කරණීයමත්ත සූත්‍රය ඇසුරින් ආර්ය මෛත්‍රිය

කරණීයමත්ත සූත්‍රය ඇසුරින් ආර්ය මෛත්‍රිය
04 සං‍යුක්ත තැටියආර්ය මෛත්‍රිය

දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)

කරණීයමත්ත සූත්‍රය ඇසුරින් ආර්ය මෛත්‍රිය

 

{0:00:00} : ආර්ය කර්මස්ථාන බුදු වදනට අනුව නිවැරදිව හඳුනා ගනිමු

 

මේ කාරණය විස්තර කරලා දැනගන්ට ඕනෙ. බෞද්ධ පිංවතුන් විසින් උපාසක උපාසිකාවන්ට බුදු පියාණන් වහන්සේ දේශනා කරල තියෙන්නෙ මෛත්‍රී භාවනාව ප්‍රධාන කර්මස්ථානය හැටියට. ඒ නිසා මේ මෛත්‍රී භාවනාව පිළිබඳව කටයුතු දැනගන්න එක හුඟක් වැදගත් වෙනවා. දැනට මෛත්‍රී භාවනාව පිළිබඳව කරණීයමත්ත සූත්‍රයෙ පෙන්වා තිබෙන මෛත්‍රී භාවනාවේ විස්තරාත්මකව දැනට තිබෙන විස්තර අනුව බලන කොට, අපි මේ පෙන්වන ආර්ය මෛත්‍රී භාවනාවට සසඳන්නේ කොහොම ද?

 

එහෙම අර්ථයක් දැනගන්න දැනට තිබෙන මෛත්‍රී භාවනාවේ නැහැ. ලෞකික මෛත්‍රී භාවනාවෙන් පෙන්වන අර්ථයම තමයි කරණීයමත්ත සූත්‍රයේ දැනට පෙන්වන්නෙ. නමුත් දැන් අපට දැන් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු, “බුදු පියාණන් වහන්සේත් උන්වහන්සේගෙන් අහගත්ත කෙනෙකුත් ඇරෙන්න, උන්වහන්සේ දේශනා කරපු මෛත්‍රී භාවනාව දන්න කෙනෙක් තුන් ලෝකෙම නැහැ” කියල, පැහැදිළිව දේශනා කරල තියෙනවා.

 

එතකොට එහෙනම් මේ ලෞකික මෛත්‍රී භාවනාවකුයි ආර්ය විනයේ මෛත්‍රී භාවනාවකුයි වෙනම තියන බව තමයි පැහැදිළිව පෙන්නල තියෙන්නෙ. අන්න ඒ විස්තරයෙදී විචිත්‍රවත්ව විස්තර කරල තියෙනවා, “විවේක නිශ්‍රිත, විරාග නිශ්‍රිත, නිරෝධ නිශ්‍රිත, වොස්සග්ග පරිණාමී” කියන කාරණා හතරකින් යුක්තව මෛත්‍රී සහගත සප්ත බොජ්ඣංග වඩන්න. නැත්නම් සති සම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය ඒවගේම ප්‍රීති සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය ඒවගේම සමාධි සම්බොජ්ඣංගය, උපෙක්ෂා සම්බොජ්ඣංගය ආදී වශයෙන් මේ කියන සප්ත බොජ්ඣංග වඩන්න කියලයි පෙන්නල තියෙන්නේ. ඒක තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කළ මෛත්‍රී භාවනාව. {{ ත්‍රිපිටක සූචිය }} දැන් මේක තේරෙන්නේ නැහැ, මොකක්ද මේ කිව්වේ කියල විස්තර කරල දැනගන්නකන්.

 

එහෙනම් “විවේක නිශ්‍රිත” කියන එක ඉස්සෙල්ල දැනගන්න ඕන. යම්කිසි කර්මස්ථානයක් ඇසුරු කරනකොට ඒකෙන් පෙන්නපු අදහස, ඒ ඇසුරෙන් අපිට ලැබෙන්නේ විවේකයක් ද, අවිවේකයක් ද? එය ඇසුරු කරන කොට, ඒ ඇසුරෙන් අපි ලෝකය ඇසුරු කරන කොට, ඒ කර්මස්ථානයට අනුව ලෝකය ඇසුරු කරනකොට, අපිට විවේකයක් ඇතිවෙයිද, අවිවේකයක් ඇතිවෙයිද කියල බලන්න ඕන. අවිවේකී වැඩක් නම් ඒ කර්මස්ථානයෙ අදහසින් ලෝකය ඇසුරු කරනකොට අපිට ලැබෙන්නේ, ඒක අවිවේක නිශ්‍රිත මිසක් විවේක නිශ්‍රිත නෙමෙයි. එහෙනම් ඒ කර්මස්ථානය ඇසුරු කරනකොට ලෝකය ඇසුරු කිරීමේදි සිද්ධවෙන්නේ රාගයෙන් බැඳීමක් නම් ලෝක සත්ත්වයින් කෙරෙහි හෝ ලෝකයේ තියන දෙයක් කෙරෙහි, ඒක රාග නිශ්‍රිත මිසක් විරාග නිශ්‍රිත නෙමෙයි. එහෙනම් විරාග නිශ්‍රිත භාවනාවක් හොයා ගන්න ඕන. විරාග නිශ්‍රිත වෙන්නෙ කොහොමද කියල දැනගන්න ඕන.

 

අනික ඒ කර්මස්ථානයෙ අදහසින් ලෝකය ඇසුරු කරනකොට ලෝකයේ සැරිසරන්න හිතෙන එකක් ද? සැරිසරන්න හිතෙන එකක් නම් ඊට හේතු වන එකක් නම් ඒක “රෝධ” නිශ්‍රිතයි. රෝද වලින් කරන්නෙ රවුම් ගහන එක. ලෝකයා පිළිබඳ රවුම් ගහන්න හිතෙන එකක් නම් එහෙම, ලෝකය අත්හරින්න බැරි එකක් නම් ඒ වැඩපිළිවෙල, ලෝකයත් එක්ක සම්බන්ධ එකක් නම්, ඒක රෝධ නිශ්‍රිත මිසක් නිරෝධ නිශ්‍රිත නෙමෙයි. නිරෝධ නිශ්‍රිත වෙන්න නම් ලෝකයෙන් රවුම් ගහන එක නතර කරන ජාතියේ කර්මස්ථානයක් වෙන්න ඕන. එතකොටයි නිරෝධ නිශ්‍රිත වෙන්නෙ.

 

අනික තමයි යම් කර්මස්ථානයක් ඇසුරු කරනකොට, ඒකට බාහිර පිරිසක් හෝ බාහිර දෙයක් අල්ලගෙන තියෙනව නම් බාහිර ලෝකෙන්, ඒ දේ සමග සංසර්ග වෙන එකක් මිසක් වොස්සග්ග කියන එකෙන් වෙන් වෙලා යන එකක් වෙන්න බැහැ. එහෙනම් ආර්ය කර්මස්ථානයක් නම් ලෝකය සමග තියෙන සංසර්ගයෙන් වෙන් කරන එකක් වෙන්න ඕන. එතකොටයි වොස්සග්ග පරිණාමී වෙන්නෙ. දැන් ඔය තුළින් තෝරගන්න ඕන ආර්ය කර්මස්ථානයක් විවේක නිශ්‍රිත, විරාග නිශ්‍රිත, නිරෝධ නිශ්‍රිත, වොස්සග්ග පරිණාමී කියන කාරණා හතරින් යුක්ත වෙන්න ඕන. එහෙම නොවුණොත් ඒක ආර්ය කර්මස්ථානයක් නෙමෙයි. දැන් ආර්ය කර්මස්ථානය හොයා ගන්න හැටි දැනගන්න ඕන.

 

යම් කර්මස්ථානයක් “ආර්ය” නම් බුදු පියාණන් වහන්සේගේ දේශනා කරපු දහමට අනුකූල නම්, ඒ කර්මස්ථානය වඩනකොට අවිවේකය නැතිවෙලා විවේකය ලැබෙන්න ඕන. රාගය නැතිවෙලා විරාගික වෙන්න ඕන. ඒ වගේම රවුම් ගහන රෝධ නැතිවෙලා රවුම් ගහන එක නතර කරපු නිරෝධ නිශ්‍රිත වෙන්න ඕන. සංසර්ගය හෙවත් එක් වෙන පැත්ත අත්හැරල ඒකෙන් වෙන් වෙන පැත්තට හෙවත් වොස්සග්ගයට පත්වෙන විදිහෙ අදහස් එන්න ඕන. එහෙම එනවනම් ඒවා “ආර්ය කර්මස්ථාන.”

 

මොන විදිහෙන් තෝරල තිබුනත් ඔය ධර්ම න්‍යායට එකඟ නැත්නම් අපි තේරුම්ගන්න ඕන කවුරු කොච්චර පණ්ඩිතකමට කිව්වත්, ඒවා ආර්ය කර්මස්ථාන නෙමෙයි. මොන විදිහට බැලුවත් ඔය “විවේක නිශ්‍රිත, විරාග නිශ්‍රිත, නිරෝධ නිශ්‍රිත, වොස්සග්ග පරිණාමී” කියන කාරණා හතර සිද්ධවෙන්න ඕන ආර්ය කර්මස්ථානයකින්. ආර්ය ධර්මයක් ඇසුරු කරනකොට. යම් ධර්මයක් ඇසුරු කරනකොට ඒක අනිත් පැත්ත නම් යන්නේ, ඒක කවදාවත් ආර්ය කර්මස්ථානයක්වත් ආර්ය භාවනාවක්වත් නෙමෙයි, ආර්ය ධර්මයක්වත් නෙමෙයි. ආර්ය ධර්මය හොයාගන්න ඕන.

 

මං පුංචි උපමාවක් කියන්නම්කෝ දැනගන්න. “සිංහල ජාතිය ඉන්නකන් තමයි මේ බුද්ධාගම තියෙන්නේ. සිංහල ජාතිය නැති දාට මේක ඉවරයි. කොහොමහරි සිංහලයො ගොඩ ගහපල්ලා”, කෙනෙක් කියන්න පුළුවන් බුදු බණ කියල. දැන් ඔය වැඩේට බැස්සොත් විවේකද, අවිවේකද? ජාති භේදයක් ඇවිදිල්ලා, හැල-හැප්පීම් ඇවිදිල්ලා, “එහෙම බැහැ අරුන් වැඩියෙන් හදාගන්නවා, අපි වැඩියෙන් හදමු, උන්ට වැඩියෙන් හදමු” දැන් තරඟෙට බැහැලා. ඔය තරඟය අවිවේකද, විවේකද? ඒක අවිවේකයි. එහෙනම් විවේක නිශ්‍රිත භාවනාවක කථාවක් නෙමෙයි ඒක. ඒක අවිවේක නිශ්‍රිතයි.

 

ඕක රාගද, විරාගද? රාගනෙ කෙලින්ම! ජාතිය බෝ කරන්න පුළුවන්ද විරාගයෙන්? එහෙනම් සම්පූර්ණම රාග නිශ්‍රිතයි. දැන් ලෝකයත් එක්ක එකතු වෙලා හැල හැප්පෙන්න වෙනව නම්, ලෝකෙ රවුම් ගහන එකක් නෙමෙයිද? එහෙනම් රෝධ නිශ්‍රිතයි. ඕක නිරෝධ නිශ්‍රිත නැහැ. ඔක්කොම එක්කල එකතු වෙලා කරගන්න එකක් නෙමෙයි ද ඔය ලැස්ති වෙන්නෙ? කාණ්ඩයක් කාණ්ඩයක් එකතු වෙලා කරගන්න එකක්නෙ. “අපේ ජාතිය අපි ලොකු කරගමු” කිව්වොත් එකතු වෙන්න ඕන. එහෙනම් සංසර්ග නිශ්‍රිතයි, වොස්සග්ග නිශ්‍රිත නැහැ. එහෙනම් බුදු දහම ද නැද්ද කියල දැනගන්න ඔය න්‍යාය ධර්මය ගන්න ඕන. එහෙනම් ඒක බුදු දහම නෙමෙයි. එහෙනම් කවුරු හරි හදාගත්ත මතයක්. ඒ මතයෙ එල්ඹගෙන ඒ මත ගොඩනගාගත්ත දෘෂ්ටියක්. ඒ දෘෂ්ටියෙ එල්බගෙන අපි දඟලනව ඒක බුදු දහම කරන්න.

 

“අහවල් කට්ටිය පල්ලියක් හදනවා, දෙන්න එපා හදන්න, බුදු දහම නැති වෙලා යනවා. ගහල බැනල පන්නපල්ලා” කිව්වොත් ඒක අවිවේකද, විවේකද? ආං බලන්න ඕන. ඒක අවිවේකයි. රාගද, විරාගද? රාග, ද්වේශ, මෝහයන්ටයි අයිති. එහෙනම් රාගිකයි, එහෙනම් සැරිසරන්න වෙන එකක් මිසක් නිදහස් වෙන්න බැහැ. සිත නිදහස් කරන්න බැහැ. එහෙනම් නිරෝධ නිශ්‍රිත නැහැ. රෝධ නිශ්‍රිතයි. එකතුවෙන්න ඕන, කල්ලි ගැහෙන්න ඕන, චණ්ඩිකම් කරන්න යන්න ඕන, ඔය වැඩේ කරන්න. සංසර්ග පරිණාමී මිසක් ඒක වොස්සග්ග පරිණාමී නැහැ. එහෙනම් ඒක බුදු දහම නෙමෙයි. මෙන්න බුදු බණ හොයාගන්න ලේසි ක්‍රමය.

 

{0:07:29} : ආර්ය විනයේ “සතිය” ලෞකිකව පවත්වන “හොඳ සිහිය” නොවේ

 

දැන් මෙන්න මේ ටික දැනගත්තහම, එහෙනම් සතියෙන් මොකක්ද අපි කරන්න ඕන? අපේ “සතිය” කියල අපි සිහිය කියල කියනවා. “සතිය” කියන්නේ මොකක්ද? සිහිය. දැන් මේකත් අපි දැනගන්න ඕන. ආර්ය විනයේ පෙන්නපු “සතිය” මේ ශාසනයෙන් බැහැර කවදාවත් අබුද්ධෝත්පාද කාලයක විද්‍යාමාන වෙන්නෙ නැහැ. එහෙනම් “හොඳට සිහිකරන්න පුරුදුවෙන්න” කිව්වහම, “සතිය” කියන්නේ සිහිකිරීම කිව්වොත්, අබෞද්ධයො සිහිකරන්නෙ නැද්ද? මේ ශාසනය නැති කාලෙ අබුද්ධෝත්පාද කාලෙ මිනිස්සු සිහිකරන්නෙ නැද්ද? ඔය අද කියන සිහිය නැද්ද? සිහිකල්පනාවෙන් කටයුතු කරනව කියන එක අනිත් අයට නැද්ද? ඔය චන්ද්‍රිකා හදල තියෙන්නෙ, කොම්පියුටර් හදල තියෙන්නෙ, සිහිකල්පනාවෙන් නෙමෙයිද? අවසිහියෙන්ද?

 

එහෙනම් අපි මේ ලෝක සම්මත කරගෙන තියන අදහස හරිද? එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු, “මා හෝ මගෙන් පෙන්නපු මාර්ගය හැරෙන්න සති චෛතසිකය නැත්නම් සතිය නැහැ”. එහෙනම් මේ ආර්ය විනයෙහි පෙන්නපු “සතිය” වෙන තැනක නැත්නම් ඒ “සතිය” මොකක්ද? අන්න ඒකෙ පිහිටියොත් “සතිපට්ඨාන“. ලෝකයා සිහිකරන ජාතියෙ එහෙක පිහිටියොත් ඒක “ලෝකපට්ඨාන” මිසක් “සතිපට්ඨාන” නෙමෙයි. එහෙනම් “සතිපට්ඨානය” කරන්න ඉස්සෙල්ලා “සතිය” දැනගෙන ඉන්න ඕන. නැතුව කොහොමද “සතිපට්ඨාන” කරන්නෙ?

 

එහෙනම් “සතිය” කියන චෛතසිකය පින් හිත්වල මිසක් පව් හිත්වල යෙදෙන්නෙ නැහැ කියල දේශනා කරල තියෙනවා. එහෙනම් සිහියෙන් බෝම්බයක් හැදුවොත්, සිහි කල්පනාවෙන් බෝම්බයක් හැදුවොත් ඒක පින් සිත්වල ද යෙදිල තියෙන්න? මිසයිලයක් නිපදෙව්වොත්, ඒවගේම කොම්පියුටරයක් හදල ලෝකයා විනාශ කරන්න අවශ්‍ය කරන්නා වූ වැඩපිළිවෙලක් හැදුවොත් එහෙම ඒකෙන්, රහස් ඔත්තු බලාගෙන සතුරන් පරාජය කරන්න එකක් එහෙම හැදුවොත් ඒකෙන්, සිහි කල්පනාවක් නැතුව කරපු වැඩ වලින්ද ඒව හදල තියෙන්නෙ? ලෝක සම්මතයෙ සිහි කල්පනාව එතන ඒකාන්තයෙන්ම හොඳටම තියෙන්න ඕන. නැත්නම් එහෙම ඕව කරන්න බැහැ. බෝම්බෙ අතේ පත්තුවෙලා තමනුත් මැරිල යනවා අත් බෝම්බයක් හදන්න ගියත්, ඒ සිහි කල්පනාව නැතුව. එහෙනම් ඔය කියන සිහි කල්පනාව ලෝකෙ තියෙනවා.

 

මිනිහෙක් ඌරෙකුට තුවක්කුවක් බඳිනව කැලේ ගිහිල්ලා. සිහි කල්පනාවෙන් කරන්න ගියෙ නැත්නම් එහෙම මිනිහට පත්තුවෙනවා. එහෙනම් එතනත් සිහි කල්පනාවක් තියෙන්න ඕන. හැබැයි මේවා ඔක්කොම පාප වැඩ. එහෙනම් පාප හිතක යෙදෙන්නෙ නැත්නම් “සතිය”, ඒකෙ නියමය ඒකනම්, ධර්ම නියමය ඒකනම්, ඔය කියන “සතිය” දැන් ඔය හිතාගෙන ඉන්න සිහි කල්පනාව ඒකෙ යෙදෙනවද? ඒක “සතිය”ද? අන්න අපි ධර්මයට බහා බැලුවා. බහා බලපුවහම, ධර්මයට බහා හිටින්නෙ නැහැනෙ. සසඳලා බලපුවහම විනයට ගැලපෙන්නේ නැහැනෙ.

