දුක් දොම්නස් දැකීම දුක්ඛ ආර්ය සත්‍යය දැකීමද?

දුක්ඛ ආර්ය සත්‍යය
දුක්ඛසදහම් සාකච්චා 1සිවු අරි සස්

දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)

දුක් දොම්නස් දැකීම දුක්ඛාර්ය සත්‍යය දැකීමද?

 

(ප්‍රශ්නය): ස්වාමින් වහන්ස, ඇස අනිච්චයි, දුක්ඛයි, අනත්ථයි කියල බලන්නේ ඇයි? මොන පදනම මතද? කොහොමද?

(පිළිතුර): දැන් ඒක අපි දකින්න ඕනේ විග්‍රහ කරලා. දැන් ඇස කියන්නේ මොකක්ද? කොහොමද කැමති සේ නැත්තේ? මේක අපි බලනවා, දැන් අපේ ඇහැ, දැන් මං මොකටද කැමති, කොහොම තියෙනවනම්ද කැමති. මනා සේ පේනවනම් ඒකටත් කැමතියි. එතකොට ඒ වගේ ලෙඩක් දුකක් හැදෙන්නේ නැත්තම්, මේ ආදී වශයෙන් තැවිල්ලක් හැදෙන්නේ නැත්තම්, අපේ කැමැත්තක් තියෙනවා, එහෙම තියෙනවනම් කියල. ඉස්සෙල්ල මුලදී මොකද ඇහෙන් ප්‍රයෝජනයක් තියෙනවා කියල දෘෂ්ටියේ ඉන්නකන්. එතකොට අපි බලනවා ඒ අපේ කැමැත්තෙන් ඒ එකක්වත් ඉෂ්ට කරන වෙලාවක් තියෙනවද, එහෙම නැත්තම් ඇස ක්‍රියාත්මක වෙන්නේ මොන විදිහටද?

 

    ඇහැට ආපු හේතුවට අනුකූලව ප්‍රත්‍ය ක්‍රියාත්මක වෙලා ඊට අනුකූලව ඵලයක් දෙනව මිසක්, අපේ කැමැත්ත දෙන්නේ නෑ. මං කැමැති ඇහැට සුවයක් ලබන්න. නමුත් දැන් දුම් ගහනවා, එන්නේ දුකක්. මගේ බලාපොරොත්තුව නෙමේ සිද්ධ වෙන්නේ. මං සුවයක් ලබන්න බලාපොරොත්තු වුණාට, හේතුවේ ඵලයයි සිද්ධවෙන්නේ. දැන් පරිසරය තුළ මොකද්ද වෙලා තියෙන්නේ ඒක එනවා. දැන් නිරුපද්‍රිත ඇහැක් බලාපොරොත්තු වෙනවා, ඇස් රෝගයක් එනවා. ඒ විෂබීජය ඇතුල් වෙනවා. දැන් මේකට අපිට කරන්න දෙයක් නෑ. මං නිරෝගී ඇහැක් බලාපොරොත්තු උනාට හේතුවේ ඵලය ක්‍රියාත්මක වෙනවා. දැන් හේතුවේ ඵල වශයෙන් හටගත්ත එකක් ක්‍රියාත්මක වෙනකොට වැනසෙන පැත්තට ක්‍රියාත්මක වෙනවා මිසක්, වැදගත් පැත්තට කොහෙද වෙන්නේ? කොයි එකද?

 

    දැන් අපි හැම එකක්ම කැමතියි උපරිම හොඳ තත්ත්වයට. ඉතිං අපි බලනවා මෙහෙම දෙයක්, අපි හොදයි කියල දැනට සම්මත කරගත්ත ටික අරගෙන, “ඇහැ හොඳයි, රූපය හොඳයි, කන හොඳයි, ශබ්දය හොඳයි, දිව හොඳයි, රසය හොඳයි, නාසය හොඳයි, ගන්ධය හොඳයි” කියලා මේක හොඳ පැත්තක් ප්‍රණීත පැත්තක් විතරක් අල්ලගෙන හිතනවා. අපි ප්‍රණීතය ට අරගෙන යමක් ගොඩනැගුවා නම් ඒකට මොකක්ද සිද්ධවෙන්නේ? ප්‍රණීතය අප්‍රණීතයක් වෙනවා මිසක්, සුවද කරපු එක ගඳ ගහන්න පටන් ගන්නවා මිසක්, ශුද්ධ කරපු එක අශුද්ධ වෙන්න පටන් ගන්නවා මිසක්, ප්‍රණීත ආහාර වේල පිළුණු වෙන්න පටන් ගන්නවා මිසක්, හදපු කය වැහැරෙන්න පටන් ගන්නවා මිසක්, වැඩෙන තැනට එන්නේ නෑ එතන ඉදලා. සුවඳ ගහන්න හදාගත්ත පළතුරු ගෙඩිය කුණු වෙනවා මිසක් වැඩෙනවා කියන එක වෙන්නේ නෑ. දැන් ඒ වගේ, මේ ලෝකේ යමක් හටගෙන අපි ප්‍රියමනාප තත්ත්වයට ගත්තා නං, ඒ ප්‍රියමනාප තත්ත්වයෙන් මොහොතක්වත් එතන පටන් හිටින්නෙ නෑ, ගෙවිලා යනවා. ගෙවෙන්නේ අපි කැමති විදියට නෙමෙයි. අපි අකමැති පැත්තට. එහෙනම් ඉච්ච සේ නැති ඒවා තමයි ඔක්කොම.

