නිවනට හේතුවන ආර්ය අෂ්ඨාංගික මාර්ගය හා එය වැඩෙන හැටි

8 steps to Happiness
01 සංයුක්ත තැටියඅරි අටඟි මඟ

ගිහි වතක සිට නිවන් දකින හැටි – 7 කොටස හා සම්බන්ධයි

 

දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)

ගිහි වතේ සිට නිවන් දකින්න තිබෙන හරි මඟ කුමක්ද? - 8 කොටස

 

{00:00} සම්මාකියන්නේ යහපත්කියන එකම පමණක් නෙමෙයි! : එතකොට, අන්න දැන් අපි දකින්න ඕනේ සං කියන වචනය, දැන් වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන මේ ඔක්කෝම එකතු වෙලා තමයි අපිට මේ හිතකියන එක වැටහෙන්නේ. ඕවා වෙන් වෙන් කරලා වටහාගන්න ගියොත් එහෙම හිතවටහාගන්න බෑ! එහෙනම්, හිත හැදිලා තියෙන්නෙත් සංවෙලා, ගත හැදිලා තියෙන්නෙත් සංවලින්, ලෝකය හැදිලා තියෙන්නේත් සංනිසා. මේ සංකියන වචනයේ විස්තරය ඔහොම තෝරාගන්න ඕනේ. සංයම් තැනක නැද්ද, ලෝකය එතන නෑ! ඔන්න සංතෝරාගත්තහම ඔය විදිහට, හරි!

 

මා කියන වචනයෙන් පෙන්වන්නේ මිදෙනවාකියන එකයි. “මා හෝතු ජාති ජාති නං” – ජාති ජාති වත් මට නොවේවා! “මා මේ බාල සමාගමෝ” – මට බාල සමාගමයක් නොවේවා! යම් තැනක මිදෙනවාද, නොවෙනවාද, අන්න ඒ අර්ථය පෙන්වන වචනය තමයි මාකියන පදය. සංකියන එකතුවෙන් මිදීමට හේතු වෙන යමක් වේද, “සං මා” – ලෝකයෙන් මිදීමට හෙවත් ලෝකෝත්තරත්වයට කියන තවත් නමක් තමයි සම්මා!” මෙන්න දහම් අර්ථය, නිරුක්තිය! සාසනික අර්ථය මෙච්චර කල් යටපත් වෙලා තියෙන්නේ සම්මාකියන වචනයේ.

 

සංකියන එකතුවෙන් යම් මිදීමක් සඳහා දැකිය යුත්තක් ඇද්ද, ඒකට කියනවා සම්මා දිට්ඨි!” දැන් අපිට අර හරි දැකීම, නිවැරදි දැකීම, යහපත් දැකීමකියනකොට යම් වැටහීමක් ආවාද, ඒ ඔක්කෝම ලෞකිකයි. “සංකියන එකතුවෙන් මිදීම සඳහා දැකිය යුත්ත සම්මා දිට්ඨි! කියනකොටම අපිට අවශ්‍යය ප්‍රශ්නයට පිළිතුර හම්බවෙනවා. මට ඕනෙත් ඒක තමයි, මොකද්ද? “සංකියන මේ පැවැත්මෙන්, එකතුවෙන් මිදීම සඳහා මොකද්ද දකින්න ඕනේ? ඒක දැකගන්න තමයි මටත් ඕනේ! අන්න, අපේ ප්‍රශ්නයට අදාල පිළිතුර එනවා, නිවන් දකින්න. අන්න, නිවන් දකින්න ඕනේ කෙනෙකුට සම්මා දිට්ඨියතෝරාගන්න ඕනේ නම්, මෙන්න ප්‍රශ්නයට අදාල පිළිතුර එන අදහස එන හැටි. සං මා දිට්ඨිකියන වචනයෙන් ආපු හැටි. සං කියන එකතුවෙන් මිදීමට යමක් දැකිය යුතුද, ඒක සම්මා දිටිඨි!” ආං එහෙනම්, මගේ ප්‍රශ්නයට ඕනෑ කරන පිළිතුර අදාල තැනට ආවා. අන්න ඒකයි මටත් ඕනේ. අන්න ඒ සංකියන එකතුවෙන් මිදීමට දැකිය යුත්ත මොකද්ද, මටත් අන්න ඒක දැනගත්තා නම්, මගේ ප්‍රශ්නයට නියම පිළිතුර මට හම්බුනා කියලා සංතෝස වෙන්න පුලුවන්. එහෙනම්,සම්මා දිට්ඨිතෝරා ගැනීම අත්‍යාවශ්‍යයි!

 

{02:21} ලෞකික සම්මා හා මිත්‍යා දෘෂ්ඨි මුලින් දැනගමු : දැන් මේ වෙලාවේදී අපිට ප්‍රශ්නයක් එනවා, ලෝකේ සම්මා දිට්ඨියකියලා එකක් තියෙනවා. ඒකයි අපි අහලා තියෙන්නේ. එතකොට, බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා, “මම ලෝකයට පහල වෙලා, ලෝකයට මම මේ දහම දෙනතුරු, මේ ආර්ය අෂ්ඨංගික මාර්ගයේ පෙන්වන ඒ අදහස දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ශ්‍රමණ බමුණන් සහිත ලෝකයෙහි මා හෝ මාගෙන් අසා දැනගත්තෙක් හැර තවත් දන්න කෙනෙක් නෑ! මං පෙන්වන ආර්ය අෂ්ඨංගික මාර්ගය මෙන්න මෙහෙම එකක්.” හොඳට පැහැදිලිව බුදුපියාණන් වහන්සේ දේශනා කළා. <<ත්‍රිපිටක සූචිය අවශ්‍යයි>>

 

එහෙනම්, අපිට දැනගන ඕනේ, මෙච්චර කල් ලෝකේ තිබිච්ච, අතරමං වෙච්ච, මුලා වෙච්ච, අර සුගතියට හේතු වෙන කෙළෙස් සහිත සම්මා දිට්ඨි කථාවෙන් අපිට ඇති වැඩක් නෑ! හැබැයි, ඒකත් දැනගන්න ඕනේ, වෙන් කරලා දැනගන්න ඕනේ නිසා. නැතුව, ඒක අපිට භාවිතා කරන්න වැඩක් නෑ! භාවිතා කරන්න වටිනා එකක් අපිට ඒකේ නෑ! එහෙනම්, අපිට වටින්නේ මොකද්ද, “සං කියන එකතුවෙන් මිදීමට යම් දැකිය යුතු යම් සම්මා දිට්ඨියක් ඇද්ද, ඒක අපිට අවශ්‍යයි සසර දුකෙන් මිදෙන්න, අනාථයෙන් මිදෙන්න! අන්න ඒකයි අපිට ඕනෑ කරන බණ! නිසා, මෙන්න මේ සම්මා දිට්ඨිය අපි දැනගන්න ඕනේ.

 

අන්න, “සම්මා දිට්ඨියසම්මා දිට්ඨිය හැටියට දැනගනී, මිත්‍යා දෘෂ්ඨියමිත්‍යා දෘෂ්ඨිය හැටියට දැනගනී. අන්න ඉස්සෙල්ලාම තෝරාගන්න එක. සම්මා දිට්ඨියදෙආකාරයි කියා දැනගනී. එකක් ලෞකිකයි, කෙළෙස් සහිතයි, සුගතියට හේතු වෙනවා, අනික ලෝකෝත්තරයි, නිවනට හේතු වෙනවා!

 

දැන් මොකද්ද මිත්‍යා දෘෂ්ඨියකිවුවේ? දස වස්තුක මිත්‍යාදෘෂ්ඨී යයි යමක් වේද, මේක ලෝකයේ මිත්‍යා දෘෂ්ඨියයි කියන සම්මතයට අයිතියි. මෙන්න ලෝක සම්මතයේ මිත්‍යා දෘෂ්ඨිය! මොනවාද? “නත්ථි දානං” – දන් දීලා වැඩක් නෑ, ඒකේ පිනක් නෑ! ඒ වාගෙම, එකින් එකට ඉතින් විග්‍රහ වෙනවා, දානයේ ඵලක් නෑ, ඒ වාගේම පූජාවේ ඇති ඵලයක් නෑ, ඕවායේ පිනකුත් නෑ, ඕවායේ ඇති වැඩක් නෑ, හරයක් නෑ හිස් දේවල්! දැන් මෙහෙම කියන මිත්‍යා දෘෂ්ඨියක් ලෝකයාගේ තියෙනවා. මෙන්න මේ මිත්‍යා දෘෂ්ඨිකයා, මේවායින් වැඩක් නෑ කියලා ඔය විදිහට කියනවා. “යම් කෙනෙක් මළාට පස්සේ ඔක්කෝම ඉවරයි, ආයි සැරයක් උපදින්නේත් නෑ, කරපු පිංපවු වලට විපාක දෙනවා කියන ඒවා, ඔක්කෝම කතා බොරු!” ඔහොම කතා කියනවා. “පිං කියලා එහෙම විශේෂයක් නෑ, මොනවා කළත් පිං කියලා එකක් හැදෙන්නේ නෑ, පවු කියලා කිවුවාට, ඔය කොච්චර මැරුවත් පවු කියලා එකක් නෑ, අසාධාරණ කළාට පවු කියලා ඵලදෙන්න එකක් නෑ!” දැන් මෙහෙම මිත්‍යාදෘෂ්ඨීක අදහසක් තියෙනවා මෙන්න මෙබඳු, “මවුට සැළකුවා කියලා විශේෂයක් නෑ, පියාට සැළකුවා කියලා විශේෂයක් නෑ, දන් දුන්නා කියලා විශේෂයක් නෑ, එතකොට ඒ වගේම යහ මඟට පත්වෙලා ඔය පෙන්වන මහණ බමුණෝ ඉන්නවා කිවුවාට එහෙම එකක් නෑ, ඔය බොරු කතා ඔක්කෝම! වාසියට කන්න හදාගත්ත බණ!” ඕවගේ කියන දෘෂ්ඨියක් තියෙනවා. මෙන්න මේකට කියනවා, “දස වස්තුක මිත්‍යා දෘෂ්ඨියමෙන්න මේක මිත්‍යා දෘෂ්ඨිය කිවුවහාම ලෝක සම්මතයේම යම් මිත්‍යා දෘෂ්ඨියක් කිවුවා නම්, මෙන්න මේක තමයි මිත්‍යා දෘෂ්ඨිය කිවුවේ කියලා දැනගන්නවා.

