දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)
සංඛාර වලින් කර්ම පථයක් හැදෙන හැටි
{00:00} : ආර්ය උපවාදයක කර්ම පථයක් සම්පූර්ණ වෙන්නේ කොහොමද?
(ශ්‍රාවක මහතෙක්) : ස්වාමීන් වහන්සේ, අර එක වෙලාවක අර කැඳ ටිකක්, උණු කැඳ ටිකක් දීලා ඒක හාමුදුරුවෝ ගත්තයින් පස්සේ එතන තියන් වැළඳුවා. වැළඳුවේ, සාමාන්‍ය කෙනෙකුට ඕක බැලුවම, ඇත්තටම බැලුවාම පේන්නෙ “කෑදරකමක්” කියලානේ. ඒක පේන ස්වභාවයනේ… ඒත් දැන් අද වෙනකොට ආර්යන් වහන්සේලා ඉන්න බව දන්නවානේ හාමුදුරුවනේ. එතකොට, මෙන්න මේ වගේ දැන් ආර්ය උපවාදයක්නේ කරගත්තේ එතකොට. දැන් පුංචි දෙයක් නෙවෙයි ඒක. දැන් මාර්ගය වැහෙනවා නෙ. දැන් ඒ වගේ දැන් ආර්ය උපවාද කියන කර්ම පථයක්නේ සම්පූර්ණ වෙන්නේ ඕකේ. ඒ කර්ම පථය සම්පූර්ණ වෙන්න මොකක්ද තියෙන අවශ්‍යතාව?
(ස්වාමීන් වහන්සේ): ඒ අය එතනින් ප්‍රකාශයක් කෙරෙන්න එපැයි. දැක්කට මදි, දැකපු එකට ප්‍රකාශයක් කෙරෙන්න එපැයි. දැන් එතන ඒ හාමුදුරුවන්ට, ඇහුවනේ. “ඔබ වැරදි වැඩක් කලේ” කියලා කිවුවනේ. එතකොට වචනය ක්‍රියාත්මක වුනානේ. කය වචන දෙක ක්‍රියාත්මක වීමෙන් කර්ම පථයක් වෙනවා. අභිජ්ජා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි විතරයි මනෝ කර්ම වෙන්නෙ. මනෝ කර්මයකින් මතු උපද්දන්න, ජනක කර්ම නෑ. ජනක කර්මයකට නම් කාය කර්ම, වචී කර්ම දෙකෙන් ගොඩනැගිච්ච මනෝ කර්මයක් වෙන්න ඕනි. නිකන් පූර්ණ මනෝ කර්මයක් නම්, ඒකෙන් මතු උපතකට ගන්න බෑ. කාය කර්මයන්, වචී කර්මයක් නිසා ගොඩනැගිච්ච එකක් නම් පුලුවන්. කාය කර්මයක්, වචී කර්මයක් නිසා ගොඩනැගිච්ච මනෝ කර්මයකින් පුලුවන්.
{01:24} : මනෝ කර්මයකින් විතරක් ජනක කර්මයක් හදන්න බැහැ
(ශ්‍රාවක මහතෙක්): එතකොට උදාහරණයක් කීවොත් එහෙම? (ස්වාමීන් වහන්සේ): දැන් අපි හිතමුකෝ මිනිහෙක් කෙනෙකුට වෙඩි තිබ්බා කියලා. දැන් වෙඩි තිබ්බට පස්සේ වෙඩි තියපු වෙලාවේ කාය කර්මය ඉවරයි. දැන් වෙඩි තියපු එක මතක් වෙන්නෙ මනෝ කර්මයෙන්. එතකොට, ඒක මතක් වෙන්න පුලුවන් අවසානයේදි. ඒක ජනක කර්මයක් කරන්න පුලුවන්.
(ශ්‍රාවක මහතෙක්): වචනයයි, කයයි මෙහෙයවලා කරපු ක්‍රියාවක් නැවත මතක්… ආ, ඒකත් මූලික වෙලාම තමයි ජනක කර්මයක් හැදෙන්නෙ. ඒ කියන්නෙ ඒ මට්ටමට ජවන් බලගතු වුනොත් තමයි ජනක කර්මයක් වෙන්නෙ?
(ස්වාමීන් වහන්සේ): අන්න හරි, ඔව්. ජවන් වලින් තමයි එතන සම්බන්ධය එන්නෙ. ඔව්. අන්න ඒකයි, ආසේවන ප්‍රත්‍ය ලබනවනේ. කාය කර්මයකින් වචී කර්මයකින් ලැබෙන මනෝ කර්මයේ ආසේවන ප්‍රත්‍යය බලවත්. කාය කර්මය බලවත් කරපු එකක්නෙ. ඒක බලවත් වෙනවා. ඒක තමයි ජනක කර්මයක් නිපදවන්නෙ. කර්ම භවයයි, උප්පත්ති භවයයි. උප්පත්ති භවය – පුනර්භවය. ඒ කියන්නෙ භවය වාගේම එකක් නැවත හැදෙනවා.
ඉතින්, ඉස්සෙල්ලා කරපු මතක සටහන කාය කර්මයකින්, වචී කර්මයකින් ගොඩනැගුන එකක් නම්, ඒක බලවත් මනෝ කර්මය. සිතිවිල්ල විතරක් නම් තිබුනේ ඒක බලවත් වෙන්නෙ නෑ. උපතක් හදන්න බලවත් වෙන්නෙ නෑ. ඒක ප්‍රවෘත්ති විපාකය.
{02:42} : වචන කටින් පිට නොකළත් වචී සංඛාර හැදෙන්න පුලුවන්
(ශ්‍රාවක මහතෙක්): ස්වාමීන් වහන්සේ, දැන් භාවනා කරද්දී මනෝ කර්මනේ ඇතිවෙන්නෙ. එතකොට ඒක උපතක් හදන්නේ කොහොමද? (ස්වාමීන් වහන්සේ): දැන් මනෝ කර්මයක් අරගත්තම, මනෝ කර්මයකින් භාවනාවක් කරනකොට, දැන් මනෝ කර්මය තුල සිතිවිලි යනවනේ. විතර්ක විචාර කිවුවේ වචී සංඛාරයි. වචී සංඛාර නේ ගන්නේ ඔතන, සිතිවිලි ගොඩනගනකොට.
වචනේ කටින් පිට කරන්න ඕන් නෑ. දැන් සිතිවිලි ගොඩනගනවා නම් යමක් අල්ලගෙන, ඒ වෙලාවෙදි බලවත් වෙනවා. වේදනා, සංඥා තුලින් දැනෙනවා හැඳිනෙනවා විතරයි. ඒකයි මනෝ සංඛාරයට වැටෙන්නෙ. වේදනා, සංඥා මනෝ සංඛාර. දැනෙනවා, හැඳිනෙනවා. දැනීම, හැඳිනීම ඉක්මවනවා නේ සිතිවිලි. (ශ්‍රාවක මහතෙක්): එතකොට සිතිවිලි එනකොට ඒක වචී සංඛාරයක් වෙනවද? (ස්වාමීන් වහන්සේ) : ඒක වචී සංඛාර වෙනවා. වචන කටින පිට කරන්න ඕන් නෑ.
(ශ්‍රාවක මහතෙක්) : දැන්, සිතිවිලි එනවා කියලා වචී සංඛාර වලින්, අර කිව්ව මනසින් හිතන ඒවායින් කර්ම පථ වෙන් නෑ කිව්වේ ස්වාමීන් වහන්සේ?
(ස්වාමීන් වහන්සේ): මනසින් හිතන ඒවා කිව්වේ මනසේ හැඟීම්. දැනෙනවා, හැඳිනෙනවා. දැන් අපි හිතමු, කවුරුහරි තමන්ට ගහන්න ආවා. තරහ හිතක් ආවා. හැබැයි අපි හිතුවේ නැහැ ඉන් එහා දෙයක්, ඒක මනෝ සංඛාර. වේදනාවක් ආවා, මානසික වික්ෂිප්තතාවයකුත් ඇතිවුණා, මනෝ සංඛාර. හැබැයි “නොදකින් මූට, හෙන ගහන්න ඕන, මට බැනලා ගියාට” හිත කිව්වොත් එහෙම, වචී සංඛාර නිපදවෙනවා. කටින් පිටවෙන්නම ඕන් නෑ.
ඒකනේ කීවේ, දන් දෙන්නෙත් නැතුව, බණ අහන්නෙත් නැතුව, හිත පහදවා ගත් පමණින් දෙවි වෙන්න පුලුවන්ද? කියලා මට්ටකුණ්ඩලී ගේ සිද්ධිය ගැන ඇහුවනේ අදින්නපුබ්බක, බුදුරජාණන් වහන්සේගෙන්. දැන් ඒ වෙලාවෙදි, අත් එකතු කරගන්නවත් පණ නෑ. හිතෙන් සාදුකාරයක් දුන්නා. වචී සංඛාර නිපදවුණානේ. ඒකෙන් දෙවි වුණා. අන්න ඒ වගේ. බොහොම සියුම් තැන්.
{04:50} : කාය සංඛාරයක් වෙන්නේ කයේ සුළු හෝ චලනයක් කළොත් තමයි…
(ශ්‍රාවක මහතෙක්): ස්වාමින් වහන්ස, දැන් ඒක බලවත් වෙලා, බලවත් වෙලා, වචී සංඛාර වලින්, දැන් හරි ඒක. කාය සංඛාර වගේ මට්ටමටත් එනවද?
(ස්වාමීන් වහන්සේ): එනවා එනවා. වචී සංඛාරයෙන් බලවත් වෙලා එන එක ඊට පස්සේ ජවන් වලින්, තුන් වෙනි ජවනය නොවැ එන්නෙ ඔතනට. හතරවෙනි ජවනය වචී සංඛාර, ඒකෙන් ආසේවන ප්‍රත්‍යය ලබන පස්වෙනි ජවනය කාය සංඛාර. එතකොට බලවත් වෙනවා.
(ශ්‍රාවක මහතෙක්): ඒ කියන්නේ කය හොල්ලන්නෙවත් නැතුව කාය සංඛාර හදන්න පුලුවන්? (ස්වාමීන් වහන්සේ): කය හොල්ලන්නේ නැත්නම් සංඛාර ගොඩනැඟෙන්නෙ නෑ. හැබැයි හෙල්ලීමේ ශක්තිය ලැබෙන්නෙ පස්වෙනි ජවනයෙන්. දැන් මට ගහන්න පුලුවන්, ගහන් නෑ. (ශ්‍රාවක මහතෙක්): එතකොට කාය සංඛාර නැඟිලද?
(ස්වාමීන් වහන්සේ): කාය සංඛාර නැගෙන්නෑ නේ. ගහන්න පුලුවන්, ගැහුවේ නෑනේ! “ගහන්න ඕනෑ ඕකාට!” කිව්වොත් වචී සංඛාර නැගුණා. අත ඉස්සුවොත් මෙහෙම කරලා කාය සංඛාර නැගුණා. ඕන් නම් මට පුලුවන් “ගහන්න ඕනෑ” කියලා, “ඔන්න ඔහේ නිකං ඉන්නවා” සිතිවිල්ලෙන්ම නතර කරන්න.
(ශ්‍රාවක මහතෙක්): එතකොට වචී සංඛාර වලින් නවතිනවා ? (ස්වාමීන් වහන්සේ): ඔව්. අත හරි ඉස්සුවනම්, අත උස්සන්න කාය සංඛාර ක්‍රියාත්මක වුණා.
(ශ්‍රාවක මහතෙක්): ස්වාමින් වහන්ස, සමහර වෙලාවට හිතනවා, “මේකා මට ගහනවා, මන් මුට ගහනවාමයි” කියලා, ඇඟ පත වෙව්ලන වෙලාවට?
(ස්වාමීන් වහන්සේ): එතකොට එනවනේ කාය සංඛාර, නැගෙනවනේ. (ශ්‍රාවක මහතෙක්): අත උස්සන්නම ඕනත් නැහැ? (ස්වාමීන් වහන්සේ): නෑ නෑ, දත් මිටි කෑවනම් නැගුණා. ඒත් ඇති. අත් මිට මෙලව්වනම් නැගුණා. කයේ යම් කිසි චලනයක් වුණොත්… (ශ්‍රාවක මහතෙක්): ඒක කොච්චර ප්‍රබලද කියන එකත් එක්ක මේක කවදාහරි වැඩිවෙනවා.
{06:20} : අනිච්ඡානුග ක්‍රියා සංඛාර නෙමෙයි, විපාක. හද ගැස්මත් එහෙමයි
(ශ්‍රාවක මහතෙක්): ස්වාමීන් වහන්ස, වචී සංඛාර නැගෙන්නෙ කී වෙනි ජවනයේද, වොත්තපනෙන් පස්සේ? (ස්වාමීන් වහන්සේ): හතරවෙනි එක, වචී සංඛාර නැඟෙන්නේ. වේදනා, සංඥා තුන්වෙනි එකට එනකොට එනවා. පළවෙනි ජවනයේ ආසේවනය ලබලා දෙවෙනි එක බලවත් වෙලා ඒකෙන් තුන්වෙනි එක බලවත් වෙනකොට හැඟීම් බලවත් වෙනවා. තරහයි, හැඟීම මොකක් හරි ඒක බලවත් වෙනවා. හතරවෙනි ජවනයට එනකොට හිතන්න පුලුවන් ශක්තිය එනවා. එතකොට වචී සංඛාර ඇවිදිල්ලා. පස්වෙනි එකට එනකොට ක්‍රියා කරන්න පුලුවන් ශක්තිය එනවා.
(ශ්‍රාවක මහතෙක්) : හදවතේ ගැස්ම වැඩිවුණත් ඒත් කාය සංඛාර වෙනවා?
(ස්වාමීන් වහන්සේ): හදවතේ ගැස්ම නෙවෙයි, හදවතේ ගැස්ම විපාක.
(ශ්‍රාවක මහතෙක්) : එතකොට එහෙනම්, තරහ එනකොට වැඩිවෙනවා කීවේ?
(ස්වාමීන් වහන්සේ): තරහ වැඩිවෙනකොට, ඒ හිතේ ප්‍රවෘත්ති විපාක චිත්තය ඒ.
(ශ්‍රාවක මහතෙක්): ඒක සංඛාර වලට වැටෙන් නෑ?
(ස්වාමීන් වහන්සේ): ඒක සංඛාර නෙවෙයි, ඒක විපාක. භවාංග වෙනවා නේ. ඒ භවයට අංග වෙලා චිත්ත වීථි හටගන්නවා නේ. එහෙම නැත්නම් ජවනය නැගුනම ජවනය කෙරෙහි ක්‍රියාකාරීත්වයක්.
(ශ්‍රාවක මහතෙක්) : දැන් අපි හිතමුකෝ, දැන් සාමාන්‍ය විදියට ඉන්නවා. ඇවිල්ලා එක්කෙනෙක් අපිට බනිනවා. ගහන්න කියන්නේ, අත ඉස්සුවෙත් නෑ, මුකුත් නෑ, හැබැයි හදවතේ ගැස්ම වැඩිවෙනවා. එතකොට කාය සංඛාරයක්ද?
(ස්වාමීන් වහන්සේ): දැන් ගැස්ම වැඩිවුණේ එක්කො තරහ නිසා. තරහ කියලා කියන්නේ විපාක හිත නේ, හටගත්තේ. විපාක හිතින් ගොඩනැගිච්ච ශක්තිය තමයි ගැස්ම හැදුවේ. එතකොට ඒක අනිච්ඡානුග ක්‍රියා කියන්නේ. අන්න ඒවට වැටෙන්නෙ.
(ශ්‍රාවක මහතෙක්): එතන සංඛාර වලට වැටෙන්නෙ නෑනේ? (ස්වාමීන් වහන්සේ): නෑනේ. ඉච්ඡානුග ක්‍රියා නේ වැටෙන්නෙ. ඒක තමයි සංඛාර වලට වැටෙන්නේ. අනිච්ඡානුග ක්‍රියා කියන එක වැටෙන් නෑ, ඒක විපාක. අති සියුම් තැන්. දැන් කයේ නිර්නාල ග්‍රන්ථි ක්‍රියාත්මක වෙන්නේ විපාකයකින්. ඒක සංඛාර නෙවෙයි.
(ශ්‍රාවක මහතෙක්): ඒකත් අනිච්ඡානුගයි ස්වාමින් වහන්ස? (ස්වාමීන් වහන්සේ): ඔව්, අනිච්ඡානුගයි. අනිත් ග්‍රන්ථිත් එහෙමයි. (ශ්‍රාවක මහතෙක්): එතකොට ඉතින්, ඉච්ඡ – අනිච්ඡ කියන එක තියෙනවා?
(ස්වාමීන් වහන්සේ): එතනම තියෙනව නේ. අනිච්ඡ එතනම තියෙනවනේ. කැමත්තට ක්‍රියා නොකරන ඒවයි, කැමත්තට අනුව ක්‍රියා කරන ඒවයි. කැමත්තට අනුව ක්‍රියාකරන ඒවා තමයි ඡන්ද රාගයෙන් කරන්නේ. එතකොට තමයි සංඛාර ගොඩනැගෙන්නෙ. අනිත් ඒවා විපාක. එතන්ට එනකන් දෙකම එනවනේ. හිතේ මුල හරිය විපාක, ජවන කර්ම. ඕන්නම් වොත්තපන කරපු හැටියට තමයි කාය කර්ම හෝ වචී කර්ම නැගෙන්නෙ. වොත්තපනේදී නැවත්තුවොත් ජවන යනවා, හැබැයි කාය කර්ම වචී කර්ම නැගෙන් නෑ, වොත්තපනේ තියෙන විදියට ප්‍රඥාව මුල් කරගෙන. ගැහුවත් ගහන් නෑ, බැන්නත් බනින් නෑ, අදහස එනවා.
{09:30} : මනෝ සංඛාර වලින් කර්ම පථය හැදෙන්නේ සිතිවිලි නැඟුව විටයි
(ශ්‍රාවක මහතෙක්): ස්වාමීන් වහන්ස, දැන් ආර්ය උපවාද කියන කර්ම පථයක් මේ හිතලත්, හිතන්න පුලුවන් කර්ම පථයක් වෙන්න ඉඩ තියෙනවනේ? (ස්වාමීන් වහන්සේ): දැන් හිතලත්, එයා හිතින් හිතනවනේ, හිතිවිලිනේ. හිතිවිලි නැගුවොත් කර්ම පථයක් වෙන්නේ. දැන් හැඟීම විතරක් ආවට කර්ම පථයක් වෙන් නෑ. අන්න ඒ තුල හිතන්න ඕනි.
(ශ්‍රාවක මහතෙක්): හිතනවා කියන්නෙම කතා කිරීමක් නේ? (ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි, හිත කතා කරනවනේ. දැන් බලන්න, අපේ භාෂාවෙන් අපි සිතිවිලි ගන්නේ. “නොදකින්! මේකට ගහන්න ඇත්නම් බෙල්ල කඩලා යන්න…” කියනවා. දැන් අපි වචී කර්ම හිතින් අපේ භාෂාවෙන් නේ අපි හිතිවිලි ගත්තේ. දෙමළ මනුස්සයෙක් හිතිවිලි ගන්නේ එයාගේ භාෂාවෙන්නේ. හැඟීම එකයි. තරහ, බය, ශෝකය, සංවේගය ඒකට ඒ භේදය නෑ. ඒක ඕන භාෂාවකට ඕන එකකට හැඟීම එකයි.
(ශ්‍රාවක මහතෙක්): ආ.. ඒක තමයි චිත්ත කියන්නේ?
(ස්වාමීන් වහන්සේ): චිත්තම නෙවෙයි, ඒක තමයි මනෝ සංඛාර.
(ශ්‍රාවක මහතෙක්): කාටත් පොදු එකනේ.
(ස්වාමීන් වහන්සේ): ඔව්. ඒකයි. තම තමන්ගේ භාෂාවෙන්නෙ හිතන්නෙ හැමතිස්සෙම.
(ශ්‍රාවක මහතෙක්) : ඔව්, හිතන්නෙ තමන්ගේ භාෂාවෙන්.
(ස්වාමීන් වහන්සේ) : හැඟීම කාටත් පොදුයි.
~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~
දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://waharaka.com/listen/Sadaham-Sakachchaa-01-03