සංඛාර හැදෙන හැටි, සංඛාර වල අසාරත්වය තුළින් ධර්මය දැකීම

සංඛාර වල අසාරත්වය
02 සංයුක්ත තැටියපිලිසමුපාමූලික දේශනා

දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)

සංඛාර හැදෙන හැටි, සංඛාර වල අසාරත්වය තුළින් ධර්මය දැකීම

 

{00:00} : “සං” කිරීම, සංඛාර, සංඛත නිවැරදිව හඳුනා ගනිමු

    “සංඛාර” කියන්නේ එක කොටසක් පමණයි, “සබ්බේ සංඛාරා” කියන්නේ සංඛාර කියන කොටසට අයිති සියල්ල. “මුළු ලෝකෙම” කියන එක නෙමෙයි මේ සබ්බේ සංඛාර කියන්නේ. එහෙනම්, සංඛාර කියන එකේ, වචනේ නිරුක්තිය දකින්න ඕනේ. මේ “සං” කියන වචනෙන් පෙන්නන්නේ, මුළු ලෝකේ හටගන්න දේවල්. යමක් යමක් එකතු වෙලා යමක් ගොඩනැගෙනවද, මෙන්න මේ එකතුන් ගෙන් ගෙන් හටගන්න දේවල් වලට “සං” කියනවා. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන ධාතු හතර එකතු වෙලා හට ගත්ත ද්‍රව්‍ය වස්තු ධාතු හතරෙන් එකතු වෙච්චා “සං”.

 

    අන්න ධාතු හතර එකට යෝග උනාම සං-යෝග උනා. එකට බැඳුනාම සං-බන්ධ උනා. එකට පිඩුනාම සං-පිණ්ඩ උනා. අන්න ලෝකේ හටගන්න හැටි. වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන චිත්ත චෛයිතසිකයන් එකට බැඳුනාම ඒ ඒ ජාතියේ හිත් හටගන්නවා. අන්න “සං” හටගත්තා. එතකොට නාම ධර්ම හටගන්නේ “සං” කියන එකතුවෙන්. වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ එකිනෙකට සංයෝග වෙලා, සම්බන්ධ වෙලා, සම්පිණ්ඩ වෙලා සකස් උනහම හටගන්නවා අන්න “සං” කියන ගොඩවල්.

 

    මෙන්න මේවා කරන්නේ යමක්ද, මේවා නිකන් හටගන්නේ නෑ. යම්කිසි ක්‍රියාදාමයකට ගෝචර වෙච්ච නිසයි මේවා ඒ ඒ ආකාරයෙන් ගොඩනැගෙන්නේ. එහෙනම් මෙන්න මේ ක්‍රියාදාමය යම් කිසි බලවේගයකින් සිද්ධ වෙනවද, මේක උත්සහායක් නිසා, වීර්යයක් නිසා ගොඩනගනවා මිසක්, උත්සහායක්, වීර්යයක් නිසා මතු කරපු ශක්ති විශේෂයක් ක්‍රියාත්මක වීමෙන් ගොඩනැගෙනව මිසක්, ක්‍රියාත්මක වෙනවා මිසක්, නැත්තම් මේ නාම ධර්මයක් හෝ රූප ධර්මයක් නිකන් ගොඩනැගෙන්නේ නෑ කොතනකවත්. එහෙනම් මේ “සං” කියන්නා වූ ක්‍රියාවලිය යමකින් කරනවද, මෙන්න මේ කරන වැඩපිළිවෙල තියෙන එන්න ඒ ක්‍රියාදාමයට කියනවා “සංඛාර”.

 

    යමක් අපිට කරගන්න ආසයි, ඕනකමක් තියෙනවා. “ගෙයක් හදා ගන්න ඕනෑ, ලස්සන ගෙයක්”, ආවා නිගමනය. දැන් “ලස්සන ගේ” කියන්නේ ගඩොල්, වැලි, උළු, ලී ඔක්කෝම එකතු වෙලා කරපු එක. කරපු වැඩේ නම් “කතය”, “කෘතය”, “සංඛත!” සංඛතයක් හැදුනේ මොකෙන්ද? අර අත්තිවාරම් දාලා, ඔක්කොම බිත්ති බැදලා, ඔක්කොම කරලා, වහළේ ගහලා, ඔක්කොම කරලා, මහා වීර්යයකින්, උත්සාහ වීර්යයකින් මහා වැඩපිළිවෙලක් කිරීමේ ප්‍රතිඵලය තමයි, “සංඛාර” වල ප්‍රතිඵලය තමයි “සංඛතයක්” ගොඩනැගීම. ගෙය නමැති සංඛතය ගොඩනැගුනා.

 

    එහෙනම්, ගෘහය කියන්නේ සංඛාරයක් නෙමෙයි සංඛතයක්. ගෘහය ගොඩනැගුනේ සංඛාර නිසා. එනම් අනුන්ගේ ශ්‍රමය නිසා. විශාල ශ්‍රමයක් වැය කරලා ඕනේ එකින් එක ගොඩනගන්න. මෙන්න මේ “සං” කියන එකතූන් ක්‍රියාත්මක කරන්න අපි දාඩිය මුගුරු දාගෙනත් මහන්සි වෙනවා, වෙහෙස වෙනවා. මෙන්න මේ වෙහෙස වෙන ක්‍රියාදාමය “ඛාර!”

 

    “සං” නමැති එකතුවක් ක්‍රියාත්මක කරන්න යම් උත්සහායක් වෙහෙසක් ගන්නවද, මෙන්න මේක දුක නැද්ද? දැන් ඕක සැනසුමක්ද? දාඩිය මුගුරු පෙරාගෙන වැඩකරන එක සැපද? යමක් ගොඩනගන්න උත්සාහ කරනවා, වීර්යය කරනවා. උත්සාහ කරන එක, වීර්යය කරන එක සැපද?

 

    හැබැයි මෙන්න මේක වැහිලා තියෙනවා එක දේකින්, මොකටද ඒ තරම් උත්සාහ කරන්නේ? මොකටද මෙච්චර වීර්යය කරන්නේ? කුමක් නිපදවන්නද? මතු අනාගතයේදී මෙන්න මෙබඳු ඵලයක්, සුවදායක ඵලයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. අන්න ප්‍රිය ස්වභාවයක් මධුර ස්වභාවයක් තියෙනවා ලෝකේ. ඔන්න ඔය ප්‍රිය ස්වභාවය මධුර ස්වභාවය නිසාම, ඒ දේ කරා හිත තියාගෙන, ඒ ප්‍රිය ස්වභාවය මධුර ස්වභාවය යමෙකින් විද්‍යමාන කරනවද, මෙන්න මේ ටික බලාපොරොත්තුවෙන් මොකද කරන්නේ ලෝක සත්වයා, අන්න දුකට හේතුව එතනයි තියෙන්නේ, ඒ නිසා වෙහෙසෙනවා, පොර බදනවා, “ඛාර” කරනවා. මෙන්න සංඛාර.

 

    ඉන් ගොඩනගන්න හදන්නේ පුණ්‍ය දෙයක් නම්, ඒ පුණ්‍ය දේ ගොඩනගන්න කරන වැඩපිළිවෙලට කියනවා “පුණ්‍ය සංඛාර”. ගොඩනගා ගන්නේ ආශ්වාද ලබන පාප දෙයක් නම්, ඒ ගොඩනගන්න කරන උත්සාහය විර්යයට කියනවා “පාප සංඛාර”, නැත්තම් “අපුණ්‍ය සංඛාර”. එතකොට ගොඩනගාගන්න බලාපොරොත්තු වෙන්නේ එබඳු ප්‍රිය ආශ්වාදයක්, අප්‍රිය දෙයක් නැති මධ්‍යස්ථ දෙයක් නම්, නැති නම් එදිනෙදා ජීවත් වෙන්න අවශ්‍ය දෙයක් නම්, ඕකට කියනවා “ආනෙඤ්ජාභි සංඛාර”. කෝකට හරි උත්සාහයක් වීර්යයක් යෙදෙනවානම් සංඛාර කියන්නේ ඔන්න ඔය කරන උත්සාහයට වීර්යයට. සංඛාර ද්‍රව්‍ය වස්තු නෙවෙයි. යම් ද්‍රව්‍ය වස්තුවක්, නාම ධර්මයක් හෝ රූප ධර්මයක් ගොඩනගන්න, යම් උත්සාහය වීර්යයක යෙදෙනවද, මෙන්න මේ කරන උත්සාහය, වීර්යය, ආධ්‍යාත්මිකව නඟන සංඛාර.

 

{05:02} : ආස්වාද මායාවෙන් වැහිලා තියෙන සංඛාර දුක දකින්න

    දුන්න ශක්ති විශේෂය ලෝකෙත් ක්‍රියාත්මක වෙනවා. අපි ආධ්‍යාත්මිකව ගොඩනගලා ශක්ති විශේෂයක් බාහිරයට බැහැර කරපුවහම, බලවත් ශක්ති විශේෂයක් ගොඩනගපු නිසා, ඒක ඉවර වෙනකන් අතරමැද ක්‍රියාදාමයක් හැටියට ක්‍රියාත්මක වෙනවා, ඒ ශක්තිය ඉවර වෙනකන්. හැබැයි බාහිර ලෝකේ ක්‍රියාත්මක වෙන අංශු මාත්‍ර ශක්තියක් ක්‍රියාත්මක වෙනවනම්, මනසින් ගොඩනගල දුන්න ඒවා නිසා තමයි ඒ ක්‍රියාවලිය බාහිර ලෝකේ දකින්න හම්බෙන්නේ.

 

    එහෙනම් බාහිර සංඛාරයක් නිපදවෙනවා නම්, අභ්‍යන්තරයෙන් නිපදවපු උත්සාහය, වීර්යයයේ ප්‍රතිඵලයක් තමයි බාහිර ක්‍රියාත්මක වෙන්නේ. අපිට පෙන්නේ නෑ මේ ගුප්ත පැත්ත. නමුත් බාහිර ලෝකේ ක්‍රියාත්මක වන ඒවා අපිට පේනවා. වැහි වහිනවා, කඳු කඩාගෙන යනවා, සුළි සුළං එනවා, විශාල බලවේග ක්‍රියාත්මක වෙනවා, මේවා ඔක්කොම පේනවා. ඕවයේත් යම් ක්‍රියාවලියක් සිද්ධ වෙලා තවත් තවත් දේවල් නිපදවනවා. අන්න ඒවාට ක්‍රියා ශක්තිය කොයින්ද? කවදා හරි මනසකින් ගොඩනගල විහිදෝපුවා. විහිදෝපුවැයෙ දෙවැනි ඵලය! අන්න, විහිදොවන වෙලාවේදී ආධ්‍යාත්මික වශයෙන් අපි සංඛාර නිපදෝනවා. මෙන්න මේ එක සංඛාරයක්, එහෙනම් උත්සහායක්, වීර්යයක්. ඒ නිපදවපු සංඛාරය බාහිරට දුන්න කාලේ තියෙනකන් ක්‍රියාත්මක වෙනවා.