 

    දැන් පෙර භවයේදී මගේ ඇහැක් තිබුනා නම්, මම අද ජීවත් වෙන්න කැමති වාගෙ, ඇහැ නැති කරගන්න කැමති උනේ නෑ. කන, දිව, නාසය, ශරීරය, ජීවිතය නැති කරගන්න කැමති උනේ නෑ. “මම” කියන යමක් තිබුණා නම්, ඒක පවත්වන්නයි කැමති වුනේ. “මගේ” කියන යමක් තිබුණා නම්, ඒ තුළ ඉන්නයි කැමති වුනේ ගොනු කරගෙන. එහෙනම් මට දැන් අද ඒක නෑ. මට මතකත් නෑ හිටියද නැද්ද කියලා. පුංචි කාලේ මම බලාපොරොත්තු වුණා “මම” කියන යම්කිසි රාමුවක්, “මගේ” කියන රාමුවක්. ඒක එසේ පවත්වා ගන්න කැමති වුණා. නමුත් අවුරුද්දක් ගිහිල්ලා බලනකොට ඒක ආපහු වෙනස් වෙලා. කැමැත්ත අනුව තිබිලා නෑ. මේ කැමැත්තට අනුව තියෙනවා කියලා බලාපොරොත්තු ඉෂ්ට වෙලා කියලා මං හිතන් ඉන්නවා. හැබැයි මං දැකලා නෑ ඒක ඉෂ්ට වෙන්න මගේ බලාපොරොත්තු ඒක ගොඩනැගුණේ කොහොමද කියලා.

 

    ගොඩ නැගුනේ හරයක් ඇති දෙයක්ද? ඊළඟට ඒක දකින්න ඕන. දැන් එකපාර “දුක්ඛ” කියන එක ගත්තෙ නෑ. “අනිච්ච” සහ “අනත්ථ” කියන දෙකෙන් ගත්තේ. අනෙක දැන් ඔතෙන්දි මෙහෙම තියෙනවා. “අනිච්චං ඛයට්ඨේන, දුක්ඛං භයට්ඨේන, අනත්ථං අසාරකට්ඨේනන්ති” කියලා තෝරලා තියෙන්නේ. කැමතිසේ නැහැයි කිව්ව පලියට තේරෙන්නෑ. “අනිච්චං ඛයට්ඨේන” කියන වචනෙන් පෙන්නුවේ, “අනිච්ච” කියන වචනෙ තෝරා ගන්න “ක්ෂය” තෝරාගන්න ඕනේ.

 

    “ක්ෂය” කියන්නේ මොකක්ද? තෝරගන්නත් ඕනේ දෙයාකාරයෙන්. එක ක්ෂයක් තමයි ගෙවිලා යනවා කියන එක, ඒක ලෞකිකත්වයේ අදහස. ඒකෙ මේ වේදනා, සංඥා කියන චෛතසිකයට ගෝචරයි. හැබැයි පටිච්ච සමුප්පාදය ප්‍රඥාවට ගෝචරයි. “යෝ පටිච්චසමුප්පාදං ඵස්සති, සො ධම්මං ඵස්සති” කියන තැන පටිච්ඡසමුප්පාදය දැකල ධර්මය දැකිය යුතු නම්, ක්ෂය දකින්න ඕන පටිච්ච සමුප්පන්නව. එහෙනම් ඒක දැක ගන්නේ කොහොමද?

 

    අපි කැමති නැත්තෙ මොකේටද? ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසයන්ට කැමති නෑ. එහෙනම් යම්කිසි ජාති ප්‍රත්‍යක් වුනානම්, යම් ජාතියක් හටගත්තා නම්, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස වලට අහු නොවෙන ජාතියක් නැහැ. ඒ ජාතියේ උරුමය කවදහරි ඔතෙන්ට වැටෙන්නේ. එහෙනම් අන්න ක්ෂය ධර්මයක් උන හැටි. ක්ෂය අර්ථයෙන් කිව්වා අනිච්ඡයි කියල. “අනිච්චං ඛයට්ඨේන” කිව්වේ ඒකයි.

