ප්රශ්නය : ලෝකයේ ස්වභාවය ගැන කියවෙන ත්රිලක්ෂණය අසා දැනගෙන, එය මෙනෙහි කරන විට, මෙම ආස්වාදයන් පසුපස හඹා යෑම මුලාවක් බවත්, එය නොකළ යුත්තක් බවත් හැඟී ගියද, සමහර අවස්ථා වලදී සිත කිසිඳු පාලනයකින් තොරව, පෙර පරිදි ම ආස්වාදයන් පසුපස හඹා යාම මා හට පාලනය කරගැනීමට ඉතා දුෂ්කර සේ හැඟේ. නිරන්තර සිහියෙන් සිටීමට උත්සාහ දැරුවද, මෙවැනි අවස්ථා වල මා හට මුලා වූ සිතට පරාජය වීමට සිදු වේ.
මෙයට හේතුව මගේ වීර්යයේ මඳ බවද? එසේත් නැතිනම් මෙසේ බලහත්කාරයෙන් සිත පාලනය කිරීමට උත්සාහා නොගත යුතුද? කියලා යි මේ අහන්නේ.
පිළිතුර: දැන් මෙතනදී දැනගන්න ඕනේ මෙන්න මේකයි. ඉස්සෙල්ලාම අපි දැනගත්ත යමක් ඇත්නම්, නිතරම ඒ වැටහීම එනතුරු, ඒමට අවශ්‍යය කරන්නාවූ යථා ධර්මය සිහි කරන්න ඕනේ, ලැබෙන ලැබෙන අවස්ථා වල. ලැබෙන ලැබෙන අවස්ථා වලදී සිහි කිරීමේ දී මේ කියන ඇලෙන, බැඳෙන ස්වභාවය ක්‍රම-ක්‍රමයෙන් අඩුවෙන්න පටන් ගන්නවා.
ප්‍රඥාව වැඩෙනකොට සිද්ධ වෙන එකක්, ඒක. දැන් මුලදී අපි දකින්න ඕනේ මේ සියළුම ආසාවන් දුරු කරන්න නෙමෙයි, අයුතු සහගත – අසාධාරණ ටික දුරු කරගන්න. මුලින් ම පටන් ගන්නේ එතනින්.
යමක් යමක් නිසා ලෝහය, ද්වේශය, මෝහය නැඟෙන විදිහේ ඒවා තියෙනවාද? ඒ වගේම පවු සිද්ධ වෙන යමක් තියෙනවාද? ඉස්සෙල්ලා ඔය ටික අයින් කරගන්නවා. ඔය ටික අයින් කරගන්නකොට, නිතරම අපි නිතර සිහි කරන්න පටන් ගන්නවා හිත වැඩීමට බාදා තියෙන මේ පවු සිද්ද වෙන ටිකේ හිත තිබ්බොත්, රාගයේ හිත තියන එක නෙමෙයි, පවු සිද්ද වෙන පැත්තක් තියෙනවා.
ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර කෙරෙහි හිත තියන්න හොඳ නෑ! කාම චාරයට නෙමෙයි, කාම මිත්යාචාරයට. අන් සතු අඟනන් පස්සේ, අන් සතු පුරුෂයන් පස්සේ යන්න, ඒ වගේම නොගැලපෙන ආකාරයෙන් තිබෙන්නාවූ යම්කිසි ආකාරයේ එබඳු කෙනෙකුට හිංගි – හිංසා වෙන, දුෂ්චරිත ලෝකයේ දුෂ්චරිතයට පොළඹවන විදිහේ, ලෝකයාට අවැඩ වෙන විදිහේ කාම සේවනයන්, මෙන්න මේවා අත්හැර දාලා, දැහැමි කාම සේවන ක්‍රමයක් ලෝකයේ තියෙනවා. ඒක බාදකයක් නෙමෙයි නිවන් මඟට! ප්‍රඥාව වැඩීමට ඒක බාදකයක් නෙමෙයි! අන්න අර විරුද්ධ පැත්තේ ඒවා තමයි, මේ මිත්‍යාචාර වැඩපිළිවෙල බාදකයි කිවුවේ.
