දේශනාවට කියවන ගමන් සවන් දෙන්න පහළින් ඇති Play ▶ බොත්තම ඔබන්න
{ 00:00 } : කේන්දරය ගැන බෞද්ධ විග්‍රහය
තව මේ කේන්දර පිලිබඳ ප්‍රශ්නයක් බුදු දහම පිලිබඳ සම්බන්ධ කරලා මේ විසඳුමකුයි අහන්නේ. මොකද මේ කේන්දර ආදිය පිලිබඳව සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ නිගරු කරපු හැටියටයි හිතා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ නිගරු කලේ ඔය කියන්නාවූ ශාස්ත්‍ර වලට නෙමෙයි. ඒවා සෘෂි භාෂිත. උන්වහන්සේ නිගරු කලේ ඕවා අරගෙන ඉවරවෙලා, ඕවයින් කන්න හම්බකරගෙන, ලාභ කීර්ති, ප්‍රශංසා වලින් මත්වෙච්චි බමුණන්ගේ තියෙන නීච වැඩ වලටයි බුදුරජාණන් වහන්සේ නිගරු කලේ. ඒවා කරන්න එපා කියලයි පෙන්නුවේ. භික්ෂුවක් හරි ඒවා කරන්න ගියොත් මහ තිරිසන් වැඩ හැටියට පෙන්නුවා, ඒවා කරන්න එපා කියලා.
මනුස්සයෝ ඒවා කරනකොට එපා කිවුවෙත් නෑ මනුස්සයින්ට, සෘෂිවරු ලෞකික වශයෙන් නොයෙක් ආකාර වන්නාවූ ක්‍රමවේදයන් දීලා තියෙනවා, යම්කිසි ප්‍රයෝග සම්පත්තීන්, චක්‍ර දීලා තියෙනවා ලෞකික ක්‍රමවේදයන්ගෙන්. ඉතින් කේන්දරේ කියන්නෙත් එහෙම චක්‍රයක් තමයි. ඉතින් ඒ ඒ චක්‍ර වලින් ඒ ඒ ස්ථාන වල ග්‍රහයෝ පිහිටීම කියන්නේ අපි මේ ලෝකේ විවිධාකාර විදිහට ග්‍රහණය කරගෙන ඉන්නේ. ලෝකය ග්‍රහණය කරපු ක්‍රමවේද තියෙනවා විවිධාකාර හැඩතල වලින්.
ලෝකයේ මොනවහරි සම්පත්තියක් හොඳයි කියලා අදහස් කරපු අය ඒ සම්පත්තිය ලබාගැනීමට විවිධ ක්‍රම ග්‍රහණය කරනවා. සමහර අය “මට නායකත්වය හොඳයි” කියලා නායකත්වය බලාපොරොත්තුවෙන්, හොඳ කිර්ති, ප්‍රශංසා ඇතිවෙන වැඩ කරනවා. එහෙම කරන ක්‍රමයක් තියෙනවා. සිංහයා වගේ තමයි නැගීසිටින්නේ. හරියට සූර්යයා වගේ ප්‍රබෝධයෙන් තමයි කටයුතු කරන්නේ. ග්‍රහණය කලේ සූර්යයා වගේ, නායකත්වයෙන්. හිටියේ සිංහයා වගේ. ඉතින් රවි සිංහ රාශියට අයිතියි. ඕවා හැදිලා තියෙන ක්‍රමයක් තියෙනවා. නමුත් ඕවා කියන්න ගියොත් එහෙම කියනවා “අමුතු බණක් කියනවා” කියල මට දොස් කියන්නත් පුළුවන්. නමුත් හැදෙන ක්‍රමය ඕකයි.
