දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)
සත්ත්වයකුට හැමවිටම ඉන්ද්රිය හයක් ම තියෙන්නෙ ඇයි?
{ 00:00 } : සත්ත්වයකුට හැමවිටම ඉන්ද්රිය හයක් ම තියෙන්නෙ ඇයි?
සෘෂිවරු සෘද්ධි බලෙන් පංච කාමයන් ඉක්මවා ජීවත්වෙන්නෙ ඇතිකරගත්ත මානසිකත්වය නිසා. ඔය “හයවෙනි ඇහැ” ඇරුණහම නළල මැදට පේන්න පටන්ගන්නවා. ඒකෙන් බලන්න පුළුවන් මේ ද්‍රව්‍ය වස්තුමය ලෝකයේ අති සියුම් දේවල්. කිරණ වර්ග පවා ඒකෙන් බැලියහැකියි. භූත – ප්‍රේතාදී කොටස් ඉන්නවා නම් ඒගොල්ලන්ගෙ රූපත් බැලියහැකි. දේවතාවොත් ඒකට පේනවා. ඒ සූක්ෂම රූපයන් බලන්න පුළුවන් ඇහැක් තමයි නළල මැද තියෙන “හයවෙනි ඇහැ”. ඒක අද වැහිලා තියෙන්නෙ, ඒ නිසා පේන්නෙ නෑ.
එහෙම සියුම් අදෘෂ්‍යමාන සත්ත්ව කොටසක් මේ ලෝකෙ ඉන්නවද කියන එකත් සැකයක් වෙන මට්ටමට ලෝක සත්ත්වයින්ට නොපෙනෙන්න වැහිලා ගියා. ධ්‍යානලාභී මානසිකත්වයෙන් කල් යන්න යන්න ඔය ඇහැ නැවත විවෘත කරනවා. විවෘත වෙච්චි මට්ටමට ඒ අයට පේන්න පටන්ගන්නවා භූතයො, ප්‍රේතයො, පිශාචයො, දේවතාවො, ඔක්කොම කට්ටිය. ඒ ඇහෙන් ඒකත් බැලියහැකි.
මේ ලෝක පැවැත්මට ඔය කියන “ආපෝ තේජෝ වායෝ පඨවි ආකාස විඤ්ඤාණ” කියලා ධාතු හයක් තියෙනවා. මේ ලෝක හැදිලා තියෙන්නෙ ඔන්න ඔය ධාතු හයෙන්. ඔය ධාතු හයම යම් තැනක නැත්නම් එතන සත්ත්වයෙක් විද්‍යාමාන වෙන්නෙ නෑ. සිවුම්ව හෝ ඝනව සත්ත්වයෙක් විද්‍යාමාන වෙන්නෙ නෑ. සත්ත්වයෙක් විද්‍යාමාන වෙන්න නම් ඔය කියන කාරණා හය ක්‍රියාත්මක වෙන්න ඕනෙ. ලෝක සත්ත්වයාගේ බලාපොරොත්තුව ඔය කියන ආපෝ තේජෝ වායෝ පඨවි, ඕකට කියන හතරක්. එතකොට ආකාස ධාතු සහ විඤ්ඤාණ ධාතු කියන මේ ධාතු හය ස්ඵර්ශ කිරීමේ භුක්තිය ලබාගැනීම ලෝක පැවැත්ම නිසා, ලෝකය හැදිලා තියෙන්නෙ ඔය ටිකෙන් මිසක් ඔයින් වෙන දෙයකින් නොවන නිසා, ලෝක සත්ත්වයාට ඔය “ෂඪ් ධාතූන්” ගේ ස්ඵර්ශයට අවශ්‍යය කරන “ඉන්ද්රිය හයක්” හටගන්න ඕනෙ.
එහෙනම් ඔය ඉන්ද්රිය හයෙන් එහා හත්වෙනි ඉන්ද්‍රියක් ඇති සත්ත්වයෙක් ලෝකෙ පහලවෙන්නෙ නෑ. යම් යම් පාපකාරී බලවේගයන්ට ගෝචර වීම නිසා ඕවයෙ අඩුපාඩු වෙලා පහලවෙන්න පුලුවන්, හත්වැනි ඉන්ද්‍රියක් ඇති සත්ත්වයෙක් ලෝකෙ නෑ. එහෙනම් සත්ත්වයෙකුට “ෂඪ් ඉන්ද්රිය” පිහිටනවා. අඩුවෙන් පිහිටන්න විදිහක් නෑ, ඔය හයේම ස්ඵර්ශය ලෝක සත්වයා පැවැත්මේ බලාපොරොත්තුවෙන නිසා. එහෙනම් පොදු ලක්ෂණය මොකද්ද, “ඇස කන නාසය දිව කය මන” කියන මේ ඉන්ද්රිය හයක් හටගැනීම සත්ත්වයෙක් වශයෙන්.
හේතුව මොකද්ද? ලෝකය පරිහරණය කිරීම නිසා, බලාපොරොත්තුව ඒක නිසා, ඒකට අවශ්‍යය කරන ඉන්ද්රිය හයයි ඔය තියෙන්නෙ ධාතු හය ස්ඵර්ශ කරන්න. එතකොට මේ ධාතු හයේ ආකාර හයක් නිසා සමාන ඉන්ද්රියකින් මේවා ස්ඵර්ශ කරන්න බෑ. එක ඉන්ද්රියකින් ස්ඵර්ශ කරන්න ක්‍රමයක් නෑ. මොකද හේතුව? ඝනීභවනත්වයේ පටන්ගෙන, ඒ ඝනීභවනත්වයේ සූක්ෂමත්වය කරා හය ආකාරයෙන් අනුපිළිවෙලක් තමයි ඔය ධාතු හයේ තියෙන්නෙ.
පඨවි ධාතුව කියන එක ඝනීභවනයෙන් හුඟක් වැඩියි. ඊට වඩා ඝනීභවනයෙන් බොහොම වෙනස් වෙච්ච, අඩුවෙච්ච එකක් තමයි ආපෝ ධාතුව. ජලයේ ඝනීභවනත්වය එක ආකාරයක්, ද්‍රව්‍ය වස්තු වල ඝනීභවනත්වය ඊටවඩා හුඟක් වෙනස් එකක්. ජලයට වඩා ඝනීභවනත්වයෙන් අඩු තවත් කොටසක් තමයි, ධාතුවක් තමයි වායෝ ධාතුව. ඒක ඊට හාත්පසින් වෙනස් තව ආකාරයක්, තව පැවැත්මක්.
එතකොට වායෝ ධාතුවට ඉස්සෙල්ලා තව එකක් තියෙනවා, අපි “අංශු” කියලා මට්ටමෙන් හඳුන්වන එකක්. ගඳ – සුවඳ දෙකට ගෝචර වෙන හරිය. දැන් ඕවා විද්‍යාඥයො පරීක්ෂණයක් කරොත් කියනවා “අංශුව” කියන එක ඔය හයිඩ්රජන්, ඔක්සිජන් ආදී වායු පරමාණු වලට වඩා හුඟක් ලොකුයි කියලා. ඊට වඩා ඝනීභවනයි. දොඩම් ගෙඩියක් පොතු අරිනකොට ඈතට සුවඳ එනවා. දෙහි ගෙඩියක් පොතු අරිනකොට ඈතට සුවඳ යනවා. මලක් පිපුනහම ඈතට සුවඳ යනවා. විශාල ප්‍රදේශයක අති සියුම්ව යන රූප ධාතු කොටසක් එකත්. ඒවට කියනවා “ගන්ධ ධාතු” කියලා. ඒක සියුම්.
වායුව කියන්නෙ ඊටත් වඩා සියුම් එකක්. ගඳ සුවඳ දෙකටත් වඩා සියුම් වායුව. අද විද්‍යාඥයො කියන හැටියට ඒවා “වායු පරමාණු”, ගඳ – සුවඳ “අංශු”. අංශුව පරමාණුවට වඩා ලොකුයි. පරමාණු කියන්නෙ අංශු වලට වඩා හුඟක් කුඩා එකක්. හයිඩ්රජන් පරමාණු, ඔක්සිජන් පරමාණු, නයිට්රජන් පරමාණු, කාබන් පරමාණු, මේ ඔය ආදී වශයෙන් එකිනෙක පරමාණු කියලා කොටසක් ගන්නවා. ඉතින් වායුමය බවට පත්වුනට පස්සෙ ඒවා අර ගඳ – සුවඳ දෙකටත් වඩා ඝනීභවනයෙන් අඩුයි.
ඒ ආපෝ තේජෝ වායෝ පඨවි කියන ඒවා එකින් එකට ඝනීභවනය වෙවී යන හැටි ඔය. එතනින් එහාට ගියාට පස්සෙ තවත් කොටසක් තියෙනවා. මේ ලෝකයේ එකින් එකට ආකර්ශනය කරලා තියෙන “ආකාස” කොටසක් තියෙනවා. “ආකාස” කියල කියන්නෙ අර හතරම හටගන්න ඉස්සෙල්ලා තිබිච්ච මූලික කොටස. තද දේවල්, මෘදු දේවල්, හැලෙන දේවල්, ගිණි දේවල් හටගන්න මූළික වෙච්ච නිදහස් කොටස. ඒක එක්තරා “ආකර්ශනයක්” සහිතයි. අන්න ඒකට කියනවා “ආකාස ධාතුව”. ආකාස ධාතුව මුල්කරගෙන තමයි හැඩ රුව දකින්නෙ, වෙන්කරලා දකින්නෙ, එක එක හැඩතල පේන්නෙ, ඒ ආකාස ධාතුවත් එක්ක තියෙන සම්බන්ධතාවය උඩ.
එයිට වඩා අති සියුම් එක තමයි “විඤ්ඤාණ ධාතුව”. විඤ්ඤාණ ධාතුවෙ ප්‍රමාණය රූප කළාපයන් හා සම කරලා කතාකරන්න ඉඩ නෑ. ඒ තරම් අති සියුම් එකක්. ඔන්න ඔය ධාතු හතරෙ ස්ඵර්ශය ලබන්න නම් එක ඉන්ද්රියකින් බෑ. බැරිවෙන්න හේතුව මොකද? එක ඉන්ද්‍රියක් ඝනීභවන නම්, අනික් ඉන්ද්රිය සියුම් නම්, ඉන්ද්‍රියකට යම්කිසි දෙයක් ඝට්ටනය වීමෙන් තමයි අර “ස්ඵර්ශය” ලබන්න ඕනෙ. එකකට එකක් ඝට්ටනය වෙනකොට ඔරොත්තු දෙන්නෙ සමාන බලයට සමාන බලයක් තියෙන දේවල්. යමක තියෙන රළු බව හෝ මෘදු බව හෝ යම් ආකාරද, ඊට අනුකූල දේකින් තමයි ඒකෙ ස්ඵර්ශය ලබන්න පුළුවන්. නැත්නම් ඒකත් ගෙවෙනවා.
ලීයකුයි ගලකුයි අරගෙන එකින් එකට තට්ට්ටුකරන්න පටංගත්තොත්, ස්ඵර්ශ කරන්න පටන්ගත්තොත්, බලා සිටියදී ලීය ගෙවිලා යනවා, ගල ඉතුරුවෙනවා. යකඩෙකුයි ලීයකුයි අරං එකට තට්ටුකරන්න පටංගත්තොත්, යකඩෙ ගෙවෙන්නෙ නෑ, යකඩෙ එහෙමම තිබිලා ලීය ගෙවෙනවා. ලීයට ලීයක් තට්ටුකරන්න පටන්ගත්තොත්, දෙකම ගෙවෙනවා සමානව. යකඩෙට යකඩයක් තට්ටුකරන්න පටන්ගත්තොත් ඒ දෙකත් ගෙවෙනවා, හැබැයි සමානව. ස්ඵර්ශයෙදී ඔරොත්තු දෙන්නෙ වැඩිපුරම ලීයට ලීය, යකඩයට යකඩය, ඒ ආකාරව ආවෙ.
ඝනීභවන පඨවි ධාතුව සහිත ලෝකයේ ස්ඵර්ශ කරන්න අනුකූල ඉන්ද්‍රියක් අපිට අවශ්‍යයි. ඒක ඝනීභවන පඨවි ධාතු වලින් හැදිලා තියෙන්නෙ. ඒකට අපි කියනවා “කාය ඉන්ද්රිය”. ඝනීභවනයට ඝනීභවනය සමාන නිසා ඒකෙ ස්ඵර්ශය හරි ආකාරව භුක්ති විඳින්න පුළුවන් අනුකූලව. ඒ නිසා ඒක ගන්න බැහැ තව ඉන්ද්රියකින්.
ආපෝ ධාතුව අනික් එක. ආපෝ ධාතුව ඊට වඩා සියුම් නිසා ආපෝ ධාතුවෙ ආස්වාද භුක්ති විඳින්නෙ තව ක්‍රමයකින්. ඒ ස්ඵර්ශය ලැබෙනකොට වැටහෙන්නෙ තව ක්‍රමයකින්. කයට දැනෙන ස්ඵර්ශය දැනෙන්නෙ තව ක්‍රමයකින්. කයෙන් යමක් අල්ලලා ස්ඵර්ශයක් තද – මෘදු වශයෙන් ලබනවනම්, ඒක වැටහෙන්න එක ක්‍රමයක් තියෙනවා. ඝනීභවන පඨවි ධාතුවට, ඝනීභවන පඨවි ධාතුවෙන් හටගත්ත දෙයක් ස්ඵර්ශ කරලා ඒ පඨවි ධාතුවෙ ස්ඵර්ශය ලබනවා.
ඊලඟට ඝනීභවනයෙන් අඩු එක තමයි ආපෝ ධාතුව. එහෙනම් මේ කයේ ආපෝ ධාතුවෙ ස්ඵර්ශය ලබන්න ඝනීභවන කයට වැඩිය ඊටවඩා මෘදු තව ඉන්ද්‍රියක් තියෙන්න ඕනෙ. එහෙනම් මොකද කරන්නෙ, ආපෝ ධාතුවේ ස්ඵර්ශය ලබන්න දිව නැමැති ඉන්ද්රිය ගන්නවා. ඒකට ගැලපෙන්න හැදිලා තියෙනවා. දිව නැමැති ඉන්ද්රිය මේ කතා කරන්න, එහා මෙහා හොලවන්න තියෙන දිව නෙමෙයි රස දැනෙන්නෙ. මේකෙ “රස නහර” පිහිටියා කියන කොටසක් දිව මුළ, ඇතුළට වෙන්න තියෙනවා. දිව අගට නෙමෙයි රස දැනෙන්නෙ, අන්න ඒ විහිදිලා තියෙන අති සියුම් මෘදු කොටසට. ඒ කොටස ශරීරයේ තියෙන රළු කොටසට වැඩිය මෘදුයි. දියර දේවල් වල රස බලනවා මිසක් දිවට හයිය දෙයක් දුන්නොත්, රළු දෙයක් – වේළිච්ච දෙයක් දීලා රහ බලන්න කිවුවොත් කෙළ වලින් හරි ඒක පොඟවලා දියර කරලා රස බලනවා මිසක් තනිකර වියළි දෙයක රස බලන්න දිවට බෑ. එහෙනම්, ද්‍රව කරලා රස බලන්න යම්කිසි දෙයක් ඇත්නම් ඒ ද්‍රව ස්ඵර්ශය ලබතැහැකි.
කටේ කෙළත් හිඳිලා තියෙන වෙලාවක සීනි ටිකක් කටට දාලා හපලා රහ කියන්න කිවුවොත් එහෙම, වේළිච්ච දිවට සීනි වල රහ බලන්න බෑ. ද්‍රව දෙයක් දීලා රස බලන්න කිවුවොත් ඒකෙ රසය වැටහෙනවා. අන්න ද්‍රව ස්ඵර්ශයට ගැළපෙන ඉන්ද්‍රියක් වෙච්ච දිව නිසා ද්‍රව රසය ගන්නෙ ඒකෙන්. අන්න මේ ලෝකෙ තවත් රස කොටසක් බලපු ක්‍රමයක්. ආපෝ ධාතුවෙ රස බලන්න ඒකට ගැළපෙන ඉන්ද්‍රියක් ඕනෙ කියලා තමයි, කයෙන් රහ බලන්න බැරිවුනා. ඒකට ඉන්ද්‍රියක් වශයෙන් දිව නැමැති ඉන්ද්රිය හටගත්තෙ ඒකට.
ඊලඟට සියුම් ලෝකෙ තියෙන රූප කළාප කොටස තමයි අපි අර “අංශු” කිවුවෙ. දැන් අංශු කියන එක ද්‍රවයට වඩා ඉතාම මෘදුයි, වාතයේ ගමන් කරනවා, වාතය නෙමෙයි. වාතය නොවන, වාතයේම සැරිසරන, විශාල ප්‍රදේශයක් ඒකට අවශෝෂණය කරගෙන විහිදී, පැතිරී පවතිමින්, හඹා යමින් යන කොටසක් තියෙනවා. අපි කිවුවා අර අංශු කියන කොටස. එහෙනම් ඒ කොටස ඊට වඩා සියුම් නිසා දිවට වැඩිය මෘදු ඉන්ද්‍රියක් ඕනෑ ඒක ස්ඵර්ශ කරන්න. අන්න ඒකට හැදිච්ච මෘදු ඉන්ද්රිය තමයි නාසය. නාසයේ මේ උඩට පෙනෙන කොටස නෙමෙයි, ඒක වට රැකවරණයට තියෙන්නෙ – වටේ තියෙන ආවරණය විතරයි. ඔය නාස් කුහරය ඇතුළෙ, ඇතුළට වෙන්න ඊටත් වඩා ඉතා සියුම්, මෘදු ඉන්ද්‍රියක් වශයෙන් පිහිටලා තියෙනවා ගඳ – සුවඳ දැනෙන කොටස. අන්න අර අංශු ගිහිල්ලා, ආශ්වාස කරන වාතයත් එක්ක ඇදුනහම, අතට අල්ලන්නත් බෑ, රහ වශයෙන් ගන්නත් බැරි කොටසෙ, ඒකෙ ස්ඵර්ශය “ගඳ” වශයෙන්, “සුවඳ” වශයෙන් අරගන්න තැනට අපි බැඳුනහම ඒ විදිහට දැනෙනවා. අන්න අංශු ස්ඵර්ශ ආස්වාදය ලැබීමට අවශ්‍යය ඉන්ද්රිය වශයෙන් දිවට වඩා මෘදු “නාසය” කියන කොටස පිහිටල තියෙනවා. දිවේ කොහු ගහක් ගාවන්න පුළුවන්, නාසයට කොහු ගහක් ගෑවුවොත් එහෙම හරි අමාරුයි, නළියනවා ඉන්න බෑ එතන රිදෙනවා. ඊටපස්සෙ කිඹුහුම් යනවා. මොකද වෙන්නෙ? දිව මුළ කොහු ගහක් ගාන්න පුළුවන්, නාසය ඇතුළට එහෙම් එහෙම කරන්න බෑ. ඊට වඩා මෘදුයි.
දැන් ඊටත් වඩා මෘදු කොටසක් තියෙනව ලෝකෙ “වායු” කියලා. ඒ ලෝකෙ වායු ස්ඵර්ශයත් ලබලා ආස්වාද විඳින්න ඕනෙ. වායු ස්ඵර්ශය ලබාගන්න එක, වායු ඉතා සියුම් නිසා නාසයට වඩා සියුම් ඉන්ද්‍රියක් ඕනෙ වායු ස්ඵර්ශ කරන්න, වායුවෙ ආස්වාද විඳින්න. වායු කම්පණයෙ ආස්වාද විඳින්න ගත්ත ඉන්ද්රිය තමයි, ඊටවඩා සියුම් කන. ශබ්ද දැනෙන, සබ්ද ස්ඵර්ශයේ ආස්වාද ලබන ස්ථානය කන ඇතුලෙ තියෙන මේ කන් කුහරය ඇතුලෙ සිවියකිනුත් වැහිලා, ඒකෙනුත් ඇතුලෙ තියෙන්නෙ. ඒක විවෘතව තිබුණොත් එහෙම මේ බාහිරින් ලැබෙන උෂ්ණත්වයට ඒක වේළිලා යනවා. ඒකෙනුත් රැකවරණයක් දෙන්න, කන් අඩි – අපි “කන් බෙරය” ආදී වශයෙන් කියන්නෙ, කන් අඩිය කියන එකකින් වැහිලා කන් අඩියටත් ඇතුළෙන් පිහිටලා තියෙනවා ඉතාම සියුම් ඉන්ද්‍රියක්. ඒ හරියට එහෙම මොනවත් කිට්ටු කරන්න, අහලකට වත් ගන්න බෑ. ඒ තරම් මෘදුයි. ඒ මෘදු ඉන්ද්‍රියේ ආරක්ෂාවට කන් ඇතුළෙන් සිවියක් පිහිටලා තියෙනවා. අපි කන් අඩිය, කන් බෙරය කියලා ඕකට කියනවා. ඇහෙන්නෙ කන් අඩියට නෙමෙයි, ඒකෙනුත් ඇතුළෙ පිහිටලා තියෙන ආරක්ෂකව පිහිටලා තියෙන තවත් ඉන්ද්‍රියක් තියෙනවා, කන කියන එක අන්න එතන. එහෙනම් කන, දිවට වැඩිය, නාසයටත් වැඩිය මෘදු තැනක්, ඉන්ද්‍රියක් වශයෙන් පිහිටියා. මොකද, ශබ්ද ආස්වාද විඳින්න.
හැබැයි ඊටත් වඩා එකක් තමයි අර “ආකාස ධාතුව” කියලා අපි කිවුව එක. ආකාස ධාතුව යම් තැනක පෙන්නුම් කරන්න, ඒකට අවශ්‍යය කරන්නෙ මොකද්ද? ආකාසයේ නිරුපද්‍රිතව ගමන් කරන්නෙ, ආවරණයක් නැත්නම් ගමන්කරන්නෙ ආලෝක කොටස. අන්න ආකාස ධාතුවට අයිතියි ආලෝකය. දැන් ආලෝකයත් අපි ස්ඵර්ශ කරන්න ඕනෙ. ආලෝකය ස්ඵර්ශ කරන්න ඊටත් වඩා සියුම් ඉන්ද්‍රියක් තියෙන්න ඕනෙ. ඒකට අපි කිවුවා “ඇහැ” කියලා. එහෙනම්, ශරීරයේ විද්යාමානවෙන ඉන්ද්‍රියන්ගෙන් මෘදු ම ඉන්ද්රිය තමයි ඇස. එහෙනම් ඇහේ තියෙන සිවිය නෙමෙයි මේ ඇහැ කියන්නෙ. ඒ ඇහැට පේන මාධ්‍යය වහලා රැකවරණය දෙන්න බාහිරින් තිබෙන සිවිය තමයි මේ “කළු ඉංගිරියාව” කියන්නෙ – ඇහේ කළු ඉංගිරියාව. ඒකත් අති සියුම් නිසා, ඒකත් හැමවෙලේම පොඟව පොඟවා තමයි ඉන්නෙ කඳුළු වලින්. ඇහි පිහ ගගහා පොඟව පොඟවා ඉන්නෙ ඒකත්, වේළෙන්න දෙන්නෙ නෑ. ඇහැ කියන්නෙ ඒකෙත් ඇතුළෙ තියෙන කොටසක්. ඒක ඊට වඩා හොඳටම මෘදුයි. ඒකට තමයි ආලෝකය වැටුනහම ස්ඵර්ශ වෙන්නෙ. අන්න, ආලෝකයේ ස්ඵර්ශ ආස්වාදය ලබාගැනීමට ඉන්ද්‍රියක් තියෙනවා, ඒකට ඇහැ. එකින් එකට සමානත්වයට සමානත්වයෙන් ගැළපෙන ඉන්ද්රිය.
