දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)
කුසළ මූල පටිච්ච සමුප්පාදය පිළිබඳ දුර්ලභ විග්‍රහයක්
{0:00:00} : අවිද්‍යාවෙන් පුණ්‍යාභි සංඛාර හැදෙන පටිච්ච සමුප්පාදයක් ?
පටිච්ච සමුප්පාදය කියලා අපි දැනට භාවිතා කරන්නෙ මොකද්ද? මේ කියන කාරණා දෙකත් ඉතාම හොඳින් තේරුම්ගන්න ඕනෙ. මොකද මේ කාලෙ වෙනකොට “කුසළ මූල පටිච්ච සමුප්පාදය” කියලා එකක් තියෙනවද කියලවත් අහන්නෙ නෑ. ධර්මය තුළ තිබුණට ඒ සියල්ලම යටපත් වෙලා, පොත් වලට සීමා වෙලා තියෙනවා, ඒවා පිළිබඳව හැදෑරීමක් නැති නිසා හෝ අපිට අහන්න දේශනාවක් වශයෙන් වත් ලැබිලා නෑ.
අපි “අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං” ආදී වශයෙන් මේ සසර පැවැත්මක් ඇතිකරවන පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය, එහෙම නැත්නම් අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් හටගන්න සසර ගමනේ වැඩපිළිවෙල, ඒ ගැන විග්‍රහ වෙනවා. ඒ වුනාට නිවන් දැකීමට අවශ්‍යය කරන්නාවූ යම්කිසි වැඩපිළිවෙලක් තියෙනවා නම් අන්න ඒ වැඩපිළිවෙල පිළිබඳව පටිච්ච සමුප්පාද ක්‍රියාවලියකට අනුකූලව සිද්ධවෙන වැඩපිළිවෙලක්, ඒක අපි දන්නෙ නෑ. ඒක විශේෂයෙන් අපි දැනගන්න ඕනෙ, දැනුවත් වෙන්න ඕනේ.
අපි දැන් මෙතෙන්දි ගත්තා මේ “කුසළ මූල” කියන වචනය කියනකොට “අලෝභෝ කුසළ මූලං, අදෝසෝ කුසළ මූලං, අමෝහෝ කුසළ මූලං” ඔය විදිහට කුසළ මූලය කුමක්ද කියන එක තේරුම් ගත්තා. එතකොට අලෝභය, අද්වේෂය, අමෝහය කුසළ මූළය කියනකොට, ඒ වගෙම තව එකක් තියෙනවා මෙහෙම. “අවිජ්ජා පච්චයා සංඛාරා” කියලා විග්‍රහ කරනකොට, “අවිජ්ජා පච්චයා පුඤ්ඤාභිසංඛාරා” විග්‍රහ කරලා කරන්නෙ.
“අවිජ්ජා පච්චයා පුඤ්ඤාභිසංඛාරා, අවිජ්ජා පච්චයා අපුඤ්ඤාභිසංඛාරා, අවිජ්ජා පච්චයා ආනෙඤ්ජාභිසංඛාරා” කියලා ඔහොමත් විග්‍රහ කරනවා. පාලියෙන් පෙන්නනකොට “තත්ත කතමා අවිජ්ජා පච්චයා සංඛාරා, පුඤ්ඤාභිසංඛාරා, අපුඤ්ඤාභිසංඛාරා, ආනෙඤ්ජාභිසංඛාරා අයං වුච්චති අවිජ්ජා පච්චයා සංඛාරා” {{ත්‍රිපිටක සූචිය}} කියලා එහෙමත් විග්‍රහ කරනවා. අන්න අවිජ්ජා පච්චයෙන් පුඤ්ඤාභිසංඛාර වෙනවයි කියපු තැන, පුඤ්ඤාභිසංඛාරයක් සිද්ධ වෙනවා නම් අලෝභ, අදෝස, අමෝහ කියන මේවා මුල් කරගෙන ඕනෙ.
එහෙමනම් මෙතෙනදි අපි දකින්න ඕනෙ අවිජ්ජා පච්චයා පුඤ්ඤාභිසංඛාරා කියන තැන තියෙන පිනක් තියෙනවා නම්, ඒ අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්න පිනක්. දැන් අවිද්‍යාව තේරුම් ගත්තෙ නැත්නම් අපිට බැරුව යනවා අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්න පින මොකද්ද කියලා හොයාගන්න. අවිද්‍යාව කියන්නෙ “මෝහයයි” කියලා ගත්තොත් එහෙම අපිට මෙතන පැටලීමක් වෙනවා. මෝහය පාප ධර්මයක්. මෝහ චෛතසිකය පුණ්‍ය හිතක හිතෙන්නෙ නෑ කියලා ධර්මයෙහි විග්‍රහ වෙනවා. අභිධර්මයෙහි විග්‍රහ වෙන්නෙ මෝහ චෛතසිකය පාප හිතක මිසක්, මෝහ චෛතසිකය පුණ්‍ය හිතක හිටින්නෙ නෑ.
එහෙමනම් අවිද්‍යාව කියන්නෙ කුමක්ද කියලා අහපුහම අවිද්‍යාව මෝහයයි කියලා උත්තර දුන්නොත්, අවිද්‍යාව පවතින හැමතැනකම මෝහය තියෙන්න වෙනවා. එහෙම නිගමනය කළොත්, මෝහය තියෙන තැනක පින් සිත් තිබෙන්නෙ නෑ කියලත් ඊලඟට ධර්මයේ සඳහන් වෙනවා. එහෙනම් මේ නියාමයට මේ කතාව පරස්පරයි. අවිද්‍යාව කියන්නෙ මෝහයයි කියලා නිගමනය කළොත්, මෝහ චෛතසිකය පවු සිත් වල මිසක් පිං සිත් වල යෙදෙන්නෙ නෑ කියලා නිගමනය කළොත්, “අවිජ්ජා පච්චයා පුඤ්ඤාභිසංඛාරා” කියපු වචනෙ පරස්පරයි, අවිද්‍යා ප්‍රත්‍යයෙන් පුණ්‍යාභිසංඛාර නැඟෙනවා කියපු එක. ඒක පිළිගන්න බෑ. එහෙනම් ඒ ප්‍රශ්නය නිරාකරණය වෙන්නෙ නෑ. මොකද දැනට භාවිත කරන්නෙ “අවිද්‍යාව නම් මෝහයයි” කියලා.
“තෘෂ්ණාව ලෝභයයි, අවිද්‍යාව මෝහයයි” කියලා මේ විදිහට මේ කාලෙ අර්ථදක්වනවා. එහෙම ගන්න ගියොත් එහෙම ලෝභයයි මෝහයයි දෙකම පවු සිත් නිසා අවිද්‍යා-තෘෂ්ණා සියල්ල පවු වෙනවා. එහෙනම් අවිද්‍යාවෙන් පිං සිත් හටගන්න්වයි කිවුවහම ඒක වෙන්න ක්‍රමයක් තියෙන්නත් ඕනෙ. හැබැයි අවිද්‍යාව විග්‍රහ කරනකොට මෝහය කියන තැනට විතරක් නෙමෙයි, අවිද්‍යාව කාරණා 23 කින් විග්‍රහ වෙනවා.
අවිද්‍යාව කියන වචනයෙන් පෙන්නපු කරුණු, විසි තුන් ආකාරයක කොටස් අවිද්‍යාව සතුයි. මේ කොටස් විසි තුනෙන්, “මෝහ” කියන තැන පටන්ගෙන පල්ලෙහාට දූෂ්‍ය වෙන තැන් පටන් තමයි මෝහ චෛතසිකයට අයිති වෙන්නෙ. අවිද්‍යාවෙන් බලවත් වූ අවිද්‍යාවේ මුළා කොටසක් තමයි “මෝහ” කියන චෛතසික අවස්ථාව.
“යං අඤාණං අදස්සනං අනභිසමයෝ අනනුබෝධෝ අසංබෝධෝ අප්පටිවේදෝ අසංගාහනෝ අපචක්‍රකම්මං…” {{ත්‍රිපිටක සූචිය}} මේ ආදී වශයෙන් විග්‍රහයක් යනවා අවිද්‍යාව කියන්නෙ මොකද්ද කියලා විග්‍රහ වෙන මුලදිම. චතුරාර්ය සත්‍යය පිළිබඳ නොදැනීමක් ඇත්ද, ඒකත් අවිද්‍යාව. එතකොට අවිද්‍යාව කියලා කියනකොට අවිද්‍යාව මෝහයයි කියලා ගත්තොත් එහෙම එතන පටලවාගන්නවා.
“නොදැනීම”ත් කියනවා අවිද්‍යාව කියලා. කුමක් නොදැනීමද, චතුරාර්ය සත්‍යය පිළිබඳ නොදැනීම අවිද්‍යාවේ ඉතාම සියුම් තැනක්. අවිද්‍යාවේ මෝරලා දූෂ්‍ය බවට පත්වූ තැන තමයි මෝහ කියන්නෙ. “මෝහෝ, පමෝහෝ, සම්මෝහෝ…” ඔයාදී වශයෙන්, “මෝහෝ මෝහෝලංගී, මෝහෝ අකුසළ මූලං, අයං වුච්චති අවිද්‍යා” {{ත්‍රිපිටක සූචිය}} කියලා මෙහෙම විග්‍රහ වෙනවා.
{0:05:46} : අවිද්‍යාවෙන් පුඤ්ඤාභිසංඛාර කෙරෙන හැටි…
(ස්වාමීන් වහන්සේ ධර්ම ග්‍රන්ථයක නමක් කියයි, පැහැදිලි නැත)…කත්තකරණී, එතකොට ධම්මසංගනී, ඒ පොත්වල තමයි ඒ විග්‍රහය යන්නෙ. ඒවා ඉතින් හොඳට විග්‍රහ කරලා ගන්න ඕනෙ නිසයි සාමාන්‍ය දහම් වලට ඒවා පටලවාගන්නෙ නැතුව, විශේෂ දහම් කොටස අභිධර්මය කියලා වෙන් කළේ, ධර්මය ම තමයි, අමුතු එකක් නෙමෙයි. ධර්මයේම ගැඹුරු කොටස නිසා, විග්‍රහ කරපු කොටස් නිසා ඒවා වෙන්කළා. මොකද ඒවා පැටලෙවුවොත් එහෙම සූත්‍ර විග්‍රහ කරනකොට, සූත්‍රය ගෙනියන්න බැරිවෙනවා තේරුම් ගන්න බැරි තැනදි. ඒ නිසා විශේෂ කොටස් ටික වෙන්කළා.
දැන් අපි පොතක් ලියන්න ගිහිල්ලා “ගැටපද විවරණය” කියලා එකක් ඔය තියෙන පැරණි පොත්වල අවසානයට දානවා. ඒක විවරණය කරන්න යන්නෙ නෑ ඔය කවිය කියන තැන හරි කතාව කියන තැන හරි. ඒක වෙනම තීරුවක් දාලා, ගැටපද විවරණය කියලා දාලා, ඒ වචනය දාලා, ඒ වචනයෙන් කිවුවෙ මොකද්ද කියලා විග්‍රහ කරන එකක් පැත්තක තියෙනවා පොතේ අවසානයේ.
අන්න ඒවගේ තමයි, අභිධර්මය කියන එකේ තියෙන්නෙත් ඔහොම කොටසක්. යම් වචනයක් කියාපුහම ඒ වචනෙ එතන ඔක්කොම විග්‍රහ කරන්න බැරි හින්දා, ඒක සියුම් නිසා, ඒ විශේෂ ධර්ම කොටස් අරගෙන අභිධර්මය කියලා එකකට වෙන්කරනවා. ඒ මිසක් ධර්මයයි, අභිධර්මයයි කියලා තව අමුතු එකක් නෑ, අභිධර්මයේ තියෙන්නෙත් ධර්මය ම තමයි.
ඉතින් අන්න ඒ නිසා “අවිද්‍යා පච්චයා සංඛාරා” කියන තැන “අවිද්‍යාව නම් මෝහයයි” කියලා මෙහෙම තීරණයක් ආවට පස්සෙ යම්කිසි ආචාර්ය වාදයක් වශයෙන්, ඒකෙදි මෙන්න මේ පරස්පර භාවය අහුවුනාට පස්සෙ, මේ ධර්මය පරස්පර නැති බවත් දැනගෙන, එහෙනම් මේක විසඳාගන්න යන්න ඕනෙ “ධම්මසංගනී, විභංග” ආදී ඒ විශේෂ පොත්වල ඒක තෝරලා තියෙන හැටි බලන්න. අන්න එතකොට තමයි අහුවෙන්නෙ “අවිද්‍යාව” කියන වචනයට කාරණා, පද විසි තුනකින් පෙන්වන අදහස් අඩංගු වෙනවා කියලා පෙන්වනවා.
දැන් චතුරාර්යය සත්‍යය දැක්කා නම් එහෙම කවුරුවත් බ්‍රහ්ම ලෝකෙ යන්න බලාපොරොත්තුවෙන් භාවනා කරනවද? දැන් ආලාර කාලාම, උද්දකාරාමපුත්ත ආදී අබුද්ධෝත්පාද කාලෙ හිටපු යම්කිසි යෝගීන්, ඒගොල්ලො වැඩුවෙ හුඟාක් ඉහළ, අරූප සමාපත්තිත් වැඩුවා. ඉතින් ආකිඤ්චඤ්ඤායතන, නේවසඤ්ඤානාසඤ්ඤායතන කියන මේ දෙකටම හිත බැඳපු දෙන්නෙක් තමයි ආලාර කාලාම, උද්දකාරාමපුත්ත කියන්නෙ. හැබැයි, ඒ අය නිවන කියලා හිතාගෙන හිටියෙ ඒ කාලෙ දන්න හැටියට ඔය කියන අරූප බඹ තල. නිවන කියන හැටියට හිතා හිටියෙ ඒ ටික.
ඉතින් බුදුරජාණන් වහන්සේ ම දේශනා කරනවා නිවන නොදැක “අපි නිවන දැක්කා” කියලා ආලාර කාලාම, උද්දකාරාමපුත්ත හිතං හිටියා කියලා. නිවන දැක්කෙ නැතුවම නිවන කියලා රැවටිලා හිටියා බඹ තලයකට කියලා දේශනා කරලත් තියෙනවා. එහෙනම් අවිද්‍යාව නිසා ම ඒගොල්ලො මොකද කරන්නෙ, නිවන කියලා හිතාගෙන ඒ බඹ තලයට යන්න අවශ්‍යය කරන මාර්ගය වැඩුවා. හැබැයි පුඤ්ඤාභිසංඛාරයක් මිසක් ආනෙඤ්ජාභිසංඛාරයක් මිසක්, ඊට මෙහා එකක් නෙමෙයි වැඩුවෙ, පවු වෙන පාප සංඛාරයක් නෑ.
අවිද්‍යාව නිසා, ඒක නිච්චයි, සුඛයි, ආත්මයි කියන දෘෂ්ටිය තිබිච්ච නිසා තමයි, චතුරාර්ය සත්‍යය දැක්කෙ නැති නිසා තමයි, ඒක නිවන කියලා හිතාගෙන වැඩුවෙ. හැබැයි වැඩුවෙ ආනෙඤ්ජාභිසංඛාරයක් නිසා ආනෙඤ්ජාභිසංඛාරයෙන් ආනෙඤ්ජාභිවිඤ්ඤාණයක් පහලවෙලා ආනෙඤ්ජාභි ජාතියයි කියන ඔය අරූප ජාතියට පත්වුනා. පවු එහෙම නෑ. පුඤ්ඤාභිසංඛාර වලටත් ඉහළ.
සමහර අය දෙවු ලොව හොඳයි කියනවා. පිං-දහම් කරලා, සුචරිතයෙ ඉඳලා, දෙවුලොව පතලා, දෙවුලොව ගිහින් උපදිනවා. හැබැයි දෙවුලොවත් අනිච්චයි, දුක්ඛයි, අනත්ථයි නේද කියලා තේරුම්ගන්න පුලුවන් වුනා නම්, චතුරාර්යය සත්‍යයට දාලා බලන්න පුලුවන් වුනා නම්, “අනේ මොනවටද ඒ දෙවුලොව පතලා, වැඩක් නෑ නේ!” ඒකත් අවබෝධ වෙනකොට ඒ බලාපොරොත්තු අත්හැරෙනවා. හැබැයි ඒක අත්හරින්න බෑ ඒක හොඳයි කියලා හිතාගෙන හිටියට, කළේ පිං වැඩ; සුචරිත වැඩ. ඒවා කළේ කොහොමද, ඒකෙ උපදින්න බලාගෙන. මෙන්න මේ නිසා කියනවා “අඥානකම” නිසා, නැත්නම් චතුරාර්ය සත්‍යය නොදැනීම නිසා ලෝක සත්වයා මෙබඳු පැතුම් පතනවා. මෙබඳු තැන් බලාපොරොත්තු වෙනවා පිං කරලා. මෙන්න “අවිජ්ජා පච්චයා පුඤ්ඤාභිසංඛාරා” වෙන්න හේතුව. අන්න ඒක දැනගන්න ඕනෙ හේතු ඇතුව.
{0:09:37} : අවිද්‍යාව මෝහය කියලා ගත්තොත් වැරදි නම් මොකද්ද මෝහය?
මේ අවිද්‍යාව කියන්නෙ මෝහයයි කියලා ගත්තොත් එහෙම මෝහයෙන් මොකුත් කරන්න බෑ. දැන් මෝහය කියන්නෙ අර අවිද්‍යාවෙ, චතුරාර්ය සත්‍යය පැත්ත නොදැනීම, යම් “අදස්සනං” – නොදැකීම, “අනභිසමයං” – ඒකේ විශේෂයෙන් ඒ චතුරාර්ය සත්‍යය සමයට ඇදිලා නැත්නම්, දැනගත්තෙ නැත්නම් ඒ බව, “අසම්බෝධෝ” – ඒ පිළිබඳව යථාවබෝධයක් තිබුනෙ නැත්නම්, “අප්පටිවේදෝ” – ඒ පිළිබඳව ප්‍රතිවේදය කිරීමක් කළේ නැත්නම්, “අසංගාමෝ” – එබඳු සංග්‍රහයක් වෙලා තිබුණෙ නැත්නම් මනසට, චතුරාර්යය සත්‍යය කියන්නෙ මේකයි කියලා වැටහිලා තිබුණෙ නැත්නම්, මෙන්න මේ සියල්ලම අවිද්‍යාවෙ ස්වභාවයන්. වැටහුනා නම් විද්‍යාව, නොවැටහුනා නම් අවිද්‍යාව.
එහෙනම් අවිද්‍යාව මෝහයයි කිවුවොත් වැරදියි. මෝහයට පත්වෙන්නෙත් අවිද්‍යාව ඔය විදිහට ගිහිල්ලා, ගිහිල්ලා අර “ආගන්තුගේන උපකිළිට්ඨේන උපකිළිට්ඨං” කියන ක්‍රමයට ආගංතුග උපක්ලේෂ වලින් කිළිටි වෙලා, ශුද්ධතාවය ඉක්මවපු අවස්ථාවෙදි කියනවා, අන්න අර විදිහට ගිහිල්ලා මෝහයට එනකොට “දුම්මේජ්‍යං” කියලා තැනක් තියෙනවා. “දුම්මේජ්‍යං, බාල්‍යං…” අන්න පහත් බවට පත්වේගන එන හැටි.
“දුම්මේජ්‍ය” කියලා කියන්නෙ හරියට යමක තියෙන කහට වගේ. ගස්වල තියෙන කහටක් වගේ, දුම්මේජ්‍යං. උපමාවක් වශයෙන් තමයි ඒ කියන්නෙ, මේ හිත තුළ ඉස්සෙල්ලාම කහට බැඳිලා එන හැටි.
“බාල්‍යං” – එතකොට බාල ධර්ම ඇසුරු කරනවා. බාල ධර්ම කියන්නෙ කාම ධර්ම සිදුකරලා, ක්‍රම-ක්‍රමයෙන් පහත් පැත්තට වැටෙනවා. අන්න දුම්මේජ්‍යං, බාල්‍යං.
