දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)
කුසළ සීලය
{0:00:00} : ඉන්ද්රිය භාවනාව තුළින් කුසල සීලය වැඩීම
ප්රශ්නය: අද අපිට මේ ධර්ම ප්‍රශ්ණයක් ලැබිල තියෙන්නෙ, ධර්මයෝ විසින් ධර්මතාවයන් හේතුකොට ගෙන නිවන් පරතෙරට පත්කරනු ලබන්නේ නම්, අප පළමුවෙන් පිහිටිය යුත්තේ, කෙබඳු තැනකද කියල පහදලා දෙන්න, කියන එකයි මේ කියන්නෙ.
ඉතින් ධර්මයෝ, ධර්මයෝ පවත්වනවයි කියන එක අපි දැන් තේරුම් අරගන්ට ඕනේ, බුද්ධ දේශනාවේ පෙන්නලා තියෙන ක්‍රමයක්, කුසල සීලය – අවිප්රතිසාරයත්, අවිප්‍රතිසාරය – ප්‍රමෝදයත්, ප්‍රමෝදය – ප්‍රීතියත්, ප්‍රීතිය – පස්සද්ධියත්, පස්සද්ධිය – සුඛයත් , සුඛය – සමාධියත්, සමාධිය – යථා භූත ඥාණ දර්ශනයත්, යථා භූත ඥාණ දර්ශනය – නිර්වේදයත්, නිර්වේදය – විරාගයත්, විරාගය – විමුක්තියත්, විමුක්තිය – විමුක්ති ඥාණ දර්ශණයත් ලබා දෙයි. මෙසේ ධර්මයෝම ධර්මයෝ පුරවයි, නිර්වාන පරතරයට යාම සඳහා, ධර්මයෝම – ධර්මයෝ පවත්වයි. මේ “න චේතනා කරණිය සුත්‍රයේ”, කෙටි අදහස. “කුසල සීලය ඇත්තහුට, අවිප්‍රතිසාරය උපදීවායි චේතනාවෙන් කටයුක්තක් නැත, ලැබීම ධර්මතාවයකි”.
විප්‍රතිසාරය කියන්නේ, විපිළිසර බව, අවිප්‍රතිසාරය කියන්නේ විපිළිසර නොවන බව. විපිළිසර බව කිව්වේ, කැලඹෙනවා, විසිරෙනවා, එක දෙයකට අවධානය යොමු කරගන්න බැහැ, කල්පනා කරනකොට දහසක් කල්පනාවන් හිතට එනවා. දැන් මේ ජාතිය ආපුවහම විපිළිසරයි. අවිප්‍රතිසාරය ඇතිවෙන්නනම් ඕනේ, අවශ්‍ය අවධානය එල්ලකරගෙන, දැන් අද මේ කාලේ කියන්නේ හිත එක අරමුණකට ගන්න කියල, අන්න ඒ ටික කරන්න, නැතිනම්, දහම් අවබෝධ කරගන්න බැරිනම් අන්න ඒ ටික කරගන්න. හිත එක අරමුණකට ගන්න කියන අදහසින් අදහස් කලේ මොකක්ද? යම්කිසි අවධානයක් යොමු කරගත්තනම් දහම් අවබෝධය සඳහා, ඒ පැත්තෙ අවධානයෙන් හසුරුවන්න පුළුවන් වෙන්න ඕන, විවිධ අවධානයන්ට සිත පහතට වෙන්නේ නැත්නම්, අන්න අවිප්‍රතිසාරයෙන් යුක්තයි. දැන් බන අහන්න ආවට පස්සෙ, බන අහන්න කල්පනා කරනකොට වෙන වෙන ඒවා කල්පනා වෙනවනම්, වෙන වෙන පැති වලට හිත යනවනම්, එතන තියෙන්නෙ විපිළිසර බවක්. ඒ විපිළිසර බව තිබුනොත් ධර්මය තෝරගන්න බැහැ. අන්න එහෙනම් ඒ විපිළිසර බව නැති කරන්න යොදාගන්න කියනවා, කුසල සීලය. කුසල සීලය ගත්තොත්, අවිප්‍රතිසාරයට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ, ලැබෙනවා ඒක ධර්මතාවය. එහෙනම් කියනවා කුසල සීලයේ ඇත්තහුට, අවිප්‍රතිසාරය උපදීවායි චේතනාවෙන් කටයුත්තක් නැත, ලැබීම ධර්මතාවයකි. එහෙනම් කුසල සීලයේ පිහිටියොත් එහෙම, එතෙන්දි ආයි සැරයක් ඔය කැළඹුම් ඇති වෙන්නෑ, විවිධාකාර අවධානයන්ට යොමු වෙන්නෙ නෑ. අවධානය යොමුකරන්න පුලුවන්නම්, යම්කිසි ධර්ම රටාවක් තේරුම් ගන්න, ඒකට මනා අවධානයක් යොමු කරන්න පුළුවන්, කිසි අමාරුවක් නැතුව.
අන්න එතන “අවිප්‍රතිසාරය”. එහෙනම් අවිප්‍රතිසාරය ඇතිවෙන්න නම්, කුසල සීලය තියෙන්න ඕනෙ. නැත්නම් අවිප්‍රතිසාරය කියන එක ඇතිවෙන්නෙ නෑ. “අවිප්‍රතිසාරය ඇතියහුට, ප්‍රමෝදය උපදීවායි චේතනාවෙන් කටයුත්තක් නැත”. හිත එහෙ මෙහෙ යන්නැත්නං, අවධානය වෙන අතට යොමු වෙන්නැත්තං, දහමට අවධානය යොමු උනොත්, දහම නිසා ලැබෙන චිත්ත ප්‍රසාදයෙන්, ප්‍රමෝදය මතුවෙලා එනවා. ඒකට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ප්‍රමෝදය මතුවේවා, ප්‍රමෝදය මතුවේවා කියල එහෙම හිතන්න, කියන්න භාවනා කරන්න කියල, එහෙම එකක් කරන්න දෙයක් නැහැ, ඒක ලැබෙනවා. “ප්‍රමුදිතයාට ප්‍රීතිය මතු වේවායි, චේතනාවෙන් කටයුත්තක් නැත”. එහෙනම් දහම් ප්රබෝධය ඇති වෙනකොටම, දහම් ප්‍රීතිය ඇතිවෙනවා. “ඒ ප්‍රීතිය ඇත්තාට, පස්සද්ධිය ඇතිවේවායි, චේතනාවෙන් කටයුත්තක් නැත”. සැහැල්ලු බව; සැහැල්ලු බව කියන්නෙ, අමුතුවෙන් ඇතිවෙන්න, හිතන්න කරන්න දෙයක් නැහැ. ඒ දහම් ප්‍රීතියෙන් නිරාමිස ප්‍රීතියෙන් යුක්ත නම්, සැහැල්ලුව ඇතිවෙනවමයි. එතකොට “පස්සද්ධිය ඇතුලෙ සුඛය ඇතිවේවායි චේතනාවෙන් කටයුත්තක් නැත”. කාම සුඛය නෙමෙයි ඔය කියන්නෙ, දහම් සුවය. අන්න දහම් සුවය ඇතිවෙනවනම්, මොකද කරන්නෙ, ඒකට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ, දහම් සුවය ඇතිවෙනවමයි. “සුඛිත සිත් ඇත්තාහට, සිත සමාධිගතවේවායි චේතනාවෙන් කටයුත්තක් නැත, ලැබීම ධර්මතාවකි”.
එහෙනම් සමාධිය ලබා දෙන්නෙ සුඛයෙන් – සුඛිනෝ සමාධියති. සුඛය ලබා දෙන, සමාධිය ලබාගන්න, අද නානාප්‍රකාර ක්‍රම යොදනව, වෙන වෙන ඒවා. නිරාමිස සුවය මතු උනානම්, සමාධිය ඒකෙන් මතුකරන්නෙ. ඒක සුඛයේ වැඩක්. එහෙනම් සුඛය විසින් මතුකරන සමාධියට, වෙන ක්‍රමයකින් කර්මස්ථාන හෙව්වට හරියනවද? ප්‍රථම ධ්‍යානයට කර්මස්ථානයක්, ද්විතීය ධ්‍යානයට කර්මස්ථානයක්, තෘතීය ධ්‍යානයට කර්මස්ථානයක්, මේ ආදී වශයෙන් කර්මස්ථාන හොයන්න ගියොත් එහෙම, කර්මස්ථානය සමාධිය මතුකරනවා කියන අදහසකයි අපි ඉන්නෙ. එහනම් බුදු දහමට ඒක ගලපන්න බැහැ.
බුදු දහමෙ පෙන්නන්නෙ “සුඛිනෝ සමාධියති”; “ප්‍රීති මනස්ස කායෝ පස්සද්ධති, පස්සධ්ධ කායෝ සුඛං දේති, සුඛිනෝ සමාධියති”. ප්‍රීතියෙන් යුක්තවන්නාවූ, මානසකිකත්වය ඇසුරු කරන්නාවූ තැන, පස්සද්ධිය හෙවත් සැහැල්ලුව ඇතිවෙනවා, හිත කය සැහැල්ලු වෙනවා; පස්සධ්ධ කායෝ සුඛං දේති. අන්න ඒ පස්සද්ධිය හෙවත් සැහැල්ලුව, කායික වශයෙන් සුවය ඇතිකරනවා. සුඛිනෝ සමාධියති; අන්න ඒ සුවය, සමාධිය ඇති කරනවා. ඒක තමයි පෙන්නලා තියෙන ක්‍රමය. ඉතින් අපි දැනගන්න ඕනෙ, අන්න ඒ සුවය ඇතිකරන්න හේතුවෙන මූලික කටයුක්ත කරගෙන යනකොට, එකින් එක මොකෙන්ද ඇතිවෙන්නෙ කියල බලනකොට දකිනවා, “කුසල සීලය” තුලින් තමයි මේ ඔක්කොම ඇතිවෙන්නෙ.
දැන් එහෙනම් අපිට තියෙන ප්‍රශ්නෙ මොකක්ද? එකයි කරන්න තියෙන්නෙ, “කුසල සීලය මොකක්ද?” කියල හොයාගෙන, ඒක වඩන එකයි. අන්න එතකොට හරියනවා. කුසල සීලය හොයන්න ඉස්සෙල්ල, කුසලය හොයාගන්න ඕන. එතකොට කුසලයට අනුව ශික්ෂණය වෙන්නෙ යමකින්ද, ඒක කුසල සීලයයි. එහෙනම් කුසලය මොකක්ද?
“කෝසානි විචෙය්ය කේවළානී දිබ්බං මානුසකඤ්ච බ්‍රහ්ම කෝසං, සබ්බ කෝස මූල බන්ධනා පමුත්තෝ කුසලෝ තාදි පවුච්චතෝ තථත්තා”. දිව්‍ය කෝෂ, බ්‍රහ්ම කෝෂ, මනුෂ්‍ය කෝෂ, සකලවිධ කර්ම කෝෂ පිලිබඳ, ඒවායේ ඉපැද්මට හේතුවෙන්නාවූ මූල බන්ධන යන අවිද්‍යා, තෘෂ්ණාවන්ගේ පහකිරීමක් ඇත්ද, “කුසල්” යැයි කියනු ලැබේ.
එහෙනම් “අවිද්‍යාවේ තෘෂ්ණාවේ යම් පහවීමක් ඇත්ද”, ඒකයි “කුසල” කියන්නෙ. එහෙනම් කුසල සීලය කියන්නෙ අවිද්‍යාවයි, තෘෂ්ණාවයි පහවෙන යම්කිසි ශික්ෂණ ක්‍රමයක් තියෙනවද, ඒ ක්‍රමය අනුගමනය කිරීමෙන් කුසල සීලය හම්බෙනවා. එහෙනම් කුසල සීලය හොයාගෙන යන්න ඕනෙ. අන්න කුසල සීලය මොකක්ද කියල බලපුවාම, අවිද්‍යාව පහවෙන, තෘෂ්ණාව පහවෙන ශික්ෂණය මොකක්ද? අන්න “කුසල සීලය”. “යම්කිසි ශික්ෂණයක් තුලින්, යම්කිසි හික්මීමක් තුලින් අවිද්‍යාව පහවෙනවනම්, තෘෂ්ණාව පහවෙනවනම්, මෙන්න මේකට කියනව කුසල සීලය”. ඒක තමයි අනුගමනය කරන්න ඕනෙ. එහෙනම් ඒ ටික අපි කරගන්නේ කොහොමද? අවිද්‍යාව පහකරගන්න, තෘෂ්ණාව පහකරගන්න මොකක්ද කරන්නෙ කියල, බුදුරජාණන් වහන්සේ දේශනා කලේ කියන එක, දැන් අපි ඒකත් හොයාගන්න ඕනෙ ධර්මය තුලින්.
එක අවස්ථාවක භික්ෂූන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා;
“ස්වාමීනි, ඉක්මනින් විද්‍යා විමුක්තිය හෙවත් නිවන පූර්ණය කරගන්න, ක්‍රමයක් දේශනාකරන්න”. “සත්ත බෝජ්ජංග වඩන්න” කිව්වා.
“ස්වාමීනි, සත්ත බෝජ්ජංග ඉක්මනින් වඩාගන්න ක්‍රමයක් දේශනා කරන්න”. “ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න”.
“ස්වාමීනි, ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉක්මනින් වඩාගන්න ක්‍රමය මොකක්ද”? කියල අහනවා. “සතර සතිපට්ඨානය වඩන්න”.
“ස්වාමීනි, සතර සතිපට්ඨානය ඉක්මනින් වඩාගන්න ක්‍රමය මොකක්ද”? “ත්‍රිවිධ සුචරිතය පූර්ණය කරන්න; කාය සුචරිතය, වාග් සුචරිතය, මනෝ සුචරිතය කියන, දුෂ්චරිතයෙන් අහක් කරපු, සුචරිතය පූර්ණය කරගන්න”.
“ස්වාමීනි, ත්‍රිවිධ සුචරිතය පූර්ණය කරගන්න ලේසි ක්‍රමය මොකක්ද”? “ඉන්ද්රිය භාවනාව වඩන්න”.
මෙන්න අන්තිමට ආව ලේසිම තැනට. ඔන්න කුසල සීලය වඩන්න අවශ්‍යම කරන තැන – “ඉන්ද්රිය භාවනාව”. දැන් මේ ඉන්ද්රිය භාවනාව හොඳට තෝරගත්තහම තමයි අපිට පුළුවන්කම ලැබෙන්නෙ, කුසල සීලය වඩන්න. දැන් කුසල සීලය වඩනව කියන්නෙ, ලේසිම ක්‍රමය ඉන්ද්රිය භාවනාව වඩනව. ඉන්ද්රිය භාවනාව වඩනකොට, ත්‍රිවිධ සුචරිතය පූර්ණ වෙනව. ත්‍රිවිධ සුචරිතය පූර්ණ වෙනකොට, සතර සතිපට්ඨානයයි පූර්ණය වෙන්නෙ. දැනගෙන හිටියත්, නැතත්, පූර්ණය වෙන්නෙ, සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානය පූර්ණ කරනකොට එයා දැනගෙන හිටියත්, නැතත්; වචන වශයෙන්, පද වශයෙන්, පූර්ණ වෙන්නෙ, ආර්ය අෂ්ඨාංගික මාර්ගය. ආර්ය අෂ්ඨාංගික මාර්ගය පූර්ණය කරනකොට, පද වශයෙන් දැනගෙන හිටියත්, නැතත්, සිද්ධවෙන්නෙ, සත්ත බෝජ්ජංග ධර්ම පූර්ණ වීම. සත්ත බෝජ්ජංග ධර්ම පූර්ණ වෙනකොට දැනගෙන හිටියත් නැතත් සිද්ධවෙන්නෙ, විද්‍යා විමුක්තියට පත්වීම හෙවත්, නිවන් සාක්ෂාත් කරගැනීම, නිවන් ප්රත්යක්ෂ කරගැනීම. අන්න ඉතින් අපිට දැන් ලේසිම ක්‍රමය තියෙනවා, මුලට ගිහින් බලපුවහම, එතනත් කුසල සීලය හැටියට පෙන්නනවා, ඉන්ද්රිය භාවනාව. දැන් ඉන්ද්රිය භාවනාවක් වඩනකොට, අපිට ඔය ටික සිද්ධවෙනවා.
දැන් ඉන්ද්රිය භාවනාව වැඩිය යුතු ක්‍රමයක් තියෙනව. ලෝකයාගේ ක්‍රමයක් තිබුන, මේ සාසනයෙන් බැහැර ක්‍රමයක්. ඒ බැහැර ක්‍රමය තියෙන්නෙ, “ඇහැ තියෙද්දි, කනෙක් වගේ ඉන්න, කන තියෙද්දි, ඇහෙද්දි, බීරෙක් වාගේ ඉන්න”, මේ ජාතියෙ ක්‍රමයක්. මේක තමා අන්‍ය පරිබ්‍රාජකයෝ ඉන්ද්රිය භාවනාව හැටියට දුන්නෙ තමන්ගෙ ශ්රාවකයින්ට. ඉතින් බුදුරජාණන් වහන්සෙ මේ වෙලාවෙදි අහනව, “ජාත්යාන්ද ජාති බදිර කියල දෙන්නෙක් ඉන්නව. ජාත්යන්ද කියන්නෙ, උපතින්ම ඇස් අන්ධ අය. ජාති බදිර කියන්නෙ, උපතින්ම බිහිරි අය. අන්ධයා වාගේ ඉන්නකොට මාර්ගය වැඩෙනවනම්, ඉන්ද්රිය භාවනාව වැඩෙනවනම්, බීර වාගේ ඉන්නකොටත් ඉන්ද්රිය භාවනාව වැඩෙනවනම්, අර උපතින්ම අන්ධ, බිහිරි අයට නිකන්ම භාවනාව වැඩිල තියෙන්න එපැයි”, ඒක හේතුවනම්.
ඒක වෙන්න ඕනෙ නේද? කියල අර කියාපු පුද්ගලයගෙන් අහනව, බුදුරජාණන් වහන්සෙ. අන්න ඒ වෙලාවෙදි, ආනන්ද හාමුදුරුවන් ඔතනින් යනකොට ආනන්ද හාමුදුවන්ට කියනවා, “ආනන්ද, බලන්නකෝ මේ ගුරුවරයෙක්, ගෝලයෙකුට ඉන්ද්රිය භාවනාව කියාදීල තියෙනවා” කියල ඔය විස්තරේ කියල, මං මේ අහන්නෙ, ඇහැ තියෙද්දි, කනෙක් වගේ ඉන්නකොට, කන් තියෙද්දි, බීරෙක් වාගේ ඉන්නකොට ඉන්ද්රිය භාවනාව වැඩෙනවනම්, ජාත්යාන්ද, ජාතිබදිර කියන දෙන්නටත් ඉන්ද්රිය භාවනාව බොහෝම ලේසියෙන් වඩාගන්න පුලුවන්නෙ, වෙනවද ඒක? වෙන්න පුලුවන්ද? හේතු තියෙනවද? කියලයි මන් මේ අහන්නෙ. ඉතින් අර මනුස්සය බිම බලාගෙන ඉන්නවා මේකට උත්තරයක් දෙන්නෙ නැතුව.
ඒ වෙලාවෙදි බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටිනවා, ආනන්ද හාමුදුරුවො, “ස්වාමීනි! ඉන්ද්රිය භාවනාව දේශනා කරන්න සුදුසු කාලයයි. මේ ඉන්ද්රිය භාවනාව දේශනා කරන සේක්වා!” කියල ඉල්ලීමක් කලා. අන්න ඒ වෙලාවෙදි බුදුරජාණන් වහන්සේ, ඉන්ද්රිය භාවනාව කරන හැටි දේශනාකලා. ඉතින් මේ තියෙන්නෙ හුඟක් විස්තර ඇතුව තේරුම් අරගන්න එකක්, ධර්මානුකූලව දකින ක්‍රමයක්.
