දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)
අසම සම බුදු ගුණ, බුදු රැස්, බුද්ධ ප්‍රතිමා වල අනුහස, බුදු සරණ සහ දේව වන්දනාව
{0:00:00} අසම-සම බුදු ගුණයට අනුව බුදු රුව මැවෙන හැටි
දැන් “බුදු රුවක්” කියලා අපි හදපු බුද්ධ රූපයක්, බුද්ධ පිංතූරයක් කියලා ළමයෙක් හරි ඇඳලා, තවත් ඇඳපු පිංතූර තියෙනවා, එක එක්කෙනාගෙ පිංතූර, සිත්තරෙක් හරි ඇඳලා තියෙනවා. තිබ්බට පස්සේ, මේ රූප ටික ඔක්කෝම බලාගෙන යන ගමන්, “මේ රූප, මේවගේ ඒවා එකයි මං දැකලා තියෙන්නෙ, මෙහෙම මිනිස්සු මම දැකලා තියෙනවා, මෙහෙම හැඩ-රුව තියෙන අයත් දැකලා තියෙනවා, එහෙම අය ලෝකෙ ඉන්නවා, හැබැයි මෙන්න මේ රූපෙ තියෙන කෙනෙක් ව මං කොහෙදිද දැකලා තියෙන්නෙ ?” කියලා බුදු රුවත් අරගන්නවා, බුද්ධ පිංතූරය. අරගෙන “මේ චිත්‍රයේ ඉන්න කෙනා වගේ කෙනෙක් මං කොහෙවත් දැකලා තියෙනවද?” හම්බවෙයිද බලන්න ?
මෙන්න මේ “බුදු හාමුදුරුවන්ගෙ” කියලා මේ ඇඳලා තියෙන රූප ස්වභාවය ඇති පුද්ගලයෙක් මං මේ ලෝකෙ දැකලා නෑ. දකින්න තැනක් තිබිලා තියෙනවද? නමුත් අන්‍ය රූප රාමු, තිබිලා තියෙනවා. අන්‍ය සමාන අය ඉන්නවා. සමහර අය …(0:51 පැහැදිලි නැත 0:57)… ඒ වගේම “යේසුස් වහන්සේ” නැවත වැඩලා කියලා ඒ විදියෙම රැවුල වවාගෙන හිටපු අයට රැවටිලා තියෙනවා. එහෙම අය ඉඳලා තියෙනවා.
ඒ වුනත් මෙතෙනදි, මේ බුදුරජාණන් වහන්සේගේ වගේ රූපයක් දැකලා, “මෙන්න මේ ජාතියෙ කෙනෙක් මම දැකලා තියෙනවා” කියලා කාටවත් කියන්න පුලුවන්ද බලන්න? හැබැයි චිත්‍රෙ ඇන්දෙ කවුද? කවුරුහරි සාමාන්‍ය මිනිහෙක්, සාමාන්‍යය සිත්තරෙක්. ඒ ඇන්දත්, ඒ චිත්‍රය හැදුවා නම් සාමාන්‍යය කෙනෙක්, ඒ හදපු දේ තුළිනුත්, ඒ පුද්ගලයාගේ මානසිකත්වයට ගෝචර වෙච්ච මේ “බුද්ධ රූපය” කියන සංකේතය සම කරලා සංකේතයක් ලෝකෙ පෙන්වන්න බෑ කිසි කෙනෙකුට.
එහෙනම්, මේකට කියනවා “අසම-සම” ගුණය. අසම බුදුවරයෙක් සමඟ පමණයි සම කරන්න පුලුවන්, රූපයෙන් බැලුවත්. මනසින් බැලුවත්, ඒ කියන්නෙ ඥානයෙන් බැලුවත් එහෙමයි. මෙන්න මෙබඳු ගුණ ස්වභාවයක් තියෙනවා. එහෙනම් “මේ බුදුන්ගේ රූපයයි” කියලා යම්කිසි පුද්ගලයෙක් රූපයක් අඳින්න කිවුවොත්, ඔහු ඇඳපු රූපයේ පවා ඔය කියන වෙනස තියෙනවා, “අසම-සම” ගුණ ලක්ෂණය. ඕක අදත් හොඳට ඔප්පු වෙන දෙයක්.
එහෙනම්, “අසම-සම ගුණ රුවක්” යම් තැනක නැගෙනවා නම්, අන්න ඒ අසම-සම ගුණ රුව නැඟෙන්න, අසම-සම ගුණයක ගුණ විද්‍යාමානත්වයක් එන්න ඕනෙ, ඔවු හේතුව හැටියට. මෙන්න මේ වෙලාවෙදි මනසින් නැඟෙනවා එක්තරා ශක්ති විශේෂයක්. මනසින් නැඟෙන ශක්තීන්ට, මේ ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන මේ ධාතු මාත්‍රයෙන් හටගත්ත භූත හතරේ, ආපෝ භූත, තේජෝ භූත, වායෝ භූත, පඨවි භූත කියන සතර මහා භූතයන් ගේ සංකළනයන්, පරිවර්තනයන් කරන්න හැකියාවක් තියෙනවා. හොඳටයි, නරකටයි දෙකටම මේක තියෙනවා.
ඒ සංකළනයන් කිරීමේ හැකියාව තියෙනවා, ආපෝ, තේජෝ, වායෝ, පඨවි කියන මේ ආපෝ භූත ආදී මේ භූත හතරෙන්, හතර මහා භූතයන් ගෙන්, සංකළනයන් කරවන්න, චලනයන් කරවන්න හැකියාවක් තියෙනවා, අනුකූල චිත්ත ස්වභාවයට. අභිඥාවට වැඩෙන්න අවශ්‍යය නෑ, සාමාන්‍යය මට්ටමෙන් හෝ නැඟෙන චිත්ත ස්වභාවයක ඒ ස්වභාවය තියෙනවා. දැන් ඔය විද්‍යාඥයෝ, සාමාන්‍යය මේ… ඔය වගේ දාර්ශනිකයෝ පවා එහෙම දේවල් ඔප්පු කරලා, ඒගොල්ලෝ ඒවා කරලා පෙන්වලා තියෙනවා.
දැන් පතොක් ගහක් ලඟට ගිහිල්ලා “අපි කටු නැතුව ජීවත් වෙමු, අපිට මොකටද අනුන්ට ඇනෙන කටු?” එක්තරා යෝගියෙක් නිතර කියන්න පටංගත්තා, තමංගෙම හිතවතෙක් හැටියට, පතොක් ගහට. ඔහොම දවස් ගණනක් කියාගෙන යනකොට, දවසක් ගිහින් බලනකොට ඔක්කෝම කටු ටික ගහ මුළ වැටිලා ලු, ඒ ගහේ කටු නැහැ ලු. ඊට පස්සෙ ඒ ගහෙන් හැදෙන පරම්පරාවත්, කටු නැති පතොක් හැදෙනවා ලු. දැන් මේවා මේ අපිට දැනගන්න පර්යේෂණ කරන අලුත් දේවල්.
ඉතින්, මේ විශ්වයට අපි යමක් කියනකොට, යහපත් නම්, විශ්වයේ යහපත් ප්‍රතිඵල වලට පරිවර්තනය වෙන හැටි, යමකට එල්ල කරලා කිවුවහම එහෙම වෙනවා. ඒ වගේ, යම්කිසි කෙනෙක් බුදු ගුණ සිහිකරන්න පටන් ගත්තොත්, දැන් අපිට බුදු හාමුදුරුවන්ගේ ජීවමාන රුව දකින්න නැතුවට, අර මනසින් ගොඩනඟාගත්තා වූ බුදු රුව අනුව හදපු පිළිම තමයි මේ දකින්න හම්බවෙන්නෙ.
බුදුන් සිහි වෙනකොටම ගුණ රුව වශයෙන් අපිට පුරුදු මානසිකත්වයේ රුව නැඟිලා එනවා. අපි දැන් නවගුණ ගාථාව කියනකොට, බුදු ගුණ කියන්නේ. බුදු ගුණ ගාථාව කියනකොට, ඒකෙන් එන පිරිත් වල ඔන්න ඔය ශබ්දය විහිදෙන්න පටන්ගන්නවා, බුදු ගුණ ශබ්දය විහිදෙන්න පටන්ගන්නවා. හැබැයි, මේකෙදි හොඳ වැදගත් දෙයක් දකින්න ඕනෙ, මොකද ඒ වැදගත් දෙයක් කියන්නෙ? ඒ එතකොට මෙන්න මේ ගුණ ශක්තිය විහිදෙනකොට, හතර මහා භූතයන් ගෙන් හටගත්ත මේ විශ්ව තළය තුළ ඒ භූතයන් ගේ පරිවර්තන සිද්ධවෙනවා, අනුකූල පරිවර්තනයන්. ඒවා ගති සමානත්වයට, ගති සමානත්වය දී රූපයට ඇදිලා එනවා.
එහෙනම් බුද්ධ ප්‍රතිමාවෙන් පෙන්වන සංකේතයෙන් පෙන්වපු ඒ ගුණයට අනුකූල වන්නාවූ ගති රුවට අපි අර බුදු ගුණ පාඨය කීමෙන් නිෂ්පාදනය කළ ශක්තිය ඇදලා යනවා. අන්න, “ගති ආකර්ශනය” කියන්නේ ඕකයි. විශ්වයේ සතර මහා භූතයෝ අනුකූලව සකස් වෙලා ඇදෙනකොට, ශාන්ත, සුන්දර සුවය ගෙනදෙන්නාවූ ස්වභාවයෙන් සකස් වුනු රූප කළාප හැටියට සකස් වෙලා තමයි, “රූප කදම්බ” හැටියට තමයි ඒ තැන් වලට ඇදිලා ඇවිදිල්ලා විද්‍යාමාන වෙලා පේන්නෙ. එකින් එකට ස්වභාවයෙන් ලංවෙලා.
ඉතින් ඕකෙදි අරවගේ ප්‍රශ්නයක් මතුකරන්න පුලුවන්… “ඉතින් මෙච්චර කල් මේ ඉතිපිසෝ කියන ගාථාව කිවුවෙ නැද්ද? දැන් මේක මොකද මේ අපිට අලුත් බණ නොතේරෙන්නේ…?” ඔහොමත් කියන්න පුලුවන්. දැන් ඔතෙනදී දැනගතයුතු කාරණා කීපයක් තව තියෙනවා. යමක්, යම් තැනක ඔප්නැංවෙන්න අනුකූල පරිසරයක් ඕනෙ. අවශ්‍යය දේ ඔප්නැංවිලා තියෙන්නත් ඕනෑ, ඒක මතුවෙලා එන්න අවශ්‍යය භෞතික පරිසරය අනුකූල වෙලා එන්නත් ඕනෑ.
එහෙනම්, ඔය කියන අගෝස්තු පලවෙනිදා කියන දවසේ ඉඳං පටන්ගත්ත භෞතික පරිසරයක්, අද විද්‍යාඥයින්ට පිළිගන්න මේක බැරුවට, මේ විශ්වයේ සිද්ධ වෙනවා. ග්‍රහ තරු වලටත් මේකේ තියෙනවා දකින්න, ඒගොල්ලොන්ටත් දැනට පෙනෙන එකක් තියෙනවා, එක්තරා යෝගයක් මේ, අවුරුදු හත්සිය ගණනකින් පහලවෙන යෝගයක්, මේ නව වෙනිදා වෙනකොට යෙදෙන හැටියට ජ්‍යෝතිෂ්‍යයෙන් දැකපු එකක්. …(ශ්‍රාවක මහතෙක් යමක් පවසයි, පැහැදිලි නැත)…
එතකොට, දැන් මේ කියන යෝගය මේ විශ්වයේ හටගන්න එක්තරා පරිසර බලපෑමක්. ඔන්න ඒක යහපතට පත්වෙන බලපෑමක් මේ පෙන්වන්නෙ, ඒක විශේෂ යෝගයක්. එහෙනම්, ඒ යෝගයේ භෞතික පරිසරය කොයි තරම් දුරට අනුකූල වෙලා තියෙනවද? එහෙනම්, අනුකූල වෙච්චි වෙලාවෙදි මේකෙ හටගෙන තියෙනවා නම් යම්කිසි ගුණ කිරණක් මතුවෙලා, ඔන්න ඔය කිරණ ක්‍රියාත්මක වෙන වෙලාව. එතකොට දැන් මෙතෙනදි ප්‍රශ්නයක් තියෙනවා, “ඔයිට ඉස්සර කවදාවක් වත් ඔහොම එකක් දකින්න, මතුවෙන්නෙ නැද්ද?” ඔහොමත් ප්‍රශ්න එන්න පුලුවන්.
මේ කිරණ මේ හදිස්සියෙන් ම මේ හැමතැනම, පැත්තෙන් පැත්තට, ගාල්ල පැත්තේ, මාතර පැත්තේ, එතනින් ගිහින් බලනකොට ගම්පහ පැත්තෙ, කොළඹ පැත්තෙ, ඔහොමත් ඇවිල්ලා දැන් අන්තිමට කුරුණෑගල පැත්තෙ, ඔහොම පැතිරීමක් යනවා. තව කල් යනකොට හැමතැනින් ම ආරංචි වෙයි, “අපේ පැත්තෙත් තියෙනවා, අපේ පැත්තෙත් තියෙනවා” කියලා. ඒ දකින එකත් විශේෂයක් තියෙනවා.
{0:06:59} නිවැරදිව ශබ්ද නැඟිය යුතු නව ගුණ ගාථාවේ බලය
දැන් මෙතෙනදි, අපිට වැදගත් දෙයක් තියෙනවා දැනගන්න. මුළ යහපත්, මැද යහපත්, අග යහපත් අර්ථ සහිත වූ, ව්‍යංජන සහිත වූ, සර්වාකාරයෙන් පරිපූර්ණ දහමක් බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තිබ්බා නම්, ඒ දහම ඒ විදිහට ම නම් හඬ නැඟුවේ, ඒ විදිහට ම නම් ප්‍රකාශ කළේ, ඒ විදිහට ම නම් පද වෙන් කළේ, ඒ විදිහට ම නම් භාවිතා කළේ, ඒ විදිහෙම ප්‍රතිඵලයක් මතුවෙන්න ඕනෙ. “ඔබලාට භයක්, තැතිගැන්මක්, ලොමු දැහැගැන්මක් ඇති වුනොත් මාව මෙනෙහි කරන්න” කියලා බුදු පියාණන් වහන්සේ ගේ ශ්‍රී මුඛ දේශනා වචනයක් වශයෙන් ම නව ගුණ පාඨය දේශනා කළා. ඕක කෑලි කඩලා වෙන් කරන්න නෙමෙයි දේශනා කළේ. ඒක හරියට, කිවුව විදිහට ගන්න ඕනෙ, භාවිතා කරන්න ඕනේ. අක්ෂර, ඝන වෙනස් කරන්නෙ නැතුව, ඒකට අනුකූල වන්නාවූ විදිහට ම පද පෙළ අරගෙන, ඒ විදිහෙන් කරන්න ඕනේ.
හැබැයි ඕක කරපු අපේ ආදි පැරැන්නෝ, බුදු ගුණ බලයෙන් අප්‍රමාණ ආශිර්වාද ලැබුවා. භය, තැතිගැනුම්, දුක්, දොම්නස් දුරු කරගත්තා. අර ධජග්ග සූත්‍රයේ කියා තියෙන පරිදි ම ඒ ආශිර්වාදය ලැබුවා. හැබැයි අපි දන්නැති එකක් මේ බෞද්ධ රට තුළ, බෞද්ධ වැඩපිළිවෙල තුළ සිදු වුනා දැනට අවුරුදු හත්-අටසීයක ඉඳලා. අපට ගුණ දෙන අර මාර්ගයන් ගේ ඉතාම සියුම් තැන් වලින් අපිට නොපෙනෙන්න වහලා තිබුණා. ඉතින් මේ වහපු නිසා, අර වැඩපිළිවෙල ගේනවා, අද වෙනකන් වත් ඒ වුනාට මේකෙ වැහිච්ච තැන හොයාගන්න බෑ.
පාළි භාශාව මෙච්චර දන්නවා. පාළි භාශාව පිළිබඳව හසළ දැනුමක් ඇතුව හිටපු අපේ මේ මෑත කාලෙක ස්වාමීන් වහන්සේලා ඇතුළු අපේ මේ බෞද්ධ කියන, උගත් පණ්ඩිතවරු අතරෙ, කවුරුත් ඔය “ඉතිපිසෝ ගාථාව” කියලා කිවුවා. අදත් කියන්නෙ “ඉතිපිසෝ ගාථාව”. අපි ඇහුවොත් “ඉතිපිසෝ” කියන වචනයේ පාළිය කොහොමද? කොතනද තියෙන්නෙ? කියලා….. “ඉතිපිසෝ ගාථාව” කියලා වචනයක් කිවුවා. “ඉ” යන්න, “ති” යන්න, “පි” යන්න, “සෝ” යන්න කියන අකුරු හතර ම එකතු වෙලා පදයක් හැදුවා, “ඉතිපිසෝ”. එහෙනම්, “ඉතිපිසෝ භගවා අරහං…” කියලා මයි ඔක්කෝම එක්කලා කියන්නෙ. කවුරු, කොච්චර පණ්ඩිත කමට බණ කියන්න ගියත්, “ඉතිපිසෝ භගවා” කියලා මයි කියවෙන්නෙ. කියලා දීලා තියෙන්නෙත් එහෙමයි. “ඉතිපි සෝ භගවා” කියන වචනය වෙන් කරන්නෙ නැතුව, “ඉතිපිසෝ භගවා” කියලා මයි කියන්නෙ.
“බෙනේක නයෙක්”…. “බෙනේ කණයෙක්”… “බෙනේක නයෙක්”…. අපි ඔය අක්ෂර කිවුවහම කොච්චර පද අර්ථ වෙනස් වෙනවද? “බෙනේ කණයෙක්” කිවුවහම බෙනේක “කණයා” කියන මාලුවෙක් ඉන්නවා කියලා අපි කියනවා. අත දාන්න කිවුවහම කණයා අල්ලන්න, “බෙනේක නයෙක්!” කියලා තියෙන්නෙ එහෙමයි, අපිට වෙනස් තේරුම නිසා නයා ඉන්න එක ඇහිලා තියෙන්නෙ කණයා ඉන්නවා කියලා. අත දාන්න ගිහාම නයා කනවා.
මෙන්න මේ වගේ දෙයක් තමයි “ඉතිපි සෝ භගවා” කියන උත්තම බුද්ධ වචනය, පදයක් වෙනස් නොකර ගත යුතු බුද්ධ දේශනාවට, “ඉතිපිසෝ භගවා” කියලා පදය හදාගත්ත තැන පටන් නව ගුණ ගාථාවෙ මුළ කැපුනා. ඔතන පටන්ගෙන, පදෙන් පදය වෙන් කරලා ගත යුතු තැන වෙන් කරන්නෙ නැතුව, අර සියළු ආකාරයෙන් පරිපූර්ණ ව තියෙන නව ගුණ ගාථාව, පද බැඳලා, පද දෙකක් එකතු කරලා එක පදයක් හදලා, එහෙම නැත්තම් එකෙන් එක වැඩිපුර වෙන් කරලා දහ පදයක් හදලා, නව පදය වෙනුවට, මේ වගේ වෙනස්කම් කරාට පස්සේ, සම්පූර්ණ අර මුළ යහපත්, මැද යහපත්, අග යහපත්, අර්ථ සහිත, ව්‍යංජන සහිත, සර්වාකාරයෙන් පරිපූර්ණතාවය කෝ?
අන්න ඒකෙන් අහක් වෙලා ගයන තාක්කල් මොකද්ද සිද්ධ වුනේ? ලොකූ වරදක් කළා! “ඒ භාග්‍යවතුන් වහන්සේ” කියනකොට ම “ඉතිපිසෝ” කියලා, “භගවා” කියලා වචනෙකට ගත්තා. “ඉතිපි සෝ භගවා” කියන “මෙසේ හෙයින් මේ භාග්‍යවතුන් වහන්සේ” කියන අදහස නැතිවෙලා ගියා.
දැන් අපි දන්නැති තව ඕකෙ අර්ථයක් ගන්නවා “ඉතිපිසෝ” කියන වචනෙට ගත්ත අර්ථයක් ගන්නවා. හරියට, කුණුහරුපයක් කියලා දන්නැතුව ඉන්නවා වගේ “භාග්‍යවතුන් වහන්සේ” පටන්ගන්නෙ. “ඉතිපිසෝ භගවා”…. අර “පුතා” කියන එකට එහෙම, මුළට එහෙම දැම්මොත් විශේෂණයක්, ඒ පුතා කොච්චර නරක් වෙනවද? කොයි තරම් එකක් වෙනවද අපිට? “භාග්‍යවතුන් වහන්සේ” ගේ මුළට දැම්මොත් ඒ ජාතියෙ විශේෂණයක් එහෙම, “ඉතිපිසෝ” කියලා ? දැන් භාග්‍යවතුන් වහන්සේ කොයි ජාතියෙ කෙනෙක් කරලද අපි කතා කරන්න පටන්ගන්නෙ ම ?
දැන් මෙන්න මේ විදිහට, අපි නොදන්න පැත්තක පද නිරුක්තියක් හැදෙනවා “ඉතිපිසෝ” කියලා ගත්තහම. ඒ නිසා හරි භයානකයි ඔය වචනෙ, “ඉතිපිසෝ” කියලා කතා කරන එක, “ඉතිපිසෝ භගවා” කියනකොට. අර “පුතා” කියන එකේ මුළට අපි ද්වේෂයෙන් හිතලා “….. පුතා” කිවුවා වගේ එකක් වෙනවා. මුළ පටන්ගන්නකොට ම භාග්‍යවතුන් වහන්සේ ගේ උත්තරීතර ගුණය වෙනුවට, ඒ වචනය ම පහත් කරන දෙයක් මුළට දාලා තමයි “ඉතිපිසෝ” කියන වචනයෙන් කියවෙන්නෙ. එතකොට, මේ නිසා මේක හරි ගැඹුරු අර්ථයක්, ඕක පස්සෙ විග්‍රහ කරලා ගන්න ඕනෙ එකක්. ඒ නිසා මොකද වෙලා තියෙන්නෙ, මේ නිසා අපිට අද භාවිත කරන්න දීලා තියෙන්නෙ බුදු ගුණ පාඨය කියලා “ඉතිපිසෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණසම්පන්නෝ….” (ස්වාමීන් වහන්සේ පද අතර ඉඩ නොතියා එක දිගට කියාගෙන යයි, සැබෑ අදහස දැන ගැනීම සඳහා කරුණාකර දේශනය ශ්‍රවණය කරන්න) කියාගෙන යන එකක් මේක. එක තැනක වත් පද වෙන් වුනේ නෑ.
