ලෝභ – ද්වේෂ – මෝහ නිරෝධ කරන ආකාරය

රාග ද්වේෂ මෝහ නිරෝධය
92 සංයුක්ත තැටියවිදර්ශනාව

ඉතින් මේ තවත් ප්‍රශ්න හුඟාක් අහලා තියෙනවා, මේ නමුත් මේවාගේ ප්‍රශ්න වල ඔක්කෝගෙම තියෙන්නේ, මේ කාරණයේ තේරුම බලන්න.

දැන් මේ, “ලෝභ ද්වේෂ මෝහ සිතිවිලි නිතරම ගලාගෙන එනවා, අතමිදීමට මොකද්ද කරන්න ඕනේ, මේ නිරෝධ කරගන්න මාර්ගය කියන්න” කියලා ඉතින්.

පහසුම මාර්ගයක් මේවායින් අයින් කරන්න කියන්නම්. මොකද මේ තවත් ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඉතින් මේකේදී තේරුම් ගන්න ඕනේ මෙහෙම දෙයක්.

ජීවිතය සහ ජීවිතයක් කියන වචන දෙකක් තියෙනවා, මේක තෝරාගන්න ඕනේ. වැහැරී වැනසෙන ජීවිතය ගෙවන හැටි!” මේ තමන් ගැන හිතන හැටි. වැහැරී වැනසෙන ජීවිතය ගෙවෙන හැටි!” පොඩ්ඩක් නටන්න එහෙම හිතෙනවා නම්, උඩ පැනලා දඟලන්න එහෙම හිතෙනවා නම්, දඟලන ගමනුත් හිතනවා. “වැහැරී වැනසෙන ජීවිතය ගෙවන හැටි!” තමන්ට ම ලැජ්ජා හිතෙනවා. නට නටා, ඇඹරි – ඇඹරී කියවනකොට, වැහැරී වැනසෙන ජීවිතය මෙහෙමද මේ ගෙවන්නේ? මොන සුන්දරත්වයක් ද මේ භුක්ති විඳින්නේ?

එහෙම නැත්තම් ගෙවි-ගෙවී යන අවස්ථාවක හැටි දකිනවා. එහෙම විශේෂයෙන් තමන් ඉතින් විශේෂ දෙයක් කරන්නේ නෑ. නමුත් ගෙවිලා යනවා, යම්කිසි නිරායාසයෙන්. එහෙම අවස්ථාවක් තමන් ගැන මතු වුනොත්, වැහැරී වැනසෙන ජීවිතය ගෙවෙන හැටි!” ගෙවන හැටි නෙමෙයි, ගෙවෙන හැටි.

උණ ගැනෙනවා, අසනීපයක් එනවා, ලෙඩක් එනවා, ඇඳේ ඉන්නවා ඔත්පල වෙලා. “වැහැරී වැනසෙන ජීවිතය ගෙවෙන හැටි!” ජීවිතය කියලා ගන්නවා තමන් ගැන නිතර බලනකොට.

තව කෙනෙක්, බාහිර කෙනෙක් ගැන දකිනවා නම්, මේ අන්‍ය වැඩක්, නිකන් වැඩක් නැති විහිළු – කොලොප්පන් වැඩ කරනවා දකිනකොට පුද්ගලයෝ, ඒ අයට එහෙම කියන්න යන්නේ නෑ, හොඳට තේරුම් ගන්න, මේ තමන් තමන්ගේ ධර්මාවබෝධයට විතරයි මේක ගන්නේ. “වැහැරී වැනසෙන ජීවිතයක් ගෙවන හැටි!” කියලා හිතනවා ඒ පැත්ත. එහෙම විශේෂයක් නෑ, නමුත් කෙනෙක් ලෙඩ වෙලා, පැත්ත වැටිලා ඔහේ ඉන්නවා. වැහැරී වැනසෙන ජීවිතයක් ගෙවෙන හැටි!”

ගෙවන හැටි, ගෙවෙන හැටි. මේ වචන දෙකේ අදහස තේරුම් අරන්, කර්මස්ථානයක් වශයෙන් මේක වඩනවා. මේක වඩන්නේ, නිතරම කිය-කියා යන එකක් නෙමෙයි ඔය, අරමුණ එනකොට, අරමුණට අනුවයි. රාග සහගත, ද්වේෂ සහගත ක්‍රියාවලියක් තමාගේ හිත තුළ ක්‍රියාත්මක වෙනකොට, ඊට අනුව හිතනකොට, කියනකොට, කරනකොට, “වැහැරී වැනසෙන ජීවිතය ගෙවන හැටි!” කියලා තමා තමාට නිග්‍රහ කරගන්න ඕනේ! “මොනවාද මේ, වැහැරී වැනසෙන ජීවිතය ගතකරන උඹ මේ කරන්නේ?” තමන්ට ම ලැජ්ජා හිතෙන්න පටන් ගන්නවා. ටිකක් කල් යනකොට, වැටහෙන්න – වැටහෙන්නයි මේක වෙන්නේ.

