භෞතික ලෝකය, නාම ලෝකය, නාම-ගෝත්‍ර හා නිවන

nama-gothra-niwana
අභිධර්මයසදහම් සාකච්චා 1

දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)

භෞතික ලෝකය, නාම ලෝකය, විඤ්ඤාණ, ප්‍රඥාව, නාම රූප හා නිවන

 

{00:00} : ප්‍රඥා චෛතසිකය කුසල මූල විඤ්ඤාණය තුළ වැඩෙන එකක්…

(ප්‍රශ්නය): අපි දැන් එදා අර සාකච්ඡාවේදීත් සාකච්චා කරා, දැන් අපි අර කුසලමූල විඤ්ඤාණ හැදෙනවා නේ? දැන් අපි කියමුකෝ “නිවන් දකිනවා කියන්නේ, ප්‍රඥාවෙන්නේ නිවන් දකින්නෙ”. එතකොට කුසල මූලයෙන් හදාගත්ත, කුසලමූල විඤ්ඤාණත් තියෙනවා. එතකොට කුසලමූල විඤ්ඤාණයි, ප්‍රඥාවයි අතර වෙනස මොකක්ද?

 

(පිළිතුර) : (ස්වාමීන් වහන්සේ): දැන් කුසලමූල විඤ්ඤාණය තුළ, “ප්‍රඥාව” කියන්නේ චෛතසිකයක්.
(ශ්‍රාවක මහතෙක්): ඔව්
(ස්වාමීන් වහන්සේ): ඔය කුසලමූල විඤ්ඤාණය තමයි ප්‍රඥා චෛතසිකයේ හැදෙන්නේ.
(ශ්‍රාවක මහතෙක්): වැඩෙන්නේ
(ස්වාමීන් වහන්සේ): ඔව්. දැන් “ප්‍රඥා චෛතසිකය” කියන්නේ ඒ තුළ වැඩෙන එකක්. විඤ්ඤාණය තුළ වැඩෙන වේදනා, සංඥා, සංඛාර වලටනේ අයිති. එතකොට ඒ තමයි “ප්‍රඥාව” අහුවෙන්නේ.
(ශ්‍රාවක මහතෙක්): ප්‍රඥා චෛතසික ගොඩනගන්නේ අර කියන කුසලමූල විඤ්ඤාණ ටිකෙන්…?
(ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි. කුසල මූල විඤ්ඤාණය තමයි ඒකට පරිසරය.
(ශ්‍රාවක මහතෙක්): ඔව්.
(ස්වාමීන් වහන්සේ): ඒ පරිසරය තුළ ගොඩනැගෙන ඇතුළෙ තියෙන එකක් තමයි ප්‍රඥාව.

 

{00:46}: කුසල මූල විඤ්ඤාණය කියන්නේ අසාරත්වය සිහි කරන මානසිකත්වයයි

(ශ්‍රාවක මහතෙක්): ප්‍රඥාව .. දැන් මේ අපි කාම වස්තුන් පස්සේ යනවා. ඒවා නම් වැඩක් නෑ නිස්සාරයි, හරයක් නෑ, අයින් කරන්න ඕන කියන ඒවනේ අපි ඔය හදාගත්ත කුසලමූල විඤ්ඤාණ කියන්නේ.. නේ?
(ස්වාමීන් වහන්සේ): ඒ අදහසින් ඒ පැත්තට නැඹුරු වෙලා හිටියනම්, ඒ මානසිකත්වයයි, “කුසලමූල විඤ්ඤාණ” කියන්නේ. ඒ මානසිකත්වයේ ඉඳගෙන පුළුවන් ඕනනං ඕවා කල්පනා කරන්න, “අසාරත්වය”. අසාරත්වය, අසාර හැටියට වැටහෙන්නේ, ප්‍රඥාව වැඩුණහම.
(ශ්‍රාවක මහතෙක්): ආ… මේ විඤ්ඤාණ ටිකෙන් අපි හිත හිත ඉන්නකොට, ඒකෙන් අර මේ ….
(ස්වාමීන් වහන්සේ): ගතියක් පහළ වෙනවා.
(ශ්‍රාවක මහතෙක්): ගතියක් පහළ වෙනවා.
(ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි. ඒ ගතිය තමයි විඤ්ඤාණය උනේ. දැන් ඒ ගතියට පත් වෙලා ඉඳලා, ඒකෙ ඉඳං ප්‍රකාරය දකින්න කල්පනා කරනකොට, ඒකෙ ගතියට ගොඩනැගිච්ච ප්‍රඥා චෛතසිකය ක්‍රියාත්මක වෙනවා.
(ශ්‍රාවක මහතෙක්): ආ.. ප්‍රඥා චෛතසිකය ගොඩනැගෙනවා.
(ස්වාමීන් වහන්සේ): ගොඩනැගිලා බලවත් වෙනව. වර්ධනය වෙනවා. වර්ධනය වෙච්ච මට්ටමට මේ අසාරයි කියල දැක්ක එක මහා බලවත්ව දකිනවා, නිකන් දකින්න බැරි වෙච්ච එක.
(ශ්‍රාවක මහතෙක්): සෑම මොහොතකම දකින මට්ටමට ම බලගතු වෙනවා දකින එක, එන්න එන්නම….
(ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි. එන්න එන්න…

 

{01:40}  :  ආසේවන ප්‍රත්‍යය තුළින් මනෝද්වාරයේ ඉඳලා හිත වැඩෙන හැටි…

(ශ්‍රාවක මහතෙක්): අර චිත්ත වීථිවල වොත්තපන කරන වෙලාවට ප්‍රඥාව මුල් වෙලා….
(ස්වාමීන් වහන්සේ): ප්‍රඥාව මුල් වෙලා වොත්තපන එන්නේ දිගටම. චිත්ත වීථි නැතුව සිත් හටගන්නේ නෑනේ.
(ශ්‍රාවක මහතෙක්): ඔව්.. ඔව්.. හරි.. හරි.
(ස්වාමීන් වහන්සේ): දැන් මනෝද්වාරය හට ගත්තට පස්සේ මනෝද්වාර චිත්තය හට ගත්තහම, ඕන්නං මනෝද්වාරයේ ඉන්නකොට, මනෝද්වාර චිත්ත එකම ක්ෂණ, ඒකාකාරව ගමන් කරනවා. “චිත්තක්ෂණ” එකක් ගානේම නැගෙනවා. එකෙන් එකට, එකෙන් එකට, ආසේවන ප්‍රත්‍ය ලබලා, එකෙන් එකට ඊළඟ එකත් ඒ වගේම හැදෙනව. දැන් පළවෙනි චිත්තක්ෂණය බිඳිලා ගිහින්, දෙවැනි චිත්තක්ෂණය එන්න ඕනේ. “දැන් මනෝද්වාර චිත්තක්ෂණ”.

 

    හැබැයි මනෝද්වාර පලවෙනි එකේදී වැඩිලා තිබිච්ච හරිය ආසේවන කරගෙන තමයි, ඒකේ සහයෝගය ලැබෙනවා ඊලග එක ගොඩනැඟෙන එකට. ඒ නිසා ඒකෙ අඩුවක් වෙන්නේ නැහැ. කොච්චර චිත්ත, කෝටි ප්‍රකෝටි ගාණක් චිත්තක්ෂණ ගියත්, අර මුල තිබිච්ච එක වර්ධනය වෙවී, වර්ධනය වෙවී, තමයි ඉදිරියට යන්නේ. ආධාර කරන්නෙ එකින් එකට, එකින් එකට, වැඩි වෙන හරිය. පලවෙනි එකේ පුරුද්ද, දෙවෙනි එකට යනවා. “ආසේවන ප්‍රත්‍ය කියන්නේ ඒකයි”. සේවනය කිරීමෙන් ලැබූ හැකියාවෙන් තමයි ගොඩ නගන්නේ, දෙවෙනි චිත්තක්ෂණය. එහෙනම් ඒ චිත්තක්ෂණය ඒකෙන් පූර්ණයි. පලවෙනි එකේ තිබිච්ච ඒවත් එක්කලයි ඒක හැදෙන්නෙ.

(ශ්‍රාවක මහතෙක්): අනුබද්ධක ආධාරක වීමක් කොහොමත් යනවනේ..
(ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි. දැන් ඒ හිතේ තිබිච්ච එක යනවා නෙමෙයි. ඒ හිතේ හේතුව වෙලා, ඒ හේතුවේ ප්‍රත්‍ය වශයෙන් ගොඩනැගෙනවා. අන්න ඒකයි. මේකෙන් අරකට යනවා කිව්වොත්, ඒක ආත්ම දෘෂ්ටියක්. එකක්වත් එහෙම යන්නේ නැහැ.

(ශ්‍රාවක මහතෙක්): …. පෙළට තියෙනවා, මේක පෙරළුවහම ඒක වැදිලා මේක වැටෙනවා, ඒක වැදිලා මේක වැටෙනවා… අන්න ඒ රටාවක්?

 

{03:00} : හැමවිටම හිත ඵලයක්, එහෙනම් ඒකට හේතුව මොකද්ද?

