරෙනවා. ඉතින් ඒ වෙලාවෙදි “සත්තු මරන්න බෙහෙතක් බොනවා” කියල ගත්තොත් එහෙම අපි ඒක ප්‍රාණඝාතය මුල් කරගෙන කරපු ක්‍රියාවක් වෙනවා. බඩේ අජීර්ණයක් තියෙනවා, අජීර්ණයට – අජීර්ණය සුවකරගන්න බලාපොරොත්තුවෙන් නම් බෙහෙත් බිවුවෙ, ඒක ප්‍රාණඝාත චේතනාවත් එක්ක සම්බන්ධයක් නෑ. හැබැයි අජීණය සුව කරගන්න බිවුවත් සත්ත්ව විනාශයක් සිද්ධ වෙනවා. ඒ විනාශය සිද්ධවෙන එක අපිට කරන්න දෙයක් නෑ. ඒක ඒ සතාගෙ විපාකය.
එබඳු සත්තු ඊට ගැළපෙන විපාක විඳින තැනක ඉපදුනහම ඔවුන්ට ඒ විපාකයට ගෝචර වෙන්න සිද්ධ වෙනවා. ඉතින් සත්ත්වයින්ගේ විපාකය නැතිකරන්න, එහෙම දහමක් අපිට නෑ. පැවැත්ම තුළ එහෙම ක්‍රමයකුත් නෑ. ලෝක සත්ත්වයා විපාක විඳින්න ඒ ඒ තැන ඉපදිලා ඒ ඒ විපාකයට ගෝචර වෙනවා. ක්‍රියාවලිය කියන එක අපි හිතලා කරන ක්‍රියාවලියක් තියෙනවා, අපි නොහිතා ස්වභාවයෙන් සිද්ධවෙන ක්‍රියාවලියකුත් තියෙනවා. දැන් වැස්ස කවුරුවත් හිතලා කරන එකක් නෙමෙයි, හැබැයි වැස්ස නිසා අප්‍රමාණ සත්ත්ව කොටසක් වැනසෙනවා. අවුව කියන්නෙ කවුරුවත් කියලා, හිතලා කරන එකක් නෙමෙයි. අවුව වැටීම නිසා විශාල සත්ත්ව කොටසක් වැනසෙනවා, දැවිලා – පිච්චිලා යනවා. අතන ජලයට ගෝචර වෙලා, අහුවෙලා විනාශවෙලා යනවා. හුළඟ හමන එක අපි කවුරුවත් කියලා, හිතලා කරන එකක් නෙමෙයි. ඔය හුළඟටත් වේළිලා, කරවෙලා යන සූක්ෂම ජීවීන් ඉන්නවා, කරවෙලා, වේලිලා මැරිලා යනවා හුළං පාරටත්. ගින්නටත් දැවිලා, පිච්චිලා යනවා.
මේ ආකාරයෙන් මේ ලෝකෙ සියලුම ආපෝ ධාතුවෙන්, තේජෝ ධාතුවෙන්, වායෝ ධාතුවෙන්, පඨවි ධාතුවෙන්, ඒවයින්ම තම්යි විපාක ලෝකය ගොඩනැඟිලා තියෙන්නෙ. ඒ විපාක ලෝකයේ එබඳු වන්නාවූ විපාක විඳින තැනක ඒ සත්ත්වයා උපදින්නෙ ඒ සත්ත්වයා කරපු පාපකර්මයේ විපාක ගෙවන්න. ඒ නිසා මිනිහා දැනගෙන කළත්, නොදැන කළත්, නොදැන වුනත්, ඒ ක්‍රියාවලිය ඒ සත්ත්වයින්ගේ පාප ලෝකයක්. පාපය ගෙවන්න හැදිච්ච ලෝකෙ හැටි! ඒක නැති කරන්න සත්ත්වයෙකුට මනුස්සයෙක් නිසා හෝ මොනම සත්ත්වයෙකුටවත් ඒක නැතිකරන්න බෑ. අපි ගමනක් යනකොටත් ඇඟේ වැදෙන සත්ත්ව කොටසුත් ඉන්නවා. අතකින් අත පිහිදැම්මත් එතනත් ඉන්නවා කොටසක්.
ඉතින් අපි ඕකෙ දැනගන්න එකක් තියෙනවා. මේ හැමතැනකම සත්ත්වයින්ගේ විනාශයක් සිද්ධ වෙනවා. සත්ත්ව හිංසාවක් කරනවා කියන එකයි, සත්ත්ව හිංසාවක් වෙනවා කියන්නෙයි දෙකක්. සත්ත්ව හිංසාව වෙන එක වළක්වන්න බෑ. සත්ත්ව හිංසාව කරන එක වළක්වගන්න ඕනෙ. අන්න ඒකෙන් ප්‍රාණඝාතයෙන් වෙන්වෙන එකට අපිට කරන්න පුලුවන් හරිය එච්චරයි. අපි යමක් කරනකොට සත්ත්ව හිංසාවක් වෙන්න පුළුවන්, ඒක ඒ ලෝක සත්ත්වයාට විපාක වශයෙන් එතෙන ඉපදුනා නම්, එතෙන්ට ගෝචර වෙලා ඉපදිලා ඉන්නෙ, ඒකට ගෝචර වෙනවා. ඒක වළක්වන්න අපිට බෑ. එතකොට ඒ සත්ත්ව හිංසාව වෙනවා, අපි කරන වැඩක් නිසා සත්ත්ව හිංසාව වෙනවයි කියන සිද්ධිය අපේ මනස දූෂ්‍ය කරලා, ආර්ය මාර්ගය පූර්ණය කරගන්න බාදාවක් වෙලා නෑ.
ඒ නිසා අපිට තියෙන්නෙ ලෝකය තුළ සත්ත්ව හිංසාවක් අපි නිසා වෙනවනම්, සත්ත්වයෙක් නිසා වෙනවනම්, පැවැත්ම නිසා වෙනවනම්, “පැවැත්මේ ආදීනව මේකයි” කියලා දැනගන්න එක. මේ පැවැත්ම හොඳ නෑ. ඒ පැවැත්ම නිසා තමයි අප්‍රමාණ දුක් කරදර විඳින්න සිද්ධවෙන්නෙ, තමන්ට හෝ ලෝක සත්ත්වයාට. එබඳු පැවැත්මේ ආදීනව දැකලා “මේ පැවැත්ම යම් තැනක නැද්ද, අන්න එතන සත්ත්ව හිංසාවක් සිද්ධවෙන්න හේතු නෑ…” අන්න එතෙන්ට පත්වෙන්න පරමාර්ථ කරගෙන අපිට වළක්වන්න පුළුවන් දෙයින් වළකිනවා, බැරි හරිය අපි දන්නවා අපිට දුකක – සංවේගයක් ඇතිවෙනවා, ඒකෙන් එහෙම සත්ත්වයින්ට දුක් – කරදර ඇතිවෙනකොට. හැබැයි “එබඳු සංවේගවත් වෙන්නෙ මේ ලෝකෙ පැවැත්ම නිසයි, මේ පැවැත්ම යම් තැනක නැද්ද, එතන එහෙම අප නිසා හිංසාවක් සිද්ධවෙන්නෙ නෑ” කියලා දැනගත්තහම එහෙනම් ඒ තමයි නිවන. නිවීමෙන් ලබන ප්‍රතිඵලය. එතෙන්ට පත්වීම පරමාර්ථ කරගන්නවා මිසක්, පැවැත්ම තුළ සත්ත්ව හිංසාවක් සිදු නොවෙන්න පැවැත්මක් හෙවුවොත්, මේ ලෝකෙ එහෙම තැනක් නෑ. ඉතින් ඕක දකින්න ඕනෙ.