දැන් ඔයා කොච්චර කල් වෙනවද මේ නවගුණ පාඨය කියන්න පටන්ගෙන, මෙච්චර කල්? ඔය බුදු දහම ඉගෙනගෙන, ශාස්තෲ වරුන්ගෙන් හරි, ආගමික නායකයන් ගෙන්, කොච්චර කල් ද?
“අපි මෙච්චර කල් අහවල්, අහවල් හාමුදුරුවන් ගෙන් ඉගෙනගෙන, මෙහෙම කියනවා”
හා බලන්න, නව ගුණ පද වෙන් කරලා කියන්න බලන්න..
දැන් වෙන් කරයිද? බෑ නෙවෑ වෙන් කරන්න. අපේ ඉන්න පිරිස දැන් අපි කියලා දීලා, කියලා දීලා හින්දා වෙන් කරන්න පුලුවන්. අරහං, සම්මාසම්බුද්ධෝ, විජ්ජාචරණසම්පන්නෝ, සුගතෝ, ලෝකවිදූ…. අපි එකින් එකට කියනවා.
දැන් අනුත්තරෝ කියලා කට්ටියක් වෙනම කියනවා, පුරිසදම්මසාරථී වෙනම කියනවා, මේක වැරදියි, අනුත්තරෝපුරිසදම්මසාරථී කියන්නෙ එක ගුණයක්, අපි මේක විග්‍රහ කරලා දීලා තියෙන හින්දා අපේ මිනිස්සු දන්නවා “අනුත්තරෝපුරිසදම්මසාරථී” කියලා එක ගුණයක් වශයෙන් කියන්න. සත්ථාදේවමනුස්සානං, බුද්ධෝ, භගවා ඉති – භගවාති කියන්නෙ ඒකයි. එතකොට ගුණ නවය ලස්සනට වෙන් වෙලා කියවුනා. ඔතන “මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ” තමයි “ඉතිපි සෝ භගවා” කියලා ගත්තහම.
එහෙනම්, අර්ථවත්ව, සියලු ආකාරයෙන් සර්වාකාර සම්පූර්ණව බුදු ගුණ පාඨය ගැයෙන්න පටන්ගෙන තියෙනවා දැන් ලෝකෙ. අපිට ඔප්පු කරන්න පුළුවන්, මෙච්චර කල් ඔප්පු කරන්න බෑ කිසි කෙනෙකුට, මමත් මේ විදිහට කියලා දුන්නා අපේ ගෝලයින්ට. “ඉතිපිසෝ” වගේ අරගෙන එන්නෙ නැතුව, එහෙම කිවුවම. හැබැයි, කියන්න පුලුවන් මෙහෙම…
එතකොට සමහර අය කියනවා, මොකද්ද… “සෝ භගවා ඉතිපි අරහං, අරහං වත සෝ භගවා…” ඉතින් ඔය ආදී වශයෙන් කියලා දීලා තියෙනවා. හැබැයි, බුදු පියාණන් වහන්සේ නමේ ඒකට පෙරට කියන්න කිවුව එක කියලා නෑ නෙ එතන, එකින් එකට වෙන් කර කරා නෙ පද කියන්නෙ… “සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ – සම්මා සම්බුද්ධෝ වත සෝ භගවා” මේ ආදී වශයෙන් අපි උච්චාරණය කරන ඒවා දෙකක් තියෙනවා. දැන් පෙළ දහමෙ තියෙන, “ඉතිපි සෝ භගවා, අරහං, සම්මාසම්බුද්ධෝ…” කියලා අනුපිළිවෙලින් ගුණ නවය කියාගෙන යා යුතු ක්‍රමය නෙමෙයි…
එහෙනම්, බුදු පියාණන් වහන්සේ “නුඹලාට බයක්, තැතිගැන්මක්, ලොමුදැහැගැන්මක් ඇතිවුනොත්, මෙන්න මෙහෙම අනුගමනය කරපල්ලා…” කියලා අඩුත් නැති, වැඩිත් නැති, සර්වාකාරයෙන් පරිපූර්ණ පොඩි මන්තරයක් දුන්නා. අන්න ඒ මන්තරය තමයි, බුද්ධ මන්තරය තමයි, ඔය මහා ගුණ නවය කැටි කරපු ඔය ගාථාව. කාලයක් පුරා අපිට ඔය ගාථාව, “ඉතිපි සෝ ගාථාව” කිවුවෙත් නෑ, “ඉතිපිසෝ ගාථාව” කියලා ම දුන්නා. “ඉතිපි” ගාථාව කියලා භාවිත කළෙත් නෑ, හැරෙන්නෙ “ඉතිපිසෝ ගාථාව දන්නවද?”
“ඉතිපිසෝ” කියන වචනය මුලටම දාලා, දැන් පූර්ණ කරලා තියෙන්නෙ, සුද්ධ කරලා හදලා තියෙන්නෙ, තනිකර ම “ඉතිපිසෝ” කියලා වචනයක් තියෙන හැටියට. අපි කියන, කියන මොහොතක් පාසා ම “ඉතිපිසෝ භගවා” කියලා ම කියවෙනවා මිසක් ඒ නිසා, අපිට කියවෙන්නෙ නෑ කවදාවත් “ඉතිපි සෝ භගවා” (ඉතිපි සහ සෝ යන වචන වෙන් කර දේශනා කරයි, සැබෑ රිද්මය අවබෝධ කරගැනීමට අනිවාර්යයෙන් දේශනාව අසන්න) කියන වචනය. වෙන් වෙලා කියවෙන්නෙ.
හැබැයි ඔය වචනය කියවෙනවා දැන් දහස් කටකින් කියවෙනවා දැනටත්. තේරුම් ගත්ත, අනුකූල සිදුවෙන්න, කටවල් දාහකට වැඩිය දැනට කියවෙනවා. අපිට ඉස්සර අදහසක් ආවා, දහම් අදහසක් ආවා, “යම් දවසක දාහක ගේ මුවඟින් මේ ගුණ කියවෙන්න පටන්ගත්ත දාට මේ විශ්වයේ වෙනසක් වෙනවා” කියලා, ඒ වෙනස ආරම්භ කරනවා. හැබැයි, දැන් වෙනකොට අපි දන්නවා, දාහක ගෙ කටින් ඔය වචනය කියවීගෙන යනවා. ඔය ගුණ ටික කියවෙනවා, ඔය කර්මස්ථාන කියවෙනවා. අන්න, අනුකූල ශක්තිය විශ්වය ට නිපදවෙනවා. අනුකූල කාලය මතුවෙලා එනකොට, අනුකූල තැන් වලින්, ඒ ශක්තිය මතුවෙලා එනවා. හැබැයි, කොච්චර තර්ක-වාද කළත් හරියන්නෙ නෑ, තව ටිකක් කල් යනකොට ඔයිට වඩා වැඩිය මතුවෙනකොට, ඔය කියන භෞතික තර්ක ඔක්කොම බිඳෙනවා.
(ශ්‍රාවක මහතෙක් යමක් ප්‍රකාශ කරයි, පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ ): අන්න ඒකයි, දැන් තව කියන්න පුලුවන්. තව ටිකක් එහාට ගිහිල්ලා ඔයිට වඩා හරියන්නත් පුලුවන් දාට මොකද කරන්නෙ? එතකොට තමයි ප්‍රශ්නෙ… නමුත් ඒ ගැන ප්‍රශ්නයක් නෑ, නොයෙක් අය නොයෙක් මත කියයි. නමුත්, මත වලින් ජයගන්න බෑ සත්‍යය. ඉතින් ඒ නිසා, අරවගේ ශක්තිය තියෙන්නෙ මොකද, ඔය වර්ණ ස්වභාවයන්, ඔය ඔක්කොම, ඔය ක්‍රමයට ම තමයි ලෝකෙට මතුවෙලා පිටවෙන්නෙ. ඔය තියෙන්නෙ යමක වැදිලා එන පරාවර්තනය, අනුකූල තැන වැදිලා එන පරාවර්තනය.
{0:15:41} බුදුන් වහන්සේ නැතුවත් තැන තැන බුදු රැස් විහිදෙන්නේ කොහොමද ?
ලෝකයා යම්කිසි තැනක් මුල් කරගෙන ආශිර්වාද බලාපොරොත්තු වෙනකොට, මේ ශාන්තිය ඒ තැන්වල වැදිලා තමයි ආපහු නිකුත් වෙන්නෙ. ගුවන්විදුලි විකාශනාගාරයෙන් ශබ්දයක් නිකුත් කළාට පස්සෙ, අනුකූල ගුවන්විදුලි යන්ත්‍රයට ඒක ඇදගෙන, ඒකෙන් නිකුත් කරනවා ඒ ශබ්දය, අනුකූල ශබ්දය. ශබ්දය වගේම, අනුකූල වර්ණය ගිහින් ඇදගෙන, නැත්නම් වර්ණයට අවශ්‍යය කරන ටික ඇදගෙන, ඒකෙන් අනුකූල වර්ණය නිකුත් කරලා සේයාවක් යෙදුවා වගේ වර්ණය නිකුත් කරනවා …(එක වචනයක් පැහැදිලි නැත)… [16:09]
අන්න ඒ වගේ දෙයක් මෙතන තියෙනවා, මේ ගුණ තරංගයක් යන්නෙ. ඒ ගුණ තරංගය අනුකූල වෙන තැන තමයි බෞද්ධයින් ගෙ සම්මත පූජනීය වස්තුව, ඒවා කරා තමයි ඇදිලා යන්නෙ. ඒවා තමයි සම්මත වෙලා තියෙන්නෙ. ඒ සම්මතයෙන් පිටකරන ආපහු නරක ප්‍රතිචාරය තමයි ඔය එක එක විදිහේ වර්ණ මතුවෙලා පේන්න පටන්ගන්නේ.
(ශ්‍රාවක මහතෙක් අදහසක් ප්‍රකාශ කරයි, පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ:) ඔවු, දැන් මෙහෙම දෙයක් තියෙනවා. අර හැමදෙයක් ම දිලිසෙන්නෙ හොඳට නෙමෙයි. හැබැයි දිලිසෙන දේ තුළින් එදත් දැනගත්ත ක්‍රමයක් තියෙනවා. අංගුලිමාල කුමාරයා වෙලා උපදින වෙලාවෙ, ඒ මුලු ගමේ ම තියෙන කඩු, කිණිසි ඔක්කොම දිලිසෙන්න පටන්ගත්තලු, ආයුධ. ගෙවල් වල තියෙන කඩු දිලිසෙන්න පටන්ගත්තා ලු. හැබැයි, ගුණධර්ම තියෙන ඒවා නෙමෙයි දිලිසුනේ, කඩු! හැබැයි කඩු දිලිසීමේ ආදීනවය නවසිය අනූ නමයක් ම මරලා, අම්මා මරන්න එන දාමරිකයෙක් බවට පත්වීමෙන් පෙන්නුම් කළා. දිලිසිච්චි එකේ ප්‍රතිඵලය, ඒ උපන් කෙනාගෙ හැටි. දිලිසුන පැත්තෙ හැටියටයි ප්‍රතිඵලය හම්බුනේ. හැබැයි මේ සැරේ භයානක වෙන්නෙ දිලිසෙන බුදු පිළිම. බුදු පිළිම දිලිසිලා විනාසයක් කරන්නෙ නෑ නේ. අපි ඕක දකින්න ඕනෙ එකක්.
දැන් බුදු රැස් ගැන කතා කරන වචනයක් කියලා, මෙහෙමයි, “බුදු රැස් කියන්න එපා” කියන වචනය අපිට හුඟාක් ඇහෙනවා. ඒක හින්දා “බුදු” හඳුනාගන්න ඕනෙ. රැස් හඳුනාගන්න ඉස්සෙල්ලා, “බුදු” කීදෙනෙක් ඉන්නවද?
“බුද්ධ” කියන වචනය අරගන්නකොට, “ලොවුතුරා බුද්ධ, පච්චේක බුද්ධ, ශ්‍රාවක බුද්ධ” කියන, යථාවබෝධයට අනුව බුදුවරයින් වහන්සේලා තුන්දෙනෙක් ගැන සඳහන් වෙනවා. බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා “ශ්‍රාවක බුද්ධයි”. බුද්ධ බවට පත්වෙනකොට ඇතිවෙන්නෙ චිත්ත ප්‍රභාස්වරත්වයයි. “පබස්සරමිදං භික්ඛවේ චිත්තං” කියන තැනටයි බුද්ධ වෙනකොට පත්වෙන්නෙ, හිත. පබස්සර හිතේ ස්වභාවයක් තියෙනවා, ආලෝකමත්. ඒක තමයි අර ආලෝක ප්‍රතිචාර දක්වන්නේ. අන්න, ප්‍රභාස්වර ගතිලක්ෂණයේ ස්වභාවය ඒකයි. ඒකෙන් විහිදුවනවා, ඒ එන ආලෝකය එක එක වර්ණවත් කරලා විහිදුවන්නේ ඒකයි.
ප්‍රභාස්වර ගතිය කියන ගතියේ, ප්‍රභාස්වර වෙන මට්ටම් තියෙනවා. ඒ මට්ටමට තියෙනවා “ලය නිවුනු” ගතියක්. ලයේ කහට ගතියක් තියෙනවා, ඉස්සෙල්ලාම ලෝක සත්වයාගේ. ඒක වර්ණනා කරන්න වටින එකක් නෙමෙයි. ලයේ කහට කියන එක වර්ණනා කරන්න බෑ, හොඳ පැත්ත නෙමෙයි. ඒ නිසා ඒ ලයේ කහට තියෙන නිසා එතකොට ක + හ + ල – ඛය බවට පැමිණුනු ලයේ ස්වභාවය තමයි, ක + ආල – කාල. අන්න, කලු වර්ණය සංකේතවත් වෙන හේතු ඵලය. ක්ෂය බවට පැමිණුනාවූ ලයක ලක්ෂණය මොකද්ද, කාල යි. අන්න “කාල” ලක්ෂණය තමයි කලුවෙන් කියලා අපි දකින්නෙ.
ඊටපස්සේ ක්‍රම ක්‍රමයෙන් ලය නිවී යන ගති ලක්ෂණයක් එනවා. නිමුනු ලයක් ඇත්තේ, “නීල” යි. අන්න එදාට නීල හටගන්න හේතු වෙනවා, නිමුනු ලයේ ගතිගුණය. යම් ලයක් නිවන් දැකලා නම්, නිවන් දැකපු ලය හෙවත් මානසිකත්වයක් තියෙනවා නම් යම් කෙනෙකුට, එයාගෙ තියෙන පළවෙනි ම විහිදෙන එක තමයි නීල, එයාගෙ ස්වභාවය.
“පීත” කියලා වචනයක් තියෙනවා ඊලඟට. පා + හිත – පීත. ඒ නිරුක්ති හැදෙන හැටි. පානය කරන හිතක් තියෙනවා, පානය කරන හිතට කියනවා, පීත. පානය කරන්නෙ මොනවද? පංච කාමයෝ. ලය නිවිලා ඉන්නෙ, සැඩ ඵරුෂ නෑ. පංච කාමයෝ පානය කරන හිතක් තියෙනවා, පා + හිත – පීත.
ලෝකාස්වාදයට බැඳෙන හිතක් තියෙනවා. ලෝකයට තියෙන හිත තමයි ලෝ + හිත – තමයි “ලෝහිත” වර්ණය වෙන්නෙ, රක්ත වර්ණය.
ඒ දේ ඔක්කොම අත්හැරපුහම උඩට අදින හිතක් තියෙනවා. “උද්ධ” හිත. උද්ධං හිත තමයි ඕද හිත, “ඕදාත” වුනේ, සුදු වුනේ. සුද්ධ වර්ණය කිවුවෙ අන්න ඒකයි. හිතේ ගති ලක්ෂණයට අනුකූලව වර්ණය හටගන්න හැටි.
ඒ තත්වයෙන් උඩට ගිහිල්ලා, මනසින් ජ්‍යේෂ්ඨත්වයට පත්වෙනවා. මනසින් ජ්‍යේෂ්ඨත්වයට පත්වුන කෙනාට කියනවා, “මාන්ජ්‍යේෂ්ඨ”.
ඔතනින් ගිහින් තවත් උත්තරීතරත්වයට ගිහාම, නැවත භවයේ සැරිසරන්න, සරන්නේ නැති තත්වයට, එයා “ප්‍රභා අස්සරත්වය” ට පත්වෙනවා. ප්‍රභා + අස්සර වුනාට පස්සෙ “ප්‍රභාස්වර” යි. ඒවා වර්ණ පෙන්නන්න බෑ. ඒක ලෝකෝත්තරයි.
ඔන්න හය වර්ණය කියන හැටි. දැන් බුදුපියාණන් වහන්සේ ලඟ තියෙන්නේ ඕකෙ අභ්‍යන්තරයේම, ලඟ ම තියෙන්නේ ප්‍රභාස්වරත්වය. දැන් මේ ප්‍රභාස්වරත්වය ට ලං වෙලා ම තියෙනකොට, මේ ලෝකෙ පංච කාමයෝ ම හටගෙන තියෙන්නෙ එක්කෝ පුන්‍ය ඵල මුල් කරගෙන, පුන්‍ය – පාප කියන මේ දෙක තමයි ලෝකය තුළ ඇදලා එන්න විපාක වශයෙන් තියෙන්නෙ. ප්‍රභාස්වරත්වය ට විපාක වශයෙන් ඇදලා එන්න එකක් නෑ. ඒක අරිහත්වයෙන් කෙළවර කරනවා.
නෑ, දැන් උන්වහන්සේ ගේ මානසිකත්වය කරා උන්වහන්සේ ගේ කායිකත්වය වෙතට ඇදලා එන්න නම්, බාහිර ලෝකයේ යම් කිරණ ශක්තියක්, මොනවා හරි රූප කලාපයක් ඇදලා එනවා නම්, ඒ ඇදලා එන හැම එකක් ම උරාගන්න විදිහක් නෑ. ප්‍රභාස්වරත්වය නිසා උරන්නේ නෑ. දැන් මොකද වෙන්නෙ? උරන්නෙ නැති ටික විකර්ශනය කරන්න ඕනෙ. හැබැයි, ලෝකයාට දෙන්නෙ ඒකෙන් අවශ්‍යය ටික හළලා. තමා වෙතට යමක් එනවා නම්, උන්වහන්සේ ආපහු පිටකරන්නේ ආශිර්වාදයක් කරලා මයි. ආශිර්වාදය පිට කරනකොට, “කාල” අහලක වත් නෑ ඒකෙ. “කහල ගොඩ” පිච්චිලා ම යනවා, පැත්ත පලාතක නෑ. ලය නිවිලා ජීවත් වෙන්නෙ, අන්න එක අදහසක්. එතකොට දැහැමින්, පංච කාමයෝ ඇසුරු කරන්නේ දැහැමින් ඇසුරු කරගෙන ඉන්නේ. හොඳ නිසා නෙමෙයි, නිමුනු ලයකින් යුක්තව ඉන්නේ, එතකොට ලෝකය ඇසුරු කරනවා නම්, ඒ ගානට, විදිහට ඇසුරු කරන්නේ. හොඳ නිසා නෙමෙයි, නමුත් තව එකපාර අත්හැරගන්න බැරි නිසා. අන්න එකින් එකට තියෙන ගති ලක්ෂණ.
හැබැයි, මීට වඩා හොඳයි උසස් සිතකින් ජීවත් වෙන එක. තවත් ශ්‍රේෂ්ටයි මරණයේ ජ්‍යේෂ්ඨ තත්වයෙන් ජීවත් වෙන එක, උසස් ගුණධර්ම ඇතුව ජීවත් වෙන එක. එහෙම ජීවත් වුනාට පස්සෙත්, ඔය ඔක්කොම ලෝකෙට අයිතියි. ඔක්කොම අත්හරිනවා. අත්හැරපු දාට ප්‍රභාස්වරයි, ආයි මෙතෙන්ට එනවා.
මෙන්න මේ කියන ගති ලක්ෂණයට අනුව තමයි උන්වහන්සේ වෙතට විපාක වශයෙන් හෝ මොන හේතූන් හෝ ඇදලා එන, අනිත් කෙනාගේ චිත්තයෙන් උන්වහන්සේටත් ඇදලා එනවා නම්, ඒ උන්වහන්සේ ගෙන් විකර්ශනය ගන්නෙ ආපහු ඔය විදිහට බිඳලා. සූර්යාලෝකයට වතුර බිංදුවක් විහිදුනහම, වතුර බිංදුව වතුර බිංදු වශයෙන් ම නෙමෙයි තියෙන්නේ. ඒකට වැටෙන ආලෝකය ඒ බිඳු අතරින් යම්කිසි ශක්තියක් තමයි නීල, පීත ආදී වශයෙන් හදලා යවන්නේ. එහෙනම්, දේදුන්න පායලා වගේ පේනවා සූර්යාලෝකයෙන් වතුර පිම්බහම, වර්ණ විහිදිලා යනවා.