යුක්තිය, ධර්මය ඔක්කොම පැත්තක තියෙනවා. අවංකත්වය, හරි කෙලින් යන්න පුළුවන්. හැබැයි ඔය කාමයට බැස්සොත් එහෙම, අවංකත්වය පොඩ්ඩක් හැඩගැහෙනවා, පැත්තට යනවා, හරහට යනවා. එහෙම එකක් හැදෙනවා එතකොට. එතකොට මොකද වෙන්නේ, කුළු ගතිය ක්ෂය වෙලා යනවා, අර ලජ්ජා ගති නැතිවෙලා යනවා, මේ කාමයත් එක්ක සම්බන්ධයක් ඔය කියන්නේ. “ඡන්දය – කාමඡන්දය” ආදී වශයෙන් කිවුවේත් ඒකයි, ඒකෙ ස්වභාවය. ඉතිං ඒවට ගත්තොත් මොකද වෙන්නේ? ඡන්දය ග්‍රහණය කරපු එක්කෙනා තමයි සඳු ග්‍රහණය කළා කියන්නේ. සඳු ග්‍රහයාගෙන් ඒක පෙන්නනවා. ගමන හරහට ගිය නිසා, “කුළු” බව නැති කරගත්ත නිසා, කුළුබව ක්ෂය කරපු “කකුළු” අර්ථයෙන් පෙන්නලා “කක්කුට්ටා” ගෙන් පෙන්නනවා. ඒක තමයි එයාගේ රාශිය.
ඕවා හරි ගැඹුරු පැත්තක්, ඔය තියෙන්නේ ලෞකික විෂයයන් හැදිච්ච “නිරුක්ති”. ඉතිං ඔය විදිහට තමයි ඔය එකින් එක සකස් වෙලා තියෙන්නේ. ඉතිං “කුජ” කියන්නේ “තරඟකාරීත්වය”, තරඟ කරනවා. එයාගේ ස්වභාවය ඒකයි. බොහොම සැඩපරුෂයි. සැඩපරුෂ කෙනාගේ ලක්ෂණය යමක තියෙනවා නම්, එයා නුසුදුසු තැන්වල තමයි ගවේෂණයේ යෙදෙන්නේ. සුදුසු වැඩ නෙමෙයි කරන්නේ. තරඟකාරීත්වය, චණ්ඩිකම ගත්ත කෙනා. ඒත් තමන්ගේ මේ ලෝකේ මොනවහරි හොඳයි කියලා අල්ලගත්ත එකකට, ඒක ලබාගැනීමට තමයි ඒ වැඩ කරන්නේ. චණ්ඩිකම් කරලා, ලොකුකම් පෙන්නලා, තමන්ගේ වාසිය ලබාගන්නවා. ඒක සුදුසු වැඩක් නෙමෙයි හැබැයි. ගවේෂණය කරන්නේ සුදුසු තැනක නෙමෙයි නිසා, නුසුදුසු තැන ගවේෂණය කරන නිසා කියනවා “ගෝනුසු” කියලා. “ගෝනුස්සා” – ඒක තමයි “වෘෂ්චික” කිවුවේ, එයාගේ රාශිය. පහත් දේවල් ජනිත කරනවා, කෙනෙකුට හිංගී හිංසා වෙන දේවල්, ආයුධ ජනිත කරනවා. “කු” ජනිත කරන නිසා තමයි “කුජ” කිවුවේ. ඉතින් මොකක්හරි තමන්ගේ බලාපොරොත්තුවක් ඇතිකරගන්න, මේ ලෞකික සම්පත්තියක් සඳහා ඔය ජාතියේ ඒවා ග්‍රහණය කලොත් ඔහු කුජ ග්‍රහයා හා සම්බන්ධ වන්නාවූ විපාකයකට උරුමක්කාරයෙක් වෙනවා. රාශිය “වෘෂ්චික රාශිය” කියල රාශියක් හැදිලා, ඒකට අවශ්‍යය කරන්නාවූ පිහිටීම අනුව ඒ තමන්ගේ චක්‍රයට විපාක චක්‍රයක් හැදෙනවා.
{ 05:43 } : කුජ හතේ සිටීම හේතු ඵල ඇසුරින්…
ඉතින් මේකෙත් අහන්නේ අන්න ඒකම තමයි මේ අහන්නේ, මොකද්ද… “කුජ හතේ සිටින විට ඇතිවෙන දේ මොකද්ද?” කියලයි මේ අහන්නේ. කුජ හතේ හිටියා කියලා කියන්නේ, හත තමයි “කුට්ටුම්භකස්ථානය” කියලා අපි හඳුන්වනවා, නැත්නම් “පවුල් ස්ථානය, පවුල් ජීවිතය”.