යම් පැවැත්මක, අපි යම්කිසි ක්‍රියාවක් කරනකොට ඒක අපේ මනසට බාධා පමුණුවනවා නම් ආර්ය මාර්ගයට, අපි ඒකෙන් වළකින්න ඕනෙ. ඒ මට්ටම දැනගන්න ඕනෙ. “සත්ත්ව හිංසාව වළක්වන එක ආර්ය මාර්ගයයි” කියල ගත්තොත් එහෙම, ඒක හරියන වැඩක් නෙමෙයි. “රාගක්ෂය කරන එක, ද්වේශක්ෂය කරන එක, මෝහක්ෂය කරන එක ආර්ය මාර්ගයයි” කියලා දැනගත්තොත් ඒක යථාර්තය. ඒකෙ අන්තිම තීරණයක් එනවා.
දැන් ගොවිතැන් කරන්න යන පුද්ගලයෙකුට ඔය අනුකම්පාව වැඩිවෙන්න, වැඩිවෙන්න “අනේ, මේ ගොවිතැන් කිරීම නිසා මෙච්චර සත්ත්ව ඝාතනයක් සිද්ධවෙනවා. මට ඒවයින් අයින්වෙලා ජීවත්වෙන්න ඇත්නම්…” එයා පුළුවන් තරම් අයින්වෙන්න බලනවා. එතකොට ජීවත්වෙන්න බැරුව යනවා ගිහියෙක් වශයෙන්. එයා කල්පණා කරනවා “ඒවයින් අයින්වෙන්න පැවිද්දට බහින්න ඕනෙ” ඉතින් උන්වහන්සෙත් බලනකොට “අනේ, මං ගමනක් ගිහාම? එතකොටත් සත්තු මැරෙනවනෙ!” උන්වහන්සෙ ඒකටත් කැමති නෑ. අයින් කරන්න පුළුවන් යමක් තියෙනවා නම් අයින් කරදමනවා. අයින් කරන්න බැරි හරියක් තියෙනවනම්, ඒකට කරන්න දෙයක් නෑ.
ඉතින් එබඳු ගතිලක්ෂණයක් ඇති කෙනාට ඇතිවෙනවා නම් සානුකම්පිත හැඟීමක්, “අනේ මගේ පය තිබ්බ තැන වත් සතෙක් නොමැරේවා!” කියන ඒවගේ හැඟීමක් නම් ඇතිවුනේ, අන්න ඒ ගතිය තමයි “බ්‍රහ්ම විහරණ” වල ලක්ෂණය. එහෙම මානසිකත්වයක් කෙනෙකුට වැඩුනොත් එයාට ඒ අන්තිම කෙළවරත් සමඟ සෘද්ධි බලයක් ලැබෙනවා. ඒ ලැබෙන සෘද්ධි බලයෙන් එයා අඩිය ගහපු තැන අනික් අයට අඩිය ගහනවා පේනවා මිසක්, අඩිය බිමට හිරවෙන්නෙ නෑ. අර ලැබූ සෘද්ධි බල ශක්තිය උඩ, දැන් අළුතෙන් වැල්ලක් ආවනම් එහෙම යම්කිසි ගඟක් ගලලා වැළි දළුවක් මතුවුනා නම්, එබඳු අරිහතුන් වහන්සේ නමක් ඒ වැළි දල්ලේ සක්මන් කරලා, සක්මන් කරලා බලපුහම එක අඩියක් වත් වැලි දළුවෙ නෑ. මොකද හේතුව? උන්වහන්සේට “අනේ, සත්ත්වයින්ට මගේ පයෙන් වත් හිංසාවක් නොවේවා!” කියන මේ මානසිකත්වය උඩ උන්වහන්සේලගෙ ශරීරය බර නැතිවෙනවා. ඒ ශරීරයට පෑගිලා කූඹියෙක් වත් මැරෙන්නෙ නෑ. හැබැයි සියල්ලන්ට නෙමෙයි මේක. ඒවා එක එක්කෙනාගෙ මානසිකත්වයන් උඩ ගොඩනැඟෙන පුණ්‍ය ශක්ති වල හැටි, පුණ්‍ය විපාක ශක්ති වල හැටි.
“මා නිසා කිසිම සත්ත්වයෙකුට හිංසාවක් නොවේවා!” කියන මේ මානසිකත්වය උදාවෙනකොට පැවැත්ම තුළ යම් තරමක් සත්ත්ව හිංසාවක් නොවෙන විදිහෙ පරිසරයක් ඇත්ද, ස්වභාවයක් ඇත්ද, ඒ ස්වභාවය උන්වහන්සෙලාට උරුම වෙනවා. දැන් උන්වහන්සෙලා පුටුවක ඉඳගත්තහම “ජර-බර” ගාන සද්දයක් එන්නෙ නෑ. කුෂන් කරපු මෙට්ටයක් උඩ ඉඳගත්තා කියලා කුෂන් කරපු මෙට්ටෙ යටට යන්නෙ නෑ. උන්වහන්සෙලාගෙ ශරීර පුළුන් රොදක් වගේ සැහැල්ලුයි. චිත්ත පාලනයට අයිතියි. ඒ නිසා අනික් අයට කාටවත් හොයන්න බෑ, උන්වහන්සේලා යනකොට – එනකොට අනික් අය යනවා – එනවා වගේම පේනවා. නමුත් අර බලවේගයේ ලොකු වෙනසක් තියෙනවා. ඒක ස්වභාවයක්.
ඒ වගේ යම් තරමක් පැවැත්මේ සත්ත්ව හිංසා සිද්ධ නොවෙන ක්‍රමයක් ඇත්ද, එබඳු විපාක ශක්තියක් උන්වහන්සේලා ලබනවා, ඒ බලාපොරොත්තුව උඩ කටයුතු කරගෙන යනකොට. ඒක එබඳු අයට ලැබෙනවා, අනික් අයට එහෙම එකක් ලැබුණෙ නැත්නම් ඒ ජීවිතය අවසානයේදී “කවදාහරි මගෙන් වෙන්න තියෙන, මං නිසා සිද්ධවෙන තියෙන සත්ත්ව හිංසාවක් ඇත්නම් එහි අන්තිම අවසානය මගේ පිරිණිවන්පෑමත් එක්කයි” කියලා දකිනවා. ඒ අවස්ථාව වෙනකන් උන්වහන්සෙලා ඒ අදහසින් ඉන්නවා. ඉතින් ඒ නිසා මෙතෙනදි අපි දැනගන්න ඕනෙ, ප්‍රාණඝාතයක් කරනවයි කියන එක අපි දැනුවත්ව කරනවා නම් ඒක වළක්වාගන්න. වෙනවනම් ඒකට අපිට කරන්න දෙයක් නෑ, දයානුකම්පාවක් විතරයි සිද්ධවෙන්නෙ.
දැන් එක්තරා භික්ෂූණ් වහන්සේ නමක් මැටි අනලා, හණ කුඹල් ගේ හදන්නා වගේ ගෙයක් හදලා, දර දාලා ඕක පුච්චලා, ඕකෙ ඉන්න හදාගත්තා. ඒකට හේතුව මොකද, උන්වහන්සේ පොඩි පියස්සක් හදාගෙන, ගලකට අයිනක් තියාගෙන හදලා, ඕක හදලා තියලා උන්වහන්සේ පිණ්ඩපාතෙ වඩිනකොට ඔය දර හොයන්න එන ගෑණු එහෙම ඇවිදිල්ලා ඕක කඩාගෙන අරං යනවා. ඒකෙ තියෙන ලී ටික අරං යනවා ඒ ගෑණු. ඇවිදින් බලනකොට වහලෙ කඩලා. ආයි එකක් හදාගන්නවා, ආයි බලනකොට ආයි දවසක ඒක කඩාගෙන ගිහිල්ලා.
