චේතනා, කර්ම, විපාක, සම්පත්ති, විපත්ති, නීවරණ

cchethanaa-karma-wipaaka
02 සංයුක්ත තැටියමූලික දේශනා

දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)

චේතනා, කර්ම, විපාක, සම්පත්ති, විපත්ති, නීවරණ

 

{0:00:00} : කර්මය, කර්ම පථය, පටිසන්ධි විපාක, ප්‍රවෘති විපාක හඳුනාගනිමු

ලැබිලා තියෙනවා මේ පිංවත් පිරිසගෙන් අපිට සාකච්චාවට මාතෘකා කීපයක්. ජනක කර්ම, උපස්තම්භක කර්ම, උපපීලක කර්ම, උපඝාතක කර්ම කියන මෙන්න මේ ටිකත් තේරුම් කරලා දෙන්න කියලා තියෙනවා. දිට්ඨ ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය, අහෝසි කර්ම කියන මේ ටිකත්, ගරුක කම්ම, ආසන්න කම්ම, ආචින්න කම්ම, කටත්තා කම්ම, මෙන්න මේ පිළිබඳව විස්තරයක් තමයි බලාපොරොත්තු වෙන්නෙ, ඉස්සෙල්ලා.

 

මේ “ජනක කර්ම” කියලා කියන්නේ මේකයි. යම්කිසි භවයක උපන් කෙනෙක්, ඒ භවයෙන් චුත වෙලා නැවත පටිසන්ධියක් ලබනවා නම්, අන්න ඒ පටිසන්ධියක් ලැබීමට හේතුකාරක වෙන කරුණු. “ජනක” කියන්නේ “උපද්දවනවා” කියන එකයි. මතු භවයක උපද්දවන කර්ම – ජනක කර්ම.

 

ඒ කියන්නේ, කර්මයයි, කර්ම පථයයි දෙකක් තියෙනවා. දැන් දස අකුසළ කර්ම තියෙනවා, කර්ම පථය කියලා තියෙනවා. ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර, ඔය කයින් කෙරෙන වැරදි, පවු. එතකොට මුසාවාද, පිසුනාවාච, ඵරුසාවාච, සම්පප්‍රලාප කියන්නේ වචනයෙන් කෙරෙන පාප. අභිජ්ජා, ව්‍යාපාද, මිච්චා දිට්ඨි කියන්නේ හිතෙන් කෙරෙන පාප. දැන් මේවායේදි ඇතිවෙන්නාවූ සම්පූර්ණ කර්මයක් බවට පත්වීමක් තියෙනවා, කාරණා සම්පූර්ණ නම්. ඒවට කියනවා, “කර්ම” සහ “කර්ම පථ”. කර්මයයි, කර්ම පථයයි කියන මේ දෙක තෝරාගන්න ඕනෑ.

 

දැන් සතෙක් බව දැනගැනීම, මරණ චේතනාව, යොදන උපක්‍රමය, උපක්‍රමය ක්‍රියාත්මක කිරීම, සත්වයා මැරීම, මෙන්න මේ කාරණා 5 ම සකස් වුනොත් ඒක කර්ම පථයක් වෙනවා. ඒ කියන්නේ, සර්ව සම්පූර්ණ කර්මයක් වෙනවා. කර්මය පූර්ණයි. ඕකෙන් එකක් හරි අඩු වුනොත් එහෙම, ඒක කර්මයක් වෙනවා මිසක්, ප්‍රාණඝාත කර්මයක් වෙනවා, කර්ම පථයක් වෙන්නේ නෑ. ප්‍රාණඝාත කර්ම පථයක් වුනොත් තමයි, ඒකෙ ඇතිවෙන්නාවූ ශක්තිය තමයි “ජනක කර්මයකට” හේතු වෙන්නේ.

 

ඒ කියන්නේ, නැවත ප්‍රාණඝාතය හේතුකරගෙන, ප්‍රාණඝාත පාපයකින් යම් උප්පත්තියක් ලබනවා නම්, අපාගතව හෝ සතර අපාගත උප්පත්තියක් ලබනවා නම්, ඒකට හේතුවෙන කර්ම පථයක් වෙන්න ඕනෑ. ආං එහෙනම් අංග සම්පූර්ණ කර්මයක් කෙරෙන්න ඕනෑ. එහෙම නැත්නම් ලැබෙන්නේ “ප්‍රවෘත්ති විපාක”. ප්‍රවෘත්ති විපාක කියලා කියන්නේ.

 

පටිසන්ධි විපාකයෙන් උප්පත්තිය ලබාදෙනවා, ප්‍රවෘත්ති විපාකයකින් ඒ උප්පත්තිය ලබාදුන් කාලය තුළ, අපි හිතමුකෝ දැන් මනුස්සයෙක් වෙලා උපන්නා, පටිසන්ධි කර්මයකින්. අවුරුදු 80ක් හරි, 90ක් හරි, ඒ මනුස්සයා ජීවත් වෙලා ඉන්න කාලය තුළ, අතරමැද ඇතිවෙන විපාක තියෙනවා. අන්න ඒවට හේතුවෙනවා, අර කර්මය කියන එක, කර්ම පථයක් නොවිච්චි ඒවයේ තියෙන බලය.

 

දැන් කර්මයක් කරනකොට, හැම කර්මයකටම “පරිවාර කර්ම” තියෙනවා. දෙපැත්තටම පරිවාර කර්ම පිරෙනවා, හොඳ හෝ නරක. දැන් යම්කිසි කෙනෙක් ප්‍රාණඝාතයක් කරන්න හිතුවොත් එහෙම, ප්‍රාණඝාතයක් කිරීම සඳහා ඒ ප්‍රාණඝාතය කරලා, සත්වයා චුත වීමට කටයුතු වෙන මොහොත වෙනකන් ඒවා ඔක්කොම “කර්ම” කොටසට වැටෙනවා. ඒවයෙන් සිද්ධ වෙන්නේ උපන් තැනක විපාක, උපන් තැනක ගෙනත් දෙන්න. උපද්දවන්න හේතුවෙන්නේ, (ප්‍රාණඝාතයට ලක්වුනු) සත්වයාගේ මරණයත් සමඟ ඇත්වෙන්නාවූ, ජීවිතය හිඳීයාමත් සමඟ ඇත්වෙන්නාවූ යම් ක්ෂණයක තමයි “කර්ම පථයක්” බවට පත්වෙන්නේ.

 

දැන් සතෙක් මරන්න හිතලා යනවා, දඩයමේ යනවා මනුස්සයෙක්. දැන් දඩයමේ යනකන් තියෙන්නේ කර්ම. ප්‍රාණඝාත කර්මයටයි හේතුවෙන්නේ. තවම සතෙක් මරණ බවට සම්බන්ධ වුනේ නෑ. සතෙක් දකිනවා, “අන්න සතෙක් ඉන්නවා, මරන්න ඕනේ” කියලා හිතනවා. වෙඩි තියනවා හරි, විදිනවා හරි, ගලකින් ගහනවා හරි, මොකක් හරි ගන්න උපක්‍රමය ක්‍රියාත්මක කරනවා. උපක්‍රමය ක්‍රියාත්මක කළා, හැබැයි ගල්පාර වැදුනේ, නැත්නම් වෙඩිපාර වැදුනේ අහකට, සතාට වැදුනේ නෑ. එහෙනම්, ප්‍රාණඝාත කර්මයක් වුනා මිසක්, කර්ම පථයක් වුනේ නෑ. සතාට වැදුනා, මලේ නෑ.

