දේශනාවට කියවන ගමන් සවන් දෙන්න පහළින් ඇති Play ▶ බොත්තම ඔබන්න
{ 00:00 } : ලෝක ස්වභාවය දැක රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය කරන හැටි
මිනිහව උස්සලා තියන්න හරි වෙන මොකක්හරි උදව්වක් කරන්න යනකොට මරුවිකල්ලෙන් වගේ ඒ මිනිහට අතින් ගහනවා නම් පාරක්, කකුල දිහාවට හරි කොහෙටහරි වදින්න, මිනිහට රිදෙයි. අර රිදෙන මිනිහට තරහ තියෙනවද අර ගහපු කකුල කැඩිලා, ගහෙන් වැටිලා ඉන්න මිනිහගෙ, අර මරුවිකල්ලෙන් ගහපු මිනිහගෙ තරහ තියෙනවද? “මොනව කරන්නද ඒ මිනිහගෙ වේදනාව ඉවසගන්න බැරුව එහාට දඟලනවා, මෙහාට දඟලනවා, …(0:23 පැහැදිලි නැත)… මොකද කරන්න ඕනෙ? අමාරුයි තමයි. ඒ අමාරුවෙ හැටි ඔහොමනෙ…” ඉතින් ඔහොම කරලා අපි උදවුවක් දෙන්න බලනවා මිසක් අපිට ඕකට තවපාරක් ගහලා එනවා කියලා ගහනවද, අනික් කකුලත් කැඩෙන්න ගහනවද?
අන්න ඒ වෙලාවෙදි අපි දකිනවා එක දෙයක්. අනාථයාගේ අනාථකමයි, අනාථ මානසිකත්වයයි නිසා ඇතිවෙන ලක්ෂණයක් තමයි පොඩ්ඩක් ඇත්තම් රොස්-පරොස් බවට පත්වෙන එක. දරාගන්න බැරි ඇලීම නිසා අසහනයෙන් ඒ පස්සෙ හඹායනවා. සුළු ප්‍රශ්නයක් ආපුහම දරාගන්න බැරුව කෝප වෙනවා. මේ සසර ගමනේ යන සසර අනාථයාගේ, රෝගියාගේ හැටි එහෙමයි. ඒ වික්ෂිප්ත මානසිකත්වයේ හැටි ඒකයි. ඒ නිසා තමයි ඇලීමට හේතුකාර එයාට ලංවෙනවා දැක්කට පස්සෙ ඒ පස්සෙ මහා උද්දාම වෙලා හඹායන ගතිලක්ෂණයක් එනවා. ගැටීම් මාත්‍රයකට හේතු ආවහම ඒ මත්තෙ හැපෙනවා. මෙන්න මේක තමයි භව රෝගියාගේ ප්‍රධාන ලක්ෂණ දෙක. ඇලීමේ ලක්ෂණයයි ගැටීමේ ලක්ෂණයයි දෙක දකින හැටි.
ඉතින් ඒ භව රෝගීන් කෙරෙහි දයානුකම්පාවක් හටගන්නවා මිසක් ආර්ය තත්ත්වයට පත්වෙච්ච අය, ඒ උද්දාමය දැකලා තමුන් ඒ පස්සෙ උද්දාම වෙලා දඟලන්න නෑ. “මොනවා කරන්නද, කවදහරි තේරුම්ගත්ත දාට මේ නොවටිනා දෙයක් කෙරෙහි මහා උද්දාමයෙන් දඟලන මානසිකත්වයෙන් දුරුවෙලා යනවනෙ… අනේ ඒ තත්ත්වය කවදහරි මොහුට ලැබේවා!” සුළු දේකට මහත් සේ ගැටෙනකොට “අනේ මුළා වූ නිසා ඇත්ත තේරුම්ගන්න බැරි මේ ලෝකෙ, මුළාවෙන් මුළාවට පත්වෙලා යන ගමනක හැටි. කවදා හරි සත්‍යය තේරුම්අරගෙන ශාන්ත බවට පත්වෙන්න ඔහුට ලැබේවා! ලෝකෙ සත්‍යාවබෝධය කවදාහරි ලැබේවා!” කියලා මෙහෙම මෙත් සිතක් වැඩෙනවා. මෙන්න, ආර්යයන්ගේ මෛත්‍රියේ ස්වභාවය ඕකයි.
මෙන්න මේ ගුණයයි වැඩෙන්න ඕනෙ. ආං ඒක වැඩෙනකොට තමයි ආර්ය මෛත්‍රියක් වැඩිලා ඔය කියන “රාගක්ෂයෝ නිබ්බානං, ද්වේෂක්ෂයෝ නිබ්බානං, මෝහක්ෂයෝ නිබ්බානං” කියන එකෙන් නිවන් ශාන්තිය උදාවෙන්නෙ. දැන් නිවන් ශාන්තිය හැමවෙලේම දකින්න ඕනෑ, “මේ ලෝකෙ හදලා නිවන් දකිනවා” නෙවෙයි, නිවෙන්නෙ ලෝකෙ හදලා නෙවෙයි, ලෝකෙ හැටි දැනගෙන ලෝකෙට කම්පා නොවීමෙන්.
නමුත් අද නිවන් දකින්න හදන්නෙ, ගහන්නෙ නැති, බණින්නෙ නැති, හිංගි-හිංසා කරන්නෙ නැති සාන්තූවරු ඉන්න තැනක තමයි නිවන් සුවය තියෙන්නෙ කියලා, ඒ තැන් හොයාගෙන හැමතැනම ලෝකයා හඹායනවා. සුජාග්රිත වෙච්ච අය හොයනවා, සීලවන්තයො – ගුණවන්තයො හොයනවා ඇසුරු කරන්න. ඒ පස්සෙ හඹායනවා, ඒ පස්සෙ ගිහිල්ලා ඔන්න “ශාන්ත අය හරිම හොඳයි” කියලා එහෙම නිගමනයකට බහිනවා. පොඩ්ඩක් වැරදිච්ච ගමන් “එදා තිබිච්ච හොඳ අද නෑ! මං යනවා යන්න…” කියලා එතනින් පනිනවා. හොඳ අය හොයාගෙන යනවා, ඉතින් මෙතන හැමවෙලේම දැවිල්ලක්, ගැටිල්ලක් මිසක්, මේක නිවන් මඟ හෙවීමක් නෙමෙයි.
නිවන් මඟ හොයන්න දකින්න ඕනෙ “නොයෙක් ආකාර දුකට, කරදරයට, දාහයට පත්වෙන්නෙ, එබඳු දෙයක් තමයි මේ ලෝකෙ කියන්නෙ. ජරාවෙන් තොර, ව්‍යාධියෙන් තොර, මරණයෙන් තොර, ශෝකයෙන්, පරිදේවයෙන්, දුකෙන්, දොම්නසින්, උපායාසයෙන් මිදිලා ඉන්න ඊට ගැළපෙන ලෝකයක් මේ ලෝකෙ තුළ නෑ. ලෝකෙ බදන්න ගියොත්, ලෝකෙ හොයන්න ගියොත් හම්බවෙන්නෙ ජරාවට, ව්‍යාධියට, මරණයට පත්වෙන, කැමති සේ නොපවතින ධර්මතාවයන්ට ගොදුරුවෙන දේ මිසක් අපිට ඕනේ හැටියට පවතින එකක් නම් ඒක ලෝකෙ නෙමෙයි. ලෝකෙ එහෙම එකක් නෑ”.
අන්න, ලෝක ධර්මතාවය හරියට දැක්ක දාට ලෝකය කෙරෙහි කම්පාවට පත්වෙන්නෙ නෑ. එදාට දකිනවා “එබඳු ලෝකයා කෙරෙහි මං මොනවා කරන්නද? යථාර්තය දැක්ක මට නම් කම්පා නෑ. අනේ අනික් අයත් ඒ යථාර්තයට ආවා නම්…! ඒ අයත් කොච්චර ශාන්ත වෙයිද? එදාට මේ මහා ගින්නෙන් ඒගොල්ලොත් මිදෙනවනේ!” මෙන්න මේ දයානුකම්පිත අදහස එන්නෙ ඔන්න ඔතෙන්ට ආවට පස්සෙ. එතකොට තමයි පතුරුවන්න තියෙන්නෙ ලෝක සත්ත්වයාට “මේ දුක් ගිණි, දාහයන්ගෙන් මිදිලා, නිවන් ශාන්තිය උදාවේවා!” කියලා පතන්නෙ ඒකයි. ඉතින් ඒ ක්‍රමයට දකින්න ඕනෙ. රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය කරන ක්‍රමය.
{ 04:23 } : චුල්ල සෝතාපන්න තත්ත්වය සහ සෝතාපන්න ඵලය පිළිබඳව…
“චුල්ල සෝතාපන්නයකුගේ නැතිවන දෙය කුමක්ද?” කියලා අහනවා. “චුල්ල සෝතාපන්නයකු නැවත සතර අපාගත විය හැකිද?”
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “මාතලී, ශ්‍රද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් පිහිටියා නම් යමෙකුට, ඔහු අපාගත වෙන්නෙ නෑ. අපාගතවෙන්න ඒත් හේතු නෑ.” {{ දුතිය සරකානි සුත්තං }} එහෙනම් චුල්ල සෝතාපන්නයෙක් කියන්නෙ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඒකාන්තයෙන් ශ්‍රද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් පිහිටපු කෙනෙක්, ධර්මය දැකපු කෙනෙක්. ඒ ධර්මයේ ලැබූ දේ පිළිබඳව හරියට උපාධිදාරී විභාගෙට ඉගෙනගෙන ඔක්කොම ඉවරයි, ගිහිල්ලා විභාගෙට පෙනී සිටලා සහතිකේ හම්බුනේ නැතුවා වගේ. පොඩි වෙනසයි තියෙන්නෙ. විමුක්තිය කරා යාමට අවශ්‍යය කරන මූලධර්මයට පත්වෙලා නෑ. ඒ කියන්නෙ අවශ්‍යය කරන තැනට අඩිය ගහලා නෑ. “නැවත ආපහු එන්නෙ නැතුව ගලාගෙන ගිහිල්ලා විමුක්තිය කරා යනවා” කියන යම්කිසි තැනක් තියෙනවා නම්, අන්න එතන පූර්ණය කරගන්න අවශ්‍යය තැනට සකස් වෙලා නෑ. හැබැයි ආපහු නොවැටෙන තත්ත්වයට සකස් වෙලා. දුගතියට නොවැටෙන තත්ත්වයට මනස සකස් වෙලා. නිවනට කොටුවෙලා, නිවනට ගෝචර වෙලා, අරිහත් ඵලයෙන් කෙළවර කිරීම කරා යන මඟට තවත් ගිහිල්ලා නෑ. ඒක තමයි තියෙන්නෙ.
එහෙනම් “චුල්ල සෝතාපන්න” කියන තත්ත්වයට පත්වෙන කෙනෙක්ට, මනස වැඩිච්ච කෙනෙක්ට, ධර්මාවබෝධයක් තියෙනවා. ඒ මූල ධර්මාවබෝධය නිසා කවදාවත් සතර අපාගත වීමට හේතුවෙන පාපකර්ම කරන්න තිබිච්චි ඉඩකඩ ඇහිරිලා ගියා. ඒ ධර්මය තුළින් ඔහු ආරක්ෂා වෙලා, ඔහු දුගතියට යන්නෙ නෑ. සුගතිගාමීව කටයුතු කරමින් කවදහරි ඔහුට පරිසරයක් හම්බෙනවා සම්‍යක්දෘෂ්ඨික පරිසරයක ඉපදීමට, මාර්ග-ඵල ලාභී හෝ එහෙම නැත්නම් ලොවුතුරා බුදුරජාණන් වහන්සේලා හෝ හමුවෙලා එබඳු තැනකදි බණ පදයක් අහන්න අවශ්‍යය කරන පරිසරයට ඒකාන්තයෙන් ඔහු ගොදුරුවෙනවා කවදාහරි. එතනින් ඒ චුල්ල සෝතාපන්න තත්ත්වය ඉක්ම ගිහිල්ලා මාර්ග-ඵල අවබෝධ කරගෙන සසර ගමන ඉවර කරගන්නවා. ඔහු අතරමං වෙන කෙනෙක් නෙමෙයි.
වෙනස තියෙන්නෙ සෝතාපන්න වූ තැන් පටන් යම්කිසි ක්ලේෂයක් සහමුළින් සිඳී ගියාද, ඒ සිඳීගිය තැන් පටන්ගෙන නැවතත් ආපහු පෘතග්ජන ගෝත්‍රය ඉක්මවන තැනට ආවෙ නෑ. පෘතග්ජන ගෝත්‍රයට වැටෙන තැනට ආවෙ නෑ, ආර්ය ගෝත්‍රයට ස්ථිරව බැහැගත්තා නම්. නැවත ඔහුගෙන් පෘතග්ජන විදිහෙ ගතිලක්ෂණ, වැඩ කෙරෙන්නෙ නෑ. ඒකයි ඒ තියෙන වෙනස.
යම්කිසි තැනකින්, සෝවාන් ඵලයට පත්වෙච්චි කෙනා අද මේ මනුස්ස ධර්මය හොඳයි කියන තැනක හිටියා නම්, මනුස්ස සංඛාර වඩමින් හිටියා නම්, ඒක සුගති සංඛාරයක් වුනාට, හෙට එයා ඉන්නෙ එතන නෙමෙයි. “අනේ, මනුස්සයෙක් වෙලා ඉන්න එක හොඳයි කියලා කිවුවට, මේ මේ කරදර ඒකෙත් තියෙනවනෙ…” අදට වැඩිය හෙට දකිනවා. තව දවසකින්-දෙකකින් හෝ මාසෙකින්-දෙකකින් හෝ අවුරුද්දකින්-දෙකකින් ගැන කල්පණා කරලා බැලුවොත්, ඒ අවුරුද්දකට ඉස්සෙල්ලා තිබුණ අදහස මොකද්ද මනුස්සයෙක් හැටියට ජීවත්වෙන්න ගත්ත, අන්න ඒ කාරණා “මට හිතුණත් දැන් අනිත් පිරිසත් එක්කලා එකතුවෙලා තවත් ජීවත්වෙන්න තිබුණා නම් හොඳයි කියලා, දැන් නම් මට තේරෙනවා ඒගොල්ලන්ටත් නිවන් මඟක් පාදගන්න කියලා, මං ටිකක් ඈත්වෙන එක හොඳයි කියලා.” අන්න වෙනස ඒක.
ඊටපස්සෙ මොකද කරන්නෙ තවත් ටිකක් කල් යනකොට? “මනුස්සව ජීවත්වෙලා ඉන්නෙ මනුස්සයන් ඇසුරෙ ඉඳගෙන නේ, අන්න ඒක නිසා ඇලීම්, ගැටීම්, මුළා සහගත වැඩකදි, ඒ ගින්නෙන් අහක්වෙන්න තැනක් නෙමෙයි. මේ මේ ආකාර වල දුක් ආදීනව විඳින්න සිද්ධවෙනවා මේ මනුස්සයො අතර. මට නම් වැඩක් නෑ මනුස්සයො අතර මින් මතුවට ඉඳලා වත්. ඒ මනුස්සයොත් එක්ක එකතුවෙලා කරන්නාවූ කටයුතු මට ප්‍රිය කරන්නෙ නෑ…” ඒ මට්ටමට වැටිලා. ඔහොම වැඩීමක් තියෙනවා. ඊටපස්සෙ එයාගෙ හිතේ තියෙනවා දෙවියන් ගැන. දෙවියන් අතරත් ඝට්ටන දකිනවා. ඒ කෙරෙහිත් කළකිරෙනවා. බ්‍රහ්මයන් කෙරෙහි හිටිනවා. ඔය ඔය ක්‍රමයට උඩින් ඉහළට ගිහිල්ලා ගිහිල්ලා “තුන් ලෝකයේ කොතනවත් මට පැවැත්මේ වැඩක් නෑ” කියපු දවසට අරිහත් ඵලය. එදාට ගමන ඉවරයි.
අන්න එහෙම ඒ අවසානයක මුළ, අවසාන වෙන ගමනක ආරම්භය, පටන්ගත්ත තැන, ස්ථිර වුන තැන තමයි සෝවාන් ඵලය. චුල්ල සෝතාපන්න කියන්නෙත් ඒ උතුම් දහම් ගුණය කැඩෙන්නෙ නැති තත්ත්වයට හිතට ආවට පස්සෙ සතර අපා දුගතියට ගෙනියන්නෙ නැති තරමට දරාගෙන ඉන්න ඵලයක් තියෙනවා, දහම් ඵලයක්. සතර අපායට වට්ටවන්නෙ නැහැ, නමුත් පැවැත්ම කෙළවර කරන තැනට මුළපිරුවෙ නෑ. අන්න ඒකයි චුල්ල සෝතාපන්නයා සහ සෝතාපන්නයාගෙ වෙනස.
සකායදිට්ඨි, විචිකිච්චා, සීලබ්බතපරාමාස කියන මේ දහම් තුන සම්පූර්ණයෙන් බිඳිලා ගිහිල්ලා තියෙන්නෙ සෝතාපන්න අවස්ථාව ලැබුණහම. අනික් කෙනා ඒවා පිළිබඳව ඒවයෙ “අනුමාන ඥානය” තියෙනවා. අනුමාන ඥානය තුළින් අත්දැකීමට පත්වුනේ නෑ. අන්න ඒකයි වෙනස. අනුමාන ඥානයකින් ඉන්න පුද්ගලයත්, ඒ දහම් අනුමානයෙන් දැක්ක කෙනාට සතර අපාගත වෙන පාපයකට වැටෙන්න තරම් ඒ පාප බලවත් නෑ. එහෙනම් සතර අපායෙන් නිදහස් මාර්ගයක් එයාට ලැබෙනවා.
{ 09:29 } : රහතන් වහන්සේ නමක් හඳුනා ගැනීමට ගිහියන්ට පුළුවන්ද ?
මේ “ඡබ්බිසෝධන සූත්‍රයේ” රහතන් වහන්සේ කෙනෙක් හඳුනාගන්නා අයුරු දක්වා ඇත. මේ සූත්‍ර නම් ඉතින් හුඟාක් තියෙනවා මේ කෙළවරක් නැති සූත්‍ර. ඉතින් අහවල් සූත්‍රය කියලා එකක් නියම කරන්න බෑ. නමුත් රහතන් වහන්සේ කෙනෙක් පිළිබඳව හඳුනාගැනීමේ හැකියාවක් යම්කිසි කෙනෙකුට තියෙනවනම්, රහතන් වහන්සේ නමක් හඳුනාගැනීමට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනාවක් කරනවා.
“යම්කිසි කෙනෙක් ක්‍රියාවෙන් සහ වචනයෙන් හඳුනාගන්න ඕනෙ. හැබැයි ක්‍රියාවෙන්, වචනයෙන් හැරෙන්න හඳුනාගන්න ක්‍රමයක් නෑ. හැබැයි ඒ ක්‍රියාවෙන්, වචනයෙන් හඳුනාගන්න කෙනා හදිස්සිවෙලා කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. බොහෝ කාලයක් ඇසුරු කරලා, බොහෝ කාලයක් ලඟ ඇසුරකින් ඔහු පිළිබඳ විමර්ශනයකින් ඒක කරන්න ඕනෙ. ඒ තුළින් කරලයි ඔහු කෙබඳු කෙනෙක්ද කියලා හඳුනාගන්න පුළුවන්.”
අනික් කාරණය, රහතන් වහන්සේ නමක් හඳුනාගැනීමට නම් ඒ බලය අත්දැක්ක තව කෙනෙක් වෙන්න ඕනෙ. චේතෝපරිය ඥානයක් ඇති තවත් අරිහතුන් වහන්සේ නමක් හිටියා නම්, අරිහත්වයට පත්වෙච්ච කෙනෙක් හිටියා නම්, උන්වහන්සේ ඒ අත්දැකීම ඇති නිසා එබඳු මානසිකත්වයක් ඇති තව කෙනෙක් දැක්කහම ඒ ඥානයෙන් හිතට හිත යොමුකරලා බලනවා, දැනගන්නවා “මෙන්න මේ ගුණයට පත්වෙච්චි කෙනෙක් මේ ඉන්නෙ” කියලා. එහෙම දැනගන්න පුළුවන්.
පල්ලෙහා ඉන්න කෙනෙකුට, උඩහා ඉන්න කෙනෙකුගෙ තියෙන්නාවූ මානසිකත්වය දකින්න දත්තයක් නැති නිසා, සාමාන්‍ය පෘතග්ජනයෙකුට කොහොමවත්ම දකින්න පුළුවන්කමක් නෑ ඒ ඉන්නෙ රහතන් වහන්සේ නමක් කියලා. එහෙම දැකගන්න දක්ෂතාවයක්, නුවණක් නෑ. ඒ දත්තය ඔහුට පිහිටන්නෙ නෑ. වෙන දෙයක් තියා සීලවන්ත, ගුණවන්ත භික්ෂූණ් වහන්සේලා හොයන්න, හොයලා අපි දන් දෙනවා කියලා එක්තරා මනුස්සයෙක් කියනකොට, බුදුරජාණන් වහන්සේ ඒ මනුස්සයගෙන් අහනවා, “රන් රිදී, මසු කහවනු පරිහරණය කරන, අඹු දරුවන් පෝෂණය කරන, මේ ගෘහ වාසයක ජීවත්වෙන ඔබ කොහොමද භික්ෂූණ් සිල්වත්ද දුසිල්වත්ද කියලා නිගමනය කරන දත්තය මොකද්ද ඔබේ? ඔබට එහෙම කරන්න පුළුවන්කමක් නෑ. එහෙම හැකියාවක් නෑ. ඔබ කියන්නකො, කොහොමද හොයන්නෙ?”
“සාමාන්‍යයෙන් ආරණ්‍යයේ ජීවත්වෙන, පාංශුකූල චීවර දරන, පිණ්ඩපාතයෙන් ජීවත්වෙන, මෙන්න මෙහෙම භික්ෂූණ් වහන්සේලා තමයි මම සිල්වන්ත, ගුණවන්ත භික්ෂූණ් හැටියට තෝරලා තියෙන්නෙ…”
බුදුරජාණන් වහන්සේ පෙන්නනවා “මං ඒකනෙ කිවුවෙ, සීලවන්තයො, ගුණවන්තයො තෝරගන්න හැකියාවක් රන් රිදී, මසු කහවනු පරිහරණය කරමින්, අඹු දරුවන් පෝෂණය කරමින්, ගිහි වතක කටයුතු කරමින් ඉන්න ඔබලට කොහොමද ලැබෙන්නෙ කියලා මං කිවුවෙ ඒකනෙ…”
“සමහර පුද්ගලයො ඉන්නවා, අරණ්‍යයේ ජීවත්වෙනවා, පාංශුකූල දරනවා, පිණ්ඩපාතිකව ජීවත්වෙනවා. හැබැයි අභ්‍යන්තරය රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කසළයි, කිළිටියි. සමහර පුද්ගලයො ඉන්නවා පට සිවුරු දරනවා, ග්‍රාමීය පරිසරයෙන් දෙන ආහාරයෙන් ජීවත්වෙනවා, ඒ හැම දෙයක්ම තියෙනව. හැබැයි රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කිළිටි වෙලා නෑ අභ්‍යන්තරය. පිටින් පේන දේකින් ඔබ කොහොමද සිල් – දුසිල් මණින්නෙ? මානවකය, ඒ නිසා සංඝයා උදෙසා කියලා දන් දෙන්න, පුද්ගලිකව තෝරන්න යන්න එපා. සංඝයා උදෙසා දන් දුන්න ඔබට සංඝයා උදෙසා දන් දුන්න පින තියෙනවා. ඒ චිත්ත ප්‍රසාදය නිසා ඔබට බලාපොරොත්තුවෙන යහපත සිද්ධ වෙනවා. ඔබ සංඝයා උදෙසා දන් දෙන්න.” {{ දාරුකම්මික සුත්තං }} සංඝයා දැනගන්න ඕනෙ සංඝ වෙලා, සඟ දෙන දේ වළඳන්න. ඒකෙ ප්‍රශ්නෙ තියෙන්නෙ අර මනුස්සයගෙ නෙමෙයි, සංඝයාගෙ. දුසිල්ව ඉඳගෙන වැළඳුවොත් ඒ මනුස්සයට නෙමෙයි ප්‍රශ්නෙ තියෙන්නෙ, සංඝයා වහන්සේට ඒකෙ විපාකය විඳින්න සිද්ධවෙනවා.
ඉතින් එතකොට ඒ නිසා ඒක දැනගන්න පුළුවන්කමක් නෑ අනික් කෙනෙකුට. යම්කිසි කෙනෙක් ධර්මය දැනගත්තා නම් ධර්මය තුළින් අනුමාන කරන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම ශක්තියක් නැති අයට ඒවා හොයන ක්‍රම. ඒ තැනැත්තාගෙන් ඇසිය යුතු ප්‍රශ්න ක්‍රමයක් තියෙනවා. ස්කන්ධ පිළිබඳව, ධාතු පිළිබඳව, ආයතන පිළිබඳව, පටිච්ච සමුප්පාද පිළිබඳව, මේ ආකාරයෙන් එයාගෙන් අහන ප්‍රශ්න වලට, එවාට එයාගේ දත්තයන් තුළින් එයා පිළිතුරු දෙන ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ විදිහට පිළිතුරු දෙන ක්‍රමය තුළින් දැනගන්නවා “මෙයා අවබෝධයෙන් පිළිතුරු දෙන්නෙ, මේ මානසිකත්වය තිබෙන නිසයි. යම් කෙනෙක් කළයුතු සියල්ල කරලා ඉවරයි, බ්‍රහ්මචරියාව පූර්ණය කළා, මතු මට කරන්න දෙයක් නෑ කියලා දැනගත්තා කියලා භික්ෂූණ් ඉදිරියේ අරිහත් ඵලය ප්‍රකාශ කරන්න පුළුවන්, යම් භික්ෂුවක්. එහෙම කිවුවොත්, ඒක අහක දාන්නත් එපා කියපු එක, පිළිගන්නත් එපා. එයාගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්න කරන්න” කියලා ඔය හය ආකාරයක විස්තරයක් එයාගෙන් අහනකොට එයා දෙන පිළිතුරු මාලාව අහලා බලනවා. අන්න ඒක ධර්මානුකූලව ගැලපිලා තියෙනවා නම්, “ඒ අවබෝධය ඔහුට තියෙන නිසයි ඔහු ඒක කියන්නෙ, ඔහු ආවට ගියාට රැවටිලා අදහසක් කියන කෙනෙක් නෙවෙයි” කියලා ඔහුගේ ඵලය පිළිබඳව සම්මුතියකට, තීරණයකට බහින්න” කියනවා. {{ ඡබ්බිසොධන සුත්තං }}
ඉතින් ඒ ක්‍රම වෙනයි, ඒවා ගැඹුරු ක්‍රම. භික්ෂූණ් වහන්සේලා අතර ඒවා තෝරාගැනීම සඳහා දුන්න දහම් ක්‍රම තියෙනවා. ස්කන්ධ පිළිබඳ දැනුමක් තියෙනවද බලන්න, ධාතු, ආයතන පිළිබඳ, පටිච්ච සමුප්පාද, ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව, ඒ ඒ පිළිබඳව ඔහු තුළින් දෙන්නාවූ අදහස්, ඔහු කියන එක තෝරලා දෙන හැටි, විග්රහ කරනකොට එහි නියම අදහස ඔහුට අවබෝධය තිබුණා නම්, ඒ තුළින් ඒ පිළිතුරු හරියට දෙනවා. ඒ නිසා තවත් ධර්මධර් වූ එබඳු ගැළපෙන කෙනෙක් විසින් ඕනෙ ඒක කරන්න. ඒක මේ වටේ පිටේ ඉන්න ඔක්කොටම එහෙම ප්‍රශ්න කරලා ඒවා තීරණය කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි අරිහතුන් වහන්සේගේ ස්වභාවය තීරණය කරන්නෙ.
ඉතින් මේක තෝරන්න කියන්නෙ, අපි මොකටද තෝරගන්න යන්නෙ? මොනවා කරගන්නද? කෙනෙක් අරිහත් වෙලා ඇත්ද කියන එක නෙමෙයි අපිට ඕනෙ බලන්න, “නිවන් දකින මාර්ගය මට ලැබුණද නැද්ද?” කියන එක. නිවන් දකින මාර්ගය තමන්ට ලැබුණා නම් තමන්ටම නිවෙනවා, සැනසෙනවා, ඒ තුළින් පේන්න පටන්ගන්නවා. දවසෙන් දවස, මොහොතෙන් මොහොත නිවෙන හැටි, සැනසෙන හැටි තමන්ට වැටහෙන්න පටන්ගන්නවා. එතන කිසි සැකයක් නෑ. ඒ මාර්ගය තුළින් ඒ ලැබීම තමන්ටම පේනකොට, වැටහෙනකොට, සංදිට්ඨිකව ලැබෙනකොට, ඒ ඒ මොහොතේ තමන්ට තේරෙනවා ඉතින් මාර්ගය හරි කියලා. ඉතින් අනුන්ගෙ බලයක් ගැන කතාකරලා හොයන එක, ඒක මාර්ගය නෙමෙයි නේ. මට අයිති මාර්ගය නම් මේ මම ඇසුරු කරන රාගක්ෂයට, ද්වේෂක්ෂයට, මෝහක්ෂයට මම ඇසුරු කරන ක්‍රමයෙ ඇද පළුද්දක් නැත්නම්, ඒක හරි බව වැටහෙනවා නම්, අනුගමනය කරන තරමට ප්‍රතිඵල ලැබෙන බවත් පේනවා නම්, ඉතින් මට අනුන්ගෙ ප්‍රශ්නයක් නෑ, මට තියෙන්නෙ මගෙ වැඩේ කරගන්න. ඉතින් අනුන් මොනවා කිවුවහම මගෙ මොකද? “මෙයා රහතන් වහන්සේ” කිවුවත්, මෙයා “සිවුපිළිසිඹියා මහරහතන් වහන්සේ නමක්” කිවුවත් මට අමුත්තක් වෙන්න එකක් යෑ, මට හැදෙනවැයි ඒක?
එහෙම අනුන්ගේ කියමනකට විශ්වාස කරගෙන ඉන්නවයි කියලා කියන්නෙ ඒක එක්තරා තව දෘෂ්ටිය මත ඇලිලා තියෙන එකක්. සැකය වත් ඇරිලා නෑ නෙ එහෙනම්. දහම් පිළිබඳ සැක ඇරෙනෙ, එක එක්කෙනා කියන එක අහලා වෙනස් වෙනවා නම් දහම් සැක ඇරිලා නෑ. ධර්මය, ධර්මය හැටියට තමන්ට හරි ආකාරව වැටහුණා නම් එයාට කෙළින්ම පෙන්නන්න පුළුවන් “මෙන්න මේ හේතුවටයි මේ සැක කරන්න හේතු නෑ කියන්නෙ…” එල්බගන්න පුද්ගලයොත් ඉන්නවා. මොනවාහරි අල්ලගෙන, “ධර්මය ගැන සැකයක් නෑ ඵල ලැබූ කෙනාට” කියන වචනය අහලා “මං අල්ලගත්ත ක්‍රමයට මට එහෙම සැකයක් නෑ, කවුරු මොනවා කිවුවත් මං ඒක අත්හරින්නෙ නෑ” එහෙම කියන්න පුළුවන්. සැක නෑ කියන්නෙ එහෙම නෙමෙයි, හේතු-ඵල ඇතුව කියන්න පුළුවන් “මෙන්න මේකයි මේ සැක නැතිවෙන්න හේතුව, මෙහෙමයි මේ හේතු-ඵල න්‍යාය. මෙන්න මේ න්‍යායෙන් ලැබෙන්නෙ නැද්ද බලන්න, හිතලා බලන්න” අන්න එහෙම කියන්න පුළුවන්කමක් තියෙන්න ඕනෙ.
ධර්ම න්‍යාය හරියට දන්නවා නම්, එයාට ධර්මය කෙරෙහි සැක කරන්න දෙයක් නෑ. නැතුව එක එක දෘෂ්ටි, ලබ්ධි අල්ලගත්ත අය, “මළත් මං ඕක වෙනස් කරන්නෙ නෑ!” කියන අය ඉන්නවා. ඕකට, මැරුණත් වෙනස් කරන්නෙ නැතුවට එයා ධර්මය අවබෝධ කළා නෙමෙයි. “මැරුණත් යූ ඇන් පී, මැරුණත් ශ්‍රී ලංකා, බෙල්ල කැපුවත් එච්චරයි මමනං…” කියන අයත් ඉන්නවා, ඉතින් උන්ට ඒක හරිගිහිල්ලා යෑ? ඒ පක්ෂ වල කියන ප්‍රතිපත්ති කියන එකවත් දැනගෙන යෑ කතාකරන්නෙ? එහෙමත් නෑ නෙ. ඕවා දෘෂ්ටි වලින් කතාකරන්නෙ. ඒවගේ පුද්ගලයො ඉන්නවා. “මම නම් බෙල්ල කැපුවත් මම නම් බුද්ධාගමේ මිසක් වෙන ඒවට යන්නෙ නෑ” තව කට්ටියක් ඔහොමයි. “අපි නියම බෞද්ධයො, පරම්පරාවෙන් බෞද්ධයො…!” එහෙමත් කියනවා.
මේවා එකක්වත් බුදු දහමේ බෞද්ධත්වයට පත්වුනා කියන එක නෙවෙයි, ඕවා එක එක දෘෂ්ටි වලින් දැඩිව අල්ලගෙන, බැඳගෙන ඉන්නවා. හොඳ දේත් අල්ලන්න පුළුවන්, නරක දේත් අල්ලන්න පුළුවන්. හැබැයි හොඳ දෙයක් අල්ලගත්තොත් ඒකෙන් ඔහුට නරකක් වෙන්නෙ නෑ. ඒ දැඩිව අල්ලගත්තත්, අල්ලගත්තෙ හොඳ දෙයක් නම්. ඒක දකින්න ඕනෙ.
ඉතින් අපිට අවශ්‍යය වෙන්නෙ අරිහත්වයට පත්වෙන එකක් තිබේනම්, අරිහත් මාර්ගය තේරුම්ගත්තට පස්සෙ, ඒ ගැන සැක නැතිවුනාට පස්සෙ, දැන් අපේ කොටස අපිට ඉතුරුවෙලා තියෙනවා, ආර්යයන්ගෙ කොටස ආර්යයන්ට ඉතුරුවෙනවා. ඉතුරුවෙලා තියෙන්නෙ පිළිපදින කොටස. පිළිපදින කොටස පිළිපැදලා සම්පූර්ණ කරගත්තහම අත්දැකීම් කොටස තමන්ට ලැබෙනවා. ඉතින් මොනවද ඊටවඩා තව කියන්න පුළුවන්? ඊටපස්සෙ කවුරු කොහොම වුනත් කමක් නෑ. අමුතුවෙන් හොයන්න දෙයක් අවශ්‍යය වෙන්නෙ නෑ. එහෙම කිවුවයි කියලා වැටහෙන එකකුත් නෙමෙයි.
{ 19:05 } : මරණය, චුතිය සහ මරණාසන්න මොහොත ගැන පැහැදිලිව දැනගනිමු
මේ තව එකක් තියෙනවා. මරණයේදී ඇතිවෙන සිතිවිලි අනුව – චුති සිත, අප නැවත ඉපදේ, චුති සිතෙන් කියන එකයි ඒ අහන්නෙ. අප නැවත ඉපදෙන්නෙ… ඒ ගැන විස්තරයක් ඉල්ලා හිටිනවා.
“මරණයේදී ඇතිවෙන සිතිවිලි” කියනකොට මෙතනින් අපි දැනගන්න ඕනෙ, මේ “මරණ” කියන්නෙ මොන මොන විදිහෙ මරණ තියෙනවද? කෙනෙක් මැරෙනකොට හතර ආකාරයකින් මරණය සිද්ධවෙනවා, ආකාර හතරෙන් එකකින්. “කර්මක්ෂය මරණය” කියලා එකක් තියෙනවා. දැන් මනුස්සයෙක් වෙලා ඉපදිලා ඉන්න කෙනෙක් මේ මිනිස් ජීවිතයක් ගතකරන්න යම්කිසි උපතේදී යම් කර්ම ශක්තියක් අඩංගු වෙනවා. අඩංගු වෙච්ච කර්ම ශක්තිය යම් තරම් දුරට පවතිනවද, අන්න ඒ තාක් දුරට මේ කර්ම ශක්තිය පැවතිලා කෙළවර වුනොත් එහෙම, අපි තරුණ කාලෙදි කෙළවර වෙන්න පුළුවන්, මැදි වයසෙදි කෙළවර වෙන්නත් පුළුවන්, ළමා වයසෙදි කෙළවර වෙන්නත් පුළුවන්. ඒ ගෙනාපු කාල ශක්තිය ඉවරනම්, තරුණ කාලෙදි ඒ ශක්තිය ඉවර වුනා නම් ඕකට කොහොමවත් තව එයින් එහාට ජීවත්වෙන්න බෑ. අන්න එයාට මැරෙන්න සිද්ධවෙනවා. හිටපු ගමන් හෘදය වස්තුව නැවතිලා හරි මැරෙනවා. අපි කියනවා “නහරයක් පුපුරලා මළා, හෘදය නැවතිලා දුර්වලතාවයක් ඇතිවෙලා එහෙම එකක් වුනා කියන්න පුළුවන්.
අන්න, කර්මක්ෂය වුනාම බොහෝකොටම වෙන්නෙ මොකද්ද, හෘදය දුර්වල වීමෙන් මරණයට පත්වෙනවා. තව ජීවත්වෙනවා නම් ඒ කාලෙ, කර්මය තිබුණා නම් තව කාලයක් ජීවත්වෙන්න තිබුණා, අවුරුදු හැට හැත්තෑවක් හරි ජීවත්වෙන්න ඉඩ තිබුණා ඒ කය දරාගෙන.
