බුදු දහමේ හේතු-ඵල දැකීම – 2 කොටස

බුදු දහමේ හේතු ඵල 2
02 සංයුක්ත තැටියඅභිධර්මයපිලිසමුපා

බුදු දහමේ හේතු-ඵල දැකීම – 1 කොටස හා සම්බන්ධයි

 

දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)

බුදු දහමේ හේතු-ඵල දැකීම - 2 වැනි කොටස

 

{00:00:00} : ඇලෙන්නෙත්, ගැටෙන්නෙත් දෙන වටිනාකමේ තරම අනුවයි

    දැන් මිනිහා මරපු වෙලාවෙ තිබිච්ච රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ දැන් තියෙනවද? ඒක මිනිහා මරපු වෙලාවේ ඉවරයි. ඒ චිත්ත වීථි පරම්පරාව සිඳිලා ගියා නම්, ඒ වෙලාවෙදි ඒක සිද්ධ වුනා, උප්පාද – තිථි – භංග වෙලා චිත්තක්ෂණය ඒ මොහොතෙම ඉවර වෙලා, විනාශ වුනා. කෝ දැන් ඒක මෙතෙන්ට? අවුරුදු 10කට පස්සේ මැරෙන්න එනකොට, අර මිනිහා මරාපු එකේ විපාකේ මෙතෙන්ට ඇවිදිල්ලා, දැන් “විපාකෝ කම්ම සම්භවෝ” කියලා අලුත් චිත්ත වීථියක් පහල කරනවා. එහෙනම්, අලුත් චිත්ත වීථියේ පටිච්ච සමුප්පාදය එතැනයි තියෙන්නේ.

 

     එහෙනම්, අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං කියන මේ, මේ කියන පටිච්ච සමුප්පාදය, පටිසන්ධියක් ගෙන දෙන පටිච්ච සමුප්පාදය ක්‍රියාත්මක වෙන්නේ පටිසන්ධි දෙන අවස්ථාවේදී, ඒ චිත්තක්ෂණයේ. ඒකට හේතු වෙච්ච විපාකය ඒ සිද්ධ වුනේ, අවුරුදු 10කට, 15කට, 20 – 30කට හෝ සිය දහස් ගණනකට එහා වෙන භවයක හෝ වෙන්න පුලුවන්. විපාකය ක්‍රියාත්මක වෙලා, විපාක ධර්මය ක්‍රියාත්මක වෙලා, “විපාකෝ කම්ම සම්භවෝ” කියලා චේතනාව නිපදවන්න චිත්ත වීථියක් පහල කරනවා. අන්න මරණාසන්නයේ, නැත්තම් අවසාන චිත්ත වීථියක්.

 

    අවසාන චිත්ත වීථිය පහල කරන්නේ විපාකයක් මුල් කරගෙනයි. කර්මයක් සිද්ධ කළා, අවුරුදු ගාණකට ඉස්සර. ඒක විපාක බවට පත්වෙලා විපාක ශක්තියක් ආවා. විපාකය හිතක් නෙමෙයි, ශක්තියක්! “කර්ම ශක්තිය” කියලා අපි ඕකට කියනවා. කර්ම ශක්තිය, විපාක කර්ම ශක්තියක් ක්‍රියාත්මක වෙලා, නව චිත්ත වීථියක් නිපදෙවුවා. මෙන්න මේ චිත්ත වීථිය නිපදවන අවස්ථාවේදී අන්න, විපාක චිත්තයක් හටගැනීම හේතු වුනා. මොකද, කර්මයක් ආවේ පාප විපාකයෙන්. ඊට අනුකූලත්වයෙන් ඇවිදිල්ලා ඒකෙන් නිපදවපු චිත්තය … (පැහැදිලි නැත) …

 

    ජවනයක් පහලවෙන්න ඉස්සෙල්ලා, මූලික අවස්ථාවේ කිවුවා මරණාසන්න මොහොතක ක්‍රියාකාරීත්වය හැදෙන හැටි. දැන් මේ මරණාසන්න මොහොතක් එනකොට, ඒ මොහොතේ දී “නිත්‍යයි – සැපයි – ආත්මයි” කියන මේ දෘෂ්ඨියෙන් යුක්ත පුද්ගලයෙක් හිටියොත්, ඒ පුද්ගලයට මේ ලෝකේ හරීයට වටිනවා. මේ වටිනාකම ඇරිලා නෑ. ඒ වටිනාකම ඇරිලා නැති එකේ එක්තරා රටාවක් තියෙනවා, ප්‍රිය-මනාප දෙයක් ආවොත් “මහා වටිනා දෙයක්” කියලා ඒකට පැනලා දුවලා අල්ලාගන්නවා. විශාල උද්වේගයකට, උද්දාමයකට පත්වෙනවා. අප්‍රිය-අමනාප දෙයක් ආවොත් අර ඇලිච්ච තරමටම විරුද්ධ ගැටීමක් එතන මතුවෙනවා. වටිනා දෙයක් ලැබුණහම සතුටු වෙනවා, වටිනා දෙයක් බිඳුනොත් එහෙම? ඒ මට්ටමටම දුක් වෙනවා, සංවේගයට පත්වෙනවා.

 

    වටිනා දෙයක් අරගත්තොත්, කවුරුහරි ගෙනත් දුන්නොත්, සතුටු වෙනවා. කවුරුහරි බලෙන් අරන් ගියොත් එහෙම? හරී වේගයක් ඇතිවෙනවා. ගහගන්නවා, මරාගන්නවා, “දෙන්නේ නම් නෑ, මෙහට දියවු” කියලා කෑ ගහනවා මයි. නමුත්, ඔය කොහේ හරි තිබිච්ච මොනවා හරි කෝටු කෑල්ලක් එන ගමන් ඇවිදිල්ලා, නිකන් අතේ වන වනා එනවා, නිකන් ආවට-ගියාට, “ආහ්” කියලා කවුරුහරි ගෙනත් දෙනවා. “මොකද්ද මේ? මට මොකටද කෝටු කෑල්ලක්?” ඒක දුන්නා කියලා කිසිම විශේෂයක් නෑ. ඉතින් වෙනදා කිවුවා වගේ, “මේක ගන්නකෝ” කියලා දෙනවා, “මොනවා කරන්නද මේක? වැඩක් නැති ඒවා! හා…හා… කමක් නෑ ඉතින්, දෙන්න ම නේ ඕනේ, කෝ දීලා යන්නකෝ මෙහාට…” දෙනවාට ගන්නවා. කවුරුහරි කෙනෙක් “කෝ මෙහෙ දෙන්න මට ඕක” කියලා උදුරගෙන යනවා, ළමයෙක්. සද්ද නැතුව නිකං ඉන්නවා.

 

    මොකද, වටිනාකමක් නැති දේක උද්දාමයක්, ඇලීමක් නෑ. ඒක කැඩුවා කියලා, බින්දා කියලා, අරං ගියා කියලා ඒකේ ගැටීමකුත් නෑ. මෙන්න මේ වගේ, වටිනාකමක් ඇති රත්තරං කෑල්ලක් ගෙනත් දෙනවා, රත්තරං ආභරණයක් ගෙනත් දෙනවා. අද මේ ලෝකේ තත්වයට උපමාවක් ඔය කියන්නේ, “ආනේ… කවද්ද ගෙනාවේ? මටද ගෙනාවේ? අනේ… ඔයා!” කියලා මේක බදාගන්නවා, හරී සංතෝසයි. “ඕක මට දෙන්න” කියලා කවුරුහරි උදුරගෙන දුවනවා. කෑ ගගහා පස්සෙන් පන්නනවා. මොකද මේ? ඇලීමත්, ඒක නැති වෙනකොට ගැටීමත්, ඒකේ වටිනාකම අනුව තහවුරු වුනා, ද්‍රව්‍ය – වස්තු හින්දා නෙමෙයි.

 

    ඊට පස්සේ කෑ ගගහා ඉන්නවා ඒකත් එක්ක. “මට ගෙනත් දුන්නා ඒක, උදුරගෙන ගියා අහවල් එකා! ඕකා දැන් ඕක විකුණලා ඌ …. බොයි, ආයි නම් මට ඕක හම්බ වෙන්නේ නෑ. අනේ මගේ කරුමයක්!” ඔහොම කියලා අඬනවා, දුක් වෙනවා. කවුරුහරි කියනවා, “බය වෙන්න එපා, ඕක රත්තරං නෙමෙයි. මං ඔහෙව රවට්ටන්න ගෙනත් දුන්නේ, රෝල්ගෝල්” “හැබෑද? උඹත් එකයි, ඌත් එකයි. මට ඇති වැඩක් නෑ එහෙනම්…” දැන් අඬන්නෙත් නෑ, සද්ද නැතුව නිකන් ඉන්නවා. අන්න වටිනාකම බැස්සහම සිද්ද වෙච්චි දේ.

 

{00:03:56} : අවිජ්ජා පච්චයා සංඛාරා උප්පත්ති භවයට හේතු වෙනවා 

    මෙන්න මේ වගේ, බුදුරජාණන් වහන්සේට ලෝකයාගේ, මාරයාගේ පාක්ෂිකව, මාර පැත්තෙන් ඇවිදින් දුන්නා රත්තරං ගොඩක් ඒ වාගේ. ලස්සන රූප, ප්‍රිය ශබ්ද, ගන්ධ, රස, ස්ඵර්ශ, පංච කාමය ගෙනත් දීලා තිබුණා, මහා වටිනා, රත්තරං පරදන අප්‍රමාණ වටිනාකමක් තියෙන මිළක් දුන්නා. “හරී වටිනවා නේන්නම්” කියලා අරං ඉන්නවා. අරං ඉන්නකොට මොකද කරන්නේ? “ඕවා ඉමිටේෂන් බඩු, රෝල්ගෝල්, ඕවා රත්තරං නෙමෙයි” කියලා කිවුවා වගේ, “ඕවා අනිච්චයි, දුක්ඛයි, අනාත්මයි, කොහෙද නිත්‍ය, සැප, ආත්ම? හොඳයි කිවුවේ කෝකද? බලහංකෝ වෙනවද කියලා” කියලා, ඔය ගානට දුන්නා. අරගෙන බලපුහාම, “අනිත්‍ය නේන්නම්, දුක් නේන්නම්, අනත්ථ නේන්නම්, ඒක ඇත්තනේ! අනේ, මෙච්චර කල් හිතන් හිටියේ වටිනවා කියලා නේ” ලෝකෙම එපා වුනා. “ලෝකයේ කිසිම තැනක නිත්‍ය-සැප-ආත්ම දෙයක් නෑ කියන එක නේන්නම් ඇත්ත, මෙච්චර කල් රැවටිලා නේ හිටියේ, දැන් නෙවෑ ඒක දන්නේ” අන්න විද්‍යාව පහල වුනා.

 

    දැන් වටිනාකම බැස්සා. දැන් අර රත්තරං රෝල්ගෝල්ඩ් උනා වගේ, ලෝකෙම රෝල්ගෝල්ඩ් වෙලා වගේ. දැන් ලෝකෙටම ඇල්මක් නෑ. දැන් මොකද වෙන්නේ? මරණාසන්න මොහොතකදී ඔය ටික ආවා කියලා, අපි මේ ලෝකේ කෑල්ලක් නේ අරමුණු කරලා දුන්නේ. දැන් ඇලෙයිද? ගැටෙයිද? ඇලෙන්න දේකුත් නෑ, ගැටෙන්න දේකුත් නෑ. ක්‍රියාකාරී තත්වය “ජවන්” වලින් ගෙනල්ලා දෙනවා, ක්‍රියා කිරීම අධෛර්‍යය වුනාට. ගැටෙන්න ක්‍රියා කරන්නෙත් නෑ, ඇලෙන්න ක්‍රියා කරන්නෙත් නෑ. එහෙනම්, ඇලෙන පැත්තේ යම් උප්පත්තියක් තිබුණා නම්, ඒකට හේතුවෙන ජවනත් නෑ, ජවන ඵලය හීනයි. ගැටෙන පැත්තට, දුගතියට ගෙනියන යම් ආකාරයක ආපු දෙයක් තිබුණා නම්, දැන් ඒකත් හීනයි. එහෙනම් ඒ පැත්තට යවන්න විදිහකුත් නෑ, “ජවන්” නෑ.

 

    අන්න, ජවන දුර්වල වුනා. ජවන බලය දුර්වල වුනා නම්, ජවනය ගිහිල්ලා, 5 වැනි ජවනයට පස්සේ චුතියක් එනවා, පටිසන්ධියක් එනවා එතෙන ජවනයේදී, ඒකට බලයක් ලැබෙන්නේ නෑ ජවන බලවත් නැති නිසා. එහෙනම්, එයාගේ උප්පත්තිය දුගතියෙන් මිදෙන්නේ ඒකෙන්. විපාක අරමුණ ආවට කරන්න දෙයක් නෑ, “විපාකෝ කම්ම සම්භවෝ” කියන්න බලයක් නෑ. කර්මය එනවා, සංඛාර සම්භව කරන්න බෑ. කර්මය විතරක් ආවට උපද්දන්න බෑ. කර්මය සංස්කාර වුනොත් තමයි, “සංඛාර පච්චයා විඤ්ඤාණං” කියලා පටිසන්ධියක් ගෙනත් දෙන්නේ. “කර්ම පච්චයා විඤ්ඤාණං” කියලා පටිසන්ධියක් ගෙනත් දෙන්නේ නෑ. ඒ නිසා කියනවා, “අත්ථි උප්පත්ති භවෝ – අත්ථි කම්ම භවෝ” භව දෙකක් තියෙනවා, එකක් කර්ම භවය, එකක් උප්පත්ති භවය.

 

    අන්න, උප්පත්ති භවයට හේතුවෙනවා “අවිජ්ජා පච්චයා සංඛාරා” කියලා පටන් ගන්න පටිච්ච සමුප්පන්න ක්‍රියාදාමයෙන් ඇවිදිල්ලා, අර නිත්‍ය – සැප – ආත්ම කියන දෘෂ්ඨියෙන් බැහැලා යනකොට ඔය උප්පත්ති භවයට යන්නේ. අනිච්චයි – දුක්ඛයි – අනාත්මයි කියලා වැටහිලා ගියා නම්, “අත්ථි කම්ම භවෝ” කර්ම භවය කියන්නේ මේ භවයට විතරයි, ක්‍රියාවට විතරයි. උප්පත්ති භවය දැන් ශක්තියක් නෑ, එතනින් ඉවර වුනා. මරණාසන්න මොහොත වෙනකන් කරුමේ ගෙනත් දෙයි, විපාකෙත් දිදී, එයින් එහාට විපාකෙ තියෙන පංචස්කන්ධයක් පහල කරන්න හේතු වෙන්නාවූ ශක්තිය දීලා නෑ, පටිසන්ධි කරන්න විදිහක් නෑ. මොකද, උප්පත්ති භවයක් තිබුණොත් පටිසන්ධි ගෙනත් දෙනවා, “අවිජ්ජා පච්චයා සංඛාරා” කියලා ආවොත්.

 

{00:06:45} : මඟ ඵල ලැබූ පසු කර්ම භවය, උප්පතිති භවය ක්‍රියාත්මක වන හැටි

    “චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං” ඔය තව ක්‍රමයක්. “සංඛාර පච්චයා විඤ්ඤාණං” තව ක්‍රමයක්. “සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඤ්ඤාණං” අන්න තව විඤ්ඤාණයක් පහල වෙච්චි ක්‍රමයක්. “ඝානංච පටිච්ච ගන්ධේච උප්පජ්ජති ඝාන විඤ්ඤාණං” සංඛාර පච්චයා විඤ්ඤාණං ඒකේ නෑ. “ජිව්හංච පටිච්ච රසේච උප්පජ්ජති ජිව්හා විඤ්ඤාණං”, “කායංච පටිච්ච ඵොට්ටබ්බේච උප්පජ්ජති කාය විඤ්ඤාණං”, “මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඤ්ඤාණං”.

 

    චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාන විඤ්ඤාණ, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියන ඔය 6ම හටගත්තේ එක ක්‍රමයක් තුළින්. මෙන්න මේ ක්‍රමය රහතන් වහන්සේටත් තියෙනවා, ආර්‍ය පුද්ගලයාටත් තියෙනවා.

 

    “අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං” කියලා චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ පහලවෙන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය ආවොත් උප්පත්ති භවයට. “චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං” ආදී වශයෙන් හටගන්නාවූ චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ ආවේ කර්ම භවයට. වැඩ කරනවා, එච්චරයි! ජීවත් වෙලා ඉන්නකන් ඉරියවු පවත්වනවා. කර්මය නැත්නම් ක්‍රියාවත් නෑ, සංස්කාර නැත්තම් උප්පත්තියක් නෑ.

 

    එහෙනම්, කර්මය නැත්නම් ක්‍රියාවක් නැති නිසා ක්‍රියාවක් නැති අවස්ථාව තියෙන්නේ නිරෝධ සමාපත්තියට විතරයි. එහෙම නැත්නම් කර්මජ ක්‍රියාවලිය තියෙනවා, චිත්තජ ක්‍රියාවලිය ඉවරයි. එතකොට අනික් හැම වෙලාවකම කර්ම භවය ක්‍රියාත්මකයි. කර්ම භවය ක්‍රියාත්මක වෙනවා, උප්පත්ති භවය සඳහා ක්‍රියාත්මක වෙන බලයක් නෑ. අන්න මඟ ඵල ලැබුවහම සිද්ධ වෙන වෙනස.

 

{00:08:15} : පටිච්ච සමුප්පන්නව හේතු ගැලපෙන හැටි 

    ඒ “සංඛාර පච්චයා විඤ්ඤාණං” කියලා කියන එකයි, එතකොට අතන පෙන්වන “විඤ්ඤාණ පච්චයා නාම රූපං, නාමරූප පච්චයා සළායතනං, සළායතන පච්චයා ඵස්සෝ” කියන ස්ඵර්ශ කරන එක, “චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං, තින්නං සංගති ඵස්සෝ” කියන ස්ඵර්ශයයි දෙකක්. දෙ ආකාරයකින් ස්ඵර්ශ පහල වෙනවා.

 

    සංඛාර ප්‍රත්‍යයෙන් ඇවිදින් තව ඔතන ස්කන්ධ පහල වෙන එක ක්‍රමයක් තියෙනවා. අන්න ඒ ස්ඵර්ශය නිරෝධ කරන්න ඕනේ. “ඵස්ස නිරෝධා වේදනා නිරෝධෝ, උපාදාන නිරෝධා ඵස්ස නිරෝධෝ” අන්න ඒ නිරෝධ කරගෙන යන්නේ මොකද්ද, සංස්කාර පැත්තයි. ක්‍රියාව නිරෝධ කරන්න බැහැ. ක්‍රියාව නිරෝධ කරනවා නම් නිරෝධ සමාපත්තියෙදියි, ඒක ඉහළම තැනදී. නිරෝධය තීරණය වෙන්නේ, නිරෝධයෙහි තියෙන්නේ “සංස්කාර නිරෝධයයි”. සියලු ආකාරයේ නිරෝධයට සමවදිනවා නම්, නිරෝධ සමාපත්තියට සමවදිනවා නම්, සමාපත්තියට සමවැදුන අවධියේ සමාපත්තියේ ඉන්නකන් අර කර්ම නිරෝධයි. කර්මයක් ක්‍රියාත්මක නෑ.

 

    රහතන් වහන්සේ පියවිව ඉන්නකොට, දැනුම් සහගතව ඉන්නකොට, සංස්කාර නිරෝධයි. සංස්කාර නිසා හටගන්න විඤ්ඤාණයක් තියෙනවා. “සංඛාර පච්චයා විඤ්ඤාණං සංඛාර හේතුකං” සංස්කාර හේතුවෙන් හටගන්න විඤ්ඤාණයක් තියෙනවා නම්, සංස්කාර නැත්නම් ඒ විඤ්ඤාණය නෑ. “විඤ්ඤාණ පච්චයා නාමරූපං විඤ්ඤාණ හේතුකං” ඔන්න හේතු පටිච්ච සමුප්පාදය. ඔන්න ඔය පටිච්ච සමුප්පාද විභංගයේදී වෙන් වෙනවා.

 

පටිච්ච සමුපාදයේදී පටිච්ච වෙන හැටි පෙන්වනවා, හේතු වෙන හැටි පෙන්වනවා.

“සංඛාර පච්චයා විඤ්ඤාණං සංඛාර හේතුකං,
විඤ්ඤාණ පච්චයා නාම රූපං විඤ්ඤාණ හේතුකං,
නාමරූප පච්චය සළායතනං නාමරූප හේතුකං,
සළායතන පච්චයා ඵස්සෝ සළායතන හේතුකෝ,
ඵස්ස පච්චයා වේදනා ඵස්ස හේතුකං,
වේදනා පච්චයා තණ්හා වේදනා හේතුකං,
තණ්හා පච්චයා උපාදානං තණ්හා හේතුකං,
උපාදාන පච්චයා භවෝ උපාදාන හේතුකෝ”

 

    ඔතෙන්ට වෙනකන් හේතු එනවා, හේතු සම්බන්ධය. ඉතින් හේතුව බින්දොත්, “අවිජ්ජා පච්චයා සංඛාරා” කියන තැන අවිද්‍යා කියන හේතුව බින්දොත්, අවිද්‍යා ප්‍රත්‍යයෙන් යම් සංස්කාරයක් හටගන්නවා නම් දැන් සංස්කාර නිරෝධයි. සංස්කාර, ඒ අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත්ත සංස්කාරයන් ගෙන් යම් විඤ්ඤාණයක් හටගත්තා නම් දැන් ඒකත් නිරෝධයි. මොකද, හේතු නැති නිසා. සංස්කාරයෙන් හටගන්නාවූ විඤ්ඤාණයත්, ඒ හේතුවෙන් හටගන්න නාමරූපත්, ඒ හේතුවෙන් හටගන්න සළායතනත්, ඒ හේතුවෙන් හටගන්න ස්ඵර්ශත්, ඒ හේතුවෙන් හටගන්න වේදනාත්… ඔය ආකාරයෙන් ගිහිල්ලා ඔය හේතු පරම්පරාව නැති වෙනකන් නැති කරනවා. සංස්කාර හේතු නැතිකරපුහාම ඔක්කොම ඉවරයි.