අන්න ඒ වගේ ස්වභාවයක් තමයි, ප්‍රභාස්වරත්වය යම් තැනක නම්, ප්‍රභාස්වරත්වයට බැඳිලා විකර්ශනය කරනකොට යමක්, ඒකේ ක්‍රියාකාරීත්වයට ගෝචර වෙලා තමයි විහිදෙන්නේ. මෙන්න මේ නිසා තමයි “බුද්ධ” කියන තත්වයට පත්වුනහම, ඵලය උදුරා දමන මානසිකත්වයට පත්වෙන එක තමයි ඒ කියන්නේ. එහෙනම්, ප්‍රභාස්වරත්වයට පත්වීම තමයි “බුද්ධ” කියන කෙනෙකුට තියෙන මානසිකත්වය. අන්න එබඳු මානසිකත්වය තුළින් යමක් රැස් කරනවද, රැස් කරන ආකාරයක් තියෙනවද, ඒකට කියනවා, “බුද්ධ රශ්මි” – බුදු රැස්.
බුදුන් රැස් කරන්නෙ නෑ ලෝකයට රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. බුදුන් රැස් කරලා පෙන්නනවා නම්, “රැස් කරහල්ලා” කියලා පෙන්නනවා නම්, අනුකූල නිවන් මඟක්, අනුකූල ප්‍රතිපදාවක්. එකින් එක සකස් වෙලා එන හැටි පෙන්වන්නේ. එහෙනම්, බුදු රැස් හටගන්න හේතුව තියෙන්නේ, බුදු හාමුදුරුවො අපිට රැස් කළයුතු ක්‍රමයක් දුන්නා. ජීවිතේ එකපාර අරිහත්වයට පත්වෙන්න කිවුවේ නෑ, අනුකූලතාවයක් ලබා දුන්නා. “කලු දහම්” පැත්ත පලාතට ගන්න එපා, නීච දහම් වල හීනතාවය දැකලා අයින් කරන්න. ඊට පස්සෙ “මධ්‍යම දහම්” මධ්‍යම දහම් හැටියට ගන්න. ලය නිමිලා ජීවත් වෙන්න, පංච කාමයෝ පානය කරනවා, හැබැයි පානය කරනකොට, ඒ හිත ඉක්මවන්න එපා. ඉක්මවලා දූෂ්‍ය කරගන්න එපා. “පා හිත” ඉක්මවන්න එපා, පීතයෙන් එහාට යන්න එපා. ලෝකයට යම් හිතක් තියෙනවා නම්, ලෝකෙ අල්ලන්න එපා, ලෝක ආස්වාදයේ ඉන්න ඉතින්, කරන්න දෙයක් නෑ පුරුදු වෙනකන්. එතෙන්ට එනකන් අනුපිළිවෙල ඔහොමයි.
හැබැයි, ඕකෙ ලඟම තියෙන, ඊටත් වඩා වැදගත්, මා ලඟට එන්න වැදගත් කොටසක් තියෙනවා. මා ලඟට තව ලං වෙනකොට, ඕකෙත් ඉක්ම ගිහිල්ලා, උසස් තත්වයට මනස වඩාගන්න, ධ්‍යානලාභී වෙන්න. එතකොට “උද්ධ හිත” තත්වයට ආවා, සුදු තත්වයට ආවා. ඊට පස්සෙ ගුණ ධර්මයෝ පූර්ණය කරන්න, ආර්ය ගුණය. එතනින් සම්බන්ධ කරගන්න, යථාර්තය ට. “මාන්ජ්‍යේෂ්ඨයි” එතකොට, ආර්ය ගුණයට පත්වෙලා දැන්. අතෙන්ට ආවෙ සමාධි ගුණයට, මෙතන ආවා ප්‍රඥා ගුණයට. අන්තිමට “මා තුළට” ඇතුල් වෙනවා (බුදුන් වහන්සේ තුළට), මා හා සමාන වෙනවා. මාගේ තත්වය මේකයි. ගුණයෙන් ආර්යය බව, එහෙනම් අරිහත්වයට වෙනකන් ප්‍රභාස්වරත්වයට පත්වෙනවා. ප්‍රභාස්වරත්වයට පත්වෙච්චි කෙනා සසර ගමන ඉවරයි. ඒ විපාක කඳ ගෙවිලා ගියා, පිරිනිවන් පානවා මිසක් එතනින් එහාට සසර ගමනේ ඉතුරුවක් නෑ.
ඉතින් මෙන්න මේකයි “බුදු රැස්” කියන්නේ. ඒ අනුව තමයි රැස් මාලා හැදෙන්නේ. දැන් පස්සෙ ගත්ත අටුවාවකින් තමයි පෙන්වලා තියෙන්නේ “ඇහෙන් කලුපාට, කලු ඉංගිරියාවෙන් කලුපාට, සුදු ඉංගිරියෙන් සුදුපාට, ඕදාත කිරණ යනවා…” කියලා. දැන් හිස කෙස් වලින් යන්නෙ මොනවද ඇහුවම “නිල් පාටයි” කියනවා. කලු ඉංගිරියාවෙන් යන්නෙත් නිල් පාට. දැන් ඒවා කියලා තියෙන්නෙ අටුවා වල. අටුවාව කියන කතාවක දී, ඔය බුද්ධඝෝෂ හාමුදුරුවො ලිවුව අටුවාවක විග්‍රහයෙන් තමයි ඔය විග්‍රහය තියෙන්නේ. පට්ඨානය දේශනා කරන වෙලාවෙදි ඔය විදිහට රැස් ගියා කියනවා, ඔවු.. දත් වලින් සුදුපාට ගියා…. ඔය ආදී වශයෙන්. එතකොට දැන් ලේ වලින් රතුපාට ගියා, ආදී වශයෙන් පෙන්වලා තියෙන්නේ
එතකොට දැන් ඒ පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ ගේ දේශනාවක රටාවක් නෙමෙයි, ඔය පෙන්වලා තියෙන්නේ මේ මස්-ලේ කයකින් විහිදුන පාටක් ගැන කියලා. මේ මස්-ලේ කයකින් පාටවල් විහිදෙනවා කියන වචනය අරගෙන ඔය විග්‍රහ කරගෙන ගියාට, ඔය කියන තත්වයට බුදුරජාණන් වහන්සේ ගේ දේශනාවේ හේතු-ඵල න්‍යාය සම්බන්ධයක් පෙන්නපු තැනක් නෑ.
එහෙනම්, බුදුරජාණන් වහන්සේ ගේ ශක්ති විහිදෙනකොට, දැන් අපි කියනවා “ලේ වලින් රතුපාට විහිදුනා” කියලා. ඒ ඇහැට පේන මුලාවම නේ ලේ වල රතුපාට. අන්වීක්ෂයකින් බැලුවොත් එහෙම රතුපාට ලේ තියෙනවද? අන්වීක්ෂයකින් බැලුවොත් එහෙම ලේ රතු පාටට තියෙනවා ? රතු පාට නෑ නේ. ඒක ඇහැ මුලාවක් තමයි ලේ රතු කරලා පෙන්වන එක. ලේ බිංදුවක් බලපුහාම හරියට මේ මී වදයක පැණි අහක් කරපු, මැස්සො නැති මී වදයක් තියෙන්නෙ කොහොමද දැල් රටාවට විහිදිලා, ඒ වගේයි ලේ බිංදුව පෙනෙන්නේ. අන්වීක්ෂයකින් බලනකොට රතට පේන්නේ නෑ. ඒ රතට පේනවා කියන්නේ ඒකේ යම්කිසි ආකාරයකින් සකස් වෙලා, ලංවෙලා තියෙන ආකාරය, අර හිමෝග්ලොබීන් කියන යම්කිසි කොටසක් නිසා හටගන්න උද්දීපනයක්.
එතකොට මේකෙන් පෙන්වලා තියෙන්නේ මේ ඇස් වලින් විහිදුන ඒවයි, මේ හිසකෙස් වලින් විහිදුන ඒවයි, දැන් මේ ආදී වශයෙන් ෂඪ් වර්ණ වලට හදලා පෙන්වන්න හදන්නේ ඔය විදිහට. එතකොට ප්‍රභාස්වර විහිදුනේ මොකෙන්ද? ප්‍රභාස්වරත්වයට හිමිකම් කියන පාටක් ගැන කියන්න දන්නෙ නෑ. දැන් සුදු පාට වෙනවා විතරයි, පාට පහේ සංකලනයක් ගත්තහම තමයි ගන්නේ ප්‍රභාස්වර කියලා. ඉතින් පාට පහේ සංකලනයක් අරගත්තහම, පාට පහේ සංකලනයක් තුළ ආයි සැරයක් අර නීල, පීත, ලෝහිත, ඕදාත කියන ඔය ටික ඔක්කොම අරගෙන, අර කුණු ගොඩට මයි ආයි සැරයක් දාගන්නේ, සම්පූර්ණ කරන ප්‍රභාස්වර වර්ණය කියලා. දැන් එතකොට නිල් පාටයි, රතු පාටයි, ඒ විදිහට සුදු පාටයි, මේ ඔක්කොම ටික එකතු කරලා බැලුවොත් එහෙම එනවද ලස්සන පාටක්? යහපත් පාටක් එනවද? ඉස්සරටත් වඩා අඳුරු වෙලා නේ. ආයි සැරයක් බලපුහාම අඳුරටම වැටෙනවා, තිබුණාටත් වැඩිය අඳුරු වෙලා යනවා. ඉතින්, අර වචන වල අර්ථ, නිරුක්ති දකින්නේ නැති වුනහම ඔය ප්‍රශ්නය මතුවෙනවා. ඒවා හැදෙන්නෙ කොහොමද දන්නෙ නැති වුනහමත් ඔය ප්‍රශ්නය මතුවෙනවා.
එහෙනම්, භවය උදුරා දමන හෙයින් කියනවා, භවය උදුරන අර්ථයෙන් තමයි, භව + වූ + උද්ධ – බුද්ධ කිවුවේ. භව + වුද්ධ – වූ + උද්ධ – බුද්ධ. වචන යෙදෙන ක්‍රමයක් තියෙනවා. හැබැයි, භාෂා නිරුක්ති මීට වෙනස් වෙන්න පුලුවන්. හැබැයි පද නිරුක්ති ගෙතෙන, ඇත්ත නිරුක්ති ඥාන ක්‍රමයක් තියෙනවා. ඒක හින්දා තමයි නියම අර්ථ ගන්න පුලුවන්. චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වෙනකොට, මේ භවය උදුරා දමන මානසිකත්වය උදාවෙනවා. ඒ මානසිකත්වයෙන් භවය අල්ලන්නෙ නෑ, ඊට පස්සෙ. භවය උදුරා හරිනවා. භවය උදුරා හරින අර්ථයෙන් “බුද්ධ” කියනවා. මේ බුද්ධ කියන තත්වයට යම්කිසි කෙනෙක් පත්වෙනකොට, අන්න ඒ වෙලාවෙදි රැස් කරන දේවල් රැස් කරන්නෙ අනුපිළිවෙලින්. කොහොමටත් ලඟට ගන්න දෙයක් තියෙනවා නම්, ප්‍රභාස්වරයි. හරාම් දෙයක් ගන්නෙ නෑ, ලෝකයේ සැරිසරන්න හේතුකාරක දෙයක්, තමාගේ ක්‍රියාකාරීත්වයට, තමාගේ ප්‍රයෝජනයට ගන්නෙ නැති නිසා, ඒ ගන්න හරිය ප්‍රභාස්වරයි.
ලෝකයට දෙන හරියක් තියෙනවා, සෙත් පතා. ඉතින් ප්‍රභාස්වරත්වය දෙන්න බෑ, දෙන්න පුලුවන් ඉතුරු යහපත, යහපත් දේ. අන්න යහපතට අනුකූල අනික් හරිය පිට කරනකොට, ශාන්තියත් එක්ක පිටවෙලා යනවා අනිත් ටික. ඔය පිටවෙනකොට තමයි එක එක වර්ණ වැටෙන්නේ. ඉතින් භවය උදුරා දමන ගුණයට පත්වෙච්ච කෙනෙකුට ප්‍රඥාව පහලවෙනවා. ප්‍රඥාව නිසා ආර්ය මෛත්‍රී හැඟීමක් පහලවෙනවා, ආර්යයන් ගේ මෙත් වැඩීමක්. ආර්ය මෛත්‍රියෙන් ලෝකෙට පතුරුවා හරිනකොට, ක්‍රමානුකූලව පැතිරිලා යන රැස් රටාව තමයි රෂ්මි රටාව. අර “බුද්ධ රෂ්මි මාලා” කියනකොට හිතාගෙන ඉන්නේ අර සර්වඥ වූ බුදුපියාණන් වහන්සේගේ ම විහිදෙන රෂ්මි මාලාවයි බුද්ධ රෂ්මි මාලාව, අනික්වා බුද්ධ රෂ්මි නෙමෙයි කියලා. භවය උදුරා දැමූ උත්තමයන් ගේ යම් රෂ්මි මාලාවක් ඇතිවෙනවා නම්, සකස් වෙනවා නම් හේතු-ඵල ඇතුව, ඒ ඔක්කොම “බුද්ධ රෂ්මි”. යම්කිසි සංකේතාත්මක තැනකට වැදිලා ආපහු පරාවර්තනය වුනොත්, ඒකත් ඒ ජාතියෙම එකක්.
දැන් බුදුවරු ලෝකයේ පහල වෙලා විහිදුවන රෂ්මි, බුද්ධ රෂ්මි කිවුවට හරියන්නෙ නෑ එහෙනම්, බුදුවරු පහල වෙලා කියන බණ විතරයි බුදු බණ වෙන්න ඕනෙ? දැන් අද බුදු බණ කියන්න බෑ නෙ, එහෙමනම්! බුද්ධ රෂ්මි තියෙන්නෙ බුදුරජාණන් වහන්සේ ජීවත් වෙලා ඉන්නකල් විතරයි කියලා නිගමනය කළොත්, බුදු බණ තියෙන්නෙත් බුදුරජාණන් වහන්සේ ජීවත් වෙලා ඉන්නකල් විතරයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සෙ, බුදු බණ කොහෙද දැන්?
අන්න, “බුදු” කියන වචනය තේරුම් අරං නැති වරද මේ. “බුදු” කියන වචනය ගත්තහම, සර්වඥයන් වහන්සේ යි බුදු කියන්නේ කියලා, එතනම අරගෙන, බුදු රැස් නම් උන්වහන්සේගෙන් පිටවෙන එක මිසක් වෙන එකක් නෑ කියලා මෙහෙම නිගමනය කරපුහාම, එයා “බුද්ධ” තේරුම් අරං නෑ. එහෙනම්, බුදු බණ කියන්නෙ කවුද කියලා ඇහුවොත් දැන්, දැන් බුදු බණ කියන්න කෙනෙක් නෑ.
{0:31:29} මනෝ පුබ්බංගමා ධම්මා කිවුවෙ සිත මුලින් හා සිතිවිලි පස්සෙ හටගන්නවා කියන එකද?
(ශ්‍රාවක මහතෙක් ප්‍රශ්නයක් අසයි, පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ:) ඔවු, අන්න ඒකයි කියන්නේ, හේතු-ඵල න්‍යායෙන් දකින්න ඕනෙ. ස්ව + භාව + ධර්මය – තමාගේ හැටි දරන්නේ ස්වභාවධමයයි. ඉතින් ලෝක සත්වයා යම් යම් ස්වභාවයන් දරනවා නම්, ඒ දරන ආකාරය තමයි ස්වභාවධර්මය. දැන් හොඳටම පැහැදිලි දෙයක් නේ, දැන් ජේතවනාරාමය වාගෙ මාලිගාවක් පහලවුනා ලු අනේපිඬු සිටුතුමාට. දැන් එතකොට, ඒ පහලවෙනකොට, මොකෙන්ද පහලවුනේ? කවුද පහලකරලා දුන්නෙ? එයා කරපු යම්කිසි යහපත් වන්නාවූ දානමය පුන්‍යකර්ම බලයෙන් එයාට ඒ ජාතියේ විමානයක් තවුතිසා දෙවු ලොව පහලවුනා. දැන් හොඳට පැහැදිලිව පේනවා, ස්වභාවධර්මය පහලවෙච්චි ක්‍රමය. අනුකූල තැන නේ පහලවුනේ, ඉතින් එතකොට ඒක පහලවිය යුතු තැනයි පහලවුනේ, මේ ලෝකෙ නෙමෙයි. දෙවුලොවට හේතු කාරක වන්නාවූ පිනක් කරලා තිබුනා. ඒ පිනට අනුකූල තැන, ඒ සංඛාරයට අනුකූලව ඒ ලෝකෙ පහලවුනා. ඒ පහලවුනෙත් ඊට අනුකූලවයි, හිතුමතේට නෙමෙයි. කවුරුවත් පහලකරපු කෙනෙක් නෑ
.
(ශ්‍රාවක මහතෙක් ප්‍රශ්නයක් අසයි, පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ:) ස්වභාවධර්මය කියන එක කොච්චර කිවුවත්, ඒගොල්ලෝ දකින්නේ මේක කිසිම සම්බන්ධයක් නැති ධර්ම නියාමයක් කියලා. ඒ ධර්ම නියාමය කියන වචනය මයි දාලා තියෙන්නේ. අන්න ඒකයි, ධර්ම නියාමය තෝරගෙන නැතුව, “ඒක ධර්ම නියාමයෙන් සිද්ධ වෙන්නෙ, කර්ම නියාමයෙන් නෙමෙයි…” අන්න එහෙම එකක් තියෙනවා ඕවයේ, ඒකයි වෙලා තියෙන්නේ. චිත්ත නියාමයක් නෙමෙයි, ඉතින් ඕක තමයි වරද්දාගන්නෙ.
(ශ්‍රාවක මහතෙක්): ඔය ධම්මපදයේ පළවෙනි ගාථාව කාටවත් තෝරන්න බැරි නිසා තමයි ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ.
(ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි, “මනෝ පුබ්බංගමා ධම්මා” කියන, චෛතසිකයන්ට හිත ශ්‍රේෂ්ටයි කියලා මෙහෙම කියනවා. දැන් “පුබ්බංගමා” කියන්නෙ පූර්වාංගමයි. “මනෝ සෙට්ඨා” කියලා කියන්නෙ දෙවෙනි වතාවට. පළමුව කිවුවෙ “මනෝ පුබ්බංගමා ධම්මා”, ඔවු, එතකොට මනෝ පූර්වාංගමයි ධර්මයන්ට, ධර්මයන්ට පූර්වාංගම. අන්න එතකොට, පූර්වාංගම කියන්නෙ මුලින් පහලවෙන්න ඕනෙ පූර්වාංගය, මනෝ. දැන් චෛතසිකයන්ට හිත පූර්වාංගමයි කියලා ගත්තොත්, සම්පූර්ණ අභිධර්මයට වැරදියි. චිත්ත-චෛතසික දෙකම ඝාණ්ඨාතයි, එකට උපදින්නේ. එකවර උපදින්නේ, එතකොට එකවර නැඟෙනවා මිසක්, එකක් ඉතුරුවෙලා එකක් නැඟෙන්නෙ නෑ. ඒකාරම්මනයි. “ඒකුප්පාද, ඒකභංග, ඒකාරම්මන…” ඔය ගති තුන තියෙනවා චෛතසිකයේත්, චිත්තයේත්.
ඉතින් මේකෙදි චෛතසිකයන්ට හිත ප්‍රධානයි කියලා ගත්තොත් එහෙම, පුබ්බංගමා කියන (34:13 පැහැදිලි නැත රේචයිකය?) දාන්න බෑ. පූර්වාංගමයි කියලා ම දාන්න ඕනෙ. “පුබ්බංගමා” කියන වචනෙ තියෙන්නෙ, “මනෝ පුබ්බංගමා ධම්මා”, එහෙනම් ධර්මයන්ට මනස පූර්වාංගමයි. ඉතින් ඔයටික තෝරාගෙන නැති එකනෙ වෙලා තියෙන්නේ. “මනෝ සෙට්ඨා” ඒ මනස ශ්‍රේෂ්ටයි. පූර්වාංගමයි, ශ්‍රේෂ්ටයි. “මනෝමයා” මනසින් මයි කළේ. එහෙනම් කරන එක්කෙනා ඊට ඉස්සෙල්ලා නො ඉන්න පුලුවන්ද? තාත්තා නැත්තම් පුතෙක් හැදෙනවද? අන්න ඒකයි කියන්නෙ, “මනෝ සෙට්ඨා, මනෝමයා” දැන් මොකද්ද “මන” කිවුවෙ? අන්න ඒකයි තෝරගන්න ඕනෙ.
“මනසා චේ පසන්නේන භාසති වා කරෝතිවා”, මුලින් හිත හටගන්නවා, හිත හටගෙන තමයි කතාවයි, ක්‍රියාවයි හටගන්නේ ඊලඟට. දැන් ඔතෙනදි හුඟදෙනෙක් පටලවා ගන්නවා, මුලින් හිත හටගන්නවා, පස්සෙ කතාව, ක්‍රියාව හටගන්නවා කිවුවම අභිධර්මයට වැරදියි කියලා කියනවා. අභිධර්මයට වරදින කිසිම තැනක් ඕකෙ නෑ, කථාව, ක්‍රියාව කරන්නාවූ, කතාවට ගන්න කතා හිතයි, ක්‍රියාවට ගන්න ක්‍රියා හිතයි, ඒ දෙකක්. ක්‍රියාවයි කථාවයි සිද්ධ කරන්නෙ මුලින් හටගත්ත හිතක් නිසා. මුලින් හටගන්න හිත, කතාවට අයිති එකකුත් නෙමෙයි, ක්‍රියාවට අයිති එකකුත් නෙමෙයි. ඒ හිත ගොඩනඟන්න, ඒ හිතෙන් අවශ්‍යය දේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න කතාවයි, ක්‍රියාවයි ආධාර වෙන පස්සෙ හිත් හදාගන්නවා. ඒ කතාවට හිතක් ඕනෑ, ක්‍රියාවට හිතක් ඕනෑ, ඒ ඒ මොහොතේ සහජාත එකක්. ඒ විපාක වශයෙන් මතුවෙන එකක් තියෙනවා, මුලින් ගත්ත අදහසක්. “මනෝ” පහලවෙන්නේ මුලදී.
දැන් අපි හිතමුකො මෙහෙම, කවුරුහරි කතා කරනවා, “යං අනුරාධපුරේ, ගිහිල්ලා බෝධීන් වහන්සේ වැඳලා එන්න” “හා යං එහෙනම්, කවද්ද යන්නෙ?” “හෙට යංද ?” තීරණය කරගන්නවා. “හරි, හෙට යං!” “ආ එහෙනම් ඔක්කොම හරි නෙ, ඔක්කොම තීන්දුව හරි නෙ?” “හරි!” එහෙනම් දැන් ඉතින් අපි ගෙදර යනවා. දැන් හෙට යන හින්දා අපි නිගමනයක් කළා. මැනගත්ත එකක් තියෙනවා දැන් හිතේ. මොකද්ද මැනගෙන තියෙන්නේ? “හෙට අපි පිරිස අනුරාධපුරේ යනවා” දැන් මේක තමයි අදහස. දැන් අදහසට කතාකරන්න එකක් තියෙනවද, කියන්න එකක් තියෙනවද? ඒක මනසෙ නේ තියෙන්නේ. මනස පූර්වාංගම කරලා තමයි ආරම්භ වුනේ ඒ ටික. දැන් “මනසා චේ පසන්නේන භාසති වා කරෝතිවා” පස්සෙ තියෙන්නේ. කතාවයි, ක්‍රියාවයි එන්නේ ඒ අනුවයි.
“මොකද මේ හදිස්සියෙ?” “හෙට අනුරාධපුරේ යන්න” අන්න, කථාව නැඟුවෙ මොකක් නිසාද? ඉස්සෙල්ලා අදහස ගත්ත නිසා. අනුරාධපුරේ යන්න අදහස අරගෙන තමයි දැන් ක්‍රියා කරන්නේ. ඇඳුම් හොයනවා, අනෙක් අවශ්‍යය කරන ඒවා, මුදල් එකතු කරගන්නවා, කට්ටිය එක්කලා කියනවා, එකතු කරගෙන, වාහනයකට කියන්න යනවා, මොනවා හරි ඔය විදිහට වැඩපිළිවෙලක් තියෙනවා. ක්‍රියාවයි කතාවයි දැන් විද්‍යාමානයි. දැන් ඔතන දෙවෙනි වෙලා තියෙන්නේ ඒවා. ප්‍රධාන වුනේ එයාගෙ ගමන යන අදහස. ඔය අතරෙ තව අදහසක් එනවා… “විදිහක් නෑ ලු, ත්‍රස්තවාදීන් පැනලා ලු…” “හෙට යන්න බෑ” “මොකද දැන් ඉතින් කරන්නෙ?” “මොනවා කරන්නද, නතර කරලා නිකං ඉන්නවා” දැන් එච්චර කල් ක්‍රියාත්මක වුනේ අර බලාපොරොත්තුව තියෙනකල්. ඒ බලාපොරොත්තුව නිවුනට පස්සෙ ඔක්කොම ක්‍රියාදාමය නැවතුනා. මෙන්න මේ වගේ දෙයක් මේ ලෝකෙ තියෙන්නේ. හැමවෙලේම මනස මුල් වෙන්නේ, අන්න ඒකයි.
(ශ්‍රාවක මහතෙක් ප්‍රශ්නයක් අසයි, පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ:) දෙකම වෙන්න පුලුවන්. මනසට ගත්ත විඤ්ඤාණය තමයි හදාගත්තේ, බලාපොරොත්තුව. මනෝ මුල් වෙනවා, මනෝ මුල් වෙනවා කිවුවෙ ඒකයි. චිත්ත, මනෝ විඤ්ඤාණ (37:37 – පැහැදිලි නැත).
{0:37:52} සත්‍ය බුදු බණ බහු ජන හිතාය මිසක් සබ්බ ජන හිතාය වෙන්නෙ නෑ, අයහපත් දෘෂ්ටි විනාශ වෙනවා
දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවක් ඇත්නම්, අති දුර්ලභව ලෝකෙට පහලවෙන අති උත්තම වාසනාවක්. හැබැයි අග්ගික්කන්දෝපම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ලෝකයට මහා යහපතක්. හැබැයි දේශනා කරලා අවසානයේ හැට නමක් ලේ වමනේ දාලා මළා. ඔක්කොටම යහපතක් වුනා කියලා කිවුවහම අපි බලාපොරොත්තු වෙනවා, බුද්ධ දේශනාව අයහපතක් කරන්නෙ නෑ. නමුත් අග්ගික්කන්දෝපම සූත්‍රය දේශනා කරපු අවසානයේදී, ඒ දේශනාව අහලා ලේ වමනේ දාලා මළා හැට නමක්, හැට නමක් සිවුරු ඇරලා යන්න ගියා, හැට නමක් අරිහත්වයට පත්වුනා. එතකොට එකසිය විසි නමක්, ලේ වමනෙ දාලා හැට නමක් මළා, හැට නමක් සිවුරු ඇරලා යන්න ගියා, ගිහි වුනා. හැබැයි දේශනාව බොහොම වැදගත්, යහපත් දෙයක්.
මෙන්න මේ වගේ, මේ යහපතට හේතු වෙනවා කිවුවම, සියලු ලෝක සත්වයාට ම යහපතක් වෙන ලෝකෙ දෙයක් නෑ. යම් කෙනෙක් දූෂ්‍ය විදිහට ජීවත් වෙනවා නම්, ඔහුගෙ කටයුතු දූෂ්‍ය නම්, ඒ දූෂ්‍ය කටයුතු හේතුකොටගෙන ඒ අයට අයහපතක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒක හැටියක්. ඒ කියන්නෙ, යම් කිසි කෙනෙක් ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ගොඩනඟාගත්ත ලෝකයට පහර වදිනවා, සාසනය නැඟෙනකොට. ඒක වළක්වන්න බෑ.
දැන් සංජය පරිබ්‍රාජකයත් ලේ වමනෙ දාගෙන මළා, තමංගෙ පිරිස ඔක්කොම ගිහින් මහණ වුන හින්දා. සංජය පරිබ්‍රාජකයා ට ඒ දෘෂ්ටිය අතාරින්න බැරුව ගියා. ඒ හිටපු දෘෂ්ටියෙ ම දැවිලා, එයා මළා. දැන් එතකොට අපි හිතන් හිටියොත්, අපි හිතා ඉන්න යහපත ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ගාව කී දෙනෙකුට තිබුණෙ නැද්ද? දෙවුදත් තෙර පොළව පලාගෙන අපාගත වුනා. එතකොට, දෙවුදත් තෙරට බලාපොරොත්තු වෙන යහපත නෙමෙයි හම්බුනේ, ලාභ, කීර්ති, ප්‍රශංසාවට මත්වෙලා, ධර්මයට පහර ගහන්න ගිහිල්ලා, තමං ම විනාසයට පත්වුන එක.
දැන් එක්තරා භික්ෂූණ් වහන්සේ නමක් කියනවා, “ස්වාමීනි, මේ කාලෙ හරීයට අටමහා නරකයට යන අය මට පේනවා. මීට පෙර එහෙම ගියෙ නෑ නේ… මේ දැං මේ බුද්ධ ශාසනය පහලවුනාට පස්සෙ තමයි මේ අටමහා නරකයට යන අය වැඩි. මොකද මේ?”
“ඉතින් ඒක එහෙම්මමයි, කවදත් ඒකෙ ධර්මතාවය ඕක තමයි…” මොකද, වීත රාගී, වීත දෝසී, වීත මෝහී, ශ්‍රී සත්ධර්ම රත්නයට පහර ගහනකොට, ඒ පහර ගහන පිරිසට සිද්ධ වෙන්නෙ ඕක තමයි. අනන්ත කාලයක් දුක් විඳින අට මහා නරකයට වැටෙන එක. ඒ සියල්ලට ම යහපත් ද ඇහුවොත්, අර අසත්පුරුෂයා ට බුදු දහම යහපත් නෑ. එහෙනම්, පේන ලකුණක් යහපත් හින්දම යහපත් කියනවා. යහපතට හේතු වෙන අයට යහපත්, නමුත් සියල්ලන්ටම ඉන්නෙ නෑ. යම් තරමක් ගොඩනඟාගෙන තිබුණා නම් ලෝභ, ද්වේෂ, මෝහ සහගත වැඩපිළිවෙලවල් ගොඩනඟාගෙන තිබුණා නම්, ඒවට අයහපතක් වෙනවා, පහර වදිනවා. ඉතින් ලෝකයා කෑගහනවා “අපිට විනාසයක්” කියලා, ඒ ජාතියෙ අය කෑගහනවා, “විනාසයක පෙරනිමිත්තක්” කියලා. බෞද්ධයො වශයෙන් යථාර්තයේ ඉන්න අය ඕවට කියනවා, “සශ්‍රීකත්වයේ පෙරනිමිත්තක්” කියලා. ඒ අය ඉන්න දෘෂ්ඨි කෝණය අනුව තමයි ඒගොල්ලන්ට විනාශය හෝ ගැන ඒගොල්ලෝ හිතන්නෙ. ඉබේම හිතට ඒ අදහස එනවා, ඒවගේ කරන අයට. ඒක හොඳ වැඩක් නෙමෙයි, දැවෙන්න පටන්ගන්නවා ඒ ලකුණ දකිනකොට ම… “වැඩේ වරදින්න තමයි එන්නෙ…” කියන හැඟීමක් එනවාමයි.
මොකද, ඒ තියෙන කෙනාට ඒකෙ… පැට්‍රෝල් බෝතල් තියාගෙන, ගෑස් බෝතල් තියාගෙන ලඟ ඉන්නකොට, ගින්නක් හටගත්තොත් එහෙම, බය වෙන්න ඕනෙ, ලොකූම බය වෙන කට්ටිය ඉන්නෙ, “දැන් අපිට ගිණි ගනී…” ගිණි ගන්න ඒවා ලඟ තියන් ඉන්න අයටයි ඒක එහෙම වෙන්නේ. හරි භයානකයි ඒක, ගිණි පුළුටක් තියෙන තැනින් යන්නෙ නෑ. පැට්‍රෝල් ශෙඩ් එකක් තියෙනවා නම් ඉතින් එතන තහනම් කරනවා සිගරට් එකක් බීමත්. “දුම්බීම තහනම්!” මොකද ගිණි පුළුටක් වත් ඒ හරියෙ ගන්න බෑ. කොයි මොහොතේ ගිණි ගනීද දන්නෙ නෑ ගින්දර ඇතුලේ… හැබැයි ගින්දර වටිනා දෙයක්. වටිනා වැඩ කරගන්න පුලුවන්, හැබැයි ඒකට ගැලපෙන තැන. ඒකට නොගැලපෙන තැන ඒක මහ භයානකයි.
ඒ වගේ, බුදු දහම බබලනකොට ලෝකයේ ලෝභ, ද්වේෂ, මෝහයන්ගේ සංවිධානයන්ට මහා භයානකයි. ඒවට පහර වදිනවා. දැන් බෞද්ධ පිරිස නැඟෙනකොට, අන්‍යාගම් වල, අන්‍ය ලබ්ධික, මිත්‍යාදෘෂ්ඨික පිරිසට පහර වැදුනා. ඒවා බිඳ හැලුනා, කඩා ඉහිරිලා ගියා. ඉතින් ඒ වගේ, අද වුනත් ඉතින් වෙන්නෙ ඕකයි. වැඩි හරියක් ඉතින් ඉන්නේ කොයි පැත්තෙද, සීයෙට අනූවක් ඉන්නෙ වෙන පැත්තක නම් සීයෙට අනූවකට විනාසයක්. ඉතින් ඒවා වළක්වන්න බෑ. හැබැයි නරක පුද්ගලයගේ විනාසය, හොඳ පුද්ගලයා ගෙ යහපතයි. යථාර්තයෙන් ම බැලුවොත් වෙලා තියෙන්නෙ යහපතක්. නරක පුද්ගලයාගේ විනාශය, ඒකත් ලෝකෙට යහපතක්. නරක පුද්ගලයාගෙන් හොඩනැඟිලා තියෙන්නේ මිත්‍යා දෘෂ්ඨියක්. මිත්‍යා දෘෂ්ඨියට පහර වැදුනොත් සම්මා දිට්ඨික ලෝකයට යහපතක්.
මිත්‍යා දෘෂ්ඨිකයාටත් යහපතක් වෙනවා, දකින්නෙ නෑ. තව අවුරුදු දහයක්, පහළොවක් ජීවත් වුනා නම් මිත්‍යා දෘෂ්ඨිකයා, ඒ ටිකට හදාගන්න පවු කන්දරාව ඉවරයි ඒකෙන්, ලේ වමනේ දාලා මළත් ඒක ඉවරයි නේ. ඒ මිත්‍යා දෘෂ්ඨිය අත්හැරගන්න බැරුව, ඒ මිත්‍යා දෘෂ්ඨියේ ක්‍රියා, කතා තුළ හිටියා නම්, ඔහු ගොඩගහගන්න පාප කන්දරාව කොච්චරද? ඊට වඩා හොඳයි මරණය. ඔවු, ඒක නිසා එයාගෙ මරණය එයාට හොඳයි, එයා දන්නෙ නැතුවට.
අන්න ඒකයි කියන්නෙ, යහපත් තැන යහපත නැඟිලා එනවා. අයහපතට පහර වදිනවා. අයහපත ට පහර වැදීම ඒගොල්ලෝ විනාසයක් කියලා සැළකුවට, අයහපත කර කරා ඉන්නවට වැඩිය හොඳයි මැරෙන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “ඔය ඇහින් ලස්සන බල බලා, කෑදර කමට, ඕවයෙ ආසාවන්ට බැඳෙනවට වැඩිය හොඳයි, උලකින් ඇනලා ඇස් දෙක කණ කරගන්න එක, ඔයිට වඩා හොඳයි. ඔය කන් දෙක අරගෙන, සද්ද කාමයට ගෝචර වෙලා, ඒ කාමයෙන් දූෂිත වෙනවට වැඩිය හොඳයි, යකඩ කූරකින් ඇනලා කන් දෙක බීරි කරගන්න එක, ඒක ඊට වඩා හොඳයි. සිවුරු ඇඳගෙන දූෂ්‍යකම් කරනවට වැඩිය හොඳයි, දැවිලා, පිච්චිලා මැරිලා පලයල්ලා, ආයි ගින්නට පැනලා දැවියල්ලා, ඒක හොඳයි. ඒකෙන් එක මරණයයි වෙන්නෙ, නමුත් උඹලා නොදැවී හිටියොත් ඔය දූෂ්‍යකම් කරකරා, අනන්ත අප්‍රමාණ සංසාරයේ, අප්‍රමාණ වාර ගණනක් ඕකට ගෝචර වෙන්න වෙනවා. ඊට වඩා හුඟක් හොඳයි, උඹලට යහපතක්, ඔය අත්බැව විනාස වෙන්න පැනහං මේ ගින්නට, පැනලා පිච්චිලා පලයල්ලා, ඊට වඩා හොඳයි…” දැන් ඔය විදිහට තමයි විග්‍රහ කළේ, අග්ගික්කන්දෝපම සූත්‍රයේ විග්‍රහ කළේ.
මහා ගිණි කඳක් පෙන්නලා, මහා ලැවු ගින්නක් හටගත්ත ගිණි කඳක් පෙන්නලා, ඕකෙන් ඇහුවා, “අර ගිණි අඟුරු කන එක වටිනවද? සැදැහැවතුන් දෙන දානෙ කාලා, අසත්පුරුෂ ව ඉන්න එක වටිනවද?”
“ස්වාමීණී, දානෙ කාලා ඉන්නකොට ඉතින් එච්චර අමාරුවක් නෑ නේ…” ඒ හාමුදුරුවරු එහෙමත් උත්තර දුන්නා. අර ගින්දරට වැටුනම පිච්චෙනවා නෙ, අර ගිණි අඟුරු කෑවොත් මැරෙනවා නෙ…
“මහණෙනි, ගිණි අඟුරු කාලා මැරෙන එක වටිනවා කියලා මම කියනවා, හේතු ඇතුව. ගිණි අඟුරු කාලා මළොත්, ඔය කෑදර කමට දානෙ කාලා, අසත්පුරුෂ කම් කරලා කරගන්න පාපය කරගෙන විනාස වෙනවට වැඩිය, ඒක වටිනවා. මොකද, ඒ මරණය එක අත්බැවකට සීමා වුනා. උඹලා ජීවත් වෙලා මේ විනාසය කරගත්තොත්, ඒකෙන් හටගන්න පාපය අප්‍රමාණ සංසාරයේ ගෙවන්න වෙනවා, ඔය වගේ ගිණි නෙමෙයි කන්න වෙන්නෙ. විශාල වශයෙන් අපාගත වෙලා දුක් විඳින්න වෙනවා, අනන්ත කාලයක්. උඹලා ඒකෙන් බේරෙනවා නම්, එහෙනම් ඒ එක ආත්මෙක ගිණි අඟුරු කාලා මැරෙන එක ඔයිට වඩා හොඳයි කියලා හිතපල්ලා…”
ඔය ආදී ඒවා කිවුවම තමයි අර ලේ වමනෙ දාලා මළේ, දරාගන්න බෑ, ඒ දෘෂ්ඨිය ඇරගන්නත් බෑ, ඉඳලා වැඩකුත් නෑ, කොරගත්ත හරිය මතක් වුනා, “අපිට සිද්ධවෙන්නෙ මේක නේද…!” කියලා දැක්කා, ඒකෙන් ම දාහයට පත්වෙලා (දේශනාවේ සුළු කොටසක් මැකී ගොස් ඇත)
“බහු ජන හිතාය, බහු ජන සුඛාය”, සබ්බ ජන හිතාය, සබ්බ ජන සුඛාය කියලා පෙන්නුවෙ නෑ, සියලු ජනයාගේ හිත සුව පිණිස කියලා නෙමෙයි කිවුවේ, බොහෝ ජනයාට හිත සුව පිණිස, සියල්ලන්ටම නෙමෙයි. ඒවගේ තමයි ඔතනත් තියෙන්නේ, ඔවු, ඉතින් ඒක තමයි ලෝකානුකම්පාවෙන් සැරිසරන්න කිවුවෙ ඒකයි, ලෝකයාට යහපත පිණිස සැරිසරන්න. ඉතින් සියල්ලෝම යහපත කරගන්නෙ නෑ.
එක්තරා බමුණෙක් බුදුරජාණන් වහන්සේ වැඩහිටපු තැනක් තිබිලා, ඊලඟ දවසෙ ගිහින් බලනකොට, ඒ පිදුරු ගොඩේ “ඊයෙ රෑ කවුරුහරි මෙතන ඉඳලා තියෙන බව පේනවා, කවුද හිටියේ?” කියලා ඇහුවා ඒ පිදුරු ගොඩේ අයිතිකාරයා. “භවත් ගෞතමයන් වහන්සේ ඊයෙ වැඩ හිටියේ..” “මට හිටපු තැන දකින්න හම්බෙච්චි එකත් මගෙ මහා කාළකණ්නි කමක් කියලා මට හිතෙනවා” කිවුවා. උන්වහන්සේ දැකීම නෙමෙයි, “උන්වහන්සේ මෙතන හිටියා කියලා මට දැනගන්න හම්බෙච්චි එකත් මගෙ තිබිච්ච කාළකණ්නි කමක් කියලා මම හිතනවා” කිවුවා. ඒ තරම් උන්වහන්සේ කෙරෙහි නිගරු කළා. එහෙම කොටසක් ලෝකෙ හිටියා. බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරලා, පිළිකුල් කරපු තරම කොච්චරද? උන්වහන්සේ හිටපු තැන දකින එකත් මහා කාළකණ්නිකමක් කියලා. දැන් එතකොට කොයි තරම් දුරට ඒ බමුණන් ගේ මත තිබුණද? මත කොච්චර දෘෂ්ඨිගත වෙලාද? ඒ දෘෂ්ඨියට පහර වදිනකොට කොච්චර රිදුනද?
ඉතින් අද හිතෙන්නෙ නැද්ද? අදත් බුදු දහම මතුවුනොත් එහෙම, ඔය රිදිල්ල අදත් එනවා. ආනන්ද මෛත්‍රිය හාමුදුරුවො පොතක් ලියලා තිබුණා, ඒ පොතේ තිබුණා ඔහොම සිද්ධියක්, බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩියා නම් මේ කාලෙදි, ඒ කාලෙදි බලයි උන්වහන්සේගෙ ඇහිබැම දිහා, “උන්වහන්සේ අපේ කෙනෙක් නෙමෙයි, ඇහිබැම ගාලා නෑ…” කියයි, කියලා සියම් නිකායෙ කට්ටිය උන්වහන්සේ පතික්ෂේප කරයි, එහෙම එක කට්ටියක් කියයි. ඉතින් “උන්වහන්සේ අපේ තියෙන මේ දේපළ විනාස කරන්න ආපු මාරයෙක්, බුදු කෙනෙක් නෙමෙයි, අපිට කියනවා අරණ්‍ය, රුක් මුල්, ශුන්‍යාගාර ආශ්‍රය කරගන්න එක හොඳයි, ඔය දේපළ අයිති කරගෙන ඉන්න එපා කියලා, මෙහෙම බණක් කියයි. එහෙම බණක් කිවුවට උන්වහන්සේ බුදු දහම විනාස කරන්න ආපු මාරයෙක්…” කියලා බුදුරජාණන් වහන්සේ ට අපවාද කරයි. මේ කාලෙ බුදු හාමුදුරුවො ලංකාවට වැඩියා නම් සිද්ධ වෙන්නෙ මෙන්න මේ ටිකයි කියලා, ඔය වගේ සංඝ සමාජයට විශාල පහරක් ගහපු ලියවිල්ලක් උන්වහන්සේ ගෙ ලියවිල්ලක තියෙනවා.
ඉතින් ඒ වගේ දෙයක් වෙනවා අද වුනත්, ඇත්තවශයෙන් ම කියනවා නම් ඔය යථා ධර්මය මතුවෙච්චි දාට. (ශ්‍රාවක මහතෙක් යමක් ප්‍රකාශ කරයි, පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි කියන්නෙ, එතකොට බලාපොරොත්තු වෙන්නෙ, බුද්ධාගමේ දියුණුව හැටියට දැන් කියන්නෙ ලාභ, කීර්ති, ප්‍රශංසා සහගත වන්නාවූ රාග, ද්වේෂ, මෝහයන් ගෙන් හදාගත්ත වැඩපිළිවෙලක දියුණුවකට තමයි බුදු දහම කියලා අද හිතාගෙන දඟලන්නේ.