 

ලෝකයේ සම්මා දිට්ඨියක් තියෙනවා. “නෑ නෑ, එහෙම කියන්න එපා! දීමේ විපාක තියෙනවා, පූජාවේ විපාක තියෙනවා, මවුට සැළකීමේ ආනිසංසයක් තියෙනවා, පියාට සැළකීමේ ආනිසංසයක් තියෙනවා, ඒ වාගේම ඔය විදිහට, මෙළොවක් තියෙනවා, පරලොවක් තියෙනවා, ඒවා නැතුවා නෙමෙයි. ඒවායේ ඵල දෙන කර්ම බලවේගයක් තියෙනවා, ඒවා හරියට පෙන්වන මහණ බමුණන් ඉන්නවා!” මේ ආදී වශයෙන් එසේ විශ්වාස කරන්නාවූ සම්මා දිට්ඨියක් තියෙනවා, මේකට කියනවා කෙළෙස් සහිතයි, සසර ගමනට හේතු වෙනවා, සුගතියට හේතු වෙන සම්මා දිට්ඨිය. මෙන්න මේක ලෞකික සම්මා දිට්ඨිය! ඔය සම්මා දිට්ඨිය බුදුපියාණන් වහන්සේ වැඩ ඉන්න ඉස්සෙල්ලාත් ලෝකේ තිබුණා.

 

{36:59} ලෝකෝත්තර සම්මා දිට්ඨිය පටන් ගන්නේ ඥාණ සම්මා දිට්ඨියෙන් : අන්න, බුදුපියාණන් වහන්සේ වැඩ හිටියාට පස්සේ පෙන්වපු සම්මා දිට්ඨිය මොකද්ද? මෙන්න මෙතෙනදී දැනගන්න ඕනේ, ලෝකයා ප්‍රිය ස්වභාවයෙන්, මධුර ස්වභාවයෙන් මේ බදාගෙන, අල්ලාගෙන ඉන්න චන්ද රාගයෙන් බැඳිලා ඉන්න යමක් ඇත්නම්, “සැපයි සැපයි!” කියන දෘෂ්ඨියකින්, මිත්‍යා යම්කිසි වැරදි ආකල්පයකින් ඒ වාගේම, දරාගෙන ඉන්න දුකෙහි සැප සංඥාව, එතකොට ඒ වාගෙම මේ නිවනෙහි දුක්ඛ සංඥාවක් තියෙනවා. නිවනට කැමති නෑ, දුකට කැමතියි! සැපයි කියන්නාවූ ලෝකයේ සම්මතයක් තියෙනවා නම්, ඒ සම්මතයට කැමතියි. ඒක දුකයි කියලා පිලිගන්න කැමති නෑ! දැනගන්න හේතු නෑ!

 

අන්න, අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ථ වශයෙන් මේ ප්‍රිය මනාප කියන හැම දෙයකම යථාර්තය දැක්ක කෙනා දකිනවා, මම දැන් දැකලා තියෙනවා ලෝකයේ ප්‍රියයිමනාපයියහපතයි කියලා කවුරු මොනවා කිවුවත් ඒ හැම එකක්ම අනිච්චයිදුක්ඛයිඅනත්ථයි කියන ත්‍රිලක්ෂණයෙන් යුක්තයි. එහෙනම් ඒවා අනාථ දහම්. ඒවායේ සැරිසරන්න ගිය කෙනෙකුට සසර ගමනක් හැදෙනවා, සසර ගමනින් බේරෙන්න බෑ, දුකෙන් නිදහස් වෙන්න බෑ!” මෙන්න මේ කාරණය දැනගත්ත කෙනාට, අන්න එයාට ඇති වෙනවා එක දෙයක්, තමන්ගේ දෘෂ්ඨිය පිරිසිදු වෙනවා. “මට නම් මේ ලෝකේ, කාම ලෝකයේ වේවා, රූප ලෝකයේ වේවා, අරූප ලෝකයේ වේවා, කොයි ලෝකයක වේවා, පවතින යමක් ඇත්නම්, අල්ලාගන්න වටිනා එකක් ඔය කොතැනක වත් නෑ, රවුම් ගහන්න වටිනා එකක් නෑ කියලා මම දැකලා තියෙන්නේ ධර්මානුකූලව!”

 

මෙන්න මේ දැකීම යම් කෙනෙක් දැක්කා නම්, අන්න ඒ දැකීමේදී ඔහු නිගමනය කරනවා, “එහෙනම් මා ඒකෙන් ගත යුතු තීරණය මොකද්ද, අනාථ ලෝකයෙන් අතහැරී යන්න ඕනේ, නොඇලී යන්න ඕනේ, මිදී යන්න ඕනේ. එහි යම් චන්ද රාගයක් තියෙනවා නම් ඒකෙන් මිදෙන්න ඕනේ. මෙන්න මේකයි මා විසින් දැක්ක ඇත්ත!” මෙන්න මේක දැක්කා නම්, එයාට කියනවා ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත්වුනාඔන්න ලෝකෝත්තර සම්මා දිට්ඨිය! සැපසැප යන සංඥාවෙන් ගත්තා නම්, අරන් තියෙන්නේ දුකක්, දුකට හේතුවක්. ඒ හේතුව ඇසුරු කරන්න ගිහිල්ලා විඳින්න සිද්ද වෙලා තියෙන්නේ දුකක්! වැටිලා තියෙන්නේ අනාථයකට! ඒකෙන් මිදෙනවා නම්, ඒ චන්දරාගයෙන් මිදිලා, අත්හැරීනොඇලීමිදී ගියොත්, එදාට එහි තියෙන උපාදානය ඉවරයි! බැඳීම ඉවරයි! ඇලීම ඉවරයි! ඇලීමෙන් බැඳීමෙන් තොර වුනහම, ඒ භවයත් ඉවරයි, භවය නැත්නම් ජාතියත් ඉවරයි, නැත්නම් ජරාමරණසෝකපරිදේවදුක්දොම්නස්උපායාසත් ඉවරයි! ඒකයි මාර්ගය.

 

මෙන්න මේ කාරණය තමා විසින් නුවණින් දැක්ක දාට, ලෝකෝත්තර සම්මා දිට්ඨිය පහල වුනා! එයා දුක, දුක හැටියට දැකලා තියෙනවා. දුකට හේතුව, දුකට හේතුව හැටියට දැකලා තියෙනවා. දුක්ඛ නිරෝධය, දුක්ඛ නිරෝධය හැටියට දැකලා තියෙනවා. දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදා මාර්ගය, දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදා මාර්ගය හැටියට දැකලා තියෙනවා. මෙන්න මේකට කියනවා, “දුක්ඛේ ඥාණං, දුක්ඛ සමුදයේ ඥාණං, දුක්ඛ නිරෝධේ ඥාණං, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාය ඥාණං, අයං වුච්චති භික්ඛවේ සම්මා දිට්ඨි!” <<ත්‍රිපිටක සූචිය අවශ්‍යයි>> කියලා, ඥාණ සම්මා දිට්ඨිය. ඔන්න, ඥාණ සම්මා දිට්ඨියෙන් පටන්ගෙන ලෝකෝත්තර සම්මා දිට්ඨියට වැටෙනවා. ඔයින් එහා, කම්මස්සගත සම්මා දිට්ඨිය, ධ්‍යාන සම්මා දිට්ඨිය කියන මේ දෙක ලෞකික සම්මා දිට්ඨි වලට වැටෙනවා.

 

ධ්‍යානලාභීව වැඩ කළොත්, ධ්‍යානලාභීව හිටියොත්, ඒ කෙළෙස් යටපත් කරගෙන හිටපු කෙනාට බඹ ලොව උපදින්න පුලුවන්. ඒවාගෙම කෙළෙස් සහගත ඒවායින් පීඩිත අසත්පුරුෂයන්, දූෂ්‍ය දස අකුසල් නොකර දස කුසළයේ යෙදිලා ඉන්නා පුද්ගලයාට සුගතියේ උපදින්න පුලුවන්, කාම සුගතියේ. ඒක විශ්වාස කරනවා. මෙන්න මේ දෙක ලෝකේ, සම්මත ලෝකයේ තිබිව්ච ඒවා. ලෝකෙට දැකගන්න පුලුවන් හරිය.

