සදහම් පැන විසඳුම්

සදහම් පැන විසඳුම්
03 සං‍යුක්ත තැටියමූලික දේශනා

මෙම දේශනාවෙහි අරිය කාන්ත සීලය, බ්‍යාමමත්තේ කලේබරේ, ගිරි භාණ්ඩ, සෘද්ධි, අරිය මෙත, සුවාසූ දහසක්, දෙවුදත් තෙර, උපේක්ෂාතර උපේක්ෂාව, අරි අටඟි මඟ, පබස්සර සිත, ආලෝක කර්මස්ථානයක් යන දහම් කරුණු සම්බන්ධ පැහැදිලි කිරීම් අන්තර්ගත ය.

 

දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)

අරිය කාන්ත සීලය, බ්‍යාමමත්තේ කලේබරේ, ගිරි භාණ්ඩ, සෘද්ධි, අරිය මෙත, සුවාසූ දහසක්, දෙවුදත් තෙර, උපේක්ෂාතර උපේක්ෂාව, 
අරි අටඟි මඟ, පබස්සර සිත, ආලෝක කර්මස්ථානයක්

 

{0:00:00} : අරිය කාන්ත සීලය, පංච සීලය සහ පංච සුචරිතය

….ගත වීමට හේතු වන්නාවූ පහත් ධර්මයන්ට හේතු වන “සංඛාර” නැමැති ආහාරය “අන්තයට” පත්කළා නම්, කෙළවරට පත්කළා නම්, ඒ තුළින් ආපු ශික්ෂණයක්, සිසිල් බවක් තියෙනවා, මෙන්න මේකට කියනවා “අරිය කාන්ත සීලය”. මේකට පද වෙන් කරන්න බෑ, අරිය කාන්ත සීලයට. අප්‍රමාණ පද – ව්‍යංජන වලින් යුක්තයි, අරිය කාන්ත සීලය.

 

එහෙනම්, එයා ඉවත් කරපු කොටස කොච්චරද කියනවා නම්, “ආර්යයන්” විසින් සතර අපාගත වීමට හේතුවෙන “ඛ” බවට හෙවත්… (පටිගත වීමේදී සුලු කොටසක් මඟහැරී ගොස් ඇත)…. මහ මුහුදට අත දාලා, මේ ඇඟිලි දෙකට වතුර ටිකක් අරං උස්සලා ගත්තහම, ඉවර කරපු දහම් මේ මහ මුහුදේ තියෙන වතුර තරම් විතර ඇති. සෝවාන් පුද්ගලයට ඉතුරු වෙලා තියෙනවා මේ ඇඟිලි දෙකේ තිබිච්ච වතුර ටික විතර පොඩ්ඩක්. මහ පොළවෙන් නිය පිටට පස් චුට්ටක් ගත්තොත්, ඉවර කරපු දහම් මහ පොළවෙ පස් විතර ඇති, ඉතිරි වෙලා තියෙන ඒවා නිය පිටට ගත්ත වැලි පොඩ්ඩ විතර ඇති. ඔය ආදී වශයෙන්, නොයෙක් ආකාරයෙන් පෙන්වලා තියෙනවා. විශාල පර්වතයක් ලඟ පුංචි ගල් කැට හතක් තිබ්බා නම්, ඉතුරු දහම් අර පුංචි ගල් කැට විතර ඇති, අර මහා පරුවතේ තමයි ඉවර වෙච්චි දහම්. මෙහෙම නානාප්‍රකාර උපමා වලින් පෙන්වනවා.

 

මෙන්න මේ, ඒ ඉවර වෙච්චි දහම් මොනවද? රාගික, ද්වේෂ සහගත, මෝහ සහගත කියන ඒවට අයිති වෙන්නා වූ දහම් තමයි ඉවර වෙච්චි ඒවා. ඒවා ඉවර වෙන්න ඉස්සෙල්ලා රාග ගිණි, ද්වේෂ ගිණි, මෝහ ගිණි අප්‍රමාණයකින් දැවි දැවී හිටපු කෙනා, ඔය ආර්ය ඵලය ලබනවත් එක්කලා ම ඒ දැව් දැවී හිටපු දහම් අත්හැරීමෙන් ලබන්නාවූ සැනසීම කොච්චරද කියනවා නම්, එයින් ලැබුණු සිසිල, ගිණි නිවීමෙන් ලැබුණු නිවන් සුවය එයාට වැටහෙනවා, අන්න ඒකට කියනවා “අරිය කාන්ත සීලය”.

 

නමුත්, අරිය කාන්ත සීලය කියලා පෙන්වන්නෙ “සතුන් මරන්නෙ නෑ, හොරකම් කරන්නෙ නෑ, කාමය වරදවා හැසිරෙන්නෙ නෑ, බොරු කියන්නෙ නෑ, මත්පැන් බොන්නෙ නෑ” කියලා පෙන්නන්න ගියොත් එහෙම ධර්මයට ගලපන්න බෑ. ඉතින් “අරිය කාන්ත සීලය පංච සීලයයි” කිවුවොත් එහෙම, කියපු එක විග්‍රහ කරලා ගලපගන්න බැරුව යනවා.

 

“පංච සීලයයි” කියන එකෙත් ඇත්තක් තියෙනවා, හැබැයි “මොකද්ද පංච සීලය?” තෝරාගන්න ඕනෑ. “කිං සීලං?” – සීලය නම් කුමක්ද? “පහාන සීලං, වේරමණී සීලං, චේතනා සීලං, සංවර සීලං, අවිතික්කම සීලං ති” මෙන්න පන්සිල්. [ත්‍රිපිටක සූචිය]

 

සෝතාපන්න බවට පත්වුනු ආර්ය ශ්‍රාවකයා සතර අපාගත වීමට හේතු කාරක වන්නාවූ යම් පාපයක් ඇත්ද, ඒ ටික පහ කළා, පහ කළා මයි, නැවත වාරයක් ඒ හිතට එන්නෙ නෑ, “පහාන සීල”.

 

සතර අපාගත වීමට හේතුවෙන යම්කිසි පාප ධර්මයක් රමණය කිරීමෙන් වෙන්වුනා නම්, වෙන් වුනා වෙන් වුනාමයි, නැවත රමණය කරන්න හේතු වෙන්නෙ නෑ – “වේරමණී සීල”

 

සතර අපාගත වීමට හේතුවෙන පාප චේතනාවක් පහවුනා නම්, ඒ චේතනාව නැවත වාරයක් නැගෙන්නෙ නෑ, ඒක ගෙවුනා, ගෙවුනාමයි. ඒකට කියනවා “චේතනා සීල”.

 

සතර අපාගත වීමට හේතුවෙන පාප අසංවරයක් ඒ හිතේ සිද්ධ වෙන්නෙ නෑ කවදාවත්, ඒක “සංවර සීල”.

 

අරිහත්වයට පත්වෙන්නෙ කවද්ද, සසර ගමන කෙළවර කරන්නෙ කවද්ද, එදා වෙනකන් මේක කැඩෙන්නෙ නෑ කිසි දවසක – “අවිතික්කම සීල”

.

මෙන්න ආර්ය ශ්‍රාවකයාගේත් “අරිය කාන්ත සීලය” කිවුවෙ, ඒත් ඕකයි. හැබැයි “අරිය කාන්ත සීලය පංච සීලයයි” කියන්න ගියොත්, පංච සීලය තෝරාගන්නකං කියන්න බෑ. කියන්න ගියොත් එහෙම අනිත් ධර්මයට පැටලෙනවා, අනිත් දහම් කොටස් වලට විරුද්ධයි, පරස්පර වෙනවා.

 

ඉතින් සෝවාන් පුද්ගලයා සත්තු මරන්නෙ නෑ, හොරකම් කරන්නෙ නෑ කිවුවොත් එහෙම, ධර්මයේ පෙන්වලා තියෙනවා, අරිහතුන් වහන්සේ යි ඔය ටික කරන්නෙ නැත්තෙ කියලා. සෝවාන් පුද්ගලයා සතුන් මරන්නෙ නැති එකෙන් කරන්නෙ නැත්තෙ, මවු මරන්නෙ නෑ, පියා මරන්නෙ නෑ, අරිහතුන් වහන්සේලා මරන්නෙ නෑ. ඔච්චරයි වෙන්නෙම නෑ කියලා පෙන්නුවෙ. දැන දැන ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්නෙ නැත්තෙ අරිහතුන් වහන්සේට. එහෙනම්, මේ ධර්මයට මේක ගැලපෙන්නෙ නෑ, පරස්පරයි.

 

එතකොට කොහොමද “ඡ චාභි ඨානානි අභබ්බෝ කාතුං” [ත්‍රිපිටක සූචිය] – හය පොළක විතරයි කටයුතු කෙරෙන්නෙ නැත්තෙ. මවු මරන්නෙ නෑ, පියා මරන්නෙ නෑ, අරිහතුන් වහන්සේලා මරන්නෙ නෑ, බුද්ධ ශරීරයේ ලේ උපද්දන්නෙ නෑ, සංඝ භේදයක් කරන්නෙ නෑ, නියත මිත්‍යා දෘෂ්ඨිකයෙක් වෙන්නෙ නෑ. ඔය කියන හය නම් සිද්ධ වෙන්නෙ නෑ.

 

නමුත්, සතුන් මරන්නෙ නෑ, හොරකම් කරන්නෙ නෑ කියන අරිය කාන්ත සීලයක් පිහිටනවයි කිවුවොත්, ඒක කැඩෙන්නෙ නැති එකක්, “ඉතින් ඒ කියන්නෙ මොකද්ද?” අහපුවම “සතුන් මරන්නෙ නෑ, හොරකම් කරන්නෙ නෑ…” කියලා එහෙම උත්තර දෙන්න ගියොත්, කොහොමද ගලපන්නෙ අර පෙර, අනිත් දහම් වලට? පරස්පර වෙලා, දහම් පරස්පර භාවයක් පෙන්වනවා. සත්‍යය තුළ පරස්පර වෙන්න බෑ, සත්‍යය තුළ කොතනින් බැලුවත් ගැලපෙන්න ඕනෙ. ඉතින් ගැලපෙන්න තේරුම් ගන්න බැරි නම්, ඒ ටික කරගන්න බෑ.

 

{0:04:27} : යෝනිසෝ මනසිකාරය

යෝනිසෝ මනසිකාරය, යෝනිසෝ මනසිකාරය කියන්නෙ, හරි ආකාරව මේක දකින්න ඕනෑ. ඒ කියන්නෙ, “මනසිකාර කරනවා” කියලා කියන්නෙ “මනෙන් ඉසිකාර” කරන්න වෙනවා, මනෙන් ගොඩනඟලා දකින්න ඕනෙ, යථාර්තය. යම්කිසි දෙයක තිබෙන්නාවූ “නිසි ආකාරය”, යමක “නිසි තත්වය” මනසෙන් දැකගන්න ඕනෙ.

 

ඉතින් යමක “නිසි තත්වය” මොකද්ද? “අනිච්ච බව, දුක්ඛ බව, අනත්ථ බව”, ඒකයි “නිසි තත්වය”. අර “යෝනිසෝ” කිවුවෙ ඒකයි. එතකොට, ඒක දැකගන්න ඕනෙ, මෙනෙහි කරන්න ඕනෙ.

 

එතකොට “නිස්ස” කියන වචනයෙන් පෙන්වනවා හේතුවටත්. යම් “හේතුවක්” ඇත්ද, ඒක මනසින් දකින්න ඕනෙ. මොනවද? පැවැත්මට හේතු වෙන්නෙ යමක්ද, ඒක නුවණින් දකින්න පුරුදු වෙන්න ඕනෙ. “මේ පැවැත්ම සසර ගමනටයි, මේ පැවැත්ම සුගතියටයි, මේ පැවැත්ම දුගතියටයි, එතකොට මේ පැවැත්ම බඹ ලොවටයි, මේ පැවැත්ම අරූප ලෝකයටයි, මේ පැවැත්ම නිවනටයි…” අන්න “නිස” දකින්න ඕනෙ. යමක “නිසි ආකාරය” කියන්නෙ ඕකයි.

 

ඒක මෙනෙහි කරන්න පුලුවන් කමක් නැත්නම් අපිට නිවන් දකින මඟ හොයාගන්න බෑ. කවුරුහරි කියන ඒවා පස්සෙ එල්ල්ලිලා හිටියොත්, “ඒක නිවන් මගක්ද?” කියලා, අපිට නිවන් දකින මග අනුන්ගෙන්, අනුන්ගෙ වචන වල එල්ලිලා නිවන් දකින්න ක්‍රමයක් හොයාගන්න බෑ. ඒ නිසා පෙන්වන්නෙ, ඒ යමක් නිසා යමක් වෙනවද, අන්න ඒක අපි දකින්න ඕනෙ. “යෝ නිස” කියන වචනයෙහි අර්ථය “යමක් නිශ්‍රය කරගෙන” කියන එකයි.

 

“මන” සකස් වෙන හැටි අපි දැකලා තියෙන්න ඕනෙ. දැන් “මේ බණ කොහොමද බණක් වෙන්නෙ? මේ බණෙන් කොහොමද නිවන් දකින්නෙ? කොහොමද ඒක නිවනට හේතු වෙන්නෙ?” ඒ වගේ එල්ල කරලා යන්න ඕනෙ මාර්ගයක් තියෙනවා. එහෙම නැත්නම් ලොකු අමාරුවක වැටෙනවා.

 

අර එක උපාසක මහත්මයෙක් බණ අහන්න ගිහාම පුරුද්ද නින්ද යන එක. බණ පටන්ගන්නකොට බොහෝම ආසාවෙන් බණ අහන්න බලාපොරොත්තුව හිටියා. ඉතින් හාමුදුරුවො බණක් කියන්න ගිහිල්ලා, ඉතින් එක්තරා බල්ලන් මරණ මනුස්සයෙක් ගෙ විස්තරයක් කියන්න ගිහිල්ලා, “බල්ලො මරලා…” කියනකොට නින්ද ගියා, “…නිවන් දැක්කා” කියනකොට ඇහැරුණා. මිනිහට මතකයි “බල්ලො මරලා නිවන් දැක්කා” කියන එක. ඊට පස්සෙ පොල්ලක් අරගෙන, “නිවන් දකින්න ලේසිම ක්‍රමය, අපිටත් හොඳම ක්‍රමය, ආයි බල්ලො කන්නෙත් නෑ, හිටපියකො හොඳ වැඩක් කරන්න… නිවන් දකින්න ලේසිම ක්‍රමය…” කියලා, හොඳ පොල්ලක් තියාගෙන බල්ලන් මර මරා ගියා ලු, දැක්ක දැක්ක තැන. අහපුහම කිවුවලු, හාමුදුරුවො කිවුවා කිවුවා ලු, “බල්ලො මරලා නිවන් දකිනවා” කියලා. “බල්ලො මරලා…” කියනකොට නින්ද ගියා, “…නිවන් දකිනවා” කියන එක අහං ඉඳලා ඇහැරුණා. ඉතින් මතකයේ තිබුණෙ අර දෙක. මෙන්න මේ වගේ සිද්ධි වෙනවා.

 

ඉතින් ඒ වගේ අවස්ථා වලදි අපි දකින්නෙ නෑ නිවන් දකින්න මොකද්ද කරන්න ඕනෙ කියලා, ඕක තමයි, ඕවා හොඳ උපමා, උපහාස කතා, මොකටද දෙන්නෙ? ඒ කියන්නෙ, හේතු-ඵල ධර්මය තෝරාගන්න බැරුව, අනුන් කියන ඒවා අහලා කරන්න යන මිනිහට හොඳ පහරක්, ඔය කියන්නෙ. හොඳ ආදර්ශ කතා, ඕවා. කළාට කියනවා නෙමෙයි ඔය, ඔය ඔහොම කතා කියන්නෙ මොකද? අර මිනිහා තේරුම් ගන්නෙ නැතුව, අනුන්ගෙ කියමන ම විශ්වාස කරලා, “නිවන් දකින්න පුලුවන්, නිවන් දකින්න පුලුවන්” කියලා කියන, කියන පස්සෙ, ඒ ඒ දේවල් කරන්න ගියහම සිද්ධ වෙන්නෙ ලොකු අමාරුවක වැටෙන එක. අන්න ඒක තමයි ඔය විග්‍රහ කරලා පෙන්වන්නෙ, “එහෙම බණ අහන්න එපා! මේ බණෙන් කොහොමද නිවන් දකින්නෙ? මේ ක්‍රියාව කොහොමද නිවන් දකින්න හේතු වෙන්නෙ? මේ හඬ, මේ කතාව කොහොමද නිවනට හේතු වෙන්නෙ?” ක්‍රමයක් තියෙනවා. අන්න ඒක අපි දකින්න ඕනෙ. ඒ ක්‍රමය තුළින් අනුගමනය කරලා ඕනෙ නිවන් මඟ ඉස්සෙල්ලා දැකගන්න.

 

“මෙහෙමයි නිවන් දකින්නෙ” කියලා දැනගත්තට පස්සෙ, සැක නැතුව දැනගත්තට පස්සෙ, ඒ මග අනුගමනය කරපුහාම වෙන මගක් නෑ නිවන් දකින්න. එතකොට කාගෙ වත් සැක නෑ, කාගෙන් වත් අහන්න දෙයක් නෑ ඊට පස්සෙ. “මං සෝවාන් වෙලාද? මං සකෘදාගාමී වෙලාද?” එහෙම අහන්න දෙයක් නෑ, “මගෙ කෙළෙස් නිවිලද?” අහන්න දෙයක් නෑ, අන්න ඒකයි ක්‍රමය.

 

ඉතින් “යෝනිසෝ මනසිකාරය” කියන්නෙ “නුවණින් මෙනෙහි කිරීම” කිවුවට මේක තේරෙන්නෙ නෑ. ඉතින් එතකොට අපි ඇහුවොත් එහෙම “නුවණින් මෙනෙහි කරලා නෙමෙයිද රොකට් එක හදන්නෙ? නුවණින් මෙනෙහි කරලා නෙමෙයිද මිසයිල නිපදවන්නෙ? T-56 හැදුවෙ ඔය කියන ජාතියෙ නුවණින් මෙනෙහි කරලා කියන කතාවෙන් නෙමෙයිද?” ඒකෙත් තිබුණා හදන්න, නුවණක්. ඒක මහා විනාසයට හේතු වුනා.

 

එහෙනම්, “නුවණින් මෙනෙහි කිරීම” කියන වචනය ගත්ත ගමන්, ඒක ප්‍රභේද සහිතයි, මේ සම්පූර්ණ සුද්ධ නෑ. එක එක්කෙනා එක එක විදිහට කෑලි දාලා අහන්න පුලුවන්, තර්ක – වාද කරන්න පුලුවන්. අන්න ඒකයි කාරණය. “යමක් සිද්ධ වෙන්නෙ කුමක් නිසාද?” කියලා මෙනෙහි කරලා දකින්න ඕනෙ. “හේතුං පටිච්ච සම්භූතං – හේතු භංගා නිරුජ්ඣති” [ත්‍රිපිටක සූචිය] ඔන්න ඕක දකින්න ඕනෑ. “යෝනිසෝ මනසිකාරය” එතකොට හම්බවෙනවා. හැබැයි, ඒකෙන් අරගන්න පුලුවන් කමක් නෑ, මිනිහා විනාසයට පත්කරන්න.

 

යමක් සිද්ධ වෙන්නෙ මෙබඳු හේතුවකින්, “රාගය හේතුකොට, ද්වේෂය හෙතුකොට, මෝහය හේතුකොට යමක් සිද්ධ වෙනවද, ඒකෙන් සතර අපාගත වීමට හෝ සසර පැවැත්මට හේතු වෙනවා. රාගක්ෂය ට, ද්වේෂක්ෂය ට, මෝහක්ෂය ට යමක් හේතු වෙනවද, එබඳු සිතිවිලි, ක්‍රියා, වදන් නිවනට හේතු වෙනවා…” අන්න දැනගත්තා.

 

{0:10:06} : “ඛ්‍යාමත්තේ කලේබරේ” සහ “බඹයක් පමණ කය” නිවැරදිව…

(ප්‍රශ්නය): “දීඝ නිකාය, රෝහිතස්ස සූත්‍රයේ සඳහන් වන මෙම ගාථා පාඨය පැහැදිලි කරදෙන්න – ඉමසිමිං ච… ” ඛ්‍යාමත්තේ ද මේ තියෙන්නෙ? කලේබරේ… සසංඥා සමනකේ…. හොයන්නෙ අමාරුයි ඒ වචන… ලෝකංච පඥ්ඥා ප්‍රේමිං දුක්ඛ සමුදයංති, දුක්ඛ නිරෝධංති….”