 

එහෙනම් “සම්මා සතියක්” තියනව නම් කොහොමද? පව්වලට වැටෙන්නෙ නැතිවෙන්න ඕනෙ කොච්චර බැලුවත්; ඒකෙන් ආර්ය මාර්ගය වැඩෙන්නත් ඕන. එහෙනම් අන්න ඒ ජාතියෙ එකක් තියනවා, ඒක මේ බුද්ධ ශාසනයෙන් පිට කිසිතැනක නැහැ කියල. එහෙනම් බුද්ධ ශාසනයෙන් පිට කිසිතැනක නැති බව අපි ඔප්පු කරන්න ඕන. නිකම්ම කිව්වට හරියන්නේ නැහැ, උද්දාම වෙවී හිටියට හරියන්නේ නැහැ. දැන් බුද්ධ ශාසනයෙන් පෙන්නපු “සතිය” මේ ශාසනයෙන් බැහැර අනිත් කාලෙක නැති වෙන්නයි, ශාසනික නොවන අනිත් අයට ගෝචර නොවෙන්නයි, ඒ කිව්ව “සතිය” මොකක් ද? ඔප්පු කරන්නෙ නැතුව ඒක කිව්වට හරියන්නෙ නැහැ. ලෝකෙට ඔප්පු කරල පෙන්නන්න ඕන. ඒ “සතිය” මෙන්න මේකයි, මෙන්න මේ හින්දයි කියන්නේ අබුද්ධෝත්පාද කාලේ ඒක නැහැ කියලා. ශාසනයෙන් බැහැර පුද්ගලයින්ගෙ සිහිකල්පණාව තුළ ඒ බුදුපියාණන් වහන්සේ පෙන්නපු, ඔය කියන “සති” කියන අදහස නැහැ කියල, අපි ඔප්පුකරල පෙන්නන්න ඕන.

 

එහෙනම් ඕක ඔප්පුකරල පෙන්නන්න නම් කෙනෙකුට “සතිය” පිහිටන්නේ, සිහිය පිහිටන්නේ, කුමක් මුල් කරගෙනද කියල දැනගන්න ඕන. හැමදේම මුල් කරගෙන පිහිටන සිහිය “සතිය” නෙමෙයි. යම් කෙනෙක් නිවන තේරුම්ගත්තා නම්, අන්න ඒ නිවන මුල් කරගෙන ඒ නිවනට පත්වීමට යමක් කළයුතුද, “කරණීයමත්ත කුසලේන යංතං සන්තං පදං අභිසමෙච්ච” – “ශාන්ත පද” නම් වූ නිවනට පැමිණීමට කුමක් කළයුතුද? ඔන්න “සතිය” වැඩෙන විදිහ.

 

දැන් අපිට ප්‍රශ්නයක් වුණා, කරණීයමත්ත සූත්‍රයේ තියන එක හොයාගන්න බැරිවුණා, බුදු දහමේ තියනවද කියලා. පළමුවම තියනව නේද? ඔන්න “සතිය” හොයාගන්න තැන. යම් ඒ “ශාන්ත පද” නම් වූ නිවනට පැමිණීම සඳහා කරන්න ඕන මොනවද? “සතිය” නැත්නම් හොයාගන්න බැහැ. අන්න “සතිය” තිබුණා නම් හොයාගතහැකි, නිවනට පැමිණීමට කරන්න ඕන මෙන්න මේවා. අන්න සතියෙන් හොයාගන්න ඕන.

 

“නිවන” කියන්නේ මොකක්ද දැක්කෙ නැති කෙනෙකුට නිවනට පැමිණි එක හොයන්නේ කොහොමද? එහෙනම් අබුද්ධෝත්පාද කාලයක නිවන පිළිබඳව දැනගන්න නැත්නම්, අබුද්ධෝත්පාද කාලෙක නිවනට පැමිණෙන්නේ මෙන්න මේකෙන් කියල හොයාගන්න පුළුවන්ද? එහෙනම් නිවනට පැමිණෙන හැටි යම්කිසි විදිහකින් දැනගන්නව නම්, අන්න ඒකට කියනවා “ආර්ය විනයේ සතිය”.

 

එහෙනම් අබුද්ධෝත්පාද කාලයක ඒ “සතිය” නැහැ කියන එක දැන් ඔප්පුවෙලා ඉවරයි. මොකද අබුද්ධෝත්පාද කාලෙ නිවන දන්නෙ නැහැ. නිවන දන්නෙ නැත්නම් නිවනට පැමිණෙන්න කරන්න ඕන දේ දැනගන්නේ කොහොමද? ඒක දන්නෙත් නැහැ. ලෝකේ තියන ඒවා දැනගන්න සිහිය නම් තියනවා, ඒ කාලේ. ඒක නෙමෙයි “සම්මා සතිය” කිව්වේ. යම් ඒ “ශාන්ත පද” නම් වූ නිවනට පැමිණීම සඳහා කරන්න ඕන මොකක්ද? ඔය ප්‍රශ්නයට උත්තරය තමන්ට වැටහෙන්න ඕන.

 

යන එන, කරන කියන, කථා කරන, කථා නොකරන, වටපිට බලන, සෑම ඉරියව්වකදීම නිවනට පැමිණීම සඳහා මේක සුදුසුද? ඒකට උපනිශ්‍රය වෙනවද? ආධාර වෙනවද? අන්න ඒක දැනගත්ත නම්, තමන් යන්නේ මොකටද? මොනවා කරන්නද? නිවනට පැමිණීමට වැඩක් කරන්නද? ඉන්නේ මොකටද? ඉදගන්නෙ මොකටද? හිටගන්නෙ මොකටද? ඒක නිවනට ආධාර වෙන්නෙ කොහොමද? නැත්නම් මේ මොකටද යන්නේ? ප්‍රාණඝාතය කරන්න නම් නැගිට්ටේ, නිවනට උපනිශ්‍රයද? ආධාරද? හොරකමක් කරන්න නම් ඒ නැගිට්ටේ, ඉදගත්තේ, හිටගත්තේ, ගමන් කරේ, සතර ඉරියව් පැවැත්වුවේ, ඒක නිවනට උපකාරයක්ද? පාපයට උපකාරයක්ද? පාපයට සම්බන්ධයි. ඒක පාපයට සම්බන්ධයි කියල දැනගන්නවා.

 

කාම මිථ්‍යාචාරයක බලාපොරොත්තුවෙන් නම් එයා ඉදගත්තේ, හිටගත්තේ, නැගිට්ටේ, මොනවහරි ආවේ, ගියේ, වටපිට බැලුවේ, මොනවහරි කරේ, කථාකරේ, කථානොකරේ ඒ සඳහා නම්, ඒක නිවනට උපනිශ්‍රය වන එකක් නෙමෙයි. ඒක නිවනට ආධාරයක් නැහැ. බොරුවෙන් අනුන් රවට්ටන්න නම් තමුන් ඒ කටයුත්තට හැම එකටම බැස්සෙ, කථා කළේ, කථා නොකළේ, වටපිට බැලුවේ, නැත්නම් ආවේ, ගියේ, ඉදගත්තේ, හිටගත්තේ, බුදියගත්තේ, බොරුවෙන් අනුන්ව රවට්ටන්න නම්, ඒවා නිවනට හේතුවන කටයුතු නෙමෙයි කියල සිහියෙන් දැනගන්න ඕන. අන්න “සතිය”. ඒව කළේ නිවනට හේතුවන වැඩකට බව දන්නවා නම්, ලෝකයේ විනාශයට, මුලාවට පත්වෙන්න නෙමෙයි බව දන්නව නම්, අන්න ඒ දැනගන්න එක, දැනගෙන කටයුතු කිරීම “සිහියෙන් කටයුතු කිරීමයි”. මෙන්න මේ සිහියට කියනවා “ආර්ය විනයේ සතිය”.

 

{ 0:14:48 } : “සක්කයා” කියන්නෙ ලෝභ දෝස මෝහ දුරලන සුද්ධවන්තයාටයි

 

මෙන්න “ශාන්ත පද” නම් වූ නිවනට පැමිණීම සඳහා කරන්න ඕන දේ. ඕක දැනගන්න ඕන. එහෙනම් මොකද්ද කිව්වේ කරන්න ඕන හරිය? “සක්කෝ” සක්කයෙක් වෙන්න කිව්වා. දැන් සිංහලෙන් අර්ථ තෝරල තියෙනව “දක්ෂයෙක්” වෙන්න කියලා, දැන් දක්ෂයෙක් වෙන්න. දක්ෂයාට කියන්නේ “දක්කෝ”, ඔතන තියෙන්නේ “සක්කෝ”. “සක්කෝ” කියන එකට “දක්කෝ” කියන එකේ තේරුම දීල හරියන්නේ නැහැ. දැන් ඉතින් අපිට දීල තියන තේරුම හරිද? එතකොට අපි කියනව කරණීයමත්ත සූත්‍රයෙ කියල තියන තේරුම් අරගත්තහම, අපි මේ කියාපු “ආර්ය මෛත්‍රී භාවනාව” ට කොහොමද ගැලපෙන්නේ කියලා. ගැලපෙන්නේ නැති එක ඇත්ත.

 

එහෙනම් දීල තියෙන අර්ථය විස්තර වෙලා නැහැ. තේරුම් අරන් නැහැ. ඒකට ලෞකික අර්ථයක් තෝරගත්තට පස්සේ අපි හිරවෙලා තියෙන්නේ ඔන්න ඕකයි. එහෙනම් “ශාන්ත පද” නම් වූ නිවනට පැමිණීම සඳහා කළයුත්ත මොකක්ද කියල අහනකොටම අන්න “සතිය” අපි දැන් තේරුම්ගත්තා. කළයුත්ත තෝරගන්නවා, නොකළයුත්ත තෝරගන්නවා, සතියෙන් කටයුතු කරනවා ඊට අනුව. තේරුම් අරන් කටයුතු කරනවට කියනවා “සතිය” පිහිටවගත්තා, “සතිපට්ඨානය”. අන්න “සතර සතිපට්ඨානය” ම ඔතනින් විග්‍රහ වෙනවා, ඔය කියන්න පටන් ගන්නකොටම.

 

එහෙනම් කරන්න ඕන වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ පෙන්වනවා, ඉස්සෙල්ලම “සක්කෝ” වෙන්න. සක්කයෙක් වෙන්න. ඔතනම කාලා “දක්ෂයෙක්” වෙන්න කියලා. ඕක සිංහලට අර්ථ දීලා “දක්කෝ” කියන පදයෙ අර්ථය “සක්කෝ” කියන එකට දුන්නා. එතනමත් පටලවගත්තා.

 

ඉතින් අර්ථය, පෙළ දහම වැරදිලාද, අපි ගත්ත අර්ථය වැරදිලාද? පෙළ දහම කෙස් ගහක්වත් වැරදි නැහැ. පෙළ දහම හරියටම හරි. හැබැයි ඒකට ගත්ත සිංහල අර්ථය ඒකට පරස්පරයි. ඒක කඩන්න ඕන. එහෙනම් අපි කොහොමද උදේ ඉදන් රෑ වෙනකම් කරණීයමත්ත සූත්‍රය භාවනා කරනවා කියල කිව්වට තේරෙන්නේ? අදහස නැහැනේ! ඒක ලෞකික වශයෙන් ගත්ත විකෘති අදහසක් කරණීයමත්ත සූත්‍රයේ අදහස හැටියට ගත්තහම අපි කොහොමද නිවන් දකින්න මාර්ගය වඩන්නේ? භාවනාව වැඩෙන්නේ කොහොමද? එහෙනම් කරණීයමත්ත සූත්‍රයේ මෛත්‍රී භාවනාව පෙන්නුව නම්, “ආනාපාන සතිය” කියන්නෙත් ඔය “බ්‍රහ්ම විහරණය” හැටියට පෙන්නපු කරණීයමත්ත සූත්‍රයත් පෙන්නල තියනවා නම්, ආර්ය විනයේ ආනාපානසතිය, ඒ “ආර්ය ආනාපානසතිය” වැඩෙන්නේ කොහොමද? ඒකවත් දන්නේ නැහැ. එහෙනම් තෝරගන්න ඕන, ආනාපානසතියත් තේරෙයි ඔය කරණීයමත්ත සූත්‍රය තෝරල ඉවරවෙනකොට.

 

එහෙනම් මොකක්ද කරන්න කිව්වේ? “සක්කයෙක්” වෙන්න කිව්වා. “සක්කයා” කියන්නේ කවුද? හක් ගෙඩිය පෙන්වන්නෙ උපමාව සුද්ධවන්තයාට. තමන් කරන කියන හිතන දේවල් අශුද්ධ නොවෙන්න ඕන. ශුද්ධව කරන්න ඕන. ශුද්ධ හිතකින් යුක්තව “මනසා චේ පසන්නේන භාසති වා කරෝති වා” කියපු තැනට බැස්සා නම්, ප්‍රසන්න මනසට බහිනකොටම එයා “සක්කයි” නැත්නම් “සුද්ධයි”. දැන් එයා කරන වැඩ කටයුතු ඔක්කොම සුදු වැඩ, සුදුසු වැඩ, සුදු සුවය දෙන වැඩ හෙවත් සුදුසු වැඩ වෙනවා. සුද්ධ සුවයක් දෙනවද රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන්? දෙන්නෙ නැහැ. එහෙනම් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කරන එක වැඩක්වත් “සක්ක වැඩ” නෙමෙයි. “සක්ක වැඩ” වෙන්න නම් අලෝභයෙන් අද්වේශයෙන් අමෝහයෙන් ආරම්භ කරන්න ඕන. අපි කරන දේ කියන දේ හිතන දේ අලෝභ නම් අද්වේශ නම් අමෝහ නම් අන්න සුදු වැඩ, “සක්ක” වැඩ. එහෙනම් අපි දැනගන්න ඕන ඉස්සෙල්ලා අලෝභයෙන් අද්වේශයෙන් අමෝහයෙන් වැඩ කරන තැනට බහින්න. අන්න එතකොට “සක්කයෙක්” වෙනවා.

 

දැන් අපිට පේන්නේ නැද්ද ඔතනින්ම නිවන් මඟට අවතීර්ණ වෙන්න හේතු තියෙන බව? ලෝභයෙන් ද්වේශයෙන් මෝහයෙන් හිතනවා නම් කියනවා නම් කරනවා නම් ලෝකයේ සතර අපායට අයිතිවෙන ඒවා මිසක් නිවනට තියා සුගතියටවත් අයිතිවෙන්නෙ නැහැ.

 

එහෙනම් ඉස්සෙල්ලාම මොකද කරන්න ඕන? අලෝභයෙන් අද්වේශයෙන් අමෝහයෙන් කරන කියන හිතන දේවල් තේරුම්ගන්න පුළුවන් වෙන්න ඕන. අන්න එතකොට “සක්කයෙක්” බවට පත්වෙනවා, සුද්ධවන්තයෙක් බවට පත්වෙනවා. යමෙක් වැඩ කරන්නේ අලෝභයෙන් අද්වේශයෙන් අමෝහයෙන් යුක්තව නම් හිතන්නේ කියන්නේ කරන්නේ, ඔහුට සුද්ධ මාර්ගයේ යන කෙනෙක් කියන්න වටිනවා. ලෝභයෙන් ද්වේශයෙන් මෝහයෙන් නම් යම් කෙනෙක් වැඩකරන්නේ, ඔහුට සුද්ධ මාර්ගයේ යන කෙනෙක්, සුද්ධවන්තයෙක් කියන්න වටිනවද? වටින්නේ නැහැ.

 

එහෙනම් සුද්ධවන්තයෙක් වෙන්න ඕන ඉස්සෙල්ලා, “සක්කයෙක්” වෙන්න ඕන. “සක්කයෙක්” වෙන්න නම් තමන් කරන කියන හිතන දේවල් අලෝභයට අද්වේශයට අමෝහයට යුක්ත දේවල් වෙන්න ඕන. ඕක තේරුම්ගන්න බැරි නම් අපිට, අපි කරන කියන හිතන දේවල් තුළින්, අපේ මොටකම ඔයිටත් වඩා මොකෙක්ද, අපි හරකෙක්ද? හරක්ද? මනුස්සයෙක් හැබෑ නම්, ඕක තේරුම්ගන්න පුළුවන් වෙන්න ඕන. ප්‍රඥාවන්තයෙක් හැබෑ නම්, ඕක තේරුම්ගන්න පුළුවන් වෙන්න ඕන.

 

හැබැයි හත් අවුරුදු ළමයටත් ඕක තේරුම්ගන්න පුළුවන් නිසා, හත් අවුරුදු ළමයත් ප්‍රඥාවන්තයෙක් වෙන්න පුළුවන්. මේ නිසා තමයි කිව්වේ “පඥ්ඥාවන්තස්සායං ධම්මෝ – නායං ධම්මෝ දුප්පඤ්ඤස්සෝ” මේ ධර්මය ප්‍රඥාවන්තයාට මිසක් දුෂ්ප්‍රාඥයාට නෙමෙයි. හැබැයි අද හිතන් ඉන්නේ ප්‍රඥාවන්තයා කිව්වහම එයා සෙල්ලම් බඩුවක් නෙමෙයි, අති ඉහළ ඉන්න මේ ලෝකෙන් ලොකුම විද්‍යාඥයෝ, විශේෂඥයෝ, ගුරුවරු, ඒවගේම කථිකාචාර්යවරු. මේගොල්ලො මිසක් අපි මේ මොනවත් ඉගෙනගත්තේ නැති අය, මොන ප්‍රඥාවන්තයින් ද කියල මෙහෙම රවට්ටගන්න පුළුවන්.

 

ඒ ලෝකෙ අදහස. ලෝකයෙ අදහස එකක්. හැබැයි මහාචාර්ය වෙන්න පුළුවන්, ත්‍රිපිටකධාරී අග්‍ර ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන්න පුළුවන්, ඔවුන් කරන වැඩ ලෝභ නම් තරහ නම් මෝඩ නම් එයා දුෂ්ප්‍රාඥයෙක් මිසක් එයා ප්‍රඥාවන්තයෙක්ද? ඔය පාසලේ පළවෙනි පන්තියටවත් නොගිය කෙනෙක් හොඳ නරක තේරුම් අරගෙන, නරක වැඩ නොකරමින් හොඳවැඩ කරමින් තේරුම් අරගන්න පුළුවන් කෙනෙක් නම්, එයා එක අකුරක් ලියන්න ඉගෙනගත්තේ නැතත් ප්‍රඥාවන්තයෙක්.

