(අනිච්ච විග්‍රහය 1 කොටස, 2 කොටස, 3 කොටස හා සම්බන්ධයි)
දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)
තථාගත දේශනාවට අනුවම දුක්ඛ විග්‍රහය - 1 කොටස
{00:00} නමස්කාරය : උත්තම පුරිස වූ බුදු පියාණන් වහන්ස, ඔබවහන්සේට මම නමස්කාර කරමි, මාගෙ නමස්කාරය වේවා! පරම පුරිස වූ බුදු පියාණන් වහන්ස, ඔබවහන්සේට මම නමස්කාර කරමි, මාගෙ නමස්කාරය වේවා! සසර කතරින් එතෙර වුනා වූ බුදු පියාණන් වහන්ස, ඔබවහන්සේට මම නමස්කාර කරමි, මාගෙ නමස්කාරය වේවා! සාදු! සාදු! සාදු!
{01:07} අන්තර්ගතය : ශ්රද්ධාවන්ත බෞද්ධ පිංවතුනි, පිංවතියනි, අද මේ පිංවත් පිරිස ඉතාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ අති ශ්‍රේෂ්ඨ වන්නා වූ උතුම් ධර්මාවබෝධය ලබා ගැනීමට හේතු කාරක වන්නා වූ විශේෂ කාරණයක් වන “අනිච්ච, දුක්ඛ, අනත්ථ” කියන ඒ ත්රිලක්ෂණ පිළිබඳව යථාර්තය හරියට අවබෝධ කරගන්නයි. මීට පෙර කරන ලද දේශනාවකින් අවශ්‍යය කෙරෙන්නා වූ මූලික කරුණු කිහිපයක් මේ පිංවතුන්ට දැනගන්නට මීට පෙර සැළැස්වුනා. “අනිච්ච” කියන වචනය පිළිබඳව විශේෂයෙන් අවබෝධ කරගැනීමට අවශ්‍යය කරන පැය ගණනක දේශනාවක් මීට පෙර දී සිද්ධ කළා. “අනිත්‍ය, දුක්ඛ, අනාත්ම” කියලා මෙතෙක් කාලයක් සංස්කෘත භාසාව මුල් කරගෙන පවත්වාගෙන ආවාට, බුදුරජාණන් වහන්සේ එපා කියලා, තහනම් කරලා, නීති ත් පණවලා තියෙන, ඇවැත් පණවලා තියෙන ඒ වචන ම අරගෙන, ඒ වචන වලින් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියලා කිය–කියා මෙතෙක් කල් හිටියත්, ඒ නියම අර්ථය වැහිලා තියෙන බව දැනගන්න මූලික දේශනාවක් මීට පෙර සිද්ධ කළා. අද බලාපොරොත්තු වන්නේ ඒ “අනිච්ච” කියන වචනය පිළිබඳව තව ටිකක් විග්රහ කරලා, ඒ වාගේම දුක්ඛ ලක්ෂණය මුල් කරගෙන, නිවන් අවබෝධ කරගැනීමට, ධර්මාවබෝධය ලබා ගන්න ගත යුතු ඒ ක්‍රියා මාර්ගය කුමක් ද? ඒ දුක්ඛ ලක්ෂණයේ නියම අදහස කුමක් ද? කියලා විග්රහ කරලා දෙන්නටයි බලාපොරොත්තු වන්නේ.
{2:51} සංස්කෘත නිසා වුනු විකෘතිය : අනිච්ච ලක්ෂණය පිළිබඳව තව විග්රහ කරලා දැනගන්න ඕනේ. අද අපිට සිද්ධ වෙලා තියෙන්නේ 50% කට වැඩිය සංස්කෘත භාසාව පරිභෝග කරන්නයි. ඒ කියන්නේ, දැනට වසර සිය ගණනකට පෙර හිටපු ස්වාමීන් වහන්සේලා විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ එපා කියපු ලෝකායත සාස්ත්ර ඉගෙනගෙන, ලෝකායත ශාස්ත්‍ර කියන්නේ වෛදික ශාස්ත්‍රය කිවුවේ, නැත්තම් ඔය වෛදික භාෂා කියලා කියන්නේ සංස්කෘත භාශාව. ඒ භාශාව ඉගෙනගෙන, ඒ වාගේම ඊට පස්සේ මේ වටිනා සිංහල අමතක කරලා, සිංහල වෙනුවට, 50% කට වැඩිය සිංහල පද වලට සංස්කෘත පද දුන්නා. ඒ දීම නිසා මොකද සිද්ධ වුනේ? බුදු පියාණන් වහන්සේ එපා කියපු කාරණයක් කරලා ඒ හේතුවෙන් මේ ධර්මයේ අදහස් හුඟාක් දුරට නියම අර්ථය වැහිලා ගියා. සංස්කෘත වචන වලින් ඒ පද වලට දුන්න අර්ථය ඒ වෙනුවට දෙන්න පටන් ගත්තා. අද වෙනකොට හුඟාක් වෙලා තියෙන්නේ ඔය ප්රශ්නය. ඉතින් හොඳට තේරුම් ගන්න ඕනේ, අපිට දැන් ඒවාට කරන්න දෙයක් නෑ. දැන් ඉන්න ස්වාමීන් වහන්සේලාටත් ඒවාට ඉතින් වන්දි ගෙවන්න බැහැ. මොකද කරන්නේ? ඒ වචන තමයි දැන් භාවිතාවේ අරන් තියෙන්නේ. “ත්රිලක්ෂණ” කියන වචනය ගත්තත් සංස්කෘත. “තිලකුණු” කියන සිංහල වචනයට, “තිලක්ඛණ” කියන පාලි වචනයට “ත්රිලක්ෂණ” කියලා දුන්නේ සංස්කෘතෙන්. “සිවු අරිසස්” කියන සිංහල සිංහලට පරිවර්තනය විය යුතු වචනය “චත්තාරි අරිය සච්චානි” කියන වචනයට “චතුරාර්යය සත්‍යය” කියලා දුන්නේ සංස්කෘත වචනය. ඉතින් මේ වගේ, “ආර්ය අෂ්ඨාංගික මාර්ගය” කියලා දුන්නේ සංස්කෘත වචනයක්. සිංහල ට කියන්නේ “අරි අටඟි මඟ“, “අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ” කියලා පාලියෙන් කියන්නේ. දැන්, මේ වාගේ මේ සෑම වචනයකට ම, බොහෝ වචන වලට සිංහල අර්ථය වෙනුවට සංස්කෘත අර්ථයක් දීලා, සංස්කෘත පද දීලා. ඊට පස්සේ සංස්කෘතෙන් තෝරන විදිහට ඒවා තෝරලා. මෙන්න මේ නිසා හුඟාක් දුරට මේ අර්ථ වල විවිධ අඩුපාඩුකම්, වෙනස් වීම් වෙලා තියෙනවා. අපිට අත්‍යාවශ්‍යය ම හරිය තමයි මේ සුද්ධ කරලා, විග්රහ කරලා දේශනාව අරගන්න බලාපොරොත්තු වෙන්නේ.
{5:09} පෙලෙන අර්ථයෙන් අනිච්ච ගන්න : බුදු පියාණන් වහන්සේ දේශනා කළ දහමට අනුව අනිච්ච තෝරා ගත්තා ඉස්සෙල්ලා. බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාරනවා, “කතමාචානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා? ඉදානන්ද භික්ඛු සබ්බ සංඛාරේහි අට්ඨීයති, හරායති, ජිගුජ්ඡති, අයං වුච්චතානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා“ කියලා මේ ආකාරයෙන් බුදු පියාණන් වහන්සේ අනිච්ච සංඥාව විග්රහ කරලා දේශනා කරලා තියෙනවා. ඒ ශ්‍රී මුඛ දේශනාවට විරුද්ධ වෙනවා නම්, ඒක මහා භයානකයි! ඒ ශ්‍රී මුඛ දේශනාව පූර්ණ වශයෙන් ම අපි තේරුම් අරගන්න ඕනේ. ඒ නිසා අපි දකින්න ඕනේ “අට්ඨීයති, හරායති, ජිගුජ්ඡති” කියන මේ වචන තුනෙන් බුදු පියාණන් වහන්සේ අනිච්ච සංඥාව අර්ථවත් ව විග්රහ කරලා තියෙනවා. ඒක තමයි කිවුවේ, “අට්ඨීයති” කියලා කිවුවේ “පෙලෙන බව” කියලා විග්රහ කළා. එතකොට, ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ පෙන්නා දුන්නා, අනිච්ච කියන්නේ මොකද්ද? පෙලෙනවා! මේ පෙලෙන්නා වූ ස්වභාවය පිළිබඳව තවදුරටත් ඇසුරු කරන්න ලැජ්ජා විය යුතුයි. ඒ පෙලෙන ලෝකය පිළිකුල් කළ යුතුයි, නැත්තම් ප්‍රතික්ෂේප කළ යුතුයි. මෙන්න මේ කාරණය තමන්ගේ හිතට එනවා මේ පෙලෙන ලක්ෂණය හොඳට වැටහුණා නම්. අපි සුව විඳිනවා කියලා, සුව හොයාගෙන යන්නේ විසාල පෙලීමක් පසුපස! අපි මුලදිත් ඒ පිළිබඳව විග්රහ කරලා දුන්නා. එකොළොස් ගින්නකින් පෙලෙන ආකාරය මීට පෙර දේශනා වලදී ඉතාම හොඳට විග්රහ කළා. එතකොට, තේරුම් ගන්න ඕනේ කරන්නේ එකොලොස් ගින්නකින් පෙලෙන ආකාරය අනුව විග්රහ කළා වාගෙම, තවත් ටිකක් ඒ පිළිබඳව දැනුවත් විය යුතුයි. මොකද නොයෙක් අවස්ථා වල එක එක අපේ පින්වත් පිරිස් දේශනා කරනකොට මේ පිළිබඳ විවිධ අදහස්, මතිමතාන්තරත් එන්න පටන් ගන්න තරමට ඇති වෙලා තිබුණා. ඒකයි මේ හුඟාක් විග්රහ කරලා දෙන්නේ.
{6:55} අනිච්චං ඛයට්ඨේන: දැන් මේක තේරුම් අරගන්න ඕනේ, “ඛේනට්ඨේන අනිච්චා – උප්පාද වයට්ඨේන අනිච්චා“ කියන මේ එක ක්‍රමයක් සැරියුත් මහ රහතන් වහන්සේ විසින් අනිච්ච විග්රහ කරලා දුන්න අර්ථය මීට පෙරදී දේශනාවේ දී විග්රහ කරලා දුන්නා. ඒ වාගේම තවත් වචනයක් තියෙනවා, “අනිච්චං ඛයට්ඨේන“ ඒත් සැරියුත් හාමුදුරුවෝ, සැරියුත් මහ රහතන් වහන්සේ තවත් ක්‍රමයකින් දේශනා කරලා තියෙන ආකාරය. “අනිච්චං ඛයට්ඨේන” කියනකොට ඕකේ වචනය තෝරා ගන්න ඕනේ. “ඛය” කියන්නේ මොකද්ද? ගෙවිලා යනවා, වැනසෙනවා කිවුවාට හරියන්නේ නෑ. හොඳින් අර්ථය තෝරා ගන්න ඕනේ, “ඛය” වෙන ආකාරය. එතකොට, “ඛය” වෙනකොට දුක ඇතිවෙන හැටි දකින්න ඕනේ, මොකද්ද මේ කිවුවේ කියලා. “ඛය, වය” කියලා වචන දෙකක් තියෙනවා. “ඛය” කියන්නේ ගෙවෙනවා, “වය” කියන්නේ වැනසෙනවා. එහෙනම්, ගෙවෙන ස්වභාවයක් තියෙනවා නම්, ඒ මොකද්ද ගෙවෙන්නේ? අනිච්ච වෙන්නේ මොකද්ද, ගෙවෙනකොට? ගෙවෙනවා කියන්නේ මොකද්ද? මේ කාරණයත් හොඳට තේරුම් ගන්න ඕනේ. මේ ලෝකයේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ලෝක ධර්මය තුළ අසත්ධර්ම, සත්ධර්ම කියලා දෙකක් තියෙනවා. ඒ වාගේම ධර්මය, අධර්මය කියලා දෙකක් විග්රහ වෙනවා. ලෞකික වුනත් හොඳ පැත්තක් තියෙනවා, දස අකුසලයෙන් තොර නම් ඒකට කියනවා “ධර්ම“, දස අකුසලය “අධර්ම“.
{8:20} ලෝකයේ ආරම්භය ගැන : මේ ලෝකේ ඉස්සෙල්ලා පහල වුනේ අධර්ම නෙමෙයි, ධර්මය කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ලෝකේ ඉස්සෙල්ලා ම පහල වුනා කිවුවේ? යම්කිසි ලෝක විනාසයක් වෙලා, නැවත වාරයක් ලෝකේ ආරම්භ වෙන කාලයක් තියෙනවා. ඒ මහා කල්පයක ආරම්භය. අන්න ඒ මහා කල්පයක ආරම්භය ඇති වෙන අවස්ථාව වෙනකොට ලෝකේ ආරම්භ වෙලා අන්තඃකල්ප විස්සක් ලෝකේ ආරම්භ වෙන කාලේ, ඊට පස්සේ අන්තඃකල්ප විස්සක් ලෝකේ ආරම්භ වෙලා පවතින කාලේ, තව අන්තඃකල්ප විස්සක් විනාස වෙලා යන කාලේ, ඊලඟ අන්තඃකල්ප විස්ස විනාස වෙලා පවතින කාලේ, හැදෙන්නේ නැතුව පවතින කාලේ. නැවතත් ඒ කාලේ ඉවර වුනහම, ආරම්භ වෙනවා ආයි සැරයක්, අන්තඃකල්ප විස්සක් යනකන් ලෝකේ හැදෙන්න. මේ තමයි, මහා කල්පයට අන්තඃකල්ප අසූවක් කියලා කාලයක් යනවා, විසාල කාලයක්. මෙන්න මේ වගේ මේ ලෝකේ ආරම්භ වෙන කාලෙදී මේ ලෝකේ ආරම්භයට හැදෙන හැටි හුඟාක් විස්තරයක් තියෙන්නේ ඒක, මූලික වශයෙන් “සම්පත්තිකර මහාමේඝ වර්ෂාව” කියලා බ්‍රහ්ම කල්පීය, මූලික ව හිටපු, ප්‍රථමධ්‍යාන තලයේ හිටපු බ්‍රහ්ම ආදී වන්නා වූ ඒ පිරිස් වලට ඇති වෙන, එයින් පල්ලෙහාට බහින්න, නැත්නම් මනුෂ්‍යත්වයට හේතු වන්නා වූ සංඛාර පහල වෙන අවස්ථාව වන විට “අනේ, අපිට ඒවාගේ ඉන්න තිබුණා නම්” කියන පෙර අතීත සිතිවිලි මතක් වෙලා යි එහෙම එන්නේ. අර හිටපු මනුස්ස ගති මතක් වෙලා, “ඒ වාගේ ඉන්න තිබුණා නම් කොච්චර හොඳද” කියන හැඟීමක් එනවා. ඒ කියන්නේ දැන් බ්රහ්මායුෂ ගෙවිලා මිනිස් අත්බවට පරිවර්තනය වෙන්න එන කාලේ සිද්ද වෙන දෙයක්. මෙන්න මේ අවස්ථාවේදී, ඒ සත්ත්වයින් ගේ පුන්‍ය මහිමයට, “සම්පත්තිකර මගාමේඝ වර්ෂාව” කියලා එකක් ලෝකේ හටගන්නවා කියලා පෙන්නනවා. අන්න ඒ සම්පත්තිකර මහා මේඝය කියලා කියන්නේ ඉතාම සියුම් ව හටගන්න ජල බිංදු, නැත්නම් වාෂ්ප බිංදු හටගෙන, ඒවා කැටි වෙලා, ඝනීභවනය වෙලා, ජල බවට පත් වෙලා, මෙන්න මේ ලෝකේ ආරම්භය ජල බෝලයක් වාගේ. ජල ගෝලයක් වෙලා හැදෙන්නේ. මේ ඉස්සෙල්ලා ම ආරම්භ වෙන හැටි.
{10:18} බ්‍රහ්ම කයෙන් ඝන කයට : අන්න ඒ ජල ගෝලයක් වෙලා හැදෙනකොට, අර බ්‍රහ්ම ලෝකෙන් චුත වෙච්ච ඒ බ්‍රහ්මයෝ ඕපපාතික ව උපදිනවා ඉතාම සියුම් ශරීර ඇතිව, බ්‍රහ්ම කල්පික මනුස්සයෝ. මවු කුසයකින් නෙමෙයි උපදින්නේ, අර ඕපපාතිකව මයි ඉස්සෙල්ලා උපදින්නේ. මෙන්න මේ වාගේ කාලේ එනකොට, අර බ්‍රහ්ම ගතිලක්ෂණ තිබුණා මිසක්, දස අකුසල මාත්‍රයක් වත් හිතට එන්නේ නෑ. ඒක තමයි කිවුවේ, මුලදි පහල වුනේ ධර්මය කියලා. ඒ ධර්මය පහල වෙලා ඇවිදිල්ලා – දස අකුසලයෙන් තොර ගතිලක්ෂණ ඇවිදිල්ලා, ක්‍රම–ක්‍රමයෙන් රස කාමයට ලොල් වෙලා, එතනින් තමයි ආරම්භ වෙන්න පටන් ගත්තේ, ක්‍රම–ක්‍රමයෙන් මේ පංච කාමයන් ගේ ගන්ධ, රස, ස්ඵර්ශ කියන මේ ටික එන්න. චක්ඛු, සෝත කියන දෙකයි ඒ අයට මුලින් ක්‍රියාත්මක වුනේ, බ්‍රහ්ම කාලයේදී. ඊට පස්සේ, ගන්ධ, රස, ස්ඵර්ශ එන්න පටන් ගත්තේ මේ ලෝකේ ආරම්භ වෙලා හැදිච්ච, අර අර කියන ලෝකේ ඉස්සෙල්ලා ම කිරි යොදයක් වාගේ පටලයක් හැදිලා, ඒ පටලයේ තිබෙන සුවඳ, නැත්නම් ඒක රස පටලයක්, ආහාරයක්. ඒ සුවඳ උඩට විහිදිලා එනකොට, ඒ බ්රහ්මකල්පික, ආකාසචාරීව, ස්වයං ප්‍රභා ආලෝකයෙන් සැරිසරපු ඒ මූලික බ්රහ්මකල්පික මනුස්සයින්ට සුවඳ වැටුනහාම, අර සසර පුරුද්දට ඒ සුවඳට ප්‍රිය කළා. ක්‍රම–ක්‍රමයෙන් සුවඳ ආඝ්රාණයට ප්‍රිය කරලා, ඒක දැනිලා, ඒ සුවඳ එන පැත්ත හොයාගෙන එනකොට දැක්කා අර කිරි යොදයක් වැනි, ලෝකයේ බැඳිලා තියෙන අර රස යොදය. අර සසර පුරුද්දට ම ප්‍රිය–මනාපය කටගාන්න හිතුණහම, දිව ගාලා බලනකොට අර රසය දැනෙන්න පටන් ගත්තා. එන්න එන්න රසයට ලොල් වුනා. ඊට පස්සේ රසයට, ඒක ආහාරයට ගන්න පටන් ගත්තා. කාලාන්තරයක් යනකොට, ඝනීභවන ශරීර ඇති වෙන්න පටන් ගත්තා.
{12:03} බ්‍රහ්ම කල්පික කයේ පටන් ක්ෂය වීම : මෙන්න මේ ඝනීභවන ශරීර ඇතිවෙන්න පටන් ගත්තා ට පස්සේ, ස්ත්‍රී ගති තිබුණු අයට ස්ත්‍රී ලක්ෂණත්, පුරුෂ ගති තියෙන අයට පුරුෂ ලක්ෂණත් පහල වුනා. මෙන්න මේ ආකාරයෙන් ආරම්භ වුනාට පස්සේ, ස්ත්‍රී–පුරුෂ වෙනස දැක්කා ට පස්සේ, එකිනෙකා ඇහෙන් ඇහැ ගැටෙනකොට, අර සසර ගතියට අනුව කාම්‍ය අදහස් එන්න පටන් ගත්තා. ඊට පස්සේ එකිනෙකා වැළඳගන්න පටන් ගත්තා. මෙන්න මේ ක්‍රමයට, ක්‍රම–ක්‍රමයෙන් අර ඝනීභවන ශරීර ඇති වෙච්චි අය පංච කාමයට ම ලොල් වෙන්න පටන් ගත්තා. මෙන්න මෙතනින් ආරම්භ වෙච්ච ගමනෙ දී, ක්‍රම–ක්‍රමයෙන් කාමච්ඡන්ද ආදිය එනකොට, ව්‍යාපාදයත් ක්‍රමක්‍රමයෙන් නැඟෙන්න පටන් ගත්තා. ඕවා ඉතාම සියුම් ව පටන් ගත්තේ. දැන් එතකොට, කාමච්ඡන්දය කියන්නේ අධර්මයක්, ව්‍යාපාද කියන්නේ අධර්මයක්. අන්න, ක්‍රම–ක්‍රමයෙන් අධර්මය කරා බැස්ස හැටි! එතකොට, කළු – සුදු භේදයක්, නැත්තම් වර්ණ භේදයක් හටගත්තා ඉස්සෙල්ලා. “අපි ලස්සනයි, උඹලා කැතයි” කියලා, එදා හිටපු අයගෙන් කොටසක් ලස්සන අය එක පැත්තක් වුනා. කැත අයට ඒගොල්ලෝ නිග්‍රහ කළා. “උඹලා අපි තරම් වටින්නේ නෑ, උඹලා කැතයි.” අන්න එතෙන්ට එක්තරා මාන්න සහගත අදහසක් ආවා. ඒ එනකොට ම ඇති වුනේ භේදයක්. භේදය කොහොමත් දූෂ්‍යයි. එහෙනම්, ඇලීමත් එක්ක ගැටීමෙත් ආරම්භය ඔය විදිහට පටන් ගත්තා. එහෙනම්, ඇලීමත් අධර්මයක්, ගැටීමත් අධර්මයක්. ඇලෙන්නේ – ගැටෙන්නේ නැතුව හිටපු කාලේ, ඒක තමයි ලෞකික වශයෙන් ධර්ම කියලා මට්ටමක් තිබුණේ. නිවන් දකින ධර්ම නෙමෙයි, ලෝක ධර්මයේ හොඳ පැත්ත, පුන්‍ය පැත්ත. අන්න පාප පැත්තට එන්න පටන් ගත්තාට පස්සේ මොකද වෙන්නේ? අර පුන්‍ය පැත්තට තියෙන කාලෙදී සමතුලිත ගතියක් තිබුණා. ඒ කියන්නේ ශරීර වලට දාහයක් නෑ, දුකක් දැනෙන්නේ නෑ. ශරීර බොහොම සැහැල්ලුයි. බොහොම සුවයෙන් ඉන්නේ, ලෙඩ–රෝග නෑ, කරදර නෑ, කැක්කුම් – වේදනා මොකුත් නෑ. පුළුන් රොදක් වාගේ, බොහොම සැහැල්ලුවෙන් තමයි ඒ ශරීර තිබුණේ ඒ කාලේ. මෙන්න මේ කාලේ වෙනකොට අර තිබිච්චි යම්කිසි අර තිබුණු ධර්ම ලක්ෂණ, නැත්තම් ධර්මය හෙවත් අර තිබිච්චි ගුණ–ධර්ම ක්ෂය වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ක්ෂය වෙන්න පටන් ගත්තාට පස්සේ, හැබැයි ක්ෂය වීම උඩ පටන් ම තියෙනවා, හැම තැනම යම් කිසි – අර බ්‍රහ්ම කල්පික අය සම්පූර්ණ සුද්ධ කය ඇතුව හිටියා නෙමෙයි. ක්‍රම–ක්‍රමයෙන් පාප පැත්තට ක්ෂය වුනහම ඇති වෙන වෙනස තමයි මේ කියන්නේ, දුක දැනෙන මට්ටම. අන්න එහෙම ක්ෂය වෙන්න පටන් ගත්තාට පස්සේ මේ ශරීරයේ තිබෙන්නා වු අර රස ධාතු හීන වෙන්න පටන් ගත්තා. අන්න හීන වෙනකොට මොකද කරන්නේ? ක්‍රම–ක්‍රමයෙන් පෙලෙනවා. අඩුපාඩු – අසහන එන්න පටන් ගත්තා, ඇඟ රිදෙන්න පටන් ගත්තා, අසහනකාරී තත්ත්වයන් ඇති වෙලා, කයේ තියෙන අර උෂ්ණාදිය වෙනස් වෙන්න පටන් ගත්තා. සීත–උෂ්ණ විපරීත වුනා. මෙන්න මේ වගේ, ක්ෂය වෙනවා කියන්නේ ඒ තිබුණා වූ සමතුලිත තාවය ක්ෂය වෙලා ගියා.
{14:48} පුන්‍ය සෘද්ධිය වුනත් ක්ෂය වෙනවා : මේ ක්ෂය වෙන එක තමයි මේ හැම දෙයකම ලක්ෂණය. මං ඔය එකක් පෙන්නුවේ ක්ෂය වෙන ආකාරය පෙන්වන්න. නමුත්, හටගත්ත යම් දෙයක් තියෙනවා නම්, හැම දේකම තියෙනවා එකාකාර ව පවතින්නේ නැතුව ක්ෂය වෙලා යන ලක්ෂණයක්. ඒ තිබුණ ආකාරය කවදාකවත් හටගන්න එක, හටගන්න හේතුවක් තියෙනවා, කොහොමද ? යමක් හට ගන්නේ සත්ත්වයා ගේ ආස්වාද බලාපොරොත්තුව මුල් කරගෙන තමයි පටන් ගන්නේ. සත්ත්වයා බලාපොරොත්තුවක් ඇති කරගන්නවා ප්‍රිය–මනාප දෙයක්. ඒ ප්‍රිය–මනාප දේ බලාපොරොත්තුව ඇතිකරගත්තහාම ඒ ප්‍රිය–මනාපයට අනුකූල ව තමයි ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නේ අර තමන් ගේ අදහස්. එතකොට, ඒ මුල් කරගෙන මූලික වශයෙන් ම ලෝකේ ආරම්භ වෙන කාලයේ දීත් ඒ කියන ප්‍රිය–මනාපයට ගැලපෙන විදිහට තමයි අර නාම–රූප පහල වෙන්නේ. ඒ විඤ්ඤාණ, නාම–රූප එයිට අනුකූලව පහල වෙනකොට, ඒ අනුකූලව තමයි ලෝකේ ආරම්භය හටගන්නේ. ප්‍රිය මනාපයෙන් හටගත්තාට, කවදාවත් ඒවා ඒ ආකාරයෙන් තියෙන්නේ නෑ. දැන් අපි හිතමු, යම්කිසි දෙයක් පුන්‍ය සෘද්ධිය නිසා, පුන්‍ය ශක්තිය නිසා ලෝකේ රස ධාතුව හොඳට, අධික ව පහල වෙනවා. එතකොට, එහෙම පහල වුනහම ඒ ලෝකේ ස්වභාවයක් තියෙනවා, හැම දෙයකම රසය, අර කිරි යොදයේ තියෙන රසයත් එහෙම එකක්. කිරි යොදයක් වාගේ තිබිච්ච, ලෝකේ වටේ තිබුණ පටලය. ඒක තමයි එදා ගත්ත ආහාරය. ඒකත් අර පුන්‍ය සෘද්ධියෙන් පහල වෙච්ච, බාහිර රස එකක්, බාහිර දෙයක්. ඒකෙත් ගුණ හීන වෙන්න පටන් ගත්තා, ක්ෂය වෙන්න පටන් ගත්තා.
{16:17} : ඊට පස්සේ “බදාලතා” කියලා වැල් කොටසක් හටගත්තා. ඒ ක්ෂය වුනාට පස්සේ, දෙවෙනි අවස්ථාව. ඒ රසයත් ක්ෂය වෙන්න පටන් ගත්තා. ඔය හැම එකක් ම ක්ෂය වෙනවා. බාහිර ලෝකෙත් ක්ෂය වෙනවා, අභ්‍යන්තර වශයෙන් ශරීර වල තියෙන ස්වභාවයත් ක්ෂ්ය වෙනවා. මේ ක්ෂය වෙන්න, ක්ෂය වෙන්න මොකද වෙන්නේ? අන්න ඒ හීනතාවය නිසා පෙලෙන්න පටන් ගන්නවා. අන්න, පෙලීම හා සම්බන්ධ වුනේ, “ඛයට්ඨේන“ කියන වචනය පෙලීමට සම්බන්ධ වුනේ ඔය විදිහට. එහෙනම් අනිච්ච නිසාම, අනිච්ච ස්වභාවය මොකද්ද? කවදාවත්, කොච්චර ප්‍රිය–මනාපයෙන් යමක් හදලා තිබ්බත්, ඒ හදලා තිබ්බ ආකාරයෙන් කවදාක්වත් ඒ කිසි දෙයක් පවතින්නේ නෑ! දැන් ඕක තමයි, මූල ලක්ෂණයක් ඔය. මේ ශරීරය කොච්චර හැඩ–වැඩ කරලා හදලා තිබ්බත්, ඒ ස්වභාවය ක්ෂය වෙනවා. නාලා, පිරිසිදු කරලා හොඳ ලස්සන කරලා තියනවා, පවුඩර් – පියරු දාලා, සුවඳ ගහලා, නමුත් බලා ඉන්දැද්දී දාඩිය ගඳ ගහන්න පටන් ගන්නවා. දාඩිය වැක්කිරිලා අර පියරු මැකිලා යනවා. අර හැඩ වෙනස් වෙලා යනවා, ආයි සැරයක් ආයි කිලිටි වෙනවා. කිලිටි වෙච්ච කය සුද්ධ වෙන්නේ නෑ ඉබේ, තවත් කිලිටි වෙනවා මිසක්. සුද්ධ ස්වභාවය කිලිටි වෙනවා, නාලා පිරිසිදු වෙච්ච් කය ආයි සැරයක් කුණු දහඩිය හැදිලා ඒ විදිහට විනාස වෙලා ආයිත් කිලිටි වෙන්න පටන් ගන්නවා. ක්ෂය වෙනවා හදපු – හදපු එක. රස ආහාරයක් තියලා තිබ්බොත් පිළුණු වෙනවා. පිළුණු වෙච්ච් ආහාරය කවදාවත් නැවත රස ආහාරයක් වෙන්නේ නෑ, ආපහු. ක්ෂය වෙන ගති–ලක්ෂණය. හැම එකකම ඔය විදිහට තියෙනවා. ප්‍රිය මනාපය විනාස වෙන පැත්තට ක්ෂය වෙනවා මිසක්, විනාස වෙන එකක් ප්‍රිය–මනාපයට ක්ෂය වෙලා හැදෙන එකක් නෑ! ආපහු එන්නේ නෑ. හැදූ ශරීරය ක්‍රම–ක්‍රමයෙන් වයසට යනවා, මරණය කරා ක්ෂය වෙනවා මිසක්, නැවත උපත කරා, ශුද්ධ වීම කරා ආපහු හැදෙන්නේ නෑ ඒ කය. මෝර මෝරා, මැරබැහිලා, වයසට ගිහිල්ලා, මැදි වයස පැනලා, නාකි වෙනවා මිසක්, මැදි වයසට පැන්න කය ආයි තරුණ වෙන්නේ නෑ කවදාවත්.
{18:06} යදනිච්චං තං දුක්ඛං : එහෙනම්, මේ ක්ෂය වෙන ස්වභාවයක් තියෙනවා මේ විදිහට. හදපු එක ගෙවි–ගෙවී යන ආකාරය. එහෙනම්, හැදුවේ හොඳට, බලාපොරොත්තු වුනේ හොඳක්. ආරම්භය හොඳට හැදුවාට, අවසානය වෙනකොට ක්ෂය වෙන්නේ නරක පැත්තට. එහෙනම්, නරක පැත්තට ක්ෂය වෙන්න – ක්ෂය වෙන්න මොකද්ද වෙන්නේ? දුකක් ම උපදිනවා මිසක්, සැපක් උපදින්න හේතු වෙන්නේ නෑ. මෙන්න මේක තමයි “අනිච්චං ඛයට්ඨේන” කිවුවේ. එහෙනම්, ඛය වෙන එකෙත් තියෙනවා දුකක්. “යදනිච්චං තං දුක්ඛං” – යමක් අනිච්ච ද ඒක දුකයි කිවුවේ ඒ අනිච්ච ලක්ෂණය තුළ ම දුක පිහිටලා තියෙන නිසා. ඉතින් යමක් අනිච්ච නම්, ඒක දුකත් එක්ක බැඳිලා තියෙන්නේ. එහෙනම්, දුක්ඛ ලක්ෂණය වෙන එකක්, දුක්ඛානුපස්සනාව තව එකක්. ඕක දකින්න ඕනේ. “යදනිච්චං තං දුක්ඛං” කියන තැන පෙන්නුවේ, යමක් අනිච්ච නම් ඒක දුකයි. එහෙනම්, අනිච්ච එකේම ලක්ෂණයක් ඒ පෙන්නුවේ. එහෙනම්, යමක් අනිච්ච වෙනකොට, දුක්ඛ ලක්ෂණයත් ඒකේ ම තියෙනවා, ඒක ලක්ෂණය. මෙන්න මේකට කියනවා, “අනිච්ච දැක්කහාම දුක්ඛ දුක්ඛය දකිනවා“ ඒකේ ලක්ෂණය මොකද්ද, දුක්ඛ ලක්ෂණය? දුක්ඛ දුක්ඛය. ඔය අනිච්ච – දුක්ඛ – අනත්ථ කියන මේ තුනට දුක දකින ක්‍රම තුනක් තියෙනවා. අනිච්ච වල දුක දකින්නේ දුක්ඛ දුක්ඛයෙන්. ඒ කියන්නේ, අපි අර කිවුවා වගේ ලෝකයේ යමක් හටගත්තහාම, ඒකේ ඇති වෙන්නා වූ ඔය ක්ෂය වීම නිසා ඒකට උරුම දුක විඳින්න සිද්ධ වෙනවා.
{19:29} දුක සහ දුක විඳීම : එතකොට, තව කාරණයක් තියෙනවා. “දුක” යි “දුක විඳීම” යි දෙකක්. මේකත් තෝරා ගන්න ඕනේ, දැන් “ලෝකේ දුකයි” කිවුවහාම, සමහර අය තර්කයක් ගන්නවා, “ඒ ඇසුරු කළොත් නේ දුක, අහක තිබුන ලෝකේ කොහොමද දුක් වෙන්නේ? අහක තියෙන ලෝකේ දුක නෑ නේ!” කියලා. දැන් මේ දුක සහ දුක විඳීම කාරණා දෙකක්, වෙනම තෝරා ගන්න ඕනේ. දුක වැළඳගත්තොත් තමයි භයානක. දුක වැළඳගත්තොත්, දුක විඳින්න වෙනවා. එහෙනම්, කොහොමද ඒකට දුක කිවුවේ, මොකක් නිසාද? යමක් වැළඳගත්තහාම, යමක් ඇද – බැඳ ගත්තහාම, භුක්ති විඳින්න ගත්තහාම, ඒකෙන් දුකක් හටගන්නවා නම්, දුක් වේදනාවක් හටගන්නවා නම්, අන්න ඒ නිසා ඒවාට දුකයි කියනවා. උපමාවක් අරන් බැලුවොත්, යම්කිසි වසක් තියෙනවා, වස වර්ගයක්! හැබැයි බිවුවොත් තමයි වස වෙන්නේ. බිවුවොත් හරි කෑවොත් හරි තමයි වස වෙන්නේ. බොන්නේ නැතුව, කන්නේ නැතුව පැත්තකින් තියලා තිබ්බහාම වස වෙන්නේ නෑ. හැබැයි ඒවාට කියන්නේ මොකද්ද? ඒවාට කියන්නේ “වස” මයි! නැතුව, ඊට පස්සේ මී පැණි කියන්නේ නෑ, අහක තියෙනකොට. ඒක වස මයි! බිවුවොත් වස වෙනවා. වස වෙලා, මරණය හෝ මරණය සමාන දුකකට පත් වෙනවා. අහක තිබුණහමත් වස වලට වස ම කියනවා, “වස” කියනවා. මෙන්න මේ වගේ, දුක ගෙන දෙන යමක් ඇත්නම් ලෝකය කියලා, ඒකට “දුක“යි කියනවා. ඒක වැළඳගන්න ගියොත්, දුක විඳින්න සිද්ධ වෙනවා. ඒ දුක සහ දුක විඳීම වෙනම තෝරා ගන්න ඕනේ. දුක වැළඳගන්න එපා කියන එකයි පෙන්නන්නේ, දුක තියෙනවා ලෝකේ. ඒ දුක කියන්නේ අපි විඳිනවා ට නෙමෙයි. විඳින්න ගියොත්, දුක් වෙන, දුකට ඇද වැටෙන ස්වභාවය යමක තියෙනවා නම්, ඒවාට දුකයි කිවුවා. ඉතින් ඕක වරදා ගත්තහම, ලෝකේ දුකයි කිවුවහාම, ලෝකේ දුක වෙන්නේ කොහොමද කියලා තර්ක කරනවා. තර්කයෙන් තේරුම් ගන්න බෑ, යථාර්තය ඔහොම තේරුම් ගන්න ඕනේ.
{21:20} “සියල්ල” ම අනිච්චයි – පංචස්කන්ධ වශයෙන් : එහෙනම්, මෙන්න මේ විදිහට අපි විග්රහ කරලා මේ අනිච්ච කියන ස්වභාවය දැක්කහාම, මේ පෙලෙන ස්වභාවය තේරුම් ගත්තහාම, මේ පෙලෙන හැම දෙයක් තුලින් ම අපිට දුක එන හැටි දැක්කා ඔය විදිහට, දුක්ඛ දුක්ඛය ගොඩනැඟෙන හැටි. මෙන්න මේ දුක්ඛ දුක්ඛය එනකොට, අපිට වැටහෙනවා මේ ලෝකේ පිළිබඳව තම තමගේ විවිධ අදහස් අනුව එක එක ක්‍රම වලට. සමහර අය කියනවා එහෙම දැක්කහාම ලෝකේ ගැන, “අනේ, මේ ලෝක ස්වභාවය මං මෙහෙම බලනකොට මට තේරෙනවා” මොකද්ද, ලෝකේ “සියල්ල“, අපි එදත් ව්ග්‍රහ කළා මීට පෙරදී, “සියල්ල” කියනකොට විවිධ ක්‍රම වලින්, පංච උපාදානස්කන්ධය වශයෙන් සියල්ල විග්රහ කළා, ඒ වාගේම දොලොස් ආයතන වශයෙනුත් සියල්ල විග්රහ කළා, ධාතු වශයෙන් – ධාතු 18ක් වශයෙන්, ධාතු 6ක් වශයෙන් සියල්ල විග්රහ කළා, පටිච්ච සමුප්පාද වශයෙන් සියල්ල විග්රහ කළා, ලෝකයට අයිති සියල්ල ඔය ටිකේ කියවුනා. ඒ වාගේම, ඇස – රූපය – චක්ඛු විඤ්ඤාණය – චක්ඛු සංඵස්සය – චක්ඛු සංඵස්සජා වේදනාව, කන – ශබ්දය – සෝත විඤ්ඤාණය – සෝත සංඵස්සය – සෝත සංඵස්සජා වේදනාව, නාසය – ගන්ධය – ඝාන විඤ්ඤාණය – ඝාන සංඵස්සය – ඝාන සංඵස්සජා වේදනාව, දිව – රසය – ජිව්හා විඤ්ඤාණය – ජිව්හා සංඵස්සය – ජිව්හා සංඵස්සජා වේදනාව, කය – ඵොට්ටබ්බය – කාය විඤ්ඤාණය – කාය සංඵස්සය – කාය සංඵස්සජා වේදනාව, මන – ධම්ම – මනෝ විඤ්ඤාණය – මනෝ සංඵස්සය – මනෝ සංඵස්සජා වේදනා කියන ටික ලෝකයට අයිති, “මම මාගේ” කියන ඒවාත්, ලෝකේ කියන ඒවාත් සියල්ල ම කොටු වෙලා. මේ එක ක්‍රමයක්. අපි ඒ ක්‍රමය විග්රහ කරලා දුන්නා, එකොලොස් ගින්නකින් පෙලෙන ආකාරය, ලෝකය හා සම්බන්ධව. එක ක්‍රමයකින් ඒ විස්තරය පෙන්වලා දුන්නා, ලෝකය පෙලෙන හැටි.
{22:55} ස්කන්ධ වශයෙන් අනිච්ච : එතකොට, ඒ වගේම පංච උපාදානස්කන්ධය වශයෙන් ගන්න හැටිත් විග්රහ කළා. යම් කිසි රූප උපාදානස්කන්ධයක් ඇත්නම්, ඒ රූපය පිළිබඳ ව මෙහෙම දකිනවා. මොකද්ද, “අතීත, අනාගත, වර්තමාන, ආධ්‍යාත්මික, බාහිර, සියුම්, ඝන, දුර, ලඟ, හීන, ප්‍රණීත” කියන ඔය එකොලොස් ආකාරයෙන් යම් රූපයක්, යමක් වී නම්, වෙයි නම්, වන්නේ නම්, අන්න ඒ සියල්ල ම රූපස්කන්ධයයි. එහි ඡන්ද රාගයකින් බැඳුනා ද, රූප උපාදානස්කන්ධයයි. දැන් ඡන්ද රාගයත් එක්ක බැඳුනහාම රූපය පිළිබඳ සියල්ල අහු වුනා එතනින්. තමන්ගේ ශරීරය ඇතුලේ තියෙන රූපත්, බාහිර ලෝකයේ තියෙන රූපත්, සියුම් – ඝන, හීන – ප්‍රණීත, දුර – ලඟ, ආදී සියල්ල ම ඒකට කොටු වුනා. මේ තමයි රූපස්කන්ධය. ඒවා රූප උපාදානස්කන්ධය වෙනවා, ඡන්ද රාගයත් එක්කලා. ඒ වාගේම තමයි වේදනා ස්කන්ධය. අතීත, අනාගත, වර්තමාන, ආධ්‍යාත්මික, බාහිර, සියුම්, ඝන, දුර, ලඟ, හීන, ප්‍රණීත වේදනා යැයි යමක් වී නම්, වේ නම්, වන්නේ නම්, ඒ සියල්ල එක් කරපුහාම වේදනා ස්කන්ධය. අතීත, අනාගත, වර්තමාන, ආධ්‍යාත්මික, බාහිර, සියුම්, ඝන, දුර, ලඟ, හීන, ප්‍රණීත ඒ වගේම ඒ ආදී වශයෙන් සංඥා ස්කන්ධය යැයි යමක් වේ නම් ඒ සියල්ල සංඥා ස්කන්ධයයි. ඔය විදිහට සංඛාර, විඤ්ඤාණ ස්කන්ධත් දකිනකොට, ඔන්න ඔහොම පෙන්වනවා මුලු ලෝකෙට අයිති සියල්ල. ඒ තව ක්‍රමයක්.
{24:19} කොයි සම්මුතියත් අන්තිමට ක්ෂය වෙනවා : මේ කොයි ක්‍රමයෙන් ඔය ටික කිවුවත්, යමක් ලෝකේ හටගත්තා නම්, ඒ හටගැනීමේ පටන්ගෙන ඒක මෝරලා ඒ හටගන්න තත්ත්වයෙන් සම්මතය ගොඩනැඟිලා ආවා නම්, ඒ කියන්නේ කුඩාවට හැදිලා එනකොට අපි “කොස් ගහ” කියන්නේ නෑ චූටි පැලේට. ඒ පැලේ ඇටේට “කොස් ගහ” කියන්නේ නෑ. ඇටේ කොණ්ඩි වුනහම, තව “කොස් පැලේ” කියන්නේත් නෑ. තව පැලේ වුනේ නෑ. නමුත්, ඔය කොස් ගහ කියන තත්ත්වයට වැඩෙන්න තව ටික කාලයක් යනවා. අපි කොස් පැලේ කියන කාලෙත් ඉක්මවා ගිහිල්ලා, බලන් ඉන්දැද්දී ඒක වැඩිලා, වැඩිලා, ඒට වඩා වැඩෙන්නේ නැති ගාණක් එනවා. හොඳට මල් – ඵල දරන කාලයක්. අන්න, “හොඳ කොස් ගහ” කියන මට්ටමට ආවා. දැන් සම්මුතියක් තියා ගත්තා “කොස් ගහ” කියලා. හැබැයි, දැන් කොස් ගහ ඊලඟට මොකද වෙන්නේ? ඵල දරණ මට්ටමට ඇවිදිල්ලා, ඵල දෙන්න පටන් ගත්තාට පස්සේ, එතන පටන්ගෙන මෝරලා, මැර ගැහිලා, ඒකේ කාලේ ගෙවෙන්න යනවා. ඒ කියන්නේ, ඒක වැහැරිලා යන්න පටන් ගන්න ඒ එන්නේ, ක්ෂය වෙලා යනවා. අර තිබුණු තත්ත්වයෙන්, එන්න එන්නම ගෙඩි වල සාරත්වය අඩුයි, ගෙඩි පුංචි වෙනවා, කොල පුංචි වෙනවා, ඉතින් අතු ඔක්කෝම අර හොඳ පෝෂණ ගතිය නැති වෙලා යනවා, ඔක්කෝම නිකන් කණාටු වෙලා යනවා, ඕක ඔහොම ගිහිල්ලා, මෝරලා මෝරලා, අන්තිමට කුණු ඉස්ම වැක්කිරිලා, ගහ මැරිලා යනවා. ක්ෂය වෙලා ගියා! ගස් වලටත් ඕක තියෙනවා. ලෝකේ තියෙන හැම දේකටමත් ඔය ක්ෂය වීම තියෙනවා. ඉතින් ක්ෂය වෙන දෙයක් අපි අල්ලා ගන්න ගියොත්, අපි බලාපොරොත්තු වෙන්නේ නෑ එහෙම වෙනවාට. “ඒක ඉතා හොඳින් පවතිනවා නම් කොච්චර හොඳද! ප්‍රිය–මනාපයෙන් පවත්වාගන්න පුළුවන් නම් කොච්චර හොදද!” හැබැයි, අපි හොඳද කිවුවාට හරියන්නේ නෑ, අපේ කැමැත්තට අනුව ඕක ඉෂ්ඨ වෙන්නේ නෑ! ලෝකයා නම් හරී කැමතියි, ඔක්කෝම හොඳින් තියාගන්න, කරදරයක් නැතුව තියාගන්න. මේ කය උපද්‍රවයක් නැතුව, ලෙඩක් නැතුව, තරුණ තත්ත්වයෙන්, තරුණ භාවයෙන් තියාගන්න කැමතියි, කාටවත් ඒ කැමැත්ත ඉෂ්ඨ වෙන්නේ නෑ! කොච්චර කැමති වුණත්, කැමති සේ නෑ නේ! යම්කිසි දේපොලක් ඇත්ද, ගේ–දොරක් ඇත්ද, හදපුවා හොඳින් තියා ගන්න හැදුවාට, කැමති සේ ඒවා තියාගන්න බෑ! ඒවා ඔක්කෝම අර ක්ෂය වීමට යටත්. ඒකේ තියෙන ස්වභාවය, පරණ වෙලා – පරණ වෙලා ගිහිල්ලා, කැඩිලා, බිඳීලා විනාස වෙලා යනවා. ඔය ක්ෂය වීම ඒකෙත් තියෙනවා. ඉතින් ඒක වෙනවා ට කැමති නැති වුනාට හරියන්නේ නෑ. අපි “කැමති නෑ” කියලා යමක් හදා ගත්තා නම් ඒකට, ඒකම අපිට දුක ගෙනදෙන්න පටන් ගන්නවා, අනික් අතට. මොකද, අපි යථාර්තය ගැන දැක්කේ නැත්නම්, දන්නේ නැත්නම්, මේ ක්ෂය වෙන ස්වභාවය ලෝකෙට උරුමයි කියලා අපි ඔය ටික හිතුවේ නැත්නම්, “අනේ, එහෙම නොවේවා!” කියන අදහසක් එනවා. “එහෙම නොවී තියෙනවා නම් කොච්චර හොඳද!” කියලා කරන්න බැරි දෙයක් ගැන වැරදි ආකල්පයක් එනවා. ඇවිදින්, අපි ඒකේ ලතැවෙනවා, “අනේ, මට මේක මෙහෙම නොවුනා නම් කොච්චර හොඳද, මේ කෙස් පැහුනේ නැත්නම්, දත් හැලුනේ නැත්නම්, හම රැලි වැටුනේ නැත්නම්, කොච්චර හොඳද!” කිවුවාට හරියන්නේ නෑ. ඒක ධර්මතාවය කිවුවේ ඒකයි. ක්ෂය වෙන ධර්මතාවය, අනිච්ච ධර්මතාවය.
{27:02} අනිච්ච විවිධ විදිහට වැටහෙන්න පුළුවන් : මෙන්න මේ “අනිච්චං ඛයට්ඨේන“ කියන වචනයෙන් පෙන්නුවේ සියල්ලම අහුවෙනවා. කැමති සේ පවත්වන්න බෑ කියන එක දකින්නේත් ඒ අනිච්ච දැක්කහාම දකින එක ක්‍රමයක්. ඉච්ඡ කියලා කියන්නේත් කැමැත්තට. “ඉච්ච සේ නෑ” කියන්නෙත් ඒකයි. ඉච්ච සේ නෑ කියන්නේත්, ඒත් අර අනිච්ච දැක්කාට පස්සේ තමන්ට වැටහෙන හැටි. ප්‍රිය සේ නෑ, කාන්තාරයක් වාගේ! එක එක්කෙනාට වැටහෙනවා. මොකද ඒක දැක්කහාම, ඒකේ දැවෙන හැටි, තැවෙන හැටි, “අනේ, අපිට වෙන දේ” කියලා මිනිස්සු සෝක වෙන හැටි දැක්කහාම, “හරියට මේ පැවැත්ම, නැත්තම් මේ සියල්ල කාන්තාරයක් වාගේනේ“, තව කෙනෙකුට අදහස් එනවා. ඒ යථාර්තය දැක්කාට පස්සේ තම–තමන්ගේ අදහස් අනුව වැටහෙන හැටි. “මේක හරියට මඩ ගොහොරුවක් වාගේ නේ, ගිය ගිය තැන එරෙනවා, දුකේ එරෙනවා, එහෙම දෙයක් තියෙන්නේ” ඉතින් කෙනෙකුට එහෙමත් වැටහෙනවා. මේ එක එක්කෙනාට වැටහෙන ආකාර. කොයි ආකාරයේ වැටහුනත්, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අනිච්ච විග්රහ කරනකොට, මේ චතුරාර්ය සත්‍යය සම්බන්ධ දේකුයි විග්රහ වෙන්නේ. මෙන්න මේ විග්‍රහය වෙනකොට, දකින්න දෙයක් තියෙනවා. මොකද්ද? යම්කිසි දෙයක් ඔය ආකාරයෙන් වෙනස් වෙලා යනකොට, අන්න ඒ ඇති වෙන දෙයක් තියෙනවා – අපි කොච්චර බලාපොරොත්තුව හිටියත්, ඒ බලාපොරොත්තු වෙන දේ නෙමෙයි සිද්ධ වෙන්නේ. අන්න අර ක්ෂය වෙලා යාමට ගෝචර වෙනවා. ඒ ක්ෂය වෙලා යනකොට, අන්න ඒකට කියනවා, යම්කිසි යථාර්තය දැකීමට, නැත්නම් මේ දුක්ඛ ආර්යය සත්‍යය දැකීමට අවශ්‍යය කරන පසුතලයයි මේ හදන්නේ.
{28:26} අනිච්ච – අනිත්‍යය පටලවා ගන්න හොඳ නෑ : මෙන්න මේ පසුතලය හැදෙනකොට, බුදුරජාණන් වහන්සේ පෙන්වනවා, “මේ චතුරාර්යය සත්‍යය පිළිබඳව විග්රහ කිරීමට වචන අප්‍රමාණයි! පද අප්‍රමාණයි! බෙදීම් අප්‍රමාණයි! නිරුක්ති අප්‍රමාණයි!” එහෙනම් මේ එක වචනයකින් නෙමෙයි මේක දකින්නේ, අවබෝධ කරගන්න! විවිධ අදහස් අනුව, විවිධ ක්‍රමවේදයන් අනුව, හැබැයි ඔය ක්ෂය වෙන ආකාරයත්, ඒකේ තිබෙන්නා වූ බැඳිලා තිබෙන දුකත් වැටහෙන්න ඕනේ කොයි කොයි ආකාරයෙන් දැම්මත්! එහෙනම්, දැකලා තියෙන්නෙත් අනිච්ච ලක්ෂණය මයි! අන්න ඒක දකින්න ඕනේ. හැබැයි ඉතින් ඔය අනිච්ච ලක්ෂණය දකින එකට “අනිත්‍ය” ලක්ෂණය කියලා “ස්ථිර නෑ” කියලා පොඩි කෑල්ලකට වෙන් කරගත්තොත්, අපි ඉස්සෙල්ලාත් පෙන්නුවා අලියා කෝ අහපුවාම අන්න! කියලා නඟුට පෙන්නනවා කියලා. නඟුටත් අලියාගේ හින්දා කරන්න දෙයක් නෑ, නෑ කියන්න යෑ! හැබැයි, අලියා කියන්නේ හුඟාක් විසාලයි. නඟුට කියන්නේ උගෙම පුංචි කෑල්ලක් තමයි. ඒ වගේ “අනිච්ච” කියන්නේ මොකද්ද අහපුහාම “අනිත්‍ය” කිවුවහාම, ඒකේම පොඩි කෑල්ලක් තමයි ඒකත්! නමුත් ඔය වගේ විග්රහ වෙන්න ඕනේ. “අනිච්ච” හරියට විග්රහ වුනේ නැත්නම් “දුක්ඛ දුක්ඛය” ගොඩනැඟෙන හැටි දකින්නේ නෑ! ඒක ලෝක ධර්මතාවයක් හැටියට මෙහෙම සිද්ධ වෙන දෙයක්, අපි කොච්චර කැමති වුනත්, අපේ බලාපොරොත්තුව කොච්චර තිබුණත්, අපිට ඕනේ විදිහට ලෝකේ පවත්වන්න බෑ කියලා දකින්නේ නෑ, විග්රහ කළේ නැත්නම්. ඒ විග්රහ කළේ නැත්නම් ධර්මාවබෝධය ලැබෙන්නේ නෑ. ඒ නිසා තමයි මෙච්චර මේ විග්රහ කර–කර දෙන්නේ වචනය. ඕක හොඳින් තෝරා ගන්න ඕනේ, ඔය විදිහට.
{29:46} ඇහේ ආස්වාදය වෙනුවෙන් විඳින දුක : දැන් මෙහෙම දැනගත්හම මොකද වෙන්නේ? අන්න අපිට අවශ්‍යය දෙයක් වෙනවා. “දුක්ඛ දුක්ඛ” කියන වචනයෙන් තමයි අනිච්ච දැක්කහාම ඉස්සෙල්ලාම ලෝකේ දුක දකිනවා. එතකොට, ප්‍රියයි – මනාපයි – යහපතයි කියන යමක් තිබුණා නම්, ඒකත් ඔය විදිහට වෙනස් වෙලා යනකොට, ඒකෙනුත් අපිට මහා දුකක් එනවා නේ! ආස්වාදය නම් දුකක් හැටියට දැනෙන්නේ නෑ. හැබැයි ආස්වාදය කියන එක අපි ගන්නේ මොනවායින්ද? නිකන් හම්බ වෙන එකක් නෙමෙයි ආස්වාදය. අපි ඉස්සෙල්ලත් කියලා දුන්නා, ආස්වාදය කියන්නේ යමක ප්‍රතිඵලයක්. මොනවායේ ප්‍රතිඵලයක් ද? මන වඩන රූපාස්වාදය කියන්නේ ඇසයි – රූපයයි – චක්ඛු විඤ්ඤාණයයි – චක්ඛු සංඵස්සයයි කියන මෙන්න මේ කාරණා හතරේ ක්‍රියාකාරීත්වය ගොඩනැඟිච්ච වෙලාවක, අන්න ඒ චක්ඛු සංඵස්සය හේතුකොටගෙන ගොඩනැඟෙන්නාවූ වින්දනයක් තියෙනවා, සැප වේදනා – දුක් වේදනා – උපේක්ෂා වේදනා කියලා, දර්ශනය පිළිබඳව. මෙන්න මේකේ සැප වේදනාව කියන කොටසක් ආවොත් තමයි අර රූප ආස්වාද වැටහෙන්නේ. එහෙනම්, රූප ආස්වාදයක් ගොඩනැඟෙන්න ඇස ඕනේ, රූපය ඕනේ, චක්ඛු විඤ්ඤාණය පහල වෙන්න ඕනේ. චක්ඛු සංස්ඵර්ශයක් ගොඩනැඟෙන්නත් ඕනේ. අන්න එතකොට තමයි අර චක්ඛු සංස්ඵර්ශය ක්‍රියාත්මක වෙලා, චක්ඛු සංඵස්සජා වේදනා කියන එක පහල වෙලා, ඕකෙනුත් තෝරලා ගන්න ඕනේ සැප වේදනා කියන කොටස. එහෙනම්, මෙන්න මේ කොටස අපිට ප්‍රිය කළොත්, ඔය කොටස ගන්න අර එකොලොස් ගින්නකින් දැවෙන්නා වූ, නැත්නම් ක්ෂය බවට පත් වෙවී දුක් දෙන කෑලි කීයක් ගන්න ඕනේද? ඒක පරිහරණය කරන තාක් කල් ඇහේ වටිනාකමක් දකිනවා. අපි ඔය ටික ඉස්සෙල්ලා විග්රහ කළා. ඒ නිසාම ඇහැට කරදරයක්, අර ක්ෂය වීමට ගෝචර වෙන ඇහැ, ක්ෂය වීමට පත් වෙනකොට, විවිධාකාරයෙන් ලෙඩ රෝග වලට භාජනය වෙනවා. ඇහේ සුද එනවා. ඇහැ අන්ධ වෙනවා, ඔය ආකාරයෙන් – විවිධාකාරයෙන් ඕවාට ලෙඩ රෝග වලට භාජනය වෙලා පෙනෙන්නේ නැතුව යනවා. මෙන්න මේ ආකාරයට, “අනේ, මගේ ඇහැට වෙච්ච දේ! මොකද මට මේ වෙන්න යන්නේ!” කියලා විසාල භයකින් තැවෙනවා වෙන්න ඉස්සෙල්ලා පටන්. මොකද එහෙම වෙන එකකට ගෝචර වෙන බව දන්න නිසා ම ඇති වෙන භය!
{31:44} සියළු දුක වැහෙන තැන – ආස්වාදය : මෙන්න මේ ආකාරයෙන්, මොකද මේ ඇහැ ගැන විතරක් කිවුවහාම දකින්න ඕනේ ඔය අනුසාරයෙන්, කන – දිව – නාසය – ශරීරය ගැනත් ඔය විදිහයි කියලා. එහෙනම්, එකකින් ඔය වගේ දුක් වෙනවා නම්, කන ගැනත් ඔහොම, නාහය ගැනත් ඔහොම, දිව ගැනත්, කය ගැන එනකොට, මේ ශරීරය ගැන කොයි තරම් නම් දුක් ගොඩකට අපි මානසික වශයෙන් වැටිලා ඉන්නවාද? හැබැයි, මේ දුක ඔක්කෝම වැහෙන තැනක් තියෙනවා. මොකක් නිසාද, අර ආස්වාද මාත්‍රය ම ප්‍රිය–මනාපයෙන් සිහි කරන්න පුරුදු වෙලා තියෙනවා. අනන්ත සංසාරයේ පටන් කරපු දෙයක්! මන වඩන රූප, මන වඩන ශබ්ද, මන වඩන ගන්ධ, මන වඩන රස, මන වඩන ස්ඵර්ශ කියන, මන වඩන ධම්ම කියන මේ හයේම තිබෙන්නා වූ යම් ආස්වාද මාත්‍රයක් ඇත්නම්, මේක මහ මෙරක් වාගේ ලොකුවට හිතනවා. ඕක හිතෙන් බොහෝම ප්‍රිය–මනාපයෙන් බාර ගන්නවා. ඒ ගැන හිතනවා, බලාපොරොත්තු වෙනවා. එහෙම බලාපොරොත්තු තියාගෙන, ඒ ගැන වර්ණනා කර කර වචන කියනවා. කටින් කියවනවා. ඔය පංච කාමය ගැන, ආස්වාදය ගැන තියෙන වර්ණනාව. අද ඔය ටී.වී වල එහෙම, රූපවාහිණී වල නිතරෝම පෙන්නන්නේ, ඕකේ වර්ණනාව. කියව කියවා පෙන්වන්නේ මොකද්ද? ඔය මුලාවට පත් කරන එකේ ස්වභාවය.
{32:47} : ඒ වගේම මොකද්ද කරන්නේ? ඒකට කයෙන් බැහැගන්නවා. බැහැගෙන, ඕවා ලොවවන්න ඕවා පස්සේ යනවා කොච්චර හරි. ගිල ගන්නවා, ලැග ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මෙන්න මේ ටික කරන තාක් කල් කවදාවත් ඔය කර්ම විඤ්ඤාණය වළක්වන්න බෑ, නවත්වන්න බෑ! මන වඩන රූප පිළිබඳව හටගන්නවා “කර්ම විඤ්ඤාණය“ කියලා එකක්. ඒක කර්ම භවයේ පිහිටනවා, බීජයක් වශයෙන්. මන වඩන ශබ්ද වලට ඔය ආකාරයෙන් ආශා කරනවා නම්, ඒවා වැළඳගන්නවා නම්, ඒවා ගැන වර්ණනා කරලා කතා කරනවා නම්, ඒකෙන් පෝෂණය වන්නා වූ ඒ විඤ්ඤාණය පිහිටනවා අර කර්ම භවයේ. ඔය විදිහට මන වඩන ගන්ධ, මන වඩන රස, මන වඩන ඵොට්ටබ්බ, මන වඩන ධම්ම කියලා, මෙන්න මේ රූප – ශබ්ද – ගන්ධ – රස – ස්ඵර්ශ – ධර්ම කියන මේ හය ට ආසා කරන මානසිකත්වය ඔය කියන්නා වූ කර්ම භවයේ පිහිටනවා. ඒ පිහිටියාට පස්සේ මොක්ද වෙන්නේ? උප්පත්ති භවයට බීජය වෙනවා අන්තිමට. ඒ නිසා ම කවදා හරි ඒ ටික ලබා ගැනීමට මතු බලාපොරොත්තුවෙන් පිහිටන ඔය බීජය නිසා ඇති වෙන දෙයක් තියෙනවා. අවිද්‍යාව නැමැති බැම්මට කොටු වෙලා, තෘෂ්ණාව නැමැති ජලයෙන් තෙමෙන ඔය කර්මය නැමැති කුඹුරේ පහල වෙන ඔය විඤ්ඤාණය නැමැති බීජය පැල වෙනවා. නැවත පුනර්භවයට හේතු වෙලා, පටිසන්ධිය ගෙනත් දෙනවා කියලා උපමාවකින් පෙන්වලා තියෙනවා ඔය විදිහට. මෙන්න මේ ක්‍රියාවලිය නවත්වන්නේ නැති තාක්කල් අනන්ත සංසාරයේ පටන් ඉන්න සත්ත්වයෝ සැරිසරණවා. සැරිසරලා මොකද්ද ලබා ගන්නේ? ඔය කියන කුණු පොදිය, නාවර පොදිය කියලා, ගතයි – හිතයි දෙකක් ගොඩනඟනවා, ඇස – කන – දිව – නාසය – සරීරය – මන කියන හයක් ගොඩනඟා ගන්නවා. ගොඩනඟාගෙන, ඔය කියන එකොලොස් ගින්නෙන් දැවි දැවී – තැවි තැවී යන ගමනක් තියෙනවා. ඒ ගමන අන්තිම භයානක දුකට පත් වෙනවා දස අකුසල් කරගත්ත අවස්ථාවේ, අර කාමච්ඡන්ද ආදියෙන් මත් වෙලා. කාමච්ඡන්ද – ව්‍යාපාද – ථීන මිද්ද – උද්දච්ඡ කුක්කුච්ඡ – විචිකිච්ඡා කියන ඒවා ඒකාන්තයෙන් නැඟෙන්න පටන් ගන්නවා ඔය කාමයට වහල් වුනහම, එතන මුල් කරගෙන. ඒ දස අකුසලයට කියන තව නමක්, පංච නීවරණ. පංච නීවරණ මුල් කරගෙන, දස අකුසලය ම සිද්ධ වෙන්න හේතු වෙනවා. සතර අපා ගත වෙලා අවුරුදු කෝටි – ප්‍රකෝටි ගාණක් විඳින්න හේතු වෙන කාරණයක්, මේ මනුස්සයෙක් වෙලා ඉන්න අවුරුදු හැට – හැත්තෑව, අසූව – අනූව තුළ කරගන්නවා. ඊට පස්සේ කොච්චර කාලයක් ඒකේ දුක විඳලා ඉවර කරගන්න ඕනේද නැවත වාරයක් ඒකෙන් මිදෙන්න? නමුත්, ඒක දන්නේ නැති පැත්තක්, වැහිලා තියෙන පැත්තක්.
{35:06} දුක්ඛානුපස්සනාව : මෙන්න මේ වගේ විසාල දුකෙන් පෙලෙන පැත්තකට වැටෙනවා, ආස්වාද මාත්‍රයක් නිසා. මෙන්න මේ කාරණය ඔහොම තේරුම් ගත්තහාම දකිනවා එක දෙයක්. තවදුරටත් නුවණ මුහුකුරා ගිහිල්ලා, එක්තරා පිරිසක් දකිනවා “දුක්ඛානුපස්සනාව” කියන්නේ මොකද්ද කියලා. අර ප්‍රිය – මනාපයන්ගේ ස්වභාවය මෙහෙමයි කියලා දැක්කහාම, අන්න දැන් අපි දකිනවා ඊලඟ දෙවෙනි අවස්ථාවට එන්නයි හදන්නේ
~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර හිමිපාණන් වහන්සේ ~
උපුටා ගැනීම : https://waharaka.com/listen/Thilakuna-Denagamu-04