ඇහැට රූපයක් පේනවා, දැන් මේක වලක්වන්න බෑ. ඉතින් අපි ජීවත්වෙලා ඉන්න මනුස්සයින්, ඇහෙන් බලනකොට, මේ ලෝකෙ තියෙනවා ඕනෙ තරම් එක එක ජාතියෙ රූප. සමහර ඒවා ප්‍රිය මනාපයි, සමහර ඒවා අප්‍රිය අමනාපයි දකිනකොට, ඔය දෙකම පේනවා. සමහර ඒවා මධ්‍යස්තයි. ඒ බලනකොට ප්‍රිය මනාප, ඉෂ්ඨ ප්‍රිය මනාප රූපයක් පෙනුනහම, ඒ පුද්ගලයගෙ හිත, ඒවට ආශාවෙන් ඇදිල යනව. මන වඩන රූපවලට ඇදෙනව, ඇදිල ඇලීමක් හටගන්නව. ඒවා අනිෂ්ඨනම්, අප්රියනම්, ඒ රූප දකිනකොට ගැටීමක් හටගන්නව. මේ සාමාන්‍ය හිතක සිරිත.
දැන් මේ ඇලීමයි, ගැටීමයි හටගත්තහම, මුලාව නිසා ඇලීම හටගත්ත තැන, එතනම එල්ලිලා හිටිනව, ගලවගන්න බැහැ. ගැටීමක් හටගත්තහම, ඒකෙම ගැටි ගැටී දඟලනව, ඒකෙන් හිත වෙන්කරගන්න බැහැ. අන්න මුලාවට පත්වෙලා. එහෙනම් “ඇලීම යම් තැනකද, මුලාවත් එතන”. “ගැටීම යම් තැනකද, එතනත් මුලාව”. ඇලීමයි – මුලාවයි, ගැටීමයි – මුලාවයි. මුලාව නැත්නම්, ඇලීමත් නැහැ. මුලාව නැත්නම්, ගැටීමත් නැහැ. ඇලීම යම් තැනකද, ගැටීම යම් තැනකද, මුලාවත් එතන වැඩෙනව, එතන සකස්වෙනව. එහෙනම් ඇලීම, ගැටීම, මුලාව කියන එක නිසා තමයි, මේ සියලුම ප්‍රශ්ණ තියෙන්නෙ.
දැන් ඒ නිසා, සාමාන්‍ය ලෝකයාට ඇහෙන් රූපයක් බලනකොට, ඒ රූපය මන වඩන ප්‍රිය මනාප එකක්නම්, ඒ පිළිබඳව ඒ භාවනාව වැඩිලා තිබිච්ච නැති කෙනාට වලක්වන්න නම් බෑ, සිත ඇදෙනවමයි, ඒ පැත්ත බලන්න. ගැටීමට පත්වෙච්ච කෙනාට, ඒ මුලාව නැගෙනවමයි, ඒ යථාබෝධය තිබුන් නැත්නම්, එයාට මොනවා කිව්වත් හරියන්නෙ නෑ, “ඕක අත්හැරලා දාපන්, ගනන් ගන්න එපා”, කිව්වට බෑ, එහෙම කරල හිතෙන් අයින් කරන්න බෑ. “මට මේ කරපු එක මට හොඳට මතකයි, මං දන්නවා මට කියපුව කරපුව, ඔය මට රුස්සන්නේ නැති එකක්මයි කලේ. දැන් අර ඒ අරමුණම අරගෙන, ඒකෙ ගැටෙනවා, ගැටෙනවා, කොච්චර හරි ඒකට ඇවිදිල්ල බැඳිලා ඉන්නවා. දැන් මේ ඇලීමයි, ගැටීමයි, මුලාවයි කියන මෙන්න මේ තුන නැති කරගන්න තමයි, අපිට භාවනාවක් අවශ්‍ය වෙන්නෙ. අපි එක තැනකට වෙලා පද වැලක් කිය කිය හිටියට, මේක වැඩෙන්නෙ නෑ. මොකද හේතුව? යමක් නිසා ඇලීම හටගන්නවනම්, ඒක දුරු කරගත්තොත්, ඒකෙන් මිදෙනවා. යමක් යමක් නිසා ගැටීමක් හටගන්නවනම්, ඒක දුරු කරගත්තොත්, ඒ ගැටීමෙන් මිදෙනවා.
මේ ලෝකෙ සියලු දේවල් පිළිබඳව ලෝක සත්වයා ඇලෙන්නෙත් නෑ, ලෝකයේ සියලුම දේවල් පිළිබඳව ලෝක සත්වයා ගැටෙන්නෙත් නෑ. මේ ඇලෙනවා, ගැටෙනවා කියන එක කාටත් පොදු වචනයක් උනාට, පෘතග්ජනයට පොදු උනාට, සියලු අරමුණුවල, සියල්ලෝ සමානව ඇලෙන්නෙත් නෑ, සියලුම අරමුණුවල සමානව ගැටෙන්නෙත් නෑ. ඒකෙ විවිධාකාරයක් තියෙනව. සමහර වෙලාවට එක්කෙනෙක් ඇලුම් කරන දේ, අනිත් එක්කෙනාට පෙන්නන්න බෑ, එයා ගැටෙන එකක් වෙනවා. එක්කෙනෙක් ගැටෙන දේ, අනිත් කෙනාට ඇලෙන එකක් වෙනවා. මේකත් එක එක්කෙනාගෙ තියෙන පුද්ගලිකත්වයේ විවිධාකාර ස්වභාවයන්. මේ නිසා අපි දැනගන්න ඕනේ, අනුන්ගේ ඇලෙන එක හෝ අනුන්ගේ ගැටෙන එක හොයන්න ගියොත් අපේ මිම්මෙන්, අපියි මුලාවට පත්වෙන්නෙ එතනත්. අපේ මිම්මෙන් ඕක මනින්න බෑ. තම තමන්ගෙ මිම්මෙන්, අනුන්ගෙ එක මනින්න බෑ. සමහරවිට මම ඇලුම් කරන්නෙ නැති දේ, අනිත් කෙනාට විශාල ඇලුම් කරන එකක් වෙන්න පුළුවන්. මම ගැටීමට පත් නොවන දේ, තව කෙනෙකුට විශාල ගැටීමට පත්වෙන එකක් වෙන්න පුළුවන්. එහෙනම් තම තමන්ගේ ඇලෙන ඒව, තම තමන් ගැටෙන ඒව, තම තමන් දැනගන්න ඕනෙ. ඇලෙන්නැති, ගැටෙන්නැති, ඒවට මුලාවෙන්නැති ඒවට, අපිට ඇඟිලි ගහන්න දෙයක් නෑ, අපිට මිදෙන්න දෙයක් නෑ. එහෙනම් අපි මිදෙන්න ඕනෙ, අපි විසින් යමක ඇලෙනවනම්, ඒකෙන්. අපි විසින් යමක ගැටෙනවනම්, ඒකෙන් අපි මිදුන් නැත්තං, අපිට මිදීමක් නැහැ. මිදෙනවම් මිදෙන්න ඕනෙ, ඒකෙන් මිදිලා. අපි විසින් යම් තැනක මුලාවෙලා ඉන්නවනම්, ඒ මුලාව වෙච්ච එකෙන්, අපි මුලාවෙන් මිදුනොත් මිසක්, ලෝකෙ සියලු තැන්වල මුලාවෙ අපි බැඳිලා නෑ.
එහෙනම් අපි හැමවෙලේම, ධර්ම මාර්ගය හැමකෙනාටම පුද්ගලිකයි, අරයට බලන්න කියපු එක, මට හරියනවද කියල ඇහුවොත්, ඒක හරියන්නෙ නෑ. දැන් නුවණින් තේරුම්ගන්න ඕනේ, “මම කෙබඳු දෙයක් දැක්කොත්, කෙබඳු අරමුණුවල ඇලෙනවද, කෙබඳු රූපවලට, කෙබඳු ශබ්දවලට, කෙබඳු ගන්ධවලට, කෙබඳු රසයන්ට, කෙබඳු පහසට, කෙබඳු සිතුවිලිවලට, අදහස්වලට, මං ඇලුම් කරනවද? කෙබඳු ජාතියෙ ඒව ආවොත්, මං ගැටෙනවද?” ඔය දෙකම අපි දකින්න ඕනෙ. අන්න දැක්කහම තමයි, “මට මුලාව හටගන්න වෙන්නෙ එබඳු ඇලීමක්, එබඳු ගැටීමක් ආවොත්, ඒකෙන් මං මිදෙන්න ඕනෙ”. අන්න “තම තමන් විසින් ආර්ය මාර්ගය දැනගන්නව” කියන්නෙ, ඔන්න ඕකයි. තමන්ට වෙන එක, තමන් දැන ගන්න ඕනෙ.
දැන් අපි පුරුදුවෙලා තියෙන්නේ එහෙම ඒවා නෙමෙයි. ලෝකය පොදුවේම ඇලෙන කොටස් ටිකක් හදල, මෙන්න මේ ජාතියෙ ඒවා කවුරුත් ඇලුම් කරන ඒවා. අපි හදාගන්නවා අපිට ඕනෙ හැටියට සම්මතයක්. මතයක් ගොඩනගා ගන්නවා. “මේ මේ දේවල් ඔක්කොම ඇලුම් කරන ඒවා, මේ මේ දේවල් කාටත් හොඳ නැති ඒවා”, දැන් ඔහොම නිගමනය කරගන්නවා. දැන් ඕක තමයි සාමාන්‍ය පෘතග්ජන ගතිය, දහම් නුවණින් මෝරපු නැති අයට, ඔය අදහස එනවාමයි. තමන් මොනවද ප්‍රිය කරන්නෙ, එයා හිතන්නෙ ඒව තමයි, අනිත් අයත් ප්‍රිය කරන්නෙ. එහෙනම් එයා ඔක්කොම අනිත් අයගෙ ප්‍රියතාවය ලබාගන්න, ඒ තමන් ප්‍රියකරන ජාතියෙ ඒවම කරනවා. සමහරවිට තමන් ප්‍රියකරන එක, තව කෙනෙක් අප්‍රිය කරනවනම්, එයාගෙ හිතගන්න බෑ කවදාවත්, තමන් ප්‍රියකරන එක පෙන්නල. මොකද ඔහු ඒක අප්‍රිය කරනවනම්, තමන් ඒකෙන් අහක්වෙන්න වෙනවා. නැත්නම් ඔහු සමඟ ගැටීම අයින් කරන්න බෑ. මට ඕන හැටියට කරන්න ගියොත් වෙන්නෙ, මට ඕන හැටියට කියල, තම තමන්ට ඕන හැටියට කරන්න ගියොත්, ඔය කියන තත්වයෙන් භේද ඇති වෙනවා, වික්ෂිප්ත භාවයක් ඇති වෙනවා, සමාජය තුලවත් එයාට ජීවත් වෙන්න බෑ හරියාකාරව.
එහෙනම් අපි හොඳට අඳුනගන්න ඕනෙ, එක එක්කෙනාගෙ මානසිකත්වයන් එක එක ආකාරයි. එහෙනම් එක එක්කෙනා විසින් පුරුදු කරගෙන ආපු රටාවක් අනුව තමයි, බොහෝකොටම ඇලීමට, ගැටීමට හේතුකාරකයන්, ඒ ඒ අය ලබල තියෙන්නෙ. ඒ නිසා අපි ඉන්ද්රිය භාවනාව කරනකොට, අනිත් අයට නෙමේ, මගේ ඉන්ද්රිය භාවනාව මා කරගත යුතුයි. තම තමන්ගේ ඇස් දෙකෙන්, තම තමන් රූපයක් දිහා බලනකොට, ඒ තුලින් තම තමන්ට ප්‍රිය මනාප ඇලුම් හැඟීමක් ඇතිවෙනවනම්, මෙන්න මේක හොයාගන්න ඕනෙ.
{0:16:38} : ඇලීම, ගැටීම, මුලාව නිසා සසර ගමන හැදෙන හැටි
දැන් මේ ඇලීමයි, ගැටීමයි, මුලාවයි කියන මේ තුන තමයි මේ සසර, මේ ලෝකෙ පැවැත්ම ගෙනියන්නෙ. සත්වයා, සසරට උසිගන්වන්නෙ, සසරට බඳින්නෙ, බැඳ තබන්නෙ, සසරට පොළඹවන්නෙ, ඔන්න ඔය කාරණා තුනකින්. ඉතින් ඇලීමයි, ගැටීමයි, මුලාවයි කියන එක ලෝක සත්වයාට ප්‍රියයි. නැත්තං ඔහු ඒක අත්අරිනවා. යමකට ඇලුම් කරනවා – ඒ ප්‍රිය නිසා. යමකට ගැටෙනවා – ඉතින් ඒක අප්‍රිය නිසා ගැටෙන්නෙ. ඒකෙ තියෙන ඇලුම මොකක්ද? තමන් ප්‍රියකරන දේකට විරුද්ධ දෙයක් ආපුවහමයි, විරුද්ධ එකක් එනකොටයි, ඔහු ඒ ගැටෙන්නෙ. “මොකද ඕකට හැපෙන්නෙ? මම කිව්වෙ, මේක මෙහෙම කරන්න, මෙහෙම ඉන්න. එයා එහෙම ඉන්නෙ නෑනෙ. එහෙම කරන්නෙ නෑනෙ”. අන්න තමන්ගෙ ඇලෙන එකක් තියෙනවා. ඒ ඇලෙන එකට විරුද්ධ එකක් මතුවෙලයි, මේ ගැටිල තියෙන්නෙ. “මං කැමතියි මේ ලස්සන දේවල් බලන්න. එහෙනම් මට ඒක හම්බෙන්නෙ නෑනෙ. හම්බෙන්නෙ මේ වෙන වෙන ඒවනෙ. මට වැඩක් නෑ එව්ව, ඒකයි මං මේ මේව එක්ක හැපෙන්නෙ”. එහෙනම්, එයාට ලස්සන එක බලන්න බලාපොරොත්තුවක් තිබුන් නැත්තං, විරුද්ධ එකකුත් එයාට ඇතිවෙන්න විදියක් නෑ.
දැන් මෙන්න මෙතනින් අපි දැනගන්න ඕනෙ, “යමකට අපි ප්‍රිය කරනවද, මේ තෘෂ්ණාව ඇතිවෙන්නෙ එතන අල්ලගෙනයි”. අන්න ඒකෙන් අපි මිදෙන්න ඕන. එහෙනම් ඒකෙන් මිදෙන්න, මේ ඇලීම කියන එක වටිනා එකක්ද මේ කියන්නේ? දැන් මේක ටිකක් හෝදිසි කරල බලන්න ඕනෙ. ඒ ඒ තැන ඇලුම් කරනවා, “මට ඇලෙන්න හිතෙනව එතන, ඇලුම් කරන්න හිතෙනවනෙ”, අපි ඔහොම කියනවා.
දැන් පුංචි උපමාවක් තියෙනවා, ඔය උපමා තෝරගත්තහම හරි වැදගත් මේ වගේ තැන් තෝරගන්න. ඉස්කෝලෙ පහේ හයේ විතර පන්තියක ඉන්න ළමයෙකුට, තව කොල්ලෙක් කියනවා, “ආ ඔරන් ඔටන්, දැන්ද ආවෙ”?. ඉතින් “ඔව්” කියනවා, බොහොම හොඳින් ඉන්නවා. ඉතින් “ඔරන් ඔටන් ගෙදර යනවද”? “ඔව්” කියල යනවා, ගානක් නෑ ඉතින්. ඔහොම ඉඳල මේ ළමයි කට්ටිය ගියාලු සත්තු වත්තට. සත්තු වත්තට ගිහිල්ල බල බලා ඉන්නකොට, එක කොල්ලෙක් ඇවිදිල්ල, අර ඔරන් ඔටන් කිව්වහම ඒ කියන කොල්ලට අල්ලාගෙන ගහගෙන ගහගෙන ගියාලු. “මොකද මේ ගහන්නෙ, මේ ළමය මොනව කලාටද”? “මං දන්නෙ නෑ, මෙච්චරකල් මූ මට ඔරන් ඔටන් කියනවනේ”. “ඉතින් අද ගැහැව්වේ”? “අදනෙ මං ඌ දැක්කේ”. ඔරන් ඔටන්ව දැකල තියෙන්නෙ එදා. ඒක තමයි ඔහුට තරහ ගියේ, ඊට පස්සෙ මොහු මට ඔරන් ඔටන් කියන්නෙ මේං මේ හේතුව උඩනේ. අන්න තරහ ආපු වෙලාව. ඔරන් ඔටන් අඳුනන්නැති තාක්කල්, ඔහුට ඒ නම කිව්වහම ගානක් නැහැ.
දැන් ඔයා ඇලෙනවද, ඇලුම් කරනවද? “ඔව්, ඇලීම හොඳයි”. ඇලීම ගැන ගානක් නැතුව ඉන්නවා. ඇලීම කියන වචනෙ හඳුනා ගත්තට පස්සෙ, අපිට කියනකොටත්, මහා භයානක බවක් හැඳින්වෙනවා. මේ ඇලෙන එක භයානක බව දන්නෙ නෑ, ඇලෙන වස්තුවක් ආපුවහම, ඒකට ඇලීම කියල අපි කියනවා. ගැටීමත් ඔය කියනව වගේ. තරඟකාරීත්වයක් නැතුව ලෝකෙ ජීවත් වෙන්න බෑ කියල, ඒකත් වර්ණනා කරල අපි උස්සගෙන ඉන්නවා. ඇලීමයි, ගැටීමයි කියන එක මොකක්ද කියල බලපුවාම, දැන් මේව පොත්වල නෑ. අන්න ඒකයි කියන්නෙ, ලෝකෝත්තර පැත්තට තියෙන අර්ථ, මේ පදවල තියෙනවා. හැබැයි ලෝකෝත්තර අර්ථය මතුවෙලා නැති එකයි, මේ ප්‍රශ්නෙ තියෙන්නෙ. ඒක පොතේ ලියන්න අමාරු නිසා, ඒක අවබෝධ කරගන්න ඕනෙ.
ඇලි + ඉම = ඇලීම
ගැටි + ඉම = ගැටීම
ඔය වචන දෙක හැදිලා තියෙන හැටි. ඇලි + ඉම කියන එකයි ඇලීම උනේ. ගැටි + ඉම කියන එකයි ගැටීම උනේ. මුල + ආව නිසයි මුලාව උනේ. ඇලි – ඉමයි, ගැටි – ඉමයි, මුල – ආපු තැනයි – ඇලීම, ගැටීම, මුලාව. දැන් ඕකේ විස්තරය බලාගන්න, ඒක විග්රහ කරල බලන්න ඕනෙ.
දැන් ඇල්ල කියන එක අපි අඳුරනවා. ඇල්ල කියන්නෙ, වතුර පාරක් ගලාගෙන ගිහිල්ල, විශාල ප්‍රපාතයකට එක සැරේ කඩා හැලෙනවනම්, ඕක ඇල්ල. “දිය ඇල්ල” එහෙම කියල අපි කියන්නෙ. අන්න ඇල්ලක හැටි. ඉම කියල කියන්නෙ, ඔය ඇල්ලෙ ආශ්‍රිතව ළඟටම වෙලා ඉන්නවනම්, කඩා හැලෙන්න යන තැන, අන්තිම කෙරෝල, ඉම.
ඇල්ලෙ ඉම ලඟට වෙලා හිටියොත් මොකද වෙන්නෙ? පොඩ්ඩක් කකුල ලිස්සල ගියොත් මොකද? ඇල්ලෙ ඉමේ හැම වෙලේම දියසෙවෙල බැඳිල තියෙන්නෙ, පොඩ්ඩක් ඇත්තම් ලිස්සල යනවා. ඇල්ලේ ඉමක හිටියොත් කොහොම වෙයිද? පොඩ්ඩක් එහා මෙහා වෙලා කකුල අහකට ගියොත් එහෙම, වැටෙන්නෙ ඇල්ලට. ඇල්ලේ ඉමේ හිටියොත්, හරි භයානකයි. ඊට පස්සෙ මොකද වෙන්නෙ ජීවිතය විනාශය හෝ ජීවිත විනාශය වැනි මහා භයානක දෙයක් සිද්ධ වෙනවා. හරිම භයානක තැනක් තමයි, ඇල්ලෙ ඉම. යම්කිසි දෙයකට ආසා කර කර, බැඳි බැඳී ඉන්නවනම්, අන්න ඒ ඉඳීමේ තත්වයත්, ඔන්න ඔය ඇල්ලක ඉමක ඉන්නව හා සමානයි. එහෙනම් ඇල්ලෙ ඉම හොඳ එකක්ද? “ඇල්ලෙ ඉම, හරිම භයානක එකක්”. අන්න සිද්ධවෙන එක.
