දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)
සිවු අරිසස්, ආස්වාද, ආදීනව, නිස්සරණ තුළින් සප්ත විශුද්ධියට පත්වීම
{00:00} : සප්ත විසුද්ධිය කියන්නෙත් තවත් නිවන් පූර්ණය කරන තවත් මාර්ගයක්
මේකෙදී අපි තේරුම් ගන්ට අවශ්‍යයම කරන කොටස තියෙන්නේ, සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, කංඛාවිතරණ විසුද්ධි, මග්ගාමග්ග ඥාණ දස්සන විසුද්ධි, පටිපදා ඥාණ දස්සන විසුද්ධි, ඥාණ දස්සන විසුද්ධි කියලා විශුද්ධ භාවයට පත්වෙන, නැත්නම් ආර්ය මාර්ගය පූර්ණය කරගන්න තත්වයට පත්වෙන්න අවශ්‍යය කරන කාරණා 7ක් තියෙනවා. අපි ඕවට “සප්ත විසුද්ධිය” කියලා කියනවා. මෙන්න මේ “සප්ත විසුද්ධිය” තෝරාගන්න ඕනෑ ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩන්න ඉස්සෙල්ලාම, මුලින් ම දැනගත යුතු කාරණයක්. මේවා හුඟාක් විග්‍රහ සහිතව තේරුම් ගන්න තියෙනවා එක එක, සතර සතිපට්ඨානය වැඩීම ආදී වශයෙන් විග්‍රහ කරනකොට, ආර්ය අෂ්ඨාංගික මාර්ගය විග්‍රහ කරනකොට.
ඉතින් මේක මූලික ධර්මය විග්‍රහ කරගත්තට පස්සේ, අපි කොයි ආකාරයෙන් ගත්තත්, ඒ අනුකූලව අපි හරියට ආර්ය අෂ්ඨාංගික මාර්ගයම, නැත්නම් යථාර්තයම පූර්ණය කරගෙන යනවා නම්, සීල විසුද්ධියෙන් කෙරෙන්නෙත් ඒකමයි. ත්‍රිවිධ සුචරිතය පූර්ණය කරනවා කිවුවත්, සතර සතිපට්ඨානය පූර්ණය කරනවා කිවුවත්, ආර්ය අෂ්ඨාංගික මාර්ගය පූර්ණය කරනවා කිවුවත්, සප්ත බොජ්ඣංග ධර්ම පූර්ණය කරනවා කිවුවත්, මේ කොයි එකෙන් පෙන්නුවත්, සත් තිස් බෝධි පාක්ෂික ධර්ම තුළින් නිවන් මඟයි පෙන්වන්නේ.
එහෙනම්, මේකෙදි අපි හොඳින්ම තේරුම් අරගන්ට ඕනෑ, “සප්ත විසුද්ධි” ක්‍රමයත් එක්තරා ක්‍රමයක්. ඔය කියන සත් තිස් බෝධි පාක්ෂික ධර්මය වඩන ක්‍රමයක් තමයි, සප්ත විසුද්ධි මාර්ගයෙන් ගෙනියන ක්‍රමය. දැන් ඔය ක්‍රමයම තමයි, අනික් ක්‍රම වලින් කිවුවත්, ඔය හැම ක්‍රමයකින් ම විග්‍රහ කරනකොට, සප්ත විසුද්ධි ක්‍රමය විග්‍රක කරපු එක, ඔන්නම් ත්‍රිවිධ සුචරිත ක්‍රමයෙන් විග්‍රහ කරන්නත් පුළුවන්. ඒකම සතර සතිපට්ඨානය වශයෙන් විග්‍රහ කරන්නත් පුළුවන්. ඒ වාගෙම, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣංග ආදී, ආර්ය අෂ්ඨාංගික මාර්ගය ආදී වශයෙන් විග්‍රහ කරන්නත් පුළුවන්. මේ කොයි අතින් විග්‍රහ කරගෙන ගියත්, විග්‍රහය යන්නේ ඔය රටාවටයි. එකක් විග්‍රහ කරගත්තහම, ඒ සෑම දෙයක්ම, සෑම ක්‍රමයකම කර්මස්ථානයක් වඩනකොට, සත් තිස් බෝධි පාක්ෂික ධර්ම තුළින් තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය පූර්ණය වෙන්නේ, නැත්නම් සප්ත බොජ්ඣංග පූර්ණය වෙන්නේ, ආදී වශයෙන් කොහොම කිවුවත් පූර්ණය වෙන්නේ ඒ සත් තිස් බෝධි පාක්ෂික ධර්ම තුළින්.
විග්‍රහ කරගන්නකොට අපිට පේනවා, එකින් එකට ඒ බෝධි පාක්ෂික ධර්මයන්ට හෝ, ආර්ය අෂ්ඨාංගික මාර්ගයට හෝ, සතර සතිපට්ඨානයට හෝ අඩංගු වෙන හැටි විග්‍රහ කරගන්න පුළුවන්. එතකොටයි තේරෙන්නේ, මොන විදිහෙන් හරි සාසනික මාර්ගයක් අනුගමනය කළා නම්, එක්කෝ ත්‍රිවිධ සුචරිතය පූර්ණය කරන මාර්ගය. ඒ අනුව නම් ඒක විග්‍රහ කළ හැකියි. සතර සතිපට්ඨානය පූර්ණය කරන මාර්ගය වශයෙන් ඕන්නම් එහෙම විග්‍රහ කළ හැකියි. ආර්ය අෂ්ඨාංගික මාර්ගය පූර්ණය වෙන ආකාරයෙන් ඕන්නම් එහෙම විග්‍රහ කළ හැකියි. බොජ්ඣංග භාවනා වශයෙන් ඕන්නම් එහෙම විග්‍රහ කළ හැකියි. කොයි ක්‍රමයෙන් කළත් කරන්නේ, ඔය සත් තිස් බෝධි පාක්ෂික ධර්ම තුළින් නිවන් මඟ වැඩෙන හැටි. ඔය ටික තේරුම් ගන්න ඕනේ.
{02:47} : අනුශය බිඳී සීල විශුද්ධියට පත්වීම සිල් වතක් සමාදන් වී කළ හැකිද?
එහෙනම්, මෙන්න මේ තුළින් අපි දැනගන්ට ඕනෑ “සීල විසුද්ධිය” තෝරා ගන්ට. දැන් අපි සමාදාන වෙන එකක් තියෙනවා නම්, සමාදාන වෙන්නේ “වතක්”. වත විශුද්ධිය නෙමෙයි. දැන් අද වෙනකොට, බොහෝ කොටම පටලවාගෙන තියෙන දෙයක්. දැන්, පංච සීල වත, අශ්ඨාංග සීල වත, නවාංග උපෝසථ වත, ගිහි දස සීල වත, සාමණේර දස සීල වත, උපසම්පදා දස සීල වත කිවුවත්, ඒවාගෙම අපි ආජීව අෂ්ඨමක සීලය කියලා කිවුවත්, ඔය කොයි ආකාරයෙන් කිවුවත්, ගිහි – පැවිදි දෙපාර්ශවයටම යම්කිසි වතක් පූර්ණය කරනවා නම්, “යං සමාදානං තං වතං” කියන එකට ඒක වැටෙනවා. යම් සමාදානයක් ඇත්ද, ඒක වතකි. “සංවරට්ඨේන සීලං” – සංවරත්වයෙහි පිහිටීමක් ඇත්ද, ඒ සීලයකි. දැන් මේක හොඳට තේරුම් ගන්ට ඕනෑ.
සංවරත්වයෙහි පිහිටීමක් නැත්නම් සීලයක් පහලවෙන්නේ නෑ. සංවරත්වයෙහි පිහිටීමෙන් මයි සීලයක් පහල වෙන්නේ. දැං සංවරත්වයෙහි කොහොමද පිහිටන්නේ? වතෙන් මොකද්ද කරන්නේ? මේ කියන කාරණා අපි එකින් එක විග්‍රහ කරලා දැනගන්න ඕනේ. වතකින් කරනවා, සීලයට ආධාරයක් දෙනවා. වත නැති අයත් සීලය පූර්ණය කරගෙන තියෙනවා, බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ. එක වතක් වත් සමාදන් වුනේ නෑ. නමුත්, බණ අහලා අවසාන වෙනකොට සෝතාපන්න වෙලා.
සෝතාපන්න කෙනාට, “අඛණ්ඩ, අචිද්‍ර, අසබල, අකල්මාස” කියන කැඩෙන්නේ නැති, සිදුරු වෙන්නේ නැති, ඒ වාගෙම දුබල වෙන්නේ නැති, කහට බැඳෙන්නේ නැති සීල ගුණයක් ලැබෙනවා. හැබැයි “වත” කියන එක එහෙම නෙමෙයි, කැඩෙනවා. ඒකට හේතු අපි බලන්න ඕනේ. නොකැඩෙන්නේ ඇයි? නොකැඩෙන්නත් හේතුවක් තියෙනවා. මොකද, මේ ධර්මය හේතු-ඵල වාදයක්. ඇයි කැඩෙන්නේ නැත්තේ? ඇයි බිඳෙන්නේ නැත්තේ? ඇයි සිදුරු වෙන්නේ නැත්තේ? ඇයි කහට බැඳෙන්නේ නැත්තේ? ඒකට හේතුව මොකද්ද? ඒකත් අපි දකින්න ඕනේ.
දැන් අපි සමාදන් වෙලා ඉන්න දෙයක් තියෙනවා නම්, සමාදන් වෙලා ඉන්න දේ තුළින් අපිට යම්කිසි ආකාරයකින් හොඳට හෝදිසියෙන් ඉන්නකන් ඒ සමාදානය කැඩෙන්නේ නැතුව බේරාගත්තහැකි. මෙහෙම හිතන්නකෝ, අපි නිකන් පොඩි උදාහරණයක් අරන්, මේවා ඉස්සෙල්ලා මූලික උදාහරණ වලින් තෝරාගෙන ඉන්න ඕනේ.
යම් කෙනෙක් ගේ යම් හේතුවකින් අත කපනවා. මොනවා හරි අසනීපයක් නිසා ඒ අත කපනවා. අපි අත කපන්න ඉස්සෙල්ලා එයාට කියනවා, “අහවල් ජාතිය බැරි වෙලාවත් අල්ලන්න එපා!” කියලා. “මේ මේ වගේ ජාති අල්ලන්න එපා!” දැන් අපිට, ඔහොම අපිට කවුරුහරි කියනවා. “මොන මොනවද අල්ලන්න එපා?” ඉතින් අපි මොනවා හරි ජාති ටිකක් කියනවා. “කොහේ ගියත්, කොහේදි දැක්කත්, මෙන්න මේ මේ ජාති අල්ලන්න එපා!” අර අත තියෙන තාක්කල්, අත් දෙක තියෙන තාක්කල් ඒ මනුස්සයා හොඳ හෝදිසියකින් ඉන්න ඕනෑ, ඕනකමකුත් තියෙනවා නම්, පුරුද්දට හරි අහුවෙනවා නම්, ඇල්ලෙනවා නම්, එයා හොඳ හෝදිසියකින් ඉන්න ඕනෑ, ඒ කිවුව ජාති මතක තියාගෙන ඉන්න ඕනෑ, අල්ලන්නෙ නැතුව බේරිලා ඉන්න. එයාටත් අල්ලන්නේ නැතුව ඉන්න පුළුවන්.