තව කෙනෙක් ඉන්නවා, කර්ම බලවේගය තියෙනවා තව එක්කෙනෙක් ජීවත් කරන්න, නමුත් මේ සත්ත්වයෙක් වශයෙන් හටගත්ත ශරීරයට ආයුෂයක් නෑ, ආයුරෝග. මේ ශරීරයේ පැවැත්මට, ශරීරයට අවශ්‍යය වෙච්ච කාය ශක්තිය, නැත්නම් ප්‍රතිශක්තිය, මේවයෙ දුර්වල වීමක් නිසා අර වයසට ගිහිල්ලා කර්ම ශක්තිය තියෙද්දි මැරෙන්න සිද්ධවෙනවා කය දුර්වල නිසා, කය පවත්වන්න බැරි නිසා. එතකොට මේකට කියනවා “ආයුක්ඛය මරණය”. ගෙවන්න තියෙන ආයුෂ ගෙවුනා, කර්මය තව තියෙනවා.
තව එකක් තියෙනවා, මරණයක් “උභයක්ඛ මරණ” කියලා. ඒ කියන්නෙ දැන් මිනිස් ආයුෂ ගෙවන්න තියෙනවා, වයස ඉන්නවා අවුරුදු අසූවක්, අනූවක් ගිහිල්ලා, දැන් මේ කය පවත්වන්න තියෙන ආයුෂත් ඉවරයි, කර්ම ශක්තියත් ඉවරයි. මිනිස් කයක් තුළ ගෙනාපු කර්ම ශක්තිය ඉවරයි. මේ දෙකම එකට ඉවරවුනා නම් ඒ මරණයට කියනවා “උභයක්ඛ මරණ”.
ජීවිතය පවත්වනවා නම් පවත්වන්නත් කල් තිබුණා, කර්ම ශක්තියත් තියෙනවා, හදිසියෙ ගහකින් වැටුණා, ඇක්සිඩන්ට් එකක් වුනා, බෝම්බයක් පිපුරුවා – ඕකට අහුවුනා, ඔය ජාතියෙ එකක්, ඕකට කියනවා “උපච්ඡේදක මරණ”.
මේ සතර අවස්ථාවෙන් චුති චිත්තයක් හටගන්නවා නම් ඔන්න ඔය කර්මක්ෂය හෝ උභයක්ෂය වෙච්ච වෙලාවකයි. යම් කෙනෙක් මරණාසන්නයේ කර්මක්ෂය වෙලා නම් මැරෙන්න යන්නෙ, එයා තව තරුණයි වයසින්; හැබැයි දැන් කර්මය ඉවරයි. ජීවිතය පවත්වාගෙන යන්න ගෙනාපු කර්ම ශක්තිය කෙළවර නම්, අන්න එයාට අන්තිමට මරණාසන්න චුති චිත්තයක් පහලවෙන අවස්ථාවක් දකිනවා. වයසත් ගෙවිලා ගිහිල්ලා, කර්ම ශක්තියත් ගෙවිලා ගිය වෙලාවෙ මරණාසන්න වෙනකොට, ඔය කියන උභයක්ඛය මරණය ආපු වෙලාවෙ අන්න එයාගෙත් අවසානයේදී චුති චිත්තයක් හටගැනීමට අවසන් චිත්ත වීථියක් පහලවෙන එක වෙනවා.
ඔයිට අමතරව තියෙන අර ආයුක්ඛය මරණය වුනා, කර්මක්ෂය වෙලා නැත්නම් එයාට, අර උපච්ඡේදක මරණ කියන හදිසි ඇක්සිඩන්ට් එකක් වැනි දෙයකදි, බෝම්බ කම්පණයක් තුළ පිපිරීම ඇති දේකදි එතන මරණය වෙච්ච කෙනාටත්, ඒ දෙන්නට චුති චිත්තයක් හටගැනීමට හේතු නෑ. ඒ දෙන්නාගෙ මරණයෙදි සිද්ධවෙන්නෙ මේ මස්-ලේ සහිත කය ජීවත්වීමෙන් මිදී ගිහිල්ලා ජීවිත මිදී ගිහිල්ලා ජීවිත භුක්තිය බිඳිලා යනවා. කයේ ජීවිතීන්ද්‍රිය හිඳිලා යනවා මිසක් මනෝමය වශයෙන් පිහිටන්නාවූ “ඒකජ කය, ද්විජ කය, ත්රිජ කය” කියන මේ කාය තුනෙන් යුක්ත වන, අර කර්ම ශක්තියට ක්‍රියාත්මක වෙන්න කර්මජ කයත් එක්කලා සම්බන්ධතාවය වෙනස් කරන්න බෑ.
ඒ නිසා ඒ වෙලාවට මොකද වෙන්නෙ, “කර්මජ, චිත්තජ” කියන මේ කය දෙකෙන් යුක්තවන මානසික කයෙන් මැරෙන මොහොතට ඒක පැත්තකට දානවා. අපි අර “ඇස්ට්‍රල් බොඩි, සූක්ෂම කායික” ආදී වශයෙන් එක එක වචන වලින් කියන්නෙ ඔන්න ඕකයි. කෙනෙක් මැරෙනකොට පැත්තකට යනවා කියන්නෙ අන්න ඒකයි. ඒ යන ස්වභාවය ඒක. එහෙම කරත් “චුත” වෙලා “පටිසන්ධි” වෙන කෙනෙක් නෙමෙයි. එයා එතනින් ගිහිල්ලා ආයි සැරයක් ගැබකට “ඔක්කන්ති” වෙනවා, තව ඉදිරියට කාලෙ තියෙනවා නම්. මිනිහෙක් වෙලා හිටියා නම්, “ගන්ධබ්බා වක්කන්ති හොන්ති” කිවුවෙ අන්න ඒ ගන්ධබ්බයෙක් බවට පත්වෙලා, ගන්ධබ්බයා අනික් සැරේ ගැබකට යනවා, තව චුති-පටිසන්ධි ලැබුවෙ නෑ.
චුති-පටිසන්ධි කියන්නෙ මේ කර්මජ රූප සහිතව සූක්ෂම කයේ වෙන සිද්ධාන්තයක්, ක්‍රියාවලියක්. ඒ ක්‍රියා සිද්ධාන්තය අපි හිතං ඉන්නෙ මේ මස්-ලේ කය වැඩීමේදි සම්බන්ධ කරන්නයි හදන්නෙ. මස්-ලේ කයේ මරණය “චුතිය” කියලා, මස්-ලේ කයේ උපත “පටිසන්ධිය” කියලා, මේක සම්බන්ධ කරන්න ගියාම චුති-පටිසන්ධි සම්බන්ධය තේරුම් අරං නෑ.
පටිසන්ධිය, භවාංගයේ චුතිය පූර්ණ කර්මජයි. ඒ වෙලාවෙදි හටගන්නාවූ ඔක්කොම සිතිවිලි, චිත්ත සම්බන්ධතාවය, ඒ කියන්නෙ ඔය කර්ම සම්බන්ධතාවය මූලිකයි. ඒ හින්දා කර්මජ රූපයන්ගේ සම්බන්ධතාවය අපේ මේ මස්-ලේ කයක් ලැබීමට සම්බන්ධයක් නෑ. මස්-ලේ කයේ මරණය කියන එක වෙනම අංශයක්. “චුති ඡවනතා” – ඔන්න ඔය චුති කියන තැන විතරයි චුතවෙන අවස්ථාවට එන්නෙ. “ඡවනතා” කියලත් තියෙනවා, ඒ කියන්නෙ අර මස්-ලේ කය මළාට පස්සෙ අතරමග අවුරුදු, දවස් ගණනක් ඉඳලා චුත වුනොත් එහෙම, අන්න ඒ ගතිලක්ෂණයට කියනවා “ඡවනතා”. ඔය දෙකම සිද්ධවෙන තැන් තියෙනවා තව, “භේදෝ” – කය බිඳිලා යනවා. “අන්තර්ධානෝ” – කය අතුරුදන් වෙනවා. අභිඥාලාභියෙකුට පුළුවන් සාප කරලා කෙනෙකුට, “තෝ සුණු-විසුණු වෙලා වෙලා පල!” කිවුවොත් එහෙම, කයට වෙච්චි එකක නෑ.
“මච්චු මරණ” – ඒ කියන්නෙ ස්වභාවයෙන් නිර්දේශවෙන මරණ යටතේ ඒ සම්මත මරණයක් ඇත්ද, ඒ මරණය මේ. “කලේබරස්ස නික්ඛෙපො” – “කලේබරය” කියන්නෙ මේ මස්-ලේ කය, බහා තබලා ඉවත්වෙලා යන ලක්ෂණයක් තියෙන්නෙ. “ඛන්ධානං භෙදො” – මේ ස්කන්ධයන්ගේ බිඳීයාම, මේ ආදී වශයෙන් අට ආකාරයකට විතර විග්රහ කරලා තියෙනවා මේ මරණය, “අයං වුච්චති භික්ඛවෙ මරණං” කියලා, මරණය ගැන {{ සච්චවිභඞ්ගො }}
ඕකෙදි “යා චුති” කියන එක තැනක් තියෙනවා, අන්න එතන තමයි මරණයයි, චුතියයි දෙකම එකට ආපු තැන, කර්මක්ෂය මරණ සහ උභයක්ෂය මරණ වල. ඒවා කලාතුරකින් සිද්ධවෙන දේවල් ඉතින්, උභයක්ෂය මරණය නම් අති දුර්ලභයි. කර්මක්ෂය මරණ නම් බොහෝකොට වෙන්න පුළුවන්. වැඩිහරියක් සිද්ධවෙන්නෙ ආයුක්ෂය මරණය සහ උපච්ඡේදක මරණය. ඒවයෙදි පුද්ගලයා හැමවෙලේම “මේ කය වැටුණා, හිරවුණා, පැත්තකට ගිහින් විසිවෙලා ගියා වගේ වුනා, මං ඊටපස්සෙ උඩට ගියා…” එහෙම කියලා කියන්නෙයි, “මනෝමය කයෙන් ගියා…” එක එක විදිහට විග්රහ කරන්නෙයි ඔන්න ඔහොම ඒවා.
එයා ඉතින් චුති-පටිසන්ධි ලබලා නෙමෙයි. ඒක හුඟාක් ගැඹුරු විස්තරයක් මේ චුති සිත සහ පටිසන්ධිය කියන එක. එක චිත්ත වීථියක් තුළ සිද්ධවෙන චිත්තක්ෂණ 30 ක ක්රියාකාරීත්වයක් මේ චුති-පටිසන්ධි කියන්නෙ. මරණාසන්න චිත්ත වීථිය හටගන්න වෙලාවෙදි කර්මජ ක්‍රියා කළාපය මුල්කරගෙන ඒ චිත්ත වීථියක 14 වැනි චිත්තක්ෂණයෙන් චුත වුනා නම් 15 වැනි චිත්තක්ෂණයෙ පටිසන්ධි වෙලා භවාංග චිත්තක්ෂණ දෙකක් ගිහිල්ලයි චිත්ත වීථිය අවසන් වෙන්නෙ. එක චිත්ත වීථියක් තුළ සිද්ධවෙන චිත්තක්ෂණ දෙකක් අතර තියෙන සිද්ධාන්තයක් චුති-පටිසන්ධි කියන්නෙ. ඉතින් මේක මේ කෙනෙකුට බලාගෙන, කියාගෙන යන්න පුළුවන්, මහා විග්‍රහයක් කරන්න පුළුවන් වෙලාවක් නෙමෙයි, චුති-පටිසන්ධි වෙන්න යන වෙලාව.
ඇහි පිය ගැහුවා නම් මොහොතක්, ඕක කෝටි ලක්ෂ වාරයකට විතර බෙදුවා නම්, ඕකෙන් පංගු 17ක් තරම් තුළදි සිද්ධවෙන ක්‍රියාදාමයකට කියනවා “මරණාසන්න චිත්ත වීථිය” කියලා. එහෙනම් ඔය චුති-පටිසන්ධි කියන චිත්තක්ෂණ දෙක අරං චිත්ත වීථිය අන්න ඒ තරම් අල්ප මාත්‍රයක් තුළ සිද්ධවෙන්නෙ. ඉතින් අසුරු සැණක් කෝටි ලක්ෂයකට විතර බෙදලා, පංගුවක් තරම් කාලයක් නම් ගියෙ චුතියට, ඊලඟ පංගුව පටිසන්ධිය. අසුරු සැණක් කෝටි ලක්ෂයකට බෙදලා පංගු දෙකක් ගත්තහම, ඔන්න ඔබඳු කාල මාත්‍රයක් තුළ සිද්ධවෙන ක්‍රියාදාමයක් තමයි චුති සහ පටිසන්ධි කියන්නෙ.
