දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)
මහා මංගල සූත්‍ර විග්‍රහය
“මහා මංගල සූත්‍රය පහදා දෙන්න. මෙහිදී “මංගල” යන පදය පහදා දී, නිවන් මඟට උපනිශ්‍රය වෙන ආකාරයත් පෙන්වා දෙන්න” කියලා පෙන්වනවා.
දැන් මේ වචන වලත් තියෙනවා අර අපි ඉස්සෙල්ලා කිවුව විදිහටම ලෞකික අදහසත් තියෙනවා, ලෝකෝත්තර පැත්තට අදහසත් තියෙනවා. මේ අදහස් දෙක පටලවාගන්නේ නැතුව ලෞකික අදහස ලෞකික හැටියටත්, ලෝකෝත්තර අදහස ලෝකෝත්තර අදහස හැටියටත් ගන්න ඕනේ.
පැවැත්ම තුළ අපි යනකොට යම්කිසි ආලය කළයුතු, ඇලුම් කළයුතු, අර අපි ඉස්සෙල්ලා කිවුවා වාගේම යහපතක් වෙන්නාවූ කියන්නාවූ පැවැත්මට ආලය කළ යුතු යම්කිසි කොටසක් තියෙනවා, වැඩපිළිවෙලක්. මෙන්න මේ නිසා මේ “මංගල” කියන වචනයේදී ලෝක සම්මතයක් ඇතිවුනා. පැවැත්මක් තුළ ගෑවිලා, එක්වෙලා, ලංවෙලා ජීවත්වයට ආලය කරමින්, ජීවත්වෙන්න අවශ්‍යය කරන්නාවූ කටයුත්තට “මංගල” කියනවා. ඒ වචනයෙන් තමයි අදත් “මංගල, මංගල්‍යයක්” ආදී වශයෙන් කිවුවේ, “මගුල් ගෙදරක්” ආදී වශයෙන් කියන්න පටන්ගත්තේ ඒකයි. ඇලුම් කරමින් පැවැත්ම ගෙනයාම සඳහා, ළයාන්විතවම ගෙනයාම සඳහා යම්කිසි වැඩපිළිවෙලක් ඇත්ද, ඒක ලෝක සම්මත මංගල වැඩපිළිවෙල!
දැන් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහලවෙන්න ඉස්සෙල්ලාත් ඔය “මංගල” කියන වචනය තිබිලා තමයි “අද අපේ ගෙදර මංගල්‍යයක්! උඹලා වරෙල්ලා!” කියලා මේ ජාති වශයෙන් අර බීමත් වූවෝ ඉන්න තැනකදී මේ මේ වර්ග කථාව ඇතිවුනායි කියන්නේ. “මොකද්ද බං මංගල කියන්නේ?” ඒ අය අතරේ ප්රශ්නය මතුවුනා. ඉතින් “මංගල” කියන්නේ මොකද්ද කියලා ඇහුවහම, “ඔය පේන්න තියෙන දේවල්” “නෑ නෑ, ඇහෙන ඒවා මඟුල්” ඒ එක එක්කෙනා එක එක ඒවා කියන්න පටන්ගත්තා. “දැනෙනවා නම් ඒවා මංගල!” එක්කෙනෙකුට වත් තීරණයකට බහින්න බැරුව ඔය ප්රශ්නය මතුවුනහම, ඔතන බේබද්දෝ අස්සේ රිංගාගෙන ඉන්න සුරා අමනුස්සයෝ ඉන්නවා, බේබදු අමනුස්සයෝ!
ඉතින් බේබද්දෝ යම් තැනක ඉන්නවා නම් බේබදු අමනුස්සයොත් ඔය අස්සේ රිංගාගෙන ඉන්නවා. උන්ටත් ඒ බේබදු ආස්වාදය විඳින්න ඕනේ නම් අර මිනිහාගේ ඇඟට රිංගා ගන්නවා. රා කට්ටෙන් බාගයක් උගේ බඩට, බාගයක් බීපු එකාගේ බඩට. ඌත් ඕකේ ඉඳලා ඒකේ ආස්වාදයක් ලබාගෙන එතනින් අයින් වෙනවා. නැත්නම්, අයින් වෙලා ඈතට යන්නේ නෑ, “තව තව බීපිය! තව තව බීපිය!” කිය කියා ඌත් අදහස් දෙනවා. මෙන්න මෙහෙම කොටසක් ඉන්නවා ඒ එක එක්කෙනාගේ ගති ලක්ෂණයට අනුව අමනුශ්‍යයෝ එක එක්කෙනා ලඟ.
ඊලඟට බේබදු අමනුශ්‍යයෝ අතරත් තියෙනවා, උන් අතරත් කතාවක් ඇති වුනා අර මිනිස්සුන්ගේ තිබිච්ච කතාව. “උඹලා දන්නේ නැද්ද ඒක?” උන් දන්නෙත් නෑ! ඊට පස්සේ ඔය එවුන්ගේ ඉන්නවා, ඒ පැත්තේ ඉන්නවා නායකයෝ, අමනුශ්ය නායකයෝ. උන්ගෙන් අහපුහාම උන් දන්නෙත් නෑ! ඒ නායකයෝ එක්ක සම්බන්ධ වෙලා ඉන්න, සාමාන්‍ය මට්ටමක ඉන්න ඔය “භූත දේව” කියන කොට්ඨාශයේ කොටස් ඉන්නවා, “භූමාටු දේව” ආදී වශයෙන්. ඒගොල්ලන්ගේ වැඩකාරයෝ වශයෙන්, සේවකයෝ වශයෙන් තමයි අර භූත නායකයෝ ඉන්නේ. ඒගොල්ලන්ගෙන් අහපුහාම අපි කියනවා ඒගොල්ලෝ “භූමාටු දේව” කියලා. ඒගොල්ලන්ගෙන් අහපුහාම ඒගොල්ලෝ දන්නෙත් නෑ! ඒගොල්ලෝ එක්ක සම්බන්ධය පවත්වන්නේ අර ගස්වල ඉන්න විමාන දේවතාවෝ, වෘක්ෂ දේවතාවෝ වගේ අය. ඒගොල්ලෝ ඒ කට්ටියගෙන් අහනවා. ඒ අය මේකේ තේරුමක් ගන්න දන්නෙත් නෑ! ඒගොල්ලෝ ආකාස දේවතාවෝ එක්ක සම්බන්ධයි. ඒගොල්ලෝ ඒ අයගෙන් අහලා, එතන පටන්ගෙන චාතුර් මහාරාජික දේව මණ්ඩලයට සම්බන්ධයි. එකින් එක පිරිසෙන් පිරිසට ඔය විදිහට අනුපිළිවෙලින් යනවා. ඒ අය දන්නෙත් නැති වුනහම සක්‍ර දේවේන්ද්‍රයා ගෙන් අහනවා. සක්‍ර දේවේන්ද්රයාත් මේකට පිළිතුරක් ගන්න බෑ, මේක සෙල්ලම් ප්‍රශ්නයක් නෙමෙයි, නියම උත්තරය ගන්න බෑ කියලා තමයි එක්තරා දේවතාවෙක් එවුවේ, මේක අහගන්න හොඳ කාලයක්. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවානේ, උන්වහන්සේගෙන් අහගන්න කියලා.
අන්න එතකොට තමයි බුදුරජාණන් වහන්සේගෙන් ඇවිදිල්ලා අර එක “බහූ දේවා මනුස්සාච මංගලානි අචින්තයුං“ ආදී වශයෙන් අර දේවතාවා ඇවිදින් කිවුවේ කියලා පෙන්වන්නේ, ජේතවනාරාමයට බබුලුවාගෙන ඇවිදිල්ලා දේවතාවෙක් බුදුරජාණන් වහන්සේගෙන් ප්රශ්නය ඇහුවා කියලා. ඉතින් අට තිස් මඟුල් කරුණු බුදුරජාණන් වහන්සේ ඒ නිසා දේශනා කළා කියන එක තමයි එතන විග්රහ කරලා තියෙන්නේ, කරුණු 38ක්. ඉතින් මෙන්න මේ කරුණු 38 පිළිබඳව තමයි අද අපිට බලාගන්න, දැනගන්න අවශ්‍යයතාවයන් තියෙන්නේ. දැන් ඒ දේවතාවා බුදුරජාණන් වහන්සේගෙන් ඇවිදිල්ලා අහන්නේ, “බහූ දේවා මනුස්සාච මංගලානි අචින්තයුං“ – මේ බොහෝ දෙවියෝත් මනුස්සයෝත් මංගල කියන්නේ මොනවාද කියලා දන්නේ නෑ, හිත හිතා ඉන්නවා, දන්නේ නෑ. “ආකංඛමානා සොත්ථානං බෲහි මංගලමුත්තමං“ – සැක නැති කරලා ඔබවහන්සේ ගෙන් අහගන්න, සැක නැතුව ඒ කාරණය ගැන ඔබවහන්සේගෙන් අහගන්න මං ආවේ, ඉතින් ඔබවහන්සේ මට ඒක දේශනා කරන්න” කියලා තමයි දේවතාවා ඉල්ලා සිටියේ.
ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේ තමයි ඉස්සෙල්ලා පෙන්නුවා ආර්ය මට්ටමට මංගල්‍යයක් සිද්ද වෙන ආකාරය. දැන් ලෝකයාගේ මංගල කියන්නේ කසාද බැඳලා, ගෑණියෙක් – මිනිහෙක් එක්කලා දෙන්නා කියන්නේ ඒක මංගල කියලා හිතාගෙන ඉන්න එක. නමුත් ඒක ලෝක සම්මතයට බොරුවක් නෙමෙයි, ඒක ලෝක සම්මතයේ හැටියට ඇත්ත! හැබැයි, නියම මංගල්‍යයක් සිද්ධ වුනා නම් ඔහු ඇලුම් කරපු දේ තුළින්, ඒ ක්‍රියා කලාපය තුළින් ඔහුට නොනැසෙන යහපතක් මතුවෙන්න ඕනේ. පරාජිත බවට පත් නොවෙන යහපතක් මතුවුනා නම්, අන්න එතන මංගල්‍යයක් සිද්ධ වුනා කියන්නාවූ වචනය ගන්න පුලුවන්. අද සන්තෝස වෙලා ඉන්නවා, ඔක්කෝම කරලා ඉන්නවා, අන්තිමට බලනකොට, ඒකේ අන්තිම ප්‍රතිඵලය බලපුහාම දුක් වෙවී ඉන්න එකක් මිසක් සැනසුම කරා ගෙනියන එකක් වෙලා නෑ!
එහෙනම්, මංගල කියලා හිතා හිටියාට ඒක මංගල වෙලා නෑ! එහෙනම්, බුදුරජාණන් වහන්සේ මංගල්‍යයක් හැටියට පෙන්නුවා නම්, හැබෑ මංගල්‍යය මොකද්ද, කවදා හරි විමුක්තිය ලබා ගත්තා නම්, අන්න හැබෑ මංගල්‍යය ඔහුට සිද්ධ වුනා. නැවත ඔහු දුකට වැටෙන්නේ නෑ! සසර දුකෙනුත් සදහටම නිදහස්! අන්න ඒටික සිද්ධ වුනා නම්, ඔහු ඇසුරු කරලා තියෙන්නේ වැදගත්ම කාරණයකට ඔහුගේ මාර්ගයේ යහපතක්ම සිද්ධ කළා වෙනවා. එහෙනම්, බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ආකාරයෙන් විමුක්තිය නැමැති උත්තරීතර මංගල්‍යය කරා පූර්ණ කරගන්න අවශ්‍යය කරන මාර්ගයක් අනුපිළිවෙලින් දේශනා කළා.