 

    එහෙනම් ඒකත් අපි දුක සේ ගොඩනගපු දෙයක ප්‍රතිඵලයක් මිසක් සැපසේ ගොඩනගපු එකක් නෙමෙයි. හැබැයි මේ සංඛාර වලට අපි ප්‍රියයි, මොකක් නිසාද? මතු අර බලාපොරොත්තු වන ප්‍රිය ස්වභාවයක් මධුර ස්වභාවයක් යමකින් ජනිත කරනවානම් යම් රූපයකින්, අන්න ඒකට ප්‍රියයි. යම් වේදනාවකින් මතු කරනවානම් ඒකට ප්‍රියයි. සැප වේදනාවක් ඇත්තම් ඒකට ප්‍රියයි. මෙන්න මේ නිසා ප්‍රිය ස්වභාවයට හිත තියාගෙන, “කොච්චර මහන්සි උනත් කමක් නෑ, කොච්චර උත්සාහ කලත් කමක් නෑ, මේකේ ප්‍රතිඵලයක් ලැබෙනවා” මෙහෙම ආශ්වාද ජනකයි. අන්න ඒ ආශ්වාද මායාව තුලින් අර දුක වහනවා. මෙන්න මේ නිසා ලෝක සත්වයාට මේ සංඛාර දුකයි කියල පෙන්නේ නෑ.

 

    මිනිහෙක් කුඹුරක් වැඩ කරනවා, සරු සාරව හැදෙනවා. හැදෙනවා දකින්න දකින්න පෝර ගහනවා, බේත් ගහනවා, වල් පැළ නෙලනවා, එස්නම් බඳිනවා, වතුර නවත්තන ඒවා නවත්තනවා, බහින එවා බස්සෝනවා, ඔක්කොම කරලා, හදලා, මිනිහ කරනවා, මහන්සිය මයි වෙන්නේ දාඩිය මුගුරු පෙරාගෙන. හැබැයි ගොයම දිහා බල බලා සතුටු වෙනවා. “හොඳට හැදෙනවා…” හැබැයි ගොයම හොඳට හැදිලා, කොල දාලා විතරක් ආවනම් එහෙම? නැති උනොත් ඵලදාව නැත්නම් එහෙම? “ෂික්, වෙච්ච මහන්සිය…” එහෙනම් එයා සතුටු වෙන්නේ ඵලදාව ගැන හිතල. ගොයම හොඳට හැදෙන හින්දා නෙමෙයි සතුටු වෙන්නේ. කියනවා “ඔය හොඳට වැඩිපුර හැදුනොත් එහෙම ඵලදාව නැති වෙනවා” යි කියලා, හොඳට හැදෙනවට සතුටු වෙන්නේ නෑ. ඵලදාව එන්නේ කොයි ක්‍රමයෙන්ද කියල දැක්කොත්, ඒ ක්‍රමයට හැදෙනවානම් තමයි, ඒ හැදීම දැකල සතුටු වෙන්නේ. එහෙනම් ගොයම සරුසාරව හැදිලා තියෙනව දැකල සතුටු වෙන්නේ ඵලදාව ගැන හිතාගෙන.

 

    මෙන්න මේ වගේ, ලෝක සත්වයන් මේ ආශ්වාදයක් බලාපොරොත්තුවෙන් යමකින් දෙන ආශ්වාදයෙහි හිත බැඳගෙන, එබඳු ආශ්වාදයක් ලබන බලාපොරොත්තුවෙන් ඒ දේ නිපදවන්න උත්සාහ ගන්නවා, වීර්යය ගන්නවා කෙළවරක් නැතිව. මෙන්න මේ “සංඛාරයන්ගේ හටගැනීම දුකයි” කියල පෙන්නේ අර ආශ්වාදයෙන් වහන නිසා. ඒ නිසා ඔහු “සංඛාර සැපයි” කියල හිතා ගන්නවා.

 

    ඔක්කොම හදල කරලා ඉවර උනාට පස්සේ අලි කාලා ගියා හේන, පැහුණට පස්සේ. මොකද කරන්නේ? බලනකොට ඇවිදිල්ල උදේ බලනකොට රෑ ඔක්කොම හේන, ඔක්කොම කුඹුර අලි කාලා ගිහිල්ලා. “අප්පොච්චියේ වෙච්ච මහන්සියක්. කොච්චර මහන්සි උනාද? කොච්චර වෙහෙස උනාද?” දැන් තමයි වෙහෙස දකින්නේ. අන්න “සංඛාර දුක්ඛය” දකිනවා ප්‍රතිඵලය ගන්න බැරි උනා නම්. ප්‍රතිඵලය හම්බුනා නම් අර ආශ්වාදයෙන් වහනවා, “සංඛාර සැපයි” කියන දෘෂ්ටියක් ඇති කරනවා. “කොච්චර මහන්සි උනත් කමක් නෑ ප්‍රතිඵලය හොඳට තියෙනවා, මහන්සිය හරි සාර්ථකයි!” ඒ මහන්සිය දුකමයි, දුක් සහගත මහන්සිය, අන්න අර ප්‍රතිඵලයක තියෙන ආශ්වාදයෙන් වහනවා. මෙන්න ලෝක සත්වයා නොදැකපු දුකක්. ඔය දුක සාමාන්‍ය ලෝකයා දකින්නේ නෑ.

 

    යමක් ආශ්වාදජනකද, මෙන්න මේ ආශ්වාදයේ හිත බැඳගැනීම නිසා, ඒ “ආශ්වාදය වටිනවා” කියන තීරණය නිසා ලෝක සත්වයාට විද්‍යාමාන උනත් විද්‍යාමාන උනේ දුකක් කියල පෙන්නේ නෑ. අන්න බාහිර ලෝකයා නොදකින දුකක්. ඔය දුක බාහිර ලෝකයා දකින්නේ නෑ.

 

{09:21} : බෞද්ධ වෙන්නේ ලේ වලින් හෝ ලේබලෙන් නෙමෙයි, හරයක් නැති බව දුටු තරමටයි

    එහෙනම් ආර්යයෝ දකින්නේ කොහොමද? ආර්යයෝ කවදා හරි දකිනවා “මේ ප්‍රිය ස්වභාවයයි, මධුර ස්වභාවයයි කියන මේවා හරයක් නෑ…” හරයක් නෑ කියල දකින දහම් ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දුන්නේ ඇත්තක්මයි! දුන්නේ බොරුවක් නෙමෙයි! බොරුවෙන් රැවැට්ටුවේ නෑ. හරයක් නැති නිසාම හරයක් නෑ කියල බලන්න ක්‍රමයක් තිබිලා, මෙන්න මේ විද්‍යා සිද්ධාන්තයට අනුව බලන්න. ආගම් භේදයක් මේකේ නෑ. කුල, මල, ජාති භේදයකුත් නෑ. ගිහි පැවැදි භේදයකුත් නෑ, කාට හරි නුවණ තියෙනවනම් කල්පණා කරලා බලන්නකෝ ඇත්තද කියලා. ඒක කල්පණා කරන මොහොතක් උනා නම්, ඔහු ගමන් කරන්නේ ආර්යය මාර්ගයේ, ලෝක සම්මත ලේබලේ කෝක උනත්. මෙන්න ආර්යයෙක් වෙන හැටි දැනගන්න ඕනේ. ආර්යයෙක් කියන්නේ ලෝක සම්මතයේ තියෙන ලේබල් වලින් නෙමෙයි.

 

    පල්ලියේ ඉන්න ෆාදර් ලැහැස්තිවෙලා කල්පණා කරා නම් ඔය ක්‍රමය ඇත්තද කියලා, ෆාදර් අනුගමනය කරන්නේ ඒ වෙලාවේදී සම්මතයෙන් ක්‍රිස්තියානි, නමුත් මාර්ගය ආර්ය මාර්ගයයි. ආර්ය මාර්ගයේ ගමන් කරනවා. ඒක ලෝකයාට පෙන්නේ නෑ.

 

    “බෞද්ධයෙක්” කියල කෙනෙක් ඉන්නවා සිව්රු දාගත්ත ස්වාමින්වහන්සේ නමක් ඉන්නවා, ත්‍රිපිටකධාරී වෙලා ඉන්න පුළුවන්. එයා ආශ්වාද දෙන ඒවා, “ඕවා නෙමෙයි බන්, හොඳ ලස්සන ගෙයක් හදාගන්න ඕනේ, ඉන්න තැන් හොදට තියෙන්න ඕනේ, මේවා ඔක්කොම හදල මාබල් අල්ලලා තියෙන්න ඕනේ, මෙහෙමයි ලස්සනට තියෙන්න එපැයි…” එයා එතන නම් ඉන්නේ, එයා ලේ වලින් බෞද්ධයි, ආර්ය මාර්ගයෙන් පිටයි.

 

    මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. අපි මේ බෞද්ධ අබෞද්ධ මනින්නේත් එක්තරා බේද-භින්න තාවයකට, බේද කරගන්න තාලෙකට. මේ නිසා පක්ෂ භේදයක් හැදෙනවා, ආගම් භේදයක් හැදෙනවා. එක එක විදියේ නිල තල භේදයක් හටගන්නවා. සීලවන්ත, ගුණවන්ත භේදයක් හටගන්නවා. මේ ලෝක සම්මතයන් ඇසුරු කරලා හදා ගන්න භේද. ඒ තුලින් අපිට යන්න බෑ ආර්යයත්වය කරා.

 

    ඔය සම්මතය පැත්තකින් තියලා, සම්මතය ඉක්මවා ගිය පරමාර්ථයක් දකින්න ඕනේ. මෙන්න මේ පරමාර්ථය තුලින් තමයි නියම බෞද්ධත්වයට පත් වෙන්නේ. තමන්ගේ බුද්ධිය පුබුදුවා ගන්නේ, සත්‍ය ක්‍රමය දරාගෙන හරියට හිතනවානම්, මොන ආගමක කියල ලේබලය කොහොම තිබුනත්, එන්න පුළුවන් කමක් තියෙනවා ඔතෙන්ට. දැන් මේ අපිට ඔනෑ හැටියට කියනවා නෙමෙයි, සාක්ෂි ඇතිව ඔප්පු කරන ඒවා.