යම්කිසි ප්රපාතයක් තියෙනව, ඒකෙ වතුර නෑ, කර්කශයි, උඩ තියෙනව කානු ගැට්ටක්, නැත්තම් මොකක්හරි බැම්මක, ගල් බැම්මක ගැට්ට තියෙනවා. අපි ගැට්ටේ කෙරවලට වෙලා ඉන්නවා, ගැට්ටේ ඉමට වෙලා ඉන්නවා. හැබැයි පොඩ්ඩක් වට පිට බලල, කකුල අහකට තිබුනොත් එහෙම, ගැට්ටේ ඉමෙන් ඇදගෙන වැටිල, අතපය කැඩිල යනවා, එක්කෝ මරණය හෝ මරණය සමාන දුකකට පත්වෙනවා. හරිම භයානකයි.
බොහෝ පරිස්සමින් ඉන්න තාක්කල් කොයි මොහොතද දන්නෙ නෑ ජීවිතය, ගැට්ටේ ඉමේ ඉන්නකොට, ඇල්ලෙ ඉමේ ඉන්නකොට, විනාශයට ලං වෙලා. මෙන්න ඇලීමයි, ගැටීමයි දෙකේ භයානකත්වය. යම් ඇලීමක්, යම් ගැටීමක් යම් තැනකද, ඒ ඇසුරු කරන පුද්ගලයට, එහි තිබෙන භයානකත්වය, ඒ හා සමාන විනාශයක්, ඒ හා සමානයි ඒකෙ තත්වය. හැබැයි ඕකෙන් මිදිලා අහක්වෙන්න හදනකොට, විදිහක් නෑ, මුල් ඇදල, මුල ඇවිදිල්ල. ඇල්ලෙ ඉමේ ඉන්නකොට මුල් අදිනවා. ගැට්ටේ ඉමේ ඉන්නකොට මුල් අදිනවා. මුල් ඇද්ද කියල කියන්නෙ, මුල් බැහැගත්ත, ආයි අහකට යන්න විදිහක් නෑ. භයානක තැනින් පැනල යන්න හැදුවට, යන්න විදිහක් නෑ, මුල් බැහැගෙන. අන්න මුල් බැහැගත්ත එකට කියනවා, “මුලාව”. ඇල්ලෙ ඉමේ කාලයක් ඉන්නකොට, මුල් බහිනවා. ගැට්ටේ ඉමේ කාලයක් ඉන්නකොට, එතන මුල් බහිනවා. මුල් බැහැගත්තට පස්සෙ, හරි භයානකයි, ගැලවිලා යන්න බෑ. එහෙනම් මේ පෘතග්ජන ලෝක සත්වයා, කාලාන්තරයක් තිස්සෙ, මේ ඇල්ලෙ ඉමේ ඉන්න ගිහිල්ල, ගැට්ටේ ඉමේ ඉන්න ගිහිල්ල, මුල් බැහැගෙන තමයි, මේ ඇලීමයි, ගැටීමයි, මුලාවයි කියන තුනේ ඉන්නෙ.
මෙන්න උපමාවක්. ඇල්ලෙ ඉමට උපමාකල රාගය, ඒ හා සමාන විනාශයට හේතුකරන මුල් බැහැගත්තහම, මහ විනාශයක් සිද්ධවෙනව, ගැලවෙන්න දෙන්නෙ නැහැ. ගැට්ටේ ඉමට ගියහම, ඒකෙ මුල් බැහැගන්නවා කියන්නෙ, ද්වේෂයට ගිහිල්ල, ද්වේෂ සහගතව ජීවත්වෙනකොට, ඒකෙ මුල් බැහැගත්ත කෙනාට, ද්වේෂයෙන් මිදෙන්න බැහැ. අන්න මුල් දෙක. මුල් බැහැගෙන තියෙනවා.
මෙන්න මේක භයානක බව දැනගත්තහම, අපි දකිනව, යම් තැනක ඇලීමක් ඇත්ද, රාගයක් ඇත්ද; ඒක හරි භයානකයි. යම් තැනක ගැටීමක් ඇත්ද, ද්වේෂයක් ඇත්ද; ඒකත් හරිම භයානකයි. ඒ රාගය තුල, ද්වේෂය තුල ගත කරන්න ගියොත්, දිනෙන් දිනට ඔහු එතැන මුල් බැහැගත්තහම, ඔහුට ගැලවිලා යන්නත් බෑ, අනාථයෙන් අනාථයි. කොයිවෙලේ හරි සිද්ධවෙන්නෙ, ඇල්ලට වැටෙන්න හරි, ගැට්ට පල්ලෙ වැටිල හරි විනාශ වෙන්න. උරුමෙ එච්චරයි. වෙන සැනසිල්ලක් ඒකෙන් ලබා දෙන්නෙ නෑ. මෙන්න මේ ස්වභාවයෙන් ඇලීමයි, ගැටීමයි, මුලාවයි තුන තේරුම්ගන්න, නැත්තම් රාගයයි, ද්වේෂයයි, මෝහයයි තෝරගන්න. මෙන්න මේක තෝරගත්තහම අපිට ඕන කමක් තිබෙනව, මේකෙන් ඉවත්වෙන්න, නැත්නම්, මහ භයානකයි. මොන විදියෙන් හරි, කවදාහරි මේ භයානකත්වයෙන් මිදෙන්නනම්, ඒ ඇලීමෙන් ගැටීමෙන් වෙන්වෙන්න ඕනෙ, මුල් බැහැගත්ත එකෙන් ගැලවිලා, නැත්නම් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් වෙන්වෙන්න ඕනෙ. එදාටයි සැනසුමක් හම්බවෙන්නේ.
රාගය තුල, ද්වේෂය තුල, මෝහය තුල මුල් බැහැගෙන ඉඳගෙන, සැනසුමක් හෙව්වට, කිසිම දවසක ඒ සැනසුමට හේතු නැහැ. “ඇල්ලෙ ඉමේ ඉඳගෙන ආරක්ෂාව පතනව” වාගෙ වැඩක්. “ගැට්ටේ ඉමේ මුල් බැහැගෙන ඉඳගෙන, ආරක්ෂාව පතනව” වාගෙ වැඩක්. කාට යාතිකා කරන්නද? තමන්ගෙම ප්‍රමාද දෝෂයකින් පය අහකට හිටපු ගමන්, ඇදගෙන වැටෙනවා. කාට කියල බේර ගන්නද? ඉතින් “ඇල්ලෙ ඉමේ ඉඳගෙන, ගැට්ටේ ඉමේ ඉඳගෙන, මගෙ ජීවිතය ආරක්ෂා කරල දෙන්න දෙයියනේ”, කියල කිව්වට, පුළුවන්යැ කරන්න. අර පය ලිස්සල යන බව, භයානක තැනින් අහකට ගියානම්, කාටවත් කියන්න දෙයක් නෑ, තමන්ට එහෙම එකක් වෙන්න හේතු නෑ.
අන්න ඒ වගේ, ඇලීමයි, ගැටීමයි, මුලාවයි තේරුම් අරගෙන, ඒකෙන් මිදෙන්න ක්‍රමයක් තියෙනවා, අන්න ඒ ක්‍රමය අනුගමනය කලොත් තමයි, ඒකෙන් මිදෙන්නෙ, ක්‍රමය තියෙන්නෙ එතනයි. එහෙනම් ඇලීමෙන්, ගැටීමෙන්, මුලාවෙන් මිදීමටයි බුදුරජාණන් වහන්සෙ ධර්මයක් දේශනා කලේ, “මෙන්න මේ ක්‍රමය අනුගමනය කරන්න, ඒ අනුගමනය කරපුවහම ඕකෙන් මිදුනහැකි” කියල. දැන් අපි තෝරගන්න ඕනෙ, අන්න ඒකට දේශනා කරපු ක්‍රමය මොකක්ද? ඒ ඇලීමෙන්, ඒ ගැටීමෙන්, ඒ මුලාවෙන් මිදෙන්න, අපිට දේශනා කරපු ක්‍රමයක් තියෙනවා, “ඉන්ද්රිය භාවනාව” කියල. අන්න ඉන්ද්රිය භාවනාව වැදගත් වෙන්න හේතු.
අපි ඔය ටික අහගන්නෙ නැතුව, ඉන්ද්රිය භාවනාව ගැන ඇහුවට, අර කනෙන් ඇහුව, අනිත් කනෙන් පිටකරල දාල නිකන් හිටිය, “ඒකත් බුදු හාමුදුරුවන්ගේ එක බණක් විතරයි”, ඔච්චරයි ගන්න වෙන්නෙ. මේකෙ වටිනාකම දකින්නෙ නැති නිසා. ඒ නිසා මේකෙ භයානකකම දැනගත්තට පස්සෙ, ඇලීමේ, ගැටීමේ, මුලාවේ භයානකකම තේරුම්ගත්තට පස්සෙ, ඇලීමෙන් මිදීමට, ගැටීමෙන් මිදීමට, මුලාවෙන් මිදීමට යම් බණක් දේශනා කලාද, ධර්මයක් දේශනා කලාද, ඒක හරි වටින්නෙ අන්න එයාටයි. අන්න ඒ නිසා ඒක අහක දාන්නෙ නෑ, ඒ ක්‍රමය ඉතාමත් ඕනකමින් අනුගමනය කරල, තමන්ගෙ වැඩේ කරගන්නව, ඇලීමෙන් මිදෙනව, ගැටීමෙන් මිදෙනව, මුලාවෙන් මිදෙනව. එදාට රැකවරණ තමන්ට සැලසිලා.
එහෙනම්, අන්න ඒකෙන් මිදෙන ක්‍රමය මොකක්ද? ඇහැට රූපයක් පේනකොට, ප්‍රිය මනාපයක් එක්කො ඇතිවෙනවා, එක්කො අප්‍රිය අමනාපයක් ඇතිවෙනවා. මේ ප්‍රිය මනාපයක් හෝ අප්‍රිය අමනාපයක් ඇතිවෙනකොට, ලෝක සත්වයාගේ සාමාන්‍ය සිරිත, ඒ ප්‍රිය මනාපයට, අර ඇලීම ඇතිකරගන්නවා. අප්‍රිය අමනාපය දුටු තැන, ගැටීම ඇතිකරගන්නවා. ඔය පස්සෙම ගිහිල්ල ඒ ඒ තැන්වල මුල් බැහැගන්නවා, මුලාවට පත්වෙනවා. දැන් අපි යන්නේ, ඒ මග යන්න නෙමෙයි, ඒක ලෝක මග; අනාථ මග.
අපිට ඕනෙ “නාථ මග”, නිවන් මග හොයාගන්න, නිවෙන මාර්ගය. එහෙනම් නිවෙන මාර්ගය හොයාගන්න අපි මොකද කරන්න ඕනෙ? ඇලීමට පත්වෙන එකෙන්, ගැටීමට පත්වෙන එකෙන් මිදෙන්න, යම් ක්‍රමයක් දකින්න තියෙනවනම්, අන්න ඒක හොයල, ඒක දැනගන්න ඕනෙ. හැබැයි අන්න ඒක තමයි, බුදුපියාණන් වහන්සෙ අපිට බුද්ධ ධර්මය කියල දේශනා කලේ. ලෝක ධර්මය තේරුම්ගන්න, බුද්ධ ධර්මයක් දේශනා කළා. ධර්මය කිව්ව පලියට බෑ. ධර්මය කියන්නෙ මොකක්ද? ලෝක ධර්මය, ලෝකෙ හටගන්නවා. බුද්ධ ධර්මය, භවය උදුරා දමනවා, ලෝකයට හේතුව උදුරා දමනවා. අන්න අපිට බුද්ධ ධර්මය ඕනෙ වෙන්නෙ ඕකට.
{0:28:05} : ඉන්ද්රිය භාවනාව – ඇලීම, ගැටීම, මුලාව දුරුකරන බුදුදහම
එහෙනම්, මෙතෙන්දි අපි දකින්න ඕනෙ මේ ඇලීමයි, ගැටීමයි, මුලාවයි දුරුකරන්න දේශනා කල බුද්ධ ධර්මය මොකක්ද? අන්න ඒක තමයි, “ඉන්ද්රිය භාවනාව”. අන්න දැන් ඉන්ද්රිය භාවනාව හොයාගන්න හැටි, ඔය අනුව තේරුම්ගන්න ඕන. ඒ ඇහැට රූප පේනකොට, ඇලීමක් හටගත්තනම්, එකින් එකට මෙහෙම තෝරගන්නව, “මේ ඇලීම මහ භයානකයි. ඒ භයානකවන්නා වූ ප්‍රිය මනාපයක් දැක්කහම ඇතිවන ඇලීම, මගේ හිතට ඇතිවුන බව දැන් මට වැටහෙනව. බලන්නමයි හිතෙන්නෙ. හරි ආසාවක් තියෙනව, ඇලුම් කිරීමක් එනව, ඒ පස්සෙම යලි යලි හඹායන්න. මේ ඇලීමේ හැටිනෙ. හැබැයි කොච්චර ආස්වාද දෙන ඇලීමක් උනත්, මේක තමයි මහ භයානක දේ. මේක තමයි මේ විනාශය කරා ගෙනිහිල්ල, අනාථ බවට පත්කරන්නෙ. එහෙනම් ඒ ඇලීමෙන් මං වෙන් වුනේ නැත්තං, මේ ප්‍රිය මනාපයක් පස්සෙ යන්න ගියොත්, මට අනාථ බවෙන් මිදෙන්න බෑ. එහෙනම්, මේ සඳහා මොකක්ද බුදුරජාණන් වහන්සෙ මට ගන්න කියපු පියවර?”
අන්න ඒ ධර්මය අහගත්තනම්, ඒක අනුගමනය කරානම්, මේ භයානක ආසාවෙන් ආස්වාදයන්ගෙන් මිදුනහැකි. ඒ ආස්වාදයන් දෙවැනිවෙලා, ඒ ආදීනව හරියට දැකල, ඒ ආස්වාදයෙන් වෙන්වෙලා ගියානම්, එදයින් පස්සෙ මට බලන්න ඕනකමක් නෑ. බලන්න ඕනකමක් නෑ, බැලීමේ ආස්වාදය මගෙ හිත නිදහස්වෙලා ගියානම්, අන්න මං මිදුන එතනින්, අන්න ඉන්ද්රිය භාවනාව වැඩුන.
එහෙනම් ඒක වඩාගන්නෙ කොහොමද? මේ වෙලාවෙදි අපිට බලන්න කියල පෙන්නුව, අපි මේ හිත වඩන ආස්වාදයන්, හරි වටිනවයි කියල හිතාගෙන, ඒ මන වඩන දර්ශන ආස්වාදය හරිම වටිනවයි කියල අපි අදහස් කරගෙන ඉන්නෙ, මොන ජාතියෙ වටිනා දෙයකටද කියල, ධර්මානුකූලව සිහිකරල බලන්න ක්‍රමයක් දුන්න. ඒ ක්‍රමය අපි සිහි කරලා බලන්නෙ නැති නිසා තමයි, අපිට ඒක පේන්නෙ නැත්තෙ. අපි ඒ ධර්මානුකූල, ඒ බුද්ධ ධර්මයෙන් වෙන්ව බලන්නයි, පුරුදුවෙලා තියෙන්නෙ. දැන් භාවනාවක් පිලිබඳව, අපි කොච්චර ඈත් වෙලාද තියෙන්නෙ. නිවන් දැකීම සඳහා අපිට දුන්න භාවනාවෙන්, අපි කොච්චර ඈත්වෙලා, වෙන වෙන ඒව කරකර ඉන්නවද භාවනා කියල, දැන් අපි තේරුම්ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ නිවන් දකින්න දුන්න භාවනාව තමයි, මේ ඉන්ද්රිය භාවනාව වඩන්න කිව්ව එක. දැන් අපි ඉන්ද්රිය භාවනාව කොච්චර වඩල තියෙනවද, මොහොතක් ගානෙ අපිට පුරුදුවෙලා තියෙනවද කියල අපි දකින්න ඕන. පුරුදු කරල නැති නිසාම ක්ෂණයකින් මේක කැරකිලා එන්නේ නෑ චක්‍රයෙන්. භාවනා චක්‍රය හරියාකාරව කැරකිලා එන්නනම්, යලි යලි වඩල, ඒ ක්‍රම රටාව පුරුදුවෙලා තියෙන්න ඕන.
මුලදි පුරුදු කරගන්න හරි අමාරුයි. බොහොම මහන්සිවෙන්න ඕන. අවධානය බොහොම තදින් යොමුවෙලා, හැමතැනම ඕක හුරුවෙලා තියෙන්න ඕන. හැබැයි මේ හුරුවීම පොඩි වැඩක් නෙමෙයි. විශාල නුවණක් වර්ධනය කරගෙන, මහා කම්පනයන්ගෙන් නිදහස් කරගෙන, බලා සිටියදී රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය වෙනවා. හැබැයි මේක හරි අමාරුයි මුලදි පුරුදුවෙන්න. අර බයිසිකලයක් පදින එක්කෙනා මුලදි ඇදගෙන වැටෙනවා යනකොට. ඔය විදිහට නොයෙක් ආකාරයෙන් අපි අමාරුවෙන් පුරුදුවෙලා ගියාට පස්සෙ, පුරුදු උනාට පස්සෙ, අත් දෙක අත ඇරලත් ෆුට් බයිසිකලේ පැද්දහැකියි. එහෙමත් යන්න පුළුවන් ක්‍රමයක් එනවා. නට නටත් ගිය හැකි ඒක උඩ. ඒත් වැටෙන්නෙ නෑ. මොකද ඒක පාලනය කරගන්න ක්‍රමය හරියට හුරු උනාට පස්සෙ, හිත ඒකට යෝග්‍ය උනාට පස්සෙ, අපිට පුළුවන් වාගෙ තමයි. මේ භාවනාවත් ඉස්සෙල්ල කරනකොට වැටෙනවා. වැටි වැටී නැගෙන්න ඕන. හැබැයි පුරුදු කරගත්තට පස්සෙ කිසි අමාරුවක් නෑ. ඒ නිසා භාවනාව මුලදි හරි අමාරුයි.
“දුක්ඛා පටිපදා, දන්ධාභිඤ්ඤා”; දුක් ප්‍රතිපදාවක්, මේකෙන් ලැබෙන සැනසුම බොහොම අඩුයි. ඕක සුඛා පටිපදා වෙනකොට, හුඟක් කල් යනවා. හරි ගිහිල්ල ආපුවහමයි, සුඛා පටිපදා බවට පත්වෙන්නෙ. එතකන් හරි අමාරුයි.
එතකොට ඇහැට පෙනිච්ච රූපය දිහෑ, ඒ ඇලීමක් එහෙම හටගත්තොත්, ඒ ගැන මෙහෙම බලන්න කියනවා. “මේ ඇලෙන ස්වභාවය, හරි ප්‍රිය ස්වභාවයයි, ඒක හරි මිහිරියි. හැබැයි මේ ප්‍රිය ස්වභාවයෙන්, මිහිරි ස්වභාවයෙන්, මධුර ස්වභාවයෙන්, මේ පෙනුනට, මේක හරි භයානකයි. මේකෙන් තමයි මේ විනාශයට ගෙනිහින් දාන්නෙ…” නමුත් අපිට බලන්න කිව්වෙ, දුක එන හැටි මිසක්, දුක ගැන අඬ අඬා ඉන්න නෙමෙයි කිව්වෙ.
දුක එන තැන, දුක නෑ. දුක එන තැන හරි සැපයි. මෙන්න මෙතන හොයාගත්තෙ නැත්තං, දුකෙන් මිදෙන්න බෑ. නමුත් අද හැම තැනම දුක හොයා හොයා දඟලනවා, දුක භාවනා කර කර ඉන්නවා. දුකෙන් මිදෙන හැටි භාවනා කරන්නේ නෑ. දුකෙන් මිදෙන හැටි භාවනා කරන්නනම්, “සැපයි සැපයි සුන්දරයි” කියලා පේන ඒව පිලිබඳ, ඒවායේ යථා ස්වභාවය, භයානක බව දකින්න, භාවනාවක් කරන්න ඕනෙ. ඒකයි නිවන් දකින මග. නමුත් අපිට කොහෙවත් කියා දෙන්නෙ නැහැ එහෙම මගක්. හැමතැනම දුක් විඳින එක බල බල ඉන්න කියන එක තමයි පෙන්නන්නෙ. ජරාව බල බල ඉන්න, කුණු ගඳ ගහන එක බල බල ඉන්න, ඒක අප්පිරියා කර කර ඉන්න, එහෙම නැත්නං, දුකයි දුකයි කිය කියා ඉන්න. ඕකමයි පෙන්න පෙන්න ඉන්නෙ. අපි ඉතින් මූන කට කජු ලෙල්ල වගේ හදාගෙන මූණත් හකුලුවාගෙන, අනේ මේ ලෝකෙ ඔක්කොම දුකනෙ, කිය කිය ඒකෙ ඉන්නව, දුක දන්නවා කිය කිය.
{0:33:50} : දුක, පිරි හිඳ දැකීම
බුදුරජාණන් වහන්සෙ අපිට කිව්වෙ ඕක බලන්න නෙමෙයි, “ඔන්න ඔය කරදරකාරී ගොඩ ඇතිවෙන්න හේතුවක් තියෙනවා, අන්න ඒ දුකට හේතුව දැනගන්න”. ඒ දුකට හේතුව, හරි ප්‍රියයි කියල හිතාගෙන ඉන්න හින්ද තමයි, අපිව ඔය අමාරුවෙ වැටෙන්නෙ. ඔය දුකට මූණදෙන්න සිද්ධවෙන්නෙ. ඒ දුකට හේතුව, “ඒ ප්‍රිය භාවය හිඳින්න; ප්‍රියභාවය හිඳල දැනගන්න”. අන්න එහෙනම්, “දුක, පිරි-හිඳ” දැනගන්නවා. එහෙනම් එතකොට දුකට හේතුවවන, ප්‍රිය ස්වභාවය යමකද තියෙන්නෙ, අන්න ඒක දුරුකර දමනව. එහෙනම් දුක, පිරි-හිඳ දැනගන්න, දුකට හේතුව දුරුකරන්න. එතකොට ප්‍රිය භාවය හින්දහමයි, අපිට දුක දකින්න පුළුවන් නියම විදිහට. ප්‍රිය භාවයෙන්, මේ දුක වහගෙන තියෙන්නෙ. ප්‍රිය භාවය හැමවෙලේම නැගි නැගී එන දුක් වහනකොට, අපිට තියෙන දුක, විද්‍යමාන දුක, හැඟවෙනවා, පේන්නෙ නෑ. ඒ නිසා අපිට දුක, පිරි-හිඳින්නේ නැත්නම්, දැකගන්න බැහැ.
දැන් දුක, දුක හැටියට දැනගන්න කිව්වට හරියන්නෙ නැහැ. දුක, දුක හැටියට දැනගන්නනම්, ඒ දුක වහන යමක් තියෙනවා, ඒ තමයි “ප්‍රිය ස්වභාවය, මධුර ස්වභාවය”. අන්න ඒ ප්‍රිය ස්වභාවය, මධුර ස්වභාවය යම් දවසක යම් දහමකින් සිඳ දැම්මනං, යම් දහම් අවබෝධයකින්, අන්න වහන එක ඉවරයි. අර දුක වහල, යටපත් කරල දාපු එක ඉවරයි. එදාට හැඟවිච්ච දුක හොඳට මතුවෙලා පේන්න පටන් ගන්නවා, එදාටයි “දුක්ඛ ආර්ය සත්‍ය” දකින්නෙ. ප්‍රිය භාවය හින්දදාටයි, දුක දැනගන්නෙ හරියට. නමුත් අද දුක්ඛ ආර්ය සත්‍ය දැනගන්න කියල මේ සාමාන්‍ය ලෝකයාට ගෝචරවෙන දුකම ගැන කිය කියා ඉන්නව. හැබැයි ගෝචර වෙලා නැත්තෙ ඒකයි.
දුකට හේතුවක් තියෙනව, ඒක ප්‍රියයි. අන්න ඒක, හින්දෙ නැත්නම්, වැහිල තියෙන දුක දකින්න බෑ. අපි කතාවට කියනවනෙ, “ඇරෙන දීගෙට හෙවනැල්ලත් ඇදයි” කියල. කන දීගෙට හෙවනැල්ල නෙමෙයි මහ වැරැද්දත් ඇද නෑ, ඇද පේන්නෑ, ප්‍රිය මනාපයෙන් කනවා. දීගෙ ප්‍රිය මනාපය ඉවත්වෙලා ගියානම් එහෙම තමයි, ඇරෙන දීගෙ හැදෙන්නෙ. එදාට හෙවනැල්ලෙ ඇදත් පේනවා. එහෙනම් ඒවගෙ තමයි, යම්කිසි අස්වාදයකින් දුක වහල තියෙනවනම්, ඒ ආස්වාදය පලවෙනි කරල ඉන්න තාක්කල්, පුංචි දුක් පේන්නෙ කොහොමද, මහ දුකක් වැහිල තියෙනකොට? දුක විවෘතව දැනගන්න ඕන්නං, දුක්ඛ ආර්ය සත්‍ය දැනගන්න ඕන්නං, ඒ දුක යමක් වටා බැඳිල තියෙනකොට, අපි බැඳිල ඉන්නෙ මොකක් නිසාද, ඒ ප්‍රිය භාවය හින්දනම් යම් ක්‍රමයකින්, අන්න ප්‍රිය භාවය ඉවර උනදාට, හැඟවිච්ච දුක මතුවෙනව. එච්චර කල් දැකපු නැති, පෙර නොදැනුණු, නොවැටහිච්ච දුක දැකල, දුක්ඛ ආර්ය සත්‍ය දකිනවා. අන්න එදාටයි චතුරාර්‍ය්‍ය සත්‍යය දකින්න හේතු වෙන්නෙ.
එහෙනම්, මෙන්න මේ ප්‍රිය මනාපය එනකොට අපි දකින්න ඕනෙ, ඒක හිඳින ක්‍රමය; අන්න භාවනාව. “ඒ ප්‍රිය මනාපය හිඳින්නේ යම් ක්‍රමයකින්ද; ඒකයි නිවන් දකින භාවනාව”. එහෙනම් ලස්සන රූපයක් දැක්කහම ඒ ප්‍රිය මනාපය කොහොමද හිඳින්නෙ? මෙන්න ඉන්ද්රිය භාවනාව හරියට දැනගත්තනම්, හිඳින ක්‍රමය අහුවෙනවා. ඒ වෙලාවට ඇලෙන්න, ගැටෙන්න යන්නෙ නැතුව, ඉවසීමෙන් යුක්තව, ඔය ප්‍රිය මනාපයි කියල මම හිතා ඉන්න යම් ආස්වාදයක් ඇත්නම්, දර්ශන ආස්වාදයක් ඇත්නම්, ඒක කොහොමද ලැබෙන්නෙ? ඒකෙ හැටි කොහොමද? කොහොමද ඒක හටගන්නෙ? ඒ පැවැත්මෙ ස්වභාවය මොකක්ද? ඒකෙ තියෙන හරය මොකක්ද? අන්න ඒ පිළිබඳව විමර්ශනාත්මකව බලන්න කියල පෙන්නුවා. ඒක බැලීමේදී, “ඒ මන වඩන රූප ස්වභාවය, දර්ශන ස්වභාවය අපිට මතු උනේ මොනව, මොනව එකතුවෙලාද, මොන මොනව නිසාද?”, මේක දකින්න ඕන. අන්න දැකිය යුතු හරියක් ඔතන පේනවා.
ඇස තියෙනවා, ඇස නැත්තන් මේ පෙනීම එන්නේ නෑ. අර මිහිරියා සහගත මන වඩන දර්ශනය මට ලබාගන්න බැහැ, ඇහැ නැත්තම්. එහෙනම් ඇහැ, මේකෙ ප්‍රධාන කොටසක්, ප්‍රධාන අංගයක්. ඇහැ තිබුනට, ඒකට ගෝචර වෙච්ච රූපෙ තිබ්බෙ නැත්තම්, මන වඩන ප්‍රිය මනාප රූපෙ තිබුනෙ නැත්තම්, ඒත් මේ ප්‍රිය මනාප ආස්වාදය එන්නෙ නෑ. එහෙනම්, ඒ රූපෙ තව අංගයක්. හැබැයි මේ ඇහැත් තියෙනවා, රූපෙත් තියෙනවා. “චක්ඛුංච පටිච්ච රූපෙච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං” කියන එකක් සිද්ධවෙන්න ඕනෙ. ඇහැට රූපයක් පෙනුන පලියට, චක්ඛු විඤ්ඤාණය නැහැ. දැන් ඕක විග්රහ වෙලා නැති, නිසා ඕව පටලවාගෙන තියෙන්නෙ. “චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං”. මෙන්න මේක තමයි චක්ඛු විඤ්ඤාණය බලාගන්න ඕනෙ. “ඇහැයි, රූපයයි දෙකේ ගැටීමෙන්, චක්ඛු විඤ්ඤාණය හටගන්නව” කිව්වට මේක තේරුම්ගන්න බැරිඋනා. ලෝක සත්වයා පෙර අස්වාදයන් ලබපු, දර්ශන අස්වාදයන් ලබපු, ඒ අවිද්යවෙන් වැහිල, ඒක හොඳයි කියල නිගමනය කරගෙන, සාරයි කියල නිගමනය කරගෙන, එබඳු දර්ශන මතු-මතුත් බලන්න බලාපොරොත්තුවක් ඇතිකර ගත්ත මානසිකත්වයක්, ගොඩනගාගෙන තිබිච්ච නිසා, අන්න ඒකට තමයි මේ දැනුත් හෝදිසි කරනකොට එහෙම එකක් අහුවුනේ. ඒ බලාපොරොත්තුවෙන් කරපු හෝදිසියෙදි තමයි, මන වඩන රූපයක් දැකල, හිතට අමුතු එකක් එකතු උනේ.
“මන වඩන රූප බැලීමේ ආසාව නමැති හිත”, මන වඩන රූප බලන බලාපොරොත්තුව; මෙන්න “චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති”. මේ ඇහැට පටි+ඉච්ච; ඉච්ච කියන්නෙ “කැමැත්ත”. කැමැත්තෙන් බැඳුනහම, අර රූපයට කැමැත්තෙන් බැඳුනහම, මෙන්න මේ දෙක හේතු කොටගෙන උපදිනව, චක්ඛු විඤ්ඤාණ. ඇහැට කැමැත්තෙන් බැඳුන් නැත්තං, අර රූපයට කැමැත්තෙන් බැඳුන් නැත්තං, ආසා හිතක් ඇතිකරවන, මත්කරවන විඤ්ඤාණයක් අපිට හටගන්නෙ නෑ, හිත තියෙනවා. ඒකයි කිව්වෙ “හිතට, විඤ්ඤාණ කියන්නෙ නෑ”. ආගන්තුක උපක්ලේෂයන්ගෙන් කහට ගැන්විලයි, විඤ්ඤාණයක් හැදෙන්නෙ. හිත, විඤ්ඤාණයක් බවට පත්වෙන්නෙ. දැන් මෙතන හටගත්ත ආගන්තුක උපක්ලේෂය මොකක්ද? අවිද්‍යාව නිසා හරි, “වටිනා දෙයක් මේ ඇහැ කියල, නිගමනයක් තිබ්බ. ඒ ඇහැට ගෝචරවෙන රූපයත්, හරි වටිනව” කියල නිගමනයක් තිබ්බ. ඒවා මතු-මතුත් ඒ පසුපස හඹාගිහින්, ඒව ලබාගන්න ඕන කියල බලාපොරොත්තුවක් ඇති උනා, අවිද්‍යා සහගත බලාපොරොත්තුවක්. මෙන්න මේ බලාපොරොත්තුවට කියනව, ඇහෙන්, රූප බලන බලාපොරොත්තුවක් හටගත්තහම; “චක්ඛු විඤ්ඤාණයක්, ඒ බලාපොරොත්තුව මුල් කරගෙන, ඇහැයි රූපයයි හමුවෙනකොට හම්බුනා, හැදුනා”. මෙන්න තුනක් හටගත්ත හැටි. දැන් ඇහැයි, රූපයයි, චක්ඛු විඤ්ඤාණයයි කියල හටගත්තහම, මේ තුනේම වටිනාකම දැන් තියෙනවා.
දැන් අපි නිකමට කියනවා, “මගෙ ඇහැ හොඳට පිංකරල තියෙනව, මෙහෙම රූපයක් බලන්න”, අපි කතාවට කියන්නෙ. ඇහැත් පිංකරල තියෙනව කියල කතාවක් කියන්නෙ. ඇහැ පිංකලා කියන එක නෙමෙයි ඔතන කියන්නෙ. අන්න ඇහැට තියෙන ආසාව, ඇහේ වටිනාකම දැක්කා. “මේ මන වඩන රූප ආස්වාදය ලබාගන්න, මට වටිනා ඇහැක් තියෙන හින්දනෙ මං මේක ලැබුවේ” කියල, ඇහැ පිළිබඳව හටගත්ත කැමැත්තක්. අන්න ඒ කැමැත්ත තමයි, කැමැත්තට බැඳුනහම තමයි, පටිච්ච උනේ. “චක්ඛුංච පටිච්ච” උනේ ඕකට.
“පෙර පිංකරල තියෙන්න ඕනේ මෙහෙම රූපයක් බලන්න”. රූපයටත් බැඳුනා. ආං චක්ඛුංච පටිච්ච රූපේච උනා. දැන් ඕකෙන් හටගත්ත, නිකන්ම දැනෙන හිත ඇරෙන්න, ආස්වාද විඳිමින්, බලාපොරොත්තු සහගතව, ඒ පසුපස හඹායන මානසිකත්වයක්; මෙන්න “චක්ඛු විඤ්ඤාණය”.
දැන් මේ තුනටම අපි එකතුවෙලා ඉන්නවා, “තින්නං සංග”. “සංග” කියන්නෙ කෙලෙස්වලට. අපව කෙලෙසා දමන දහමක් කරා අපි එකතු වෙනවනම්, ඕකට කියනව සංගයක්. ඔය තුනේ එකතුව නෙමේ. එකතුවට කියන්නෙ “සංඝ” – සමගියෙන් ඉඳීම, එක්කර ගැනීම, එකතුවෙලා සමගියෙන් ඉන්නවට කියනව “සංඝ”, එකක්. ඒ එකතුව කියන්නෙ, රාගයෙන් එකතුවෙනඑක නෙමෙයි. රාගයෙන් එකතුවෙන එක, “සංග”. ඒකෙන් නිදහස් උනහම ලබන්නාවූ නිදහස් මානසිකත්වය, ගැටීමක් නැති මානසිකත්වයක් ඇතිවීම, “සංඝ”. සංග අහක්කරල, “සංඝ” වෙන්න ඕන. සංග රත්නය එහෙම නෙමෙයි, සංඝ රත්නය. “සංග” නම්, මහ කැතයි, “සංග”, රත්නයක් නෙමෙයි, “සංග” අසූචියක්. “සංඝ”, රත්නයක්. අපි “සංගං සරණං ගච්ඡාමි”, එහෙම කිව්වොත් වැඩේ විනාශයි. “සංඝං” වෙන්න ඕන. “සංග සරණ” ගියොත් එහෙම, අපි කෙලෙසෙනවා. සංග කියන්නෙ කෙලෙස්.
එහෙනම් ඇහැ පිළිබඳව, යම් කෙලෙසෙන දහමක් සමග එක්වෙලා හිටියනම්, ඒ ඇහැ පිළිබඳව තියෙන ආශාව. ඒ රූපය පිළිබඳව යම් ආශාවක් ඇත්නම්, අන්න ඒකත් කෙලෙසෙන දහමක්, කෙලේශයක්, සංගයක්. මේ ඇහෙන් රූප බලන බලාපොරොත්තුව පිළිබඳව ඒ බල, බල ආශ්වාදය දීමට බැඳගත්ත මානසියක්වයක් තුල තියෙන්නෙ, හිත කෙලෙසන සංගයක්. මෙන්න සංග තුන.
“තින්නං සංග” කිව්වෙ ඔන්න ඕකටයි. මෙන්න මේ සංග තුනක් ඇත්ද, මෙන්න මේකට ගියොත් ස්පර්ෂයක් ඇතිවෙනව, අවිද්‍යා සහගත ස්පර්ෂයක්. මෙන්න ලෝක සත්වයාගේ සසර පැවැත්මට හේතුවෙන, ස්පර්ෂයක් හටගන්න හැටි. ඇහැට රූපයක් ස්පර්ෂ වෙච්ච එකට නෙමෙයි, මේ ස්පර්ෂ කිව්වෙ. “තින්නං සංගති ඵස්සෝ” කිව්වෙ. ඔන්න ඔතනයි ස්පර්ෂය, සංග කියන එක හටගන්නෙ, කෙලේසය හටගන්නෙ, මෙන්න මේක බලන්න. මම කෙලෙසෙන දහම් තුනක් සමගයි, මේ එකතුව හැදිලා තියන්නෙ, මමෙක් හැදෙන්නෙ, මමෙක් විද්යමානවෙන්නෙ. දැන් මේ මොහොතෙ ඇහෙන් රූප බලල ආස්වාද විඳින මමෙක් විද්‍යමාන උනේ මොකක් නිසාද? මෙන්න මේ සංග තුනක එකතුවෙන්. මේ කෙලෙසෙන දහම් තුනක එකතුවක් මෙතන සිද්ධ උනා. මෙන්න මේකයි සංග තුන.
දැන් මේ තුන විමර්ශනය කරල බලන්න ඕනෙ, ඇයි මං මේ කෙලෙසෙන දහම් එක්කල එකතු උනේ. ඒව මට වටිනව කියල හැඟීමක් තිබිචච නිසා. ඒව පිළිබඳව අවිද්‍යාවේ නිගමනය නිසයි, මේ සංග තුනක් හැදුනෙ. ඇහැ තිබුනට කූඩුවක් විතරයි. මේක කෙලෙස් මාර්ගයකට ගෝචර කරගත්තහම තමයි, කාම ආයතනයක් බවට පත් උනේ. ඇහැට කූඩුවක් වශයෙන් ඉන්න දුන්නෙ නෑ. ඇහැ ආයතනයක් කරගත්ත, කාමයට; මෙන්න චක්ඛු සංගය. අර රූපය ගෝචර කරගත්ත, කාමයට. රූප සංගයක් හදාගත්ත. ඊට පස්සෙ මොකද කරන්නෙ? ඒ තුලින් බලාපොරොත්තුවක් හදාගෙන, ඒක හසුරුවන්න මානසිකත්වයක් ගොඩනගාගෙන, චක්ඛු විඤ්ඤාණ සංගයක් හදාගත්ත. මෙන්න මේ සංග තුනත් එක්ක එකතුවෙලා තමයි, සසර ගමනට ස්පර්ෂයක් හදාගෙන, ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ක, දෝමනස්ස, උපායාසෝ සම්භවන්ති කියල, දුක්ඛන්ධස්සය පස්සෙ යන්න වැටුනෙ. දැන් මේ සංග තුන බිඳිනකන් අපිට පුළුවන්කමක් නෑ, මේකෙන් මිදෙන්න.
ඔන්න ඔය සංග තුන බිඳින්න අමාරුයි, තේරුම්ගන්න මුල. මොකද හේතුව? මේ බණ අහන්න නැති නිසා. නිතර, නිතර කනට ඕක වැටුනනම් එහෙම, ඕක තේරෙන්න පටන්ගන්නවා. මේක ආගන්තුක බණක් වෙලා තියෙනවා දැන්. නිවන් දකින බණ අති දුර්ලභයි, “සද්ධම්මෝ පරම දුල්ලභෝ” කිව්වෙ ඔන්න ඕකට. සද්ධර්මය පරම දුර්ලභයි. එහෙනම් මෙතෙන්දි අපි දකින්න ඕනෙ මේ සංග තුන හටගන්න එකෙන් මිදෙන්නනම්, ඇහැ පිළිබඳව යථාර්තය දකින්න ඕනෙ. ඒ රූප පිළිබඳව යථාර්තය දකින්න ඕන. ඒ පිළිබඳව ඒවායේ ආසාවෙන් බැඳිල, ඒ පසුපස හඹායන මානසිකත්වය නමැති චක්ඛු විඤ්ඤාණය පිළිබඳව යතාර්ථය දකින්න ඕනෙ. මෙන්න මේ තුනේ යතාර්ථය දැක්ක දාට, සංග තුන බිඳිල යනවා, එදාට සංග ඉවරයි. සංගය ඉවර උනානම්, අවිද්‍යාවත් ඉවරයි. අන්න නිවන් මග. අන්න භාවනාව; ඉන්ද්රිය භාවනාව. දැන් මෙතෙන්දි අපි දැකගන්න ඕනෙ ඒක වඩන ආකාරය.