දැන් මේ දේශනාව තුළදී, මේකෙත් තියෙනවා ලෞකික අර්ථයක් සහ ලෝකෝත්තර අර්ථයක්. “අසේවනාච බාලානං – පණ්ඩිතානංච සේවනා“ කියන තැන ඉඳලා පටන් තමයි මේක විග්රහයට එන්නේ. මේ ලෝකයෙත් බාලයෝ කියලා කොටසක් ඉන්නවා, ලෝකයේත් පණ්ඩිතයෝ කියලා කොටසක් ඉන්නවා. ඒ ලෞකික පැත්ත. ඒකෙත් ඇත්තක් තියෙනවා. හැබැයි ඒක පිනක් වෙනවා, සුගතියට හේතු වෙනවා, අවිද්‍යා–තෘෂ්ණා දුරුකරගන්න ඒක හේතුවෙන්නේ නෑ! පාප වැඩ කරන, අසත්පුරුෂ වැඩ කරන කොටසක් ඇත්නම්, ලෝක සම්මතයේ බාලයෝ. යහපත් ගුණධර්ම ඇති උතුම් අය ඉන්නවා නම් ලෝක සම්මතයේ හැටියට පණ්ඩිතයෝ. අබුද්ධෝත්පාද කාල වල දිවැසි සෘෂිවරු, ඒවාගේම ඉන්න යහපත් අය පණ්ඩිතයෝ. දස අකුසල් කරන, පාප කරන අය බාලයෝ, එදා තිබිච්ච හැටියට. ඒ නිසා, එදා මොකද කරන්නේ ඒ බාලකම අත්හැරලා, ඒ බාල අසත්පුරුෂයෝ අත්හැරලා අර සෘෂිවරු වැනි එබඳු අය ඇසුරු කරගෙන හිටියා නම්, එතනත් “අසේවනාච බාලානං – පණ්ඩිතානංච සේවනා” කියන ටිකක් සිද්ධ වෙනවා. හැබැයි, ඒක කෙළෙස් සහිතයි, සසර ගමනට, සුගතියට හේතුවෙනවා මිසක් නිවනට හේතුවෙන එක නෙමෙයි.
හැබැයි, මෙතෙන අද වැහිලා තියෙන්නෙත් මොකද්ද, අන්න ඒ කෑල්ල. නිවනට හේතුවෙන පැත්ත වැහිලා තියෙනවා, ලෝක සම්මත පැත්ත තමයි භාවිතා කරගෙන ඉන්නේ. එහෙනම්, මෙතෙනදී බාලයි, පණ්ඩිතයි කිවුවේ කවුද? ලෝක සම්මත වන්නාවූ අයවත්, වයසෙන් බාල වත් නෙමෙයි, “අන්ධෝ බාලෝ පුථුජ්ජනෝ” කිවුව පෘතග්ජන මානසිකත්වයක් ඇතිකෙනා තමයි මෙතන බාලයා කියන්නේ. එයාට දහම් අවබෝධයක් නෑ! සත්‍යය මාර්ගයක් පෙන්වාදෙන්න පුලුවන්කමක් නෑ! පෙන්වන මාර්ගයක් ඇත්නම්, පැවැත්ම තුළ මොනවා හරි මාර්ගයක් පෙන්වලා, පැවැත්මේ අතරමං කරනවා මිසක්, ඒකේ කොච්චර හිටියත් අන්තිමට ගෙවිලා, වැනසිලා ගියාට පස්සේ ඔහු අනාථයෙක් වෙනවා මිසක්, ඔහුට සැනසුමක් ලැබුණා කියලා සතුටු වෙන්න පුලුවන් එකක් ඔහු ලබලා ඒ ලෝකය තුළ, පෘතග්ජන ලෝකයා කොච්චර ඇසුරු කළත්.
එහෙනම්, පණ්ඩිත කියලා කිවුවේ කවුද? ආර්ය පුද්ගලයෝ! ආර්යයන් ඇසුරු කරන්න ගියා නම්, පෘතග්ජන තත්වයම ඉක්ම යන්න තියෙන පළවෙනිම කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය තමයි ආර්යයන් ඇසුර! බුදුරජාණන් වහන්සේ නියම මංගල්‍යයක් සිද්ධ වීමට කරන්න කිවුවේ මොකද්ද? අර අන්ධ, බාල, පෘතග්ජන මානසිකත්වය ඇත්තාවූ පුද්ගලයෝ, පෘතග්ජනයෝ ආශ්‍රය නොවෙයි, ඒ සේවනයෙන් අහක් වෙලා පණ්ඩිත සේවනයට බහින්න.
දැන් “සේවනය” සහ “ඇසුරු කිරීම” කාරණා 2ක්. ඔය දෙකත් තෝරාගන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ, “ලඟ හිටියත්, ඇප උපස්ථාන කරමින් හිටියත්, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තේරුම් ගත්තේ නැති වෙනත් දෘෂ්ඨියක ඉන්නවා නම්, ඔහු මගේ උරෙන් උර ගැටිලා හිටියත් ඔහු මට වඩා ඈතයි, ඔහු දුරස් වෙලා ඉන්නේ. යම් කෙනෙක් දුර හිටියත් මා පෙන්වූ දහම අනුගමනය කරගෙන ඉන්නවා නම්, කොච්චර දුර හිටියත් ඔහු මගේ උරෙන් උර ගැටිලා ඉන්නවා හා සමානව ලඟයි” මෙන්න සේවනය! දැන් අද හිතන් ඉන්නේ, සේවනය කරනවා කිවුවහම, සේවනය අත්හැරියා කිවුවහම, ඇහැට පේන්නේ නැති වෙන්න දාලා පැනලා ගියොත් තමයි සේවනය අත්හැරියේ! එක ගෙදර එහෙම ඉන්නවා නම් කට්ටියම, එතන සේවනය සිද්ධ වෙනවා කියන එක තමයි හිතාගෙන ඉන්නේ.
දැන් මේ සේවනය තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමයට. අදහස් වශයෙන් ආර්ය ගුණයට නැමුණා නම් ආර්ය ගුණයට නැමී කටයුතු කරන කෙනා, ඒ ආර්යයෝ කොච්චර ඈත හිටියත් ආර්යයෝ ආර්ය ගුණය හා සම්බන්ධව සේවනය කළා වෙනවා. අසත්පුරුෂ පුද්ගලයෙක් තමාගේ ලඟම හිටියත්, ගති ලක්ෂණ වලින් ඔහුගෙන් වෙන්වෙලා නම් ඉන්නේ, ඒ ගතියෙන් ඔහු හා අනුගමනය නොකරනවා නම්, ලඟ හිටියත් බාල සේවනයෙන් ඈතයි! “අසේවනා ච බාලානං – පණ්ඩිතානං ච සේවනා” කියනකොට, ලෝකයේ භෞතික වශයෙන් පෙනෙන ලෝකයේ කොටසක් අත්හැරලා, කොටසක් පස්සේ යන එකක් නෙමෙයි මේ කියන්නේ, එහෙම යන්න ගියොත් එහෙම ලෝක සත්වයාට මහා කරදරයක් වෙනවා, කටයුතු කරන්න බැරුව යනවා. ඉතින් ඒනිසා මේ සේවනය තෝරාගන්න ඕනේ. “සේවනය කරනවා” කියන වචනය එකක්, කතාබහ කරනවා, එකට කටයුතු කරගෙන ඉන්නවා කියන කටයුත්ත තව එකක්.
දෙවුදත් තෙර බුදුරජාණන් වහන්සේ ලඟ උරෙන් උර ගැටිලා හිටියත් බුදුරජාණන් වහන්සේ ලඟ සේවනය වුනේ නෑ! “පණ්ඩිතානං ච සේවනා” තිබුණේ නෑ. එයා හිටියේ දුර, කයින් ලඟ. කටයුතු වලින් ලඟ හිටියා. හැබැයි බුදුරජාණන් වහන්සේ සේවනය දුරිනුත් දුරයි. උරෙන් උර ගැටිලා හිටියත්, සේවනය තිබුණේ නෑ! පණ්ඩිත සේවනය නෑ! අන්න ඒවගේ යම්කිසි පුද්ගලයෙක් ගතිලක්ෂණ තුළින් ඒ උතුම් ගුණයේ ඉන්නවා නම්, උතුමන්ගේ ගතිලක්ෂණ තමා අනුගමනය කරනවා නම්, කොච්චර දුර ඉඳලා හරි, එයාට “පණ්ඩිතානං ච සේවනා” කියන ගුණය තියෙනවා. අන්ධ බාල පෘතග්ජන පුද්ගලයෝ නොයෙක් නොයෙක් ආකාරයේ නොයෙක් මිසදිටු දෘෂ්ඨි ඇති අය තමා රැකියාව කරන තැන ඉන්න පුලුවන්, ගෙදර ඉන්න පුලුවන්, එකට කන්න බොන්න පුලුවන්, ඔක්කොම කරගන්න පුලුවන් අපි ඒගොල්ලන්ගේ දෘෂ්ඨි වලට සම්බන්ධ නැත්නම්, “අසේවනා ච බාලානං” කියන තැන ඉන්නවා. දැන් ඕක අත්හැරලා “මුං බාලයෝ, මුං අසත්පුරුෂයෝ, මුංව ආශ්‍රය කරන්න හොඳ නෑ, මුං ගැන කතා කරන්නත් හොඳ නෑ, මුං ඉන්න පැත්තක ඉන්නත් හොඳ නෑ” මේ ආදී වශයෙන් ගත්තොත් අපි මානසික වශයෙන් දූෂ්‍ය වෙලා අතරමං වෙන තැනට වැටෙනවා. ඒ කියන කතාව නෙමෙයි මේ කියන්නේ. ඉතින් ඕක හොඳින් තේරුම් අරගන්න ඕනේ.
මෙන්න මේ ආර්යයෝ, ආර්ය ගුණය දැනගෙන, ආර්ය ගුණ සේවනය කරමින් කටයුතු කරන කෙනාට දකින්න හම්බවෙන වැදගත් දෙයක් තියෙනවා. “පූජාච පූජනීයානං“ එතකන් එයා පූජා කළයුත්තෝ දැකලා හිටියේ නෑ. ලෝක සම්මතයේ නම් දැකලා හිටියා. දෙමවුපියෝ පූජා කළයුත්තෝ, වැඩිහිටියෝ පූජා කළයුත්තෝ, දැන් අවුරුද්දට බුලත් දෙන්න ගිහාම ඕවා එකක් වත් බලන්නේ නෑ තමන්ට දවසක් වැඩිමල් එක්කෙනාටත් බුලත් අතක් ගෙනත් දීලා, වැඳලා පුදලා එන ඉතින් ඕවායේ තියෙනවා ලෝක සිරිතක්. වැඩිමහල් අයට බාල අය වඳිනවා, පුදනවා, ඔක්කොම කරනවා, ඉතින් කමා කරගන්නවා, මෙහෙම කරලා සමාජ සම්මතයක් තියෙනවා. අන්න, ලෝකේ තිබිච්ච ක්‍රමය ඒක. “උඹට වඩා මං වැඩිමහල්, උඹ මට වඩා බාලයි, මං උඹට වඳින්නේ නෑ, උඹ මට වඳින්න ඕනේ! ඉතින් ඔය උඹ ඉතින් මට පුදපන්!” අන්න පිදිය යුත්තෝ හැටියට ලෝකේ පෙනිලා හිටියා. දැන් මේක ලෝක සම්මතයක්.