යම් හේතුවකින් මිනිහෙක්ගෙ අත කපනවා. අත් දෙක කපන්න සිද්ධ වුනා. දැන් අත් දෙක නෑ! දැන් එයාටත් කියන්න ඕනැද “අහවල් ජාති එහෙම බැරිවෙලාවත් අල්ලන්න එපා!” කියලා? අවසිහියෙන් හිටියොත් එහෙම අහුවෙයි ද, අත් දෙක නැති කෙනාට? කෙනෙක්ගේ අත් දෙක කපලා දැම්මා නම්, එයා අවසිහියෙන් හිටියත්, සිහියෙන් හිටියත්, “අල්ලන්න එපා!” කියන වචනේ කියන්නවත් ඕනැද එයාට? ඕනකමක් නෑ, මොකෝ අත් දෙක නැත්නම් මොනවා අල්ලන්නද? හොඳයි, අත් දෙක නැති බව එයා දන්නෙ නැතුව ඉන්නවා. ඒත් අහුවෙයිද? අත් දෙක නැති බව සිහි කර කර ඉන්නවා, ඒත් අහුවෙයිද? කොහොම වත් අහුවෙන්න ක්‍රමයක් නෑ.
හැබැයි, අත් දෙක තියෙන තාක්කල් එයාට හොඳ පරිස්සමක් තියාගෙන ඉන්න ඕනෑ. “හැම වෙලේම මනා සිහියෙන් ඉන්න, හොඳ සිහියෙන් ඉඳලා මෙන්න මේ වැරදි වැඩ ටික හිතෙන්, කයින්, වචනයෙන් කරන්න එපා!”. එහෙනම්, එයාට ඒක, හිත, කය, වචනය උපකරණයක් වෙලා තියෙනවා නම් යම්කිසි වැරදි වැඩකට, ඒ උපකරණයක් වෙලා තියෙනකන් එයාට සිද්ධ වෙනවා පරෙස්සම් කරගන්න. වත පරෙස්සම් කරගන්න සිද්ධ වෙනවා. වතක හික්මිලා ඉඳලා, ඒ තුළින් එයාට සිද්ධ වෙනවා අර වැරදි පැත්ත, දුශ්චරිත පැත්ත නොකර ඉන්න.
හොඳයි, හිත තුළ ඒක වැද්දගැනීමට මූලධර්මයක් තියෙනවා නම්, හේතුවක් තියෙනවා නම්, යම් ක්‍රමයකින් ඒ හේතුව බිඳ දැම්මා නම්, දැන් ඉතින් එයාට වතකින් වැඩක් තියෙනවද? එයාට වතකින් කරන්න දෙයක් නෑ. දුශ්චරිතයට හේතු කාරක වන්නාවූ මානසිකත්වයක් යම් කෙනෙක් ගේ නැතිවුනා නම්, ඊට පස්සේ එයාට දුශ්චරිතයන් ගෙන් වෙන් වෙන්න වතක් පනවන්න ඕනැද? පැනෙවුවත්, නැතත්, එයාගෙන් ඒක සිද්ධ වෙන්න විදිහක් නෑ. මොකද හේතුව? එයාගේ මානසිකත්වය තුළ ඒ දුශ්චරිතය හටගන්න තිබිච්ච හේතුව නෑ.
එහෙනම්, ආර්ය අෂ්ඨාංගික මාර්ගය, නැත්නම් මේ ආර්ය මාර්ගය කියන්නේ, ඔන්න ඔය දුශ්චරිත හටගැනීමට තියෙන හේතුව බිඳ හරින ක්‍රමයක්. වත කියන්නේ, ඒ හේතුව බිඳින්නේ නැතුව, ඒක පැත්තකින් තියලා, හොඳට සිහි බුද්ධියෙන් පරිස්සම් වෙවී, නොකර ඉන්න ක්‍රමයක්. දුශ්චරිත නොකර ඉන්නවා. කෙරෙන්න එන්න ඉඩ තියෙනවා, මොකද හේතුව තියෙන නිසා. එහෙනම්, හැමවෙලේම මනා සිහියකින් ඉඳලා, “ඒ මොනවා ආවත් මං ප්‍රාණඝාත කරන්නේ නෑ, මං හොර-මැර, වංචා කරන්නේ නෑ, මං සුරා-සූදු, දුරාචාර කරන්නේ නෑ, මං බොරු කියන්නේ නෑ, මං කේලාම් කියන්නේ නෑ, මං ඵරුෂ වචන කියන්නේ නෑ, මං ප්‍රලාප කියන්නේ නෑ, මං හොඳ සමාදාන වෙච්ච වතක ඉඳලයි මේ ටික කරගෙන ඉන්නේ” කියලා එයාට ඒක කරන්න වෙනවා.
එහෙනම්, ඒ මානසිකත්වය සුද්ධ වුනා නම් යම් දවසක, හරි ආකාර ක්‍රමයක් තුළින්, එයාට “මං ප්‍රාණඝාත කරන්නේ නෑ, මං හොර-මැර වංචා කරන්නේ නෑ…” කියලා සමාදන් වෙන්න තියෙනවද එකක්, ඉතුරු වෙලා? සමාදන් වුනත් එකයි, නැතත් එකයි, එයාගෙන් කෙරෙන්න හේතු නෑ. මොකද, හිතේ හටගන්න තිබිච්ච, කහට හටගන්න තිබිච්ච මුල කැපිලා. මෙන්න මේකට කියනවා “අනුශය බිඳිනවා” කියලා, හිත තුළ මතුවෙලා නෑ.
ඒකට හේතු කාරකයක් ආපුහාම මතුවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසාම, හේතුකාරකයක් ආපු තැන, මතුවෙන්න ඉඩ තියෙන නිසාම මතුවෙන්න පුළුවන්. අන්න එයාට වතත් ආරක්ෂා කරගෙන බොහෝම සිහියෙන් ඉන්න සිද්ධ වෙනවා ඒ කාලය තුළ. යම් දවසක “අනුශය” කියන එක, අභ්‍යන්තරයෙන් ඒ අරමුණු ආවත්, මතුවෙන්න තිබිච්චි හේතුව නැත්නම්, රාගය නැමැති හේතුව හටගන්න තිබිච්ච රාග මූලය නැත්නම්, ද්වේෂයට හේතු කාරකය නැත්නම්, මෝහයට හේතු කාරකය නැත්නම්, රාගය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා, යම්කිසි දුශ්චරිතයක් හෝ යම් පාපයක් සිද්ධ වෙන්න තිබුණා නම්, දැන් එයාගෙන් සිද්ධ වෙන්න කොහොමවත් ක්‍රමයක් නෑ. මොකද, “අනුශය” බින්ද හින්දා. අන්න, “අනුශය” බිඳිනවා කියන යමක් ඇත්ද, ආර්ය මාර්ගයෙන් සිද්ධ කරගන්නේ ඔන්න ඕකයි.
මේකේ වාසනාව තියෙන්නේ බෞද්ධ කියන පිරිසටයි. එහෙනම්, මේ බුදු දහම අහලා, හරි ආකාරව තේරුම් අරගෙන, ඒ සඳහා තිබෙන ඖෂධයක් තිබෙනවද, ඒ අනුශය බිඳෙන ඖෂධයක්, අන්න ඒ ඖෂධය අරගෙන නිරෝගී වෙච්ච පුද්ගලයට ඔය කියන වාසනාව හම්බවෙනවා. ඔයිට පිටස්තර කිසිම සාසන කියන මාර්ගයක ඔය “අනුශය බිඳින ඖෂධය” නෑ. ඒ අනුශය බිඳින ඖෂධය නැති නිසාම කොයි තරම් වත පුරාගෙන හිටියත් එයා වතේ ඉන්නවා මිසක්, වතේ ඉඳලා හුරු-පුරුදු කරගත්ත ගති ලක්ෂණයක් පහල කරගන්නවා මිසක්, අර අනුශය බිඳිනවා කියන එක සිද්ධ වෙන්නේ නැති නිසා කොයි මොහොතක හරි, කවදා හරි, ආයි සැරයක් අපි මතක් කරගෙන තිබිච්ච ආවර්ජනය අමතක වෙච්ච වෙලාවක, මොහොතක හරි අරක කෙරෙන්න පුළුවන්.
{10:11} : පද පරම වීම – පද පරමයාට නිවන් නැත
එහෙනම්, මෙන්න මේ වාසනාව තියෙන්නේ ආර්යයන්ට. ආර්යයෝ කියලා කියන්නේ ඔය ලෝභයට, ද්වේෂයට, මෝහයට හේතු කාරක වන මූලධර්මය හිතෙන් බිඳිලා ගිය අය. මාත්‍රයක් හරි බිඳුනා නම්, එතැන් පටන් ආර්ය මාර්ගයට අවතීර්ණ වුනා. එතැන පටන්ගෙන ඒ මාත්‍රයෙන් මාත්‍රය බිඳලා, බිඳලා කෙළවර කරපු දාට අරිහත් වෙනවා. උන්වහන්සේගෙන් සියළු පවු වලට තිබිච්ච අනුශය බිඳුනා. එහෙනම් ලෝභක්ෂයයි, ද්වේෂක්ෂයයි, මෝහක්ෂයයි, සම්පූර්ණයි!
දැන් ලෝභක්ෂය කරන්න, ද්වේෂක්ෂය කරන්න, මෝහක්ෂය කරන්න මේ ආර්ය විනය තුළ මාර්ගයක් තියෙනවා මිසක්, කිසිම විදිහකින් ඔප්පු කරන්න බෑ මෙයින් බැහැර තැනක, ආර්ය විනයෙන් බැහැරව රාගක්ෂය වෙන්න, ද්වේෂක්ෂය වෙන්න, මෝහක්ෂය වෙන්න තව මඟක් තියෙනවා කියලා මොනම තර්කයකින් වත් ඔප්පු කරන්න ක්‍රමයක් නෑ. කියන්න පුළුවන්, “අපේ එකෙත් තියෙනවා, අපේ එකෙත් තියෙනවා” කියලා කියන්න පුළුවන්, හැබැයි ඔප්පු කරන්න බෑ. අවංකවම ඔප්පු කරලා පෙන්නන්න බෑ. එහෙනම්, ඒ සඳහා අවංකව ඔප්පු කරලා පෙන්විය හැකි හේතු-ඵල න්‍යායක් තියෙන එකම ධර්මය, බුද්ධ ධර්මය! මේක ඔප්පු කරන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැතුව.
