(අනත්ථ විග්‍රහය පළමු කොටස සමඟ සම්බන්ධයි)
දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)
තථාගත දේශනාවට අනුවම අනත්ථ විග්‍රහය - 2 කොටස
{00:00} “මම” කියන්නේ කවුද? : දැන් මෙන්න මේ ක්‍රමයට මේ එනකොට, මොකද සිද්ද වෙන්නේ? කල්පණා කරලා බලාපුහාම ඒ අය දකිනවා “මම ඈත කාලෙක ඉඳන් හිටියා.” ඒ “මම” කියන සංඥාව පොඩ්ඩක් වත් අඩුවක් නෑ! ඒ නිසා ඒ අය බහිනවා නිගමනයකට. මොකද්ද මේ නිගමනය? “යෝ මේ අයං අත්ථා වදෝ වේදේති…” ආදී වශයෙන් විග්‍රහ කරලා පෙන්වනවා “යෝ තත්‍ර තත්‍ර කළ්‍යාණං පාපකානං කම්මානං විපාකානං පටිසංවේදේති…” ආදී වශයෙන් මේ පාලියේ විග්‍රහ කරලා තියෙනවා ඒක. ඒකෙන් කියන්නේ මොකද්ද? මේ “මම” කියන එක්කෙනා, “මේ විඳින්නේ මම නේ! එක එක තැන කයෙන් හිටියාට, කය නෙමෙයි – කයේ ඉඳලා මම නේ විඳින්නේ! මේ කතා කරන්නේ මම කියන එක්කෙනා නේ! ඉස්සෙල්ලා භවයෙත් කතා කළා, ඒ කතා කළෙත් මම මයි. ඊට ඉස්සෙල්ලා හවයෙත් කතා කළා, වින්දා, ඒ මම මයි! කර්ම රැස් කළා, මම මයි! ඒවා විපාක විඳින්න ඇවිදිල්ලා, විපාක වශයෙන් කයක් අරන් උපන්නා, ඒත් මම මයි!” අන්න එහෙම “මමෙක්” එනවා. මෙන්න මේ “මම“, නිච්චෝ – කවදාවත් පෙළන්න බෑ! නිච්චෝ කිවුවේ පෙලන්න බෑ කියන එක. අනිච්චෝ කිවුවේ පෙලනවා. නිච්චෝ කියන්නේ පෙලන්න බෑ! භගවත් ගීතාවලියේ ඔය පෙලන්න බැරි කතාව පෙන්වන්නේ, “එම්බා ආත්මය, කඩුවකින් තොප කැපිය නොහැක, ගින්නකින් තොප දැවිය නොහැක. කුරුල්ලා පරණ කූඩුව හැර අලුත් කූඩුවක් තනන්නා සේ තොප කයක් හැර කයක් තනන්නේ ය!” මෙන්න ආත්ම සංකල්පය අරගත්ත ඔය භගවත් ගීතාවලිය කියන්නේ වෛදික බමුණන් ගේ ප්‍රධාන පොතක්. මෙන්න මෙහෙමයි විග්‍රහ කරන්නේ. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ ආකාරයට අර වෛදික බමුණන් පෙන්වනවා, “නිච්චෝ” මේක පෙලන්න බෑ! “මම පෙලෙන්නෙ නෑ” කවදාවත්. “දුවෝ” – වෙනස් වෙන්නේ නෑ. අරගෙන, අන්‍යතාවයට පත් වෙන්නේ නෑ, අන්‍යතාවයක් නෑ, මම කියන එක්කෙනා. කය තමයි ඒවාට යන්නේ. මම කියන එක්කෙනා එහෙම වෙන්නේ නෑ! “සස්සතෝ” – සාස්සුතයි. කවදාවත් මේ සදාකාලිකයි! කිසි කෙනෙකුට වෙනස් කරන්නත් බෑ, විනාස කරන්නත් බෑ! “අවිපරිණාම ධම්මෝ” – මේක කවදාවට් විනාසයට පත් වෙන්නේ නෑ, විනාසයට පරිනාම වෙන්නේ නෑ. මෙන්න මෙයා තමයි මේ කතා කරන්නේ, යන්නේ–එන්නේ, කන්නේ–බොන්නේ, මේ ඉරියවු පවත්වන්නේ, ඔක්කෝම කරන්නේ එයා තමයි. අන්න එයා තමයි මම කියන්නේ. ඔන්න ඔය “මම” කියන එක්කෙනා නම් ඒකාන්තයෙන් ඉන්නවා! ඔන්න ඕක තමයි ආපු දෘෂ්ඨිය.
{03:04} මම ඉන්න ආත්ම දෘෂ්ඨිය : ඊට පස්සේ මොකද කරන්නේ මේ බමුණෝ? මෙන්න මේ “මම” කියන එක්කෙනා දැන් දැක්ක කෙනෙක් නෑ. මම කියන එක්කෙනා ඉන්නේ කොහෙද දන්නේ නෑ. ලොකුද පුංචිද කියලා හොයන්නත් බෑ, කලු ද සුදුද කොහොමද දන්නෙත් නෑ. හැබැයි, “මම” කියලා කෙනෙක් ඉන්නවා කියලා වැටහෙනවා. මෙන්න මේ වැටහීම නිසා මේ අය විසාල සැකයකට භාජනය වෙනවා. ඔය දෘෂ්ඨිය නිසා ම දෘෂ්ඨි 6ක් උදා වෙනවා. මොකද මෙහෙම දිවැස් ඇති අය මේ විදිහට “ආපු මමෙක්” දකිනවා. සසරේ ඉඳන්, අනන්ත ඈත ඉඳලා දිවැසින් බලාගෙන බලාගෙන යනකොට, අත්බැවෙන් අත්බැවේට එනකොට, “මම මම” කියාපු එක්කෙනෙක් ගැන දකිනවා. දැකලා, ඒ තුළ නිගමනය කරනවා, ඔය කියන පෙලන්න බැරි, ඒ වාගෙම වෙනස් වෙන්නේ නැති, සදාකලික, විනාසයට පත් වෙන්නේ නැති, මමෙක් ඉන්නවා මයි! – “අත්ථි මේ අත්ථාති“, ආත්මාති කියන එක තමයි, අපේ පාලි බාසාවෙන් ඔය වචනය කියලා තියෙනවා මෙන්න මෙහෙම අදහසක් ඒගොල්ලෝ ගන්නවා. “මේ ආත්මය ඇත!” ඒ අයගේ නිගමනය. දැන් මේක දෘෂ්ඨියක් බව ඒ අය දන්නේ නෑ, ඇත්තක් කියලා හිතන්නේ, දැක්ක දේ නේ කියන්නේ. අර අතීතයේ පටන්, අනන්ත ඈත පටන් නොකැඩී – නොබැඳී එන එකක් තියෙනවා වාගේ වැටහෙන නිසා “ආත්මයක් ඇත” කියලා ස්ථිරව ඒගොල්ලෝ නිගමනය කරනවා. මෙන්න එක දෘෂ්ඨියක්, ඔන්න එක ආත්ම දෘෂ්ඨියක්.
{04:47} සාස්සත සහ උච්ඡේද දෘෂ්ඨි දෙක ම “මම” එක්ක උපදිනවා : ඒවා දකින්න බැරි, සාමාන්‍යයෙන් අද කියනවා නම් “භෞතිකවාදී” කියන අදහස් තියෙන අය වාගේ එදත් හිටියා කොටසක්. ඕවා එකක් වත් ගණන් ගන්නේ නෑ. ඔය ජාතියේ, ඈත ඉඳන් එන එකක් වත්, කන–බොන ඔහොම එකක් ඇත්තේ නෑ, ඔය “ආත්මයක් නැත!” ඔහොම ආත්මයක් නෑ. ඒ අය ගත්ත නිගමනය මොකද්ද? ආත්මයක් තියෙනවා නම් තමයි සැරිසරන්නේ, ඔහොම වෙන්නේ, පිං – පවු පලදෙන්නේ, එහෙම එකක් නැත්නම්, මොනවා කළහම මොකද? කොහෙද උපදින්නේ? මළාට පස්සේ ඉවරයි! ආත්මයක් නැතාය කියන අය ගත්තා තීරණයක්. මේ ලෝකය ආපෝ – තේජෝ – වායෝ – පඨවි කියන ධාතු හතරෙන් ගොඩනැඟිච්ච ශරීරයට පණක් එනවා, ඒක මැරුණාට පස්සේ ඉවරයි! ඔතන ආත්මයක් තිබුණේත් නෑ, යන එකෙකුත් නෑ! මෙන්න මේකට කියනවා ඒගොල්ලෝ, “ආතමයක් නැත” කියලා. “අනාත්ම” කිවුවේ ඔන්න ඕකට, ඒගොල්ලෝ. ආත්මයක් නැත – අනාත්ම, ආත්මයක් ඇත – ආත්ම. මෙන්න වෛදික බමුණන් අනාත්ම කියපු එක. ආත්මයක් නැත! ඕකට කියනවා “උච්ඡේද දෘෂ්ඨිය“, ආත්මයක් ඇත කියන එකට කියනවා “සාස්සත දෘෂ්ඨිය“ – අත්ථි මේ අත්ථාති, නත්ථි මේ අත්ථාති. දැන් ඔය වචන දෙක හැදුන හැටි.