බුදුපියාණන් වහන්සේ දේශනා කළේ ඒක නෙමෙයි. වයසෙන් බාල වෙන්න පුලුවන්, වැඩිමහල් වෙන්න පුලුවන්, ඒක වෙනම පැත්තක්. ආර්ය ගුණ යමෙක් ලඟ ඇත්නම්, ඒ ආර්ය ගුණ ඇත්තා පණ්ඩිතයෙක්. ආර්ය ගුණ ඇත්තා පිදිය යුත්තෙක්. අන්න ඒ ආර්ය ගුණය තේරුම් ගත්ත කෙනෙක් ආර්ය ගුණ ඇත්තන්ට පුදනවා නම්, මෙන්න මේකට කියනවා නිවන් කරා යන මංගල ගුණයක්! “පූජාච පූජනීයානං” ලෝක චාරිත්‍රය නෙමෙයි මේ කියන්නේ. පිදිය යුත්තන් පිදීම කියනකොට ඉතින් අපි කියනකොට ඒවා පෙනෙන්නේ දෙමවුපියෝ, වැඩිහිටියො ඔක්කෝම පුදන එකයි කිවුවාට, අපි ඒ දැනගෙන හිටියේ නෑ! මේ පණ්ඩිතයෝ, වැඩිහිටියෝ කිවුවේ ආර්ය පුද්ගලයෝ. ආර්ය මාර්ගයේ අනුගාමිකයාගේ පටන්ගෙන ම අෂ්ඨ ආර්ය පුද්ගල මහා සංඝ රත්නය කියන තැනට එනකන්, ඔන්න පරමාර්ථ සංඝත්වය ඇති ඒ සියල්ලෝම ඔන්න ආර්ය පුද්ගලයෝ. මෙන්න මේ අයටයි පුදන්න තියෙන්නේ, වඳින්න තියෙන්නේ, ගරු කරන්න තියෙන්නේ, සත්කාර කරන්න තියෙන්නේ කියලා දකිනවා. අන්න එතකොට ඔහු “පූජාච පූජනීයානං” කියන්නේ පිදිය යුත්තන් පුදනවා කියන්නේ අන්න ඒක දැනගෙන.
ඒ මූලධර්මයට, පණ්ඩිත සේවනයෙන් පණ්ඩිත ධර්මය දැකලා, එතෙන්ට වටහා ගත්තේ නැති කෙනෙකුට “මොහු ගුණවතෙක් ය, මොහු පණ්ඩිතයෙක් ය, මොහු ආර්ය ගුණ ඇත්තෙක්ය” කියලා හොයාගන්න, තේරුම් ගන්න බෑ! ඒ නිසා ඔහු මුලාවට පත්වෙලා, අන්ධයෝ යනවා වාගේ වැඩිමහල්ලෝ හොය හොයා ගිහිල්ලා ඒ විදිහට වන්දනා කරන සිරිතක් තියෙනවා, ලෝක සම්මතයේ. අන්න, ආර්ය ගුණ ඇත්තන් තත්වයට පත්වෙනකොට, ආර්යයෝ හඳුනන්න පුලුවන්, ආර්ය ගුණ හඳුනන්න පුලුවන් තත්වයට පත්වෙනකොට, එතැනින් දැනගන්නවා, මොහු මට වඩා මේ මේ ගුණයෙන් වැඩිහිටියෙක්. අන්න එතෙනදී දැනගන්නවා පිදිය යුත්ත. අන්න ඒ ගති ලක්ෂණය ඇතුළත් වෙනකොට මොකද වෙන්නේ, මෙන්න මේ කාරණා තුන මංගල කරුණු. එකින් එකට සකස් වෙච්චි හැටි.
දැන් “පතිරූප දේස වාසයක්” ඊලඟට තියෙනවා. දැන් මෙතැනින් තමයි එයා දැනගන්නේ තමන් වාසය කරන පැත්ත කෙබඳු තැනක් වෙන්න ඕනැද කියන එක. “ප්‍රතිරූපකයා” කියන්නේ කවුද? තමාට අනුකූල පුද්ගලයා. දැන් තමන් ගුණවතුන් දකින, ගුණ ධර්ම තේරුම් ගත්ත, ගුණවතුන් ඇසුරු කරන එබඳු ගති ලක්ෂණයක් එනකොට ඔහුම නිගමනය කරගන්නවා “මම කෙබඳු අය ඇසුරේ ඉන්න ඕනෑද? කෙබඳු අය සමඟද යමක් කමක් ගැන, නොදන්න දෙයක් ගැන කතා බහ කරගන්න ඕනේ? ගුරුහරු කමක් ගන්න ඕනේ?” අන්න ඒ කියන කාරණා ටික එතෙන්ට මතුවෙනකොට ඔහු දැනගන්නවා ඒකට ආධාර දෙන පුද්ගලයෝ යම් යම් පැත්තකද, අන්න ඒ අය ඇසුරු කරපු ප්‍රදේශයක්, අන්න එබඳු වන්නාවූ ස්ථානය සකස් කරගැනීම මා සතු වෙනවා. අන්න එබඳු වන්නාවූ පරිසරයක මං කටයුතු කරනකොට ඒක මංගල කාරණයක් වෙනවා කියලා දැනගත්තහම මෙන්න මේකට කියනවා “පතිරූප දේස වාසයකින් යුක්ත වෙනවා“ ඒක මංගල කාරණයක්. මොකද? නොදත් දහම් දැනගැනීමට, දත් දහම් ප්‍රගුණ කරගැනීමට, යළි යළි ආවර්ජනා කරගැනීමට, අනුකූල ගුණවතුන් යම් තැනක ඉන්නවා නම් ඒගොල්ලෝ අතරේ වෙන කතාවක් නෑ! ඊට අනුකූල දහම් කතා, අනුකූල ධර්මානුකූල ක්‍රියා, ඒවා ඇති නිසාම ඒ ආශ්‍රය කරන්න කරන්න වැඩෙන්නේ නිවන් පැත්තට මඟ, මංගල මාර්ගය.
“පුබ්බේත කත පුඤ්ඤතා“ දැන් මොකද කරන්නේ? මේකට කියන්නේ “පෙර කරන ලද පිං ඇති බව” කියලායි මේකට කියන්නේ. පොත් වල විග්රහ කරන්නේ “පෙර කරන ලද පිං ඇති බව” දැන් ඉතින් මංගල කරුණු අපිට අනුගමනය කරන්න ගියොත් එහෙම එකක් අඩු වෙන්න පුලුවන් සමහර අයට, ඒ විදිහට ගියොත්. “අනේ, මං පෙර පිං කරලා නෑ නේ!” දැන් ඉතින් කොහොමද, පෙර පිං කරපු නැති එක දැන් හැදුවාට හරියනවැයි, ඒක දැන් පිං නේ! ඉතින් කොහොමද පෙර පිං හදාගන්නේ? එහෙනම්, තිස් අටක් මංගල කරුණු අනුගමනය කරන්න බෑ, ඉස්සෙල්ලා පිං කරපු ඇති අයට විතරයි තිස් අටම තියෙන්නේ. දැන් හරි ප්‍රශ්නයක් වෙනවානේ! අනික් අයට තිස් හතක් ගන්න වෙනවා, පෙර පිං කරපු නැති අයට.
දැන් මොකද්ද මෙතන පෙන්නුවේ? “මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා – තථෝ නං සුඛමංවේති චායාව අනපායිනී“ මෙහෙම බුද්ධ දේශනාවක් තියෙන්නේ. ප්‍රසන්න මනසින් යුක්තව කරන කියන අයට ඡායාව පසුපස එනවා වාගෙ යහපතක් සිද්ධ වෙන්නේ. මෙන්න මංගල්‍යයක් සිද්ධ වෙන හැටි. එහෙනම්, අපි වැඩක් කරනකොට හිතෙන්, කයෙන්, වචනයෙන් කටයුතු කිරීමේදී අපි නිතර හුරු පුරුදු කරගන්න ඕනේ දෙයක් තියෙනවා. මොකද්ද මේ විශේෂ කටයුත්ත නිතරම කරලා. ගමන් බිමන් යනවා, වැඩපළ කරනවා, වැඩපළ ආරම්භ කරනවා, වාහනයක ගමන් යනවා, වාහන පදවාගෙන යනවා, එක එක්කෙනා තම තමන්ට අයිති වැඩ කොටසක් කරනවා. බත් හැළිය උයනවා, හාල් ටික ගන්නවා, හොද්ද ඉදනවා, ලිපේ තියනවා, බානවා, දැන් මේ වගේ එක එක ආකාරයෙන් අපි එතන ඉඳන් අපේ ජීවිත කටයුතු කොටසක් තියෙනවා. හදිස්සි වුනොත් කොරස් කටේ අත දාන්නත් බෑ, අත සූරා ගන්නවා, එක්කෝ අහකට අත වැටෙනවා කියනවා, කතාවටත් කියනවා. හදිස්සි වුනොත් කොරස් කටෙත් අත දාන්න බෑ කියනවා. මෙන්න මේ වගේ, අපි ප්‍රසන්න මනසකින් නොහිටියොත් අපි කරන කටයුත්ත හරිආකාරව කරගන්න එක පැත්තකින් මානසිකත්වයක් නෑ, උදාවෙන්නේ නෑ, විකෘති වෙනවා. කරන කටයුත්ත අනුකූලව විකෘති වෙලා ගියාම ප්‍රතිඵලය නෑ! එහෙනම් මෙන්න මෙතෙනදී සමහර වෙලාවට අපි ලෝභ, ද්වේශ, මෝහ කියන මෙන්න මේවායින් යුක්ත වන කටයුතු මේ සසර ගමනේදී, පැවැත්මේදී, එදිනෙදා කටයුතු වලදී බොහෝ සිද්ධ වෙනවා.
දැන් මේ වෙලාවෙදී අපිට මොකද්ද කරන්න කිවුවේ? “පුබ්බේත කත පුඤ්ඤතා” මේ තමන් කටයුත්තක් කරන්න ඉස්සරවෙලා, ඊට මුලින් පිනක් කරලා ඉන්න. මෙන්න මේකයි මංගල කාරණය! මේ ඉස්සෙල්ලා අත්බැවක තියෙන එක මේ අත්බැවට සම්බන්ධව තියෙන එක මංගල කාරණයක් නෙමෙයි මෙතන කියන්නේ. වැඩක් කරන්න ඉස්සරවෙලා පිනක් කරලා ඉන්න. මොකටද? “මනසා චේ පසන්නේන“ වෙලා ඉන්න ඕනේ. එතකොට භාසතිවා, කරෝතිවා කියන කරන කියන වැඩේ හරියනවා! දූෂ්‍ය මනසකින් කරන්න කියන්න පටන් ගත්තොත්, එතනම වැනසෙනවා. ඒකෙන් පාඩුවක් වෙනවා, හරියන්නේ නෑ! නැගෙන අත හෙවත් නැකත ඕකයි! ප්‍රසන්න මනසෙන් නම් කරේ, කිවුවේ….(කොටසක් මැකී ගොස්)…. ඒ වගේ මාත් ජීවත් වෙනවා කියලා. මේ විදිහට කටයුතු කරන්න පටන් ගත්තා දැන් බොහෝම සංවේගයට පත්වෙලා. මිනිහා ප්රවෘත්ති අහගෙන ඉන්න වෙලාවක ප්‍රවෘත්තියක් කියනවා, අහවල් වෙලාවට පිටවෙච්ච ගුවන් යානය අතරමඟ විනාසයට පත්වෙලා. අර හිටපු පිරිස මැරිලා කියලා. වහාම මිනිහා ගිහිල්ලා බෝධීන් වහන්සේ ලඟ කමා කළාලු “මං බෝධි පූජාව තියාගත්ත නිසා, බුදුගුණ සිහි කරගත්ත නිසා, මරණයෙන් බේරුණා” කියලා.
