දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)
බුදු දහමේ හේතු-ඵල දැකීම - 1 වැනි කොටස
{00:00:00} : තථාගත දේශනාවට අනුව හේතුඵල වාදය
“හේතුඵල වාදය පිළිබඳව විග්‍රහයක් අවශ්‍යයි” කියන එක. අපි දැන් ඒ විස්තරය තමයි ගන්න බලාපොරොත්තු වෙන්නේ.
“යේ ධම්මා හේතුප්පභවා – තේසං හේතුං තථාගතෝ ආහ, තේසං හේතු යෝ නිරෝධෝ – ඒවං වාදී මහා සමණෝ” කියලා, බුදුරජාණන් වහන්සේ කෙබඳු වාදීද කියන එකත්, බුදුරජාණන් වහන්සේගේ වාදය පිළිබඳව, නැත්නම් බුදුරජාණන් වහන්සේ කරන දේශනාව පිළිබඳව අස්සජී හාමුදුරුවෝ එදා කෝලිත පරිබ්‍රාජකයා වශයෙන් හිටපු සැරියුත් හාමුදුරුවන්ගේ එදා මූලික අවස්ථාවේදී ඒ ආකාරයෙන් දේශනාවක් කළා. මේ දේශනාව අසා තමයි උන්වහන්සේ සෝතාපන්න ඵලයට පත්වුනේ, සැරියුත් හාමුදුරුවෝ, එදා ඒ හිටපු කෝලිත කියන පරිබ්‍රාජක ව ඉන්න වෙලාවේ, ඉඳලා ඒ ධර්මය අහන වෙලාවේ. කැටි කරලා ධර්මය දේශනා කරනකොට, බුදුරජාණන් වහන්සේ ගැන අසපු එක්කෙනෙක් හැටියට, “උන්වහන්සේගේ ධර්මය කොහොමද?” කියලා අහනකොට, අන්න ඒ වෙලාවෙදියි පෙන්නලා දුන්නේ ඔය කියන ධර්ම වාක්‍යයෙන් තමයි පෙන්නුවේ. ධර්ම වාක්‍යය කිවුව අදහසයි දුන්නේ.
“යේ ධම්මා හේතුප්පභවා – තේසං හේතුං තථාගතෝ ආහ,
තේසං හේතු යෝ නිරෝධෝ – ඒවං වාදී මහා සමණෝ”
“මහා සමණෝ” කියන්නේ තථාගතයන් වහන්සේට. “තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේකයි…” කියලා තමයි පෙන්නුවේ. යම් ධර්මයක් හේතුවක් නිසා ප්‍රභවයට පත්වෙනවාද, නැත්නම් පහල වෙනවාද? අන්න ඒ පහලවෙන හේතුව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. “හේතු”… “හේතුව” නෙමෙයි, ඒ “හේතු” තථාගතයන් වහන්සේ දේශනා කරනවා – “තේසං හේතුං තථාගතෝ ආහ” – ඒ හේතූන් තථාගතයන් වහන්සේ දේශනා කරනවා.
“තේසං හේතුං යෝ නිරෝධෝ” – යමෙක් ඒ හේතු නිරෝධ කළාද, ඒ – කියනවා “තේසං හේතු යෝ නිරෝධෝ” – ඒ හේතු හොයලා ඒවා නිරෝධ කරන්න ඕනේ. ඒ තමයි මහා ශ්‍රමණයන් වහන්සේගේ කතාව. පැහැදිලිද කාරණේ? මෙන්න මේක තමයි මේ බුදු දහමේ තිබෙන මූලික මාර්ගය සම්පූර්ණයෙන්ම කැටි කරලා තිබුණ ආකාරයක්, ඔය. මෙන්න මේ ටික අරගෙන, මේ ටිකෙන් අපි දැකගන්න ඕනේ හේතු මොනවාද?
“හේතුං පටිච්ච සම්භූතං – හේතු භංගා නිරුජ්ඣති” – හේතු ප්‍රත්‍ය වලා පහල වෙනවා, “සම්භූත” වෙලා. සම්භූත කියන්නේ භූතයන්ගෙ සබැඳීම, නැත්නම් එක්වීම, ඇතිවෙන හැටි. හේතු භංග නම් එහෙම වෙන්නේ නෑ. ඒ කියන්නේ, මේ ලෝකයේ කිසිම දෙයක්, කුමන ධර්මයක් වත්…
{0:02:28} : ධර්ම කියන්නේ දරන ස්වභාවයටයි, එහෙනම් බුද්ධ ධර්ම කියන්නේ?
“ධර්ම” කියන අර්ථයක් තියෙනවා. “ධර්ම” කියන්නේ, “යම්කිසි දෙයක් යම් ආකාරයෙන් දරන්නේද, ඒ ධර්මයි”. ධර්ම කියන එකේ අර්ථය ඒකයි. “බුද්ධ ධර්ම” කියනකොට, අවබෝධය, නැත්නම් සත්‍යාවබෝධය යම් ධර්මයක් තුළින් දරන්නේද, ඒක බුද්ධ ධර්මයක්. “ධර්ම” කියන්නේ පොදු වචනයක්. ධර්ම කියන්නේ, යම් යම් දෙයක්, යම් යම් හේතූන්ගේ සම භාවයෙන් දරනවාද, මෙන්න මේ අර්ථයෙන් ධර්ම කියනවා.
ප්‍රේත බවක් යම් හේතුවකින් දරනවා නම්, ඒක ප්‍රේත ධර්මයක්. යක්ෂ බවක් යම් හේතුවකින් දරනවා නම් ඒක යක්ෂ ධර්මය. මනුශ්‍ය බවක් යම් හෙයකින් දරනවාද, මනුශ්‍යය ධර්මයක්. දේව බවක් යම් හේතුවකින් දරනවද, දේව ධර්මයක්. බ්‍රහ්ම බවක් යම් හේතුවකින් දරනවාද, බ්‍රහ්ම ධර්මයක්. බුද්ධ බවක් යම් හේතුවකින් දරනවාද, බුද්ධ ධර්මයක්. දැන් “ධර්ම ධර්ම” කිවුවට හරියන්නේ නෑ. මොන ධර්මයද? කොතනද? බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ බුද්ධ ධර්මය. “බුද්ධ” බව යම් හේතුවකින් දරනවා නම්, මෙන්න මේ හේතු රටාවටයි බුද්ධ ධර්මය, ඒක තමයි බුද්ධ ධර්මය.
“බුද්ධත්වය” ට ආපු කෙනා අත්හැරී, නොඇලී, මිදී යන පැත්තක් තියෙනවා. ඒක තමයි “නිරෝධය”, ධර්ම නිරෝධ කිරීම. බුද්ධත්වයට ආපු කෙනා තමයි ඒ අරමුණ තුළින් එළියට ඇදලා ආවේ. එතකොට, බුද්ධත්වයට පත්වෙන යම්කිසි විද්‍යාමානත්වයක් තියෙනවා නම්, එයට අනුව අපි ඇතිකරගත යුතුයි ජාතිය. අවබෝධයට හේතුකාරක වන ජාතියක් තියෙනවා. අන්න එතෙන්ට පත්වෙන්න ඕනේ. හැම කෙනෙකුටම “බුද්ධත්වයට පත්වෙන්න” කිවුවේ ඒකයි. ඉතින් ඕක වරද්දාගත්තහම, “එහෙනම් ආ, ඔක්කොටම ලොවුතුරා බුදු වෙන්න කිවුවානේ” කියලා ඔන්න වරද්දාගන්නවා. හැම කෙනෙක්ම බුද්ධත්වයට පත්වෙන්න කිවුවේ, මේ අවබෝධ කරන්න සුදුසු තත්වයට පත්වෙන්න ඕනේ. ඒ තත්වයට පත්වුනහම, අවබෝධයට අමුතු දෙයක් කරන්න දෙයක් නෑ, ඒක ලැබෙනවාමයි! පහුවෙලා නෙමෙයි, “බුද්ධ” කියන තත්වයට පත්වෙනකොටම අවබෝධයත් පෙර-පසු නොවී එතන, පහන පත්තු කරනකොට ආලෝකයත් එතන. පහන පත්තු වීමත් සමඟ ආලෝකය විහිදීමත් එනවා. බුද්ධත්වයත් සමඟ සත්‍යාවබෝධයත් පූර්ණ වෙනවා. ඒ මෙන්න මේ කියන තත්වයේ ධර්මයක් තියෙනවා. එතෙන තියෙන්නේ ධර්ම රටාවක්.
අන්න ඒ බුද්ධත්වයට පත්වෙන ධර්ම රටාවට කියනවා “බුද්ධ ධර්මය”. සියලු ධර්ම බුද්ධ ධර්මයන් නෙමෙයි. අපායට යන ධර්මය අපා ධර්මයක්. සතර අපාගත වෙන ධර්ම බුද්ධ ධර්ම නෙමෙයි, ඒක සතර අපා ධර්මයක්. “සතර අපාගත වෙන්නේ මෙහෙමයි” කියලා ඒක දැනගත්ත එක බුද්ධ ධර්මයක්. සතර අපායට යන ධර්මය එකක්. “සතර අපායට යන්නේ මෙහෙමයි” කියලා දැනගත්ත එක බුද්ධ ධර්මයක්. මනුස්ස ධර්මය එකක්, “මනුස්සයෙක් වෙන්නේ මෙහෙමයි” කියලා දැනගත්ත එක බුද්ධ ධර්මයක්. දෙවියෙක් වෙන එක දේව ධර්මයක්. දෙවියෙක් වෙන්න තියෙන මාර්ගය දේව ධර්මයක්. “මෙහෙම ගියොත් දෙවියෙක් වෙනවා, මේකයි දෙවියෙක් වෙන මාර්ගය” කියන එක දැනගත්ත එක බුද්ධ ධර්මයක්.
බුද්ධ ධර්මය කියන්නේ අමුතු ධර්මයක් නෙමෙයි, ඒවා පිළිබඳ දැනීම. බුද්ධියෙන් ඒ තත්වය වටහාගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. යක්ෂ ධර්මයක් තියෙනවා, “මෙබඳු වන්නාවූ යක්ෂ සංස්කාරයෙන් මෙබඳු ජාතියක් පහලවෙනවා, මේකයි රටාව” කියලා දැනගත්ත එක බුද්ධ ධර්මය. ඒ රටාවේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය යක්ෂ ධර්මය. “මෙබඳු වන්නාවූ විදිහට කටයුතු කරනවා නම්, මෙබඳු සංඛාරයෙන්, මෙබඳු මනුස්ස ජාතියක උපදිනවා, මනුස්සයෙක් උපදින්නේ මෙහෙමයි”. ඒ මනුස්සයෙක් උපදින එක තමයි මනුස්ස ධර්මය. “මනුස්සයෙක් වෙන්නේ මෙන්න මේ රටාවටයි” කියලා දැනගැනීම බුද්ධ ධර්මය. දෙවියෙක් වෙන්නේ මෙන්න මේ සංස්කාරයෝ වඩලා, මේ මේ විඤ්ඤාණ, නාම-රූප, සළායතන, මේ මේ විදිහට ගිහිල්ලා, මේ රටාවට ගිහිල්ලා දේව ජාතියක පහලවෙනවා කියලා යම්කිසි ධර්මයක් ඇත්නම්, ඒක දේව ධර්මය. ඒ දෙවියෙක් වෙන්නේ මෙන්න මේ රටාවටයි කියලා දැනගැනීම බුද්ධ ධර්මය. බ්‍රහ්මයෙක් වෙන්න අවශ්‍යය කරන සංස්කාරය දැනගෙන, බ්‍රහ්මයා වෙන ජාතියක් පහල වෙනවා කියලා පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය දැනගත්තහම, ඒ ක්‍රියාවලිය ඇසුරු කරපු කෙනා යන්නේ බ්‍රහ්ම ධර්මයට. “එබඳු ක්‍රියාවලියක් ඇසුරු කළොත් මෙබඳු බ්‍රහ්මයෙකුයි වෙන්නේ” කියලා දැනගන්න එක බුද්ධ ධර්මය.
එතකොට, ලෝකයත්, ලෝකයට හේතුවත් ලෝක ධර්මය. ලෝකය මෙහෙමයි, ලෝකයට හේතුව මෙහෙමයි කියලා දැනගන්න එක බුද්ධ ධර්මය. ලෝක නිරෝධයත්, ලෝක නිරෝධ මාර්ගයත් මේකයි කියලා දැනගන්න එක බුද්ධ ධර්මය. ලෝකයත්, ලෝකයට හේතුවත් ලෝක ධර්මය. ලෝක නිරෝධයත්, ලෝක නිරෝධ මාර්ගයත් බුද්ධ ධර්මය, කැටි කරලා ගත්තහම.
{0:07:10} : පංචස්කන්ධයට මේ කය විතරක් නෙමෙයි, මුලු ලෝකයම අයිතියි
ඉතින්, අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ බුද්ධ ධර්මය මොකද්ද? ලෝක ධර්මය මොකද්ද? ලෝකයත්, ලෝකයට හේතුවත් ලෝක ධර්මයයි. ලෝක නිරෝධයත්, ලෝක නිරෝධ මාර්ගයත් බුද්ධ ධර්මයයි. අන්න, අපි ඔක්කෝම විග්‍රහ කරලා, විග්‍රහ කරලා, කැටි කරලා ගත්තා. ඉතින්, “යේ ධම්මා හේතුප්පභවා – තේසං හේතුං තථාගතෝ ආහ” කිවුවේ ලෝකයත්, ලෝකය හටගන්න හේතුවත්.
ලෝකය කිවුව්හම කිසි තැනක “කාම, රූප, අරූප” කියන තුන් භවයෙන් මිදිලා නෑ, ඔක්කෝම අහුවෙලා. පංචස්කන්ධය කිවුවහම ඒ ඔක්කෝම අහුවෙලා. “පංචස්කන්ධය ලෝකයයි” කියලා තියෙනවා. “පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය” කියලා කිවුවා. පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය ඔය අටුවා වලදිත්, පස්සේ ලියන පොත් වලදිත් ඒක අරගෙන තියෙනවා, “පංචස්කන්ධ ලෝකය මේ කය” කියලා. කයට සීමා කරපු එකක් නෙමෙයි පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය කියන්නේ.
දුර වේවා, ලඟ වේවා, පෙනෙන වේවා, නොපෙනෙන වේවා, සියුම් වේවා, ඝන වේවා, අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා “රූප” යැයි සම්මත යමක් වේද, රූපස්කන්ධයයි. ශරීරයට සීමා කරලා නෑ බුදුරජාණන් වහන්සේ. අංගුත්තර නිකායේ හොඳට විග්‍රහ කරලා තියෙනවා.
දුර වේවා, ලඟ වේවා, පෙනෙන වේවා, නොපෙනෙන වේවා, සියුම් වේවා, ඝන වේවා, අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා “වේදනා” යැයි යමක් සම්මත වීද, ඒ වේදනාස්කන්ධයයි. වේදනාස්කන්ධය කියලා, මේ ශරීරයේ තියෙන කැක්කුමට, වේදනාවට විතරක් වත්, එහෙම සම්බන්ධ කරලා සීමා කළේ නෑ. ඔය කිවුව වේදනාස්කන්ධයෙන් බැහැරවෙච්ච කිසිම වේදනාවක් ගැන හිතන්න දෙයක් නෑ. අතීත වේදනාවක් හිතුවත්, අනාගතයේ වෙන්න බලාපොරොත්තු වෙන වේදනාවක් ගැන ආස්වාද හිතුවත්, මනෝ සංකල්ප නිපදවලා, දැන් විඳින වේදනා ගැන මත්වෙලා හිටියත්, ඒ වගේම සියුම්-ඝන, දුර-ලඟ, කෙබඳු තැනක හෝ “වේදනාව” යයි යම්කිසි විදිහකින් අපි කතා කරනවා නම්, පනවනවා නම්, ඒ සියල්ල වේදනාස්කන්ධයයි.
ඒ වගේම සංඥා, හඳුනාගන්න ඒවා. දුර වේවා, ලඟ වේවා, දුර සංඥාවක් හරි, ලඟ සංඥාවක් හරි හඳුරගත්තද, පේන වේවා නොපෙනෙන වේවා, පෙනෙන සංඥාවක් හරි, නැත්නම් වටහාගෙන ගන්න සංඥාවක් හරි, නොපෙනෙන – නොදන්න දෙයක් ගැන හිතන සිතිවිල්ලක් හරි, සංඥාවක් කරලා – පෙනෙන වේවා, නොපෙනෙන වේවා. සියුම් වේවා, ඝන වේවා – සියුම්, ඝන කොයි ආකාරයක හරි, අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා යම්කිසි ආකාරයක සංඥාවක් ගැන යම් දැනීමක් ඇත්ද, ඒ සියල්ලම එක් කරලා “සංඥාස්කන්ධයයි“
අනික සංස්කාර. යම්කිසි චේතනා තුළින්, අවිද්‍යා – තෘෂ්ණා සමඟ එකතුවෙලා, සකස් කරගන්න දේවල්. දුර, ලඟ, පෙනෙන, නොපෙනෙන, සියුම්, ඝන, අතීත, අනාගත, වර්තමාන, ඒවගේම… ඒ හැම එකක්ම, “සංස්කාර” යැයි යමක් සම්මතද, ඒ කියන්නේ සංස්කාර ස්කන්ධයයි.
අනික විඤ්ඤාණ. දුර, ලඟ, පෙනෙන, නොපෙනෙන, සියුම්, ඝන, අතීත, අනාගත, වර්තමාන… විඤ්ඤාණ යැයි යම්කිසි හැඳින්වීමක් කරනවද, කතා කරනවා නම්, එතකොට ස්කන්ධ පේනවා නම්, ඒ කියන්නේ විඤ්ඤාණස්කන්ධ.
එහෙනම්, පංචස්කන්ධයෙන් තොර වෙච්ච දුර දේකුත් නෑ, ලඟ දේකුත් නෑ, සියුම් දේකුත් නෑ, ඝන දේකුත් නෑ, අතීත, අනාගත, වර්තමාන කිසිම තැනක ඔයින් තොර වෙච්ච දෙයක් නෑ, ඔක්කොම අහුවෙලා. “පංචස්කන්ධය” කිවුවහම සෑම සියල්ලම අහුවෙනවා. ඉතින්, පංචස්කන්ධය කියලා බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන්නේ පංචස්කන්ධය ඔහොමයි. නමුත්, අපි අද පංචස්කන්ධය කියන්න පුරුදුවෙලා තියෙන්නේ “මේ මස්-ලේ කියන බඹයක් පමණ වූ කයට” කියලා සීමා කරගත්තා. කයට සීමා කරපු පංචස්කන්ධයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑ. බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධය කියන්නේ සියලුම ලෝකය! සත්වයා කියලා අපිට විද්‍යාමාන වෙන බාහිර ලෝකේ අත්හැරලා නෙමෙයි.
බාහිර ලෝකය පිළිබඳ රූප සත්වයා කියන තැනට සම්බන්ධයි. අතීත, අනාගත, වර්තමාන තුන් කල්හි මේ රූපස්කන්ධය පිළිබඳ යම් සම්මතයක් ඇත්නම්, ඒ සියල්ලම හා සම්බන්ධයි. එබඳු වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන එකටත් සම්බන්ධයි. ආධ්‍යාත්මික, බාහිර වේවා, දුර, ලඟ, පෙනෙන, නොපෙනෙන, සියුම්, ඝන, අතීත, අනාගත, වර්තමාන රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ හා සම්බන්ධ යම්කිසි ආකාරයේ සම්මත ඇත්ද, මේ සියල්ලම එක්කරලා පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය කියනවා. පංචස්කන්ධය කයට සීමාකරගත්ත පිරිසට, පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය කියනකොට “මේ බඹයක් පමණ වූ කය” කියලා නිගමනය කරගත්තා. ඒක ඒ නිගමනයේ වැරැද්දක්.
{0:11:30} : පංචස්කන්ධය ම හේතූන් ගේ ඵල, හේතු නිරෝධයෙන් ඵල නිරෝධ වෙනවා
(ශ්‍රාවකයෙක් ප්‍රශ්නයක් අසයි, ප්‍රශ්නය පැහැදිලි නැත) ස්වාමීන් වහන්සේ: ඉතින් පංචස්කන්ධය කිවුවහම කෙළවරක් නෑ. සීමා කරන්න බෑ. මුලු පංචස්කන්ධයම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඕක තේරුම් ගත්තහම, ලෝකේ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා තේරුම් ගන්නවා. ලෝකෙත් එක්ක යම් ඇසුරක් තියෙන තාක්කල්, ලෝකේ ස්ඵර්ශ කරන තාක්කල්, ඕකෙන් බේරෙන්න බැහැ. ඉතින් අනිච්ච නම්, දුක නම්, අනත්ථ නම්, මොනවා ස්ඵර්ශ කරන්නද? මොන වටිනාකමකටද? එහෙනම් වටිනාකම ඉවරයි, ඒ ස්ඵර්ශය ඉවරයි. ස්ඵර්ශ ඉවර නම් වේදනාත් ඉවරයි, තණ්හාත් ඉවරයි, උපාදානත් ඉවරයි, භවත් ඉවරයි, ජාති ත් ඉවරයි, ජරා-මරණත් ඉවරයි. ඒ ඔක්කොම ඉවර වෙනවා.
