අරිහතුන් වහන්සේ පිරිනිවීම හා අන්තරා පරිනිබ්භායී අවස්ථා

rahathun-wahanse-parinirwanaya
අසිරිමත් බුදු සසුනසදහම් සාකච්චා 1

දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)

අරිහතුන් වහන්සේගේ පරිනිර්වානය සහ අන්තරා පරිනිබ්භායී අවස්ථා

 

{00:00:00} : අරිහත්වයට පත්වෙමින් පිරිනිවුනු ස්වාමීන් වහන්සේ නමක්…

ශ්‍රාවක මහතෙක්: අරිහතුන් වහන්සේ කෙනෙක් වෙලා පරිනිර්වාණයක් ගැන?

ස්වාමීන් වහන්සේ: එහෙම දෙයක් තියෙනවා… මොකද..මේ.. හාමුදුරු කෙනෙක් ගැන. මෙච්චරමයි අහුවුනේ එහෙම කෙනෙක්! ඒ හාමුදුරුවෝ මේ මෙහේ එක්කෙනෙක්, සටහන් කරලත් තිබුනා ඒ හාමුදුරුවන්ගේ නම…

 

ශ්‍රාවක මහතෙක්: …….සමාධියට?

 

ස්වාමීන් වහන්සේ:  ඔව්….සමාධියට යොමුවුණු කෙනෙක්. ඒ හාමුදුරුවෝ අපවත් වෙලා, බලනකොට ඒ හාමුදුරුවන් ගැන තියෙන්නේ තනිකරම, අන්තිම මොහොතේ ඇවිදිල්ලා ශරීරයෙන් නිදහස් වුණා. නිදහස් වුනේ ආලෝකයක් හැටියට. ශරීරයේ ප්‍රමාණයෙන් ආලෝක කදම්බයක් ශරීරයෙන් අඩියක් විතර උඩට ආවා, එහෙමම විසිරිලා ගියා, ඉවරයි! ආගිය අතක්, සම්බන්ධතාවයක් නෑ.

 

ආන්න එතන තමයි කියන්නේ “අන්තරා පරිනිබ්බායී” කියපු තැන. ශරීරයේ ඉඳලා ගියා නම් “සමතීපී” වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ චුත වෙන මොහොතේ හරි අරිහත්වයට පත්වුනොත්, ඒ මේ ශරීරය හා සම්බන්ධ වෙලා තිබිච්ච හිතේම අන්තිම අවසාන පුරුක ඒ. එහෙම වුනා නම් ශරීරයේ පැවැත්ම ඇතිව අරිහත්වයට පත්වුණා වෙනවා. ශරීර පැවැත්මෙන් මිදෙනවා, ජීවිත රූපයෙන් නිදහස් වෙච්ච ගමන්, ශරීරය. එතකොට ඊළග පැත්තට මේ ශරීරයෙන් ඉවත් වෙනවා. අන්න “සූක්ෂම කායික” අවස්ථාව. අන්න ඒක තමයි “අන්තරාභවික” අවස්ථාව කිවුවෙත් ඔන්න ඕකයි.

 

අන්න එතනට පත්වෙනකොටම තීක්ෂණ මානසිකත්වය මතුවෙලා එනවා. අර බර ඔක්කොම ඉවත් වුණාම, ශරීර බර, ශරීර අසහනය ඉවත් වෙච්ච ගමන්ම ආලෝකය මතු වෙනවා. මොකද වෙන එකක් අල්ලා තිබිච්ච නැති නිසා. අනාගාමී වෙලා හිටියේ. අනාගාමී කෙනාට අන්තිම ඉහළට යනකොට ආලෝකය මතු වුනාම අර භව පටිලාභී, උප්පත්ති පටිලාභී සංයෝජනය ඉවරයි. උපතකට යන්නත් බෑ.

 

ශ්‍රාවක මහතෙක්: අන්තරා පරිනිබ්බායි….?

