(අනත්ථ විග්‍රහය දෙවන කොටස හා සම්බන්ධයි)
දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)
තථාගත දේශනාවට අනුවම අනත්ථ විග්‍රහය - 3 කොටස
{00:00} සක්ඛාය දිට්ඨි නිරෝධය සමඟම දුරු වෙන සියළු සැකයෝ : දැන් අපි දකිනවා, සක්ඛාය ත් දකිනවා, සක්ඛාය සමුදයත් දකිනවා, සක්ඛාය නිරෝධයත් දකිනවා, සක්ඛාය නිරෝධ මාර්ගයත් දකිනවා. එතකොට, ඔය සක්ඛාය පිළිබඳව අර කියන්නා වූ, මුලා වූ අර බමුණන් ගේ දෘෂ්ඨිය දාගත්තොත් ඒක “සක්ඛාය දිට්ඨිය“ බවත් දන්නවා. ඒ දෘෂ්ඨිය දැන් අපිට එන්න හේතුවක් නෑ, සක්ඛාය ට “මම” කිවුවේ නාම මාත්‍රයක් බව දන්නවා, නැත්නම් “මම” කියන හැඟීමෙන් ගත්තේ නාම මාත්‍රයක් බව දන්නවා, ඒ නාම මාත්‍රය ඒ ගොඩට කියන නමක් මිසක්, එයින් එහා දෙයක් නෑ කිවුවා නම් ඔය දෘෂ්ඨිය බිඳිලා! එදාට, සක්ඛාය දිට්ඨිය නැත්නම්, දැන් ඉතින් “මමෙක්” අතීතයේ කොයින්ද – දැනුත් නැතුව! මතු අනාගතයේ කොයින්ද? දැනුත් නැතුව! කොහෙන් වත් එන “මමෙක්” කොහෙද, මමෙක් ඉන්න එපැයි ඉන්න! ගුරු ප්‍රශ්න ටික සියල්ල ම විසඳිලා ඉවරයි, ඔය පොඩ්ඩ දැනගත්තහාම සැක ඉවරයි! එහෙනම් විචිකිච්ඡාව ඔක්කෝම නැති වෙන්නේ ඔතනින්. දැන් මේ දහම් කියා දුන්න බුදු පියාණන් වහන්සේ ගැන මොකද්ද තියෙන සැකය? බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නය විසඳුවා, දෘෂ්ඨිය බිඳ හැරියා, දෘෂ්ඨිය බිඳ හැරලා ඇත්ත කියාදුන්නා! ඒ ඇත්ත ඇති ආකාරයෙන් තේරුම් ගත්ත යම් බුද්ධ ශ්‍රාවකයෙක් ඇත්නම්, එයාට “බුද්ධේ කංඛති” කොහෙද තියෙන්නේ? ඒ දේශනා කළ ධර්මය හරි කියලා දැක්කාට පස්සේ “ධම්මේ කංඛති” කොහෙද තියෙන්නේ? ඒ මඟ අනුගමනය කරන්නා වූ සංඝ රත්නය ඒකාන්තයෙන් සත්‍යයට අනුව යන අය, සත්‍යය මඟ යන අය කියලා දැනගත්තහම එහෙනම් එතන කොයින්ද “සංඝේ කංඛති” තියෙන්නේ? ඒක බලා ගැනීමට මෙන්න මේ මාර්ගය අනුගමනය කරලා මේ විදිහට මේ තෘෂ්ණාව දුරු කරගන්න, එතකොට ඔය “සක්ඛායෙන්” මිදෙන්න පුලුවන් කියලා පෙන්වලා දුන්න මාර්ගයක් තියෙනවා නම් ශික්ෂණය වෙන, ඒ සික්ෂාව ගැන සැකයක් කොහෙද තියෙන්නේ? “සික්ඛාය කංඛති” ත් ඉවරයි! පූර්වාන්තයේ “මමෙක්” හිටියා ද කියන ප්‍රශ්නය ඉවරයි, “මමෙක්” කොහෙද දැනුත් නැතුව පෙර? නාම මාත්‍රයක් නම් පෙරත් තිබුණා, නැත්තේ නෑ – නාම මාත්‍රයක් ඒක. ඒ මිසක් ඔය කියන ජාතියේ දෘෂ්ඨියකින් බැඳෙන්නේ නැතුව, පූර්වයේ හිටියෙත් නාම මාත්‍රයක්, ඒ පංචස්කන්ධය තිබුණා. පංචස්කන්ධය හේතු ඵලයක්. ඒ ඵලය හේතුවෙන් – එදා නැඟූ හේතුව නිසා මෙතන ඵලයක් හටගත්තා, මෙතන පංචස්කන්ධය ඒකෙන් විද්‍යාමාන වුනා. මෙතන හේතුව හැදුවොත් මතු ඵලයක් හටගන්නවා, එතකොට එතන ඒ පංචස්කන්ධයක් විද්‍යාමාන වෙනවා, ඒවාට ඒ ඒ තැනට “මම” කියලා සංඥාවක් තියා ගන්නවා මිසක්, එන එන “මමෙක්” වත්, යන “මමෙක්” වත් ඉන්න “මමෙක්” වත් ඔතන නෑ කියලා දැනගත්තහාම එහෙනම් “පුබ්බේ කක්ඛති“ ත් නෑ, “අපරංතේ කංඛති” ත් නෑ, “පුබ්බාපරංතේ කංඛති“ ත් නෑ! මෙසේ දැනගන්නා වූ යම්කිසි හේතු–ප්‍රත්‍ය ක්‍රමයක් ඇත්ද, “ඉධප්පච්චයාතා පටිච්ඡ සමුප්පාදය“ මේකයි කියලා දැනගත්තහාම, මේ මේ හේතුවට අනුව මේ මේ ඵලය හටගන්නවා කියලා දැනගත්තහම, එහි සැකයකුත් නෑ – ඒ කංඛති ත් ඉවරයි! එහෙනම්, බුද්ධාදී අට තැන සැකය නෑ, ඔය ටික දැක්ක කෙනාට. දැන් සක්ඛාය දිට්ඨිය කෝ, විචිකිච්ඡාව කෝ?
{02:33} සක්ඛාය දිට්ඨිය, විචිකිච්ඡාව දුරු වුනා නම්, ඒ අරි අටඟි මඟට පත් වීමයි : දැන් බුදුරජාණන් වහන්සේ අහනවා, “මේ ධර්මය ඔබලාට මම කියා දුන්නේ න්‍යාය ධර්මයක්. ඥාණ ගෝචර ධර්මයක්. එතකොට මේ කියාදුන්න ධර්මය ස්වාක්ඛාතයි, සංදිට්ඨිකයි, අකාලිකයි, ඒහිඵස්සිකයි, ඕපනයිකයි, ඥාණවන්තයින් විසින් ප්‍රත්‍යක්ෂ කරලා දැනගන්න තියෙන දහමක්. දැන් ඕගොල්ලා මේක තේරුම් ගත්තාට පස්සේ තවත් මේක පිළිගන්නේ මම කියන හින්දාද? මා කෙරෙහි විශ්වාසය තියලා ද?” “නෑ ස්වාමීනි, ඒක ඇත්ත බව දැන් වැටහිච්චි හිංදා” “දැන් මෙයින් එහාට මම වත් ශාස්තෲ කරගන්නේ නැතුව, ඔය ධර්මය පිලිගන්න ඔබලා අන්‍ය ශාස්තෲ වරයෙක් පස්සෙත් යන්න හේතු තියෙනවාද?” “ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ ගේ පස්සේ වත් එන්න ඕනේකමක් නෑ මේ ධර්මය වැටහිච්ච අපිට! එහෙමනම් අන්‍ය ශාස්තෲ වරු පස්සේ මොකට යන්නද?” මෙන්න, “අන්‍ය ශාස්තෲ සරණ” සදහටම ඉවරයි, ඔය ටික වටහාගත්ත කෙනාට! එහෙනම්, මොකද්ද කරන්න තියෙන්නේ? කටු මැහි වල බුදියෙන්න ඕනෙත් නෑ, උඩ බලාගෙන ඉන්න ඕනෙත් නෑ, බිම බලාගෙන ඉන්න ඕනෙත් නෑ, බත් නොකා ඉන්න ඕනෙත් නෑ, ඉතින් හංකඩ කන්න ඕනෙත් නෑ, මොන එකක් වත් ඕනේ නෑ, මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ හේතු–ඵල ධර්මයට අනුකූලව, මෙන්න මේකයි “සක්ඛාය“, මෙන්න මේකයි “සක්ඛාය සමුදය“, මෙන්න මේකයි “සක්ඛාය නිරෝධය“, මෙන්න මේකයි “සක්ඛාය නිරෝධ කරන මාර්ගය” කියන චතුරාර්යය සත්‍යය තේරුම් ගත්තා නම්, “සිවුසස් දහම්” අවබෝධ කරගත්තා නම් දුකෙන් මිදෙනවා කියලා දකිනවා. ප්‍රඥාව මුල් කරගෙන අනිච්ච වශයෙන්, අනිච්ච දේ අනිච්ච හැටියට, දුක්ඛ දේ දුක්ඛ හැටියට, අනත්ථ දේ අනත්ථ හැටියට මෙනෙහි කරලා, මෙන්න මේ ක්‍රමයට ගිහාම ලෝකයේ සැපයි කියන යමක් ඇත්ද, ඒක දුක් ගොඩක් මිසක් සැපක් නෙමෙයි කියලා ප්‍රඥාවෙන් දකිනකොට, අන්න “දුක්ඛ ආර්යය සත්‍යය” දකිනවා. මෙන්න මේ කියන්නා වූ “ආස්වාදය” නැමැති දුක් කන්ද මොකද්ද වෙන්නේ? එතකොට හටගන්නේ මොකක් නිසාද – දුක්ඛ සමුදය වෙන්නේ? මේකට ඡන්ද රාගයෙන් බැඳෙන නිසායි කියලා දන්නවා. අන්න ඒ ඡන්ද රාගය නිරෝධ කරපුහාම ඒක නිරෝධ වෙනවා කියලා දන්නවා. දැනගෙන, ඡන්ද රාගය නිරෝධ කරන්න මොකද කරන්න ඕනේ? මේකේ ආදීනව බලනවා, මේ පංචස්කන්ධයේ ආදීනව බලනවා, වෙන්වීමේ ආනිසංස බලනවා. ප්‍රඥාවෙන් මෙන්න මේ ටික කරනකොට “සම්මා දිට්ඨිය“ පහල වෙනවා! සම්මා දිට්ඨිය පහල වුනා කියන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයම පහල වුනා! සම්මා දිට්ඨිය පහල වෙනකොට ඉතුරු ටික ඔක්කෝම පහල වෙනවා.
{04:44} හැම විටම අපි ඉන්නේ පෙලීමෙන් : එහෙනම්, මෙන්න මේක දැකගන්න ඕනේ, “අනත්ථානුපස්සනාව“ කියන්නේ මෙන්න මෙතෙන්ටයි! දැන් “අත්ථ” දකිනවා, “අනත්ථ” ත් දකිනවා. එහෙනම්, “අනත්ථ” දකිනකොට මොකද කරන්නේ? “අනත්ථං අසාරකට්ඨේනාති!” දැන් අනත්ථ දැක්කහාම අපි එකක් දකිනවා. “එහෙනම් මෙතන කවදාවත් නිච්ච දෙයක් නෑ, අනිච්ච මිසක්!” එහෙනම්, පෙලෙන ඒවා මිසක් වෙන එකක් නෑ! මොකක් නිසාද පෙලෙන්නේ? මේක මොහොතක් ගානේ වෙනස් වෙනවා. වෙනස් වෙන හින්දා පෙලෙනවා නෙමෙයි, පෙලෙනකොට වෙනස්වීමයි – දෙකම එකයි, එකට යන්නේ. අන්‍යතාවයට පත් වෙනවා. අපි යම්–යම් ඉරියවුවකින් ඉන්නවා නම්, ඒ ඉරියවුවත් අන්‍යතාවයට පත් වෙනවා. “හොඳයි – හොඳයි” කියලා තමයි අපි එක විදිහකට හැඩගැහෙන්නේ, හැම වෙලේම පහසු ක්‍රමයකට ඉන්න හදනවා, පහසුවක් ලබන්න හදනවා, දුකක් ලබන්න කවුරුවත් බලාපොරොත්තු වෙන්නේ නෑ. සැනසුමක් බලාපොරොත්තුවෙන් විවිධාකාර කටයුතු කරනවා. සතර ඉරියවු පවත්වන්නෙත් සැනසුමක් බලාගෙන, ආහාර ගන්නෙත් සැනසුමක් බලාගෙන, පිපාසය ආපුහාම වතුර බොනවා – සැනසුමක් බලාගෙන. දුකයි දාහයෙන් මිදෙන්න බලාගෙන. මේක තමයි හැම වෙලේම සත්ත්වය සැරිසරන්නේ ඕකට බලාගෙන – කරදරයක් එනවා නම් මිදෙන්න බලාගෙන. ඒ අසහනයෙන් මිදෙන්න බලාගෙන මොනවා හරි කරනවා. බඩගිණි වෙනකොට ආහාර හොයාගෙන යනවා – කනවා. පිපාසයට ජලය හොයාගෙන යනවා – බොනවා. දැන් මේ වගේ අපි යමක් කරනවා හැම වෙලේම. මෙන්න මේ ටික කරගෙන යනකොට මොකද වෙන්නේ? අන්න අපි දකිනවා එක දෙයක්, මෙන්න මේ ටික අපි හැම වෙලේම කරගෙන යනකොට අපි එක දෙයක් කරගන්නවා – මොකද “මේක පෙලෙන බව” දැනගන්නවා.
{06:26} විවිධ චරිත අනුව තිලකුණ විවිධ තැන් වලින් දකින්න පුලුවන් : පෙලෙන නිසා තමයි හැම වෙලේම ප්‍රතිකර්ම කරන්නේ. පෙලෙන – පෙලෙන එකට ප්‍රතිකර්ම කර–කරා මොකද්ද කරන්නේ? සැනසුමක් හොයාගෙන යනවා. එතකොට දකිනවා යම් කිසි සැනසෙන – ප්‍රිය මධුර ස්වභාවයක්, මුලාව නිසා ප්‍රිය–මධුර ස්වභාවය පස්සේ හඹා යනවා. හඹා යාමට නොයේක් ආකාරයෙන් හිතන, කියන, කරන වැඩ කටයුතු ගොඩාක් කරගෙන යනවා. කරන – කරන එකක් ගානේ මොකද්ද කරන්නේ? “සංඛාර දුක්ඛයක්“ ගොඩනඟනවා. ඒක ගොඩනඟ–නඟා මොකද කරන්නේ? හදාගන්න හදාගන්න යමක් ඇත්නම් ඕකෙන් අපි දකිනවා මෙහෙම දෙයක්, “දුක්ඛ දුක්ඛය“ යමෙක් දකිනවා. ලෝකයේ “කල්ලං – ඛල්ල විපකං“ කියලා කොටසක් තියෙනවා – පාපකර්ම සහ පාපකර්මයන්ට එන විපාක. ඒවා හැම අතින් ම සතර අපාගත වෙන ඒවායෙන්, අට මහා නරකය වැනි තැන් පටන් ගෙන. නිරයට සම්බන්ධ ව ඔය ටික ප්‍රධාන වශයෙන් තියෙන්නේ. යම්කිසි ශ්‍රද්ධාධික පුද්ගලයෙක් – හරී අකමැතියි කෙනෙකුට කරදරයක් – දුකක් එනවාට, සත්ත්වයින්ට හිංසා – පීඩා එනවාට. ඒ නිසා එයාට මේක හරී තද කම්පණයක් ඇති කරන දෙයක් – “දුක්ඛ දුක්ඛය” එයා අනිච්ච මෙනෙහි කරනකොට, “අනේ මේ ලෝකේ මෙහෙම දුකක් ගෙන දෙන දෙයක් නේ, මේකේ මොන සැප හෙවිල්ලක් ද?” මෙන්න මේ ආකාරයෙන් එපා වෙනවා. වීර්යාධික පුද්ගලයා මොකද කරන්නේ? උත්සාහය – වීර්යය කරනවා, ඒකේ ස්වභාවය දන්නවා. වැඩක් නැති එකක් පසුපස්සේ යන්න උත්සාහය – වීර්යය කරනවා, “මර උගුලක් පස්සේ යන්න නේ මෙච්චර කල් උත්සාහා කරලා තියෙන්නේ, වීර්යය කරලා තියෙන්නේ” කියලා මෙනෙහි වෙලා දකිනකොට, අන්න “දුක්ඛානුපස්සනාවෙන්” ලෝකෙට ඇලුම් කරන වීර්යය අත්හරිනවා. ඒක මුල් කරගෙන පෙලෙන එකත් දකිනවා, අසාර ත් දකිනවා. දැකලා එහෙම අත්හරිනවා. “අනත්ථානුපස්සනාවට” යන කෙනා ඔය කියන්නා වූ “සුක්ඛං – සුක්ඛ විපාකං“ කියලා කොටසක් තියෙනවා. “සුදු සහ සුදු විපාක” – බ්‍රහ්ම ලෝක වල තියෙන්නේ සුදු සහ සුදු විපාක. ඒක හින්දා හුඟාක් අමාරුයි අර පෙලෙන ගති හොයාගන්න. ඒවා බොහොම සියුම්. මහා දුක් පේන්නේ නෑ! හැබැයි, එතනත් තියෙනවා සියුම් දුකක්. ඒ දුකෙත් ඔය කියන්නා වූ ලක්ෂණ තුන ම තියෙනවා. ඒ මානසිකත්වයට ගියාට පස්සේ, සැනසුම හොයාගෙන – අන්න සියුම් මනසට පේන්න පටන් ගන්නවා එතන සැනසුමක් නෑ, එතන තියෙන්නෙත් මේ දුක් තුන මයි! මොනවාද? අර පෙලෙන ලක්ෂණය එතනත් තියෙනවා. එතනත් මොහොතක් ගානේ වෙනස් වෙනවා. බ්‍රහ්මයාටත් එක විදිහක ඉන්න බෑ නේ! බ්‍රහ්ම කය කොච්චර සැහැල්ලු වුනත්, බ්‍රහ්මයාට හෙල්ලෙන්නෙ නැතුව ඉන්න බෑ! බ්‍රහ්මයා ඇයි ඉරියවු මාරු කරන්නේ? එක ඉරියවුවක ඉන්න බැරි හින්දා නේ! එයාත් පෙලෙනවා. එක ඉරියවුවක ටිකක් වෙලා ඉන්නකොට, යම් කාලසීමාවක් ඉන්නකොට අන්‍යතාවයට පත් වෙනවා. ඒ කියන්නේ? ඒ ඉරියවුවේ ඉන්න බැරි තත්ත්වයට පෙලෙන්න පටන් ගන්නවා. ඉරියවු වෙනස් කරන්න ඕනේ. වෙනස් කරනකොට, “සංඛාර දුක්ඛය” ගොඩනඟන්න ඕනේ. ගොඩනඟනඟා හදන්නේ මොකද්ද? සුව තැනක්. ඒ ඉරියවුව වෙනස් කරපුහාම, තව ඉරියවුවක් සුවයි. ඒ සුව තැනට මොකද වෙන්නේ? විපරිණාමයට පත් වෙනවා, විනාසය කරා යනවා සුව බව. ඔය කාරණා තුනෙන් ම ඔහුත් ඒ නිසා අන්න ඒ තත්ත්වය මෙනෙහි කරගෙන යනකොට එතන පේන්න පටන් ගන්නවා “විපරිණාමයේ දුක“ මුල් කරගෙන, ඔය කියන්නා වූ “දුක්ඛ දුක්ඛය” යි “සංඛාර දුක්ඛයයි” දකිනවා. මෙන්න මේ දකිනකොට, “අනත්ථ” කියන්නා වූ තැන “අසාරයි” දකිනවා, කොච්චර හොඳයි – ප්‍රියයි – මනාපයි කියලා ලෝකේ හොඳක්, ප්‍රියක් තියක් තිබුණත්, එකක් වත් පවතින හොඳක් නෑ. එහෙනම් මොකද වෙන්නේ? “අනිච්චෝ, අද්වෝ, විපරිණාම ධම්මෝ, අසස්සතෝ” ඔන්න ඔය ආකාරය දකිනවා එතෙනදී. අන්න “අනත්ථ” දැක්කා.
{10:08} නිවැරදිව දැකලා ඡන්ද රාගය අත්හැරුනා නම් නිවනට පත් වෙනවා : මොකද්ද? අනිච්චයි, අද්වයි – එහෙනම් පෙලෙනවා, අද්වයි – ඒක තමයි කිවුවේ පෙලෙන ලක්ෂණය. දුක්ඛ ලක්ෂණයත් තියෙනවා, ඇතිවෙන, ඇතිවෙන තැන දුකක් හටගත්තහාම ඒක පෙලෙන ලක්ෂණයට එනවා. එතකොට, “අද්ව” ස්වභාවය – වෙනස්වෙන්නේ, ඒකෙන් ඇති වෙන වෙනස. ඒ වාගෙම විපරිණාම ධර්මයි. ඒ හැම ප්‍රිය–මනාප ස්වභාවයක් ම විපරිණාමයට පත් වෙනවා. “සබ්බේති මේ පියේහි, මනාපේහි, නා නා භාවෝ, විනාභාවෝති පබ්බජිත්තේන අභින්නං පච්චවෙක්කිතබ්බං“ කිවුවේත් ඔන්න ටිකයි. ඔය කියන්නා වූ වෙනස බලන්න කියලා. යම් ප්‍රිය–මනාපයක් ඇත්ද, නා නා භාවයට පත් වෙනවා කියපු මොහොතින් මොහොත ඒක වෙනස් වෙලා යනවා. “විනාභාවෝති“ – ඒ අවස්ථාව වැනසිලා යනවා. එහෙම වැනසිලා ගියේ, මොනවාත් – හිස් අතින්, ඉතුරු කරලා නැහැ කිසි දෙයක් අර බලාපොරොත්තු වෙච්චි සුවයෙන්. යම් සුවයක් කියලා යම් තැනක බැලුවා නම්, යම් තැනකට පත් වුනා නම්, කිසිම දෙයකින් ඉතුරු කරන්නේ නැතුව හිස් අතින් ගෙවිලා ගියා මිසක්, වෙන මොනවත් එතන ඉතුරු කරපු හරයක් නෑ! එහෙනම්, ඔතන කොහෙවත් “ආත්මයක්” අහලක වත් තිබුණේ නැහැ. ඔය “සංඥා මාත්‍රයක්“ ඔතන කිවුවා මිසක්, එතනින් සංඥා මාත්‍රයක් – අල්ලන්න එකක් ඔතන තිබුණේ නෑ! අල්ලන්න කිසිම දෙයක් නැති නිසා ඒක “අනත්ථ” වුනා. ඔන්න ඕක දැක්කාට පස්සේ කියනවා, “අනත්ථ දැක්කා ට පස්සේ අත්හැරීම හැර, නොඇල්ම හැර, මිදීම හැර තවත් ලෝකේ කරන්න දෙයක් නෑ!” කියලා දැනගත්තා. මොනවාද අත්හැරියේ? යම් ඡන්ද රාගයක් තියෙනවා නම්, ඡන්ද රාගය අත්හැරියා. ඡන්ද රාගය අත්හැරිලා ගියා නම්, නොඇලී – මිදී ගියා නම්, තවදුරටත් අල්ලාගන්න එකක් නෑ, අන්න ඒ අත්හැරීමක්, නොඇල්මක්, මිදීමක් ඇත්ද, ඒක තමයි “සෝපාදිසේස නිවන“ කිවුවේ. අත්හැරියේ මොනවාද? “ඡන්ද රාගය“. ඡන්ද රාගය අත්හැරපුහාම, ඇලීමක් නෑ! ඇලීම නැත්නම් ගැටීමක් නෑ! ගැටීම නැත්නම්, ඇලීමයි – ගැටීමයි දෙකත් නෑ – මුලාවත් ඉවරයි! එහෙනම්, සියලුම දුක් කඳේ කෙළවර එතන. මෙන්න මේකට කියනවා “අරිහත්වයට පත් වෙනවා” කියලා.
{11:57} මේ දේශනා ටික හරියට තේරුණා නම් වැඩේ ඉවරයි! : මෙතෙන්ට පත් වුනාට පස්සේ ගෙනාපු ඵල පරම්පරාව මරණය දක්වා – අවසානය දක්වා විපරිණාමය වෙවී යනවා. විනාසයට පරිණාම වෙන බව දන්නවා, විනාසය අවසානයේදී හේතු පහ නිෂ්පාදනය කරලා නැත්නම්, ඒ අවසානය! එතෙන්ට කියනවා “ස්කන්ධ පරිනිර්වාණය හෙවත් අනුපාදිසේස නිර්වාණය“. එතනින් එහාට යන්න සත්ත්වයෙක් – පැවැත්මක් නෑ. සත්ත්වයා කිවුව ඔය සංකල්පය ඉවරයි, ඔතනින් ම සසර ගමනේ දුක කෙළවරයි! මෙන්න මේක තමයි සෝවාන් ඵලයට පත් වීම සහ ඉතුරු ටික ප්‍රගුණ කරගෙන ගිහාම අවසානයේදී ඇති වෙන්නා වූ මහා ප්‍රතිඵලය – දුකෙන් නිදහස් වීම. දැන් ඔය ටික හරියට තේරුම් ගත්තා නම් අනිච්චත් තෝරා ගන්නවා, දුක්ඛත් තෝරා ගන්නවා, අනත්ථත් තෝරා ගන්නවා, සක්ඛාය දිට්ඨියත් තෝරා ගන්නවා, විචිකිච්ඡාවත් තෝරා ගන්නවා, සීලබ්බත පරාමාසයත් තෝරා ගන්නවා, ඒ ටිකත් අත්හරින හැටි, එතකොට කාමරාග – ව්‍යාපාද දෙකත් අත්හැරෙන හැටි, රූප රාග – අරූප රාග – මාන – උද්දච්ච – අවිජ්ජා කියන ටිකත් අත්හැරිලා ගිහිල්ලා, සියල්ලෙන් කෙළවර වෙලා, දස සංයෝජනයන් ගෙන් මිදුනහාම, “දස හංගේහි සමන්නාගතෝ අරහාති උච්ඡති තී!” කියන හංග 10න් හෙවත් ඔය ටිකෙන් සම්පූර්ණ වෙනවා. එහෙනම්, “සම්මා ඥාණ – සම්මා විමුක්ති” ටිකයි, ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි, ඔය ටික සම්පූර්ණ වෙනවා. ආර්ය අෂ්ඨාංගික මාර්ගය සම්පූර්ණ වෙන හැටි විග්‍රහ කරලා තේරුම් ගන්න ඕනේ, “සම්මා දිට්ඨිය පහල වුනා” කියන්නේ ඔන්න ඔය කියන්නා වූ දුක පිළිබඳ ඥාණය, නැත්නම් මේ ප්‍රියයි – මනාපයි – යහපතයි කියන ඒවා, සැපයි – සැපයි කියන ඒවා මර උගුල් කියලා දැනගත්තහාම, ප්‍රඥාවෙන් නිගමනය කරනවා “ඒවා දුක් ගොඩක්” කියලා.
{13:23} අසාරත්වය තේරුණා කියන්නේ සෝවාන් වුනා එහෙම නෙමෙයි! : මෙන්න මේක තෝරා ගත්තාට පස්සේ, දැන් මේ – මේ ටික ඇහුනා නම්, හොඳට වැටහුණා නම්, මෙන්න මේ සවන් දීගෙන හිටියා ට කියනවා “සෝතාවධානය!” සෝතාවධානය කියන්නේ කන් දීලා අහගෙන හිටියා හොඳට – සවන් දුන්නා. ඒ හරියට සවන් දුන්නා නම්, ඒ වෙලාවේදි මොකද වෙන්නේ, ඒ වෙලාවේදි මොකද වෙන්නේ – තමන්ට “සත්පුරුෂ සංසේවනය“ ලැබුණා ධර්ම දේශනාව ඒ හේතුවෙන් ලැබුණා. “සත්ධර්මශ්‍රවණය“ සෝතාවධානයට යොමු කරගත්තා. දැන් “යෝනිසෝ මනසිකාරය“ කියන්නේ මොකද්ද? ප්‍රඥාවෙන් මෙනෙහි කරනවා. ප්‍රඥාවෙන් මේ දහම මෙනෙහි කරනකොට තමන්ට ඇත්ත කියලා වැටහුණා නම්, මෙන්න මේකට කියනවා “සුතමයේ ඥාණං – සුතමයේ පඤ්ඤා” තව සෝවාන් වුනේ එහෙම නෑ! පොඩ්ඩක් හදිස්සි වෙන්නේ නැතුව බලන්න ඕනේ දැන් සෝවාන් වුනාද කියලා. ප්‍රඥාව බලවත් ව තිබුණා නම් ඔතන එකක් වෙනවා. ඊට පස්සේ මේ මොහොතේ ම තමන්ට විවිධ උදාහරණ, උපමා උඩින් මේ ටික වැටහෙන්න පටන් ගන්නවා, හිතන්න පුලුවන් වෙනවා. “මේක ඇත්ත, මෙහෙමත් ඇත්ත, මේ ක්‍රමයටත් ඇත්ත, මේ මේ ආකාරයෙනුත් මේක ඇත්ත” අන්න වැටහෙනකොට කියනවා “චින්තාමය පඤ්ඤා!” හිතන්න පුළුවන් හැකියාව ලැබුණා දහමට අනුව. මෙන්න මේකට ආවාට පස්සේ, තව එකක් තියෙනවා. “භාවනාමය පඤ්ඤා“ වැඩෙන්න ඕනේ ඊලඟට. ඔන්න ඔතෙන්ට එනකොට කම්ම–ඵල අදහන, “කම්මස්සගත සම්මා දිට්ඨිය” මුලට පටන් ගත්තා. නැත්නම් මේ බණ අහන්න ඉඳගන්නේත් නෑ! සසර ගමනක් ගැන, පිං–පවු ගැන, ඒ වාගෙම දුකක් ගැන වැටහීමක් නොතිබුණා නම්, ඒවාගෙන් මිදෙන්න ඕනෑ කමක් නොතිබුණා නම්, අද මේ බණ අහන්න ඉන්නේ නෑ. එහෙනම්, “කම්මස්සගත සම්මා දිට්ඨිය” තිබිච්ච නිසා තමයි බණ අහන්න හිටියේ. ඒ ඉන්නකොට මොකද වෙන්නේ? ඔය බණ අහන වෙලාවට, පංච නීවරණ ම නෑ – හරියට බණ ඇහුවා නම්! පංච නීවරණ සංසිඳුනා ම ඔහුට කියනවා “සමථයට පත් වෙනවා” – ඕකට කියනවා “ධ්‍යාන සම්මා දිට්ඨි“ – කම්මස්සගත සම්මා දිට්ඨිය ලඟට ධ්‍යාන සම්මා දිට්ඨිය ආවා. මෙන්න මේකට ඇවිදිල්ලා බණ අහගත්තාට පස්සේ මොකද වෙන්නේ? අන්න දැන් කම්මස්සගත සම්මා දිට්ඨි, ධ්‍යාන සම්මා දිට්ඨි ඇවිල්ලා බණ ඇහුවාට පස්සේ අන්න පහල වුනා පළමුවෙන්ම, “සුතමයේ ඥාණං“ මොකක් ගැන ද ? මේ දුකයි කියලා, මේ දුක්ඛ සමුදයයි කියලා, මේ දුක්ඛ නිරෝධයයි කියලා, මේ දුක්ඛ නිරෝධයට හේතු වෙන මාර්ගයයි කියලා ඥාණය පහල කරගන්නවා. අන්න ඒ ඥාණය පහල කරගත්තාට පස්සේ කියනවා – සුතමයේ ඥාණං – “ඥාණ සම්මා දිට්ඨිය!” මෙන්න මෙතෙන්ට ආවට පස්සේ, “මාර්ග සම්මා දිට්ඨිය“ පහල වෙන්නේ ඊලඟටයි. “සෝවාන් මාර්ග අනුගාමිකයා” වෙන්නේ ඔන්න ඔය ඊලඟටයි. දැන් මෙතකන් මොකද්ද වුනේ? “කළ්‍යාණ පෘතග්ජනයා!” – ඔතන තවම කළ්‍යාණ පෘතග්ජන. දැන් සෝවාන් මාර්ග අනුගාමිකයා වෙන්න මාර්ගය වැඩෙන්න පටන් ගන්න ඕනේ. මොකද්ද මාර්ගය? ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩෙන්න පටන් ගන්න ඕනේ!
{16:02} සෝතාපන්න මාර්ග අනුගාමිකයා වෙන්නත් සිවු අරිසස් දැකිය යුතුයි! : දැන් ඕක වචන වලින් දැනගත්තාට හරියන්නේ නෑ, හද අභ්‍යන්තරයට ම නැඟෙන්න ඕනේ අදහස! මේ – මේ වචන අටේ අදහසින් තමන්ට වැටහුණාද කියලා බලාගන්න ඕනේ. අන්න ඒ අදහස වැඩෙන්න ඕනේ. “ආසේවිත – භාවිත – බහුලීකෘත“ – ඇසුරු කරන්න, භාවිත කරන්න, බොහෝ කොට ඇසුරු කරන්න! එතකොට වැඩෙනවා. එතකොට තමයි මේ මාර්ග අනුගාමිකත්වය වැඩෙන්නේ. එහෙනම්, සම්මා දිට්ඨිය කියලා අපි ඔය ටික කිවුවහාම දැක්කා එක දෙයක්, මොකද්ද දැක්කේ? යම් කිසි ප්‍රඥාවට ගෝචර වෙලා දැනෙන්න පටන් ගත්තා “අනේ මේ ලෝකය කියලා යම්තාක් තියෙනවා නම්, ඔය ලෝකේ මොකද්ද තියෙන හරය? අල්ලා ගන්න වටිනා දේ මොකද්ද?” මෙන්න මේ අදහස කවදා හරි ඔය බණ අහනකොට ආවා නම්, හරී වැදගත් තැනකට ආවා. “මේ ලෝකේ වටිනවා යි කියලා මට මොනවා අල්ලා ගන්නද? හරයක් නැති ලෝකෙක මොනවා ද වටින්නේ? මුලා කරන ඒවා මිසක්, වෙන මොනවාද තියෙන්නේ?” මෙන්න මේ අදහස ආවා නම් ඔය දහම තුළින්, එයාට “දුක පිළිබඳ ඥාණයක්” පහල වුනා. “දුකට හේතු වන්නා වූ මේ තෘෂ්ණාව කියන එක මර උගුලක්!” කියලා දකින ඥාණය පහල වුනා. “ඒ මර උගුලෙන් මිදුනොත් මේ සියළු දුකෙන් මිදෙනවා නේද!” කියලා ඥාණයක් පහල වුනා. “ඒකට මාර්ගය මොකද්ද? මේක යලි–යලි සිහි කරලා ඉවරවෙලා, මේ මර උගුලේ ආදීනව බලන්න ඕනේ, වෙන්වීමේ ආනිසංස බලන්න ඕනේ!” කියලා වැටහීමක් ආවා, මෙන්න මේ ටික එනකොට කියනවා “දුක්ඛේ ඥාණං, දුක්ඛ සමුදයේ ඥාණං, දුක්ඛ නිරෝධේ ඥාණං, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාය ඥාණං – අයං වුච්චති භික්කවේ සම්මා දිට්ඨි!” මෙන්න පළවෙනි පූර්ව භාග නුවණින් පළවෙනි මාර්ගාංගය ආවා – සම්මා දිට්ඨිය. මෙන්න මෙතෙන්ට ආපුහාම ඔක්කෝම හරි! හරි කියන්නේ – මාර්ගාංගය වැටහෙනවා, පටන් ගන්නවා වැටහෙන්න. සෝවාන් මාර්ග අනුගාමිකත්වය පටන් ගන්නවා.
{17:50} සම්මා දිට්ඨියෙන් ඉදිරියට යන්නේ කොහොමද? : කොහොමද පටන් ගන්නේ? “අනේ, මේ අසාර ලෝකයක් තුළ මොනවාද මේ ගන්න – අල්ලා ගන්න තියෙන්නේ? වෛර කරන්න, අනුන්ට හිංගි – හිංසා කරන්න, එතකොට මේ කාම වස්තු කියලා මේවා බදාගෙන – අල්ලාගෙන ඉන්න, මොනවාද මේකේ වටින්නේ? මට නම් වැඩක් නෑ!” ඔන්න ඔහොම අදහසක් ආවා ද කියලා බලන්න ඕනේ. ඔහොම අදහසක් ආවා නම්, කියනවා “අව්‍යාපාද සංකල්පණා, අවිහිංසා සංකල්පණා, නෙක්ඛම්ම සංකල්පණා” – “අව්‍යාපාද සංකප්පෝ, අවිහිංසා සංක්ප්පෝ, නෙක්ඛම්ම සංකප්පෝ – අයං වුච්චති සම්මා සංකප්පෝ!” ඔන්න ඕක ආවා නම්, දෙවෙනි මාර්ග හංගය තමන්ට ලැබිලා තියෙනවා. වැටහිලා තියෙනවා, තව වැඩුවේ නෑ, වැටහුණා! එහෙනම්, ඊලඟට මොකද කරන්නේ? “ඉතින් මෙහෙම මේ අසාර ලෝකයක් තුළ මොනවා ලබා ගන්න මේ බොරුවෙන් අනුන් රවට්ටන්නද? කේලාම් කියලා අනුන් බිඳවන්නේ මොනවා කරගන්නද? මොන වැදගත් දෙයක් සඳහා ද? ඵරුෂ වචනයකින් අනුන්ට බැන වදින්නේ, සැඩ–ඵරුෂ වෙන්නේ මොනවා රැකගන්නද – මොනවා කරන්නද? ඒක මහා මුලා වැඩක් නේ! වැඩක් නැති හිස් දේවල් නේ, ඕවා! මේ ප්‍රලාප දොඩව–දොඩවා, කයිවාරු ගගහා, වැඩක් නැති ඒවා කිය–කියා, කොලොප්පම් කර–කරා, විහිළු කර–කර ඉන්නේ මොනවා කරන්නද? මොනවාද එහෙම ආස්වාද විඳ–විඳ ඉන්න තියෙන්නේ මේ හිස් ලෝකෙක, නිකන් අසාර ලෝකෙක!” ඔය අදහසත් ආවා නම් එහෙම කෙනෙකුට, පහල වුනා නම්, ඕකට කියනවා “මුසා වාදා වේරමණී, පිසුනා වාචා වේරමණී, ඵරුෂා වාචා වේරමණී, සම්පප්‍රලාපා වේරමණී – අයං වුච්චති භික්කවේ සම්මා වාචා!” ඔන්න තුන් වෙනි මාර්ග හංගයත් තමන්ට ලැබිලා තියෙනවා කියලා දැනගන්න ඕනේ. පද කිවුවාට හරියන්නේ නෑ. එතකොට තේරෙනවා, “මෙබඳු අසාර ලෝකෙක, වටිනාකමක් දෙන්න බැරි ලෝකෙක, මොනවා ලබා ගන්න ප්‍රාණඝාත කරන්නද? මොනවා ලබාගන්න හොරකම් කරන්නේ, මොකටද? මේ කාම මිත්‍යා, බොරු, සූදු, දුරාචාර වල ආස්වාද හොයාගෙන යන්නේ මොන තරම් මුලාවක් ද? හරයක් නැති ඒවා නේ!” ඔහොමත් අදහසක් ආවා නම්, ඕකට කියනවා “පානාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමේසු මිච්ඡාචාරා වේරමණී – අයං වුච්චති භික්කවේ සම්මා කම්මන්තෝ!” මෙන්න සම්මා කම්මන්තය, “විරති චෛතසික” කියන්නේ ඕවාට!
{27:20} සම්මා ආජීවයේ ඉඳලා ඉතිරි හංග ටික වැඩෙන හැටිත් බලමු : කැමැත්තෙන් වෙන් වුනා ඉස්සෙල්ලාම, කැමැත්ත නැතුව ගියා. දැන් මොකද කරන්නේ? දැන් හිත තුළ අව්‍යාපාද, අවිහිංසා, නෙක්ඛම්ම නම් මානසිකත්වය එහෙම නම්, වචන තුළ බොරු නැත්නම්, කේලාම් – ඵරුෂ – ප්‍රලාප නැත්නම්, ක්‍රියාව තුළ ප්‍රාණඝාත, අදත්තාදාන, කාම හිංසා, සත්ත්ව හිංසා, ප්‍රාණ ඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර අදහස්, සුරා–සූදු, දුරාචාර, ඒවාත් නැත්නම්, හිතෙන් – කයෙන් – වචනයෙන් සුචරිත වූ ඔහුට, ඔහුගේ ආජීවය අපිරිසිදු වෙන්නේ කොහොමද? ඔහුගේ ආජීවය ඉතාම පිරිසිදු වෙනවා. ඔහු මොකටද ජීවත් වෙන්නේ? දැකපු ඇත්ත පූර්ණය කරගන්න බලාපොරොත්තුව – පරම අධිෂ්ඨානය. එහෙනම්, ඔහුගේ ආජීවය සම්පූර්ණයෙන් ම “සම්මා අජීවයක්.” මෙන්න මේකට කියනවා, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මාර්ග හංග පහක් හටගත්තා. එක හිතක ඕක හටගත්තා නම්, ඕක වට කරලා තියෙනවා මොකද්ද? “සම්මා වායාම.” මොකද්ද මේ? දැන් ඔය ටික දැක්ක කෙනාට නිකන් ඉන්න බෑ! එයාට අවශ්‍යය වෙන්නේ “අප්‍රමාද ව මේ සත්‍යාවබෝධ කරගෙන, මේ දුකෙන් මිදෙන්න ඕනේ, කෙළෙස් දුරු කරගන්න ඕනේ, මේ අදහස අප්‍රමාදව කරන්න ඕනේ” කියන උත්සාහය, වීර්යය එනකොට, ඕකට කියනවා “සම්මා වායාම.” ඒ සඳහා මොකද කරන්නේ? යන–එන, කරන–කියන හැම මොහොතක් පාසා ම අනිච්ච – දුක්ඛ – අනත්ථ – අසුබ වශයෙන් මෙනෙහි කරනවා මිසක්, නිච්ච – සුභ – අත්ථ – සුඛ කියන එක මෙනෙහි කරන්නේ නෑ, නිච්ච – සුඛ – අත්ථ – සුබ වශයෙන් මෙනෙහි කරන්නේ නෑ. එතකොට අනුපස්සනා වෙනවා. කය පිළිබඳව, වේදනා පිළිබඳව, හිත පිළිබඳව, ධර්ම පිළිබඳව ඔය ආකාරයෙන් මෙනෙහි කරන්න පටන් ගත්තහම කියනවා, “කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා” මෙන්න මේ සඳහා යම්කිසි උත්සාහයක් ගත්තාද, වීර්යයක් ගත්තාද, ඔහුට ඕනේ වෙනවා යම්කිසි අකුසලයකින් කෙළෙසීමක් සිද්ධ වුනා නම්, ඒ අකුසලය දුරු කරගන්න. මතු අකුසල් සිද්ධ නොවන්න වගබලාගන්න. යම් කුසලයක් වැඩුනේ නැද්ද, ඒක වඩාගන්න. වැඩුනු කුසලය තව තවත් දියුණු කරගන්න. මේ සඳහා යම්කිසි කැමැත්තක්, උත්සාහයක් ව්‍යායාමයක් ඇත්ද, මේකට කියනවා “සම්මා වායාම.” ඉතින්, ඔය ටික ලැබිලා තියෙනවා නම්, සම්මා වායාම කියන මාර්ගාංගයත් ඔය කියන්නා වූ කාරණා පහ වට කරගෙන තියෙනවා. නැත්නම්, සම්මා දිට්ඨි – සම්මා සංකප්ප – සම්මා වාචා – සම්මා කම්මන්ත – සම්මා ආජීව කියන මාර්ගාංග පහ වට කරලා ඔය කියන සම්මා වායාමයත් තියෙනවා. ඒ වාගේම සතියෙන් යුක්ත වෙලා, සිහි–නුවණ තියෙනවා, සතර සතිපට්ඨානයෙන් යුක්ත වෙනකොට “සම්මා සතියත්” ඔය එක්ක වැඩෙනවා. එහෙනම්, ඔය ටික වැඩෙනකොට ලෝකයේ අර තිබිච්ච කැළඹීම් ගතිය ඔක්කෝම නැති වෙන්න පටන් ගන්නවා, ඡන්ද රාගය දුරු වෙනකොට, යම්කිසි ඇලීමක් තිබුණා නම් ඒක දුරු වෙනවා. ඇලීම ඇසුරු කරගෙන, ගැටීම පහල වුනේ ඒකෙන්. එහෙනම්, ඇලීම දුරු වෙනකොට ගැටීමත් දුරු වුනහම කියනවා “අභිජ්ජා – දෝමනස්ස” දෙක ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යනවා. මෙන්න මේක සිහි කරන්න – සිහි කරන්න සිද්ධ වෙන්නේ මොකද්ද? ඔය ඇලෙන – ගැටෙන තත්ත්වය බලා ඉන්දැද්දී අඩු වෙවී යන එක. මෙන්න මේ අඩු වෙලා යනකොට දැනගන්න පුලුවන් “මට මාර්ග අංග දකිනවා, ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ මාර්ගය වැඩිලා මට සමාධිය ලැබෙනවා“ කියලා තමන්ට ම තේරෙනවා. ඒ හිත කම්පා නෑ! අකම්ප්‍ය සමාධිය තමන්ට ම දැනෙන්න පටන් ගන්නවා, “ඉස්සර වාගෙ මගෙ මනස දැන් මේ දහම තුළ ඉන්නකොට ඇලෙන්නෙත් නෑ, ගැටෙන්නෙත් නෑ, කම්පා නෑ නේ, ක්‍රමක්‍රමයෙන් අඩු වෙවී යනවා නේ, සමාධිය වැඩෙනවා නේ!” අන්න ඒකට කියනවා “සම්මා සමාධි!”
{22:57} : ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් මඟ ඵල වලට පත් වෙන්නේ කොහොමද ? : ඔන්න ඔය මාර්ග අංග අට ඔහොම පූර්ණය වීගෙන යනකොට කියනවා “මාර්ග සම්මා දිට්ඨිය“ පහල වුනා! දැන් ඔන්න ඕක පූර්ණය වෙච්ච වෙලාවක – එන්න එන්න මෝරලා – මෝරලා හොඳට වැඩිච්ච වෙලාවක, ඔය බණ අහන වෙලාවක, අර කියන්නා වූ හේතු ලැබෙනවා. සත්පුරුෂ සංසේවනය, සත්ධර්මශ්‍රවණය ලැබිච්ච වෙලාවක, මහා වේගවත්ව ශක්තිය නැඟිලා, අසාර ලෝකයේ බලා ඉන්දැද්දී නිකන් හුළං බැස්ස එක වාගේ එකක් වෙනවා. අත්හැරිලා යනවා – අල්ලන් හිටපු මහා ගොඩාක් අත්හැරිලා ගිහිල්ලා නිදහස් වෙනවා මනස. ඒ නිදහස් වීමට කියනවා “ඵල සම්මා දිට්ඨිය“ ලැබුණා, සෝවාන් වුනා! අන්න එදාට තමන්ට තේරෙනවා “මගේ මනස පුදුම සැහැල්ලුවකට පත් වුනා ලෝකේ අත්හැරලා. අල්ලා ගන්න වටිනා දෙයක් නෑ කියලා නිදහස් වෙලා ගියා. ආයි නම් කවදාවත් මේ ලෝකේ අල්ලා ගන්න වටිනා දෙයක් නෑ!” කියන අදහස ආවහාම, පලවෙනි අවස්ථාවට කියනවා, සෝතාපන්න ඵලය. කාම රාගත් අත් හැරිලා ගියා නම් ඔය එක්කලා, සකෘදාගාමි ඵලයත් ලැබිලා – අඩු වෙලා ගියා නම්. ඉවරෙටම නැති වෙලා ගියා නම්, අනාගාමී ඵලයත් ලැබිලා. සියළුම ලෝකේ තියෙන බලාපොරොත්තු කෙළවර වෙලා ගියා නම් අරිහත්වයත් පහල වෙනවා. ඔන්න ඕක තමයි ක්‍රමය!
{24:01} නිවැරදිව දහම සිහි කරමින් මඟ වඩන්න : ඒ නිසා සෝවාන් – ඔය ටික දැනගත්ත ගමන් සෝවාන් කියලා හිතන්නේ නැතුව, උත්සාහයෙන් – වීර්යයෙන් යළි – යළි සිහි කරලා බලන්න පුරුදු වෙන්න ඕනේ. අන්න, වඩාගෙන යනකොට අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනත්ථානුපස්සනා පටන් ගත්තහාම, අනිත් ටික ඔක්කෝම වැඩිලා එනවා ඔය විදිහට. මාර්ගය වැඩෙන්නේ ඔය දහම් සිහි කරනකොට, ඔය විදිහටයි. ඉතින්, ඔය ටික තෝරාගන්න. තෝරාගත්තහම දැන් සෝවාන් වෙන්නේ කොහොමද – දැන් ආයිත් නම් කාගෙන් වත් අහන්න දෙයක් ඉතුරු වෙලා නැතුව ඇති! මාර්ගය මොකද්ද, යන්නේ කොහොමද කියලාත් අමුතුවෙන් ඉතුරු වෙන්න දෙයක් නෑ! අනිත්‍යයි – දුක්ඛයි – අනාත්මයි කියලා සංස්කෘත කතා කර කර ඉන්නේ නැතුව, අනිච්ච – දුක්ඛ – අනත්ථ හරියට තේරුම් අරං මාර්ගය වඩාගන්න, යළි – යළි සිහි කරන්න, යළි – යළි ඔය බණ අහන්න, අහලා අවබෝධය පූර්ණ කරගන්න, ඒකාන්තයෙන් මාර්ග – ඵල අවබෝධ කරගෙන සසර දුක් කෙළවර කරගන්න අද–අදම හේතු වාසනා ලැබේවා! කියලා අධිෂ්ඨාන කරනවා. සෑම සියළු දෙනාටම යහපතක් වේවා! උතුම් නිවන් සාක්ෂාත් වෙන්නම හේතු වාසනා වේවා!
{24:52} පුන්‍යානුමෝදනාව : දැන් අද මේ ධර්ම දේශනා කළා වූ අප්‍රමාණ සෙත – ශාන්තිය අනන්ත යහපත උදා කරදෙනවා. ඒ නිසා මේ කරගත්තා වූ අප්‍රමාණ පුන්‍ය – කුසළ ආශීර්වාදය නිසා තම තමන්ට මෙන් ම, තමන් ධර්මශ්‍රවණය කිරීමේ අනන්ත ආශීර්වාදයෙන් තම තමන්ට මෙන්ම තම තමන්ට උදවු උපකාර කළා වූ දෙමාපිය – ගුරුවර ආදීන් ඇත්ද, ඒ වාගේම තැන් පටන් ගෙන අනන්ත සංසාරයේ පටන් යහපත – ශාන්තිය උදා කරදුන්නා වූ සියල්ලෝ සිහි කරලා, කෘතෝපකාර සළකන ගුණයෙන් ඒ සියළු දෙනාට මේ පුන්‍ය වාසනා – කුසල වාසනා විහිදී – පැතිරී – පිහිටා සුඛිත මුදිත වෙත්වා! ඒ වාගේම තම තමන්ගෙන් අප්‍රමණ සංසාරයේ පටන් මේ දක්වා අංශු මාත්‍රයකින් හෝ අවැඩක් – අසාධාරණයක් – වරදක් – ප්‍රමාද දෝෂයක් යමෙකුට සිද්ධ වී නම්, ඒවාට ගෝචර වූ ලෝක සත්ත්වයෝ කෙබඳු උපතක, කෙබඳු භවයක, කෙබඳු තැනක හිටියත්, සියල්ලන්ට මේ පුන්‍ය – කුසල ආශීර්වාදය විහිදී – පැතිරී – පිහිටා සුඛිත – මුදිත වෙත්වා! ඒවාගේම අනන්ත සංසාරයේ පටන්ගෙන ආවා වූ ඒ සසර ගමනේ දී තමන්ගෙන් වුන අවැඩට – අසාධාරණයට මේ පුන්‍ය – කුසල ආශීර්වාදය විහිදුවා, පතුරවා පිහිටවීම නිසා, අනන්ත වන්නා වූ යහපත උදා කරදීම නිසා, ඒ සියළු පාපයන්ට වන්දි ගෙවී නිදහස් වීම නිසා, එතෙක් – මෙතෙක් තිබුණා වූ සියළු අපල–උපද්‍රා – දෝෂාන්ධකාර වශයෙන් ආව ඒ පාප දෝෂාන්ධකාර මෙයින් කෙළවර වේවා! ඒ නිසා මෙතැන් පටන් සසර කළ පුන්‍ය කුසලාශීර්වාද ඇදී ඇවිත්, මේ පුන්‍ය කුසලාශීර්වාද ක්‍රියාත්මක වෙලා, ශාසන මාර්ගය පූර්ණය කරගන්න උපනිශ්‍රය ලැබේවා! සැම දෙනාටම යහපතක් උදා වෙලා, නිවන් සාක්ෂාත් කරගන්න හේතු – වාසනා වේවා! දිව්‍ය – බ්‍රහ්ම – මනුස්ස – අමනුස්ස සතර වරිගයක ඥාති මිත්‍රාදී කොට්ඨාශ ඇතුළු අනන්ත ලෝක වාසී සියළු සත්ත්වයෝ ද, මේ පුන්‍ය – කුසලාශීර්වාද අනුමෝදන් වී සුඛිත – මුදිත වෙත්වා! යහපත උදා කරගනිත්වා! සියළු දෙනාට නිවන් සාක්ෂාත් වන්න හේතු වාසනා ලැබෙත්වා කියලා සාදුකාර දීලා අනුමෝදම් වෙන්න සෑම දෙනාම!
එත්තාවතාච අම්හේහි - සම්භතං පුන්‍ය සම්පදං
සබ්බේ දේවා අනුමෝදන්තු - සබ්බ සම්පත්ති සිද්ධියා
එත්තාවතාච අම්හේහි - සම්භතං පුන්‍ය සම්පදං
සබ්බේ භූතා අනුමෝදන්තු - සබ්බ සම්පත්ති සිද්ධියා
එත්තාවතාච අම්හේහි - සම්භතං පුන්‍ය සම්පදං
සබ්බේ සත්තා අනුමෝදන්තු - සබ්බ සම්පත්ති සිද්ධියා
එත්තාවතාච අම්හේහි - සම්භතං පුන්‍ය සම්පදං
සබ්බේ ඥාති පේතා අනුමෝදන්තු, සබ්බේ ඥාති මිත්තා අනුමෝදන්තු - සබ්බ සම්පත්ති සිද්ධියා
ඉධං මේ ඥාති නංහෝතු - සුඛිතා හොන්තු ඥාතයෝ
ඉධං වෝ ඥාති නංහෝතු - සුඛිතා හොන්තු ඥාතයෝ
ඉධං වෝ ඥාති නංහෝතු - සුඛිතා හොන්තු ඥාතයෝ
ඉමිනා පුන්‍ය කම්මේන - මා මේ බාල සමාගමෝ
සතං සමාගමෝ හෝතු - යාව නිබ්බාන පත්තියා
ඉධංමේ පුඤ්ඤාං ආසවක්ඛයා වහං හෝතු - සබ්බ දුක්ඛා පමුංචතු!
සාදු! සාදු! සාදු!!!
යං කිංචි රතනං ලෝකේ - විජ්ජති විවිදාපුතූ
රතනං බුද්ධ සමං නත්ථි - තස්මා සොත්ථි භවංතු තේ
යං කිංචි රතනං ලෝකේ - විජ්ජති විවිදාපුතූ
රතනං ධම්ම සමං නත්ථි - තස්මා සොත්ථි භවංතු තේ
යං කිංචි රතනං ලෝකේ - විජ්ජති විවිදාපුතූ
රතනං සංඝ සමං නත්ථි - තස්මා සොත්ථි භවංතු තේ
අභිවාදන සීලිස්ස – නිච්චං වුද්ධාපචායිනෝ
චත්තාරෝ ධම්මා වඩ්ඩංති - ආයු වන්නෝ සුඛං බලං ති!!!
සුවපත් වේවා! නිරෝගී වේවා! යහපතක් වේවා! හැම දෙනාට නිවන් සාක්ෂාත් වෙන්න හේතු වාසනා පහල වේවා! යහපතක් ම වේවා!!!
~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර හිමිපාණන් වහන්සේ ~
උපුටා ගැනීම : https://waharaka.com/listen/Thilakuna-Denagamu-07