ඔවු, දැන් ඇත්තවශයෙන් ම කියනවා නම්, දැන් අද වෙනකොට සෑම තැනකම අරක්ගෙන තියෙන දෙයක් තමයි, බුදු දහම ප්‍රචාරය කරනවා කියන තැන් වල ඉන්න, නායකත්වයෙන් ඒවයෙ ඉන්න අය, සංවිධායක මණ්ඩල, ඒවයෙ බොහෝ අය ඉන්නේ බුදු දහමේ නිවනට විරුද්ධ අය. නිවන ගැන කතා කරනවට හරි අකමැතියි, සෘණ කියලා කියනවා ඒක. “කාලීන බුදු දහම” කියලා එකක් හදාගෙන, මේ කාලෙ දෙන්නෙ මොකද්ද, “ධන සිතිවිලි” කියලා, හැම එකක්ම දෙන්න හදන්නෙ මේ ලෞකික පැත්ත වර්ධනය කරගන්න එකටම ආවඩන පැත්තක්. ඔය “ධනාත්මක චින්තනය” කියලා දෙන්නෙ ඕක. දැන් ඕක තමයි තිබුණෙ ඉස්සර දේවදත්තටත්.
දේවදත්ත එක ගම් ප්‍රදේශයක ඉඳලා ඒ ගම් ප්‍රදේශයේ ඉන්න මිනිස්සුන්ට හරීයට ආශිර්වාද කරනවා. කමතට යනවා, කමතට ගිහින් ආශිර්වාද කරලා එනවා. ගෙවල් වලට යනවා, ගිහින් ආශිර්වාද කරලා එනවා, මේ විදිගේ වැඩපිළිවෙලක් කරගෙන සුන්දර ලෝකෙක ජීවත් වුනා. ඔය වෙලාවක සැරියුත් හාමුදුරුවෝ කලාතුරකින් ගමනක් ගිහින් වඩින ගමන් ඒ ගම් ප්‍රදේශයේ මධ්‍යයේ වැඩියා. වඩිනකොට උන්වහන්සේ කතා කරන්නෙත් නෑ, හිනාවෙන්නෙත් නෑ, බිම බලාගෙන, බොහොම සංවරව වඩිනකොට, “අර මොකෙද්ද එන්නෙ? මොකෙද්ද ඒ, අමුතු ජාතියෙ එකෙක්! කතා කරන්නෙත් නෑ, මිනිහෙක් ගෙ මූණ බලන්නෙත් නෑ, හිනහවෙන්නෙත් නෑ, සද්ද නැතුව වඩිනවා, මොකද්ද ඒ? ඕං ඒකට අපේ හාමුදුරුවො, දේවදත්ත හාමුදුරුවෝ! දෙන්න එපා එකෙක් වත් දන් පොදක්!” උන්වහන්සේ හැමතැනම නගරේ පිණ්ඩපාතෙ ගියා, දානෙ පොදක් දුන්නෙ නෑ කවුරුවත්, අන්තිමට. ඊට පස්සේ මේ පිළිබඳව ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට පැමිණිල්ලක් කළා. මේ පැමිණිල්ලක් කළාට පස්සෙ, භික්ෂූණ් වහන්සේලා ගියාට වැඩක් නෑ, ඒ තරම් මේගොල්ලන්ගෙ බලය වැඩිවෙලා. බුදුරජාණන් වහන්සේ දහස් ගාණක් භික්ෂූණ් වහන්සේලා සමඟ ගමට වැඩියා. වැඩලා ඉවරවෙලා මිනිස්සුන්ට යථාර්තය පෙන්වලා දුන්නා, බුදු දහම කියන්නෙ මෙන්න මේකයි කියලා. “මෙච්චර කල් අපි රැවටිලා හිටියෙ, නියම බුදු දහම තියෙන්නෙ දෙවුදත් ලඟ කියලා අපි හිතාගෙන හිටියෙ…” කියලා ඊටපස්සෙ තමයි මිනිස්සු ඒක වැරදි වැඩපිළිවෙලක් කියලා දැනගත්තෙ.
ලෝකෙට උදවු කරමින්, ලෝකයාගේ දුක සැප බෙදා ගනිමින් ජීවත් වෙන මේ ජීවිත රටාවක් කියන එක බුදු දහම කියලා තමයි පෙන්වලා තිබුණෙ. දැන් බුදුරජාණන් වහන්සේ ඒක බුදු දහම නෙමෙයි කියලා විග්‍රහ කරලා පෙන්වලා දුන්නා, මේකයි බුදු දහම කියන්නෙ කියලා. හැබැයි ඒ බුදු දහමයි, දෙවුදත් තෙර පෙන්වපු බුදු දහමයි දෙකක්. නමුත් මේ කාලෙ වෙනකොට අදත් කරේ දරාගෙන ඉන්නෙ අර දෙවුදත් තෙර කියපු බුදු දහම. ඉතින් ඒ නිසා “ධනාත්මක චින්තනය” කියලා එකක් අරගෙන තමයි බුදු දහම කරන්න හදන්නේ.
(ශ්‍රාවක මහතෙක් ධනාත්මක චින්තනය පිළිබඳ යමක් ප්‍රකාශ කරයි, පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ): අන්න ඒක තමයි කියන්නේ, හැම වෙළේම, ඇත්තවශයෙන් ම මේ හිතනවා, පවු කියනවා. “බුදු රැස්” කියන වචනය කිවුවත් මේකට පවු කිවුවා. ඔය විදිහට තමයි විග්‍රහ කළේ. දැන් පොඩ්ඩක් වත් ඒගොල්ලො විග්‍රහ කරලා තිබුණද “පවු” පවු හැටියට? (ශ්‍රාවක මහතෙක් යමක් ප්‍රකාශ කරයි, පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ): අන්න ඒක තමයි කියන්නෙ, ඉතින් එහෙම දේවල් තියෙනවා.
{00:51:11} හේතු-ඵල අනුව දැකිය යුතු ලෝක ක්‍රියාකාරීත්වය සහ සෘද්ධි ප්‍රාතිහාර්යයෝ
ලෝකයේ හේතුවක් නැතුව ඵලයක් හටගන්න බෑ, සෑම ඵලයකට ම හේතුවක් තියෙනවා. යම් කෙනෙක් ඒකට මිත්‍යාවක් ය, එහෙම නැත්තම් වෙන්න බැරි දෙයක් ය, මේ ආදී උත්තරයක් දෙනවා නම්, අහම්බෙන් සිදුවීමක් ය, මේවා එකක් වත් ධර්මානුකූල උත්තර නෙමෙයි. ධර්මානුකූල උත්තරයක් නම් හේතුව පෙන්වන්න ඕනේ. හැම දේකටම හේතුවක් තියෙනවා. හේතුවක් නැති ඵලයක් ලෝකෙ පහලවෙන්නෙ නෑ, හොඳ හෝ නරක. සමහර වෙලාවට පෙන්නාගන්න බැරිවෙන්න පුලුවන්. පෙන්නන්න බැරි නම්, “අපි මේකට හේතුව දන්නෙ නෑ, නමුත් මේකට හේතුවක් තියෙන්න ඕනෙ. හේතුවක් නැති ඵලයක් නෑ…” ඒ සීමාවෙ වත් ඉන්න ඕනෙ. මොකද, දහම් සිද්ධාන්තය කඩ කරන්න හොඳ නෑ. “හේතුං පටිච්ච සංභූතං – හේතු භංගා නිරුජ්ඣතී” කියන එකේ ඉන්න ඕනෙ. හේතුවක් නිසා ප්‍රත්‍යය පහලවෙනවා, හේතු භංග නම් පහලවෙන්නෙ නෑ. යමක් පහලවුනා නම්, මොනවා හෝ ලෝකෙ, ඒකට හේතුවක් තියෙනවා. හේතුවක් නැතුව ඵලයක් පහලවුනා කිවුවොත් බුදු දහම නෙමෙයි, විද්‍යාවටත් එකඟ නෑ. “අහඹු සිදුවීම්” කිවුවා නම්, එහෙම එකක් ලෝකෙ වෙන්න බෑ. ඒ නොදන්නකමයි ඒ.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මෙහෙම දෙයක්, ඔය සෘද්ධි ප්‍රාතිහාර්යය තහනම් කරන්න එක හේතුවක් වුනේ, ඒ කාලසීමාව වෙනකොටත් නානාප්‍රකාර ක්‍රම වලින් ඔය සෘද්ධි ප්‍රාතිහාර්යය පෙන්වපු අය හිටියා. දැන් දිය මතුපිට ගමන් කරනකොට, සෘද්ධි බලයෙන් කරන්න පුලුවන් දෙයක් තියෙනවා. හැබැයි මැජික් කාරයින්ටත් පුලුවන් ඉන්ද්‍රජාල, මහේන්ද්‍රජාල ක්‍රම උපයෝගී කරගෙන ඒක කරලා පෙන්නන්න. මන්තර යෝගීන්ට පුලුවන් මන්ත්‍ර මතුරලා බලයක් අරගෙන, මන්ත්‍ර බලෙන් ඒක පෙන්වන්න. ඒගොල්ලන්ගෙ චරිතය දූෂ්‍යයි, නමුත් අරක කරලා පෙන්වනවා. සිද්ධවිද්‍යාධර ආදී වන්නාවූ කොටස් වල බෙහෙත් ඖෂධ බලයෙන්, එහෙම දේවල් උපක්‍රම කරගෙන, ඒ මඟින් අරවගේ දේවල් කරලා පෙන්වන්න පුලුවන්. හැබැයි ගුණයක් මානසිකත්වයේ නෑ.
මෙතෙනදි බැරිවෙලා හරි සෘද්ධි බල තියෙන කෙනෙක් තමාගේ සෘද්ධි බලයෙන් දිය මතුපිට ගිහින් පෙන්නුවොත් එහෙම ලෝකේ, අරවගේ පුලුවන් කෙනෙක් හිටියොත් එහෙම, එයා මොකද කරන්නේ? “ඔය ඔක්කොම බොරු කතා, ඔය බොරු කරන්නේ, අපිටත් ඕක කරලා පෙන්නියහැකි නේ… මෙන්න, ඕං අපිත් ගියා” දැන් ඒගොල්ලොත් පෙන්නනවා. පෙන්නපුහම කියනවා, “දැන් බලන්නකො කපටිකමේ තරම, ඔය මොන ගුණයක් වත් ඕනෙ නෑ නෙ මේක කරන්න, මෙන්න මෙහෙම උපක්‍රම ඕනෙ…” එයාට එතකොට අර උත්තරීතර ධර්මයට, උත්තරීතර ක්‍රියාවකට පහරක් නේ වදින්නේ. මෙන්න මේ නිසා කිවුවා, “ඔය ඕවා පෙන්නන්න එපා!” එහෙම ක්‍රමයක් තිබුණා.
(ශ්‍රාවක මහතෙක් යමක් ප්‍රකාශ කරයි, පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ): ඔවු ඉතින්, කිවුවෙ ඒකයි හේතුව. මොකද, එහෙම දේවල් මේ ලෝකයාට පෙන්නන්න බැරිවෙන්න කාරණා තියෙනවා, ක්‍රම තිබුණා. ඒ ක්‍රම ඒ කාලෙ තිබුණා. ඒවා කාලීන වශයෙන් කියලා කිවුවෙ, ඒ කාලෙදි එහෙම දේවල් ගන්න බෑ. දැන් මේ කාලෙ දිය මතුපිටින් ගිහිල්ලා පෙන්වන්න පුලුවන් සිද්ධවිද්‍යාධරයෙකුත් නෑ, මන්තර බලයකුත් නෑ, බෙහෙත් ඖෂධ බලයකුත් නෑ, එහෙම එකක් මේ කාලෙ හොයාගන්නත් නෑ. ලෝකෙම. එදා තිබුණට මේ කාලෙ නෑ. ඒවා ගුරු මුෂ්ඨි වශයෙන් හංගාගෙන මැරිලා ගිහිල්ලා මෙහෙ හිටපු අය. ඒ නිසා ඒ එකක්වත් අද නෑ.
එහෙනම්, මේ කාලෙ යම්කිසි කෙනෙකුට, මේ ධර්මය පිළිබඳ සැක දුරුකරගන්න හොඳ අවස්ථාවක් තිබෙනවා, මෙහෙම ප්‍රාතිහාර්යයක් කළහම. මොකද, මේ කාලෙ කියන්න බෑ “ඕක මටත් කරන්න පුලුවන්” කියලා පෙන්නන්න කෙනෙක් නෑ. අර ගිණි පාගන වෙලාවෙ ඌරු මස් කාලා, මත්පැන් බීලා, “ගිණි පාගන්න අපිටත් පුලුවන්” කියලා කාලෝ ෆොන්සේකා මහත්මයා ලා ගිණි පාගලා පෙන්නුවා. හැබැයි ක්‍රමයක් තිබිච්ච නිසා, එකක් හරි තිබුණා, ඒක අනුකූල තැනක්. ඉතින් ඒ නිසා අර ශුද්ධ ශාස්ත්‍ර වලින් කරන්න පුලුවන්කම තිබිච්ච ඒවයේ, ඒගොල්ලෝ ඒක අද ඉක්මවා ගිහිල්ලා, යම්කිසි උපක්‍රමශීලී ව මිනිස්සුන් ව මුළා කරන්න ක්‍රම හදාගත්තා. ඒ නිසා මොකද කරන්නේ? දැනට ඉන්න විද්වතුන් “ඕක නම් එහෙම කරන්න ඕනෙ එකක් නෙමෙයි, ඕක ප්‍රාතිහාර්යයක් නෙමෙයි, ඕක අපිටත් කළහැකි” කියලා ඕකෙන් කරලා පෙන්වනවා.
දැන් මෙහෙම කරන්න බැරි ඒවා තියෙනවා. අන්න ඒ වගේ අවස්ථා වලදී හුඟක් වැදගත් වෙනවා ඕවා. දැන් එතකොට ඒ ක්‍රමය, එහෙම ක්‍රමයක් තියෙනවා, නැත්තෙ නෑ. නමුත් අද ඒ ක්‍රමය මතුකරගන්න මිනිස්සුන්ගෙ මානසිකත්වයක් නෑ, ශක්තියක් නෑ. දැන් කෙනෙක් ගෙ පුන්‍ය සෘද්ධියකින් තව කෙනෙකුට ශාන්තියක් සළසන්න පුළුවන්. දැන් සක්විති රජ කෙනෙක් ගෙ පුන්‍ය සෘද්ධියෙන් පුලුවන් තව කෙනෙක් ආකාසෙන් ගෙනියන්න. ඒ පුද්ගලයගෙ එහෙම සෘද්ධියක් නෑ. නමුත් සක්විති රජ්ජුරුවන් ගෙ පුන්‍ය සෘද්ධියට කොටු කරගත්තම, ඒකට කොටුවෙන්නාවූ මනුස්සයට ආකාසෙන් ගිහෑකි. දැන් එහෙම ක්‍රම තියෙනවා.
දැන් යම්කිසි දෙවියන් ගේ දේව සෘද්ධි ආනුභාවයක් තියෙනවා නම්, දේව ගති ලක්ෂණයෙන් ජීවත් වෙච්ච මනුස්සයො ඉන්නවා නම්, ඒ මනුස්සයින්ට පුලුවන් කමක් තියෙනවා දෙවියන් ගේ සෘද්ධි බලයෙන් කොටු කරගන්න. මිනිහාට සෘද්ධි බලයක් නැති වුනාට, දෙවියන් ගේ පුන්‍ය සෘද්ධියෙන් රැකවරණය දුන්නහම එයාට ඒකෙ යන්න පුළුවන්. ඒක තමයි මුලින් තිබිච්චි ක්‍රමය. ඒ මුලින් තිබිච්ච ක්‍රමයෙන් ඒ මනුස්සයා ප්‍රාතිහාර්යයක් පෙන්වනවා ඒ තුළින්, එහෙම කරලා. එහෙම තියන්න පුළුවන්.
දැන් මිනිසා ට පරසිත් දකින නුවණක් නෑ. හැබැයි අමනුෂ්‍ය කොටස් ඉන්නවා, පුන්‍ය සෘද්ධිය තියෙන අය ඉන්නවා, ඒගොල්ලන්ගේ හිත දකින්න පුළුවන් ශක්තියක්. දැන් බුදුරජාණන් වහන්සේ යමක් හිතනකොට, වසවර්ති මාරයා ට පේනවා ඒ හිතිවිල්ල. “අන්න මෙහෙම හිතුවා” කියලා කියනවා. දැන් අර මුගලන් මහ රහතන් වහන්සේ හිතනවා, දැන් “මාරයා මේ බඩ ඇතුළට රිංගලා ඉන්නේ” කියලා. ඒ හිතිවිල්ල අල්ලනවා බඩ ඇතුලේ ඉඳලා වසවර්ති මාරයා, අල්ලලා හිතනවා “කොහොමද ඒක වෙන්නෙ? භවත් ගෞතමයන් වහන්සේත් මාව මෙනෙහි කරලා බලලා තමයි මාව දැනගන්නෙ. එතකොට ශ්‍රාවකයෙක් කොහොමද කල්තියා මාව දැනගන්නෙ? මේ සැකේටයි මේ කියන්නෙ, මම සද්ද නැතුව ඉන්නවා” කියලා ඇස් දෙක තද කරගෙන ගුලි වෙලාම හිටියා. ඒ එයාගෙ හිතිවිල්ල, මාරයා ගෙ හිතිවිල්ල දැක්කා මුගලන් හාමුදුරුවෝ. “මාරයෝ, උඹ මෙහෙමත් හිතුවද? මම උඹ දැකලා ඉවරයි..” ඒපාර දැනගත්තා මගෙ හිතිවිල්ලත් ඇල්ලුවා නම් කොහොම හරි මාව දැකලා ඉවරයි, ඉඳලා වැඩක් නෑ කියලා පැන්නා අහකට.
දැන් මේ කතාව අපේ ධර්මයේ සඳහන් වෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ ගේ හිත, “චිත්ත පරිවිතර්ක” කියලා කියන්නේ ඒකට, (ශ්‍රාවක මහතෙක් ප්‍රශනයක් අසයි, පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ): නෑ, නෑ, බුදුරජාණන් වහන්සේ දකින්නෙ නැතුව නෙමෙයි, බුදුරජාණන් වහන්සේ ට මෙනෙහි කිරීමේ අවශ්‍යතාවයක් නැතුවා. එක් එක්කෙනාගෙ තියෙනවා “වාසනා කෙළෙස්” කියලා. දැන් සෘද්ධි බල පිළිබඳව වාසනා කෙළෙස් සහිත වන්නාවූ මුගලන් මහරහතන් වහන්සේට නිරායාසයෙන් හිත ඇදෙනවා ඒක මෙනෙහි කරන්න. බුදුරජාණන් වහන්සේට නිරායාසයෙන් හිතේ මෙනෙහි කරන්න දෙයක් නෑ, වාසනා කිලේසය නෑ. සීවලී හාමුදුරුවන්ට නිරන්තරයෙන් දානෙ හම්බෙනවා වගේ, දැන් බුදුරජාණන් වහන්සේට ඕනෙ නම් පුලුවන් දානෙ මවලා දෙන්න. හැබැයි උන්වහන්සෙට ඒකෙ අත්‍යාවශ්‍යතාවයක් නෑ. ඒකට පාරමිතා පුරාගෙන ආපු කෙනෙක් හිටියා නම්, නිරන්තරයෙන් හිත එනවා ඒක මවන්න. එතකොට වෙනස පේනවා ලෝකෙ, ඒකයි සිද්ධ වෙන්නෙ.
බුදුරජාණන් වහන්සේ පෙරුම් පිරුවෙ ලොවුතුරා බුද්ධත්වයට. ලොවුතුරා බුද්ධත්වයේ ස්වභාවය, වාසනා කෙළෙස් සියල්ල නෑ. එතකොට,
“මෙළොව සැමටම නැති – මුනිඳුට සණුවනෙක් ඇති
මෙළොව සැමටම ඇති – වාසනා ගුණ කිසිවෙකුත් නැති”
ඒ බුදුරජාණන් වහන්සේ ගේ ස්වභාවය. මෙලොව සියල්ලන්ටම තියෙන වාසනා ගුණ බුදුරජාණන් වහන්සේට නෑ. මෙලොව සියල්ලන්ටම නැති ඥාන හයක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඕක විශේෂයක්, ඔය පෙන්වන්නෙ. “ෂඩ් අසාධාරණ ඥාන” කියන්නෙ ඒකයි.
“ෂඩ් අසාධාරණ ඥාන” – අසාධාරණ කියන්නෙ අනුන් හා සාධාරණව පෙන්වන්න බෑ කියන එකයි. දැන් අසාධාරණයි කියන වචනයේ අද අරන් ඉන්න අදහස නෙමෙයි ඔය කියන්නෙ. අද නම් අසාධාරණයි කියන්නෙ අයුක්තියක්, නොකටයුත්තක් ආදී වශයෙන් කියන අදහසින් තමයි අසාධාරණය කියලා අද කියන්නෙ. අසාධාරණ කියන වචනයේ නියම තේරුම, අන්‍යන් හා සාධාරණ නෑ, අන්‍යන්ට සමාන නෑ කියන එකයි. අසාධාරණ ඥාන කිවුවෙ ඒකයි.
ඉතින් ඒ වගේ, ඔය ලෝකයේ යම් සිදුවිල්ලක්, මොනවා හරි දෙයක්, සිද්ධාන්තයක් සිදුවෙනකොට, හේතු-ඵල න්‍යාය ධර්මයට අනුවයි සිද්ධ වෙන්නෙ. ඒක වෙනස් විදිහට සිද්ධ වෙන්න බෑ. ඉතින් ඒ හේතු-ඵල න්‍යාය දකින්න ඕනෙ. එකම දේ නානාප්‍රකාර හේතුවෙන් සිද්ධ වෙනවා. දැන් වැස්ස වහිනවා, කාලෙකට පායනවා. මේකටත් නානාප්‍රකාර හේතු තියෙනවා. වැස්ස වහින්න හේතුවත් තියෙනවා, පායන්න හේතුවත් තියෙනවා. ඒක නානාප්‍රකාරයෙන්, සෘතු විපර්යාස නිසා වැහි වහිනවා. සෘතු විපර්යාසයන් ගේ වෙනස්වීම් නිසා බොහොම කර්කෂ නියං දේශගුණ ඇතිවෙනවා. මිනිස්සුන්ගේ ම හටගන්නාවූ දූෂණය නිසා ඉර-හඳ කක්ෂයෙන් පිට පැනලා, ඇතිවෙන රටාවකින්, එහෙමත් වැහි වහින්නෙ නැතුව යනවා, අකාලෙට වැහි වහිනවා. එහෙම රටාවක් තියෙනවා.
දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “කිසිම ජ්‍යෝතිෂ්‍යඥයෙකුට අහුවෙන්නෙ නැති, ලෞකික සිද්ධාන්තයන් බලන කිසිම සෘෂි වරයෙකුට අහුවෙන්නෙ නැති, තවත් වැහි වහින ක්‍රම තියෙනවා…” කියලා පෙන්නපු ක්‍රම තියෙනවා. දැන් වැහි වහින්න අවශ්‍යය කරන සියලු කාරණා තියෙනවා, දැන් ජ්‍යෝතිෂ්‍යයෙනුත් කියනවා මේ කාලෙ මහා වැස්සක් වහිනවා. ලෝක ධර්මයන් ගැන නිපුනත්වයට පත්වුනාවූ යම්කිසි සෘෂි වරයෙක් ඇත්නම්, ඒගොල්ලොත් කියනවා, “ඔවු, වහිනවා”, බලනකොට වහින්නෙ නෑ. හේතුව හෙවුවහම දන්නෙ නෑ. එහෙවු නොදකින පැත්තක් තියෙනවා.
රාහු අසුරේන්ද්‍රයාට පුළුවන් අතින් රොක්, එන වළාකුල ගිහින් දාන්න මුහුදටම. ඒ වැස්ස වහින්නෙ නෑ එතකොට. හැබැයි මේක ජ්‍යෝතිෂ්‍යඥයෝ නොදකින, ලෝක විද්‍යාඥයෝ නොදකින එක්තරා කතාවක්. ඒ අයට ඒක පේන්නෙ නෑ. එහෙම ඒවත් තියෙනවා කියලා පෙන්නනවා. {{ත්‍රිපිටක සූචිය}}
{00:59:50} අසුරයෝ කෙබඳුද? සුර අසුර දෙපිරිසේ වෙනස මොකක්ද?
(ශ්‍රාවක මහතෙක් ): ස්වාමීන් වහන්ස, “රාහු” කියලා හඳුන්වන්නෙ කවුද?
(ස්වාමීන් වහන්සේ): රාහු කියලා අසුරේන්ද්‍රයෙක් ඉන්නවා. රාහු අසුරේන්ද්‍රයා කියලා කියන්නෙ, රාහු කියන වචනයෙන් පෙන්නන්නෙ යමක රහසක් වෙච්ච නිසා. “රහෝ” කියන්නෙ රහස. හැඟවී කරන යමක් ඇත්නම්, මේක රහසක්. දැන් හැඟවී කරන කටයුතු වල දක්ෂයෙක් තමයි රාහු අසුරේන්ද්‍රයා. යමකින් යමක් හැඟවෙනවා නම්, ඒ අර්ථයෙන් “රාහු” කියනවා. රාහු ගෙ විපර්යාසය කියලා කියන්නෙ ඒකයි. දැන් රාහු අසුරේන්ද්‍ර කියලා කියන්නෙ පුද්ගලයෙක්. ලෝකෙ ඉන්න විසාල ම පුද්ගලයා.
(ශ්‍රාවක මහතෙක්): ස්වාමීන් වහන්ස, අසුර කොටස් දෙකක් ද?
(ස්වාමීන් වහන්සේ): ඔවු ඔවු, අසුර කියන්නෙ, ප්‍රේත අසුර වෙනයි, අසුර නිකාය කියන අපාගත, සතර අපායෙ කොටස වෙනයි, අසුර දේව කොට්ඨාසය වෙනයි. ඒගොල්ලො දෙවියන් හා සමාන කොටසක්.
(ශ්‍රාවක මහතෙක්): එහෙම නම් “අසුර” කියන්නෙ ඇයි ?
(ස්වාමීන් වහන්සේ): සූරත්වයෙන් වැඩ කරන කොටසක් ඉන්නවා, ඒ දෙවිවරු “සුර” කියලා කියන්නෙ ශූරත්වය, කාර්ය ශූර නිසා. ඒගොල්ලෝ සූරත්වයෙන් වැඩ කරලා එතෙන්ට පත්වුනේ. එතකොට, අරගොල්ලො උපක්‍රමශීලීව. දැන් කාරණා දෙකක්.
දැන් අපි හිතන්නකො මෙහෙම දෙයක්, දැන් මේ පන්සලේ වැඩක් කරන්න පුලුවන්, සීයක් එක්කලා දවස් දහයක් එකතුවෙලා වැඩක් කරලා, ගෙපළක් කපලා දෙන්න පුලුවන්. දැන් මිනිස්සු, පින්-දහම් ගැන ඕනෑකමක් තියෙන මනුස්සයො ඉන්නවා නම්, ඒ මනුස්සයො හරි කැමතියි තමංගෙ ශ්‍රමය, කාලය වැය කරලා, ඒ පින කරගන්න. එහෙනම් සීයක් පොරකාලා ඇවිදිල්ලා, ශ්‍රමදානයක් දාලා, දවස් දහයක් වැඩකරලා ඒ ගෙපැළ කපලා දීලා යනවා.
දැන් මේ පිං-දහම් කරගන්න අය මේ ක්‍රමය උපයෝගී කරගත්තට, දැන් අසුර කට්ටියට පිං-දහම් ඕනෙ නෑ. ඒගොල්ලො පිං-දහම් වලට තැනක් දෙන්නෙ නෑ. ඒගොල්ලන්ට ඕනෙ, කම්මැලි කමට හරි ඉඳලා, වැඩිය ශ්‍රමය වැය කරන්නෙ නැතුව, උපක්‍රමයකින් ඒ වැඩේ කරන්න. දැන් ඒගොල්ලො මොකද කරන්නෙ, උපක්‍රමශීලීව හදනවා යන්ත්‍ර-සූත්‍ර. අන්න අසුර ලක්ෂණය. හදලා ඉවරවෙලා, බැකෝ එකක් නිෂ්පාදනය කරගෙන, සීයකගෙ වැඩටික දවසින් කරලා ඉවර කරගන්නවා, දවස් දහයක් කරන එක. ඒගොල්ලො ජයග්‍රාහී වශයෙන් කියනවා, “උඹලා මෙච්චර මැරි මැරී කරන එක, අපි කළා මේ දවසින්, අපි මහංසි වුනෙත් නෑ නේ…” හැබැයි දැන් පින ? බෙදිලා යන්න තිබිච්චි පිනට මොකද වුනේ? අර සීයක් එක්කලා දවස් දහයක් සිද්ධ කරගත්ත මහා පුන්‍ය කන්දරාවම අර යන්ත සූත්‍රය නිසා අහිමි වුනා. අන්න සිද්ධ වෙච්චි දේ.
දැන් අපේ අයට හුඟක් පුදුමයක් තියෙනවා, රුවන්වැලි සෑය වැනි මහා දාගැබ් බඳින්න ගියා නම්, අවුරුදු සීයක්, මෙන්න මෙච්චර බැකෝ ගාණක් දාලා, මෙන්න මෙච්චර සෙනඟ දහස් ගාණක් දාලා, කෙරුවොත් තමයි මේක කරන්න ශ්‍රමයෙන්, මෙච්චර ශ්‍රමයක් ගිහින් තියෙනවා කියලා. නමුත් එච්චර කාලයක් ගිහින් නෙමෙයි වැඩේ කළේ. දැන් අපේ අයට ලොකු ප්‍රශ්නයක් තියෙනවා, එතකොට කවුද මේකට ආපු කම්කරුවො, කෝ? මේ ලංකාවෙ හිටපු ඔක්කොම ලක් වැසි ජනතාව බෞද්ධයො. බෞද්ධයො හරිම ආසයි පිං-දහම් කරගන්න. යන යන බෞද්ධයා මොකද කරන්නෙ, එක එක ගඩොල් කැටේ ගෙනිච්චහම, කෝටි ගාණක් හිටපු සෙනඟ මේක බලන්න ගියාට පස්සෙ, වැල නොකැඩී ගිහින් තියෙනකොට මොකද්ද හම්බෙන්නෙ? හැදෙන්නෙ නැද්ද? එක එක ගඩොල් කැටේ ගිහිල්ලා දුන්න පින, කෝටි ගාණක් හරි හම්බ කරගෙන ඉවරයි එතන. ඒ නිසා යන්ත්‍ර-සූත්‍ර පස්සෙ යන්න ඕනෙ කමක් තිබුණෙ නෑ. ඒ නිසා ඒ අය තමයි කැප වෙලා, මහංසි වෙලා, පිනක් කරගත්තෙ. එතකොට රුවන්වැලි මහා සෑ වහන්සේ ඉදි කරපු පින, කෝටි කී දෙනෙක් ලබලද?
දැන් අද කාලෙ බැලුවා නම් එහෙම ඒ කෝටි ගාණම පැත්තක, ඔය බැකෝ ටිකක් ගිහින් දාගෙන වැඩේ පටන්ගෙන, කම්කරුවො ටිකක් පඩියට ගිහින් දාගෙන, ඒ වැඩේ කරයි. හැබැයි, අර මහ පිනක් කරගත්ත විශාල පිරිසකට තිබිච්චි වාසනාව අන්න “අසුර” ව හිටපු, කාර්ය සූරත්වය දැකලා නැතුව, අසුරත්වයෙන් යුක්තව වැඩ කරන්න උපක්‍රම යොදවලා, උපක්‍රමශීලී වැඩ වලින් එතෙන්ට පත්වෙලා, ඒ පිනට තියෙන අවස්ථාව නැති කරගත්තා, වැඩේ කරගත්තා. මෙන්න මේ ක්‍රමය තමයි අසුරයො අනුගමනය කළේ. අසුරයො හැම වෙලේම උපක්‍රම වලින් වැඩ ගන්න අය.
දේවතාවෝ පින් දහමේ වටිනාකම දැකලා, පිනක් කරලා, ඒකෙන් ලබන පුන්‍ය සෘද්ධිය ලබාගෙන ඒකෙන් යහපතක් කරගන්න අය. මේ ක්‍රම දෙකක්. ඒ නිසා අසුරයා, උත්සාහ කරලා, වීර්යය කරලා ඌ ජීවත් වෙන්න ඕනෙ. නැත්නම් එයාට නිෂ්පාදනයක් වෙන්නෙ නෑ. නිරුත්සාහයෙන්, පුන්‍ය සෘද්ධියෙන් ලැබෙන දේ තුළින් දෙවියො ජීවත් වෙනවා. ඒගොල්ලන්ගෙ ජීවිතේ අරිට වඩා හොඳයි. හැබැයි ඒගොල්ලො උපක්‍රමශීලීව දැනගත්තා පිං ඵල වල මහත් ගුණය. ඒ ගුණය සළකලා ඉවරවෙලා දේවතාවෝ සූර වැඩක් කරගත්තා. සූර වැඩේ කරගත්ත නිසා, මහංසියක් නැතුව ජීවත් වෙන්න ක්‍රමයක් හැදුනා. අසූර විදිහට වැඩ කරපු නිසා, හැමදාම මහංසි වෙවී තමංගෙ වැඩේ කරගන්නවා, ගුණධර්මයක් නෑ. අන්න, ගුණධර්මයෙන් පිරිහුනහම ඇතිවෙන වෙනස. සුර-අසුර දෙකේ තියෙන වෙනස ඕකයි.
{01:04:31} බුදු සරණ ගොස් දේව ආදී අන් පිහිටක් ලැබුවොත් මිත්‍යාදෘෂ්ඨිකත්වයට වැටේද?
ඉතින් සෑම තැනකම යමක් හැදෙන්නෙ, සකස් වෙන්නෙ, සත්වයෙක් කරන ලද පුන්‍ය සෘද්ධිය මුල් කරගෙන. මූලික වශයෙන් පිං කරනවා නම්, ඒ සිද්ධිය වෙනවා. නිතර බුදු ගුණ සිහි කරනවා නම්, හරි ආකාරව කිවූ විදිහට, විශාල ශාන්තියක් ගොඩනැඟෙනවා. ඒ පුන්‍ය සෘද්ධිය මෙලොව ඵල දෙන, ක්‍රියාත්මක වෙන බලයක් වෙනවා. සමූහයක් එකතු වෙලා නඟන්නාවූ ශක්තිය, විශාල ශක්තියක් ගොඩනැඟෙනවා. දැන් ඒ අය ම ඒ ශක්තිය ඔප්පුවෙන කතා කීපයක් කිවුවා.
අර එක්තරා රටක ඉන්නවලු නායක පුද්ගලයෙක්. ඒ කියන්නෙ ඒ පුද්ගලයො එච්චර දියුණු ගෝත්‍රයක අය නෙමෙයි. ඒගොල්ලන්ට ඕනෙ දවසක වස්සවාගන්න පුලුවන් ලු, ඔවු ඉන්දුනීසියාවෙ. එතකොට එයා කරන්නෙ කොහොමද අහපුහම, “මගේ පිරිසට මම කියනවා, ඔක්කොම වැස්ස ඉල්ලලා ආරාධනාවක් කරන්න, එතකොට වහිනවා” කියනවා. දැන් ඒ විශ්වාසය ඒගොල්ලන්ට තියෙනවා. ඉල්ලීමක් තියෙනවා, ඒ ඉල්ලීම කරනවා. හැබැයි ඒගොල්ලන්ගෙ එකක් තියෙනවා, ඒ ගෝත්‍රිකයින් ගෙ, යම්කිසි සංකල්පයක් තියෙනවා, දේව සංකල්පයක්. ඒකට ගරු කරනවා. හැබැයි ඒ ගරු කරන ඒගොල්ලන්ගෙ චරියා රටාව දකින්නෙ නෑ මේ නවීන ලෝකය. ඒ නවීන ලෝකය තමයි ඒගොල්ලන්ට කියන්නෙ, “මේ ම්ලේච්ඡ ජාතියක්, මේ ගුණයෙන් දියුණු නැති, ඉතාම පල්ලෙහා තැන ඉන්න ජාතියක්” කියලා කියන්නෙ මේ දැන් ඉන්න ලෝකෙ අය. නමුත් ඒගොල්ලො එච්චර කල් ඒ ගෙනාපු චාරය තුළ ඉන්නවා. ඒකෙ තියෙන ගුණ හැඟීමෙන් යමක් කළ යුතුද, නොකළ යුතුද, ඒ කිවුව හැටියට කරගෙන යනවා. “උඹලට ප්‍රශ්නයක් ඇති වුනහම උඹලා මේක කරපල්ලා…” දුන්න ආචාරවාදය අනුව අනුගමනය කරනවා. ඒගොල්ලො පෙන්නුව යම් දහම් රටාවක් තවම තියෙනවා නම්, ඒක එහෙම සිද්ධ වෙනවා.
දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, වැහි වහින්න ඒ පුන්‍ය සෘද්ධියක් ඇති දේව කොටසක් ඉන්නවා. මේගොල්ලන්ට කියනවා “වස්සාවළාහක දේවතාවෝ”. දැන් අද කියන්නෙ “වස්සාවළාහක” කියලා මිනිස්සු වළාකුළු වලට රැවටිලා හිටියා කියලා. ඒ කියන්නෙ, ඒ පිළිබඳ හසළ දැනුමක් විමර්ශනය නොකරපු නිසා, වැහි වළාකුළු වලට දේවතාවො කියනවා කියලා, මෙහෙම හිතාගෙන ඉන්නවා. ඉස්සර මිනිස්සු ගස්-ගල් ඇදහුවා කියනවා. මෝඩ මිනිස්සුන්ට, ගස්-ගල් වලට පණ තියෙනවා කියලා හිතාගෙන, ගස්-ගල් ඇදහුවා කියලා දැන් අද එහෙම මතයක් ගේනවා. ඒ මිනිස්සු ගස්-ගල් වලට නෙමෙයි සැළකුවෙ, ඒවට අධිපති දේවතාවො හිටියා, ඒවා අධිගෘහිතව හිටපු අය. ඒ දේවතාවන්ට තමයි, ඒ වෙනුවෙන් ඒවා කළේ.
දැන් සුජාතා සිටු දුව, දැන් බුද්ධෝත්පාද කාලය තාම ලබලා නෑ, ලොවුතුරා බුදු වෙලා නෑ උන්වහන්සේ. අන්තිම මොහොත වෙනකොටත් මොකද කරන්නෙ, තමන් දරුවෙක් බලාපොරොත්තුවෙන් ගහකට බාරයක් වුනා. දැන් හොඳට පැහැදිලි දෙයක් තියෙනවා, ගහට නෙමෙයි බාරයක් වුනේ, ගහේ ඉන්න දෙවියන්ට. ඊට පස්සෙ, ගහේ ඉන්න දෙවියට තමයි පූජාව අරං ගියේ. ඊටපස්සෙ අර පුණ්නා දාසිය, දුවගෙන ඇවිදින් කිවුවෙ, “ආර්යාවෙනි, දේවතාවා ගහේ මුළටම බැහැලා, ඔබේ දානෙ ගන්න…” ඒකෙන් සන්තෝස වෙලා ගිහින් තමයි දේවතාවාට කියලා හිතලා මහ බෝසතාණන් වහන්සේට දානෙ පූජා කළේ. දැන් එතකොට, හොඳට පැහැදිලිව පේනවා, ගස් ද ඇදහුවේ, ගස් වලට අධිපති දේවතාවොද?
ආරාම, රුක් තමයි ඇදහුවේ, දැන් අපි බලමු, අපි වඳින්න යන්නෙ කොහෙද අහපුහම, අපි කියනවා, “මේ රුවන්වැලි සෑය වඳින්න යනවා…” අපි රුවන්වැලි සෑයටද වඳින්නෙ, රුවන්වැලි සෑය ඇතුලෙ තියෙන ධාතූන් වහන්සේලාටද ? අපි කතාවට කියන්නෙ රුවන්වැලි සෑය වඳිනවා කියලා. රුවන්වැලි සෑය ගල්, මැටි, ගඩොල්, ඕවයින් තමයි හදලා තියෙන්නෙ. හැබැයි රුවන්වැලි සෑය වඳිනවා කියලා ගිහින් වැන්දට, වඳින්නෙ බුදුරජාණන් වහන්සේ ගේ ධාතූන් වහන්සේලා තැන්පත් කරලා තියෙන ඒ ටික මුල් කරගෙනයි රුවන්වැලි සෑයට වඳින්නේ. නමුත් අපි කතාවට කියන්නෙ, රුවන්වැලි සෑයෙ ධාතූන් වහන්සේලාට වඳිනවා කියලා නෙමෙයි, රුවන්වැලි සෑයට වඳිනවා කියලා. අපි කියන්නෙ ඕකයි.
දැන් අපි ඇසතු වෘක්ෂයකට වඳිනවා කියලා නෙමෙයි ජය සිරි මහා බෝධීන් වහන්සෙට වඳින්න යන්නෙ, වෙනත් ගුණයක් සිහි කරගෙන. හැබැයි ගහට තමයි වැන්දේ, ගහ මුල් කරගෙන. ඉතින් ගස් වඳිනවා කියන අර්ථය ගත්තොත් එහෙම, ඒක වෙනයි. එහෙනම් මනුස්සයෝ ගස්-ගල් වැඳලා නෑ ඒ දවස්වලත්. ගස් වලට අධිපති, ගල් වලට අධිපති ඒ ඒ බලවේග තියෙන බව දැක්කා. ඒ දැකලා තමයි, ඒ දේවතාවො මුල් කරගෙන තමයි ඒ ටික කළේ. ඉතින් පස්සෙ කාලෙක තමයි අර,
“බහූ වෙ සරණං යන්ති – පබ්බතානි වනානි ච
ආරාමරුක්ඛචෙත්‍යානි – මනුස්සා භයතජ්ජිතා” {{ත්‍රිපිටක සූචිය}}
කියන මේ ගාථාව අරගෙන,
“නේතං තේ සරණං ඛේමං –නේතං සරණ මුත්තමං
නේතං සරණමාගම්ම – සබ්බ දුක්ඛා පමුච්චති {{ත්‍රිපිටක සූචිය}}
යෝ ච බුද්ධං ච ධම්මං ච – සංඝං ච සරණං ගතෝ
චත්තාරි අරිය සච්චානි – සම්ම පඤ්ඤාය ඵස්සති” {{ත්‍රිපිටක සූචිය}}
කියන මේ ගාථා පාඨය අරගෙන, “මෝඩයෝ ගස්, ගල්, පර්වත වැන්දා ඉස්සර, ආරාම, රුක් චෛත්‍යය ආදියට වැන්දා-පිදුවා. ඕවා එකක් වත් පිහිට වෙන මාර්ග නෙමෙයි, මුළා මාර්ග, ඕවා නිවන් දකින්න බෑ. ඕවයින් පිහිටක් පතන්න බෑ” කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියලා දැන් මෙහෙම ඔය ගාථාව ම අර්ථ විපරීත කරලා කියනවා.
ඒකෙ සරණක් නෑ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නුවෙ නෑ. “නේතං තේ සරණං ඛේමං” ඛේම කියන්නෙ මොකද්ද? ඛේම කියන්නෙ නිවන, බය නැති දෙයක්. “අසෝකං-විරජං-ඛේමං ඒතං මංගලමුත්තමං” ඛේම කියලා හැම වෙලේම පෙන්නුවෙ, අසෝක, විරජ, ඛේම කිවුවෙ නිවනට. ඒ සරණ නිවනට හේතු වෙන්නෙ නෑ. “නේතං සරණ මුත්තමං” – ඒක මේ සසර දුකින් මිදීමට හේතු වෙන්නෙ නෑ. “නේතං සරණ මාගම්ම” – ඒක මේ සංසාර දුකින් මිදීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයක් නෙමෙයි. “සබ්බ දුක්ඛා පමුච්චති” – මේ සියලු දුක් නැති කරන මාර්ගයක් නෙමෙයි. නමුත් ඒකෙ සරණක් නෑයි කියලා කිවුවෙ නෑ.
(ශ්‍රාවක මහතෙක් යමක් කියයි, පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ): අන්න ඒකත් ඔය වගේ වරද්දාගත්ත එකක්. දැන් අපි හිතමුකො මෙහෙම දෙයක්, බයෙන් තැතිගත්ත දරුවා, අම්මා-තාත්තා ලඟට දුවගෙන යනවා. ඔය වචනෙ මුලට දාලා, “නේතං තේ සරණං ඛේමං – නේතං සරණ මුත්තමං” කියන්න බැරිද? ඒ සරණ ක්ෂේමයට කාරණයක් නෙමෙයි, ඒ සරණ නිවනට කාරණයක් නෙමෙයි, මිදීමට කාරණයක් නෙමෙයි, ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයක් නෙමෙයි, සියලු දුකෙන් මිදෙන්න ඒ ළමයට බෑ ඒ වැඩේ කරලා…. කියන්න බැරිද? ඒ කියන්නෙ අම්මා-තාත්තා ලඟට යන දරුවට කිසිම පිහිටක් නෑ කියන එකද ඒ කිවුවෙ?
මෙන්න මෙහෙම දෙයක් මේ ලෝකෙ තේරුම් ගන්න බැරුව ඉන්නවා. ලෝක සත්වයා ඒවයින් පිළිසරණක් ලැබුවා, ලැබුවෙ ගස්-ගල් අදහලා නෙමෙයි, ගහට අධිපති, ගලට අධිපති, කඳු වලට අධිපති, එක එක දේට අධිපති දේවතාවො ඉන්නවා. ඒවයෙ ඉන්න බව බුදුරජාණන් වහන්සේ ම දේශනා කළා. “සීත වළාහක, උණ්හ වළාහක, වස්ස වළාහක…” මේවගේ දේවතාවෝ, එක එක විදිහට ඉන්නවා කියලා, වෘක්ෂ දේවතාවෝ… එහෙම ඉන්නවා {{ත්‍රිපිටක සූචිය}} ඒවයේ උපදින්න හේතුවත් පෙන්නලා තියෙනවා. ඒ ඒ දේවල් පිළිබඳව මේ ලෝකෙදි අහලා, යම් මනුස්සයෙකුට හිතෙනවා “මටත් එබඳු දෙවියෙක් වුනානම් කොච්චර හොඳද” කියලා. එයා දස අකුසළයන් ගෙන් වෙන්වෙලා, අකුසළ ධර්මයන් ගෙන්, පාපයන් ගෙන් වෙන්වෙලා, එයා මොකද කරන්නෙ, එබඳු දේට අනුකූල වන්නාවූ දේවල් හිතින්, කයින්, වචනයෙන් කටයුතු කරනවා, ඒ තුළින් ඒ පැතුම පතනවා. එබඳු වන්නාවූ පුද්ගලයගෙ පැතුම ඉෂ්ට වෙලා, ඒ දේවතාවන් අතරම උපදිනවා. අන්න ඇතිවෙන වෙනස.
දැන් මෙළොවදී ලෝකයාට යහපතක් කරන බලාපොරොත්තුවෙන් මනුස්සයො නානාප්‍රකාර ක්‍රම අනුගමනය කරනවා. දැන් සමහර වෙලාවට වහින්න එනවා, වහින්නෙ නැතුව වැස්ස යනවා; වහින්න එනවා, මහා වැස්සක් වහිනවා. මේ ගැන පරියේෂණාත්මක මනසකින් කටයුතු කරන යම්කිසි මනුස්සයකුට ටික කාලයක් යනකොට අත්දැකීමක් පහලවෙනවා, “මේ මේ විදිහට වහින්න ආවොත්, මේක වහින්නෙ නෑ, වැස්ස යනවා, මේ මේ විදිහට ලකුණු දාගෙන ආවොත් ඒක මහ වැස්සක් වශයෙන් වහිනවා…” මිනිහා ලකුණු හඳුනාගන්නවා. හඳුනගත්තට පස්සෙ, අනික් අයට නැති මානසිකත්වයක් එයාට ගොඩනැඟෙනවා.
දැන් එයා ලෝකයට දකිනවා, වහින්න එනවා දැකලා මිනිස්සු වපුරනවා, පස්සෙ බලනකොට පායනවා. තව කට්ටියක්, “මේ ඔහොම වහින්න ආවට වහින එකක් නෑ, වපුරමු” කියලා වපුරනවා, මහා වැස්සක් වැහැලා අරවා හෝදගෙන යනවා. දැන් මේ දෙකෙන් ම මිනිස්සු පාඩු විඳිනවා. දැන් මේ මිනිස්සු විඳින පාඩුව ගැන සංවේගයට පත්වෙන යම්කිසි, අර සියුම් දැනුම ලැබූ පුද්ගලයෙක්, එයා ලෝකෙට උපදෙස් දෙනවා. “උඹලා මම කියන එක අහපල්ලා, මම කියන්නෙ නිකන් නෙමෙයි, හේතු ඇතුව, ඒක වටහාගෙන. අද වහින්න එන්නෙ මේ වගේ වැස්සක් ආපුහම, මෙන්න මේ ලකුණු ඇතුව ආවොත්, ඒ වැස්ස යනවා, වහින්නෙ නෑ. මෙන්න මේ ලකුණු ඇතුව ආවොත් ඒක මහා වැස්සක් වහිනවා. එහෙනම් වහින ලකුණුත්, වහින්නෙ නැති ලකුණුත් තේරුම් අරගෙන, උඹලට අවශ්‍යය වැඩේ යහපත් විදිහට කරගනිල්ලා. මෙන්න මෙහෙම වහින්න ඇවිදින් වැස්ස යන එකක් නම්, වැස්සහම කරන වැඩ කරන්න යන්න එපා, උඹලට පාඩු වෙනවා. මෙහෙම වහින්න ඇවිදින් වහින්නෙ නෑ කියලා හිතාගෙන ගියාට, මේක වැස්සොත් එහෙම උඹලා මේ වැස්ස නැතුව කරන වැඩේ කරන්න හැදුවොත් උඹලට වැස්ස වැස්සහම පාඩු වෙනවා. මෙන්න මේ ලකුණින් තෝරා ගනිල්ලා වහින්න එන හැටියි, වහින්නෙ නැති හැටියි…” කියලා අර සියුම් ශක්තිය දැකපු අය මොකද කරන්නෙ, ඒකෙන් ලෝකෙට උපදෙස් දුන්නා.
මෙන්න මෙබඳු කට්ටිය තුළ, ලෝකයාට යහපතක් කරන ලෞකික යහපතක් කරන මානසිකත්වය තමයි ලෞකික සෘෂි වරුන්ගෙ තියෙන්නෙ. සමහර කෙනෙක් ඥානවන්තයි, ඒ සඳහාම කැප වෙලා, වෙන් වෙලා, තමංගෙ මේ ගිහි කටයුතු අත්හැරලා, තාපස දිවියට බැහැලා, ඒ පිළිබඳ මානසිකත්වයන් උදා කරගෙන, ඒ ඒ බල ලැබුවා, ඒ ඒ ඥාන ශක්ති ලැබුවා. ඒගොල්ලන්ට කිවුවා ඒ ඒ දේ පිළිබඳ හදාරපු සෘෂිවරු. අන්න ඒගොල්ලන් දකින්න පටන්ගත්තා අතැඹුලක් සේ මේ විශ්වයේ තියෙන ක්‍රියාකාරීත්වය, පැවැත්මේ ක්‍රියාකාරීත්වය. ඒ කවුරුවත් නෙමෙයි, අපේ මහබෝසතාණන් වහන්සේලා. ලෝකෙ යහපත කරමින් ආවෙ උන්වහන්සේලා. මහා ඥාන හම්බුනේ උන්වහන්සේලාට. උන්වහන්සේලා ඒ ඥාන පාරමිතා පූර්ණය කරන කාලෙදි ලෝකෙට එබඳු සියුම් ලෞකික වස්තූන්ගේ සියුම් තැන් දැකලා, ඕවා ලෝකෙට දේශනා කළා.
මෙන්න මේ දේශනා කරපු එකේ ප්‍රතිඵලයක් තමයි සෘෂි භාෂිතයක් වශයෙන් ආපු ජ්‍යෝතිෂ්‍යය. ඕක අස්සක්-මුල්ලක් නෑර හොයලා, හාරාවුස්සලා, දුන්නා. හැබැයි ඕක ඉගෙනගන්න ගියෙ බමුණො. ඒ තත්වයට රාග, ද්වේෂ, මෝහයන් අත්හැරලා හිටපු අය නෙමෙයි. රාග, ද්වේෂ මෝහ සහිතයො තමයි ඕවා ඉගෙනගත්තේ. ඉගෙනගත්තට පස්සෙ මුන් උද්දාම වුනා ඒවයින්. උද්දාම වෙලා මොකද කරන්නෙ, උගත්තු බවට පත්වුනා. ඒ උගත් කම අරගත්ත අය එතන පටන් කරපු එක දෙයක් තියෙනවා, මොකද්ද? තමංගේ ලාභ, කීර්ති, ප්‍රශංසා මහා ඉහළින් වටිනවා කියලා සැළකුවා. ඊට පස්සෙ, “තමා දන්න ශාස්ත්‍රයේ වටිනාකම රැකෙන්නෙ මා තුළ තියෙනකන්. මේක ප්‍රසිද්ධ වෙලා ගියොත් එහෙම මගෙ තත්වය දැනගත් අනිත් අය සමාන වෙනවනේ, එතකොට මගෙ ලාභ, කීර්ති, ප්‍රශංසා වලට පහර වදින නිසා මම මේක දෙන්නෙ නෑ. මේක මගෙ ගුරු මුෂ්ඨිය ” අන්න හංගාගත්තා. ඔහොම හංගාගෙන කාලෙ ගතකළා, ගුරු මුෂ්ඨිය හංගාගෙන. අන්තිමට බලාපොරොත්තු වුනා “තමංගෙ කවුරුහරි කෙනෙක් ඉන්නවා නම් එයාට මම මේක දෙනවා” කියලා හිතාගෙන හිටියා. “හැබැයි දැම්ම දෙන්නෙ නෑ, ඌත් මට ලොකු වෙනවනෙ එතකොට. ඒකත් මගෙ අතේ තියාගෙන, අන්තිම මොහොතෙ මේක දෙනවා” කියලා හිත හිතා ඉන්නකොට මැරිලා යනවා. මැරිලා ගියාට පස්සෙ මොකද වෙන්නෙ? ගුරු මුෂ්ඨිය හංගාගෙන මළා, ඉවරයි! අර සෘෂිවරු ලෝකෙ යහපතට දුන්න සියුම් දහම් වල වටිනා දහම් ඔයවගේ හංගාගත්තා.
ඒකෙත් ඉතුරු ටිකෙන් මොනවා හරි ගන්න සාරයක් තියෙනවා නම්, දැන් අනිකා ලොකු වෙලා ලාභ, කීර්ති, ප්‍රශංසා ලබන්නෙ ඒ පොඩ්ඩ නිසා. ඌ ඒක හංගාගන්නවා. ඒකත් බලාපොරොත්තු වෙනවා “මේක දුන්නොත් එහෙම මගෙ තත්වෙට සම වෙනවා අනික් අය, මගෙ තත්වෙ රැකගන්න නම් මේක නොදී ඉන්න ඕනෙ” කියලා ඉතුරු ටිකෙත් හොඳ හරිය සුද්ධ කරගන්නවා. එයා ඒක තියන් ඉඳලා අරවගේ මැරිලා යනවා. කාලයක් යනකොට, පරම්පරා ගාණක් එනකොට, “නෂ්ටාවශේෂ” කියන්නෙ, ඉතුරුවෙච්ච නැට්ට, ඉතුරුවෙනවා. අවශේෂ වූ නැට්ට, කියන්නෙ ඉතුරුවෙච්ච නැට්ට කියන එක තමයි “නෂ්ටාවශේෂ” කියන්නෙ.
ඔන්න, ජ්‍යෝතිෂ්‍යයේ ඉතුරුවෙච්චි නැට්ට තමයි අද තියෙන්නෙ. ඕකෙන් පුලුවන්ද වැඩ කරන්න? දැන් අද බලනකොට ඔක්කොම හංගලා, ඕනෙ හරිය නෑ. නමුත් සාම්ප්‍රදායිකව අද වෙනකන් ජ්‍යෝතිෂ්‍යයත් අරං එනවා. ඉතින් මේක අරගත්තහම අද මොකද වෙලා තියෙන්නෙ, විශේෂ දේවල් පෙන්නලා මේකෙ වැදගත්කම පෙන්නන්න අද බෑ. දැනට වෙනකොටත්, මේ අවස්ථාව වෙනකොටත්, යම් තරමක් අස්සක, මුල්ලක තියෙනවා නම්, ඒක දෙන්නෙ නෑ. එහෙම ක්‍රම තියෙනවා.
අපි දැනුවත්ව ඔහොම එකක් තිබුණා, දැන් ළමයෙක් උපන් වෙලාව දුන්නම, මේ වෙලාවට උපන්නේ ගෑනු ළමයෙක්ද, පිරිමෙ ළමයෙක්ද කියලා කියන්න ක්‍රමයක් ජ්‍යෝතිෂ්‍යයේ තියෙන බව සිද්ධාන්ත පොත් වල තියෙනවා. හැබැයි ඒ ක්‍රමය දැන් නවීන පිරිස, දැනට ඉතින් පොත් ගහන, දැන් ඔය ඉන්නව නේ රෝහණ සිසිර කුමාර මහත්මයා එහෙම… ඒගොල්ලො සීයක් ලඟට ගිහිල්ලා, අවසර අරගෙන, ළමයා ප්‍රසූත වෙන මොහොත තප්පරයක් වෙනස් වෙන්නෙ නැතුව අරගෙන, ඒ ළමයගෙ ගෑනු-පිරිමි බව තියාගෙන අර ක්‍රමයට බලපුහාම කිසිම වෙනසක් නෑ, ඒක පොදු දෙයක් මිසක් කිසිම විශේෂයක් දකින්න හම්බවෙන්නෙ නෑ, ගෑනු-පිරිමි බව ඒකෙන් කියන්න බෑ, දැනට තියෙන ශාස්ත්‍රය අනුව. දැන් ඉතින් ඒගොල්ලො කියනවා “මේ ශාස්ත්‍රයෙ මොකක් හරි වැරදීමක් ඇති, නැත්තම් තව හැඟවෙච්ච තැනක් ඇති, නමුත් මේ එළිපිට තියෙන ශාස්ත්‍ර ක්‍රමයට නම් මේක අහුවෙන්නෙ නෑ…” ඒක ඒගොල්ලන්ගෙ අත්දැකීමෙන් කරපු පරීක්ෂණ වල ප්‍රතිඵලයක් හැටියට කියලා තියෙනවා.
මේ වහරක වගේම අපේ ගමේ එහාපැත්තෙ, දැන් එයා නැතිවෙලා, එක්තරා නෝනා මහත්මයෙක් හිටියා, පරම්පරාවෙන් ගෙනාපු ජ්‍යෝතිෂ්‍යය ක්‍රමයකින් එයා බලන්නෙ-කරන්නෙ. වෙලාව අරං ආපු ගමන්ම කියන්නෙ, “මට ගෑනු-පිරිමි කතා කියන්න එපා, වෙලාව දෙන්න..” ඒකයි, එච්චරයි කියන්නෙ. එයාට වෙලාව ගෙනත් දුන්නට පස්සෙ එයා බලලා කියනවා “මෙන්න මේ පුතාට මෙන්න මේ නම තියන්නකො…, එහෙනම් ඔය දුවට මේ නම තියන්න ඈ…” කෙලින්ම දුව හෝ පුතා හෝ නම කියාගෙන තමයි එන්නෙ එළියට. “ඔය දුවට මෙන්න මේ නම ගැලපෙනවා…” දැන් මොකාද කියලා දන්නෙ නැතුවයි අහන්නෙ. වෙලාවක් ගෙනිච්චහම, කවුරුහරි දෙනවා නම් වෙලාව විතරක්, “අන්න හරි පුතේ, උඹලා වෙලාව බලන්න කොහේ හරි ගෙනියපං, වෙලාව දීපල්ලා… ආයි අහයි ගෑනුද පිරිමිද කියලා, කියන්න එපා. හරියට සාස්තරේ දන්නවා නම් ඒක කියන්න එයා දැනගන්න ඕනෙ….” දැන් එයා හරියට කියනවා. හැබැයි දරුවො හිටියෙත් නෑ, කවුරුවත් හිටියෙත් නෑ, එයා මැරිලා ගියා, එයාගෙ සාත්තරේ එතනින් ඉවරයි. අපි දැනුවත්ව එහෙම සාස්තරයක් තිබුන බවට ලකුණක් ඒ කිවුවෙ. නමුත් අද වෙනකම්ම ජ්‍යෝතිෂ්‍යයේ කියලා තිබුණට, ඒ ශාස්ත්‍රය අද විද්‍යාමාන නෑ. ජ්‍යෝතිෂ්‍යය බොරු නෙමෙයි, ඒ ජ්‍යෝතිෂ්‍යයේ ඒවා හංගාගෙන, හංගාගෙන ගිහිල්ලා, ඒ සියුම් තැන් අද නෑ, ඒකයි කාරණය.
ඉතින් එතකොට දැන් කෙනෙකුට අහන්න පුලුවන්, “ඒ මනුස්සයා වෙනම වෙලාවල් ගෙනිච්චා නම්…?” එයා තත්කාලය හදලා ගන්න ක්‍රමයක් තියෙනවා, ඒ වෙලාව වැරදි නම් ඒකත් හදාගන්නවා. ඒකට එකතු කළ යුතු ගාණ ඒ ක්‍රමයෙන් දන්නවා, ඒක වෙන ක්‍රමයක්. අන්න ඒවා තමයි ගුරු මුෂ්ඨි, හැංගිලා තියෙන. ඉතින් එහෙම ක්‍රම තියෙනවා. ඒවා අද වැහිලා ගිහිල්ලා. ඉතින් ඒකයි, ජ්‍යෝතිෂ්‍යය වැරදියි කියනවා, වැරදුනාට පස්සෙ. හැබැයි ඕක වැරදියි කියන්න ගියෙ නෑ හරියට දන්න, දත්තයන් දන්න අය හිටපු ඒ කාලෙ. මන්තර ශාස්ත්‍රය වැරදියි කියන්න ගියෙ නෑ ඒවයෙන් හරියට බල පෙන්නන්න පුලුවන් අය හිටපු කාලෙ. ඒ කාලෙ බොහොම බයේ, බොහොම ගෞරවයෙන් ඒවා පිළිගන්නවා. අද වෙනකොට ඒ ගුරු මුෂ්ඨි වලින් හංගාගෙන, හංගාගෙන ගිහිල්ලා, අද බොහොම ශේෂ මාත්‍රයයි තියෙන්නෙ, එච්චර බලයක් පෙන්නන්න එකක්, එකක්වත් ඉතුරු කරගෙන නෑ, ඒකයි වෙලා තියෙන්නෙ. ශේෂ මාත්‍රයක් හරි පුලුවන් කෙනා, ඒක හංගාගන්නවා අදත්. ඒක වත් දෙන්නෙ නෑ, වෙලා තියෙන්නෙ ඕකයි.
ඉතින් ඒක නිසා ඔය සෑම ශාස්ත්‍රයක් ම ඔන්න ඔය විදිහට දුන්නා. ලෞකික ශාස්ත්‍ර දැනගන්න පුලුවන් සෘෂිවරු හිටියා. ඒ සෘෂිවරු තමයි ඔය ශාස්ත්‍ර ලෝකෙට දීලා, ලෝකෙ අයට ලෞකික සෙතක් කළේ. ඉතින් ඒගොල්ලන්ගෙන් පස්සෙ බුදුරජාණන් වහන්සේ ඒවා දෙන්න ගියෙ නෑ ලෝකෙට, මොකද ඒකට සර්වඥ ගෝචර දහමක් ඕනෙ නෑ, අතිදුර්ලභව පහලවෙන බුදුවරයන් වහන්සේලා පහලවුනේ ලෝකයේ සාමාන්‍යය අයට තේරුම් ගන්න පුලුවන් දේ කියාදෙන්න නෙමෙයි. ඒවට අය ලෝකෙ ඉන්නවා. ඒවා දුර්ලභ දේවල් නෙමෙයි. දුර්ලභ දේ මොකද්ද, සර්වඥ ගෝචර වන, ශ්‍රාවක ගෝචර නොවන යම් ධර්මයක් ඇත්නම්, මේක අති ශේෂ්ඨයි ලෝකෙට දෙන එක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අන්‍යයන්ට ගෝචර නොවන, සර්වඥ ගෝචර දහම් විග්‍රහ කරලා දුන්නා.
ඉතින් සමහර අය අහනවා, “බුදුහාමුදුරුවො කොහෙද ඔහොම කියලා තියෙන්නෙ? කොතනද ඕක තියෙන්නෙ?” එහෙම වචනයක් අහනවා මේ සාමාන්‍යය ගෝචර වෙන නුවණට ගෝචර වෙන දේටත්. ඒක කියාදෙන්න ඕනෙ නෑ, ඒක දන්නවනෙ. අන්න ඒකයි කාරණය. ලෝකයා දැනුවත් යමක් ඇත්නම් ඒ ගැන කියාදෙන්න අවශ්‍යයතාවයක් නෑ. නොදන්න යමක් තියෙනවා නම් ඒකයි කියාදිය යුත්තේ. ඉතින් බුදුවරු ලෝකෙ පහලවෙන්නෙ අනික් අයට දැනගන්න බැරි ටික පෙන්වාදෙන්න. සිල් වත් පිළිබඳව, එක එක ඒවා පිළිබඳව, ඔය භාවනා එක එක පිළිබඳව, ඕවා කියාදෙන්න බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහලවෙන්න ඕනෙ නෑ, අබුද්ධෝත්පාද කාලෙත් අය දැනගෙන හිටියා. දැනුත් ඒ අයට දැනගන්න පුලුවන්, ඕනෙ නම්. ඒ මොකද ඒවා ශ්‍රාවක ගෝචර දහම්, සාමාන්‍යය පෘතග්ජනයාටත් ගෝචර වෙන ඒවා. ඉතින් එහෙම ඒවා දැනගන්න බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහලවෙන්න ඕනෙ නෑ.
ඉතින් බුදුන් වහන්සේ ලෝකෙ පහලවෙන්නෙ නිවන් මඟ මුල් කර දේශනා කරන්න. නිවන් මඟට තේරුම්ගන්න පුලුවන් මාර්ගය පෙන්වාදෙන්න. ඉතින් අන්න එහෙම වෙලාවෙදි පෙන්වාදුන්නා එතෙක් කල් මිනිස්සු ලෞකික වශයෙන් පිළිසරණ ලබාගෙන ආපු මාර්ග. ඉතින් ඒවා පෙන්නලා, ඒවයින් නිවන් දකින්න එකක් නෑ, නිවන් දකින්න මාර්ගය මෙන්න මේක ඕකට එකතු කරගෙන කරගන්න කියලයි පෙන්නුවෙ, අරක විනාස කරන්න කියලා කිවුවෙ නෑ.
ඒ නිසාම ලිච්ඡවීන්ට එදා පනවපු “සප්ත අපරිහානි ධර්ම”, ඕකෙ හය වෙනි අපරිහානි ධර්මය මොකද්ද? “වජ්ජීන් විසින් එතෙක් කල් තිබුණු පැරණි චෛත්‍යය ආදීන්ට අවශ්‍යය කරන්නාවූ වන්දනාමාන, පුද සත්කාර සියල්ලම කරන තාක්කල් වජ්ජීන්ට අභිවෘධියක් මිස පිරිහීමක් නෑ. ඒකත් මතක තියාගන්න” කියලා දුන්නා හයවෙනි කාරණය. අපරිහාණි ධර්ම වලින් හයවෙනි අපරිහාණි ධර්මය ඕක. දැන් “පැරණි චෛත්‍යය” වජ්ජි රටේ තියෙන, මොනවද වජ්ජි රටේ තියෙන පැරණි චෛත්‍යය? බෞද්ධ චෛත්‍යය ද? ඒවාට ඇප උපස්ථාන, පූජා සත්කාර කරන තාක්කල් ඒ අයට පිරිහීමක් නෑ. {{ ත්‍රිපිටක සූචිය }}
සුනීත, වස්සකාර කියන සේනාපති දෙන්නා ඔය “පාඨලී නගරය” කියන නගරය හදලා, ඒ නගරය හදනකොට බුදුරජාණන් වහන්සේ දැක්කා දේවතාවෝ සිය ගණන්, දහස් ගණන්, කාණ්ඩ පිටින් එනවා ඒකට, යම් පැත්තකට. කොහාටද යන්නෙ කියලා බුදු ඇසින් බලනකොට දැක්කා අර සුනීත, වස්සකාර දෙන්නා හදන පාඨලී ග්‍රාමයටයි යන්නෙ. මොකද කරන්නෙ බලනකොට දැක්කා, දේවතාවො දහස, දහස බැඟින්, සීය, සීය බැඟින්, මේ විදිහට ගිහිල්ලා අර ඒ ඒ පුද්ගලයො හදන වාසස්ථාන වලට අරක් ගන්නවා. ඒවට තමංගෙ බැල්ම, ආශිර්වාදය කරනවා, බැල්ම දාගෙන. දැන් මෙහෙම ක්‍රමයක් දැක්කා. ඊටපස්සෙ දැක්කා මහේෂාක්‍ය දේවතාවො ගිහිල්ලා, මහා මහේෂාක්‍ය පිං-දහම් කරන්නාවූ පිරිස ලඟටයි යන්නෙ. ඒගොල්ලන්ගෙ ඒවටයි ආශිර්වාද කරන්නෙ. මධ්‍යම පිනැති අයගෙ කටයුතු කරන අයට, මධ්‍යමෂාක්‍ය දේවතාවො ඒගොල්ලන්ට ආශිර්වාද කරනවා. අඩු පිනැති සාමාන්‍යය මට්ටමේ අයට, අල්පේෂාක්‍ය දේවතාවො ආශිර්වාද කරනවා. මෙහෙම ක්‍රමයක් දැක්කා.
දැකලා මොකද කරන්නෙ, බුදුරජාණන් වහන්සේ ඊට පස්සෙ ඔය කාරණය දේශනා කළා “ඊයෙ මෙන්න මෙහෙම සිද්ධියක් මම දැක්කා” කියලා ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔය සිද්ධිය. ඊටපස්සෙ සුනීත, වස්සකාර කියන ඇමතිවරු දෙන්නා අර නගරය හදලා, ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ ලවා ආරම්භ කරවන්න, උන්වහන්සේට දානයක් දීලා පළමු වැඩපිළිවෙල පටන් ගැනීමේ සම්පූර්ණත්වය කරන්න ලෑස්ති කරගත්තා. ලෑස්ති වෙලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා භික්ෂූන් වහන්සේලා සමඟ ඒ ස්ථානය ආරම්භ කරන දානයට වඩින්න. ඒ දානෙට වැඩලා බුදුරජාණන් වහන්සේ ඒ දානය පිළි අරගත්තහම, ඒ පින අනුමෝදන් කෙරෙවුවා අර ඉන්න කටයුතු වලට සම්බන්ධ වෙච්ච, අර ඉන්න දේවතාවන්ට.
ඊට පස්සෙ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “යම් මනුස්සයෙක් දාඩිය-මහන්සියෙන්, දැහැමින් හරි-හම්බ කරගත්ත දෙයින්, යම් පිං-දහම් කරලා, යම් දේවතාවෙකුට පුන්‍යානුමෝදනා කරනවද, එයින් සතුටට පත්වෙන ඒ දේවතාවො, මවෙක් අත දරුවෙක් ආරක්ෂා කරනවා වාගෙ ඒ මනුස්සයින්ට ආශිර්වාදයක් කරනවා. දෙවියන්ගේ ආශිර්වාදය ලබන්නාවූ ඔහුට අභිවෘධිය මිස පිරිහීමක් නෑ.”
දැන් බුදුරජාණන් වහන්සේ කිවුවද මිත්‍යාදෘෂ්ඨි වෙනවා, එතකොට ඒවට උදවු උපකාර කළොත් මිත්‍යාදෘෂ්ඨි වෙනවා කිවුවද? ඒවා අහක් කරන්න කිවුවද? හැබැයි, “නේතං තේ සරණං ඛේමං – නේතං සරණ මුත්තමං” ඒක හරි. ඒවා කර කරා හිටියට නිවන් දකින්න බෑ. ඒ කතාව වෙනම කතාවක්. නිවන් දකින්න ඕනෙ නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්න ඕනෙ නිවන් දකින්න. හැබැයි ඔය කියන, දෙවියන්ගෙ ආශිර්වාද ගන්න වැඩපිළිවෙලින් නිවන් දකින්න බෑ, “හැබැයි ඒ නිසා නිවන් දකින්න විතරක් උඹලා කටයුතු කරපල්ලා, මෙලොව අභිවෘධියට ගන්න කිසිවක් ගන්න එපා උඹලා, මිත්‍යාදෘෂ්ඨි වෙනවා” කියලා, එහෙම දේශනාවක් කළේ නෑ.
දැන් නිවන් දකින්න බලාපොරොත්තුවෙන් දෙවියන් අදහන්න ගියොත් වැරදියි. තමන්ගෙ යහපතක් බලාගැනීමට දෙවියන් අදහන්න ගියොත්, බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා, අභිවෘධියක් මිසක් පිරිහීමක් නෑ කියලා. නමුත් ඒ වටිනා දහමෙ යථාර්තය දැනගන්න බැරුව, දෙවියන්ට පූජාවක් තිබ්බොත්, දෙවියන්ට පිං-පෙත් දෙන්න ඒවගේ වැඩක් කළොත්, දෙවියන් උදෙසා කටයුත්තක් කළොත්, ඒ මිනිහට තිසරණයත් නැති වෙනවා කියලා අද බණ කියනවා.
අපි ඇහුවොත් එහෙම, “කොහෙද ගියෙ?” “කතරගම ගියා” “කතරගම මොකටද ගියෙ?” “දේවාලෙට ගිහින් එන්න” “මොකටද?” “නිවන් දකින්න මඟක් අහගන්න” එහෙම කියන කෙනෙක් කවුරුවත් ඉන්නවද මේ ගිය අය අතරෙ, පොඩි කොල්ලෙක්ගෙන් හරි ඇහුවොත්? කවුරුවත් කියයිද ඕවා දැන්? “නිවන් දකින්න ක්‍රමයක් කපු මහත්තයා ගෙන් අහගන්න ගියා” එහෙම එකක් එහෙම වත් කියයිද? “දෙයියන්ට කියලා වත් නිවන් දකින්න මඟක් අහගන්න ගියා” ඒ ජාතියෙ එකක් එහෙම කවුරුවත් උත්තරයක් දෙයිද? “නෑ මං මේ ඉස්සෙල්ලා වාහනයක් ගත්තා, ඒකට ආශිර්වාදයක් කරවගන්න ගියා” එයා එහෙම එකක් කියයි. බුදුරජාණන් වහන්සේ එපා කියලා තියෙනවද? “මා හැර, දහම් හැර, සඟුන් හැර තවත් ආශිර්වාදයක් මේ ලෝකෙ දෙන්නෙ නෑ” කියලා එහෙම එකක් බුදුරජාණන් වහන්සේ පෙන්නුවෙ නෑ.
එක අවස්ථාවක ඔය වජ්ජි රටේ හිටපු ඔය කියන පිරිස, නැත්නම් ඔය කුමාරවරු, බුදුරජාණන් වහන්සේ ලඟට ඇවිදිල්ලා බොහෝම නිහඬව ඉඳගෙන හිටියා. ඔය ඒ අයගෙන් මහානාම කියන ශාක්‍ය කුමාරයා ඔතෙන්ට ඇවිදිල්ලා “වජ්ජීන්ට අභිවෘධියක් වෙනවා! වජ්ජීන්ට අභිවෘධියක් වෙනවා!” කියලා මහා හඬින් එහෙම උද්ඝෝෂණයක් කළා.
ඒපාර බුදුරජාණන් වහන්සේ අහනවා, “මහානාම, ඇයි මේ මෙහෙම කතා කරන්නෙ?”
“ස්වාමීනි, වජ්ජීන්ගෙ හැටි මම දන්නවා ඉස්සර. අද නම් ඔබවහන්සේ ඉදිරියේ බොහොම සංවරව ඉඳගෙන, මේ බණ අහන්න ලෑස්ති වෙලා නෙ. අද මේ වජ්ජීන්ට යහපතක් වෙන බව දැනගෙනයි මම මෙහෙම කිවුවෙ…”
ඒපාර කියනවා, “මම ඉස්සර කිවුවා වජ්ජීන්ට විනාසයක් වෙනවා! වජ්ජීන්ට විනාසයක් වෙනවා! කියලා. එහෙම කිවුවෙ ඒ කාලෙ. මුන් දඩයමට යනවා විනෝදෙට, මේ වජ්ජි කුමාරවරු. කාන්තාවක් එහෙම දැක්කොත් උසුළු-විසුළු කරනවා, එහෙන්-මෙහෙන් අදිනවා, ඇඟ මිරිකලා එනවා, අතේ තියෙන දේ උදුරගෙන කනවා, මෙන්න මේ ජාතියෙ මහා නීච වැඩ කරපු උන්. ඒකාලෙ ඒකයි මම වජ්ජින්ට පිරිහීමක් වෙනවා! වජ්ජීන්ට පිරිහීමක් වෙනවා! කිවුවෙ. දැන් මේ වජ්ජි කුමාරවරු ඇවිදිල්ලා ඔබවහන්සේ ලඟ බණ අහන්න ඉඳගෙන සද්ද නැතුව ඉන්නවා. මේ පුදුමෙ දැකලා තමයි මම මේ වජ්ජින්ට අභිවෘධියක් වෙනවා! කියලා කිවුවෙ…”
දැන් මේ වෙලාවෙදි බුදුරජාණන් වහන්සේ වජ්ජින්ට අභිවෘධියක් වෙන කරුණු ගණනක් එහිත් විස්තර කළා. ඔය මහානාම කුමාරයා මුල්කරගෙන කරපු දේශනාව {{ත්‍රිපිටක සූචිය}} දැන් මෙතෙනදි පෙන්නලා තියෙනවා, ආශිර්වාදයක් ලබාගත්තහම අභිවෘධියක් ලැබෙන හැටි එකින් එකට විග්‍රහ කරලා. මේ අභිවෘධිය විග්‍රහ කරනකොට පෙන්නනවා, යම්කිසි කුල පුත්‍රයෙක්, යම්කිසි නායකයෙක්, තමන් හරි-හම්බ කරන දේපොළ වලින් වැඩිහිටියන්ට සළකනවා නම්, ඒවාගෙම ඇප-උපස්ථාන කරනවා නම්, ඒ ඒ සැළකුම් ලබන්නාවූ වැඩිහිටියෝ ඒ කුළ පුත්‍රයාට යම් ආශිර්වාදයක් කරනවා. “සැරදේවා! බොහෝ කල් දිගාසිරි වේවා!” කියලා අභිවෘධියක් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාදයක් කරනවා. වැඩිහිටියන්ගේ ආශිර්වාදය ලබන්නාවූ ඔවුන්ට අභිවෘධියක් මිස පිරිහීමක් නෑ.
ශ්‍රමණ බ්‍රාහ්මණාදී කොටස් වලට දන් දෙනවා, ඒ ශ්‍රමණ බ්‍රාහ්මණාදීන් ආශිර්වාදයක් කරනවා. “සැරදේවා! බොහෝ කල් වැජබේවා!” කියලා. ඒ ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ගේ ආශිර්වාදය ලබන්නාවූ ඒ කුළ පුත්‍රයන්ට අභිවෘධියක් මිස පිරිහීමක් නෑ.
ඒ වගේම තමාගේ නෑ හිතමිතුරන්ට සංග්‍රහ කරනවා, එයින් සතුටු වන්නාවූ නෑ හිතමිතුරෝ “අපගේ මේ කුමාරයා සැරදේවා! දිගාකල් වැජබේවා!” කියලා ආශිර්වාද කරනවා. නෑ හිතමිතුරන් ගෙන් ආශිර්වාදය ලබන්නාවූ ඔහුට අභිවෘධියක් මිස පිරිහීමක් නෑ.
ඒ වාගෙම අඹු-දරුවන්ට සංග්‍රහ කරනවා. එයින් සතුටට පත්වෙන අඹු-දරුවෝ “අපගේ ස්වාමියා, අපගේ පියා සැරදේවා! බොහෝ කල් වැජබේවා!” කියලා ආශිර්වාද කරනවා. අඹු-දරුවන්ගෙන් ආශිර්වාදය ලබන්නාවූ ස්වාමියාට අභිවෘධියක් මිස පිරිහීමක් නෑ.
එයා එයාගෙ අතවැස්සන්ට, සේවකයින්ට බත්-වැටුප් දෙනවා, සංග්‍රහ කරනවා. එයින් සතුටට පත්වෙන්නාවූ සේවකයෝ “අපගේ ස්වාමියා වැජබේවා! දීඝායු වේවා!” කියලා ආශිර්වාද කරනවා. දැසි-දස් කම්කරුවන්ගෙන් ආශිර්වාද ලබන්නාවූ ස්වාමියාට අභිවෘධියක් මිස පිරිහීමක් නෑ.
දෙයියන්ට, තමන් හරි-හම්බ කරගත්ත දෙයින් වෙන් කරලා පුද පූජෝපහාර පවත්වනවා. එයින් සතුටු වන දේවතාවෝ ඔහුට ආශිර්වාදයක් කරනවා. “මේ කුළ පුත්‍රයා සැරදේවා! දිගා කල් වැජබේවා!” කියලා ආශිර්වාදයක් කරනවා. දෙවියන්ගේ ආශිර්වාදය ලබන්නාවූ ඔහුට අභිවෘධියක් මිස පිරිහීමක් නෑ.
දැන් වජ්ජීන්ට මෙන්න මේ අභිවෘධිය ලැබෙනවා. දැන් වජ්ජීන් එතනයි ඉන්නෙ. වජ්ජීන්ගේ අභිවෘධිය නැති කරන්න සටන් වලින් බෑ, මේ මේ විදිහට කරලා බෑ කියලා පෙන්නුවා. කවදා හරි ගින්නකින්, මහා ජලයකින්, ස්වභාවිකව වන්නාවූ විනාසයකින් කවදා හරි ඕක විනාස වෙන්න පුලුවන්, නමුත් උපක්‍රමශීලීව විනාශ කරන්න බෑ කිවුවා.
දැන් මෙතන හොඳ පැහැදිලි දෙයක් පෙන්වනවා එහෙනම්, බුදුරජාණන් වහන්සේ ආශිර්වාද ගැනීමේදී දුගී-මගී, යම්කිසි තමන්ගේ කම්කරුවන්ගේ ආශිර්වාදයත් ස්වාමියාට අභිවෘධියට හේතුවෙනවා කියලා පෙන්නුවා. එහෙනම් ආශිර්වාද දෙන්නෙ මහා තෙරවරු විතරද? දැන් අද හිතාගෙන ඉන්නෙ “බුදුරජාණන් වහන්සේගේ සාසනයේ ආශිර්වාදය හැරෙන්න මට වෙන ආශිර්වාදයක් නෑ” කියලා හදාගෙන තියෙනවා. කාගෙද ඒ කතාව?
“නත්ති මේ සරණං අඥ්ඥං – බුද්ධෝමේ සරණං වරං”
“නත්ති මේ සරණං අඥ්ඥං – ධම්මෝමේ සරණං වරං”
“නත්ති මේ සරණං අඥ්ඥං – සංඝෝමේ සරණං වරං”
කියලා මේ වාක්‍ය තුනක් කියලා ඔය විදිහට, “තිසරණය හැරෙන්න මට වෙන සරණක් නෑ” කියන කතාවක් කියලා, “සරණ” යි, “පිහිට” යි අඳුනගන්න බැරුව පටලවාගෙන, අනික් කිසිම කෙනෙක් ගෙ ආශිර්වාදය ගත්තොත් එයා මිත්‍යාදෘෂ්ඨිකයෙක් වෙනවා, තුණුරුවන් ගුණය හැර වෙන පිහිටක් කාටවත් නෑ කියලා එකක් ලෝකයේ රඳවනවා.
දැන් “පිහිට” කිවුවෙ එකක්, “සරණ” කිවුවෙ තව එකක්. සසර සැරි සරන්නාවූ සසර ගමන නසා හරින අර්ථයෙන් කියනවා “සරණ”. මෙන්න මේ සරණ නම් නිවන. මේ නිවන ලබාගෙන සසර දුකෙන් නිදහස් වෙන්න යම් වැඩක් තියෙනවා නම්, මෙන්න මේකට “බුදු සරණ, දම් සරණ, සඟ සරණ” කියන, මෙන්න මේ තුළින් ලබන ආධාරය තමයි ප්‍රධාන වෙන්නෙ. ඒ තුළින් ඕනෑ යථාවබෝධය ලබාගෙන, සසර ගමන දුරු කරලා, සැරීම නසා හරින්න, ඒ “සරණ” ලබන්න. මෙන්න මේ සරණට වෙන සරණක් නෑ. අන්න ඒ අදහසින් “නත්ති මේ සරණං අඥ්ඥං – බුද්ධෝමේ සරණං වරං” කිවුවා නම් හරි.
“පිහිට” කියන්නෙ එකක්, “සරණ” කියන්නෙ තව එකක්. පිහිට කියන්නෙ අන්‍යොන්‍යය ආධාර උපකාරය. අන්‍යොන්‍යය ආධාර උපකාරය නැත්නම්, හාමුදුරුවන්ට වත් තව හාමුදුරු කෙනෙක් ගෙ ආධාර උපකාර නැතුව ජීවත් වෙන්න බෑ කියලා දේශනා කළා. භික්ෂූණ් වහන්සේලාටම දේශනා කරනවා, “උඹලා තනි තනිවම උඹලගෙ වැඩේ කරගනිල්ලා” කියලා පෙන්නුවෙ නෑ. “මහණෙනි, කුඩා වූ, මහත් වූ නෑදෑ පිරිස් අත්හැරලා, අඹු-දරු පිරිස් අත්හැරලා, වස්තු, දේපළ, ඉඩකඩම්, වත්කම් අත්හැරලා, මේ අනගාරික සාසනයේ පැවිද්දට බැහැලා ඉන්න ඔබලාට කාගේ පිහිටක් ද, පිළිසරණක් ද? ඔබලාට දුකක්-කරදරයක් ආපුහාම, ලෙඩක්-රෝගයක් හැදුනහම, අන්‍යොන්‍යය ආධාරයෙන් ඒක කරගත්තෙ නැත්නම් කවුද කරලා දෙන්නෙ? එහෙනම් මීට පස්සෙ හොඳට මතක තියාගන්න, කෙනෙකුට කරදරයක්, දුකක් ඇති වුනහම අනික් අය මඟහරින්න එපා! කවුරුත් එකතු වෙලා සමඟියෙන්, සාමයෙන්, අන්‍යොන්‍යය ආධාරයෙන් කටයුතු කරගන්න. ඒ බඳු උපස්ථානයක් අසනීප වුනහම කරනවා නම්, ඒ උපස්ථානය මට කරන උපස්ථානයක් හා සමානව සළකන්න…” ( දේශනාවේ ඉතිරි කොටස පටිගත වී නොමැත )
~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~
දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://www.waharaka.com/listen/CD004-02