ඉතින් පවුල් ජිවිතයක් අරගන්න ගිහාම, ඕකේ වටිනාකමක් දැක්කහම, ඒ වගේම ඒක ගතකරන තව කෙනෙක් කෙරෙහි ඊර්ෂ්‍යාවකුත් හැදෙනවා. තමන්ට යමක් වටිනවා නම්, අර පෘතග්ජන ගතියක් තියෙනවා, “වටිනා දේ මගේ” කියන එකට ඕනේ, “මට” කියන එකට ඕනේ. අනුන්ට දෙන්න කැමති නෑ. ඒක අනුන්ට එනවට රුස්සන්නේ නෑ. සසරේ ආපු හැටි! එතකොට මොකද වෙන්නේ? අනුන්ගේ පවුල් ජීවිතය රුස්සන්නේ නෑ. “මට එහෙම සම්පත්තියක් ලැබුණා නම්…, ඕකාට නොවේවා, මට වේවා!” මෙන්න මේ ගතිලක්ෂණය එනවා. එතකොට මොකද වෙන්නේ?
“අන් සතු සැපතක් දැක දළ ලොබිනේ – උන්ට නොවී මට වේවයි සිතිනේ” (ලෝ වැඩ සඟරාව)
මෙන්න යම්කිසි කාම සම්පත්තියක්, පවුල් ජීවිතයක් සතුටින් ගෙවනවා දැකලා, “ඔවුන්ට නොවී ඒක මට වුනානම්…!” අන්න එහෙම හැඟීමක් එහෙම ආවනම්, හතට කුජ එනවා කර්ම විපාක වශයෙන්. කුජ හතට ආවොත් පවුල් ජීවිත අවුල්. ඇයි, තමන් කලේ මොකද්ද අනුන්ට, අනුන්ට කරපු අවුල තමන්ට අවුලක් වෙලා. තමන්ට සෝක එන, විස්සෝප වෙන දෙයක් වෙනවා.
හැබැයි අද හිතන්න එපා, අද ඔය කුජ හතේ තියෙන ඒවා ඔක්කොම එහෙම වෙනවා කියලා. මොකද, ඒ කේන්ද්‍ර හදන්න ගත්ත කේන්ද්‍රස්ථානයට ගන්නේ “ඔක්කන්ති වෙලාව – උප්පත්ති වෙලාව”. උප්පත්ති වෙලාව කියලා අද ගන්නේ බඩෙන් බිහිවෙච්චි වෙලාව. ඒක තමයි ගුරු මුෂ්ටි හංගගෙන මැරුණට පස්සේ ඔවා හොයාගන්න බෑ. එහෙනම් අද ඔය කේන්දර හදලා තියෙන්නේ නියම වෙලාව නම් නෙමෙයි, අසන්න වෙලාවකින්. ඕවා ඉස්සර සෘෂිවරු දුන්න කේන්දර ක්‍රමය නෙමෙයි ඔය. පොඩ්ඩක් වෙනස්වෙලා තියෙනවා.
ඔක්කන්ති වෙන්නේ බඩට කාර්ම ශක්තිය අනුව. “ගන්ධබ්බා වක්කන්ති හොන්ති” අන්න, ගන්ධබ්බයා ඔක්කන්ති වෙන්නේ කාටවත් ඕනෑ හැටියට නෙමෙයි. කවුරුවත් කරන්න පුළුවන් දේකුත් නෙමෙයි. ඒ ඒ සත්ත්වයාගේ කාර්ම වේගය අනුව තමයි සුදුසු වෙලාවේදී මවු ගැබකට ඔක්කන්ති වෙන්නේ. අන්න ඒක හරි වෙලාව. ඉතින් ඕක ගන්න උපක්‍රමශීලීව යම්කිසි සෘෂිවරු දැනගෙන හිටියා විවිධ ක්‍රම. ඒ දැනගෙන ඉඳලා ඊට අනුකූලව ඒ දෙන වෙලාව මැනලා, ඒ ගෙනත් දුන්න “තත්කාල” කියන ක්‍රමයක් තියෙනවා, ඒ මොහොතේ වෙලාවට ඒක එකතුකරලා එහෙම හදාගන්න උපක්‍රම තිබුණා. මෙන්න “මේ වෙලාවට තමයි මේ දැන් හරියට මේ දරුවා උප්පත්ති වෙලා තියෙන්නේ, බඩට ඇවිදිල්ලා තියෙන්නේ…” ඉතින් එහෙම ගන්න ක්‍රමවේදත් තියෙනවා විවිධ විදිහට.
කාලගුණ, දේශගුණ විපර්යාසත් නැත්නම්, සත්ත්වයා තුළ විකෘති ගතිත් නැති සාමාන්‍යය තත්ත්වයක ඉන්නවා නම්, ඒ වගේ මවු කෙනෙකුට පිරිමි දරුවෙක් නම් ඉන්න කාලයක් තියෙනවා බඩේ, අකාලයේ හම්බවෙන්නෙත් නෑ, කල් ගිහින් හම්බවෙන්නෙත් නෑ. මාස 10යි දවස් 10යි පැය 10යි අන්න එහෙම, ඒ ගාණක් තියෙනවා. ගෑණු ළමයෙක් නම් මාස 9යි දින 9යි පැය 9යි අන්න එහෙම ඉඳලා හම්බවෙන්නේ, හරියට වෙලාවට. ඒ බඩේ ඉන්න වෙලාව, කාල සීමාව. ඒවා වෙනස් වෙලා යනවා මේ කන-බොන ආහාර වෙනස්වීමෙන්, දේශගුණ-කාලගුණ වෙනස්වීමෙන්, ශරීර විපර්යාසයෙන්, ඔය කියන ඒවා නිසා නොයෙක් ආකාරයෙන් වෙනස් වුනාම අද ඒවා ගන්න බෑ. ඉතින් ඒවා වෙනස් වුනත් හදාගන්න ක්‍රමවේද එදා තිබුණා, දැන් ඒවා ගුරුමුෂ්ටි වශයෙන් නැතිවෙලා.
ඉතින් අන්න එහෙම අරගත්තහම ඔක්කන්ති වෙන වෙලාවක් ගත්තහම ඒ වෙලාවේ කේන්දරේ තමයි ඔය කුජ හතේ එහෙම හිටියොත් ඔය කියන විනාසය එන්නේ. දැන් අද වෙනකොට ඒවයෙන් ගණන්ගන්න බැරි, එක්තරා ආසන්න මට්ටමකට හරියනවා මිසක් 100%ක් කිරි ගහට ඇන්නා වගේ එහෙම හරියන්නෑ. ඒකයි කියන්නේ ඉතින් ඕවා අපහාසයට පත්වෙනවා, ඒ ශාස්ත්‍රය වරද්දවලා ගත්තහම. ඉතින් හරියට දැනගන්න මේ කුජ හතේ හිටියා නම් එහෙමයි ඒක.
{ 10:22 } : හතර කේන්දරේ පාළුවෙන වාසනාවන්තයෝ සහ අවාසනාවන්තයෝ
මේ “හතර කේන්දර පාළු” කියන එකක් තියෙනවා. ඒ කියන්නේ, හතර කේන්දර පාළු කියන්නේ, ඔය 1, 4, 7, 10 කියන ස්ථාන හතරක් තියෙනවා ඔය කේන්දරේක. ඒකෙ තියෙන්නේ, “ලග්න ස්ථානය” කියල එකක් තියෙනවා. ඒ තමයි 1, ලග්න ස්ථානය. හතරවෙනි එකක් තියෙනවා, තමන් කටයුතු කරන ආරම්භක ස්ථානයක්. හත්වෙනි එකත් තියෙනවා, තමන්ගේ පවුල් ජීවිතය ගතකරන ස්ථානය. දහවැන්නේ එකක් තියෙනවා, තමන්ගේ අනාගතය සකස්කරගන්න, අභිවෘධිය නඟාගන්න ස්ථානය.
ඔන්න ඔය හතර පාළුවෙන දෙගොල්ලක් ඉන්නවා. නමුත් එකගොල්ලයි දැන් දන්නේ මේ කාලේ. “හතර කේන්දර පාළු වුනහම මහා කාලකණ්නියා” කියන්න විතරයි දන්නේ. හතර කේන්දර පාළුවෙච්ච මහා වාසනාවන්තයොත් ඉන්න කේන්දර තියෙනවා. ඒවා දකින්නේ නෑ අද.