තවත් ඇවිදිල්ලා ඔහොම එකකට පස්සෙ “මෝහෝ” කියන තැනට වැටෙනවා. පින බව තේරුම්ගන්න බැරි අවස්ථාවක් එනවා මනස වැටිලා ගිහිල්ලා ඔතන. අන්න එදාට මෝහය කියන තත්වයට පත්වෙනවා.
අවිද්‍යාව නිසා ක්‍රම-ක්‍රමයෙන් පිං පැත්ත අල්ලගෙන ඇවිදිල්ලා, පිං පැත්තෙන් ක්‍රම-ක්‍රමයෙන් සාමාන්‍ය දහම් වලට ඇවිදිල්ලා, අර සේ කිට්ටුවෙනකොට පිං-පවු තෝරගන්න බැරි අවස්ථාවක් එනවා. අන්න අවරෝහණයට වැටෙන පැත්ත, නැත්තම් ආරෝහණයෙන් ගිහිල්ලා අවරෝහණයට වැටෙන පැත්ත, මේ හරියට ආවොත් හිතට.
අන්න අබුද්ධෝත්පාද කාලෙත් වුනේ ඔන්න ඕක තමයි. චතුරාර්ය සත්‍යය ධර්මය හරියට මතුවෙලා නැති හැම කාලෙකම ලෝක සත්වයාට ඔය ටික යනවා. ඊටපස්සෙ පිං-පවු තෝරගන්නත් බෑ, අමාර්ගය තෝරගන්නත් බෑ, මොකුත් බෑ, ඔය විදිහට පත්වෙලා ගිහිල්ලා පිං හැටියට පවු කරනවා, පවු හැටියට පිං කියලත් කරනවා, ඉතින් ඔහොම ඔහොම යනවා. අගක්-මුළක් තේරුම්ගන්න බෑ, මුළාවට පත්වෙනවා. ඉතින් පිං හඳුනගන්න බැරුව පිං කියලා පවු කරනවා, පිං කියලා හිතාගන්නවා. දැන් ඒ වගෙ තත්වෙට පත්වෙනවා.
දැන් ඒ කාලෙත් බමුණො කියලා තිබුණා එළුවො සීයක්, හරක් සීයක්, කුකුළො සීයක්, මේ විදිහට මරලා මහා දානයක් දුන්නහම ඒගොල්ලො බඹ ලොව යනවා කියලා. ඉතින් මෝහය නිසා ඒක බඹ ලොව යන මඟ කියලා තේරුම්ගන්නෙ නැතිවුවට, බඹ ලොව යන්න හිතාගෙන එළුවො සීයක්, හරක් සීයක්, කුකුළො සීයක්, මෙහෙම මර මරා, සිය ගණන් වල දාන. සත්ත සතක දාන කිවුවෙ හත්සීය හත්සීය මරලා දෙන දාන. ඔය වගේ දාන දීම්, ඒ ආදී ඇසුරේ තියෙන බිලි පූජා කළා. ඔය පිං කියලා හිතාගෙන, අර කියපුවයින් රැවටිලා, මුළාව නිසා, මෝහය නිසා පවු කරගන්නවා. මෙන්න මේ ආකාරයේ ඒවා මිනිස්සු කරගන්නවා. එහෙනම් මෝහය කියන්නෙ අන්න එබඳු අවස්ථා. ඉතින් අවිද්‍යාව මෝහයයි කියලා ගත්තොත් වැරදියි. අවිද්‍යාවේ, නොදැනීමෙයි ඉන්නෙ. චතුරාර්ය සත්‍යය නොදැනීමෙන් පටන් මයි අවිද්‍යාව ආරම්භ කරන්නෙ.
චතුරාර්ය සත්‍යය නොදන්නා නිසා කාම, රූප, අරූප කියන තුන් භවයම පතනවා, බලාපොරොත්තු වෙනවා. ඒ අය සුගති භව වල උපදින්න ඕනෙ කරන දේවල් මහා වටිනා දේවල් කියලා හිතාගෙන, ඒ මත්තෙ කටයුතු කරලා, ඒ සුචරිතයට නඟලා, ඒ පැත්තෙ උපදිනවා. මේකත් අවිද්‍යාව නිසා කරන වැඩපිළිවෙලක්. එහෙනම් ඔය ජාතියෙ උපදින්න කරන පිං වැඩ වලට කියනවා “අවිජ්ජා පච්චයා පුඤ්ඤාභිසංඛාරා” කියලා. අන්න “පුඤ්ඤ පාප පහීනස්ස” කියලා අරිහතුන් වහන්සේ, නැත්තම් ඒ රහතුන් වහන්සේ ගෙන් අරිහත්වයට පත්වුන කෙනා සිදුකරන පිනක් ගැන කියනවා, පුඤ්ඤ පාප පහීනස්ස – පිං සහ පවු ප්‍රහීන කළා කියලා. ඔන්න අවිද්‍යාව නිසා හටගන්න යම් පිනක් ඇත්ද, ඒක ප්‍රහීනයි, ඒකයි පහ කරලා දැම්මෙ.
එතකොට අනික් පිනත් තියෙනවා, “කුසළ මූල පච්චයා සංඛාරා”. දැන් කුසළ මූලය ප්‍රත්‍යයෙන් වැඩෙන්නෙ පින නෙමෙයි කුසළය, ඕං ඕක තේරුම්ගන්න ඕනෙ. ඒ අලෝභය, අද්වේෂය, අමෝහය කියලා කියන්නෙ ඔයිට වඩා ගැඹුරු පැත්තක්. යම් කෙනෙක් නිවන, නිවන හැටියට බණ අහලා තේරුම්ගත්තට පස්සෙ, “අනිච්ච වූ, දුක්ඛ වූ, අනත්ථ වූ මේ කාම, රූප, අරූප කියන තුන් ලෝකෙ මට වටිනවා කියලා අල්ලන්න අංශු මාත්‍ර කෑල්ලක් වත් නෑ නේද” කියලා දහම් අවබෝධය ලැබුණට පස්සෙ “මේ වැඩක් නැති දුකට පත්වෙන, අනාථ බවට පත්කරන ඔය කාම භවය, රූප භවය, අරූප භවය කියන මේ තුන් භවය පස්සෙ මං මොකට දඟලනවද, මොකට යනවද? වැඩක් නෑ නේ!” ඔන්න ඔය දහම් අවබෝධය එනවා.
කවදා හරි ඔය දහම් අවබෝධය එන්නෙ අනිච්ච බව, දුක්ඛ බව, අනත්ථ බව තුළින් චතුරාර්ය සත්‍යය අවබෝධ කරපු දාට, චතුරාර්ය සත්‍යය පළවෙනි දැක්ක දවසට. එදාට වැටහෙනවා මේවා වැඩක් නෑ කියලා. ඒවා හොඳයි කියන දෘෂ්ටිය සහමුළින් ගැලවිලා යනවා. මෙන්න මේ ගියාට පස්සෙ එයා නිවන කියන්නෙ මොකද්ද කියලා දකිනවා. මේ තුන් ලෝකය පිළිබඳව ඇලීමේ අත්හැරීමක් ඇත්ද, නො ඇල්මක් ඇත්ද, මිදීමක් ඇත්ද, ඒ හේතුවෙන් මේ ලෝකයෙන් නිකිමී යාමක්, කෙළවර වීමක් ඇත්ද, මෙන්න මේකයි නිවීම, සැනසීම කියලා දැක්කට පස්සෙ අන්න එයාට කියනවා “එයා නිවන් දැක්ක පුද්ගලයෙක්”. දැක්කා මිසක් නිවන “අත්දැක්කෙ” නෑ.
දැකපු නිවන කරා අත්දැකලා, රාගක්ෂයෙන්, ද්වේෂක්ෂයෙන්, මෝහක්ෂයෙන් ගිණි නිවාගෙන ගිහිල්ලා දකින අත්දැකීම් සහිත නිවනක් තියෙනවා, ඒක තමයි සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත් කියන ඵලයන් ගෙන් අත්දකින්නෙ. ඔතනින් සෝතාපන්න ඵලයෙන් අත්දකින අත්දැකීම තමයි “මට මේ ලෝකෙ, අනිච්ච, දුක්ඛ, අනත්ථ ලෝකෙන්, නිච්ච, සුඛ, ආත්ම දෙයක් හොයන්න නෑ. ඒක මුළාවක් විතරයි” කියලා දැකලා ඒ පිළිබඳ බලාපොරොත්තු අත්හැරගනිපු අවස්ථාවට පත්වෙනවා, නැත්නම් ඒ දෘෂ්ටිය ගැලවිලා ගියහම, අන්න එතෙන්ට පත්වුන කෙනා නිවන, නිවන හැටියට දැක්කා. එහෙනම් දැකපු නිවන කරා අනුගමනය කරමින් යන ගමනයි එයාට ඉතුරුවෙන්නෙ.
{0:15:16} : ලෞකික අමෝහයෙන් වෙනස් වන ආර්ය අමෝහය ගැන…
අන්න ඒ දැකපු නිවන කරා යාමට මොකද්ද කරන්න ඕනෙ? එතනත් තියෙනවා එක්තරා විදිහක යථාවබෝධය නිසා ලැබෙන අලෝභයක්, අද්වේෂයක්, අමෝහයක්. මෙන්න මේක දකින්න ඕනෙ. “සුචරිතය හොඳයි” කියන, අවිද්‍යාවේ නිගමනය අරගෙන පිං-දහම් කරන අයත් “ලෝභය, ද්වේෂය, මෝහය නරකයි, අලෝභය, අද්වේෂය, අමෝහය හොඳයි” කියලා නිගමනය කරනවා. කරලා ඒගොල්ලොත් දන් දෙනවා අලෝභයෙන්; ඒ වගේම මෙත් වඩනවා අද්වේෂයෙන්. ඊටප්ස්සෙ නැණ නුවණ වඩමින් පවු, පවු හැටියට දකිනවා, පිං, පිං හැටියට දකිනවා, ඒ විදිහෙ නුවණක් ඇතිකරගන්නවා; ඒක අමෝහය. ඒ ලෞකික අලෝභ, අද්වේෂ, අමෝහ තුන. ඕක වෙනම තෝරාගන්න ඕනෙ.
ආර්යයෝ දකිනවා “කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය කියන මේ තුන් ලෝකයෙම මට අල්ලගන්න වටින, බදාගෙන ඉන්න වටින, හොඳයි කියලා ගන්න වටින දෙයක් නෑ නෙ…” මෙන්න මේ හේතුව නිසා ලෝකය පිළිබඳව තිබිච්චි බලාපොරොත්තුව අත්හැරලා ක්‍රියාකරනවා. අත්හරිනවා, ත්‍යාග කරනවා කිවුවෙ ඒකයි. අන්න ඒ ලෝකය අත්හැරීම නිසා ලබන්නාවූ ස්වභාවයට කියනවා ආර්යයන්ගෙ අලෝභය. “අනේ මේ වැඩක් නැති ලෝකෙ මහා වටිනා දෙයක් කියලා හිතාගෙන මිනිස්සු තරඟ කරනවා, පොරකනවා, ගහමරා ගන්නවා, අයිති කරගන්න හදනවා, මොන වටිනා දෙයක්ද? මට නම් මේ නොවටිනා දේකට ඔයවගේ දේවල් කරලා අල්ලගන්න මට හිමි දෙයක් නෑ. ඒ නිසා මට ගහගන්න, බැණගන්න, හිංගි කරන්න, රණ්ඩුවෙන්න, එහෙම කරලා බදාගන්න, රැකගන්න දෙයක් නෑ, වටිනාකමක්. මං මොකට රණ්ඩු වෙනවද? මොකට තරහා වෙනවද? මොකට බැණගන්නවද? මොකට අනුන්ගෙ හිත රිදවනවද? මොකට දඬුවම් කරනවද?….” මෙන්න මේ ආකාරයෙන් දෙවේෂයෙන් පෙළීමක් එනවා. මෙන්න මේකට කියනවා, ධර්මාවබෝධය නිසා ද්වේෂයෙන් පෙළෙනවා.
පෙළෙන අදියර, මෙන්න මේ අදියරේ “කුසළමූළ පච්චයා සංඛාරා” කියන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පටිච්ච සමුප්පාදයේ පෙන්නපු අදියරක්. මේ ලෝක සත්වයෝ මේ ලෝකෙට මුළාවට පත්වෙලා, පිං-පවු තෝරාගන්නත් බැරුව, තමාගේ ආත්ම ලාභයට, නැත්නම් ලෞකික ආත්ම ලාභයට, පංච කාම ආස්වාද භුක්තියේ තියෙන අසීමිත තණ්හා, බලාපොරොත්තු මුල්කරගෙන නොයෙක් වැරදි වැඩ කරනවා. ඒ වගේම නිගමන වලට බහිනවා “මේ ලෝකෙම හොඳයි” කියලා. මෙන්න මේක ඒ ලෝක සත්වයන්ගෙ මෝහය. එතකොට, ඒකෙන් වෙන්වෙලා, ඒවා හොඳයි කියලා ගන්නෙ නැතුව, ඒකෙ නරක ටික නරකයි, හොඳ ටික හොඳයි කියලා වෙන්කරගෙන අර සුචරිත පැත්තෙ ඉන්න එක තමයි, ඒ නිගමනය කරගෙන ඉන්නකොට තමයි “ලෞකික අමෝහය”.
ආර්යයො දකින්නෙ, ඔය “කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය” කියලා කොච්චර සුගති ලෝක කිවුවත්, ඕවයෙත් හටගත්තා නම් විපරිණාමයක් තියෙනවා, වැනසීමක් තියෙනවා, අල්ලාගන්න වටිනා දෙයක් ඕවයෙ නෑ. කැමති සේ පවත්වන්න පුලුවන් එකක් ඔය අතර එක්කවත් නෑ. එහෙම නම් එහෙම දෙයක් පිළිබඳව නැති බව දැනගත්තහම තීරණයක් එනවා, එහෙනම් මම ගන්න තීරණය මොකද්ද? “අතහැරීම හැර, නොඇල්ම හැර, මිදීම හැර, නිවන හැර මට කරන්න තියෙන දෙයක් නෑ” කියලා එනවා නම් අදහසක්, මෙන්න මේ අමෝහය, “ආර්යයන් ගෙ අමෝහය”. එහෙනම් ආර්යයෝ දකින අලෝභයත්, ආර්යයෝ දකින අද්වේෂයත්, ආර්යයෝ දකින අමෝහයත් අබුද්ධෝත්පාද කාලයේ පහලවෙන්න විදිහක් නෑ. ඔන්න හේතු-ඵල ඇතුව ඕක දැනගන්න.
එහෙනම් මෙන්න මේ “අලෝභෝ කුසළ මූලං, අදෝසෝ කුසළ මූලං, අමෝහෝ කුසළ මූලං” කියලා පෙන්නපු, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පෙන්නපු ඔය කියන්නාවූ කුසළ මූලය, ඔන්න ඕකට කියන්නෙ “නිවන මුල්කරගෙන පහලවෙච්ච කුසළ මූලය” හෙවත් අලෝභ, අද්වේෂ, අමෝහ තුන.
(ශ්‍රාවිකාවක් ප්‍රශ්නයක් අසයි, ප්‍රශ්නය පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ): ඔවු ඔවු, බුද්ධෝත්පාද කාලයෙදි විතරයි. එතකොට මෙන්න මේ කුසළ මූලයට පත්වුනහම, මේ කුසළ මූලය මුල් කරගෙන, “දැන් ඉතින් අත්හැරීමෙන් සැනසීමක් තියෙනවා, නොඇල්මයි, මිදීමයි නිවන කියන්නෙ ඒකායන සැනසීම” කියලා ගත්ත කෙනෙකුට, “ඒ වුනාට මම ඉන්නෙ තව එතන නෙමෙයිනෙ, දැන් මට තේරෙනවා එතන තමයි නියම ශාන්තිය, ප්‍රණීතය”.
“ඒතං සන්තං,ඒතං පණීතං” – ඒක සාන්තයි, ඒක ප්‍රණීතයි, ඔහොමයි.
“යදිදං සබ්බසංඛාර සමතො” – “සං” නැමැති සියලු සකස් කිරීම් වල සමතය කිරීමක් ඇත්ද, අන්න ඒකයි ශාන්ත බව.
“සබ්භූපදි පටිනිස්සග්ගො” – සියලු උපධි වල, සියලු බැඳීම් වල පිළි නොගැන්මක් ඇත්ද, ඒවා කරන සම්බන්ධයෙන් ඉවත්වීමක් ඇත්ද, අන්න ඒකයි ශාන්ත, ප්‍රණීත.
“තණ්හක්ඛයො” – මේ ඒ ඒ තැන බැඳෙන තෘෂ්ණාවේ ක්ෂය කරගැනීමක් ඇත්ද, එවිටයි ගිණි නිමෙන්නෙ, ඒකයි ශාන්ත, ප්‍රණීත.
“විරාගො” – රාග නැමැති ගින්න යම් තැනක නැත්ද, මෙන්න මේ විරාගික බවම තමයි ශාන්ත, ප්‍රණීත.
“නිරෝධො” – සැරිසරමින්, සර සරා ඉන්නවට වැඩිය ඒකෙන් නික්මිලා වෙන්වීමක් ඇත්නම්, ඒ සම්බන්ධයෙන් නික්මීමක් ඇත්නම් මෙන්න මේකයි ශාන්ත-ප්‍රණීත.
“නිබ්බානං ති” – බැඳීමක් බැඳුනා නම් ඒකෙම ඉන්නවා, සංඝනිකා දෝෂ සහිතයි, නොයෙක් කරදර සහිතයි. එහෙනම් මේ බැඳීමෙන් නික්මිලා කෙළවර කිරීමක් ඇත්නම්, ආසාවන් කෙළවර කිරීමක් ඇත්නම්, තෘෂ්ණාව කෙළවර කිරීමක් ඇත්නම්, අන්න ඒ බැඳීමෙන් නික්මීම හෙවත් නිබ්බානය ම ශාන්තයි, ප්‍රණීතයි.
{{ත්‍රිපිටක සූචිය}}
මෙන්න මේ කියන ශාන්තිය, ප්‍රණීතය තමන් දවසක දැක්කා නම් සෝතාපන්න පුද්ගලයා නිගමනය කරනවා ඔය ඇරෙන්න වෙන නිගමනයක් නෑ. යමෙක් සෝතාපන්න ඵලයට පත්වෙච්චි තැන් පටන් ඔය නිගමනය කිසි දවසක වෙනස් වෙන්නෙ නෑ. වෙනස් වෙන්න හේතුත් නෑ. මොකද, අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ථ වශයෙන් ලෝකයේ යථාර්තය දැකලා, ලෝකය අසාරයි කියන එක හරියට තීරණය කරලා, අසාර ලෝකය ඇසුරු කරන්න ගියොත් රාග ගිණි, ද්වේෂ ගිණි, මෝහ ගිණි හටගන්නවා, අත්හැරුනම රාග ගිණි, ද්වේෂ ගිණි, මෝහ ගිණි නිවුනහම ශාන්තයි, ප්‍රණීතයි. එසේ නිවී, සැනසී යාම තමයි නිවන් සැනසීම කියලා දැක්ක කෙනා, පළමු සෝතාපන්න පුද්ගලයා ඔය දැක්කට, දැක්ක දේට ඇතුල් වුනේ නෑ තව, අත්දැක්කෙ නෑ.
දැන් එහෙම තියෙන එක්කෙනා දේපොළ හරි-හම්බ කරගෙන, ඉඩකඩම් අරගෙන, ගෙවල්-දොරවල් හදාගෙන, අඹු දරුවන් පෝෂණය කරමින්, මිළ මුදල් අරගෙන, ඒවයින් කරන්න තියෙන කටයුතු, නොයෙක් ඒවා කරගෙන, රැකි රක්ෂා කරගෙන, මේ විදිහට මේ ජීවිතයක් ගතකරනවා. දැන් මේ ගතකරන ජීවිතය, ගතකරන කෙනාට නොයෙක් නොයෙක් දේවල් වලට ඒ මුදල් අත්‍යාවශ්‍යතාවයන් වෙනවා. ඒ වගේම එයා එච්චර කල් මේ යථාවබෝධය ලැබෙන වෙලාවෙ හුරු-පුරුදු කරගත්ත වැඩපිළිවෙල තව තවත් එයා ඈඳාගෙන ඉන්නවා. පුද්ගලත්වයෙනුත් ඈඳාගෙන, ස්වාමිපුරුෂයා, භාර්යාව, දරුවො, ඒ වගෙම දූවරු, පුත්තු, බෑණලා, එතකොට ලේලි ලා, නෑදෑයො, දැන් “මගෙ පිරිසක්, මාත් එක්කලා ඇසුරු කරන පිරිසක් මෙහෙම ඉන්නවනෙ” කියලා, ඒ පිරිසත් එක්ක අන්‍යොන්‍යය කටයුතු, සම්බන්ධතාවයන් ඇතිකරගෙන, බැඳිලා ඉන්නවා ඒ අයත් එක්කලා.