 

අන්න “පඥ්ඥාවන්තස්සායං ධම්මෝ”. එයාට ධර්මය අයිතියි. අර මහේෂාක්‍ය ලෙස ලොකුවට ලෝකෙ වැජඹෙන මහාචාර්ය, කථිකාචාර්ය, මොනව කිව්වත් කමක් නැහැ, අති විශේෂඥ කිව්වත් කමක් නැහැ, ලෝභයයි ද්වේශයයි මෝහයයි කියන්නේ වැරදියි, මේක පාපයක්, මේක නොකළයුත්තක්, මේකෙන් වෙන්නේ අවැඩක් කියල තේරුම්ගන්න බැරි නම්, අලෝභ අද්වේශ අමෝහ කියන ඒවට ගිහිල්ල, “ඕවා සෘණ පැත්තේ ඒවා” කියල එහෙම කියන්න පටන්ගත්තා නම්, “පිරිහෙන්න වෙනව ඕවට ගියොත්” කියල එහෙම කියන කෙනෙක් ඉන්නව නම්, දුෂ්ප්‍රාඥයෙක් මිසක් කොච්චර ඉගෙනගත්ත කියල ලෝකේ කොච්චර පණ්ඩිතයා කිව්වත් “පඥ්ඥාවන්තස්සායං ධම්මෝ” කිව්ව ප්‍රාඥයෙක් නෙමෙයි.

 

එහෙනම් ඕක තේරුම්ගන්න ඕන, පුංචි ළමයින්ටත් ඔතන ප්‍රඥාවන්තයෝ ඉන්නවා ඔය ටික තේරුම්ගන්න පුළුවන්. අග්‍ර තනතුරේ ඉන්නේ, ගෞරව උපාධි ලැබුවයි කියල, මහාචාර්ය කියල කියන කෙනෙක් හිටියත් ඕක තේරුම්ගන්න බැරිනම් එයා දුෂ්ප්‍රාඥයෙක්. ඕක තෝරගන්න, සමාජයට පහර ගහනවා නෙමෙයි. ඔය තේරුම්ගත යුතු ආකාරය.

 

ඉතින් අපි අතර ඉන්නවා පුංචි ළමයි හැබැයි ලෝභ වැඩ තරහ වැඩ මෝඩ වැඩවලට කැමැතිත් නැහැ, තේරුම්ගන්නත් පුළුවන්. අලෝභ, අද්වේශ, අමෝහ ගුණයෙන් කටයුතු කරන්න පුළුවන් පුංචි ළමයිනුත් ඉන්නවා. ලොකු අයත් ඉන්නවා. ඔය දෙපැත්තෙම ඉන්නවා. ලෝක සම්මතයේ ඒගොල්ලන්ට එක එක විදිහේ ලේබල් හම්බවෙලා තියෙන්න පුළුවන්. ගිහිවතෙන් ඉන්න කට්ටියට බැලුවොත් ඒ පැත්තෙන් බැලුවොත් ඔය කථිකාචාර්ය, මහාචාර්ය, විශේෂඥ, මහාප්‍රාඥ, ඔයවගේ එකක් දෙන්න පුළුවන් ඕනතරම්.

 

ඒවගේම අනිත් පැත්තෙන් බලපුවහම, විවේචනය කරනවා නෙමෙයි නමුත් නොකියා බැහැ මෙතෙන්ට ඔය අනුනායක, මහනායක, අග්‍රශ්‍රේෂ්ඨ, ඒවගේම ත්‍රිපිටකවාගීෂ්වර, ඔයවගේ නම්වලින් ඉන්නත් පුළුවන්. ඔය කොයි එකකින් හිටියත් දැනගන්න ප්‍රාඥද දුෂ්ප්‍රාඥද කියල දැනගන්නේ ඒ ලෝක සම්මත මිනුම් වලින් නෙමෙයි, හොඳ නරක තේරුම්ගන්න පුළුවන් තැනක ඉන්නවා නම්, ලෝභ වැඩ, තරහ වැඩ, මෝඩ වැඩ මොනවද කියල තේරුම්ගන්න පුළුවන් නම්, ඒවා නොකළ යුතුයි කියල නිගමනය කරල, ඊට අනුව කටයුතු කරනව නම් අලෝභය, අද්වේශය, අමෝහය තේරුම් අරගෙන ඊට අනුව කටයුතු කරනව නම් අන්න ඒ පින්වතුන් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ “පඥ්ඥාවන්තස්සායං ධම්මෝ” කිව්ව පිරිස. ඒ අයටයි මේ ප්‍රඥාවන්ත ධර්මය. අන්න ඒක තේරුම්ගත්ත කෙනා තමයි “සක්කයෙක්” කියන්නේ, සුද්ධවන්තයෙක් වෙන්නේ.

 

{ 0:23:13 } : උජූච සූජූච සුවචෝචස්ස මුදු අනතිමානී…

 

දැන් මේ සුද්ධවන්තයා මොකද කරන්නේ ඊලඟට? අසුද්ධ වැඩ කළොත් ලෝභ, ද්වේශ වැඩ කළොත් එයා අසුද්ධවන්තයෙක් මිසක් සුද්ධවන්තයෙක් නෙමෙයි. එහෙනම් අසුද්ධ පුද්ගලයාගේ වැඩ වංකයි. වංකයි කියන්නේ ඇදයි. එහෙනම් එයාට අවංක වෙන්න බැහැ. යම් කෙනෙක් ලෝභ, ද්වේශ, මෝහ වැඩ පහත්, නීච වැඩ හැටියට අයින්කරල දාලා, අලෝභයෙන් අද්වේශයෙන් අමෝහයෙන් ඇසුරු කරන ඒවා යහපත් කියල අරගෙන කටයුතු කළා නම් අලෝභ වැඩ අවංකයි, අද්වේශය අවංකයි, අමෝහය අවංකයි.

 

එහෙනම් ඔතන කිව්වා ඊලඟට කරන්න ඕන එකක් “සෘජු” වෙන්න කියලා. “සෘජු” කියන්නේ ඇද නැති. එහෙනම් මේ ආර්ය විනයේ ඇද මොකක් ද? ඇද නැත්තේ මොකක් ද? කියල දැනගන්න ඕන. කොන්ද කුදු වෙලා හිටියත් කමක්නැහැ, දෙකට නැමිල හිටියත් කමක්නැහැ, එයා කරන සිතුවිලි, ක්‍රියා, කථා අවංක නම්, ඇද නැත්නම්, අන්න ඒ අයට කියනවා “සෘජු” පුද්ගලයො. “සෘජු”, කොන්ද කොච්චර කුදුවෙලා තිබුණත් කමක් නැහැ, එයා ඇද නැති කෙනෙක්. ආර්ය විනයේ ඇද නැති කෙනා එයා.

 

පොල්පිත්ත වාගෙ හිටියත් වැඩක් නැහැ, කොන්ද කෙලින් කරගෙන හිටියත් කමක් නැහැ, රිට වගේ හදාගෙන හිටියත් කමක් නැහැ, ලෝභ, ද්වේශ, මෝහ වැඩ කරනව නම් එයා වංකයි. එයා ඇද පුද්ගලයෙක්. එයාට “සෘජු” නැහැ, “උජූච” වෙන්න බැහැ. කොදු ඇට පෙළ එක උඩ එක තියාගෙන ඉන්න කියල, අපි නොයෙක් විදියට කියනවා “සෘජු” වෙන්න කියලා. කොදු ඇට පෙළ කොච්චර කෙලින් තියාගත්තත් ලෝභ, ද්වේශ, මෝහ වැඩ කරනව නම් එයා වංකයි.

 

මේ මස් ලේ කයට නෙමෙයි ඕක පේන්නේ, අපේ හිතට. දහම වැඩෙන්නේ මස් ලේ සහිත කයේ නෙමෙයි. ඒ ඇසුරු කරගෙන ඉන්න හිත තුළයි. එහෙනම් “සෘජු” වෙන්න ඕනෙ හිත. හිත ඍජු කරන එකක් මිසක් කය සෘජු කරන එකක් නෙමෙයි ඔය කිව්වේ, “උජුං කායං” කියන තැන කිව්වේ. “කාය” කියන්නේ මනෝ කාය. මනස සෘජු කරනකොට කයත් අනුකූල වෙයි. ඒක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. ඔන්න ඔතනයි සුද්ධ කරගන්න ඕන.

 

එහෙනම් “සෘජු” වෙනව කියන්නෙ මොකක්ද? අර විදියට සකස් කරගෙන සුද්ධවන්තයෙක් වෙලා, අවංක කෙනෙක් වෙන්න ඕන. සුද්ධවන්තයෙක් වෙනකොට අවංක වෙනවමයි, ඒක ධර්මතාවයක්. ලෝභ, ද්වේශ, මෝහ වැඩ, සිතුවිලි, ක්‍රියා, වදන් නැත්නම් අලෝභ, අද්වේශ, අමෝහ සිතුවිලි, ක්‍රියා, වදන් ඇසුරු කරන කෙනා ඒකෙන්ම අවංකත්වයට ඇවිල්ලා, පළවෙනි එක පටන්ගන්නකොටම දෙවනි එකත් ධර්මතාවයෙන් හම්බවෙනවා. “ධර්මයෝ ධර්මයෝ පවත්වයි, නිර්වාණ පරතෙරට යාම සඳහා ධර්මයෝම ධර්මයෝ පුරවයි” කිව්වේ ඕකයි. අපිට කරන්න දෙයක් නැහැ. පළවෙනි පටන්ගැන්ම විතරයි තියෙන්නෙ. එහෙනම් සුද්ධවන්නයා වෙනකොටම අවංකත් වෙනවා, “සෘජු” වෙලා.

 

ඒවගේම දෙවනි එක “සූජූච”. දැන් අවංක වුන පලියටම අපිට පේන්නේ නැහැ එකපාරටම, “මම සියලු පැත්තෙන්ම අවංකද”? හොඳට සිහි කල්පනාවෙන් බලාගෙන බලාගෙන යනකොට අවංකයි කියල හිතාගෙන හිටිය පුංචි කෑලි වලින් අඩුපාඩු, කහට පිපිච්චා පේනවා. “මගේ මෙන්න මේ පුංචි වංකත්වය තියනවනේ තවමත්, මං බොරු කියන්නේ නැහැ කිය කිය හිටියට, ඔය පුංචි පුංචි බොරුත් කියන්න වෙනවනේ, ලොකු බොරු නම් කියන්නේ නැහැ තමයි”. “සෘජු”, උනත් “සූජූච” වෙලා නැහැ.

 

එහෙනම් “සූජූච”, කියනකොට “සෘජු” බව, සුවය දෙන දේ සමග එකතුවෙන්න ඕන. මං අවංක වෙන්නෙ ඇයි? අවංකත්වය මට මොකටද? ඇයි මං අලෝභ වෙන්නෙ, අද්වේශ වෙන්නෙ, අමෝහ වෙන්නෙ, අවංක වෙන්නෙ? මට නිවන ඕන, මට නිවන් දකින්න ඕන. මගෙ පරමාර්ථය නිවන් අවබෝධ කරගන්න. නිවන් අවබෝධ කරගන්න බලාපොරොත්තුවෙන් මං යම් තරමක් අවංක වෙනව නම් ඒ තරමට “සූජූචයි”. මනා සේ අවංක වෙනව කිව්වට හරියන්නෙත් නැහැ. ඒක ලෝකෙට අදාලයි. “මගේ අවංකත්වය නිවන සඳහාමයි”, ඔය අදහස ආපුවහම යම් තරමක් ඒ අදහසින් අවංක වුණා නම්, ඒකට කියනවා “සූජූච” වුණා.

 

ඊට පස්සෙ මොකද කරන්නේ? මං මේ වචන භාවිතා කරල, ඒ වචන භාවිතා කරනකොට, කොච්චර අලෝභයට අද්වේශයට අමෝහයට හේතුවන වචන වුණත්, මං ඒ වචන භාවිතා කරන්නේ කුමක් මූලික කරගෙනද? නිවනට හේතු කාරක වන යමක් කථාකරන්න, නිවනට හේතුවන දෙයක් ගැන කියන්න, මගෙ කට මෙහෙයවනවා නම්, අන්න ඒවගේ කියන වචන ඇත්නම් නිවනට හේතුවන වචන. ඒ නිසා නිවනට හේතුවන වචන භාවිතා කරනව නම් ඒකට කියනවා “සුවච”. මනා වචන කිව්වට බැහැ. නිවනට හේතුවන ජාතියේ වචන භාවිතාවට පත්වෙන්න ඕන “සුවච” වෙන්න.

 

එහෙනම් ඒ “සුවචතාවය” අබුද්ධෝත්පාද කාලයෙ නැහැ. ලෝක සම්මත “සුවචතාවය” නම් අබුද්ධෝත්පාද කාලයෙත් තියනවා. ඇයි මම අවංක වුණේ? මට නිවන් අවබෝධ කරන්න ඕන, පරමාර්ථය නිවන් අවබෝධ කිරීම. ඒ පරමාර්ථයෙන් අවංකත්වය එනකොට, ඒ අවංකත්වයත් අබුද්ධෝත්පාද කාලයේ නැහැ, ඒ ශාසනයෙන් බැහැර නැහැ. මොකද හේතුව? ඔය හැම එකක්ම නිවන කෙලවර කරගෙන පවතින වැඩපිළිවෙලක්. නිවන සඳහා උපනිශ්‍රය වෙන වැඩපිළිවෙලක්. ලෝකය සඳහා උපනිශ්‍රය වෙන වැඩපිළිවෙලක වැඩක් නෙමෙයි ඔය විනය. ඒකයි කියන්නේ නිවන මේ බුද්ධ ශාසනයේ තියෙන්නේ.

 

එහෙනම් නිවැරදි බුද්ධ ශාසනය තුළින් දකින නිවන, ඒකට අවශ්‍ය වැඩපිළිවෙල හදන හැම එකක්ම අබුද්ධෝත්පාද කාලයෙත් නැහැ, මේ ශාසනයෙන් බැහැර කොතනකවත් නැහැ. එහෙනම් මේ සුවචතාවයත් ඔය කියන උජුතාවයත් මේ ශාසනයෙන් බැහැර නැහැ කිව්වේ ඕකයි, “සුවච”.

 

දැන් “මුදු” වෙන්න ඕන. “මෘදු” වෙන්න ඕන. අපි ඉන්නේ සැඩ ගතියෙන්. කවුරුහරි අවවාදයක් කළොත් හරි තරහ යනවා. හරි අකමැතියි තියන දැඩි ගතියට තමුන් පහත් වුණා වගේ පේනවා. “මට මොකටද පණ්ඩිතයො අවවාද දෙන්න එන්නේ? උන්ගෙ වැඩ උන්ට බලාගන්න එපැයි, මට කියන්න එන්න ඕනෙ නැහැ”. ඒ කිව්වේ මොකක්ද? තමන්ගේ තිබිච්ච තද ගතිය.

 

හැබැයි “මෘදු” ගතියට පත්වෙන්න, “මට කවුරු කිව්වත් කමක් නැහැ. මට තේරුම්ගන්න බැරිවෙලා ප්‍රමාද වෙන දෝෂයකින් හෝ මගෙන් සිද්ධවෙච්ච දෙයක් වෙන්න ඕන. එය මටම ලාභයක් වුණා. නිවන් මඟට ලොකු උපනිශ්‍රයක් වුණා. ඒක මට ඉක්මනින් හදාගන්න පුළුවන් නම්, මට ඕනේ ඉක්මනින් නිවන් දැකගන්න. මට මේ ඉක්මනින් නිවන් දැකගන්න කවුරු කිව්වත් කමක් නැහැ. ඒක මගෙන් වෙච්ච ප්‍රමාද දෝෂය හැරගන්න හොඳ වෙලාවක් හම්බවුණා. ඒ පෙන්නල දුන්න එක මට කොච්චර උදව්වක් ද? ” කියල සතුටින් ගන්න පුළුවන් නම්, “මෘදු” බවෙන් ගන්න පුළුවන් නම්, මෙන්න මේ ගති ලක්ෂණයට එනකොට එයා “මුදු” බවට පත්වෙච්ච කෙනෙක් වෙනවා, “මුදු”.

 

“අනතිමානි”, මාන්නය ඇත්තෙක් නොවන්න ඕන. මාන්නක්කාර පුද්ගලයාට මොනවත් කරගන්න බැහැ. එයාගෙ මාන්නය, පණ්ඩිත මාන්නය, කුල මාන්නය, ධන මාන්නය, නිළ මාන්නය, ඔය ඔක්කොම මාන්න. ඔය මාන්නෙන් ඉන්න තාක්කල් කවදාවත් පුළුවන්කමක් නැහැ නිවන් අවබෝධ වෙන පැත්තට හැරෙන්න. ඔය මාන්නය අත්හරින්න ඕන. ඔන්න ඔය ජාතියේ “මාන” ඇත්තෙක් නොවෙන්න ඕනෙ. “මානයෙන් මොනව අල්ලගන්නද? අල්ලගන්න වටින දෙයක් නැහැනෙ ලෝකේ” කියල, අපි ඕක දැකල තියෙන්න ඕන. මෙන්න මේක තේරුම් අරගත්තා නම් අපිට හැකියාවක් ලැබෙනවා මාන්නය අත්හැරල දාලා “සුද්ධ” වෙන්න.

 

“අනතිමානී”, ඔය නිහතමානි කියල වචනයක් අපි භාවිතා කරනවා, ඒක තව වචනයක්. “අනතිමානි”, කියන්නේ මාන්නය ඇත්තෙක් නෙමෙයි කියන එකයි. නිහතමානි කියන වචනෙ තවත් ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා එතෙන්ට ගියහම. ඒ කියන්නේ මානය සම්පූර්ණයෙන් අත්හැරල, අස්මීමානයත් අහක් කරල දාපු අරිහතුන් වහන්සේට හම්බවෙනවා “නිහතමානී”, ඒ තරම් ගැඹුරුයි එතන.

 

“අනතිමානී” කියන්නේ මේ මාන්නයෙන් අල්ලගන්න ඒවා අත්හැරල සුද්ධ වෙන මුල් අවස්ථාව, “අනතිමානී” අවස්ථාව. ඉතින් ඔතනින් පටන්ගන්න ඕන. ඔය විදිහේ “අතිමාන” නැත්තෙක් විය යුතුයි කියලත් කියනවා. ඉතින් “මාන”, “අතිමාන” කියන වචනෙත්, “අතිමාන” කියන්නේ ආරම්භ කරන කොට අත්හරින මානය. “අස්මීමානය” අත්හැරපුවහම මාන අත්හැරෙනවා. “මාන”, “අතිමාන” දෙකම අයින් කරන්න ඕන.