ඔය ක්‍රමයට, ඔය ටිකෙන් දැනගන්න ඕනෑ හේතු. දැන් ඉතින් මේවායෙ උපදින්න හේතුවක් තියෙනවා, නිකන් නෙමෙයි. “හේතුං පටිච්ච සම්භූතං” හේතු – ඵල. මේ හැමතැනකම තියෙන්නේ සමහර වෙලාවට ඒවා “හේතු” වෙනවා තව දෙයක් හටගන්න. ඒ දේ තව දෙයක ඵලයක්. යම්කිසි හේතූන්ගේ ඵලයක් පහල වෙලා, ඒ ඵලය තව ඒවාට හේතු වෙනවා. එහෙම ධර්මයක් ලෝකේ තියෙනවා.
එතකොට, අරමුණු කරනකොට, ඔය අරමුණු අතර ඊට එහා හේතුවකින් පහල වෙලා, තව දේකට හේතුවෙන ඒවා තියෙනවා. ඒවා ඕනේ තරම්. එතකොට ඒවගෙම, ඵලයක් නිපදවන්නේ නැති, හේතුව පමණක්, කියන්නේ කෙටියෙන් ඵලයක් ඇති කරනවා, හේතුවක් යළි ඇති කරගන්නේ නෑ, නිවන. ඵලය තව එකකට හේතුවෙන්නේ නෑ, නිවනින් ඒක ඉවරයි. එහෙම ඒවත් තියෙනවා.
මෙන්න මේ ආකාරයෙන්, හේතුවයි – ඵලයයි, හේතුවයි – ඵලයයි කියන එක තේරුම්ගන්න ඕනේ. හේතූන්ගේ සම භාවයෙන් හෙවත් ගැලපෙන එක්වීමෙන්, සමාන නෙමෙයි ඒ කියන්නේ, ගැලපෙන ආකාරයෙන්, සම්බන්ධ වෙන තැන ඵලයක් විද්‍යාමාන වෙනවා. එතකොට සෑම ඵලයක්ම දැකලා, මේක හටගත්ත මේ හේතූන්ගේ සම භාවය දැක්කේ නැත්තම්, ලෝකයා බැහැගන්නවා එක එක නිගමන වලට. ඊශ්වර වාදයට, මැවුම් කාරයෙක් ගෙනත් දුන්නා. බ්‍රහ්ම සංකල්පයක්, බ්‍රහ්මයා මැවුවා. එහෙම නැත්නම් අහම්බෙන් හටගත්තා, ඔය දෘෂ්ඨි වලට බහිනවා. 62ක් මිත්‍යා දෘෂ්ඨි වල ගමන් කරනවා ඕකේ යථාර්තය දකින්න බැරි නිසා.
{0:13:55} : හේතූන්ගේ සම භාවයෙන් ඵලය හැදෙන්න ශක්තිය කොහෙන්ද?
ඉතින් ඔය ටික අපි දැනගන්න ඕනේ, ඒ අවශ්‍යය කරන හේතු මොනවද? යම්කිසි ඵලයක් විද්‍යාමාන වෙන්නේ නෑ කවදාවත් හේතු නැතුව, හේතූන්ගේ සම තාවයක් නැතුව. සම භාවය කිවුවේ, සම භාවය කිවුවේ සම එක්වීම. සමාන එක්වීම එහෙම නෙමෙයි.
දැන් හොද්දක් හැදෙන්නේ නැහැ හොද්දට අවශ්‍යය කරන ලුණු ඇඹුල්, ලුණු මිරිස්, අවශ්‍යය කරන්නාවූ අල, පරිප්පු ආදී මොනවා හරි දාන ඒ මූලික දේ, කිරි, ජලය, මේ ආදී දේ වල සම භාවයක් තියෙනවා. ඒ කියන්නේ සමානව දැම්මා කියන එක එහෙම නෙමෙයි. ලුණුත් ගන්නවා ග්‍රෑම් 100ක්, මිරිසුත් ග්‍රෑම් 100ක්, සූදුරුත් මහදුරුත් ග්‍රෑම් සීය සීය, අලත් ග්‍රෑම් 100ක්, පොල් කිරිත් ග්‍රෑම් 100ක්, එහෙම ගන්න එකක් නෙමෙයි මේ සම භාවය කියන්නේ. ඒ හොද්ද කියන එක නිර්මාණය වෙන්න ලුණු දාන්න ඕනේ මාත්‍රය නම්, ඒ සමව ගත්තා, සම භාවයක් කළා. වැඩි ප්‍රමාණයක් ජලය අවශ්‍යය නම්, ඒ ප්‍රමාණය දැම්මා, ඒ අවශ්‍යය ප්‍රමාණයට. පොල් කිරි අවශ්‍යය ප්‍රමාණය වෙන්නේ ඒ ගාණට දැම්මම, එතකොට සමයි. ඒ වැඩේ සිද්ධ කරන්න සම භාවය කිවුවේ ඒකයි.
මෙන්න මේ ආකාරයෙන්, ලෝකයේ යම්කිසි ඵලයක් ඇති කරලා, විද්‍යාමාන වෙන්නේ හේතූන්ගේ සම භාවය නිසයි. ගැළපෙන ගාණට එකතු වෙලා. ඉතින්, එකතු වීමක් ඇති වෙනකොටයි මේක වෙන්නේ. ඉතින් ඒක නිකන් නෙමෙයි, ඒක නිකන් එකතු වෙන්නේ නෑ. අන්න ඒ හේතු එකතුවෙන්න යම්කිසි ක්‍රියා බලයක් ඕනේ. යම් ශක්ති බලයක් ඕනේ. මේ ශක්ති බලය කියන එක කවුරුවත් හදපු එකක් නෙමෙයි. එහෙනම්, අන්න ඒ ශක්ති බලය කවුද නිපදවන්නේ, කොහොමද නිපදවන්නේ කියන එක බුදුපියාණන් වහන්සේ දැකලා මෙන්න මේක දේශනා කළා.
අවිද්‍යාවයි, තෘෂ්ණාවයි කියන දෙක මුල්කරගෙන අන්න එතනින් පටන්ගන්නාවූ එක්තරා බලවේගයක් ක්‍රියාත්මක වෙන්න, පටන්ගන්න ආරම්භ වෙනවා. ඒ ආරම්භයෙන් හටගන්නාවූ ශක්ති විශේෂය තමයි ඔය සම භාවයට එකතු කළේ. ඒනිසා තමයි ඵලයක් විද්‍යාමාන වුනේ. “ලෝකය” යි කියන යම් තැනක, සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු කියන සියලු ලෝකයේ යමක් විද්‍යාමාන වෙනවා නම් ඔය ටික විද්‍යාමාන වෙනවා.
ඒ හේතුවේ හැටි පෙන්නුවා. “හේතු වෙනවා, හේතු වෙනවා” කිවුවම එකාකාර නෙමෙයි. හේතුවෙන ආකාර, ප්‍රත්‍ය වෙන ආකාර 24කින් වෙනවයි කියලා පෙන්නුවා. ඕකට කියනවා “සූ විසි පට්ඨානය”. යමක් පිහිටලා සිටින්න, යම් ආකාරයකින් පිහිටා සිටින්න, යම් ආකාරයකින් ක්‍රියාත්මක වෙන, විද්‍යාමාන වෙන වස්තුවක් පෙනෙන්න ඒකට හේතුවෙන ආකාර 24කින් ගැළපෙන ආකාරයන් මේ මේවා කියලා ගන්න හැටි, විග්‍රහ කරගන්න හැටි පෙන්වලා දුන්නා පට්ඨානයේ.
මෙන්න මෙතනින් තමයි, යමක් හටගත්තේ මොන මොනවා හේතු වෙලාද, මොන මොන ආකාරයෙන් හේතු වෙලාද, හේතු වෙන්නේ මොන මොන ආකාරයෙන්ද, ඉතින් මේ ආකාර දකින්නේ නැතුව, “හේතු වෙනවා – හේතු වෙනවා” කියන එක එකාකාරයෙන් ගත්තොත් එහෙම අපි මුළාවට පත්වෙනවා, හොයාගන්න බැරුව යනවා.
{0:16:39} : හේතූන් සමව ප්‍රත්‍ය වෙන ආකාර 24ක්… සූ විසි පට්ඨානය
ඉතින් “හේතු ප්‍රත්‍යය” කියලා එකක් පෙන්නනවා. ලෝභ, ද්වේෂ, මෝහ හේතු. අලෝභ, අද්වේෂ, අමෝහ තව හේතු කොටසක්. පිං පැත්තට හේතු, පවු පැත්තට හේතු. සුගති පැත්තටයි, දුගති පැත්තටයි තියෙන හේතු පෙන්වනවා. හොඳයි කියන පැත්ත සම්මත කරගත්ත ඒවා පහලවෙන්න හේතු 3ක් පෙන්වනවා, අලෝභ, අද්වේෂ, අමෝහ. නරකයි, දුක් කරදර සහිතයි කියලා, වේදනා සහිතයි, පීඩා සහිතයි, අනිෂ්ඨ අරමුණු සහිතයි කියලා පෙන්වන්න, ලෝභ, ද්වේෂ, මෝහ කියලා හේතු 3ක් පෙන්නුවා.
දැන් හේතු 6කින්, ප්‍රත්‍ය වීම ප්‍රධාන කරගෙන හටගත්තහම ඕක “හේතු ප්‍රත්‍යය” කිවුවා. ඉතින් හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වීම මුලට සිද්ධ වුනා. ඒ හේතු ප්‍රත්‍යය නිසා ලෝභ-ද්වේෂ-මෝහ හෝ අලෝභ-අද්වේෂ-අමෝහ කියන මේ දේවල් නිසා, අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙකෙන් බැඳෙනකොට “නිත්‍යයි, සැපයි, ආත්මයි” කියන මේ දෘෂ්ඨිය නිසා ලෝක සත්වයා බැඳෙනවා.
බැඳුනහම නිකන් ඉන්න බෑ. ඇහැට රූප අරමුණු කරන්න ඕනේ, කනට සබ්ද අරමුණු කරන්න ඕනේ, දිවට රස, නාසයට ගඳ, ශරීරයට ස්ඵර්ශ, මනසට ධර්ම අරමුණු කරන්න ඕනේ. අරමුණු කිරීමේ ක්‍රියාවලියක් අපි කරනවා. ඒක නොකොළොත් පේන්නේ නෑ, අරමුණු කළොත් තමයි ඒක වෙන්නේ. අන්න සත්වයා කරන වැඩක්, “අරමුණු කරනවා”.
අරමුණු නොවන කිසීම දෙයක් ලෝකය තුළ සත්ව-පුද්ගල-ද්‍රව්‍ය-වස්තු කියන තැන ඇත්තේ නෑ. දුර, ලඟ, සියුම්, ඝන, ඒවගේම අතීත, අනාගත, වර්තමාන, ඔය හැමතැනකම රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන, නැත්තම් ඇස, කන, දිව, නාසය, ශරීරය, මන, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්ඵර්ශ, ධර්ම කියන ඒවා, මේ සියල්ලම අරමුණු කළ හැකියි. ඒවා “ආරම්මණ ප්‍රත්‍යය” අරමුණු කිරීම ප්‍රත්‍යය කරගෙනත් රූපයට බැහැගැනීමක් වෙනවා. ඉතින් අරමුණු කරගෙන ප්‍රත්‍යය වෙච්චට කියනවා – ආරම්මණ ප්‍රත්‍යය. හේතු ප්‍රත්‍යය, ආරම්මණ ප්‍රත්‍යය.
ඉතින් මේ විදිහට මේ ප්‍රත්‍යය වෙන ක්‍රමයක් තියෙනවා. එකින් එකට ප්‍රත්‍යය එක එක හැදි හැදී එනවා. හේතු ප්‍රත්‍යය වෙනවා, ආරම්මණ ප්‍රත්‍යය එනවා, අධිපති ප්‍රත්‍යය එනවා, ඒකියන්නේ “ඒවා හොඳයි” කියලා, “ඒක ශ්‍රේෂ්ඨයි” කියලා අධිපති කමේ තියාගන්නවා. යම් ධර්මයක් අධිපති කමේ තියාගෙන ගත්තා නම්, අධිපති ප්‍රත්‍යය වෙනවා.
ඒවා නායකයා කරලා, රජා කරලා, ඉන්ද්‍රිය කරගන්නවා. ඉන්ද්‍රිය කරගත්තොත් “ඉන්ද්‍රිය ප්‍රත්‍යය” වෙනවා.
ඒවා හොඳයි කියලා නිශ්‍රය කරගන්නවා. “නිශ්‍රය ප්‍රත්‍යය” වෙනවා.
ඒවා හොඳයි කියලා ආධාර කරගන්නවා. “උපනිශ්‍රය ප්‍රත්‍යය” වෙනවා.
එතකොට, ඒවා ඇසුරු කරනකොට, ඒකෙන් මේක, මේකෙන් ඒක වෙනකොට “අඤ්ඤ මඤ්ඤ ප්‍රත්‍යය” කියලා එකක් හැදෙනවා. ඔය ඒකෙන් සම්බන්ධ වෙන හැටි. යමක් විද්‍යාමාන වෙන්න පහලවෙන ආකාර.
ඉතින් ඔය විදිහට ප්‍රත්‍යය 24කින් එකින් එකට, එකින් එකට, එක එක අවස්ථාවල් ගැලපෙන අවස්ථාවේදී, ගැලපෙන ආකාරයේ සම්බන්ධයන් ඇතිකරන් ප්‍රත්‍යය වෙන 24 ආකරයක් පෙන්වලා තියෙනවා.
{0:19:18} : ප්‍රත්‍ය වෙන්නෙ කොහොමද? ප්‍රත්‍ය අයින් වෙන්නෙ කොහොමද?
ඉතින් “අවිද්‍යා පච්චයා සංඛාරා” කිවුවහම, “අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍යය වේ” කිවුවහම, මොන ප්‍රත්‍යයද කියලා අපි විග්‍රහ කරගන්න ඕනේ. අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙන්නත්, ප්‍රත්‍යය 24න් කොයි කොයි ප්‍රත්‍යය, ප්‍රත්‍යය වෙලාද?
“සංඛාර පච්චයා විඤ්ඤාණං” – සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ වේ කිවුවහම, අපි දැනගන්න ඕනේ මොන විදිහේ ප්‍රත්‍යයකින් විඤ්ඤාණ වුනාද? සංස්කාර, විඤ්ඤාණ පහල කරන්න ප්‍රත්‍යය වෙන්න, කෙබඳු ආකාර ප්‍රත්‍යයකින් ප්‍රත්‍යය වුනාද?
මෙන්න මේ වගේ විශාල විග්‍රහයක් කරන්න ඕනේ මේ ප්‍රත්‍යය තෝරාගන්න. “හේතුවක් නිසා ඵලයක් පහලවෙනවා” කිවුව පලියට ඒක විග්‍රහ වෙන්නේ නෑ, වැටහෙන්නේ නෑ. අන්න ඒක වටහා ගැනීමට නම්, “කුමන ආකාරයෙන් හේතු වුනාද? මේ ඵලය නිපදවුනේ මොනවා මොන, මොන ආකාරයෙන් එකතු වෙලාද?” ඔය දේ දකින්න ඕනේ.
“සහජාත ප්‍රත්‍යය” – සහජාත කියලා කියන්නේ සහයෝගය දීලා, පහලවෙනකොට ඒකත් එක්කලාම, ඒකට සම්බන්ධ වෙලා පහල වුනා, සහජාත ප්‍රත්‍යය. ලෝකය හටගැනීමට හේතුව පෙන්වලා තියෙන්නේ සහජාත ප්‍රත්‍යය, ලෝකේ හැටියට ප්‍රධාන වුනා, හේතු වුනා. හැබැයි, මුල එක අත්හැරලා නෙමෙයි. ප්‍රධාන හේතු 6 තියෙන්න ඕනේ ලෝකේ හටගන්න.
ලෝකේ කිවුවහම දැන් අපි හිතනවා, “පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය”. පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය කිවුවහම මේ කය විතරක් සීමා කරලා නෑ. සියලුම ලෝක, අචින්ත්‍ය වූ, අප්‍රමාණ වූ සියලුම ලෝක ඕකට සම්බන්ධයි. ඒ ඒ ලෝකයන් හටගැනීමට ප්‍රත්‍ය වුනු ආකාරය තියෙනවා. අන්න ඒ ප්‍රත්‍ය වුන ආකාරය තමයි “හේතු-ඵල” කිවුවේ. ඒ ප්‍රත්‍ය වෙච්ච ඵලය, විද්‍යාමාන වෙලා තියෙන ඵලය කුමන හේතුවකින්, කුමන ආකාර හේතූන්ගෙන් පහල කළාද?
මෙන්න මේක අහගත්තහම, කිසිම දෙවියෙක්, කිසිම පුද්ගලයෙක්, කිසිම ප්‍රධානියෙක්, වෙන් වෙච්චි ප්‍රධානියෙක්, මේක පහල කළේ නෑ. මේ සෑම සියලු ලෝක සත්වයෝම මේ අවිද්‍යා, තෘෂ්ණා සහගත ගමනක් මුල් කරගෙන, නිච්චයි, සැපයි, ආත්මයි කියන මේ දෘෂ්ඨිය මුල් කරගෙන බැහැගත්ත තීරණ තමයි මේ ඔක්කෝම. ඒ බැහැගත්ත තීරණ වල ප්‍රතිඵල රටාවයි මේ ආරම්භය, පටන්ගැන්ම, හේතුව.
ඒ තීරණය අයින් කළොත්, නිච්චයි, සැපයි, ආත්මයි කියන මිත්‍යා දෘෂ්ඨිය, වැරදි දෘෂ්ඨිය අයින් කරලා අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියන දේ තේරුම් ගත්තොත්, ඒ දකිනකොටම, අර දෘෂ්ඨිය කැපිලා යනවා. අවිද්‍යාවත් එක මට්ටමකට කැපිලා ගියා, තෘෂ්ණාවත් එක මට්ටමකට කැපිලා ගියා.
{0:21:44} : හේතු-ඵල දැකපු ගමන් බැඳීම් නිරෝධ වෙන්නේ නෑ…
ඊට පස්සේ දැකපු දහම වඩනවා, භාවනා කරනවා. “අනිත්‍ය වෙන්නේ මෙහෙමයි, දුක් වෙන්නේ මෙහෙමයි, අනාත්ම වෙන්නේ මෙහෙමයි” කියලා දැකපු ඇත්ත, දැකපු සත්‍යය, භාවනා කරනවා කියන්නේ ඒක වඩන එකයි. එකපාරක් අනිත්‍ය බව ඇත්ත බව අහනවා. දැන් අනිච්චයි, නිච්චයි කියනකොට ඕගොල්ලෝ මොකද්ද තීරණය කරන්නේ? අවංක තීරණය මොකද්ද? “අනිත්‍යයි” කියන එක. බෞද්ධයෙක් ගෙන් ඇහුවා නම්, එයා දෙනවා ඔය තීරණය. “සැපයි, දුකයි” කියන එකෙන් ඕක දාන්න තියෙන අවංක තීරණය මොකද්ද? “දුකයි” කියන එක. “ආත්මයි, අනාත්මයි” කියන එකෙන් දාන තීරණය මොකද්ද? “අනාත්මයි” කියන එක. උත්තරේ දෙනවා.
හැබැයි, උත්තරේ දුන්නට බැඳිලා ඉවර නෑ. කෝ බන්දනය ගැලවුනා යෑ? “අනිත්‍යද නිත්‍යද” කියලා අහපුහාම “අනිත්‍යයි” කියලා උත්තර දෙනවා. “දුක, සැප දෙකෙන් කෝකද?” කියලා අහපුවාම “දුක දැනෙනවා” කියලා උත්තර දෙනවා, “ආත්ම, අනාත්ම” දෙකෙන් අහපුහාම “අනාත්මයි” කියලා උත්තර දෙනවා. “ඔය ගැන සැකද?” “නෑ, සැකත් නෑ” දැන් ඒ ටිකත් හරිගියා.
ඉතින්, ඒ ටික හරි ගියහම, හේතූන්ගේ ඵලයක් හටගන්න හැටි දකිනවා, හේතු නැත්නම් ඵලය නැතිවෙන හැටි දකිනවා. ඒටික දැක්කට පස්සේ, “කවුරුවත් කරන එකක් නෙමෙයි, මේ හේතූන්ගේ හේතු-ඵලයි මේ යන්නේ” ඒකත් දකිනවා. එතකොට, යම්කිසි ආකාර සංකල්පයක් තිබුණා නම්, ඊශ්වර වාදයක් තිබුණා නම්, මැවුම්කාර කමක් තිබුණා නම්, කාටහරි මේ ලෝකේ පැවරුවා නම්, එහෙම යටත් වෙන්න කෙනෙක්, කාගෙවත් එකක් මෙතන නෑ. මේකේ මේ සෑම සියලු සත්වයෝම, තම තමන් විසින් ගෙනියන අවිද්‍යා – තෘෂ්ණා කියන මේ ක්‍රියාදාමය, නිච්චයි, සැපයි, ආත්මයි කියන මේ දෘෂ්ඨිය නිසා හටගන්න අවිද්‍යා-තෘෂ්ණාවන් නිසා ඉතින් මේ හේතු හදාගෙන, මේ හේතු 6ක ගමන් කරමින්, අරමුණු කරමින්, …(පැහැදිලි නැත)…
හේතු ප්‍රත්‍යය, ආරම්මණ ප්‍රත්‍යය, අධිපති ප්‍රත්‍යය, උපනිශ්‍රය ප්‍රත්‍යය, ඉතින් ඔහොම ඔහොම, එකිනෙකට, එකිනෙකට සම්බන්ධ වෙලා, සම්බන්ධ වෙලා මේ සූවිසි ප්‍රත්‍යයන් ගෙන් ගැලපෙන එක, තැනට ගැලපෙන විදිහට ප්‍රත්‍යය වෙවී මේක සකස් වෙනවා.