 

(ස්වාමීන් වහන්සේ ගේ පිළිතුර): මේකෙන් පෙන්වන්නෙ මේකයි, “කේසමත්තේ….” මොකද්ද මේ ? “ඛයාමත්තේ…” ද මේ දාලා තියෙන්නෙ? හොයන්න පුලුවන් ද මහත්තයා ඒ වචනෙ? “ඉමසිමිං ච ඛ්‍යාමත්තේ…” ද? “ඛ්‍යා” ද තියෙන්නෙ? මේ “ඛ්‍යාමත්තේ කලේබරේ” කියලා තියෙන්නෙ, “ඛ්‍යා..” නෙමෙයි මෙතන වචනෙ එන්න ඕනෙ නම්…. [ත්‍රිපිටක සූචිය]

 

මේකෙ තියෙනවා “මේ සිත සහිත වූ ගතෙහි” කියන එක, කලේබරේ කියන්නෙ මේ කයට, මස්-ලේ කයට. මේ සිත සහිත වූ මස්-ලේ කයෙහි… “බ්‍යාමමත්තේ…” නේද තිබුණෙ? “බඹයක්… බඹයක් පමණ වූ…” කියන එකයි මේකෙ කියන්නෙ, “ඛ්‍යාම” නෙමෙයි. “මේ බඹයක් පමණ වන්නාවූ කයෙහි සංඥා සහිත වන්නාවූ, මනස සහිත වන්නාවූ මේ කය තුළ ලෝකයත්, ලෝක සමුදයත්, ලෝක නිරෝධයත්, පටිපදාවත් පණවනවා…” කියන එකයි මේ පෙන්වන්නෙ.

 

ඉතින් ඒ කියන්නෙ, මේ කය තුළම, එතකොට බඹයක් පමණ වන්නාවූ මේ කය තුළ තමයි, මේ සංඥා සහිත මේ කය තුළ මයි, මේ චතුරාර්ය සත්‍යය ධර්මයෝ දැකීමෙහි ඉතින් ඒ කියන්නෙ, මේ කය තුළම, එතකොට බඹයක් පමණ වන්නාවූ මේ කය තුළ තමයි, මේ සංඥා සහිත මේ කය තුළ මයි, මේ චතුරාර්ය සත්‍යය ධර්මයෝ දැකීමෙහි පැණවීම කරන්නෙ. මෙයින් පිටස්තර දකින්න දෙයක් නෑ, මොකද අපි ඇලිලා තියෙන්නෙ බාහිර ලෝකෙ නෙමෙයි. මේ බාහිර ලෝකයේ තිබෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්ඵර්ශ කියන මේවා කාමයට හිත දහම් මිසක්, පංච කාමයට හිතවත් දහම් මිසක්, පංච කාම දහම් නෙමෙයි, ඕක දකින්න ඕනෑ. ඒවා කාමයට හිත දහම්.

 

අවිද්‍යාව තියෙනවා නම් තමයි තෘෂ්ණාවට, කාමයට හේතු වෙන්නෙ. බාහිර ලෝකයේ කොච්චර ලස්සන ඒවා තිබුණත්, අවිද්‍යාව දුරු කරපු කෙනෙකුට ඒ නිසා කාමයක්, ආස්වාදයන්ගෙ බැඳීමක් හටගන්නෙ නෑ. එහෙනම්, ඒ ටික කරගත්තෙ සංඥා සහිත වන්නාවූ, මේ බඹයක් පමණ වන්නාවූ, මේ කය තුළ හිරවූ මානසිකත්වයෙන්. ඒ තුළින් තමයි තේරුම් අරගන්නෙ, අර කියන “දුක” පණවනවා කිවුවෙ.

 

එතකොට, ලෝකයෙහි යම්කිසි දෙයක් හටගන්නවා නම්, “මම, මගේ” කියන මේ දෘෂ්ඨිය තුළ හටගන්න හැම එකක්ම, “මම, මගෙ” කියලා ගන්න යම් හැම එකක් ම හටගන්නවා නම්, ඇස, කන, දිව, නාසය, ශරීරය, මන කියන මෙන්න මේ ඉන්ද්‍රියන් ඇසුරු කරගෙනයි හටගන්නෙ. ඒ ඉන්ද්‍රියන් ඇසුරු කරගෙන, චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාන විඤ්ඤාණ, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියන මේ විඤ්ඤාණ ඇසුරු කරගෙනයි හටගන්නෙ.

 

අවිද්‍යාව නිසා, ඒවයෙ චක්ඛු සංඵස්ස, සෝත සංඵස්ස, ඝාන සංඵස්ස, ජිව්හා සංඵස්ස, කාය සංඵස්ස, මනෝ සංඵස්ස කියන මෙන්න මේ “සංස්ඵර්ශයන්” නිසයි හටගන්නෙ, යම් දුකක් හටගන්නවා නම්. චක්ඛු සංඵස්සජා වේදනා, සෝත සංඵස්සජා වේදනා, ඝාන සංඵස්සජා වේදනා, ජිව්හා සංඵස්සජා වේදනා, කාය සංඵස්සජා වේදනා, මනෝ සංඵස්සජා වේදනා කියන මෙන්න මේ “වේදනා” හය අල්ලාගෙනයි හැම දුකක් ම හටගන්නෙ. ඔය ටික මේ බඹයක් පමණ වන්නාවූ මේ මනස සහිත, සංඥා සහිත කය තුළ සිදුවෙනවා මිසක්, මෙයින් බාහිර සිද්ධ වෙන ඒවා නෙමෙයි.

 

එහෙනම්, දුක හටගැනීමේ මුල එතන නම්, ඒ අවිද්‍යාව දුරු කරපුහාම, දුක හටගැනීමේ මුල නැතිවෙන්නෙ මේ කය තුළ මිසක් පිට දිහාවක නෙමෙයි. ආං එතකොට තේරෙනවා, බාහිර ලෝකය නෙමෙයි අපි “ඇලුමට” ගත්තෙ, අපි ලඟම තිබිච්ච, මුලාව නිසා හටගත්ත “ඡන්ද රාගය” යි. අපිට දුක දුන්නෙ බාහිර ලෝකයෙන් නෙමෙයි, අපි ලඟ ම මුලා වෙලා, අපි ලඟ හටගත්ත, ගොඩනැඟිච්ච “ඡන්ද රාගය” යි. එහෙනම් ඒක “සංඥා සහිත වන, බඹයක් පමණ වන්නාවූ මේ කය” තුළ හටගත්ත එකක් මිසක්, වෙන එකක හටගත්තෙ නෑ.

 

ඉතින් එතකොට, දැන් “බඹයක් පමණ වන්නාවූ කය තුළ” කියන වචනය අපි අරන් තියෙනවා අද ලෞකික අදහසින්. “බඹයක් පමණ වන්නාවූ කය තුළ”, දැන් “බඹයක් පමණ” නෑ, පොඩි එකාටත් තියෙනවා නේද? පොඩි එකාට අඩි ගාණයි කය, බඹයක් කොයින්ද, බඹයෙන් කාළක් වත් නැති කය තියෙන එකත්, හත් අවුරුදු ළමයත් සෝවාන්, අරිහත්වයට පත්වෙලා තියෙන්නෙ… “බඹ කතාව” දාන්න බෑ නෙ එයාට! ඒ නිසා “බඹ කාළක්” පමණ වන්නාවූ ශරීරයෙන් තමයි එයා ඒ ටික කරගෙත්තෙ.

 

එහෙනම්, මොකද්ද මෙතන මේ කිවුවෙ? අපි “මස්තකප්‍රාප්ත” කරගෙන, මුදුන්පත් කරගෙන ඉන්න දෙයක් තියෙනවා. “බ්‍යා අම මස්තකප්‍රාප්ත කරගෙන” නිසා කියනවා “බ්‍යා අම මත්ත” – බ්‍යාමමත්ත. “බ්‍ය” කියන වචනයෙන් පෙන්වන්නෙ “භවය” හෙවත් “බිහි කිරීම”. මේ “බිහි වීම අමෘතයක්” කියලා මස්තකප්‍රාප්ත කරගෙන ඉන්න තාක්කල්, නැත්තම් “භවය. අමෘතයක් සමානව ජීවත් වෙන්න සුදුසු තැනක්” කියලා, ඔන්න ඔය මත ඉන්න තාක්කල්, ඒ මතයෙන් යුක්තව මේ කයක් දරාගෙන ඉන්න තාක්කල්, ඔය පුද්ගලයට දුක පණවනවා, දුකට හේතුව පණවනවා එතන. එතකොට, ලෝකයක් පණවනවා, දුකට හේතුවත් පණවනවා. ඉතින් මේක අයින් කරගත්තහම, එතනමයි “දුක්ඛ නිරෝධය” වෙන්නෙ.

 

එහෙනම් මේ “භවය” කියන, “භවය හෙවත් පැවැත්ම අමෘතයක්” කියලා හිතන් ඉන්න මුලාව, “නොමැරෙන තැනක්, යහපත් තැනක්” කියලා හිතන් ඉන්න මුලාව අත්හැරිච්ච දාට “බ්‍යාමමත්තේ” ඉවරයි. ඒක පුංචි ළමයට වුනත් එකයි, ලොකු කෙනාට වුනත් එකයි, දෙවියන්ටත් එකයි.

 

දැන් මේක “බඹයක් පමණ වන කය තුළ” පණවනවා කිවුවොත් නිවන් දකින්න පුලුවන් මනුස්සයින්ට විතරයි. බඹයක් විතර කය ඇති මනුස්සයින්ට විතරක් වෙනවා. හැබැයි අර ගවු ගණං, යොදුන් ගණං දුර තියෙන දේවතාවො ඉන්නවා කියනවා නෙ, සමහරක් ගෙ අත්බැවු යොදුන් ගණං, ගවු ගණං උසයි ලු. “ගාමක්ෂේත්‍රයක්” තරම්, ගමක් තරම් පළලයි, උස මහතයි, ඒ අයට “බ්‍යාමමත්තේ” කියන්න, දාන්න බෑ. එතකොට ඒ වගේ යොදුන් ගණං, ගවු ගණං උස තියෙන ශරීර තියෙන කෙනාට “බ්‍යාමමත්තේ කලේබරේ” නෙමෙයි තියෙන්නෙ, බඹ කීයක් ද දන්නෙ නෑ නෙ එතන.

 

හැබැයි, ඒ අයටත් එක දෙයක් තියෙනවා, මේ “බ්‍ය අම” කියන වචනයේ තියෙන, “බ්‍යාම” කියන වචනයේ, මේ අමෘතයක් හරි, මේ “භවය අමෘතයක් හරි” යි හිතාගෙන ඉන්න, ඒ මත ඉන්නවා නම්, ඒ මත කයක් දරාගෙන ඉන්නවා නම් යම් කෙනෙක්, අන්න ඒ තුළ තමයි ඔය දුකයි, දුකට හේතුවයි හටගන්නෙ. ඕක නිරෝධ කරගන්නවා නම්, ඔය “ඡන්ද රාගය” දුරු කරගන්න ඕනෙ. අර දෘෂ්ඨිය නැති කරගන්න ඕනෙ. එතකොට දුකෙන් නිදහස්. “බඹයක් පමණ වූ කය තුළ” කියන වචනය තමයි මේකට භාවිත කරන්නෙ, දැන් ඔය මේ කාලෙ භාවිතා කරන අර්ථ කථා වල භාවිත කරන්නෙ “බඹයක් පමණ කය තුළ” කියලා.

 

ඉතින් ඕවයේ තියෙනවා “නිරුක්ති අර්ථ”. ඉතින් මේ දුක හටගැනීමක් ඇත්නම්, ඒක මේ කය තුළම නැගෙන්නාවූ දෙයක් තුළින් නැගෙනවා මිසක්, ඇහැ නිසා, රූපය නිසා හටගත්තත්, චක්ඛු විඤ්ඤාණය නිසා තමයි එයින් එහාට ඒවා හටගන්නෙ. චක්ඛු විඤ්ඤාණය හටගෙන්නෙ බාහිර නෙමෙයි, අභ්‍යන්තරයේ. ඇස, කන, දිව, නාසය, ශරීරය, මන කියන ඔය තුළ තමයි හටගන්නෙ චක්ඛු විඤ්ඤාණයක්. චක්ඛු සංඵස්සය, චක්ඛු සංඵස්සජා වේදනා කියන මේ සියල්ලම හටගන්නෙ, ඔය කියන “බඹයක් පමණ” කියන එක කොහොම වුනත්, ඔය මිනිහෙක් “ප්‍රිය මනාපයි” කියලා අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් ලෝකෙ අල්ලාගෙන ඉන්න මේ කායිකත්වය තුළ, සංඥා සහිත කය තුළ. මෙතන තමයි දුක එන්නෙ.

 

දුක්ඛ නිරෝධය කරන්න තියෙන්නෙ, ඒ “ඡන්ද රාගය” දුරු කරපු දාට දුක්ඛ නිරෝධයි. දැන් උත්තර හරි නෙ ඒ ටිකට…

 

{0:19:40} : ස්මෘතිය, අපිලාපන ස්මෘති, උපගණ්හන ස්මෘති යනු…

(ප්‍රශ්නය): පසුගිය සතියේ ඉතිරි හරිය, “යෝනිසෝ මනසිකාරය” හඳුන්වා දෙන්න, අපි ඒක ගත්තා නෙ දැන්. “ස්මෘති, අපිලාපන ස්මෘති, උපගණ්හන ස්මෘති”…

 

(ස්වාමීන් වහන්සේ ගේ පිළිතුර): දැන් මේකෙත් මේ “ස්මෘති” කියන වචනයක් අපි අරගත්තා. “යෝනිසෝ මනසිකාරය” කියන එකත් අපි හඳුනගත්තා. හැබැයි “මනසිකාර” කියන චෛතසිකයෙන් තමයි ඒ ටික කෙරෙන්නෙ, “ස්මෘති” කියලා චෛතසිකයක් තියෙනවා, ඒකෙන් කරන්නෙ “සිහි කිරීම”.

 

“සිහි කරනවා” කියනකොටත්, සිහි කරන ක්‍රම තියෙනවා. “ආර්ය ස්මෘතිය” එකක්, “අනාර්ය ස්මෘති” තව එකක්, ඒ වාගෙම ලෝකයා ගේ අනාර්ය ස්මෘතියට අතීතය ත් සිහි කරන්න පුලුවන්, අතීතයේ වෙච්ච දේවල් පිළිබඳව, රාගික දේවල් පිළිබඳව සිහි කරනවා, රාගික හැඟීමෙන් සිහි කරනවා, ද්වේෂ හැඟීමෙන් සිහි කරනවා, මෝහ හැඟීමෙන් සිහි කරනවා, මෙහෙම සිහි කිරීම් තියෙනවා. ඒවා “අනාර්ය ස්මෘති”. “මුට්ඨස්සති” කියන වචනයෙනුත් ඕක පෙන්වලා තියෙනවා. හැබැයි “ස්මෘතිය” ම තමයි ඔය තියෙන්නෙ. ඒක ආර්ය වුනොත් තමයි “සම්මා සතිය” ට වැටෙන්නෙ. ආර්ය වුනොත් ඒ ස්මෘතිය, “සම්මා සති” බවට පත්වෙනවා. අනාර්ය වුනොත් “මිච්චා සති” කියනවා.

 

හැබැයි “සති” කියලා, මිච්චා සති, සම්මා සති කියලා චෛතසික දෙකක් පෙන්වන්නෙ නෑ, සද්ධා, සති කියලා, “සතිය” කියන “කුසළ චෛතසිකයක්” වශයෙන් පෙන්වලා තියෙනවා “සති” කියන චෛතසිකය. දැන් එතන කිවුව “සති” කියන එක තෝරාගන්න ඕනෑ.

 

“ස්මෘති” කියන වචනයෙදි “සිහි කිරීම” කියන වචනයෙන්, “අතීතය සිහි කිරීම” කියන වචනයෙදිත් ඕක තෝරාගන්න ඕනෑ, ඒ සිහි කිරීම මොකද්ද? ලෞකික සිහි කිරීමයි, ආර්ය සිහි කිරීමයි දෙක වෙන් වෙන් වශයෙන් දැනගන්න ඕනෙ. දැන් මේකෙ, දැන් මේ “අපිලාපන ස්මෘති” සහ “උපගණ්හන ස්මෘති” කියලා දෙකක්

 

දැන් සිහි කිරීම තුළින් අයින් කරන්න එකක් තියෙනවා, “පහ කළයුත්තක්” තියෙනවා, “ඇසුරු කළයුත්තක්” තියෙනවා.

 

ඇසුරු කළයුතු වන්නාවූ “ආර්ය අෂ්ඨාංගික මාර්ගය” අරගන්නකොට කියනවා “උපහණ්හන ස්මෘතිය”, අයින් කළයුතු අනාර්ය අෂ්ඨාංගික මාර්ගය හෙවත්, මිච්චා දිට්ඨි, මිච්චා සංකප්ප ආදී වශයෙන් තියෙන කොටස අයින් කිරීමට කියනවා “අපිලාපන ස්මෘති”.

 

ඔය දෙකම නියම සිහි-නුවණින් කරන්න ඕනෙ එකක්. මිත්‍යාව දැනගෙන මිත්‍යාව පහ කිරීමයි, සම්මාව දැනගෙන සම්මාව ඇසුරු කිරීමයි. ඔය දෙක තියෙන්න ඕනෑ.

 

{0:23:18} : අෂ්ඨ සමාපත්ති, නව අනුපූර්ව සමාපත්ති සහ නිරෝධ සමාපත්තිය

තවත් පුංචි ප්‍රශ්නයක් තියෙනවා, මොකද්ද තියෙන්නෙ? (ප්‍රශ්නය): “අෂ්ට සමාපත්තිය” කියන්නෙ කුමක්ද? “සංඥා නිරෝධය” කියන්නෙ නිවන ම ද?

 

(ස්වාමීන් වහන්සේ ගේ පිළිතුර): “අෂ්ට සමාපත්තිය” කියන්නෙ මේකයි, ආර්ය මාර්ගය තුළ “නව අනුපූර්ව සමාපත්ති” කියලා ක්‍රමයක් තියෙනවා.

 

ඒ කියන්නෙ, ඉස්සෙල්ලාම ප්‍රථමධ්‍යාන, දුතියධ්‍යාන, තෘතියධ්‍යාන, චතුර්ථධ්‍යාන කියන ධ්‍යාන සමාපත්ති හතරයි. චතුර්ථධ්‍යානයට පත්වෙච්චි කෙනාට එතන ඉඳලා තියෙන්නෙ, “අරූප සමාපත්ති” හතරක් තියෙනවා. ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නේවසඤ්ඤා නාසඤ්ඤායතනය කියලා සමාපත්ති හතරක් තියෙනවා. අතන ධ්‍යාන හතරෙ හතරයි, අරූපාවචර සමාපත්ති හතරයි ගත්තහම කියනවා, අෂ්ඨ සමාපත්ති. ඔය හුඟාක් විග්‍රහ කරන්න තියෙන කාරණාවක්.

 

කෙටි වශයෙන්, වචන වශයෙන් ගත්තහමයි ඔය අෂ්ඨ සමාපත්ති කියන්නෙ, ප්‍රථමධ්‍යාන, දුතියධ්‍යාන, තෘතියධ්‍යාන, චතුර්ථධ්‍යාන, ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නේවසඤ්ඤා නාසඤ්ඤායතනය කියන සමාපත්ති අට ට කියනවා අෂ්ඨ සමාපත්ති.

 

ඒකෙන් ගිහිල්ලා ඊලඟට “සංඥා වේදයිත නිරෝධය” කියලා තියෙනවා, “සංඥා නිරෝධය, සංඥා වේදයිත නිරෝධය”. ඒ කියන්නෙ, නේවසඤ්ඤා නාසඤ්ඤායතනය කියන තැනට ගිහිල්ලා, සම්පූර්ණ ම “චිත්ත නිරෝධ” කරනවා, සංඥා දැනෙන්නෙ නෑ, සංඥාව සම්පූර්ණ කෙළවර කරනවා. එතකොට කියනවා, “නිරෝධ සමාපත්තිය”, සංඥා නිරෝධයට සමවැදුනම.

 

“සංඥා නිරෝධය කියන්නෙ නිවන නෙමෙයි”. නිරෝධය කියන්නෙ, ලොව ඉන්න කෙනෙකුට ලබන්න පුලුවන්, අත්විඳින්න පුලුවන් ඉහළ ම සමාපත්තියයි.