ඔය තම “ලග්න ස්ථානය” කියන්නේ පෙර භාවයේ තමන් කෙබඳු තැනක පිහිටලද කටයුතු කලේ? කෙබඳු ගතිලක්ෂණයක පිහිටලද කටයුතු කලේ අන්න ඒක තමයි “ලගින ස්ථානය” හෙවත් ලග්න ස්ථානය හැදෙන්නේ. ඒක සකස්වෙන ආකාරය. සමහර වෙලාවට ඔය නොයෙක් ආකාර වන්නාවූ, අදකාලේ හැටියට කියනවනම් ඔය මත්කුඩු, මත්පැන් වලට භාජනය වෙච්ච, ඒකෙ අන්තයට ගිය බේබද්දෝ ආදී වශයෙන්, කුඩුකාරයෝ කියන, ඔයවගේ තත්ත්වයට පත්වෙච්ච අය ඉන්නවා. ලගින ස්ථානයක් ඕනේ නෑ ඒගොල්ලන්ට. ඒ කියන්නේ තමන්ට ඉන්න කොහේ වුනත් කමක් නෑ, අගුපිලක වුනත් කමක් නෑ, අල්ලගත්ත තැනක් නෑ . තිබුණා නම් මොකද කරන්නේ? ඒකත් තුට්ටු දෙකට කාටහරි දීලා ඒකෙත් කසිප්පු ගහනවා, නැත්නම් කුඩු ගහනවා. ඒකෙ බඩුවක්-මුට්ටුවක් තිබුණා නම් ඒකත් විකුනගන්නවා. මොනවත් තමන්ට කියලා ඕනේ නෑ. රහත් වෙලා නෙමෙයි, අර මත්පැන් වලට හරි අර ආස්වාදයෙන් මත්වීමට තියෙන කෑදරකම. ඒක ඊට ලොකුයි. ඒකට දීල අර ඔක්කොම ලගින්න තැනක් නැතිකරගන්නවා.
ග්‍රහණය කලේ නැති නිසා අර කාලකන්නියාට අර ලගින ග්‍රහයෝ නෑ. සතර කේන්දර පාළු වෙච්ච ක්‍රමයක්. යමක්-කමක් හරි-හම්බ කරගන්න රස්සාව ගැන එහෙම කියන හතරවැනි තැන. ඌට ඕනේ රස්සාවක් නෑ. “මං මොකද්ද කරන්න ඕනේ අනාගතයට?” එහෙම එකක් නෑ. කොහෙන් හරි කමක් නෑ, මොකාගෙන් හරි කමක් නෑ, මංකොල්ලා කාලා හරි හම්බවෙච්ච දේකින් කීයක් හරි හොයාගත්තා නම් විගහට දුවලා, තැබෑරුමට ගිහිල්ලා බොනවා, එක්කෝ කුඩු ගහලා ඉන්නවා, ඔය ඉතින් ඔය විදිහට කාලේ ගතකරනවා. තමන්ගේ දියුණුවට කියල කිසිම ඕනෙකමකුත් නෑ. රහත්වෙන්න ගිහිල්ලා නෙමෙයි, අර තිබිච්ච මත්පැන් වලට, මත්කුඩු වලට තිබිච්ච කෑදරකමට ඒවා ඔක්කොම ඒකට යොමුකරනවා. අල්ලාගෙන නෑ. ඒකෙත් ග්‍රහයෝ නෑ. ඔය කාලකන්නියගේ ග්‍රහයෝ නැතිවෙන්න හේතුව.
ඒ වගේම තව එකක් තියෙනවා. “ඇයි බං, උඹට පවුල් ජීවිතයක් නැද්ද? දරුවෝ නැද්ද? භාර්යාවෝ නැද්ද? උන් ගැන බලන්නේ නැද්ද?” “මට ඕනේ ඇති එකෙක් නෑ බං, මට ඕනේ හොඳට කාලා-බීලා මගේ පාඩුවේ ඉන්න”. හම්බවෙච්චි එකෙක්, උන්ගේ ඒවා තියෙනවා නම්, අර පොඩි එකාගේ කනේ කරේ තිබිච්ච එක හරි කමක් නෑ හොරකම් කරගෙන ගිහිල්ලා මත්පැන් බීලා, කුඩු ගහලා ඉන්න එකෙක් ඉන්නවා නම්, ඒ ජාතියේ එකාට පවුල් ජීවිතයක් ගැන කිසිම ඕනෙකමක් නෑ, අල්ලගත්ත එකක් නෑ. මඟ-ඵල ලබලා, රහත්වෙලා නෙමෙයි, අර මත්පැන් වලට, මත්කුඩු වලට තියෙන කෑදරකමට පවුල් ජීවිතයත් විනාස කරගන්නවා. ඌටත් හත්වැන්නේ ග්‍රහයෝ නෑ.