බොරු කියලා අනුන් රවට්ටනවා නම්, ඒක හොඳ නෑ! කේලාම් කියලා අනුන් බිදවන එක හොඳ නෑ! ඵරුෂ වචන කියලා අනුන් සැඩ බවට පත් කරන එක හොඳ නෑ! මේ ප්‍රලාප වැඩ කරමින් අනුන් ව ලෝකයේ මුලා කරන වැඩ හොඳ නෑ! ලෝභ කම් කරන එක හොඳ නෑ! තරහෙන් ඉන්න එක හොඳ නෑ! ඔය මිත්‍යා දෘෂ්ඨිය පෙනි පෙනී මිත්‍යා දෘෂ්ඨියට වැටෙන එක හොඳ නෑ! ඔන්න ඔය ටික නොකර හිටියොත්, මාර්ගය වැඩීමට තියෙන බාදා ඉවරයි! ඔය ටිකයි බාදා වෙන්නේ, ඔය බාදා ටික අයින් කරහම ලෝකේ ලැබෙන ලැබෙන අවස්ථාවක මේ ලෝකයේ යථාර්තය මෙනෙහි කරන්න.
“වැහැරී වැනසෙන ජීවිතයක් ගෙවන හැටි!” දැන් අපි දකිනවා අපිම කරන එකක් ගැන. දැන් අපිටම නම් පාලනය කරගන්න අමාරු, ඉතින් අපේ මේ කය යම්කිසි ආකාරයකින් අපිව මොනවා හරි ආස්වාදයන් පස්සේ, ඒවා පාලනයට යනවා නම්, “වැහැරී වැනසෙන ජීවිතය ගෙවන හැටි!” ඕක හිත හිතා ආස්වාදයට හිත තියන්නකෝ, මොකද වෙන්නේ බලන්න! “නෙද්දකිං විතරක් කෙහෙල්මල් ආස්වාදේ” කියලා අහකට යනවා හිත.
අනිත් පැත්තත් බලනවා, බලං ඉන්න හිතෙනවා කොහේ හරි ලස්සන දෙයක්, ප්‍රිය-මනාප දෙයක්. “වැහැරී වැනසෙන ජීවිතයක් ගෙවන හැටි!” එක්කෝ “ගෙවෙන හැටි!” ගෙවනවා දැක්කොත්, ක්‍රියාත්මක වෙනවා දැක්කොත්, “වැහැරී වැනසෙන ජීවිතයක් ගෙවන හැටි!” වැහැරී වැනසෙන කියන වචනේ එනකොට ම, “මොන හරයක් ඇති දෙයක් ද මේ කරන්නේ?” අදහස එන්න පටන් ගන්නවා. තමන් කරනවා නම් ඒත් ඒ වගේ, අනුන් කරනවා නම් ඒත් ඒ වගේ. එක්කෝ ගෙවන හැටි, එක්කෝ ගෙවෙන හැටි.
දැන් නිරන්තරයෙන් බලන් ඉන්නවා, තමන්ට පේනවා හොඳ හැඩ-වැඩ රූපයක්. නමුත් ඒ පුද්ගලයා බොහෝම නිස්කලංක ව ඉන්නේ. ඉතින් “වැහැරී වැනසෙන ජීවිතයක් ගෙවෙන හැටි!” උඩ පැන පැන දඟලනවා, විවිධ විකෘති වැඩ කර කර ඉන්නවා, “වැහැරී වැනසෙන ජීවිතයක් ගෙවන හැටි!” ජීවිතයක් ගෙවන හැටි, ජීවිතයක් කියලා ගන්නවා බාහිර කෙනෙක් ගේ නම්, විදර්ශනාවෙන් බලනකොට.
තමා අතින් කරන වැඩක් නම්, තමාට හිතෙනවා නිකන් සුන්දර ලෝකෙක හරි සන්තෝසෙන් ඉන්නවා වාගේ, “වැහැරී වැනසෙන ජීවිතය ගෙවෙන හැටි!” අන්න තමන්ට ම වදිනවා පාර. හරි ලොකුවට හිතන් ඉන්න සුන්දර ලෝකේ කැපිලා යනවා එතනම. ඉතින්, තමන් ම උඩ පැන පැන දඟලනවා නම් එහෙම, අපි එතනම ගන්නවා “වැහැරී වැනසෙන ජීවිතයක් ගෙවන හැටි!” මේ කෙටියෙන් ගත්තේ.