{06:18} ආත්මය නිසා ඇති වෙන තවත් දෘෂ්ඨී තියෙනවා : තව පිරිසක් කියනවා, “අත්ථාව අත්ථානා සංජානේති” – ආත්මය විසින් ම ආත්මය දකිනවා ලු. ඒ කිවුවේ මෙතනත් ආත්මයක් තියෙනවා, ඒක තමයි මේ යන්නේ – එන්නේ, කන්නේ – බොන්නේ, කතා කරන්නේ, සැප විඳින්නේ, දුක් විඳින්නේ, ඔක්කෝම කරන්නේ ආත්මෙට තමයි දැනෙන්නේ. ඒ ආත්මය විසින් ආත්මය තියෙන බව දැනගත්තා. අතීතයේ ඉඳන් ආපු එක්කෙනා ව කියනවා එහෙම. “මේකත් – මේකෙත් ආත්මය තියෙනවා, අතීත ආපු ආත්මය ත් දකිනවා අපි” ඒ නිසා එහෙම ගන්නවා තීරණයක්. ඒ ආත්මය මෙතන නැති වෙන්නේ නෑ, ඒක කඩලා, බිඳලා, විනාස කරන්න බෑ! අතීතයේත් තිබුණා, දැනුත් තියෙනවා. දැන් ඔය එක තව අදහසක් ගන්නවා. තව පිරිසක් කියනවා, “අනත්ථාච අත්ථානං සංජාමීති” – මෙතන නම් ආත්මය නෑ, ඒ කියන්නේ අර දිවැස් ලැබූ අය නෙමෙයි, ධ්‍යන ලබාගෙන, ධ්‍යාන ස්වභාවය තුළින් අර තමන් ලැබූ ධ්‍යන තලයේ ස්වභාවය මනසින් දකිනවා, ඒ සමාපත්තියකදී දකින හැටියක්. අන්න ඒ දකින ස්වභාවයන් අරගෙන කියනවා, “මේ මස්–ලේ කය නම් ආත්මය නෙමෙයි, අනාත්මයි! ආත්මය තියෙන්නේ ඊට පස්සේ, මළාට පස්සේ – සදාතනික ආත්මයට එකතු වෙනවා. “අනත්ථාව අත්ථානං සංජාමීති“ කියලා ඒගොල්ලෝ නිගමනය කරනවා. ඒ කියන්නේ ඔය පාලියෙන් කිවුවාට, “අනාත්මයෙන් ආත්මය බලනවා“ කියලා ඒගොල්ලෝ කියන්න වෙනවා. ආත්මය තියෙන බව මේ අනාත්මයේ ඉඳලා දැනගන්නවා. තව පිරිසක් කියනවා, “නෑ, මේ හිතට නම් ආත්මයක් තියෙනවා තමයි! ඒක තාවකාලික, පොඩි එකක්. මැරුණහම ඒක ඉවරයි!” – “අත්ථාච අනත්ථානං සංජාමීති“ මේ ආත්මයේ ඉඳගෙන, මරණයෙන් පස්සේ ආත්මය නෑ කියලා දැනගන්නවා කියලා, ඒගොල්ලෝ තව මතයක් කියනවා.
{08:21} ප්‍රත්‍යක්ෂ නොවන ද්‍රිෂ්ඨි නිසා සැක ඇති වෙනවා : මෙන්න මේ විදිහට මත 6ක් ගේනවා. මත 6ක් සකස් කරගෙන, දෘෂ්ඨිගත වීම් 6ක ඉන්නවා ඔය බමුණෝ. මෙන්න මේකට කියනවා “සක්ඛාය දිට්ඨිය“ – නැත්නම්, “ද්‍රිෂ්ඨි ගහනම්, දෘෂ්ඨි කාන්තාරෝ” ඕකට කියන වචන. ඒ වාගේම, “දෘෂ්ඨි ගතං, දෘෂ්ඨි විප්පංදිතං” ඔය ආදී වචන වලින් විග්‍රහ වෙනවා මේ දෘෂ්ඨියක හැටි. දෘෂ්ඨිය ගහන වෙලා, දෘෂ්ඨියෙන් කම්පා වෙලා, ඒ වාගේම දෘෂ්ඨි කාන්තාරයට වැටිලා මොනවත් තීරණයක් ගන්න බැරුව, මෙන්න මේ ආකාරයෙන් මෙබඳු 6 ආකාරයක අදහස් අරගෙන, ඔය ආකාරයෙන් ගත කරනවා. ඒ ඉන්න ගමන් මොකද කරන්නේ? විසාල තර්ක–වාද! මේකෙන් කෝකද හරි? එකක් වත් තෝරා ගන්න බෑ! තව පිරිසක් අහනවා, “ඔය ආත්මය කොහොමද?” ඇත්ත වශයෙන් සැක ඇති වෙන්න පටන් ගන්නවා ඊට පස්සේ. නැති දෙයක් තියෙනවා යි කියලා නිගමනය කරගත්තාට පස්සේ මොන ආකාරයකින් වත්, මවාගත්ත නිර්මාණයක් මිසක් ඇත්ත දකින්න බැරුව, මෙහෙම සදාතනික ආත්මයක් තියෙනවා කියලා නිගමනය කරගත්තාට පස්සේ විවිධ මත ඇති වෙනවා. මොකද, කොහොමද මේ ආත්මය කියන එක පිළිබඳව සැක ඇති වෙන්න පටන්ගෙන, “ඇත්තටම තියෙනවා ද මේක?” දැන් ප්‍රශ්න ඇති වෙනවා. දැන් මෙන්න සැක ඇති වෙන හැටි. “ඔය ආත්මය, ඇත්ත වශයෙන් ම ඔය ආත්මය කියලා එකක් ඉස්සර තිබුණා ද?” එහෙමත් පිරිසකට සැකයක් ඇති වෙනවා. තව, “ආත්මය මොකද්ද? ලොකුද – පුංචිද? කළු ද – සුදු ද? කොහෙද තියෙන්නේ?” මොනවාත් තේරෙන්නේ නෑ, ආත්මයක් තියෙනවා කියන දෘෂ්ඨිය විතරයි මේ තියෙන්නේ. ඔය දෘෂ්ඨිය කඩා ගන්න බැරුව ඉතින් එක එක අදහස් ගන්නවා. ඉතින් මොකද්ද, “අතීතයේ මම හිටියාද?” මේ එක ප්‍රශ්නයක්. “අතීතයේ මම හිටියේ නැද්ද?” මේ තව සැකයක්. “මම අතීතයේ කවුරු වාගෙද හිටියේ, කවුරු වෙලා ද හිටියේ, කෙසේද හිටියේ, කොහේ ඉඳලා ද එතෙන්ට ආවේ ?” දැන් මෙන්න මෙහෙම සැක 5ක් මතු වෙනවා අතීතය මුල් කරගෙන.