 

ස්වාමීන් වහන්සේ: අන්න ඒකයි. භව පටිලාභී සංයෝජන, භව පැවැත්ම තියෙන ඒවා තියෙනවා. ඉතින් මිනිස් භවයයි, මිනිස් කයයි කියන්නේ දෙකක්නේ. මිනිස් භවේ එක අවස්ථාවක් මිනිස් කය තියෙන අවස්ථාව. මිනිස් කයින් ඉක්මිලා ඉන්න අවස්ථාව තමයි මිනිස් භවේ ඉන්නේ. භවය අතුලේමයි ඉන්නේ. අන්න ඒ අවස්ථාව තමයි සුක්ෂම කායික අවස්ථාව කිවුවේ. ඔය අවස්ථාවට යනකොට තිබුන ගති ලක්ෂණය, කර්ම ශක්තියත් සමඟ හිත හැඩගැහිච්ච ගති ලක්ෂණය, ඔය දෙක තමයි ඔතන ක්‍රියාත්මක වෙන්නේ, භෞතික කයයි සම්බන්ධය ඉවරවෙච්ච නිසා. භෞතික කයින් හැදිච්ච බාධකය යම් තැනකින් ඉවර වෙනකොටම තනිකරම නිදහස් වෙනවා, ප්‍රඥාවට. කායිකත්වයෙන් නිදහස්. එතනින් කෙළින්ම මොහොතකින් ප්‍රඥාව ලැබිලා, එතනින්ම අරිහත්වය ලබනවා. එතනට පත් වුණාට පස්සේ එයින් එහාට පවත්වන්න බෑ. එතනින් කෙළවර වෙනවා.

 

ශ්‍රාවක මහතෙක්: ඒ මොහොතකින්ම අරිහත්වය ලබනවා…?

 

ස්වාමීන් වහන්සේ: අන්න එකයි. භව පටිලාභී සංයෝජනය බිඳහැරියා නම්, අරිහත් ඵලයේදී ඒකයි වෙන්නේ. භව පටිලාභය නැතිවුණු ගමන් භවය ඉවරයි! මස්-ලේ කයින් නිදහස් වෙච්ච ගමන් තනිකරම භව පටිලාභී සංයෝජනයන් සුක්ෂම කයින් තියන්න බෑ.
අර හීටර් කොයිල් එක වතුරේ දාලා තියෙනකන් තිබ්බහැකි, අහකට අරගත්ත ගමන් පිච්චිලා යන්නේ. වතුරේ දාලා තියෙනකන් නේ පිච්චෙන්නේ නැතුව තියෙන්නේ. අන්න ඒ වගේ තමයි, මනෝමය කායිකත්වය දැවෙන්නේ නැතුව තියෙන්නේ ඒවගේ අවස්ථාවල අරිහතුන් වහන්සේගේ, මේ කයත් එක්ක සම්බන්ධතාවය තියෙනකන්. මේ සම්බන්ධතාවය නැත්නම් තමයි ඒක පවත්වන්න බැරි. එහෙනම් උන්වහන්සේගේ චුතියත් එක්කලාම එහාට යන්න එකක් නෑ. හේතුවක් නෑනේ.

 

ශ්‍රාවක මහතෙක්: …….. ජාති සෝතාපන්නයෙක්?

 

ස්වාමීන් වහන්සේ: දැන් අත්බැව් තුනකට ඉස්සෙල්ලා සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙක්. මේ කොටවෙහෙර කියල පැත්තක් තියෙනවා, දැදිගම. අන්න ඒ පැත්තේ ඉපදිලා, ඒ පැත්තේ ඉඳලා, ඒ පැත්තේ ඒ කාලේ තමයි සෝවාන් ඵලයට පත්වෙලා තියෙන්නේ. දැන් මේ අත්බැව් තුන් වෙනි එක මේ ආවේ. දැන් මේකෙදි සකෘදාගාමී ඵලයට පත්වීමක්, එබඳු අවස්ථාවකට පත්වීමක්. වෙන කර්මස්ථාන බලන්න දෙයක් නෑනේ. ගැළපෙන අවස්ථාවක් ලැබුනා.