 

{09:23} බුදුපියාණන් වහන්සේ වදාළ සම්මා දිට්ඨිය මොකද්ද? : අන්න, දුක්ඛේ ඥාණං, දුක්ඛ සමුදයේ ඥාණං, දුක්ඛ නිරෝධේ ඥාණං, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාය ඥාණං, අයං වුච්චති භික්ඛවේ සම්මා දිට්ඨි කිවුව හරිය ලෝකයේ, ලොවුතුරා බුදුවරයෙක් ලෝකයේ පහල වෙලා, දේශනා කරලා, ඒ දේශනාව ශ්‍රවණය කරලා, ඒ තුළින් වටහාගත්ත කෙනෙක් තේරුම් ගත්තා ඇරෙන්න, අනික් කිසිම කෙනෙකුට ලෝකයේ දැනගන්න විදිහක් නෑ මේකේ වටිනාකම! මේ සම්මා දිට්ඨිය එච්චර වටිනවා. මෙන්න මේ සම්මා දිට්ඨියට පත්වුන කෙනාට, චතුරාර්ය සත්‍යය පිළිබඳ දර්ශනය පහල වෙලා, දර්ශන ඥාණය හෙවත් දහම් ඇස පහල වුන කෙනෙක්. කියනවා, සෝතාපන්නයි!

 

මෙන්න මෙතෙන්ට සකස් වුන කෙනාට කියනවා, සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය සේ දැනගනී, සම්මා දිට්ඨිය දෙ ආකාරයි, එකක් ලෞකිකයි, එකක් ලෝකෝත්තරයි කියන්නේ මෙන්න මේකයි කියලා දැනගන්නවා. මෙන්න මේ ටික දැනගත්තහම, සම්මා දිට්ඨිය පිළිබඳ දැනගත යුතු සම්මා දිට්ඨිය පහල වෙලා ඉවරයි. මෙන්න මේකට කියනවා, සම්මා දිට්ඨියේ සම්මා දිට්ඨියට පත්වුනා! සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා දිට්ඨියට පත්වුනා. අන්න එයාට දැන් කවුරුවත් නොකිවුවාට එක දෙයක් මතුවෙලා එනවා. “ඉතින් මෙච්චර දැනගෙන තියෙන, මෙච්චර වටිනා මඟ, නිදහස් වීමේ මඟ මට වැටහිලා තියෙද්දී මම තවදුරටත් ඕක අමතක කරලා ඉන්නවාද? යළි යළි ආවර්ජනා කරලා, මේක ප්‍රගුණ කරලා මේකෙන් ලැබිය යුතු ඵලය මම දරාගන්නවාද, මා විසින් බැසිය යුතු තීරණය මොකද්ද?” කියන අදහසක් එනවා.

 

මෙන්න මේ වෙලාවෙදී දකිනවා, “මම කරන, කියන, හිතන යමක් ඇත්නම්, මෙන්න මේ නිවන් දැකීමට හේතුවෙන යම් සම්මා දිට්ඨියක් ඇත්නම්, ඊට අනුකූලද? කියලා නිතර බලන්න පුරුදු වෙන්න ඕනේ, නිතර හිතන්න පුරුදු වෙන්න ඕනේ. හිතලා, ඊට අනුකූලව හිතන්න, කියන්න, කරන්න පුරුදුවෙන්න ඕනෑ!” කියන්නාවූ අදහස ගත්තහම සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා වායාමය නැඟෙනවා. සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා දිට්ඨිය, අන්න පරිවාර ධර්මය, සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා වායාමය! හැම වෙලේම ඔහු විසින් කරන, කියන, හිතන කටයුතු පිළිබඳ සතියෙන් යුක්තව ජීවත් වෙනවා, “මේක නිවනට හේතුවෙන එකද, සසරට හේතුවෙන එකද, නැත්නම් සතර අපායට යන මිත්‍යාදෘෂ්ඨීයට හේතුවෙන එකද?”

 

මෙන්න මේ මනා සිහියෙන් ඉන්නකොට ඔහුට සතිය වැඩෙන්න පටන්ගන්නවා. මේකට කියනවා සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා සතියපරිවාර කරගෙන තියෙනවා කියලා. ඔන්න ඔය කාරණා ටික තේරුම් ගත්ත කෙනාට ආයිත් කාගෙන් වත්, “සම්මා දිට්ඨියට පත්වෙන්නේ කොහොමද, සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද, ගුරුවරයෙක් මට දැන් ඕනෑද?” කියන ප්‍රශ්න ඔක්කෝම ඉවරයි! දැන් තමා නුවණින් තෝරාගන්න පුලුවන් සම්මා දිට්ඨියට පත්වෙන හැටිත්, යමක් සම්මා දිට්ඨියද නැද්ද කියලා දැනගන්න හැටිත්, ඒ තුළ මා විසින් ක්‍රියාත්මක විය යුතුද නැද්ද කියන එක තමාගේ තීරණයත්, ඊට අනුකූලව තමා විසින් අප්‍රමාදයෙන් යුක්තව සම්මා දිට්ඨිකව කටයුතු කිරීමේ හැකියාවත්, ඔක්කෝම ලබලා ඉවරයි! දැන් ඔහුට තියෙන්නේ මාර්ගය වඩාගෙන යන්න, කාගෙවත් ප්‍රශ්නයක් නෑ, පර ප්‍රත්‍යය රහිතයි! ආධාර අවශ්‍යය නෑ.

 

ඔන්න ඔතෙන්ට පත්වුනහම කියනවා, සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා දිට්ඨියට පත්වුනා, සම්මා සතියෙන් සහ සම්මා වායාමයෙන් වටකරගත්තා, මෙන්න මෙතෙන්ට ආවාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සම්මා දිට්ඨියට පත්වෙලා වඩන්න පුලුවන් කෙනෙක් බවට පත්වුනා. මෙන්න පළවෙනි එක! දැන් කොච්චර වැදගත්ද, කොච්චර හැංගිලාද? දැන් ඔයටික මතු වුනා නම් අද ඔය ප්‍රශ්න එකක් වත් තියෙනවාද? අද මේ හැමතැනම වල්ග පාගාගෙන කෑගහනවා සම්මා දිට්ඨිය ගැන කතා කරකර. දැන් ඉතින් සම්මා දිට්ඨිය කොච්චර ලස්සනට තේරුණාද?

 

(ශ්‍රාවක මහතෙක්): සම්මා දිට්ඨිය කියලා මිත්‍යාදෘෂ්ඨීයක් පස්සෙන් යනවා. (ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි, ඉතින් එතකොට ඉතින් අපි දැනගන්න ඕනේ අපිට සම්මා දිට්ඨිය තිබුණත්, අපි සම්මා දිට්ඨියේද ගියේ? අපිට ගුරුවරයෙක් නැතුව සම්මා දිට්ඨිය තුළ හොයාගෙන යන්න මාර්ගය වඩාගන්න ක්‍රමයක් තිබුණාද? දැන් නැද්ද? දැන් ඔක්කෝම අහුවෙලා! එහෙනම්, මෙතෙන්ට පත්වුනාට පස්සේ ආයි සැරයක් අපිට මේ සම්මා දිට්ඨි කතාවක තර්කයක්, වාදයක් කරන්න මුකුත් ඉතුරු වෙලා නෑ! ඕක බොරුයි කියන්න සමතෙකුත් ලෝකේ නෑ! බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා, “මේ රටා ක්‍රමය මෙහෙම නෙමෙයි කියන්න සමතෙක් තුන් ලෝකෙම නෑ! හේතු සාධක ඇතුව ඔප්පු කරන්න බෑ! පරමාර්ථ සත්‍යය ඕකයි!” අන්න, සම්මා දිට්ඨිය දැන් තේරුම් ගත්තා ඔය විදිහට.

 

{13:07} පරිවාර හංග 3කින් යුක්ත ලෝකෝත්තර සම්මා සංකප්පය : ඊලඟ මාර්ග හංගය තමයි සම්මා සංකප්ප මාර්ග හංගය. සම්මා සංකප්පය, සම්මා සංකප්පය සේ දැනගනී. මිච්චා සංකප්පය, මිච්චා සංකප්පය සේ දැනගනී. සම්මා සංකප්පය දෙ ආකාරයි කියා දැනගනී. එකක් ලෞකිකයි, කෙළෙස් සහිතයි, සසර ගමනට සුගතියට හේතු වෙනවා. අනික ලෝකෝත්තරයි, නිවනට හේතු වෙනවා. මෙන්න මේ ටික පිළිබඳ විස්තරයක් ඊලඟට දැනගන්න ඕනේ.

 

කාම සංකල්පණා, ව්‍යාපාද සංකල්පණා, විහිංසා සංකල්පණා යැයි යමක් වේද, මේවා මිච්චා සංකප්ප හැටියට දැනගන්න. අව්‍යාපාද සංකල්පණා, අවිහිංසා සංකල්පණා, නෙක්ඛම්ම සංකල්පණා යැයි යමක් වේද, සම්මා සංකප්ප වලට වැටෙනවා කියලා දැනගන්න. සම්මා සංකප්ප දෙ ආකාරයි. අව්‍යාපාද සංකල්පණා, අවිහිංසා සංකල්පණා, නෙක්ඛම්ම සංකල්පණා ලෝකේ ඉස්සරත් තිබිච්ච හැටියක් තිබුණා. ලෞකික මෙත් වැඩීමක් තිබුණා. “වෛර නොකරාවා, ක්‍රෝධ නොකරාවා, හිංසා නොකරාවා, සමගියෙන් සමාදානයෙන් ජීවත් වෙන්න ලැබේවා!” කියලා වඩන ලෞකික මෙත් වැඩීමක්. ඔතන තියෙනවා ලෞකික වූ අව්‍යාපාද, අවිහිංසා සංකල්පණාව.මේ සසරේ ඉන්නකොට, මේ පැවැත්මේ ඉන්නකොට ගහමරා ගන්න හේතු වෙනවා, කපාකොටා ගන්න හේතු වෙනවා, තරඟ කරන්න පොරකන්න හේතු වෙනවා, ඒක හින්දා මට මහණ වෙන එක හොඳයි, නැත්නම් පැවිද්දට යන එක හොඳයිකියලා ඔය පරිබ්‍රාජක පැවිද්දෙන්, තවුස් පැවිද්දට ගියා. ඒගොල්ලෝ ඒකට ඒ අදහස ගත්තහම කියනවා, නෙක්ඛම්ම සංකල්පණා. මෙන්න මේක ලෞකික වූ නෙක්ඛම්ම සංකල්පණාවයි.

 

යම් කෙනෙක් මේ අනිච්ච දුක්ඛ අනත්ථ ත්‍රිලක්ෂණයෙන් ලෝකේ යථාර්තය දැක්ක නිසා, “දැන් මට මේ ලෝකේ මොනවා හම්බ කරන්නද? මොනවා රැස් කරන්නද? කවුරු වෙන්නද? මොන හරයක් ඇති කෙනෙක් වෙන්නද? එහෙම වෙන්න වටිනා තත්වයක්, වටිනා කෙනෙක්, වටිනා ඨානාන්තරයක් මට නම් මේ ලෝකේ පේන්නේ නෑ! එහෙනම්, මේවා බදාගන්න ගිහිල්ලා, බල්ලන්ට අහු වෙච්ච මස් කටු වාගේ, උකුස්සන්ට අහුවෙච්ච මස් කැටි වාගේ මේවාට පොරකකා, මේ නිස්සාර තත්වඨානාන්තර පස්සේ, කුලමල භේද පස්සේ, ලොකුකම් පස්සේ, මහන්තත්තකම් පස්සේ යනවා නම්, මොන තරම් මෝඩ කමක්ද? මට නම් ඒකෙන් වැඩක් නෑ!” කියලා අන්න ඒක දැක්ක කෙනා ඒවා, ඒ ලෝකයාගේ තරඟකාරී බඩු පොදියෙන් අහක් වෙලා ඉන්න ඕනෑ, මම ඉවත් වෙන්න ඕනෑකියලා අදහසක් එනවා. මෙන්න මේ සංකල්පණාව ආර්ය ධර්මය තුළින් නැඟිලා ආපු ආර්ය නෙක්ඛම්ම සංකල්පණාවයි.

 

ඒ වාගෙම, “මම වෛර කරන්නේ, ක්‍රෝධ කරන්නේ මොකටද? සත්වයින්ට හිංගි හිංසා කරන්නේ මොකටද? මොනවා ලබාගන්නද? මේ අසාධාරණය කරන්නේ මොකටද? මේ සත්වයෝ වැටිලා ඉන්න අනාථත්වය මදිවාටද? මේ අනාථයෝ වශයෙන් ඉන්නා මේ ලෝක සත්වයාට නාථත්වය හෙවත් මේ නිවන පිළිබඳ යමක් කියලා දීලා, කෙසේ හෝ මේකට ගන්න මං රෑ දවල් උත්සාහා කළ යුතුයි නිසා, මොනවාද මේ ලෝක සත්වයාට කරන්න තියෙන හිංගි හිංසා? වැඩක් නෑ නේද මේවා!” කියලා ධර්මාවබෝධය ඔය විදිහට ලැබූ කෙනාට අදහසක් එනවා. මෙන්න මෙයාට එනවා, අව්‍යාපාද සංකල්පණා සහ අවිහිංසා සංකල්පණා. මෙන්න මෙබඳු අව්‍යාපාද සංකල්පණාවකින්, අවිහිංසා සංකල්පණාවකින්, නෙක්ඛම්ම සංකල්පණාවකින් යම් කෙනෙක් ගත කරනවා නම්, අන්න එයාට කියනවා, නිවන් දැකීමට හේතු වෙන ලෝකෝත්තර සම්මා සංකප්පයෙන් යුක්තයි!

 

මෙන්න මේටික දැනගත්තහම එයා දන්නවා, “නිවන් දකින්න හේතු වෙන්නේ මේකෙන් මෙන්න මේ ටිකයි. ලෞකික සම්මා සංකප්පයට මේ ලෝක සත්වයාට මෙත් වඩ වඩා, ලෞකික මෙත් වඩ වඩා ඉන්න අයගේ වැඩපිළිවෙල තියෙනවා. හැබැයි ඕක සසර ගමනට හේතු වෙනවා, කෙළෙස් සහිතයි, නිවන් දකින්න හේතුවෙන එක නෙමෙයි, නමුත් ලෝකේ සම්මුතියේ තියෙන සුගතියට වැටෙන එකක්. මට ඒකෙන් වැඩක් නෑ! මට ඕනේ නිවන් දකින එක නම්, නිවන් දකින්න හේතුවෙන එක ලබාගන්නේ මෙන්න මේ රටාව තුළින් කියලා, අනිච්චදුක්ඛඅනත්ථ තත්වයෙන් ලෝකය නිස්සාරත්වය දැකලා, නිස්සාර ලෝකය අත්හැරීනොඇලීමිදීමෙන් ලබන්නාවූ අව්‍යාපාදය, අවිහිංසාව, නෙක්ඛම්මය මෙසේ තේරුම් අරගෙන, අන්න ඊට අනුකූලව ද මං කල්පණා කරන්නේ? ඊට අනුකූලවද මං හිතිවිලි නඟන්නේ? අන්න එහෙම බලා ඉඳලා, මා විසින් මේටික කරගත්තොත් නම් මට නිවන් දකින්න පුලුවන්!” කියලා තේරුම් ගන්නවා, කල්පණාවක් තුළින්.

 

මෙන්න මේ කල්පණාව තේරුම් ගත්තාට පස්සේ එයා දකිනවා, සම්මා සංකප්පය පිළිබඳ පරිවාර වූ සම්මා දිට්ඨිය පහල වුනා කියලා. අන්න, සම්මා සංකප්පය පිළිබඳ සම්මා දිට්ඨිය ඕකයි. එහෙනම්, සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා දිට්ඨිය පහල වුනා, දැන් සම්මා සංකප්පය පිළිබඳ ආර්ය සම්මා දිට්ඨිය පහල වුනා. මෙන්න පරිවාර කාරණය. දැන් එයා හිතන හැම හිතිවිල්ලක් ගානේම අව්‍යාපාද, අවිහිංසා, නෙක්ඛම්ම යන හැම හිතිවිල්ලක්ම නිවන මුල් කරගෙන, නිවනට හේතුකාරක වන්නාවූ අව්‍යාපාද සංකල්පණාවක්, අවිහිංසා සංකල්පණාවක්, නෙක්ඛම්ම සංකල්පණාවක් වශයෙන් මං නිතර වඩන්න ඕනේ! මෙන්න මේ වඩනකොට මගේ සංකල්පණා නිවනට හිටිනවා. නිවන අරමුණු කර හිටිනවා. නිවන සිහි කරගෙන පිහිටනවා.” මෙන්න මේ මනා සතියෙන් යුක්තව ඉන්නකොට, සම්මා සංකප්ප පිළිබඳ සම්මා සතිය පහල වෙනවා. මෙන්න මේ සම්මා සතියෙන් යුක්ත වෙච්චි කෙනාට ඒ හේතුවෙන් ලැබෙනවා, “දැන් ඉතින් ප්‍රමාද වෙලා බෑ, අප්‍රමාදව වෙන වෙන සංකල්පණා වල හිටියොත් මට පාඩුයි, අප්‍රමාදයෙන් යුක්තව මෙන්න මේ සම්මා සංකප්පය තුළ මා කටයුතු කරගෙන යන්න ඕනෑ!” කියලා උත්සාහයක් වීර්යයක් වැඩුවා නම්, ඒකට කියනවා සම්මා සංකප්පය පිළිබඳ පරිවාර වූ සම්මා වායාම කියන මාර්ග හංගය.

 

එහෙනම්, සම්මා සංකප්ප කියන මාර්ග හංගය තේරුම් ගත්තාට පස්සේ සම්මා දිට්ඨි, සම්මා සති, සම්මා වායාම කියන මාර්ග හංග තුනකින් සම්මා සංකප්ප මාර්ග හංගය පරිවාර කරගෙන තියෙනවා. මෙන්න මේ ටික තේරුම් ගත්තහම නැවතත් සම්මා සංකප්ප කියන්නේ මොකද්ද කියලා කාගෙන් වත් අහන්න දෙයක් නෑ, නිවන් දකින සම්මා සංකප්පය හොයන්නත්, වඩන්නත් කාගෙන් වත් අවශ්‍යය නෑ රුකුල්.

 

මෙන්න මෙතෙන්ට පත්වුනහම කියනවා, බුදුපියාණන් වහන්සේ දේශනා කරපු යම් සම්මා සංකප්පයක් ඇද්ද, ඒක දැනගත්තා. නිවන් දකින සම්මා සංකප්පය කාගෙන් වත් අහන්නේ නැතුව, අනුන්ගේ උත්තර නැතුව, තමන් හිතිය යුත්තේ කොහොමද, කල්පණා කළ යුත්තේ කොහොමද කියන එක ආයිත් කෙනෙක් ගෙන් උත්තරයක් ගන්නේ නැතුව දැනගන්න තමන්ට හැකියාව ලැබුණා. මෙන්න මේකට කියනවා, ආර්ය වූ සම්මා සංකප්පය පහල වුනා! දැන් මේවා වැහිලා තියෙන්නේ. කොච්චර වැහිලාද? දැන් කල්පණා කරන්නකෝ කොහෙද යන්නේ කියලා!