 

{11:23} : ලෝක සම්මතය කඩන්නේ නැතුව බුද්ධ නමස්කාරය කළ බමුණා වගේ වෙන්න

    බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේදී, බමුණු ආගම දරන එක්තරා බමුණු පිරිසක නායකයෙක් බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා ඔය කියන යථාවබෝධ ඥාණය ලබාගත්තා. ලබාගත්තට පස්සේ එයාට දැන් තේරෙනවා, “සත්‍ය මේකයි, හරයක් නැති ලෝක ස්වභාවය හරියටම ඇත්ත. කවුරු කිව්වත් මේක වෙනස් කරන්න බෑ. මේක තමයි යතාර්ථය. මේකෙන් මිදුනොත් නිවන…” ඔය ටික තේරුම් ගන්තා. මේ නිවන් මග ගෙනත් දුන්නු බුදුපියාණන් වහන්සේ කෙරෙහි විශාල ගෞරවයක් හටගත්තා. “මට ශාස්තෲ ධර්මය දුන්නු උන්වහන්සේ මං දැන් කොහොම අත්හරින්නද? මා අනාථභාවයෙන් නිදහස් කර ගත්තේ, උන්වහන්සේගේ ධර්මය අහලනේ මං නිදහස් උනේ. ඒ ධර්මය මට කියා දුන්නු බුදුරජාණන් වහන්සේට මට ගරු කරන්න එපැයි දැන්. හැබැයි මට දැන් ගිහින් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ මගේ අනිත් පිරිස අතරේ…”

 

    දැන් පිරිස කවදාවත් කැමති නෑ බුදුරජාණන් වහන්සේට ගරු කරනවට. ගරු කලොත් එහෙම බනිනවා. බුදුරජාණන් වහන්සේටත් දොස් කියනවා, ගරු කරන පිරිසටත් දොස් කියනවා. දැන් හැබැයි දැන් මේකේ නායකයට ඉන්න බෑ ගරු නොකර. දැන් එයා කල්පනා කරනවා, “මට හරි වැඩේ! දැන් වෙනදා වාගේ මගේ පිරිසත් එක්කලා කරත්ත බැඳගෙන මං මේ විදියට යනකොට මගේ වැඩකට, බැරිවෙලා හරි බුදුරජාණන් වහන්සේ අතරමගදී මං දැක්කොත් එහෙම? පිණ්ඩපාත වඩින වෙලාවක හරි, චාරිකාවක වඩින වෙලාවක උන් වහන්සේ දැක්කොත්, මං කොහොමද උන්වහන්සේට ගරු නොකර යන්නේ? ඒක මට දැන් සුදුසු නෑ. මට ඒක කරන්න බෑ. ඒ නිසා මට ගරු කරන්න සිද්ධ වෙනවා. හැබැයි මම ගරු කලොත් මගේ පිරිස මටත් බනිනවා, බුදුරජාණන් වහන්සේටත් බනිනවා. දැන් මං මේකට උපක්‍රමයක් යොදන්න ඕනේ…” කියල, එයා මොකද කරන්නේ?

 

    කියනවා, “ස්වාමීනි මෙන්න මේකයි දැන් සිද්ධිය. මේ විදියට ඔබ වහන්සේ වඩිනවා දැක්කොත් දැන් මට කවදාවත් ඔබ වහන්සේට ගරු නොකර යන්න බෑ. මගේ හිත තුළ විශාල ප්‍රසාදයක් ඔබ වහන්සේ කෙරෙහි තියෙන්නේ. මම ඔබ වහන්සේට වැඳුමක් ගැන කියනවා, මං මෙහෙම වැඳුමකින් ඔබ වහන්සේට වඳිනවා, මට ඒක පිළිගන්න”

 

    මොකද්ද ඒ වැඳුම? “මගේ කට්ටියට අහු වෙන්නේ නැති වැඳුමක්, මං ඔබ වහන්සේ දැක්ක ගමන්ම මගේ තලප්පාව මං හොඳට හැඩ ගහල බැඳ ගන්නවා, ඒ මගේ හිසේ තියෙන තලප්පාව ගැලෙව්වා කියල ඔබ වහන්සේ පිළිගන්න. මං ගලවන්නේ නෑ, ඒක හොඳට හිර කරලා බැඳ ගන්නවා. ඊට පස්සේ හරි-බරි ගැහිලා ටිකක් හොදට හැඩගැහෙනවා, ඒ මං මගේ කරත්තෙන් බැස්සා කියල හිතා ගන්න, ඔබ වහන්සේට ගරුත්වයෙන්. මං මේ හරකට කෝටුව දිගා කරනවා, ඔබ වහන්සේට දිගා වෙලා නමස්කාර කරා කියල හිතා ගන්න. ඊට පස්සේ ආයේ සැරයක් මං හරි-බරි ගැහිලා ඉඳගන්නවා, ඒ මං අයෙත් ඇවිත් කරත්තෙන් ඉඳගත්තා කියල හිතාගන්න. මම ආයෙ සැරයක් අර තලප්පාවට අත තියලා හැඩ ගහ ගන්නවා. ඒ මම නැවත මගේ තලප්පාව බැඳගත්තා කියල හිතාගන්න. මන් ජඃ කියල හරකට අණ දීල ගමන යනවා. ඒ මං ඔබ වහන්සේට ගරු කරලා ගමන ගියා කියලා හිතන්, මෙහම නමස්කාරයක් කරා කියල හිතා ගන්න, මේ නමස්කාරය මගේ පිරිසට පෙන්නේ නෑ, මගේ පිරිස තරහා වෙන්නෙත් නෑ මං එක්කලා. මං මෙහෙම නමස්කාරයකින් ඔබ වහන්සේට නමස්කාර කලා…” කියල බුදුරජාණන් වහන්සේ ඒක අනුමත කළා.

 

    දැන් වැදගත් දෙයක්, දැන් ලෝක සම්මතයෙන් ඒ බමුණා ඉන්නේ කොහෙද? අර කියන බමුණු ආගමේ. නමුත් එයා ඉඳලා තියෙන්නේ කොහෙද? බුදු දහමේ. අනෙක් අය අබෞද්ධයො, අබෞද්ධයෝ අතර මෙයා බෞද්ධයෙක්. දැන් ලෝකයා දන්නවද? මෙන්න මෙහෙම ක්‍රම තියෙනවා. ඒ නිසා අපිට බෞද්ධ අබෞද්ධ මේ ලෝකේ ආගම් අතරින් තෝර ගන්න බෑ. අපි හිතා ඉන්න මහා දැඩි නරක ආගමක් කියන එකේ සම්මතයේ ඉන්න පුළුවන් බෞද්ධයෙක්. අපි හිතා ඉන්න මහා බෞද්ධයි කියල හිතා ඉන්න සම්මතය තුල ඉන්න පුළුවන් අබෞද්ධයෙක්. එහෙනම් බෞද්ධ අබෞද්ධ කියන වචනෙන් ගන්නකොට මේ මේ සම්මත බෞද්ධ අබෞද්ධ දෙකෙන් මේක තෝරන්න බෑ. අන්න ආර්යය බෞද්ධ, ආර්ය අබෞද්ධ තෝරාගන්න, ආර්යයන්ට ගැළපෙන විදියට අබෞද්ධ බෞද්ධ තොර ගන්න ක්‍රමය.

 

{15:09} : සංඛාර හටගන්න හේතුවෙන අවිද්‍යාව හඳුනා ගනිමු

    දැන් මේක අපි දකින්න ඕනේ, මෙන්න මේකෙදි තමයි අපි දකින්නේ, මෙන්න “සංඛාර සැපයි” කියල හිතා ඉන්නේ මෙන්න මේ අවිද්‍යාවක් උඩ. අවිද්‍යාවක් නිසා නිගමනයක් බැහැල ඉන්නවා, “ලෝකයේ යම් ප්‍රිය ස්වභාවයක් ඇද්ද, මධුර ස්වභාවයක් ඇද්ද මේවා හරි සාරයි, ඒවා අසාර නෑ” මෙන්න අවිද්‍යාවේ තීරණය. අවිද්‍යාව නිසා මේ “සං” කියන එකතූන්, හිත පිළිබඳ වේවා, ගත පිළිබඳ වේවා මේ තියෙන එකතූන්, ලෝකය පිළිබඳ වේවා, ඕවා සාරයි කියන නිගමනයේ ඉන්න තාක්කල් කියනවා, “අවිද්‍යා පච්චයා සංඛාරා” – අවිද්‍යාව නිසා සාරයි කියන නිගමනයක් එනවා.

 

    යමක් “සාරයි” කියල නිගමනයේ ඉන්න තාක්කල් ඔහුට කොච්චර වෙහෙස උනත්, මහන්සි උනත්, ඒ වෙහෙස මහන්සිය තේරෙන්නේ නෑ, ඒක සැපක් කියල හිතාගෙන, සංසාර සැපක් කියල හිතාගෙන “ඛාර” කරන්න පටන් ගන්නවා. සාරත්වය කියන, “ප්‍රිය මනාප දේ සැපයි” කියන දෘෂ්ටිය නිසා හිතෙන්, කයෙන්, වචනයෙන් ඊට අනුව කටයුතු කරන්න පටන් ගත්තහම කියනවා, අවිද්‍යා ප්‍රත්‍ය කරගෙන සංඛාර හටගන්නවා. දැන් “අවිද්‍යා පච්චයා සංඛාරා” කියන වචනේ කිව්වට ඔය ධර්මය තේරෙන්නේ නෑ. දැන් තේරෙනවා, අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංඛාර වෙන්නේ මොන රටාවකට අනුවද, අවිද්‍යාව නිසා මේ ලෝකේ සාරයි කියන නිගමනයත් දෘෂ්ටියකට බැහැගන්නවා. එහෙනම්, “සං සාරයි” කියන දෘෂ්ටියේ ඉන්නවා, ඔහු එතකන් සංසාරේ!

 

    ඔන්න සංසාරේ කියන එක. ඔය “සාරයි” කියන දෘෂ්ටියෙන්, සාරයි කිව්ව කොටසේ යථාර්තය දකිනවා අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ථ වශයෙන්. ඔය සාරයි කියන ඒවා අනිච්චයි කියල දකිනවා, දුක්ඛයි කියල දකිනවා, අනත්ථයි කියල දකිනවා. මෙන්න මේක තෝරා ගන්න ඕනේ දහම් ඖෂධය ගන්න. අසාර ඒවා නෙමෙයි බලන්නේ, සාරයි කියන ඒවගේ යතාර්ථය දකින්න ඕනේ.

 

    “යං ලෝකේ ප්‍රිය රූපං, සාත රූපං – එත්තේසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ත නිවීසමානා නිවිස්සති” – ලෝකයේ යම් ප්‍රිය ස්වභාවයක් ඇද්ද, මධුර ස්වභාවයක් ඇද්ද, මේ තෘෂ්ණාව එහි උපදිනවා, එහි පවතිනවා. එහෙනම් අපිට තියෙන්නේ තෘෂ්ණාව උපදින තැන, පවතින තැන දැකලා, ඒ තෘෂ්ණාව උපදින්න හේතුව දැකලා, තෘෂ්ණාව උපදින්න තියෙන හේතුව නිරෝධ කලොත්, තෘෂ්ණාව නමැති ඵලය නිරෝධ උනාම, “තංහක්ඛයො සබ්බ දුක්ඛං ජිනාති” කියන යථාර්තයට එනවා.

 

{17:11} : ප්‍රිය මධුර බවක් නෑ කිවුවොත් වැරදියි, ප්‍රිය දේ ප්‍රිය විදිහටම දකින්න

    එහෙනම් තණ්හාවයි ක්ෂය කරන්න ඕනේ. එහෙනම් තණ්හාව ක්ෂය කරන්න නම් තණ්හාව බැදිලා තියෙන්නෙ කොහෙද, මොනවැයිද? මන වඩන රූප වල, මන වඩන ශබ්ධ, මන වඩන ගන්ධ, මන වඩන රස, මන වඩන ස්පර්ශ, මන වඩන ධර්ම කියන මෙන්න මේ මන වඩන්නා වූ හය ආකාරයන් අරමුණු තුළ, ඒවැයි තමයි මේ ප්‍රිය ස්වභාවය, මධුර ස්වභාවය හිත බැඳෙන්නේ. මෙන්න දුකට හේතුව තියෙන තැන, තෘෂ්ණාව හට ගන්න තැන. මෙන්න මේක දකින්න ඕනේ. කවදා හරි මෙන්න මේක “අසාරයි” කියලා දැක්කා නම්, කිසිම පුද්ගලයෙකුට, මේ දහම් ඖෂධය නොවැටුණු පුද්ගලයෙකුට, තමන්ට හෝ නිකන් සාමාන්‍ය සිතුවිල්ලකින් හිතල හෝ “ප්‍රියයි, මනාපයි” කියන ඒවා “අසාරයි” කියල දකින බෑ. මෙන්න මේ නිසා ආර්ය මාර්ගය අනුගමනය නොකරන කෙනෙකුට “ප්‍රිය මනාපයෝ අසාරයි” කියලා දකින්න ක්‍රමයක් නැති නිසා, ආර්ය මාර්ගයක් වැඩෙන්න විදියක් නෑ ඒ අයට.

 

    එහෙනම් “ප්‍රිය මනාපයෝ අසාරයි” කියන එකම ක්‍රමයක් තියෙනවා. මොකද්ද, ඔය ප්‍රියයි, මනාපයි, යහපතයි කියා හිතා ඉන්න ඒවා අනිච්චද, නිච්චද බලන්න. යමක් අනිච්ච නම් ඒක දුකද, සැපද කියල බලන්න. යමක් අනිච්චනම්, දුකනම් ඒක අත්ථද අනත්ථද කියල නිගමනය කරන්න. ඔන්න විග්‍රහය.

 

    දැන් අපි බලාගෙන යන්න ඕනේ, “යදනිච්චං තං දුක්ඛං” කියලා විග්‍රහ කරලා තියෙනවා මේ දහම් ඖෂධය. “යමක් අනිත්‍ය නම් ඒක දුකයි” කියලා සිංහලට උත්තර දෙනවා, භාෂා රීතිය අනුව. “යමක් ස්ථිර නැතිනම් ඒක දුකයි” ඔහොම උත්තරයක් දෙනවා.

 

    “යමක්” කිව්වම මේ ලෝකයට ප්‍රිය ස්වභාවය – මධුර ස්වභාවය විතරක් නෙමෙයි, අප්‍රිය – අමධුර ස්වභාවය අහු වෙලා නැද්ද? ප්‍රිය ස්වභාවය, මධුර ස්වභාවය එකක් නම්, ඒ වටා ගෙතිලා තියෙන අප්‍රිය – අමධුර ස්වභාව සිය දහස් ගාණක්. දහස් ගාණක් අප්‍රිය – අමධුර ස්වභාවයන්ගෙන් වට කරපු එකක් තමයි ප්‍රිය මධුර එක. මන වඩන රූපයක් හදාගන්න, එයා ඒ සඳහා වන සියලුම මහන්සිය අප්‍රියයි අමධුරයි. හැබැයි මන වඩන රූපය කෙරෙහි තියෙන මායාවට වැටීම, වසඟ වීම නිසා අර වෙහෙස දුකක් කියල පෙන්නේ නැති කමයි තියෙන්නේ. නමුත් විඳලා තියෙන්නේ අප්‍රිය අමධුර දුකක්, වෙහෙසක්.

 

    එතකොට අපි දකිනවා මොකද්ද? එහෙනම් මේ ප්‍රියයි මධුරයි කියන යමක් ඇත්තම් අපි අන්න ඒකෙ යතාර්ථය දකින්න ඕනේ. ඒ ප්‍රිය මධුර එක නෑ කියල කිව්වොත් එහෙම ධර්මයට විරුද්ධයි. ඒ නිසා කියනවා, “ආස්වාදය, ආස්වාදය හැටියටම දකින්න” නැතිව ඒක අහක් කරලා බලන්න බෑ, රැවටෙන්න වෙනවා එතකොට. එතකොට ලෝක සත්වයාට බොරු කිව්වා වෙනවා. බොරුවෙන් ඇත්ත කරගන්න බෑ, ඇත්තම පෙන්නන්න ඕනේ. ඒකෙ යථාර්තයම දක්වන්න ඕනේ. එහෙනම්, ප්‍රිය මධුර එකක් හදා ගන්න අප්‍රිය – අමධුර කීයක් පරිවාර කරගෙන තියෙනවාද, ප්‍රිය මධුර එක මැදි කරගන්න? අන්න අපි දකින දේ, “ප්‍රිය මධුර එක නෑ” කියල නිගමනය කලේ නෑ. ලස්සන කියන ප්‍රිය මධුර එකක් හදාගන්න, මිහිරි හඬ කියන එකක් හදාගන්න, මිහිරි ගන්ධය නමැති එකක් හදාගන්න, මිහිරි රසය නමැති එකක් හදාගන්න, මිහිරි ස්ඵර්ෂය නැමැති එකක් හදාගන්න අපි කොච්චර දුක් විඳිනවද?

 

    අන්න එක පැත්තක් දකින්න ඕනේ. ඒවා නිකන් ලැබෙන්නේ නෑ. අහම්බෙන් පහළ වෙන්නේ නෑ. මොකක් නිසාද? ඔය ලස්සන කියන, සුවඳ කියන, රස කියන, ඒවාගේම මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ, ධර්ම කියන මේ මන වඩන්න යමක් ඇත්නම්, ඔය තුළ තියෙනවා නම්, ඔය මන වඩන ස්වභාවය කුමක බැඳිලාද, තැවරිලද තියෙන්නේ? මෙන්න මේක ධර්මානුකූලව බලන්න ඕනේ, දැන් “කය ලස්සනයි” කියනවා, ලස්සන කයක් හදා ගන්න උත්සාහ කරනවා. දැන් ලස්සනයි කියන එක බැඳිලා තිබුනේ මොනවැයිද කියල බලන්න අන්න බුදුරජාණන් වහන්සේ ක්‍රමයක් දුන්නා, හොයා ගන්න.

 

    දැන් හිත බැදෙන එකක් තියෙනවා ලස්සන, ලස්සන කයක්. දැන් ඕකේ ඇත්ත නැත්ත බලන්න, “ලස්සන නෑ” කියල කිව්වේ නෑ බුදුරජාණන් වහන්සේ. එහෙම එකක් තියෙනවා, එහෙම එකක් විද්‍යමාන වෙනවා. විද්‍යමාන වන නිසාමයි ලෝක සත්වයෝ ප්‍රිය මධුර වශයෙන් ඒකෙ බැදෙන්නේ. ඒක නෑ කිව්වොත් එහෙම බොරුවක්. අන්න ඒක තමයි දුකට හේතුව. ලස්සන රුපයක් දුකට හේතුවක් කර ගත්තා.

 

{21:29} : බැඳෙන්නේ ලස්සනට නම්, ලස්සන කියන්නේ මොකද්ද බලමු…

    එහෙනම් ලස්සන රූපය විග්‍රහ කරලා බලන්න. එතකොට ඇත්ත පෙනෙයි. කොහොමද බලන්නේ? ඔය හොදට ලස්සනයි කියන පුද්ගලයෙක් අරගෙන, කොච්චර හිත බැඳෙනවද කියල බලන්න. “කොච්චර සුන්දරද? කොච්චර ලස්සනද? කොච්චර ආශ්වාදජනකද? ඇසුරු කරන්න ලැබුණානම් කොච්චර හොදද?” නානාප්‍රකාර අදහස් බැඳෙනවා. ඉතින් මේ ලස්සන කියල කිව්වේ මොකද්ද කියල බලන්නකෝ. කොහෙද තියෙන්නේ කියල බලන්න.

 

    ගලවගන්න කෙස් ටිකත් අයින් කරලා. ලොම් ටිකත් අයින් කරන්නකෝ, නියපොතු ටිකත් අයින් කරන්න, දත් ටිකත් අයින් කරන්න, හමත් අයින් කරන්න, නහයත් අයින් කරන්න, ඇටත් අයින් කරන්න, ඇට මිදුළුත් අයින් කරන්න කෑලි තිස් දෙහෙකට අයින් කරලා තව එකක් තිබුනනේ “ලස්සන” කියල, තිස්තුන් වෙනි එකත් අයින් කරන්න බලන්න තියෙනවද කියලා? ලස්සන එක බෙදල බෙදල කෑලි තිස්දෙකකට අයින් කලා. දැන් “ලස්සන” කිය කියා එකක් තිබුණා, තිස් තුන්වෙනි එක ඒක. එකත් අයින් කරන්න බැලුවම, කෝ ඉතින් ඒක කොහෙද තියෙන්නේ?

 

    එහෙනම් තිස්තුන් වෙනි එක අයින් කරන්න විදියක් නෑ, තිස්දෙක අයින් කරනකොට ඉවරයි. ලස්සන කියල තිබිල තියෙන්නේ අර තිස් දෙකේ. අසුභ තිස් දෙකක එකතුවකින් “ලස්සන” කියන එකක් මතු උනා. එහෙනම් “ලස්සන” කියල ද්‍රව්‍යක් වස්තුවක් ලොකේ වෙනම තිබුන් නෑ. මොනවැයිද තිබුනේ? අර අසුභ තිස් දෙක අපි රවට්ටලා. ඒ අසුභ තිස් දෙකම තමයි එක එක විදියට පිහිටියේ. ඒකෙම ඔපමට්ටම තමයි ලස්සන කිව්වේ. ඒවයේම හැඩේ තමයි හැඩතලය කිව්වේ.

 

    එහෙනම්, කුණු කොටස් තිස් දෙහෙක හැඩ තලය දැකලා, “හරි හැඩයි! හරි හැඩ පුරුෂයා, හරි හැඩ ස්ත්‍රිය” කිව්වා. අර කෑලි තිස් දෙකමයි එක එක විදයට හැඩ ගහල තිබ්බේ. ඒකෙම ඔපමට්ටම තමයි, “හරි පාටයි, හරි පෙනුමයි”, ඒ කෑලි ටිකමයි. ඔය කෑලි ටික ඇරෙන්න, තව “ලස්සන” කියල එකක් ලෝකේ තිබුන්නේ නෑ. මෙන්න ඇත්තක්! බොරුවෙන් රැවැට්ටුවේ නෑ, ඇත්ත ඇති ආකාරයෙන් බලන්න දුන්නා. මෙන්න බලනකොට පෙන්නනවා “ලස්සන” කියන්නේ, ආදීනව මැද්දෙන්, ආදීනව තුලින් ඔප් නැංවෙලා තිබිච්ච මායා දර්ශනයක් ඇරෙන්න, තව දෙයක් ලස්සනයි කියල අපිට අල්ලන්න දෙයක් තිබුනේ නෑ. ලස්සන අල්ලගන්න ගියොත් අල්ල ගන්න සිද්ධ වෙන්නේ අර කෑලි තිස් දෙක.