හැබැයි මේ පුද්ගලත්වය තුළින් මේ දහම් අවබෝධය ලැබෙන්නෙ එක එක පුද්ගලත්වයට. ඒ ඒ පුද්ගලයා ගේ නැණ-නුවණ මට්ටමටයි ඔහු දහම් අවබෝධය ලබාගන්නෙ. හැබැයි ඇසුරු කරන්න වෙලා තියෙන්නෙ අර පෘතග්ජනව හිටපු පිරිසත් එක්කලා. දැන් ඔතනදි ඔහුට ප්‍රශ්නයක් මතුවෙනවා. මේ දහම් අවබෝධය ලබපු කෙනා අත්හැරීම ශාන්තයි කියනකොට, අල්ලාගැනීම ශාන්තයි කියලා අරපැත්තෙන් උත්තරයක් එනවා. නොඇලීම ශාන්තයි කියලා මෙහෙන් හිතනකොට, නෑ නෑ ඇලීම ශාන්තයි කියලා ඔහෙන් උත්තරයක් එනවා. මිදීම ශාන්තයි කියලා අත්හැරෙනකොට, මිදිලා නෙමෙයි අල්ලගෙන ඉන්න එක ශාන්තයි කියලා ඔහෙන් උත්තරයක් එනවා. නිවන ම ශාන්තයි කියනකොට, නෑ පැවැත්ම ම ශාන්තයි කියලා එහෙන් උත්තරයක් එනවා. දැන් අපිට හරි වැඩක් වෙනවා, විශාල උභතෝකෝටික ප්‍රශ්නෙකට මූණදෙන්න වෙනවා.
දැකපු ඇත්තට පිටුපාන්නෙ කොහොමද? තමන්ගෙ හිතකින් අයින් කරන්න ඕනෙ. හැබැයි ඒ ඇත්ත දකින්න ඉස්සෙල්ලා ගොඩගහගත්ත, තමන්ගෙ කියලා අල්ලගත්ත අර පෘතග්ජන පිරිස් අහක් කරගන්නත් බෑ එකසැරේ. එතන බැඳීමක් තියෙනවා. අන්න ඒ බැඳීමට කොටුවෙලා තමා දැකපු යථාවබෝධය තුළ ඉන්නවා. හැබැයි යථාවබෝධය ලැබූ කෙනා කටයුතු කරන්න පටන්ගන්නකොට සම්පූර්ණ කටයුතු පරස්පරයි. එළ ගොනා ගොඩට අදිනවා, මී ගොනා මඩට අදිනවා. එක බානෙන් බැඳලා ඉන්නවා දෙන්නා එක්ක, දැන් කොහොමද වැඩේ වෙන්නෙ? දෙපැත්තම හැප්පෙනවා මිසක් ඇදගන්න විදිහක් නෑ. එක්කෙනෙක් ගොඩට අදිනවා, එක්කෙනෙක් මඩට අදිනවා. දැන් ඉතින් මෙතන ඇදෙන්න ඇදෙන්න තැලෙනවා, පොඩිවෙනවා, හැපෙනවා මිසක් වෙන බේරිල්ලක් නෑ. හැබැයි කොච්චර වුනත් ආපහු වැඩෙන්න එක්කෙනෙකුට ශක්තිය නෑ. යථාවබෝධය ලැබූ කෙනාට ආයි සැරයක් මඩට අදින්න ශක්තිය නෑ. හැබැයි මඩට අදින එකාට ගොඩ ඉන්නත් පුලුවන්, මඩ ඉන්නත් පුලුවන්, හැබැයි මඩේ තමයි කැමැත්තෙන් ඉන්නෙ. එයාට අනික් පැත්තට ඇදලා එන්න ඉඩ තියෙනවා.
{0:24:15} : පෘතග්ජනයා නිවනට බියයි, ආර්යයා නිවනට ප්‍රියයි…
මෙන්න මේ නිසා ගොඩට අදිනවා කිවුව “කළ්‍යාණ පෘතග්ජනයා”, කළ්‍යාණ මිත්‍රයා, නැත්නම් අර ආර්ය ගුණය ඇති සෝතාපන්න මිත්‍රයා නිවන කරා ඇදෙනවා, නිවෙන-සැනසෙන පැත්තට ඇදෙනවා. අත්හැරීමේ පැත්තට, නොඇලීමේ පැත්තට, මිදීමේ පැත්තට ඇදෙනවා. කොච්චර අල්ලාගන්න පැත්තට අල්ලලා දෙන්න හැදුවත් එයා ඒ පැත්තට ඇදෙන්න හේතු නෑ. ඒ නිසා ඇසුරු කරන අනික් අයට මේ පුද්ගලයගෙ තියෙන චාම් ගතිගුණ, යහපත් නිහතමානී ගතිගුණ, සමගි ගතිගුණ, යැපෙන ඒවා නෑ. ඒ පැත්තෙන් එයා අස්වැන්න නෙළා ගන්නවා. “පළයං” කියන්න උචිත නෑ. “අනේ අපිට මහා වටිනා දෙයක් හම්බුනා වගේ, කිසී කරදරයක් නෑ, මොනවා කිවුවත් බණින්නෙත් නෑ, රණ්ඩු වෙන්නෙත් නෑ, අපි කියන ඕනෙම දෙයක් කරලත් දෙනවා, කොච්චර හොඳද, කොහොම හොයන්නද එහෙම අය? ඔන්න භාර්යාවට ස්වාමි පුරුෂයා හෝ ස්වාමි පුරුෂයාට භාර්‍යාව හෝ දරුවො හෝ දෙමවුපියන්ට දරුවො හෝ දරුවන්ට දෙමවුපියො හෝ ඒ ආර්ය පුද්ගලයා කෙරෙහි විශේෂ හැඟීමක් ඇතිවෙනවා.
හැබැයි ඒ හැඟීම ආවෙ, එයාව ගන්න බෑ ඒගොල්ලන්ගෙ ගොඩට. අර පෘතග්ජන ලෝකෙට ආපහු ඇදෙන්නෙ නෑ. එයා අත්හැරලා අනික් අයට අයින් වෙන්නත් බෑ. කවදාහරි සිද්ධ වෙනවා එයා පස්සෙ එන්න. එයා අනුමත කරන්න සිද්ධ වෙනවා. ඒ පැත්ත හොඳයි කියලා අනුමත කරන්නම සිද්ධ වෙනවා. මොකද, කවදාවත් ලෝකෙ පැත්ත හොඳයි කියලා ආර්ය බවට පත්වෙච්ච කෙනා අනුමත කරන්නෙ නෑ. එන්නෙ නෑ, එන්න විදිහක් නෑ, හේතු නෑ. නමුත් ඔහේ වැනි වැනී ඉන්නවා, ඒ පැත්තෙ හිත බැඳෙන්නෙ නෑ. තියාගෙන නෙමෙයි එතකොට ඉන්නෙ, චේතනා වශයෙන්, එහෙම නැත්නම් හැඟීම් වශයෙන් කොහොමත් හිත බඳින්නෙ නෑ ලෞකිකත්වයේ. දැන් එතකොට ලෞකික පාපයකට කරුණු යෙදෙන්නෙත් නෑ, අත්හැරීමට ම කරුණු යෙදෙනවා; නොඇලීමටම, මිදීමටම කරුණු යෙදෙනවා, නිවනට ම කරුණු යෙදෙනවා.
දැන් මෙන්න මේ වෙලාවෙදි මොකද කරන්නෙ? මෙන්න මේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසළ මූලයෙන්, ඔයා හැම එකක්ම ඕගොල්ලන්ට ඕනෙ හැටියට කරගන්න, මට ඕවයේ ඇඟිලි ගහන්න බෑ. හැබැයි පෘතග්ජන ලෝකයාගේ කැමැත්ත ඕකම තමයි. එහෙම ඉඩ දෙනවා නම් ඊට වඩා වටිනා දෙයක් තව ඇත්තෙත් නෑ. “මටත් කියන දෙයක් කරලා දෙන්න, මට ඕවයෙ අයිතිවාසිකම් එපා, ඕනෙ එකක් කරගන්න, පාලනය කරගන්න, ඕනෙ දෙයක් කරගන්න, මටත් පුලුවන් දෙයක් කරලා දෙන්නම්” කියනවා නම් එච්චර ඉහේ මලක් පිපුනා වගේ තමයි සාමාන්‍යය ලෝකයාට ඒ අදහස්. ඕක දෙන්නෙ නැති කම තමයි මේ තරඟෙට තියෙන්නෙ. ඕක නැති නිසා තමයි හැපෙන්නෙ. හැපෙන්නෙ, තරඟ කරන්නෙ, මරාගන්න හදන්නෙත් ඕකට.
එහෙනම් ආර්යයන්ගෙ ගතිලක්ෂණය එහෙම එකක් වෙනවා. නමුත් එහෙම එකක් වෙන්න වෙන්න, ආර්යයො දකිනවා “මොහොතක් හරි අරවගේ හිතෙන්නාවූ ගතිලක්ෂණ වලින් ඈත් වෙලා ඉන්න තියෙනවා නම්, ඒ නිවනට නැඹුරු වෙච්චි තත්වය කොච්චර ශාන්තද, ප්‍රණීතද…” ඒක තමයි හැමවෙලේම දකින්නෙ. පුංචි හෝ විවේකයක් අහුවුනා නම් නිදහස්ව ඉන්න, ඒ නිදහස ම ශාන්තයි, ප්‍රණීතයි කියලා ආර්යයො දකිනවා. අනික් අය දකින්නෙ එහෙම වෙලාවක් ආපුහම “හරීම පාලුයි, කතා කරන්න කෙනෙකුත් නෑ, මා එක්ක කතාකරන්න ඉන්න අය කවුරුවත් නෑ, මට හරී පාලුයි, මෙහෙම ඉඳලා වැඩකුත් නෑ” කියන්නහේ දුක් වෙනවා ඒකට.
මේකෙන් බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා “පෙනි පෙනී, දැක දැක තියෙන නිවන කෙරෙහි පෘතග්ජනයා දුක් වෙනවා, බය වෙනවා…” {{ත්‍රිපිටක සූචිය}} එයා කැමති නෑ ඒකට. ඉතින් මේකෙන් අපි දැකගන්න ඕනෙ මේ පෘතග්ජන පුද්ගලයගෙ තියෙන ගතිලක්ෂණ එකයි; දුක් වෙන, බය වෙන ස්වභාවයෙන් ඉවරයි. ආර්යයො නිවන ශාන්තයි, ප්‍රණීතයි කියලා ගන්නවා මිසක් ආර්යයන් බය වෙන්නෙ නෑ නිවනට. එහෙනම් ඒ විවේකයට බයවෙන්නෙ නෑ, ඒ විවේකයට කැමතියි. අනිත් උදවියට හිතෙනවා “මොකද දන්නෑ, පාලුවක් වෙලාද, කරදරයක් වෙලාද, හිත කළකිරිලද, ඇයි මේ සද්ද නැතුව ඉන්නෙ බලාගෙන කල්පණා කර කරා වගේ ඉන්නේ අපේ එකා? ඌ අපිත් එක්ක කතාවකුත් නෑ, මොකුත් නෑ, කොහාට හරි වෙලා ඉන්නවා, අනේ මන්දා මොකද්ද වෙලා තියෙන්නෙ කියලා, සාස්තරයක් වත් අහන්න යං, හූනියමක් කරලද දන්නෙත් නෑ, මොකද වෙලා තියෙන්නෙ, ඉස්සර ඔහොම නෑ නේ හිනාවෙලා, කතා කරලා හිටියා, විහිළු කර කරා හිටියා, දැන් මොකාක් හරි හිතේ එකක් තියෙනවා කියලා හොයාගන්න බැරුව ඉන්නෙ…” ඒගොල්ලො හිතාගෙන ඉනෙන් ලෞකික මිම්මෙන් මයි. මැන මැනා හොයනවා “මොකක් හරි කළකීරීමක් ඇති..” ඒක දැක්කා.
ඉතින් ඕකෙ තව තවත් ඉන්න වෙයි, සැක සහිත කළකිරීමකුත් එයි. “මං එපාවෙලාද දන්නෙ නෑ, මොකක් වෙලාද දන්නෙ නෑ” කියලා දෙපැත්ත විරුද්ධව දෙපාක්ෂිකවත්, එහෙමත් කල්පණා කරනවා. “වෙන වෙන කවුරුවත් ඉන්නවද දන්නෑ…” කියලා තව තවත් කෑල්ලක් ඈඳගන්නවා. ඔය ජාතියෙ එවුන් ගිහිල්ලා මහා විනාසෙකුත් කරගන්නවා. ඒක තමයි ලෝකයා ඒ ගැන හිතන හැටි. ආර්යයන්ගෙ හිතිවිල්ල ලෝකයාට අල්ලන්න බෑ. ආර්යයො ලබන නිදහස, විවේකය අනික් අයට විවේකයක් නෙමෙයි, නිදහසක් නෙමෙයි. ඒ නිසාම තමයි ඒක කිවුවට තේරෙන්නෙත් නැත්තෙ, අන්න ඒකයි. ඒ තත්වෙ අනිත් කෙනෙක් දකින්නෙ නෑ; ඒ ස්වභාවය ඒකයි.
දැන් මෙන්න මේ විදිහට දකිනකොට ඉතින්, “අලෝභෝ කුසළ මූලං” අන්න ආර්යයෝ අත්හරින ඒවා. ඒගොල්ලන්ට දේපොළ අල්ලං ඉන්න එක මහ කරදරයක්. “අනේ අනේ, මට ඕවා කරන්න බෑ. ඕං තියෙනවා ඕන එකක් ඕගොල්ලෝ පරිහරණය කරගන්න. ඉන්න කෙනෙක් කරගන්න, මාත් ඔහෙන් ඉන්නම්. මට ඕවයෙ ඇඟිලි ගහන්නත් බෑ, ඔය ඔක්කොම ගන්න බලාගෙන, ඕගොල්ලො කරගන්න ඕවා…” අන්න අලෝභය. “අනේ මට නම් රණ්ඩු වෙන්න බෑ, අල්ලපු එක්කෙනා එක්ක රණ්ඩු වෙන්නත් බෑ, කවුරු එක්ක රණ්ඩු වෙන්නත් බෑ, මට අනුන්ගෙ කුණු බලන්නත් බෑ, ඕගොල්ලො ඕනෙ එකක් කරගන්න, මං අල්ලන්න, ගාවන්න යන්න එපා ඕවට…” ආං ඒ පැත්ත අද්වේෂය. ඉතින් එයා අමෝහය නිසා දකිනවා, “අත්හැරීම හැර, නොඇල්ම හැර, මිදීම හැර වෙන නම් ශාන්තියක්, ප්‍රණීතයක් නෑ” කියලා නිවැරදිව නුවණින් දකිනවා, අමෝහයෙන් දකිනවා.
මෙන්න මේ ගුණය වැඩෙන්න වැඩෙන්න, අර ඒ ගුණය ලබන්න ඉස්සෙල්ලා, පෘතග්ජන කාලෙ, පෘතග්ජන අවස්ථාවෙ රැස් කරගෙන හිටපුවා, ඒවයෙ බැඳිච්ච, රැඳිච්ච අදහස්, ඒවට බැඳිලා තිබුණ වගකීම්, ලැබෙන ලැබෙන වෙලාවෙ එකින් එක අත්හැරීගෙන, නොඇලීගෙන, මිදීගෙන යනවා. මෙන්න මේකට අවශ්‍යය කරන්නාවූ වැඩපිළිවෙල එයා දන්නවා එයා සකස් කරගන්න බව. එයාට සකස් වෙලා එනවා. එයා යමක් අත්හැර දැම්මා නම්, හිතෙන් අත්හැරලා ඉන්නවා ඉස්සෙල්ලා, කයට, වචනයට එන ඒවා අත්හැරී ගියානම් නැවත හදාගන්නෙ නෑ එබඳු දේවල්. අන්න ඒ මාර්ගයට මොනවද කරන්න තියෙන්නෙ, කොහොමද අත්හැරෙන්නෙ, හැකි හැකි මොහොතෙ අත්හැරෙනවා, නොඇලෙනවා, මිදෙනවා කියලා කටයුතු කරනකොට, මෙන්න අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන් ලබාගන්නාවූ කටයුත්ත, ඒ සඳහා කළයුතු යම්කිසි හිතිවිල්ලක්, ක්‍රියාවක්, කථාවක් ඇත්ද, මෙච්චර කල් අල්ලාගෙන හිටපුවා අත්හැරීමට, නොඇල්මට, මිදීමට, හිතෙන් – කයෙන් – වචනයෙන් කළයුතු යමක් ඇත්ද, අන්න ඒ ටික කරනකොට ඕකට කියනවා “කුසළ මූල පච්චයා සංඛාරා”
{0:30:15} : කුසළ මූල පටිච්ච සමුප්පාදයෙන් පහලවෙන කුසළ ආයතන…
අන්න අලෝභ සංඛාර, අද්වේෂ සංඛාර, අමෝහ සංඛාර කියන නිවන් මඟ හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන පැත්ත. එයා “මේ මං වඩන්නෙ සම්මා දිට්ඨියද, සම්මා සංකප්පයද…” කියලා වචන වලින් දන්නෙ නැතුව හිටියට, එයා යන්නෙ ඒ මඟ තමයි. ඒ මඟමයි ගමන් කරන්නෙ, ආර්ය අෂ්ටාංගික මාර්ගයේමයි ගමන් කරන්නෙ. මේ වචන ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියන වචනද කියලා ඒ අය දන්නෙ නෑ. ඒ වුනාට යන්නෙ ඒ මාර්ගය තුළ තමයි. වචන වශයෙන් දැනගෙන හිටියත් නැතත්, ගමන් කරලා තියෙන්නෙ, ගමන් කරන්නෙ, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ.
දැන් ඒ නිසා මොකද වෙන්නෙ, අන්න “කුසළ මූල පච්චයා සංඛාරා” කියලා, “සංඛාර පච්චයා විඤ්ඤාණං” කියලා “කුසළ මූල විඤ්ඤාණයක්” හටගන්නවා. ඒ කියන්නෙ මේ ලෝකය තුළ ම අත්හැරීමට, නොඇල්මට, මිදීමට හේතුකාරක බලාපොරොත්තුවක් හටගන්නවා. ඒ විඤ්ඤාණයක් නිසා, “ඒ බලාපොරොත්තුව කවද්ද ඉෂ්ට වෙන්නෙ?” කියලා ඒ ගැන ලතැවෙන වෙලාවකුත් තියෙනවා. “අනේ මට බැරිවුනා තාම ඒ ටික කරගන්න, අනේ මට නිදහස් වෙන්න තවම බැරිවුනා නෙ… ඒ නිදහස් ශාන්තිය සම්පූර්ණ කරගන්න මට තවම බැරිවුනා නේද…” කියලා, සමහර වෙලාවට අඬනවා…
භික්ෂූණ් වහන්සේලා අතර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙ, නිවන් දැකීම අත්‍යාවශ්‍යයතාවය ඉහළින්ම බලාපොරොත්තුව තිබිලා ඒ ටික පූර්ණය කරගන්න, තවම රාගක්ෂය වෙලා නැති බව තමන්ටම පේනවා නම්, ද්වේෂ ක්ෂය වෙලා නැතිබව, මෝහ ක්ෂය වෙලා නැති බව, ඒ අදහස් තියෙන බව පේනවා නම්, “අනේ, මම කවදා මේ කෙළෙස් වලින් නිදහස් වෙච්ච ශාන්ත තත්වයට පත්වෙන්නද? ඒ තත්වය කවදා නම් ලබන්නද?” කියලා මේකට සංවේගත් උපදවනවා. අඬනවා පෙළක් වෙලාවට, අඬ අඬාත් ඉන්න වෙලාවල් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා, “ඇඬුවට කමක් නෑ, මොර දුන්නට කමක් නෑ, මාර්ගය අනුගමනය කරන්න, ඵලය ලැබෙනවා…” ඔන්න ඔය විදිහටයි පෙන්නලා තියෙන්නෙ නොයෙක් ආකාරයෙන් සනසලා ඒ මාර්ගයේ යන්න, අනුගමනය කරන්න පෙන්නලා තියෙනවා.