 

{18:49} ලෞකික, ලෝකෝත්තර සහ මිච්චා වාචාව : ඊලඟ මාර්ග හංගය, සම්මා වාචා කියන මාර්ග හංගය. සම්මා වාචා, සම්මා වාචා සේ දැනගනී. මිච්චා වාචා, මිච්චා වාචා සේ දැනගනී. සම්මා වාචා දෙආකාරයි දැනගනී. එකක් ලෞකිකයි, කෙළෙස් සහිතයි, සසර ගමනට හේතු වෙනවා. එකක් ලෝකෝත්තරයි, නිවනට හේතු වෙනවා. මෙන්න මේ ටික විග්‍රහ කරලා දැනගන්න.

 

මුසාවාදා, පිසුනාවාචා, ඵරුසාවාචා, සම්ප්‍රප්පලාපා යන යමක් ඇද්ද, මේ ටික මිච්චා වාචාවට අයිතියි. ඒ වාගේම මුසාවාදයෙන් වෙන්වීම, පිසුනාවාචාවෙන් වෙන්වීම, ඵරුසාවාචාවෙන් වෙන්වීම, සම්ප්‍රප්පලාපයෙන් වෙන්වීම යමෙක් ජීවත් වෙනවාද, ඒක සම්මා වාචාවට අයිතියි. සම්මා වාචා දෙ ආකාරයි. “මුසාවාදා, පිසුනාවාචා, ඵරුසාවාචා, සම්ප්‍රප්පලාපා කියන ඒවා වැරදි නිසා, අයුතු නිසා මං කරන්නේ නෑ!” කියලා අබුද්ධෝත්පාද කාලයේත් හිටියා ඒවා නොකරපු අය. හැබැයි ඒගොල්ලන්ට තිබුණා, මොකද්ද? සම්මා වාචා කියන ලෞකික මාර්ග හංගය. ඒගොල්ලෝ ඒවායින් ගිහිල්ලා සුගතියට පත්වුනා, බඹ ලොවටත් ගියා, හැබැයි නිවනට ගියේ නෑ!

 

එහෙනම්, බුදුපියාණන් වහන්සේ දේශනා කරපු සම්මා වාචා නම් ඒ කාලේ තිබුණේ නෑ! එහෙනම්, ඒක මොකද්ද? ඒකේ වෙනස මොකද්ද? මේ අනිච්ච වූ, දුක්ඛ වූ, අනත්ථ වූ, නිස්සාර වූ ලෝකය තුළ මොනවා ලබාගන්න බොරු කියන්නද? බොරු අසාධාරණ නිසා නෙමෙයි නොකියා ඉන්නේ, වැඩක් නැති නිසා! බොරුවෙන් රවටලා මොනවා ලබාගන්නද? මොන අසාධාරණ ලෝකේ, නිස්සාර ලෝකේ, මොනවා කොටු කරගන්නද බොරු කියලා? කේලාම් කියලා, අනුන් බිඳවලා මං මොනවා ලබාගන්නද? ඵරුෂ වචන කියලා අනුන් සැඩ බවට පත්කරලා මට මොනවා ලබාගන්නද? ප්‍රලාපයෙන් ලෝකයේ රස්තියාදු කරලා, මුලා කරලා මොනවා ලබාගන්නද? එබඳු නිස්සාර කතාවෙන් මට ඇති වැඩක් නෑ! ලෝකයා මුලා වෙනවා මිසක්, මුලා සහගත සසර ගමනට හේතු වෙනවා මිසක්, මට ඇති වැඩක් නෑ! එහෙනම්, මට එබඳු වන්නාවූ බොරු කීමක, කේලාම් කීමක ඵරුෂ වචනයක, ප්‍රලාපයක යම්කිසි අවශ්‍යතාවයක් තිබුණා නම්, මට දැන් ඒවා අවශ්‍යය නෑ! මං ඒවායින් නික්මෙනවා!

 

මෙන්න මේ ධර්මාවබෝධය නිසා, මෙසේ අත්හැරීමක්, නොඇල්මක්, මිදීමක් සිද්ධ වෙනවා නම් යම්කිසි ඒ බොරු, කේලාම්, ඵරුෂ වචන, ප්‍රලාප වල, මේකට කියනවා, ආර්ය වූ සම්මා වාචාව. ආර්ය අෂ්ඨංගික මාර්ගයේ නිවන් දකින සම්මා වාචාව! මෙන්න මේක යම් කෙනෙක් තේරුම් ගත්තා නම්, පත් වුනා නම්, ඊට පස්සේ ඔහු යම් බොරුවෙන් වැළකිලා ඉන්නේ, කේලමෙන් වැළකිලා ඉන්නේ අපායේ යනවාට බයේ වත්, දිව්‍යලෝකේ යන්න ආසාවට වත්, එහෙම එකකට මොකට වත් නෙමෙයි, “මේවා අයුතුකම් අසාධාරණකම්, සසර ගමනට හේතු වෙන නිස්සාර දේවල්. සසර ගමනින් නික්මීමට මේවා බාදාවක්! අන්න ඒ නිසයි මේ සසර ගමනේ දුක්ඛිත ස්වභාවය, නිස්සාර ස්වභාවය දැනගෙන ඉන්න මට, බොරුවෙන් රවට්ටලා ගන්න දෙයක් නෑ, කේලමෙන් බිඳවලා කරගන්න දෙයක් නෑ, ඵරුෂ වචනයෙන් සැඩ බවට පත් කරලා කරගන්න දෙයක් නෑ, ප්‍රලාප කරලා ප්‍රලාපයන් කිය කියා ඉඳලා ලෝකයේ මට ගන්න තත්ව ඨානාන්තරයක්, වාසනාවක්, වාසියක් නෑ! හරයක් නැති දේවල් බව දැනගෙන මං මේ අත්හැරලා දැම්මේ, මට වැඩක් නෑ ඒවායින්!” මෙන්න මේ කාරණය සිහිකරගත්තහම එයා දකිනවා, නිවනට හේතු වෙන ලෝකෝත්තර වූ සම්මා වාචා මාර්ග හංගය කියන්නේ ඔන්න ඕකයි කියලා.

 

දැන් ඕක දැනගත්තහම මිච්චා වාචා, මිච්චා වාචා හැටියට දැනගෙන ඉන්නවා, සම්මා වාචා වල දෙආකාරය දැනගෙන ඉන්නවා. එකක් ලෞකිකයි කෙළෙස් සහිතයි කියලා දැනගෙන ඉන්නවා. ලෝකෝත්තර වීමට හේතු වෙන්නාවූ සම්මා වාචාව ලැබෙන්නේ මෙහෙමයි කියලා දැනගත්තා. මෙන්න මේ ටික දැනගත්තහම කියනවා, සම්මා වාචා පිළිබඳ සම්මා දිට්ඨිය පහල වුනා. අන්න තව සම්මා දිට්ඨියක් සම්මා වාචා පිළිබඳ සම්මා දිට්ඨිය.

 

ඒ වාගෙම දැන් එයා දකිනවා, “මේ දැනගත්ත දහම තුළ අප්‍රමාදව නිවන් දැකීමට කටයුතු කරගන්න නම් මේ තුළම මම හිඳිය යුතුයි! මේ තුළම ප්‍රගුණ කරගත යුතුයි! නිතරම ඒක ආවර්ජනා කළ යුතුයි! මේකේ අවැඩ, මේකේ තියෙන නිස්සාරත්වය නිතරම බැලිය යුතුයි! නිතර බල බලා මං, එබඳු වන්නාවූ බොරු, කේලාම්, ඵරුෂ වචන, ප්‍රලාප අංශු මාත්‍රයකින් හෝ කෙරෙන්න ඒ සසර හේතුවකින් හරි ඉඩ තියෙනවා නම් ඒවා වළක්වලා දාන්න ඕනේ! වැඩක් නැති ඒවා…” අන්න, වැඩක් නැති කොටස අත්හැරලා දානකොට, සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා සතියෙන් ඉඳලා ඔය ටික තෝරාගෙන, එහෙම නැත්තම් සම්මා වාචා පිළිබඳ සම්මා සතියෙන් වචන වල ස්වභාවය තෝරාගෙන, උත්සාහයක් වීර්යයක් යොදලා ඒ වැඩක් නැති ඒවායින් සහමුලින් මිදිලා යන්න කටයුතු කරගන්නවා නම් ඒකට කියනවා, සම්මා වාචා පිළිබඳ සම්මා වායාම!

 

එහෙනම්, සම්මා වාචා මාර්ග හංගය, සම්මා දිට්ඨි, සම්මා සති, සම්මා වායාම කියන මාර්ග හංග 3කින් වට කරලා පවතිනවා. මෙන්න මේ ටික විග්‍රහ කරලා දැනගත්තහම දන්නවා කාගෙන් වත් අහන්නේ නැතුව සම්මා වාචාවට පත්වෙන්නේ කොහොමද? සම්මා වාචා ක්‍රියාත්මක කරන්නේ කොහොමද? නිවන් දකින්නේ කොහොමද? අනික් කෙනෙක් යනවා නම් මේ යන ගමන, නිවනට හේතු වෙන ගමනක සම්මා වාචාවක් ද මොහුට තියෙන්නේ? සසර සුගතියට හේතුවෙන සම්මා වාචාවක්ද මොහුට තියෙන්නේ? එසේ නැත්නම් සතර අපාගත වෙන, දුගතියට හේතුවෙන සම්මා වාචාවක් ද මොහු මේ කතා කරන්නේ? අනුන්ගේ කතාවට සවන් දීගෙන අවධානයෙන් ඉන්නකොට, ඔහු එතනින් හොයාගන්නවා, මොහු නිවන් මඟ යන කෙනෙක්, මොහු ලෞකික සුගති මඟ යන කෙනෙක්, මොහු සතර අපා පැත්තට යන කෙනෙක්. කාරණා 3න් ලෝකයත් හඳුනා ගන්නවා, වැරැද්ද වැරැද්ද හැටියටත් දකිනවා, නොකළයුත්ත නොකළයුත්ත හැටියට, පහ කළයුත්ත පහ කළයුත්ත හැටියටත් දකිනවා, ඇසුරු කළයුත්ත හෙවත් ආස්වාස කළයුත්ත ආස්වාස කළයුත්ත හැටියටත් දකිනවා, දැනගෙන ඒ දහම් ආස්වාසය කරලා නිවන අවබෝධ කරගන්නවා. එහෙනම් ඔක්කෝම කාගෙන් වත් අහන්න දෙයක් නෑ, සම්මා වාචා මාර්ග හංගය ඔහොම තෝරාගත්තහම.

 

{23:57} සම්මා කම්මන්තය පිළිබඳ සියල්ලත් බලමු : දැන් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත! “සම්මා කම්මන්තය සම්මා කම්මන්තය සේ දැනගනී, මිච්ඡා කම්මන්තය මිච්ඡා කම්මන්තය සේ දැනගනී. සම්මා කම්මන්තය දෙආකාරයි කියා දැනගනී. එකක් ලෞකිකයි, කෙළෙස් සහිතයි, සසර ගමනට හේතු වෙනවා. එකක් ලෝකෝත්තරයි, නිවනට හේතු වෙනවා!” මෙන්න මේ ටික ගැන විස්තර කරලා දැනගන්න.

 

ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය යන යමක් වේද, මිච්ඡා කම්මන්තට අයිතියි කියලා දැනගන්න. ප්‍රාණඝාතයෙන් වෙන්වීම, අදත්තාදානයෙන් වෙන්වීම, කාම මිත්‍යාචාරයෙන් වෙන්වීම යන යමක් ඇත්ද, සම්මා කම්මන්තයට අයිතියි කියලා දැනගන්න. සම්මා කම්මන්තයෙන් ලෞකිකත්වයට පත්වෙන්නේ කොහොමද? “ප්‍රාණඝාතය නිසා, අදත්තාදානය නිසා, කාම මිත්‍යාචාරය නිසා සතර අපාගත වෙන්න හේතුවෙනවා, දුකට හේතුවෙනවා, ඒක හින්දා මං එහෙම කරන්නේ නෑ!” ආදී වශයෙන් යම්කිසි සම්මතයක් නිසා නොකරන කොටසක් ඉන්නවා, මෙන්න මෙහෙම නොකර ඉන්න එකත් සම්මා කම්මන්ත මාර්ග හංගයක් තමයි. නමුත් ලෞකික එක! එයා යථාවබෝධයෙන් අත්හැරිය එක නෙමෙයි. ඒ නිසා එයාට සුගතියක් නම් හම්බවෙනවා, නිවනක් හම්බවෙන්නේ නෑ එහෙම හිටියාට.

 

එහෙනම්, නිවනට හම්බවෙන සම්මා කම්මන්තය කොහොමද හොයාගන්නේ? “මේ අනිච්ච වූ, දුක්ඛ වූ, අනත්ථ වූ, නිස්සාර වූ ලෝකයේ මං මොනවා ලබාගන්න ප්‍රාණඝාත කරන්නද? සත්ත්ව හිංසා කරන්නද? මොනවාට හොරමැරවංචා කරලා, මොනවා මං අයිති කරගන්නද? සුරාසූදුදුරාචාර කරලා මොනවා ලබාගන්නද, මොන ආස්වාදයක් ලබාගෙන සැනසෙන්නද? හරයක් නැති ඒවානේ! හරයක් නැති නිසා, නිවනට බාදකයක් වෙන නිසා, නිවනට ගෝචර නොවන එකක් නිසා, එබඳු වන්නාවූ සම්මා කම්මන්තයෙන් මට ඇති වැඩක් නෑ!” කියලා, යම් කෙනෙක් ධර්මාවබෝධයෙන් දැකලා යම්කිසි සම්මා කම්මන්තයක් අයින් කළාද, අන්න ඒ හේතුවෙන් ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාරයෙන් වැළකුණ යමෙක් ඇත්නම්, මෙන්න මේකට කියනවා ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සම්මා කම්මන්ත කියන මාර්ග හංගය නිවනට හේතු වෙනවා, නිවන් මඟට හේතු වෙනවා.

 

මෙන්න මේ ටික දැනගත්තහම සම්මා කම්මන්තය පිළිබඳ දැනගත යුතු දැනුවත් වීම සිද්ධ කරගත්තා, හෙවත් සම්මා දිට්ඨිය පහල වුනා. මේකට කියනවා සම්මා කම්මන්තයේ සම්මා දිට්ඨිය කියලා. දැන් ඒ තත්ත්වය දැනගත්තාට පස්සේ, “ප්‍රමාද වීම මට බාදකයක්, අප්‍රමාදයෙන් යුක්තවම මේක හොඳ මනා සිහියෙන් නුවණින් ඉඳලා ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාරයන්ට හේතුවෙන සිතිවිල්ලක්, ක්‍රියාවක්, වචනයක් මට නැඟිලා එනවා නම්, ඒ ධර්මානුකූලව සිහි කරන නිස්සාරත්වය දැකලා, නිවනට බාදකය දැකලා, ඒක අයින් කරලා දමන්න ඕනෑ!” කියන්නාවූ අදහසින් ගත්තා නම්, “අන්න ඒක තමයි මා විසින් වැඩිය යුතු ආර්ය සම්මා කම්මන්තය!” කියලා දැක්කාට පස්සේ එයා මොකද කරන්නේ? මනා සතියෙන් ඉන්නවා තමාගේ සිතිවිලි, ක්‍රියා, වදන් ක්‍රියා කලාපය ගැන. බලා ඉඳලා, එබඳු තැනකට එන්න තියෙනවා නම් වහාම පහ කර දමනවා! ඒකෙන් වෙන් වෙන්නාවූ තත්වයේ තිබෙන්නාවූ නිවනට හේතු කරන ආස්වාදය, නැත්නම් අස්වැසිල්ල ඇසුරට ගන්නවා. මෙන්න මෙබඳු ආස්වසයක් ප්‍රස්වාසයක් ඇසුරු කරගෙන කටයුතු කරනකොට ඔහුට ලැබෙනවා, සම්මා කම්මන්ත කියන්නාවූ මාර්ග හංගය වැඩුවා වූ ආර්ය මාර්ග හංගය වඩන කෙනෙක් හැටියට ඔහුට ප්‍රතිඵල ලබාගන්න පුලුවන් වෙනවා.

 

මෙන්න මේ ටික කරනකොට, කාගෙන් වත් අහන්න ඕනේ නෑ දැන් සම්මා කම්මන්තය මොකද්ද, වඩන්නේ කොහොමද? ඒ ආර්ය අෂ්ඨංගික මාර්ගය වඩන්න අපි මොකද්ද කරන්න ඕනේ? අහන්න දෙයක් මොකුත් නෑ! මෙන්න මේ ටිකෙන් පූර්ණ වෙනවා.

 

{27:00} ලෝකෝත්තර සම්මා ආජීවය පිළිබඳව : එතකොට, ඊලඟට තමයි සම්මා ආජීවය! “මිච්ඡා ආජීවය මිච්ඡා ආජීවය සේ දැනගනී, සම්මා ආජීවය සම්මා ආජීවය සේ දැනගනී. සම්මා ආජීවය දෙආකාරයි කියා දැනගනී, එකක් ලෞකිකයි, කෙළෙස් සහිතයි, සසර ගමනට හේතු වෙනවා. අනික ලෝකෝත්තරයි, නිවනට හේතු වෙනවා. මෙන්න මේ ටිකත් විග්‍රහ කරලා ගන්න.

 

අයුතු සහගත, අසාධාරණ කිරුම් මිණුම් ආදිය වන්නාවූ නොයෙක් ක්‍රම, වංචා ක්‍රම මුල් කරගෙන තමාගේ ජීවිතයක් හැඩගස්සා ගන්න කටයුතු කරනවාද, මෙන්න මේක මිච්ඡා ආජීවයයි කියලා දැනගන්න. ඒවා ඔක්කෝම අත්හැරලා, දැහැමින් සාමයෙන් දහඩිය මහන්සියෙන් උපයාගෙන, හදාගෙන ජීවත්වෙන සාධාරණ ක්‍රමයක් තියෙනවා කියලා ලෝකයා සම්මත කරනවාද, මේක ලෞකික වූ සම්මා ආජීවයයි කියලා දැනගන්නවා. දැන් ඒක තමයි අර ගොවිතැන, වෙළඳාම ආදී සම්මා ආජීවයයි කියන්න හේතුව. ලෞකික සම්මා ආජීවය තමයි, ලෝකෝත්තර සම්මා ආජීවය දැනගෙන හිටියේ නෑ.