 

    අන්න අපි දකින්න ඕනේ එකක්, “මේ තැනැත්තා ලැබුන්නේ නැත්තම් මේ තැනැත්තිය ලැබුන්නේ නැත්තම් මගේ ජීවිතෙත් මට එපා…!” කිය කිය ඉන්න තරුණයෙකුට හෝ තරුණියකට කියනවා,
“දැන් ඕනමද?”
“ඕනේමයි!”
“නැත්තන්?”
“වහ බොනවා, මැරෙනවා, මට එපා නැත්තම්, ජීවත් වෙලා වැඩකුත් නෑ”
“පොඩ්ඩක් හිටපන්කෝ, මොකද්ද ලස්සන?”
“බලහන්කො, රන් කදක් වාගේ අර මනුස්සය, අර පිරිමියා අර ස්ත්‍රිය”ඔහොම උත්තරයක් දෙනවා.
“ඔය රන් කඳම උඹට ආපහු දෙනවා, මම සුළු දෙයක් කරනවා, ඉස්සෙල්ල බර කිරල බලපන්”
“කිලෝ හතලියයි, කිලෝ පනහයි” මෙච්චරයි ගාණ කියල ගාණ කියනවා.
හැබැයි මම එක කිලෝ මාත්‍රයක්වත් අයින් කරන්න දෙන්නේ නෑ. ගත්තා ඇසිඩ් ටිකක්, පිච්චෙන අම්ලයක්, ඇතිල්ලුවා මූණේ, අතුල්ලලා කියනවා, “ඕං අරන් පළයන්! දැන් ගනින්කෝ…!”
දැන් මූණ දිහා බලපුවහම මළ යකා වගේ, මළ යක්සණි වගේ. හම පිච්චිලා. දැන් මොකද කරන්නේ?
“කිරලා බලපන්කො රන් කඳ, බර අඩුද? නෑ ඉතින්, රන්කඳ එහෙම්ම තියෙනවා අරන් පලයන්කෝ…”

 

    දැන් ගෙනියයිද? දැන් මේච්චර කල් රන් කඳ කියලා නිගමනය දුන්නේ මොකක් නිසාද? අර හංකඩේ තිබිච්ච, මූණේ හංකඩේ තිබිච්ච ඔප මට්ටම් පැහැයක් නිසා. එහෙනම් ඒක මොකේද තිබුණේ? අර හංකඩේමයි. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නා දුන්නේ, මෙන්න මේ ක්‍රමයට බලන්න මේ මිනිහා රැවටිලද නැද්ද මේ ඉන්නේ? මේ ලස්සන කියන්නේ රැවටීමකටද? ඇත්තකටද? මෙන්න මේක බලන්න. ඔය ලස්සන කියන එකෙන් රවට්ටලා වට කරලා තිබුනේ කුණු ගොඩක්ද? හොඳ එකක්ද? හොඳ එකක් කියල හැගෙව්වේ මොකද්ද? ඔන්න මායා දර්ශනයට මත් උනහම පුද්ගලයට පේන හැටි.

 

{25:00} : ලස්සන කියන්නේ සිහිනෙන් ගෑ සුවඳක් වගෙයි…

    එහෙනම් ඒ පුද්ගලයා ඊට පස්සේ උස්සගන ගිහිල්ල මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? එයාට මොනවා කිව්වත් ගානක් නෑ, ඒ ලස්සන කියන මායාවෙන් අර තිබිච්ච ආදීනව ඔක්කොම වහලා. මිනිහා ගෙනිහින් තියෙන්නේ මොකද්ද? උදේ ඉදන් රෑ වෙනකන් කුණු පිට කරන කුණු කඳක්. දැන් මොකද කරන්නේ? නාන්නද? සුද්ධ වෙන්නද? “මෙන්න සබන්” දෙනවා. උදේ ඉදන් රෑ වෙනකන් ගඳ පිටකරන කුණු කදක්. “හෝද ගන්න, ආ මේ සුවඳ ටික උලා ගන්න” ඒකත් ගිහින් දෙනවා අමතරව. උලා ගත්තට පස්සේ ඉඹල බලලා, “ඔයා හරි සුවඳයිනේ..” දැන් අපේ හිත මායාවෙන් කොච්චර රවට්ටගෙනද? පිටින් ගාපු සුවඳ පැත්තකින් තියල උරලා බැලුවනම් එහෙම ඒ සුවඳ නැද්ද එන්නේ?

 

    “මේ සෙන්ට් එක හරි සුවඳයි නේ” කියන්නේ නැතුව ඇගේ ගාලා බලලා, ඉඹලා, “ඔයා සුවඳයිනේ” කියනවා. ඇත්ත මොකද්ද? අන්න කල්පනා කරලා බලන්න, මේ ඇත්ත ඇති ආකාරයෙන් බලන්න. බුදු බණ කියන්නේ පොතේ තියෙන එක නෙමෙයි, විග්‍රහ කර ගන්න ඕනේ. විග්‍රහ කරලයි ඇත්ත දකින්න ඕනේ. මෙන්න මෙහෙම දකිනකොට අපිට පේනවා අපි කොච්චර මායාවකට රැවටිලද මේ ඉන්නේ!

 

    ඇද කුද තියෙන ඇඟේ, “මගේ ඇඟට නම් මේක හරියන්නේ නෑ, මෙන්න මේ ඇඳුම නම් මගේ ඇඟට හොඳට මැච් වෙනවා” එහෙම කියල මොකද කරන්නේ ඇඟට ගැළපෙන ඇඳුම කියල ඇඳුමක් අරගන්නවා. අර ඇද කුද ටික ඇඳුමෙන් වැහිලා ගියාට පස්සේ, “දැන් ඒ ඇඳුමට නම් ඔයා හරි ලස්සනයි”

 

     දැන් ඇඳුම – ඇඳුමේ ලස්සනද බැලුවේ, පුද්ගලයට ආරෝපණය වෙලා පුද්ගලයා ලස්සනයි කියල හිතා ගත්තද? අන්න ඇඳුමෙන් ඔප්නංවගත්ත, කන – කර ආභරණ වලින් ඔප් නංවගත්තා, සුවඳ ගාගත්තා, වර්ණය ගාගත්තා, හැඩ ගාගත්තා, පිටින් උලල උලලා අරගත්ත එහෙකට දැන් ඉතින් අපි රැවටිලා, “මෙයා හරි ලස්සනයි” කියල බැස්සා නිගමනයකට. දැන් මේ අපි විසින් අපි රවට්ට ගත්තා. ඇත්ත ඔතන නෑ!

 

    මෙන්න ලස්සන කියන මායාව, මායාවක් හැටියට බලන්න. ඉන්ද්‍රජාලයක් වාගේ. ලෝක සත්වයා රවට්ටනවා. රවට්ටලා මොනවද ලෝක සත්වයා අල්ලලා දමන්නේ මොකේටද? ඔය කුණු ගොඩට. ඒ කුණු ගොඩ ගත්තු තැනට, ලස්සනේ මුවාවෙන්, ලස්සනට රැවටිලා ඒක ගත්තු තැන් පටන් ඔහු මොකද කරන්නේ? අරන් තියෙන්නේ මොකද්ද? ගඳ ගහන එකක්, ඒ නිසා සෝදන්න ඕනේ. ජරා වෙන එකක්, ඒ නිසා සුද්ධ කරන්න ඕනේ. දිරාපත් වෙන එකක්, කන්න දුන්නේ නැත්තම් පෝෂණය කරේ නැත්තම්, ඒ නිසා අවශ්‍යම දේ දීල පෝෂණය කරන්න ඕනේ. ලෙඩ හැදෙන එකක්, ඒ නිසා බේත් දෙන්න ඕනේ. ඔක්කොම කරලා දුන්නත්, හදාගෙන ගියත්, අර මායාව ගෙවිල යනවා, කුණු ගොඩ ඊට පස්සේ කර ගහගන්න ඕනේ. දැන් නීතියට අහු වෙලා, රැහැනට අහු වෙලා. වෙන බාහිර හිතවත් කමකට අහු වෙලා. මොනවා කරන්නද? “ලස්සන හින්දා ඒ කාලේ ගත්තා, මං ගියා, දැන් බලපුවහම අවරුදු පහයි දහයයි ගියේ, දැන් ඒකාගේ හැටි, මේකිගේ හැටි, අනේ වෙච්ච දෙයක්, දැන් මොනවා කරන්නද?”

 

    නීතිය අර පැත්තෙන් හිර කරලා තියෙනවා හොඳට. යුක්ති ධර්මය කියල එකක් ඒ පැත්තෙන් හිර කරලා හොඳටම. ශිෂ්ඨාචාරය කියල එකක් එක පැත්තකින් හිර කරලා හොඳටම. දැන් ශිෂ්ඨාචාරය නිසා, නීතිය නිසා, අර කියන ධර්මය නිසා ඉන්නවා මිසක්, ලස්සන හින්දා ඉන්නවද? නෑ ලස්සන තමයි කොටු කරලා දුන්නේ. කොටු කරගන්නකන් ලස්සන තිබුණා, කොටු කරලා දුන්නට පස්සේ ගියා. එහෙනම් “ලස්සන කියන්නේ සිහිනෙන් ගෑ සුවඳක් වගේ” කියල දකින්න කිව්වේ ඕකයි.

 

{27:49} : යමක ප්‍රිය ස්වභාවය තියෙන්නේ අපි ඒකට කොටු වෙනකන් විතරයි!

    අන්න මේ ලෝකේ මායාව අපි දකින්න ඕනේ, මෙන්න දුකට හේතුව. දුකට හේතුව සාරද, අසාරද කියල බලන්න, දුකට හේතුව කියන ප්‍රිය ස්වභාවය – මධුර ස්වභාවය අපිව මොනවටද කොටු කරන්නේ? අසාරවූ දුක් ගොඩකට කොටු කරලා දමනවා, ප්‍රිය ස්වභාවය – මධුර ස්වභාවය නමැති මායාව. එහෙනම් මායාවේ තිබෙන ස්වභාවය එකක් නම්, ආශ්වාද එකක් නම්, ආදීනව දහසක් ඕකෙ වට කරලා තියෙනවා. ඔය ආදීනව දාහ සිහි කරන්න පටන් ගත්තනම් අන්න වහ දාපු මත්පැන් වීදුරුව වාගේ දකිනවා. මත් පැන් වල ආශ්වාදය තියෙනවා, වහ දාපු එක බොන්නේ. ආශ්වාද මායාව තියෙනවා. ආශ්වාද මායාවට රැවටිලා අර දුක කර ගහන්නේ නෑ! අන්න ඥාණවන්ත කම!

 

    ඉතින් කවුරුවත් කිව්වේ නෑ මේක එපා කියල දැන්. දැන් බුදුදහමට නිගරු කරලා හරියනවද? “බුදු දහම දුක පෙන්නන ආගමක්” කියල. නෑ, බුද්ධාගම දුකට හේතුවත් පෙන්නපු ආගමක්, දුක විතරක් පෙන්නුවේ නෑ. දුක නිරෝධ කරන එකත් පෙන්නපු එකක්, දුක්ඛ නිරෝධ මාර්ගයත් පෙන්නපු එකක්. එහෙනම් බුදු දහම කෝච්චර සහනදායීද? දැන් “බුදු දහම දුක පෙන්නන ආගමක්” කිව්වොත් යතාර්ථය දන්නේ නැති අය කියන කතාවක් වෙනවා. මෙන්න අපි දකින්න ඕනේ තැනක්.