මෙන්න මොකද වෙන්නෙ, සංඛාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණයක් ඇතිවෙච්ච නිසා තමයි ඕං විඤ්ඤාණ. නිවන් දකින්න බලාපොරොත්තුවෙන් වැඩ කරගෙන යනකොට, නිවන් දකින්නම බලාපොරොත්තුවෙ පිහිටනවා. එතකොට සමහර අය අහනවා, “ආසාවන් දුරු කරනකොට නිවන් දකින්න තියෙන ආසාවත් ආසාවක් නේද?” කියලා. අන්න නිවන් දකින්න තියෙන ආසාව තමයි ඒ විඤ්ඤාණයේ ලක්ෂණය. සංඛාරය, කුසළ මූල පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං කියන විඤ්ඤාණයේ ලක්ෂණය ඕක තමයි, නිවන් දකින්න තියෙන ආසාව, නිවන් දකින්න තියෙන බලාපොරොත්තුව. එන්න එන්න ඒ විඤ්ඤාණය බලවත් වෙනවා, ඒ මඟ අනුගමනය කරන්න කරන්න.
ඉතින් නිවන් දකින්න බලාපොරොත්තු වෙන විඤ්ඤාණයක බැහැගන්න නාම-රූප මොනවද? නිවන් දැකගන්න ඕනෙ ඒවා මයි. “බණ අහන්න යන්න ඕනෙ, මෙන්න මේ දහම් පදය සාකච්ඡා කරන්න ඕනෙ, එතකොට මේ මේ විදිහට විග්‍රහ කරගන්න ඕනෙ, කර්මස්ථාන සඣ්ජායනා කරන්න ඕනෙ, භාවනා කරන්න ඕනෙ, විදර්ශනා වඩන්න ඕනෙ….” දැන් මේ හිතෙන්, කයෙන්, වචනයෙන් කරන්න ඕනෙ හරියක් එයා දකිනවා. යම් පිළිවෙතක් පුරාගෙන යන්න ඕනෙ. දහම් අවබෝධයට හේතුවෙන කරුණු රාශියක් කරගෙන යන්න ඕනෙ. ඒ නිසා එයා මොකද කරන්නෙ, දං දෙනවා, ඒ වගෙම සිල් රකිනවා, ඉතින් ඔය අතරෙ පොඩි විශේෂයක් දකිනවා. එයාට හරි ප්‍රියයි ඒ මාර්ගය අනුගමනය කරලා ඉහළට ගිය අය. ඒ ශාන්තියට, ප්‍රණීතයට පත්වෙච්චි අය දක්නකොට හරි ශාන්තයි, ප්‍රණීතයි. ඒ නිසා ඇසුරු කරනවා නිතරම එබඳු තැන්, පූජනීය ස්ථාන. එබඳු ස්වාමීන්වහන්සේලා හෝ භික්ෂු-භික්ෂුණී දෙපාර්ශවයම. ඒ ඇසුරු කරගෙන, ඒ අය සමඟ කතා බහ කරගෙන, දහම් විමසමින්, මෙහෙම කටයුතු කරන පිරිස …(33:25 වචනය පැහැදිලි නැත)…. වැටෙන්නෙ ඒ විදිහට.
මෙන්න “කුසළමූල පච්චයා සංඛාරා” කියන කාය සංඛාර, වචී සංඛාර, මනෝ – චිත්ත සංඛාර කියන ඒවා විතරක් නෙමෙයි. මේකෙන් බලාපොරොත්තු එන්න එන්න වැඩි වෙනවා. “මමත් කවදා හරි අත්හැරීමේ ශාන්තියට ම පත්වෙන්න ඕනෙ. නොඇලීමේ, මිදීමේ ශාන්තිය ම අත්දකින්න ඕනෙ. ඒකමයි ශාන්ත, ඒකමයි ප්‍රණීත. මට වෙන දෙයක් මේ ලෝකෙ ශාන්ත, ප්‍රණීත නෑ, ඔක්කොම ගිණි…” ඔය අදහස ම දැක දැකා ලෝකෙ ආදීනව දකිනවා, නිවීමේ ආනිසංස දකිනවා. මෙන්න මෙහෙම දැක දැකා මොකද වෙන්නෙ, එබඳු විඤ්ඤාණය වැඩෙනකොට ඒ මට්ටමට, ඒ ජාතියෙම බණ පද, දහම් පද හිතේ බැහැගන්නවා. අර කියන්නාවූ සිවු පිරිස් අතරේ තමන්ට වඩා උසස්ව දහම් අවබෝධය තියෙන අය ගැන තියෙන චිත්ත ප්‍රසාදයෙන්, ඒ අය පිළිබඳ රූප සටහන් මනසෙ තැන්පත් වෙනවා. නිතර මතකයට එනවා. මෙන්න මේවා තමයි ඒ දහම් විඤ්ඤාණය කියලා බැහැගන්න නාම-රූප. විඤ්ඤාණ පච්චයා නාම-රූපං කිවුව්වෙ ඔන්න ඕවා හින්දා. මේ මතු උපදින ඒවා නෙමෙයි, ඔතන බහිනවා.
ඔන්න විඤ්ඤාණයක්, නිවන් දකින්න හිතක් තියෙන කෙනාට හිතේ බැහැගන්නෙ නිවන් දකින්න අවශ්‍යය කරන දේවල්. නිවන් දැකීමට ආධාර කරනවා නම් හාමුදුරු කෙනෙක් ගෙන් බණ අහන එක, හාමුදුරුවන්ගෙ මූණ කොච්චර හරි හිතෙනවා, රූපය. ඒ නමත් ඇති. “අහවල් හාමුදුරුවො…., එතකොට අහවල් උපාසක මහත්තයා…. එතකොට අහවල් භික්ෂුණීන් වහන්සේ….” මේ මේ විදිහට ඒවම මතක් වෙනවා, නාම-රූප බහිනවා, අහපු බණ පද මතක් වෙනවා. ඕවා තමයි හිතේ බහින නාම-රූප. මෙන්න මේකට කියනවා “විඤ්ඤාණ පච්චයා නාම-රූපං” කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා.
එතකොට ඒවා බහින්න බහින්න මොකද වෙන්නෙ? ඒ අදහස් ඔක්කොම වීත රාගී, වීද දෝසී, වීත මෝහී අදහස්. ඒ අදහස් බැහැගන්නකොට, ඒවා තෘෂ්ණා නෙමෙයි. තණ්හාවෙන් අල්ලගන්න ගත්තෙ එක පැත්තක්. දැන් මේ යන්නෙ මොන පැත්තටද? “විඤ්ඤාණ පච්චයා නාම රූපං” කියලා මේ නාම-රූප වශයෙන් වීත රාගී, වීත දෝසී, වීත මෝහී නාම-රූප යි මේ බැහැගත්තෙ හිතට. දැන් ඒකෙදි මොකද වෙන්නෙ? ඇස, කන, දිව, නාසය, ශරීරය වෙන දෙයක් බලන්න වත්, වෙන දෙයක් අහන්න වත් යවන්නෙ නැතිවෙන තත්වයට බලා ඉන්දැද්දි නැඹුරු වෙලා එනවා දහම් පැත්තට. ඇස, කන, දිව, නාසය, ශරීරය කියන මේවයින් ඒ පැත්තට නැඹුරු වෙනවා.
ඇහැ නැඹුරු වුනහම, ඇහැ නැඹුරු වෙන්නෙ ඉස්සර නම් ලෝකෙ සුන්දරත්වය බලන්න. දැන් නැඹුරු වෙන්නෙ දහම් පැත්තට අවශ්‍යය කරන එබඳු පරිසරයක් කරා, එබඳු අයගෙ දර්ශන කරා, ශ්‍රමණ දර්ශන කරා නැඹුරු වෙනවා. එතකොට මොකද වෙන්නෙ? අන්න, ඇස කන දිව නාසය ශරීරය, දැන් වෙනදට රසවත් දෙයක් එහෙම, මොනවාහරි කෑමක් හම්බුනහම තමාගේ රස භුක්තිය විඳගන්න බලාපොරොත්තු වෙනවා. දැන් මතක් වෙන්නෙ අර ආර්යයෝ. ඒ අය මතක් වෙලා ඒ අය ඇසුරට යනවා. ඒ රසය තමන් බෙදා-හදාගෙන භුක්ති විඳිනවා.
රස ඕනවට නෙමෙයි, කයේ ප්‍රබෝධය අවශ්‍යයි දහම් ප්‍රබෝධය ලබන්න. දැන් මේ සාමාන්‍යයෙන් ප්‍රණීත ආහාරය එපා කියලා නෑ. ඒ ප්‍රණීත ආහාරය නිසා රස නහර ප්‍රබෝධ කරනකොට ඒ ඉන්ද්‍රියන් ප්‍රබෝධ වෙලා දහම් අවබෝධයට හේතුවෙන මානසිකත්වයටත් ඒක ආධාර වෙනවා. ඒ නිසා ඒ ප්‍රණීත ආහාර වල තියෙනවා විශේෂයක්. මොකද මේ ශරීරයේ තියෙන ඉන්ද්‍රියයන් සකස් වෙලා තියෙන්නෙ ඒ ප්‍රණීතත්වයට ගැලපෙන විදිහට.
අන්න එතකොට සුවඳක් ඇසුරු කළා නම්, ඒ සුවඳ පූජනීය ස්ථානයක, ඒ හරියට එන්න ඕනෙ. ඒ නිසා තමන් පුද්ගලිකව දකින දේ පවා ඒ සඳහා අවශ්‍යය දේකට යොදවනවා. ඒකෙනුත් යම් ප්‍රයෝජනයක් තියෙනවා. සුවඳ දෙවිදිහකට ප්‍රයෝජනයට ගන්නවා, රහ දෙවිදිහකට ප්‍රයෝජනයට ගන්නවා. එකක් කාමයට අද්දන ලෝකෙ පැත්තට, අනික ශාන්ත පැත්තට, ප්‍රණීත පැත්තට. ඔය දෙපැත්තටම ආධාරයි. අර ආහාරයත් ඒ වගේ, ඉන්න තැනත් ඒ වගේ, සිවුපසය ම ඒ ආකාරයි. එකක් සැප විඳින පැත්තට, අනික නිවන් මගට ආධාර දෙන පැත්තට, සුව පහසු දෙන පැත්තට.
අන්න ඒ ආකාරයෙන් හිතට ගත්තහම, නාම-රූප මොකද වෙන්නෙ, ඒ නාම-රූප ඇසුරු කරනකොට ඇස කන දිව නාසය ශරීරය කියන ඉන්ද්‍රිය හය දහම් පැත්තට ආයතන වෙනවා. ඒ කනින් ඉස්සර තිබුණෙ ලෝකෙ වැඩක් නැති ප්‍රලාප කතා අහන්න, විහිලු කතා අහන්න, කොළොප්පම් කතා අහන්න තිබිච්ච, අර යොදවපු කන දැන් ඒවට යොදවන්න හිතෙන්නෙ නෑ. දැන් බණක් අහන්න යොදවන්නමයි හිතෙන්නෙ. එහෙනම්, අන්න ධර්මයට අය වෙලා, එහෙනම් අන්න ආර්ය මාර්ගය බලන්න, ආර්ය මාර්ගයට අවශ්‍යය දේ ලබාගන්න, අහගන්න ආයි හිතෙනවා. දැන් ඒකටමයි යොමු කරන්නෙ.
අන්න ඇස කන දිව නාසය ශරීරය මන කියන ඉන්ද්‍රිය හය ධර්මාවබෝධය සඳහා යමක් කටයුතුද, ඒ සඳහා ආයතන කරගත්තහම කියනවා “නාමරූප පච්චයා සළායතනං” අන්න ආර්ය සළායතන. මේ මතු උපදින එකක් වත් පෙර භවයක එකක් වත් නෙමෙයි, මේ කියන්නෙ මේ දැන් තියෙන කයේ ස්වභාවයක්. දැන් තියෙන හිතේ-කයේ ස්වභාවය, මේ මොහොතෙ ආර්ය මාර්ගයේ ගමන් කරන්න තියෙන පටිච්ච සමුප්පාදයෙ හැටි.
{0:38:29} : කුසළ මූල වේදනා ප්‍රත්‍යයෙන් අවිද්‍යා වෙනුවට අධිමොක්ඛ පහලවීම
“සළායතන පච්චයා ඵස්සෝ” කියලා දැන් ඇස කන දිව නාසය ශරීරය ධර්ම රසය සඳහා යොමුකරනකොට ඒවයින් ලබන ස්ඵර්ශය දහම් ස්ඵර්ශයක් වෙනවා. මෙන්න මේ දහම් ස්ඵර්ශය ලබන්න ලබන්න, “ඵස්ස පච්චයා වේදනා” කියලා ධර්ම වින්දනය ලැබෙනවා, මෙන්න මේ දහම් සුවය කියන එක “සබ්බං රතිං ධම්ම රති ජිනාති” කියපු තැන සියලු රතියට වඩා දහම් රතිය දිනනවා කියන තැන, ධර්ම වින්දනය හරි ආස්වාදයි. ඔන්න ඔය ධර්ම වින්දනයේ ආස්වාදය නිසාම තමයි “ප්‍රීති මනස්ස කායෝ පස්සද්දති, පස්සද්ද කායෝ සුඛං දේති, සුඛිනෝ සමාධියති….” ආදී වශයෙන් සමාධිය වැඩෙන්නෙ {{ ත්‍රිපිටක සූචිය }}
දහම් ආස්වාදය වැඩිවෙන්න වැඩිවෙන්න දහම් සළායතනයෝ දහම් ස්ඵර්ශ කරනකොට වීත රාගී, වීත දෝසී, වීත මෝහී දහම් ස්ඵර්ශ කරනකොට දහම් වින්දනය “ඵස්ස පච්චයා වේදනා” කියලා හටගන්නවා. අන්න ඒ වේදනා නිසා හටගන්නෙ “තණ්හා” නෙමෙයි. තණ්හා හටගන්නෙ ලෝභ පැත්තට යන අවිද්‍යා ප්‍රත්‍යයෙන් යන ඒවට. එහෙනම් මෙතන හටගන්නෙ “වේදනා පච්චයා තණ්හා” නෙමෙයි, “වේදනා පච්චයා පසාදෝ”, ප්‍රසාදය හටගන්නෙ; දහම් ප්‍රසාදය. දහම් සතුට ඔප්නැංවිලා එනවා, දහම් ප්‍රසාදය නිසා චිත්ත ප්‍රසාදය නැගිලා එනවා. මේකට “පස්සද්දති” කිවුවෙ අන්න ඒකයි. දහම් ප්‍රීතිය එනකොට, “ප්‍රීති මනස්ස කායෝ පස්සද්දති” මේ කය ප්‍රසාදයට පත්වෙනවා, සැහැල්ලු බවට පත්වෙනවා.
අන්න එතකොට මොකද වෙන්නෙ, “වේදනා පච්චයා පසාදෝ, පසාද පච්චයා අධිමොක්ඛෝ” අවිද්‍යා ප්‍රත්‍යයෙන් ගියොත් යන්නෙ “වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදාන” එහෙම යන්නෙ. කුසළ මූල පච්චයෙන් මේ යනකොට යන්නෙ “වේදනා පච්චයා පසාදෝ, පසාද පච්චයා අධිමොක්ඛෝ” අන්න එතන යෙදෙන හැටි. “අධිමොක්ඛ” කියලා කියන්නෙ මොකද්ද? මූඛ්‍ය වූ නිවන කරා ඇදී හිටිනවා, ඒ පැත්තට බැඳී හිටිනවා. “අධිමෝක්ෂය” කිවුවෙ අන්න ඒකයි.
අන්න “වේදනා පච්චයා පසාදෝ” දහම් ප්‍රසාදය ලැබෙනවා, “පසාද පච්චයා අධිමොක්ඛෝ” කියලා නිවන මුල් කරගෙන හිත දුවනවා ඒ පැත්තට, නිවන පැත්තට. “අධිමොක්ඛ පච්චයා භවෝ” නිවන් ලාභියෙක් බවට පත්වෙනවා; නිවන් ලැබූ බවට පත්වෙනවා. “භව පච්චයා ජාති” නිවන් දැකපු ජාතිකයෙක් වෙනවා, එහෙනම් කවුද ජාතිකයා, එක්කෝ සෝතාපන්නයා, එක්කෝ සකෘදාගාමියා, එක්කෝ අනාගාමියා, එක්කෝ අරිහතුන් වහන්සේ. අන්න ජාති හඬ එකින් එකට ජයගන්නවා.
ඉතින් විග්‍රහ කරන්න පටිච්ච සමුප්පාදයේ වචන වත් අහලා තියෙන්න එපැයි. “කුසළ මූල පටිච්ච සමුප්පාදය” කියලා තියෙන එකක් වත් තිබුණා කියලා අහගන්න හම්බුණා නම් මේක හෙමින් හෙමින් විස්තර අහගන්නවා. එහෙම පටිච්ච සමුප්පාදයක් තියෙනවද කියලා වචනෙ වත් අහලා, මාතෘකාව වත් අහලා නැත්නම් විස්තර අහන්නෙ කොහොමද? ඉතින් ඒක තමයි විස්තර කරන්න ඕනෙ.
ඉතින් “භව පච්චයා ජාති” කියනවා “ජාති පච්චයා ජරා මරණං” හැබැයි ඉතින් සෝවාන් වුනත් ජරාවට පත්වෙනවා, මරණයට පත්වෙනවා. සකෘදාගාමී පුද්ගලයත් ජරාවට පත්වෙනවා, මරණයට පත්වෙනවා. අනාගාමී කෙනත් මේ පුද්ගලයත්වයේ ජරාවට පත්වෙනවා, මරණයට පත්වෙනවා අරිහතුන් වහන්සේත් ජරාවට පත්වෙනවා, මරණයට පත්වෙනවා ඒක නවත්තන්න බෑ. …(41.29 පැහැදිලි නැත)… ජාතියෙන් මතුකරලා දුන්නා නම් යම්කිසි දෙයක්, විද්‍යාමාන කරා නම් ඒ ජාතියට ආකාර වෙලා, ආධාර වෙලා ඉන්න සතර මහා භූතයෝ ඔය විදිහටම කැඩිලා බිඳිලා වැහැරිලා විනාස වෙලා වැනසිලා යනවා. ඒ ඇසුරු කරගෙන යම්කිසි ආකාරයක වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ යන නාම ධර්මයක් හටගත්තා නම් ඒවත් ක්‍රම ක්‍රමයෙන් වැනසිලා, වැනසි වැනසී යනවා. ඒක නවත්තන්න බෑ.
හැබැයි ඒ “ජාති පච්චයා ජරා මරණං” කියලා අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත්ත ජාති පච්චයා ජරා මරණං කියන එක හටගත්තා නම් එතෙන ඉඳන් යනවා “ඒව මේතස්ස කේවලස්ස දුක්ඛකන්ධස්ස සමුදයෝ හෝති” කියලා පෙන්නුවා. අන්න දුක හටගත්තා, ඒක වෙන පාරක්.
දැන් කුසළ මූල ප්‍රත්‍යයෙන් ගිය කෙනාට මෙහෙම ගිහිල්ලා “ජාති පච්චයා ජරා මරණං” කියලා ආර්ය ජාතිය ජරාවට පත්වෙලා මරණයට පත්වුනත්, “ඒව මේතේසං ධම්මානං සමුදයෝ හෝති” කියලා මෙන්න මෙහෙම ධර්මය පහල කරනවා කියලා පෙන්නනවා මිසක් දුකට සම්බන්ධ කරලා පෙන්නුවෙ නෑ. එහෙනම් ඒ ජාතියෙ හැටි, ජරාව මරණය මතු දුකට හේතුවෙන්නෙ නෑ, ඔන්න ඔය “නිර්වාන ධර්මය” පහල කරනවා කියලා නතර කරනවා. ඉන් එහාට යන්නෙ නෑ; සෝක පරිදේවයන්ට වැටෙන්නෙ නෑ.
මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි නිවන් දැකීමට පූර්ණය කළයුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන අයගෙ ඒ නිවන් මඟට වෙලා ඉන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පටිච්ච සමුප්පාදය. මේකට කියනවා “කුසළ මූල පටිච්ච සමුප්පාදය” {{ ත්‍රිපිටක සූචිය }}
කොහොමත් චතුරාර්ය සත්‍යය පිළිබඳ මූළික දැනීම ලබන්න පුළුවන්කමක් නෑ කුසළ මූළය ලැබෙන්නෙ නැතුව. කුසළ මූළය කියන අලෝභය, අදෝසය, අමෝහය දහම් අවබෝධය කියන එකට ඇවිල්ලා මතුවෙලා තියෙන්න ඕනෙ. ඒ මතුවෙච්චි දේ තුළින් තමයි ඒ ටික ලැබෙන්නෙ. ඉතින් ඒ නිසා බණ අහන්නෙ නැතුව ආර්යයන්ට අයිති පටිච්ච සමුප්පාදය කොහොම අහන්නද? ඒක ආර්යයොන්ට අයිති නේ, ආර්ය වෙච්චි අයටයි කිවුවෙ. අන්න, චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගන්න අවශ්‍යය කරන දහම් පද ටික යන්න ඕනෙ, එහෙනම් ඒ සඳහා මොකද්ද අවශ්‍යය වෙන්නෙ? මහා ගොඩක් නෙමෙයි, චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට අවශ්‍යය කරන දහම් මූළය, “යදනිච්චං තං දුක්ඛං – යං දුක්ඛං තදනත්ථා” කියන මෙන්න මේ ධර්මය ඉස්සෙල්ලා තෝරගන්න ඕනෙ. ඔය පොඩ්ඩයි තියෙන්නෙ. ඔය ටික හරියට තොරාගන්න බැරුව තමයි කොච්චර හැරුනත් මේ දඟලන්නෙ. අසහනයට වැටිලා තියෙන්නෙ ඒකයි.
{0:43:34} : “අනිච්ච” කිවුවෙ කැමැති දේ ඉෂ්ට නොවීමයි, “වෙනස්වීම” නොවේ
එහෙනම් ඒ අසහනය දුරුකරගන්න නම් “යදනිච්චං තං දුක්ඛං” කියන එක හරියට දැකලා තියෙන්න ඕනෙ. ඉතින් “යමක් අනිත්‍ය ද ඒක දුකයි” කියලා මේ කාලෙ හැමතැනම තෝරන්නෙ ඔහොමයි. “යමක් ස්ථිර නැත්තම් ඒක දුකයි” ඕක තමයි තෝරන්නෙ, ඔහොම. ඉතින් දහම නම් හරියට හරි, ඔහොම වෙනවා. යමක් ස්ථිර නැත්තම් ඒක දුකයි කියන එක, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මයට බහා බලන්න ඔය හැම දේශනාවක් ම, කියන කතාවල් ධර්මයට බහා බලන්න, විනයට බහා බලන්න. බහා හිටිනවා නම් බුද්ධ දේශනාව කියලා පිලිගන්න.
මේ “යදනිච්චං තං දුක්ඛං” කියන පාලි පද පෙළ හරියටම හරි බව අපට ඔප්පු වෙනවා; කිසි ප්‍රශ්නයක් නෑ. ඒ වුනාට මේකට දීලා තියෙන “යමක් අනිත්‍ය නම් ඒක දුකයි” කියපුහාම අන්න ඒකයි වැරදි වෙන්නෙ. “යමක් ස්ථිර සේ නැද්ද ඒක දුකයි” දැන් මෙහෙම කියනවා. ඉතින් අපි අහනවා “යමක්” කියනකොට මේ ලෝකෙ අහු නොවෙන දෙයක් තියෙනවද? සියලු දේ ම අසුවෙනවා. “යමක්” කියන එකට මේ සියලු දේම අහුවෙනවා නම් අංශභාගය, පිළිකා වාගෙ ඒවත් අහුවෙනවා යමක් කියන එකට. … (දේශනාවේ සුළු කොටසක් අපහැදිලි ලෙස පටිගතවී ඇත)….
එහෙනම් යමක් ස්ථිර නැත්තම් ඒක දුකයි කියන්නෙ, යමක් ස්ථිර නැති නිසා නෙ. ඒක ඉවරවෙන දවසක් තියෙනවා, කෙළවර වෙන දවසක් තියෙනවා. එදයින් පස්සෙ හැදුවෙ නැත්තම්, මතුවට හටගන්නෙ නෑ නෙ, ඉවරයි නේද. ඒ සැනසුම එතෙන්ට වෙනකන් ගන්න පුලුවන්.
එහෙනම් “යමක් ස්ථිර නැත්තම් ඒක දුකයි” කියන එකේ අනික් පදේ “ස්ථිර නම් සැපයි”. අපිට කෙළවරක් නැතුව කවුරුහරි අල්ලගෙන ගහනවා, ගහන වැඩපිළිවෙල ස්ථිර නැත්නම් නම් සැපද? ඒක ස්ථිර නැත්තම් ඌ ගහලා යන්න යනවා, දැන් තෙල් ටිකක් ගාගෙන හරි යන්තම් “ගියා නේද? ඌ ආයි එනවද?” “නෑ නෑ ආයි එන්නෙ නෑ”. එහෙනම් ස්ථිර නෑ නෙ. දිගටම ගැහුවොත් එහෙම? ගහපු එක ස්ථිර නම් එහෙම? ගහන එක ස්ථිර නම් එහෙම? වැඩිය ඕනෙ නෑ දතේ අමාරුවක් හැදෙනවා. දතේ අමාරුව ස්ථිර නම් එහෙම සැපද? හදිස්සියෙ ස්ථිර නැත්තම් ගෙවිලා යනවා, ඒකත් දුකද? අන්න ඔතන හැබැයි ධර්මයට ගැලපෙන්නෙ නැතිබව හොඳට පේනවා, “යමක් ස්ථිර නැත්තම් ඒක දුකයි” කියන එක ගැළපෙන්නෙ නෑ. හොඳට පැහැදිලිව පේනවා. එහෙනම් මොකද්ද ඔතන කිවුවෙ?
“ඉච්ච” කියන්නෙ කැමැත්ත, “අනිච්ච” කියන්නෙ කැමැත්තට නෑ. “යමක් කැමති සේ නැද්ද, ඒක දුකයි!” දැන් මේකත් අරවගේ තර්ක කරන්න පුලුවන්. කැමති සේ තියෙනවා නම් දුකක් නෑ, යමක් කැමති සේ නැත්තම් දුකයි ද? එහෙනම් අපි බලනවා මොනවද කැමති සේ නැති ඒවා, සැප ඒවත් තියෙනවද? අපි බලන්නෙ ලෙඩක් නැතුව ඉන්න. නමුත් අපේ කැමැත්තට අනුව ලෙඩක් නැතුව ඉන්න පුලුවන්ද? අංශභාගය හැදෙන්නෙ නැත්නම්, පිළිකාව හැදෙන්නෙ නැත්නම්, ලෙඩක් හැදෙන්නෙ නැත්නම් අපි කැමතියි. අපි කොච්චර කැමති වුනත් හරියන්නෙ නෑ මේ කයට ලෙඩ හැදෙනවා. අසහනයක් එන්නෙ නැත්නම්, දාහයක් දෙන්නෙ නැත්නම්, බඩගිණි දාහයක් එන්නෙ නැත්නම්, ඇඟේ අප්‍රාණික බවක් එන්නෙ නැත්නම් කවුද අකමැති?
එතකොට මේ ශරීරයෙන් යෙදෙන මොන දේට කැමති වුනත් ඒක එසේ වෙන්නෙ නැති නිසා, කැමති සේ වෙන්නෙ නෑ. අන්න ඒකයි කියන්නෙ “කැමති සේ නෑ.” අකමැති දුකක් දෙනවා, ඒවා එනවට කැමති නෑ, නමුත් එනවා. කැමති සැපක් තියෙනවා, කැමති සැප යනවට කැමති නෑ, ගෙවෙනවට කැමති නෑ. නමුත් ගෙවෙනවා. ඔන්න එහෙනම් මේ ලෝකෙ පැවැත්මක් තුළ දකින්න ලැබෙන දුක සහ සැප. “දුක සැප දෙක ලෝකේ – රිය සක ලෙස පෙරළේ” ඕවට සින්දුත් හදාගෙන තියෙනවා. ඉතින් ලෝකෙ පවතින්නෙ, ලෝකෙ පැවැත්ම දකින්න හම්බෙන්නෙ දුක සහ සැප. එහෙනම් කැමති නැති දුක එනවා, කැමති සැප යනවා, කැමති සේ දෙකම නෑ. දුකත් කැමති සේ නෑ, සැපත් අපිට කැමති සේ නෑ. කැමති සේ නැති නිසා ම තමයි සියලුම අසහනය, කොතන හරි කැමති සේ යම් තැනක තිබුණද, අපිට අසහනයක් එන්න හේතුවක් නෑ; දුකක් ඇතිවෙන්න හේතුවක් නෑ.
එහෙනම් අපි මේ සසර ගමනෙදි අප්‍රමාණ සංසාරයේ යම්තාක් ඇවිදගෙන ඇවිත්, ඔය කාලෙ අතරෙදි කවදා හරි කැමති තැනක් තිබුණා නම් අපිට ඉන්න, අපි අද මෙතන නෑ නෙ, අපි එතන. මැරෙන්න කැමති නෑ කොයි යක්ෂයා වුනත්, යම් සම්පත්තියක් ලබාගත්තොත් ඒක නැසෙනවට කැමති නෑ. නමුත් ලබාගත්ත සම්පත්තියක්, නැහෙන්නෙ නැති එකක් හම්බෙනවා කියලා නම් මේ අනන්ත සංසාරේ පටන් අද වෙනකොට අපි ඒක දාලා එන්නෙ නෑ නෙ, අපි එතන නෙ. අපි කැමති සේ පවතින කයක් හම්බුණා නම් අපි අද මෙතෙන්ට එන්න විදිහක් නෑ එතන නෙ. එහෙනම් කැමති සේ පවතින කයක් හෝ හිතක් හෝ දෙයක් හෝ අපිට හම්බෙලා නැති නිසා නෙ අනන්ත සංසාරයේ කොච්චර ආපු තැන්වල ඉඳලා මේ දක්වා, ඒ නිසයි අපි අද මෙතන ඉන්නෙ.
දැන් මෙතෙන්ට ඇවිදිල්ලා අධ්‍යයනයෙන් පරීක්ෂණයක් කර කරා හොයාගෙන ආපු ගමනක හොයපු එකක් තමයි මේ හම්බවෙලා තියෙන්නෙ. අරක හොඳ නෑ, මේක හොඳයි, අරක හොඳ නෑ, මේක හොඳයි කියලා, හොඳ එක හොය හොයා ආපු එහෙම තැනක තමයි මේ අද ඉන්නෙ. ඉතින් මේකෙ …..(48:33 පැහැදිලි නැත)…. ගත් තැන් කීපයක් තිබුණා. දැන් හොඳට පැහැදිලිව පේනවා අන්ධ අය යන හැම මොහොතකම කැමති සේ පවතින ස්ථිර එකක් වත් නෑ. කකුලෙ ගල් කැටයක් ඇනෙනවා, කැමතිද? ඒත් ඇනෙනවා. ඒ ගැන කවුරුත් පැමිණිලි කරන්නෙ නෑ. “දැන් මේ වෙලාවට නම් මට දොට්ට යන්න බෑ” පුලුවන්ද ඉන්න? යන්න ඕනෙ, සැනසීම වශයෙන්. මළ බරක් තියෙනවා මොකද කරන්නෙ? “අනේ මේක ආවෙ නැත්නම්” කියලා කියන්න? ඒක වත් කරන්න විදිහක් නෑ. වැසිකිළියට යනවා, “ඉක්මණට වරෙං” කියලා අනික් කට්ටිය කෑ ගහනවා. ඉක්මණට යන්න බැලුවහම බෑ, හරියට කරගන්න බෑ ඒකවත්. අඩු තරමෙ මළපහ කරගන්න එකවත් හිතන් ඉන්න විදිහට කරගන්න බෑ.
එහෙනම් මේ ලෝකෙ අපි කැමති සේ පවත්වන්න මොනවා දැඟලුවත්, අපි කරන සෑම ඉරියවුවකම, සෑම චරියාවක ම අපි කැමති සේ පවතින්න ඕනෙ. කැමති සේ පවතින්නෙ නැති එකට ඒ නිසා අපි හැම මොහොතකම අසහනයෙන් ඉන්නෙ. හැබැයි අපි විඳින අසහනය වහනවා එක දේකින්. “කොහොමහරි කැමති සේ පවතින එකක් හම්බුනොත් වැඩේ හරි නේ…” ඔන්න ඔය මුළා සහගත අදහස අපිව සනසනවා. “අද මෙහෙම වුනාට පස්සෙ කාලෙක හරි අපිට හරියන්නෙ නැතැයි…” හරියනකන් බලං ඉන්නවා. අන්න ඒකට උනන්දු වෙලා ඒ මතුකරගත්ත මුළා ආස්වාදයකින් අපේ හිත වහගෙන අපි දුක් විඳිනවා, අසහනකාරීත්වයේ ඉන්නවා. “කවදාහරි අපිටත් හරියන්නෙ නැතැයි, ඔහොම හිටියට…” මෙච්චර සංසාරෙ අනන්ත අප්‍රමාණව හරිගියෙ නැති එකක් හරියනකන් බලාගෙන ඉන්නවා මේ අවුරුදු ගාණට, ඔය ටික කාලෙට.
අවුරුදු කල්ප කෝටි සත සහස්‍රයක් ඈත ඉඳන් එන ගමනෙත් හරියන එකක් හම්බෙලා නෑ, “හරියන එකක් හම්බෙන්නැතැයි…” එදා ඉඳන් ආවෙත්, අද වෙනකන් ආවෙත් ඔහොමයි, දැන් මොකද්ද බලාපොරොත්තුව? “ලබන අවුරුද්දෙ වත් හරියන්නැතැයි…” අපිට එහෙම දවසක කවදා හරි හරියනවද? දැන් මේක තමයි අවිද්‍යා සහගත බලාපොරොත්තුවක් තියෙනවා මනුස්සයාට, ආස්වාදයකින් වහනවා ඔන්න ඔය විදිහට තමන්ගෙ දුක. ඔවු, මේ අත්බැවේ බැරිනම් මතු ආත්ම භාවයක, මතු ආත්මයේ ලබනවා, එතෙන්ට වත් දානවා. දැන් “මතු ආත්ම” කීයක් ගෙවලා ඇවිල්ලද? මේ මහ පොළවෙ තියෙන වැලි කැට, පස් කැට ඔක්කෝම එක එක කැටෙන් කැටේට වෙන් කළත් එයිට වඩා ඔය “මතු ආත්ම” කියන ඒවා ලබාගෙන ආවා, හොඳ එකක් හොයාගෙන ආවා.
“දෙවියෙක් නොවෙච්ච, බ්‍රහ්මයෙක් නොවෙච්ච, සක්විති රජකෙනෙක් නොවෙච්ච එකම කුරා කූඹියෙක් වත් මේ ලෝකෙ නෑ” කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔය කාලය ඇතුළත මවෙක් නොවෙච්ච, පියෙක් නොවෙච්ච, සහෝදරයෙක් නොවෙච්ච, සහෝදරියක් නොවෙච්ච, නෑදෑයෙක් නොවෙච්ච කෙනෙකුත් මේ ලෝකෙ ඇත්තෙ නෑ. ඒ වගේම හතුරෙක් වෙලා අපිව මරාගෙන …(50:55 පැහැදිලි නැත)… ඒකත් ආපදාවක්. ඒ පැත්තත් ඒ වගේ. යාළුවෙලා හිටපු වාරත් අනන්තයි, තරහ වෙලා ගහ-මරාගත්ත වාර ගාණත් අනන්තයි, එක සතෙක් තව සතෙක් වෙන්නැතුව. එහෙම කරකරා මේ ලෝක තරඟයට බැහැලා එන ගමනෙ අනන්ත අප්‍රමාණව ඇවිත් තියෙනවා. තමන්ට වාසියක් වෙනවා කියලා දැනගත්තොත් එයා එක්ක යාළු කමක් හදාගෙන යාළු වෙනවා, “එයා මගේ” කියලා. තමන්ට පාඩුවක් කියලා දැනගත්තහම, “මගෙ එකත් මට හතුරු වුනා” කියලා හිතලා, “ඌ මගෙ එකෙක් නෙමෙයි, මම පිළිගන්නෙ නෑ මගෙ කියලා, මගෙ හතුරෙක් කියලයි මම පිළිගන්නෙ…” අන්න එතනදි දැන් මොකද්ද දුරුවුනේ? තමාගේ ආත්ම ලාභය.
මගේ බලාපොරොත්තුවට පොඩ්ඩක් හරි ලංවෙන ගතියක් තියෙනවා නම් එයා “මගෙ එක්කෙනෙක්, හොඳ එක්කෙනෙක්” මගේ බලාපොරොත්තුවට විරුද්ධ වෙන කෙනෙක් ඉන්නවා නම් එයා මගෙත් නෙමෙයි, …(51:41 පැහැදිලි නැත)… මගෙ හතුරෙක්. ඔහොම හතුරු-මිතුරු භේදයක් හදාගෙන, මහා තරඟෙකට බැහැලා, සැනසුම හොය හොයා දුක් විඳින ගමනක් කියනවා, මේ “සසර ගමන” කිවුවෙ ඔන්න ඕකට.
{0:51:54} : ලෝකය කියන්නෙ මොකද්ද? හැදිල තියෙන්නෙ මොනවයින්ද ?
මෙන්න මේ ස්වභාවය ලෝක සත්වයාට තේරුම්ගන්න බැරිනිසා තමයි සැනසිල්ලේ පවතින්නෙ නැති ලෝකෙ සැනසිල්ලේ පවත්වන්න බැරි උත්සාහයක් කරගෙන, මවාගත්ත – ගොඩනඟාගත්ත මානසික ආස්වාදයක හිත පිහිටුවාගෙන අනන්ත දුක් විඳ විඳ ගමන් කරනවා. අර තමන්ම ගොඩනඟාගත්ත ආස්වාදය තුළින් තමන් විඳින දුක වහලා දානවා, වහලා දාපුහම ඒ දුක බව වැටහෙන්නෙ නෑ. නමුත් විඳලා තියෙන්නෙ දුක, ආස්වාදයකින් වහගෙන, ආස්වාදය හොය හොයා සැරිසරණවා, ආස්වාදය පූර්ණය වෙන දවසක් නෑ, දුක විඳ විඳ යනවා. මේක දුකක් කියලා පේන්නෙ නැති නිසා සසර දුකයි කියනවා නම් කැමති නෑ.
මාර පාක්ෂිකයො කියන්නෙ, “මොන බොරුවක්ද! සසර කොහොමද දුක් වෙන්නෙ? කොච්චර හොඳ ඒවා තියෙනවද, මේක දාලා යනවද? මෝඩයෙක් නෙ දාලා යන්නෙ. පිං-දහම් කරගෙන, සැප සම්පත් විඳගෙන කොච්චර ඉන්න පුලුවන්ද….” මේ අදහස් ගන්නවා. ඒ තමයි මාර අදහස් හෙවත් මිත්‍යා දෘෂ්ටික අදහස්, අවිද්‍යාවෙ අවස්ථා, යථාර්තය වැටහෙන්නෙ නෑ, තේරුම් ගන්නෙ නෑ.
ඒ නිසා අනන්ත සංසාරයේ පටන්ගෙන සැප හොය හොයා දුක් වින්දා, දැනුත් සැප හොය හොයා දුක් විඳිනවා. මතුවටත් සැප පත පතා දුකක් ම පතනවා මිසක් දුක බව දන්නෙ නැතුව, වෙන දෙයක් ලෝකෙ නෑ කියලා දේශනා කරනවා “දුක්ඛෝ ලෝකේ පතිට්ඨිතා” – මේ ලෝකය දුකේ පිහිටලා තියෙන්නෙ. {{ ත්‍රිපිටක සූචිය }} ඒ දුක දකින්නෙ නෑ, සැපක් කියලා මයි ගන්නෙ. සැප හොය හොයා සැපයි කියලා දුකක් පස්සෙ යනවා, කිවුවෙ ඔන්න ඕක තමයි.
මෙන්න මේ ධර්මය හොයලා බලනකොට, හේතු ටික ගලපලා තමයි දහම් අවබෝධය ලැබෙන්නෙ. එහෙනම් “යදනිච්චං තං දුක්ඛං” කියන එක එදාට දැනගන්නවා. යමක් කැමති සේ නැද්ද, ඒක දුකයි තීරණය කරනවා. එහෙනම් කුමක් කැමති සේ නැද්ද? ලෝකය කැමති සේ නෑ. කුමක් ද ලෝකය කිවුවෙ? ලෝකෙට මොනවද අයිති? ඇසයි, කනයි, නාසයයි, දිවයි, කයයි, මනයි, රූපයි, ශබ්දයි, ගන්ධයි, රසයි, ස්ඵර්ශයි, ධර්මයි ඔය කියන කොටස් දොළහ ඇරුණහම තවත් ලෝකයක් පණවනවා කියලා යමෙක් කියනවා නම් හේතු නෑ. පණවන්න පුළුවන් ඔය ටිකයි.
අපි අනාදියේ පටන්ගෙන ඇසුරු කරලා තිබිච්ච ලෝක තිබුණා නම්, ඇස කන දිව නාසය ශරීරය මන සහ රූප ශබ්ද ගන්ධ රස ස්ඵර්ශ ධර්ම කියන ලෝකයක් මයි. දැන් පරිහරණය කරනවා නම් ලෝකය කියලා යම් තැනක ඉන්නවා නම්, පරිහරණය කරගෙන යනවා නම්, ඇස කන දිව නාසය ශරීරය මන සහ රූප ශබ්ද ගන්ධ රස ස්ඵර්ශ ධර්ම කියන ඔය ටිකමයි. මතු ලෝකයක් කියලා බලාපොරොත්තු වුනා නම් මොනවාද ඒ හැදෙන්නෙ? ඇස කන දිව නාසය ශරීරය මන සහ රූප ශබ්ද ගන්ධ රස ස්ඵර්ශ ධර්ම කියන ටිකෙන් හැදෙන ලෝකයක් කියලා වෙන දෙයක් මත බලාපොරොත්තු වෙන ලෝකයක් ඇති දෙයක් නෑ.
එහෙනම් “ලෝකය” කියන්නෙ ඔච්චරයි. දැන් අපි බලන්න ඕනෙ ඔය තුළ ලෝකෙ කැමති සේ තියෙන දෙයක් තියෙනවද කියලා ඔය දොළහ විග්‍රහ කරගෙන. ඇහැ කැමති සේ පවතිනවද? දුර වේවා, ලඟ වේවා, පේන වේවා, සියුම් වේවා, ඝන වේවා, හීන වේවා, ප්‍රණීත වේවා, අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා, ඇස නම් යමක් යම් තැනක වීද, දැන් යම් තැනක වෙයිද, මතු යම් තැනක වන්නේද ඒ සියල්ලම ගත්තට පස්සෙ කැමති සේ පවත්වන්න පුලුවන් එකක් ඇහැක් කියලා හටගන්න ඉඩ තියෙනවද? තිබුණද? දැන් තියෙනවද, මතුවට හටගන්න හේතු තියෙනවද? අන්න කල්පණා කරලා බලන්න දහමට අනුව.
දැන් බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළා නෙමෙයි, බුදුරජාණන් වහන්සේ අපිට දහම් බලන්න ක්‍රමයක් කිවුවා. ඔන්න ඔය චක්‍රය තුළින් ගිහිල්ලා තමන්ගේ නුවණින්, තමාගේ බුද්ධියෙන් දහම් දකින්න. දහම් දෙන්න බෑ, දහම් දකින්න අවශ්‍යය කරන පසුතලයක් හදලා දෙන්න පුලුවන්. “මෙන්න මේ දහම අරගෙන කවුරුත් මේක කල්පණාවට දාලා බලන්න. මගේ බුද්ධියෙන් මං ඒ ටික දැනගෙන මං බුදු වුනා. ඔබගේ බුද්ධියෙන් ඔබත් දැනගෙන ඔබත් බුදු වෙන්න.” බුදු වෙන්න කිවුවෙ, අවබෝධය ලබාගන්න, බුදු වෙනවා කිවුවෙ ඒකයි. බුද්ධියට පත්වුනා, බුද්ධි ගෝචර ධර්මය තුළින් සත්‍යාවබෝධයට පත් කියන කෙනා “බුද්ධ” කියනවා. “එහෙනම් මමත් බුද්ධ වුනා, මා තුළ තියෙන හරියෙන්, මා තුළ නඟාගත්ත හරියෙන්. ඔබත් මෙන්න මේ ආධාරය අරගෙන, ඔබේ බුද්ධිය පිළිසරණ කරගෙන, ඔබේ බුද්ධිය මතුකරගෙන, ඇත්ත දැකලා, එතකොට ඔබටත් බුද්ධ වෙන්න පුළුවන් වෙයි.
ශ්‍රාවක බුද්ධ වුනත් බුද්ධ මයි. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ගෙන් චතුරාර්ය සත්‍යය තිබිච්ච අවබෝධයෙන් ලැබුණු ප්‍රතිඵලයම තමයි ශ්‍රාවකයන් වහන්සේලාත් ලබන්නෙත්, ඵල දුටු සුවය. බුදුරජාණන් වහන්සේගේ අරිහත් ඵල චිත්තයයි සාමාන්‍ය රහතන් වහන්සේගේ අරිහත් ඵල චිත්තයයි කියන්නෙ දෙකම එකයි. බුදුරජාණන් වහන්සේ විශේෂත්වයක් ලබන්නෙ “සර්වඥතා ඥානයෙන්”. ඒක බාහිර දෙයක්. චතුරාර්ය සත්‍යය ධර්මාවබෝධයෙන් බුදුරජාණන් වහන්සේත් ශ්‍රාවකයොත් සමානයි, අරිහත් ඵල චිත්තය. (ශ්‍රාවක මහතෙක් ප්‍රශ්නයක් අසයි, ප්‍රශ්නය පැහැදිලි නැත, ස්වාමීන් වහන්සේ:) අන්න ඒකයි, ඒක තමයි අහගන්න ඕනෙ, අහලා දැනගන්න ඕනෙ.
ඉතින් ඔය ටිකෙන් තේරුම් අරගන්න ඕනෙ එහෙනම්, දුක දකින්න ඕනෙ, අන්න ඇස ගැන බැලුවා වාගෙම බලන්න ඕනෙ. “දුර වේවා, ලඟ වේවා, සියුම් වේවා, ඝන වේවා, හීන වේවා, ප්‍රණීත වේවා, අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා, කන යැයි යමක්, නාසය යැයි යමක්, දිව යැයි යමක්, කය යැයි යමක්, සිත යැයි යමක් යම් තැනක වීද, යම් තැනක වෙයිද, මතු යම් තැනක වන්නේද, ඔය අතර කැමති සේ පවත්වන්න පුලුවන් එකක් තිබුණද? දැන් තියෙනවද? මතු තියෙන්න ඉඩ තියෙනවද? අන්න නුවණින් විමසගන්නවා. බලනකොට ඉස්සර එහෙම තිබිලත් නෑ, දැන් තියෙන්න විදිහකුත් නෑ, එහෙනම් ඔය ජාතියෙම ඒවා මතු මතුත් පවතින ඒවත් ඒ වගේ…” ආං තමංගෙ නුවණින් ඒකත් තේරුම් ගන්නවා.
එහෙනම් ඒ කාලයේ පටන්ගෙන, ඇසුරු කරපු අනාදියේ පටන්ගෙන දුර වේවා, ලඟ වේවා, සියුම් වේවා, ඝන වේවා, අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්ඵර්ශ, ධර්ම කියන යමක් වී නම්, ඒවා කැමති සේ පවතිනවද? දැන් වෙනවා නම් ඒවා කැමති සේ පවතිනවද? ඔය ජාතියෙ එකක් මතු හටගත්තොත් කැමති සේ පවතින්න හේතු තියෙනවද? ඔන්න ඔය කාරණයත් විමර්ශනය කරලා බලනකොට අපිට තීරණයක් දෙනවා, නුවණක්කාර තීරණයක්, ඥාන ගෝචර තීරණයක් දෙනවා, “එහෙම එකක් කියන්න බෑ, කැමති සේ පවතින එකක් හොයාගන්න පුලුවන්කමක් නෑ. තිබුණෙත් නෑ, දැනුත් නෑ, මතු හටගන්න විදිහකුත් නෑ…”
එහෙනම් තිබුණෙත් නැත්තම්, තියෙන්නෙත් නැත්තම්, මතු හටගන්න විදිහකුත් නැත්තම් කැමති සේ පවතින දෙයක්, කැමති සේ නොපවතින දෙයක් ඇසුරු කරන්න ගියොත් මට සැප හම්බෙන්න පුලුවන්ද? එහෙනම්, කැමති සේ පවතින්නෙ නැත්නම් ඒකාන්තයෙන් දුකක් හටගන්නවා මිසක සැපක් හටගන්න විදිහක් නෑ. එහෙනම් මෙතෙක් කල් ආපු සියල්ල කැමති සේ පැවතිලා නැත්නම්, කොච්චර අනාදිමත් සංසාරයක පටන් මම සැප වින්දා කියලා හිතාගෙන හිටියත්, සැප බලාපොරොත්තුවෙන් දුකක් විඳලා තියෙනවා, අසහනයක් විඳලා තියෙනවා මිසක් වෙන එකක් කරලා නෑ. දැන් සැප බලාපොරොත්තුවෙන් දුක් විඳිනවා මිසක් වෙන එකක් කරන්නෙත් නෑ, මතු අනාගතයෙත් පැතුවොත් සැප බලාපොරොත්තුවෙන් තබලා දුකකට වැටෙනවා මිසක් කවදාවත් සැනසුමක් හම්බුවෙන්නෙ නෑ. එහෙනම් සැනසුම මොකද්ද? එබඳු අසාර ලෝකෙ දැනගෙන, “යං දුක්ඛං තදනත්ථා…” යමක් මෙබඳු දුක් සහගතද, ඒක “අනත්ථයි” කියලා දැනගන්න ඕනෙ.
{0:58:57} : අනත්ථ හෙවත් “අසාර” බව කර්මස්ථානයක් ලෙස වඩමු
අනත්ථ තෝරන්න ගියාම, මේ අනත්ථ නම් ඒ “අනාත්මයි” කියලා අද තෝරනවා. ආත්ම සහ අනාත්ම – ඇත සහ නැත. ආත්ම ඇත – ආත්ම නැත. අන්ත දෙක. අන්ත දෙකින් ගිහින් නිවන් දකින්න බැහැයි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා, “තථාගතයන් වහන්සේ ඇත යන අන්තයත්, නැත යන අන්තයත් දෙකටම බහින්නෙ නැතුව, මාධ්‍යය තුළින් යථාර්තය අවබෝධ කරගෙන නිවන් අවබෝධ කළා” කියලා. එහනම් “මාධ්‍ය ප්‍රතිපදාව” කියන්නෙ මොකද්ද? ඇත කියන එකට බහින්නෙත් නෑ ආත්මෙකට බහින්නෙත් නෑ ආත්ම ඇත, ආත්ම නැත දෙකටම බහින්නෙ නෑ. මේක ලෝක සම්මත කතාවක්.
එහෙනම් මොකද්ද කරන්නෙ? “අසාරට්ඨේන අනත්ථා” {{ ත්‍රිපිටක සූචිය }} හරයක් නැති නිසා, සාරත්වයක් නැති නිසයි අනත්ථ කියන්නෙ කියල ඔන්න තෝරලා තියෙනවා. එහෙනම් ආත්ම කතාව ගන්නෙ නැතුව “අපි මේ සැරිසරන්නාවූ ලෝකය තුළ අපිට දුකක් එනවා නම්, බලාපොරොත්තු වෙන සැප මුළාවක් නම් ඒ වැඩපිළිවෙල හරයක් නෑ” – අසාරයි. එහෙනම් ඕකෙ පද නිරුක්තියක් තියෙනවා, “අනට්ඨෝ” කිවුවහම සංස්කෘත භාෂාවෙන් කියන වචනයක්. “අනත්ථෝ” කියලා අහනවා පාළියෙන්, “අනාථෝ” කියලා අහනවා සිංහලෙන්. දැන් යමක් දුක නම් ඒ ඔක්කොම අනාථයි.
කුමක්ද අනාථ? ඇහැ අනාථයි, රූප අනාථයි, ඇහැයි රූපයයි නිසා අල්ලන්න ගිහාම හම්බුවෙනවා නම් යම් චක්ඛු විඤ්ඤාණයක් හටගත්තොත් ඒකත් අනාථයි, ඒ නිසා යම් ස්ඵර්ශයක් හටගත්තා නම්, සංස්ඵර්ශයක් හටගත්තා නම් ඒකත් අනාථයි.
චක්ඛු සංස්ඵර්ශයෙන් හටගත්තාවූ පෙළීමක් හටගත්තා නම්, වේදනාවක් හටගත්තා නම්, ඒකත් අනාථයි.
කනත් අනාථයි, ශබ්දයත් අනාථයි, සෝත විඤ්ඤාණයත් අනාථයි, සෝත විඤ්ඤාණ නිසා හටගන්න සෝත සංස්ඵර්ශයක් තියෙනවද ඒකත් අනාථයි, ඒ සංස්ඵර්ශයෙන් මතුවන්නාවූ වේදනාවක් තිබුණා නම් ඒකත් අනාථයි.
නාසයත් අනාථයි, ගන්ධයත් අනාථයි, ඝාණ විඤ්ඤාණයත් අනාථයි, ඝාණ සංස්ඵර්ශයක් තිබුණා නම් ඒකත් අනාථයි, ඝාණ සංස්ඵර්ශයෙන් හටගන්න වේදනාවක්, වින්දනයක් තිබුණා නම් ඒකත් අනාථයි.
දිවත් අනාථයි, රසත් අනාථයි, ජිවුහා විඤ්ඤාණයත් අනාථයි, ජිවුහා සංස්ඵර්ශයත් අනාථයි, ජිවුහා සංඵස්ස වේදනාවත් අනාථයි.
කයත් අනාථයි, ස්ඵර්ශයත් අනාථයි, කයත් ඵොට්ටබ්බයත් නිසා හටගන්න කාය විඤ්ඤාණයක් තියෙනවා නම් ඒකත් අනාථයි, කාය සංස්ඵර්ශයක් ඒකෙන් හටගත්තා නම් ඒකත් අනාථයි, ඒ සංස්ඵර්ශයෙන් ජනිත වෙන වේදනාවක් තිබුණා නම් ඒකත් අනාථයි.
මන ත් අනාථයි, ධර්මයෝත් අනාථයි, මනයි ධර්මයි නිසා හටගන්න මනෝ විඤ්ඤාණයක් තිබුණා නම් ඒකත් අනාථයි, ඒ තුළින් හටගන්න මනෝ සංස්ඵර්ශයක් තිබුණා නම් ඒකත් අනාථයි, ඒ සංස්ඵර්ශයෙන් ජනිතවන වේදනාවක් තිබුණා නම් ඒකත් අනාථයි.
එහෙනම් ඔය සියල්ලම අනාථ වැඩ. ඉතින් අපි දුන්නා කර්මස්ථානයක් වශයෙන් “අනාථ කර්මස්ථානයක්” ඔන්න ඕක ඇසුරෙන් ගන්න, ඇත්ත බලාගන්න.
ඇස අනාථයි, රූපය අනාථයි, චක්ඛු විඤ්ඤාණය අනාථයි,
චක්ඛු සංඵස්සය අනාථයි, චක්ඛු සංඵස්සජා වේදනාවෝ අනාථයි,
කන අනාථයි, ශබ්දයෝ අනාථයි, සෝත විඤ්ඤාණයෝ අනාථයි,
සෝත සංඵස්සයෝ අනාථයි, සෝත සංඵස්සජා වේදනාවෝ අනාථයි,
නාසය අනාථයි, ඝාන විඤ්ඤාණය අනාථයි, ඝාන සංස්ඵර්ශය අනාථයි,
ඝාන සංස්ඵර්ශයෙන් ජනිත වන වේදනාවක් ඇත්ද එම සංඵස්සජා වේදනාව අනාථයි,
දිව අනාථයි, රසය අනාථයි, ජිවුහා විඤ්ඤාණය අනාථයි,
ජිවුහා සංස්ඵර්ශය අනාථයි, ජිවුහා සංඵස්සජා වේදනාවෝ අනාථයි,
කය අනාථයි, ඵොට්ටබ්බයෝ අනාථයි, කාය විඤ්ඤාණයෝ අනාථයි,
කාය සංස්ඵර්ශයෝ අනාථයි, කාය සංඵස්සජා වේදනාවෝ අනාථයි,
මන අනාථයි, ධර්මයෝ අනාථයි, මනෝ විඤ්ඤාණයෝ අනාථයි,
මනෝ සංස්ඵර්ශයෝ අනාථයි, මනෝ සංඵස්සජා වේදනාවෝ අනාථයි….
මෙන්න මේ සියල්ල අනාථයි. (ශ්‍රාවක මහතෙක් යමක් අසයි, ස්වාමීන් වහන්සේ:) ඔවු ඉතින් අනාථ පැත්ත දැක්කහම දැන් ප්‍රශ්නයක් එනවා, “අනුලෝමක්ශාන්තිය” ට පත්වෙනවා, එච්චරයි ලබන්න පුලුවන්. එහෙනම් මොකද්ද නාථ?
“නිවන ම නාථයි, නිවන ම නාථයි, නිවන ම නාථයි, නිවන ම නාථයි!”
අන්න නිවන නාථයි කියලා ගත්තා නම් “සම්‍යක්ත නියාමයට” බහිනවා. අනුලෝමක්ශාන්තියට පත් කෙනෙක් සම්‍යක්ත නියාමයට බහිනවා. “අනුලෝමක්ශාන්තියට පත් කෙනෙක් සම්‍යක්ත නියාමයට බස්නේ යනු සිදු වන්නකි. සම්‍යක්ත නියාමයට පත් කෙනෙක් සෝතාපන්න, සකෘදාගාමී, අනාගාමී, අරිහත් යන මාර්ග ඵලයන් ලබන බවද සිදු වන්නකි…” {{ ත්‍රිපිටක සූචිය }}
අනුලෝමක්ශාන්තියට ක්‍රියාත්මක වෙනවා, අනුලෝමක්ශාන්තිය ඇතිකරන්න පුලුවන් “අනාථය” දැක්කහම. “නිවන නාථයි” කියලා දැක්කහම අර “සම්‍යක්ත නියාමය” ලැබෙනවා. නිවන නාථයි කියලා පේන්නෙ නෑ ලෝක අනාථයි කියලා දැක්කෙ නැති කෙනාට. ලෝක අනාථයි කියලා විතරක් සිහි කළොත් අනුලෝමක්ශාන්තියෙන් නවතිනවා, නිවන නාථයි කියලා තීරණය නොකළොත් සම්‍යත්ත නියාමය හෙවත් නිවන් මඟ ලැබෙන්නෙ නෑ.
අර “පදමානවකයා” ත් පෙන්නන්නෙ, දුක ගැන කිය කියා ඉන්නවා, අනිච්චයි දුක්ඛයි අනාථයි කිය කියා ඉන්නවා, අනත්ථයි කියලා ඉන්නවා, එහෙනම් වැඩක් නෑ කියලා, “මේ කෙස් කැතයි, ගඳයි” කිය කියා ඉන්නවා, මේ ආදීනව පැත්තක් ගැන මේ ටිකක් වත් දකිනවා මිසක් නිවන ශාන්තයි, ප්‍රණීතයි කියලා බලන්න කියලා තමයි ඒ පැත්තට හැරෙවුවෙ. {{ ත්‍රිපිටක සූචිය }}
(ශ්‍රාවක මහතෙක් යමක් විමසයි, එය පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ:) නාථත්වය සිහි කරන තාක්කල් ධ්‍යාන වලින්, මාර්ග ඵල වලින් ලැබෙන්න එන්ට බෑ, නාථත්වය දකින්න ඕනෙ. අනාථ අනාථ හැටියට දැක්කහම අත්හැරී යනවා. හැබැයි ගොඩ යන්න කොහොමත් අනුසය දකින්න ඕනෙ. හතුරො කට්ටිය පන්නනකොට කලබල වෙනවා, බේරෙන්න තැනක් හොයාගෙන එහාට දුවනවා, මෙහාට දුවනවා. බේරෙන්න තැන දැක්කෙ නැති තාක්කල් ඔහු වික්ෂිප්තයි.
එහෙනම් “දුක” ගැන හිත හිතා, භාවනා කර කරා ඉන්න තාක්කල් වික්ෂිප්තයි. ශාන්ත වූ, ප්‍රණීත වූ නිවන ගැන සිහි කරන්නෙ නැති තාක්කල් වික්ෂිප්තයි. නිවන සිහි කරන දාට, සිහිය පිහිටිය නුවණින්, දැන් කම්පා නෑ. දැන් දැක්කට පස්සේ, ඒ ඉන්න තැන දැක්කහම ඒ කරා දුවනවා. එතෙන්ට දුවනවා, ආයි වෙන කොහටවත් දුවන්නෙ නෑ. බේරෙන්න තියෙන නිර්භය යම් තැනක් ඇත්ද, නිවනින් මෙපිට නිර්භය තැනක් නෑ. පැවැත්මේ නිර්භය තැනක් නෑ. අන්න නිර්භය කරා ඔහු දැක්ක තැන් පටන් අපි කියනවා “නිවන් දැක්කා”. දැකපු නිවන කරා අත්දැකීමෙන් ලඟා වෙන්න ඕනෙ.
එහෙනම් ලඟා වෙනකොට මෙච්චර කල් සසර හිටපු පුරුද්දට, ආසයි කියලා හිතෙන හින්දා ආදීනව එක සැරයක් මෙනෙහි කරලා හතුරො දකිනවා. අධිකව උනන්දුවක් ඇතිවෙනවා මේකෙන් මිදෙන්න. මිදෙන පැත්ත වැඩිපුර සිහිකරලා ආයි හිත ශාන්තියෙ පිහිටලා හිටිනවා. ශාන්ත වූ, ප්‍රණීත වූ නිවනට හිත පිහිටනවා. දහ වතාවක් “නාථයි” කියලා දකිනකොට, එක වතාවක් “අනාථයි” කියලා සිහි කරන්න. එතකොට ආයි සැරයක් උනන්දු වෙලා දහම පැත්තට හිත එනවා. එතකොට නාථ වූ නිවන සිහිකරනකොට නිවනේ හිත පිහිටනවා.
එතෙන්ට අළුතෙන්ම කර්මස්ථානයක්, “ලෝක අනාථයි” කිවුවා නම් “නිවන ම නාථයි” කියලා සම්පූර්ණ කරගන්න ඕනෙ. “ලෝක අනාථයි” කියලා නැවැත්තුවොත් ඉවරයි, අන්න එතකොට හිරවෙනවා. අර වික්ෂිප්ත වෙවී ඉන්නවා. “ලෝක අනාථ නම් නිවන ම නාථයි” කියලා නිවනට හිත පිහිටුවන්න ඕනෙ. වැඩිපුර හිත පිහිටුවන්න ඕනෙ නිවනට.
“ලෝක අනාථයි, නිවන ම නාථයි, නිවන ම නාථයි, නිවන ම නාථයි”
තුන් හතර වතාවක් “නිවන ම නාථයි” කියනවා. දැන් බලන්න,
“ලෝක අනාථයි, නිවන ම නාථයි, නිවන ම නාථයි, නිවන ම නාථයි”
“ලෝක අනාථයි, නිවන ම නාථයි, නිවන ම නාථයි, නිවන ම නාථයි”
දැන් මේ කර්මස්ථානයක්. (ශ්‍රාවක මහතෙක් යමක් පවසයි, ස්වාමීන් වහන්සේ) : අන්න ඒකයි, බලද්දි අනාථයත් ලැබුණා, නාථ කොට නිවන පැත්තත් හම්බුනා. එතකොට තමයි, “නිවන ම නාථයි” කියන එකෙන් තමයි මාර්ග ඵල අවබෝධයට ලැබිලා, නැංවිලා එන්නෙ. “ලෝක අනාථයි” කියන එක අනුලෝම කරලා දෙනවා; මඟ හැඩගස්වලා දෙනවා. මඟ වැඩෙන්නෙ “නිවන ම නාථයි” කියලා, නිවන මුල් කරගෙන. හැම වෙලේම ආර්යයාට නිවන මුල් වෙලා, නිවන සිහියට එනවා.
{1:06:39} : “ලෝක අනාථයි – නිවනම නාථයි – නිවනම වෙත්වා!” කර්මස්ථානය
“උල” යන නමකි, “මඩ” යන නමකි, රෝග යන නමකි; පංච කාමයට කියන නම්. පංච කාමයට “දුක” යන නමකි, “භය” යන නමකි, “උල” යන නමකි, “ගඩ” යන නමකි, ගඩ කියන්නෙ ගෙඩිය, ගඩය, තුවාලය. “ගඩ” යන නමකි, “මඩ” යන නමකි. දැන් එතකොට මේවා පංච කාමයට කියන නම් මේ… {{ ත්‍රිපිටක සූචිය }} ඉතින් පංච කාමය තමයි දුක හැටියට දකින්නයි කියන්නෙ. කරන්න බැරිද ඕක? දැකගතයුත්තෙත් ඒකයි. (ශ්‍රාවක මහතෙක්): ප්‍රඥාවෙන් දකින්න ඕනෙ. (ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි, “සැප සංඥාවෙන්” දකිනකොට තමයි දකින්න බැරි.
ඔය ප්‍රථමධ්‍යානය, ආර්යයන් දකින ප්‍රථමධ්‍යානය අත්දැකලා නොවිඳපු අය ඉන්නවා. අවුරුදු ගණං භාවනා කරලා ගොඩවෙච්ච භික්ෂූණ් වහන්සේලා ඉන්නවා, මුලදි අහනකොට “මේක කොළොප්පමක්ද?” කියලා අහපු අයත් ඉන්නවා. “මොකද්ද, විහිළුවක්ද මේ කතාව? මෙච්චර කාලෙකට බුද්ධ සාසනේ නොතියං කොහොමද ඕක පිළිගන්නෙ?” එයාලට මේක විග්‍රහ කරලා, සැක ඇරලා දෙන්න ඕනෙ, මෙහෙමයි ධර්මානුකූලව යෙදෙන්නෙ කියලා. ඊට පස්සෙ, “ඇත්ත නේන්නම් මෙච්චර කාලයක් හිතාගන්න බැරුව හිටියට මේකෙ හොඳටම ඒ පිළිබඳව තියෙනවනේ…” කියලා උදේ පටන්ගෙන හවස ආපුහම ප්‍රථමධ්‍යානය ලබාගෙන හිටපු අය ඉන්නවා, අවුරුදු ගාණක් බැරිවෙච්චි අය. …(1:08:25 පැහැදිලි නැත )…
මොකද කාටත් ඒක බැරිකමක් නෑ, කාටත් කියන්නෙ සියල්ලන්ටම නෙමෙයි, හේතු නැති අය නෑ 90% කටම වගේ ඔය හේතු තියෙනවා. පොඩි පොඩි දේවල් වලින් ඒවා වැහිලා තියෙන්නෙ. අඩු තරමින් ප්‍රථමධ්‍යානය වත් අත්දකින්න 90% කට පුලුවන්. පොඩ්ඩක් උත්සාහ කරලා ඒවා අරගන්න ඕනෙ.
“ලෝක අනාථයි – නිවන ම නාථයි…”
දැන් ඕකත් ඔය වගේ කර්මස්ථානයක්. සිහිකරගත්තා නම් ඔය ටිකත් කර්මස්ථාන.
“ලෝක අනාථයි – නිවන ම නාථයි”
“නිවන ම නාථයි – නිවන ම නාථයි”
“ලෝක අනාථයි – නිවන ම නාථයි”
“නිවන ම නාථයි – නිවන ම නාථයි”
තව විග්‍රහ කරලා ගන්න ඕන්නම්, තේරුණේ නැත්නම්….
“කාම ලෝක අනාථයි – රූප ලෝක අනාථයි”
“අරූප ලෝක අනාථයි – සියලු ලෝක අනාථයි”
“අතහැරීම නාථයි – අතහැරීම වෙත්වා”
“නො ඇල්ම නාථයි – නො ඇල්ම වෙත්වා”
“මිදීම නාථයි – මිදීම වෙත්වා”
“නිවන ම නාථයි – නිවන ම වෙත්වා”
“නිවන ම නාථයි – නිවන ම වෙත්වා”
“නිවන ම නාථයි – නිවන ම වෙත්වා” කියලා ඉතින් ඔන්න එකම රටාව, ආයිත් අර විදිහට පටන්ගන්නවා.
“කාම ලෝක අනාථයි – රූප ලෝක අනාථයි”
“අරූප ලෝක අනාථයි – සියලු ලෝක අනාථයි”
“අතහැරීම නාථයි – අතහැරීම වෙත්වා”
“නො ඇල්ම නාථයි – නො ඇල්ම වෙත්වා”
“මිදීම නාථයි – මිදීම වෙත්වා”
“නිවන ම නාථයි – නිවන ම වෙත්වා”
වඩාගෙන වඩාගෙන යනකොට “අතහැරීම නාථයි – අතහැරීම වෙත්වා” කියන එක නිවිලා ගියා වගේ දැනෙන්න පටන්ගන්නවා. “නො ඇල්ම නාථයි – නො ඇල්ම වෙත්වා” කියනකොට ආයි නිවිලා ගියා වාගෙ, නිදහස් වුනා වාගෙ වෙනවා. “මිදීම නාථයි – මිදීම වෙත්වා” කියනකොට ඉන්න කොට පවන් සලනවා වාගෙ, වාතයක් පිම්බා වාගෙ ශරීරයට, නිදහස් වෙනවා පේනවා. “නිවන ම නාථයි – නිවන ම වෙත්වා” කියනකොට උඩදාලා ගිණිතිබ්බා වගේ, මැද ආකාසෙ නැවැත්තුවා වගේ ඵල හිතේ පිහිටලා හිටිනවා. වඩාගෙන වඩාගෙන යනකොට තමන්ට අත්දැකීම් ලැබෙනවා.
“නිවන ම නාථයි – නිවන ම වෙත්වා”
“නිවන ම නාථයි – නිවන ම වෙත්වා”
කියනකොට ඒකට අනුව තැන්පත් වෙවී, තැන්පත් වෙවී නිදහස් වෙලා, කායිකත්වය හා මානසිකත්වය ආකාසයේ තැන්පත් වෙලා, නිදහස් වෙලා තැන්පත් වුනා වගේ තම තමන්ට අත්දකින්න පුලුවන්.
හැබැයි බැරි වෙලා හරි, එක දවසක් හරි, බොරුවට එහෙම නිකමට කිවුවොත්, ඕක හරි පණ්ඩිත වෙලා තියෙන අයට ඕක වෙනවා, මේක මහා ලොකු දෙයක් කරලා, මේක ආස්වාදයෙන් “මටත් දහම් තේරෙනවා, මහ තත්වයක් ලැබුණා” කියලා ඔය අදහස් අරගෙන, සමහර වෙලාවට බොරුවට එහෙම කිවුවොත්, ආයි ඵලය ලබන්න බෑ ජීවිතේට. හරියනකල් ඉන්න ඕනෙ කාලයක්. ඒ තරම් භයානකයි උත්තරී මනුෂ්‍ය ධර්මයක්, නැති උත්තරී මනුෂ්‍ය ධර්මයක් තියෙනවා කියලා ප්‍රකාශ කළොත් බොරුවට. ආයි හිරවුනා හිරවුනාමයි ගලවාගන්න බැරි වෙනවා.
ඒ නිසා නැති ඒවා කාටවත් කියන්න ඕනෙ නෑ, කාටවත් කියන්න ඕනෙම නෑ, මොකටද කාටවත් කියලා? අහගෙන තම තමන් ඵලය ලබාගත්තම තමන් දන්නවා, තමන් භාවනා කරනකොට මේ විදිහට මෙතෙන්ට පත්වෙන්න පුලුවන් නෙ කියලා, ඒ විදිහට එකින් එකට වර්ධනය වෙනවා. කෙරවලට ගිහාම දකිනව, “මට වෙන අත්හරින්න දෙයක් නෑ, ඔක්කොම මිදිලා අත්හැරිලා නිදහස් වුනා, ආයි නිදහස් කරන්න දෙයක් නෑ, නිදහස් වෙලා ඉවරයි” කියලා දැනෙනවා, ඒ මට්ටමින් නුවණත් වැඩෙනවා. තමන්ටම අත්විඳින්න පුලුවන් වෙනවා.
{1:11:50} : නිවන් දකින්න මූලික වන “මෙලොව පටිච්චසමුප්පාදය” දකින හැටි
කාම හේතුවකට කැමැත්තෙන් බැඳුනොත් ඔහු කාමුකයෙක් වෙනවා ඵලය. ද්වේෂය නැමැති හේතුවෙ පැහැදී බැඳුනොත් ඔහුට ඵලය ද්වේෂ සහගතව දුක් ගෙන දෙනවා. මත්පැනට කැමැත්තෙන් බැඳුනොත්, බීමට බැඳීම නිසා ඔහු “බේබද්දෙක්” වෙනවා, අපි කිවුවත් නැතත් එහෙමයි. හේතුවට කැමැත්තෙන් බැදුනොත් අනුකූල ඵලය හම්බෙනවා. කැමැත්තෙන් බේබදුකම් කරන්න පටන්ගත්ත කෙනාට “බේබද්දා” නැමැති ඵලයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මයි. හොරකම නම් තිබුණෙ, කැමැත්තෙන් බැඳී කටයුතු කරන කෙනාට “හොරා” නැමැති ඵලයට මුහුණදෙන්න සිද්ධවෙනවා. ඕක තමයි මෙලොව දකින පටිච්චසමුප්පාදය. මෙලොව පටිච්චසමුප්පාදය දැක්කෙ නැති කෙනාට නිවන් දකින්න බෑ කියලා කියනවා.
එහෙනම් භව තුනක පටිච්චසමුප්පාදය නෙමෙයි, මෙලොව පටිච්චසමුප්පාදය දැකලා ඉන්න ඕනෙ ඉස්සෙල්ලාම. එතකොට දැනගන්නවා “හොර ජාතිය” මවු කුසෙන් උපන්නෙ නෑ, “බේබදු ජාතිය” මවු කුසෙන් උපන්නෙ නෑ, “සල්ලාල ජාතිය” මවු කුසෙන් උපන්නෙ නෑ. ඉපදෙන පොඩි දරුවා පහු කාලෙක හිතෙන්, කයෙන්, වචනයෙන් ඒවා ඇසුරු කරන්න පටන්ගෙන තමයි ඒ ඒ තත්වයන්ට පත්වෙලා, ඒ ඒ ජාති වලට පත්වුනේ.
“ආර්ය ජාතිය” මවු කුසෙන් නෙමෙයි උපදින්නෙ, ආර්ය ධර්මයෙන්. ආර්ය ධර්මය හේතුව වෙලා, ඒ ධර්මය කැමැත්තෙන් ඇසුරු කළොත්, පටිච්ච කළොත් මොකද වෙන්නෙ? උපත – සම උප්පාදයෙන් ආර්ය ඵලය. එතකොට ආර්යයෙක් වෙනවා. දේව ධර්මය කැමැත්තෙන් ඇසුරු කළොත් එහි ඵලය දෙවියා, එයා දෙවියෙක් වෙනවා. බ්‍රහ්ම ධර්මය කැමැත්තෙන් ඇසුරු කළොත් එහි ඵලය බ්‍රහ්මයා, ඔහු බ්‍රහ්මයෙක් වෙනවා.
බලු ධර්මය කැමැත්තෙන් ඇසුරු කළොත් එහි ඵලය බල්ලෙක් වෙනවා. “බල්ලෙක් වෙන්න මට එපා” කිවුවට හරියන්නෙ නෑ, බලු ධර්මය කැමති වුනා නම්. බලු ධර්මයනට කැමතියි, බල්ලෙක් වෙන්න අකමැතියි. ඒවා කැමැත්ත – අකමැත්ත හරියන්නෙ නෑ හේතුවට අනුවයි ඵලය. බල්ලෙක් වෙන්න හේතුවෙන ධර්මය ඇසුරු කළොත් ඔහු කොච්චර අකමැති වුනත් බල්ලෙක් වෙනවා. ඒක වළක්වන්න බෑ.
හරකෙක් වෙන හේතුව ඇසුරු කළොත්, හරකා නැමැති ඵලය තමන්ට භුක්ති විඳින්න සිද්ධ වෙනවා. අනුන්ගෙ බෙලි කපන්න ගියොත් තමන්ගෙ බෙලි කැපුම් කන්න සිද්ධ වෙනවා, ඒවා වළක්වන්න බෑ. බෙලි කැපුම් කන්න හසුවෙලා “අනේ අපොයි” කිවුවට වැඩක් නෑ, අපි දකින්න ඕනෑ, බෙලි කැපුම් කන්න හේතුව කැමැත්තෙන් ඇසුරු කරන්න ගිහිල්ලා, අනුන්ගෙ බෙලි කපන්න ගිහිල්ලා තමයි ඔය බෙලි කැපුම් කන්නෙ. ඒකට හේතුවෙ ඵලය ලැබිලා. ඒක ආදර්ශයට අරගෙන අනික් අයට කියාදෙන්න ඕනෑ,
“දැලි පිහිය බෙල්ලට තියලා අනුන්ගෙ බෙලි කපාගෙන ගියපු එකෙක් අන්න බෙලි කැපුම් කනවා” කියලා. “කොහෙද?” “මස් කඩේ”. ඔය “තාත්තා මස් කඩේ බෙල්ල කපනවා” කිවුවට හරියන්නෙ නෑ, අද ඇඬුවට හරියන්නෙ නෑ.
ධර්මය දකිනකොට කොහොමද දකින්නෙ? පෙර කාලෙක මනුස්සයෙක් වෙලා ඉඳලා, ආයුධය බෙල්ලට තියලා, බෙල්ල කපලා, මිනිස්සුන්ගෙ දේවල් හූරගෙන කාපු ඒ ජාතියෙ මංකොල්ලකාරයෙක් අද මස් කඩේ බෙලි කැපුම් කෑමේ ඵලයට පත්වෙනවා, අද බෙලි කැපුම් කනවා. “අපි එහෙම දෙයක් කළානෙ, උඹටත් බෙලි කැපුම් කන්න ඕනෙද අද මස් කඩේට ගිහිල්ලා? එහෙම ඕනෑකමක් තියෙනවා නම් උඹත් අද දරදඬු වෙලා, දාමරිකයෙක් වෙලා, අනුන්ගෙ බෙලි කපලා සල්ලි ගනින්, මංකොල්ල කාපන්. එතකොට උඹට ඕන්නං මතු අනාගතයෙදි අන්න අතන මස් කඩේට දක්කන එකෙක් වෙන්න වෙනවා. ඒ ඵලය භුක්ති විඳින්න සිද්ධ වෙනවා. කැමති නම් කරගනින්…” එහෙනම් බුදුරජාණන් වහන්සේ එපා කිවුවෙ නෑ, “උඹට ඕන්නම් කරගනිං… ඒක හොඳ නං කරගනිං… හැබැයි උඹට ම තමයි!” අන්න, හේතු ඵලය හරියට විද්‍යාමාන කරලා කිවුවම කවුරුවත් ඕක කරගන්නෙ නෑ.