{0:46:10} : සංඛත සහ පටිච්ච සමුප්පන්න බව හඳුනාගැනීම
අන්න බුදුරජාණන් වහන්සේ මේක බලන්න පෙන්නුවා, මේ ඇහැ පිළිබඳව බලන්න ක්‍රමයක්. මේ හරි වටිනාකමක් තියෙනවා කියල හිතා ඉන්න ඇහැ, කෙබඳු වස්තුවක්ද? මේ “මම” කියන තැනට බස්සව ගන්න, “මම” කියන තැනට ගොඩට එකතුකරගන්න, හේතු කාරකවන වස්තුවක්ද මේක? එතකොට ඒකට හේතුකාරක වස්තුවක්ද කියල, ඉස්සෙල්ල හොයල බලන්න. අන්න හොයල බලනකොට පෙනෙයි, අනාදියේ පටන් පවතින එකක් නෙමෙයි, මේ ඇහැ කියල එකක්, අනාදියේ පටන් ආවෙ නැහැ, මේක අනාදිය කරා යන්නෙත්, පවතින්නෙත් නැහැ. එක්තරා කාල සීමාවක්තුල හටගෙන, විපරිණාමයන්ට පත්වෙමින් ගිහිල්ල, එක්තරා අවස්ථාවක මේ සම්මතය බිඳිලා යනවා. ඇහැ කියන සම්මතය බිඳෙනවා. එහෙනම් මේක සදාතනික වස්තුවක් නෙමෙයි ඇහැ කියන්නෙ. “මම” කියල අල්ලගන්න, “මගේ” කියල අල්ලගන්න, “මගේ ආත්මයයි” කියල අල්ලගන්න කියල වටිනා එකක් නෙමෙයි මේ ඇහැ කියන්නෙ. එහෙම ගන්නවනම්, අවිද්‍යාව නිසා බැහැපු නිගමනයක් ඒක. ඇහැ, මම කියල අල්ලගත්තනම්, මගෙ කියල අල්ලගත්තනම්, මගේ ආත්මයට අයිති කොටසක් කියල හරි අල්ලගත්තනම්, අවිද්‍යාවේ නිගමනක් ඇරෙන්න, ඒක සත්‍ය අදහසක් නෙමේ. සත්‍ය ඥාණයට ගෝචර වෙච්ච එකක් නෙමේ.
මේ නිසා දැනගන්නව, මේ ඇහැ සකස්වෙච්ච එකක්, “සංඛයක්”. අන්න ඇහැ සංඛතයක් කිව්වෙ, ආපෝ ධාතුවෙන්, තේජෝ ධාතුවෙන්, වායෝ ධාතුවෙන්, පඨවි ධාතුවෙන් කියන ධාතු හතරක සම්පින්ඩනයකින්, යම්කිසි බලවේගයක් සමඟ ක්‍රියාත්මකවෙලා, පෙර නොතිබිච්ච එකක් ගොඩනැගිලා. මේක කව්රුවත් ඊශ්වරයෙක් ගොඩනගල දුන්නත් නෙමෙයි, අහම්බෙන් ගොඩනැගුනත් නෙමෙයි. හේතුවක් නැති ඵලයක් නෑ. එහෙනම් මේක ගොඩනැගුනේ හේතුවක් ඇතුව. මොකක්ද හේතුව? පෙර භවයක අපි විසින් ඇහැක් බලාපොරොත්තුවෙච්ච, සංගයක් මතුකරගත්ත නිසා ඇහැ පිළිබඳව, ඒ බලාපොරොත්තුවෙන් හටගත්ත මානසිකත්වය මුල්කරගෙන, ඒ බලාපොරොත්තුව පරිදි මතුවෙච්ච ශක්ති විශේෂයක් නිදහස්වෙලා, “කර්ම ශක්තිය” කියල අපි පසුපස ක්‍රියාත්මකවෙලා, පෙර කරන ලද ඒ කර්මයේ ප්‍රථිපලයක් වශයෙන්, විපාකයක් වශයෙන්, මේ සතර මහා ධාතුන්ගෙන් එකතුකරල, සම්පිණ්ඩනයක් කරල, ඇහැ කියල එකක් ගොඩනැගුව.
ඒක තමයි අනාදියේ නොතිබිච්ච, යම් කාලයකදී ආරම්භවෙලා, ආරම්භ වෙච්ච එක විපරිණාමයට පත්වෙවී ගිහිල්ල, යම් දවසක වැනසෙන්න හේතුවෙනව. මේ ඇහැ කියන එක, මෙන්න මෙහෙම පටිච්ච සමුප්පන්නයි. ආසාවෙන් බැඳීම නිසා, ඊට අනුකූලව උපන්න එකක්. අන්න “සංඛතයි, පටිච්ච සමුප්පන්නයි” කිව්වෙ ඕකයි. ඉතින් ඕක හොඳට තේරුම්ගන්න ඕනෙ. ඔය වචන නිතර, නිතර සිතල, ඒවා අහල, සංඛතයි කියන්නෙ මොකද, පටිච්ච සමුප්පන්නයි කියන්නෙ මොකද, කියල තේරුම්ගන්න ඕන.
දැන් සංඛතයි කියනකොට, “සකස්වෙච්ච එකක්” කිව්ව පලියට බෑ. ඒ කෙටියෙන් කියනකොට කියනවා. භාෂාවෙන් කියන්න ගියහම, ඔයිට වඩා කියන්න බෑ. ඒ නිසා තමයි කියන්නෙ, ආර්ය ධර්මය ගේන, ආර්ය පැවැත්ම තුලම, ආර්ය පරපුරෙන්ම මේක විග්රහ කරල, මේකෙ අදහස ගන්න ඕනෙ කියල. සංඛතයි කියන එකේ අදහසයි අපිට ඕනෙ. සංඛතයි කියන්නෙ මොකක්ද කියල භාෂා විශාරදයින්ගේ පද නිරුක්ති වලින් පෙන්නන්න ගියොත්, “සකස්වෙච්ච එකක්” කිව්ව පලියට අපිට ඕක තේරෙන්නෙ නෑ. කොහොමද සකස් උනේ? හේතුවක් නැතුවද? හේතුවක් ඇතුවද? ඊෂ්වරයෙක් නිර්මාණය කලාද? කොහොම හැදුනද? අන්න දකින්න ඕනෙ, සකස්වෙච්ච එකකහැටි.
ඇයි සකස් උනා කියන්නෙ? කොහොමද සකස්වෙන්නෙ? ඇයි පට්චිච සමුප්පන්නයි කියන්නෙ? ඔය දෙක විග්රහ කරල දැනගන්න ඕනෙ ඔය විදිහට. අන්න එතකොට අපිට පුළුවන් සංඛතයි කියනකොට වැටහෙනව, අපිට ආපු අදහස. ලෝකෝත්තර අදහසින්ම, ඒකයි සංඛතයි කියන්නෙ. “ලෝකෝත්තර ධර්මයට අනුකූලව පටිච්ච සමුප්පන්නයි” කියන්නෙ මේකයි කියල, අදහස එනව. මෙන්න මේ අදහස අවශ්‍යවෙනව නිවන් අවබෝධයට, භාවනාව වැඩෙන්න.
{0:50:27} : ක්ෂය ධර්ම සහ වය ධර්ම
ඊළගට තියෙනවා “ඛය ධර්මයක්, වය ධර්මයක්” කියල දෙකක්. “ඇහැ, සංඛතයි, පටිච්ච සම්පුප්පන්නයි, ක්ෂය ධර්මයක්, වය ධර්මයක්”, මෙහෙම දකින්න කියනවා. දැන් ක්ෂය ධර්ම කියන එකට, භාෂාව අනුව නිරුක්ති ලියන්න ගියහම, ඒ කියන්නෙ භාෂාව ලෞකිකවූ පෘතග්ජනයින්ගේ හදාගත්ත ක්‍රමයක් මිසක්, සත්‍යක් නොවන නිසා, ලෝකෝත්තර අදහස ඒකෙන් දෙන්න බැහැ. මොකද ඒ භාෂා නිර්මාණය කරල, ඒවට අර්ථ දුන්න අය, ලෞකිකත්වය තුල අදහසින් අර්ථ දුන්න මිසක්, ඒකෙ ලෝකෝත්තර පැත්තට නැඹුරු කරන අර්ථය දෙන්න ඒගොල්ලො දක්ෂ නෑ.
එහෙනම් ලෝක සම්මතයේ අර්ථයක් ගේනවා ක්ෂය ධර්මයක් කියල කියන්නෙ, ගෙවිල යන එක. වය ධර්මයක් කියල කියන්නෙ, වැනසිලා යන එක. ඔය අර්ථ දෙක ගන්නවා. ක්ෂය ධර්ම කියන්නෙ, ගෙවෙනවා. වය ධර්ම කියන්නෙ, වැනසෙනව කියල. දැන් ගෙවෙනවා, වැනසෙනව කියන එක ලෞකික අර්ථ දෙකක්. ක්ෂය ධර්ම කියන වචනයේ තියෙනවා පද නිරුක්තියක්, ඥාණයට ගෝචරවෙන.
ඛ+අය = ඛය
ව+අය = වය
මේක හැදෙන හැටි. ක්ෂය වෙනවා කියන්නෙ මොනවද? ක්ෂයවීමට, අය වෙන්නේ; “ක්ෂයයි”. වැය වීමට අය වෙන්නේ; “වයයි”. ක්ෂය සහ වය තෝරගන්න ඕනෙ.
දැන් මෙතෙන්දිත් දකින්න ඕනෙ මෙහෙම දෙයක්. “අය වෙනව” කියන්නෙ, එකතු වෙනවා. ක්ෂයවෙන පැත්තට එකතු කරනව, වැයවෙන පැත්තට එකතු කරනව. ක්ෂය ධර්ම සහ වය ධර්ම. දැන් මේකෙ ලෞකික අර්ථය මොකක්ද? ක්ෂයවෙන පැත්තට එකතු කරනව කියන්නෙ, තිබිච්ච එකක් තිබුන ආකාරයෙන් ගෙවිල ගිහිල්ල, ඒක මහලු බවට පත්වෙලා, වැහැරිලා ගිහිල්ල ඉවරවෙන එක, ක්ෂය ධර්ම. ඒක ගැලවිලා, මැරිල, කුණුවෙලා යන එක, වය ධර්ම. දැන් මේක, ලෝකෙ කව්රුත් දන්න එක. හැබැයි මීට වඩා ගැඹුරු එකක් දකින්න ඕන, ලෝකෝත්තර පැත්තට නැඹුරුවෙන්න නම්.
ක්ෂය කියන වචනෙන් පෙන්නන, පහත් පැත්ත මොකක්ද? අය කියන එකෙන් පෙන්නන, එකතු කිරීම මොකක්ද? පහත් පැත්තට එකතු කරන ධර්මයක්, ක්ෂය ධර්මයක්. වැනසෙන පැත්තට එකතු කරන ධර්මයක්, වය ධර්මයක්.
මේ ඇහැ පිළිබඳව ආශාවෙන් හිටියොත්, ඒක පහත් පැත්තට එකතුකරන ධර්මයක් උනේ කොහොමද? “ලස්සන රූප බලන බලපොරොත්තුවෙන්, ලස්සන ප්‍රිය-මනාප, මන වඩන රූප බලන ආස්වාද බලපොරොත්තුවෙන්, යම්කිසි තැනකට පුද්ගලයෙක් එකතු උනානම්”, මෙන්න “පහත් පැත්තට එකතු කරන්නා වූ ධර්මයක්”. ගුණ ක්ෂයකර දමන පැත්තට එකතුවෙන ධර්මයක් වෙනවා. කාමයට බැස්සොත්, රූප කාමයට බැස්සොත්, ඔහුට ආර්ය ගුණයට එන්න බෑ. ඒ පැත්ත ක්ෂය කරල, ලෝක පැත්ත, ලෞකික පැත්ත, පහත් පැත්තට එකතු කරනව. ලෞකිකවූ පහත් පැත්තට එකතු කරන ධර්මයක් වෙනව, මේ ඇහැට ආසා කරන්න ගියොත්.
ඇහැට ආසා කරන පුද්ගලයට සිද්ධවෙන්නෙ, පහත් වූ ලෞකිකතත්වයට එකතුවෙන, පහත් පැත්තට එකතුවෙන “ක්ෂ + අය” වෙන එකක්. “ක්ෂ” කියන පහතට එකතුවෙනවා. ගෙවෙන්නෙ ගුණය. ගුණ ගෙවිල, නුගුණයට එකතුවෙන ධර්මයක්, ඇහැට ආශා කරන්න ගියොත්. ගුණ වැනසිලා, නුගුණය නැගී සිටින්න එකතුවෙන ධර්මයක්. කොච්චර ප්‍රිය-මනාප කලත්, ඇහැට ආසා කරන්න ගියොත් සිද්ධවෙන්නෙ ඕකයි. දැන් මේක දැක්කට පස්සෙ දකිනව, මේ ඇහැට ආසා කරන එකනම් සෙල්ලම් වැඩක් නෙමෙයි. ලෞකික වූ පහත් පැත්තට එකතු කරන, ගුණ විනාශකර දමන, එබඳු වන්නා වූ එකක් තමයි. ඒක හොඳ එකක් වෙන්නෙ කොහොමද?
මෙන්න “ඇහැ පිළිබඳ දැකිය යුක්ත”. ඔය විදිහට මෙනෙහිකරන්න පටන් ගත්තොත්, “මේ ඇහැ හරි වටිනව කියල හිතා ඉඳල තියෙන්නෙ මෝඩකමක්, මුලාවක් නේද? කියල අවිද්‍යාව, අවිද්‍යාව හැටියට දැකල, විද්‍යාව, විද්‍යාව හැටියට දැකල, අවිද්‍යාවෙන් මිදිල, විද්‍යාව පහලවෙලා, ඇහැ පිලිබඳ යම් බලාපොරොත්තුවක් තිබුනනම්, අත්හැරී, නොඇලී, මිදී ගියානම්”, “නිවන”. අන්න යථාවබෝධයට, ඇහැ පිළිබඳව බලන හැටි.
එතකොට ඇහැට ගෝචරවෙච්ච ඊලග කාරණේ තමයි, අර “මන වඩන රූපය”. මේ අසාවෙන් කුළුගන්වපු, ආසාවට පොලඹවපු, රූපය. දැන් මේ රූපය මොකක්ද? අනාදියේ පටන් පවතින, සදාතනික වස්තුවක්ද? මේක අනාගතයටත් නොගෙවී, විනාශ නොවී, මෙසේම පවතින එකක්ද? එහෙනම් මේක කොහොම හටගත්ත එකක්ද? හොඳටම නිගමනය කරන්නයි, අමුතුවෙන් පොත් බලන්න දෙයක් නෑ. මේක, අනාදියේ පටන් හටගත්ත රූපයක්, අපේ ඇහෙන් මන වඩන රූපයක් ලෙසින් දැකල නෑ අපි. ඒ මන වඩන රූපය, ස්ත්‍රියක් වෙන්නත් පුළුවන්, පුරුෂයෙක් වෙන්නත් පුළුවන්, ගහක් කොලක් වෙන්නත් පුළුවන්, මන වඩන ලස්සන ගෙයක් වෙන්නත් පුළුවන්, මොනව හරි වෙන්න පුළුවන්. ඒ මොන එක උනත්, අනාදියේ පටන් තිබිච්ච එකක් නෙමේ. යම් කාලයක ගොඩනගල, එක්කෝ ගොඩනැගිල, මොන විදියෙන් හරි හැදිච්ච එකක්. මේක සදාතනිකව තියෙන එකකුත් නෙමෙයි. ඒකෙ ස්වභාවය, එහෙනම් ගොඩනැගිල, විපරිණාමයට පත්වෙලා, වැනසිලා යන එක. ඒක තමයි ඒකෙ තියෙන “සංඛතය”.
එකතුවෙන් කරගත්ත දෙයක්, “සංඛතයක්”. “සං” කියන්නෙ එකතුවක්. එකතුවෙන් හැදිච්ච එකක් මිසක්, මේවගේ ස්ථිර, සදාතනික වස්තුවක් නෑ, රූපය කියල. යම් යම් ආකාර එකතූන්ගේ “සං” වලින් හැදිච්ච එකක්, “කෘත” වෙච්ච එකක්, සංඛතයක්. ඒක හැදිලා තියෙන්නෙ පටිච්ච සමුප්පන්නව, කැමැත්තෙන් බැඳිල, ඒ ස්වභාවය හොඳයි කියල කැමැත්තෙන් බැඳීමක් මුල්කරගෙන, ඒකට සමානව පහල වෙච්ච උප්පතියක් තමයි, අපිට මන වඩන රූපෙ හැටියට පෙනුනෙ, පටිච්ච සමුප්පන්නව. හැබැයි ඕක සෙල්ලම් බඩුවක් නෙමෙයි. ඕක ඇසුරු කරන්න ගියොත් ආසාවෙන් මොකද වෙන්නෙ? කාම සහගතවන්නාවූ, ලෞකිකවූ, පහත් පැත්තට එකතු කරන ධර්මයක් මිසක්, ක්ෂය ධර්මක් වෙනවා. එතකොට නිවන් පැත්තෙන් අහක්වෙලා, වැනසෙන තත්වයට පත්වෙන්නා වූ තත්වයට පත්වෙලා, කාමයන් නිසා වැනසෙන තත්වයට පත්වන්නාවූ ධර්මයක්, ඕක අල්ලන්න ගියොත්; “වය ධර්මයක්”.
මෙන්න මේ ආකාරයෙන්, “සංඛතයි, පටිච්ච සමුප්පන්නයි, ක්ෂය ධර්මයි, වය ධර්මයි” කියල, ඒ රූපය ගැන දකින්න පුරුදුවෙන්න ඕන. එබඳුම වැඩක් නැති හිස් දේකින්, හිස් උන කොටස් දෙකක් මුල් කරගෙන, එබඳුම ඇහැකුයි, එබඳු රූපයකුයි, ඒ දෙකින් මතුවෙලා ගොඩනැගිච්ච මේ “ආස්වාදයත්”, අනාදියේ පටන් තිබිච්ච එහෙකුත් නෙමෙයි. දැන් ඉතින් ආස්වාදය මතුඋනා කියල, සදහට පවතින එකකුත් නෙමෙයි, නිකං හටගත්ත එකකුත් නෙමෙයි. අවිද්‍යාව නිසා වටිනවයි කියන නිගමනයේ බැහැල, හරි ලස්සන රූපයක්, හරි ආස්වාදයි කියල අපි නිගමනය කරගෙන, ඒ නිගමන ආස්වාද මානසිකත්වයෙන් ඒ දිහා බලන්න ගිහිල්ල, ඒ තුලින් ගොඩනගා ගත්ත එකක් තමයි, අර චක්ඛු විඤ්ඤාණ. අන්න සංඛතයක්, එකතුවීමෙන් හදාගත්ත එකක්.
ඒ ටික එකතු වුනේ නැත්තං, ඒ අවිද්‍යාව, ඒ තෘෂ්ණාව එතන එකතු උනේ නැත්තං, එබඳු මනසිකත්වක් හටගන්න විදිහක් නෑ. ආස්වාද මානසිකත්වයක්, ප්‍රිය මනාපයි කියන මානසිකත්වයක්, හටගන්න විදිහක් නෑ. අන්න සංඛතයි, පටිච්ච සමුප්පන්නයි. හැබැයි ඔය ආස්වාද මානසිකත්වය අල්ලගන්න ගියොත්, ඔය පස්සෙ ගියොත් එහෙම, ඔය පස්සෙ හඹා ගියොත්, ලෞකික වූ, කාම සහගත වූ, පහත් පැත්තට එකතු කරන ධර්මයක් වෙනව මිසක්, ක්ෂය ධර්මයක් වෙනවා. ඒකට වැටුනොත් එහෙම මොකද වෙන්නෙ? කවදාවත් නිවනක් නෑ, සැනසුමක් නෑ, අනාථ වෙන්නාවූ, වැනසීමට පත් වෙන්නාවූ, ධර්මයක් වෙනවා, ඒකට එකතු කරන ධර්මයක් වෙනවා. එහෙනම් එබඳු වන්නාවූ මානසිකත්වයක් අල්ලන්න වටින් නෑ, කියල දකින්න ඕනෙ හේතු ඇතුව.