දැන් අද හිතං ඉන්නෙ, චුත වෙනවා කියන්නෙ මොකද්ද, පටිසන්ධි වෙනවා කියන්නෙ මොකද්ද? විශාල කාලාන්තරයක් තුළ සිද්ධවෙන සිද්ධියක් හැටියට චුති-පටිසන්ධි විග්රහ කරගෙන යනවා. ඇහි පිය ගහන මොහොතක් තුළ එබඳු චුති-පටිසන්ධි දහස් ගාණක් සිද්ධවෙන්න වෙලාව ඇති. ඒ තරම් අති මාත්‍ර වෙලාවක් තුළ සිද්ධවෙන දෙයක් මේ චුති-පටිසන්ධි කියන්නෙ.
ඉතින් අපි විසින් මරණයෙදි, මරණය වෙලාවෙ එන සිතිවිලි නෙමෙයි යම්කිසි ආකාරයකින් අපි ඉස්සෙල්ලා දෙනවා දත්තයන්. හිතිවිලි කියන්නෙ අපි ගොඩනඟන කර්ම සංඛාර. ඒ නිසා කර්ම සංඛාර අපි ඉස්සරහට නිපදවනවා. නිපදවන්න නම්, අපි නිපදවනවා කර්ම ශක්ති විශේෂයක්. නිෂ්පාදනය කරන ශක්ති විශේෂ ආපහු අපිට ප්‍රතිචාර දක්වන තත්ත්වයට පත්වෙනවා. ඒ කර්ම ශක්ති විශේෂ අපි කැමති වුනත්, අකමැති වුනත් අනුකූල ප්‍රතිරාවයන් අපි කරා අරමුණු වශයෙන් ගෙනත්දෙන අවස්ථාවට පත්වෙනවා. මෙන්න මෙහෙම අපි ජීවිතයක හැම මොහොතක් පාසාම, නින්ද ගිහින් හිටියත්, කොයි මොහොතෙ හිටියත්, අපි අර ගොඩනඟලා තියෙන ප්‍රතිචාරය දක්වන්න නඟපු ශක්ති විශේෂය අපි කරා හඹා එමින්මයි පවතින්නෙ. අපි වටකරලා පවතිනවා. ඔය වෙලාවෙදි මොනවද අපි වැඩිපුරම කරලා තිබුණෙ? වැඩිපුරම කරලා නෙමෙයි, වැඩිපුරම බල වැඩිලා තිබුණෙ කෝකෙද? වැඩිපුර කරපුවා නෙමෙයි, කර්ම ශක්තිය වැඩිපුරම බල නැඟිලා තිබුණෙ කර්මයක් කරලා තිබුණා නම්, ඒක බලවත්ව අපි කරා ප්‍රතිචාර දක්වමින් නැඟී සිටිනවා. ඒක මරණාසන්න මොහොතෙ විතරක් නෙමෙයි, කොයි මොහොතෙ වුනත් තියෙනවා කරපු මොහොතෙ ඉඳලා.
ඒකට අවශ්‍යය වෙන අවස්ථාව වශයෙන් අපි ලඟ පැවැත්මට හේතුවෙන, භවාංග වශයෙන් ගෙනාපු ශක්ති විශේෂය බලවත්ව තියෙනවා නම්, ඒ කායික මානසික භවයෙන් භවයට වෙනස් කිරීම සිද්ධකරන්නෙ නැතිවෙන විදිහට ඒ ශක්තිය වටකරගෙන පවතිනවා අර අලුත් පරිවර්තනයක්, වස්තු රූප පරිවර්තනයක් කරන්න ඉඩ නොදී. ඒ ශක්තිය දුර්වල වෙලා ගිය වෙලාවක, අර වටකරලා තිබිච්ච, අපි වටකරලා අපිම ගොඩනඟාගත්ත ශක්තියෙන් ගැළපෙන, බලවත් එක, උපාදාන කරපු එක, ඒක එතෙන්ට ඇදිලා ඇවිදිල්ලා අරමුණු මතුකරලා, චුති-පටිසන්ධිය ක්‍රියාත්මක කරන ක්‍රියාවලියට චිත්ත වීථිය සකස් කරනවා. ඒකට අවශ්‍යය කරන කර්ම, කර්ම නිමිති, ගති නිමිති මුනගස්වනවා, අරමුණු කරලා දෙනවා. ඒක සිද්ධකරන්නෙ ඒ අපි ගොඩනඟපු කර්ම ශක්තියෙන් මිසක් අපිට ඕනෙ ඕනෙ සිතිවිලි වලින් කරන්න පුලුවන් ඒ වගේ හපන් කමක් නෙමෙයි.
අර ශක්ති විශේෂය බලවත් නම් තමයි තව කෙනෙකුට බොහෝකොට අපිව මුණගැහෙන්නෙ, එබඳු පරිසරයක් ගොඩනඟලා දෙන්න අවශ්‍යය පසුතලයක් හදන්න හරි. ආයි කර්ම ශක්තියක් ගොඩනඟනකොට ප්‍රවෘති විපාක වශයෙන් පරිසරය හදන එක, පටිසන්ධි විපාකෙ දෙන ප්‍රවෘති විපාක වශයෙන් වටකරපු පරිවාර කර්ම ශක්තියේ අන්තිම ප්‍රතිඵලය, ජනක කර්ම ශක්තියට උඩින්.
කර්ම ශක්තියක් ගෙවිලා ගියා නම්, තව කර්ම ශක්තියක් ආරම්භවෙලා නව පටිසන්ධියක් ලබාගන්න හේතු අවස්ථාවට පත්වුනා නම්, මෙබඳු අවස්ථාවක කාලයක් තිස්සේ, ඒ කියන්නෙ අර දැන් ගතියට පටිසන්ධිය ලබාදුන්න ශක්තිය ගෙවී අවසාන වෙන කාලය සමහර විට මාස ගාණක් කල් ගියාම ඒ පුද්ගලයට එන්න පටන්ගන්නවා අර කරපු කර්ම ශක්තියෙන් මතුකරලා දුන්න අරමුණු, අරමුණුවෙන්න පටන්ගන්නවා.
එහෙනම් සමහර වෙලාවට ඔහු කරලා තිබුණු යහපත් දෙයක්, ඔහුට හැමවෙලේම යහපත් අදහස් මතුවෙන්න පටන්ගන්නවා. ඔහු කරලා තිබුණු, වඩලා තිබුණු සංඛාරය යම් සේද, ඒ සංඛාරයට නැඟිලා තියෙන විඤ්ඤාණ ශක්තිය මතුකරපු ශක්ති විශේෂය අද කර්ම ශක්තිය කියලා කියන්නෙ. ඔය කර්ම ශක්තිය ඊටපස්සෙ සමහරු වටා හඹා ඇවිදිල්ලා වටකරගෙන තමංගෙ මනසට අරමුණු දෙන්න පටන්ගන්නවා අනුකූලව. මේ අරමුණු දෙන්න පටන්ගන්නකොට සමහර වෙලාවට හය මාසයක්, අවුරුද්දක්, දෙකක් දෙනවා, පුද්ගලයා මැරෙන්න කිට්ටුව ඉද්දි.
ඕක දැනගන්න පුළුවන් විශේෂකමක් තමයි, සමහර අය ඉන්නවා මේ මහා ජඩ වැඩ, බලු වැඩ ඔක්කොම කර කරා කාලෙ ගතකරලා, ගතකරලා ඉන්නකොට, ඔහොම හිටි ගමන් වෙනස්වීමක් වෙනවා. පුද්ගලයගෙ චරිතය වෙනස්වෙනවා. ඊටපස්සෙ පුද්ගලයා බලපුහම නිතරම, සමහර වෙලාවට හොඳ පැත්තට හැරිලා, හොඳ දේවල්ම කතා කරනවා. හොඳ පැත්තටම නැඹුරු වෙනවා. මෙහෙම කාලයක් ඉන්නවා ඒ පැත්තටම වෙලා. විශාල පරිවර්තනයක් වුනා වගේ ඔහුට දැනෙනවා. මේක ක්‍රම දෙකකට වෙනවා. ආර්ය බවට පත්වුන කෙනාටත් එහෙම වෙනවා, එහෙම නෙමෙයි සමාන්‍යයෙන් පැවැත්මක් තුළ ඇතිවෙන කර්ම වේගය යනකොටත් ඔයවගේ වෙනසක් වෙනවා. චරිත වෙනස්වීමක්.
අර කරන ලද කුසළ කර්මයක් හෝ මහා පුණ්‍ය කර්මයක් තිබුණා නම් එහෙම, අර ගෙවන කර්මයත් දැන් ගෙවිලා ඉවරවෙනකොට අදහස් වෙනස් කරමින් අර පුණ්‍යකර්මය සිහිගනවමින්, ඒකෙ තිබිච්ච ගති ලක්ෂණය වටිනවා කියලා හඟවමින්, ඒ ගති ලක්ෂණයට අනුකූල දේවල් යළි යළිත් කරන්න හිත ඇතිකරවමින්, මෙහෙම පුද්ගලයගෙ විශාල පරිවර්තනයක් වෙනවා. මෙන්න මේ පරිවර්තනය වෙන්නෙ අර තිබිච්ච කර්ම ශක්තිය ගෙවිලා, නව කර්ම ශක්තියක් බිහිකිරීමට අවශ්‍යය කරන පරිසරය උදාවෙනකොට. මරණ මොහොතෙ නෙමෙයි ඕක වෙන්නෙ, කල් තියලා.
අවුරුදු ගාණක්, හය මාසයක්, මේ වගේ කාලයක් තියාගෙන පටන්ගත්ත වෙනස මෙහෙම ටිකෙන් ටික එන්න එන්න වැඩිවෙනවා. වැඩිවෙලා, අන්තිම මොහොතේ අසනීපයක්, මොනවාහරි කායික රෝගයක් හරි හැදිලා, පෙළෙන තත්ත්වයක් උදාවෙච්චි වෙලාවක අර ගතියමයි කියවන්න පටන්ගන්නෙ ඊටපස්සෙ, ඒකම මතුවෙනවා. මතුවෙලා, මතුවෙලා අන්තිමට මොකද වෙන්නෙ, මරණාසන්න මොහොත වෙනකොට ගෙනාපු කර්ම ශක්තිය ඉවරවෙනවා, නව කර්ම ශක්තියක් ගොඩනැඟෙන මොහොත මතුවෙච්ච ගමන්ම අන්න අර “පරිවර්තන චිත්ත වීථිය” හටගන්නවා.
ඒ චිත්ත වීථිය හටගන්නකොට ආසන්න චිත්ත වීථි කෝටි ප්‍රකෝටි ගාණක් හටගෙන, හටගෙන ගිහිල්ලා, ගිහිල්ලා ඒක අන්තිම චිත්ත වීථිය හටගන්නවා. මරණාසන්නයට ආසන්න කරපු චිත්ත වීථිය හැමවෙලේම ජවන් සිත් වැඩකරන්න පටන්ගන්නවා, නැත්නම් ඒකෙන් කර්ම ශක්තියක් නිපදවනවා “විපාකෝ කම්ම සම්භවෝ” කියලා ආයිත් සැරයක්. අන්න ඒ නිපදවන කර්ම සම්භවය නිසා එතෙන්දි චිත්ත ප්‍රසාදය මතුකරමින් හරි, චිත්ත ශෝකය – සංවේගය මතුකරමින් හරි ඒ ඉෂ්ට – අනිෂ්ට දෙකට අනුකූලව ගතිලක්ෂණය මතුකරගෙන ඒ සිතිවිලි, අදහස් ලඟ ලඟ නිපදවන්න පටන්ගන්නවා. ඒකෙන් මොකද වෙන්නෙ, අර ගතිය එන්න එන්න බලවත් වෙනවා. බලවත් වෙලා, බලවත් වෙලා ඉන්නකොට ඒ ගතිය තුළින්ම තමයි පුද්ගලයගෙ චුතිය සිද්ධවෙන්නෙ.
අන්න ඒකයි බුදුරජණන් වහන්සේ කියන්නෙ, “සිතිවිල්ල මොකද්ද – පටිසන්ධිය මොකද්ද” කියලා නෙමෙයි අහන්නෙ, “චුතිය කොහොමද, උපත කොහොමද?” කියලා, චුතිය නෙමෙයි අහන්නෙ “ගතිය මොකද්ද – උපත මොකද්ද?” ගති-උප්පත්ති කියන දෙකෙන් තමයි බුදුරජණන් වහන්සේගෙන් ප්‍රශ්න කරලා තියෙන්නෙ, කෙනෙක් “අද කෙනෙක් මළා, එයාගෙ ගතිය කොහොමද, උපත කොහොමද?”
{ 35:27 } : “ගති” කියන්නේ මොනවද? “ගතිය” මෙතරම් වැදගත් ඇයි ?
සිතිවිලි කියන්නෙ එකක්, ගතිය කියන්නෙ තව එකක්. සිතිවිලි තිරිසන් වෙලා පහලවුනා නම් එහෙම ගතිය තිරිසන්. සිතිවිලි මනුශ්‍ය ධර්මයක් අනුව පහලවුනා නම්, ගතිය මනුස්ස. සිතිවිලි දේව ධර්මයට අනුව පහලවුනා නම්, ගතිය දේව. මරණාසන්න මොහොතෙදි මතුවෙන්නෙ ගතිය. අන්න ඒ ගතිය තමයි අන්තිමට චුතිය ලඟදි පටිසන්ධියට ආධාර වෙන්නෙ. ගතිලක්ෂණය මතුවුනහම, ගතිය හැමවෙලේම ගතියට අනුකූල වන්නාවූ ස්වභාවය මතුකරලා දෙනවා කර්ම ශක්තිය. පටිසන්ධිය ලබාදෙන්නෙ හිත නෙමෙයි, පටිසන්ධිය ලබාදෙන්නෙ කර්ම ශක්තිය කර්ම ශක්තිය. කර්ම ශක්තියෙ උපකරණ වෙන එකක්, සිතිවිලි කියන්නෙ තව එකක්.
චිත්ත චෛතසික කියන්නෙ සිතිවිලි හා සම්බන්ධ දෙයක්. ගතිය කියන්නෙ කර්ම ශක්තිය හා බැඳුනු දෙයක්. ඒක එක්තරා ක්‍රියා කළාපයක්. කර්ම ශක්තියෙන් ඉස්සෙල්ලාම ගෙනත්දෙන්නෙ සිතක් නෙමෙයි, වස්තු-රූප පරිවර්තනයක්. වස්තු රූපයක් පරිවර්තනය කරලා, ඒකට අවශ්‍යය කරන ධර්මයක් ලං කරලා දීලා, මනස නිර්මාණය කරලා, නැත්නම් මනසට අවශ්‍යය කරන මනෝද්වාරය නිර්මාණය කරලා, මනෝද්වාරයේ ඝට්ටනය වීමට අවශ්‍යය කරන ධර්මයෝ නිෂ්පාදනය කරලා දෙනවා කර්ම ශක්තියෙන්.
ඊටපස්සෙ හිතක් හටගන්නෙ ඒ දෙක ඝට්ටනය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඊලඟ අත්බැවේ හිත හටගන්නවා. හිතකින් හිතක් හටගන්නවා නෙමෙයි, හිතකින් කර්ම ශක්තියක් හටගන්නවා, කර්ම ශක්තියෙන් ඝට්ටන ක්‍රියාවලියක් හටගන්නවා, ඝට්ටන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් වශයෙන් යළි හිතක් හටගන්නවා. දැන් අපි හිතාගෙන ඉන්නෙ හිතකින් හිතක් හටගන්නවා කියලා. දැන් මේක අපි හොඳට තේරුම්ගන්න ඕනෙ.
දැන් “ගොයම් බීජයකින් ගොයම් කරලක් හටගන්නවා, ගොයම් කරලෙන් ගොයම් බීජයක් හටගන්නවා” කිවුවොත් මොකෙන්ද සිද්ධවුනේ? අතරමැද්දෙ තිබිච්ච ගහක ක්රියාකාරීත්වයක් තුළින් සිද්ධවෙච්ච එකක ප්‍රතිඵල මැදිවෙලා ඒක අහුවුනේ නෑ නේද අපිට? “බීජයක් නිසා තව කරලක් හටගන්නවා. ඒ කරලෙන් ඇතිවෙන බීජයක් නිසා ආයි කරලක් හටගන්නවා” කියලා අපිට කරලෙන් කරලට ඔය කතාව කියන්න පුලුවන්. නමුත් කරලකින් බීජයක් හටගන්නකොට, බීජයෙන් කරලක් හටගන්නකොට, ඒක කලේ අතරමැදියා මොකද්ද?
බීජය රෝපණය වෙච්ච තැන් පටන් හටගත්ත ගහක් හැදිලා, ඒ ගහ තරවෙලා, මෝරලා, පෝෂණය වෙලා, මල් ඵල දරලා, ඒකෙන් ගෙඩියක් හටගෙන හෝ කරලක් හටගෙන, ඒක මෝරලා තමයි යළි බීජයක් හටගත්තෙ. එහෙනම් එක බීජයක් නිසා ඒකෙන් හටගත්ත තව බීජයක් හටගැනීමට අතරමැදියෙක් ඉන්නවා. අතරමැදියා ගහ, නැත්තම් වැල.
එහෙනම් එක චිත්ත සංතානයක්, එක සිතිවිලි වැලක්, තව සිතිවිලි වැලක් පහලකරනවා නෙමෙයි. සිතිවිලි වැලක් ශක්තියක් පහලකරනවා. ශක්තිය ක්‍රියාදාමයෙන් ක්‍රියාත්මක වෙලා, ඒ ක්රියාදාමයේ ප්‍රතිඵලයක් වශයෙන් යළි හිතිවිලි වැලක් පහලකරනවා. එක සිතිවිලි වැලක් තිරිසන් නම්, අනික් සිතිවිලි වැල මනුස්ස වෙන්න නම්, එක්කෝ මනුස්සයෙක් වෙලා ඉස්සෙල්ලා සිතිවිලි වැල මනුස්සව තිබුණා නම්, ඊලඟ සිතිවිලි වැල තිරිසන් විදිහට යන්න නම්, අතරමැද වෙනසක් වෙන්න ඕනෑ. චුති-පටිසන්ධි ඇර වෙනසක්. අන්න එතන එවෙලේ සිතිවිලි වලින් සිතිවිලි හැදුවා නෙමෙයි, සිතිවිලි වලින් කර්ම ශක්තියක් ගොඩනඟලා, ගොඩනැඟූ කර්ම ශක්තිය යළි සිතිවිලි මාලාවක් පහල කරන්න ආරම්භය හදලා දුන්නා.
එහෙනම්, “මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඤ්ඤාණං” කියන එකයි සිද්ධාන්තය. එහෙනම් “මන” කර්ම ශක්තියකින් හටගන්නවා, ධර්මයෝ කර්ම ශක්තියකින් හටගන්නවා, මේ දෙක ඝට්ටනය කරලා දීම කර්ම ශක්තියේ ක්‍රියාවලිය. ඒකෙ ප්‍රතිඵලය වශයෙන් හටගන්නාවූ දෙවෙනි එක ඒකෙන් හටගත්ත හිත. එහෙනම් පළවෙනි… මිනිස් සිතෙන් බලු සිතට පරිවර්තනය වෙන්නෙ ඔහොම.
මිනිස් වස්තු රූපයක් ඇසුරු කරගෙන තියෙනකන් මේ හිතෙන් මිනිස් හිත හටගන්නවා. මිනිස් විදිහට හිතන්න පුළුවන් වෙනවා. ඊටපස්සෙ වස්තු රූප පරිවර්තනය කර්ම ශක්තියෙන් චුති-පටිසන්ධි වශයෙන් කරනවා. ඒක හිත නෙමෙයි කලේ, ඒක ශක්ති ක්‍රියාවලියෙන් ද්‍රව්‍ය වස්තු මුල්කරගෙන හටගන්න බාහිර ක්‍රියාවලියක්. ඒක බලු විදිහට නම් ඒ බාහිර ක්‍රියාවලිය සකස් කරලා දුන්නෙ, එතෙන පටන්ගෙන හටගන්නෙ, ඒවයෙ ඝට්ටනයෙන් හටගන්න චිත්තාවලිය බලු චිත්තාවලියක්. දැන් මිනිහාට වගේ හිතන්න බෑ බල්ලාට.
හිතකින් හිතක් හටගන්නවා කියන එක නෙමෙයි වෙන්නෙ, හිතකින් කර්ම ශක්තියක් ගොඩනැඟෙනවා, කර්ම ශක්තියෙන් ලෝකයට අවශ්‍යය කරන ආයතන පහල කිරීමේ මූලධර්මය සිද්ධ කරනවා, ඒ මූලධර්මයන් මුල්කරගෙන, ඒවයෙ ඝට්ටනයෙන් නැවත වාරයක් හිතිවිලි මාලාවක් පහලකරනවා. ඔහොම හිතිවිලි රෑනෙන් හිතිවිලි රෑනට වෙනස්වෙලා යන්නෙ චුති-පටිසන්ධි දෙකේ ඇතිවෙන පරිවර්තනයයි. මේ චුතිය – පටිසන්ධිය පූර්ණ කර්මජයි. මේ අපි පැවතිලා තියෙන්නෙ හිත් වලින් නෙමෙයි. නමුත් අපිට කියන්නෙ “අනාදියේ පටන්ගෙන ගංගා ප්‍රවාහයක් වගේ නොකැඩී ගලාගෙන එන චිත්ත ප්රවාහයකට අපි කොටුවෙලා ඉනවා” කියලා, සංසාර ගමන.
අපි කොටුවෙලා ඉන්නෙ “කර්ම ප්රවාහයකට” මිසක් “චිත්ත ප්රවාහයකට” නෙමෙයි. නොකැඩී ගලාගෙන එන චිත්ත ප්‍රවාහයක් තියෙනවා කියලා නිගමනය කළොත් අසඤ්ඤ සත්ත්වයො බොරු. මහා කල්ප පන්සීයක් යනකල් හිතක් නැතුව (…41:08 – පැහැදිලි නැත…) කිවුවහම ඒක වෙන්න පුළුවන්ද? ඔය කැඩිලා තියෙන්නෙ අපූරුවට! නිරෝධ සමාපත්තියට සමවැදිලා හත් දවසක් ඉන්න නම් (…41:15 – පැහැදිලි නැත…) අනාගාමී හෝ අරිහතුන් වහන්සේ, ආයි හිතනවා කිවුවොත්, චිත්ත (…41:19 – පැහැදිලි නැත…) කැඩුනෙ නැද්ද? කැඩෙනවනේ!
හැබැයි නිරෝධ සමාපත්තියට සමවැදිලා හිටියත් කර්මජ තේජෝ ධාතුව පොඩ්ඩක්වත් වෙනස්වෙන්නෙ නැතුව වැඩකරනවා. කර්ම ප්රවාහයෙන් ආපු ශක්තියක් වශයෙන් අනාදියේ පටන් සත්ත්වයාගෙ චිත්ත ප්‍රවාහය, කර්ම ප්රවාහයට අනුකූලව හටගන්න දෙයට අනුව කලින් කල වෙනස්වෙනවා, එක එක ආකාර ගන්නවා. අසඤ්ඤ සත්ත්වයෙක් වෙලා මහා කල්ප පන්සීයක් හිතක් ගොඩනඟන්නෙ නැති තත්ත්වයක ඉන්නෙ. චිත්ත ප්‍රවාහය කැඩිලා, හැබැයි කර්ම ප්‍රවාහය අසඤ්ඤ සත්ත්වයාටත් මහා කල්ප පන්සීයම එක දිගට ක්‍රියාත්මකයි.
එහෙනම් සත්ත්වයෙක් යම් ප්‍රවාහයකින් බැඳිලා ඉන්නවා නම් බැඳිලා ඉන්නෙ කර්ම ප්රවාහයෙන් මිසක් චිත්ත ප්රවාහයෙන් නෙමෙයි. අභිධර්මයට අටුවා ලියනකොට තමයි චිත්ත (…42:11 – පැහැදිලි නැත…) කියනවා කියලා කියල තියෙන්නෙ.
(ශ්‍රාවක මහතෙක් යමක් පවසයි, පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙති) : එතකොට ඒක හරියන්නෙ නැහැ. ආත්ම දෘෂ්ටිය වෙනම එකක්. චිත්ත ප්‍රවාහයක් වෙනවා කියලා ගත්තොත් ඒ ධර්ම රටාව වෙනස්. ආත්ම දෘෂ්ටියට වැටෙන්නෙ යම්කිසි දෙයක් සත්ත්ව-පුද්ගල, ද්‍රව්‍ය-වස්තු වශයෙන්, ඒකීය වස්තුවක් තියෙනවා කියලා මේ දෘෂ්ටියෙ ඉන්නකන්. ආත්ම දෘෂ්ටිය කියන්නෙ ඒකයි. “හිත කියලා දෙයක් තියෙනවා, ගත කියලා දෙයක් තියෙනවා, හොඳ එකක් තියෙනවා, නරක එකක් තියෙනවා” කියලා ඒ වගේ සම්පින්ඩනයක් වෙලා තියෙන ප්‍රවාහය හඳුනන්නෙ නැතුව, ඒක “ඇති දෙයක්” හැටියට ගන්නවා.
දැන් වැලි ගොඩක් තියෙනවා, “වැලි ගොඩ කියලා එකක් තියෙනවා” කිවුවම අපි කියනවා, “එහෙම එකක් පෙනෙනවා, මොකක් නිසාද? වැලි කැටය, වැලි කැටය කෝටි ගාණක් වැලි කැට එකතුවීම නිසා වැලි ගොඩක් පේනවා”. අපි එහෙම දන්නවා නම් අපි ඒක ආත්ම දෘෂ්ටියක නෙමෙයි. ආපෝ ධාතුවයි, තේජෝ ධාතුවයි, වායෝ ධාතුවයි, පඨවි ධාතුවයි කියන මේ ධාතු හතරෙ එක්වීම නිසා කයක් පේනවා. අපි ආත්ම දෘෂ්ටියෙන් නෙවෙයි බැලුවෙ. “ධාතු කතාවක් නෙවෙයි, කයක් හොඳටම තියෙනවනෙ, මස්-ලේ කයක්…?” “එහෙම එකක් තියෙනවා” අන්න, ආත්ම දෘෂ්ටිය. “එහෙම එකක් හැදිලා තියෙන්නෙ මේකෙ කෑලි එකතුවීම නිසා, හේතු-ඵල රටාවෙ ක්‍රියාදාමය නිසා මෙහෙම එකක් පේනවා” කිවුවොත්, ආත්ම දෘෂ්ටියෙන් තොරයි.
චිත්ත-චෛතසික ක්රියාදාමයන්ගේ එක වැල නොකැඩී හැදෙන්නෙ අපේ සම්පින්ඩනයක් තියෙනවා නම්, ඒ සම්පින්ඩනයෙන් ගොඩනැඟෙනවා රාග හිත, ද්වේෂ හිත, මෝහ හිත ආදී වශයෙන් කරන සම්පින්ඩනයක්. මේ සම්පින්ඩනය විද්‍යාමානයි. හැබැයි ඒක එකක් නෙමෙයි. “රාග හිත” කියලා ගත්තෙ එකක් නෙමෙයි, චිත්තක්ෂණ අප්රමාණයක සම්පින්ඩනයක් කැටි කරලා ගත්ත සම්මතයක්. ඒකට රාග හිත කියනවා. ඇහි පිය ගහන මොහොතක් කෝටි ලක්ෂයක් තරම් පංගු වලට බෙදලා මොහොතක, උප්පාද-තිථි-භංග කියන අවස්ථා තුනක් තියෙනවා. හටගෙන, විපරිනාමයට පත්වෙලා, බිඳිලා යනවා. මෙබඳු චිත්තාවලි, චිත්තක්ෂණ, විශාල රෑනක, සමාන චිත්තක්ෂණ රෑනක සම්පින්ඩනයක් එකතු කරලා අපි තියාගත්තෙ ඒ සම්පින්ඩනය එකක් වශයෙන් හඳුන්වන්න ගත්ත නම තමයි “රාග චිත්තය, ද්වේෂ චිත්තය, මෝහ චිත්තය” ආදී වශයෙන් කියන්නෙ.
හිත කියන එකක් ස්ථිරව තියෙනවා කිවුවොත්, අන්න එතන වැටෙනවා අර කියන ආත්ම දෘෂ්ටියට. හිත කියලා කියන්නෙ මොහොතක්, මොහොතක් පාසා හටගන්න හේතු-ඵලයක ක්‍රියාදාමයකටයි, හිත කියලා ගොඩනැඟෙන්නෙ එහෙම එකක් කියලා දැනගත්තොත් එයා ආත්ම දෘෂ්ටියෙන් තොරව දකිනවා. ඒක අපි දකින්න ඕනෙ.
දැන් මේ අහන්නෙ “මරණය යෙදෙන්නේ සිතිවිලි අනුවද?” ඇතිවෙන සිතිවිලි නෙවෙයි මෙතන ගන්නෙ. දැන් කෙනෙක් පිහියෙන් අනින්න ඇවිදිල්ලා, කෙනෙකුට අනින්න හදනවා. බෙල්ලෙනුත් අල්ලලා, හොල්ලලා, අනින්න පිහිය දික් කරලා, පපුවට තියලා, මිනිහා යන්න යනවා. දැන් මිනිහට කතාකරගන්නත් නිච්චි නෑ, බයවෙලා. මූණත් අමුතු කරගෙන, නිච්චි නැතුව ඉන්නවා දැන් බලාගෙන, දැන් අරමුණු ගිහින් ඉවරයි, අර මිනිහා, පිහියෙන් අනින්න ආපු මිනිහා ඇන්නෙ නෑ, බය කරලා යන්න ගියා. මිනිහා පේන මානෙකත් නෑ, ඒ සිද්ධ වෙච්චි ක්‍රියාවලිය දැන් පේන්නත් නෑ. හැබැයි වෙච්ච සිද්ධිය නිසා හටගත්ත හිතට ඇතිවෙනවා එක්තරා ගතියක්, භය ගතිය. දැන්, භය ගතිය දැන් මොකද කරන්නෙ? ඒක දැන් ක්‍රියාත්මකයි. හදවත “ගිඩි ගිඩි” ගාලා ගැහෙනවා, මේ හුස්ම වැටෙනවා වේගෙන්, මූණ කළු වෙලා ඇඹරිලා ගිහිල්ලා, නිකං එල්ලා හැලිලා. දැන් හති දදා ඉන්නවා මිනිහා. එකක්වත් වෙන්න, වෙච්චි දේ හිතාගන්නත් බෑ කියනවා. හැබැයි භය කියන එක එනවා.
දැන් “භය” කියන්නෙ “හිතක්” නෙමෙයි, සිතිවිලි නෙමෙයි. අන්න ඒ හිතක් සමඟ එකතුවෙච්චි “ගතිය”. මෙන්න මේ වගේ අරමුණු දීලා, දීලා සිතිවිලි මතුකරන්න හේතුකාරක දුන්නහම අනුකූල ගතිලක්ෂණයට ඒ මනස පත්වෙනවා. එතකොට “ගතියක්” ගොඩනැඟෙනවා. යම් “ගතියක්” හිතකින් ගොඩනැඟුවොත්, නැවතත් අරමුණු දීලා, වෙනත් ජාතියක අරමුණු දීලා ඒ තත්ත්වයට වෙනස් පරිවර්තනයක් කරනකන් අර ගතිය වෙනස් කරන්න බෑ. ගතියට ඉන්න යම් ශක්තියක් තිබුණද, ඒ ශක්තිය කොච්චර කල් හරි තියෙනකන් ඒ ගතිය එසේම ක්‍රියාත්මකයි. අන්න ඒ ගතිය කර්ම ශක්තිය වගේ, සිතිවිලි චිත්ත ශක්තිය වගේ.
“දැන් ඕකට බයවෙන්න එපා, මම හිටියා නම් ඔය වෙලාවෙ දන්නවනෙ කරන වැඩේ. තමුසෙ බයවෙන්න එපා ඕයි අපි ඉන්නකන්…” තව කෙනෙක්, එයාගෙ චණ්ඩියෙක් ඇවිදිල්ලා පෙන්නනකොට මොකද කරන්නෙ? “දැන් නම් මට අරමුණු කරන්න පුළුවන්…” දැන් තමයි පුටුවෙන් නැගිටලා යන්නෙ හොයන්න. එතකන් මහා බයෙන් හිටියා වෙවුල වෙවුලා “තාම කොයිවෙලේ මුං මරයිද, ගහයිද දන්නෑ…” කියලා. දැන් චණ්ඩියා ලඟට ඇවිල්ලා වුනහම දැන් බය ඇරුණා. ආං අරමුණක් ආවා වෙනස්වෙලා, දැන් බය වෙනස්වුනා. දැන් එදා තිබිච්ච බය, ද්වේෂ සහගත උද්වේගයකට නැඟුනා. ඊටපස්සෙ එයා දැන් ක්‍රියාත්මකයි, එතකන් අනාථ වෙලා හිටියේ. අන්න, අනාථ සත්ත්වයෝ සහ ඊලඟට ක්‍රියාත්මක වීමට ඇතිවෙන හේතු. දැන් බය වෙනුවට දැන් තියෙන්නෙ චණ්ඩිකම, හයි කාරයෙක් ලඟට ආපු හින්දා.
අන්න, ක්‍රමය ඕකයි. කෙනෙකුට බැණ බැණා ඉන්නවා, මොකක් හරි ප්‍රශ්නෙකට. දැන් ගතිය මතුවෙලා, ගතියෙන් අදහස් දෙනවා. ඒවා සැඩ ඵරුෂයි. දැන් ඔය වෙලාවෙදි මොකද කරන්නෙ? ඔය ගතිය වෙනස්කරන්න නම් ඊට විරුද්ධ, ශාන්ත ගතියක්, ගෞරවනීය ගතියක් ඇතිකරන, එබඳු අරමුණක් එන්න ඕනෙ. දැන් එයා බොහොම ගරු කරන එයාගෙ ගුරුවරයෙක්, එහෙම කෙනෙක් එයා ලඟට ඇවිදිල්ලා “ඇයි මොකද මේ? මූණ කළු කරගෙන මොකද මේ බැණ බැණා ඉන්නෙ?” “අනේ, බලන්නකො හාමුදුරුවනේ… මෙහෙම දෙයක් වුනා මට…” ඔහොම පොඩ්ඩ පොඩ්ඩ නිවිලා යනවා. “දැන් මොකද කියන්නෙ?” “ඒ වෙලාවෙ නම් ඇත්තවශයෙන් ඔබවහන්සේ නොවැඩියා නම්, මං මොනවා කරයිද කියලා මටම කියන්න බෑ. දැන්නම් මට තේරෙනවා මං මේ හදිස්සි වුනා කියලා…” ආං වෙනස් වෙලා ගියා. මොකෙන්ද වෙනස් වෙන්නෙ? ආයි සැරයක් ඇස, කන, දිව, නාසය, ශරීරය කියන මේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන්නෙ නැති, මනසට ගෝචර වෙන, ඒකට විරුද්ධකාරක අරමුණක් එතනට එකතු වෙනතුරු අර ගතිය අයින් කරන්න බෑ.
{ 48:21 } : මරණාසන්න මොහොතේ, මෙතෙක් පුහුණු කල ගති ඊළඟ උපතට බලපාන හැටි….
මරණාසන්න මොහොතක ඇස, කන, දිව, නාසය, ශරීරය කියන ඉන්ද්රිය ටික අක්‍රීය වෙලා ගියාට පස්සෙ දැන් වැඩකරන්නෙ මනේන්ද්‍රිය විතරයි. අර ආපු සිතිවිලි දහරාව තුළින් මනෝ සිතිවිලි දහරාවක් නිශ්පාදනය කරන්න පටන්ගත්තා, ඒවයින් මතුකරලා දුන්න ගතියට අනුව. දැන් ඔය වෙලාවෙදි පේන දේකුත් නැත්නම්, ඇහෙන දේකුත් නැත්නම්, ගන්ධ, රස, ස්ඵර්ශයකුත් දැනෙන්නෙ නැත්නම්, ඔහුට බාහිර සිතිවිල්ලක් දෙන්න බැරිනම්, ඔහු තුළ තියෙන සිතිවිලිම නම් ක්‍රියාත්මක වෙන්නෙ, දැන් ඔහු ගතියෙන් කොහොම බේරෙන්නද? එහෙනම් ඔහුට ඒකාන්තයෙන් සිද්ධවෙනවා ඒ ගතියට අනුකූල උප්පත්තිය ලබන්න. ඔහුට ඊටපස්සෙ සිතිවිලි මතුකරන්නෙ ඔහු ලඟ පිහිටපු ගතියට අනුව.
ඔන්න ඔහොම වෙන්න ඉස්සෙල්ලා, ඇස කන දුර්වල වෙන්න ඉස්සෙල්ලා, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආර්ය වෙච්ච සෝවාන් පුද්ගලයෙක් එහෙම හිටියා නම්, ඇස, කන, දිව, නාසය, ශරීරය කියන මේ ඉන්ද්රිය පහ ක්‍රමයෙන් දුර්වල වෙලා යනකොට අන්න, පුද්ගලයාව ශුද්ධ කරගන්න පුලුවන් වෙලාවක් එනවා. දිව, නාසය, ශරීරය මැරිලා, තව ඇස කන හොඳට ක්‍රියාත්මකයි. මේ මරණාසන්න මොහොතක් කිට්ටුවෙන පුද්ගලයෙක්ගෙ ස්වභාවය. දිව, නාසය, ශරීරය ප්‍රබෝධමත්ව තියෙනකන් ඒව කුපිත කරමින්, ඒවට අවශ්‍යය කරන්නාවූ පසුතලය හදලා දෙනවා. දිව පිනවන්න, නාසය පිනවන්න, කය පිනවන්න හේතුකාරක වන සිතිවිලි එන්න වුනොත් එහෙම, ඔහුට යථාර්තයට එන්න පත්කරන්න අමාරුයි.