{11:04} සැක හැරගන, හරියට දකින්න “මම” හොයාගන්නේ කොහෙන්ද? : හැබැයි, දැන් වැදගත් දෙයක් තියෙනවා ඕකේ දැනගන්න. අර දිවැස් පහල වෙච්ච අය එහෙම බැලුවා නම්, ඒ අයටත් මේ සැක 5 තියෙනවා. එහෙනම්, මෙතන වැදගත් දෙයක් තෝරා ගන්න ඕනේ. “මම අතීතයේ හිටියාද?” කියපුහාම අර “මම” කියන සංඥාවෙන් අතීතයේ හිටපු බව දිවැසට පෙනිලා තියෙනවා. එහෙනම්, එයාට ඒ ප්‍රශ්නය නැති වෙන්න ඕනේ, සැකයේ. නමුත්, එයාටත් සැකයක් තියෙනවා. ඒ මොන සැකයක් ද කියලා විග්‍රහ කරලා දෙනවා ඕක, පොඩ්ඩක් විග්‍රහ කරලා දීලා – මෙහෙම. “මම හිටියේ නැද්ද?” ඉතින් අර ඉස්සෙල්ලා දිවැසින් ඉස්සෙල්ලා හිටිය බව දැක්කහාම “මම හිටියා නේ ඉතින්, නෑ කියන්නේ කොහොමද?” ඒ අන්න ඒ ප්‍රශ්නයත් එයාට විසඳෙන්න ඕනේ. “කවුරු වෙලාද හිටියේ? කෙසේද හිටියේ?” ඔය ප්‍රශ්න දෙකත් විසඳෙන්න ඕනේ දිවැසින් දැක්ක කෙනාට. “කොහේ ඉඳන් ද එතෙන්ට ආවේ?” ඒකත් විසඳෙන්න ඕනේ. එහෙනම්, දිවැස් ඇති අයට ප්‍රශ්න 5ම විසඳෙන්න ඕනේ, නමුත් විසඳිලා නෑ! ඒ ප්‍රශ්න 5 ම ඒ අයටත් තියෙනවා, සැක 5ක්! ඕක විසඳාගන්න කවදාවත් බෑ, එක දෙයක් සුද්ද කරගන්නකන්. ඒක තමයි විග්‍රහ කරන්න ඕනේ, යථාර්ථය දකින්න. මොකද ඒක එහෙම කියන්නේ? මේ වර්තමානය ගැනත් එහෙම අදහසක් එනවා, සැක 6ක් එනවා. “මම දැන් ඉන්නවාද? මම දැන් නැද්ද?” දැන් වැදගත් ම දෙයක්! මේ “මම” කියනකොට අපිට මේ වැටහෙන “මම” ගැන නම් මේ අහන්නේ, “මම දැන් ඉන්නවාද?” කියන සැක ඇති වෙන්න දෙයක් යෑ, පෙනි–පෙනී ම ඉන්නකොට! “මම දැන් නැද්ද? – මේ ඉන්නේ, ඉතින් ඉන්න එකක් නෑ කියන්නේ කොහොමද?” ඔය අදහස එන්න එපැයි! එහෙනම්, මේ “මම” කියලා ගත්තේ මොකද්ද කියලා දැන් හොඳට තෝරා ගන්න ඕනේ. “කවුද? මම කොහොමද? කෙසේද? කොහේ ඉඳන් ද මෙතෙන්ට ආවේ? කොහාට ද යන්නේ?” අන්න ඒ අවසාන ප්‍රශ්නය විතරයි සැක නැති වෙන්න ඕනේ, එහෙමනම්, ඉතින් “මම” කියන සංඥාවෙන් ගත්ත එක ගැන නම් මේ ඇහුවේ. එහෙනම්, මොන “මම” ද මේ ඇහුවේ? අන්න අර මුලදී කිවුව “නිච්චෝ, දුවෝ, සස්සතෝ, අවිපරිණාම ධම්මෝ” කියන අන්න ඒ “මම” ගැනයි මේ හොයන්නේ. එහෙම මමෙක් පෙර හිටියා ද? මොකද, “මම” හොයා ගන්න බෑ කොහෙද ඉන්නේ කියලා, හැංහිලා! ඉන්න තැනක් නෑ! අදහස දුන්නා, හොයාගන්න කාටවත් බෑ! ඒ නිසා තමයි මේ හැම තැනම හොයන්නේ, අතීතයේ හොයනවා කොහොමද හිටියේ? කවුරු වෙලා ද හිටියේ? කෙසේද හිටියේ? කොහේ ඉඳන් කොහොමද ආවේ? කොහාටද ගියේ? දැන් මෙන්න මේ ප්‍රශ්නය, “මම” හොයනවා හැමතැනම. දැන් මේ කොහෙද ඉන්නේ ? මම දැන් මෙතන කොතනද ඉන්නේ? මොන මම ද? මේ මස්–ලේ කයට පේන , කියන “මම” නෙමෙයි! ඔය කියන පෙලන්න බැරි, වෙනස් වෙන්නේ නැති, සදාතනික, විනාසයට පත් වෙන්නේ නැති “මම” කොහෙද ඉන්නේ? එයා කවුරු වාගෙද? කොහෙද ඉන්නේ? එයා කොහේ ඉඳන් ද ආවේ? එයා කොහාටද යන්නේ? අන්න එයාගේ හැටි කොහොමද? ඕකයි මේ ප්‍රශ්නය! මතු අනාගතය ගැනත් ඔහොම හිතනවා. “මතු අනාගතයේ දී මම ඉන්නවා ද ඇත්ත වශයෙන් ම? – නැද්ද? – කවුරු වාගෙද, කෙසේද? කොහේ ඉඳන් ද යන්නේ? කොහාට ද – කොහේ ඉඳන් ද ආවේ, එතෙන්ට? මෙන්න මේ කියන සැක මතු වෙනවා. මෙන්න මේ “සක්ඛාය දිට්ඨිය” කියලා කිවුව, ඔන්න ඔය ඉස්සෙල්ලා ගත්ත දෘෂ්ඨියට ගත්තහාම, ආත්මයක් කියලා එකක් තියෙනවා කියලා ගත්තාට පස්සේ, ඔන්න ඔය සැක ටික මතුවෙන්න පටන් ගන්නවා. විචිකිච්ඡා මතු වෙනවා, “ඛංකා විචිකිච්ඡා“ කිවුවේ ඔය ටිකට. මේ බමුණන්ට ඇති වුණු දේ.
{14:55} සක්ඛාය දිට්ඨිය 20 ආකාරයකින් : දැන් මෙන්න මේ කාරණය විසඳාගන්න බැරුව, මොකද කරන්නේ? මීට පෙර, කාශ්‍යප බුදු පියාණන් වහන්සේ ගේ කාලයේ ඉඳන් මේ ප්‍රශ්නය විසඳලා තිබිච්ච ඒවායේ කොටසක් ඉතිරි වෙලා, වේදයේ ගේනවා. ඒ මොනවාද? මේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය කියන මෙන්න මේ පහ තමයි ඔය “මම” කියන තැන තියෙන්නේ, ඔන්න ඔය කෑලි පහ තියෙනවා කියන එක විග්‍රහ කරලා එනකොට, අර දෘෂ්ඨිය අයින් කරන්නේ නැතුව ඔන්න ඔය කෑලි පහේ “මම” හොයනවා. දැන් විවිධ තර්ක – වාද, මති–මතාන්තර ගෙනහල්ලා අර බමුණෝ එකිනෙකා එක එක විදිහට කියනවා. ඔය කෑලි පහ අයින් කරලා කතා කරන්න බෑ, තියෙන බව දන්නවා. රූප උපාදානස්කන්ධයක් තියෙන බව දන්නවා. වේදනා උපාදානස්කන්ධයත් දන්නවා. සංඥා උපාදානස්කන්ධයක් තියෙන බවත් දන්නවා, සංඛාර උපාදානස්කන්ධයක් තියෙන බවත් වැටහෙනවා, විඤ්ඤාණ උපාදානස්කන්ධය ගැනත් වැටහෙනවා. හැබැයි, ඒ ටික වැරහුනාට, “ඕකේ මමෙක් නම් ඉන්න ඕනේ, කොහේ හරි!” ඔය දෘෂ්ඨිය අයින් වෙන්නේ නෑ. ඒ නිසා සමහර අය කියනවා “මේ රූපය තමයි මම!” අර නිච්චෝ – දුවෝ – සස්සතෝ – අවිපරිණාම ධම්මෝ කිවුව, පෙලන්න බැරි, වෙනස් කරන්න බැරි, සදාතනික වූ, විනාසයට පත් වෙන්නේ නැති එකක් කියලා කිවුවහම, අනික් බමුණෝ තර්ක කරනවා, “මේ කය වෙන්නෙ කොහොමද? මේක වෙනස් වෙනවා නේ, පෙලෙනවා නේ, ඒක හරියන්නේ නෑ!” එහෙනම්, “නෑ නෑ, මේ කය වාගේ! ‘මම‘ ත් මේ කයේ හැඩරුව තමයි!” – තව කට්ටියක් කියනවා. හැබැයි, පෙන්වන්න – ඔප්පු කරන්න එකක් නෑ! තව සමහර පිරිසක් කියනවා, “මේ කය තියෙන්නේ ‘මම‘ ඇතුලේ” නැත්නම් අර “ආත්මය” කියපු එක ඇතුලේ. “නෑ නෑ, ආත්මය පුංචියි! ආත්මය තියෙන්නේ මේ කය ඇතුලේ” මෙන්න මේ වගේ අදහස් 4ක් දෙනවා. දෘෂ්ඨි 4ක් ඕකෙන් විග්‍රහ කරනවා, රූපය මුල් කරගෙන “මම” හොයන්න. තව පිරිසක් කියනවා, “නෑ නෑ, රූපයෙ නෙමෙයි ‘මම‘ ඉන්නේ, යමක් වේදනාවයි – වෙදනා ස්කන්ධයයි කිවුවා නම්, අන්න ඒකයි ‘මම‘ කියන්නේ” – තව පිරිසක් කියනවා. එතකොට, තව පිරිසක් ඕකට තර්ක කරනවා. “වේදනාව වෙනස් වෙනවා, ඒකාකාර හිටින්නේ නෑ, ගලපන්න බෑ” “නෑ නෑ, වේදනාවේ හැඩය තමයි ‘මම‘! වේදනාව වාගේ. වේදනාව කොහොමද, ඒ වේදනාව කියන්නේ මම තමයි! මම වේදනාව වාගේ, අනික් එක් පිරිසක් කියනවා. ඊට පස්සේ ඕකට තර්ක–වාද එනකොට කියනවා, “මං ඇතුලෙයි වේදනාව තියෙන්නේ, නැත්නම් ආත්මය ඇතුලෙයි වේදනාව තියෙන්නේ.” තව පිරිසක් කියනවා, “වේදනාව ඇතුලෙයි ආත්මය තියෙන්නේ, නැත්නම් මම ඉන්නේ” ආතමය කියන එක තමයි “මම” කියන වචනයෙන් ගත්තේ. තව පිරිසක් කියනවා, “නෑ නෑ ඕක නෙමෙයි, සංඥාවයි මම කියන්නේ” තව පිරිසක් කියනවා “සංඥාව වාගෙයි මම” තව පිරිසක් කියනවා, “සංඥාව තියෙන්නේ මම ඇතුලේ, නැත්නම් ආත්මය කියන මම ඇතුලේ. ආත්මය තියෙන්නේ, නැත්නම් මම ඉන්නේ සංඥාව ඇතුලේ” ඕකෙත් හතර විදිහක් කියනවා. තව පිරිසක් කියනවා, “සංඛාර යි මම කියන්නේ“, “මම සංඛාර වාගේ“, “සංඛාර ඇතුලෙයි මම ඉන්නේ“, “මම ඇතුලෙයි සංඛාර තියෙන්නේ” නැත්නම් ආත්මය කිවුවෙයි, මම කිවුවෙයි එකක්. තව පිරිසක් කියනවා, “නෑ නෑ, ඔය එකක් වත් නෙමෙයි, විඤ්ඤාණය කියන එකයි මම කියන්නේ“, “විඤ්ඤාණය වාගෙයි මම“, “මම ඉන්නේ විඤ්ඤාණය ඇතුලේ“, “විඤ්ඤාණය තියෙන්නේ මං ඇතුලේ” නැත්නම් ආත්මය ඇතුලේ. මෙන්න මේ විදිහට ඔය තියෙන්නා වූ ස්කන්ධ පහ මුල් කරගෙන දෘෂ්ඨි 20ක් ගන්නවා. මෙන්න මේකට කියනවා “වීසතිවිධ සක්ඛාය දිට්ඨිය“ ඔය විසි ආකාර සක්ඛාය දිට්ඨියක් හැදිච්චි හැටි!
{19:23} දෘෂ්ඨිය සැකයට හෙතු වෙලා, දෘෂ්ඨීගතව බුදු කෙනෙක් සෙවීම : දැන් ඔය ඔක්කෝම ප්‍රශ්න ටික අරගෙන, එකක් එකක් ගානේ සැක කරනවා. “රූපය මමද? මම රූපය වාගෙද? ඇත්ත වශයෙන්, රූපය ඇතුලේ ද මම ඉන්නේ? මං ඇතුලේ ද රූපය තියෙන්නේ? වේදනාව මම ද? මම වේදනාව වාගෙද? නැත්නම්, මං ඇතුලේ ද වේදනාව තියෙන්නේ? වේදනාව ඇතුලේ ද මං ඉන්නේ?” ඔක්කෝම සැක – ප්‍රශ්න, “කංඛා – විචිකිච්ඡා” “සංඥාව මම ද? මම සංඥාව වාගෙද?” ප්‍රශ්නාර්තයක් එනවා, විසඳුමක් නෑ වික්ෂිප්ත වෙනවා. ඒකයි “කංඛා විචිකිච්ඡා“ කියන්නේ. කවදාවත් විසඳුමක් නැතුව ඔය විදිහට ඔය ඔක්කොටෝම එකක් එකක් නෑර ඇති කරගන්නවා. ඊට පස්සේ මෙයාට ලොකු ප්‍රශ්නයක් එනවා, එතනින්. කවදා හරි, අපි බුදුන් කියලා කෙනෙක් පහල වුනා නම් මේකෙන් හරි එක කියනවා. මේ ආත්මය ඉන්න තැන හරියට කියනවා, හේතු ඇතුව ඔප්පු කරනවා. එහෙම මැති කෙනෙක් අපි බුදුන් කියලා පිලිගන්නවා” මෙන්න බමුණන් ගේ දෘෂ්ඨිය! “යමෙක් බුදුන් නම් මේකට උත්තරයක් දෙන්න ඕනේ, හරි උත්තරේ! ඕකෙන් කොතන හරි ‘මම‘ ඉන්න තැන පෙන්නන්න ඕනේ, ඒ මමෙක් ඉන්න තැන හැටි පෙන්වන්න ඕනේ. එහෙම නැති කෙනෙක් බුදුන් කියලා අපි නම් පිලිගන්නේ නෑ!” මෙන්න මේ නිසා, ඒ වෛදික බමුණන්ට ගෞතම බුදු පියාණන් වහන්සේ බුදුන් කියලා පිලිගන්න හේතු නැතුව ගියා! මොකද, “ඔය හිස් ප්‍රශ්නයක්, ඔය ප්‍රශ්නය උඹලා මුලාවට පත් වෙලා අහන ප්‍රශ්නයක්, අර්ථයෙන් ශූන්‍යයි, ඔය බලාපොරොත්තු වෙන්නේ හිස් දෙයක් උඹලා!” “ඒ සෙල්ලම් හරියන්නේ නෑ, අපි දැක්ක එකට උත්තර දුන්නේ නැත්නම් අපි ගණන් ගන්නේ නෑ බුදුන් කියලා! ඒවා ඒ හරියන්නේ නෑ, මේකේ කියනවා නම් කියන්න මේක ඇතුලේ කවුද ඉන්නෙ, කොතනද ඉන්නේ කියලා, අපි ස්ථිරව ම දන්නවා ‘මමෙක්‘ ඉන්න බව!” ඒ දෘෂ්ඨිය කඩන්නේ නෑ. “ඒ ‘මම‘ කොතනද ඉන්නේ? රූපයේද ඉන්නේ? වේදනාවේද? සංඥාවේද? සංඛාර වලද? විඤ්ඤාණ වලද? ඒක ඇතුලේ ද? පිට ද? හරියට දන්නවා නම්, දැක්ක එක්කෙනා කියන්න ඕනේ. අනික් කිසි කෙනෙක් අපි බුදුන් කියලා පිලිගන්නෙත් නෑ, බුදුන් ගේ ශ්‍රාවකයෝ කියලා පිලිගන්නේත් නෑ!” මෙන්න මේ නිසා, “බුද්ධේ කංඛති“ නිතරම එනවා ඒ අයට – බුදුන් කෙරෙහි සැකය. දේශනා කරන ධර්මය පිලිගන්නේ නෑ, “ධම්මේ කංඛති!” ශ්‍රාවකයෝ මේ දන්න අය කියලා පිලිගන්නේ නෑ – “සංඝේ කංඛති!” ශික්ෂණය වෙන මාර්ගය පිලිගන්නේ නෑ, මොකද “අපි කියන ප්‍රශනයට උත්තරය” ඔතන නැති නිසා – “සික්ඛාය කංඛති“ මුල් අන්තය පිළිබඳව, පූර්වාන්තය පිළිබඳව “මම” කියාදුන්නේ නැති නිසා පූර්වාන්තයේ යථාර්තය, ඇත්ත පිලිගන්නේ නෑ. අපරාන්තය කිවුවාට පිලිගන්නේ නෑ, “මම” ගැන කිවුවේ නැති නිසා, වර්තමානයේ “මම” කියාදුන්නේ නැති නිසා වර්තමානය ගැන කියන විග්‍රහය පිලිගන්නේ නෑ. මේ හේතු–ඵල න්‍යාය පිලිගන්නේ නෑ, නැත්නම් “ඉදප්පච්ඡයතා පටිච්ඡ සමුප්පාදේ කංඛති“, කියන එකක් පිලිගන්නේ නෑ. ඕකට කියනවා, “බුද්ධාදී අට තැන සැකය“ ඇති වෙනවා කියලා.
{22:10} වැරදි දෘෂ්ඨිය නිසා සැකයෙනුත්, නිසරු වෘත වලිනුත් යුක්ත වෙනවා : දැන් සක්ඛාය දිට්ඨිය යම් තැනකද, විචිකිච්ඡා එතන! දැන් මොකද වෙන්නේ? විසඳාගන්න බැරි අභූත සිද්ධියක් පස්සේ දුවනකොට, දැන් මේකට උත්තර කවුරුවත් ලඟ නැතුවහම, “කවුද මේකට උත්තරය දන්නේ? මම දන්නෙත් නෑ, කවුරුවත් දන්න කෙනෙක් හොයාගෙන යන්න ඕනේ” කියලා අන්‍ය ශාස්තෲවරු පස්සේ හඹා යනවා එක එක්කෙනා, එක එක විදිහට. ඕක නවත්වන්න බෑ! ඔන්න ඕකට කියනවා “අන්‍ය ශාස්තෲවරු හොයාගෙන යනවා” කියලා. හොය–හොයා යනවා, මේ ඇත්ත හොයන්න කියලා, ආත්මය හොයන්න. ගිහිල්ලා මොකද කරන්නේ? “ඕක හොයාගන්න ඔහොම බෑ, මෙන්න මෙහෙම දුක් විඳපන් කෝ! මෙන්න මේ කටු මැහි වල බුදියපන්, මෙන්න මේ විදිහට ගිණි තැපපන්, මෙන්න මේ විදිහට හෙළුවෙන් හිටපන්, මෙන්න මේ විදිහට කුඩු කාපන් – හං කෑලි කකා හිටපන්, අත ලොවලා ජීවත් වෙයන්…” මේ වගේ විවිධාකාර ක්‍රමවේද කියන්න පටන් ගන්නවා. ඉතින් ඕවා ඔක්කෝම කර–කරා අත්හදා බලනවා. මොකද, මේ ආත්මය ගැන හොයන්න. කිසිම හරයක් නැති, යථාර්තයක් තේරුම් ගන්න බැරි, මනසින් ගොඩනඟා ගත්ත දෘෂ්ඨියක බැඳිලා ඔන්න ඔය විදිහේ වෙහෙසීමක් වෙහෙසෙනවා. ඉතින්, විවිධ ක්‍රම කිය–කියා දඟලනවා. මෙන්න මේකට කියනවා “සීලබ්බත පරාමාසයෙන් යුක්ත වෙනවා“ – අන්‍ය ශාස්තෲ වරු පස්සේ යනවා. ඔන්න ඕකට කියනවා, “සක්ඛාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස“ කියන එකෙන් ගහන වෙලා, අන්‍ය ශාස්තෲ වරුන් පස්සේ නිකන් මිරිඟුවක් පස්සේ යනවා වාගේ යනවා ඇත්ත හොයාගන්න බැරුව මුලාවකට පත් වෙලා. මේක තමයි ලෝක සත්ත්වයා අනන්ත සංසාරයේ පටන් කරන වැඩේ! ඔය මුලාවෙන් අහක් කරන්න ලොවුතුරා බුදුපියාණන් වහන්සේ නමක් පහල වෙලා “මම” කියන එක්කෙනා කවුද කියලා විග්‍රහ කරලා දෙනකන්, ඒ විග්‍රහයෙන් දැනගන්නකන් කවදාවක් පුලුවන් කමක් නෑ සක්ඛාය දිට්ඨිය කියන එක දුරු කරගන්න.
{24:00} බෙද–බෙදා විදර්ශනා කරන ක්‍රමයක් තියෙනවා : එහෙනම්, ඔය “මම” කියන එක්කෙනා ගැන විග්‍රහ කරන්න බුදුපියාණන් වහන්සේ “විභජ්ජවාදී” කියලා ක්‍රමයක් දුන්නා. බෙදලා බලන්නකෝ, ඔච්චර ලොකු දෙයක් නෙමෙයි! හරි ලස්සන ක්‍රමයක් දීලා තියෙනවා. “මම” හොයාගන්න ලේසි ක්‍රමයක්! දැන් අපිට ඒකට විවිධ ක්‍රම තියෙනවා හොයාගන්න. මේ ලෝකේ හැම වස්තුවක් ම තියෙනවා නම්, අපි කිවුවා “සංඛතයි” කියලා. සංඛතයක ලක්ෂණ කිවුවා – උපතක් පේනවා, සිටියහුගේ වෙනස්වීමක් පේනවා, විනාසයකුත් පේනවා. විනාසය කරා ගිහිල්ලා වැනසිලා යනවා. අන්න ඒ කාල සීමාවක් තුළ ඔය ක්‍රියාවලිය සිද්ධ වෙන කාල පරාසයක් තුළ සිද්ධ වෙන යම්කිසි විවිධ අවස්ථාවන් අපි නමක් තියාගන්නවා, ඒක හඳුන්වන්න. ඒ හඳුන්වන්න, හැම නමකින් ම අපි හඳුන්වන මේ සියළු ලෝකයේ තියෙන හැම දෙයක් ම යම් මොහොතක පෙර නොතිබී ඉපදුනා – හේතුවක ඵලයක් වශයෙන්. ඒක වෙනස් වීම් වලට භාජනය වුනා. ඒක ඉපදිලා යම් කාල සීමාවක් තුළ ඒ ආකාරයෙන් ක්‍රම–ක්‍රමයෙන් දුර්වල වෙලා ගිහිල්ලා, වැනසිලා ගියා. තියෙන ඒවාත් එහෙම වෙනවා. ඉපදිලා තියෙනවා, වෙනස් වෙවී තියෙනවා, කවදා හරි ඒක වැනසිලා යනවා. ඒ සම්මත කාලයක් තුළ ඒක හඳුන්වන්න නමක් තියෙනවා.
{25:24} උදාහරණ කීපයක් අරන් බලමු : දැන්, මනුස්සයෙක් උපදිනවා. ඉපදුනහම ඒ මනුස්සයාට අපි නමක් තියා ගන්නවා. එක්කෝ “මනුස්සයා” කිවුවා, එක්කෝ නමක් කිවුවා. ඉපදිච්චි එක්කෙනා වෙනස් වෙනවා. ඒ වෙනස් වීම් වලට භාජනය වෙමින් මරණය කරා පරිණාමයටත් පත් වෙනවා. ඉතින්, අවුරුදු අසූවක්, අනූවක්, සීයක් යනකන් එක නමකින් හඳුන්වනවා. තියාගත්ත නමින් හඳුන්වනවා, එයා මනුස්සයෙක් කියලා හඳුන්වනවා, දැන් මනුස්ස ළමයා – එතකොට ඒ වගේම මනුස්ස ගැටවරයා – නැත්නම් මනුස්ස තරුණයා ඔක්කෝම “මනුස්සයා” කියන සංඥාවෙන් මයි හඳුන්වන්නේ. එක්කෝ නමක් තියාගෙන ඒ නමින් ම හඳුන්වනවා. මැරෙනකන් ම ඒ නම! උපන් ළමයාට නමක් තිබ්බා, ඉස්කෝලේ යනකොටත් ඒ නමින් කතා කළා, තරුණ වයසේදීත් ඒ නමින් කතා කළා, නම පරණ වෙන්නේ නෑ – ඔහොම ගිහිල්ලා ගිහිල්ලා, අන්තිමට අවුරුදු අසූවක් – අනූවක් ගිහිල්ලාත් ඒ නමින් කතා කළා, මලාට පස්සේ කිවුවා “අහවල් නම ඇත්තා මලා!” අන්න එතෙන්ට වෙනකන් යනවා, ඕක. මෙන්න මේ විදිහට විවිධාකාර කොටස් – ඔය හැම තැනම තියෙන ද්‍රව්‍ය–වස්තු වලටත් ඔහොම නමක් තියෙනවා. “කොස් ගහ” කියනවා – නමක් තිබ්බා. අනාදියේ පටන් තිබිච්චි එකක් නෙමෙයි, කොයි වෙලාවක හරි කොස් ඇටයක් මේ පොළවේ පැළ වෙලා, ඒ පැළවෙච්ච් එකෙන් කොස් පැළයක් හැදිලා, ඊට පස්සේ කොස් පැළය ක්‍රම–ක්‍රමයෙන් ලොකු වෙලා, ඵල දරන්න පටන්ගෙන, ගහ වැඩිලා – හැදිලා වැඩිලා, ඔය අතරේ ඔය කියන්නා වූ, ඔය කියන හැම එකක් ම සිද්ධ වුනා. අන්න උපතක් පෙණුනා, සිටියහුගේ වෙනස්වීමක් තියෙනවා, සමහර වෙලාවට කොල වැටෙනවා – සත්තු කනවා – ගහේ තැන තැන පණුවෝ විදලා ඉස්ම වැක්කෙරෙනවා – සමහර ඒවා හොඳ වෙනවා – ඔහොම ඔහොම වෙනස් වෙවී, වෙනස් වෙවී ගිහිල්ලා ගෙඩිත් හැදෙනවා, ගෙඩිත් පණුවෝ කනවා, ඔය ආදී වශයෙන් විවිධාකාරයෙන් ගිහිල්ලා ගහත් මෝරනවා ඔය අතර. මෝරලා මෝරලා ගහ මැරිලා යනවා. එතකන් කිවුවා කොස් ගහ කියලා. මෙන්න මේ වගේ හදන ඒවත් තියෙනවා, හැදෙන ඒවත් තියෙනවා.
