කාම ලෝක අනාථයි – කර්මස්ථාන භාවනා විග්‍රහය

කාම ලෝක අනාථයි
10 සංයුක්ත තැටියභාවනාවිදර්ශනාව

දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)

කාම ලෝක අනාථයි - භාවනා විග්‍රහය

 

{0:00:00} : පංචස්කන්ධ භාවනා කර්මස්ථානය – කාම ලෝක අනාථයි

 

(මෙම දේශනාව පටිගත කිරීමේදී, පළවෙනි කර්මස්ථාන විග්‍රහය වන, රූප ලෝක අනාථයි කොටස ගිලිහී ඇත).   

“දුර වේවා, ළඟ වේවා, පේන වේවා, නොපෙනෙන වේවා, සියුම් වේවා, ඝන වේවා, වේදනාස්කන්ධය යැයි යමක් යම් තැනක වීද, යම් තැනක වෙයිද, යම් තැනක වන්නේද, කාලත්‍රයට, ඒ සියල්ලම බැලුවනම් ගන්න දෙයක් නෑ! ඒකෙ මොකක්ද තියෙන්නෙ? ඒ සෑම දෙයක්ම හටගත්තනම්, විපරිණාමයට පත්වෙනව, වැනසෙනව, ධර්මතාවය ඒකයි. එබඳු වේදනා ස්කන්ධයක් පෙර හටගත්තේද, විපරිණාමයට පත්වුනා, වැනසුනා. එබඳු වේදනා ස්කන්ධයක් දැන් හටගනීද, විපරිණාමයට පත්වෙයි, වැනසෙයි. එබඳු වේදනා ස්කන්ධයක්, මතු කාලයක හෝ හටගන්නේද, විපරිණාමයට පත්වන්නේමය, වැනසෙන්නේමය, මේ ධර්මතාවයම බොරුවෙලා නෑ, වෙන්නෙත් නෑ, මේකයි සත්‍යතාවය”. එහෙනම් එබඳු වන්නාවූ ධර්මතාවයක්, යම්කිසි කෙනෙක් කැමති සේ නොපවතින, ස්ථිරව පවතින්නැති යමක් ඇත්නම්, ඒ “වේදනාස්කන්ධය ඉච්ඡ නෑ; අනිච්ඡයි”.

 

එතකොට, එබඳුවන්නාවූ ඒ වේදනා අනිච්ඡ නම්, “යදනිච්චං තං දුක්ඛං. ඒක කැමති සේ පවතින්නැති නිසාම, ඒක දුකයි. එහෙනම්, ඒ වේදනාස්කන්ධය, කැමති සේ පවතින්නැති නිසාම, දුකයි. 

 

එහෙනම්, “යං දුක්ඛං තද නත්ථා, ඒක දුක නම්, කැමති සේ පවතින්නෙ නැත්නම්, දුක නම්, ඒක ආත්මයි කියල ගන්න දෙයක් තියෙනවද කියල බලපුවහම පේනව, ඒකෙ ගියොත් නම්, අනාථයි. එහෙනම්, “වේදනා ස්කන්ධයක් කියනවනම්, අනාථයි”. 

 

වේදනාස්කන්ධය, ලෝකයේ එක කොටසක්. කොටස් පහකට බෙදල, රූපස්කන්ධ, වේදනාස්කන්ධ, ආදී පංචස්කන්ධයක් වූ ලෝකයෙ, තවත් ලෝක කොටසක් තමයි වේදනා කොටස; වේදනා ලෝක. එහෙනම්, වේදනා ලෝකවල යථාර්තය දැක්ක. එහෙනම්, වේදනා ලෝක අනාථයිනෙ? අපිට අල්ලන්න දෙයක් තියෙනවද ඒකෙ, අනාථ වස්තූන්ගෙ? එහෙනම්, “වේදනා ලෝක අනාථයි”, අන්න දෙවෙනි කර්මස්ථානයට, දෙවෙනි කොටස. 

 

රූප ලෝක අනාථයි… 

වේදනා ලෝක අනාථයි… 

 

තව කොටසක් අපිට ආව, කැටිකරගත්ත සාරාංශය. ඒ රූප මුල්කරගෙන හටගත්ත යම්තාක් රූප සංඥා ඇත්ද, ශබ්ධ රූපයන්ගේ – ශබ්ධ සංඥා ඇත්ද, ගන්ධ රූපයන්ගේ – ගන්ධ සංඥා, රස රූපයන්ගේ – රස සංඥා, පොට්ඨබ්බ රූපයන්ගේ – පොට්ඨබ්බ සංඥා, මේ ආදී සියල්ලම අරගත්තහම, මෙන්න මේ දුර වේවා, ළඟ වේවා, පේන වේවා, නොපෙනෙන වේවා, සියුම් වේවා, ඝන වේවා, අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා, යම් “සංඥාස්කන්ධ” යැයි යමක් වීද, යමක් වෙයිද, යමක් වන්නේද, මෙන්න මේ සියල්ලම හටගත්තා නම්, විපරිණාමයට පත්වෙනව, වැනසිලා යනව.

 

හටගත්ත දෙයක් වැනසෙනවනම්, කැමති සේ පවතින්නෙ නෑ. කැමති සේ පවතින්නෙ නැත්නම්, කැමති සේ පවතින් නැත්තාවූ සංඥාස්කන්ධයෝ, කැමති සේ නොපවතින නිසාම, ඒ හේතුවෙන්ම දුකයි. එහෙනම්, එබඳු වන්නාවූ කැමති සේ පැවැත්මක් නැත්නම්, දුක් කන්දරාවක් බවට පත්වෙන සංඥාස්කන්ධයක්, මමය, මගේය, මගේ ආත්මය, කියල කියන්න දෙයක් නෑ, ඒක අනාථයි. එහෙනම්, සංඥාස්කන්ධය අනාථ නම්, “සංඥා ලෝක අනාථයි”

 

රූප ලෝක අනාථයි… 

වේදනා ලෝක අනාථයි…

සංඥා ලෝක අනාථයි…  

කියන වචන අවස්ථා තුනක් ආව කැටිකරලා. 

 

ප්‍රියයි, මනාපයි, යහපතයි කියන මේ මුලාවට බැහැගෙන, ඒවා සකස්කරගන්න, ඒවා රැස්කරගන්න, ඒවා පවත්වාගන්න යම් සිතිවිල්ලක්, ක්‍රියාවක්, වචනයක් නගනවනම්, මෙන්න මේවට කියනව “සංඛාර”. දුර වේවා, ළඟ වේවා, පේන වේවා, නොපෙනෙන වේවා, සියුම් වේවා, ඝන වේවා, අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා, සංඛාරස්කන්ධ යැයි යමක් යම්තැනක වීද, යමක් යම්තැනක වෙයිද, යමක් යම්තැනක මතු වන්නේද, මෙන්න මේ සියලුම සංඛාරස්කන්ධයෝ ඇත්නම්, හටගැනීමක් තිබුනනම්, විපරිණාමයට පත්වෙනව, වැනසෙනව, ස්වභාවය ඒකයි. එහෙනම් එබඳු වන්නාවූ සංඛාරස්කන්ධයෝ ප්‍රියයි කිව්වනම්, මනාපයි කිව්වනම්, යහපතයි කිව්වනම්, ඒ බලාපොරොත්තුව හටගත්ත දේ විපරිණාමයට පත්වෙලා වැනසීම අපිට වලකන්න බැරි ධර්මතාවයක් බවත් හැබෑනම්, ඒක ඉච්ඡ සේ පවතින්නෙ නැහැ; අනිච්ඡයි. ඉච්ඡ සේ පවතින්නැති නිසා, කැමති සේ පවතින්නැති නිසා මොකද වෙන්නෙ? ඒකාන්තයෙන්, ඒක දුක් වටකරල තියනවා කියන එක, සක් සුදක් සේ මෙතන තියෙනව, ඒක දුකෙන් පිරිල තියෙන්නෙ. කැමති සේ පැවැත්මකුත් නැත්නම්, දුකෙන් පිරිලනම් තියෙන්නෙ, එබඳු වන්නාවූ ඒ සංඛාරස්කන්ධයෝ, මමයි කියල ගන්න, මගෙයි කියල ගන්න, මගෙ ආත්මයයි කියල ගන්න වටිනා දෙයක් නෑ. එහෙනම් මොකද කරන්නෙ? එතන අල්ලන්න ගිය කෙනා, අනාථයි. එහෙනම් සංඛාරස්කන්ධයට කිව්ව, සංඛාර ලෝක; “සංඛාර ලෝක අනාථයි”.      

 

රූප ලෝක අනාථයි… 

වේදනා ලෝක අනාථයි…

සංඥා ලෝක අනාථයි…  

සංඛාර ලෝක අනාථයි…  

 

එහෙනම් ඔය සියල්ලම මොකේද පිහිටියෙ? ඒ ඒ දේට හේතුකාරක වන්නාවූ යම්කිසි ගති චිත්තයක් තිබුනද, ඒ ඒ ගතියට අනුකූල චිත්තයක පිහිටමින්, ඒවා ඒ ඒ අවස්ථාවේ ක්‍රියාත්මක උනා. එහෙනම් ඒ ඒ චිත්තයත්, ඒ ඒ ගතියෙන් හටගන්නවනම්, ඒ ගතිය නැති වෙනකොට, වෙනස් වෙනකොට, ඒ චිත්තයත් ඒ ආකාරවම පවතින්නෙ නැහැ, ඒකත් වෙනස් වෙනවා. එහෙනම් හටගත්ත යම් චිත්තයක් ඇත්ද, දුර වේවා, ළඟ වේවා, පේන වේවා, නොපෙනෙන වේවා, සියුම් වේවා, ඝන වේවා, අතීත වේවා, වර්තමාන වේවා, අනාගත වේවා, යම් විඤාණය යැයි යමක් යම්තැනක පෙර වීද, ඒ සියල්ලම ගෙවුනා, විනාශ උනා. එබඳු දෙයක් දැන් වෙයිද, ඒකාන්තයෙන්ම ගෙවී යනව, විනාශවී යනව. හටගත්තනම් ගෙවී ගියා, විනාශ උනා. එබඳු වන්නාවූ විඤ්ඤාණයෝ මතු හටගනීද, ඒ සියල්ලම හටගත්තනම්, ඒකාන්තයෙන් වැනසිලා යනව, නැත්නම් ගෙවිල යනව, විනාශ වෙලා යනව. ඒ ධර්මතාවය ඉක්මෙව්වේ නෑ. එබඳු වන්නාවූ විඤාණස්කන්ධයෝ යම්කිසි කෙනෙක් අරගත්තනම්, ඒකාන්තයෙන්ම ඒ නිච්ඡ නැති දෙයක්, කැමති සේ නොපවතින දෙයක් නිසා, ඒක ඒවාගේම දුක ගෙනදෙන දෙයක් වෙනව, ආත්මාදී වශයෙන් මමය, මගේය, මගේ ආත්මයයි කියල ගන්න, විඤ්ඤාණය කියන එකේ දෙයක් නෑ, කියල දැනගත්තහම, විඤාණයේ ආත්මාදී වශයෙන් නෙමෙයි ඒකෙ තියෙන්නෙ, අනාථයි කියල දකිනවා. දැන් “විඤාණයත් අනාථ” නම්, දැන් අපි අනාථ කාරණා පහක් දැක්කා. 

 

රූප ලෝක අනාථයි… 

වේදනා ලෝක අනාථයි…

සංඥා ලෝක අනාථයි…

සංඛාර ලෝක අනාථයි…

විඤාණ ලෝක අනාථයි…

(ස්වාමින් වහන්සේ මේ කර්මස්ථානය තෙවරක් සජ්ඣායනය කරති.)

 

ඔයින් පිටස්තර ලෝකයක් නෑ, ඔන්න ලෝකය දැනගත්තා. ලෝකය හටගන්න හේතුව දැනගත්තා, අවිද්‍යා, තෘෂ්ණාවන්ගේ බැඳීමේ හැටි. එහි අනාථ තත්වය දැකල සිහිකිරීම, මාර්ගය බව දැනගත්තා. ඒ ආර්ය මාර්ගය පූර්ණය කරගෙන ගියාම, ආර්ය ඵලය වශයෙන් විමුක්තිය ලැබෙනවා. 

 

යම් දවසක රූපයෙන් වෙන්වුනාද, වේදනාවෙන් වෙන්වුනාද, සංඥාව පිලිබඳ බලාපොරොත්තු වෙන්වුනාද, සංඛාර බලාපොරොත්තු වෙන්වුනාද, විඤාණ බලාපොරොත්තු වෙන්වුනාද, බලාපොරොත්තු වෙන්වෙච්ච තැන, මතු හටගන්න හේතුව නැතුව ගියා. එහෙනම් බලාපොරොත්තුව, මතු හටගන්නන්න හේතුවෙච්ච ශක්තිය නිපදවෙව්ව. රූප පැවැත්වීමේ බලාපොරොත්තු, රූපස්කන්ධයේ බලාපොරොත්තු නැති උනානම්, වේදනාවේ ස්කන්ධයේ බලාපොරොත්තු නැති උනානම්, සංඥාස්කන්ධයේ, සංඛාරස්කන්ධයේ, විඤ්ඤාණස්කන්ධයේ බලාපොරොත්තු නැති උනානම්, සත්ව, පුද්ගල, ද්‍රව්‍ය වස්තු සියල්ලේම බලාපොරොත්තු ඉවරයි. එහෙනම් මොනවා කරන්නද? මොනවා කියන්නද? මොනවා හිතන්නද? බලාපොරොත්තු සියල්ල අත්හැරල ගියාට පස්සෙ, “මමය, මගේය, මගේ ආත්මය” කියල බැඳුනු තැනකුත් නෑ, අනාථය දැක්ක. අනාථය වැහිල තිබිච්ච නිසා, නාථ හැටියට ගත්ත නිසා තමයි, මුලාවට පත් උනේ. සත්‍යය ධර්මයට අනුකූලව ධර්ම මාර්ගය වැඩුව, සතියෙන් යුක්තව සතිය පිහිටෙව්ව, මොකේද? රූපය පිළිබඳව නියම සතියෙන් දැක්ක, අනාථයි කියල. 

 

වේදනාව, සංඥාව, සංඛාර, විඤාණ අනාථයි කියල දැක්කනම්, “අනාථ – නාථ” වෙන තැනට එනවා අන්තිමට. අනාථයන්ට නාථත්වය ගෙනත් දුන්නාවූ බුදුපියාණන් වහන්සේට අනාථයට නාථ උන නිසා; “අනාථ-නාථ” කිව්වා. නාතත්වය, බුද්ධත්වය තුලයි. එහෙනම් “බුද්ධ” කිව්වෙ මොකක්ද? මෙන්න මේ අවබෝධය අරගෙන, බිහිකිරීම උදුරා දැම්ම, ආයෙ මතු බිහිකිරීමක් නැහැ. 

 

බු+උධ්ධ කියන්නෙ, “භවය උදුරා හැරිය” කියන එකයි, බුද්ධ උනා. අනාථයි කියල දැනගත්තනම්, දුක දැකලත් ඉවරයි. අනාථත්වයේ පැවැත්මක් ඇත්ද, දුකට හේතුවයි කියල දැකලත් ඉවරයි. අනාථත්වයේ අත්හැරීම, දුක නිදහස්වීම කියල දැකලත් ඉවරයි. අනාථත්වය අත්හරින්න මොකද කරන්න ඕනෙ? අනාථයි කියන තත්වයම සිහිකරල බලන්න ඕනෙ. අනාථ බවම සිහිකරන්න ඕනෙ. එහෙනම් ඒක මාර්ගයයි. චතුරාර්ය සත්‍යම ඔතන දැකල ඉවරයි. “අරිහත් ඵලයෙන් කෙලවර වෙන භාවනාවක්”  

 

රූප ලෝක අනාථයි…

වේදනා ලෝක අනාථයි…

සංඥා ලෝක අනාථයි…

සංඛාර ලෝක අනාථයි…

විඤ්ඤාණ ලෝක අනාථයි…

 

දවස ගානෙ සිහිකරගෙන, සිහිකරගෙන යන්න, ඔන්න භාවනාවක්. ඔන්න “පංචස්කන්ධ භාවනාව”. 

 

ඉතින් “රූපං අනිච්චං, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංඛාරා අනිච්චා, විඤාණං අනිච්චන්ති”, විඤාණං අනිච්චං; අනුලෝම, ප්‍රතිලෝම කරනවා. කියල, කියල අන්තිමට බලනකොට, සිවුරත් දාල යන්න යනව, නැත්නම් උපාසක කමත් අත්ඇරල ටික දවසක් ඉන්නවා, මොකද? 

 

ධම්මෝච යථා ධම්මෝ යථා අත්ථෝ, බැස්සෙ නෑ එතෙන්ට. ධර්මයේ අර්ථයට බැස්සෙ නෑ. “තථා පටිපජ්ජි තබ්බන්ති”, ඒ අනුව පිළිපැද්දෙ නෑ. වචනෙ කිය කිය හිටිය, “පදපරම” උනා. පදය පරම කරගෙන කිය කිය හිටියට, හිත වැඩෙන්නැති නිසා, අදත් හිත වැඩෙන්නැති වෙන්න හේතු තියෙනවා. “අනිත්‍යයි, අනිත්‍යයි” කිව්වට බෑ, ඉච්ඡ නැති බව, කැමති සේ නැති බව දකින්න ඕන. ලෝක ධර්මතාවයේ ඇත්ත ඒකයි. මොනම දෙයක්වත් කැමති සේ පවත්වන්න බෑ. ඕක දැක්කනම් අපි දඟලවනද ඊට පස්සෙ? 

 

ටික දවසක් ඕක වැටහිලා ගියහම, “ලෝකෙ කියන්නෙ, කැමති සේ පවත්වන්න බැරි දෙයක්”, කියල දැනගත්තනම්, ගැටුමක් තියෙනවද? ගැටුම එතනම ඉවරයි. මොනවට ගැටෙන්නද? කැමති සේ පවත්වන්න පුළුවන් ලෝකයක්, කොහෙද තියෙන්නෙ? දැකල ඉවරයිනෙ. ඉතින් “කැමති සේ පවත්වන්න බැරි දේ, දුක බව දැනගත්තනම් කරන්න තියෙන එකම දේ, ඕක අත්ඇරල, නිකන් ඉන්න එකනෙ, මිදෙන එකනෙ, නොඇලෙන එකනෙ”? දැකල ඉවරයි, ඒ ටිකත්. බලා ඉන්දැද්දි හිත වැඩෙනවා. දැන් මේ අරගත්ත ටිකම අරගෙන, ඔය පංචස්කන්ධයම නානාප්‍රකාරයෙන් හිටිනව ලෝක තුනක. කාමයන් ඇසුරු කරගෙන හිටියොත් මොකද වෙන්නෙ? කාම ලෝකයෙ, ඔය පංචස්කන්ධය. කාම ලෝකෙ අත් ඇරල, ධ්‍යාන වඩල, රූප ලෝකෙට ගියහම, ඇසුරු කරගෙන ඉන්නව පංචස්කන්ධයක් රූප ලෝකෙ. ඒත් පංචස්කන්ධයනෙ. ඔය ජාතියෙ එකමනෙ. 

 

රූප ලෝක අනාථයි…

වේදනා ලෝක අනාථයි…

සංඥා ලෝක අනාථයි…

සංඛාර ලෝක අනාථයි… 

විඤාණ ලෝක අනාථයි… 

 

{0:10:33} : කාම ලෝක අනාථයි, රූප ලෝක, අරූප ලෝක අනාථයි – සවිස්තරව…

 

එහෙනම් රූප ලෝකෙ තියෙනවද අනාථ නැති තැනක්? මනෝමය වශයෙන් ගන්නාවූ රූපයක බැඳිල, වේදනාස්කන්ධයයි, සංඥාස්කන්ධයයි, සංඛාරස්කන්ධයයි, විඤ්ඤාණස්කන්ධයයි, අරූප ලෝකෙ. එහෙනම් එතන තියෙන්නෙත් ඔය ටිකමයි. ඒක ඔක්කොම අනාථයි. එහෙනම් කැටි කරපු තවත් කර්මස්ථානයක් තියෙනවා. ඔන්න ඔබ වහන්සේලාට වඩන්න තියෙන ලේසි එකක්…

 

කාම ලෝක අනාථයි…

රූප ලෝක අනාථයි…

අරූප ලෝක අනාථයි… 

ඔන්න කර්මස්ථානය…

(ස්වාමීන් වහන්සේ මේ කර්මස්ථානය දෙවරක් සජ්ඣායනා කරති.)

කොහෙ අල්ලන්නද? කාම ලෝකත් අනාථයි, රූප ලෝකත් අනාථයි, අරූප ලෝකත් අනාථයි. ලෝකෙ කියන තැන, ඔය ස්කන්ධ පහේ ක්‍රියාකාරීත්වයම, ලෝකෙ තියෙනවා. එහෙනම්, මේ කාම ලෝකයේ කාම වස්තූන් අල්ලගෙන, කාම වස්තූන් පස්සෙ ගිහිල්ල, ඒව අනාථ නම්, මං මොනව කරන්නද? කවදාවත් කාම වස්තුන්ගෙන් මට පිළිසරණක් හම්බෙන්නෙ නෑනෙ, අනාථ වස්තූන්. කාම ලෝක අනාථයි, කාම ලෝක අනාථයි කියනකොට, “රූප කාම, ශබ්ධ කාම, ගන්ධ කාම, රස කාම, පොට්ඨබ්බ කාම, ධර්ම කාම, කියන කාම ලෝකයේ යම් කාමයක්, කාම වස්තුවන්ගෙන් ඇසුරු කලාද, අනාථ දෙයක්නෙ මං මේ කරන්නෙ”, කියල හිතෙන්න පටන්ගන්නවා. කාම ලෝකෙන් මිදී යනව. 

 

ඝෘධි බලය ගැන හිතක් තිබුන නම්, දිවැස දිව-කන හරි, හරි ආසාකරන වටිනා දෙයක් කියල හැඟීමක් තිබුනනම්, රූප ලෝකයයි, රූප ලෝකයේ තිබෙන්නා වූ කෑලිවලයි, අනාථ තත්වය දකිනකොට, රූප ලෝක අනාථයි. “එහෙනම් රූප ලෝකෙ තියෙන ඒව, මට මොනව කරගන්නද? මට දිවැසින් ඇති වැඩකුත් නෑ, දිව කණකින් ඇති වැඩකුත් නෑ, පරසිත් දකින්න වැඩකුත් නෑ, මට එකකින්වත් ඇති වැඩක් නෑ…” හැබැයි වැඩක් නෑ කිව්වට, නැතිවෙන්නෑ. වැඩක් ඇතියි කියල අල්ලගන්න ගිය තැන තමයි, තෘෂ්ණාවෙන් බැඳෙන්නෙ, එතකොට තමයි මුලාවට පත්වෙන්නෙ. මේව ඔක්කොම අනාථයි කියල දැනගත්තට පස්සෙ, අත්හැරියට පස්සෙ, මොකද වෙන්නෙ? අල පත උඩ තියෙන දිය බිංදුව වාගෙ, දිලිසෙන්න පටන් ගන්නවා. අල්ලගත්තෙ නැතුවහම තමයි, ඇත්ත පේන්න පටන්ගන්නෙ. දිවැසත්, දිවකනත් සියල්ලම නිදහස්ව ලබන්නෙ, අත් ඇරුනට පස්සෙ. තියෙනව, මට මොකටද? මොනවා කරගන්නද ඕකෙන්? අන්න ඔතෙන්ට එන්න ඕනෙ. ඔතෙන්ට එන්න ඉස්සෙල්ල වලි කන්න ගියොත් දිවැස ගන්න, කවදාවත් හම්බවෙන්නෙ නැහැ. එතකොට වැහෙනවා. මොකක්ද කරන්න ඕන?

 

“කාම ලෝක අනාථයි, රූප ලෝක අනාථයි, අරූප ලෝක අනාථයි”, තුන් ලෝකෙම, නාථ තැනක් නෑ. තුන් ලෝකෙම අනාථ නම්, අනාථත්වය දකින්න පටන් ගන්නව, මොකද වෙන්නෙ? තුන් ලෝකයේ ඇති සියලුම සංඛාරයන්ගේ, අනත්ථ සංඥාව වැඩෙනවා. “සබ්බ සංඛාරේසු අනත්ථ සංඥා, අනිච්ච සංඥා”. කැමැත්තෙන් කරන්න එකක්වත් නෑ, මේකෙ. “කැමැත්තෙන් අල්ලගන්න, රූප ලෝකෙත් නෑ, කාම ලෝකෙත්, රූප ලෝකෙත්, අරූප ලෝකෙත් තුනේම නෑ මට. ලෝකෙ ඇතුලෙ කැමැත්තෙන් කරන්න එකම දෙයක්වත් නෑ. එහෙනම් මොනව කරන්නද?” මෙන්න මෙතෙන්ට වැටෙනවා. 

 

කාම ලෝක අනාථයි…

රූප ලෝක අනාථයි…

අරූප ලෝක අනාථයි…

කාම ලෝක අනාථයි…

රූප ලෝක අනාථයි…

අරූප ලෝක අනාථයි…

 

මේ කර්මස්ථානය වඩන්න ඕනෙ. අරිහත්වයට පත්වෙනකන්ම මාර්ගය වැඩෙනව. මීළඟට මොකක්ද කියල බලන්න දෙයක් නෑ, වැඩුනහම වැඩුනු තැන පේනවා. මොකක්ද වෙන්නෙ? ඉස්සෙල්ලාම ඕලාරික වූ කාම කොටස් ටික, ගෙවිල යන්න පටන්ගන්නව. අපි “කාම ලෝක අනාථයි, රූප ලෝක අනාථයි, අරූප ලෝක අනාථයි”, සිහි කරගෙන යනවා. අනාථ කියන වචනය, හොඳ සිංහල වචනයක් නිසා හොඳට තේරෙනව, අනාථ වෙනවා කියන එක. ඔහු අනාථ වෙලා. “අනාථ වෙලා” කියන වචනය කියනකොට පේනව, මොනම පිළිසරණක්වත් නැති, මහා අභාග්‍ය සම්පන්නත්වයට වැටුන කියන එකයි, මේ අනාථ කියන වචනයෙන් එන්නේ. කාම ලෝකයේ සැරිසරන්න ගියොත් ඔහුට සිද්ධ වෙන්නෙ, ඔන්න ඔය අනාථත්වයයි. කවදාහරි අනාථයා මිසක්, බේරෙන්නෙ හම්බවෙන්නෙ නැහැ. අනාථ කියන වචනයේ අදහස හොදට එන්න පටන් ගන්නවා, සිහල ලකුණු ඇති අයට, සිහල අදහස එනව, සිහල වචනයෙන්. දැන් කාම ලෝක අනාථයි, රූප ලෝක අනාථයි, අරූප ලෝක අනාථයි. 

 

අනාථ ලෝකය තුල, මොන නාථ තත්වයක්ද? අනාථ ලෝකයක් තුල නාථ තත්වයක් නැත්නම්, නාථ තත්වය කියන්නෙ මොකක්ද? අනාථ ලෝකයෙන් මිදිච්ච දාට, අන්න අල්ලගන්න දෙයක් නැති, නාථත්වය දකිනවා; නිවන දකිනවා. මෙන්න මෙතෙන්ට ආවට පස්සෙ මොකද වෙන්නෙ? නිදහස් භාවය ලැබිල ඉවරයි. ආයි ඊළගට වඩන්න ඕනෙ මොකක්ද කියල, අහන්න දෙයක් නෑ. අනාථය දකින්න, දකින්න, එකින් එක නිදහස් වෙලා, කාම අදහස් වලින් නිදහස් වෙනව. කාම බැඳීම් වලින් නිදහස් වෙලා යනව, වටිනා දෙයක් නෑ, කාමය තුල කියල දකිනවා. රූප ලෝකයයි යම් තැනක යම් රූපාවචර දැහැනක් ඇත්ද, බැඳීමක් ඇත්ද, ධ්‍යාන චිත්තයේවත් බැඳීමක් නැතුව යනවා. බැඳීම නැති වෙනකොට නිකන්ම ලිස්සල උඩට යනවා. ආයි පාතට එන්න දෙයක් නෑ, පාත ඒව ඔක්කොම බලල අත්ඇරල ඉවරයිනේ. එහෙනම් ඊළගට ඉතුරු උනේ, අරූප ටික. ඒකත් අනාථයි කියල සිහිකරගෙන යනකොට, ඒකත් ලිස්සල උඩට ගියා, මුදුනටම ගියා. ආයි කිසිම තැනක “ඊළගට මං මොකක්ද කරන්න ඕනෙ”, කියල අහන්න දෙයක් නෑ. කර්මස්ථානය ඔතනම තියෙනවා. අරිහත්වයට යනකං වඩන එකයි තියෙන්නෙ. 

 

කාම ලෝක අනාථයි…

රූප ලෝක අනාථයි…

අරූප ලෝක අනාථයි…

 

රූප ලෝකය අනාථයි…

වේදනා ලෝක අනාථයි…

සංඥා ලෝක අනාථයි…

සංඛාර ලෝක අනාථයි…

විඤාණ ලෝක අනාථයි…

 

පහකට බෙදල ගන්නව, තමන්ට ගැලපෙන එක ගන්නව. 

කොටස් තුනකින් කර්මස්ථානය ගන්නව; කාම ලෝක අනාථයි, රූප ලෝක අනාථයි, අරූප ලෝක අනාථයි. 

 

කොටස් පහකින් කර්මස්ථානය ඕන්නම්; රූප ලෝක අනාථයි, වේදනා ලෝක අනාථයි, සංඥා ලෝක අනාථයි, සංඛාර ලෝක අනාථයි, විඤ්ඤාණ ලෝක අනාථයි. 

 

ඔය කොයි දෙකෙනුත් තමන්ට ගැලපෙන එක ගත්තහැකි. නිතරම යන එන කොට “සබ්බේ පි මේ ප්‍රියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති, සිහිකරන්න පටන්ගන්න. මොන ප්‍රිය මනාපයක් ලඟට කිට්ටුවෙලා ආවත්, එනකොටම කියනව, “සබ්බේ පි මේ ප්‍රියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ ති”. 

 

සින්දුවක් කියන්න එනව, කියවෙන්න එනව, “සබ්බේ පි මේ ප්‍රියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ ති”. මේ ප්‍රිය මනාපය නා නා භාවයට පත්වෙනව, විනාශයට පත්වෙනව, මේක වැඩක් ඇති එකක් නෙවෙයි, ගන්නව සිහිකරල.

 

සංඥා වශයෙන් ගන්නවනම්, ඒකත් දකිනව. “මේ රූපයක්… රූප ලෝක අනාථයි… රූප ලෝක අනාථයි…” රූප ලෝක අනාථයි…

 

යම්කිසි ආස්වාද වින්දනයක් ආව, “වේදනා ලෝක අනාථයි… වේදනා ලෝක අනාථයි… වේදනා ලෝක අනාථයි…” එදිනෙදා ඒ ඒ මොහොතෙ ගන්න ඒව. 

 

යම් රූප සංඥාවක් දැක්ක, මතකයට ආව, “සංඥා ලෝක අනාථයි… සංඥා ලෝක අනාථයි… සංඥා ලෝක අනාථයි…” 

 

හිතෙන්, කයෙන්, වචනයෙන්, ලෝභ, ද්වේෂ, මෝහ ආදියෙන් ගන්නාවූ සංඛාරයක් ක්‍රියාත්මක වෙන්න පටන් ගත්ත, සිතුවිල්ලක් එනවා. “සංඛාර ලෝක අනාථයි… සංඛාර ලෝක අනාථයි… සංඛාර ලෝක අනාථයි…”

 

යම් යම් තැනක් හිතට අරගෙන ඒ හිතෙන් ඉන්නව, උද්දාම වෙලා. “විඤාණ ලෝක අනාථයි… විඤාණ ලෝක අනාථයි… විඤාණ ලෝක අනාථයි…”

ඒ ඒ අවස්ථාවට එනකොට, ටක්ගාල ඔය වචනෙ එන්න පටන්ගන්නව. අනාථයෙන් මිදෙනකොට, ලෝකෙන්ම මිදුන, තුන් ලෝකයෙන්ම මිදුන. තුන් ලෝකයෙන් මිදුනට පස්සෙ, කරන්න තව ඉතිරිවෙන දෙයක් නැහැ. ඔක්කොම ඔය කර්මස්ථානයේ අඩංගු වෙලා තියෙනව. අරිහත්වයට පත්වෙනකන් තියෙන කර්මස්ථානයක්.

 

{0:17:28} : ප්‍රථම ධ්‍යානයටවත් පත්වෙනතුරු වැඩිය යුතු, “අවංකයි, පිරිසුදුයි, පවිත්‍රයි, ප්‍රභාශ්වරයි” කර්මස්ථානය

 

ඔතෙන්ට එන්න පලවෙනි කර්මස්ථානය, ප්‍රථමධ්‍යාන ආදී මූලික ධර්මයට එන එක තමයි, ඔය ටික දැක්කට පස්සෙ අපි දකිනව එක දෙයක්, දැන් අපි ලෝකය අඳුරගෙන ඉවරයි, “ලෝකය කියන්නෙ මේක නම්, එබඳු වන්නාවූ ලෝකයක් තුල, මොනව මගෙයි කියල ගන්නද, මොනව මමයි කියල ගන්නද, මොනව මගෙ ආත්මයයි කියල අල්ලන්නද? එහෙම දෙයක් නැති තැනක, සාරත්වයක් නැති තැනක, මං ප්‍රාණඝාත කර කර, සත්ව හිංසා කර කර, මොනව කරන්නද? ඇයි මං මොකටද එහෙම හොර මැර වංචා කරන්නෙ? මට මොනව කරන්නද? සුරාවෙන්, සූදුවෙන්, දුරාචාරයෙන්, මොන ආස්වාදයක් පස්සෙ මං යන්නද? මොන වටිනාකමක් ගන්නද? නොවටිනා ලෝකෙ. බොරුවෙන් අනුන් රවට්ටන්නෙ මොකටද? කේළමෙන් අනුන් බිඳවන්නෙ මොකටද? පරුෂ බවින් අනුන් සැඩ බවට පත්කරන්නෙ මොන එහෙකටද? ප්‍රලාපයෙන් ලෝකෙ රස්තියාදු වෙන, මුලා සහගත වන්නාවූ අදහස් කියමින්, කරමින් යන්නෙ මොකටද? මොනවට මං ලෝභ වෙන්නද? මං මොනවට තරහ වෙන්නද කව්රුවත් එක්ක. මං මොකට මෝඩ වැඩ කරන්නද? ඇත්ත මං දැකල තියෙනවනෙ. දස අකුසලය මං ළඟ නෑනෙ”, කියන අදහස පළමු වෙනවා. 

 

මෙන්න මේ වෙලාවෙදි, සීල විසුද්ධියෙන්, චිත්ත විසුද්ධිය නගාගන්න, චිත්ත විසුද්ධියට තමයි, මේ දිට්ඨි විසුද්ධිය ලැබෙන්නෙ. මේ භාවනා කර්මස්ථානය වඩනකොට, වැඩෙන්නෙ පටන්ගන්නෙ, චිත්ත විසුද්ධිය ආවට පස්සෙ. චිත්ත විසුද්ධියට ගෝචර ධර්මයක් තමයි, දැන් අපි දුන්න කර්මස්ථානය. දැන් ඔබ වහන්සේලාට කිව්වෙ මොකද? චිත්ත විසුද්ධියට ආපු නිසා. ප්‍රථමධ්‍යානය හෝ කමක් නෑ, ධ්‍යානය පලවෙනි ධ්‍යානය හෝ ආවනම්, එතැන් පටන් ඔය කර්මස්ථානය වඩන්න. ප්‍රථම ධ්‍යානයට එනකං වඩන්න එකක් තමයි දැන් කිව්වේ.

 

එහෙනම් මගේ “දස අකුසලය පිලිබඳ ක්‍රියා පටිපාටියක් මා ළඟ නැති නිසා”, මගෙ “ක්‍රියාවලිය – අවංකයි”. 

“මගෙ වචන, දස අකුසලය සඳහා සම්බන්ධ නෑ” දැන්. මගෙ “වචන – පිරිසුදුයි”. 

එහෙනම් “මගෙ සිතුවිලි එබඳු වන්නාවූ දස අකුසලයට සම්බන්ධ ක්‍රියාකාරීත්වයට පහල වෙන්නෑ, පිහිටන්නෑ”, “පවිත්‍රයි”. 

අවංකයි… පිරිසුදුයි… පවිත්‍රයි… 

මට මේ “ලෝකයේ, වටිනවා කියන තැනක් දකින්න නෑ, අල්ලන්න තැනක් නෑ, සරන්න”. ප්‍රභා+ අස්සරයි =  “ප්‍රභාශ්වරයි”. 

අවංකයි… පිරිසුදුයි… පවිත්‍රයි… ප්‍රභාශ්වරයි…

කියල චිත්ත විසුද්ධියක් නැගිල එනකං කරනවා. ඕන්නම් හතරවෙනි දැහැනට වෙනකංමත්, ඕකෙන් ගියහැකි. ඕන්නම් පළවෙනි දැහැනට විතර ආවට පස්සෙ, දැහැනක් ලැබිල තියෙනවනම්, චිත්ත සමාධිය තියෙනව, කාම ලෝක අනාථයි, රූප ලෝක අනාථයි, අරූප ලෝක අනාථයි, කියල ගත්තනම්, ඒකත් ඇති එතනින් පටන්ගෙන අරිහත්වයට පත්වෙනකන්. “එක දැහැනක් ලැබෙනකන්, අවංකයි, පිරිසුදුයි කියන තැනදි ඔතෙන්ට එනවා”, ඔය වචන හතරෙන්.  

 

මෙන්න මේ ටික දිගෙන් දිගටම කරගෙන යනකොට, වැඩිකල් යන්න ඉස්සෙල්ල, ප්‍රථම ධ්‍යානය ලැබෙනවාමයි. හේතු වාසනා තියෙනවනම්, ඒකාන්තයෙන්ම ලැබෙනවා. හැබැයි වැල් වටාරම් නම් පටලවගත්තොත් වැඩේ විනාශයි. අභිධර්මය පටලවා ගත්තොත් එහෙම ඔය වෙලාවෙදි හරියන්නෙ නෑ. ගැඹුරු නුවණට ගිහිල්ල, පංචස්කන්ධය විග්‍රහ කරන්න ගියොත් එහෙම ඔය වෙලාවෙදි, ඒව අයිති නෑ, ඒව පටලවන ඒව. ඒ එකක්වත් ඕන්නෑ, “දස අකුසලය මං ළඟ නෑ”, මොකද? මම අහපු බණ තුලින් මට තේරුණා, වැඩක් නෑ කියල ලෝකෙ. අහපු බණ වලින් තෝරගත්ත මිසක්, මං තව බණ කියන්න ගියෙ නැහැ. බණ විග්‍රහ කරන්නෙ පස්සෙ මං. අහපු බණ තුලයි, මං දැන් යන්නෙ. අහපු බණෙන් තේරුම්ගත්ත දේ තුලින්. තේරුම් අරන් පූර්ණ කරගත්ත දවසට, මාත් බණ කියන්නම්. එතකං මමත් අහපු බණ පස්සෙ යන්නෙ. අහපු බණ තේරුම් අරන් යන්නෙ, එතන ඉන්න ඕනෙ. ඒ සීමාව ඉක්මවන්නෑ.

 

එහෙනම්, “ලෝකයේ හටගත්ත සියල්ල විපරිණාමයට පත්වෙනව, වැනසෙනව කියල” මං අහන බණ වලින්, මං අහගත්ත. මොනව හටගත්තත්, වැනසිලා යනවා. මොන රූපයක් හටගත්තත්, මොන වින්දනයක් හටගත්තත්, මොන සංඥාවක්, මොන සංඛාරයක්, මොන විඤාණයක් හටගත්තත්, හටගත්තනම්, විපරිණාමයට පත්වෙනවා, වැනසෙනවා, මං ඒක අහල තියෙනවා, දැකල තියෙනවා, ඒක බොරු නෑ, සැක නෑ. 

 

එහෙනම්, “මොන ලෝකෙ, මොන දෙයක් හටගත්තත්, හටගත්තනම්, විපරිණාමයට පත්වෙනව, වැනසෙනව, ඒක මං අහලත් තියෙනවා, ඒක මං හිතල බලපුවහම, මට ඒක එහෙමයි කියල වැටහිලත් තියෙනවා”, එහෙනම් මට ඒ ගැන සැකත් නෑ. 

 

“හටගත්ත දෙයක් විපරිණාමයට පත්වෙලා යනව, වැනසිලා යනව, එහෙනම් එහෙම දෙයක් තුල කැමති සේ පවත්වන්න දෙයක් නෑ කියලත් මං අහල තියෙනවා”, ඒක බොරුවක් නෙමෙයි කියල, මට වැටහිලා තියෙනවා. 

 

“කැමති සේ පවත්වන්න බැරි දේ, දුක සහගතයි කිව්ව එකත්, බොරුවක් නෙමෙයි කියල වැටහිලා තියෙනව”. එහෙනම්, ඒව ඇසුරු කරන අයට, අනාථත්වය මිසක්, කවදාවත් නාථත්වයක් හෙවත් පිළිසරණක් නෑ කියලත්, මට තේරිලා තියෙනව, වැටහිලා තියෙනව, අහපු බණ තුලින්. 

 

එහෙනම් මට ඒ ටික හොඳටම ඇති. එහෙනම් මං මොකද කරන්නෙ? මට අල්ලන්න වටිනා දෙයක් නැති තැන, දස අකුසලය කරමින්, අසාධාරණය කරමින්, මට ඕව පස්සෙ යන්න ඕන කමක් නෑ, කියන එකත් දැන් මට තේරිල තියෙනවා, මගේ හිත පිහිටල තියෙන්නේ එහෙමයි. එහෙනම් මං “අවංකයි”. ඒ නිසා එතනම මගෙ වචන, “පිරිසිදුයි”. මගෙ සිතිවිලි, “පවිත්‍රයි”. මට මේ ලෝකෙ සරණ බලාපොරොත්තුවක් නෑ, ඒ දෘෂ්ඨිය මං ළඟ නෑ, “ප්‍රභාෂ්වරයි”. ඔන්න සීල විසුද්ධිය සිහිකරනවා මිසක්, වෙන මොනවත් හිතන්න දෙයක් නෑ, ප්‍රථම ධ්‍යානයට හෝ එනකං, ඕන්නම් හතරවෙනි දැහැනට ඕකෙන් ගියහැකි.

 

යම් තැනක එනවනම් ඒකත් අරගන්නවා අවංකයි, පිරිසුදුයි, පවිත්‍රයි, ප්‍රභාෂ්වරයි. සීල විසුද්ධියෙන්, චිත්ත විසුද්ධිය ගියාට එහෙම කමක් නැහැ, කිසි අඩුපාඩුවක් නෑ, චතුර්ථධ්‍යානයටම තියෙන්නේ “සම්මා සමාධිය”. සම්මා සමාධියෙන් එතෙන්ට එනකං ගියාට පස්සෙ, සම්මා සමාධියට, “සම්මා ඥානය” එනවා. මොකෙන්ද එන්නෙ? පූර්ව භාග නුවණමයි, මේ සිහිකරන්නෙ දැන් එතෙන්දි.

අන්න ඒක තමයි,

කාම ලෝක අනාථයි…

රූප ලෝක අනාථයි…

අරූප ලෝක අනාථයි…

නැත්නම්, 

රූප ලෝක අනාථයි…

වේදනා ලෝක අනාථයි…

සංඥා ලෝක අනාථයි…

සංඛාර ලෝක අනාථයි…

විඤාණ ලෝක අනාථයි…

 

ඔච්චරයි ගන්නෙ, ඔක්කොම බණ ඔතන, අරිහත්වයටම මග ඔතන, පූර්ණ වෙනකන්ම ඔච්චරයි. ආයි මොනවත් අමුතුවෙන් හොයන්න දෙයක් නෑ. දැහැනෙ හැටි බලන්න දේකුත් නෑ. ක්‍රමානුකූලව උස්සගෙන ගිහිල්ල, කෙලවරමයි නවත්වන්නෙ. අතරමං වෙන්නෙත් නෑ. 

 

දැන් ඉස්සෙල්ල මං නිකං කියා දුන්නට, විග්‍රහ කරල දෙනකන් ඕක හරියන්නෙ නැතුවයි තිබුනෙ. මුලදි විග්‍රහ කරල දුන්නට යන හැටි, දැහැනෙ හැටි කිව්වට හරියන්නෑ. අනාදියේ පටන්ගෙන මේ ආර්ය ධ්‍යානයක් අත්දැකල නැත්නම්, ඒකෙ ඒ ඒ තැන තලයන්ගේ ස්වභාවයන් කිව්වහම, කොහොම මොනවයින් අරගන්නද? ඒ නිසා ඒකට දඟලන්න අවශ්‍ය නැහැ. 

 

චතුර්ථධ්‍යානයට යනකං තියෙන භාවනාවක් වශයෙන්, ඉස්සෙල්ල දීල තිබුනෙ ඔය පලවෙනි ටික, ඔතෙන්ට රුකුල තමයි දෙවෙනියට දුන්නෙ. දිට්ඨි විසුද්ධියේ පටන්ගෙන, “කංඛාවිතරණ විසුද්ධි, මග්ගාමග්ග ඤාණ දස්සන විසුද්ධි, පටිපදා ඤාණ දස්සන විසුද්ධි, ඤාණ දස්සන විසුද්ධි” කියන එකට ගිහිල්ල, අංග සම්පූර්ණ සප්ත විසුද්ධිය පූර්ණ වෙයි. දිට්ඨි විසුද්ධියට අවශ්‍ය කරන ඔය ටික අරන් යනකොට. ඔය ටික ඔය කර්මස්ථාන දෙක හොඳටම ඇති. කාම ලෝක අනාථයි, රූප  ලෝක අනාථයි, අරූප  ලෝක අනාථයි. අනික් “අනාත්මයි” කියල එහෙම, වඩන්න යන්න එපා. නැතයි, ඇතයි දෙක අත් ඇරල යන්න. අද වරද්දවල තියෙන තැන්, නමුත් ඕව කියන්න යන්නෑ තාම. ප්‍රතිඵල ගන්න කිව්ව ටිකෙන් ගිහිල්ල, පස්සේ කීවහැකි අනාත්මයි කියල. ප්‍රතිඵල කී දෙනෙක් ගත්තද, අනාථයි කියල ප්‍රතිඵල කී දෙනෙක් ගත්තද? අන්න ඊට පස්සෙ පුළුවන් ඒක ලෝකෙට දෙන්න. දැන් දෙන්නෙ, ලෝකෙට දෙන්න බණ නෙමෙයි, අහන අයට මාර්ගය වඩාගන්න බණ. ඒ මග නොකඩවා ගියොත්, අතරමං වෙන්නෙ නෑ. 

 

ඊටපස්සෙ රූප ලෝකය බලන්න ඕනෙත් නෑ, දිවැසින් බාහිර බලන්න යන්න ඕනෙත් නෑ. ඒව අපිට අයිති නෑ. අනාථ ඒව පස්සෙ යනවද? දැන් මොකද දිවැසින් බලන්න හිතෙන්නෙ? ආසාවටනෙ. දිව කනින් අහන්න හිතෙන්නෙ, ආසාවටනෙ. ආසාවට කරන්න ගියොත්, සංඛාර නේද වැඩෙන්නෙ? සංඛාර වැඩුවොත්, විඤාණය පහල වෙනවනෙ? එතකොට නාමරූප බැඳ ගන්නවනෙ? එතකොට සළායතන, ආයතන හැදිලනෙ? ඒ ස්පර්ෂය, ඒ වේදනාව, ඒ තණ්හාව, ඒ උපාදානය, ඒ භව, ඒ ජාති, කොහෙද අවිද්‍යා පච්චයා සංඛාරා නේද වෙන්නෙ? ආසාවෙන් කරන හැම එකක්ම, අවිද්‍යා පච්චයා සංඛාරා. මොකටද අපි යන්නේ අවිද්‍යා පච්චයා සංඛාරා? නිවන් දකින්න පුලුවන්ද? ඒක මිත්‍යා මාර්ගය වෙනවනෙ? ඒ නිසා අපිට ඒක බලල වැඩක් නැහැ. අපිට යන ගමන ගිහිල්ල ඉවරවෙන්න ඕනෙ. ගමන ඉවර කරල පස්සෙ, පසුපස බලන්න. අන්න එතකොට ඇත්ත තේරිලා. ඊටපස්සෙ දකිනවා, කාට මොනවා හොයන්නද? කාගෙ මොනව බලන්නද? මොනවටද මේවයින් ඇති වැඩේ? දිවැස? අනාථ දිවැසනෙ ඔය කියන්නෙ? අනාථ දිවකන ගැනද ඔය කතා කරන්නෙ? අනාථ පරසිත් දැකීම ගැනද ඔය අහන්නෙ? අනාථ පෙර විසූ කඳපිළිවෙල ගැනද ඔය අහන්න හදන්නෙ? කවුරුවෙලා උපන්නද, කොහේ හිටියද, මොනව කලාද, අහන්න හදන්නෙ? මං මොකටද අනාථ ඒව හොයන්නෙ?

 

{00:25:30} : ධර්මය නමැති ගුරුවරයාගේ දුව සහ පුතා

 

මෙන්න මෙතෙන්දි අපි දකින්න ඕනෙ, “කල්‍යාණ මිත්‍රයා” විතරයි, මම. කවුද අපේ ගුරුතුමා, ගුරුපියා කවුද? ලෝක සම්මතයෙන් කතා කරන එක ඇත්ත, අපේ ගුරු පියාණන් නැත්නම්, ගුරු දේවයාණන් කවුද? “මහණෙනි, මාගේ ඇවෑමෙන්, මේ දේශනා කරපු ධර්මයත්, පනවපු විනයත්, ඔබලගෙ ශාස්තෘ කරගන්න, ගුරුපියා කරගන්න”. නමුත් ලෝක සම්මතයේ කතාකරනවා තමයි, ඒකට මුකුත් ප්‍රශ්නයක් නෑ. ගුරුවරයා කියල කතා කරනවා, ඉතින් ගුරු දේවයන්ට කියල කතා කරනවා. ඒක හරි, ප්‍රශ්නයක් නෑ. නමුත්, එතනත් ගුරුදේවයන් කිව්වෙ කුමක් නිසාද? ඒ බුදුපියාණන් වහන්සේ දේශනා කරපු පනවනලද විනයක් ඇත්ද, දේශනා කරන ධර්මයක් ඇත්ද, අන්න ඒ දේශනා කරපු ධර්මය අහපු නිසා. වෙදකම කරන නිසා, වෙද මහත්තය කිව්ව වාගෙ, ඒ බුදු කමින්  කරන වැඩේ කරපු නිසා, ඉතින් අපි ගුරුවරයා කියල කියනවා. නමුත් අපි දන්නවා පරමාර්ථ වශයෙන් දකින්න ඕනෙ, ගුරුවරයා, “ධර්මය”

 

මේ ගුරුවරයාට ඉන්නව, දුවෙකුයි, පුතෙකුයි. කවුද මේ දුව? කවුද පුතා? අපි යන ගමනක් තියෙනව, මේ දූෂිත ගමනක්. ඒ ගුරුවරයා විසින් මෙන්න දූෂිත පැත්ත කියල පෙන්නල තියෙනවා, නැත්නම් මෙන්න ලෝකෙ කියල පෙන්නල දෙනවා. “මෙන්න ලෝකෙට බැඳෙන පැත්ත”, මේ තමයි “ගුරුවරයාගේ දුව”. 

 

ගුරුවරයාගේ පුතා කවුද? ඒ බැඳෙන පැත්ත තමයි, මට කරදර කරල තිබුනෙ, මට මේ මග ඵල වහල තිබුනෙ බැඳෙන පැත්ත. “බැඳෙන පැත්ත අත් ඇරල ගියාම, බැඳෙන පැත්තෙන් ඉවත් උනාට පස්සෙ”, අන්න “ගුරුවරයාගෙ පුතා”, හෙවත් ධර්මය පුතා හම්බෙනවා, “අරිහත්වය”. අරිහත්වය තමයි “පුතා”, ශික්ෂණය තමයි දුව.

 

ශික්ෂණය දැක්කෙ නැති තාක්කල්, දුව දැක්කෙ නෑ. ශික්ෂණයෙන් මිදෙන තාක්කල්, දුවගෙන් මිදුන්නෑ. මේ පරමාර්ථය. දැන් ඔබවහන්සේට හම්බුනා යම්කිසි ආකාරයක ධර්මයක්, සම්මතයක්. සම්මතය, හරි, බොරුවක් නෙමේ. ඒ සම්මතය තුල පරමාර්ථයක් තියෙනවා. ඒ සම්මතය තුලින් පරමාර්ථය ගත්තහම, නිවන් මගට එනවා. ඔය දෙපැත්තක් තියෙන්නෙ. සම්මතයක් ලෝකෙ තියෙනවා, ඒ සම්මතය බොරුවක් නෙමෙයි, ඒක ඇත්තමයි. හැබැයි ඒ සම්මතය තුලින් නෙමෙයි, මේ කියන කාරණය නෙමෙයි, ඒක පරමාර්ථය දකින්න ඕනෙ ගැඹුරින්. දහම් ඇස තියෙන්න ඕන, ඒකෙන් අපි යායුතු තැන හදාගෙන යන්න. සම්මත කඩාගෙන බිඳගෙන ගියහැකි, පරමාර්ථයෙන්. ඒ සම්මත වැට බඳින්න බෑ, සම්මත වලට. සම්මත සුද්ද කර කර යන්න ගියොත්, අපිට පරක්කු වෙනවා. ඒ තුල පරමාර්ථය අරං, පරමාර්ථය සුද්ද කරගත්තහම, බිඳගෙන යනවා. 

 

දැන් අපි හිතමුකො, අපි විවාහයක් වෙලා, ස්ත්‍රිය, පුරුෂයාටත්, පුරුෂයා, ස්ත්‍රියටත් තුන් වතාවක් දිව්රුම් දෙනවා, “මම ඔබව ආරක්ෂා කරනව, ඔබගේ රක්ෂණ වෝපන සියල්ල කරනව, ඔබ තනිකරන්නෙ නෑ, මමත් එහෙමයි”, දැන් ඔය තීරණේ දීල, ලිඛිතවත් දීල, කියලත් දීල, බැරිවෙලා හරි බුදුරජාණන් වහන්සේ ඉන්න කාලෙ වාගෙ, “භාර්යාවත් හිටපන් පැත්තක, දරුවෝ හිටපන් පැත්තක, අප්‍රමාදයෙන් මං ගිහිල්ල මහණවෙනවා” කියල ගියොත් එහෙම, සම්මතයට මොකද වෙන්නෙ? අර සම්මතය තියෙනකන්, බැරිවෙයිද අරිහත්වයට පත්වෙන්න? දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙ, ස්ත්‍රියෝ අවසර දීලද, පුරුෂයෝ ගිහිල්ල අරිහත්වයට පත් උනේ, මහණ වෙලා. දුන්නද අවසරයක්? ඇදගෙන මෙහෙ වර යන්න කිය කිය ඇදගෙන යද්දී, පැනල දුවනවා. “ආං අරුන් ටික පන්නපල්ල, අන්න එනව අපේ ගමට, අපේ මිනිස්සු ටික අරන් යන්න, දොට්ට බස්සවන්න එපා මිනිහෙක්, ඔවුන්ට වතුර පොදක් දෙන්න එපා”, මෙහෙම කෑගහල, හෙන කාලගෝට්ටියක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙ තිබුන. සම්මතවලට පුළුවන් උනාද බේරගන්න?

 

දැන් ලෝකේ එකිනෙකාගේ සම්මත තියෙනවා. ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ, විවරණ සම්මත තියෙනවා. මෙන්න මේ විවරණය විතරක් කඩන්න බෑ. අනික් සෑම සම්මතයක්ම බිඳහැරිය හැකි. ඒ සම්මත, ධර්මය තුලදී, සම්මත පරාද වෙනවා, ධර්මය ජය ගන්නවා. එහෙනම් ධර්මයේ දුව දැනගන්න ඕනෙ, ධර්මයේ පුතා දැනගන්න ඕනෙ. දූෂිත පැත්තක් තියෙනව, ලෝකයේ බැඳෙන පැත්ත. ඒ පැත්ත තේරුම් ගත්තදාට, දුව දැක්ක. ඒ දුවගෙන් ඉවත්වෙන්න පුළුවන් දවස එනව, ධර්මය තුලින්ම. දුව කියල කිව්වෙ, ලෝක ධර්මයන්ගේ ලෝකයේ බැඳෙන ධර්මයන්ගේ ශික්ෂණය වීම. කාම ලෝකයේ කාම බන්ධන, රූප ලෝකයේ රූප බන්ධන, අරූප ලෝකයේ අරූප බන්ධන කියන මේ බන්ධන තුනම, “දූවරු”. ඔය දූවරු තුන් දෙනාගෙන්ම නිදහස් වෙන්න ඕනෙ. ඔය දූවරු තුන් දෙනාම, මාර දූවරු තමා. ඔතනම තියෙනවා. සම්මතය තියෙනවා, ඒකත් නැතුවා නෙමේ. සම්මතවලට නම් දාල තියෙන්නෙ, ඔය ධර්මයන් එක්කලයි. 

 

“මාගේ පුත්‍රයා” කියපු තැනට ආවට පස්සෙ, අර දූවරු ඔක්කොම, පරා දූවරු, ඉවත් කලා. ඉතින් අපි දකින්න ඕනෙ, බොහෝම පොඩ්ඩයි කර්මස්ථානය. දැන් මේ විස්තර කරපු ඔක්කොම විස්තරේ දැන් මතක තියාගන්න අවශ්‍ය නෑ. සමාධිය, යථාභූතඥාණ දර්ශනය ලබාදෙන වෙලාවක් තියෙනවා. ඒ වෙලාවෙදි මේ කියපුවා ඔක්කොම මතක් වෙනවා, එක මොහොතකින් මතක්වෙලා එනවා. ඒකට මහන්සිවෙන්න ඕනෙ නෑ, අපි එනවද කියල බලන්න ඕනෙත් නෑ. අපිට තියෙන්නෙ, 

 

කාම ලෝක අනාථයි… රූප ලෝක අනාථයි… අරූප ලෝක අනාථයි… 

කාම ලෝක අනාථයි… රූප ලෝක අනාථයි… අරූප ලෝක අනාථයි… 

 

මේක තමයි භාවනාව. දැන් මින් එහාට ගන්න තියෙන භාවනාව ඕක. නිරායාසයෙන්ම හිටපු දැහැනට, පුරුදු කරපු දැහැනට, නැගලම යනවා, ඒක නවතින්නෑ. ඕන්නම්, අවංකයි, පිරිසිදුයි කියල, යන්න ඕන්නම් එතෙන්ට යනවා, ගිහිල්ලත් බලනවා. අත්දැකීම් කරගන්න ඕන ඕව. අරගෙන ඉවරයි, එතෙන්ට ගිහිල්ල ඉවර වෙලා, මේක සිහිකරල බලනවා. කටින් කියන්න අවශ්‍ය නෑ, හිතෙන් සිහිකෙරුවත් ඇති. ඕන්නම් කටින් කිව්වත් කමක් නෑ, පුළුවන් වෙලාවක, ඒකෙ කිසිම අඩුපාඩුවක් නෑ. “කාම ලෝක අනාථයි, රූප ලෝක අනාථයි”, ටක් ගාල නැගි, නැගි උඩට එනවා, දැහැනට එනවා, බලා ඉන්නැද්දි, කියනකොටම එනවා. ආයි අමුතුවෙන් කර්මස්ථානයක් ගන්න ඕන්නෑ. “කාම ලෝක අනාථයි” කියල සිද්ධි වෙනකොටම, මිදිල ගියා කාම ලෝකයෙන්, ප්‍රථම ධ්‍යානයට. “රූප ලෝක අනාථයි” කියනකොට ගියා, චතුර්ථධ්‍යානයට, ගිහිල්ල උඩට යන්න ලෑස්ති වෙලා ඉන්නවා. “අරූප ලෝක අනාථයි” කිව්වොත්, කෙලින්ම ගියා අරූප හතරම පහුකරල ගිහිල්ල, නිරෝධයට හිත හිටිය. ප්‍රගුණ කරගත්තහම, තුන් පාර හිතනකොට, තුන් පාරෙන් නිරෝධය. ඔක්කොම පහුකරගෙන යනවා. නව අනුපූරුවෙන්ම යනවා. අමුතුවෙන් හිතන්න දෙයක්, කරන්න දෙයක් නෑ. ආයිත් දිවැස් බලන්න යන්නෙත් නෑ, ඔක්කොම හරිනේ, ඒව පස්සෙ පුළුවන්.

 

{0:32:00} : අරිහත්වයට පත්වෙලා කරන දේවල් නිගමනය නොකර, තමාගේ ගමන යෑම

 

ශ්‍රාවක මහතෙක් ප්‍රශ්නයක් අසයි. ප්‍රශ්ණය පැහැදිලි නැත.  

 

(ස්වාමීන් වහන්සේ): ඉතින් යතුර තමයි, විවෘත කරගෙන යන්න තියෙන්නෙ. යතුරු තුනක් ඔතන තියනවනෙ. ඔව්. හතරවෙනි යතුරෙන් ලෝකෝත්තරත්වය ඇරල දෙනවා. කාම ලෝකය, එක යතුරකින් ඇරිය, රූප ලෝකය, අනිත් යතුරෙන් ඇරිය, අරූප ලෝකය, අනික් යතුරෙන් ඇරිය, ලෝකෝත්තරයට ගියා, අනිකෙන් ඇරගෙන. යතුරු හතරක් එනකොට, පොත්ගුල් හතරම ඇරුන. කොහෙන් ගත්තත් කැරකිල එන්නෙ සම්මත ඕවටයි. එතන පටන්ගෙන කාම ලෝකයේ වෙන සියලුම සිද්ධි, නිදහස් හිතට පේනවා.

 

කාම වැඩපිළිවෙල, කාම ලෝකයේ තියෙන අහුමුලු, නිදහස් චින්තනයට පේන්න පටන් ගන්නවා. හැබැයි අල්ලගෙන නෑ එකක්වත්, මට ඒව දැනගන්න ඕන කියන බලාපොරොත්තුවත් එතන නෑ. දැනගෙන, කාටවත් කියන්න ඕනෙ කියන බලාපොරොත්තුවත් නෑ. යමෙකුට නිවන් මගට යමක් හේතුකාරක පේනවද, දයාවෙන් අනුකම්පාවෙන් ආයාසයෙන් ඒක බලනවා. නිරායාසයෙන් නම් නොබලනව, ආයාසයෙන් බලනවා. එතෙන්ට නොඑන තුරු ආයාසයෙන් තමයි. නිරායාසයෙන් මොකද කරන්නේ? ඕනකමින් ආසාවෙන්මයි බලන්නෙ. නිරායාසයෙන්, බලන්න හිතෙනවා. “නොබලා ඉන්නෙ, ආයාසයෙන්, උත්සාහයෙන්, නොබලා ඉන්න හිතෙන්නෙ”, දිවැස පහල උනොත්. ධර්මය සත්‍යාවබෝධය පූර්ණ කරගත්තට පස්සෙ, පහලවෙලා තියෙන දිවැසින්, ලෝකේ බලන්න කිව්වත්, බලන්න හිතෙන්නෑ. අහන ප්‍රශ්ණවලට උත්තර දෙන්න, මනස ක්‍රියාත්මක කරවන්න හිතෙන්නෑ. යම් මොහොතකදී, යමකින් යමෙකුට යහපතක් වෙනවා කියන හේතු සාධක ඇතුව දැක්කොත්, ඒ වෙලාවෙදි ආයාසයෙන් නැගිල බලනව. බලන්න ඉස්සෙල්ල පේනවා. 

 

දැන් අපිට කිව්වොත් එහෙම, පුංචි ළමයට කිව්වොත්, පුතේ සෙල්ලම් කරනවද? “ඔව්, මං කෝම්පිට්ටු උයන්න යනව” කියල යනව. “මං සෙල්ලං කඩයක් දානවයි” කියල, බොහොම සන්තෝසෙන් දුවගෙන යනවා. ඉතින් නොයෙක් සෙල්ලම්වලට ළමයි, අඹ ඇට පනින්න යං, අරක යං කියල පුංචි එවුන් දුවනවා. දැන් ඔයාටත් නිදහස තියෙනව කියල, ලොකු එක්කෙනෙකුට කියනව. “ඉතින් යන්නැද්ද අඹ ඇට පනින්න” කියල එහෙම ඇහුවොත්? “උඹට පිස්සුද බං, පොඩි එවුන්නෙ ඒව කරන්නෙ”. අර පොඩි එකා කෑ-ගගහ එල්ලෙනව, “එන්නකො තාත්තේ, එන්නකෝ අනේ”. අර පොඩි එකා කෙරෙහි ඇතිවන හැඟීමක් නිසා, “හා, යං යං” කියල ගිහිල්ල, ඌත් අර පොල්කට්ටක් අරගෙන, “ඕං පුතේ එහෙනම් මාත් උයනව කෝම්පිට්ටුවක්” කියල, “කෝම්පිට්ටු ඉදීයෝ” කියල පොල්කට්ටෙන් තලනවා, අර පස් ටිකකට. හැබැයි මොකටද? ඒ තලන වෙලාවෙදිවත් එයාට ඕනෙද එහෙම එකක්? අර පුංචි ළමය ආස්වාදයක් විඳිනව, කෝම්පිට්ටු උයනව කියල. තාත්තත් එහෙම එකක් බලනවද? පොඩි එකාගෙ ඉල්ලීම ඉටු කරනවා. එයාට ඒකෙ දෙයක් නෑ. 

 

අරිහත්වයට එනකං, ඔය තුන් ලෝකය අත් ඇරල ගිහිල්ල, ඔතෙන්ට පත් උනදාට පස්සෙ, “අනේ ස්වාමීනි දිවැසින් බලන්නකෝ අහවල් කාලෙ”. මොකටද? මොනව කරගන්නද? මොකක්ද ඕනකම? වැඩක් නැති නිස්සාර ඒව පස්සෙ යන්නෙ නැතුව, ඔයා කිව්ව ටික කරගන්නකො, ඔය නිවන් දකින්න අවශ්‍ය, ඕක නෙමෙයිනෙ? ඔය ටික කරගන්න. “අනේ මගෙ පෙර භවය කොහොමද ස්වාමීන් වහන්ස”? මොකටද? පෙර භව කොච්චර ගෙවල ඇත්ද අපි. ඕක හොයල නිවන් දකීද? “ඕක නෙමෙයි, මෙන්න මේ ටික කරගෙන, මේ කර්මස්ථානය වඩන්නකෝ, නිවන් දකින්න ඕන එක කරගන්නකෝ”, ඔය ටික දෙනවා. නමුත් පුද්ගලයා යම් ආකාරයෙන් ගැනීමට අවශ්‍යතාවයක් තියෙන තැනක් දැක්කොත්, හේතුකාරක ඇතුව ඒකෙන් ඔහු ගොඩගන්න පුළුවන්නම්, ඒ වෙලාවෙදි අර ප්‍රාතිහාර්යක් පෙන්නල, ඒකෙනුත් ගොඩගන්න පුළුවන්. 

 

ඒක එදා ගන්න තීරණයක්. අරිහත්වයෙන් පස්සෙ ගන්න තීරණයක්. ඒක දැන් තීරණය කරන්න ගියොත් එහෙම හරියන්නෑ, අර පුංචි එකා “මට රස්සාවක් හම්බුනා නම් චොක්ලට් ගේනවා දාහක්”, පොඩි එකා කියන්න පුළුවන්. අන්න ඒ ජාතියෙ අදහස් එනව, රහත්වෙලා කරන එක, කල් තියා හිතන්න ගියොත්. අරිහත්වයෙන් පස්සෙ කරන එක, කල් තියා හිතන්න ගියොත්, අපිට සිද්ධ වෙනව, ඔන්න ඔය ජාතියෙ ඒව හිතන්න. පොඩි එකාට රස්සාවක් හම්බුනොත්, “මොකද පුතේ කරන්නෙ”? “චොක්ලට් දාහක් ගෙනල්ල කනවා” කියයි. මොකද ඔය උගෙ තියෙන අදහසේ හැටි එදා. ලොකු එකෙක් වෙලා ගියාට පස්සෙ, “උඹ පුංචි කාලෙ මෙහෙම එකක් කිව්ව, කාපන්කො ගිහිල්ල”. දැන් ඌට ලැජ්ජ හිතෙනව නේද? “මම බෝනික්කෝ දහයක් අරන් ඇවිදින් තියාගන්නවා, හිටහන්කෝ මම ලොකු වෙච්චාවෙකො”, පොඩි උන් ඔහොම කතා කියනවා. ඌත් ලොකුවෙලා රස්සාවක් කරන්න ගියහම කියනවා, “ඇයි උඹ පොඩි කාලෙ කිව්වෙ, මම ටේප් කරල තියෙනවා උඹේ කතාව, දැන් ගනින්කෝ ගිහිල්ල බෝනික්කෝ දහය ගෙනත් තියාගනින්කෝ”, දැන් මොකක් කියයිද? “ඒ පොඩිකමට පුංචි කාලෙ කියපු කතානෙ”, කියල එයා තීරණය කරනවනෙ? 

 

මෙන්න මේ වගෙ, අරිහත්වයට පත්වෙලා කරන දේවල්, අරිහත්වයට පත්වෙලා නිගමනය කරන්න ඕනෙ. එතෙන්ට යනකං අපිට වැඩ තියෙනවා. මොකක්ද අපේ වැඩේ? අනාථ සංසාර ගමනෙන් සදහට නිදහස් වීම. ඒ ගමන සඳහා අපි කලයුතු යමක් ඇත්ද, ඒක කරන්න ඕනෙ. එයින් එහා ලෝකයට යහපත සඳහා යම් පාරමී ගුණයක් හෝ යම්කිසි විශේෂ ආශිර්වාදයක් තිබුනනම්, ඇත්තවශයෙන්ම දයානුකම්පාවෙන් ඒක කරන්න ඕනෙ.

 

ඒකයි රටාව. ඉතින් අපි සියල්ලෙන්ම නිදහස් වෙලා, කෙලවර කරල එතනම ඉන්න ඕනෙ. ඒ ටික උත්සාහ කලොත්, බලා ඉන්දැද්දි ඉහලට යනවා. පූර්ණ කරගන්න පුළුවන්. ඔතෙන්ට එනකං, බාහිර හිතන්න යන්න හොඳ නෑ. බලන්න යන්න හොඳනෑ, පෙනුනත්, බලන්න යන්න හොඳ නෑ. පෙනෙනවා, පෙනුනට කමක් නෑ, බලන්න යන්න හොඳ නෑ. ඒ පෙනීම් වල තවත් තියෙනව හුඟාක් දේවල්, අපිට නොපෙනෙන, විනාශ කරන පැති.

 

{0:37:17} : අභ්‍යන්තර දහම් නුවණ සහ අනුපූර්ව ගමනෙන් ලෝකය අත්ඇරීම 

 

ප්‍රඥාධික, වීර්යාධික, ශ්‍රද්ධාධික කියන කොටස් තුනක පිරිස් ඉන්නවා. අරිහත් ඵලයට පත්වෙනකන් යන පිරිස් ඉන්නව. “ප්‍රඥාධිකව” කටයුතු කරන කෙනා, සියුම්ව හොයාගෙන යනවා. එයාට ධර්මය පිලිබඳ ප්‍රශ්ණ, උදාහරණ, උපමා වශයෙන් එනවා. 

 

“සීලාධික” කෙනාට, පොළව පිලිබඳ ප්‍රශ්ණ, උදාහරණ, උපමා වශයෙන් එනවා. පොළවෙන් එනවා, එනවා, ඇවිදිල්ල, අඩි අටක් ආව, දෙකක් යන්න තියෙනවා. සමාධියට එනකොට; අඩි අටක් ආව, තව අඩි දෙකක් තියෙනවා; සම්මා ඥාණයි, සම්මා විමුක්තියි. විමුක්තිය ආව දාට, අරිහත්වය ඵලය නමැති මැණික, අරිහත්ඵලය නමැති නිධානය පහල වෙනව. හැබැයි මොකද වෙන්නෙ? සම්මතය කඩන්න ගියොත් මොකක් වෙයිද? එතකොට අනික් සැරේ පෙන්නනවා, අන්න බැහැලලු අඩි දෙකක්. මොකක්ද? සම්මා වායාමයට බැස්ස, සම්මා සමාධිය. බලනකොට සමාධියට තිබිච්ච මාර්ගය, පොඩ්ඩක් පල්ලෙහාට ගිහිල්ල. මොකද උනේ? අන්න බාහිර උපමාව, අපිට බාධක පමුණුවනවා. ඒ බාහිරින් දෙන උපමාව තුලින්, අපි අභ්‍යන්තර දහම් නුවණින් දකින්න ඕන, මේකෙ දහම් නුවණ මොකක්ද?  

 

දැන් බුදුපියාණන් වහන්සේ දැක්ක, උන්වහන්සේත් එහෙම දෙයක්. හීන දැක්ක කියල කියන්නේ, හීන නෙමෙයි, උන්වහන්සේ සිහිකරපුවහම දැක්ක ඒව, සිහිකරපු න්‍යාය. උන්වහන්සේට හීන පේන්න, උන් වහන්සේ බුදිය, බුදිය හිටියෙ නෑ. අසීමිත උත්සාහයකින් උන්වහන්සේ කටයුතු කලේ, ලොව්තුරා බුදු වෙන්න. ඉතින් උන්වහන්සේ දැකපු සිහින තේරුවයි කියල පෙන්නනවා. “අසූචි ගොඩක, අසූචි තැවරෙන්නෙ නැතුව ඇවිද්ද දැක්කලු”. “දැන් ඉතින් හීනෙ හැටියට නම්, මට සිද්ධ වෙන්නෙ හෙන ජරා ගොඩක යන්නයි”, උඩින් මත්තෙන් ගන්න තේරුම ඒකයි. උන්වහන්සේ ඒකෙ ගැඹුරු තේරුමක් දැක්ක. මේ අසූචි ගොඩ කියන්නෙ, “මේ ලෝකෙ තියෙන, කාම සම්පත්තිය”. මේ කාම සම්පත්තිය තියෙන ලෝකෙම, කාමයන් නොතැවරී ඉන්න අවස්ථාවක් තමයි, මේ අසූචි නොපෑගී වැඩිය දැක්ක එක. දනක් එනකං පණුවො වටකර ගත්ත, අසූචියෙ හිටපු පණුවො ඇවිදිල්ල, සුදු පණුවො. “හප්පොච්චියේ, මගෙ දණහිසට එනකං කුණුවෙන්නයි එන්නෙ”, කියල අද නම් නිගමනය කරන්නෙ, දැකපු හීනය අනුව. උන්වහන්සේ දැක්ක, තමා විසින් දේශනා කරන ලද මේ ධර්මය අරගෙන, එහි පිහිටල, සුද්ධ භාවයට පත්වෙනව විශාල පිරිසක්. 

 

ඉතින් මේ මේ ආදී වශයෙන් දැක්ක හීන තියෙනවා. ඊතණ ගහක් මැදින් මතුවෙලා, අකාසයට නැගුන. ඒ කියන්නෙ උන්වහන්සේ විසින් දේශනා කරන ලද ගැඹුරු ධර්මය හිත තබාගෙන, ඒ තුලින් නැගෙන්නාවූ උත්තරීතර ඵලයට පත්වෙන්නාවූ පිරිස, බොහෝ කොටම උසස් බවට පත්වෙලා, බඹ ලොවට යනකං නැගෙනවා. ඒ ක්‍රියාව දැක්ක උන්වහන්සේ, දැන් මේ වගේ, මේ දැකපු හීනවල ලක්ෂණ, උන්වහන්සේ පරමාර්ථයෙන් තෝරගත්ත. “ඒකාන්තයෙන් මං ලොව්තුරා බුදු වෙනවයි කියන ලක්ෂණයයි මේ පෙන්නන්නෙ”, කියල නිගමනය කලා. ඉතින් ඒවගෙ ලක්ෂණ, මේ බාහිර ලෝකයෙ සිහින වලින් පේනවා. සිහින කියන්නෙ නිදාගෙන පේන සිහින විතරක් නෙමෙයි. යම් දිවැසක් පහලවෙලා, දිවැසට වැටෙන්නෙත්, ඒවගෙ හීන. ඒවගෙ තියනවා ලක්ෂණ, ඒ තුලින් යන්න ඕන. වරදින්න එනකොටත්, වරදින ඒව පේනවා, හරියන කොටත්, හරියන ඒව පේනවා. ඒව මූලික ලක්ෂණ තියනව එහෙම. 

 

එකක්වත් අපිට ප්‍රශ්නයක් නෙමෙයි ධර්ම මාර්ගය හරියට ගත්තනම්. “පේන එකක් පෙනිච්චාවේ, නොපෙනෙන එකක්  නොපෙනිච්චාවේ, මට ධර්ම මාර්ගය තියෙනවා කෙලවරටම, උඩටම යන්න”, ඔච්චරයි. තව එකක් ඉගෙනගන්න දෙයක් නෑ, පාඩම් කරන්න දෙයක් නෑ. “අනාථ” කියන එක දන්නවා. “ලෝකය” කියන එක දන්නවා. “කාම ලෝකය” කියන එක හොඳට අඳුනනවා. රූප කාම, ශබ්ධ කාම, ගන්ධ කාම, රස කාම, ස්පර්ෂ කාම, ධර්ම කාම කියන මේවයින්ගෙන් යුක්තයි මේ කාමයෝ. “කාම” කියන වචනෙ ගත්ත ගමන්ම, සියල්ලම මේ ලෝකයේ තිබෙන්නාවූ, කාම ලෝකයේ කාම විතරක් නෙමෙයි, රූප ලෝකයේ තියෙන කාමත් තියෙනවා, රූප රාගයෙන් ගන්නෙ ඒ කාම. අරූප ලෝකයේ කාමත් තියෙනවා, ඒව අරූප රාගයට සම්බන්ධ වෙලා ඒව එනවා. 

 

දිව, නාසය, ශරීරය කියන මේ ඉන්ද්‍රිය තුන, යම් ආස්වාදයකින් පිනවන්නද හැදිල තියෙන්නෙ, මෙන්න මේක තමයි කාම ලෝකයේ කාමයට වැටෙන අරමුණු ටික. ඔය දිවයි, නාසයයි, ශරීරයයි පිනවන්නෙ මොනවයින්ද? දිව – රසයෙන්, නාසය – ගන්ධයෙන්, ශරීරය – කාම ස්පර්ෂයෙන්. මෙන්න මේ කියන්නාවූ ස්පර්ෂ තුනෙන් පිනවන හරියක් ඇත්ද, කාම ලෝකයේ කාම අරමුණු කියන්නෙ ඔය ටික; කාම ලෝකයේ අරමුණු. ඔය ටික සඳහා, ඇසෙන් යමක් ප්‍රයෝජනයට ගන්නවද, කනෙන් යමක් ප්‍රයෝජනයට ගන්නවද, හිතෙන් යමක් ප්‍රයෝජනයට ගන්නවද, අන්න ඒ ටික දිව, නාසය, ශරීරය කියන කාම ඉන්ද්‍රියන් පිනවීම සඳහා ආධාර කරගන්නවා ඇසෙන්, කනෙන්, සිතෙන් ගන්න හරිය. මෙන්න මේ සියලු දේ කැටිකරල ගත්තහම, කාම ලෝකයේ තිබෙන්නාවූ කාම ලෝකයේ කොටස දැනගත්තහැකි. කාම ලෝකය අනාථයි කිව්වහම, කාම ලෝකයට වැටෙන්නෙ කොයි ටිකද කියල, ඔය ටිකෙන් තේරුම් ගන්නව. 

 

දිව, නාසය, ශරීරය පිනවීම සඳහා ඇසෙන්, කනෙන්, හිතෙන් ගන්න හරිය ඇරුනහම, තවත් ඇසෙනුයි, කනෙනුයි ගන්න හරියක් ඉතුරුවෙනවා. ඒ ඇසෙන් ගන්න හරියයි, කනෙන් ගන්න හරියයි, හිතෙන් හිතන හරියක් ඉතුරුවෙනවා. මෙන්න මේ ටික රූප ලෝකයේ,  රූප අරමුණු. 

 

ඇසෙන් ගන්න ටිකත් පැත්තකට දාල, කනෙන් ගන්න ටිකත් පැත්තකට දාල, ඒ සඳහා හිත මෙහෙයවපු හරියත් පැත්තකට දාල, තවත් ඉතුරුවෙන පොඩ්ඩක් තියෙනවා, ඉන්න බව දැනෙනවා. වෙන දෙයක් නෑ, ඉන්න බව දැනෙනවා, හිටපු බව දැනෙනවා. අතීතයේ හිටපු හැටි දැනෙනවා. අහපුව දැනෙනවා. දැන් ඉන්න බව දැනෙනවා. “වර්තමානයයි” කියන සම්මතයක, ඇහෙන් ගන්න දේකුත් නෑ, කනෙන් ගන්න දේකුත් නෑ, නාසයෙන්, දිවෙන්, කයෙන් ගන්න දේකුත් නෑ. ඔන්න ඉතුරු ටික අරූප ධර්ම; අරූප ලෝකෙ.

 

ඉතින් ඔය ටිකෙන් අපි දැනගන්න ඕනෙ, කාම ලෝක අනාථයි, රූප ලෝක අනාථයි, අරූප ලෝක අනාථයි. කාම ලෝකයට, මේ ටික අයිතියි. ඒකත් අනාථයි. රූප ලෝකෙට අයිති මෙන්න මේ මේ ටික අත්හැරපුවම, ඉතුරු ටික, ඒකත් අනාථයි. අරූප ලෝකෙත්, අනාථයි. දැන් ඔය ටික දකිනවා. දැන් “බුදුපියාණන් වහන්සේ දැකීම අනාථද?” කියල අහන්න පුළුවන් යම් කෙනෙක්. “භික්ෂූන් වහන්සේලා සමඟ සාකච්ඡා කිරීම, කතා බහ කිරීමත් අනාථද?” කියල අහන්න පුළුවන්. 

 

එක අවස්ථාවක, එක්තරා අනාගාමී වෙලා හිටපු කෙනෙක්, බුදුපියාණන් වහන්සේ සමඟ ජේතවනාරාමයට ගිහිල්ල, නිතර කතාකරන්න පුරුදු වෙලා හිටිය. උන්වහන්සේට වත්-පිළිවෙත් කරල, හරිම සැනසිල්ලෙන් එනව. හැබැයි එක බලාපොරොත්තුවක් තියෙනව, “මට ජීවත් වෙන්න නම්, මට ආයි සැරයක් නම්, මතු භවයක් නම් ඕන්නෑ.” මෙහෙම කිය කිය හිටියට, උපාසක මහත්තය මැරිල බලනකොට, නිදාගෙන පිබිදිය වගේ, “අවිහ” කියන බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා. එවෙලෙ කල්පනා කරල බලනව, “අනේ මට මොකද මේ උනේ? ඉපදීම ඉවරයි කියල මම හිතාගෙන හිටිය, ඉවර නෑනේ, මට ඉපදෙන්න උනානෙ ආයි සැරයක්. මොකද මේකට හේතුව? මට කොච්චර බුදුහාමුදුරුවො දැක්කත් මදි උනා. කොච්චර බණ අහල ඒ ධර්ම ශාන්තියෙ හිටියත්, මදි උනා. එහෙනම් බුදුවරයන් වහන්සේ දකින්නයි, දේශනා කරපු ධර්මය අහන්නයි, මගෙ හිත ඉවරයක් නැතුව ආශාවෙන් බැඳිච්ච හින්ද, අහන්න කනකුයි, දකින්න ඇහැකුයි ඇතුව, හිතන්න හිතකුයි ඇතුව මට උපදින්න සිද්ධ උනානෙ මේ ටිකෙන්, බඹ ලොව. අද මම දන්නව මට අවිහ බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්න හේතුවෙච්ච එක, මගේ අනාථ කමනෙ? අනාථ ධර්මයක් ඇසුරු කරල, මට අනාථයෙක් වෙලා, තවත් දුරට යන්න උනානෙ භවයෙ. මම ඔය ටිකත් නොකර හිටියනම් එහෙම, මං මෙහෙ උපදින්නෑනෙ ඉවරයිනෙ.” එහෙනම් අපි දැනගන්න ඕනෙ, අනාථ වෙන තැන. 

 

අපි අනාථත්වය අත් ඇරගෙන, අත් ඇරගෙන යනකොට, අනුපූරුවව යනවා. ඉස්සෙල්ල අරූප ලෝකෙ අත් ඇරලා, පස්සෙ කාම ලෝකෙ අත්හැරෙන්නේ නෑ. කාම ලෝකයෙ තියෙන බලාපොරොත්තුවයි, ඉස්සෙල්ල අත්හැරෙන්නේ. ඊළඟට, රූප ලෝකෙ බලාපොරොත්තු ඔක්කොම එකින් එක, තලින් තලේ අත්හැරෙනව. අත්හැරෙන්න, අත්හැරෙන්න ඊලග එකට පත්වෙනවා. ඊට පස්සෙ ඒකත් අත්හැරිල ගිහිල්ල, අරූප ලෝකෙත් එකින් එක ගිහිල්ල, අන්තිම  කෙලවර වෙන්නෙ, අනුපූරුවමයි යන්නෙ.

 

{0:45:33} : චතුරාර්‍ය සත්‍යයෙන් එක සත්‍යක් දැක්කොත්, අනිත් තුනම දකිනවද?

 

අපි දැන් “කාම ලෝකය අනාථයි, රූප ලෝකය අනාථයි, අරූප ලෝකය අනාථයි”, කියන මේ කර්මස්ථානය අරගත්තා. දැන් මේ කර්මස්ථානයේදී අපි යම් තරමක් අනාථ බව දකිනවනම්, ඒ තරමෙනුයි මිදෙන්නෙ. එතන අනාථ බව දැක දැකා, අනාථ බාවයෙන් මිදෙනව. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනව, “මේ චතුරාර්‍ය සත්‍යයෙන් එක ආර්ය සත්‍යක් දැක්කොත්, අනිත් තුනම දකිනවා” කියල, මේක දේශනාවක්; අපේ වචන නෙමෙයි, බුද්ධ වචනයක්. 

 

දුක්ඛ ආර්ය සත්‍යය දැක්කොත්; ඔහු දුක්ඛ සමුදය ආර්ය සත්‍යයත්, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයත්, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යයත් කියන මේ තුනම දකිනවා. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය දැක්කනම්; දුක්ඛ සත්‍යයත් දැකල, නිරෝධ ආර්ය සත්‍යයත් දැකල, නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යයත් දැක්ක වෙනවා. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය දැක්කනම්; දුක්ඛ සත්‍යයත් දැක්ක, සමුදය ආර්ය සත්‍යයත් දැක්ක, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යයත් දැක්ක. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය පූර්ණය කලානම්; දුක්ඛ සත්‍යයත් පූර්ණය කලා, දුක්ඛ සමුදය සත්‍යයත් පූර්ණය කලා, දුක්ඛ නිරෝධ සත්‍යයත් පූර්ණය කලා. “මේ සත්‍යය හතරෙන් එකක් දැක්කොත්, අනික් තුනම දකිනවා” කියල දේශනා කරල තියෙනවා.

 

එහෙනම් කිසි ප්‍රශ්ණයක් නෑ. “කාම ලෝක අනාථයි, රූප ලෝක අනාථයි, අරූප ලෝක අනාථයි”, “ලෝක” කියන වචනෙ කියන්නෙ, “ලෝකය” කියන්නෙ නැතුව. එතකොට ඔතන තියෙන්නෙ, “තුන් ලෝකය” තමයි, අනාථයි කියල දකින්නෙ. අන්න දුක්ඛ සත්‍යය දැක්කා. ඔතන “අනාත්ම” නෙමෙයි, “අනාථ” බව දැක්කා. අනාථ බව දකිනකොට, නිසරුවමයි දකින්නෙ. “අනත්ථ සංහිතෝ; දුක්ඛෝ අනරියෝ අනත්ථ සංහිතෝ”, අනත්ථ සහිත බව දකිනවා. අන්න අනත්ථ සහිත බව දකිනකොට, දුක්ඛ ආර්ය සත්‍යයයි දකින්නෙ. එකක් දැක්කහම, අනිත් තුනම ඔතන දකිනවා. චතුරාර්ය සත්‍යම දකින ක්‍රමය ඔතන තියෙනවා. අනුපූරුව ගමනක් තියෙනවා.

 

අපි කාම ලෝකයේ අනාථ බව ඉස්සෙල්ල දකිනවා. “ඇසුරු කරගෙන හිටියෙ කාම ලෝකයනම්, ඇසුරු කරපු කාම ලෝකය අනාථයි නේද?” කියන එකයි, ඉස්සෙල්ලම අවබෝධ වෙන්නෙ, ප්‍රත්‍යක්ෂ වෙන්නෙ. ඒ ප්‍රත්‍යක්ෂයෙන් ගියහම ඊළගට වැටෙන්නෙ, ඉතුරු හරියට, රූප ලෝකයට. රූප ලෝක අනාථයි කියල ගන්නකොට, එතන පටන් ඒක කැපෙනවා. එතකොට වැටෙන්නෙ, අරූප ලෝකයට. අරූප ලෝක අනාථයි කියන එක වැඩෙනවා එතෙන්දි. එකටම කර්මස්ථානය වැඩුවට, අනුපූරුව වැඩිල යනවා. වැඩිල ගිහිල්ල අන්තිම ටික, නිරෝධයෙන් නවතිනවා. එන්න එන්න හැඟීම අඩුවෙන්න පටන්ගන්නවා. ඊටපස්සෙ සියුම් හැඟීමට බහිනවා. අරූපයට බැස්සට පස්සෙ, හැඟීම තවත් සියුම් වෙනවා. හැබැයි ඒ වෙලාවෙදි අනාථයි, අනාථයි කියන එකේ තත්වෙ හොඳට වැටහෙනවා. කාමලෝකය අනාථයි ඉක්මෙව්වා, රූප ලෝකය අනාථයි ඉක්මෙව්වා, අරූප ලෝකය අනාථයි, ඒකත් ඉක්මවනවා. එහෙම්මම හැඟීම එනවා. ඒ හැඟීම නිසාම, නිරායාසයෙන්ම එකින් එක ඉක්ම ගිහිල්ල, ඉක්ම ගිහිල්ල, නිරෝධයට හිත හිටිනව, අන්තිමට. අනුපූරුවව යනවා, කිසිම ප්‍රශ්ණයක් එන්නෑ. දවස් ගානෙන් යන්නත් පුළුවන්, කල් යන්නෙ එහෙම නෑ.

 

ඉතින් ඒ වෙලාවෙදි එක දෙයක් තියෙනවා. “කාම ලෝකය අනාථයි” කියනකොට, අපි කරන, කියන, හිතන දේවල් කාම ලෝකයට අයිති වැඩද? රූප ලෝකයට අයිති වැඩද? ඒව අනාථයි කියලම දකින්න ඕන. දැන් ඒ කියන්නෙ කාම ලෝකයේ බොරු, කේලම්, පරුෂ වචන, ප්‍රලාප ඔය ආදී වශයෙන් දස අකුසලයේ දෙයක් කියවෙනව නම්, කෙරෙනව නම්, හිතෙනව නම් ඔය දහයෙම, ඒව කාම ලෝකය අනාථයි කියනකොට, “අනාථ ඒව මොකටද කරන්නෙ? අනාථ ඒව මොකට හිතන්නද? අනාථ ඒව මොකට කියන්නද?” තමන්ගෙ හිතම, තමන්ට වදදෙන්න පටන් ගන්නව, “මම කියපු එක නෙමෙයිනෙ මේ කෙරෙන්නෙ” කියල. එතකොට දැන් බාහිර ලෝකයේ කෙරෙන පන්සල් හැදීම්, චෛත්‍ය හැදීම් ආදී සියල්ලමත්, රූප ලෝකයට අයිතියි. දැන් එතකොට දකිනවා, “රූප ලෝකයේ අනාථයි කිය කිය, මං මොකක්ද මේ රූප ලෝකයේ ඇඟිලි ගහන්නෙ?” තමන්ගෙ හිතට වදදෙන්න පටන් ගන්නව, වද දිදී නතර කරනවා. ඊට පස්සෙ, “ඒව පස්සෙ පුළුවන්, ඒව මට අවශ්‍ය ඒව නෙමෙයි, මං යන කර්මස්ථානයට ගැලපෙන්නෑ, ඒව ඔහෙ තිබිච්චාවෙ”, පැත්තකට දානවා. දන්නෙම නැතුව, එතකොට අපූරුවට සමාධියට හිටිනවා, රූප ලෝකෙ අනාථ එක. රූප ලෝකයෙන්, අරූපයට යනවා. මං එදත් කිව්වෙ, රූප ලෝකෙ අනාථයි කියන්න බැහැ, රූප ලෝකෙ සංඛාර නිපදවමින්, ඒක පහුකරන්න ඕන. අර සිද්ධිත් පහුවෙන්න ඕන. මං ඒකයි කිව්වෙ කරල බලන්නකො, මම ඕක කිව්වට හරියන්නෑ, කරල බලන්නකො, දෙයිද කියල. මං කිව්වෙ ඕකයි. පෙනිච්ච එක දෙයිද? කරල බලන්න. දුන්නොත් කියන්නකො, කිව්වෙ ඕකටනෙ. අත්දැකීමක් එන්න ඕනෙ ඔතනින් එහාට යන්න, නැතුව බෑ. ඒකයි කාරණය.

 

{0:50:33} : ආර්ය විනයේ සිටින මහල්ලන්, වැඩිහිටි, තරුණ අය සහ ළදරුවන් 

 

(ශ්‍රාවක මහතා): පින කියන්නෙ මොකක්ද?

 

(ස්වාමීන් වහන්සේ): පින කියන්නෙ මොකක්ද, බලන්න ඕනෙ. අපි “පිනක් සඳහා කරනව” යි කියල කියනකොට, පිනක් සඳහා කරනවයි කියන එකේ, අර්ථය දකින්න ඕන. අපිට පුළුවන් මෙන්න මෙහෙම දෙයක් කරන්න. කිරි බොන දරුවට කිරි බෝතලේ හදල, කිරි හදල, ළමයට පොවන්න පුළුවන්, අපි කිරි බොන්නෑ. ළමයට පොවන කිරි ළමා ආහාරය, ළමයට හදල, ළමයට කවනවා. නෙස්ටම් කියයි, අරව මේව මොනවහරි කියන්නෙ, ළමා ආහාර, ළදරු පිටි ආහාර තියෙනවනෙ, ළදරු ආහාරය. ඉතින් පුංචි ළමයි ඉන්න හින්ද, පුංචි ළමයින්ට, අම්ම තාත්තා ළදරු ආහාරය හදල, ළදරුවට කවනවා. හොඳට පරිස්සමින් ඒකත් කරනවා. හැබැයි ඔය හදන වෙලාවකවත්, කරන වෙලාවකවත්, කොයි වෙලාවකවත්, “මේක මේ මා සඳහා” කියන්නාවූ අර්ථයක් අදහසක් එන්නෙ නෑ හිතට. 

 

මෙන්න මේ වගෙ ලෝකයා පිනක් කරනවනම්, ඒ පින කරන්නෙ කවුරු නිසාද, කුමකටද? ඥාණ සම්ප්‍රයුක්තව දකින්න ඕන. මේ බුද්ධ ශාසනයේ ආර්ය විනය තුල, ළදරුවෝ ඉන්නවා, ගැබ් ගත්ත අය ගැබේ ඉන්න හා සමාන අය ඉන්නවා, ඒවගේම බඩගාන දරුවෝ ඉන්නවා, දණගාන දරුවෝ ඉන්නවා, අල්ලගෙන ඇවිදින දරුවෝ ඉන්නවා, පිය මාරුකරන දරුවෝ ඉන්නවා, දුවන පනින ළමයි ඉන්නවා, ගැටවරයෝ ඉන්නවා, තරුණයෝ ඉන්නවා, මැදිවයස් අය ඉන්නවා, මහල්ලොත් ඉන්නවා. 

 

මහල්ලා තමයි, “අරිහතුන් වහන්සේ”. මහල්ලාගේ මරණය තමයි, “උන්වහන්සේගේ පිරිනිවන්පෑම”. ඒවගේම වැඩිහිටි වයස් අය ඉන්නව, “අනාගාමී අය”. තරුණ වයසෙ අය ඉන්නව, “සෝවාන්, සකෘදාගාමී අය”. ළමා වයසේ අය ඉන්නවා, “එතෙන්ට මාර්ගය වඩන අය”. ළදරු වයසෙ අය ඉන්නව, “ඔය පින් දහම් කරගෙන, තව ලැහැත්ති වෙන අය”, ඒ ගොල්ලො ළදරුවෝ.

 

ඉතින් ළදරුවන්ගේ කිරි ආහාරය, නැතිකරන්න හොඳ නෑනෙ? ඉතින් අපි දන්නවා, ළදරුවාට ළදරු ආහාරය හදල දෙන එක, වැඩිහියන්ගේ සුදුසුකම, යුතුකම නිසා, ඒක කරනකොටම වැඩිහිටියගෙ හිත එතන බැඳිල නෑ, එයා අනික් අයට කරල දෙනවා. ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ. එතකොට “පිං දහම්, මං කරගන්නවයි කියන තැන හිටියොත්”, මං එතන ඉක්මවලද, නැද්ද කියල දැනගන්න ඕන. මම ඉන්නෙ එතෙර කරන්නද? 

 

“ආයුෂ, වර්ණය, සැපය, බලය, පටිභාන ඤාණය” කියන මේ කාරනා පහ තමයි, සාසනික පිං දහම් වලින් අපි පුරවගන්නෙ. ඒකෙ පිහිටල තමයි, ආර්ය මාර්ගය වඩන්නෙ. ඉතින් මට දැන් ඒ ටික තියෙනවද, නැද්ද? අපි නිගමනය කරගන්න ඕනෙ. 

 

“මට ආර්ය මාර්ගය වැටහෙනව නම්, කියන එක තේරෙනව නම්, කියන බණ කිඳා බැහැල වැටහිලා හිටිනව නම්”, මට එතෙන්ට ඇවිදිල්ල ඉවරයිනෙ. මම ජීවත් වෙනව නම්, මට “ආයුෂ” තියෙනවා. ඒ සඳහා “මම ඒ බණ අහනකොට, මට ප්‍රබෝධය තියෙනව නම්”, මට “වර්ණයත්” තියෙනවා. “ඒ නිරාමිස සුවය මට දැනෙනව නම්, ඒ බලය නැගී එනව නම්”, “සැපයත්, බලයත්” තියෙනවා. “ඒකෙන් තීක්ෂණවෙලා, නුවණින් වැටහෙන්න පටන්ගන්නව නම්”, “පටිභාන ඤාණයත්” තියෙනවා. 

 

එහෙනම් මං පෙර භවයෙදි, ඔය ටික කරගෙන තියෙනවා. ඒ කරගත්ත එකේ ප්‍රථිපලය, මං මේ භුක්ති විඳින්නේ. එහෙනම් මේ භුක්ති විඳින්නෙ පැවැත්මට නෙමේ, පැවැත්ම කෙලවර කරගෙන, ආර්ය මාර්ගය වඩන්න, මට දැන් පහසුකම හැදිල තියෙන්නෙ. හැදිච්ච පහසුකමෙන්, අප්‍රමාදව මගෙ වැඩේ, මං කරගන්නවා. හැබැයි මේක හැදිච්ච නැති, බාල කට්ටියක් තව ඉන්නව, උන්ව අනාථ කරන්න හොඳ නෑනෙ, උන්ටත් අත දෙනවා. උන්ට අත දෙන ගමන්, තමන්ගෙ ආහාරය තමන් භුක්ති විඳිනවා. එතකොට ඒක තමයි නියම, සමාජය වැඩෙන ක්‍රමය වාගෙමයි, ධර්මය තුල වැඩෙන ක්‍රමයත් ඔහොම්මයි. ඉතින් ඒ නිසා, අපි ඒව නොකර ඉන්නවා නෙමෙයි, අපි සඳහා නෙමෙයි. දැන් මම අතන ගිහිල්ල පූජාවක් තියන්නෙ මා සඳහා නෙමෙයි, මට ඔය පූජාව තියන්න ඕන නෑ, ඊට වඩා භාවනාවකින්, මට ඊට එහා කරගත්තහැකි. නමුත් ඒවටත් තියෙන වැඩේටත් මං තියාගෙන, අනික් අයට යහපතක් කිරීමට දයාවෙන්, කරුණාවෙන් කරනවා, ඒක කලයුතුයි. 

 

“ලෝක අනුකම්පාව”, කියන්නෙ අන්න ඒකයි, ඒක අවශ්‍යයි. එතකොට තමයි, නියම සාසනය බුදුරජාණන් වහන්සේ අනුගමනය කලා වෙන්නෙ. බුදු පියාණන් වහන්සේ තමා වැඩුන ගමන්, අන්‍යන්ට අත දුන්නා. උන්වහන්සේට නිරෝධ සමාපත්තියට සමවැදිලා ඉන්නත් තිබුණා, අරිහත් ඵල සමාපත්තියෙන් කාලෙ ගෙවල පිරිනිවන් පාන්නත් තිබුණා. නමුත් උන් වහන්සේ බුදු උනේ ඒ සඳහා නෙමෙයි. පල්ලෙහා ඉන්න, අනාථ වෙලා ඉන්න මේ සත්ව පිරිසකට, අත දීල ගොඩට ගන්න. උන් වහන්සේ ඵල සමාපත්තියෙනුත් ඉන්නව, සුදුසු වෙලාවෙදි, නිරෝධ සමාපත්තියෙනුත් ඉන්නව, සුදුසු වෙලාවෙදි. ලෝකයාට අනුකම්පාවෙන් ධර්ම දේශනා කිරීම සඳහා, පොඩි අයට පොඩි දේ කියාදෙනවා, ඊළඟ මට්ටමේ අයට ඊලග දේ කියාදෙනවා, එහෙමත් කියාදෙනවා. “ස්වාමීනි! අපි මේ කාම ලෝකෙ ජීවත්වෙන ගිහියො, අපිට ගැලපෙන ධර්මයක් දේශනා කරන්න?” “හොඳයි, එහෙනම් මේ ටික කරගන්න”, එහෙමත් කියාදෙනවා. ඉතින් “අසේවනාච බාලානං, පණ්ඩිතානංච සේවනා, පූජාච පූජනීයානං”, ඉතින් පටන්ගත්ත ඔතන ඉඳලත් දුන්න. මේ ටිකත් කරගන්න, ඉතින් ඒවත් කියාදුන්න.

 

දැන් මාතා පිතූ උපට්ඨානං පුත්ත ධාරස්ස සංඝහෝ, කියල බුදු හාමුදුරුවො දේශනා කරපු බණනෙ, කියල, හාමුදුරු කෙනෙක් කරන්න ගියොත් එහෙම, පාරාජිකයිනෙ? අඹු දරුවන්ට සංග්‍රහ කරන්න ගියොත්, ගැලපෙන්නෙ නෑනෙ? කාමේසුමිච්චාචාරා වේරමණී කියල කිව්වට පස්සෙ, “ඒකත් බුදුරජාණන් වහන්සේ කිව්ව බණක්නෙ, අපිත් කාමයෙහි වරදවා හැසිරෙන්නෙ නැතුව, හොඳින් හැසිරෙමු”, කිව්වොත් එහෙම, හාමුදුරුවො පාරාජිකයිනෙ, ගැලපෙන්නෙ නැහැ. 

 

“ස්වාමීනි! ඔබවහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සෙ, ධාතූන්ට මොකද කරන්නෙ?” කියල අහපුවහම, “ආනන්ද, ඔබලා ඒකට උත්සාහ කරන්න එපා. සැදැහැවත් රජවරු ඉන්නව, සිටුවරු ඉන්නව, සැදැහැවත් ගිහි පිරිස ඉන්නව, ඒගොල්ලො ඒව බලාගනියි. ඒගොල්ලන්ට ඒ ටික දෙන්න, උපදෙස් දෙන්න. ඒගොල්ලන්ට ඒවා කරගන්න දෙන්න. ඔබල මේ ආර්ය මාර්ගය පූර්ණය කරන්න උත්සාහ කරන්න”, එහෙම දේශනාවක් කලා. ඒව එපා කිව්වෙ නෑ, ඒවා කරන්න එපා කිව්වෙ නෑ. අනික් අයට උදව් කරන්න, අනික් අයට කියා දෙන්න, මේව මෙහෙම කරගන්න කියල. ඉතින් එහෙම, ඒව කරගන්නවා. ඉතින් ඒකෙ කිසි ප්‍රශ්ණයක් නෑ. ඒව, හිත වැඩීමට බාධකයකුත් නෙමෙයි. බාධකයක් වෙන්නෙ, ඒව බදන්න ගියොත්. ඒව අපේ වැඩ කරගන්න ගියොත්. අපි ඉන්න තැන අපි දකින්න ඕන. අපි දැන් ඉන් එහාට යන්න ලෑස්තිවෙලා, පෙනි පෙනී ධ්‍යාන ලැබෙනවනම්, ඉතින් මොනවද කතා කරන්න තියෙන්නෙ? 

 

{0:56:06} : ත්‍රිහේතුක පටිසන්ධියක් ඇතිකරන ශක්තිය…

 

ධ්‍යාන ලැබෙන බව පේනවනම්, ඉතින් අපි ඒ මගෙන් යන එකනෙ තියෙන්නෙ, අපේ වැඩේ ඉවරකරගන්න අවස්ථාව ලැබිලනෙ තියෙන්නෙ? කරනවා, කරනවා, දැහැනක්වත් වැඩෙන්නෙ නැත්නම්, කොච්චර කිව්වත් ඒ මාර්ගය තුලින් වැඩෙන්නෙ නැත්නම්, කියන එක තේරෙන්නෙත් නැත්නම්, කරන්න දෙයක් නෑ, ආයු, වර්ණ, සැප, බල, පටිභාන ඤාණ, මට මදිවෙලා තියෙන්නෙ. මගෙ ඉන්ද්‍රිය ශක්තිය නෑ. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය මදි. ඒ හින්ද “මට ශ්‍රද්ධා ඉන්ද්‍රිය මදි නිසා, මට කොච්චර කිව්වත්, මේ දහමෙ පැහැදෙන්න බෑ”. “වීර්ය ඉන්ද්‍රිය නැති නිසා, මට කොච්චර කිව්වත්, මේකට උත්සාහ කරන්න හිතෙන්නෙ නෑ”. එහෙනම් මගෙ වීර්ය ඉන්ද්‍රිය මදි. ඉතින් ඒ වගෙ ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, “මට මේ සතිය පිහිටවා ගන්න කියල කිව්වට, මට හිතෙන්නෙම නෑනෙ ඒක කරන්න, අර කුණු ගොඩමනේ බදාගන්න හිතෙන්නෙ”; සති ඉන්ද්‍රිය මදි. “කොච්චර සමාධි ඉන්ද්‍රිය වඩන්න හැදුවත්, මගෙ හිත සමාධියට පිහිටන්නෙ නෑනෙ”; සමාධි ඉන්ද්‍රිය මදි. “කොච්චර මේ අත්හැරීමට, නොඇල්මට බණ කිව්වත්, මගේ හිත, අත්හැරීමට, නොඇල්මට පිහිටන්නෙ නෑනෙ”; මෙන්න ප්‍රඥා ඉන්ද්‍රිය මදි.

 

මදිනම් මොකද කරන්නෙ? උන්වහන්සේලාට ඇප උපස්ථාන කරල හරි, කොහොමහරි හදාගන්න ඕනෙ, අපාගතවෙන්නෙ නැතුව, දස අකුසලයෙන් මිදිල ඉඳගෙන කටයුතු කරමින්, අනාගතයේදි හරි හදාගන්න ඕනෙ, දැනුත් පුළුවන්තරම් උත්සාහ කරන්න ඕනෙ. ඔතෙන්දි පිහිටන්නෙ, ඒ අය. ඉතින් ඒක තම තමන් විසින්, තම තමන් නැණ පමණින්, තමාගෙ තත්වය දකින්න ඕනෙ. තමා ඉන්නෙ කොතනද කියන එක, අනුන්ට තීරණය කරන්න බෑ. ඒක තමා විසින්ම, විමර්ෂණය කරල තීරණය කරගන්න ඕනෙ. ඒ නුවණත් මදිනම්, එහෙම තීරණය කරගන්නත් බැරිනම්, “සාධු සාධු” කියකිය ඉන්න එකයි තියෙන්නෙ, අනුන්ගෙ ඒවට අනුමෝදන් වෙමින්. ඒකවත් කරගන්න, වෙන මොනව කරන්නද? ඒ අයට ඒ ටිකවත් දෙන්න ඕනෙ. ඒ අයටත් දොස් කියල හරියන්නෑ. ඒ ඒ මට්ටමේ අය, වෙන මොකක් කරන්නද? ඒ ටික කරන්නෙ නැතුව?

 

ඉතින් ගෙම්බා මොනවා කරන්නද බණ අහල, අර්ථ තෝරගන්නයැ? අනික් ගෙම්බො හඬටවත් පැහැදෙයි. වවුලෝ හඬටවත් පැහැදෙයි. අපි මේ පිරිත් සජ්ජායන කරනව, තොපිටත් එක්කල, එහෙම කියල හරි පිරිත් සජ්ජායනා කරල, කිරි වවුලෝ පන්සීයක් ඒ ආත්මෙ මිදුන, මුවෝ පන්සීයක් එතනින් මිදිලා ගියා, මිදිලා ගිහිල්ල මනුස්සයෝ වෙලා ඒගොල්ලොන්ටත් නිවන් මග පෑදුනා. ඉතින් වවුලට කවදාවත් ඒ හාමුදුරුවෝ පිරිත් සජ්ජායනකරන හඬ ඇහුන් නැත්නම්, ඒ වවුලෝ ඒකෙන් මිදෙන්නද? මිදෙන්න විදිහක් නෑ. එහෙනම් ඒ පිරිත් සජ්ජායන කිරීමත් හරි වැදගත්, තමන්ට නෙමෙයි, මේ බාහිර ලෝකයේ, ඒකටත් කොටසක් ඉන්නවා. ඒ හඬ අහල මිදෙන්න, අප්‍රමාණ අමනුස්ස කොටසකුත් ඉන්නවා, අප්‍රමාණ තිරිසන් කොටසකුත් ඉන්නවා. තිරිසනා පවා ඒ හඬ අහල, එතනින් මිදෙනවා. දැන් මණ්ඩුක දිව්‍ය පුත්‍රයා, බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය අහල, ගෙම්බෙක් වෙලා, පුළුවන් උනාද ප්‍රඥාව පහලකරන්න? ඒ එකක්වත් බෑ. ඒ උනාට ඒ හඬත් ඌට යහපත උනා. දිව්‍ය පුත්‍රයෙක් වෙලා ඉපදිලා, නැවත ඇවිදිල්ල, ඒ බණම අහල, සෝවාන් වෙලත් ගියා, මණ්ඩුක දිව්‍ය පුත්‍රයා. ඉතින් ඒ වගෙ අවස්ථා තියෙනවා. පාරිලෙය්‍ය වනයේ හිටපු ඇතා, ඇප උපස්ථාන කරල, එතනින් මැරිල, දෙව්ලොව උපන්න. වඳුරා, දඬු වැල් බෑව විලඳ පූජාකරල, පපුව උලක ඇනිල මැරිල, එතනින් ගිහිල්ල දෙව්ලොව උපන්නා. ඉතින් ඒ සතාට පවා, සසර උරුමෙකින් හරි, එහෙම වාසනාවකුත් තියෙනවා, ඒකෙන් බේරෙන්න. එහෙනම් තිරිසන් ගත සතාට පවා, මේ ධර්මයෙන් ප්‍රථිපල තියෙනවා. 

 

මනුස්සයෝ වෙලා මොනවා කියන්නද, මනුස්සයින් ගැන කවර කතාද? තිරිසනාටත් ඔච්චර ප්‍රථිපල ලැබුනනම්, මේ මිනිහෙක්වෙලා උපන්න, කාම සුගතියේ උපන්න, මිනිහෙක්වෙලා උපන්න කෙනාට, මොනවද කතාකරන්න තියෙන්නෙ? මේ බණෙන් ප්‍රයෝජන ගන්න බැරිනම්. අන්තිම මන්ද බුද්ධිකයටත් වඩා අන්තයිනේ, තිරිසනා කියන්නෙ. මන්ද බුද්ධික මිනිහටත් වඩා අන්තයෙක්, තිරිසනා කියන්නෙ. තිරිසනාටත් පුළුවන් උනානම් බණ අහන සද්දෙට කන්දීලා ඉඳල, ඒ කෙරෙහි චිත්ත ප්‍රසාදයක් ඇතිවෙලා, ඒකෙන් ත්‍රිහේතුක පටිසන්ධියක් ලබලනෙ, ආයි සැරයක් මග ඵල ලබන්නෙ කොහොමද නැත්නම්. ගෙම්බ වෙලා අහපු බණේ, ත්‍රිහේතුක කුසලයක් නොතිබුනානම්, ඒ ගෙම්බ වෙලා, දෙවියෙක් වෙලා කොහොමද, ඇවිදින් ඒ බණ අහල, නිවන් දැක්කෙ? මග ඵල ලැබුවෙ කොහොමද? සෝවාන් උනේ. එහෙනම් ඒ තරම් ත්‍රිහේතුක පටිසන්ධියක්  ඇතිකරන ශක්තියක්, මේ බුදු දහමෙ, හඬේත් තියෙනවා. දැන් ඕව විග්‍රහ කරන්න ගිහිල්ල ඥාණ සම්ප්‍රයුක්තව හිතා ගන්න බැරිනම්, ත්‍රිහේතුක නෑ, ඕවගේ කතාකියන හාමුදුරුවරුත් ඉන්නවා.

 

එහෙනම් ගෙම්බා ත්‍රිහේතුක උනේ කොහොමද කියල අපිට අහන්න වෙනවා, ත්‍රිහේතුක පිනක් කොහොමද ගෙම්බට හම්බුනේ? ගෙම්බා තේරුම් ගත්තද බණ? නෑ. ත්‍රිහේතුකභාවය හෝ ද්විහේතුකභාවය, අපේ දැනුවත්කම තුල නෙමේ තියෙන්නෙ, ඒ ධර්මය තුලයි ඒක තියෙන්නෙ. ත්‍රිහේතුකභාවයට පත්කරන ධර්ම තියෙනවා, දැනගෙන කලත්, නොදැන කලත්, ඒක ත්‍රිහේතුකභාවයට යනවා. අවීචියට ගිහිල්ල, අටමහ නරකයේ උපද්දන ධර්ම තියෙනවා. ඒකෙ තියෙන පාපය දැනගෙන කලත්, නොදැන කලත්, ඔහු යන්නෙ එතෙන්ට. “හේතුවට – ඵලය මිසක්, මිනිස්සුන්ගේ දැන නොදැනීම නෙමෙයි”, මෙතන බලපාන්නෙ. නමුත් මේක තේරුම් ගන්න බැරුව, ඥාණ සම්ප්‍රයුක්ත වෙන්න ඕන, එහෙනම් ඥාණයෙන් කරුණු තේරුම් ගත්තහමයි, ඥාණ සම්ප්‍රයුක්ත” මෙහෙම කතා කියනවා. යම් ධර්මයක්; අලෝභයට හේතුකාරකද, අද්වේෂයට හේතුකාරකද, අමෝහයට හේතුකාරකද, ඒක ඒ මනුස්සය දැනගෙන හිටියත්, නැතත්, ඒක කලොත් ලැබෙන්නෙ, “ත්‍රිහේතුක”. ඔප්පුවෙන තැනක් තමයි, ගෙම්බා බණ අහල, මණ්ඩුක දිව්‍යපුත්‍රයා වෙලා, ඒ දිව්‍ය පුත්‍රයා ඒ බණම අහන්න ඇවිදිල්ල, සෝවාන් වෙලා ගියඑක. ඒක ධර්මයේ සඳහන්වෙන කතාවක්. 

 

එහෙනම් ගෙම්බා කවදාවත් බණ අහනකොට, බණවල අර්ථ තේරුම් අරං, බණ අහලා නෑ, එහෙම බෑ සතෙකුට, තිරිසනෙකුට. අර්ථ දකින්න පුළුවන් ශක්තියක් තියෙනවද තිරිසනෙකුට? නමුත් ඒ “හඬ, අලෝභයට හේතුකාරකයි, අද්වේෂයට හේතුකාරකයි, අමෝහයට හේතුකාරකයි, බුදු දහමෙ හඬ පවා”. බුදු ගුණයෙන්, බුදු ගති ලක්ෂණයෙන් කතාකරන හඬ පවා, ලෝක සත්වයාට අලෝභ, අද්වේෂ, අමෝහ කුසල් ඇතිකරන්න හේතුවෙනවා, ත්‍රිහේතුක කුසල් ඇතිකරන්න හේතුවෙනවා. ඉතින් ඒක මනුස්සයා පිට පවරල, මිනිහගේ ඥාණ ශක්තියෙන්, මිනිහ තේරුම් ගත්තහමයි, මේ ත්‍රිහේතුක වෙන්නෙ කිව්වොත් එහෙම, හරියන්නෑ. ඒක ඒ ධර්මය තුල තියෙන ස්වභාවයක්. ත්‍රිහේතුක භාවය, සතර අපාගත කරන පාපධර්ම, ඒවායේ ඒ හේතු-ඵලය, හේතුවට අනුකූලවයි ඵලය.

 

{1:01:43} : ආනන්තරීය පාපකර්ම – දැන කලත්, නොදැන කලත්, හේතුවට අනුකූලවයි – ඵලය

 

“මම හිතාගෙන හිටියෙ නෑ, මැරිලා අපායෙ යයි කියල, අම්ම මැරුවට”, කියල එහෙම හිටියට හරියන්නෑ, ඒ කතාව මොනවා කිව්වත්, අබුද්ධෝපාද කාලෙ කිව්වත්, “ජීවිතේට මේ බණක් අහන්න අපිට හම්බුනේ නෑ, ඒකයි මං අම්ම මැරුවේ” කිව්වත්, ඒ මොනවා කලාවත් සමාවක් නෑ, අටමහා නරකෙට යනව එයා. ඒක ආනන්තරීය පාප කර්මයක්මයි, ඒක වෙනස් කරන්න බෑ. දැන් ආනන්තරීය පාපකර්ම කියල කොටසක් තියෙනවා. දැන් රහතන් වහන්සේ මැරුවොත්, ආනන්තරීය පාපකර්මයක්. රහතන් වහන්සේ නමක් කියල කවුද හොයාගන්නෙ? සෝවාන් පුද්ගලයටවත්, සකෘදාගාමී පුද්ගලයටවත්, අනාගාමී කෙනාටවත් බෑ, මෙයා රහත් කියල හොයාගන්න. අරිහත්වයට පත්වෙච්ච, ඒ වාගේම චේතෝපරිය ඥාණය කියන ඥාණය තියෙන, තවත් භික්ෂූන් වහන්සේ නමක් ඉන්නව, අරිහතුන් වහන්සේ නමක්, උන්වහන්සේට කිව්වහැකි, අන්න අරයා අරිහත්වයට පත්වුනා, අනික් කෙනෙක් කොහොම කියන්නද? එහෙනම් එහෙම තියෙද්දි, කොහොමද උන්වහන්සේ මැරුවොත් එහෙම, අවීචියට යන්නෙ? මිනිහා දැනගෙනද මැරුවෙ? නෑ, මිනිහ දැනගෙන නෙමේ.

 

එක අවස්ථාවක, හොරු කට්ටියක් අතරමගදි භික්ෂූන් වහන්සේලා පිරිසක් මරලදාලා, ඒ අයටම සංවේගයක් ඇතිඋනා. “අනේ මේ සීලවන්ත, ගුණවන්ත කාටවත් වරදක් නැති අයනෙ, අපි මේ මැරුවෙ, මොන අපරාධයක්ද අපි මේ කලේ” කියලා, “මේ හොරකමේ වැඩක් නෑ අපිත් ගිහිල්ල මහණවෙමු” කියල ගිහින් මහණවෙන්න ආවා. එතකොට බුදුරජාණන් වහන්සේ ලඟට ඇවිදිල්ල භික්ෂූන් වහන්සේලාගෙන් මහණකම ගත්ත. මහණකම අරගෙන යනකොට එක දවසක් කතා වෙනවා, අපි මෙන්න මෙතෙන්දි හාමුදුරුවො කට්ටියක් මැරුවනෙ, ගිහිව ඉන්න කාලෙ. භික්ෂූන් වහන්සේලා ඕක බුදුරජාණන් වහන්සේට කිව්වා. බුදුරජාණන් වහන්සේ ආවර්ජනා කරල බලපුවහම, උන්වහන්සේලා රහතන් වහන්සේලා. “අරිහතුන් වහන්සේලා මරල, මේ සාසන පිළිසරණක් නෑ, සිව්රු ඇරලා යන්න” කිව්ව. දැන් රහතන් වහන්සේලා වහන්සේලා බව දැනගෙනයැ මැරුවෙ? නෑ, කවුරුහරි හාමුදුරු කට්ටිය කියල මැරුව. නමුත් ආනන්තර පාපකර්මය කරගෙන ඉවරයි. ආනන්තර පාපකර්මයක් කරගත්ත කෙනෙකුට, මේ බුද්ධ සාසනයේ පිළිසරණක් නෑ, මහණ වෙලා ගන්න බෑ. 

 

ගිහිව ඉන්නවනම්, ගිහිව ඉඳලත්, අජාසත්ත රජ්ජුරුවෝ වාගෙ, හොඳ ශ්‍රද්ධාවන්ත උපාසකයෙක් උනහැකි. හැබැයි, ඒත් අපායෙන් බේරෙන්න බෑ, ඒත් අපාගත වෙනවා. “අටමහා නරකයෙ යන එක්කෙනා, ඔසුපත් නරකයෙ උපන්න” කියල කියනව, ඒ ටික හින්ද. “මහණෙනි, ඉතින් මේ අජාසත්ත, පියා නොමර හිටියනම්, අද ඒකාන්තයෙන් සෝවාන් වෙනව. හේතු වාසනා තිබුණ. මොනවා කරන්නද? ඔහු කරගත්ත පියා මැරීමේ ආනන්තරික පාප කර්මය නිසා, ඔහුට අද ඒ තත්වය වැහිල ගියා”, කියල බුදුරජාණන් වහන්සේ දේශනා කලා. ඉතින් ඒක දැනගෙන හිටියත් එකයි, නැතත් එකයි, ඒ හේතුවට අනුකූලවයි, ඵලය. 

 

හේතුව ආනන්තරික පාපකර්මයක් නම්, එයා දැනගෙන හිටියත්, නැතත්, ඒ පාප කර්මය සිද්ධ කලොත්, ආනන්තර පාපය එයාට සිද්ධ වෙනවා. හේතුව, ත්‍රිහේතුක කුසල කර්මයක් නම්, එයා දැනගෙන කලත් නැතත්, ඒ ත්‍රිහේතුක කුසල විපාකය හිමිවෙනවා, ඒකයි කාරණය. දැන ගැනීම, නොදැන ගැනීම නෙමෙයි ඔතන තියෙන්නෙ.

 

{1:04:30} : “ලෝක සම්මත මෛත්‍රිය සහ ආර්යන්ගේ මෛත්‍රිය”, එකක්ද, දෙකක්ද?

 

දැන් අපි මුලට එනකොට “අවංකයි, පිරිසිදුයි, පවිත්‍රයි, ප්‍රභාෂ්වරයි”, කියන මේ භාවනාවෙන් යන හැටි අපි ඔතන පෙන්නුව. මෙත් භාවනාව වැඩීමක් තියෙනවා, මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. “ලෝක සම්මත මෛත්‍රියයි, ඒවගේම ආර්යන්ගේ මෛත්‍රියයි”, දෙකක්. 

 

ආර්ය මෛත්‍රිය, ආර්යෙක්ම වඩන්න ඕනෙ, ආර්යෙකුට මිසක් අරමුණ එන්නෙ නෑ. ඒ කියන්නෙ අපි ඔය රූප, වේදනා, සංඥා, සංඛාර, විඤාණ වශයෙන් කිව්ව ටික හරි, නාම රූප වශයෙන් කිව්ව ටික හරි, ඒවගේම එතකොට ඒ කියපු කාරණා අරගෙන, සත්වයා කියන්නෙ මෙන්න මේ ටිකයි, මේ ටිකේ ක්‍රියාවලියයි, දැන් මෙන්න මේ හේතු-ඵල ක්‍රියාවලියක් තියෙනවා, මේකට අපි සත්වයා කියනව. ඉතින් මේ ලෝක සත්වයා කියල මේ යන ගමනක් තියෙනවනම්, මේ ලෞකික ගමන, ඒකාන්තයෙන්ම දුක බව මට වැටහෙනවා. යම්කිසි දවසක ඔය ටික වැටහුනා නම්, මූලික වැටහීමක් ආවනම්, ඒ වැටහීමේ මට්ටමට ඔහු දන්නවා, දුක කියන්නෙ මොකක්ද? 

