සංඛාරයට අනුව ජාතිය, ධ්‍යාන – සමාපත්ති, අරි අටඟි මඟ

dhyana, samadhi, ariya atagi maga
01 සංයුක්ත තැටියඅරි අටඟි මඟමූලික දේශනා

ගිහි වතක සිට නිවන් දකින හැටි – 6 කොටස හා සම්බන්ධයි

 

දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)

ගිහි වතේ සිට නිවන් දකින්න තිබෙන හරි මඟ කුමක්ද? - 7 කොටස

 

{00:00} සංඛාරයට අනුව පටිච්චසමුප්පන්නවම හතර අපායට යන හැටි : ඉන්න ඉන්න තැන හෙළුවෙන් ඉන්නවා, තේරුමක් නෑ. කියන්නේ, දුස්චරිත ගති නිසා. “සැළලිහිණියා” කියලා ගිහිල්ලා උපදිනවා! ඉනේ තිබුණ රෙද්ද පවා ඉවත් වෙලා, දන්නේ නෑ. සැලිච්ච හිතකින්, ලෙහුණු හිතකින් ඒ විදිහට ඉන්න එක්කෙනාට කියනවා “සැළලිහිණියා” කියන්නාවූ ජාතියේ උපදිනවා, සංඛාරය ඕකයි. ඔය සිංහල හැම නමකින් ම පෙන්වනවා ජාතියෙන්, සංඛාරයේ හැටි! සංඛාරය යම් සේ ද, අනුකූල ජාතිය ඔය ආකාරයි.

 

අනුන්ට ගිණි දීපු, දාහය දීපු, එබඳු අය අනුන්ට ගිණි දුන්න නිසා ගිණි අපායට ගිහිල්ලා උපදිනවා. “අපා” කියන්නාවූ යම්කිසි පහත් යැයි, “එපා” යැයි කියලා අපි වචනයක් කියනවා නම්, අන්න එතන එකතු වෙච්චි තැන, එපා දේවල් එකතු වෙච්ච තැන, එපා + අය අපාය!” අය කියන්නේ එකතු වෙලා. “අනේ එපා! මට එපා! ගහන්න එපා! බණින්න එපා! ගිණි තියන්න එපා! පුච්චන්න එපා! අනේ එපා! එපා!” කියන ඒවා මයි එතන එකතු වෙලා තියෙන්නේ. ඒවා එකතු වෙච්ච තැන, එපා අයතමයි අපායකියන්නේ. එතන ගිහිල්ලා උපදිනවා එපා කියද්දී ගිණි දීපු අය. “ගහන්න එපා!” කියද්දී ගහනවා, “බණින්න එපා!” කියද්දී බණිනවා, “මරන්න එපා!” කියද්දී මරණවා, අන්න ගිණි දීපු නිසා, ගිණි කන්න ගිහිල්ලා උපදිනවා ගිණි අපායක ගිහිල්ලා. අන්න නිරයට යන අය!

 

එතකොට, තමන්ට කරන්න පුලුවන්කම තියෙද්දී, අනුන් දෙන දේ කාලා-බීලා ඔහේ කාලේ ගෙවන කොටසක් ඉන්නවා. අනුන්ගෙන් කන්න තමන්ගේ නැති බොරු කියනවා, නැති වැරදි – නැති අඩුපාඩුකම් කියනවා. අනුන්ට අත හොවලා ජීවත් වෙන නිසා පර + හේ + අත කියන්නා වූ කොට්ඨාශයක් ඉන්නවා. පර හේ අතකියන එක තමයි ප්‍රේතකියන කොට්ඨාශයට යන්නේ. “පර හේ අත” යෝ ප්‍රේතයෝ! තමන්ට පුලුවන් කම තියෙනවා, රස්තියාදු වෙවී ඉන්නවා, කාලේ කකා ඉන්නවා, දාඩිය – මහන්සියෙන් හරි හම්බ කරලා, අනිකා ගෙනත් දුන්න දෙයක්, කිසිම අසාධාරණයක් ගැන හිතන්නේ නෑ, පුලුවන් තරම් කාලා-බීලා වනසනවා. මෙන්න මේ ජාතියේ ගති-ලක්ෂණ තියෙනවා නම්, ප්‍රේත ගති ලක්ෂණ තියෙනවා, “පර හේ අත” ගති ලක්ෂණය – ප්‍රේත ගති ලක්ෂණය. ප්‍රේත වෙලා උපදිනවා.

 

තමන්ට සූර-වීර විදිහට වැඩ කරන්න පුලුවන්, බලය තියෙනවා, හැකියාව තියෙනවා. ඒ වුනාට කම්මැලි කමට අනුන්ගෙන් වැඩ කරගන්න බලාගෙන ඉන්නවා. ඔහේ බුදිය-බුදියා ඉන්නවා. සූර භාවයෙන් වැඩ ගන්නේ නැතුව අනුන්ගේ දේ අරගෙන කාලා ඉන්නකොට අන්න එයාට කියනවා, සූර භාවයෙන් වෙන් නැතුව ඉන්නකොට අසුරයා වෙලා ඉන්නවා. අසුර නිකායේ ගිහිල්ලා උපදිනවා.

 

ඔන්න නිරය, ප්‍රේත විෂය, තිරිසන් යෝනිය, අසුර නිකාය කියන හතරේ උපදින සංඛාර ගොඩනැඟෙන හැටි! දැන් මේවා ඔක්කෝම අවිද්‍යාව ප්‍රත්‍යය කරගෙන, “මේ ලෝකේ සුන්දරයි” කියලා හිතාගෙන, සුන්දර ලෝකෙක අල්ලාගන, ඇලිලා ගැටිලා මුලා වෙලා, කරපු වැඩ නිසා, ගොඩ-මඩ කියන මේ දෙකේ, නැත්නම් ගොඩ-දිය කියන මේ දෙකේ උපදින ඔන්න ඔය සතර අපා ගත ලෝක සත්ත්වයෝ උපදින ගති ලක්ෂණ ඕවයි.

 

{02:50} තමන්ගේ ගතිය අනුව, උපදින්නේ කුමන අපායේද කියලා තමන්ටම බලන්න පුලුවන් : (ශ්‍රාවක මහතෙක්): එතකොට, අපි දෘෂ්ඨියක් දාගන්නවා. ඒ දෘෂ්ඨියේ ඉඳගෙන ඒ දෘෂ්ඨිය වටේ එල්ල-එල්ලා මහා ගොඩක් ගොඩගහගන්නවා. ඒ ගොඩෙන් තමයි එතෙන්ට යන්නේ? (ස්වාමීන් වහන්සේ): දැන් ඉතින් අපි දන්නවා නම් “මට ඔය කියන්නාවූ අයුතුකම්-අසාධාරණකම් කරන මානසිකත්වයක් මං ලඟ නෑ! මට එච්චර මේවා, ඔය අයුතුකම්-අසාධාරණකම් කරලා රැකගන්න-දරාගන්න වටිනා දෙයක් මේ ලෝකේ නෑ! මේ නිස්සාර ලෝකය තුළ, හරයක් නැති ලෝකය තුළ මං මොනවාට ඔය අයුතුකම්-අසාධාරණකම් කරන්නද?” කියන මේ අදහස ආපු නිසා, යමිකිසි පුද්ගලයෙක්ගෙන් මෙන්න මේ පහත් ගති-සිරිත් ටික නැතිවෙලා ගියා නම්, තමන් දන්නවා තමා තුළ අනුන්ට ගිණි දෙන ගති නෑ නේද? එහෙනම් නිරයට යන්න මට හේතු නෑ!

 

හරස් අතට යන, තිරස් විදිහට වැඩ කරන්නාවූ, පහත් වැඩ කරන ගති ලක්ෂණ මං ලඟ නැත්තම්, තිරස්චානව උපදින්න තියෙන ගති ලක්ෂණ මං ලඟ නෑ! මගේ හැකියාව, පුළුවන්කම තියෙද්දී මං අනුන් කන්න. ගසා කන්න බලා ඉන්නේ නැත්නම්, “පර හේ අත” හෙවත් ප්‍රේත ගති ලක්ෂණ මං ලඟ නෑ! මට බල පුලුවන්කාරකම, මට හැකියාව තියෙද්දී අනුන්ගෙන් වැඩ ගන්න ජාතියේ, වහල් කරගන්න ජාතියේ කෙනෙක් නෙමෙයි නම් මම, අනුන් වහල් කරගන්න කෙනෙක් නෙමෙයි නම්, මට අසුරව උපදින්න හේතු නෑ! එහෙනම්, මං සතර අපායෙන් මේ හේතුවෙන් නිදහස්! කියලා සෝවාන් පුද්ගලයා දැනගන්නවා, “මට උපදින්න හේතු නෑ මෙන්න මේ හේතුවෙන්” පටිච්චසමුප්පන්නව දකිනවා, “මේ හේතුවෙනුයි මේ ඵලය, මේ හේතු නිරෝධ නම් මේ ඵලය නිරෝධයි!”

 

ඔය ධර්මය අද මතු වුනාම, අද මිනිස්සු හොඳට දැනගන්නවා මට උපදින්න තියෙන්නේ කොතනද මං කරන වැඩෙන්?” කාගෙන් වත් අහන්න ඕනේ නෑ මං උපදින්නේ කොතනද කියලා. මොන කොට්ඨාශයේද මං උපදින්නේ කියන එක ඔතනින් බලාගත්තහැකි. ඔන්න ඔච්චරයි තියෙන්නේ! යෝ පටිච්චසමුප්පාදං ඵස්සති සෝ මං ඵස්සති!” ඔන්න දකින හැටි. අන්න ඒකයි කියන්නේ, ඔය ඕක තමයි ප්‍රවෘත්ති චක්‍රය. ඉතින් පටිච්චසමුප්පාද චක්‍රය යන හැටි තියෙනවා. ඕක තමයි මෙලොව ප්‍රවෘත්ති ජාති හට ගන්නා පටිච්චසමුප්පාද චක්‍රය යන හැටි.

 

(ශ්‍රාවක මහතෙක්): හාමුදුරුවනේ මෙහෙම තියෙනවා, එක මනුස්සයෙකුට ප්‍රේතාත්මයක් වැහිලා, හැබැයි අහපුහාම කියපු දේ තමයි මේ එයා දැන් කලින් ආත්මයේ කට්ටිය කොටවන්නේ, ඒ ඒක, ඒ අකුසලයෙන් කිවුවා මෙයා මේ මෙහෙම ආත්මෙකට ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඒක? (ස්වාමීන් වහන්සේ): නෑ ඉතින්, ඒක හරි. දැන් මෙහෙමයි, යම්කිසි කාරණයකට මුල් වෙන ප්‍රධාන කාරණයක් තියෙනවා. අන්න ඒ ප්‍රධාන කාරණය මුල් කරගත්ත අතුරු කාරණය විතරයි ලෝකයාට පේන්නේ. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්, කෙනෙකුට කෙනෙක් කොටවන්න යම්කිසි දෙයක් කරනකොට, දැන් එයා බලාපොරොත්තු වෙන්න පුලුවන් “මං මට සැප සම්පත් ගන්න බලාගෙන හිටියේ අහවල් එවුන්ගෙන්. උන් ඒක කළේ නෑ නේ! ඔවුන්ට හොඳ පාඩමක් උගන්වන්නම්කෝ!” කියලා තමාගේ ප්‍රධාන අදහස දෙවෙනි කරලා, ඒකට වාඩුව ගන්න දෙවෙනි කාරණයක් ඉදිරිපත් කරනවා. මෙන්න මෙහෙම කරගත්තහම ලෝකයාට පේනවා පිටින් පෙන්නපු වාඩුව. ඒකට මූල වෙච්ච හේතුව, ඔහුගේ අභ්‍යන්තරයේ රැඳිලා තිබුණ කාරණය අන්න අර ප්‍රේත වෙන්න හේතු වෙච්ච එකක්. තමා හොඳට ඉඳලා, අනුන්ට, අනුන්ගේ ජීවත් වෙන්න හිතිච්ච හිතක් තිබිච්ච කෙනෙක්, තමන්ට ඒක කරගන්න බැරි වුනහම, ඒකට විරුද්ධ වෙච්චි අයට පලි ගන්න අර වැඩ කරනවා. (ශ්‍රාවක මහතෙක්): කවුරුවත් ඒක කියලා නෑ නේ? එයා තමයි කිවුවේ. නෑ මං කියන්නේ, මේ එයාගෙත් මූල සිද්ධාන්තය කියන්නේ නෑ නේ, දෙවෙනි ක්‍රියාව නේ ඔතන කියන්නේ. ඔවු, එයාට හිතෙන, එයාට දැන් පේන එක කියන්නේ. (ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි, දැන් පේන එක එහෙම වුනාට, මුලදී කරලා තිබිච්ච එක අවිද්‍යාවෙන් වැහිලා. ඒකෙන් පේන්නේ නෑ!

 

ඉතින් අවිද්‍යාව –අවිද්‍යා පච්චයා සංඛාරාකිවුවෙත් ඔන්න ඔතනයි. ඉතින් ඔය විද්‍යාව ඇරිලා, විවෘත්ත වෙලා තිබුණා නම්, අපි දකිනවා ප්‍රේතව උපදින්නේ මෙහෙම කළොත්, මේ ගති ලක්ෂණයට. නිරයේ උපදින්නේ මේ ගති ලක්ෂණයට, අසුර වෙලා උපදින්නේ මේ ගති ලක්ෂණයට, ඒ වගේම තිරිසන් වෙලා උපදින්නේ මේ ගති ලක්ෂණයට. ඒ ඔක්කෝම අපි දකින්න ඕනේ.

 

{06:46} බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට දේශනා කළහැක්ක වෙනුවෙන් කාලය ගත්තේ නෑ : පේත වත්ථු – විමාන වත්ථු, ඕවායෙන් තමයි ලෝකයේ ස්වභාවය ඉස්සෙල්ලාම පෙන්නුවේ. බොහෝ කොටම භාවිත කළේ ඔය පේත වත්ථු – විමාන වත්ථු ආදී වශයෙන්, ඒ සත්ත්ව වෙලා, ප්‍රේත වෙලා හිටපු හේතුවයි, ඒ කයේ ස්වභාවයයි, ඒ තත්ත්වයට පත් වෙච්චි හැටියි, ඔය විදිහට. වකුටු කරන සංඛාරයන් මුල් කරගෙන වකුටු වෙන අත්බැවු ලබාගෙන උපදිනවා කියලා මේ බුද්ධ දේශනාවේ පෙන්වලා තියෙනවා ඕකේ මූලධර්මය. <<ත්‍රිපිටක සූචිය අවශ්‍යයි>> වකුටු සංඛාර, වකුටු වෙලා ඉන්න සංඛාරයන් නිසා වකුටු වෙන අත්බැවු ලබන්න හේතු වෙනවායි කියලා ත්‍රිපිටකය තුළ පෙනවලා තියෙනවා. එහෙනම්, ඒකෙන් පේනවා සංඛාර යම් සේද, ජාතිය ඊට අනුකූලයි. දැන් හුඟ දෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුලුවන් මෙහෙම දෙයක්. ඔය කරන විග්‍රහය බුදු දහමේ කිසි පොතක අපි දැක්කේ නෑ නේ!” කියලා. මෙහෙම කියන්න පුලුවන්. “කාරණය පිලිගන්න හේතු තියෙනවා, නමුත් ත්‍රිපිටකයේ පොතක මෙච්චර කල් අපි දැක්කේ නෑ, කොහේවත්. ඇයි ඒ?” කියලා ප්‍රශ්නයක් එන්න පුලුවන්.

 

දැන් අපි හිතමුකෝ මෙන්න මෙහෙම දෙයක්. යම්කිසි කෙනෙකුට උඩ ඇඳුමක්, යට ඇඳුමක්, කමක් නෑ මොනවා හරි මහලා දෙන යම්කිසි ඇඳුම් මෝස්තර කාරයෙක්, ඇඳුම් මෝස්තරයක් නිපදවලා දෙනවා. දැන් එයා මේක ඉනේ අඳින හැටිත් කියලා දීලා තියෙනවාද? ඒකත් කියලා දෙන්න ඕනෙද? ඒක, අපිට දැනගන්න පුලුවන් දේවල් ඒ විස්තර කරන කෙනා කියන්න ඕනේ නෑ. යම්කිසි කෙනෙකුට, යම්කිසි දෙයක්, අපි හිතමුකෝ යම්කිසි භාණ්ඩයක් දෙනවා. එලවළුවක් හරි කමක් නෑ, පලතුරක් හරි කමක් නෑ, මොනවා හරි ගෙනත් දෙනකොට, “මේක රසවත් කෑමක්, හරි රසයි මේක උයලා බලන්නකෝ” කියලා දෙනවා. ඉතින් එයා, ඒ දෙන එක්කෙනා, ඒ වෙළෙන්දා හරි, ඒ දෙන එක්කෙනා උයන හැටිත් කියලා දෙන්න ඕනේද උයන්න දන්න අයට? ඒ වගේ, ශ්‍රාවකයෙක් වශයෙන් යම් කෙනෙකුට යමක් ගෝචර වෙනවා නම් ශ්‍රාවක නුවණකට, බුදුරජාණන් වහන්සේ ඒවා විස්තර කරන්න ගියේ නෑ. අවශ්‍යය නෑ විස්තර කරන්න. ශ්‍රාවකයෙකුට ගෝචර කරගන්න බැරි යමක් තියෙනවා නම්, අන්න ඒ ටික ගෝචර වෙන මට්ටමට විග්‍රහ කරලා දීම විතරයි බුදුපියාණන් වහන්සේගේ ධර්මයේ සිද්ධ කලේ. ලොවුතුරා බුදුවරයන් වහන්සේ නමක් ලෝකයට පහල වෙන්න ඕනේ අනික් අයට කරන්න බැරි දෙයක් කරලා දෙන්න මිසක්, අනික් අයට කරන්න පුලුවන් ඒවා කර කරා කාලය ගෙවන්න නෙමෙයි. මෙන්න මේ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට යමක් කියන්න පුලුවන් නම්, කරන්න පුලුවන් නම් නුවණකින්, ඒ මට්ටමට මාතෘකාව විතරක් දීලාත් නිහඬ වෙනවා. (ශ්‍රාවක මහතෙක්) : පටිසම්භිලාභී රහතන් වහන්සේලාට ඒ දේ කරන්න පුලුවන්. (ස්වාමීන් වහන්සේ): කරන්න පුලුවන්! එබඳු පිරිසක් හිටපු නිසා ඒ ශ්‍රාවක ගෝචර ඥාණයට ගෝචර බව බුදුරජාණන් වහන්සේ දන්න නිසා, මූලික වශයෙන් අභිධර්මයේත් ඔය අවශ්‍යය කරන මූලික ටික විතරක් සැරියුත් හාමුදුරුවොන්ට පෙන්වලා නතර කරන්න හේතුව කියන්නේත් ඔන්න ඕකයි. මාතෘකා පාලිය දේශනා කළා සැරියුත් හාමුදුරුවන්ට, මාතිකා! ඒ ටික තමයි සැරියුත් හාමුදුරුවෝ විග්‍රහ කරලා දුන්නේ.

 

ඉතින් අහනවා, “බුදුරජාණන් වහන්සේ දීපු දහමක් නෙමෙයි කියන්නේ” මොකද, බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට ගෝචර දහමක් උන්වහන්සේ දේශනා කරන්න කාලය ගෙවුවේ නෑ! හැම වෙලේම ඕවායේ දුන්නා පෙර මූලික අවස්ථාව. මාතෘකාව මුල් කරගෙන, මාතිකා පාලි වශයෙන් දේශනා කළා. (ශ්‍රාවක මහතෙක්): දුටු මාතිකා, තික මාතිකා කියලා? (ස්වාමීන් වහන්සේ) : ඉතින් ඒ වෙලාවෙදී මොකද කරන්නේ? ඒ සුදුසු දේ අරගෙන, සුදුසු පිරිස – නැත්තම් සුදුසු ශ්‍රාවකයන් වහන්සේලා, ඒවා විග්‍රහ කළා. සමහර වෙලාවට, විග්‍රහ කළාට පස්සේ, උන්වහන්සේලා ශ්‍රාවකයන් වහන්සේලා, ශ්‍රාවිකාවන් වහන්සේලා පවා, දැන් ඔය ධම්මදින්නා තෙරණින් වහන්සේ, “සැක නම් එහෙම ගිහිල්ලා මේක භවත් බුදුපියාණන් වහන්සේගෙන් අහන්නකියනවා. බුදුරජාණන් වහන්සේ කියනවා, “මම කිවුවාත් ඔච්චරයි!” එතකොට, “සාරිපුත්ත මහා ප්‍රාඥයි, ධම්මදින්නා මහා ප්‍රාඥයි, කිවුව හැටියට පිළිගන්න! මම කිවුවාත් ඔච්චර තමයි.” <<ත්‍රිපිටක සූචිය අවශ්‍යයි>> මෙන්න මෙහෙම බුදුරජාණන් වහන්සේ අනුමත කරනවා. ඉතින්, එහෙම දේශනා හුඟාක් තියෙනවා අපේ පෙල දහම තුළ. මොකද හේතුව, “කෙටියෙන් කරන දේශනා විග්‍රහ කරලා, විග්‍රහ කරන්න, විග්‍රහ කර දේශනා කරන්න, සාරිපුත්ත දක්ෂයි!” කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා. ඒ නිසා වැඩි හරියක් දේශනා සැරියුත් හාමුදුරුවන්ගේ. ඒ වගේම මහා කොට්ඨිත හාමුදුරුවෝ දක්ෂයි, ඔහොම පෙන්වලා තියෙනවා එකින් එකට. ඉතින් එබඳු නිසා, එබඳු ශ්‍රාවකයින්ට දේශනා කරන්න පුලුවන් විදිහේ ඒවාට… (ශ්‍රාවක මහතෙක්): ධම්මචක්කපවත්තන සූත්‍රය පවා (ස්වාමීන් වහන්සේ): ඔවු! දැන් සච්ච විභංග සූත්‍රය වශයෙන් විග්‍රහ කළේ, ඒ වෙලාවෙත් පෙන්නුවේ, “මා විසින් දේශනා කරපු ධම්මචක්කපවත්තනය…” අර විදිහටම විග්‍රහ කරලා දුන්නා නේ. “සරළක්ඛණා, විවරණා, විවටනා, විභජනා,…” ඔය ආදී වශයෙන් පෙන්නුවා, ආදී වශයෙන් කරන්න පුලුවන් කියන එක. ඒක එකින් එකට සැහැල්ලු කරලා හරි ආකාරව පෙන්වන්න, විවරණය කරලා දෙන්න, බෙදලා පෙන්වන්න, විග්‍රහ කරලා පෙන්වන්න, මගේ මේ සාරිපුත්ත දක්ෂයි!” <<ත්‍රිපිටක සූචිය අවශ්‍යයි>> ඉතින් ඔය විදිහට හොඳට පැහැදිලි කරලා පෙන්නුවා. ඉතින් ඒ නිසා ඒ දක්ෂ දේ දකින්නේත් බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාණයට, අනාවරණ ඥාණයට. ඒක බුද්ධ දේශනාව, ආයි ඒකේ මොකුත් කියන්න දෙයක් නෑ ඊට පස්සේ. ඉතින් ඒ හින්දා, එබඳු දේශනා කරන්නාවූ බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් මේ අහවල් දේට දක්ෂයි කියලා, දක්ෂ නිසාම දක්ෂයි කියනවා මිසක්, අදක්ෂ නම් දක්ෂයි කියලා බුද්ධ වචනය කඩවෙන්න එහෙම දේශනාවක් නෑ! එහෙනම්, ඒකේ කිසි ආකාරයකින් සැකයක් හිතන්න දෙයක්, විමතියක් හිතන්න දෙයක් නෑ, අභිධර්මය වුනත් බුදුරජාණන් වහන්සේ කොතෙනදීද කළේ කියන්න දෙයක් නෑ ඒකේ. මූලික වශයෙන් ම හොඳට පැහැදිලිව පෙන්වලා තියෙන දෙයක්.

 

{12:32} තථාගත වචනය රහතන් වහන්සේලාටත් බුදුරජාණන් වහන්සේටත් යොදනවා : (ශ්‍රාවක මහතෙක්): දැන් බ්‍රහ්ම විහාරයෙන් වාසය කරන අය බ්‍රහ්මයෝ බවට පත් වෙනවා ද? (ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි, බ්‍රහ්ම විහාරීව වාසය කිරීමෙන් බ්‍රහ්මත්වයට පත් වෙනවා. <<ත්‍රිපිටක සූචිය අවශ්‍යයි>> ඔය හැම එකක්ම ඔය අකාරයෙන් එකිනෙකට විග්‍රහ වෙන්න ඕනේ. (ශ්‍රාවක මහතෙක්): තථාගත විහාරයෙන්, මහ බෝසත් සිතකින් යුතු වුනහම ඒ තත්ත්වයට පත් වෙනවා? (ස්වාමීන් වහන්සේ): මතු වෙලා එනවා! ඒකයි. දැන් “තථාගත” කියන වචනය බුදුරජාණන් වහන්සේට වෙන් කරපු තැනුත් තියෙනවා, රහතන් වහන්සේ පෙන්වන්න වෙන් කරපු තැනුත් තියෙනවා. අරිහතුන් වහන්සේලා පෙන්වන්නත් “තථාගත” කියන වචනය ගත්තා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් විශේෂයෙන්මත් “තථාගත” කියන වචනය අරගෙන තියෙනවා. “තථ” කියන්නේ යම්කිසි සත්‍යතාවයට, ස්ථිරතාවයට. “ගත” වුනා නම්, එතෙන්ට පත්වුනා. ස්ථිරත්වයට පත්වුනඅර්ථයෙන් තථාගතකියන එක අරිහතුන් වහන්සේටත් කියනවා. “සියලුම දේක තත්ත්වාකාරයන් දැනගැනීමට පත් වුනාවූගතියට බුදුරජාණන් වහන්සේටත් “තථාගත” කියනවා. එහෙම එකින් එකට, එකින් එකට “තථාගත” කියන වචනයේ එක එක අර්ථ, ශ්‍රාවකයන්ට “තථාගත” කියනවා එක අර්ථයකින්, බුදුරජාණන් වහන්සේට “තථාගත” කියනවා තව අර්ථයකින්, ඔය විදිහට ක්‍රමයක් තියෙනවා.

 

{13:51} සමාධිය කියන්නේ යම් වැඩපිළිවෙලකට ඇදී සිටීමයි : (ශ්‍රාවක මහතෙක්): දැන් ඔය සමාධිය කියන එක තියෙන්නේ දැන් මේ යන සෝවාන් වෙන මාර්ගය පෙන්වලා නම් තියෙන්නේ, ඔය දෙක අතර සමාධිය සහ ධ්‍යාන උපද්දවාගෙන එහෙම ගිහිල්ලාද සෝවාන් තත්ත්වයට පත් වෙන්නේ? (ස්වාමීන් වහන්සේ): නෑ නෑ නෑ! ඒක දෙකක්.ඉහාත්ම සුඛ විහරණයකියන එක ධ්‍යාන මාර්ගය. ධ්‍යාන, සමාපත්ති ක්‍රමය වෙනයි. “සමාධි” කියන්නේ “සමයට ඇදී හිටින හෙයින් සමාධි” කියනවා. යම් සමයකට ඇදී සිටියේද, ඒ සමාධියයි. දැන් සමාධිකියන සියල්ලම මේ පිනෙන් මතුවෙච්ච, කුසළයෙන් මතුවෙච්ච දේවල් නෙමෙයි! මිත්‍යා දෘෂ්ඨියෙන් මිත්‍යා සමාධියක් මතුවෙනවා. සම්මා දිට්ඨියෙන් සම්මා සමාධියක් මතුවෙනවා. ආර්ය සම්මා දිට්ඨියෙන් ආර්ය සම්මා සමාධියක් මතුවෙනවා. සමාධි කියන වචනයේ නිරුක්තිය, සමයට ඇදී සිටින්නේ, සමාධි! සමයට ඇදී සිටින අර්ථයෙන් සමාධි කියනවා. ඒකයි සමාධි කියන එකේ අර්ථය. (ශ්‍රාවක මහතෙක්): “සමය” කියන වචනයේ තේරුම? (ස්වාමීන් වහන්සේ): “සමය” කියලා කියන්නේ අපි යම්කිසි වැඩපිළිවෙලක් කරනවා නම්, ඒ වැඩපිළිවෙලට කොටු වුන යම්කිසි පදාසයක්, යම්කිසි තියෙනවා වැඩපිළිවෙලක්, අදහස් මාලාවක් තියෙනවා. අන්න ඒකට කොටු වෙලා, ඒකේ – ඒ තුළ පිහිටනවා නම්, ඒකට සමාධි කියනවා.

 

දැන් අපි හිතමුකෝ, යම්කිසි “ධර්ම” අර අපි ඉස්සෙල්ලා කිවුවා වාගේ, බලු ධර්ම ඇසුරු කෙරුවා නම් යම්කිසි පුද්ගලයෙක්, ඔහුට බලු සමාධියක් හටගන්නවා. බේබදු ධර්මය යන යමක් ඇද්ද, ඒක ඇසුරු කරපු කෙනාට බේබදු සමයට ඇදී සිටින නිසා බේබදු සමාධිය කියනවා. සමාධි කියන්නේ ඔක්කෝම.. (ශ්‍රාවක මහතෙක්): බේබදු සමාධියට ඇති වෙන භවය? (ස්වාමීන් වහන්සේ) : බේබදු භවය! ඒ සමාධිය නිසා බේබදු ඥාණයක් හටගන්නවා, සමාධි ඥාණ. ඒකත් මිත්‍යා සමාධි ඥාණයක්. ඔවු, සතර අපායට ඒකාන්තයෙන් හේතු වෙනවා. (ශ්‍රාවක මහතෙක්): එතකොට හාමුදුරුවනේ, දැන් අපි මේ ඔය සමාධි – ධ්‍යාන මට්ටම් කියන ඒවා මේ සෝවාන් වෙලා , ඊට පස්සේ හටගන්නාවූ දේවල් ටිකක් නේද? (ස්වාමීන් වහන්සේ): නෑ, සෝතාපන්න ඵලය කියන එක මේ ආර්යයෙක් වීමේදී අත්‍යාවශ්‍යම කාරණයක්. වැදගත්ම කාරණයක්! එතෙනදී ඒ සෝතාපන්න කියන තත්ත්වයට පත්වුන කෙනාට තමයි ඇලීම්ගැටීම් දෙක දුරු කරලා, ඒ ආර්ය සමයට පත් වීමට භාවනාව තියෙන්නේ. “දස්සනේන පහාතබ්බ, භාවනාය පහාතබ්බදෙකක්! (ශ්‍රාවක මහතෙක්): එතකොට තමයි භාවනා කරලා ඔය සමාධි මට්ටම් වලට යන්නේ එහෙමයි? (ස්වාමීන් වහන්සේ): එහෙමයි! ඔවු.

 

{16:02} ලෝකෝත්තර සමාපත්තිය නම් මාර්ගඵල සමාපත්තියයි : දැන් සමාධි මට්ටම කියන එක වෙනම මට්ටමක්. ඒකේ ලෞකික සමාධි තියෙනවා, ලෝකෝත්තර සමාධි තියෙනවා. ලෝකෝත්තර සමාධි කියන්නේ මාර්ග-ඵල සමාධිය, ඵල සමාපත්තිය. (ශ්‍රාවක මහතෙක්): දැන් අභිධර්ම ප්‍රදීපිකාවේ විස්තර කරලා තියෙනවා “ශුෂ්ක විදර්ශකයාට ඵල සමාපත්තියට සමවදින්න බෑ” කියලා. (ස්වාමීන් වහන්සේ): මෙහෙමයි තියෙන්නේ, “ඵල සමාපත්තියට සමවැදීමෙදී ප්‍රථමධ්‍යාන” – දැන් මෙහෙම තියෙනවා, “සෝතාපන්න ප්‍රථමධ්‍යාන ඵල සමාපත්තිය” – ප්‍රථමධ්‍යාන සහගත සෝතාපන්න ඵල සමාපත්තිය, ද්විතීයධ්‍යානයේ සෝතාපන්න සමාපත්තිය, දැන් මෙහෙම තියෙනවා. ඒ ඒ ධ්‍යානයට ඵල චිත්තය සමඟ යෙදෙනවා. ප්‍රථමධ්‍යානය සමඟ යෙදෙනවා නම් ඒ ධ්‍යාන හිතට කියනවා ප්‍රථමධ්‍යාන සෝතාපන්න ඵල සමාපත්තිය, ප්‍රථමධ්‍යාන සකෘදාගාමී ඵල සමාපත්තිය. ඒ නිසා තමයි 89ක් සිත් 121 කට බෙදෙන්නේ. (ශ්‍රාවක මහතෙක්): සිත් 40ක් තියෙනවානේ, (ස්වාමීන් වහන්සේ): ආ.. ඒක 40ක් වෙනකන් බෙදෙනවා. මොකද, එක හිතක් 8 ආකාරයකට බෙදෙනවා ඔය විදිහට. සිත් – සෝවාන් මාර්ගය සහ ඵලය කියන මේ අට, පස් ආකාරයකට බෙදුනහම 40 ආකාරයක් වෙනවා. ඒ නිසා, චිත්ත ස්වභාව 40 ආකාරයක වෙනසක් හටගන්න නිසා තමයි සිත් 89ක ප්‍රභේදයට 40 ආකාරයක ප්‍රභේද අරගෙන, 121ක් සකස් කරගන්නේ. ඒ 89න් 81යි, අර මොකද මාර්ග සිත් 4යි, ඵල සිත් 4යි කියන අට ඒ 89න් අහක් කරපුහාම 81යි එන්නේ. ඒ අට, 40 කට බෙදෙනවා. එතකොට 121ක් වෙනවා.

 

(ශ්‍රාවක මහතෙක්): ඔවු, එතකොට සෝවාන් කියන්නේ මානසික තත්ත්වයක්, ඒ මානසික තත්ත්වයේ ඉඳලා ඉතුරු ටික එහාට යන්න පුලුවන් ඥාණ මට්ටමට අනුව? (ස්වාමීන් වහන්සේ): ඔවු, දැන් සෝතාපන්න ඵලයේදී සිද්ධ කරන්නේ යම් ගොඩනැඟෙන සංඛාරයක් නවත්වන එක! අන්න ඒකයි, යම් සංඛාර කොටසක් නිරෝධ වුනා, ඉතුරු සංඛාර කොටස එතන තියෙනවා ඉතුරු වෙලා. මේ සෝවාන් ඵල චිත්තයේ තියෙන්නේ, කොටසක් සංඛාර ගෙවලා – නිරෝධ කරලා, කොටසක් ක්‍රියාත්මක වෙනවා. (ශ්‍රාවක මහතෙක්): ස්වාමීන් වහන්ස, ඒ කියන්නේ ලොකු ගස් ටික කපලා ඉවරයි, පුංචි පැළ ටික… (ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි, ඊලඟට ඒවාත් තියෙනවා, ඒවාත් පැළෑටිම තමයි. ඉතින්, ඔය විදිහට ගිහිල්ලා ගිහිල්ලා එක එක ඵල සමාපත්තියෙන් සමාපත්තියට සිද්ධ වෙන්නේ එක එක සංඛාර කොටසක් නිරෝධ වෙන එක, ඉතුරුටික තියෙනවා. අන්න ඒකයි. ඒ නිසා ඵල සමාපත්තියේ ස්වභාවය ඒකයි. එතකොට මේ ඒ ඵල සමාපත්තියේ ස්වභාවයේදී, ඒ ඵල සමාපත්තියෙන් ඉඳගෙන, මේ ලෝකේ හැම දෙයක්ම ඇසින්කනින්දිවෙන්නාසයෙන්ශරීරයෙන් ඇසුරු කරන්න පුලුවන්. මොනවායින් ඇසුරු කළත්, මොන රූප, මොන ශබ්ද, මොන ගන්ධ ඇසුරු කළත්, ඒ තුළින් යම්කිසි ප්‍රමාණයේ එකක් ගෙවිලා ගියාද, ඒක නැඟෙන්නේ නෑ! ඉතුරුටිකයි නැඟෙන්නේ. අන්න ඒක තමයි ඒ සමාපත්තියේ ස්වභාවය.

 

{18:44} : ඒක තමයි ඵල සමාපත්තිය මේ අර අවිද්‍යා මානයෙන් තනිකර මනෝද්වාරයේ විතරක් නැඟිලා හිටින ඒවා නෙමෙයි. ඵල සමාපත්තිය එකක්, එතකොට මෙහෙමයි – ඵල සිතයි, ඵල සමාපත්තියයි දෙකක්. ඵල සමාපත්තියට සමවදින්න ගිහාම ඒක ධ්‍යාන එක්කලා ලැබෙන්න ඕනේ. ඵල සිත හැම වෙලේම උපද්දවන්න පුලුවන්. (ශ්‍රාවක මහතෙක්): ස්වාමීන් වහන්ස, විතක්කයෙන් තමයි හැමතිස්සෙම එතකොට සෝවාන් තත්ත්වයට යන්නේ? (ස්වාමීන් වහන්සේ): ඔවු ඉතින්, නැතුව කරලා බෑ, සවිතක්කයෙන්!” විතර්කවිචාර දෙකක්, සවිතක්කසවිචාර තව එකක්. විතර්කවිචාර කියලා කියන්නේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන තුනටයි. අව්‍යාපාද සංකල්පණා, අවිහිංසා සංකල්පණා, නෙක්ඛම්ම සංකල්පණා කියන ඒවාට කියන්නේ සවිතක්කසවිචාර. දැන් අද සවිතක්ක-සවිචාර කියන දේ “විතර්ක සහිත වූ විචාර සහිත වූ” කියලායි තෝරන්නේ, එහෙමයි තෝරන්නේ. (ශ්‍රාවක මහතෙක්): දැන් අභිධර්ම ප්‍රදීපිකාවේ තියෙන්නෙත් විතක්ක-විචාර! (ස්වාමීන් වහන්සේ): ඔවූ! දැන් විතක්ක-විචාර කියලා කියනවා. දැන් විතක්ක-විචාර නැතුවහාම, දැන් දෙවෙනි දැහැනට විතර්ක-විචාර නෑ කිවුවහාම “හිතිවිලි නෑ” කියලා හිතාගෙන ඉන්නවා. “සවිතක්ක-සවිචාර” කියන්නේ විතර්ක සහිතවූ, විචාර සහිතවූ කියලා තෝරන නිසායි ඒක වෙන්නේ. අන්න විභංගප්‍රකරණයේ තියෙනවා, ඔය වචනය තෝරලා. සවිතක්ක කියන එක තෝරලා තියෙනවා – “ඨපෙත්වා විතක්ඛංකියලා විතර්කය අත්හැරපු ඉතුරු දහම් ටික සවිතක්කයි! එතකොට ඒ වගේ, සවිචාර කියන එක ඨපෙත්වා විචාරං” – විචාරය බහා තබලා ඒ සමඟ එන ඉතුරු දහම් ටිකයි සවිචාර කියන්නේ. <<ත්‍රිපිටක සූචිය අවශ්‍යයි>>

 

එහෙනම්, විතර්ක-විචාර කියන්නේ – කාම සංකල්පණා, ව්‍යාපාද සංකල්පණා, විහිංසා සංකල්පණා යම් තැනක නැඟෙනවා නම් ඒවාට කියනවා විතර්කවිචාර. අව්‍යාපාද සංකල්පණා, අවිහිංසා සංකල්පණා, නෙක්ඛම්ම සංකල්පණා යම් තැනක නැඟෙනවා නම් ඒවාට කියනවා සවිතක්කසවිචාර! එහෙනම්, අව්‍යාපාද සංකල්පණා වල ව්‍යාපාද සංකල්පණා නෑ! එහෙනම්, විතර්ක-විචාර නැති හිතේ තියෙන්නේ මොනවාද? අව්‍යාපාද, අවිහිංසා, නෙක්ඛම්ම කියන සංකල්පණා. ඒ ටික තියෙන්න ඕනේ.

දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්, හතරවැනි ධ්‍යානයට ගියාට පස්සේ උපේක්ෂා ඒකග්ගතාවය නේ තියෙන්නේ. එහෙනම්, පළවෙනි ධ්‍යානයට විතර්ක-විචාර කියන්නේ සිතිවිලි නම්, විතර්ක-විචාර නතර කෙරුවාට පස්සේ එයින් එහා දැහැන් වලට සිතිවිල්ලක් තියෙන්නම බෑනේ! විතර්ක-විචාර කියන්නේ සිතිවිලි වලට නම්, ද්විතීය ධ්‍යානයෙන් එහාට සිතිවිල්ලක් තියෙන්න බෑ! හොඳයි, චුල්ලඵන්තක හාමුදුරුවෝ අභිඥාපාදක චතුර්ථධ්‍යානයට සමවැදිලා නෙමෙයිද 1,000ක් මවාගෙන හිටියේ? සමවැදිලානේ! ඔයවෙලාවෙදී ඇවිදිල්ලා අහපුහාම “කවුද චුල්ලඵන්තක කියන්නේ?” කියපුහාම “මම චුල්ලඵන්තක කියන්නේ!” කියලා ඔක්කෝම කථා කළේ නැද්ද? එතකොට ඔක්කෝම කථා කළා. එතකොට, වචනය අහලාත් තියෙනවා, වචනයට උත්තර දීලාත් තියෙනවා “මම චුල්ලඵන්තක” කියලා. ඔය වෙලාවෙදී හිටියේ මොකේද? අභිඥාපාදක චතුර්ථධ්‍යානයට සමවැදිලා. දැන් විතර්කවිචාර කියන ඒවා කථාවේ වචන වල තියෙනවා නම්, උපේක්ෂා ඒකග්ගතා පමණක් තියෙන අභිඥාපාදක චතුර්ථධ්‍යානයේ ඉඳලා කථා කළේ කොහොමද? එහෙනම් මම චුල්ලඵන්තකකියන එක විතර්කවිචාර නැද්ද? (ශ්‍රාවක මහතෙක්): ඒක තමයි, අපි අද තේරුම අරන් තියෙනවා වැරදියි. (ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි කාරණේ! විතර්ක-විචාර කියන්නේ සිතිවිලි කියලා ගත්තොත්, කථාව හෝ සිතිවිලි කියලා ගත්තොත්, එයින් එහාට කථාවයි සිතිවිලියි නෑ කියලා නිගමනය කළොත්, එතකොට කොහොමද උන්වහන්සේ “මම චුල්ලඵන්තක” කියලා කිවුවේ? මේ පෙල දහමෙත් තියෙන දේශනා අපිට බොරු කරන්න බෑ! කළේ කොහොමද?

 

එතකොට, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ එදා හිටපු අග්‍රශ්‍රාවකයන් වහන්සේ නමක් බඹ ලොව ඉඳලා දස දහසක් සක්වලට එනකන් ඇහෙන්න “ආරභත නික්ඛමත යුංජත බුද්ධ සාසනේ – දුනාථ මච්චුහේනානං නලාගාරෝච කුඤ්ජරෝ!” කියන මේ ගාථාව දේශනා කළායි කියනවා බඹ ලොව ඉඳලා – දස දහසක් සක්වළට ඇහෙන්න. දැන් බඹ ලොවට ගියේ ඒකාන්තයෙන්ම අභිඥාපාදක චතුර්ථධ්‍යාන් නේ එහේ හිටියේ. එහේ ඉඳලා ඔය ගාථාව දේශනා කරනකොට වචන ශබ්ද වුනේ නැද්ද? දස දහසක් සක්වලට ඇහෙන්න අධිෂ්ඨාන කරලා ප්‍රකාශ කරනකොට විතර්කවිචාර නැඟුනා කියලා ගන්නද? හැබැයි, සවිතක්කසවිචාර නම් නැඟුනා. අන්න ඒකයි කියන්නේ, ඒක නිසා දැන් හැම වෙලාවකම අපි දකින්න ඕනේ, දැන් හුඟ දෙනෙකුට ප්‍රශ්නයක් වෙනවා, දැන් අපි සමාධියකින් කථා කරනවා කිවුවොත් එහෙම, “විතර්ක-විචාර ප්‍රථමධ්‍යානයෙන්ම ගැලවිලා ගියාට පස්සේ වචන, කොහොමද සමාධියෙන් මිනිහා එක්ක කතාකරන්නේ?” කියලා ප්‍රශ්නයක් නඟනවා. විතර්ක-විචාරයෙන් නෙමෙයි කතාකරන්නේ, සවිතක්ක-සවිචාර වලින්. අව්‍යාපාද, අවිහිංසා, නෙක්ඛම්ම සංකල්පණාවෙන් නැඟෙන්නේ අව්‍යාපාද කථාව, අවිහිංසා කථාව, නෙක්ඛම්ම කථාව නැත්නම් නිවන් දකින්න ධර්ම දේශනා කිරීම සම්පූර්ණ කරනවා. හැබැයි ඉතින්, මේ සමාධි කථාවෙන් රාගයයි-ද්වේෂයයි-මෝහයයි ගැන කථා කරන්න බෑ! රාගයට-ද්වේෂයට-මෝහයට ගියොත් විතර්ක-විචාරයට බහිනවා.

 

{23:30} විතක්කවිචාර ප්‍රථමධ්‍යානයෙන් ම ඉවත් වුනත් සවිතක්කසවිචාර දිගටම පවතිනවා : එහෙනම්, “සවිතක්ඛං සවිචාරං විවේකජං පීති සුඛ ඒකග්ගතා සහිතං පඨමජ්ඣානං!” ප්‍රථමධ්‍යානයට තියෙන්නේ විතක්ක-විචාර නෙමෙයි, විතර්ක සහිතවූ, විචාර සහිතවූ පීති-සුඛ සහිත කියලා ඔය ආදී වශයෙන් තමයි විග්‍රහ කරන්න යන්නේ. විතර්කවිචාර තියෙනවා නම් පීතිසුඛ නෙමෙයි නැඟෙන්නේ, රාගයද්වේෂයමෝහය! සවිතක්කසවිචාර වලට තමයි ඉබේ ලැබෙන්නේ විවේකයෙන් ලැබෙන ප්‍රීති සුඛ! විවේකයක් තියෙනවා, විවේක නිශ්‍රිතයි. එහෙනම්, අවිහිංසා සංකල්පණා, අව්‍යාපාද සංකල්පණා, නෙක්ඛම්ම සංකල්පණා විවේක නිශ්‍රිතයි, විරාග නිශ්‍රිතයි, නිරෝධ නිශ්‍රිතයි, වොස්සග්ගපරිණාමියි! කාරණා 4කින් යුක්තයි. අන්න ඒකෙන් යුක්තව නැඟෙනකොට නැඟෙන්නේ මොකද්ද? සවිතක්ක-සවිචාර වලින් තමයි නැඟෙන්නේ විවේකජං පීති සුඛ ඒකග්ගතා සහිතං පඨමජ්ඣානං! – ප්‍රථමධ්‍යානය. ප්‍රථමධ්‍යානයට කථා නොකර ඉන්න අවශ්‍යය නෑ! හැබැයි කාම සංකල්පණා, ව්‍යාපාද සංකල්පණා, විහිංසා සංකල්පණා අත්හැරලා අව්‍යාපාද සංකල්පණා, අවිහිංසා සංකල්පණා, නෙක්ඛම්ම සංකල්පණා වලින්… (ශ්‍රාවක මහතෙක්): ඒ සංකල්පණා වලට තමයි විවේකය තියෙන්නේ? (ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි!

 

එක ගාථාවක් අර්ථ දැන, ධර්ම දැන, ධර්මානුධර්ම ඇසුරු කරමින් අසන්නේ නම්, දරන්නේ නම්, ඒ වාගේම නිතර සජ්ඣායනා කරන්නේ නම්, සතර දැහැන් වැඩෙනවා, ථේර භාවයට පත්වෙනවා කියලා දේශනාවේ තියෙනවා. ඇසීම, දැරීම, වනපොත් කිරීම, දහම් ගැන නිතර සිතීම හේතුකොටගෙන සතර ධ්‍යාන ලබනවා, ථේර භාවයට පත්වෙනවා. එහෙනම් අහලා, දරලා, වනපොත් කරලා, නිතර භාවිතා කරලා, ලබන්න පුලුවන් එකක්, මොකක් නිසාද? සවිතක්ක-සවිචාර! සවිතක්ක-සවිචාර අන්තිම වෙනකන් වත් අහක් වෙන්නේ නෑ! විතක්ක-විචාර පළවෙනි දැහැනේ නැති වෙනවා, සමහර අය විචාර මාත්‍රයක් ඇතිව දෙවෙනි දැහැනක් තිබිලා, ඒකත් නැතිවෙලා ගියාට පස්සේ, විතර්ක-විචාර නෑ එයින් එහාට! (ශ්‍රාවක මහතෙක්): සවිතක්ක-සවිචාර දිගටම පවතිනවා? (ස්වාමීන් වහන්සේ): පවතිනවා! සවිතක්ක-සවිචාර කිසී ප්‍රශ්නයක් නෑ! ඒ නිසා දැහැනේ ඉඳලා කථා කරන්න පුලුවන්, දැහැනේ ඉඳලා අහන්න පුලුවන්.

 

ධ්‍යාන සමාපත්තිය වෙනයි, ධ්‍යානය වෙනයි. ධ්‍යානයයි ධ්‍යාන සමාපත්තියයි තෝරාගන්න ඕනේ! සමාපත්ති වීථියයි ධ්‍යාන වීථියයි කියලා වීථි දෙකක් තියෙන්නේ ඕකට, අභිධර්මයේ පැහැදිලිව තියෙනවා. සමාපත්ති වීථිය මනෝද්වාරයේ තනිකර යන්නේ – සමාපත්ති වීථිය. ධ්‍යාන වීථියට – ධ්‍යාන වීථි කඩ වෙවී යන්නේ. ඉතින් ධ්‍යානයට අනුකූල වන්නා වූ පංචද්වාර සිතිවිලි සම්බන්ධ වෙනවා. (ශ්‍රාවක මහතෙක්): සමාපත්ති වලදී ජවන් සිත් දිගටම යනවා? (ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි, ජවන් සිත් දිගටම යනවා. කැඩෙන්නේ නෑ චිත්ත වීථිය. එතකොටයි සමාපත්තිය හැදෙන්නේ, අතරමඟ හැදෙන්නේ නෑ! (ශ්‍රාවක මහතෙක්): ධ්‍යාන සිත් වලට විපාක සිත් වලින් බාදාවෙනවා… (ස්වාමීන් වහන්සේ): බාදා වෙනවා. අනික් අතට විපාක සිත් ඇදෙනවා ධ්‍යානයට. ඉතින් බාදාවක් වෙන්නේ මොකද, චන්දරාගයෙන් යුතුව ඇලීම්-ගැටීම්-මුලාවට අහුවෙලා හිටියොත් බාදයි! චන්දරාගය දුරු කරපු කෙනාට කොහේවක්වත් බාදා නෑ! කොච්චර සද්දේ ආවත්, “මගේ මොකෝ? අපිට ප්‍රශ්නයක් තියෙනවැයි?” ඉතින් ඒ නිසා මේ ආර්ය භාවනාවලට අතනමෙතන හැංගෙන්න, කැලේ දුවන්න ඕනේ නෑ! අපි කියන්නේ ඒකයි මේ සමාජයේ ඉඳගෙන මේ සමාජය ඇසුරේ, ඔවු! ඕනෑ තැනක ඉන්න පුලුවන්! කිසි ප්‍රශ්නයක් නෑ! ඒ තරම් පහසු දෙයක් මේ සමාධිය, ආර්ය සමාධිය. අතන-මෙතන දුවන්න, හැංගෙන්න දෙයක් නෑ! කැලේ දුවන්න දෙයක් නෑ!

 

{26:23} ආර්යයන්ට උරුම බ්‍රහ්ම ලෝකය සුද්ධාවාසයයි : (ශ්‍රාවක මහතෙක්): ඒ නිසා ස්වාමීන් වහන්ස, දැන් ඔය ධ්‍යාන වඩලා, නේවසඤ්ඤා නාසඤ්ඤායතනයේ ඉන්න අරූපී බ්‍රහ්මයෙක්ට තියෙන සුවයට වඩා, මහා බෝධිසත්වයෙක් ඔය ඥාණ තුළ ඉන්නවා නේද? (ස්වාමීන් වහන්සේ): ඉන්නවා නේන්නම්, හපොයි ඔවු! කොච්චර වැදගත් දෙයක්ද? එතෙන්ට එනවා නේ! ඉතින් එහෙම වැදගත්කම, දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, මගේ මේ ගිහිව ඉන්න ආර්ය ශ්‍රාවකයෙක් ඉන්නවා නම් සෝතාපන්න, පංච අභිඥා අෂ්ඨ සමාපත්ති ලභී ඔය යෝගියෙකුට ඒ මගේ ගිහි ශ්‍රාවකයාගේ වටිනාකමින් කලාවෙන් කලාවක් වත් වටිනාකමක් තියන්න බෑ!” කිවුවා, වටිනාකමින් බැලුවොත්. ඒ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා ඊට වඩා බොහෝම ඉහළයි! හැබැයි ගිහි වතක ඉන්නේ, අඹු-සැමියන් පෝෂණය කරගෙන ඉන්නවා. මොකද හේතුව, එයා සදහටම සතර අපායෙන් නිදහස් වෙලා ඉන්නේ, අර ගිහිව ඉන්න ආර්ය ශ්‍රාවකයා. පංච අභිඥා අෂ්ඨ සමාපත්ති ලාභියා ඒ අත්බැවයේම පිරිහිලා අපායේ යන්නත් පුලුවන්. ඒකෙන් බේරිලා හිටියොත්, කොහේහරි ඉපදුනොත් බ්‍රහ්ම ලෝකෙක, කල්ප ගාණක් ඉඳලා හරි ඇවිදිල්ලා ආයිත් අපාගත වෙන්නේ මේ සත්ව රවුමට හිමිකාරයා. ලැබුව හරයක් නෑ! හේතු ඇතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “මගේ ගිහි සෝතාපන්න ශ්‍රාවකයෙක්ගේ කලාවෙන් කලාවට වත් වටිනවා කියලා තියන්න බෑ” කියලා. (ශ්‍රාවක මහතෙක්): ඒකනේ අසිත තාපසයාට බෝධිසත්වයන් බුදු වෙන බව දැකලා අතහරින්න බැරි වුනානේ, ධ්‍යානය අතාරින්න බැරිවුනා. (ස්වාමීන් වහන්සේ): ඔවු, අතෑරගන්න බැරිවුනා නේ! ඒක ප්‍රගුණ වුනාට පස්සේ එයාට ඉතින් එතෙන්ට යන්න සිද්ධ වුනා.

 

(ශ්‍රාවක මහතෙක්): එතකොට දැන් ඒ අය අසිත වගේ අය ධ්‍යාන වලින් බ්‍රහ්ම ලෝකයට යනවා, දැන් මහ බෝසතාණන් වහන්සේලා ධ්‍යාන වැඩුවාට බ්‍රහ්ම ලෝක වලට යන්නේ නැත්තේ – නැහැයි කියන්නේ ඕකයි? (ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි කියන්නේ. උපාදානය කරන්නේ නෑ! (ශ්‍රාවක මහතෙක්): මහබෝසතාණන් වහන්සේට මරණාසන්න චිත්ත වීථියේදී ධ්‍යානය අතාරින්න පුලුවන් (ස්වාමීන් වහන්සේ): අතහරින්න පුලුවන්. අතහැරලා, සාමාන්‍යය තත්ත්වයට ඇවිල්ලා මනුස්ස ලෝකයට පත්වෙනවා. (ස්වාමීන් වහන්සේ): මතුවෙලා, ඒකේදී ආයි සැරයක් නැඟිලා එනවා.

 

බ්‍රහ්ම ලෝකේ උපාදානය කරන්නේ නැහැ බෞද්ධයෙක්. ඒ නිසා පංචාභිඥා – අෂ්ඨ සමාපත්ති ලාභී ලබාගෙන හිටියත් අනාගාමී කෙනෙක් මැරිලා, නේවසඤ්ඤා නාසඤ්ඤායතනයේ උපදින්නේ නෑ! එයා ගිහින් සුද්ධාවාසයේ උපදිනවා. මොකද ඒකට හේතුව? උපාදානය කරලා නෑ ලෝකය. උපාදානය කළොත් තමයි එතන භවය යන්නේ. දැන් සුද්ධ ගති ලක්ෂණය නිසා සුද්ධ ආවාසයහැටියට පවතින්නා වූ අන්තිම කෙළවර කරන සුද්ධාවාස බඹ තලයේ තමයි ඒගොල්ලන්ගේ උප්පත්තිය යන්නේ. එතනින් කෙළවර කරනවා මිසක් ආයෙත් වෙන අහක යන්නේ නෑ!

 

{29:03} ලෝකෝත්තආර්ය අෂ්ඨංගික මාර්ගය වැටහෙන්නේ තිලකුණ දැකීමෙන් පසුවයි : දැන් අපි වැදගත්ම හරියකට ඇවිදිල්ලා, තේරුම් ගන්න ඕනේම හරියක් තියෙනවා. අපි දැන් වඩන “ආර්ය අෂ්ඨංගික මාර්ගයක්” තියෙනවා. මේ ආර්ය අෂ්ඨංගික මාර්ගය තුළ ලෞකික ආර්ය අෂ්ඨංගික මාර්ගයකුයි, ලෝකෝත්තර ආර්ය අෂ්ඨංගික මාර්ගයකුයි දෙකක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නමුත්, අපි අහලා තියෙනවාද එහෙම එකක් – ආර්ය අෂ්ඨංගික මාර්ග දෙකක් ගැන? (ශ්‍රාවක මහතෙක්): ලෝකෝත්තර ආර්ය අෂ්ඨංගික මාර්ගය වශයෙන් අපි අහලා තියෙන්නේ සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකයෙක්ගේ පස්සේ ඇතිවෙන තත්වය කියලා අපි අහල තියෙන්නේ. (ස්වාමීන් වහන්සේ): ඔවු! අපි එහෙමනේ අහලා තියෙන්නේ. එතකොට ලෞකික ආර්ය අෂ්ඨංගික මාර්ගය කියලා එකක් තියෙනවා. හැබැයි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම එකක්. “ඒ ලෞකික වූ ආර්ය අෂ්ඨංගික මාර්ගය කෙළෙස් සහිතයි, නිවනට නෙමෙයි සුගතියට හේතු වෙනවා” කියලා. කෙළෙසුන්ගෙන් මුදවන, නිවනට හේතු වෙන ආර්ය අෂ්ඨංගික මාර්ගය බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න, ලෝකෝත්තර ආර්ය අෂ්ඨංගික මාර්ගයයි. (ශ්‍රාවක මහතෙක්): එතකොට සෝවාන් ඵලයට මෙහා වුනත් ඒ තත්ත්වයෙන් ඉන්නවා නම් ඒ ලෝකෝත්තර ආර්ය අෂ්ඨංගික මාර්ගයයි? (ස්වාමීන් වහන්සේ): අන්න හරි! ලෝකෝත්තර ආර්ය අෂ්ඨංගික මාර්ගය අපි තෝරාගන්න ඕනේ. කොහොමද ලෝකෝත්තර ආර්ය අෂ්ඨංගික මාර්ගයට පත් වෙන්නේ කියලා අපි ධර්මානුකූලව තේරුම් ගන්න ඕනේ.

 

මජ්ඣිම නිකායේ මට මතක හැටියට, මහා චත්තාරීසක සූත්‍රය කියන සූත්‍රයේ <<ත්‍රිපිටක සූචිය අවශ්‍යයි>> හොඳට පැහැදිලිව ඔය ටික දේශනා කරලා තියෙනවා. නමුත් අපි ඕක බැලුවේ නැත්නම්, තෝරාගත්තේ නැත්නම්, අපිට හරි අමාරුයි ඔතෙන්ට යථාර්තය තෝරාගන්න. ඔන්න ඔය ආර්ය අෂ්ඨංගික මාර්ගය වටහා ගත්තොත් අපිට පුලුවන්කම ලැබෙනවා හරියටම අන්න ඒ ධර්ම මාර්ගය වටහාගන්න. දැන් අපි මුලදීම අපි මෙච්චර වෙලා සාකච්ඡා කරපු අවස්ථාව තුළ බෞද්ධයෙක් වීමට අවශ්‍යය මූලධර්මය තේරුම් ගත්තා. මොකද්ද, අනිච්ච-දුක්ඛ-අනත්ථ කියන මේ ත්‍රිලක්ෂණයට ගෝචර වෙන සෑම-සියලු, නාම ධර්ම, රූප ධර්ම ඇතුළු ලෝකයේ සියලුම දේ මොනවා බැලුවත් අනිච්චයි, දුක්ඛයි, අනත්ථයි කියන මේ ත්‍රිලක්ෂණයට ගෝචර වෙන හැටි අපි තේරුම් අරන් තියෙන්නේ. ඒ නිසාම අපි නිගමනය කරගත්තා මේ ලෝකයේ පැවැත්මක් තුළ කිසිම නාම ධර්මයකට කොටු වෙලා හරි, රූප ධර්මයක් තුළ හරි, අපිට පැවැත්මේ, සැනසිල්ලේ නිච්චසැපආත්ම තැනක ඉන්න තැනක් නෑ! කියලා. නිච්චයි-සැපයි-ආත්මයි යන දෲෂ්ඨියකින් ඉන්න, ඇසුරු කරන්න තැනක් නෑ! හැමතැනකම තියෙන්නේ අනිච්ච දහමක් නම්, දුක්ඛ දහමක් නම්, අනත්ථ දහමක් නම් අපිට ඇසුරු කරන්න ලැබෙන්නේ, ඒවා අනත්ථයි කියලාත් තේරුම් ගත්තා. දැන් මෙන්න මේ තේරුම් ගැනීම ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහල වෙලා දේශනා කරන තුරු, ලෝකයේ කිසිම ශාස්තෲ වරයෙක් ලෝකයට වෙනම දේශනා කරන්නේ නෑ! එහෙම පුලුවන්කමක් නෑ! මේ නිසා මේ වටිනා ධර්මයේ මේ පද 3 ඉතාම කෙටි වුනාට, අති දුර්ලභයි! අති වාසනාවන්තයි! මෙතනින්ම තමයි විමුක්තියට මඟ සැළසෙන්නේ. මෙන්න මේ වචන ටික තේරුම් නොගත්ත කෙනෙක් ඇත්තවශයෙන්ම කියනවා නම් තව බණ අහලා හරි ඒක තෝරාගන්න තැන ඉන්න ඕනේ.

 

ඒක තෝරාගත්තාට පස්සේ, දැන් එයාට මාර්ගයක් හම්බවෙලා තියෙනවා. එයාට ප්‍රශ්නයක් මතු වුනා – දහම් ප්‍රශ්නයක්. එතකන් මේ දහම් ප්‍රශ්න කියලා මතුවෙන්නේ දහම් ප්‍රශ්න නෙමෙයි, විමර්ශන ආශාවේ ප්‍රශ්න! අනිච්ච නම්, දුක්ඛ නම්, අනත්ථ නම්, දැන් අපි මොකද්ද කරන්න ඕනේ? මේ පැවැත්මෙන් ඉවත් වෙන්න ඕනේ, මේ පැවැත්මත් එක්ක හිටියොත් නම් අනාථයි! නාථ ධර්මයක් මොකද්ද?” මෙන්න මේ ප්‍රශ්නය මතුවෙනවා. ඔන්න ඔය ප්‍රශ්නය මතුවෙච්ච කෙනාට තමයි බුදුදහම ගෝචර වෙන්නේ. අන්න එයාටයි විමුක්ති ධර්මය ගෝචර වෙන්නේ. ඒ තාක් කල් විමුක්ති ධර්මයක් නෙමෙයි ගෝචර වෙන්නේ, පර්යේෂණාත්මක මනසකට ඕනෑ කරන අදහස් තේරුම් අරගෙන ඒවා හිතේ දරාගන්නමයි අදහස් ඕනෑ කරන්නේ. ඊට පස්සේ දරාගන්න ඒවා නෙමෙයි ඕනෑ කරන්නේ, “කොහොමහරි විමුක්තිය කරා යන්න, විමුක්තියට පත්වෙන්න අවශ්‍යය කරන ධර්ම මාර්ගය හොයාගෙන, මම ඒක අනුගමනය කරලා, අප්‍රමාදව මිදෙන්න ඕනෑ, මේ චන්දරාගයෙන් මිදිලා යන්න ඕනේ!” ඔය අදහස එනවා. මෙන්න මේ වෙලාවේ තමයි, “අනේ ස්වාමීනි, ඒකට අවශ්‍යය කරන ධර්මය දේශනා කරන්න” කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටින අවස්ථාව එන්නේ. අපිටත් ඒ මූලධර්මය ඇහුවාට පස්සේ, “අන්න ඒ ධර්මය මොකද්ද කියලා දැනගන්න ඕනේ” කියන අවශ්‍යතාවය දැනෙන්නේ අන්න ඊට පස්සෙයි. මෙන්න මෙතැන පටන් තමයි නිර්වාණගාමී මාර්ගය පිළිබඳව දර්ශනය ලබලා තියෙනවා, දස්සනේන පහාතබ්බ කියන දර්ශනයෙ පහ කරලායි ඔය අදහස ආවේ, භාවනාය පහාතබ්බකියන ඇලීම්-ගැටීම් දෙක පහ කරලා, මුලාව පහ කරගන්න අවශ්‍යය කරන්නාවූ වැඩපිළිවෙල ඕනෑකමක් ලැබෙන්නේ අන්න ඊට පස්සේයි. මෙන්න මෙයාට තමයි මෙන්න මේ කියන්නාවූ ආර්ය අෂ්ඨංගික මාර්ගය, නිවන් දකින ආර්ය අෂ්ඨංගික මාර්ගය තේරුම් ගන්න පුලුවන් වෙන්නේත්, ඕනෑ වෙන්නේත්.

 

{34:16} ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ තියෙන්නේ අංග නෙමෙයි හංග 8ක්! : මෙන්න මේ අවස්ථාව වෙනකොට මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ පහලවෙන්න ඉස්සෙල්ලාත් ඔය වචන තිබුණා. ඔය වචන වලට භාවිතා කරපු ලෞකික අර්ථ තිබුණා. “සම්මා දිට්ඨි” කියන වචනය තිබුණා. “සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත…” මේ වචන තිබුණා. හැබැයි, මේවාට දීපු සිංහල අර්ථයක් තිබුණා. මෙන්න මේ සිංහල අර්ථය ලෞකික අර්ථයක්. බුදුරජාණන් වහන්සේ බොහෝ කොට දේශනා කරපු තැන් තියෙනවා, “ලෝකෝත්තර වූ මෙබඳු දහම් වචන වලට පහු කාලයක, ඒ වචන වල අර්ථය යටපත් වෙලා, ඒවාට ලෞකික අර්ථයක් ගොනු වෙලා, වේදය තුළ ඕවා ආවා” කියලා. අන්න, වේදය තුළ – ත්‍රීවේදය තුළ බොහෝ කොටම තිබුණා මේ දහම් වචන! ආර්ය අෂ්ඨංගික මාර්ගය, සප්ත බොජ්ඣංග, ඒ වගේම මේ සතර බ්‍රහ්ම විහරණ, මේ වචන ඇවිදින් තිබුණා. එතකොට, මේ වචන වලට තිබිච්ච තේරුම සිංහල, මේ ඔක්කෝම තියෙන්නේ ලෞකික අර්ථ. දැන් මේ බුදු දහම තුළ, මේ හෙළ අටුවා විනාස වුනාට පස්සේ නැවත අටුවා ලියනකොට ඔය ඉන්දියාවේ හිටපු ත්‍රිවේද පරප්‍රාප්ත බ්‍රාහ්මණයෝ මහණ වෙච්චි අය තමයි බුද්ධඝෝෂ හාමුදුරුවෝ එහෙම කියන්නේ. ඔයගොල්ලන්ට තමයි අර්ථ දෙන්න සිද්ධ වුනේ. එදා වේදයෙන් ඉගෙනගත්ත අර්ථ තමයි මේවාට ආයි සැරයක් දුන්නේ. මෙන්න මේ නිසා තමයි අපිට බුදු දහම වෙනුවට ලෞකික දහමක් තුළ පැටලි පැටලී ඉන්න සිද්ධ වුනේ, මාර්ගඵල, ධ්‍යාන, මේ ඒ ආර්ය මාර්ගය පූර්ණය කරගන්න බැරුව! ආර්ය මාර්ගය පූර්ණය කරගන්න එක වැහිලා යන්න හේතුව ඔන්න ඕකයි, එහෙම අර්ථ තිබිච්ච නිසා. ඒ අර්ථ අදත් මතුවෙලා තියෙනවා.

 

දැන් “සම්මා දිට්ඨි” කියන වචනය කියනකොට යහපත් දැකීම, හරි දැකීම, නිවැරදිහ් දැකීම කියන මේ වචන තුනකින් තමයි සිංහලට අර්ථ දෙන්නේ දැන්. “සම්මා දිට්ඨිය” කියන්නේ එක්කෝ යහපත් දැකීම, එක්කෝ හරි දැකීම, එක්කෝ නිවැරදි දැකීම. ඔය කියන වචන තුනෙන් තමයි “සම්මා දිට්ඨිය” කියන පදයට සිංහල අර්ථ දෙන්නේ. දැන් හොඳයි, යහපත් දැකීම – හරි දැකීම – නිවැරදි දැකීම කියන මේ වචනය කියනකොට, බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ “මාර්ග හංගය” අපිට තේරුණාද? මාර්ග අංගනෙමෙයි වචනේ! දැන් “අරි අටඟි මඟ” කියලා අපි ඕක කෙටියෙන් කියන්න යනවා. “අංග අටකින් යුත් මාර්ගය” කියලා අපි මේකට කියනවා. ආර්ය අෂ්ඨ හංගික මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගය!” මේ අංගනෙමෙයි හංග!” මේ 8න් පෙන්වන්නේ, පද 8න් පෙන්වන්නේ හංග හංග 8ක්, අංග 8ක් නෙමෙයි! නමුත් අද අපි “අංග 8කින් යුත් මාර්ගය” කියලායි කියන්න පුරුදු වෙලා තියෙන්නේ. ඔය වචන තෝරාගන්න ඕනේ. “දස නාමකිං? දස හංගේහි සමන්නාගතෝ අරහාති වුච්චතීති!” – “දස හංගයකින් සම්පූර්ණ වෙච්චි කෙනා අරිහතුන් වහන්සේ කියනවා” කියලා උත්තරේ දුන්නා. “අංග” වලින් නෙමෙයි, “හංග” 10කින්, දස අංගේහි නෙමෙයි තියෙන්නේ, දස හංගේහි. මොනවාද, දස හංගය හැදෙන්නේ කොහොමද? ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ හංග 8යි, සම්මා ඥාණ, සම්මා විමුක්ති කියන පද දෙකයි එකතු වුනහාම හංග 10යි. ඔන්න ඔය හංග 10න් යුක්ත වෙච්චි එක්කෙනාට කියනවා, “දස හංගේහි සමන්නාගතෝ අරහාති වුච්චතීති!” එහෙනම්, මේවා අංග නෙමෙයි, හංග!

 

ඇයි අංග නොකියන්නේ? ඇයි හංග කියන්නේ? ඕකත් තෝරාගෙන ඉන්න ඕනේ. අංග කියන වචනයේ නිරුක්තිය දකින්න ඕනේ ඕකට. යම් තැනක අං ගෑවෙනවානම් අංග වෙනවා. “අං” කියන්නේ? යම්කිසි කෙනෙකුට – අඟක් යම් තැනක හටගන්නේ කාටහරි රිදවන්න මිසක්, අනින්න මිසක්, අතගාන්න නෙමෙයි! අන්න අඟක ලක්ෂණය ඕකයි. එහෙනම් අපි අංග 10ක් අරගෙන මේ සසර ගමන එනවා, සතර අපායට යනවා අනුන්ට රිදවන්න ගාවන, වද්දන කෑලි 10ක් අල්ලාගෙන. ප්‍රාණඝාතය අනුන්ට රිදවන අංගයක්, රිදවන්නයි ගන්නේ. හොර-මැර-වංචාව අනුන්ට රිදවන්න ගන්න එකක්. සුරා-සූදු-දුරාචාර අනුන්ට රිදවනවා. බොරු-කේලාම්-ඵරුෂ වචන-ප්‍රලාප අනුන්ට රිදවනවා. ලෝභ-තරහා-මෝඩ අනුන්ට රිදවනවා. අනුන්ට ගෑවෙච්චි තැන රිදෙන නිසා, ඒවාට “අං” හා සමානයි, “අං ගෑවුනා” වාගේ, තැලෙනවා – පොඩි වෙනවා – රිදෙනවා – කැඩෙනවා ඒක තමයි සිද්ධ වෙන්නේ අකුසල් දහය යම් තැනක ගෑවෙනවා නම්, ක්‍රියාත්මක වෙනවා නම්.

 

එතකොට අපි බලනවා, “කවුද මේක හැංගුවේ? කෝ මෙතෙන නැත්තේ මොකද?” යමක් යම් තැනක නැද්ද, ඒකට “හැංගුවා” කියන වචනයක් අපි අතර අදත් එනවා. ඒක හංගලා! හංගවල ස්වභාවයක් තියෙනවා, රිදවන පැත්ත නැති කළා, නිරෝධ කළා. රිදවන පැත්ත, ගාවන පැත්ත, විද්‍යාමාන කරන පැත්ත නැති කරා නම්, එතන හංග වුනා, හැංගුවා!” අන්න ඒ, මේ විද්‍යාමානව තියෙන ඒවා හැංගුවා, කියන්නේ අවිද්‍යාමාන කරන්න ගන්නාවූ කාරණා 10ක් තියෙනවා. ඔය කාරණා 10න් මෙච්චර කල් විද්‍යාමාන වෙච්ච ලෝකය හංගනවා. හංගනවා කියන එකෙන් අද අරං තියෙන්නේ බොහොම කෙටි තේරුමක්. ඒ “හැංගුවා” කියන එක අද අපි හිතාගෙන ඉන්නේ, “මෙතන නැත්නම් වෙන කොහේහරි ඇති, හංගලා!” හංගනවා කියන එකෙන් පෙන්වන්නේ යම් තැනක විද්‍යාමාන වුනොත්, දැන් එතන විද්‍යාමාන වෙන්නේ නෑ!” කියන එකයි. මෙන්න මේක තෝරාගන්න ඕනේ. ඒ නිසා මේවාට කියනවා “දස හංග!”

 

{39:49} වැඩිය යුතු හංග 5 නම් කුසළ සීලයයි, ඵල වෙනුවෙන් කරන සාත්තුවයි : මේකෙන් හංග 8ක් වඩන මාර්ගයට අයිතියි. නිදහස් වීම සඳහා, ලෝකෝත්තරත්වය සඳහා වඩන මාර්ගයට අට පොලක් හංගන්න ඕනේ, නැත්නම් නැති කරලා දාන්න ඕනේ, අක්‍රීය කරන්න ඕනේ. අට පොලක අක්‍රීය වුනහම, නවය දහය දෙක ස්වභාවයෙන් ම අක්‍රීය වෙනවා. එහෙනම්, ඔය අට පොලෙනුත් අපිට ක්‍රියාත්මක කරන්න තියෙන්නේ 5යි! හංග 5ක් ක්‍රියාත්මක කරනකොට පරිවාර වශයෙන් හංග 3ක් ඕවායේ වට කරනවා. සම්මා දිට්ඨිය වට කරපු පරිවාර හංග 3ක් තියෙනවා. සම්මා සංකප්පය වටකරලා තියෙන පරිවාර හංග 3ක් තියෙනවා. සම්මා වාචා වට කරපු පරිවාර හංග 3ක් තියෙනවා. සම්මා කම්මන්ත වටකරපු පරිවාර හංග 3ක් තියෙනවා. සම්මා ආජීව වටකරපු පරිවාර හංග 3ක් තියෙනවා. සම්මා වායාම, සම්මා සති කිවුවේ, සම්මා දිට්ඨි කියලා ගත්ත කොටස් 3ක් තියෙනවා, අන්න ඒ ටික තමයි පරිවාර වශයෙන් වටකරලා තිබිච්ච හංග තුන.

 

සම්මා දිට්ඨිය – සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන පරිවාර හංග 3කින් වටකරලා. මෙන්න මේ සම්මා දිට්ඨිය තෝරාගන්න ඕනේ. සම්මා සංකප්පය, සම්මා සංකප්ප පිළිබඳ සම්මා දිට්ඨියයි, සම්මා වායාමයයි, සම්මා සතියයි කියන හංග 3කින් වටකරලා තියෙනවා ඒ ටික, පරිවාර කරගෙන තියෙනවා. අන්න ඒක තෝරාගන්න ඕනේ, ඒ ජාතියේ සම්මා සංකප්පය මොකද්ද? සම්මා වාචා පරිවාර හංග 3කින් – සම්මා දිට්ඨි, සම්මා සති, සම්මා වායාම කියන මේ හංග 3කින් වට කරලා තියෙනවා. ඒ වාගේම සම්මා කම්මන්තයත්, සම්මා ආජීවයත් – සම්මා දිටිඨි, සම්මා වායාම, සම්මා සති කියන පරිවාර හංග 3කින් වටකරලා තියෙනවා. ඔන්න ඔය සම්මා ආජීවයට වෙනකන් කරුණු තේරුම් ගත්තාට පස්සේ අපිට පරිවාර හංග 3න් වටකරපුහාම සම්මා වායාම සහ සම්මා සති කියන මේ ටිකට ආපුහාම අපි විසින් ක්‍රියාත්මක කළ යුතු කුසළ සීලය ඔතන තියෙනවා. ඔන්න, අපි විසින් ක්‍රියාත්මක කළ යුතු ආර්ය මාර්ගයේදී, නිවන් දකින්න අප විසින් ක්‍රියාත්මක කළ යුතු හරිය තියෙන්නේ ඔය ටිකේ. සම්මා සමාධිය ඒකේ ප්‍රතිඵලයක්, ඒ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක්. සම්මා ඥාණ සහ සම්මා විමුක්තියත් ඒකේ මල් ඵල ගැන්වීමක්.

 

ගහක් හිටවා ගත්ත ගොවියාට කරන්න තියෙන්නේ මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. “බීජයක් හිටවා ගත්ත ගොවියාට කඳ ඕනේ නම්, මල් – ඵල ඕනේ නම්, ගොවියා මොකක් කරන්න ඕනේද?” කියලා බුදුපියාණන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. <<ත්‍රිපිටක සූචිය අවශ්‍යයි>> “ස්වාමීනි, ඒ හිටවාගත්ත බීජයට හරියට සාත්තු කරන්න ඕනේ” “කඳ වැඩේවා! හෝ මල්-ඵල වැඩේවා! ආදී වශයෙන් කියලා හෝ ඒ සඳහා කරන්නත් දෙයක් තියෙනවාද? සාත්තුව හරියට කළොත් කඳ වැඩෙනවා, මල්-ඵල ලැබෙනවා, ඒක ධර්මතාවයක්! එහෙනම් මහණෙනි, මේ කුසළ සීලය සාත්තුව කියලා හිතාගන්න! සමාධිය කඳ, ප්‍රඥාව මල්ඵල! සමාධියටයි ප්‍රඥාවටයි අමුතුවෙන් කරන්න දෙයක් නෑ! ඒක ලැබෙනවා. බොහෝම පහසුවෙන් ලැබෙනවා, හැබැයි සාත්තුව හරියට කරගෙන යන්න!” මෙන්න අපි විසින් ක්‍රියාත්මක කළ යුතු බුදු මඟ, ක්‍රියාත්මක කළ යුතු නිවන් මඟ, ඔය ආර්ය අෂ්ඨාංගික මාර්ගය, ඔය ක්‍රමයෙන් දැනගන්න ඕනේ. වැදගත්ම හරියක් ඔය තියෙන්නේ, අත්‍යාවශ්‍යය ම හරිය! නිවන් දකින්න ඕනේ නම්, කළයුත්ත මොකද්ද කියන එක, ඔන්න ඔක්කෝම ඔතන තියෙනවා.

 

{43:29} සම්මා දිට්ඨියලෝකෝත්තර නිවැරදි අදහස නොදැන නිවන් දකින්න බෑ! : මෙතෙනදී පෙන්වනවා, ඔය මහා චත්තාරීසක සූත්‍රයේදී විග්‍රහ කරලා, සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය සේ දැනගනී, මිච්ඡා දිට්ඨිය මිච්ඡා දිට්ඨිය සේ දැනගනී, සම්මා දිට්ඨිය දෙආකාරයි කියා දැනගනී, එකක් ලෞකිකයි කෙළෙස් සහිතයි සසර ගමනට හේතු වෙනවා සුගති ගමනට හේතු වෙනවා. එකක් ලෝකෝත්තරයි, නිවනට හේතු වෙනවා.” මෙන්න මේ ටික හරිආකාරව විග්‍රහ කරලා දැනගත්තහම සම්මා දිට්ඨිය පිළිබඳ සම්මා දිට්ඨිය මතුවෙනවා. මෙන්න අත්‍යාවශ්‍ය සම්මා දිට්ඨිය හොයාගන්න ක්‍රමය! දැන් අපි සම්මා දිට්ඨිය විග්‍රහ කරන්න කිවුවහාම, “දුක්ඛේ ඥාණං, දුක්ඛ සමුදයේ ඥාණං, දුක්ඛ නිරෝධේ ඥාණං, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාය ඥාණං අයං වුච්චති භික්ඛවේ සම්මා දිට්ඨි” කිවුව අර වාක්‍යය අරගෙන, “දුක සහ දුකට හේතුව, දුක නැතිකිරීම, නැති කරන මාර්ගය සම්මා දිට්ඨියයි” කියලා අපි කෙටියෙන් තෝරන්න යනවා. විග්‍රහ කරලා තෝරන්න ගියොත් යන්නේ ඔය ටික. නමුත්, අපිට ඒත් ඕක තේරෙන්නේ නෑ. ඒක ඔක්කෝම ලෞකික අදහස් මයි තියෙන්නේ. ලෝකෝත්තර දහම් අදහස මතු කරන්න ඒ බණ පද ටික විග්‍රහය මදි! ලෝකෝත්තර දහම් අර්ථය මතු වුනේ නැත්නම් අපිට කවදාවත් සම්මා දිට්ඨිතෝරාගන්න බෑ ධර්මානුකූලව. තව කෙනෙක් ගෙන් අහන්නේ නැතුව, සැක නැතුව සම්මා දිට්ඨිය තෝරාගත්තා වෙන්න නම්, සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය සේ දැනගනී, මිත්‍යා දෘෂ්ඨිය මිත්‍යා දෘෂ්ඨිය සේ දැනගනී, සම්මා දිට්ඨිය දෙආකාරයි කියා දැනගනී, එක සම්මා දිට්ඨියක් ලෞකිකයි – කෙළෙස් සහිතයි – සුගතියට හේතු වෙනවා, අනික් සම්මා දිට්ඨිය ලෝකෝත්තරයි, නිවනට හේතු වෙනවා – මෙන්න මේ කිවුව ටික විග්‍රහ කරලා දැනගන්න ඕනේ! එතකොට ආයි සැරයක් තවත් “සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය වෙන්නේ කොහොමද?” කියලා කාගෙන් වත් අහන්න කිසීම ඉතුරු වෙන්නේ නෑ! සම්පූර්ණයි එතකොට. ගුරුවරයෙක් අවශ්‍යයත් නෑ ඊට පස්සේ ධර්මය දැනගන්න.

 

මෙන්න මෙතැනදී අපි දකින්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. දැන් මේ ලෝකේ යහපත් කියලා දේවලුත් තියෙනවා. සාමාන්‍යය ලෞකික මනසට ගෝචර වෙන හරියක්. නිවැරදි කියලා හරියකුත් තියෙනවා ලෞකික මනසට ගෝචර වෙන හරියක්. හරි කියලා දේකුත් තියෙනවා ලෞකික මනසට ගෝචර වෙන හරියක්. “යහපත් දැකීම, නිවැරදි දැකීම, හරි දැකීම” කියන මේ වචන තුනෙන් ම විග්‍රහ කරන්න ගියාට, ලෞකික මනසට ගෝචර වෙන, “යහපත් – නිවැරදි – හරි” කියන එකේ යම් අදහසක් ඇත්ද, ඔච්චරයි ගෝචර වෙන්නේ. ඔයින් එහාට ගෝචර වෙන්නෙ නෑ! අන්න, “සම්මා” කියන වචනයට භාෂා නිරුක්ති දෙන්න ගිහාම අපිට පැටලිලා තියෙන තැනක්! මොකද හේතුව?සම්මාකියන පදයේ පද නිරුක්තිය, නිරුක්ති පටිසම්භිදා ඥාණයෙන් මතුවෙච්ච දාට හරියටම ලෝකෝත්තර දහම් අර්ථය වැටහෙන්න පටන් ගන්නවා. එතකන් වැටහෙන්නේ නෑ. එහෙනම්, “සම්මා” කියන වචනයේ ලෝකෝත්තර අර්ථය ඒ නිරුක්තිය ආශ්‍රයෙන් දැනගන්න ඕනේ.

 

“සං” කියන එකතුවට, නැත්නම් “සං” කියන පදයට “මා” කියන පදය සම්බන්ධ වෙලා “සම්මා” කියන පදයක් හැදුනා. “සම්මා” පදය හැදිලා තියෙන්නේ එහෙමයි. “සං” කියන්නේ එකතුව. මේ ලෝකේ හැම දෙයක්ම එකතුවක් නිසයි හටගෙන විද්‍යාමාන වෙන්නේ. එකතුවක් නැති එක දෙයකින් මේ ලෝකේ යමක් විද්‍යාමාන කරලා පෙන්වන්න බෑ. යම් සත්ත්ව – පුද්ගල – ද්‍රව්‍ය – වස්තු කියන රූප එකතුවක් මේ ලෝකේ කොතනින් හරි ගත්තොත්, අපෝ ධාතුව – තේජෝ ධාතුව – වායෝ ධාතුව – පඨවි ධාතුව කියන ධාතු හතරේ එකතුවකින් හටගත්ත ඒවායි තියෙන්නේ…

 

(මීලඟ කොටස ඉදිරි දේශනාවෙන්)

 

~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~

 

දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://www.waharaka.com/listen/CD001-07

 

මීලඟට :  ගිහි වතක සිට නිවන් දකිමු 8 කොටස