ගිහි වතක සිට නිවන් දකින හැටි – 5 කොටස හා සම්බන්ධයි
දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)
ගිහි වතේ සිට නිවන් දකින්න තිබෙන හරි මඟ කුමක්ද? - 6 කොටස
{00:00} කාගෙන් වත් අහලා නෙමෙයි තමන් සෝතාපන්නද කියලා දැනගන්නේ: … ඔවු! අන්න ඒකනේ වෙලා තියෙන්නේ, ඒක නිසා තමයි මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ පටිච්චසමුප්පාදය අපි දන්නේ නෑ මෙච්චර කල්. ඒක තමයි කිවුවේ “කුසළ මූල පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාම රූපං, නාමරූප පච්චයා සළායතනං, සළායතන පච්චයා ඵස්සෝ, ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා පසාදෝ, පසාද පච්චයා අධිමොක්ඛෝ, අධිමොක්ඛ පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණං!” ඒකටත් ජරා මරණයක් තියෙනවා. “ඒව මේ තේසං ධම්මානං සමුදයෝ හෝති“ කියලා ඒක නතර වෙනවා මිසක් “දුක්ඛක්ඛන්ද සමුදයෝ හෝති” වෙන්නේ නෑ! අන්න සසර ගමනට යන්නේ නැති පටිච්චසමුප්පාදය. ඒක වඩන්න ඕනේ එක. ඒ නිසා වැඩිය යුත්තක් මේ සාසනයේ තියෙනවා, පටිච්චසමුප්පාදයක්, ඒ ආර්ය පටිච්චසමුප්පාදය. අන්න, අපි කියන්නේ වෙන එකක්.
(ශ්‍රාවක මහතෙක්): ධම්මානං සමුදයෝ හෝති කියන එක නිරෝධය? (ස්වාමීන් වහන්සේ): ඔවු, ධර්මය තුළින් නිරොධයේ යථාවබෝධය ලබලා, ධර්මාවබෝධය ලබලා, ධර්මාවබෝධය පහල කරලා දෙනවා. ඒක මිසක් ඒකෙන් වෙන එකක් කරන්නේ නෑ, සසර ගමනක් හදන්නේ නෑ! අන්න ඒක අපි කරගන්න ඕනේ එක.
(ශ්‍රාවක මහතෙක්): …… දැන් ඒ මාර්ගයේ සෝවාන් කියන තත්වයට ආවා කියලා කොහොමද හොයන්නේ? (ස්වාමීන් වහන්සේ): දැන් එයා දැනගන්නවා මෙන්න මෙහෙම දෙයක්. දැන් එයාට මෙන්න මෙහෙම සෝවාන් පුද්ගලයාට මෙහෙම වැටහීමක් එනවා. “ක්ෂය කළ නිරය ඇත්තෙම්, ක්ෂය කළ ප්‍රේත විෂය ඇත්තෙම්, ක්ෂය කළ තිරිසන් යෝනි ඇත්තෙම්, ක්ෂය කළ අසුර නිකා ඇත්තෙම්, නියතයෙන් සම්බෝධි පරායණයෙන් සෝතාපන්න වෙමි! යි හෙතෙම කැමතිනම් ප්‍රකාශ කරන්නේය“ <<ත්‍රිපිටක සූචිය අවශ්‍යයි>> ඕන්නම් කියහැකියි! එහෙනම්, එයා දැනගෙන තියෙන්න ඕනේ, “මම ස්ථිර වශයෙන් ම නිරයෙන් මිදුනා – ක්ෂයා කළ නිරය ඇත්තෙම්, මට නිරය ක්ෂය වෙලා තියෙන්නේ. මට නිරයට යන්න හේතු නෑ!” ධර්මය තුළින් එයා දැකලා තියෙන්න ඕනේ. “මට ප්‍රේත විෂයේ උපදින්න හේතු නෑ! මට තිරිසන් වෙන්න හේතු නෑ! මට අසුර නිකායට යන්න හේතු නෑ!” මෙන්න මේක දැනගන්න ඕනේ. “යෝ පටිච්චසමුප්පාදං ඵස්සති – සෝ ධම්මං ඵස්සති” කියන තැනට වැටුනු දාට එයාට දැනගන්න පුලුවන් ඔය කියන කාරණා හතර. අන්න, සතර අපායෙන් නිදහස් කියලා සෝතාපන්න පුද්ගලයා කාගෙන් වත් අහලා නෙමෙයි දැනගන්නේ. එයා ධර්මය තුළින් දකිනවා “මම ඒකෙන් නිදහස් ද නැද්ද” කියලා.
{02:10} සුගති ධර්ම + දුගති ධර්ම + නිර්වාන ධර්ම = සියලු ධර්ම : අන්න ඒක නිදහස් ද නැද්ද කියලා දැනගන්න අපි දකින්න ඕනේ අපිට මේ ලෝකේ තියෙන ධර්ම ටික. මේ ලෝකේ මොන මොන ධර්ම ද විද්‍යාමාන වෙන්නේ? සතර අපාගත වෙන ධර්ම තියෙනවා, කාම සුගතියේ උපදින ධර්ම තියෙනවා, රූපාවචර ලෝකයේ උපදින රූපාවචර ධර්ම තියෙනවා, අරූපාවචර ලෝකයේ උපදින අරූපාවචර ධර්ම තියෙනවා, බුද්ධිය වර්ධනය කරලා කිසිම තැනක නොඋපද්දන ධර්ම තියෙනවා – බුද්ධ ධර්ම. අන්න, කිසිම තැනක නොඋපද්දන , නිවන පෙන්වා දෙන ධර්මය බුද්ධ ධර්මය! අරූපාවචර ලෝකයේ උපද්දවන ධර්මය අරූපාවචර ධර්මය. රූපාවචර ලෝකයේ උපදින්නේ රූපාවචර ධර්මයෙන්. කාම ලෝකයේ උපදින්නේ කාම ධර්මයෙන්. සතර අපායේ උපදින්නේ සතර අපාගත ධර්ම වලින්.
(ශ්‍රාවක මහතෙක්): එහෙනම් මේ, සතර අපායේ උපදින ධර්ම – ඒවා අධර්ම විදිහට වැටෙන්නේ නැද්ද? (ස්වාමීන් වහන්සේ): අපි ධර්ම – අධර්ම කියලා දෙකක් වෙන් කරනකොට අපි එහෙම වෙන් කරනවා. එතකොට, දැන් අර ධර්ම – අධර්ම වෙන් කරනවා, ලෝක සම්මතයේ කතාව එකක්. එතකොට, ධර්ම කියන වචනය ගන්නකොට, වචනයේ නිරුක්තියෙන් ධර්ම හොයාගන්න ඕනේ. දැන් “ගන්ධය” කියනවා අපි, කතාවට කියනවා. මේක ගඳයි, මේක සුවඳයි කියලා අපි මේ ලෝක සම්මතයෙන් තෝරන්න පටන්ගෙන තියෙනවා. “ගඳයි” කියන්නේ පොදු වචනයක්. එහෙනම්, මේක “දුගඳයි”, මේක “සුගඳයි” කියන්න ඕනේ. එතකොටයි දුගඳ වෙන් කරලා එන්නේ. නමුත්, “දුගඳයි” නොකියා අපි ඒකට “ගඳයි” කියන්න පටන්ගෙන ම තියෙනවා අපේ මේ සම්මත පුරුද්දක් වශයෙන්. මෙන්න මේ වගේ, ධර්මයන්ගේත් තිබෙනවා සුගති ධර්ම, දුගති ධර්ම. එහෙමත් ධර්ම ගන්න පුලුවන්. ධර්ම – අධර්ම කියලාත් මේක වෙන් කරන්න පුලුවන්. අධර්ම කියලා අපි ගන්නේ අපිට දරන්න සුදුසු නැති ඒවා හින්දා අපි ඒකට “අධර්ම” කිවුවා. දරන්න සුදුසුයි කියලා සම්මත කරගත්ත ඒවාට අපි “ධර්ම” කිවුවා. නමුත්, මේ ධර්ම – අධර්ම කියලා වචනය වෙන් වෙන්න හේතුව ඒකයි. නැත්නම් සුගති ධර්ම, දුගති ධර්ම, නිර්වාන ධර්ම. (ශ්‍රාවක මහතෙක්) : සබ්බේ ධම්මා කියන්නේ ඔක්කෝම! (ස්වාමීන් වහන්සේ): සබ්බේ ධම්මා කියන එකට ඔක්කෝම අහු වෙනවා. ඉතින් නිර්වාන ධර්මයක් තියෙනවා නම්, ඒකත් අපිට අල්ලාගන්න හරයක් නෑ! නිර්වාන ධර්ම වෙනයි, නිර්වානය වෙනයි! බුද්ධ ධර්මය වෙනයි, බුද්ධ වෙනයි! අන්න ඒ වගේ.
{04:12} නිවන යනු රාග–ද්වේෂ–මෝහ නිරෝධය මිස සියල්ල නිරෝධය නෙමෙයි! : දැන් “නිර්වාන ධර්මයත් අනාත්මයි” කියලා තියෙනවා කියලා පෙළක් අය ඔහොම කියලා කියනවා, “අභිධර්මය පිළිගන්න බෑ!” කියලා. “අභිධර්මයේ තියෙනවා නේ මේ නිවනත් අනාත්මයි කියලා” ඒගොල්ලෝ කියනවා. මොකද හේතුව? නිවන නාම ධර්මයක් කිවුවා කියලා, නිර්වාන ධර්මයක් කියන වචනයේ පෙන්වලා තියෙන එක. නිර්වාන ධර්මයයි, නිර්වානයයි තෝරා ගන්න බැරුව ඔය තියෙන්නේ! නිර්වානය එකක්, නිර්වාන ධර්මය එකක්. බුද්ධ එකක්, බුද්ධ ධර්මය තව එකක්. අන්න ඒවගේ දෙයක්, එකට පටලවාගෙන
(ශ්‍රාවක මහතෙක්): බුද්ධ ධර්මය අතෑරියාම බුද්ධ තත්ත්වය තියෙනවා! (ස්වාමීන් වහන්සේ): අන්න, බුද්ධ කියන්නේ එකක්, බුද්ධ ධර්මය කියන්නේ ඒක හරහා යන ධර්මය, වැඩපිළිවෙල. (ශ්‍රාවක මහතෙක්): බුද්ධත්වය නැති වෙන දෙයක් නෙමෙයිද? (ස්වාමීන් වහන්සේ): ඔවු, බුද්ධ කියන්නේ සනාථන ධර්මයක්! ඒ කියන්නේ ඒක තමයි සිද්ධාන්තය. (ශ්‍රාවක මහතෙක්): බුද්ධ නැති වුනේ නෑ, බුද්ධ ධර්මය… (ස්වාමීන් වහන්සේ): ඔවු, බුද්ධ ධර්මය මතුවෙනවා, යටපත් වෙනවා. ඉතින් බුද්ධ කියන එකත්, ඒ ධර්මය අනුව ගියොත් බුද්ධ විද්‍යාමානයි! නැත්නම් බුද්ධත් යටපත්. බුද්ධ කියලා කියන්නේ “අවබෝධයේ ප්‍රතිඵලය – බුද්ධ!” අවබෝධ මාර්යගය බොධි! බෝධි මාර්ගයේ ප්‍රතිඵලය බුද්ධ. (ශ්‍රාවක මහතෙක්): බුද්ධ වෙනකොට ජාති-ජරා-ව්‍යාධි-මරණ ත් නෑ, නමුත් ශූණ්‍යත් නෑ! (ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි කියන්නේ. ශූණ්‍ය නෑ, ශූණ්‍ය කියන වාදයට ගත්තොත් එහෙම නෑ කියන අර්ථය එනවා. නැත්නම් ඇති වෙන්නෙ කොහොමද?
(ශ්‍රාවක මහතෙක්): නිවන ශූණ්‍යයි කියලා සමහරෙක් කියනවා, නිවනේ ශූණ්‍යතාවයක් නෑ නේද? (ස්වාමීන් වහන්සේ): ආන්න, අන්න ඒකයි. දැන් නිවන – “ලෝකය සැපෙන් ශූණ්‍යයි, නිවන පරම ශූණ්‍යයි!” කියලා දැනගන්න කියනවා. දැන් මේ ශූණ්‍යතා වාදය ගැන විග්‍රහ කරනකොට, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “යම්හිකෝ තත්ථ නත්ථි – තේන තං සුඤ්ඤං!” – යම් තැනක යමක් නැද්ද, එයින් එය ශූණ්‍යයි! <<ත්‍රිපිටක සූචිය අවශ්‍යයි>> මේ ආර්‍ය විනයේ ශූණ්‍යතා වාදය පෙන්වන්නේ ඔය විදිහට. යම් තැනක යමක් නැද්ද, එයින් එය ශූණ්‍යයි, සියල්ලෙන් ශූණ්‍යයි කියන එක නෙමෙයි. යම් තැනක දුක නැද්ද, එතන දුකෙන් ශූණ්‍යයි.
එතකොට, ඇත – නැත කියන දෙකම අයින් කරලායි මේක විසඳන්නේ. ඇත – නැත කියන එක ලෝක සම්මතයේ තියෙන මත දෙකක්. ඔය මත දෙක තුළ පිහිටලා නිවන ගැන කියන්න බෑ! දැන් “පහන නිමීම කියලා යමක් තියෙනවාද?” කියලා අහනවා, “නිමීමක් නැත්නම් නිවන්නේ කොහොමද?” අන්න ඒකයි, එතකොට පත්තු කරනවා කියලා එකක් විද්‍යාමාන වෙන, නිවීමක් කියලා එකකුත් මේකේ විද්‍යාමානයි. නිවිච්ච පහන, දැල්වෙච්ච පහන කියනවා. නිවිච්ච පහන කියන්නේ අමුතුවෙන් පහනක් නෙමෙයි, පහන නිමුනහාම කියන වචනයක්. (ශ්‍රාවක මහතෙක්): සම්මත මට්ටමේ ඉඳලා කියනවා. (ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි. ඒක සම්මතයට ගන්නේ. නමුත්, නිමෙනවා කියලා යම් ධර්මතාවයක් නැත්නම්, නිමනවා කියලා එකක් කරන්න බෑ! ඒ වගේ, නිමෙනවා කියලා යමක් නැත්නම් නිමෙන්න බෑ! දැන් රාගක්ෂය කිරීම නිවන, ද්වේෂක්ෂය කිරීම නිවන, මෝහක්ෂය කිරීම නිවන, සියල්ල නැති කිරීම නිවන කියලා එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑ නේ! “රාගක්ඛයෝ නිබ්බානං, දේසක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං” – රාගක්ෂය වුන බව, ද්වේෂ ක්ෂය වුන බව, මෝහ ක්ෂය වුන බවයි නිවන.
දැන් නිවන දකින්නේ මොකෙන්ද? රාගයක් ක්ෂය වෙච්ච, ද්වේෂක්ෂය වෙච්ච, මෝහක්ෂය වෙච්ච ඉතුරු හිතෙන්! සියලු, හිත සම්පූර්ණයෙන් ම රාග-ද්වේෂ-මෝහ නෙමෙයි. සිත, ඒ ආගන්තුග කිලිටි! “ආගන්තුගේන උපකිලිට්ඨේන උපකිලිට්ඨං” – ආගන්තුග උපක්ලේෂ වලින් කිලිටි වෙලා තියෙනවා. <<ත්‍රිපිටක සූචිය අවශ්‍යයි>> “පබස්සර මිදං භික්ඛවේ චිත්තං“ – අන්න පභාස්වර වුන චිත්තයට පේනවා, “දැන් මගේ – පෙර මට රාගය් තිබුණා, දැන් නෑ!” අන්න ක්ෂය දැක්කා. “පෙර මට ද්වේෂය තිබුණා, ගැටෙනවා පොඩ්ඩක් ඇත්නම්. දැන් ඒක නෑ නේ! පෙර මට මුලාව තිබුණා. මේ ලෝකෙම හොඳයි කියලා හිතෙනවා. දැන් එහෙම හිතෙන්නේ නෑ! එහෙනම්, මම දැන් රාගක්ෂයයි, ද්වේෂක්ෂයයි, මෝහක්ෂයයි!” අන්න, පවිත්‍ර චිත්ත ස්වභාවයට මේක වැටහෙනවා. මෙන්න මේකට කියනවා, “පවිත්‍ර චිත්ත ස්වභාවයට, ප්‍රභාස්වර චිත්ත ස්වභාවයට නිවන අරමුණු වෙනවා“ කියලා. නිවන වැටහෙන්නේ එහෙමයි. එතකොට නැති දෙයක් ද? ඔව්, රාගය නෑ! රාගය ක්ෂයයි. රාගය නෑ කියන එකෙන් ගන්නේ, රාගය තියෙනවා කියලා ගන්න එකක් නෙමෙයි තිබුණේ, රාගය කියන්නේ හේතු – ඵල හින්දා හටගත්ත එකක්. හටගත්ත හේතු – ඵල ක්‍රියාවලිය නම් නෑ! ක්‍රියාවලිය නතර වුනහම ඵලය නෑ. එහෙනම්, රාගය හටගන්න යම් හේතුවක් තිබුණාද, දැන් ඒ හේතුව ක්‍රියාත්මක වෙන්නේ නෑ! හේතුව ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා රාග ඵලය ක්‍රියාත්මක වෙන්නේ නෑ! අන්න, නිරෝධ කළා කිවුවේ ඒකයි. රවුම් ගැහිල්ල නතර වුනා.
{08:12} බුදුන් සරණ යනවා කියන්නේ පුද්ගලයෙක් සරණ යාම ම නෙමෙයි : ඉතින්, මෙන්න මේ ටික දැනගත්තහම, එහෙනම් මේ දැනගත්ත මාර්ගය, යථාවබෝධ මාර්ගය කියන්නේ, “වතක් රැකගෙන ඉඳලා මේක හම්බ වුනේ නෑ! මනා නුවණින් – මනා සිහි නුවණින් මේ යථා ධර්මය ගැන මෙනෙහි කරලා, ලෝකයේ ආදීනවත් නිවනේ ආනිසංසත් දැක්ක නිසා, මෙන්න මේ ක්‍රමය තුළින් තමයි නිවන් අවබෝධ කරන්නේ, වතකින් නෙමෙයි” කියලා දැනගත්තහම සීලබ්බත පරාමාසයක් එයාට නෑ! (ශ්‍රාවක මහතෙක්): බුදුරජාණන් වහන්සේ සැබෑවටම දැක්කා නම්, බුදුරජාණන් වහන්සේ තාමත් ජීවමානයි, බුද්ධත්වය ජීවමානයි කියලා පේනවා. (ස්වාමීන් වහන්සේ): ඔව්, අන්න ඒකයි කියන්නේ, බුද්ධත්වය එකක්, බුද්ධත්වය ජීවමානයි! බුද්ධත්වයට පත් වුන උත්තමයා පිරිනිවන් පෑවා. බුද්ධත්වය නෙමෙයි පිරිනිවන් පෑවේ, බුද්ධත්වය මරණයට පත්වෙන එකක් නෙමෙයි, අන්න ඒකයි. බුද්ධත්වය, ධර්මත්වය, සංඝත්වය, එකක්වත් මරණයට පත් වෙන්නේ නෑ. (ශ්‍රාවක මහතෙක්): ඒ එකක් වත් ජාත-ජරා-ව්‍යාධි-මරණ වලට වැටෙන්නේ නෑ? (ස්වාමීන් වහන්සේ): ඒවාට සම්බන්ධ නෑ! ඒක ධර්මතාවයක්. ඒක ඉතින් ඒ ධර්මතාවය අපිට හරයක් නෑ අල්ලාගන්න. දැන් බුද්ධත්වයට පත් වුනේ දුක කෙළවර කරන්න ඕනේ හින්දා, ඒකේ ඉන්න නෙමෙයි. ධර්මත්වය දරා ගත්තේ දුක කෙළවර කරන්න ඕනේ හින්දා, ඒකේ ඉන්න නෙමෙයි. සංඝත්වය දරා ගත්තේ දුක කෙළවර කරන්න ඕනේ හින්දා මිසක් සංඝත්වයේ ඉන්න නෙමෙයි! (ශ්‍රාවක මහතෙක්): එහෙනම් “බුද්ධං සරණං ගච්ඡාමි” තාමත් තියෙනවා එහෙනම්! දැන් එතකොට අපිට ධර්මත්වය නෑ කියන තත්ත්වයට එන්නේ, මෙන්න යථා තත්ත්වය දකින්න පුලුවන් නම් තාම ජීවමාන පේනවා! (ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි කියන්නේ.
එතකොට “බුද්ධ” කියලා කියන්නේ මොකද්ද? “බුජ්ජතීථි බුද්ධෝ!” – අවබෝධයට පත් වෙන හෙයින් බුද්ධ කියනවා. දැන් ඔහොම තෝරලාත් තියෙනවා. අවබෝධත්වයට එන නිසා, ඒකටයි බුද්ධ කියන්නේ, අවබෝධයටයි! “බුජ්ජති + ඉති + බුද්ධෝ – බුජ්ජතීථි බුද්ධෝ!” – අවබෝධයයි යමක් වේද, ඒකටයි බුද්ධ කියන්නේ. ඉතින්, අවබෝධය ලැබූ කෙනාට බුද්ධ නාමය ආදේශ වෙනවා. දැන් වෙදකම නිසා, වෙදකම ඉගෙනගත්ත එක්කෙනාට වෙද මහත්තයා කියනවා. ඒකත් සම්මුතියට බැස්සා. අන්න ඒකයි, දැන් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ බුද්ධත්වයට සම්බන්ධ – පූර්ණ කරගත්ත නිසා, පැමිණුන නිසා. බුද්ධත්වය පිරිණිවන් පෑවෙත් නෑ, බුද්ධත්වයට නෙමෙයි බුදුරජාණන් වහන්සේ කිවුවේ. ඒකට කියන්නේ “බුද්ධත්වය!”
එහෙනම්, “බුද්ධං සරණං ගච්ඡාමි” කියන්නේ බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා ගත්තොත් අපි පල්ලෙහාට බහිනවා, සම්මුතියට. හැබැයි, සම්මුතියේ සරණකුත් එපායි කිවුවේ නෑ! ඒක මුලට. (ශ්‍රාවක මහතෙක්): බුදුරජාණන් වහන්සේ දැන්, සාමාන්‍යය ජනතාව සම්මුතියෙන් උන්වහන්සේ දිහා බලන නිසා උන්වහන්සේ පේන්නේ නෑ, පරමාර්ථ වශයෙන් උන්වහන්සේ දිහා බැලුවා නම් උන්වහන්සේ පේනවා. (ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි කියන්නේ, පරමාර්ථ වශයෙන් අපි බුදුන් දකින්න ඕනේ. දැන් “අනාථ නාථ” කියන්නේ බුදුන් කියලා අපි කිවුවා නේ, “අනාථ නාථ!” දැන් අනාථ – අනාථ හැටියට දැක්කා නම්, ලෝකේ අනාථයි කියලා දැක්කා – නිවන නාථයි කියලා දැක්කා. අනාථයි නාථයි දැක්කා නම් බුදුන් දැකලා නේ! ඒ රූපයෙන් නෙමෙයි. අන්න, අනාථ දකින්න ඕනේ බුද්ධියෙන්! ලෝකයේ අනිච්ච – දුක්ඛ – අනත්ථ වශයෙන් දැක්කහාම ලෝකේ අනාථයි කියලා බුද්ධියෙන් දැක්කා. එහෙනම් මොකද්ද නාථ? “අතහැරීම නාථයි, නොඇල්ම නාථයි, මිදීම නාථයි, නිවනම නාථයි!” බුද්ධියෙන් දැක්කා නිවන, නාථ පැත්ත. එහෙනම්, අනාථත් දැක්කා නාථත් දැක්කා නම්, “අනාථ නාථ” කියන්නේ බුදුන්! (ශ්‍රාවක මහතෙක්): දැන් සමහරු නිවන් දකින්න අකමැති නිවනේ මොකුත් නෑ කියලා! (ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි, දැන් අපි අහන්න ඕනේ “දුකෙන් නිදහස් වෙන්න කැමතිද?” නිවන් දකින කතාව පැත්තකින් තියලා, යමක් නිසා දැවෙනවා නම්, තැවෙනවා නම්, දැවීමෙන් – තැවීමෙන් නිදහස් වෙන්න කැමතිද? ඔය විදිහට අහන්න ඕනේ.
{11:27} සත්‍යය කියලා දෙන්න සියළු අන්‍යාගමිකයන් බෞද්ධ විය යුතු නෑ! : දැන් අපිට ක්‍රිස්තියානි ආගමේ මහා බල කණුවක් තියෙන පැත්තක, ඔය කොහෙද – මෙහේ මේ ධර්ම දේශනාවක් කරන්න සිද්ධ වුනා මීගමුව පැත්තේ. දැන් අපි යනකොට, මූණු “කොරස්” විතර හදාගෙන සමහර මිනිස්සු! හාමුදුරු කෙනෙක් පෙන්නන්න බැහැ, මොකද ඒ ධර්මයට, ඒගොල්ලන්ට දොස් කියනවා, බණිනවා කියලා. එහෙම ඉතින් අපි බලාපුහාම මිනිස්සුන්ට මූණු රෞද්‍ර වෙලා එහෙම තිබුණා මම යනකොට. මම ගිහිල්ලා, ඒගොල්ලන් ගෙන් මම ඉස්සෙල්ලාම ඇහුවේ නෑ “බෞද්ධ වෙන්න කැමතිද” කියලා. මං කිවුවා, මං මේ ආගමක් වෙනස් කරන්න ආවේ නෑ, බෞද්ධ කරන්න ආවෙත් නෑ, අබෞද්ධ ගොඩට දොස් කියනවා කියලා එහෙම එකකට ආවෙත් නෑ! මම එකක් අහන්නම්, බුද්ධිමත්ව ඇත්ත දැනගෙන, සත්‍යයක් අවබෝධ කරන්න කැමති අය කීදෙනෙක් මෙතන ඉන්නවාද? බොරුවකට රැවටිලා, මුලා වෙන්න කැමති අය කී දෙනෙක් මෙතන ඉන්නවාද? මට ඒකට උත්තරයක් දෙන්නකෝ. ආගම් භේදය ඔක්කෝම පැත්තකින් තියන්න. බුද්ධාගමේ, ක්‍රිස්තියානි ආගමේ, මුස්ලිම් ආගමේ, ඔක්කෝම පැත්තකින් තියලා, බුද්ධිමත්ව, බුද්ධිවන්තව ඇත්ත දැනගෙන, සත්‍යාවබෝධය ලබාගන්න කැමති අය කවුද ඉන්නේ? මෝඩ වෙලා, රැවටිලා, මුලාවට පත්වෙන්න කැමති අය කවුද ඉන්නේ? ආගම් පැත්තකින් තියලා ඔය දරුවෝ අත උස්සන්න කිවුවහාම ඔක්කෝම කිවුවා, බුද්ධිමත්ව ඇත්ත දැනගෙන සත්‍යාවබෝධයක් ලබාගන්න අපි කැමතියි! අන්න නියම උත්තරයට ආවා. මං කිවුවා, ඔතන පිහිටාගන්න, වෙන මොනවත් හිතන්න යන්න එපා! බෞද්ධ වෙන්න කැමතියි කියන වචනය පැත්තකින් දාන්නකෝ, සම්මත! බුද්ධාගම් කාරයෙක් වෙන්න කැමතියි කියන එකත් පැත්තක දාන්නකෝ! බුද්ධිමත්ව සත්‍යාවබෝධයක් කරගෙන, ඇත්ත දැනගන්න කැමතියි කියන තැන ඉන්න. ඒකට කැමතිද? අර ළමයි ඔක්කෝම කැමති වුනා. දැන් අපූරුවට ඇවිදිල්ලා, අන්න ඒකයි – සම්මුතියෙන් තමයි මේ ගහනන්නේ, ඔක්කෝම කරගන්නේ, ඝට්ඨනය කරගන්නේ.
ඉතින්, ඔතන ඊට පස්සේ මම ඒගොල්ලන් ගෙන් ඇහුවා ඉතින් එක එක ක්‍රමයන්. මං කිවුවා, දැන් ඔය දුවලා පුතාලා, ඔයාලාට කවුරුහරි ගහනවා නම්, මරණවා නම්, හිංගි – හිංසා කරනවා නම් ඔයාලා කැමතිද? ඔයාලාගේ තීරණය මොකද්ද? අවංක තීරණය? “අපි කැමති නෑ!” අන්‍ය කෙනෙකුට ගහනවා නම්, බණිනවා නම්, හිංසා කරනවා නම්, අන්‍යයෝ කැමතිද? මරණවා නම්, අන්‍යයෝ කැමතිද? කැමති වෙයිද? “අන්‍යයෝ කැමති වෙන්නේ නෑ! අපිට තීරණය කරන්න තියෙන්නේ ඒකයි.” බුද්ධිමත් තීරණය ඒකයි. තමනුත් කැමති නැති, අනුනුත් කැමති නැති , තමන්ටත් අවැඩ වෙන, අනුන්ටත් අවැඩ වෙන යමක් වේ නම්, එබඳු සිතිවිල්ලක් හෝ, ක්‍රියාවක්, කථාවක් ක්‍රියාත්මක කිරීම සුදුසුද නැද්ද? ඔයගොල්ලන්ගේ තීරණය දෙන්න. “සුදුසු නෑ! අපිට තේරෙන්නේ ඒකයි“ කිවුවා. එහෙනම්, සුචරිත – දුස්චරිත කියලා ලෝක සම්මතයක් තියෙනවා නම්, ඕකෙන් කෝකට ඕක වැටෙයිද, කරනවා නම්? “දුස්චරිතය කියන එකට වැටෙනවා, සුචරිතයට වැටෙන්නේ නෑ” එහෙනම්, අත්හැරිය යුතුයි කියන එකට වැටෙනවාද, කළ යුතුයි කියන එකට වැටෙනවාද? “අත්හැරිය යුතුයි කියන එකට වැටෙනවා” දැන් එහෙනම්, ඔය දුවලාගේ, පුතාලාගේ අදහස මොකද්ද? ආගම් ඔක්කෝම පැත්තකින් තියලා කියන්න, ප්‍රාණඝාතය අත්හැරිය යුතුද නැද්ද? “අත්හැරිය යුතුයි!” උත්තරේ ආවා! මං කිවුවා, මං ඔය දුවලා පුතාලා ගේ ආගම වෙනස් කළාද? නෑ, ආගමකට විරුද්ධ දෙයක් මම කිවුවාද? ඒත් නෑ!
එහෙනම්, මං කිවුවා දැන් ක්‍රිස්තියානි නේ ඒ පැත්තේ ඉන්නේ, මං කිවුවා, බයිබලයේ මෙහෙම කියලා තියෙනවා. වැඩිහරියක් ඉන්නේ, වැඩි හරියක් ක්‍රිස්තියානි. “තමාට යමක් කරනවාට තමා කැමතිද, අනුන්ටත් එය කරන්න. තමාට යමක් කරනවාට තමා අකමැතිද, අනුන්ටත් එය නොකරන්න, මේක ව්‍යවස්ථාවේ හරයයි!” <<බයිබල් සූචිය අවශ්‍යයි>> කියලා බයිබලයේ කියලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට, බයිබලයට අනුව දැන් ඕක හරිද? “හරි!” දැන් එහෙනම්, ප්‍රාණ ඝාත නොකළ යුතුයි! ආගම වෙනස් කළෙත් නෑ, ආගමට විරුද්ධත් නෑ. මොකද, කියන්නේ? අවංකව පිළිගත්තා. හොර-මැර-වංචා, සුරා-සූදු-දුරාචාර, බොරු-කේලාම්-ඵරුෂ වචන-ප්‍රලාප, ලෝභ-තරහා-මෝඩ කියන ඔක්කෝම ගැන ඔහොම ඇහුවා, දස අකුසලය ගැනම. අහලා, ඔය තීරණය දීලා මං කිවුවා, දැන් ඉතින් මං ඔයාලා අබෞද්ධ කළෙත් නෑ, එහෙම කතාවකට ගියෙත් නෑ, ආගම වෙනස් කළෙත් නෑ, ආගමට විරුද්ධ දෙයක් කිවුවෙත් නෑ, දැන් කෝක හරි, කවුරු හරි කමක් නෑ, මොන ආගමක හරි, දැන් ඔය දැන් තේරුම් ගත්ත යමක් ඇති නේ! දැන් ඔය තුළ ජීවත් වෙනවාද? “ඔව්, ජීවත් වෙනවා” හා, එහෙනම් ඒ ටික ඇති, ඔය ටික නවත්තා ගන්න! එහෙනම් හිතාගන්න, ඔයගොල්ලෝ එක්තරා මට්ටමකට සත්‍යාවබෝධය කරා ආවා.
ඉතින් ඕකට අපිට කියන්න තියෙන්නේ, එයාලා එක්තරා මට්ටමකින් බෞද්ධ වුනා! ඔක්කෝම කට්ටිය, මූණු මල් පිපුනා වාගේ පිපුනා ඉන්න කට්ටියගේ, මොකුත් නෑ, හරී අහංකාර විදිහට හිටපු මහත්වරු, සෙරෙප්පු – සපත්තු ගලවලා දාලා, ඇවිදිල්ලා ලඟ පාත් වෙලා, “අනේ ස්වාමීන්වහන්ස, ඔබවහන්සේ වාගෙ කෙනෙක් මෙච්චර කල් එනවා කියලා අපි හිතුවේ නෑ! ඔබවහන්සේ මෙහෙම ධර්මයක් ගැන කියයි කියලා අපි හිතුවෙත් නෑ! අපි එහෙනම් මෙහෙම නෙමෙයි මේ ස්ථානය සකස් කරලා, සරසලා කරන්නේ, ඔබවහන්සේ පිළිගන්නේ මෙහෙම නෙමෙයි. අනේ අපිට අනුකම්පා කරලා, නැවත දවසක් අපේ ආරාධනාව පිළිඅරගෙන වඩින්න, ආරාධනාව පිළිගන්නවාද?” ඔන්න අන්තිමට අහපු එක! ඉතින් මෙන්න මේකයි ක්‍රමය. ඉතින් අපි ආයි දන්නේ නැහැ – ඒ පුද්ගලයා ඝට්ටනය කරන්නේ නැතුව, සත්‍යය තුළින් සත්‍යයට ගන්න. ඕකයි කාරණය.
{16:00} ධර්ම දේශකයෙක් වෙන්න විශේෂ ගුණාංග තිබිය යුතුයි : (ශ්‍රාවක මහතෙක් ප්‍රශ්නයක් අසයි – ප්‍රශ්නය පැහැදිලි නැත, ස්වාමීන් වහන්සේ): ආන්න, ඒ මත බින්දේ ඔය විදිහට, සත්‍යය තුළින්. ඒවාට පහර ගහලා නෙමෙයි. ගැටෙන්න බෑ, ගැටුනොත් මහා භයානකයි, අන්න ඒකයි කියන්නේ, අරගෙන එන්න ඕනේ. එතකොට ලස්සනට ගෙනහැකි. (ශ්‍රාවක මහතෙක්): පුද්ගලයාට නිග්‍රහ කරන්න අවශ්‍යය නැහැ, පාපයටයි නිග්‍රහ කරන්න ඕනේ. (ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි කියන්නේ. “දේශකයෙක් හැබෑ නම්, පුද්ගල නිග්‍රහ කිරීම නතර කළ යුතුයි!” කියලා දේශනා කරලා ම තියෙනවා. <<ත්‍රිපිටක සූචිය අවශ්‍යයි>> පුද්ගලයා විවේචනය කරන්න බෑ, ප්‍රශ්නයක් අහපුහාම තරහා ගන්න බෑ, වෙන ප්‍රශ්නයකින් වහන්න බෑ, එතකොට එහෙම කියනවා ධර්ම දේශකයෙක් සතු ගුණ ධර්ම ටිකක්. ඒවා එයා ලඟ තියෙන්න ම ඕනේ! ඒවා නැත්නම් එහෙම එයා ධර්ම දේශකයෙක් වෙන්නේ නෑ නියම විදිහට. (ශ්‍රාවක මහතෙක්): එතකොට අද සමහර භික්ෂූන් වහන්සේලා ගැන… (ස්වාමීන් වහන්සේ): ඔව්, අන්න ඒකයි කියන්නේ. එතකොට හරි භයානකයි, එතකොට පැහැදීමක් එන්නේ නෑ! එහෙම අහන්න බෑ!
{17:06} කර්මයක් සැම විටම කර්ම පථයක් වෙන්නේ නෑ : (ශ්‍රාවක මහතෙක් කර්ම – කර්ම පථ පිළිබඳ ප්‍රශ්නයක් අසයි – ස්වාමීන් වහන්සේගේ පිළිතුර): ඔව්, දැන් ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. කර්මයක් බල නැඟෙන්න, යම්කිසි කර්ම පථයක් කියන්නේ, ඒක සම්පූර්ණ බලවත් – පූර්ණ එකක් බවට පත් වුනා කියන එකයි, පූර්ණ කර්මයක් වුනා. අන්න, කර්මයක් පූර්ණ භාවයට පත් වීමට අවශ්‍යය කරන කාරණා තියෙනවා. දැන් සතෙක් බව දැනගන්න ඕනේ, මරණ චේතනාවක්, යොදන උපක්‍රමයක්, ක්‍රියාත්මක කිරීමක්, සත්ත්වයා ඝාතනයක්. ඔය කාරණා පහ සිද්ධ කරපුහාම කර්ම පථයක් වුනා. දැන් සතෙකු බව දන්නවා, මරණ චේතනාවත් ආවා, යොදන උපක්‍රමයත් ආවා, ක්‍රියාත්මක කළා, සත්ත්වයා මළේ නෑ! එකක් අඩු වුනා. අන්න, ඒක කර්මයක් බවට පත් වුනා, කර්ම පථයක් වුනේ නෑ! එතකොට, එක්කෝ චේතනාව හරි, එකක් හරි අඩු නම්, එතෙනදී ඕක සිද්ධ වෙන්නේ නෑ! දැන් සතෙක් කියලා දන්නවා කිවුවාට, සතෙක් නෙමෙයි, රැවටිලා ඉන්නේ, අපි හිතමු දැන්, අපි හිතමු අර රබර් සර්පයෙක් දාලා ඉන්නවා ගෙයි මුල්ලක කවුරුහරි. හොරෙන් දාලා ගියා ළමයෙක් ව රවට්ටන්න. බැලුවා, බලනකොට පොළඟෙක් ඉන්නවා ගේ ඇතුළේ. ගත්තා හොඳ පොල්ලක් – යකඩ පොල්ලක්, හොඳට ඔලුවට අල්ලලා බලලා ඌ දැන් චොප්ප කළා. බලනකොට චොප්ප වෙලා තියෙන්නේ රබර් සර්පයා. දැන් සතෙක් බව දැනගෙන එයා හිතුවා සතෙක් කියලා – පොළඟෙක් කියලා. එතකොට, මරණ චේතනාවක් ආවා. උපක්‍රමයත් යෙදුවා, ක්‍රියාත්මක ත් කළා. බලනකොට, සත්ත්වයෙක් මැරෙන්න ඉඳලා නෑ! කාරණා තුනක් සිද්ධ වුනා. මරණ චේතනාව, යොදන උපක්‍රමය, උපක්‍රමය ක්‍රියාත්මක කිරීම. කාරණා තුනක් තිබුණා. හැබැයි, ප්‍රාණඝාත කර්මයක් සිද්ධ වුනා, කර්ම පථයක් සිද්ධ වුනේ නෑ! දැන් පථයක් සිද්ධ වෙන්න මේ කාරණා පහ ම සම්පූර්ණ වෙන්න ඕනේ.
හොරකමක් කරනකොට, අන්සතු වස්තුවක් වෙන්න ඕනේ, එතකොට අන්සතු වස්තුවක් ඒක අන්සතු වස්තුවක් වෙන්න ඕනේ, හොර චේතනාව – හොරකම් කරන චේතනාව එන්න ඕනේ, ක්‍රියා – ඒ හොරකම ක්‍රියාවලිය කරන්න ඕනේ, තියෙන වස්තුව තියෙන තැනින් අහකට ගන්න ඕනේ. කාරණා හතර සිද්ධ කළොත් කර්ම පථය – හොරකම පිළිබඳ කර්ම පථයක් වුනා. චේතනාව විතරක් තිබුණහාම කර්මයක් වෙනවා, කර්ම පථයක් වෙන්නේ නෑ.
{19:04} සීලය යනු වත නොවේ, වත යනු සීලය නොවේ! : (ශ්‍රාවක මහතෙක් පන්සිල් පිළිබඳ ප්‍රශ්නයක් අසයි, ස්වාමීන් වහන්සේ ගේ පිළිතුර): නෑ, දැන් මෙහෙමයි. ඔය “පන්සිල්“ කියන වචනය ගත්තහම, ඔතන හරි ගැඹුරක් තියෙනවා. දැන් අද පන්සිල් අඳුරන්නෙත් නෑ, පංච දුස්චරිත හඳුනන්නෙත් නෑ, පස් පවු හඳුනන්නෙත් නෑ, පංච ශික්ෂා හඳුනන්නෙත් නෑ, සිල් වත හඳුනන්නෙත් නෑ, සීලය හඳුනන්නෙත් නෑ! ඔය ඔක්කෝම විග්‍රහ කරගන්න ඕනේ. දැන් අපිට, මේ සිල් ගැන කතා කරන්නේ කොහොමද අපි? කොතන ඉඳලාද? දැන් පංච දුස්චරිත මොනවාද? සත්තු මරන්නේ නෑ, හොරකම් කරන්නේ නෑ, කාමය වරදවා හැසිරෙන්නේ නෑ, බොරු කියන්නේ නෑ, මත්පැන් බොන්නේ නෑ, පංච දුස්චරිතයෙන් වෙන් වුනා. පස් පවු කියන්නේ? සත්තු මරන්නේ නෑ, හොරකම් කරන්නේ නෑ, කාමය වරදවා හැසිරෙන්නේ නෑ, බොරු කියන්නේ නෑ, මත්පැන් බොන්නේ නෑ, පස් පවු වලින් වැළකුනා. පස් පවු කියන එකට කියන්නෙත් ඔය පහ මයි. දැන් පන්සිල් කියන්නේ? සත්තු මැරීමෙන් වැළකීම, හොරකම් කිරීමෙන් වැළකීම, කාමය වරදවා හැසිරීමෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, මත්පැන් බීමෙන් වැළකීම, පන්සිල්! එතකොට, සිල් වත කියන්නෙත් ඕකයි, සීලය කියන්නෙත් ඕකයි! දැන් අද ඉන්නේ, ඔතන නේ ඉන්නේ, ඔයින් එහාට නෑ!
දැන් මේ එකක් නෑර විග්‍රහ කරගන්න ඕනේ සිල් තේරුම් ගන්න. සිල් කියන්නේ මොකද්ද තේරුම් ගන්න, “යං සමාදානං තං වතං – සංවරට්ඨේන සීලං” – යම් සමාදානයක් ඇද්ද, ඒක වතකි. සංවරත්වයේ පිහිටීමක් ඇද්ද, එය සීලයකි. <<ත්‍රිපිටක සූචිය අවශ්‍යයි>> එහෙනම්, සීලයයි, වතයි තේරුම් ගන්න ඕනේ. ඔන්න ඉස්සෙල්ලාම අපි දැනගත යුතු දේ. සීලය තේරුම් ගන්න ඕනේ, වත තේරුම් ගන්න ඕනේ. “යං සමාදානං තං වතං” – යම් සමාදානයක් ඇද්ද, එය වතකි! ඒක සීලයක් නෙමෙයි. “සංවරට්ඨේන සීලං“, සංවරත්වයේ පිහිටීමක් ඇද්ද, එය සීලයකි. ඔන්න වෙනස තේරුම් ගන්න ඕනේ. දැන් ඕක මං විස්තරයක් කරලා දෙන්නම්.
යම්කිසි පුද්ගලයෙක් ප්‍රාණඝාතය වැරදියි කියලා, ඒක දුස්චරිතයක් – නොකළ යුත්තක්, අසාධාරණයක් කියලා දැනගෙන ඉන්න පුද්ගලයෙක් ඉන්නවා. හැබැයි, එයා ජීවිතේට “පානාතිපාථා වේරමණී සික්ඛාපදං සමාදියාමි” කියන වාක්‍යය කියලාත් නෑ. දැන් පසළොස්වක පොහොය දවසක් වුනහම, නැත්නම් අපි වෙසක් පෝයට එහෙම, ඕනේ දඩ මීමෙක් සිල් ගන්නවා! ඕනේ දඩයක්කාරයෙක්, සිල් ගන්න යන අයත් ඉන්නවා. අපි හිතමුකෝ, එදාට යම් කෙනෙක් හිතලා “අද යන්න ඕනේ සිල් ගන්න!” හැබැයි, වෙනදාට නම් ඉත්තෑවෙක් එහෙම වලක වැටිලා ඉන්නවා දැකලා අහු වුනොත් එහෙම, හාවෙක් වලක වැටිලා හිටියොත් එහෙම පොඩි කරගෙන මයි යන්නේ! දැන් එදා මොකද කරන්නේ, එයා ගිහිල්ලා සිල් වතක් පොරොන්දු වෙලා, “මම උදේ ඉඳන් හෙට දවස වෙනකන් හරි, ප්‍රාණඝාත කරන්නේ නෑ මොන හේතුවකට වත්, මැරුවත් ප්‍රාණඝාතයක් කරන්නේ නෑ” කියලා පොරොන්දුවක් වුනා. අන්න සමාදානයක් වුනා! දැන් සමාදානයක් වෙලා එයා මොකද කරන්නේ, හවස් වරුවේ ගෙදර යනවා. නැත්නම් කොහේ හරි යනවා, පන්සලෙන් පන්සලකට යන්න හරි කමක් නෑ යනවා, විවේක තැනකට යන්න. යනකොට බලනකොට, වලේ ඉන්නවා ඉත්තෑවෙක් වැටිලා, නැත්නම් හාවෙක් වැටිලා ඉන්නවා. දැක්කා, ඉතින් වෙනදාට නම් කරන හැටිය දන්නවා. “හප්පා! අද මං ඔය පැත්ත බලන්නෙත් නෑ, අද මට අයිති නෑ, මං සමාදන් වෙච්ච ශික්ෂාවට බාදකයක්, ඒක නිසා මං ඔය පැත්ත වත් බලන්නේ නැතුව අද යනවා“ කියලා එයාගේ පාඩුවේ යනවා. දැන් එයාත් සතා මරන්නේ නැතුව ගියා. අර ජීවිතේට “පානාතිපාථා වේරමණී සික්ඛාපදං සමාදියාමි” නොකිවුව කෙනෙක්, “මේ ප්‍රාණඝාතය අසාධාරණයක් – අයුක්තියක්. මං වේදනා විඳිනවා නම්, මං මරණවා නම් කැමති නැතුව වාගේ තමයි අන්‍ය සත්තුත්. ඒ නිසා ඒක කරන්න වටිනා එකක් නෙමෙයි, ඒක දුස්චරිතයක්, නොකටයුත්තක්” කියලා තීරණය කරගත්ත එක්කෙනෙක් හිටියා සිල්පදය සමාදම් වෙලා නැතුව. එයාත් ඔතනින් යනවා. එයාටත් පේනවා අර ඉත්තෑවා හරි, හාවා හරි වලේ වැටිලා ඉන්නවා. දැන් එයාට අර සමාදානයක් මොකුත් තිබුණේ නෑ, නමුත් එයා දඩයම – එයා මරන්නේ නෑ! එයා ඕන්නම් ආධාරයක් කරලා, ඌට ගොඩ එන්න මාර්ගයක් හදලා දීලා, එයාත් යන්න යනවා.
දැන් අර සමාදානයක් වෙලා, ජීවිතේට “පානාතිපාථා වේරමණී සික්ඛාපදං සමාදියාමි” නොකිවුව කෙනාට සීලයක් තියෙනවා. අර සිල් සමාදන් වෙලා යන එක්කෙනාට වතක් තිබුණා, සීලයක් නෑ! ඔන්න වෙනස. සමාදානය වතක් මිසක් සීලයක් නෙමෙයි! (ශ්‍රාවක මහතෙක්): අද දවසේ එතකොට වතක් ද… (ස්වාමීන් වහන්සේ): මේ රකින්නේ වත! දැන් මේ සීලය තියෙන කෙනාත් වත රකින්න පුලුවන්, සීලය නැති කෙනාත් වත රකින්න පුලුවන්. ඔය සීලයේයි, වතේයි වෙනස පෙන්නන්නයි මං ඕක පෙන්නුවේ. (ශ්‍රාවක මහතෙක්): එතකොට වත කැඩෙනකොට සීලයත් කැඩීමක් නෙමෙයිද සිද්ධ වෙන්නේ? (ස්වාමීන් වහන්සේ): වත කැඩෙනවා! “ඛණ්ඩ, චිද්ද, සබර, කාල්මාස” කිවුවේ වතට. (ශ්‍රාවක මහතෙක්): දැන් එතකොට වත නොපුරා සිල් පුරන්න බෑ කියලා කතාවක් තියෙනවා (ස්වාමීන් වහන්සේ): ඔවු, වත නොපිරූ – වත පිරීම සීලයට උපනිශ්‍රයයි! දැන් එතකොට වත පුරන එක සීලයට උපනිශ්‍රය වෙනවා, ආධාර වෙනවා.
දැන් මෙහෙම හිතාගම්මුකෝ අපි, මෙහෙම දෙයක්. අපි දැන් ෆුට් බයිසිකල් පුංචි කාලේ පැදලා තියෙන කෙනෙක් ඉන්නවා. එයා ටිකක්, අවුරුදු 10ක් විතර පදින්නේ නැතුව ඉඳලා, එයාට බයිසිකලයක් අහු වුනා. දැන් එයා බයිසිකලේ අරගෙන ටක් ගාලා පදිනකොට, එක රවුමයි යන්නේ – පෙර හුරුවක් ඇවිදිල්ලා බයිසිකලේ පැදගෙන යන්න එයාට පුලුවන් වුනා. පුංචි කාලෙම ඉඳන් බයිසිකල් පැදපු නැති වයසක මනුස්සයෙක් ඉන්නවා, එක්තරා මැදි වයසට ගිය එක්කෙනෙක්. එයාටත් හම්බ වෙනවා බයිසිකලයක්. දැන් එයාත් අරවගේ පදින්න ගියොත් එහෙම එයාට පුලුවන් ද ඒ වගේ පදින්න? අර පුංචි කාලේ බයිසිකල් අවුරුදු 10ක් 12ක් 15ක් වෙන්න පැදලා නතර කරපු ළමයෙක්, එයා ඉතින් තරුණ කාලේ ගිහිල්ලා, මැදි වයසට කිට්ටු වෙනකොට එයාට බයිසිකලයක් පදින්න එක දවසක් අහු වුනා කියමු, එතකන් පදින්නේ නැතුව ඉඳලා, එයාට යන්න වුනා ගමනක් බයිසිකලය පැදගෙන. දැන් එයාට බයිසිකලයට නැඟලා, එක රවුමක් කරකෝගෙන යනකොටම, හුරුව ආවා! මොකද, එයා අර පුංචි කාලේ කරලා තිබිච්ච හුරුව නිසා එයාට ඒක අමාරුවක් වුනේ නෑ! නමුත්, පොඩි කාලේ ඉඳන් වත් බයිසිකලයට අඩිය තියලා වත් නැති, පය ගහලා වත් නැතුව හිටපු මනුස්සයෙක් ඔය වයසේදී පදින්න ගියොත් එහෙම, මිනිහා වැටෙනවා! දැන් එයාට ආධාරකයක් ඕනේ වෙනවා ඉස්සෙල්ලා. එයා ආධාරකය ආශ්‍රයෙන් දවස් ගණනක් පැදලා, පැදලා එයාත් බයිසිකලය පදින්න පුරුදු වෙනවා, ඊට පස්සේ එයාටත් පුළුවන්. පැරණි, පැදලා පුරුද්ද තිබිච්චි කෙනාට ඒ ආධාරකය අවශ්‍යය නෑ! මෙන්න මේ වගේ වත – යම්කිසි කාලයකදී ඔය සිල් පිරීමට අවශ්‍යය කරන කටයුතු කරගෙන තිබුණ කෙනෙක්, පෙර සසරෙදී හරි කරලා තිබුණා නම්, ඒ කරපු කෙනාට මේ අත්බැවට ආවාට පස්සේ ආයි සැරයක් වත අවශ්‍යය නෑ සිල් පිරෙන්න.
දැන් අපි හිතමුකෝ, ආලවක යක්ෂයාට දැන් නිත්‍ය වශයෙන් ම පංච සීලයක් ලැබුණා නොවෑ සෝවාන් ඵලයත් එක්කලා! එයා බණ අහන්න ලැහැස්ති වුනේ මොකක් කියලාද? “මං ප්‍රශ්නයක් අහනවා, උත්තර දුන්නේ නැත්නම් පපුව පළනවා, හෘදය පළනවා! කකුල් දෙකෙන් අල්ලලා ගහනවා මේ ගඟෙන් එහා පැත්තට!” එහෙම කියලා යි ඉඳගත්තේ මේක, ප්‍රශ්නය තෝරා ගන්න. එතකොට මේ අංගුලිමාල හොරා වෙලා ඉඳලා එදා බුදුරජාණන් වහන්සේ ලඟට ගිහිල්ලා, ඇඟිලි මාලය කරේ දාගෙන, කඩුව අතේ තියාගෙනයි, “මහණ හිටු!” “මම හිටලා තියෙන්නේ, ඔබත් නවතින්න!” කියනකොට, එයා කල්පණා කළා, “ඒ මොකද්ද කියන්නේ? යන ගමන් කියනවා මම ඉඳලා තියෙන්නේ, ඔබ නවතින්න කියලා. මේ ඉන්න මටයි නවතින්න කියන්නේ! මොකද්ද මේකේ තේරුම?” ඒ වෙලාවෙත් කඩුව අතේ, ඇඟිලි මාලේ කරේ! දැන් වත සමාදන් වෙනවාද මේ සෝවාන් වුනේ? (ශ්‍රාවක මහතෙක්): පරමාර්ථ ඇත්ත දැකලා. (ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි කියන්නේ, එතකොට මොකද වුනේ? එදා නොකර තිබුණාට, සසරේදී වඩලා තිබිච්ච හුරුව තිබුණා. මෙන්න මෙයාට වතේ ප්‍රශනයක් ආවේ නෑ. අන්න ඒකයි කියන්නේ, ඒ නිසා එබඳු නැති කෙනා කවදා හරි වතක් පුරලා තමයි සිල් පුරලා තියෙන්නේ, සිල් පිරීම ආරම්භ කරලා තියෙන්නේ. සිල් පුරන්න ඕනේ තැනට මෝරන්න වත අවශ්‍යයි. ඉතින් ඒ වත පුරලා අපි තියෙනවාද නැද්ද කියන එක මේ අත්බැවේදී තීරණය කරන්න බෑ! පෙර අත්බැවු වල ඕනේ තරම් ඔය වත පුරලා තියෙන්න පුලුවන්. වත පුරපු කෙනෙකුට, මේ අත්බැවේ සිල් පුරන්න වත නැතුවාට කිසී ප්‍රශ්නයක් නෑ! (ශ්‍රාවක මහතෙක්): සිල් තියෙනවා නම් වත අතහැරියාට කමක් නෑ? (ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි, වත අවශ්‍යය නෑ! වතෙන් නෙමෙයි යන්නේ, ඔවු!
{26:09} රාග–දෝස–මෝහ ක්ෂය වෙන යමක් නම් බුද්ධ දේශනාව ලෙස ගන්න : ඒ නිසා තමයි, “සීලබ්බත පරාමාසනය“ කියන්නේ සිල් වෘත පරාමර්ශනය. දැන් ඕකට “අන්‍ය සිල් වෘත පරාමර්ශනය” කියලා අපිට අටුවා පෙන්වනවා. ඒ කියන්නේ අන්‍ය සාසන වලින් බැහැර සිල් වෘත පරාමර්ශනයයි දැන් මේ නතර කරන්නේ කියලා. ඔව්, වත – දැන් සීලබ්බත පරාමාසයයි අයින් වෙන්නේ, සෝවාන් වෙනකොට. එයා වතකින් නෙමෙයි එයා ඉන්නේ! යමක් වැරදිද, යමක් නොකළයුතුද, ඒක කරන්නේ නෑ! ගෝතමී සූත්‍රය කියන සූත්‍රයේ <<ත්‍රිපිටක සූචිය අවශ්‍යයි>> පෙන්වනවා ප්‍රජාපතී ගෝතමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, “ස්වාමීනි, දැනටමත් ඔබවහන්සේ දේශනා නොකරපු දහම් කොටස් දේශනා කළ හැටියට මේ භික්ෂූන් අතර නොයෙක් කථා යනවා, කියවෙනවා. දැනටමත් මෙහෙම විපරීත කරගන්නවා නම්, මතු මේ පශ්චිම ජනතාව ඔබවහන්සේ දේශනා කරපු එක කොහොම සුද්ධ කරලා ගනීද?” කොහොමද ඒක කරගන්නේ? ඔය ප්‍රශ්නය ඇහුවා. “ගෝතමිය, ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි! යමක් ඇසුරු කරනකොට, යමක් ක්‍රියාත්මක කරනකොට, යමක් කථා කරනකොට, ක්‍රියා කරනකොට, රාගක්ෂය වෙන බව, ද්වේෂ ක්ෂය වෙන බව, මෝහ ක්ෂය වෙන බව, ඒකට හේතු තියෙන බව පේනවා නම්, ඒවා බුද්ධ දේශනා. යමක් ක්‍රියාත්මක කරනකොට රාගක්ෂය වෙන්නේ නැත්නම්, ද්වේෂක්ෂය වෙන්නේ නැත්නම්, මෝහක්ෂය වෙන්නේ නැත්නම්, ඒවා බුද්ධ දේශනා නෙමෙයි! මේකෙන් තෝරාගන්න.” අන්න තෝරාගන්න ක්‍රමයක් කියලා දුන්නා. ඉතින් හරි පහසු ක්‍රමයක් නේ! දැන් ඕක කාටවත් වෙනස් කරන්න පුළුවන් යෑ! ඉතින්, අපි දැනගන්න ඕනේ, යමක් ක්‍රියාත්මක කරනකොට රාග ක්ෂය වෙනවාද, ද්වේෂ ක්ෂය වෙනවාද, මෝහ ක්ෂය වෙනවාද, වෙනවා නම් බුද්ධ දේශනාව. ලේසියෙන් ම හොයාගන්න තියෙන ක්‍රමයක්. ඔය ක්‍රමයට තෝරා ගන්න ඕනේ. ඒකයි දැනගන්න ක්‍රමය.
{28:52} : බුදු පිළිසරණ ඇසුරින් බුදු සරණ ලබා ගත යුතුයි : (ශ්‍රාවක මහතෙක්): බුදුන් සරණ ගිහිල්ලා තියෙනවා නම්, ආයි හැමදාම “බුද්ධං සරණං ගච්ඡාමි” කියන්න අවශ්‍යය නෑ? (ස්වාමීන් වහන්සේ): නෑ, ආවර්ජනා කිරීම වැඩීමට හේතු වෙනවා. ආසේවන ප්‍රත්‍යය ලැබෙනවා නේ! ඔව්, ඒක වැදගත්. ලැබිච්ච කෙනා නොකිවුවාට කමක් නෑ. දැන් “බුද්ධං සරණං ගච්ඡාමි” කියන බුදු පිළිසරණයි බුදු සරණයි දෙකම දැනගන්න ඕනේ. දැන් කෙනෙක් මහණ කරනකොට අද වෙනකන් ගේනවා “මඛාරාන්ත සරණාගමනය“ සහ “නිග්ගහිතාන්ත සරණාගමනය“ කියලා ක්‍රම දෙකක්. “බුද්ධම් සරණම් ගච්ඡාමි, ධම්මම් සරණම් ගච්ඡාමි, සංඝම් සරණම් ගච්ඡාමි“ කියලා එක ක්‍රමයකට තියෙනවා. ඒක මඛාරාන්ත සරණාගමනය කියලා ඕකට කියන්නේ. “බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි“ කියලා බිංදුව අගට දාලා ශබ්ද කරලා කියන ක්‍රමයක් තියෙනවා. දැන් ඕකට අටුවා – ටිකා වල පෙන්වන්නේ, අර වචනය හරියටම කියවෙන්න ඕනේ හින්දා, එකකින් වැරදුනොත් අනිකෙන් හරි එන හින්දා – හැදෙන හින්දායි ඕක කියන්නේ, සරණාගමනය හරියට පිහිටන්න, වචන වෙනස් කරන්න ඕනේ නෑ! කියන අදහස අරන් තියෙනවා, එහෙම තමයි කියන්නේ.
නමුත් ඔතන තියෙන්නේ ඔයිට වඩා හාත්පසින් වෙනස් පැත්තක්. තමා විසින් සරණ යා යුතු බුද්ධ-ධම්ම-සංඝ කියන ත්‍රිවිධ රත්නයක් තියෙනවා. තමා විසින් ගොඩනඟාගත යුතුයි ඒක. “පිළිසරණ” කරගත යුතු කොටසක් තියෙනවා. දැන් චතුරාර්යය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම තමා විසින් ගොඩනඟා ගත යුතුයි! අන්න, “බුද්ධම් සරණම් ගච්ඡාමි” කියලා මඛාරන්තයෙන් පෙන්නුවේ මම – මම විසින් කරගත යුතු වැඩපිළිවෙල. චතුරාර්යය සත්‍යය අවබෝධ කරගන්න මා විසින් යථා ධර්මය දරාගෙන ප්‍රගුණ කරගත යුතුයි! “ධම්මම් සරණම් ගච්ඡාමි” – චතුරාර්යය සත්‍යය අවබෝධ කරගන්න ඒ ධර්මය දැනගෙන, ධර්මානුකූලව හැසිරෙන වැඩපිළිවෙලට මා විසින් බැසිය යුතුයි! “සංඝම් සරණම් ගච්ඡාමි” – අන්න මා විසින් කළ යුතු වැඩපිළිවෙල. මෙන්න මේකට කිවුවා, “අත්ථ දීපා විහරථ, අත්ථ සරණා – අනඤ්ඤ සරණා!” කිවුවේ ඔන්න ඕකටයි.<<ත්‍රිපිටක සූචිය අවශ්‍යයි>> තමාට තමා දීපයක් කරගෙන වාසය කරන්න, අන්‍ය සරණක් යන්න එපා! “අත්ථාහි අත්ථනෝ නාථෝ – කෝහි නාථෝ පරෝසියා“ ආදී වශයෙන් පෙන්නුවෙත් ඔන්න ඔතනයි. <<ත්‍රිපිටක සූචිය අවශ්‍යයි>> ඔය මඛාරාන්ත කරලා පෙන්වන්නේ ඔන්න ඕක.
හැබැයි ඕක කරගැනීමට ආධාරකයක් ඕනේ. අන්න ඒ ආධාරකය තමයි “බුද්ධං සරණං ගච්ඡාමි” කියලා ගන්නේ, “පිළිසරණක්“! බුදු සරණයි, බුදු පිළිසරණයි දෙකක්. බුදු පිළිසරණ තුළින් ඉඳලා, බුදු සරණ ලබා ගන්න ඕනේ. අපිට අවශ්‍යය බුදු සරණ, පිළිසරණ ආධාරකය! අර, වත සීලයට ආධාරකයි කිවුවා වගේ.
{30:22} පන්සිල් ලැබෙන්නේ තිලකුණ දැකීමෙන් මිස වත සමාදානයෙන් නෙමෙයි : දැන් අපි දකින්න ඕනේ මොනවාද එහෙනම් “පන්සිල්” කියන්නේ? අන්න “පංච දුශ්චරිතය“ කියන්නේ, බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහල වෙන්න ඉස්සෙල්ලා රජවරු පනවපු නීතියක් තිබුණා, රාජ ධර්මයක් – “සතුන් මරන්න එපා, හොරකම් කරන්න එපා, කාම මිත්‍යාචාරය කරන්න එපා, බොරු කියන්න එපා, මත්පැන් බොන්න එපා! මේවා මේ සමාජය දූෂණය කරන දූෂිත සිරිත්. ශිෂ්ඨ සමාජයක් මේවා නොකළ යුතුයි!” කියලා, කිසිම ආගම් භේදයක් නැතුව සියල්ලන්ටම රාජ නීතියක් පැනෙවුවා. මෙන්න මේ රාජ නීතිය – පංච දුශ්චරිතයෙන් වැළකීම පරම්පරානුගතව කරගෙන ආවා, ශිෂ්ඨ සමාජය. බුදුරජාණන් වහන්සේ මේක හොඳ වැඩක් කියලා අනුමත කළා. මෙන්න මේක පංච දුස්චරිතයෙන් වැළකීම. ඔන්න පංච දුස්චරිතය!
“පන්සිල්“ කියනවා. “කිං සීලං” – සීලය නම් කුමක්ද? “පහාන සීලං, වේරමණී සීලං, චේතනා සීලං, සංවර සීලං, අවිතික්කම සීලං” – අන්න සිල් පහ! <<ත්‍රිපිටක සූචිය අවශ්‍යයි>> පහාන සීල, වේරමණී සීල, චේතනා සීල, සංවර සීල, අවිතික්කම සීල, ඔන්න පන්සිල්! දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. අනිච්ච නම්, දුක්ඛ නම්, අනත්ථ නම්, මේ ධර්මය තේරුම් ගත්ත කෙනෙක් බණ අහලා, “මේ ලෝකේ හරයක් නෑ – නිස්සාර ලෝකයක් මේ, නියම වටිකාකමක් නෑ අපි මේ ලොකුවට වටිනවා කියලා හිතාගෙන හිටියාට. මොනවාද මේ ලෝකේ වටිනා දේ? මේ ධර්මය තුළින් මට අවබෝධ වුනා මේ ලෝකේ හරයක් ඇති වටිනා දෙයක් නෑ, මේ ලෝකයා ලොකුවට වටිනවා කියලා, උඩ පැන-පැන අල්ලාගෙන, පොර කකා දැඟලුවාට!” මෙන්න මේ හැඟීම යම්කිසි කෙනෙක් ගේ යථාර්තවත් හැඟීම කෙනෙකුට ආවා නම්, ඉතින් මේ ලෝකයා, “මං මොකටද ප්‍රාණඝාත කරලා, සත්ත්ව හිංසා කරලා, අවැඩ – අසාධාරණ කරලා මොනවා ලබා ගන්නද? මේ හරය මොකද්ද මේ ලෝකේ මට තියෙන්නේ, එහෙම කරලා – අසාධාරණයක් කරලා ගන්න? මට ඒ තරම් අයුක්තියක්, අසාධාරණයක් කරලා, කඩා-වඩා ගෙන ලොකු වෙන්න, අල්ලාගන්න හරයක් මට මේ ලෝකේ නෑ! ඒක හින්දායි මං ප්‍රාණඝාත කරන්නේ නැත්තේ!“
මට හොර-මැර-වංචා කරලා, මේ ලෝකේ අනිකාට කපටි කමින් රවට්ටලා, අනිකාගෙන් කඩා-වඩාගෙන, මගේ – මේ මගේ කියලා ගොඩගහගන්න, මම කියලා ගොඩ ගහගන්න වටිනා දෙයක් මට නෑ මේ ලෝකේ! හරයක් නැති ලෝකේ, ඒවගේ දෙයක් කරලා ගන්නේ මොකටද මං? මට වැඩක් නෑ හොර-මැර-වංචා කරලා. සුරා-සූදු-දුරාචාර ආදී වැඩ වලින් මේ ලෝකේ මේ ප්‍රිය ආස්වාදයන් පස්සේ, නිස්සාර ආස්වාදයන් පස්සේ, නැත්නම් ලෝකයාට අවැඩක් වන, මටත් අවැඩක් වන ආස්වාදයන් පස්සේ මං මොකට යන්නද? එහෙම හරයක්, මොන ආස්වාදයක් පස්සේ, වටිනා දෙයක් පස්සේ ගිහිල්ලාද මං ඒ ආස්වාද හොයන්නේ? මේ නිස්සාර ලෝකේ මට ඔය වගේ ආස්වාද හොය–හොයා අසාධාරණකම් කරන්න වටිනාකමක් නෑ! ඒ හින්දා මට සුරා–සූදු–දුරාචාර කරන්න ඕනේකමක් නෑ.
බොරු කියලා මං මොකටද අනික් අය රවට්ටන්නේ? මට මොනවා ලබාගන්නද? මට ඒ ලාභ-කීර්ති-ප්‍රශංසා වලින් වැඩක් නෑ, හරයක් නැති ඒවායින්. එහෙනම්, මට අනුන් බොරු කියලා රවට්ටන්න ඕනේ නෑ! ඒක මහා අසාධාරණයක්. කේලාම් කියලා මං අනුන් බිඳවන්නේ මොකටද? මං මොනවා ලබා ගන්නද? මේ අනාථ වෙලා ඉන්නවා මදිවාට ද මේ ලෝකයා තවත් අමාරුවේ දමන්නේ, රිදවන්නේ? මට නම් ඒ කේලාම් කියලා, අනුන් බිඳවලා, හිත රිදවලා වැඩක් නෑ. මං ඒ හින්දායි කේලම් කියන්නේ නැත්තේ! ඵරුෂ වචන, සැඩ බවට පත් කරලා මොකටද මේ ලෝක සත්ත්වයාට වැටිලා ඉන්න අමාරුව මදිවාටද, ලෝක සත්ත්වයා තේරුම් ගන්න බැරුව දැවි-දැවී, තැවි-තැවී ඉන්නවා මදිවාටද තවත් සැඩ බවට පත් කරන්නේ? මොනවා කරගන්නද? මොන ලාභයක් ලබා ගන්නද? මට එහෙම ගන්න ලාභයක් නෑ! මං ඒකෙන් සැඩ බවට පත් කරන්නේ නෑ, එහෙනම්, ඵරුෂ වචන භාවිතා කරන්නේ නෑ! මේ ප්‍රලාප කිය-කියා ලෝකයේ රස්තියාදු කරන්නේ මොන තරම් මුලාවක් ද? ලෝකයා මුලාවට පත් වෙලා තව-තවත් මේ මංමුලාවට වැටෙනවා. එහෙම මුලාවට වැඩ කරන වැඩපිළිවෙලක් මට මොකටද? මට වැඩක් නෑ ඒක. මං ප්‍රලාප කියන්නේත් නෑ.
මං මොකට ලෝභකම් කරන්නද? මොනවා අල්ලාගන්නද? මොනවාද අල්ලාගෙන තියාගන්න පුලුවන්? මේ හරයක් නැති නිස්සාර ලෝකේ මට ලෝභ කම් කරන්න දෙයක් නෑ! මං මොකට තරහා වෙලා ඉන්නද? මොනවා මගෙන් ගත්තාටද? මට මගේ කියලා අල්ලාගන්න දේකුත් නැත්නම්, මට තරහා වෙලා ඉන්න දේකුත් නෑ! මං මොකට මේ මෝඩ වැඩ කරන්නද? මට ඔය මෝඩකම් කරන්න වැඩක් නෑ!
එහෙනම්, දස අකුසළය පිළිබඳවම යම්කිසි පුද්ගලයකුට ඔය අදහසින් අදහස ආවා නම්, ඔන්න ඔය පුද්ගලයාට සතර අපා ගත වීමට යම් හේතුකාරක තිබුනා වූ යම් පාප චේතනාවක් තිබුණා නම්, ඔය චේතනාව බිඳිලා යනවා. යම්කිසි සිතිවිලි – ක්‍රියා – වදන් මුල් කරගෙන යම් පාපයක් ඔහු කළා නම් ඉස්සර, දැන් මේ හරයක් නැති, නිස්සාර ලෝකේ මේවා කරලා වැඩක් නෑ කියන්නාවූ අදහස එනවාත් එක්කලා ඔහු අතින් පහ වෙලා යනවා සතර අපාගත වෙන්න හිතෙන්නා වූ සිතිවිලි – ක්‍රියා – වදන් වල බලය. මෙන්න “සංවරට්ඨේන සීලං“ කියන සීල කොටසක් ආවා, “පහාන සීල“ කිවුවා මේකට. (ශ්‍රාවක මහතෙක් ප්‍රශ්නයක් අසයි – ප්‍රශ්නය පැහැදිලි නැත, ස්වාමීන් වහන්සේ): ඉවරයි! ඔන්න ඕකයි සිද්ධ වුනේ. ඉතින් එතකොට ඒ තිබිච්චා එකක් වත් නෑ! සතර අපාගත වීමට හේතු වන යම්කිසි ආකාරයක් තියෙනවා නම්, ඒක පහ වෙලා ගියා, පහ වෙලා ගියා මයි! ආයි එන්න හේතුවක් නෑ ඒක, ඛණ්ඩ වෙන්නත් නෑ, ඡිද්‍ර වෙන්නත් නෑ, සබර වෙන්නත් නෑ, කාල්මාස වෙන්නත් එකක් ඒකේ නෑ! අන්න ඒකයි, ගැලවුනාම සුවයි. අන්න නිදහස් සුවය. ඔන්න ඔය සුඛය තමයි එන්නේ. “සුඛං ගබ්බං ගණ්හන්තං – තිවිධං සමාධිං පරිපූරෙන්ති” – සුඛය ගැබ් ගත් කල්හි ත්‍රිවිධ සමාධියම පිරෙනවා. <<ත්‍රිපිටක සූචිය අවශ්‍යයි>> ක්ෂණික සමාධියෙන්, උපචාර සමාධියෙන් අර්පණා සමාධි! ක්ෂණික සහ උපචාර, අර්පණා කියන සමාධි තුන ම ලැබෙනවා මේ සුඛයට.
මෙන්න මේක තමයි තමාගේ සීල ගුණය සිහිකරන්න කිවුවේ. අන්න, සීලය ලැබිලා එපැයි සිහි කරන්න! වත සිහි කරලා හරියන්නේ නෑ, වතේ ඔය පැහැදීම නෑ. අන්න ඒක තමයි අද ධ්‍යාන ලබන්න බැරුව තියෙන්නේ, මේ සීල ගුණය ගන්න අවශ්‍යය කරන අනිච්ච – දුක්ඛ – අනත්ථ වැනැස්සුවා ඉස්සෙල්ලාම, ධර්මය වහලා දැම්මා. ඒ නිසා ලෝකය නිස්සාරයි කියලා වටහාගැනීමේ හරය පුද්ගලයාට නැතුව ගියා, ඒ ආව යථාවබෝධය නැතුව ගියා. යථාවබෝධය නැති නිසා මේ සීලයේ පිහිටන්නේ නැතුව ගියා.
{35:37} මුලින් හුස්ම රැල්ලෙන් ධ්‍යාන ලබලා පස්සේ විදර්ශනාවට හරවන්න පුලුවන්ද? : (ශ්‍රාවක මහතෙක්): ස්වාමීන්වහන්ස, මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේ තරම් කාලයක් කරපු ආනාපානසතිය තියෙනවානේ, ඒක ඇත්තටම කළේ හුළඟ ඇවිල්ලා මේ මෙතන වදින තැන සිහි කරනවා. නමුත් ඒක එන්නේ නෑ, මොකද අපිට මනස තියාගෙන ඉන්න හැදුවාට තියාගෙන ඉන්න බෑ, අපේ රාග-ද්වේෂ තියෙනවා නේ. හැබැයි, මෝහ නම් මේ භාවනාවට එන්නේ නෑ! එතකොට ස්වාමීන්වහන්ස, දැන් අපිට රාග – ද්වේෂ තියෙනවා. ඉතින් මේ රාග – ද්වේෂ ටික නැති කරන්න මෛත්‍රී භාවනාවයි, පිළිකුල් භාවනාවයි කරලා ඉස්සෙල්ලා, සතර කමටහන් සහිත ආනාපානසතිය තියෙනවා නේ, එතකොට බුද්ධානුස්සතිය වඩනකොට පොඩ්ඩක් තේරෙනවා දැන් අපිට ප්‍රීතියක් දැනෙන්න කරන්න ඕනේ. ඊට පස්සේ මෛත්‍රී භාවනාව කරාට පස්සේ කියනවා, ද්වේෂ ගති යම්කිසි මට්ටමකට යටපත් වෙනවා… (ස්වාමීන් වහන්සේ) : දැන් ඔවු, මේ ක්‍රමය තමයි තිබුණේ අන්‍ය යෝගීන්ගේ, සම්මත ක්‍රමය! (ශ්‍රාවක මහතෙක්): දැන් එහෙම කරලා, අපි කරා! ඇත්තටම කියනවා නම් දවස් 14ක් කරපුහාම, ඇත්තටම ඔය ගිහිල්ලා අර සමාධි නිමිත්ත ආලෝකයක් දක්වා ගියා, ඔය කියන අපේ පංචේන්ද්‍රියන්ගෙන් අරමුණු ගන්නේ නැති අවස්ථාවක් ඇවිල්ලා, පාවෙනවා වගේ වෙලා, සුවඳවල් – ගඳවල් දැනිලා, මල් පිපිලා – පරවෙලා, ඔය ඔක්කෝම වෙලා, වෙලා, වෙලා, සමහර විට “අපි” නැහැ, මං හිතන්නේ ඒ වෙලාවට. එතකොට ආයිත් අර සිහිය දියුණු කරලා, දියුණු කරලා, දියුණු කරලා ගිහිල්ලා, අවසානයේ ලා නිල් පාට, ධ්‍යාන ආලෝකය කියලා තමයි අපි හිතාගත්තේ, එතකොට මොකක් හරි ආලෝකයක් දැක්කා. දැන් අපි හිතමු ටෝච් එකක් ගහනවා, පොඩියට එන ආලෝකය වැඩි වෙවී – වැඩි වෙවී ඇවිල්ලා, දැන් නිල්පාට මේක තියෙනවා, දැන් තලයක් වගේ ආවා. අන්න ඒ මට්ටමට ආවා දවස් 7ක් නැත්නම් 8කින්. එතකොට දැන් ඒ දැක්කේ මොකද්ද?
(ස්වාමීන් වහන්සේ): දැන් ඒක තමයි කියන්නේ, සම්මත ක්‍රමයක් තියෙනවා, ලෝක සම්මතයේ. බුදුරජාණන් වහන්සේ පහල වෙන්න ඉස්සෙල්ලාත් ඔය සම්මතය තිබුණා. ඔය මෛත්‍රී භාවනාවයි, ඔය කියන පිළිකුල් භාවනාවයි, ඔය දෙක ඇසුරු කරලා තමයි ඇලීමයි, ගැටීමයි දෙකට තාවකාලික ප්‍රතිකර්ම කරගත්තේ. එතකොට, දැන් අපි ඔය එකක් වත් ගන්නේ නැතුව, මුල යහපත් – මැද යහපත් – අග යහපත් – අර්ථ සතිත – ව්‍යංජන සහිත – සර්වාකාරයෙන් පරිපූර්ණ – සාසන බ්‍රහ්මචරියාවයි මේ ගන්නේ. අන්න ඒක තමයි, අනිච්ච – දුක්ඛ – අනත්ථ කියන ත්‍රිලක්ෂණය තුළින් ලෝකයේ යථාර්තය දැකීම. දැන් ඔතන දැකලා, “ලෝකයේ හරයක් නෑ!” කියලා දැනගත්තහාම ඔහු අර “පිළිකුල් භාවනාව” කියලා කරන්න කියලා නිස්සාරයි කියලා වටහාගත්ත එක දැන් නිකන් ම ලැබිලා! (ස්‍රාවක මහතෙක්): ඔවු, ඒක තමයි, දැන් අරක කරන් ගියාට මේක පැළැස්තරයක් වගේ. (ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි කියන්නේ, දැන් මේක නියම පිළිතුර! ඔවු, දැන් ඕක තමයි සම්මත ක්‍රමය. (ශ්‍රාවක මහතෙක්): අර විද්‍යාඥයෙක් බටයක් තුළින් දකින දේ වගේ තමයි. (ස්වාමීන් වහන්සේ): අන්න ඒ වගේ. එතනින් දැක්කේ මොකද්ද? ඒගොල්ලෝ දැක්කා මේ ලෝක සම්මත ක්‍රමයක් තුළින් ගොඩනඟලා තියෙන දහම් රටාවක්. ඔය රටාව හරි, ලෞකික වන්නා වූ භාවනාවකින් බඹ ලොව උපදින්න, කසින භාවනාවක්. අන්න ඒකයි කියන්නේ, ඉතින් එහෙම ක්‍රමයක් තියෙනවා. ඒකයි, නෑ කියන්නේ නෑ. ඒක ලෞකිකයි! අබුද්ධෝත්පාද කාලයේත් තිබුණා. (ශ්‍රාවක මහතෙක්): ඉතින් ඒ කියන්නේ, එහෙම ගිහිල්ලා ඊලඟට විදර්ශනාවට හැරෙන්න පුලුවන් කියලා තමයි කියන්නේ, ධාතු මනසිකාර භාවනා හරහා….
(ස්වාමීන් වහන්සේ): ඉතින් එහෙම ක්‍රමයක් පෙන්වලා තියෙනවා. දැන් අපි හිතමු මෙන්න මෙහෙම දෙයක්, අපි දැන් ඔතනින් ගිහිල්ලා අන්තිමට බලනකොට, වැඩුව සමාධිය මුල ඉඳන් ම ලෞකික එකක් නම්, ඔහුට වැඩිලා තියෙන්නේ ලෞකික සමාධියක්. දැන් මෙහෙම දෙයක් බලන්නකෝ. මහා බ්‍රහ්ම – බක බ්‍රහ්මයාට එක අවස්ථාවක හිතුනාලු, “මේ ලෝකය මැවුවේ මම, මේ ලෝකයේ ඉන්න පිරිස මැවුවෙත් මම, මම තමයි මේ ලෝකෙට පියා!” මෙන්න මේ අදහස එන වෙලාවක බුදුරජාණන් වහන්සේ, ඒ බක බ්‍රහ්මයා ගේ චිත්ත පරිවිතර්කය බුදුරජාණන් වහන්සේ බුද්ධ ඥාණයෙන් දැක්කා. “දික් කළ අතක් වක් කළ සැණින්” බුදුරජාණන් වහන්සේ මෙතනින් චුත වෙලා, මෙතනින් ගිහිල්ලා, අතුරුදහන් වෙලා, බඹ ලොව පෙනී සිටියා. ඒ එනවා දැකලා බක බ්‍රහ්මයා “මගේ පුත්‍රයා, බොහෝම හොඳයි, කාලෙකට පස්සේ මට බොහෝම පැහැපත් පුත්‍රයෙක් හම්බ වුනා” කියලා බුදුරජාණන් වහන්සේ ගේ ස්වභාවයට පැහැදිලා, තමන්ගේ පුදෙක් කියලා හිතාගෙන අර දෘෂ්ඨීයෙන් ම කථා කළා. කතා කරලා, “මම තමයි මේකේ පියා, මං තමයි ඔබත් මැවුවේ, ඔබත් මගේ!” මෙහෙම කියනකොට බුදුරජාණන් වහන්සේ ඔය කාරණය අමූලික බොරුවක් බව, යථාර්තයෙන් පෙනවලා දීලා ධර්ම දේශනාවක් කළා. “මෙච්චර කල් ආපු එක පුතෙක් වත් මට ඔහොම කථා කළේ නෑ. මෙයා හිතුවක්කාරයි නේ, මෙච්චර හැඩ-වැඩ, මෙච්චර ශාන්ත පුද්ගලයා ඇයි මෙහෙම වෙන්නේ?” ඔය ආදී වශයෙන් ප්‍රශ්න මතු කරා. අන්තිමට, බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා නොයෙක් ආකාරයෙන් පෙන්වලා දීලා, ඒ බක බ්‍රහමයාගේ තියෙන මාන්නය සම්පූර්ණ බින්දා. ඔහුගේ ඇත්ත වශයෙන් ම ඔහු මේ සසර ගමන් කරන පුද්ගලයෙක් බව හේතු සාධක ඇතුව ඔප්පු කරලා දුන්නා.
දැන් මේ වෙලාවේදී, බක බ්‍රහ්මයා, මෙච්චර මේ ධ්‍යාන ලබලා නේ එතෙන්ට ගියේ, ධ්‍යාන ලාභියෙක් වෙලා, ඵලයත් ලබාගෙන ඉන්න එක්කෙනෙක්, බ්‍රහ්ම ඵලයත් ලබලා නේ ඉන්නේ. අන්තිමට පැත්තකට අඬගහලා බුදුරජාණන් වහන්සේට කිවුවේ මොකද්ද? “ස්වාමීනි, ඔබවහන්සේ ලොවුතුරා බුදුන් කියලා වෙලා තියෙන බවත්, මේ සර්වඥ බවත් මං පිලිගන්නවා. හැබැයි, මෙතෙන මගේ කට්ටියට ඔය ටික කියන්නේ නැතුව කරුණා කරලා ආපහු යන්න!” මගේ කට්ටිය වසඟයෙහි තියාගෙන මේ ජීවත් වෙන එක මට සුවයි. මට කරදර නොකර කරුණාකරලා යන්න” කිවුවා. ඔන්න බ්‍රහ්මයාට බණ දේශනා කරලා, බ්‍රහ්මයා දුන්න පිළිතුර ඔය ලෞකික භාවනාව තුළින් ඵලයක් ලබාගෙන, ඒකේ උපරිම ඵලය වන අත්බැවත් ලබාගෙන ඉන්න බ්‍රහ්මයා, යථාවබෝධය දෙන ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කළහම, බුදුරජාණන් වහන්සේට දුන්න පිළිතුර! බුදුරජාණන් වහන්සේට පිරිස කියනවා, “ස්වාමීනි, ඔබවහන්සේ මහා ඥාණවන්තයි කියලා අපි පිලිගන්නවා. ඔබවහන්සේ ගිහින් පිරිනිවන් පාන්නකෝ, අපිට බණ කියන්න එන්න එපා!” ඔන්න අනික් බ්‍රහ්මයෝ ටික, පරිවාර බ්‍රහ්මයෝ දුන්න පිළිතුර. මේ පරිවාර බ්‍රහ්මයොයි, මහා බ්‍රහ්මයයි ඔය ඕක වඩලා ඔතෙන්ට ගිය අය නෙමෙයිද? බ්‍රහ්මයෙක් වුන පලියට, රාගය සංසිඳවාගෙන, ද්වේෂය සංසිඳවාගෙන බ්‍රහ්මයෙක් වෙලා හිටපු පලියට, කොච්චර සමාධිගත හිතක් තිබුණත්, බ්‍රහ්මයෙක් ලඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ බණ කියලාත් අන්තිමට බුදුරජාණන් වහන්සේට හම්බ වුන පිළිතුර ඕක නේද?
{41:18} ආර්‍ය ධ්‍යාන ලෞකික ධ්‍යාන වලට වඩා බොහොම වෙනස් : එහෙනම්, දැන් මෙතනින් වැදගත් දෙයක් පේනවා. මිනිස්ව ඉන්න කාලේ වැඩුවේ යමක්ද, දෙවි වෙලා ඉන්නකොටත් දෘෂ්ඨිය ඒකයි. එහෙනම්, මේ ලෞකික දෘෂ්ඨියක රැඳිලා කොයි තරම් ලෞකික වශයෙන් භාවනා වැඩුවත් ඔය දෘෂ්ඨිය බිඳගන්න හරි අමාරුයි! සියල්ලෙන් පරිපූර්ණ වෙච්ච මේ බුදු දහම තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ධ්‍යාන බොහොම ලේසියෙන් ලැබෙනවා, පහසුවෙන් ලැබෙනවා, කිසිම අමාරුවක් නෑ, මේවාට මහන්සි වෙන්න ඕනේ නෑ කියලා. එහෙනම්, අන්න ඒ ලේසියෙන්, පහසුවෙන්, සුලභ වශයෙන් ලැබෙන්නා වූ ධ්‍යාන මාර්ගයක් තියෙද්දී, අපි මොකටද මහන්සි වෙන්නේ මේ බොහොම ලෞකික එකකට? ඉතින් මේ ලෝකෝත්තර ධර්ම මාර්ගයේ අර්ථය යටපත් වුනහම, ඉන්දියාවේ තියෙන යෝගී බලපෑම මෙහාට ආපු නිසා, ඊට ආදේශ කරලා අපිට දීලා තියෙනවා ඔය අර්ථ. අපි දැන් ඔය තුළ යනවා. ඔය තුළ ගිහිල්ලා පැළැස්තරය අලවාගෙන ඉන්නවා. ඉතින්, ඕක ගැලවෙනවා කොයි වෙලේ හරි. දැන් ඒක නිසා තමයි ඔය ධ්‍යානය ලබාගෙන ඉන්න, කැලේ ඉන්න යෝගීන් එලියට බහින්නේ නැත්තේ. අර “නාරිලතා” කියන පුෂ්පයක් දැක්ක ගමන් සිල් බිඳෙනවා කිවුවේ ඔන්න ඕකයි. ඔය නාරිලතා පුෂ්පය නෙමෙයි, දිව්‍ය අප්සරාවෝ දහසක් ඇවිදින් නැටුවත් මේ යථාවබෝධය තුළින්, යථාවබෝධයට ආපු කෙනාගේ සිල් බිඳින්න කවුරුත් සමතෙක් නෑ! දස මාර සෙනඟක් ඇවිල්ලා වත් බිඳින්න බෑ! බිඳින්නේ, මොකක් බිඳින්නද? සත්‍යය තුළින් ආපු අයට. (ශ්‍රාවක මහතෙක්): අවබෝධයක් තුළ ඉන්නවා නේ. (ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි. ඉතින් ඒ නිසා මේ සත්‍යාවබෝධයෙන් ඇලීම් – ගැටීම් – මුලාව නැති කරන්න ක්‍රමයක් තියෙද්දී අපි මොකටද මේ වෙනත් බාහිර පැළැස්තර වලින් ඇලීම් – ගැටීම් – මුලාව නැති කරගන්නේ? (ශ්‍රාවක මහතෙක්): ඒක තමයි ස්වාමීන්වහන්ස, දැන් අපි – හිතෙනවා මොකද්ද කරේ කියලා, දැන් ස්වාමීන්වහන්සේ කියපු එක තේරුනා, ඒක තමයි දැන් අර මේ මේක තේරුනා. හැබැයි මෙච්චර කල් අපි මොකද්ද කරේ, මෙච්චර මහන්සි වෙලා, දුක් විඳලා! (ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි කියන්නේ, ඔච්චර මහන්සි වෙන්න කිසි දෙයක් නෑ!
(ශ්‍රාවක මහතෙක්): ලෞකික ධ්‍යාන සහ ලෝකෝත්තර ධ්‍යාන කියලා දෙකක්? (ස්වාමීන් වහන්සේ): දෙකක් තියෙනවානේ, ඇයි හොඳට පැහැදිලිවම දේශනා කරලා තියෙනවානේ. දැන් එක අවස්ථාවක කවුද, මේ විසාඛ කියන සිටුවරයා ධම්මදින්නා කියන තෙරණින් වහන්සේ සමඟ දහම් සාකච්ඡාවක යෙදුනා. ඒ වෙලාවෙදී අහනවා, “ආර්යාවෙනි, වේදනාව කී ආකාරද?” “විසාඛ, තුන් ආකාරයි.” “ඒ මොනවාද?” “සැප වේදනා, දුක් වේදනා, සැප-දුක් නොවන මධ්‍යස්ථ වේදනා කියලා තුනක් තියෙනවා” “සැප වේදනා කොයි කොයි තැන් වලද යෙදෙන්නේ?” විසාඛ සිටුවරයා ප්‍රශ්නය ඇහුවා. “කායික, මානසික සුඛයන් හා යෙදෙනවා, රාග අනුසය හා යෙදෙනවා, නමුත් සියල්ලෙහි නොවේ! ආර්‍ය වූ ප්‍රථමධ්‍යානයේ රාග අනුසය හා නොයෙදේ – සැප වේදනාව!” ආර්‍ය ප්‍රථමධ්‍යානයට ලැබෙන්නාවූ යම් සුඛයක් ඇත්නම්, ඒකේ රාග අනුසය යෙදෙන්නේ නෑ. “දුක් වේදනාව?” “කායික, මානසික අනිෂ්ඨ අරමුණු හා යෙදෙනවා. පටිඝ අනුසය හා යෙදෙනවා. නමුත් සියල්ලෙහි යෙදෙන්නේ නෑ!” ආර්‍යයෝ විසින්, ආර්‍ය මාර්ගයට පත් වුන අය විසින්, “අනේ, මම කවදා නම් අරිහත්වයට පත්වෙන්නද?” යන සංවේගයක් ඇති වෙනවා. ඒ සංවේගයෙන් බොහෝම සංවේගවත්ව ඉන්නවා, “මට තව බැරි වුනානේ අරිහත්වයට පත්වෙන්න” කියලා. අන්න ඒ සංවේගය සමඟ යෙදෙන්නේ නෑ, පටිඝ අනුසය සමඟ ඒක යෙදෙන්නේ නෑ. අන්න, පටිඝ අනුසය නොයෙදෙන සංවේගයක්. ඒ වාගෙම, උපේක්ෂා වේදනාව සැපත් නොවන, දුකත් නොවන මධ්‍යස්ථ වන්නාවූ දේ හා යෙදෙනවා. අවිද්‍යා අනුසය හා යෙදෙනවා. නමුත් සියල්ලෙහි යෙදෙන්නේ නෑ. “සාසනික වූ චතුර්ථධ්‍යානයේ අවිද්‍යා අනුසය හා නොයෙදේ!” සාසනික වූ උපෙක්ඛා – ඒකග්ගතාවයේ අවිද්‍යා අනුසය නෑ, අවිද්‍යා අනුසයෙන් තොරයි. <<ත්‍රිපිටක සූචිය අවශ්‍යයි>>
එහෙනම්, සාසනික වූ දැහැනක් ගැන පෙන්වලා තියෙනවා ඔය නිසා හොඳට පැහැදිලිවම ඔතන. ප්‍රථමධ්‍යානයේ රාග අනුසය සමඟ සුඛය යෙදෙන්නේ නෑ. එහෙනම්, සුඛය තියෙනවා තුන්වෙනි දැහැනට යනකන්. සුඛ ඒකග්ගතාවයට යනකන් තියෙනවා. එහෙනම්, සවිතක්ක – සවිචාර – පීති – සුඛ – ඒකග්ගතා, එතනත් තියෙනවා, ප්‍රථමධ්‍යානයේ සුඛ. ඒකේ යෙදෙන්නේ නැත්නම්, ද්විතීයධ්‍යානයේ කොහොමවත් යෙදෙන්නත් බෑ. සවිතක්ක, සවිචාර හැරපු ඉතුරු පීති – සුඛ – ඒකග්ගතා ද්විතීය ධ්‍යානය. ඒකේ තියෙන ප්‍රීතියත් අත්හැරුනහම, සංසිඳී ගියහම, උපේක්ෂා සහගත සති පාරිශුද්ධියෙන් යුක්ත වෙලා ඉන්න සුඛ ඒකග්ගතාවයක් කියලා තුන්වෙනි දැහැන තියෙනවා. ඒ සුඛ-ඒකාගතාවයේ සුඛයේ රාග අනුසය යෙදෙන්නේ නෑ! උපේක්ෂා ඒකග්ගතාවයට අවිද්‍යාව නෑ, අවිද්‍යාව හා සම්බන්ධ නෑ! අවිද්‍යානුසයෙන් තොරයි. එහෙනම්, මෙන්න මේ කාරණා හතරක් ආර්‍ය ධ්‍යානයේ තියෙනවා.
ආර්‍ය ධ්‍යානයට පෙන්වලා තියෙනවා, ඔය කිසිම දෙයක් අල්ලාගෙන ආර්‍යයෝ දැහැන් වඩන්නේ නෑ! “ආපෝ ධාතුව නිසා දැහැන් නොවඩයි”, තේජෝ ධාතුව නිසා, වායෝ ධාතුව නිසා, පඨවි ධාතුව නිසා ආර්‍යයෝ දැහැන් වඩන්නේ නෑ. නීල කසිනයේ, පීත කසිනය ආදී, ඕදාත කසිනය ආදී කසිනයන් නිසා දැහැන් වඩන්නේ නෑ. දැකපු, අහපු, මතක් කරපු, පරම්පරාවෙන් ගෙනාපු, එකක්වත් ආර්‍යයන්ගේ දැහැනට අයිති නෑ. නමුත් දැහැන් වඩනවා! මෙන්න මේ දැහැනට කියනවා, “අජානීය දැහැන” කියලා. මේ ධ්‍යාන ලාභීව ඉන්නාවූ ඒ ආර්‍ය ශ්‍රාවකයා දකින ඉන්ද්‍ර, වරුණ, ප්‍රජාපති, ආදී දේවතාවෝ මෙහෙම කියනවා ලු දුර ඉඳලා. “උතුම් අජානීය ධ්‍යායිතය, ඔබට ධ්‍යාන ඇති බව අපට පෙනේ. එහෙත්, ඔබගේ අරමුණ අපට නොපෙනේ.” මොන අරමුණේ පිහිටලාද මේ දැහැනට ආවේ කියලා පේන්නේ නෑ. “අරමුණක් නොපෙනෙන, එහෙත් පුදුම සහගත දැහැන් ඇති අජානීය ධ්‍යායිතය, ඔබට අප මේ දුර පටන් කරන නමස්කාරය වේවා!” කියලා නමස්කාර කරලා යනවාලු. (ශ්‍රාවක මහතෙක්): අරමුණ පේන්නේ නැත්තේ අරමුණ නිවන නිසා! (ස්වාමීන් වහන්සේ): අරමුණ නිවන! ආං ඒකයි, එහෙනම්, බෞද්ධයෙක් විසින් හැම වෙලේම නිවනෙන් මෙපිට අමුතු එකක් හිතන්න ඕනේ නෑ! නිවනට හිත තිබ්බ ගමන්ම….
(මීලඟ කොටස ඉදිරි දේශනාවෙන්)
~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~
දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://www.waharaka.com/listen/CD001-06
මීලඟට : සංඛාරයට අනුව ජාතිය පහලවීම, ධ්‍යාන – සමාපත්ති, අරිය අෂ්ඨංගික මාර්ගය (ගිහි වතක සිට නිවන් දකිමු 7 කොටස)