දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)
ඛය ධම්ම, වය ධම්ම, සත්ව මාත්‍රය තුළින් දුක්ඛ අරිය සත්‍යය දැකීම
{00.00} : ප්‍රිය මරණ වලින් දුක හටගන්නේ කෙසේද?
(ශ්‍රාවක මහතෙක්): දැන් මරණම්පි දුක්ඛං කියන්නේ අප්‍රිය මරණ. තාත්තා මැරුනොත් දුකයිනේ. ඒක ඕන කෙනෙකුට තේරෙනවා. දැන් අප්‍රිය මරණනේ. ප්‍රිය මරණයක් විදියට ගත්තහම ප්‍රභාකරන්ගේ මරණය කියලා ගත්තොත් එහෙම, ඒකත් අපි ප්‍රිය කරනවනේ. හැබැයි මේ ප්‍රියකරන මරණය ලබාගන්න, ඒ මරණය වෙනුවෙන්, ඒ මරණය ඕනේ කියන එක වෙනුවෙන් නේ ආමි එකෙන් ගිහිල්ලා, මහා දුක් ගොඩක්නේ විදින්නේ. දැන් මේක ඇතුලෙ තමයි ලොකුම දුක් කඳ තියෙන්නේ.
(ස්වාමීන් වහන්සේ): දුක් කඳ තියෙන්නේ.
(ශ්‍රාවක මහතෙක්): දැන් මේ කය කැඩිලා මැරුණා, එතනින් ඉවරයි. නමුත් මේක දුක් කඳක්.
(ස්වාමීන් වහන්සේ): අන්න ඒකනෙ. ප්‍රිය කරන එක නිසාම, ඒ දුකෙන් මිදෙන්න බෑනේ.
(ශ්‍රාවක මහතෙක්): අන්න හරි. ඔව්.. ඔව්..
(ස්වාමීන් වහන්සේ): ඒකනෙ හේතුව.
(ශ්‍රාවක මහතෙක්): ඒ මත්තෙම දඟලනවනේ.
(ස්වාමීන් වහන්සේ): ඒ මත්තෙම දඟලනවනේ. තව දාහ කීයක් ගොඩනැගෙනවද? එතකොට සංඛාර දුක්ඛය ගොඩනගනවා, ප්‍රිය කරන එක නිසා, එතෙන්ට. එතකොට දුක්ඛ දුක්ඛයටත්, විඳින්න සිද්ධ වෙනවා. ඒ ප්‍රිය කරන එකේ විපරිණාමය, ඒ දුකත් විඳින්න සිද්ධ වෙනවා.
(ශ්‍රාවක මහතෙක්): ඔය ගොඩක් ප්‍රිය කරන දෙයි න් තමයි, වැඩි දුකක් ලැබෙන්නේ?
{00.47}: දුක පිරිසිඳ දැකීම.
(ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි. ප්‍රිය කරන දෙයින්නේ ඕක වෙන්නේ. ඒ ප්‍රිය කරන එක තමයි “ඡන්දරාගය”. නැත්තං “උපාදානය” කිව්වේ ඒකයි. බැඳෙන්නෙ ඒකට, “ඡන්දරාගය” නිසා. ඉතින් ඡන්දරාගය වෙනම දකින්න ඕනේ. ඡන්දරාගය අහක් කරපුවහම තියෙන ගොඩ, වෙනම දකින්න ඕන. ඉතිං ඡන්දරාගයෙන් වහගෙන තියෙන්නෙ, මෙන්න මේ දුක් ගොඩ.
(ශ්‍රාවක මහතෙක්): “පිරිසිඳ දකින්න” කිව්වේ ඒකයි..
(ස්වාමීන් වහන්සේ): අන්න, “පිරිසිඳ දකින්න” කිව්වේ ඒකයි. පිරිසිඳ දකිනකොට, “රාගක්ෂය, ද්වේශක්ෂය, මෝහක්ෂය” කරල දකින්නේ. එතකොටයි පිරිසිඳින්නේ. “ප්‍රිය භාවය හිඳින්න” ඕනේ. ප්‍රිය භාවය හිඳෙනකං, ඡන්දරාගයෙන් වහනවා. ප්‍රියභාවය හිඳුනහම තමයි, අර දුක වෙනම පේන්නෙ. දුක පිරිසිඳ දැනගන්න කිව්වේ ඒකයි.
{01.27}: පංචස්කන්ධය, උපාදානස්කන්ධයක් බවට පත් වන්නේ කෙසේද?
(ශ්‍රාවක මහතෙක්): ඒ කියන්නේ ඡන්දරාගයෙන් බැඳෙන්න එපා කියන එකනේ නේද?
(ස්වාමීන් වහන්සේ): ඔව් ඔව්. ඡන්දරාගය තමයි හේතුව. දැන් දුකයි, දුකට හේතුවයි, දෙකම තියෙනවා, ඡන්දරාගය එක්ක මිශ්‍ර වෙච්ච ගමන්. වස්තුවේ තියෙන ලස්සන නෙමේ ප්‍රශ්නෙ තියෙන්නේ. ඒක, ඡන්දරාගය සමඟ වුණා, එතකොට උපාදාන වුණා.
(ශ්‍රාවක මහතෙක්): එතකොට අපිට තියෙන ප්‍රශ්නය, මේ ඡන්දරාගය නේද?
(ස්වාමීන් වහන්සේ): ඡන්දරාගය කියන්නෙ “දෘෂ්ඨියක්”, අපි විසින් ගොඩනගාගත්ත එකක්. ගොඩනඟාගෙන, ඡන්දරාගය, වස්තුවත් එක්ක සම්බන්ධ කර ගත්තොත්, ඒක “රූප උපාදානස්කන්ධය” වුණා. ඡන්දරාගය අහක් කරපුවහම, ඒක “රූපස්කන්ධයමයි”. දැන් හැඩට, වැඩට තියෙන්න පුළුවන්. හැඩ – වැඩ තිබුණට අපි දන්නවා, මේ හැඩ වැඩ කරලා තියෙන්නේ, මහා විස ගුලියක් කියල. එතකොට, උපාදාන කරන්නේ නැහැ. එතකොට පංචස්කන්ධය තියෙනවා මිසක්, පංචඋපාදානස්කන්ධය නැහැ.
(ශ්‍රාවක මහතෙක්): ස්වාමීන්වහන්ස, මේ පංචස්කන්ධය දුකයි කියල කොහෙවත් කියන්නේ නැහැ නේ?
(ස්වාමීන් වහන්සේ): නෑ. “පංචස්කන්ධය දුක්ඛස්කන්ධය යි”.
(ශ්‍රාවක මහතෙක්): පංචස්කන්ධය දුකට ඇදලා දාන උගුල නිසා, ඒක දුකයි කියල ගත්තොත්?
(ස්වාමීන් වහන්සේ): නෑ. ඒත් දැන් පංචස්කන්ධය කියන්නේ දුක. දැන් අපි හිතමු වහ බිව්වෙ නැතත්, වහම නේද?
(ශ්‍රාවක මහතෙක්): ඔව්. ඔව්. ඒක තමයි.
(ස්වාමීන් වහන්සේ): අන්න ඒවගේ. ඒක වහ කියලා නිගමනය කළේ, බීලා මැරිච්ච හින්ද නේද? අර තියෙන කුප්පියේ වහ ටිකත්, වහ බව දන්නේ කොහොමද? ඒ ජාතියේ ඒවා බීලා පුද්ගලය මැරුණට පස්සේ, ඒකෙන් අපි නිගමනය කරා, ඒ කුප්පියේ තියෙන්නේ වහ කියලා.
{02.38} : දුක කියන්නේ, දුක්ඛ ලක්ෂණය මිසක්, දුක විඳීම නෙමෙයි
(ශ්‍රාවක මහතෙක්): දැන් පංචස්කන්ධය දුකයි නම්, අපි දැන් ප්‍රිය, මධුර රූපයක් දැක්කහම දුකයි කියල ගන්නේ..
(ස්වාමීන් වහන්සේ): දැන් මේකනේ වෙලා තියෙන්නෙ. නෑ.. දැන් දුක කියන එක අපි හිතාගෙන ඉන්නේ, “විඳින එක” දුකයි කියන එක. දුක කියන එක අපි තේරුම් අරන් තියෙන්නේ, මේ “විඳින එක”, විඳිනකොට දැනෙන එක – දුක් විඳින එකයි, අපි මේ දුක කියලා නිගමනය කරලා තියෙන්නේ.
“දුක කියන්නේ, දුක්ඛ ලක්ෂණය”. දුක්ඛ ලක්ෂණයයි, දුක්ඛ ලක්ෂණයෙන් විඳීමයි, විඳින්න ගැනීමයි, දෙකක්.
(ශ්‍රාවක මහතෙක්): දුක්ඛ ලක්ෂණය, මනවඩන රූපයේ තියනවා.
(ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි, දුක්ඛ ලක්ෂණය! දැන් බිඳෙන ලක්ෂණය කියන්නේ, බිඳුනා නෙමෙයි. ඒ වගේ දුක්ඛ ලක්ෂණය දැක්කා කියන්නේ, දුක්විඳිනවා නෙමේ. දුක්ඛ ලක්ෂණය, ත්‍රිලක්ෂණයනේ… “ලක්ෂණ” තුනක් ඔය පෙන්නන්නෙ. අනිච්ච, දුක්ඛ, අනත්ථ කියන්නේ ලක්ෂණ තුනක්. මතුවෙච්ච තුනක් නෙමෙයි.
දුක විද්‍යාමාන වෙන්නේ, ඒ දුක්ඛ ලක්ෂණය තියෙන එක ගත්තහම, ඒකෙ ලක්ෂණය විද්‍යාමාන වුණා. ගත්තහම තමයි මතුවුණේ, “ආ ඒකෙ දුක තිබුනනේ, ඒකනෙ මේ විඳින්න වුණේ” දැන් අපි අර, විඳින එකට දුක කියලයි, පුරුදුවෙලා තියෙන්නේ.
“දුක විඳින එක කියන්නේ, දුක උපාදාන කරල”. පංච උපාදානස්කන්ධ කරපුවහමයි, දුක විඳීම මතුවෙන්නේ. මේ හැම වෙලේම අපි, හැමවෙලේම උපාදාන කරන්නෙ නෑ, සත්වයෝ සියල්ල.
{03.57}: සත්වයා කියන දෘෂ්ඨිය ගොඩනැඟෙන්නේ කෙසේද?
සත්වයා කියන්නේ, මාත්‍රයක, මොහොතක වෙන ක්‍රියාවලියක්. දැන් ඇහෙන් රූප පේන වෙලාවට, තවත් චක්ඛුද්වාර, චක්ඛු විඤ්ඤාණය මුල් කරගත්ත චක්ඛුද්වාර චිත්ත වීථියක් මිසක්, ඒ ඒ මොහොතේ ඒ චිත්තක්ෂණය, ඒ චිත්තක්ෂනයේ මිසක්, තවත් හිතක් නැහැ සත්වයෙකුට. චක්ඛු විඤ්ඤාණ කියන තව ඒ වෙලාවෙදි, සෝත විඤ්ඤාණත් නැහැ, ඝාන විඤ්ඤාණත් නෑ, ජිව්හා විඤ්ඤාණත් නැහැ, කාය විඤ්ඤාණත් නැහැ, මනෝ විඤ්ඤාණත් නැහැ. ඒ වෙලාවෙදි තියෙන්නෙ චක්ඛු විඤ්ඤාණය විතරයි. අධි වේගයෙන් ක්‍රියාත්මක වෙන නිසා, අපිට පේන්නෑ මේ වෙනස. අපිට පේන්නෙ, එක සැරේ පේනවා, එක සැරේ ඇහෙනවා, එකසැරේ ගඳ- සුවඳ දැනෙනවා, රහ දැනෙනවා, ස්ඵර්ශ දැනෙනවා, හිතනවා, ඔක්කොම එක පොදියක් හැටියට. ඔන්න ඔය රැවටිල්ල නිසා තමයි, “සත්වයා කියන දෘෂ්ඨිය” ගොඩනැඟෙන්නේ. සත්ව දෘෂ්ඨිය කපන්න නම්, ඔය මොහොත බලන්න ඕනේ, මාත්‍රයෙන්.
ඒකනේ “දිට්ඨේව දිට්ඨ මත්තං”. දැකීම, දැකීම් මාත්‍රයයි. ඒකෙ තව මොකුත් නෑ . “දැකීම් මාත්‍රය තමයි, සත්වයා හැටියට විද්‍යාමාන උනේ”. දැකීම් මාත්‍රය සත්වයෙක්ද? අපි ගොඩනගාගෙන ඉන්න සත්වයා, දැකීම් මාත්‍රයකට දාන්න පුලුවන්ද? දැන් මනසේ ගොඩනගාගත්ත සත්වයා කියන්නේ, දැකීම් මාත්‍රයක්වත්, ඇහීම් මාත්‍රයක්වත් නෙමේ. මේ සියල්ලේම සම්පිණ්ඩණයක්, අපි සත්වයා කියලා හිතාගෙන ඉන්නේ. අහන්න පුළුවන්, බලන්න පුළුවන්, ගඳ සුවඳ දැනගන්න පුළුවන්, රහ දැනගන්න පුළුවන්, හිත-හිතා ඉන්න පුළුවන්, මේ එකම පොදියක්.
(ශ්‍රාවක මහතෙක්): සමස්ථය..
(ස්වාමීන් වහන්සේ): අන්න, සමස්තයක් වශයෙන් අරගෙන, අපි සත්වයා කියලා අපි නිගමනය කරගෙන ඉන්නවා. ඔන්න ඕක තමයි, “සත්ව දෘෂ්ඨිය” කියන්නෙ. “ආත්ම දෘෂ්ඨිය” කිව්වෙත් ඔන්න ඕකයි. මේ ඔක්කොම එකතු කරලා, සත්වයෙක් කියලා ගොඩනඟා ගත්තා. ඉතින් මේක බිඳලා බලන්න ඕනේ. විභජ්ජවාදීව, මේක බෙද, බෙදා බලන්න ඕනේ. මොහොතින් මොහොතට, අඩු කරලා, අඩු කරල ගිහිල්ල, අන්තිම මොහොතේදීත්, මේ පහම ක්‍රියාත්මක වෙනවද එකට? මේ පේන එක වෙනවද? දැන් ඇහෙනවා වගේ, පේනවා, මේ ඔක්කොම එකට එකට වෙනවා වගේ පේන එක, පුංචිම කොටස මාත්‍රයට ගියාට පස්සේ තියෙනවද? අන්න එතනයි අහුවෙන තැන.
{05.58} : සත්වයා පැහැදිලි කිරීම උදාහරණයක් මගින්…
(ස්වාමීන් වහන්සේ): අන්න ඒකනේ කිව්වේ. බෙද, බෙදා බලන්න කිව්වේ ඕකටයි. බෙදලා බලනකොට පේනවා, පේන වෙලාවට, තවත් ඇහෙන කෙනෙක්වත්, ගඳ සුවඳ දකින කෙනෙක්වත් එතන විද්‍යාමාන නැහැ. ඇහෙන වෙලාවට, ඇහෙනවා විතරයි. අපිට මේක පේන්නෙ නැත්තෙ, අධි වේගයෙන් සිද්ධවෙන ක්‍රියාවලියේ අපි බැහැලා තියෙනවා දෘෂ්ඨියක්, පේන වෙලාවටම ඇහෙනවා. ඒ වෙලාවට නම් ගඳ, සුවඳත් දැක්කහැකි. ඒ වෙලාවට රහ ත් දැනෙනවා. ඒ වෙලාවෙම ස්පර්ශත් දැනෙනවා, හිත හිතා ඉන්නත් පුළුවන්. ඔක්කොම කටයුතු කරන් යන්නත් පුළුවන්.
“මේ ඔක්කොම එකට සිද්ධවෙන්නේ, මේ එක පොදියක්” අපි හිතන් ඉන්නේ අන්න එහෙම එකක්. ඒ නිසා සත්ව මාත්‍රය, සත්ව ප්‍රඥප්තියක් ගොඩනැගෙනවා. ඉතින් මේක සියුම් කරලා බලපුහාම පේනවා, මේ ගොඩනැගිලා තියෙන ප්‍රඥප්තිය, ගිනි පෙනෙල්ල කරකවනකොට, ගිනි වළල්ල විද්‍යාමාන වුනා වගේ, හැදිච්ච එකක් මේ තියෙන්නෙ. දැන් මේකට සත්වයා කියන්න පුරුදු වෙලා තියෙන්නේ, ගිනි වළල්ලට, ගිනි වලල්ල කිව්වා වාගේ. ගිනි වළල්ල පෙනුනා, ගිනි වළල්ල කිව්වා. ඉතිං ගිණි පෙනෙල්ල කරකැවීමේ ක්‍රියාවලිය එතැන සිද්ධවුණේ.
(ශ්‍රාවක මහතෙක්): හේතු ඵලයක්..
(ස්වාමීන් වහන්සේ): ඔව්, එතන හේතුඵල ක්‍රියාවලියක් සිද්ධ වුණා. ඒක මොහොතක් මොහොතක් ගානේ සිද්ධ වුණ ක්‍රියාවලියක් තුළින් තමයි ඒක ගොඩනැගුණේ. ඉතිං ගිනි වළල්ලක් එතන තිබුණේ නෑ, ඒක මායා දර්ශනය. නමුත් අපිට මායා දර්ශනය කියලා පේන්නේ නෑ, ගිනි පෙනෙල්ල කරකවන එක බැලුවහම, ගිනි වළල්ලක්මයි පේන්නෙ. දැන් අපි හොඳටම දන්නවා, ගිනි වළල්ල පෙනුණාට, එතන ගිනි වළල්ලක් නැහැ. ඒක අපි දන්නවා මොකද අපිට අත්දැකීම තියෙන නිසා.
ඒ වගේ මේකට අත්දැකීමක් නැති නිසා, සත්වයා වශයෙන් පේනවා, එතන සත්වයෙක් නෑ කිව්වොත් පිළිගන්නෙ නෑ. ඒක තමයි මුලාව, අපිට තේරුම් ගන්න බැරි හරිය. අර වගේ උපමාවකින් තේරුම් අරන්, මේක බිඳ බිඳා බලන්න ඕනේ. ගලපලා අන්තිම මාත්‍රයට බහින්න ඕනේ. අන්න මාත්‍රයට බැස්සට පස්සේ, සත්වයෙකුට හිත් දෙකක් නැහැ. හිත් දෙකක් කොයිවෙලාවෙ වත් එකට හිටින්නෙ නෑ. ඒ චිත්ත වීථියක් හටගත්තා, “චිත්ත වීථිය” එකට හටගන්නේ නෑ. චිත්තක්ෂණ දාහත, දාහත් වතාවකට, හටගන්නේ.
(ශ්‍රාවක මහතෙක්): චිත්ත වීථිය ද?
(ස්වාමීන් වහන්සේ): ඔවු, චිත්තක්ෂණ දාහත හටගන්නකොට, ක්ෂණයක මොහොතකත්, දාහත හටගන්නේ, දාහත් වෙලාවක. මාත්‍ර දාහතකට. එහෙනම් එක මාත්‍රයක, එක චිත්තක්ෂණයයි සත්වයාට තියෙන්නෙ. චිත්තක්ෂණ දෙකක සත්වයෙක් නැහැ. එහෙනම් රූප පේනකොට දර්ශන විඤ්ඤාණයක් තියනවනම්, රූප පේන චක්ඛු විඤ්ඤාණයක් තියෙනවා නම්, චක්ඛු විඤ්ඤාණය තියෙන වෙලාවට, සෝත විඤ්ඤාණයක් නෑ.
නමුත් අපිට පේන වෙලාවට ඇහෙනවා. අපිට ගැටලුව තියෙන්නේ ඔතනයි. මොකද, අධිවේගයෙන් මේ දෙපැත්ත ක්‍රියාත්මක වෙන නිසා, අධිවේගයෙන්, හය පොලක ක්‍රියාත්මක වෙනවා අධිවේගයෙන්. ඒ නිසා අපිට ඔය හය පොළේ ක්‍රියාත්මක වීම, එකසැරේ වෙනවා වගේ වැටහෙන්නේ. ඒ නිසා සත්ත්ව ප්‍රඥප්තියක් තියෙනවා කියලා බහිනවා නිගමනයකට.
(ශ්‍රාවක මහතෙක්): ඒ කියන්නේ ඒ වෙනස බේරගන්න බැහැ අපිට…
(ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි කියන්නේ ඒ තරම් සියුම්.
(ශ්‍රාවක මහතෙක්): අති සියුම්..
(ස්වාමීන් වහන්සේ): ඒකයි කාරණය. නමුත් සිද්ධිය ඔච්චරයි. මාත්‍රයට, ඒ මාත්‍රය ඇරෙන්න, තව මාත්‍රා දෙකක් එකට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රූප මාත්‍රා දෙකක්, වේදනා මාත්‍රා දෙකක්, සංඥා මාත්‍රා දෙකක්, සංඛාර මාත්‍රා දෙකක්, විඤ්ඤාණ මාත්‍රා දෙකක්, එකට ගැටෙන්නැහැ කොයි වෙලාවකවත්. නමුත් ඕක තමයි තෝරගන්න බැරි එක.
(ශ්‍රාවක මහතෙක්): ඔය විඳිනවයි කියන එකත් මහා මායාවක්නේ නේද?
(ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි කියන්නේ.
(ශ්‍රාවක මහතෙක්): අර මායාවක මතක සටහන් ටිකක් නේ ඔය විඳින්නේ?
(ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි. දැන් චක්ඛු විඤ්ඤාණ මාත්‍රයක් තියෙන වෙලාවක, සෝත විඤ්ඤාණ මාත්‍රයක්වත්, ඝාණ, ජිව්හා, කාය, මනෝ කියන එක විඤ්ඤාණ මාත්‍රයක්වත් නැහැ. සෝත විඤ්ඤාණ මාත්‍රය තියනකොට, ඒ මාත්‍රය විතරයි. චක්ඛු විඤ්ඤාණ මාත්‍රයක්වත්, ඝාණ විඤ්ඤාණ, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ මාත්‍රයක්වත් නැහැ. ඝාණ විඤ්ඤාණ මාත්‍රයක් ආපු වෙලාවට, ඒ මාත්‍රය විතරයි. එහෙනම් විඤ්ඤාණ කියන්නේ එච්චරයි.
(ශ්‍රාවක මහතෙක්): හැබැයි ටීවී එක දාපු තැන නටනවා සින්දු කියනවා ඔක්කොම තියෙනවා.
(ස්වාමීන් වහන්සේ): ඔක්කොම තියෙනවා. ඔක්කොම තියෙනවා.
(ශ්‍රාවක මහතෙක්): එතකොට මායාව කියන්නේ ඔන්න ඕකටයි.
(ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි.
{09.29}: ලෝකයේ ප්‍රිය – මධුර ස්වභාවය සහ ආදීනවය දැකීම …
(ශ්‍රාවක මහතෙක්): ස්වාමීන් වහන්සේ, දැන් අර බුද්ධ දේශනාවේ තියෙනවා, ඒ කියන්නේ සුළු හෝ සැපයක් නැත්තං සත්වයෝ මේ ලෝකෙ ඇලෙන්නේ නැහැ කියලා. එතකොට ස්වාමීන්වහන්සේ මොකක්ද මේ “සුළු හෝ සැපය” කියන්නේ?
(ස්වාමීන් වහන්සේ): සුළු හෝ සැපය කියන්නේ, ලෝකයේ ප්‍රිය ස්වභාවයක්, මධුර ස්වභාවයක් නැත්තං, ලෝක සත්වයා ලෝකෙට “ඇලෙන්නේ නැහැ”. ඒ වගේ මේකෙ සැඟවුණු ආදීනවයක් නැත්තං, ඒකෙන් “මිදෙන්නේ නැහැ”. ඔය දෙකම තියෙනවා. නුවණින් මෙනෙහි කරලා මේ සැඟවුණු ආදීනවය දැක්කොත්, ඔපමට්ටම් කරලා තියෙන මේ මායාව පේනවා. අපි ඕක නොබලපු නිසයි පේන්නෙ නැත්තෙ. ආදීනවය නොබලපු නිසා තමයි මෙච්චර කල්, ආදීනවයක් බලන්න ක්‍රමයක් තිබුණේ නෑ. මොකද ඒක අපිට ස්වයං තීරණයකට බහින්න ස්වයංභූ ඥානයක් නෑ.
(ශ්‍රාවක මහතෙක්): එහෙම තේරෙන එකක් නෙමෙයි නේ..
(ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි කියන්නේ. ඒ ස්වයංභූ ඥාණය තිබුන බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළාට පස්සේ තමයි, ඒ ගැන විමර්ශනය කළේ. එතකොට තමයි ඒක අපිට අහු උනේ.
(ශ්‍රාවක මහතෙක්): එහෙම සැපයක් තියෙනවා කියල නෙමෙයි පෙන්නන්න.
(ස්වාමීන් වහන්සේ): නෑ ඒක මායාවක්, උගුලක්.
(ශ්‍රාවක මහතෙක්): ඒ මෝහය තියෙනකං ඒක තියෙනවා.
(ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි. ඉතිං අපි මේ ආස්වාදයෙන් මිදෙනවා කියලා කියන්නේ, දැන් අපිට කියනවා මේ ආස්වාදය එපා කරන්න කිව්වට කොහොමද කරන්නේ? ප්‍රිය මනාප ආස්වාදයක් මන වඩන ආස්වාදයක් යමක තියෙනවනම්, අපිට කියනවා “මේ ආස්වාදයක් අත්හරින්න” කියලා පුළුවන්ද ඒක කරන්න? මේ ආස්වාදය එපා කිව්වට හරියනවද? ඒක එහෙම කියල හරියන්නෙ නෑ.
හැබැයි “ඛය” – “වය” කියන වචන දෙකට ගෙවීයාම, විනාශ වී යාම, කියලා අර්ථ දෙකක් අපේ මේ ලෝක සම්මතයේ තියෙනවා. ගෙවීම, වැනසීම. ගෙවෙනවා, වැනසෙනවා කියන දෙක තමයි ලෝක සම්මතයේ ඔය දෙක කියන්නේ. හැබැයි මේක අද වෙනකම් භාවිතා නැති, මේකෙ සැඟවුණු ආර්ය අර්ථයක් තියනවා. හැබැයි මේ ආර්ය අර්ථය අද මතු වෙලා නෑ. ඕක මතු වුණොත් තමයි යථාර්ථය දකින්නේ. “ක්ෂය ධර්ම” දකින්න ක්‍රමයක් තියෙනවා. ක්ෂය වෙන නිසා, ක්ෂය ධර්ම කියනවා ලෝක සම්මතයේ. ක්ෂය කරා ගෙනියන ධර්ම වලට කියනවා ආර්ය අර්ථයෙන්. හැබැයි ඔය අර්ථය අද වැහිල අටුවා නැති නිසා, හෙළ අටුවා නැති නිසා.
(ශ්‍රාවක මහතෙක්): ආ..ක්ෂය පැත්තට අරන් යන ධර්ම…
(ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි කියන්නේ. දැන් අපි හිතමු මෙහෙම, ඒක බලන්නේ මෙහෙමයි. දැන් අපි අහල තියෙනව “යෝ පටිච්චසමුප්පාදං පස්සති සො ධම්මං පස්සති”, වෙන ක්‍රමයක් නෑනේ. පටිච්චසමුප්පාදය දැක්කොත් තමයි ධර්මය දකින්නේ. වෙන ක්‍රමයකින් බෑ.
එහෙනම් ක්ෂය ධර්මයක් කොහොමද හොයාගන්නේ?
“ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස යමකින් ලබා දෙනවද, ඔන්න ඕවා ක්ෂය”. ක්ෂය කියන්නෙ ඔතනයි. ඒක වැය ධර්ම. වැය ධර්ම කියන්නේ ? ගෙවෙන හින්ද එකක්, ඒක ලෝක සම්මතය සම්මත අර්තයෙන්. වැය කියන්නේ විනාසය, මරණය. ක්ෂය වෙනවා, මැරෙනවා.
දැන් ආර්ය විනයේ “මරණය” මොකක්ද? දැන් ඔන්න හොඳ වැඩක් එනවා එක තැනක. අර අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ථ වශයෙන්, මේ ඉන්ද්‍රියයන්, නැත්තං ස්කන්ධයන් බලනකොට, එයා “ඵලය ලබන තුරු මැරෙන්නෙ නෑ” කියලා කතාවක් තියෙනවා නේද? සූත්‍ර දෙකක් තිබුන නේද? එයා සෝවාන් ඵලයට පත්වෙන තුරු, මැරෙන්නෑ කියලා… දවසක් මහත්තයා ගෙනාවා නේද කොලේක?
(ශ්‍රාවක මහතෙක්): ආ.. ඔව් ඔව් ඔව්
{12.30} : ආර්ය විනයේ මරණය, ක්ෂය ධර්ම, වැය ධර්ම තුලින්…
(ස්වාමීන් වහන්සේ): මතකද? දැන් ඕකත් ඔය පටලවාගෙන තියෙනවනේ. දැන් ඒ කියන්නේ එයා කවදහරි සෝවාන් වෙනකන් මැරෙන්නෙ නෑ කියලනේ හිතාගෙන ඉන්නේ. දැන් මේ ක්ෂය ධර්ම, වය ධර්ම හරියට දැනගෙන හිටියනම්, ඕකට උත්තරේ තියෙනවා. මේ නොමැරෙන පැත්ත. නොමැරෙන පුද්ගලයයි, මැරෙන පුද්ගලයයි දෙන්නෙක්, මේ ආර්ය විනයේ ඉන්නවා.
“අප්පමාදෝ අමතපදං”. අප්‍රමාදය, අමෘත පදය, නොමැරෙන පැත්ත. “පමාදෝ මච්චුනෝ පදං”. ප්‍රමාදයයි මරණ පදය. මේ ආර්ය විනයේ මරණය කියන්නෙ ප්‍රමාදයට වැටුනා. අමරණීයයි කියන්නේ අප්‍රමාදයෙන් යුක්තයි. මේ ආර්ය විනයේ මරණය කියන එක, ජීවිතයයි, මරණයයි කියන්නේ ඔය දෙකට. “අප්පමත්තා න මීයන්ති” අප්‍රමාදී පුද්ගලයා මැරෙන්නෑ කිව්වා. ඒ කියන්නේ මේ මේ මස් ලේ කය මැරෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. “ගුණ මැරෙන්නෙ නෑ”.
(ශ්‍රාවක මහතෙක්): මේ පංචකාමය පැත්තට යන එක නවත්තලා, මේකට එන්න කියලා කියන්නේ නේ..
(ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි. යම්කිසි මනුස්සයෙක් රාගයට, ද්වේෂයට, මෝහයට වැටෙනවා නම් අන්න ඒක “මරණය”. රාගයෙන් වෙන් වෙන, ද්වේෂයෙන් වෙන්වෙන, මෝහයෙන් වෙන් වෙන පැත්තට ගියානං එයා “ජීවිතය”. මෙන්න ආර්ය විනයේ “ජීවිතය” සහ “මරණය”. ඔන්න ඔය රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර, ජීවනයට, ඕක තමා “ආර්ය විනයේ ජීවනය”.
ඔය ජීවනයට පහර වදිනවා නම්, ඒක ගෙවිලා යනවා නම්, ඒ කියන්නේ ක්‍රම ක්‍රමයෙන් ඔහු රාග, ද්වේශ, මෝහ කරා ඇදිලා යනවා නම්, ඔහුට ක්ෂය, ඔහු “ක්ෂය” කරා යනවා. ඔහු රාගික, ද්වේශ සහගත, මෝහ සහගත පුද්ගලයෙකු බවට පත් වූවා නම් “වැය”, “මරණය”. එයාගෙ මරණය. මේ ආර්ය මාර්ගය වඩන කෙනා, ඔච්චර ඔය ටික ඔච්චර දුරට ගිය කෙනා, නැවත වාරයක් අර ලෝභ, ද්වේශ, මෝහ කියන ඒවායින් බරිත වෙලා, එතෙන්ට මරණයට පත්වෙනවා කියන තත්ත්වයට, ඒකාන්තයෙන් ඔහු නැවතත් ලෝභ සහගත පුද්ගලයෙක්, ද්වේශ සහගත පුද්ගලයෙක්, මෝහ සහගත පුද්ගලයෙක්, වෙනවා කියන එකට ඉඩ නෑ, හේතු නෑ.
මෙන්න මේ නිසා කියනවා “සෝතාපන්න ඵලය” කියන්නේ ගති නියතයි. අමරණීයත්වයට පත් වුණා. ඒ කියන්නේ මේ “කය මැරෙන්නෑ” කියන එක නෙමෙයි. “ගුණ මැරෙන්නෙ නැති” තත්ත්වයට පත් වුණා. අන්න ඒ නියත වෙනතුරුත්, ඔහු කවදාවත් ලෝභ සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත එකෙක් බවට පත්වෙන්නෙ නෑ. මේ ආත්ම භාවනාව වඩන්න තේරුම් ගත්ත කෙනා. මෙන්න මේකයි කියන්නේ, මේ කය මැරෙන්න පුළුවන්, ඒක නෙමෙයි මරණය කිව්වේ.
මේ ආර්ය විනයෙ “ක්ෂය සහ වැය” තෝරගන්න ඕන. මේක ඉස්සර තිබිච්ච අටුවාවල තිබුනට, අද ඒක නෑ අපේ පොත් වල. අද පොත් වල අටුවා ලියා තියෙනකොට අදහස් අරන් තියෙන්නේ, “මුංඇට හොද්දක් වගේ”. තැම්බිච්ච ඇටත් තියෙනවා, තැම්බිච්ච නැති ඒවත් තියෙනවා. “මුග්ග සූපයට” ඕක උපමා කරලා තියෙනවා. මේ පස්සේ ලිව්ව අටුවා තමයි දැන් අපිට තියෙන්නෙ, මුල තිබිච්ච හෙළ අටුවා අද එකක්වත් නෑ. ශුද්ධ අටුවා නෑ. හැබැයි ඒවායින් අරගෙන පස්සේ ගත්ත අයගේ අදහස් එක්කළා තමයි දීලා තියෙන්නේ.
(ශ්‍රාවක මහතෙක්): එතකොට අපි අදහසක් හැටියට ගන්නේ “සෝවාන් වෙනකල් එතකොට අපි මැරෙන්නේ නැහැ” කියලා තමයි.
(ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි.. අන්න ඒකයි.. දැක්කද, වෙන්නේ ඒකයි. සෝවාන් වෙනකල් මැරෙන්නෑ, කියලා අදහස් ගත්තා. “සෝවාන් වෙනකන් ගුණ මැරෙන්නෙ නෑ”. “ගුණ මැරුණොත්” තමයි ඔහු ප්‍රමාදයට පත් වුණොත් තමයි ඔහු “මච්චුනෝ පදං” වෙන්නේ. ප්‍රමාදයට පත් වුණොත්. ප්‍රමාදය කියන්නේ ලෝභ නම්, ද්වේෂ නම්, මෝහ නම් ඔහු ප්‍රමාදයි. ඒ පැත්තට යනවනම් ප්‍රමාදයක්. ඒ පැත්තට යනවනම් “ක්ෂය”.
එහෙනම් “රාගය, ද්වේශය, මෝහය” ක්ෂය ධර්මයි. ක්ෂය පැත්තට ගෙනියන ධර්ම. ආර්ය විනයේ “ක්ෂය” කියන්නෙ ඕකයි. රාගයට, ද්වේෂයට, මෝහයට පත් වෙලා, ඒකෙන් ඒ තත්වෙන් උපත ලැබුවානම්, ජාති පහල උනානම්, ඔහු “වැයට” පත්වුණා විනාසයි. ඔහුට “මරණය”. ජීවත්වෙලා ඉන්න පුළුවන්, එතකොට ජීවත්වෙලා හිටියත්, ඔහු මැරිච්ච කෙනෙක් වගේ.
“අප්පමත්තා න මීයන්ති යේ පමත්තා යථා මතා”. ප්‍රමාද පුද්ගලයා “මැරිච්ච” එකෙක් වගේ, ජීවත්වෙලා හිටියත්. අන්න එහෙනම් එතකොට, ජිවත් වෙලා ඉන්දැද්දි “මැරෙනවා”. මොනවයින්ද? ප්‍රමාද උනොත්, “ගුණ මැරෙනවා”. “ගුණ මැරීමයි” මේ ආර්ය විනයේ “මරණය” කියන්නෙ. මරණය හෝ මරණය සමාන දුක කියලා, භික්ෂූන් වහන්සේලාට පනවලා තියෙනවා. මොකක්ද? බලවත් ඇවත “මරණය සමාන දුක”. පාරාජිකා මරණය. ජීවිත මරණයක් නෙමෙයි කියන්නේ. මෙන්න මේ නිසා, මරණය සහ මරණය සමාන දුක සහ මරණය කියන එක, ආර්ය විනයේ ධර්මයෙන් තෝරාගන්න ඕන.
ඉතින් ඕක තෝරලා නැහැ අද. අද ඕක භාවිතාවේ නැහැ. එහෙනම් මේ ක්ෂය ධර්ම, වය ධර්ම, කියනකොට මේ පොත්වලත් අටුවා ලියල තියෙන්නෙ, ක්ෂය වෙලා යන ධර්මයි, විනාශ වෙලා යන ධර්මයි, ක්ෂය ධර්ම, වය ධර්ම හැටියට. “රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ” කියන මේ පහම, “ක්ෂය ධර්ම හැටියට, වය ධර්ම හැටියට” පෙන්වනවා.
ඔය රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ පස්සේ “ඡන්දරාගයෙන්” අල්ලන්න ගිය එකාට සිද්ධවෙන්නේ සසර ගමනේ අනාථ වෙන්න. නැත්නම් එයාට කවදාවත් මේ නිවන කරා ගෙනියන්නාවූ, අප්‍රමාදය නැහැ. පංචස්කන්ධය අල්ලන්න ගියොත්, ප්‍රමාදයි. “පමාදෝ මච්චුනෝ පදං”. අන්න මරණයට පත් වුන කෙනා. මෙන්න මේ මරණය තෝරා ගන්න ඕන ඕකෙන්. එතකොට මොකද වෙන්නේ? අන්න ඒකට කියනවා “අනිච්චං ඛයට්ටෙන” කියලා. දැන් ඕක එක තැනක තියෙනවා, “අනිච්ච කියන්නේ ක්ෂය අර්ථයෙන්” කියලා. හැබැයි “ක්ෂය” අර්ථය විග්‍රහ කරන්න සිංහලට තේරුම දීල තියෙන්නේ, ගෙවිලා යනවා, විපරිණාමයට පත්වෙන අර්ථයෙන් කියලා.
ක්ෂය කියන්නේ මොකක්ද? ක්ෂය කියන්නේ ඔන්න ඔය “ගුණ ක්ෂය කරල දාල, ලෝභ, ද්වේශ, මෝහ පැත්තට යන එක”. එතකොට “අනිච්ච” කියන්නේ ඒකයි. ඒ කැමැත්ත මොකක්ද? යම් දවසක ජරාවක් නැත්නම්, මරණයක් නැත්නම්, ශෝකයක්, පරිදේවයක්, දුකක්, දොම්නසක්, උපායාසයක් නැත්නම්, ඕකටයි කැමති කවුරුත්. ඕක එන්නෙ නැත්තං කැමතියි. දැන් කැමැත්ත ඉෂ්ට වෙන්නෙ නෑනෙ, ඒ පස්සේ ගියොත්. “ඉච්ච සේ නෑ” කියල කිව්වෙ, ඔන්න ඔය අර්ථයෙන්. “ක්ෂය” කිව්වෙත් ඔය අර්ථයෙන්. “ක්ෂය ධර්ම කරා යනවනං, කැමැත්ත ඉෂ්ට වෙන්නේනෑ” දුක් විඳින්න වෙනවා. අන්තිමට ගැඹුරටම විග්‍රහ කරන්නේ ඔන්න ඔය ටික.
(ශ්‍රාවක මහතෙක්): ඔය ගැඹුරුම අර්ථය නේද? හැම දහම් වචනයකම තියෙනවා අර්ථ දෙකක්, එතකොට.
(ස්වාමීන් වහන්සේ): ඔව් ඔව් ඔව්.. ආර්ය අර්ථය වෙනයි, ලෝක අර්ථය වෙනයි. ලෝක අර්ථයෙන් නිවන් දකින්න බෑ.
(ශ්‍රාවක මහතෙක්): හැම වචනයකටම ඒක තියනවා නේද?
(ස්වාමීන් වහන්සේ): ඔව්. හැම වචනයකටම ඒක තියනවා. ඒකයි.
{18.40} : “සෝවාන් වෙන්න යන කෙනා ඵලය ලබනකන් මැරෙන්නෙ නෑ” කිවුවේ ඇයි?
(ශ්‍රාවක මහතෙක්): ඔව් දැන් අතන අර මරණය කියන වචනෙත් දැන් විග්‍රහ උනේ වුණේ ඒක මේ.. දැන් අපි හිතන් හිටියේ ඒක අර මේ සෝවාන් වෙලා හිටපු කෙනා මැරෙන්නෑ කියලා.
(ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි, ඔව්, අන්න ඒකයි කියන්නේ. සෝවාන් වෙනකම් මැරෙන්නෑ, මේ මාර්ගය වඩන කෙනා කියල කිව්වොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවා, ගැටලුවක් වෙනවා. “රූපං අනිච්චං, වේදනා අනිච්චා, සංඥා අනිච්චං, සංඛාර අනිච්චා, විඤ්ඤාණං අනිච්චංති”, කියලා මේ භාවනාව කරගෙන යන කෙනෙක් ඉන්නවනම්, එයා “සෝවාන් වෙන තුරු මැරෙන්නෑ” කියලයි තියෙන්නෙ.
දැන් අපි හිතා ගන්නවා, හැබැයි මැරෙන්න මොහොතක් තියලා හරි, සෝවාන් වෙනවා කියලා. මේ ලෝක සම්මත මරණය අරගෙන. සෝවාන් වෙන තුරු ඔහු කවදාවත් “ගුණ මරණයට” පත්වන කෙනෙක් වෙන්නෑ. “ගුණ මරණයට” පත්වෙන්න හේතු නෑ, මෙතන පටන් ගන්නකොටම යථාර්ථය දකින කොට මාර්ගයේ නම්, මාර්ග අනුගාමිකයා ඔය කියන්නේ. “මාර්ග අනුගාමිකයාට ගුණ මැරෙන්නේ නෑ”. අෂ්ඨ ආර්ය පුත්ගලත්වයෙන් එක ආර්ය පුත්ගලයෙක්, පලවෙනි පුද්ගලයා නේ. අෂ්ඨ පුරිස පුග්ගලා නේ… එතෙන්ට ඇවිදිල්ලා නේ ඔය ගුණය වඩන කෙනා. ඉතින් එයා කොහොමද මැරෙන්නේ? ගුණ මැරෙන්නේ..?
ඉතින් ඕවා තමයි පටලවාගත්ත තැන්. ඉතින් ඕව විග්‍රහ කරන්න ගියොත්, අද අපිට විප්ලවයක් එන්නෙ. “මොනවැයි තියෙන ඒව ද ඔය කියන්නේ, ත්‍රිපිටකයේ අහවල් තැන මෙහෙමයි කියල තියෙන්නෙ, ඔය කියන්නේ වෙන කතාවක්නේ!” ඔහොම කතා වෙනවා. නමුත් යථාර්ථය මෙතන අවබෝධ වෙනවා, හොඳට පැහැදිලිව. අපාක්ෂිකව බැලුවොත් හොඳට තේරෙනවා.
(ශ්‍රාවක මහතෙක්): එතකොට ස්වාමීන් වහන්ස, අර අනුලෝමක් ශාන්තියට පත්වෙච්ච කෙනා, නොමැරෙනවා කියන අදහස… අනුලෝමක් ශාන්තියට…
(ස්වාමීන් වහන්සේ): අන්න ඒකනෙ කියන්නේ. අනුලෝමක් ශාන්තියටනේ. ඔතෙන්ට එනකොට.
(ශ්‍රාවක මහතෙක්): අර ධම්මදා තෙරණිය පත්වුනේ, අර පන්දාහක් විතර මර මර හිටපු මනුස්සයා, එක බණ පදයක් අහලා අනුලෝමක් ශාන්තියට පත් වෙලා, තුසිත දෙව්ලොවට ගියානේ. කට්ටියම අහනවනේ කොහොමද එහෙම පත්වුණේ කියලා, බුදුරජාණන් වහන්සේගෙන් අහනවනේ….
(ස්වාමීන් වහන්සේ): ඔව් ඔව්, ඒකයි කියන්නේ. ඉතිං එතකොට, “ක්ෂය ධර්ම” “වය ධර්ම” කියන එකේ අර්ථ දෙකක්. ලෝක සම්මතයේ අර්ථය ගෙවි-ගෙවී යනවා, මැරිල යනවා, විනාශ වෙලා යනවා – ක්ෂය අර්ථය. “ආර්ය විනයේ ක්ෂය ධර්ම” කියල කියන්නේ, “ගුණ ක්ෂය වෙලා යනවා”, ගුණ වැනසිලා යනවා.
මෙන්න මේක දැනගත්තොත් කොච්චර සුන්දර වස්තුවක් දැක්කත්, අපිට පේනවා “මේ සුන්දර බව ඇත්ත. හැබැයි මේක ඇතුලට ගියොත්, අපේ ගුණ ක්ෂය වෙලා යනවා, ගුණ වැනසිලා යනවා. ගුණ ක්ෂය වුනොත්, වැනසුනොත්, හම්බවෙන්නේ අන්තිමට මොකක්ද? ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස. හැබැයි යම් තැනක අප්‍රමාදද, අප්‍රමාදී පුද්ගලයාට ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස මාර්ගය නෑ…”
එහෙනම් “අවිජ්ජා යත්තේව අසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ” ඔතනයි යන්නේ. එයා යන්නේ එතනට. අන්න ආර්ය මාර්ගය. “ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරෝධෝ හොති”. දුක් කඳ නිරෝධ කරන එක. ඒක හටගන්න එක නෙමෙයි. එහෙනම් අන්න ඒ ධර්මය, ක්ෂය වෙන්නේ නැහැ, වැය වෙන්නේ නැහැ. ඒක ජීවන ධර්මයක්. අමරණීයයි. අමරණීය මාර්ගය, අමරණීය ඵලය.
{21.28} : ආර්ය විනයේ දුක – අනිච්චං ඛයට්ටෙන, දුක්ඛං භයට්ටෙන, අනත්ථනං අසාරඛයට්ටේන
(ශ්‍රාවක මහතෙක්): ස්වාමීන් වහන්ස, එතන අර “අනත්ථ” කියන එක පොඩ්ඩක් අර්ථ දෙක, පොඩ්ඩක් පෙන්නන්න පුලුවන්ද?
(ස්වාමීන් වහන්සේ): ඔව්. එතකොට මෙතන පෙන්නන්නෙ, එතකොට මේ “අනිච්චං ඛයට්ටෙන”, “දුක්ඛං භයට්ටෙන”. “දුක” කියන්නේ “භය” අර්ථයෙන්. “ආර්ය විනයේ දුක” කියන්නේ මේ අපි විඳින දුක නිසා, දුක්ඛ අර්ථයෙන් නෙමෙයි. මේ මග, මේ ප්‍රිය මනාපව පෙන්න තියෙන සුන්දර මාර්ගයක් වශයෙන් පේන්න තියෙනවා. මේක ඇසුරු කලොත්, මේකෙන් පටන්ගෙන කවදාහරි ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස උපායාසයන්ට මුහුණ දෙන්න වෙනවා. එහෙනම් මහා භයානකයි නේ, ඇසුරු කරන්න යන එක. “මෙන්න මේ අදහසින් තමයි දුක්ඛං භයට්ඨේන කිව්වේ”. “භය අර්ථයෙන් දුක” කිව්වේ. ආර්ය විනයේ දුක ඔන්න ඕකයි.
ඔන්න ඕක තමයි දකින්නේ නැත්තේ, අනිත් අය. සුන්දර වස්තුවක් දැක්කහම, ඒකේ ඇලි ඇලී ගිහින්, විනාස වෙනවා මිසක්, ඒක හොද එකක් කියල ගන්නවා මිසක්, ඒකට බය හිතෙන්නේ නෑ. දැන් මේ සුන්දර නෑ කියල කියපු එක නෙමෙයි, මේ දුක කියල කිව්වේ. සුන්දරෙන් තමයි වහල තියෙන්නේ, හැබැයි භයානක දෙයක්. ලස්සන සෙල්ලම් බඩුව ඇතුලේ බොම්බේ තිබ්බා දැක්කනම්, භය අර්ථයෙන් දකිනවනේ ඒක “දුකයි” කියල. අන්න මේ “ආර්ය විනයේ දුක” කියල කිව්වේ, ඔන්න ඕකට. “දුක්ඛ ආර්ය සත්‍යය” කිව්වේ.
ඔන්න ඔය භය වශයෙන් දකින්න ඕන. ප්‍රියයි, මනාපයි, සුන්දරයි කියල තියෙන ඒවා ඔක්කොම උගුල්. මේ උගුලට වැටුනොත් එහෙම මහ භයානකයි. මොකද වෙන්නේ? කවදාවත් ප්‍රමාදයට පත්වන මරණය හෙවත් මේ කියන පහත් තැනට වැටෙන්න වෙනවා . මේකෙන් ගොඩ එන්න බැහැ, මෙන්න මේක දැක්කම කොච්චර සුන්දර උනත් මෙන්න මේක අල්ලන්න හිතෙන්නේ නැහැනේ.
ලස්සන එක “කැතයි කියල හිතපන්, කැතයි කියල හිතපන්!” කිව්වට, පුලුවන්ද කරන්න? එක වෙන්නේ නැති දෙයක්නේ. දැන් අද කරන්න හදන්නේ, “ඔය රූපේ කැතයි, රූපේ කැතයි!” කියා කියා හිටපු එකා, අනික් පැත්තෙන් ගිහිල්ල ගැහැනියක් අරගන, මේ පැත්තේ බණ කියා කියා ඉදල. ඉතින් මොකද වෙලා තියෙන්නේ? දොස් කියල බැහැ ඉතින්, ගත්ත දහම් ක්‍රමය වැරදිලා තියෙන්නේ. “රූපේ භයානකයි” කියල දැනගත්තනම්, කොච්චර ලස්සනට තිබුනත්, භයානකයි. භයානකත්වය යථාර්තයෙන් ආවනම් “භයට්ටෙන”. ආං “භය අර්ථය” ආව “දුක”. මෙන්න “දුක්ඛ ආර්ය සත්‍යය”. “දුක්ඛ ආර්ය සත්‍යය” වැටහුනා නම්, කොච්චර ලස්සනට තිබුනත් එයා දන්නවා මේක මහා භයානක බෝම්බයක් තමයි කියල.
(ශ්‍රාවක මහතෙක්): උගුල පේනවානේ.
(ස්වාමීන් වහන්සේ): අන්න උගුල පේනවා. එහෙනම්, මර උගුලක් කියලා දකින්න ඕන. හැමවෙලේම උගුල, ලස්සන, සුවද, ප්‍රියමනපයෙන් තමයි මර උගුල හැදිලා තියෙන්නේ. ඔන්න ඕක “මර උගුලක්” කියල දැක්කදාට, බය හිතෙනවා, ඒවාට ඇසුරු කරන්න.
එතකොට “අනත්ථං අසාරඛට්ඨේන”. “අනත්ථයි” කියන්නේ “අසාරයි” කියන අර්ථයෙන්, හරයක් නෑ. එහෙනම් මේ ඔක්කොම මර උගුලක් පස්සේ ගිහිල්ල, අන්තිමට බලපුවහම දුක්ඛ, දෝමනස්ස, උපායාසයන්ගෙන් කෙලවර කරලා යනවා මිසක්, ඉතුරු කරපු යහපතක් හරයක් නෑ. සුන්දරත්වයට රැවටී රැවටී ගිහිල්ල දුක් විඳිනවා මිසක්, ලබන හරයක් නෑ. මෙන්න මේක දැක්කට පස්සේ, “අසාරඛට්ඨේන” දැක්කා, අනත්ථා. ඕකටයි අනත්ථ කියන්නේ, ආර්ය ධර්මයේ අර්ථයෙන්.
ලෝකයා අනත්ථ කියන්නේ “ආත්මයක් නෑ”, එක අර්ථයක්. ආත්ම වශයෙන් ගන්න දෙයක් නැහැ කියලත්, එහෙමත් බහිනවා ඊලගට. ඕක තමයි තියෙන වෙනස. අනාත්මයි කියපුවහම පුද්ගලයා, “ආත්ම ඇත”, “ආත්ම නැත” කියන දෘෂ්ඨි දෙකේ යන්නේ. “ඇත” එක අන්තයක් “නැත” එක අන්තයක්. අන්ත දෙකට වැටුනොත්, සසරෙන් ගොඩ එන්න බෑ, යථාර්තය වැටහෙන්නේ නැහැ.
අසාරක අර්ථයෙන්, අසාරක අර්ථයෙන් දැක්කොත් අනත්ථා කියන්නේ ඒකයි කියල, “කොහොමද අසාර වෙන්නේ?” අන්න එතකොට අසාර වෙන හැටි දකිනවා. හොඳයි, හොඳයි, සුන්දරයි කියල පටන්ගත්ත, පටන්ගෙන අවසාන වෙලා ප්‍රතිපලයේ අවසානය බලනකොට, “ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසා සම්භවන්ති”. තව ඉතුරු කරපු මොකද්ද සාරත්වය. අසාරත්වයක්ම ගෙනදුන්නා මිසක්, වෙන මොකද්ද ගෙන දුන්නේ? ඉතින් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස අසාරයි කියල දැක්ක දාට, “ඒ අසාර මාර්ගය නේද මේක” කියල දකිනවා. අන්න අසාරත්වය දැක්කා.
එතකොට, “එහෙනම් අසාර දෙයක් පස්සේ මොකට යන්නද. හරයක් නැහැනේ. හරයක් නැති ලෝකේ කොච්චර සුන්දර උනත් මොකටද?” අන්න සුන්දරත්වය බිඳෙන හැටි. එදාට කවදාවත් ඔය සුන්දර වස්තු වලින් කොටුකරන්න බැහැ. මාර ධර්මය කොටුකරන්න බැහැ කිව්වේ එකයි. ඇහැට පෙනෙනවා එහෙමම, කනට ඇහෙනවා ඒ වගේම, ප්‍රිය ස්වභාවය, මධුර ස්වභාවය දැනෙනවා, ඒ උනාට ඒකට කොටුකරන්න බැහැ, උපදාන කරන්නේ නැහැ. ඡන්දරාගය බිඳිලා, ඉතින් මේක තමයි ආර්ය මාර්ගය.
ඉතින් ලක්ෂණ තුනයි ඔය පෙන්නලා තියෙන්නේ. ඔය ලක්ෂණ තුනෙන් තමයි, ඔය ප්‍රිය මනාපය වැහිලා තියෙන්නේ. ඕක දැක්ක දාට තමයි මිදෙන්නේ. ඉතින් ගෙවිල යනවා, ගෙවිල යනවා කියල දැනගත්තහම, ගෙවිල යන හින්දා, ඉක්මනට තව එකක් හදාගන්නවා, ගිහිල්ලා. වැනසෙනවා නම්, තව එකක් හදාගන්නවා. ගෙවුනට, වැනසුනාට, ආසාව ඇරෙන්නේ නැහැනේ. ප්‍රිය මනාපය ඇරෙන්නේ නැහැනේ. ආස්වාද කියන, දෘෂ්ඨිය ඇරෙන්නේ නැහැනේ.
හැබැයි “මේක පස්සේ ගියොත්, මෙන්න මේ ශෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස ගොඩනැගෙන්නේ මෙන්න මේක පස්සේ ගියොත්..”. ඒක දැක්කොත් දකිනවා, එහෙනම් “ඒකට යන මාර්ගය ක්ෂයයි”, ගියොත් මොකද වෙන්නේ අන්තිමට, ඒකාන්තයෙන්ම ශෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසයන්ට, කවදාහරි ගොදුරු වෙන්න වෙනවා මයි. ඒකෙ අවසානය එතනයි. එහෙනම් “වැයයි”, විනාසයයි. ඔන්න “ආර්ය විනයේ මරණය”. ජීවිතයේ තියෙන, මේ හටගත්ත සත්වයාගේ කොයි මොහෙතේ මැරෙනවද කියන එක, ඒක ලෝක සම්මතයක්, ඒක කොයි මොහොතේත් වෙන්න පුළුවන්. ඒක නෙමෙයි ඔය කියන්නේ.ආර්ය විනයේ මරණය දැනගතහැකි මාර දහම් දැක්කොත්, ආර්ය විනයේ මරණය කියන එක.
වැනසෙන දහම නම් කවුරුත් දකිනවා. “අපේ අත්තා හිටිය, මුත්තා හිටිය, මැරුණා. තාත්තා හිටිය, එයත් මලා. අම්මා හිටිය, එයත් මලා. ආච්චි, ආතා, ඔක්කොම මලා. ඉතින් ජීවත් වෙලා හිටපු අය මැරුණා, අපි දන්නවනේ. පේන්න තියනවනේ, නාකි වෙලා තමයි මලේ, ක්ෂය වෙලා තමයි මැරිලා ගියේ. ඉතින් අපි දන්නවනේ ඒක, ඉතින් එහෙනම් දැනුත් ඔය ඉන්නේ ඔය, මහලු වෙලා ඉන්නේ, ක්ෂය වෙලානේ, ඉතින් ඕගොල්ල මැරෙනවානේ, ඉතින් වැයනේ. ක්ෂය වෙලා ඔය විදියට දැකල නැද්ද? ඕක දකිනවනේ. ඔය විදියට දැක්ක කියල කොරන්න පුළුවන්ම් ඉතින්, මැරෙනවානේ. ඊට පස්සේ මොකද්ද? ඔය අපේ ආතත් ඉන්නවා මැරෙනවා, තාත්තත් ඉන්නවා මැරෙනවා, ඔප්පුව ලියා ගන්න ඕන මැරෙන්න ඉස්සෙල්ලා!” අදහස එන්නේ ඔතනටනේ ඊට පස්සේ. හෙට අනිද්දට මැරෙයි කිව්වොත්, “ඉක්මන් කරපියව් යකෝ, එනවකෝ යන්න ලියවගන්න හොරෙන් හරි, හොර ඔප්පුවක් ගහල හරි, හොර අත්සනක් ගහල හරි!” මිනිහගේ හිත යන්නේ ඒකට.
ඒ මරණය දැකල කවදාවත් මිනිහෙකුට සැනසුමක් හම්බෙනවද? කොච්චරවත් හිත යන්නේ, මැරෙනවනම් ඉස්සෙල්ලා ගතයුතු ප්‍රයෝජනය ගන්න ඕනේ. ක්ෂය වෙනවනම්, ක්ෂය වෙන්න ඉස්සෙල්ලා ගතයුතු ප්‍රයෝජනය ගන්න ඕනේ. “යකෝ තරුණ කලේ ඉවරවෙන්න ඉස්සෙල්ල විඳපියව්, මහලු කාලේ විඳින්න යෑ ඕවා?” මහලුවන බව දන්නවා, ක්ෂය වන බව. “ක්ෂය වෙන්න ඉස්සෙල්ල වැඩේ කරගනියව්!” ඕකටනේ හිත බහින්නේ කොච්චර හරි. ක්ෂය උනොත් මොකද? “තව එකක් ගොඩනගා ගනියව්!” ඕකටමනේ දඟලන්නේ…
මේ කවදාවත් ආසාව දුරුවෙන්න, මේ වැහැරිලා යනවා, මැරෙනවා කිව්වට ආසාව දුරුවෙනවානම්, මිනිසුන්ගේ මෙලහට දුරුවෙලා ඉවරයි. මොකද ඕක දැකල තියෙනවා ඔක්කොම කට්ටිය, මාත්‍රයක් දුරුවෙලා තියෙනවද? ක්ෂය වෙන හැටි, මැරෙන හැටි දැක්කානම්, ඒකාන්තයෙන් එයා ගොඩ එන්න ඕන, ධර්මය අවබෝධ වෙන්න ඕන. ඉතින් ඕක ඔය යම්කිසි මාත්‍රය යෑ දකින්නේ, ඔය ඕනෑතරම තමන්ට වෙච්ච එකත් දකිනවා, අනුන්ට වෙන එකත් දකිනවා. මාත්‍රය, මාත්‍රය හරි හැමදාම දකින එකනේ, අනන්ත සංසාරේ පටන් එන්නේ ඔය දෙක. ඔය මාත්‍රය මාත්‍රය එකතු වෙච්ච එක ආර්ය මාර්ගය උනානම්, මෙච්චර දුර සතෙක් ගමන් කරයිද? හැදෙයිද?
(ශ්‍රාවක මහතෙක්): එහෙම උනානම් ස්වාමීන් වහන්ස, අරිහත් පලයට පත්වෙන්න වෙනවනේ.
(ස්වාමීන් වහන්සේ): එකනේ කියන්නේ. ඔව් මොකද සංසාරෙම ඔය දෙක දකිනවනේ. වැහැරෙනවා, මැරෙනවා, වැහැරෙනවා, මැරෙනවා. පේනවනේ, ඇහැට පේන එකක්නේ ඕක. හැබැයි ඕක ඇහැට පෙනුනට, චතුරාර්ය සත්‍යය පෙනෙන්නේ නුවණට, ප්‍රඥාවට. ඔය සිද්ධිය පෙනෙන්නේ මස් ලේ ඇහැට. දැන් වෙනස බලන්න කොච්චරද කියල! මස් – ලේ ඇහැට පෙනෙනවා ක්ෂය වෙන හැටි, මැරෙන හැටි ලෝකයක. හැබැයි මෙන්න මේ සුන්දර වස්තුව පස්සේ ගිහිල්ල, මේක බදාගන්න ගියොත් අන්තිමට, මෙන්න මේ ජාතියේ එකකටයි ගොදුරු වෙන්න වෙන්නේ කියල දකින්නේ “ප්‍රඥාවෙන්”. ඒක ඇහෙන් දකින්න බෑ. මෙන්න යථාර්තය දකින හැටි.
(ශ්‍රාවක මහතෙක්): ඒ තත්වේ ඇහැට ගන්නම බෑ.
(ස්වාමීන් වහන්සේ): ඒක කොහොමවත් ගන්නම බෑ, සම්බන්ධ කරන්නම බෑ. ඒක තමයි චතුරාර්ය සත්‍ය ප්‍රඥා චෛතසිකයෙන් කරන්නේ. ක්ෂය වෙන එක, වැය වෙන එක ලෝක සත්වයා දකින්නේ, මේ ඇහැ සම්බන්ධ කරගත්ත අනික් චෛතසික වලින්. එතනිදී වේදනා චෛතසිකය මුල්වෙලා, ඒ ටිකෙන් ඒක දකිනවා.
{30.05} : ප්‍රඥා චෛතසිකය කියන්නේ වේදනා චෛතසිකය නෙමෙයි
(ශ්‍රාවක මහතෙක්): ඒ කියන්නේ ප්‍රඥා වන්තයාටමයි මේ ධර්මය …
(ස්වාමීන් වහන්සේ): “ප්‍රඥාවන්තස්ස අයං ධම්මෝ!” මේ ධර්මය ප්‍රඥාවන්තයට මිසක්, ඔය චේතනාවට නෙමෙයි. වේදනා චෛතසිකයයි, චේතනා චෛතසිකය කියන්නේ, “ප්‍රඥා චෛතසිකය” නෙමෙයි. ප්‍රඥා චෛතසිකය කියන්නේ, විශේෂ එකක්. ඒ ප්‍රඥා චෛතසිකයට ගෝචර දහමක්, “චතුරාර්ය සත්‍ය – දුක්ඛ ආර්ය සත්‍යය”. අද මේ විඳින දුක, අනේ වැහැරෙනවා දුකයි, මැරෙන්න එනවා දුකයි, ලෙඩ වෙනවා දුකයි, ඕක ප්‍රඥාවට නෙමෙයි, ඕන ඔලමොට්ටලයකුට තේරෙනවනෙ.
(ශ්‍රාවක මහතෙක්): සත්තුන්ටත් තේරෙනවනෙ.
(ස්වාමීන් වහන්සේ): සත්තුන්ටත් ඕක තේරෙනවනෙ. උනුත් කෑගහනවනේ. උන්ටත් දුක දැනිලානේ. එක බල්ලෙකුට වෙඩි තිබ්බොත්, අනිත් බල්ලො පළාතෙත් නෑ, දුවලා, මරණ බය නැද්ද? ඉතිං “භයට්ටෙන දුක්ඛා” කියන එක මරණ බය ගත්තොත් එහෙම, බල්ලාටත් චතුරාර්ය සත්‍යය කරන්න පුළුවන්නේ ඔය විදිහට කියනකොට. ඌටත් බය තේරෙනවනෙ. ඒ බය වෙන එකක්. ඒක මේ ලෝක සත්වයන්ට පිහිටපු, මොලයක් ඕන්නැහැ ඒකට මේ ප්‍රඥාවක් ඕනේ නැහැ ඕක තෝර ගන්න. කපුටෙකුට වෙඩි තිබ්බොත් පැත්ත පළාතක නැහැ අනිත් කපුටෝ එකෙක්වත්. උන්ටත් ඒකට බයයිනේ. උන්ටත් තේරෙනවනේ මරණ බය කියන එක.
ආහාර, නිද්‍රා, භය, මෛතුන කියල හතරක් තියෙනවා කියලා, හැබැයි බුදු දහමේ නෙමෙයි තියෙන්නේ, ඔය වේද ධර්ම වල. ඔය හතර ඔය තිරිසන් සත්තුන්ටත් ඉතිරි වෙලා තියෙන එකක්. ආහාරය, ඌට හොයාගෙන යන්න, ඌට හිතක් එනවා. නිදාගන්න හිතෙනවා. ඌ මරණ භයයි. ඌත් මෛතුන සේවනයේ යෙදෙන්න ඌට ආසාව තියෙනවා. ඔය හිත් හතර තිරිසනුන්ටත් පහල වෙනවා කියල වේද ග්‍රන්ථයක තියෙන විස්තරේක තියෙන්නේ ඔය ටික. ඉතින් ඒ වගේ ඉතින් ඔය භය කියන එක සත්තුනටත් තියෙනවා. ඔය මරණ භය කියන එක ඔක්කොටම තියෙනවා.
“භය දන්නවද?” “මොකද නැත්තේ, භය දන්නවද? භය කියන එක දන්නැද්ද?” ඉතින් “දුක්ඛං භයට්ටේන” කියන එක ඔය අර්ථයෙන් එහෙම ගත්තොත් එහෙම හරියනවද? ඔය භය අර්ථයෙන් දුක ගත්තොත්, දුක්ඛ ආර්ය සත්‍ය දැකල ඉවරයි මේ ඔක්කොගෙම. තිරිසන්නුත් දැකලා, මනුස්සයොත් දැකලා. වෙන්න පුලුවන්ද? නෑ කියන්නද? අපේ පොතේ තියෙන ප්‍රශ්ණ වලින් කතා කරන්න බෑ, අපිට පේන ප්‍රායෝගික දේ තුලින්ම ඕක තේරෙනවා.
“සසර භය” කියල කතාවකුත් තියෙනවා. මේ සං, “සාරයි” කියල හිතාගෙන ඉන්න එක “භය” වශයෙන් දකින්න ඕන. “සං” කියන්නේ මේ ප්‍රිය මනාප එකතු. ඕවා “සාරයි” කියල හිතාගෙන තමයි මේ පස්සෙන් යන්නේ. ඔන්න ඕක “භය” හැටියට දකින්න ඕනේ. ආං “සංසාර භය”. ලස්සනට තේරිලා තියෙන්නේ. “සංසාර භය දකින්න, නිවන් දකින්න නම්”. අද සසර භය කියල දකින්නේ, සසර භය නෙමෙයිනේ. ඒක වචනය විතරයි.
{32.39}: නිවන් දකින්න, සසර භය දැකීම අවශ්‍යමද?
(ශ්‍රාවක මහතෙක්): සසර දුක් භය දකින්න කියලා, කියලම තියෙනවා
(ස්වාමීන් වහන්සේ): ඔවු! කියලම තියෙනවා. සසර භය දකින්න ඕනේ. ඉතින් සසර භය දකින්න කියනවා මිසක්, අපි දන්නේ නැහැ, “සසර භය”. “සං, ‘සාරයි’ කියන එක, භයානකව දකින්න”. දැන් “සසර භය දැක්කා නම් නිවන”. ඒකෙ කතාවක් නෑ.
අද සසර භය කියන්නේ මොකක්ද? “අනේ බලන්නකෝ ඉස්සෙල්ල ආත්මෙත් අපි ඉපදෙන්න ඇති, මැරිලා යන්න ඇති, කුණුවෙලා යන්න ඇති, ඇට කටු දිරල යන්න ඇති. ආයිත් මේකටත් වෙන්නේ මේකයි. හරි වැඩේනේ. භය කොච්චර එනවද, සතුරෝ එනවා, හොර හතුරෝ එනවා, ගේ දොරවල් මංකොල්ල කාගෙන යනවා, මහ භයානකයි නේන්නම්. ඉතින් ඕවනේ සසරේ භය…”
(ශ්‍රාවක මහතෙක්): ලෙඩ දුක් හැදෙනවා….
(ස්වාමීන් වහන්සේ): ලෙඩ දුක් හැදෙනවා. ඉතින් මෙච්චර කල් හැම තැනම කියන්නෙත් ඔය භය. ඔය කතාව කොච්චර යනවද? භය විග්‍රහ කරගෙන, දුක විග්‍රහ කරගෙන, “ඔය දුක නේන්නම්, ඕව භය නේන්නම්” ඉතින් කෝ නිවන්? කෝ අවබෝධය?
බලන්න කිව්වේ තනිකරම, සුන්දර පැත්තේ යථාර්තය මිසක්, ඔය සුන්දරෙන් වහල තියෙන මායාවේ යථාර්තය බලන්න කිව්වා මිසක්, ඔය පේන්න තියෙන දුකේ යථාර්තය ගැන කතා කලේ නෑ. ඒක දැකල යථාර්තය දකින්න බෑ.
(ශ්‍රාවක මහතෙක්): ඒකෙ කියන්න දෙයක් නෑ. ඒක ඕන පුද්ගලයෙකුට තේරෙනවා.
{33.34}: දුක්ඛ නිරෝධයට – දුකට හේතුව දුරුකරන්න, තණ්හාව දුරුකරන්න
(ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි. ඔව්. දුක්ඛ නිරෝධය මොකක්ද? “යෝ තස්සා, යේව තණ්හාය අසේස විරාග නිරෝධෝ, චාගෝ පටිනිස්සග්ගෝ, මුත්ති අනාලයෝ” මේ තෘෂ්ණාව පිළිබඳව, මේ ආසාව පිළිබඳව, ඒකෙ ත්‍යාගයක්, පිලිනොගැන්මක්, මිදීමක්, නොඇල්මක් ඇද්ද, මෙන්න මේක “දුක්ඛ නිරෝධය”, “දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය” ඕකයි. දුක නැති කරන්න නම්, ඕක කරන්න ඕනේ. තෘෂ්ණාව නැති කරන්න ඕනේ. අද දුකයි, දුකයි කියලා, දුක නැති කරන්නයි හදන්නේ. “දුක පිරිසිඳ දැනගන්න, සමුදය දුරු කරන්න, හේතුව දුරුකරන්න”.
හේතුව, “යායං තණ්හා, පෝනෝභවිකා, නන්දිරාග සහගතා, තත්‍ර තත්‍රාභිනන්දනී, සෙය්‍යතීදං කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා”. මේ තණ්හාවමයි පෙන්නුවේ, අසාවමයි පෙන්නුවේ, ප්‍රිය මනාපයමයි පෙන්නුවේ. ඔන්න ඔය ප්‍රිය මනාපයයි මේ දුකට මුල. දුක අයින් කරගන්න ඕනනම්, ඔන්න ඔය මුල වන හේතුවෙන්, ප්‍රිය මනාපය ඉවත් කරගන්න ඕනේ. ඔන්න ඕකේ තියෙන ආදීනවය දකින්න. ඔය සුන්දරත්වයයි හිතා ඉන්න එකේ. ඔන්න ඕක භයානක වශයෙන් දකින්න. “ඕකට ගියොත් මේ .. වැනසිලා යනවා, මොනවයින්ද? ශෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස වලට පත්වෙන්න වෙනවා ඔන්න ඕක උනොත්. ඔන්න ඕක අහක් කරලා මිදෙන්න!”
මෙන්න මෙකයි අපිට දෙසූ දහම. නමුත් අපි මෙච්චර කල් කරන්නේ “නාකි වෙන එක දුකයි, දත් හැලෙන එක දුකයි, හංකඩ රැලි වැටෙන එක දුකයි…” ඔය ටිකමයි බලන්නේ. ඉතින් මරණය, සම්මතයෙන් පේනවා.
දැන් “කතංච භික්කවේ ජාති”. ඉතින් ඒ ජරා. ජරා කියන්නේ, ඉගෙන ගත්තා “කන්දිච්චං, පාදිච්චං, වෛච්චකතා” ඒ ආදී වශයෙන් පෙන්නනවා. කැඩීමක් ඇද්ද, පෙලිමක් ඇද්ද, හංකඩ රැලි වැටීමක් ඇද්ද, දත් හැලීමක් ඇද්ද, මේක ජරාව කියල පෙන්නලා තියෙනවා. ඉතින් ලෝක සම්මතයේ ජරාව විග්‍රහ කල එක ඇත්ත.
හැබැයි ජරාව දුකක් වෙන්නේ කොතනින්ද? ජරා දුක මොකක්ද? අන්න “ජරා දුක” විග්‍රහ කරලා තියෙන්නේ, අර පලවෙනි මංගල ධර්ම දේශනාවේ, “ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ”, ජරාව එතනින් පෙන්නලා, ඕක විග්‍රහ කරලා තියෙන්නේ “සච්ච විභංග සූත්‍රයේ”. “කතමා චා අව්සෝ, ජරා”. එතකොට ජරාපි දුක්ඛං. ඉදන් ඛෝ පන… මෙහෙමයි තියෙන්නේ ඒකෙ.
“ජරා ධම්මානං ආවුසෝ සත්තානං ඒවං ඉච්චාය පත්තබ්බං ඉච්චාය උප්පජ්ජති”
“ජරා ධම්මානං ආවුසෝ, සත්තානං ඒවං ඉච්චාය උප්පජ්ජති”
“අහෝ වත මයං න ජරා ධම්මා අස්සාම”
“නච වත සෝ ජරා රාගච්චෙයියාති”
එතකොට
” ඉදම්පි යම්පි ඉච්චං න ලභති, තම්පි දුක්ඛං”
ඇවැත්නි “ජරා” ධර්මතාවය කරගෙන ඉන්න මේ ලෝක සත්වයා, සත්වයාට, මෙහෙම කැමැත්තක් ඇති වෙනවා. “අනේ මට මෙබඳු ජරාවක් එන්නේ නැත්තං, කොච්චර හොඳද?” ඒක එහෙම හිතුවට, සිද්ධ වෙන්නේ නැති එකක්. මෙන්න මේ තමන්ගේ කැමැත්ත සිද්ධ වෙන්නේ නැති නිසා, මෙන්න මේක දුකයි. අන්න “ජරා දුක දකින හැටි”. “මෙහෙම ජරාවක් මට එන්නැත්තන්, කොච්චර හොඳද?” සත්වයාට මෙහෙම හිතක් ඇති වෙනවා. ඒ හිතුවට හරියන්නෑ. ඒක එනවා. මෙන්න කැමති නැති දෙයක්, ජරාවේදී සිද්ධ උනා. ජරාව නිසා කැමති නෑ. කැමති විදිහට නැති උනා. මෙන්න ඉච්ච සේ නැති නිසා, “අනිච්චයි”. අන්න දුක ආපු හැටි. ඒක “දුක්” වෙච්ච හැටි.
“ජාති ධම්මානං ආවුසෝ, සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති”. ඇවැත්නි, මේ ජාති ධර්මය නිසා සත්වයාට මෙන්න මෙහෙම කැමැත්තක් ඇති වෙනවා.
“අහෝ වත මයං න ජාති ධම්මානං අස්සාම”. අනේ මට මෙහෙම ජාති ධර්මයක් එන්නේ නැත්තං…
“ඒවං ඉච්චා උප්පජ්ජති”. මේ විදිහට කැමැත්තක් ඇති වෙනවා. ඒ විදිහට පෙන්නලා තියෙන්නේ එතකොට. නමුත් ඒක, ඒ කැමති සේ පවතින්නෑ. කැමති සේ සිද්ධ වෙන්නේ නෑ. ඒ නිසා ඒක දුකයි.
“නඛෝ පණීතං ඉච්චාය පත්තබ්බං”. ඒක කවදාවත් ඒ කැමති සේ සිද්ධ වෙන්නේ නෑ.
“ඉධම්පි යම්පි ඉච්චං න ලභති, තම්පි දුක්ඛං”. මෙන්න මේකට කියනවා කැමති යමක් නොලැබීමේ දුක. එහෙනම් ජාති දුක දැනගන්න නම්, ඔන්න ඔය ක්‍රමයට දැනගන්න ඕනේ.
ජරා දුකත් ඔය ක්‍රමයට දනගන්න ඕනේ. ව්‍යාධි දුක, මරණ දුක, ඔක්කොම එහෙමයි. ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසයන්ගේ දුකත් එහෙමයි. මේ එකක්වත් අපි කැමති නැති දේ සිද්ධ වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා “මේක මෙහෙම උනොත් නම් හොඳයි” කියල. නමුත් ඒක අපේ කැමැත්තක් මිසක්, ඉෂ්ට වෙන එකක් නෙමෙයි. මෙන්න මේක නිසා තමයි කැමති සේ ඉෂ්ට නොවෙන කොට, මේ දුක එන්නේ. “යම්පි ඉච්චං න ලභති තම්පි දුක්ඛං” කිව්වෙ.
ඉතින් ලෝකයාට දුකක් ඇති වෙන කොට, මොකෙන්ද ඇති වෙන්නේ? ලෝකයා කැමතියි දුක් නොවිඳ ඉන්න. නමුත් තමන් මුලාවට පත් වෙලා, ඒ පස්සේ යනවා. එකෙන් මිදෙන හැටි දන්නේ නෑ. දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. ඉතින්, යථාර්තය දකින කොට, දුක් විඳින්න සිද්ධ වෙන්නේ මොකක් තියෙනකොට ද? ඔය ප්‍රිය මනාප සුන්දර වස්තු දැකල, ප්‍රිය මනාපය, ප්‍රිය ස්වභාවය, මධුර ස්වභාවය, ලෝකේ තියෙනවා, රූප, ශබ්ධ, ගන්ධ, රස, ස්පර්ශ වල, ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මන, කියන මේවෑ, එවෑ ප්‍රිය ස්වභාවයට, මධුර ස්වභාවයට රැවටිලා, ඒවා භුක්ති විඳින්න, ආස්වාද විඳින්න බලාගෙන, ඒවා එකතු කර කර, ඒ පස්සේ යනවා. අන්න ඒ පස්සේ යන්න ගිහිල්ල තමයි, අර දුකට හේතු වන්නා වූ ආසාවෙන් ඒ දුක් පොදිය අල්ලාගෙන, ඒකෙ ආදීනවයට පත් වෙන්න වෙන්නේ.මෙන්න මේකෙන් සත්වයාට ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දෝමනස්, උපායාසයන්ට පත්වෙන්න වෙනවා. ඔන්න මරණය. ආර්ය විනයේ මරණයයි, මරණය කරා යන ගමනයි.
(ශ්‍රාවක මහතෙක්): ඒකෙ ලොකු ගැඹුරක් තියනවා නේද ? උඩින් ගත්තට හරියන එකක් නෙමෙයි, නේද ?
(ස්වාමීන් වහන්සේ): ඔව්. ඔව්. අන්න එකයි කියන්නේ. අති සුක්ෂමයි.
(ශ්‍රාවක මහතෙක්): කොහොම හරි දුක දැක්කත් වැඩක් නෑ, ඒ විදිහට ඒ අර්ථයෙන්, අපි බලන අර්ථයෙන් දුක….
(ස්වාමීන් වහන්සේ): ඒක බලලා වැඩක් නෑනේ. ඒක නෙමෙයිනේ බලන්න කිව්වේ.
{40:07} : ජාති ධර්ම කියන්නේ මොනවද?
(ස්වාමීන් වහන්සේ): දුක දකිනවනම් දකින්න ඕන, “ජාති පච්චයා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසා සම්භවන්ති” කියන තැනින්. අන්න ඒකට වැටෙන්නේ මොනවා කලොත්ද? “අවිජ්ජා පච්චයා සංඛාරා” කියන තැනින් පටන්ගත්ත වැඩපිළිවෙල ගියොත් තමයි ඕක සිද්ද වෙන්නේ. මෙන්න මේකට ගෙනියන ධර්මයක් ඇත්නම්, ඒක “දුක්ඛ ධර්මය”. ජාති ධර්ම. ඉතින් මොනවද මේ ජාති ධර්ම කියන්නේ?
ඇහැ – ජාති ධර්මයක්, රූපය – ජාති ධර්මයක්, චක්ඛු විඤ්ඤාණය – ජාති ධර්මයක්, චක්ඛු සංඵස්සය – ජාති ධර්මයක්, චක්ඛු සංඵස්සජා වේදනාව – ජාති ධර්මයක්.
කන – ජාති ධර්මයක්, ශබ්දය – ජාති ධර්මයක්, සෝත විඤ්ඤාණය – ජාති ධර්මයක්, සෝත සංඵස්සය – ජාති ධර්මයක්, සෝත සංඵස්සජා වේදනාව – ජාති ධර්මයක්.
නාසය – ජාති ධර්මයක්, ගන්ධය – ජාති ධර්මයක්, ඝාන විඤ්ඤාණය – ජාති ධර්මයක්, ඝාන සංඵස්සය – ජාති ධර්මයක්, ඝාන සංඵස්සජා වේදනාව – ජාති ධර්මයක්.
දිව – ජාති ධර්මයක්, රසය – ජාති ධර්මයක්, ජිව්හා විඤ්ඤාණය – ජාති ධර්මයක්, ජිව්හා සංඵස්සය – ජාති ධර්මයක්, ජිව්හා සංඵස්සජා වේදනාව – ජාති ධර්මයක්.
කය – ජාති ධර්මයක්, පොට්ඨබ්බය – ජාති ධර්මයක්, කාය විඤ්ඤාණය – ජාති ධර්මයක්, කාය සංඵස්සය – ජාති ධර්මයක්, කාය සංඵස්සජා වේදනාව – ජාති ධර්මයක්.
මන – ජාති ධර්මයක්, ධර්මයෝ – ජාති ධර්ම, මනෝ විඤ්ඤාණය – ජාති ධර්ම, මනෝ සංඵස්සය – ජාති ධර්ම, මනෝ සංඵස්සජා වේදනාව – ජාති ධර්ම.
මෙන්න ජාති ධර්ම ටික.
(ශ්‍රාවක මහතෙක්): ඒ කියන්නේ ස්වාමීන් වහන්ස, ජාතිපි දුක්ඛා කියන එකේ ජාති කියන තැනට නේද?
(ස්වාමීන් වහන්සේ): ඔන්න ඔය ඔක්කොටම අහුවෙනවා, ජාති වලට අහුවෙන්නේ ඔන්න ඔය ටික.
“ජාති ධම්මානං ආවුසෝ සත්තානං ඒවං ඉච්චාය උපජ්ජති” ඔන්න ජාති ධර්මය තියෙන මේ සත්වයාට, මෙන්න මෙහෙම කැමැත්තක් ඇතිවෙනවා. එතකොට ජාති ධර්ම කියන එක මොනවද කියන එක ඔතනින් බලාගන්න ඕන. ඉතින් “කතංච භික්කවේ ජාති? යං තේසං තෙසානං සත්තානං තම්හි තම්හි සත්ත නිකායේ…” කියන ඔය ටික බලාගත්තට විග්‍රහය බලාගන්න තුරු ඔය ජාති ධර්ම ටික තෝරාගත්තේ නැහැ.
එහෙනම් මොනවද මේ පහල වෙන්නේ? අති සුක්ෂම තැනට යන්න ඕන. එහනම් ඔතනදී තියෙන්නේ “ක්ෂණික උප්පත්ති”, ක්ෂණිකව ජාති උප්පත්ති ඔය පෙන්නන්නේ. උපතේ පටන්ගෙන මැරෙනකම් තියෙන ජාතිය එකක්. “ප්‍රවෘත්ති ජාතිය” එකක්.මේ ප්‍රවෘත්ති ජාති විග්‍රහයත් එක්කලයි, මේ විග්‍රහ වේවි පෙන්නන්නේ.
(ශ්‍රාවක මහතෙක්): ඒ ඒ මොහොතේ ජාති පහල වෙනවා කියන එක?
(ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි. දැන් එතකොට සත්වයා කියල මේ විද්‍යමාන වෙච්ච මාත්‍රය මොකද්ද?
“චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං”, ඔන්න ජාති තුනක් සම්බන්ධයි. චක්ඛු – ජාති ධර්මයක්, රූප -ජාති ධර්මයක්, චක්ඛු විඤ්ඤාණ – ජාති ධර්මයක්.
මේ ජාති ධර්මයක් ගොඩනැගුනේ “චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං” අන්න පටන්ගත්තා. “තින්නං සංඝති ඵස්සෝ” අන්න චක්ඛු සංඵස්සය – ජාති ධර්මයක්.
අන්න, ඵස්ස පච්චයා.. අන්න “තින්නං සංඝති ඵස්සෝ” එතකොට, ” ඵස්ස පච්ච්චයා වේදනා” ආං චක්‍රයට බැස්සා, පටිච්ච සමුප්පාද චක්‍රයට. එතනින් එහාටයි ඔක්කොම ගොඩනැගෙන්නේ. චක්ඛු සංඵස්සජා වේදනා – ජාති ධර්මයක්.
අන්න දැන් ජාති ධර්ම පහම ආව නේද? එහෙනම් සත්වයෙකුට බලන වෙලාවට, ඔන්න ඔය ජාති ධර්ම පහයි සත්වයාට තියෙන්නේ. තව වෙන ජාතියක ඔහු නෑ. අන්න ඔහු ළඟ තියෙන ජාති ධර්ම පහ.
(ශ්‍රාවක මහතෙක්): එක මොහොතක ඔය..
{43.24} : බඹයක් පමණ වූ කය තුල ලෝකය පැනවීම..
(ස්වාමීන් වහන්සේ): අන්න එක මොහොතක, “දිට්ඨේව දිට්ඨ මත්තං” කියල, දැකීම, දැකීම් මාත්‍රය තුලයි මේ සත්වයා. මෙන්න මේ නිසා කියනවා, මේ “බ්‍යාම මත්තේ කලේබරේ සන්නිම්හි සමනකේ ලෝකංච පඤ්ඤාපේති”. මේ දැන් මේකට හදල තියෙන්නේ “බඹයක් පමණ වූ සංඥා සහිත වූ, මන සහිත වූ කය තුල ලෝකය පනවනවා” කියල.
එහෙනම් මේ “බ්‍යාම මත්ත” කියන්නේ “ව්‍යාම මත්ත” කියන එකයි. මේ “වීම් මාත්‍රයයි”. මේ වීම් මාත්‍රයක් තුල, සංඥා සහිත, මන සහිත වූ කයේ, වීම් මාත්‍රයක් තියෙනවා. ඔන්න ඔතනයි “ලෝකය” ආවේ. එහෙනම් ලෝකය කියන්නේ මාත්‍රයයි. ඔය මාත්‍රයෙන් තමයි සත්වයා. සත්වයා කියන්නේ ඔච්චරයි, ඕං “වීම් මාත්‍රය”.
දැන් ඕක අර මුලධර්මයට එකඟයි. “බඹයක් පමණ වූ කයට” කිව්වහම දැන්, ප්‍රශ්න කීයක් මතුවෙලාද? බඹයට වැඩි අයට නිවනුත් නෑ, අඩු අයට නිවනුත් නෑ. බඹයක් ගන්න ගියාම. බඹය ගත්තේ කොහෙන්ද? බුද්ධ ගෝෂ හාමුදුරුවන්ගේ අර්ථකථා ආචාර්යයන් වහන්සේ ගෙනත් දුන්න අර්ථයෙන්. “බ්‍යාම මත්තේ කලේබරේ කියන එක පෙළ දහම. ඒක තියෙනවා.
(ශ්‍රාවක මහතෙක්): ඒක හරි..
(ස්වාමීන් වහන්සේ): ඔව් ඒක හරි. පෙළ දහම වැරදිලා නැ. “බ්‍යාම මත්ත” කියන එක, බඹයක් පමණ වූ කියල ගත්ත එකයි අඩුපාඩුව වුනේ.
(ශ්‍රාවක මහතෙක්): ඒක වීම් මාත්‍රයක් හැටියට ගන්න ඕන.
(ස්වාමීන් වහන්සේ): අන්න, “වීම් මාත්‍රය” කියල ගන්න එක යථාර්තය. “බ්‍යාම” කියන්නේ “ව්‍යාම”, “අව්‍යාපාද – අබ්‍යාපාද”, “අබ්‍යාපජ්ජ – අව්‍යාපජ්ජ”, “භ්‍යය – ව්‍යය” කියන වචන දෙක පද පෙරළියෙන් එනවා, මේ අකුරු වෙනස්වෙලා ඔහොමමයි එන්නේ. ලියනකොට “අබ්‍යාපජ්ජ” කියල ලියනවා. අපි කියනවා “අව්‍යාපජ්ජ” කියල. “අබ්‍යාකෘත – අව්‍යාකෘත”. “බ්‍යාම මත්ත – ව්‍යාම මත්ත”.
“ව්‍යාම” කියන එකට පෙළ දහමේ අර්ථ කොහෙවත් දීල නෑ, මේ “බ්‍යාම” කියන එකට “වීම” කියන අර්ථය. “ව්‍යාම + යාම – ව්‍යායාම”. පද බෙදෙන්නේ, හැදෙන්නේ එහෙමයි. “ව්‍යායාම” කියන්නේ ක්‍රියා. අපේ කය ක්‍රියාත්මක වෙන වෙලාවට “ව්‍යායාම”. අන්න “බ්‍යාම” කියන්නේ මොකද්ද ක්‍රියා මාත්‍රය. “බ්‍යාම මත්ත”.
දැන් බඹයක් පමණ කිව්වනම් එන්න ඕනේ, “බ්‍යාමප්පමානේ කලේ බරේ”. බඹයක් පමණ කයේ නම් එහෙමයි එන්න ඕන. “මත්ත” කියන්නේ මාත්‍රය. “බ්‍යාම මත්ත” කියන්නේ, බඹ මාත්‍රයයි කියල ගන්න පුළුවන්ද? බඹේට මාත්‍ර කතාවක් දාන්න පුලුවන්ද? “මත්ත” කියන්නේ මාත්‍රයයි. ඉතින් “බ්‍යාම මත්ත” කියන්නේ, ව්‍යාම මාත්‍රයයිනේ, වීම් මාත්‍රයයි. දැන් වීම් මාත්‍රය ධර්මයට එකඟයි නේ.
(ශ්‍රාවක මහතෙක්): ධර්මයට එකඟයි නේ අපේ හාමුදුරුවනේ.
(ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි. එහෙනම් මෙන්න “චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං” කියන වෙලාවේදී, නාමයයි රූපයයි මොකද්ද ?
“චක්ඛු විඤ්ඤාණය” – නාමය.
“චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති” කියන එක – රූපය.
ඔන්න ඔච්චරයි “නාම – රූප” දෙක ඔතනිදී. සත්වයා ආවේ නාම – රූප දෙකේ ඔය මාත්‍රයේ.
ඔය මාත්‍රය ගියාම තමයි “තින්නං සංඝති ඵස්සෝ” – ඔන්න ස්පර්ශ මාත්‍රය ක්‍රියාත්මක වුනා.
එතකොට ඒ ස්පර්ශ මාත්‍රය කියන්නේ, ස්පර්ශ මාත්‍ර දෙකක් කිසිම විදියකින් සත්වයෙකුට පිහිටන්නේ නෑ, ධර්මයට අනුව වෙන්කරන්න බෑ.
(ශ්‍රාවක මහතෙක්): වෙන්කරන්න විදියක් නෑනේ..උපමා කරගන්න බෑනේ.. ඔව්..
(ස්වාමීන් වහන්සේ): ගන්න බෑ.. වේදනා මාත්‍ර දෙකක්, සංඥා මාත්‍ර දෙකක්, ගන්න බෑ. චේතනා මාත්‍ර දෙකක්, එන්නේ නෑ. එක වෙලාවකට, එක මාත්‍රයයි හැමවෙලේම.
එහෙනම් “තින්නං සංඝති ඵස්සෝ” කියන්නේ මොකද්ද? චක්ඛු සම්ඵස්සය. චක්ඛු සම්ඵස්සය කියන්නේ “චෛතසිකයක්”.
එහෙනම් අරමුණ මොකද්ද? දර්ශනය. “දර්ශන මාත්‍රය” අරමුණු කරගත්ත, “චක්ඛු සම්ඵස්සයක්” තියෙන වෙලාවක, තවත් ස්පර්ශ මාත්‍රයක් ඇති හිතක් නෑ. එහෙනම් චක්ඛු සම්ඵස්සයක්, සෝත විඤ්ඤාණයක, පහල වෙන්නෙත් නෑ. ඝාන විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණයක පහල වෙන්නෙත් නෑ. ඒක පහල වෙන්නේ “චක්ඛු විඤ්ඤාණයක විතරයි”.
එහෙනම් දැන් සත්වයාට හිත ගැන කිව්වහම කොතනද හිත තියෙන්නේ? එහෙනම් දැන් ජාති පරිවර්තනය වෙන් නැද්ද? බලන ජාති වලට පරිවර්තනය උනා, අහන ජාති වලට පරිවර්තනය උනා , ගඳ සුවද දැනගන්න ජාති වලට පරිවර්තනය උනා, දිව රස දැනගන්න ජාති වලට, ස්පර්ශ දැනගන්න ජාති වලට, හිතන ජාති වලට. දැන් සත්වයා කියන්නේ අධි වේගයෙන් පරිවර්තනය වන ඔය පොඩ්ඩ, මාත්‍රය, ක්‍රියා මාත්‍රය විතරයි. මෙන්න මේ ක්‍රියා මාත්‍රයක් තියෙනවා මේ පංචස්කන්දයේ, පංචස්කන්දයේ නෙමෙයි, ක්‍රියා මාත්‍රය තියෙන්නේ මොකේද ? සංඥා සහිත මන සහිත වන්නා වූ කය තුල ඔන්න ඔය ක්‍රියා මාත්‍රයක් තියෙනවා.
ඔය ක්‍රියා මාත්‍රයට විතරයි ලෝකයේ, “ලෝකයත්, ලෝක සමුදයත්, ලෝක නිරෝධයත්, ලෝක නිරෝධ මාර්ගයත්” කියන “චතුරාර්ය සත්‍යය” පනවනවා නම් ඔය මාත්‍රයටයි. ඔය මාත්‍රය තුල තමා ඔක්කොම සිද්ද වෙන්නේ. ඔන්න ඔතන “ඡන්ද රාගයෙන් බැඳුනහම”, අර දර්ශන මාත්‍රයට, අන්න ඔතන දුක සහ දුකට හේතුව ආවා. ඔය මාත්‍රයටම චන්ද රාගයෙන් නිරුද්ධ උනා නම්, දුකඛ නිරෝධයි, අවබෝදය ලබගත්තහම ඔතනින්ම ඉවරයි.
(ශ්‍රාවක මහතෙක්): මාත්‍රයයි නේද …
(ස්වාමීන් වහන්සේ): මාත්‍රයයි, මාත්‍රයෙන්ම නිරුද්ධ වෙන්න ඕන.
(ශ්‍රාවක මහතෙක්): අර ක්‍රේප් පටිය ලං කරලා, ලං කරලා ලස්සනට රූපේ හදල තියෙනවනේ. එහෙම එකක් තමයි මේ පෙන්නේ. ඕක දිග ඇරලා බැලුවොත් තමයි ඉතින් වෙන්වෙලා පෙන්නේ.
(ස්වාමීන් වහන්සේ): අන්න හරි, වෙන්වෙලා පෙන්නේ. දැන් භද්දෙකරත්න සුත්‍රය කියන සුත්‍ර වල පෙන්නලා තියෙනවා, “අතීතය ගෙවිල ගියා, අනාගතය ආවේ නැහැ, වර්තමානය විදර්ශනාවට ගන්න”. ඥාණවන්තයා මෙසේ විදර්ශනා කරමින් යථාවබෝධය ලබනවා, ඒ නිසා “භද්දේකරත්න” කියන්නේ එයාට කියල.
මෙන්න මේ “මාත්‍රය” තමයි විදර්ශනාව. කොයි මොහොතක හරි “වර්තමාන මාත්‍රයයි” විදර්ශනාවට නැගෙන්නේ. ගෙවී ගිය අතීතය පිළිබද “දැන්” හිතන්න ඕන. එතකොටත් ඒක, වර්තමාන මාත්‍රයක්. ආපු නැති අනාගතයේ අසාරත්වය ගැනත් “දැන්” හිතන්න ඕන. දැන් හිතනවානම්, ඒක විඤ්ඤාණ මාත්‍රයයි. අරමුණ අතීත එක වෙන්න පුළුවන්. අරමුණ අනාගතයේ එක වෙන්න පුළුවන්.
(ශ්‍රාවක මහතෙක්): අතීතයේ බැදිලා තිබුන එක ගැන හිතල දැන් හිතන්න පුළුවන්නේ, ඒකට දැන් තමයි අදාල වෙන්නේ…
(ස්වාමීන් වහන්සේ): ඔව් අන්න ඒකයි. ඉතින් මේ අරමුණක් ගත්තා නම්, “ඒ අරමුණ ගත්ත මොහොත වර්තමාන මාත්‍රයයි”. අතීත අරමුණක්, අරමුණු කරන්න පුළුවන්. අනාගත අරමුණක්, අරමුණු කරන්න පුළුවන්. අරමුණු කරන්නේ “වර්තමනයෙ මයි”. ඉතින් ඕක පටලවාගත්ත හැටියේ, ඒකත් කරන්න බැරුව යනවා.
ඉතින් මෙන්න මේ “සත්වයා” කියන්නේ, මෙන්න මේ “මාත්‍රය – ක්‍රියා මාත්‍රයයි”. ඔයින් එහා සත්වයෙක් පනවන්න බෑ. දැන් ලෝක සත්වයා, සත්වයෙකු පනවන්නේ, ඔය ක්‍රියා මාත්‍රයට නෙමෙයි, ක්‍රියා පොදියකට. පවතින දෙයක් හැටියට දෘෂ්ඨියකට බැහැල. ඒනිසා තමයි, සත්වයෙක් ඉන්නවද? සත්වයෙක් නැද්ද? ඔය ආදී වශයෙන් දෘෂ්ඨියට බහින්නේ.
(ශ්‍රාවක මහතෙක්): ඔව් නේ, ඒකට හේතුව තනිකර හීනයක් වගේ වෙනවා.
(ස්වාමීන් වහන්සේ): ඔව් ඒකනේ කියන්නේ. දැන් මේක හරි ප්‍රශ්නයක් මොකද මේ, දැන් මේක තේරුම් ගන්න බැරි උනහම, “බඹයක් පමණවූ කය තුල චතුරාර්ය සත්‍ය පැනෙව්වා” කියල, “කයෙන් එපිට බලන්න එපා!” කියනවා. මේ ඊයේ පෙරේදා දවසක මහත්තයෙක් තර්ක කරන්න ඇවිදිල්ල, හරියට මේ ජය අරගන ගියා. මොනවා කරන්නද ඉතින්, මම කතාකරන්න වැඩක් නැ, දෘෂ්ඨිගත වැඩී, මම නිහඩ වෙලා නිකන් හිටිය ඉතින්, විග්‍රහ කරන්නේ කාටද?
{49.59} : දුක්ඛ ලක්ෂණය කියන්නේ දුක නෙමෙයි
(ශ්‍රාවක මහතෙක්): පංච උපාදනස්කන්ධය, දුකයි කියන එක සම්බන්ධව නේද ස්වාමීන්වහන්ස?
(ස්වාමීන් වහන්සේ): ඔව්.. ඔව්.. අන්න ඒකයි. පංචස්කන්ධය, දුක්ඛස්කන්ධයක් කියල මම කියල තියෙනවලු, ඒක ත්‍රපිටකයේ නැහැල්ලු කියල. ඉතින් සංයුක්ත නිකායේ, තුන, හතර පොත් දෙකේ, සුත්‍ර විසි පහකට වැඩිය තියෙනවා, පන්චස්කන්ධයේ “දුකයි” කියන එකත්. එතකොට, ඇහැ – දුකයි, කන – දුකයි, නාසය – දුකයි, දිව – දුකයි, කය – දුකයි, මන – දුකයි. රූප – දුකයි, ශබ්ද – දුකයි, ගන්ධ – දුකයි, රස – දුකයි, පොට්ඨබ්බ – දුකයි, ධර්ම – දුකයි, කියල, එහෙම පෙන්නපු සුත්‍රත් තියෙනවා.
(ශ්‍රාවක මහතෙක්): එතන දුක කියන්නේ, “දුක්ඛ ලක්ෂණය”, “දුක්ඛ ලක්ෂණය” තියෙනවා කියන එක. ඔව් ඔව්..
(ස්වාමීන් වහන්සේ): අන්න හරි. “දුක්ඛ ලක්ෂණය”. ඒකයි කියන්නේ. දුක්ඛ ලක්ෂණය තියෙනවා, දුක්ඛ ස්වභාවය, දුක්ඛ ධර්ම.
(ශ්‍රාවක මහතෙක්): ඒක උපාදානය කරගත්තොත් තමයි..
(ස්වාමීන් වහන්සේ): අන්න හරි. “උපාදානය” කරගත්තොත් තමයි, එකේ දුක විඳින්න වෙන්නේ. දුක විඳින එක දැක්කට හරියන්නේ නැහැ. කල්තියා දැක්කොත් ඒක දුක් වර්ගයක් බව, එතකොටයි එකේ ඇලෙන්නේ නැත්තේ.
(ශ්‍රාවක මහතෙක්): ඔව් වසනම් බොන්නේ නැහැනේ.
(ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි, වස කියල දැක්කට පස්සේ අල්ලන්නේ නෑ, පැත්තට ගන්නේ නෑ. බිව්වට පස්සේ මොනවා කරන්නද? බිව්වට පස්සේ ගැන කතා කරලා වැඩක් නෑ. බීපු හින්දම තමයි ඒ අත්දැකීම තියෙන්නේ. ඒකමයි වහ කියල දැනගත්තේ. අන්න වස කියල, වස, වස හැටියට දැනගැනීම වාගේ දුක, දුක්ඛ ලක්ෂණයෙන් දැනගත්තා නම්, “මේ මේ වර්ගයේ ඒවා අල්ලන්න ගියොත් දුක වෙනවා, මෙන්න මෙහෙමයි මේ දුකට වැටෙන්නේ…” අන්න ඒක තමයි, “ප්‍රඥාවට” ගෝචර වෙන්නේ. “ප්‍රඥා ධර්ම කිව්වේ ඒකයි”. ඉතින් “චතුරාර්ය සත්‍යය කියන්නේ, ප්‍රඥා ගෝචර ධර්මයක්”.
(ශ්‍රාවක මහතෙක්): ඉතින් එතකොට “දුක්ඛ ලක්ෂණය” කියල ගන්න එකයි, “දුකයි” කියල ගන්න එකයි, එතන ලොකු මේ මේ …. සියුම්ම තැනක්.
(ස්වාමීන් වහන්සේ): ඔව් සියුම්ම තැනක්, අන්න ඒකයි කියන්නේ.
(ශ්‍රාවක මහතෙක්): අත්‍යවශ්‍යම තැනක්.
(ස්වාමීන් වහන්සේ): අන්න එකයි කියන්නේ..
“දුක කියන්නේ, විඳිනකොට දැනෙන එක”.
“දුක්ඛ ලක්ෂණය කියන්නේ මේක ගත්තොත්, මේකට වැටෙන්න වෙනවා කියල දකින එක”.
(ශ්‍රාවක මහතෙක්): ඒ ලක්ෂණය හරියට තමයි ගන්න ඕන.
(ස්වාමීන් වහන්සේ): අන්න එකයි, දැන් “බිඳෙන ලක්ෂණය, බිඳීම දෙකක්නේ”.. මේ වීදුරුව බිඳෙන ලක්ෂණයෙන් යුක්තයි. හැබැයි වැටුනොත් බිඳෙනවා. තව බිඳිලා නෑ.
(ශ්‍රාවක මහතෙක්): අතන තියෙන්නේ ත්‍රිලක්ෂණ කියල..
(ස්වාමීන් වහන්සේ): අන්න ත්‍රිලක්ෂණ!
(ශ්‍රාවක මහතෙක්): අපි එතකොට ඒක ලක්ෂණයක් හැටියට තමා ගන්න ඕන නේද?
(ස්වාමීන් වහන්සේ): අන්න ඒක ලක්ෂණයක්, දුක්ඛ ලක්ෂණය. දුක හැටියට නෙමෙයි. දුක්ඛ ලක්ෂණය දකින්න ඕන. ඒකයි පෙන්නුවේ. “අනිච්ච ලක්ෂණය”. ඒකේ ස්වභාවය දකින්න. “ප්‍රඥවෙන්” ඕන ඒක දකින්න. ඇහෙන් දකින්න බැහැනේ. සිද්ධවෙන සිද්ධිය දැක්කහැකි, දැනෙනවා. වේදනා චෛතසිකයටත් දැනෙනවා, සංඥාවෙන් හඳුනනවා, සංකාරයෙන් ගොඩනගා ගන්නවා, ඔය ලෝකේ නේද?
වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියලා ගත්තහම, නාම ධර්මයක්නේ ඔය පෙන්නන්නේ. පංචස්කන්ධය නමැති දුක්ඛස්කන්ධයම නේ ඔය පෙන්වන්නේ. ඉතින් දුක්ඛස්කන්ධයෙන් කොහොමද දුක්ඛස්කන්ධය දකින්නේ? දුක්ඛස්කන්ධයේ කොහින්ද ප්‍රඥාවක්? දුක්ඛස්කන්ධය කියන්නේ වෙනම එකක්. ආර්ය මර්ගයටයි, ප්‍රඥා චෛතසිකය, ප්‍රඥා කියන්නේ වෙනම චෛතසිකයක්.
(ශ්‍රාවක මහතෙක්): ඒක ඇවිල්ලා වදින එකනේ..
(ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි, ඒකේදී යථා අවබෝධය දෙන එකක්. දුක්ඛස්කන්ධය කියන එක දැක්කට, ඒකට ඇලුම් කරනවා. වේදනා දැනෙනවා, සංඥා දැනෙනවා, ඒ ටික සිද්ධ වෙනවා සත්වයින්ට. ඒවා දැනුන පලියට, යථාර්තය මතුවෙන්නේ නැහැ. ප්‍රඥාවට ගෝචර උනොත් තමයි, අවබෝධය ලැබෙන්නේ. එතකොටයි චතුරාර්ය සත්‍යය අවබෝධ වෙන්නේ.
(ශ්‍රාවක මහතෙක්): අර දකින දුක අමතක වෙන්න පුළුවන්නේ, සැප දෙයක් ලැබෙනකොට.
(ස්වාමීන් වහන්සේ): අන්න එකයි කියන්නේ.
(ශ්‍රාවක මහතෙක්): එතකොට යථාර්තය පෙන්නේ නැහැ දුකයි කියන එක.
(ස්වාමීන් වහන්සේ): අන්න එකයි. ඉතින් යථාර්තය, “අසේවිතාය, භාවිතාය, බහුලීකතාය…” ඇසුරු කරන්න, බාවිතා කරන්න, බොහෝ කරන්න, යථාර්තයෙන්. දැන් ඕකට පෙන්නලා තියෙනවා මෙහෙම දෙයක්.
හරකෙක් ගොයම් කන්න කුඹුරට බහිනකොටම, තලනවා. තලලා පන්නනවා. හොඳ මනා සෝදිසියෙන් ඉන්නවා ගොවියා. ආයි සැරයක් ඌ අර මට්ටුව යනකම් ඉදල, ආයි සැරයක් කුඹුරට පනිනවා. ආයි තලනවා. ආයි පැනල දුවනවා. ඔහොම තුන් වතාවක්, හතර වතාවක්, ගහන්න පටන්ගත්තට පස්සේ, මූ එනවද අහනවා කුඹුරට. එන එන ගානේ තලලා පැන්නුවොත්, මේකා අර කුඹුර කන්න එනවද කියල අහනවා?
මෙන්න මේ වගේ, අපිට එන එන “ආස්වාද අරමුණ එනකොටම මේකට තලන්න ඕන”. මොනවයින්ද තලන්නේ? “මේක අනිච්ච දෙයක්, මේක දුක්ඛ දෙයක්, මේක අනත්ථ දෙයක්, මෙන්න මේ අකාරයෙන් නේ මේකේ ස්වභාවය මේකයි. මේක අසාරයි”.
(ශ්‍රාවක මහතෙක්): ඒ ලක්ෂණයෙන් තලන්න ඕන.
(ස්වාමීන් වහන්සේ): ආන්න, ඒ ලක්ෂණයෙන් තලන්න ඕන. තලනකොට මොකද වෙන්නේ? ආයිත් ඒ පස්සේ යන්නේ නැහැ. ඒක තමයි මිදෙන ක්‍රමය! එතකන් යවන්න බැහැ. එතකන් දුවනවා. ඊට පස්සේ ඉබේම තේරෙන්න පටන්ගන්නවා. අත්දැකීම ලබනවා.
(ශ්‍රාවක මහතෙක්): ලිහෙනකොට ඉක්මණට ඉක්මනට ඒක අත ඇරෙනවා නේද? මුල ටික තමයි අමාරුව තියෙන්නේ.
(ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි කියන්නේ, ටිකක් ලෙහුනට පස්සේ අවබෝධය වැඩිනේ.
(ශ්‍රාවක මහතෙක්): එන්න එන්න අවබෝධය වැඩී නේ.
(ස්වාමීන් වහන්සේ): ඒකයි.
(ශ්‍රාවක මහතෙක්): එතකොට සමාධියත් එනවනේ
(ස්වාමීන් වහන්සේ): ඔවු, දැන් බයිසිකලයක් පදින්න පුංචි එකා ලැහැස්ති වෙනකොට, හරි අමාරුයි, වැටෙනවා, වැටෙනවා, දඟලනවා. පොඩ්ඩක් පැදලා පුරුදු උනාට පස්සේ ඉතුරු ටික හරි ඉක්මනට පුළුවන්. මොකද මුලික හුරුව, “ආසේවන ප්‍රත්‍ය” බලපානවනේ. ඉස්සෙල්ලා සේවනය කරපු එක, යලි යලි ආසේවන වෙනවා. එන්න එන්න බලවත් වෙනවා. ප්‍රඥාවත් ඒවගේ. හිතන්න, හිතන්න ප්‍රඥාව ආසේවන ප්‍රත්‍යයෙන් බලවත් වෙනවා. බලවත් වෙලා, එන්න එන්න ප්‍රඥාව වැඩෙනවා.
(ශ්‍රාවක මහතෙක්): අර විඳීම තුළින් අතන සමාධියට එනකොට, තව තවත් ඒකෙ අවබෝධය වැඩි වෙනවා..
(ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි, එකින් එකට සම්බන්ධ වෙනවා. සමාධිය ප්‍රඥාවට ආධාර වෙලා තියෙන්නේ. හරි ගැඹුරුයි.. ඔතන.
ඉතින් ඕක කියන්න වෙලා තියෙන්නේ මේකයි, ඔය කවුරුහරි ඇවිදින් ප්‍රශනයක් දැම්මට පස්සේ, තව සුද්ද කරන්න වෙනවා. සුද්ද වෙලා මදි හින්දනේ ඔය ප්‍රශ්නේ දාලා එන්නේ. එතකොට තමයි තව තව සුද්ධ වෙවී ඔය අර්ථ එන්නේ.
(ශ්‍රාවක මහතෙක්): එක පාර ගන්න බැහැ. එකපාර කිව්වා කියල වැටහෙන්නේ නැහැ.
(ස්වාමීන් වහන්සේ): අන්න එකයි කියන්නේ.
~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~
දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://waharaka.com/listen/Sadaham-Sakachchaa-01-05