 

    දැන් “කැමති සේ නෑ” කියන එක තේරුම් ගද්දි, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස වලටයි කැමති නැත්තේ. එහෙනම් හටගත්ත ජාතියක් තියෙනවා නම්, ඒ ජාතිය අපි බලාපොරොත්තු වෙනවා හොඳ එකක් නිපදවන්න. අපි කොයි වෙලාවකවත් නරක එකක් නිපදවන්න, අකමැති එකක් නිපදවන්න කැමති නැහැ. එහෙනම් හොඳ එකක් බලාපොරොත්තු වෙන්නේ අපි අවිද්‍යාවෙන් ගොඩනගපු “හොදයි” කියල දෘෂ්ටිය අරගෙන. ඒක නිගමනය කරගෙන තමයි අපි සංඛාර ගොඩනැගුවෙ. ඒ අනුවයි විඤ්ඤාණය පහළ කර ගත්තේ. ඒ අනුවයි නාමරූප බස්ස ගත්තේ. ඒ අනුවයි අපි ඇස, කන, දිව, නාසය ආදී ආයතන, ආයතන කළේ. ඒ අනුවයි ස්පර්ශ, වේදනා, තණ්හා, උපාදාන ගොඩනැගුවෙ. ඒ අනුව භවක් ගොඩනඟලා ජාතිය ගොඩනැගුවෙ. විශාල වෙනසක් වෙලා. හැබැයි ගොඩනගලා තියෙන ජාතිය මොකක්ද? ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස වලට පත්වෙන ජාතියක් නම්, ඉච්ච සේ පවතින ජාතියක් ගොඩනගලා නෑ. එහෙනම්, ඒ ජාතිය ගොඩනගන්න කරපු වැඩ පිළිවෙලත් ඉච්ච සේ පැවැත්මක් නැති වැඩපිළිවෙළක් කරල තියෙන්නෙ.

 

    එහෙනම් මේ ලෝකෙ එකක්වත් අනිච්ච ගොඩේ මිසක්, පැවැත්ම තුළ එකක්වත් ඉච්ච නෑ. අන්න අනිච්චයි කියන එක තෝර ගත්තා, ක්ෂය අර්ථයෙන්. ඉතින් ඒකට මොනවත් තර්ක කරන්න දෙයක් නෑ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසයන්ට හේතු නොවෙන ජාතියක් අහවල් එකයි කියලා ඕකේ පෙන්නන්න බැහැ. එහෙනම් ලෝකෙ යම් ජාතියක් හට ගත්තා නම්, ප්‍රියමනාපයෙන් මයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි හදාගත්ත එකෙන්, අපි අකමැති ජාති හටගෙන තියෙන්නෙ, අකමැති ජාතියට පත්වෙලා, ප්‍රියමනාපයෙන්ම. ඒකෙනුයි ඒ ජාති දැක්කෙ, ඒ ප්‍රියමනාපයයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි බලාපොරොත්තු වෙන ප්‍රියමනාපය අපි අවිද්‍යාව නිසා දැක්කෙ නෑ, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස වෙන දේ ක්ෂය ධර්මයක් බව. අන්න ඒක දැනගත්තට පස්සේ කැමති සේ පවතින එකක් මේ අතරේ එකකවත් නැති බව දැනගත්තහම, “අනිච්චං ඛයට්ඨේන” කියලා දැනගත්තා.

 

    එතකොට එකක් වෙනවා, “දුක්ඛං භයට්ඨේන”. එතකොට “දුක” කියන්නේ, ලෝක සම්මත දුක එකක්. ඒ දුක කවුරුත් දකිනවා, බෞද්ධ වෙන්න ඕනේ නෑ. එහෙනම් අපි දකින්න ඕනේ චතුරාර්ය සත්‍යයේ පෙන්වන දුක. දුක්ඛං භයට්ඨේන කියල පෙන්නනවා. එහෙනම් දුක දකිනවා කිව්වහම දුක, දුක්ඛ සත්‍යය වේද? දුක්ඛ සත්‍යය දුක්ඛ වේද?, යමකප්‍රකරණයේ ප්‍රශ්නයක් අහල විසදනවා. “දුක්ඛ දුක්ඛ වේ, දුක්ඛ සත්‍යය නොවේ. දුක්ඛ සත්‍යය, දුක්ඛ සත්‍යය වේ, දුක්ඛ නොවේ”.

 

    එහෙනම් දුක කියන්නේ එකක්, දුක්ඛ සත්‍යය කියන්නේ එකක්. දුක්ඛ සත්‍යය කියන්නේ දුක නොවේ. “දුකක් ගොඩනැගෙන්නේ මෙහෙමයි” කියලා දැනගත්තනං, අන්න ඒ ඥාණයට කියනවා දුක්ඛ සත්‍යය. ඒක තමයි චතුරාර්ය සත්‍යයේ දුක්ඛ සත්‍යය කියන්නේ. ඒක දුක නෙමේ. මෙන්න මෙහෙමයි මේ දුක ගොඩනැගෙන්නේ. අනිච්ච නම් දුකයි කියන්නේ, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසයන් ගොඩනගනවා නම්, ඒක ගොඩනැඟෙන්නේ මෙන්න මෙහෙමයි. අන්න දැක්කා ගොඩනැගෙන හැටි. ගොඩනැගෙන්නෙ මොකෙන්ද? පංචකාමය මුල් කරගත්ත අවිද්‍යාවෙන් ගොඩනැගුණු ඉෂ්ටයි, ප්‍රියයි, යහපතයි, මනාපයි ආදී වශයෙන් ගත්ත දෘෂ්ටි. අන්න පටන් ගත්ත තැන. අන්න ඒකට බය වෙන්න ඕනේ. මේක තමයි මේ වැඩේ වැරද්දුවේ. මේකෙන් බේරෙන්න බැරි උනේ ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසයෙන් බේරෙන්න බැරි, මෙන්න මේක “වටිනවා” කියලා හිතාගෙන මුලා වුන නිසා.

 

(ශ්‍රාවක මහතෙක්): එතකොට ස්වාමින් වහන්සේ, “ජාති ධර්ම” කියලා කියනවනේ නෝන, මහත්තය, ගේ දොර, ඉඩකඩම්, යාන-වාහන, රන්-රිදී, මුතු-මැණික්, අන්න ඒ ජාති කියන්නේ ඕවට නේ?

 

(ස්වාමීන් වහන්සේ): ඔව්.

 

(ශ්‍රාවක මහතෙක්): අන්න ඒකයි එතන ගන්නේ නේ?

 

(ස්වාමීන් වහන්සේ): අන්න ඔව්. අපි ඒ දැක ගන්න ඕනේ ඒ ප්‍රිය මනාප හරිය. දැන් ඔය ඔක්කොම ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසයන්ට පත්වන ඒවනෙ. එයින් වෙන එකක් නෑනේ. අන්න එතකොට ඒක ගොඩනඟා ගත්තේ අපි අර අවිද්‍යාවේ ක්‍රියාවලියට බැහැලා නේ. ඒ ගොඩනැඟුණේ ඒකෙන් නේ. එතකොට අපි දකින්න ඕනේ අපි සැනසිල්ලක් බලාපොරොත්තුවෙන් ගොඩ නගලා තියෙන්නේ ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසයන්ගේ ජාති මිසක්, බලාපොරොත්තු ඉෂ්ට කරල දෙන ජාති නෙවෙයි. අන්න කැමතිසේ නැති ජාති ගොඩනගලා. අනිච්ච ගොඩනගලා. ඉතිං ඇයි මේ අනිච්ච ගොඩ නග නගා දුක් විඳින්නේ?

 

    දුක, දුක්ඛ සත්‍යය නොවේ, එහෙනම් මොකක්ද මේ දුක්ඛ සත්‍යය? මෙන්න මේ දුක කොහොමද හැදුනෙ? මෙන්න මේ දුක හටගන්න යම්කිසි ක්‍රමයක් නම් අන්න ඒකට බය වෙන්න ඕනේ. මේ පංචකාම ආශ්වාදය මුල්කරගෙන ඒ වාගේම ලෝකයේ සුඛාස්වාදය මුල්කරගෙන ගත්ත මුලා අදහස තමයි මේ ඔක්කොටම හේතු වුණේ. එහෙනම් ඒක මහා මර උගුලක් නේ? අන්න ඒක දැනගත්තහම දුක්ඛ සත්‍යය මතුවෙනවා. දුක්ඛ ආර්ය සත්‍යය මතුවෙන්නෙ එහෙමයි. අන්න ඒකට කියනවා, “දුක්ඛ ආර්ය සත්‍යය” හෙවත් චතුරාර්ය සත්‍යයේ දුක්ඛ ආර්ය සත්‍යය දැක්කා.

 

    “දුක දැක්කා” කිව්වට දුක දකින අය ඉන්නවනෙ, අපි විතරක්යැ දකින්නේ? ඔක්කොම දකිනවනේ මේ ඉන්න මිනිස්සු. සතර අපාගත අය ඔක්කොටම වඩා දකිනවනේ. දුක කියන එක. දුක දැක්කට නිවන් දකිනවයැ? දකින්න ඕනේ දුක්ඛ ආර්ය සත්‍යය. දුක්ඛ ආර්ය සත්‍යය කියන්නේ මෙන්න මේ දුක හට ගන්නා, මෙන්න මේ දුක මෙහෙම භයානකයි, ඒක ඥාණයෙන් දකින්න ඕන.

 

    ඇයි භයානකයි කියන්නේ? අපි මුළාවට පත්වෙලානෙ ඒක ගොඩනගන්නේ. එහෙනම් මේ ජාති, ජාති ගොඩනගන වැඩපිළිවෙළ, මහා භයානක වැඩක්. අන්න ඒකෙ භයානක බව දැක්කහම කියනවා, “දුක්ඛං භයට්ඨේන”. භය අර්ථයෙන් දැක්කා, අන්න දුක්ඛ ආර්ය සත්‍යය දැක්කා. දුක් විඳින එක කියන්නේ දුක. ඒක දුක්ඛ ආර්ය සත්‍යය නෙමෙයි. “මෙන්න මෙබඳු දුකක්නෙ මේ ගොඩනගන්නේ. මේ පටිච්චසමුප්පාද වැඩපිලිවෙලත් ඒකෙන් ගොඩනැගෙන ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස දෙන ඒව මිසක් වෙන එකක් නෙවෙයි. එහෙනම් මේ මුළු වැඩපිළිවෙලම මහ භයානකයිනෙ.” අන්න අවබෝධය ආවනම් ඒක දුක නෙමේ, දුක්ඛ ආර්ය සත්‍යය. ඒක පහල උනා නම් කිසි ප්‍රශ්නයක් නෑ, අල්ලපු තැනක් නෑ, අත් ඇරෙන පැත්තට යන්නේ.