    (ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි. දැන් අපි, හිතන්නකො මෙහෙම දෙයක්. යම්කිසි බීජ වර්ගයක් තියෙනවා. මේ බීජ වර්ගය අපි මේපැත්තට ගැළපෙන්න ගන්ඩ, මේ පැත්තෙ බිමක රෝපණය කරනවා, ඒ පලවෙනි ගහ. නමුත් මේ පැත්තෙ තිබ්බට එච්චර සුදුසු නැහැ, වෙන කොහේ හරි ගෙනාපු එකක්, ඒක සකස් වෙලා නැහැ. හැබැයි මෙහෙ හටගන්නවා ඒ ගහේ බීජයක්. ඒ බීජය ආයෙත් මෙහේ හිටවනව. දැන් ඉස්සෙල්ලා ගහට වඩා මේක මෙහෙට යෝග්‍ය වුණා. එතකොට එකෙන් හටගත්ත බීජය ආයෙත් මෙහේ හිටවනව. ඔහොම පරම්පරා කීපයක් යනකොට මෙහාට හුරුවන ගහක් හැදෙනවා. බීජයයි, ගහයි මෙහාට හුරුයි. “ආසේවන ලැබුවා”. ඔය ආසේවන ලබන කොට, අර ගහෙන් ගත්තා වූ දේ තුලින් තමයි මේක නිර්මාණය වුණේ. ඒ නිර්මාණය වුණාට දෙවැනි ගහේ ගොඩනැඟිලා තියෙන්නේ අරකෙ ඒවා නෙමෙයි. බීජය ඒකෙන්.

 

(ශ්‍රාවක මහතෙක්): ඒ ගතිය ඇදිලා එනවා.
(ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි. ඒ ගහේ ඒවා, මේ ගහේ නෑ. හැබැයි ඒ ගහෙන් බීජයක් හැදිල, බීජය නිසා නිර්මාණය කරලා තියෙන මේ ගහේ, ඊට අනුකූල එකක් හැදුනා. සම්බන්ධතාවය ආවෙ ගහෙන් ගහට නෙවෙයි. ගහෙන් බීජයට, බීජයෙන් ගහට. ක්‍රමය ඒකයි. ඵලයෙන් හේතුවට, හේතුවෙන් ඵලයට. එහෙමයි යන්නේ.

 

    දැන් ඵලයෙන්, ඵලය ගත්තයි කිව්වොත් තමයි “ආත්ම දෘෂ්ටිය”. ඵලය හේතුවක් දෙනවා, හේතුවෙන් ඵලයක් උපද්දනවා. ඒ ඵලය තුළින් නගපු හේතුව, ඒ ඵලය හෝ ඊට වඩා බලවත් එකකට නම්, ඊළඟට ඒ හේතුවෙන් හට ගන්න ඵලය ඒ ජාතියේ එකක් හා ඊට බලවත් එකක්. එහෙමයි යන්නේ. ඉතින් එතකොට එක තැනකවත්, ඵලයෙන්, ඵලයක් ගියා නෙමෙයි. ඵලය හට ගත්තා නම් ඵලය බිඳුනා. ඒක යන්නෑ තව දිහාවක. හැබැයි “ඵලය, හේතුවක් නගනවා”. ඒ හේතුව බීජය. ඒ හේතුවේ ඵලය, ආයි සැරයක් ඵලය. ඒ හේතුවයි – ඵලයයි, හේතුවයි – ඵලයයි. ක්ෂණයක් පාසා ක්ෂණ භංගූරත්වයෙන් ගියත් හේතු ඵලයක්. චිත්තක්ෂණ – චිත්තක්ෂණ වලත් තියෙන්නේ හේතුඵල.

 

    දැන් පළවෙනි චිත්තක්ෂණය, නත්ථි ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්න ඕනේ, එතැන දෙවැනි චිත්තක්ෂණය හටගන්න. තියෙන්න බෑ, පළවෙනි චිත්තක්ෂණය. “නත්ථි ප්‍රත්‍යයෙන් කියන්නේ, ඒක නැති වෙන්න ඕනේ”. ඒක තිබුණොත්, තියෙනකං දෙවෙනි එක හටගන්න බැහැ. එහෙනම් පලවෙනි එක බිඳෙන්න ඕනේ දෙවෙනි එක හටගන්න. බිඳෙන කොට බිඳුණේ මොකද්ද? “බීජය සකස් කරලා, ඒ හේතුව සකස් කරලා”. හේතුව බිඳුණේ නෑ එතෙන්දි.

 

    (ශ්‍රාවක මහතෙක්): හේතුව එතන බිඳුණා නම්, ඵලයක් නෑ. අන්න “අරිහත්වය”. අරිහත්වය, පිරිනිවන් පෑම. “හේතුව” ගොඩනගන්නේ නැති නිසා ඉදිරි ඵලයක් නැහැ. චුතියේදී හේතුව ගොඩනගලා තිබුනොත් තමයි, පටිසන්ධියේදී ඵලයක් ලැබෙන්නේ, “පටිසන්ධි ඵලය”. එහෙනම් ඒ අරිහතුන් වහන්සේගේ චුති චිත්තයට යනකම්, මේ ආසේවන ප්‍රත්‍ය තියෙනවා. හේතු ඵල ‍න්‍යාය තියෙනවා. “හේතු” භංග උන තැන, “ඵල” භංගයි. දැන් චිත්තයට “හේතු” භංග නං, “චිත්තය” නමැති ඵලය භංගයි. “චිත්තය” ඵලයක්. ඒ හේතුවක් නෙමේ. ඵලය තුළ, හේතුව ගොඩනඟනවා.

 

    (ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි. ඉතින් ඕක බොහොම ගැඹුරු ම තැනක් ඕක. එතකොට “හේතුව හිතක්ද?” ඇහුවොත්, හේතුව, හිතකුත් නෙමෙයි. හිත කියන්නෙ ඵලයක්. ඒ ඵලය තුළින් ගොඩනගනවා හේතුවක්. දැන් “හේතුව හිතක්ද?” ඇහුවොත්, හේතුව, දැන් “බීජය ගහක්ද?” ගැහුවොත්, ඇත්ත තත්වේ පේනවනේ. ගහ බීජය නෙමෙයි, බීජය ගහ නෙමෙයි. ගහ වෙන හැඩයක්, බීජය තව හැඩයක්. ඒ බීජයේ කොළත් නෑ, දලුත් නෑ, මලුත් නෑ, මුලුත් නෑ, ඒ එකක්වත් නෑ. ඒ එකක්වත් බීජයෙන් පෙන්නන්න බැහැ. හැබැයි මේ ඔක්කොම හටගන්න ශක්තිය බීජයේ තියෙනවා.

 

(ශ්‍රාවක මහතෙක් යමක් පවසයි, පැහැදිලි නැත…)

 

(ස්වාමීන් වහන්සේ): අන්න හරි. දැන් අපි ඇහුවොත් එහෙම “දැන් හේතුව හිතද?” නෑ, හිත, ඵලය. “එතකොට හේතුව මොකක්ද?” අන්න හොයාගන්න බැරි තැන. බීජය තෝරාගෙන නෑ.

 

{06:25} : අභිසංඛාර විඤ්ඤාණය කියන්නේ අරමුණු කළ හැකි නාම ගෝත්‍රයක්

    දැන් “අභිසංඛාර විඤ්ඤාණය බීජයයි” කියනවා. දැන් “අභිසංඛාර විඤ්ඤාණය” කිව්වා එකක්. දැන් අභිසංඛාර විඤ්ඤාණය, බීජයයි. නිකං විඤ්ඤාණ නෙමෙයි, “අභිසංඛාර විඤ්ඤාණ”. අන්න ඒකෙ විශේෂයක් තියෙනවා. දැන් සංඛාරයි, අභිසංකාරයි. “සංඛාර පච්චයා විඤ්ඤාණං” එකක්. අභිසංකාර විඤ්ඤානය කියන්නේ “අභි-විඤ්ඤානයක්”. ඒ කියන්නේ ඒක එක මතු වෙලා තිබුණට, ඒක අපිට විද්‍යාමාන එකක් නෙමේ.

 

(ශ්‍රාවක මහතෙක්): මතු පැවැත්ම අරන් යන්නෙ නැහැ. ඒක නේ…

 

(ස්වාමීන් වහන්සේ): ඒක එහෙමයි. දැන් අපි සිහි කළොත් පුළුවන් ඕන්නං, ඒකෙන් හැකියි, ආයෙත් සිහි කළොත් හිතක් ගොඩනඟන්න. දැන් හිතන්නකෝ මෙහෙම දෙයක්, දැන් අපිට අතීතයේ වෙච්ච සිද්ධි තියෙනවා. දැන් අපිට මතකද අහනවා? “ඔව්, මතකයි”. මතක් කරන්න කියන්ඩ ඕනේ, මතක් කරගන්න නම්. මතක් කළොත්, ඒක අහුවෙනවා. “ඔව්, මං ඊයෙ මෙහෙම එකක් කරා”. දැන් මතක් නොකර ඉන්නකොට, ඒක හිතක් ද?
(ශ්‍රාවක මහතෙක්): නෑනේ..
(ස්වාමීන් වහන්සේ): දැන් මතක සටහන් නොතිබුනානම්, අපිට අරමුණු කරන්නේ කොහොමද?
(ශ්‍රාවක මහතෙක්): අරමුණු කරන්න බෑනේ.
(ස්වාමීන් වහන්සේ): එතකොට මතක සටහන තිබුණා. මතක සටහන සිතක් නම්, එහෙම අපිට ගොඩනගන්න බැහැනේ ඊලග එකක්. ඒකනෙ “මතකේ” තියෙන්නෙ.
(ශ්‍රාවක මහතෙක්): නෑ.. තේරුන්නෑ..