 

{00:10:44} : උප්පත්ති භව නිරෝධ කළ රහතන් වහන්සේගේ කර්ම භවය

    සංස්කාර නිරෝධයෙන් පටන්ගෙන, සංස්කාරයෙන් හටගන්න ජාති නිරෝධය වුනා. සංස්කාරයෙන් හටගන්න ජාති තමයි “උප්පත්ති ජාති”. ඒක නිරෝධ කරලා දැම්මා. මෙන්න මේක තමයි පටිච්ච සමුප්පාද නිරෝධයෙන් කරන්නේ. හැබැයි, ජීවත් වෙලා ඉන්න රහතන් වහන්සෙත් යනවා-එනවා, කනවා-බොනවා, ඔක්කොම කරනවා, හැම වැඩක්ම සිද්ධ කරනවා, පාප පැත්ත නෙමෙයි, යහපත් පැත්තේ සියල්ල කරගෙන ඉන්නවා. මල-මුත්‍රා පහකරනවා, යනවා, අවශ්‍යය දේවල් හැමදෙයක්ම කරනවා. කතාබහ කරනවා, ඉරියවු පවත්වනවා, මේ ඔක්කොම කරනවා.

 

    මොනවයින්ද කරන්නේ? අන්න අර “කර්ම ජාති” වලින්. උප්පත්ති ජාතියට හේතු නැතුව ගියා. උප්පත්ති ජාතියෙන් වෙන් වුනා. මේක තමයි රටාව. එතකොට, නිරෝධ කළේ මොකද්ද? සංස්කාර ප්‍රත්‍යයෙන් හටගත්ත පටිච්ච සමුප්පාදය, නිරෝධ වුනා. නමුත්…

 

චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං,
තින්නං සංගති ඵස්සෝ,
ඵස්ස පච්චයා වේදනා,
වේදනා පච්චයා තණ්හා,
තණ්හා පච්චයා උපාදානං…

 

දැන් ඔතනදී යන්නේ, රහතන් වහන්සේට යනවා නම් ඕකේ වෙනස් පැත්තක්. මොකද, ඔය…

 

තින්නං සංගති ඵස්සෝ,
ඵස්ස පච්චයා වේදනා – කුසල පැත්තක්ම අල්ලගෙන මේක ආවේ.
“වේදනා පච්චයා තණ්හා” කියන එක වෙනුවට “වේදනා පච්චයා පසාදෝ”,
පසාද පච්චයා අධිමොක්ඛෝ,
අධිමොක්ඛ පච්චයා භවෝ,
භව පච්චයා ජාති.

 

    ඒ ජාතිය භවයට ඇවිදිල්ලා, භවය ලඟට මෙලොව දෙයක් ලබන්නාවූ ජාතිය, සත්පුරුෂ ජාතිය. මතු උපදින ජාතිය නෙමෙයි. ඒකට කියනවා “කර්ම භව”. අන්න, කර්ම භවය තුළ ජීවත් වෙනවා, හොඳ ඒවා කර කර. උප්පත්ති භවය කියන එක නිරෝධ කරපු නිසා උප්පත්තියට යන්න හේතුවක් නෑ. මෙලොව හොඳට ඉන්නවා. මල් පූජා කරනවා, පහන් පූජා කරනවා, බණ කියනවා, එහෙනම් ධර්ම දේශනා ඔක්කොම කරනවා, අනික් අයට අවවාද අනුශාසනා කරනවා, ඔක්කෝම කරගෙන ඉන්නවා. හැබැයි උපදින ඒවා නෑ ඒකේ.

 

    මොකද හේතුව? අර “අවිජ්ජා පච්චයා සංඛාරා” කියන ක්‍රමය ආවෙත් නෑ, “කුසල මූල පච්චයා සංඛාරා” කියන එක ආවෙත් නෑ, “අකුසල මූල පච්චයා සංඛාරා” කියන එක ආවෙත් නෑ. කුසල මූලත් නෑ, අකුසල මූලත් නෑ රහතන් වහන්සේලාට. එහෙනම්, ඒ දෙකෙන්ම හටගන්න සංස්කාර නෑ, ඒක නිරෝධයි.

 

    එහෙනම්, රහතන් වහන්සේට හටගන්නේ මොනවද? මෙලොව හටගෙන තියෙන විපාකය නිසා හටගත්ත ඇසත්, විපාක වශයෙන් ගෙනදෙන රූපයත්, විපාක වශයෙන් ඔය දෙකේ ඝට්ඨනය වීමෙන් ඔය නිසා හටගන්නාවූ “සෝපදිසේසය” තියෙනවා. “ස්ව + උපධි + ශේෂයි” අන්න ඒ නිසා හටගන්නාවූ මාත්‍රයක් තියෙනවා. මතු උප්පත්තියක් කරදෙන්න ඒක හේතුවෙන්නේ නෑ. නමුත් මෙලොව ජීවත් වෙන්න අවශ්‍යය කරන ඕනෑ කමක් තියෙනවා. අන්න ඒකේ “ආස්වාද මාත්‍රය” තියෙනවා. ඒ මාත්‍රය නිසා තමයි ඒ භව, මේ අර කියන වෙලාවේ උප්පත්ති භවයේ කර්ම භවය පවතින්නේ. කර්ම භව ගෙනදෙන පටිච්ච සමුප්පාද ක්‍රියාත්මක වෙන්නේ ඒකෙන්.

 

{00:13:33} : කුසල සංඛාරයන්ට අවිද්‍යාව උපනිශ්‍රය වන හැටි 

    එතකොට, මෙන්න මේකෙන් අපි එතන තේරුම් ගන්ට ඕනෑ, පටිච්ච සමුප්පාදයේ හේතු පෙන්නනකොට ඔය හැම වෙනසක්ම අපි දකින්න ඕනේ. එහෙම දැකලා තමයි එතනින් තේරුම් අරගන්න ඕනේ, මේ මොන පටිච්ච සමුප්පාදයද, මේ මේ ජාතිය පහල වෙන්නේ කුමන පටිච්ච සමුප්පාදයකින්ද? මෙලොව ජාති පහල වෙන්නේ මොන පටිච්ච සමුප්පාදයෙන්ද? මෙලොව පුන්‍ය ජාති, මෙලොව පාප ජාති පහල වෙනවා. සත්පුරුෂයා කියනවා, අසත්පුරුෂයා කියනවා. මෙලොවදී දකින්න පුලුවන්. සත්පුරුෂයා දකිනවා, අසත්පුරුෂයා දකිනවා.

 

    එතකොට, අකුසල මූල පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං කියලා ආපු … ගියොත් අසත්පුරුෂයෙක් පහලවෙනවා. කුසල මූල පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං කියන සිද්ධාන්තයේ ගියොත්, මෙලොවම සත්පුරුෂයෙක් පහල වෙනවා. ඒ මෙලොව තියෙන සත්පුරුෂ, අසත්පුරුෂ විද්‍යාමාන ජාතිය. සත්පුරුෂ දේව කායිකයෙක් වෙන්න, සත්පුරුෂ ගුණවතෙක් වෙන්න උප්පත්තියක් ලබන්න හේතු කාරකයෙක් පහලවෙන්න නම්, අන්න එතෙනදි පහලවෙන සංස්කාරයක් තියෙනවද, “අවිජ්ජා පච්චයා සංඛාරා” කියන එක වෙනුවට ආපු ක්‍රමය. මොකද එතන තියෙනවා, අවිද්‍යාව උපනිශ්‍රය වෙනවා.

 

    එතන තියෙන්නේ අවිජ්ජා පච්චයා සංඛාරා කිවුවම, අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වෙනවා කියනකොට, අවිද්‍යාව කියන පාප ධර්මය පුන්‍යාභිසංඛාරය සමඟ යෙදෙන්න බෑ. යෙදෙන ඒවට කියනවා “නිශ්‍රය ප්‍රත්‍යය”. මුක්කු ගහන ඒවට, නැත්තම් “උපස්ථම්භක” කියන්නේ ඒකට සම්බන්ධ කරන ඒවා. ඒවාට උපස්ථම්භක වෙන ප්‍රත්‍යයක් එනවා. එතකොට, අවිද්‍යාව “උපනිශ්‍රය ප්‍රත්‍යය” වෙනවා. උපනිශ්‍රය කියලා කියන්නේ, පැත්තක ඉඳලා ප්‍රත්‍යය දෙනවා, එකතු වෙන්න බෑ.

 

    ඒ නිසා කුසල හිතක හෝ, කුසල හිතක “කුසල මූල පච්චයා සංඛාරා” කියලා යෙදුනා නම්, ඒ සංස්කාර හදනකොට ඒ සංස්කාරයට අන්න පැත්තක ඉඳගෙන උපනිශ්‍ර ප්‍රත්‍යය ගෙනත් දෙනවා. එතකොට උපස්ථම්භක බලයෙන් උපනිශ්‍රය ගෙනත් දෙනවා. උපනිශ්‍රයෙන් ප්‍රත්‍යය ලබලා, ඒකෙන් හටගන්නවා පුන්‍ය සංස්කාරය. පුන්‍ය සංස්කාරයේ ඇතුළත් වෙලා තියෙන්නේ පුන්‍ය චෛතසික නම්, අවිද්‍යාව පාප චෛතසිකයක්. අවිද්‍යාව පසෙක ඉඳලා උපනිශ්‍රයක් ලබාදුන්නා, නිශ්‍රය වුනේ නෑ. නිශ්‍රය වුනොත් ඒ චිත්තය ඇතුලේ චෛතසික තියෙන්න ඕනේ. උපනිශ්‍රය කියන එක පැත්තක ඉඳලා දෙන රුකුලක් විතරයි, රුකුල ශක්තියක් ගෙන දුන්නා ඒ දේ හැදෙන්න.

 

    ජීවත් වෙන ආසාව තියෙනවා, ඒ ආසාවට පිනක් …(පැහැදිලි නැත)… පැත්තක ඉඳලා උදවුවක් දුන්නා. මෙන්න මේකට කියනවා “අනන්තර – සමනන්තර” කියන ප්‍රත්‍යය දෙකකින් මේකට උදවු දෙනවා කියලා.

 

    “අනන්තර” කියන වචනය “අතරක් නැතුව” කියලත් අදහස් ගන්නවා. අටුවාවෙදි විග්‍රහ කරනවා, ඕක “අතරක් නැති” කියන අදහස ගන්නවා. “අනන්තර” කියන එකේ අර්ථය ඕක නෙමෙයි. “අන්” කියන්නේ ආහාරයක්. “අන් තර්” කියලා කියන්නේ, ආහාරයක් යම් තැනක දිරවලා. ආහාරයක්, ආහාරයකට ගෙවුනොත්, අන් අන්තර වෙනවා. ඒක තමයි “නිශ්‍රය ප්‍රත්‍යය” කිවුවේ, නිශ්‍රය කරගන්නවා. ඒ චිත්තක්ෂණය ඇතුලෙන්ම තියෙන චිත්ත චෛතසිකයන්ට ඒක අඩංගු වෙනවා. ඔය සම + නන්තර ප්‍රත්‍යය වෙනවා, සම ආහාරයක්. ඒ වැඩේට අවශ්‍යය දේ කරන්න අවශ්‍යය කරන දෙයක් ඒකට අන්තර්ගතයක් ගත්ත එකෙන් මුක්කු දෙනවා. ඉතින් අනන්තර ප්‍රත්‍යයයි, සමනන්තර ප්‍රත්‍යයයි කියන ප්‍රත්‍යය දෙක, හැම චිත්තක්ෂණ 2ක් අතරක ම තියෙනවා.

 

{00:17:06} : කුසළ මූල, අකුසළ මූල ආනෙඤ්ජාභි පටිච්ච සමුප්පාද යන හැටි

    දැන් අපි බලන්න ඕනෑ, මේ ආකාරයෙන් අපි දැන් කියාපු විස්තරය එකින් එකට හේතු වෙන හැටි. හේතුව ඵලයක් වෙනවා, ඒ ඵලය තව එකකට හේතු වෙනවා. ඔය යන රටාව හැම එකකටම විග්‍රහ කරලා දැනගන්න ඕනෑ. කුසළ මාර්ගයක් හැදෙන්නේ කොහොමද, අකුසල මාර්ගයක් හැදෙන්නේ කොහොමද, ඒ වගේම හේතු-ඵල යෙදෙන්නේ කොහොමද, ආර්‍ය මාර්ගයට හේතු-ඵල යෙදෙන්නේ කොහොමද, මේ කාරණා දැනගන්න ඕනේ. පටිච්ච සමුප්පාදය කියලා හොයාගන්න ගිහාම ඔය කියන ක්‍රම රටාවල් මුලදී ඔක්කෝම ටික දැනගෙන තියෙන්න ඕනේ. දැනගෙන, ඊට අනුකූලව ඒක සකස් කරගන්න ඕනෑ, ඔය චක්‍රය යන හැටි.

 

    මේ “සංඛාර පච්චයා විඤ්ඤාණං” කියන වචනය අපි ඔය ආකාරයෙන් විග්‍රහ කළා. “කුසළ මූල පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං” මොන විඤ්ඤාණයද? කුසළ විඤ්ඤාණය. දැන් අපි මූල සිද්ධාන්තය දුන්නහම, ඒකට ගැබ් කරගෙන අපිට අවශ්‍යය දේ බලාගන්න ඕනෑ. අර, සංස්කාර පුන්‍ය වේද, විඤ්ඤාණය පුන්‍ය වේ. සංස්කාර අපුන්‍ය වේද, විඤ්ඤාණ අපුන්‍ය වේ. සංස්කාර ආනෙඤ්ජාභි වේද, විඤ්ඤාණ ආනෙඤ්ජාභි වේ. මේ රටාවක් තියෙනවා, බලන රටාවක්. “සංස්කාර පච්චයා විඤ්ඤාණං” කියන එකයි සිද්ධාන්තය. “පුඤ්ඤ සංඛාර පච්චයා පුඤ්ඤ විඤ්ඤාණං”, “අපුඤ්ඤ සංඛාර පච්චයා අපුඤ්ඤ විඤ්ඤාණං”, “ආනෙඤ්ජාභි සංඛාර පච්චයා ආනෙඤ්ජාභි විඤ්ඤාණං” අන්න කෑල්ල දාගෙන බලාගන්න හැටි. අවශ්‍යය වෙන කොටස දාගන්න ඕනෑ.

 

    එහෙනම්, “අකුසල මූල පච්චයා සංඛාරා” කියන එක විග්‍රහ කරනකොට, “අකුසල මූල පච්චයා අකුසල සංඛාරා”, “අකුසල සංඛාර පච්චයා අකුසල විඤ්ඤාණං”, “අකුසල විඤ්ඤාණ පච්චයා අකුසල නාම රූපං” දැන් ඔහොම යන්න ඕනේ රවුම. “අකුසල නාම රූප පච්චයා අකුසල සළායතනං” ආං එතකොට පටිච්ච සමුප්පාදයේ අර්ථය තෝරාගන්න පුළුවන්. “අකුසල සළායතන පච්චයා අකුසල ස්ඵර්ශ”, “අකුසල ස්ඵර්ශ පච්චයා අකුසල වේදනා”, ඉතින් එතකොට එතන එනවා, “අකුසල වේදනා”, “අකුසල තණ්හා”, අකුසල භව”, “අකුසල ජාති” ඔය යන ක්‍රමය.

 

    “කුසළ මූල පච්චයා සංඛාරා” කිවුවොත්, කුසළ මූල පච්චයා සංඛාරා කියන එක, “කුසළ මූල පච්චයා කුසළ සංඛාරා”, “කුසළ සංඛාර පච්චයා කුසළ විඤ්ඤාණං”, “කුසළ විඤ්ඤාණ පච්චයා කුසළ නාමරූපං”, “කුසළ නාමරූප පච්චයා කුසළ සළායතනං”, “කුසළ සළායතන පච්චයා කුසළ ස්ඵර්ශ”, “කුසළ ස්ඵර්ශ පච්චයා කුසළ වේදනා”… ඔය ක්‍රමයට යන්න ඕනෑ.

 

    ඉතින්, කුසළ කියන එක ලෝක සම්මතයේ ගත්තොත් පුන්‍ය කියන එක තමයි දැන් ඔය කුසළ කියලා කියන්නේ. නියම කුසළ නම් “ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයයි”. ඉතින් “පුන්‍ය සංඛාර පච්චයා පුන්‍ය විඤ්ඤාණං”, “පුන්‍ය විඤ්ඤාණ පච්චයා පුන්‍ය නාමරූපං”, “පුන්‍ය නාමරූප පච්චයා පුන්‍ය සළායතනං”, “පුන්‍ය සළායතන පච්චයා පුන්‍ය ස්ඵර්ශ”, “පුන්‍ය ස්ඵර්ශ පච්චයා පුන්‍ය වේදනා”, “පුන්‍ය වේදනා පච්චයා පුන්‍ය පසාදෝ“, “පුන්‍ය පසාද පච්චයා පුන්‍ය අධිමොක්ඛෝ“, “පුන්‍ය අධිමොක්ඛ පච්චයා පුන්‍ය භවෝ”, “පුන්‍ය භව පච්චයා පුන්‍ය ජාති” අන්න පුන්‍ය ජාතියේ උපන් කෙනා හොයාගන්න හැටි. පුන්‍ය ජාතිය එක්කලා උපන්නේ පුන්‍ය සංස්ඛාරය. අපුන්‍ය ජාතියේ උපන්න කෙනා අපුන්‍ය සංස්කාරයේ, ආනෙඤ්ජාභි ජාතියෙ උපන්න කෙනා උපදින්න්නේ ආනෙඤ්ජාභි සංඛාරයෙන්. ආනෙඤ්ජාභි සංඛාරය කියලා කියන්නේ අරූප සංස්කාර. අරූප සංස්කාරයකින් අරූප ජාතියේ උපදිනවා. ඒක ආනෙඤ්ජාභි ජාතිය.

 

{00:20:08} : විඤ්ඤානස්කන්ධයක අවස්ථා වෙන වෙනම සළකා බලමු

   දැන් හැම වෙලේම ජාතියක් පහලවෙන්නේ මොකෙන්ද කියලා හොයලා බලන්න ඕනෑ. ජාතියක් පහල වෙන්නේ සංස්කාරයෙන්, සංස්කාරයක් පහල වෙන්නේ අවිද්‍යාවෙන්. මෙලොව ජාතියක් පහලවෙන්න නම්, ඔය කියන අවිද්‍යාව බලපාන අවස්ථාවකුත් තියෙනවා. ඒ එක පැත්තක්. රහතන් වහන්සේගෙත් මෙලොව ජාතියක් තියෙනවා. “චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං…” ආදී වශයෙන් ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට ඒ ටික යනවා. ඉතින් පටිච්ච සමුප්පාදය ක්‍රියාත්මක වෙන රටාව එහෙම දැනගන්න ඕනේ.

 

    ඉතින් විඤ්ඤාණ පහල වෙනකොට, අන්න විඤ්ඤාණයක් පහල වෙන හැටි. “චිත්ත, මනෝ, මානස, හදය, පණ්ඩර, මනෝ මනායතන, මනේන්ද්‍රිය, විඤ්ඤාණය, විඤ්ඤාණක්ඛන්දෝ” අන්න විඤ්ඤාණ ස්කන්ධයක් වෙනකන් ආපු හැටි. දැන් ඉස්සෙල්ලාම “ආරම්මන විජාණන ලක්ඛනං චිත්තං” – අරමුණු දැනෙනවා විතරයි, තව ගත්තේ නෑ. මේ චිත්තක්ෂණයේ “උප්පාද” අවස්ථාව මේ කියන්නේ. දැන් මේ “විඤ්ඤාණ” විග්‍රහ කරන්නයි යන්නේ, “විඤ්ඤාණ” කියන එක විග්‍රහ කරන්න.

 

    විඤ්ඤාණයක් හැදීම ආරම්භ වෙනකොට, “චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං” ආදී වශයෙන් කිවුවත්, “සංඛාර පච්චයා විඤ්ඤාණං” කිවුවත්, විඤ්ඤාණයකදී ඉස්සෙල්ලාම තේරෙන්නේ, විඤ්ඤාණය පහල වෙනකොට, විඤ්ඤාණයේ මුලක් තියෙනවා. ඒක තමයි “චිත්ත” අවස්ථාව. “චිත්ත” අවස්ථාවෙදී අරමුණ දැනෙනවා විතරයි. “ආරම්මන විජාණනයක්” පමණයි තියෙන්නේ. එයින් එහාට තව හිත තෝරා ගත්තේ නෑ. ඒ හිත විසින්, ඒක හඳුනාගත්තේ නෑ, තව. මූල මාත්‍රයට ආවා. අන්න ඒකෙදී, මූල මාත්‍රය, “ස්ඵර්ශ, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මනසිකාර” කියන ඔය පොඩ්ඩ ඕකේ තියෙනවා, සර්ව චිත්ත සාධාරණ 7යි.

 

    එතකොට “ස්ඵර්ශ” කිවුවෙයි, එතන “වේදනා” කිවුවෙයි, මේ යම්කිසි හිතක් පහල වෙනකොට, ඒ හිත පහල වීමේ ආරම්භයේදීම ඇහැට රූපය ස්ඵර්ශ වෙනවා, කනට ශබ්දය ස්ඵර්ශ වෙනවා, දිවට රසය ස්ඵර්ශ වෙනවා, නාසයට ගන්ධය ස්ඵර්ශ වෙනවා, කයට ඵර්ශය ස්ඵර්ශ වෙනවා, මනට ධර්ම ස්ඵර්ශ වෙනවා. මෙන්න මේ “ස්ඵර්ශ මාත්‍රය” අරගෙන තමයි කිවුවේ “ස්ඵර්ශ චෛතසිකය” කියලා. ඒ ස්ඵර්ශ මාත්‍රය දැනගත්තත්, අන්න ඒකට කියනවා “වේදනා චෛතසිකය” කියලා එතන, ඒ ආරම්භක ස්ඵර්ශ මාත්‍රයෙන් දැනගන්න එකට, ඒ මාත්‍රයට, සංඥා චෛතසිකය එතන පහලවෙන්නේ ඒ දැනගත්ත, ස්ඵර්ශ මාත්‍රයෙන් දැනගත්ත දේ හඳුනා ගන්න එකටයි. එයින් එහා දෙයක් හඳුනාගත්තේ නෑ. ඒක හොඳද නරකද අඳුනන්නෙත් නෑ, ඒක කලුද සුදුද අඳුනන්නෙත් නෑ, එහෙම දෙයක් තව දැක්කෙත් නෑ ඒක. ඒක තව පහුවෙලා අඳුනගන්නේ.

 

    අන්න, මූලාරම්භයේදී දැනීම් මාත්‍රය දැනගන්නවා, දැනීම් මාත්‍රය හඳුනා ගන්නවා, වේදනා – සංඥා. ස්ඵර්ශ මාත්‍රය දැනගන්නවා, අන්න ස්ඵර්ශ මාත්‍රය කර්මජව හටගන්න කාලය. එතකොට, ස්ඵර්ශ, වේදනා, සංඥා. එතකොට, ඒ චිත්තය තනනවා. “චේතනා මාත්‍රය” වුනා. ඒකත් ඒ ස්ඵර්ශ මාත්‍රයෙන් හටගත්ත එක හදන චේතනා මාත්‍රය වුනා. “ඒකාග්‍රතා” එතන ඒකාග්‍ර කරලා තියෙනවා, එයින් මෙහාට තව ආවේ නෑ. “ජීවිතේන්ද්‍රිය” එතන ජීවත් කරවනවා. “මනසිකාරය” මනසින් මූලිකව දකිනවා. “ඉසිකාර” කරනවා කියන්නේ මනසින් නඟාගෙන යනවා.

 

    මෙන්න මේ කියන කාරණා, සර්ව චිත්ත සාධාරණ 7න් හටගත්ත පලවෙනි අවස්ථාව “චිත්ත”, චිත්තයක් විතරයි, සටහනක් විතරයි. සටහන් වුනා මිසක්, සටහනට අනුව බැහපු කිසිම තීරණයක් තාම නෑ චිත්තයක උප්පාද අවස්ථාවේ. ඔන්න ඔය අවස්ථාවට කියනවා “චිත්ත” අවස්ථාව කියලා.

 

{00:23:30} : පටිච්ච සමුප්පාදයේ විඤ්ඤාණයට වෙනකන් එන විදිහ පිළිවෙලට…

    දැන් ඔතනින් ගත්ත ගමන්ම සටහන මොකද්ද කියලා ඊලඟට, ඊලඟ චිත්තය් නිගමනය එනවා. ඔය චිත්ත ක්‍රියාවලිය එනවා නැඟිලා. “මොකද්ද මේ සටහන?” අන්න මැනගත්තා. “හා, රූපයක්. රූප සටහනක්” “මේ සබ්ද සටහනක්” “මේක ගන්ධ සටහනක්” “මේක රස සටහනක්” “මේ ස්ඵර්ශ සටහනක්” අන්න ගත්ත කොටස, දෙවෙනි වතාවට. මැන්නා, “මනෝ” වුනා. ඔන්න මනෝ කරගත්තා දැන්, චිත්ත – මනෝ වුනා. චිත්ත නැතිවෙලා මනෝ වුනා නෙමෙයි, චිත්තය ඉපදිලා, තව “තිථි” අවස්ථාව මේ ආරම්භ වුනා විතරයි. “භංග” වෙනකන් චිත්තය තියෙනවා, ඉපදුන චිත්තය. එතකන්, මේ මෝරන අවස්ථාව මේ යන්නේ. මනෝ වුනා, මැනගත්තා.

 

    මැනගත්තාට පස්සේ ඒකත් එක්ක හාද වුනා, සම්බන්ධ වුනා. අන්න ආයි සැරයක් චේතනාවක් පහල වුනා, “මානසං” වුනා. දෙවෙනි අවස්ථාවේදී පහල වුන චේතනාව. පළවෙනි අවස්ථාවෙදී චේතනාව පහල වුනේ අරමුණ දැනගන්න විතරයි. “ආරම්මන විජාණනයට” ඊට පස්සේ, විජාණනය කරගත්ත, හෙවත් දැනගත්ත අරමුණ පිළිබඳව මැනගත්ත දේට අනුව දැන් චේතනා පහල වුනා, චන්දය කරා වුනා. අන්න එතකොට කියනවා, “චිත්ත, මනෝ, මානසං” වුනා.

 

    ඊලඟ අවස්ථාවට එනකොට, දැන් මේක හිත බැඳගත්ත දෙයක් වුනා, හාද වුනා, හිතවත් වුනා එක එක, “හදයං” වුනා. අන්න තව අවස්ථාවක් බවට පත්වුනා. “හදයං” වුනාට, හාද වුනාට පස්සේ තමා ඒක ලොක්කා කරගත්තා. ඒක හොඳට බැඳගෙන පන්නරය තියාගත්තා. “පණ්ඩරං” වුනා. “හදයං, පණ්ඩරං” කිවුවේ ඒකයි. දැන් ඉතින්, හදාගත්ත මනසක් දැන් තියෙන්නේ, උපන් මනස නෙමෙයි මේ. චිත්තක්ෂණයේ “උප්පාද” අවස්ථාවේ තිබුණු මනස නෙමෙයි දැන් තියෙන්නේ, මැදක් වෙනකොට. අපි හාද කරගත්ත, අලුත් හදාගත්ත එක. දෘෂ්ඨියෙන් බැඳගත්ත එක. අන්න ඒකත් එක්කලා, ඒ දෘෂ්ඨිගතව හදාගත්තාවූ දේටම දැන් හාද වුනා, “හදයං” වුනා.

 

    එතකොට, “චිත්ත, මනෝ, මානසං, හදයං” වුනා, හදයං වෙලා තමයි පණ්ඩරය තියාගත්තේ. මනසින් චේතනා පහල කරගත්ත ගමන්ම ඒක එක්ක හාද වුනා, හාද වුනාට පස්සේ “හදයං” වුනා, ඊට පස්සේ පන්නරය තියාගත්තා, බලවත් කරගත්තා ඒක, දැඩි කරගත්තා.

 

    “මනෝ මනායතනං” දැන් අපි අලුතෙන් මැනගත්ත එකට, ආයතනයක් කරගත්තා. හදාගත්ත මනස ආයතනයක් බවට පත්කළා, තව ටිකක් දූෂ්‍ය වුනා.

 

    “මනේන්ද්‍රියං” ඒක අග්‍ර කරගත්තා, රජ කරගත්තා. තවත් දූෂ්‍ය වුනා. ආගන්තුග උපක්ලේෂ මේ එන්නේ.

 

    “විඤ්ඤාණ” අන්න ආවා, විඤ්ඤාණ කරගත්තා, ඥාණයක් කියලා දැන් අරගත්තේ, ඥාණ බවක් නෑ, “ඛ” කියලා ආවා.

 

    ඥාණයෙන් නම් ගන්නේ නෑ වැරදියට. “පබස්සර මිදං භික්ඛවේ චිත්තං” කියන තැනින් නවතිනවා මිසක්, මෙහාට එන්නේ නෑ. ඒ තත්වය ඉක්මවලා, දෘෂ්ඨිගත වෙලා, තමන්ගේ දෘෂ්ඨිය අනුව බැහැපු තීරණ, නිගමන, ආස්වාද ඔක්කොමත් අල්ලාගෙන ඇවිදිල්ලා, “දැන් ඒ ජාතියෙ එකක් නේ මේ තියෙන්නේ” කියලා නැති එකක් ඇති හැටියට ගත්තා, විඤ්ඤාණය!

 

    ඕක ගත්තට පස්සේ, ඔතන ඉඳලා ඇවිල්ලා, ඒකට අනුරූපය අතීත, අනාගත, වර්තමාන තුන් කල්හි ඇමිනිලා, සියුම් – ඝන ඇමිනුවා, දුර – ලඟ ඇමිනුවා, අමුනලා, ඒකට සම්බන්ධ කරලා, ඒකෙන් බලන්න පටන් ගත්තා ඔය ඔක්කොම බාහිර දේවල්. “විඤ්ඤාණක්ඛන්දෝ” වුනා.

 

    ඔන්න “සංඛාර පච්චයා විඤ්ඤාණං” කියන එක සිද්ධ වෙන රටාව. ඉස්සෙල්ලාම සිද්ධ වෙන්නේ ඔය රටාවට හැදිලා, ආගන්තුග උපක්ලේෂයන්ගෙන් කහට ගැන්විලා, ඔය විඤ්ඤාණ ස්කන්දයට වෙනකන් නැඟෙනවා. අන්න විඤ්ඤාණයට නැඟුනට පස්සෙයි දෙවෙනි වතාවට විඤ්ඤාණ ස්කන්ධයට යන්නේ. පටිච්ච සමුප්පාදයේ “විඤ්ඤාණං” කියන තැනට වෙනකන් ඔතනින් ආවා.

 

{00:28:48} : විපාකයෙන් දෘෂ්ඨිගතව පටිච්ච සමුප්පාද චක්‍රය ගොඩනැගෙන හැටි  

    අන්න, විඤ්ඤාණක්ඛන්දෝ වෙන්න ඉස්සෙල්ලා තමයි, “විඤ්ඤාණ පච්චයා නාමරූපං” වුනා. දැන් විඤ්ඤාණය යමකින් හැදුනද, ඒක ආහාරයකින් ජීවත් වෙන්න ඕනේ. ඒ විඤ්ඤාණය මොනවායින් ද ජීවත් වෙන්නේ? ඒ විඤ්ඤාණයට ඕනෑ වෙන්නේ මොනවද? ඒක යමකින් ද හැදුවේ, යම් දෘෂ්ඨියකින් ද ඒක හැදුවේ, යම් ලබ්ධියකින් ද ඒකේ බැඳුනේ, ඒ ජාතියට හැලපෙන, ඒ ජාතියට සම ඒවා ඒක ආහාර කරගන්නවා. හිතේ කෑම! විඤ්ඤාණයේ කෑම!

 

    අන්න, විඤ්ඤාණය කන්න හොයන්නේ මොනවද? නාම-රූප! ලෝකයේ ඊට අනුකූලව තිබෙන්නා වූ යම්තාක්, නිර්මාණය වෙලා මේ බාහිර ලෝකයට ගිය ඒවා, අභ්‍යන්තරයෙන් තව මතක් කරලා මතුකර ගන්න ඒවා හරි තියෙනවා නම්, ඒ හේතුවෙන් ඒවා ආහාරයට අරගෙන, නැවත වාරයක් බලවත් කරගන්නවා, විඤ්ඤාණ පරම්පරාව ඉදිරියට යන්න. අන්න, විඤ්ඤාණ පච්චයා නාම රූපං කියලා, එතනම චිත්ත චෛතසික වර්ධනය කරගන්නවා. ඒ චිත්තයත් වැඩුවා, චෛතසිකත් වැඩුවා.

 

    “නාම රූප පච්චයා සළායතනං” කියලා දැන් ඉතින් ඉන්න තැනක් හදාගත්තා. ඒකේ තමයි ඉන්නේ. හදාගත්ත විඤ්ඤාණය, අපිට ඕනෑ හැටියට දෘෂ්ඨියෙන් හදාගෙන, ඒකේ ජීවත් වෙනවා. ආයතනය කරගත්තා.

 

    දැන් ඒක ස්ඵර්ශ කරගෙන, හදාගත්ත ස්ඵර්ශයයි අපි විඳින්නේ, ලෝකේ දුන්න ස්ඵර්ශය නෙමෙයි. ලෝකේ දුන්න ස්ඵර්ශය අර “චිත්ත” හදන්න විතරයි. දැන් අපි විඳින ස්ඵර්ශය දෘෂ්ඨියෙන් හදාගත්ත එකක්. අන්න, “සළායතන පච්චයා ඵස්සෝ” කියන්නේ දෘෂ්ඨි ස්ඵර්ශයක්. අර ස්ඵර්ෂ චෛතසිකය, ආරම්භයේ තිබුන එක නෙමෙයි. අර ශුද්ධ චිත්ත අවස්ථාවේ තිබිච්ච චෛතසිකය නෙමෙයි, ස්ඵර්ශ චෛතසිකය නෙමෙයි මේ කියන්නේ. ඒක ඒ අවස්ථාවේ මළා. උපන්නා, නැති වෙලා ගියා, අතුරුදහන් වුනා. නව වශයෙන් හදාගත්ත චිත්තක්ෂණය දියත් කරගෙන, ආයතනයක් හදාගෙන, ඒකට ගත්තාවූ ඒ දෘෂ්ඨි ස්ඵර්ශය අරගෙන, දැන් අපි කියනවා “සළායතන පච්චයා ඵස්සෝ” කියලා.

 

    දැන් අපි විඳින වේදනාව මොකද්ද? විපාක වේදනාව නෙමෙයි දැන් විඳින්නේ, හදාගත්ත වේදනාව. ආයි උප්පත්තියට මෙහා, චිත්තයේ ආරම්භයේදී, අර “චිත්ත” කියන අවස්ථාව හදනකොට ලැබිච්ච ස්ඵර්ශ, වේදනා කියන චෛතසිකය නෙමෙයි මේ, ඒක එතන මළා, එතන ගෙවිලා ගියා. දැන් මේ “ඵස්ස පච්චයා වේදනා” කියලා ගත්තේ දෘෂ්ඨියෙන් ස්ඵර්ශ කරලා ගත්ත “දෘෂ්ඨි වේදනාව”

 

    මිත්‍යා දෘෂ්ඨිය යම් ආකාරයක් ද, දැන් ඒකේ තියෙන ස්ඵර්ශයේ වේදනාව ඒ ආකාරයි. දැන් ඒක කාමුක නම්, කාමුක වේදනාවක් නම්, ඒ කාමුක වේදනාව දෘෂ්ඨි වේදනාවක්, උරුම එකක් නෙමෙයි. උරුම වේදනාව “මෙබඳු හිතක්” ය කියන දැනීම විතරයි, “මෙබඳු හිතක්” කියන දැනීම විතරයි. නමුත්, මෙතන තියෙන්නේ එහෙම එකක් නෙමෙයි, කාම හිතක්. කාමයක් කියලා දැනගෙන, දැනගන්නවා. අන්න, “කාම දෘෂ්ඨිය” ආවා, “කාම වේදනාව”.

 

    දැන් එතකොට තමයි තණ්හා, “කාම තණ්හා” එන්නේ. “වේදනා පච්චයා තණ්හා” අන්න, දෘෂ්ඨිය නිසා කාමය ගත්තා නම්, “ඒක හොඳයි” කියලා ගත්තා නම්, ඒ චිත්තයේ හටගත්තාවූ ඒක අරගෙන ඉවරවෙලා, ඒ තණ්හාව හෙවත් එතන ඇලෙනවා. ස්ඵර්ශය නම්, ඒකේ වේදනාව ලබලා, ඒක තණ්හා කරගෙන දැන් ඒකේ ඇලෙනවා. අන්න, ඒකේ “උපාදාන” හෙවත් ඒකේ බැඳෙනවා.

 

    දැන් කාමයෙහි බැඳුනේ හදාගත්ත එකකින් මිසක්, ගෙනත් දුන්න විපාකයෙන් නෙමෙයි. ගෙනත් දුන්න විපාකයම ඉපදිලා, ගෙනත් දුන්න විපාකයෙන් දුන්න දේ අපේ තියෙන මුළාව නිසා අපිට ඕනෑ හැටියට හැඩගස්සාගෙන, වැරදි ආකල්පයකින් නිර්මාණය කරගෙන, ඒ නිර්මාණය කරගත්ත වැරදි නිර්මාණයේ දෘෂ්ඨියකට බැඳිලා, ඒකෙන් ලබන්නාවූ ස්ඵර්ශයත්, වේදනාවත් අරගෙන, ඒක තණ්හා – උපාදාන කරගත්තා. ඇළුනා, බැඳුනා.

 

{00:30:19} : දිට්ඨේ දිට්ඨ මත්තං – දැකීම දැකීම් මාත්‍රයක් පමණයි 

    දැන් ඉතින්, ගෙනත් දුන්න “භව” නෙමෙයි අපි ලඟ ඒකෙන් හදන්නේ, “උපාදාන පච්චයා භවෝ” කියලා කාම භවයක් හදනවා. “ආරම්මන විජාණනයක්” විතරයි ගෙනල්ලා දුන්නේ. අරමුණු දැනීමක් විතරයි විපාකය ගෙනල්ලා දුන්නේ. කාම භවය හදාගත්තේ අපේ දෘෂ්ඨියෙන්. එක චිත්තක්ෂණයක් තුළ ඔය ටික සිද්ධ වෙනවා. උප්පාද, තිඨි, වෙලා භංග වෙන්න ඉස්සර වෙලා. “භව” වෙලා, කාම ජාතිකයෙකුත් වෙලා ඉවරයි. කාමුකයා වෙලා ඉවරයි, එක චිත්තක්ෂණයක් තුළ! ජාතියක් පහල කළා. අන්න, මෙලොව පටිච්ච සමුප්පාදය.

 

    දැන් ඉතින්, මෙලොව පටිච්ච සමුප්පාදය එක චිත්තක්ෂණයක් පාසාම ඔය ක්‍රමයට වැඩෙනවා. ඔය අවස්ථාව, දැන් ඔය කිවුවේ වර්ධනය වෙන අවස්ථාව, එක ඒකෙත් මැදි ස්වභාවයක්. ඒකෙත් මධ්‍යස්ථය. ඕකත් විභංග කරනවා. ඕක විභංග කරලා, බෙදලා ගත්තොත්, පටිච්ච සමුප්පාද 4ක් ඔය අස්සේ යනවා. 4ක් ගිහිල්ලා තමයි ඔය ටික සම්පූර්ණ කරන්නේ. ගැඹුරට ගියොත් එහෙම තේරුම් ගන්න බැරුව යනවා, වටහා ගන්නම බැරුව යනවා. එක පාරට දාන්න බැහැ ඕක ඔලුවට.

 

    නමුත්, දැනෙන මට්ටමට ඔය ටික ගත්තහම දැනගත්තහැකි, චිත්තක්ෂණයක් පහල වෙලා, පටිච්ච සමුප්පාද චක්‍රයක් ක්‍රියාත්මක වෙලා යනකොට, එක චිත්තක්ෂණයක් ඇතුලේ, පහලවෙන අවස්ථාව ඉක්මවලා, දෘෂ්ඨිගත වෙච්චි එකකට බැහැලා අපි ගෙයක් හදාගෙන ඉන්න හැටි, භුක්ති විඳින හැටි, ජාතියක් පහල කරගෙන, නිර්මාණය කරගත්ත “දෘෂ්ඨි ජාතිකයා” පහල වෙන හැටි, පත්වෙන හැටි.

 

    62ක් මිත්‍යා දෘෂ්ඨි ඇරලා, සම්මා දිට්ඨි වෙනකන් අපිට ඔය හදන “චිත්තක්ෂණ ගේ” හදන්නේ නැතුව, ඕක ඇතුලේ විඳින්නේ නැතුව, ඇලෙන්නේ – බැඳෙන්නේ නැතුව ඉන්න බෑ. යම් මොහොතකදී අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියන මේ ධර්මතාවය වටහාගෙන, ඊට අනුකූලව දැකලා, ප්‍රඥාව වර්ධනය කරලා, ප්‍රඥාව තුළින් චේතනාව දෙවෙනි කරලා, ප්‍රඥාව බලවත් කරගත්තා නම්, ඒ වෙලාවෙදී විපාක චිත්තය ගෙනත් දෙන මාත්‍රය එනකොට, “පබස්සර මිදං භික්ඛවේ චිත්තං” කියන එකට එනවා.

 

    එහෙනම්, “ආරම්මන විජාණන ලක්ඛණං චිත්තං” කියලා පහල වුනා, ආරම්මන විජාණන ලක්ෂණය විතරයි එතන තියෙන්නේ. ඒ චිත්තයෙන් මෙහාට එන්නේ නෑ. ඒකට කියනවා, “දිට්ඨේ දිට්ඨ මත්තං, සුතේ සුත මත්ථං” – දැකීම දැකීමක් පමණයි, ඇහීම ඇහීමක් පමණයි.

 

{00:32:20} : තරහක් ආවම “තරහක්” කිය කියා ඉඳලා වැඩක් නෑ, ඇති වුනු හැටි දකින්න

    (ශ්‍රාවිකාවක් ප්‍රශ්නයක් අසයි, පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ): ඔවු, දැන් ඉතින් ඕකට අපි “ඇහීමක්, ඇහීමක්” කිය කියා ඉඳලා වත්, “දැකීමක්, දැකීමක්” කිය කිය ඉඳලා වත් මේක අරින්ඩ බෑ. අපි ඒක “ඇහීමක්” වෙන්නේ කොතනින්ද? “ඇහීමක්” බවට පත්වෙන්න වැඩ කරගන්න ඕනේ. “ඇහීමක්, ඇහීමක්” කියලා මේක හරියන්නේ නෑ. “දැකීමක්” නම්, “දැකීම දැකීමක් පමණයි” කියන තැන වැටහෙන්න වැඩ කරගන්න ඕනෑ.

 

    ඒ සඳහා කරගන්න ඕනෑ මොකද්ද? ප්‍රඥාව වඩන්න ඕනෑ. ප්‍රඥාව වඩනකොට, “දැකීම දැකීමක් මිස, ඉන් එහාට දෙයක් නෑ” කියලා වැටහෙනවා. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා දැනගෙන, අනිත්‍ය වෙන හැටි, දුක් වෙන හැටි, අනාත්ම වෙන හැටි විග්‍රහ කරනවා මිසක්, “ඇහීමක්, ඇහීමක්” කියලා හරියන්නේ නෑ. ඒ ඇහෙන දෙයක් තුළිනුත් අපිට පුළුවන් නම්, “මේ ඇහීමක් ආරම්භ වුනා, මොකද්ද මේ ඇහීම?” අත් හැරලා යන්න බැහැ, ඒක දකින්න ඕනේ. “ආස්වාදය” දකින්න ඕනේ, “ආදීනවය” දකින්න ඕනේ. “නිස්සරණය” ඒ අනුව යන්න ඕනෑ. “උදයංගමය, අත්ථංගමය” දකින්න ඕනෑ.

 

    “මේක උදා වුනේ මෙහෙමයි, කොහොමද මේ බණින්නේ? ඇයි මේ බණින්නේ? මොකද්ද එතන සිද්ධිය? ද්වේෂ චිත්තය නැඟිලා, නැත්තම් ද්වේෂ විඤ්ඤාණයක් පහල වෙලා, ද්වේෂයෙන් කරන්නාවූ ඒ වැඩ පිළිවෙල එතන ක්‍රියාත්මක වෙන හැටි නේ ඔය, ඔය ටික කරන්නේ, තරහා ආපුහම හැටිනේ!” කාට හරි තරහා ආවොත්, ඔය විදිහට බණින මට්ටමට නිකං ඉන්න බැරුව, බණින මට්ටමට වර්ධනය වුනා නම් ඒ තරහව, හිරවෙලා, පිට වෙලා, හරියට අර මේ දෙගොඩ තලා යනවා වාගේ මේක හිරවෙලා ඉන්න ඉඩ මදි වෙලා, වචනයෙන් පිට කරන මට්ටම නේ ඔය ආවේ. ඔය මට්ටම කාට ආවත් කවුරුත් ඔහොම නේ, ආවොත් එහෙම.

