දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)
කේෂා ලෝමා භාවනාව - පටිභාන කවි
{00:00} : කේෂා ලෝමා භාවනාව වඩමු
අනන්ත ගුණ ඇති සම්මා සම්බුදු පියාණන් වහන්සේලා අග්‍ර කර මහා සංඝ රත්නය මහා ගුණ රුවින් නිර්මිතව වැඩ සිටිනවා කියා සිහිකරගනිමින්, ඒ සම්බුදු පියාණන් වහන්සේලා අග්‍ර කර මහා සංඝ රත්නය අභියස අද මේ සීල සමාධි ප්‍රඥා පූර්ණය කරගෙන නිවන් සාක්ෂාත් කරගන්න අධිෂ්ඨානයේ තබාගෙන අද මේ ආකාරයෙන් උතුම් වූ කර්මස්ථානයක් පූර්ණ කරගන්න බලාපොරොත්තු වන්නේ කියා සිහිකරගන්ට ඕනෑ.
එසේ සිහිකරගනිමින් “තමන්ගෙන් වදින්නාවූ හුළං පොදක් වේවා කිසිවෙකුට කරදරයක්, හිංසාවක් පිණිස නොවේවා!” කියන්නාවූ අධිෂ්ඨානයන් තබාගෙන අප්‍රමාණ ලෝක සත්වයින් සඳහා මෙත් සිත් පතුරුවමින් අද මේ කර්මස්ථානය වඩන්න බලාපොරොත්තු වෙනවා කියා සිහිකරගෙන ශාන්ත භාවයට පත්වෙන්න. ශාන්ත භාවයට පත්වෙලා, “අද මේ දරන්නාවූ උත්සාහය, වීර්යය ඒකාන්තයෙන්ම නිවන් සාක්ෂාත් කරගන්නට හේතු වාසනා වෙත්වා! අනන්ත ලෝක සත්වයින්ටත් මේ ශාන්තිය, අමා ශාන්තිය එසේම ලැබෙත්වා!” කියන්නාවූ අධිෂ්ඨානයෙන් සාධුකාරයක් දෙන්ට! නිහඬව, දෑත් පහසු විදිහට තියාගෙන, නෙත් අඩවන් කරගෙන භාවනා කරන්න.
| මුනිඳු ගුණ | පවසමි |
| මුනිඳු දිවමන් ලෙස | දැමී |
| ගුණ රුවෙන් | වඩවමි |
| සැමගෙ හදවත් වෙතට | වැඩමමි |
| මුණිඳු වෙත | අසුනා |
| හද තුළ මලින් | සැදුනා |
| සුදු නෙළුම් | මැවුනා |
| මුනිඳු වඩිනට අසුන් | සැදුනා |
| සඟ පෙළ ද | වැඩමමු |
| සුදු මහ නෙළුම් | මවනෙමු |
| එ පුදසුන් | පුදනෙමු |
| මෙවන් සඟ පෙළ | වඩාහිඳවමු |
| නැණ නුවණ | වඩවන |
| ලොව අසාරය | පෙන්වන |
| දහම් මග | අරගෙන |
| වඩමු නිවනට, සුමඟ | දැනගෙන |
| මවු පිය වෙතින් මේ කයෙ මුළ | හටගත්තේ |
| ගදඹෙක් ලෙසයි විත් එම තැන | බැසගත්තේ |
| එම තැන් “කළලය” යි පොඩි බිඳුවක් | ඇත්තේ |
| එම තැන් බදා සිරුරෙහි මුළ | හටගත්තේ |
| පෙර භවයකින් නෑ මේ කය ගෙන | ආවේ |
| මවු ගැබ තුළයි කන බොන දෙයකින් | වූවේ |
| මවු කන බොන අහර ඕජස ලෙස | පෑවේ |
| ඒ රස ඇදගෙනයි මේ කය | සැකසූවේ |
| පස් ජල ගිණි සුළං යන හතරක | රැඳිලා |
| කන බොන අහර ලෙස සකසාගෙන | වැඩිලා |
| සැදෙමින් ඕජසක් මවු ගැබ වෙත | ගලලා |
| බැඳිලා රැඳීලා මේ කය වුනි | එකලා |