 

ඊට පස්සේ තියෙනවා, දැන් මේ අවුරුදු ගානකට ඉස්සෙල්ලා මේ කවුරුහරි මිනිහෙක් වැටිලා, දඟලලා, මැරෙනවා දැකලා. ඒක දැක්කට පස්සේ මේ කාම රාගයෙන් සම්පුර්ණයෙන් බිඳිලා ගියා. ඒ අවස්ථාව ක්ෂණික අවස්ථාවක්නේ, අසාරත්වය දකින අවස්ථාවක්නේ. ඒක දකිනකොටම තීක්ෂණ නුවණ නැඟිලා, අනාගාමී වුණා. භාවනා කරලා, මේ දුන්න – දැන් “පිම්බීම් – හැකිලීම්” භාවනා එහෙම තමයි ඔය කර්මස්ථාන වශයෙන් උන්වහන්සේ දීලා තියෙන්නේ අනික් අයටත්, පාරම්පරිකව ගේන එක. නමුත් උන්වහන්සේ අරිහත්වය ලැබුවේ ඒකෙන් නෙවෙයි!

 

ඕක විශේෂයෙන් කියන්න හේතුව, නැත්නම් කෙළින්ම ඩැහැගන්නවා, “උන්වහන්සේ මේ භාවනාව දුන්නානම් ඒකෙන්නේ අනාගාමී වෙලා තියෙන්නේ, එහෙනම් මාර්ගය හරිනේ” කියලා. ඒකයි හොඳට පැහැදිලි කරලාම දෙන්නේ. උන්වහන්සේ ලැබූ තැන කිවුවෙත් ඒකමයි. ඒ පුම්බ පුම්බ, හකුල හකුල ඉන්න වෙලාවක ලැබුවා නෙමෙයි, අර ලෝක ධර්මතාවයේ තිබිච්ච ඒ අසාර සිද්ධියක් දැකලා, ඒ අකාරයෙන් මේ ලෝකයම අසාරයි කියලා ක්ෂණයකින් ලැබුණු අවබෝධය තුළින් ඵලය ලැබුවා. එහෙමයි ලබලා තියෙන්නේ.

 

නැත්නම් කෙලින්ම කියනවා, “අනාගාමී වුනේ අපේ භාවනාවෙන්” කියන්න පුළුවන්, මං ඕක සලකුණු කරගෙන. වරද්දගන්නවා…! ඒ නිසා සාම්ප්‍රදායිකව එහෙම එකතු වුණා, මොකද උන්වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්යයක් නැතිකමයි තියෙන්නේ. තමන්ගේ ඵලය ලැබුවට, ඒ හේතු න්‍යාය කියන්න ධර්මාවබෝධයේ ඒ දේශනා ශක්තිය නැතිකම. හැබැයි කියන්න ශක්තිය නැති වුනාට උන්වහන්සේ හිටියේ එතන.

 

අනිත් අය කියන ඒවාට එකඟ නොවුනාට, “තමන් හිතින් තේරුම් ගන්න ඕනේ වරදක් තියෙනව නම්. පාපයක් නෑ, තමන් තේරුම් අරන් ඒකත් කර ගන්න ඕන, සතියෙන් ඉන්න ඕන” ඔය ටික තමයි උන්වහන්සේ පෙන්නුවේ. “හැම මොහොතේම සතියෙන් ඉන්න, ඒකයි කල යුතු මාර්ගය” කියලා. ඉතින් ඔහොම ගිහිල්ලා තමයි අන්තිමට අවසාන මොහොතේ තමා ඔය සිද්ධිය වෙලා තියෙන්නේ. පස්සේ මං හාමුදුරුවන්ට කිවුවා, පොඩි හාමුදුරුවන්ට.

 

හාමුදුරුවෝ කියනවා, දැන් දේහය අළු කලාට පස්සේ, සොහොන හදලා පිච්චුවාට පස්සේ, දැන් අළු බලනකොට ඇටසැකිල්ල එහෙමමලු! ඒ ඇටසැකිල්ල පිච්චිලා නෑ. ඔළු කට්ට වෙන්වෙලා තියෙනවාලු, අත-පය කෑලි වෙන්වෙලා තියෙනවාලු, අර වැටිලා තියෙනවාලු කෑලි ටික වෙන වෙනම. තනිකරම සුදු ඇට කෑලි ලු. ඔක්කොම. එකක්වත් පිච්ච්චිලා නෑ ලු. දත් හිටන් තියෙනවා ලු, එහෙම.

 

දැන් ගින්නට දාලා සොහොනක පිච්චුවට පස්සේ ඇඟ අළු වෙලා දර කොටවල් ඔක්කොම අළු වෙලා ගිහිල්ලා, දත් ඉතුරු වෙන්න පුලුවන්ද? ඒක වෙන්න බෑ. කාගේවත් ඉතුරු වෙලා නෑනේ. දැන් මැරිච්ච කෙනෙක්ගේ, පිච්චුවාට පස්සේ දත් කෝ කියලා බැලුවොත් එහෙම, ඉතුරු වෙලා නෑනේ. තැනින් තැන පිච්චිච්ච නැති, බාගෙට පිච්චුන ඇට කෑලි තියෙන්න පුළුවන්. අල්ලපු ගමන් කඩලා යන මට්ටමේ ඒවා. ඒ මිසක් සුදු පාටට පිච්චෙන්නැති ඇට ඉතුරුවෙන්න විදිහක් නෑනේ. දැන් මේ ඇඟිලි පුරුක්වල ඇටත් එහෙමමලු, ඒවත් පිච්චිලා නෑ. පොඩි ඇට වත් පිච්චිලා නෑ.

 

ගැළපීම තියෙනවනේ, හැබැයි මෙතනින් අරිහත්වයට පත්වුණේ මෙතනින් අහකට ගිහිල්ලා. මේ තුළම එහෙම වුනා නම් එහෙම, ඔය පිච්චෙන්නෙත් නෑ. එහෙනම් ධාතු බවට පත්වෙනවානේ. ඔක්කොම ඇකිලිලා ඇකිලිලා කූඩු වෙනවා. එකක්වත් පිච්චෙන්නෑ. ඒ ප්‍රාතිහාර්යය දකින්න තිබුන මිනිස්සුන්ට එහෙම වුනා නම්! මෙහා පැත්තේ ඉඳලා පිරිනිවන් පෑවා නම්. ඒක තමයි ලෝකයාට ඕක දකින්න බැරි. අනාගාමී ඵලය කියන්නේ, මූලික දහම් හරය තිබුණා නේ.

 

හරය කාවැදිලා තිබුණේ. මං කිව්වේ චුත වෙන මොහොතේදී ධර්ම රාගයේ උපරිමයේ හිටියේ. ධර්ම රාගයත් බිඳගෙන බිඳගෙන ගිහිල්ලා අන්තිම කෙස් ගහක් ධර්ම රාගයේ ඉන්න මට්ටමට හිත තිබිලා තිබුණේ. කෙස් ගහක් ධර්ම රාගය ඉවර වුනා නම් අරිහත් වෙයි. ධර්මයට තියෙන ආසාව නිසා තමයි අනාගාමී ඵලයේ ඉන්නේ, ලෝකයට ආසාවට නෙමෙයි. ධර්මය සිහි කරන්නේ ධර්මය තුල ඉන්නේ ධර්මයේ ශාන්තිය පිහිටන්න හරි ආසයි.