අන්‍ය පුද්ගලයෙක් දිහා බලනකොට, හිත ඇදෙන දේවල් – නටනවා, දඟලනවා, උඩ පනිනවා, ඉතින් විවිධ දේවල්. බෝල ගහනවා, ක්‍රිකට ගහනවා, “වැහැරී වැනසෙන ජීවිතයක් ගෙවන හැටි!” කියලා බලනවා, පුරුදු වෙනවා.

අනේ ඉතින් තවත් තේරෙන්නේ නැති නම්, බලනවා අර තරුණ ජීවිතය, ක්‍රිකට් ගගහා ඉන්න එකා, තව ටිකක් ලොකු වෙලා, ලොඹු ගැහිච්ච කටකුත් අරගෙන, දැන් නාකියා වෙලා ක්‍රිකට් ගහනවාද? කොන්ද ත් කුදු වෙලා. බලනවා එකපාර නාකි වුනා. අර තරුණයා ක්‍රිකට් ගගහා ඉන්නකොට දැන් අපි හිතෙන් හිතනවා, අවුරුදු කීයද, 25යි, 20යි, 18යි කොල්ලාට, තරුණයාට. මොහොතකින් වයස ගියා, අවුරුදු 55 පැන්නා, 60 පැන්නා, 75 පැන්නා. තවත් ක්‍රිකට් පිටියේ ක්‍රිකට ගහනවා, ඌ. දැන් කොහොමද ගහන්නේ? කොන්දත් කුදු වෙලා, කටත් ලොඹු ගැහිලා, ඉතින් කකුලුත් එහේ-මෙහේ ඇදිලා. දැන් පිත්ත වෙන කොහෙවත්, ගහන්නේ වෙන කොහෙවත්, ඇදගෙන වැටෙනවා කැරකිලා. මොකද්ද වුනේ? “අනේ වැහැරී වැනසෙන ජීවිතයක් ගෙවන හැටි!”

චිත්‍රය මවලා බලන්න පුරුදු වෙනවා. ධර්මය අවබෝධයට හරිම ලස්සන ක්‍රමයක්. ආයි සැරයක් ක්‍රිකට් ගහන එකේ ඇලෙන්න හිතෙන්නේ නෑ.

මන වඩන රූපයක් දකිනවා. මතක් වෙනවා, “වැහැරී වැනසෙන ජීවිතය ගෙවෙන හැටි!” මොනවාද අවස්ථා? උදයංගම අවස්ථාවත් ගෙවි-ගෙවී යනවා, ඊලඟට අත්තංගම අවස්ථාව, ආස්වාද, ආදීනව, නිස්සරණ. අවස්ථා 5කින් ගෙවිලා යන ආකාරය බලනවා. පොඩි එකා උදයංගම අවස්ථාවේ යනවා. තරුණ අවස්ථාවට ආවා, අත්තංගම, ආස්වාද ගෙවෙන හැටි. ඉතින් ඔන්න ගැටවර අවස්ථාවට ඇවිදිල්ලා තරුණ බවට පත් වෙනකොට, තරුණ අවස්ථාව ආස්වාදය විඳ-විඳා ඌ ගෙවන හැටි, නැත්නම් ගෙවෙන හැටි. ඊට පස්සේ ආදීනව අවස්ථාව, මැදි වයසට ආපුහාම ගෙවිලා යන අයගේ ස්වභාවය. නිස්සරණ අවස්ථාව, අවසානයේ දී, මැරෙන මොහොතකින් කෙළවර වෙන හැටි.

ඉතින් මේක නේ මේ ජීවිතය කියන්නේ, ජීවිතය කියන්නේ වෙන මොකද්ද වටිනාකම? ඔය ටික තමයි මේ ලෝක සත්ත්වයා කරන්නේ අවසාන වෙනකන්. කියලා ඕක නිතර සිහිපත් කරන්න පුරුදු වෙනකොට, එදිනෙදා තම තමන් කරන මුළු ක්‍රියාවලියට ම දාලා බලන්න පුරුදු වෙනකොට, ඔතන කායානුපස්සනාවත් වැඩෙනවා, වේදනානුපස්සනාවත්, ච්ත්තානුපස්සනා, ධම්මානුපස්සනා ඔක්කෝම වැඩෙනවා.

ඕක පොතේ ඔය විදිහට නැති වුනාට, විදර්ශනා වැඩෙන ක්‍රමයක්. මෙහෙම කරනකොට මේ මේ ප්‍රශ්න ටික ඔක්කෝටම තියෙනවා, මේ විස්තර වලට උත්තර ඕකේ තියෙනවා.

දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න) : https://www.waharaka.com/listen/CD092-13

ලෝභ - ද්වේෂ - මෝහ නිරෝධ කරන ආකාරය

~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ ~