ධ්‍යාන, රාග ද්වේෂ මෝහ අනුසය, කර්ම විපාක, නිරෝධ සමාපත්තිය

karma-vipaka, dhyana, nirodha samapaththi
13 සංයුක්ත තැටියපිලිසමුපා

දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)

කර්ම විපාක.

 

 

{0:00:00} : ධ්‍යාන ලක්ෂණ සහ ධ්‍යාන වැඩීමේදී සැළකිලිමත් විය යුතු තැන් 

 

කාම අරමුණකට හිත නග්ගවමින් “විතර්ක” කරන්න පුළුවන්. ඒ කාම අරමුණේ හිත හසුරුවමින් “විචාර” චෛතසික නිපදවන්න පුළුවන්. ඒවා ධ්‍යානාංග නෙමෙයි. ඒ කාමයන් නිසා ප්‍රීතිය හටගන්න පුළුවන්. ඒක ප්‍රීති චෛතසිකය මිසක් “ප්‍රීති ධ්‍යානාංගය” නෙමෙයි. ඒ කාමාස්වාදයෙන් සුඛයක් විඳින්න පුළුවන්. ඒක “සුඛ චෛතසිකය” ට අයිතියි. සුඛ කියන ධ්‍යානාංගය නෙමෙයි. ඒ කාම හිතේ ආස්වාදයට වෙළිලා, බැඳිලා ඒකෙම හිත පවත්වාගෙන යන්න පුළුවන්, යළි යළි අරමුණු කරලා ඒකෙම පිහිටුවගෙන. ඒ ඒකාග්‍රතා චෛතසිකය කාමයන් මුල්කරගෙන ඒකෙ හිත බැඳගත්ත එකක් මිසක් ඒක ධ්‍යානාංගය නෙමෙයි.

 

එහෙනම් මේ විතර්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකග්ගතා කියන මේවා කාම හිත්වලත් යෙදෙනවා, හැබැයි ධ්‍යානාංග නෙමෙයි. ඒකෙ ප්‍රතිඵලය කාමයන්ම මතුකිරීම මිසක්, කාමයන්හි බඳිමින්, රඳවමින් කාමයන් ප්‍රබල කිරීම මිසක්, ධ්‍යාන පැත්තට හිත යොමු කිරීමක් ඒකෙන් වෙන්නෙ නෑ.

 

යම් අඳුරු පාපයක් නිසා හටගත්ත යම් අඳුරු විසක් ඇත්නම්, කායික සහ මානසික වශයෙන් බලපාන අන්න එබඳු අඳුරු ස්වභාවය දවන්නේ යම්කිසි ශුද්ධ කිරණකින්ද, ශුද්ධ චිත්තයක් ආධාරයෙන්ද, අන්න ඒ හිතක් නිසා හටගන්න “සවිතක්ක, සවිචාර, ප්‍රීති, සුඛ, ඒකග්ගතා” කියන ඒ අංග නිසා, ඒ අඳුරු පාපයන් දවන නිසා, අඳුරු විස දවන නිසා, පාපයන් විතරක් නෙවෙයි ඔතන කියන්නෙ අඳුරු විස කිරණ. ඒවා දවන නිසා මොකද කරන්නෙ, ඒවට කියනවා “ධ්‍යාන අංග හෙවත් දැවීමට හේතුකාරක වන අංග”.

 

කයේ තිබෙන විස, හිතේ හටගන්න විස, ඒවා දවා හරිනවා. මොනවද දවාහරින්නෙ? වීත රාගී, වීත දෝසී, වීත මෝහී ගුණ වලින් සිද්ධවෙන්නෙ ඒවා දවාහරින එක. ඉතින් “ධ්‍යාන චිත්තය” කියන එකෙන් පෙන්නන්නෙ ඔන්න ඔය ටිකයි. ඕක තෝරගන්න ඕනෑ.

 

ඉතින් මේකෙදි ධ්‍යාන වශයෙන් ගත්ත වීත රාගී, වීත දෝසී, වීත මෝහී අරමුණකට හිත නඟමින්, ඒකෙ හසූරුවමින් කටයුතු කරනකොට, අනුකූල වන්නාවූ සංඥා පහලවෙන්න පටන්ගන්නවා, වීත රාගී, වීත දෝසී, වීත මෝහී සංඥා. ඒ සංඥාව බලවත් වුනහම එයාට මේ සිතිවිලි නගන්නෙ නැතුව ඒ සංඥාවට හිත පිහිටුවලා අර ධ්‍යානාංග බලවත් කරන්න පුළුවන්. ඒ වෙලාවට ඒ සංඥාව මුල්කරගෙන නිරාමිස ප්‍රීතියයි, නිරාමිස සුඛයයි මුල්වෙලා ඒ වීත රාගී, වීත දෝසී, වීත මෝහී අරමුණට අනුව ඒකාග්‍රතාවයේ හිත පිහිටනවා. අන්න එතකොට කියනවා, “ද්විතීය ධ්‍යානයට පත්වුනා”. ඒකෙදි සවිතක්ක – සවිචාර ඕන්නම් ගන්නත් පුළුවන්. එහෙනම් අව්‍යාපාද සංකල්පණා, අවිහිංසා සංකල්පණා, නෙක්ඛම්ම සංකල්පණා ඕන්නම් සිහි කරන්නත් පුළුවන්, ඒවා සිහි නොකර ඉන්නත් පුළුවන්. අතරින් පතර නැගෙන කාම සංකල්පණා තිබුණොත්, ව්‍යාපාද – විහිංසා සංකල්පණා තිබුණා නම්, ඒවා නැගෙන්නෙ නැති තත්ත්වයට පත්වෙනවා ද්විතීය ධ්‍යානයෙදි, ඒ තරම් ඒක බලවත් නිසා. එහෙනම් ද්විතීය ධ්‍යානයේ ලක්ෂණය ඒකයි.

 

ප්‍රීතිය මූණට දැනෙනවා, සුඛය කයට දැනෙනවා, ඒකාග්‍රතාවය හිතට දැනෙනවා, හිත පිහිටනවා. ද්විතීය ධ්‍යානයේ ස්වභාවය ඒකයි. මූණට දැනෙන, වැටහෙන ප්‍රීතිය ඉක්මවා ගිය, කයට දැනෙන සුවයට හිත හිටපුහම, මුහුණ සහ මුහුණෙ තියෙන ප්‍රීතිය අමතක වෙලා ගිහිල්ලා අරමුණු වෙන් න්නෙ නැතුව, හිස පටන් දෙපතුළට හැම තැනකම මේ සුඛයෙන්ම වටකරලා යනවා. “සුව සංඥාව” මිසක්, “ප්‍රීති සංඥාව” නැතිවෙලා යනවා. එකඟතාවය බොහෝම වැඩිවෙනවා, ඒ සංඥාවට අනුව පිහිටපු එකඟතාවය. එතකොට කියනවා “සුඛ ධ්‍යානාංගය සහ ඒකාග්‍රතා ධ්‍යානාංගය කියන දෙකෙන් යුක්ත තෘතීය ධ්‍යානය”.

 

කය වෙත යන සුවය ඉක්මවා ගිහිල්ලා ආලෝකයක් මතුවෙලා විශාල නිදහස් සුවයක් විඳිනවා. කාය සුවය දකින්නෙ නැති, දැනෙන්නෙ නැති තත්ත්වයට පත්වෙලා, “ආලෝක නිදහසට” පත්වෙලා ඒකාග්‍රතාවයට පත්වෙන අවස්ථාවට පත්වෙනවා. අන්න ඒ වෙලාවට කියනවා සුඛය වෙනුවට උපේක්‍ෂාව නැඟිලා අර සංඥාව පමණක් මතුවෙන්න, ඒ සංඥාවේ ආලෝක සංඥාවක් සහිතව හිත පිහිටනවා. මෙන්න මේකට කියනවා “උපේක්‍ෂා ඒකග්ගතා” කියන, ඒකාග්‍රතා ධ්‍යානාංගය පමණක් තියෙන චතුර්ථ ධ්‍යානය.

 

ඒ චතුර්ථ ධ්‍යානයට පත්වුනොත්, ඒ ධ්‍යානාංගයත්, ඒ ධ්‍යානයත් හරී බලවත් නිසා අඳුරු කිරණ ඔක්කෝම පුච්චා හරින්න පටන්ගන්නවා ඒකෙන්. කළු-අඳුරු මානසිකත්වයට වැටහෙන කළු-අඳුරු ස්වභාවයක් පේන්නෙ නැතුව යනවා. තනිකර ආලෝක වෙන්න පටන්ගන්නවා.

 

ඔය ආලෝකය බලවත් වුනහම ටෝච් එළියක් එහාට මෙහාට අල්ලනවා වගේ ඕන්නම් අපිට ශරීරයෙන් එළියක් නිකුත් කරලා ඒ ඒ පුද්ගලයින්ට, ඒ ඒ තැන්වලට යවන්න පුළුවන්. ඒ වෙලාවෙදි ඒ යොමු කරපු තැනත් තියෙන අඳුරු පටල, අඳුරු කිරණ පිච්චෙනවා. යම්කිසි අමනුශ්‍ය ආදී අඳුරු කෙනෙක් ඉන්නවා නම් යම් තැනක, ඒ පුද්ගලයට එහෙම ඒ එළිය යොමු කළොත් එහෙම අර අමනුශ්‍යයා පිච්චෙන්න පටන්ගන්නවා. මොකද අමනුශ්‍යයන්ගෙ ලෝකයෙ තියෙන අඳුරු කිරණ දැවෙනවා ඒකට. පැත්ත පළාතෙ නොඉඳ එක්කො පැනලා දුවනවා, එහෙම නැත්නම් මොකද කරන්නෙ, අර ධ්‍යානය වැඩූ පුද්ගලයාගෙ මානසිකත්වය හොඳට ප්‍රබල නැත්නම් එහෙම, අර කළු අමනුශ්‍යයො ගොඩක් එකතු වුනාට පස්සෙ බිඳින්න එහෙම පුළුවන් නම්, ඔක්කෝම ඇවිදින් වහගන්නවා. වහගෙන පහර ගහන්න පටන්ගන්නවා. එතකොට එයාට ඒ ධ්‍යානයට නැඟලා කටයුතු කරන්න බැරුව යනවා.

 

මෙන්න මේක නිසා නිතරම දකින්න ඕනෙ එකක් තමයි, ඔය ධ්‍යාන වඩන කෙනෙක් කවදාවත් ඒ එක එක අමනුශ්‍යයො එක්කලා “පෙම් කෙළින්න” යන්න හොඳ නෑ. අපේ පුරුද්දක් තියෙනවා ඔහොම නෙමෙයි, පොඩ්ඩක් වැඩිලා එනකොට එක එකාගෙ අමනුශ්‍යයා පුච්චන්න, අමනුශ්‍යයා පන්නන්න අපි ලැහැස්ති වෙනවා. හැබැයි හොඳයි ඉතින්, කෙහෙල් ගහට කොටන දවස වගේ දවසක් ආවොත් එහෙම විනාසයි! ප්‍රබල අමනුශ්‍යයෙක් හිටියොත්, රංචුවක් ඉන්න එකෙක් එහෙම, “ලොකු අයියලා” ඉන්න අමනුශ්‍යයෙක් එහෙම හිටියොත්, ඌ ගිහිල්ලා කියනවා “වැඩේ වරදින්නයි එන්නෙ, අන්න එකෙක් ලෑස්ති වෙලා පටන්ගන්නවා, උඹලත් පිච්චෙනවා, අපිත් පිච්චෙනවා, ඉක්මන් කරමු!” කියලා ආපුහම, “කෝකාද, කෝකෙද ඉන්නෙ?“ කියලා ඇවිදින්, ඔක්කොම මහ යක්‍ෂයො කොටසක් ගොඩගහගෙන වහගන්නවා.

 

අපේ මේ මානසිකත්වයෙන් ආලෝකය නඟන්න බැරි විදිහට හිර කෙරුවොත් මොකද වෙන්නෙ? අපි හිරවෙනවා. ඊටපස්සෙ කියනවා “පපුවත් හිරවුනා, ඔළුවත් හිරවුනා, ඇඟත් හිරවුනා, අඳුරු වෙලා ගියා, මොකක් කරන්නද දන්නෑ දැන්” කියලා. දැන් මේවා ධ්‍යානයට බාදක, ඒකයි කියන්නෙ.

 

ලෝක සත්ත්වයාට මෙත් සිතක්ම පතුරුවමින්, හැම තැනටම ඒ ඒ තැන වෙනස් හිතක් පතුරුවන්නෙ නැතුව, බොහොම පරිස්සමින් ඕනෙ ධ්‍යානය පරිස්සම් කරගන්න; ලැබූ ශක්තිය ප්‍රගුණ කරගන්න. හැබැයි ඇතුළෙ කුණ තියාගෙන බෑ… “ප්‍රගුණ කරගන්නකං මං මෙහෙම කොරන්නම්කො, ප්‍රගුණ වෙලා හරිගියාට පස්සෙ දෙන්නම්කො වැඩේ…” ඒක එහෙම හිතේ තිබුණොත් එහෙම අමනුශ්‍යයො ඕක දන්නවා, අපි කියන්න ඉස්සෙල්ලා. “මූ අහවල් ජාතියෙ කුණෙක්! අසත්පුරුෂයෙක්! මූ හදන්නෙ මේක නොකර ඉන්න, අපිට ගහන්න. මූ එතකන් තමයි මේ සද්ද නැතුව ඉන්නෙ පූසා වගේ. දෙන්නම් මූට වැඩේ” කියලා ඊට ඉස්සෙල්ලා උන් වැඩේ දෙනවා.

 

එහෙනම් අවංකවම අපි හිතෙන් ඉන්න ඕනෙ “මේ ධ්‍යානයේ ඵලය උපරිමයට දස දහසක් සක්වළ එළිය කරන්න ආලෝක වුනත්, මගෙන් වදින එළිය පොදක් වේවා කිසිම කෙනෙකුට හිංගියක්, හිංසාවක් පිණිස නොවේවා!” කියන අධිෂ්ඨානය තියෙන්න ඕනෙ. එහෙම තියෙන නිසා බුදුරජාණන් වහන්සේ ලඟට ඇවිල්ලා ඇඟෙත් ඇතිල්ලිලා අහනවා “මොකද, උඹ මට බයද?..” බුදුරජාණන් වහන්සේගෙන්, බුදුරජාණන් වහන්සේ පැතිරෙවුවා නම් එහෙම එළිය, අමනුශ්‍යයින්ගෙ මයිලක් වත් ඉතුරුවෙන්නෙ නෑ. ඒ තරම් දැවිලා, පිච්චිලා යනවා. ලෝක ශාන්තිය පතුරුවමින් ඉන්නකොට අමනුශ්‍යයා වත් දන්නෙ නෑ කොහොම කෙනෙක්ද මේ කියලා.

 

ඉතින් “කරලෝම” කියන යක්‍ෂයෙක් ඇවිදිල්ලා, ඇඟේ ඇතිල්ලිලා අහනවා “ශ්‍රමණය, මට බයද..?” ඉතින් මොකද කරන්නෙ, හැබැයි උන්වහන්සේ සක්විති රජ කරන කාලෙ එහෙම, බෝධිසත්ව කාලෙ බුදුවෙන්න ඉස්සෙල්ලා එහෙම, “පස්වාන් දහසකට බුදුවෙන්න උත්තමයන් වහන්ස! ගැත්තාට සමාවෙන්න” කියාගෙන ලඟට එන්නෙ. රාජ තේජස එච්චර ලොකුයි. ඇයි ඒක අඩුවුනාද, බුදු වුනහම? ඒ ගත්ත එකත් වෙන පැත්තකට හැරෙවුවා. එදා තිබිච්ච තේජස, එදා සෘෂිවරු වෙලා තිබිච්ච තේජස ඊට වඩා ශාන්ත පැත්තට හරවලා “මගේ මේ ශක්තිය, මගේ මේ බලයක්ෂුද්‍රජීවියෙකුට වත් හිංගි හිංසා පිණිස නොවේවා!” කියන්නාවූ කරුණාව මෛත්‍රිය අධිෂ්ඨානයේ තිබ්බ නිසාම ඒ බලය පාලනය වුනා. ඒ නිසාම අමනුශ්‍යයො ලඟට ඇවිදිල්ලා බණත් අහලා ගියා, එන්න පුළුවන් වුනා.

 

නමුත් ඔය විදිහට සෘෂිවරයෙක් ලඟට එහෙම කිට්ටුවෙන්න බෑ එහෙම අයට. මොකද හේතුව? ඒගොල්ලො අර කියන මට්ටමේ ශාන්ත මානසිකත්වයකින් නෙමෙයි පතුරුවල තියෙන්නෙ. ඉතින් ඒගොල්ලො බොහොම බයෙන් ඉන්න ඕනෙ අමනුශ්‍යයින්ට. පොඩ්ඩ වැරදිච්ච වෙලාවට පහර ගහනවා. උපක්‍රමශීලීව බිඳහරින්න පුළුවන් හැම මොහොතකම මොනවා හෝ උපක්‍රමයක් දාලා අර ශක්තිය බිඳහරවනවා. ඉතින් ඔයවගේ දේවල් තියෙන නිසා පරෙස්සම් වෙන්න ඕනෙ ඔය වඩන අය.

 

{0:11:56} : කායගතාසතිය සහ රාග ද්වේෂ මෝහ අනුසය හේතු – ඵල අනුව දකින හැටි 

 

මේ තව එකක් අහලා තියෙනවා, මේ ප්‍රශ්නයක්. “මේ ආශිර්වාද පූජාවේදී කායගතාසති භාවනාව වඩනවිට මේ කයෙහි මම යැයි ගතහැකි කිසිවක් නැතිබව වැටහේ. එය නැත යන අන්තයට වැටීමක් නොවේද? ඇත හෝ නැත යන අන්ත දෙකින් ගැලවී මධ්‍යස්ථව සිටීම පහදා දෙන්න.”

 

දැන් මේකත් හුඟාක් හොඳයි තේරුම්ගන්න එක. මොකද “කයෙහි හැටි” කිවුවහම “කය නැත” කිවුවද? කය නැති තැනක හිටියනම් මේ කය මහළුවෙන හැටි, වැහැරෙන හැටි, ඇටකටු දිරන හැටි, කැඩිලා යනහැටි, නැති එකක් මුල්කරගෙන කියන්න පුළුවන්ද? කොතනින්ද “නැත” කියන අර්ථය ගත්තෙ? දැන් මේ කයට වෙන එක පෙන්නනවා. මේ කය වැහැරිලා යනගැටි, ඇස් ගිලිලා යන හැටි, මේ කන් ඇහෙන්නෙ නැතුව යනහැටි, හම රැලිවැටෙන හැටි, මස දියවෙලා යනහැටි, ඇටකටු ඇදවෙලා යනහැටි, කොන්ද කුදුවෙලා යනහැටි, ඉතින් නැති දේක පෙන්නන්න පුළුවන්ද? නැත කියන අර්ථය ඒකයි.

 

“ඇත” කියන අර්ථයක හිටියා නම් නැති වෙනහැටි පෙන්නන්න පුළුවන්ද? වෙනස්වෙන හැටි පෙන්නන්න පුළුවන්ද? “ඇත” යන සංඥාවක හිටියා නම් ඇත යන සංඥාවක් වෙනස්වීමක් පණවන්න පුළුවන්ද? “නැත” යන සංඥාවක හිටියනම්, කැඩීමක් බිඳීමක් වැහැරීමක් පණවන්න පුළුවන්ද? එහෙනම් “ඇත” යන සංඥාවයි “නැත” යන සංඥාවයි දෙකම වැටිල තියෙනවද ඔය කායගතාසතියට? එහෙනම් කොතනින්ද අපි ගත්තෙ?

 

මෙන්න මේක තමයි පෙන්නන්නෙ “මමෙක් නෑ… මමෙක් නෑ…” කියන අර්ථය ගන්න ගිය කට්ටියට එකපාර හිත දෘෂ්ටිය වැඩෙනවා “නැත” යන සංඥාව. “මම වෙමි – මම නොවෙමි” කියන මේ අන්ත දෙක සසර බොහෝ කාලයක් ගෙනාපු නිසා භාවනා කර්මස්ථානයකදී “මම නෑ” කියලා අදහස ගන්න ගියොත් මේ අමාරුවෙ වැටෙනවා කියලා දේශනාවෙ පෙන්වලත් තියෙනවා. ඒ නිසා ඒ අය බොහොම පරෙස්සම් වෙන්න ඕනෙ, යථාර්තයට එනකම්.

 

“මම යැයි ගැනීමට සුදුසු නෑ” කියලා පෙන්වනවා. එතන “ඇත” කතාවත් නෑ, “නැත” කතාවත් නෑ. ලෝකයේ ක්‍රියාදාමයක් නිසා ඇති සේ විද්‍යාමාන වෙනවා. ඇති සේ විද්‍යාමානවෙන ක්‍රියාදාමයෙ හේතු ඵල රටාව දැක්කෙ නැති නිසා “ඇති දෙයක්” කියන දෘෂ්ටියට ලෝකයා බහිනවා. එහෙම නැත්නම් හේතු-ඵල පිලිගන්නෙ නැති නිසා හෝ, හේතුවට ඵලය නොපිළිගන්නා නිසා “මොන පාපයක් කළත් පවු කියල දෙයක් නෑ. පිං කියලා මොනවා කළත් පිං කියලා දෙයක් නෑ, මේකෙන් මියගිහිල්ලා මළා මිසක් නැවත ඉපදිලා පහළවෙන කයක් නෑ…” මෙන්න මෙබඳු “නැත” කියන දෘෂ්ටියකට වැටෙනවා.

 

ඒ “නැත” කියන දෘෂ්ටියට වැටුනට පස්සෙ, “එහෙම නැත්නම් මොනවා කළහම මොකද, කාටද ඵලදෙන්නෙ?” මෙන්න මේ ඊලඟ දෘෂ්ටියකට වැටෙනවා. මේ “නැත” කියන දෘෂ්ටියේ එල්බගෙන බොහෝ විනාශයට පත්වෙන “නාස්තික දෘෂ්ටිය” ට වැටෙනවා.

 

“ඇත” කියන එකේ එල්බගත්තොත්, “පවතින එකක් තියෙනවා, ඒක නැතිවෙන්නෙ නෑ, ඒක සදාතනිකයි. ඒ සදාතනිකත්වයට පත්වෙලා මම සැනසිල්ලෙ ඉන්න ඕනෑ” කියලා “සාස්වත දෘෂ්ටිය” ට වැටෙනවා.

 

හේතු-ඵල වශයෙන් දැක්කහම ඇතිවෙනවත් පේනවා, නැතිවෙනවත් පේනවා, නමුත් මේ ඇතිවීම-නැතිවීම පේන්නෙ මෙන්න මේ හේතු-ඵල ක්‍රියා රටාවේ ප්‍රතිඵලයක්. හේතු-ඵල දාමයක් ක්‍රියාත්මක වෙනකොට ඇතිවීමක් විද්‍යාමාන වෙනවා, නැතිවීමක් විද්‍යාමාන වෙනවා. නමුත් මෙතන සිද්ධවුනේ හේතු-ඵල ක්‍රියාදාමයක ක්‍රියා රටාවක් පමණයි කියලා දකිනවා. විද්‍යාමාන වෙන මායා සහගත ඇතිවීම සහ නැතිවීම කියන දෙකේ හිත පිහිටුවන්නෙ නැතුව හේතු-ඵල ධර්මය තුළින් දැනගන්නවා “යමක් දුක ඇතිකරනවා නම්, මේ ඒකට හේතුවයි. මෙන්න මේ හේතුව නැතිකරපුහම දුකට හේතුවෙන ඵලය නෑ. මට අවශ්‍ය වෙන්නෙ දුකෙන්, අසහනයෙන් මිදෙන්න නම්, දුක ගෙනදෙන්නේ යමක්ද, මම ඒකෙන් අත්හැරී, නොඇලී, මිදී ගියානම්, ඒක හටගන්න හේතුව නැතිකළා නම්, ඒක මට මතුවෙන්න විදිහක් නෑ…”

 

දැන් “නිරෝධ” කරනවයි කියන්නෙ, “නිර් + උදා” කරන එකයි නිරෝධ කරනවයි කියන්නෙ – උදා කරන්නෙ නෑ. නැතිකරනවා කියන එක නෙමෙයි. නැතිකරනවා කියන කතාව ගත්තොත් යථාර්තය එන්නෙ නෑ. දැන් මොනවද නැතිකරන්නෙ? නැත්නම් මොනවද උදාකරන්නෙ නැත්තෙ? රාගය, ද්වේෂය, මෝහය කියන තුන.

 

රාගය කියන්නෙ ඒ ඒ මොහොතෙදි අරමුණක් ආපුහම, ඒ ඒ මොහොතෙ ඒ අරමුණට අනුකූලව නැඟෙන ප්‍රතිඵලයක් කියන එක අපිට හොඳට පැහැදිලි නම්, “අපේ හිතේ රාගය යන යමක් තිබුණා” කිවුවොත් අපි කොතන ගියත් මතුවෙලා තියෙන්න ඕනෑ නේද? “අපේ හිතේ ද්වේෂය යන යමක් තියෙනවා” කියලා නිගමනය කළොත්, අපි කොතන ගියත් තරහෙන් ඉන්න ඕනෑ නේද? “අපේ හිතේ මෝහය යැයි යමක් තියෙනවා” කියලා නිගමනය කළොත්, අපි හැමතැනම මෝඩ වෙලා ඉන්න ඕනෑ නේද? දැන් අපේ ජීවිත එහෙමද? ගිය ගිය තැන රාගයෙන් රත්වෙලා, ද්වේෂයෙන් දැවිලා, මෝහයෙන් මුළා වෙලාද අපි මේ හැමතැනම ඉන්නෙ?

 

රාගයට අරමුණක් ආපු වෙලාවක ඒ අරමුණ අල්ලගෙන, බදාගෙන රාගයෙන් රත්වෙනවා. ද්වේෂයට ගැලපෙන විරුද්ධ අරමුණක් ආපුහම ඒ අවස්ථාවෙදි ඒක බදාගෙන, ඒක ඇසුරු කරගෙන ඉඳලා ද්වේෂයෙන් දැවෙනවා. මෝහයට පත්වෙන්න හේතුකාරකයක් මතුවෙලා ආපුහම ඒක අල්ලගෙන මොට වෙලා ඉන්නවා. ඒ ඒ වෙලාවල් වලදි ඒ ඒ තැන්වල ඉන්නවා මිසක් හැමවෙලේම රාගයෙන්, හැමවෙලේම ද්වේෂයෙන්, හැමවෙලේම මෝහයෙන් ඉන්න පුද්ගලයෙක් ඉන්නවද?

 

එහෙනම් රාගය කියන්නෙ මොකද්ද? ද්වේෂය කියන්නෙ මොකද්ද? මෝහය කියන්නෙ මොකද්ද? අනුකූල අරමුණක් ආවට පස්සෙ, ඒ අරමුණ මුල්කරගෙන, ඒක ඇසුරු කරගෙන, අපේ මනස ගොඩනැඟෙන්නෙ රාගිකව නම්, අන්න ඒ ගතිලක්ෂණය අපිට උරුම නිසා අපි කියනවා “අපිට රාග සහගත ස්වභාවයක් තියෙනවා.” හැමවෙලේම “ඇත” කියන එකක්වත්, “නැත” කියන එකක්වත් නෙවෙයි මේ තියෙන්නෙ. ඒ නිසා ඒක ඇත-නැත කියන දෙකට දාන එකක් නෙමෙයි, හේතුවේ ඵලයක්.

 

රාගයට හේතුකාරක යම්තැනක මතුවෙලා අරමුණු වෙච්චහම, ඒ හේතුවට රාගය උදාවෙනවා. අන්න, තිබුණ එකක් නෙවෙයි, එවෙළෙ උදාවුනා. ඉතින් “උදාවෙන” ලක්ෂණය තියෙන තාක්කල් අපිට ඒකෙන් බේරෙන්න බෑ. ඒ අරමුණේ පවතින යම් රාගික ස්වභාවයක් ඇත්ද, අපි ඒකට ගෝචර වෙලා ඒකට අනුකූල වන්නාවූ රාග දාහයට පත්වෙනවා.

 

විරුද්ධ වෙන එකක් එනකොට ඒ වෙලාවෙදි අපි ඒකට විරුද්ධව ද්වේෂය උදාකරගන්නවා. උදාකරගත්තට පස්සෙ මොකද වෙන්නෙ, ඒකට අනුකූලව ද්වේෂයෙන් දැවිලා දැවිලා දූෂිත වෙනවා. ඒ අරමුණ ඉක්මගිය ගමන් ආයි ඒක නෑ. ආයි සැරයක් අරමුණක් ආවොත් තමයි ආයි මොකක්හරි අනුකූල අරමුණක් ආවොත් තමයි අනුකූල චිත්ත ස්වභාවය උදාවෙන්නෙ. යම් දවසක එබඳු ස්වභාවයක් අපි උරුම කරගෙන තියෙන නිසා ඔන්න ඔය “උදාවෙන” ස්වභාවය “නිර් උදා” කළා නම්, නැත්නම් “නිරෝධ” කළා නම්, අරමුණ එනවා දැන් උදාවෙන්නෙ නෑ; අන්න වෙනස. රාගයට හේතුකාරක වෙන අරමුණක් දැන් දකිනවා, අහනවා, ඇතුළට එනවා. හැබැයි රාගය උදාවෙන්නෙ නැත්නම්, අන්න “රාග නිරෝධයි”.