 

    එහෙනම් මේ විදියේ එක දෙයක් මේ අරගත්තේ. “හරිම සුවඳයි!” හරි ප්‍රණීත සුවඳක් දෙන බත් පිඟාන. අපිට ගෙනත් දෙනවා. දැන් ගෙනත් දුන්නට පස්සේ අපි කියනවා “ආ පොඩ්ඩක් ඕක ඇරලා තියහංකෝ, හුගක් සුවඳද? හුගක් වටිනවද?” “කීයක් දීලා කෑවත් කමක් නෑ බං, අහවල් හෝටලයෙන්… හරිම රහයි, හරිම සුවඳයි කෑම” “එහෙනම් එකෙන් කෑම එකක් අරන් වරෙන්කො…” තිබ්බා, වරුවක් තියල අරගෙන, “ගනින්කෝ බලන්න අරක…” ප්‍රිය ස්වභාවය මධුර ස්වභාවය කෝ? “අප්පා… පිළුණු ගඳ ගහනවා බං මේක, දැන් පිළුණු වෙලා නේ…”

 

    එහෙනම් අර බත් පිඟානේ තිබ්බ රොඩ්ඩ දැන් එපා වෙලා. එහෙනම් අර පිළුණු ගඳ ගහපු බත් පිඟාන කිරලා බැලුවොත් එහෙම, කිලෝ එකක් නම් තිබුනේ කිලෝ එකම තියෙනවා. හැබැයි ප්‍රිය ස්වභාවය – මධුර ස්වභාවය ඒකෙන් අතුරුදහන් වෙලා. එහෙනම් ගෑවිලා තිබිච්ච ප්‍රිය ස්වභාවයක්, මධුර ස්වභාවයක් තිබුණා ඒ තුල. ඒක අල්ලගන්නකන්, ඒක භුක්ති විඳිනකන් විතරයි ඒ මායාව තිබුණේ. අල්ලගත්තට පස්සේ, භුක්ති වින්දට පස්සේ ප්‍රිය ස්වභාවයෙන්, මධුර ස්වභාවයෙන් අල්ලගෙන තියෙන්න මොකද්ද? වැඩකට නැති නිස්සාර ගොඩක්. එහෙනම් නිස්සාර ගොඩකට කොටු කරන්න දාල තිබිච්ච මායාව තමයි අර සුවඳ කිව්වේ.

 

    අන්න ලස්සනේ හැටි, සුවඳේ හැටි, රසේ හැටි. දැන් මෙන්න මේ ආකාරයෙන් මේ හිතට, දුකට හේතු වන ප්‍රිය ස්වභාවය – මධුර ස්වභාවය හැම වෙලාවේම බැඳිලා තියෙන්නේ, රැඳිලා තියෙන්නේ සත්වයා කොටු කරන්න. කොටු කරපු වෙලාවෙම මොකද වෙලා තියෙන්නේ? ප්‍රිය ස්වභාවය, මධුර ස්වභාවය ගිලිහිලා යනවා. හැබැයි කොටු වෙච්ච එකෙන් මිදෙන්න බෑ.

 

    මේ නිසාම තමයි ලෝක සත්වයා පවට කොටු කරන්නේ. අර ප්‍රිය ස්වභාවය, මධුර ස්වභාවය නිසාම “මොන තාලෙන් හරි මම අයිති කර ගන්නවා, මගේ කර ගන්නවා, මම කර ගන්නවා, ඒ තත්වෙට මම පත්වෙනවා, ඒක මගෙ කරගන්නවා” අන්න මායා දර්ශනය නිසා තව මුළාවකින් එහාට ගිනිච්චා, මත් කළා. මත් කරලා මොකද කරන්නේ? අයුතු කමකට, අසාධාරණේකට සත්‍වයා පෙළෙඹෙව්වා. අයුතු කමෙන්, අසාධාරණෙන් මොකද වෙන්නේ? මහා පාපයකට කරගහ ගත්තා.

 

{30:47} : ප්‍රිය මධුර ස්වභාවය නැමැති ඇම කෑවොත් අපි කොටු වෙනවා

    තත්පරයක් තුළ ඇති කරගන්න පාපේ ගෙවන්න, අවුරුදු කල්ප ගානක් යනවා. “මට විරුද්ධයි, මගේ ප්‍රිය මනාපයට විරුද්ධ එකා, මේකට විරුද්ධව සටන් කරන එකා… මුට ජීවත් වෙන්න දෙන්න හොඳ නෑ, අහුවෙච්ච තැන ඕකා මරණවා!” ගත්ත නිගමනයක්. “මං භාර්යාවක් ගෙනාවා, මං ස්වාමිපුරුෂයෙක් එක්කලා ගියා, මේ තැනැත්තා හෝ තැනැත්තිය ඒක පැහැරගන්න හදනවා, හැබැයි හොඳ වැඩක් කරන්නම්කො, අහු වෙච්චාවෙකෝ කොයි වෙලේ හරි. දෙනවා ඕකිට වහ ටිකක්, දෙනවා ඕකට වහ ටිකක්, ගහනවා පොල්ලකින් මැරෙන්න…” බැස්සා නිගමනයකට, නිගමනය දැඩි උනා නම් මොකද වෙන්නේ? තත්පරයයි ගියේ පොල්ලෙන් ගහලා මරන්න. ප්‍රාණඝාත පාපකර්මය ගෙවන්න කොච්චර කල් තියෙනවද? කරගත්ත පාපය, පාපයෙන් හටගත්තු දුෂ්‍යතාවය ගෙවන්න හතර අපාගත වෙලා කල්ප කාලාන්තරයක් යන්න ඕනේ.

 

    එහෙනම් තත්පරයක් තුළ මායාවට අහු කලේ මොකක් නිසාද? “අර ප්‍රිය ස්වභාවයට – මධුර ස්වභාවයට විරුද්ධව ආපු එකට මං ඉඩ දෙන්නේ නෑ” බැස්සා තරඟෙට. මත් වෙලා අයුත්තක්, අසාධාරණයක් කළා. එහෙනම් ප්‍රිය ස්වභාවය – මධුර ස්වභාවය හිතේ බැඳිලා, රැදිලා තිබුනේ නැතිනම් ඔහු අතින් අර ප්‍රාණඝාතය කෙරෙනවද? කෙරෙන්න හේතුවක් නෑ. හොරකමක් කෙරෙනවද? සුරාවක්, සූදුවක්, දුරාචාරයක්, බොරුවෙන් රැවටීමක්, කේළමෙන් බිදවීමක් කරන්න හේතු තියෙනවද? දස අකුසලයම කරන්න තියෙන හේතු ඔක්කෝම හැදිලා තියෙන්නේ මොකද්ද? ඔන්න ඔය ප්‍රිය ස්වභාවය මධුර ස්වභාවය නිසා කරන මත් වීම.

 

    මෙන්න ප්‍රිය ස්වභාවයේ – මධුර ස්වභාවයේ “ප්‍රිය නෑ, මධුර නෑ” කියන්නේ නැතිව, “ඒ ප්‍රිය ස්වභාවය – මධුර ස්වභාවය නිසා අපිට කොයි තරම් ආදීනව ඇති කරනවද? ඒක අපිට කොච්චර අවැඩ ඇති කරනවද? අපිට යහපතක් වෙන්නද ඔය පෙනී සිටින්නේ? එහෙනම් අපි රවට්ටන මායාව!” මෙන්න මේක දකින්න ඕනේ.

 

    ඇම ගහලා බිලී කොක්ක දැම්මට පස්සේ මාළුවා ඇම නිසා ගිලිනවා බිලී කොක්ක. බිලී කොක්ක විතරක් දැම්මා නම් කවදාවත් ඒකට ගහන්නේ නෑ. බිලී කොක්ක වහලා, පිටින් ගහපු ඇම නිසා, ඇමට ආසාවෙ ඒකට ගහපු මාළුවන්ට බිලී කොක්කේ පැටලෙන්න වෙනවාමයි. බැරිවෙලා හරි මාළුවෙක් දන්නවා නම් එහෙම “මාව කොටු කරන බිලී කොක්කක ගහලයි මේ ඇම තියෙන්නේ” කියල එහෙම, මාළුවා කවදාවත් අර ඇම කන්න යන්නේ නෑ.

 

    මෙන්න මේ වගේ ලෝකයේ බිලී බාන ඇම පහක් තමයි මන වඩන රූප, මන වඩන ශබ්ද, මන වඩන ගන්ධ, මන වඩන රස, මන වඩන ස්ඵර්ශ කියන්නේ. ඔන්න ඔය ඇම ගහලා දාලා තියෙන බිලී කොකු තමයි මේ ලෝකේ හැම තැනම තියෙන්නේ. අහුවුනහම කොටු වෙනවා. මෙන්න මේක නුවණින් විමසල තේරුම් ගත්තු දාට එයා දකිනවා “ලෝකයේ ප්‍රිය ස්වභාවයක් ඇද්ද, මධුර ස්වභාවයක් ඇද්ද, අසාරයි! කැමති සේ නෑ! ඒ ප්‍රිය ස්වභාවයට මධුර ස්වභාවයට කැමතියි. හැබැයි කැමති වෙන්නේ මොකටද? නිරුපද්‍රිතව කරදරයක් නැතිව භුක්ති විදින්න. නමුත් ලෝකය තුල ප්‍රිය ස්වභාවය මධුර ස්වභාවය කියන්නේ මොකද්ද? අපිව කොටු කරන්න තියෙන ඇමක් නම් කොහෙද අපේ කැමැත්ත එකෙන් ඉටු වෙන්නේ? අපි ඉච්ච වශයෙන් කැමති වශයෙන් යම් කිසි දෙයක් බලාපොරොත්තු උනා නම්, අන්න ඒ ප්‍රිය ස්වභාවය මධුර ස්වභාවය තියෙන යමක් ඇත්නම් කැමති සේ නෑ”

 

{33:34} : සංඛාර අනිච්ච වෙන්නේ කැමති සේ නැති නිසා, ස්ථිර නැති නිසා නෙමෙයි…

    ඉච්ච සේ නැති නිසා අනිච්චයි කිව්වා. “ස්ථිර නැති නිසා” කියලා ගත්ත ගමන්ම මොකද වෙන්නේ? අපිට යථාර්තය වැටහිලා නෑ. එහෙනම් ප්‍රිය ස්වභාවයේ – මධුර ස්වභාවයේ ආදීනවය ඒකෙන්ම දකින්න ඕනේ. “ප්‍රිය ස්වභාවය – මධුර ස්වභාවය ස්ථිර නැති හින්දයි මට එපා වෙන්නේ” කිව්වනම් එහෙම, ප්‍රිය ස්වභාවයෙ, මධුර ස්වභාවයෙ යථාර්තය දැකලා නෙමෙයි නිගමනයට බැස්සේ, ඒක ස්ථිර නැති නිසා.