{27:23} කොස් ගහ විභජ්ජවාදීව බලමු : දැන් අපි එකක් අරගෙන බලමු ඕක බලාගන්න වැදගත් දෙයක්! දැන් මේ බුදු පියාණන් වහන්සේ විභජ්ජවාදී ව බෙදලා බලන්න කිවුව ක්‍රම! දැන් “කොස් ගහ” කියලා නමක් කිවුවා. දැන් අපි බලනවා ඕක අරගෙන එකින් එකට. අපි උපමාවක් වශයෙන් ගන්නවා. කොල ටික ගලවලා පැත්තකට දැම්මා, අතු ටික කපලා පැත්තකට දැම්මා, පොතු ටික ගලවලා පැත්තකට දැම්මා, කඳ ගලවලා පැත්තකට දැම්මා, මුල් ගලවලා පැත්තකට දැම්මා, අර “කොස් ගහ” කියපු නම ගලවලා දැම්මේ නෑ නේ! දැන් බලනවා, “කොස් ගහ” කියන නම විසි කරන්න හදනවා, බලනකොට කෝ, නමක් නෑ නේ එතන! ගැලෙවුවේ කොල, වීසි කළේ අතු, ඊලඟට වීසි කළේ පොතු, ඊට පස්සේ වීසි කළේ කඳ කියලා එකක්, ඊට පස්සේ ගලවලා වීසි කළේ මුල් කියලා එකක්. “කොස් ගහ” කියලා එකක් දැන් බලපුහාම නෑ එතන! දැන් මොකද්ද කොස් ගහ කියලා වීසි කරන්න තියෙන්නේ? ඊට පස්සේ බලනවා, කෝ මොකද වුනේ කොස් ගහ කිවුව එකට? කොහාට වත් ගියාද, එතන තිබිලා? කොහෙවත් හොරෙන් ගියෙත් නෑ, පේන්න ගියෙත් නෑ, නොපෙනී ගියෙත් නෑ. දැන් අපි ආයි සැරයක් හිතෙන් ම අර මුල් ටික තිබ්බ හැටියට තියලා, කඳ තිබ්බ හැටියට තියලා, පොතු තිබ්බ හැටියට සම්බන්ධ කරලා, අතු තිබ්බ හැටියට සම්බන්ධ කරලා, කොල ටික තියෙන හැටියට සම්බන්ධ කරලා බැලුවහම ආයි “කොස් ගහ” තියෙනවා. හැබැයි “කොස් ගහ” දැන් ආයි කොහෙන් ද ආවේ එතෙන්ට? කොහෙවත් ගියෙත් නෑ ගලවනකොට, ඒ කෑලි ටික එකතු කරපුහාම “කොස් ගහ” කියලා එකක් එතෙන්ට කොහෙන් වත් ආවෙත් නෑ! එහෙනම්, එතන තිබිලත් නෑ ගලවලා බලපුහාම, ඉතුරු වෙලා තිබුණේ ත් නෑ. .දැන් ඔන්න එක දෙයක්! එහෙනම්, “කොස් ගහ” කිවුවේ මොකද්ද? යම් කිසි හේතු–ඵල සම්බන්ධයකින් හටගත්ත සම්පිණ්ඩනයකට තියා ගත්ත නමක් විතරයි! ඔයින් එහා දෙයක් ඔතන තිබුණේ නෑ.
{40:12} බයිසිකලයත් විභජ්ජවාදී ව බලමු : අපි ගන්නවා කවුරුත් දන්න ඔය පාපැදියක්. “ෆුට් බයිසිකලය” කියන්නේ, අරගන්නවා. මේක මොකද්ද? “බයිසිකලය” කවුරුත් දන්නවා – නමක් කිවුවා. කෑල්ලක් පෙන්නලා අහනවා, “මේක මොකද්ද?” “ඒක හැඬල් අත” “හා, ගලවනවා කෝ” – දැම්මා පැත්තකට. “මේක මොකද්ද?” “සීට් එක” ගැලෙවුවා, පැත්තකට දැම්මා. “මේක මොකද්ද?” “මඩ්ගාඩ් එක” ගැලෙවුවා, පැත්තකට දැම්මා. “මේක මොකද්ද?” “රෝද” ගැලෙවුවා, “මේක මොකද්ද?” “අනික් රෝදේ” ගැලෙවුවා, පැත්තකට දැම්මා. “මේක මොකද්ද?” එතකොට “පැටල් අත” කියනවා. ගැලෙවුවා, පැත්තකට දැම්මා. “මේක මොකද්ද?” “කේස් එක” කිවුවා – ගැලෙවුවා, පැත්තකට දැම්මා. “මේක මොකද්ද?” “දංවැල – චේන් එක” ගැලෙවුවා, පැත්තකට දැම්මා. ඉතින් “මේ? දැති රෝද” ගැලෙවුවා, පැත්තකට දැම්මා. ඔක්කොම පැත්තකට දාලා, “මේ මොකද්ද?” “ෆ්‍රේම් එක” කිවුවා, ඒකත් ගැලෙවුවා, පැත්තකට දැම්මා. දැන් බයිසිකලය දැම්මේ නෑ! බලපුහාම බයිසිකලයක් කියලා එකක් එතන තිබුණා ඉස්සෙල්ලා, දැන් දාන්න එකක් නෑ! කෑලි විතරයි දැම්මේ, එක – එක නම් වලින් තිබිච්චි කෑලි අහක් කරහම “බයිසිකලය” කියලා එකක් දාන්න බැලුවහම එතන නෑ! දැන් “බයිසිකලය” කියලා එකක් තිබුණා නම්, ඒකට මොකද වුනේ? ඊලඟට ආයි අමුනලා බලනවා එකින් එක. අර “ෆ්‍රේම් එක” කියන එක ගත්තා, රෝද ගත්තා, ඔක්කොම ගත්තා, එකින් එක – එකින් එක අමුණලා, අමුණලා බලනකොට දැන් බයිසිකලය එතන! දැන් ඉස්සෙල්ලා තිබුණෙත් නෑ එතන ගලවලා බලපුහාම බයිසිකලය, දැන් ආයි බයිසිකලය තියෙනවා. කොහේ ඉඳලා වත් ආවාද? ගලවනකොට කොහාටවත් ගියා ද? නැත්නම්, එතන තිබුණාද? මොකද්ද වුනේ? අන්න තේරෙනවා, මේ කෑලි එකතු කරලා යම්කිසි හැඩතලයකට තිබුණහම, අන්න ඒ තිබිච්ච සම්පිණ්ඩනය හඳුන්වන්න “බයිසිකලය” කියලා නමක් තියා ගත්තා මිසක්, ඔයින් එහා දෙයක් ඔතන නෑ! ඒකට හඳුන්වන්න තිබ්බ නාම මාත්‍රයක් විතරයි බයිසිකලය කියන්නේ. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ බලන්න කිවුවා – විභජ්ජවාදීව.
