(දුක්ඛ විග්‍රහය 1 කොටස හා සම්බන්ධයි)
දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)
තථාගත දේශනාවට අනුවම දුක්ඛ විග්‍රහය - 2 කොටස
{00:00} දුක්ඛානුපස්සනාව : දුක්ඛානුපස්සනාව කියන්නේ මොකද්ද? එතන පෙන්වපු දුක මොකද්ද? අන්න එතන විග්‍රහ කරනවා සැරියුත් මහ රහතන් වහන්සේ දුක, “අනිච්චං ඛයට්ඨේන, දුක්ඛං භයට්ඨේන“ කියලා. “භය අර්ථයෙන් දුක” කියනවා. එතකොට, මොකද්ද ඒ භය අර්ථය කියලා කිවුවේ? යම් කෙනෙක් මේ ලෝක ධර්මතාවයේ ස්වභාවය මේ විදිහට අහනකොට, “අනේ, මේ ප්‍රියයි – මනාපයි – යහපතයි!” කියන කර්ම බීජය ගොඩනඟන මේ ආස්වාද මායාවට ඡන්ද රාගයෙන් බැඳුනොත්, මේ එකොලොස් ගින්නක් ගොඩ නැඟි – නැඟී අනන්ත දුක් විඳිනවා වාගේ, ඔය කාමච්ඡන්දාදී නීවරණත් ගොඩනැඟෙනවා මත් වෙලා ඒ කාමයන් ගෙන්. එතකොට, දස අකුසල් කෙරුණහම අවුරුදු කෝටි – ප්‍රකෝටි ගණන් ගෙවලා ඉවර කරන්න බැරි, සතර අපායේ උපදින්න කර්ම රැස් කරනවා. ඒ කර්ම රැස් කරගත්ත ලෝක සත්ත්වයා නිරයේ උපන්නොත්, අනන්ත ගිණි වලින් දැවෙනවා – පිච්චෙනවා අප්‍රමානව! කොයි කාලයක්, අවුරුදු කෝටි – ප්‍රකෝටි ගණන් දැවෙන්න වෙනවා, බලවත් පාප කර්ම කරගත්තොත්.
{0:59} තිරිසන් අපායටත් භය වෙන්න ඕනේ : එහෙම නැත්තම්, තිරිසන් ගත ගති ලක්ෂණ කරගත්තොත්, තිරිසන් ලෝකේ ඉපදුනොත්, ඔය සත්ත්වයින්ට කවදාවත් හම්බ වෙන්නේ නෑ මුලු ජීවිත කාලය රැකවරණයක් ඇතුව ගෙවන්න. කාගෙවත් රැකවරණයක් හම්බ වෙන්නේ නෑ, හැම තැනම හතුරෝ වට කරලා. මහා කැලෑ වල ඉන්නේ, හතුරන් ගේ හතුරුකම් මැද්දේ. එක වේලක්, තණකොල ගහක් කන්න බෑ වටපිට බලන්නේ නැතුව. හදාගෙන කන්න උන්ට නෑ! වටපිට බල බලා තමයි කන්නේ. කුරුල්ලෙක්, වටපිට බල–බලා තමයි පොඩි ගෙඩියක් කඩාගෙන ගිලින්නේ. ලේනෙක් වටපිට බල–බලා තමයි, අර අතට අරගෙන මොනවා හරි කන්නේ. මොකද, කොයි මොහොතේ ඌට පහර ගහන්න බලාගෙන ඉන්නවා ද දන්නේ නෑ! මනුස්සයෝ නම්, පොඩ්ඩක් ආරක්ෂා වෙලා ඉඳලා, එහෙම බයක් දැනෙන්නේ නැතුව ඉන්නවා. ඒ මනුස්ස කියන සුගතියේ පොඩ්ඩක් හරි තියෙන හින්දා. අර දුගතියේ ස්වභාවය – “පස් විසි මහා භයකින් දුක් සැළසේ“ කියලා කිවුවේ ඒකයි. විසාල භයක් ඇති කරනවා, ඔය විදිහට. ඒ නිසා, හැම වෙලේම අනේ ඒ සතා බලා ඉන්නේ, කොයි එකාට ද පොඩ්ඩක් බැරි වෙන්නේ? පොඩ්ඩක් අමතක වෙන්නේ? ඒකා අල්ලාගෙන කන්න! ඔය ක්‍රමය ම තමයි තියෙන්නේ. ඒ වගේම ඔය කාල සීමාව මොන තාලෙන් රැඳිලා හිටියත්, මැදි වයසට විතරයි රැකෙන්න පුළුවන්. මැදි වයස පැන්නාට පස්සේ ඒකාට දුවන්න – පනින්න බැරි වෙලා යනවා, ඇස් පේන්නේ නැතුව යනවා, කන් ඇහෙන්නේ නැතුව යනවා. යන්තම් බැරි වෙනකොට ඌ ගොදුරු වෙනවා තව සතෙකුට. අමු–අමුවේ කෑ ගහද්දී, මැරෙන්න ඉස්සෙල්ලා මස් ටික කඩාගෙන කාලා – කාලා, මස් කද්දී මැරෙන්නේ! ඒ තරම හිතලා බලන්න, කොයි තරම් දුකක් විඳිනවා ඇත්ද? මැරුණා ට පස්සේ මස් කනවා නෙමෙයි, හදිස්සියේ වෙඩි තියලා මැරුවා වාගේ එකක් නෙමෙයි කරන්නේ. අල්ලාගෙන, උඩ දම–දමා, බාගෙට මැරෙද්දී, කෑ ගහද්දී, එක පැත්තක ඉඳන් කනවා. කද්දී මැරෙන්නේ! ඒ මැරිලා ඉවරයක් වෙනවාද? අර කරපු පාප කර්මය නිසා එක අත්බැවකින්, ඔය තිරිසන් බවෙන් මිදෙන්නේ නෑ! ඒ එක්කෙනා ම ආයි සැරයක්, තිරිසන් ගන්දබ්බයා – ආයි බඩකට යනවා. බඩේ ගිහිල්ලා පහල වෙනකොට, අම්මා – බඩේ ඉන්නකොට අම්මා ව අල්ලාගෙන කනවා. එහෙනම්, වැදුවාට පස්සේ පැටවු ටික කනවා තව එකෙක් ඇවිදිල්ලා! දැන් සතුන් ගේ තත්ත්වේ මොකද්ද? එතන පටන්ගෙන, වැඩි මහල් වෙනකන්, ඌට දුවලා – පැනලා එන්න පුළුවන් වෙනකන්, ඌ කෝකාට හරි ගොදුරු වෙනවා ඒ ලාබාල කාලේ. එහෙම බේරුනත්, පොඩ්ඩ කාලයක් විතරයි ඌ ඉන්නේ, උගේ ජාතිය බෝ කරලා මැදි වයසට එනකොට ඌ ආයි සැරයක් ගොදුරු වෙනවා සතෙකුට, අර විදිහට ම මරණය! එහෙනම්, තිරිසන් ලෝකේ ඉන්න තාක් කල් මොකද කරන්නේ? මසින් ණය ගෙව – ගෙවා, මසින් කරන්නා වූ පාපකර්මය ට වන්දි ගෙවන්න අවුරුදු කෝටි – ප්‍රකෝටි ගාණක් දුක් විඳිනවා. මේ අවුරුදු හැට – හැත්තෑවක් ජීවත් වෙලා ඉන්න කාලය තුළ, පුංචි ආස්වාදයකට ලොල් වෙලා කරපු අපරාධයන්ට විපාකය එන හැටි!
{3:34} ආස්වාදයේ බියකරු ස්වභාවය : ලෝකේ මෙන්න මේ වගේ මහා භයානකයි! ඔන්න ඕක දකිනකොට, “මේ ආස්වාදය මොන තරම් භයානකද? මේ ආස්වාදය නිසා නේද මේ සියළු දුක් විඳින්න වෙන්නේ?” කියලා අදහසක් එනවා. මෙන්න මෙහෙම ආපුහාම, “මේ ආස්වාදයෝ මහා භයානකයි, මේවාට කවදාවත් තැනක් දෙන්න වටින්නේ නෑ! මේවා මහා මර උගුල් නේද!” කියලා වැටහෙනවා. මෙන්න මේක හොදට දැනගන්න ඕනේ, වැදගත් දෙයක්. මෙන්න මේකට කියනවා “දුක්ඛානුපස්සනාව!” එහෙනම්, දුක කියන එක දකින්නේ භයෙන්! “දුක්ඛං භයට්ඨේන” කිවුවේ මෙන්න මේ බය දකිනවා. ඒකත් එක්තරා ඥාණ ලක්ෂණයක්, දුක දකින ක්‍රමයක්. කොයි ක්‍රමයෙන් හරි අපි දකින්න ඕනේ නිවන් දකින්න නම්, දුකෙහි දුක නෙමෙයි. දුකෙහි දුක දැකලා, ඒකට බැඳෙන්න තිබිච්ච ඡන්ද රාගයේ දුක දකින්න ඕනේ. ඡන්ද රාගය මර උගුලක්! කවදා හරි මේ අනිච්ච – දුක්ඛ – අනත්ථ ත්‍රිලක්ෂණයම දකිනකොට, දැකිය යුත්ත මොකද්ද, අනිච්ච වශයෙන් දකින්නේත්, “මේ ආස්වාද දෙන දේවල් මහා මර උගුල් නේ! ආස්වාද පස්සේ ගිහින් නේ මේ දුක් විඳින්න වෙන්නේ! ඒ වාගේම ආස්වාද පස්සේ ගිහිල්ලා තමයි, නැත්නම් මේ ඒකට ඡන්ද රාගයෙන් බැඳුනහාම තමයි මේ විසාල දුකට මුහුණ දෙන්නේ! එහෙනම්, මේ ආස්වාදයන්ට ප්‍රිය – මනාපයෙන් බාරගන්නවා කියන්නේ, ආස්වාදයන්ට වටිනාකමක් දෙනවා කියන්නේ, මොන තරම් අපරාධයක් ද, මොන තරම් විනාසයක මුලක් ද?” කියලා දකිනකොට, මෙන්න මේ දැකීම අවශ්‍යය වෙනවා නිවන් අවබෝධ කරන්න, දුක්ඛාර්යය සත්‍යය දකින්න.
{4:58} වේදනාවෙන් නෙමෙයි, ප්‍රඥාවෙන් දකින්න : ඔය ටික දකින්නේ නැතුව, “ලෝකෙ දුකයි” කියලා කොච්චර කිය – කියා හිටියත්, සැපයි කියන එකේ දුක දැක්කේ නැති තාක් කල් නිවන් දකින්න නම් හම්බ වෙන්නේ නෑ! ප්‍රියයි –මනාපයි – යහපතයි කියන්නේ යමක් ද, ඒකේ තියෙන දුක දකින්න ම ඕනේ. ඒක දකින්නේ දුක්ඛ වේදනා විඳින වේදනා චෛතසිකයෙන් නෙමෙයි! ඒ වේදනා චෛතසිකයෙන් දකින්නේ ඒවා සැප වශයෙන්. විඳින්න තියෙන දුක් – වේදනාවක් ඇත්නම්, ඒවා දුක් වශයෙන් දකිනවා. සුඛ වේදනාව වේදනා චෛතසිකයෙන් දකින්නේ සැප වේදනා වශයෙන්. මධ්‍යස්ථ වේදනාව මධ්‍යස්ථ වශයෙන් දකිනවා. ඒ තුන් ආකාරයෙන් මයි, වේදනා චෛතසිකය මුල් කරගෙන දකින්නේ. නමුත්, මේ බුදු දහමේ තියෙන්නේ, “යදා පඤ්ඤාය ඵස්සති” ප්‍රඥාව මුල් කරගෙන දකින්න ඕනේ! ප්‍ර්‍රඥාව මුල් කරගෙන දකිනවා කිවුවහම, එහෙනම් ප්‍රඥා චෛතසිකයෙන් දකින්න ඕනේ. ප්‍රඥා චෛතසිකයෙන් දකින්නේ ඔන්න ඔය ක්‍රමයට කල්පණා කරපුහාම තමයි. එහෙනම්, සැප වේදනාවක් වශයෙන් දකින එකක් දුක් වේදනාවක් වශයෙන් දකින්නේ කොහොමද? “මේ සැප වේදනාව කියන එක මොන තරම් භයානක ද? මේක ගිල ගන්න ගිහිල්ලා නේද මේ සත්ත්වයෝ මෙතෙන්ට වැටිලා ඉන්නේ?” මෙන්න මෙහෙම දකිනවා.
{6:02} පෙලීම පෙන්වන නිරුක්ති අප්‍රමාණයි : මෙන්න මේක තමයි කිවුවේ, සත්ත්වයා මේ ලෝකේ මෙච්චර කාලයක් කෑවා! “කජ්ජ සූත්‍රය“ කියලා සූත්‍රයක් තියෙනවා. ඒකෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා, කජ්ජ සූත්‍රය කියන්නේ මේ කාපු හැටි කියනවා. අනන්ත සංසාරයේ පටන් ගෙන ලෝක සත්ත්වයෝ ඇහෙන් කනවා, මේ රූපස්කන්ධයෙන් රූප කනවා. කන නැමති රූපස්කන්ධයෙන් ශබ්ද නැමැති රූප කනවා. නාසය නැමැති රූපස්කන්ධයෙන් ගන්ධ නැමැති රූප කනවා. දිව නැමැති රූපස්කන්ධයෙන් රස නැමැති රූප කනවා. කය නැමැති රූපස්කන්ධයෙන් ඵොට්ටබ්බ නැමැති රූප කනවා. මන නැමැති නාමස්කන්ධයෙන් ධම්ම නැමැති නාම කනවා. කෑම – කෑම, කාලා – කාලා ඉවරයක් නෑ! කෑම ඇති වෙලා නෑ! දැන් මේ එක අර්ථයක්. “නිරුක්ති අප්‍රමාණයි“ කිවුවේ ඒකයි! එකක් තමයි “කැමති සේ නෑ!” දැන් කැමති සේ නැති එක අපි මුලින් විග්‍රහ කළා – අනිච්ච විග්‍රහ කරනකොට. දැන් තව එකක් විග්‍රහ කළා, “කෑම ඇති සේ නෑ!” කැමති සේ නෑ කියන එකට තව නිරුක්තියක්. කෑම ඇති සේ නෑ – කැමති සේ නෑ : නිරුක්තියක්. මොන කෑමද? ඔය කෑම – ඇසෙන් කාපුවා, කනෙන් කාපුවා, නාහෙන් කාපුවා, දිවෙන් කාපුවා, කයෙන් කාපුවා, මනෙන් කාපුවා ඇති වෙලා නෑ. ඒකනේ, තව–තව හොය–හොයා කන්නේ. ඇති වෙන තාක් කල් ඔහුට දුකෙන් මිදෙන්න බෑ! ඇති වෙලා නැති තාක් කල් ඔහුට අසහනයක්. අසහනයෙන් බිදෙන්න බෑ. අන්න ඒකත් පෙලීමක්. අනිච්ච ලක්ෂණයට ගැනෙනවා කිවුවේ ඒකයි, කැමති සේ නෑ කියන එක.
{7:26} කෑ ඇම ඇති සේ නෑ! : තවත් නිරුක්තියක් තියෙනවා. ඔය “කෑම” කියන වචනය තමයි, “කෑ ඇම” කියන්නේ. ඒ නිරුක්තියක් එනවා. “කෑ ඇම ඇති සේ නෑ“ මොකද්ද ඇම? අන්න, දුක්ඛ ලක්ෂණය විග්‍රහ කරනකොට කියනවා, ආස්වාදය මුල් කරගෙන ඇම කනවා. “බලීස සූත්‍රය” කියන සූත්‍රයක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔය “ක්ලේෂ මාර” කියන නම තියෙන මාරයා, කියන්නේ – ක්ලේෂ මාරයා කියන්නේ කෙළෙස් වලට. මේ ක්ලේෂ මාරයා දාලා තියෙනවා බිලියක්. ඒ බිලිය ට කියන්නේ “ඡන්ද රාගය” නැත්නම් “ඉච්ඡාව” එහෙම නැත්නම් “තණ්හාව” එහෙම නැත්නම් “ආසාව“, මේ වචන වලින් කියන්නේ ඒ දාපු බිලිය. ක්ලේෂ මාරයා දාපු බිලී, 6ක් දානවා. මේ දාපු බිලී 6 තමයි, ඒකේ ගහලා තියෙන ඇමක් තියෙනවා. මොකද්ද, අර මන වඩන රූප, මන වඩන ශබ්ද, මන වඩන ගන්ධ, මන වඩන රස, මන වඩන ඵොට්ඨබ්බ, මන වඩන ධර්ම කියන්නේ, ඔය දාලා තියෙන බිලී 6 ට ගහලා තියෙන ඇම. බිලී කොකු හයේ ගහලා තියෙන ඇම හය. මෙන්න මේක කනවා, ඒක තමයි කිවුවේ “කෑ ඇම” කියලා. ඒ ඇම කාපුවාම මොකද වෙන්නේ? ක්ලේෂ මාරයා ට බිලි වෙනවා. කෙළෙස් මරු ට බිලි වුනහම, ජරා – මරණ – සෝක – පරිදේව – දුක්ඛ – දෝමනස්ස – උපායාස හට ගන්න, සසර ගමනේ අනන්ත – අප්‍රමාණ දුක් විඳින්න යන්න සිද්ධ වෙනවා. මරණය හෝ මරණය සමාන දුකෙන් බේරෙන්න බෑ! මේ තවත් උපමාවක්. මේ උපමා වලින් පෙන්වන්නේ දහම් දකින ක්‍රම. සංසන්ධනය කරලා – “ඒවං උපසංහරති” මෙසේ සංසන්ධනය කරලා දහම් දකින්න ඕනේ. හොඳට දහම වැටහෙනවා එතකොට. අන්න එතකොට කියනවා “කෑ ඇම ඇති සේ නෑ – කෑම ඇති සේ නෑ – කැමති සේ නෑ!” ඔය තුනෙන් ම පෙන්වන්නේ ඔය දහම් දකින ක්‍රම තුනක්. දැන් ඕවා හරියට තේරුම් අරගන්න ඕනේ.
{9:11} වේදනා චෛතසිකයෙන් නෙමෙයි, ප්‍රඥා චෛතසිකයෙන් දකින්න : සමහර කට්ටිය ඒ අවස්ථා වලදී මෙහෙම අදහස් ගන්නවා. “කැමති සේ තියෙන දේවලුත් ලෝකේ තියෙනවා නේද?” දැන් මෙහෙම හිතෙන අවස්ථා තියෙනවා. අන්න ඒක හොයන්නේ මොකෙන්ද? අර “යදා පඤ්ඤාය ඵස්සති“ කියපු බුදුරජාණන් වහන්සේ පෙන්වපු, “ප්‍රඥාවෙන් බලන්න” කියන එක අහක් කරලා අර “යදා වේදනාය ඵස්සති“ කියන අර්ථයෙන් බලනවා, වේදනා චෛතසිකය අරගෙන! ඒකෙන් බලපුහාම නම් පේනවා තමයි කැමති ඒවා තියෙනවා කියලා, ලෝකේ. මොකද, තාවකාලික ව පේනවා “මං මෙහෙම එකක් හිතුවා, ඒක හරි ගියා නේ!” “මං කැමති වුනා මෙන්න මේ රස්සාවට, ඒක හරි ගියා, ඉතින් කැමති එකක් තිබුණා නේ!” ඔන්න අදහසක් ගන්නවා. දැන් මේකත් හොඳට තෝරා ගන්න ඕනේ. එතකොට, මොකද්ද මේ කියන්නේ? ඒක හරියට දකින්න ඕනේ. ඒක සිද්ධ වුනේ කැමැත්තට ද, හේතු – ඵලයක් වශයෙන් ද දකින්න ඕනේ. ඕක නැත්නම් ඕක පටලවා ගන්නවා. යමක් සිද්ධ වුනේ කැමැත්තෙන් ද, හේතු–ඵලයක් අනුව ද? දැන් සමහර කෙනෙකුට සමහර දේවල් හරි යනවා. ඒක කැමැත්තට වුනා නම්, හැම දෙනා ම කැමතියි නේ හරියනවාට! ඇයි හැම දෙනාට ම හරි යන්නේ නැත්තේ? එතකොට දකින්න ඕනේ. හැම දෙනාම කැමතියි නිරෝගි බවට, රෝගී වෙන්න කවුරුවත් කැමති නෑ. එක්කෙනෙක් හොඳ නිරෝගී හින්දා කියනවා, “මං කැමතියි නිරෝගි බවට, ඉතින් මං නිරෝගියි නේ! ඉතින් මං කැමති සේ තියෙනවා නේ!” අදහසක් දෙන්න පුළුවන්. එතකොට, නිරෝගී බව ආවේ කැමැත්ත හින්දා නම්, කවුරුත් කැමතියි නිරෝගී බවට. එහෙම නම් කාටත් තියෙන්න ඕනේ, නිරෝගී බව ලැබෙන්න ඕනේ, කැමැත්තට ලැබෙනවා නම්. එහෙනම්, ඒවා ලැබෙන්නේ මොකක් නිසා ද? නිරෝගී බවට හේතු කාරක ක්‍රියාත්මක වුනොත් නිරෝගී බව ලැබෙනවා මිසක්, කැමති වුනාට ලැබෙන එකක් නෙමෙයි! නමුත් අන්න එහෙම අවිද්‍යාවකින් රැවටෙනවා, ඒවා කැමති සේ හම්බ වුනා කියලා. මෙන්න මේක තෝරා ගන්න ඕනේ.
{11:02} බ්‍රහම ලෝකේ මහා බ්‍රහ්මයාත් මුලා වෙලා : මේක මහා බ්‍රහ්මයාටත් තිබිච්ච දෘෂ්ඨියක්! “ලෝකේ මැවුවේ මමයි.” කියන්නේ එයා ඒකයි. “මේ පිරිස මැවුවේ මමයි, මම ඔක්කෝගේ ම පියා” කියන්නෙත් එයා එයාගේ කැමැත්තට හම්බ වුනා කියලා හිතාගෙන. මේ ලෝකේ හැදිච්ච හැටි ගැන මුල් කාලේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තියෙනවා, ඔය “බක බ්‍රහ්ම” කියන්නේත් ඔය “මහා බ්‍රහ්මයා” ට කියන තව නමක්. එයා ගන්න අදහසක් තියෙනවා, මේ ලෝකේ එයා හිතපු හින්දා හරි ගියා, එයාගේ කැමැත්තට මැවුනා, එයා හිතන් ඉන්නවා ඔය විදිහට. දැන් මොකද්ද මේ ලැබුණේ, කැමැත්තට? ලෝක සත්ත්වයා කරන ලද පුන්‍ය කර්මයන් අනුව, කරන ලද කර්ම වේගයට අනුකූල ව ඊට අනුරූප ප්‍රථමධ්‍යාන තලය පහල වෙනවා. කාගෙ වත් කැමැත්තට, එක්කෙනෙක් ගේ කැමැත්තට පහල වුනා නෙමෙයි, හේතු–ඵලයක් වශයෙන්. ඒ කර්ම වේගයට අනුකූල ව ප්‍රථමධ්‍යාන තලයේ හිටපු ආයුෂ ගෙවුනහම එතනින් චුත වෙලා ඊලඟට තිබිච්ච අර මනුස්ස කර්මයක් මුල් කරගෙන, නැත්නම් ඒ කියන්නේ උඩ තල වලින් චුත වෙලා, ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් චුත වෙලා, ඊට පස්සේ පල්ලෙහා ප්‍රථමධ්‍යාන තලයේ ඇවිල්ලා උපදිනවා. ඒක ධර්මතාවයකින් සිද්ධ වෙන දෙයක් – කර්ම වේගයේ හේතු ඵල අනුව. හැබැයි ඕක දකින්නේ නෑ, අර ඉස්සෙල්ලා ම පහල වෙච්චි බ්‍රහ්ම ට හිතෙනවා “අනේ, මේකේ තව කවුරුවත් හිටියා නම් කොච්චර හොඳ ද? මං කැමතියි තවත් මේකේ අය එනවා නම්, මට පාලුවක් නෑ නේ!” කියලා. එතකොට, අරයා පහල වෙනවා අර කියන කර්ම වේගය අනුව, හේතු–ඵල නියාමය අනුව. බ්‍රහ්මයා රැවටෙනවා, “මගේ කැමැත්ත ඉෂ්ඨ වුනා! මං කැමති වුනා තව කෙනෙක් ඉන්නවා ට. ඉතින් ඒ කැමැත්ත අනුව නේ මේ හරි ගියේ” එයා හිතනවා “මං තමයි මෙයා ගේ පියා, මං තමයි මං මෙයාව මවා ගත්තේ” ඔය අදහස දෙන්වා එන එන අයට. ඒ අය දන්නේ නෑ ඊට එහා දෙයක්, “අපි එනකොට මෙයා හිටියා නේ, මං පොඩි එකා ඉතින් ලොකු වුනහම තාත්තා දැක්කා වාගේ” කියලා පියා කියාගෙන එයාට සළකනවා. දැන් මේ දෘෂ්ඨි එන හැටි! ඒ දෘෂ්ඨියේ එයා ඉන්නව බුදු කෙනෙක් ලෝකේ පහල වෙලා ඔය දෘෂ්ඨිය කපලා දානකන්, බිඳ හරිනකන් – ඕක බිඳින්න කෙනෙක් නෑ! එයා ඒ දෘෂ්ඨියෙ ම ඉන්නවා. “මං තමයි මේ ලෝකේ මැවිවේ, මගේ කැමැත්තටයි ලෝකේ මැවුනේ, ඒ කැමති සේ පවත්වන්න පුලුවන් එකම පුද්ගලයා මමයි” කියලා ඔය විදිහට එයා හිතාගෙන ඉන්නවා. මෙන්න මේවා රැවටීම්!
{13:09} දහම දකින්න ආර්යය විනයේ අර්ථ දැකිය යුතුයි : ඉතින් දකින්න ඕනේ, කැමති සේ නැති ලෝකේ කැමති සේ නෑ! හේතු–ඵල අනුවයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඕවා හරියට තෝරා ගන්න ඕනේ, නැත්නම් වරද්දා ගන්නවා. ඉතින් මෙන්න මෙහෙම තෝරා ගත්තහම, අපි දැක්කා මේ දුක කියන්නෙ මොකද්ද කියන එක. “දුක්ඛං භයට්ඨේන” කියන වචනයෙන් විග්‍රහ කරලා අපි තෝරා ගත්තේ මේ දුක, භයානක දුක කියන්නේ මොකද්ද? තව දෙයක් තියෙනවා, වැදගත් දෙයක්. මේ “ආර්යය විනයේ” කියන වචන බුදු දහමෙන් තෝරා ගන්න ඕනේ, හොයා ගන්න ඕනේ. මේ ලෝක සම්මතයේ කියන වචන වල අර්ථයට වඩා වෙනස් අර්ථ මේ බුදු දහමේ දීලා තියෙනවා. “දුක්ඛ යනු කාමයට නමකි, භය යනු කාමයට නමකි, මඩ යනු කාමයට නමකි, උල යනු කාමයට නමකි, ගිණි යනු කාමයට නමකි…” මෙන්න මෙහෙම නම් බොහෝමයක් දීලා තියෙනවා මේ කාමයට. එහෙනම්, “දුක යනු කාමයට නමකි” – දුක්ඛං භයට්ඨේන, මොන දුක ද? කාමය නැමැති දුක මහා භයානකයි කියලා දකින්න ඕනේ. ඇයි කාමයට දුක කිවුවේ? ඔය කාමය නිසා තමයි, අර අනන්ත දුක් ගොඩට පැටලෙන ඇම ගිල්ලා වාගේ අහු වෙන්නේ. ඔය කාමය නොතිබුණා නම් ඔය ලෝකේ දුකට අහු වෙන්නේ, කොටු වෙන්නේ නෑ!
{14:23} මාලුවාට ඇත්තටම දුක දෙන්නේ කොක්කද? : උපමාවක් අරන් බැලුවොත්, යම් කිසි මනුස්සයෙක් මාලු අල්ලන්න යනවා, මාලු අල්ලන මනුස්සයෙක්. එයා මොකද කරන්නේ? මාලු අල්ලන්න අවශ්‍යය කරන – බිලී බාන්න යනවා නම්, බිලී පිත්තක්, ඒකේ ගැට ගහන රැහැනක්, ඒකේ අග ගහන බිලී කොක්කක්, ඔය ටිකත් අරගෙන, අල්ලපු මාලු දාන්න කූඩෙකුත් අරගෙන ඉතින් අර බිලී පිත්ත ගිහිල්ලා බිලී කොක්ක ක අමුණලා දාගෙන බලාගෙන ඉන්නවා මාලුවෙක් අහු වෙනකන්. හැබැයි, ඇමක් ගහන්නේ නැතුව නිකන් දාගෙන කොච්චර බලන් හිටියත්, දවසට එක මාලුවෙක් වත් අහු වෙන්නේ නෑ. කවදාවත් නිකන් ගිලින්නේ නෑ ඒක! මාලුවා ට රහ දෙන එකක් ඔතන තිබුණේ නෑ, අහුවෙන්න. ඒ නිසා, අර මනුස්සයා උපක්‍රමයක් කරනවා, මොකද? මොකෙක් හරි පණුවෙක් හරි, තව මාලු පැටියෙක් හරි මොකෙක් හරි අල්ලලා අරකේ ගහනවා – ඇම! ඇම ගහලා දානවා, දාපු ගමන් ම ගිහිල්ලා ඇම ගිලිනවා, බිලිය දන්නේ නෑ තියෙන බව – ඇම ගිලිනවා. ඇම ගිල්ලාට පස්සේ මොකද වෙන්නේ? අර කියන්නා වූ, ඌට මරණය හෝ මරණය සමාන දුක දෙන්නා වූ කොක්කේ පැටලෙනවා. ඒක රැහැන ට ඈඳෙනවා. අර පිත්තට සම්බන්ධ වෙලා තියෙන රැහැන නිසා, පිත්ත උස්සනකොට, රැහැන ඇදිලා කොක්කට වැදිච්ච මාලුවා ත් එක්ක ඇදලා එනවා. අර බිලී බාන මනුස්සයා ඒකා ව මරලා උගේ – ඒ මනුස්සයා ගේ අර ගොට්ට ට දාගන්නවා, නැත්නම් අර කූඩයට දාගන්නවා. මාලුවා ට මරණය යි, මරණය සමාන දුකයි, දෙකම විඳින්න සිද්ධ වෙනවා. එතකොට, ඒකට මුල වුනේ මොකද්ද? ඔක්කෝම තිබිච්චි අනික් මාරක සියල්ල තිබුණත්, ඔහුට කොටු වුනේ අර දාපු ඇම නිසයි! ඒ නිසා, ඇම මහා භයානකයි! මොකක් නිසාද? මරණය හා මරණය සමාන දුක ගෙන දෙන නිසා.
{16:02} ප්‍රශ්නේ තියෙන්නේ ආස්වාදයට ඡන්ද රාගයෙන් බැඳෙන තැන : මෙන්න මේ වගේ, “ආස්වාදය” නැමැති ඇමක් තියෙනවා. හැබැයි, ආස්වාදය තිබුණාට ආස්වාදය කියන්නේ එක දෙයක් පමණයි, ලෝකේ තියෙන එක්තරා කොටසක්. ඒක කවදාත් තියෙනවා. ආස්වාද කියන එක නැතිවෙන්නේ නෑ. හැදෙනවා, ආදීනව තියෙනවා, ඔය ඔක්කෝම ලෝකේ හැදෙනවා, ගොඩනැඟීලා. ඔය හැදෙන ආස්වාදය ගිලගන්න ගිහාමයි ඕක වෙන්නේ. ගිලිනවා කියන්නේ මොකද්ද? ආස්වාදයට ඡන්ද රාගයක් ඇති කරගත්තා ද? ආස්වාදයට ඉච්ඡාවක්, තණ්හාවක්, ආසාවක් හටගත්තා ද? මෙන්න මේකට කියනවා, අර කියන “ඇම!” අන්න ඒක තමයි ඕකේ පැටලෙන්නේ. අන්න ඒ ඡන්ද රාගය, ඉච්ඡාව, තණ්හාව අත්හැරගත්තා නම්, ඇම ගිලින්නේ නෑ! ඇම ගිල්ලේ නැත්නම් කෙළෙස් මරු ට බිලි වෙන්නේ නෑ, කෙළෙස් බිඳෙනවා, කෙළෙස් මරු ගෙන් මිදෙනවා. ක්ලේෂයන් ගෙන් මිදුනා කියන්නේ නික්ලේෂී භාවයට පත් වුනා, සසර ගමන කෙළවර කරගන්න හේතුව. මෙන්න මේක දකින්න ඕනේ, මෙන්න මේ ඇම තමයි මහා භයානක! ආස්වාදයට ඡන්ද රාගයෙන් බැඳෙනවා කියන යමක් ඇත්ද, මේක මහා ඇමක්, මහා භයානකයි. මේක ගිලගත්තොත්, භයානක දුකට වැටෙන්නේ ඔතනින්. මෙන්න මේක ක්‍රම–ක්‍රමයෙන්, දිගින්–දිගට දකින්න පටන් ගත්තාට පස්සේ, “අනේ, මේ ආස්වාදය මුල් කරගෙන ලෝක සත්ත්වයෝ කොයි තරම් මහංසි වෙනවා ද? කොයි තරම් උත්සාහා කරනවාද? ගහ–මරා ගන්නවාද? කපා–කොටා ගන්නවාද? තරඟ කරනවාද? පොරකනවා ද? මේ සියල්ල ම කරන්නේ මේ ආස්වාද බලාපොරොත්තුව ඉෂ්ඨ කරගන්න නේ! ඉතින් මේ හරයක් නැති, මහා විනාසයට පත් වෙන ඇම මෙච්චර පෙනි–පෙනී තියෙද්දී ගිලගන්න මොකට මේ අපරාධ කර–කරා දඟලනවා ද? මට නම් වැඩක් නෑ, ඕවාට උත්සාහා කරලා, වීර්යය කරලා වැඩක් නැති හිස් දේවල් වලට!”
{17:43} සංඛාර දුක්ඛයෙන් දුක්ඛානුපස්සනාව : ඔහු මොකද්ද අයින් කරන්නේ? ඔහු දකිනවා එක දෙයක්, මේවා සඳහා යම් කිසි සංස්කරණය කිරීමක් ඇත්ද, “සංඛාර“ කිවුවේ ඒකයි. ඒක මහා දුකක් නේ! වෙහෙසක් විඳ–විඳා සංස්කරණය කරනවා, ගොඩනඟනවා. ගොඩනඟලා, ගොඩනඟලා, අන්තිමට බලනකොට ඒකෙන් මහා දුකකට වැටෙනවා. තවත් දුකෙන් දුකට වැටෙනවා මිසක්, කවදාවත් සැනසිල්ලක් නම් හම්බවෙන්නේ නෑ! ආස්වාද බලාපොරොත්තුවෙන් කරන හැම එකක ම අවසානයේ, ඒකෙනුත් දුක විඳලා, අවසානයේදී දුක්ඛ විපාකයකට පත් වන්නා වූ දස අකුසලයට වැටිලා, ගෝචර වෙලා, මත් වෙලා විනාසයට පත් වෙන එකයි. මෙන්න මේක හරි ආකාරව දැක්කා ට පස්සේ කියනවා, මේකේ තියෙන්නේ මොන් දුක්ඛය ද? “ගොඩනඟන දුක්ඛය!” කොච්චර හරි සංඛාර දුක්ඛයක් ගොඩනඟනවා. අන්න ඒකට කියනවා, දුක්ඛ ලක්ෂ්ණය දැක්කහාම “සංඛාර දුක්ඛය” ඒකෙන් දකිනවා. මේ කර–කරා විඳින්නා වූ සසර ගමනක් හදනකොට, මේ සසර ගමන ගොඩනැඟි – ගොඩනැඟී දුක්ඛ දුක්ඛයත් විඳින්න වෙනවා. ඒ වගේම, ගොඩනැඟීමට කරන්නා වූ වෙහෙසෙන් සංස්කරණය කරන්න ගිහිල්ලා සංඛාර දුක්ඛය තවත් එකතු වෙලා විඳිනවා. සංඛාර දුක්ඛය මේකයි කියලා දකිනවා එතකොට. අන්න ඒ, සැපයි කියලා දකිනවා, දුකත් දකිනවා, ගොඩනැඟිච්ච සංඛාර නිසා පහල වෙච්චි දෙක ම දකිනවා. මෙන්න මෙහෙම දකිනකොට, ඔහු ඒ තුළින් දකින්නේ මොකද්ද? “ලෝකෙට අයිති සියල්ල ම දුකයි!” අන්න තව දැක්ක එකක්, දුක්ඛානුපස්සනාවේ දකින්නේ ඔහොමයි.
{19:04} පුද්ගල චරිත අනුව අනුපස්සනාව මූලික වෙන අයුරු : මෙන්න මේ විදිහට, දුක්ඛානුපස්සනාවෙන් සමහර අය දකිනවා. සද්ධා අධික පුද්ගලයින්ට ලෝකේ පෙලෙන හැටි දැක්කහාම, සත්ත්වයෝ පෙලෙන හැටි දැක්කහාම “අනේ අපොයි!” කියලා දුක් එනවා. බොහොම හැඟීම් මතු වෙනවා. “අනේ, මෙහෙම දුක් විඳින ලෝකයක්. මොන තරම් අපරාධයක් ද මේ ලෝකේ කියන්නේ!” කියලා හැඟෙනවා. සද්ධාදී අයට ඇති වෙන ස්වභාවයක්. ශ්‍රද්ධාදිකයා කැමති නෑ කෙනෙකුට දුකක් – කරදරයක් එනවා ට, හිංගියක් – හිංසාවක් වෙනවාට, වේදනා විඳලා කෑ ගහනවාට, ශ්‍රද්ධාවෙන් හද කම්පා වෙනවා. ඒ ශ්‍රද්ධාදිකයින් ගේ ස්වභාවය. වීර්යාධිකයා බලන්නේ මොකද? උත්සාහය – වීර්යය ඇති කරලා ජය ගන්න බලනවා. ඒකේ යථාර්තය දැක්කහාම අත්හැරලා දාලා නිදහස් වෙන්නත් බලනවා. ඒ එක ක්‍රමයක්, වීර්යාධික ක්‍රමය. අන්න ඒක තමයි කිවුවේ, සංඛාර දුක්ඛය නතර කරලා, වීර්යාධික කෙනා දුක්ඛානුපස්සනාවෙන් නිවන් දකිනවා. ඔය එකින් එක හොඳට විග්‍රහ කරලා තෝරා ගන්න ඕනේ. තව එක්කෙනෙක් ඉන්නවා, ප්‍රඥාධික. එයා නිවන් දකිනවා “අනත්ථානුපස්සනාව“ මුල් කරගෙන. හැබැයි, එකක් දකිනකොට අනිත් එකත් කවුරුත් දකිනවා. අනිච්චානුපස්සනාව මෙනෙහි කරලා අනිච්ච දකිනකොට, ඒ අනුසාරයෙන් දුක්ඛත් දකිනවා, අනත්ථ ත් දකිනවා. හැබැයි, පලවෙනි වෙන්නේ අනිච්ච ලක්ෂණය. දුක්ඛානුපස්සනාව මෙනෙහි කරලා යන කෙනා – වීර්යයාධිකයා, දුක්ඛානුපස්සනාව මුල් කරගෙන කටයුතු කරනකොට, අනිච්චත් දකිනවා, අනත්ථත් දකිනවා ඒක මුල් කරගෙන. ප්‍රඥාධික කෙනා අනත්ථානුපස්සනාව දකිනකොට අනිච්චත් දකිනවා, දුක්ඛත් දකිනවා අනත්ථානුපස්සනාව ප්‍රධාන කරගෙන, ඔහොමයි යන්නේ.
{20:34} තාම නිවන් දකින හරිය කිවුවේ නෑ, කිවුවේ අනුපස්සනාව විතරයි : දැන් අපි දුක්ඛානුපස්සනාව ගැනත් කිවුවේ අර අනිච්චානුපස්සනාවේ සියළු කාරණා කැටි කරලා ගත්තහාම, දුක්ඛානුපස්සනාවේ මදි – අඩු හරිය තමයි දැන් ඔය විග්‍රහ කරලා දුන්නේ, ඔය විදිහට දුක්ඛානුපස්සනාවෙන් නිවන් දකින්න. හැබැයි තව නිවන් දකින හරිය කිවුවේ නෑ, අනුපස්සනා හරිය විතරයි කිවුවේ. ඔය දෙකෙන් ම කියවුනේ තව ටිකයි. ඔය තුන ම විග්‍රහ කරලා, ඉතුරු ටික සුද්ධ කරගන්න හැටි විග්‍රහ කරලා දෙනවා. අනිච්චානුපස්සනාවෙන් දැක්කා ට පස්සේ, ඊලඟට මොකද්ද සුද්ධ වෙලා යන්නේ, කොහොමද සුද්ධ වෙන ආකාරය. ඔය කෝකෙන් දැක්කාත් අනත්ථානුපස්සනාවත් වැටහෙන්න ඕනේ, අවසානයට. අනත්ථානුපස්සනාව වටහා ගත්තහම, වැදගත් දෙයක් වටහාගන්න තියෙනවා. මොකද්ද? “සක්ඛාය දිට්ඨිය” කියන්නේ මොකද්ද? අත්‍යාවශ්‍යයෙන් ම මේ කාලේ දැනගත යුතු, හැංගිලා ම තියෙන එකක්! “ව්චිකිච්ඡා” කියන්නේ මොකද්ද? කොහොමද හොයා ගන්නේ? තියෙනවා ද නැද්ද බලාගන්නේ කොහොමද? “සීලබ්බත පරාමාස” කියන්නේ මොනවාද? ඒක තියෙනවා ද නැද්ද බලාගන්නේ කොහොමද? ඔය තුන නැති වුනා නම් සෝතාපන්නයි! දැන් මොකද්ද කියලා හොයාගන්න ඕනේ කිවුවාට, වචන කිවුවාට, පද කිවුවාට නම් වැටහෙන්නේ නෑ කොච්චර කිවුවත්, පද පෙළක් කිය–කියා හිටියහැකි. සෝවාන් පුද්ගලයා මොනවාද නැති කරන්නේ අහපුවාම, “සක්ඛාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස තුන – සංයෝජන තුන නැති කරනවා නේ” කියලා ඔය පොත බලලා කටපාඩම් කරගත්ත අයට කිරි බොන්නා වගේ කීයහැකි. හරි ලේසියි! හැබැයි, වැටහෙන්නේ නෑ කොච්චර කිවුවත්. මොකද්ද කිවුවේ කියලා ඇහුවොත් එහෙම තෝරා ගන්න බෑ! තව දුරටත් පොත බලපු අය ඉන්නවා නම් “වීසතිවිධ සක්ඛාය දිට්ඨිය” කියලා ඒකත් කියයි, එයින් එහාට නම් මොකුත් දන්නේ නෑ. තේරෙන්නේ නෑ ඉතුරු ටික. එහෙනම්, විග්‍රහ කරලා, හොඳට අදහස් තෝරා ගන්න ඕනේ. අදහස වටහාගෙන ඕවායෙන් මිදෙනවා, යථාර්තය දැනගන්නවා මිසක්, පද මතක තියා ගත්තාට, කවදාවත් යථාවබෝධය ලැබෙන්නේ නෑ! කොච්චර බණ ඇහුවත් වැඩක් නෑ, අදහස වැටහෙන්නේ නැත්නම්. “අදහස වැටහේවා, වචන අමතක වේවා!” කියලා කාල සිටු පුත්‍රයාට ධර්ම දේශනා කරපුහාම, කාල සිටු පුත්‍රයා සෝතාපන්න ඵලයට පත් වුනා. වචන එකක් වත් මතක නෑ, අදහස වැටහුණා. එහෙනම්, අපිටත් අවශ්‍යය වෙන්නේ වචන නෙමෙයි, අදහස! හැකි තර්ම උත්සාහා කරන්න මේ අදහස් තේරුම් ගන්න. ඒකයි අවශ්‍යය වෙන්නේ.
{22:36} අනත්ථ තෝරා ගැනීම අත්‍යාවශ්‍යයි, නමුත් පැටලිලා තියෙන්නේ : දැන් එතකොට, අපිට දැනගන්න ඕනේ අවශ්‍යය කාරණයක් තියෙනවා. මොකද්ද? අත්‍යාවශ්‍යය ම දෙයක් තමයි, අනත්ථ තෝරා ගන්න නම් හුඟාක් අමාරුයි! අනත්ථ තෝරා ගන්න ඔය ටික තෝරා ගත්තාට වැඩිය අමාරුයි. මොකක් නිසාද? “අනත්ථ අනාත්ම කරලා“ තියෙන හින්දා. “අනත්ථ” කියන එකට, අද කියන්නේ “අනාත්ම!” දැන් අනාත්මයි අනත්ථයි දෙකේ වෙනස බලන්නත් ඕනේ, අත්ථ යි ආත්මයි දෙකේ වෙනස බලන්නත් ඕනේ. අත්ථ යි ආත්මයි කියන්නේ අහසට පොලව වාගේ දෙකක්! අනත්ථ යි අනාත්මයි කියන්නේ අහසට පොලොව වාගේ දෙකක්! රූපය අනත්ථයි කියන්නේ එකක්. රූපය අනාත්මයි කියන තැන, අනාත්මයි ආදී වශයෙන් කියන්නේ තවත් අදහසක්. “ආත්ම – අනාත්ම” කියන වචන දෙක සංස්කෘත. සංස්කෘත වචන අපිට මේ අපේ බුදු දහම තේරුම් කරලා දෙන්න ඇදලා ගත්ත නිසා වටිනා අර්ථ වැහිලා ගියා – පැටළුනා, හොයා ගන්න බැරුව ගියා. ඉතින් ඕක හොඳට තෝරා ගන්න ඕනේ හරියක් තියෙනවා. දැන් මොකද්ද මේ, කොහෙන් ද මේ අපිට ආවේ අදහස? “ආත්ම දෘෂ්ඨිය” කියලා එකක් අපි අහලා තියෙනවා. කාටද තිබුණේ, කොහෙද තිබුණේ ආත්ම දෘෂ්ඨිය කියන එක? කාගෙන් ද බිහි වුනේ? ඕක ලෝකෙට පෙන්වුවේ කවුද? “අනාත්ම” කියලා වචනයක් තියෙනවා. ඔය “අනාත්ම” කියන එක ලෝකෙට කවුද පෙන්වුවේ? “අත්ථ – අනත්ථ” කියලා වචන දෙකක් තියෙනවා. ඒක නම් බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා, පැහැදිලිව ත්‍රිපිටකයේ තියෙනවා. අත්ථයි – අනත්ථයි. අර ආත්ම – අනාත්ම කියන දෙක දෙන්නත් පහු කාලෙකදී අත්ථ – අනත්ථ කියන වචන දෙක ම භාවිත කරලා තියෙනවා, පාලියේ. හැබැයි, තෝරාගන්න බෑ කොතනද, ආත්ම පෙන්වන්න දුන්න අත්ථ කිවුවේ කොතනද, අනත්ථ කියලා කිවුවේ කොතනද? මේ දෙක පැටලිලා තියෙන හින්දා හොයාගන්න බෑ යථාර්තය.
{24:30} වෛදික බමුණන් ගේ විශ්වාසය ගැන : බමුණන් ගේ අදහසක් තියෙනවා, බමුණෝ කියලා කිවුවේ – ඒකට කියන්නේ වෛදික වාදීන්, බමුණෝ කිවුවේ. වෛදික කියන්නේ ත්‍රිවේදය. ත්‍රිවේදය ඉගෙනගෙන, ත්‍රිවේදය පර තෙරට පත් බ්‍රාහ්මණ කියලා කොටසක් හිටියා. ඒක තමයි බමුණු දහම. මෙන්න මේ බමුණන්ට ඇති වුනා එක්තරා මතයක්. මේ ඇති වුන මතය මොකද්ද, මේ “මම” කියලා කෙනෙක් ඉන්නවා. හැබැයි, මේක තෝරාගන්න දන්නේ නෑ, ලොවුතුරා බුදුපියාණන් වහන්සේ නමක් යථාර්තය පෙන්වා දෙනකන් කිසිම ලෝක සත්ත්වයෙකුට, පසේ බුදුන් වහන්සේ නමකට හැරෙන්න, බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ නමක් හෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම අහලා, අනුපිලිවෙලින් අහපු ශ්‍රාවකයෙක් හැරෙන්න, අන්‍ය කෙනෙකුට නම් කවදාවත් මේ “මම” කියන එක්කෙනා පිළිබඳව යථාර්තය තෝරා ගන්න බෑ! “මම කියන්නේ මොකද්ද?” වත් තෝරා ගන්න බෑ! ඒක අති සියුම් තැනක්. මෙන්න මේ නිසා, ඒ අර වෛදික වාදී බමුණන්ට ප්‍රශනයක් ඇති වුනා, “මේ කතා කරන්නෙ කවුද?” මැරුණහම පණ නෑ. කතා කරන්නෙත් නෑ, පේන්නෙත් නෑ, මොනවත් නෑ. ජීවත් වෙලා ඉන්නකොට මේ කතා කරන්න පුළුවන්, සැප – දුක් දැනෙනවා, අහන්න පුළුවන්, බලන්න පුළුවන්, ආඝ්‍රාණය කරන්න පුළුවන්, ස්ඵර්ශ දැනෙනවා, හිතන්නත් පුළුවන්. එතකොට, කාටද මේවා පේන්නේ? කවුද මේවා කරන්නේ? මේකේ වෙන ක්‍රියාවලිය, තමන්ට හේතු–ඵල තේරුම් ගන්න බෑ – බුදු දහමෙන් විග්‍රහ කරලා දෙනකන් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා දෙන තුරු ඔය ධර්මය තෝරා ගන්න බෑ! ඒ නිසා හිතනවා, “මේ කෙනෙක් තමයි මේවා කරන්නේ, ඒ කෙනා කවුරු වුනා හරි, කවුරුහරි ඉන්නවා! එයා තමයි මේවා කරන්නේ.” එතකොට, මේ පිං – පවු කරනවා, කවුද? ඔය “ආත්මය” කියලා, නැත්නම් “මම” කියලා කෙනෙක් ඉන්නවා කොහේ හරි. එයා තමයි මේක කරන්නේ. පිං කරන්නෙත් එයා, පවු කරන්නෙත් එයා, විපාක විඳින්නෙත් එයා! දැන් මෙහෙම එක මතයක් හටගත්තා.
{26:25} දිවැසින් දකින්නෙත් “මම” දෘෂ්ඨියට යටත්ව මයි : මොකද හටගන්න හේතුව? ඔය අන්‍ය යෝගීන් අතරත් තියෙනවා භාවනා කරලා දිවැස් පහල කරන්න පුළුවන් – ලෞකික දිවැසක්. ඔය පහල කරපුහාම පේනවා පෙර හිටපු හැටි. ඒ දකිනකොට “මම” යන සංඥාවෙන් මයි දකින්නේ. “මං ඉස්සෙල්ලා කොහෙද හිටියේ?” අර දිවැස යොමු කරලා බලනකොට පේනවා. ඉතින්, “ආ මම අහවල් තැන මනුස්සයෙක් වෙලා ම නේ හිටියේ” එක එක්කෙනා එක – එක විදිහට තමන් හිටපු තැන දකිනවා. “මෙහෙම නේ හිටියේ, මේ නමින් හිටියා නේ, මෙහෙම දේවල් කෑවා–බිවුවා නේ, මෙහෙම දේවල් කතා කළා නේ, මෙහෙම දේවල් ඇසුරු කළා නේ!” ඔක්කෝම දකිනවා. ඊට පස්සේ දකිනවා, “ඊට ඉස්සෙල්ලා කොහෙද හිටියේ? අනේ, මං හරකෙක් වෙලා හිටියා නේ!” දැන් ඒකත් පේනවා. නැත්නම්, “දෙවියෙක් වෙලා හිටියා නේ” ඒකත් පේනවා. හිටපු හැටි, කියපු හැටි, කරපු හැටි දකිනවා. “ඊට ඉස්සෙල්ලා කොහෙද හිටියේ?” මෙහෙම බලාගෙන – බලාගෙන යනකොට හුඟාක් දුර බැලියහැකි. අන්තඃකල්ප 40ක් යනකන් බලන්න පුළුවන් අය හිටියා කියනවා! ඔක්කොම අය නෙමෙයි, ඔය යෝගීන් හිටියා – එහෙම හැකියාවන් තියෙන අය. මෙන්න මෙහෙම බලපු අය දකිනවා එක දෙයක්. මොකද්ද, “මේ මම කියන එක්කෙනෙක් ඉන්නවා හැම තැනම. එයා නම් මොකුත් වෙලා නෑ! හැබැයි, හදපු හදපු හැම කය ම මැරිලා. මම කියන එක්කෙනා මැරිලා නෑ! එයා එතනින් ගිහිල්ලා තව තැනකට යනවා නේ!” අර ගන්දබ්බ යන ක්‍රියාව වීම නිසා එයාට පේන්නේ “ආත්මයක් ගියා! මම කියලා එක්කෙනෙක් ගියා!” මෙන්න මෙහෙම අදහසක් අරගෙන ඒ අය කියනවා, “මම කියලා කෙනෙක් ඒකාන්තයෙන් ඉන්නවා!” අන්න ඒ අය කියනවා, “අත්ථි මේ අත්ථාති!” අන්න අපි පාලියෙන් කියන්න ගියා “අත්ථාති” කියන වචනය. එතන කිවුවේ “ආත්ම” කියන අදහසින්. “මම කියලා ආත්මයක් තියෙනවා“ කාගේ වචනද? අපේ වචනයක් නෙමෙයි ඒක, එදා වෛදික බමුණන් අරගත්ත මහා දෘෂ්ඨියක්, අභූත දෘෂ්ඨියකට බැහැල හිටලා, වෙච්ච – සිද්දව ඇති, නැති දෙයක් ඇති සේ හදාගෙන, පනවාගෙන ගත්ත දෙයක් තමයි ඒ “අත්ථාති” කියන වචනයෙන් එතන කිවුවේ.
{28:42} බෞද්ධයාගේ “අත්ථ” හා “සක්ඛාය දිට්ඨිය” : අපිත් “අත්ථ” කියන වචනය භාවිතා කරනවා. “අත්ථාහි අත්ථනෝ නාථෝ – කෝහි නාථෝ පරෝසියා” කියනකොටත් “අත්ථ” කියලා අපි භාවිතා කරනවා. ඒක තව අර්ථයක්, අරක තව අර්ථයක් – “අත්ථි මේ අත්ථාති“ කියලා බමුණෝ කිවුවේ වෙන අර්ථයක්. ඒක බමුණු වචනයෙන් කියනවා නම්, “අත්ථි මේ ආත්මාතී” කියලා කිවුවා නම් හරි! සංස්කෘත වචනය දැම්මා නම්, අන්න අහු වෙනවා. ඒ සංස්කෘත වචනය අපිට අයිති නෑ, “ආත්ම” කියන එක වෙනම එකක්. අන්න එතන “ආත්ම” කිවුවේ මොකද්ද? අන්න ඒක තමයි තේරුම් ගන්න ඕනේ, ඒ අය වැහුනු තැනක් තියෙනවා කිවුවේ අන්න ඒකයි. ඒ අය කියන්නේ ඔන්න ඔය විදිහට සැප – දුක් විඳින, බලන, අහන, ආඝ්‍රාණය කරන, රස විඳින, ස්ඵර්ශ ලබන, හිතන, පිං–පවු කරන “ආත්මය” කියලා එකක් තියෙනවා. මම කියලා හඳුන්වන්නේ අන්න ඒක තමයි! “මම” යන සංඥාවකින් හඳුන්වන්නේ අන්න ඒ ආත්මය. දැන් ආත්මය පිළිබඳ මූලික සංකල්පයක් එනවා. ඔන්න ඔය සංකල්පය අරගත්තේ මොනවාටද? දැන් බලන්න ඕනේ “සක්ඛාය” යි “සක්ඛාය දිට්ඨිය” යි. ඕක තෝරා ගන්න හුඟාක් වෙලා යනවා. “සක්ඛාය” මොකද්ද, “සක්ඛාය දිට්ඨිය” මොකද්ද? ඔය දෙක විග්‍රහ කරලා දැනගන්න ඕනේ. විසාඛ නැමැති උපාසක තුමායි ධම්මදින්නා නැමැති රහත් තෙරණින් වහන්සේයි අතර සාකච්ඡාවක් ඇති වුනා, “චුල්ල වේදල්ල සූත්‍රයේ“ තියෙනවා ඒ සාකච්ඡාව. එතනදී අහනවා, “ආර්යයාවනි, සක්ඛාය සක්ඛාය කියනවා. කුමකටද සක්ඛාය කියන්නේ?” කියලා විසාඛ සිටු වරයා අහනවා ධම්මදින්නා තෙරණින් වහන්සේ ගෙන්. එතකොට කියනවා, “ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංච උපාදානස්කන්ධය ට සක්ඛාය කියලා”
~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර හිමිපාණන් වහන්සේ ~
උපුටා ගැනීම : https://waharaka.com/listen/Thilakuna-Denagamu-05
මීලඟට අනත්ථ විග්‍රහය – පළමු කොටස