දිව, නාසය, ශරීරය කියන මට්ටම දුර්වල වෙලා ගිහිල්ලා, මරණාසන්න මොහොත වෙනකොට තව පේනවා, ඇහෙනවා මට්ටමේ තැනට ආවා නම්, දැන් ඔය මට්ටමේදි පුළුවන්කමක් තිබෙනවා කාම ලෝකය ඉක්මවලා යන්න අවශ්‍යය කරන මානසිකත්වය ගොඩනඟන්න. මෙන්න මේ වෙලාවෙදි පුළුවන් එබඳු කෙනෙකුට, අර දහම් ආචාර්යවරයෙක්, දහම් දේශනා කරන්න හැකි දේශකයන් වහන්සේ නමකට, එකින් එක අත්බැවයේ තිබෙන්නාවූ ආදීනව පෙන්වා දීලා, ඒකෙන් හිත මුදවලා ගෙනිහිල්ලා එහාට ගන්න පුළුවන් කන ඇහෙන නිසා, ඇහැ පේන නිසා. අරමුණු මට්ටම එතන මිසක් දිව, නාසය, ශරීරය (…50:40 – පැහැදිලි නැත…) නිදි නිසා, අර දහම් අරමුණ දැන් හොඳට හිත කාවද්දන්න පුළුවන්. ඒ නිසා මොකද වෙන්නෙ, එයාට පුළුවන්කමක් ලැබෙනවා යමක් කියාදීලා, තේරුම් කරලා දෙන්න.
දැන් අපි හිතමු කාටහරි යමක් කියාදෙන්න හදනකොට මිනිහට ලොකූ ඔලුවෙ කැක්කුමක්, එක්කෝ කකුලෙ ගෙඩියක් හැදිලා ඒක කකියනවා. දැන් කැක්කුමට මිනිහට අරමුණු වෙන්න වෙන්න කෙඳිරි ගගා, කෙඳිරි ගගා ඉන්න වෙලාව එනවා. දැන් බණ කියන්න ආවොත් පුළුවන්ද කරන්න? ඒවා තේරෙන්නෙ නෑ දැන්, ඊටවඩා කකුලෙ අමාරුව මතුවෙවී ඒ අරමුණම එනවා. හැබැයි යම් වෙලාවක, කොයිවෙලාවෙ හරි මිනිහාට මැරෙන්නත් තියෙනවා නම් එහෙම, ඔය වික්ෂිප්ත වෙලා තියෙන්නෙ කකුලෙ කැක්කුමට නම් මිනිහගෙ, වික්ෂිප්තව ඉන්නවා නම්, අර මරණාසන්න මොහොත කිට්ටු වෙනකොට ඉස්සෙල්ලාම කායික ක්‍රියාවලිය අක්‍රීය බවට පත්වෙනවා. එච්චර වෙලා කැක්කුම තිබුණ එක දැන් දැනෙන්නෙ නැතුව යනවා. ඔන්න ඕක උදාහරණයක් වශයෙන් කියනවා නම්, ඔය වෙලාවට නිර්වින්දනයක් කකුලට විද්දොත් එහෙම, දැන් බැරිද මිනිහට කල්පණා කරන්න? දැන් කකුල කැඩෙන්න ගියත්, පිච්චිලා ගියත් දැන් දැනෙන්නෙ නෑ. එහෙනම් අර රිදුම එන්නෙ නෑ. “දැන් නම් කකුල රිදෙන්නෙ නෑ, දැන් කියන්නකො, දැන්නම් මට තේරුම්ගත්තහැකි, ආ එයා එතන නැද්ද?
මෙන්න මෙහෙම අවස්ථාවක් මරණාසන්න අවස්ථාවෙදි දිව නාසය ශරීරය අක්‍රිය වීමෙදි සිද්ධවෙනවා. ඒ වෙලාවෙදි ඇහැට පේන්න, කනට ඇහෙන්න දේවල් තියෙනවද, දිව නාසය ශරීරය පිනවීමට ඇහෙන දැනෙන දේවල් දැන් මනස වැද්දගන්නෙ නෑ. වැද්දගන්න විදිහක් නෑ ඒවයින් උපනිශ්‍රය නෑ, උත්තේජනය ලබාදෙන්නෙ නැති නිසා. අන්න ඒ වෙලාවට බණ අහලා තියෙනවා නම්, බණ අහන්න අත්‍යාවශ්‍යය වෙන්නෙ, ධර්මාවබෝධයට අවශ්‍යය වෙන්නෙ ඇස, කන, හිත කියන දේවල්. පුද්ගලයා දර්ශනය කරගන්නත්, කියන දේවල් අහගන්නත්, ඒක හිතන්නත්. ඔන්න ඔය ටිකට නිදහසේ අවස්ථාව ලැබිච්ච නිසා ඔය මරණාසන්න මොහොතෙ බණක් කියලා පුද්ගලයා හුඟාක් ඉහළට ගත්තලු.
ඒ නිසා බුදුරජණන් වහන්සේ දේශනා කරනවා ඔතෙනදි, මේ මනුස්සව ඉපදිලා තිබෙන්නාවූ ආදීනව පෙන්වන්න, ඊටපස්සෙ ඊටවඩා චාතුර්මහාරාජික ලෝකය හොඳයි කියලා විග්රහ කරලා දෙන්න. ඔහු ඒක හොඳයි කිවුවම එතන හිත පිහිටන්න ඉස්සෙල්ලා, එහෙනම් යාම ලෝකය, එකින් එකට තාවතිංසය, යාම, තුසිත, නිම්මානරති, පරනිම්මිත වසවර්ති, මේ එකින් එකට, කාම සුගති එකකින් හොඳ එකට පෙන්නගෙන පෙන්නගෙන යන්න. ඊටපස්සෙ කාම ලෝකයේ කාම ගිණි තියෙනවා කියලා, කාම ගින්නෙන් නිදහස්වෙන බඹසර ගැන කියන්න. එතකොට හිත රූපාවචරය ඇසුරු කරනවා. පුද්ගලයා මනසින් රූපාවචර ධ්‍යානයක ඉන්නෙ එතකොට. එතැන පටන්ගෙන එකින් එකට චතුර්ථ ධ්‍යානයට යනකන් විග්රහ කරගෙන යනකොට පබස්සර මිදං භික්ඛවේ චිත්තං කිවුව ලෞකික චිත්ත ස්වභාවයට පත්වෙනවා. එතෙනදි කියනවා “මේ පැවැත්ම තියෙන තැනක අනිච්ච, දුක්ඛ, අනත්ථ මිසක් අල්ලන්න දෙයක් නෑ” කියලා ගත්ත ගමන්ම යථාවබෝධය පූර්ණය වෙනවා ඒ ධ්‍යාන චිත්තයෙන්. “අල්ලන්න දෙයක්, මට කිසි දෙයක් නෑ” කියලා තේරුම්ගත්තා විතරයි, එහෙම්මම ඇස් දෙක පියාගන්නවා.
අන්න ඒ අන්තිම අවස්ථාවෙදි “අල්ලන්න දෙයක් නෑ” කියලා මානසිකත්වයක් ගොඩනැඟිච්ච ඒ උපාසක මහත්තයෙක් හරි උපාසිකාවකගෙ හරි චිත්ත ස්වභාවය, සියක් අවුරුද්දක් මහ තෙරුණ් වහන්සේ නමක් වෙලා, මහණ වෙලා පිළිවෙත් පුරාගෙන හිටපු චිත්ත ස්වභාවයයි ඒකෙ දෙකම සමානයි කියලා පෙන්නනවා. {{ත්‍රිපිටක සූචිය}} ඒකෙ උප්පත්තියෙ තියෙන ගතියත් සමානයි, උපත ඉවරයි දෙන්නගෙම. දෙන්නම පිරිනිවන් පානවා.
දැන් මෙන්න මානසිකත්වය වෙනස් කරන්න පුලුවන් වෙලාවක්, මරණාසන්න මොහොත. ඒ නිසා විශේෂයෙන්ම “මතක බණ” කියලා අපි කියන්න පුරුදුවෙලා තියෙන්නෙත්, කෙනෙක් මැරිච්ච වෙලාවෙදි බණක් කියන්න, පිරිතක් කියන්න පුරුදුවෙලා තියෙන්නෙත් ඔය හේතුව නිසා. මරණාසන්න මොහොතක පුද්ගලයට ඇහෙන්න මොනවාහරි එහෙම කියනවා. දන්න හැටියට. අරවගේ දන්න කෙනෙක් ඉන්නවා නම් එකින් එකට අනුකූලව ගෙනිහිල්ලා එහෙම කරනවා.
එක්තරා උපාසක මහත්මයෙකුට එහෙම කරගෙන යනකොට සැරියුත් හාමුදුරුවෝ, ධ්‍යානයට යනකං හිත ගියාට පස්සෙ “මට බුදුරජණන් වහන්සේ බලන්නම ඕනෙ” කෑගහනවා. උන්වහන්සේ ඒක හරයක් නෑ කියලා විග්රහ කරන්නෙ නැතුව, සැනෙකින් බුදුරජාණන් වහන්සේ හම්බවෙලා කිවුවා “අර උපාසක මහත්තයා අවසාන මොහොතෙ ඉන්නෙ, ඔබවහන්සේ බලන්න ඕනැයි කියලා කෑගහනවා” කියලා. ඉතින් “සාරිපුත්ත, මං දැං ගියාට වැඩක් නෑ, එයා චුත වුනා, එයා බඹ ලොව උපන්නා. ඇයි ඉතුරු කරලා ආවෙ? අවසන් කලේ නැත්තෙ?” බුදුරජාණන් වහන්සේ සැරියුත් හාමුදුරුවන්ගෙන් අහනවා. “ඉතුරු ටික ඉවර කරලා ආවනම් ඉවරයිනේ, මේ ගමන ඉවර කරගන්නවනේ…” {{ ධනඤ්ජානිසුත්තං }}
දැන් මේ බණ පදය හරි වැදගත් කමක් තියෙනවා. මේ එක එක්කෙනා, එක එක විදිහේ ක්‍රම රටාවල් විග්රහ කරන්න යනවා නිවන් දකින්න. දැන් ඔය පුද්ගලයා නිවන් දක්වන්න අරං ගිය ක්‍රමය දැක්කද? ක්ෂණ භංගූරත්වය එහෙම පෙන්නුවද? අත පය ගෙනියන හැටි, ක්‍රියා කරන හැටි, ඇඟිලි අකුලන හැටි, දිගහරින හැටි පෙන්නුවද? ඒවා කර කරා ඉන්න කිවුවද? හොඳට පැහැදිලිව මේ සම්මත ලෝකයේ තියෙන ආදීනව පෙන්නලා ඒක ඉවර කෙරුවෙ නැද්ද? එහෙනම් ඒ කතාව තුළින් එයා නිවන් මඟට අවතීර්ණ වුනේ නැද්ද? “ලෝකය අසාරයි, ආදීනව සහිතයි” කියලා කියාදීලා, “නිවන ආනිසංසයි” කියලා කියාදෙන්න මේ මට්ටමෙන්, කෙනෙකුට අත්හැරී, නොඇලී, මිදී යන්න බැරිද? එහෙම මාර්ගයක් තියෙන බව කොච්චර පැහැදිලියිද?
එහෙනම් මාර්ගය හොයාගන්න ගිහිල්ලා ක්ෂණ භංගූරත්වය හොයන්න යන අයට මොකද කිවුවෙ? ලොවුතුරා බුදුරජාණන් වහන්සේට ගෝචර වෙන ධර්මයක් අනික් අය නිවන් දක්කන්න උපයෝගී කරගන්න හදනකොට, සර්වඥ ගෝචර ධර්මයක්, ශ්‍රාවක ගෝචර නැත්නම් අපිට සිද්ධවෙන්නෙ අතිධාවනය කරලා මානසික වෙහෙසෙන් මියැදෙන්න මිසක් යථාර්තයට යන්න බෑ.
ඉතින් මේ “පටිච්චසමුප්පාදය පහදා දෙන්න” කියලා මේ තවත් අන්තිම ප්‍රශ්නයක් ඉල්ලලා තියෙනවා. දැන් මේ තුළින් කියවුනෙත් පටිච්චසමුප්පාද ක්‍රම රටාවක් තමයි. නමුත් මේක විග්රහ කරන්න ගියොත් පැයක් හමාරක් මේකට යනවා. නැවත අවස්ථාවක ඒ ප්රශ්නය ඉදිරිපත් කරන්න. ඒක තව විග්‍රහයක් තුළ පෙන්වා දෙන්නම්.
~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~
දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://www.waharaka.com/listen/CD013-10