{0:23:23} : හේතු-ඵල දැක්කට පස්සෙ ආර්‍ය භාවනා වඩන්න හැකි වෙනවා
මෙන්න මේ ටික අපි දකිනකොට, අපිට ඉස්සෙල්ලාම දැක්ක පලියට මේ සියල්ල අත්හැරෙන්නේ නෑ. අන්න ඒ හරියටම දැක්කොත් අත්හැරෙන කාරණා 3ක් තමයි, ආත්ම දෘෂ්ඨිය. සක්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස කියන්නේ. හැබැයි, කාමරාගයයි, පටිඝයයි කියන දෙකෙන් අපාගත වීමට හේතුවෙන දූෂණය අත්හැරෙනවා. කාමරාගයයි, පටිඝයයි අත්හැරුනේ නෑ ඉවරෙටම, ඒකට භාවනා කරන්න ඕනේ.
භාවනා කරනකොට ලැබෙන්නේ ආර්ය භාවනා. “අනිත්‍ය වෙන්නේ මෙහෙමයි, දුක් වෙන්නේ මෙහෙමයි, අනාත්ම වෙන්නේ මෙහෙමයි” කියලා නැවත නැවත හිතන එකයි භාවනාව. “මේක අනිච්චයි කියන්නේ මේක නිසා” ඉතින් බණ අහනකොටත් භාවනාවක්. අනිත්‍ය වෙන හැටි, දුක් වෙන හැටි, අනාත්ම වෙන හැටි එක තැනක ඉඳන් කල්පණා කළත්, ඒක භාවනාවක්, ආර්ය භාවනාවක්.
නිච්චයි, සැපයි, ආත්මයි කියලා හිතෙන අනාර්යයන්ගේ භාවනා නෙමෙයි මේ කියන්නේ, භාවනා කියලා. බෞද්ධ භාවනා කියන එකේ අර්ථය ඒකයි. එකතැන ඉඳගෙන හෝ සාකච්චා කරමින් හෝ ධර්මශ්‍රවණය කරමින් හෝ ධර්ම දේශනා කරමින් හෝ මොනවායින් හරි නිතර සිහි කිරීම්, ඒ මොන දේකින් හරි ගත්තහම ඒ ගත්ත හැම දෙයක්ම එන්නේ ඔය ක්‍රමයටයි.
මෙන්න මේ ක්‍රමයට යටත්ව භාවනාව කෙරෙනකොට මොකද වෙන්නේ? අන්න වැඩෙනවා පේනවා, මාර්ගය වැඩෙනවා. අන්න ඒ මාර්ගය වැඩෙනකොට, අර පැත්තට හේතු බිඳිලා යනවා. ලෝභ – ද්වේෂ – මෝහත් බිඳී යනවා, අලෝභ – අදෝස – අමෝහත් බිඳී යනවා. ලෝභ – ද්වේෂ – මෝහයන් නොකෙරී යනවා. අලෝභ – අද්වේෂ – අමෝහයන්ගේ තියෙන අවිද්‍යාවයි, තෘෂ්ණාවයි දෙකෙන් බැඳීම නතර වෙනවා.
බැඳීම නතර වෙච්චි කර්මය එතන සිද්ධ වෙනවා. පාප කර්මය නෑ, සුගති කර්මය සිද්ධ වෙනවා. සුගති සංස්කාර නෑ, ඒක ගෙවිලා යනවා. අන්න එතකොට හේතු හටගන්න තිබිච්ච මූලධර්මය ඉවරයි. “හේතු භංගා නිරුජ්ඣති” එතකොට වෙන්නේ හේතුව භංග වුනා. හේතු භංග වුනහම, ඵලයක් හටගන්න තිබුණා නම්, ඒකෙන් මිදුනා, නැතිවෙලා ගියා.
{0:25:17} : හේතු හටගැනීමත් නිරෝධයත් පටිච්ච සමුප්පාදයෙන් දකිමු
ඉතින්, “හේතු ඵල වාදය” කියන වචනය ගත්තහම මූලධර්මයෙන් ගන්න තියෙන්නේ ඔය ටිකයි. හේතු ඵල වාදයේ මූලධර්මය. ඔන්න ඔය මූලධර්මය මුල්කරගෙන තමයි දැන් අපි පටිච්ච සමුප්පාදයෙන් යුක්ත ඔය බුද්ධ ධර්මය හොයාගන්න ඕනේ. බුද්ධ ධර්මය තුළ තියෙන්නේ ලෝකය, පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකයත්, පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය පහල වීමට තියෙන හේතු රටාවත්, පංචස්කන්ධ ලෝකයේ නිරෝධයත්, පංචස්කන්ධ ලෝකය නිරෝධ කරන මාර්ගයත්. මෙන්න මේ තියෙන කාරණා ටික ගත්තහම හේතුවත් දකිනවා, ඵලයත් දකිනවා, හේතු නිරෝධයත් දකිනවා, ඵල නිරෝධයත් දකිනවා. දැන් මෙන්න මේ මූලධර්මය සිහි කරලා ඕනේ, මේ ටිකේ පිහිටලා ඕනේ, පටිච්ච සමුප්පාදය තුළින් බුද්ධ ධර්මය තේරුම් ගන්න. බුද්ධ ධර්මයේ හේතු ඵල වාදය තේරුම් ගන්න. දැන් බුද්ධ ධර්මයේ හේතු ඵල වාදය ඔය වගේ තේරුම් ගත්තහම, අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පටිච්ච සමුප්පාද විග්‍රහය එනවා. පටිච්ච සමුප්පාද නිරෝධ විග්‍රහය එනවා. දැන් මෙන්න මෙතෙන්ට තේරුම් අරගෙන ඕනේ අපි ඕක තේරුම් ගන්න.
එතකොට, “යෝ පටිච්ච සමුප්පාදං ඵස්සති, සෝ ධම්මං ඵස්සති” – යමෙක් පටිච්ච සමුප්පාදය දකිනවද, ඔහු ධර්මය දකිනවා. “යෝ ධම්මං ඵස්සති, සෝ මං ඵස්සති” – යමෙක් ධර්මය දකිනවද, ඔහු මා දකිනවා, නැත්නම් බුදුන් දකිනවා. මෙන්න මේ කියන බුදුන් දැකීමට නම් ධර්මය දකින්න ඕනේ. ධර්මය දකින්න නම් පටිච්ච සමුප්පාදය දකින්න ඕනේ. එහෙනම්, ඔය හේතු ඵල න්‍යාය දකින්න ඕනේ. හේතු නිරෝධයෙන් ඵල නිරෝධ වෙන න්‍යාය දකින්න ඕනේ. මෙන්න මේටික දැක්කහම බුදුන් දැක්කා. බුදුන් දැක්කට වඩා කරන්න දෙයක් නෑ, ඉතුරු ටික දකිනකොටම, අර පහන පත්තු කරහම ආලෝකය විහිදෙනවා වාගෙ බුදුන් දකිනකොටම ප්‍රඥාව විහිදිලා, අවබෝධ කරන එකක් අවබෝධ කරලා, ඔය කාරණා ඔක්කෝම ටික සිද්ධ වෙනවා. චතුරාර්‍ය සත්‍යය ධර්මයම අවබෝධ වෙනවා.
{0:27:01} : තිපරිවට්ටය – ද්වා දස ආකාරය දැනගැනීම සෝතාපන්න වීමයි
දුක පිරිසිඳ දැනගන්නවා, ප්‍රිය භාවය සිඳීමටම පත්වෙනවා. ප්‍රිය භාවය හිඳගෙන, හිඳගෙන ගිහාම පිරි සිඳිනවා. දුක දැනගත්තා, දැනගත්තට පස්සේ දුක පිරිසිඳ දැනගත්තා. අන්න, දුක පිරිසිඳ දැනගන්නවා කියන්නේ, පිරි සිඳිනවා. දැනගන්න දෙයක් නෑ ඒකේ. “පරිඤ්ඤෙයියං”, “පරිඤ්ඤාතන්ති” – අනිත් අයගේ ඒවා, පිරි සින්දා. පිරි සිඳිය යුතුයි, පිරි සින්දා.
අවස්ථා 3ක් තියෙනවා. වට්ට 3ක්. දුක්ඛාර්‍ය සත්‍යය පිළිබංදව වට්ට 3ක් ඔතන කිවුවා. “මේ දුකයි” කියලා දැනගන්නවා. “පිරිසිඳිය යුතුයි” කියලා දැනගන්නවා. “පිරි සිඳුනා” කියලා දැනගන්නවා. දැනගන්නේ උනාට පස්සෙයි. දැනගැනීම බුද්ධියෙන් කරන වැඩක්, ක්‍රියාවක් සිද්ධ වෙනවා දුක පිළිබඳව. “මේ දුකයි, පිරිසිඳිය යුතුයි, පිරිසිඳුනා” අවස්ථා 3ක් ගියා.
ඒ වගේම හේතුව දැක්කා. අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙකේ තිබිච්ච ක්‍රියා කලාපය මූල සිද්ධිය. ඒක දැක්කා නම්, “මේ දුකට හේතුවයි” දුකට හේතුව දැක්කා – “දුක්ඛ සමුදය” එතකොට, මේක පහ කළ යුතුයි. පහ කළා, සමුදය පහ කළා. කාරණා 3ම දැනගත්තා. එතකොට ඇතිවෙන්නේ “දුක්ඛ නිරෝධය” බව දැනගත්තා. ප්‍රත්‍යය ක්ෂය කළ යුතුයි කියලා දැනගත්තා. ප්‍රත්‍යය කිවුවේ – “ප්‍රත්‍යක්ෂ” කිවුවේ ඒකයි. ප්‍රත්‍යය ක්ෂය කරන නිසා “ප්‍රත්‍යක්ෂ” වුනා.
ප්‍රත්‍යය කියන්නේ හේතුව. නිරෝධ කරන්න නම් හේතුව ක්ෂය කරන්න ඕනේ. අවිද්‍යාවයි, තෘෂ්ණාවයි ප්‍රත්‍යය වෙවී තමයි මේක හැදුවේ. අවිද්‍යාවයි තෘෂ්ණාවයි ක්ෂය කරපුහාම “ප්‍රත්‍යක්ෂ” වුනා. නිරෝධය දකින්න ඕනේ, ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. ප්‍රත්‍යක්ෂ කළා කියලා දැනගන්නවා, ඒක ඉවර කරලා. එතනත් කාරණා 3ක් කියවුනා.
එතකොට, දුක නැතිකරන්න නිකං බැහැ, මාර්ගයක් තියෙනවා. මේ ආර්ය අශ්ඨාංගික මාර්ගයයි කියලා දැනගත්තා, “භාවේතබ්බංති” හෙවත් ඒක වැඩිය යුතුයි කියලා දැනගත්තා, දැන් වැඩිය යුතුයි, වැඩුවා. අවස්ථා 3 ක්‍රියාත්මක කරා. මෙන්න මේ ටික කරනකොට, ඒකෙන් නිදහස්. චතුරාර්‍ය සත්‍යය අවබෝධයි.
අවබෝධයි කිවුවහම, එකක් අවබෝධයක් විතරක් නෙමෙයි, සතරාකාරයෙන්, ඔය සතර කොටස ඔය විදිහට තුන් ආකාරයෙන් අරගන්න ඕනේ. දුක පිරිසිඳින්න ඕනේ, සමුදය දුරු වෙන්න ඕනේ, නිරෝධය ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ, මාර්ගය වැඩෙන්න ඕනේ. දුකයි, සමුදයයි, නිරෝධයයි, මාර්ගයයි දැනගත්තා – සෝවාන් ඵලය. සෝවාන් මාර්ගයේ ඵලයට එනකොට ඒක දැනගත්තා. එතැන පටන් සිදු කරන්නේ, දුක පිරිසිඳිනවා, සමුදය දුරු කරනවා, නිරෝධය ප්‍රත්‍යක්ෂ කරනවා, මාර්ගය වඩනවා. ක්‍රියාකාරී අවස්ථාවේ ඉන්නේ, දැන්.
එතකොට, සකෘදාගාමී, අනාගාමී වෙලා, අරිහත් මාර්ගයට යනකනුත් යන්නේ ඔය ටිකයි. අරිහත් ඵලයට ආපුහාම, දුක පිරිසිඳ දැනගත්තා, සමුදය දුරු කරා, නිරෝධය ප්‍රත්‍යක්ෂ කළා, මාර්ගය වැඩුවා. කාරණා 4 දැනගත්තා. ඉතින්, “චතුරාර්‍ය සත්‍යය අවබෝධ කළා” කිවුවට හරියන්නේ නෑ. ඒක අපි කෙටියෙන් කියන වචනයක්. චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරනවා කියන්නේ ඕකයි. “අවබෝධ කරනවා” කියන එක විග්‍රහ කරගන්න ඕනේ. “චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගත්තා” කියන්නේ දුක පිරිසිඳ දැනගත්තා, සමුදය දුරු කළා, නිරෝධය ප්‍රත්‍යක්ෂ කළා, මාර්ගය වැඩුවා කියන එකයි.
{0:30:30} : චතුරාර්‍ය සත්‍යය අවබෝධ කළා කියන්නේ රහත් වුනා කියන එකයි
චතුරාර්‍ය සත්‍යය අවබෝධ කළා කිවුවේ, අන්න ඒකයි අර්ථය. දුකත් අවබෝධ කළා, සමුදයත් අවබෝධ කළා… එහෙම නෙමෙයි ගන්නේ. නිරෝධයත් අවබෝධ කරා, මාර්ගයත් අවබෝධ කරා කියන එක නෙමෙයි. ඒ “අවබෝධ කළා” කියන වචනය අර පොදු කාරණා 4හි විග්‍රහය කැටි කරලා කියපු එක වචනයක්, “චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරා” කියන එක. චතුරාර්‍ය සත්‍යය හතර ආකාරයකින් යන්නේ, හතර අවස්ථාවක. අර එක අවස්ථාවකදීම පහල වෙනවා. නමුත්, ආකාර 4න් ඒක වැටහෙන්නේ. දුක පිරිසිඳ දැනගත්තා, සමුදය දුරු කළා, නිරෝධය ප්‍රත්‍යක්ෂ කළා, මාර්ගය වැඩුවා. ඔය රහතන් වහන්සේ කරපු හරිය.
රහත් වෙන තුරු, සෝවාන් ඵලයෙහි පටන්ගෙන, රහත් වෙන්න ඕනේ. දුක පිරිසිඳ දැනගත යුතුයි, සමුදය දුරු කළ යුතුයි, නිරෝධය ප්‍රත්‍යක්ෂ කළ යුතුයි, මාර්ගය වැඩිය යුතුයි කියන තැන විද්‍යාමාන වෙනවා. ඒ ටිකේ ඉන්නේ. දුක දැනගත්තා, සමුදය … මේ දුකයි කියලා දැනගත්තා, මේ සමුදයයි කියලා දැනගත්තා, මේ නිරෝධයයි කියලා දැනගත්තා, මේ නිරෝධ මාර්ගයයි කියලා දැනගත්තා කියන්නේ සෝවාන් ඵලය. සෝවාන් ඵලයේ කළේ දැනගැනීම.
ඒ දැනගන්නකොටම අත්හැරී, මිදී, නොඇලී යන පැත්තත් සිදුවුනා. හතර අපායට යන්න හේතු සාධක සියල්ල අත්හැරී, මිදී, නොඇලී ගියා. දැන් වඩනවා. වඩනකොට, මේ කාම භවය තුළත්, රූප භවය තුළත්, අරූප භවය තුළත් තියෙන පැවැත්ම සිඳිලා ගියා. වැඩුනහම, වඩපු කෙනාට මතු පැවැත්මට හේතු වෙන සංස්කාර නෑ. සංස්කාර නිරෝධයි. අවිද්‍යාව නිරෝධ නිසා සංස්කාර නිරෝධයි.
{0:32:01} : “අවිද්‍යාව කියන්නේ ඇත්ත නොදැනීම” කිවුවට කාටද තේරෙන්නේ?
දැන් අවිද්‍යාව කියන්නේ මොකද්ද? කියන කාරණය අපි දැනගන්න ඕනේ. “ස්වාමීනි, අවිද්‍යාව අවිද්‍යාව කියනවා, කෙතෙකින් අවිද්‍යාව වේද?” බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නය ඇහුවා භික්ෂූන් වහන්සේ නමක්. ඉතින්, බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරනවා…
“මේ රූපයයි, මේ රූපයේ හටගැන්මයි, මේ රූපයේ නිරෝධයයි,
මේ වේදනාවයි, මේ වේදනාවේ හටගැන්මයි, මේ වේදනාවේ නිරෝධයයි,
මේ සංඥාවයි, මේ සංඥාවේ හටගැන්මයි, මේ සංඥාවේ නිරෝධයයි,
මේ සංස්කාරයයි, මේ සංස්කාරයේ හටගැන්මයි, මේ සංස්කාරයේ නිරෝධයයි,
මේ විඤ්ඤාණයයි, මේ විඤ්ඤාණයේ හටගැන්මයි, මේ විඤ්ඤාණයේ නිරෝධයයි
යන්න තතු සේ නොදකීද, එතෙක් අවිද්‍යාවයි, තතුසේ දකීද, ඒක විද්‍යාවයි”
ඒපාර භික්ෂූණ් වහන්සේලා ගිහිල්ලා, තවත් විග්‍රහ කරගන්න සැරියුත් හාමුදුරුවන්ගෙන් ඇහුවා. සැරියුත් හාමුදුරුවෝ කෙටියෙන් දේශනා කරන ඒවා විග්‍රහ කරලා දෙනවා. සැරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා…
“රූපයයි යන යමක් වේද,
එහි උදයංගමය හෙවත් පහල වීම,
අත්ථංගමය – එහි පැවැත්ම,
ආස්වාදය – එහි ආස්වාදය,
ආදීනවය – එහි හටගැනීමයි ඒ ක්‍රියාවලිය ඔක්කොම එහි ආදීනවයයි,
එහි නිස්සරණය – එහි සැරීමෙන් ඉවත් වීම
තතු සේ දකීද,
එසේම වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන මේවායේ උදයංගමය, අත්ථංගමය, ආස්වාදය, ආදීනවය, නිස්සරණය තතු සේ දකීද,
ඒක විද්‍යාවයි, අවිද්‍යාව බිඳුනා. එය තතු සේ නොදකින තාක්කල් ඒ අවිද්‍යාවයි”. අන්න අවිද්‍යාව විග්‍රහ කළා.
දැන් අපි “ඇත්ත ඇති ආකාරයෙන් පේන්නේ නැති නිසා අවිද්‍යාවයි” කියලා අපි දළ වශයෙන් මේක කියනවා. කාටද වැටහෙන්නේ? ඇත්ත ඇති ආකාරයෙන් නොදැනීම අවිද්‍යාවයි කියන්නේ බොරුවක් නෙමෙයි, කිවුව එක ඇත්ත. හැබැයි, ඒ සාරාංශ කරලා, මාතෘකාවක් වගේ අරගෙන ඔය ටික කිවුවට, මේ සාමාන්‍යය ඉගෙනගන්න ආධුනිකයාට මේක වැටහෙන්නේ නෑ. ආධුනිකයාට අවිද්‍යාව වටහලා දෙන්න අර “පටිනිද්දේසය” ගන්න ඕනේ, විග්‍රහ කරපු එක ගන්න ඕනේ.
{0:34:06} : ශ්‍රාවක ප්‍රඥාවේ තරමට අවබෝධය සඳහා කළයුතු විස්තරය වෙනස්
“උද්දේස, නිද්දේස, පටිනිද්දේස” අවස්ථා 3ක විග්‍රහයක් යනවා. උද්දේසය කියන්නේ මාතෘකාවක් වශයෙන් දේශනා කරන එක. ඒක දන්න කෙනාට හොඳයි. එක්තරා මට්ටමක දැනීම් තියෙන කෙනාට කැටි කරගන්න ඒ ටිකක් දෙනවා. “උග්ගටිතඤ්ඤ” කියන ඉහළම නුවණ තියෙන අයට ඒ ටික ඇති. සාමාන්‍ය විස්තරය “විපටිතඤ්ඤ” කියන දෙවෙනි මට්ටමට ඇති. විග්‍රහ කරලා දෙන එක “නෙය්‍ය” කියන මට්ටමට ඇති. “පද පරමයා” ට නිවන් නෑ. පදයේ විතරක් ඉන්නවා නම් ඕක විග්‍රහ කරගන්නේ නැතුව, පදය පරම කරගෙන ඉන්නකන් නිවනක් නෑ, නිවීමක් නෑ.
එහෙනම්, ඔය තුන් දෙනා විග්‍රහ කරලා දැනගන්න ඕනේ. අවබෝධ කරන්න කොහොමද අපි ගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ? ඔන්න ඔය ටික තේරුම් ගැනීමේදී, “අවිද්‍යාව” තේරුම් ගත්තා. මොකද්ද අවිද්‍යාව කියන්නේ, කියන එක ඔතනදී තේරුම් ගන්නවා. මේ අවිද්‍යාව තේරුම් නොගෙන අපිට එයින් එහා යන්න බෑ. “අවිද්‍යාව” යැයි සඳහන් කළේ, “අවිද්‍යාව” කියන වචනයෙන් අදහස් කළේ මොනවාද කියන එක හොඳට පැහැදිලිව තේරුම් ගන්න ඕනේ එයින් එහාට යන්න. ඒක පළවෙනි කාරණය.
{0:35:04} : අවිද්‍යාව හේතුවෙන් හැදෙන ඵල හෙවත් පංචස්කන්ධය උදයංගම වීම,….. ආදිය
එතකොට, “මේ අවිද්‍යාවයි” කියලා දකිනවා. අවිද්‍යාව ප්‍රත්‍ය වුනහම මොකද්ද වෙන්නේ? ඔන්න ඊලඟට ගන්න එක. රූපය, වේදනාව, සංඥාව, සංස්කාර, විඤ්ඤාණ කියන මේ… ස්කන්ධ වශයෙන් ගත්තහම රූපස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධ, විඤ්ඤාණ ස්කන්ධ කියන මේවායේ උදයංගමය හෙවත් පහලවීම, අත්ථංගමය හෙවත් පැවැත්ම, ආස්වාදය හෙවත් ඒකේ තියෙන්නාවූ සුඛ ස්වභාවය, ආදීනවය හෙවත් ඒක හටගෙන විනාශ වෙන්නාවූ ඒ නිසා ඇති වෙන වෙහෙස, ඒවාගෙම නිස්සරණය, වැඩක් නැති බව දැනගෙන සැරීමෙන් අහක් වීම. ඔය ටික දන්නේ නැත්නම් අවිද්‍යාව, ඔය ටික නොවැටහෙනවා නම් අවිද්‍යාව.
ඕක නොවැටහෙන හින්දා ලෝක සත්වයා බහිනවා තීරණයකට, “නිච්චයි, සැපයි, ආත්මයි” අන්න අවිද්‍යාවේ තීරණය. විද්‍යාවේ තීරණයක් තියෙනවා, “අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි” අවිද්‍යාවේ තීරණය – “නිත්‍යයි, සැපයි, ආත්මයි” විද්‍යාවේ තීරණය – “අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි” මේවා ඔක්කෝම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා කොච්චර කිවුවත්, ආධුනිකයා අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි වෙන හැටි දැක්කේ නෑ. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියන්නේ මොකද කියලා බලන්න නම් අවිද්‍යාව දැකලා තියෙන්න ඕනේ. අන්න අවිද්‍යාවෙන් දැක්කා නම් අර කියන කාරණා ටික, පංචස්කන්ධය පිළිබඳව උදයංගමය, අත්ථංගමය, ආස්වාදය, ආදීනවය, නිස්සරණය තතු සේ දැක්කා නම්, අවිද්‍යාව දුරුවෙනවා කියලා දැනගන්නවා.
දැන් මේ පළවෙනි දැකීම ඉස්සෙල්ලා එන්න ඕනේ. අත් හැරියා නෙමෙයි, දැකීම. “ඒක බොරුවක් නෙමෙයි, ඒක හරි, ඒක මටත් වැටහෙනවා, ඒක මටත් අවබෝධ වෙනවා, මටත් තේරුම් ගන්න පුලුවන්” මෙන්න මෙතෙන්ට බැස්සා නම්, අවිද්‍යාව දැනගත්තා, ඒකෙන් අහක් වීමේ විද්‍යාව දැනගත්තා. අවිද්‍යාවේ තීරණය නිත්‍යයි, සැපයි, ආත්මයි, විද්‍යාවේ තීරණය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. මෙන්න මේක දැනගත්තා නම්, විද්‍යාවේ තීරණය එන්න ඕනේ. එහෙනම්, සියලු සංස්කාර කියන ඒවා ඔක්කෝම, හැම දෙයක්ම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි.
{0:37:01} : පිනක ඵලය පුන්‍ය ඵලයක් බව පටිච්ච සමුප්පන්නව…
සියලු සංස්කාරයන්ගෙන් කියලා පටන්ගත්තොත්, හැමදේකම ආරම්භය ඒක නිසයි. සියලු සංස්කාර කිවුවහම, සංස්කාරයේ මුල අරගත්තට පස්සේ අග හරියත් ඒකමයි. පතුලෙන් දරා සිටිනවා, පොළව. කය පතුලෙන් පොළවට දරා සිටින නිසා, කකුල් දෙක උඩ පතුල දරා සිටිනවා, එතකොට කළව උඩ දනහිස දරා සිටිනවා, ඉඟටිය ඉඳලා පල්ලෙහා හරිය කකුල දරා සිටිනවා, කඳ හරිය උඩ බෙල්ල දරා සිටිනවා, බෙල්ල උඩ ඔලුව දරා සිටිනවා. ඒ ඔක්කොම, පල්ලෙහාම කෑල්ලෙන් අල්ලා ගත්තහම ඔක්කොම අහුවෙලා.
ඒ වගේ, සංස්කාර අනිත්‍ය නම්, විඤ්ඤාණ නිත්‍ය වෙන්නේ නෑ. සංස්කාර අනිත්‍ය වේද, විඤ්ඤාණත් අනිත්‍යයි. ඒ අනිත්‍ය විඤ්ඤාණයෙන් නැගෙන නාමරූපයත් අනිත්‍යයි. සළායතන, ස්කන්ධ, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති ඔක්කෝම අනිත්‍යයි. මුළ අල්ලපුහාම අග තේරුම් ගන්න ඕනේ. එය මත පිහිටා තියෙන සියල්ලම තේරුම් ගන්න ඕනේ. සංස්කාර දුරුවුනේ නැත්නම් විඤ්ඤාණ දුරුවෙන්නේ නෑ. “මට විඤ්ඤාණ එපා” කිවුවට, “මට මේ නාමරූප එපා” කිවුවට මේවා හරියන්නේ නෑ. ඒවා “යම්පි ඉච්ඡං න ලභති, තම්පි දුක්ඛං” – කැමති යමක් නොලැබේද, එය දුකයි කිවුවේ ඒක බලලා. කැමැත්තෙන් කරන්න බෑ මේවා, සංස්කාර තියෙනවා නම්, විඤ්ඤාණ නතර කරන්න බෑ. සංස්කාර පුන්‍ය වේද, විඤ්ඤාණත් පුන්‍ය වේ. සංස්කාර අපුන්‍ය වේද, විඤ්ඤාණ අපුන්‍ය වේ. සංස්කාර ආනෙඤ්ජාභි වේද, විඤ්ඤාණ ආනෙඤ්ජාභි වේ. සංස්කාර යම් ආකාරයක්ද, විඤ්ඤාණ ඒ ආකාරයි. සංස්කාර අනිත්‍ය ද විඤ්ඤාණ අනිත්‍යයි, සංස්කාර දුක ද විඤ්ඤාණ දුකයි, සංස්කාර අනාත්ම ද විඤ්ඤාණත් අනාත්මයි. සංස්කාර යම් ආකාරයක් ද විඤ්ඤාණත් ඒ වගේ.
එතකොට, සංස්කාර දුක නම් විඤ්ඤාණත් දුකයි. විඤ්ඤාණ දුක නම් නාම රූපත් දුකයි. නාමරූප දුක නම් සළායතනත් දුකයි. සළායතන දුක නම් ස්ඵර්ශත් දුකයි. ස්ඵර්ශ දුක නම් වේදනාත් දුකයි. වේදනාත් දුක නම් තණ්හාත් දුකයි. තණ්හාත් දුක නම් උපාදානයත් දුකයි. උපාදාන දුක නම් භවයත් දුකයි. භව දුක නම් ජාතියත් දුකයි. ජාති දුක නම් ජරා, මරණත් දුකයි. අන්න දුක්ඛ ආර්ය සත්‍යය දැනගන්න ක්‍රමය.
සංස්කාර දැනගත්තහම, සංස්කාර මත පිහිටා හැදුණාවූ සියලු ලෝකය ඔය ජාතියේ. සංස්කාර පුන්‍ය නම් විඤ්ඤාණත් පුන්‍යයි, නාමරූපත් පුන්‍යයි, සළායතනත් පුන්‍යයි, ස්ඵර්ශත් පුන්‍යයි, වේදනාත් පුන්‍යයි, වේදනා – තණ්හා නෙමෙයි එතන එන්නේ, වේදනා පච්චයා පසාදෝ විග්‍රහ වෙලා එනකොට. ප්‍රසාදයත් පුන්‍යයි, ප්‍රසාද පච්චයා අධිමොක්ඛෝ කියන්නේ අධිමොක්ඛයත් පුන්‍යයි. ඒ නිසා හටගත්ත භවයත් පුන්‍යයි, පුන්‍ය භව. ජාතියත් පුන්‍යයි, පුන්‍ය ජාති. හැබැයි, මොන ජාතියෙත් ජරා-මරණ තියෙනවා. පුන්‍ය ජාති වලටත් ජරා-මරණ තියෙනවා, අපුන්‍ය ජාති වලටත් ජරා-මරණ තියෙනවා. එතකොට, සංස්කාර අපුන්‍ය වේද, විඤ්ඤාණ අපුන්‍ය වේ. එහෙනම් නාම රූපත් අපුන්‍යයි. එහෙනම් අපුන්‍ය කියන්නේ පවු, පවු වැඩ.
අපි දැන් ඔතන ඉඳලා මතක තියාගමු, ඊට පස්සෙ අවස්ථාවෙදී අපි ඊලඟ කොටස ගනිමු, සෑම සියලු දෙනාටම යහපතක් වේවා! (පළමු කොටස සුලු විරාමයකට නතර කර, නැවත ආරම්භ කෙරේ)
{0:40:11} : විවිධ අවස්ථා වලට පටිච්ච සමුප්පාද වර්ග කීපයක් ත්‍රිපිටකයේ විග්‍රහ කරනවා
අපි මීට ඉස්සෙල්ලා නැවැත්තුවේ කොතනද, අවිද්‍යාව ගැන විග්‍රහ කළා, අවිද්‍යාව කියන්නේ මොකද්ද කියන කාරණය. ඊට පස්සේ මේ සංස්කාර පිළිබඳව ඊලඟ අවස්ථාවට බහින්නයි ලැහැස්ති වෙන්නේ. දැන් මේ මාතෘකාව වශයෙන් තේරුම් කරලා තිබුණේ හේතු-ඵල පිළිබඳව, “හේතු-ඵල වාදය” කියන වචනය අරගෙන තමයි අපි මේ විග්‍රහ කරන්නේ.
ඉතින් මෙතනදී දකින්න ඕනේ, හේතු-ඵල දැකීමේදී, හේතු-ඵල දකින චක්‍රය තමයි පටිච්ච සමුප්පාද චක්‍රය. ඉතින් පටිච්ච සමුප්පාදය පිළිබඳව ගන්නකොට, හුඟාක් විග්‍රහ කරගන්න ඕනේ දෙයක්. “පටිච්ච සමුප්පාදය” කියලා අපි වචනයෙන් කිවුවට, “පටිච්ච සමුප්පාද විභංගය“ කියලා විභංගප්‍රකරණයේ විග්‍රහ කරන අර්ථය දැනගන්න ඕනේ. අපි අර ඉස්සෙල්ලා කිවුවා වගේ, විශේෂඥ ධර්මයක් තියෙනවා, විශේෂඥ ධර්මය තමයි තියෙන්නේ ත්‍රිපිටකය තුළ, අභිධර්ම පිටකයේ. එහෙනම් අභිධර්ම පිටකයේ තියෙනවා විභංගප්‍රකරණයේ පටිච්ච සමුප්පාද විභංගය කියලා. “විභංගය” කියන්නේ බෙදලා දක්වනවා. වෙන් කරලා, බෙදලා දක්වන්නාවූ පටිච්ච සමුප්පාද චක්‍ර රටාව.
ඒ පටිච්ච සමුප්පාද චක්‍ර රටාව තේරුම් ගන්නේ නැතුව, පොදුවේ පෙන්නපු විස්තරය අරගෙන විතරක් මේක විග්‍රහ කරගන්න බෑ. දැන්…
“අවිජ්ජා පච්චයා සංඛාරා,
සංඛාර පච්චයා විඤ්ඤාණං,
විඤ්ඤාණ පච්චයා නාම රූපං,
නාමරූප පච්චයා සළායතනං,
සළායතන පච්චයා ඵස්සෝ,
ඵස්ස පච්චයා වේදනා,
වේදනා පච්චයා තණ්හා,
තණ්හා පච්චයා උපාදානං,
උපාදාන පච්චයා භවෝ,
භව පච්චයා ජාති,
ජාති පච්චයා ජරා මරණ සෝක, පරිදේව, දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති,
ඒව මේතස්ස කේවළස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති”
කියන මේක තමයි අපි දැනට දැනුවත්ව ඉන්න පටිච්ච සමුප්පාදය. දැන් මේකෙන් වෙන්නෙ මොකද්ද? සියලු පටිච්ච සමුප්පාදයේ පොදු න්‍යාය ධර්මයක් ඔය පෙන්නුවේ. දැන් මේක විභංගප්‍රකරණයේ පෙන්වනවා බෙදලා. මේ බෙදලා පෙන්නනකොට, මෙතන අපි තේරුම්ගන්න ඕනේ හුඟාක් කාරණා තියෙනවා. මේ “පටිච්ච සමුප්පාදය” කියන වචනයෙන් අපිට පෙන්වපු සිද්ධිය ඉස්සෙල්ලා බලන්න ඕනේ.
“පටිච්ච” කියන වචනයෙන් පෙන්නලා තියෙනවා, යම්කිසි දෙයක් ප්‍රත්‍ය වෙලා එක්වෙන හැටි. අනුකූලව, යහපත්ව, ඒ අවශ්‍යය අවශ්‍යය දේ අවශ්‍යය දේට එකතු වෙලා එක්වෙන්නේ කොහොමද? ඒ සාමූහික වීමෙන් උප්පාදයක් ඇති වෙන්නේ කොහොමද? කියන විස්තරය. ඉතින් පටිච්ච සමුප්පාදය කියන වචනයේ මේක කිවුවහම, එකාකාරයකින් සියලු දේ පටිච්ච සමුප්පන්න වෙන්නේ නෑ. පටිච්ච සමුප්පාද විභංගයක් තියෙනවා.
කුසළයකින් පහල වෙන දේ, පහල වෙන රටාව වෙනස්. අකුසළයකින් පහල වෙන රටාව වෙනයි. ආර්ය මාර්ගයේ පහල වෙන රටාව වෙනයි. අර පොදු පටිච්ච සමුප්පාද ලක්ෂණයෙන් ඒ ටික කිවුවට, දැන් මේවා ඔක්කෝම විග්‍රහ කරගන්න ඕනේ. ඒ වාගෙම, පටිසන්ධියක් ඇති කරන පටිච්ච සමුප්පාදය වෙනයි. ප්‍රවෘත්ති විපාක හෙවත්, ඉපදුනාට පස්සේ ඒ උප්පත්තිය තුළ, ඒ අත්බැව තුළ ඉන්නකන් අතරමග උප්පත්ති තියෙනවා. ඒවා මැරිලා, මේ කියන මේ කය මැරිලා නැවත වාරයක් හැදෙන, එහෙම උප්පත්ති නෙමෙයි. චුත වෙලා පටිසන්ධියක් ලබන උප්පත්ති ඇරෙන්න, තව තවත් තියෙනවා “ප්‍රවෘත්ති උප්පත්ති” කියලා.
දැන් එක වෙලාවක මිනිහෙක් සත්පුරුෂ ගතියෙන් ඉන්නවා, තව වෙලාවක පරම අසත්පුරුෂයා වාගෙ ඉන්නවා, තව වෙලාවක යකා වාගෙ ඉන්නවා, තව වෙලාවක මහා රාගික පුද්ගලයෙක් වෙලා ඉන්නවා, සමහර වෙලාවට දෙවියෙක් වාගෙ ඉන්නවා. මේ, ඒ ජීවිතය තුළ තමා අදහස් දරන හැටියට ඒ ඒ තත්වයන්ට පත්වෙන අවස්ථා. ඉතින් දෙවියෙක් වාගෙ කටයුතු කරන අවස්ථාව මනුස්සයෙක් හා සමාන නෑ. මනුස්සයෙක් වාගෙ කටයුතු කරන අවස්ථාව දෙවියෙක් සමානව, යකෙක් සමානව නෑ. මෙහෙම අත්බැවක් තුළ ජීවත් වෙන සත්වයා, මෙබඳු අවස්ථාවන්ට බහිනවා. මේකත් පටිච්ච සමුප්පන්නයි. මේකට කියනවා “ප්‍රවෘත්ති පටිච්ච සමුප්පාදය”.
ඒ ප්‍රවෘත්ති පටිච්ච සමුප්පාදය එක විදිහක්, චුත වෙලා පටිසන්ධියක් ලබන පටිච්ච සමුප්පාදය තව විදිහක්. චුත වෙලා පටිසන්ධියක් ලබන පටිච්ච සමුප්පාදය ආරම්භ වෙන්නෙ කොතනද? ඒක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒක වෙනම දැනගන්න ඕනේ. ප්‍රවෘත්ති වශයෙන් ගිහිල්ලා උපන්නාට පස්සේ, ඉපදුන සත්වයාට පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක් තුළින් සත්පුරුෂයෝ හැදෙනවා, අසත්පුරුෂයෝ හැදෙනවා, යක්ෂයෝ හැදෙනවා, මිනිස්-යක්ෂයා, මිනිස්-පෙරේතයා, මිනිස්-භූතයා, මිනිස්-තිරිසනා, මිනිස්-දෙවියා මෙහෙමත් අවස්ථා එනවා. මේවත් උප්පත්ති, මේ උප්පත්ති වලත් පටිච්ච සමුප්පන්න රටාවක් තියෙනවා.
එහෙනම්, පටිච්ච සමුප්පාදය කිවුවහම අර කෙටියෙන් සාරාංශ පොදුවේ පෙන්නපු විදිහ ඇරෙන්න, ඒක විග්‍රහ කරලම ගන්න ඕනේ. ඒ විග්‍රහ කරන විශේෂඥ ධර්මය තමයි විභංගප්‍රකරණයේ තියෙන්නේ. විභංගප්‍රකරණයේ පටිච්ච සමුප්පාද විභංගය කියන කොටසේ විභංග වෙන් කරලා තියෙනවා. එතනින් ඕනෑ විස්තර බලාගන්න. නැත්නම් අපි පැටලෙනවා. ඒ නිසා තමයි පටිච්ච සමුප්පාදය මේ තරම් ගැඹුරු වෙලා තියෙන්නේ. “පටිච්ච සමුප්පාදයෙන් ධර්ම දේශනාවක් කරනවා” කිවුවහම, හරීම ගැඹුරු හැටියට සළකනවා. හේතු-ඵල න්‍යාය විග්‍රහ කරන්න ගියොත්, ඒ වගේ විග්‍රහ කරගන්න වෙනවා. ඒ විග්‍රහය බලන්නේ නැතුව අපිට කවදාවත් පටිච්ච සමුප්පාදයෙන් ඔය තීරණය ගන්න බැරුව යනවා.
{0:44:48} : සංඛාර හැදෙන්නේ අවිද්‍යාවෙන් ම නම්, පුඤ්ඤාභි සංඛාර වෙන්න පුලුවන්ද?
දැන් අපිට කියනවා, “අවිජ්ජා පච්චයා සංඛාරා” – අවිද්‍යාව පාපකර්මයක් හැටියට පෙන්වනවා. අවිද්‍යාවයි, මෝහයයි සම්බන්ධ කරලා පෙන්වන්නේ පාප ධර්ම හැටියට. ඉතින් සංඛාර වලට පෙන්වනවා “පුඤ්ඤාභි සංඛාර” කියලා එකක්. ඉතින් පාපය අවිද්‍යාව කියලා, පුඤ්ඤාභි සංඛාරය යෙදෙන්නේ කොහොමද? කියලා ප්‍රශ්නයක් එනවා. අවිද්‍යාව පාප නම්, අවිද්‍යාවේ පාපයෙන් නැගෙන්නේ පාප දෙයක් මිසක්, කොහොමද පුන්‍ය දෙයක් නැගෙන්නේ? දැන් ප්‍රශ්නයක් එනවා. අවිද්‍යාව පාපයක්, කොහොමද ආර්ය මාර්ගයක් අවිද්‍යාවට, “අවිජ්ජා පච්චයා සංඛාරා” නැගෙන්නේ? දැන් අන්න අර ගැටළුවකට පත්වෙනවා. (දේශනාවේ සුළු කොටසක් මඟහැරී ගොස් ඇත)
සුවඳයි, මඩ නෑ නෙළුම් වල, නෙළුම් මලේ මඩ නෑ කියලා. එතකොට, එතන සම්බන්ධ කරලා ගන්න ගිහාම ඒක, මඩ බාහිර දෙයක්. මඩෙන් නෙළුම් හැදෙනවා නෙමෙයි, නෙළුම් ඇටේ පැළ වෙලා නෙළුම් හැදෙනවා. මඩ ආහාරයක් කරගන්නවා. ඒක ආහාරයක් කරගෙන ඒකෙන් වෙන දෙයක් නිෂ්පාදනය කරගන්නවා. ඉතින්, මඩ කැත වෙලා තියෙන්නේ අපිට, අපේ සම්මතය. එතකොට, අපේ සම්මතය ඒකට ගත්තට හරියන්නේ නැහැ. ඒකට අවශ්‍යය කරන දේ නිර්මාණය වෙන්න, නෙළුම් පැළයට අවශ්‍යය දේ නිර්මාණය වෙන්නේ නෙළුම් ඇටයෙන් හටගත්ත පැළය තුළ. ඉතින් ඒ නිසා, මේවගේ තියෙනවා යමක් නිර්මාණය වෙන ශක්තියක්. ඒ ශක්ති විශේෂය හරියට හොයාගන්න ඕනේ. අවිද්‍යාව මඩට උපමා කරලා, එහෙම ගන්න ගිහාම ඒ උපමාව ගැළපෙන්නේ නැති වෙනවා. අවිද්‍යාව මුල්වෙලා, අවිද්‍යාවෙන් පහල කරන ධර්මයක් තියෙනවා නම්, අන්න “නෙළුම් ඇටයෙන් කොස් ගහක් හැදුනා” කිවුවොත් ඒක හරියන්නේ නෑ. ඒ වගේ, බීජයක් තියෙනවා. ඒ හටගන්න, බීජයක් හටගන්න ක්‍රමයක් තියෙනවා.
“අවිද්‍යාව” කියලා, අපි අර “ඇත්ත ඇති ආකාරයෙන් නොවැටහීම අවිද්‍යාවයි” කියන වචනය විග්‍රහ කළා. පංචස්කන්ධය පිළිබඳව ඒක හටගන්නා ආකාරය, ඒවාගෙම ඒවා පවතින හැටි, උදයංගම, අත්ථංගම, ආස්වාද, ආදීනව, නිස්සරණ කියලා වචන 5 කින් විග්‍රහ කළා. දැන් එතකොට, මෙතනින් පෙන්වන්නේ මේ ලෝභය මුල් කරගත්ත, නැත්නම් ආසාව මුල් කරගත්ත දහමක්. ඔය පාප ධර්මයන්ටයි සම්බන්ධ වෙන්නේ.
එහෙනම්, මොකද්ද මෙතන තියෙන්නේ? සංස්කාර පහල වෙන්නේ අවිද්‍යාවෙන් කියලා පොදුවේ පෙන්වලා, ඊට පස්සේ දේශනා කරනවා, “කුසළ මූල පච්චයා සංඛාරා” තව වචනයක්. අන්න විභංගප්‍රකරණය, බෙදුවා. එහෙනම් කුසළ මූල පච්චය සංඛාරා එකක්, අවිජ්ජා පච්චයා සංඛාරා තව එකක්. කුසළ මූල පච්චයා සංඛාරා, අකුසල මූල පච්චයා සංඛාරා, ආයි 2කට බෙදුවා එතන, කුසළ අකුසළ දෙකට. “අවිජ්ජා පච්චයා සංඛාරා” කියන එක ගත්තා “අකුසළ මූල පච්චයා සංඛාරා” කියන එකට. කුසළ මූලය කියන්නේ, අලෝභ, අද්වේෂ, අමෝහ. අලෝභ මුල් කරගෙන, අද්වේෂ මුල් කරගෙන, අමෝහ මුල් කරගෙන සංස්කාරයක් හටගන්නවද, අන්න ඒවා පුඤ්ඤාභි සංඛාර. “තත්ථ කතමා සංඛාරා?” – මේ සංස්කාර කියන්නේ මොනවාද? “පුඤ්ඤාභි සංඛාරෝ, අපුඤ්ඤාභි සංඛාරෝ, ආනෙඤ්ජාභි සංඛාරෝ අයං වුච්චති අවිජ්ජා පච්චයා සංඛාරෝ” අන්න බෙදලා ගත්ත තැන. දැන් “අවිජ්ජා පච්චය සංඛාරා” කියන එක ගත්තහම, ඒක පැටළිලි නැති කරන්න තමයි විභංගප්‍රකරණයේ පෙන්වන්නේ, ඒක බෙදෙනවා “කුසළ මූල පච්චයා සංඛාරා” කියලා එක පැත්තක්, “අකුසල මූල පච්චයා සංඛාරා” කියලා තව පැත්තක්. අන්න අර ප්‍රශ්නය නිරාකරණය වුනා.
{0:48:03} : පටිසන්ධි විඤ්ඤාණය වැටෙන්නෙ චක්ඛු, සෝත ආදි විඤ්ඤාණ වලින් කෝකටද?
ඉතින් අභිධර්මය නොතිබුණා නම් ඕක අදත් ප්‍රශ්නයක්. ඔය ටික විග්‍රහ කරලා නොතිබුණා නම්, අපිට පටිච්ච සමුප්පාදය හදන්න බෑ. දේශනා කරපු පටිච්ච සමුප්පාදයට අනුව ඉගෙනගෙන තේරුම් ගන්නවා මිසක්, පටිච්ච සමුප්පාදය නිර්මාණය කරන්න ලොවුතුරා බුදුරජාණන් වහන්සේට මිසක් අනික් කෙනෙකුට බෑ. නිර්මාණය නෙමෙයි, යටපත් වූ දහම ඉස්මතු කරලා දෙන්න. ඉස්මතු කරලා දුන්න දහම අහලා තේරුම් ගන්නයි ශ්‍රාවකයන්ට පුළුවන්. ධර්මය විද්‍යාමාන කරන්න ලොවුතුරා බුදුපියාණන් වහන්සේ ඕනේ. සර්වඥතා ඥාණයට පත්වෙන්න ඕනේ. ඒ නිසා, උන්වහන්සේ දේශනා කරන ධර්මය යම් කාලයක අතුරුදහන් වුනොත්, අපි අතරින් භාවිතාවට නොගත්තොත්, නැවත එන්නේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේ නමක් පහල වෙනකන් විසඳලා දෙන්න. හැබැයි, විසඳලා දුන්නොත් ඒක තියෙනවා නම්, ඒක තේරුම් අරගන්න පුළුවන්. තේරුම් ගැනීමේ ශක්තිය ශ්‍රාවකයින්ට තියෙනවා. එතකොට සැක නැතුව තේරුම් ගත්තහැකි. මෙන්න මේකයි මෙතන අපිට තියෙන්නේ, දැන්.
එතකොට, අපි දැනගන්න ඕනේ තව එකක්. “සංඛාර පච්චයා විඤ්ඤාණං” කියනකොට, එක තැනක අපිට අහුවෙනවා “සංඛාර පච්චයෙන් පටිසන්ධි විඤ්ඤාණය වේ” කියලා. තව තැනක කියනවා, “සංඛාර පච්චයෙන් වන විඤ්ඤාණය චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාන විඤ්ඤාණ, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ” – “චක්ඛු විඤ්ඤාණං, සෝත විඤ්ඤාණං, ඝාන විඤ්ඤාණං, ජිව්හා විඤ්ඤාණං, කාය විඤ්ඤාණං, මනෝ විඤ්ඤාණං අයං වුච්චති විඤ්ඤාණං” අන්න, “සංඛාර පච්චයා විඤ්ඤාණං” තව තැනක තෝරපු හැටි.
තව එකක පෙන්නනවා, “සංඛාර පච්චයා පටිසන්ධි විඤ්ඤාණං” දැන් “පටිසන්ධි විඤ්ඤාණං” කියලා එකක් චක්ඛු විඤ්ඤාණං ද, සෝත විඤ්ඤාණං ද, ඝාන විඤ්ඤාණං ද, මොකද්ද පටිසන්ධි විඤ්ඤාණං ? අන්න තව ප්‍රත්‍යයක් හැදුනා. “සංඛාර පච්චයා විඤ්ඤාණං” කියනකොට, “සංස්ඛාර ප්‍රත්‍යයෙන් පටිසන්ධි විඤ්ඤාණය වේ” කියලා කියනවා. ඒ පටිසන්ධි විඤ්ඤාණය අර විඤ්ඤාණ 6න් කෝකටද වැටෙන්නේ?
නාම-රූප වශයෙන් බෙදලා අරගත්තහම, රූප කොටස අටවිසි රූප – රූප! වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ – නාම. දැන් මෙහෙම වෙන් කරනවා. ඉතින් විඤ්ඤාණය විග්‍රහ කරනකොට පෙන්නනවා, විඤ්ඤාණ 6කට බෙදලා. චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාන විඤ්ඤාණ, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ. විඤ්ඤාණ 6කට වෙන් කළා.
එතකොට, චක්ඛු විඤ්ඤාණ කියන්නේ ඇහැ නිසා හටගන්න විඤ්ඤාණ, ඇස මුල් කරගෙන, ඇසයි, රූපයයි මුල් කරගෙන චක්ඛු ප්‍රසාදයෙහි හටගන්නේ.
සෝත ප්‍රසාදයේ, කනයි – ශබ්දයයි මුල් කරගත්ත සෝත විඤ්ඤාණය හටගන්නවා.
නාසයයි, ගන්ධයයි මුල් කරගෙන ඝාන විඤ්ඤාණය, ඝාන ප්‍රසාදයේ හටගන්නවා.
ඒ වගේම දිවයි, රසයයි මුල්කරගෙන ජිව්හා විඤ්ඤාණය ජිව්හා ප්‍රසාදයේ හටගන්නවා.
කයයි, ස්ඵර්ශයයි මුල්කරගෙන කාය විඤ්ඤාණය කායප්‍රසාදයේ හටගන්නවා.
එතකොට මනයි, ධර්මයයි මුල්කරගෙන මනෝ විඤ්ඤාණය මනෝ ධර්මයේ හටගන්නවා.
අන්න, “මනෝ ධර්මයක්” එනවා එතෙන්ට. අන්න එතන තමයි, පටිසන්ධියට ඉදිරිපත් වුනේ විඤ්ඤාණය මොකද්ද? “මන”. මනට ධර්මයෝ ඝට්ඨනය වුනහමයි මනෝ විඤ්ඤාණය හටගන්නේ. අන්න “මන” හටගන්නවා. “මනංච පජානාති, ධම්මයෝ පජානාති” – මන දැනගන්න ඕනේ, ධර්මයෝ දැනගන්න ඕනේ. “යංච චතුදයං පටිච්ච සංයෝජනං උප්පජ්ජතියෝ තංච පජානාති” – මේ දෙක එක්වීම නිසා, ඒකෙන් සංයෝජනක් වෙලා උපදනාවූ යම්කිසි විඤ්ඤාණයක් ඇත්ද, ඒ මනෝ විඤ්ඤාණයෙන් දැනගන්න ඕනේ. දැන් ඔය විදිහට එහෙම දැනගත යුතු තැන් තේරුම් ගන්න ඕනෑ වෙලාවට.
“මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඤ්ඤාණං” – අන්න මනෝ විඤ්ඤාණය හටගත්ත හැටි. මන තියෙන්න ඕනේ, ධර්මයෝ තියෙන්න ඕනේ, මනයි – ධර්මයයි එක්වීම නිසා හටගන්න ඊලඟ අවස්ථාව තමයි ඒ දෙකේ සංයෝගයෙන් හටගත්ත, සංගයෙන් හටගත්ත මනෝ විඤ්ඤාණය.
ඉතින් මේ විදිහට මේ විඤ්ඤාණයක් හටගන්න හැටි තියෙනවා. දැන් මේවා අපි විඤ්ඤාණ, විඤ්ඤාණ කිවුවට බැහැ. විඤ්ඤාණ වෙන්නේ කොච්චරකින් ද? විඤ්ඤාණයක් ආරම්භ වෙන්නේ කොහොමද? විඤ්ඤාණයක් ආරම්භ වෙනකොට, 9 වතාවක් ගිහිල්ලායි “විඤ්ඤාණස්කන්ධයක්” වෙන්නේ. මේවා හුඟාක් ගැඹුරු විස්තරයක්. මේක ලේසියෙන් ගන්න බෑ , ටිකක් හොඳට දැනගන්න. මොකද, මේවා වචන, අදහස් භාවිතාවක් තිබුණේ නැති නිසා මේක ගැඹුරු වෙලා තියෙන්නේ.
{0:51:36} : විඤ්ඤාණ ධාතුවක් හැදෙන්න චිත්තය 9 අවස්ථාවක් පසුකරනවා
(ශ්‍රාවිකාවක් යමක් පවසයි, පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ) : ඔවු, දැන් පටිසන්ධි චිත්තයක් පහල වෙනවයි කියලා කියනකොට අන්න අපි “චිත්ත” කියලා වචනයක් ගත්තා. ඔය තමයි ඉස්සෙල්ලාම පහල වෙන එක. “උප්පාද, තිඨි, භංග” කියන චිත්තක්ෂණයක හටගෙන, ඒකේ විපරිණාමයට පත්වෙමින් ගෙවි-ගෙවී ගිහිල්ලා, භංග වෙන වෙලාවක් එනවා. ඇහි පිය ගහන මොහොතක් කෝටි ලක්ෂයකට බෙදුවහම පංගුවක් තරම් ඉතාම සුලු මොහොතක කාලයක් සර්වඥතා ඥාණයට අනුකූලව විග්‍රහ කිරීමක් ඔය තියෙන්නේ, අපි දැකපු එකක් නෙමෙයි. ඒ සියුම් භාවය, ඒ කාලය අපිට නිගමනය කරන්න බෑ… ඒ තරම් අති සූක්ෂමයි.
නමුත්, ඒ සූක්ෂම කාලය තුළ පටිච්ච සමුප්පාද වශයෙන් හේතු-ඵල ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මෙන්න මේ හේතු-ඵල ක්‍රියාවලිය තේරුම් ගන්නට අපිට පුලුවන් කමක් නෑ, අහපු දහම් තේරුම් ගන්නවා මිසක්. දේශනා කරපු දහම අහලා, ඒ තුළින් තේරුම් ගන්න ඕනේ. තේරුම් ගැනීමේ ශක්තිය තියෙනවා, මූලධර්මය දැකීමේ ශක්තිය සර්වඥතා ඥාණයෙන් පහල කරගන්නවා. ඒ ධර්මය යම්තාක් පවත්වාගෙන එනවද, ඒ තාක්කල් අපිට ධර්මය විද්‍යාමානයි, දකින්න පුලුවන්. ඒ ධර්මය ශ්‍රවණය කරලා, තේරුම් ගැනීමයි අපි කරන්න ඕනේ.
එතකොට “විඤ්ඤාණ” කියලා කියන්න ඉස්සරවෙලා, “පටිසන්ධි විඤ්ඤාණ” කියන එකට අපි “පටිසන්ධි චිත්තයෙන්” පටන්ගන්නවා. හැම විඤ්ඤාණයක් ම පටන්ගන්නේ චිත්තයෙන්. ඒකේ මූලාරම්භය “චිත්ත”.
චිත්ත – මනෝ – මානසං – හදයං – පණ්ඩරං – මනෝ මනායතනං – මනේන්ද්‍රියං – විඤ්ඤාණං – විඤ්ඤාණක්ඛන්දෝ – තත්ජා මනෝ ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු, චක්ඛු ධාතු, චක්ඛු විඤ්ඤාණ ධාතු… ඉතින් මෙහෙම බෙදෙනවා.
අපි මේ චක්ඛු විඤ්ඤාණ ධාතු, සෝත විඤ්ඤාණ ධාතු, ඝාන විඤ්ඤාණ ධාතු, ජිව්හා විඤ්ඤාණ ධාතු, කාය විඤ්ඤාණ ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු කියලා ඔය තැනට එන්නේ අර 9 අවස්ථාවක් පහු කරලා. චිත්තයක් ආරම්භ වෙලා 9 අවස්ථාවක් පහු කරනවා. ඒ පහුකරපු දාට තමයි අපි “විඤ්ඤාණස්කන්ධය” කියන්නේ. “විඤ්ඤාණස්කන්ධ” කියලා එතෙන්ට වැටෙනකොට ඒකට එකතු වෙනවා එකින්-එකට, එකින්-එකට “ආගන්තුග උපක්ලේෂ”
“පබස්සර මිදං භික්ඛවේ චිත්තං” කියපු තැන ඉඳලා “ආගන්තුකේන උපකිලිට්ඨේන උපකිලිට්ඨං” කියන ආගන්තුග උප කිළිටි වලින්, උප කිළිටි භාවයට පත්වෙලා, පත්වෙලා ගිහිල්ලා තමයි “විඤ්ඤාණ ධාතුවක්” හැදෙන්නේ. අන්න, විඤ්ඤාණ ධාතුවක් – ඒවා හරි ගැඹුරුයි ඔතන, නමුත් තෙරුම් ගන්න ඕනේ කොහොමහරි.
{0:53:45} : ජීවත්ව ඉද්දී සහ පටිසන්ධියෙදී යෙදෙන පටිච්ච සමුප්පාදයෝ වෙනස්
එතකොට, මෙන්න මේටික තේරුම් ගැනීමට “චිත්ත” කියන තැනින් ආරම්භ වෙන හැටි බලන්න ඕනේ. නමුත්, ඇහිපිය ගහනකොට වත් අපිට මේක සූක්ෂම කරලා, සූක්ෂම කරලා ධර්මය තේරුම් ගන්නවා මිසක්, බුද්ධියට වටහාගන්නවා මිසක්, මේක දර්ශනය කරන්න වෙලාවක් නෑ. එතකොට මෙන්න මේ විඤ්ඤාණයක් කියන තත්වයට පත්වෙන්න, නැත්තම් “විඤ්ඤාණස්කන්ධයක්” පත්වෙන්න ඔය “පටිසන්ධි විඤ්ඤාණයක්” පත්වෙලා, උප්පාද, තිඨි, භංග වෙන්න ඉස්සෙල්ලා ඔය “විඤ්ඤාණක්ඛන්ද” කියන තත්වයටත් එනවා. එතෙන්ටත් ඇවිදිල්ලා තමයි ඒ තත්වයට පත්වෙන්නේ.
එතකොට මෙන්න මේ තත්වයට පත්වීම ගැන දැන් අපි ඕක බලාගන්න ඕනේ එකින් එකට. “සංඛාර පච්චයා විඤ්ඤාණං” කියන තැන සංස්කාර ප්‍රත්‍යය කරගෙන විඤ්ඤාණය වෙන අවස්ථාවක් තියෙනවා, පටිසන්ධිය ලබන අවස්ථාවක්. අන්න, පටිසන්ධිය ලබන අවස්ථාවේදී “චිත්ත” වශයෙන් ආරම්භ වෙලා විඤ්ඤාණය සම්පූර්ණ වෙනවා, ආගන්තුග උපක්ලේෂයන් ගෙන් කහටගැන්විලා, අර ආපු අනුශය වෙලා තිබිච්ච, එහි ඇතිවෙලා තිබුණ ගතියට අනුව ඒ ඒ විඤ්ඤාණය පහල කළේ කෙබඳු සංස්කාරයකින්ද, ඊට අනුකූලව ඒක කහටගැන්වෙනවා.
ඉතින් “පබස්සර මිදං භික්ඛවේ චිත්තං” කියන තැන චතුර්ථ ධ්‍යානයට පත්වෙච්ච කෙනාට ලැබෙන එකක්. ධ්‍යාන චිත්තයකින් ඉඳලා, ධ්‍යාන සංස්කාරයක් නැගිලා, ඒ සංස්කාරයෙන් චුත වුනොත්, එයා ලබන පටිසන්ධිය අන්න අර “ප්‍රභාස්වර මිදං භික්කවේ චිත්තං” කිවුව චිත්ත විදිහට එනවා. කාමාවචර සංස්කාරයකින් තමයි මිනිස් පටිසන්ධියක් ලබන්නේ. කාමාවචර සංස්කාරයේ කාමය තියෙනවා, පංච කාමය. පංච කාමය පිළිබඳව අලෝභ, අද්වේෂ, අමෝහ කියන ඒ ගුණ තුනෙන් යුක්ත වෙලා, නැත්නම් ඒ කියන පුන්‍ය දහම් තුන, හේතු තුන, පුන්‍ය හේතු තුනෙන් ඒ කරන ලද, කියන ලද දෙයක් මුල්කරගෙන, ඒකෙන් හටගන්නාවූ සංස්කාරයකින් පහල කරන විඤ්ඤාණයක් චුත වෙලා පටිසන්ධි වෙන ඔය වෙලාවේ පහල වෙනවා.
මේ චුති – පටිසන්ධි දෙකේ හටගන්න විඤ්ඤාණයේ ආරම්භයත්, ඒකේ ක්‍රියාත්මක වීමත් හටගන්න තැන “අවිද්‍යා පච්චයා සංඛාරා” කියලා ගන්නේ අර චුත වෙන මොහොතේ තියෙන වැඩපිළිවෙලක්. ඒක ජීවත් වෙලා ඉන්න මොහොතේ වැඩපිළිවෙලක පටිච්ච සමුප්පාද සංස්කාරය නෙමෙයි, එම පටිච්ච සමුප්පාදය නෙමෙයි. ඉතින් පටිච්ච සමුප්පාදය, මේ ජීවත් වෙලා ඉන්නකන් තියෙන්නේ “ප්‍රවෘත්ති පටිච්ච සමුප්පාදය” මේවා එකින් එකට තේරුම් ගන්න ඕනේ. ප්‍රවෘත්ති පටිච්ච සමුප්පාදය වෙනයි, “අවිජ්ජා පච්චයා සංඛාරා” යන පටිච්ච සමුප්පාදය වෙනයි. “කුසළ මූල පච්චයා සංඛාරා”, “අකුසල මූල පච්චයා සංඛාරා” කියලා සංස්කාර පහල වීමක් තියෙනවා. ඒක ප්‍රවෘත්ති වෙලාවෙදිත් වෙනවා. අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන පහල වෙන්නාවූ සංස්කාර රටාවක් ප්‍රවෘත්ති කාලය හෙවත් මේ පැවැත්ම තුළත් වෙනවා. ඉතින් ඔය තුන පටලවාගත්තොත් එහෙම, “සංඛාර පච්චයා විඤ්ඤාණං” කියන එක “පටිසන්ධි විඤ්ඤාණය විතරමයි මේකේ කිවුවේ” කිවුවා නම්, අන්න පැටලිච්චි තැනක් එනවා.
එතකොට ප්‍රවෘත්ති පටිච්ච සමුප්පාදයක් විග්‍රහ කරන්න බැරුව යනවා. එතෙන්ට අපි සුද්ධ කරගන්න ඕනේ සම්පූර්ණයෙන්ම මේ “ප්‍රවෘත්ති කාලය” හෙවත් ජීවත් වෙලා ඉන්න කාලය තුළ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය කොහොමද යන්නේ? ඒක සම්බන්ධ වෙලා මරණාසන්න මොහොතේදී මොන සංස්කාරයක් ද හැදෙන්නේ? එතන සංස්කාරය මොකද්ද? ඒ සංස්කාරය මුල් වෙලාද ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නේ?
{0:57:12} : චේතනාවෙන් කර්ම හටගන්නවා, සංචේතනාවෙන් සංඛාර…
සංස්කාර විග්‍රහ කරනකොට, සංස්කාර කියලා කියන්නේ මොකද්ද කියලා විග්‍රහ වෙනවා. “කාය සංචේතනා කාය සංඛාරා, වචී සංචේතනා වචී සංඛාරා, මනෝ සංචේතනා චිත්ත සංඛාරා, අයං වුච්චති සංඛාරා”. “කාය සංචේතනා කාය සංඛාරා” යි. දැන් කාය සංස්කාර මොනවාද කියන එක පෙන්නන්න. කාය චේතනා නම් කර්ම විතරයි. “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” මහණෙනි, නමුත් “චේතනාහං භික්ඛවේ සංඛාරං වදාමි” කියලා දේශනා කළේ නෑ. ඕං එකක්, තෝරාගන්න තියෙන තැන් ඔය.
චේතනාව කර්මයක් විතරයි. හැබැයි, චේතනාව “සංචේතනා” වුනොත් තමයි “සංස්කාර” වෙන්නේ. “සංචේතනා” නොවුනොත් “චේතනා” විතරයි. “චේතනා” කියන්නේ සැම සිතකටම සාධාරණ චෛතසිකයක්. අරිහතුන් වහන්සේගේ අරිහත් ඵල චිත්තයෙත් චේතනා තියෙනවා. හැබැයි චේතනාව “සංස්කාර” නෙමෙයි, චේතනාව “කර්ම”. දැන් රහතන් වහන්සේත් ක්‍රියා කරනවා, කර්ම කරනවා.
(ශ්‍රාවක මහතෙක් ප්‍රශ්නයක් අසයි, පැහැදිලි නැත, ස්වාමීන් වහන්සේ): ඔවු! ඵස්ස, වේදනා, සංඥා, චේතනා… ඉතින් ඒ අර චෛතසික යන ක්‍රමය. එකම හිතේ හටගත්තත්, හටගන්නේ ඔය රටාවෙන්. ඉතින් චේතනාව හටගත්තා, “සංචේතනා” නෙමෙයි හටගත්තේ, අන්න සංස්කාර නෙමෙයි. චේතනා කියන්නේ කර්ම. චේතනාව හටගත්තා.
(ශ්‍රාවිකාවක් ප්‍රශ්නයක් අසයි, ප්‍රශ්නය පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ): ඇයි නැත්තේ? බුදුරජාණන් වහන්සේටත් කර්ම විපාක ඵල දුන්නා නේ. යම්කිසි කර්මයක් කරනවා නම් ප්‍රතික්‍රියාවක් තියෙනවා. අද මේ නවීන විද්‍යාවේ ඉන්න පිරිස කියනවා, “සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇත” දැන් ඕක බොරුවක් නෙමෙයිනේ. කර්මයට විපාකයක් තියෙන්න ඕනේ. ඒ විද්‍යාඥයෝ කියලා මේ අද ඉන්න කට්ටිය කියන්න ඉස්සෙල්ලා බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා…
“කම්මා විපාකා වත්තන්ති – විපාකෝ කම්ම සම්භවෝ
තස්මා පුනබ්භවෝ හෝති – ඒවං ලෝකෝ පවත්තති” කියලා.
කර්මයෝ විපාක පහල කරනවා, විපාකයෝ කර්ම රැස් කරනවා. “තස්මා පුනබ්භවෝ හෝති” ඒ නිසා පුනර්භවයක් හටගන්නවා. “ඒවං ලෝකෝ පවත්තතී” – එහෙනම් ලෝකය පවතිනවා. මේ ලෝක පැවැත්ම දේශනා කරනකොටම පෙන්වනවා, කර්මයයි – විපාකයයි, කර්මයයි – විපාකයයි හැම මොහොතකම යනවා. පටිච්ච සමුප්පාදය කියන්නෙත් කර්මයයි – විපාකයයි, කර්මයයි – විපාකයයි. මුලු පටිච්ච සමුප්පාදයේ අංග 12ම හැදිලා තියෙන්නේ කර්මයයි – විපාකයයි.
{0:59:33} : “අවිද්‍යාව” කියන්නේ අනාදියේ ඉඳන් නොකැඩී එන එකක් නෙමෙයි…
පළමුවෙන්ම අවිද්‍යාව පහල වෙන්නේ කොතැනද කියලත් බලාගන්න ඕනෑ. “අවිද්‍යාව” කියන එක අහම්බෙන්, නිදහසේ පවතින, හිතෙන් තොරව පවතින එකක් නෙමෙයි. හිතෙන් කියන්නේ? හිතේ “අවිද්‍යාව” කියන එක නැගෙන්නේ, “අවිද්‍යාව” කියන අංගය නැගිලා එන්නේ හිතක් එක්කලා. අවිද්‍යාවෙන් නගන්නාවූ තැන ඉඳන් පටන්ගත්ත, හිත පටන්ගැනීමේ දී සිත ආරම්භ වෙන්නේ කොතැනද, එතැන පටන්ගෙනයි අවිද්‍යාව හැදෙන්නේ. “අවිද්‍යාව” කියන්නේ නොකැඩී එන ඒකකයක් නෙමෙයි. නමුත්, “මේ සත්වයා කවදා අවිද්‍යාව වැළඳගත්තාද කියලා දන්නෑ” කියලා අපි වදවෙනවා. “සත්වයා කවදා මේ අවිද්‍යාව වැළඳගත්තාද?”
දැන් අපි හිතමුකො මෙන්න මෙහෙම දෙයක්, අවුරුදු සිය ගාණක ඉඳන් පැවත එන වී වර්ගයක් අරගමුකෝ, මා වී, හීනටි වර්ගයක්, අලුතෙන් හදන ඒවා නෙමෙයි. දැන්, “අනේ, මේ වී ඇටේ කවද්ද හටගත්තේ?” කියලා එහෙම අපි හිතුවොත් එහෙම, “වී ඇටේ හටගත්තේ වී කුඹුරේ, වී කරලේ ඉඳන්. කවද්ද හටගත්තේ කියන්නේ? මාස 6කට ඉස්සෙල්ලා නේ…” අපිට කියන්න පුලුවන්. නමුත්, මේ වී ඇට පරම්පරාව හටගත්ත දිනයයි අපි දන්නේ නැත්තේ. “මේ වී ඇටේ කවද්ද හටගත්තේ?” කියලා යම්කිසි එක වී ඇටයක් පෙන්නලා ඇහුවොත්, එයාට කියන්න පුලුවන් “මේ වී ඇටේ හටගත්තේ ගොයම් ගහක” “කොච්චර කාලයක්ද?” “අවුරුදු ලක්ෂ කෝටි ගාණකට ඉස්සෙල්ලා?” “නෑ, නෑ නෑ හයමාසෙකට ඉස්සෙල්ලා” අපිට කියන්න පුලුවන් ඔහොම. “ඒ වී ඇටේ උප්පත්තිය වුනේ කොතනින්ද?” “ඒ ගොයම් ගහේ නේ…” “ගොයම් ගහ උප්පත්ති වුනේ මේ වී ඇටේ නෙමෙයි, ඊට ඉස්සෙල්ලා වී ඇටේ, ඒ වී ඇටේ පැළවෙලා තමයි ඒ ගොයම් ගහ හටගත්තේ. ඒ වී ඇටේ පැළවුනේ වෙන ගහක තිබිලා. ඊට ඉස්සෙල්ලා තිබ්බ, ඒ ගහ හදන්න, ඊට ඉස්සෙල්ලා ගහ හදන්න හදපු වී ඇටෙන් තමයි ඒ ගහ පැළවුනේ. ඒ ගහේ හැදිච්ච ඇටේ තමයි ඊලඟ වී ඇටේ…”
එහෙනම්, මේ අවිද්‍යාව වි ඇටේට උපමා කරලා ගත්තොත් එහෙම, අන්න අපිට දකින්න පුලුවන් අවිද්‍යාව කියලා කියන්නේ අනාදියේ පටන් එන එකක් නෙමෙයි, හේතුවේ ඵලයක් කියලා. ඊට එහා තිබිච්ච අවිද්‍යාව ඊට ඉස්සෙල්ලා හේතුවක ඵලයක්. මොහොතකට ඉස්සෙල්ලා තිබිච්ච අවිද්‍යාව ඊට ඉස්සෙල්ලා තිබිච්චි හේතුවක් එක්ක හැදිච්ච එකක්. දැන් තියෙන අවිද්‍යාව, දැන් තියෙන චිත්ත ස්වභාවයත් එක්ක යෙදෙන එකක්.
දැන් මේ අවිද්‍යාව කියන එක තේරුම් ගත්තහම, අවිද්‍යාවට කාලය බැලුවොත් එහෙම, චිත්තක්ෂණයයි! ඔයිට එහා අවිද්‍යාවේ කාලයක් නැහැ. එහෙනම්, අවිද්‍යාව ඉස්සෙල්ලා තිබුණේ මොකද්ද? ඒ ඊට ඉස්සෙල්ලා තිබිච්චි චිත්තක්ෂණයේ අවිද්‍යාව ඊට ඉස්සෙල්ලා තිබුණේ. ඊට ඉස්සෙල්ලා තිබුණේ? ඊට ඉස්සෙල්ලා තිබිච්චි චිත්තක්ෂණයක් එක්ක තිබිච්චි අවිද්‍යාව. දැන් අවිද්‍යාව මෙහෙ එන්නේ නෑ. අවිද්‍යාව කියලා එකක් පස්සෙන් එනවා නම් එහෙම, මිනිස්සු බේරෙන්නේ නෑ. අවිද්‍යාවක් කියලා එකක් නොකැඩී, බිඳෙන්නේ නැතුව පස්සෙන් එනවා නම්, කවදා බේරෙන්නද? එහෙනම් ඒක නිවන් දකින්න පුලුවන්ද? බෑ නේ!
{1:02:01} : අවිද්‍යාව තියෙන්නේ සංචේතනාවේ මිසක් වෙන කොහෙවත් නෙමෙයි
අවිද්‍යාව කියන එක ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ, කොහෙද හටගන්නේ? කොතනද මේක පහලවෙන්නේ? චිත්තයක් යම් තැනක පහලවුනා නම්, පහලවුන චිත්තයත් එක්කයි අවිද්‍යාව පහලවෙන්නේ. අන්න, “අවිජ්ජා පච්චයා සංඛාරා” කියලා ක්‍රියාත්මක වෙන විදිහට අවිද්‍යාව, සංස්කාර නැඟුවොත් තමයි සංස්කාර පහලවෙන්නේ.
ඒ චිත්තක්ෂණයේ ප්‍රඥා චෛතසිකය බලවත් කරගෙන, ඒ බලවත් ප්‍රඥා චෛතසිකයෙන් අවිද්‍යාව බින්දොත්, ඒ චිතක්ෂණය තියෙනවා, අවිද්‍යාව නෑ. අන්න එතන අවිද්‍යාව නැතිවුනා. අවිද්‍යාව නැතිවුනහම චිත්තක්ෂණය නෙමෙයි නැතිවෙන්නේ, සංස්කාරයි. චේතනා – සංචේතනා වුනහම අවිද්‍යාව සංයෝග වුනේ චේතනාව සමගයි. හිත, අපිත් එක්ක අවිද්‍යාව සම්බන්ධ වෙනවා කිවුවට දැන් අපි ඕක තේරුම්ගන්න ඕනේ, අපේ කොතැනටද අවිද්‍යාව සම්බන්ධ වෙන්නේ? මේක තේරුම්ගන්න ඕනේ. “මේ ලෝක සත්වයා අවිද්‍යාවෙන් පැවතගෙන එනවා” කිවුවට අපිට තේරුණේ නෑ. ආධුනිකයාට කොහොමත් තේරෙන්නේ නෑ, ආධුනිකයා පැටලෙනවා එහෙම කිවුවහම.
“මේ සල්ලි තිබුණේ ගෙදර” කියනවා, “ගෙදර තිබිලා ගෙනාවේ” කියලා. “ගෙදර කොතනද තිබුණේ?” “අල්මාරියේ” කියනවා. “අල්මාරියේ කොතැනද තිබුණේ?” “ලාච්චුවේ” කියනවා. “ලාච්චුවේ කොතනද තිබුණේ?” “පර්ස් එකේ” කියනවා. දැන් අපිට කොතැනද තිබුණේ කියලා හරියටම අවිද්‍යාව එල්ල කරලා හොයාගන්න ගිහාම කොහොම යන්න ඕනෙද? සල්ලි ගෙදරින් ගෙනල්ලා, සල්ලි ගෙදරින් ගෙනාවට ගෙදර හැමතැනම සල්ලි තිබුණේ නෑ නේ. අපි කතාවට කියනවා, “සල්ලි ගෙදරින් ගෙනාවේ” කියලා. “ගෙදර කොහෙද තිබුණේ?” “ගෙදර තිබුණේ අල්මාරියේ නේ” නැත්නම් “පෙට්ටියේ නේ” “පෙට්ටියේ හැමතැනම සල්ලි තිබුණැයි, පෙට්ටියේ කොතනද තිබුණේ?” ආයිත් බලන්න කියනවා, “ලාච්චුවේ නේ” “අල්මාරියේ ලාච්චුව ඇතුලේ” “ලාච්චුව ඇතුලේ හැමතැනම තිබුණැයි? කොතනද තිබුණේ?” “ලාච්චුව ඇතුලේ පර්ස් එක තිබුණා, ඉතින් පර්ස් එකේ තමයි තිබුණේ” අන්න අහුවෙච්චි තැන!
මෙන්න මේ වගේ, “සත්වයා අවිද්‍යාවෙන් පැවතගෙන එනවා” කියලා කිවුවහම, සත්වයාගේ කොතනද අවිද්‍යාව තිබුණේ? ඉතින් දකින්න ඕනෑ මේ එකින් එකට. “හිතේ නේ…” “හිතේ කියන්නේ මොකද්ද? චිත්තක්ෂණ පරම්පරාවකට නේ හිත කියන්නේ” “එහෙනම්, ඒ ඒ චිත්තක්ෂණ ඇතුලේ නේ…” “ඒ චිත්තක්ෂණ ඇතුලේ කොතනද තිබුණේ? කොහෙද?” “චේතනාවෙ නේ…” “චේතනාවක් තිබිලා නෑ එතන තිබුනේ සංචේතනාවෙ නේ…” අන්න, අවිද්‍යාව තියෙන තැන හොයාගෙන යන්න ඕනේ.
ආං ඒක තමයි කියන්නේ, “කාය සංචේතනා – කාය සංඛාරා” අන්න, සංචේතනා වෙච්චා තමයි අවිද්‍යාව හැදුවේ. චේතනාවක් එක්ක බැඳිලා, නැත්නම් මේ “චිත්තය”යි කියන්නාවූ මල්ල ඇතුලේ 52ක් චෛතසික වල සුදුසු පරිදි යෙදිලා තියෙන ඒවායේ “චේතනා” කියලා චෛතසිකයක් තියෙනවා. අවිද්‍යාව හැම වෙලේම බැඳෙන්නේ ඔය කියන “චේතනා” කියන චෛතසිකයේ. ඒක බැඳුනොත් ඒ චේතනාවට නිකම්ම “චේතනා” නැතුව “සංචේතනා” කියනවා. අන්න, “සංචේතනාවේ” තමයි අවිද්‍යාව තියෙන්නේ.
{1:04:44} : ප්‍රඥාවෙන් අවිද්‍යාව බින්දොත්, චේතනා ඉතුරු වෙලා, සංචේතනා නිරෝධ වෙනවා
බැරිවෙලා හරි අවිද්‍යාව ප්‍රඥාවෙන් බිඳහැරියොත්, සංචේතනා නැතුව චේතනා විතරක් ඉතුරු වෙනවා. “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” කියන්නේ, කර්මය තියෙනවා. කර්මය නැති තැනක රහතන් වහන්සේලාත් නෑ. රහතන් වහන්සේ නැති කළේ “සංචේතනා”. චේතනාව සමඟ බැඳිලා තිබුණ අවිද්‍යාවයි දුරු කළේ. දැන් ඕක හරීම ගැඹුරු තැනක්, අපිට හරි පහසු වෙනවා තේරුම් ගත්තහම.
චේතනාව බැඳිලා තිබුණා “සංචේතනා” වෙලා, “සංචේතනා” කිවුවේ අවිද්‍යාව එක්ක බැඳුනු නිසා. අන්න ඒ බැඳෙන “අවිද්‍යා පච්චයා” වුනොත් තමයි, සංඛාර හැදෙන්නේ, චේතනා තිබුණොත් කර්ම වෙනවා, සංඛාර වෙන්නේ නෑ. අන්න, “අවිජ්ජා පච්චයා සංඛාරා” කියන තැන අවිද්‍යාව කියන තැනටත් හාරාගෙන, අවුස්සාගෙන ගිහිල්ලා “කොතනද මේ අවිද්‍යාව තිබුණේ? කුමක් අල්ලාගෙනද බැඳුනේ? කුමක් අල්ලාගෙනද අවිද්‍යාව පහල වුනේ?” අන්න බලාගෙන යනකොට, “චේතනා” කියන චෛතසිකයක් තියෙනවා, සර්ව චිත්ත සාධාරණ චෛතසිකයක්. ඒ චෛතසිකය නැති කිසිම හිතක් නෑ. යම් චිත්තක්ෂණයක් පහලවුනා නම්, ඒ චිත්තක්ෂණයේ තියෙනවා ඔය කියන “චේතනා” කියන චෛතසිකය.
මෙන්න මේ “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” කියලා, චේතනාව මුලට කර්මය පහලවෙන තැන, කර්මය කියන්නේ මොකද්ද කියලා පෙන්නාගෙන ගිහිල්ලා, කර්ම මූලය පෙන්නුවා. මෙන්න මේ කර්ම මූලය, චේතනාව කියලා තිබුණොත් කර්ම විතරයි. මේ කර්ම මූලය සංස්කාරයක් බවට පත්වෙන්න නම්, “සංචේතනා” කියන අවිද්‍යාවත් එක්ක බැඳෙන්න ඕනේ.
යම් කෙනෙක් ප්‍රඥාවෙන් අවිද්‍යාව වැනසුවොත්, අවිද්‍යාව දුරු කළොත්, අර “සංචේතනා” කියන එකේ “සං” නැතිවෙලා ගිහිල්ලා “චේතනා” විතරක් ඉතුරු වෙනවා. “චේතනාහං භික්කවේ කම්මං වදාමි” කිවුව කර්මය ඉතුරු වෙනවා. කර්මය නැත්නම් ක්‍රියා කරන්න බෑ. “කර්ම” කියලා කියන්නේ ක්‍රියාකාරී ශක්තියක් ගෙනදෙන්නාවූ චේතනාවට. චේතනාවෙන් තොර නම් කිසිම ක්‍රියාවක් කරන්න බැහැ. ඉඳගන්නේ, හිටගන්නේ, යන්නේ, එන්නේ, කන්නේ, බොන්නේ, වටපිට බලන්නේ, මේ සෑම ඉරියවුවක්ම කරන්නේ හිතක පහලවෙන ඒ ක්‍රියාවලියේ තියෙන චේතනාව නිසායි.
චේතනාව යම්තැනක අත්හැරුණහොත්, ඒ ස්ථානයේ කිසීම ක්‍රියාවක් කරන්න, කිසීම හිතක් පහල කරන්න බෑ. චේතනාව අත්හැරියා නම් හිතත් නෑ. එහෙනම්, කර්මය කියලා කියන එක, චේතනාවේ ක්‍රියාදාමය කර්මය. සංචේතනාවේ ක්‍රියාදාමය, ක්‍රියා ප්‍රතිඵලය සංස්කාර. දැන් “අවිජ්ජා පච්චයා සංඛාරා” කියන එක ආවේ ඔන්න ඔය චේතනාවේ බැඳිච්ච අවිද්‍යාව නිසා.