 

එතකොට දැන් ආර්යත්වයට පත්වෙන කෙනා කල්පණා කරනවා මම ජීවත්වෙන්නේ මොන පරමාර්ථයෙන්ද? නිවන හැර, නිවන් මඟ හැර මට මේ ජීවත් වීමේ වෙන ගන්න පරමාර්ථයක් නෑ. මගේ ජීවත්වීමේ අග්‍රතාවයක් තියෙනවා, වැදගත් කමක් තියෙනවා. මොකටද? අප්‍රමාදයෙන් යුතුව, යථාවබෝධය පූර්ණය කරගෙන නිවන් අවබෝධ කරන්නයි මං ජීවත්වෙන්නේ. මගේ ජීවිතය හැඩගස්වන්වා, ඒ මාර්ගය පූර්ණය කරගන්න ඕනේ නිසා. ඒ සඳහායි මගේ ජීවත් වීම, මට වෙන ජීවත්වෙන්න මේ ලෝකේ මොනවා අල්ලාගන්න වත් ජීවත්වෙන්න ඕනේ නෑ! ගෙවල්දොරවල් හදාගෙන සුඛෝපභෝගී ජීවිතයක ඉන්නත් මං ජීවත්වෙනවා නෙමෙයි. ලෝකයේ තත්වඨානන්න්තර රැකගෙන මට හොඳ තැනක් හම්බවුනා කියලා ඉන්න, ජීවත්වෙන්න බලාපොරොත්තු වෙනවා නම්, එහෙම ජීවිතයක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ! එහෙනම්, මං ජීවිතයක් බලාපොරොත්තු වෙන්නේ අප්‍රමාදව, කෙළෙස් තවා නිදහස් වීමට යමක් කරගත යුතුද, ඒ සඳහා මේ ජීවිතය ගතකරන්නයි මගේ ජීවිත පැවැත්මේ වටිනාකමක් මං දකින්නේ!” කියලා මෙන්න මේටික දැක්කා නම් ධර්මානුකූලව, අන්න එයා දකිනවා කෙළෙස් තවන වීර්යයෙන්, “මගේ ජීවිතය නිකන් ගතකරලා හරියන්නේ නෑ! ගතකරන මොහොතක් මොහොතක් පාසා මගේ ජීවිතය හැකිතරම් දුරට අප්‍රමාදව කෙළෙස් තැවීම සඳහා කටයුතු වලට නිරත කරන්න ඕනේ. මේ ජීවිතයෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. ලැබුණු මිනිස් ජීවිතයේ ප්‍රයෝජනය එහෙමයි මම ගන්නේකියලා, මෙන්න මේ අදහසින් කටයුතු කරන කෙනාට ලැබෙනවා සම්මා ආජීවයේ ආර්ය අෂ්ඨංගික මාර්ගයට අයිති, නිවන් දැකීමට හේතුවෙන ජීවත්වීම!

 

මෙන්න මේ කාරණා ටික දැනගත්තාට පස්සේ, සම්මා ආජීවය සම්මා ආජීවය හැටියටත්, දෙආකාරයත් දැනගත්තා, එකක් ලෞකිකයි කියන එකත් දැනගත්තා, ලෝකෝත්තර නිවනට පත්වෙන්න ජීවත්වීම කොහොමද ගතකරන්නේ කියලාත් දැනගත්තා. මිත්‍යා ආජීවයත් දැනගත්තා. මෙබඳු යම් දැනීමක් ඇත්ද, මේකට කියනවා සම්මා ආජීවය පිළිබඳ සම්මා දිට්ඨිය. ඒ දැනගත්තාට පස්සේ ජීවිතයේ නිකන් කාලය ගතකරනවා නම්, තමා තමාටම නිග්‍රහ කරගන්නවා. “මොන අපරාධයක්ද එහෙම කරනවා නම්? අප්‍රමාදයෙන් යුතුව නිතර මනා සිහියෙන් ඉන්න ඕනේ මං මගේ ජීවත්වීම ගැන. මගේ ජීවිතය ගතකරන්නේ ධර්මානුකූලවද? විදර්ශනාත්මකවද? යථාවබෝධය ලබාගැනීම සඳහා මං පාදා ගනිමින්ද? නැත්නම් වැඩක් නැති කාලය කා දාන්න, නිකන් වැඩක් නැති කොළොප්පන්, විහිලු කොළොප්පන් ආදී බාහිර දේටද මේ ජීවිතය ගතකරන්නේ? එහෙමනම් වැඩක් නෑ!” කියලා දැනගත්තහම, අන්න බොරු, කේලාම්, ඵරුෂ වචන, ප්‍රලාප කිය කියා ලෝක සත්වයා සැරිසරන්නාවූ මුලා සහගත වැඩපිළිවෙල වැඩක් නෑ කියලා, එහෙම ජීවත්වීම වැඩක් නෑ කියලා දකිනවා. දැකලා, ඒවා ඔක්කෝම අත්හැරලා ආර්ය මාර්ගයට හිත තියලා, නිතරම ආර්ය නුවණකින්, සිහියකින් කටයුතු කරන්න පටන්ගත්තහම ජීවිතය සම්මා ආජීවයක් වෙනවා.

 

මෙන්න මෙහෙම දැනගත්තහම සම්මා ආජීවය පිළිබඳ සම්මා දිට්ඨිය පහලවුනා. මනාවූ සතියෙන් යුක්ත වෙනකොට සම්මා ආජීවය පිළිබඳ සම්මා සතියෙන් යුක්ත වෙලා, උත්සාහයෙන්, රෑ දවල් දෙකේ උත්සාහයෙන් යුක්ත වෙනකොට සම්මා ආජීවය පිළිබඳ සම්මා වායාමය පහල වුනා. මෙන්න මෙච්චරයි අපිට කරන්න තියෙන්නේ, නිවන් දකින්න!

 

{30:32} ලෝකෝත්තර සම්මා සමාධිය ඵලයක් ලෙස පූර්ණ වෙනවා : සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මෙන්න මේ මාර්ග හංග පහෙන් සෝතාපන්න පුද්ගලයා යුක්තයි! පරිවාර කර්ම, පරිවාර වන මාර්ග හංග තුනකින් ඕවා සමන්විතයි! මෙන්න මෙතනදී, සමන්විත වෙනකොට, එයාට පහල වෙලා තියෙනවා පරිවාර වූ සම්මා සතියයි සම්මා වායාමයයි දෙක. එහෙනම්, සම්මා ආජීවයට සම්මා වායාම, සම්මා සති දෙකක් එනවා, මාර්ග හංග 7ක් සම්පූර්ණ වුනා, දෙකක් නිකන් සම්පූර්ණ වුනා. දැන් මොකද වෙන්නේ? තමා විසින් ගෙනියන්නාවූ පෝෂණය සම්පූර්ණයි, නැත්නම් සාත්තුව සම්පූර්ණයි! සාත්තුව කරනකොට, කඳ වැඩෙනකොට කඳ වැඩෙනවා වගේ, පිහිටුවාගත්ත රෝපණය, බෞද්ධ බීජය, අනිච්ච දුක්ඛ අනත්ථ ත්‍රිලක්ෂණය මුල් කරගෙන, ඒ තුළින් නැඟෙන්නාවූ ඒ සමයට ඇදිලා, ආර්ය සමයට ඇදිලා හිටලා, සම්මා සමාධිය නිකම්ම පහල වෙනවා. නිකන් නෙමෙයි පහල වුනේ, අර හේතුවෙන්! සීලය හේතුවෙන් සමාධිය පහල වුනේ ඔන්න ඔහොමයි!

 

එහෙනම්, “වතහේතුවෙන් නෙමෙයි මෙතෙන්ට ගියේ, ධර්මාවබෝධයෙන් ලැබූ සීලයහේතුවෙන්! අන්න එයාට කියනවා, සීලයෙන් සමාධිය පහල වුනා! අන්න එයාට ප්‍රථමධ්‍යාන, දුතියධ්‍යාන, තෘතීය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, ධ්‍යානත් පහල වෙනවා, ධ්‍යාන සමාපත්තිත් පහල වෙනවා, සමාධිත් පහල වෙනවා. අමුතුවෙන් කරන්න දෙයක් නෑ, මහන්සි වෙන්න දෙයක් නෑ, ධ්‍යාන වලට. ලැබෙන්නේ ධ්‍යානය යථාවබෝධයෙන් නිසා කවදාවත් කඩ කරන්නත් බෑ, කඩ වෙන්නෙත් නෑ! මෙන්න මේ සමාධි ඥාණය පහල වෙනකොට නුවණ මෝරා යනවා, අති සියුම් වෙනවා. අන්න එතෙනදී අනිච්ච දුක්ඛ අනත්ථ කියන ත්‍රිලක්ෂණයම වැටහිලා, පූර්ණ වෙලා ගිහිල්ලා, නිස්සාරත්වයම වැටහිලා, අත්හැරී නොඇලී මිදී කෙළවර කරපුහාම සම්මා ඥාණයයි සම්මා විමුක්තියයි පහල වෙලා, “දස හංගය සම්පූර්ණ කරනවා අන්න ඒ මාර්ගයෙන්. එදාට කියනවා අරිහතුන් වහන්සේ!” ඔන්න ආර්ය අෂ්ඨාංගික මාර්ගය, කෙනෙක්ගෙන් කරදරයක් නැතුව, අහන්නේ නැතුව වඩාගන්න හැටි!

 

{32:06} බුදු දහමේ භාවනා කළ යුත්තේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි : දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා, “ඔන්න ඕක භාවනා කරන්න!” ඔන්න භාවනාව! ආර්ය අෂ්ඨාංගික මාර්ගය භාවනා කරන්න ඕනේ කිවුවා, “තං ඛෝ පණිධං දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා අරිය සච්චං භාවේතබ්බංතිමේ භික්කවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි, ඥාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි!” කියලා. මෙන්න මේ කියන්නාවූ දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදා ආර්ය සත්‍යය කියන මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය භාවනා කළයුතුයි කියලා මට ඇස පහල වුනා, ඥාණය පහල වුනා, ප්‍රඥාව පහල වුනා, විද්‍යාව පහල වුනා, ආලෝකය පහල වුනා! කියලා බුදුරජාණන් වහන්සේ මංගල ධර්ම දේශනාවේදීම දේශනා කළා, භාවනාව ඔන්න ඕකයි! <<ත්‍රිපිටක සූචිය අවශ්‍යයි>> ඔන්න ඕකයි කරන්න තියෙන්නේ කියලා.