{31:12} එහෙනම් “මම” ත් විභජ්ජ කරමු : මේ සත්ත්වයා කියන අරගෙන බලන්න, මොනවාද ඔතන තියෙන්නේ? මෙතන තියෙනවා රූපය, දැන් “මම” කියන එකට රැවටිලා ඉන්නේ තමං ම හන්දා. බලන්න මේකේ තියෙන්නේ මොනවාද? කෙස් තියෙනවා, ලොම් තියෙනවා, නියපොතු තියෙනවා, දත් තියෙනවා, හංකඩ තියෙනවා, මස් තියෙනවා, නහර තියෙනවා, ඇට තියෙනවා, ඇට මිදුලු තියෙනවා, වකුගඩු තියෙනවා, හද මස තියෙනවා, මේ ආදී වශයෙන් කෑලි 32ක් ඔක්කෝම තියෙනවා. එක එක, කෑල්ල කෑල්ල ගලවලා, ගලවලා දානවා පැත්තකට. තව “මම” ගැලෙවුවේ නෑ! ගලවලා දාලා බලපුහාම කෝ අර කිවුව “මම“? 33 වැනියට දාන්න “මම” කෑල්ල නෑ! වේදනා දැනුණේ මොකේටද? මේ කෑලි ටික එකතු කරලා, මේක පණ හැදුනා, නැත්නම් කෑලි ටික එකතු කරලා කර්ම ඵලයෙන් අරගත්ත ප්‍රාණ ශක්තියක් දුන්නා. ඒ හැදුන නිසා මේ කෑලි ටික පණ ඇතුව ක්‍රියාත්මක වුනා. ඉතින්, ඇහැට රූප ආපුහාම චක්ඛු විඤ්ඤාණයක් පහල වුනා මිසක්, වෙන එකක් පහල වුනේ නෑ, ඒ වෙලාවේ ඒක පහල වුනේ. කණට ශබ්ද ආපුහාම සෝත විඤ්ඤාණයක් පහල වෙන්න හේතු වුනා. නාසයට ගන්ධ ආපුහාම ඝාන විඤ්ඤාණයක් පහල වෙන්න හේතු වුනා. දිවට රස එනකොට ජිව්හා විඤ්ඤාණයක් පහල වෙන්න හේතු වුනා. කයට පහසක් දැනෙනකොට ඵොට්ටබ්බ විඤ්ඤාණයක් පහල වෙන්න හේතු වුනා. මන ට ධර්මයක් ඝට්ඨනය වෙනකොට මනෝ විඤ්ඤාණයක් පහල වෙන්න හේතු වුනා. එහෙනම්, ඒ විඤ්ඤාණය පහල වෙනකොට වේදනා දැනුණා, සංඥා දැනුණා, සංඛාර – විඤ්ඤාණ ඔක්කෝම එකට හැදෙනවා. එහෙනම්, රූපස්කන්ධයයි, වේදනා ස්කන්ධයයි, සංඥා ස්කන්ධයයි, සංඛාර ස්කන්ධයයි, විඤ්ඤාණ ස්කන්ධයයි කියන මෙන්න මේ ස්කන්ධ පහ එකතු වුනාට පස්සේ මෙතෙන්ට “මම” කිවුවා. කෑලි ටික අයින් කරලා දැම්මාට පස්සේ “මම” කියන නාම මාත්‍රයක් විතරයි මෙතන, එයින් එහා මොන “මමෙක්” ද?
{32:52} හැම භවයේම පංචස්කන්ධයක් තියෙනවා නම්, “මම” භවයෙන් භවයට යනවාද? : ඔන්න ඕක දැක්කාට පස්සේ, එහෙනම් කවුද මෙතන නිච්ච කෙනෙක් හිටියේ? පෙලෙන්නේ නැති “මම” කවුද? ඒ වාගේම මෙතන හිටපු වෙනස් වෙන්නේ නැති “මම” කවුද? එහෙනම් මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඔන්න ඔය හේතු–ඵල පරම්පරාවක් වශයෙන් අවිජ්ජා – සංඛාර – තණ්හා – උපාදාන – භව කියන අතීතයේ හේතු 5ක් හදපුහාම, ඒ කයේ අවසානයේදී, මතු පටිසංදියකට විඤ්ඤාණය පහල වෙලා, විඤ්ඤාණ – නාම රූප – සළායතන – ස්ඵර්ශ – වේදනා කියලා ඵල 5ක් හටගන්නවා. අන්න ඵල 5 ආරම්භ වෙනකොට, “උප්පාදෝ පඤ්ඤායති“ – උපතක් පේනවා. අන්න එයාගේ වෙනස්වීම පේනවා, “වයෝ පඤ්ඤායති“ වැනසීම පේනවා. ඔය අතරතුර කාලයට නමක් තියෙනවා. ඕක හඟවනවා “මම” යන සංඥාවෙන්. එහෙනම්, පෙර භවයේදී යම්කිසි ස්කන්ධ 5කට “මම” කිවුවා ද, ඒ ස්කන්ධ 5 හඳුන්වන සංඥාව එතන කිවුවා. ඒක බිඳිලා ගියාද, ඒ සංඥාව එතනින් භාවිතා කළා, ඉවරයි! ඊට ඉස්සෙල්ලා අත්බැවක් කියලා යම් තැනක හැදුනාද, ස්කන්ධ 5ක්, ඒ ස්කන්ධ 5 හඳුන්වන්න එතන “මම” කිවුවා, ඒ සංඥාව ගත්තා. ඒ ස්කන්ධ 5 බිඳීලා ගිහාම, ඒ “මම” කිවුව සංඥාව එතනින් කෙළවරයි! එහෙනම්, එක තැනකට වත් අතීතයේ පටන්ගෙන “මමෙක්” වත්, එතන ඉන්න “මමෙක්” වත්, අනාගතයට යන “මමෙක්” වත් නෑ, ඔන්න ඔය හේතු – ඵල ක්‍රියාවලිය සිද්ධ වෙන නිසා නවතින්නේත් නෑ! යම්තාක් මේ හේතු–ඵල ක්‍රියාවලිය හේතු නිපදවනවා ද, ඵලය පහල වෙනවා ද, අනාදියේ පටන් ගෙන ඔය ක්‍රියාවලිය කරන නිසා සසර ගමනක් හැදෙනවා, සත්ත්වයෙක් ඉන්නවා වාගේ වැටහෙනවා. එහෙනම් ඔතන, තව ඔයින් එහාට තියෙන දෘෂ්ඨිය ගන්න “ආත්මය” මොකද්ද? මෙන්න මේක දැක්කාට පස්සේ “මම” කියන දෘෂ්ඨිය ඉවරයි, “මම” කියන්නේ මොකද්ද කියලා යථාර්තයෙන් දැනගත්තහම.