| නව දස මසක් මවු ගැබ තුළ වකුටු | වෙලා |
| ගුලි වී සැදුන මුත් මේ කය ගැබෙහි | තුළා |
| බිහි වුන දා පටන් මෙලොවට, කටට | හළා |
| දුන් කිරි නොයෙක දේ ලෙස යළි අහර | කළා |
| උපතේ පටන් කන බොන දෙය මුවට | දුනී |
| බඩ වෙත වදින විට ඕජස කයට | පනී |
| දුගඳැති අපත දේ ලෙස කොටසක් ද | වුනී |
| මල මූ විලස දින දින එළියටම | ලැනී |
| කන බොන අහර අප සුවඳයි ගෙන | කන්නේ |
| හොඳ රස මිහිර යැයි අරගෙන | බුදිමින්නේ |
| ඒවා සියලු දේ කොපමණ | අරගන්නේ |
| ඒවට උනේ මොනවද සිහි | කරපන්නේ |
| කන බොන දෙයක් දත කට තුළ | අඹරගෙන |
| ගිලගත් සැණින් කය ඕජස සමඟ | වින |
| රස සහ සුවඳ දැන් අහලක නොමැත | වන |
| ඕජස සදා දුනි මේ කයෙ වැඩුම | දෙන |
| කොටසක් මල ද මූ විළසට පිටව | ගියේ |
| කොටසක් කයට රස ඕජස විළස | ගියේ |
| කෙස් ලොම් නිය ද දත් සම්කඩ මස ද | තියේ |
| ඇට ඇට මිදුළු වකුගඩු හද සදති | |
| මේවා මෙ කය ලෙස එක එක තැන | හිටලා |
| මේ රුව මවනවා මායාවෙනි | වටලා |
| කුණු කොටසකින් දෙතිසක් කයකට | සිටලා |
| හදලා මෙ කය ඇත කුණු කොටසට | දමලා |
| මහ ගුණ තිබෙන්නේ ගත තුළ නොවනු | ඇත |
| හිත තුළ තිබෙන කුණු දෙතිසක් ලොවෙහි | එත |
| ඒ මඟ වැසී අද යටපත් ලෙසට | යත |
| නිවනට සුදු කරන හිත් ගුණ අහක | ඇත |
| දෙතිසක් කුණු කොටස් ඇයි මෙහි | හටගන්නේ |
| නැහැ නෙවැ දහම ඒ දෙන මඟ | වැටහෙන්නේ |
| හිතෙ කුණු හරින්ටයි මුණි රජ | පවසන්නේ |
| ගත කුණු කිය කියා දුක් විඳ විඳ | ඉන්නේ |
| සුචරිත සේසයක් මේ සත ගෙන | එන්නේ |
| ඒ ටික නිසයි මිනිසෙක් ලෙස | උපදින්නේ |
| ඒ ටික පහ කරයි ටික ටික කෙළෙසින් | නේ |
| කාමෙට බැඳෙන විට ඒ දුක් | කරගන්නේ |
| ආසා පොදියෙ බැඳුනම හිත ඛය | වෙනවා |
| “කේසා” කියන නම ගතියට හිමි | වෙනවා |
| “කේසා” හිතට එන මුළ හිත තුළ | වෙනවා |
| ආසා දුරු කළොත් “කේසා” නැති | වෙනවා |
| “ලෝකය අමා රසයෙන් යුතු” හිතනු | ඇත |
| “පස් කම් රස හොඳයි” අවිඳුවෙ නැඟුම | වෙත |
| “මේ ලෝ අමා තලයක්” යැයි හිතෙනි | ගත |
| කිළුටක් වුනා නෙවැ හිත වෙත, මතක | නැත |
| හිත තුළ කහට තිබුණොත් නම් නිවන් | නැතී |
| එම කුණ අතහළොත් නිවනට මඟක් | වෙතී |
| “මේ ලොව අමා රස” යැයි මෝහයක් | වෙතී |
| ඒ කුණ හළොත් නිවනට මඟ මතුත් | වෙතී |
| “ලෝමා” හදපු හිත ඔහොමයි | සැකසෙන්නේ |