අන්න එදාට දකිනව චක්කු විඤ්ඤාණය; “සංඛතයි, පටිච්ච සමුප්පන්නයි, ක්ෂය ධර්මයි, වය ධර්මයි”. එහෙනම් එබඳු වන්නාවූ ඇහැකින්, රූපයකින්, චක්කු විඤ්ඤාණයකින්, යම් ආස්වාදයක්, මං ප්‍රියයි කියල ගත්තනම්, මොකක්ද ප්‍රියයි කියල ගන්න වටිනා එකක් තිබ්බෙ? ඕක මුලාවෙන් ගත්ත මිසක්. මුලාවෙන් ගත්ත නිගමනයක් තුල මම ඉන්නව, “හරි වටිනා දෙයක්, ප්‍රිය මනාප ආස්වාදයක් මං ලබනව”, කිය කිය. මෙන්න මුලාවෙන් ආස්වාදයට බහින්න හේතුව. යම්කිසි දෙයක් මුලාසහගත නම්, මුලාවෙන් ගොඩනැගුනනම්, ඒකෙ ප්රථිඵලයත්, මුලාවක්ම මිස, කවදාවත් සැනසුමක් ගෙනත් දෙන්නෙ නෑ.
එහෙනම් ඒ චක්ඛු විඤ්ඤාණය නිසා, යම් සංස්පර්ෂයක් හටගත්තනම්, සං කියන්නාවූ එකතුව, අවිද්‍යා, තෘෂ්ණා දෙකේ එකතුවෙන් යම් ස්පර්ෂයක් හටගත්තනම්, “තින්නං සංගති ඵස්සෝ” කිව්වෙ, අන්න ඒ ස්පර්ෂයයි. අන්න ඒ සංස්පර්ෂයත්, වටිනා එකක් වෙන්නෙ කොහොමද? කුණෙන් හටගත්තෙ කුණක් මිසක්, හරියන එකක් නෙමෙයි, වැදගත් එකක් නෙමෙයි. එහෙනම් සංස්පර්ෂය කොහොමත් හරියන්න විදිහක් නෑ. ඇහැයි, රූපයයි, චක්ඛු විඤ්ඤාණයයි තුනමත්, එක ජාතියෙ කුණු ගොඩවල් නම්, පහත් පැත්තට ඇද දමන විනාශයට පත්කරන දේවල් නම්, ඒවයින් ගොඩනගල දුන්න, ඒ මානසිකත්වය ගොඩනගල දුන්න, යම් අශ්වාදයක්, යම් ස්පර්ෂයක් ඇත්නම්, ආශ්වාදාත්මක ස්පර්ෂයක් ඇත්නම්, ඒ දර්ශන ආශ්වාද ස්පර්ෂය, කොහොමද හොඳ එකක් වෙන්නෙ? ඒකත්, අර වගේම සංඛතයි; සකස් වෙච්ච එකක්. ඒකත් කැමැත්තෙන් බැඳිල හදාගත්ත නිසා, පටිච්ච සමුප්පන්නයි. “ඒක ඇසුරුකරන්න ගියොත්”, අර ලෞකිකවූ, පහත්වූ, කාම සහගතවූ, ක්ෂයට පත්වෙන්නාවූ, පැත්තට එකතු වෙනවා. වැනසෙන පුද්ගලයා, වැනසීමට පත්වෙන්න එකතු වෙනව මිසක්, හරි යන පැත්තට එකතු වෙන්නෙ නෑ. එහෙනම් “ඒකත් සංඛතයි, පටිච්ච සමුප්පන්නයි, ක්ෂය ධර්මයි, වය ධර්මයි”.
ඒක නිසා හටගන්න “යම් වින්දනයක්, වේදනාවක් ඇත්ද”, විඳින්න සුදුසු එකක් නම් නමෙයි. ඒ වින්දනයක් යම්කිසි විඳිනවානම්, ඒකත් සකස් වෙච්ච දෙයක්, ඒකත් අර විදිහට, පටිච්ච සමුප්පන්නයි, කැමැත්තෙන්ම හටගත්ත එකක්, ඒකත් කාම සහගත වූ, ක්ෂය භාවයට පත්කරන පැත්තට ඇද දමන, කාමය නිසා වැනසුනාවූ තත්වයට ධර්මයෙන් ඉවත්වෙන පැත්තට දමන ධර්මයක් නිසා, ඒ යම්කිසි “සංස්පර්ෂයෙන් හටගත්ත වේදනාවක් ඇත්නම්”, ඒකත් “සංඛතයි, පටිච්ච් සමුප්පන්නයි, ක්ෂය ධර්මයි, වය ධර්මයි”. ඔයිට එහා හොයන්න යන්න දෙයක් නෑ. අහුවෙලා තිබිච්ච ගොඩ ඔතනම විසඳිලා ඉවරයි. ඔය වින්දනය, බලාපොරොත්තු නැතුව ගියානම්, “ස්පර්ෂ නිරෝධයි, වේදනාත් නිරෝධයි”.
අන්න සංකාරයන්ගෙන් හටගත්ත, අවිද්‍යාවෙන් හටගත්ත, වේදනාව නිරෝධ උනානම්, “වේදනා නිරෝධා – තණ්හා නිරෝධෝ, තණ්හා නිරෝධා – උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා – භව නිරෝධෝ, භව නිරෝධා – ජාති නිරෝධෝ, ජාති නිරෝධා – ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසා නිරුජ්ජන්ති”. අන්න නිරෝධ කරන ක්‍රමය. ඇහෙන් රූපයක් බලනකොට, ඔය විදිහට බලන්න පුරුදුවෙන්න ඕනෙ, ඇලීමක් ගැන කිව්වෙ. දැන් එකක් කියනකොට අනිත් එක, කාලය යනවා නැත්නම්, ඕක විග්රහ කරන්න පුළුවන්, හුඟාක් වෙලා යනවා. ගැටීමක් හටගත්ත නම්, ඒකත් බලන්නෙ ඔය ක්‍රමයට. මුලාවක් හටගත්ත නම්, මුලාව නිසා තමයි ඔය ඇලීමෙ, ගැටීමෙ බැඳෙන්නෙ.
ඔය දෙකම ඔය විදිහට කල්පනා කරන්න පටන්ගත්තහම, ඔය ඇහැ ගැන, ඔය විදිහටම කනත්, කනට ඇහෙන ශබ්දයත්, ඒකෙන් හටගන්න සෝත විඤ්ඤාණයත් තෝරගන්න ඕනෙ, සෝත සංස්පර්ෂය හෙවත්, ඒකට බැඳීමත් නැත්නම්, ස්පර්ෂයත් තෝරගන්න ඕනෙ. ඒ සංස්පර්ෂයෙන් ජනිතවෙන වේදනාවක් ඇත්නම්, ඒකත් තෝරගන්න ඕනෙ.
ඒවගේම නාසයත්, ගන්ධයත්, ඝාන විඤ්ඤාණයත්, ඝාන සංස්පර්ෂයත්, ඝාන සංස්පර්ෂයෙන් ජනිතවෙන වේදනාවත් තෝරගන්න ඕනෙ ඔයවිදිහට.
දිවත්, රසයත්, ජිව්හා විඤ්ඤාණයත්, ජිව්හා සංස්පර්ෂයත්, ජිව්හා සංස්පර්ෂයෙන් ජනිතවෙන වේදනාවත් එසේ තේරුම් ගන්න ඕනෙ.
කයත්, කයට ගෝචරවෙන ඵොට්ටබ්බයත්, ඒ නිසා හටගන්න කාය විඤ්ඤාණයත්, කාය සංස්පර්ෂයත්, කාය සංස්පර්ෂයෙන් ජනිතවෙන වේදනාවත් පිළිබඳව ඔයවිදිහට හිතන්න පුරුදු වෙන්න ඕන.
මනත්, ධර්මයත්, හටගන්න මනෝ විඤ්ඤාණයත්, ඒ නිසා හටගන්න මනෝ සංස්පර්ෂයත්, මනෝ සංස්පර්ෂයෙන් හටගන්න වේදනාව පිළිබඳවත්, ඔහොම හිතන්න පුරුදුවෙන්න ඕන. ඔයිට වඩා ලෝකයක් නෑ, මුලු ලෝකෙම හිතල ඉවරයි.
එහෙනම් ඔය ටිකෙන් අහක් වෙච්ච, තව ඉතුරු වෙච්ච ලෝකයක් නැහැ. එහෙනම් ඔය ටික දකිනකොට, ලෝකය විදර්ශනා කලා, විදර්ශනා භාවනාව වැඩුව, ඉන්ද්රිය භාවනාව වැඩුන.
වැඩීගෙන එන ඉන්ද්රිය භාවනාව ඇති අයට, අර ප්‍රිය මනාපයන්ට හිත ඇදිල යනකොට, එබඳු අරමුණක් දකිනකොට, අර ලෞකික වූ මානසිකත්වයෙන් බැඳීමක් ඇතිවෙන කොට, විශාල ලැජ්ජාවක් ඇතිවෙනවා, තමා තමාට ලැජ්ජ කරගන්නව. “ඇත්ත පෙනිපෙනී, මුලාව පෙනිපෙනී, මං තවත් ඇයි මේ ක්ෂය වෙන වැය වෙන පැත්තෙ යන්නෙ?” අන්න තමන්ට පේනව, තමන්ටම ලැජ්ජ වෙන්න පටන්ගෙන, ඒ හිත අත් ඇරිල යනවා. ආස්වාදය එනව, එනකොටම ඕක මතක් වෙනව, අත් ඇරෙනව. ඔන්න වැඩෙන හිතේ ස්වභාවය.
(ශ්‍රාවක මහතෙක්): එතකොට ස්වාමීන් වහන්ස, හදයං වෙන්නැද්ද?
(ස්වාමීන් වහන්සේ): අන්න, හදයං වෙන්නෙ නෑ එතනින්.
(ශ්‍රාවක මහතෙක්): මානසං වලින් නවතිනවාද?
(ස්වාමීන් වහන්සේ): මානසං වලින් නවතිනවා. මානසං කියන්නෙ, මන එකතු උනා මිසක්, එයින් එහාට යන්නෙ නෑ. හදයං වෙන්න, හාද වෙන්න විදහක් නෑ.
(ශ්‍රාවක මහතෙක්): හදයං නතර වෙනවද?
(ස්වාමීන් වහන්සේ): අන්න හදයං නතර උනොත්, හදවත නෑ, වස්තු රූපය ඉවරයි. වස්තු රූපය නැත්තං, සසර ගමනත් ඉවරයි. හදයං ඉවර කරන තැනට එන්නෙ ඔතනින්.
(ශ්‍රාවක මහතෙක්): විඤ්ඤාණ මට්ටමට යන්නෙ නැද්ද?
(ස්වාමීන් වහන්සේ): විඤ්ඤාණ මට්ටමට යන්නෙ නෑ. විඤ්ඤාණ නිරෝධයි. අවිද්‍යාවෙන් හටගන්න යම් විඤ්ඤාණයක් ඇත්ද, අවිද්‍යා සහගත විඤ්ඤාණ නිරෝධයි. ඇහැ තියෙනවා, රූප පේනවා. ඒක තියෙනවා. ඒක විපාක විඤ්ඤාණ. ඒ විපාක විඤ්ඤාණය, අපිට ප්‍රශ්නයක් නෙමෙයි. විපාකය මතු ගෙනියන්න බැහැ. සංකාරයෙන් ගොඩනගපු විඤ්ඤාණයක් තිබුනොත් තමයි, සසර ගමනට හේතුවෙන්නෙ.
(ශ්‍රාවක මහතෙක්): කුසල මූල පච්චයා වෙන්නෙත් එතනමද?
(ස්වාමීන් වහන්සේ): “කුසල මූල පච්චයා” එනකොට, ඇහැට රූප පෙනීම තියෙනවා. නමුත් ඒක විපාක විඤ්ඤාණයක්. කුසල මූල පච්චයෙන් හටගන්නාවූ යථාවබෝධය ලැබීමට යමක් ඇත්නම්, ඒ සඳහා ආධාරයක් වශයෙන් ඒක ඇසුරුකරනව, ඒක අහක් කරන්නෑ. එහෙනම් ඇහැට පේන සියලු මනවඩන රූප අයින් කරන්නෑ. යම් රූපයක් නිසා අවිද්‍යාවට ගෝචර වෙනවද, තෘෂ්ණාවට ගෝචර වෙලා ඒ පැත්තට සසර ගමනට හේතුවෙන අවිද්‍යා වැඩපිළිවෙලට බහිනවද, ඒ ජාතියෙ රූප බැලීමයි නතර කරන්නෙ. ශාන්ත බුද්ධ රූප, ශාන්ත බුදු පිළිමෙ, ඒක එහෙම බලන්නැතුව ඉන්නෑ. ඒකත්, ඇහැ තියෙනව, රූපෙ තියෙනව, චක්ඛු විඤ්ඤාණය තියෙනව, චක්ඛු සංස්පර්ෂය තියෙනව, චක්ඛු සංස්පර්ෂජා වේදනා තියෙනව, හැබැයි ඒ දිහා බලනකොට ඇති වෙන්නෙ, “කුසල මූල පච්චයා සංඛාරා” කියන එක. අලෝභ, අද්වේෂ, අමෝහ පැත්තට වැඩෙන එකක් මිසක්, රාග, ද්වේෂ, මෝහ පැත්තට වැඩෙන්නෙ නැති නිසා, ඒක නිසා අපි අයින් කරන්නෙ, රාග, ද්වේෂ, මෝහ පැත්තට වැඩෙන ඒවා.
(ශ්‍රාවක මහතෙක්): ක්ෂය ධර්ම, වය ධර්ම එතන නෑ නේද?
(ස්වාමීන් වහන්සේ): ක්ෂය ධර්ම, වය ධර්ම ඒකෙත් තියෙනවා. ඒක අනිත් පැත්ත. දැන් එතන ක්ෂය වෙන්නෙ මොකක්ද? රාගය, ක්ෂය වෙන පැත්තට යනවා. රාගය, වැය වෙන පැත්තට යනවා. අතන තිබුනෙ, ගුණ ක්ෂය වෙන පැත්තට යනව, ගුණ වැය වෙන පැත්තට යනව. එහෙනම් ක්ෂය ධර්ම, වය ධර්ම දෙපැත්ත තෝරගන්න ඕනෙ, ඔය ක්‍රමයට. අන්න ඒක තමයි කියන්නෙ භාෂාවේ නිරුක්තියකින්, ඕක තෝරන්න බැහැ කියල. අදහස ගන්න ඕනෙ, තැනට ඔබින විදිහට.
ඕකට කියනව “නිපක”. දැන් ස්ථානයට උචිත ප්‍රඥාවෙන් ගියත් ඕක තෝරනව, “තැනට සුදුසු නුවණ” කියන්නෙ. නිවන් දැකීමට අපි යමක් තෝරගන්න ඕනෙ, අයින් කරන්න ඕනෙ මොකක්ද, ගන්න ඕනෙ මොකක්ද? එතනයි අපි ඉන්න ඕනෙ. අන්න එතනයි, නිපක කියන ප්‍රඥා ගුණේ එතන එන්නේ. ඒ ගුණය තුලින් මොකද කරන්නෙ? රාගක්ෂයට, ද්වේෂක්ෂයට, මෝහක්ෂයට, යමක් ඇසුරු කල යුතුද, ඒ ඇසුරට ඒකෙන් බහිනවා. හැබැයි ඒක ශාන්ත වශයෙන් පිහිටිය යුතු තැනක් කියල පෙන්නන්නෙ නැහැ. එතෙන්ට ගියාට පස්සෙ තමයි දකින්නෙ, ඒකත් අත්හැරිය යුතු තැනක් තියෙනවා. ඒ තව එහා. ඒක අරිහත් මාර්ගයෙදි, ඒක කෙරෙන්නෙ.
“බුද්ධ රූපයක් දැක්කහම ඇතිවෙන ශාන්තිය, ඒකත් වැඩක් නැහැ” කියල, හරයක් නැහැ කියල, ඒකත් අත්හරින තැනට එන්නෙ, අරිහත් මාර්ගයෙදි. එයින් මෙහාට ඒකට එහෙම බහින්නෑ. අන්න අර ධර්මයත් අහක් කරනව, ඔක්කොමත් අහක් කරනව, එකක්වත් අල්ලන්නෙ නෑ කියන තැනට බහින්නෙ, අරිහත් ඵලයට පත් උනහමයි ඒක වෙන්නෙ. එදාට එකක්වත් අල්ලන්නෙ නෑ. දැන් බුදුරජාණන් වහන්සේගෙ ලස්සන බලන්න යන්නෙත් නෑ එදාට. ශාන්ත බව බලන්න යන්නෙත් නෑ. පිරිත් කියන තැන මිහිරියාවට කන් දීගෙන ඒකෙ ආශ්වාදය විඳින්න යන්නෙත් නෑ. හැබැයි අනාගාමී කෙනාට ඔය ටික තියෙනවා. එයාට කොච්චර බැලුවත් මදි. රාග, ද්වේෂ, මෝහ පැත්ත නෙමෙයි, ඔය කියන කුසල මූලයෙන් නැගෙන්නාවූ සංකාර වලට අයිති, අලෝභ, අද්වේෂ, අමෝහ පැත්තෙ ලෝකය. ඒක අනාගාමී කෙනාට ඇරිලත් නෑ. අනාගාමී කෙනා අරිහත් මාර්ගය පූර්ණය කරනකොට, ඕකෙත් අසාරත්වය දැනගෙන, ක්‍රම ක්‍රමයෙන් අත් හැරිල, අරිහත් මාර්ගය පූර්ණය කරගන්න ඕනෙ. එතකොටයි ඒකත් නික්ම යන්නෙ. ලෝකෙම ඉක්මවන්නේ එහෙමයි. අනුපූර්ව යන්න ඕනෙ.
ඉතින් ඕක තමයි, “අපි ඇහින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයින්, මනින් ලෝකය ඇසුරු කරනකොට, කල යුතු භාවනාව”. ඉතින් මේක කරනකොට, අපි දැන් එක තැනක ඉඳගෙන කරන එක නෙමෙයි, මේ කියන්නෙ. එක තැන ඉඳගෙනත් කරන්න තියෙන්නෙ, ඔය ටික සිහිකරන එක. ක්‍රියාත්මක කරනකොට, සිහිකරපු දේට අනුව ක්‍රියාත්මක වීම. සිහි කරන්නෙ, හොඳටම හිතට වැද්ද ගන්න. ඒක හිතට හොඳට කාවද්ද ගන්න තමයි, ඇසුරු කරගන්න තමයි, අපි එක තැනක ඉඳගෙන, යලි යලි ආවර්ජනා කරන්නෙ. යලි යලි ආවර්ජනා කරන එක, එක ක්‍රමයක්. ඒ ආවර්ජනා කිරීමෙන්, මානසික පුහුණුවක් ලබනවා. ඕකට කියනව, “භාවනාව වැඩෙනවා”. වැඩෙන භාවනාව ඇති කෙනා, අරමුණු කරනකොට ලෝකය තුලට බැහැල, ලෝකය තුල ක්‍රියාත්මක වෙනකොට, ඇහැට, කනට, දිවට, නාසයට, ශරීරයට, මනසට, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ෂ කියන ඒව, ස්පර්ෂ ධර්ම කියන ඒව, යොමු වෙනවා. අන්න යොමුවෙන මොහොතෙදි, ඔය ධර්මය අනුව දකින්න පුරුදුවෙනව, අර වගේ ප්‍රගුණ කරපු භාවනාවක් තියෙන කෙනාට. ඒ නිසා ප්‍රගුණ කරපු භාවනාව තියෙන කෙනා, යම් මොහොතක භාවනාව තුලින් වැඩුනු මානසිකත්වයෙන්, ඒ විද්‍යානුකූල මානසිකත්වයෙන්, ඇහැට රූපයක් පේන මොහොතකම ඕක ආවනම් එහෙම, ඒ මොහොතෙදි ඇතිවෙනවා විශේෂ අත්දැකීමක්. ඒ ඇතිවෙන මානසිකත්වයට කියනව, “අරිහත් ඵලය”. ඒ ඵලය ඇති උනාට පස්සෙ, ආයි සැරයක් ඒ වගේ එකක්, කෝටියක් දැක්කත්, ඒ ඵලය අහකට යන්නෑ, අමුතුවෙන් භාවනාවක් නෑ, වඩල ඉවරයි.
(ශ්‍රාවක මහතෙක්): අට්ඨි කර්මස්ථානය කියන්නෙත් ඕකද?
(ස්වාමීන් වහන්සේ): අන්න අට්ඨි කර්මස්ථානය කියන්නෙත් ඕකයි. මෙහෙම බලල, ආපහු බලනකොට, අරිහත්වයට පත් උනා, මොකද? වැඩුනු භාවනාවක් ඇති නිසාම, අරමුණ එන මොහොතෙදිම, ඒ මොහොතෙම ප්‍රතික්ෂේප කරන තත්වයට මානසිකත්වය වැඩුනු මොහොතක් ආව, අන්තිම මොහොතෙ, කොයි මොහොතක හරි. ඇහි පිය ගහන මොහොතකත්, ඒ මානසිකත්වය ගොඩ නැගෙන්න පුළුවන්. අන්න ඒකට කියනව, අරිහත්වයට පත් උනා. ඉතින් අරිහත්වයට පත්වීමට, අපිට අමුතුවෙන් කරන්න දෙයක් නෑ, ඉන්ද්රිය භාවනාව වඩන එක විතරයි අපිට කරන්න තියෙන්නෙ. අරක ඒ මොහොතක වෙයි. සමාධියත් ඒ වගේම, ඔය ටික කරනකොට ලැබෙනව.
ඉතින් බුදු දහම තුල ධ්‍යාන ලබන්න, අමුතුවෙන් කරන්න භාවනාවක්, වෙන පෙන්නල නෑ. ඕක තමයි භාවනාව. ඔය භාවනාව කරගෙන යනකොට ධ්‍යානත් ලැබෙනව, මාර්ග ඵල අවබෝධයත් ලැබෙනව, පූර්ණ භාවයටම පත්වෙනවා. සමථයත් වෙනව, විදර්ශනාවත් වෙනව, ඔය දෙකම ඔතන වැඩෙනවා. ඉතින් ඕකට කියනව ඉන්ද්රිය භාවනාව. ඉතින් ඕක ප්‍රගුණ කරගන්න ඕනෙ.
{1:07:57} : නිවන් දැකීමට අවශ්‍ය දහම “දීර්ඝ ලෙස” වඩන්නේ කෙසේද?
ඇහැ, සංඛතයි, පටිච්ච සමුප්පන්නයි, ක්ෂය ධර්මයි, වය ධර්මයි, රූපය… ඉතින්, නිකන් කිය කිය හිටියට බැහැ. අදහස මතුවෙන්න ඕනෙ, අහපු බණ වලින් අදහස ආවනම්, ඒක කියනකොට එක තැනක ඉඳල ඕක පුරුදු වෙනකං, “ඇහැ, සංඛතයි කිව්වෙ මේකනෙ”, විවේකව, හුදකලාව, විවේකව ඉඳගෙන කල්පනා කරනවා. “රූප, සංඛතයි කියන්නෙ මේකනෙ, පටිච්ච සමුප්පන්නයි කියන්නෙ මේකනෙ, රූප ක්ෂය ධර්මයක් කියන්නෙ, මේ මේ හේතුවෙන්නෙ, වය ධර්මයක් කියන්නෙ මෙබඳු හේතුවෙන්නෙ”. “චක්ඛු විඤ්ඤාණය කියන්නෙ මේකනෙ, ඒක සංඛතයි කිව්වෙ මේකනෙ, පටිච්ච සමුප්පන්නයි කිව්වෙ මේ හේතුවෙන්නෙ, ක්ෂය ධර්මයක් කිව්වෙ මේ හින්දනෙ, වය ධර්මයක් කිව්වෙ මේකනෙ”. දැන් මේ විදිහට මුලදි පටන්ගන්නව භාවනාව, දීර්ඝ වශයෙන් විග්රහ කරල. ආං “දීර්ඝ ලෙස දහම් ඇසුරු කරනව”, මුලදි.
“දීඝංවා අස්සසන්තෝ, දීඝං අස්සසාමීති පජානාති”, කිව්වෙ ඔන්න ඔතෙන්ට. දීර්ඝ ලෙස මේ නිවන් දැකීමට අවශ්‍ය කරන දහම, යථාර්තය, හොඳට ප්‍රගුණවෙලා එනකං, මෙහෙම ප්‍රගුණ කරල පටන්ගන්නව. ඉතින්, ප්‍රගුණ උනාට පස්සෙ, “රස්සංවා අස්සසංතෝ” කියන එක, කෙටියෙන්ම කියන ඇසුරට වැටෙනවා. ඇහැ සංඛතයි කියන කොටම, අරක ඉස්සෙල්ල විග්රහ කරපු තැන්, වැටහෙන්න පටන්ගන්නවා. ඇහැ පටිච්ච සමුප්පන්යි කියන කොටම, හෙමින්, හෙමින් හිත, හිතා හිටපු එක, වැටහෙන්න පටන් ගන්නව. ඇහැ, ක්ෂය ධර්මයක්, වය ධර්මයක් කියන එක, වචනෙ කියනකොටම, වැටහෙන්න පටන්ගන්නකොට, කෙටි උනා. දැන් ඒ වචනෙ කියනකොටම, “ඕක සංඛතයිනෙ, පටිච්ච සමුප්පන්නයිනෙ”? කියනකොටම, තේරෙන්න පටන් ගන්නව.
අර පොතේ තියෙන පාඩමක් අරගෙන, ගෑණු රූපයක් උඩින් ඇඳලා, අම්මෙක්ගෙ රූපයක් ඇඳලා, “අ යන්න + අල් මයන්න + මා යන්න”, ඉතින් කියන්න පුතේ මොකක්ද? මේ කව්ද? ආං මතක්වෙනව, අම්ම කියන එකත්. අර අකුරු තුනයි කිව්වෙ, අම්ම කියන එක මතක් වෙලා, “අම්මා”, ළමය කියනව. දැන් ප්‍රගුණ කරගන්න මුල් කාලෙ, එහෙමයි. දීර්ඝ ලෙස භාවිතා කරන්න ඕනෙ, ඒ අදහස එන්න, අර බාහිර කරුණු ටිකෙන්. බාහිර පසුතලය දීර්ඝ ලෙස හොඳට විමර්ශනයෙන් ඇසුරු කරගෙන, ඇසුරු කරගෙන යනකොට, අදහසක් එනව, අර පදේට පදේ එකතු කරල කියන හැටි, “අම්මා” කියල.
මෙන්න මේවගේ, අපි දීර්ඝ ලෙස, ඉස්සෙල්ල එකතැනක ඉඳල හරි, ඕව හිතන්න පටන්ගත්තහම, ඕකට කියනව “දහම් සංකල්පනා”. දැන් අපි ඉන්නෙ “සතියෙන්”. සතියෙන් ඉඳල, නිවන් දැකීමට පිහිටවා ගත්ත මානසිකත්වයක් යම් තැනක තියෙනවනම්, නිවන් දැකීමට හේතුකාරකවන යමක්නම් අපි හිතින්, කයින්, වචනයෙන් ඇසුරු කරන්නෙ, ඒ මොහොතෙ ඔහු ඉන්නෙ සතියෙන්, “සම්මා සතියෙන්” ඉන්නෙ.
ඒ සම්මා සතියෙන් ඉඳලත් දැක්කෙ, අහපු බණ, “සම්මා දිට්ඨියෙන්” යුක්තයි. එතකොට දැන් අපි කල්පනාවට බැස්සා. දැන් මේ කල්පනාවට බැස්සෙ, ලෝකය පිළිබඳව, ලෝකයේ පැවැත්මට බැඳෙන කල්පනාවක් නෙමෙයි; අව්‍යාපාදයට, අවිහිංසාවට, නෙක්ඛම්මයට ආර්ය වශයෙන් පවතින, යම්කිසි නිවනට හේතුකාරකවන, යම්කිසි පැවැත්මක් ඇත්ද, ඒකට ආධාර වෙනදේයි මේ කල්පනා කරන්නෙ. “සම්මා සංකප්පයත්” ඔතන.
දැන් මේ ඇසුරු කරන වචනෙ, බොරු නෑ, කේලම් නෑ, පරුෂ වචන නෑ, ප්‍රලාප නෑ, එහෙම එකක් අහගත්තෙ, ඒ වචනය සිහි කරන්නෙ. එහෙනම් ඒ වචනය තුල, බොරුත් නැති, කේලමුත් නැති, පරුෂත් නැති, ප්රලාපත් නැති, ලෝක සම්බන්ධ විපරීතයට පත් නොකරන, වචනයක් තමයි, මේ අහගත්තෙ. අහගත්ත වචනය පරිදි තමයි, මේ සිහිකරන්නෙ. මේ “සම්මා වාචා”.
දැන් මේ ඉඳගෙන ඉඳල, එක තැනක ඉඳල, නිකන් ඉන්නව නෙමේ. හිතෙන් වැඩක් කරනවා. මොකක්ද හිතෙන් කරන වැඩේ? විදර්ශනාව කරනවා. ඒ තමයි “සම්මා කම්මන්තය”.
මේ ජීවිතය, නිකං කාලය ගත කරවනවා නෙමෙයි. ඒ ධර්මාවබෝධය සඳහා අවශ්‍ය කරන වැඩ පිළිවෙලට, කාලය ගත කරනකොට, ඒක “සම්මා ආජීවය”.
දැන් මෙතෙන උත්සාහයක් නැතුව, මානසික උත්සාහයක් නැතුව, මේක කරන්න බෑ. ඒ මානසික වශයෙන් කරන උත්සාහයක්, වීර්යක් ඇත්ද, “සම්මා වායාම”.
දැන් ඕක කරන්නෙ නිවනට අරමුණු කරගෙන, නිවනට පිහිටපු නිසා, “සම්මා සතිය”.
ඔතෙන්ට එනකන් වැඩ ටික කරනකොට, “සම්මා සමාධිය”, කඳ ලැබෙනවා වාගෙ වැඩෙනවා.
අන්න සම්මා සතියට එනකං, “සාත්තුව”. “සාත්තුව කරගෙන යනකොට, සම්මා සමාධිය නමැති කඳ නැගිල, ප්‍රථමධ්‍යානයට, ද්විතීයධ්‍යානයට, තෘතීයධ්‍යානයට, චතුර්ථධ්යානයට පත්වෙනවා”. පත්වෙනකොට දකිනව, දැන් ඉතින් හරි, ඔන්න හැදිල ආව.
ඔන්න පළවෙනි කඳ ආවා. දැන් කඳ පරීක්ෂා කරල බලනකොට, මේකෙ ගන්න කොවුලක් නෑ තව, ඇතුලෙ බොඩෙත් තියෙනවා, පිටින් එල ලීයකුත් තියෙනවා. එලේට කපල ගන්න තරම්, මෝරලත් නෑ. පොත්තෙන් වටවෙච්ච ලීයක, මූලාරම්භය තියෙනවා. අන්න “පළවෙනි කඳ”. කඳ මෝරවන්න අපිට දැන් මොනවත් කරන්න දෙයක් නෑ, සාත්තුව කරගෙන යනවා.
ඔහොම කරගෙන යනකොට, තව කොවුල හැදුන් නැහැ. කොවුල හැදෙන් නැතුව, ඊළගට මොකද වෙන්නෙ? එලේ මෝරල තියෙනවා, කඳත් ටිකක් ලොකු වෙලා. “දෙවෙනි අවස්ථාවේ ස්වභාවයත්”, දකිනවා.
ඊට පස්සෙ ඊළගට දකිනව, ඇතුලෙන් පුංචි කොවුලක් මෝරගෙන එනව, ලොකු එලයකුත් තියෙනවා, කඳත් ලොකුයි, දැන් පොත්තකින් වටවෙලත් තියෙනවා. “තුන්වෙනි අවස්ථාවත්”, දකිනවා.
හොඳට මෝරල ආවට පස්සෙ, එලේට ගන්න දෙයක් නෑ, හොඳ කොවුල හැදිල, වැඩට ගන්න පුළුවන්, ප්‍රයෝජනවත් ශක්තිමත් ලීය හැදිල, දැන් මෝරල තියෙන්නෙ. “හතරවෙනි අවස්ථාවත්”, දකිනවා.
හැබැයි අවස්ථා හතර වෙනකන්ම, ලීය මේරෙව්වෙ අපි නෙමෙයි. කඳ මේරෙව්වෙත් අපි නෙමෙයි. කොවුල හැදුවෙත් අපි නෙමෙයි. එලේ හැදුවෙත් අපි නෙමෙයි. පොත්ත හැදුවෙත් අපි නෙමෙයි. ඒ ඔක්කොම හටගන්න සාත්තුව කලේ, අපි. මෙන්න මේ සාත්තුව කරපුවහම කඳ ලැබෙනව වගේ ඒ ලැබෙනකොට “කඳ මෝරල, ලොකු වෙනකොට, නියම කාලෙදි මල් එන වෙලාවට, මල් එනවා, ඵල එන වෙලාවට, ඵල එනව, ආං මල ආව, ආං ඵලේ හැදුන, ගෙඩියෙ හැටි මෙහෙමයි, මලේ හැටි මෙහෙමයි”, කියල, ඒකත් දැක්කා.
අන්න ඒ වගේ, ආර්ය ඵලය ලැබෙනකොට, ලැබුනහම දැනගන්නව, “ආර්ය ඵලය ලැබුනා”. කඳ මෝරනකොට, “සමාධිය ලැබුනා”. ලැබුනහම, ලැබුන බව දැනගන්නව. ඉතින් ලැබුනහම, ලැබුණු බව දැනගන්න තියෙන එක, අපි කල්තියා ඉගෙන ගන්නව. සමාධියෙ හැටි අහනව. හැබැයි ලොකු වැඩක් වෙනවා.
අපි මොන මොන දේවල් වලට හරි, ලොකුවට ආසා කරන්න ගියහම, මොන මොන දේකට හරි, ඒක අපේ පළවැනි මානසික අංගයක් වෙනවා. ඒක හරි වටිනා දෙයක් වෙනවා. ඊටපස්සෙ, මූලික කාලෙදි ඕකෙ වටිනාකමක් එද්දි, අනුන්ට කියන්න, පෙන්නන්න උද්දාම වෙනව. ලාභය, කීර්තිය, ප්‍රශංසාව මුල් කරගෙන තමයි, පටන් ගන්නෙ. මෙන්න මේ නිසා, බොහෝම පරිස්සම් වෙන්න ඕනෙ, මුල් කාලෙ. මුල් කාලෙ, සමාධි ගැන අහනවට වැඩිය හොඳයි, කිව්ව ටික කරගෙන යන එක. නැත්නම්, මනෝ හීන මවල, හදාගන්නව නිර්මාණයක්, බොරුවට හරි. “ඉතින් මට එළියක් පේනවා, මට දැන් මෙහෙම එකක් වෙනව, උඩ යනවා වගේ වෙනව”, අර කෑලි අහගෙන ඉඳල. යන්තං මොකක් හරි ආපු එක වර්ණනා කරල, නැති එකක්, ඇති කරල කියනව. අනිත් අයට ඒක කියල, ආශ්වාදයක් ලබන්න එනව, කැමැත්තක්. හැබැයි, මේක හරි භයානකයි. බැරිවෙලා හරි, නැති උත්තරීය මනුෂ්‍ය ධර්ම ප්‍රකාශ කරන තැනට, මනස කිය උනොත් එහෙම, ඔය ටික කිය උනොත් එහෙම, උපසම්පදා හාමුදුරු කෙනෙක්නම්, පාරාජිකයි. ආයි වැඩක් නෑ ඉතින්, මහණකමත් ඉවරයි. සාමාන්‍ය ගිහි කෙනෙක් හරි කිව්වොත්, එයාට හිත වඩන්න බෑ, වැඩෙන්නෙ නෑ. පෝෂණය නවතිනවා, ඇට්ටකුණා වෙනවා.
ඇට්ටකුණා වෙච්ච බත් හැලිය, උයල කොච්චර ගින්දර දැම්මත්, බෙරිවෙලා යනව මිසක්, ඉදෙන්නෙ නැතුව වාගෙ, අර මානසිකත්වය ගොඩනැගෙන්නෙ නැතුව යනව. ඒ නිසා හැමවෙලේම පරිස්සං වෙන්න ඕන, ඵලයක් ලැබුනයි කියල, මොනවහරි එකක් එනකොට, ඕක අල්ලගෙන, අර ඵලය වෙන්නැයි, මේ ඵලය වෙන්නැයි, කියල ඕක කියා, හුවා දක්වන්න යන්න හොඳ නෑ. ඒවයින් පරිස්සම් වෙන්න ඕන. ඔය ටික තමයි ඔතනින් දකින්න ඕන.
(ශ්‍රාවක මහතෙක් කුසල මූල පට්රිච්ච සමුප්පාදය ගැන ප්‍රශ්නයක් අසයි, පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ):
ඒ ආර්ය මාර්ගය. ඵලය ලැබෙන්න මාර්ගය නිසයි, පෙන්නුවෙ. මාර්ගය වැඩූ කෙනාට, වඩන්න මාර්ගයක් නෑ. මාර්ගය නොවඩන අය ඉන්නව පෘතග්ජන පුද්ගලයට, මාර්ගයක් වැඩෙන්න නැති නිසා, මාර්ගය වැඩෙන්නෙ නෑ, දහම් අහපු නැති, දහම් තුල නොයන කෙනාට. අනික තමයි, වැඩූ ආර්යන් වහන්සේට, වඩන්න මාර්ගයක් ඉතුරු නැති නිසා, එයාටත් වැඩෙන්නෙ නෑ. වැඩෙන්නෙ මාර්ගයක් නැති නිසා. එයා සම්පූර්ණ නිසා. ඔය දෙන්නම මාර්ගය නොවඩන දෙන්නෙක්. මාර්ගය වැඩිල ඉවරවෙච්ච කෙනාට, වඩන්න දෙයකුත් නෑ. වඩන්නෙ නැති කෙනාට, වැඩෙන්නෙත් නෑ.
(ශ්‍රාවක මහතෙක්): කුසල මූල පටිච්ච සමුප්පාදය සාමාන්‍යයෙන් වැඩෙනව නේද?
(ස්වාමීන් වහන්සේ): ඔව්, ඔව්. මොහොතක් ගානෙ වැඩෙනවා. හිතන හිතන මොහොතක් ගානෙ, කුසල මූල පටිච්ච සමුප්පාදයට අනුව වැඩෙනවා. “කුසල මූල පච්චයා සංඛාරා”, ඒ වැඩෙන්නෙ. ඉතින් කුසල මූල පච්චයා සංකාරා වැඩුනොත් ලැබෙන්නෙ, ප්‍රසාදය. තණ්හාව වැඩෙන්නෙ නෑ, ඒකෙන්. හදයං වෙන්නේ නෑ. අන්න ඒකට යන්නෙ නෑ. ඉතින් ප්‍රසාදය නිසා – අධිමොක්ෂය, අධිමොක්ෂය නිසා – භවය, භවය – නිසා ජාතිය, ජාතිය නිසා – ජරා, මරණ එනව. නමුත් ඒකෙන්, “ඒව මේ තේසං ධම්මානං සමුදය හෝති” කියල, කෙලවර වෙනව මිසක්, දුක්ඛකන්දස්ස සමුදය හෝති කියල, කෙලවර වෙන්නෙ නෑ.
(ශ්‍රාවක මහතෙක්): හාමුදුරුවනේ කර්ම පථයක්ද, කර්මයක්ද ඒක?
(ස්වාමීන් වහන්සේ): නෑ, කර්ම පථයක් කියන එකයි, කර්මයයි කියන දේ, ලෝකයේ කරන වැඩවලට. දැන් ආර්ය මාර්ගයට තියෙන්නෙ, “කර්ම ක්ෂය” කිරීම. දැන් අකුසල මුල් කරගෙන, නැත්තං අවිද්‍යාව මුල් කරගෙන හටගන්නව, කර්ම සහ කර්ම පථ, ඒ පැත්තට. දැන් එතකොට පූර්ණ කර්ම නිරෝධ කරන පැත්තට අවශ්‍ය කරන්නාවූ කර්ම පථයක් වශයෙන් එනව, කුසල මූල පච්චයා සංඛාරා වැඩපිළිවෙල, සම්පූර්ණ උනොත්, කුසල කර්ම පථයක්. කර්ම පථයක්නම්, සම්පූර්ණයි. මොහොතක හරි ඒ සම්පූර්ණත්වය වැඩෙනවනම්, කර්ම පථයක් වශයෙන් තමයි, මොහොතක් හරි වැඩෙන්නෙ. ඉතින් ආර්ය මාර්ගය මොහොතක් හරි වැඩුනොත්, නැවත වාරයක් ඒක නැතිවෙන්නෙ නෑ. ඒකයි හේතුව.
{1:18:06} : ආර්ය තුෂ්නිම්භූත භාවය සහ එකලා බව
දැන් මේ තව ප්‍රශ්ණයක් අහනවා, “ආර්ය තුෂ්නිම්භූත භාවය” කියන එකත්, ඒවාගේම “හුදකලා බව”, මේකට කියන්නෙ “එකලා බව”, පෙන්නලා තියෙන්නෙ, එකලා වීම. මේ කාරණා දෙකක්. “ආර්ය තුෂ්නිම්භූත භාවය” කියල කියන්නෙ, දැන් දහම් සිතුවිල්ලක් හිතට අරගෙන, ඒ දහම් සිතුවිල්ල තුල එයා හිත හසුරුවගෙන ඉන්නකොට, එයාගෙ මානසිකත්වය ඒකෙම පිහිටියනම්, දැන් ඒ වෙලාවට තව කෙනෙක් කතාබහ කරන එක, එයාට කටුවක් වාගෙ. අනිත් කෙනෙක් කතාබහ කරන්න ගියොත් එහෙම, එයා ඒකට කැමති නැහැ. එයා කතාකරන පැත්තෙන් එහාට ගිහින් කල්පනාවට වැටුන. ඒක අව්‍යාපාද, අවිහිංසා, නෙක්ඛම්ම කියන සංකල්පනා තුනට අයිති දහම් සංකල්පනාවක් නම්, නිවන් දැකීමට හේතුවෙන දහම් සංකල්පනාවක් නම් වඩාගෙන යන්නෙ, එතකොට එයා ඒ තුලින් ලබන්නාවූ සුවයට පත්වෙනව. එතකොට නැගෙන්නාවූ දහම් සුවය තුල, එයා විවේකී සුවයෙන් ඉන්නව.
දැන් මෙහෙම හිතාගන්නකො. අපි යම්කිසි මාරක බාධක තියෙන යම්කිසි ප්‍රදේශයකින්, අපි දන්නැතුව ඒ පැත්තට ගිහින් ඉන්නකොට ආරංචිවෙනව, “මේ පැත්තෙ මෙබඳු මාරක බාධක සහිතයි, හැකි ඉක්මන් කරල මේ පැත්තෙන් පැනගනින්” කියල, අපිට අදහසක් දුන්නොත් එහෙම, අපි දැන් ජීවිතය දෙවෙනි කරල තියල, පැනල දුවනව, කොහොමහරි ඒකෙන් බේරෙන්න සීමාවෙන්. අපි සීමාවෙන් පැනල, දුවල පැත්තකට ගිහිල්ල, නිදහස් තැනකට ගියාට පස්සෙ, අපි ඉඳගෙන වැඩක් කරනවා. දිව්ව ගමන නතර කරල වෙහෙස අරිනවා. අපි මහ වෙහෙසකින් දුවගෙන ගියේ, වෙහෙස බලන්නැතුව. හැබැයි ඒ වෙහෙස බලන්නැතුව දුවනකොට අපිට වෙහෙසක් එනව. ඊටපස්සෙ අපි මොකද කරන්නෙ? අපි ඒ වෙහෙස නිවාගන්නව, විවේක ස්ථානයකට ගිහිල්ල.
මෙන්න මෙබඳු වෙහෙස නිවාගැනීමක් තමයි සිද්ධ කරගන්නෙ, ඔය දෙවෙනි ආර්ය තුෂ්නිම්භූත භාවයෙන්. ආර්ය තුෂ්නිම්භූත භාවය කිව්වෙ ඒකයි. ඒ වෙහෙස නිවාගන්නව, එක තැනකට ගිහිල්ල. මෙන්න මේ වෙහෙස නිවාගැනීම තමයි, අතන “සුසුම් හැරීම” කිව්වෙ. දැන් අපි යම්කිසි ආකාරයේ මේ ලෝකයේ, රාග සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත කම්කටොළු සහිත මේ ස්වභාවයෙන් අහක්වෙලා, විවේක ස්ථානයකට ගියහම, එයින් වෙන්වුණු විවේකය අපිට ලැබෙනවා. අන්න ඒ විවේකයේ පිහිටල, ඒ විවේක සුවයට පත්වෙනවා. දැන් අපි ඉඳල තියෙන්නෙ රාග, ද්වේෂ, මෝහ සහගත කාම සුවයෙ. අපි කාම, සුවයක් කියල හිතාගෙන හිටපුවහම, ඒක වටකරපු විශාල දාහයකට කොටුවෙලයි, ඒ සුව පස්සෙ ගියේ. සුව හොයාගෙන වින්ද දාහයකින්, දැවෙන තැවෙන මානසිකත්වයක් සහ කායිකත්වක් අපිට උරුමවෙලා තිබුනෙ. දැන් අපි ඒව අත් ඇරල, කාමයන්ගෙන් වෙන්වෙලා, අකුසල ධර්මයන්ගෙන් වෙන්වෙලා, මේ දහම් සිතුවිල්ලක් තුල ඉඳල, දහම් අවබෝධය එනකොට, “නිවන සුවයි” කියල වැටහෙනකොට, “අතහැරීම, නොඇල්ම, මිදීම සුවයි” කියල වැටහෙනකොට, එතන හිත, මානසිකත්වය පිහිටනව, නිවනට මුල්කරගෙන. මෙන්න මේක තමයි, අපේ “ආරක්ෂිත ස්ථානය”. මෙන්න මේ ටික වැටහෙන අවස්ථාවට ආවට පස්සෙ, තමා ලැබූ සුවය කරා පැමිණෙන්න අමාරුයි, ඒ මොකද? ඉස්සෙල්ල රාග ගිනි, ද්වේෂ ගිනි, මෝහ ගිනි වලින් දාහයට පත්වෙච්ච කායිකත්වයක් තිබිච්ච නිසා.
දැන් වෙන් උනාට පස්සෙ මොකද කරන්නෙ? අර කායික වශයෙන් අසහනකාරී මානසිකත්වක් ඉස්සෙල්ල තිබුනනම්, ඒකෙන් මිදිල, ශාන්ත වූ, ප්‍රණීත වූ, නිදහස් කායිකත්වය ලබාගන්න, අන්න සැනසුම් සුසුම් හරිමින් ඉන්නවා. “ඒ සැනසුම් සුසුම්වලදි සිද්ධ වෙන්නෙ, රාග ගිනි, ද්වේෂ ගිනි, මෝහ ගිනි නිසා දැවිල, තැවිල තිබිච්ච කායිකත්වය, ඊට අනුකූලව සකස් වෙච්ච කායිකත්වය, දැන් නිමිල යනව”. අන්න ඒ කායිකත්වය නිමා ගැනීම තමයි, මේ ආර්ය තුෂ්නිම්භූත භාවයෙන් කරන්නෙ. “ආර්යන්ගේ තුෂ්නිම්භූත භාවය”, කිව්වෙ ඔන්න ඕකට.
එක තැනක ඉඳගෙන, එයා වෙන දෙයක් කල්පනා නොකර, නිදහස් භාවයේ හිත තියාගෙන, නිවනට යොමුකරගත්ත හිතෙන්, සැනසුම් සුසුම් හෙලමින් ඉන්නවා. මේ වෙලාවෙදි, හිත ධ්‍යානයට පත්වෙනවා, ද්විතීයධ්‍යානයට එනවා. ද්විතීයධ්‍යානයට ඇවිදිල්ල, මේ කය නිදහස් කරල, මානසිකත්වය නිදහස් කරල, හරියට පුළුන් පුරෝල තිබ්බ බැලුනයක් නිදහසේ තියෙනව වාගෙ, විශාල සුවයකට පත්වෙලා පිහිටනවා. මෙන්න මේ සුවයට කියනව “ද්විතීයධ්‍යානයට පත්උනා”. මෙන්න මේකට කියනව, “ආර්ය තුෂ්නිම්භූත භාවයට පත්උනා”.
හැබැයි, මෙතන හිටියට තමන් සම්පූර්ණ රාගයන්ගේ ආදීනව සහමුලින් දැකල හිටියෙ නැති නිසා, ගැටීමේ ආදීනවත් සම්පූර්ණ දැකල හිටපු නැති නිසා, එක එක අවස්ථාවල හරියට අළු යට තිබුණු ගිනි පුපුරු උඩට මතුවෙනව වාගෙ, අභ්‍යන්තරෙන් මතුවෙවී බාහිරට එන්න පටන්ගන්නව විඩෙන් විඩ, රාග අදහස්, ද්වේෂ අදහස්. ඇලීම් සහගත, ගැටීම් සහගත අදහස් එන්න පටන්ගන්නව. අන්න ඒ වෙලාවෙදි, ඔහු දකිනව, “මං මේ බාහිර ලෝකයේ පංච නීවරණයන්ට කොටුවෙන හරිය අත්ඇරල අයින් උනාට, එහෙනම් වස්තු කාමයට, ක්ලේෂ කාමයට ගෝචරවෙන ඒවයින් අහක්වෙලා, මේ නිදහස් විවේකී මානසිකත්වයෙන් හිටියට, මගේ මනස තව යනවනෙ විඩෙන් විඩේ, රාගික දේවල් වලට, රාග අදහස්වලට, ද්වේෂ අදහස්වලට යනවනෙ, මේක මහ කරදරයක්. මෙන්න මේකෙන් මිදෙන්න මොකද කරන්න ඕනෙ?”
තමාගේ අත්දැකීම් සහිත මාර්ගයක් තියෙනවා, අත්හැරීමේ, නොඇල්මේ, මිදීමේ සැනසුම කොච්චර ශාන්තද, ප්‍රණීතද කියල සිහිකිරීම, නිවන සිහිකිරීම. අන්න නිවනට හිත පිහිටුවාගෙන සිහිකරනකොට, අර ලෝකයේ තියෙන කාම අදහස්, ද්වේෂ අදහස්වල ආදීනව දකිමින්, නෙක්ඛම්මයේ ආනිසංශ දකිමින්, නිවන කරා තව තව නැමෙනවා. මෙන්න මේ නම්‍යතාවය නිසා, අර දාහ දෙන, මනසට අසහනකාරී දෙන කාම අදහස්, සමතුලිතතාවයට පත්වෙලා, ඒව සංසිඳිලා ගිහිල්ල, අර සුවය බලවත් වෙලා, ආලෝක මනසක් ඇති තත්ත්වයට පත්වෙනව, කිසි දෙයක් අල්ලන්නෙනැති. අදහස් වශයෙන් ලෝකෙ තව දෙයක් අල්ලන්නෙත් නැති, නිදහස් මානසිකත්වයේ හිත පිහිටපුවාම කියනව, “එකලා භවට හෙවත් චතුර්ථධ්යානයට පත් උනා”. අන්න එකලාව, හුදකලා බව කියල කිව්වෙ, “චතුර්ථධ්යානය”.
ඉස්සෙල්ල ආර්ය තුෂ්නිම්භූත භාවය පටන්ගත්ත කෙනාට, එකලා භාවය ලැබෙනවා. එකලා භාවයට පත්වෙච්චි හිතකින් තමයි, දිවැස, දිවකන ආදිය පහලවෙන්නෙත්, පෙර විසූ කඳ පිළිවෙත ආදිය දකින අවස්ථා නම්, එහෙම පහලවෙන්නෙත්, එතකොට ඒවත් විදර්ශනාත්මකව දකින්නෙ. එසේ නැත්නම් මුලින් වඩපු විදර්ශනාත්මක ලෝකයෙන් යථාර්තය දැකල, අසාර බව යලි සිහිකරනකොට, වේගවත්ව මානසිකත්වයට කිඳාබැහැල, යථාර්තය මතුවෙලා එන්නෙ ඒ වෙලාවට. ඔන්න ඔය මොහොතෙ මතුවෙලා ආවොත් මොකද වෙන්නෙ? ලෝකය සහමුලින්ම යථාර්තය දැකල, අත්හැරී, නොඇලී, මිදීගිය විමුක්ත ඵලයට හෙවත් අරිහත්වයටත් පත්වෙනවා. එදාට සම්පූර්ණ කරගෙන ඉවරයි. එහෙම වුනොත් කියනව “ප්‍රඥා විමුක්ත”. ධ්‍යානලාභීව ඇවිදිල්ල ආවොත් එකෙන් එකට තියෙනවා. කාය ශක්ති, එතකොට ප්‍රඥා විමුක්තකයාට, කාය ශක්ති වෙනවා. ඒවගේම උභතෝ විමුක්ත වෙනවා. ඔය ආදී වශයෙන් අරිහත් ඵලයත් එක්කල, ධ්‍යාන ඔක්කොම සම්පූර්ණ උනොත්, “උභතෝ විමුක්ත” කියන තත්වයට පත්වෙනවා. ඒ ක්‍රමයට මාර්ගය වැඩෙන හැටි ඔය තියෙන්නෙ.
{1:26:26} : ප්‍රථමධ්‍යාන, ද්විතීයධ්‍යාන, තෘතීයධ්‍යාන, චතුර්ථධ්යාන චිත්ත වීථි
තව ප්‍රශ්ණයක් තියෙනව, ප්‍රථමධ්‍යාන, ද්විතීයධ්‍යාන, තෘතීයධ්‍යාන, චතුර්ථධ්යාන යන මේවාට පියවරෙන් පියවරට පත්වන තැනැත්තකුගේ, චිත්ත වීථි පිලිබඳ විස්තරයක් කරන්න කියල. දැන් මේක ගැඹුරු අභිධර්මයට අයිති ප්‍රශ්ණයක්. මේ ධ්‍යානවල තියෙනවා, ලෞකික ධ්‍යාන හෝ අනාර්ය ධ්‍යාන සහ ආර්ය ධ්‍යාන කියල දෙකක්. දැන් අබුද්ධෝත්පාද කාලවල, ඔය කර්මස්ථාන අරගෙන නැත්නම් ඔය යම්කිසි ආපෝ කසින, තේජෝ කසින ආදී කසින කර්මස්ථාන ආදී අරගෙන භාවනා කරන අයට, ඒ අයටත් ලැබෙන්නාවූ ක්‍රමයක් තියෙනව ධ්‍යාන ක්‍රමයක්. සමාධියක් මතුවෙලා, සමාධිය හිතේ මතුවෙනවා, ගත අනුකූලවෙලා, ධ්‍යානයට පත්වෙනව. දැන් අද හිතා ඉන්නෙ, මේ ධ්‍යාන කියන එක හිතේ තියෙන දෙයක් කියලා. ධ්‍යානයයි, සමාධියයි දෙකක්.
සමාධියට පත්වෙච්ච කෙනෙක්, ඒ මනසින් ඒ සමාධිය සිහිකරගෙන යනකොට, එයාගේ ගත, ධ්‍යානය තුලින් සුද්ධ වෙනවා. “ධ්‍යාන කරනවා කියන්නෙ, දවාහරිනවා කියන එකයි”. මොනවද දවාහරින්න තියෙන්නෙ? දැන් අභිධර්මයේ සඳහන් වෙනව, අරිහතුන් වහන්සේත් ඉහාත්ම සුඛ විහරණයට, ධ්‍යාන වඩනවා කියල. අභිධර්මය එහෙම අහක් කරන්න අපිට අයිතියක් නැහැ, ඒ ධර්මයමයි. ධර්මය තුල විශේෂම කොටසක් වශයෙන් තියෙනව, හරි විද්‍යානුකූල ධර්ම කොටස, ඒක තමයි “අභිධර්මය” කිව්වෙ. අරිහතුන් වහන්සේත්, ඉහාත්ම සුඛ විහරණය සඳහා ධ්‍යාන වඩනවා. දැන් ධ්‍යාන කියන්නෙ හිතේ පාරිශුද්ධියක් නම්, අරිහතුන් වහන්සේගෙ හිතේ තව පාරිශුද්ධ වෙන්න එකක් තියෙනවද, අරිහත්වයට පත් උනාට පස්සෙ? දැන් අරිහත්වයට පත්වෙච්ච කෙනාට තියෙනව සමාධියක්; ඒකට කියනව “ඵල සමාපත්තිය”. ඒක රාගයෙන් තොරයි, ද්වේෂයෙන් තොරයි, මෝහයෙන් තොරයි – රාගක්ෂයයි, ද්වේෂක්ෂයයි, මෝහක්ෂයයි. ඒ තුලින් තමයි, ඵල සමාපත්තිය ලැබෙන්නෙ. ඒ ඵල සමවතෙන් ඉන්නා වූ උන් වහන්සේට, රාගයෙන් තොරව, ද්වේෂයෙන් තොරව, මෝහයෙන් තොරව ඉන්න පුළුවන්.
උන්වහන්සේට ඇහෙනවා, අහන්න බලාපොරොත්තුවක් නෑ. පෙනෙනවා, බලන බලාපොරොත්තුවක් නෑ. ගඳ සුවඳ දැනෙනවා, ආග්‍රහණය කරන බලාපොරොත්තුවක් නෑ. රහ දැනෙනවා, රස විඳින බලාපොරොත්තුවක් නෑ. පහස දැනෙනවා, පහස ලබන බලාපොරොත්තුවක් නෑ. හිතන්න පුළුවන්, හිතිවිලි හිතන බලාපොරොත්තුවක් නෑ. ඒ නිසා උන්වහන්සේගේ සමාධිය, අනික් සියලු සමාධීන්ට වඩා බලවත්; ශාන්තයි, ප්‍රණීතයි. එහෙනම් අරිහත් ඵලයේ මොනවද නැත්තෙ? “රාගය නෑ, ද්වේෂය නෑ, මෝහය නෑ”. මෙන්න අනික් සමාධිවලයි, ආර්යන්ගේ ඵල සමාපත්තියෙයි තියෙන වෙනස.
ඉතින් ආර්ය සමාපත්තිවල තියෙනව, ධ්‍යාන සමාපත්ති. හැබැයි ධ්‍යාන සමාපත්තිය කියන එක ලබනකොට, කායික වශයෙන් එයාල ලබනව නිදහසක්. දැන් මං උපමාවක් වශයෙන් කියන්නම්, මෙහෙම දෙයක් හිතන්නකො. අපි දැන් ඔය පැට්‍රොල් ලාම්පුවල, අපි දැන් ඔය කියන ලාම්පු තියෙන්නෙ, පත්තු කරන්නෙ මැන්ටලයක් බැඳල එහෙම, පත්තු කරන ලාම්පු තියෙනවනෙ, ඕකට අපි අමු තෙල් එවල, ඉස්සෙල්ලා පත්තුකලොත් එහෙම, ගින්දරත් පත්තුවෙනව, හැබැයි දීප්තිමත් ගින්නක් නෙමෙයි. දැල්ල සහිත ගින්දරක්, හෝ ගාල පත්තුවෙනව. ඒ දැල්ල සහිත ගින්දර පත්තුවෙනකොට මොකද වෙන්නෙ? අර මැන්ටලය කළු වෙනව, අර කාබන් එක බැඳිල. ඊට පස්සෙ තෙල් ටික රත්වෙලා ආවට පස්සෙ, දැන් අමු තෙල් එන්නෙ නැතුව ගෑස් වෙලා එනව. දැන් සෝ ගාන සද්දෙට, අර කළු අඳුරක් නැත්නම් කළු දැල්ලක් නැති, ගෑස් එළියෙන් පත්තුවෙන වෙලාවක් එනවා. දැන් රත් වෙලා තියෙන තෙල් වලින් (පටිගත කිරීමේදී සුළු කොටසක් ගිලිහී ගොස් ඇත).
~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~
දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://waharaka.com/listen/CD010-01