 

නියම ආර්ය විනයේ දුක කියල පෙන්නුවෙ, “සංසාර දුකයි”. ඒ දුක වැටහෙන තුරු, “සංසාර දුකෙන් මිදෙත්වා” කිව්වට, ඒ අරමුණ ඔහුට සම්බන්ධ නෑ. එහෙනම් සංසාර දුක දැක්ක කෙනෙක්ම, සංසාර දුකෙන් මිදෙත්වා කියල, ලෝක සත්වයාට පතන්න වෙනවා. ඒ පතන්න හේතුවක් තියෙනවා. “අනේ මේ සංසාරය, මෙච්චර දුක් බව අද මට වැටහෙනවා. ඒ උනාට මේ අප්‍රමාණ ලෝකසත්වයාට ඒක වැටහෙන්නෙ නැති නිසාම, මේක මහා සැපක් කිය කිය, මේ මුලාවෙ ගමන් කරනවා. අනේ කවදාහරි මේ සත්වයාටත් මිදීමක් ඇත්නම්, මේ මම ආපු මිදීම් මාර්ගය ඇරෙන්න තව මාර්ගයක් නෑ”, මම යම් සේ මේ ආර්ය විනයේ දුක දැනගත්තද, ආර්ය ධර්මය තුලින් දුක දැනගත්තද, කවදාහරි ලෝක සත්වයෙක් මේ ආර්ය ධර්මය හරහා මේ දුක දැනගන්න ඕනෙ. තනියෙන්නම් මේක කරන්න බෑ, ලොව්තුරා බුදුවෙන කෙනෙකුට හැරෙන්න. එහෙනම් මෙබඳු අනාථ ලෝක සත්වයා, මේ සැප සැප කිය කියා, ලෝකයේම දුකක සැරිසරනව මිසක්, ඔහු සැප දැකල නෑ. යම් සුවයක් ඇත්නම් නිවන් සුවයමයි, සුවය. 

 

ලෝකය, රෝගයෙන් මිදෙන්න දඟලනවා. ඒ උනත් මේ ලෞකිකත්වය තුල රෝගයෙන් මිදීම, රෝගයෙන් මිදීමක් නෙමෙයි. “මේ සසර ගමනමයි, මහ රෝගය”. මේ රෝගයෙන් මිදුනොත් තමයි; සසර ගමන නමැති, සසර රෝගයෙන් මිදුනොත් තමයි, ලෝකයා රෝගයෙන් මිදුන වෙන්නෙ, නිරෝගී උනා වෙන්නෙ. මෙන්න මේ විදිහට මේ කාරණා තේරුම්ගත්ත කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා, “සංසාර දුකෙන් මිදෙත්වා, සංසාර රෝගයෙන් මිදෙත්වා, සංසාර භයෙන් මිදෙත්වා”, ආදී වශයෙන් කියන්න. 

 

එහෙනම් මේකට අරමුණ, තමන්ට එන්න ඕනෙ. ඒක ධර්මය තුලින් මතුවෙන්න නම්, මූල ධර්මයට ආපු කෙනෙක් වෙන්න ඕනෙ. චතුරාර්‍ය සත්‍යය පිළිබඳව යම් ධර්මයක් තමන්ට වැටහුනා නම්, අන්න එදාට දකිනවා, නිවනෙන් මෙපිට කිසිම සුවයක් නෑ. “තපෝ ගුණය හැර, නිවන හැර, සත්වයන්ට තවත් සුවයක් මම නොදකිමි” කියල බුද්ධ වචනයක් තියෙනවා. හැබැයි තපෝ ගුණය, සුවයක් හැටියට වැටහිච්ච කෙනෙකුටම තමයි, ඒක අරමුණු වෙන්නෙ. නිවන සුවයක් හැටියට වැටහිච්ච කෙනෙකුටම තමයි, නිවන් සුවය අරමුණු වෙන්නෙ. අන්න තමාට අරමුණු වෙච්ච සත්‍යක් තුලින්, ලෝකයාට පැතුමක් පතන්න පුළුවන්. ඒ පැතුම, තමන්ටත් යහපත වෙනවා, ලෝකයටත් යහපත වෙනවා.   

 

අන්න ඒ නිසා, ඒ භාවනාව ගැලපෙන්නෙ, ඒ භාවනාවෙනුත් හිත වැඩෙන්නෙ, පළමු අවස්ථාව, චතුරාර්‍ය සත්‍යය පිළිබඳව අවබෝධයක් ලැබිච්ච කෙනෙකුටයි, ඒ භාවනාව පිහිටන්නෙ. ඒ නිසා; 

 

“සියලු සත්වයෝ, සියලු වින-දොසින්, නිදහස් වෙත්වා… නිදහස් වෙත්වා… නිදහස් වෙත්වා…”, කියල අපි මේ භාවනාව කෙටියෙන් කියනවා. 

“සියලු සත්වයෝ නිවන් සුවයෙන්, සුවපත් වෙත්වා… සුවපත් වෙත්වා… සුවපත් වෙත්වා…”, කියල වඩනවා. 

ඔය දෙකම එකට ගන්නවා. 

“සියලු සත්වයෝ සියලු වින-දොසින්, නිදහස් වෙත්වා… නිදහස් වෙත්වා… නිදහස් වෙත්වා…” කියල හත් සැරයක් විතර කියල, “සියලු සත්වයෝ නිවන් සුවයෙන්, සුවපත් වෙත්වා… සුවපත් වෙත්වා… සුවපත් වෙත්වා…”, ආදී වශයෙන් හත් වාරයක් කියනව. 

 

දැන් මේක එකින් එකට කිය කිය යනවා. දැන් මේකත් වැඩෙන්න, මේ වින දෝෂ කියන්නෙ මොනවද කියල දැනගෙන තියෙන්න ඕනෙ. සියලු වින දෝෂ මොනවද? මේ “අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් යන ගමනක් ඇත්ද, මෙන්න මේ ගමනම තමයි, වින දෝෂය”. විනාශයට පත්කරන, දෝෂ සහගත වැඩේ ඕකමයි, මේක දකින්න ඕන. එහෙම නැත්නම් ලෝක සත්වයා වින දෝෂ කියල, මේ කොඩිවින කරන ඒවයි, හූනියම් කරනව කියන ඒවයි, ඕව ගනන් ගන්න පුළුවන්. ඕව නෙමෙයි, ඔය කිව්වෙ. අවිද්‍යාවෙන් යුක්තව, තෘෂ්ණාවෙන් යුක්තව, මේ ලෝකයේ ඇලීමෙන්, බැඳීමෙන් යන ගමනක් ඇත්ද, අනාථයි එතන. මේවමයි වින දෝෂ කියන්නෙ. මේ ලෝක සත්වයා මේ කියන ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යුක්තව එන්නාවූ ගමන තමයි, වින දෝෂය. “මෙන්න මේකෙන් මිදෙත්වා”, කියන එක අදහස එන්න ඕනෙ. 

 

“ලෝභක්‍ෂයක් ඇත්ද, ද්වේෂක්‍ෂයක් ඇත්ද, මෝහක්‍ෂයක් ඇත්ද, මේක නිවනයි”. මෙන්න මේ නිවනමයි, සුවය. අනන්ත සසර ගිනි නිවන, සුවය. “නිවන් සුවයෙන් සුවපත් වෙත්වා… සුවපත් වෙත්වා…” කියන කොට මේ අදහස එන්න ඕනෙ. ඔය අදහස එන්න, මූලික ධර්මය අහල තේරුම්ගත්ත කෙනෙක් ඕනෙ. අන්න එයාට මේ කියන බ්‍රහ්ම විහරණය ගැලපෙනව. ඉතින් මේ මූලික බණ අහල, ඔය ටික තේරුම් ගත්ත කෙනාට, ඔය කියන කර්මස්ථානයත් වැඩිය හැකි. ඕක “බ්‍රහ්ම විහරණය”

 

දැන් අපි යන්නේ “දිව්‍ය විහරණය”. දිව්‍ය විහරණ, බ්‍රහ්ම විහරණ, ආර්ය විහරණ, ක්‍රම තුනක් තියෙනවා. “ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අනුකූලව යනකොට, ආර්ය විහරණය”. ඒක ඔය කියන දිව්‍ය විහරණය, බ්‍රහ්ම විහරණය, ආර්ය විහරණය කියන තුනේම කර්මස්ථාන, නිවන් දකින ඒව. ඒව ගැලපෙන එකක්, තමන්ට ගැලපෙන එක ගන්න ඕනෙ, ඔය විදිහට. 

 

“ආර්යන්ගේ වාසයක් ඇත්ද, ආර්ය විහරණය”. ආර්යෝ යම් ගුණයක් වඩනවද, ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩනවා. ආර්ය අෂ්ඨාංගික මාර්ගය භාවනාකරන එක; ආර්ය විහරණය. සම්මා දිට්ඨියෙන් යන්න ඕනෙ. “සං” කියන්නාවූ එකතුවෙන්, “මා” කියන්නාවූ මිදීමට, දැකිය යුක්තක් තියෙනවා; ඒක සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨි කියන වචනයේ අර්ථය ඒකයි. මොකක්ද දැකිය යුත්තෙ? “හටගත්ත සියල්ල විපරිණාමයට පත්වෙනවා, වැනසෙනවා”. “යංකිංචි සමුදය ධම්මං, සබ්බන්තං නිරෝධ ධම්මං. මෙන්න මේක දැක්කහම, එයා සම්මා දිට්ඨිය දැක්ක. කෙටියෙන් කිව්වනම්, ඔය සම්මා දිට්ඨිය පෙන්නන එක ක්‍රමයක්. “ඥාණ සම්මා දිට්ඨි” කියල මේකට කියනවා. 

 

“කර්ම ඵල අදහන සම්මා දිට්ඨියයි, ධ්‍යාන සම්මා දිට්ඨියයි” කියල දෙකක් ලෝකෙ තියෙනවා. ඒ දෙකේ ලෝකයාගේ සම්මා දිට්ඨි එක්තරා ක්‍රමයක්. එතකොට ලෝකයා කර්මඵල අදහන තව ක්‍රමයක් තියෙනවා, ආර්යයෝ කර්ම ඵල අදහන ක්‍රමයක් තියෙනවා. “මෙබඳු වන්නාවූ පුණ්‍ය කර්මයක් කලොත්, මට මෙබඳු වන්නාවූ පුණ්‍ය විපාකයක් ලැබෙනව, ඒක විශ්වාස කරනවා. ඒ විශ්වාස කරල නිච්චයි, සැපයි, ආත්මයි කියන දෘෂ්ඨියේ එහෙම යමෙක් හිටියොත්, “එහෙනම් මට දෙවියෙක් වෙන්න, මෙන්න මේ පින කරගත්තහම, හොඳ දිව්‍ය සම්පත් විඳගෙන හිටියහැකිනේ”, ඔහොම අදහසක් එන්න පුළුවන්. ඒ අදහසක් ඇවිදිල්ල, ඒ පුද්ගලයා දිව්‍ය සම්පත් බලාපොරොත්තුවෙන්, දිව්‍ය සම්පත් භුක්තිය පරමාර්ථ කරගෙන, යම් පිනක් කරගන්න පුළුවන්. හැබැයි ඔහුත් එක් දෙයක් විශ්වාස කලා බොරුවක් නොවන දෙයක්, “මේ යහපත කරපුවහම, මේ පින කරපුවහම, මේ පිනේ ප්‍රථිපලය, මේ සුචරිතයෙ ප්‍රථිපලය, දිව්‍යලෝකයයි”. ඒක විශ්වාස කලා. මෙන්න මේක ලෝකයාගේ “කම්මස්සගත සම්මා දිට්ඨියට” වැටෙන එකක්. 

 

ආර්යයෝ එකක් දකිනවා. ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ කාරණා පහ ඕනෙ නිවන් මගට උපනිශ්‍රය වෙන්න. ඒවාගේම කන්න ආහාරයක්, ඉන්න තැනක්, ලෙඩට බෙහෙතක්, ඉනට වස්ත්‍රයක් කියන සිව්පසයක් අවශ්‍යවෙනවා උපනිශ්‍රය වෙන්න. මේව මට නිකං ලැබෙන්නෑ, දානයක් දුන්නොත් තමයි, මටත් කවදාහරි මගේ ඒ ආර්ය මාර්ගය වඩනකොට උපද්‍රවයක් නැතුව, කරදරයක් නැතුව, දැහැමින්, සාමයෙන් මට ආහාරයක් ලබාගන්න පුළුවන් වෙන්නෙ. එහෙනම් ඒකට ප්‍රත්‍ය මට අවශ්‍යයි. ඒ නිසා මං මේ පින කරන්නෙ අන්න ඒ සඳහායි. අන්න ඒක, “ආර්යන්ගේ කර්ම ඵල දැකීමේ සම්මා දිට්ඨි”

 

සුගතියක උපදින්න ඕනෙ, මේ ආර්ය මාර්ගය පූර්ණය කරගන්න. සුගතියක නැත්නම්, මේ ටික පූර්ණය කරන්න බෑ. ඒ නිසා මම සුගතියක් බලාපොරොත්තු වෙන්නෙ, සුගති භුක්තිය විඳ විඳ ඉන්න නෙමෙයි. ඒ සුගතියක නොඉඳ, මේ මාර්ගය පුරන්න බැරි නිසා, මට සුගතියක් අවශ්‍යයි. ඒ නිසා මම, මේ මේ පිං දහම් කරපුවහම, මෙසේ සුගතිය ලැබෙනව, මේ මේ සුචරිතයෙන්, මේ සුගතියේ සම්පත් මෙසේ ලැබෙනව කියල, මෙන්න මේක විශ්වාස කරල, ඔහු පිං කරන්න පුළුවන්. මෙන්න මේක ආර්ය මාර්ගයට එන අයගෙ සම්මා දිට්ඨිය. ආර්ය ශාසනයේ සම්මා දිට්ඨිය. නැත්නම් ඒක ගත්තහම, කම්මස්සගත සම්මා දිට්ඨියෙ ප්‍රබේධය. ඉතින් මේ ආකාරයෙන් කර්මයට අනුකූලවයි, ඵලය. හේතුවට අනුකූලවයි, ඵලය කියල දකින්න ඕනෙ. ඒ දැකීම “සම්මා දිට්ඨිය”. ඒ තමයි කම්මස්සගත සම්මා දිට්ඨිය.

 

{1:12:46} : පින, නිවනට උපකාර ධර්මයක් වෙන අයුරු

 

ඒකෙන් ආර්යයෝ තේරුම්ගන්නව, මේකෙන් කෝකද වැඩිපුර හොඳ? දිව්‍ය සම්පත්, බ්‍රහ්ම සම්පත් භුක්ති විඳින්න, දෙවියෙක් වෙලා ජීවත්වෙන්න, බ්‍රහ්මයෙක් වෙලා ඉඳගෙන පරමාර්ථය කරගත්තනම් ඒක, මේක මහ අනාථ වැඩක්. මොකද හේතුව? හටගත්ත දිව්‍ය සම්පත්තියත්, බ්‍රහ්ම සම්පත්තියත් දෙකම, මොහොතකින් ඒක ගෙවිල ගිහිල්ල, ඒක ඉවරවෙන එකක්. නැවත අනාථ වෙනවා. සසර ගමනෙ අපාගත වෙන්නත් හේතුවෙනවා. 

 

එහෙම වන්නාවූ සම්පත්තියක ඉන්නනම් මට වැඩක් නැහැ. ඒකට නෙමේ මං බලාපොරොත්තු වෙන්නෙ. ඒ සුගතියක නොයිඳ, මේ දහම වැටහෙන්නෑ. ඒ නිසා මට සුගතියක් ඕනෙ. ඒ නිසා මං ඒ සුගතිය ලබාගැනීමට මේ පින් දහම් කරනවා. මෙදා බැරිඋනොත්, මතුවට හරි මට ඒ අවස්ථාව ලබාගන්න. මෙදා පුළුවන් උනොත්, මං මෙදාම කරගන්නවා. ඒ පින කලා කියල, මට ඇති ප්‍රශ්ණයක් නෑනෙ? මොකද, ඒ පින බාධකයක් නෙමෙයි, නිවන් මගට, ආධාරකයක් මිසක්. මෙලොවදී කරන පින, මෙලොවදීත් ආධාර වෙනවා. මෙලොවදී බැරි උනොත්, පරලොවදීත් ආධාරයක් වෙනවා. නමුත් මෙලොවදී ආධාරයට, බාධකයක් නැහැ, මෙලොව කරන පින.

 

මා භික්කවේ පුඤ්ඤානං භායිත්ත සුඛස්සේතං භික්ඛවේ අධිවචනං පුඤ්ඤාති, “මහණෙනි පිනට බියවෙන්න එපා. මේ සුඛාස්සිත තත්වයට කියන තව නමක්, පින කියන්නෙ. සුඛයට හේතුවෙන එකක්”. 

 

සුඛං ගබ්බං ගණ්හන්තං තිවිධං සමාධිං පරිපූරෙන්ති, සුඛය ගැබ්ගත් කල්හි, ත්‍රිවිධ සමාධිය පරිපූර්ණ වෙනවා; ක්‍ෂණික සමාධි, උපචාර සමාධි, අප්පණා සමාධි”; ක්‍ෂණික සමාධියත්, උපචාර සමාධියත්, ධ්‍යාන සහිත මේ අර්පණා සමාධියත්. ඉතින් ඒ නිසා “පින – සුඛයට හේතුවෙනවා, සුඛය – සමාධියට හේතු වෙනවා”. “සමාධියට හේතුවෙන්නාවූ යම් සුඛයක් ඇත්ද, ඒක අපිට යහපතයි. ඒ නිසා, ඒකට භයවෙන්න එපා” කියල පෙන්නුවෙ ඒකයි. “සුමනාවෙනි, දන් දිය යුතුමය, පින් කල යුතුමය, දෙවි වූවන්ටත්, මිනිස් වූවන්ටත්, ශ්‍රමණ වූවන්ටත්, ශ්‍රමණව නිවන් අවබෝධ කරගන්න තුරු, පින උපකාර වේ”. පින, උපකාර ධර්මයක්. පින කවදාවත් බාධක ධර්මයක් නෙමෙයි. බාධක ධර්ම වෙන්නෙ, දස අකුසලය. දස අකුසල්, බාධකයි. පින, බාධක නෑ. ඉතින් ඕක තේරුම්ගන්න බැරි අය, “පිං කරගත්ත අය, දිව්‍ය ලෝකෙ උපදිනවා, ඒක ආර්ය මාර්ගයයැ”, ඔහොම කියල, මුලා අදහස් ගන්නවා. ඒක මුලාව. බුදුරජාණන් වහන්සේගෙ දේශනාවක් නෑ එහෙම. 

 

බුදුරජාණන් වහන්සේ දේශනා කලේ, “නිවනට බාධක; දස අකුසල්. දස අකුසලයෙන් මිදෙන්න”. දස අකුසලයෙ හිත බැඳගෙන ඉන්න තාක්කල්, නිවනට බාධකයි. දස අකුසල්වලට කියන තව නමක් තමයි, දස අකුසලයට මුල, “පංච නීවරණ”. එහෙනම් පංච නීවරණයෙන් මිදෙන්න. පංච නීවරණ නිසා, දස අකුසල් කරන්නෙ. පංච නීවරණ නැති කලොත්, දස අකුසලයට සම්බන්ධ නෑ. 

 

ඉතින් කුසලය කියන්නෙ, ආර්ය අෂ්ඨාංගික මාර්ගය. කුසලය වැඩෙන්න නම්, කුසලය නොවැඩීමට හේතුවෙන අකුසල් පැත්ත දුරු කරන්න. අකුසල් දහයයි තියෙන්නෙ; ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිච්චාචාර, මුසාවාද, පිසුනාවාච, පරුෂාවාච, සම්ප්‍රප්පලාප, අභිජ්ජා, ව්‍යාපාද, මිච්චා දිට්ඨි. 

 

{1:15:38} : කාමඡන්දය, නිවනට බාධාවෙනවා මිස, කාමරාගය, බාධා නොවේ

 

යම්කිසි පුද්ගලයෙක්, ස්ත්‍රියක් කසාද බැඳගත්ත කියල, නිවන් මගට බාධකයක් නැහැ. හැබැයි අනුන්ගෙ ස්ත්‍රියක් කරා ගිහිල්ල, දූෂණය කරන්න, දූෂිත විදිහෙ වැඩ කරන්න ගියොත්, ඒක බාධකයක්, කාම මිච්ච්චාරයයි බාධක. භික්ෂූන් වහන්සේලාට කිව්ව පානාතිපාතා, අදින්නාදානා, අබ්‍රහ්මචරියා. එතන වෙනසක් පේනවා සම්මතය නිසා. ඒක ආර්ය සම්මතය තුල, භික්ෂූන්, භික්ෂුණී කියන සම්මතය නිසයි ඒක එහෙම පෙන්නුවෙ. උපාසක, උපාසිකාවන්ට ඒ සම්මතය නෑ, කාම මිච්චාචාරයෙන් වෙන්වෙන්න කිව්වෙ. කාම මිච්චාචාරයෙන් වෙන්වීමෙන්, ධ්‍යාන මාර්ගඵල වලට කිසි බාධකයක් නෑ. ඒකයි හේතුව. කාම දූෂණය තමයි, ධ්‍යාන මාර්ගඵල වලට බාධකය. එතෙන්දි එකින් එකට, එකින් එකට, තමා වැඩිලම, “නිස්සාර කාමය මොකටද” කියල, දැනුවත්වම අත්ඇරලා දානවා, අනවශ්‍ය නිසා අත් අරිනවා. ඉතින් ඒකට කිසි බාධකයකුත් නෑ, ගිහිව ඉන්නකොට. 

 

අන්න කාමඡන්දයයි, බාධකය, කාමරාගය නෙමෙයි. කාමරාග, පටිඝ, අනාගාමී භවයෙදි නැතිවෙන්නෙ. ගිහිව ඉන්න කෙනාට, විවාහවෙලා ඉන්න පුළුවන්, නමුත් අනාගාමී වෙනකොට, කාමරාගයක් නෑ. කාමරාගයෙ සම්බන්ධය, එදාට ඉවරයි. ඒ උනාට ගෙදර අපූරුවට අඹු සැමියෝ වශයෙන් ඉන්නවා. හිටියට මොකද? කාම සම්බන්ධයක් නෑ. ඒක තමයි ගිහිව හිටිය උනත්, ලෝකයාට හොයන්න බෑ මේක. මේ ලෝකයා, මුලාවට පත්වෙච්ච ලෝකයා, “කසාදත් බැඳලලු, ළමයිනුත් ඉන්නවලු, ගෙදරත් යනවලු” ඕවගේ ප්‍රශ්ණ දානවා. මොනව කරන්නද? මුලාවේ තරම. ඒක ලෝකයාගේ මුලාව. ලෝකයා දකින්නැති පැත්තක්. 

 

හත් අවුරුද්දෙන් සෝවාන්වෙලා හිටපු කුක්කුටමිත්තගෙ බිරිඳ, කුක්කුටමිත්ත කියන වැද්දගෙ බිරිඳ, මස් වැද්දත් එක්කල ඔක්කොටමත් හොරෙන් පැනල යන්න ගියා. දරුවෝ දහදෙනෙකුත් හදාගත්ත. දහදෙනෙක් හෝ දොළොස්දෙනෙක්ද කොහෙද උපද්දගත්ත. ඔක්කොම පිරිමි දරුවො. අර කුක්කුටමිත්ත වැද්ද කියන එක්කෙනා ගෙනල්ල දෙන, ඒ වැද්ද ගෙනත් දෙන මස් මාලුම කාල, එවෑන්ම ජීවත්උනා, එයාට දුනු ඊතලත් හදල දුන්න, ඔක්කොම කරල දුන්න, සපයල දුන්න. හැබැයි සෝවාන් ඵලය පිරිහුන් නෑනෙ? දැන් අපිට ඕනෙ බණ කියන්න බෑ. අපි ධර්මය තුලින් දකින්න ඕන, මොකක්ද ඒ කිව්වෙ කියන එක.

 

විශාඛා උපාසිකාව, හත් අවුරුද්දෙන් සෝවාන් වෙලා දරුවෝ දහඅට දෙනෙක්ද කොහෙද හිටිය කියනවා. නිකං ඉඳලද? ප්‍රශ්ණයක් උනාද?  සෝවාන් ඵලය පිරිහුනාද? නෑ. එක බත් පෙට්ටියක් අරගත්තහම දාහකට බත් බෙදියහැකි, පුණ්‍ය ඝෘධියකුත් තිබුන. පුණ්‍ය ඝෘධි බලය පිරිහුනාද? ඒත් නෑ. ඉතින් ලෝකයා දකින්නැති මේ දේවල් ගැන කතාකරන්න යනව, උඩින් මත්තෙන් හොයාගෙන, රහතන් වහන්සේගේ තත්වය ගන්න යනව, සෝවාන් පුද්ගලයා ගැන. කොහොමද කරන්නෙ? ඒ ලෝකයාගෙ නොදැනීම.

 

{1:18:20} : රහතන් වහන්සේලා දැනටත් වැඩසිටිනවාද?

 

(ගිහි පින්වතෙක් ප්‍රශ්නයක් අසයි. ප්‍රශ්ණය පැහැදිලි නැත.)

(ස්වාමීන් වහන්සේ): ඉතින් දකින්නැති දේවල්. මල් පූජ කරනවා, පහන් පූජ කරනවා, “සුන්දර බුද්ධාගම” හදාගත්ත ඒව. ඉතින් මේ ආර්ය මාර්ගය තුල ආර්ය මාර්ගය වැඩුන, සංසන්දනය කරල බලපු දහම් උපමා. ඉතින් ඕවෑ අර්ථය වැහුනට පස්සෙ නම්, “සුන්දර බුද්ධාගම” තමා. ඒ උනාට ඒව අහක්කරන්න බෑ. හැඟවිලා තිබිච්ච, වැරදිලා තිබිච්ච අර්ථය නැවත මතුකරගෙන, ඒ වැඩපිළිවෙල හරියාකාරව ගෙනියන්න ඕනෙ. දෙදාස් පන්සීයක් තිස්සෙ චෛත්‍ය වෙහෙර විහාර හැදුවෙ මොකටද? වැඩක් නෑනේ. අද ඊයෙ හදපුවයැ. බුදු දහම හරියට නැති කාලෙ හදපුවද? නෑ. නිර්මලව බුද්ධාගම බබලද්දි හදපුව. 

 

“රහතන් වහන්සේලා ලක්ෂ ගානක් ආවයි කියනව, මේ රුවන්වැලි සෑය හදනකොට”, කියල වංශ කතාවල තියෙනවා. රුවන්වැලි සෑය විවෘත කිරීමට රහතන් වහන්සේලා ලක්ෂ ගණනක් ආවයි කියනව. ඔය ලක්ෂ ගණනක් ඉන්නෙ ලංකාවේ විතරක්ද? නෑ. තව තවත් හිටපු ප්‍රදේශවල, අනික් රටවල්වල හිටපු අයත් ආව, ඒ ආරංචියට. මොකටද ආවෙ? එන්න ඉතින්, දික්කල අතක් වක්කල සැනින් එන්න පුළුවන් උන්වහන්සේලාට, ඉතින් ප්‍රශ්ණයක් නෑ, රහතන් වහන්සේලාට එන්න, ඝෘධි බල තියෙන අයට. ඉතින් මෙහෙ ඉඳල බුදු දහම තිබුනත් තව වෙන රටක, උන්වහන්සේලාට කාටවත් පණිවිඩ යවන්න ඕනෙ නෑ, ලවුඩ් ස්පිකර් දාන්න අවශ්‍යතාවයක් නෑ. ඒ මොහොතෙන් ඒක දැකල, ඝෘධි බලයෙන්, දික්කල අතක් වක්කල සැනින් එතනින් චුතවෙලා, අනුරාධපුරයේ ඉන්න පුළුවන්. යනකොටත් ඒ වගේ, එනකොටත් ඒ වගේ, ආයි වාහන අවශ්‍ය නෑ. එහෙම දේවල් නෑ උන්වහන්සේලාට. 

 

මේ මෑතකදී අපේ ස්වාමින් වහන්සේ නමක් මට කිව්ව, මේ එක්කෙනක් කිව්ව සිද්ධියක්, උන්වහන්සේ දැකපු එකක් නම් නෙමෙයි. ඔය කොහෙද මහියංගනය පැත්තෙ, පිරිසක් ගිහිල්ල තියෙනව වන්දනාවක, මෑතකදි. ගියාට පස්සෙ එතන හාමුදුරුකෙනෙකුත් හිටියලු. උන්වහන්සේ ටිකක් හොඳ විවේකී පැත්තක් තියෙනව දැකල, ගහක් මුලට වෙලා ඉඳගෙන හිටියලු. ඒ ඉන්න වෙලාවෙදි, ඊට එහා පැත්තෙ ඇලක් තියෙනවලු, ඇලෙන් එහාපැත්තෙත් ගහක් මුල ඉන්නවලු තව හාමුදුරුකෙනෙක්. පස්සෙ අර උපාසක මහත්තය මේ ගිලන්පස ටිකක් අරගෙන ඇවිල්ල උන් වහන්සේට දෙන්න ලැහැත්ති වෙනකොට කිව්වලු, “අර එහා පැත්තෙ ඉන්නව ස්වාමීන් වහන්සේ නමක්, එහෙනම් උන්වහසේටත් එක්ක ටිකක් වක්කරන්න කිව්වලු”. ඒ කියනකොටම, ටක් ගාල එතනලු උන් වහන්සේ. ඊට පස්සෙ ඉතින් අර කොහොම ආවද දැක්කෙ නෑලු ආපු විදිහක්. ඉතින් උන්වහන්සේටත් ඒ ටික ගිලන්පස දුන්නලු. උන්වහන්සේත් ඒ ගිලන්පස වළඳල අනික් සැරේ බලනකොට, ආයි එහා පැත්තෙලු, අර ගහ මුලලු. ඊට පස්සෙ අර කට්ටිය ගියාට පස්සෙ, මේ හාමුදුරුවන්ට සැකයක් ඇති උනාලු මේ කවුද, මොකද, කොහොමද ආවෙ කියල? එනවා දැක්කෙත් නෑ, යනව දැක්කෙත් නෑ, මේක ගිහින් අහන්න ඕනෙ කියල, උන්වහන්සේට එහෙම බලයක් නෑ, උන්වහන්සේ අර ඇලෙන් බැහැල ගිහිල්ල, උන්වහන්සේ හමුවෙලා, “ස්වාමීනි ඔබ වහන්සේ කොහොමද මෙතනට වැඩියෙ. මම වඩිනවා දැක්කෙත් නෑ, ඇලෙන් මෙහා පැත්තට. ඔය පැත්තට වඩිනවා ආපහු දැක්කෙත් නෑ. ඔබ වහන්සේට ඝෘධි බලයක් තියෙනවද? කොහොමද වැඩියෙ” කිව්වලු. ඒ පාර ඇහුවලු, “ඔබ උපසම්පදාද” කියල? ඒ පාර “ඔව්” කිව්වලු. ඒ පාර කිව්වලු, “මට එහෙම බලයක් තියෙනවා. මං විතරක් නෙමෙයි, මෙහෙම හතර දෙනෙක් ඉන්නව කිව්වලු. අපි හතර දෙනාම පිණ්ඩපාත කරගෙන මෙතෙන්ට තමයි එන්නෙ කිව්වලු. ඇවිල්ල මෙතෙන්දි වළඳල, අපි හතර දෙනාම යනව” කිව්වලු. ඉතින් ඒක මෑතකදී වෙච්ච සිද්ධියක් කියල කිව්ව, සිද්ධියක් ඔය. 

 

දැන් ඉතින් ඒ නිසා අපිට නිගමනය කරන්න බෑ, අද වෙනකොටත් රහතන් වහන්සේලා ඉන්න පුළුවන්. හැබැයි හිටියත් වැඩක් තියෙනවද? දේශකයාණන් වහන්සේලා අඩුයි. දේශකයාණන් වහන්සේලා නැත්නම්, ලෝකෙට රහතන් වහන්සේලා හිටියත්, දැනගන්න විදිහක් නෑ. සියලුම රහතන් වහන්සේලාට, දේශනාකරන ශක්තිය නෑ. බුදුපියාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙ, අතේ ඇඟිලි ගානට විතරයි දහ දෙනෙක් වාගෙ පිරිසක් තමයි හිටියෙ, දේශකයාණන් වහන්සේලා. කෝටි ගානක් රහතන් වනවහන්සේලා හිටිය, දේශනා කරපු බවක්වත් ත්‍රිපිටකයේ සඳහන් වෙච්ච කෑල්ලක්වත් නෑ. කෝටිගානක් රහතන් වහන්සේලා නම් හිටිය. හිටිය පලියට, ඒ ටික කරන්න බෑ.  

 

අලි, ඇත්තු කියල කොටස් දෙකක් ඉන්නව, ඇත් කුලයට, අලි කුලයට සම්බන්ධව. ඇතුන්ට දළ තියෙනවා, ඒ නිසා ඇතා, මහ අතු වලට ඇනල, මහ ගස් පතුරු ගහල, පෙරලලත් දානවා. හැබැයි ඉතින් අලියට ඒක කරගන්න බෑ. හැබැයි ඒ කුලයටම අයිතියි. හස්ති කුලයට අයිති උනාට, ඒ වැඩේ කරගන්න, දළ තියෙන ඇතා ඕනෙ. හැබැයි දළ තිබුනත්, එහාට මෙහාට නැමෙනකොට සල සලාන් කියන සද්දයක් සියලු ඇත්තුන්ගෙ නෑ. ඒකට ගජමුතු තියෙන ඇතෙකුත් ඕනෙ. ඒ ඇතාට ඒ සද්දෙ තිබුනත්, අනිත් අයට ඒ ටික නෑ. ඒක උපතින්ම ලැබිච්ච එක්තරා පුණ්‍ය ශක්තියක්, නැත්නම් ශක්තියක් එක්කල හම්බෙච්ච එකක්. 

 

ඉතින් ඒ වගෙ, මේ සාසනය තුලත්, ආර්ය විනය තුලත්, අලි මට්ටමේ ඉන්න රහතන් වහන්සේලාත් ඉන්නවා, උන්වහන්සේලාට දේශනා කරන්න ශක්තියක් නෑ. හැබැයි අරිහත් ඵලයේ කිසි අඩුවක් නෑ. එහෙම අයත් ඉන්නව. එක එක මට්ටමට පොඩ්ඩක් හරි දේශනා කරල, යමක් කියන්න පුලුවන් අයත් ඉන්නව. ඒ වගේම හොඳට විග්‍රහ කරල, විස්තර කරල දේශනා කරන්න පුළුවන් අයත් ඉන්නව. ඒ නිසා තමයි එදා සිව් පිළිසිඹියාපත් මහ රහතන් වහන්සේලාම ධර්ම සංගායනාවලට ගත්තෙ, අනික් අය ගන්නෙ නැතුව. තව රහතන් වහන්සේලා කොච්චර හිටියද? අභිඥාලාභී උනාට ගත්තෙ නෑ, ත්‍රිවිද්‍යාලාභී උනාට ගත්තෙ නෑ. සිව් පිළිසිඹියාපත් මහ රහතන් වහන්සේලාම තෝරල තමයි, පන්සීය දාහ ඔය ආදී වශයෙන් ධර්ම සංගායනා වලට අරන් තියෙන්නෙ. ඉතින් ඒ වගේ, මොකද? ධර්මය විග්‍රහ කරගන්න, ධර්මයේ ගැටළු තැන් විසඳන්න, අනික් අයට බෑ. අරිහත් ඵලය කියන එක, වෙනම එකක්. ධර්ම ඥාණය කියන්නෙ, තව එකක්. 

 

ඉතින් ඒ අවස්ථාව වෙනකොට, අරිහත්ඵලය ලබල හිටපු අය, සමහර වෙලාවට ආනන්ද හාමුදුරුවන්ගෙන් ප්‍රශ්ණ අහල තියෙනවා. ආනන්ද හාමුදුරුවො සෝවාන් විතරයි. හැබැයි, ධර්ම ඥාණය බොහොම ඉහලින් තිබුන. ඒ නිසා ආනන්ද හාමුදුරුවෝ නැතුව ධර්ම සංගායනා පවත්වන්න බැරිකම නිසාම, නමුත් අර සම්මතයක් තිබුන එදා, සිව් පිළිසිඹියාපත් මහ රහතන් වහන්සේලාගෙන් මේක පැවැත්විය යුතුයි, ඒක තමයි ගැලපෙන්නෙ කියල, ඒ නිසා කිව්ව, අප්‍රමාදීව කොහොමහරි ධර්ම සංගායනාවක් කරන්න ඉක්මන් කරල, අරිහත්වයට පත්වෙන්න උත්සාහ කරන්න කියල, අනික් අයත් අවවාද කලා. ඉතින් උන්වහන්සේ අරිහත්වයට පත්වෙලා, සිව් පිළිසිඹියා අරිහත්වයට පත්වෙලා තමයි, ඒ ස්ථානයට ගියයි කියන්නෙ. ගියහම දොර වහල තිබුනලු. ඉතින් දොරට තට්ටු කරලා කිව්වලු, “මගෙ කටයුතු හරි, දොර අරින්න” කියල. ඉතින් සිව් පිළිසිඹියාපත් අරිහත්වය ලැබුනද කියල අහපුවහම, “ලැබුන කිව්ව”. “එහෙනම් දොර අරින්නෙ මොකටද, ඔය යතුරු හිල තියෙන්නෙ, එන්න කිව්ව”. ඉතින් උන් වහන්සේ අධිෂ්ඨාන කෙරුව, ඝෘධි බලයෙන් යතුරු හිලෙන් රිංගල ගිහිල්ල වාඩි උනාලු, ආසනයේ. දැන් මේක විහිළුවක් හැටියට, සුන්දර බුද්ධාගමක් හැටියට හදාගත්තෙ, ධර්මය දන්නැති නිසා. නමුත් ඒ ඝෘධි බලය ලැබූ අයට ඒක එච්චර ප්‍රශ්ණයක් නෙමෙයි. 

 

මෑතකදි ඔය ඉන්දියාවේ හිටපු එක්තරා යෝගියෙකුට මේ දුගී දුප්පත් මිනිස්සු කන්න නැතුව ඉන්න හැටි දැකල, විශාල සංවේගයක් උපන්නලු. “අනේ මං මොකද කරන්නෙ? මේ අයට මං ළඟ හරි දෙයක් තිබුනානම් මං දෙනවනෙ”, ඉතින් මෙහෙම හැඟීම් ඇති උනාලු. එක දවසක් එහෙම හිතල, නිකමට බලනකොට පාත්තරේ බරයිලු. ඇදල බලනකොට ආහාර පිරිලලු. කොහෙන් ආවද එයා දන්නෙත් නෑලු. ධ්‍යානලාභීව හිටපු කෙනෙක්. ඊට පස්සෙ මේ ආහාර තියෙන්න, කොහෙන් හම්බුනා හරි කමක් නෑ, මේගොල්ලන්ට දෙන්න පුලුවන්නෙ, කියල දුන්නලු. දෙනවලු, දෙනවලු ඉවරවෙන්නෙ නෑලු. කොච්චර දුන්නත්, තව වැඩෙනවලු. ඊට පස්සෙ මේක ආරංචි වෙලා බේරෙන්න බැරුව ගියාලු, එයාගෙ වැඩක් කරගන්නත් නැහැල්ලු, පෝලිමේ එනවලු දානෙ ගන්න. 

 

අන්තිමට කල්පනා කලාලු මගෙ වැඩ වලටත් මහ බාධාවක්, මේ දානෙ පාත්තරේ, දැන් මං මොකක්ද කරන්නෙ මේකට කියල? පස්සෙ එයාගෙ ගුරු යෝගිය හම්බෙන්න ගියාලු. ඒ පාර කිව්වලු, “මෙහෙම එකක් උනා මගේ ඕනකමින් නෙමෙයි කලේ, මට අදහසක් ඇති උනා, ඒ අදහසම ලියලන්න පටන් ගත්ත, මේ දානෙ පාත්තරයක් පිරුන කිව්වලු. කොච්චර දුන්නත් මේක ඉවරවෙන්නෙ නෑ, මට මේක මහ කරදරයක් වෙලා තියෙන්නෙ”. දැන් ඕක නැතිකරගන්නද ඕනෙ ඇහුවලු? “ඔව්” කිව්වලු. ඒ පාර කිව්වලු දානෙ පාත්තරේ පැත්තකින් තියල, චතුර්ථධ්‍යානයට සමවදින්න කිව්වලු. සමවැදිලා, “චතුර්ථධ්‍යානයෙන් නැගිල දානය ඉවර වේවා” කියල අදිෂ්ඨාන කරන්න කිව්වලු. අදිෂ්ඨාන කරල ආයි සමවදින්න කිව්වලු. ඊට පස්සෙ කිව්ව වාගෙම චතුර්ථධ්‍යානයට සමවැදිලා දාන පාත්තරේ අදිෂ්ඨාන කලාලු මේක ඉවර වේවා කියල. ඒ උනාට ඉතින් ඉවර නෑලු, කිව්වට හිතුවට. ආයිත් සමාධියට සමවැදිලා ආපස්සෙ බලනකොට, දාන පාත්තරේ ඉවරලු. දෙවෙනි සැරේ අදිෂ්ඨාන කරල චතුර්ථධ්‍යානයට සමවැදිල, දෙවෙනි සැරේ ආයි සැරයක් අහක් වෙලා බලනකොට, දාන පාත්තරේ හිස් වෙලාලු ඊට පස්සෙ ආවෙ නෑලු.

 

~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~

 

දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://waharaka.com/listen/CD010-03