 

    ඊට පස්සේ නැත්තම් අල්ලගෙන ගහනවා, කාටහරි. “ආ, ද්වේෂය නේ…” දැන් උස්සන්න පටන් ගත්තා එහෙන් – මෙහෙන්, එහෙම මදි, දැන් පිටාර ගලනවා, වැඩි වෙලා. කයත් ක්‍රියාත්මක වෙලා. “ඔය පොලු අරගෙන දඟලන්නේ, ඔය පිහි අරගෙන දඟලන්නේ, මොකද මේ? ද්වේෂය පිටාර ගලලා, මහා විසාල පිටාරයක් ගිහිල්ලා” ඒ ද්වේෂයේ හැටි. ඉතින්, “ඔය ද්වේෂය මට එන්න තිබුණා නම් එහෙම, අනන්ත සංසාරයේ මටත් ආවා නම්, මමත් ඔහොම ඉඳලා තියෙනවා නේ, කවදා හරි ඕක කරලා තියෙනවා.” මොකද, ඔය පිටාර නොගලපු කෙනෙක් නෑ. අනන්ත සංසාර ගමනේ එනකොට ද්වේෂය පිටාර ගලපු අය කොච්චරද? කවුද එහෙම නැති කෙනෙක් ?

 

    බෝසතාණන් වහන්සේටත් ද්වේෂය පිටාර ගලලා ඇවිදිල්ලා මිනිහෙක් ගෙ කොන්ද කැඩුවා, තමන්ගේ සහෝදරයා ගලකින් පහළට තල්ලු කරලා, ගලකින් ඔලුව පොඩි කරලා මැරුවා….. ද්වේෂය පිටාර ගලලා. ඉතින්, අපිට කොහෙද පිටාර ගලන්නේ නැත්තේ? අපිට අනන්ත පිටාර ගලලා නැතැයි, මේ එනකොට! ගත්තා පොල්ලක්, ගැහුවා. අත දිග ඇරියා, ගැහුවා කනට. ද්වේෂය පිටාර ගලලා. උතුරන්න පටන් ගත්තම බණිනවා. පිරිලා එන මට්ටමට හිටියොත්, පැහැව පැහැව ඉන්නවා හිත ඇතුලේ තියාගෙන.

 

    ඉතින්, අපි දැනගන්න ඕනෑ “මේ ද්වේෂයක්” කියන එක. “ද්වේෂයක්, ද්වේෂයක්” කියලා වත්, “ගැහීමක්, ගැහීමක්” කියලා වත් බෑ මෙතෙන්ට. මේ මොකක් වෙලාද මේ? මේ වර්ධනය වෙච්ච හැටි නේ. මේ ද්වේෂයේ ලක්ෂණය මේකයි නේ. ඒක දකින්න ඕනේ. ඉතින් එතකොට අපි, “කොහොමද මේක හටගන්නේ?” “සංඛාර පච්චයා විඤ්ඤාණං” ආං ඔතෙන්ට කැරකිලා එනවා. “අවිජ්ජා පච්චයා සංඛාරා”, එතකොට ද්වේෂයම විතරක් නෙමෙයි, මෙතෙනදී ආවා ඒ විදිහට, ඒ සංඛාරය. “සංඛාර පච්චයා විඤ්ඤාණං” ද්වේෂ විඤ්ඤාණයක් නැඟුනා. “විඤ්ඤාණ පච්චයා නාම රූපං” ඒ ද්වේෂ විඤ්ඤාණයේ, ද්වේෂ සහගත නාම රූපය බැහැගත්තා. එතකොට, “නාමරූප පච්චයා සළායතනං” වෙලා තියෙනවා ඕක, මොකද්ද? ඇස, කන, දිව, නාසය, ශරීරය, මන කියන ඔක්කොම ද්වේෂ ආයතන බවට පත්කරගෙන. වෙන එකක් ඒකේ බැඳෙන්නේ නෑ දැන්, කවුරු කිවුවත් අහන්නේ නෑ. “හොඳ වැඩ විතරක් කරන්න” කිවුවොත්, හොඳ කුණුහරුපයක් කියලා ඌවත් පන්නනවා “උඹේ ලොකු කම උඹට, මට උඹව ලොකුකමක් නෑ” කියලා. මේ ….. දෙකට නැමිලා ඔලුව පාත් කරන මනුස්සයාටත් එහෙම කියනවා, තරහ වැඩි වුනහම.

 

    මොකද මේ? ඒ ආයතනය ද්වේෂ දේවල් බහිනවා මිසක්, හොඳ දේවල් බහින්නේ නෑ. තරහෙන් ඉන්න වෙලාවට, බැන බැනා ඉන්න වෙලාවට බණ කියලා වැඩක් නෑ කියන්නේ ඒකයි. ඒක නිවලා ඕනේ බණ කියන්න. ඒ ද්වේෂ චිත්තයට බණ ඇහෙන්නේ නෑ. දූෂ්‍ය චිත්තයට බණ අහන්න බෑ. ඒකේ බහින්නේ දූෂ්‍ය දේවල්. නාම රූප ඒකයි. ඉතින් මොනවද මේකේ තියලා තියෙන්නේ? නාම රූප. “අර තියෙන්නේ අතේ පොල්ලක්” දැක්කා පොල්ලක්, “අරූට ගහන්න මේක ගන්න ඕනෑ” මොනවද බැහැලා තියෙන්නේ? දඬුවම් කරන ආයුධයක් පිළිබඳ නාම රූපය හිතට බැහැලා, “නාම රූප පච්චයා සළායතනං” හෙවත් ආයතනය පහල වුනාට පස්සේ දැන් ආයතනය හම්බ වෙලා, පොල්ල අතේ. නැත්නම් කඩුව, කිණිස්ස, පිස්තෝලේ අතේ. නාම රූප බැහැලා, සළායතන බැහැලා.

 

    “සළායතන පච්චයා ඵස්සෝ” දැන් ඉතින් ඔය ස්ඵර්ශය තියෙන්නේ. කඩුවේ ස්ඵර්ශය, පොල්ලේ ස්ඵර්ශය, ලොකු කරලා ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ, “ඵස්ස පච්චයා වේදනා” ඔය තියෙන්නේ වේදනාව. මොකද, දූෂ්‍ය වේදනාව. කෑ ගහනවා, දඟලනවා, දත්මිටි කනවා, මොකෙන්ද මේ? වේදනාවෙන්. දූෂ්‍ය වේදනාවෙන්. “වේදනා පච්චයා පටිඝං” පටිඝය නැගිලා, බැඳිලා, ඒකෙන් දැඩි වෙලා එන්නේ. එහෙනම් ඇවිල්ලා තියෙන්නේ පටිඝය, “පටිඝ පච්චයා අධිමොක්ඛෝ” මුදුන්පත් වෙලා, ඔය ගහන්නේ පොල්ලකින්, ඉන්න බැරුව. අධිමොක්ඛ වෙලා, “අධිමොක්ඛ පච්චයා භවෝ” මොකද්ද? ප්‍රිය ස්වභාවයක ඉන්නේ නැති දූෂ්‍ය පුද්ගලයා, මිනීමරුවා, දැන් දූෂ්‍ය පුද්ගලයෙක් වුනා, “භව පච්චයා ජාති” මිනීමරුවා. “ඔවු, මිනී මැරුවා”, දැන් කවුද? ජාතිය පහල වෙලා!

 

{00:37:31} : බලාපොරොත්තු දැකලා ඒවායේ අසාරත්වය සිහි කරන්න 

    අන්න බලාගෙන ගියා ද්වේෂය. දැන් මේ මොකද්ද බැලුවේ? අපි දැන් “ආදිය” බැලුවා, “නව” බැලුවා. ආදිය මොකද්ද? “අවිජ්ජා පච්චයා සංඛාරා” නව මොකද්ද? “භව පච්චයා ජාති” ආදිය බැලුවා, නව බැලුවා, “ආදීනව” බැලුවා. දැන් ඉතින් මොකද්ද කරන්න ඕනේ? ඕක නිශ්‍රය කළොත් මටත් ඔච්චරයි, ඔය ධර්මතාවය මිසක් වෙන එකක් ඕකේ ක්‍රියාත්මක වෙන්නේ නෑ, ඔය ධර්මතාවය මං ලඟ තිබුනොත්, මට සිද්ධ වෙන්නෙත් ඔය ජාතියෙම එකක් කරලා මිනීමරුවෙක් වෙන්න. එහෙනම්, මං මොකද කරන්න ඕනේ? ඔය “නිස”, “ආනිස” කරන්න ඕනෑ. “අනිශ්‍රය” කරන්න ඕනෑ. මම “අනිශ්‍රය” අංශයට බහින්න ඕනෑ. “ආනිස අංසයට” බහින්න ඕනෑ.

 

    එහෙනම්, ආදීනව දැක්කට පස්සේ ආනිස අංසයට බහිනකොට කියනවා, “ආදීනව” දැක්කා, “ආනිසංසයට” බැස්සා කියලා. ආනිසංසය මොකද්ද? ඔය අවිද්‍යාව තියෙන නිසා හටගන්න සංස්කාරය, ඕක හටගන්නවා. ඕකේ තියෙන්නේ නිත්‍ය ස්වභාවයක් මයි කියලා උදාවූ දෘෂ්ඨිය නිසා වටිනවා කියන ලෝකයක් හදාගෙන, ඒ දේ බලාපොරොත්තු වෙලා, “මේක නිත්‍ය සේ පවතීවා! සැප සේ පවතීවා! මං කැමති සේ පවතීවා! මට ඕනෑ හැටියට පවතීවා! එහෙම නම් නොවෙන්න මම ඉඩ දෙන්නෙම නෑ” කියලා එතන ගැටීමක් හටගත්තා. අන්න, අවිද්‍යාව නිසා හටගත්ත ඊලඟ අවස්ථාව, සංස්කාරය. පටිඝ සංස්කාරයක් හටගත්තා.

 

    ඉතින්, මම දන්නවා. මේ සංස්කාරයේ “ආදිය” ඔතනයි. ඔය මග ගියොත්, “නව” මෙතනයි. එහෙනම් ආදීනව දැකලා ඉවර වුනාට පස්සේ කල්පණා කරනවා, “අප්පච්චියේ, මේකේ ගියොත් විනාසයි!” මෙලොවම පේනවානේ අපාය, මේ ගින්න මෙලොව ම පේනවා නේ. ගිණි මාධ්‍යය පේනවා නේ. මොකද්ද කරන්නේ එහෙනම් මං? අවිද්‍යා නිරෝධ කළොත්, සංස්කාර නිරෝධයි. මට කරන්න තියෙන්නේ එකම දෙයයි, මේ අවිද්‍යාව තෝරගත්තහම කියනවා, “නිත්‍යයි, සැපයි, ආත්මයි” කියන මුලාව නිසයි මේකේ මුලා වෙන්න පටන් ගත්තේ.

 

    එහෙනම්, ඔය ප්‍රිය මනාප වස්තුවක් නැති වෙලාවෙ ගැටුනේ, ඒ ප්‍රිය-මනාපයි කිවුව වස්තුව මොකද්ද? යම්කිසි වස්තුවකට ප්‍රිය මනාපයක් තිබුණා නම්, බලාපොරොත්තුවක් තිබුණා නම්, ඔය බලාපොරොත්තුව නෑ නේ මට, කියලා ඉන්නකොට ගැටීම ආවෙ නෑ. එහෙනම්, අන්න ඒ බලාපොරොත්තුව නිත්‍ය නෑ, සැප නෑ, ආත්ම නෑ, අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. එහෙනම්, මම… මං ලඟ තියෙනවද ඒ කෑල්ල? යමෙක් ඒ බලාපොරොත්තු වෙන ඒ රණ්ඩුවට මුල්වෙච්ච කාරණය බලපුහාම, මොනවා කරලද මේ කරලා තියෙන්නේ? මගේ වත්තේ වැට පොඩ්ඩක් එහාට කරලා. දැන් බලනවා, මොකද්ද මේ වුනේ? වටිනා දේ මොකද්ද?

 

    මගෙ වත්ත! අන්න “මගේ වත්ත” කියන එක ආවා. “මගේ වත්ත” කියන ආස්වාදය මේ නිත්‍ය, සැප, ආත්ම වස්තුවක් විදිහට පරිහරණය කරන්න බැලුවා. කැඩෙන, බිඳෙන, විනාස වෙන දෙයක්, කඩන, බිඳින, විනාස කරන දෙයක්, හොරු පැහැරගන්න දෙයක්, මේවගේ උරුම කරපු වස්තුවක්, ලෝකේ තියෙන්නේ, බල්ලන්ගේ මස් කට්ට වාගෙ එකක්, උකුස්සන්ගේ මස් කැටිය වාගෙ එකක්. මේකට ඉතින් සත්තු පොරකනවා, දඟලනවා. ඒ වගේ මේ “මගේ වත්ත” කිවුව, “මගේ ඉඩම” කිවුව තැනට පොරකනවා. ඕකත් උදුරා ගන්න තමයි හදන්නේ. දැන් මං මේක දැනගනත් මට මොකද වෙන්නේ? අන්න, අර ආදීනවය දැක්කහම පේනවා, මට යන්න වෙලා තිබුණේ කොහාටද? අපාගත පැත්ත බලන එක ලඟට.

 

    මම ඕක භජනය කරලා හිටියොත් එහෙම, මම එහෙම හිටියොත්, “මගේ වත්ත” කියලා මමත් හිටියොත්, ඒකාන්තයෙන් ඔය වැට ඉන්න එහාට කරනකොට මටත් ඕක වෙනවා නේ. එහෙනම්, “මගේ වත්ත” කියන එක අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා මං මෙනෙහි කරනවා, කියලා දැනගත්තහම මොකද්ද වෙන්නේ? අන්න අවිද්‍යාව කැපුවා, පහ කරනවා අවිද්‍යාව. “කඩනවා නම් කඩපුවාවේ, ගෙනියනවා නම් ගෙනිච්චාවේ, තියෙනවා නම් තිබුණාවේ, ඉන්න හැටියට ඉන්නවා, ඔය වැඩේ කරන්න කියලා අදහස දාගන්නයි මේ, ඔය සුලුවෙන් නෙමෙයි තියෙන්නේ. ඔය හදාගන්න පාපකර්මය මම කල්ප ගණනක් විඳින්න ඕනෑ. ධර්මය මට තේරෙනවා, ධර්මය විශ්වාස කරනවා. එහෙනම්, මම කවදාවත් මේ අත්බැවේ, මෙතන ඉඳලා මේ අවුරුදු 50ක්, 100ක් ගිහිල්ලා මැරිලා ගියාට, මෙයින් කෙළවර වෙන්නෙත් නෑ, මේ සැරේ කරගන්න දූෂ්‍යතාවය මට කල්ප ගාණක් දුක් විඳින්න ඇති. අප්‍රමාණ කාලයක් දුක් දෙනවා, මේක අවිද්‍යාව නිසා මේ පේන්නේ නැති කම තියෙන්නේ. ඒ නිසා අපි, මේ මේ පොඩි කාලෙට ඉඳලා, කල්ප ගාණක මහා දුක් විඳින්න, මේවායෙ ඔක්කොම අහිමි වෙලා, දාලා ගිහිල්ලා දුක් විඳින්න තියෙන දෙයක් මං මේ පෙනි පෙනී තියෙද්දී, මේක හොරු අරං ගියත් එකයි මට, ගිණි තිබ්බත් එකයි, මේක ඔලුවට අරගෙන නම් මම ආයේ සැරයක් දූෂ්‍ය වෙන්නේ නෑ, අර කල්ප ගාණක විනාසය කරගාන්නේ නෑ” කියලා ධර්මානුකූලව දැකලා හික්මෙනවා. අන්න ධර්මය තුළින් දැක්කහම වටිනාකම.

 

    ඊට පස්සේ, “තියෙනවා නං තිබිච්චාවේ, ගෙනියනවා නං ගෙනිච්චාවේ, ගේ ගන්නවා නං ගත්තාවේ, ඉන්නවා නම් හිටපුවාවේ, මෙලොව ජීවත් වෙලා ඉඳලා පවු කරගෙන, කල්ප ගාණක් අවීචියේ උපදින්න, නැත්නම් නරකයේ උපදින්න හේතු වෙන වැඩ මං කරගන්නේ නෑ, වැඩක් නැති දූෂ්‍ය තාවයට පත්වෙන මේ සංසාරේ අනාථ වෙන්න, අතරමං වෙන්න මට ඕනේ නෑ, අනන්ත අප්‍රමාණ සංසාරේ ඉඳන් ආපු මේ අනාථ, අනන්ත ගමන අද ඉවර කරගන්න ශ්‍රී සත්ධර්මය බුදු පියාණන් වහන්සේගේ ධර්ම මාර්ගය තුළින් ආවා, ලැබුණා. කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය මට ඒ කාරණා නුවණින් මෙනෙහි කරලා මම ඕකෙන් මිදෙනවා, මගේ මේ ජීවිතය වත් රකින්න මං බලාපොරොත්තු වෙන්නෑ, මගේ ජීවිතෙත් කාපුවාවේ! ඕන්නම් මේ මස් – ලේ හූරාගෙන කාපුවාවේ, ඇට ඕන්නම් ඇටත් කාපුවාවේ! මම ද්වේෂයක් ඇතිකරගන්නේ නෑ. අවුරුදු 40ක්, 50ක් තව ඕන්නම් මේක තියෙයි, වැඩිම කල්. ලෙඩ වෙවී, දුක් වෙවී, බඩගිණි වෙවී, කුණු වෙවී තියෙයි. හෝද හෝදා, ප්‍රතිකර්ම කර කරා තව අවුරුදු 40ක්, 50ක් ඕන්නම් මේක තියාගෙන හිටියහැකි. එයිට වඩා කොච්චර හොඳද ඉවර වුනහම! ඉවරවෙන්න ඉතින්, ධර්මය කියන්න මම ඕනේ නෑ, බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා තව තවත් ලෝකයේ අය ධර්මය අනුව හැරෙයි, ඒවායින් මිදෙයි, මට තියෙන්නේ ඒ ධර්මය අහලා මිදෙන එකයි. එහෙනම් ඉතින්, ඇට ටික කනවා නං ඇට ටික කාපුවාවේ! ලෙඩ වෙනවා නං ලෙඩ වෙලා කුණු වෙච්චාවේ! කුණු වෙලා පණුවෝ ගහනවා නං පණුවෝ ගහපුවාවේ! මට ඇති ප්‍රශ්නයක් නෑ, මේක ඉක්මණින් ඉවර වෙච්චි දාට ඔය දේකින් කරගන්න දෙයක් නම් වෙන ඇත්තේ නෑ. මේ ධර්මය අවබෝධ කරලා නැවත මේ …….. ඒ ධර්මය, මේ දහම පිළිබඳ අද අවබෝධ වුනා නම්, දැන් ඉතින් මෙයින් එහාට මට ඕනේ නෑ. …..දනවුවට යන්න මඟක් නැති බව ධර්මයෙන් දැක්කා” අන්න, ඒ කරලා අවිද්‍යාව දුරු කළා, විද්‍යාව පහල කළා. දැන් …….

 

{00:42:43} : මුලාවෙන් ගත් දෘෂ්ඨියක ඇති වරද වැටහෙන්න, අසාරත්වයම සිහි කරන්න 

    මෙතෙන්ට ආවට පස්සේ “පෙනීමක්, පෙනීමක්” කියන්න ඕනේ නෑ, “දැනීමක්, දැනීමක්” කියන්න ඕනේ නෑ “රිදෙනවා, රිදෙනවා” කියන්න ඕනේ නෑ, මොකුත් නෑ එතන ඉඳන්. “රිදෙනවා රිදෙනවා” කියන්න ගියොත්, රිදෙන්නේ මොකද බලන්න ඕනෑ. “ඇහෙනවා ඇහෙනවා” කියනකොට, ඇහෙනවා කියන්නේ මොකද්ද? “දූෂ්‍ය හිතක්, දූෂ්‍ය හිතක්” කියනකොට, දූෂ්‍ය හිතක් කියන්නේ මොකද්ද? ආදීනව බලන්න ඕනේ, ආනිසංස බලන්න ඕනේ. මෙන්න ආර්ය මාර්ගය! මෙන්න මේ මාර්ගයේ අරගෙන ගියොත්, වැඩි කල් යන්න ඉස්සෙල්ලා ඔතනින් මිදෙනවා. මේක අනිත් අයට පුදන්න බෑ, ගුරුවරයා ධර්මය, කළ්‍යාණ මිත්‍රයෙක් ගෙන් අහගත්ත දාට.

 

    “අනේ බලන්නකෝ, මට හරි කරදරයි නේ!” “ඉතින් මට කියන්නේ මොකටද?” උත්තරය ඔච්චරයි. “හරි වැඩේනේ මට වුනේ, හරි කරදරයි නේ, මොකද කරන්නේ?” “ඉතින් මට කියලා වැඩක් තියෙනවැයි ඒක? ලෝකේ හැටි ඔහොම නේ. ඉතින් මොකද්ද මං කරදර නං කරන්න කියන්නේ? මං නෙමෙයි, බුදුරජාණන් වහන්සේ මොකද්ද දේශනා කළේ? මොකද්ද ධර්මයේ ඉගෙනගත්තේ?” කරදර, කරදර කියන එක දැනගන්න එක. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි, කැඩෙනවා, බිඳෙනවා, බල්ලන්ගේ මස් කටු වාගෙ, උකුස්සන්ට අහු වෙච්චි මස් කැටි වාගේ, ඉතින් ඕවට කරදරේ නේන්නම් ඇලුනහම!

 

    කරදරේ නැති කරන්න මොකද්ද කරන්න ඕනේ? බලු ගූ ගොඩේ ගඳ අරින්න පුලුවන් යෑ? ඒ වගේම ලෝකේ කරදර අරින්න පුලුවන් යෑ? කරදර එයි ඉතින්, මගේ මොකද? ඔන්නම් ඉතින් වැඩිම කරදරේ මොකද්ද? මගදී ගහලා, ඔලුව පළලා මරලා දායි. එතකොට පොඩ්ඩක් අඩුවෙයි, මගේ මොකද? මොනවා කරන්නද? එහෙම වෙන දේකට ඒක වුනා මිසක්, වෙන එකකට ඒක වුනා යෑ? ඉතින් ඕක රැක රැකා ඉන්න ගියොත් එහෙම, මස් කටු වලට පොරකන බල්ලෝ වාගේ මටත් සිද්ධ වෙනවා මේ අනන්ත සංසාරේ තවත් අනාථ වෙවී, මේ ලැබුණු වටිනා අවස්ථාව අත්හැරලා, අර විනාසයට යන්න.

 

    එතකොට, හේතු – ඵල න්‍යාය තුළින්, මෙබඳු හේතුවක් නිසයි මෙබඳු ඵලයක් එන්නේ, මෙබඳු හේතූන් ගේ එක්වීම නිසා තමයි මෙබඳු ඵල ධර්මයෝ ලෝකයේ දකින්න හම්බ වෙන්නේ. ලෝභ සහගත දේව, ද්වේෂ සහගත දේවල්, ගැටෙන, හැපෙන, දැනෙන, ගිලගන්න, වැනසෙන දේවල් මේ මේ විදිහට එනවා. මේවා එකක් වත් නිකන් එන්නේ නෑ. මේ සියල්ලටම මුලක් තියෙනවා. ඒ ඒ තත්ත්ව ඨානාන්තර, ඒ ඒ කුල – මල, ඒ ඒ ජාති, ඒ ඒ වස්තු සම්පත්, මේ ආදී නොයේක් දේවල්, “තිබුණා නම් කොච්චර හොඳඳ? ඒවායේ ඉන්න ඇත්නම් කොච්චර හොඳඳ? සැනසිල්ලේ ඒවා ආස්වාද ලබන්න ඇත්නම් කොච්චර හොඳඳ?” කියලා මෙන්න මේ කියන නිත්‍ය, සැප, ආත්ම දෘෂ්ඨියක හිටියේ.

 

   මෙන්න මේ කියන දෘෂ්ඨිය යම් තාක් කල්, යම් තැනක තියෙනවා නම්, ඒ තාක් කල් අසහනයෙන් බේරෙන්න බෑ. අසහනයේ මාර්ගයත් ඔතනමයි තියෙන්නේ. ඒ හැම දෙයක් ම කැඩෙන, බිඳෙන, විනාස වෙන, කඩන, බිඳින, විනාස කරන, හොරු පැහැරගන්න, විපරිණාමයට පත්වෙන, ඒකාන්තයෙන් වැනසිලා යන දේවල්. ඒවා මොහොතක් වත් ඉක්මවලා තියෙන එකම මම බලාපොරොත්තු වෙන සම්පත්තියක් වත් නෑ. “සම්පත්තියක්” කියලා, වැදගත් කියලා, ලෝකෙන් බලාපොරොත්තු වෙන යම්තාක් දේ තියෙනවා නම්, ඔය ටික විතරයි පිහිටලා තියෙන්නේ. එබඳු වන්නාවූ ලෝකයක් අල්ලාගන්න ගියා නම්, මට ඕනෑ හැටියට පවත්වන්න ගියා නම්, ඒ බලාපොරොත්තු වුන තැන් පටන්ගෙන මට ඒ කාළකන්ණි කරුමේ එනවා.

 

{00:45:45} : පටිච්ච සමුප්පාදය වචන අරුත් දැන ඉන්නම ඕනේ නෑ නිවන් දකින්න

    මෙන්න මේකෙන් තේරුම් ගන්න ඕනෑ, අපි ඔය කිවුව ටික සිද්ධ වෙන දළ ආකාරය. මොකද, වැටහෙනවද ඔය ටික? තව අඩුපාඩුවක් මොකුත් තියෙනවද ඔතන, තව විග්‍රහ කරගන්න එහෙම? දැන් ඔතන (ධර්ම)මාර්ගය අපිට නිරායාසයෙන් ලැබෙනවා. මහංසි වෙන්න දෙයක් නෑ, ඉලක්කයක් බලාපොරොත්තු වෙන්න. ඔය කියන කාරණාව ලැබිලා, එතන වත් පිහිටන්නේ නැතුව, සැනසිල්ලේම කෙළවර කරගන්න, භවය කෙළවර කරලා උපත ඉවරවෙලා යනවා, ලෝභක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය නිසා.

 

    මේ කියන කාරණා මෙලොව, පරලොව, නිවන් කියන තුන් අභිවෘධිය …(පැහැදිලි නැත)… ලැබෙනවා. කවුරුවත් දෙන්න ඕනේ නෑ, කාගෙන් වත් ඉල්ලන්න ඕනේ නෑ, නිරායාසයෙන් ම ඕක ලැබෙනවා. නමුත් දැනුනත්, මොනවා ලැබුණත්, බලාපොරොත්තු නෑ. නමුත්, ආර්‍ය මාර්ගය අනුගමනය කරපු කෙනෙකුට ඔය කියන දුක් ගින්න එන්නේ නෑ. … (පැහැදිලි නැත)… මොන දුක් ගිණි ආවත් දෙවෙනි වෙන්නෙත් නෑ. ඒවට ගැටෙන්නෙත් නෑ, කම්පා වෙන්නෙත් නෑ. “වුනොත් වුනාවේ…” නමුත් එතෙන්ට පත් වෙනකොට අරවා නොවී යනවා.

 

    නමුත්, “නොවී යන්න” කිවුවහම ඒ කරනවයි කියපු ආර්‍ය මාර්ගය නෙමෙයි. “ඒක මට වුනත් එකයි, හෙණ ගැහුවත් එකයි. මං යන මාර්ගය අනිච්ච, දුක්ඛ, අනත්ථ නිසා, මේවා වැඩක් නැති නිසා මං අතෑරලා දැම්මා, මට වැඩක් නෑ” අනිත්‍ය වෙන්නේ කොහොමද, දුක් වෙන්නේ කොහොමද, අනාත්ම වෙන්නේ කොහොමද කියලා, මේ පිළිබඳව නිතර නිතර අහන එක තමයි ධර්මය තෝරනවා කියන්නේ. හැම වෙලාවෙම අනිත්‍ය වෙන හැටි, දුක් වෙන හැටි, අනාත්ම වෙන හැටි ලෝකය පිළිබඳව දකින්න ඕනේ. නිතර, නිතර සිහි කරන්න ඕනේ. සංසන්දනය කරලා බලන්න ඕනේ. සාකච්චා කරන්න ඕනේ.

 

    මෙන්න මේ ටික තුළින් දැක්කහම “මෝහ ධර්මය” අහුවෙලා. අවිද්‍යාවට හේතුව තිබිච්ච හොරේ අහු වුනා. අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව පහල වුනොත්, අනික් අය දැනගෙන හිටියත්, නැතත් යන්නේ මාර්ගය ඕකයි. වෙන මාර්ගයක යැවෙන්නේ නෑ. දැන් පටිච්ච සමුප්පාදයේ අංග එකක් වත් දන්නේ නැතුව හිටියත්, දැනුමක් නැතුව හිටියත්, යම් කෙනෙක් අවිද්‍යාව දැනගත්තා නම්, අවිද්‍යාවට හේතුව දැනගෙන, අවිද්‍යාව නිරෝධ කරා නම්, එතැන පටන් අරවා දැනගෙන හිටියත් එකයි, අනිත් ඒවා ඔක්කොම ඉවර කරන්න, මාර්ගය වැඩෙනවා. මේක තමයි දහම් මග.

 

    වැඩිපුර දහම් තියෙන්නේ ධර්ම දේශකයන් විසින් කියනවා, එක එක අදහස් තියෙන අයට අවබෝධය ලබාගන්න පහසු කරන්න. අවිද්‍යාව තේරුම් ගත්තා නම්, අවිද්‍යාවෙන් සංඛාර හටගන්න හැටි තේරුම් ගත්තා නම්, ඔතන නිවන් දකින්න හේතු වෙනවා. අවිද්‍යාවයි කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න බැරි කෙනා, හටගත්ත සියල්ල විපරිණාමයට පත්වෙනවා, වැනසෙනවා කියලා දැනගත්තා නම්, “යං කිංචි සමුදය ධම්මං – සබ්බං තං නිරෝධ ධම්මං” කියන වචනය, එතකොට අරහත් ඵලය ලැබිලා.

 

{00:47:58} : තිලකුණ දකිමින් දහම් අවබෝධය ලබන හැටි 

    “හටගත්ත යමක් ඇත්නම්, සියල්ල විනාස වෙනවා, කොහෙද ඉතුරු වෙන්නේ? ඒක නම් බොරුවක් නෙමෙයි. දෙවියෙක් වුනා කිවුවත්, බඹෙක් වුනා කිවුවත්, පෙනෙන නොපෙනෙන, දුර ලඟ, සියුම් ඝන, රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන මේ ටික හටගත්තා නම්, විනාස වෙනවා. මොහොතක් වත් එකාකාර ව පවතින්නේ නෑ. එබඳු වන්නා වූ ලෝකෙක මොනවා අල්ලන්නද?”

 

    ඔය පොඩ්ඩ ප්‍රගුණ කරගත්තා නම්, නැවත නැවත සිහි කරලා ඔය පොඩි වෙලාවක, දැන් ඉන්නකොට ධර්මශ්‍රවණය කරන වෙලාවක හොඳට ඔප්නැංවිලා එනවා “ඒ …(පැහැදිලි නැත)… මේක නම් ඇත්තමයි, මොනවා අල්ලන්නද?” කියලා හැඟීම …(පැහැදිලි නැත)… අන්න සෝතාපන්න වුනා! එදායින් පස්සේ ඔය ධර්මය ගැන නොහිතුවත් එයා වෙන මඟක යන්නේ නෑ නේ. පිරෙන්නේ ඔය ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය මයි. වැඩෙන්නේ ඔය සතර සතිපට්ඨානය මයි, නැඟෙන්නේ ඔය සප්ත බොජ්ඣංග මයි. එතකොට මාර්ගය අනුගමනය වෙන්නේ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය වුනාට, දැනගෙන හිටියත් එකයි, නැතත් එකයි ඒවා. වෙන එකක හිටින් නෑ, වෙන එකක යන්න හේතු නෑ. …(පැහැදිලි නැත)… ඉවරයි, අන්තිමට.

 

    ඉතින්, ඔය ටික තේරුම් ගත්තහම, ඔච්චර මහා බරපතලව හිතන්න දෙයක් නෑ. අර බරපතල විදිහට ලෝකේ ප්‍රශ්න අහන නිසයි ඔය විග්‍රහ කරන්නේ, නමුත් ඔය ප්‍රශ්න කරන අය ඉන්න නිසා. නමුත්, එච්චර ඔය හැටි දඟලන්න, මොකුත් දෙයක් නෑ නිවන් දකින්න. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියන එක විග්‍රහ කරගෙන, එහෙම නිත්‍ය දෙයක්, සැප දෙයක්, ආත්ම දෙයක් ලෝකේ තියෙන්න විදිහක් තියෙනවද? කොහෙද තියෙන්නේ? සැකයක් ආවොත්, ඒක විමර්ශනය කරනවා. විමර්ශනය කරලා සාකච්චා කරනවා. “ආ, අනිත්‍යයි! දැන් මට තේරෙනවා ඒක නිත්‍ය නෑ කියලා” ඉතින් ඔය වගේ එකින් එකට, අනිත්‍ය වෙන හැටි, දුක්ඛ වෙන හැටි, අනාත්ම වෙන හැටි හිතලා බලන්න ඕනේ.

 

    එතකොට යම් තැනකදී අපිට ආවොත් එහෙම “මේ අහවල් එක අනිත්‍යද නිත්‍යද?” ඒක කල්පණා කරලා, අහලා බලන්න පුලුවන්, ධර්ම දේශකයෙක් ගෙන්. “අහවල් එක නිත්‍ය වෙන්න පුලුවන් ද? අනිත්‍ය වෙනවද? කොහොමද වෙන්නේ? මට ඕනේ උත්තරය නෙමෙයි, ඒක වෙනවද නැද්ද කියන හේතු රටාව. මට ඒක කියලා දෙන්න, අපි ඒ ගැන සාකච්චා කරමු” අන්න එහෙමයි ගන්න ඕනේ ධර්මයට.

 

    මොකද, “අනිත්‍යද නැද්ද?” අහපුහාම, “ඔයා තේරුම් ගත්තත්, නැතත් ඒක අනිත්‍යයි නේ! එහෙම අප්පා, මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා, අන්නැහෙම නිත්‍යයි කියලා හිතන්න එපා!” එහෙම කිවුවොත් මහා අපරාධයක්, කාලකන්ණියෙක් වෙනවා! අපි, ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, “මම කිවුවට පිළිගන්නවා නම්, වහාම අත්හරින්න ඕනේ, පිළිගන්න එපා! මට ගරු-බයකට නම්, ඒත් ගන්න එපා! මහණෙනි, අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වේ, අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරෝධ යන වචනයක් මම ප්‍රකාශ කරලා තියෙනවා. ඔබලා මේක පිලිගන්නේ මං කිවුව නිසාද? මට තියෙන ගරු-බයකට ද? නැත්තම් මගෙන් ප්‍රශ්න කලොත් වෙහෙසට පත්වෙයි කියලා හිතාගෙනද? එහෙම නම් ඉන්න එපා! කරුණා කරලා දැන් ඒක කියන්න. “නෑ ස්වාමීනි, අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වේ, අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරෝධ වේ කියන කාරණය මට හොඳට වැටහෙනවා, අපිට වැටහෙනවා. ඒ නිසයි පිලිගන්නේ”

 

    ඔය ක්‍රමයට, “මහණෙනි, සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ වේ, සංස්කාර නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධ වේ කියලා දහමක් මං දේශනා කළා. ඒක පිළිගන්නේ මම දේශනා කරපු නිසා, මට තියෙන ගරු-බයකට ද? නැත්නම් ප්‍රශ්න කළොත් මං වෙහෙසට පත්වෙයි කියලා හිතාගෙනද? එහෙම නම් ඉන්න එපා!” “නෑ ස්වාමීනි, සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ වෙනවා, සංස්කාර නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධ වෙනවා කියන එක හොඳට අපිට වැටහෙනවා. අපිට වැටහෙන හින්දා, ඇත්ත කියලා පේන හින්දා පිළිගන්නවා. ඒ නිසයි අපි පිළිගන්නේ”

 

    ඔය විදිහට, අංග 12 ගැනම කියලා, බුදුරජාණන් වහන්සේ අහලා කියනවා, “ඉතින් මහණෙනි, පළමුවත් අහනවා, දෙවනුවත් අහනවා, තෙවනුවත් අහනවා. “ඔබලා යම් විදිහකින් මම කිවුව නිසා පිළිගන්නවා නම්, ඒක වැරදියි. ඒ වගේම මට තියෙන ගරු-බයකට පිළිගන්නවා නම්, ඒකත් වැරදියි. එහෙනම්, මගෙන් ප්‍රශ්න කළොත් මම වෙහෙසට පත්වෙයි කියලා, අහන්නේ නැතුව කෙනෙක් ඉන්නවා නම්, ඒකත් වැරදියි. එහෙම නම් හිටියේ, කමක් නෑ. තුන් වෙනි වතාවෙම නිහඬයි.

 

    “ආනන්ද, මෙතන ඉන්න භික්ෂූන් අතර, අඩු තරමින් සෝවාන් ඵලයෙන් පල්ලෙහා කවුරුවත් නෑ. මක් නිසාද? පටිච්ච සමුප්පාදය පිළිබඳව සැකයක් නෑ. ධර්මය අවබෝධයක් වෙලා ඉවරයි. එහෙනම්, මෙතන අඩු තරමින් සෝවාන් ඵලයෙන් පල්ලෙහා කවුරුත් නෑ, එයින් එහා අය මිසක්.”

 

    දහම් හොයාගන්න ක්‍රමයක් එහෙනම් දෙන්නම්, දැන් ඒ වගේ, ඉතින් ඔය කියන කාරණා වැටහුනා නම් “යං කිංචි සමුදය ධම්මං – සබ්බං තං නිරෝධ ධම්මං” යම් ධර්මයක් පහල වන්නේද, ඒ සියල්ල නැතිවෙලා යන සුලුයි. ඔය ධර්මයේ පිහිටියා නම්, ඒත් සෝතාපන්නයි. මේ “ත්‍රිලක්ෂණය” කියන එක මේ තරම් වැදගත් දෙයක්. ත්‍රිලක්ෂණයේ තමයි දහම් අවබෝධ වෙන්නේ. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වටහාගන්න පුලුවන්. ඒකටම උත්සාහ කරන්න ඕනෑ. අනික්වා නිකම්ම ලැබෙනවා, එතකොට. ඒක තමයි දහම් රටාව. ඉතින්, තවත් ඔය වගේ අපිට සාකච්ඡා කරන්න ප්‍රශ්න තියෙනවා නම් ඉදිරියට සාකච්ඡා කරමු.

 

{0:52:05} : “ගෝත්‍ර භූ” කියන්නේ පෘතග්ජන ගෝත්‍රය බිඳ හරින එකටයි

    හොඳයි, බොහොම හොඳ ටිකක් තියෙනවා අද. “ගෝත්‍ර භූ” කියන වචනයෙන් පෙන්වන්නේ, “ගෝත්‍රය” කියලා කියන්නේ පෘතග්ජන ගෝත්‍රය. මේ ලෝක සත්වයෝ සසර සැරි සරාගෙන යන්නේ “පෝතුජ්ජනිත” වෙලා. “පෝතු” කියන්නේ පොතු, හරයක් නැති දේවල්. “උද්ධංග” කරනවා කියලා කියන්නේ හරයක් නැති දේවල් පහල කරනවා, මතු කරනවා, නිර්මාණය කරනවා.

 

    මේ ලෝක සත්වයෝ “නිත්‍යයි, සැපයි, ආත්මයි” කියන මේ දෘෂ්ඨියේ පිහිටලා, මේ ලෝකයට හිස් පොතු වාගෙ දේවල් හද හදා තමයි මේ ගමන් කරන්නේ. “පොතු ජනිත කර කර” ගමන් කරන නිසා කියනවා “පෘතග්ජනයි” කියලා. නැවත නැවත උපදින නිසා පෘතග්ජන නෙමෙයි, පොතු ජනිත කරන නිසා, “පෝතුජ්ජනිත” කියන වචනේ පොතු ජනිත කරන්නේ. ඒක, පෝතුජ්ජනිත කියන ගෝත්‍රයේ තමයි මේ ලෝකයා ඉන්නේ. දැන් මේ ගෝත්‍රයෙන් පිට වෙන ගෝත්‍රයක් නෑ ලෝකයාට.

 

    ආර්‍ය මාර්ගය අනුගමනය කරලා, යම්කිසි පුද්ගලයෙක් “මේ සියලු සංස්කාර අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි” කියන මේ ධර්මය වටහාගත්තා නම්, අර “නිත්‍යයි, සැපයි, ආත්මයි” කියන දෘෂ්ඨිය නිසා හටගත්ත “පොතු ජනිත කිරීමේ” ගෝත්‍රයෙන් එහාට යනවා. ගෝත්‍රය බිඳ හරිනවා. “ගෝත්‍ර භූ” කරනවා කියලා කියන්නේ ගෝත්‍රය බින්දා. මෙච්චර කල් ගෙනාපු පෘතග්ජන ගෝත්‍රය, අනාදිමත් සංසාරයේ පටන් ආපු පෘතග්ජන ගෝත්‍රය බිඳගෙන, ආර්ය ගෝත්‍රයට ඇතුල් වුනා. “ගෝත්‍ර භූ” වෙනවා කියන්නේ අන්න ඒකයි.

 

    ඒක සිද්ධ වෙන්නේ, කොයි මොහොතක හරි චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න වෙලාවේ. ආර්ය ධර්මය අවබෝධ කරගන්න මොහොතක දී, අන්තිම චිත්ත වීථියත් පහල වෙලා, ඒ කියන්නේ, මාර්ග ක්ෂණයයි, ඵල ක්ෂණයයි කියන මේ මොහොත, එන මොහොතේ දී, අන්තිම මඟ ඵල ලබන මාර්ග චිත්ත වීථියේ. ඒ චිත්ත වීථිය ආරම්භ වෙනවා මේ විදර්ශනාවට නැගිලා, නැගිලා, කොයි මොහොතක හරි මොහොතක. ඒක ඇහි පිය ගහන මොහොතක් තියෙන එකක් නෙමෙයි.

 

    නමුත්, ඔතන පෙන්වලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මේකේ තියෙන ධර්ම රටාව මිසක්, අපිට දැනගන්න, පේන්න වෙලාවක් යන එකක් නෙමෙයි මේක. මාර්ගය වර්ධනය කරගෙන, “අනිත්‍ය වෙන්නේ මෙහෙම නේන්නම්, දුක් වෙන්නේ මෙහෙමයි, අනාත්ම වෙන්නේ මෙහෙමයි, ඇත්තට මේ ලෝකේ මොන සාරත්වයක් ද ?” කියන එක මේ මේ විදිහට දන්න අය අහනකොට, මේ දහම් අවබෝධයකින් මේ වැටහි වැටහී ගිහිල්ලා, “ඇත්තට මේ ලෝකේ කියන්නේ මොකද්ද? මොන හරයක් ද මේ කයේ?” මෙන්න මෙහෙම සිතිවිල්ලක් එනවා. ඔය සිතිවිල්ල හොඳට පැහැදිලිව එන වෙලාවක, “ඥාණ සම්ප්‍රයුක්තයි” සිත, “සෝමනස්ස සහගතයි”. සිත හරී සැහැල්ලුවක් වෙනවා. “ලෝකයේ සුවය නම් මේ අත්හැරීම ඇරෙන්න වෙන මොකද්ද? අල්ලාගන්නකොට ගිණි නේ” මෙන්න මේ සිතිවිල්ල ක්‍රියාත්මක වෙන වෙලාවක් එනවා.

 

    එතකොට ඔය කියන, අන්තිම ඒ වගේ අවස්ථාවක, මාර්ග ඵලයක් අවබෝධ කරගැනීමට අන්තිම මොහොත එන අවස්ථාවේදී ඥාණ සම්ප්‍රයුක්ත සිත් පහලවෙන්න පටන් ගන්නවා. “සෝමනස්ස සහගත ඥාණ සම්ප්‍රයුක්ත සිත්”. මෙන්න මේ “ඥාණ සම්ප්‍රයුක්ත” හිත් පහලවෙලා යම් මොහොතකදී, ඇහි පිය ගහන මොහොතක් ලංවෙන වෙලාවේ මාර්ග ඵලය අවබෝධ කරන්න අන්තිමට චිත්ත වීථියක් හටගන්නවා. ඒ හිතම වැඩිලා, වැඩිලා, අන්තිමට චිත්ත වීථියක්.

 

    ඔන්න ඔය චිත්ත වීථිය හටගන්නකොට ඉස්සෙල්ලාම “අතීත භවාංග – භවාංග චලන…” මෙහෙම චක්‍රයක් තියෙනවා, “භවාංග උපච්ඡේද….” ඔය විදිහට යන චක්‍රයක්. මෙතන “මනෝද්වාරාවජ්ජන” කියලා ආවර්ජන චිත්තයක් පහලවෙනවා. “සෝමනස්ස සහගත, ඥාණ සම්ප්‍රයුක්ත කුසල චිත්තය” ඒක තමයි අන්තිමට මාර්ග චිත්ත වීථිය. “පරිකර්ම, උපචාර, අනුලෝම” කියලා චිත්තක්ෂණ 3ක් ගිහිල්ලා, අන්තිමට මේ පෘතග්ජන ගෝත්‍රය, නැත්නම් අර පොතු ජනිත කර කර අනන්ත සංසාරයේ මුලා වෙලා ගිය ගෝත්‍රය ඉක්මවලා, ආර්ය ගෝත්‍රයට පත්කරමින්, “ගෝත්‍ර භූ” කියන චිත්තක්ෂණයක් පහල වෙනවා. ඒ එක්කලාම මාර්ග චිත්තක්ෂණය පහල වුනා, ඵල චිත්තක්ෂණ 2ක් පහල වුනා, සෝවාන් වුනා, ඊට පස්සේ …(පැහැදිලි නැත)… වුනා. දැන් ඉතින් එයා සෝවාන්.

 

{0:55:50} : “ගෝත්‍ර භූ” කියන්නේ පෘතග්ජන ගෝත්‍රයෙන් නික්මීමයි

    කොයි මොහොතේ හරි ආයි සැරයක් යම් දවසක ආවර්ජනා කරලා, සිහි කරලා, “මම මෙබඳු මඟක් අනුගමනය කරලා, මෙබඳු නිවීමකට පත්වුනා. වෙනස් වෙන් නැති නිවීමක් මට තියෙනවා. එදා, අහවල් දවසේ, අහවල් වෙලාවේදී, මට මේ විදිහට බණ අහ අහා ඉන්න වෙලාවෙදී මේ අවබෝධය ඇතිවුනා” එයා දකින්නේ එච්චරයි. “මේ අවබෝධය ඇතිවුනාට පස්සේ ඉඳලා මට මේ ලෝකය ගැන හොඳට වැටහිලා ගියා. මෙච්චර කල් ගිණි විඳ විඳ මේ ලෝකේ පස්සෙ දුවපු හැටි මට දැන් මතකයි. හැබැයි, මගෙන් ඉදිරියට නම් එහෙම දෙයක් වෙන්න හේතු ඇත්තෙම නෑ කියන එකත් මට දැන් තේරෙනවා. මොන හේතුවක් නිසා වත් මට ආයි දැන් මේ මේ කාරණාවන්ගේ මේ ගානට හිත වැටෙන්නේ නෑ” අන්න ඒ වැටහෙන මට්ටමක් එනවා. “මෙබඳු වන්නාවූ දූෂ්‍යතාවයන් මගෙන් සහමුලින් ගැලවිලා ගියා, එන්න හේතු නැතුව ගියා. ආයි මගේ ජීවිතේ නැති කළා කිවුවත්, මං රකින එකක් නෙමෙයි, මා තුළ තියෙනවා චිත්ත ප්‍රසාදයක්, මට මතුවෙන්න විදිහක් නෑ ගැටීමක් එන් නෑ, ඇලීමක් එන් නෑ, කම්පණයක් එන්නේ නෑ. ඒ තත්වයට මං පත්වුනා. මෙන්න මේ තත්වය මට දැන් තියෙනවා පේනවා”. මෙන්න මේ ප්‍රත්‍යවේක්ෂා ඥාණය පහල කළා එතකොට මාර්ග ඵලය ලැබිලා.

 

    ඊට පස්සේ තියෙන්නේ “ගෝත්‍ර භූ” කියන එක පලවෙනි සැරේ පහල වුනා, දෙපාරක් ස්කන්ධ නිරෝධයක් වෙන්න දෙයක් නෑ, පෘතග්ජන බව, නැත්නම් පොතු ජනිත කරන එක ඉක්මෙවුවා. දැන් එතන පටන්ගෙන තියෙන්නේ මොකද්ද? “ඛීණං පුරාණං” – පුරාණය ක්ෂය කරනවා, “නවං නත්ථි සම්භවං” – අලුත් දේවල් හම්බ කරන්නේ නෑ. තිබිච්ච එක ඉවර වෙලා කවදා හරි කෙළවර වෙලා යනකොට, ඊලඟ මාර්ග ඵලයේදී “වෝදාන” කියලා එකක් එනවා.

 

    “වෝදාන” කියලා කියන්නේ මොකද්ද? යම් කිසි තැනක අල්ලාගෙන තිබුණා නම්, ඒවා ඔක්කොම දාලා වැය කරලා දානවා. “උද්ධ” කර දැමීමක්. ඉතුරු හරිය තිබිච්ච හරිය වැය කර දමනවා. ඊලඟට මොකද කරන්නේ? සකෘදාගාමී අවස්ථාව.

 

    අනාගාමී අවස්ථාවෙත් “වෝදාන” වුනා, තව ගොඩක් වැය වෙලා ගියා. අරිහත් ඵලයේදී, අරිහත් මාර්ගයේ ඵලය එන වෙලාවෙදී ආයි සැරයක් “වෝදාන” වුනා, පහම ඉවර වෙලා ගියා. උපාදාන ඔක්කොම ඉවරයි, ඔක්කොම ගැලවිලා ගියා. ඉතින් ඕක තමයි “වෝදාන”. “ගෝත්‍ර භූ” කියන්නේ පළවෙනි, සෝතාපන්න ඵලයේදී පෘතග්ජන ගෝත්‍රය ඉක්මවලා, අරිහත්වයට පත්වීම.

ඔය වගේ තව ගැටළු තැන් තියෙනවා නම්, අහලා විසඳාගන්න.

 

{0:57:45} :  “චේතනා” කියන්නේ චෛතසිකයක්

    “සචේතනික, අචේතනික” කියලා වචන 2ක් තියෙනවා. මේ “චේතනා” කියලා කියන්නේ යම්කිසි ආකාරයකට චිත්ත බලවේගය තනාගෙන දිගින් දිගට ගෙනියනවා. “දැනගැනීමේ බලාපොරොත්තුව” කියන මේ වචනය තියෙනකං, දැනගන්න ආසාව තියෙනකං, දැනගන්න අවශ්‍යය කරන්නාවූ චිත්තාවලිය හටගන්නවා. මේ චිත්තාවලිය තනන යම්කිසි තැනක් ඇත්ද, ඒ තනාගෙන යන ක්‍රියාවලිය තියෙන තැන “සචේතනික” වෙනවා. “චේතනා” තැනීම සහිතයි.

 

    ඒ චේතනා යම් තැනක පහල කරන්නේ නැති ලෝකයක් ඇත්ද, චේතනාව හා සම්බන්ධව පහල නොකරන යමක් ඇති සියලු තැන, නැත්නම් බාහිර ඒවා, “අචේතනිකයි”. චේතනාව සම්බන්ධව තියෙන චිත්තයක් තියෙන්න බෑ, චිත්තයක් නැගෙන්නේ නෑ.

 

    සතෙකුට හෝ වෙවා, කිසිම සත්ව පුද්ගල දේකට, ඔය චිත්ත සන්තාන තුළ තමයි “සචේතනික” තියෙන්නේ. “අචේතනික” වෙන්නේ එබඳු වන්නාවූ චිත්ත සන්තානයක් හා සම්බන්ධයක් නැති තැන. ද්‍රව්‍ය-වස්තු, ගස්-කොළං මේවා අචේතනිකයි. සත්ව-පුද්ගල සචේතනිකයි.

 

    චේතනා යම් තැනක පහල වෙනවා නම්, චිත්තයකයි පහල වෙන්නේ. චිත්තයකින් තොරව චේතනාවක් පහල වෙන්නේ නෑ. චේතනා කියන්නේ චෛතසිකයක්. චෛතසිකයක් පහලවෙනවා නම්, චෛතසිකයක ලක්ෂණයක් තියෙනවා, හිතත් සමඟ උපදිනවා, හිතත් සමඟ පවතිනවා, හිත වැනසෙනකොට වැනසෙනවා, හිත ගන්නා අරමුණ ම ගන්නවා. චෛතසික …(පැහැදිලි නැත)…

 

    සචේතනික කියන්නේ යම් තැනක නම්, චේතනා – චෛතසික යම් තැනකද, “චිත්ත” එතන තියෙනවා. “චිත්ත” යම් තැනක නැද්ද, චේතනා – චෛතසික එතන නෑ. ඔය “චේතනා” කියන චෛතසිකය චිත්තයෙන් අහක පහල වෙන්නේ නෑ. පහලවෙන්නේ චිත්තය තුළයි.

 

    එහෙනම්, යම් තැනක “සචේතනික” කියන්නේ චේතනා සහිතයි කියන එක. “අචේතනික” කියන්නේ චේතනාවෙන් තොරයි. අචේතනිකයි ලෝකයේ ද්‍රව්‍ය-වස්තු. මළ මිනිය අචේතනිකයි, ජීවත් වෙලා ඉන්න කෙනා සචේතනිකයි. ගල්, ගහ අචේතනිකයි, ජීවත් වෙලා ඉන්න සත්ව පුද්ගලයෝ සචේතනිකයි. ඔය පිළිබඳ අදහස් තියෙනවා නම්, ඒවගේ දේවල් කියන්න.

 

{0:59:58} : සෝතාපන්න ශ්‍රාවකයා තමා අපායේ නොයන බව දැනගන්නා හැටි…

    අපිට විශේෂ අවස්ථාවක් දැන් පෙන්වනවා, සතර මාර්ග, සතර ඵල කියන ඒවා කුමන කුමන ආකාරයකින් ඇති වෙනවද? කුමන කුමන ආකාරයකින් ඒ ප්‍රතිඵල ලැබෙනවද? ඒවායේ ස්වභාවයන් ගැන. නැත්නම් මාර්ග-ඵල පිළිබඳව වැදගත් ම හරියක්. අපි මෙච්චර කල් මහන්සි වෙන්නේ, මේ රෑ දවල් දෙකේ දඟලන්නේ අත්‍යාවශ්‍යය විභාගේ පාස් කරගන්න ඔය ඔතෙන්ට, උපාධි හතර ගන්න. සෝවාන් උපාධියයි, සකෘදාගාමී උපාධියයි, අනාගාමී උපාධියයි, අරිහත් උපාධියයි කියලා, අපි දැනට මේකෙන් සෝවාන් උපාධිය වත් ගත්තා නම්, බය නෑ. ආයි සැරයක් සතර අපායෙන් වත් බේරෙනවා. ඉන් එහාට තියෙන දේ කොහොමත් හම්බවෙනවා.

 

    යම්කිසි, මේ ලෝකයේ පෘතග්ජන කියන වචනයෙන් අපි හඳුන්වන පුද්ගලයා, අනන්ත අප්‍රමාණ මේ ලෝක සත්වයෝ සසර සැරි සරාගෙන යන තාක්කල් ඉන්නේ, “පොතු ජනිත කරමින්” ගමන් කරනවා. “පොතු” වල ස්වභාවයක් තියෙනවා, ඕක උපමාවක් – “පෝතුජ්ජනිතෝ” කියලා පෙන්වන්නේ. “පොතු” ජනිත කරනවා කියලා කියන්නේ මොකද, ලෝකයේ යම්, දැන් ගස් වල කොවුලත් තියෙනවා, එලයත් තියෙනවා, එයිට පිටස්තරයෙන් පොත්තත් තියෙනවා. මේ “පොත්තක්” ජනිත කරනවයි කියලා කියන්නේ, ඒක හැම වෙලේම දිරකඩක් වෙලා යනවා මිසක්, කවදාවත් පොත්ත දිරණවා මිසක්, පොත්ත කොවුලක් වෙන්නේ නෑ, පොත්ත එලයක් වෙන්නෙත් නෑ.

 

    “පොත්ත” කියලා පෙන්නන්නේ, දැන් ගහක තියෙනවා, “දිය පොත්ත” කියලා එකක් තියෙනවා. ඒ දිය පොත්ත කියන්නේ පොත්ත නෙමෙයි, ඒක එලය හැදෙන පොත්ත, එහෙනම් ගහ වැඩෙන පොත්ත. ඒකට පිටස්තරව තියෙනවා “වැලි පොත්ත” කියලා එකක්. අන්න, වැලි පොත්ත කියන එක දිරකඩ වෙලා යනවා මිසක්, කවදාවත් ඒක ගහෙන් පිටවෙලා, ගහට බාරගන්න බැරි කොටසින් හැදෙන්නේ. ගහෙන් පිටස්තර කුරුට්ටක් වෙලා, ඕක දිර-දිරා, කැඩි-කැඩී, පුස් බැඳිලා, විනාස වෙලා යනවා. ගහ කොච්චර හැදුනත්, වැඩුනත්, ඔය පොතු ගැලවි-ගැලවී අහකට වැටෙනවා මිසක්, දිරකඩ වෙනවා මිසක්, ගහෙන් ප්‍රයෝජනයක්, ගහ හා සම්බන්ධයක් හිටින්නේ නැතුව යනවා.

 

    කොවුල කියන එක, එලය කියන එක, ගහ යම්තාක් කල් පවතිනවා නම්, ඒ තාක්කල් ගහ සමඟ සම්බන්ධයි. ගහත් එක්ක ජීවත් වෙනවා. ගහෙන් ඈත් වෙන්නෙ නෑ. පොත්ත හැම වෙලේම ගහට අල්ලගෙන හැදුනත්, ගහෙන් ඈත් වෙනවා. ගහෙන්ම පෝෂණය වෙතත්, ගහෙන් ඈතට යනවා. පොත්ත ගහේ ම වැඩෙනවා, ගහේම වැඩිලා ගහෙන් වෙන් වෙනවා. වෙන් වෙලා හොඳ පැත්තකට යනවා නෙමෙයි, දිරණ, කැඩෙන, විනාස වෙන පැත්තට ගිහිල්ලා පස් වෙලා යනවා, හරයක් ඉතුරු කරන්නේ නෑ. මේ පොත්තේ හැටි.

 

    මෙබඳු වන්නාවූ පොතු ජනිත කරන කොටසක් මේ ලෝකේ ඉන්නවා. මේ බුද්ධ සාසනයක් හම්බවෙච්ච කාලෙකත් අර ගහේම වැඩෙන පොත්ත වාගේ, සාසනයට මොන-මොනවා හරි කියලා හරි, ඒ වටපිටාවේ ඉන්නකොට වචනයක් හරි හොඳක් කියලා හරි, පිනක්-දහමක් කරනව කියලා නමට කරලා හරි, ඔය ජනිත කරගන්නවා, නිර්මාණය කරගන්න අවශ්‍යය පථය ටිකක්. ඒ කියන්නේ පිං ටිකක් හදාගන්නවා. එයින් එහාට හිත තියන් නෑ, බලන් නෑ.

 

    එයාට ඕනෑ කරන්නේ දිරලා යන, කැඩිලා යන, බිඳිලා යන ලෝකයක්. මේ දිරණ, කැඩෙන, බිඳෙන, විනාස වෙන මේ ලෝකයම වටිනා කරගෙන, ලෝකයේම ඉන්න ගිහිල්ලා, ඒ ලෝකයටම අර පොත්ත ගහෙන් ගැලවිලා එන්නා වගේ, සාසනයෙන් ඈතට යනවා. සාසනයෙන් ගිලිහිලා ලෝකයට යනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්ඵර්ශ මහා ආස්වාද දෙන දේවල් කියලා හිතාගෙන, නිල-තල, තත්ව-ඨානාන්තර, ලොකුකම්, කුල-මල, ඔක්කෝම ඒවා තමයි ලොකු දේවල්, වටිනා දේවල් කියලා හිතාගෙන, දිරලා, කැඩිලා, දුක් කරදර දීලා, වැනසිලා යන ධර්මතාවයන් කියන “පොතු” කෙරෙහි ඇළුම් කරලා, ඒ “පොතු” යන ලෝකෙට යනවා.

 

    එතකොට, ගහෙන් වෙන්වෙලා – දිරකඩ වෙලා යන පොත්ත වාගේ කොට්ඨාසයක් මේ බුද්ධ සාසනේ, මේ ලෝකේ ඉන්නවා. පිං-දහම් කරනවා කියලා, ගුණ ධර්ම යන්තමට ඇසුරු කරනවා. ඒ කරගන්න පිනෙන් මොනවා හරි සැප සම්පත්තියක් සංසාරෙත් ලබනවා, යන ලොවක. ඒක විඳින්න ගිහිල්ලා, ඕකේ උද්දාම වෙලා, තත්ව ඨානාන්තර, කුල-මල, ලොකුකම් අල්ලාගෙන, ඕවායෙ උසස් වෙලා ඉඳලා, මාන්නක්කාර වෙලා ඉඳලා, මැරිලා අපාගත වෙලත් යනවා, දුක් විඳිනවා, මේ ලෝකෙම දිර-දිරා, දැවි-දැවී, කැඩි-කැඩී, බිඳි-බිඳී අනන්ත සංසාරයේ ගමන් කරනවා.

 

    මෙන්න මේ “පොතු” ජනිත කර කරා යන පුද්ගලයින්ට කියනවා, “පෘතග්ජනයෝ”. පෘතග්ජනයා කියන්නේ එහෙම කෙනෙක්. සමහරවිට මේ ආර්ය උත්තමයන්ගේ සිවු පිරිස, එකට ඉන්න අයත් කියනවා, “මේ පෘතග්ජන අපි” කියලා. හැබැයි නමට …(පැහැදිලි නැත)… කියන්න කියනවා. “පෘතග්ජන අපි” කිවුවා නම් ඉතින්, වචනයේ අර්ථය දැනගත්තා නං එහෙම, “පොච්චියේ! මේ වචනේ මට මං කියාගත්තා නේ!” කියලා හිතෙනවා.

 

    පෘතග්ජනයින්ට මොකටද මේ බුද්ධ සාසනයක්? මේ බුද්ධ සාසනය පෘතග්ජනයින්ට නෙමෙයි, ආර්යයන්ට තියෙන්නේ. සෝවාන් මාර්ගය වත් අනුගමනය නොකරන එකෙකුට “පෘතග්ජනයා” කියන්නේ. සෝවාන් මාර්ගය වත් නැති එකාට මොන බෞද්ධ කමක්ද? ඉතින් බෞද්ධකමේ, සමහර අය බෞද්ධකමට ඇවිදින් ඉඳගෙනත් කියනවා, “මං පෘතග්ජනයා” කියලා.

 

    යම් කෙනෙක්, අනිත්‍යයි මේ ලෝකේ, දුකයි, අනාත්මයි නේ කියලා, දවසකට ඇහි පිය ගහන මොහොතක් මෙනෙහි කරන කෙනෙක් ඉන්නවා නම්, ඔහු “පෘතග්ජන” නෙමෙයි. ඔහු පෘතග්ජනත්වය ඉක්මවන්න මාර්ගයට බැහැපු කෙනෙක්. පෘතග්ජන ගෝත්‍රය ඉක්මෙවුවේ නෑ තවම, ගෝත්‍රය ඉක්මවන්නේ මාර්ග ඵලයේදීයි. ඒ ගෝත්‍රය ඉක්මවන්න අවශ්‍යය කරන වැඩපිළිවෙලට බැහැපු කෙනාට තමයි පෘතග්ජනයා කියන්නේ.

 

    “යෝ චායං අත්ථඛිලමතානුයෝගෝ දුක්ඛෝ, අනරියෝ, අනත්ථ සංහිතෝ” – පෘතග්ජන කිවුවේ නෑ. “යෝ චායං කාමසුඛල්ලිකානුයෝගෝ හීනෝ, ගම්මෝ, පෝතුජ්ජනිතෝ, අනරියෝ, අනත්ථ සංහිතෝ” – හීනයි, ගම්‍යයි, පෘතග්ජනයි, අනරියයි, අනත්ථ සහිතයි. (ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 12. සච්ච සංයුක්තය » 2. ධම්‌මචක්‌කප්‌පවත්‌තන වර්ගය » 12.2.1. ධම්‌මචක්‌කප්‌පවත්‌තන සූත්‍රය) කාම සුඛයෙහි ඇලී – ගැලී වාසය කරමින්, කාමයටම හැමතැනම හොයමින්, දහමෙහි හැසිරීමක් නැතුව, කාමයම අග්‍ර කරගෙන, කාමච්ඡන්දයෙහිම ඇලී-ගැලී වාසය කරන යම්කිසි පුද්ගලයෝ ඉන්නවා නම්, ඔයගොල්ලෝ පෘතග්ජනයෝ.

 

    අනික් අයට “පෘතග්ජන” කියන්නේ නෑ, “ආර්ය” කියන වචනෙට ගැනෙනවා. ආර්ය ශ්‍රාවකත්වය ස්ථිර වෙනකනුත් එයා ආර්යයි. ආර්යයෝ තමයි ආර්ය ශ්‍රාවකත්වයේ ස්ථිරටම මඟ ඵල ලබාගන්නේ. අනිත්‍යයි කියන එක, දුකයි කියන එක, අනාත්මයි කියන එක ඇත්තයි කියලා මාත්‍රයක් හරි හිතපු පුද්ගලයා, එයා මේ දර්ශන සම්පත්තිය මාත්‍රයක් හරි ලබලා තියෙනවා. “අනිත්‍යයි” කියන වචනය මේ ලෝකේ අති දුර්ලභ වචනයක්. “අනිත්‍යයි” කියන එක වැගහුනා නම්, මේ ලෝකයේ මහා ජයගැනීමක් ජයග්‍රහණය කරපු කෙනෙක්.

 

    ලෝකයේ “දුකයි” කියන වචනය අති දුර්ලභ වචනයක්. ලෝකයේ මේ “සැපයි, සැපයි” කියන ඒවයේ දුකක් තියෙනවා කියලා මාත්‍රයක් වැටහුණා නම්, අති ජයග්‍රහණයක් ලැබුවා. ලෝකයේ “අනාත්මයි” කියන එක අති දුර්ලභ වචනයක්. ලොවුතුරා බුද්ධෝත්පාද කාලයකයි මේ වචනය අහන්න හම්බවෙන්නේ. අනික් කාලෙක වත් අහන්න හම්බවෙන්නේ නෑ. ඒ වචනෙත් අති දුර්ලභයි. “අනාතමයි නේ ලෝකේ, සාරත්වයක් මේ ලෝකේ නෑ” කියලා මාත්‍රයක් වැටහුණා නම්, ඔහු මේ ලෝකේ අති මහා ජයග්‍රහණයක් ලැබූ කෙනෙක්.

 

    චක්‍රවර්ති රාජ්‍යයක් ලැබුවට වඩා සතලක්ෂ ගුණයක් වටිනවා “අනිත්‍යයි” කියලා මාත්‍රයක් වැටහීම ලැබුවොත් එහෙම. “මේ සකස් කරන දේවල් මුල් කරගෙන, දුකක් මිස සැපට හේතුවක් නම් මේකේ නෑ” කියලා, “මේ සකස් කරන ලෝකේ ආත්මාදී වශයෙන් ගන්න දෙයක් නෑ, නිස්සාරයි” කියලා මාත්‍රයක් වැටහෙන්න බණ අහලා, ඇසුරු කරලා, ඒ පොඩ්ඩ ලැබුවා නම්, ඔහු මේ ලෝකේ මහා ජයග්‍රහණයක් ලැබූ කෙනෙක්. චක්‍රවර්තී රාජ සම්පත්තියට වඩා සතසහශ්‍ර ගුණයක් වටිනා දෙයක් ලැබූ කෙනෙක්.