 

නිවන කියන්නෙ, “රාගක්ඛයෝ නිබ්බානං, ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං” කියන මේ තුනයි. රාගක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය නිවනයි, නිවන තියෙන්නෙ එතන. අර තියෙන්නෙ, “ඉහාත්ම සුඛ විහරණයේ උපරිම සුඛය”. ඒක තමයි නිරෝධ සමාපත්තිය. නිරෝධ සමාපත්තිය නිවන නෙමෙයි, නිරෝධ සමාපත්තිය කියන්නෙ, මෙලොව හිත පිළිබඳ, ගත පිළිබඳ යම් තරමක් අත්හරින්න පුලුවන්ද, අත්හැරලා නිදහස් වෙන්න පුලුවන්ද, ඒ නිදහස් මානසිකත්වය තුළින් ගිහිල්ලා අන්තිම නිදහසක් කියලා යමක් ලබන්න පුලුවන් නම්, අන්න ඒ ටික තමයි පෙන්වන්නෙ ඔතන නිරෝධ සමාපත්තිය කියලා, උපරිම සමාපත්තිය.

 

සෝවාන් පුද්ගලයත් මෙතෙන්ට එනකොට නිවන දැකලා තියෙනවා. රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය කරලා තියෙනවා එක්තරා මට්ටමකට. සතර අපාගත වීමට හේතුවෙන රාගයන්, ද්වේෂයන්, මෝහයන් ක්ෂය කරපු නිසා, ඒ මට්ටමෙන් නිවන් දැකලා තියෙනවා සෝවාන් පුද්ගලයත්. කාම ලෝකයේ අධික කාමයන් ගෙන් වෙන් වුන, රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය කියන ටික යම් මට්ටමක් කෙරුණා නම්, සකෘදාගාමී කෙනා ඒ ගානට නිවන් දැක්කා, කාමරාග – පටිඝ කියන දෙකත් අත්හැරලා දාලා, රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය කරලා, කාම ලෝකය ඉක්මවපු නිසා, ඒ මට්ටමට නිවන් දැකලා තියෙනවා අනාගාමී කෙනත්. තුන් භවයේ ම තියෙන රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය පූර්ණ වශයෙන් ඉවර කරපු නිසා, සියලු ආකාරයෙන් පූර්ණ ව නිවන් දැකලා තියෙනවා අරිහතුන් වහන්සේ.

 

රාගක්ෂයයි, ද්වේෂක්ෂයයි, මෝහක්ෂයයි වුනා නම්, ඒකටයි “නිවන” කියන්නෙ, “නිරෝධ සමාපත්තිය” කියලා කියන්නෙ, ඒකට කියනවා “චේතෝ විමුක්තිය”. නිවන කියන්නෙ “ප්‍රඥා විමුක්තිය”. අවිද්‍යාව දුරු කරලා නිවන් දකින්න ඕනෑ, රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය කරන්න ඕනෑ. ඒ වගෙම චිත්ත සමාධිගත කරලා, රාගය යටපත් කරගෙන ගිහිල්ලා, ඔතෙන්ට යන්න ඕනෑ, චේතෝ විමුක්තියට. එතකොට රාග නිරෝධයත් චේතෝ විමුක්තියෙන් කරගන්නවා, අවිද්‍යා නිරෝධය ප්‍රඥා විමුක්තියෙන් කරගන්නවා. ප්‍රඥා විමුක්තියෙන් නිවන ලැබෙනවා, චේතෝ විමුක්තියෙන් සමාපත්ති ලැබෙනවා.

 

ඔය දෙකම ලැබුවොත් “උභතෝ විමුක්ත” කියනවා, ප්‍රඥා සහ චේතෝ කියන මේ විමුක්ති දෙකම ලබනවා.

 

{0:27:18} : සෘද්ධි ප්‍රාතිහාර්යයන් ගැන…

(ප්‍රශ්නය): සෘද්ධි ප්‍රාතිහාර්ය, අධිට්ඨාන සෘද්ධි…?

 

(ස්වාමීන් වහන්සේ ගේ පිළිතුර): දැන් මේ අධිට්ඨාන සෘද්ධි කියන්නෙ, යම්කිසි පුද්ගලයෙකුට පුලුවන් චිත්ත අධිෂ්ඨානයන් ඇතිකරන්න. මුලින් පටන්ගන්නකොට අපිට ඔය අධිෂ්ටාන සෘද්ධි කියන එක යම්කිසි…. මෙහෙම තියෙනවා, මේ සෘද්ධි දැනගන්න ඉස්සෙල්ලා සෘද්ධි වර්ග තියෙනවා.

 

මොකද, සෘද්ධි ලබනකොට, ධ්‍යාන ලාභියා “ධ්‍යාන සෘද්ධි” ලබනවා, මේ එක සෘද්ධියක්. කර්මයට විපාක වශයෙන් උපදින ප්‍රේතාදී කොට්ඨාශ වලටත් කර්ම විපාකයෙන් ලැබෙන සෘද්ධියක් තියෙනවා. “මම මෙහෙම පවක් කරපු නිසා, මෙහෙම අසාධාරණයක් කරපු නිසයි මට අද මේක විඳින්න සිද්ධ වෙලා තියෙන්නෙ…” කියලා පේනවා. පෙර භවයේ කරපු එක එයාට පේනවා. “ඉස්සෙල්ලා මෙහෙම පාපයක් කළා, මට අද විඳින්න වෙලා තියෙන්නෙ ඒකයි…” ඒක හිත-හිතා, දුක් වෙවී විඳිනවා. එහෙම පෙර භව පේන ස්වභාවයක් තියෙනවා කර්ම විපාකයෙන්.

 

ඒ වගෙම, පෙරේතයා ට කර්ම විපාකයේ සෘද්ධියෙන් ප්‍රේත දුක් විඳින්න අවශ්‍යය පසුතලය මැවෙනවා. ඒකත් කර්ම විපාක සෘද්ධියක්. සතර අපා දුක් විඳින සත්වයින්ට ඒ අනුව ලැබෙන්නාවූ හැකියාවන් තියෙනවා, ඒවත් කර්ම විපාක සෘද්ධි. දැන් සත්තු, පක්ෂීන් පියාසර කරලා ආකාශයේ යනවා. ඒකත් කර්ම විපාක වශයෙන් ඔවුන්ට ලැබෙන සෘද්ධියක්. ආ, මේකේ දාලා තියෙනවා නෙ, කර්ම විපාක සෘද්ධි කියලා විග්‍රහ කරලා තියෙනවා නෙ..

 

ඔවු දැන් මේකෙ අපි පළමුව, “අධිෂ්ඨාන සෘද්ධිය”, යම්කිසි කෙනෙකුට අධිෂ්ඨාන කරලා, දැන් අපිටත් පුලුවන් අධිෂ්ඨානයක් ඇති කරගන්න. හැබැයි, සාමාන්‍ය අයගෙ අධිෂ්ඨාන දුර්වලයි, චිත්ත බලයෙන් හීනයි. දැන් චිත්ත සමාධියක් වැඩූ කෙනාට අධිෂඨානයන් බලවත් කරගන්න පුලුවන්. අවශ්‍යය කරන කාරණය පිළිබඳව යළි යළි අනුකූල ආවර්ජනය කරන්න පුලුවන්. යමක් සිද්ධ වෙන්න හිතුවත්, ඒ පිළිබඳව තදින් හිතාගන්න පුලුවන්. “විශේෂයෙන් ඉටා ගන්නවා”, විශේෂයෙන් හිතනවා.

 

ඒ ශක්ති විශේෂය ධ්‍යාන ලාභීන්ට වැඩියි. ඒගොල්ලන්ගෙ එකඟ වූ මානසිකත්වයෙන්, ඒ කියන්නෙ “අකම්ප්‍ය” වූ මානසිකත්වය නිසා, බොහෝම හොඳින් හිතන්න පුලුවන් ශක්තියක් ලැබෙනවා. මෙන්න මේක තමයි අර “අධිෂ්ඨාන සෘද්ධි” කියලා කියන්නෙ අන්න ඒකයි.

 

“විකුරුවන සෘද්ධි” කියලා කියන්නෙ, ශරීරයෙන් එක එක ජාතියේ කොටස් මවන්න පුලුවන්, සෘද්ධි බලයට ආවට පස්සෙ. බල්ලෙක් ගෙ වෙස් අරං යන්න ඕනෙ නම් බල්ලෙක් ගෙ වෙස් අරං ගිහෑකි. රාස්ස වෙසක් ඕනෙ නම් රාස්ස වෙසක් මවාගතහැකි. යම්කිසි, සීයක් මවන්න ඕනෙ නම්, සීයක් මවාගත්තහැකි. දාහක් ඕනෙ නම් දාහක් මවා ගත්තහැකි, එක්කෙනා වාගෙ. දැන් චුල්ලපන්ථක හාමුදුරුවොත් දාහක් මවාගෙන හිටියා කියන්නෙ, අන්න අර විකුරුවන සෘද්ධි කියන බලයෙන්.

 

එතකොට, “මනෝමය සෘද්ධි”, එතකොට විකුරුවන සෘද්ධි කියන එකේදි වෙන්නෙ, ඕනෙ ඕනෙ විකෘති ශරීර මවන්න පුලුවන්. දැන් ඔය අපේ කතාවක් තියෙනවා, අර මොකද්ද මේ…. අනුරාධපුරේ සීමා උගුලුවන්න හදනකොට, සිතුල් පවුව වෙහෙරෙ හිටපු හත් අවුරුදු, පුංචි සාමණේර නමක් රාක්ෂ වේශයක් මවාගෙන, යගදාවක් අතින් අරගෙන ගිහිල්ලා, පෙනී සිටියා කියනවා, අර විරුද්ධව… ඊට පස්සෙ රජ්ජුරුවොත් බය වුනා, පිරිසත් බය වුනා, “සීමා එහෙම උගුලුවන්නෙ නෑ” කියලා පොරොන්දුවක් වුනාට පස්සෙ, ඒ ඇතුලෙන් ඒක ඔප්පු වෙන්න, ඇතුලෙන් භික්ෂූන් වහන්සේලා ත් ගෙනල්ලා, ඇතුලෙම සඟවලා හිටපු භික්ෂූන් වහන්සේලා දැකකට පස්සෙ, ඉගිල්ල්ලෙවුවොත් මෙහෙම…. (දේශනාවේ සුලු කොටසක් පටිගත වීම මගහැරී ගොස් ඇත)… … කෙරෙවුවා එතනදී…

 

ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවල් තියෙනවා, මේ විකුරුවන සෘද්ධි කියලා කියනවා, අන්න ඒ වගේ නානාප්‍රකාර වෙස් ගන්න පුලුවන්. දැන් පුංචි ළමයෙක් ගෙ වෙස් අරගෙන, අජාසත්ත රජ්ජුරුවන් ගෙ උකුලෙ ගිහිල්ලා හිටියා ලු දේවදත්ත හාමුදුරුවො, එදා. මොකද, අජාසත්ත රජ්ජුරුවො තමන්ගෙ පැත්තට පොළඹවා ගන්න ගත්ත උපක්‍රමයක්. නයි වෙස් අරගත්තා, නොපෙනී හිටියා, මේ වගේ එක එක ආකාර කරන්න පුලුවන් සෘද්ධි වලට තමයි මේ විකුරුවන සෘද්ධි කියන්නෙ.

 

අනික “මනෝමය සෘද්ධි”. මනෝමය සෘද්ධි කියන්නෙ, මනසට නිර්මාණය කරගෙන, මනසින් මවන්න පුලුවන්. මනසෙන් යමක් හිතලා, අනුකූල දේ මනසින් මවනවා. එතකොට කියනවා, “මනෝ නිර්මාණයක්” කරන්න පුලුවන් හැකියාවක් එනවා. මේවත් මේ සෘද්ධි බලයත් එක්කලා ලැබෙන ඒවා. මනෝමය සෘද්ධි, සෘද්ධි විධ, දිබ්බ සෝත ආදී ඔය “පංච අභිඥා” කියන ඒවායෙදි මේවා ලැබෙනවා එකින් එකට, විග්‍රහ වශයෙන්.

 

අනික තමයි “ඥාණ විප්පහාර සෘද්ධි”. ඥාණ විප්පහාර සෘද්ධි කියලා කියන්නෙත් තමන්ගේ ඒ ඥාණ ශක්තීන් ගෙන් නොයෙක්, නොයෙක් දේවල් කරන්න, කියන්න පුලුවන් හැකියාව. ඥාණය පතුරුවන්න පුලුවන්. පතුරුවලා, ඒ තුළින් යමක් කරන්න පුලුවන් හැකියාව.

 

“සමාධි විප්පහාර සෘද්ධි” කියලා කියන්නෙ, අධිෂ්ඨාන කරලා ඕනෙ නම් සමාධියට සමවැදිලා තමන්ට ඕනෙ අවස්ථාවක් ඉන්න, පැය ගාණක් හරි, දවස් ගාණක් හරි ඉන්න හිතුණොත් ඉන්න, අන්න ඒ ආකාරයෙන් සමාධියෙන් වේගයෙන්, ඉක්මණින් නැගිටින්න, සමවැදිලා ඉන්න, ඔය ආදී වශයෙන් තියෙන හැකියාව, සමාධි විප්පහාර සෘද්ධි. ප්‍රථමධ්‍යානයේ ඉන්න පුලුවන්, ද්විතීය ධ්‍යානයේ ඉන්න පුලුවන්, ඕන තරම් වෙලාවක් ඒවගෙ ඉන්න පුලුවන්කම තියෙන ශක්තිය.

 

“අරිය සෘද්ධි” කියලා කියන්නෙ ආර්යයන්ට පිහිටන සෘද්ධි. නොපිළිකුලෙහි, “ලෝකයා පිළිකුල් කරන දේ ආර්යයෝ පිළිකුල් නොකරයි. ලෝකයා පිළිකුල් නොකරන දේ ආර්යයෝ පිළිකුල් කරයි. ලෝකයා පිළිකුල් කරන, නොකරන සියල්ල ආර්යයෝ පිළිකුල් නොකරයි, ලෝකයා පිළිකුල් කරන, නොකරන සියල්ල ආර්යයෝ පිළිකුල් කරයි” කියලා හතර ආකාරයකින් සෘද්ධියක් විග්‍රහ වෙනවා <<ත්‍රිපිටක සූචිය>> මෙන්න මේ හතරට කියනවා, ආර්ය සෘද්ධි කියලා.. [ත්‍රිපිටක සූචිය]

 

මොකද, ආර්යයෝ විසින් ලෝකයා ගන්න සම්මත වල පිහිටලා ගත්ත හැඟීම් වල නෙමෙයි ඉන්නෙ. ලෝකයා ගන්නෙ සත්ව-පුද්ගල වශයෙන් බැහැගත්ත දෘෂ්ඨියෙන්, බැහැගත්ත ඒ ඒ සම්මත වලට බැහැලා, ඒ හැඟීම තුළ ඉන්නවා. ඒ නිසා එයා “කැත” කෙනෙක් දකිනවා, “ලස්සන” කෙනෙක් දකිනවා, ඒ වගෙම එක එක විදිහේ ප්‍රිය-මනාප අය දකිනවා, අප්‍රිය-අමනාප අය දකිනවා, ඇලීමෙන්, ගැටීමෙන් යුක්තව එයා ලෝකය තුළ සම්මත වලට බැහැගෙන ඉන්නවා. ඒ ඉන්නෙ කවුද, අනාර්යයෝ.

 

ආර්යයෝ ඒවායේ යථා ස්වභාවය දැක්කහම, ඒවා මාර මුලාවල්, මායා බව දන්නවා. දැනගත්තහම ලෝකයා ගේ වගේ තිබෙන්නා වූ අර ඇලෙන ගති, පිළිකුල් කරන ගති, ඇලෙන ගති – ගැටෙන ගති නෑ. ඒකෙන් වෙන් වීම තමයි ආර්ය සෘද්ධිය.

 

දැන් “කම්ම විපාක සෘද්ධි” තමයි අර අපි ඉස්සෙල්ලාම කිවුවෙ, අර එක එක කර්ම බලයෙන් හටගන්න ප්‍රේත ආදී කොට්ඨාශ වලට ඇතිවෙන ක්‍රියාදාමය.

 

අනික “පුන්‍ය සෘද්ධි”. දෙවියන්ට, දිව්‍ය සෘද්ධි බලය නිසා නොයෙක් දේවල් කරන්න පුලුවන්. දෙවියන්ටත් නොයෙක් දේවල් මවන්න පුලුවන්, නොයෙක් සම්පත් මවන්න පුලුවන්. එහෙම සෘද්ධි හැකියාවක් තියෙනවා ඒ පුන්‍ය බලයට. දැන් මනුස්සයෝ අතරත් තියෙනවා, දැන් ඔය කතාවට කියනවා, විශාකා උපාසිකාව එක බත් පෙට්ටියක් අරගත්තහම ඕනෑ ගාණකට බත් බෙදන්න පුලුවන් ලු, ඒක පුන්‍ය සෘද්ධියක්. පිනට පහලවෙන එක්තරා විදිහක යහපත් බලයක්.

 

දැන් තව, දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙ එක කතාවක් තියෙනවා, එක ගමක හතර දෙනෙක් හිටියා. ඒ හතර දෙනාටම, හතර ආකාරයක සෘද්ධි හතරක් පිහිටලා තිබුණා කියලා. ඒ කියන්නෙ ඒ ගෙහිමියා ට තියෙනවා විශේෂ සෘද්ධි බලයක්. එයාට යමක් හිතපුහාම, ඒ හිතපු දේ මැවිලා එනවා, ගෙදෙට්ට කිසි දෙයක් අඩුවක් වෙන්නෙ නෑ. ඒ වගේම ඒ ගෙහිමියා ගෙ භාර්යාවට තිබුණා සෘද්ධි බලයක්, අටුවෙන් කොච්චර වී ගත්තත් වී අඩුවෙන්නෙ නෑ අටුවෙ, එයාට පිහිටපු සෘද්ධියක්. පුතාට සෘද්ධි බලයක් තිබුණා, ඔය කියක් හරි ඔය පසුම්බියකට දාගෙන ගිහාම ඕනෙ තරම් පඩි ගෙවියහැකි, ඒ සල්ලි ඉවර වෙන්නෙ නෑ, කොච්චර හරි හම්බවෙනවා, මැවෙනවා. එතන සේවකයෙක් හිටියා, සේවකයා ට සෘද්ධි බලයක් තිබුණා, සේවකයා එක හීයක් හාගෙන යනකොට, හී තුනක් නිකං හෑවිලා යනවා. ඒ හතර දෙනාම එකතුවෙලා කරපු මහා පිනක, හතරදෙනාට ම ලැබුණු සෘද්ධි බලයක්, හතර දෙනා එක පවුලකට එකතු වෙලා භුක්ති වින්ද හැටි කියලා පෙන්වලා තියෙනවා.

 

දැන් මෙන්න මේවට කියනවා “පුන්‍ය සෘද්ධි” කියලා. දැන් “සතර මහා නිධන් පහල වුනයි කියනවා අන්තිමට, පින් බලයෙන්, ජේතවනාරාමය පූජා කරපු අනේපිඬු සිටු තුමාට. කොච්චර මුදල් ගත්තත් ඉවර වෙන්නෙ නෑ.. නිධන් හතරක් හතර පැත්තෙන් පහල වෙලා ගලාගෙන එනවා. අන්න පුන්‍ය සෘද්ධි කියන්නෙ ඒවා. යම්කිසි ආකාරයෙන්, ඔය නිරෝධ සමාපත්තියට සම වැදිලා හත් දවසක් වැඩ ඉඳලා ගිය රහතන් වහන්සේ නමකට දානයක් පූජා කරපු කෙනාට දින 7ක්, 14ක්, 21ක්, මේ වගේ කාලසීමාවක් තුළ, ඒ අත්බැවේ ම මහා සම්පත්තියක් ලැබෙනවා, ඒකත් පුන්‍ය සෘද්ධියක්.

 

අනික “සම්‍යප්‍රයෝග සෘද්ධි”. සම්‍යප්‍රයෝග සෘද්ධි කියන්නෙ පුද්ගලයො විසින්, තමා විසින්, නොයෙක් ආකාරයෙන් යමක් කරගන්න ඕනෙ නම්, සිහි නුවණ මෙහෙයවලා, මේ ලෞකික නුවණ මෙහෙයවලා, උපක්‍රම තුළින් යන්ත්‍ර-සූත්‍ර හදාගන්නවා, ඒවායෙන් අරගෙන ප්‍රයෝජන ගන්නවා. ඒවායෙන් වෘද්ධියට පැමිණෙනවා, අවශ්‍යය කටයුතු කරගන්නවා. අන්න ඒ හැකියාවට කියනවා, සම්‍යප්‍රයෝග සෘද්ධි. දැන් මිනිස්සුන්ට කරන්න බැරි දේ බැකෝ එකක් ගෙනල්ලා අද කපලා ගන්නවා, පස් කන්දක්. සම්‍යප්‍රයෝගයෙන් හදාගත්ත ක්‍රමයක්, ඉක්මණින් වැඩ කරගන්න. ඉතින් ඒක සම්‍යප්‍රයෝග සෘද්ධි. අද නවීන විද්‍යාව කියන්නෙ, නවීන විද්‍යාවෙ නිෂ්පාදන, සම්‍යප්‍රයෝග සෘද්ධි.

 

“විජ්ජාමය සෘද්ධි” කියලා කියන්නෙ, විද්‍යානුකූල කටයුතු වලින්, දැන් නොයෙක් ආකාර වලින්, මන්තර-ගුරුකම් වලින්, නැත්නම් අර යම්කිසි ආකාරයෙන් විද්‍යා කටයුතු තියෙනවා නෙ, ඒ විද්‍යාත්මක හැකියාවන් මෙහෙයවලා, ඒ තුළින් ගොඩනගා ගන්න සෘද්ධි. සම්‍යප්‍රයෝග කියන්නෙ, පුද්ගලයා විසින් කපටි කමක් නොවන, ඒ කියන්නෙ යම් යම් ක්‍රම අරගෙන, ඒ තුළින් ගොඩනඟා ගන්නවා එක එක ප්‍රයෝග ක්‍රම, තමන්ගෙ වැඩ කරගන්න උපක්‍රම.

 

{0:37:15} : අන්ධ පෘතග්ජන සහ කළ්‍යාණ පෘතග්ජන අතර වෙනස

(ප්‍රශ්නය): මේ ඊලඟ එක තමයි, අන්ධ පෘතග්ජන, කළ්‍යාණ පෘතග්ජන ?

 

(ස්වාමීන් වහන්සේ ගේ පිළිතුර) : මේ අන්ධ පෘතග්ජන කියන්නෙ බණ – දහම් අහලා තේරුම්ගත්තෙ නැති, දහම පිළිබඳ අදක්ෂ, තේරුම් ගන්න බැරි, සාමාන්‍ය ලෝක සත්වයාට කියනවා “අන්ධ පෘතග්ජන”. දහම් තේරුම්ගැනීමේ හැකියාවක් නෑ, තේරුම් අරගෙනත් නෑ.

 

දහම් අහලා, ඔය “චුල්ල සෝතාපන්න” වෙන තත්වයට පත්වුනා කියන, නැත්නම් මාර්ග-ඵලය අවබෝධ නොකරපු, දහම් දැනුම ඇති, ඒ අයට කියනවා “කළ්‍යාණ පෘතග්ජන”. ඒ මොකද, ඒ තුළින් ඒ පුද්ගලයා, එක්තරා නුවණ මට්ටමක් වැඩිලා තියෙනවා. වැඩුණු නුවණ මට්ටම නිසා වැරදි වැඩ කරන්නෙ නෑ, පවු වැඩ කරන්නෙ නෑ, ඒවායින් වෙන්වෙලා, යහපතට නැඹුරු වෙලා ඉන්නවා, හිතවතුන් ඇසුරු කරනවා, ඒ වගේම ආර්යයන් ඇසුරෙ ඉන්නවා. ඒ ගුණ ප්‍රිය කරනවා, දන් දෙනවා, ඒ කටයුතු කරගෙන යනකොට කියනවා එයාට “කළ්‍යාණ පෘතග්ජන”.

 

“අන්ධ පෘතග්ජන” කියන්නෙ අර දස වස්තුක මිත්‍යා දෘෂ්ඨියට එහෙම අහුවෙලා, ඒ පැතිවල ඉන්න පෘතග්ජන කොටසට කියනවා, “අන්ධ පෘතග්ජන”.

 

{0:38:38} : නිවැරදිව ම “ගිරි භාණ්ඩ” ගැන දැනගනිමු

(ප්‍රශ්නය): මේ “ගිරි භාණ්ඩ පූජාව” යනුවෙන් හඳුන්වන්නේ කුමන පූජාවක් ද ?

 

(ස්වාමීන් වහන්සේ ගේ පිළිතුර): මේ “ගිරි” කියන වචනයෙන් පෙන්වන්නෙ “ගල්” වලට. පෙර කාලෙ හුඟාක් වැඩ කළේ ගල් වඩුවන්, පාත්‍රය පවා ගලෙන් හැදුවා. ගලෙන් කොටලා පාත්‍රත් හැදුවා, ගල් පාත්‍ර, ගල් ගෙවල්, ගල් කුළුණු, ගලින් කරන ලද්දාවූ නොයේක් දේවල්, මිරිස් ගල් ආදී දේවල් ඔක්කොම කෙරෙවුවා. ඒ හැම එකක් ම සකස් කරගත්තෙ මොනවයින්ද? අන්න “ගිරි භාණ්ඩ” කියන්නෙ ඒවා, ගලින් කරන ලද උපකරණ.

 

(ශ්‍රාවක මහත්මයෙක්): මං දැක්කා බැනර් එකක් ගහලා තියෙනවා, ගිරි භාණ්ඩ පූජාව කියන්නෙ කන්දක් උසට පිරිකර පූජාවක් කියලා.

 

(ස්වාමීන් වහන්සේ): ආ හා හා…. ඔවු, “ගිරි” කියන වචනයෙන් පෙන්වන්නෙ “ගල” කියන එකයි, ගලින් කරන ඒවා. ඒ කියන්නෙ, ඒකෙන් පෙන්වන්නෙ බොහෝ කාලයක්, දැන් ගලින් කරන එක, ඒක සම්මතයක්. දැන් බොහෝ කල් පවතින්න හදන ඒවා, “හරියට මේ ගල් වැඩ වගේ” කියනවා, “ගලේ කොටපු අකුර වගේ” කියනවා. ඒ කියන්නෙ, කාලයක් පවතින්න හදන දේවල්.

 

(ශ්‍රාවක මහතෙක්): දැන් ස්වාමීන් වහන්ස ඔය ශිලා ලේඛණ වගේ ඒවා…. (ස්වාමීන් වහන්සේ): ඔවු, ගිරි භාණ්ඩ වලට වැටෙනවා, ඉතින් බුදු දහම ඔතන ලියලා තියෙනවා, ඒවා ඔක්කොම ගිරි භාණ්ඩ. ගලින් කරන ලද සෙල්ලිපි, ඒ තුළින් යම් දහමක් හරි ගෙනාවා නම්, ආදර්ශයක් හරි ලිවුවා නම්, ඔක්කොම ගිරි භාණ්ඩ. දැන් අශෝක ස්ථම්භ වැනි දේවල් පිහිටුවලා හදන්නෙ… ඒ වගේ රජවරු, සිටුවරු හදන්නෙ සාසනේ වෙනුවෙන්, හදලා දෙන දේවල්, ඒවා විශේෂයි.

 

ඉතින් ගිරි භාණ්ඩ පූජා කියලා, මේ ඔය ජාතියෙ එකක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙ වත් කරලා තිබුණෙ නෑ නෙ, කන්දක් උසට ගොඩගහලා පූජා කරපු එකක්. ඒවා ඉතින් තමන්ගෙ වාසියට හදාගත්ත භාණ්ඩ පූජාවල්. බුදුරජාණන් වහන්සේ පෙන්වපු එක තැනක වත් නැහැ එහෙම පූජාවක් ගැන. …(සුලු කොටසක් පැහැදිලිව පටිගත වී නැත)… එපා කියයිද? අරගෙන ගිහිල්ලා, ඊට පසේ අනික් පැත්තෙන් කඩේට දීලා ගාණ ගත්තම ඉතින් හොඳයි නෙ… පූජාව. “අපේ පන්සලෙත් ගිරි භාණ්ඩ පූජාවක් තියන්න” කියලා කිවුවහැකි එතකොට.

 

{0:40:56} : සියයක් සක්වළ සියයක් අනවතප්ත විල්…

(ප්‍රශ්නය): ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ එන … (අපැහැදිලි තැනක් කියවීමට ස්වාමීන් වහන්සේ උත්සාහ කරයි)… ඒක, ඒ කොටස කියවලා බලලා ඉන්න ඕනෙ, ඒකට නම්… උත්තරයක් ගන්න. ඒ පදයෙන් විතරක් අර්ථය ගන්න අමාරුයි, එතන තියෙන වාක්‍ය පෙළ බලන්න වෙනවා.

 

(ප්‍රශ්නය): දඹදිවු තල සියයක්, අනවතප්ත විල් සියයක්, හිමාල ප්‍රදේශ සියයක් ගැන ධර්මයේ සඳහන් වන්නේ පෘථිවි තලයෙන් ඔබ්බෙන් ඇති දෙයක් ද?

 

(ස්වාමීන් වහන්සේ ගේ පිළිතුර): ඔවු, මේ එක එක… දැන් දඹදිවු තල සියයක් කියන්නෙ, එක සක්වළකට එක දඹදිවු තලයයි. එතකොට සියක් දඹදිවු තල තියෙන්නෙ සියක් සක්වළක. දහසක් සක්වළ, දස දහසක් සක්වළ ඒ ගාණට ම තියෙනවා. අනවතප්ත විල්, දඹදිවු තල, හිමාල කඳු, ඒ වගෙම උතුරුකුරු දිවයින්, අපරගෝ යාන, ඔය ආදී වශයෙන්… චාතුර්මහාරාජික, තාවතිංස… මේ හැම එකක්ම, දස දහසක් සක්වළ ඔක්කොම දහ දාහක් තියෙනවා, එකකින් දහ දාහ ගානේ, එක එක සක්වළ එක ගානේ… ඒ සියක් සක්වළ ප්‍රදේශයටයි මේ සියක් සක්වළ ඒවා අහුවෙන්නෙ. දහසක් සක්වළ, දස දහසක් සක්වළ, කෝටි ලක්ෂයක් සක්වළ, මේ මේ ආකාරයෙන් ඉතින් යනවා එක එක ප්‍රමාණයෙන්. ඒ හැම සක්වළකට ම, එක සක්වළකට එක ප්‍රදේශය ගානෙ ඔහොම හිටිනවා.

 

{0:42:42} : අරිය මෛත්‍රිය සහ ලෞකික මෛත්‍රියට වඩා අති ප්‍රබල බව…

(ප්‍රශ්නය): මෛත්‍රී භාවනාවේදී “සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!” යනුවෙන් කියන්නේ ඇයි? පහදා දෙන්න.

 

(ස්වාමීන් වහන්සේ ගේ පිළිතුර): දැන් මෙතෙනදි අපි දකින්න ඕනෙ මෙන්න මෙහෙම දෙයක්. ආර්ය මාර්ගයෙන් විග්‍රහ කරලා යනකොට, “සියලු සත්වයෝ නිදුක් වෙත්වා!” කිවුවහම ලෝක සත්වයා ගේ පොදුවේ විඳින “මහා දුක” මොකද්ද? මේක දකින්න ඕනෙ. ලෝක සත්වයා පොදුවේ සසර සැරිසරණකොට, විඳින ලොකු දුක තමයි “සතර අපා දුක”. ඒ නිසා, සියලු සත්වයින්ට යම්කිසි දෙයක්, අපි දුකක් නැතුව ඉන්න පැතුවට, එහෙම ඉන්න තැනක් ඇත්තෙත් නෑ, ඒ පැතුම ඉෂ්ට වෙලා සාර්ථකත්වයක් කරගන්න පුලුවන් අවස්ථාවක් ඇති පරිසරයක් ලෝකෙ ඇත්තෙත් නෑ.

 

එහෙනම්, යම්කිසි කෙනෙකුට “සතර අපා දුක” නැමැති ප්‍රධාන දුකෙන් නිදහස් වීමක් ඇත්නම්, ඒකට ක්‍රමයක් මේ බුද්ධ සාසනේ ස්ථීරව ම තියෙනවා. සෝවාන් වෙච්ච පුද්ගලයෙක් නැවත කිසි කලෙක සතර අපාගත වෙන්නෙ නෑ. එහෙනම් යම්කිසි කෙනෙකුට පැතුමක් පතනවා නම්, ආර්ය පැතුමක් වෙන්න ඕනෙ, “මතු දුකට නොවැටෙන යමක් කරන්න පුලුවන් දෙයක් තියෙනවා නම්, මෙන්න මේක ශ්‍රේෂ්ඨයි” කියන තැන ඉඳලයි.

 

එහෙනම්, සතර අපා දුකෙන් සදහටම යම් කෙනෙක් නිදහස් වෙනවා නම් යම් ක්‍රමයකින්, මෙන්න මේක අති ශ්‍රේෂ්ඨයි, පතන්න වටිනා පැතුමක් සත්වයින් කෙරෙහි. මේ “අනාථව සැරිසරණ” සත්වයින් කෙරෙහි “සංසාර දුකෙන්” කියලා ගන්නකොට, “නිදුක් වෙත්වා” කියලා විග්‍රහ කරලා ගන්න ඕනෙ සතර අපා දුකෙන් නිදහස් වීම තමයි පළවැනි නිදුක් වීම.

 

හැබැයි සතර අපා දුකෙන් නිදහස් වුනාට “කාම රෝගයෙන්” නිදහස් වෙලා නෑ. සතර අපා දුකෙන් නිදහස් වෙච්චි ඒ සත්වයාට ඊලඟට තියෙන්නෙ කාම රෝගයෙන් පෙළෙන එකයි. කාම දාහය නැතිවෙලා යනවා සකෘදාගාමී ඵලයට පත්වෙනකොට. කාමරාග – පටිඝ තුනී වෙනවා කිවුවෙ ඒකයි. රෝගය දුරු වුනා, යටපත් වෙලා පොඩ්ඩක් තියෙන්න පුලුවන්, ඒක අනාගාමී ඵලයෙන් නැතිවෙන්නෙ. අන්න “නිරෝගී වෙත්වා!” කියන්නෙ කාම රෝගයෙන් මිදීම. “කාමය ගින්නක්, කාමය දාහයක්, කාමය රෝගයක්…” මේ ආකාරයෙන් දැකලා, කාම රෝගයෙන් නිරෝගී වෙනකොට කියනවා “නිරෝගී වෙත්වා!”

 

ඒකට ක්‍රමයක් තියෙනවා, යථාවබෝධයෙන්, ධර්මාවබෝධය තුළින් ඒකාන්තයෙන් කාමයෝ තුනී කරන්න පුලුවන්. ඒ මගින් නැවත වාරයක් වැඩෙන්නෙ නෑ කාමයන්. තුනී වුනා – තුනී වුනාමයි, සකෘදාගාමී වුනා – සකෘදාගාමී වුනාමයි, නැවත ආපහු යන්නෙ නෑ. එහෙනම්, ඒ ක්‍රමයක් තියෙනවා නම් ලෝක සත්වයෝ කවදා හරි මිදෙනවා නම් මිදෙන්නෙ ඔය ක්‍රමය තුළින් මයි. එහෙනම්, “අනුපූර්ව දුකෙන් මිදෙන ක්‍රමය” මේ පෙන්වලා තියෙන්නෙ.

 

හැබැයි “සමාධිය සුවයක්” වශයෙන් තව සම්මත කරගන්න ඉඩ මදි. සමාධිය ලැබුණට සමාධිය සුව මදි. මොකද, ඒ සුව වෙන්න නම් සමාධියට අවශ්‍යය කරන අංග සම්පූර්ණත්වය පිරෙන්න ඕනෙ. අනාගාමී ඵලයට පත්වුනහම තමයි කාමරාග – පටිඝ දුරුවෙලා “සමාධි සුවය” දැනෙන්න පටන් ගන්නෙ. අන්න, සමාධි සුවය ඇරෙන්න, ඒ සුවය ඇරෙන්න ලෝක සත්වයාට තව සුවයක් ලෝකෙ පතන්න බෑ. සමාධි සුවය කියලා කියන්නෙ, බාහිර සමාධි සුවය නෙමෙයි, ආර්යයන් ලබන ඵල සමාපත්තිය නිසා ලබන සමාධි සුවය, “ඵල සමවත් සුවය”. මෙන්න මේ ඵල සමවත් සුවය කියන්නෙ ලෝකයේ විඳින්න ගොඩනඟා ගත්ත සුවයක් නෙමෙයි, තිබිච්ච ගිණි දාහයෙන් නික්මී ගියා නේද, අත්හැරී ගියා නේද කියලා ලබන සහනය.

 

“පෙර මට මෙහෙම දාහ ගින්නක් තිබුණා. තරහා එනවා, කම්පා එනවා, රාගයෙන් දැවෙනවා, ද්වේෂයෙන් දැවෙනවා, මෝහයෙන් මුළා වෙනවා, දැවෙනවා, දැන් මට ඒවා නෑ නේ! දැන් මං කොච්චර නිදහස් ද?” මෙන්න මෙහෙම දැන් නිදහස් සුවයක් තියෙනවා. මෙන්න මේ සුවයෙන් පූර්ණ වෙලා ඉන්නෙ අනාගාමී කෙනා. අනාගාමී කෙනා ලබන සුවය අඛණ්ඩ සුවයක්. එහෙනම්, කවදා හරි මේ සත්වයින්ට මේ සසර ගමන කෙළවර කරගෙන යනකොට, මෙන්න මේ “නිරෝගී වෙච්ච”, නැත්නම් කාම රෝගය දුරු කරපු කෙනා, සකෘදාගාමී වෙච්ච කෙනා, අනාගාමී සුවයට පත්වෙන්න ඕනෙ. මෙන්න මේකට කියනවා “සුවපත් වෙත්වා!” අනාගාමී සුවයෙන් සුවපත් වෙන තැනකටයි කෙළවර කරලා තියෙන්නෙ “සුවපත් වීම”.

 

හැබැයි අනාගාමී වෙලා බඹ ලොව උපන්නත්, රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ මේ ස්කන්ධ පහෙන් මිදුනෙ නෑ. “ස්කන්ධ දුක්ඛයෙන්” මිදෙන්න නම් සසර ගමන කෙළවර වෙන්න ඕනෙ. එදාට පංචස්කන්ධ දුක්ඛය ඉවර නම්, “දුකෙන් මිදෙත්වා” කිවුවා, අන්තිමටම.

 

එහෙනම්, නිවන මුල් කරගත්ත අදහස් හතරක් මිසක්, ලෝකයේ පැවැත්මට ගොණු කරගත්ත අදහස් හතරක් නෙමෙයි ආර්යයන්ගෙ මෛත්‍රිය. ඕකෙ තියෙන වෙනස ඒකයි. ඉතින් “ආර්ය මෛත්‍රිය” තෝරාගන්න ඕනෑ, “ලෝක මෛත්‍රිය” ත් තෝරා ගන්න ඕනෑ.

 

“ආර්ය මෛත්‍රිය්” ලොවුතුරා බුදුරජාණන් වහන්සේ හැර, උන්වහන්සේ ගෙන් අහගත්ත කෙනෙක් හැර දන්න කෙනෙක් ලෝකෙ නෑ. “තථාගතයන් වහන්සේ හෝ තථාගතයන් වහන්සේ ගෙන් අහපු කෙනෙක්ගෙන් හෝ ඇරෙන්න මා පෙන්වූ මෛත්‍රී භාවනාව තුන් ලෝකයේ කවුරුවත් දන්නෙ නෑ” කියලා බුදුරජාණන් වහන්සේ ම දේශනා කරනවා. එහෙනම් ඉතින් අපි අද, ඒ මෛත්‍රී භාවනාව අද වැහිලා තියෙන එක. දැන් මාර්ග-ඵල පිළිබඳව ලෝකයා දකින්නෙ නෑ. මාර්ග-ඵලයෙන් ලබන සැනසීමත් ලෝකයාට ගෝචර නෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේ ට ගෝචරයි, බුදුරජාණන් වහන්සේගෙන් අහගත්ත ශ්‍රාවකයන්ට ගෝචරයි.

 

ඒ අය තමයි දන්නෙ ලෝක සත්වයාට දුකින් මිදීමක් තියෙනවා නම් “තපෝ ගුණය හැර, බොජ්ඣංග ධර්ම හැර, නිවන හැර ලෝ සතුන්ට තවත් සුවයක් මම නොදකිමි” [ත්‍රිපිටක සූචිය] කිවුව බුද්ධ දේශනාව තේරුම් ගන්නෙ. අන්න, ලෝක සත්වයින්ට වෙන සුවයක් නෑ, “සුවයි” කියලා මුලාවන්ට පත්වෙනවා. මුළාවන්ට පත්වෙලා, “සුවයි, සුවයි” කියලා දුකට පත්වෙලා ඉන්නවා මිසක්, සැනසිල්ලට පත්වෙන්න විදිහක් නෑ. මෙන්න මේක තමයි ලෝක සත්වයාගේ මෛත්‍රියේ තියෙන අඩුපාඩුව. ඒවා ප්‍රමාණවත් මදි, ලෝක සත්වයා වඩන්නෙ…

 

අප්‍රමාණ මෛත්‍රියක් නම් “ආර්ය මෛත්‍රියක්” වෙන්න ඕනෑ. ආර්ය මෛත්‍රියක් නිවන මුල් කරගත්ත සැනසුම දැකලා, ඒ හැරෙන්න තවත් ලෝකයින්ට වෙන සැනසුමක් නෑ කියලා නිගමනය කරලා, “ඒ උත්තරීතර සැනසුම සියලු ලෝක සත්වයින්ට ලැබෙත්වා!” කියලා කරන පැතුම. පැතුමෙන් ආරම්භ කරලා, ඒ වෙනුවෙන් කරන ක්‍රියාව සහ කියන කතාව ආර්ය මෛත්‍රියට අයිතියි. දැන් “නිදුක් වෙන්න, නිරෝගි වෙන්න, සුවපත් වෙන්න, දුකින් මිදෙන්න” යමක් කරන්න පුලුවන් ද, තමන්ට පුලුවන් දේ කරලා දෙන ගමන්, තමන් ඒ මග වටිනාකම දැකලා, වඩාගන්නවා.

 

එතකොට ආර්ය මාර්ගයේ තිබෙන, ආර්ය මෛත්‍රිය කියන්නෙ ඒකයි. ආර්ය මෛත්‍රිය නිවනෙන් පිට, සාසනයෙන් පිට එකක් නෙමෙයි. මේ සාසානයෙන් බැහැර නැති දහමක්, බුද්ධ ශාසනයේ මිසක් තව තැනක නෑ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, “මා හෝ මගෙන් අහගත්ත කෙනෙක් හැර, මාගේ ශ්‍රාවකයෙක් හැර මේ මං කියන මෛත්‍රී භාවනාව දන්න කෙනෙක් තුන් ලෝකෙම නෑ තව” කියලා.

 

{0:49:12} : “සුවාසූදහසක් ධර්මස්කන්ධය” කියා අදහස් කරන්නෙ 84,000 ද?

(ශ්‍රාවක මහතෙක් ප්‍රශ්නයක් අසයි): ස්වාමීන් වහන්ස, අවසරයි! මේ අසූහාරදහක් ධර්මස්කන්ධය කියපුහාම මේ ඉලක්කමෙන් ද, නැත්තම් සුව-අසුව අදහස් ටිකක් ද?

 

(ස්වාමීන් වහන්සේ): නෑ, ඔය අදහස් දෙකක් අරගන්නවා. “සූ අසූ අදහසක් – සුවාසූ දහසක්” කියලත් ඕක තෝරණ පිරිසක් ඉන්නවා. අසූ සාරදහසක් ධර්මස්කන්ධය කිවුවහම ඒ දෙපැත්තටම කරුණු තියෙනවා. ලෝක සම්මතයේ බෙදන ක්‍රමය අද දන්නෙ නෑ, අසූහාරදාහ බෙදන්නෙ කොහොමද කියලා.

 

නමුත් එක්තරා අටුවා පාඨයක විග්‍රහයක් තියෙනවා, ඔය එක එක ගුණ පදයට, ගුණ තුන්දහස් පන්සීය ගානෙ…. ඔන්න ඔහොම ගාණක් පෙන්වලා, විසි හතරට වැඩි කරපුහාම අසූහාරදාහක් එනවා කියලා, ගුණ අසූහාරදාහ එන්නෙ ඔය සූ විසි ගුණ තුළින් කියලා… ඒක අටුවාවක කෙටියෙන් සඳහන් වෙන විග්‍රහයක් [ත්‍රිපිටක සූචිය]

 

(ශ්‍රාවක මහතෙක්): දැන් ස්වාමීන් වහන්ස, හොඳ පැත්ත මේකයි, ඒකෙ නරක පැත්ත මේකයි කියලා සුව දේවල්, අසුව දේවල් කියන දෙයක් නෙමෙයිද?

 

(ස්වාමීන් වහන්සේ): “සුව අසුව දහසක්” කියලා සුවාසූදහසක්…. දැන් ඕක තෝරන්න පුලුවන් එක එක විදිහට. දැන් “සුව අසුව” කියලා ගත්තහම, සුඛ දේවල්, අසුඛ දේවල් හැටියට බලලා අරගත්තා කිවුවහම, එහෙමත් අදහස් ගන්න පුලුවන්. සුවාසූදහසක් කියන එකට නොයෙක් අදහස් තියෙනවා, ඒක තමයි තැනින් තැනට අදහස් ගන්න ඕනෙ.

 

දැන් “සුවාසූදහසක් යොදුන් ගැඹුරැති මුහුදක්” කිවුවහම, එතනදි ඒ මොන මුහුද ගැනද කියන්නෙ? ඒකත් දකින්න ඕනෙ. එතකොට ඒ ආකාරයෙන් “සුව අසුව දහසක්” කිවුවහම, එතකොට ඒ අදහසින් ගන්නවා නම්, ඒ ක්‍රමෙත් විග්‍රහ කරලා ගන්න ඕනෙ. හැබැයි, “ආර්ය විනයේ මුහුද” කියන එක එකක්, “ලෝකයේ මුහුද” කියන්නෙ තව එකක්. “ආර්ය විනයේ” අර්ථය එකක්, “ලෝකයේ” අර්ථය තව එකක්.

 

(ශ්‍රාවක මහතෙක්): සංසාර සාගරය…. (ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි, සංසාර සාගරය…. එතකොට “ඇස මුහුදක්, රූපය මුහුදක්, චක්ඛු විඤ්ඤාණය මුහුදක්….” ඔය විදිහට පෙන්වලා තියෙනවා ක්‍රමයක් [ත්‍රිපිටක සූචිය] ඉතින් “සුව අසුව” ඔය දෙකෙත් එනවා.

 

දැන් “සුව අසුව අදහසක්” කියලත් ඕකට ගන්නවා. සුව අදහස් සහ අසුව අදහස් – සුවාසූදහස් කියලා. එහෙමත් ඕකෙ කැටි කරලා තේරුමක් ගන්නවා. මොනවද සුව, මොනවද අසුව? දැන් අර කියන විදිහට සුව පැත්තට ගත්තොත්, ආර්ය මාර්ගය සුව පැත්තට ගන්න වෙනවා, අනාර්ය මාර්ගය අසුව පැත්තට ගන්න තියෙන්නෙ. මේ “සුවාසූදහසක් ධර්මය” කිවුවහමත්, ඔය දෙක දැනගත්තත් සුවාසූදහසක් ධර්මයට ගැබ් වෙනවා, ගැලපෙනවා, ඒකෙ අමුත්තක් නෑ.

 

“ප්‍රභේද” වශයෙන් සුවාසූදහසක් ගත්තා නම්, අසූහාරදාහක් ගත්තා නම්, ඒකත් ඕකෙම ගැබ් වෙලා තියෙනවා. ඕක එකින් එකට විග්‍රහ වෙන එකක්. අර “තෘෂ්ණාව” කියන එක ගත්තහම “තණ්හාව තුනක් වශයෙන් විග්‍රහ කරනවා, හයක් වශයෙන්, දහ අටක් වශයෙන්, තිස් හයක් වශයෙන්, එකසිය අටක් වශයෙන් විග්‍රහ කරනවා” කියලා පෙන්වනවා නෙ… [ත්‍රිපිටක සූචිය] මෙන්න මේ වගේ, එක එක ක්‍රම වලට ගන්න පුලුවන්.

 

(ශ්‍රාවක මහතෙක්): වෙහෙර-විහාර අසූහාරදහයි, පහන් අසූහාරදහයි කියලා එහෙම… ඒ සම්මතයේ… (ස්වාමීන් වහන්සේ): ඔවු ඔවු, ඒ සම්මතයේ… ඒ සම්මතයේ තියෙන කොටසකුත් තියෙනවා, පරමාර්ථයකුත්… දැන් පරමාර්ථයට අනුකූලව සම්මතයක් ගොඩනැගෙනවා. දැන් මේකෙදි එකක් අයින් කරලා, එකක් අයින් කරන්න බැහැ. දැන් සුවාසූදහසක් කියන එකේදි ඔය පරමාර්ථයත් ගන්න පුලුවන්. ඔය පරමාර්ථය උඩ ගොඩනැඟිච්ච තව එකක් තියෙනවා ඒ වචනෙම අනික් පැත්තට. දෙකම වැරදි නෑ, දෙකේම තියෙනවා ක්‍රම දෙකක්…

 

දැන් “සුව අසුව” වෙන් කරන්න පටන්ගත්තට පස්සෙයි, “අසූහාරදහසක් ධර්මස්කන්ධය” කිවුවහම, දුඛ්ඛයි දුක්ඛ හේතුවයි එක පැත්තක්, දුක්ඛ නිරෝධයයි මාර්ගයයි අනික් පැත්තට… ඒත් “සුව අසුව” නේ… දුක සහ දුකට හේතුව “අසුව”, නිරෝධය සහ නිරෝධ මාර්ගය “සුව”. ඒකනෙ, “මාර්ගය හැර, තපස හැර තපෝ ගුණය හැර, බොජ්ඣංග ධර්ම හැර, නිවන හැර තවත් ලෝක සත්වයින්ට සුවයක් නොදකිමි” එහෙනම් “සුව” පැත්තක් පෙන්නුවා, යථාර්තයෙන් ම සුව පැත්තක්. එහෙනම්, දුක්ඛ නිරෝධය සහ මාර්ගය කියන එකට අයිතියි තපෝ ගුණය, බොජ්ඣංග ධර්ම, නිවන. එහෙනම්, ලෝකය පැත්තට දුකයි, දුකට හේතුවයි දෙකට අයිතියි තෘෂ්ණාව. ඉතින් සුව පැත්තයි අසුව පැත්තයි තමයි ඔතන දකින්න තියෙන්නෙ. අදහස් වලින් දකින්න ඕනෑ ඔය ටිකත්.

 

මේ අදහස් අනුව ගත්තා නම්, එතනත් ඒ අදහස එනවා. ඉතින් ඒත් ලෝකෙ ඔය ටිකම අහුවෙලා. සුවාසූදහසක් ධර්මස්කන්ධය තියෙන්නෙත් ඔය තුළ මයි. කොහෙන් ගත්තත් ඒක එහෙමමයි. පද වශයෙන් අරගෙන බැලුවත්, “අසූහාරදහස් උප්පත්ති ක්‍රම” තියෙනවා, “ගති අසූහාරදාහකට”. ලෝකයේ සත්ව කොට්ඨාශ ඉන්නෙ අසූහාරදාහයි, ඒ ගති අනුව ලබන උපත, ගති-උප්පත්ති ඊට වඩා වැඩි කරන්න බෑ. ඉතින් එහෙම රටාවක් ලෝකෙ තියෙනවා. එක එක සත්ව කොටස් අරං බැලුවහම, ප්‍රධාන වශයෙන් ඒ එක කොටසෙ ප්‍රභේද ඇරෙන්න, ප්‍රධාන සත්ව කොටස් අසූහාරදාහක් ඉන්නවා ගති අසූහාරදාහකින් ඉපදිලා. ඒකත් එක රටාවක්.

 

මේ ලෝක විෂය අචින්ත්‍යයි, ඒක අපිට නිගමනය කරලා තේරුම්ගන්න බෑ. අපි දකින්න ඕනෑ, කෝකෙ උපන්නත්, හේතුවක් නිසා ඵලයක් හටගත්තා, ඒක පැවැත්ම නම්, අනිච්චයි, දුක්ඛයි, අනත්ථයි. අනිච්ච, දුක්ඛ, අනත්ථ පැවැත්මත්, අසූහාරදාහක් අරගත්තත්, එකක් – දෙකක් හටගත්තත්, කෝක හටගත්තත් වැඩක් නෑ. එතකොට ඔය ප්‍රශ්නය විසඳන්න දේකුත් නෑ, ධර්මය දැක්කට පස්සේ එයා හොඳ-නරක දෙක දැක්කා. එහෙනම් “සුව අසුව අදහසක්” කියලා ගත්තා නම්, ඒත් දැකලා තියෙනවා, සුවාසූදහසක් ධර්මස්කන්ධය ඒත් දැක්කා.

 

එතකොට “සුව අසුව දාහක්” කියලා ගත්තා නම්, ඒත් තිබිච්ච එක දැකලා තියෙනවා, “අදහසක්” කියලා ගන්නත් පුලුවන්. “සුව අසුව අදහසක් – සුවාසූදහසක්” එහෙමත් ගත්තහැකි, නිරුක්තිය බෙදෙනවා. කොයි ක්‍රමෙන් ගත්තත් චතුරාර්ය සත්‍යය දැක්කා නම්, ඔය ටික දැකලා. “අසූහාරදහසක් ධර්මස්කන්ධය” කිවුවා නම්, ඒකත් දැකලා, ඒකයි රටාව.

 

දැන් “අසූහාරදහසක් ධර්මස්කන්ධ” කොටු වෙන විදිහට කියලා තමයි ත්‍රිපිටකය හදලා තියෙන්නෙ. (ශ්‍රාවක මහතෙක්): දැන් අසූහාරදහසක් දෘෂ්ඨි වලටත්…. (ස්වාමීන් වහන්සේ): ඒ දෘෂ්ඨි තියෙන්නෙත්, දැන් අර හැට දෙකක් දෘෂ්ඨි වලින් ගිහාමත්, දෙසැටක් මිත්‍යා දෘෂ්ඨි අරගෙන බැලුවත්, ඒත් ඔය ගාණට ප්‍රභේද බෙදෙනවා. ඉතින් එක එක විදිහෙ පුද්ගලයා ගේ දෘෂ්ඨි තියෙන්නෙ, අර “ගති” කිවුවෙ ඒකයි. අසූහාරදහසක් ගති ලක්ෂණ ඇතුව සත්වයෝ ඉන්නවා. කවදා හරි ඒ ගතියේ තිබෙන අනිච්ච, දුක්ඛ, අනත්ථතාවය දැක්කහම, ඒකට ගෝචර නොවෙච්චි එකම ගතියක් වත් නෑ. ඒක දැක්ක දාට ඒ ඔක්කොම ගති අත්හරිනවා. ඒ ගති අත්හැරලා, සම්පූර්ණ ගති කෙළවර කරපු දාට “අරිහත්වය”.

 

දැන් “හොඳ එක” යි “නරක එක” යි කියන දෙකම අත්හරිනවා, අන්තිමට. නරක එක අත්හැරලා හොඳ එකට ඇවිදිල්ලා, හොඳ එකත් වැඩක් නෑ කියලා ඒකත් අත්හරිනවා. එතකොට හොඳ එකත් නෑ, නරක එකත් නෑ, අරිහතුන් වහන්සේට. එතෙන්ට යනකන් අපිට හොඳ එකක් පේනවා. “මෙයිට වඩා අරක හොඳයි, මෙයිට වඩා ඒක හොඳයි….” ගිහිල්ලා, ගිහිල්ලා අන්තිමට බලනකොට එකක් වත් හොඳ නෑ කියන තැනටයි වැටෙන්නෙ. ආපහු බලනකොට ඔක්කොම නරකයි, අනික් අතට. හොඳ බලාගෙන, හොයාගෙන යනවා….

 

(ශ්‍රාවක මහතෙක්): සැප කියන එක හොඳයි කියලා ගත්තම, සැපත් දුකට වැටෙන එකමයි අන්තිමට…. (ස්වාමීන් වහන්සේ): .. එකින් එකට යනවා හොයාගෙන. ගිහාම දකිනවා, ඊට වැඩි සැනසිල්ල දැක්කහම ඊට පල්ලෙහා ඒවා දුකයි… ඕක අපි දකිනවා.

 

{0:56:06} : දෙවුදත් තෙර සසර පුරා පවු කරලත් ශාඛ්‍ය කුලයේ ම ඉපදුනේ ඇයි?

(ශ්‍රාවක මහතෙක්): දැන් ස්වාමීන් වහන්ස, දෙවුදත් තෙර බුදුහාමුදුරුවන්ට බෝධිසත්ව කාලෙ හැමදාම වෛර නෙ කළේ, එතකොට බුද්ධත්වය ලබන ආත්මෙත් මේ දෙවුදත් තෙර, මෙච්චර නපුරු වැඩ කර කරා, කොහොමද ඒ ආත්මෙ ලඟම ඥාතියෙක් එහෙම ඉපදෙන්න, කොහොමද ඒක ? නිකං මවාපාපු කතාවක් ද, නැත්තම්…..

 

(ස්වාමීන් වහන්සේ): නෑ මහත්තයා, මේකයි හේතුව. දැන් අපි හිතමුකො, කෙනෙක් ගෙන් පලිගන්න පුලුවන් ද මූණට මූණ මුලිච්චි නොවී? දැන් අපි හිතමු, “මං තොට ගහනවා කවදහරි…” කියලා කියනවා. “මං තොට ගහනවා කවදහරි” කියන්න නම්, එක්කෙනෙක් ගාල්ලෙ ඉපදිලා, එක්කෙනෙක් මාතර ඉපදිලා, දෙන්නා මුණගැහුනෙ නැත්තම් ගහන්නෙ කොහොමද? එක්කෙනෙක් එංගලන්තෙ උපදිනවා, එක්කෙනෙක් ලංකාවෙ උපදිනවා, දැන් මොකෙන් ගහන්නද? “කවදා හරි, තෝ මට කරපු එකේ පලිය මං ගන්නවා තොගෙන්…” ඈත් වෙලා හිටියොත් පලිගන්න පුලුවන්ද? ඈත් වෙලා උපන්නොත් කොහොමද ඒ පලිය ගන්නෙ? ලං වෙලාම ඕනෙ පලිගන්න. පලිගන්න විදිහක් නෑ නෙ, නැතුව.

 

ඔවු, දැන් බලමුකො, දැන් එපා වුනයි කියලා නෑ නෙ, දැන් හතුරෙක් ඉන්නවා, “අල්ලපු ගෙදර එකා මගෙ පරම හතුරා, මට ඕකා ඇහැට පේන්න බෑ…” දැන් පේන්න බෑ කිය කියා අස්සෙන්, මුල්ලෙන් ඌ දිහා එබිකම් කරලා බලන්නෙ නැද්ද? ඌ මොකද්ද කරන්නෙ කියලා…? “අද නෑ නෙ අරූ ගෙදර, කොහේ ගියාද දන්නෙ නෑ…” උදේ ඉඳං රෑ වෙනකල් ඌ දිහාමයි බලන්නෙ. කියන්නෙ මොකද්ද, “මට ඕකාව ඇහැට පේන්න බෑ…” නමුත් බලන්නෙ ඌ දිහාමයි, ඌ කොහෙද ගියෙ, මොකද කරන්නෙ… “ආං අරූ යනවා උඩහ, මොකටද යන්නෙ?” බලනවා, මොකටද මේ? “මට ඕකාව පේන්න බෑ” කිය කියා ඌ දිහාම බලනවා. ඔය පේන්න බැරි එකට කෑලි හොයන්න තමයි ඌ දිහා බලන්නෙ. ඉතින් ස්වභාවය ඒකයි.

 

ඉතින් හතුරා ගෙන් අහක් වෙන්න බෑ කවදාවත්, හතුරා පේන්න බෑ කිය කියා, හතුරාට හතුරුකම් කරන්න ඌ දිහා බලා ඉන්නකම්, ඌ ලඟම එනවා. ඕකයි ක්‍රමය. කොච්චර කිවුවත් හතුරා ගෙන් මිදෙන්න බැහැ, හතුරා එපා නම් අත්හරින්න ඕනෙ. හතුරා එපා නම්, හතුරා ගෙ තියෙන අඩුපාඩු හොය හොයා ඒ පස්සෙ යන්න ගියොත්, ඌව, හතුරා එපා කියලා අස්සෙ ම නේ රිංගන්නෙ.

 

අන්න, අපි හේතු-ඵල දකින්න ඕනෙ. යමකට යමෙක් ලං වෙනවා නම්, ඒකට හේතු මොනවද? ඒ ලං වෙන එක කරදරයක් නම්, ලං වෙන්න තියෙන හේතුව අයින් කරන්න ඕනෙ. එතකොටයි අයින් වෙන්නෙ. “මට ඕකා ඇහැට පේන්න බෑ” කිය කියා ඒකා ගෙ වැරදි හොයනවා නම්, උගෙ අඩුපාඩු හොයනවා නම්, ඒක ලං වෙන මාර්ගයක්, හතුරා ට ලංවෙන මගක්. ඒක අත්හැරලා දැම්මා නම් ඉවරයි, හිතෙන් ම අත්හැරියා නම් “මට වැඩක් නෑ, මං ඕවා හොයන්නෙත් නෑ, මට ඕනෙත් නෑ හොයලා, උන්නත් එකයි, මළත් එකයි….”

 

(ශ්‍රාවක මහතෙක්): ඒක සමහර විට හිතෙන්, මනසින් ම ඇතිකරගත්ත දෙයක් නිසා ද ඒ? (ස්වාමීන් වහන්සේ): ඔවු ඔවු, මනසින් ම තමයි. මොකද, මනස හොයන්නෙ එහෙමමයි. දැන් ලෝකයේ යම් දෙයක් ප්‍රිය ස්වභාවයෙන් යුක්තද, මධුර ස්වභාවයෙන් යුක්තද, මේ හිත එහි ඇලෙනවා. දැන් කියපුහාම මෙතන වචන දෙකක් කියනවා. “යං ලෝකේ පිය රූපං, සාත රූපං…” [ත්‍රිපිටක සූචිය] දැන් මේ දෙකටම එක අදහසක් ගන්න හදනවා. නමුත්, මේ ලෝක සත්වයා ඇලෙන්නෙ, මේ තණ්හාව කියන එක හටගන්නෙ ආසා කරන දේට විතරක් නෙමෙයි. එතකොට, තණ්හාව කියන එක ඇතිවෙනකොට, තණ්හාවට එනවා ක්‍රම දෙකකින්.

 

මොකද, “ගැටෙන්න ප්‍රියයි, ඇලෙන එක මධුරයි”, ප්‍රිය, මධුර දෙකක් එතන. ප්‍රිය ස්වභාවය, සාත ස්වභාවය කිවුවෙ ඒකයි. “සාත” ස්වභාවයට ඇලෙනවා, “ප්‍රිය” නිසා ගැටෙනවා. දැන් “ප්‍රිය නිසා ගැටෙනවා” යි කිවුවහම ඕක දකින්න ඕනෙ. උදේ ඉඳං රෑ වෙනකන් බැණ-බැණා ඉන්නවා. ඉතින් කවුරුහරි කියනවා, “ඉතින් බණින්නෙ නැතුව නිකං ඉන්නවකො…, මොකටද බණින්නෙ?” “උඹ කිවුවට ඉන්න පුලුවන් යැ? මට ඕකා ව පේනකොට බණින්න මයි හිතෙන්නෙ..” ප්‍රිය නේද? බණින්න ප්‍රියයි.

 

“ප්‍රිය-අප්‍රිය” එකක්, “මධුර-අමධුර” තව එකක්. අන්න, ඇලෙන පැත්ත මධුරයි, ගැටෙන්න ප්‍රිය නැත්නම් ලෝකයා ගැටෙන්නෙ නෑ. ගැටෙන්නෙත් ඒකට ආසා හින්දයි. ගැටෙන්න ආසා නැත්නම්, කේළම් කියන්න ආසා නැත්නම් කේළම් කියන්නෙ නෑ, අනුන් බිඳවනකොට සංතෝස වෙන්නෙ, ඒකෙ සතුටක් තියෙනවා, දුක් දීලා සතුටු වෙනවා. දැන් ඒකත් අසත්පුරුෂ ලෝකෙ හැටියක්. එහෙනම්, ගැටෙන්නෙත් අකමැත්තෙන් නෙමෙයි, ඒකට ප්‍රිය තාවයක් තියෙනවා. ඒකට කියනවා, “උපේක්ෂා”, සෝමනස්ස කියන්නෙ නෑ.

 

“උපේක්ෂාව” කියන්නෙ, ආසන්නයට එක් වෙනවා කියන එකයි. ආසන්නයට එක්ව ආශ්‍රය කරනවට කියනවා උප-ඒක්ෂා, “උප” කියන්නෙ ආසන්නය, “ඒ” කියන්නෙ එක් වෙනවා, “ෂා” කියන එකෙන් පෙන්වන්නෙ, “උප ඒ ෂා” ආශා කියන වචනයෙන් කියන එකටයි “ඇසුර” කියන්නෙ, “ආශ්‍රය” කියන එක. ආසන්නයට එක්වී ඇසුරු කරන්න යමක් කරගත්තොත් උපේක්ෂා. ඒක ප්‍රිය නිසා කරගත්තොත් තමයි “සෝමනස්ස” වෙන්නෙ. ඉතින් ආසන්නයට එක්වෙලා දුක් විඳිනවා. (ශ්‍රාවක මහතෙක්): ඇලෙන්නත් ඕනෙ, අයින් කරන්නත් බෑ, (ස්වාමීන් වහන්සේ): අයින් කරන්න බෑ, ඔවු. ලඟට එනවා, බණින්නත් ලං වෙනවා. දැන් “මට ගැහුවත් මං ඕකාව මරාගෙන හරි මැරෙනවා…” කිය කියා යනවා. දැන් ආසන්නයට එක් වෙනවා නෙ, ඇදිලා යනවනෙ එතෙන්ට, ගැටෙන්නත් ලං වෙන්න ඕනෙ, ඇලෙන්නත් ලං වෙන්න ඕනෙ. ඈත ඉඳන් ගැටෙන්නත් බෑ, ඈත ඉඳන් ඇලෙන්නත් බෑ.

 

දැන් උපේක්ෂාව කියලා කියන්නෙ, ඒ වගේ ඇලෙන්නත් ලං වෙනවා, ගැටෙන්නත් ලං වෙනවා. ලං වුනේ නැත්තම් මේ දෙකම කරන්න බෑ. “දුන්න දුනුගමුවේ, ඊතල කිතලගමුවේ, රාළ මීගමුවේ, මුවෙක් ඇඬුවයි සබරගමුවේ” කිවුවලු. මරාගන්න බෑ නෙ, දුන්න එක දිහාවක, ඊතලේ තව දිහාවක, රාළ තව දිහාවක, මුවා තව දිහාවක. හතර පොළේ හිටියා නම් එහෙම වැඩේ කෙරෙන්නෙ නෑ, අපේ ඉස්සර කවි. “දුන්න දුනුගමුවේ, ඊතළ කිතලගමුවේ, රාළ මීගමුවේ, මුවෙක් හැඬුවයි සබරගමුවේ”. ඉතින් හතර පැත්ත, හතර පැත්තට ගියොත් එහෙම ගැටෙන්න විදිහක් නෑ.

 

(ශ්‍රාවක මහතෙක්): ඒක කර්ම පථයක් වෙන්න තියෙන හැකියාව නැතිවෙලා යනවා? (ස්වාමීන් වහන්සේ): නැතිවෙලා යනවා. රාගය, ද්වේෂය, මෝහය, මානය හතර පොළට ගියොත් එහෙම, එකතු වුනේ නැත්තං එහෙම, එකට සම්බන්ධ වෙලා තමයි ඔය ඔක්කොම, රාගයක් හටගන්නත් ඕනෙ, ඒකට විරුද්ධ දෙයක් ආපුහම ද්වේෂයක් හටගන්නවා. රාගයක් ආවෙ නැත්නම් එහෙම අපේ හිත තුළ, ද්වේෂයට හේතු කාරක නෑ. රාගය උපනිශ්‍රය කරගෙන ද්වේෂය හටගන්නවා.

 

වටිනා දෙයක්, “මගෙ දේ කැඩුවා…” කියනවා, “මගේ දේ බින්දා…” කියනවා, ඒ “මගේ” කියන හැඟීම තියෙනකන් ඒකට විරුද්ධ වෙනකොට ද්වේෂය නැඟෙනවා. “මගේ” කියන හැඟීම රාගයෙන් අහක් වුනහම, ද්වේෂයට තිබිච්ච මුල කැපිලා ගියා. එහෙනම් ද්වේෂයට මුල වෙන්නෙ රාගයයි. දැන් එකට-එක එන්නෙ නෑ, නමුත් උපනිශ්‍රය වශයෙන් යෙදෙනවා. “නිශ්‍රය ප්‍රත්‍යය” යි “උපනිශ්‍රය ප්‍රත්‍යය” යි දෙකෙන් ඕක තෝරාගන්න ඕනෙ.

 

{01:02:50} : උපේක්ෂාව සහ උපේක්ෂාතර උපේක්ෂාව අතර වෙනස

(ශ්‍රාවක මහතෙක්): දැන් අර මෛත්‍රී භාවනාවෙත් උපේක්ෂා සහගත …. (පැහැදිලි නැත)… (ස්වාමීන් වහන්සේ): තියෙනවා, ඒකෙත් තියෙනවා මෙහෙම, “ප්‍රීතිතර, සුඛතර, උපේක්ෂාතර” කියලා කොටස් තුනක් තියෙනවා. ඒ හරිය ධර්මයේ හැඟවිලා තියෙන කොටස් තුනක්. දැන් ආර්යයෝ යන්නෙ ප්‍රීතිය තුළ නෙමෙයි, “ප්‍රීතිතර” තුළ, සුඛය තුළ නෙමෙයි, “සුඛතර” තුළ, උපේක්ෂාව තුළ නෙමෙයි, “උපේක්ෂාතර” තුළ. උපේක්ෂාවයි, උපේක්ෂාතර යි තෝරාගන්න ඕනේ ඔතෙනදී.

 

“සැප දුක් වශයෙන් දකින්න, දුක උල් වශයෙන් දකින්න, උපේක්ෂා වේදනා අනිච්ච වශයෙන් දකින්න” [ත්‍රිපිටක සූචිය] සැප වේදනා දුක් වශයෙන්, දුක් වේදනා උල් වශයෙන්, උපේක්ෂා වේදනා අනිච්ච වශයෙන් දැක්කහම, වේදනාව “පිරිසිඳ දැනගත්තා” වෙනවා. එතකොට වේදනාව නිරෝධ කළ හැකියි. වේදනා නිරෝධ කරපුහම තණ්හා නිරෝධයි, එහෙනම් උපාදාන නිරෝධයි, එහෙනම් භව නිරෝධයි, එහෙනම් ජාති නිරෝධයි, එහෙනම් ජරා, මරණ, සෝක, පරිදේව… ඔක්කොම දුක් ගොඩ නිරෝධයි.

 

එහෙනම් වේදනා එකක් හරි, උපේක්ෂා වේදනාව තියාගත්තොත්, උපේක්ෂා වේදනාව “උපේක්ෂා ඒකග්ගතාවයෙන්” ගිහිල්ලා චතුර්ථධ්‍යාන ලෝකෙ හරි උපදිනවා. එයාට භව ගමන ඉවර වෙන්නෙ නෑ. “උපේක්ෂා තර” කියන්නෙ, ඒක විඳින උපේක්ෂා චෛතසිකය එතන නෑ, ඒකග්‍රතා චෛතසිකය නෑ. “සුඛ චෛතසිකයෙන් තොර සුඛයක්” තියෙනවා. ඒකට කියනවා “සුඛ තර”. “ප්‍රීතියෙන් තොර ප්‍රීතියක්” තියෙනවා, ඒකට කියනවා, “ප්‍රීති තර”. එහෙම නැත්තම් තව ඒකට කියනවා, “නිරාමිස ප්‍රීතිය”. ආමිස ප්‍රීතිය කියන එකට චෛතසිකය අවශ්‍යයි, නිරාමිස ප්‍රීතිය කියන එකට ඒ චෛතසිකයෙන් විඳින සුඛය නෙමෙයි, චෛතසිකය ඉක්මෙවුව සුඛයක්, ඒක නිවන් සුවය.

 

(ශ්‍රාවක මහතෙක්): දැන් “සුඛ්තතර වෙත්වා” කියනකොට? (ස්වාමීන් වහන්සේ): ඔවු, සුඛිතතර කියන්නෙ ඒකයි. නිවන් සුවයෙන් සුවපත් වීමයි, ලෝක සුවයෙන් සුවපත් වීමයි දෙකක්. නිවන් සුවය කියන්නෙ ලෝකෙ අත්හැරීමෙන් ලබන “විමුක්ති සුවය”, ඒකට කියනවා “සුඛිත තර”. සුඛිත වෙත්වා කිවුවොත් ලෝක සුවය. ඒක සුඛ කියන චෛතසිකයෙන් යුක්තයි, ඒක විඳින සුවය.

 

විඳින සුවයක් ලෝක සත්වයාට පැතුවොත්, භවයක් ම පතනවා, අනාථයක් ම පතනවා. දැන් ආර්යයෝ අනාථයක් බව දැනගත්තහම, මේ විඳින සුවය අනාථයි කියලා දැනගත්තහම, “පංච කාම සුවය” විඳින සුවයක්. පංච කාම සුවයට ලෝක සත්වයාට අධිෂ්ඨානයක් කරනවා නම් ඉන්න, ඒ පුද්ගලයා එතන නම්, ඒ පරමාර්ථය ඒක නම්, ඒ බලාපොරොත්තුවෙන් නම් කරන්නෙ, ඒක මුළාවක්, අවිද්‍යා සහගත පැතුමක්. ඉතින් අවිද්‍යා පැතුමක් කොයි වෙලාවක වත් අරගන්නෙ නැහැ ආර්යයෝ. ඒකෙන් යම් උපනිශ්‍රයක් ගන්න පුලුවන් නම්, ඒ හේතුවට ඒක ගන්නවා.

 

ඉතින් “සීල විශුද්ධිය” සඳහා…. සාසනේ මහණ වුනේ මොකටද? “සීල විශුද්ධිය” සඳහා කියලා කියන්නෙ. ඇයි සීල විශුද්ධියට? ඒ “චිත්ත විශුද්ධිය” ට උපනිශ්‍රය වෙන නිසා කියලා කියන්නෙ. ඉතින් චිත්ත විශුද්ධිය මොකටද? “දිට්ඨි විශුද්ධිය” ට හේතු වෙන නිසා කියන්නෙ. දිට්ඨි විශුද්ධිය මොකටද? “ඛංකාවිතරණ විශුද්ධිය” ට හේතුවෙන නිසා කියන්නෙ… එහෙමත් උත්තර දෙන්න ක්‍රමයක් තියෙනවා. ඛංකාවිතරණ විශුද්ධිය මොකටද? “මග්ගාමග්ග ඥාණ දස්සන විශුද්ධියට” කියන්නෙ, මග්ගාමග්ග ඥාණ දස්සන විශුද්ධියට යන්නෙ මොකටද? “පටිපදා ඥාණ දස්සන විශුද්ධිය” ට කියන්නෙ. පටිපදා ඥාණ දස්සන විශුද්ධියට යන්නෙ මොකටද? “ඥාණ දස්සන විශුද්ධිය” ට කියන්නෙ. ඥාණ දස්සන විශුද්ධියට යන්නෙ මොකටද? දුක් කෙළවර කරන්න කියන්නෙ. ඒත් ගියා නිවනටම. ඉතින් ඒ වගේ, එකින් එකට යන ක්‍රම තියෙනවා.

 

ඉතින් යමෙක් පිං කරන්නෙ මොකටද? ආං ඒක තර්ක කරගෙන යන්න ඕනෙ, අනුපූර්ව ව යන්න ඕනෙ. ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා පහල කරන්න කියන්නෙ, ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා මොකටද? දහම අවබෝධ කරන්න ඒක නැතුව බැරි හින්දා කියන්නෙ. දහම් අවබෝධ කරන්නෙ මොකටද? විමුක්තිය සඳහා කියන්නෙ. විමුක්තිය මොකටද? සසර දුක් කෙළවර සඳහා කියන්නෙ…. ක්‍රමයක් තියෙනවා. අන්න ඒ ක්‍රමයට පිං කළොත්, ඒවට කියනවා, ආර්යයන්ට ගැළපෙන… අර “සුමනා සූත්‍රයේ” එහෙම කිවුවෙ, “සුමනාවෙනි, දන් දිය යුතුමය, පිං කළ යුතුමය, දෙවි වූවන්ටත්, මිනිස් වූවන්ටත්, ශ්‍රමණ වූවන්ටත්, ශ්‍රමණ ව නිවන් අවබෝධ කරන තුරුත් පින උපකාර වේ. සුමනාවෙනි, දන් දිය යුතුමය, පිං කළ යුතුමය” [ත්‍රිපිටක සූචිය] කිවුවෙ අන්න ඒකට. ඒක නිවනට උපකාර වෙනවා.

 

ලෝකයේ සුව හොයන්න උපකාර වෙනවා නම්, ලෝක සුවයට, ඒක අනාථ වෙනවා, ඒක අවිද්‍යාවෙ නිගමනය, අරක කුසළ මූල නිගමනය, අලෝභ, අද්වේෂ, අමෝහ නිගමනයක්. අලෝභ, අද්වේෂ, අමෝහයෙන් ගිහිල්ලා, ලෝභක්ෂයට, ද්වේෂක්ෂයට, මෝහක්ෂයට පත්වෙනවා, ඒක නිවන් මග.

 

දැන් “පිං හොඳද, පවු නරකද?” ඇහුවොත්, එහෙම අපි නිගමනය කරන්න බෑ. යම් පිනක් නිවනට උපනිශ්‍රය වෙනවා නම්, ඒක හොඳයි. පින හොඳ හින්දා නෙමෙයි, වළේ වැටිලා ඉන්න මිනිහට, ලිඳේ වැටිලා ඉන්න මිනිහාට, කුණු ගෑවිලා තියෙන කඹෙත් ආධාර වෙනවා නම්, එයාට ඒ කඹය හොඳයි. මොකටද? වළෙන් ගොඩ එන්න. නැත්නම් අර මඩ වලෙන්, නැත්නම් ලිඳෙන් ගොඩට එන්න. ඒක හොඳ හින්දා ඒකෙ ලැගලා ඉන්න නෙමෙයි. අන්න ඒ වගේ… පිනක් හොඳයි, මොකටද? නිවන් අවබෝධ කරන්න ආධාර කරගන්න. ඔය ක්‍රමයට දකින්න ඕනෑ, ඒක.

 

{1:07:39} : ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීමට ප්‍රවිෂ්ට වන අයුරු

(ප්‍රශ්නය): ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීමට ප්‍රවිශ්ට විය යුතු ආකාරය පහදා දෙන්න. (ස්වාමීන් වහන්සේ ගේ පිළිතුර): ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීමට ඉස්සෙල්ලාම දැනගන්න ඕනෙ “යදනිච්චං තං දුක්ඛං, යං දුක්ඛං තදනත්ථා” [ත්‍රිපිටක සූචිය] කියන මෙන්න මේ දහම. අනිච්ච, දුක්ඛ, අනත්ථ තේරුම් ගන්න ඕනෙ. ඔතෙන්ට තේරුම් ගන්න තාක්කල් ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීමට මූලධර්මය නෑ. එහෙනම්, “සම්මා දිට්ඨි” කියන මූලධර්මය පහල කරන්න හේතු නෑ.

 

“දුක්ඛේ ඥාණං, දුක්ඛ සමුදයේ ඥාණං, දුක්ඛ නිරෝධේ ඥාණං, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාය ඥාණං, අයං වුච්චති භික්ඛවේ සම්මා දිට්ඨි” [ත්‍රිපිටක සූචිය] කියපු මෙන්න මේ සම්මා දිට්ඨියට එන්න ඕනෙ. මේකට එන්න නම් “පූර්වභාග නුවණ, පූර්වභාග සම්මා දිට්ඨිය” පළමුව පහල වෙන්න ඕනෙ. මාර්ග සම්මා දිට්ඨිය තමයි, “දුක්ඛේ ඥාණං, දුක්ඛ සමුදයේ ඥාණං, දුක්ඛ නිරෝධේ ඥාණං, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාය ඥාණං, අයං වුච්චති භික්ඛවේ සම්මා දිට්ඨි” කිවුවෙ ඒකට.

 

ඕකට එන්න ඉස්සෙල්ලා “කම්මස්සගත සම්මා දිට්ඨිය” සහ “ධ්‍යාන සම්මා දිට්ඨිය” තියෙන්න ඕනෙ, ඉස්සෙල්ලාම. “කම්මස්සගත සම්මා දිට්ඨිය” හෙවත් කර්ම-ඵල අදහන තත්වය තියෙන්න ඕනෙ. විශ්වාසයෙන් ඉස්සෙල්ලා පටන්ගන්නෙ. යම්කිසි කෙනෙක් පාපයක් කරපුහාම, මතු උපදිනවද කියන එක නෙමෙයි එතන ගන්නෙ, “හොඳක් කළොත් හොඳක් වෙනවා, නරකක් කළොත් නරකක් වෙනවා” කියන එක තෝරාගන්න ඕනෙ ඉස්සෙල්ලම. හොඳකට හොඳ ප්‍රතිඵල, නරකට නරක ප්‍රතිඵල. මේකෙත් ක්‍රම දෙකක් තියෙනවා.

 

“හොඳක් කළොත් හොඳක් වෙනවා, නරකක් කළොත් නරකක් වෙනවා” කියන වචනය, නිකං ලෞකික වශයෙන් ගත්තොත්, බුදුරජාණන් වහන්සේ ම දේශනා කරනවා, “මේ කතාව වැරදියි නෙ..” උදාහරණයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ ම දේශනා කරනවා, යම්කිසි සේනාපතියෙක් යම් රටකින්, යම් රජ්ජුරුවන් ගෙන් අණ-පනත් ලබාගෙන, යම්කිසි රාජ්‍යයක් තමන්ගේ වසඟයට ගන්න මෙහෙයවනවා, සේනාවක්. ඒ සේනාධිපතියා ගිහිල්ලා, අර පිරිස මරලා, රට විනාශ කරලා, මහා විනාශයන් කරලා, රට අත්පත් කරලා දෙනවා රජ්ජුරුවන්ට. රජ්ජුරුවො මොකද කරන්නෙ, ඌට ලොකු ඨානාන්තර දීලා, සැප සම්පත් දීලා, උසස් තත්වයට පත් කරනවා.

 

දැන් නරකක් කරලා, හොඳක් වෙලා තියෙනවා නෙ. කළේ නරකක්, ප්‍රතිඵල වශයෙන් එයා හොඳකුත් ලබලා තියෙනවා. හොඳක් කළහම හොඳක් වෙනවා, නරකක් කළහම නරකක් වෙනවා කියලා උඩින්-මත්තෙන් තේරුම් ගන්න ගියොත් ඔය ප්‍රශ්නෙට අහුවෙනවා. නමුත්, මේකෙ ගැඹුර් පැත්තක් තියෙනවා. ඔහුට එවෙලෙ හොඳක් පෙනුණට, ඔහු කරගත්ත අපරාධයට ඔහු වන්දි ගෙවන්න වෙච්ච දාට, අර “කරන කලට පවු මිහිරි ය මී සේ, විඳින කළට දුක් දැඩි වෙයි ගිණි සේ” කිවුව තැනට වැටෙනවා.

 

ප්‍රාණඝාත කරලා රටක් අරගෙන, ඔන්න අවුරුදු කීයක් ජීවත් වෙනවද? එයා, රජ්ජුරුවන් ගෙන්, අවිද්‍යා සහගත නිගමනයන් ඇති පුද්ගලයන් අතරේ, අසත්පුරුෂයන් අතරේ තැනක් අරගෙන, ඒ ජීවිතය ගත කරලා, ඒ ජීවිතය අවසානයේ දි ඔහු අතරමං වෙච්චි වෙලාවට, නැත්තම් අර විපාකය එන වෙලාවට, දුක් විපාකය, කරපු කර්මයට විපාකය එන වෙලාවට, රජ්ජුරුවන්ට පුලුවන් කමක් නෑ ඔහු අපායෙන් ගොඩගන්න. ඔහු තිරිසනෙක් වෙලා උපදින්න තියෙනවා නම්, අපාගත වෙන්න තියෙනවා නම්, ප්‍රේතයෙක් හෝ වෙන්න තියෙනවා නම්, යක්ෂයෙක් හෝ වෙන්න තියෙනවා නම්, ඒකෙන් ගොඩගන්න රජ්ජුරුවන්ට බෑ. තමන්ගෙ අම්මා-තාත්තට වත් බෑ, සහෝදර-සහෝදරියන්ටත් බෑ, තමන්ගෙ පිරිසටත් බෑ. ඒ නිසා, තමන් ඒකට යන්න ඕනෙ.

 

අන්න එතන, කර්මයට විපාකය එකක්, කර්ම වලට ප්‍රතිකර්ම තව විදිහක්. අසත්පුරුෂ ලෝකයේ නරක කර්ම වලට හොඳ ප්‍රතිචාර තියෙනවා. හොඳ කර්ම වලට නරක ප්‍රතිචාර තියෙනවා. දැන් අසත්පුරුෂ ලෝකයේ, බුදුරජාණන් වහන්සේ ඉහළ ම හොඳ කර්මයක් කරන්න බැස්සා. බැහැලා ලෝකයාට මේ මුලු දහම ම දේශනා කළා. හැබැයි ලෝකයාගෙන් හම්බුණ ප්‍රතිචාර අන්තිම නරකයි. “අහං නාගෝ ව සංගාමේ, චාපා තෝ පතිතං සරං – අතිවාක්‍යං තිථික්ඛිස්සං, දුස්සීලෝ හි බහුජ්ජනෝ” [ත්‍රිපිටක සූචිය] මේ දුස්සීල බොහෝ ජනයාගේ ලැබෙන්නාවූ නොයෙක් වචන නැමැති හී පහරවල්, මේ දහම් සංග්‍රාමයට බැහැලා යන මට ලැබෙනවා. හරියට, සංග්‍රාමයට ගිය ඇතෙකුට හැම පැත්තෙන්ම එන හී පහරවල් කාගෙන ඉදිරියට යනවා වගේ, මමත් ඒ ඔක්කොම සැඩ පහරවල් කාගෙන, ඊ පහරවල් කාගෙන ඉදිරියට යනවා.

 

එහෙනම්, හොඳක් හම්බුණේ නෑ, හොඳ හම්බුණේ බොහොම ටික දෙනෙක් ගෙන්. අසත්පුරුෂ ලෝකයාගෙන් හම්බුණේ වැඩි හරියක් වචන නැමැති හී පහරවල්, ඇණුම්-බැණුම්, නින්දා-අපහාස, “ඕං එනවා මායාකාරයෙක්, මිනිහෙක් දොට්ට බස්සවන්න එපා, ඔය කාලකණ්ණියා ආපුහම අපේ ඉන්න පිරිස අරගෙන යනවා, මායාකාරයෙක් ඔය එන්නෙ, පවුල් අනාථ කරන එකෙක් එන්නෙ…” කියලා ඒගොල්ලො කෑගහනවා. යෝගීන් කෑගහනවා, “ඔය මහා උච්ඡේද වාදියෙක්, ආත්මය විනාශ කරන්න ඔය එන්නෙ, ඔයාට අහුවෙන්න එපා, ආත්මය විනාශ වෙනවා..” ඒගොල්ලො එහෙම කෑගහනවා.

 

ඉතින් ඒ වගේ, ලෞකික ලෝකයට බැහැගත්ත පුද්ගලයා අවිද්‍යාවෙන් ඉඳගෙන ඔය තීරණ ගත්තා. අරයා බුදුරජාණන් වහන්සේ ට අපවාද කළා, බුදුරජාණන් වහන්සේ ඒ සියල්ලෝ පිලිගත්තෙ නෑ. නිවනට මිනිස්සු බයයි, ජීවත් වෙන්න කැමතියි. කොහේ හරි සැප සේ ඉන්න තිබ්බොත්, ඒක තමයි විමුක්තිය හැටියට සැළකුවෙ. “සැප සේ ඉන්න තැනක් නෑ” කියනවට කැමති නෑ, ඒක ලෝකයා ගෙ හැටි.

 

අද වුනත් කිවුවොත්, “අත්හැරීමෙ යි සැනසීම තියෙන්නෙ” කිවුවොත්, කවුද පිළිගන්නෙ, කීදෙනාද? “අපි දන්නෙ එහෙම එකක් නෙමෙයි, අපිට දේපොළ-ඉඩකඩම් හරිහම්බ කරගෙන, යාන වාහන අරං, සුඛෝපභෝගී ජීවිත, අඹු-සැමියන් වශයෙන් ජීවත් වෙලා ඉන්න… මෙන්න මෙහෙම සුව ජීවිතයක් ගත කරන්න ක්‍රමයක් නැද්ද?” ඒකයි “විමුක්තිය” හැටියට මේ සාමාන්‍යය ලෝකයා සළකන්නෙ, ඒකටයි මාර්ග හොයන්නෙ. “ඕවා වැඩක් නෑ…” කිවුවොත් එහෙම, ඕකට තරහයි.

 

එක කාලයක්, ඉස්සෙල්ලාම මං හමුවෙන්න ආපු මහත්මයෙක්, එයාගෙ භාර්යාවත් එයාට බණිනවා, දරුවොත් එයාට බණිනවා කියලා, ඉතින් යන්න කියනවා… කියලා ඉතින් මට කිවුවා එහෙම එකක් වෙලා තියෙනවා කියලා. මං කිවුවා ඉතින්, “මට එහෙම එකක් කිවුවා නම් ඉහේ මලක් පිපුනා වගේ, මං අරගෙන, මං ඉක්මණට යනවා… කොච්චර හොඳද එහෙම කියනවා නම්… ඔයාට ලේසියි නෙවෑ… පැවිද්දට යන්න හරි ලේසියි නෙ, ඔයාගෙ වයසත් හොඳයි නෙ.. ගිහින් පැවිදි වෙන්නකො… කොච්චර වාසනාවක් ලබලා දෙනවද, කොච්චර හොඳද?” කියලා මම කිවුවා. ඉතින් එවෙලේ සද්ද නැතුව ගිහිල්ලා, “මම ගියෙ වෙන එකකට, මට කිවුවෙ වෙන එකක්…” කියලා මටත් (ස්වාමීන් වහන්සේටත්) දොස් කිවුවා. දොස් කියලා පිස්සා වුනා. පිස්සා වෙලා, අඬ අඬා ආයි සැරයක් ආවා. ඒ තමයි අර ඉන්නේ, උපාසක මහත්මයා, ඉස්සෙල්ලාම හමුවෙච්චි දවස. දැන් අවුරුදු පහළොවකට විතර ඉස්සෙල්ලා. තව වෙනකන් වත්, ඒ දෘෂ්ඨි නිසා හටගත්ත විපාක තවත් තියෙනවා… අදත් ගන්නකොටත්, බණ කියනකොට බුදි, භාවනා කරනකොට බුදි, හරී ඕනෑකම තියෙනවා නිවන් දකින්න, ඒ වුනාට බෑ.

 

ඉතින් ඉස්සෙල්ලාම, “යදනිච්චං තං දුක්ඛං” – යමක් කැමති සේ නැද්ද, ඒක දුකයි. ඕකෙ යථාර්තයෙන් ම ගන්න ඕනෙ ඒකයි. “යමක් ස්ථිර නැද්ද, ඒක දුකයි” කියලා ගත්තහම අපිට යථා ධර්මය එන්නෙ නෑ. යමක් “කැමති සේ නැද්ද” ඒක දුකයි, කැමති සේ තියෙනවා නම් දුක නෑ. කැමති සේ නැති නිසාමයි මේ දුක තියෙන්නෙ. එහෙනම්, කැමති සේ තියෙන දෙයක් ලෝකෙ හොයන්න නෑ. කොච්චර හොඳයි කියන ඒවා වත් කැමති සේ නෑ. නරකයි කියන ඒවා එනවට කැමති නෑ, නමුත් එනවා. හොඳයි කියන ඒවා ගෙවෙනවට කැමති නෑ, නමුත් ගෙවෙනවා. එහෙනම්, දෙකටම කැමති නෑ, දුක – සැප දෙකේම හැටි ඒකයි. කැමති සේ නැති දුක එනවා, කැමති සැප යනවා. ලෝකෙ හැටි ඔච්චරයි. එහෙනම්, මුලු ලෝකෙම හැදිලා තියෙන්නෙ ඔය විදිහට. එහෙනම්, “ලෝකය දුකයි” කියලා දකින්නෙ ඔතනින්.

 

එහෙනම්, යමක් කැමති සේ නැද්ද, ඒක දුකයි. යමක් කැමති සේ නැත්නම්, දුක නම්, ඒක අනාථයි. ඒක අනාථ වැඩපිළිවෙලක් මිසක්, සැනසිල්ලක් ඒකෙ නෑ. ඔන්න ඕක හරියට දැනගත්තා නම්, එදාට අනාථ ලෝකෙ ඉඳං මං ගන්න තීරණය මොකද්ද? ලෝකෙ අනාථයි කියලා දැක්කා, එහෙනම් මොකද්ද නාථ? “ලෝකෙ තුළ අනාථ මිසක් නාථයක් නැත්නම්, ලෝකෙ අත්හැරී, නොඇලී, මිදී යාම හැරෙන්න වෙන නාථයක් නෑ…” නියම තීරණයට ආවා, දහම් තීරණය, සත්‍ය තීරණය.

 

ඔන්න ඔය තීරණෙයි ඉස්සෙල්ලා එන්න ඕනෙ. ඔය තීරණයේ පිහිටපු කෙනෙකුට තමයි, “බුදු දහම තුළින් ඒකට මාර්ගය මොකද්ද?” කියන ප්‍රශ්නය මතුවෙන්නෙ. දැන් මට ඕනෙ අනාථයෙන් මිදිලා, නාථත්වයට හෙවත් අත්හැරීමට, නොඇල්මට, මිදීමට පත්වෙන්න ක්‍රමය මොකද්ද? මෙන්න මේක මට ඕනෑ… කියලා බුදුරජාණන් වහන්සේ හමුවෙන්නෙ ආං ඊට පස්සෙ තමයි ඒක අහන්න. ඊටපස්සෙ බුදුරජාණන් වහන්සේ කියනවා, ඒකට මාර්ගය මෙන්න, කියලා “ආර්ය අෂ්ඨාංගික මාර්ගය” දේශනා කරනවා.

 

අන්න, “ආර්ය අෂ්ඨාංගික මාර්ගය” තමයි, මාර්ගය වැඩීමට ඊටපස්සෙ අපිට අවශ්‍යය වෙන්නෙ. ඉතින් ඔතෙන්ට ආපු නැති කෙනාට බුදු දහම තුළින් විමුක්තියට ආධාර නෑ. අරගෙන, විමුක්තිය ලබන්න ඒකායන මාර්ගයට වැටෙන්න බෑ. රාගක්ෂයට, ද්වේෂක්ෂයට, මෝහක්ෂයට එන මාර්ගයට වැටෙන්න බෑ. එහෙම අයත් ඉන්නවා, මුලදි. නමුත් කවදා හරි එයා එන්න ඕනෙ ඔය කිවුව තැනට. එහෙනම්, ලෝකෙ අනාථයි කියලා දකින්න ඕනෙ, නිවන නාථයි කියලා දකින්න ඕනෙ. ඒ දැකගත්ත දවසට, අතහැරීම හැර, නොඇල්ම හැර, මිදීම හැර තවත් සැනසීමක් නෑ කියන තීරණයට හිත හිටිනවා.

 

අන්න එතකොට එයා “නිවන” දැක්කා. රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය කිරීමෙන් මිසක්, වෙන එකකින් බෑ කියලා, ඒකට ධර්ම මාර්ගය අහගන්නවා බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන්. ඒක ගත්තහම ලැබෙන්නෙ ආර්ය අෂ්ඨාංගික මාර්ගය. එහෙනම්, සීල – සමාධි – ප්‍රඥා කිවුවෙත් ඕකයි.

 

ඉතින් සීල – සමාධි – ප්‍රඥා වලට අමුතු මාර්ගයක් නෑ, ඔය ටික තේරුම් අරගෙන, ඔය දහම තුළ යනකොට, එයා දන්නවා “ගිණි අරගත්තෙ රාග, ද්වේෂ, මෝහ, එහෙනම් ලෝකය. ලෝකය ඇසුරු කළොත් ගිණි. සිසිල් වෙන්න නම්, ‘සීල’ වෙන්න නම්, සිසිල වෙන්න ඕනෙ…” සීලය කියන්නෙ සිසිල් වෙනවා. ගින්නකින් දැවි දැවී ඉන්න අපිට, ගින්න දුරුවෙලා ගිහාම, නිවී ගියාම ලැබෙන්නෙ සිසිලක්. අන්න ඒක තමයි ආර්ය විනයේ “සීල” කියන්නෙ, පද නෙමෙයි. පද “වතක්”..

 

රාග ගිණි, ද්වේෂ ගිණි, මෝහ ගිණි නිවෙන තරමට සීතලයි, සිසිලයි. අන්න ඒක තමයි “සීල” වෙන්නෙ. එතකොට “ආර්ය සමය” ට ඇදිලා හිටිනවා. ආර්ය සමයට ඇදිලා හිටපුහාම, “සමයට ඇදිලා” හිටපුහාම කියනවා, “සමාධි”. ආර්ය සමයට ඇදිලා හිටපුහාම කියනවා “ආර්ය සමාධි”.

 

එහෙනම්, මෙතන “සීල” කියන්නෙ අත්හැරීමෙන්, නොඇල්මෙන්, මිදීමෙන් ලබන සිසිලක් ලැබුවා නම්, අනිච්ච, දුක්ඛ, අනත්ථ වශයෙන් දැකලා, ඒවා “ආර්ය සීල”. ඒ ආර්යයන්ගේ සමයක් ඇද්ද, නිවීගිය, සංසිඳී ගිය සමයක් ඇද්ද, ඒ සමයට ඇදී හිටපුහම “ආර්ය සමාධි”. ආර්යයන් දැකිය යුතු චතුරාර්ය සත්‍යය ප්‍රකාරයෙන් දකිනකොට, “ආර්ය ප්‍රඥා”. සීල, සමාධි, ප්‍රඥා කියන එක විග්‍රහ කරලා ගන්න ඕනෙ. ආර්ය සීල, ආර්ය සමාධි, ආර්ය ප්‍රඥා කියලා. එතකොටයි ඒකෙ නියම අර්ථය එන්නෙ.

 

{1:17:31} : පබස්සර සිත ආගන්තුග උපක්ලේෂ වලින් කිළිටි වන අයුරු…

(ප්‍රශ්නය): පබස්සර මිදං භික්ඛවේ චිත්තං, තංකෝ ආගංතුකේහි උපකිලේසේන උපකිලිට්ඨං … (ස්වාමීන් වහන්සේ ගේ පිළිතුර): “පබස්සර මිදං භික්ඛවේ චිත්තං” [ත්‍රිපිටක සූචිය] පබස්සර කියලා කියන්නෙ, නැවත භවයට සරන්න බලාපොරොත්තුවක් නැත්තම් “පබ අස්සර” කියනවා. “පභ” කියන වචනයෙන් පෙන්වන්නෙ “නැවත නැවතත් භවයට වැටෙනවා” කියන එකයි. “සර” කියන්නෙ සරණවා, “අස්සර” කියන්නෙ සරන්නෙ නෑ.

 

නැවත නැවතත් භවයෙහි සරණ බලාපොරොත්තුවක් නැති මානසිකත්වයක් ඇත්නම්, ඒකයී නියම “පබස්සර” බව. එතකොට “චිත්ත” කියන ස්වභාවයේ ඇති ස්වභාවය අන්න එච්චරයි. එතකොට, “ආරම්මණ විජාණන ලක්ඛණං චිත්තං” තව විදිහකින් පෙන්වනවා, “චිත්ත”. “පබස්සර මිදං භික්ඛවේ චිත්තං” තව විදිහකින් පෙන්වනවා.

 

“ආරම්මණ” – විවිධාකාර ආරම්මණයන් දැනගන්න ලක්ෂණයක් තියෙනවා, මනසේ. ඒ මට්ටමේ විතරක් නැවතුනොත් එයින් එහාට යන්නෙ නැතුව, අන්න නැවත භවයට සරණ බලාපොරොත්තුවක් නැති මානසිකත්වයේ හැටි. ඒකට කියනවා, “පබස්සර චිත්තය”.

 

එතකොට, මේ චිත්තය “ආගන්තුක උප කෙළෙස්” කියන්නෙ, එතන පටන්ගෙන “මනෝ” කියන තත්වයට වැටෙනවා. ඒ කියන්නෙ, චිත්තයෙන් මනින්න පටන්ගන්නවා. “අරක මොකද්ද? මේක මොකද්ද? කවුද ඒ? කොහෙද යන්නෙ? මොනවද මේ?” ඔය ප්‍රශ්නාර්ථය දාගෙන ලෝකෙ මනිනවා. ඔය මනින මට්ටමට ආපුහාම කියනවා, “චිත්ත, මනෝ බවට කහට ගැන්වුනා”. දැන් චිත්තයෙන් වැඩ ගන්නවා, පැවැත්ම තුළ. “අරක මොකද්ද? මේක මොකද්ද? කවුද ඒ? කොහෙද යන්නෙ?” ඕවා පරීක්ෂා කරන්න ගියොත්, එයා ජීවත් වෙන්න ඕනෙ, ඒ තුළ සැරිසරන්න ඕනෙ. නැත්නම් ඒවා හොයන්න බෑ. එහෙනම් එයා පවතින්න ඕනෙ. එහෙනම් “චිත්ත” වශයෙන් හිටියා නම්, නොපවතින තැන හිටියා නම්, නොපවතින පැත්තට ඉන්න විදිහක් නෑ, ඔය හේතුව නිසා පවතින පැත්තට එනවා.

 

ඉතින් “අවිද්‍යාව” දුරු කරගන්න තාක්කල්, “මනෝ” වලින් බේරෙන්න බෑ “චිත්ත” වලට. චිත්ත, මනෝ භාවයට පත්වෙනවා, ආගන්තුග කිලේසයන්. ඔය “ආගන්තුග උපක්ලේෂ” වලින් යළි-යළි කිළිටි වෙනවා. මැනගන්න තත්වයට ආපුහාම, මැනගත්ත ඒවා තුළ, “හිත, අහිත” දෙකක් පේනවා. නැත්නම්, ආස්වාද දෙන ඒවා තියෙනවා, ආස්වාද නොදෙන ඒවා තියෙනවා. එතකොට, ආස්වාද දෙන ඒවා මැනගෙන, ඒවයේ ඇලෙනවා, ඒවා සමඟ එක්වෙනවා. අන්න තව ටිකක් කහට ගැන්විලා “මානසං” කියන තැනට ආවා. “චිත්ත” වලින් “මනෝ” වුනා, “මානසං” වුනා.