එහෙනම්, මේ සඳහා තියෙන හේතු-ඵල න්‍යාය, නැත්තම් නියම ධර්ම රටාව දුන්නේ බුදුරජාණන් වහන්සේයි. අන්න ඒක තමයි “දහම් ඖෂධය” කියන්නේ. ඒක බොහෝම අතළොස්සයි. අපිට අද වෙලා තියෙන්නේ, ඒ අතළොස්ස පැත්තකින් තියලා අපි හුඟාක් වැල්වටාරම් පස්සේ යනවා. හුඟාක් බාහිර ධර්මයන් පස්සේ යනවා. මුළු ත්‍රිපිටකය කටපාඩම් කරන්න ලෑස්ති වෙනවා, පිරිත්, සූත්‍ර කටපාඩම් කරන්න ලෑස්ති වෙනවා. ඕවා ඔක්කෝම කටපාඩම් කරගත්ත අය හිටියානේ, ත්‍රිපිටකධාරී භික්ෂූන් වහන්සේලා කියලා, ඉස්සරත්. හැබැයි, පෘතග්ජන කියන තත්වය ඉක්මවපු නැති ත්‍රිපිටකධාරී භික්ෂූන් වහන්සේලා හිටපු බව ධර්මයේ හොඳට පැහැදිලියිව සඳහන් වෙනවා.
එහෙනම්, ත්‍රිපිටකයම කටපාඩම් කරගෙන, අර්ථවත්ව දැනගත්තත්, පෘතග්ජන භාවය ඉක්ම ගිහිල්ලා නැති අය ඉඳලා තියෙන බව ඔප්පු කරලා තියෙනවා, පෙන්නලා තියෙනවා. එහෙනම්, කටපාඩම් කරගන්න එක, මතක් කරලා තියාගන්න එක, අර්ථ වටහාගෙන තේරුම් අරගෙන පමණක් හිඳීම, මේ කියන රාගක්ෂයට, ද්වේෂක්ෂයට, මෝහක්ෂයට අවශ්‍යට වන දහම් ඖෂධය එතන තිබිලා නෑ. තිබිලා තියෙනවා, පරිහරණය කරලා නෑ.
අපි බෙහෙත් ගෙන්නලා, බෙහෙත් ලියපු පොතක් අරගෙන, පොත කටපාඩම් කරගෙන, ඔක්කොම කරගෙන තියෙනවා, බෙහෙත් හදන හැටිත් දන්නවා, කියන හැටිත් දන්නවා, කරන හැටිත් දන්නවා, පොවන හැටිත් දන්නවා, ඔක්කොම පොතෙන් ඉගෙනගත්තා. හැබැයි, මොහොතක් වත් අපි බෙහෙත හදලා පාවිච්චි කිරීමේ කාර්යයට බැස්සේ නැත්නම්, අපේ ලෙඩේ මාත්‍රයක් වත් හොඳවෙන්න විදිහක් නෑ, පොත කොච්චර කටපාඩම් කරගෙන තිබුණත්, බෙහෙත් පොත. මෙන්න මෙහෙම දෙයක් තමයි මේ ත්‍රිපිටකය කටපාඩම් කරගන්න ගියත්, ත්‍රිපිටකයේ අර්ථ ඔක්කෝම දැනගෙන හිටියත්, ඒ පුද්ගලයා නියම දහම් මාර්ගය තුළ මොහොතකින් හරි එතෙන්ට ආවෙ නැත්නම්, ඒ ක්‍රමය තුළින්, ඔහුට බෙහෙත් පෙවිලා නෑ, ඔහුට බෙහෙත් හැදිලා නෑ.
මෙන්න මෙයාට කියනවා “පද පරමයි” – පදය පරම කරගෙන ජීවත් වෙනවා. ඒක තමයි වටිනාම දේ. ඉතින් එයා අහන්නේ “කොයි පොතේද තියෙන්නේ? කොතනද තියෙන්නේ? මොන සූත්‍රයේද ඕක කියලා තියෙන්නේ? අපි පිළිගන්නේ නෑ නැත්නම්”. මෙන්න ගන්නවා නිගමනයකට. එහෙනම්, එයාට පරම වෙලා තියෙන්නේ මොළය නෙමෙයි, බුද්ධිය නෙමෙයි, පදය. අන්න, පදය පරම කරගත්ත එක්කෙනාට කියනවා, “පද පරමයා!” පද පරමයාට නිවන් නෑ. ඉතින් ඕක අපි හොඳට දැනගන්න ඕනේ එකක්. පද නරකයි කියනවා නෙමෙයි, හැබැයි මොන පදය හරි බුද්ධි ගෝචරව තේරුම් අරගෙන, ඒකෙන් නිවන් මඟ එළිදක්වන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක හොඳ දේශකත්වයක්, ඒක හරි වැදගත්. දේශකයන් වහන්සේලා ත්‍රිපිටක ධර්මය හදාරන්න ඕනේ. හදාරලා බුද්ධි ගෝචර කරගන්න ඕනේ. ඒ බුද්ධි ගෝචර කරගෙන දේශනා කරපුහාම විශාල වාසනාවක් ලැබෙනවා.
{13:29} : පෝඨිල හිමියන් ගෙන් ඉගෙන ගනිමු
අපවාද කරනවා නෙමෙයි. අර පෝඨිල හාමුදුරුවෝ ත්‍රිපිටකධාරී වෙලා, කකුසඳ, කෝණාගම, කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේලාගේ කාලෙම ධර්ම දේශනා කර කර ඇවිදිල්ලා, මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ධර්ම දේශනා කර කර ඉඳලා, එයා උද්දාමයට පත්වෙලා, ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියා හිටියා. “ස්වාමීනි, මෙච්චර කාලෙක ඉඳලා මම ධර්මය දේශනා කරමින් එන්නේ” ඉතින් යන්න ඇරලා, බුදුරජාණන් වහන්සේ “තුච්ඡ පෝඨිල යනවද?” කියලා ඇහුවා. “තුච්ඡ පෝඨිල” කියලා කථා කළා. මොකද කිවුවේ? “තමා තමාගේ වැඩේ කරගන්නේ නැතුව අනුන්ට බණ කිය කියා ඉන්නවා, උඹ උඹේ වැඩේ කරගත්තේ නෑ නේ! මේ සැරේ වත් ඕකෙන් අහක් වෙලා තමන්ගේ වැඩේ කරගන්න බලපං” කියලා අවවාදයක් කළා.
දැන් මේක හරි වැදගත්, අපිට. දැන් මෙන්න මේ වෙලාවෙදි ඒ පෝඨිල හාමුදුරුවන්ට එක සිද්ධියක් වුනා. දැන් තමන් ත්‍රිපිටකධාරී, හැබැයි තමන් තමන්ගේ වැඩේ කරගන්න කල්පණා කරනකොට, තමන්ගේ ත්‍රිපිටකධාරීත්වය තමන්ට මදි වෙලා. එහෙනම්, අනුන්ගේ ආධාරයක් අවශ්‍යය නෑ සෝතාපන්න ඵලයට පත්වෙච්චි තැන් පටන්. නමුත්, එතෙන්ට පත්වෙලා නොහිටපු නිසා අනුන්ගේ ආධාරයක් ඕනෑ වෙන තැන එයාට අවශ්‍යයි. එහෙනම්, කොච්චර ත්‍රිපිටකධාරී වෙලා හිටියත් එයාට සිද්ධ වුනා, කොච්චර ධර්ම දේශනා කරමින් හිටියත් එයාට සිද්ධ වුනා ආචාර්ය වරයෙක් හමුවෙලා, ආචාර්ය වරයෙක්ගේ උපදෙස් පරිදි මාර්ගය වඩාගෙන යන්න පළමු උපදෙස ගන්න.
මාර්ගය ලැබිලා තිබුණා නම් එයාට එච්චර කල් පහුවෙන්න දෙයක් නෑ. අඩු තරමෙන් සෝතාපන්න වත් වෙලා තියෙන්න එපැයි. අන්න ඒ නිසා තමයි එයාට සිද්ධවුනේ ගුරුවරයෙක් හොයාගෙන කර්මස්ථානයක් ගන්න. මේ වෙලාවෙදි ගුරුවරයෙක් හොයලා කර්මස්ථානයක් ගන්න බලාපොරොත්තුවෙන් මෙයා නොයෙක් නොයෙක් කර්මස්ථානාචාර්යවරු ලඟට ගියා, නමුත් මෙයාගෙන් බණ අහලා, මෙයා ධර්මාසනයේ තියලා පැත්තක ඉඳලා බණ අහපු අය තමයි මේ දැන් කර්මස්ථානාචාර්යවරු. ඒගොල්ලෝ කියනවා, “අපි කොහොමද ඔබවහන්සේට කර්මස්ථාන දෙන්නේ ? අපි ඔබවහන්සේට ගරු කරලා, ධර්මධරයන් වහන්සේ නමක් හැටියට ගරු කරලා, බණ අහලා තියෙන කෙනෙක්. ඔබවහන්සේ ඒ තැනට සම්මත කරලා තියෙන කෙනෙක්. ඉතින් ඔබවහන්සේ අපි ලඟ දනගස්සවන්න අපි කැමති නෑ. අනේ ස්වාමීන්වහන්ස, කොහේහරි ගිහිල්ලා කමක් නෑ ගිහිල්ලා, වෙන කෙනෙක් හොයාගන්න. අපිට නම් ඔබවහන්සේට කර්මස්ථාන දෙන්න විදිහක් නෑ” කියලා ඔය විදිහට ප්‍රතික්ෂේප කළා.
අන්තිමට, බොහෝම දුර පලාතක ගිහිල්ලා, ආරංචියක් තියෙනවා හොඳ කර්මස්ථානාචාර්යවරයෙක් ඉන්නවා කියලා, බලනකොට පුංචි හාමුදුරු නමක්. අවුරුදු 7-8ක වැනි බොහෝම ලාබාල වශයෙන් හාමුදුරු නමක් හම්බ වුනේ. හැබැයි මාන්නක්කාර කමක් තිබුණේ නෑ. එයාට ඕනකම තිබුණේ කොහොමහරි නිවන් දකින්න. ඒ නිසා කැමති වුනා, උන්වහන්සේ ලඟ ගෞරවයෙන් ඉඳලා ඒ කර්මස්ථානය ගන්න.
ඉතින්, උන්වහන්සේ ප්‍රකාශ කළේ මොකද? “මම කියන විදිහට අකුරක් නෑර පිළිපදින්න පුළුවන් නම්, ඔබට කර්මස්ථාන දෙන්න මං බාරගන්නවා. හිතුවක්කාර නම් බාරගන්නේ නෑ. ඔබ හිතුමතේ, ඔබේ දැනීමෙන්, ඔබේ හිතුමතේ ඒවා කරන්න ගියොත් මං කියන එක පැත්තකින් තියලා, ඔබවහන්සේ කැමති දිහාවකට යන්න. මගෙන් කර්මස්ථානයක් අවශ්‍යය නම්, මම කියන විදිහට ඒ කටයුත්ත කරන්න පුළුවන් නම් මං බාරගන්නම්!”
ඉතින් දන්නවා, බොරු කෙනෙක් නෙමෙයි, ඒ අනුව අහලා, මාර්ගය වඩලා, ප්‍රතිඵල ලැබූ අය ඉන්නවා. මාර්ගය හොඳට තේරෙන්න දක්ෂ කර්මස්ථානාචාර්යවරයෙක් බව පැහැදිලියි. “මැරෙන්න කිවුවත්, මම මැරෙනවා! කියන එක කරනවා!” මේ අධිෂ්ඨානය අරගෙන ඉඳලා කිවුවා, “ඔබවහන්සේ කියන යමක් ඇත්නම්, ඒ සියල්ලට මං අවනතයි. මං ඒක පිළිගන්නවා, මට කර්මස්ථාන දෙන්න”
ඒපාර කියනවා, “එහෙනම් හොඳට ඇදගන්නකෝ, සිවුර එහෙම හොඳට ඇඳගෙන පොරවාගන්නකෝ…” පොරවාගත්තා. ලොකු මඩ වලක් පෙන්නලා කිවුවා, “අන්න අර මඩ වලේ පස්ස බලන්නේ නැතුව මං කියනකං යන්න. යන්න, ඉස්සරහට යන්න” දැන් ඒ කර්මස්ථානයේ, මොකද්ද මේ කරන්න හදන්නේ කියලා වත් ඇහුවේ නෑ. “මේක කර්මස්ථානයක් ද මේ? මේක මාරකයක් නේ” එහෙම වත් කතාකරන්න ගියේ නෑ. “වෙන එකක් වෙච්චාවේ, මං කිවුව එක කරනවා” කියලා මඩ වලේ ගියා.
දන මට්ටමක් ගියා, පස්ස බලන්නේ නෑ ඉතින්, කෙලින්ම යනවා. ආපහු ප්‍රතිඥාවක් හම්බවෙන්නේ නෑ. ආපහු එන්න කියලා කියන්නේ නෑ. යන්න කිවුවා මිසක්, ඉතින් එන්න කිවුවේ නැති හින්දා ගියා, දිගටම. ඉණ මට්ටමක් ගියා, තවත් යනවා. පපු මට්ටමක් ගියා, තවත් යනවා. “වෙන එකක් වෙච්චාවේ, මැරෙනකම් හරි යනවා!” කර මට්ටමක් ගියා, බොහොම අමාරුවෙන්. දැන් කරවටක් මඩේ එරිලා. තව තියෙන්නේ නාහෙට යන්න විතරයි, ගියොත් මැරෙනවා. “මැරුනොත් මැරිච්චාවේ, මං කියනකම් යනවා” කියලා යනකොට, අන්න උන්වහන්සේ කියනවා ඇහුණා, “හා.. දැන් නවතින්න, හැරෙන්ඩ ආපහු!” හැරුණා, “දැන් ගොඩට එන්න!” ගොඩට ආවා.
{17:42} : පෝඨිල හිමි ගේ කර්මස්ථානයේ නිවන් දකින දහම් අරුත
ඔන්න, මම ඒකයි කිවුවේ දැන් අපි ත්‍රිපිටකය බලන්න ගිහිල්ලා බැලුවොත් එහෙම, ඕකේ සිද්ධිය නෑ, නිරුක්තිය නෑ, ත්‍රිපිටකයේ. ඉතින් ඊට පස්සේ, මඩ හෝදා ගත්තට පස්සේ භාවනාවක් දුන්නා කියලා තියෙනවා, ඒකෙන් රහත් වුනා කියලා තියෙනවා. දැන් ඉතින් අපි දන්නේ නෑ, මොකද්ද ඒ කළේ? මේ ආර්ය විනය තුළ කවදාවත් හරයක් නැති දෙයක් කර්මස්ථානාචාර්යවරයෙක් දෙන්නේ නෑ. ධර්මය හරි නම්, මාර්ගය හරි නම්, වැඩක් නැති දෙයක් දෙන්නේ නෑ. හැබැයි, මේක විග්‍රහ කරලා දෙන්න ඕනෙත් නෑ.
දැන් අපි ඇහුවොත් එහෙම “ඔය රෙද්ද ඇඳගෙන එන්නකෝ” කිවුවොත් එහෙම, කාටහරි කියනවා. ඉතින් ඊට පස්සේ, අපි පස්සෙ කාලෙක අහනවා, “මෙහෙම කිවුවා” කියලා තිබුණොත්, “ඒ රෙද්ද ඇඳගන්න කිවුවේ කොහෙද කියලා තිබුණේ නෑ නේ” කිවුවොත් එහෙම ඉතින් ඒකත් අපිට කියලාදෙන්න ඕනේද? රෙද්ද ඉනේ ඇඳගන්නවා මිසක් වෙන කොහේ ඇඳගන්නද? ඉතින් ඇඟට ඇඳගන්නවා මිසක්, වෙන මොනවටවත් අන්දලා එන්න යෑ! ඉතින්, ඒක කියාදෙන්න ඕනේ නෑ.
අන්න ඒ වගේ, මේ දහම් දැනුවත්ව ඉන්න කාලය තුළ මේ නිරුක්ති වැටහෙන කාලයක් තිබුණා. ඔය අවස්ථාව පහු කාලෙක නැතිවෙලා ගියා. ඊටපස්සෙ කියන්න සිද්ධවෙනවා “රෙද්ද ඉනේ ම ඇඳගන්න” කියලා කියන්න වෙනවා. අන්න ඒවගේ අවස්ථාවක් අදත් මතුවෙලා තියෙනවා. මේ නිරුක්ති මතුවෙලා තියෙන්න ඕනෙ කාලෙදි මතුවෙලා නෑ. දැන් “මඩ වලේ කරවටක් ගිහිල්ලා ආපහු එන්න” කිවුවහම, මේකේ නිරුක්තිය මොකද්ද? මේකෙන් පෙන්නපු දහම් අදහසක් එහෙම තිබුණද? ඕක පොතේ නැති නිසා අද විග්‍රහ කරන්න බෑ. පොතේ ඕක වෙනම විග්‍රහ කරලා නැතුවට, අපි එකක් දකිනවා. මේ “මඩ වලක්” උපමා කරලා තියෙන්නේ “කාමයට”.
කරවටක් “කාම මඩේ” එරිලා මේ ලෝක සත්වයෝ ජීවත් වෙන්නේ. මෙන්න මේක තමයි මේ උපමාව. කාම මඩේ කරවටක් එරිලයි මේ ලෝක සත්වයෝ පංච කාමයේ රසාස්වාදයේ බැඳි බැඳි ඉන්නේ. දැන් පංච කාමයේ රසාස්වාදයේ බැඳි බැඳි ඉන්න සාමාන්‍ය මනුස්සයෙක් තමයි බණ කියලා, සුද්ධ කරලා, ගොඩට ගන්න තියෙන්නේ. සුද්ධවන්තයින් ගේ ගොඩට ගන්න දෙයක් නෑ නේ. අසුද්ධ කෙනෙක් සුද්ධ කරනවා මිසක්, සුද්ධ වෙච්චි කෙනෙක්ගෙ සුද්ධ කරන්න දෙයක් නෑ.
එහෙමනම් අපිට අරිහතුන් වහන්සේගේ සුද්ධ කරන්න දේකුත් නෑ. පර ප්‍රත්‍ය රහිත වෙච්ච, අනුන්ගේ ආධාරයක් ඇතුව මාර්ගය දැනගත්ත කෙනාටත් අමුතුවෙන් මාර්ගය කියලාදෙන්න දෙයක් නෑ. එයිටත් මෙහා ඉන්නවානම් යම් කෙනෙක්, පෘතග්ජන භාවෙන් ඉක්මයන බලාපොරොත්තුවෙන්, ආර්ය මාර්ගයට පත්වෙන බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, ඔය මූලික අවස්ථාවේ ඉන්නේ කරවටක් “කාම මඩේ” එරිලා.
ලස්සන රූපයක් දැක්කහම බලන්නැතුව ඉන්න බෑ, බලන්න ආසයි. හොඳ මිහිරි සද්දයක් ආපුහම ඒක අහන්ඩ ආසයි. ඒකේ කාමාස්වාද විඳින්න ආසයි. සුවඳක් දැක්කහම නිකං ඉන්ඩ බෑ, අරන් ඉඹලා බලන්න ආසයි. රසයක් දැක්කහම ඉන්ඩ බෑ, පහසක් මතක් වුනහම පහස විඳින්න හිතෙනවා. ඒකේ ආසාවෙන් බැඳිලා. මෙන්න මේ තත්වෙට පත්වෙලා ඉන්නවා නම්, එයාට කියනවා “කරවටක් කාම මඩේ එරිලා ඉන්න පුද්ගලයා”
දැන් අපි එහෙනම් ඉස්සෙල්ලාම සුද්ධ වෙන්න තියෙන්නේ ඔතන ඉඳලා. එහෙනම්, මේක තමයි මේ කරවටක් යන්න ඉඩ ඇරියේ. ඉඩ ඇරලා, මෙයාගෙ (පෝඨිල ස්වාමීන් වහන්සේගේ) අඩුපාඩුවක් පෙන්වලා දුන්නා. “දැන් ආපහු එන්න” දැන් එයා ආපහු ආවා. ආපහු ආවෙ කොහොමද? කරවටක් මඩේ එරිලා ඉන්න පුද්ගලයගෙ කකුල් දෙක දියේ තියෙන්නේ අඩියයි, දෙකයි. උඩට එනවා පියවර තියනකොට. හැබැයි, මඩේ ගිහින් තියෙනවා දැන් බඹ ගාණක් ඈතට. දැන් මෙයාට පුළුවන්ද කකුල දික්කරලා, මඩ නැති එකපාර ගොඩ අඩිය තියන්න? එහෙම පාදයක් අයිතිද මේ මනුස්සයට? නැත්තම් මේ හාමුදුරුවනට? නෑ! මේ අඩියයි, දෙකයි අන්තිමට ඈත්කරලා තියන්න පුළුවන්, කකුල් දෙකේ දුර ප්‍රමාණය. මඩේ ඉන්නකොට එච්චර තියාගන්නත් බෑ. නිදහස් පොළවේ අඩි දෙකක් එකපාර උස්සලා කකුල තියලා ඉස්සරහට ගියත්, කරවටක් මඩේ එරිලා ඉන්න පුද්ගලයට කොහොම ගොඩට එන්නද, එහෙම අඩිය තියන්න බලයක් වත් නෑ, පුළුවන් කමක් නෑ. හැබැයි බොහෝම උත්සාහ කරලා, වීර්යය කරලා, අඩි බාගයක් විතර කකුල ඉස්සරහට අරගෙන තියලා, අනික් කකුල බොහොම අමාරුවෙන් ඉස්සරහට අරන් තියලා, එහෙමයි මුළදි එන්න ඕනේ.
එහෙනම්, අඩිය තියන්නෙ කොහෙද? අර කරවටක් මඩේ එරිලා ඉන්න පුද්ගලයගෙ ඉන්න තැන මඩගොඩේ ඉඳලා, ගොඩ පැත්තට තියන මඩේ, මඩ පැත්තට තියන මඩේ ගියොත් තව ගැඹුරට ගිහිල්ලා මැරෙනවා හිරවෙලා, ගිලෙනවා. ගොඩ පැත්තට තියෙන මඩේ, අඩි කාලෙන්, බාගෙන්, ටික ටික අඩිය තියලා, බොහොම උත්සාහයෙන් ඉස්සරහට ඉස්සරහට එන්න ඕනේ. හැබැයි පොඩ්ඩක් හරි ඉස්සරහට ආවොත්, ගොඩ පැත්තට තියන මඩට අඩිය තිබ්බොත්, පොඩ්ඩක් හරි ගොඩ එනවා මිසක්, මඩට යන්නෙ නෑ. හැබැයි, අඩිය තිබ්බෙ මඩටමයි! එයා මොකද කරන්නේ? එකින් එකට ආවා. ටිකෙන් ටික ගොඩට ආවා, ඔය විදිහට.
දැන් ඉතින් ඉතුරු විස්තරේ මෙයාට තේරුම්ගන්න නුවණක් තියෙනවා. මේ දන්නැති පොඩි දේකින් වැහිලා හිටියේ. එහෙනම්, මෙයා බණ කියන්නෙ කොහොමද? කෙලින්ම අරිහත්වයට පත්වෙන්න බණ කියනවා. මෙන්න මෙච්චරකල් කරලා තිබිච්ච එක. සාමාන්‍ය මිනිහෙක් බණ අහන්න ගියාම අරිහත්වයට පත්වෙන බණ තමයි ඉස්සෙල්ලාම කියන්නේ. කොහොමද ගොඩ එන්නේ? “ඕවා ඔක්කෝම අතාරින්න! සියල්ලම අතාරින්න ඕනේ. එතකන් බෑ මේ මාර්ගය වඩන්න…”
දැන් ඔය ජාතියෙ බණ අදත් කියනවනේ! බණක් අහන්න ගිහාම, සම්පූර්ණ සුද්ධ වෙච්ච පුද්ගලයෙක් කරන්න, සෝවාන් වෙන්න පෙන්නන්න. විග්‍රහ කරනකොට පෙන්නන්න යන්නෙ, “අන්තිමටම සුද්ධ වෙච්ච පුද්ගලයෙක්ගෙ ලක්ෂණයට පත්වෙච්ච කෙනෙක් තමයි සෝවාන් වෙන්නේ”. දැන් ඕවගේ තත්වෙට පෙන්නලා බණ කියන සිරිතක් අදත් තියෙනවා. අර පෝඨිල හාමුදුරුවන්ගෙ ධර්ම දේශනා කරපු ක්‍රමය.
එහෙනම්, “ගොඩ පැත්තට තියෙන මඩ” කිවුවේ දැඩි කාමයන් ගෙන් ලිහිල් කාමයට ටිකෙන් ටික අඩුකරගන්න ඕනේ. එකපාරට අඩුකරන්න බෑ. මහා කාමයකට බැහැලා හිටපු පුද්ගලයට එකපාර ඒකෙන් ගොඩ එන්න බෑ. එහෙනම්, පුද්ගලයා “ක්‍රම-ක්‍රමයෙන්” ගොඩ එන්න ඕනේ.
ඉස්සෙල්ලම දැනගන්න ඕනේ කාමයෝ ආදීනව සහිත බව. කාමයෝ බල්ලන්ට අහුවෙච්ච මස් කටු වාගෙ. උකුස්සන්ට අහුවෙච්ච මස් කැටි වාගෙ. ඇටසැකිළි වාගෙ, හරයක් නැති ඒවා. ගිණි ගොඩක් වාගෙ. ඉතින් මේ මේ ආකාරයෙන් කාමයන් නිසා තිබෙන ආදීනව ඉස්සෙල්ලා අහලා තේරුම් ගත්ත කෙනෙකුටයි ඕනකම ලැබෙන්නේ “අනේ, මටත් ඒ ගිණිගොඩක් වැනි කාමයන් නිසා රාග, ද්වේෂ, මෝහ කියන ඒවයින් දැවෙන්න සිද්ධවෙනවා. ඒ නිසා අසහනකාරීත්වයක් ඇතිවෙනවා. සසර ගමනෙ පාපයන් කරගන්න සිද්ධවෙනවා. ඒවයෙ විපාක ගෙවන්න ගියොත් සතර අපාගත වෙලා අප්‍රමාණ කාලයක් දුක් විඳින්න සිද්ධ වෙනවා. සසරේ අනාථ වෙන්න සිද්ධ වෙනවා. කවදා ගොඩ එන්නද? කවදා නිදහස් වෙන්නද?”
මෙන්න මේ කියන අදහස ඉස්සෙල්ලා ආපුහාම, ඒ පුද්ගලයට ඕනෑකමක් ඇතිවෙනවා, “මට මේ රාග සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත ගිණි ගෙනදෙන ලෝකෙ වැඩපිළිවෙලින් අහක් වෙන්න ලැබුණා නම්, කොච්චර සාන්තද? කොච්චර ප්‍රණීතද? මං කොච්චර අනාථ භාවයෙන් නිදහස් වෙනවද? ඒ ටික කරගත්ත දවසක් මට ලැබුණොත්, එදාට නේද මගෙ සැනසීම හම්බවෙන්නේ!” කියලා මෙන්න මේ මූලික අදහස හිතට එන්න ඕනේ. මේ නිසා, කාමයන්ගෙ ආදීනව පිළිබඳව විස්තර කරලා අහනකොට, ඔය අදහස එනවා.
හැබැයි, කරවටක් බැහැලා ඉන්න තත්වයේ හිටපු කෙනාට ඔය අදහස කොච්චර ආවත් මෙච්චර කල් ඇසුරු කරපු රූප රාගයෙන්, සද්ද රාගයෙන්, ගන්ධ රාගයෙන්, රස රාගයෙන්, ඵොට්ටබ්බ රාගයෙන් මිදෙන්න බෑ. පංච කාමයෙන් මිදෙන්න බෑ. හැබැයි ක්‍රම ක්‍රමයෙන් එයා මත් වෙන පැත්ත අත් හැරගන්නවා. පංච කාමය ඇසුරු කළත්, පංච කාමයෙන් මත්වෙන්නේ නෑ. මත් වුන පුද්ගලයට ධර්මය පේන්නේ නෑ. එයාට විශාල ප්‍රමාදයක් වෙනවා. එයාට ඒක අත් හැරලා යන්න බෑ. එහෙනම් මොකද වෙන්නේ? එයා “මජ්ජ” වෙලා, මත්වෙනවා. “පමාද” කියලා ප්‍රමාද වෙනවා, “ඨාන” කියලා අල්ලාගන්නවා. එහෙනම් “මජ්ජ පමාද ඨාන” කියන එකට වැටිලා ඉන්නවා.
එහෙනම් මොකටද වැටිලා ඉන්නේ? මොනවයින්ද මත්වුනේ? “සුරාවෙන්” සහ “මේරයෙන්” මත්වෙලා. දැන් “සුරාව” මොකද්ද? “මේරය” මොකද්ද? දැන් මොකද, මෙන්න මේවා තමයි නිරුක්තිය දකින්නේ නැතුව අපි ලෝකයේ අර බණ පොත් වලින් පෙන්වලා තිබෙන ආකාරයෙන් “සුරාව” යි “මේරය” යි විග්‍රහ කරන්න ගිහාම ඇල්කොහොල් වලට සීමා කරගන්නවා. රා, අරක්කු ආදී වන්නාවූ දේවල් වල තියෙන මත්වෙන ඒවට සීමා කරගන්නවා. ඉතින් කියනවා, “පිට්ඨ සුරා, ඕදන සුරා, ඵුස්ස සුරා, පල්ලව සුරා…” ඔය මේ ආදී වශයෙන් සුරා 5ක් වෙන් කරනවා කියලා, ඕකට “මේරා” කියනවා කියලා, “සුරා යම් තැනකද, මේරා එතන” කියලා ඉතින් ඔය වගේ කියනවා, ලෞකික අර්ථ කියනවා. එයිට වඩා හරී ගැඹුරු අර්ථයක් මේ තියෙන්නේ ශික්ෂා පදයේ.
{25:44} : සුරාමේරය සිල් පදයේ ලෝකෝත්තර අරුත තුළින් සසර ගිණි දකිමු
“සුරා” කියලා කියන්නේ මොනවද? “සරාගික” බව. සුරා කියන්නේ සරාගය. “මේරා” කියන්නේ “මිහිරියාව”. සරාගයෙන් මිහිරියාව ලබන නිසා, පංච කාම අත්හරින්න බෑ. රූප කාමයෝ සරාගිකයි, හරි මිහිරියාවක් තියෙනවා. ශබ්ද කාමයෝ සරාගිකයි, හරි මිහිරි ආස්වාදයක් තියෙනවා. ගන්ධ කාමයෝ සරාගිකයි, හරි මිහිරි ආස්වාදයක් තියෙනවා. රස කාමයෝ සරාගිකයි, ඒකේ මිහිරි ආස්වාදයක් තියෙනවා. ඵොට්ටබ්බ කාමයෝ සරාගිකයි, ඒකේ මිහිරි ආස්වාදයක් තියෙනවා. මෙන්න මේනිසා කවදාවත් රූප කාම, සද්ද කාම, ගන්ධ කාම, රස කාම, ඵොට්ටබ්බ කාම කියන මේ පංච කාමයෝ සරාගික නිසා, මිහිරියාවෙන් යුක්ත නිසා, ඔන්න ඔය පංච කාමයන්ට කියනවා “සුරා මේරය”
ඔන්න ඔය “සුරා මේරය” තියෙන තාක්කල් මේ පෘතග්ජන ලෝක සත්වයා ඕකේ මත්වෙනවා. මත්වුනාට පස්සේ ලෝකෙ අතාරින්න බෑ, ප්‍රමාද වෙනවා. එයාට මේ ලෝකෙට වඩා වැඩි දෙයක් නෑ, ලෝකෝත්තරත්වයට හිත හිටින්නෙ නෑ, බයයි. ලෝකේ ඇසුරු කරන එකේම “ඨාන” කියලා අල්ලාගන්නවා.
එහෙනම්, ලෝක සත්වයා, මේ සසර ගමනේ සැරිසරන පෘතග්ජනයා පංච කාමය නැමැති සුරාවෙන්, මිහිරියාවට පත්වෙලා, ඒ පංච කාමයෙන් මත්වෙලා, පංච කාමයේ ප්‍රමාද වෙමින්, පංච කාමයම අල්ලාගෙන ජීවත් වීමට කියනවා, “සුරා මේරය මජ්ජ පමාද ඨාන”
පස් වැනි සික්ඛා පදයකින් අපිට විග්‍රහ කරලා තියෙන ගැඹුරු දහම් අර්ථය, වැහිච්ච දහම් අර්ථය ඕකයි. මෙන්න මේක තමයි “සාසනික” දහම් අර්ථය. ලෞකික දහම් අර්ථය මොකද්ද, මත් වෙන, ප්‍රමාද වෙන දේවල්, නැත්තම් මත්පැන් වලින් මත්වෙන්න, ප්‍රමාද වෙන්න යන්නේ නෑ. “මත්වෙන, ප්‍රමාද වෙන මත්පැන් වලින් වළකිමු” කියන සීමා කරගත්ත ලෞකික අර්ථයට ඔය අර්ථය සීමා වෙනවා.
එහෙනම්, අපිට දැන් මේ කරගන්න තියෙන වැදගත්ම හරියක් තමයි, පංචකාමය නැමැති සුරාවෙන්, මේරයෙන්, මත්වෙලා, ප්‍රමාද වෙලා, මේ පංච කාම ලෝකේ අල්ලාගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම්, මෙන්න මේකෙන් ඉක්මෙන්න අපි මොකද්ද කරන්න ඕනේ? මේකේ ඉන්නකන් රාග සහගතයි, ද්වේෂ සහගතයි, මෝහ සහගතයි. බය වෙනවා, තැති ගන්නවා, පලා යනවා, නොයේක් ආකාර වෙහෙස විඳින්න සිද්ධ වෙනවා, අසහනකාරී වෙනවා, මානසිකත්වය, කායිකත්වය හැම වෙලේම අසහනකාරීත්වයට ගෝචර වෙනවා, ශාන්ත බවක්, ප්‍රණීත බවක් දැකගන්න පුළුවන් කමන් නෑ ඕකේ ඉන්නකන්.
එහෙනම්, මූලිකම බණ අහපුහාම අපිට ලැබෙන ප්‍රතිඵලය දකින්න ඕනේ. මේ තුළ ඉන්නකන් මේ දාහය එනවා. ඔය පංච කාමයෙන් වෙන්වෙලා ගියා නම් ඔය දාහයෙන් මිදෙනවා. පංච කාමයත් සමඟ දාහයෙන් මිදිච්ච තැනක් හොයන්න බෑ. පංච කාමයත් එක්ක ගිණි හම්බවෙනවා. පංච කාමයෙන් බැහැර වෙලා ගියාට පස්සේ නිවන හම්බ වෙනවා. අන්න, නිවන දැනගන්න ඉස්සෙල්ලාම ක්‍රමය. ගිණි කොහෙද තියෙන්නේ, නිවන කොහෙද තියෙන්නේ කියලා ඉස්සෙල්ලා දැකලා ඉන්න ඕනේ. මේක තමයි කියන්නේ, කර්මස්ථාන වඩන්න ඉස්සෙල්ලා කුලප්පු වෙන්නේ නැතුව, කළබල වෙන්නෙ නැතුව, පසුතලය දැනගන්න කියලා.
ගිණි කොහෙද තියෙන්නේ, නිවීම කොහෙද තියෙන්නේ? ඔය දෙක දැකලා තියෙන්න ඕනේ. පංච කාමත් එක්ක ගිණි තියෙනවා. ඊට පස්සේ, පංච කාමයන්ට පත්වෙන පුද්ගලයා පංච කාමයෙන් මත්වෙනකොට, ප්‍රමාද වෙනකොට, අල්ලගන්නකොට, පංච කාම භුක්තියට අවශ්‍යය කරන්නාවූ වස්තු කාමයක් ඇසුරු කරනවා. පංච කාම “ක්ලේෂ කාමය” ට වැටෙනවා. ක්ලේෂ කාමය නිසා පුද්ගලයා “වස්තු කාමයට” වැටෙනවා, පංච කාමයට අවශ්‍යය කරන දේවල්, උපකරණ රැස්කරන්න ගිහිල්ලා.
ලස්සනට මුලාවෙච්ච පුද්ගලයා ලස්සන නිසා මල්ගස් හිටවනවා, හැඩ වැඩ කරනවා, සුන්දර ලෝකයක් මවාගන්නවා, නොයේක් ආකාරයෙන් වස්තු කාමය රැස්කරනවා. ඒ වගෙම මන වඩන්නාවූ ශබ්ද කාමයට කැමති කෙනා, ඒ සංගීත භාණ්ඩ, ඒකට අවශ්‍යය කරන්නාවූ දේවල් ඔක්කොම වස්තු කාම වශයෙන් රැස් කරගන්නවා. ගන්ධ කාමයට ඕනෑ කෙනා සෙන්ට් වර්ග, පවුඩර් වර්ග, හොඳ හොඳ සුවඳ ගහන දේවල්, ක්‍රීම් වර්ග, ඔක්කොම අරගෙන, ඒවා වස්තු කාම වශයෙන් රැස්කරනවා. රස කාමයෙන් මත්වෙච්ච කෙනා, රසය දෙන්නේ මොන ජාතියේ ආහාරද, ඒවා රැස්කරලා තියාගන්නවා, හොඳ හොඳ රසවත් ආහාර, වස්තු කාම. පහසට, පංච ස්ඵර්ශ කාමයට කැමැත්තේ යම් දෙයක්ද, ඇඳ – පුටු, කොට්ට – මෙට්ට, යාන – වාහන ආදියේ පටන්ගෙන, සුව දෙන, කායික සුඛය දෙන ඒවත්, ස්ත්‍රී නම් පුරුෂයෝ, පුරුෂයෝ නම් ස්ත්‍රී, ඔය ආදී වශයෙන් ස්ත්‍රී – පුරුෂ වශයෙන් සම්බන්ධයත්, මේ සියළුම දේවල් වස්තුකාම වශයෙන් රැස්කරගන්නවා.
වස්තුකාමය අත්හැරගන්න බෑ ක්ලේෂ කාමයේ මත්වෙලා ඉන්නකන්. ඒ නිසා ඒ ගින්නට තවත් පිදුරු දාගත්තා වාගෙ. ඇවිලෙන ගින්නට පිදුරු දානවා වාගෙ, වස්තුකාමයන්ට අවශ්‍යය දේවල් රැස්කරන්න ගිහිල්ලා, කාම වස්තු රැස්කරන්න ගිහිල්ලා, එයා මහා ගින්නක් දල්වගෙන, මහා දාහයට පත්වෙලා දැවෙන්න පටන් ගන්නවා. මෙන්න ගිණි වැඩිවෙන්න හේතුව.
එහෙනම්, අපි ක්‍රම ක්‍රමයෙන් දැනගන්න ඕනේ, ගිණි අඩු කරන්නේ මොනවයින්ද? කවදාහරි යමක් නිසා ගිණි හටගන්නවා නම්, ඒ දේ අපි ලඟ ඇසුරේ නැත්නම්, ඒ හේතුවෙන් හටගන්න ගින්න නිමුනා. අන්න නිවන් දකින හැටි! ඉස්සෙල්ලා ගිණි දකින්න ඕනේ. නමුත්, ලෝක සත්වයා ගින්නක් නෙමෙයි ඕවයේ දකින්නේ, සිසිලක්! කවදාවත් ලස්සන දෙයක් ගිණි කියලා දකින්නේ නෑ.
මන වඩන යම්කිසි වස්තුකාමයක් ගෙන දෙන, ලස්සන රූපයක් තිබුණොත්, “මගේ වාසනාව! සසර පිං කරලා තිබිච්චි නිසයි මට මේක හම්බවුනේ. මං කොච්චර වාසනාවන්තයෙක් ද” කිය කිය සන්තෝස වෙනවා මිසක්, “අනේ, මට ගිණි ගොඩක් අහුවුනා” කියලා ඒකේ දැවෙනවද? ඒකේ දැවෙන්නේ නෑ. හොඳට, හොඳ මිහිරි නාදයක් තමන්ට සතුකරගැනීමට අවශ්‍යය කරන බඩු භාණ්ඩයක්, ඒකට අවශ්‍යය කරන්නාවූ සංගීත භාණ්ඩයක්, මොනවා හරි කමක් නෑ, ඒකට අවශ්‍යය කරන විශේෂ රූපවාහිනී යන්ත්‍රයක්, කැසට් රේඩියෝ යන්ත්‍රයක් වුනත් කමක් නෑ, සංගීතය හොඳට දෙනවා නම්, බොල් හඬ නැත්නම්, හරි මිහිරි නම්, හරි සන්තෝසෙන් බදාගෙන ගෙනත් තියාගන්නවා, වස්තු කාමයෝ. ශබ්ද කාමයට අවශ්‍යය වන්නාවූ වස්තුව රැස්කළා. හැබැයි, එයා සන්තෝස වෙනවා මිසක්, “මට කොච්චර වාසනාවක්ද, මගෙ පෙර පිනක්ද, මට මේවා හම්බවෙනවා…” උද්දාම වෙවී සතුටු වෙනවා මිසක්, එයා දකිනවද, මේ වස්තු කාම වස්තු, කාම වස්තු ගිණි කියලා? එයා දකින්නේ නෑ.
ඒ වාගෙම මිහිරි සුවඳ දෙන සෙන්ට් එකක්, පවුඩර් එකක්, අවශ්‍යය කරන සුවඳ මලක්, මොනවා හරි කමක් නෑ, හම්බ වුනා නම් “මගේ හරි වාසනාවක්, මං පිං කරලා තියෙනවා, සංසාරෙත් පිං කරලා ඇති මේවා ලැබෙන්න. නැත්නම් අපිට මේවා ලැබෙනවද? අපි කොච්චර වාසනාවන්තයොද…” මෙහෙම කිය කිය සතුටු වෙනවා මිසක්, එයා කවදාවත් දැකලා නෑ “මට සුවඳ දෙන ගිණි ගොඩක් හම්බවෙලා තියෙනවා” කියලා. එයා ඒකේ ගින්නක් දැකලා නෑ.
ඒ වාගෙම හොඳ රසවත් දේවල්, “මගේ වාසනාවට සසරත් දන් දීලා, දීපු වාසනාව තමයි මේ හම්බවෙන්නේ…” කියලා බොහෝම උද්දාමයෙන්, රසවත් දේවල් වැඩිය හම්බවෙනවා නම්, “මං – භව බෝග සම්පත් තියෙනවා මට, හිතූ පැතූ සම්පත් තියෙනවා, රස ආහාර තියෙනවා” කියලා සන්තෝසයෙන් ඒවා අරගෙන සතුටු වෙනවා මිසක්, එයා ඒ වස්තුකාමයට අයිති ඒ කාම වස්තු, ගිණි දෙන දේවල් කියලා දැකලා නෑ. “මට ගිණි ගොඩාක් හම්බුණා” කියලා එහෙම, එහෙම හිතන ගතියක් නෑ. එහෙනම් එයා සිසිලක් හැටියට ගන්නවා.
හොඳ ස්ඵර්ශය දෙන, හොඳ පහස දෙන, සුඛාස්වාදය දෙන යම් යම් භාණ්ඩ හම්බවුනා නම්, ස්ත්‍රී – පුරුෂ වශයෙන් හෝ හම්බවුනා නම්, මේ සියල්ලම ඔහු මහා වාසනාවක් පහලවෙච්චි හැටියට හිතනවා මිසක්, එයා පොඩ්ඩක් වත් දැකලා නෑ ඒවායින් ගිණි හටගන්නවා කියලා. ඒවා ගිණි වස්තු බව දැකලා නෑ, ඒවා සිසිල් වස්තු කියලා දකිනවා, ඒවා සුව වස්තු හැටියට දකිනවා මිසක් දුක් වස්තු කියලා දකින්න බෑ.
මෙන්න මේනිසා අනාර්‍යයෙකුට කවදාවත් දුක්ඛ ආර්ය සත්‍යය දකින්න බෑ. එහෙනම් මොනවද දකින්නේ? ජාති දුකයි, ජරා දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි… ආදී වශයෙන් අපේ ලෞකික අර්ථයකින් විග්‍රහ කරලා තියෙන ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරනම්පි දුක්ඛං ආදී වශයෙන් අපි ඕක දැකලා, ඒවා දුකයි කියලා කියනවා.
{33:25} ලෙඩ වීම, මරණය දැකීම දුක්ඛ ආර්ය සත්‍යය නිවැරදිව දැකීමද?