| ලෝකෙට “අමා” යැයි මුසා හිත | හැරගන්නේ |
| මේ ලොව අනාථයි, කොහොමද “අම” | වෙන්නේ? |
| දුටුවොත් එම දිනේ “ලෝමා” හැරි | යන්නේ |
| හොඳ සහ නරක දේ මේ ලොව වෙත | පෙනෙතී |
| ආසා මුළාවට වැදුනොත් නොම | පෙනෙතී |
| “නාකයි” කියන දේ “හොඳ” යැයි ගෙන | බුදිතී |
| එම තැන “නඛා” කුණු ගති හිත වෙත | වැදෙතී |
| “නාකයි” කිවුව දේ දැනගෙන හැරිය | යුතූ |
| හිත තුළ “නඛා” අතහැරගනු සියලු | සතූ |
| එම දා නඛා ඵල දෙන කය නොමැත | ගෙතූ |
| භව මඟ කෙළවරට හිත සුදු කෙරිය | යුතූ |
| හොඳ සහ නරක නොම දත් සත කොහි | ඉන්නේ |
| “ඇත – නැත” අන්ත දෙකකයි සත | පැටලෙන්නේ |
| මෙම තැන් අන්ත දෙක “දන්තා” | කියවන්නේ |
| හිත කුණු කරන “දන්තා” ඔහොමයි | වන්නේ |
| මෙම තැන් අන්ත දෙක අතහැර දැමිය | යුතූ |
| “දන්තා” වලට හිත තුළ කුණ කැපිය | යුතූ |
| අන්ත ද දෙකක් අත්හැරියොත් ලොවෙහි | පැතූ |
| “දන්තා” හදන මුල අහවර කෙරිය | යුතූ |
| “අච්ඡයි” කියන්නේ ඉක්මා දහමෙ | තැන |
| පිහිටන, තිබෙන තැන මෝහෙන් | වැළඳගෙන |
| “තඡ” යන කුණු ගොඩක් හිත තුළ හැදෙන | තැන |
| මේ හිත තුළ කුණයි දැකගෙන හරිනු | මැන |
| “දං මඟ” ඉක්මවා යන ගති | හැරගන්න |
| දහමට තබන විට හිත පිරිසිදු | ඔන්න |
| කුණ දැක අත්හරිමු නිවනට | පැමිණෙන්න |
| “තඡ” යන කුණත් මේ ලෙස ඔබ | හැරගන්න |
| “මස” යැයි සාර දෙය යැයි ලොව | හටගන්නා |
| උභ යැයි අංශයක් ඇත ලොව හොඳ | යන්නා |
| සැප සම්පත් කියන මස වෙත හිත | යන්නා |
| “මංසා” කියන දේ කුණ හිතෙ | හටගන්නා |
| “ලොව මහ ලොකුය, වටිනවා” යන හැඟුම | හැර |
| මතු කළහොතින් දහමෙන් කුණ ඉවර | කර |
| මොනවද වටින්නේ ලෝකෙන් සුවය | හර |
| නිසරුයි සියළු ලොව සම්පත් එ සිහි | කර |
| අතහැර දැමුව දවසක හිතෙ කුණු | කරපු |
| “මංසය” හැරෙනු ඇත මහ අංසය | දරපු |
| හිතෙ කුණ අත්හරිණ විට නිවනද එ | රුපු |
| දුරු කර ලැබිය හැක සම්පත් ගුණ | දරපු |
| යම් අය නොහැර මේ සම්පත් | පසුපස්සේ |
| කුණු හිත අරං යනවා මෙම භව | පස්සේ |
| එම තැන් නොහැරි විට “නහරු” ය එහි | ගත්තේ |
| “නහර” යි කුණු ගොඩක් හිතකින් | හටගත්තේ |
| හිත තුළ නහාරූ කුණු ගොඩ | හැරලන්න |
| මතුවට “නහර” දෙන කය නැති වෙති | ඔන්න |
| මේ බුදු දහම යළි මතුකර | මෙළෙසින්න |
| දෙනවා නිවන් දකිනට, කුණු | දකිමින්න |