“උඹේ අනාගතේ පිලිබඳව උඹට හිතෙන්නේ නැද්ද මොනවහරි දියුණුවක් වෙන්න?” ඇහුවොත් එහෙම කිසිම බලාපොරොත්තුවක් නෑ. මාර්ග-ඵල ලබලා නෙමෙයි, එයිට වඩා ලොකුයි අර මත්කුඩු වලට, මත්වීමට තියෙන කෑදරකම. ඒකට මත්වෙලා ඉන්නවා මිසක් අනාගතයක් ගැන හිතන්නේ නෑ, දහවැන්නෙත් ග්‍රහයෝ නෑ.
මෙන්න මෙහෙම කාලකන්නියෙක් ඇවිදිල්ලා ඔක්කන්ති වුනොත්, හතර කේන්දර පාළුවෙක් වෙනවා, ඌ උන්හිටි තැන විනාස වෙනවා. මේ හේතු-ඵල ක්‍රමයක්. ඒ නිසා සෘෂිවරු නිකන් පෙන්නුවා නෙමෙයි ඕවා. ලෞකික වශයෙන් ඒ ස්වභාවය දැකලා තමයි ඒ ස්වභාවය පෙන්නුවේ.
ඒ වගේම තව වැදගත් කෙනෙක් ඉන්නවා. මොකද්ද ඒ වැදගත්කම? “අනේ මේ ලෝකේ ස්වභාවය මේකයි. පිං-දහම් කොච්චර වටිනවද, උපන් තැනක අපි යමක් කරගත්තොත් ඒක තමයි සසරේදී හෝ යහපතක් වෙන්නේ, නිවන් මඟට හෝ ආධාරයක් වෙන්නේ. ඒ නිසා මට කියන්න ගේ-දොර වත් මටනම් ඕනේ නෑ. මං ඒකෙ තියෙන දේ හරි කමක්නෑ විකුණලා හරි පිං-දහම් කරනවා, යහපතක් කරගන්නවා”. අන්න එක අදහසක්. එයාටත් ලග්නේ, කේන්දරේ ග්‍රහයෝ නෑ, කර්ම විපාකය එහෙම හින්දා හැදෙන්නේ.
“අනේ කැමති නැද්ද මේ ළමයි එක්කල කොහෙහරි විනෝද ගමනක් එහෙම යන්න?” “යන කෙනෙක් පලයල්ලා, මට ඔය පවුල් ජීවිත අල්ලගන්න විදිහක් නෑ, මට අද සිල් ගන්න යන්න තියෙනවා, ඊට වඩා ඒක මට හොඳයි!” නැත්නම්, “මට අද දානයක් දෙන්න යන්න තියෙනවා, මං ඒකට යනවා. උඹලත් එක්කල රවුම් ගගහා ඉන්න මට බෑ”. එයත් පවුල් ජීවිත අල්ලගන්නේ නැති උත්තමයා, මහා පිනැත්තෙක්. එයාගෙත් හතරවැන්නේ ග්‍රහයෝ නැතිවෙන විපාකයක් එනවා.
“දැන් දවස් කීයක් වෙනවද මේ පිං-දහම් වලට ඇවිදිල්ලා, ගෙදර මතකත් නැද්ද?” “ඒ මිනිස්සු ඔහේ ඉන්නැතැයි, මගේ මොකද? මං අල්ලාගෙන ඉන්නවැයි?” හත්වැන්නෙත් ග්‍රහයෝ නෑ. හැබැයි අලෝභ, අදෝස, අමෝහ යහපත් දේකට කටයුතු වලට යෙදිලා. අර මත්පැන් ගහන්න, කුඩු ගහන්න නෙමෙයි. මහා පිනක උපරිමයක්! එයාගෙත් හත්වැන්නේ ග්‍රහයෝ නෑ.
“ඔයහැටි වියදම් කරන්නේ, අනාගතය ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැද්ද?” “මට හෙට මළත් කමක් නෑ පිං-දහම් කරගන්න එක මගේ හැටි. මට ඒ ඇති!” එයාටත් දහවැන්නේ ග්‍රහයෝ නෑ, හතර කේන්දර පාළුයි. හැබැයි උපන් තැනක, හතර කේන්දර පාළු වුනාට මහා වාසනාවන්තයා. මොකද වෙන්නේ, අලෝභයෙන්, අදෝසයෙන්, අමෝහයෙන් කරපු දේ නිසා අනුන් මහා සම්පත්තියක් කඩා හැලෙන්න සකස් කරලා දෙනවා. ගෙවල්-දොරවල්, ඉඩකඩම් ඔක්කොම කාගෙන්හරි හම්බවෙනවා. තමන් ග්‍රහණය කරන්නේ නෑ එතන ඉඳගෙනත්. නමුත් පාඩුවෙන්නේ නෑ. අන්න, ලග්නේ ග්‍රහයෝ නැති වාසනාවන්තයගේ හැටි. මහා වාසනාවන්ත ලැබීමක් එනවා, හතර මහා නිධානය පහලවුනා වගේ. තමන් මහන්සි වෙන්නෙත් නෑ, ලැබීමට.
පවුල් ජීවිතය හරි සමඟියි, කිසි කරදරයක් නෑ. නිදහස දීලා තියෙන්නේ, “කොහේ ගියත් කමක් නෑ, යහපත් දෙයක්නේ කරන්නේ. මගේ ස්වාමිපුරුෂයා, මගේ භාර්යාව, කොහේ ගියත් මට කිසිම සැකයක් නෑ. ඒ වගේම යහපතක් කරනවා, අපිත් අපේ පාඩුවේ ඉම්මු”. කිසි කරදරේකුත් නෑ, පවුල් ජීවිතය ගතකරන්න ඔක්කොම අවශ්‍යය අංගෝපාංගත් හම්බවෙනවා. හත්වැන්නත් නිදහස් වෙලා ඉන්නේ. අඩුවක් වෙන්නෙත් නෑ. ලැබෙන ලැබීම හතරමහා නිධානය පහලවුනා වගේ. එක්රැස් කරන්න ඕනෙයි කියල හිතන්න වත් දෙයක් නෑ. මෙන්න හතර කේන්දරේ පාළු වාසනාවන්තයා, ඒකෙ හේතුව.
ඉතින් ඔය කියන කාරණා ඔය විදිහට දකින්න ඕනෑ, කේන්දරේ තිබුණ පලියට ඕවා බලන්න බෑ, ඕවා හරියට දකින්න ඕනේ. ඉතින් මේ කේන්දර වල තියෙන වෙනසයි, බුදු දහමට සම්බන්ධ වුනු කාර්ම වේගයයි දෙකින් හටගන්නා හැටි ඉතාම කෙටියෙන් මං ඔය ටිකක් කිවුවේ. මේ ඉතින් මේවා ඕනනම් ඉතින් මෙහෙම විමර්ශනය කරනකොට තේරෙන්න පටන්ගනී. ඉතින් නමුත් මේවා තෝර තෝරා ඉන්න එපා, අනිච්ච, දුක්ඛ, අනත්ථ කියන ලෝකයේ ස්වභාවය බලලා “කොච්චර හොඳින් හිටියත් නරක අයටයි, හොඳ අයටයි ඔක්කොටම අවසානයේ සිද්ධවෙන්නේ නරක අය දුක් විඳලා, පටන්ගත්ත තැන පටන් දුක් විඳලා, නොයෙක් ආබාධ වෙලා මැරෙනවා. හොඳ කෙනාට කියලා හොඳින් ඉන්න සදහට හම්බවෙන්නේ නැ. එයාටත් ඕවා ගෙවිලා යනවා, විනාස වෙලා යනවා. ලෝකේ හැටි ඔහොමයි” කියලා දැකල අනිච්ච, දුක්ඛ, අනත්ථ දැකලා, ලෝකයෙන් අතමිදෙන්න උත්සාහ කරන්න. ඒක නිවන් මඟ, ඒකයි යහපත.
~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~
දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://www.waharaka.com/listen/CD080-04