අද වගේ හාමුදුරුවරුන්ට සැළකුවෙ නෑ ඒ කාලෙ. ගණං ගත්තෙත් නෑ හාමුදුරුවරු කියලා. තමන්ට නිදහස් කාමයට අවස්ථාවක් කියල දැනගත්තොත් හාමුදුරුවො කියල බලන්නෙ නෑ. ඉතින් “මෙහෙ වරෙං හාමුදුරුවනේ..” කියලා ඇදගෙන යන්න බලනවා. ඔය ජාතියෙ ක්‍රමයක් තිබුණෙ, අද වගේ හාමුදුරුවන්ට කියලා ගෞරවයක්, “මේ නික්ලේෂී උත්තමයො නේද…” කියලා එහෙම ගරුත්වයක් ඒකාලෙ මිනිස්සුන්ගෙ තිබුණෙ නෑ. පහු කාලෙක තමයි හාමුදුරුවරු පිළිබඳව දැනුවත් වෙලා, භික්ෂූණ් වහන්සෙලා පිළිබඳ දැනුවත් වෙන්න වෙන්න එක්තරා පිරිසක් ගරුත්වයෙන් යුක්තව උන්වහන්සෙලාට සළකන්න, දානෙ දෙන්න, ඔක්කොම පටන්ගත්තෙ ඊට පස්සෙ. “අපි වගේ හම්බකරගෙන කාපල්ලකො, අත-පය කැඩිලද? හංදි කැඩිලද? මෙච්චර අත පය තියෙද්දි හැම හංදියකම හිඟාකන්නෙ?” ඔහොම කිය කියා බැන්නා. පිං ඵල බලාපොරොත්තුවෙන් දන් දුන්න කාලයක් එහෙම නෙමෙයි ඒ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙ. පහු කාලෙක තමයි ඕවා දැනුවත් වෙලා, වටිනාකම් දැනුවත් වෙලා, භික්ෂූණ් වහන්සෙලගෙ තත්ත්වෙ දැනුවත් වෙන්න වෙන්න තමයි මිනිස්සු භික්ෂූණ් වහන්සෙලට සළකන්න පටන්ගත්තෙ.
ඉතින් ඔයවගේ අවස්ථාවක එයා ඉස්සෙල්ලා කුඹල් වැඩ කරලා පුරුදුවෙච්ච කෙනෙක් නිසා, එයා වළං පුච්චලා, ඔක්කොම කරලා දන්නවා මේ මැටි පිච්චුවහම තෙමෙන්නෙ නැතිවෙන්න, වැස්සට හේදෙන්නෙ නැතිවෙන්න මැටි පුච්චගන්න හැටි. එයා කල්පණා කළා “හරි, ලී දාලා හැදුවොත් නෙ මේක කඩන්නෙ, හදනවා මැට්ටෙං” කියලා මැට්ටෙං හැදුවා ගෙයක්. අර “ඇස්කිමෝ වරුන්” ගෙ ගෙවල් එහෙම තියෙන්නෙ හිම වලින් හදලා, ඒ වගේ රවුම් ගෙයක් හදලා, දොරකොඩක් තියලා, ඕක කොට දාලා, ගිණි දාලා, පුච්චලා, දැන් වළං කට්ටෙ වගේ උඩින් හැදිලා තියෙනවා, වැස්සට ඒක හේදෙන්නෙ නෑ.
ඔය අවස්ථාව බුදුරජාණන් වහන්සේ දැකලා “කාගෙද අර ගේ? අර ආවාසෙ කාගෙද?” ඒ පාර මෙන්න මෙහෙම කුඹල් වැඩ කරපු කෙනෙක් මහණ වෙලා, මෙන්න මෙහෙම දෙයක් කරනවයි කියලා “දැන් ඔය මැටි වලින් පුච්චලා ගෙයක් හදාගෙන” “වහාම කඩන්න” කිවුවා. කඩලා දාලා භික්ෂූණ් වහන්සෙලාට තහනම් කරා මැටි පුච්චලා හදන ඒවා, ඒක කරන්න එපා කියලා. “සත්ත්ව අනුකම්පාවක් තියෙන කෙනෙක් කොහොමද ඔය මැටි අනන්නෙ? ක්ෂුද්‍ර ජීවීන් පුච්චන්නෙ?” කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂූණ්ට ඒක තහනම් කළා එහෙම කියලා.
හැබැයි මිනිස්සුන්ට ඒක කියන්න ගියෙ නෑ. මිනිස්සු කුඹුරු කොටනවා, වළං හදනවා, ඔක්කොම කරනවා, මිනිස්සුන්ට ඒ වචනෙ කිවුවෙ නෑ. අන්න ඒ තත්ත්වයෙන් ඉක්මයන්න බලාපොරොත්තු වෙලා ඒවයිනුත් වළකින්න බලාපොරොත්තුවෙන භික්ෂූණ් වහන්සේට හැකි තරම් දුරට සත්ත්ව හිංසාවෙන් වළකින විදිහට මඟක් පෙන්නුවා. අන්න, දයානුකම්පාවක් හිතට එනකොට ඒ පුද්ගලයට හිතෙනවා “අනේ මං මේ රොඩු ගොඩ කොහොම පුච්චන්නද? මේකෙ කොච්චර ක්ෂුද්‍ර ජීවීන් ඉන්නවද?” හැබැයි පවු නිසා නෙමෙයි, අන්න දයානුකම්පාවක් නැඟිලා එනවා “සත්ත්ව හිංසාවෙන් හැකි තරම් ඈත්වෙන්න ඕනෙ” කියලා. “සත්ත්වයින්ට හිංසා වෙන යම් වැඩපිළිවෙලක් ඇත්නම්, හැකිතරම් මං ඒකෙන් මිදෙනවා. බැරිම දෙයක් ඇත්නම් කරන්න දෙයක් නැතුවට කරනවා. ලිපේ දර කෑල්ලක් දාලා පිච්චුවත් ක්ෂුද්‍ර ජීවීන් විශාල ගාණක් විනාශ වෙනවා. ඒ නිසා ඒ වැඩේ කරන්න සිද්ධවුනා නම් පවු නිසා නෙමෙයි, අනුකම්පාව නිසා කරන්නෙ නෑ, පුළුවන් තරම් ඒවයින් අයින් කරනවා. අත්‍යාවශ්‍ය නොකර බැරි දෙයක් තියෙනවා නම් නොකර බැරි නිසා කරනවා”. මෙන්න මෙහෙම ක්‍රමයක් ඇතිවුනා.
ඔය අවස්ථාවෙදි, ඔය “අනුකම්පාව” කියන එක මහා පුණ්‍ය බලයක්. ඒ පුණ්‍ය බලය වැඩිලා පුණ්‍ය විපාකයක් බවට පත්වුනොත්, ඊටපස්සෙ උන්වහන්සේට හැදෙන පරිසරය ඒ ජාතියෙ පරිසරයක් නොවන තැනක් බවට පත්වෙනවා. නැත්නම් උන්වහන්සෙට පුණ්‍ය සෘද්ධියක් ලැබෙනවා එබඳු අවස්ථාවක ක්ෂුද්‍ර ජීවියෙක් පවා එතනින් ඉවත් කරන්න පුළුවන් හැකියාවක්. එක අවස්ථාවක මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියනවා අර වේරඤ්ජාවේ යවහාල් වළඳලා ඉන්න වෙලාවෙ, “ස්වාමීණි, එදා භූමි පටක නැමැති ආහාරය අදත් මේ මහපොළව යට තියෙනවා. සියළුම පෝෂණයෙන් පූර්ණයි. මගෙ සෘද්ධි බලයෙන් පුළුවන් මහපොළොව දෙබෑ කරලා ඒ ආහාරය මතුකරන්න…” මෙහෙම කියලා බුදුරජාණන් වහන්සෙගෙන් අවසරයක් ඉල්ලනකොට බුදුරජාණන් වහන්සේ අහනවා “ඒ මහපොළොව බිඳහරිනකොට ඇතිවෙන, ඉන්න ක්ෂුද්‍ර ජීවීන්ට මොකද කරන්නෙ ඔබ? ඒ වෙන හානිය ගැන මොකද කියන්නෙ?” “ස්වාමීණි, මට සෘද්ධි බලයක් තියෙනවා එකම ක්ෂුද්‍ර ජීවීයෙක් වත් ඒ සීමාවෙ නැතිවෙන්න ඈත් කරන්න, මං එහෙම කරලා ඒක කරනවා…” අන්න සෘද්ධි බලයක හැටි! {{වෙරඤ්ජකණ්ඩො}}
එහෙනම් එබඳු සෘද්ධි බලයක් තිබුණා නම් අර දයානුකම්පාව නිසාම මතුවෙන සෘද්ධි බලයක්. එහෙම කෙනාට යනකොට – එනකොට, එයාගෙන් වෙන්නාවූ කටයුත්තකදි සතෙකුට හිංසා නොවෙන විදිහෙ හැකියාවක්, සෘද්ධි බල හැකියාවක් විපාක ශක්තිය වශයෙන් ලැබෙනවා. දැන් උන්වහන්සෙ අඩිය ගහපු තැනක පොළවට අඩිය හිරවෙන්නෙ නෑ. එහෙම ක්‍රමයක් ලැබෙනවා. අන්න ඒවගේ ක්‍රමයක් තුළින් තමයි උන්වහන්සේලා ඒ ජීවිතය ගතකළේ. ඒක විශේෂ සෘද්ධි බලයක්. සියල්ලන්ටම නෑ. අනික් අය මොකද කරන්නෙ, “අනේ මේ ජීවිතයේ පැවැත්ම අවසන් වෙනකන් යන – එන සැම ඉරියවුවක් පාසාම තව සත්ත්වයෙකුට හිංසා වෙනවා නේද” කියලා දයානුකම්පාවෙන් හැකිතරම් දුරට ඒවයින් වළකිනවා. උන්වහන්සෙලා දන්නවා “මගේ මේ ජීවිතය නිසා යම් සත්ත්වයෙකුට හිංසා වෙනවනම්, අහවල් දවසෙ මගෙ මරණය – එදාට මගෙ පිරිනිවන. එදයින් පස්සෙ මා නිසා වන්නාවූ හිංසාවල් කිසිම සත්ත්වයෙකුට වෙන්නෙ නෑ” කියලා සංතෝස වෙලා, ඒ අදහසින් ම ඉන්නවා.
ඔය පවු කරනවා කියන එකයි, සත්ත්ව හිංසාවක් සිද්ධ වෙනවයි කියන්නෙයි දෙකක්. සිද්ධ කරනවා කියන එකෙන් පවු මාත්‍රයක් හරි සිද්ධ වෙනවා. තමන් යමක් කරනකොට සිද්ධ වෙන එක වළක්වන්න බෑ. දයානුකම්පා හිත නිසා ඒ පුද්ගලයො හැකිතරම් දුරට එබඳු අවස්ථා වලින් වළකිනවා. ඒක අර අව්‍යාපාද සංකල්පණා, අවිහිංසා සංකල්පණා කියන එකට වැටෙනවා. ඒකයි කාරණය. ඉතින් ඒනිසා මේ වගේ අවස්ථාවල අපි බලන්න ඕනෙ ආර්ය මාර්ගයට බාධා වෙන යම් “කරන දෙයක්” තියෙනවනම් හැකිතරම් දුරට ඒවයින් වළකින්න. “සිද්ධ වෙන” ඒවා ගැන කරන්න දෙයක් අපිට නෑ. ඒක දකින්න ඕනෙ.
{ 21:40 } : සතර මහා භූත, ශුද්ධාෂ්ඨකය සහ ගති මුල්වී ද්‍රව්‍ය පහලවීම
“සතර මහා භූතයන් පිළිබඳ එකිනෙක විස්තර කර, සත්ත්වයෙක් හැදෙන හැටි විස්තර කරදෙන්න” කියල ඉල්ලීමක් කරනවා. දැන් මේකත් අපි තේරුම් අරගතයුතු විශේෂ කාරණයක් තමයි. හැබැයි පොත්වල මේක වැඩිපුර විග්රහ කරල නැති නිසා එච්චර විග්‍රහයක් ගන්න බෑ. නුවණින් මේ කාරණය විග්රහ කරනකොට ඥාන ගෝචරව මේකට, හේතු-ඵල ධර්මයට මේක අහුවෙලා සතර මහා භූත කොහොමද හැදෙන්නෙ, ගොඩනැඟෙන්නෙ කොහොමද? ඒවයෙ ස්වභාවය මොකද්ද? එහෙම ඒවයින් සතර මහා ධාතු හැදෙන්නෙ කොහොමද? ඒවයින් සත්ත්වයෙක් හැදෙන්න හේතුව මොකද්ද? කියලා මෙන්න මේ කියන කාරණා ටිකත් ඒ එක්කලම සත්ත්ව පැවැත්මකදි අවිද්‍යාව මුල්කරගෙන, තෘෂ්ණාව මුල්කරගෙන හටගන්න ආකාරයක් තියෙනවා. මෙන්න මේක තෝරගත්තහම මේ සතර මහා භූතයන්ගේ ආරම්භය දැකගන්න පුළුවන්.
“ආපෝ, තේජෝ, වායෝ, පඨවි” කියන්නෙ “ගති” හතරක්. හිතක හටගන්න ගති හතරක් ආපෝ තේජෝ වායෝ පඨවි කියන හතර. ඔය ගති හතර පැවැත්ම හා සම්බන්ධයි, අවිද්‍යාව හා සම්බන්ධයි. අවිද්‍යාව හා සම්බන්ධ ගති හතර නිසා අවිද්‍යාවේ මූළික ක්‍රියාකාරීත්වය මොකද්ද, පැවැත්මක් ගොඩනැඟීම. සසර ගමනට පැවැත්මක් ගොඩනැඟීම, අවිද්‍යාවේ ක්‍රියාවලිය. අන්න ඒ ක්‍රියාවලිය මුල්කරගෙන අදහසක් මතුවෙනවා, ගති හතරක් මතුවෙනවා ආපෝ, තේජෝ, වායෝ, පඨවි කියලා ඒ ගති හතරත් සමඟ ඇතිවෙන්නාවූ මානසික ශක්තිය මේ භෞතික පැවැත්මක් ගොඩනැඟීමේ ආරම්භය ගොඩනඟනවා.
අන්න ගොඩනඟනකොට “චිත්තජ රූප” වශයෙන්, “කර්මජ රූප” වශයෙන්, කර්මජ රූප – චිත්තජ රූප කියන මේ දෙකෙන් ගොඩනැඟෙනවා “ආපෝ භූත, තේජෝ භූත, වායෝ භූත, පඨවි භූත” කියන භූත තතරක්. මේක අති සියුම්. “ශුද්ධාෂ්ඨකය” කියන අන්තිම සියුම් පරමාණුව කියන එක – විද්‍යාඥයො දැක්ක පරමාණුව නෙමෙයි, ඊටවඩා අති සියුම් එකක් පරමාණුව කියන්නෙ බුදුරජාණන් වහන්සේ පෙන්නපු පරමාණුව කියන එක. අන්න ඒ ශුද්ධාෂ්ඨකය කියන එකේ ප්‍රධාන කොටස් හතර තමයි ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන එකේ මුළ – ආපෝ භූත, තේජෝ භූත, වායෝ භූත, පඨවි භූත.
ඔන්න ඔය භූත හතරකින් ගොඩනැඟිලා රූප හතරක් සකස්වෙලා, අවිද්‍යාවෙන් හටගත්ත භූත හතරට තෘෂ්ණාවෙන් බැඳීම නිසා “වණ්න, ගන්ධ, රස, ඕජා” කියලා ඒකට ආවේනික වෙච්ච තවත් රූපාකාර හතරක් ගොඩනැඟෙනවා. ඔන්න ඕකෙන්, කොටස් අටකින් ගොඩනැඟිච්ච නිසා, ශුද්ධ වූ කොටස් අටෙන් ගොඩනැඟුනා කියලා අපි කියන මූලික වන්නාවූ අවස්ථාව ඔච්චරයි, පැවැත්මේ තියෙන. අන්න ඒකට කියනවා “ශුද්ධාෂ්ඨකය” නැත්තම් “අවිනිර්භෝග රූප කළාපය” – එකින් එක වෙන්කරන්න බැරි රූප කළාප 8 ක්. ඔන්න ඔය “පරමාණුව” කියන අති සූක්ෂම, මේ ලෝකෙ අන්තිම කුඩා කෑල්ලෙ, යමක් බිඳගෙන බිඳගෙන ගියානම්, ඒක බිඳින්න බෑ කියන අන්තිමටම බිදින්න බැරි අන්තිම කොටස ගත්තනම්, මොන එකකින්වත් බිඳින්න බැරි කොටස ගත්තනම්, අන්න ඒ කොටස තමයි ඔය කිවුවෙ “අවිනිර්භෝග රූප කළාපය” කියන ඔය “ශුද්ධාෂ්ඨකය” කියන එක.
අන්න ඒකට තමයි ආපෝ භූත, තේජෝ භූත, වායෝ භූත, පඨවි භූත කියන මෙන්න මේ භූත හතරෙන් සකස් වෙන්නෙ. ඒක සකස්වුනේ පැවැත්මක් ගොඩනඟන්න නිසා, ලෝක සත්ත්වයාට භුක්ති විඳින්න පැවැත්මක් ගොඩනඟන්න නිසා, පංච කාම ආස්වාදය සඳහා පැවැත්මක් ගොඩනඟන්න නිසා, පංච කාම ආස්වාදය ලබාදීමට හේතුකාරක වන විදිහේ ද්‍රව්‍ය වස්තු සහිත ලෝකයක් ඒකෙන් ගොඩනැඟීමට ශක්තිය ගැබ් කරලයි ඒ රූපය නිපදෙවුවෙ මනසින්. ඒ නිසා ඒක ඊලඟට ක්‍රියාත්මක වෙලා ඒකට, “න්‍යෂ්ඨික ශක්තිය” කියල කිවුවෙ අන්න ඒ ශක්තියට. ඔය අටට න්‍යායක් වූ බලයට කියනවා “න්‍ය+අෂ්ඨික බලය හෙවත් න්‍යෂ්ඨික බලය”. අටකට න්‍යාය වූ බලයට කියනවා න්‍ය+අෂ්ඨික බලය හෙවත් න්‍යෂ්ඨික බලය. කවුරු කිවුවත්, වචනෙ දැම්මත්, න්‍යෂ්ඨික බලය කියන්නෙ ඔන්න ඕකට.
ආපෝ-තේජෝ-වායෝ-පඨවි කියන එකට අයිති තද ස්වභාවය, බැඳෙන ස්වභාවය, සැළෙන ස්වභාවය, දැවෙන ස්වභාවය කියන එක – දැවෙනවා කියන එක නැත්තම් කියන්නෙ තෙද ගන්න ස්වභාවය, ඔප්නැංවෙන ස්වභාවය. ඔය කියන ගති හතර ආවේනික කරගෙන හටගන්න මූලික රූප කළාපය තමයි ආපෝ තේජෝ වායෝ පඨවි කියන රූප හතරෙන්, ඔය හතර ආවේනික කරගෙන හටගන්නෙ. ඊටපස්සෙ අවශ්‍යය දේ නිශ්පාදනය කරන්න මේක යළි එකතුවෙන්න ඕනෙ, ඒවගේ කෑලි යළි එකතුවෙන්න ඕනෙ. ඒ නිසා ඒ ආපෝ ශුද්ධාෂ්ඨක, නැත්නම් අර “අවිනිර්භෝගී රූප කළාප” කියන මේවා ගොඩවල් එකතුවෙලා, මහා කඳු එකතුවෙලා ආපෝ මහාභූත, තේජෝ මහාභූත, වායෝ මහාභූත, පඨවි මහාභූත කියන ඊලඟ අවස්ථාව ගොඩනැඟෙනවා. හැබැයි මේ ඊලඟ අවස්ථාව ගොඩනැඟෙන එක අපිට දැකගන්න මස් ඇහෙන් එහෙම බෑ. මස් ඇහැට ඒටික ගෝචර වෙන්නෙ නෑ කිරණ හා සමානයි. කිරණ මට්ටම තමයි ඒ කියන්නෙ.
ඊටපස්සෙ ඒකෙන් මොකද වෙන්නෙ? ඊලඟ ආයි අවස්ථාවක් ගොඩනැඟෙනවා. “ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු” කියන. අන්න ඊලඟ ඝනීභවන අවස්ථාව. අන්න ඒ හතරට ආවහම ඒකෙ ඝනීභවනත්වයට කියනවා “පස්, ජල, ගිණි, සුළං” කියලා. එතකොට පස් නිපදෙවුනා, ජලය නිපදෙවුනා, ගිණි නිපදෙවුනා, හුළඟ නිපදෙවුනා. මුළ මොකද්ද? ආපෝ මහා භූතයන්ගෙන් ජලය නිපදෙවුනා, ආපෝ ධාතුව නිපදෙවුනා. තේජෝ මහා භූතයන්ගේ ඝනීභවනයෙන් ගිණි නිපදෙවුනා. වායෝ මහා භූතයන්ගේ ඝනීභවනයෙන් වායුව නිපදෙවුනා. පඨවි මහා භූතයන්ගේ ඝනීභවනයෙන් පොළව නිපදෙවුනා. නිෂ්පාදනයේ නිෂ්පාදන ක්‍රියාවලිය තව ඉවර නෑ. පංච කාම ආස්වාදය දීමට අවශ්‍යය කරන දේ නිපදවනතුරු නිෂ්පාදන ක්‍රියාවලියේ බලය ඉවර නෑ.
එහෙනම්, පංච කාම ආස්වාද ලබාදෙන්නෙ මොනවයින්ද? මන වඩන රූප, මන වඩන ශබ්ද, මන වඩන ගන්ධ, මන වඩන රස, මන වඩන ස්ඵර්ශ කියන මෙන්න මේ පහ ලබාදීමට, ආස්වාද ගැනීමට ඔය පහ ලබාදීමට යමක් නිපදවනවද, ඒ තාක්කල් අර ශක්තිය නිෂ්පාදනය කරන ලෝක ධර්මය ක්‍රියාත්මකයි. එහෙනම්, පස්-ජල-ගිණි-සුළං වලින් මන වඩන රූප ගන්න බෑ ඒ ඒ විදිහට තියෙද්දි. පස්, පස් විදිහට තියෙනවා නම්, ජලය, ජලය විදිහටම තියෙනවා නම්, වායුව, වායුව විදිහට තියෙනවා නම්, ගින්න, ගින්න විදිහට තියෙනව නම්, අපිට ආස්වාද විඳින්න කිසීම දෙයක් ලෝකෙ නිපදවෙන්නෙ නෑ. ඒවයේ අනුකූල සම්බන්ධතාවයන් උඩ ගොඩනැඟෙන්න ඕනෙ ඊලඟට “මන වඩන රූප” කියල දෙයක්. මන වඩන ශබ්ද, මන වඩන ගන්ධ, මන වඩන රස, මන වඩන ස්ඵර්ශ යමකින් ද දෙන්නෙ, අන්න ඒ දෙන දේවල් ඒකෙන් නිපදවෙන්න ඕනෙ. අන්න ඒ නිපදවෙච්ච වස්තූන්ට කියනවා ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන නිෂ්පාදනය වෙච්චි දේවල්.
එතකොට අපි යම්කිසි පැවැත්මක් ගොඩනැඟෙන්නෙ කුමක් නිසාද? “පංචකාම ආස්වාදය” මුල්කරගෙන. දැන් මේ මිනිස් පැවැත්ම ගොඩනැඟිලා තියෙන්නෙ පංච කාම ආස්වාදය බලාපොරොත්තුව මුල්කරගෙන. මන වඩන රූප බලන්න, මන වඩන ශබ්ද අහන්න, මන වඩන ගන්ධයන් ආග්‍රහණය කරන්න, මන වඩන රසයන් භුක්ති විඳින්න, මන වඩන පහස ලබන්න තිබෙන බලාපොරොත්තුවෙන්, ඒකට අනුකූලව තමයි මනසක්, අනුකූල මනසක් ඇතිවෙලා ඒවා ඇසුරු කරගෙන, ඒ දේ ලබාගැනීමේ පරමාර්ථයෙන් තමයි පැවැත්මක් ඇතිකරලා තියෙන්නෙ.
එහෙනම්, අන්න ඒ පැවැත්මට අවශ්‍ය කරන දේවල් නිපදවන්න නම්, මන වඩන රූප ගන්න “ලස්සන දේවල්” ලෝකෙ නිපදවෙන්න ඕනෙ. ලෝකෙ ලස්සන දේවල් නිපදවුනාට, ලස්සන ස්වභාවය දෙන දේවල් නිපදෙවුනට, ඒකෙ භුක්තිය ලබාගන්න ආධ්‍යාත්මික වන “ඇහැ” නැමැති, ලස්සන දේ බලන්න එකක් නිපදවෙන්න ඕනෙ. එහෙනම් ආපෝ ධාතුවේ, තේජෝ ධාතුවේ, වායෝ ධාතුවේ, පඨවි ධාතුවේ ආස්වාද ලබන්න නම්, ඒවයින් හටගත්ත ඒවයෙ ආස්වාද ලබන්න නම්, ඒවයින්ම හටගත්ත විදිහෙ ඇහැක් නිපදවෙන්න ඕනෙ. පස් ජල ගිණි සුළං කියන හතරේ සම්මිශ්‍රණයකින් හටගත්ත ඇහැකුත්, පස් ජල ගිණි සුළං කියන හතරෙහි සම්මිශ්‍රණයකින් හටගත්ත බාහිර මන වඩන රූපයකුත් නිෂ්පාදනය වෙනකන් මේ ක්‍රියාවලියේ බලය ක්‍රියාත්මක වෙනවා. ලෝක සත්ත්වයා ඊටවඩා දෙයක් ලෝකෙන් බලාපොරොත්තු වෙන්නෙ නැති නිසා එයින් එහා, එයින් එහා වැඩි යමක් නිෂ්පාදනය කරන ඇහැක් හෝ රූපයක් නිපදවෙන්නෙ නෑ.
මන වඩන ශබ්ද ආස්වාද විඳින්න නම් ඒකට අවශ්‍යය කරන දෙපැත්තක් අර ඝණීභවනයෙන් නිපදවෙන්න ඕනෙ – පස් ජල ගිණි සුළං වලින්. ඒකෙන් ශ්‍රවණය කිරීමට නම් අවශ්‍යය කරන කන නැමැති උපකරණය නිපදවෙන්න ඕනෙ. ශබ්ද නැමැති දේ ලෝකෙන් නිපදවෙන්න ඕනෙ. ඒ නිසා දෙපසක හැදෙනවා ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ ධාතු හතරෙන් හටගත්ත කනක් සහ හටගත්ත ශබ්ද ලබාදෙන දේවල්.
අනික තමයි ගන්ධ ආස්වාදයක් විඳින්න ලෝක සත්ත්වයා බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න නම්, එබඳු ආස්වාද අවස්ථාවක් විද්‍යාමාන වෙන්න නම් ඒකට අවශ්‍යය කරන කාරණා දෙකක් දෙපසට නිපදවෙන්න ඕනෙ. ඇසුරුකරන ඉන්ඳ්රියක් සහ ගන්ධය සඳහා ඇසුරු කරන දෙයක් නිපදවෙන්න ඕනෙ. ඇසුරු කරන ඉන්ද්‍රියක් වශයෙන් නාසය නිපදවෙනවා පස් ජල ගිණි සුළං කියන හතරෙන්. පස් ජල ගිණි සුළං කියන හතරෙහි කොටසකින් ගන්ධය නිපදවෙනවා. නාසයෙන් ගන්ධය ආඝ්‍රහණය කරලා ස්ඵර්ශ කරනකොට අන්න බලාපොරොත්තුව සම්පූර්ණයි, මන වඩන ගන්ධ ලැබෙනවා, ආස්වාද විඳින්න.
අනික තමයි මන වඩන රස ලෝක සත්ත්වයා බලාපොරොත්තු වෙනවා. ඒ මන වඩන රසය ලබාගන්න නම් ඒකට අවශ්‍යය කරන පරිසරයකින් ගොඩනැඟෙන්න ඕනෙ. මන වඩන රසයක් අපි ලබන්න නම් සතර මහා භූතයන්ගෙන්, නැත්නම් පස් ජල ගිණි සුළං කියන ධාතු හතරෙන් නිපදවෙච්ච දිව නැමැති ඉන්ද්‍රියක් ආධ්‍යාත්මිකව ගොඩනැඟෙන්න ඕනෙ. රසය අඩංගුවෙච්ච බාහිර දෙයක් බාහිර ලෝකෙ නිපදවෙන්න ඕනෙ, ඒ රස වෙන්න. අන්න දිව සහ රස නිෂ්පාදනය වුනාට පස්සෙ රසාස්වාදය සඳහා අවශ්‍යය කොටස සම්පූර්ණයි. එයින් එහාට ලෝක සත්ත්වයාගේ බලාපොරොත්තුවක් නැති නිසා රස ගෙනදෙන මට්ටම ඉක්මවලා තවත් දුරට පැහෙන, ඉදෙන ගෙඩියක් හැදෙන්නෙ නෑ. ඊට පස්සෙ එන්නෙ කුණුවෙන එක. ඒක දිරලා යන එක, නරක්වෙන එකයි ඊටපස්සෙ සිද්ධවෙන්නෙ. ඒකට හේතුව මොකද? ලෝක සත්ත්වයාගේ බලාපොරොත්තුව රසාස්වාදය මිසක් එයින් ඉක්මවූ දෙයක් නෙමෙයි.
අනික තමයි ස්ඵර්ශ ආස්වාදය, කයෙන් විඳින පහස. ඒ බලාපොරොත්තුව එනවනම් ඒ බලාපොරොත්තුව දීමට අවශ්‍යය කරන කොටස් දෙකක් ලෝකෙ නිපදවෙන්න ඕනෙ. එකක් ආධ්‍යාත්මික කය, ඒ කයට ගෝචර වෙන බාහිර ස්ඵර්ශ කරන තවත් දෙයක්. ඔය දෙක නිපදවීමේදී අර පස් ජල ගිණි සුළං කියන හතර, නැත්නම් අර ධාතු හතරෙන් එකතුවෙලා ආධ්‍යාත්මික වශයෙන් මේ කය හැදෙන්න ඕනෙ. ධාතු හතරෙන් කය නිපදවෙනවා. ධාතු හතරකින් නිපදවෙච්ච බාහිර ස්ඵර්ශ කරන දේවල් නිපදවෙන්න ඕනෙ. ඒ ආස්වාදය ඉක්මවූ දෙයක් ලෝක සත්ත්වයා බලාපොරොත්තු වෙන්නෙ නැති නිසා, එහෙම මානසිකත්වයක් නැති නිසා, ස්ඵර්ශ ආස්වාදය දෙන මට්ටමට ඔප්නැංවෙන්නාවූ කයක් සහ ද්‍රව්‍ය බාහිරෙන් නිපදවෙනවා මිසක් එයින් එහා දෙයක් ලෝකෙ නිපදවෙන්න හේතු නැති නිසා, ඒ මට්ටම ඉක්මවූ කයක් හෝ බාහිර දෙයක් නිපදවෙන්නෙ නෑ.
මෙන්න මේක තමයි සිද්ධවෙන ධාතු ක්‍රියාවලිය. සතර ධාතූන්ගේ ක්‍රියාවලිය ඕකයි. එතකොට මේ සතර ධාතූන්ගේ ක්‍රියාවලියක් හැදෙනකොට මේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි කියන ගති හතරක් මොකටද නිපදවුනේ? ඒ ගති හතර – ඇයි පහක්, හයක් නිපදවුනේ නැත්තෙ? ඒක දකින්න ඕනෙ.
“අවිද්‍යාව” කියන්නෙ මොකද්ද? ඇත්ත ඇති ආකාරයෙන් පේන්නෙ නෑ, “මේ ලෝකෙ හරි සාරවත් දෙයක්, මේ ආස්වාද විඳින්න හරි වටිනවා – ආස්වාදය හරි වටිනවා” කියන මේ දෘෂ්ඨියක් හටගන්නවා. ආස්වාදය වටිනවා කියන දෘෂ්ඨිය නිසා ආස්වාදය විඳීමට යම් ඇසක් – රූපයක්, කනක් – ශබ්දයක්, නාසයක් – ගන්ධයක්, දිවක් – රසක්, කයක් – ඵොට්ටබ්බයක් වටිනවද, අවශ්‍යයද, ආශ්වාදය බලාපොරොත්තුවෙන නිසාම ලෝක සත්ත්වයා “ඒවා ලබාදෙන දේ වටිනවා” කියන නිගමනයට බහිනවා. මේක තමයි “ලෝක ආස්වාදයේ නිගමනය”.
මෙන්න මේ ලෝක ආස්වාදයේ නිගමනය ලැබුණහම මෙන්න මේකට කියනවා “අවිද්‍යාව නිසා මේ එකතුව සාරයි කියන දෘෂ්ඨියට බහිනවා” කියලා, “සං සාරයි” කියලා ගන්නවා “සං” කියන එකතුව “සාරයි” කියලා නිගමනයකට බැහැගත්තා “අවිද්‍යාව” නිසා. “එකතුව සාරයි” කියන නිගමනය තමයි “අවිද්‍යාවේ නිගමනය”. අවිද්‍යාව තියෙන තාක්කල් මේ එකතුව, පැවැත්ම සාරයි කියන තත්ත්වයෙන් හිත ඉවත් කරන්න බෑ. පැවැත්මෙ කොතන හෝ සාරයි කියන නිගමනයක් තියෙනවා. ඒ සාරයි කියන නිගමනයේ ඉන්න තාක්කල් පැවැත්ම ඉක්මවා යන්න බෑ. නිගමනය කරපු තැනට අනුව, කරපු කියපු වැඩ අනුව ඇතිවුන සුචරිත – දුස්චරිත දෙකේ දූෂ්‍ය භාවය හෝ ප්‍රසන්න භාවය මුල්කරගෙන, අනුකූල ලෝකයක් ගොඩනැඟෙනවා. එක්කෝ ඒක දුගතියක්, එක්කෝ සුගතියක්. ඒකෙන් පැවැත්ම කරා එනවා. මෙන්න මේ නිසා ලෝක සත්ත්වයාගේ අවිද්‍යාවේ තියෙන දැඩි බලාපොරොත්තුව මොකද? “මොන තාලෙන් හෝ ලෝක ආස්වාදය ලැබිය යුතුයි! ඒ ආස්වාදය සඳහා මම පැවතිය යුතුයි!” මෙන්න මේක තමයි අවිද්‍යාවේ නිගමනය.
පැවැත්මක යමක් ස්ඵර්ශ කරන්න නම් ඔහුට යම් දෙයක් අවශ්‍යය කරනවා. “තද දෙයක්” නැත්නම් ස්ඵර්ශ කරන්න බෑ. ඒ නිසා ඔහු තද දෙයක් බලාපොරොත්තු වෙනවා මනසින්. ඝර්ෂණය කරන්න, ස්ඵර්ශ කරන්න යම්කිසි තද දෙයක් තියෙන්න ඕනෙ. ඒ දේ බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ බලාපොරොත්තුව නිසා පුද්ගලයා ඒ දේ ලැබෙනකොට ඒකෙ තද වෙනවා. “තහවුරු කිරීමට ඇද්දගන්නා” අර්ථයෙන් “ත – අද්ද” “තද්ද” “තද” කියනවා. තහවුරු කරන්න ඇදගත්ත දේ, ‘ත අද්ද’ දේ, ත අද්ද කියන එක ‘තද්ද’ කියන වචනෙට බිඳෙනවා – එක්වෙනවා. ඒක පහසුවට භාවිත කරන්න ‘තද’ කියන වචනෙට අපි ගත්තා. තහවුරුවට ඇදගන්නා දෙයක් ඇත්නම් ඒක ‘ත අද’ දේ හෙවත් තද දේ. “ත” කියන වචනෙන් පිහිටන්නෙ යම් තැනක “තියෙනවද, තබනවද, පිහිටනවද” ඒ අර්ථය. “අද්ද” කියන වචනයෙන් පෙන්නන්නෙ “පිහිටන තැන තබනවා” කියන එකයි. “පැවැත්ම හොඳයි” කියලා හිත පිහිටපුවම, ඒ පිහිටපු තැන හිත තැබුවහම, “ත අද්ද” හෙවත් තද දේ නිපදවන ගති ලක්ෂණය එනවා, අන්න තද ගති ලක්ෂණය.
“පට” කියන්නෙ එතන බැඳෙනවා. බැඳෙන්න අවියක් කරගන්නේ කුමක්ද, “පට + අවි -> පඨවි” අන්න පඨවි ගති ලක්ෂණය. බැඳීමට අවියක් කරගත්තා, බැඳීමට යම්කිසි වැඩපිළිවෙලක් සකස් කරගෙන බැහැගත්තා. “පඨවි” කියන එක එතනින් ආවා.
එතකොට යම් යම් දේවල් වල තැනින් තැන සුළු සුළු වශයෙන් තිබුණොත්, කෑලි කෑලි තැනින් තැන තිබුණොත් ඒ අපිට අවශ්‍යය දේ ගොඩනඟාගන්න බෑ. එහෙනම් ඒ වෙලාවෙදි ඕනෑ වෙනවා ඒ ඒ කොටස් එක් කරලා අපිට ඕනෙ හැටියට බැඳලා, අපිට ඕනෙ හැඩතලය හදාගන්න. ආස්වාද විඳින්න අවශ්‍යය දේක හැඩතලය හදාගන්න නම් ඒවා ඔක්කෝම එකතු කරලා එකට බැඳගන්න ඕනෙ. “ආපයක්” කරගන්න ඕනෙ. අන්න ඒ ටික අරගෙන එකතු කරලා පෝෂණය කරගන්නවට කියනවා, “ආපු ආපු ඒවයින් පෝෂණය කරගත්තහම” කියනවා “ආපෝ” කරගන්නවා. එතකොට අපිට අවශ්‍යය දේ බැඳිලා, හැදිලා එනවා. අන්න “බැඳෙන ලක්ෂණය” කිවුවෙ ඔන්න ඕකයි. වටිනවයි කියන දෘෂ්ඨිය නිසා ඒ පුද්ගලයා යමක් ගොඩනඟාගන්න හැටි, අවශ්‍යය කරන මානසිකත්වය – පඨවි, ආපෝ.
එකතුකරගත්තට බෑ ඒක ඔප්නංවාගන්නත් ඕනෙ. අපිට අවශ්‍යය කාරණය විඳගන්න යම්කිසි ආකාරයෙන් පවත්වාගන්නත් ඕනෙ. “තෙද ගන්වාගන්න” ඕනෙ. තෙද ගන්වාගන්න ලක්ෂණය තමයි “තේජෝ” කිවුවෙ. එතකොට පඨවි තියෙනවා, ආපෝ තියෙනවා, අනික සැළෙන ලක්ෂණය.
අපිට යමක ආස්වාද භුක්ති විඳින්න බෑ ඒකාකාරයෙන් තිබුණොත්. ඒක විවිධාකාරයන්ට පත්කරන්න ඕනෙ. එහාට සොළවන්න ඕනෙ, මෙහාට සොළවන්න ඕනෙ, ඒ මේ අතට කරන්න ඕනෙ, එතකොට තමයි ආස්වාදය එන්නෙ. අන්න ඒ “සැළෙන ලක්ෂණය” ට කියනවා “වායෝ ලක්ෂණය”.