 

එහෙනම් “ඇති එකක් නැතිකළා” නෙමෙයි මේ. දැන් අපි හිතා ඉන්නෙ එහෙම නෙමෙයිනෙ, “රාගය තියෙන කෙනා රාගය නැතිකරගන්න ඕනෙ; ද්වේෂය තියෙන කෙනා ද්වේෂය නැතිකරන්න ඕනෙ; මෝහය තියෙන කෙනා මෝහය නැතිකරන්න ඕනෙ” කියලා මේ තියෙන එකක් නැතිකරන්න අපි හිතාගත්තොත් එහෙම, එයා ඇත කියන එකෙයි නැත කියන එකෙයි ඉන්නවා මිසක් එයාට දහම් මඟ වැටහිලා නෑ.

 

රාගය කියන්නෙ ඇති එකක්වත්, නැති එකක්වත් කියන මෙහෙම තේරුමක් ගන්න පුළුවන් එකක් නෙමෙයි. හේතු මතුවෙච්චි වෙලාවක රාග හිත උදාවෙනවා නම්, ඒ රාග හිතේ ආරම්භය හේතුව මතුවෙච්චි, ආරම්මණය වෙච්චි වෙලාව. යළි යළි ඒ අරමුණ ඇසුරු කරන තාක්කල් ඒ තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ අරමුණ ඉක්ම ගියාද, ඒක එතනින් ගියා – ඉවරයි. හේතුව නැත්නම් ඵලය නෑ. අවිද්‍යාවෙන් යුක්තව රාගික දේ, රාගික අරමුණ ඇසුරු කරන මොහොතෙදි අන්න ඒ රාගික අරමුණ ඇසුරු කිරීමෙන් රාගය උදාවෙනවා.

 

ඒ අරමුණ ඇසුරට ආවෙ නැති, හිතට ආපු නැති මොහොතක කොයි වෙලාවක වත් ආයි රාගය හටගන්නෙ නෑ එයාට. ආයි රාගයක් හටගන්න නම් කොයි මොහොතක හෝ රාග අරමුණක් එන්න ඕනේ. එතකොට ආයි රාගය හටගන්නවා. එතකොට ආයි රාගය හටගන්නවා, ඒ ඉස්සෙල්ලා එක නෙවෙයි. ඉස්සෙල්ලා රාගය හටගත්තෙ ඉස්සෙල්ලා අරමුණේ හේතුවෙන්. අවිද්‍යා සහගතව අරමුණු කරපු හේතුවෙන්. ඊයෙ රාගය හටගත්තෙ ඊයෙ අවිද්‍යා සහගතව අරමුණු කරපු හේතුවෙන්. අද රාගය හටගන්නවා නම්, අද අවිද්‍යා සහගතව අරමුණු කරන හේතුවෙන්. ඊයෙ ද්වේෂය හටගත්තා නම්, ඊයෙ ද්වේෂය නිසා අරමුණු කරපු හේතුවෙන්. අද ද්වේෂය හටගන්නවා නම්, අද ද්වේෂ සහගතව අරමුණු කරන හේතුවෙන්. දැන් පැයකට ඉස්සෙල්ලා රාගය හටගත්තා නම්, ඒ පැයකට ඉස්සෙල්ලා රාගිකව අරමුණු කරපු හේතුවෙන්, අවිද්‍යාවෙන්, ප්‍රිය ස්වභාවයෙන් අරමුණු කරපු හේතුවෙන්. දැන් රාගය හටගන්නෙ නෑ, පැයකට ඉස්සෙල්ලා එක ඒ හේතුවෙන්, ඒක ඉවරයි. දැන් රාගයක් හටගත්තා නම්, අවිද්‍යා සහගතව, “ප්‍රියයි – මනාපයි” කියන මුළාවෙන් දැන් අරමුණු කරන හේතුවෙන්.

 

ඒ නිසා “තියෙන රාගයක් නැතිකරනවා” කියලා එහෙම එකක් නෙවෙයි මේක. ඇති-නැති දෙක මෙතන ගන්න බෑ. ප්‍රිය-මනාප අරමුණක් හැටියට එනකොට, අවිද්‍යාව සමඟ යෙදි යෙදී, ඒ ඒ මොහොතෙදි රාගය මතුවෙන ස්වභාවය මට තියෙනවද? අන්න ඒ ස්වභාවය නැතිකරගන්න ඕනෑ. ඒ අවිද්‍යාව දුරු කරනකොට ඒක නැතිවෙනවා.

 

එහෙනම් “අවිද්‍යාව” කිවුවෙ මොකද්ද? ඒ අවිද්‍යාව කියන්නෙත් අනාදියේ පටන්ගෙන පැවතගෙන එන ඒකකයක් නෙවෙයි. එකට නොබැඳුනු රෑනක් නෙවෙයි. එහෙම නෙවෙයි එතන තියෙන්නෙ. යම් යම් මොහොතක අවිද්‍යා සහගතව හිතුවද, ඒ මොහොතෙ ඒ සමඟ අවිද්‍යාව මතුවුනා. ධර්මය අහලා ධර්මය අවබෝධය නැති නිසා පුද්ගලයාට ඒ අවිද්‍යාවෙන් මිදෙන්න බැහැ. අරමුණ දකිනකොට අවිද්‍යාව ඒ සමඟ නැඟිලා එනවා. මොකද හේතුව? ඔහු අරමුණු, අරමුණු කරල තිබුණෙ අවිද්‍යා සහගතව නිසා, ඔහු මතු බලාපොරොත්තුවක් තියලා තිබුණෙ “එබඳු අරමුණක් ආවොත් කොච්චර හොඳද…” ප්‍රිය මනාප අරමුණු වලට ඔහොම හිතක් තියලා තියෙනවා. අනාගතය හා බැඳපු මානසිකත්වයක් ගොඩනඟලා දුන්නා. අරමුණ එනකොට තමයි ආයි සැරයක් ඒක හොඳද කිවුවට ඒ ගතිය මතුවෙන්නෙ.

 

“මෙහෙම තරහකාරයෙක් මට හැදුනොත්, දනී මං කරන එක! ආපුවාවෙකො මට එහෙම කියන්න…!” අනාගතයට ආවොත් කරන හැටි හිතේ මතුකරලා ඉදිරියට අධිෂ්ඨානයක් තියලා තියෙනවා. හැබැයි දැන් වෙන වැඩ කර කරා ඉන්නවා, තව එයාට එහෙම එකක් ආවෙ නෑ.  හැබැයි කියල තිබ්බ අදහස ආවොත් මොකද කරන්නෙ ඒ විදිහට? අන්න අදහස අනුව ක්‍රියාත්මකවෙන මානසිකත්වයෙන් අවිද්‍යාව ගොඩනැඟෙනවා. මෙන්න මෙහෙම අනාගත බලාපොරොත්තුවකට (…දේශනාවේ සුළු කොටසක් පටිගත වී නැත…)

 

ඒ අවිද්‍යා සහගතව ගොඩනැඟෙන ස්වභාවය අයින්කරගෙන තිබුණෙ නැත්නම්, අපි ඕකට කියනවා “අවිද්‍යා අනුසය”. අරමුණ ආපුහම අනුසය නිසා ගොඩනැඟෙනවා. “අනුසය” කියල කිවුවෙ මතුවෙච්ච හිතක් නෙවෙයි. හිතක් මතුවෙනකොට ඒ හිත මතුකරන්න අනුකූල ස්වභාවයක් ඒකෙ තියෙනවා. ඒකයි අනුසය කියන්නෙ. දැන් බෙරේට ගහනකොට හොඳට නාදය එනවනම්, ඊටපස්සෙ මොකද කරන්නෙ, වතුර ටිකක් ගහල බෙර ඇහැ පොඟවනවා. දැන් වතුර වැක්කෙරෙන තරමට බෙර ඇහැ පොඟලා. ඊටපස්සෙ ඒකට ගැහුවොත් “බොක් බොක්” ගානවා මිසක් අර හඬ, “ටං ටං” ගාන හඬ එන්නෙ නෑ.

 

මොකද වුනේ? හඬ එන්නෙ නැතිවෙන්න ඒකට “කහටක් ගන්නෙවුවා”. ඉස්සෙල්ලා තිබුණ හේතුව දැන් ගොඩනැඟෙන්නෙ නෑ. අතින් බෙර පළුවට, බෙර ඇහැට ගහන්න පුළුවන්, බෙර හමට ගහනවා. ඒ ගැහුවට අර ඉස්සෙල්ලා ආපු හඬ එන්නෙ නෑ. මොකක් නිසාද? හඬ නොවන යමක් එතන අපි බැලුවෙ. එහෙනම් තෙත් කරපු බෙර ඇහැ, නැත්නම් බෙර හම. තෙත් කරපු බෙර හම කියන්නෙ හඬ නෙමෙයි. වියළි බෙර හම කියන්නෙ හඬ නෙමෙයි. ඇදපු බෙර හම කියන්නෙ, හොඳට ඇදලා තදකරලා බැන්ද බෙරහම කියන්නෙ හඬ නෙමෙයි. හැබැයි ඒ ක්‍රියාවලිය කරලා තිබ්බහම, කොයි මොහොතක හරි ඒකට තට්ටු කරපුහම ඒ තට්ටුවෙ නාදය යන්නෙ අපි අර කරල තිබිච්ච වැඩපිළිවෙලට අනුවයි.

 

මෙන්න මේවගේ, අරමුණක් එනකන් අපිට අපි කියන මේ රාග හිත පහලවෙන්නෙ නෑ. ද්වේෂ හිත කිවුවෙ – “මේ හිත” කිවුවට හරියන්නෙ නෑ. ද්වේෂ සහගත අරමුණක් මතුවෙලා, ඊට අවශ්‍ය පසුතළයක්, මානසිකත්වයක් අපිට ගොඩනැඟෙන්න හේතු තිබුණා නම්, ඒ හේතු මත ද්වේෂ හිතක් ගොඩනැඟෙනවා. රාගයට හේතුකාරක තිබුණා නම්, රාගයට අරමුණක් එන වෙලාවෙදි රාග හිතක් ගොඩනැඟෙනවා. එහෙනම් රාග හිත කියන්නෙ, ද්වේෂ හිත කියන්නෙ නොකැඩී පැවතගෙන එන “අවිච්චින්න චිත්ත පරම්පරාවක්” නෙමෙයි, ඒ හේතුවෙ ඵලය.

 

ඵලය යම්සේ විද්‍යාමාන වෙන්නෙ අනුකූල හේතුව තිබුණා නම්. ඔන්න ඔය අනුකූල හේතුව “හිත” නෙමෙයි. හිත ගොඩනැඟුනහම, ගොඩනැඟෙන්නෙ ඒ ආකාරයට, ඒ හේතුව තුළින්. මෙන්න මේකට කියනවා “රාග අනුසය, ද්වේෂ – පටිඝ අනුසය, දිට්ඨ අනුසය, අවිද්‍යා අනුසය” කියලා. අන්න අනුසය කියන්නෙ ඔය ටික.

 

රාගය එකක්, රාග අනුසය එකක්. රාගයට හේතුකාරක එනකොට තමයි, ඒ අනුසයේ ආකාරයට තමයි රාග හිත මතුවෙන්නෙ. අනුසය යම් මට්ටමකට මැඩපවත්වලා තිබුණා නම්, කොච්චර රාග අරමුණ ආවත්, මැඩපවත්වපු ස්වභාවය නිසා අනුසය බිඳගෙන ගිහින් නිසා, අර අරමුණට පෙර වගේ රාගය නැඟෙන්නෙ නෑ. ද්වේෂයට හේතුකාරකයක් කොච්චර ආවත්, අනුසය බිඳලා තිබුණා නම් එහෙම සකෘදාගාමී මාර්ගයෙන් එහෙම භාගයක් බිඳලා ඉබුණා නම්, කොටසක් බිඳලා තිබුණා නම්, ඊටපස්සෙ ද්වේෂය කොච්චර දෙවේෂයට අරමුණ ආවත් ද්වේෂය නැමැති හිත නැඟෙන්නෙ නෑ. නැඟෙන්නෙ මාත්‍ර වශයෙන්. අනුශයේ සම්පූර්ණ රාග සහ ද්වේෂ අරමුණු දෙක බිඳලා තිබුණා නම්, අනාගාමී ඵලයෙන්, රාගයට කොච්චර අරමුණක් ඊටපස්සෙ ආවත් රාග අරමුණක් ඊටපස්සෙ නැඟෙන්නෙ නෑ. ද්වේෂයට කොච්චර අවස්ථාවක් ආවත් ද්වේෂ මාත්‍රයක් වත් නැගෙන්නෙ නෑ.

 

එහෙනම් මේවා හිත්වල තිබුණ ඒවා නෙමෙයි. මේවයෙ හේතු – ඵල දකින්න ඕනෙ. අවිද්‍යාව තියෙන තාක්කල් රාගයට හේතු ආවොත් රාගය උදාවෙනවා. ද්වේෂයට හේතු ආවොත් ද්වේෂය උදාවෙනවා. මෝහයට හේතුකාරක යෙදුනොත් මෝහය උදාවෙනවා. යම් දවසක අවිද්‍යාවයි තෘෂ්ණාවයි සහමුළින් නිරෝධ කළා නම්, රාගයට හේතුකාරක අරමුණ එනවා – රාගය උදාවෙන්නෙ නෑ, නිරෝධයි – නිර් + උදායි. අන්න උදාවෙන්නෙ නැත්නම් නිරෝධයි. ද්වේෂයට ගැළපෙන අරමුණ එනවා, ද්වේෂ හිතක් උදාවෙන්නෙ නෑ. එහෙනම් ද්වේෂ නිරෝධයි. මෝහයට හේතුකාරක අරමුණු එනවා. මෝහ හිතක් උදාවෙන්නෙ නැත්නම් මෝහයත් නිරෝධයි.

 

අන්න නිරෝධ වෙන හැටි. නැතිවෙනවා කියන එක නෙමෙයි. නැතිවෙනවා කිවුවොත් ඇතිවෙච්ච දෙයක් තියෙන්න ඕනෙ. ඉතින් “නැත” කියන අර්ථයයි, “ඇත” කියන අර්ථයයි දෙක අරගෙන දහම් තෝරන්න බෑ. ඕක දකින්න ඕනෙ. ඉතින් අන්ත දෙකෙන් ගැලවිලා මධ්‍යස්ථව ඉන්නවා කිවුවෙ ඔය ක්‍රමයට. ඇත-නැත කියන එකට වැටෙන්නෙ නැතුව, යථාර්තය දකිනවා නම් මේ හේතු-ඵල දහමක් විද්‍යාමාන වෙනවා නම්, හේතුව නැඟිච්ච තැනයි ඵලය මතුවෙන්නෙ අනුකූලව.

 

දැන් මට මතුවෙන ඵලයෙන් දැකගන්න ඕනෙ, “ඒ අනුසය මං ලඟ තිබුණා, ඒකයි මේ හේතුව මතුවුනේ, හේතුවුනේ ඒකයි. අරමුණ එනකොටම අනුසය තිබිච්ච නිසා තමයි අනුකූල හේතුව නැඟිලා ආවෙ…” මේ අනුසය කියන්නෙ අර “ඇත” කියන තැන පවත්වන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකත් එක්තරා ස්වභාවයක්, හේතුව. හේතු ඇති නිසාම තමයි අනුසයත් නැඟෙන්නෙ. අනුසය මොහොතක් ගානෙ විද්‍යාමාන වෙන්නෙ හේතු ක්‍රියාවලියක් උඩමයි. අසත්ධර්මය සහ අසත්පුරිස ආශ්‍රය නිසා ගොඩනඟාගත්ත හේතු ක්‍රියාවලියේ ප්‍රතිඵලය වශයෙන් පැවැත්ම විද්‍යාමාන වෙන මොහොතක් මොහොතක් පාසාම අනුසය විද්‍යාමාන වෙනවා.

 

එහෙනම් ඊයෙ තිබිච්චි රාග අනුසය ඊයෙ තිබිච්ච හේතුවෙන් ඉවරයි. ඒ අනුසය නෙවෙයි අද ආවෙ. අදත් හේතු තිබුණානම් තමයි අදත් රාග අනුසය විද්‍යාමාන වෙන්නෙ, ඒකත් එහෙමයි. සත්පුරුෂ ආශ්‍රයෙන්, සත්ධර්ම ශ්‍රවණයෙන්, යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව ධර්මාවබෝධයට පත්වුනහම, එතැන් පටන්ගෙන රාග අනුසය, අර කියන විදිහට පටිඝ අනුසය, දිට්ඨ අනුසය, අවිද්‍යා අනුසය කියන අනුසයන්ට නැඟෙන්න තිබිච්ච හේතු ඉවරයි. යම් මොහොතක පටන් යථාවබෝධය පූර්ණය කළානම්, එතැන් පටන් අනුසය නතරවෙන්නෙ ඒකයි. ඇති එකක් නැතිවුනා එහෙම නෙමෙයි. හේතු පරම්පරාවක් නිසා මොහොතක් ගානෙ ඵල පරම්පරාවක් ගොඩනැඟුනා. හේතු පරම්පරාව කෙළවර වුනහම ඵල පරම්පරාව කෙළවර වුනා.

 

{0:31:22} : කර්ම විපාක දෙන ආකාරය පටිච්ච සමුප්පන්නව දැනගනිමු 

 

තව ඉතින් ප්‍රශ්නයක් තියෙනවා, “මේ හේතු ඵල දහම සහ අප පෙර කළ කර්ම හා විපාක අතර සම්බන්ධතාවය නොවන්නේද?” ඒකත් තේරුම්ගන්න ඕනෙ ප්‍රශ්නයක්.

 

හේතු-ඵල දහම තුළදි මෙන්න මෙහෙම දෙයක් සිද්ධවෙනවා. අපි හේතු නිෂ්පාදනය කිරීම නිසා ඵලයක් නිෂ්පාදනය කිරීමේ ක්‍රමයක් තියෙනවා. යම් තැනක හේතුව නැඟෙනවද, ඒ හේතුවත් සමඟම ඵලය නැඟෙන අවස්ථාවක් තියෙනවා, පටිච්ච සමුප්පාදයේ කාරණා දහයකට.

 

අවිජ්ජා පච්චයා සංඛාරා, අවිජ්ජා හේතුකං
සංඛාර පච්චයා විඤ්ඤාණං, සංඛාර හේතුකං
විඤ්ඤාණ පච්චයා නාම-රූපං, විඤ්ඤාණ හේතුකං
නාම-රූප පච්චයා සළායතනං, නාම-රූප හේතුකං
සළායතන පච්චයා ඵස්සෝ, සළායතන හේතුකෝ
ඵස්ස පච්චයා වේදනා, ඵස්ස හේතුකං
වේදනා පච්චයා තණ්හා, වේදනා හේතුකං
තණ්හා පච්චයා උපාදානං, තණ්හා හේතුකං

 

ඔන්න ඔතෙන්ට එනකං හේතු සම්බන්ධතාවයක් එනවා. {{ හෙතුචතුක‍්කං }}. එක එක ඵලයට ඒ ඒ දේ හේතුවෙලා අවිද්‍යාවේ පටන්ගෙන හේතු සම්බන්ධතාවය එනවා. ඊලඟට තව තියෙනවා ඕකෙ සම්බන්ධතා තුනක්. ඔය විදිහටම දෙකක් තියෙනවා තව. ඔය “හේතු සම්බන්ධතාවය”.

 

“සමඟ යෙදෙන සම්බන්ධතාවය” හෙවත් “සම්පයුත්ත සම්බන්ධතාවය” ත් තියෙනවා ඔතෙන්ට එනකන්.

 

අවිජ්ජා පච්චයා සංඛාරා, අවිජ්ජා සම්පයුත්තා – අන්න සම්පයුත්ත කියන්නෙ සමඟ යෙදෙනවා කියන එකයි.
සංඛාර පච්චයා විඤ්ඤාණං, සංඛාර සම්පයුත්තං
විඤ්ඤාණ පච්චයා නාම-රූපං, විඤ්ඤාණ සම්පයුත්තං
නාම-රූප පච්චයා සළායතනං, නාම-රූප සම්පයුත්තං
සළායතන පච්චයා ඵස්සෝ, සළායතන සම්පයුත්තෝ
ඵස්ස පච්චයා වේදනා, ඵස්ස සම්පයුත්තං
වේදනා පච්චයා තණ්හා, වේදනා සම්පයුත්තං
තණ්හා පච්චයා උපාදානං, තණ්හා සම්පයුත්තං

 

ඔන්න ඔතෙන්ට එනකන් “සම්පයුත්ත” හෙවත් සමඟ යෙදෙනවා. {{ සම‍්පයුත‍්තචතුක‍්කං }} එහෙනම් අවිජ්ජා, සංඛාර, විඤ්ඤාණ, නාම-රූප, සළායතන, ස්ඵර්ශ, වේදනා, තණ්හා, උපාදාන කියන තැනට එනකන් එකින් එකට සමඟ යෙදෙනවා, එකින් එකට හේතුවෙනවා. එහෙනම් එකකින් එකක් අයින් කරන්න ඕනෙ. ඔය තියෙන්නෙ සිද්ධිය.

 

අනික එකින් එක වර්ධනය කරනවා.

 

අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාරා පච්චයා අවිජ්ජා
සංඛාර පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා සංඛාරා
විඤ්ඤාණ පච්චයා නාම-රූපං, නාම-රූප පච්චයා විඤ්ඤාණං
නාම-රූප පච්චයා සළායතනං, සළායතන පච්චයා නාම-රූපං
සළායතන පච්චයා ඵස්සෝ, ඵස්ස පච්චයා සළායතනං
ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා ඵස්සෝ
වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා වේදනා
තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා තණ්හා කියලා,

 

ඔතෙන්ට එනකන් එකින් එක “අඤ්ඤ-මඤ්ඤ සමුප්පාදය” කියලා ඔන්න ඔහොම සම්බන්ධ වෙනවා. මෙන්න හේතු-ඵල සම්බන්ධතාවයේ එකට යෙදෙන පොදියක් ඔය. එකින් එක සම්බන්ධ වෙන, අන්‍යොන්‍ය සම්බන්ධතාවයෙන් යුතු එක පොදියක් තමයි ඔතෙන්ට එනකන් තියෙන්නෙ. මෙන්න මේ ක්‍රියාකාරිත්වය සම්බන්ධවෙලා තමයි යම් හිතක් ගොඩනැඟෙන මොහොතකදි ඉස්සෙල්ලාම ගොඩනැඟෙන්නෙ. මෙන්න මෙහෙම ගොඩනැඟි නැඟී එන වෙලාවෙදි එක්තරා ශක්ති විශේෂයක් ඒකෙන් නිපදවනවා. ඔය හැමතැනකම චේතනා සම්බන්ධතාවයෙන් ගොඩනඟන්නෙ. මෙන්න මේකෙන් ගොඩනඟන ශක්තියෙන්, ඒ ඒ මොහොතෙ එක කර්ම ශක්තියක් ක්‍රියාත්මක වෙනවා. අපි ඒකට කියනවා “සහජාත කර්ම ශක්තිය”. තව කොටසක් ගොඩනැඟිලා නිදහස් වෙනවා. ඒකට කියනවා “නානාක්ෂණික කර්ම ශක්තිය”.

 

දැන් කර්ම ශක්ති වල ක්‍රියාවලියයි කර්ම ශක්තියයි වෙන වෙනම තෝරගන්න ඕනෑ. දැන් කර්ම ශක්තිය කියල කියන්නෙ සත්ත්වයෙක් නෙමෙයි. ඒ කර්ම ශක්තිය විපාක බවට පරිවර්තනය වෙනකොටයි සත්ත්වයෙක් විද්‍යාමාන වෙන්නෙ. යම් තැනක කර්ම ශක්තියෙන් වෙන දෙයක් කරන්න බැහැ. ඒ අවශ්‍ය දේ නිෂ්පාදනය කරන්න ඕනෙ.

 

“ජනක කර්ම ශක්තියෙන්” යම් තැනක උප්පත්තියක් නිෂ්පාදනය කරනවා මිසක් වෙන එකක් ඒකෙන් කරන්න බෑ. “උපස්ථම්භක, උපපීඩක, උපඝාතක” ආදී කර්ම ශක්ති ප්‍රවෘති විපාක වශයෙන් ක්‍රියාත්මක වෙන අවස්ථාවට ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙනකොට සත්ත්වයෙක් තුළ සැප දුක විද්‍යාමාන වෙන ක්‍රියාදාමයක් සහිත සත්ත්ව විපර්‍යාසයක්, සත්ව වෙනසක් පෙනෙනවා, සත්ත්ව ස්වභාවයක් විද්‍යාමාන වෙනවා විපාක වශයෙන්. අන්න විපාක වශයෙන් ආවට පස්සෙයි ඒක සිද්ධවෙන්නෙ.

 

එතකොට කර්ම ශක්තියක් මෙතන නිෂ්පාදනය කරපුහම, “නානාක්ෂණික කර්ම ශක්තිය” කියන එක, සත්ත්වයෙක් නොවන කර්ම ශක්තිය “උපාදාන පච්චයා භවො” කියන “අත්ති උප්පත්ති භවො – අත්ති කම්ම භවො” කියන මෙන්න මේකෙ ගිහිල්ලා පිහිටනවා. කර්ම භවයට පිහිටනවා. උප්පත්ති භවයට ක්‍රියාත්මක වෙන්නෙ කොතනින් හරි උපත කරා ඒ ශක්තිය ක්‍රියාත්මක වෙනකොටයි. අපි කරන ලද පාපකර්ම හෝ පුණ්‍යකර්ම, ඒවයින් ගොඩනැඟුනු ශක්ති විශේෂයට අනුකූල ඵලයක් මතු ලබාදෙන්න හේතුවක් වශයෙන් පිහිටනවා භවයෙ ඔය විදිහට.

 

අන්න භවයෙ පිහිටන හේතුව නැවතත් හේතු-ඵල ධර්මතාවයක් ගොඩනැඟීමෙන් සත්ත්වයෙක් ගොඩනඟන්න යම් යම් මොහොතක ක්‍රියාත්මක වෙනවා. අන්න, ක්‍රියාත්මක වෙන මොහොතෙදි මොකද වෙන්නෙ, ආයිසැරයක් හේතුවයි ඵලයයි කියන දෙකක් ක්‍රියාත්මක වෙනකොට “සත්ත්වයා” නැමැති හේතු-ඵල ක්‍රියාදාමය ගොඩනැඟෙනවා.

 

දැන් තිරිසනෙක් වශයෙන් මෙතන විද්‍යාමාන වෙන්නෙ යමෙක්, තිරිසනෙක් වශයෙන් ගොඩනැඟෙන හේතු-ඵල දහම ක්‍රියාත්මක වෙන වෙලාවෙ. දැන් අද මනුස්සයෙක් වශයෙන් ක්‍රියාත්මක වෙන්නෙ යම් කර්ම ශක්තියක් මනුස්සයෙක් වශයෙන් හේතු-ඵල ක්‍රියාදාමය ගොඩනැඟීම ආරම්භ කරලා තියෙන වෙලාව. දැන් මේ වෙලාව වෙනකොට භවය තුළ තියෙනවා බල්ලෙක් වෙන, බළලෙක් වෙන, හරකෙන් වෙන, නොයෙක් ආදී සත්ත්වයො වෙන කර්ම ශක්ති. හැබැයි ශක්තිය තිබුණට සත්ත්වයෙක් විද්‍යාමාන නෑ. දැන් තව බල්ලා විද්‍යාමාන වුනේ නෑ, හරකා විද්‍යාමාන වුනේ නෑ, හරකා ගොඩනඟන ශක්තිය තියෙනවා. මෙන්න මේකට කියනවා “අනන්තරය” කියලා.

 

“අන් අන්තර්ගතයක්” යම් තැනක ඇත්ද, ඒකට “අනන්තරය” කියනවා. අන්න, කර්ම ශක්තිය ගැබ් වෙලා තියෙන එකට කියනවා, ඒක ප්‍රත්‍ය වෙන්නෙ “අනන්තරයේ” තිබිලා. “අන්+අන්තර්+ප්‍රත්‍යය” හෙවත් අනන්තර ප්‍රත්‍යය. අටුවෙ තිබ්බ වී පැළවෙන්නෙ නැතුව තියෙනවා වගේ, පැළවෙන ශක්තිය ගැබ් කරගෙන පැළවෙන්නෙ නැතුව තියෙන වී ඇටය වගේ, කර්ම බීජ හැදිලා, ඔය විදිහට විපාක දෙනතුරු “කර්ම භවයේ” පිහිටනවා. ඒ කර්ම භවයේ පිහිටන ශක්තිය, ඒක “නාම-ගෝත්‍ර” වලට අයිතියි. සම්බන්ධය නාම ධර්මතාවයන් සමඟයි. මෙන්න මේ නාම ධර්මතාවයන්ට තියෙන සම්බන්ධය තිබුණට, සත්ත්වයෙක් වශයෙන් නාම-රූප ගොඩනැඟුනෙ නෑ. යම් තැනක නාම-රූප ගොඩනැඟෙනවා නම් තමයි සත්ත්වයෙක් විද්‍යාමාන වෙන්නෙ.

 

දැන් අංගුලිමාල හාමුදුරුවො එදා අංගුලිමාල හොරා වෙලා ඉන්න වෙලාවෙ නවසිය අනූ නවයක් මරලා, අම්මා මරන්න ගිහිල්ලා රැස් කරපු පාපකර්ම කන්දරාව කොච්චරද? ඒක ගෙවුවෙ නැත්නම් එතකොට ඒ පාපකර්ම කන්දරාවට මොකද වුනේ? අර නාම-ගෝත්‍ර පරම්පරාවට අයිතිව, අනන්තරයට ගෝචර වෙලා ඒකෙ තියෙනවා. හැබැයි ශක්තිය තිබුණට ශක්තිය සත්ත්වයෙක් නෙමෙයි කිවුවෙ ඒකයි. එහෙනම් ශක්තිය යම් තැනක විපාක වශයෙන් ක්‍රියාත්මක වෙන්න හේතු තිබුණානම් තමයි ඒ ශක්තියෙන් සත්ත්වයෙක් ගොඩනඟන්නෙ. සත්ත්වයෙක් ගොඩනැඟුවෙ නැත්නම් දුකක් පහලවෙන්න විදිහක් නෑ. කොච්චර ශක්ති විශේෂ තිබුණත් එයින් ගොඩනැඟුවෙ නැත්නම් දුකක් විද්‍යාමාන වෙන්න හේතුවක් නෑ. පැවැත්මක් ගොඩනැඟුනා නම් තමයි ශක්තිය ඇදිලා ක්‍රියාත්මක වෙලා දුක් විපාකයක් විද්‍යාමාන කරන්නෙ.

 

මතු පැවැත්මක් ගොඩනැඟුවෙ නැත්නම්, සත්ත්වයෙක් විද්‍යාමාන වුනේ නැත්නම්, කළාවූ කර්මයන්ගේ විපාකයන්ට විපාක විඳින්න සත්ත්වයෙක් වශයෙන් විද්‍යාමාන නැත්නම් කොහෙ විපාක විඳින්නද? ඒකට අවස්ථාව නැතිවෙලා යනවා. එතකොට ඒවට කියනවා “අහෝසි කර්ම” වුනා. විපාක විඳීමට හේතුකාරක නැති නිසා ඒක ක්‍රියාත්මක වෙන්න විදිහක් නැති තත්ත්වයට පත්වුනා. අන්න ඒක නැවත වාරයක් ඒ පුද්ගලයට පුද්ගලත්වයට සම්බන්ධ කරලා විපාකය ගෙවන්න හේතුවක් නෑ. මොකද, මතු උපතක් නැති නිසා. උපතක් නැත්නම් නාම-රූපයන්ගේ හටගැනීමක් නැත්නම්, එතන විඤ්ඤාණත් නෑ, එතකොට සංඛාරත් නෑ, අවිද්‍යාත් නෑ, එකක්වත් නෑ. එතෙක් ගොඩනඟපු රෑනක් තිබුණා. ඒක නාම ගෝත්‍රයේ, නිදහස්ව නාම-ගෝත්‍ර මතම පවතිනවා මිසක් ඒ රෑන සත්ත්වයෙක් නෙවෙයි. දැන් ඕක අපි දකින්න ඕනෙ.

 

අනාගත බලාපොරොත්තුවක් අපි මනසින් ගොඩනැඟුවොත්, ඒ තාක්කල් මුළු අනාගතයට පැවැත්මක් හටගන්නවා නම් හටගන්න ශක්තිය ගොඩනඟලා තියෙන්නෙ. ගොඩනැඟූ ශක්තිය නාම-ගෝත්‍ර ගතව තියෙනවා. හැබැයි යම් දවසක ප්‍රඥාවෙන් යථාවබෝධය පූර්ණ කරගෙන, ගොඩනැඟීමේ බලාපොරොත්තුව කෙළවර කරදැම්මොත් අර ශක්ති වලට කරන්න කියන්න කිසිම දෙයක්… ඒවා නිදහස් වෙනවා මිසක් ඒවයින් සත්ත්වයෙක් ගොඩනඟන්න බෑ. සත්ත්වයෙක් ගොඩනඟන්න තිබිච්ච හේතුවත් නැති නිසා විපාක දීමට අවශ්‍යතාවය ලැබුණොත් විපාක දෙන්න හේතු තිබුණට ක්‍රියාත්මක වෙන්න විදිහක් නෑ. “නාම ගොත්තං නජීරති” කිවුවෙ ඒවා දිරන්නෙත් නෑ, ඒවා සත්ත්වයෙකුත් නෙමෙයි. ඒ ශක්ති විශේෂය තව කෙනෙකුට විපාක දෙන්න විදිහකුත් නෑ. ඒ වෙනුවෙන් වෙන්වෙච්චි එක ඒ වෙනුවෙන් මේ ලෝකෙ තියෙයි.

 

මතු බුදුවරයන් වහන්සේ නමක් අතීතයේ උන්වහන්සේලාගෙ ස්වභාවය බැලුවහම, “මෙහෙම කෙනෙක් ඉඳලා තියෙනවා. එයා මෙහෙම දේවල් කරලා තියෙනවා….” ඒ ඔක්කොම කියන්නෙ කුමක් අල්ලලද? අර නාම-ගෝත්‍ර වල පිහිටලා තිබිච්ච ඔය දිරන්නෙ නැති කොටස අල්ලලා. හැබැයි ඒ කොටස සත්ත්ව පුද්ගල දෙකට දාන්න බෑ. ඒකට කියන නම “නාම-ගෝත්‍ර”.

 

ඉතින් අපි පෙර කරනලද කර්මයක් ආවා නම්, අන්න ඒ කර්මයට විපාක දීමට සම්බන්ධතාවය ඇති කරන්නෙ “සමනන්තර ප්‍රත්‍යය” තුළින්. “සම+අන්+අන්තරයක්” තියෙන්න ඕනෑ යම් තැනක ඒ ශක්තිය ඇදලා එන්න. අපී හේතුවක් නිපදෙවුවානම් තමයි, සම ආහාරයක් නිපදෙවුවානම් තමයි අර “අනන්තරය” හෙවත් අර ශක්තිය ඇදිලා ඇවිල්ලා අනන්තර – සමනන්තර සම්බන්ධතාවයෙන් අවශ්‍ය ඵලය ගොඩනඟන්නෙ ඒ දෙක හේතුවෙලා. එහෙනම් අනන්තර – සමනන්තර දෙකේම හේතුවේ ඵලයක් වශයෙන් තමයි පැවැත්මක්, උප්පත්තියක් ගොඩනැඟෙන්නෙ. සමනන්තරය නොහැදුවොත් අනන්තරයට තනිකර පුළුවන්කමක් නෑ පැවැත්මක් ගොඩනඟාගන්න, පැවැත්මක විපාක දෙන්න.

 

එහෙම පුළුවන් එකක් තියෙනවා, සමනන්තරයක් අවශ්‍ය නොවන. මවු මැරීම, පියා මැරීම වැනි අර බලවත්ම ආනන්තරිය පාපකර්ම කියන ඒවා කළොත්, “න+අන්+අන්තරික” කියන්නෙ ආනන්තරික කියන එකයි. ඒක විපාක දෙන්න ආහාරයක් හෙවත් සමනන්තරයක් ඇතිකරන්න ඕනෙ නෑ. ඒකෙන්ම ගොඩනඟාගෙන නැඟිලා එනවා. එහෙම බලවත් නිසා මොකද වෙන්නෙ, ඒකාන්තයෙන් ඒක විපාක වශයෙන් ඔහුට එනවා, ඒකට බාදා පමුණුවලා ඒක නවත්තන්න පුළුවන් ශක්තියක් ඇති ධ්‍යාන, මාර්ගඵල ඒ අත්බැවේදි ඔහුට ලබන්න බැරුව යනවා, අර නැඟූ කර්ම ශක්තියේ බලවත් තාවය නිසා.

 

ඉතින් කර්ම ශක්තිය එකක්, සත්ත්ව පුද්ගල වශයෙන් විද්‍යාමාන වෙන හේතු-ඵල පරම්පරාව තව එකක්. කර්ම ශක්තිය කියන්නෙ සත්ත්වයා නෙවෙයි, සත්ත්වයා ගොඩනඟන්න මූලික වෙච්චි දහම. අපි විසින්ම ගොඩනඟපු ශක්තියක්. ඒ ශක්ති විශේෂය නාම ධර්මයක්ද ඇහුවොත්, හිත හා සම්බන්ධවූ හිතේ කොටසකුත් නෙවෙයි. ඒක චිත්තද ඇහුවොත්, චෛතසිකද ඇහුවොත්, රූපද ඇහුවොත් ඒ තුනම නෑ. අපි භාවිත කරන චිත්ත, චෛතසික, රූප කියන තුනටම ඒක දාන්නත් බෑ. කර්ම ශක්තිය කියන එක දුක දෙනවනම් එහෙම, කිසි කෙනෙකුට දුකෙන් මිදෙන්න බෑ. එහෙනම් ඒ කර්ම ශක්තිය කියන එක කවද්ද ගෙවලා ඉවර කරන්නෙ?

 

ඒ කර්ම ශක්තියක් කියන වචනෙදි, අපි කොයි විදිහෙන් කළත් ඒ ශක්ති විශේෂයෙන් අපිට බලපෑමක් ඇතිකරනවා නම්, අර “සමනන්තරව” තියෙන බලපෑම තමයි ඇතිකරන්නෙ. ඒ කියන්නෙ අපි විසින් ගොඩනඟාගෙන තියෙන පරිසරය අනුව අපිට එන බලපෑම. ඇයි යම්කිසි පුද්ගලයෙක් අපාගත වෙලා මහා දුකක් විඳින්න හේතුකාරකයක් ඔහු කර්ම විපාක වශයෙන් කරලා තිබුණා නම්, මේ මිනිහෙක් වෙලා ඉන්න වෙලාවක ඒ බලවත් දුක්ඛ කර්ම විපාකය ඵලදෙන්න විදිහක් නෑ. ඒවා දැන් මෙතෙන්ට ඇදලා අපිට බාදක පමුණුවන්නත් බෑ මේ මිනිසත්බව තුළ. මිනිසත්බවට විඳින්න පුළුවන් යෝග්‍ය වෙන යම් කර්මයක් තිබුණා නම් කරලා, ඒකට අවශ්‍යය කරන පසුතළය අපි දැන් ගොඩනඟනකොට, ඒක ඇදලා එනවා. ඇවිදිල්ලා ක්‍රියාත්මක වෙනවා. එහෙම තමයි කර්ම ශක්තියේ සම්බන්ධතාවය මේ හේතු ඵල දහම ගොඩනඟන්න හේතුවෙන්නෙ. ඒකත් හේතුවක ඵලයක් මයි.

 

සත්ත්වයාගේ පැවැත්ම පිළිබඳ හේතු ඵලය එකක්, පැවැත්මට මූළික වන්නාවූ කර්ම ශක්තිය නැමැති හේතුවෙන් ඇතිවෙන ඵලය තව එකක්. ඒක තමයි “අත්ථි කම්ම භවො – අත්ථි උප්පත්ති භවො” කියලා පෙන්නුවෙ ඒක, තව ඒ ආකාරයෙන් පෙන්නුවෙ. එකක් කර්ම භවය, එකක් උප්පත්ති භවය. උප්පත්ති භවයෙන් උපද්දනවා. කර්ම භවය තුළ තමයි පවත්වන්නෙ. ඉතින් කර්මයක් හටගන්නකොට ඒ කර්මයට අනුකූල වන්නාවූ කර්මය ඵලදෙන්න, කර්ම අවස්ථාව කර්මය කරන වෙලාවෙම කළා, ඉක්ම ගියා, ඉවරයි. ඒ කර්ම අවස්ථාව. අන්න අර කර්ම භවයට සම්බන්ධ වෙච්ච ශක්ති විශේෂයෙන් විපාක දෙන්න යම්තාක් කල් යනවද, ඒ තාක්කල් පවතින්නෙ “ධර්ම” කියන අවස්ථාවෙ.

 

“කර්ම – ධර්ම”. කර්ම කරපු අවස්ථාවෙ ඒක ගෙවිලා ගියා, ධර්ම බවට පත්වුනා. දැන් ඊටපස්සෙ කොයිවෙලාවෙ හරි මේක විපාක දෙන්න ආසන්න කාලෙ වෙනකොට ඒ කර්ම විපාකයට ගෝචර වෙන අනුකූල ඇහැක් සහ අනුකූල රූපයක්, අනුකූල කනක් අනුකූල ශබ්දයක්, අනුකූල නාසයක් අනුකූල ගන්ධයක්, අනුකූල දිවක්, අනුකූල රසයක්, අනුකූල කයක්, අනුකූල පොට්ඨබ්බයක්, අනුකූල මනක් අනුකූල ධර්මයක් කියන මෙන්න මේ විඤ්ඤාණයක් හිතක් පහලකරවන්න අවශ්‍යය මූලධර්ම ටික අර කර්ම විපාකයෙන් ගොඩනඟනවා “පුරේජාතයි” කියනවා ඕකට, මුළින් පහලකරනවා. අන්න කර්ම ශක්තිය අන්තිමට ආසන්න කාලෙ කරපු වැඩක්.

 

ඔන්න ඔයටික කරන වෙලාවෙදි කියනවා “ආරම්මන අවස්ථාව”. ඇහැට රූපය ගෝචර කරලා ඒකට බැඳලා දෙනවා, අරමුණු කරවනවා. කනට ශබ්දය අරමුණු කරවනවා. පුණ්‍ය ශක්තියක් අනුව නම් කලේ, ඒ අරමුණු කරන්නෙ ඉෂ්ට-ප්‍රිය විදිහට. පාප කර්ම ශක්තියක් නම් ඒ කරන්නෙ, අරමුණු කරවන්නෙ අනිෂ්ට-අප්‍රිය විදිහට සකස් කරලා. ඇහැත් අනිෂ්ට විදිහට, රූපයත් අනිෂ්ට විදිහට. කනත් අනිෂ්ට විදීහට ශබ්දයත් අනිෂ්ට විදිහට… පාපකර්මයක් නම්. පුණ්‍යකර්මයක් නම් ඉෂ්ට-ප්‍රිය ඇහැක්, ඉෂ්ට මනාප රූපයක්. ඉෂ්ට-ප්‍රිය ආකාර කනක්, ඉෂ්ට-ප්‍රිය ආකාර ශබ්දයක්. මෙහෙම දෙපැත්තෙන් සකස් කරලා ඔන්න ඔය දෙක එකට ඝට්ටනය කරලා දෙනවා, අරමුණු කරල දෙනවා. අන්න කර්ම ශක්තියේ ඊලඟ ක්‍රියාකාරිත්වය පටන්ගත්ත, ක්‍රියාත්මක වෙන එක “ආරම්මන” අවස්ථාව.

 

ඊටපස්සෙ මොකද වෙන්නෙ, අනුකූල චිත්ත වීථිය පහලවෙලා අපිට විඳින්න සිද්ධවෙනවා, සැප වශයෙන් හෝ දුක් වශයෙන් හෝ උපේක්‍ෂා වශයෙන්. අන්න විඳින්න සිද්ධවෙන වෙලාවට ආපුහම කියනවා “විපාක අවස්ථාව“. ඔන්න කර්මයක් විපාක අවස්ථාවට එන ක්‍රම රටාව. ඔය අතරෙදි අපි ඕකට මඟපාදාගන්න ක්‍රම දෙකක් තියෙනවා.

 

එකක් තමයි “ජනක කර්මයකින්” යම් කෙනෙක් උපන්නහම, උපන් තැනට අනුකූලව ඒ උප්පත්තියට, නැත්නම් ඒ අත්බැවට අනුකූල ඒවා විතරයි අපේ ගබඩාවෙන් ඇදලා එන්නෙ. අර “ධර්ම” අවස්ථාවට පත්වෙච්ච පුණ්‍යකර්ම සහ පාපකර්ම ශක්තීන් ඒ ඇදලා එන්නෙ, ජනක කර්මයකින් උපන් යම්තැනක අත්බැවක් ඇත්ද, ඒ අත්බැවට අනුකූල හරියයි. ඒකට ඔරොත්තුදෙන හරිය ඒ. ඒකට ඔරොත්තුදෙන මට්ටම තුළත් අපි උපක්‍රමශීලීව අපි කරන වැඩ වලදි, අපි ගොඩනඟන සංඛාරයන්ගෙදි නරක විදිහට ගොඩනැඟුවොත් එහෙම ඉදිරි අනාගතයෙදි අර මනුස්සයෙක් හැටියට විඳින්න තියෙන අර ධර්ම ගබඩාවෙ තිබිච්ච පාපකර්මයන් ගෙන් එකක් උප්පත්ති ගෙනදුන්නා, අනික “ප්‍රවෘත්ති විපාක” ගෙනදෙනවා.

 

ඒ කියන්නෙ උපන් තැන් පටන් මැරෙනකන් අතුරු විපාක ගෙනදෙන්නේ. ඒවා ඇදලා එන්න දැන් අවස්ථාව තියෙනවා. අපි මෙතෙනදි සිද්ධකරන්න පටන්ගත්තෙ ඒකට අනුකූල දෙයක් නම්, ඒ කියන්නෙ සමනන්තරය සකස් කළා නම් මේ මිනිස් අත්බැව තුළ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, මදයෙන්, මානයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන් මේ ආදී නොයෙක් ආකාරයෙන්, එක්කෝ කරුණාවෙන්, දයාවෙන්, මෛත්‍රියෙන්, අනුකම්පාවෙන් ඒ විදිහට අපි ගොඩනඟන පරිසරය යම්සේද, මිනිසත්ව විඳින්න පුළුවන් දුක සැප දෙකෙන් අනුකූල වන්නාවූ කර්ම ශක්ති ඒ හැදූ පරිසරයට අනුකූල දෙයක් ඇදලා එනවා. ඒ අනුව තමයි එතන පරිසරය හැදෙන්නෙ.

 

සමහර වෙලාවට ඒ හදන පරිසරය තම තමන් විසින් හදන්නත් පුළුවන්, එහෙම නැත්නම් අනුකූල පුද්ගලයො විසින් නිපදවන්නත් පුළුවන්. තමන් කරපු පාපකර්මයෝ ඒ අනුකූල අවස්ථාවෙ ඇදලා එනවා. උපක්‍රමශීලී ක්‍රම වලින් නිපදවෙන්නත් පුළුවන්. ඒ වගේම විශ්ව ක්‍රියාකාරිත්වයේ ඒ ඒ ධර්ම ස්වභාවයන්ගේ ඇතිවෙන වෙනස්කම් වලින් වෙන්නත් පුළුවන්. මහා ඉඩෝර කාලයක් ආවොත් එහෙම ලෝකෙ, යම් ඉන්න රටක, විපාකයෙන් පීඩිතව මැරෙන්න හේතුවෙන පාපකර්මයක් ඒ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන ඇදලා එන්න පුළුවන්. එයා ඒකෙන් දුක් විඳලා හරි පිපාසයෙන් මැරෙන්නත් පුළුවන්. ඒ වගේම මහා සාගත නියං කාලයක්, සාගතයක් ආපු කාලයක් වුනොත්, බඩගින්නේ මැරෙන්න කරපු පාපකර්ම තිබුණා නම් ඒ ජාතියෙ එකක් එන්න අන්න අවස්ථාව සකස්වෙලා තියෙනවා, අනුකූල එක තමන් කොච්චර හොඳින් හිටියත් ඇදලා එන්න පුළුවන්.

 

තම තමන් කොච්චර හිත පිරිසිදු කළා කිවුවත්, අපිරිසිදු හිතක් නිසා හටගන්න හරිය විතරයි අපිට අයින් කරන්න පුළුවන්, ඒ හිත නිරුද්ධ කිරීමෙන්. කර්ම විපාකයක් ඵලදීමට අවශ්‍යය කරන තවත් බාහිර හේතු තියෙනවා, ඒවා අපිට සර්ව සම්පූර්ණ සුද්ධ කරන්න බැරි ඒවා. එහෙම එකක් ඇදලා ආවොත් අපි කොච්චර හොඳින් හිටියත් හරියන්නෙ නෑ, අනුකූල පැත්ත පුද්ගලයෙක් විසින් හෝ බාහිර ලෝකයේ තිබෙන්නාවූ ධර්ම ස්වභාවයන් විසින් හෝ වෙනස් කරලා අර විපාකයට අනුකූල වන්නාවූ සකස් කිරීමක් කරන්න පුළුවන්. එහෙම කළොත් මොකද වෙන්නෙ, අපිට කරපු එකෙන් බේරෙන්න බෑ අපිට ඕනෑ හැටියට. ඒකත් හේතු-ඵල. හේතුවට අනුවයි ඵලය ඒකත්. කර්ම විපාකයක් එන්නෙත් හේතු-ඵල රටාවට අනුවයි. ඉතින් තේරුම්ගන්න බැරි හරියක් තියෙනවනම් මේ ප්‍රශ්න වල, අහන්න නැවතත්.

 

{0:53:02} : නිරෝධ සමාපත්තිය සහ එහි සුවය විස්තර කිරීම 

 

තවත් මේ ප්‍රශ්නයක් තියෙනවා. “නිරෝධ සමාපත්තිය යනු කුමක්ද? නිරෝධ සමාපත්තියට සමවදින්නේ කුමක් සඳහාද? එය ශුෂ්ක විදර්ශී ආර්යයන් වහන්සේලාට නොවන්නේ ඇයි? නිරෝධ සමාපත්තියට සමවැදුනු විට බාහිර ශබ්ද කිසිවක් නොඇසෙන්නේද? නමුත් බුදුන් නිරෝධ සමාපත්තියට සමවැදී දින හතක් සුවයෙන් වැඩසිටි කාලයේදී ගෙරවීම්, අකුණු සැර ආදී විශාල ශබ්ද උන්වහන්සේට ඇසුනු බව සමහර කතාවල සඳහන් වෙනවා නේද?”

 

මෙතෙනදි තේරුම්ගන්න අවශ්‍යය දෙයක් තියෙනවා, මොකද මේ කතාවල සඳහන් වෙලා තියෙන කතාවෙදි මේ නිරෝධ සමාපත්තියයි, ඒ වගේම පෙනීම-දැනීම තියෙද්දි හිටපු සමාපත්තියයි කියන මේ දෙක පටලවාගත්තොත් තමයි මේ ප්‍රශ්නෙ එන්නෙ. නිරෝධ සමාපත්තියෙන් ඉන්න වෙලාවක කිසිම ඇහීමක්, දැනීමක් ලබාගන්න හේතු රටාවක් නෑ.

 

එක තැනකදී බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න වෙලාවක, පිදුරු මඩුවක වැඩ ඉන්න වෙලාවක, ඒ කුඹුරට අකුණක් ගහලා හරක් බානක් මැරිලා, ගොවියො දෙන්නෙකුත් මැරිලා, මිනිස්සු මහ හඬින් කෑගහගෙන ඇවිදිල්ලා, ඒ ගොවියොත් අරං ඒ කමතෙ උන්වහන්සේ වැඩහිටපු පැළ ලඟින් ගිහිල්ලත් ඉන්දැද්දි උන්වහන්සේට ඒ එකක්වත් ඇහුනු බවක්වත් නැතුව, උන්වහන්සේ එහෙම හිටියා කියලා පෙන්වනවා {{ මහාපරිනිබ‍්බානසුත‍්තං }}

 

ඒ වෙලාවෙදි අහනවා, “ඔබවහන්සේ සමාපත්තියට සමවැදිලද හිටියෙ?” “නෑ, මං එහෙමත් නෙමෙයි හිටියෙ.” “ඔබවහන්සෙට නින්ද ගිහින්ද හිටියෙ?” එහෙම ඔවුන් අහනවා. “නෑ, මට නින්ද ගිහින් තිබුණෙත් නෑ” “එහෙනම් ඔබවහන්සේ එහෙම හිටියෙ කොහොමද ඒ?” අන්න ඒ වෙලාවෙදි අහනවා, මොකද ඒක අහන්න හේතුව, අර ආරාලකාලාම, උද්දකාරාමපුත්ත, මේගොල්ලො ගැන වර්ණනාවක් ඒ බමුණො ඇවිදින් කලේ. එක අවස්ථාවක උද්දකාරාමපුත්ත හෝ ආලාරකාලාම, මට මතක නෑ දෙන්නගෙන් එක්කෙනෙක් කවුරුහරි, ඒ විදිහට ගහක් මුළ වැඩ ඉන්න වෙලාවෙදි ගැල් පන්සීයක් එතනින් ගියාලු, දූවිල්ල හැමතැනම ගිහිල්ලා, සිවුරු හැමතැනම දූවිල්ල නෑවිලා තියෙනවලු, උන්වහන්සේ දන්නෙ නෑ ලු ගැල් පන්සීයක් ගියාට පස්සෙ, ඒ සමාපත්තියෙන් අහක්වෙලා බලනකොට “මොකද මේ දූවිල්ල?” කියල බැලුවලු. බලනකොට එතනින් ගැල් පන්සීයක් ගිහිල්ලා, දූවිල්ල ඇවිස්සිලා, ඒ දූවිල්ල තමයි සිවුරුවල හැමතැනකම තැවරිලා තිබුණයි කියන්නෙ.

 

ඉතින් ඒකවත් දැක්කෙ නෑ, ඒක දැනුනෙ නෑ මෙච්චර ගිහිල්ලත්. පුදුම සමාධියක් කියලා බුදුරජාණන් වහන්සේට ඇවිදිල්ලා සමාධිය ගැන වර්ණනාවක් කළා ඒ බමුණා. ඒ වෙලාවෙදි බුදුරජාණන් වහන්සෙ අහනවා, “එහෙම සමාධියකට සමවැදිල හිටියෙත් නැත්නම්, නින්දකට පත්වෙලා හිටියෙත් නැත්නම්, හිටියෙත් මනා සිහියෙන් යුක්තව නම්, එහෙම කෙනෙකුට මෙන්න මෙහෙම දෙයක් වෙලා දැනුනෙ නැත්නම්, ඒකෙන් කෝකද විශේෂ සමාධිය?” කියලා ඇහුවා. හෙනයක් ගහලා, අර හරක් දෙන්නෙක් මැරිලා, මිනිස්සු දෙන්නෙක් – ගොවියො දෙන්නෙකුත් මැරිලා, මහ පිරිසක් එතනින් කෑගහගෙන ඒගොල්ලොත් අරගෙන එතනින් ගියා, ඒ කුටිය ලඟින්ම. ඒ වෙලාවෙදි ඒ කිසිම දෙයක් පිළිබඳ අරමුණු වුනෙත් නැත්නම්, හැබැයි ඒ වෙලාවෙ එහෙම විශේෂ සමාපත්තියකට සමවැදිල හිටියෙත් නැත්නම් ඒ විදිහට, අරූප සමාපත්තිය සමවැදිලා හිටියෙත් නැත්නම්, නින්ද ගිහින් හිටියෙත් නැත්නම්, මනා සිහියෙන් නම් හිටියෙ, සංඥා සහිතව නම් හිටියෙ, එබඳු සමාධියකින් කෝක විශේෂද කියලා ඇහුවා.

 

“ස්වාමීණි, අර කියන විදිහට අරූප සමාපත්ති ආදී වශයෙන් සමවැදිල ඉන්න කෙනෙකුට එහෙම වෙන එකයි, නින්දකින් තද නින්දෙ ඉන්න කෙනෙකුට ඇහෙන්නෙ නැති එකයි පුදුමයක් නෑ, මේ මනා සිහියකින්, මනා සංඥාවකින් ඉන්දැද්දි, පෙනීම තියෙද්දි, ඇහීම තියෙද්දි, එහෙම එකක් දැනෙන්නෙ නැතුව ඉන්න පුළුවන් නම් කම්පා නැතුව, එහෙම කොච්චර හොඳ දෙයක්ද? ඒක හරි පුදම සමාධියක් නෙ!” “ඔන්න ඔය සමාධියෙ තමයි මං එදා ඒ වෙලාවෙ හිටියෙ” කියලා පෙන්නුවා, අර පිදුරු මඩුවෙ හිටියෙ, පෙනීම තියෙද්දි, දැනීම තියෙද්දි.

 

ඒක තමයි “අරිහත් ඵල සමාපත්තිය”. අරිහත් ඵල සමාපත්තිය කියන එක රාගයෙන් තොරයි, ද්වේෂයෙන් තොරයි, මෝහයෙන් තොරයි. කොච්චර අරමුණු ආවත් එකක්වත් අල්ලන්නෙ නෑ, ඒ පස්සෙ යන්නෙ නෑ. හරි නිශ්චල, හොඳ දැනීම් සහිත ස්වභාවයක්. දැනීම් නැතිවෙලත් නෑ, දැනීමක් තියෙනවා. බාහිර ලෝකෙ කිසිවක් අරමුණු වෙන්නෙත් නෑ, අවසිහියකුත් නෑ, නිදිමතකුත් නෑ, කිසිම තැනක බැඳිලා රැඳිලත් නෑ. මෙන්න මේ “අරිහත් ඵල සමාධියෙ” ස්වභාවයක් ඒක.

 

දැන් ඒකයි “නිරෝධ සමාපත්තියයි” පටලවාගත්තොත් අමාරුවෙ වැටෙනවා, තෝරාගන්න බැරුව යනවා කරුණු. නිරෝධ සමාපත්තිය කියන්නෙ හිත වඩලා, චතුර්ථ ධ්‍යානය ඉක්මවා ගිහිල්ලා, ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නේවසඤ්ඤානාසඤ්ඤායතනය කියන අරූප සමාධි හතරටත් ගිහිල්ලා, එතනින් අධිෂ්ඨානයක් කරලා පත්වෙන එකක්, නිරෝධ සමාපත්තිය. වේදනා-සංඥා දෙකම නිරෝධ කරනවා, උදාකරන්නෙ නැති තත්වයට පත්වෙනවා. මොකද වෙන්නෙ, ලෝකය පිළිබඳ සියළු ආවර්ජනා නතර කරනවා. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ තුන් ලෝකය සම්බන්ධ කාම සංඥා, රූප සංඥා, අරූප සංඥා කියන මේ සියළුම සංඥා නතර කරපු වෙලාවට ඇතිවෙන තත්ත්වයක් තමයි සංඥා වලට සම-නොවදින එක. අන්න එහෙම තත්ත්වයක් ඇතිවෙනවා අර නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවලා නිරෝධයට පත්වෙනකොට.