 

එහෙනම් “මාන” අයින් කරගන්නවා. අරිහත් මාර්ගඥානය තුළින් අයින් කරල ගිහිල්ලා, අරිහත්වයට පත්වෙලා “මාන” නැත්තෙක් වෙනවා. සෝතාපන්න ඵලයෙ ඉදන් දිගටම යනකොට “අතිමාන” නැත්තෙක් වෙනවා. අර ලෝක සම්මතයෙන් “මානයෙන්” බදාගත්ත ඒවා නැත්තෙක් වෙනවා. එහෙම පටන්ගන්න.

 

{ 0:31:12 } : සංතුස්සකෝච සුභරෝච අප්පකිච්චෝ ච සල්ලහුකවුත්ති…

 

“සංතුස්සකෝච”, “සං” කියන්නේ සංතානය. සතුටු වුණාට හරියන්නේ නැහැ. “සතුටු සිත් ඇත්තෙක් විය යුතුයි” කියල අපිට ඕකෙ අර්ථ පෙන්නුවට, මිනිස්සු කුපාඩි වැඩ කරලත් සතුටු වෙනවා, වලත්තකම් කරලත් සතුටු වෙනවා, අනුන්ට කොලොප්පම් කරල, අනුන්ට ඔච්චම් කරල සන්තෝස වෙනවා. සතුටු සිත් ඇත්තෝ ඕනතරම් ඉන්නවා. පව් කරල සතුටුවෙන ඇත්තො කොච්චර ඉන්නවද? නොයෙක් ආකාරයෙන් ඉන්නවා. එහෙනම් සතුටු සිත් ඇත්තෙක් විය යුතුයි කිව්වට අපට දහම් අර්ථය තේරුනේ නැහැ.

එහෙනම් අපි දැනගන්න ඕනෙ මේ “සං” කියන සංතාන නැත්නම් අපේ හිත, තුටු කරන තැනට පත්වෙන්නේ මොනවා ලැබුණොත්ද? සදහටම දුකින් මිදිලා යන, සදහටම සැනසුම ලබාදෙන යමක් ලැබුනොත් එයාට සතුටුවෙන්න පුළුවන්. එහෙම නැතුව තාවකාලිකව මුලාකරල ඉවරවෙලා, පස්සේ දුකකට දාන එකක් හම්බවුණොත් සතුටුවෙන්න පුළුවන්ද?

 

හෙට අවීචි මහ නරකෙ යන්න තියෙනවා, අද දිව්‍ය ලෝකේ යන්න තියෙනවා, සන්තෝස වෙන්න පුළුවන්ද? හෙට යන්න තියෙන අවීචි මහ නරකය සිහිවෙනකොට අද විඳින්න තියෙන දිව්‍ය සුව විඳින්න පුළුවන්ද සන්තෝසෙන්? ඒක හරියන්නේ නැහැ.

 

එහෙනම් සන්තෝස වෙන්න ඒවා නෙමෙයි ඒ. හැබැයි ලෝකයාට නම් ඕවා හරි සන්තෝස ඒවා. සුමානයක් දෙකක් යනකොට මහා ලොකු ලෙඩක් හැදෙන්න තියෙනවා, අද හම්බවෙන කුණු ගොඩට සන්තෝස වෙනවා. එහෙමත් සන්තෝස ලෝකයාගෙ තියෙනවා. හැබැයි තමන් දන්නවා නම් “ඒකෙන් හම්බවෙන මහා අසාද්‍ය රෝගය මට සතියෙන් දෙකෙන් එන්න තියනවා, අද මේ කුණුගොඩට බැහැල සන්තෝස වුණොත් වෙන්නෙ මට විනාශයක් නම්”, ඒක දැක්කා නම් එහෙම, “අපෝ සන්තෝස වෙන්න දෙයක් නෙමෙයි මේකෙ තියෙන්නේ මහ භයානක එකක්නෙ” කියල නිගමනය කරනවා.

 

අන්න අනාගතයේ දුක දැක්කෙ නැති කෙනා, මේ “ලෞකික සැපයි” කිය කියා සන්තෝස වෙනවා. ඔය සන්තෝසෙ නෙමෙයි මේ කියන්නේ. අද දුක විඳගෙන යම්කිසි කටයුත්තක් කරනවා නම්, බොහොම අමාරුවෙන් හරි, ආයාසයෙන් හරි, වෙහෙස වෙවී හරි, යම් කටයුත්තක් කරගන්නවා නම්, ඒ හේතුකරගෙන සදාතනික දුකෙන් නිදහස් වෙන්න මාර්ගයක් මේ වැඩෙන්නේ කියල දන්නව නම්, ඒ දුක සන්තෝසෙන් වින්දහැකි.

 

එහෙනම් මේ මනස සතුටු කරන එක නෙමෙයි මේ කිව්වේ. “අනාගතයේ විමුක්තිය දැකල, අද මට ඒකට මඟ පෑදෙනවා නේද මේ දුක සේ හරි, අසහනකාරීව හරි, වෙහෙස විඳගෙන හරි මට මේක කරන්න වුණත්, මට ලැබුනු අවස්ථාව හරි මාහැඟි වටිනා අවස්ථාවක්. මේ අවස්ථාව මුල් කරගෙන වැඩෙන මානසිකත්වය සදාතනික දුකින් නිදහස් කිරීමේ ප්‍රතිඵලය ඒකාන්තයෙන් මට මතුකරනවා” කියල දැක්කා නම්, අන්න “සන්තුස්ස” වෙන්න පුළුවන්. ඕක දැකල සතුටු වෙන්න පුළුවන් කෙනෙක් ඉන්නව නම්, මෙන්න මේක ආර්ය විනයේ “සන්තුස්සකෝච” වෙනවා. සතුටු සිත් ඇත්තෙක් වුණාට තේරුම්ගන්න බැරුව ඒක මුලාවක් වෙනවා.

 

එහෙනම් “සතුටු සිත් ඇත්තෙක් විය යුතුයි” කිව්වට අපිට ඔය අර්ථය තේරුනේ නැහැ. ඔය විදිහට විග්‍රහ කරල ගත්තහම දැන් තේරෙනවා දුක සතුටින් ගන්න පුළුවන්. විවිධ සිද්ධවෙන දුක් කරදරයෙ වේදනාව සන්තෝසයෙන් භාරගන්න පුළුවන් “පාඩුයි තමා, මොකද කරන්නේ? මෙච්චර කල් ගෙනාපු වැඩපිළිවෙලින් ඈත්වෙන්න වුණා. මොකද කරන්නේ? හැබැයි මේකේ අග ප්‍රතිඵලය විමුක්තිය. සදාතනික දුකෙන් නිදහස් වීම”, ආං “දුක්ඛා පටිපදා දණ්ධාභිඤ්ඤා” {{ ත්‍රිපිටක සූචිය }} කියල කිව්වේ ඉස්සෙල්ල මුලට බහින්න කියලා. හැබැයි ඒ දුක් ප්‍රතිපදාව සතුටෙන් භාරගන්න. “අඩපල්ලා, දුක්වෙයල්ලා, හැබැයි මේ විමුක්ති මාර්ගය වෙනස් කරගන්න එපා. උඹලට යහපත්කම වෙනවා, සතුටක්ම ලැබෙනවා”, අන්න බුදු රජාණන් වහන්සේගේ දේශනාව.

 

එහෙනම් සතුටුවෙන්න ඕන ඔන්න ඕකටයි. කොච්චර දුක් විඳින්න වුණත්, කොච්චර අසහනකාරී වුණත්, ඒ වැඩපිළිවෙලේ අනාගත ප්‍රතිඵලය විමුක්තිය නම්, සදාතනික දුකෙන් නිදහස්වීම නම්, ඒ දුක සන්තෝසෙන් භාරගන්න ඕන. අන්න පුළුවන්කමක් යම් කෙනෙකුට ලැබෙනවා නම් ඉවසීමෙන්, සතුටින් භාරගන්න ඒ යහපත් මාර්ගය, මෙන්න මෙයාට කියනවා “සංතුස්සකෝච”, කියන තැනට ආපු කෙනා. මෙන්න සතියෙන් තෝරගන්න ඕන ක්‍රමය. නිවන් දැකීමට ඕන කෙනා තෝරගන්න ඕන ක්‍රමය, ඔන්න ඕකයි.

 

ඊලඟට කියනවා “සුභර”, සුවදෙන දේ. මේ ලෝකේ මොනවා අල්ලගත්තත් මනසට බරක්. මනසින් මොනවද මේ ලෝකේ අල්ලන්නේ? අල්ලන අල්ලන දේ මනසට බරක් වෙනවා. ලෝකයා දුක් දෙන දේ බරත් අල්ලගන්නවා. එහෙම දුක් බර උස්සගෙන, සුව දෙන බරත් අල්ලගත්තොත් දෙකමත් උස්සගෙන ඉන්නවා. හැබැයි, සුවදෙන බර මොකක්ද? අනාගතයේ ඒකාන්තයෙන් විමුක්තිය ලබාදීම සඳහා මොනව හරි කරන්න තියනවා නම්, ඒක කොච්චර බර උනත් කමක් නැහැ සිතට, කොච්චර වෙහෙස දුන්නත් කමක් නැහැ, ඒ බර දරාගන්න. ඒකට කියනවා සුවයට හේතුකාරක බර හෙවත් “සුභර”. “සුඛය” හෙවත් නිවනට හේතුකාරක වන යම් බරක් ඇත්ද, ඒ බර “සුභරයි”. මෙන්න මේ තැනට ආවහම “සුභර” කෙනෙක් වෙනවා, “සුභරෝච”.

 

ඊලඟට තියෙනවා “අප්පකිච්චෝච”. අප්ප, කෘත්‍ය අල්ප වෙන්න ඕන. නිවනට හේතුවෙන ඒවා බොහොම අල්පයි. ලෝකයට හේතු වෙන ඒවා අප්‍රමාණයි. කටයුතු බලපුවහම නිවන සඳහා තියෙන්නේ අත්හැරීමට, නොඇල්මට, මිදීමට හේතුකාරක වන දේ, අල්ලාගන්න ඒවා අඩුයි, අල්ලන්න දෙයක් නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එන්නෙ පොඩ්ඩයි තේරුම් අරන් දරාගෙන ඉන්න තියෙන්නේ. අන්න ඒ පොඩ්ඩ දරාගන්න පටන්ගත්තා නම් මොකද වෙන්නේ? ඒ එහෙම දරාගෙන කටයුතු කරන්න පටන්ගත්ත නම්, “සුභර” දරාගෙන කටයුතු කරන කොට “කෘත්‍ය” අල්පයි. අල්ප කෘත්‍ය ඇතිවෙන්නෙ අන්න එතනයි.

 

කම්මැලිකමට ඉන්න එකත් අල්ප කෘත්‍ය වගේනේ. මොනවත් කරන්නේ නැතුව ඉන්නවා, ඔහේ බලාගෙන ඉන්නවා. එයත් එහෙම ලෝකයේ බැලුවොත් එහෙම, ලෝක සම්මතයෙන් බැලුවොත් අල්ප කෘත්‍ය කාරයෙක්. කටයුතු නොකර ඉන්න එක, භික්ෂූන්වහන්සේ බලපුවහමත් කරන කටයුත්තක් නෑ, ලෝකයා වාගෙ අතන්ට දුවන්න, මෙතන්ට දුවන්න, අරක අතන්ට උස්සගෙන, මේක උස්සගෙන, එහෙම කටයුතු නෑ.

 

එහෙනම් උන්වහන්සේත් අල්ප කෘත්‍යයි. ආර්ය විනයේ “අප්පකිච්චෝච” කිව්වේ නිවන බලාපොරොත්තු වන එක්කෙනා. රාගයට ද්වේශයට මෝහයට බැඳෙන හැම කටයුත්තක්ම පැත්තකට දානවා. ඒවා උස්සන්න යන්නේ නැහැ. රාගක්ෂයට ද්වේශක්ෂයට මෝහක්ෂයට මෙනවද ඕන කරන්නේ? ඒ ටික කොච්චර බර උනත් උස්ස ගන්නවා. හැබැයි ඒ සඳහා උස්සගන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයිති, ඒ සඳහා වැඩෙන්න අයිතිවෙන, ඉතාම සුළු කොටසක් විතරයි. ඒ නිසා ඒ කෘත්‍ය ටික අල්පයි. නිවන් දැකීමට හේතුවෙන අල්ප වූ කටයුතු ටිකක් තියනවා. අන්න ඒ කටයුත්ත දරාගත්තහම “අප්පකිච්ච” වෙනවා. දැන් මෙතෙන්ට වුණහම මොකද වෙන්නේ?

 

“සල්ලහුකවුත්ති”, ඊලඟට බහින්න ඕන තැන. දැන් මෙතන තියෙනව සල්, ලහුක, වුත්ති කියන වචන තුන. “සල්”, කියන වචනෙන් පෙන්නන්නේ සලා හරිනවා. “ලහුක”, කියන වචනෙන් පෙන්නන්නේ ලෝකයේ ලාමක වන්නා වූ අසික්කිත වැඩ ටික “ලහුක”. “වුත්ති” කියන්නේ වැඩපිළිවෙල. ලෝකයේ ලාමක පැත්තට, පහත් පැත්තට, රාග, ද්වේශ, මෝහ පැත්තට වැටෙන යම් වැඩපිළිවෙලක් ඇත්ද, ඒක සලා හරින්නා වූ වැඩපිළිවෙලින් යුක්ත වීමට කියනව “සල්ලහුකවුත්ති”.

 

“සැහැල්ලු ගති පැවතුම් තිබිය යුතුයි” කිව්වට ඕක හරියන්නේ නැහැ. සැහැල්ලු කිව්වට මිනිසුන්ට ඕක තේරෙන්නේ නැහැ. නිවන් දැකීමට අවශ්‍ය පුද්ගලයා රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කරගෙන ගිය සියලු කටයුතු සලාහරින්න පටන්ගන්නවා. ඒ රාග, ද්වේශ, මෝහ වැඩපිළිවෙල තමයි “ලහුක” වෙන්නෙ. “ලහුක” කියන වචනෙන් කිව්වේ ඒකයි. ලය බැඳිල තියෙන්නේ, හිත බැඳිල තියෙන්නේ අර ඉස්සෙල්ල වචනයෙන් කිව්ව එකට. ඒ වැඩපිළිවෙලම සම්පූර්ණ සලා හරින්න ඕන. ඒ වැඩපිළිවෙල වැඩකට ඇති එකක් නෙමෙයි, රාග, ද්වේශ, මෝහයට යන වැඩපිළිවෙලක්. මේක තමයි ඔතනින් පෙන්නුවේ “සල්ලහුකවුත්ති”.

 

{ 0:39:03 } : සංතින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනුගිද්ධෝ…

 

දැන් ඔතෙන්ට ගියහම එක දෙයක් වෙනවා. සසර පුරුද්දට හරි වටපිට බලලා පුරුදුයි, කියන කියන එක මොකද්ද ඒ කිව්වේ කියල අහල පුරුදුයි, අනුන්ගෙ ඒවට ඇහුම්කන් දීලා පුරුදුයි, දකින දකින එක ඉඹල බලලා මොකක්ද මේ සුවඳ කියල බලන්න පුරුදුවෙලා තියනවා. දැක්ක දැක්ක එක ඇඟිලි ගහල කටේ ගහල මොන රහද බලන්න පුරුදුවෙලා තියනවා. මේක මොන සුවයද දෙන්නේ කියල සුවය පස්සෙ යන්න පුරුදුවෙලා තියෙනවා. මේවගේ මේ පංචේන්ද්‍රිය වැඩක් නැති අරමුණු පස්සෙ දුවන්න පුරුදුවෙච්ච සංසාර ගතියක් තමයි අපිට තියෙන්නේ.

 

දැන් මෙන්න මේ කියන්නා වූ ගතිය, මේ ඉන්ද්‍රියන්ගේ මේ ස්වභාවය, ඒක දැකලා ඒක ශාන්ත බවට පත්කරන්න පුළුවන් නම්, එහෙනම් ඒ සුවය පස්සෙ යන, ලෝක සුවය පස්සෙ යන එක අන්තයට හෙවත් කෙලවරට යවන්න පුළුවන් නම්, සුව අන්ත කරන නිසා “සංත” කියල කියනවා. මේ ඉන්ද්‍රියන්ගෙන් තමයි සුව පස්සෙ යන්නෙ. ඔය ඉන්ද්‍රිය පස්සෙ යන පංචෙන්ද්‍රිය සුවය කෙලවර කරන්න, අන්තයට දමන්න පුළුවන් නම්, ඉවර කරන්න පුළුවන් නම්, නිවන් දකින්න බලාපොරොත්තුවෙන් ඒ ටික කළොත් මෙන්න මේකට කියනව “සන්තින්ද්‍රියෝච”.

 

ඊලගට තියෙනවා “නිපක” කියල වචනයක්. මේ නිවන් දකින්න කරන්න ඕන වැඩ, සතියෙන් දැකගන්න ඕන හරිය. “සතිය” පිහිටන්නේ ඔන්න ඔය ටිකෙන්. “සතිපට්ඨාන” කරන්න ඔය ටික දැනගන්න ඕන. “පාක” කියන වචනයෙන් පෙන්නන්නෙ යම් කිසිදෙයක් පැසෙනවා, මෝරල එනව, පිරිලා සකස් වෙලා එනවා. ඕව තමයි “පාක”, කියන්නේ. යම්කිසි කර්මයක් කරපුවහම කර්ම විපාකය මතු අත්භවයක් හටගන්නන්න හේතු වෙනවා නම්, සසර ගමන මෝරවන්න හේතු වෙනවා නම්, ඒවා තමයි “පාක” පැත්ත. අන්න ඒ “පාකයෙන්” නික්මුණා නම් ඒකට කියනව “නිපක”.

 

නිවන් දකින්න ඕන කෙනා සසර ගමනට හේතුවන පැහෙන පැත්ත අත්හරින්න ඕන. විපාක දෙන පැත්ත අත්හැරපුවහම එයා “නිපකයට” බැස්සා. “පාක” නිපදවන්නේ නැහැ. “පාක”, නිෂ්පාදනයෙන් ඉවත්ව යනවා, “නිපක” වුණා. අන්න ඒ ගුණය සිහියෙන් දැනගන්න ඕන. මෙන්න මේවා සසර ගමනට හේතුවෙන ඒවා, මෙන්න මේවායින් නික්මෙන්න ඕන. මෙබදු පාකයන්ගෙන් නික්මෙන්න දන්නව නම්, අන්න “සතිපට්ඨානය” පිහිටවන්න තවත් දැනගත්ත එකක්. අන්න “සතිය” පිහිටුවන තැන.

 

“අප්පගබ්බෝ”, දැන් මොකක්ද වෙන්නේ? ඔය ටික තේරුම්ගත්තට පස්සෙ මේ හිතේ ගැබ් කරගන්න ඒව අල්ප වෙනවා. “ග + අබ්බ : ගබ්බ”, “අබ්බ” කියන්නේ මේ ලෝකෙ පහල කරනවා. “ග + අබ්බ” කියන්නේ පහලකිරීම සඳහා ගැවසෙනවා. “ගබ්බ” , අප්ප කරනව කියන්නෙ ඕක අල්ප කර දානවා. ඒවා ඉවත් කර දමනවා. ඒවායේ බැඳෙන එක පහ කර දමනවා. එතකොට දකින්න ඕන “අප්පගබ්බ” වෙන හැටි.

 

ඔතන්ට පටන් ගත්තට පස්සෙ එයා දකිනවා, “කුල”. “කුල” කියන්නේ, “කුලේසු අනනුගිද්ධෝ”, කුලයෙහි නොඇලෙන්නෙක් විය යුතුයි කියල අපිට ඕක තෝරල දෙනවා. මොකද්ද “කුලය”? මේ මිනිස්සු අතර හදාගත්ත ජාති, කුල නෙමෙයි මේ කියන්නේ. අපි හැමවෙලේම “කූල” බවට පත්වෙනවා. “කූල” කියන ලක්ෂණයට තමයි බැහැල ඉන්නේ. “කූල” කිව්වේ කුහුල. කුහුල්, කුහුල් හිත හැමවෙලේම කුකුසෙන් ඉන්නේ.

 

කුකුසෙන් ඉන්නේ මොකද? “මගේ බලාපොරොත්තුව බිඳෙයිද? මට කරදරයක් වෙයිද? මං මේ ලෝකේ මේ මේ දේවල් ලබාගැනීමට දැන් මේ මේ වැඩපිළිවෙල කරල තියෙනවා, දැන් ඉතින් ඒක එහෙම කරන්න වෙයිද? මේකට සතුරො පහර ගහයිද?”, නොයෙක් ප්‍රශ්න නිසා අපි කුකුසට පත්වෙලා ඉන්නවා. ඔන්න ඔය “කුකුස් සහගත ලයක්” යම් කෙනෙකුට තියෙනව නම්, කුකුස් සහගත ලයකින් ඉන්නකොට ඕකට කුලයක් අහුවෙනවා, පද නිරුක්තිය නැහැ දැන් දකින්න ඒවා.

 

“අනුගිද්ධ” කියන්නේ, “ගිද්ධ” කියන්නේ ගිලගන්නවා, දරාගන්නවා, “ගිද්ධ” කරනවා. “අනුගිද්ධ” කියන්නේ ඊට අනුකූල වෙනවා. ලෝක සත්ත්වයා කරන එකක් තමයි එන එන ආශ්වාදයෝ ගිලගෙන යලි යලි බලාපොරොත්තු හිතකින් එය දරාගන්නවා. ආයිත් ඕන, ගිල ගත්තා, නැවත ඕන ගිලගන්නවා, නැවත බලාපොරොත්තු වෙනවා. ඔන්න ඕකට කියනවා “අනුගිද්ධ”. “අනනුගිද්ධ” කියන්නේ ඔය බලාපොරොත්තුව අත්හැරෙනවා. අර “කුකුස් සහිත වන්නාවූ ලයකින්” ඉදගෙන කරන වැඩපිළිවෙල ඕකයි, මේ ලෝක සත්ත්වයා. ඔන්න ඕකෙන් අහක්වෙනවා. ඕකට කියනවා “කුලේසු අනනුගිද්ධෝ”.

 

{ 0:43:37 } : නච ඛුද්දං සමාචරේ කිඤ්චියේන විඤ්ඤූපරේ උපවදෙය්‍යුං…

 

“නච ඛුද්දං සමාචරේ”, “ඛුද්ද”, කියල කියන්නේ මොකක්ද? “කූ” කියන පහත් දේවල්, “උද්ද” කියන්නේ උස්සගන්නවා. “සමආචරේ” කියන්නේ ඒකට අනුව හැසිරෙනවා. පහත් දේවල් උස්සගෙන ඒකට සමානව චරණය කරනවට කියනව “ඛුද්දං සමාචරේ”. ඕකෙන් ඉවත් වීමට කියනව “නච ඛුද්දං සමාචරේ”. ඉතින් පුංචි වරදක් නොකළ යුතුයි කිව්වට මේක තේරෙන්නේ නැහැ. විග්‍රහ කරල තේරුම්ගන්න ඕන පද නිරුක්තියත් එක්ක, එතකොටයි දහම තේරෙන්නේ.

 

“කිඤ්චි”, කෙසේද?, “යේන විඤ්ඤු පරේ උපවදෙය්‍යුං”, “විඤ්ඤු” කිව්වේ මාර්ගඵල ලාභී යථා අවබෝධය ලැබූ අය. ඒ අය උපවාද කරන්නේ මෙන්න මේ ලෝක වැඩ කියලා. මෙන්න උපවාද කළයුතු ඒවා, මෙන්න ඉවත් කළ යුතු ඒවා, මෙන්න පහත් කළ යුතු ඒවා, ලෝකයා දන්නේ නැහැ ඕක. අන්න ඒ නිසයි ඥානවන්ත උත්තමයො බුදු, පසේ බුදු, මහරහත් වැනි උත්තමයන් විසින් තමයි “විඤ්ඤු” කිව්වේ. එබඳු උත්තමයන් විසින් මෙන්න මේවා පහ කළ යුතුයි, මෙවායින් සිද්ධවෙන්නෙ අවැඩ කියල, ඇත්ත ඇති ආකාරයෙන් දැකල, යථා අවබෝධය ලබල, අත්දැකීම් සහිතව දැකල, පෙන්නල දෙන අසමාචාර ක්‍රියාවලියක් ඇත්ද, අන්න ඒකෙන් ඉවත්වෙන්න ඕන.

 

මෙන්න මේ ටික තමයි සතියෙන් යුක්ත පුද්ගලයා දැනගතයුතු හරිය “සතිය” පිහිටුවන්න. “සතිපට්ඨාන භාවනාව” කියල කොච්චර කරන්න ගියත් ඔය “සතිපට්ඨානය” පිහිටුවන්නේ කොයි තැනද කියල දැකල නැත්නම්, එයාට “සතිපට්ඨානය” වැඩෙන්නේ නැහැ. “සතිපට්ඨානය” දන්නේ නැහැ. එහෙනම් ඔන්න “සතිය” පිහිටුවන්න ඕන මොනව තුළද? ඔන්න ඔය කිව්ව කෑලි ටිකෙන්. ඔන්න ඔතන “සතියෙන්” තේරුම් අරගෙන ඊට අනුකූලව පිහිටුවගත්තා නම් කියනවා, “සතිපට්ඨානය” වැඩෙනවා.

 

කායානුපස්සනාවත් වැඩෙනවා, වේදනානුපස්සනාවත් වැඩෙනවා, චිත්තානුපස්සනාවත් වැඩෙනවා, ධම්මානුපස්සනාවත් වැඩෙනවා එකක්වත් අඩුවක් වෙන්නේ නැහැ. ඔන්න සතිය පිහිටුවන්න ඕන ඒවා. ඔන්න ඕකට කියනවා, ඔය ටිකට ආපුවහම කියනවා “සතර සතිපට්ඨානයෙ” ඉන්නවා. දැනගෙන වැඩුවොත් නිවන් දකිනවා. නිවන් අවබෝධ කරනවා. මෙන්න “සතිපට්ඨානය”. දැන් එහෙනම් ආර්ය විනය තුළ “මෛත්‍රී භාවනාව” කියන වචනය අපි අරගෙන, ඕකට කියන්නේ “කරණීය මෙත්ත සූත්‍රය” කියල, මෙත් කර කර ඉන්න සූත්‍රයක් හැදුවා කියල හිතාගෙන හිටියට, ඔය තියෙන්නෙ අපට නිවන් දකින මඟ.

 

අන්න ඒකයි කිව්වේ, ඕක තමයි නිවන් මඟ. දැන් මෙතන අපි දකිනවා, පහ කළයුතු කොටසක් තියෙනවා, ඇසුරු කළයුතු කොටසක් තියෙනවා. ආශ්වාස කළයුතු කොටසක් තියෙනවා, ප්‍රශ්වාස කළයුතු කොටසක් තියෙනවා. නිවනට හේතුවන කාරණා ටික තේරුම් අරන් “සතිය” පිහිටුවගෙන ඇසුරු කළොත් අන්න “ආශ්වාස දහම්”. ඒ ටික ආශ්වාස කරන්න ඕන. ඒකට විරුද්ධ වන්නාවූ ලෝක ධර්මයක් ඇත්ද, ඒවා “ප්‍රශ්වාස” කරන්න ඕන, පහ කරන්න ඕන. ඔන්න ඕක යන එන, කරන කියන, කථා කරන, කථා නොකරන, වටපිට බලන සෑම ඉරියව්වකම දැනගෙන, පහ කළයුතු කොටස පහ කරමින්, ප්‍රශ්වාස කරමින්, ඇසුරු කළයුතු ආර්ය මාර්ගය ආශ්වාස කරමින්, යමෙක් කටයුතු කරගෙන යනව නම් “ආනාපානය” සම්පූර්ණ වෙනවා. මෙන්න බුදුරජාණන් වහන්සේ පෙන්නපු අනික් අය ලඟ නැති “ආනාපානය”. මේ ආර්ය විනයේ පමණක් තිබෙන “ආනාපානය”.

 

දැන් ඔතෙන්ට ආපු කෙනා දකිනව එක දෙයක්. “සුඛය” කියන්නේ මොකක් ද? අත්හැරීමෙන්, නොඇල්මෙන්, මිදීමෙන් ලබන ශාන්ත වූ ප්‍රණීත වූ නිවන් සුවය අත්දැක්ක කෙනා, පළමු දර්ශනඥානය පහලවෙච්ච සෝතාපන්න පුද්ගලයා “සුඛය” හඳුනනවා. ලෝකයා “සුඛය” කියන්නේ මහා මුලාවකට. ඒ ලෞකික “කාම සුඛයෙ” බැඳිලා “සුඛිනෝවා” කියල “සුවපත් වේවා” කිය කිය ඉන්නවා, “සත්ත්වයෝම සුවපත් වෙත්වා” කියලා, “සුඛයට පත්වෙත්වා”, නියම “සුඛය” මොකක්ද කියල මේ දහම් දැක්ක කෙනා දකිනවා, ආර්ය දර්ශනයෙන් දකින්නේ.

 

“තපෝ ගුණය හැර, බොජ්ඣංග ධර්ම හැර, නිවන හැර, ලෝ සතුන්ට තවත් සුවයක් මම නොදකිමි”, මෙන්න බුද්ධ දේශනාව. {{ ත්‍රිපිටක සූචිය }} එහෙනම් බුදුරජාණන් වහන්සේ දැක්ක සුවය දකින්නෙ බුද්ධ ශ්‍රාවකයා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු “සුඛිනෝවා” තෝරන්න තථාගතයන් වහන්සේ හෝ උන්වහන්සේ තුළින් දැනුවත් වෙච්ච තථාගත ශ්‍රාවකයෙක් හැර, ඔය සුවය තෝරන්න තුන් ලෝකයේ කවුරුවත් නැහැ. තුන් ලෝකෙ ඔක්කෝම රැවටිලා ඉන්නේ “සුඛය” කියල. දුක් සහගත අනාථ වැඩපිළිවෙලකට “සුඛය” කියන එක, එය “සුඛය” කියල දරාගත්තු, එහෙම නිගමනය කරපු පෘතග්ජනයා කොහොමද “සුඛිනෝවා” අදුරන්නේ? එහෙනම් ඔය පදයට අර්ථ ලියන්න ගිහිල්ල “සුවපත් වේවා” කියල ලියන්න කියල, මේ ලෝකේ තියන මුලා සහගත වන්නා වූ “සුඛය” ගැන අදහස් දෙනව මිසක්, කොහොමද නිවන් සුවය ගැන අදහස් දෙන්නේ?

 

{ 0:47:54 } : සුඛිනෝවා ඛෙමිනො හොන්තු, සබ්බේ සත්තා භවන්තු සුඛිතත්ථා…

 

මේ ආර්යයන්ට වැටහෙන දෙයක් තමයි ඔය “සුඛිනෝවා”. අනාර්යයෝ ඕක ගන්නේ “කාම සුඛිනෝවා”, කාම සුඛය බලාපොරොත්තුවෙන්. ආර්යයෝ ඔය ටික දකින්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුකූලව “තපෝ ගුණය හැර, බොජ්ඣංග ධර්ම හැර, නිවන හැර, තවත් සුවයක් නොදකිමි”, මං දකින්නෙත් එහෙමයි. ඒ බුදු පියාණන් වහන්සේ දැකීමයි මං දකින්නේ කියල අපි දැකගන්නවා, ආර්යයෝ දැනගන්නවා.

 

එහෙනම් “සුඛිනෝවා” කියල ලෝකයාට පතන්නේ, නිවන් සුවය හැර වෙන සුවයක් නැහැ. එහෙනම් “නිවන් සුවයෙන් සුවපත් වෙත්වා!”, දැන් ඕක නොදන්න හින්දා අපි මොකද නිකම්ම සුවපත් වෙත්වා නොකියා කියනවා “නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා” කියල, අන්තිමට කර්මස්ථානය දෙනවා. මොකද දුන්නේ? ඕක ඔහොම නොකියා “සුවපත් වෙත්වා” කිව්වා නම් මතක්වෙන්නේ, අර මුලා සහගත “කාම සුඛයම” හිතට ඇවිදිල්ලා ඕකෙන් සෙත් පතන්න පටන්ගන්නවා ලෝකයාට. හැමදාම අහන එක ඕකයි, ඔන්න ලෝකයේ එක. ලෝකයේ එකෙන් අදහස් අරගෙන කියන්න පටන්ගත්තොත් ඔය සූත්‍රය, “සුඛිනෝවා”, කියනකොට මතක්වෙන්නේ ඔය කාම, මුලා අදහස්. දැන් කොහොමද හරියන්නේ? ආර්ය මාර්ගය වැඩෙයිද?

 

“ඛේමිනෝ හොන්තු”, ඊලගට, “සුඛිනෝවා ඛේමිනෝ හොන්තු”. “ඛේමය”, මොකක්ද “ඛේමය”? “භය නැත්තෝ වෙත්වා!”, දැන් මොනවටද ලෝක සත්ත්වයා භයවෙලා ඉන්නේ? “අනේ මගේ ඉඩම ගනියිද? මගෙ ගේ හොරු කඩයිද? මගෙ භාර්යාව කවුරුවත් අරන් යයිද? මගෙ දරුවට කවුරුවත් කරදරයක් කරයිද? මගෙ දරුවට ඉගෙනගන්න බැරිවෙයිද?”, මේ මොනවටද ලෝකයා භය ඇතිකරගෙන තියෙන්නේ? මේ කාම ලෝකයේ එක එක කාම භුක්තින් හදාගෙන, මාරයාගෙ මුලාවෙ, මාරයගෙ ගුලට රිංගගෙන, ඒකෙ ඇලී ගැලී ඉඳගෙන, ඒක නැතිවෙයි කියන භය නේද මේ මිනිසුන්ගෙ තියෙන්නේ? සත්තුන්ගේ තියෙන්නේ? ලෝක සත්ත්වයාට තියෙන්නේ මාරයාගෙන් ඉවත්වෙන්න වෙයි කියන භය.

 

මාරයා අත්හැරල යන සන්තෝසෙන් නෙමෙයි. කොටින්ම කියනවනම් නිවන් දකින්න භයයි. ලෝකයෙ ඉන්න නැති වෙයි කියල තියෙන භය තියෙන්නේ. ඉතින් “සුවපත් වෙත්වා!”, “සුඛිනෝවා!” කියල, “ඛේමිනෝ හොන්තු!” කියල, “භය නැත්තෝ වෙත්වා!” කියල මොනවද බලාපොරොත්තු වෙන්නේ? “මාරයත් එක්ක ඉන්න නැතිවෙයි කියන භය නැත්තෝ වෙත්වා!, ඉතින් මට මාරයත් එක්කල ඉන්න මඟ පෑදුනා නම් සැනසුමක්, එහෙනම් අපට භය නැතුව ඉන්න ලැබෙත්වා!”. කොහෙ ඉන්නද මේ පතන්නේ? ඉන්න පතන්නේ මාර ලෝකෙ. මරුට හිමි ලෝකය නැතිවෙයි කියල භයයි මේ මිනිස්සුන්ගෙ තියෙන්නේ, සත්ත්වයින්ගෙ තියෙන්නේ.

 

එහෙනම් ඕක අදහස අරගෙන පැතුවොත් මොකද කරන්නේ? “භය නැත්තෝ වෙත්වා!” කියල, කිසිම කරදරයක් නැතුව සැනසිල්ලේ ඉන්න ලැබෙයිද? භයක් නැතුව. එහෙනම් බුදුරජාණන් වහන්සේ මොකක්ද “ඛේමිනෝ” කියල පෙන්නුවෙ? යම් තැනක භය නැද්ද, නිර්භයද, ඒ නිවනයි. ලෝකය භයෙන් පිරිලා. කාමයට “භය” යැයි නමකි, “පංචකාමයට භය යනු නමකි”. {{ ත්‍රිපිටක සූචිය }} මේ ආර්ය විනයේ නමක්, පංචකාමයට කියන නමක් තමයි “භය”. මේ ආර්ය විනයේ අදහස්.

 

එහෙනම් “භය නැත්තෝ වෙත්වා!” කිව්වහම යථාර්ථයෙන් දන්නව නම් එහෙම, මේ ලෝක සත්ත්වයන්ට පංචකාමය නැත්තෝ වෙත්වා කිව්වොත් එහෙම මොකක් කියයි ද? මේ ලෝක සත්ත්වයාට පංචකාමය නමැති “භය” නැත්තෝ වෙලා, මේ ලෝක සත්ත්වයෝ එහෙම පංචකාමය නමැති “භයෙන් මිදේවා” කිව්වොත් එහෙම? “අපි එහෙම එකක් නෙමෙයි, පංචකාමය නැති භයින් මිදෙන්න අපි ඉල්ලා හිටින්නේ” කියල ලෝකයා කියන්නේ. පංචකාමය නැති එකයි ලෝකයාට භය. පංචකාමයයි ආර්යයන්ට භය. ආර්යයෝ පංචකාමයට භයයි. ලෝකයා පංචකාමය නැති එකට භයයි. දැන් ලෝකයාගෙ අදහස අහසට පොළොව වාගේ, “ඛේමිනෝ හොන්තු!” කියන එක ලෞකික අර්ථයෙන් තෝරල, ලෝකෝත්තර අර්ථයෙන් තෝරනකොට වෙනස දකින්න ඕන.