{1:07:00} : අවිද්‍යා සංඛාරයේ අවසාන ඵලය වෙන්නේ ඊට අනුකූල ම ගුණ ඇති ජාතියක්
ඇත්ත ඇති ආකාරයෙන් නොවැටහුනොත්, නැත්තම් අපි අර ඉස්සෙල්ලා කිවුව විදිහේ පංචස්කන්ධය පිළිබඳ සත්‍යය නොදැක්ක පුද්ගලයට “නිත්‍යයි, සැපයි, ආත්මයි” කියන දෘෂ්ඨියක් තියෙනවා. මෙන්න මේ දෘෂ්ඨි ගතිකයා දෘෂ්ඨිය කැපුවේ නැත්තම්, ඒ දෘෂ්ඨිය සම්බන්ධ වෙච්චි බලවේගයකින් තමයි ඊලඟ චිතක්ෂණය නිපදවන්නේ. අන්න, නිපදවනකොට ඔතෙන්ට එනවා අර අවිද්‍යා කියන ඵලයත් නිපදවෙනවා. ඉස්සෙල්ලා තිබුණ නොදැනීම, “නිත්‍යයි, සැපයි, ආත්මයි” කිවුව දෘෂ්ඨිය මුල් කරගෙන, ඒ දෘෂ්ඨිය හේතු කරගෙන, ඒ හේතුවේ ඵලයක් වශයෙන් ඉස්සෙල්ලාම හටගන්නවා, චිතක්ෂණය පහල වෙනකොටම “අවිද්‍යා” කියන්නාවූ අංගය. දැන්, අවිද්‍යා අංගය විපාකයක්.
“අවිජ්ජා පච්චයා සංඛාරා” – අන්න, විපාකය “කම්ම සම්භවෝ” කළා. සංස්කාර, කර්ම ඇතිකළා. දැන් කර්මයයි – විපාකයයි, නැත්නම් හේතුවයි – ඵලයයි. දැන් අවිද්‍යාව ප්‍රතිඵලයක්, නැත්නම් අවිද්‍යාව ඉස්සෙල්ලා හේතුවක ඵලයක් වුනා. ඵලයක් වශයෙන් මතුවෙලා ආවහම, ඵලය හේතුවක් නිර්මාණය කළා. හේතුව සංස්කාර. අන්න, සංචේතනා ඇති කළේ අවිද්‍යා හේතුවෙන්. “අවිජ්ජා පච්චයා සංඛාරා, අවිජ්ජා හේතුකෝ” – මෙන්න විභංගය, බෙදලා බැලුවහම. ඒක අවිද්‍යා හේතුවෙන් හටගත්තේ.
අන්න, අවිද්‍යා හේතුවෙන් හටගත්තා නම් යම් සංස්කාරයක්, ඒ හටගත්ත සංස්කාරය හෙවත් ඒ සංචේතනා කියන මේ චේතනාව තුළ මොනවද ක්‍රියාත්මක වෙන්නේ? “නිත්‍යයි, සැපයි, ආත්මයි” කියන මේ දෘෂ්ඨියත් එක්කලා. ඒ චේතනාවෙන්, සංචේතනාවෙන් නිර්මාණය කරන, නැත්නම් සංස්කාරයෙන් නිර්මාණය කරන යමක් ඇත්නම්, ඒ සංස්කාරයේ අඩංගු දේ අනුවයි ඒකෙන් ඵලයක් නිපදවන්නේ. සංස්කාර හේතු වුනා, “සංඛාර පච්චයා විඤ්ඤාණං” කියලා විඤ්ඤාණ ඵලයක් දුන්නා. එතකොට, විඤ්ඤාණ හේතුවක ඵලයක් වුනා.
(ශ්‍රාවකයෙක් ප්‍රශනයක් අසයි, පැහැදිලි නැත… ස්වාමීන් වහන්සේ): ඔවු! කර්ම, ක්ලේෂ ඔක්කොම එකට යනවා. කර්මයයි, ක්ලේෂයයි, විපාකයයි කියන්නේ, “සංඛාර පච්චයා විඤ්ඤාණං” කියන ඔය රටාවයි, භව පැවැත්මයි ඔය කියන්නේ. එතකොට ක්ලේෂය නැතුව ගියොත්, කර්මයයි – විපාකයයි, කර්මයයි – විපාකයයි… ක්ලේෂය සම්බන්ධ වුනොත් සංස්කාරයි, සම්බන්ධ වුනහම.
සංස්කාරයෙන් සම්බන්ධ වුනොත්, ඇටේ මොනවායින්ද රෝපණය වුනේ, ඒවා තමයි ඒ ඇටෙන් හැදෙන මුලු ගහේම තියෙන්නේ. ඇටේ පරාග පෝෂණය වුනේ යමකින්ද, හැදෙන ගහ අන්තිමට දෙන්නේ ඒ ජාතියේ ඒවා. තැඹිලි ගහේ තැඹිලි ගෙඩියට මල පරාග පෝෂණය වෙන වෙලාවෙදී පොල් ගහකින් පරාගයක් පෝෂණය වුනොත්, ඒ පරාග පෝෂණයෙන් හැදෙන්නාවූ බීජය කවදාහරි හදලා දෙන ගහේ හැදෙන ගෙඩිය බැලුවහම, රතු පොල් හැදෙනවා, තැඹිලි පොල් හැදෙනවා, තැඹිලි හැදෙන්නේ නෑ. මොකද සිද්ධ වුනේ? ඒකට මුල මොකද? පරාග පෝෂණය වෙච්චි තැන. අද විද්‍යාවත් ඕක දැකලා තියෙනවා. අන්න, පරාග පෝෂණය වීමේදී, ඒ ජාතියෙන්ම තැඹිලි වලින්ම පරාග පෝෂණයක් කළා නම්, ඒක හැදෙන්නේ ගහේ තැඹිලි. ඒක හැදෙන බීජය එහෙනම් පොල් ගෙඩියේ හිටවලා හැදෙන ගහේ, ගහ වැඩිලා අවුරුදු 10ක්, 15ක් ගිහින් හරි හැදෙන ඵලය තැඹිලි, පොල් හැදෙන්නේ නෑ. අන්න, පොල් හැදෙන්න හේතුව, මූලාරම්භය පටන් ගත්තේ අර පරාග පෝෂණය වෙන වෙලාවේ, නැත්තම් සංස්කාර වෙලාවේ.
මෙන්න මේ වගේ, සංස්කාරයෙන් හටගන්න විඤ්ඤාණය නැමැති බීජය හටගන්නවා. අන්න හේතුවේ ඵලය. “විඤ්ඤාණ පච්චයා නාමරූපං” ඊලඟට, අන්න ආයි හේතුව. ඵලය හේතුවක් ඇතිකළා, ආයි සැරයක්. “නාමරූප පච්චයා සළායතනං” – ආයතන 6ක් ආයි ඵලය වශයෙන් ඇතිකළා. “සළායතන පච්චයා ඵස්සෝ” – ස්ඵර්ශය හේතුව වුනා. “ඵස්ස පච්චයා වේදනා” – විපාකය වුනා, “වේදනා පච්චයා තණ්හා” – හේතුව වුනා, “තණ්හා පච්චයා උපාදානං” – විපාකය වුනා, “උපාදාන පච්චයා භවෝ” – හේතුව වුනා, “භව පච්චයා ජාති” – විපාකය වුනා, නැත්නම් ඵලය වුනා. කර්මයයි – විපාකයයි, නැත්නම් හේතුවයි – ඵලයයි. ඔය ක්‍රම දෙකට එනවා.
එහෙනම්, හැමවෙලේම මේ ලෝක සත්වයා ගමන් කරන්නේ කර්මය තුළින් කර්මයක් නිපදවලා නෙමෙයි, කර්මයෙ විපාකයක්. විපාකය විපාකයක් නිපදවන්නේ නෑ, විපාකය (නිපදවන්නේ) කර්මයක්. ආයිත් ඒ කර්මයෙන් කර්මයක් නිපදවන්නේ නෑ, ඒක විපාකයක්. විපාකය කර්මයක්, කර්මය විපාකයක්, විපාකය කර්මයක්, මෙහෙම තමයි පටිච්ච සමුප්පාදය යෙදිලා තියෙන්නේ. දැන් පටිච්ච සමුප්පාදය පිළිබඳව විශාල විග්‍රහයක් ඔහොම ගන්න ඕනේ, නැත්නම් මේක ලේසියෙන් තෝරාගන්න බැහැ.
{1:11:09} : ලෝභ, ද්වේෂ, මෝහ සිත් වලට වෙන වෙනම පටිච්ච සමුප්පාදයෝ තියෙනවා
දැන් අපි දැනගන්නවා අවිද්‍යාවෙන් සංස්කාර හටගත්ත හැටි. එතකොට ඕක හුඟාක් විග්‍රහ කරලා තේරුම් ගන්න ඕනේ තැනක්. දැන් අපි හිතමු අකුසළ කර්මයක්, දැන් අපි බලන්න ඕනේ, අකුසළ චිත්තයක්, අකුසළ හිතක් හටගන්නකොට, දැන් තියෙනවා…
“සෝමනස්ස සහගත, දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත”,
“සෝමනස්ස සහගත, දිට්ඨිගත සම්ප්‍රයුක්ත සසංඛාරික සිත”
මේ ලෝභ සහගත සිත් 8ක් හටගන්න හැටි. එතකොට, ඊලඟට
“උපේක්ෂා සහගත සිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත”,
“උපේක්ෂා සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත සසංඛාරික සිත”,
ඊටපස්සේ අනික දිට්ඨි විප්පයුක්ත. ඔය ක්‍රමයට ගිහිල්ලා සිත් 8ක් හැදෙනවා ලෝභ සහගතව. අන්න, ලෝභ සහගත සිත් 8 හටගන්න පටිච්ච සමුප්පාදය එකක්, අන්න ලෝභ සහගත සිත් 8ට පටිච්ච සමුප්පාදයක් තියෙනවා. ඒ සිත හටගන්න පටිච්ච සමුප්පාදයෙන් ද්වේෂ හිත හටගන්නේ නෑ.
ද්වේෂ හිත හටගන්න, ද්වේෂ හිත් හටගන්න පටිච්ච සමුප්පාදයක් තියෙනවා. ලෝභ සිත් 2යි, අන්න, “අකුසල පච්චයා සංඛාරා” කිවුව තැන අකුසළ ප්‍රත්‍යයෙන් සංස්කාර වෙනවයි කිවුවොත් ආයි විභංග වෙනවා, බෙදලා බලනවා. අකුසල වලට එන්නේ? ලෝභ, ද්වේෂ, මෝහ තුනම අකුසල්. ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි හටගන්නකොට, ලෝභ සිත් 8යි, ද්වේෂ සිත් 2යි, මෝහ සිත් 2යි කියලා අකුසල් සිත් 12යි.
අකුසල් සිත් 12න්, ලෝභ සිත් 8ට එක පටිච්ච සමුප්පාද චක්‍රයක් යනවා, එක සමාන එකක්. ඒ ලෝභ සිත් 8 හටගන්න පටිච්ච සමුප්පාද චක්‍රයේ, ඒ චක්‍රයෙන් නෙමෙයි ද්වේෂ සිත් හටගන්න පටිච්ච සමුප්පාදය ක්‍රියාත්මක වෙන්නේ. ඒකට වෙනම එකක් තියෙනවා, එතකොට ද්වේෂ සිත් 2 ට.
“උපෙක්ඛා සහගත පටිඝ සම්ප්‍රයුක්ත සිත”
“උපෙක්ඛා සහගත පටිඝ සම්ප්‍රයුක්ත සසංඛාරික සිත“
එතකොට, අනිත් සැරේ…
“උපෙක්ඛා සහගත විචිකිච්චා සම්ප්‍රයුක්ත සිත”
“උපෙක්ඛා සහගත උද්දච්ච සම්ප්‍රයුක්ත සිත”
මෝහ සිත් දෙක. මේ හැම එකකටම එක එක පටිච්ච සමුප්පාදයක් තියෙනවා. එහෙනම් මේ පටිච්ච සමුප්පාදය, පටිච්ච සමුප්පාදය කියලා, මේකේ තේරුම ගන්න බැහැ. විග්‍රහ කරලා ගන්නකොට මේ හැම එකක් ම වෙන් වෙන් වෙලා, විභංග කරලා විග්‍රහ කරගන්න ඕනේ. නැත්නම් අර්ථ තේරුම් ගන්න බෑ.
{1:13:30} : අවිද්‍යාව ඒ ඒ සිත සමඟ හටගන්නවා, එක දිගට එනවා නෙමෙයි
අපිට, ඕන්නං මං එකක් පෙන්නන්නම් දැනට. මොකටද, ලෝභ සහගත සිතක් හටගන්න පටිච්ච සමුප්පාදයක අවිද්‍යාව හටගන්නේ කොහොමද? අවිද්‍යාව පරම්පරාවෙන් එන එකක් ද නැද්ද? මෙන්න මේ සිද්ධිය අපි තේරුම් ගන්න ඕනේ යෙදෙන හැටි. “කතමේ ධම්මා අකුසලා” – අකුසල ධර්මය කුමක්ද? දැන් මේක මේ ඔන්න අකුසල පටිච්ච සමුප්පාදයක් සිද්ධ වෙන ආකාරයත්, අවිද්‍යාව කියන එක අකුසල සහගත සිතකට කොහොමද යෙදෙන්නේ කියන එකත් මේ විග්‍රහ කරන්නේ.
“යස්මිං සමයේ අකුසලං චිත්තං උප්පන්නං හෝති” – යම් සමයක අකුසල චිත්තයක් පහල වන්නේද, දැන් අකුසල හිතක් කියලා අපි කියනවා, ලෝභ හිතක් පහල වුනා, ද්වේෂ හිතක් පහල වුනා, අපි ඔහොම කියනකොට, දැන් අකුසල චිත්තයක්, ලෝභ සහගත, කොහොමද?
“සෝමනස්ස සහගතං දිට්ඨිගත සම්පයුත්තං” – සෝමනස්ස සහගත, දිට්ඨිගත සම්ප්‍රයුක්ත අකුසල චිත්තයක් පහල වෙනවද, කොහොමද පහල වෙන්නේ?
“රූපාරම්මනංවා, සද්දාරම්මනංවා, ගන්ධාරම්මනංවා, රසාරම්මනංවා, ඵොට්ටබ්බාරම්මනංවා, ධම්මාරමනංවා” – රූපාරම්මනයකින් හෝ සද්දාරම්මනයකින් හෝ ගන්ධාරම්මනයකින් හෝ රසාරම්මනයකින් හෝ ස්ඵර්ශාරම්මනයකින් හෝ ධර්ම ආරම්මනයකින් හෝ… අන්න ආරම්මන එකතු වුනා.. ආරම්මනයක් පහල නොවී කිසිම හිතක් පහල වෙන්නේ නෑ. සෑම හිතක්ම පහල වෙන්න ආරම්මනයක් ඕනේ. “සෝමනස්ස සහගත, දිට්ඨිගත සම්පයුක්ත” හිතක් පහල වෙන්න රූප, ශබ්ද, ගන්ධ, රස, ස්ඵර්ශ, ධම්ම කියන මේ ආරම්මනයක්, අරමුණක් ඕනේ.
අන්න, අරමුණක් මුල්කරගෙන පහලවෙනකොට, “යං යං වා පණාරබ්බ” – ඒ ඒක ඇරබ, ඒ ඒ අවස්ථාව මුල් කරගෙන, අර අරමුණ එන මොහොත මුල් කරගෙන,
“තස්මිං සමයේ අවිජ්ජා පච්චයා සංඛාරා” – එසමයෙහි අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වේ.
දැන් අවිද්‍යාව කොහෙන්වත් ආවාද? ඒ අවස්ථාවේ ඇති වෙච්චි එකක්. මෙන්න, ධර්මය තුළින් තෝරාගන්න ඕනේ, අපිට ඕනෑ හැටියට තෝරලා බෑ කියන්නේ ඒකයි. ඒ “සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත” ඒ සිත පහල වෙන මොහොතේ, ඒ සිත ඇරබ, ඒ අරමුණ ම අරමුණු කරගෙන හටගන්න චිත්තයේ “එසමයෙහි පහල වෙන අවිජ්ජා පච්චයෙන් සංඛාරය” – එතකොට “අවිජ්ජා පච්චයා සංඛාරා” කියලා යෙදෙන හැටි.
(ශ්‍රාවිකාවක් ප්‍රශ්නයක් අසයි, පැහැදිලි නැත)
(ස්වාමීන් වහන්සේ): ඒ ඒ වෙලේ පහලවෙන, ඒ පළවෙනි එක. එතකොට, ඒ පටිච්ච සමුප්පාදය ඒ චිත්තක්ෂණය ඇතුලෙම ක්‍රියාත්මක වෙනවා. පටිච්ච සමුප්පාදය ක්‍රියාත්මක වෙන්නේ ඒ චිත්තක්ෂණය ඇතුලෙමයි. ඔය චිත්තක්ෂණය ඇතුලේ පටිච්ච සමුප්පාදය 4 අවස්ථාවක් ක්‍රියාත්මක වෙලයි, චිත්තක්ෂණය පූර්ණ වෙන්නේ. “තිථි” අවස්ථාව සම්පූර්ණ වෙලා එනකොට, පටිච්ච සමුප්පාදය 4 අවස්ථාවක් ක්‍රියාත්මක වෙලා, චක්‍ර 4ක්. මේ පටිච්ච සමුප්පාදය කියන එක සෙල්ලමක් නෙමෙයි, මේක මේ ලේසියෙන්, ආවට-ගියාට කියන්න පුලුවන් එකක් නෙමෙයි.
{1:16:20} : මනසින් නිපදවන ශුද්ධාෂ්ඨක අන්තඃකල්ප 40ක් පවතින්න පුළුවන්
“සංඛාර පච්චයා විඤ්ඤාණං” – ඊලඟ අවස්ථාව. පළවෙනි පටිච්ච සමුප්පාදය “විඤ්ඤාණ පච්චයා නාම රූපං” කියන රටාවෙන් නෙමෙයි යන්නේ.
“විඤ්ඤාණ පච්චයා නාමං” – විඤ්ඤාණ පච්චයෙන් නාමය පහල වුනා.
“නාම පච්චයා ඡට්ඨායතනං” – සළායතනං එහෙම නෙමෙයි. ආයතන 6ක් පහල වුනා, “ඡට්ඨායතනං” සළායතන පහල වුනේ නෑ, රූපයක් ඔතන නෑ. එහෙනම්, චිත්තක්ෂණය ආරම්භයේදී, පළවෙනි චිත්තක්ෂණය ආරම්භයේදී “රූපය” කියන්නේ නාම ධර්මයන්ගෙන් නිර්මාණය කරපු එකක්. “අනිදස්සන වූ අප්පටිඝ වූ ධම්මායතන පරියාපන්න රූපයයි” කියන රූපයක් තමයි සම්පූර්ණ වුනහම හම්බවෙන්නේ, අතන ආපෝ, තේජෝ, වායෝ, පඨවි, වණ්න, ගන්ධ, රස, ඕජා කියන මේවත් එක්කලා එක්තුවෙලා, හැදිලා, සම්පූර්ණ වෙනකොට, ඒක හිතෙන් නිර්මාණය කරපු එකක්, ඒ රූපය.
ඒ රූපය නිපදවන්න ඉස්සරවෙලා රූප සටහන ගන්නවා. “රූප සටහන” යි ඉස්සෙල්ලා නිපදවන්නේ. අන්න ඒ රූප සටහනේ එල්බගෙන තමයි සිත ආරම්භය පහලවෙන්නේ. ඔය චිත්තක්ෂණය, චිත්තක්ෂණයේ “උප්පාද” කියන අවස්ථාව. අන්න, උප්පාද අවස්ථාව පටිච්ච සමුප්පාද චක්‍රයකින් තමයි සටහන නිර්මාණය කරගෙන, ඒක අල්ලාගෙන පහලවෙන්නේ. සතර මහා භූත එතන තිබුණේ නෑ. හරීම ගැඹුරු තැනක් ඔතන.
(ශ්‍රාවිකාවක් ප්‍රශ්නයක් අසයි, පැහැදිලි නැත)
(ස්වාමීන් වහන්සේ): ප්‍රසාද රූපය පහල වුනේ සම්පූර්ණ වෙලායි. ප්‍රසාද රූපය සතර මහා භූතයන්ගෙන් සම්බන්ධයි, ශුද්ධාෂ්ඨක තියෙනවා. ශුද්ධාෂ්ඨක හදන්නත් ඉස්සෙල්ලා අවස්ථාවක් මේ කියන්නේ. අන්න, ශුද්ධාෂ්ඨක හදන මුල් තැන.
දැන් මෙන්න මෙතන “රූප” පහල වෙන තැන. ලෝකයට රූපයක් පහලවෙන්නේ කොහෙන්ද කියලා තේරුම් ගන්න බැරි අය “මේ ලෝකයේ සතර මහා භූත සදාතනිකයි” කියලා මුලාවට බහිනවා. බුද්ධ දේශනාවේ දේශනා කරලා නැහැ “රූපය කියන්නේ සංඛතයක්” හෙවත් සකස් වෙච්චි දෙයක් කියලා මිසක්, ඒක “අසංඛතයක්” කියලා දේශනා කලේ නෑ, සදාතනික වස්තුවක් කියලා දේශනා කලේ නෑ.
“ශුද්ධාෂ්ඨකය” කියන එක කාලයක් පවතින හින්දා හොයාගන්න බෑ. ශුද්ධාෂ්ඨකයක් ආරම්භ කරපුහාම, ප්‍රබල ශුද්ධාෂ්ඨකයක් අන්තඃකල්ප 40ක් පවතිනවා, ශුද්ධාෂ්ඨකයේ ආයුෂ. අන්තඃකල්ප 40ක් ගිය තැන ශුද්ධාෂ්ඨකය බිඳෙනවා. එදාට, ඒ වෘතය ඉවරයි. හිතෙන්, මනෝ රූපයකින් නිර්මාණය කරලා, මනෝ භවයෙන්ම ඝනීභවනය කරලා ශුද්ධාෂ්ඨකය නිපදවනවා. ඒකට කියනවා “කර්මජ” එකක්, “චිත්තජ” කියනවා අනිකට.
කර්මයෙන් ජනිත කරනවා, චිත්තයෙන් ජනිත කරනවා “රූප”, ඒක තමයි මුළ. ඒ ජනිත කරපු රූපය, මූලාරම්භක රූපයට කියනවා, “ශුද්ධාෂ්ඨක”. ඔය ශුද්ධාෂ්ඨකය නිපදෙවුවට පස්සේ අන්තඃකල්ප 40ක් ඕකේ බල තියෙනවා පවතින්න. ඒ 40 ඉක්ම ගිය තැන තමයි ඒක බිඳෙන්නේ. එතකන් දුන්න ශක්තිය ඒකේ තියෙනවා. මේ “බාහිර රූප කළාප” කියන්නේ අන්න ඒ කර්ම, චිත්ත කියන දෙකෙන් නිපදවලා පිටකරද්දී, නිදහස් කරද්දී. ඒවා තමයි අපි මේ “රූප” කියලා, “ඝනීභවන වස්තු” කියලා, අපි මේ ඒවා එකතුවෙලා හැදිච්චාට කියන්නේ.
{1:19:24} : සිතිවිලි වලින් පටිච්ච සමුප්පන්නව ශුද්ධාෂ්ඨක හැදෙන හැටි
දැන් අපි මේක ලිහුවොත්, “විඤ්ඤාණ පච්චයා නාමං, නාම පච්චයා ඡට්ඨායතනං, ඡට්ඨායතනං පච්චයා ඵස්සෝ, ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා-මරණං” එතකොට මේක, අන්න පටිච්ච සමුප්පාද රටාව ඇවිදිල්ලා, ප්‍රවෘත්ති වශයෙන්..
කෙසේ හෝ හටගත්තා නම් යම්කිසි චිත්තක්ෂණයක්, ඔය චිත්තක්ෂණයේ මෙබඳු පටිච්ච සමුප්පාද 4ක් යනවා. ඒ නිසා මේ පටිච්ච සමුප්පාදයේ සියුම් තැන ගන්න බොහෝම අමාරුයි, සෑහෙන විග්‍රහයක් කරලා ගන්න ඕනෙ එකක්.
දෙවෙනි පටිච්ච සමුප්පාදය යනවා, ලෝභ සහගත චිත්තයේ දෙවෙනි පටිච්ච සමුප්පාදය. “අවිජ්ජා පච්චයා සංඛාරා” ආයිත් එහෙම්ම ඒක පටන්ගන්නවා. “සංඛාර පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාමං, නාම පච්චයා ඵස්සෝ” එතන ඡට්ඨායතන නෑ. “ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා-මරණං” චිත්තක්ෂණයේ දෙවෙනි අවස්ථාවත් මළා, චිත්තක්ෂණය මළේ නෑ.
හරියට, මනුස්ස ජීවිතය එකක් හැටියට අරගෙන, ළදරු අවස්ථාව මැරුණා – දැන් තියෙන්නේ ළමා අවස්ථාව. ළමා අවස්ථාව මැරුණම එනවා තරුණ අවස්ථාව. පුද්ගලයා ඉන්නවා. මෙන්න මේ වගේ, චිත්තක්ෂණය ජීවත් වෙනවා, චිත්තක්ෂණයේ ලාබාල අවස්ථා 2ක් ඉවර වුනා. දැන් ඊලඟ අවස්ථාවට ආවා, තරුණ වෙන්න එන අවස්ථාව, චිත්තක්ෂණය තුළ. චිත්තක්ෂණය තියෙනවා, අවස්ථා මැරෙනවා. අන්න, අවස්ථා මැරීම තමයි මේ පෙන්නන්නේ, පටිච්ච සමුප්පාදයක් – අවස්ථාවක් මැරෙනවා නම් පටිච්ච සමුප්පන්නයි.
චිත්තක්ෂණයේ ළදරු අවස්ථාව, ළමා අවස්ථාව, ඊට පස්සේ තරුණ අවස්ථාව, මැදි අවස්ථාව, සම්පූර්ණ වෙච්චි අවස්ථාවට එනවා. මෙහෙම අවස්ථා 4ක් එනවා. අන්න ඒක ඉවරවෙනකොට ම තුන්වෙනි අවස්ථාව පහුවෙලා, ආයිත් අවිජ්ජා පටිච්ච සමුප්පාදයක් පටන්ගන්නවා. “අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාම රූපං, නාමරූප පච්චයා සළායතනං නෙමෙයි, ඡට්ඨායතනං” තවත් සළායතනය පහලවුනේ නෑ. එතනත් ඒ ආයතනය ඡට්ඨායතන. ඡට්ඨායතනය කියන්නේ තනිකර “මන” තාම, “සටහන් මන” තාම ඔය තියෙන්නේ. අපිට “ආගන්තුකේන උපකිලිට්ඨේන උපකිලිට්ඨං” කියන එකයි මේ සිද්ධ වෙන්නේ. චිත්තක්ෂණය මෝර-මෝරා එනවා. උපකිලිටි ගැන්වි-ගැන්වී එනවා. එහෙම ඇවිදිල්ලා දැන් 3 වෙනි අවස්ථාවට උපකිලිටි ගැන්වුනා.
හතර වෙනි අවස්ථාවට එනකොට, ඒක තිර කරලා ඒක ඝනීභවනය කරලා. අන්න, ශුද්ධාෂ්ඨකයක් නිපදවාගත්තා, සම්පූර්ණ කරගත්තා. අන්න, “අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාම-රූපං, නාම රූප පච්චයා සළායතනං” වුනා. සළායතන වුනේ අන්න 4 වෙනි අවස්ථාවේ. චිත්තක්ෂණය මෝරපු අවස්ථාවේ. අන්න, මෝරපු අවස්ථාවේ තමයි අපි ඔය කියන්නාවූ “ශුද්ධාෂ්ඨකයක්” හැදුනා කියන්නේ. දැන් ශුද්ධාෂ්ඨකය බවට පත්වෙලා, රූප කළාපයත් හැදුනා.
{1:22:04} : සිතිවිලි වලින් පටිච්ච සමුප්පන්නව සෙත් කිරණ විහිදෙන හැටි
එහෙනම්, රූප කලාපයේ මුළ, නාම සටහන. නාම සටහනේ මෝරාගෙන ඇවිදිල්ලා, නාම සටහනේම ඝනීභවන කිරීමක් මිසක්, ආරම්භ වේ නම් රූපයක්, ඒ නාම සටහන යම් ආකාරයක්ද, රූප සටහන ඒ ආකාරයි. නිර්මාණය කළේ මොන එකක් අරගෙනද? මොන සටහනෙන්ද, නිර්මාණ වස්තුව ඒ ආකාරයි, අනුරුව ගන්නවා. ගති ගුණය යම් සේද, ගති රුව ඒ ආකාර ගන්නවා. ඒ හින්දා, ශුද්ධාෂ්ඨකය නිපදවනකොටම ලෝභ සහගත හිතකින් නිපදෙවුවොත්, ලෝභ සහගත බලයක් ක්‍රියාත්මක කරවන්න හේතු වෙන්නාවූ රූප ධාතුවක් ලෝකේ නිපදවෙනවා. චිත්තක්ෂණය භංග වෙනකොටම, නිපදවපු රූපය නිදහස් වුනා, බාහිර රූපයක් වුනා.
චිත්තක්ෂණ තත්පරයකට කෝටි ලක්ෂයක් ගියොත්, ලෝභ සහගත සිත්, කෝටි ලක්ෂයක් පරමාණු ලෝකයට නිපදවෙනවා. හොඳවා නම් නෙමෙයි! ලෝකේ විනාශ කරන්න. විනාශයට හේතුවෙන ලෝභ සහගත පරමාණු. පරමාණුවේ තියෙන “වර්ණ, ගන්ධ, රස, ඕජා” කියන ශක්තිය ලෝභ සහගත දෙයක් ක්‍රියාත්මක කරන්න අවශ්‍යය විදිහට ඔප්නැංවිලා තමයි ඉපදෙන්නේ.
ඉපදිලා නිදහස් වුනාට පස්සේ ඒ නිදහස් වෙච්ච රූප කළාපය අනුරූප වූ, ගතිලක්ෂණයෙන් සමාන වූ රූප කළාපයක් සමඟ ඇදිලා ගිහින් බැඳෙනවා. ගතියට ගතිය සම්බන්ධ වෙනවා. සමානත්වයට සමානත්වය ඇදිලා යනවා.
යම්කිසි කෙනෙක් ලෝභ සිතිවිලි පැයක් එහෙම හිටියොත්, අප්‍රමාණයක් පරමාණු නිපදවලා ඔහු, ගෙනල්ලා බැඳගෙන, නිපදවන නිපදවන එක බැඳෙනවා අනුකූල තැන. ඒක මොන විපාකයක් දෙන්නද, ඒකේ ශක්තිය නිපදවලා ඒකට දුන්නේ, ඒක භ්‍රමණය වෙලා, භ්‍රමණය වෙලා ගිහිල්ලා ඔක්කොම එකට බැඳිලා, ඒ වැඩේ කරනවා. එහෙනම් ලෝභ සහගත දේ, පිරිහීමට හේතුවෙන සියලු වැඩ කරන්න ශක්තියක් බවට පත්වෙනවා. මෙන්න ලෝකෙ හැදෙන හැටි, ලෝකෙට ද්‍රව්‍ය – වස්තු නිර්මාණය වෙන හැටි. මෙන්න මේ ක්‍රමයට තමයි මේ ලෝකේ…
මෙත් වඩන්න පටන්ගත්තොත් යම් කෙනෙක්, මෙත්තා සහගත චිත්තය නැගිලා, “කුසල මූල පච්චයා සංඛාරා” ආ තව එකක්. මෙත්තා සහගත හිතෙන් නම් කුසල මූල පච්චයා සංඛාරා – අලෝභ, අද්වේෂ, අමෝහ එතෙන්ට ආවේ. “සංඛාර පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාමං, නාම පච්චයා ඡට්ඨායතනං…” අන්න යනවා පලවෙනි රවුම.
මනෝ සටහනක් වශයෙන්, සෙතක් සිද්ධ වෙන්න, සුවයක් ගෙනදෙන්න, යහපතක් වෙන්න ක්‍රියාත්මක වන්නාවූ රූප කලාපයක ආරම්භක මනෝ සටහන් ආවහම චිත්තක්ෂණය ආරම්භ වෙනවා. දෙවෙනි අවස්ථාව පැන්නා, තුන්වෙනි අවස්ථාව පැන්නා, සම්පූර්ණ වුන තැන එහෙනම් ඝනීභවනය වුනා, ශුද්ධාෂ්ඨක රූප කලාපයක් රූප ධාතුවක් වශයෙන් පිටකළා. පිට කළාට පස්සේ, ඒක පිටකළේ මොනවායින්ද, ඒක ආරම්භ වෙලා තියෙන්නේ, ඒක හැදුවෙ මොකෙන්ද ? මෙත්තා සහගත හිතකින්. “සෙතක් වේවා! යහපතක් වේවා!”
ඒ සිතිවිල්ලත් එක්ක පිටකරපු ශක්තිය ගිහිල්ලා ලෝකේදි ඒකත් නිදහස් වෙනවා. දැන් ඒකේ ගැබ්වෙලා තියෙන ශක්තිය කුමක් හදන්නද? යහපතක් කරන ශක්තිය. නිරෝගී කරන ශක්තිය, සුවයක් ඇති කරන ශක්තිය, සාමයක් – සමාදානයක් ඇතිකරන ශක්තිය. එබඳු ශක්තියක් ගෙනදෙන රූප කලාපයෝ පරමාණු වෙලා ලෝකෙට විහිදුනා. පැයක් තුළ මෙත් වැඩුවා නම්, අනන්ත – අප්‍රමාණ රූප කළාප ලෝකෙට විහිදෙවුවා. දැන් ඒවා තමයි ලෝකෙට ශාන්තියක් ඇතිකරන්නේ. දැන් ඒවා ඉතින්, මෙත් වඩන ස්ථානයකට ගිහාම, “අනේ, ඒ ස්ථානයට ගියාම ඇඟ නිකන් සිසිල් වෙලා ගියා” මොකෙන්ද? අර රූප කළාපය “ආරම්මණ ප්‍රත්‍යයෙන්” ප්‍රත්‍යය වුනා. අන්න ආරම්මණ වුනා, අරමුණු වුනා. අරමුණ ගෙනත් දීලා අදහස ඇති කළා ආරම්මණ ප්‍රත්‍යයක්. ආන්න හටගත්තා, මෙත්තා සහගත හිතක් හටගන්න රුකුල.
අපිට තව කෙනෙකුට සිතක් පහල කරන්න බැරිවුනාට, සිතක් පහල කරන්න අරමුණු කරන්න ඕනෑ කරන සටහන දුන්නහැකි. රූප කළාපයක් සකස් කරලා, සෙත් කරලා දෙන්න පුලුවන්. අන්න “සෙත වදිනවා” කියන්නේ ඕකයි. සිත දෙන්න බෑ, මගේ හිත මං ලඟ. ඒක ආවා, උප්පාද – තිඨි – භංග වුනා, ඉවරයි! ඒ මගේ හිතේ තියෙන හැඟීමක් වත් අනිත් කෙනාට හැඟීම් වශයෙන් දෙන්න බෑ. ඒ හැඟීම දෙන උපක්‍රමය ඕකයි. ඒ ශක්තිය ආරම්මණ කරනවා අනිත් එක්කෙනා තමන්ගේ බලයෙන්, තමන්ගේ හිතෙන්.
ඒ ආරම්මණ කරපුහාම, සෙත් ආරම්මණයක් ආරම්මණ වුනොත්, ආරම්මණයෙන් හටගන්නේ ඔහුට අරමුණු කරපු දෙයට අනුවයි. අන්න, ඔහුට සෙත් හිතක් හටගන්න හේතු වෙනවා, ආරම්මණ ප්‍රත්‍යය වෙනවා. දැන් සෙත් අරමුණක් ආවා. අරමුණක් ආපුහාම, අරමුණෙන් හටගත්තාවූ චේතනාව හටගන්නේ එයට අනුකූලවයි. අන්න විපාක හිතක් ආවා එයාට. දැන් මේක මං, ඉතාම ගැඹුරින් මේ ටික විග්‍රහ කළේ මොකද, මේකේ තියෙන බැරෑරුම් කම කියන්න. මේක සියුම් තැනක් නෙමෙයි කියන එක කියන්න.
{1:26:18} : අවුරුදු ගාණකට පෙර කළ දේ මරණාසන්න මොහොතට එන්නේ කොහොමද?
දැන් මෙන්න මේ වගේ, යම්කිසි කෙනෙක් චුත වෙන මොහොතක, පටිසන්ධියක් ලබන මොහොතක හටගන්න සිද්ධියක් තියෙනවා, “අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං” කියලා එවෙලේ වෙන සිද්ධියක්. දැන් යම්කිසි පුද්ගලයෙක් මරණාසන්න, නැත්නම් චුත වෙන මොහොතක් එනවා නම්, චුත වෙන මොහොත වෙනකොට, ඊට අවුරුදු 10කට, 15කට, 20කට, 30කට ඉස්සෙල්ලා කරපු කර්මයක් පලදෙන්න එනවා කියනවා.
සතා මැරුවේ, හොරකම කළේ, පරදාර සේවනය කළේ, බොරුව – කේලම ආදිය කිවුවේ අවුරුදු 50කට විතර ඉස්සෙල්ලා. දැන් අර චුත වෙන මොහොතට අරමුණු වුනේ ඒක. කොහේදිද අරමුණු වුනේ? අන්න අර නිර්මාණය කරපු රූප කලාප, ගතියට – ගතිය සම්බන්ධ වෙලා ඇදිලා එනකොට, මරණාසන්න අවස්ථාවේදී අපිට පහල වෙච්චි ගති සිත් පරම්පරාවක් තිබුණා නම්, අනුකූලත්වයට අනුකූලත්වය ඇදිලා ඇවිදින්, ඒවා අරමුණු වෙනවා. අන්න ආරම්මණය වුනා. “කර්ම, කර්ම නිමිති, ගති නිමිති වශයෙන් ආවා” කිවුවේ ඕකයි.
එතෙන්ට අරමුණු වුනහම, ඒ අර්මුණේ තිබුණා ඉස්සෙල්ලා කරපු එකේ නිර්මාණය කරපු එක. ඒක අරමුණු වෙලා ආපුහම, ඒක ආවේ විපාකයක්. දැන් විපාකය ඇවිදිල්ලා මරණාසන්න මොහොතේ “භව කර්මයක්” හදන්න ඕනෑ. ඒ විපාකය ඇවිදිල්ලයි කර්මය හැදුනේ. එහෙනම්, ඉස්සෙල්ලා කර්මය කළා, අවුරුදු 50කට විතර ඉස්සෙල්ලා. මරණාසන්න මොහොතේ ඒක එන්නේ කොහේද? ඒකේ චේතනාත් එතනම බිඳුනා නේ! ඒ කර්මය කරන වෙලාවේ යම් චිත්ත මාලාවක් තිබුණා නම්, ඒක එතනම ඉවරයි. ඒකේ තිබුණ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන ක්‍රියාත්මක එකක් වත් දැන් නෑ. ඒවා එතන බිඳිලා ගියා. ඒක බිඳිලා ගියා, ඒක වෙනස් වෙලා ගියා. එතන තිබිච්ච ක්‍රියාකාරීත්වය ඉවරයි, එතන විතරයි ඒක තිබුණේ.
එහෙනම්, මරණාසන්න මොහොතට එදා කරපු කර්මය කොහොමද ඇදෙන්නේ? දැන් මෙතන නව කර්මයක් නිපදවෙන්න ඕනේ. අන්න ඒක තමයි “මරණාසන්න මොහොතේ පටිච්ච සමුප්පාදය” කිවුවේ. “අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං…” කියන පටිච්ච සමුප්පාදය, පුංචි කාලේ ඉඳලා ආපු කෙනා මැරෙනකොට ගිහිල්ලා ඒකෙන් උපන්නා කිවුවොත් වැරදියි! පුංචි කාලේ කරපු දෙයක් හරි, කර්මයක් කරපු, තරුණ කාලෙ හරි කරපු එක මහළු වෙනකොට ඇදලා එන්නේ විපාක වශයෙන්. ඇවිදිලා, “අවිජ්ජා පච්චයා සංඛාරා” කියන පටිච්ච සමුප්පාදය මරණාසන්න චිත්ත වීථිය හටගන්නකොටයි හටගන්නේ. අන්න ඒකේ “අවිජ්ජා පච්චයා සංඛාරා” වෙන්නේ එතනයි.
එහෙනම්, අපි පටිච්ච සමුප්පාදයේ මුල – අග හොයනකොට, මරණාසන්න මොහොතේ පටිච්ච සමුප්පාදය මරණාසන්න මොහොතටයි. එහෙනම්, “අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං” කියලා පටිසන්ධි විඤ්ඤාණය ගෙන දෙන ඒ පටිච්ච සමුප්පාදය පහල වෙලා ක්‍රියාත්මක වෙන්නේ මරණාසන්න චිත්ත වීථියේ. ඒ චිත්ත වීථියෙන් චිත්තක්ෂණයක් හදාගෙන, ඒ ආරම්භය පටන්ගන්නේ.
පටිසන්ධිය ලබන චිත්තක්ෂණයකින් ඔය පටිච්ච සමුප්පාද 4 ක්‍රියාත්මක වෙලා තමයි පටිසන්ධියෙන් කෙරෙන්න ඕනේ ක්‍රියාව හැදිලා එන්නේ. ඒ නිසා කියනවා, “ඉමස්මිං සති, ඉධං හෝති – ඉමස්ස උප්පාදා, ඉධං උප්පජ්ජති” – මෙය ඇති කල්හි, මෙය වේ; මෙය උපන් කල්හි මෙය උපදී. කාරණා 2ක් තියෙනවා. ඇති කල්හි වෙනවා. “ඉමස්මිං අසති, ඉධං න හෝති” – මෙය නැති කල්හි මෙය නොවේ.
දැන් එහෙනම් අපි කල්පණා කරලා බලමු, අවුරුදු 10කට ඉස්සෙල්ලා මිනිහෙක් මැරුවා. 10කට පස්සෙයි මිනිහා (මිනීමරුවා) මැරෙන්න එන්නේ. දැන් මිනිහා මරපු වෙලාවෙ තිබිච්ච රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ දැන් තියෙනවද? …. (ඉතිරි කොටස ඊලඟ දේශනාවෙන්)
~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~
දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://waharaka.com/listen/CD002-03
කරුණාවෙන් සළකන්න:
මෙම දේශනාව පටිගත වී ඇති ආකාරය අනුව, සමහර වචන සම්පූර්ණයෙන්ම පැහැදිලි ව නොඇසෙන බැවින්, සමහර අවස්ථා වලදී හැකි උපරිමයෙන් නිවැරදි ව ඇසෙන අයුරින් සටහන් කරන්නට උත්සාහ ගත්තද, යම් කිසි ස්ථානයකදී වැරදි යමක් සටහන් වී ඇති බව දුටුහොත්, ඒ වෙනුවෙන් තෙරුවන ප්‍රමුඛ ඔබ හැමගෙන් කමාව අයැදිමි. අප හැමට අනුකම්පාවෙන්, එවන් වැරදි දුටහොත්, admin [at] sadaham-deshana.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට ඒ පිළිබඳව දැනුම් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
තෙරුවන් සරණයි!