 

ඊට පස්සෙ ඇලිච්ච දේවල් සමඟ එක්වෙලා ඉන්න බලනවා, “හාද” වෙනවා. අන්න “හදයං” කියන තත්වයට කිළිටි වුනා. “චිත්ත, මනෝ, මානසං, හදයං” – ඒකම පණ පොවා ගන්නවා, ඒක බලවත් කරගන්නවා. “පණ්ඩරං” කියන තත්වයට හිත දූෂ්‍ය වුනා. දැන් අලුතෙන් එකක්, හිත දූෂ්‍ය වුනාට පස්සෙ, නැති දෙයක් ඇති සේ මැනගන්න “මම, මගේ” කියන දෙකක් හදාගත්තා.

 

“මම” කියනකන් පවතින්නෙ නැති දේවල් වලට “මම” කිවුවා, “මගෙ” කියනකන් වත් පවතින්නෙ නැති ලෝකෙට “මගෙ” කිවුවා. දැන් මොකද වුනේ, අන්න මැනගත්ත එකට “මන ආයතන” කරගත්තා. අර හදාගත්ත “මන” අර මුලාවට “ආයතන” කරගෙන. “මනෝ මනායතනං” වුනා. “මනෝ මනායතනං” කියන දූෂ්‍යතාවයට පත්වුනා. ඒකම අග්‍ර කරගත්තා, “මනීන්ද්‍රියං” වුනා.

 

එතකොට මොකද වෙන්නෙ, දැන් ඥාණයක් නෑ. ඥාණයෙන් කියලා ගණින්නෙ ඥාණයෙන් තොර දේවල්, “විඤ්ඤාණං” කියන තැනට පත්වුනා. අන්න ඒවා “ස්කන්ධයක්” වශයෙන්, අතීත, අනාගත, වර්තමාන තුනේම රඳවා ගත්තහම, “විඤ්ඤාණ ස්කන්ධය” ත් එක්ක බැඳුනා. අන්න “විඤ්ඤාණ ස්කන්ධය” හැදුනෙ ආගන්තුක උපක්ලේෂයන් ගෙන් කිළිටි ගැන්විලා. ඔහොම තමයි හිත “කහට ගැන්වෙන” ආකාරය.

 

ඉතින් “ආගන්තුක උප කෙළෙස් වලින් කිළිටි වුනා” කියන්නෙ දැන් විඤ්ඤාණ ස්කන්ධය හා සම්බන්ධ වෙලා එනකන් පංචස්කන්ධයට සම්බන්ධයි. මොකද, විඤ්ඤාණ ස්කන්ධයට සම්බන්ධ වෙනවා නම්, රූපස්කන්ධයක් ඕනෑ, වේදනා සකන්ධයක් ඕනෑ, සංඥා ස්කන්ධයක් ඕනෑ, සංඛාර ස්කන්ධයක් ඕනෑ, නැතුව විඤ්ඤාණයට සම්බන්ධ වෙන්න විදිහක් නෑ. එහෙනම්, “පංචස්කන්ධය” ත් එක්ක සම්බන්ධයක් වුනහම “දුක්ඛස්කන්ධය” ට සම්බන්ධ වෙලා, දුකින් මිදීමක් නෑ. අන්න කහට ගැන්වුනාට පස්සෙ වෙලා තියෙන දේ.

 

ඉතින් ඒ නිසාම අපිට අතීතය ත් මතක් කර කරා සංතෝස වෙනවා, අතීතය මතක් කර කරා ඒ අනුව අනාගතයක් ගොඩනඟනවා, වර්තමානයෙහි ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙමින්, අර ස්කන්ධය තුළ ජීවත් වෙනවා. එහෙනම්, රූපස්කන්ධයක් අල්ලාගෙන, වේදනා ස්කන්ධයට බැඳිලා, සංඥා සකන්ධයේ රැඳිලා, සංඛාර ස්කන්ධය ගොඩනඟමින්, විඤ්ඤාණ ස්කන්ධය තුළ පවත්වනවා.

 

{1:22:18} : දිට්ඨේ ඥාණ, සුතේ ඥාණ, මුතේ ඥාණ, පච්චවෙක්කියේ ඥාණ…

මෙතන තියෙනවා, මේ ඥාණ කීපයක් ගැන පෙන්වපු තව විස්තරයක් තියෙනවා. “දිට්ඨේ ඥාණං” එකක්. මේ “දිට්ඨේ ඥාණං” කියන්නෙ ඉස්සෙල්ලාම දහම තුළින් මේ අහලා, දහම් දකින එක. “දහම” දහම හැටියට දකිනවා. “සුත” කියලා කියන්නෙ අහනවා කියන එක නෙමෙයි, ඒක “දැනුවත් වෙනවා” කියන එකයි. ඇසූ දහම් කෙරෙහි යළි යළි සිහි කිරීමෙන් දැනුවත් වෙනවා.

 

දැන් “දිට්ඨේ ඥාණං” – චතුරාර්ය සත්‍යය කියන්නෙ මේකයි කියලා බණ අහලා තේරුම් ගන්නවා, අර කියනවා වගේ. දහම් දැක්කා, “මේක දුකයි කියන්නෙ මේකයි, ඒක මට තේරුම්ගන්න පුලුවන්. දුකට හේතුවයි කියන එකත් මට තේරුම් ගත්තහැකි. දුක්ඛ නිරෝධයත් මේකයි කියලා වටහාගතහැකියි, දුක්ඛ නිරෝධ මාර්ගය කියලත් මට මේක සැක නෑ” අන්න දිට්ඨේ ඥාණං වුනා. හැබැයි, දැනගත්තට තව අනුගමනය කළේ නෑ. තව ඇසුරු කරනවා එතකොට, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්ඵර්ශ කියන පංච කාමයන් ඇසුරු කරගෙන ඉන්නෙ, මේ. ඉන්දැද්දි මේක දැක්කා, ඉස්සෙල්ලාම.

 

දැක්ක දේ පිළිබඳව යළි යළි දකිනකොට, ඒ පිළිබඳව “දැනුවත්” බවට පත්වෙනවා. අන්න දැනුවත් බවට පත්වෙනකොට, ඉස්සෙලාට වඩා දැනීමෙන් යුක්ත වෙනවා. දැකපු දේ තව ඉක්මවා, ඊට වඩා හරවත් ව දකිනවා. ආං එතකොට දකිනවා “සුතේ ඥාණං”. ඊට පස්සෙ එයා කල්පණා කරනවා, අත්දැකීම ලබනවා මිදි මිදී. යම් රූප කාමයක් ඇත්ද, කොටසකින් හරි මිදෙනවා. ශබ්ද කාම, ගන්ධ කාම ආදිය කොටසෙන් කොටසෙන් හරි මිදෙනවා. මිදෙන්න, මිදෙන්න එයා මිදුනා කියලා දැනගන්නවා.

 

සෝතාපන්න ඵලයෙන්, සතර අපා දුකෙන් මිදෙන මට්ටමට තමන් මිදිලා කියලා දැනගන්නවා. කාම ලෝකයේ දැඩි කාමයන් ගෙන් මිදුනා කියලා සකෘදාගාමී ඵලයෙදි දැනගන්නවා. අනාගාමී වෙනකොට, කාමයන්ගෙන් මිදුනා කියලා දැනගන්නවා. අරිහත්වයට පත්වෙනකොට තුන් භවයෙන් ම මිදුනා කියලා දැනගන්නවා. අන්න, මිදුනු බව දැනගන්න ඥාණයට කියනවා, “මුතේ ඥාණං”.

 

“පච්චවෙක්කියේ ඥාණං” කියන්නෙ ඒක ප්‍රත්‍යවේක්ෂා කරලා දැනගන්න එක. ඉස්සෙල්ලා මිදෙනවා, මිදුනු බව පස්සෙ ප්‍රත්‍යවේක්ෂා කරනකොට දැනෙනවා. “මං අහවල් විදිහට, අහවල් මාර්ගය අනුගමනය කරලා, අහවල් විදිහෙ අවබෝධය ලබාගෙන, මේ මේ කෙළෙස් වලින් මේ ආකාරයෙන් මිදීමේ සැනසීමට පත්වුනා, මට මෙච්චර තව මිදෙන්නෙ නැතුව, මිදෙන්න තියෙනවා…” මේ ආදී වශයෙන්, ප්‍රත්‍යවේක්ෂා ඥාණය. අන්න, “පච්චවෙක්කියේ ඥාණං” කිවුවෙ ඒකයි.

 

“ඒකංසිකා දේශනා පඤ්ඤත්තේ ඥාණං”, දැන් තමන් තමන් ගිය මාර්ගය තමන්ට ප්‍රත්‍යක්ෂයි. “මං මෙබඳු මාර්ගයකින්, මෙබඳු විදිහටයි අත්හැරිලා ගියේ…” ඒ වගේ එක එක විදිහෙන් දකිනවා. තමන් දැක්ක අංශය තමන් ලෝකයට ප්‍රකාශ කරලා දේශනා කරනවා, ඒ එක එක්කෙනා දැකපු හැටි. සමහර කෙනෙක් මේ ලෝකෙ ගිණි වගේ දකිනවා, ලෝකෙ මඩ ගොහොරුවක් වගේ දකිනවා, ලෝකෙ අසූචි වලක් වගේ දකිනවා, එක එක්කෙනා එක එක විදිහට දකිනවා, මේ දැකපු ආකාරය. තමන් දැකපු, දැකපු ආකාරයෙන් තමයි ශ්‍රාවකයො විග්‍රහ කරන්නෙ.

 

ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ඒ ඒ පුද්ගලයාට ගෝචර වෙන විදිහ බලලා, ඒ ක්‍රමයෙන් විග්‍රහ කරනවා, සියල්ල දත් නිසා, සියලු ඥාණයෙන් පූර්ණ නිසා. ශ්‍රාවකයින්ට අත්දැකීම් තියෙන්නෙ තමන් ගිය මග ගැන, බුදුරජාණන් වහන්සේට අත්දැකීම් තියෙනවා සියල්ල ගැන. ඒ නිසා ඒ ඒ පුද්ගලයා ඉන්නෙ කොතැනද, ඒ පුද්ගලයට මේ රාගය කුමක් සේ වැටහුණොත් මේකෙන් මිදෙනවද… ඒක දකිනවා. ඔහු ඇසුරු කරපු දේ තුළින් තමයි උපමා ගන්නෙ.

 

දැන් ගින්දර පුදලා, ගිණි පුදමින් හිටපු, අර ඉස්සෙල්ලා හිටපු උරුවෙල් කාස්සප, නදී කාස්සප, ගයා කාස්සප කියන අය ගිණි දෙවියන් පුදමින් හිටපු අය. ඒගොල්ලො දකිනවා ගින්නට දාන දේවල් අළු වෙන හැටි, දර අළු වෙලා යන හැටි නිතර දැකලා හුරු පුරුදු අය. ඉතින් ගිණි අරගත්තහම වෙන්නෙ මොකද්ද කියලා, ගින්දරේ ස්වභාවය හොඳට දැකලා පුරුදු අය. ඉතින් ඒ අයට දේශනා කළා, “මහණෙනි, සියල්ල ගිණි ගත්තේය…” ගිණි මුල් කරගෙන. “ඇස ගිණි ගත්තේය, රූපය ගිණි ගත්තේය, චක්ඛු විඤ්ඤාණය ගිණි ගත්තේය, චක්ඛු සම්ඵස්සය ගිණි ගත්තේය, චක්ඛු සම්ඵස්සජා වේදනා ගිණි ගත්තේය…” මේ ආදී වශයෙන් විග්‍රහ කරලා, “කුමකින් ගිණි ගත්තේද? රාග ගින්නෙන් ගිණි ගත්තේය, ද්වේෂ ගින්නෙන් ගිණි ගත්තේය, මෝහ ගින්නෙන් ගිණි ගත්තේය, ජාති ගින්නෙන්, ජරා ගින්නෙන්, ඒ වගේම මරණ ගින්නෙන්, සෝක ගින්නෙන්, පරිදේව ගින්නෙන්, දුක් ගින්නෙන්, දෝමනස්ස ගින්නෙන්, උපායාස ගින්නෙන් ගිණි ගත්තේය, මෙසේ එකොළොස් ගින්නකින් ගිණි ගත්තේය” කියලා මෙහෙම විග්‍රහ කරගෙන ගියා [ත්‍රිපිටක සූචිය]

 

ඉතින් ගිණි උපමා කරගෙන දැක්කහම අන්න ඒ අයගෙ මාර්ගය වුනා. දැන් ඒ අය මොකද කරන්නෙ, ලෝකයාට බණ කියන්නෙ “මේ ඔක්කොම එකම ගින්නක් නෙ, මේ ඔක්කොම දැවෙනවා නෙ…” ඒ ජාතියෙන්.

 

ඉතින් මඩේ එරිලා ඉන්න ගොවියෙකුට, ජරා මඩ, දිය කූඩැල්ලෝ ඉන්න, එරෙන මඩ, මඩ වගුරු, ඕවා හොඳට අත්දැකීම් තියෙනවා. ඒ අයට කියනවා, “කාමය මඩ වගුරක් වගේ. ගිහාම එරෙනවා. හරියට මඩ ගෑවෙනවා වගේ කාමය තැවරෙනවා, ජරාවට පත්වෙනවා, හිත දූෂ්‍ය වෙනවා, කාම මඩ…” මඩට උපමා කරලා ඒ අයට දේශනා කරනවා. එතකොට මඩ ඇසුරු කරපු අයට ඒ ආකාරයෙන් ආදීනව දකිනවා.

 

මේ වගේ එක එක විදිහට, එයා ඇසුරු කරපු ආකාරයේ දෙයකින් තමයි ඒ උපමාව කරන්නෙ. අන්න ඒකට කියනවා “ප්‍රදේශ ඥාණය”, ඔය “ඒකාංශික දේශනා” කිවුවෙ ඒකයි.

 

{1:27:29} : ආලෝක කර්මස්ථානයක් පැහැදිලි කිරීම

“රාගක්ෂය වී ආලෝක වෙත්වා! ද්වේෂක්ෂය වී ආලෝක වෙත්වා! මෝහක්ෂය වී ආලෝක වෙත්වා! බුද්ධානුභාවයෙන් ආලෝක වෙතවා! ධම්මානුභාවයෙන් ආලෝක වෙත්වා! සංඝානුභාවයෙන් ආලෝක වෙත්වා!” – එතකොට ඒ ඒ චරිතානුකූල කර්මස්ථාන ගන්නකොට, ගන්න පුලුවන් ඒවා. දැන් මොකද්ද මේකෙ අහන්නෙ? මෙහි සඳහන් ආලෝක සංඥා කර්මස්ථානය වඩන ආකාරය පහදා දෙන්න.

 

දැන් මේ “රාගක්ෂය වී ආලෝක වෙත්වා!” දැන් අපි ඉන්නෙ “ලෝකෙ”. රාගය ක්ෂය කරන තාක්කල් අපි ඉන්නෙ “ලෝක” වෙලා. “ලෝක” වෙලා ඉන්න කට්ටියට “ආලෝක” වුනහම, ලෝකයෙන් එතෙර වුනා. ලෝකයේ තියෙන සම්බන්ධයෙන් ඉවත් වුනහම “අලෝක” වෙනවා. “අලෝක” වෙච්ච ගති ලක්ෂණය තමයි “ආලෝක ගති ලක්ෂණය” කිවුවෙ. ආලෝක ගති ලක්ෂණයක් ආපුහම, ආලෝක හැඟීම ආපුහම, නැත්නම් ලෝකෙ අත්හරින හැඟීම ආපුහම එයා ලෝකෙන් නිදහස්.

 

රාගයෙන් නිදහස් වෙනකොට ලෝකයෙන් නිදහස්, ද්වේෂයෙන් නිදහස් වුනහමත් ලෝකයෙන් නිදහස්, මෝහයෙන් නිදහස් වුනහමත් ලෝකයෙන් නිදහස්. ආලෝක ගති ලක්ෂණයේ ලක්ෂණය තමයි, විද්‍යාමාන වෙන ලක්ෂණය තමයි, ස්වභාවික ආලෝකය. මනස ආලෝක වෙනවා, අඳුරු නැති වෙනවා.

 

“ආපු දුර – අඳුර”, “ආපු ලෝකය – ආලෝකය”. එහෙනම්, අපි ආපු ලෝකයක් තියෙනවා, ආභස්සර බ්‍රහ්ම ලෝකෙ ඉඳලා. ඒ ආපු ලෝකෙ ඉඳලා ආපු දුර තමයි, “ආ දුර – අඳුර”. අද ඉන්නෙ ආපු දුර, මේ. මොනවට අහුවෙලා ද? රාගයට අහුවෙලා, ද්වේෂයට අහුවෙලා, මෝහයට අහුවෙලා ඇවිත් තියෙන දුර, ආභස්සර බ්‍රහ්ම කායිකත්වයේ ඉඳලා. ඒ තමයි “ලෝක ආලෝකය”, ලෝකයේ පවතින මට්ටම. ඔය මට්ටම ඉක්මවා ගිය ආලෝකයක් තමයි “ආර්ය ආලෝකය”. ඒ අය ආභස්සරත්වය ත් ඉක්මවනවා, ඒකත් ලෝකයක් කියලා දැනගෙන. අනුපිළිවෙලින් ඒවත් ඉක්මවලා යනවා.

 

එහෙනම්, ලෝකය සම්බන්ධයෙන් සම්පූර්ණ චන්ද රාගයෙන් නිදහස් වෙන්න, වෙන්න නියම ආලෝක තත්වයට පත්වෙනවා. ඒ නියම ආලෝක ගති ලක්ෂණයේ ලක්ෂණයෙන් ලෝකය විනිවිද පේනවා. හැඟවුනේ නෑ, අඳුරු නෑ, ඒ නිසා ඒ ලෝකයේ, ඒ මානසිකත්වයෙන් විවිධත්වයන් දකින්න පුලුවන්, විදර්ශනා වශයෙන් දකින්න පුලුවන්, ඒ වගෙම ලෝක ස්වභාවය විනිවිද දකින්න පුලුවන් මානසිකත්වයක් උදා වෙනවා. ඒකෙ ස්වභාවය ආලෝකමත් ව දැනෙනවා, අඳුරු නෑ. පේන ආලෝක ස්වභාවය ම (මනසිනුත්) පේන්න පටන් ගන්නවා, මනස ආලෝකයි.

 

ඉතින් ගලපන්නෙත් එහෙමමයි, දැන් මේකමයි, “රාගක්ෂය වී ආලෝක වෙත්වා!” ඉතින් රාගය කියන්නෙ මොකද්ද? රාගය අඳුරක්, ඒක දකිනවා. ඒකෙ ස්වභාවය, ඇත්ත-නැත්ත පේන්නෙ නෑ, යථාර්තය වැහිලා යනවා, මානසිකත්වය අඳුරු වෙලා, මානසිකත්වය ථීන මිද්දයට අහුවෙලා, ඒ ආකාරයෙන් අඳුරු වෙලා තියෙන්නෙ. මේ “රාගක්ෂය වී ආලෝක වෙත්වා!” කියනකොට, රාගක්ෂය වීමෙන්, අත්හැරීමෙන්, නොඇල්මෙන් ලබන ආලෝක ස්වභාවය මෙනෙහි කරනවා. එහෙනම්, ලෝකයෙන්, ලෝකෝත්තර ස්වභාවය – නිවන මෙනෙහි කරනවා. ඔය හැමතැනින් ම “ආලෝක” කිවුවෙ “නිවන” ට, නිවන වැටහෙන ආකාරයක්, ආලෝක.

 

“චක්ඛුං උදපාදි, ඥාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි” අන්න, ආලෝකයක් පහලවුනා කියනවා. ඒ කියන්නෙ අර දුක පිළිබඳව ඥාණය පහලවුනහම, දහම් ඇස පහලවුනා, ඥාණය පහලවුනා, ප්‍රඥාව පහලවුනා, විද්‍යාව පහලවුනා, ආලෝකය පහලවුනා. අන්න, ආලෝකය කියලා කිවුවෙ නිවන, නිවී ගියා. අත්හැරී, නොඇලී, මිදී ගියහම, ලෝකෙ අත්හැරී ගියා, අත්හැරී ගියහම ඇතිවෙන ලක්ෂණය “ආලෝක ලක්ෂණය”. ඒ මනසත් ආලෝකයි, ඒ ආලෝක ලක්ෂණය ආවෙ ආලෝක ගති ගුණයෙන්. ආලෝක ගතිගුණය කියන්නෙ ලෝකෙ අත්හැරපු ගතිගුණය.

 

~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~

 

දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://waharaka.com/listen/CD003-05