 

ඒ ඡන්දරාගය තියෙනවා. ඒ කියන්නේ නිවන් දැකීමට හේතු කරපු සද්ධර්මයෙහි ඡන්දරාගය තිබිලා තියෙනවා. ඒ ඡන්දරාගය නිසා තමයි සෝවාන් පුද්ගලයා මේ ඉවර එක කරන්න බැරි. එකයි භව පැවැත්ම තුළ ඉතුරුවෙන්න හේතුව. එයාට බණ අහන්න හිතෙනවා. “ඒ සඳහා ඉන්න ඕනේ” කියලා හිතෙනවා. අන්න ඒ නිසා උප්පත්ති පටිලාභය නැති වුනේ නෑ. කණක් තියෙන තැනක ඉන්න ඕනේ බණ අහන්න නම්. එහෙනම් කණ තියෙන ලෝකෙක උප්පත්ති පටිලාභය තියෙන්නේ. ඒක එපා වුනේ නෑ. අන්න ඒකයි.

 

හැබැයි උන්වහන්සේ අන්තිම වෙනකොට, “මට බණ අහන්න ඕනිත් නෑ. අහපුවයින් ලබලත් ඉවරයි. ආයේ අමුතුවෙන් කරන්න දෙයක් නෑ” කියන තැන වැඩිලා වැඩිලා අන්තිම කෙස් ගහ තිබුනේ. කාම රාග, රූප රාග, අරූප රාග ඔක්කොමත් ඉවරයි. උප්පත්ති පටිලාභී සංයෝජනය ඉවරයි. මාන, උද්ධච්ච, අවිජ්ජා කියන එකේ අර ඉතාම සුළු කොටස තමයි තව පොඩ්ඩක් තිබුණේ. ශරීරයෙන් ගැලවුනාම තමයි එක්කෝ එයා අන්තරා භවයේ හෝ අර උපහච්ච පටිභ්භායී කියන පරිනිබ්බායි තැන ඉන්න ඕනේ එක්කෝ. ඒ කියන්නේ අර අන්තරා භවය තව පහුවෙලා ඉඳන් අතරමග එහෙම යන්න ඕනේ, එතනින් යන්න ඕනේ.

 

ඒ කියන්නේ අර අන්තරා පටිලාභය කියන්නේ එතනින් අහකට යනකොටම ඇති කරන්නාවූ ඊළඟ අවස්ථාව. උපහච්ච පරිනිබ්බායී කියල කියනවා. එතකොට කියන්නේ ඒකෙත් ආසන්නයේ පොඩ්ඩක් ඉක්ම ගිහිල්ලා ඒ අවස්ථාවේ අර මනෝමය කයින් එහාට ගිහිල්ලා භවයේ ඒ හරියේදී හරි සිද්ධ කරගන්න එකයි, උපහච්ච.

 

අසංඛාර පරිනිබ්බායී, සසංඛාර පරිනිබ්බායී තව දෙකක්. දැන් ඒකෙනුත් ක්ෂය වෙලා, චේතනා සම්පුර්ණයෙන්ම හිඳිලා අර ඔක්කොම අවිද්‍යාවන් බිඳ හැරලා පිරිනිවන්පාන අවස්ථාවක් ආවොත් අසංඛාර පරිනිබ්බායී.

 

හැබැයි ජීවිතේ අවසාන වෙනකල් ඒකෙ ඉන්නවා. දැන් උප්පත්ති පටිලාභී සංයෝජනත් ඉවරයි. භව පටිලාභී සංයෝජන ඉතුරු යන්න තියෙන භවේ යනවා අවසාන වෙනකල්. තව භවයක් හටගන්නේ උප්පත්ති තිබුනොත්නේ. නව භවයක් ඇති කරන්නේ නෑ. ඒ භවයේ අවසානයට ගියා, නමුත් අන්තිම තිත තව ඉතුරුයි, අවිද්‍යා මාත්‍රය. හැබැයි ඒ අවිද්‍යා මාත්‍රයට සසර පවත්වන්න බෑ. අන්න ඒ නිසා අසංඛාර නෑ. සසංඛාර පරිනිබ්බායී වෙනවා, සංඛාර සහිතව පිරිනිවීම.

 

සසංඛාර පරිනිබ්බායී කියන්නේ ඒකයි. ඒ කියන්නේ ප්‍රඥාව පුර්ණම වෙලා නෑ. අරිහත් ඵලය ලබලා නෑ. ඒ යන්න විදිහක් නෑනේ ඉන් එහාට භවයේ. කොහොම යන්නද? දැන් මේ ගෙනිච්ච එකත් ඉවරයි. හැබැයි ඉවර කලාට අවිද්‍යාවේ මාත්‍රයක් තියෙනවා. හැබැයි ඒ අවිද්‍යා මාත්‍රය තිබුණත්, ගෙනාපු එක එහාට ගෙනියන්න තව ඇත්තෙත් නෑ, ඉඩ. එතකොට එහෙනම් භවය උප්පත්ති පටිලාභී වුනොත් තමයි පුනර්භවයක් එන්නේ. පුනර්භවයක් එන්න ඉඩක් නෑ, තිබුණු භවයත් ඉවරයි. දැන් අවසාන මොහොත එනකොට අවසාන මොහොතේ අවිද්‍යාව ඉවරවෙලත් නෑ. දැන් මොකද කරන්නේ? එතනින් එහාට එයාට යන්න විදිහක් නෑ, සසංඛාර පරිනිබ්බායී! සංඛාර මාත්‍රය තියෙනවා, අන්තිම චුති චිත්තයට යනකොටත්. හැබැයි පටිසන්ධියක් ගන්න තරම් චිත්තයක් හටගන්නා තරමට බලය නෑ. එහෙනම් චුති චිත්තයෙන් ඉවරයි. ඒත් ගමන ඉවරයි. අන්න ඒක තමයි සසංඛාර පරිනිබ්බායී.

 

එහෙනම් උද්ධංසෝත අකනිට්ඨගාමී ඊළඟට, ඒක වුනේ නැත්නම්. උද්ධංසෝත කියන්නේ අවීහ, අතප්ප, සුදස්ස, සුදස්සී ආදී කියන ශුද්ධාවාස වලට ගිහින් අකනිට්ඨෙන් කෙළවර කරනවා. ඒ තව එකක්. එහෙනම් ඊට මෙහා හිටියා නම් තමයි ඒකට යන්නේ. ඒක ඉක්මවලා හිටියා නම් තමයි අර විදියට මරණාසන්න මොහොතේ හෝ ඒ භවේ අවසානයේ ඒක වෙන්නේ, හිටපු භවයේ අවසානයේ. ඒ භවේ අවසානයේ ඒ මට්ටමේ ගිහිල්ලා හිටියේ නැත්නම් තමයි උද්ධංසෝත අකනිට්ඨගාමී වෙන්නේ. උඩ පැත්තටම ගමන් කරලා අකනිට්ඨෙන් කෙළවර කරනවා. අවීහේ උපන්නා නම් ආතප්පයේත් යනවා, සුදස්සයේත් යනවා. සුදස්සී වලට යනවා, එහෙම ගිහිල්ලා අකනිට්ඨයට ගිහිල්ලා, අකනිට්ඨේ අවසානේ කෙළවර කරනවා.

 

අන්න අකනිට්ඨයේ අවසානේ අරිහත්වයට පත්වෙලා තිබුනේ නැත්නම් යන්න තැනක් නෑ, භවය අවසානයි! එයින් එහා යන්න තැනක් ලෝකෙත් නෑ. එයත් අසංඛාර පරිනිබ්බායී හෝ සසංඛාර පරිනිබ්බායී හෝ වෙනවා එතෙන්දි. අති සියුම්ම තැන් ඕවා. ඕවා ගලපන්න බෑ මේ කියන කතා වලින් එහෙම. “අතර පිරිණිවෙන සුළුවේ” කියනකොට එතනම තියෙනවා. අන්තරා පරිනිබ්බායී කියලත් තියෙනවා. උප්පත්ති පටිලාභයෙන් කෙලවර කළා කියලත් තියෙනවා. උප්පත්ති පටිලාභයෙන් කෙලවර කළා කියන්නේ විග්‍රහ කරන්න ගිහිල්ලා “බඹ ලොව ඉපදිලා, ආයු ටිකක් ගෙවලා පිරිනිවන් පාන කෙනා” කියලා කියනවා. උප්පත්ති පටිලාභය නැත්නම් බඹ ලෝකේ ඉපදුනේ කොහොමද ? යන්න ක්‍රමයක් නෑ. අර ගලපන්න බෑනේ ධර්මයට. අන්න ඒවා ආචාර්යවාදය! වචනයට කියනවා මිසක් ධර්මයට ගලපන්න බෑ.

 

ශ්‍රාවක මහතෙක්: හාමුදුරුවනේ, බඹ ලොවක ඉපදෙනවා කියන්නේ ශුද්ධාවාසය එතනින් උඩට ද ?

 

ස්වාමීන් වහන්සේ:  ඔය ශුද්ධාවාසයෙන් උඩට ගියාට පස්සේ එයින් එහාට යන්න තැනක් නෑනේ. මොකද එයින් එහාට යන්න අල්ලපු ලෝකයක් නෑ. ඉන් එහාට යන්න ඡන්දරාගයෙන් බැඳිච්ච තැනක් නෑ. අකනිට්ඨා බ්‍රහ්ම ලෝකයෙන් පස්සේ ශුද්ධාවාසේ යන කට්ටිය වෙනම කට්ටියක්නේ. “ලෝකය අසාරයි” කියලා දැකලා අත්හැරී යන කට්ටියක්නේ. ඒගොල්ලෝ “කාම, රූප, අරූප කියන තුන් භවයම අසාරයි” කියන නිගමනයේ හිටියේ. ඒ නිසා අසාරයි කියන නිගමනයේ ඉඳලා, “මොකක්ද සාර? තුන් භවයෙන් නික්මීම.” නික්මීමේ තිබෙන්නාවූ ධර්මයට වඩා වටිනා දෙයක් ඒගොල්ලන්ට ලෝකේ නෑ, දැන් ඉන්න ඒවායෙන්. ධර්මයේ වටිනාකම තියෙන්නේ නිවෙන මාර්ගය නිසා. දැන් රූපාවචර ලෝකයේ වටිනාකමක් ගත්තේ නැත්තේ ඒක පවතින්න මාර්ගයක් නිසා. ඉතින් “රූපාවචර වෙන්නේ මොන මාර්ගයකින්ද?” කියලා ඇහුවොත් ඒක ම හිත අල්ලන්නේ නෑ.

 

එනිසා දැන් අරූප වඩලා තිබුනොත්, ඒ කියන්නේ මේ බෞද්ධයෙක්, අරූපාවචර වඩලා තිබුනත්, එයා අරූප ලෝකේ උපදින්නෑ. මොකද, “කාම, රූප, අරූප තුන් භවයම අනාථයි!” කියලා දැකලා ඉවරයි, අසාරයි. දැන් රූප භවයට මේක අයිති වුණත් මේකේ තියෙන්නේ අසාර බව දැනගන්න යම් ධර්මයක් ඇත්නම් ඒ ධර්මය තව සාරයි කියලා ගත්ත එක ඉවර නෑ. නිවන් දකින ධර්මය කියන එක මේ ලෝකේ පැවැත්මට හේතුවන එකකුත් නෙවෙයි. සසරට ගෙනියන එකකුත් නෙවෙයි. නමුත් මේ නිවන් දකින ධර්මය කියන එක ප්‍රිය මනාපයෙන් ගන්නවා, එකේ වටිනාකම දැකලා. “වටිනාකම ඒකෙත් නෑ” කියලා දැක්ක දවසට තමයි අරිහත්වය. අර ඔරුවට උපමා කරලා, එතනට විතරක් අල්ල ගන්න කියලා කිවුවේ එදාටයි, අරිහත්වයේදී. එතකන් අතාරින්න බෑ. අනාගාමී පුද්ගලයා කොච්චර කිවුවත් ධර්මය අත්හරින්නේ නෑ. ධර්ම ඡන්දරාගය තියෙනවා. එයා ඒක අත්හරින්න නම් අරිහත් මාර්ගය පුර්ණය කරන්න ඕන.

 

ශ්‍රාවක මහතෙක්:  පිළිවෙලකට ගත්තොත් එහෙම බ්‍රහ්ම ලෝකවලින් පස්සේ….

 

ස්වාමීන් වහන්සේ: දැන් මෙහෙමයි. අරූපාවචර බ්‍රහ්ම ලෝක සීමාවට ඕක සම්බන්ධ නෑ. අකනිටා බඹ ලොවට සම්බන්ධ වෙන කොටස වෙනම පැත්තක්. දැන් අර තලය හා සම්බන්ධ වුනෙත් ඒ ආකාරයෙන්ම නෙවෙයි. ඒ තලය හා සම්බන්ධ නැති පැත්තක්, තව එකක්.

 

ශ්‍රාවක මහතෙක්: ඊට සමාන්තරව ද….?

 

ස්වාමීන් වහන්සේ: ඔව්.. ඔව්.. දැන් අපි හිතමු, මේ ලෝකය තුළ, ඕනනම් පුළුවන් මේ ලෝකේ ඉඳන් භූත ලෝකයකට ඉන්න. අන්න ඒ වගේ, මේ භෞතික ලෝකය ඇතුලේ තව භූත ලෝකයටත් යන්න පුළුවන්. මේ බිත්ති, පර්වත, අපටත් ගෙයක් වෙනවා.  ඒවායින් ප්‍රශ්නයක් නෑ, ඒ සාමන්‍ය ලෝකේ. අන්න ඒ වගේ, අනිත් බ්‍රහ්ම ලෝක අතරේ මේකත් (අකනිටාව) තියෙනවා.

 

දැන් මේ ලෝකේ ඒ තුළ ම තියෙන තව එකක්, වෙන මාධ්‍යයක්. ඔය මාධ්‍යයට ඒ නිසා ලෞකික කිසි කෙනෙකුට යන්න බෑ, බලන්න බෑ. ඕක (අකනිටාව) දකින්න නම් අනාගාමී කෙනෙක් හෝ එබඳු ආර්ය මාර්ගය දැකලා දිවැසකින් දකින්න ඕන. එහෙනම් අරිහතුන් වහන්සේලා දකිනවා. බෝධිසත්වයන් වහන්සේට වත් කොච්චර සෘද්ධි බල ලබා හිටියත්, බෝධිසත්ව කාලේ ශුද්ධාවාසයට යන්න බැරි වුණා. පේන්නේ නෑ, ශුද්ධාවාසය යොමු කරගන්න බෑ, යන්න බෑ සෘද්ධි බලයෙන්. දැන් ලෞකික සෘද්ධි බලයකින් යන්නත් බෑ. අනාගාමී කෙනෙකුට හෝ අරිහතුන් වහන්සේ නමකට තමයි ගෝචර වෙන්නේ.

 

අන්න එකයි. ඒ මානසික පරිවර්තනය ඕන ඒ ලෝකෙට යන්න. යන්න බෑනේ, සම්බන්ධ නෑනේ, ඒකයි. ශුද්ධාවාස කියන ඒවා අනිත් අයට ගෝචර වෙන්නේ නෑ, බාහිර යෝගීන්ට, වුනේ මොකක්ද හොයන්නත් බෑ. අන්න ඒකයි. හරි ගැඹුරු තැනක් ඔය…

 

~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~

 

දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://waharaka.com/listen/Sadaham-Sakachchaa-01-09