 

    මොකද හේතුව? චක්‍රවර්ති රජ වෙච්චි කෙනා අනිත්‍ය බව දන්නෑ, දුක් බව දන්නෑ, අනාත්ම බව දන්නෑ. එයා මේ ලෝක සම්පත්තියට හිරවෙලා. ලෝකය පාලනය කරනවා, ලෝකයාට ලොකුයි. නමුත් ධර්මය තුළ බලපුහාම …(පැහැදිලි නැත)… කොහොමද දීපු වටිනාකම?

 

    ඉතින්, මේ “පෘතග්ජන” කියන තත්වය ඉක්මවලා, ආර්යත්වය තුළ සෝවාන් මාර්ගයේ ගමන් කරමින් යන පුද්ගලයාට මේක මොහොතින් මොහොත, ටිකෙන් ටික වැඩෙනවා. “අනිත්‍යයි” කියන එක ටිකෙන් ටික වැටහෙන්න පටන්ගන්නවා. දුකයි, අනාත්මයි කියන එක දකින්න පටන්ගන්නවා ක්‍රම ක්‍රමයෙන්. මාර්ගයෙන් මාර්ගය දැකලා, හොඳට පැහැදිලිව දකින මොහොතක් එනවා. මෙන්න මේ දකින මොහොත එනකොට මහා වටිනාකමක් ගෙනත් දෙනවා, මොකද්ද? මෙච්චර කල්, අනන්ත සංසාරයේ පටන් මහා කන්දරාවක් ඇළුම් කරපු, මහ මෙරක් තරම් ඇළුම් කිරීමක් ඇවිල්ලා යනවා. ඕකෙන් ඉතුරු වෙනවා “ලුණු කැට 7ක්” තරම් ප්‍රමාණයක්, ඇලීමෙන්…

 

    හැබැයි, ඒ “ලුණු කැට 7ක්” තරම් ප්‍රමාණය වුනාට, එයා කාම ලෝකයේ ජීවත් වෙනවා, කාම පරිභෝග කරනවා, එතන ඉන්නවා. මොකද්ද මේ “මහ මෙරක් තරම්” කිවුව ප්‍රමාණය, ගැලවෙච්චි හරිය? යම් කෙනෙක් මේ ආර්යත්වයට පත්වුනා නම්, රත්තරං කන්දක් පවරන්න හැදුවොත්, “මට මොකටද?” කියනවා. “මට ජීවත් වෙන්න, මගෙ කටයුතු කරගන්න තිබුණ හරියක් තිබුණා නම්, හොඳටම ඇති” කියනවා. මෙන්න මේ සෑහීම ලැබූ කෙනෙක් වෙනවා.

 

    අර කියන පෘතග්ජන කියන පුද්ගලයට රත්තරං කන්දක් හම්බුනොත්, “අනිත් කන්දත් රත්තරං කරලා මට දියල්ලා, මේක නං මදි” කියනවා. “මහාමන්දාතු” කියන රජ්ජුරුවන්ට එදා ගිහිල්ලා ශක්‍ර දේවේන්ද්‍රයෝ දෙවුලොවින් බාගයක් රජකම දීලත් මදි වුනා. ලෝකේ රජකම මදිවෙලා, සක්‍ර දෙවියන්ගේ රජකමෙන් බාගයක් දෙන්නම් කිවුවම “සක්‍ර රාජ්‍යයම මට දුන්නා නම්” කියලා තමයි කතාව. මොකද මේ? සම්පත් කියන ඒවා කොච්චර තිබුණත් එයාට මදි.

 

    බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සක්විති රජකමේ යම්කිසි සම්පත්තියක් ඇත්ද, චාතුම්මහාරාජිකයේ දේවතාවෙක් විඳින කාම සම්පත්තිය එක්ක, ඒක දහසකින් එකක් ය, ලක්ෂයකින් එකක් ය කියලා කිවුවත් සීමා කරන්න බෑ, ඒ තරම් බාලයි සක්විති රාජ සම්පත්තිය. දෙවියන්ගේ සම්පත්තිය ලක්ෂ කෝටි ගාණක් ඊට වඩා ඉහළයි. එතකොට, එබඳු වන්නාවූ ඒ දේව සම්පත්තිය කියන එකට ගිය අය, ඒ ටික විඳලා විඳලා, ඒකෙන් මැරිලා ගිහිල්ලා නැවත අපාගත වෙනවා, අවීචියටත් යනවා. සංසාර ගමන කෙළවර කරන්න බෑ. එහෙනම් මොකක් කරන්නද? සක්විති රජ කමෙන් කෙළවර කරන්නද? ඒ දෙවියන්ටත් පේන්නැතැයි…

 

    මෙන්න මේ නිසා, පොතු ජනිත කර කර යන මේ ලෝකේ, පංච කාම සම්පත්තිය ජනිත කර කර යනකොට, ඒක අග්‍ර කරගෙන යන කෙනාට සම්පත් කොච්චර ලැබුණත් සෑහීමක් නෑ. මෙන්න මේ අසීමිත වෙන සම්පත්තියෙහි බලාපොරොත්තුව සම්පූර්ණ මිදිලා ගිහිල්ලා, ජීවත් වීමට “තමන්ට අවශ්‍යය කරන සීමාසහිත ගාණකට වඩා මට වැඩක් නම් ඇත්තේ නෑ. ඒ ටික ඕනෑ වෙන්නෙත් මේ කාමය මට අත්හරින්න බෑ නේ, තවම ඒ කාම ආස්වාදය තියෙනවා නේ! මටත් බෑ නෙවෑ දුක් විඳින්න”. මෙහෙම හිටියට නම්, කාමයේ එක්තරා ඇලීමක් තියෙනවා ඉතුරු වෙලා. අන්න ඒ ඉතුරු ඇලීම් ටික පරිහරණය කරන්න අවශ්‍යය කරන සීමාවට මට තිබුණහම, මට හොඳටම ඇති! කියන තැනකින් සෑහෙනවා. ඔය හිත පහල වෙනවා.

 

    ඔය හිත පහල වෙන්නේ ආර්‍යයන්ටයි. ඒ ආර්ය පිරිස බවට පත්වෙච්චි අය. සමහර වෙලාවට ඒ ආර්යයා දන්නේ නෑ තමන් ආර්යයෙක් වෙච්ච බව වත්. ඕක තේරුම් ගන්න බෑ. පහු කාලෙකදි ඔහුට විදර්ශනා ප්‍රත්‍යවේක්ෂා ඥාණ ලැබුණහම තේරුම් ගන්නවා, “මෙහෙම තියෙන්නේ ආර්යයන්ටයි. මේ ගුණය මං ලඟ තියෙනවා” කියලා තේරුම් ගන්නවා. එහෙම තේරුම් ගත්තහම ඒ තැනට පැමිණෙනවා.

 

    බුදුපියාණන් වහන්සේ එක දරුවෙකුට ධර්ම දේශනාවක් කරන්න ගිහිල්ලා ඒ දරුවට කියනවා, ඒ ධර්ම දේශනාව කරන්න ගිහිල්ලා, මරණාසන්න වෙලාවක ඒ දරුවට …(පැහැදිලි නැත)… ඒ වෙලාවෙදී එයාට ගිහිල්ලා කියනවා විස්තර. “පුතා, ඔබ බුදුන් කෙරෙහි නොකැඩෙන ගෞරවයක් තියාගන්න, නොකැඩෙන ප්‍රසාදයක් තියාගන්න. ඔබේ ඒ ප්‍රසාදය කැඩෙන්න තියාගන්න එපා. මෙන්න මේ බුදුන් කෙරෙහි හැම මොහොතකම නොකැඩෙන ප්‍රසාදයක් යම් කෙනෙක්ගේ තියෙනවා නම්, ඔහු අපායේ යන්නේ නෑ. ඔබ මේ ධර්මය කෙරෙහි නොකැඩෙන ප්‍රසාදයක් තියාගන්න. ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයක් තියෙන කෙනාට අපායක් නෑ, අපායෙන් නිදහස් වෙනවා, සතර අපාගත වෙන්නේ නෑ. ඔබ මේ සංඝයා කෙරෙහි නොසැලෙන ප්‍රසාදයක් තියෙන්න ඕනේ. ඔබට කවදාවත් අපායක් හිමිවෙන් නෑ. ඔබට නිතරම පවතින මේ ධර්මය කෙරෙහි, බුදුන් කෙරෙහි, සංඝයා කෙරෙහි ඇතිවෙන්නාවූ චිත්ත ප්‍රසාදයෙන්, හැම වෙලේම පවතින පහන් හිතක් තියාගන්න. ඔබට කවදාවත් සතර අපායක උප්පත්තියක් නෑ. මෙන්න මේ තත්වයට පත්වෙන්න.”

 

    “ස්වාමීනි, ඔබවහන්සේ කිවුව කාරණා 4ම මං ලඟ තියෙනවා.” අර වැහැරිලා ඉන්න දරුවා එහෙම උත්තරයක් දුන්නා. ඒ පාර කියනවා, “යහපතී දරුව, ඔබ සෝතාපන්නයි” කියලා උත්තර දුන්නා. බුදුරජාණන් වහන්සේ දරුවට කියනවා මේ විදිහට, “ඔබ සෝතාපන්න බවට පත්වෙලා, ඔතන ඉඳන් සෝතාපන්නයි” “දරුව, මේ ලෝකයේ තියෙන කාම වස්තුවල තියෙන සාරත්වයක් නෑ කියලා හිතාගන්න එහෙනම්. මේ ලෝකයේ කාමයන්ගෙන් ලබපු දෙයක් නෑ. මේ ලෝකේ මේ කාමයන්ට දඟලලා, කාමයන්ට ඇදිලා, තරහා වෙලා, ගැටිලා ගන්න දෙයක් නෑ කියලා හිතාගන්න” “ස්වාමීනි, ඒ ටිකත් මං ලඟ තියෙනවා” “දරුව, ඔබ එහෙනම් අනාගාමියි කියලා හිතාගන්න” අන්න, බුදුරජාණන් වහන්සේ …(පැහැදිලි නැත)…

 

    ආනන්ද හාමුදුරුවෝ එක අවස්ථාවක එක උපාසක මහත්තයෙක් වඳින්න යන වෙලාවක, ඔය ඔය විදිහටම දේශනා කරලා, කිවුවා “ස්වාමීනි, ඔය කියන කාරණාව නං මං ලඟ තියෙනවා” “සාදු, සාදු ශ්‍රාවකය! ඔබ සෝතාපන්න ඵලය ප්‍රකාශ කළා” කියලා කියනවා. දැන් එයා දන්නේ නෑ මේ ඵලය මොකද්ද කියලා, නම දන්නැහැ, ඒ ඵලයට කියන නම. හැබැයි, ඒ ඵලයේ ලක්ෂණ නම් අඳුනනවා. ඒ ලක්ෂණ විග්‍රහ කරනකොට කියනවා, “මේ ටික මං ලඟ තියෙනවා” එතකොට ඒක දකිනවා. අන්න, ප්‍රත්‍යවේක්ෂා ඥාණ තිබිච්ච නැති නිසා තමයි ඒක මොකද්ද කියලා දැනගත්තේ නැත්තේ. ඒ ප්‍රත්‍යවේක්ෂා ඥාණ පහලවුනා නම්, ඔය ටික දන්නවා.

 

    “හටගත්ත සියල්ල විනාස වෙනවා, මේ ලෝකයේ හටගත්ත දෙයක්, විනාස නොවෙන දෙයක් නම් පවතින්නේ නෑ, හේතු නෑ” කියලා, මෙන්න මේ කියන කාරණය යම් කෙනෙකුට වැටහුණා නම්, “හටගත්ත යමක් ඇත්නම් කවදාවත් සදාතනික දෙයක්, ලෝකයේ ඉස්සර ඉඳලා තිබිච්ච දෙයක් නෙමෙයි, යම්කිසි හේතුවක් නිසා පහල වෙලා මේ කැටි වෙච්ච දෙයක්. මේක මේ හැම හටගත්ත දේකටම නිර්මාණය වෙච්චි දවසක් තියෙනවා. ඒ ගැන අපිට සැකයකුත් නෑ, කවදා හරි හේතුවක් නිසානේ මේක හටගත්තේ, නෑ වෙන ක්‍රමයකින් හටගත්ත එකක්” මෙන්න මේ විදිහට හැඟීම් එනකොට, “එහෙනම් එකාකාරව පේන්නේ එකාකාර දෙයක් නෙමෙයි, යම් ශක්ති විශේෂයක් නිසා ඒක රැස් කරපු, ඒකරාශි වෙච්ච කෑලි වල එකතුවක් නිසා පේන මායාවක් විතරයි මේ ලෝකේ තියෙන්නේ” කියලා මෙන්න මේ දහම දකිනවා, ඔය විදිහට බලාගෙන යනකොට.

 

    මෙන්න මේ දැක්කට පස්සේ, මේ සත්වයෙක් ය, මේ පුද්ගලයෙක් ය, මේ ද්‍රව්‍යයක් ය, මෙබඳු වස්තුවක් ය කියලා යම් “නිත්‍ය සංඥාවක්” තිබුණා නම්, ඒ “නිත්‍ය සංඥාව” ඔහුගේ හිතෙන් ඉවත් වෙනවා. අන්න, “අනිත්‍යයි” කියලා වැටහුණා. “සියල්ල අනිත්‍යයි” කිවුවේ ඔතෙන්දී, නිත්‍ය සංඥාව නැතුව ගියා. සත්ව, පුද්ගල “ආත්ම සංඥාව” බිඳිලා ගියා. මෙන්න මේකට කියනවා, “ආත්ම දෘෂ්ඨිය” බිඳුනා, දැකීම බිඳුනා. සක්ඛාය දිට්ඨියත් පහු කරා.

 

    මේක දැක්කේ මොකේකින්ද? බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව හිතලයි මං මේක දැක්කේ. ඒ ධර්මය පිළිබඳ කිසීම සැකයක් ආයි හිතන්න දෙයක් නෑ, මේක බොරුවක් නෙමෙයි, ඇත්ත. ඔය හැඟීමත් එනකොට, ධර්මය පිළිබඳව සැකයක් නෑ. “මේ ධර්මය නම් සෙල්ලම් වැඩක් නෙමෙයි, මේක අති දුර්ලභ ධර්මයක්. මේක දේශනා කෙරුවේ සත්‍යවන්තයෙක් මයි, සත්‍යවාදියෙක් මයි. එහෙනම්, බුදුපියාණන් වහන්සේ මේක දේශනා කළා නම්, උන්වහන්සේ ඒකාන්තයෙන් සත්‍යවාදියි, මට ඒකේ කිසිම සැකයක් නැහැ. බුදුන් කෙරෙහි සැකයක් නැහැ. මේ මග අනුගමනය කිරීමෙහි ප්‍රතිඵලය මට වුනත් පේනවා. වැඩක් නෑ, කියලා මට අත්හැරීමක් තියෙනවා. එහෙනම් මේවා වැඩක් නෑ කියන එක දැක්කා නම්, වැඩක් නෑ කියලා සම්පූර්ණයෙන්ම අත්හැරපු සංඝ රත්නයක් ලෝකේ ඉන්නවා. ඒක නැතිවෙන්න විදිහක් නෑ. සංඝයා කෙරෙහි තියෙන සැකයකුත් නෑ.

 

    බුදුන් කෙරෙහි, දහම් කෙරෙහි, සඟුන් කෙරෙහි හටගත් විශ්වාසයක් වේද, මේක තමයි මාර්ගය. ඔය ටික දකින්න ඕනේ. මෙන්න මේ ටික දකිනකොට යම් “සීලබ්බත පරාමර්ශනයක්” කරලා නිවන් දකින්න නම් වෙන එකක් කරන්න ඕනෑ කියලා කියනවා නම්, එහෙම එකක් කරන්න දෙයක් නෑ, මේක තමයි මාර්ගය කියලා දකිනවා. “නිවීමේ මාර්ගය මේකයි, අත්හැරීමේ මාර්ගය මේකයි” කියලා දැක්කා නම්, අන්න ඒ කෙනාට “විචිකිච්චාව” ත් නෑ, “සීලබ්බත පරාමාසය” ත් නෑ. සං‍යෝජන 3ක් බිඳිලා ගියා.

 

    මෙන්න මේ සංයෝජන 3 බිඳුනහම මේ ලෝකේ වටිනාකම හොඳටම අඩු වෙනවා. “මනුස්සයෙක් හැටියට ජීවත් වෙන කෙනාට, මනුස්සයෙක් හැටියට ජීවත් වෙන්න අවශ්‍යය කරන ඒවා ඇරෙන්න මට එයින් එහා දෙයක් ඕනේ නෑ. මගේ බලාපොරොත්තුවක් නෑ, ලෝකේ”. මෙන්න මේ මට්ටමට සීමා වුනහම, අසීමිත බලාපොරොත්තු, අසීමිත ආසාවන් තියෙන කෙනාට, ඒ අසීමිත ආසාව නිසාම, ඒ වස්තු කැඩෙනකොට, බිඳෙනකොට, විනාස කරනකොට, කැඩී, බිඳී, විනාස වී යනකොට, ඇතිවෙන කම්පණය හරීම බලවත්. ඒ වෙලාවට ඔහුගේ තියෙන මුලාව නිසා, “කැඩෙනවා, බිඳෙනවා, විනාස වෙනවා, ඒක උරුමය නේ” කියලා වටහාගන්න නැති කෙනාට, “ඒක එහෙම වෙන්න දෙන්න බෑ, මං මළත් ඒක එහෙම දෙන්නේ නෑ, මං මරාගෙන මැරෙනවා, ගහගන්නවා, කපා-කොටා ගන්නවා, දෙන්නෙ නම් නෑ” මෙන්න මේ වගේ සැර ගතියක් එනවා.

 

    එතකොට, මොකද වෙන්නේ? මෙන්න මේ ආකාරයට එහෙම සිද්ධ වෙච්චි කෙනාට (දහම් දැකපු කෙනාට) මොනවා නැති වුනත් සෝකයක්, සංවේගයක් නැතිවෙනවා නෙමෙයි. ඒක තියෙනවා. නමුත්, ඒ පුද්ගලයා සතර අපාගත කරන්න තරම් බලවත් සෝකයක්, සංවේගයක් ඇතිකරන්නනේ නෑ. එබඳු සෝකයක්, සංවේගයක්, දූෂ්‍ය තාවයක් ඇතිකරලා, එබඳු දූෂ්‍ය මනසකින් සතර අපාගත වීමට හේතුවෙන දෙයක් කරන්නේ නෑ, කියන්නේ නෑ. ඒ තරම් බලවත් නෑ. මෙන්න මේ නිසා, එබඳු සතර අපාගත වෙන ක්‍රියාවල් නොකරන තත්වයට පත්වෙනවා. ඒ නිසා ඔහු සතර අපායෙන් නිදහස් වෙනවා.

 

    ගිණි දෙන අපායෙන් නිදහස්. මොකද, ඔහු මොනම අසාධාරණයක් කියලා දැකලා වත් “මට කරපු අපරාධයට මං ඔහුට ගින්නක් දෙනවා” කියන වචනය ඔහුගෙ හිතේ නෑ. ගිණි දෙන්නේ නෑ. ගිණි දෙන සංස්කාරයක්, ගිණි දෙන – හිතෙන්, කයින්, වචනයෙන් ගිණි දෙන දෙයක් දැක්කොත්, ගිණි දෙන ක්‍රියාවක් කළොත්, ගිණි දෙන කතාවක් කතා කළොත්, අනුන්ට ගිණි දුන්නොත්, දුක් ගිණි, සෝක ගිණි ඇතිකරවන්න කටයුතු කළොත්, ඔය වැඩ කළොත් මොකද වෙන්නේ? ඒ වගේ දෙයක් සිද්ධ කළොත් එහෙම, …(පැහැදිලි නැත)… එබඳු දුක් දෙන දෙයක් ඇතිකළොත් එහෙම යම් වෙලාවක, ගහගන්නවා, මරාගන්නවා, කපාගන්නවා, කොටාගන්නවා, වනසාගන්නවා, උගේ පරම්පරාව වනසනවා, මේ වගේ අදහස් ලෝකයාට එනවා.

 

    අර ආර්ය විනය තේරුම් අරගෙන, ලෝකයේ නිස්සාරත්වය වටහාගත්ත කෙනාට, “කරන එකක් කරපුවාවේ, මං ඕවා අරං යන්න යෑ! ඔන්න ඔහේ ඕනෑ එකක් කියපුවාවේ, මට ඇති වැඩක් නෑ ඕවා. ඉන්නකන් ජීවත් වෙන්න දෙනවා නම්, කොහේ හරි කමක් නෑ මං ඉන්නවා” මෙහෙම අදහසකට බහිනවා. ඒ නිසා, එයාගෙන් ද්වේෂයෙන් අනුන්ට ගිණි දෙන කතාවක්, ක්‍රියාවක් නෙමෙයි වෙන්නේ.

 

    එහෙනම්, ද්වේෂ සහගත සංස්කාරය තමයි ගිණි අපායේ උපද්දවන ගිණි සංස්කාරය. ගිණි සංස්කාර ඔහුගේ හිතේ නිරෝධ වෙලා දැන් තියෙන්නේ. ගිණි සංස්කාර නිරෝධ වෙච්චි කෙනාට, ගිණි විඤ්ඤාණයක් පහල වෙන්නේ නෑ. සංඛාර පච්චයා විඤ්ඤාණං කියන කාරණේ, ගිණි සංස්කාර ප්‍රත්‍යයෙන් සිද්ධ වෙන ගිණි විඤ්ඤාණ පහල වෙන්නේ නෑ. ඒ නිසා ගිණි නාම-රූප බහින්නේ නෑ. “ඕකාව මරන්න පොල්ලක් ගන්නවා, ඕකාව මරන්න වෙඩි තියනවා” ඒ නාම-රූප බහින්නේ නෑ. ගහන්න, මරන්න හිතෙන්නේ නෑ, එබඳු බඩු මූට්ටු හොයන්න හිතෙන්නේ නෑ. ඔහුට විනාසයක් කරනවා කියන, විනාස කරන්න ආයුධ ගන්නේ නෑ. ඒවා ගන්නැති තත්වයට පත්වෙනවා.