 

(ස්වාමීන් වහන්සේ): දැන් මතක සටහනක් තිබිච්ච නිසයි, අපි මතක් කරලා මතක් කරේ. “ඊයෙ අහවල් දේ කරා.” මතක් කරපුහාම මතක් වුනා. දැන් අද අපි යමක් කර කර ඉන්නවා, ඒක (ඊයේ එක) මතක් කරන්නේ නැතුව. අපි ඒක මතක් කරන්නේ නැහැ. මතකෙට එන්නෙත් නැහැ. කවුරුහරි “ඊයෙ මොකක්ද වුණේ?” කියලා ඇහුවොත් තමයි මතක් කරන්නේ. එතකොට වෙන එකක් නෙමෙයි, ඒක මතක් කරනවා. එතකොට, ඊට අනුව හිතත් දැන් හටගන්නවා. එතකොට “මතක් කලේ, අරමුණක් තිබිච්ච නිසා, අරමුණු කරන්න හැකි උන නිසා”. ඒ අරමුණු කරන්න තිබුන එක, හිතක් කියල ගත්තොත්, සිත් දෙකක්, එක් කෙනෙකුට නැහැ. තේරුණානේ? හිත් කියන්නේ ඒකයි. “එකපාරකට හිත් දෙකක් නෑ”. ඒක චිත්ත නියමයක්.

 

(ශ්‍රාවක මහතෙක්): අරකෙන් වෙච්ච ඵලයක්, ඒකයි.
(ස්වාමීන් වහන්සේ): අන්න ඒක තමයි කියන්නේ, අන්න, “අභිසංඛාර විඤ්ඤාණය” කියල කිව්වෙ, ඒක හිතකුත් නෙමෙයි. ඒක අරමුණු කරන්න පුළුවන් නාම ගෝත්‍රයක්.
(ශ්‍රාවක මහතෙක්): නාම ගෝත්‍රයක්.
(ස්වාමීන් වහන්සේ): අන්න.. “නාමගෝත්‍රයි, නාමයි” දෙකක්.
(ශ්‍රාවක මහතෙක්): ඕක අපි කැසට් පීස් එකට වෙනමම රෙකෝඩ් කර කර ඉන්නවා හැමවෙලාවෙම. එතකොට ඒ රෙකෝඩ් කරපු එක දාලා ආයි අහන්න පුළුවන්නේ?
(ස්වාමීන් වහන්සේ): අන්න හරි.
(ශ්‍රාවක මහතෙක්): අර රෙකෝඩ් කරපු එක අභිවිඤ්ඤාණ, ඒවගේ එකක් නේද?
(ස්වාමීන් වහන්සේ): අන්න හරි. රෙකෝඩ් එකේ පිහිටපු එක තමයි අපි අර කියන්නේ “අභිසංකාර විඤ්ඤාණ”. එතකොට ඕන්නං අපිට පුළුවන්, නැවත ක්‍රියාත්මක වෙලා ඒක ගන්න. ඒ විදිහටම ගත්තහැකි. හැබැයි එතකොට ක්‍රියාත්මක වෙන වෙලාව තමයි, ශබ්ද කම්පනය වෙලා, විදුලිය එහේ මෙහේ විහිදුවන, විදුලි තරංග නිෂ්පාදනය වෙන වෙලාව. ඒක තියෙන්නෙ, ඒ මොහොතේ විතරයි, අන්න ඒකයි.

 

    ටේප් එකේ තැන්පත් වෙලා තියෙන හරියට, විදුලි තරංග නිෂ්පාදනයක් වත්, කරන්ට් විහිදීමක්වත්, ඒවා එකක්වත් අවශ්‍ය නෑ. ඕන්නං ඒක තිබ්බහැකි පැත්තකින්. ආයේ යන්ත්‍රයට දැම්මොත් ගත්තහැකි. දැන් අපි ඇහුවොත්, “අපි කතා කරන හඬ කියන එකද ඒකෙ තියෙන්නෙ?” ඇහුවොත්, කතා කරන හඬත් ඒකෙ නෑ. හැබැයි ඒක දැම්මොත් කතා කරන හඬ එන්නේ නැද්ද? ඒත් එනවා. අරමුණු වෙච්ච ගමන්, යලි නිපදවීමක් වෙනවා. අන්න ඒ අරමුණු වෙනකොට යළි නිපදවෙන එක තමයි “පවතින හිත” කියන්නේ, “නිෂ්පාදනය”. නිෂ්පාදනය වෙන්න හේතු කාරකය තැන්පත් උනේ “නාම ගෝත්‍රයේ”. “නාම ගෝත්‍රය කියන්නේ, හිත නෙමේ”. අන්න ඒකයි වෙනස.
(ශ්‍රාවක මහතෙක්): සීඩී තැටිය වාගේ..
(ස්වාමීන් වහන්සේ): අන්න හරි. ඒ තැටිය වාගේ.

 

{09:30} : නාම ලෝකය තියෙන තැනක් භෞතික ලෝකයේ පෙන්නන්න බැහැ

(ශ්‍රාවක මහතෙක්): ඉතින් දැන් තියෙන ගැටලුවක් තමයි, අන්න ඒ නාම ගෝත්‍ර තියෙන්නෙ කොහෙද කියන එක?
(ස්වාමීන් වහන්සේ): නාම ගෝත්‍ර තියෙන්නෙ, නාම ලෝකයේ. ඒක තමයි කිව්වේ නාම ගෝත්‍ර තියෙන්නෙ… දැන් හීන භවය, මධ්‍යම භවය, ප්‍රණීත භවය.. අභිසංඛාර විඤ්ඤාණ පිහිටන්නේ භවයේ, කර්ම භවයේ. ඒකට කියන්නේ කර්ම භවය.
(ශ්‍රාවක මහතෙක්): එතකොට ස්වාමීන් වහන්ස, දැන් තැනක් විදිහට ගත්තොත් කොතැනද?
(ස්වාමීන් වහන්සේ): දැන් මෙහෙම හිතන්නකෝ. අපිට හීන ලෝකයක් පේනවානේ. අපි අහනවා, “දැන් හීන ලෝකෙ කොතනද තියෙන්නෙ කියලා” ඇහුවොත් මේ ලෝකෙ තැනක් පෙන්නුව හැකිද?
(ශ්‍රාවක මහතෙක්): පෙන්නන්න බෑනේ..
(ස්වාමීන් වහන්සේ): පෙන්නන්න බෑ. නමුත් අපි හීනෙන්, මුළු ලෝකයක්ම දැක්කනෙ.
(ශ්‍රාවක මහතෙක්): දකිනවනේ. ඔව්.
(ස්වාමීන් වහන්සේ): අපි අහනව දැන් ඊට පස්සේ, “අපි හීනයක් දැක්කා.” “මොකක්ද දැක්කෙ?” “මේ ලෝකෙ මං මෙහෙම එකක් දැක්කා.” ඒකෙන් අපි අහනවා, ඒ දැකපු හීනේ, අපි දැක්ක බව හොදටම දන්නවා. ඒ හීනේ දැක්කේ, දර්ශනය කරපු බවත් දන්නවා. ඉතින් ඔච්චර පැහැදිලි එක දැන් කොහෙද තියෙන්නේ, කොයි පැත්තෙද? ඇහුවොත් ඒකට උත්තරයක් දෙන්න බැහැනේ.

 

    මොකද, මේ දිසා සහිතව අල්ලාගත්තේ මේ භෞතික ලෝක සිද්ධාන්තයකටයි. මේ දිසාවක්, තැනක් අපි නිගමනය කරගෙන ඉන්නේ, භෞතික වස්තු දැකපු අත්දැකීම. මේ භෞතික වස්තුවක් නම්, කොතන හරි තියෙනවා කිව්වොත්, තියෙන තැනක් ඕනේ. දිශාවක් ඕනේ. අන්න අහවල් දිසාවේ, අහවල් තැන. ඒ භෞතික වස්තු මනින මිම්ම, ඒ තියෙන්නෙ. භෞතික “රූප වස්තු” මනින මිම්ම. දැන් “නාම වස්තු” මනින්න, ඔය මිම්මෙන් බෑ. අන්න ඒකයි වෙනස. “රූප වස්තු මනින මිමි ක්‍රමය, ඒ සිද්ධාන්ත එකක්වත්, නාම පිළිබඳව මනින්න බැහැ”. නාම ලෝකය වෙනම එකක්.