 

එහෙනම් ආර්ය විනයේ දීල තියන දහම් අර්ථය අනාර්යයෝ දකින්නෙ නැහැ කිව්වේ ඕකයි. එහෙනම් “ඛේමිනෝ හොන්තු!” කියන්නේ, “ඛේමය” කියන්නේ නිවන. “අශෝකං විරජං ඛේමං ඒතං මංගල මුත්තමං”, අන්න “ඛේමය”. රෝග නැත්නම්, කෙලෙස් රජස් නැත්නම්, භය නැත්නම් අන්න ඒ නිවනට පත්වෙන්න කියන එක තමයි, නිවනට කියන නම. දැන් “සුඛිනෝවා ඛේමිනෝ හොන්තු” කියන්නේ නිවනින් මෙපිට “සුඛයක්” නැහැ, නිවනින් මෙපිට “භය” නැතුව ඉන්න තැනක් නැහැ. එහෙනම් “නිවන තමයි සුඛය, නිවන තමයි ඛේමය”. අන්න සුඛයයි, ඛේමයයි තේරුම්ගත්ත ආර්යයෝ “සුඛිනෝවා ඛේමිනෝ හොන්තු”, කියල මේ සියලුම සත්ත්වයින් මෙන්න මේ සුඛයට පත්වෙත්වා, නිවන් සුවයට පත්වෙත්වා කියන අදහසින් “සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා” කියනවා.

 

අද මොකද වෙන්නේ? “සුවපත් වෙලා, භය නැතිවෙලා, සියලු සත්ත්වයෝ සුවසේ මාරයත් එක්ක හැපි හැපි ඉදපන්, මේකෙම ඉන්න” කියල අනිත් අයට පතන්නේ. අන්න පොළොව වාගෙ, මේක සම්පූර්ණ අහකට ගිය පැත්තක්, “නිවන නමැති සුවයට, නිවන නමැති නිර්භය වෙච්ච, නිවන නමැති ඛේමයට පත් වෙලා සියලු සත්ත්වයන්ටත් නිවන් ශාන්තිය ලැබේවා!” කිව්වහම ඒක අහස වාගේ, අරක පොළව වාගේ. දැන් අහසයි පොළවයි දෙක වාගේ දෙපැත්තට ගියපු එකක් තමයි ලෞකික අර්ථයයි ලෝකෝත්තර අර්ථයයි. එහෙනම් ලෝකෝත්තර අර්ථය ඕන ආර්යයෝ දැනගන්න, නිවන් දකින්න. “සුඛිනෝවා ඛේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා”.

 

{ 0:52:36 } : යේ කේචි පාණ භූතත්ථී තසාවා ථාවරාවා අනවසේසා

 

දැන් තමයි ඊටවඩා වැදගත් හරියක් දැනගන්න තියෙන්නේ. “යේකේචි පාණභූතත්ථි” යම්කිසි ප්‍රාණියෙක් ඇත්ද, භූතයෙක් ඇත්ද, දැන් අපිට සිංහලෙන් අපි දැනට දන්න අර්ථය ඕකයි. “යම්කිසි ප්‍රාණියෙක් ඇත්ද, භූතයෙක් ඇත්ද”, දැන් ප්‍රාණියා කවුද? භූතයා කවුද? දැන් මේක අපි දකින්න ඕන. ඇයි “ප්‍රාණී” කිව්වේ? ඇයි “භූත” කිව්වේ? මොන අදහසින් ද “ප්‍රාණී” කිව්වේ? මේ ලෝක සත්ත්වයාට, සසර සැරිසරාගෙන යන සත්ත්වයාට “ප්‍රාණීන්” කියනවා. සසර සැරිසරාගෙන යන සත්ත්වයින්ට, සතර මහා භූතයින් දරාගත්ත කය ඇති සත්ත්වයින්ට, “භූතයෝ” කියනවා, සතර මහා භූතයන්ගෙන් හැදිච්ච නිසා. එහෙනම් ඇයි “ප්‍රාණීන්” කිව්වේ? ඇයි “භූතයෝ” කිව්වේ?

 

ඇස, කන, දිව, නාසය, ශරීරය කියන මේ පංචේන්ද්‍රියන්ගෙන් රූප පානය කරනවා, ශබ්ද පානය කරනවා, ගන්ධ පානය කරනවා, රස පානය කරනවා, ස්පර්ශ පානය කරනවා. පංචකාමයෝ පානය කරමින් ඒවායින් තෘප්තියට පත්වෙමින්, මේ ලෝක සත්ත්වයෝ මේ සසර ගමනේ සැරිසරනවා. මෙන්න මේ සැරිසරන සසර ගමනේ මේ පානය කර කරා යන අර්ථයෙන් “ප්‍රාණීන්” කියනවා. ඔය පංචකාමයෝ පානය කරනකොට “කාම සංඛාර” ගොඩනැගෙනවා. සංඛාර මුල් කරගෙන “භූතයක්” පහල වෙනවා. “ජාතියක්” පහලවෙනවා. සංඛාර ගොඩනැගුනහම, “සංඛාර පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාමරූපං” චක්‍රය ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව සලායතන, ස්පර්ශ, වේදනා, තණ්හා, උපාදාන, භව, කියල ජාතියට පහලවෙනවා. හදපු ජාතිය සතර මහා භූත, සංඛාරය ප්‍රාණී. ප්‍රාණීන් වෙලා සංඛාර ගොඩනැගුවා, ප්‍රතිඵලය ලබලා භූතයෙක් වුණා. සතර මහා භූතයන්ට අයිතිකාරයෙක් වුණා. එහෙම නැත්නම් සතර මහා භූතයන්ට බැදුනා.

 

එහෙනම් ලෝක සත්ත්වයා හැම වෙලාවෙම කරන්නෙ මොකක්ද? පංචකාමයෝ පානය කරමින් කාම කය ප්‍රතිඵලය වශයෙන් දරාගනිමින් කරන වැඩපිළිවෙලට කියනවා “සසර ගමන”. භවයෙන් භවයට, අත්භවයෙන් අත්භවයට, කයෙන් කය හද හදා ගෙවි ගෙවී නැවත හද හදා එන ගමනක් තියෙනවා. ඔන්න ඔය වැඩේ කරන්නේ මොකක්ද? “ප්‍රාණ-භූත” නිසා පානය කරන කොට භූතයෝ ඵලය වශයෙන් ලැබෙනවා. “පාණය” හේතුව “භූතය” ඵලය. හේතුවයි ඵලයයි, හේතුවයි ඵලයයි කියන්නේ පාණ-භූත. පාණ+භූත, “ප්‍රාණභූත” තමයි ලෝකයා කියන්නේ. මෙන්න මේ මාර්ගයේ එන අය ප්‍රාණීන් සහ භූතයෝ, “යේකේචි පාණභූතත්ථි”.

 

දැන් ඔය වැඩපිළිවෙලට බැස්ස එක්කෙනා මොකද කරන්නේ? කොටස් දෙකක් දෙවිදිහකට එනවා. පානය කරන්න ගිහිල්ලා “තොස්” වෙනවා. “තසාවා”, “තසාවා”, කියල කියන්නේ “තොස්” බවට පැමිණීමයි. මොනවයින් ද “තොස්” වෙන්නෙ? “තස” වෙන්නෙ? පංචකාමය එනකොට, පංචකාම ආශ්වාදයෙන් තොස්බවට පත්වෙලා “තසාවෝ” වෙන්නෙ. ඒ පංචකාම ආශ්වාදය නමැති හේතුවේ ඵලය වශයෙන් කය ලබාගෙන “ථාවරාවා” වෙලා තැවරෙනවා.

 

දැන් “ථාවරාවා” කියන්නේ මහරහතන් වහන්සේලා කියලයි අර්ථ උගන්වන්නේ. “තසාවා ථාවරාවා”, කෙලෙස් තියන සත්ත්වයෙක් කෙලෙස් නැති මහ රහතන් වහන්සේලා කියල, “තසාවා ථාවරාවා අනවසේසා” කියල, ඒ අයටයි මේ කියන්නේ කියල කියන්නේ. දැන් “තසාවොයි”, “ථාවරාවොයි’ හදුනගන්න ඕන.

 

පංචකාමයෙන් “තොස්” වෙවී ඉන්න තාක්කල් “තසාවෝ”. ඒ “තොස්” වීම හේතුවන් ලබන ඵලය වශයෙන් ජාතිය හා සතර මහා භූතයන්ගේ තැවරිලා, එහි තැවරිලා, ඒ ස්ථානයේ බැහැගෙන ඉන්න කට්ටිය “ථාවරාවා”. තව තවත් දුරට මේ කය මතුවට හදා ගැනීමට අවශ්‍ය කරන්නා වූ “තොස්” බවට පත්වෙලා ඉන්නව නම්, ඒ සංඛාර ගොඩනගන්නෙක් වෙලා ඉන්නව නම්, ඔහු තාවරත්වයෙන් මිදිල නැහැ. සතර මහා භූතයන්ගෙන් හටගත්ත මේ කය නමැති ස්වභාවයේ තැවරීමෙන් මිදිලා නැහැ. එහෙනම් මේ සසර ගමනේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් යන අයම තමයි “තසාවෝ” සහ “ථාවරාවෝ”. අන්න ඉතිරියක් නැතුව මෙන්න මේ සියල්ලන්ටයි මේ කියන්නේ.

 

දැන් මේ අයට එක දෙයක් වෙනවා, දැන් මේ නිවන දැක්ක කෙනෙක්ගෙ අදහස්. ලෝකයේ ස්වභාවය තේරුම්ගත්ත කෙනෙක් ලෝකයාට දෙන, දයානුකම්පාවෙන් පතුරුවන අදහසයි මේ කියන්නේ. මෙන්න මේ අය “තසාවෝ” බව දන්නවා, මේ අය “ථාවරාවෝ” කියන්නේ මේ අයටයි. ඔන්න ඔය “තස බව” නිසා “ථාවර බව” නිසා අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ඇලී ගැලී ඉන්නේ. ඒකෙන් මිදිල නැති නිසා ඒ අයට යමක් සිද්දවෙනවා.

 

{ 0:56:49 } : දීඝාවායේ මහන්තාවා මජ්ඣිමා රස්ස ඛාණුක ථූලා

 

මොකක්ද වෙන්නේ? ඒ අයගේ ස්වභාවය මොකක්ද? ඒ අය “දීඝාවෝ”. මොකෙක්ද “දීඝාවෝ” කියන්නේ? නයි, පොළොංගු නෙමෙයි. “දීඝාවෝ” කවුද? අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන්, පංචකාමයන්ගෙන් තොස් වෙවී, පංචකාමය ලබාදීමට හේතුවන කයෙහි තැවරිලා, ඔය ඉන්න අයට සසර ගමන දීර්ගයි. සංසාරේ කවදා කෙලවර කරන්නද? ඔන්න ඔය කට්ටිය තමයි “දීඝාවෝ” වෙලා ඉන්නේ. සසර ගමන දිගුකරගත්ත අය.

“යේ මහන්තාවා”, ඔන්න ඕක මහ ලොකු දෙයක් කරගෙන, මේ සසර කුණු වහලු, මහ ලොකු දෙයක් කරගෙන, මහන්තත්ත වෙලා ඉන්නවා. අලි ඇත්තු වගේ එවුන් නෙමෙයි ඔය කිව්වේ. මේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් යුක්ත මේ සසර ගමනට බැහැගෙන කටයුතු කරන එකා, සසර ගමන දීර්ඝ කරගෙන මහන්තත්ත වෙලා ඉන්නවා මේකෙ, ලොකුකමක් හම්බවුණා කියලා, “දීඝාවා යේ මහන්තාවා”.

 

“මජ්ඣිමා”, ඔවුන් බැහැලා ඉන්නේ ඒ මාධ්‍යයේ. සසර මාධ්‍යයට බැහැගත්තා. මැද සත්තු නෙමෙයි ඔය කියන්නේ. “මජ්ඣිමා” කියන්නේ සසර මැදට බැහැගත්තා, සසර මාධ්‍යයට බැහැගත්ත අය. එතකොට “මජ්ඣිමා රස්ස”, දැන් කෙටි වෙලා ඉන්නේ, නුවණ නැහැ, කොටයි, “රස්ස” වෙලා ඉන්නේ. රස්සයෝ කියල කියන්නේ නුවණ කෙටි අය, තේරුම්ගන්න පුළුවන්කමක් නැහැ, ලෝකෙම ලොකුයි, නිවන වැටහෙන්නේ නැහැ.

 

“ඛාණුක”, පහත් බවට පත්වෙලා ඉන්නේ, ක්ෂුද්‍ර බවට පත්වෙලා, “ඛාණුකයෝ”, පහත් වන්නා වූ අනුකය බවට පත්වෙලා. ඛ + අණුක – “ඛාණුක”, “ඛ” කියන්නේ කහට ගැන්වෙන ලෝභ ද්වේශ මෝහ. “අණුක” කියන්නේ ඒකෙ කොටස් බවට පත්වෙලා. ලෝභයට ද්වේශයට මෝහයට කොටස්කාරයො බවට පත්වුණහම “ඛාණුකයො” වෙනවා. එතකොට මොකද වෙන්නේ?

 

ඒ අයට “ථූලාවො” වෙන්න වෙනවා. “ථූලාවො” කියන්නේ මොකක් ද? “ථූ” කියන වචනයෙන් පෙන්වන්නේ තැලෙනවා. මේකෙන්ම තැලෙනවා, දුක් විදිනවා. “ථූ” අල්ලා ගෙන ඉන්න එකට කියනවා “ථූලා”. ථූ+අල්ලා = “ථූලා”, ඔහොමයි එන්නේ. පහත් වන්නා වූ ලෝභ සහගත ද්වේශ සහගත මෝහ සහගත දේ අල්ලගෙන, ඔය හේතුව නිසා ඒකෙ ඇලවී ඉන්නා වු පුද්ගලයන්ට කියනවා “ථූලයෝ”. දැන් ඔවුන්ට එක දෙයක් වෙනවා. දැන් ඔයගොල්ලන් කියන්නේ “ථූලා” කියන්නේ “ඉබ්බො වගේ පැතලි” සත්තු කියලයි පෙන්වන්නේ. ඉබ්බො නෙමෙයි මේ ඔක්කොම සසර ගමනේ එන එවුන් “ථූලයෝ”. තැලි තැලි තමයි යන්නේ, ලෝභ ද්වේශ මෝහයන්ගෙන් තැලි තැලි යන්නේ. ඔන්න “ථූලයෝ” වෙලා ඉන්නවා.

 

{ 0:59:17 } : දිට්ඨාවායේව අද්දිට්ඨා යේච දූරේ වසන්ති අවිදූරේ

 

ඒගොල්ලන්ට එක දෙයක් වෙනවා. මෙන්න මේ නිසා “දිට්ඨාවො”, වෙලා ඉන්නවා. ඇහැට පේන එවුන් කියලයි පොතේ පෙන්වන්නේ. ඇහැට පේන එවුන්, දෘෂ්ටි ගත එවුන්, “දිට්ඨාවො”. මිත්‍යා දෘෂ්ටියට පත්වෙලා ඇත්ත පේන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටි ගතවෙලා ඉන්නවා, අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් වැහිලා, ඔන්න “දිට්ඨාවො”.

 

මේ සසර සැරිසරන පෘතග්ජනයො සියල්ලම “දිට්ඨාවො” කියල තියනවා. “යේව අද්දිට්ඨා”, ඒ ඇත්ත පේන්නේ නැති දෘෂ්ටිය නිසාමයි ඔවුන්ට පේන්නේ නැත්තේ, ඇත්ත පේන්නේ නැත්තේ. ඒ නිසයි මේ සත්ත්වයෝ පේන්නේ නැති “අද්දිට්ඨයෝ” වෙලා ඉන්නේ. “දිට්ඨාවො” නිසාමයි “අද්දිට්ඨයො” වෙලා ඉන්නේ, ඇත්ත පේන්නේ නැත්තේ. සත්‍යය පේන්නේ නැහැ, “අද්දිට්ඨයි”.

 

“යේ ච දූරේ”, ඒකයි මේ දුර වෙලා තියෙන්නේ ගමන. සසර ගමන දුර වෙන්නේ ඔන්න ඔය හේතුව උඩයි. “වසන්ති අවිදූරේ”, අවිද්‍යා අන්ධකාරයේ වාසය කරනවා ඔන්න ඔය හේතුව හින්දා. කොච්චර ලස්සනට මේ ධර්මයේ උගන්වනවා ද? “යේ ච දූරේ වසන්ති අවිදූරේ”.

 

{ 1:00:10 } : භූතාවා සංභවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්ථා

 

“භූතාවා”, මෙන්න මේ සතර මහා භූතයො දරාගෙන ඉන්න අය, “සංභවේසීවා”, ඕක හදාගන්න සංඛාර පහලකරන අය, අන්න අර ඉස්සෙල්ලා කිව්ව “ප්‍රාණීන්”, පානය කරන අවස්ථාව, තව විදිහකින් කිව්වොත්. “භූතාවා සංභවේසීවා”, මේ පංචකාමය, සතර මහා භූතයන්ගෙන් යුත් කය නමැති භූතයො දරාගෙන, මතුවටත් එහෙම කයක් හදාගන්න සකස් කරගැනීම සඳහා භවය පහල කරගැනීමට කටයුතු කරමින් අවිද්‍යා තෘෂ්ණා වැඩපිළිවෙලක යෙදෙනවා නම් කියනවා “සංභවේසී” කරගෙන යනව එයා.

 

මේ මස්, ලේ සහිත කයක ඉඳගෙන, සතර මහා භූතයන් දරාගෙන, ඒ තුළ ඉඳගෙන, ජාතියක් වශයෙන් ගොඩනැගිලා, මතු ජාතියක් හටගන්න අවශ්‍ය පංචකාම භුක්තිය අරගනිමින් සංස්ඛාර පහල කර කර යනකොට කියනවා “සංභවේසී” අවස්ථාව. එහෙනම් “භූතාවා සංභවේසී” කරනවා, එතන ඉඳගෙන, ඔය සසර ගමන හදාගන්නවා.

 

“සබ්බේ සත්තා”, මෙන්න මෙවුන් තමයි මේ “සත්තා”, “සත්ත්වයො” කියල ඇවිල්ලා ඉන්නේ. ඔන්න ඔය කියන්නා වූ අයට කියනවා “භවන්තු සුඛිතත්ථා!”, මෙන්න මේ “නිවන් සුවයට පත්වේවා!” ඇත්ත දැකලා. මෙන්න වැරදි මාර්ගය, මෙන්න ඒ වැරදි මාර්ගයේ යන හැටි, මෙන්න විනාශයට පත්වෙන හැටි, මෙන්න මෙහෙමයි මේ සසර ගමන දීර්ඝ වෙන්නේ, මෙහෙමයි ලෝකයා මහන්තත්ත වෙන්නේ, මෙහෙමයි මේ දුකෙන් තැලෙන්නෙ, පොඩිවෙන්නෙ. මෙන්න මේ විවර වූ මාර්ගය ඕකයි, ඕක හැදෙන්නේ මෙන්න මෙහෙමයි, මේ “සංභවේසී” නිසා හැදෙනවා, “භූතයො” පහල කරන භූතාවො වෙලා ඉන්නවා, ඔන්න ඔය කට්ටියට ඇත්ත පෙනිලා “සුඛය” දැනගනිත්වා, “නිවන” මිසක් වෙන “සුඛයක්” නැහැ කියලා. මේ කරුණු තේරේවා! අන්න “සබ්බේ සත්තා භවන්තු සුඛිතත්ථා!”

 

{ 1:01:28 } : න පරෝ පරං නිකුබ්බේථ – නාතිමඤ්ඤේථ කත්තචි නං කඤ්චි

 

දැන් ඕක පෙන්නල දීලා කියන්නෙ “න පරෝ පරං නිකුබ්බේථ”, මෙච්චර දහමක් පෙනි පෙනී තියෙද්දි අනිකෙක් තව එකෙකුට කුබ්බැහිකම් කරන්න එපා. මොකද එදා කරේ? අර භික්ෂූන් වහන්සේලාට, අර පැත්තක ඉන්න වෘක්ෂ දේවතාවෝ කුබ්බැහිකම් කළා, නිවන් දකින මඟ වහල දාලා. දැන් මේකවත් දැනගෙන, මේ යථාර්ථය දැනගෙන, එකෙක් එකෙකුට කුබ්බැහි වැඩ කරන්න එපා.

 

“නපරෝ පරං නිකුබ්බේථ, නාතිමඤ්ඤේථ කත්ථචි නං කඤ්චි”, එකිනෙකාට නොකටයුතුකම් කරන්න එපා. “බ්‍යාරෝසනා” මේ රොස් බව නිසා, “පටිඝ සඤ්ඤා” මේ සැඬ ගති ඇති, නැත්නම් ඒවගෙම තද අදහස් නිසා, “න + අඤ්ඤමඤ්ඤස්ස” ඔවුනොවුන්ට, “දුක්ඛමිච්ඡෙය්‍ය”, දුකින් එතෙරවීමක් නෑ… ඇත්ත කියලා දීලා අවවාදයක් කළා. කවදාවත් මේ දුකෙන් එතෙරවෙන්න බෑ ඔය ටික කරනකන්. ඔය ටිකයි මේ තියෙන්නේ. කැලේ හිටපු අමනුෂ්‍යයන්ට කිව්ව ටික.

 

{ 1:02:22 } : බ්‍යාරෝසනා පටිඝ සංඥා නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡ්‍ය

 

ඒගොල්ලන්ට ඇත්ත පෙන්වලා දීලා, මේ වැරදි වැඩ කරන්න එපා, මෙන්න ඇත්ත, මෙන්න නිවන, මෙන්න සුවය, “ඔය උඹල කොටුවෙලා ඉන්නේ මහා විනාශයකට, ඉතින් ඔය විනාශයෙ ඇත්ත දැනගනිල්ලා. දැනගෙන ඔයවගේ, මේ යහපත් මඟ යන අයට කුබ්බැහිකම් කරන්න එපා, නොකටයුතු කම් කරන්න එපා” ඥාති මනසක් තියන්න. “බ්‍යාරෝසනා” – රොස්බව නිසා, “පටිඝ සඤ්ඤා” – ඔය සැඬ ගතිය ආපුවහම, “නාඤ්ඤමඤ්ඤස්ස” – ඒ දෙගොල්ලන්ටම, “දුක්ඛමිච්ඡෙය්‍ය” – දුකෙන් එතෙර වෙන්න බැහැ. “නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛ මිච්ඡෙය්‍ය”.

 

{ 1:02:50 } : මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ, ඒවම්පි සබ්බ භූතේසු මානසංභාවයේ අපරිමාණං

 

“මාතා යථා නියං පුත්තං”, අම්මා තමන්ගේ එකම පුතාට ආදරය කරනව වගේ කියල ලෞකික අර්ථයක් ඕකට ගන්නවා. දැන් ඔතන පෙන්වන “මාතා” කිව්වේ කවුද? අමා මෑණියන් වහන්සේ – “මාතා”, බුදු පියාණන් වහන්සේට තව නමක්. “යථා නියං පුත්තං”, යථාර්ථය දත් නියම පුතා කියන්නේ අරිහතුන් වහන්සේට. මාගේ පුත්‍රයා, බුදු පියාණන් වහන්සේගේ පුත්‍රයා කියන්නේ අරිහතුන් වහන්සේ. එකම පුත්‍රයා, පුත්‍රයෝ නැහැ බුදුරජාණන් වහන්සේට. මාගේ පුත්‍රයා, තනි වචනයෙන් කථා කරන්නේ. අන්න එකම පුතා කියන්නේ අරිහතුන් වහන්සේ. “මාතා” කියන්නේ බුදු පියාණන් වහන්සේ, අමා මෑණියන් වහන්සේ. “මාතා යථා නියං පුත්තං”, යථාර්ථවත් නියම පුතා ඇති කරන්න, “ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ”, අන්න ඒ තමන්ගේ ජීවිත කාලයෙ ආයුෂය, අන්න ඒ ඒක පුත්‍රයා අනුරක්ෂණය කරනවා. එයා ඒ පැත්තට ගන්න සකස්කරල දෙනවා, දහම් මඟ කියල දීලා, දහම් පෝෂණය දීලා.

 

“ඒවම්පි සබ්බ භූතේසු”, අන්න ඒක උපමාවට ගනිල්ලා උඹලා, අපේ නායකයා, අපේ අමා මෑණියන් වහන්සේ උපමාවට අරගෙන, උන් වහන්සේ ආදර්ශයට අරගෙන, එහෙම නැත්නම් අන්න ඒ විදියට. “ඒවම්පි සබ්බ භූතේසු මානසං භාවයේ අපරිමාණං”, අප්‍රමාණ මෙත් සිත වඩන්න, අප්‍රමාණ මෙත් සිත කියන්නේ මෙන්න මේකටයි. අප්‍රමාණ “මානසං භවය” කියන්නේ ආර්ය මාර්ගය. උන්වහන්සේ ආදර්ශයට අරගෙන, මව් කෙනෙක් හැටියට හිතාගෙන, එකම දරුවා අනුරක්ෂණය කරනව වගේ උන්වහන්සේ රෑ, දවල් දෙකේ මහන්සි වෙලා තමන්ගේ ජීවිත කාලය යොදවල තියෙන්නේ ඔන්න ඔය දෙය කරල දෙන්න. ඒ උත්තමයන් වහන්සේගෙ වැඩපිළිවෙලට හිංගි හින්සා නොකර, බාධක කරදර කරන්නේ නැතුව ඔබලත් අන්න ඒ අනුරක්ෂණය වන මාර්ගයට අනුකූලව තමා අප්‍රමාණ “මානසම්භවයට” පත්වෙන්න. මෙන්න මේ ආර්ය මාර්ගය වඩාගන්න.

 

{ 1:04:15 } : තිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගතමිද්ධෝ, ඒතං සතිං අධිට්ඨෙය්‍ය….

 

අන්න “ආනාපාන සතිය”, ඔන්න “බ්‍රහ්ම විහරණය”, ඔන්න මෙත් වැඩීම, ඔන්න ඕක. “තිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා”, සතර ඉරියව්වම පෙන්නුවා. “සයානෝවා යාවතස්ස විගත මිද්ධෝ”, “තිට්ඨං” – ඉඳගෙන ඉන්නව නම්, “චරං”– හැසිරෙනවා නම්, ඒවගේම “නිසින්නෝවා”– කොතන හරි නිදහස්ව ඉන්නවානම්, අන්න …. “සයානෝවා” – නිදා ගත්තහම, “යාවතස්ස විගත මිද්ධෝ” – මිද්ධයට වැටෙන්නේ නැතුව, කම්මැලි වෙන්නේ නැතුව, මෙන්න මේ “සතියෙන්” නිතරම ඉන්න පුරුදු වෙන්න. ඔන්න ඕකට කියනව හැම වෙලාවෙම ඔය “සතියෙන්” ඉන්නවා නම් “බ්‍රහ්ම මේතං විහාරං ඉධමාහු”, මෙන්න මේකට “බ්‍රහ්ම විහරණය” කියනවා.

 

{ 1:04:53 } : දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍යගේධං…

 

“දිට්ඨිංච අනුපගම්ම” – ඔය දෘෂ්ටි වලට පත්වෙන්නේ නැතුව, මේ දහම් දැකල සීලනය වෙලා, “දස්සනේන සම්පන්නෝ” – දර්ශන සම්පන්නයෙක් වෙන්න, ඇත්ත දකින කෙනෙක් වෙන්න. මේ කාමයන් එකින් එක වෙන්කර දමන්න. වෙන්කර දැකල, මේ දීර්ඝව කියන්නා වූ මේ සසර මහ භයානක ගමනෙන් නික්මිලා, “නහි ජාතු ගබ්භසෙය්‍යං” – නැවතත් ගර්භා වාසයයි කියන්නා වූ සසර ගැබට එන්නේ නැතුව කෙලවර කර දමන්න. දමලා මේ නිවන් අවබෝධයෙන් සැනසෙන්න.

 

{ 1:05:17 } : තථාගතයන් වහන්සේ වදාළ ආනාපානසතිය හෙවත් බ්‍රහ්ම විහරණය

 

මෙන්න ලෝකයාට දුන්න අවවාදය, ඔන්න “බ්‍රහ්ම විහරණය”, ඔන්න “ආනාපානසතිය”. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “භවත් ගෞතමයන් වහන්සේ කෙබදු විහරණයකින් වස් කාලය ගත කළා ද ඇහුවොත් “ආනාපානසතියෙන්” වාසය කළා කියල කියන්න. ඒත් ආනාපාන සතියට මොකක්ද කියන්නේ කිව්වොත් එහෙම, ඒකට අරිය විහාරය කියාත් බ්‍රහ්ම විහාරය කියාත් තථාගත විහාරය කියාත් කියනවා කියල කියන්න”, අන්න පරිබ්‍රාජකයා ඇහුවේ. {{ත්‍රිපිටක සූචිය}}

 

එහෙනම් “බ්‍රහ්ම මේතං විහාරං ඉධමාහු” කියල මෙන්න මේකට “බ්‍රහ්ම විහරණය” කියනව කියල බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා. උන්වහන්සේගෙම ශ්‍රී මුඛ බුද්ධ දේශනාව. එහෙනම් අන්න එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ “ආනාපානයෙන්” ඉන්නවා කියල කියන්නේ, ඔන්න ඔය “බ්‍රහ්ම විහරණයයි” කියල කියන්න. අන්න බුදුරජාණන් වහන්සේගේ “ආනාපානය”.

 

එහෙනම් අපි පෙන්නපු “ආනාපානය” කිව්වේ ඔන්න ඔය බුදු පියාණන් වහන්සේ පෙන්නපු, කරණීයමත්ත සූත්‍රයෙන් පෙන්නපු “ආනාපානය”. ඕකට සතර බ්‍රහ්ම විහරණයත් තියෙනවා, සතර සතිපට්ඨානයත් තියෙනවා, ත්‍රිවිධ සුචරිතයත් තියෙනවා, ඒවගේම සප්ත බොජ්ඣංගත් තියෙනවා, ආර්ය අෂ්ටාංගික මාර්ගයත් තියෙනවා, විද්‍යා විමුක්ති ඵල සහ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම ම ඔය කරණීයමත්ත සූත්‍රයේ අඩංගුයි. ඒක අපේ අමනුෂ්‍ය උපද්‍රව සියලු බලවේග දුරු වෙලා නිවන අවබෝධ කරනකන්ම ඇති. ඔන්න කර්මස්ථානය.

 

{ 1:06:26 } : සෝතාපන්න ඵල ලාභී උතුමන්ට අවබෝධය පැවසිය හැකියි

 

ශ්‍රාවක පිරිස විසින් සෝතාපන්න ඵලය අවබෝධය සහ ප්‍රකාශකිරීම පිළිබඳ අසන ලද ප්‍රශ්නයකට වහරක අභයරතනාලංකාර මහ තෙරුන් වහන්සේ පිළිතුරු ලබා දෙති: (අසන ප්‍රශ්නය පැහැදිලිව පටිගත වී නැත)

 

(ස්වාමීන් වහන්සේ) : ඔව්, ඒක තමයි කියන්නේ, ඉතින් ඕක අපේ මේ ලෞකිකත්වය තුළින් කොයිතරම් දුරට මේ දහම් අර්ථය වැහිලද? ඉතින් අපිව ඇදල කවුද දිනුවේ? කවුද ලබාගත්තේ මෙච්චරකල්? එක එක දෘෂ්ටිවලට රැවටිලා, බලාගෙන තමන් සැකයෙන් තමන්ගෙවත් තමාගෙ ඵලයක් ගැනවත් හිතාගන්න බැරිව, සැක සහිත බවින් කාලය ගත කර කර, මට මේ ඵලය ලැබිල කියල කාගෙන්වත් අහන්න යන එක ඇරිල තියෙනවා ද?

 

තමන් ලැබුවා කියල කවුරුහරි කියන්න පුළුවන්, කවුරුහරි සහතික දෙන්න පුළුවන්, ඕව අරගෙන ගිහිල්ල සන්තෝසෙන් ඉන්නව ටික දවසක්. “ඔයා දන්නවද?” කියල කවුරුහරි අහන්න ගිහිල්ලා. “ඔයා දන්නෙ කොහොමද ඕක ලැබුවා කියල?” ඇහුවා නම්, “හාමුදුරුවෝ කිව්වේ”, ඔහොම උත්තරයක්නෙ දෙන්නෙ. තමන්ට අවංකවම තේරෙනවද? තමන්ට ඕක කියන්න පුළුවන්ද? බලපුවහම තේරුම්ගන්න බැරුව යනවා. “ක්ෂය කළ නිරය ඇත්තෙමි, ක්ෂය කළ ප්‍රේත විෂය ඇත්තෙමි, ක්ෂය කළ තිරිසන් යෝනි ඇත්තෙමි ක්ෂය කළ අසුර නිකාය ඇත්තෙමි නියතයෙන් සම්බෝධි පරායනයෙන් සෝතාපන්න වෙමියි හෙතෙම කැමති නම් ප්‍රකාශ කරන්න” {{ ත්‍රිපිටක සූචිය }} ඕන්නම් කියන්න පුළුවන්.

 

ඉතින් ඇහුවොත් එහෙම, “ඔයා කොහොමද ඔයා නිරය වැලකිච්ච බව දන්නේ?” “මං පව් කරන්නෙ නැහැනේ”, එහෙම කිව්වට හරියන්නෙ නැහැ. “නිරයට යන්න තියෙන හේතුව මෙන්න මේකයි, ඒ හේතුව මෙන්න මේ ආකාරයෙන් මං ලඟ නැතිවුණා, එයයි හේතුව නැත්නම් ඵලය නැහැ, එනිසා මට නිරයට යන්න හේතු නැහැ. තිරිසන් ගොඩට යන්නෙ මෙන්න මේ හේතුව උඩයි, ඒ හේතුව මෙන්න මේ දහම් අවබෝධයෙන් මේ ආකාරයෙන් මගෙන් නැතිවුණා. ඒ හේතුව නැති මට මතු ඵලයක් එන්න විදියක් නැහැ. ඒනිසා මං තිරිසන් යෝනියෙ ඉපදෙන්නෙ නැහැ කියල දන්නවා. ප්‍රේතව උපදින්නේ මෙන්න මේ හේතුව උඩයි. මෙන්න මේ ධර්ම අවබෝධය මගින් ඒ හේතුව නැතිවුණා. ඒනිසා හේතුව නැති මට, මතු ප්‍රේත ඵලයක් නැති නිසා ප්‍රේත අත්බවකට මම යන්නෙ නැහැ කියල දකිනවා. අසුර වෙන්නෙ මෙන්න මේ හේතුව උඩයි. මෙන්න මේ ධර්මාවබෝධයෙන් මට ඒ හේතුව නැතිවුණ බව මම දන්නවා. එහෙනම් මට හේතුව නැති තැනක නැත්නම් ඵලයක් නැහැ, ඒක නියමයක්. ඒනිසා මට අසුර වෙන්න හේතුවක් නැහැ කියල දැනෙනවා. මෙන්න මේ හේතු හින්ද මං සතර අපායෙ වැටෙන්නෙ නැහැ කියල දන්නවා.”

 

අන්න ධර්මය දැක්කා නම් එහෙම දැකගන්න පුළුවන්. තමුන්ට ඒක කරගන්න පුළුවන්. කවුරුවත් සහතික කරන්න බැහැ. තමාට තමා පිළිබඳ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු න්‍යායානුකූල ධර්මය තුළින් තමන්ට පුළුවන්කමක් ලැබෙනව සහතිකය ගන්න. ඔය කාටවත් දෙන සහතිකයක් නෙමෙයි. කාට දෙන්නද? ඔය සහතිකය ලබාගන්න තැනට දහම් ඥානය දියුණු වුණොත් යමෙක්ගෙ, ඔහුටම තේරෙනවා “මේ ගැඹුර කෙනෙකුට මම කොහොම කියල දෙන්නද? මේ අත්දැකීම කොහොම දෙන්නද? ලෝකයා ඒ අත්දැකීම් නැති තැනක ඉන්නෙ පෘතග්ජන ලෝකෙ. එයා මගෙන් ඇහුවොත් ඔයා සෝවාන් ද කියල, මම කොහොමද එයාට කියල දීල තේරුම් කරල දෙන්නෙ?” ධර්මය හරියට දැක්කා නම් ගැඹුර දන්නවා. ඒක එහෙම හින්දා තේරුම්ගන්න බැරි එකක් බවත් දන්නවා.

 

ඒනිසා තමයි මගඵලලාභීන් තැනින් තැන කියවන්නෙ නැත්තෙ. ඒ හේතුව ඒකයි. කියන්න බැහැ කියල තේරුම්කරල දෙන්න බැහැ. තේරුම් කරන්න ගියොත් මුලාවට පත්වෙලා තවත් විනාශයක් කරගන්නවා. ආර්ය උපවාදයකුත් කරගන්නවා. කොහොම හරි දඟලලා මේ මාර්ගය අනුගමනය කරන්න පුරුදුවෙන්න, මාර්ගය තේරුම්ගන්න කියල, මෙන්න මේ කාරණය විග්‍රහ කරල පෙන්නල දුන්නොත් ඒ වෙලාවෙදි පුළුවන්කමක් ලැබෙනවා එය තම තමන්ටම තේරුම්ගන්න.

 

දැන් මේකෙ මේ දෙවෙනි ප්‍රශ්නයට උත්තරෙත් මේ පළවෙනි එකෙන්ම ආවා. එතකොට මේ තියෙන්නේ අර නිතරම වැඩීම ගැන “තිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්ධෝ ඒතං සතිං අධ්ට්ඨෙය්‍ය බ්‍රහ්ම මේතං විහාරං ඉධමාහු”. එහෙනම් “බ්‍රහ්ම විහරණය” වශයෙන් රෑ, දවල් යන එන, කරන කියන සියලු වෙලාවෙම එයාට ශ්‍රේෂ්ඨම මේ ටිකෙන් ටික කරන එකයි, රෑ දවල් දෙකෙහි ධර්මානුකූලව දැකල කරන එකයි, දෙකෙන් ධර්මානුකූලව රෑ දවල් දැකල අනුකූලව කටයුතු කරන්නා වූ බ්‍රහ්ම විහාරයක් ඇත්නම් ඒක අති ශ්‍රේෂ්ඨයි. ඒක ඉහළයි. ලැබෙන ලැබෙන වෙලාවට පොඩ්ඩක් කරගත්තත් හොඳ දේ පොඩ්ඩක් හරි කරන්න හැමදාම බැරි නම්, දිගටම කරන්න බැරි නම්, පොඩ්ඩක් කරගත්තත් හොඳ දේ හොඳයි. නරකක් වෙන්නෙ නැහැ ටික ටික කරගත්තත්. අප්‍රමාදව කටයුතු කරගැනීම ඥාණවන්තයින්ගෙ ශ්‍රේෂ්ඨම කටයුත්තයි.

 

{ 1:10:19 } : ලෝභ දෝස මෝහ මෙන්ම අලෝභ අදෝස අමෝහ ද නිරුද්ධ කරන මඟ

 

ප්‍රශ්නය: ලෝභ, ද්වේෂ, මෝහ නිරෝධ කළයුතු බව අපි දනිමු. එහෙත් අලෝභ, අද්වේෂ, අමෝහ ද අනවශ්‍ය බවද සඳහන් වේ. අවශ්‍යය වන්නේ ලෝභක්ෂය, ද්වේෂක්ෂය සහ මෝහක්ෂය බව සඳහන් වේ. මේ තත්වය පහදා දෙන්න.

 

ස්වාමීන් වහන්සේ : ලෝභ, ද්වේෂ, මෝහ කියන්නෙ පවු පැත්ත. මේ පාප පැත්තෙ ඉන්න තාක්කල් මනස අන්ධ වෙනවා. මනස මුළාවට පත්වෙනවා. ධර්මයේ යථාවබෝධය ලබාගැනීමට ධර්ම මාර්ගයට මනස විවර වෙන්නෙ නෑ. මෙන්න මේ නිසා ලොකුම බාදාවක් ලෝභ, ද්වේෂ, මෝහ කියන තුන. ඒ නිසා ඒකට අවශ්‍යය පරිසරය හදාගන්න ලෝභී පුද්ගලයා පළමුව ලෝභී තත්වයේ ආදීනව දැකලා, ඒකෙන් ඇතිවෙන අවැඩ දැකලා, අලෝභී බවට පත්වෙනවා.

 

දැන් මේකෙත් ක්‍රම දෙකක් තියෙනවා. ලෝභී පුද්ගලයා, “අනුන්ට නොවේවා, මට වේවා!” කියන දෘෂ්ඨියකින් ලෝකය පිළිබඳ බලාපොරොත්තු ඇතිකරගෙන, තමා සන්තකව තියෙන දෙයක් අනුන්ට භුක්තිවිඳින්න දෙන්නෙ නැතුව ඒකත් තියාගෙන, තමන් භුක්තිවිඳින්නෙත් නැතුව මෙන්න මේ විදිහේ දැඩි ලෝභ අවස්ථාවක් ගතකරනවා. මෙන්න මේ පුද්ගලයට මෙබඳු අවස්ථාවේ ස්වභාවය නිසා මනස දූෂ්‍යයි. දූෂ්‍ය මනසින් දහම් අවබෝධ කරන්න පසුතලයක් හැදෙන්නෙ නෑ.

 

ඒ නිසා ඒ පුද්ගලයා මොකද කරන්නෙ, ඒ අදහස අහකට දානවා, අලෝභී බවට පත්වෙනවා, ත්‍යාගවන්ත වෙනවා. ලෝභයේ දැඩිව බැඳෙන්නෙ නෑ. “අනුන්ට නොවේවා, මට වේවා!” කියන දැඩි ලෝභ දෘෂ්ඨිය ගන්නෙ නෑ. “මට නැත්නම් ඕකා ට ලැබෙන්නත් එපා!” කියලා සාප කරන්නෙ නෑ. ඒ ලෝකයේ බැඳීම් වලින්, දැඩි බැඳීම් වලින් අහක් වෙනකොට දැන් ලෝභ බවින් අහක් වෙනවා. අලෝභ ගතිලක්ෂණයට එනවා.

 

ඒ වගේම ද්වේෂ සහගත පුද්ගලයට, මේ දැඩි ලෝභය නිසාම තමයි, ඊට විරුද්ධ කාරණා එනකොට ද්වේෂයෙන් දැවෙන්න පටන්ගන්නවා. එහෙනම් ද්වේෂය හැදුන හිතකට අනුන් කෙරෙහි නොයෙක් ආකාරයෙන් හිංගි, හිංසා මානසිකත්වයක් උදාවෙනවා මිසක්, දූෂ්‍ය මානසිකත්වයක් උදාවෙනවා මිසක් සැනසුමක් ලබන්න බෑ. එබඳු දූෂ්‍ය මානසිකත්වයක ඉඳගෙන ධර්මාවබෝධයට හිත නමන්න බෑ. දහම් අවබෝධය වෙන්නෙ නෑ.

 

ඒ නිසා එබඳු අනුන් කෙරෙහි, තමා තමා කෙරෙහි හෝ යම් දූෂ්‍යතාවයක් ඇත්නම්, ඒ දූෂ්‍යතාවයෙන් වෙන්කරගන්න කරන යම් කටයුත්තක් ඇත්නම් ඒ කටයුතු කරලා වෙන්වෙනවා. දැන් මෛත්‍රී භාවනාව වැනි දේවල් ගන්නකොට ඒ තුළින් වෙන්නෙ මොකද, අර වෛර හිත්, ද්වේෂ හිත්, පාප හිත් දුරුවෙලා යනවා. එතකොට මේකෙන් ච්ත්ත සමතය ඇතිවෙනවා. මෝහයට පත්වෙච්ච පුද්ගලයට ඇත්ත තෝරගන්න පුළුවන්කමක් නෑ. මේ ලෝභ ද්වේෂ දෙකෙන් යුක්ත නම් තමයි ඇත්ත තේරෙන්නෙ නැත්තෙ, එතකොට මෝහයත් එක්කම තමයි එන්නෙ.

 

ලෝභය, ද්වේෂය දුරුකරලා ඇත්ත දහමකට සවන්දෙනකොට එයාට මෝහ ගති දුරුවෙලා අමෝහී භාවයට වැටෙනවා; ඇත්ත පේන්න පටන්ගන්නවා. තව අනුගමනය කරලා එතෙන්ට පත්වුනේ නැති එකයි තියෙන්නෙ. දැන් අලෝභී නිසා, අද්වේෂී නිසා, අමෝහී නිසා ඔහුට පුළුවන්කමක් ලැබෙනවා යථාවබෝධයට මාර්ගය වඩාගන්න. එතකොට දැනෙනවා, ලෝභ දේවල් වල අවැඩ දැකලා, අසාධාරණය දැකලා, පහත් බව දැකලා අත්හැරී ගියත්, අලෝභය, අද්වේෂය, අමෝහය සුගති පැත්තෙ ඒවා.

 

හැබැයි අලෝභයෙන් ඇසුරු කරන්නේ යමක් නම් ලෝකය මයි, අද්වේෂයෙන් ඇසුරු කරන්නෙත් ලෝකය මයි, අමෝහයෙන් ඇසුරු කරන්නෙත් ලෝකය. ලෝකයේ යම් ඇසුරක් තියෙන තාක්කල් ඒ පුද්ගලයා ලෝකයෙන් මිදෙන්නෙ නෑ. අපිට යම් යම් ආකාර ලෝකයේ අරමුණු වලට, එක එක විදිහෙ පාප ගතිලක්ෂණ එනවා, ගති අදහස් එන්න පටන්ගන්නවා. මෙන්න මේවා අපිට, දූෂ්‍යතාවයෙන් අපිව ඒ තත්වයට පත්කරලා මනස වහලා දැම්මට, අලෝභී, අද්වේෂී, අමෝහී කියන කොටසින් සුගති පැත්තත් ඇසුරු කළහම, ඒකෙදි එබඳු දුක් කරදර වශයෙන් අපි ගොඩනඟාගත්ත දුක්ඛිත ස්වභාවයට උරුම දුක් කරදර නැතත්, ඉපදුන හැම ඇඟක් ම ඇත්නම් ඒක ජාතිය, ජරාවට පත්වෙනවා, ව්‍යාධියට පත්වෙනවා, මරණයට පත්වෙනවා.

 

ඒ වගෙම ජරා, ව්‍යාධි, මරණ ආදියට ගොදුරුවෙන යමක් හොඳයි කියලා අල්ලගන්න ගියොත් ඒ හේතුවෙන් අපිට ජරා, මරණ, ව්‍යාධි වලට පත්වෙනකොට, ඒකාන්තයෙන් දුකකට වැටෙන්නත් සිද්ධවෙනවා. කැමති සේ නොපවතින දහමක් හොඳයි කියලා නිගමනය කළොත් ඒ කැමති සේ නොපවතින තත්වයට පත්වෙනකොට ඒකාන්තයෙන් දුක් විඳින්න සිද්ධවෙනවා. මේක ලෝකයේ සියලු දේට පොදු ධර්මතාවයක්. අනිච්ච, දුක්ඛ, අනත්ථ කියන ධර්මතාවයක්.

 

මෙන්න මේ අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අන්ත්ථ වශයෙන් දැකීමේ ශක්තිය, ඒ මානසිකත්වය ගොඩනැඟෙන්නෙ අලෝභ, අද්වේෂ, අමෝහ මානසිකත්වයේ ඉඳගෙන හිටියොත්. ඒ නිසා ඒකේ යථාවබෝධය ලබාගැනීම සඳහා අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ථ වශයෙන් ලෝකය තේරුම්ගන්න, යථාවබෝධය ලබාගන්න අවශ්‍යය පරිසරය තමයි අලෝභ, අද්වේෂ, අමෝහ පරිසරය. අන්න ඒ පරිසරයේ ඉඳගෙන යථාවබෝධඥානය පූර්ණය කරනකොට මේ අලෝභයෙන් ඇසුරුකරන, අද්වේෂයෙන් ඇසුරුකරන, අමෝහයෙන් ඇසුරුකරන යම් ලෝක තලයක් ඇත්ද, ඒකත් දුක නේ කියලා වැටහෙනවා, ඒකත් අසාරයි නේ කියලා වැටහෙනවා. ඒකත් අත්ඇරුණහම අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන් යමක් පරිහරණය කළාද, ඒකත් අත්හැරියා. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් පරිහරණය කළාද ඒකත් අත්හැරියා.

 

එහෙනම් ලෝකයේ පැවැත්මට හේතුවෙන හේතු හයක් තියෙනවා. ලෝභ, ද්වේෂ, මෝහ කියන පාප හේතු තුනයි, අලෝභ, අද්වේෂ, අමෝහ කියන පුණ්‍ය පැත්තෙ හේතු තුනයි. ඔය හේතු තුනම ලෝකයේ සුගති පැවැත්ම හා දුගති පැවැත්ම දෙකම. අලෝභ, අද්වේෂ, අමෝහ සුගති පැවැත්මට, ලෝභ, ද්වේෂ, මෝහ දුගති පැවැත්මට. සුගති – දුගති දෙකම ලෝකයේ. ලෝකය යන යමක් වේද, අනිච්චයි, දුක්ඛයි, අනත්ථයි කියලා වැටහුණහම සුගති – දුගති දෙකම අසාරයි කියලා වැටහෙනවා. “අසාරත්වයක් ඇති ලෝකයක මට වටින්නෙ නෑ, පැවැත්මෙන් ඇති වටිනාකමක් නෑ” කියලා අවබෝධය පූර්ණය වුනහම ඒ තල දෙකයි, ඒවට තියෙන හේතුයි ඔක්කොම අත්හැරලා ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ කියන හේතු හයම අත්හැරෙනවා.

 

ඒකෙන් යම් ඵලයක් ලබන්න තිබුණා නම්, ඵල ඒ පැත්තෙ තියෙන සුගති දුගති ඵලයත් අත්හැරුනහම සුගතියත් නෑ, දුගතියත් නෑ, මුළු ලෝකෙම ඉවරයි. ලෝකෙ බැඳීම් සහමුළින් ඉවර කරපු දාට අත්හැරීම පූර්ණයි, නොඇල්ම පූර්ණයි, මිදීම පූර්ණයි, නිවන පූර්ණයි. එහෙනම් එයාට උපදින්න කාම භවයකුත් නෑ, රූප භවයකුත් නෑ, අරූප භවයකුත් නෑ, භව ගමනත් ඉවරයි. භවය ඉවරනම් ජාතිය ඉවරයි, ජාතිය ඉවරනම් ජරා මරණ සෝක පරිදේව දුක් දොම්නස් ඔක්කොම කෙළවරයි. එහෙනම් නිවනින් සුව පූර්ණ වුනා.

 

ඉතින් ලෝභක්ෂය වුනා කියන්නෙ එතකොට, දෝසක්ෂය වුනා කියන්නෙ, මෝහක්ෂය වුනා කියන්නෙ එතකොට. එහෙනම් ආර්යයන් විසින් ලැබිය යුතු දුකින් නිදහස් වීමේ ප්‍රතිඵලය ලෝභක්ෂයෙන්, ද්වේෂක්ෂයෙන්, මෝහක්ෂයෙන් ලැබෙනවා, ඒ ප්‍රතිඵලය කරා ලඟාවීමට අවශ්‍යය පසුතලය අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන් ලැබෙන නිසා තාවකාලිකව ඒ සඳහා පරිහරණය කරනවා. ඒ සියල්ලටම විනාශයක් කරන, ඒ සියල්ලම මකා දමන ලෝභ, ද්වේෂ, මෝහයෝ ඇත්ද, ඒවා නීච දහම් කියලා දැකලා අයින්කරලා දානවා. ඔය ක්‍රමයට තමයි දහම් වලින් සුද්ධ කරගන්නෙ.

 

ධර්මානුකූලව අනුකූල වෙන්න ඕනෙ. අනුකූල ප්‍රතිපදාවක් මිසක් එකක් අයින්කරන්න තියෙන එක පැත්තක තියලා, ඊට සියුම් එක අයින් කරන්න යනවා. එහෙම කරන්න ගියොත් එහෙම විනාසයට පත්වෙනවා. ඔරුව අත්හරින්නෙ, හබල අත්හරින්නෙ ගඟෙන් එගොඩට ගිහිල්ලා, එගොඩට අඩිය තියාගන්න ඔන්න මෙන්න කියලා එතෙනට අවට පස්සෙ. ගඟ මැදැදි “මේවා අත්හැරියයුතු දේවල් කියලා අපි අහලා තියෙනවා” කියලා, ඔරුවත් අත්හැරලා හබලත් අත්හැරියොත් මොකක් වෙයිද? ගඟ මැද ඉන්නෙ!

 

එහෙනම් ගඟ තරණය කරලා, ඊලඟ පැත්තෙ ඉවුරට ගිහිල්ලා, තොටුපොළට ගිහිල්ලා තමයි අර හබලයි ඔරුවයි දෙක අත්හැරලා එගොඩ වෙන්නෙ. කල්තියා මැද හරියෙදි හරි, අග හරියෙදි හරි, මුල හරියෙ තව පටන්ගත්ත තැනදි, කොහොමහරි ගඟේ ඉන්න හරියෙදි අපි හබලයි ඔරුවයි අතෑරියොත් එහෙම අපි ගිලෙනවා. ඒ වගේ ඉතින් “නිවන් දකින්න ඕනෙ කෙනා සියල්ලම අතෑරිය යුතුයි” කිවුවත් ඉස්සෙල්ලාම මේ තව පල්ලෙහා, තව සෝවාන් වෙලත් නෑ, සියල්ල අත්හරින්න ගියොත් මොකද? අර ගඟ මැදදි, ගඟේදි ඔරුවයි හබලයි ඔක්කොම අත්හැරියා වගේ වැඩක් වෙනවා.

 

ඒ නිසා අනුපූර්ව ගමනක් තියෙන්නෙ, “අනුපූර්ව සික්ඛා” අනුපූර්ව විමුක්තියත් අනුපූර්වව යන්න ඕනෙ. සෝවාන් ඵලය ලබලයි සකෘදාගාමී ඵලය ලබන්නෙ. ඊට පස්සෙයි අනාගාමී ඵලය, ඊටපස්සෙ අරිහත් ඵලය. ඒකත් අනුපූර්වයි. ඒ වගේම ශික්ෂණය වෙන්නෙත් අනුපූර්වව, පවු අයින් කරන්නෙත් අන්පූර්වව. හැමදෙයක්ම යන්නෙ අනුපූර්ව පිළිවෙලකට. සමාධියත් “අනුපූර්ව සමාධි.”

 

~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~

 

දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://waharaka.com/listen/CD004-06