 

    සියල්ල ගන්නේ නෑ කියන එක නෙමෙයි, ළමයෙක්ට ගහන්න කෝටුවක් ගන්නවා. හැබැයි, ළමයාට වෙඩි තියන්න තුවක්කුවක් ගන්න සිරිතක් නෑ, මරන්න පොල්ලක් ගන්න සිරිතක් නෑ. හදාගන්න කොටුවක් අරගෙන ගහන්න පුලුවන්. මෙන්න මේ තත්වයට පත්වෙනවා. ඒ නිසා, ගිණි සංස්කාර නැති කෙනාට ගිණි ජාතියක් නැති වෙනවා. එහෙනම් ඔහු සතර අපායේ ගිණි අපායෙන් නිදහස් හෙවත්, අට මහා නරකයෙන්, හෙවත් අපායෙන් නිදහස්. අට මහා නරකය සහිත ගිණි අපායෙන්, ගිණි ගන්න එකෙන් නිදහස් වෙනවා.

 

    “සීතල ගණං දානවා” කියලා එකක් තියෙනවා. හරී හොඳට කතා කරලා, මහා ගුණ වන්තයා, නැණ වන්තයා, හරි සාරෙන් ජීවත් වෙන කෙනා, ඇවිල්ලා කතා කරලා, කොහෝම හරි අනුන්ට ගින්නක් දීලා පණින මිනිස්සු ඉන්නවා. ඔවුන්ට තියෙනවා මේ ලෝකේ සීතල අපායක්. ඒකේ උපන්නොත්, තනිකර හීතලෙන් ගැහෙනවා. ඒ සීතල ගණං දානනේ නැති කෙනාට සීතල සංස්කාර ත් නෑ. ඒ සීතල පාප සංස්කාර නැති නිසා, සීතල පාප විඤ්ඤාණත් නෑ. සීතල පාප …(පැහැදිලි නැත)… බහින්නෙත් නෑ. එබඳු ආයතනත් නෑ, ස්ඵර්ශ ත් නෑ, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති එකක් වත් නෑ. එයා ඒකෙන් මිදුනා.

 

    ඒ වාගෙම යම්කිසි පුද්ගලයෙක් අවංකව වැඩ කරනවයි කියලා යමක් කියනවා නම්, ඒ අවංකත්වය ඉක්මවලා, යම් කෙනෙක්ට ඇකිලෙන්න වෙන, යම් කෙනෙක්ට හැඟවිලා යන්න වෙන, කපටි වැඩ, සූත්තර වැඩ කරන්නේ නෑ. යම් දවසක ලෝකයාට ආරංචි වෙලා, “ඔබ මෙහෙම දෙයක් කළා නේද?” කිවුවොත් ඇකිලෙන්න සිද්ධ වෙන්නේ නෑ. දෙකට නැවෙන්න සිද්ධ වෙන්නේ නෑ. එබඳු නීච වැඩ කරන්නේ නෑ. මොන …(පැහැදිලි නැත)… රූපයකට වුනත්, “මට එහෙම කරලා මොන ආස්වාදයක් ලබාගන්නද?” …(පැහැදිලි නැත)… මෙන්න මේක දැකලා, නිස්සාර බව දැක්ක නිසා, …(පැහැදිලි නැත)… ලක්ෂණයක් ඇතිවෙනවා.

 

    එහෙනම් තිරච්චානව උපදින්න හෙවත් තිරිසන් ව උපදින්න හේතු වෙන සංස්කාරයක් ඔහු ලඟ නෑ. තිරිසනෙක් වාගේ වැඩකරන්න හේතු වෙන ක්‍රියා නෑ, කතා නෑ. ක්‍රියා නැති නිසා, කතා නැති නිසා, එබඳු වන්නාවූ වැඩපිළිවෙලක් ඔහුගෙන් සිද්ධ වෙන්නේ නැති වුනහම තිරිසන් ව උපදින්න හේතු වෙන සංස්කාරයක් තියෙනවා නම්, ඔහුට ඒක නෑ. තිරිසන් ව උපදින සංස්කාරයක් නිසා තිරිසන් විඤ්ඤාණයක් පහල වෙන්න තියෙනවා නම්, ඒක දැන් ඔහුට නෑ. එබඳු නාම-රූපයක් ඒ හිතේ බහින්නේ නෑ. එබඳු සළායතන, ස්ඵර්ශ, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති එකක් වත් නෑ. එහෙනම්, ඔහු තිරිසනෙක් වෙලා උපදින්න හේතු නෑ. සතර අපායෙන් නිදහස් වෙලා බව දැනගන්නේ එහෙමයි.

 

    ඒ වාගෙම යම්කිසි පුද්ගලයෙක් තමන්ට පුළුවන් කම තියෙද්දී, තමන්ගේ පුලුවන් කම තියෙද්දී අසාධාරණ විදිහට, අයුක්ති විදිහට අනුන් ගෙන් වැඩ ගන්න, අනුන් ගෙන් උදවු ලබාගෙන මග හරින්න, මේ වගේ අසුර වැඩ කරන්නේ නෑ. ශූරත්වය තියෙන පුද්ගලයා තමන්ට පුළුවන් නම් උදවුවට උදවු කරනවා, කළ ගුණ සළකනවා. ඒවා මඟහැරලා, තමන්ගේ වාසියට, අසාධාරණ විදිහට මඟහරින්නේ නෑ. එබඳු මඟහරින සංස්කාරයක් තියෙනවා නම්, ඒවා තමයි “අසුර සංස්කාර”. ඒ අසුර සංස්කාර ඇති පුද්ගලයාට අසුර විඤ්ඤාණයක් පහල වෙනවා. මොන වටිනා දේ වුනත්, කළ යුතු මොන යුතුකම තිබුණත්, මේ මිනිස්සු කම්මැලියි. “මට බෑ ඔන්න ඔහේ යන්න, මං නිකං ඉන්නවා” “එහෙම කියන්නේ ඇයි? උඹට මෙච්චර වැඩ කරලා දීලා තියෙනවා නේද? මෙච්චර උදවු කරලා තියෙනවා නේද? ඇයි එහෙම කියන්නේ?” “ඌ ඔන්න ඔහේ කරපුවාවේ, මට කමක් නෑ! මම යන්නේ නෑ” හරී කැත හිතක්.

 

    මෙන්න මේ කැත හිත සෝවාන් පුද්ගලයා ට නෑ. එයා කවදත් කෘතෝපකාරයට සළකනවා, ඒකෙන් මඟහරින්නේ නෑ. ඒවායින් මඟහරින, ගුණ හීන, තුච්ඡ, නින්දිත විදිහේ වැඩ කරන්නේ නෑ සෝවාන් පුද්ගලයෙක්. කරන්න හේතුවක් නෑ, හිත් නෑ එහෙම. එයා හොඳට ගුණ අඳුනනවා. එක ගුණයක් කරා නම්, සීයක් අගුණ අමතක කරලා ඒ ගුණයට සළකනවා. තමන්ට කරන්න පුලුවන් යම් උදවුවක් තියෙනවා නම්, ඒ උදවුව කරලා දෙනවා. මෙන්න මේ ආකාර ගුණයක් තියෙන නිසා, යම් අසුර සංස්කාරයක් තිබුණා නම්, අසුර සංස්කාරයෙන් තියෙන කාය සංකාරයත් නෑ, වචී සංකාරයත් නෑ, ක්‍රියා කරන්නේ නෑ, කතා කරන්නේ නෑ අසුර විදිහට. ඒකත් ඉටු කරනවා නම්, අසුර තලයේ උපදින්න හේතු වෙච්චි යම්කිසි සංස්කාරයක් තියෙනවා නම්, ඔහුට දැන් ඒක නෑ. ඔහුට දැන් අසුර ජාතියක් නෑ, ඒකෙනුත් මිදුනා.

 

    යම් කිසි මසුරු ගති තියෙන, තමා ලඟ තියාගෙන, හිඟන්නෙකුට හෝ වේවා, දිය යුත්තෙකුට හෝ වෙවා, දෙන සිරිතක් නැති මිනිස්සු ඉන්නවා. ලැබුණට පස්සේ, කළ දේ ඔක්කෝම අමතකයි. කළ ගුණ සළකන්නේ නෑ. තිබෙන දෙයක් දෙන්නේ නෑ. “මට තිබුණොත්, මගේ වැඩේ තිබුණොත්, ඔක්කෝම මට ඇති හොඳටම. අනිකා මැරුණත් කමක් නෑ” කියලා මසුරු කම් කරන ගතියක් තියෙනවා. ඒක ලෝකයාගේ මසුරු බව. ආවාස මසුරු කළා කියනවා, ගේ-දොර වලට අසාධාරණය බලන්නේ නැතුව, ගේ දොර ආදියට මසුරු කම් කරනවා. ඒ වාගෙම ලාභයට මසුරුකම් කරනවා, ධනයට මසුරුකම් කරනවා, “ආවාස මච්ඡරිය, ලාභ මච්ඡරිය, ධර්ම මච්ඡරිය” – තමන් දන්න දේවල් කියලා දෙන්නේ නෑ. හරි වටිනා දෙයක් කියලා ඒක දෙනවා, මේක දෙන්නේ නෑ. මේ වගේ, ඔක්කෝම හංගාගෙන. තමන් මොනවා හරි වටිනා දෙයක් දන්නවා නම්, ඒක තමන්ගෙ ලොකු කමට, තමන්ගෙ පුරසාරම කියලා ඒක හංගාගෙන.

 

    මෙබඳු ගතිලක්ෂණ සෝවාන් පුද්ගලයාගෙ නෑ. ලෝකය දැනුවත් කරන්න යම් ධර්මයක් දන්නවද, ඒකෙන් දැනුවත් කරලා, එයාවත් යහපත් මගට ගන්නවා. ඒ ධර්මය හංගාගෙන තමන් ලොක්කා වෙන්නේ නෑ. “තමන් උසස් වෙන්න ඕනේ, අනිකාට ඒක කියලා දුන්නොත් ඌ මහාචාර්ය වෙනවා” කියලා, එහෙම ගති ලක්ෂණ නෑ. කියයුතු දේ දීලා, ඒ තැනැත්තා දැනුමෙන් උසස් වෙනකොට සතුටු වෙනවා. එහෙම ගුණ තියෙනවා. එහෙනම්, මේ කියන මසුරු ගති නැති නිසා, ප්‍රේතයෙක් වෙන්න හේතු නෑ. ඒවා තමයි පෙරේත ධර්ම, ප්‍රේත සංස්කාර කියන්නේ. පෙරේතයෙක් වෙන්න තිබෙන සංස්කාරයක් තිබුණා නම්, ඒ සංස්කාරය ඔහුට නෑ. ඒ නිසා, සංස්කාරයක් නැත්නම් ප්‍රේත විඤ්ඤාණයක් නෑ. ප්‍රේත නාම-රූපයක බහින්න දෙයක් නෑ, ප්‍රේත සළායතනය, ප්‍රේත ස්ඵර්ශ, ප්‍රේත වේදනා, ප්‍රේත තණ්හා, ප්‍රේත උපාදාන, ප්‍රෙත භව, ප්‍රේත ජාති ඔහුට නෑ.

 

    මෙන්න මේක තමා ලඟ තියෙන නිසා, ඔහු දැනගන්නවා “මට මේ කියන්නාවූ සතර අපායට හේතුවෙන සංස්කාර නෑ. ඒකාන්තයෙන්ම සතර අපායට යන්නේ මේ සංස්කාර වලින්, මෙහෙමයි යන්නේ, එහෙම “ආදිය” දැක්කා, ඒකේ උපැද්ම දැක්කා, “නව” දැක්කා, ඒක දැකලා තියෙන නිසා, එයා කවදාවත් එතෙන්ට වැටෙන්නේ නෑ. ඒ නිසා කියන්න පුලුවන්, “ක්ෂය කළ ප්‍රේත විෂය ඇත්තෙම්, ක්ෂය කළ නිරය ඇත්තෙම්, ක්ෂය කළ තිරිසන් යෝනි ඇත්තෙම්, ක්ෂය කළ අසුර නිකා ඇත්තෙම්, නියත වූ සම්බෝධි පරායණයෙන් සෝවාන් වෙමි” යි ඔහු කැමති නම් ප්‍රකාශ කරන්නේය. අන්න, ප්‍රකාශ කරන්න පුලුවන් බව කිවුවා. …(පැහැදිලි නැත)… මේකේ තියෙනවා, ඔහුට නිර්භයව තමන් සෝවාන් කියලා කියන්න පුලුවන්, දකින්න පුලුවන්.

 

    “මං ප්‍රේත විෂය ඉවර කළා, මං ප්‍රේතයෙක් වෙන්න හේතු නෑ. යක්ෂයෙක් වෙන්න කියලා හේතු නෑ, ඒ වගේම අසුරයෙක් වෙන්න මට හේතු නෑ. අපාගත වෙන්න මට හේතු නෑ.” මෙන්න මේ ආකාරයෙන් ඔහුට කියන්න පුලුවන් “මම නියතයි, ආයි මේ ගතිය වෙනස් වෙන්නේ නෑ. කුමක් නිසාද? නිස්සාර ලෝකයේ සත්‍යය කියන එක වටහාගෙනයි, මං ඒ තුළින් අත්හැරිය හින්දා මං අත්හැරලා ඉන්න වතක් මං ලඟ නෑ. මං ඔය වතක නෙමෙයි ඉන්නේ. මං ඉන්නේ ධර්මයක.”

 

    වත කියන්නේ, “මං මැරුවත් කරන්නේ නෑ” කියලා හිර කරගෙන ඉන්න එක. ධර්මය කියන්නේ කරන්න සිත් නැති වෙන එක. “ධර්මය තුළින් සත්‍යාවබෝධය නිසා ලෝකේ නිස්සාරයි කියලා වැටහුණා මිසක්, මං නිකන් බොරුවට ලෝකේ නිස්සාරයි කියලා රැවටුණා නෙමෙයි. ලෝකේ නිස්සාර බව අවංකව ම ධර්මය තුළින් වටහා ගත්තා. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියන එක කිසිම දවසක නිත්‍යයි, සැපයි, ආත්මයි කියන තත්වයට පරිවර්තනය වෙන්නේ නෑ, ලෝකේ.

 

    එහෙනම්, ලෝකේ සත්‍යය වෙනස් වෙන්නේ නෑ. එබඳු වෙනස් නොවෙන සත්‍ය ධර්මයක් මං වටහාගෙන, ඒ ධර්මය තුළ ප්‍රතිඵලය වශයෙන් ලෝකේ නිස්සාරයි කියලා වටහා ගත්තා. “නිස්සාරයි කියලා වැටහුණ නිසා තමයි මගේ මේ ටික අත්හැරිලා තියෙන්නෙ. එහෙනම් නැවත වාරයක් මේවා මට ඇසුරු වෙන්න හේතුවක් නෑ, අනුශයත් එක්ක බිඳිලා ගියා” කියලා දැක්ක දාට එයා කියනවා, “මං නියතයි, මේ තුළින් ලැබෙන්නාවූ අවබෝධයෙන් මං දැනගත්තා, සියල්ලම අත්හැරලා දැම්ම තැන තමයි සම්පූර්ණ සැනසිල්ල කියලත් මට වැටහිලා තියෙනවා. එහෙනම්, මං සම්බෝධි පරායණයි. සම්බෝධිය කරාම යනවා මිසක් ඒකාන්තයෙන් ඒකේ නවතින්න තැනක් නෑ. මම සෝතාපන්නයි! මම යා යුතු මාර්ගයට පැමිණිලා ඉවරයි. මං එතන ඉන්නවා” බය නැතුව කියන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා, මෙහෙම කියන්න පුලුවන්.

 

{1:26:09} : සෝතාපන්න වුනු පසු කෙළෙස් සංසිඳී මාර්ගය වැඩෙන අයුරු…

    එහෙනම්, මෙන්න සෝවාන් ඵලය ලැබෙනකොට ඇතිවෙන තත්වය. අනන්ත සංසාරයේ ගෙනාපු කාම ධර්මයන්ගෙන් යුක්ත වෙලා, ඒකෙන් හටගත්ත විපාක කය දැන් තියෙනවා. මේ මිනිස් කය හටගත්තේ මිනිස් කාමයෙන්. මිනිස් කාමය සහිතව, අලෝභ, අදෝස, අමෝහ කියන ගති වලින් යුක්ත වුනත්, මේ කාමය අහක් වෙලා තිබුණේ නෑ. ඒ නිසා, කාම සහගතව, නමුත් කුසල කර්මයක චිත්ත ප්‍රසාදයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ මිනිස් කය පහල වෙන්නේ, මේ ලෝකෙට. මිනිහෙක් වෙලා උපන්නේ. එහෙනම්, එබඳු මිනිහෙක් වෙලා උපන්නාවූ මේ කය කාමයට කුලප්පු කරන එකක්. කාම ඉන්ද්‍රියන් සහිතයි. විපාක වශයෙන් ඇති කරන්නාවූ කාම ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වයට මඟ පාදනවා. ඒ නිසා, අපට කාම අරමුණු එනකොට කාමයන්ට මේ හිත කැළඹෙනවා නේ, තව.

 

    “ඒක පුරුදු කරගත්ත නැති නිසා, භාවනාවෙන් වැඩුවේ නැති නිසා, මගෙ හිත ඒවට තව ඇදිලා යනවා. ඒ නිසා මට කාම අරමුණක් එනකොට ප්‍රිය භාවයක්, මධුර භාවයක් ඇතිවෙනවා. ඒ නිසා මට ඒකට ඇදීමක් එනවා. ඒ නිසා මට කාමය නම් අයින් කරගන්න තව බැරි වුනා. හැබැයි, ඒකත් “ගිණි” බව මං වටහාගෙන ඉවරයි. මොහොතක්, මොහොතක් පාසා මං ඒකේ යථාර්තය දැකලා ඒකෙ නිස්සාරත්වය වටහාගන්න උත්සාහ කරනවා”.

 

    අන්න එහෙම බලනකොට, ආදීනව බලනවා. රාගයේ “ආදිය” බලනවා, කාම සංස්කාරයන්ගේ. කාමයේ “නව” හෙවත් කාම උප්පත්තිය බලනවා. “කාම සංස්කාරයක් වැඩුවොත් කාම උප්පත්තියක් හම්බවෙනවා. කාම උප්පත්තියක් හම්බවුනොත්, කාම උප්පත්තියකට හේතු වෙන්නාවූ මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන මේ ඉන්ද්‍රිය හය නැවත හම්බ වෙනවා. ඒක හම්බවුනොත්, ඒකත් එක්කලා මේ කාමය දැඩිව විඳින්න ගත්ත මස්-ලේ කයක් හම්බ වෙන්න ඕනේ, අඩුකරලා නැත්නම්. ඒ කයක් මට මේ කයෙන් පස්සේ ආයිත් හම්බ වෙනවා. එදාට මම ආයිත් සැරයක් මේ වා – පිත් – සෙම් රෝග වලට, දුක් – කරදර වලට, ඒ වාගෙම නොයෙක් ආකාර බාදක වලට, මේ ජීවිතය ගෙවන්න ඕනෑ. ක්‍රමයෙන් හම්බකරන්න ඕනෑ, දුක් – මහන්සි වෙන්න ඕනෑ, සාවත්තියක් නැතුව ගෙවිලා යන කාම ලෝකෙට ආයිත් මං වැටෙනවද?”

 

    මේන්න, ඒ “ආදිය” යි “නව” යි බැලුවා. “ආදීනව” දැක්කා. මෙහෙම ආදීනව දකිනකොට, එයාට එපා වෙනවා මේ ලෝකේ. “අනේ, එහෙම ආදීනවයක් තියෙන මේ ලෝකය තුළ, නිත්‍ය නැති, ආත්ම ආදී සාරයක් ඉතුරු නොකරන, දුක් ගින්නකට හේතු වෙන, මේ ආස්වාද මාත්‍රය, හරියට “මාරයා ගෙ ඇම” කියන්නේ මේකට. මේ ඇමට රැවටිලා නේද මාත් මේ තවදුරටත් ඒකටම මේ ඇඟිලි ගහන්න යන්නේ? මොකට යනවද?” ධර්මයට අනුව මෙහෙම හිතනකොට අර ටික බිඳිලා යනවා. බිඳිලා ගිහිල්ලා “කාමයෝ නිස්සාරයි” කියලා වැටහෙන්න පටන්ගන්නවා.

 

    අන්න, නිස්සාරත්වය වැටහෙනකොට, කාමයෝ ක්‍රම-ක්‍රමයෙන් අඩුවෙලා යනවා. මේක තමයි “භාවනාව”! මෙන්න මේ භාවනාව කෙරීගෙන යනකොට, ඉඳගෙන කරන්නත් පුලුවන්, හිටගෙන කරන්නත් පුලුවන්, යන – එන ගමන් කරන්නත් පුලුවන්, කථාවෙන්, සාකච්ඡාවෙන් කරන්නත් පුලුවන්, ඕවා ගැන කතා කරලා, අදහස් කරලා, සාකච්ඡා කරනකොට, ධර්ම දේශනා කරනකොට, …(පැහැදිලි නැත)…

 

    මේ හැරෙන්න, මාත්‍රයක් – මාත්‍රයක් පාසා කාමයන්ගේ ආශ්වාද බිඳිලා යනවා. කාමයන් කෙරෙහි තියෙන උපාදානය බිඳෙන්න පටන් ගන්නවා. මොකක් නිසාද? කාමයන් රැස් කරන්න තිබ්බිච්ච අවිද්‍යාව දුරුවෙනවා. දුරුවෙන්න – දුරුවෙන්න විද්‍යාව පහල වෙනවා. අන්න, අවිද්‍යාව දුරුවෙලා ගිහිල්ලා, අවිද්‍යාව දුරුවීමේ ලක්ෂණය තුළින් සංස්කාර දුරුවෙනවා. ඉන් එහාට නාමරූප, සළායතන, ස්ඵර්ශ, වේදනා, තණ්හා, උපාදාන, භව දුරුවෙනවා. එහෙනම්, මෙලොවදිම කාම භවය දුරු කරගන්න පුලුවන් වෙනවා.

 

    මේ ක්‍රමය අනුගමනය කරලා කාම භව සම්පූර්ණයෙම දුරුකරගන්නකොට, එක අවස්ථාවක, ඔය මධ්‍යස්ථය පහුකරලා යනකොට, රැස් කරන බලාපොරොත්තුවක් තිබුණා නම් කාමයන් සඳහා, “අපට රැස් කරන්න නම් ඕනේ නෑ. තිබුණොත් මම කාමය විඳිනවා, හැබැයි රැස් කරගෙන තියාගෙන විඳින එක මට මහ කරදරයක්. මට ඕනේ නෑ රැස් කරගෙන විඳින්න.” මෙන්න මේ අදහස ඇවිල්ලා, දෙවෙනි අවස්ථාවත් බහිනවා, ඊලඟ අවස්ථාවේ ඵලයට…

 

~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~

 

දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://waharaka.com/listen/CD002-04