එහෙනම්, “ජරාවට පත්වෙන එක දුකයි, වැහැරෙන එක දුකයි, මරණයට පත්වෙන එක දුකයි” කියලා අපි ඔතනත් කියනවා. හැබැයි අනිත් සැරේ කියනවා, “ආර්යයෝ හැරෙන්න දුක්ඛ ආර්ය සත්‍යය කාටවත් දකින්න බෑ” කියලා. “ඉතින් කියහංකො බලන්න දුක්ඛ ආර්‍යය සත්‍යය, උඹලාගෙ ආර්‍යයෝ දන්න එක” කියලා කිවුවොත් එහෙම අපේ බෞද්ධයෙකුට, අබෞද්ධයෙක් එහෙම… “ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි…” “ඒ කියන්නේ උඹට ජරාව ගෑවුනොත් විතරයි උඹ දුක කියලා දන්නේ? අපේ ජරාව ගෑවුනොත් අපිට දුක වැටහෙන් නෑ කියලද උඹේ හිත?” ඇහුවොත් මොකක් කියන්නද? “දැන් උඹට වැහැරුණොත්, උඹේ කොන්ද කුදු වුනොත්, උඹේ ඇස් පේන්නැති වුනොත්, කන් ඇහෙන්නැති වුනොත් දුකයි කියලා උඹලා දකිනවා කියලා, උඹලා උද්දාම වෙනවා, අපි (බෞද්ධයෝ) විතරයි දුක්ඛ ආර්ය සත්‍යය දකින්නේ, අපි (අබෞද්ධයෝ) දකින්නේ නෑ කියලා… යකෝ, අපේ ඇස් අන්ධ වුනොත් අපිට දුක නැද්ද? අපේ කොන්ද කුදු වුනත් ඇඟ වැහැරුණත් අපිට දුක දැනෙන් නැද්ද? අපිට සැපයි කියලා හිතාගන්නවද උඹලා?” ඇහුවොත් මොනවා කියන්නද ? අපේ තර්කය හරිද එතකොට?
“බෞද්ධයෝ විතරයි දුක්ඛ ආර්ය සත්‍යය දකින්නේ, අබෞද්ධයින්ට, අන්‍යාගමිකයින්ට දුක්ඛ ආර්ය සත්‍යය දකින්න බෑ” කියලා අපි මූල නිගමනයක පිහිටලා ඉතින් “ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි” කියලා දුක විග්‍රහ කරනවා. අර මනුස්සයෙක් බැරිවෙලා හරි ඇහුවොත් එහෙම, “යකෝ වැහැරෙනකොට උඹලා විතරක් යෑ, අපි වැහැරෙනකොට අපි සැපයි කියලා හිතාගෙන ඉන්නවද? අපිට යන්න – එන්න බැරිනම්, නැගිටගන්න බැරිනම්, උඹලට විතරද ඒක දුක කියලා තේරෙන්නේ?” ඇහුවොත් එහෙම, ඕක අපිට තේරෙන් නැති වුනොත් අපි මොනවා කියන්නද? මොන හේතු – ඵලයෙන් ඔප්පු කරන්නද? මොට වෙන්න වෙනවනේ අපිට.
එහෙනම්, අන්න දකින්නේ නැති දෙයක් තියෙනවා අපි අන්න අර ඉස්සෙල්ලා කිවුව ජාතියේ. “පංච කාම සම්පත්තිය සැපයි” කියලා දකිනවා මිසක්, ඒක දුකයි කියලා දකින මාර්ගයක් තියෙනවා ආර්‍යයන්ට. හැබෑයි උඩින් – මත්තෙන් බැලුවට කාටවත් හිතෙන්නේ නෑ කොහොමද පංච කාම සම්පත් දුක වෙන්නේ? එහෙම දකින්න ශක්තියක් ඉස්සෙල්ලා නෑ. අන්න, දහම් අහලා, යථාර්තය වැටහිලා තිබුණා නම්, අන්න එතෙන්දි දැනගන්නවා ඒක දුක වෙන්නෙ කොහොමද? මෙන්න මේක අපි ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. කොච්චර භාවනා කළත් නිවන් දකින්න බෑ මෙන්න මේ මූලධර්මය දැනගන්නකන්.
එහෙනම්, චතුරාර්‍ය සත්‍යය පිළිබඳ දුක්ඛ ආර්ය සත්‍යය පළමු දකින්න ඕනේ. “දුක දකිනවා” කියලා අපි දකින්න් අද ලෝක සම්මතයේ “කවුරුත් දකින දුක.” ඔය ලෝක සම්මතයේ කවුරුත් දකින දුක දැකලා නිවන් දකිනවා නම් එහෙම, ලොවුතුරා බුදුවරු පහල වෙන්න ඕනේ නෑ නිවන් දකින්න. මොකද, බුදුරජාණන් වහන්සේ ම දේශනා කරනවා, “දුක්ඛ ආර්ය සත්‍යය යම් කෙනෙක් දැක්කා නම්, ඔහු දුක්ඛ සමුදය ආර්‍ය සත්‍යයත් දකී, දුක්ඛ නිරෝධ ආර්‍ය සත්‍යයත් දකී, දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදා ආර්‍ය සත්‍යයත් දකී.” දැන් දුක්ඛ ආර්ය සත්‍යය දැක්කා නම් හොඳටම ඇති, අනිත් තුනත් දකිනවා. ධර්මයේ හොඳට පැහැදිලිව පෙන්වලා තියෙනවා.
එහෙමනම්, අර මහළු වෙන එක, වයසට යන එක, ලෙඩ හැදෙන එක, නැගිටගන්න බැරිවෙන එක දුකයි කියන එක නම් ඔය දුක්ඛ ආර්‍ය් සත්‍යය කියන්නේ, අබුද්ධෝත්පාද කාලයෙත් ඕක දැකගත්තා නම් එයා නිවන් දකින්න එපැයි, පොඩ්ඩක් හරි. ඒක දුකයි කියලා දැක්කා නම්, එයාටත් දුකට හේතුව වැටහිලා තියෙන්න ඕනේ, දුක්ඛ නිරෝධය වැටහිලා තියෙන්න ඕනේ, දුක්ඛ නිරෝධ මාර්ගය වැටහිලා තියෙන්න ඕනේ. එහෙනම් ලොවුතුරා බුදුවරු පහලවෙන්න ඕනේ නෑ, ඒක දුක නම්, ඕක නම් දුක්ඛ ආර්ය සත්‍යය කියන්නේ, ලොවුතුරා බුදුවරු පහලවෙන්න ඕනේ නෑ චතුරාර්‍ය සත්‍යය කියාදෙන්න. මොකද, මේකේ හේතු – ඵල නියමයන් තියෙනවා. “ධර්මයට බහා බලන්න, විනයට බහා බලන්න, සැසඳෙනවා නම් ගන්න…” මෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සතර මහා පිරිසක් පෙන්වලා තියෙන්නේ ඕකයි.
දැන් බහා බලනවා අපි, විනයට බහා බලනවා. දැන් බලනකොට නොවෑ මේ පේන්නේ ලස්සනට, සැසඳෙන්නේ නෑ කියලා. ඉතින්, ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි, ඉතින් ඔහොම කියනවා. දැන් ඉතින් ඔහොම කිය කියා ඉන්න එක්කෙනෙක් ගෙන් අහනවා, දැන් ආච්චි – ආතා කියමුකෝ, දැන් දුවට දරුවෙක් හම්බවෙලා, එක්කෝ පුතාගෙ නෝනට දරුවෙක් හම්බවෙලා. මොකද කියන්නේ? කොහොමද දරුවා? “කිරි සප්පයා, බලන්ඩ බෑ බං ආසාවේ… බෝල ගෙඩිය වාගෙ කොල්ලා! මට දැක්කහම ආසාවේ බෑ..!”
ආයි ජාතිය දුකයි කිවුව එක්කෙනා කියන්න් නැද්ද ඕක? තමන්ගේ ලේලිට හරි, තමන්ගෙ දුවට හරි දරුවෙක් හම්බවෙලා ඉන්නකොට, හොඳ බෝලගෙඩිය වාගෙ කොල්ලෙක්, ලස්සන එකෙක් එහෙම හම්බවෙලා ඉන්නවා කිවුවහම ඇවිදිල්ලා, සන්තෝස වෙලා කියන්නෙ කොහොමද? “අනේ බං, දුක් ගොඩක් හම්බෙලා!” කියනවද ඇවිල්ලා? කියයිද, වැටහෙයිද? ඉතින් ඒකේ දුකක් දැකලා නෑ නේ. එතකොට කොහොමද එයා දකින්නේ? එතකොට දුක දැක්කේ කොහේද? කෝ දුක්ඛ ආර්ය සත්‍යය දැකලා? දැන් ජාතිය සැපයි කියලා පෙනි පෙනී දකිනවා නම්…
අනිත් සැරේ, කෙනෙක් මැරිලා. කොහෙද ගියේ කියලා හොයනකොට, සාත්තර කියන තැනකින් හරි කමක් නෑ, කවුරුහරි එබඳු ශක්තියක් තියෙන එක්කෙනෙක්ගෙන්, ගුප්ත ශක්තියක් තියෙන කෙනෙක්ගෙන් හරි කමක් නෑ, ගිහිල්ලා, අහලා, හොයලා බලනකොට, “අන්න දිව්‍යලෝකේ ඉපදිලා ලු…” දැන් හරි සන්තෝසයි. අපායෙ ගිහින් කිවුවොත් එහෙම, තිරිසන් ලෝකේ කිවුවොත් එහෙම දුකයි. දැන් එයා ජාති දුක දැක්කා නම් ඉතින්, “අනේ අප්පොච්චියේ බලමුකෝ… දිව්‍ය ලෝකේ උපන්නා නේ, ඉවර වෙන්නේ නැතුව…” එහෙම කියනවද? නෑ, සන්තෝස වෙනවා. ප්‍රේතයෙක් වෙලා ඉන්නවද? පිනක් කරලා හරි දිව්‍යලෝකෙට යවන්න බැරිද? පුළුවන් නම් එහෙම, හරි සන්තෝසයි දිව්‍යලෝකේ කියලා.
එහෙනම්, අපි දැන් මෙතන ඔක්කොම ජාති දුකයි කියලා දැකලා තියෙනවද? තිරිසන් ජාති දුකයි කියන්න පුළුවන්. පෙරේතයෙක් වෙලා උපන්නහම, පෙරේත ජාති දුකයි. අපායෙ ගියොත්, අපාගත ජාති දුකයි. එහෙම කියනවා. දෙවියෙක් වුනොත්, බ්‍රහ්මයෙක් වුනොත් එහෙම දුකද කියලා අපි පිළිගන්නවද? එහෙනම්, අපි ඒක පිළිගන්නේ නෑ. දැන් එතකොට මොනවද මේ අපිට පෙන්නලා තියෙන්නෙ? ජාතිය දුකයි කිවුවොත්, අපි කවදා දැන් ඔය තත්වයෙන් ඉක්ම ගිහිල්ලා, ඕක පිළිගන්නද? එහෙනම්, මූල ධර්මයක් වශයෙන් අපි ඔතෙන්ට එන්නේ කොහොමද?
එක්තරා භික්ෂූන් වහන්සේ නමක් ආරණ්‍යයක වැඩ ඉන්නකොට, එක්තරා මනුස්සයෙක් ඇවිදින් අහනවා, “ස්වාමීනි, ඔබවහන්සේලා මේ ආරණ්‍ය වලට වෙලා, මේ කැළෑ වල, හුදකලාව, පාළු දිවියක් ගතකරමින් ඉන්නේ ඇයි? මොනවා දැකලද? මොන සුවයක් දැකලද ඔය ඉන්නේ?”
“මේ ලෝකෙ ඔක්කොම දුකයි නේ, මේ ලෝකෙ දුක නිසා මේකෙන් අහක් වෙන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ, වීර්‍යය කරන්නේ, මේ විදිහට හුදකලා, විවේකී ජීවිතයක් ගතකරමින්.”
“මේ මහණ මහ පුදුම මහණෙක් නේ… පෙනි පෙනී තියෙන සැපටත් දුකයි කියන එකා මොකාද? මේක අමුතු ජාතියේ බණක්” කියලා යන්න ගියා. “මේ ඔක්කෝම දුකයි කියනවා, මේ පෙනි පෙනී සැප තියෙනවා. සැප පෙනි පෙනී තියෙද්දී, මේක දුකයි කියලා කියන මේ මෝඩයා කවුද?” කියලා යන්න ගියා.
දැන් බුදුරජාණන් වහන්සේට මේ කාරණය ආරංචි වුනා. ආරංචි වෙලා, “ඒ භික්ෂුවට එන්න කියන්න” කිවුවා. “මහණ, ඒ මනුස්සයා ප්‍රශ්නයක් අහනකොට ඔබ කොහොමද විසඳුවේ?” “ස්වාමීනි, මේ ලෝකෙම දුකයි කියලා මම කිවුවා” “ඒ මනුස්සයා මොකද කිවුවේ?” “පෙනි පෙනී තියෙන සැප, පෙනි පෙනී තියෙද්දී, මේ ලෝකෙ දුකයි කියන මෝඩයා කවුද..? කියලා යන්න ගියා” ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා, “ඇයි මෝඩයෝ එහෙම කිවුවේ? කවුද උඹට එහෙම බණක් කියලා තියෙන්නේ? මම දේශනා කරලා තියෙනවද මේ ලෝකෙ ඔක්කොම දුකයි කියලා? කවුද එහෙම බණක් කිවුවේ?”
“මහණ, මේ ලෝකේ ප්‍රිය ස්වභාවයක්, මධුර ස්වභාවයක් නැත්තම් ලෝක සත්වයා මෙහි සැරිසරනවද? ඇලෙනවද? ප්‍රිය ස්වභාවයක් ඇති නිසාම, මධුර ස්වභාවයක් ඇති නිසාම නේද මේ ලෝක සත්වයා මේකෙ සැරිසරන්නේ? ඇලෙන්නේ? සසර හොඳයි කියන්නේ? නැත්නම් කියනවද? මේකෙ යම්කිසි ආදීනවයක් තිබිලා, මේක හැඟවිච්ච ආදීනවයක් තියෙනවා, මේක එළිබැස්සෙවුවේ නැත්නම් මේ සත්වයා මිදෙනවද?
එහෙනම්, මේ ලෝකයේ ප්‍රිය ස්වභාවයක්, මධුර ස්වභාවයක් මතුවෙලා තියෙනවා, ලෝක සත්වයා ඕකට ඇලෙනවා. ඒක නෑ කියන්න බෑ, ඒක තමයි දුකට හේතුව. දුකට හේතුව දුක නෙමෙයි, දුකට හේතුව ප්‍රියයි, මධුරයි. ඒ ප්‍රිය මධුර දේ ඇසුරු කරන්න ගිහිල්ලා දුකට වැටෙනවා. අන්න ඒකයි හැඟවිච්ච ආදීනවය. හැඟවිච්ච ආදීනවය මතුකරගන්න ඕනේ. එතකොට මතුවෙලා තිබෙන්නාවූ අර මායා සහගත සුඛ ස්වභාවයෙන් අර ආදීනවය ආයි යටපත් කරන්න බෑ…”
උපමාවක් වශයෙන් පෙන්වනවා, මත්පැන් බීමට රිසි වෙච්ච මනුස්සයෙකුට, කැමති මනුස්සයෙකුට, ඒ සිහි කරන සුවඳත්, රසයත්, ඒ මත් ස්වභාවයත් ඇතිකරන මත්පැන් වීදුරුවක් දීලා, හරි සන්තෝසෙන් ඉන්නකොට කියනවා, “කැමති නම් බොන්න, හැබැයි ඕකට වහ දාලා” දැන් මොකද කරන්නේ? ඒ සුවඳත් දැනෙනවා. ඒ රහත් දැනෙනවා. බිවුවහම වෙරි වෙන එකත් හරි, මත් වෙන එකත් හරි, හැබැයි, මරණය හෝ මරණය සමාන දුකකට පත්වෙන්න පුළුවන් මේ වහ ගැණුනහම. ඒකේ තියෙනවා වහ. වහ අහක් කරලා බොන්න විදිහකුත් නෑ. දැන් බොනවද? වහ දාලා තියෙන බව දන්නවා නම්, කොච්චර ප්‍රිය වුනත් අර මත්පැන් ටික බොන්නේ නෑ. මොකද, ආස්වාදය එක ගුණයක් නම්, ආදීනවය දහස් ගුණයක්. එයා දකිනවා කාරණය.
{42:18} ආස්වාදය ආස්වාදය ලෙසම දැකීම බුද්ධ දේශනාවයි
එහෙනම්, “ආස්වාදය ආස්වාදය හැටියට දකින්න. ආදීනවය ආදීනවය හැටියට දකින්න. ආදීනවය, ආදීනවය හැටියට දකින්න. අන්න එදාට නිස්සරණය, නිස්සරණය හැටියට දකී”. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය. “ආස්වාදය නෑ” කියලා අමුතු බණ කියන්න ගිහාමයි මේ ප්‍රශ්න ඇතිවෙන්නේ. දැන් මේ නිසා, අද වෙනකොටත් කියනවා, “බුදු දහම කියන්නේ දුක පෙන්නන ආගමක්” කියලා මේ වගේ හංවඩුවක් ගහන්න යනවා. අන්‍යාගමිකයොත් මේක කියනවා. “බුදු දහම කියන්නේ ලෝකෙට දුක පෙන්නන එකක්” මෙහෙම කියන්න යනවා.
අන්න, බුදු බණ පටහැනි කරලා, බුදු බණ විරුද්ධ කරලා කතා කරන්න ගිය අය කරලා තියෙන අවැඩ! මේකෙන් ලෝකෙට මතුවෙලා තියෙන අදහස. මේ “සියල්ල දුකයි! සියල්ල දුකයි!” කියලා කියන්න පටන්ගෙන තියෙනවා බොහෝකොටම. මෙන්න මේ නිසාම අර පහර කන්න වෙලා තියෙනවා. මේකට උත්තර දෙන්න බැරුව ඇකිලෙන්නත් වෙලා තියෙනවා. ඉතින් කවුරු දේශනා කරපු එකක් ද දේශනා කළේ කියලා බුදුරජාණන් වහන්සේම අහනවා, “කවුද මෝඩයෝ සියල්ල දුකයි කියලා කිවුවේ? සියල්ල දුක නං ලෝක සත්වයා ඇලෙනවද? ප්‍රිය ස්වභාවයක්, මධුර ස්වභාවයක් ලෝකෙ නැත්නම් මේ ලෝක සත්වයා ඇලෙනවද?”
එහෙනම්, බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයා රැවැට්ටුවේ නෑ. ඇත්ත ඇති ආකාරයෙන් පෙන්නුවා. යථාර්තය මතුකරගන්න සත්‍යය පෙන්නුවා. එහෙනම්, පේන්න තියෙන දේ, පේන්න තියෙන ආකාරය හරියට පෙන්නුවා. දැන් මේ ටික අපි දැක්කෙ නැතුව, අපි දුක කොහෙද තියෙන්නෙ කියලා දැක්කෙත් නෑ. “සියල්ල දුකයි” කිවුවහම අපිට හොයාගන්න බැරි පැටලුමකට ගියා. අපි අපේ නුවණ මෙහෙයවලා නෑ දැන්, බුද්ධිය මෙහෙයවලා නෑ. කියන්නං වාලේ කියලා. එතකොට, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට විරුද්ධ දෙයක් කියනවා.
“සබ්බේ සංඛාරා දුක්ඛා ති” කියන මේ වචනය අරගෙන, “ඇයි, කියා තියෙන්නේ ඔය… සියළු සංඛාරයෝ දුකයි කියලා” කියන්නැද්ද? දැන් අහනවා. “මොකද, සියල්ල දුක නෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑ කියන්නේ කොහොමද? සබ්බේ සංඛාරා දුක්ඛා ති කියලා කියලා නැද්ද?” දැන් අහපුහාම මොකද්ද දෙන උත්තරේ? අන්න අපිට වැදගත් දෙයක් තියෙනවා, කෝ නිරුක්ති තෝරලා? කෝ පෙළ දහමේ වාක්‍යයට නිරුක්තිය? සංඛාර තෝරලා කෝ? මොනවද සංඛාර කියන්නේ? තෝරලා නෑ නේ! දැන් මේ ටිකේ මේ පසුතලය දෙන්න වෙනවා, මේ බණ කියන්න ඉස්සෙල්ලා. කර්මස්ථාන දෙන්න ඉස්සෙල්ලා මේවා දීලා ඉන්න වෙනවා, මේ පසුතලය හදන්න වෙනවා.
එහෙනම් අපි කෝ මොනවද හොයන්නේ? කොහෙද, දුක දකින්නේ නැතුව කොහොමද එයින් එහාට යන්නේ? දුක වෙන් කරගන්නේ නැතුව කොහොමද දුකෙන් මිදෙන්නේ? දුකෙන් මිදෙන මඟ දන්නෙ නැතුව මොකද්ද වඩන්නේ? අන්න තේරුම් ගන්න ඕනේ. එහෙනම්, මේ ටික අපි ඉස්සෙල්ලා හොඳට දකින්න ඕනේ. “සංඛාර” කියන්නේ මොනවද? දැං “සංඛාර” කියනකොට, දැන් අද හිතාගෙන ඉන්නේ, “මේ ලෝකේ හැමතැනම තියෙන්නේ සංඛාර” දැන් හිතනවා මේ විදිහට.
මේ ලෝකේ හැමතැනම “සංඛාර” නම්, බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධයක් ලෝකේ කියලා දේශනා කරන්න ඕනැද? “සංඛාරස්කන්ධය” කිවුවා නම් ඉවරයි නේ, ඒකන්සන්ධයෙන් පුළුවන් නේ ලෝකෙ පෙන්නන්න. අන්න, ධර්මයට දාලා බලන හැටි. දැන් බහා හිටින්න ඕනේ හරියට, එහෙනම්. එහෙනම්, පංචස්කන්ධයක් වෙන් කරන්න ඕනේ නෑ, ලෝකෙ කියලා…
~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~
දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://waharaka.com/listen/CD002-05