 

    එතකොට දකිනවා, “එහෙනම් මෙච්චර කල් ඇවිත් තියෙන්නේ සාරත්වයක නෙමෙයිනේ. සාරයි කියලා හිතාගෙන අසාරත්වයකනේ”. “අනත්ථං අසාරඛට්ඨේනන්ති”. අසාර අර්ථයෙන් අනත්ථයි කිව්වා. “අනාත්ම” කතාවක් ඕකේ නෑ. ආත්ම අනාත්ම කතාවක් ඔතන නෑ. අසාරඛට්ඨේන. ඉතින් මේ ටික දැක්කට පස්සේ මායාව, මුලාවට පත් කරන වැඩ පිළිවෙලයි, ඒකෙන් ගොඩනගන දේයි, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස දීලා කෙළවර කරනවා මිසක් හරයක් දීලා කෙළවර කරන්නේ නෑ. එහෙනම් අසාර වැඩපිළිවෙළක් මිසක් ලෝකය කියන්නේ, මේ පැවැත්ම කියන්නේ මොන සාරත්වයක් ද? මොන සාරත්වයක් දකින්නද? ඕක දැක්කට පස්සේ අනත්ථ දැක්කා.

 

    ඒ අනත්ථ දැක්කනම් ලෝකය අත් හැරීමට අවශ්‍ය අනිච්ච, දුක්ඛ, අනත්ත දැක්කා කියන්නේ, තව දකින්න එකක් නෑ. ධර්මය දැකල ඉවරයි. දැක්ක ගමන් එනවා අවබෝධය, මොකක්ද? අතහැරීම හැර, නො ඇල්ම හැර, මිදීම හැර වෙන මොකක්ද තියෙන්නේ. නිවන, අන්න නිරෝධය. දැන් කොහොමද මේක දැක්කේ? වත් පිළිවෙත් පුරලා වත්, ඇඳුම් වෙනස් කරලා වත්, තට්ටෙ ගාලවත් නෙමෙයි. මේවා නෙමෙයි. මේ යථා ධර්මය මනා සේ නුවණින් තේරුම් අරගෙන. දැන් යථාර්ථය දකින්නේ කොහොමද? නුවණින් දහම් තේරුම් අරගෙන නිවන් දකිනවා මිසක්, වත් පිළිවෙත් කරලා නිවන් දැක්ක හැකියැ? සිල් වෘත පරාමර්ෂණය ඉවරයි, ආත්ම දෘෂ්ටියත් ඉවරයි, සැකත් ඉවරයි. එහෙනම් පලවෙනි තැනටම ඔතනින් ආවනං සක්කාය දිට්ඨිත් නෑ, විචිකිච්ඡාත් නෑ, සීලබ්බතපරාමාසත් නෑ. තව ටිකක් ඕක වැටහීගෙන ආවා නම් කාමරාගත්, පටිඝත් නෑ, ඇලීම් ගැටීම් දෙකත් නෑ. තව ටිකක් එහාට ගියා නම් රූපරාගත්, අරූපරාගත් නෑ. එහෙනම් තුන් ලෝකයේම බැඳීම් ඉවරයි. අන්තිම තීක්ෂණට ගියානම් මාන, උද්ධච්ච, අවිද්‍යාත් ඉවරයි. දස සංයෝජනයම ඉවරයි. එතකොට ආයෙ අල්ලන්න ඉතුරු වෙන්න දෙයක් නෑ.

 

    ගැඹුරුයි, ලේසියි. කියන්න තියෙන්නෙත් එච්චරයි. මහා ගැඹුරුයි වගේ පේනවා. වැටහීමත් එක්කල ඉතාම සරළයි. ඒකයි මහා ගැඹුරට පේන්නේ. විග්‍රහ කළොත් ගැඹුරට විග්‍රහ වෙනවා. අවබෝධය ආවට පස්සෙ ඉතාම සරළයි. ඒකනෙ අර කිව්වේ, ආනන්ද හාමුදුරුවො කිව්වෙ, “ස්වාමීනි, පටිච්චසමුප්පාදය මහා ගැඹුරු කිව්වට මට නම් හරි සරළයි”. “ආනන්ද, එහෙම කියන්න එපා! මේ මහ සාගරය වගේ”. කියලා විග්‍රහ කරේ.

 

(ශ්‍රාවක මහතෙක්): එතකොට අර “මරණම්පි දුක්ඛං” කිව්වට පස්සේ අප්‍රිය මරණ කියලා ගන්නේ මූල මරණය නේද, මරණම්පි දුක්ඛං, ආර්ය සත්‍යය කියන තැන?

 

(ස්වාමීන් වහන්සේ): ඔව් ඉතින්, ඒකෙදි අහුවෙනවා යහපත් මරණ තියෙනවා, අයහපත් මරණ තියෙනවා, දුක දෙන මරණ තියෙනවා, දුක නොදෙන මරණ තියෙනවා. දැන් “මරණම්පි දුක්ඛං” කිවුවහම අභ්‍යන්තර වේවා, බාහිර වේවා, යම්කිසි ආකාරයෙන් අපි යහපත් දෙයක් මැරෙනවා නම් අපි අකමැතියි. අයහපත් දෙයක් මැරෙනවා නම්? අපිට ඒකෙ ප්‍රශ්නයක් නැහැනේ. අපි කැමතියිනේ.

 

(ශ්‍රාවක මහතෙක්): දැන් අනිච්ච, දුක්ඛ, අනත්ථ දැනෙනකොට ආත්ම දෘෂ්ටිය කොහොමද අයින් වෙන්නෙ?

 

(ස්වාමීන් වහන්සේ): අනිච්ච, දුක්ඛ, අනත්ථ දකිනකොට ද? දැන් කාමාශ්‍රවයෙන් බැඳීමක් තිබුනේ කාමාස්වාදය හොඳයි කියලා නේ. එතකොට අපි මේ අනිච්ච, දුක්ඛ, අනත්ථ වශයෙන් දැක්කොත් අපි මේ කාමාස්වාදය හොඳයි කියලා අරන් තියෙන්නේ හිස් දෙයක් නේද කියලා දකිනවනේ.

 

(ශ්‍රාවක මහතෙක්): ඔව්.

 

(ස්වාමීන් වහන්සේ): යථාර්ථයනේ දකින්නේ. යථාර්ථය දකින කොට ඒකට බැඳුන හිතක් තියෙනවා නම් අන්න එතෙන්දි අර…

 

(ශ්‍රාවක මහතෙක්): නෑ, මං කිව්වේ අර ආත්ම දෘෂ්ටිය කොහොමද අයින් වෙන්නේ, සක්කායදිට්ඨිය?

 

(ස්වාමීන් වහන්සේ): හරි, දැන් සක්කායදිට්ඨිය නැති වෙන්නේ, දැන් අපි ඕක දකිනකොටම අපි දකිනවා ඒකීය වස්තුවක්, අපි බලාපොරොත්තු වන ජාතියේ වස්තුවක් මෙතන තිබිලා නෑ. වෙනස්වීමක් නේ මෙතන පෙන්නන්නෙ. වෙනස්වීමක් කියන්නේ කැමතිසේ නොපවතින ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. එහෙම වෙලා කෙළවර වෙනකොට හිස් අතින් කෙළවර වෙන්නේ. එහෙනම් ආත්ම කියන්නේ සදාතනිකත්වය, අවිපරිණාමීකත්වය, ඒවාගේම ශ්‍රේෂ්ඨත්වය. ඒ තුනම නෑනෙ ඉතින්.

 

(ශ්‍රාවක මහතෙක්): අර ජාති කියන එක, බිරිඳ, සැමියා, රන්-රිදී, මුතු-මැණික් විතරක් නෙමේ, ඇස පාවිච්චි කිරීම තුළින් අවසානයේදී ද අපි බලාපොරොත්තු වෙන්නේ නැවත ඉපදීමකුත් නැතුව ඉන්න නේ. අපි ඒ පැත්තෙන් හිතුවොත්, මේ ශරීරය පාවිච්චි කිරීම තුළින් නැවත ඉපදීමට යමක් සිද්ධ වෙනවා. එතනදී නේද ස්වාමීන් වහන්ස? එතනත් අනිච්චතාවයනේ. අපි බලාපොරොත්තු වෙන්නේ මේකෙන් මිදෙන්න නමුත් සිද්ධ වෙන්නේ අරක?

 

(ස්වාමීන් වහන්සේ): ඔව් දැන් ඒකත් අනිච්චතාවය නේ.

 

(ශ්‍රාවක මහතෙක්): එහෙයි, එතන ලොකු භයානක කමක් තියෙනවා නේද? දැන් නැවත ඉපදුනාම කොහේ ඉපදෙයිද? මොනවා වෙයිද?.

 

(ස්වාමීන් වහන්සේ): අන්න එතකොට දකිනවා, ඒකට හේතුව හොයනවා. ඒ හේතුව දැක්කෙ නැත්තංනේ මේ භයානක. දැන් හේතුවක ඵලය නේ මේ ලැබෙන්නේ. හේතුව නිරෝධ කළොත් ඵලය නෑනේ. අන්න චතුරාර්ය සත්‍යයට අනුව දකිනවා. දැකලා ඉවරවෙලා හේතුව නිරෝධ කරන්න යථාර්ථය දකින්න ඕනේ. එතකොට අසාරත්වය දකිනවා. අසාරත්වය දැක්කොත් ප්‍රශ්නේ ඉවරයි. අසාරත්වය වැටහෙනකං බලන්න ඕනේ. අන්න බලන ක්‍රමය.

 

    දැන් වේදනානුපස්සනාවේ, දැන් මට එක පැත්තකින් දුක් වින්ද එක ඇත්ත. හැබැයි ලොකු වාසනාවක් පහළ වුණා. “මෙච්චර වේදනාවක් වින්දේ මොකක් නිසාද? මේ කය නිසා. මේ කය නොතිබුනානම් මේ වේදනාව මං විඳින්නේ නෑ. මේ කය මොකක් නිසාද? කවදාහරි පංචකාම නමැති කුණ, පුස්ස වටිනා දෙයක් කියලා ගත්ත මොට්ටකම නිසා පංචකාම කයක් හැදුන. ඉතිං මොට්ට කමෙන් මං හදාගත්ත, නරක එකක් හොදයි කියල ගත්ත මුලාව නිසා මට මේ අද දුක විඳින්න වුණේ. ඉතිං මං තවදුරටත් ඒ පංචකාමය හොඳයි කියලා නිගමනය කරනවද?” ක්ෂණයකින් ආවා ඔය අදහස් එහෙම. අනුශයක් ඉතුරුවෙන්නැති වෙන්න බිඳිලා යනවා.

 

    එතකොට දකිනවා, දැන් හොදයි කියන්න තියෙන්නෙ, ශුද්ධාවාස හොඳයි කිව්වොත්, බ්‍රහ්මත්වය හොඳයි කිව්වොත්, ඇහැයි කණයි දෙකට පේන්නේ මම විතරයිනේ. තව අනන්ත ලෝක සත්වයෝ මේ අවිද්‍යාවෙන් දුක්විඳිනවා දැක්කහම අරක මහා වේදනාවක්. කිව්වට තේරුම් ගන්නෙත් නෑ, නමුත් අඳෝනා දෙනවා, කෑගහනව, මීට වඩා ඇහෙනවා එහාට. බ්‍රහ්මයන්ට. අපායට එහෙම යොමු කළොත් ඉවරයි! හද පැලෙනවා. ඒ තරම් වේදනාවයි. කෑ ගැහිලි, දුක්විඳිනවා දැක්කම. ඉතින් ඕක දැක දැක ඉදලා, තව කාලයක් ගෙවල, අන්තිමේදී හිස් අතින් චුත වුණා. මොකක් දැකලද චුත උනේ? අනුන්ගේ වේදනාවෙ දැවි දැවී ඉඳලා, හූල්ල හූල්ල ඉඳලනෙ චුත උනේ. ඉතින් වෙන මොකද්ද දැක්කෙ ඔතන? රූපරාග අදහස් තිබ්බා නම් ඒකත් ඉවරයි. ඉතින් අරූපරාග කියන්නේ බලන්න ඇහැකුත් නෑ, අහන්න කනකුත් නෑ, එහෙම කයකුත් නෑ හැබැයි දැනෙනවා, හිත තියෙනවා, ලෝකෙට නෙමේ. දැනෙන බව දැනෙනවා. එතකොට හිතන්න පුළුවන්, “අපි දැන් එතකොට ඉස්සෙල්ලා හිටපු ලෝකෙ හිතිය හැකියි. දැන් ඒ ලෝකෙ තියනවනම් ඇයි නැත්තේ? මං මේ දැක්කෙ නැතුවට උන් එහේ දුක් විඳිනවා නේ” ඒ වේදනාව එතනත් තියෙනවා. දයානුකම්පාව මුල් කරගත් එකක් ඒක, ඒකත් මහ වදයක්. ඒකමයි කොච්චර හරි එන්නේ. “මං බේරුනාට කීදෙනෙක් අමාරුවෙ ද?” ඔය අදහසම එනවා.

 

    දැන් අපි හිතමුකො යම්කිසි ආකාරයකට, මේ කාලේ හැටියට, මේ කොටි ප්‍රශ්නයක් කියලා. නැත්තං සුනාමියක් ආවා. ඔය ජාතියේ එකකින් බේරිල පැනගත්තා. පැනගත්තට පස්සේ කල්පනා වෙන්නේ නැද්ද තමන්ගේ හිතවත් පරපුරට වෙච්ච දේ ගැන? විශාල කම්පණයක් නේ ජිවත් වෙලා හිටියට. සමහර වෙලාවට එයාලට හිතෙනවා “අර එක්කලා මාත් මැරිල ගියා නම්, මීට වඩා හොඳයිනේ”. හරි වේදනා විඳ විඳ ඒකම මතක් වෙනවා. ඒ වුණාට අපි හිතන විදිහට බ්‍රහ්මයෝ සැපෙන් ඉන්නවා කිව්වට, “බ්‍රහ්මාදි මාතා පිතරෝ” දැන් අම්ම තාත්තත් ඉන්නේ බ්‍රහ්ම ස්වභාවය කියලා. අම්මා තාත්තට දරුවෝ වගේ, බ්‍රහ්මත්වයට පත් වූ කෙනාට දයානුකම්පාවක් ලෝක සත්වයින් කෙරෙහි ඇති වෙනවා. ඒ ඇති වෙනකොට විශාල කම්පණයක්, මේ ලෝක සත්වයෝ යථාර්ථය දන්නේ නැහැනේ. තේරුම් ගන්නේ නෑ, පව් කරලා දුක් විඳිනවා. ඉතින් ඒ දුක දකින කොට කෑගහනවා දකිනකොට දිවැසට පේනවා, දිව කනට ඇහෙනවා. මහා කම්පණයක්. ඉවසාගෙන දරාගෙන ඉන්නවා, “මොනව කරන්නද මම ඉතිං” ඒ හැඟීමෙන්.

 

(ශ්‍රාවක මහතෙක්): සතර අපාය පේනවා නේද?

 

(ස්වාමීන් වහන්සේ): පේනවනෙ, ඒකනෙ වැඩේ! බ්‍රහ්ම දිවැසයි දිව කනයි කියන්නේ කොච්චර පේන එකක්ද, ඉතින් ඒ තරම් පේනවා.

 

(ශ්‍රාවක මහතෙක්): අනිත් එක ඒක විඳ විඳ කල්ප ගානක් ඉන්නත් ඕනේ.

 

(ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි කියන්නේ. ඊට පස්සෙයි තේරෙන්නෙ, “හොඳයි කියන මෝඩකමට නේ ආවෙ, මගේ තිබිච්ච ගොන් කමට, මගේ අවිද්‍යාවට මං මේක හොඳයි කියලා හිතාගෙන ඇවිදිල්ලානේ මට මේක විදින්න වුනේ!” බල බලා. ඔය අදහස එන්නේ. රූප රාගයක් තියෙනවා නම් ඒකත් ඉවරයි. අන්න එතකොට අරකේ (අරූප රාගයේ) හිටියනම් නොබැලුවත්, නොදැක්කත්, ඇහුවෙ නැතත්, දන්නවා හිත තියෙනවා කියලා. “කෝටි ගණනක් අප්‍රමාණ සත්ව කොටසක් දැන් මේ මොහොතේ කොච්චර දුක් විඳිනවද වටහා ගන්න බැරිකම නිසා. කිව්වට තේරුම් ගන්න බැරිකම නිසා. අනේ එබඳු එකක් නේද මේ ලෝකේ කියන්නේ” කියලා. ලෝකය මෙනෙහි වෙනවා. ලෝකෙ මෙනෙහි වුණත් ඒක මහ වදයක් වෙනවා. “ඒ ඉන්න හින්දනෙ දැනුවත්. දැනුවත්ව මොකටද? මම ඉන්නේ ඕව අහන්න ද? ඕක හිතහිතා ඉන්න ද? ඉඳලා වෙන මොනවා කර ගන්නද? මට ඉඳීමෙන් වැඩක් නැහැ. ජීවිතේකින් මට වැඩක් නැහැ. ජීවිතේ කොහේ පවත්වන්න වත්” අරූපරාගෙත් ඉවරයි. දැන් තුන් භවයට උප්පත්ති පටිලාභ කර්ම ඉවරයි. භව පටිලාභ වශයෙන් මේ ඉන්න භව යම් තරමක් තියෙනවා නම්, ඒක තියෙනවා. ඒක මරන මොහොතේ චුත වෙනකොට හෝ වෙන “අන්තරා පරිනිබ්බායි” කියන තත්වයකදී හෝ ඒ දෙකකින් ඉවර වෙනවා. කොහෙවත් උප්පත්තියකට අත් භවයක් ලබන්නේ නැහැ.

 

(ශ්‍රාවක මහතෙක්): ඒ අවස්ථාවේදී ස්වාමීන් වහන්ස, මේ ඉන්න කයෙන් ම ඉන්නවා කියන එක නෙමේද?

 

(ස්වාමීන් වහන්සේ): ඔව්, අන්න එහෙම නේ ඉන්නේ, මේ රූපයම. අර ගන්ධබ්බ තත්ත්වයේ ඉන්නවා වගේ. ඒ වගේ අන්තරා පරිනිබ්බායි වෙන අය ඉන්නේ එතන. එතන ඉඳලා මේ අත්බැවට හිමි කාලසීමාව ඉවර වෙනකොට මතු අත්බැවට උත්පත්ති පටිලාභය නැති නිසා අවසානයේ කෙළවර වෙනවා පිරිනිවන් පාලා. ඉතින් අර තරම් කාලයක් ඉන්න ඕනෙ නැහැ, ඊට වඩා විශාල සහනයක් මේක. ඕනානම් අවුරුදු දාහක් ඉඳියි, නැත්තං හත් අට සීයක් ඉඳියි, සීයක් දෙසීයක් ඉඳියි. මේක තියෙන කාලෙ ඉවර වෙනකොට ඒක ඉවරයි. එහෙනම් ඔය අස්සෙ මාන, උද්දච්ච, අවිජ්ජා බින්දොත් අරිහත් ඵලයකට, එතනම ඉවරයි, අතුරුදහන්! ඒකයි ස්වභාවය.

 

~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~

 

දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://www.waharaka.com/listen/Sadaham-Sakachchaa-01-02

 

To Top