 

(ශ්‍රාවක මහතෙක්): එතකොට අපි ඒක පංචෙන්ද්‍රිය මානසිකත්වයෙන් ගත්ත නිසා තමයි…

 

    (ස්වාමීන් වහන්සේ): අන්න, පංචෙන්ද්‍රිය මානසිකත්වයෙන් ගත්ත දත්තයන් තුළින් තමයි, මේ පංචෙන්ද්‍රියෙන් ගත්ත ලෝකය මනින්නෙ. දැන් ඔය ලෝකයේ, ඔය දත්තය අරගෙන, ඒකෙන් අතින්ද්‍රිය ලෝකය මනින්න බැහැ. ඒකයි අහන්නේ හීන ලෝකයේ, හීන දැක්කට පස්සේ, දැන් අපි අහනවා, භෞතික ලෝකයේ තැනකින් අහනවා, ඒ හීන ලෝකෙ කොහෙද තියෙන්නෙ කියලා. දැන් අපි අහනවා, “හීන ලෝකයක් නැද්ද?” නෑ කියන්න බෑනෙ, අත්දැකීම තියෙනවානේ, ලබපු අත්දැකීම තියෙනවනේ. එතකොට, හීන ලෝකේ විවිධාකාරයිනේ. අද දැක්ක හීන ලෝකෙ නෙමෙයි හෙට පෙනෙන්නේ. තව දවසක් හිටියොත්, තව එකක්නේ පෙනෙන්නේ. අර ජාතියේ දෙයක් දැක්කෙ නෑ.

 

    දැන් භෞතික ලෝකය, එහෙම එකක් නෙමෙයි. භෞතික ලෝකයේ යම් තැනක්, අනුරාධපුරයේ ගිහින් දැක්කනම්, ඊළඟ දවසේ ගිහිල්ලත්, “අනුරාධපුරයේ මෙන්න මෙතන අහවල් එක තිබුණ”යි කිව්වහැකි. “මේ තවත් තියෙන්නේ” කිව්වහැකි. ඒක යළි, යළි දකින්න පුළුවන්. දැන් හීන ලෝකෙට අපි පත්වෙන, පත්වෙන වෙලාවෙදි, විවිධාකාර හීන ලෝක; එක සමාන නෑ. දැන් භෞතික ලෝකයේ යම් තැනකට ගියා නම්, ඒකෙ සමානත්වයක් තියෙනවා. “ඊයේ මං මෙතෙන්ට එනකොට මෙන්න මේක තිබුණා. මේ අද මේ තියෙන්නෙ මෙන්න මේක. මෙන්න මග සලකුණ. අන්න අර බිල්ඩිං එක, මෙතන තියෙනවා.” එහෙම කිව්වහැකි.

 

    දැන් හීන ලෝකේ එහෙම එකක් නෙමේ. එහෙම ඇතුල් වෙන එකකුත් නෙමෙයි. ඒ හීන ලෝකයේ, අන්න ඒකයි කියන්නේ, මනෝ ලෝකයක ස්වභාවය කියලා. “මනෝ ලෝකය මනින්න බැහැ දිසාවකින්, පැත්තකින්, ප්‍රමාණයකින්, ලොකු-කුඩා දෙයකින්, එහෙම මනින්න බැහැ”. අර “නාම ගෝත්‍ර ලෝකය” එහෙම එකක්.

 

    ඒක තමයි කිව්වේ, “හීන භවයේ කාම අදහස් පිහිටනවා, කාම අරමුණු, මධ්‍යම භවයේ රූපාවචර අරමුණු, ප්‍රණීත භවයේ අරූප අරමුණු”. ඔය භව තුනම, භව තුනක සම්බන්ධය තියෙනවා පුද්ගලයාට. පුද්ගලයා අනුකූල උනහම, ඒ භවයට අනුකූල වන්නාවූ අරමුණු පැත්ත අල්ලගන්නවා. එතකොට එකේ අරමුණ කොහෙද තියෙන්නේ, මෙහෙද තියෙන්නේ, උඩද තියෙන්නේ, යටද තියෙන්නෙ, ඒ ක්‍රමය ඒකට ගන්න බැහැ. ඒකයි ඒ එකේ තියෙන්නෙ, වෙන ක්‍රමයක්. ඒ ක්‍රමෙයි මේකයි ගළපන්න බැහැ.

 

{12:45} : මනසේ ධම්ම ගැටුනහම විඤ්ඤාණ හටගන්න හැටි හරියට බෙර හඬ වගේ

(ශ්‍රාවක මහතෙක්): එතකොට ස්වාමින්වහන්ස, අර “මනංච, පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඤ්ඤාණං” කියලා හැදෙන ඔය “ධම්ම” කියලා කියන්නේ ඔන්න ඔය ධර්ම වලට නේද?
(ස්වාමීන් වහන්සේ): අන්න හරි. ඒ ධර්ම තමයි, ඝට්ටනය වෙන්නේ.
(ශ්‍රාවක මහතෙක්): ඝට්ටනය වෙන්නේ.
(ස්වාමීන් වහන්සේ): අන්න, “ධර්ම”. “නාම ගෝත්‍ර තමයි ධර්ම”.

 

(ශ්‍රාවක මහතෙක්): ඕක දැන් අපි කියමු උදාහරණයක් විදිහට ගත්තොත්.. ෆ්ලුට් එකක් පිඹිනවා, බටනලාවක්. දැන් බටනලාව පිඹින්නේ ඇඟිලි ටික ඔක්කොම තියාගෙන. දැන් පිඹිනකොට මේ ඇඟිලි 3ත් එක ස්වරයක්, මේ ඇඟිලි 3 එක ස්වරයක්, මේක එක ස්වරයක්, දැන් මේ පිඹිනවා කියන එක මනස නම්, මෙන්න මේ එක එක උස්සනවා කියන එක, ධම්ම ඝට්ටනය වෙනවා වගේ. එතකොට නානාප්‍රකාර හඬ එනවනේ. අන්න ඒ වගේ තමයි, මනසින් විඤ්ඤාණ ගොඩනැගෙන්නේ. ඒ වගේ එකක් නේද?

 

(ස්වාමීන් වහන්සේ): එහෙමත් තියෙනවා. මෙහෙමයි.. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් බෙර හඬ. බෙර පළුව නම් මනස, තට්ටු කරපුවහම බෙර හඬ ඒකෙන් නිකුත් වෙනවා. ඒකයි ඕකට ගළපන්න පුළුවන්.
(ශ්‍රාවක මහතෙක්): දැන් ධම්ම කියන්නේ, තට්ටු කිරීම?
(ස්වාමීන් වහන්සේ): අන්න, ධම්ම කියන්නේ තට්ටු කිරීම. මනස බෙර පළුව නම්, ධර්මයක් තට්ටු උනහම, බෙර පළුවෙන් හඬක් නිකුත් වෙනවා වාගේ, තට්ටු කරපු දේට අනුකූල හඬකුයි නිකුත් වෙන්නේ. ඒවගේ “මනසේ වැදුන ධර්මය කෙසේද, ඒ වැදුන එකට අනුව, ඊට අනුකූල හඬකුයි, හිත කියල, විඤ්ඤාණය කියලා ගොඩනැගෙන්නේ”. දැන් බටනළාවට වඩා අරක හොදට පැහැදිලියි.
(ශ්‍රාවක මහතෙක්): ඔව් පැහැදිලියි.
(ස්වාමීන් වහන්සේ): ඔව්, බටනළාව එකක් දීගන තියෙන එකක් තියෙනවනේ. අරක එහෙම නෙමෙයි.
(ශ්‍රාවක මහතෙක්): අර මන් දීගන දීගන යනවා කියල කිව්වේ, චිත්ත පරම්පරාව. දිගට, චිත්ත පරම්පරාව ගොඩනැගී, නැගී යනවා..
(ස්වාමීන් වහන්සේ): යනවා..
(ශ්‍රාවක මහතෙක්): යනකොට, දැන් මේ ඇඟිල්ල තියාගෙන ඉඳලා, එක එක ඒවා උස්සනකොට, එක එක හඬ එනවනේ. ඒ කියන්නේ, නානාප්‍රකාර වූ විඤ්ඤාණ එනව, ඔය විදියට.

 

(ස්වාමීන් වහන්සේ): ඒ ක්‍රමයට වඩා අරක හොඳයි කියන්නේ මොකද, එතන මොකුත්ම දැනගන්න නෑ. දැන් “මන” කියන්නේ, යමක් දැන ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකට වැදුණොත් තමයි දැනෙන්නේ. බෙර පලුව කියන්නේ හඬක් නෙමෙයි. හඬ තියන තැනකුත් නෙමෙයි. හැබැයි ගැහුවොත්, හඬක් විහිදෙන ශක්තිය, ඒකේ තියෙනවා,
(ශ්‍රාවක මහතෙක්): ඒ ගතිය, ඒකෙ තියෙනවා. ලක්ෂණය තියෙනවා.
(ස්වාමීන් වහන්සේ): ලක්ෂණය තියෙනවා. ඒක තමයි, ඒකේ තියෙන ලක්ෂණය. “ආරම්මණ විජානන ලක්ෂණං” . ඔව්, විවිධාකාරයන් දැනෙන ලක්ෂණයක් තියෙනවා ඒකේ, ඒක තමයි ස්වභාවය.

 

{14:33} : මනසට නාම-ගෝත්‍ර අරමුණු වෙනකොට ඒ අනුව සමනන්තර හැදෙනවා

    (ශ්‍රාවක මහතෙක්): දැන් අපි, දැන් මේ, මෙහෙම දෙයක් බලනවා කිව්වම, ඇහෙන් කරන්නෙ මේ දත්ත ටික ගිහින්දෙන එක විතරනේ. ගෙනිහින් දුන්නම, මේ මනස ඇතුලේ නේ ඕක අපි නිර්මාණය කරලා, “මේ ආ.. මේ ආලෝකයක් තියෙනවා, පොතක්, පත්තරයක් තියෙනවා” කියලා, ඒ සංඥා ටික අරගෙන, වේගයෙන් ක්‍රියාත්මක වෙලා, මේ එහෙමනෙ මේ දත්තයන් ටික ගලපගන්නේ. දැන් එතකොට අරක මනසෙන් කරනකොට වෙන්නේ, ඇස, කන, නාසය, දිව, ශරීරය කියන එකෙන් අරමුණු ගන්නෙ නැතුව, ඔය අති සියුම් මනෝ ධාතු කියලා, අපේ හාමුදුරුවනේ කියන්නේ? අන්න ඒ අති සියුම් මනෝ ධාතු, මනසේ ඝට්ටනය උනහම, හටගන්නවා නේද?

 

(ස්වාමීන් වහන්සේ): ඔව්, අන්න ඒකයි, නාම ගෝත්‍රයෙන් තියෙන ඒවා තමයි, ඒකට මනස යොමු කරනකොට, ඒකට අනුකූල විදියට, ඇදල එන්නෙ. ඒකයි කතාව.
(ශ්‍රාවක මහතෙක්): හා.. හා.. හා..
(ස්වාමීන් වහන්සේ): අනුකූලත්වයට, අනුකූලත්වය ඇදී එනවා.
(ශ්‍රාවක මහතෙක්): අපි සමනන්තර හදනවනේ?
(ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි, සමනන්තරය හැදුවහම, අනන්තරය ඇදිලා එනවා අනුකූලව, ඒකයි.

 

(ශ්‍රාවක මහතෙක්): අපි කාමාවචරයක් හැදුවාම, කාම ලෝකයේ තියෙන ඒවා ඇදලා එනවා.
(ස්වාමීන් වහන්සේ): අන්න එතකොට හීන භවය ඇදිලා එනවා. දැන් රූපාවචරයකට මනස සමනන්තර කළොත්, “මජ්ඣිම බවය” කියන රූප භවය ඇදිලා එනවා, ඒ අරමුණට, ඒ අදහසට. ඒකේ තැන්පත් වෙච්ච, ගෝචර වෙච්ච ඒවා ඇදිලා එන්න එතකොට, “ප්‍රණීත බවය” කියන අරූපයට අපි මනස සමනන්තර කලා නම්, අනන්තර වශයෙන්, ප්‍රණීත බවයේ තියෙන, ඒ අරූප භවය, ඇදලා එනවා.
(ශ්‍රාවක මහතෙක්): ඒ කියන්නේ, අපි හතරවෙනි දැහැනින් උඩට ගියොත් එහෙම, ගිහිල්ලා අරමුණු කරනවා?
(ස්වාමීන් වහන්සේ): ඔව් ඒ මට්ටමේ, එතනින් එහාට ගියාම තමයි අරූප වෙන්නේ. ආකාසඤ්ඤායතනය, ආදී අරූප දැහැන්, ඒවාගේ තියෙන්නේ ප්‍රණීත භවයේ. එතකොට “ප්‍රථම ධ්‍යානයේ පටන්, චතුර්ථ ධ්‍යානය දක්වා, ඒවා තියෙන්නේ මධ්‍යම භවයේ”. එයින් මෙහා, කාම ලෝකයේ ඒව තියෙන්නෙ, හීන භවයේ.
(ශ්‍රාවක මහතෙක්): පඩි පෙළක් තියෙනවා. මේ එකින් එක, උඩට උඩට නගිනව වගේ?
(ස්වාමීන් වහන්සේ): ඔව්, අන්න ඒ වගේ.
(ශ්‍රාවක මහතෙක්): එක, එක මට්ටම් වලදී, එක, එක ඒවා පේන්න ගන්නවනේ, සාමාන්‍යයෙන්?
(ස්වාමීන් වහන්සේ): ඔව්. අන්න ඒකයි, තියෙන්නෙ කොහෙද කියලා, මේ විශ්වයේ තියෙන සීමාවලින්, ප්‍රමාණවලින්, පෙන්වන්න ඒ දත්ත ක්‍රමය නෙමෙයි, එතන තියෙන්නේ.
(ශ්‍රාවක මහතෙක්): ඒ දත්ත ක්‍රමය අර, ඒක දැකල කියනවා ඇර, ඒක වචන පද වලින් විස්තර කරන්න පුළුවන් එකක් නෙමෙයි.

 

{16:15} : නාම-ගෝත්‍ර එක්ක තියෙන සම්බන්ධතාවය තමයි නාම ලෝකය කියන්නේ

    (ස්වාමීන් වහන්සේ): . අන්න ඒකයි. දැන් අපෙන් අහනවා “ඔයාට මතකයක් තිබුණා ද?” “ඔව්, මතක තිබුණා.” “කොහෙද තිබුණේ, මොලේ ද?” අන්න අර පංචෙන්ද්‍රිය ගෝචර, මනසින්ම ගන්න කෙනා අහනවා, “ඒක කොතන හරි තියෙන්න එපැයි? එය, මොලේ ද තියෙන්නේ? පපුවේ ද තියෙන්නේ?” දැන් ඔහොම එහෙකට බහිනවා. ඒ කියන්නේ එයා, එයාගේ දත්තයන් දැකලා පුරුදු වෙලා තියෙන්නේ, මේ පංචෙන්ද්‍රිය ගෝචර මානසිකත්වයේ දත්තයන්. ඔය තත්වයන් ඉක්මවා ගිය දෙයක්, අර දත්තයන්ගෙන් කොහොම කියන්න ද?

 

(ශ්‍රාවක මහතෙක්): ඔව්. ඔව්. ඒක විස්තර කරන්න විදියක් නෑනේ..
(ස්වාමීන් වහන්සේ): ඒකයි, දැන් “මොලේ ද, තියෙන්නෙ?” කියලා අහපුවම, ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක නැති බවට ඔප්පු වෙනවා, මනෝමය කයෙන් උඩට ගිහිල්ලා, ඌ බලාගෙන ඉන්නවා, අර මිනිය කපන දිහා.

 

(ශ්‍රාවක මහතෙක්): ඒ කියන්නේ, පෙර භවයන් පිළිබඳ විස්තර කියනවනේ?
(ස්වාමීන් වහන්සේ): ශරීරය කපනවා, ඔපරේෂන් කරනවා, ඒක බලාගෙන ඉන්නවා. එතකොට විද්‍යාඥයෝ කියනවා, “කොහොමවත්ම මොලේට සම්බන්ධ වෙන්න බැහැ, මස්-ලේ මොළෙන්, එහෙම එකක් නෙමෙයි, මේ කියන්න කියන්නේ, ඒක අක්‍රීයයි”. එහෙම කියනවා. එතකොට අරය කියනවා “නෑ, නෑ, මම හොඳ සිහි බුද්ධියෙන් බලාගෙන හිටියේ” ඇඳගෙන හිටපු පාට, වර්ණය, ගෙනාපු උපකරණ, කියපු කතා, අහලත් තියෙනවා, දැකලත් තියෙනවා. එතකොට කොහෙ ඉඳන්ද බැලුවේ කියලා ඇහුවහම “උඩ ඉඳන්” කියනවා. දැන් එහෙම කියන්න ගියාම, මොලේ තිබුණෙනත් මෙහේ නම්, දත්තයන්, මතකයන්, මෙතන නම් උඩ ඉඳන්, කිව්වේ කොහොමද? අන්න ප්‍රශ්නයක් එනවා. “නෑ, කඳ තියෙනවා, මං දැක්කා, පැත්තක.” ඒකත් කියනවා. ඉතින් එතකොට, අන්න ඒකයි කියන්නේ, එතකොට එහෙනම්, මෙතන තිබුනෙ නැත්නම්, ඒකෙද තිබුණේ? ආයිත් තවත් එහාට යනවා. එකෙත් නෙමේ තිබිලා තියෙන්නේ. දැන් ඕක හොයාගන්න බැරි තැන මිනිස්සුන්ට…

 

(ශ්‍රාවක මහතෙක්): ඔව් ඔව් ඒකේ ප්‍රශ්නේ, ඒක දැක්කා, එකේ නෙමෙයි තිබුණේ.
(ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි කියන්නේ. ඔය එක එක මිමි, ඔය තියෙන්නෙ. ඔය දැන් ඔය විස්තරේ කියලා, තවත් එහාට පුළුවන් නං එහෙම, එයාට පෙනිච්ච එකේ තියෙන්නේ, අර ඉස්සෙල්ලා එකේ නෑ. අන්න ඒ වගේ.

 

 

ඕකේ ඔය නාම ගෝත්‍රය ඇත්තේ යම් තැනක ද, නාම ගෝත්‍රයත්‍ එක්ක තියෙන සම්බන්ධතාවය තමයි “නාම ලෝකය” කියන්නේ ඒකයි. භවය කිව්වේ ඔන්න ඕකට.

 

(ශ්‍රාවක මහතෙක්): ඒ ලෝකෙට ගියාම තමයි, ඒක ඇතුළෙ තියෙන සම්බන්ධතාවය තියෙන්නේ.
(ස්වාමීන් වහන්සේ): කාම භවය හා සම්බන්ධ වන, කාම භවයේ විවිධාකාර පැතිකඩවල් තියෙන්නෙ. අපේ මනස සමනන්තර කළේ මොන පැතිකඩට ද, කාම භවය තුළ තියෙන ඒකට, එකයි සම්බන්ධ වෙන්න.

 

 

    දැන් බල්ලත්‍, කාම බවයේ. දැන් බල්ලා උනොත් එහෙම, සමනන්තර බලු නම්, අර හීන භවයේ හෙවත් කාම භවයේ තියෙන ඒවායින්, බලු ඒවා ඇදලා එන්නෙ එතැනට. දැන් මිනිස් කාම භවය මිනිස්. දේව ඒවත් කාම භවයේ. හැබැයි දේව ඒවා වත්, මිනිස් ඒවා වත්, බලු එකට ඇදලා එන්නෙ නෑ. ඒකට අනුකූල ඒවා ඒකට ඇදලා එන්නෙ. හැබැයි ඔක්කොම තිබුනේ කාම භවයේ. එහෙනම් කාම භවය, විවිධ පැතිකඩවල් වලින්, පිරිල තියෙන්නෙ. කාම කිව්වට, ඔක්කොටම එකම සමාන නෑ. අන්න ඒකයි. ඉතිං ඇදලා එන්නේ, කාම භවයේ පිහිටපුවත් ඇදෙන්නේ සමනන්තරයට අනුව.

 

(ශ්‍රාවක මහතෙක්): අපි පටිච්චසමුප්පාද චක්‍රය කරකවන රටාව. ඒ රටාවට හරියන්න මොන අවිද්‍යාවෙන්ද අරක ආවේ? ඒකට අනුකූලව, ඒකට අදාළ දේ, ඇදිලා එනවා…
(ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි. අදාළ දේ, අදාල දේට එනවා. ඉතිං ඒක වෙනස් ධර්මතාවයක්, ගතියට ගතිය, සමානත්වය, ගති සමානත්වය, ගති ආකර්ෂණය, ඒ තියෙන්නෙ.
(ශ්‍රාවක මහතෙක්): ඔව් ඒක තියන තැනක් කියලා එකක් නෙමේ තියෙන්නේ, ඒක එහෙම ගතියක් තියනවා, මේක හැදුනම, අරක ඇදිලා එනවා.
(ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි කියන්නෙ.
(ශ්‍රාවක මහතෙක්): දැන් අපි දැන් මේ මෙහෙම තියෙනවා, මෙහෙම තියනවා කියලා දකින්නේ, මේ භෞතික ලෝකයේ ඒවානේ? ඒක හරියන්නෙ නෑනෙ.
(ස්වාමීන් වහන්සේ): ඒක භෞතික ලෝකයේ ඒවානේ. භෞතික ලෝකෙ දත්තයන්ගෙන් ආධ්‍යාත්මික ලෝකේ මනින්න බෑ. ඒකයි කාරණය.

 

{19:13} : ශුද්ධාෂ්ඨක හැදෙන්නේ නාම වලින්, නමුත් නාම භෞතික නෑ

(ශ්‍රාවක මහතෙක්): ඔව්. ඒක අපේ හාමුදුරුවනේ, අපි අර දැන්, ආලෝක තරංග, ආලෝක අංශු තියෙනවනේ, ඒ ආලෝක අංශු වලටත් වඩා අති සියුම්, මනසට ඝට්ටනය වන, මනෝමය ධාතු, ඒ කියන්නේ මේ පදාර්ථමය ධාතුවක් තියෙනවනේ?
(ස්වාමීන් වහන්සේ): ඔව්.. ඔව්.. “අනිදස්සනං, අප්පටිඝං, ධම්මායතන පරියාපන්න රූපං” ඒක අනිදස්සනයි. ඒක දකින්නත් බෑ, “අප්පටිඝං” – ස්පර්ශ කරන්නත් බෑ, “ධම්මායතන පරියාපන්නයි”, ධම්මායතනයටමයි ඒක සම්බන්ධ වෙන්නේ. ඒකත් රූප, නමුත් “මනෝ රූප”. ඒක ආපෝ ධාතු, තේජෝ ධාතු, එහෙම නෙමේ.
(ශ්‍රාවක මහතෙක්): හා.. මේ.. මේ.. ඒක පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ශුද්ධාෂ්ඨක රූප නෙමෙයිනේ?
(ස්වාමීන් වහන්සේ): නෑ.. නෑ.. ශුද්ධාෂ්ඨක රූප නෙමෙයි. “ශුද්ධාෂ්ඨකය” කියන්නේ, භෞතික ලෝකයේ තියෙන කුඩාම කෑල්ල. ඒක තමයි, රූප වස්තු කියල සම්මත කරන්නේ. හැබැයි නාමවල, රූප තියෙනවා. නාමවල, රූපයක් තියෙනවා. ඒ ඒකට කියන්නේ “නාම ආකාරය”. නාමයේ ආකාරය වැටහෙන ආකාර-රූපය. ආකාරය කියන්නේ, වැටහෙන්නේ, සංඥාවලින්. ස්පර්ශ වෙන්නේ, ආකාරයක්.

 

(ශ්‍රාවක මහතෙක්): එතකොට, දැන් ශුද්ධාෂ්ඨකයටත් වඩා අති කුඩායි?
(ස්වාමීන් වහන්සේ): ශුද්ධාෂ්ඨකයේ සීමාව ඉක්මවා ගියා, නාම කිව්වේ ඒකයි. රූප කිව්ව කොටසේ, අන්තිම කුඩා කෑල්ල, භෞතික රූපවල අන්තිම කුඩා කෑල්ලයි, “ශුද්ධාෂ්ඨකේ”. ඒ ශුද්ධාෂ්ටකය කියන එක නිපදවන්නේ, නාමවලින්, නාම ලෝකයේ තමයි; දෙවැනි පියවර ඒක.
(ශ්‍රාවක මහතෙක්): හා.. හරි, හරි.. අන්න එතනින් තමයි, අර නාමවලින්, අර රූප ගොඩනැඟෙනවා කියලා, පටන් ගන්නේ එතනින් නේ. අර නාමරූප, අභ්‍යන්තර බාහිර හැදෙන්නේ?
(ස්වාමීන් වහන්සේ): අන්න “අභ්‍යන්තර නාම-රූපය”, මනසේ බැහැගන්න එක. “බාහිර නාම-රූපය” කියන්නේ, භෞතික වෙච්ච එක.
(ශ්‍රාවක මහතෙක්): හා.. හරි.. හරි.. ඔන්න ඔතන තමයි, අර එදා දවසක් තිස්සේම ඕකට දැඟලුවා, ඔන්න ඕකට තමයි ආවේ නැත්තේ එහෙනම්.
(ස්වාමීන් වහන්සේ): ඔව් හරි. ඒ කියන්නේ එතන, විප්පයුක්ත, සම්ප්‍රයුක්ත කියලා ප්‍රත්‍ය දෙකක් තියෙනවා. වෙන්ව එකතුවෙන ප්‍රත්‍ය එකක්, ඒක “විප්පයුක්ත” කියනවා. ඒ කියන්නේ, භෞතික වස්තු බවට පත්වුණාට පස්සේ, නාමයෙන් ශක්තිය දීලා, භෞතික බවට පත් කලාට පස්සේ, ශුද්ධාෂ්ඨකේ පටන්ගෙන භෞතිකයි.
(ශ්‍රාවක මහතෙක්): ශුද්ධාෂ්ඨකේ පටන්ගෙන භෞතිකයි නේ. ඔව් ඔව් ඔව්..
(ස්වාමීන් වහන්සේ): ශුද්ධාෂ්ටකයක්, නාමයට ලං වෙනවා මිසක්, නාමය සමඟ සංයෝගවෙන්නේ නෑ. නාමයට ස්පර්ශ කරන්න පුළුවන්, ඝට්ටනය කරන්න පුළුවන්, ශුද්ධාෂ්ඨකේ. හැබැයි ශුද්ධාෂ්ඨකේ, නාමයක් කරන්න බෑ. ඒක නිපදෙව්වේ, නාමයෙන්මයි.
(ශ්‍රාවක මහතෙක්): වතුර ටික අරන්, සීතල වෙනකොට, අයිස් කුට්ටිය හැදුනාට, වතුර අයිස් කුට්ටියට යවන්න බැහැනේ?
(ස්වාමීන් වහන්සේ): අන්න ඒ වගේ.. ඒ වගේ දෙයක් එතන තියෙන්නේ.
(ශ්‍රාවක මහතෙක්): හා හා හා හා.. ඒක අති සියුම් එකක්. ඒක නිකං
(ස්වාමීන් වහන්සේ): ඒක නාම ලෝකය හා සම්බන්ධයි.
(ශ්‍රාවක මහතෙක්): සර්වඥය ගෝචර දහමක්.
(ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි කියන්නේ. හරි ගැඹුරුයි ඔතන.

 

 

{21:30} : නිවන “තැනක්” කියලා පනවන්න බැහැ, ඒක ලෝකයට අවිෂයයි

    ඒ නිසා බුදුරජාණන් වහන්සේ, “රූපයෙන් තොරව, වේදනාවෙන් තොරව, සංඥාවෙන් තොරව, සංඛාරයෙන් තොරව විඤ්ඤාණයක, ගමනක්, සිටීමක්, සිතීමක්, වැඩීමක්, චුතියක් නොකියමි” කියල පෙන්වනවා. එතකොට එහෙම කියලා කියනවා, “අරූප ලෝක” කියලා, වෙනම කොටසක් පෙන්වනවා. මේවා අරූපයි. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියලා. අන්න අරූප ලෝකයට, ආකාසානඤ්චයතනය, විඤ්ඤාණඤ්චායතනය අරූප බව ම පෙන්නනවා. ඒකෙ විඤ්ඤාණඤ්චායතනයෙ, විඤ්ඤාණයක් තියෙන බවත් පේනවා. හැබැයි රූපයෙන් තොර ව විඤ්ඤාණයක් නෑ කියලත් දේශනා කරනවා. එතකොට ඒ රූපය මොකක්ද කිව්වහම, ඒ රූපය අරක නෙමේ. ඒකට “අරූප” කිව්වා.

 

(ශ්‍රාවක මහතෙක්): ඒක අර පඨවි, ආපෝ, තේජෝ, වායෝ වලින් තියෙන, ඒ රූප නෙමෙයි?
(ස්වාමීන් වහන්සේ): ඒ රූප නෙමෙයි.
(ශ්‍රාවක මහතෙක්): අර නාම වල තියෙන, රූප.
(ස්වාමීන් වහන්සේ): අන්න හරි, ඒක මනසේ ආකාර, ආකාර රූප.
(ශ්‍රාවක මහතෙක්): හා හරි හරි..
(ස්වාමීන් වහන්සේ): දැන් ඕක තේරුම් ගන්න බැරි උනහම සමහර අය, මේ භෞතික ශුද්ධාෂ්ටකයක් තියෙනවා, මේ අරූප ලෝක කියලා කියනවා. රූප තෝරගන්න බැරුව. මොකද දැන් “රූපයෙන් තොරව එකක් නෑ” කියලා කියනවා නම් විඤ්ඤාණයක්, ඔය තර්කය අරගෙන කියනවා, “එහෙනම් හැමතැනම රූප ලෝකමයි තියෙන්නේ” කියලා. එහෙනම් ඒ රූප වර්ග තෝර ගන්න බෑ.

 

    අටවිසි රූප වලට ගැනෙන හරියක් තියෙනවා, රූපවල වෙනම. ඒක තමයි මේ භෞතික ලෝකයේ ඉතාම කුඩා ශුද්ධාෂ්ටකයේ පටන් වැඩෙන හරිය, ඒ තියෙන්නේ. දැන් මනසේ රූප කියන්නේ, ඒවා නෙමේ. දැන් අපි ඇහුවොත් කාගෙන්හරි, “ආපෝ ධාතුවෙන්, තේජෝ ධාතුවෙන්, වායෝ ධාතුවෙන්, පඨවි ධාතුවෙන් හටගත් ශුද්ධාෂ්ටකයට, මේ ලෝකේ ඉඩක් ඕනද?” නෑ කියන්න බෑ. කොතන හරි ඉඩ ප්‍රමාණයක් ඕනේ. ඒක භෞතික ලෝකයටමයි ඒක අයිති.

 

    “අපි දැක්ක හීන ලෝකයට ඉඩ ප්‍රමාණයක් ඕනෙද, මේ ලෝකයේ?” කියලා ඇහුවොත්, ඒක ඕන නෑ. ඔච්චර මහා විශාල ලෝකයට, ඕනෙත් නෑ.
(ශ්‍රාවක මහතෙක්): අන්න අර මනෝ රූප සියල්ල තියෙන්නේ, ඔන්න ඔය රූප ආකාරයට. හා හරි හරි..
(ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි කියන්නේ. ඉතින් එතකොට ඒක තියෙනවා, අර විදියට, අර ඒ මනෝ රූප, මනෝ ලෝකයට පුලුවන් කටයුතු කරන්න. හැබැයි භෞතික ලෝකයට ගන්න බෑ. ඕන්නං පුළුවන් මනසෙන් ගත්ත එකක ආකාරය අරගෙන, අභිඥා බලයෙන් ඒ ජාතියේ එකක් මේ භෞතිකව නිපදවන්න.
(ශ්‍රාවක මහතෙක්): මවන්න පුළුවන් ඔව් ඔව්..

 

(ස්වාමීන් වහන්සේ): අන්න එතකොට චිත්තජ රූප නැගිලා, භෞතික වෙලා, ශුද්ධාෂ්ඨක බවට පත්වෙලා, ශුද්ධාෂ්ඨක වලින් ඝනීභවනය වෙලා, මේ භෞතික එකක් මැවෙනවා. එතකොට, ඒක මනසින් ගත්ත ආකාරයට අනුව, ඒක මැවිය හැකියි. ඒ ජාතියෙම එකක්, හදන්නත් පුළුවන්, අර චිත්ත බලයෙන් අභිඥා බලයෙන්. නෙලුම් මලක් නම්, නෙළුම් මලක්ම හැදිය හැකියි. අල ගෙඩිය හදන්න කිවුවොත්, අල ගෙඩියමයි. කාලා බලන්නත් පුළුවන්, තම්බගෙන කන්නත් පුළුවන්. එකේ මුකුත් වෙනසකුත් නෑ.
(ශ්‍රාවක මහතෙක්): ඒ අරක පාදකකරන් හදපු එකක් නේ. භෞතික එකක් නේ?
(ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි. අලයක ස්වභාවය, මනස දැකලා තියෙන්න ඕන. දැක්කෙ නැති අලයක් මවන්න බෑ. එයා කටු අල කියන ජාතිය, ඡීවිතයට දැකලා නැත්තං, අදුරන් නැත්තං, කටු අල ගෙඩියක් මවන්න කිව්වොත්, දන්නෑ. අන්න ඒකයි. අර්තාපල් ගෙඩියක් නම් කාල තියෙන්නෙ, අර්තපල් මාලුව මැව්වහැකි. මනස අරන් තියෙන්ඩ ඕනේ. මනසේ සංඥාව නැතුව, අනුකූල ද්‍රව්‍ය වස්තුවක් මවන්න බෑ, සෘද්ධි බලයෙන් වත්. ඒකයි ස්වභාවය.

 

(ශ්‍රාවක මහතෙක්): එතකොට ස්වාමින් වහන්ස, මනෝ මූලික අවස්ථාවේ තියෙන, රූපකලාප කියන ඒවා, පඨවි, ආපෝ, තේජෝ ගතියේම තියෙන, අති සියුම් අවස්ථාවක් ද?
(ස්වාමීන් වහන්සේ): ඒ ගතියේ නාම අවස්ථාව.
(ශ්‍රාවක මහතෙක්): ඔව්. ඒක තමයි. දැන් ඒකේ තියෙන නාම අවස්ථාව, ඒ නාම අවස්ථාව, ඊට වඩා අති සියුම් පදාර්ථ අවස්ථාවක් නෙමෙයි, ඒ කියන්නේ, නේද?
(ස්වාමීන් වහන්සේ): නැහැ. භෞතික පදාර්ථ අවස්ථාවක් නෙමෙයි. ඒකයි.
(ශ්‍රාවක මහතෙක්): එතකොට නාම අවස්ථාවේ දී රූප, එතකොට නාම අවස්ථාවේ, නාම අවස්ථාවකුත් තියෙනවද?
(ස්වාමීන් වහන්සේ): නාමයේ, නාම කියලා ගන්න බැහැ. මොකද නාමයේ කියලා කියන ඒකේ තියෙන ඒකේ දී බලපුහාම, නාමයෙන්මයි ඒක බලන්නේ. එහෙනම් ඒකෙන් එහාට තව එකක් බලන්න ඒකෙන් බැහැ.
(ශ්‍රාවක මහතෙක්): ඒ නාම රූප වල තියෙන එක එක ගති නිසා තමයි, නාම කියලා හැදිලා තියෙන්නේ?
(ස්වාමීන් වහන්සේ): අන්න හරි. එතකොට භෞතික ලෝකයක් කියල තියෙන, නාමයි- රූපයි දෙකත් එක්කලා නේ පැවැත්ම. සත්වයෙක් බිහිවෙන්නේ, කොතන හරි හිතත්, ගතත් බිහිවෙන්නේ. එක්කෝ හිත බිහිවෙලා, ආකාර රූපයන්ගෙන් හිත බිහිවෙලා හරි, අරූප ලෝකෙක හරි, රූප ලෝකෙක හරි, කාම ලෝකෙක හරි, යමක් බිහි වෙන්නේ ඔය නාමයි, රූපයි කියන භෞතික වස්තුත් එක්ක සම්බන්ධතාවය අරගෙන. ඔයින් එහාට සත්වයෙක් පනවන්න බෑ, ඔය ටිකෙන් අහක් කරපු. රූපයෙන්, වේදනාවෙන්, සංඥාවෙන්, සංඛාරයෙන්, විඤ්ඤාණයෙන් ඉවත් කරපු, සත්වයෙක් පනවන්න දත්තයක් නැහැ. ඒ ටිකෙන් අහක් කරල, සත්වයෙක් පනවන්න ක්‍රමයක් නැහැ. එයින් එහා යමක් ගැන කතා කරනවා නම්, ඒක අවිෂයයි. අවිෂය වස්තුවක් කෙරෙහි කරන කතාවක් වෙනවා. මතයක් වෙනවා එතකොට. දැනගැනීමේ කිසි ගෝචරයක් නැහැ.

 

    එතකොට ඒ නිසා තමයි කිව්වේ, “අරිහත්වයට පත් වෙලා පිරිනිවන් පාපු අරිහතුන් වහන්සේට, රූපයෙන් යමෙක් පනවනවා නම් එහෙම එකක් නෑ”. “වේදනාවකින් පනවනවා නම්, එහෙම එකකුත් නැහැ”. “සංඥාවකින්, සංඛාරයකින්, විඤ්ඤාණයකින් පනවනවා නම්, එහෙම එකකුත් නැහැ”. “ඇහැකින් පනවනවා නම් එහෙම ඇහැකුත් නෑ, කනකින් පනවනවා නම් එබඳු කිසිම කනකුත් නෑ, නාසයකින්, දිවකින්, කයකින් පනවනවා නම් එහෙම එකක් ඇත්තෙත් නෑ, එහෙම පනවන්නත් බැහැ”. ලෝකය ඉක්මෙව්වා කිව්වේ ඕකයි. “එහෙම එකක් නැද්ද?” ඇහුවොත්, නැත්තං ඒකට පත් වෙන්නෙ කොහොමද? එතකොට ප්‍රශ්නයක් එනවා. නැත්තං එහෙම තත්ත්වයකට පත් වෙන්නත් බැහැ.
(ශ්‍රාවක මහතෙක්): ලෝක සම්මුතිය තුළින් කතාකරන්න බැරි තත්වයකටයි පත්වෙලා තියෙන්නේ..
(ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි කියන්නේ. දැන් රූප අත්හැරුණු තත්වයකට, වේදනා අත්හැරීමකට, සංඥා අත්හැරීමකට, සංඛාර අත්හැරීමකට, විඤ්ඤාණ අත්හැරීමකට, පත්වෙන්න බැහැ, අත් හැරීමක් නැත්තං. ඒකෙන් දැනගන්නවා, අත්හැරීමක් තියෙනවා. අත්හැරුනු තැන කොහොමද කියලා ඇහුවොත්, වචන පද ඉක්මෙව්වා. විෂයය ඉක්මෙවුවා. එහෙනම් විෂය අචින්ත්‍යයි, අප්‍රමාණයි. ප්‍රමාණ කරන්න බැරි වුණා. ඒ නිසා එතෙන්දි, උන්වහන්සේගේ අප්‍රමාණත්වය මිසක්, ප්‍රමාණ කරන්න ක්‍රමයක් නැහැ. පමණ පෙන්නන්න විදියක් නැහැ.

 

    නැද්ද? එහෙම නැද්ද, ඇත්ද කියන එක පෙන්නන්නත් බැහැ. ඇත, නැත කියන එකට දාන්නත් බැහැ. මොකද, ලෝක සත්වයා මේ පවතින භෞතික ලෝකයක් අල්ලගෙනයි, ඇත – නැත ගන්නෙ. එකේ තියෙන ඒවා යම් තැනක තියෙනවා නම්, ඇත කියනවා. ඒ තියෙන ඒවා නැත්තං, නැත කියනවා. ඔයින් එහාට දත්තයක් නැති නිසා, ඉන් එහා එකක් පනවන්න බැහැ, “නැති ලෝකයක් කොහොමද පනවන්නේ?”, කියනවා. “නැත” කියන වචනෙ ගන්නෙ, “ඇත” කියලා ගන්නෙ, මේ ලෝකෙ ඒවා පනවන්න. ලෝකේ දන්න වචනයක සිද්ධාන්තයකින්, ඇත-නැත දෙකක් පනවන්න බැහැ, නිවන් දැක්ක උත්තමයන්ට. නිවන් අවබෝධයෙන් මේ ටික කෙළවර කළා. දුක දුන්න යම්කිසි පංචස්කන්ධයක් ඇත්ද, පංචස්කන්ධය හා සම්බන්ධය ඉවරයි. එහෙනම් මොකේද ඉන්නේ කියලා, එහෙම එකක් පනවන්න බැහැ. ඒක අවිෂයයි, ලෝකයාට. එහෙම දත්තයක් නැද්ද? දත්තයක් නැත්තං මේ ටික අයින් කරන්න බැහැ. අයින් කරන්න පුළුවන්කමක් තියෙනවා. අයින් කරන්න ඉතුරු වෙන්නේ මොකක්ද ඇහුවොත්, එහෙම එකක් පනවන්න විෂය නැහැ.

 

(ශ්‍රාවක මහතෙක්): ඒක මේ මේ ගෝචර නැහැ. ඒක නැහැයි කියල ගත්තොත් ඒක වැරදි නේ?
(ස්වාමීන් වහන්සේ): ගෝචර නැහැ. “අට්ඨි තදායතනං” කියලා, එහෙම ආයතනයක් තියෙනවා කියලා, බුදුරජාණන් වහන්සේ දේශනා කළා, “අට්ඨි තදායතනං”. හැබැයි ඒක ගත්තට, මේ ලෝකෙ විෂයෙහි ඒක කියන්න බැහැ. ඒකයි.
(ශ්‍රාවක මහතෙක්): පද නෑ ඒවට..
(ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි. ඒකයි කියන්නේ, “නිවනට ගිහිල්ලා, පිරෙන්නෙත් නෑ, අඩුවෙන්නෙත් නෑ, වැඩි වෙන්නෙත් නෑ, ආපෝ ධාතුවත් නෑ, තේජෝ ධාතුවත් නෑ, වායෝ ධාතුවත් නෑ, පඨවි ධාතුවත් නෑ, නිවනේ”. ඉර, හදත් නෑ, ගහකොළත් නෑ. එහෙම භෞතික ලෝකෙකුත් නෑ. කියන්න අහවල් එකයි කියන, මේ ලෝකෙ තියෙන ඒවායින් එකක්වත් එතන ඇත්තෙත් නැහැ. එහෙම එකක් නැද්ද? නැත්තං මං මේ කොතන පනවන්න කියන්නද. එහෙම තත්වයක් තියෙන නිසා තමයි, මේකට පත්වෙන්න කියන්නේ. ඒ තත්වය කොහොමද කියලා ඇහුවොත්, භෞතික ලෝකයේ විෂය නැහැ, කරුණකින් පෙන්නන්න. භෞතික ලෝකයේ යමක් ඇද්ද, ඒවා එතැන නැහැ.
(ශ්‍රාවක මහතෙක්): ඒක ඉක්මවපු අවස්ථාවක්.
(ස්වාමීන් වහන්සේ): අවස්ථාවක්… “එතන” කියන වචන ගත්තත්, මේ භෞතික අදහසක්මනේ ඒකත්. ඒකත් අපිට කොහොමත් වචන පද ඉක්මෙව්වා, කතා කරන්න විෂය නැහැ. ඒකයි, අවිෂය කරුණක් කෙරෙහි, නිගමනයට බහින්න බෑ. දුක දුන්නේ යමකින්ද, දුක දුන්න දේ යම් තැනක නැත්නම්, දුකෙන් නිදහස්. ඔච්චරයි ගන්නේ. “යම් තැනක පංචස්කන්ධයක්, යම් තැනක දුක ඇති කළාද, පංචස්කන්ධය යම් තැනක නැත්නම්, එතන දුක නෑ”. දුක දුන්න හේතුව ඔන්න ඉවරයි. දුකෙන් නිදහස් උනානං, ඔන්න ඔය ප්‍රශ්නෙට පිළිතුර ඔච්චරයි.
(ශ්‍රාවක මහතෙක්): දුකෙන් මිදෙන්න විතරයි ඉතුරු වුණේ.
(ස්වාමීන් වහන්සේ): ඔව්. දුකෙන් මිදිලා කොතනද ඉන්නේ කියලා කෑල්ලක් දැම්මොත්, ඒක විෂය වෙලා නෑ.

 

 

~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~

 

දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://waharaka.com/listen/Sadaham-Sakachchaa-01-03

 

To Top