{34:44} බුදු දහමේ “අත්ථ” ලෙස හඳුන්වන සැබෑ අරුත කුමක්ද? : බුදු දහමේ “අත්ථ” කියලා කිවුවේ ඔන්න ඔය පොඩ්ඩට! “අත්ථාහි අත්ථනෝ නාථෝ“ ආදී වශයෙන් කිවුවේ අර බමුණෝ කිවුව ආත්ම කතාවට නෙමෙයි, අත්ථ කියලා කිවුවේ ඔන්න ඔය නාම මාත්‍රය හඳුන්වන්නයි බුදු දහමේ “අත්ථ” කිවුවේ. බමුණෝ “අත්ථ” කිවුවේ අන්න අර කියන්නා වූ ස්ථිර ව තියෙන, ඒ වාගේම නොසෙල්වෙන, පෙලෙන්නේ නැති, සදාතනික වන්නා වූ, අවිපරිණාම ආත්මයක් ගැන හඳුන්වන්නයි බමුණෝ “අත්ථ” කිවුවේ. බුදු දහමේ “අත්ථ” කියන්නේ ඔන්න ඔය නාම මාත්‍රය හඳුන්වන්නයි. දැන් අත්ථ දෙකේ වෙනස කොච්චරද? බුදු දහමේ “අනත්ථ” කිවුවේ මොකද්ද? මෙන්න මේ ස්ථානය තුළ ඔය නාම මාත්‍රය ඉක්මවා ගිය තවත් එකක් ඔතන නෑ, මෙන්න මේ ටික බලන්න. මේ ස්කන්ධ 5 හැරෙන්න, මේ ස්කන්ධ 5 උපාදාන කරගත්තා වූ ඡන්ද රාගයෙන් බැඳුනහාම සත්ත්ව කියන්නා වූ නාම මාත්‍රය හටගන්නවා. ඒ නාම මාත්‍රය ඒ ටිකට හඳුන්වන එකක් මිසක්, කොහෙවත් ඉඳන් ආපු එකෙක් වත්, එතන ඉන්න එකෙක් වත්, මතුවට යන එකෙක් වත් නෙමෙයි, ඒක නාම මාත්‍රයක් පමණයි, ඔය වචනය, සත්ත්ව කියන සංඥාව. ඔන්න ඔය කෑලි ටිකේ ක්‍රියාකාරීත්වය හේතු – ඵල වශයෙන් ක්‍රියාත්මක වෙන නිසා සසර ගමනක් හැදෙනවා. යම් දවසක හේතු නිරෝධ කළොත් ගමන නිරෝධ වෙනවා මිසක් වෙන එකක් ඔතන සිද්ධ වෙන්නේ නෑ! එහෙනම් මොකද්ද වෙන්නේ? “අත්ථ” කියලා හඳුන්වන ඔය ටික හැරෙන්න ඔතන තවත් ඔයින් එහාට “අත්ථ” ක් නෑ! අල්ලාගන්න වටිනා දෙයක් නෑ! අල්ලාගන්න වටිනා දෙයක් නැත්නම් මොකද්ද වෙන්නේ? “අනත්ථයි!” අත්ථ කියලා ගන්න, අල්ලාගන්න එකක් ඔතන නෑ! මොකද්ද තියෙන්නේ? හේතු – ඵල ක්‍රියාවලියක මොනවාද අල්ලන්න තියෙන්නේ? මොනවාද බදාගන්න තියෙන්නේ? “අත්ථ” මොකද්ද කියන්නේ? “අත්ථ” කොහේද තියෙන්නේ? අපේ සිංහල වචනයෙන් “අත්ථ” ගත්තා නම්, ලස්සනට අත්ථ තෝරාගන්නවා. ගහක අත්තක් තියෙනවා, ගහ අල්ලාගෙන ඉන්නවා. අල්ලාගෙන ඉන්න නිසා අත්ත කිවුවා. ඉතින් මොකද කරන්නේ? අපි නොදන්නා කමට අත්තක් අල්ලා ගන්නවා, අත්තක පය ගහනවා. පය ගහපු අත්ත තමයි ඇස – කන – දිව – නාසය – ශරීරය – මන කියන්නේ. අල්ලපු අත්ත තමයි රූප – ශබ්ද – ගන්ධ – රස – ස්ඵර්ශ – ධර්ම කියන්නේ. අවසානේ බලනකොට “අල්ලපු අත්තත් නෑ, පය ගහපු අත්තත් නෑ!” – අනත්ථයි! මෙන්න අපි අනත්ථ තෝරා ගන්න හැටි. එහෙනම් දැන් “අනත්ථ” වල තියෙන ස්වභාවය මොකද්ද? මොකද්ද තියෙන හරය? “අනත්ථං අසාරකට්ඨේනාති” – අනත්ථ නම් අසාරයි. අසාර අර්ථයෙන් අනත්ථ කිවුවා කිවුවේ ඔන්න ඕකට.
{37:26} එතකොට “මම” දෘෂ්ඨිය එක්ක ආපු සක්ඛාය දිට්ඨිය හරියටම මොකද්ද? : දැන් පොඩ්ඩක් කල්පණා කරලා බලන්න ඕනේ, ඔය ටික තේරුම් ගත්තාට පස්සේ, අර බමුණන් ගේ “ආත්ම” කියන දෘෂ්ඨිය අපිට දැන් තියෙනවාද? නැත්නම්, ඕකට “සක්ඛාය“ කිවුවා. මොනවාද? රූප කාය – වේදනා කාය – සංඥා කාය – සංඛාර කාය – විඤ්ඤාණ කාය කියන කාය 5ක් සම්පිණ්ඩනයක් මේ තියෙන්නේ. ඔන්න ඔය කාය කියන්නේ සමූහ, ගොඩවල්. සම්පිණ්ඩන කරගත්ත, කැටි කරගත්ත ගොඩවල්. රූප ගොඩවල්, වේදනා ගොඩවල්, සංඥා ගොඩවල්, සංඛාර ගොඩවල්, විඤ්ඤාණ ගොඩවල් සම්පිණ්ඩනය කරලා, ඕවාට විව්ධ නම් – ගම් තියාගෙන හදාගෙන ඉන්නවා. මෙන්න මේ හදාගත්ත ඒවා, මේ ස්කන්ධ වලට ඡන්ද රාගයෙන් බැඳෙනවා. ඡන්ද රාගයෙන් බැඳුනහම “සත්ත්ව“ කියන වචනයෙන් කියන්නේ, ඇලුම් කළා කියන එකයි. සත්ත්ව කියන්නේ ඇලෙන හින්දා. “සත්ත්ව සූත්‍රය“ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, රූපයට ඇලෙනවාද, වේදනා ස්කන්ධයට ඇලෙනවාද, සංඥා ස්කන්ධයට ඇලෙනවාද, සංඛාර ස්කන්ධයට ඇලෙනවාද, විඤ්ඤාණ ස්කන්ධයට ඇලුම් කරනවා ද, මෙන්න මේ හේතුවෙන් “සත්ත්ව” කියනවා. ඔන්න ඔය “කාය“න් ට සත්ත්ව කියන දෘෂ්ඨියක් ඇත්ද, මෙන්න මේක තමයි, සක්ඛාය දිට්ඨිය නෙමෙයි කියන්නේ – සත් කාය කියන්නේ ඕකට, සක්ඛාය කියන්නේ ඔය කායයන්ට “සත්” වශයෙන් ඇලුම් කිරීම නිසා, දෘෂ්ඨිය නෙමෙයි, “සත් කාය!” එහෙනම්, “සක්කායෝ සක්කායෝ කියලා කියනවා” – කියලා අහනවා විසාඛ සිටුවරයා ධම්මදින්නා තෙරණින් වහන්සේ ගෙන්, “භවත් ගෞතමයන් වහන්සේ, නැත්නම් බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ සක්කාය කියන්නෙ?” කියලා, මොකේටද කියලා තියෙන්නේ? ධම්මදින්නා තෙරණින් වහන්සේ කියනවා, “බුදු පියාණන් වහ්න්සේ පංච උපාදානස්කන්ධයට සක්කාය කිවුවා” කියලා. එහෙනම්, සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයට, මොකද්ද? “කාය” ට ඇලුම් කරපුහාම, කාය සත් වශයෙන් ගත්තා. සත් – කාය කිවුවා ඒකට. එහෙනම්, ඕක ගන්න තාක්කල් අපි ඉන්නේ දුක්ඛස්කන්ධය දරාගෙන. දුක්ඛස්කන්ධය සහ දුක්ඛ සමුදය කියන දෙක සත්කාය කියන එකේ තියෙනවා. මොකද්ද? ඇලුම් කිරීම දුක්ඛ සමුදය, දුක්ඛස්කන්ධය තමයි පංචස්කන්ධය! පංචස්කන්ධයට ඇලුම් කිරීම දුක්ඛ සමුදය! ඒ නිසා, බුදුරජාණන් වහන්සේ සක්ඛාය පෙන්වලා, සක්ඛාය සමුදය පෙන්නුවා. සක්ඛාය සමුදය මොකද්ද? අවිජ්ජා – සංඛාර – තණ්හා – උපාදාන – භව කියන්නා වූ කාරණා 5 හේතුකොටගෙන විඤ්ඤාණ – නාමරූප – සළායතන – ස්ඵර්ශ – වේදනා කියන ඵල 5ක් හටගත්තහම, ඔන්න ඕකයි සක්ඛාය සහ සක්ඛාය සමුදය! සක්ඛාය නිරෝධය මොකද්ද? යම් තැනක අවිජ්ජා – සංඛාර – තණ්හා – උපාදාන – භව නිරෝධ කළා ද, විඤ්ඤාණ – නාමරූප – සළායතන – ස්ඵර්ශ – වේදනා මතු හදන්නේ නෑ, එයින් ඉවරයි! සක්ඛාය නිරෝධය! ඒකට මාර්ගය මොකද්ද? මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය!
~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර හිමිපාණන් වහන්සේ ~
උපුටා ගැනීම : https://waharaka.com/listen/Thilakuna-Denagamu-07
මීලඟට අනත්ථ විග්‍රහය – තෙවන කොටස