“දෙතිස් කුණප කොට්ඨාසය උඩ පනිනවා!” තව වචනයක් ගන්නවා. “මම” කියන වචනේ වෙනුවට හැම වෙලේම “මේ දෙතිස් කුණප කොට්ඨාසය” ඔය වචනේ ගන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා දහම් වැඩෙන්නේ නෑ. නමුත් ඔතනින් පටන් ගන්නවා. ඉතින් මොකද්ද මේ කරන්නේ? දෙතිස් කුණප කොට්ඨාසය නටවනවා, දෙතිස් කුණප කොට්ඨාසය උඩ පනිනවා, දඟලවනවා, මං මේ ඒකනේ කරන්නේ! මං මේ සෙල්ලම් කරනවා කියන වචනේ ගන්නේ නැතුව එහෙම කියනවා, හිතනවා. සෙල්ලම කොහෙන් ගියාද නෑ! ක්‍රම ක්‍රමයෙන් හැදෙන්නේ ඔහොම.
එක්තරා භික්ෂූන් වහන්සේ නමක්, එක්තරා කාන්තාවක්, ගෑනු ළමයෙක් එක්කලා යාලු වෙලා එයා සිවුරු ඇරලා යන්න බලාපොරොත්තුවෙන් හිටියා. එක්තරා කෙනෙක්, පුද්ගලයෝ කියන්නේ නෑ, වෙච්චි සිද්දියක් කියන්නේ. ඒ ළමයාත් මොකද කරන්නේ, කොහොම හරි ඇවිදිල්ලා මේ හාමුදුරුවෝ හම්බ වෙන්න පණිවිඩයක් යැවුවා පොඩි හාමුදුරුවෝ අතේ. පොඩි හාමුදුරුවෝ කිවුවා, “අන්න දෙතිස් කුණප කොට්ඨාස දෙකක් හම්බ වෙන්න ඇවිදිල්ලා!” කිවුවා. නිකමට කිවුවේ, අර හාමුදුරුවොන් ගේ හිත ගැලවිලා ගියා නිකම්ම!
පස්සේ බලනකොට ගෑනු ළමයි දෙන්නෙක් හම්බ වෙන්න ඇවිදිල්ලා, අර කිවුව බලාපොරොත්තුවෙන් හිටපු ගෑනුළමයා යි තව ළමයෙකුයි. දැන් මේ හාමුදුරුවොන්ට ළමයි දෙන්නෙක් හම්බ වෙන්න ඇවිදිල්ලා කියලා කියන්නේ නැතුව, පොඩි හාමුදුරුවෝ ඇවිදින් කිවුවා, “අන්න ඔබවහන්සේ හම්බ වෙන්න දෙතිස් කුණප කොට්ඨාස දෙකක් ඇවිදිල්ලා!” ඉතින් දෙතිස් කුණප කොට්ඨාස දෙක බලන්න ගිහාම දැක්කේ අර දෙන්නා.
අර අදහස සම්පූර්ණයෙන් ම ඉවර වුනා! හාමුදුරුවෝ ආපහු වැඩියා, ආයිත් ගියේ නෑ බලන්ඩ වත්, පැත්තට වත්. යන්ඩ කියන්න කිවුවා. එයින් ම ඉවරයි! අන්න හැඟීම් එන හැටි, හැඟීම් පාලනය වෙන ක්‍රම! ඉතින් මේවා අපි සුන්දර ලෝකෙක හැඟීමෙන් බදන්න යන්න හොඳ නෑ, කියන්න යන්න හොඳ නෑ. කතා කරනකොට ම කැපිල යන්න ම ධර්මානුකූල වචනයකින් ම ගන්න ඕනේ. එහෙම ගැනීම හරි වැදගත්. එතකොට ඒ අර අදහස් කැපිලා යනවා!