ඔයිටත් වඩා අති සියුම් ඉන්ද්රිය තමයි විඤ්ඤාණ ධාතුව ස්ඵර්ශ කරන්න තියෙන “මනැස”. අන්න අර වැහිච්ච ඇහැ. අපි කියනවා නළල මැද එකක් තියෙනවා වැහිලා කියලා කිවුවෙ, අන්න ඒකයි. ඒකට ස්ඵර්ශ වෙන්නෙ කිරණ වර්ග. කාන්දම් වගේ ඉතාම සියුම් දේවල්. ලෝකයේ තිබෙන ආලෝක කිරණ, අඳුරු කිරණ ආදී ඔක්කොම ස්ඵර්ශ වෙන්නෙ ඒ නළල මැදින් තියෙන ඉන්ද්‍රියට. ඒක කිරණ වලින් වැඩකරන නිසා ඒකට මේ නළලෙ හම තිබුණට එහෙම ප්‍රශ්නයක් නෑ. ඒක පිහිටල තියෙන්නෙ මොළය සම්බන්ධ කරලා. මොළය සම්බන්ධ කරපු එක්තරා ඉන්ද්‍රියක් තමයි කිරණ පද්ධතියක් නිකුත් කරන්නෙ ඒ ඒ පැත්තට. ඒ මොළය ඇතුළෙ තියෙන ඇහැ කරකවන්න පුළුවන් ඕනෙ අතකට. ඒක කිරණ ඇහැක් නිසා පිටිපස්ස පැත්තට හිතනකොට ඒක පිටිපස්ස පැත්ත පේන්න කැරකෙනවා. උඩ පැත්ත හිතුවොත් උඩ පැත්ත පේන්න කැරකිලා හිටිනවා. ඕන අතකට කරකවන්න පුළුවන් අධි වේගයෙන්. ඒ ඇහැ ඇරුණොත් එහෙම මේ ද්‍රව්‍ය වස්තු කොච්චර තිබුණත්, ඔක්කොම පසාරු කරගෙන ගිහිල්ලා ඊට එහාපැත්තෙ ඒවා බැලිය හැකියි. ඒක හිත හා සම්බන්ධයි. හැතැක්ම සිය ගණනක් ඈත තියෙන තැනක් ගැන කිවුවට පස්සෙ, එතෙනට යොමු කළොත් එහෙම එතන තියෙන විස්තරය ඒකෙන් බැළියහැකියි, පේනවා එතන පේනවා වගේ. අන්න “දිවැස” කියන එකෙන් දකින්නෙත් ඒ ක්‍රමයට. ඒක තමයි වැහිලා තියෙන එක.
ඉතින් ආපෝ තේජෝ වායෝ පඨවි ආකාස විඤ්ඤාණ කියන මේ ධාතු හයේ ස්ඵර්ශය ලබන්න සත්ත්වයෙකුට ඉන්ද්රිය හයක් ඔය ක්‍රමයට පිහිටනවා. ආස්වාද ලැබීම පරමාර්ථය නිසා ඒකට අවශ්‍යය කරන දේ ගොඩනඟාගැනීමේ මානසිකත්වය නිසා එහි ප්‍රතිඵලයක් වශයෙන් “මනෝ පුබ්බංගමා ධම්මා” කියලා ඔය ලෝක ධර්මය හටගන්නවා ඔය විදිහට. ඕකෙන් සත්ත්ව පුද්ගල සහ බාහිර ලෝකයක් “පැවැත්මට උපකරණ” වශයෙන් හටගන්නවා. ඒකට අපි කිවුවා ලෝකෙ සත්ත්වයෙක් හටගන්න හේතුව ඔය ටිකයි. දැන් ඉතින් මේක ඇතුළත සත්ත්වයෙක් හැදෙන හැටියි විස්තර කරන්න කිවුවෙ, ඒක තමයි පොත්වල නෑ ඔය ටික. පොත් වලින් හොයන්න ගියොත් එහෙම හොයන්න තැනක් නෑ. නමුත් ඕක තමයි හේතු ඵල නියමය. ඕකෙන් තෝරගන්න ඕනෙ ඇයි සත්ත්වයෙක් ගොඩනැඟෙන්නෙ.
යම් දවසක ආපෝ තේජෝ වායෝ පඨවි ආකාස විඤ්ඤාණ කියන මේවා අනිච්චයි, දුක්ඛයි, අනත්ථයි, අසාරයි කියලා දැකලා “මට වැඩක් නෑ ඕවා පස්සෙ හඹා යාමෙන්” කියලා ගත්තා නම් අදහස, අත්හැරී නොඇලී මිදී ගියා නම් ඔය හය නිෂ්පාදනය කිරීමේ හේතුව නැතිවෙලා ගියානම්, ඒ සමඟ සම්බන්ධවෙන ලෝකයත් සමඟ හේතුව කෙළවර වුනානම්, එයා “සත්ත්වයෙක්” වශයෙන් විද්‍යාමාන වෙලා ඉවරයි. ඒ අන්තිම කය පෙර භවයෙන් තිබිච්ච බලාපොරොත්තුවෙන් හදපු එක. මතු කයක් හදන්න තිබිච්චි බලාපොරොත්තු ඕකෙන් ඉවර නම්, මතු ඇහැක් කනක් නාසයක් දිවක් කයක් මනක් ගොඩනඟන්න හේතු නැත්නම්, ඒ භවයෙ අවසානයෙන් පස්සෙ නැවතත් ඇසක්, කනක්, දිවක්, නාසයක්, ශරීරයක්, මනක් ගොඩනැඟුවෙ නැත්නම් ලෝකයා හා සම්බන්ධ සත්ත්වයා කියන සම්මුතිය ඉවරයි. එදාට කියනවා පිරිනිවන්පාපු කෙනාට නාමත් නෑ, රූපත් නෑ සම්බන්ධය ඉවරයි” කියල. නිවන් අවබෝධ කරපු කෙනාගෙ ප්‍රතිඵලය.
පැවැත්මත් එක්ක හොඳයි කියලා ඉන්න තාක්කල් පැවැත්මේ ආදීනවයෙන් අපිට බේරෙන්න බෑ. “පැවැත්ම ආදීනව සහිතයි” කියලා දැනගෙන, පැවැත්මට සම්බන්ධවෙන රූප ශබ්ද ගන්ධ රස ස්ඵර්ශ ධර්ම කියන මේ ටික වැඩක් නෑ කියලා අත්හැරී ගියානම් එදාට නිවන. ඔය ටික එකතු කරගත්තා නම් ඊට වැඩිපුරත් එක්කලා විස්තර ටිකක් ආවා.
{ 19:37 } : දැන හෝ නොදැන කරන ක්‍රියාවක් ආනන්තරිය වෙන නොවෙන හැටි
දැන් මේ හොඳ ප්‍රශ්නයක් තියෙනවා තේරුම්ගන්න. “සිදුවන දේ සහ සිදුකරන දේ කින්, සිදුවන දේකින් පාපයක් සිදු නොවන බව ඔබවහන්සේ දේශනා කළා. එහෙත් ආනන්තරිය පාපකර්මයකට අයිති දෙමාපියන් මැරීම ආදී, නොදැන තම පියා මැරීමක් සිදු වුවහොත් පාපයක් සිදුවෙනවා නේද?” කියලා අහනවා.
බොහොම වැදගත් ඒ ප්රශ්නය. “නොදැන කරන දේ සහ නොදැන කෙරෙන දේ…” මෙන්න මේක තේරුම්ගන්න ඕනෙ. දැන කරන දෙයත් තියෙනවා, දැන කෙරෙන දෙයත් තියෙනවා. නොදැන කරන දෙයත් තියෙනවා, නොදැන කෙරෙන දෙයත් තියෙනවා. මේ කාරණා දෙක තේරුම්ගන්න ඕනෙ. දැන හෝ නොදැන “කරන දේ” කියන එක එකක්. දැන් “නොදැන කරනවා” කියන්නෙයි “නොදැන කෙරෙනවා” කියන්නෙයි දෙකක්. “දැන කරනවා” කියන්නෙයි “දැන කෙරෙනවා” කියන්නෙයි තව එකක්.
මේ “කරනවා” කියන යමක් ඇත්නම් මේක හිත මෙහෙයවලා කරන වැඩපිළිවෙලක්. එල්ල කරපු කාරණය කරා හිත මෙහෙයවලා කරපු වැඩපිළිවෙලක්. “කෙරෙනවා” කියන කාරණයක් ඇත්නම් තමන්ට එහෙම එල්ලකරපු තැනක් මනසින් නෑ. අරමුණු කිරීමක් කරලා නෑ එහෙම කාරණයක් ගැන. දැන් අපි හිතමු මෙහෙම දෙයක්, දැන් මවු මැරීම, පියා මැරීම ආනන්තරික පාපකර්මයක්. යම් තැනක සිද්ධවෙනවා, දැන් මේ “දැන – නොදැන” කියන එක ඔතනදි තෝරාගන්න ඕනෑ. “මවු බව දන්නෙ නැත්නම් – මවු බව දන්නවනම්” කියන එක නෙමෙයි මෙතන තියෙන්නෙ. “ප්‍රාණඝාත පාපකර්මය” කියන්නෙ “ප්‍රාණියෙක් බව” දන්නවද? අන්න එතනයි ඒක තියෙන්නෙ. පණ ඇති සතෙක් බව දන්නවනම්, දැනගෙනම ඒක කෙරුවොත් ඒක “දැන කරපු” එකක් වෙනවා. පණ ඇති සතෙක් බව දන්නෙ නෑ, නමුත් ඒක කළා කියලා යමක් කළානම් එහෙම, “දන්නෙ නෑ” කියන එක නෙමෙයි මෙතන කිවුවෙ, සතා බව දන්නෙ නෑ කියන එක නෙමෙයි, එතන තියෙන්නෙ ප්‍රාණයක් බව අපි දන්නවනම්, ඒ කරපු වැඩේ ප්‍රාණයක් බව දන්නවා නම්, ඒ දැනගැනීමෙන් අපි යමක් කරනවා. ප්‍රාණඝාතය “කරන” එකක් වෙනවා.
දැන් මවු බව දන්නෙ නෑ, නමුත් කෙනෙක් මැරුවා. එයා දන්නෙ නැත්තෙ අම්මා බව. එක්කෝ තාත්තා මැරුවා, තාත්තා බව දන්නෙ නෑ. හැබැයි දැනගෙන එකක් කළා, ප්‍රාණඝාතය දැනගෙන කළා. එයා දන්නැත්තෙ අම්මද තාත්තද කියන එකයි. අන්න දැනගෙන කළානම්, ප්‍රාණඝාතයක් කළානම් ඒ අම්මා වුනොත් එහෙම ඒක ආනන්තරික වෙනවා, තාත්තා වුනොත් ඒක ආනන්තරික වෙනවා, “කරපු” එකක් නිසා.
දැන් ඕක තේරුම්ගන්න මෙහෙම දේකින්. ළමයෙක් අඹ කඩන්න ගහකට, අඹ ගෙඩියකට ගලකින් ගැහුවා. දැන් මේ ක්‍රියාවලියක් සිද්ධකළා. හැබැයි ක්‍රියාවලිය සිද්ධ කලේ මොකද්ද බලාපොරොත්තුව, අඹයක් කඩන්න අඹේට ගහපු එක මිසක් එයාට “මං සතෙක්ට මේක කරනවා, ප්‍රාණඝාතයක් කරනවා” කියන අදහසක් එතන තිබුණෙ නෑ. ඔය ගල කැරකිලා ගිහිල්ලා තාත්තගෙ හරි අම්මගෙ හරි ඔළුවට වැදිලා අම්මා මැරිලා වැටෙනවා, තාත්තා මැරිලා වැටෙනවා. දැන් ළමයා කරපු ක්රියාවලියකින්මයි අම්මා හෝ තාත්තා මලේ අර ගල වැදිලා. හැබැයි දරුවට මාත්‍රයක්වත් ප්‍රානඝාත පාපකර්මයට සම්බන්ධයක් නෑ. මොකද හේතුව? ප්රාණියෙකුට හිංසා කරන බලාපොරොත්තුවෙන් කරපු ක්‍රියාවලියක් එයා මනසින් කළේ නෑ. අඹයක් කඩන්න අඹයට ගලකින් ගැහුව එකයි එයා කළේ. අන්න වෙනස හිතලා බලාගන්න.
දැන් මේ එක්කෙනෙක් කරපු වැඩක්. අකුළක් තියෙනවා පේනවා, අකුළෙ කවුරුහරි දඟලනවා ඇහෙනවා. “මොකෙක් හරි සතෙක් ඇති ඔතන. හොඳ වැඩක් කරන්නම්කො..” කියලා ගත්තා ගලක්, ගැහුවා ඒකෙන්ම අකුළට. බලනකොට අම්මා හරි කමක්නෑ, තාත්තා හරි කමක්නෑ ගොටුකොළ ගලවන්න හරි, නැත්නම් මල මූත්‍රා කරන්න හරි ගිහිල්ලා කැලේ ඉඳගෙන, වැදුනා ඔළුවෙ. එයා මළා. එයාට ආනන්තරිය පාපකර්මයක් සිද්ධවෙනවා. මොකද හේතුව? ප්‍රාණියෙක් මරණ බලාපොරොත්තුවෙන්, ප්රාණියෙකුට හිංසා පීඩා කරන බලාපොරොත්තුවෙන් කැලේ හෙල්ලෙනවා දැකලා, සතෙක් ඉන්නවා කියලා, හොඳ වැඩක් කරන්නම් කියලා, විහිළුවට වෙන්න පුළුවන්, කොළොප්පමට වෙන්නත් පුළුවන්, ඒක වෙනම අංශයක්, ඒ තව අංශයක්. සත්ත්ව ඝාතනයක්, ප්රාණියෙකුට හිංසා කරන බලාපොරොත්තුවෙන් ගලකින් ගැහුවා. වැදුන ප්‍රාණියා කවුද කියලයි දන්නෙ නැත්තෙ.
එහෙනම් මේ “දැන – නොදැන” කියන්නෙ මේ “ප්‍රාණියෙක් බව” දැනගන්න ඕනෙ. ප්‍රාණයක් බව දැනගෙන ප්‍රාණයක් නසන්න ඕනෙ. එතකොට දැන් ඉතින් ප්‍රාණයක් නසනවා කියන බලාපොරොත්තුවක් එතන සම්බන්ධ වෙන්න ඕනෙ. මෙතෙනදි අපි දකින්න ඕනෙ හැම එකක්ම හේතුවට ඵලය ලැබෙන හැටි. මේ පිං – පවු තෝරාගැනීමේ ලේසි ක්‍රමය හේතු – ඵල රටාව, හේතු ඵල දැකීම. යමකින් පිං සිද්ධවෙනවද, යමකින් පවු සිද්ධවෙනවද කියන වචනය ගන්නවට වැඩිය, හේතුව යම් සේද ඵලය ඊට අනුකූලයි. මෙන්න මේක තේරුම්ගත්තහම මේක හරි ලේසියි තෝරගන්න. එතකොට මේකෙ යථාර්තයම දකින්න පුළුවන්. හේතුවට අනුකූලව ඵලයක් ලැබෙනවා. මේකෙන් තේරුම්ගන්න බැරි යමක් තියෙනවනම් ඒකෙ තියෙන්නෙ “අවිද්‍යාව”, ඇත්ත වැටහෙන්නෙ නැතිකම.
“අවිද්‍යාව” තමයි පාප මූළයක් වෙන්නෙ. භව මූළයක් වෙනවා, පාපයන්ටත් මූළයක් වෙනවා. අවිද්‍යාවෙ මහත්කම පාප මූළයක්. අවිද්‍යාවෙන් යුක්ත වීම භව මූළයක්. සසර ගමනට හේතුවෙනවා. අපි යමක් කරනකොට සිහිබුද්ධියක් නැතුව ඒ වැඩේ කරන්න ගියොත්, අවිද්‍යාවෙන් “මෝහයට” බැහැලයි ඒ ඉන්නෙ, මුළාවට බැහැලා. මුළාව නිසයි සිහිබුද්ධියක් නැතුව වැඩ කරන්නෙ. එහෙනම් වැඩි දෙනෙක් පවු කරගන්නවා සිහිබුද්ධියක් නැතුව වැඩ කරන්න ගිහිල්ලා. ඒ නිසා මනා නුවණින්, “සිහි නුවණින්” ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කලේ ඕවා තේරෙන්න පටන්ගන්න. එතකොට තමයි සිහිනුවණ මතුවෙලා “මේක වැරදියි, මේක හරි, මේක කළයුතුයි, මේක නොකළයුතුයි, මේක හිස් වැඩක්, මේක යුතු වැඩක්…” මේ ආදී වශයෙන් තේරුම්ගන්න පුළුවන් වෙන්නෙ.
ඉතින් “දැන-නොදැන” කියන වචනය මෙතන තෝරාගන්න ඕනෙ. “අම්මා බව දන්නෙ නෑ, අම්මා බව දන්නවා” කියන එක නෙමෙයි මේ දැන-නොදැන කිවුවෙ. යමක් කරනකොට, මම දැනුවත්ව කරන ඒවා තියෙනවා, නොදැනුවත්ව කෙරෙන ඒවා තියෙනවා. හිත මෙහෙයවලා කෙනෙකුට හිතන්න පුළුවන්, කියන්න පුළුවන්, කරන්න පුළුවන්. එහෙම හිත මෙහෙයවන මානසිකත්වයක් අපි ලඟ නැත්තෙ, පිස්සුවක් ඔල්මාදයක් හැදිච්චි වෙලාවට, යක්ෂ විකාරයක් හැදිච්ච වෙලාවට. ඒ වගේ වෙලාවට ඒ පුද්ගලයා දන්නෙ නෑ තමන් මොනවා කළාද, මොනවා කිවුවද කියලා. එහෙම අවස්ථාවක් පාපයන් හැටියට ගණන්ගන්නෙ නෑ. එහෙම වෙලාවක කරන වරදක් තිබුණොත් ඒක පුද්ගලයා දැනුවත්ව මෙහෙයැවුවා කියලා ගණන්ගන්නෙ නෑ. දැනුවත්ව හිතුවා නම්, දැනුවත්ව කිවුවා නම්, දැනුවත්ව කළා නම්, මෙන්න මේකට කියනවා “දැන කළා” කියලා.
සමහර කෙනෙක් හිතලා තමයි කියන්නෙ කරන්නෙ, ඔක්කොම කරන්නෙ. දැන් පිස්සු හැදිච්ච වෙලාවටත් හිතලා තමයි කියන්නෙ, කරන්නෙ. ඒ පිස්සු හැදුනහම එයා චේතනා වශයෙන් “මේක මං මෙහෙම කියනවා, මෙහෙම කරනවා” කියලා හිතාගැනීමේ හැකියාවක් නෑ. ඒවගේ අවස්ථාවක් තුළයි ඒ පුද්ගලයා ගතකරන්නෙ. ඉතින් එයාගෙ මානසිකත්වයයි අර දැනුවත් පුද්ගලයගෙ මානසිකත්වයයි දෙකක්. “ප්‍රාණඝාතයක් කරනවා” කියනකොට කරනබව දැනගෙන කරා නම්, අන්න ප්‍රාණඝාත චේතනාව එතන ක්‍රියාත්මක වෙනවා. ඒ වෙලාවෙදි “මේ අම්මද, මේ තාත්තද, මේ වෙන කෙනෙක්ද…” ඒක දන්නෙ නෑ කියන එක තමංගෙ තියෙන අවිද්‍යාවෙ තියෙන වෙන අංශයක් මිසක් අර හිත ගොඩනඟන්න හේතුවෙච්චි කාරණය ඒක නෙමෙයි. දැනුවත්ව හිතුවා නම්, දැනුවත්ව කිවුවා නම්, දැනුවත්ව කළා නම්, ඒ තැන් වලදි සංඛාර සහිත වන්නාවූ මානසිකත්වයක් ගොඩනැඟෙනවා. එතකොට ඒක අයිති වෙන්නෙ පාප පැත්තටද, පුණ්‍ය පැත්තටද කියන එක දහම් විමර්ශනයකින් තෝරගන්න ඕනෙ. ඒකෙ එක්තරා නියමයක් තියෙනවා. තමං හිතපු පලියට ඒක හරියන්නෙ නෑ. පවු වැඩකට “පිං වැඩක්” කියලා හිතාගත්තට ඒක අවිද්‍යාව මිසක් යථාර්තය නෙමෙයි. පිනකට පවක් කියල හිතන්න පුළුවන්, පවකට පිනක් කියලා හිතන්න පුළුවන් යම් කෙනෙක්. ඒ එයා ගත්ත දෘෂ්ඨිය අනුව එහෙම තීරණ වලට බහින්න පුළුවන්. හැබැයි විපාකයක් ඵලදීමෙදි පිනක් සිද්ධවීම හෝ පවක් සිද්ධවීම වෙන්නෙ පිනක් කියලා හිතාගෙන කරපු පලියට වත්, පවක් කියලා හිතාගෙන නොකළ පලියට හෝ කළ පලියට හෝ නෙමෙයි. ඒකට උරුම ස්වභාවයක් තියෙනවා. ඒක පිනක් නම්, නිගමනය කරන්න පුළුවන් අපිට ඕනෙ ඕනෙ හැටියට නෙමෙයි, ඒකට ධර්මතාවයක් තියෙනවා. ක්‍රමයක් තියෙනවා. අන්න ඒ ක්‍රමය දැනගත්තොත් තමයි “මෙන්න මේ ආකාරයෙදි මේක පිනක්” කියන්නෙ, මෙන්න මෙහෙමයි මේක පිනක් වෙන්නෙ. මෙන්න මේ ආකාරයටයි මේක පවක් වෙන්නෙ කියලා තෝරගන්න ඕනෙ.
ඒ නිසා අපේ හිතුමනාපෙට මේක පවු වලට පිං කියලා, පිං වලට පවු කියලා හිතාගෙන කරන්න ගියොත් එහෙම අපි අමාරුවෙ වැටෙනවා. “දන්නෑ” කියලා කියන්නෙ, හිතපු බව දන්නෙ නැත්තම්, කියපු බවත් දන්නෙ නැත්නම්, කරපු බවත් දන්නෙ නැත්නම්, මෙන්න මේකයි “දන්නෑ” කියන්නෙ. අපි ගමනක් යනකොට සත්තු මැරෙනවා. සත්තු මැරෙන බව දන්නවා කියන එක නෙමෙයි මෙතන කියන්නෙ. අපේ ක්‍රියාවලිය ප්‍රාණඝාතය හා සම්බන්ධව හිතුවද, කිවුවද, කරාද, අන්න එතනයි තියෙන්නෙ.
දැන් අර අඹ ගෙඩියට ගලකින් ගහපු ළමයා, ප්‍රාණඝාතයක් කිරීම පිළිබඳ කිසිම දැනුවත් වීමක් ඒකෙ නෑ, සම්බන්ධයක් නෑ. ප්‍රාණඝාතයක් කරන හිතකුත් තිබුණෙ නෑ, එහෙම ක්‍රියාවක් කළෙත් නෑ, කථාවක් කළෙත් නෑ. අඹ ගෙඩියක් කඩන්න ගැහුවා ගලකින්. ඒකෙ අර ප්‍රාණඝාතය සම්බන්ධ කිසිම චේතනාවක් ඒකට සම්බන්ධ නෑ. ඒ නිසා තමයි ඒ ගල වැදිලා අම්මගෙ හෝ තාත්තගෙ ඔළුවෙ වැදිලා අම්මා, තාත්තා මළා නම්, ළමයගෙ ක්‍රියාවෙන් මේක සිද්ධවුනත්, ළමයට පාපයක් හා සම්බන්ධයක් නැත්තෙ.
සතෙක් ඉන්නවා කියලා හිතාගෙන, දඟලනවා දැකලා එතනින් ගලක් ගැහුවා නම් එයා ප්‍රාණඝාත චේතනාවෙන්මයි හිතුවෙ, කිවුවෙ, කලේ. ඒකට ගෝචර වෙච්ච සත්ත්වයාගේ ගුණ මහත්වය යම්සේද, ඒ අනුව පාපයේ බල දුබල කම යන්නෙ ඒ අනුවයි. ගුණ මහත්වය අනුව පාපය වැඩියි. මවු-පිය නම් ගුණ මහත්වයෙන් ඉහළයි, ආනන්තරිකයි. රහතන් වහන්සේ නමක් හිටියා නම් ගුණ මහත්වයෙන් ඉහළයි, ආනන්තරිකයි. ඒ පාපය බලවත් වෙනවා. ඔතන හිටියෙ මේ නිකං සතෙක් නම්, බල්ලෙක් එහෙම බුදියගන හිටියා නම් එහෙම – සාමාන්‍ය බල්ලෙක්, ඒකත් මැරෙන්න පුළුවන් අර ගල් පාර වැදිලා. හැබැයි ඒක ආනන්තරික පාපකර්මයක් වෙන්නෙ නෑ. මොකද, ගුණ මහත්වයෙන් එතන ඉන්නෙ ගුණ හීන සත්ත්වයෙක්, හීන සතෙක්. එහෙනම් පාපයක් බල-දුබල බව ඇතිකරන්නෙ ගුණ මහත්වය සහ ගුණ හීනත්වය තුළින්.
ඉතින් මේ ප්රශ්නය ගැන මොකක්හරි නොතේරුණ එකක් හරි, තව සැක තැනක් තියෙනවා නම් අහන්න මේ දුන්න කෙනා. ඉතින් “නොදැන තම පියා මැරීමක් සිදුවුනා” කියන එක… ඒකටත් දැන් මං මෙහෙම දෙයක් පෙන්වන්නම්. “නොදැන” පියා මැරීමක් සිද්ධවුන ආකාරයක් ගැන. අපි හිතමුකො යම්කිසි… තාත්තා බීලා ඉන්නවා මොනවා හරි අවශ්‍යය කරන බෙහෙත් පෙති වර්ගයක්. අපි දැක්කෙ නෑ ඒ කාරණය. දැන් සමහර අපත්‍ය දේවල් තියෙනවා “මේ මේ බෙහෙත් පෙති ගත්තම මෙන්න මේ දේවල් ගන්න එපා” කියන. දැන් ඔය වෙලාවෙදි මොකද, දැන් ඕකට හොඳ උපමාවක් තියෙනවා, උදාහරණයක් මේ මෑත කාලෙදි මතුවෙච්ච එකක්.
මැලේරියාවට දෙන පෙති වර්ගයක් තියෙනවා. ඒ පෙති දුන්නට පස්සෙ ඕකට කුප්පමේනිය හරි විසයි ලු, කුප්පමේනිය විස වෙනවා. හැබැයි මැලේරියා පෙති බීලා ඉන්න කෙනෙකුට සෙම හැදිලා, මොකක්හරි අමාරුවක් හැදිලා, කුප්පමේනිය වලින් බෙහෙතක් හදලා දෙන්න පුළුවන් පුතා තාත්තට. දැන් තාත්තා බීලා තියෙනවා මැලේරියාවට බොන පෙති, එයා දන්නෙ නෑ. හැබැයි මේ කුප්පමේනිය බෙහෙත විස වෙලා තාත්තා මැරෙනවා. දැන් පියා මැරීම සඳහා අංශු මාත්‍ර බලාපොරොත්තුවක්, පියාට හිංගි-හිංසා කිරීම සඳහා අංශුමාත්ර බලාපොරොත්තුවකින් ක්‍රියා කරපු එකක් ඒ පුතාට තිබුණෙ නෑ. පියාගෙ රෝගය හොඳ කිරීම සඳහා බලාපොරොත්තුවෙන්, සෙම රෝගය හොඳ කරන්න කුප්පමේනිය සහිත බෙහෙතක් හදලා පියාට දුන්නා, කැඳක් හරි හදලා දුන්නා. නමුත් අර බෙහෙතට ප්‍රත්‍ය වෙනකොට විශවීම නිසා ඒකෙන්ම තාත්තා මළා. හැබැයි පුතාට ඒකෙ ප්‍රශ්නයක් එන්නෙ නෑ. මොකද, ප්‍රාණඝාත චේතනාවක් තිබුණෙ නෑ. ඒකයි ඒකෙ තියෙන වෙනස.
යම් කෙනෙකුට මෙහෙම වැඩක් කරන්න පුළුවන්. “අද ඉන්න එවුන් ඔක්කොම මැලේරියාව්ට බොන බෙහෙත් පෙති බීලා ඉන්නෙ. බීපු එකාට හොඳ වැඩක් වෙයි අද, මං අද කුප්පමේනිය මාළුවක් හදලා තියන්න ඕනෙ…” හැබැයි ප්‍රාණඝාත චේතනාවක් තියාගෙන තමයි කුප්පමේනිය මාළුව හදල තියෙන්නෙ. බැරිවෙලා හරි ඔය වෙලාවෙ තාත්තා කොහෙහරි ඉඳලා ඇවිදින් ඕක කෑවා, තාත්තා මළා. පුතාට ආනන්තරිය පාපකර්මයක්! මොකද හේතුව, ප්‍රාණඝාත චේතනාවකින් යමක් ගොඩනඟලා තිබ්බා, ගෝචර වෙච්ච පුද්ගලයාගෙ ගුණ මහත්වය අනුව පාපය බලවත් වුනා. අන්න එහෙමයි ආනන්තරිය ආදිය බලවත් වෙන්නෙ ඒ ක්‍රමයට. ගොඩනැඟෙන්නෙ එහෙමයි.
ඉතින් අපි ගමනක් යනකොට, සතුන් මැරීමේ බලාපොරොත්තුවෙන් ගමනක් ගියානම් එහෙම, “මං මෙතනින් යනවා, මෙතන කූඹි ඉන්නවා හරියටට. ඔතෛනින් එහා මෙහා පළයල්ලා! උං මැරුණට කමක් නෑ” එහෙම කිවුවොත් එහෙම ඉතින් කූඹි ටික මරණ බලාපොරොත්තුවෙන් එහාට යනවා, මෙහාට යනවා. පයට පෑගිලා කූඹි මැරෙනවා. හැබැයි චේතනාව තියෙනවා, ප්‍රාණඝාත චේතනාව. ඒ වෙලාවෙ පෑගෙන ඒවට, පෑගෙන පෑගෙන එකෙක් ගානෙ ප්‍රාණඝාත පාපයක් තමන්ට එනවා. ප්‍රාණඝාතයක් කරන බලාපොරොත්තුවක් නැතුව, තමන්ගෙ වැඩක් කරගන්න වෙන අදහසකින් යනවා. ඒ වෙලාවෙදි කූඹි මැරෙනවා, ප්‍රාණඝාත චේතනාවක් සම්බන්ධ නැති නිසා ඒකෙ එබඳු පාපකර්මයක්, එකක්වත් නැඟෙන්නෙ නෑ. කූඹි සිය දහස් ගණනක් මැරෙන්න පුළුවන්.
මේක අති සියුම් තැනක්. ඕක තෝරාගන්න බොහොම අමාරුයි, බොහොම සියුම්ව තෝරගන්න ඕනෙ. ඉතින් මේ ප්‍රශ්නෙදි නොවැටහෙන ඒවා තිබුණානම් එහෙම අහන්න.
{ 35:06 } : පාපී විතක්ක විචාර සහ කුසළ සවිතක්ක සවිචාර අතර වෙනස
මේ තව ප්‍රශ්නයක් තියෙනවා. “විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිත ප්‍රථමධ්‍යාන චිත්තයෙහි ස්වභාවය විස්තර කරන්න. මේ අංග පසින් තොරව පිහිටන ධ්‍යාන සිත් හැර වෙනත් සිති පිළිබඳව විස්තරයක් කරදෙනු මැනවි” කියලා ඉල්ලීමක් කරනවා.
මෑතදී ලියන පොත්වල ධ්‍යානාංග පහ පෙන්වන්නෙ “විතක්ක, විචාර පීති, සුඛ ඒකග්ගතා” කියලා. මූළික දහම් පොත්වල “සවිතක්ක, සවිචාර, පීති, සුඛ, ඒකග්ගතා” කියලයි පෙන්වන්නෙ. “සවිතක්ක-සවිචාර” කියන එක විග්රහ කරන්න යන මෑත ග්රන්ථ, එහෙම නැත්නම් දේශකයන් වහන්සේලා හෝ ආචාර්යවරුන් “සවිතක්ක කියන්නෙ විතර්ක සහිත, සවිචාර කියන්නෙ විචාර සහිත” කියලා තෝරණවා.
“සවිතක්කයි සවිචාරයි” කියන්නෙ මීට වඩා වෙනස් අදහසක් තියෙන ධර්මයක්. “විතක්ක සහ සවිතක්ක” තෝරන ඔය “ධම්මසංඝණී” ආදී පොත්වල විග්රහ කරනකොට පෙන්නනවා මේ සවිතක්ක සවිචාර කියනකොට “විතර්කය හැර, ඒ සමඟ ලැබෙන අනික් දහම් සවිතක්ක” කියලා. {{ සවිතර්‍කධර්‍මයෝ }} “එහි විතර්කය හැර” කියලයි සවිතක්ක තෝරන්නෙ. සවිචාර තෝරනකොට, “එහි විචාරය හැර ඉතිරි දහම් සවිචාර” – ඔය විදිහට සවිතක්ක සවිචාර තෝරලා තියෙනවා. {{ සවිචාරධර්‍මයෝ }} මූළික පෙළ දහම් පොත්වල අර්ථය පෙන්වන්නෙ ඔය ක්‍රමයට. “සවිතක්ක සවිචාර” කියන වචනයෙන් පෙන්නනෙත්, “විතක්ක විචාර” කියන වචනයෙන් පෙන්නන්නෙත් කාරණා දෙකක්.
කාම සංකල්පණා, ව්‍යාපාද සංකල්පණා, විහිංසා සංකල්පණා කියන මේවා තමයි “විතක්ක විචාර” වලට සම්බන්ධ වෙන්නෙ. කාම අරමුණක් මුල්කෙරුවා නම්, මතුකරලා ගත්තා නම්, ඒක කාම විතර්කයක්. ව්‍යාපාද අරමුණක් මතුකෙරුවා නම්, ඒකට හිත නැඟුවා නම්, ඒක ව්‍යාපාද විතර්කයක්. විහිංසා විතර්කයක් හිතට නැඟුවා නම්, එහෙම නැත්නම් විහිංසාවකට හිත නැඟුවා නම්, ඒ වෙලාවෙදි මතුවෙන්නෙ විහිංසා විතර්කයක්. අව්යාපාදයකට හිත නැඟුවා නම්, අන්න සවිතක්කයකට නැඟුවා. “අව්‍යාපාද සවිතක්කයක්”. අවිහිංසා අදහසකට හිත නැඟුවා නම් ඒක සවිතක්කයක් – “අවිහිංසා සවිතක්කය” අවිහිංසා විතක්ක නෙමෙයි. කාමයන්ගෙන් නික්මීමට, නෙක්ඛම්මයට හිත පිහිටෙවුවා නම්, හිත නැඟුවා නම්, ඒක “නෙක්ඛම්ම සවිතක්කයක්”. එහෙනම් අව්‍යාපාද, අවිහිංසා, නෙක්ඛම්ම කියන මෙන්න මේ කාරණා තුනට අනුව සිතිවිල්ලක් ගොඩනැඟුවා නම්, ඒවට කියනවා “සවිතක්ක”. ඒ අව්‍යාපාද, අවිහිංසා, නෙක්ඛම්ම කියන ඒ දැහැමි අදහස් වල හිත හැසිරෙවුවා නම්, ඒකට කියනවා “සවිචාර”. එහෙනම් මේ ප්‍රථමධ්‍යානය ලැබීමට අව්‍යාපාද, අවිහිංසා, නෙක්ඛම්ම කියන මෙන්න මේ තුනෙන් එකකට හිත නඟන්න ඕනෙ, ඒ තුනෙන් එකක හිත හසුරුවන්න ඕනෙ.
එතකොට කාම විතර්ක, “විතර්ක” වැටෙන්නෙ කාම වලට. සවිතක්ක වැටෙන්නෙ නෙක්ඛම්මයට. එතකොට ප්‍රථමධ්‍යානය ලැබෙනවා නම් ඒකෙදි ලැබෙන්න ඕනෙ කාම පැත්ත නෙමෙයි, කාම පැත්තට වැටුනොත් එතන ලැබෙන්නෙ විතර්ක. අව්‍යාපාද, අවිහිංසා, නෙක්ඛම්ම කියන මේවට අයිතිවෙන අරමුණක් අරගෙන, ඒ අරමුණේ හිත පිහිටෙවුවා නම් වැටෙන්නෙ සවිතක්කයට. ඒකෙ හැසිරෙවුවා නම් වැටෙන්නෙ සවිචාරයට.
අව්‍යාපාද, අවිහිංසා, නෙක්ඛම්ම කියන මේවට අයිතිවෙන අරමුණක හිත හසුරවන කිසිම කෙනෙකුට කාම ප්‍රීතියක් නෙමෙයි ඒකෙන් නැඟෙන්නෙ. ඒකෙන් ලැබෙන්නෙ කාමයන්ගෙන් වෙන්කරන පැත්තට ගිය, නැත්නම් කාමයට සම්බන්ධ ප්‍රීතියක් නෙමෙයි. එතකොට ඒ ප්‍රීතිය කාමයෙන් වෙන්වීමෙන් ලබන ප්‍රීතියක්. “කාමයන්ගෙන් වෙන්ව, අකුසළ ධමයන්ගෙන් වෙන්ව, සවිතක්කවූ, සවිචාරවූ විවේකයෙන් යුත් ප්‍රීති සුඛ ඇති ප්‍රථමධ්‍යානය…” කියලා පෙන්නන්නෙ. {{ සවිතක්කසුත්තං }} එහෙනම් කාමයන්ගෙන් වෙන්ව, අකුසළ ධර්මයන්ගෙන් වෙන්ව යන එකක් මිසක්, තවත් සවිතක්ක, සවිචාර, ප්‍රීති, සුඛ, ඒකග්ගතා කියන ධ්‍යානාංග පහ ඒ තුළ පිහිටන්න බෑ.
එහෙනම් කාම ධර්ම සහ අකුසළ ධර්ම නම් සිහි කලේ, ඔහුට කිසිම දවසක සවිතක්ක, සවිචාර, ප්‍රීති, සුඛ, ඒකග්ගතා කියන නිරාමිස ප්‍රීතිය පිහිටන්න බෑ, නිරාමිස සුවය පිහිටන්න බෑ. ඒ නිරාමිස ධර්මය කෙරෙහි එකඟතාවයක් පිහිටන්න බෑ, වික්ෂිප්ත වෙනවා මිසක්. බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ කියන මේවා ඔක්කොම වීත රාගී, වීත දෝසී, වීත මෝහී ගුණ. ඒ වගේම අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ථ වශයෙන් ත්රිලක්ෂණයට අනුව ලෝකය බලනවනම් ඒවයෙදි ඇතිවෙන අරමුණු වීත රාගී, වීත දෝසී, වීත මෝහී පැත්තට නැඹුරු වෙච්චි අරමුණු. කාමයට සහ අකුසළ ධර්ම වලට ඒ අදහස් සම්බන්ධ කරන්න බෑ. කාම ධර්මයන්ට, අකුසළ ධර්මයන්ට සම්බන්ධ නොවන එහෙම අරමුණක් අරගෙන හිත වඩනවා නම්, අන්න එයාට පිහිටනවා “සවිතක්ක – සවිචාර”. කාම සම්බන්ධ නැති නිසා ඒවා නිරාමිසයි, ඒ ප්‍රීතිය. අන්න ඒ නිරාමිස ප්‍රීතිය සහ නිරාමිස ප්‍රීතියෙන් නැඟෙන නිරාමිස සුවය ධ්‍යානාංග වලට අයිතියි. ඒ නිරාමිස අරමුණෙහි ලැබෙන ඒකාග්‍රතාවය, නැත්නම් ඒ අරමුණෙහි පිහිටා නිශ්චලව පවතින බව ඒකෙ තියෙන ඒකග්ගතාවයයි.
මෙන්න මේ ටික තමයි සවිතක්ක, සවිචාර, ප්‍රීති, සුඛ, ඒකග්ගතා කියන ධ්‍යානාංග කියන්නෙ. එතකොට වෙන වෙනම ගත්තොත් මේ විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකග්ගතා කියන මේ පහම හිතක පිහිටන චෛතසික. මේවා වෙන වෙනම යෙදෙනවා කාම සිත් වලත්. ඒ කාම සිත් වල යෙදෙන ඒවා, ඒ යෙදෙන ප්‍රීති චෛතසිකය, සුඛ චෛතසිකය ධ්‍යානාංග වලට වැටෙන්නෙ නෑ. දැන් විතක්ක විචාර කියන අපි මේවට කියනවා කාමයට හේතුකාරක වන අරමුණක් හම්බුණොත් කෙනෙකුට, ඒක ප්‍රිය ස්වභාවයෙන් – මධුර ස්වභාවයෙන්… (දේශනාවේ ඉතිරි කොටස පටිගත වී නොමැත)
~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~
දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://www.waharaka.com/listen/CD013-08