 

රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, ස්ඵර්ශ සංඥා කියන, ධර්ම සංඥා කියන මේවා අධිෂ්ඨානයක් පරිදි නතර කරනවා. ඒ නතර කරාට පස්සෙ එබඳු සංඥා තුළ, දැනීම් තුළ නෑ. එහෙමනම් රූපයක් සද්දයක් ගන්ධයක් රසයක් ස්ඵර්ශයක් කියන එකක් හෝ සිතට එන සිතිවිල්ලක් හෝ ඒ වෙලාවෙ අරමුණු වෙන්නෙ නැත්නම්, ඒ කියන්නෙ එක හිතක්වත් පහලවෙන්න, චිත්ත වීථියක්වත් පහලවෙන්න විදිහක් නෑ. ඒකයි ඒකෙ ඇතිවෙන වෙනස. එතකොට යම්කිසි වෙලාවක් ඒකෙ ඉන්නෙ අධිෂ්ඨානයක් පරිදි. කිසිම අවසිහිවෙලා, එහෙම එකකුත් නෙමෙයි. නින්ද ගිහිල්ලත් නෙමෙයි, මතක නැතිකමකුත් නෙමෙයි. කල්තියා අධිෂ්ඨානයක් කළානම් යම්කිසි දෙයක්, ඒ අනුව චිත්ත ක්‍රියාත්මක වීමක් එතන සිද්ධවෙනවා. ඒක අධිෂ්ඨානය පරිදියි.

 

දැන් තමංගෙ ගුරුවරයෙක් ඉන්නවනම්, ඒ යටතෙ ඉන්න ගෝල පිරිසක් නම්, උන්වහන්සෙට නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන් නම්, උන්වහන්සේ අධිෂ්ඨානයක් කරන්න පුළුවන් “යම් වෙලාවක මගෙ ගුරුතුමා මට පණිවිඩයක් එහෙම එවුවොත්…” ඒක ගුරු ගරුත්වය – ගුරු භක්තිය… “මම වහාම සමාධියෙන් අහක් වෙනවා. එහෙම අධිෂ්ඨානයක් මං කරලා තියනවා….” අන්න එක අධිෂ්ඨානයක්. හැබැයි ඔය වෙලාවෙදි වටේ හෙණ හතක් ගැහුවත් එයාට ඇහෙන්නෙ නෑ, එහෙම දැනෙන්නෙත් නෑ. හැබැයි කවුරුහරි ඇවිදිල්ලා “ස්වාමීණි, ඔබවහන්සේට කතාකරනවා ගුරුතුමා…” යන්තම් කනට ඇහෙන්න ඕනෙ නෑ, නිකං පැත්තක රහසින් කිවුවත්, මොහොතකින් ඒක අහගෙන එළියට විවෘත වෙනවා. එතකොට ඒක තමයි අධිෂ්ඨානය පරිදි ඉන්න පුළුවන්.

 

එතෙන්ට සමවැදිලා අධිෂ්ඨාන කරන්න බෑ. සමවදින්න ඉස්සෙල්ලා කරපු අධිෂ්ඨානය එතෙනදි ක්‍රියාත්මක වෙනවා ඔය විදිහට. මතුකරපු කර්ම ශක්තිය තමයි, අධිෂ්ඨාන ශක්තිය තමයි නිරෝධ සමාපත්තියට සමවැදිච්ච කෙනා තුළ ක්‍රියාත්මක වෙන්නෙ. නිරෝධ සමාපත්තියට සමවැදිල කිසිම දෙයක් අධිෂ්ඨාන කරන්න හෝ වෙන සිතිවිල්ලක් නඟන්න හෝ එහෙම සිතිවිල්ලක් එතන නෑ, නඟන්න පුළුවන් තැනක් නෙමෙයි. “වාතයෙන්, ජලයෙන්, ගින්නෙන්, වෙන කිසි දෙයකින් මේ ආවාසයේ මේ ඉන්න ස්ථානය විනාශ නොවේවා!” අධිෂ්ඨානයක් කරනවා. “යම් මගේ ගුරුවරයෙක් මට පණිවිඩයක් එවුවොත් ඒ වෙලාවෙදි විවෘත මානසිකත්වයට පත්වෙලා, ඒක අහන්න වේවා!” එහෙමත් අධිෂ්ඨානයක් කරගන්නවා. මෙහෙම කරලා සමවදිනවා. “මෙච්චර දවසකට, මෙච්චර වෙලාවකට” කියලා කාල අධිෂ්ඨානයක් කරලා ඒකට සමවැදුනට පස්සෙ ආයි ඔහොම තියා මිසයිල ගැහුවත් ඇති වැඩක් නෑ, ඒ ස්ථානය විනාශ කරන්න බෑ. මුළු ලෝකෙ විනාශ කරනවා කියලා ලෑස්ති වුනත් ඒ ස්ථානයේ තණකොල ගහක් තරම්වත් විනාශ කරන්න බෑ. ඒ චිත්ත බලයෙ හැටි, ඒ අධිෂ්ඨානයේ හැටි.

 

එතකොට නිරෝධ සමාපත්තියට සමවදින්නෙ මොකටද කියලා දැන් මේ ප්‍රශ්නයෙ තියෙන්නෙ.  දැන් මෙතෙනදි අපි දැකියයුතු හරියක් තියෙනවා, අපිට නොපෙනෙන පැත්තක් තියෙනවා. දැන් අපි කාටහරි කියනවා මෙහෙම දෙයක්. නිකං පොඩි උපමාවක් අරං බලමුකො, තමංගෙ ආදරණීය මුණුබුරෙක් හෝ මිනිබිරියක් හෝ ඉන්නවා දැන්, (වයස අවුරුදු) සියයත් පැන්නා ආච්චිට. දැන් හරී ආදරෙයි තමංගෙ මුණුබුරාට, මිණිබිරියට ආච්චි හරි සීයා හරි. දැන් එයා මොකද කරන්නෙ, “අනේ සීයෙ, මේ බෝලෙ මට එවන්නකො….” එයා එවනවා. ආයිත් ලඟට එවනවා. “අනේ, ආයිත් එවන්නකො…” දැන් ඕක දෙපැත්තට කර කරා ඉතින් ඉන්නවා. දැන් අර ඒක ගාණක් නෑ, මොකද අර පුතා එක්ක තියෙන ආදරේ, හුරතලේ නිසා ඒකත් එයාට ගාණක් නැති එකක්. පාළුවක් නෑ ඒක කර කරා ඉන්නකොට.

ඕක බලන් ඉන්නවා අල්ලපුගෙදර ඉන්න ළමයෙක්. තමන්ට සම්බන්ධයක් නෑ කිසි දෙයක්. එයත් අර ළමයා වගේ, “සීයෙ, ඔය බෝලෙ එවන්නකො මටත්…” “අනේ, පළයං කොල්ලො යන්න…!” අපි ඒ වෙලාවෙ එහෙම කියනවා. දැන් මේ ලොකු වෙනසක් ආවා නේද මේ දෙකේදි. අපේ අත්දැකීමක් මං ඔය කිවුවෙ, පොඩි දෙයක් දැනගන්න.

 

අපි ලෝකෙ යමක් ප්‍රිය කරනකල්, මනාපව ඉන්න තාක්කල්, “ප්‍රියයි, මනාපයි, යහපතයි” කියලා හිතං ඉන්න තාක්කල් අපිට ඒකත් එක්කලා එකතුවෙලා කටයුතු කරන්න, ඒක දුකක් කියලා වැටහෙන්නෙ නෑ, බාදකයක් කියලා වැටහෙන්නෙ නෑ. යම් දවසක මේ ලෝකෙ හිතන, කියන, කරන දේවල් මේ කරන වැඩපිළිවෙල තුළ අසහනකාරී, වෙහෙසකාරී දෙයක් මිස මේවයෙ ගන්න හරයක් නෑ කියලා තේරුම්ගත්තා නම් යම් දවසක යථාවබෝධ ඥානයකින්, එදාට පේනවා අපි එක්ක සෙල්ලම් කරන්න එන බාහිර ලොකය පන්නලා දාලා නිදහස් වෙන්න. ලෝකෙත් එක්කලා එකතුවෙලා කරන හිතිවිලි, ක්‍රියා, වදන් වෙහෙසක් මිස හරයක් නැති ඒවා කියලා දැකලා හින්දා, ඒවගේ වෙලාවට උන්වහන්සෙලාගේ මානසිකත්වය අන්න එහෙම තත්ත්වයට පත්වෙනවා.

 

ඒ තත්ත්වයට පත්වුනාට පස්සෙ උන්වහන්සෙලා කල්පණා කරනවා “ලෝකානුකම්පාවෙන් කළයුතු යමක් ඇත්නම්, සාසන මාර්ගය අනුගමනය කරන කෙනෙකුට ඒ මඟ පෙන්වා දෙන්න මම වෙහෙස බලන්නෙ නැතුව ඒ සඳහා මම හිතනව, කියනව, කරනව. අත්‍යවශ්‍ය මළ මුත්‍රා පහකිරීම් ආදී කටයුත්තක් ඇත්නම් ඒක නොකර බැරි හින්දා ඒකට අනුකූල දේ මං හිතනවා, කියනවා, කරනවා. පරිසරය තුළ තමාට අත්‍යවශ්‍ය දෙයක්, නැත්නම් ජීවත්වෙලා ඉන්නතුරු අවශ්‍යම කරන දේවල් ඇත්නම් එබඳු දේවල් සඳහා හිතනවා, කියනවා, කරනව. හැබැයි ඒවා හැමවෙලේම තියෙන ඒවා නෙමෙයි. ඒවා විටින් විට ලැබෙන ඒවා. කලින් කල සිද්ධ කරන්න සිද්ධවෙන ඒවා. “විවේකය” කියන බලාපොරොත්තුවෙන් ඔන්න ඔය ආකාරයෙන් හිතිවිල්ලක් වත් නඟන්න තියෙන මානසිකත්වය ගොඩනඟන්නෙ නැත්නම් කොච්චර ශාන්තද, කොච්චර ප්‍රණීතද කියලා ඒ අවබෝධය ඇති කෙනා දකිනවා.

 

අන්න එයා දකිනවා මේ හිතිවිල්ලක් නඟන්නෙ කොච්චර මහංසියෙන්ද කියලා. ඒ මහංසිය අමතක වෙලා තියෙන්නෙ මොකද, “ඒ සිතිවිලි හරි සාරවත්” කියන හිත නිසා. එහි යථාර්තය හරයක් නෑ කියලා දැනගත්තට පස්සෙ හැඟවිලා තියෙන හිතිවිලි ගොඩනඟන මහංසිය මතුවෙලා එනවා. ඒ වෙලාවට පේනවා “මේ හිත කියන්නෙ ඒ ඒ මොහොතෙ ගොඩනඟන හේතු-ඵලයක් මිසක් කාලෙක ඉඳන් පවතින ස්ථිර දෙයක් නෙවෙයි” කියලා. යම් තත්පරයක් තුළ දැනීම් සහිතව ඉන්න තත්පරයක් තුළ දැනීම් ගොඩනඟන්න ඕනෙ. ඒක උත්සාහයෙන්, වීර්‍යයෙන්, මානසික උත්සාහයකින් වීර්‍යයකින් කරන නිසයි ඒ දැනීම ගොඩනැඟෙන්නෙ. ඒ නිසයි අපි දැනීමක් තුළ ඉන්නෙ. “දැනීම කොච්චර හොඳද..” කියන හැඟීමෙ ඉන්නකන් ලෝක සත්ත්වයාට ඒ දැනීම ප්‍රිය නිසාම ඒක ගොඩනඟන මහංසිය තේරෙන්නෙ නෑ. ඒකෙ වෙහෙස තේරෙන්නෙ නෑ, ඒක ආස්වාදයෙන් වැහෙනවා.

 

යථාර්තය දැක්ක කෙනා දකිනවා “උත්සාහය වීර්‍යය නිරන්තරයෙන් ගොඩනඟමින් මේ දැනීම පවත්වාගෙන යනකොට තේරුම්ගන්නෙ නැතුව හිටියත් මේ උත්සාහය වීර්‍යය මහ වෙහෙසක් නෙ… මොකට උත්සාහ කරමින්, වෙහෙසකාරීව මේ දැනීම ගොඩනඟමින් ලෝකයට විවෘත වෙලා ඉන්නවද?” අන්න “මනෝ සංඛාර වල දුක” දකිනවා. වේදනා – සංඥා මනෝ සංඛාරයි. මනෝ සංඛාර ගොඩනඟන්න හිතින් දුක් විඳින්න ඕනෙ, හිතෙන් වෙහෙස වී ගොඩනඟන්න ඕනෙ. අපි තේරුම් අරං නැති නිසා තමයි අපිට ඒකෙ වෙහෙස තේරෙන්නෙ නැත්තෙ.

 

දැන් මේ ලෝකෙ අනික් ඔක්කෝම මිනිස්සුන්ට හුස්ම ගන්න, අරින්න ඕනැකමක් නැති ජීවිතයක් එහෙම හම්බවෙලා, එකෙකුට එහෙම ඉන්න බැරුව “අනේ, මට හුස්ම ගන්නැත්නම් ඉන්න බෑ අරින්න ඕනෙ, ඇරියෙ නැත්නම් ඉන්න බෑ ගන්න ඕනෙ. ගත්තෙ එක අරින්න ඕනෙ, මේ මොහොතින් මොහොත, තප්පර දහයෙන් පහළවෙන් මට මේක කරන්න ඕනෙ…” “අපිට නම් ඔය ප්‍රශ්නයක් නෑ නෙ…” අනික් ඔක්කොම කියනවනම් එහෙම මොකක් වෙයිද? “එතකොට මට විතරක් ද මේක තියෙන්නෙ මෙහෙම…?” දැන් පොඩි අමාරුවක් හිතට එනවද? දැන් අපිට ඔක්කොටම ඔය වැඩේ තියෙන හින්දා, අපිට ගාණක් නෑ හුස්ම ගන්නවා – අරිනවා කියන එකත් වෙහෙසක් ගැන දැනෙන්නෙ නෑ. නමුත් පොඩ්ඩක් එකතැන අපි හිතාගෙන බැලුවොත්, ඇයි හුස්ම අරීන්නෙ, ඇයි හුස්ම ගන්නෙ?

 

හුස්ම ඇරියා, ඉන්න බෑ. හිරවෙනවා දැනෙනවා. ඇදලා ගත්තා හුස්ම පාරක්. තියාගෙන ඉන්න බෑ හිරවෙනවා දැනෙනවා, පිටකළා ඒ පාර. ඉන්න බෑ ආයි සැරයක් ඇදලා ගන්නවා. ඉන්න බැරි හින්දයි ආයි සැරයක් පිටකරලා ආයි සැරයක් ඇදලා මේ ක්‍රියාවලිය කරන්නෙ ඉන්න බැරි හින්දා නේද? මේ හුස්ම ගන්න-අරින ක්‍රියාවලිය පපුවෙ මහංසිය හැදිලා, සෙම බැඳිලා, අර ඇදුම වගේ ආවනම් එහෙම, කොච්චර මහංසියෙ හරි ඇයි අදින්නෙ, ඇයි අරින්නෙ? “රූං-රූං, රූං-රූං” ගානවා ඇහෙනවා. මහංසිය, හතිය දාගෙන… එක විදිහට ඉන්න බෑ කයත් වෙහෙසයි දැන්, හුස්ම ගන්න අදින්න ගිහිල්ලම. මොකද, හිරවෙලා තියෙනකොට තියෙන වේදනාව නිසා කරන්න දෙයක් නැතුව අර හුස්ම නොගෙන ඉන්න බැරි නිසා, අරින්නෙ නැතුව ඉන්න බැරි නිසා ගන්නවා, අරිනවා.

 

දැන් ඒ වෙලාවෙදි අපිට තේරෙනවා ඒ මහංසිය. දැන් ඔයවගේ අපිට හැමවෙලේම මහංසිය තේරෙන්නෙ නැතිවෙන්නෙ අපි ඒ ගැන හිතන්නෙ නැතුව ඉන්නවා. වෙන එකකට හිත බැඳලා ඉන්නවා ආස්වාද සහගතව. අපි ඒ නිසා අර පොඩි එකාට කකුල කැක්කුම හැදුනහම, ගෙඩියෙ කැක්කුම හැදුනහම කිරි බෝතලේ කටට දුන්නට පස්සෙ සූප්පුව උර උරා ඉන්නවා මිසක්, එක්කෝ සීනි බෝලයක් නැත්නම් ටොපියක් කටට දැම්මට පස්සෙ ඒක තලු මර මරා ඉන්නවා මිසක්, ඒකට ආස්වාදෙන් ඉන්නකන් අර වේදනාව පොඩ්ඩක් අමතක වෙලා ඉන්නවා වගේ, අපිත් මේ පංච කාම ආස්වාදයන්ට බැඳිලා, ඒවට ලොල් වෙලා, ඒවා පස්සෙ රඟ රඟා ඉන්න නිසා අපිට මේ හුස්ම ගන්න අරින එකේවත් වෙනසක් පොඩ්ඩක්වත් පේන්නෙ නෑ.

 

නමුත් ඒවයින් අහක්වෙලා විවේකීව එකතැනක ඉන්නකොට පේනවා “ඇයි හුස්ම ගන්නෙ, ඇයි හුස්ම අරින්නෙ? මේ වෙහෙසක් නේද නිවන්නෙ? කවුද වෙහෙස කරන්නෙ? මම උත්සාහ කරලා, වීර්‍යය කරලා වෙහෙසක් නිමනකොට ආයි සැරයක් විපාක කඳක් මට ආයි සැරයක් වෙහෙසක් හදනවා. ඒ වෙහෙස නිවන්න මම හුස්ම අදිනවා. ඇදලා ගත්ත ගමන් විපාක කන්ද ආයි සැරයක් කුණු ගොඩක් ගෙනත් දාලා, මට අදින්න, ආපහු යවන්න. දැන් මම ප්‍රශ්වාස කරලා වාතයක් අහකට අරිනවා. නවත්තලා නෑ අර කුණු ගොඩ, ආයි සැරයක් ඉල්ලා හිටිනවා – ශුද්ධ වාතය ආපහු දියං, නැත්නම් රිදවනවා! ආපහු ඇදලා දෙනවා. මේ ටික අරං පලයං ආපහු – ගිහින් දාපං! අපිට අණ කරනවා. අර කාබන් ඩයොක්සයිඩ් ටික ගිහිං විසිකරනවා. ආ, ආපහු අරං වරෙන් හොඳ හරිය, අපි ගෙනත් දෙනවා. හා, මේ ටිකත් අරං පලයං! මුළු ජීව්ත කාලය තුළම අපෙන් වැඩගන්නවා නේද?” ඔය විපාක කඳ අපෙන් වැඩගන්න හැටි. “බෑ! ආ… බැයිනම් නිකාිටහංකො, බැයිනම් නිකාහිටහං!” දැන් මොනව කරන්නද? “අනේ, බෑ කියලා බෑ, අමාරුයි…” ඉතින් ආයි පටන්ගන්නවා වැඩේ.

 

ඉතින් මොකද කරන්නෙ? අපි මොකද කරන්නෙ, කුණු මෝලක කුණු ගෙනියන අයයි, අපි කසළ ශෝධකයො සුද්ධ කරලා දෙනවා වගේ ඔය දෙකනෙ කර කරා ඉන්නෙ. පපුවෙ තියෙන කුණු ගොඩ ගිහින් පිටට දානවා, පිටින් තියෙන ඒ වාතය ගෙනල්ලා ආපහු ඇදලා ගිහින් දෙනවා. අපි කියනවා “මං නං කාටවත් වහල් වෙලා නෑ!” කරලා තියෙන රස්සාව මොකද්ද, ජීවිතේටම කරලා තියෙන ලොකුම රස්සාව? කුණු අදින එක. ඕක නෙමෙයිද කරන්නෙ බලන්නකො. හරියට කුණු මැෂිමක කුණු අදින එකයි, කුණු මැසිමට සාත්තු කරන එකයිනෙ අපි කරන්නෙ. අපේ පළවෙනි කාරණය ඕක. ඕක නොකළොත් එහෙම ලොකු දඬුවම් හම්බවෙන්නෙ. “මම නම් හොඳ නිදහසේ ජීවත්වෙන්නෙ, මං කාටවත් යටත් නෑ, මගෙ තත්ත්වෙ මේකයි…” කියලා අපි කියනවා. අයිතිකාරයා මොකේද කියලා බලපුහම කුණු මැෂිමෙ අයිතිකාරයා. කුණු සෝදනවා, කුණු අදිනවා, කුණු සුද්ධ කරනවා, පෝෂණය කරනවා, තෙල් දානවා, ඔක්කොම කරනවා, ඒක නෙමේද කරන්නෙ?

 

දැන් මේක දුකක් කියලා ඇයි අපිට තේරෙන්නෙ නැත්තෙ? අපිට හරි ප්‍රියයි මේ කුණු ගොඩ. ඒ නිසාම අපිට අර දුක වැහිලා. මෙන්න මේ වගේ, හිතන එක, කියන එක, කරන එක, දැනුවත්ව ඉන්න එක, අපිට තේරුම්ගන්න බැරි වුනාට ලොකු උත්සාහයකින්, වෙහෙසකින් කරගෙන යන වැඩපිළිවෙලක්. මෙන්න මේ වැඩපිළිවෙල යම් හේතුවකින් නතර කරන්න පුළුවන් කමක් ලැබුණා නම්, ඒ වෙලාවෙ දකිනවා “දැං කොච්චර නිදහස්ද…, මං දැන් කොච්චර නිදහස්ද කලින් ට වඩා…! විශාල දුකක් විඳින වෙහෙසකාරී වැඩක් කරගෙන ගියා, දැන් මං ඒකෙන් නිදහස්ව ඉන්නෙ. සුවය කොච්චරද…!” ඕක එකින් එකට දකිනවා.

 

චතුර්ථධ්‍යානයෙන් එහාටයි ඕක දකින්න පටන්ගන්නෙ. ප්‍රඥා ගෝචර සමාධියක් තමයි “අරූප සමාධි” හතර. එකින් එකට අත්හැරගෙන යනකොට පේනවා උත්සාහයෙන්, වීර්‍යයෙන් මේ ලෝකෙ බලපු හැටි, අත්හැරපුහම ලබපු විශාල නිදහස. ඒක අත්දකිනකන්ම ඒ සුවය දකින්නෙ නෑ. ඒ නිදහස් සුවය අත්දකිනකොට දකිනවා අපි කොච්චර බරපතල විදිහෙ වෙහෙසකාරී වැඩකටද බැහැල තියෙන්නෙ මේ “ජීවත්වෙනවා” කියලා. මෙන්න මේක දකිනවා එතෙනදි.

 

බර කරත්තෙ ගමන් යන අර ආදි මිනිහට එක දවසක් වත් බෙන්ස් කාර් එකේ යන සුවය දකිනවද? නැත්නම් ඒකට ගැළපෙන උසස් වාහනයක, සුඛෝපභෝගී වාහනයක යන සුවය අහළකවත් ඒ මිනිහා දැකලා නැති නිසා, පයින් යන අතරෙ “නැගපං ඕකට බං, හරි ලේසියි, හරි හොඳයි, හොඳට යන්න පුළුවන් සන්තෝසෙන්” කියලා, උඩ පැන පැන ඌත් මොකක් හරි කිය කියා යනවා. “හනික යමං පුල්ලි ගොනෝ….” කිය කියා හරි උඩ පැන පැන එයත් යනවා. එනකොට මොකද වෙන්නෙ? ගලක් ගානෙ පස්ස තැලි තැලී මේ යන්නෙ. ඒ වුනාට පයින් යන මිනිහෙකුට වඩා හරි සුඛයෙන් ඉන්නවා, එයා හිතං ඉන්නවා “මගෙ ගමන කොච්චර සුවද?” හැබැයි එක දවසක් හරි ත්‍රීවීල් එකක ගියානම් එහෙම? “නොදකිං විතරක්! මං පස්ස තල තලා ගියානෙ මේ හරකා බැඳගත්තු කරත්තෙ… ඉතින් මේ යකඩ කූරු දාගෙන, යකඩ රිම් දාගෙන හදාගත්තු කරත්තෙක දඩි-බිඩි ගාලා, එහාට තැලෙනවා, මෙහාට තැලෙනවා, දැන් නෙව සුව!  ඊටපස්සෙ එයාට ත්‍රීවීල් එකක යන එක තමයි අර සුවය දැනෙන්නෙ. ඔහොම යනකොට අහුවෙනවා ටිකක් හොඳ කාර් එකක්. “නෙදකිං! ඔය ත්‍රීවීල් එක කියන්නෙ මොකද්ද? මේකනෙ සුවය!” එතෙන්ට කියනවා. තවත් සුඛෝපභෝගී වාහනයක් හොයනවා. ඔක්කොම වායුව පවා සුද්ධ කරලා, පිරිසිදු කරලා දෙන හොඳම වාහනයක්. ඒකෙ නැගලා ගියා, “මෙච්චරකල් ගියෙ මොකේද… මේකනෙ සුව!”

 

ඔය ක්‍රමේට, ඔය ක්‍රමයට අපි සුව දකිනවා වගේ, මේ කයෙන් අල්ලගෙන ඉන්න ඒවා අත්හැරපුහම ඒ ඒ මට්ටමට සුව දැකලා “ඊටවඩා කොච්චර සුවද මේක… ඊටවඩා කොච්චර සුවද මේක…” යම් යම් දවසක සුඛස්ථානය හොයාගෙන හොයාගෙන යනකොට, පැවැත්මෙ ඔක්කොම පැවැත්මට සම්බන්ධ වන්නාවූ සිතිවිලි, ක්‍රියා, වදන් අත්හැරලා, මානසිකත්වය අත්හැරලා නිදහස් වෙච්චි අවස්ථාවක් වුනොත්, “මෙන්න සුඛස්ථානය හොය හොයා ගියා, මෙන්න පැවැත්මේ තියෙන ඉහළම සුඛස්ථානය මට හම්බවුනා” කියලා එතනින් දකිනවා.

 

දැක්කට පස්සෙ එයාගෙන් ඇහුවොත් එහෙම “මොකටද නිරෝධ සමාපත්තියට සමවදින්නෙ?” කියලා, “මොනවා කරන්නද ඉතින්, උඹලට කිවුවට තේරෙනවැයි…!” ඉතින් කියන්න වෙන්නෙ ඒක. අත්හැරීමේ, නොඇල්මේ, මිදීමේ සුවය දැකලා අත්දැකපු කෙනාට, එයා දකිනවා මේ පැවැත්ම තුළ අනන්ත අප්‍රමාණ සංසාරෙ ආපු වෙහෙස. නිදහස් වුනහම, හැකිතරම් නිදහස් වීමේ උපරිමය මේ පැවැත්ම තුළ ඉඳගෙන, මෙන්න මෙතනයි.

 

ඔය තත්ත්වයේ තියෙන කර්ම ශක්තිය ක්‍රියාත්මක වීම මට නොදැනි සිද්ධවෙනවා මේ වෙලාවෙ, ඕකෙ සම්පූර්ණ කෙළවර කවදා හරි මේ ජීවිතයේ අවසානයේ කෙළවර කරපු දවසයි. එදයින් පස්සෙ ගතයි සිතයි පිළිබඳ තියෙන සියළුම දුක් ගැහැට ඉවරයි. ඊට එහා දුකෙන් නිදහස් වීමක් නෑ. උපරිම දුකෙන් නිදහස් වීම එදාට ලැබෙනවා කියලා එදා ඒ නිදහස බලාපොරොත්තුවෙන් “ආසන්න නිදහසේ” ඉන්නවා නිරෝධ සමාපත්තියට ලද වෙලාවට සමවැදිලා. උන්වහන්සේ ලබන්නාවූ නිදහස් සුවය තව කෙනෙකුට වචනයෙන් කියන්න වත්, සීමා කරන්නවත් පුළුවන් එකක් නෙමෙයි. විඳින සුවයක් නෙමෙයි, “සුවයි සුවයි” කියලා හිතාගෙන හිටපු වෙහෙස අත්හැරපුහම ලබන සුවය.

 

අපි මෙච්චර කල් සුවයි සුවයි කියලා ඉඳලා තියෙන්නෙ වෙහෙසකාරී වැඩ වලට, සුව දැකලා නැතුව. අත්හැරීමේ, නොඇල්මේ, මිදීමේ නියම සුවය මෙළොව අත්දැකීමෙන් උපරිමයට ලබනවා නිරෝධ සමාපත්තියට සමවැදිච්ච කෙනා. එතකොට නිරෝධ සමාපත්තිය කියන්නෙ අන්න එහෙම එකක්. ඉතින් ඕක කියන්න ගියොතින් කල් යනවා, ඒක තමයි වෙන්නෙ. මොකද දවසෙ වෙලාව මදිවෙනවා. ඉතින් ඒ නිසා ඕක අපි දැනගන්න ඔය ටිකෙන්. තව වස්ථාවකදි ඕන්නම් තව සමාධිය විස්තර කරනකොට බලාගන්න පුළුවන් වැඩි විස්තර.

 

 

~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~

 

දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://www.waharaka.com/listen/CD013-09