ඔන්න ඔය ගති හතර, ආපෝ තේජෝ වායෝ පඨවි කියන ගති හතර අවිද්‍යාව නිසා බැහැපු නිගමනයෙන් යමක් බලාපොරොත්තු වුනාද, බලාපොරොත්තු වූ ආස්වාදය භුක්ති විඳීමට ගොඩනඟාගත යුතු ප්‍රධාන කරුණු හතර. අන්න ඒකට බැඳුනහම ඒ දේ ගොඩනැඟෙනවා. ඔහුගෙ හිතේ තියෙන්නෙ එබඳු දේ වර්ණනා කරන එක මිසක්, ඒක ඔප්නංවනවා හෝ වර්ණනා කරනවා මිසක්, අත්හැරීම – නොඇල්ම – මිදීම වර්ණනා කරන මනසක් නෙමෙයි. අල්ලාගැනීම – පැවැත්ම වර්ණනා කරන මනසක් නිසා ඊලඟ මනසේ ගතිලක්ෂණය, තෘෂ්ණාවෙන් බැඳෙන ගතිලක්ෂණය නිසා තමයි, තෘෂ්ණාව නිසා තමයි ඒවා වර්ණනා කරන්නෙ.
වර්ණනා කරන ගතිලක්ෂණය ඒකට උරුම වෙලා “වර්ණ” කියන ස්වභාවයක් ඒකට ආවේනික වෙනවා. ආපෝ – තේජෝ – වායෝ – පඨවි කියන එක හටගත්ත ඒ වර්ණනා කරන ලක්ෂණය නිසා ඒකට වර්ණයක් ආවේනික වෙනවා.
ඒකෙ ගෑවුනහම මොකද වෙන්නෙ? “අන් දරන්න” පටන්ගන්නවා. “අන්” කියන ආහාරයක් වශයෙන් ඒක දරන්න පටන්ගන්නවා. ඒවයෙ ගෑවිලා, ඒ හටගත්ත ඒවයෙ ගෑවිලා ඒක ආහාරයක් හැටියට දරන්න පටංගත්තම කියනවා “ග + අන්ධ -> ගන්ධ”. අන්න ඊලඟ ගතිලක්ෂණය, තෘෂ්ණාවෙ ගතිලක්ෂණය. තෘෂ්ණාව යම් තැනක තිබුණා නම් ඔය ගතිලක්ෂණය අයින් කරන්න බෑ. දැන් “ග + අන්ධ” කියන්නාවූ “ගන්ධ” කියන තත්වෙට පත්වෙලා මානසිකත්වයක් ගොඩනැඟෙනවා. ඒකත් තෘෂ්ණාවෙ ලක්ෂණය.
අවිද්‍යාවෙ ලක්ෂණ හතරයි, තෘෂ්ණාවෙ ලක්ෂණ හතරයි. වර්ණනා කරන ලක්ෂණය තෘෂ්ණාවෙ ලක්ෂණයක්. ආහාරයක් වශයෙන් එක්වෙලා දරන එක තෘෂ්ණාවෙ ලක්ෂණයක්. ග + අන්ධ -> ගන්ධ. එතකොට, ඒක දාලා යන්න බැරි, ඒකෙ බැඳෙන, රැඳෙන ගති ලක්ෂනයක් එනවා ආස්වාද විඳින්න. එතකොට “රස්ස” වුනා. රස්ස වුනා කියන්නෙ ගමන නැවතුනා. එහෙ මෙහෙ යන්න බෑ, ඒකෙ ඇලිලා එතනම හිරවෙලා ඉන්නවා. අන්න තෘෂ්ණාවෙ තව ගතිලක්ෂණයක් තමයි “රස”. “රස්ස” කියන එකයි “රස” කිවුවෙ.
ඊටපස්සෙ මොකද වෙන්නෙ, ඒකෙන් අවශ්‍යය දේ නිපදව නිපදවා, යළි යළිත් ජනිත කර කරා ඒ ආශ්වාදය විඳීමට හිතන ලක්ෂණයක් තියෙනවා තෘෂ්ණාවෙ, ආරම්භ කරගන්නවා – ආරම්භයෙන් ජනිත කරගන්නවා. එහෙනම් “ඕ” කියන්නෙ ආරම්භය, නැත්නම් භවය. “ජා” කියන්නෙ ජාතිය. භවයයි – ජාතියයි කියන එක තමයි “ඕජා”. අන්න ඕජා කියන්නෙ ඒකෙ ආස්වාද විඳීමට ඒ පස්සෙ ගොඩ නඟ නඟා ඒක නිපදවාගන්නවා. අන්න ඕජා ගතිලක්ෂණය.
අවිද්‍යාවෙයි තෘෂ්ණාවෙයි ඔය ගතිලක්ෂණ අට මුල්කරගෙන ලෝකයක් නිෂ්පාදනය වීමේ මූලධමය මනසෙ ක්‍රියාත්මක වෙනවා. මේන්න මේක තමයි “ආපෝ තේජෝ වායෝ පඨවි වණ්න ගන්ධ රස ඕජා” කියන ශුද්ධාෂ්ඨකය හටගන්න හේතුව. ඉතින් ඒකෙන් යමක් බලාපොරොත්තු වුනානම් බලාපොරොත්තු වෙච්චි දේ නිෂ්පාදනය කරනතුරු මනසින් ඒවට ගැබ් කරපු ශක්තිය ක්‍රියාත්මක වෙනවා. ඒ හේතුවෙන් කවදහරි මනසෙ තිබිච්ච ගතිලක්ෂණයෙන් ලෝකයක් බිහිවෙනවා මිසක් වෙන එකකින් බිහිවෙන්නෙ නැති නිසා ඒ මනසට ආවේනික කරගත්ත ගතිලක්ෂණ ලෝක සත්ත්වයන්ගේ එකාකාර ස්වභාවයක් මූලිකව තියෙන නිසා, කොහේහරි ලෝකයක් නිෂ්පාදනය වෙන්නෙ ඔය ක්‍රමයට මිසක් වෙන ක්‍රමයකට නෙමෙයි. සත්ත්වයෝ ජීවත්වෙන ලෝකයක් කොහේ බැලුවත් ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා කියන ඔයටික ක්‍රියාත්මක වෙලා ආරම්භ කරපු, ඒ ටිකෙන් හටගත්ත පස් ජල ගිණි සුළං කියන හතරෙන් යුක්ත එබඳු ලෝකයක් නිෂ්පාදනය වෙනව මිසක්, එබඳු කයක් නිෂ්පාදනය වෙනව මිසක් වෙන එකක් නිෂ්පාදනය වෙන්න බෑ.
ඔන්න ඔය ආස්වාද පැවැත්මේ බලාපොරොත්තුව ක්‍රියාත්මක කරන්න ඒකට අවශ්‍යය පරිසරය කියන එකට කියනවා “අපි මේ හදාගත්ත ලෝකය”. සත්ත්ව කය නිපදවෙන්න හේතුව ඔන්න ඕකයි. ඉතින් මේ සෑම සත්ත්ව කයකම මොනවද තියෙන්නෙ? ඇස කන නාසය දිව කය මන. පහක් ගොඩනඟාගෙන මනෙන් භුක්ති විඳිනවා. එහෙනම් සියළුම ලෝක සත්ත්වයින්ට හටගන්නෙ, හටගන්නවනම් ඉන්ද්රිය පහයි. විපාක බලවේගයක් වැනි දෙයකින් මැඩපැවැත්වුවොත් හැරෙන්න සාමාන්‍යය ලෝකයාට පිහිටන්නෙ ඔය ඉන්ද්රිය පහයි, මනේන්ද්රියත් එක්ක හයයි.
මනේන්ද්‍රියෙන් බලන ඇහැක් තියෙනවා, ඒකට කියනවා “මනැස”. දිවැස එහෙම කියලා අපි කියන්නෙ ඒකෙන් බලන ක්‍රමය. දැන් මේ කාලෙ මනුස්සයින්ගෙ…(ඉතිරිය පටිගත වී නොමැත)…
~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~
දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://www.waharaka.com/listen/CD013-06
සැළකිය යුතුයි:-
පටිගත වී ඇති ආකාරය අනුව දේශනාවේ බොහෝ අපැහැදිලි තැන් ඇත. පිටපත් කිරීමේදී යම්කිසි වරදක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව කමාව ලැබේවා! දේශනාව කියවීමේදී යම් අපැහැදිලිතාවයක් ඇතිවූයේ නම් ඒ සියල්ල දේශනාවට සවන් දීමෙන් එසේ පැහැදිලි කරගන්නාමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. තෙරුවන් සරණයි!