කුෂ්ට රෝගයක් හැදිලා ඉන්න බල්ලෙක් ඉන්න පුලුවන්, බලු වැඩ කරන එක… බල්ලගෙ ක්‍රමයක් තියෙනවා, පාරෙ පහරන එක බල්ලගෙ ලේසිම ක්‍රමය. කොච්චර කැලේ ඉඩ තිබුණත් කැරකිලා කැරකිලා රවුම් ගහලා ඇවිදිල්ලා, හරියට අඩිපාරක මිනිහෙක් හොයාගෙන එන වෙලාවක පහරනවා; බල්ලගෙ ගතිය. ලිං පඩියක එහෙම හරියට පහරලා තියෙනවා දකින්න පුලුවන්. නාන තැන්වල, ලින් මිදුල් එහෙම කරනවා හරියට ඔය වැඩේ. ඉතින් අන්න ඒ වගේ උන්, පිටට කුෂ්ට රෝග හැදිලා ඉන්නවා. මොකද වෙලා තියෙන්නෙ? මිනිහෙක් වෙලා ඉන්න කාලෙ මිනිහෙකුට නාන්න දුන්නෙ නෑ, ඒවට බැණ බැණ, ලිං අහුරගෙන, අනුන්ගෙ ලිං වලට ඉරිසියා කරලා ගිහිල්ලා, ලිඳ අස්සෙ පහරලා ගිහිල්ලා හැංගිලා හොරෙන්ම ගිහිල්ලා…
ඔය ජාතියෙ ජීවිතයක් ගතකරපු එකාට සිද්ධ වෙනවා අනුන්ගෙ පිරිසිඳු බවට පහර ගහපු නිසා කුෂ්ට රෝගියෙක් වෙන්න, කහ කහ ඉන්න සිද්ධ වෙනවා, ගඳ ගගහා ඉන්න සිද්ධ වෙනවා, කරපු බලු වැඩේට බල්ලෙක් වෙන්න සිද්ධ වෙනවා. අන්න බලු ගමන; ඔය බලු ගමනයක් ඇසුරු කළොත් කහ කහ ඉන්න බල්ලෙක් වෙලා තැනින් තැන පහර පහර ඔය වගේ යන බල්ලෙක් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් කැමති නම් එහෙම ජාතියෙ එකෙක් වෙන්න ඔබත් එහෙම දේවල් කරගන්න, එච්චරයි ඉතින්.
එහෙනම් බුදු දහමෙ තියෙන්නෙ කරන්න එපා කියන එකක් නෙමෙයි, මං කවදද කියන්නෙ “අනේ සත්තු මරන්න එපා! දෙයියනේ… සත්තු මරන්න එපා! අනේ බුදු තාත්තේ, පුතේ සත්තු මරන්න එපා….!” කියලා අඬනවද? අපිට ඕවා කරන්න නෙමෙයි තියෙන්නෙ, “උඹට ඕන්නම් මරපං… මෙන්න මේකයි ප්‍රතිඵලය…” ඇත්ත කිවුවොත් මරණවද? ඇත්තට කියන්නෙ නැතුව අඳෝනා කිවුවට ලෝක සත්වයා පාපයෙන් මුදවන්න බෑ, අත්හැරවන්න බෑ. ඇත්ත කියලා දුන්නහම අඳෝනා කිය කියා ඉන්න දෙයක් නෑ, යාඥා කරන්න දෙයක් නෑ, ඔහු කිවුවත් ඒ වැඩේ කරන්නෙ නැහැ ඇත්ත දැනගත්තහම. ඉතින් ඒ ආකාරයෙන් අපි දකින්න ඕනෑ දහම් දකින නියම ක්‍රමය. පටිච්ච සමුප්පාදය කිවුවෙ ඔන්න ඕකයි. ඔය කෙටියෙන් දැනගත්තහමත් ඔය ටික ඇති.
{1:17:29} : මේ අති දුර්ලභ දහමෙන් ප්‍රයෝජන ගන්න අප්‍රමාදීව උත්සාහ කරමු
ඉතින් ඕක විග්‍රහ කරන්න කිවුවොත් තමයි ඕක වෙන්නෙ මෙන්න මෙහෙම, ඒක හොඳයි කියලා ගත්තෙ ඇත්ත දකින්නෙ නැතුව අවිද්‍යාව, ඒක හරි සාර වැඩපිළිවෙලක් හැටියට අර දුස්චරිත වැඩපිළිවෙල දරාගත්තා. “අවිජ්ජා පච්චයා සංඛාරා” වුනා. ඒ නිසා ඔහුට බලාපොරොත්තුවක් ඇතිවුනා ඒ ජාතියෙ වැඩ කරන්න, ඒ දුෂ්ට වැඩ කරන්න, දුස්චරිත වැඩ කරන්න. “සංඛාර පච්චයා විඤ්ඤාණං” කියන සිද්ධාන්තය සිද්ධ වුනා. ඒ බලාපොරොත්තු සහගත, දුස්චරිත බලාපොරොත්තු සහගත මානසිකත්වය තුළින් එබඳුම අදහස් තමයි ඇතුල් වෙන්නෙ. “විඤ්ඤාණ පච්චයා නාම රූපං” කියන සිද්ධාන්තය සිද්ධ වුනා.
ඒ දුස්චරිත බලාපොරොත්තු ඇත්තාගේ වැඩපිළිවෙල නිසා ඔහුගේ ඇස කන දිව නාසය ශරීරය මන ඒවට ආයතන වුනා, “නාම රූප පච්චයා සළායතනං” කියන සිද්ධාන්තය සිද්ධ වුනා. ඔහු ඒ වැඩකට නැති දුස්චරිත ධර්ම, පාප ධර්ම ම ඇසුරු කරනවා, එතකොට “විඤ්ඤාණ පච්චයා නාම රූපං” කියලා ඒ ධර්ම ම බැහැගත්තා ඒ විඤ්ඤාණ වලට, ඒ බලාපොරොත්තු සහගත මනසට. “නාම රූප පච්චයා සළායතනං” කියලා ඇස කන දිව නාසයට, ඒවටම ආයතන වුනා. “සළායතන පච්චයා ඵස්සෝ” කියලා ඔහු ඒවම ස්ඵර්ශ කරලා භුක්ති විඳිනවා, ඒ ස්ඵර්ශය භුක්ති වින්දා, ඒ ස්ඵර්ශයට කැමතියි.
ස්කන්ධයේ ස්ඵර්ශය ම ලැබුවා “සළායතන පච්චයා ඵස්සෝ” කියලා. “ඵස්ස පච්චයා වේදනා” කියලා ඒ වින්දනය ම ඔහු ලැබුවා. ස්ඵර්ශ වින්දනයෙන් දුක්ඛ වින්දනයක් කියන විපාකය ම ලැබුවා. “වේදනා පච්චයා තණ්හා” කියලා ඔහු එතනම ඇළුනා. “තණ්හා පච්චයා උපාදානං” කියලා එතනම බැඳුනා. “උපාදාන පච්චයා භවෝ” කියලා දුස්චරිත බවටම පත්වුනා. “භව පච්චයා ජාති” කියලා ඒ විදිහේ දුස්චරිතයට හිමි යම් ජාතියක් ඇත්ද, ඒ ජාතිකයෙක් වෙලා, මෙලොවම ජාතිකයෙක් වුනා.
එහෙනම් කර්ම භවයෙන් කර්ම ජාතියට පත්වෙලා ඉඳලා, එතනින් මැරිලා උප්පත්ති භවට, යනවා උප්පත්ති ජාතියට. උප්පත්ති ජාතිය ලැබුවට පස්සෙ ඒ ජාතිකයෙක් පහල වෙනවා. එදාට කියනවා “තිරිසනා, පෙරේතයා භූතයා, කුම්භාණ්ඩයා, පිසාචයා…” එක එක නම් වලින් හඳුන්වනවා.
ඉතින් එතෙන්ට යන්න ඕනෙ නම්, කවුරුවත් යවන්නෙ නෑ, කාටවත් යවන්නත් බෑ, තමන් ම කරගත්ත හැටියට තමන්ට යන්න වෙනවා. කවුරු නිසා කළා කිවුවත් වැඩක් නෑ, තමන් කළොත් තමන්ට ඒකට යන්න වෙනවා. කවුරුවත් නිසා කළාට ඒ නිසා කරපු පුද්ගලයා යන්නෙ නෑ තමන් යනවා. ඒ නිසා කිවුව පුද්ගලයා ඒක නොකළානම් එහෙම ඒ පුද්ගලයා මුළු ලෝකෙටම එකතුවුනත් එතෙන්ට දමන්න බෑ. ඒ හින්දා ඒ උත්සාහයන් ක්‍රියාත්මක වෙන්නෙ නෑ.
අනුන් නිසා පවු කරනවා කිවුවට එහෙම හරියන්නෙ නෑ. අනුන් නිසා හරි තමන් පවු කළොත්, පවු ගෙවන්න වෙන්නෙ තමන්ට. අනුන් නිසා පවු නොකළත්, නිදහස් වෙන්න හම්බෙන්නෙ තමන්ටයි. දැන් ඒක නිසා කියනවා, “අත්ථ දීපා විහරථ, අත්ථ සරණා, අනඤ්ඤ සරණා…!” තමන්ට තමන් දීපයක් වෙන්න වාසය කරන්න. තමන්ට තමා සරණ කරගෙන අන් කෙනෙකුටත් සරණ වෙන්න, ඔය සැනසිල්ල ලබා දෙන්න, තම තමන්ම කරගන්න.
ලෝකයේ යම්තාක් සත්ව කොට්ඨාශ ඉන්නවා නම්, යම් යම් ආකාර දුක් විඳින හෝ ඒ ඒ මට්ටමේ හැසිරෙන සත්ව කොට්ඨාශ ඉන්නවා නම්, ඒ හැම සත්වයාම, හැම ස්වභාවයක් ම ඇතිවෙන්න අනුකූල ගතියක් මේ ලෝකෙ මනුස්සයින්ගෙ හිත්වල පහලවෙනවා. මනුස්සයෙක් වෙලා කරගත්ත ඒවයේ තියෙන ඵල-විපාක වශයෙන් තමයි ඒ ඒ ආකාර සත්ව කොට්ඨාශ වල මුල පටන්ගන්නෙ. ඒකෙ ඵලය වශයෙන් තමයි ඒ ඒ සත්ව කොට්ඨාශ බිහිවෙන්නෙ. ඒ නිසා තමයි තිරිසන් ලෝකයා දකින්න හම්බෙන්නෙ.
ඉතින් තිරිසන් ලෝකෙ අප්‍රමාණ සත්තු ඉන්නෙ, මේ ලෝකෙ හිටපු මනුස්සයො හොඳ ඒවා කරපු අය නෙමෙයි හින්දා. මනුස්සයො කෝටියක් ගෙන් හොඳ එකක් කළා නම්, ඉතුරු ඔක්කොම කරලා තියෙන්නෙ නරක, තිරිසන් වැඩ. ඔන්න ඔය ක්‍රමයට කරගත්ත වැඩපිළිවෙල නිසා ලෝකයේ තීරිසන් පැත්ත වැඩිවෙලා, ක්ෂුද්‍ර වැඩ – ක්ෂුද්‍ර ජීවීන් වැඩිවෙලා, මනුස්ස වැඩ කරපු අය බොහොම ටික නිසා මුළු ලෝකෙම කෝටි හයසීයකට වැඩිය මනුස්සයො නෑ. අඩිය ගහපු තැනක කෝටි හයසීයකට වැඩිය සත්තු ඉන්නවා.
එහෙනම් මොකද වෙලාතියෙන්නෙ? සත්වයා මේ සසරෙ ගතකරලා තියෙන ආකාරය තමයි ඔය පෙන්නන්නෙ. ඒ අය හොඳ වැඩ කර කර යහපතට නෙමෙයි කටයුතු කරලා තියෙන්නෙ, නරක වැඩ කරලා විනාසෙට. ඒකෙන් බේරිලා බේරිලා ආපු කට්ටිය තමයි තව මේ මනුස්සයො හැටියට ඉන්නෙ. මේ කල්පයේ මුල පටන්ගෙන මේ වෙනකොට කොහොම හරි බේරිලා තියලා තියෙනවා නම් ලොකු වාසනාවක්, මනුස්සයෙක් වෙලා තවම ඉන්නවා නම්. දැන් අන්තඃ කල්ප විස්සක කාලයෙන් අන්තඃ කල්ප පහළොවක් විතර ගිහිල්ලා. තව අන්තඃකල්ප පහක් විතර මේ ලෝකෙ පවතින්න කල් තියෙනවා. පහළොස් අන්තඃකල්පයක් තුළ …(1:21:57 පැහැදිලි නැත )… ට පත්කරන විශ්වාස වලින් බේරිච්ච කට්ටිය තමයි අදත් මේ මනුෂ්‍ය වෙලා ඉතුරුවෙලා ඉන්නෙ.
එහෙනම් මේ අවස්ථාවෙ භයානක කම දැනගෙන, ලැබුණ අවසථාවෙන් මතුවට එතැනට නොයන්න ප්‍රතිඵල ලබාගැනීමට තියෙන එකම මාර්ගය තමයි ආර්ය මාර්ගය, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම් මාර්ගය. ඒ චතුරාර්ය සත්‍යය පිළිබඳ දර්ශනය ලබාගත්තා නම්, ඇත්ත තේරුම්ගත්තා නම්, දහම් තේරුම්ගත්තා නම්, එතැන් පටන් සදහටම සතර අපායෙන් නිදහස්. අනන්ත සංසාරයක් තිබුණු සසර ගමනෙන් නිදහස් වෙන්න මඟ පාදාගෙන ඉවරයි. එහෙනම් ඒ ලැබුණු වාසනාව අනන්ත සංසාරෙම ලැබූ වාසනාවක් වෙනවා.
ඉතින් බුදු දහම කියන්නෙ එච්චර වටිනා දෙයක්. ධර්මශ්‍රවණය කියන්නෙ එච්චර වටිනා දෙයක්. ඒ ධර්මය නුවණින් මෙනෙහි කිරීම කියන්නෙ ඊටත් වඩා වටිනා දෙයක්. ඒ අවබෝධය ලබාගැනීම ඊටත් වඩා පරම දුෂ්කර වටිනා දෙයක්. මේ ලැබුණ අවස්ථාවෙදි, රෑ දාවල් දෙකේදි වෙන ඒවා කරන්නෙ නැතුව බලන්න ඕනෙ කොහොමහරි පළවෙනි අවබෝධය වත් ලබාගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “හිස ගිණිගත් කෙනෙක් ගිණි නිවන්න උත්සාහ කරනවා වගේ උත්සාහ කරන්න ඕනෑ මේකට ලංවෙන්න” පළවෙනි අවබෝධය ලබාගන්න, එහෙම නැත්තම් සෝවාන් වෙන්න. එයාට ප්‍රශ්නයක් නෑ, එයා එතනින් එහාට සුද්ධ වෙනවා මයි.
{1:23:22} : මරණයට පත්වෙන දේවල් පැතීම ප්‍රමාදයයි, එයින් මිදීම අප්‍රමාදයයි
“යේ පමත්තා යතා මතා” මේ අප්‍රමාද පුද්ගලයයි ප්‍රමාද පුද්ගලයයි දෙන්නා ඔතනින් තේරුම්ගන්න ඕනෙ කවුද කියලා. දැන් මෙච්චර වෙලාවක් මේ දේශනා කළේ, අප්‍රමාදීන් වන්න කිවුවෙ නිවන මුල් කරගෙන, නිවන් ලබාගැනීම සඳහා. අන්න ඒ නිවන සඳහා අප්‍රමාදීව කටයුතු කරන පුද්ගලයා “අමෘත පදයේ” යි ඉන්නෙ, නොමැරෙන පැත්තෙ. නොමැරෙන පැත්ත කියන්නෙ, අමෘත කියන්නෙ නිවනට. ඔහු ඉන්නෙ නිවන පැත්තෙ, අප්‍රමාද නම් නිවන් පැත්ත. ප්‍රමාද නම් “මච්චු” පැත්ත, මරු ගෙ පැත්ත. මරණයට පත්වෙන අයගෙ පැත්ත. එහෙම විග්‍රහ කරලා තේරුම් අරගන්න ඕනෙ.
ජාතිය ස්වභාවය කරගෙන ඇති සත්වයෝ ජාති පහල කරන ඒවම හොය හොයා පස්සෙන් යනවා. ජරාව ස්වභාවය කරගෙන ඇති සත්වයා ජරාවට ගොදුරු වෙමින්, ජරාව පහල කරන දේවල් ම පත පතා ඒ පස්සෙ යනවා. ව්‍යාධියට ගොදුරුවෙන සත්වයා, ව්‍යාධියට ගොදුරු වෙවී, මතුත් ව්‍යාධියම පහල කරන දේවල් හොය හොයා පස්සෙන් යනවා අවිද්‍යාව නිසා, තේරෙන්නෙ නැති නිසා. මරණයට ගෝචර වීම උරුම කරගෙන ඇති සත්වයෝ මරණයට පත්වෙන දහම් පස්සෙම මතු මතුත් හොය හොයා යනවා. මෙන්න ප්‍රමාද පුද්ගලයගේ ගති ලක්ෂණය.
එයා මරණයට පත්වෙන ඒවා පස්සෙ යන නිසා ඔහු මරු පසුපස යන කෙනෙක් වෙනවා. අන්න, ප්‍රමාද පුද්ගලයා “මච්චුනො පදං” කිවුවෙ, මරුගෙ පැත්තෙ ඉන්නවා කිවුවෙ ඒකයි. මැරෙන ඒවා පැත්තෙමයි ඉන්නෙ. “අනේ මට මෙහෙම කෙනෙක් වෙන්න ඇත්නම්…” ඉතින් ඒක තමයි ඒ නොදන්න කෙනෙක් ගැනද කියන්නෙ? මරණයට පත් නොවන දෙයක්ද අදහස් කළේ? මේක අහගන්න ඕනෙ, හොයාගන්න ඕනෑ.
එතකොට අපි උත්සාහ කරලා තියෙන්නෙ මේ මරණයට පත්වෙන දෙයක් නම්, වැහැරීමට පත්වෙන දෙයක් නම්, අන්න ඒ පිළිබඳව “ඒක වටිනා දෙයක්ද, මං මේ බලාපොරොත්තු වෙන්නෙ?” කියලා කර්මානුකූලව හිතනකොට, වැඩක් නැති බලාපොරොත්තුව හිතෙන් හිඳිලා යනවා. “මං වැඩක් නැති පැතුමක් නෙ පැතුවෙ, වැඩක් නැති දෙයක් නෙ බලාපොරොත්තු වුනේ, වැඩක් නැති දෙයක් හදන්න නෙ උත්සාහ කළේ, මැරෙන දෙයක් හදන්නද, ජරාවට පත්වෙන දෙයක් හදන්නද, වැහැරෙන දෙයක් හදන්නද මේ උත්සාහ කළේ? ඉතින් ඒ දේ එක අවස්ථාවක් බලං ඉඳලා, මං ඒ අවස්ථාවෙ හිත පිහිටුවාගෙන, ඒක හොඳයි කියන අවස්ථාවට හිත පිහිටුවාගත්තා, ඒක නමුත් වටකරලා තියෙන්නෙ වැහැරීමයි මරණයයි… හොඳයි කියන එකම අවස්ථාවක් දැකලා මං ඒ අවස්ථාව විතරක් හිතාගත්තා අල්ලාගෙන ඒකට, හරි වටිනා එකක් කියලා. නොවටිනා එකක් බව තේරුණේ නැත්තෙ ඒකටම අයිති වෙලා තිබිච්ච අර වැහැරීම, මරණය අයිති එකක් බව දැක්කෙ නැති හින්දා…”
ලස්සන වෙන්න උත්සාහ කරනවා, ඒ ලස්සන වෙන්න උත්සාහ කරපු යම් ද්‍රව්‍ය වස්තු වන ශරීරය කැත වෙලා, වැහැරිලා, මැරිලා යන එකක් බව නොහිතපු නිසා, ඒකෙම අවස්ථාවක් නෙතින් අරගෙන, ඒ තත්වයට පත්වෙන්න උත්සාහ කරනවා….
~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~
දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://waharaka.com/listen/CD004-05