 

ඉතින් ඔය භාවනාව යනඑන, කරනකියන, කතා කරන, කතා නොකරන, වටපිට බලන, එකතැන ඉන්න, ඕනේම වෙලාවක අපේ භාවනා විය යුත්තේ නිවන් දකින්න ඕනේ නම්, ධ්‍යාන මාර්ග ඵල ලබන්න ඕනේ නම්, ඕකයි! හැබැයි ලබන ධ්‍යානයක වත්, ඵලයක වත්, කොතනක වත්, ඥාණයක වත් හිත බැඳගන්නේ නෑ,මෙසේ දකින්නාවූ යම් ඥාණයක් ඇද්ද, ඒකත් කැමතිසේ පවතින එකක් නෙමෙයිකියලා ධර්මානුකූලව දැක්කහම ඒ ඥාණයෙන් සිත බැඳෙන්නේ නැතුව මිදිලා යනවා. ඥාණය ලැබෙනවා, ඥාණයට හිත බැඳෙන්නේ නෑ! එහෙනම්, ඥාණයක් ලැබුණා කියලා ලොකුකම් කතා කරන්න යන්නෙත් නෑ! ඒ නිසා තමයි කියන්නේ, මඟ ඵල ලාභීත්වයට පත්වුන කෙනා ලොකුකමට මඟ ඵල කියන්න යන්නේ නෑ! අහංකාර කමට මඟ ඵල කියන්න යන්නේ නෑ!

 

දැන් පුංචි උපමාවක් අරන් බලමු, මෙහෙම දෙයක්. ඔය කොස් ඇටයක් පුච්චාගන කාලා, මඤ්ඤොක්කා කෑල්ලක් තම්බාගෙන කාලා, බොහෝ දුකසේ ජීවත් වෙන දරුවෝ කීපදෙනෙක්, දරුවෝ රංචුවක් ඉන්න අම්මා කෙනෙකුට හරි, තාත්තා කෙනෙකුට හරි කේක් කෑල්ලක්, පුඩිම් කෑල්ලක් කන්න හම්බවෙනවා කොහේ හරි දිහාවකදී. දැන් ඉතින් කරන්න දෙයක් නෑ, ලැබිච්ච වෙලාවෙදී කෑවා, ගේන්න වෙලාවක් තිබුණේ නෑ කියමුකෝ. දෙන්න විදිහකුත් නැත්නම්, දැන් කාලා ඇවිදිල්ලා පුතාට කියනවාද, දුවට කියනවාද තමන්, “පුතේ, මං කේක් කෑවා! පුඩිං කෑවා!” කියලා කියනවාද? “අනේ අප්පොච්චියේ, මං කොහොම කියන්නද මගේ දරුවන්ට? මගේ දරුවොත් ඒවාට කැමතියි නේ! ඒ දරුවෝ මේ මංඤ්ඤොක්කා කෑල්ලක් කාලා, කොස් ඇටයක් පුච්චාගෙන කාලා බොහොම දුකසේ ජීවත් වෙනවා, මට කන්න බොන්න දෙන්න විදිහකුත් නෑ! ඉතින් මේ මම කාපු එක හොඳ එකක් කියලා කියපුවහම ඒ දරුවන්ට කොච්චර අසහනයක් ද?” “ඉතින් මොනවාද කෑවේ?” “ඔය මොනවා හරි කෑවා පුතේ! මොන මොනවාහරි ඉතින් කනවා ඉතින් ලැබිච්ච දෙයක්!” ඔහොම කියනවා මිසක්, අර කටෙන් කියන්න බෑ මං කේක් කෑවා, පුඩිං කෑවා!” කියලා ළමයින්ට. මොකද, අම්මාට තාත්තාට හරි දයානුකම්පාවක් ඇතිවෙනවා අර අසරණව ඉන්න දරුවෝ කෙරෙහි.

 

එහෙනම්, යම්කිසි කෙනෙක්ගෙන් ආවා මම මාර්ගඵල ලැබුවා, මම භව දුකෙන් නිදහස් වුනා!” කියලා, භව දුකෙහි සැරිසරණ ලෝක සත්වයා දැකලා, කට ඇරලා කියන්න බෑ, මවු ගුණයක් පිය ගුණයක් වැනි ආර්යයන්ට හිමියි! ඒ ආර්යයෝ ලෝකයා ගැන දකින්නේ වෛර ක්‍රෝධ කරන්න පුලුවන් එහෙම අය හැටියට නෙමෙයි. විසාල දයානුකම්පාවකින් දරුවන් ගැන වගේ දකිනවා. ඒ නිසා තමයි ආර්යයෝ අනෙක් අයට මවෙක් වගේ, පියෙක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ ආර්ය ගුණය වැඩුනාට පස්සේ ලෝකයා දකින්නේ එහෙමයි, කොච්චර බැන්නත්, කොච්චර ගැහුවත්, කොච්චර හිංගි කළත්, “ඔහුට හෙණ ගහපන්!” කියන වචනය ආර්යයෙක් ගේ කටින් පිටවෙන්න හේතු නෑ! මොකද හේතුව? ගැහිලා තියෙන හෙණය මදිවැයි! කෝටි ප්‍රකෝටි ගාණක හෙණයක් ගැහිලා තියෙන බව ආර්යයන්ට පේනවා, ලෝක සත්වයාට. දැක්කහම විසාල කම්පාවක් ඇතිවෙනවා, දයානුකම්පාවක්. “මොනවා කරන්නද? රෑ දවල් දෙකේ කියලා දෙනවා නම් කියලා දෙනවා, හැකි තරම් දුරට හික්මවලා ගන්න. බලහත්කාරයෙන් දෙන්න පුලුවන් නම් එහෙම ගහලා මරලා හරි පොවනවා. එහෙම එකක් නෙමෙයි, ඒ නිසා මොනවා කරන්නද? දයා කරුණාවෙන් කියලා දෙනවා, පිළිගන්නේ නැත්නම් අනේ අපොයි! මොනවා කරන්නද?” සංවේගයක් උපද්දනවා. වෙන තරහක් ඇතිවෙන්නේ නෑ ආර්යයන්ට ලෝකයා කෙරෙහි. ඒ නිසා, ආර්යයන්ට බ්‍රහ්ම ගුණ තියෙනවා කිවුවේ ඔන්න ඕකයි. ඒ නිසා, ආර්යයෝ මඟ ඵල කියාපාමින්, ලෝකයාගෙන් ප්‍රශංසා ලබන්න එහෙම බලාපොරොත්තු වෙන්නේ නෑ, ඒ ගුණයක් වත් අහලක වත් නැති කෙනෙකුට තමයි එහෙම ඒවා එන්නේ.

 

{35:40} මාතා යථා නියං පුත්ථංකිවුවේ මොකද්ද? : දකින්න ඕනේ මොකද්ද? “කෙසේ හෝ අන් අයත් එතෙන්ට ගන්න මඟක් පාදාදෙන්න ඕනේ! ඒකට අවශ්‍යය දේ දෙන්න ඕනේ, ඒ මඟ අනුගමනය කරන්න හැමදෙයක් ම කියලා දෙන්න ඕනේ. රෑ දවල් දෙකේ මෙහෙයවන්න ඕනේ, කරන්න පුලුවන් හැම උපකාරයක් ම කරලා අන්න එතෙන්ට ගන්න ඕනේකිවුවොත්, මෙන්න මේකට කියනවා බුදුපියාණන් වහන්සේ දේශනා කරපු, ශ්‍රාවකයන්ට පෙන්වපු බ්‍රහ්ම විහරණය!මාතා යථා නියං පුත්ථං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ ඒව්ංපි සබ්බ භූතේසු මානසං භාවයේ අපරිමාණංකිවුවේ ඔන්න ඔතනයි! මවු වාගේ, පියා වාගේ දරුවන්ට, අන්න ඒ බුදුරජාණන් වහන්සේ අමා මෑණියන් වහන්සේයි, අරිහතුන් වහන්සේ නැමැති යථාර්තය දත් එකම පුත්‍රයා ලෝකයේ පහල කරන්න අනුරක්ෂණය කරන්නේ කොහොමද, මෙන්න මේක ආදර්ශයට අරගෙන ඔය ශ්‍රාවකයින් වහන්සේලාටත් කිවුවා ලෝකයාට ඔය විදිහට දයානුකම්පාවෙන් කටයුතු කරන්න. මෙන්න දයානුකම්පාව! මෙන්න බ්‍රහ්ම විහරණය! කියලා. ඔන්න බුදුරජාණන් වහන්සේගේ ආනාපානය, ඔන්න බ්‍රහ්ම විහරණය, ඔන්න ආර්ය අෂ්ඨාංගික මාර්ගය! ඉතින් ඕක තේරුම් ගත්තාට පස්සේ අපිට අමුතුවෙන් බණ අහන්න තව ඉතුරු වෙන්නේ නෑ! ඔය ටික තෝරාගත්තා නම්, අපිව මුලා කරන්න දස මාර සේනාවට වත් බෑ! කාට මොන ජාතියේ තර්ක වාද ඉදිරිපත් කරලා වත් ඔය මාර්ගය දැන් වෙනස් කරන්න බෑ! අමුතුවෙන් බණ අහන්න දේකුත් නෑ!

 

(ශ්‍රාවක මහතෙක්): මාරයාට ලෞකික සම්මා දිට්ඨිය පේනවා, ලෝකෝත්තර… (ස්වාමීන් වහන්සේ): ආන්න, ලෝකෝත්තර සම්මා දිට්ඨිය එයාට පේන්නේ නෑ! ඒකයි

 

(මීලඟ කොටස ඉදිරි දේශනාවෙන්)

 

~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~

 

දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://www.waharaka.com/listen/CD001-08

 

මීලඟට :