ඒක අපි ගන්න යන්නේ ඔහොම නෙමෙයි, සුන්දර ලෝකෙක, සුන්දර විදිහට හිතන්න, කරන්න, කියන්න පටන් ගත්තොත් තමයි මුළාව එතනම වහගන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ හැම වෙලේම පෙන්නුවේ “වැහැරී වැනසෙන කය”, “දෙතිස් කුණප කොට්ඨාසය”, මේවාගේ තැන් වලින් අරගෙන තමයි ඒ කටයුතු බලන්න කියලා පෙන්නුවේ. ඒ ධර්මානුකූල ව මුලට මේකේ යථාර්තය දැකලා පෙන්නනකොට, එතනින් ම හිත කැපිලා යන්න පටන් ගන්නවා. අර ඇලෙන – බැඳෙන පැත්තට තියෙන ආස්වාද නැති වෙලා යනවා. බලන්න පුරුදු කරන්න කිවුවේ ඔය ක්‍රමයට. ඒකයි දකින්න ඕනේ.
අට්ඨික සංඥා ආදී වශයෙන් පෙර ගත්තෙත් ඔය ක්‍රමයට. හැම වෙලේම බලන්න පටන් ගත්තට පස්සේ, සරීරයක් දිහා බලනකොට “ඇට සැකිල්ල මෙහෙම නේ තියෙන්නේ, ඔළුවේ ඇට සැකිල්ල ඔළු කට්ට ඇතුලේ මෙහෙම නේ තියෙන්නේ, දැන් පපුව ඇතුලේ තියෙන ඇට කෝට්ට මෙහෙම නේ තියෙන්නේ, මස් නැති, බඩ පැත්තේ මස් නැති කොඳු ඇට පෙළ මෙහෙම නේ තියෙන්නේ” ඇටසැකිල්ලක් ඉස්සෙල්ලා බලාගෙන ආවාට පස්සේ, මතකයි ඇටසැකිල්ලේ හැටි. ඔය ඇට සැකිල්ලේ එහෙම එකක් නේ මේක ඇතුලේ තියෙන්නේ. ඔහොම බලන්න පටන් ගත්තාට පස්සේ කවදාවත් ශරීරය දකිනවා කියන මානසිකත්වය එන්නේ නැතුව යනවා. මේ ඉස්සර ප්‍රයෝග සම්පත්තිය! දහම් දැක්ක ක්‍රම!
මෙන්න මේ ක්‍රමයට කරන්න ඕනේ, දකින්න ඕනේ. එහෙම ක්‍රමයක් හදා ගත්තාට පස්සේ ක්‍රමවේදයන් ප්‍රගුණ කරගන්න ඕනේ. එතකොට හරි ලේසියි මාර්ගය වඩා ගන්න මේ බාදක වලින් තොරව. ඒ මොහොතක් ගානේ වැඩෙනවා. ඉතින් මේ වගේ වෙලාවට, වැඩි කල් යන්න ඉස්සෙල්ලා තමන් අර “දැහැමින්” කියලා ලෝකේ සම්මුතිය තියෙනවා නම්, දැහැමි කාමයක් කියලා එකක්, ඒකත් මිදිලා යනවා දන්නේ ම නැතිව.
“මොන කෙහෙල්මල් කාමයක් ද?” නොදැහැමි එක නෙමෙයි, දැහැමි එකත් නැතුව යනවා. ඕනේ කමක් නැතුව යනවා. ඒක තමයි මිදෙන ක්‍රමය. ඉතින් ඒ වගේ ක්‍රමානුකූලව, ක්‍රමවේදයන් දැකගෙන ගන්න ඕනේ තේරුම් අරගෙන. එහෙම ප්‍රගුණ කරගත්තහම මේ මනස පාලනය කරගන්න එක හරි පහසුයි. එකපාර බෑ! මේ ක්‍රමවේද අනුගමනය කරන්න ඕනේ.
දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න) : https://www.waharaka.com/listen/CD063-18
සිත පාලනය කර ගැනීමට කළයුතු දෙය
~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ ~