තථාගත දේශනාවට අනුව ම අනිච්ච විග්‍රහය – දෙවන කොටස

සියල්ල ඇවිල ගත්තේය
තිලකුණතිලකුණ දැනගමුමූලික දේශනාවිදර්ශනාව

(අනිච්ච විග්‍රහය පළමු කොටස හා සම්බන්ධයි)

දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)

තථාගත දේශනාවට අනුවම අනිච්ච විග්‍රහය - 2 කොටස


පෙලෙන ලෝකයේ සියල්ලෙන් මිදෙන්න ඉන්ද්‍රියන් ගෙන් පටන් ගමු
: දැන් පොඩ්ඩක් හිතලා බලන්න මෙහෙම දෙයක්, ලෝකේ රූප ඕනේ තරම් තියෙනවා. හරි ලස්සන රූප තියෙනවා කියලා, ලෝක සත්ත්වයා බලනවා. බලන්නේ කොහෙන් ද? ඇහෙන්! ඇහැ හොඳට පේනවා නම් රූප බැලිය හැකියි. ඇහැ පේන්නේ නැත්තම් එහෙම, රූප පේනවා ද, කොච්චර තිබුණත්? හිතලා බලන්න. කොච්චර ලස්සන රූප තිබුණත්, අන්ධයාට මොකටද? අන්ධයාට ඇස් වලට, කොච්චර ලස්සන රූප ලෝකේ තිබුණත් අන්ධයාට වැඩක් නෑ! අන්ධයාට රස බලන්න බෑ, ආස්වාද ලබන්න බෑ රූප වලින්. එහෙනම්, ඇස තිබුණට මදි, රූප තියෙන්න ඕනේ. රූප තිබුණාට මදි, ප්‍රධාන ඇස තියෙන්න ඕනේ. ඇස නැත්තම් එහෙම රූප තිබුණත් වැඩක් නෑ, ආස්වාද ලබන්න බෑ! චක්ඛු විඤ්ඤාණයක් පහල වෙන්න විදිහක් නෑ. චක්ඛු සංස්ඵර්ශයක් ඇති වෙන්න විදිහකුත් නෑ. චක්ඛු සංස්ඵර්ශයෙන් ජනිත වන්නාවූ වින්දනයක්, වේදනාවක් හටගන්න විදිහකුත් නෑ! එහෙනම්, දාහක් ස්විච් අතර ප්‍රධාන ස්විච් (main switch) එකක් තියෙනවා.
ස්විච් දාහ එකින් එක වහනවාට වඩා ලේසිම ක්‍රමය තමයි main switch එකෙන්, ප්‍රධාන ස්විච් එක වහන එක. වැහුවහාම අනික් ඔක්කෝම නිමෙනවා. එහෙනම්, එකයි හරියට දැනගන්න ඕනේ. ඇස හටගන්න හැටියි, ඇස නැති වෙන හැටියි, ඇසේ දුකයි! ඇසේ දුක ඉස්සෙල්ලා දකින්න ඇස පෙලෙන හැටි දකින්න ඕනේ. ඒ වගේම තවත් එකක් තියෙනවා. කන පිළිබඳ සියල්ලක් අපි කිවුවා, කන ශබ්දය සෝත විඤ්ඤාණය සෝත සම්ඵස්සය සෝත සංඵස්සජා වේදනා කියලා. දැන් ශබ්දයෝ කොච්චර තිබුණත්, කොච්චර මිහිරි ශබ්ද ලෝකේ තිබුණත්, මිහිරි ශබ්දයට යි ඇලෙන්නේ, හොයන්නේ, ඔක්කොම කරන්නේ. මන වඩන, ප්‍රියමනාප ශබ්ද. ඒවා කොච්චර ලෝකේ තිබුණත්, කණ් බිහිරි නම්, කණ් ඇහෙන්නේ නැත්නම්, ඔහුට වැඩක් නෑ! ඔහුට ආස්වාද විඳින්න බෑ ශබ්දයෙන්. එහෙනම්, සෝත විඤ්ඤාණයක් ඔහුට පහල වෙන්නෙත් නෑ. සෝත සංඵස්ස යැයි ලෝකේ යමක් ඇත්නම්, ඒක පහල වෙන්නෙත් නෑ. සෝත සංස්ඵර්ශයෙන් හටගන්න වේදනාවක් කියලා යමක් වේ නම්, ඒක පහල වෙන්නෙත් නෑ. ඒ මොකද, කණ තියෙන්න ඕනේ ඔක්කෝටම! ඇහෙන කණක්, නිකන් පිටට තිබුණට බෑ. කං පෙති තිබුණාට බෑ! ඒ වගේම තවත් තියෙනවා නාසය පිළිබඳ සියල්ල. ලෝකේ කොච්චර මිහිරි සුගන්ධයන් තිබුණත්, ආස්වාද විඳින්න බලාපොරොත්තු වුනත්, යම් කෙනෙකුට ගඳසුවඳ දැනෙන්නේ නැතුව ගියා නම්, නහය අක්‍රීය වුනා නම්, නැත්තම් ඝාන ඉන්ද්‍රීය අක්‍රීය වුනා නම්, එයාට කොච්චර ලෝකේ සුවඳ වර්ග තිබුණත් ඇති වැඩක් නෑ, ආස්වාද විඳින්න බෑ! ඒ ගන්ධයෝ ඇසුරු කරලා ප්‍රියමනාපයක් ගන්න බෑ! ඒ වගේම ඝාන විඤ්ඤාණයක් පහල වෙන්න විදිහක් නෑ, නහය නැත්නම්, ඝාන ඉන්ද්‍රිය නැත්නම්. ඝාන සංඵස්සයක් පහල වෙන්න විදිහක් නෑ. ඝාන සංස්ඵර්ශයෙන් හටගන්න වේදනාවක් පහල වෙන්න විදිහකුත් නෑ. ඒ කියන්නේ, “අනේ, හරි සුවඳයි!” කියලා එහෙම ගන්න පුළුවන් කමකුත් නෑ. එහෙනම්, නාසය නැත්තම් ඝාන ඉන්ද්‍රිය මේකට මූලික වෙනවා. අනික තමයි දිව පිළිබඳ සියල්ල. ජිව්හා ඉන්ද්‍රිය, රස දිව කියයි, ඔය කියන්නේ! කතා කරන දිව නෙමෙයි, රස දැනෙන දිවක් තියෙනවා, රස ඉන්ද්‍රිය. අන්න ඒ රස ඉන්ද්‍රිය නැත්නම් එහෙම රස දැනෙන්නේ නෑ! රස දැනෙන්නේ නැත්නම් ලෝකේ කොච්චර මිහිරි, රසවත් දේවල් තිබුණත් කෑමට, කවදාවත් එයින් ප්‍රයෝජනයක් ගන්න බෑ, ආස්වාද විඳින්න බෑ! එහෙම නම්, රසයෝ කොච්චර තිබුණත් ලබන්න බැරුවා වාගෙම, ජිව්හා විඤ්ඤාණයක් පහල වෙන්න ක්‍රමයකුත් නෑ. ජිව්හා සංස්ඵර්ශයක් පහල වෙන්න ක්‍රමයකුත් නෑ, ජිව්හා සංඵස්සයෙන් ජනිත වෙන වින්දනයක් වේදනාවක් පහල වෙන්න විදිහකුත් නෑ. ඒ වාගෙම කය පිළිබඳ සියල්ලට අයිති කොටසක් තියෙනවා. කය පිළිබඳ සියල්ල! මේ කයට ස්ඵර්ශ දැනෙන්නේ නැතුව ගියා නම් එහෙම, කිසිම ආස්වාද සුවයක් දැනෙන්නේ නැතුව ගියා නම්, ඒ කය පිළිබඳව – මේ ස්ඵර්ශ ගන්න, නැත්තම් මේ ඵොට්ඨබ්බ කියලා කියන්නේ, කයට ආස්වාද ගන්න ප්‍රියමනාප ආස්වාද දෙන දේවල්. සුව මිහිර, සුව ස්වභාවය, සුව පහස ඇති කරන දේවල්. මේවා කොච්චර තිබුණත්, ඒ තිබෙන දේවල් වලින් සුවපහස ලබන්න පුළුවන් කමක් නෑ කයට පහස දැනෙන්නේ නැත්නම්. එහෙනම්, කාය විඤ්ඤාණයක් හටගන්න විදිහකුත් නෑ. කාය සංස්ඵර්ශයක් කියලා ඒ විඤ්ඤාණය නිසා හටාන්න ස්ඵර්ශයක් හටගන්න විදිහකුත් නෑ, එයින් ජනිත වන්නාවූ සුඛ වේවා, දුක්ඛ වේවා, උපේක්ෂා වේවා, කාය වින්දනයක් හටගන්න විදිහකුත් නෑ. කය නැත්නම් එකක් වත් බෑ! එහෙනම්, තවත් එකක් තියෙනවා. මන යම් තැනක නැත්නම්, මන පිළිබඳ සියල්ල හටගන්න විදිහකුත් නෑ. එනම්, ධර්මයෝ කොච්චර තිබුණත් මන නැත්නම් ඝට්ඨනය කරගන්න බෑ! මනෝ විඤ්ඤාණයක් හටගන්න විදිහක් නෑ, මනෝ සංස්ඵර්ශයක් හටගන්න විදිහකුත් නෑ, මනෝ සංස්ඵර්ශයෙන් හටගන්නා වූ වින්දනයක් මානසික වින්දනයක් හටගන්න විදිහකුත් නෑ.


එහෙනම්
, ප්‍රධාන ම කාරණයක් තියෙනවා පාලක මැදිරිය වාගෙ තියෙන්න. මොනවාද? ඇස, නැත්තම් චක්ඛු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ඝාන ඉන්ද්‍රිය, ජිව්හා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය කියන මෙන්න මේ ඉන්ද්‍රිය හය ලෝකේ සියල්ලෙන් ප්‍රධාන ඒවා. ඔන්න ඔය ටික ගැන ඉස්සෙල්ලා දකින්න ඕනේ! කායානුපස්සනා සතිපට්ඨානය දුන්නෙත් ඔන්න ඕකට. කායානුපස්සනාවෙන් බලන්නෙත් ඔන්න ඔය ටිකේ හැටි, මේ කයේ හැටි, කය කියන එක කොහොමදඑහෙනම් ඉස්සෙල්ලාම බලාගන්න ඕනේ. ඔන්න ඔය ටික තමයි රූපස්කන්ධයට අයිති වෙන්නේ. ඔය රූපස්කන්ධය ට ආසා කරපුහාම රූප උපාදානස්කන්ධයක් වෙනවා. ඇලුම් කරපුහාම, ඡන්ද රාගයෙන් බැඳුනහම, රූප උපාදානස්කන්ධය. ඔන්න ඕකේ ආධ්‍යාත්මික රූප කිවුවේ ඔය චක්ඛු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ඝාන ඉන්ද්‍රිය, ජිව්හා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය කියන මේ පහ ට.


කිසිදා නොපිරෙන ආස්වාදය වෙනුවෙන් පහල වෙන ඉන්ද්‍රියයෝ
: දැන් මේක හොඳින් තෝරා ගන්න ඕනේ. එතකොට මොකද්ද තෝරා ගන්නේ? මේවා පෙලෙනවා! එකොළොස් ගින්නකින් පෙලෙනවා. එහෙනම්, මෙන්න මේ පෙලෙන ගින්න තෝරා ගන්නකන් අපිට යථාර්තය අවබෝධ කරගන්න බෑ! මොකක් නිසාද, අස්සුතවා පෘතජ්ජනෝ කියපු, බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ යථා ධර්මය තේරුම් ගත්තේ නැති, ශ්‍රවණය කරලා අවබෝධ කරගත්තේ නැති අය මේ දහම් නොදන්න නිසා ම ලෝකයේ මාර මුලාවකට රැවටෙනවා. ඒ මාර මුලාවකට රැවටිලා, මේ ආස්වාදයෝ මහා වටිනා දේවල් කියලා ඒවාට බැඳෙනවා. ඒවායින් මිදෙන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා, මොනවාටද බැඳෙන්නේ? මන වඩන රූප, හරී ආස්වාද දෙන රූප තියෙනවා නම් මේ ඇහෙන් ඒ රූප බලලා, ඒ ලැබෙන ආස්වාදය හරි වටිනා දෙයක් කියලා, ඒකට බොහෝම තදින් ඇලුම් කරනවා. “ලස්සන බලන්න ඇත්නම් කොච්චර හොඳද?” “ලස්සන දේවල් බල බලා ඉන්න ඇත්නම් මම හරි පිං කාරයෙක්!” “මං කොච්චර පිං කරලා තියෙනවාද ලස්සන දේවල් බලන්න!” “මගේ ඇස් පිං කරලා තියෙනවා!” කියලා පෙළක් අය එහෙමත් කියනවා. ඒ තරම් හරි ආසයි ඇස් වලට, මොකටද? ලස්සන දේවල් බලන්න පුළුවන් කමක් තියෙනවා නම්, ඒ හේතුවෙන්. මෙන්න මේ ලස්සන කියන ප්‍රියමනාපයට ආසා කරනවා. මෙන්න මේකට කියනවා චක්ඛු සංඵස්සජා වේදනාකියන එකේ සුඛ වේදනා කියන කොටස. එහෙනම්, මේ ඇහැට රූපයක් පෙනුනහම, චක්ඛු විඤ්ඤාණයක් පහල වෙලා, ඒ චක්ඛු විඤ්ඤාණයේ පෙනීමට යොමු වෙලා, සංස්ඵර්ශ කියලා කියන්නේ, ඔය වටිනාකම හිතට අරගෙන ඉවරවෙලා, ඒ රූප ලස්සන බලන්න ස්ඵර්ශ කරනවා දර්ශනය කරනවා. අන්න එහෙම දර්ශනය කරනකොට ඒකට කියනවා චක්ඛු සංඵස්සය“. අන්න එතකොට දැනෙන්න පටන් ගන්නවා. ලස්සන එකක් දැක්කහම මොකද කරන්නේ? “අන්න, බලාපොරොත්තුව ඉෂ්ඨ වුනා!” කියලා බොහෝ ප්‍රියමනාපයෙන් මගේ කැමැත්ත ඉෂ්ඨ වුනා, කැමති සේ හම්බ වුනාකියලා අන්න ඒ ලස්සන ට, ප්‍රියමනාපයට බැඳෙනවා. එතකොට, බැඳුනහම මොකද වෙන්නේ? අල්ලා ගන්න නම් කවදාවත් හම්බ වෙන්නේ නෑ, අනන්ත සංසාරේ පටන් මේ දක්වා ලස්සනක් අල්ලා ගන්න කාටවත් පුළුවන් කමක් වුනේ නෑ! ඇහැට පෙනෙනවා ත් එක්කලා ම ඒ අවස්ථාව ගෙවිලා යනවා, ඉක්ම යනවා. ඉක්ම යනකොට, ලස්සනේ ආස්වාද මාත්‍රයක් දීලා, ඉක්ම යනවා. දුන්න ආස්වාද මාත්‍රයත් ඒ එක්කලා ඉක්ම යනවා. එතකොට මොකද වෙන්නේ? ඒක අල්ලන්න ආයිත් බැරි නිසා, “නැවතත් ඒ ලස්සන එකක් ආයිත් බලපං! ආයෙත් බලලා, කොහොම හරි අනේ ඒ ලස්සන පාරක් ආයිත් නැවතත් ගනින්! නැවතත් ගනින්!!” කියලා අසහනකාරී මානසිකත්වයකින් ඉදිරියට පොළඹවනවා. මෙන්න මෙහෙම පෙළඹෙනකොට, එයාට නතර කරන්න බෑ මේ ගමන. එයා ඒ ආස්වාදය බලන්න ඉන්න ඕනේ. ආස්වාදය පසුපස හඹා යන්න ඕනේ. මෙන්න මේ බලාපොරොත්තුවක් ඇති වෙනවා. ඔහු ඒ නිසා මේ ඇහැට වටිනාකමක් දෙනවා, හරීයට! මොකද, එක පාරක් බලලා, ආස්වාද ලබලා, ඇති වුනේ නෑ! “තවත් ඇහේ ප්‍රයෝජනය ඉදිරියට තියෙනවා නම්!” මෙන්න මෙහෙම බලාපොරොත්තුවක් ඇති වෙනවා. මෙන්න මෙහෙම බලාපොරොත්තුවක් ඇති වෙලා, මේ ඇහැ නිපදවාගන්න කටයුතු කරනවා. පෙර භවයේ දී එසේ කරගත්තා වූ හේතුවක ඵලයක් වශයෙන් දැන් මේ භවයට ඇස, කණ, දිව, නාසය, ශරීරය, මන කියන ඉන්ද්‍රිය 6ක් පහල වෙලා තියෙනවා. ඒක අපි පසුව විග්‍රහ කරගන්න ඕනේ, තව ස්වල්ප වේලාවකින්. එතකොට, මෙන්න මේ ටික පහල වුනහම මොකද වෙන්නේ? මෙන්න මේවා තමයි ජාති“! මේ ලෝකේ ජාති නොවන දෙයක් නෑ! දැන් මොනවාද අපේ තියෙන ජාති? අපිට පහල වෙලා තියෙනවා මේ මමකියන කොටසේ, ඇස් ජාති තියෙනවා, කණ් ජාති, නාසය ජාතියක්, දිව ත් ජාතියක්, කයත් ජාතියක්, මනත් ජාතියක්. ප්‍රධාන ජාති හයක් තියෙනවා, මේ එක ජාතිය කියන එකත් උඩ!


ආස්වාදය ලබන්න හදපු ඉන්ද්‍රියයන් ම පෙලෙමින් ගිණි දෙන හැටි
: මෙන්න මේවා ජාති ගිණිවලින් දැවෙනවා. දැන් හොයන්න ඕනේ, ජාති ගිණි මොනවාද? මොකටද මේවා හොයන්නේ? පෙලෙන එක බලන්න! නැත්නම් අනිච්ච බලන්න! දැවෙන හැටි පෙලෙන හැටි දැක්කා නම්, ඒ දකින්නේ අනිච්ච! හොඳින් තෝරා ගන්න, ලොවුතුරා බුදුරජාණන් වහන්සේයි පෙන්නලා තියෙන්නේ, එහෙම. අනිච්ච පෙන්නුවේ බුදුරජාණන් වහන්සේ, පෙලෙනවා යි කියලා. එහෙනම් බලන්න, ඇහැ පෙලෙන්නේ කොහොමද? ඇහේ අනිච්චතාවය දකින්න ඕනේ. “ඇහැ ස්ථිර නෑකියන එක නෙමෙයි මේ කියන්නේ. ඒක අංශු මාත්‍රයක් විතරයි. ඇහැ පෙලෙන හැටි දකින්න ඕනේ. කොහොමද මේ ඇහැ පෙලෙන්නේ? පොඩ්ඩක් හිතලා බලන්න, අපිට අමතක කාලයක් තියෙනවා, මේ ඇහැ කොහෙන්ද අපිට හම්බ වුනේ? අපේ වයස පොඩ්ඩක් හිතලා බලන්න, තමතමන් තමන්ගේ වයස. ඒ වයසත් එක්ක අතීතයට යන්න, හිතෙන්. මේ ඇහැ තිබුණේ කවද්ද ? නොතිබුණේ කවද්ද? කියලා බලන්න. බලනකොට තමතමන්ගේ වයස තමතමන්ට වැටහෙයි. ඒ තමන්ගේ වයසට අනුකූල ව බලන්න , ඒ වයස ගිහාම කොහෙද හිටියේ? තමන් මවු කුසක හිටිය කාලයක් තියෙනවා. මවු කුසේ මාස 7ක් – 8අක් – 9 ක් ඉන්න කාලේ නම්, අපි දන්නේ නැතුවාට, ලපටි ළදරු ඇහැක් හැදිලා තියෙනවා, උණ්ඩි වෙලා ඉන්න ශරීරයක තිබිලා තියෙනවා. තව ටිකක් ඈතට යන්න – යන්න, බොඳ වෙච්ච මස් වැදැල්ලක් වාගේ තිබිලා, තවත් ඈතට යනකොට එහෙමත් තිබිලා නෑ, අන්තිමට අන්තිමට ගිහිල්ලා, මාස 9ක්, 10ක් ඈතට ගිහින් බලපුහාම ඇහැක් තියා, ඇඟක් තියා, මොකුත් තිබිලා නෑ බඩ ඇතුලේ!


{13:13}
ඇසේ පෙලීම : එහෙනම්, කොහෙන්ද මේවා පටන් ගත්තේ, හැදෙන්න? අපි හැදෙන හේතුව ඊලඟට බලමු. හැදුන අවස්ථාව ගැන බලමු, ඉස්සෙල්ලා. කලලයක් වැනි ඉතාම කුඩා සෛලයක් මුල් කරගෙන පටන් ගත්ත, මිදි පොකුරක් වාගේ ක්‍රමක්‍රමයෙන් අර සෛල පොදියක් වැඩිලා, ඒකෙන් පටන් ගත්ත ගමනක තමයි මස් වැදැල්ලක් වෙලා, ඒකට ඔලුව කියලා කොටසක් වෙන් වෙලා, අතපය වලට කෑලි වෙන් වෙලා, ඔලුවට ඒ ඒ සිදුරු වෙන් වෙලා, යන්තමට යන්තමට හැදිලා, මාස 3 – 4 යනකොට මේ ඇස් දෙකක ආරම්භය ඇවිදින් තියෙනවා. එතන පටන් ගෙන හැදෙනකොට, මොන තරම් පෙලීම් වලට ලක් වෙලා තියෙනවා ද අපි දන්නේ නැති හරිය! බැරි වෙලා හරි මේ ඇඟ පෝෂණය වෙන්න අවශ්‍යය කරන රස ධාතුව අඩු වුනා නම් මවුට, ඒක දුර්වල වෙනවා. ඇහැ ඕනේ හැටියට හට ගන්නේ නෑ, නිරෝගී ව හටගන්න විදිහකුත් නෑ. ප්‍රබෝධමත් ව හටගන්නෙත් නෑ, දුර්වල වෙච්චි ඇහැක් හට ගන්නවා. මවුට අසනීපයක් එහෙම හැදුනා නම් තද බල විදිහට, සරම්ප වැනි අසනීප හැදුනා නම් බොහෝ කොට, ඒ වෙලාවේ දී අර බඩේ ඉන්න දරුවා ගේ ඇස් දෙක අන්ධ වෙනවා, පේන්නේ නැතුව යනවා, ඇහැ මැරෙන්නේ නෑ. එහෙනම්, ජීවිත කාලයක් අන්ධයෙක් හැටියට ජීවත් වෙන්නයි වෙන්නේ, ඒ දරුවාට. පොඩි පෙලීමක් ද පටන් ගන්නේ, ඇස් දෙක නිසා! උපත ලැබුණා, ලෝකෙට බිහි වුනා, ඇස් දෙක නෑ! එතන පටන්ගෙන අවුරුදු හැට හැත්තෑවක්, අසූවක්, අනූවක් ජීවත් වෙනවා ද, ඒ තාක් කල් ඇස් නැති පෙලීමෙන් පෙලෙනවා. පොඩි පෙලීමක් ද? ඇස් දෙක නිසා ම වෙච්චි දෙයක්. ඇස් දෙක අවශ්‍යය තැනට ඇස් දෙක නැතුවහමත් පෙලෙනවා. එහෙනම්, ඒකත් පෙලීමක්. සමහර වෙලාවට, උපදින දරුවා ගේ ඇස් අඳුරුයි. අවශ්‍යය කරන රස ලැබිලා නෑ. අවශ්‍යය කරන පෝෂණය වෙලා නෑ. එහෙනම් මොකද වෙන්නේ? ඇස් අඳුරු වෙනවා, පෙනීම අඩු වෙනවා. ලාබාල කාලේ පෙනීම අඩු වුනා නම්, ඒකත් විසාල පෙලීමක්! මේ විදිහට බිහි වුන තැන් පටන් මොකද්ද වෙන්නේ? මේ ඇස් දෙකට අවශ්‍යය කරන ආහාරය, පෝෂණය නොලැබුනා නම්, මේ ඇස් දෙක ඒත් දුරුවල වෙනවා, දැවිල්ල හැදෙනවා, කබකඳුලු ගලනවා, ජරා වෙනවා. එතකොට, ඇස් දෙක නිසා හටගන්නා වූ දැවිලි, කැක්කුම් කෙළවරක් නැතුව යනවා. විවිධ රෝගාබාධයන්ට ගොදුරු වෙනවා. මෙහෙම පෙලිපෙලී යනවා. ඒ වාගේම මේ ඇස් දෙක පෝෂණය කරන්න ඕනේ. ඇහැට අවශ්‍යය කරන රස ධාතුව, ආහාරයෙන් දෙන්න ඕනේ. ඒක නොලැබුණා නම් ඒත් ඇස් දෙකට අමාරුයි. ඇස් ක්ලාන්ත වෙනවා, නොපෙනී යනවා, නොයේක් ආබාධයන්ට ගොදුරු වෙනවා. ඒ වාගේ, මෙතැන් පටන්ගෙන අපි කතාවට කියනවා, “ඇස් දෙක වාගේ ආරක්ෂා කරගන්නකියලා. මොකද, කොයි තරම් ආරක්ෂා කරන්න ඕනේද ? ඉතාම මෘදු ඉන්ද්‍රියක්. බැරි වෙලා හරි, අතේ නියපොත්තක් වැදුනත් ඇහැ අන්ධ වෙනවා. ඒ වගේම මොනවා හරි අගුණ දෙයක් එහෙම බැරි වෙලා හරි ඇහැට විසි වුනොත් එහෙම අන්ධ වෙනවා. අඩු තරමෙන් හුණු ටිකක් කනකොට හුණු ටිකක් විසි වුනා නම්, ඒත් ඇහැ අන්ධ වෙනවා. හැම වෙලේම පරිස්සම් කර කරා ඉන්න ඕනේ.


{16:50}
ඇසේ පෙලීම – ඇසේ අනිච්ච වැහිලා : එහෙනම්, පොඩි දාහයකින් ද මේ ටික කරන්නේ? ආසාවන්ට ලොල් වෙලා, “ලස්සන, ලස්සනකිය කියා, ඒ පැත්තට හිත තියාගෙන ඉන්නකොට, ඇහැ නිසා විඳින්නා වූ දාහය පෙලීම අමතක වෙනවා. මෙන්න අවිද්‍යාවක හැටි, මෝහයක හැටි! පෙලීම මෝහය නිසා වැහිලා තියෙන්නේ. අනිච්ච වැහිලා කිවුවේ ඒකයි. අනිච්ච විඳිනවා, අනිච්ච වැහිලා! දුක් විඳිනවා, යමක් අනිච්ච නම් ඒක දුක මයි! ඒක විඳිනවා, අනිච්ච බව වැටහෙන්නේ නෑ. පෙලෙනවා කියලා වැටහෙන්නේ නෑ. ඒ මොකද, ලස්සනකට හිත ගිහිල්ලා, ලස්සන බලන්න ඇස් දෙක කොච්චර වටිනවා ද කිය කියා ඉන්නවා මිසක්, ඇහැ කියන්නේ මොකද්ද, ඇහේ පෙලීම ගැන හිතීමක් නෑ. යථාර්තය දකින්නේ නෑ. අන්න ඒකයි වෙලා තියෙන්නේ. ඒ නිසා හොඳට හිතලා බලනකොට මේ විදිහට, බැරි වෙලා හරි කවුරුවත් අතක් පයක් දික් කරනකොට ඇඟිල්ලක් වැදුනත්, ඒත් ඇති මේ ඇහැ කන වෙලා, අන්ධ වෙලා යන්න. එහෙම නැත්නම් යම්කිසි වසවිස බෙහෙතක් කැවුනත්, ඒකත් ඇති අන්ධ වෙන්න. අම්ල වැනි දෙයක් විසි වුනත් ඇති. එහෙම නැත්නම්, විස gas එකක් වැදුනත් ඇති. කී දහසක් මාර්ග වලින් බේර බේරා ද ජීවිතයක් අවසාන වෙනකන් ඇහැ බේරා ගන්නේ? එහෙනම් හිතන්න, කොච්චර භයකින් ද ඉන්නේ? ඇස් දෙකට කරදරයක් වෙයි කියන මහා භයකින් තැවෙනවා තැවෙනවා. ඒවාත් තැවිලි! එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මේ විදිහට ඇහැ නිසා කොච්චර තැවිතැවී ඉන්නවා ද ? පෙලෙනවා ද? ඒ වගේම ඇහැට සීතල ත් පෙලෙනවා, උෂ්ණය ආවත් පෙලෙනවා, ආහාර දුර්වල කමෙනුත් පෙලෙනවා. ලෙඩ රෝග වලිනුත් පෙලෙනවා, කාගෙන් හරි ඇති වන ආපදාවන් ගෙනුත් පෙලෙනවා, හතුරු කරදර වලින් පෙලෙනවා, නොයේක් ආකාර බාදක වලින් පෙලෙනවා. වස විසක් සරීර ගත වුනොත් ඒ හින්දා ඇස් අන්ධ වෙනවා. මේ ඔක්කෝම කරගෙන හිටියාත් මොකද වෙන්නේ, අවසාන වෙනකොට කොච්චර රැකගෙන හිටියත්, මැදි වයස පනිනකොට පේන්නේ නැති වෙන්න පටන් ගන්නවා. සමහර වෙලාවට, බොහෝ අය මැරෙනකොට, අන්ධ වෙලා මහලු වෙලා මැරෙන්නේ, මොනවා ත් පේන්නේ නැතුව. කොච්චර ප්‍රතිකර්ම කළත් පෙලීම නවත්වන්න බෑ! බලන්නේ නැති නිසා මේ පෙලීම වැටහෙන්නේ නෑ.


{19:13}
ඇසේ අනිච්ච දැකගනිමු : මෙන්න මේ විදිහට පෙලෙන හැටි දකින්න ඕනේ. එක අත්බැවක නෙමෙයි මේ පෙලුනේ, අනන්ත අප්‍රමාණ අත් බැවු වල ඉපදි ඉපදී ලැබූ හැම ඇහැකට ම මේ ටික සිද්ධ වුනා. පෙලි පෙලී මොකද්ද කළේ? මොකටද මේවා නිපදෙවුවේ? “ලස්සන බලන්න ඇත්නම් කොච්චර හොඳද!” ඕක තමයි හිතේ තිබුණේ. ලස්සන බලලා ඇති වුනාද? ඇති වුනේ නෑ! එහෙනම්, මේ ලස්සන බලන්න තිබිච්චි ආසාව ඇමක් වෙච්ච හැටිත් බලාගන්න ඕනේ. පෙලෙන හැටි දකින්න ඕනේ, එකින් එකට. දැන් මේ විග්‍රහ කළේ මොකද්ද? ඇහැ නැමති ජාතිය පහල වෙච්චි තැන් පටන් විඳින ජාති ගින්නක්. ඇහැ නැමති ජාතියට උරුම වෙච්චි ගින්නක හැටි! යම් ජාතියක් ගොඩනැඟුනා නම්, ඒ ගොඩනැඟිච්ච ජාතිය ඒකාන්තයෙන් ජරාවට පත් වෙනවා. ඒ ජාතිය ජරාවට පත් වෙනකොට, මොකද්ද වෙන්නේ? උපදින – උපදිනා හැම ඇහේ ජාති ස්වභාවයක් ම මොහොතක් ගානෙත් වැහැරි වැහැරී යනවා. ලෙඩක් වුනහමත් වැහැරෙනවා, ජරා වෙනවා. මහලු වෙනකොටත් ජරා වෙනවා. මේ හැම අවස්ථාවක් ගානෙම ජරාවට පත් වෙනකොට, “ඇහැ හොඳට තියෙනවා නම් හොඳයි!” කිය – කියා හිටියාට, “අනේ මගේ ඇහැට මෙහෙම දෙයක් වෙනවා නේ!” ඉතින් ඒ හැම ජරා ගින්නක් ම දරන්න ඕනේ. ඒවා දාහයක්! පෙලිපෙලී ඇහැ රකින්න ඕනේ, පෝෂණය කරන්න ඕනේ, හෝදන්න ඕනේ, පිහදන්න ඕනේ, පිරිසිදු කරන්න ඕනේ. මුලු ජීවිත කාලයක් තුළ ම ඔය වැඩේ කරන්න ඕනේ. ජරා ගින්නෙන් පෙලෙනවා, අවස්ථාවක් අවස්ථාවක් ගානේ ඔය ඇහේ ස්වභාවයන් මරණයට පත් වෙනවා. අවස්ථා මරණ!” පෙනි පෙනී තියෙන ඇහැ බලා ඉන්දැද්දී වෙනස් වෙලා යනවා. ආයි පෝෂණය කරපුහාම ආයි පෝෂණය වෙනවා. දුන්න ආහාරය ගෙවිලා යනවා. ගෙවිලා ගිහාම ඒ අවස්ථාව ඉක්ම යනවා. නැවත පෝෂණය නොදුන්නොත් මැරෙනවා. එහෙනම්, මැරෙන මැරෙන ගානේ පෝෂණය කරනවා. පෝෂණය කරන කරන එක ගෙවිලා යනවා. එහෙනම්, අවස්ථා මරණ කෙළවරක් නෑ! මෙන්න මේ විදිහට අවස්ථා මරණයෙන් මරණය බේර බේරා තමයි හැම කෙනාම මේ ඇස් දෙක අරන් එන්නේ, ජීවිතය අවසන් වෙනකන්. මෙහෙම ගෙනහල්ලා අවසානයේදී මොකද වෙන්න්? මොන විදිහෙන් වත් බේරන්න බැරුව ස්වභාවිකව්ම සම්පූර්ණ අජීවී වෙලා, කුණු වෙලා යන තත්ත්වයට පත් වෙනවා, මැරෙනවා. එදාට මොකද වෙන්නේ? ධාතු හතරෙන් හටගත්ත ඇහැ ධාතු හතරට ම වෙන් වෙලා යනවා. ආපෝ ධාතුව ආපෝ ධාතුවට, තේජෝ ධාතුව තේජෝ ධාතුවට, වායෝ ධාතුව වායෝ ධාතුවට, පඨවි ධාතුව පඨවි ධාතුවට ගියා, ඇහැක් තිබුණා ද කියලා වත් දැන් නෑ! එහෙනම්, ධාතු හතරකින් නොතිබිච්ච ඇහැක් හට ගත්තා, පෙලි පෙලී කාලේ ගෙවලා ධාතු හතරට ආපහු ගියා, තිබිච්ච ඇහැකුත් නෑ, රැකගත්ත ඇහැකුත් නෑ! මෙන්න ඇහේ ස්වභාවය.


{22:09}
ඇහැ වගේමයි අනිත් ඉන්ද්‍රිය ටිකත් : ඔන්න ඔහොම ම තමයි කන ත්. මවු කුසේ පටන්ගෙන හටගත්ත කන ත් ඔය විදිහයි. මවු කුසේදී යම්කිසි විවිධ ආබාධ හැදුනහම, විවිධ පෝෂණ දුර්වලතාවයන් මවට ඇති වුනහම, හැදෙන දරුවා ගේ කන් ඇහෙන්නේ නැතුව යනවා, බීරෙක් වෙලා උපදිනවා. තවත් හේතු හුඟක් තියෙනවා, ඒවා පස්සේ අපි විග්‍රහ කරන්න ඕනේ. මෙහෙම බීරි වෙලා උපන්නොත් එහෙම, බීරෙක් වුනාට මැරෙන්නේ නැතුව උපදිනවා. අවුරුදු හැටහැත්තෑවක්, අසූවක්, අනූවක් හරි ජීවත් වෙන්නත් වෙනවා. ජීවත් වුනොත් එච්චර කලුත් ඉන්න පුලුවන්. හැබැයි, කන් බිහිරි වෙලා ජීවත් වෙන කෙනාට විසාල පෙලීමක්. මේ ලෝකේ නිකන් ජීවත් වෙන්න බෑ, එකින් එක අන්‍යෝන්‍ය ආධාරයකුත් ඕනේ, උපන්නා නම් ජීවත් වෙන්න. පෙනීම ඔනේ, ඇහීම ඕනේ, ගඳ සුවඳ දැනීම ඕනේ, රහ දැනීමත් ඕනේ, ස්ඵර්ශ දැනීමත් ඕනේ, යන්න එන්න ඕනේ, ක්‍රියාකාරී හැකියාවල් ඕනේ, ඒවා එකක් හෝ දුර්වල වුනොත් ඒ ජීවිතය ගත කරන්නේ මහා පෙලීමකින්. එහෙනම්, එහෙම වුනොත් පෙලෙන්න මුලු ජීවිත කාලයක් පෙලෙන්න ඒ මවු කුසේදිමත් හේතු යෙදෙනවා. ඒ වගේමයි දිව නාසය – ශරීරය, මේ හැම ඉන්ද්‍රියක් ගැන ම හිතලා බලන්න ඕනේ ඔය ක්‍රමයට. ඔය ඇස, කන, දිව, නාසය, ශරීරය කියන ඉන්ද්‍රිය පහ ආහාරයේ පෝෂණය අඩු වුනොත්, ඒ ඒ ආකාරයෙන් දුර්වල වෙනවා. ශක්තිය නැති වෙලා, දුර්වල වෙලා, ලෙඩ වෙනවා පොඩ්ඩක් ඇත්නම්. එහෙම තත්ත්වයට පත් වෙනවා. මවු කුසේදී ඒ කියන්නා වූ දේ කරගෙන කොහොමහරි ඉපදුනත්, එතැන පටන් ගෙන මොහොතක් මොහොතක් ගානේ ඇහැට, කනට, නාසයට, දිවට, කයට එන්නාවූ බාදක එකින් එක කොච්චර ද කියලා බලන්න ඕනෙ. සීතල නිසා පෙලෙනවා, උෂ්ණය නිසා පෙලෙනවා, බඩගින්නෙන් පෙලෙනවා, පිපාසයෙන් පෙලෙනවා, ලෙඩරෝග වලින් පෙලෙනවා, හතුරු කරදර වලින් පෙලෙනවා, කැඩෙයි බිඳෙයි විනාස වෙයි කියලා භයෙන් පෙලෙනවා, කඩයි බිඳියි විනාස කරයි කියලා බයෙන් පෙලෙනවා, කැඩී බිඳී විනාස වී යනකොට අඬනවා සෝක වෙනවා පෙලෙනවා. මොනවා කළත් කරන්න දෙයක් නෑ, ඒවාට උරුම දේ එන නිසා ම ඒ කියන්නාවූ පෙලීමට ගෝචර වෙන්න සිද්ද වෙනවා. එක අත්බැවක නෙමෙයි, අනන්ත අප්‍රමාණ සංසාරේ කය නිසා ඔය පෙලීම ලබලා තියෙනවා.


{24:17}
ආස්වාද පෙලීම බලන්න : නමුත් ඔක්කෝම අමතක කරලා මොකද්ද කරන්නේ? ලස්සන රූප බලන්න, මිහිරි සද්ද අහන්න, හොඳ සුවඳ ආඝ්‍රාණය කරන්න, හොඳහොඳ රස විඳින්න, හොඳහොඳ පහස ලබන්න තියෙනවා නම් කොයිතරම් හොඳ ද කියලා, ඒ ආස්වාදයන්ට කැමැත්තක් ඇති කරලා, මේ සියළු පෙලීම අමතක කරනවා! කොච්චර අමතක කළත්, ඒ ආස්වාදයෝ මොනවාද? ලබලා, කවදාවත් තමා තුළ පිහිටන ආස්වාද එකක් වත් නෑ! එහෙනම්, ඒ ආස්වාදය කියන්නේ මොකද්ද? අසහනයෙන් පෙලිලා පෙලිලා, බොහෝම අසහනයකින් පෙලිලා බලාපොරොත්තු වෙනවා, මොකද්ද? ඒ ඒ රූප රාගය, සද්ද රාගය, ගන්ධ රාගය, රස රාගය, ඵොට්ඨබ්බ රාගය කියන මෙන්න මේ රාගයෙන් කාම රාගයෙන් බලාපොරොත්තු වෙලා දැවිදැවී ඉන්නවා. කාම දාහයෙන් දැවෙනවා, කාම ගින්නක් රාග ගින්න! මේ රාග ගින්නෙන් දැවිදැවී තමයි ඉන්නේ, හැම වෙලේම අසහනයෙන් බලබලා, “කවදා මන වඩන රූපයක් දකින්නද, සද්දයක් අහන්නද, කොයි මොහොතෙද මං ඒක ගන්නේ? ඒක ඇදගන්නේ මං ලඟට කවද්ද? මගේ කරගන්නේ කවද්ද?” කියලා මේ විදිහට විසාල දාහයකින් දැවෙනවා. ඒවා නොලැබෙනකොට අසහනයෙන් පෙලෙනවා. එහෙනම්, හුඟ දෙනෙක් ඉන්නේ මොකද්ද? කාම දාහයෙන් දැවෙමින්, කාමයන් බලාපොරොත්තු හැටියට නැති අසහනයෙන් පෙලෙමින්. එහෙම පෙලිපෙලී, දැවිදැවී මොකද කරන්නේ? එබඳු කාම වස්තුවක් ලැබුනොත් එහෙම තරඟෙකට බැස්සා වාගේ මහා තරඟයකින් පොරයක් බදනවා. මොකද, එක්කෙනෙක් නෙමෙයි ඔය කාම වස්තු වලට පොරකන්නේ. බල්ලන්ට අහු වෙච්ච මස් කටු වාගේ, උකුස්සන්ට අහු වෙච්චි මස් කැටි වලට අනික් උකුස්සෝ පොරකනවා වාගේ, ඒ ඒ පංච කාම වස්තූන් ගෙන් ආස්වාද විඳගන්න, ඒවා මම කරගන්න, මගේ කරගන්න, එකිනෙකා තරඟෙට ගහමරා ගන්නවා, කපාකොටා ගන්නවා. නොයේක් ආකාර දුක්කරදර, වේදනා විඳිමින්, ඔය මහා තරඟයකට බැහැලා, අනන්ත දුක් විඳිනවා, එක එකා පොර කකා. මහා බලු පොරයක් වාගේ. එහෙම කරද්දිත් මොකද කරන්නේ? “ඒවාට පසු බහින්න බෑ, හැම එකකටම මූණ දීලා මං මේ ආස්වාද විඳින්න ඕනේකියලා, ඔය ආස්වාද මාත්‍රයට හිත තියලා, විඳිනවාත් එක්ක ම මොකද වෙන්නේ? කාලයත් එක්ක ගෙවිලා යනවා ආපස්සට. මතක සටහනක් ආසන්න මතක සටහනක් තමයි මේ ආස්වාද කියලා විඳින්නේ. ස්ඵර්ශ කරන මොහොත යනකොට ම ඒ රූපේ ගෙවිලා ගියා, ආයේ අල්ලන්න හම්බ වෙන්නේ නෑ! මතක සටහන් ලඟ ආසන්න මතක සටහන් ආස්වාද වශයෙන් විඳිනකොටම කාලයත් සමඟ අතීතයට මතක සටහන යනවා. ආයි ඒක ආස්වාද ගන්න බැලුවහම, ආයි ඉදිරියට පෙළඹෙනවා තවතවත් ආස්වාදයක් විඳින්න, අලුත් එකක් හොයන්න. මෙන්න මේ විදිහට අලුත් එකක ආස්වාද විඳින්න නම් මොකද්ද කරන්න ඕනේ? ඔය අසහනයෙන් පෙලිපෙලී ඔය කියන්නාවූ, එකොලොස් ගින්නකින් පෙලෙන්නාවූ, ඇස කන දිව නාසය ශරීරය මන කියන මේ ටිකයි, ඒකට ඕනේ වෙන රූප ශබ්ද ගන්ධ රස ස්ඵර්ශ ධර්ම කියන ඒ ටිකයි එකතු කරන්න ඕනේ. එතකොට, චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාන විඤ්ඤාණ, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියන මේ විඤ්ඤාණ පොදි හදාගන්න ඕනේ. පෙනෙන ඒවා, ඇහෙන ඒවා, ගඳසුවඳ දැනෙන ඒවා, රස දැනෙන ඒවා, ස්ඵර්ශ ලැබෙන ඒවා. මෙන්න මේ පොදි අරගෙන, ඕවා ස්ඵර්ශ කරනකොට ඒවා එක්ක මයි ඔය කියන ආස්වාද මාත්‍ර එකක් එන්නේ. හැබැයි, වැඩි හරියක් එන්නේ මොනවාද? සැප හොයාගෙන යනකොට, දුක් විපාක, දුක් ගිණි තමයි එන්නේ වැඩි හරියක්. දුක් ස්ඵර්ශ! ඒ සියල්ල ම විඳවිඳා, ගැටිගැටී, අඬඅඬා, හැපිහැපී මොකද්ද කරන්නේ? ඔය අස්සෙන් ආයිත් එනවා හොයාගෙන, “ඕවා ඔක්කෝම විඳගෙන හරි සැප එකක් හොයන්න ඕනේකියලා. කවදාවත් සැප එකක් අල්ලන්න බෑ, අසහනයක් වෙලා අන්න ඒ අල්ලගන්න යන බලාපොරොත්තුව ම මොකද වෙන්නේ? නැවත වාරයක් මේ දුක් ගින්න ගොඩනඟන්න හේතු වෙනවා. මෙන්න මේ ආකාරයෙන් මේ ඇස කන දිව නාසය ශරීරය මන කියන මේ ඉන්ද්‍රිය ටික, ඔය පහෙන් ගත්ත ඒවා මනෙන් දුක් විඳ විදා ගෙනියනකොට, මන නිකන් ම වෙහෙසෙනවා අර පහේ ගැටළුවට ගිහිල්ලා එකතු වෙලා. පෙලෙනකොට පෙලෙන්නේ මනස මයි! ඇහැ පෙලුනත් මනස පෙලෙනවා, කනෙන් පෙලුනත් මනස පෙලෙනවා, නාසයෙන් පෙලුනත් මනස පෙලෙනවා, දිවෙන් පෙලුනත් මනස පෙලෙනවා, කයෙන් පෙලුනත් මනස පෙලෙනවා.


{28:26}
අනිච්ච හඳුනා ගනිමු : මෙන්න මේ විදිහට පෙලිපෙලී යනකොට, මෙන්න මේ පෙලීමට කියනවා අනිච්ච! එහෙනම්, දැන් තේරුම් ගන්න අනිත්‍යකිවුවට හරියන්නේ නෑ. අනිච්ච කියන්නේ කොයි තරම් බරපතල දෙයක් ද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ අහනවා, “මහණ, ඇස අනිච්චයි! තේරෙනවා ද? ඇස පෙලෙන හැටි ඔබ දන්නවාද?” ඒකයි බුදුරජාණන් වහන්සේ ඇහුවේ. පෙලෙන හැටි දන්න නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම හරියට දහම් අර්ථයෙන් එදා තිබිච්ච නිසා, ඒ මොකද්ද කියලා කියන්න දෙයක් තිබුණේ නෑ. “අනිච්ච කියන්නේ පෙලෙනවාකියලා දේශනාවේ තිබුණු නිසා, බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබිච්ච එක දන්න නිසා, භික්ෂූන් වහන්සේ උත්තර දෙනවා, “ස්වාමීනි, මම ඒක දන්නවා. ඇහැ අනිච්චයි තමයි! මේක පෙලෙනවා නේද?” “ඉතින් ඒ පෙලෙන එක සැපද, දුක ද?” “ස්වාමීනි, දුකයි නේ!” “යදනිච්චං තං දුක්ඛංයමක් අනිච්ච නම් ඒක දුකයි කියන එක හොඳට තේරෙනවා. ඉතින් ඔය දුක් විඳවිඳ ඉන්න ඇහැට මොකද වෙන්නේ? විපරිණාමයට පත් වෙනවා. ඒ කියන්නේ? පරිණාමය කියන්නේ එකක්, පරිවර්තනය වෙනවා, වෙනස් වෙනස් වෙවී යනවා. එහෙම වෙනස් වෙලා ගිහිල්ලා, මොකද වෙන්නේ? තමන් අකමැති තත්ත්වයට පරිණාමය වෙන්න පටන් ගන්නවා. එහෙනම්, අපි අකමැති දෙයක් කවදාවත් නිෂ්පාදනය කරගන්න බලන්නේ නෑ. අපි හැම වෙලේම කැමැත්තට අනුකූල දෙයක් නිෂ්පාදනය කරගන්න තමයි බැලුවේ. ඒකේ අවසානය මොකද්ද? අකමැති තත්ත්වයට පත් වෙලා පරිවර්තනය වීම. එහෙනම්, ඇහැ නොපෙනෙන තත්ත්වයට පරිවර්තනය වෙනවා. රිදීමට, කැක්කුමට පරිවර්තනය වෙනවා. මෝරමෝරා ගිහිල්ලා, වයසට යනකොට වැහැරෙන්න පරිවර්තන වෙනවා. මරණය කරා යනකොට, අන්තිම දුර්වල වෙලා, වැනසිලා, මැරෙන්න පරිවර්තන වෙනවා. මෙන්න මේකට කියනවා විපරිණාම දුක්ඛ!” ඒකත් මහා දුකක් දාහයක්! පෙලෙනවා. එහෙනම්, මේ විදිහට පෙලිපෙලී යන ඇහැ, ස්වභාවය ඕක නම්, විපරිණාමයට පත් වෙනවා නම්, එතකොට මේ පෙලෙනවා නම්, ඒවා අයිති කරගන්න හැදුවාට, අයිති කරගන්න කවදාවත්, කාටවත් බෑ! මොකක් නිසාද? ඒවා මොහොතක් ගානේ බිඳෙනවා. බිඳි බිඳී යන එක ධර්මතාවයක්. ඒ සම්මතය වැනසෙන දවසක් ඒකාන්තයෙන් තියෙනවා. ඒ වැනසෙන දවසට අර පෙලි පෙලී බලාපොරොත්තු වෙච්චි ඇහැ සහමුලින් දුක් විඳලා, දුක් විඳලා වැනසිලා යනවා මිසක්, කවදාවත් ඉතුරු වෙන හරයක් නෑ. තියාගත්තේ මොකටද? ආස්වාද විඳින්න! ලැබූ ආස්වාදය කෝ කියලා බලපුහාම මොකුත් හරයක් ඉතුරු වෙලා නෑ, අසාරයි! “අනත්ථං අසාර කට්ඨේනාති අසාරයි පෙන්නුවා. “එහෙනම්, මෙහෙම එකක් සුදුසු ද හොයන්න? මොකද අදහස?” “ස්වාමීනි, වැඩක් ඇත්තේම නෑ නේ! මේ ඇසේ කිසිම වැඩක් නෑ. යථාර්තය දැන් නම් වැටහෙනවා. මේ ඇහැ කියන එකෙන් ගන්න හරයක් නෑ කියලා වැටහෙනවා.” මෙන්න මේක දකිනවා.


{31:21}
අනිච්ච = පෙලීම : ඔය කන ගැන මොකද හිතෙන්නේ ? නිච්ච ද අනිච්ච ද? ඒ කියන්නේ මේක පෙලෙනවා ද නැද්ද? ඒකයි මේ අහන්නේ! පෙලෙනවා නම් අනිසියි. පෙලෙන්නේ නැත්නම් නිසියි. අනිච්ච වුනහම, අනිච්ච විග්‍රහ කරගන්න තවත් වචන තියෙනවා. පෙලෙනවා, කුණු ගොඩක් වාගේ, ජරා ගොඩක් වාගේ, ගින්නක් වාගේ, අසූචියක් වාගේ, සැරව පිරුණු ගෙඩියක් වාගේ මේ ඔක්කෝම පෙන්නුවේ එක එක්කෙනා අනිච්ච වැටහුනාට පස්සේ දෙන අදහස. “අනේ, පෙලෙන එකක හැටි! පෙලෙන එකක මොන හරයක් ද? පෙලෙන එකක මොන හොඳක් ද? මේවා කහල ගොඩවල් වාගේ, කුණු ගොඩවල් වාගේ, කාන්තාරයක් වාගේ, මුහුදු රැලක් වාගේ!” මේ වගේ එක එක අදහස්, තම තමන්ට එන අදහස් අනුව අනිච්ච විග්‍රහ වෙනවා. අනිච්ච කියන එක තමයි ඔය එක එක විදිහට හඳුන්වන්නේ. “කිසිම කැමති සේ පවත්වන කමක් බැරි, කුණු ගොඩවල්!” එහෙම අදහස් එනවා. ඔය අනිච්ච වැටහුනහම වැටහෙන හැටි. මෙන්න මේ ආකාරයෙන් දකින්න ඕනේ, මේ අනිච්ච කියන එකේ ස්වභාවය.


{32:22}
නිවැරදිව අනිච්ච වඩමු ලෝකයේ අනිච්ච දකිමු : දැන් මොකද කරන්නේ? දැන් ප්‍රශ්නයක් එනවා. ඕක හොඳට නිතරනිතර ආවර්ජනය කරලා බලන්න පුරුදු වුනහම අනිච්ච වැටහෙන්න පටන් ගත්ත නුවණ වැඩෙනවා. අර වැහිලා තිබිච්ච ආදීනව පෙනෙන්න පටන් ගන්නවා. අර මායා ආස්වාදය මර උගුලක් කියලා වැටහෙන්න පටන් ගන්නවා. මේ ආස්වාදය නැමැති මර උගුල ට හිත තිබ්බහාම මේක හටගන්න හැටි ඊලඟට දකින්න පුළුවන්. මොකද්ද වෙන්නේ? මේ ඇස කන දිව නාසය ශරීරය නිසා හටගන්න තියෙන මහා දුක් කඳ වැටහෙන්න පටන් ගන්නවා ඔහොම මෙනෙහි කරනකොට. ඕකට කියනවා, “නිතර අනිච්ච මෙනෙහි කරනවා!” ඕක ඔය කියන මෙනෙහි කරන ක්‍රමය පැත්තකින් තියලා, “ඇහැ ස්ථිර නෑ, කනත් ස්ථිර නෑ, නහයත් ස්ථිර නෑ, දිවත් ස්ථිර නෑ, කයත් ස්ථිර නෑ, මනත් ස්ථිර නැතෝ!” කියලා කෑ ගැහුවාට කවදාවත් නිවන් දකින්න හම්බ වෙන්නේ නෑ. මොකද හේතුව, යථාර්තය වහලා පදය හැඟවිලා ඇත්ත වැහිලා ගියා සංස්කෘත පස්සේ ගිහිල්ලා, ඔන්න ඕකයි වුනේ! එහෙනම්, මෙන්න මේ විදිහට නිතර නිරන්තරයෙන් දකින්න ඕනේ මේ ඇස, කන, දිව, නාසය, ශරීරය, මන කියන ඒවා මේ රාග ගින්නෙන් පෙලෙන හැටි, ද්වේෂ ගින්නෙන් පෙලෙන හැටිත් ඊලඟට දකින්න ඕනේ. අපි එක එක ගිණි දකින්න ඕනේ. මේ ජාති ගින්නෙන් පෙලෙන හැටි කිවුවා, රාග ගින්නෙන් පෙලෙන හැටිත් අපි එකින් එක කිවුවා. “බල්ලන්ට අහු වෙච්ච මස් කටු වාගේ, උකුස්සන්ට අහු වෙච්ච මස් කැටි වාගේඒ ආස්වාද දෙන වස්තූන් කෙරෙහි පෙලිපෙලී, දැවිදැවී දඟලන හැටි!


{33:45}
ආස්වාද මුලා දෘෂ්ඨියේ භයානක කම දකින්න : ඒ වාගේම පොරකාලා අනිකෙක් අයිති කරගන්නවාට මොකද කරන්නේ? ගහනවා, මරණවා, කපනවා, කොටනවා, දෙන්නේ නෑ අයිතිය! මරාගෙන මැරෙනවා! අන්තිමට එතෙන්ට ම එනවා. ඇවිදිල්ලා, මොකද තව කරන්නේ? එක්කෝ මරලා හරි ගන්නවා. “මගේ ආස්වාදය මම අයිති කරගන්නවාබලාපොරොත්තුවක් ඇති වෙනවා, අවිද්‍යාවේ බලාපොරොත්තුවක්. ඊලඟට මොකද කරන්නේ? “ඒ විදිහට බැරි නම් හොරකම් කරලා හරි ගන්නවා, බලෙන් මංකොල්ලෙන් හරි ගන්නවා. එහෙමත් බැරි නම්, මත් කරලා හරි සුරාවෙන් මත් කරලා හරි, සූදුවෙන් කා කොටා, මරන්න බැරි නම් සූදුවෙන් කොටාගෙන හරි ගන්නවා. එක්කෝ දුරාචාරයෙන්, අනාචාරයෙන් හරි කමක් නෑ මං ඒ අයිතිය ගන්නවා, මොනවා හරි කරලා ගන්නවා.” ඔය අදහසුත් එනවා. එක්කෝ මං බොරු කියලා, රවට්ටලා මගේ අයිතිය ගන්නවා, කේලමෙන් බිඳවලා මගේ අයිතිය ගන්නවා. මොකද්ද අයිතිය? ආස්වාද භුක්තියට අර වස්තූන් ගේ අයිති කරගන්නයි මේ ඔක්කෝම කරන්නේ. “ඵරුෂ වචනයෙන් සැඩ බවට පත් කරලා හරි මගේ හිමිකම ගන්නවා. ප්‍රලාප දොඩවලා, බොරුවෙන් රවට්ටලා හරි, එහෙම හරි ගන්නවා. ලෝභ කම් කරලා හරි මගේ ඒවා රැක ගන්නවා. ද්වේෂයෙන් දැවිදැවී හරි මං මගේ ඒවා තියාගන්නවා, දෙන්නේ නෑ!” එක එක මිසදිටු ගති අරගෙන, වැරදි ආකල්ප අරගෙන, “මේවා හොඳයි, මේවා හොඳයිකියලා අර ආස්වාදයන් පස්සේම ලෝකයා මුලා කරමින්, මමත් ඒ ආකාරයෙන් ගන්නවා කියලා ඔය දස අකුසලය කරන්න පටන් ගන්නවා. සෙල්ලමක් නෙමෙයි කරගන්නේ! ඔය ආස්වාද මායාවට ගෝචර වෙලා, මේ පෙලෙන ඒවා, මෙහෙම පෙලිපෙලී තියෙන ඒවා රැකගන්න, අයිති කරගන්න, ඔය කියන්නාවූ දස අකුසල් යමෙක් කළා නම්, ඔය කරගත්තා වූ, එක අත්බැවක කරගත්ත දස අකුසල් වල පාපය ගෙවන්න කල්ප කෝටි සත සහස්‍රයක් දුක් විඳලා ත් බෑ අපාගත වෙලා! සතර අපායේ දුක් විඳින්න වෙනවා. එහෙනම්, ඒ තරම් මහා භයානක විපාකයක් ඇති කරන්නාවූ, විනාසයට පත් කරන දෙයක් ඔය ආස්වාදය, ආස්වාද මායාවට මුලා වීම! මෙන්න මේ ආකාරයෙන් යථාර්තය දකිනකොට මොකද වෙන්නේ? ද්වේෂය නිසා, ලෝභය නිසා ඇති වෙන්නාවූ ආදීනව දකින්න පටන් ගන්නවා. මෙන්න මේවා තමයි ද්වේෂය නිසා වෙන දැවීම. හද පපු දැවෙනවා, වෙවුලනවා, ගහ මරා ගන්නවා, යුක්ති අයුක්ති මොකුත් බලන්නේ නෑ, ගුණ ධර්ම කිසි දෙයක් බලන්නේ නෑ, දෙමවුපියන් පවා ගහ මරලා දාන්න හිතෙනවා. ඒ තරමට දැවෙනවා! එහෙනම්, මේ ද්වේෂයේ ආදීනව කොච්චරද? මෙන්න මේ ආකාරයෙන් දකින්න ඕනේ මේ ද්වේෂය කියන එක ගින්නක් බව! ද්වේෂ ගින්නෙන් පෙලෙනවා.


{36:22}
පෙලීමෙන් තොර සත්ත්වයෙක් වේද? : රාග ගින්නෙන් පෙලෙනවා, ද්වේෂ ගින්නෙන් පෙලෙනවා, මෝහ ගින්න නිසා පේන්නේ නෑ, ඇත්ත. හැම වෙලේම ඇත්ත වැහුනහම මොකද වෙන්නේ? මොනවා කරලා වත් නවත්වන්නෑ, පසු බහින් නෑ, යනවා දිගටම! මෝහයෙන් වැහිලා. ඒ මෝහය මහා ගින්නක්. දැන් මේ විදිහට දකින්න ඕනේ. ජාති ගිනි, ජරා ගිනි, මරණ ගිනි කිවුවා. ඒ වගේම රාග ගිනි, ද්වේෂ ගිනි, මෝහ ගිනි කිවුවා, එතකොට මොකද වෙන්නේ ඔය ටිකට එනකොට? ඒකාන්තයෙන් සෝකයට පත් වෙන්න වෙනවා. “අනේ මට වෙච්ච දෙයක්!” කවුරු මොනවා කරන්න ගියත්, ඒවාට හිමි ධර්මතාවය, උරුමතාවය එනකොට, කැඩී බිඳී විනාස වී යනකොට, කඩා බිඳ විනාස කර දමනකොට, හොරු පැහැරගන්නකොට, තියෙන දේවල් වැනසෙනකොට, ලෙඩ රෝග හැදෙනකොට, බඩගිනි වෙනකොට, පිපාසය වෙනකොට, නොයේක් ආකාර වන්නා වූ ජල ගැලීම් වලට අහු වෙනකොට, ගින්නට අහු වෙනකොට, නියඟ සායන්ට අහු වෙනකොට, මේ හැම එකකින් ම සෝකයෙන් පෙලෙන්න පටන් ගන්නවා, “අනේ අපිට වෙච්ච දේ!” එතකොට මොකද වෙන්නේ? “අනේ අපිට මොකද මේ වෙන්නේ? මීට ඉස්සරත් මෙහෙම වුනා, ඊට ඉස්සරත් මෙහෙම වුනාකියලා, මේක දෙගුණ තෙගුණ වෙවී අතීතයේ කරපුවාත් ඇදි ඇදී එන්න පටන් ගන්නවා, වෙච්ච දේවල් ගැන අඬනවා, සෝක වෙනවා, පරිදේවයට පත් වෙනවා. එතකොට, කයෙන් වැහැරෙනවා. දරන්න බැරුව යනවා, පැත්ත වැටෙනවා. නැඟිටලා ඉන්න බැරුව යනවා, කායික දුක්ඛයෙන් වෙහෙස දෙන්න පටන් ගන්නවා. මානසික වශයෙන් තැවෙනවා, දෝමනස්සය එන්න පටන් ගන්නවා. මේ ඔක්කෝම පෙලෙනවා. දරන්න බැරි මහා දාහයකින් හරිය හරි උපායාසයකින් දැවෙනවා. බඩ පපුව අතගානවා, දරන්න බෑ! මෙන්න මෙහෙම අනන්ත කාලයක් දුක් විඳලා දුක් විඳලා මැරිලා යනවා, හිමි වෙන්න දෙයක් නම් නෑ කවදාවත්, දුක් වින්දා මිසක්! මෙන්න මේ කියන කාරණය හොඳට තෝරා ගත්තහම පෙනෙනවා, කොයි තරම් නම් පෙලෙන්න වෙනවා ද මේ සත්ත්වයෙකුට! සත්ත්වයා කියන්නේ පෙලීම් පිඬක්! ජරා මරණ පිඬක්! එතකොට මොකද වෙන්නේ? මොහොතක් ගානේ භයෙන් පෙලෙනවා. ඒ අමාරු තියෙන නිසා ම, ඒ කරදර එන නිසාම, “මට මෙහෙම දෙයක් වෙයිද? මෙහෙම දෙයක් වෙයිද? අනේ, එහෙම නම් වෙන්න එපා! වෙන්න එපා!” කිය කියා, දෙවියන්ට කිය කියාත් භයෙන් පෙලෙනවා. කාට කිවුවත්, වෙන්න තියෙන දේ වුනහම සෝක වෙනවා, පරිදේව, දුක්, දොම්නස්, උපායාස හටගන්නවා.


{38:30}
අනිච්ච දැක පෙලීමෙන් මිදෙමු : මෙන්න මේ ආකාරයෙන්, පෙලීමෙන් පිරිලා තියෙන ලෝකේ අනිච්ච බවින් පිරිලා තියෙනවා කියලා දැක්ක දාට දකිනවා,සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය ඵස්සතිඅන්න අනිච්ච දැක්කහාම! ප්‍රඥාවෙන් ඔහොම දකින්න ඕනේ. අථ නිබ්බින්දතී දුක්ඛේඑදාට දුකට බැඳෙන්නේ නෑ! “දුකේ කලකිරෙනවාකියලා යි ඒවා උගන්වලා තියෙන්නේ. “නිබ්බින්දතිකියන්නේ නොබැඳෙනවා. ආයි දුකට බැඳෙන අවස්ථාව ඉවරයි ප්‍රඥාව පහල වෙනකොට. අන්න නිවන් මඟ ඒස මග්ගෝ විසුද්ධියාමේක විශුද්ධියට මාර්ගය! දැන් මොකද්ද වෙන්නේ? ඔන්න ඔතෙන්ට පත් වුනහම තව වැදගත් දෙයක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා අනිච්ච හොයන හැටි. මෙන්න මෙහෙම පෙලෙන හැටි දකින්න ඕනේ, “ආස්වාද මායාවට, මුලාවට පත් වෙලා ලෝක සත්ත්වයා රවට්ටනවා ලෝකේ ප්‍රිය මනාප දේකුත් තියෙනවා කියලා. මොකද්ද ඒ ප්‍රිය මනාප දේ?” අන්න දැන් රවට්ටන තැන හොයන්න ඕනේ, අවිද්‍යාව රවට්ටන හැටි! අවිද්‍යාව රවට්ටනවා, “ලෝකේ හොඳ ප්‍රිය මනාප දෙයක් තියෙනවා නේ, ඒක හොඳයි නේකියලා. මේකට මේ දහමේ තියෙනවා හොඳ ලස්සන උපමා දීලා. කන්නන් මෙන් විස අඹ ඵල රිස්සේ මන් සන්තොස් කර කිම ඵල සෙස්සේ!” අපේ දහම් අර්ථ හෙළ බසට නැඟිලා තිබිච්ච හැටි! විස අඹ තියෙනවා යම් තැනක. අඹ රසය භුක්ති විඳින්න ඕනේ කරන කෙනෙක්, පලතුරු රහ විඳින්න, අඹ රහ විඳින්න ඕනේ කෙනෙක් මේ මී අඹ දකිනවා. හරී රසයි! හැබැයි, විශ පොවලා තියෙන බව දන්නේ නෑ. දැන් මොකද කරන්නේ? අඹ රහ විඳින්න ම දැන් ඉන්නවා හරී ප්‍රිය මනාපයකින් අඹයේ රස විඳින්න යනකොට, බැරි වෙලා හරි රස වින්දොත් මොකද්ද වෙන්නේ? අර විස අඹ කන්න වෙනවා, විස කැවෙනවා. විස නොකා රස විඳින්න නම් හම්බ වෙන්නේ නෑ. බලාපොරොත්තුව මොකද්ද? රස විඳලා, යහතින් සුවයෙන් ඉන්න, රහ විඳවිඳ, රහ බලබල. කාලා ඉවර වෙච්චි ගමන් මොකද්ද වෙන්නේ? ක්ලාන්ත වුනා, කැරකිලි වුනා, මරණය හෝ, මරණය සමාන දුකකට පත් වුනා. මෙන්න විස අඹ කෑවොත් වෙන එක! විස පොවපු අඹ කෑවොත් වෙන්නේ ඕකයි. තවත් උපමාවක් දේශනා කරලා තියෙනවා මත් පැන් බඳුනක් මුල් කරගෙන, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. විස දාපු රා බඳුනක් තියෙනවා. මත් පැන් වලට, රා බොන්න ප්‍රිය කරන මනුස්සයෙක් ඇවිදිල්ලා හොඳ සුවඳට රසට තියෙන රා ටික!” කියලා බොහෝම ප්‍රියමනාපයෙන් බොන්න ලෑස්ති වෙනවා. දැන්, ඕකට දාලා තියෙනවා වස, කවුරුහරි! දැන් මොකද වෙන්නේ? ඒ බව දන්නේ නැතුව බිවුවොත් එහෙම, රස දේ හම්බ වුනා කියලා, ඒකාන්තයෙන් අර වසවිස වැදිලා, මරණය හෝ මරණය සමාන දුකට ඔහු ඒකාන්තයෙන් පත් වෙනවා. ඔහුට වෙරි මත ගන්න බෑ කවදාවත්, ඒ වස දාපු මත් පැන් බොන්නේ නැතුව, බිවුවොත් මොකද වෙන්නේ? වස වදිනවා!


{41:20}
සියල්ලේ අනිච්චතාවය දැකීම නිවන් මඟ දොරටුවයි : මෙන්න මේ වගේ, එකොලොස් ගින්න නොවැදී රසාස්වාදය විඳින්න තැනක් නෑ! එකොලොස් ගින්න නැමැති වස ව්දිනවා, ඒකෙන් හැදිච්චි එකක තමයි රසාස්වාදයකියන එක තියෙන්නේ, මිස මත් පැන් වල තිබිච්ච වෙරි වාගේ, විස පොවපු අඹේ තිබිච්ච පැණි රස වාගේ, මේ කියන්නාවූ, එකොලොස් ගින්නකින් දැවෙන්නා වූ, තැවෙන්නා වූ අන්න ඒ කියන පෙලෙන ඒවා තුල තමයි ඔය ආස්වාදය මතු වෙන්නේ. එහෙනම් ආස්වාදය කියන එකේ යථාර්තය දැක්ක දාට මහා ගින්නක්!”ඇයි එහෙම කියන්නේ? මෙන්න මේ ආස්වාදය පස්සේ ගිහිල්ලා තමයි, මුලා වෙලා තමයි, මේ අත්බැව විතරක් නෙමෙයි, අනන්ත අප්‍රමාණ සසරේ පටන් ගෙන මේ එකොලොස් ගින්නෙන් දැවි දැවී, තැවි තැවී අප්‍රමාණ සංසාරයේ, අනන්ත දුක් විඳලා, සතර අපා ගත අනන්ත දුක් විඳගෙන මේ ගමන එන්නේ! වලක්වන්න බෑ, නවත්වන්න බෑ! ඉදිරියටත් යනවා. මෙන්න මේ ටික විග්‍රහ කරලා ගන්නකොට මොකද වෙන්නේ? “සියල්ල අනිච්චයි! සියල්ල අනිච්චයි!” කියලා වැටහෙන්න පටන් ගන්නවා, මොකද්ද කිවුවේ? අනේ, මේ සියල්ල දුක් ගින්නෙන් පෙලෙනවා, දුක් ගින්නෙන් පෙලෙනවා, දුක් ගින්නෙන් පෙලෙනවා! ඕකයි මේ අනිච්ච යි කිවුවේ. අන්න ඒක හරියට අවබෝධ වුනහම දකිනවා, දැන් ඉතින් හරි ප්‍රශ්නයක් නේ වෙලා තියෙන්නේ, දැන් මේ සියල්ලේ ඉන්නවා ද, මේකෙන් යනවා ද?” තමන්ට ම ප්‍රශ්නයක් නැඟෙනවා. ඥාණයත් සමඟ නිදහස් වෙන්න ලැබෙන අර්ථය ඔතනයි එන්නේ. ඔන්න, දුක් ගින්න දැක්කහාම ලැබෙන වටිනා දෙයක්, ඒක හරි අර්ථවත් වෙනවා, දුක දැක්කහාම දුක හැටියට! නැත්තම්, අනිච්ච අනිච්ච හැටියට දැක්කහාම! ඔය දුක කිවුවේ අනිච්ච ලක්ෂණය මයි! අනිච්ච නම් ඒක දුකයි කියලා යි පෙන්නූවේ. එහෙනම්, දුක්ඛං භයට්ඨේන ඒක වෙනම විග්‍රහ කරන්නම්, දුක්ඛ ලක්ෂණයේ බණ වෙනම කියනවා. මේ අනිච්ච ලක්ෂණයේ බණ කියන්නේ. අනිච්ච දේ දුක මයි! ඒක අනිච්ච ලක්ෂණයේ ම කොටසක්. මෙන්න මේ නිසා මොකද වෙන්නේ? දැන් එයා ඒ මුල් කරගෙන ම දකිනවා එක දෙයක්, “මේක නම් හරිම භයානකයි! මේකෙන් මිදෙන්න නැත්නම් හරි වැඩක් නේ වෙන්නේ, කවද්ද මේ කියන්නාවූ දුක් ගින්නෙන් මිදෙන්නේ? මේ අනිච්ච ගොඩෙන් මිදෙන්නේ කවද්ද? මේ පෙලීමෙන් මිදෙන්නේ කවද්ද?” අනිච්චෙන් මිදෙන්නේ කවද්ද කියලා ඇහුවේ මේ පෙලීමෙන් මිදෙන්නේ කවද්දකියන එකයි! අන්න ඒ අදහස එන්න එන්නම බලවත් වෙනවා. බලවත් වුනාට පස්සේ අන්න අත්‍යාවශ්‍ය, හරවත් තැනකට වැටෙනවා. දැන් මොකද්ද මේ අනිච්ච දැකීමේ අර්ථය? “උප්පාද – වයදකින්න වෙනවා. ඛේනට්ඨෙන අනිච්චා උප්පාද, වයට්ඨේන අනිච්චා තව ටිකක් එහාට ගියා. අනිච්ච දැකීමේ ඥාණය පහල කරගන්නයි යන්නේ. මෙන්න, නිවන් දකින්න අවශ්‍යය කරන එක තැනකට ආවා. අනිච්ච, අනිච්ච හැටියට දැක්කහාම ඔහුට අදහසක් එනවා, “මට මේ අනිච්ච වලින් මිදෙන්න ඕනේ!” මොකද්ද අනිච්ච? “සියල්ල!” මොකද්ද සියල්ල? ඇස රූපය චක්ඛු විඤ්ඤාණය චක්ඛු සංස්ඵස්සය චක්ඛු සම්ඵස්සජා වේදන, කන ශබ්දය සෝත විඤ්ඤාණය සෝත සම්ඵස්සය සෝත සංඵස්සජා වේදනා, නාසය ගන්ධය ඝාන විඤ්ඤාණය ඝාන සංඵස්සය ඝාන සංඵස්සජා වේදනා, දිව රසය – ජිව්හා විඤ්ඤාණය – ජිවුහා සංඵස්සය – ජිවුහා සංඵස්සජා වේදනාව. කය ඵොට්ටබ්බය, කාය විඤ්ඤාණය, කාය සංස්ඵස්සය, කාය සංඵස්සජා වේදනා, මන – ධර්මයෝ මනෝ විඤ්ඤාණය මනෝ සංඵස්සය මනෝ සංඵස්සජා වේදනා! ඉතින් තව සියල්ලෙන් ම මිදෙන්න ඕනේ. මේ සියල්ල දුක් ගොඩයි! මේ සියල්ල පෙලෙනවා! මේ සියල්ල අනිච්චයි! මෙන්න පෙලෙනවා කිවුව එක දැක්කා, අනිච්ච දැක්කා. දැක්කාට පස්සේ එනවා ඔය අදහස. “දැන් සියල්ලෙන් මිදුනේ නැත්තම් දුක මයි! දුකෙන් මිදෙන්න නම් සියල්ලෙන් මිදෙන්න ඕනේ!” කියන අදහස එනවා. එහෙනම්, මොකද්ද ආවේ? නිවන පිළිබඳ අනුලෝමක්ෂාන්තිය!” මෙන්න ඉස්සෙල්ලා ම පත් වෙච්චි එක. ඔය ටික හරියට අවබෝධ වුනා නම්, “මේ දුකෙන් නිදහස් වෙන්න ඕනේ, කවදා හරි මමකියලා අදහසක් ආවා නම්, “‘මමකියලා කියන්නේ මේ දුක් ගොඩ මයි, එහෙනම් මම කියන එකෙන් නිදහස් වෙන්න ඕනේ, එදාටයි දුකෙන් නිදහස්!” කියලා යථාර්තය දැක්කා නම්, මූලික දැකීමට කියනවා අනුලෝම ඥාණයෙන් නිවන් දැක්කා!” මෙන්න මාර්ග අනුගාමිකයා. සෝවාන් මාර්ග අනුගාමිකත්වය, ඔය ආවේ. දැන් ඵල ලාභීත්වයට යන්න නම්, තව පොඩ්ඩක් එහාට යන්න ඕනේ, ඥාණය වර්ධනය කරගෙන. ඒකට මොකද කරන්න ඕනේ? තවත් අර්ථවත් ව දැනගන්න ඕනේ, අනිච්ච!


~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ ~

PDF බාගන්න : Download PDF

උපුටා ගැනීම : : https://waharaka.com/listen/Thilakuna-Denagamu-02


ඉතිරිය අනිච්ච විග්‍රහය තුන්වන කොටසින්