 

    ස්ථිර නෑ කියල ගත්තහම යම් කිසි දෙයක ප්‍රිය ස්වභාවයේ – මධුර ස්වභාවයේ යථාර්තය වැටහෙන්නේ නැති නිසා, ඒක ස්ථිර නැත්තම් තව එකක් පස්සේ යනවා, ගන්නවා නිගමනයට. “ඒක ස්ථිර නැති හින්දා තව එකක් පස්සේ යනවා” ඕකෙන් තමයි සසර ගමන හැදිලා තියෙන්නේ, ස්ථිර නැති හින්දා තව එකක් හොයන හින්දා. එහෙනම් ස්ථිර නෑ කියන එක ප්‍රිය ස්වභාවය – මධුර ස්වභාවය අත්හැරවන්න බල දරන්න පුළුවන් වචනයක් නෙමෙයි.

 

    එහෙනම් මොකද්ද වෙන්නේ? “කැමති සේ නෑ” කැමති සේ නැත්තම් තව එකක් අල්ලන්න විදියක් නෑ, කැමති සේ තියෙන එකක් අහුවෙන්නේ නැති නිසා. ස්ථිර නැත්තම්, ස්ථිර නැති එක්කෙනාට ආශ්වාද තේරෙන්නේ නැති නිසා ඔහු වෙන එකක් පස්සේ යනවා. යන යන එක කැමති සේ නෑ කියලා දැනගත්තොත්, ඒකෙන්ම ඒකෙ යතාර්ථය දැනගන්නවා. අන්න වැහිලා තියෙන තැන. යමක් කැමති සේ නැද්ද, ඒක දුකයි. “යමක් ස්ථිර නැද්ද, ඒක දුකයි” කිව්වොත් ලෝකයේ කොච්චර ස්ථිර නැති උනත් ප්‍රිය ස්වභාවය – මධුර ස්වභාවය තියෙන ඒවා විද්‍යාමාන වෙනවා. අප්‍රිය, අමධුර දේවල් ලෝකේ විද්‍යාමාන වෙනවා. “යමක් ස්ථිර නැතිනම් ඒක දුකයි” කිව්වොත් අර අප්‍රිය අමධුර ස්වභාවයේ ඒවා ස්ථිර නැත්තම් ඒකත් දුකද?

 

    අංශභාගේ හැදෙනවා, පිළිකාව හැදෙනවා, ඒකත් “යමක්” කියන එකට අයිතියි. “යමක් ස්ථිර නැත්තම් ඒක දුකයි” කිව්වොත් අංශභාගේ පිළිකාව ස්ථිර නැත්තම් ඒකත් දුකද? කෝ ධර්මයට ගැළපිලා? කෝ ධර්මයට බහා හිටියා, කෝ විනයට බහා හිටින්නේ කොහොමද? ධර්මයට බහා හිටියේ නැතිනම් කොහොමද විනයට බස්සවගන්නේ? ධර්මයට බහා හිටියොත් කාරනා අට හරියට තේරුම් අරගෙන ඊට අනුව පිළිපදිනවා, එතකොට විනය.

 

    එහෙනම් විනය නගන්න නම් ධර්මය දැකල තියෙන්න ඕනේ. ධර්මය දැක්ක නැති තාක්කල් විනය නගන්න විදියක් නෑ. ධර්මය දකින්න ඕනේ, ඒ නිසා කියනවා “යෝ ධම්මං පස්සති සෝ මං පස්සති”, සෝ විනයන් පස්සති සෝ මං පස්සති කියල දේශනා කලේ නෑ. “ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී”, “ධම්මොච යථාධම්මෝ තථා පටිපජ්ජි තබ්බන්ති” හැම වෙලේම ධර්මයයි මුල් කලේ. විනය මුල් කරලා කතා කලේ නෑ. ඔය හැමතැනම පෙන්වා තිබෙන්නේ ධර්මය දකින්න ඕනේ. ධර්මය දැක්කේ නැත්තම් ඔහුට විනයක් තෝර ගන්න බෑ. ධර්මය දැක්කා නම්, ධර්මයෙන් දැක්කා නම්, “මේක වැඩ සහිතයි, මේක අවැඩ සහිතයි, මේක දරන්නේ මෙන්න මෙබඳු වැඩ සහිත දෙයක්, මේක මෙහෙම අවැඩක් දරන එකක්” මෙන්න මේක දකිනවා. දැක්කට පස්සේ අපි නිගමනයක් කරනවා, “යමක් නිසා අවැඩ නම් ඒක නොකල යුතුයි. යමක් වැඩ සහගතනම් ඒක කල යුතුයි” නොකල යුත්ත නොකල යුත්ත හැටියට දැනගෙන අත අරිනවා, කල යුත්ත කල යුත්ත හැටියට දකින ක්‍රියාත්මක වෙනවා, අන්න විනය.

 

{36:26} : නිවැරදිව අනාථ දැක්කා නම්, ධර්මය දැක්කා, බුදුන් දැක්කා…

    එහෙනම් ඔය කියන විනය මිසක් හදාපු විනයක් අපි දන්නේ කොහොමද, ඒක විනයක්ද නැද්ද කියල? විනය, විනය හැටියට දකින්න නම් ධර්මය, ධර්මය හැටියට දකින්න ඕනේ. ධර්මය, ධර්මය හැටියට දැක්කාම, විනය එතනම මතුවෙනවා. මෙන්න මේකට කියනවා “අභි-විනය”, ඔය හැඟවිලා තියෙන ධර්මය තමයි අපි දකින්නේ “අභි-ධර්මය”. හැඟවිලා තියෙන හින්දා දකින්න බෑ, හැඟවිලා තියෙන ධර්මය මොකද්ද? දහසක් ආදීනව හැඟවිලා. හැඟවිච්ච දහසක් ආදීනව මතු කරගන්න පුළුවන් වුනානං ධර්මය තුලින්, ධර්මයෙන් අභි-ධර්මයට ආවා. එතකොට ඔහුට දකින්න හම්බෙනවා මෙච්චරකල් සම්මත කරගත් පදේක හිටියට, විනයක් කියල හදාගත්තු එහෙක හිටියා මිසක් අභි-විනය තිබුන්නෑ. අභි-ධර්මය මතු වෙලා ආවට පස්සේ අභි-ධර්මය තුලින් දකිනවා, අභ්‍යන්තරයේ තිබිච්ච ධර්මය තුලින්, “මෙන්න දහසක් ආදීනව”. අභි-ධර්මයෙන් දැක්කා. “එහෙනම් මං ගන්න තීරණය මොකද්ද? පිළිපදින්නේ මොකටද? ඒ පස්සේ තව තවත් ගියොත් මං අනාථයි. ඒක අත් හැරියොත් නාථයි” අනාථ දැක්කා අනාථ හැටියට, නාථ දැක්කා නාථ හැටියට. අන්න අනාථ නාථ දැක්කා නම් කියනවා, “බුදුන් දැක්කා”.

 

    කවුද “නාථ අනාථ” කියන්නේ? අප්පටිම බුදුන්, අනාථ නාථ ප්‍රථිමාවක් නෑ, බුදුන්ට ප්‍රථිමාවක් නෑ. බුදුන් කියන්නේ අනාථ නාථ. අනාථ අනාථ හැටියට දැක්කනම් නාථ නාථ හැටියට දැක්කනම්, ඔහු අනාථ දැකල තියෙනවා, නාථ දැකලා තියෙනවා, අනාථ නාථ දැක්කා නම් බුදුන් දැක්කා. බුදුන් දැක්කා නම් ධර්මය දැක්කා, ධර්මය දැක්කා නම් බුදුන් දැක්කා. මෙන්න බුදුන් දකින හැටි. එහෙනම් ධර්මය තුලින් අපි දකින්න ඕනෑ, “මෙන්න අනාථ දෙයක්, අනාථයට පත් කරන ආදීනව, දහසක් ආදීනව, ආශ්වාද නැමැති මායාවකින් වහලා අපි රවට්ටනවා”. මෙන්න හැඟවිලා, අභ්‍යන්තරයේ හැඟවිලා තියෙන ධර්මය. මෙන්න මේක මතු කරගන්න පුළුවන් උනානම් එදාට කිව්වා, “අභිධර්මධර භික්ෂූන්” හිටියා කියල බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ. එහෙනම් අද අභිධර්මය කියන්නේ, විනය සූත්‍ර අභිධර්මය කියන්නේ ඒ ත්‍රිපිටකේ එන ධර්මය මයි. ඒක ධර්මය තුල තිබෙන විශේෂ කොටස නිසා ඒකට අභිධර්මය කිව්වා. අවබෝධ කරගන්නා අභිධර්මය එකක්, ඔය ධර්මයේ තියෙන විශේෂ කොටස අභිධර්මය කියන එක තව එකක්. එහෙනම් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ “අභිධර්මය දේශනා කරන භික්ෂූන් වහන්සේලා හිටියා” කිව්වේ මොකද්ද? ඔන්න ඔය හැගවිලා තියෙන ආදීනව මතු කරලා පෙන්නන්න පුළුවන් දක්ෂතාවයෙන් යුක්ත අය හිටියා. ඒ අයට කිව්වා “අභිධර්මධර භික්ෂූන් වහන්සේලා”.

 

{38:34} : ජාතිපි දුක්ඛා – අප්‍රිය ජාති දුකයි, ප්‍රිය ජාති දුකට හේතුවයි

    “මෙන්න ජාතිය, මෙන්න ජාතියට හේතුව, මෙන්න ජාති නිරෝධය, මෙන්න ජාති නිරෝධ මාර්ගය” හරි ආකාරව විග්‍රහ කරලා දෙනවා අභ්‍යන්තරයේ හැඟවිලා තියෙන ආදීනව පෙන්නලා, ජාතියේ හැටි පෙන්නනවා. නමුත් ඒකට මොකද කියන්නේ? “ජාතිය ද දුකයි” කියල, “ජාතිපි දුක්ඛා” කියල තේරුවා අද, “ජාතිය ද දුකයි”. භාෂා නිරුක්තිය අනුව ජාතිය ද දුකයි කියල තේරුවා, ජාතිපි දුක්ඛා කියල. දැන් ඇත්ත බලාපුවහම නුවණට ගෝචර වෙනවද? අර ප්‍රිය මනාප ස්වභාවයක් ඇති ජාති තියෙනවනම්, ඒ ප්‍රිය මනාප ස්වභාවය දුකද? ඒක දුක නෑ. ඒක නිසා තමයි සත්වයා ඇලෙන්නේ. එහෙනම් මොකද්ද පෙන්නුවේ? “ජාති-අපි දුක්ඛා – ජාතිපි දුක්ඛා” – අපි ජාති දුකයි. “ජාති අපි” කියන එකයි වචනේ ජාතිපි කියන්නේ, ජාතියද කියන අර්ථය නෙමෙයි, ඒක භාෂා නිරුක්තිය. පද නිරුක්තියක් තියෙනවා පද නිරුක්තිය දකිනකන් ධර්මය තෝරන්න බෑ. එහෙනම්, “ජාති-අපි දුක්ඛා ජාතිපි දුක්ඛා!”

 

    “අපි” කියන්නේ? අපි ඉරියාවෙන්, “අපි” හොයාගන්න ඕනේ. පි-ඉරියාව – ප්‍රියාව. අපි-ඉරියාව – අප්‍රියාව. අන්න අපි කියන වචනයෙන් පෙන්නුවේ මොකද්ද? අප්‍රිය සහගත බව. ජාති-අපි කියන්නේ අප්‍රිය ජාති, අපි ජාති. “අප්‍රිය ජාති දුකයි” දැන් මේකට කිසිම තර්කයක් වාදයක් ගේන්න බෑ. අපිට දුක දෙන්නේ අප්‍රිය ජාති. ප්‍රිය ජාති දුක දෙන්නේ නෑ නේ. “ජාති” කියන පොදු නම ගත්තහම, මේකේ ප්‍රිය ජාති තියෙනවා, ඒවාට හිත ඇලෙනවා. අප්‍රිය ජාති තියෙනවා, ඒවාට ගැටෙනවා. ජාති දෙයාකාරයි. කොටසක් ප්‍රිය ජාති, කොටසක් අප්‍රිය ජාති. මේ සියලුම ජාති දුකයි කිව්වොත් එහෙම ලෝකයා ගණන් ගන්නේ නෑ.

 

    එහෙනම්, අප්‍රිය ජාති දුකයි. ජාතිවල අප්‍රිය ජාති තියෙනවා. එහෙනම් “ජාති” කියන්නේ? මව් කුසෙන් බිහිවෙන එව්වා විතරක් නෙමෙයි ජාති කියන්නේ. ජාති විවිධාකාරයි, අප්‍රමාණයි! ලෝකේ හටගත්ත හැම එකක්ම හටගත්තාට පස්සේ, හටගත්ත ඒවා ජාති. මෙන්න, ජාති තෝර ගන්න ඕනේ. ජාති කුඩා ජාති තියෙනවා, මහ ජාති තියෙනවා. කුඩා කුඩා ඒවා හැදිලා හටගත්ත මහ ජාති තියෙනවා. ලොකු ලොකු ගොඩවල් වලට ඒ ඒ සම්මත තියා ගන්නවා. පුංචි පුංචි ගොඩවල් වලට ඒ මට්ටමේ සම්මත තියා ගන්නවා. කෙස් ජාති, ලොම් ජාති, නියපොතු ජාති, දත් ජාති, හං ජාති, නහර ජාති, ඇට ජාති, ඔය ජාති වශයෙන් අදත් අපි ළග භාවිතා කරනවා. ඔය ඔක්කොම ජාති, ගස් ජාති, ගල් ජාති, වැල් ජාති, පස් ජාති, ඔය ජාති තමයි ඔක්කොම. සජීවී ඒවා තියෙනවා අජීවී ඒවා තියෙනවා. ඔක්කොම ජාති. මේ ජාති අතර ප්‍රිය ජාති තියෙනවා, අප්‍රිය ජාති තියෙනවා. ඔය ජාති වලින් ප්‍රිය ජාතියක් අවොත් මිනිහා “සුවයි” කියල ගන්නවා. අප්‍රිය ජාතියක් ආවාහම “දුකයි” කියල ගන්නවා.

 

    මෙන්න අපි දකින්න ඕනේ ඉස්සෙල්ලාම එකක්, ජාති වල වෙනසක් තියෙනවා. සියළුම ජාති දුකයි කිව්වොත් එහෙම, ලෝකේ දුකයි කිව්වහම බුදුරජාණන් වහන්සේ “ඇයි මෝඩයෝ එහෙම කිව්වේ?” කියල බුදුරජාණන් වහන්සේ ඇහුවනේ! ලෝකේ ප්‍රිය ස්වභාවයක්, මධුර ස්වභාවයක් නැත්නම් ලෝක සත්වයා ඇලෙනවද? අප්‍රිය අමධුර ස්වභාවයක් නැත්නම් ලෝකෙන් මිදෙනවද? මේ දෙකම විද්‍යාමානයි.

 

    එහෙනම් ජාති වල ඔය දෙකම විද්‍යාමානයි. ප්‍රිය ජාති තියෙනවා, අප්‍රිය ජාති තියෙනවා. එහෙනම් “ප්‍රිය ජාති දුකයි” කිව්වොත් පිළිගන්න හේතු නෑ. අප්‍රිය ජාති දුකයි. ප්‍රිය ජාති දුකට හේතුවයි. අන්න දුකයි, දුකට හේතුවයි ජාති වලින්ම දකින්න ඕනේ. ප්‍රිය ජාති දුකට හේතුව. ප්‍රිය ජාති නිසා අල්ලන්න ගියහම අහුවෙන්නේ අප්‍රිය ජාති. ප්‍රිය ජාති එකක් අල්ලන්න ගියහම දහසක් අප්‍රිය ජාති වලට කොටු වෙනවා. එහෙනම් අප්‍රිය ජාති අතරින් මයි ප්‍රිය ජාතියක් මතුවෙලා පෙන්නේ. ඒ ප්‍රිය ජාතිය සැප සහගත නිසා, ප්‍රිය ස්වභාවය – මධුර ස්වභාවයෙන් යුක්ත නිසාම තමයි ලෝක සත්වයා අල්ලගන්න ගියහම අප්‍රිය ජාති වලට කොටු වෙන්නේ. ඇම ගහන්න ගියහම බිලී කොක්කට කොටු වෙනවා වාගේ, ප්‍රිය ජාති අල්ලන්න ගිහිල්ල අප්‍රිය ජාති වලට කොටු වෙනවා. අප්‍රිය ජාති දුකයි, ප්‍රිය ජාති දුක නෑ, ප්‍රිය ජාති දුකට හේතුවයි.

 

    එහෙනම් ජාති තුලම විද්‍යාමාන වෙනවා දුක සහ දුකට හේතුව. අන්න අපි දෙකම දකින්න ඕනේ. ඒක දැක්කේ නැත්තම් අපි බොරුවට රැවටෙනවා. යථාර්තවත් ඇත්ත ගන්න දන්නේ නෑ. එහෙනම් බොරුවට රැවටෙන එක බුදු දහම නෙමෙයි. බුදු දහම කියන්නේ, හැමදේකම හරි ඇත්ත දකින්න ඕනේ. එහෙනම් ප්‍රිය ජාති දුකට හේතුවයි, අප්‍රිය ජාති දුකයි. අන්න ජාති-අපි දුක්ඛා. අප්‍රිය ජාති දුකයි.

 

{42:56} : ජරාපි දුක්ඛා – අප්‍රිය ජරාවට පත්වීම දුකයි..

    ජරාපි දුක්ඛා! ජරා කියන කොට, දිරා යන ඔක්කොම “ජරා”. එහෙනම් මේ ලෝකේ ප්‍රිය ස්වභාවයෙන්, මධුර ස්වභාවයෙන් යුක්ත ඒවත් දිරා යනවා. අප්‍රිය අමධුර ඒවත් දිරා යනවා. ඒ සැම ජාති වලටම දිරා යෑම උරුමයි. ලෝකයේ යම් ජාතියක් හටගත්තාද, ප්‍රිය ජාති, මධුර ජාති වේවා, අප්‍රිය, අමධුර ජාති වේවා, මේ ඔක්කොමත් ජරාවට පත් වෙනවා. එතකොට ප්‍රිය ජාති ජරාවට පත් වෙනවනම් අපි ඒකට දුක් වෙනවා. අප්‍රිය ජාතියක් ජරාවට පත් වෙනවා, දිරා යනවා. ඒකටත් දුකද?

 

    යම්කිසි ජාති වශයෙන් අපි උපමාවක් වශයෙන් ගන්නවානම්, ගමක ඉන්නවා මහා දාමරිකයෙක්, සල්ලාලයෙක්, බේබද්දෙක්, ගමටම එපා කරපු එකෙක්. මේකා හොඳට හයි-හත්තිය ඇතිව ඉන්නවා නම්, ගමේ මිනිහෙකුට පාරට යන්න බෑ, දොට්ට බැහැල යන්න බෑ, ගහනවා, බණිනවා, හිංගි කරනවා, කඩා වඩා ගන්නවා, නොයෙක් හිංගි හිංසා කරනවා. දැන් මේ දාමරික ජාතියක් අපි දැක්කා. අපිට ප්‍රිය ජාතියක් නෙමෙයි මේක, අප්‍රිය ජාතියක්. අපිට දුක ගෙන දෙනවා. දැන් ඔය, ඔය දාමරිකයා දිරන්න පටන් ගන්නවා, වැහැරෙන්න පටන් ගන්නවා. ලෙඩක් හැදිලා හරි, අසනීපයක් මොකක් හරි වෙලා හරි, වයස ගිහින් හරි, දැන් මේකා වැහැරිලා, මේකාට දැන් හැරමිටියෙන් යන්න වෙලා. දැන් අර ගමේ හිටපු මිනිස්සුන්ට දුකද? “අනේ අර අපිට දාමරික කම් කරපු, අපේ අයට යනකොට, පාරේ ඉන්නකොට මග රැකලා ගහපු, අනේ බලන්නකෝ, හැරමිටියක් අරං දැන් යන්නේ. අපිට හරි දුකයි” කියනවද? “යන්තං ඇති, දෙයියෝ බැලුවා වගේ ඕකාට ලෙඩක් හැදිලා හරි පැත්ත වැටිලා ගිය එකෙන් අපි බේරුනා”. සතුටු වෙනවා නේද?

 

    එහෙනම් සියලු “ජරා” ලෝක සත්වයන්ට දුකද? එහෙනම් මේ “ජරා” වල තියෙනවා, “ප්‍රිය ජරාවක්” තියෙනවා, “අප්‍රිය ජරාවක්” තියෙනවා. ප්‍රිය ජරාව, ලෝක සත්වයාට ප්‍රිය දේ ජරාවට පත් වෙනකොට නම් දුකයි, අප්‍රිය දේවල් ජරාවට පත්වෙනකොට ඒක දුක නෑ. එහෙනම් අපි අප්‍රිය කරන්නේ මොන ජරාවටද? ප්‍රිය දේවල් ජරාවකට පත්වෙනව නම්, අපි ඒක ප්‍රිය කරන්නේ නෑ. මෙන්න, “ජරා-අපි දුක්ඛා – ජරාපි දුක්ඛා”. අප්‍රිය ජරාවක් තියෙනවා අපිට, යමක් ප්‍රිය නම් මධුර නම් ඒක ජරාවට පත් වෙනවට කැමති නෑ. මෙන්න අප්‍රිය ජරාව. ලෝකේ ප්‍රිය ජරාවක් තියෙනවා. අපිට අවැඩ කරනවානම්, අපිට හිංගි හිංසා කරනවානම්, ඒක ජරාවට පත් වෙනකොට අපිට ඒක දුක නෑ. එහෙනම් අපිට දුක දෙන්නේ මොනවැයිද? අපි අප්‍රිය කරන එකක් ජරා…….

(පටිගත වී ඇති ආකාරය අනුව දේශනාවේ ඉතිරිය පටිගත වී නැත)

 

~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~

 

දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://waharaka.com/listen/CD002-06

 

To Top