දැන් මේ වගේ අවස්ථා වලදී, අපිත් ඔහොම තැන් වලදී, අපිට වැඩේ වැරදුනා මේකෙන් කියලා අපි දුක්වෙනවා. විවාහය සාර්ථක කරගන්න බලාපොරොත්තුවෙන් ඔක්කෝම කරලා, මේ විදිහට කරලා ගියා, ඕං ගියාට පස්සේ විවාහය කඩාකප්පල් වුනා! අපි ඔහොම හිතනවා. නමුත්, අන්තිමටම අරක හැදුනා නම් එහෙම අර විවාහය, මහා ගිණි ගොඩක ජීවත් වෙන්නා වගේ වෙන්න වෙන එකක් වෙන්න තිබුණා. කඩාකප්පල් වෙන්නේ හොඳටම! නමුත්, අපි බලාපොරොත්තු වෙන්නේ නෑ එහෙම අනාගතයක් ඇති එකක් තමයි අපි මේ අපිට වුනේ කියලා. මේ කඩාකප්පල් වුනේ අපිට විනාසයක් සිද්ධ වෙන එකක් කියලා අපි දැක්කේ නෑ! ගමන යන්න ලැහැස්ති වෙනවා, ගමන යන්න ලැහැස්ති වෙනකොට, මේක අපේ විනාසයට මඟ පෑදෙන එකක් කියලා අපි එවෙලේ දකින්නේ නෑ! අපි හිතාගෙන ඉන්නේ අපිට හොඳ සුන්දර ලෝකෙක අපේ බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ වෙනවා, මගේ මේ විදිහට වැඩේ කෙරුණා නම් කියලා. හැබැයි, ඒ විදිහට වැඩේ කෙරුණා නම්, වෙන්න තිබිච්ච විනාසය අපි දන්නේ නැතුවාට එක්තරා ධර්මතාවයක් දන්නවා. ප්‍රසන්න මනසින් කටයුතු කරනකොට ඒ ධර්මතාවය “ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී” කියන තැන ක්‍රියාත්මක කරනවා. අපි කොච්චර ආසාවෙන් හිටියත් ඒ පැවැත්ම කඩාකප්පල් කරලා දාලා, අපි කොච්චර අකමැතිව හිටියත් අපිට සිද්ධ වෙනවා එබඳු මාර්ගයක් අනුගමනය කරන්න වැඩ පෑදෙනවා! අර අවිද්‍යාවෙන් ගත්ත තීරණයට දැන් ඉඩ දෙන්නේ නෑ. ඒ වුනාට අපි හිතන් ඉන්නවා, “මට වෙච්චි දේක හැටි! ඇයි මට විතරක් මේ කරදරේ? මට මෙහෙම වුනානේ!” හැබැයි, අපි හිතන විදිහ නෙමෙයි අර යථා ධර්මතාවය ක්‍රියත්මක කරනකොට වෙන්නේ.
ලෝකයේ බොහෝ කොටම හොඳ දේ පෙන්වලා, ඇතුලට ගිහාම මහා ගින්නක් හම්බවෙනවා. මුල බොහෝම රසයි, අග ගින්න! හොඳ පැත්තේ හැටි, මුල බොහෝම දුක් කම්කටොලු සහිතයි, අග සාන්තයි, ප්‍රණීතයි! හැබැයි, අර ආර්ය ගුණය තුළින් හොඳ හොයාගෙන ගිහාම හම්බවෙන්නේ අන්න අර ඉස්සෙල්ලා කිවුව එක. අර අපි ඉස්සෙල්ලා නෙමෙයි, පස්සෙ කිවුව එක, මොකද්ද? මුල හරිම දුක් කම්කටොලු සහිතයි. අග ශාන්තයි, ප්‍රණීතයි කියන එකට තමයි මඟ පෑදෙන්නේ.
බැලූ බැල්මට අර ඉස්සෙල්ලා තිබිච්ච මානසිකත්වය මනින්න ගිහාම, “මෙච්චරවත් බුදුන් වඳින, මෙච්චර ගුණ කියන අපිටමයි මේ ඔක්කෝම කරදර! අර බලහල්ලකෝ, ඒවා නොකරන එවුන්ට අපූරුවට හරි යන හැටි!” අපි ඔතෙන්ට බහිනවා. හැබැයි, ජීවිතය අවසානය ගෙවන මොහොත වෙනකොට බැලුවොත් එහෙම, දැන් කාටද හරි ගිහින් තියෙන්නේ කියලා, දෙන්නාම අවුරුදු පනහ, පනහ ජීවත් වෙන්න තියෙන දෙන්නා. එක්කෙනෙක් දුක සේ අරවගේ ජීවත් වෙන මාර්ගයේ එක්කෙනා, අවුරුදු 50 එයාගෙත් අවසානයි. “උඹ වාගේ අපි නම් ඕවා පස්සේ යන්නේ නෑ, ඕවා හොයන්නේ නෑ, මං හිතූ මතේ මොනවා කරලා හරි හොඳට හරිහම්බ කරනවා, බලහං කෝ මම ජීවත් වෙන හැටි!” කිය කියා ඉන්න මිනිහාට, එයාටත් අවුරුදු 50යි, දෙන්නාම දැන් මරණාසන්න මොහොත. මරණාසන්න මොහොත වෙනකොට කවුරුවත් ඇහුවොත්, “උඹලා දෙන්නාගෙන් ජය කාටද?” කියලා, සැනසිල්ලේ හිනහා වෙලා එක්කෙනෙක් මැරෙනවා, “මං විසාල යහපත් අවබෝධයක් ලබාගත්තා, මට සැනසීමක් අත්වෙනවා” අර සැනසීම හම්බුනා, ලෝකේ ඔක්කෝම හරිගියා කියන මනුස්සයා මැරෙන්න යනකොට, “අනේ අප්පොච්චියේ, මට වෙච්ච දෙයක්! මට වෙන්න යන දෙයක්!” එයා මහා භයානක විදිහේ මානසිකත්වයක් ගොඩනඟාගෙන එතනින් චුත වෙන ලකුණු පහල වෙනවා. දැන් අපි බලාපොරොත්තු වුනේ, අවුරුදු 50 තුළ ජීවත් වීමේ සාර්ථකත්වය මිසක්, අපේ අනාගත නිශ්චිත පැවැත්ම තුළ සාර්ථකත්වය ගැන අපි හිතලා තිබුණේ නෑ! ලොකුවට ජීවත් වෙච්ච මිනිහා 50 අවුරුද්දක් වෙලා මැරෙණකොට හතර අපායට යන්න බලාගෙන මැරෙනවා. අර දැහැමින්, සාමයේ හැටියට ජීවත් වෙච්චි මනුස්සයා අවුරුදු 50ක් ජීවත් වෙලා තියෙන්නේ දුකසේ! හැබැයි, ඒ මනුස්සයා මැරෙනවා ශාන්ත වූ, ප්‍රණීත වූ නිවන දැකලා. එයාට දුගතියකුත් නෑ, එයාට කෙළවර අවසානය වෙනකොට එක්කෝ පූර්ණ නිවන, නැත්නම් නිවන් මඟට අවතීර්ණ වෙන අත්බැවක්! එයා එහෙම තැනකින් සුද්ධ වෙනවා.
දැන් මෙන්න මේ වගේ, අපි දකින්න ඕනේ ඒ අපිට අවශ්‍යය කරන්නාවූ “පුබ්බේත කත පුඤ්ඤතා” ගුණය තුළ ඉන්නකොට අර ඇති වෙන වෙනස්කම ගැන කල්තියා අපි ඔය වගේ තීරණයකට බහින්නේ නැතුව, “ප්‍රසන්න මනසින් කටයුතු කරන මට අයහපතක් වෙන්න ඉඩ නෑ! ඒක ධර්මතාවය. ලෞකික වශයෙන් පේන්න පුලුවන් නානාප්‍රකාර යහපත්. හැබැයි ඒ වුනාට ඒක හරියන්නේ නෑ, මං ඒකට අධෛර්යය වෙන්නේ නැතුව මගේ වැඩේ කරගෙන යනවා” කියලා ගියොත්, ඒකාන්තයෙන් ඔහු පරාජය වෙන්නේ නෑ! ඔහුට අභිවෘද්ධියක් යථාර්තයෙන් ලැබෙනවා, නමුත් ඒක ලැබෙන ක්‍රමය අපි දන්න ක්‍රමය නෙමෙයි, අපි හිතපු ක්‍රමය නෙමෙයි!
සමහර අවුරුදු ගණනක් තිස්සේ හොරෙන් අරක්කු විකුණ විකුණ හිටපු මනුස්සයෙක්, පොලිසියට අහු වෙන්නෙත් නැතුව, නීතියේ රැහැනට අහුවෙන්නෙත් නැතුව හිටපු මනුස්සයෙක් “නමෝ බුද්ධාය!” කියලා පටන් ගත්ත දවසේම අරක්කු පොලට පොලීසියෙන් පැනලා අල්ලාගෙන යන්න පුලුවන් ඔක්කෝම ටික! ගෝඩා හැලිත් අහුවුනා, ඔක්කොමත් අහු වුනා, ලැජ්ජා වෙන්නත් සිද්ධ වුනා, ආයි සැරයක් එයාගේ රැකියාව කරන්නේ නැති තත්වයට මඟ පෑදුනා. දැන් මොකද හිතන්නේ? “ඕං බුදුන් පිහිට වුන හැටි දැක්කා නේද! අවුරුදු 2ක් එකෙකුට වත් අහුවෙන්නේ නැතුව, මෙච්චර හම්බ කරගත්ත මට, “නමෝ බුද්ධාය!” කියන්න ගිහිල්ලා වෙච්ච දේ!” ඔහොම එකක් වෙන්න පුලුවන්.
දැන් ලෞකික වශයෙන් බැලුවොත් එහෙම ලොකු විනාසයක් වගේ තමයි දකින්නේ, “නමෝ බුද්ධාය!” කියලා වෙච්චි දේ, නමුත් ඔහුගේ අර දුස්චරිත මානසිකත්වයට ගොඩනැඟෙන්න තිබිච්ච පාරයි මේ වැහුණේ! හැබැයි, ඊට පස්සේ එදිනෙදා කාලා ජීවත් වෙන්න පුලුවන් රස්සාවක් හම්බවෙන්න පුලුවන්. ආයිත් අර වැඩේ කරන්න හම්බවෙන්නේ නෑ. “හැබැයි එදා නම් ඔහොම නෙමෙයි, මාසෙකට මං ලක්ෂ ගාණක් හම්බ කළා, අද මේ එක එකාට බැල මෙහෙවර කම් කරලා, එක එකාගෙන් බැණුම් අහලා කීයක් හරි හම්බ කරගන්න වුනේ, මොනවා කරන්නද? ඕං නමෝ බුද්ධාය කියලා මට වෙච්චි දේ!” එහෙම හිතන්න පුලුවන්. හැබැයි, ඔහු දන්නේ නෑ දැහැමින් සාමයෙන් හරි හම්බ කරගන්න ඉතා සුලු මුදල ඔහු දුස්චරිතයට පත්කරන්නේ නැතුව ගෙනියනවා කියලා. අර දුස්චරිතවත්ව ජීවත් වෙච්චි වැඩපිළිවෙල හරි සැප සම්පත් සේ පේන්න තිබුණ එක ඔහුගේ මනස බලා හිටියදී දුස්චරිතය කරා ගෙනිහිල්ලා සතර අපායට මං පාදන තැනට ගෙනියනවා කියන එක ඔහු දැකලා හිටියේ නෑ.
අන්න, පිටින් තිබෙන දේ එකක්, අභ්‍යන්තරය තව එකක්. මෙන්න මේ ක්‍රමයේදී අපි දකින්න ඕනේ ඒවගේ බාදකයන්ට අහු නොවී, ප්‍රසන්න මනස කිසි දවසක අයහපතක් කරන්නේ නෑ! ලෞකික අභිවෘධිය පේන්න තියෙන එක නානාප්‍රකාරයෙන් එක එක ආකාරයි. ඒකත් එක්ක සසඳලා, මේ ධර්මය අහක් කරන්නේ නෑ කියන යථාර්තය දකින්න ඕනේ. එහෙම දැනගෙන කටයුතු කළොත් මොකද වෙන්නේ? අර “පුබ්බේත කත පුඤ්ඤතා” කියන ගුණයේ නියම යථාර්තය තමන්ට එනවා.
හැබැයි, ලෝකය පිළිබඳව මහා ලොකුවට හිතාගෙන ඉන්න අයට නම් මේ කොච්චර කිවුවත් මේක කරන්න බෑ! ලාභ, කීර්ති, ප්‍රශංසා තම තමා බලාපොරොත්තු වෙන ආකාරයෙන් හිත තියාගෙන ඉන්න තාක්කල් ලෝකයාට මේ ධර්මය වටහාගන්න බෑ, ඒකේ ඉන්නත් බෑ!
“අත්ථ සම්මා පණීධීච” මේ තමාගේ අත්බැව, නැත්නම් තමා සම්මාවෙහි පිහිටන්න ඕනේ! එහෙනම්, මෙතෙන්ට එනකොට මොකද කරන්නේ, “පණ්ඩිතානංච සේවනා” කියන තැනට එනකොටම අපිට එක්තරා දහමක් අහන්න ලැබුනා. හරයක් තියෙනවා කියලා මේ ලෝක සත්වයා මහා වටිනාකමින් හිතාගෙන ඉන්න අනිච්ච වූ, දුක්ඛ වූ, අනත්ථ වූ දෙයක්, අනත්ථ වූ ලෝකයක්. මේ ලෝකයේ හැටි ඔහොමයි. එහෙනම්, මේ ලෝකෙට බැඳෙන, රැඳෙන මානසිකත්වයක් තියාගෙන ඉන්නාවූ මේ මුලා මානසිකත්වයෙන් මිදෙන්න! මෙන්න මේකයි ලැබුණ උපදෙස.
එහෙනම්, අන්න ඒ මාර්ගය අනුගමනය කළොත් මොකද කරන්නේ? අත්ථ සම්මා, අර එකතුවෙන් මිදෙන්නාවූ තැන පිහිටුවනවා. “මම” ය කියලා, “මගේ” ය කියලා, “මගේ ආත්මය” කියලා අල්ලන දෘෂ්ඨියකින් අල්ලා ගත්ත ඒවා තිබුණා නම්, ඒවායින් මිදෙන පැත්තට හිත පිහිටවා ගන්නවා, මෙන්න මංගල කරුණක්.
“බාහු සච්චංච සිප්පංච“ දැන් බහුස්‍රැත භාවය කියන්නේ මෙන්න මෙතැනයි. මේ ලෝකයේ තිබෙන ලෞකික විෂයයන් කොච්චර ඉගෙනගත්තත් ඒ බහුස්‍රැත භාවය ලෞකිකයි! ඒක නිවනට මංගල කාරණයක් හෙවත්, නිවන් මඟට හේතුවක් වෙලා නෑ. එහෙනම්, බහුස්‍රැත භාවය, “බාහු සච්ච” කියන වචනයෙන් පෙන්වන්නේ මොකද්ද, යථා තත්වය පිළිබඳව, නැත්නම් දුක්ඛ ආර්ය සත්‍යය පිළිබඳව යථාර්තයෙන් දැනගත්තා සේම, ඊට අනුකූලව මඟ වඩාගැනීමට යම් මඟක් අනුගමනය කළ යුතුද, අන්න ඒ ක්‍රමවේදය පිළිබඳව තේරුම් ගත්තහම ඔහුට “බහුස්‍රැත” භාවය සහ “ශිල්පය” ලැබෙනවා! කඩු ශිල්ප, දුනි ශිල්ප ආදී වන්නාවූ මේ ලෝක සම්මත ශිල්ප තියෙනවා. ඒවාගෙන් යුද්ධ කරන්න, පුහුණු වෙන්න ක්‍රම තියෙනවා. හැබැයි, ඒවා එකක් වත් නිවන් පැත්තට නමන ඒවා නෙමෙයි. රෞද්‍ර පැත්තට, දරුණු පැත්තට නමන ඒවාත් ඒකේ තියෙනවා.
දැන් යම් ශිල්පයක් නිවන් මඟට නවනවාද, නිවන් මඟට අවශ්‍යය කරන්නාවූ ආකාරයෙන් අලෝභ, අද්වේෂ, අමෝහ, තමන් හිතන, කියන, කරන කටයුතු කිරීමේ හැකියාව ලැබුවා නම්, මෙන්න මේ ඔහු ලබන්නාවූ ශිල්පය ඔහුට යහපතක් වෙනවා. ලෝක සම්මතයේ ඉගෙනගන්න ශිල්පයක් තියෙනවා, විශ්වවිද්‍යාල උපාධිදාරි වෙලා, ආචාර්ය උපාධි, ගෞරව උපාධි ලබන්න පුලුවන්. ඒ බහුස්‍රැත භාව සහ ශිල්පය ලෞකිකත්වය තුළ පවතින එකක් මිසක් මංගල කාරණය කියන එක නෙමෙයි! මංගල ශිල්පය කියලා කියන්නේ, ඔය කියන ආකාරයෙන් චතුරාර්ය සත්‍යය පිළිබඳව, ඊට අනුකූල වන්නාවූ කරුණු හදාරලා, තේරුම් අරගෙන, ඊට අනුකූල වන්නාවූ ආකාරයෙන් තමාගේ ශික්ෂණය ඇතිකරගත්තා නම්, ඒ හැකියාව ලැබීමට කියනවා, “බාහු සච්චංච සිප්පංච”
මෙන්න මෙතෙන්ට ආපුහාම මොකද වෙන්නේ? “විනයෝච සුසික්ඛිතෝ“ අන්න සුසික්ඛිත භාවය හෙවත් නිවන් සඳහා වන්නාවූ ශික්ෂණයට විනය හම්බ වෙනවා, හික්මීම හම්බවෙනවා. මෙන්න මංගල කාරණය.
“සු භාසිතාච යා වාචා“ අන්න සුභාසිතය. දැන් දකිනවා බුද්ධ භාෂිතය මෙන්න මේකයි, බුද්ධ භාෂිතය තුළින් නිවන් කරා යන්න පුලුවන්. ඒක සුභාෂිතයයි. යම්කිසි වචනයක් යහපත් වුනා නම්, ඒ බුද්ධ වචනයම යහපත් මිසක්, තවත් යහපත් වචනයක් මට ලෝකේ දකින්න නෑ! මෙන්න මේ ටික දැක්කහම ඔහු ඒකේ පිහිටනවා. ඒ බුද්ධ භාෂිතයට අනුව පිහිටලා, ඊට අනුකූල වන්නාවූ යහපත් වචනය තමන් ඇසුරු කරන්න පටන් ගත්තහම, ඒක මංගල කාරණයක් වෙනවා, නිවන් මඟට හේතු වෙනවා.
“මාතා පිතූ උපට්ඨානං“ දැන් අන්න යුතුකම් පැත්ත. කළ ගුණ දන්නවා, උපකාරයට කෘතෝපකාර සළකනවා. අර යුතුකම් බලාගෙන කරනවා මිසක්, අම්මාට – තාත්තාට චන්ද රාගයෙන් බැඳිලා රැඳිලා නෑ! හැබැයි, කළ යුතු යුතුකම ක්රමානුකූලවම කරනවා. “මාතෲ ධර්ම, පීතෲ ධර්ම” ත් තේරුම් ගන්නවා. මේ කාරණා දෙකක්. එකක් මෙතන මවු–පිය දෙන්නා, මාතා පිතූ උපට්ඨානං! අමා මෑණියන් වහන්සේ, බුදු පියාණන් වහන්සේ, ආර්ය පැත්තෙන් අම්මා–තාත්තා. බුද්ධ උපස්ථානය! ලෞකික පැත්තෙන් වඩපු, හදපු අම්මා තාත්තා, මාතා පිතූ. ඔය දෙකම තේරුම් ගන්න ඕනේ. එකක් ලෞකිකයි, කෙළෙස් සහිතයි, සුගතියට හේතු වෙනවා. ඒ කියන්නේ, වදපු හදපු අම්මා තාත්තාට සළකලා, ඇප උපස්ථාන කරපුහාම. අමා මෑණියන් වහන්සේට, බුදු පියාණන් වහන්සේට කරන උපස්ථානයත් මාතා පිතූ උපස්ථානය. අන්න ඒ උපස්ථානය කෙරුනහම ආර්ය මාර්ගය පූර්ණය කරන මහා මංගල කාරණයක් වෙනවා. මේක නිකම්ම මංගලයක් නෙමෙයි, මහා මංගලයක් වෙන්න ඕනේ.
එහෙනම්, මෙතෙනදී දකින්න ඕනේ, අමා මෑණියන් වහන්සේ කෙරෙහි කරන්නාවූ, බුදු පියාණන් වහන්සේ කෙරෙහි කරන්නාවූ යම් ඇප උපස්ථානයක්, ගෞරව සත්කාරයක් ඇත්ද, මෙන්න මේ කරන කටයුත්ත මංගල අතර මහා මංගලයක් වෙනවා. මවු පිය උපස්ථානයේ මහා උපස්ථානය.
එක අවස්ථාවක ශාක්‍ය කුමාරයෙක්, අම්මාට වඳින්නෙත් නෑ, තාත්තාට වඳින්නෙත් නෑ, වැඩිහිටියන්ට වඳින්නෙත් නෑ, හරිම අහංකාර විදිහට ඉන්නේ. භික්ෂූන් වහන්සේ නමක් වැනි කෙනෙක් දැක්කත් කිසිම ගාණකට ගණං ගන්නේ නෑ, තාපස කෙනෙක් දැක්කත් ගණං ගන්නේ නෑ. පැත්තකට වෙලා බලා ඉන්නවා අඩුපාඩුවක්. මේ විදිහට බලා ඉන්නකොට බුදුරජාණන් වහන්සේ වැඩපු වෙලාවක, මේ මාන්නක්කාර ශාක්යයත් එතෙන්ට ගිහිල්ලා බලාගෙන හිටියා, අඩුපාඩුවක් හොය හොයා. හැබැයි, බලන බලන ඉරියවුවක් ඉරියවුවක් පාසා චිත්ත ප්‍රසාදයක් ම නැඟෙනවා. අහන්න ලැබෙන වචනයක් වචනයක් පාසාත් මහා චිත්ත ප්‍රසාදයක් නැගෙනවා. “මෙච්චර කල් මං කාටවත් වැන්දේ නෑ!” කියලා බලා ඉඳලා, බලා ඉඳලා, “අද වඳිනවා මයි මුන්වහන්සේට” කියලා, “වඳින්න සුදුස්සෙක් මට හම්බුනා!” කියලා අඬ අඬා, පා ඉඹ ඉඹ වඳින්න පටන්ගත්තා. ඒපාර අන්‍ය ශාක්‍යයෝ කියනවා, “මහා පුදුමයක් නේ! මේ මාන්නක්කාර ශාක්‍යයාගේ හැටියට අම්මාට වැන්දෙත් නෑ, තාත්තාට වැන්දෙත් නෑ, වැඩිහිටියන්ට වැන්දෙත් නෑ, කාටවත් වඳින්නේ නැතුව හිටපු මේ මාන්නක්කාර ශාක්‍යයා බුදුරජාණන් වහන්සේගේ පා ඉඹ ඉඹ වඳිනවා නේ අද!” “මෙච්චර කල් නොවැන්ද වැඳුම් අද පූර්ණයි!” කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා.
මෙච්චර කල් නොවැඳපු වැඳුම් අද පූර්ණයි, එහෙනම් මහා මංගලයක් වෙලා තියෙන්නේ අමා මෑණියන් වහන්සේට, බුදු පියාණන් වහන්සේට කරපු ගෞරවය, අම්මා තාත්තාට වැඳපු නැති එකටත් වැඩිය පූර්ණය කරලා ඉවරයි නේද? අන්න, මහා මංගල්‍යයක් වන්නාවූ මාතා පිතු උපස්ථානය. ඒක ශ්‍රේෂ්ඨ ම උපස්ථානය. හැබැයි, ඒ කියන්නේ අම්මාට තාත්තාට සළකන්න එපා කියන එක එහෙම නෙමෙයි! මංගල කරුණු, මහා මංගල කරුණු තෝරාගන්න ඕනේ, ඒකයි මේ වෙනස!
“පුත්ත දාරස්ස සංඝහෝ“ පුත්‍රයින්ට, දරුවන්ට සංග්‍රහ කිරීම. ඒකෙත් දෙපැත්තක් තියෙනවා. ලෞකික වූ, කෙළෙස් සහිතවූ, සුගතියට හේතුවෙන, යහපත් කරුණක් වෙනවා, ඒ වාගෙම දූපුතුන්ට සංග්‍රහ කිරීම. ඒවාගෙම අඹු දරුවන්ට සංග්‍රහ කිරීම. ආර්ය පැත්තෙත් ඉන්නවා “පුත්තු” සහ “දරුවෝ” බුදුරජාණන් වහන්සේගේ පුත්‍ර කියන්නේ මහ රහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ දරුවෝ කියන්නේ එයින් මෙහා ඉන්න සේඛ පුද්ගලයෝ, ආර්ය මාර්ගයේ යන බෞද්ධයෝ. ඒ අය තමයි දරුවෝ. එහෙනම්, බුදු පුතුන් සහ බෞද්ධ දරුවන් කියන්නාවූ ආර්යයන් දැකලා, ඒ කෙරෙහි සංග්‍රහ කරන්නාවූ ගති ලක්ෂණය ආවහාම, මෙන්න මේක මහා මංගල කාරණයක්! ලොකුම පුත්ත දාරස්ස සංග්‍රහය. ඔය කාරණා දෙකම කරන්න ඕනේ. බුදු පුතුන්ට සහ බෞද්ධ දරුවන්ට. බෞද්ධ දරුවෝ කියලා කියන්නේ, බුදු මඟ අනුගමනය කරන සියල්ලෝම බෞද්ධ දරුවෝ! ඒ පූර්ණ කරගත් මහරහතන් වහන්සේ “මාගේ එකම පුත්‍රයා” කිවුව තැනට වැටිච්ච බුද්ධ පුත්‍රයා, නියම බුද්ධ පුත්‍රයා. අනිත්, සෝවාන් මාර්ග අනුගාමිකයාගේ පටන්ගෙන අනික් අය ඔක්කෝම බුද්ධ දරුවෝ. “පුත්ත, දාර” කියන දෙකම ඔතන තියෙනවා. මෙන්න මේ අයට කරන්නාවූ සංග්‍රහයක් ඇත්නම් මේක තමයි මහා මංගල වෙන්නේ. ඒ වගේම අඹු දරුවෝ ආදීන්ට සංග්‍රහ කිරීම යුතුකමක්. ඒකත් හොඳ කරුණක් මිසක් නරක එකක් නෙමෙයි. නමුත් මහා මංගල්‍යයක් වෙනකොට සිද්ධ වෙන ආකාරය මේකෙන් දකින්න ඕනේ.
“අනාකුලා ච කම්මන්තා“ ආකූල නොවන කර්මාන්ත. ඒ කියන්නේ තමන් හිතන, කියන, කරන හැම දෙයක් තුළින්ම කෙරෙන කටයුතු, කර්මාන්ත වෙනවා. මේ තුළදී තමන්ට “ආකූල” බවට, ඇකුලුම් සහගත බවට පත්වෙන්න වෙන්නේ නැති ඒවා තියෙන්න ඕනේ. කරන කටයුතු වලින්, “මම මෙබඳු කටයුත්තක් කළා” මෙබඳු ජීවනෝපායක් වෙන්න පුලුවන්, මොන මොනවා හරි ඒකට අනුකූල කටයුත්තක් වෙන්න පුලුවන්. හැබැයි, ඒක පිළිබඳව තමන්, කවුරුවත් දැනගත්තොත් ඇකිලෙන ස්වභාවයට පත්වෙන්න අවශ්‍යය නෑ! එහෙනම්, විවෘත්ත මානසිකත්වයකින් යුක්ත, යහපත් වන්නාවූ චරිතයකින් යුක්තව කටයුතු කරන පුද්ගලයෙකුට, අනාකූල කර්මාන්තයෙන් යුක්ත වන්නාවූ තත්වයට පත්වෙනවා. ඇකුලුම් සහිත බව නැති කර්මාන්ත, කටයුතු.
“දානංච ධම්මචරියාච“ – දැන් මේ අනුපිළිවෙලින් එකින් එක සකස් වෙලා එන හැටි! දානය කිරීම සහ ධර්මචරියාව. මෙච්චර කල් අල්ලාගෙන හිටපු ඒවා දැන් දාන්න ඕනේ. බත්, පැන් දන් දුන්න පලියටම දානය වුනා නෙමෙයි! “දානවා” කියන වචනය එකක්, මෙච්චර කල් අල්ලාගෙන ආපු ගොඩාක් තියෙනවා ජාති. ඔන්න ඔය ටික පැත්තකට දැම්මා නම්, ඔහු නියම දානය කළ පුද්ගලයෙක් වෙනවා. දාන්න ඕනේ දේ අහකට දැම්මා. ඉවත දාන්න ඕනේ දේ ඉවත දැම්මා. හැසිරිය යුතු චරියාවට පත්වුනා.
දැන් මෙච්චර කල් නොදා මොනවාද අල්ලා ගත්තේ? මන වඩන රූප, මන වඩන ශබ්ද, මන වඩන ගන්ධ, මන වඩන රස, මන වඩන පහස අහක දාන්නේ නැතුව “මගේ මගේ” කියලා අල්ලාගෙන, ගොඩගහගෙන හිටියා. “මම” කරගෙන, “මගේ” කරගෙන. “යම් දවසක අනිච්ච වූ, දුක්ඛ වූ, අනත්ථ වූ ලෝකය තුළ මුලාවට පත්කරන ගමනක් ගෙනියන මේ පංච කාමයෝ අල්ලාගෙන ඉන්නවාට වැඩිය, මං මේවා එක්ක තියෙන සම්බන්ධය අත්හරින්න ඕනෑ!” කියලා, එකින් එක දැම්මා නම් පැත්තකට, අන්න ඒ දානය මහා මංගල දානයක් වෙනවා.
හැබැයි, ඒ කියන්නේ කෙනෙකුට දානයක් දෙන්න එපායි කියලා, කෑම ආහාරයක් දෙන්න එපා කියන එක එහෙම නෙමෙයි. ඒකත් එක්තරා මංගල කරුණක් තමයි, මේ මංගල අතර මහා මංගලයක් වෙනවා ඔන්න ඔය කියන මෙතෙක් කල් රාගයෙන්, ද්වේෂයෙන්, රාගයෙන් අල්ලාගෙන, චන්ද රාගයෙන් බැඳිලා හිටපුවා, යථාර්තයන් දැක දැකා, අත්හැරී, අත්හැරී අතහැර දැම්මා නම් මෙන්න මේ දානය දාන අතර ශ්‍රේෂ්ඨයි! ඊට අනුකූල වන්නාවූ, දමනය වන චරියාවෙහි හැසිරෙනවා නම්, ධම්මචරියාවත් එතැනයි.
“ඥාතකානංච සංගහෝ“ – දැන් කවුද ඥාතීන්, අපිට ඉන්න? සංග්‍රහයත් අපි දැනගන්න ඕනේ, ඥාතීනුත් දැනගන්න ඕනේ. අපිට යම්කිසි විදිහක, අපිට ප්‍රධාන ඥාතීන් හැටියට පෙන්වනවා, “පරලොව යන කෙනාට පින ඥාතියා වෙනවා!” අන්න ප්‍රධාන ඥාතීන් ඉන්න තැන. ඥාති සංග්‍රහය ගන්නකොට, ඥාති සංග්‍රහයේ ක්‍රම දෙකක් තියෙනවා. ඒකෙත් ලෞකිකයි, ලෝකෝත්තරයි දෙපැත්තක්. ලෝකෝත්තර පැත්තට නැඹුරු කරනවා එකක්, ලෞකිකත්වයට නැඹුරු කරනවා එකක්. නිවන් දකින කෙනාට ආයු, වර්ණ, සැප, බල, නුවණ ඥාතියෝ. මොනවායින්ද ඒ ඥාතියෝ ලැබෙන්නේ? යහපත් පිං දහම් කියන කටයුතු …. ( කොටසක් පටිගත වී නොමැත ) … මෙන්න මේ කියන ඥාති සංග්‍රහය මූලික ඥාති සංග්‍රහය. නිවන් දකින්න හේතුවෙන ඥාති සංග්‍රහය තමයි ඒ. “පරලොව යන කෙනාට පින නෑයා වෙනවා” කියලා පෙන්වපු බුද්ධ දේශනාවත් එක්කලා ඕක සම්බන්ධයි.
එහෙනම්, ඥාතීන්ට, නෑදෑ හිතවතුන්ට යුතුකම් ඉටු කිරීම කියන එක නෙමෙයි මේ කියන්නේ, ඒක නොකර ඉන්න කියන එකක් නෙමෙයි! ඒකත් උතුම් කරුණක් තමයි. හැබැයි, අපි දැනගන්න ඕනේ නිවන් දකින කෙනාට ඥාතීන් කවුද? නිවනට ආධාර කරන, උපකාර කරන යම්කිසි දෙයක් ඇත්ද, ඒ තමා තුළම නැගෙන දෙයක්. ආයුස, වර්ණය, සැපය, බලය, නුවණ කියන මේ පහ ඕනේ, තමා තුළ නැගෙන්න ඕනේ නිවන් අවබෝධ කරන කෙනාට ඥාතීන් වශයෙන්. මෙන්න මේ අය ලැබෙන්නේ කරන ලද පිං දහම් වලින්. ආර්ය ගුණ ඇත්තන් කෙරෙහි වන්දනා මාන, පූජා සත්කාර, ගෞරව ඇප උපස්ථාන සිද්ධ කිරීමේදී එයින් ගොඩනැඟෙන්නාවූ ආයු, වර්ණ, සැප, බල, නුවණ නිවන් අවබෝධ කරගන්න මහා ඥාතීන් හැටියට පරිවාර කරගන්නවා. මෙන්න මේ සම්පත්තිය යම් කෙනෙකුට තියෙනවා නම් අන්න ඒ ඥාති සංග්‍රහය තමන්ට මහා මංගල්‍යයක් ඇති කරනවා.
“අනවජ්ජානි කම්මානි“ – ඉතින් නිරවද්‍ය කටයුතු තමන්ටම තේරෙන්න පටන් ගන්නවා ඔය ක්‍රම අනුගමනය කරගෙන යනකොට, මේ මේ කටයුතු වැරදියි, මේ මේ කටයුතු නිවනට හේතු කාරක නිවැරදි විදිහට. නිවනට හේතුකාරක වන්නාවූ යම් කටයුත්තක් ඇත්ද, ඒක තමයි නිවැරදිම කටයුතු! ඒ නිවැරදි කටයුත්ත තෙරුම් ගත්තාට පස්සේ, හිතෙන් කයෙන් වචනයෙන් කරන හැම කටයුත්තක්ම නිවනට උපනිශ්‍රය වෙන කටයුතු බවට පත්වෙනකොට, අනවජ්ජානි කම්මානි කියන තැනට පත්වෙනවා.
“ආරති විරති පාපා“ – අනික් කාරණය. පාපයට කැමැත්තක් නැතුව, දහමට අනුකූලව ආපු රතියක් තියෙනවා නම් මෙන්න මේකට කියනවා, මංගල කාරණයක්. පාපයට කැමැත්තක් නෑ, දහමට අනුව ආපු රතිය නිසා පාපයට කැමැත්තක් නැතුව යන මානසිකත්වය උදා වෙනවා. මෙන්න මේක මංගල කාරණයක් වෙනවා.
“මජ්ජපානාච සඤ්ඤමෝ“ – දැන් මත්පැන් කියලා ගන්නකොට, අපි දන්නේ එක මත්පැන් ජාතියයි, ඇල්කොහොල් විතරයි. ලෝක සත්වයා මේ කාමයෙන් මත් කරලා පංච පානයක් කරගන්නවා. රූප පානය කරනවා, සද්ද පානය කරනවා, ගන්ධ පානය කරනවා, රස පානය කරනවා, පහස පානය කරනවා. පංච කාම පානයක් පානය කර කරා ලෝක සත්වයා මත් වෙනවා. මේ මත්වීම සඳහා පානය කරන්නාවූ මේවායින් සංයුත භාවයට, නැත්නම් සංවර භාවයට පත්වෙනවා නම් යථාර්තය දැක දැක, හැබැයි ඇල්කොහොල් ඉතුරු වෙලා නෑ ඔතන එතකොට. ඒකත් එක්ක, ඊට වඩා වැඩිමනත් මහා ගොඩක් ජාති එකතු වෙනවා. පංච කාමයන් පානය කරන්නේ නැත්නම් ඇල්කොහොල් මත්පැන් ගන්න බෑ! ඒක නිකම්ම අහක් වෙලා ඉවරයි. ඇල්කොහොල් වලට සිමා වෙච්චි එකක් නෙමෙයි මේ මත්පැන් කියලා මේ පෙන්වන්නේ.
“පංච සුරාවයි පංච මේරයයි” දෙක පෙන්වන්න ගිය අටුවාචාරීන් වහන්සේලා “පිට්ඨ සුරා, ඕදන සුරා, පොත්ත සුරා, … සුරා, පල්ලව සුරා, මේ ආදී වශයෙන් එක එක ජාතියෙන් සුරා පහකට යන්තම් ගැට ගහලා, මෙන්න මේ පහ පංච සුරා කියලා පෙන්වනවා. ඉතින් “මේරය” පෙන්වන්න හදලාත් ඒ වගේ, ඒ වගේ තැන් ටිකකින් ම මේරය කියලා එකකුත් හදලා පෙන්වනවා. පංච සුරාව පානය කරන්නේ මොකද්ද? “සුරා” කියන්නේ සරාගික බව!
මන වඩන රූප බල බලා සරාගික වෙනවා, අන්න මිහිරියාව භුක්ති විඳිනවා. ඔතනම සුරාවත් තියෙනවා, මේරයත් තියෙනවා. මන වඩන ශබ්ද නිසා සරාගික වෙනවා, ඒකේ මිහිරියාව භුක්ති විඳිනවා. අන්න මන වඩන ශබ්දය නිසා ඇතිවුනා වූ සුරාමේරය! මන වඩන ගන්ධය නිසා සරාගික වෙනවා, ඒකේ මිහිරියාව භුක්තියට බහිනවා. අන්න ගන්ධය මුල් කරගත්ත සුරාමේරය. මන වඩන රසයට මත්වෙනවා, ඒකේ මිහිරියාව භුක්ති විඳිනවා. මේ ලෝක පැවැත්මට ගිජු වෙලා යන හැටි! ඒක තමයි රස සුරාමේරය. මන වඩන පහසට පත්වෙනවා, ඒකේ මිහිරියාව භුක්ති විඳිනවා. මෙන්න කාය සුරාමේරය, කායික සුරාමේරය! ඔන්න ඔය පංච සුරාවයි, පංච මේරයයි දෙක ඇසුරු කරන කෙනා කාමයෙන් මත් වුනහම ඔහුට සිද්ධ වෙන්නේ ප්‍රමාදයක්. ඔහු මේ ලෝකේ දාලා යන්න බෑ, කාම ලෝකය අල්ලාගෙන, බදාගෙන ඉන්නවා. “සුරා මේරය මජ්ජ පමාද ඨාන“ ඔය සුරාවයි මේරයයි නිසා මත්වෙලා, ප්‍රමාද වෙලා, ලෝකේ අල්ලාගෙන ඉන්නවා. මේ අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් භරිත වෙලා, චන්ද රාගයෙන් බැඳුනු ලෝක සත්වයා යන තැන. ඔය ඇල්කොහොල් කියන්නේ ඕකේ පුංචි කෑල්ලක් විතරයි. එයිට එහා තියෙන ඔය සුරා මේරය දකින්න ඕනේ. මෙන්න මේ මජ්ජ පානයන් ගෙන් හෙවත් මේ මත්වෙන පානයන් ගෙන් යම් සංයමයට පත්වීමක් ඇත්නම්, මෙන්න මේක නිවන් මගයි. මේක මහා මංගල කාරණයක්.
“අප්පමාදෝ ච ධම්මේසු“ – අන්න අප්‍රමාදය ආපු තැන. දැන් ඔය ටික අහක් වෙනකොට පුද්ගලයා මොහොතක් ගානේම යන්නේ ධර්මය තුළ, ධර්මාවබෝධයට නැඹුරු වෙලා. අන්න මංගල කාරණයක් වෙච්චි හැටි.
“ගාරවොච නිවාතෝච“ – දැන් එයා දන්නවා ගරු කළ යුත්තේ කොතෙන්ටද, “නිවාත” ගුණයට පත් වෙන්න ඕනේ කොතැනද, නිවාත ගුණය තියෙන්නේ? ගරු කළ යුතු ගුණය තියෙන්නේ කොතැනද? නිවනින් මෙපිට, නිවන් මගෙන් මෙපිට ගරුකළ යුතු, නිවී සැනසී පිලිගත යුතු තව තැනක් නෑ! කියලා දකිනවා. අන්න ගරුත්වය සහ නිවාත ගුණයේ හිටිනවා. යම් තැනක ධර්මය ඇත්ද, ධර්මය විද්යාමානද, අන්න ඒ ධර්මයට ගරු කරනවා, ධර්මයට නැමී හිටිනවා. යටත් පහත් බවට පත්වෙනවා. මෙන්න මේ ගුණයට පත්වුනහම මහා මංගල්‍යයක් බවට පත්වෙනවා, නිවන් අවබෝධයටත් මග පෑදෙනවා.
“සංතුට්ඨී ච කතඤ්ඤුතා“ – අන්න තුටු වෙන්න පුලුවන් දේ එතැනයි. ඒ වාගෙම, කතඤ්ඤු – කතවේදි, නැත්නම් කෘතඥතාවය. දැන් මෙතෙනදී දකිනවා, තමන් අත්දැක්ක දේ. “මේ ශාන්තිය, ප්‍රණීතත්වය මං අත්දැක්කේ බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය නිසා නේද?“ අන්න එතෙන්ට පත්වෙනකොට, ත්‍රිවිධ රත්නය දැකලා සතුටු වෙන්න පුලුවන් කෘතෝපකාර ගුණය නැගෙනවා. කවදාවත් ත්‍රිවිධ රත්නය පිළිබඳව, බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය යම් තැනකද, හිතෙන් අහක් වෙන්නේ නෑ! ඇසුරෙන් අහක් වෙන්නේ නෑ! ඇප උපස්ථානයෙන් අහක් වෙන්නේ නෑ! ඒ ගුණයට පත්වෙනවා. මෙන්න මංගල කාරණයක් වෙනවා නිවන් දකින්න.
“කාලේන ධම්ම සවනං“ – අන්න, ධර්මශ්රවණයට කාලය මතුවෙලා තියෙනවා දැන්. ඔතෙන්ට ඇවිදින්, ඔය ජාතියෙන් ආපු කෙනෙකුට තමයි ධර්මශ්‍රවණයෙන් නිවන් මඟට හේතුකාරක උපනිශ්‍රය ලැබෙන්නේ. ඒ ගුණධර්මයේ නොපිහිටා කොච්චර බණ ඇහුවත් පුද්ගලයාගේ මනස ධර්මයට නැමිලා හිටින්නේ නෑ! එහෙනම්, “කාලේන ධම්ම සවනං” කියන එක එන්නේ, ඔන්න ඔතෙන්ටයි “කාලය“ සකස් වෙලා එන්නේ. ඔතෙන්ට ආපු එක්කෙනාට ධර්මශ්රවණයට කාලය ඇවිදිල්ලා. “ධම්මස්සවන කාලෝ අයං භදංතා“ කියලා අති දුර්ලභයි කිවුවෙත් ඔන්න ඔය කාලය. අනික නම් අතිදුර්ලභ නෑ! ඕනෙ තරම් තියෙනවා, කණේ ඇඟිලි ගහගන්නවා බණ කියනකොට, වැඩි වෙලානේ! අතිදුර්ලභ වෙලා නෑ, වැඩි වෙච්චි නිසා බණ ඇහෙනකොට කණේ ඇඟිලි ගහගන්නවා මිනිස්සු, “කණක් ඇහෙන්න නෑ!” කියලා. මේකයි තත්වේ.
හැබැයි මේ “ධම්මස්සවන කාලෝ අයං භදංතා” අතිදුර්ලභයි කිවුවේ? මෙන්න මෙතෙන්ට ඇවිදින් බණ අහන අවස්ථාවක් තිබුණා නම්, මෙන්න මෙහෙම කාලය හරි දුර්ලභයි. මොකද, මෙහෙම කෙනා බණ ඇහුවොත් ඒකාන්තයෙන් මාර්ග–ඵල අවබෝධයට හේතුවෙන නිසා. උපනිශ්‍රය පිරිලා, පූර්ණ වෙලා. එහෙනම්, මෙන්න මේක උතුම් වූ ගුණයක් වෙනවා, “කාලේන ධම්ම සවනං!”
අන්න එතෙන්ට පත්වෙච්චි කෙනාට, “ඛන්තීච සෝවචස්සතා“ – අන්න ක්ෂාන්තිය හෙවත් නිවන දකිනවා. සුවච භාවය හෙවත් නිවනට අනුකූල වන්නාවූ කීකරු බව, නැත්නම් ඊට අනුව කටයුතු කරන්නාවූ ස්වභාවයට පත්වෙනවා.
“සමණානංච දස්සනං“ – අන්න ශ්‍රමණ දර්ශනය, කවුද ශ්‍රමණ කියන්නේ කියලා තමා තුළින් දකිනවා. සමනය වුන මානසිකත්වයක් තුළින් “සමන” දකිනවා. අර සිවුරු ඇඳගෙන හිටපු එක්කෙනා දකිනවා නෙමෙයි මේ කියන්නේ, “ශ්‍රමණ දර්ශනය කියන්නේ රාග සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත ගිණි මම දැකලා තියෙනවා, මගේ අත්දැකීම් තියෙනවා. මට දැන් රාගය සමනය වෙලා, ද්වේෂය සමනය වෙලා, මෝහය සමනය වෙලා, සමන බව මා තුළින් අත්දකිනවා. කොච්චර ශාන්තද, ප්‍රණීතද? මම සමනය වුන දර්ශනය දැක්කා, ශ්‍රමණ දර්ශනය දැක්කා.“ මෙන්න ශාන්ත බව, ප්‍රණීත බව.
හැබැයි මේ අනුව යමෙක් ගාව ඒ ශාන්ත බව ප්‍රණීත බව තියෙනවා නම්, ඒ උත්තම ශ්‍රමණයෙක්! මා ලඟ මේ ගුණය තියෙනවා නම් මාත් ශ්රමණයි! මම ශ්‍රමණ දර්ශනය කරලා තියෙන හින්දා මට ශ්‍රමණයෝ හොයාගත්තහැකි. අන්න එතකොට පුද්ගලයෙක් “අශ්‍රමණ” ශ්‍රමණ කියලා ගණං ගන්නේ නෑ! ශ්‍රමණ “අශ්‍රමණ” කියලා ගණං ගන්නෙත් නෑ! මේ දෙකම වරදින්නේ කොතනින්ද, තමා ශ්‍රමණ අත්දැකීමට පත් නොවෙන තාක් කල් තමන්ට ශ්‍රමණ හොයාගන්න බෑ! ශ්‍රමණ දර්ශනය ලබන්න නම් තමාට සමනය වෙන්න ඕනේ. මොනවාද? රාගය සමනය වුනා නම්, ද්වේෂය සමනය වුනා නම්, මෝහය සමනය වුනා නම්, සමන ගුණ තමා තුළින් දකිනවා. යම් තැනක මේ ගුණ ඇත්ද, එතන සමනයි කියලා දකිනවා. අන්න ඒ ශ්‍රමණ දර්ශනය මහා මංගල කාරණයක්.
“කාලේන ධම්ම සාකච්ඡා“ – අන්න එතෙන්ට, කාලේන ධර්ම සාකච්ඡාවට කාලයයි කියන්නේ ඔන්න ඔතන. “සහ කෘත්‍යය“ සාකච්ඡා කියන්නේ. ධර්මයට සම්බන්ධ වෙලා ඊට අනුකූලව කටයුතු කරන්නාවූ තත්වයට පත්වුන කෙනාට කියනවා, ධර්ම සාකච්ඡා! දැන් අද ධර්ම සාකච්ඡා කියනකොට කතාකරන එක විතරයි, ඇහුම්කන් දෙන එකයි, කෙනෙක් කියන එකයි, දෙන්නෙක් ඇවිල්ලා එකතු වෙලා බණ ගැන කතා කරන එකයි විතරයි ධම්ම සාකච්ඡා කියන වචනයට වැටිලා තියෙන්නේ. “ධර්ම සාකච්ඡා” කියන වචනයෙන් පෙන්වන්නේ ධර්මයට සම්බන්ධ වෙලා, ධර්මයට අනුකූල වන්නාවූ කටයුතු කරන තැනට බැස්සා, ධර්ම සාකච්ඡා! කරන යම් කටයුත්තක් ඇත්නම් ධර්මයට අනුකූලයි. දෙන්නෙක් එකතු වෙලා කරන කටයුත්තක් ආවා නම්, ඒකත් ධර්මයට අනුකූලයි. කතාවක් ඇත්නම්, ක්‍රියාවක් ඇත්නම් ඒ දෙකම ධර්මයට අනුකූලයි.
එහෙනම්, ධර්ම සාකච්ඡා කියන වචනයට අහුවෙන එකෙන් අද අරං තියෙන්නේ කතාව විතරයි. ධර්මයට අනුකූලව එකතු වෙලා කරන ක්‍රියාවලුත් ධර්ම සාකච්ඡා! “කච්ඡ” කියන්නේ කෘත්‍යය කියන එකයි. “සාකච්ඡා” කියන්නේ සහයෝගයෙන් යුක්තව කටයුතු කිරීම. අන්න එතෙන්ට ආපුහාම ධර්ම සාකච්ඡා තෝරාගන්න ඕනේ. මේ දෙන්නෙක් කියලා එකතු වෙලා බණ ගැන කතා කර කර ඉන්න එක විතරක් නෙමෙයි මේ කියන්නේ. එක පැත්තකින් සිගරට් එකක් අදිනවා, අනිකා අනික් පැත්තෙන් ගංජා සුරුට්ටුවක් අදිනවා, දෙන්නත් එක්කලා බණ කතා කරනවා. ඉතින් ධර්ම සාකච්ඡා ඔහොමත් යනවා. දැන් ඒක ධර්ම සාකච්ඡාවට ගැණෙනවාද? ඒක නිකන් වල්–පල් කතා කර කර ඉන්න එකටයි ගැණෙන්නේ. ධර්මයට “සහ කෘත්‍යය” වෙන්න ඕනේ. ධර්මයට අනුකූල කටයුතු ඇත්තෙක් වෙලා කටයුතු කරනවා නම් දෙන්නෙක්, ඒ දෙන්නා එක්කලා බණ ගැන කතා කරන්නත් පුලුවන්, එකතුවෙලා වෙන වෙන විශේෂ පූජනීය කටයුත්තක් කරන්නත් පුලුවන්, ඒ ඔක්කෝම ධම්ම සාකච්ඡා! අන්න මංගල කාරණයක් වෙන හැටි, මහා මංගල කාරණයක් වෙන්නේ ඒකයි.
දැන් මෙන්න මේ ධර්මයට අනුකූලව කටයුතු කරන තැනට බැස්සාට පස්සේ ඔහුගේ සිතිවිලි, ක්‍රියා, වදන් ඔක්කෝම යොමු වෙවී ධර්මානුකූල බවට පත්වෙනවා. මෙන්න මෙතෙන්ට හුරු වෙච්චි, පුරුදු වෙච්චි කෙනාට තපස හරි ශාන්තයි! “තප” ගුණය තියෙනවා, “තපෝච” – තර්පණය වුනා. රාගය තැවිලා, ද්වේෂය තැවිලා, මෝහය තැවිලා. “තප” ගුණයක් ආවා නම්, අන්න ඒක “තපෝ” ගුණය කියන එක තියෙනවා. ඉවසීමෙන් යුක්තයි තපෝ ගුණය. ඉවසීමේ උතුම් ගුණයකට කියනවා “තපෝ ගුණය” මෙන්න මේ “තපෝච බ්රහ්මචරියංච“ – මෙන්න මෙතෙන්ට ආපුහාමයි “බුදුරජාණන් වහන්සේ යම් චරියාවකින් වාසය කළාද, අන්න ඒ චරියාව ශ්‍රේෂ්ඨයි! මමත් ඒ චරියාවට බැහැගන්නවා!” කියලා බුද්ධ චරියාවට බහිනවා. බ්‍රහ්මචරියාව, අරිහතුන් වහන්සේගේ චරියාව. “අරිහතුන් වහන්සේ කෙබඳු ආකාරයෙන්ද ගතකරන්නේ, මගේ චරියාවත් මම හැඩගහගන්නවා ඒ පැත්තට” කියලා, අන්න ඒ චරියාවට හැඩගහගන්නකොට කියනවා බ්‍රහ්මචරියාව හැඩගැහුවා!
“අරිය සච්චාන දස්සනං“ – මෙන්න මෙතෙන්ට ගිහාම චතුරාර්ය සත්‍යය දර්ශනය පූර්ණ කරගන්නවා, අත්දැකීම ලබනවා. “නිබ්බාන සච්චිකිරියාච“ – අන්න නිවන් අවබෝධය සම්පූර්ණ කරගන්නවා එතැනදී, “ඒතං මංගල මුත්තමං” – මේ ටික තමයි මංගල තත්වයට පත්වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? “ඵුට්ටස්ස ලෝක ධම්මේහි“ – ලෝක ධර්මයන්ගේ ඔහු කම්පනය වෙන්නේ නෑ, ගැටෙන්නේ නෑ! “චිත්තං යස්ස නකම්පති“ – චිත්තය සියලු ආකාරයෙන් ම අකම්ප්‍ය භාවයට පත්වුනා. “අසෝකං විරජං ඛේමං“ – මෙන්න අසෝකය කියලා කියන්නේ නිවන, විරජ කියලා කියන්නේ රජස් නැති නිවන, ඛේමං කියලා කියන්නේ බයක් නැති නිවන. මෙන්න මෙතෙන්ට පත්වුනා නම් මංගල්‍යය පූර්ණයි!
මහා මංගල්‍යය පූර්ණ කරපු වැඩපිළිවෙල තමයි ඔය තියෙන්නේ. ඉතින් ඔය වැඩපිළිවෙලට අනුකූලව කිය කියා අපි ප්‍රායෝගිකව පූර්ණ කරන යහපත් චාරිත්‍ර මාලාවක්, බෞද්ධ වැඩපිළිවෙලක්, මේ සූත්‍රයෙන් කියවෙන්නේ. ඉතින් මේකේ ලෞකික අදහස් ටිකක් අරගෙන, නූලක් බැඳගෙන, බොහෝම ගෞරවයෙන් වතුර ටිකක් බොන්න ක්‍රමයක් හදාගෙන තියෙනවා මේ කාලේ වෙනකොට රැයක් එළි වෙනකන් කියවලා. මොකද්ද මේ කිවුවේ, ප්‍රතිඵල ලැබෙන්න මොකද්ද කරන්න ඕනේ කියන එක පැත්තකට ගිහිල්ලා, පිරිත් පැන් බොන්නයි, නූලක් බැඳගෙන ආරක්ෂාව සළසාගන්නයි, කොහොම හරි කමක් නෑ එළි වෙනකන් ඇද ඇදා කියන්නයි, ඔය ටිකට සීමා වෙලා තියෙනවා මේ වටිනා පිරිතක්! ඉතින් මේක තේරුම් අරගත්තා නම් අපිට පුලුවන් ආර්ය ජීවිතයක්, ආර්ය මාර්ගයට අවතීර්ණ කරන ජීවිතයක් හැඩගස්සාගෙන ඒ ජීවිතයේ කටයුතු කරගෙන, අවසානයේ ක්රමාණුකූලව හැඩගහලා, නිවන් අවබෝධ කරලා, අරිහත්වයෙන් කෙළවර කරන්න. එහෙම තියෙන උතුම් මාර්ගයක් තමයි මහා මංගල්‍යයක් ඇති කරන වැඩපිළිවෙල. ඕක හරියට දැනගත්තා නම්, ප්‍රායෝගිකව පුහුණු කරලා නිවන් දකින වැඩපිළිවෙලක්.
හැබැයි ඕක නරක නෑ වතුර බිවුවත්! සෙත් ශාන්ති වචනයක් කියලා හරි කමක් නෑ, නමට වශයෙන් බිවුවත් ඒකෙත් ශාන්තියක් වදිනවා. ඒකට නිගරු කරනවා නෙමෙයි. හැබැයි ඒ පරමාර්ථය ඕක නෙමෙයි කියන එකයි කියන්නේ! ඒ නම සිහි කරලා නූලක් බැඳගත්තත්, ඒකෙත් ආශීර්වාදයක් නෑ කියන එක නෙමෙයි කියන්නේ. හැබැයි, ඒ තරම් පටු දේකට සීමා කරන්න හොඳනෑ නිවන් දකින මාර්ගයක්. පටු දේකට සීමා කරලා නවත්වලා තියන්න හොඳ නෑ. උත්තරීතර නිවන් දකින මාර්ගය ඒ හේතුවෙන් ශ්‍රේෂ්ඨයි කියලා දැකලා, කටයුතු කරලා, වර්ධනය කරගන්න ඕනේ. එතකොටයි මහා මංගල සූත්‍රයේ උත්තම ප්‍රතිඵල ලබන්න පුලුවන්. සූත්‍රය ගැන ඔය ටික තේරුම් ගන්න.
~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~
දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://www.waharaka.com/listen/CD017-05