| නොහැරියහොතින් ලොව අල්ලන එ කුණු | ගති |
| ඇට්ටර ගති දරයි හිත ගත එබඳු | පැති |
| ඇට්ටර කුණු ගතිය “අට්ඨී” කියනු | ඇති |
| ඒ කුණ දැක හරින්, අට්ඨී ඉතුරු | නැතී |
| මිදුනොත් එබඳු ඇට්ටර ගතියට | නැමිලා |
| හිත තුළ කුණක් ඇතිවෙයි මේ නම | ලබලා |
| ඇට්ටර බවෙ මිදුනු ගති හඬ මතු | කරලා |
| “අට්ඨී මිඤ්ජ” යයි යන නම දෙති | දරලා |
| ඇට්ටර බවෙහි මිදෙනා කුණ | හැරගන්න |
| ඒ කුණු කොටස අතහැරියොත් | එළෙසින්න |
| පිරිසිදු වනු ලැබේ නිවන ද | අරගන්න |
| මෙළෙසින් නිවන් මඟ දැක කුණ | හැරලන්න |
| “වක්” ගති ලබන්නේ වකුටු ව ඔහෙ | ඉන්න |
| දුස්චරිතය නිසයි ආසා පොරයෙන් | න |
| ඇට්ටර වුනොත් ගති වකුටුයි සැමතින් | න |
| “වක්කං” කියන්නේ මේකයි | දැනගන්න |
| “වක්” ගති හැරිය විට “වක්කං” ඉතිරි | නැති |
| හිත තුළ තිබුණු කුණු කොටසක් පහව | යති |
| දැන් හිත පිරිසිදු ම වන මඟ වෙතට | එතී |
| කුණු හරගන්නෙ මෙහෙමයි එම ගුණයෙ | පැතී |
| වක් ගති වුණොත් ලොව ආසාවට | බැඳිලා |
| “මම මගෙ” ගොඩගසයි ආසා හද | බැඳිලා |
| “හාද” ව සිටින විට ලෝකෙට හිත | තබලා |
| “හදයං” යන කුණක් ඇත හිත වෙත | නැඟිලා |
| කවුරුන් සමඟ දෝ අපි හාද ව | ඉන්නේ |
| නිසරුයි, අසාරයි ලොව සැම දෙය | වන්නේ |
| දැක මිදුනොතින් නැහැ හාදය | පවතින්නේ |
| හිතෙ කුණු ගොඩක් එතැනින් අහවර | වන්නේ |
| ඔය ටික නොකළහොත් මොනවද | ලැබෙන්නේ? |
| “යක් ගති” නැඟි නැඟී දුක් හිත | වැඩෙන්නේ |
| ඒ කුණු ගොඩකි තව හිත තුළ | දකින්නේ |
| “යකනං” කිවුවෙ ඕකයි කුණ | කියන්නේ |
| “යක් ගති” වෙතට නංවන හිත | දුරලන්න |
| හිත කුණු හරින මඟ ඔය ලෙස | දකිමින්න |
| වැඩුවොත් දෝස දැක කුණ අත්හරිමින් | න |
| “යකනං” කුණ නොමැත හිත පිරිසිදු | ඔන්න |
| “මකු” ගති නිසා උලකින් ලෙස | ඇමිණෙන්නේ |
| “කීලය” කිවුවෙ උල් වලටයි | පවසන්නේ |
| “මකු” වූ තැනේ නම සැකසීගෙන | එන්නේ |
| එම තැන් “කිලෝමක” යන කුණ | හටගන්නේ |
| “මකු” ගති, හුලක් වැනි කුණු ගති | හැරලන්න |
| එම කුණ දැක ම අතහැරගත යුතු | ඔන්න |
| එමදා “කිලෝමක” කුණ නැත හදෙ | මෙන්න |
| හිත පිරිසිදුයි, නිවනට ඇත | නැමෙමින්න |
| ඇති වන පිසදමන ගති ගුණ කුණ | දැකලා |
| යම් අය වැළඳුවොත් කුණු ගති පිස | නඟලා |
| පිසගෙන කන්නෙ මොනවද ලොවකින් | හදලා |
| ගුණ පිසදමයි සත “මම ලොකු” යයි | කියලා |
| පිහගෙන කන ගතිය ලෝකෙහි රස | නොදෙන |
| හිතෙ කුණු ගොඩකි ඔය ගුණ දම් පිස | දමන |
| “පිහකං” කීව කුණු ගොඩ දැක හිත | වෙතින |
| අතහැර දමන්නකො, නිවනට යයි | සොඳින |
| ලොව වෙත අන්ත ගති ගෙන මේ ලොව | ඇලෙනා |
| ගති මතු වේවි කුණ තිබුණොත් එම | ලෙසිනා |
| අන්තව සිටින ගති අතහැරගෙන | ලැබෙනා |
| සැනසුම දැකිය යුතු, හිතෙ කුණ හැර | ඉතිනා |
| අන්තය හැරියහොත් “අන්තං” ඉතිරි | නැතී |
| එම දා ගුණ වෙන්ට “අන්තං” ලඟක | නැතී |
| අන්තය ගුණ වුනොත් පවු කඳ වෙතට | යතී |
| හිත තුළ කුණත් ඔය විළසින් දැකිය | යුතී |
| එම තැන් “අන්ත ගුණ” වන කුණ | අතහැරලා |
| මිදුනොත් හිතෙන් පිරිසිදු කරවයි | එකලා |
| ගුණ දැක හරින්නකො, නිවනට මඟ | හදලා |
| එම දා “අන්තගුණ” නැති වෙයි කයෙ | හැදිලා |
| ඌ දෙය දරාගෙන සෝකෙන් | වැළපෙන්නේ |
| “මොකදෑ වුනේ මට මේ” යැයි හිත | වන්නේ |
| පවු කඳ නිසා වූ දෙය මයි | දරවන්නේ |
| ඒ ටික නොදත් සත මෝහෙන් | වටලන්නේ |
| හිත තුළ කුණක් ඔය විළසට | හටගනිතී |
| ඌ දෙය දරන විට “උදර” යි නම | ලැබෙතී |
| උදරය කුණු ගොඩක් කිවුවා, සිහි | දෙවෙතී |
| හිත තුළ කුණක් අතහැරියොත් කුණ | නොවෙතී |
| යම් අය “කරීසං” යයි නම | අරගන්නේ |
| “ඉසිකෝ” ගතිය නෙවැ මේ “කරි” ලෙස | එන්නේ |
| කෲරයි, ඉරිසියාවයි නම් | හටගන්නේ |
| ඔය දෙක “කරීසං” යයි කුණු නම | ගන්නේ |
| හිත තුළ කුණක් දැක අතහැරගෙන | ඉන්න |
| එම දා “කරීසං” නැත කයටද | ඔන්න |
| කුණු දැක අතහරිමු යහපත සිදු | වන්න |
| මේ කුණු කොටස් දකිණෙමු හිත තුළ | ඔන්න |
| මතු කර යම් තැනක ලූ දෙය | ඇදගන්නා |
| “උංගා” කියන නමකින් එහි | පිවිසෙන්නා |
| උංගම්මගක් ඇති නම් කොහි තැන | වන්නා |
| පිරිසිදු නොමැත, ඒ ගති මතු | කරවන්නා |
| මතු කර අනුන්ගේ හිංසා, කුණ | ගන්නේ |
| එකිනෙක සතට හිංගිය නෙවැ | කරවන්නේ |
| මේකත් කුණු ගොඩකි, ම්තුකරගෙන | ඉන්නේ |
| ඒකයි “මත්තලුංගය” කුණ දැක | ඉන්නේ |
| දැඩි ගති නිසා තද ගතියෙන් | අරගන්නා |
| මේ විසි කොටස හිත තුළ කුණ මය | වන්නා |
| දැඩි විසි කොසත් කුණුගොඩ බව | හිතමින්නා |
| පිරිසිදු වෙන්න අතහැර සැම | සිතකින්නා |
| බිවු තැන යම් විලක ඇදගෙන තව | ඉන්නා |
| ඉද්දක් ගැසුවා ලෙස අතහැර නොම | යන්නා |
| පස් කම්සැපය පානය කර බැඳි | ඉන්නා |
| පානයෙ ඉත්ත තැබු තැන “පිත්ත” ද | වන්නා |
| මේකත් කුණු ගොඩකි, ගෑවෙන විලස | වනා |
| තැවරෙන කුණක් හිත තුළ තව අරිනු | මැනා |
| පිරිසිදු කළොත් මේ “පිත්තං” කියන | කුණා |
| නිවනට මඟ වැඩෙයි කුණු ගති හරිය | තැනා |
| “අම්හා” කියන්නේ තම වෙත | බැඳගන්නේ |
| සුවයට තමයි “සේ” යැයි හිත | තබවන්නේ |
| “සේ අම්හා” කියන නම | පටබැඳෙමින්නේ |
| “සෙම්හා” කියන කුණ ආසාවෛනි, | වන්නේ |
| මේ කුණ හිතේ කුණ බව සිහියට | ගන්න |
| “සෙම්හා” කුණත් අත්හැරියොත් | හිතකින්න |
| පිරිසිදු බව ලැබෙයි, ඔය ටික | දැකගන්න |
| “සෙම්හා” කුණත් හැර ඔබ පිරිසිදු | වන්න |
| පුහු දේ වෙත එල්බගෙන හිත | පවතින්නේ |
| “පුබ්බෝ” කියන කුණ කුයි හිතකින් | ගන්නේ |
| හිත කුණු වුනොත් නෙවැ සේරම දුක | දෙන්නේ |
| “පුබ්බෝ” කුණ හරින් දම් තතු | දකිමින්නේ |
| ලෝකෙට ලොවන්නට බැඳුනොත් හිත | එතැනා |
| හිත කුණු ගැහෙනු ඇත කුණු කඳකින් | හැදෙනා |
| ලෝකෙම නිසරු යැයි දුටුවොත් දම් | ඇසිනා |
| “ලෝ හිත” අත්හැරෙයි, කුණු හැරෙනවා | එතැනා |
| ලෝකෙට හිතක් නැත්නම් එය තව | ඉන්න |
| “ලෝහිත” හදන හිතෙ කුණ නැහැ, | දැනගන්න |
| මේ දම් දුටුවා නම්, කුණ ලොව | හටගන්න |
| හේතුව පෙනෙනවා, ඔය ලෙස | හිතපන්න |
| “අස්සූ” කියන්නේ මොනවද, හිතෙහි | කුණා |
| අරගෙන අහු වුනොත් තබනවා මෙමගෙ | යනා |
| “මගෙ මගෙ” කියා අසුවුන දේ තැබුව | තැනා |
| “අස්සූ” කුණ නැඟෙයි ඕජා ගලන | මෙනා |
| සිතෙ කුණ හැරියහොත් ගත වෙත කුණු ද | නැතී |
| “අස්සූ” හරින මඟ මේ ලෙස දැකිය | යුතී |
| මේවා කළොත් සැඟවෙන දෙය සැමට | ඇතී |
| හොර වැඩ, රහස්, කුණු වැඩ සැඟවුමෙහි | වෙතී |
| වසලා තිබෙන්නේ මොනවද හිතෙ | ඔන්න |
| ඒ කුණ දකිනු මැන කුණු කඳ | විලසින්න |
| ඒ කඳ ගසා හැරියොත් අහකට | යන්න |
| එම තැන වසා කුණ ඉවරයි, | දැනගන්න |
| ක්ෂය වුණ විලස ලෝ තතු එම විට | ගන්නේ |
| කුණ තිබුණොත් තමයි සිවු භවයක | යන්නේ |
| මහ සිවු අපා කුණකට හිත | තබවන්නේ |
| ලෝ දම් ක්ෂය කළොත් භව සිහියම | ගන්නේ |
| දුසිරිත් ලොවක් ක්ෂය කරනට බැරි | හින්දා |
| ඒ ලෝ කුණක් අරගෙන, එය කද | බන්දා |
| ලෝ සත යනවා සසරක කුණ වෙත | කැන්දා |
| ඒ ලෝ හිතේ කුණ හරිනකො, සෙත | හන්දා |
| හිඟමින් නිකන් හිඳිනා ගති සතට | ඇතී |
| හොඳ දේ කියා සිඟමින් පසුපස ම | යතී |
| කුණු ගොඩ වෙතම හිඟුවොත් එය එබඳු | පැතී |
| හිතෙ ඇති කුණත් ඔය විළසට දැකිය | යුතී |
| ඒ ටික හැරියහොත් “සිංගානික” | නැත්තේ |
| හිත පිරිසිදුයි, කුණු කොටසක් | හැරගත්තේ |
| ළය තුළ “සිකා” යන ගති කුමකට | ගත්තේ |
| දුක ඇති දහම් වලටයි ළය මතු | මත්තේ |
| අරගෙන සුවය කා දැමුවොත් ළයට | ගෙන |
| ලසිකා කුණ… (34:00 පටිගත වී නොමැත) | |
| …. අත්හළ යුතු වන්නේ | |
| දෙතිසක් කුණු කොටසින් වට | කරතී |
| හිත දුස් කුණු ගොඩකට යට | කෙරෙතී |
| පිළිකුල් කළ යුතු මේ කුණ | එපැතී |
| හිතෙ කුණු තිස් දෙක බව සිහි | දෙවතී |
| එබඳු එවන් කුණු දෙතිසක් | වටගෙන |
| බැඳෙන හිතක් තිබෙනා තුරු සත | දැන |
| හේතු ඵලය ලෙස අනුවම | සැකසුන |
| දෙතිස් එ කුණු කොටසක කය දෙති | දැන |
| මෙබඳු කයට හේතුව සිහි | කරලා |
| හිතේ දෙතිස් කුණු කඳ දැන් | දැකලා |
| අතැර මිඳුන දින නිවනයි | එකලා |
| දෙතිස් මෙ කුණු කය මතු නැහැ | එකලා |
| දහම දැකලා ඔබ බවුන් | වඩන්න |
| විදසුන් නුවණින් දහම් | දකින්න |
| වැටහුණ දවසට දහම් | හොඳින්න |
| “කායගතාසති” දකී | ඉතින්න |
| මේ කය, මෙ ගත ආ හැටි සතියෙන් | දැක්කේ |
| මෙහෙමයි හේතුවට ඵලයක් ගෙන | දැක්කේ |
| හේතුව නැති දාට ඵලයක් නැත, | දැක්කේ |
| කුණු කය හරින්, හේතුව ඔය ලෙස | දැක්කේ |
| මොනවට කුණු කය මතුකර | ගන්නේ |
| දෙතිස් කුණක් ඇයි හිතෙන් | දරන්නේ |
| අතැර නොමැති සත ඉතින් | හිතන්නේ |
| කුණු කය, කුණු කය කියා | ඉතැන්නේ |
| කයේ තිබෙන කුණු හිතුවට එම | වට |
| හිතේ කුණක් ඔබ දුටුවද කිසි | විට? |
| හිතේ කුණක් නැත්නම් ලොව කිසි | විට |
| මෙ ගත කුණක් ලෙස නො සදයි | එමවිට |
| ගත හැදු කුණ දැන් හිතෙහි | දකින්නේ |
| මෙහෙමයි දෙතිසක් කොටස් | දකින්නේ |
| වටින දහම යට පත්වු | ලෙසින්නේ |
| වැසුනා නිවන් මඟ එබඳු | මගින්නේ |
| අද මතුකර සමවත් නැණ | නුවණින |
| දෙනවා දකින්නට දෙතිසක් එම | කුණ |
| ගිතෙහි තිබෙන කුණ දුරු කළ විට | ගෙන |
| නිවන් දකිනු ඇත දම් මඟ | දැකගෙන |
| දැන් මේ කුණු කයෙ ගති සිහි | කරලා |
| අතැර මිදෙනු මැන නිවන ම | දැකලා |
| කුමටද කුණු හිත මතුවට | වඩලා |
| පිරිසිදු වෙමු අපි නිවනට | නැමිලා |
| “මිනිසත්” කීවත් මේ කුණු ගොඩ කුමට | ගෙන |
| අපමණ සසරෙ ලැබු ලැබු “කය” කියන | කුණ |
| “මම” කිය කියා හිටියට මොන | දවසකින |
| හිමිකම් ලබනවද සත කය වෙතක | වන |
| කුණු ගොඩ හැදුවෙ කුණු හිතකින් බව | දැකලා |
| කොහොමද, සුපිරිසිදු වෙනවද ඵල | එකලා |
| හේතුව කුණු වුනොත් ඵල කුණු බව | දැකලා |
| හේතුව හරිනු මැන, මේ කුණ දුරු | කරලා |
| හැදුනු කුණට අපි කුමද | කරන්නේ? |
| මිය යන තුරු ඔහෙ තිබෙති | ඉතින්නේ |
| මතුවට කුණු නැති විලස | හිතන්නේ |
| එදිනට සැනසුම් නිවන | දකින්නේ |
| නිවන් දුටුව හිත කුණ වෙත යළි | නැත |
| සුපිරිසිදුයි, බුදු දම් සුව එහි | වෙත |
| එබඳු ගුණෙන් සැනසුම වෙත, | හිතවත |
| දහම් මඟක් ගෙන නිවනට නැමි | ඇත |
| ඔබ සැම වෙත මෙම දම් | වැටහේවා |
| පවු දෙන කුණු දෙතිසක් ම | පෙනේවා |
| මේ පවු දුසිරිත් ලෙසම | දකීවා |
| පිළිකුල් කර දෙතිසම | හැරලාවා |
| අත්බැවු බුදුරජ දෙසු දම් | ඇසුරෙන |
| හැදෙන අයුරු දුන්නා සත වෙත | ගෙන |
| මේ කය ගත ආ හැටි සතියෙන් | දැන |
| අතැර මිදෙනු, නිවනත් ඇත එම | තැන |
| සැමට දහම් මඟ අද | මතුවේවා |
| මිසදිටු වංචා අහළ | නොවේවා |
| දම් මඟ සිට බුදු සරණ | ලබාවා |
| දම් දැක සඟ ගුණයට | පිවිසේවා |
| තිසරණ ගුණ එවිටයි | පිහිටන්නේ |
| එමඟිනි ලෝ සත නිවන් | දකින්නේ |
| සැමට මෙවන් නිදහස හිමි | වන්නේ |
| කොහිද මෙවන් කය මතු | හටගන්නේ |
| සැමට උතුම් බුදු සරණ | ලැබේවා |
| නිවන් මඟින් නිදහස ම | ලැබේවා |
| නිවන් දුටුව හිත සුවයම | වූවා |
| අතහැර නිදහස හිතට | දැනේවා |
| පාපෙට ඉඩක් නැත දම් දුටු විට | එතැන |
| කෝපය නොමැත කිසි විට හද වෙත | රැඳෙන |
| මේ භය හරින බුදු මඟ සිහියට | රැගෙන |
| සිහි කර වඩනු මැන දෙතිසක් කුණ | ඉතින |
| බුදු මඟ දුටුව විට සැමටම නිවන | ලැබේ |
| එම මඟ වැඩෙන විට මඟ ඵල ලැබෙති | ඉබේ |
| නිවනින් මෙපිට සුව නැති බව සිතෙනු | ලැබේ |
| ඒ ‘තුම් අමා නිවනට හිත තබනු | ලැබේ |
| සැමටම උතුම් මේ සුව කඳ සිහි | වේවා |
| බුදු, දම්, සඟ ගුණය සැම හදෙ | පිහිටාවා |
| පිරිසිදු බව නැඟී නිවනට | පිවිසේවා |
| සැමටම අමා දම් නිවනම | අත්වේවා! |
සාදු! සාදු!! සාදූ!!!
~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~
දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://waharaka.com/listen/CD004-08