 

එහෙනම්, පූර්ණ කර්ම පථයක් වෙන්න ප්‍රාණඝාතයක් සර්ව සම්පූර්ණ වෙන්නේ නෑ, සත්ව හිංසාවක් වීම් වශයෙන් සම්පූර්ණ වෙනවා. ප්‍රාණඝාතය වශයෙන් සත්වයාගේ චුත වීම වුනේ නෑ. එහෙනම් ඉතින්, මලේ නැත්නම්, එතන වෙන්නේ කර්ම කියන කොටසට වැටෙනවා. “ප්‍රාණඝාත කර්ම”. සතා මළා නම්, මැරෙන මොහොතෙදී කර්ම පථයක් හටගන්නවා. අන්න ඒ මැරෙන මොහොතේ ඇතිවෙන්නාවූ බලවත් කර්ම වේගය තමයි මතු උප්පත්තියක් හටගන්වන්න හේතුවෙන්නේ, සතර අපාගතව. ඒටික වෙනවා නම්, ඒකයි අන්න ජනක කර්මයක් වෙන්නේ.

 

{0:03:59} : උපපීලක, උපඝාතක කර්ම සහ විපාක

එතකොට, ජනක කර්මයක් ඇතිවෙනකොට, දැන් අපි අර කරගත්ත හොඳ හෝ නරක තියෙනවා නම්, ඒ ප්‍රාණඝාත පැත්ත කිවුවේ, අපි දානයක් දෙනවා තව පැත්තකින්. දානයක් දීමට අවශ්‍යය කරන කාරණා අංග සම්පූර්ණ කරලා, දානේ දෙන මොහොතෙදි තමයි දානමය පුන්‍ය කර්මය කර්ම පථයක් වෙන්නේ. දන් දෙන මොහොත වෙනකන් කරපු යම්කිසි වැඩපිළිවෙලක් ඇත්ද, ඒක පරිවාර කර්ම වෙනවා. අන්න “උපස්තම්භක”. යම් තැනක උපන්නහම, ඉපදීමට හෝ ඉපදුන කය පැවැත්වීමට හෝ ආධාර වෙන කර්ම. ඒවට කියනවා, උපස්තම්භක කර්ම.

 

“උපපීලක” කියන්නේ, ඒ ජනක කර්මයෙන් ලබාදුන්න ශක්තිය, ඒ පැවැත්ම, බාධා පමුණුවලා, ඒක බිඳ හරින්න, කටයුතු කිරීමට බාධා පමුණුවනවා. පහත් බවට පත්කරනවා. හොඳ හෝ නරක. වැටහෙනවද ඒ ටික? ඒකට කියනවා, උපපීලක කර්ම. දැන් යම්කිසි කෙනෙක් පිනක් කරලා, ඒ පින කර කර ඉන්න පුද්ගලයා, ඒ පින කරන ගමන්, “මොන එකද්ද මේ? අපරාදයක් නේ මේ සල්ලි දුන්නේ, වියදං කළේ මේකට! නිකං බොරු වැඩක් මේක…” ඔහොම වත් හිතුණා නම් එහෙම, අන්න ඒක කවදහරි අර පිනේ සම්පත්තිය ලැබෙනකොට, ඒක පහත දමන්න හේතුවෙනවා – උපපීලක.

 

පවක් කරන්න ගිහිල්ලා, “මොන අපරාදයක් ද මං මේ කරන්න ගියේ? මේවගේ ඒවා මං මීටපස්සේ කරන්නේ නෑ!” ඔය අදහසක් ගත්තොත්, අර පාපකර්මයේ බලවේගයට උපපීලක වෙනවා. ඒක ගෙවන්න හේතුවෙනවා අර අදහස. ඒකෙ තියෙන බලය අඩුකරන්න හේතුවෙනවා. ඒ දෙපැත්තටම උපපීලක කර්ම තියෙනවා.

 

“උපඝාතක” කර්ම කියලා කියන්නේ, ඒ කරනලද කර්මයකින්, ශක්තියකින්, අර උපන් භවය විනාශ කරන්න හේතුවෙනවා. දැන් මිනිසත් බවක ඉපදිලා, එයා කරපු, දැන් අපි හිතමුකො යම්කිසි පුද්ගලයෙක් ඉපදිලා ඉන්න මනුස්සයින්ට පහර ගහලා මරලා දැම්මා. දැන් එයාටත් සිද්ධ වෙනවා, වෙන හේතුවකින් උපන්නත් මනුස්සයෙක් වෙලා, අතරමග අනුන්ගෙන් පහරක් කාලා මැරෙන්න. අන්න උපඝාතකයක් ආවා. ඒ කියන්නේ, ලැබුණාවූ දේ විනාශයය යන්න හේතු වුනා.

 

දැන් නරක වැඩක් කරනවා. ඊටපස්සේ මිනිහා අභය දානය දෙනවා, ඒකට. ඒකෙ පාපය දැනගෙන, කළාවූ… සත්ව ඝාතනයක් කළා නම්, ඊටපස්සෙ එයා අභය දානය දෙන්න පටන් ගන්නවා. සත්වයින්ට බයක් නැතුව, කරදරයක් නැතුව ජීවත් වෙන්න තමන්ට කරන්න පුළුවන් උදවුවක්, උපකාරයක් ඇත්නම් කරලා, ඒ ආදී වශයෙන් ක්‍රියා කරනවා. අන්න එහෙම කරපුහාම, අර ප්‍රාණඝාතය නිසා හටගන්න ගිය විනාසයක් ඔහුට තිබුණා නම්, ඒක බිඳ හැරිලා, ආයිත් ජීවත් වෙන්න මඟ පෑදෙන්න හේතු වෙනවා. අන්න ඒකයි, ඒ ලැබෙන ප්‍රතිවිපාකයේ ආකාරය.

 

ඉතින්, යමක් නිසා ලැබුණාවූ ශක්ති විශේෂය, නැත්නම් ලැබුණාවූ අත්බැව විනාශ කරන්න හේතුවෙනවා නම්, හොඳ හෝ නරක, ඒක උපඝාතක කර්මයක්, එයින් සිද්ධ වෙන්නේ. ඕක තමයි කර්ම කොටස් හතර.

 

{0:06:23} : දිට්ඨ ධම්ම, උපපජ්ජ, අපරාපරිය ආදී කර්ම ඵල දෙන හැටි

මේ දිට්ඨධම්ම වේදනීය කියන්නේ, ඒ කාරණේ ප්‍රතිඵලය ඒ අත්බැවේ ම දකින්න ලැබෙනවා. මෙලොවදි කරපු පාපකර්මය මෙලොවදිම ඵලදෙනවා. ඔක්කොම, සියල්ලම නෙමෙයි කොටසක්. ඒක දිට්ඨධම්ම වේදනීය. දැන් නිරෝධ සමාපත්තියට සමවැදිලා හත් දවසක් ඉඳලා ඔන්න අරිහතුන් වහන්සේ නමකට, ඉස්සෙල්ලම දෙන දානයේ ආනිසංසය එලොවදිම ඵලදෙනවා. ඒ දුන්න කෙනාට ඒ අත්බැවේම ඵලදෙනවා. එතකොට මේක තමයි දිට්ඨධම්ම වේදනීය.

 

දැන් ඒවගෙම ආනන්තරිය පාපකර්මයක් කරලා, දැන් අර දේවදත්තට මෙලොවදිම, එදාම ඵලදුන්නා. ඒ කියන්නේ, මෙලොවදිම පණ පිටින් අපාගත වුනා. ඉතින් ඒ වගේ අවස්ථාවල්, ඒකත් දිට්ඨධම්ම වේදනීයයි. යම්කිසි කර්මයක් කරපුහාම කර්මය බලවත්කම හොඳ හෝ නරක අනුව තමයි, අධික බලවත් ඒවා තමයි මෙලොව කොටසක් ඵලදෙන්නේ.

 

දැන් අපි දානයක් දීලා, මොනවාහරි කරලා, අපල දුරුකරගන්න දානයක් දෙනවා. ඒක, ඇත්ත වශයෙන්ම ඒක බලවත් වුනා නම්, ඒ ආනිසංසයේ මෙලොව ඵලදෙන කොටසින් අර අපලය දුරුවෙන්න බලපානවා. ඒකත් දිට්ඨධම්ම වේදනීයයි. යම්කිසි කෙනෙකුට යහපතක් කරගන්න අවශ්‍යයි. එයා මෙලොවදී දන්-පෙත් දීලා, ඒ ආදී වශයෙන් කටයුතු කරනකොට, ඒකෙ ආනිසංසයක් මෙලොව ඵලදුන්නා, එයාගෙ මෙලොවදී ආයි සැරයක් යහපත් මාර්ගයට හැරෙන්න ඒක දිට්ඨධම්ම වේදනීය වශයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ඉතින් දිට්ඨධම්ම වේදනීය කියන්නේ අන්න ඒවා.

 

දැන් “උපපජ්ජ වේදනීය” කියලා කියන්නේ මේ භවයේ නැහැ, ඊලඟ භවයෙදි ඒකාන්තයෙන් ඵල දෙන කර්ම. දැන් ආනන්තරිය පාපකර්මයක් කළොත්, එයා මෙලොව කොහොම ජීවත් වුනත් ඒකාන්තයෙන් ඊලඟ භවයේ අපාගත වෙන්න වෙනවා මයි. අන්න ඒක උපපජ්ජ වේදනීය. ඒ ආසන්නම භවයේදි ඒක අත්දකින්න සිද්ධ වෙනවා, අත්විඳින්න සිද්ධ වෙනවා.

 

“අපරාපරිය” කියන්නේ, කවදා හරි, අපි කර්මයක් කළොත් කවදා හරි විපාකයට එන්න හේතු ශක්තියක් ගැබ්වෙනවා. අවස්ථාව ලැබුණු තැන විපාක දෙනවා, සසර අනන්ත කාලෙකදි හරි වෙන්න පුළුවන්. කල්ප ගාණක් ඉඳලා හරි අරක ඇදලා එන්න පුළුවන්. එහෙම කර්ම බලවේග තියෙනවා, අපරාපරිය.

 

“අහෝසි කර්ම” කියලා කියන්නේ, යම්කිසි කර්මයක් කරපුහාම, ඒ කර්ම බලවේගය එක්කෝ බිඳලා අහෝසි කරගන්න ඕනේ. දැන් කර්මයක් කරපු කෙනාට කර්මය විඳින්න සිද්ධ වෙනවා, විපාක. ඒ විපාක විඳින කාල සීමාවෙදි විපාක විඳලා ඉවර වුනහම, ඒ කර්මයේ බලවේගය අහෝසියි. ඒක ඵලදෙන්න විදිහක් නෑ. දැන් සෝතාපන්න තත්වයට පත්වුනොත් යම් කෙනෙක්, සතර අපාගත වෙන්න තිබිච්ච සියළු කර්ම අහෝසියි. එයාට ඵලදෙන්න විදිහක් නෑ. අන්න ඒවගේ ඒවට කියනවා, අහෝසි කර්ම.

 

{0:08:46} : සාසන ගුණයට හිත පහදවාගත් දුගියන් ගැන කතා

( ශ්‍රාවක මහතෙක් ප්‍රශ්නයක් අසයි, මහා පරිමාණයෙන් දන් දී ගැනීමට නොහැකිවීම පිළිබඳව ප්‍රශ්නයකි. නමුත් ප්‍රශ්නය පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ) : ඉතින් මේකයි, ඉතින් යම්, තමන්ට හිත තියෙනවා නම් ඒ හිතේ තියෙන චිත්ත ප්‍රබෝධයයි, ප්‍රසාදයයි එතන බලපාන්නේ, දාන වස්තුවේ ලොකුකම නෙමෙයි. දැන් ඒ කියන්නේ, චිත්ත ප්‍රසාදයයි පිනට බලපාන්නේ.

 

දැන් ජේතවනාරාමයක් හදන්න පුළුවන්කමක් අර “දුගියා” ට තිබුණේ නෑ. ජේතවනාරාමය හදන්න කෝටි ගාණක් වියදම් කරලා හැදුවේ අනේපිඬු සිටුතුමා. “අනේ සාදු! අනේ සාදු! කොච්චර වටිනා දෙයක්ද…!” කිය කියා, බොහොම සන්තෝසෙන් චිත්ත ප්‍රසාදය පහලකරගෙන හිටියා එක උපාසක මහත්තයෙක්. දැන් ඒකෙ පිනෙන් එයාට මැවුනා රත්තරන් මාලිගාවක්, තවුතිසා දෙවු ලොව. ඒ පූජා කරපු අනේපිඬු සිටුතුමාට ඊට පල්ලෙහායින් රිදී විමානයක් මැවුනා. ඒ පිනේ ප්‍රසාදය කොච්චර වෙනස් වෙලාද?

 

කෝටි ගාණක් වියදම් කරලා, තමන්ගේ මුදල වියදම් කරලා හදපු අනේපිඬු සිටුතුමාට පහලවුනා ඒ පිනට රිදී විමානයක්, ඒ පූජා කරන වෙලාවේ. ඒ වෙලාවෙ සතුටු වෙච්චි අර උපාසක මහත්තයට, ඊටත් ඉහළින්, ඊට වඩා වටින රත්තරන් විමානයක් ඒ විදිහටම පහලවුනා.

 

(ශ්‍රාවක මහත්මයෙක් යමක් පවසයි, පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ) : ඔවු, ඒ හිතට… අපි ඒක දකින්න ඕනෑ. දැන් සංවේගයට පත්වීම කියන එකෙත් තියෙනවා, දුක කියන එකෙත් තියෙනවා ක්‍රම 2ක්. එක්තරා දුක් කොටසක් තියෙනවා, ඒක මේ “පටිඝානුසය” ට වැටෙන්නෙ නෑ. ඒ කියන්නේ යම්කිසි ද්වේෂයක්, නැත්නම් දූෂ්‍යතාවයක් එනකොට, සියළුම දූෂ්‍යතාවයන් පටිඝානුසයට වැටෙන්නේ නෑ. ඒ කියන්නේ, ගැටීමට අහුවෙන්නේ නෑ, පාපයට අහුවෙන්නේ නෑ.

 

දැන් යම්කිසි කෙනෙකුට, “අනේ මට මෙහෙම දානයක් දීගන්න නෑ නේ…” කියලා තියෙන සංවේගය, ඒක පාපයට වැටෙන්නේ නෑ. එහෙනම්, සියළුම මානසික දුක් කරදර පාපයට වැටෙන්නේ නෑ. ඒක දකින්න ඕනෑ එතන.

 

දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදි, උන්වහන්සේ වඩිනවා දැකලා එක්තරා පිරිසක්, තමතමන්ගේ වත්කම් වලින් නොයෙක් ආකාරයෙන් දාන-මාන හදාගෙන ගෙනාවා. එක මනුස්සයෙක් හරී ශ්‍රද්ධාවන්තයි, පැහැදීම් සහිතයි. “අනේ, බුදුරජාණන් වහන්සේත් වඩිනවා, මහා සංඝ රත්නයත් වඩිනවා, මට දානෙකට දෙන්න මොනවත් නෑ න්! මං මොනවා දෙන්නද?” මෙහෙම කල්පණා කර කර ඉඳලා, මෙයා මොකද කරන්නේ, බැලුවා දැන් කන්න බොන්න දේකුත් ගෙදර නෑ.

 

එහෙ-මෙහෙ හොයලා බලනකොට හුණුසාල් ඇහි ටිකක් තියෙනවා දැක්කා. ඇහි සහිත හුණුසාල් ටිකක් වෙන්කරලා. ඒක ගරලා, ගරලා, “ඒකෙන් ඒ ටික නම් ගන්න පුළුවන්, ඉතින් ඒක ගත්තා නම් මොනවා හදන්නද ..?” බැලුවා මොනවත් තව තියෙනවද? ඉතින් හකුරු ටිකක් හරි, පැණි ටිකක් හරි තව පොඩ්ඩක්, අඩියක් ඉතුරුවෙලා තියෙනවා දැක්කා. තෙළුත් චුට්ටක් තිබුණා, ඔච්චරයි තිබුණේ.

 

එහෙනම්, මේකෙන් මෙයා මොකද කරන්නේ, “මොනවාහරි කමක් නෑ, කන්න දෙයක් හරි හදලා, කොහොමහරි ඔතනින් ගිහින් තියාගත්තොත්, මගෙනුත් දානයක් වෙනවනේ…” මෙහෙම කරලා, හුණුසාල් ටික ගරලා, ඔක්කොම අඹරලා, ඒක පිටි කරගෙන, අර පැණි ටිකත් ඒකට මිශ්‍ර කරලා, අර තිබිච්ච තෙල් ටික දාලා, ඒක බැදෙන්න මදි, ඒ පැත්තට, මේ පැත්තට දාලා දාලා, කොහොමහරි මේක කන්න පුළුවන්, තම්බාගන්න පුළුවන් ගානට අර තෙලෙන් තම්බාගත්තා. ඉතින් කැවුමක් නෙමෙයි මේක, කොහොම හරි ඉතින් පිටි ටිකක්, පැණි ටිකක් දාලා හදාගත්තා, නමුත් ආහාරයට ගන්න පුළුවන් එකක්.

 

දැන් ඕක හදාගෙන, දැන් අනික් අයට පේන්න තියන්න බෑ, මොන කෑමක් ද මේක? අහවල් කෑම කියන්න බෑ නේ. ඉතින් මේක එකපාර ප්‍රසිද්ධියේ ගෙනියන්නත් බෑ, පෙන්නන්නත් බෑ, සළුවක ඔතාගෙන අරන් ගියා. සළුවක ඔතාගෙන ගිහිල්ලා බලනකොට, එතන තියෙන කෑම වල ප්‍රණීතය දැක්කහම, ප්‍රණීත සුවඳ මෙයාට වැටෙනකොට, “පොච්චියේ…! මං මේ ගෙනිච්ච මේ තලපේ කොහේ තියන්නද… මේ කෑම වල හැටියට..! මෙතන පැත්තට වත් තියන්න පුළුවන් තැනක් නෑ නේ…!” කියලා සංවේගයෙන්, “අනේ මං වාගෙ දුප්පතෙක්…” මෙහෙම කිය කියා මොකද කරන්නේ, ඒකත් අරගෙන, අර සෙනඟ අස්සට වෙලා හිටියා, හංගාගෙන.

 

හැබැයි, බුදුරජාණන් වහන්සේ මේක බුදු ඇසින් දැකලා තියෙන්නේ. ඉතින් අනික් ඔක්කෝම එක්කලා දානෙ දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා, බුදුරජාණන් වහන්සේ වඩිනකන්. බුදුරජාණන් වහන්සේ පාත්තරේ වහගෙන වැඩියේ, පාත්තරේ ඇරියේ නෑ. අනික් අයට දැන් දානෙ බෙදන්න විදිහක් නෑ. බුදුරජාණන් වහන්සේ අර මනුස්සයා ලඟටම ගිහිල්ලා පාත්තරේ ඇරියා. “මේක මට පුදුම වාසනාවක්..! ලොවුතුරා බුදුරජාණන් වහන්සේට මගේ දානෙ දෙන්න හම්බුණා..!” කියලා “අනේ සාදු..!” කියලා දානෙ පූජා කළා. දැන් බුදුරජාණන් වහන්සේ ඒ කුඩු රොටිය වැළඳුවා, අනික් අයගෙ ප්‍රණීත දානය ගත්තෙ නැතුව, එයා වෙනුවෙන් අනුකම්පා කරලා.

 

{0:12:36} : දාඩිය මහංසියෙන් උපයා දන් දීමේ නියම අරුත

දැන් මෙතන පෙන්නන ඉතින් වැදගත්ම දෙයක් තියෙනවා. තමන්ගෙ වත්කමේ හැටියට තියෙන දෙයින් යම් කෙනෙක් දෙනවා නම් ඒකෙ අති විශේෂයක් තියෙනවා. ඒ නිසා එතන ඒ අඩුපාඩුව…. දැන් අපි හිතමු යම්කිසි කෙනෙක් තමන්ගෙ තියෙන වත්කම් වලින්, තියෙන දේපොල වලින්, දානයක් හදලා ලොකූවට දානයක් දෙනවා එක්කෙනෙක්. තව කෙනෙක් තමන්ට තියෙන මට්ටමට පාන් ලෙල්ලක් හරි කමක් නෑ, තමන්ට තියෙන හැටියට ලොකුම දේ දෙනවා. මෙන්න මේ තමන්ගෙ, තමන්ට තියෙන හැටියට දෙන ලොකුම දේ විශේෂයි.

 

ඕක හරි ගැඹුරු අර්ථයක් තියෙන තැනක්. ඕක කෙනෙකුට තේරුම් ගන්න බෑ විශේෂත්වය මොකද්ද කියලා. දැන් මේ ලෝකෙ මනුස්සයෙක් බිහි වුනහම, මේ සෑම කෙනෙකුටම මේ ලෝකෙ හිමි ආහාර කොටසක් තියෙනවා. දැන් මේ ලෝකයා නොදකින පැත්තක් මේක, හැඟවුනු දහමක්. “සබ්බේ සත්ථා ආහාරට්ඨිටිකා” – මේ සියළු සත්වයෝම ආහාරයක් නිසා පැවැත්ම ගෙනියනවා. ඉතින්, ආහාරයක හිමිකම, ආහාරයක වාසනාව නැතුව මේ ලෝකෙ මිනිහෙක් උපදින්නේ නෑ. හැබැයි, මිනිහෙකුට හිමි ආහාර කොටසක් තියෙනවා, දවසකට. මෙන්න මේ කොටස ඔහුට පෝෂණයට, ඔහුට ගැලපෙන ආහාර කොටස. ඒ හිමිකම ඔහුට තියෙනවා.

 

නමුත්, යම්කිසි පුද්ගලයෙක්, නොයෙක් උපක්‍රමශීලීව හරිහම්බ කරන ක්‍රම තියෙනවා. අපි කොච්චර සාධාරණ ක්‍රමයක් කියලා හැදුවත්, මේ සමාජය හැදිලා තියෙන්නෙ සාධාරණ හරිහම්බ කිරීමකට නෙමෙයි. සමාජයම හැදිලා තියෙන්නෙ යම්කිසි අසාධාරණ හරිහම්බ කිරීමකට, බොහෝකොටම.

 

දැන් කෙනෙකුට පඩියක් දෙනවා. දැන් බලනකොට එයාට දීලා තියෙන පඩිය, ස්ට්‍රයික් කරලා, නොයෙක් වැඩ වර්ජන වලට සම්බන්ධ වෙලා, කරලා, “මෙච්චර පඩි දුන්නෙ නැත්තම් වැඩ කරන්නෙ නෑ…!” කියලා, මේ මේ ආදි වශයෙන් උපක්‍රමශීලීව වැඩිකරගත්ත පඩියක්, යම් වැඩපොළක දෙන්න හදාගෙන තියෙනවා. දැන් යම්කිසි කෙනෙක් ඔය වැඩපොළේ වැඩට යනවා, එහෙම හදාගත්තට පස්සේ. දැන් එයාටත් අර වැඩි පඩියම හම්බවෙනවා. හැබැයි මේ ශ්‍රම පඩිය නෙමෙයි මේ, ශ්‍රමයට ගාන නෙමෙයි. මිනිස්සු විසින් ගොඩනඟාගත්ත සම්මතයක් තුළ ලොකු කරගත්ත පඩියක්. බැලුවොත් එහෙම, ඔහුට ගැලපෙන පඩිය ඒක නෙමෙයි. ඒක ඊට අඩුවෙන්න පුළුවන්. නමුත් ඊට වඩා වැඩි පඩියක් ඔහු සකස් කරගන්නවා.

 

දැන් සමාජයේ තියෙන, අර ඉල්ලුම – සැපයුම කියන ක්‍රම දෙකක් තියෙනව නේ. අන්න ඒ අනුසාරයෙන්, ආර්ථික විද්‍යා ක්‍රමයට, යම්කිසි දෙයක් දුර්ලභ නම් ඒ මනුස්සයට පුළුවන් ඒ දෙන සාධාරණ පඩිය වැඩි කරන්න. දැන් අර කසළ ශෝධකයෝ ස්ට්‍රයික් කරලා, කසළ ශෝධකත්වයට යන්න කවුරුවත් කැමති නෑ, මිනිස්සු. ඒකට ගැළපෙන පිරිසක් ඉන්නවා, ඒ පිරිස විතරයි ඒකට යන්නේ, නම්බුකාරකම නිසා අපේ මිනිස්සු යන්න කැමති නෑ. හැබැයි, මේ ස්ට්‍රයික් කළාට පස්සේ හැමතැනම කුණු වැඩි වෙලා, අන්තිමට මහ විනාසයක් වෙන්න ගියා කොළඹ පැත්තේ. ඒ මිනිස්සු ඉල්ලුවෙ අසීමිත පඩියක්. කොරන්න දෙයක් නෑ, දෙන්න වුනා. දැන් එයාගෙ වත්කමේ හැටියට බැලුවොත්, අතුගාන කෙනෙක්ට එච්චර පඩියක් ගැළපෙන්නේ නෑ. ඒ වුනාට කරන්න දෙයක් නෑ.

 

දැන් ඊට පස්සෙ ඔතන කසළ ශෝධකත්වයට බැඳෙන පුද්ගලයා ගන්නේ අර අසාධාරණ පඩිය. දැන් ඒක එයාට ගැළපිලා නෑ. දැන් එයාට කියන්න පුළුවන්, “මං දැහැමින්, සාමයෙන් රස්සාවක් කරලා උපයාගත්ත පඩියෙන් මං දන් දෙන්නේ…” දැන් එයා හිතුවට හරිද? අන්න, බුදුරජාණන් වහන්සේ දේශනා කළා “දාඩිය මහංසියෙන් හරිහම්බ කරගත්ත දෙයින් දානයක් දෙනවා නම්…” දැහැමින් උපයාගත්ත දෙයින්, එතන හැමතැනම පෙන්වලා තියෙනවා “දාඩිය මහංසියෙන්” හරිහම්බ කරගත්ත එක. දැන් මෙතන තියෙනවා විශේෂත්වයක්. “දාඩිය මහංසියෙන් හරිහම්බ කරගන්නවා” කියන එක සාධාරණ විදිහටම මිනිහා වෙහෙසිලා ගත්ත, සම්මතයේ තියෙන මුදලක්.

 

අර සුඛෝපභෝගීව ඉඳලා, වැඩිපුර හදාගත්ත, අර ක්‍රම රටාවෙන් සම්මත කරගත්ත, ගොඩනඟාගාත්ත රටාවෙන් වැඩි මුදල ගත්ත මිනිහගෙ තියෙන මුදලට වැඩිය, අර දාඩිය මහංසියෙන් හරිහම්බ කරගත්ත සුළු මුදල ඊට වඩා වටිනා, නිවැරදි මුදලක් වෙනවා. ඔහු ඒ මුදලෙන් යම්කිසි දෙයක් අරගන්නවා තමන්ට වත්කමේ හැටියට. දාන වස්තුව ධාර්මික වැඩියි. හැබැයි බලපුහාම, අන්තිම ප්‍රණීතයෙන් අඩුයි. දාන වස්තුව ධාර්මිකත්වයෙන් වැඩියි. යම්කිසි ලොකු කෙනෙක් ඉන්නවා, මොනවා හරි අසාධාරණ විදිහට හරිහම්බ කරලා, ප්‍රණීත දානයක් හදනවා. එයාගෙ දාන වස්තුව ප්‍රණීතයි, සාධාරණත්වයෙන් අඩුයි. අන්න වෙනස. දැහැමි බවෙන් අඩුයි. නොදැහැමි දාන වස්තුවක් මහ ලොකුවට දුන්නත්, දැහැමි දාන වස්තුවේ පුංචි එකට ඒක පරාදයි! මෙන්න මෙහෙම විශේෂයක් තියෙනවා.

 

“අශ්ව මේද, පුරිස මේද” ආදී වශයෙන්, නොයෙක් ආකාර දාන ක්‍රම ඉස්සර තිබුණා. ඉතින් බමුණන්ගේ ඒ දානය මහා වර්ණනා කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “දුප්පත් මිනිහෙක්, ඉතාම සුළුවෙන් හදන ඉතාම සුළු දේ ට කළාවෙන් කළාවකට වත් අර මහා දානය අගය කරන්න බෑ” කියලා. බමුණෝ මේකට විරුද්ධ වුනා. බමුණෝ අහනවා ඊටපස්සේ, “ඇයි එහෙම කියන්නේ? මෙච්චර වටිනා දානෙකට නිගරු කරන්නෙ මොකද? දුප්පත් මිනිහෙක් ගෙ පුංචි දාන කොටස එච්චර ලොකු කරන්නෙ මොකද?” ඉති බුදුරජාණන් වහන්සේ දේශනා කළා, “දාන වස්තුවේ දැහැමිතාවය කොතනද තියෙන්නේ?”

 

අර ලොකුවට කරන මිනිස්සු එළුවො මරලා, හරක් මරලා, කුකුලො මරලා, සත්ව හිංසා කරලා, මැර බලෙන් වැඩ අරගෙන, වහලුන්ගෙන් වැඩ අරගෙන, එහෙම තමයි අර මහා දානෙ හදන්නෙ. ඒ දානෙ කොච්චර ලොකු වුනත් අසාධාරණ දානයක්. අර දාඩිය – මහංසියෙන් හරිහම්බ කරගත්ත දුගී දුප්පතාගෙ පුංචි දානෙ, ඒක දැහැමියි. දැහැමි කම නිසා ඒ දාන වස්තුව වටිනාකම, පුන්‍ය ශක්තිය වැඩියි. අර මහා දානයේ කළාවෙන් කළාවකට වත් අගය කරන්න පුළුවන් කමක්, “ඒ මහා දානයේ අර පුංචි මනුස්සයගෙ පුංචි දානයෙන් කළාවෙන් කළාවකට වත් අගය කරන්න බෑ මෙන්න මේ හේතුව උඩ” කියලා පෙන්නුවා.

 

{0:07:55} : තමන්ගෙ පිළ කඩලා චෛත්‍යයකට දුන්න තවත් දුගියෙක්ගෙ මහා දානයක්

දැන් මේකෙදි අපිට මේ දුක්වෙන්න අවශ්‍යතාවයක් නෑ තමන්ගෙ මට්ටමින් දන් දෙන්න. මේක විශාල දානයක් බවට පත් කරගත්තහැකි. මෙහෙම ක්‍රම තියෙනවා. ඒ ක්‍රම වල දාන ආනිසංසයත් බොහොම වැඩියි. මම දැනුවත්ව එක තැනකදි සිද්ධියක් වුනා. චෛත්‍යයක් හදන්න ආධාරයක් එකතු කළා, කැමති අය ආධාර දෙන්න කියලා. සමහර අය දහ දාහ, පහළොස් දාහ, විසි දාහ, එක එක විදිහට ආධාර දුන්නා. සමහර අය වැලි කියුබ් එකක් ගෙනත් දෙන්නම්, අච්චර ගෙනත් දෙන්නම්, අර ගල් මෙච්චර ගෙනත් දෙන්නම්, ඔහොම ඔහොම පොරොන්දු වුනා.

 

දුප්පත් ම මිනිහෙක් ඕක අහගෙන හිටියා. ඒ මිනිහා ඇත්ත වශයෙන්ම අනුන්ගෙන් කාලා බීලා ජීවත් වෙන, පුංචි පැල් කොටේක හිටපු මනුස්සයෙක්. මේ මනුස්සයට දෙන්න දෙයක් නෑ. කල්පණා කළා, “මං මොනවද ගිහිං දෙන්නේ?” මිනිහගෙත් පිලේ තියෙනවා ගඩොල්. පිල කඩලා ගඩොල් කැට හතරක් ගත්තා. අරං ඕක හේදුවා. හෝදලා, කුණු යන්න සුද්ධ කරලා, ගඩොල් කැට හතර අරගෙන, මිනිහ ගිහිල්ලා, මේ ඉවුරක, හේදිච්ච ඉවුරකින් අරගෙන, මඩටික අරගෙන, මඩ ඇරලා, ඇරලා, හෝදලා, සුදු වැලි ටිකක් හදාගත්තා. මිනිහගෙම ශ්‍රමයෙන් මඩ හෝදලා සුදු වැලි ටිකක් හදාගත්තා, වැලි සේරුවක් විතර. අර ගඩොල් කැට හතර බදාම ගහන්න අවශ්‍යය කරන වැලි ටික.

 

ඕක හදලා ගිහිල්ලා, “මෙන්න මට දෙන්න පුළුවන් දේ” කියලා දුන්නා. හැබැයි, ඔය හදන හාමුදුරුවෝ හරි වැදගත් දෙයක් කළේ, අර දුන්න ගඩොල් කැට හතරයි, අර දුන්න වැලි ටිකයි විශේෂයෙන් වෙන් කරලා තිබ්බා. වෙන් කරලා තියලා ඉවරවෙලා, හරියට මුල් ගල තියන වෙලාවට දුන්නා, “ඔය ගඩොල් කැට හතරෙන් මුල් ගල තියන්න, අර වැලි ටික දාලා, බදාම අනලා” කියලා. චෛත්‍යයට මුල් ගල තිබ්බෙ අන්න අර ටිකෙන්. එදා වර්ණනා කළේ අර මහ දාන වලින් ඔක්කොගෙන්ම, අර මනුස්සයා දුන්න ගඩොල් කැට හතරයි, වැලි ටිකයි. හරි වැදගත්, ඒක තමයි ධර්ම රටාව.

 

මොකද ඒකෙ තියෙන්නේ? අනික් අය දුන්න සියල්ලම තමන් විසින් ශ්‍රමයෙන් හම්බ කරගත්ත සල්ලි නෙමෙයි. අර ලෝක සම්මතයේ හදාගත්ත, මොනවා හරි ලොකු ලොකු රැකියා කරලා හරි, මොන මොනවායින් හරි වත්කමක් හදාගත්ත, නැත්නම් තමාගේ ඉඩමයි කියලා වෙන් කරගත්ත කොටසක්, ඒකෙන් ගත්ත ආදායම් හදලා, තමන්ගෙ ශ්‍රමයෙන් ගත්ත ඒවා නෙමෙයි, අර වගේ ලැබිච්ච දේවල්.

 

“පිනට පහල වීම” කියලා එකක් තියෙනවා ලෝකෙ. හැබැයි ඔය පහලවෙලා, දැන් මේ කාලෙ ලොකු අය ලඟ තියෙන්නෙ පිනට පහලවෙච්චා නෙමෙයි. එහෙම රටාවක් තියෙනවා. සතර මහා නිධන් පහලවෙලා පිනට පහලවීමක් තියෙනවා. එහෙමත් ක්‍රමයක් තියෙනවා. හැබැයි, පිනට පහලවෙච්ච දේ කියන එකේ තත්වෙ හුඟාක් වෙනස් එකක්. ඒක අද බොහොම දකින්න අඩු එකක්. ඒකත් ඔය වගේ තේරුම් ගන්න ඕනෑ, විශේෂයක්.

 

{0:20:10} : පිනට පහල වුනු ධාර්මික වස්තුව පැහැරගත නොහැකියි

බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදි, එක්තරා මහා සිටුවරයෙක් හිටියා. එයාගෙ ඇඟිලි දහයට දියමන්ති මුදු දහයක් දාලා තියෙනවා, වටිනා ම දියමන්ති. එක දවසක් රජ්ජුරුවො දැක්කා, මේ කොසොල් රජ්ජුරුවො දැක්කා මේ දියමන්ති ටික, මට මතක හැටියට කොසොල් රජ්ජුරුවො. කොහොම හරි, රජ කෙනෙක් දැක්කා. දැකලා එයාට හිතුණා මේ ටික අරගන්න. අරගන්න හිතිලා බලපුහාම, හොයලා බලනකොට, විසාල වත්කම් තියෙනවා, රාජ භාණ්ඩාගාරයේ රාජ ස්ථානයේත් නැති වත්කම් තමයි ඒ සිටුවරයගෙ මාලිගාවෙ තියෙන්නේ. මේ මාලිගාව මංකොල්ල කන්න හිතුණා අර රජ්ජුරුවන්ගෙ තියෙන ලෝභ කමට.

 

එයා සේනාවක් එවුවා අර සිටුවරයගෙ මාලිගාවට. එවනකොට, සිටුවරයා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහ අහා ඉන්නවා, ඒ අවස්ථාවේ. එයාට ඉතින් වැඩක් නෑ මේ සම්පත් වලින්, “මට ඕවා ඔක්කොම වැඩක් නෑ, මට පැවිදි වතට යනවා නම් ඊට වඩා හොඳයි..” ඔය ආදී වශයෙන් අදහස් කර කර එතන හිටියේ. දැන් මේ වෙලාවෙදි මොකද කරන්නේ, මෙයාගෙ අර වටේ තියෙන පවුරු – ප්‍රාකාර වල ඔප්නංවලා තියෙන තරම කියනවා නම්, ඊට පල්ලෙන් තියෙනවා දිය අගලක්. ආරක්ෂාවට ඒ කාලෙ හදපු ක්‍රම. අර රජ්ජුරුවන්ගෙ සේනාවගෙ අශ්වයො සේනාව ආදිය වැටුනා ඡායාව අර දිය අගලට. දිය අගලට වැටෙන ඡායාව එතනින් වැටුනා අර පවුරට. දැන් පවුරෙන් පේනවා, ඇතුලේ විසාල සෙනඟක් ලැහැස්ති වෙලා ඉන්නවා වගේ.

 

රජ්ජුරුවො බය වුනා, “මට හොරෙන් කොහොම හරි කුමන්ත්‍රණයක් කරලා, මූත් ලැහැස්ති වෙලා තියෙනවා සටනට. දැන් මෙතන සටන් කරන්න ගියොත් එහෙම විසාල අවුලක් වෙනවා. ලේසියෙන් ඇතුලට යන්න බෑ නේ. අද සටන නවත්තනවා, පස්සෙ අවස්ථාවක සංවිධානය කරලා කරනවා” කියලා හිතලා, බුදුරජාණන් වහන්සේ ලඟට ගිහිං බලනකොට, එතන ඉඳගෙන බණ අහගෙන ඉන්නවා අර සිටුවරයා. ඒ පාර ගිහිල්ලා (රජතුමා) කියනවා “මං එක්ක සටන් කරන්න සටන් මෙහෙයවලා එහෙ තියලා, උපාසකයා වගේ මෙතන ඇවිදිල්ලා බණ අහ අහා ඉන්නවා නේද?” කියලා ඇහුවා.

 

“අනේ මහ රජතුමනි, මගේ එහෙම දෙයක්, කිසිම දෙයක් කරලා නෑ. ඔබතුමාගෙම රැවටීමක් බව දැන් මට තේරෙනවා. ඔබතුමාගෙම සේනාවෙ තියෙන පිළිබිඹුවයි අර තාප්පෙට වැටිලා ඔබතුමාට පේන්න ඇත්තේ…” ඒ පාර රජ්ජුරුවන්ටත් තේරුණා, “ඇත්ත වශයෙන්ම මම රැවටිලා තමයි මේ පැන්නේ මෙතනින්..” කියලා. ඊට පස්සේ (රජතුමා) කියනවා, “ඔය සම්පත් ඔක්කොම මේ මගේ රාජ්‍යයේ. ඔන්නම් ඔය සම්පත් ඔක්කොමත් මට ගත්තහැකි..” එතකොට දැක්කා අර පේරැස් මුදු ටික අතේ තියෙනවා. “ඔන්නං ඔය මුදු ටිකත් මට ගත්තහැකි. ඕකත් මගේ රාජ්‍යයේ තියෙන, පුද්ගලයොත් මගෙ, බඩුත් මගෙ, ඕන්නම් මට එහෙම නීතියක් පණවලා ගන්නත් පුළුවන්..”

 

“හැබැයි මහරජතුමනි, ඔබ කැමති නම් ගන්න, පුළුවන් නම් ගන්න. හැබැයි මගේ අවසරයක් නෑ. මෙන්න අත, පුළුවන් නම් අරගන්න..” කියලා අත් දෙක දික් කළා. “පුළුවන් නම් ගන්න” කියනකොට රජ්ජුරුවෝ දාඩිය – මුගුරු දාගෙන අදිනවා, අදිනවා, එක මුද්දක් වත් ගැලවෙන්නේ නෑ. “ගලවගන්න බැරිද..?” ඇහුවා. බැරි තැන (රජතුමා) කිවුවා “බෑ..!” කියලා. “එහෙනම් අත අල්ලන්න, මං කැමැත්තෙන් දෙන්නම්” කිවුවා. කියලා, අත හොල්ලනකොටම මුදු ඔක්කොම වැටුනා (රජතුමාගෙ) අතට. “රජතුමනි, ඔය විතරක් නෙමෙයි. අර තියෙන වස්තුවත් ඕන්නම් අරගන්න. මට ඕවයෙන් ඇති වැඩක් නෑ. මං අද ඕවා ගන්න නෙමෙයි ආවෙ, ඔක්කෝම අත්හැරලා මේ පැවිද්දට එන්න..”

 

දැන් එතෙනදී පෙන්නලා කිවුවා, යම්කිසි කෙනෙක්ගෙ, ධාර්මික සම්පතක් යමෙකුට තියෙනවා නම්, ඔය සම්පත්තිය හොරුන්ට පැහැරගන්න බෑ. අන්න ඒක විශේෂයක්. එහෙනම්, දැහැමි සම්පත්තියක් තියෙනවා නම් පැහැරගන්න බෑ. ගන්න හිතක් එන්නේ නෑ. එක්කෝ උපක්‍රමයකින් හරි වළකිනවා. ඒ වැඩේ කරන්න බැරුව යනවා. මෙන්න, ධාර්මික සම්පත් වල මෙහෙම ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒවා අද නං බොහොම අඩුයි, ලෝකේ. අපි ධාර්මික කියලා ඉන්නේ, අපි හදාගත්ත, ගොඩනඟාගත්ත ලෝකෙක තියෙන ධාර්මිකත්වය ගැන, ඒක සාධාරණයි කියලා හිතලා. නමුත්, සාධාරණ පාලන ක්‍රමයකින් හටගත්තොත් තමයි ධාර්මික වස්තුව හටගන්නේ.

 

{0:23:30} : දැහැමි, අභිවෘධියටම හේතුවන පෙර දවස සම්පත් බෙදීගිය අයුරු…

දැන් අද තියෙන්නේ බලහත්කාරයෙන්, මිනිස්සු කැමැත්තෙන් දෙන දේ නැතුව, බදු අයකරගන්න ඒවයින් තමයි රටක් පාලනය කරන්නේ. ඒ මුදලෙන් තමයි පඩි දෙන්නේ. ඒවට අවශ්‍යය කරන විසාල මුදලක්, විසාල මුදලක් අවශ්‍යය නිසා, බලහත්කාරයෙන් අරගන්නවා අයබදු. එහෙනම්, දීපු දෙයින් අරගත්තු ඒවා භාණ්ඩාගාරයේ නෑ. භාණ්ඩාගාරයේ තියෙන්නේ බලෙන්, මංකොල්ලෙන් ගත්ත ඒවා.

 

එදා තිබුණේ එහෙම නෙමෙයි, කැමැත්තෙන් දීපුවා. කැමැත්තෙන් කරගත්ත සම්මතයකින්, රාජ්‍යය පාලනය කරන්න කැමැත්තෙන් දුන්නා සිටුවරු පිරිස, ඒකට කැමති විදිහට. ඒ මාධ්‍යයෙන් තමයි පාලනය කළේ. එහෙනම්, ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ගත්ත ක්‍රමයක් එදා තිබුණේ නෑ. අන්න, අලෝභ, අදෝස, අමෝහයෙන් ලැබූ දේ ධාර්මික වුනා, රජයේ තිබුණෙත් ධාර්මික දේ. ඒ නිසා ඒ ධාර්මික දේ විනාස කරන්නත්, කාටවත් බෑ. දැන් හරිම සාන්ත පාලනයක් ඇතිවෙන්න එක හේතුවක් ඒක.

 

ඉතින් එබඳු රටාවක් අද නැති නිසා, අද අපි කොච්චර පඩි අරන් ගත්තත්, ඒක ලොකු එකක් නෙමෙයි. ඕකෙ සාධාරණත්වය ගන්න ගියොත් එහෙම, ලොකු වෙනසක් තියෙනවා. අද කුඹුරක් වැඩ කරලා ගන්න ගොවියගේ වී ටික, දාඩිය – මහංසියෙන් හරිහම්බ කරගත්තෙ කිවුවත්, ඒ සාධාරණත්වය ඒකෙ නෑ. සාධාරණ වෙන්න එදා තිබිච්ච ක්‍රම අද නෑ. එදා කුඹුර කපන්න ගියාට පස්සේ ගොවියා සම්පූර්ණ කුඹුර කැපුවෙ නෑ, ඒ ඒ කෙනාගෙ හිමි කොටස ඒ අයට අත්හැරියා. කුඹුර කපනකොට, කුඹුරෙන් එක්තරා ලියැද්දක්, හොඳම තැනකින්, කුරුල්ලන්ට අත්හැරියා.

 

පළවෙනි අග්‍ර සස්‍ය දානය දෙන්න ඕනෙ නිසා සාසනේට, මොකද අග්‍ර සස්‍ය සාසනයට හිමි නිසා, කිරි වැදෙන වෙලාවෙදීම කරල් අරගෙන, අතින් මැඩලා, පොඩි කරලා, අර කිරි වැදීගෙන එන හාල් ඇට අරගෙන, ඒකෙන් කිරිබතක් හදලා සාසනේට පූජා කළා. ඒ නිසා ඉස්සෙල්ලාම නොඉඳුල් අග්‍ර කොටස කල්තියාම සාසනයට දීලා ඉවරයි. කුඹුර පැහෙනකොට සාසනේට පූජා කරලා ඉවරයි, අග්‍ර කොටස.

 

අන්න ඒක ඉස්සර කරපු ක්‍රමයක්. ඔය ක්‍රමය අද වෙනකොට නමට එනවා, කුඹුරෙන්ම කරල් කපලා, මොකද ඒවා අතේ පොඩිකරන්නේ. මොකද, ඇටේ මෝරලා නෑ තව, කිරි වැදිලා. කිරි වැදීගෙන, යන්තම් මෝරාගෙන එන වෙලාව, අතේ පොඩි කරනකොට දහයියා පොත්ත අහක් වෙලා, හාල් ඇටේ අතට වෙන් වෙනවා. දාලා කෙටුවොත් එහෙම, ඔක්කොම එකට බොඳ වෙලා තැවරෙනවා මිසක්, ඒක ගන්න බෑ. ඉතින් අතේ අඹරවනකොට මොකද වෙන්නේ, අර පොත්ත ගියාට පස්සෙ හාල් ඇට ටික වෙන් වෙනවා. ඊට පස්සෙ අර ටික අහක් කරලා, ඔහොම ඔහොම කට්ටිය එකතු වෙලා තමයි හාල් ටික හදාගන්නේ. ඒකෙන් කිරිබතක් හදලා තමයි බුද්ධ පූජෝපහාර තියලා, සංඝයා උදෙසා යම් දානයක් ඉස්සෙල්ලා දීලා ඉන්නේ.

 

අන්න, අග්‍ර කොටස දන් දුන්නා. ඊට පස්සෙ අර, කපාගත්තට පස්සේ කුරුල්ලන්ට නැතිවෙන්න කපාගන්නේ නෑ. උන්ට කොටසක් වෙන් කරලා තමයි කපාගන්නේ. ගෙනහල්ලා ඉවරවෙලා ඊටපස්සේ දෙවියන්ගෙ කොටස කියලා වෙන් කළා. මොකද දෙවියෝ කියලා කිවුවේ? ඒක කෘතෝපකාරයක්. අර වැවු – අමුණු හදලා දීලා, අර ඔක්කොම තිබෙන කුඹුරු අස්වද්දලා දීලා, ඒ වගේ යහපත කරපු අය යම් තැනක ඉන්නවා නම්, ඒ ඉෂ්ඨ දේවතාවෝ, මුර දේවතාවෝ හැටියට සැළකුවේ ඒගොල්ලෝ. ඒ අය උදෙසා තමයි දෙවියන් උදෙසා පූජාවක් තිබ්බේ, කෘතෝපකාරය වශයෙන්. ඒ කොටස ඊලඟට වෙන්කළා, අනුපිළිවෙලින් වෙන් කළේ.

 

එතනින් වෙන් කරලා ඉවරවෙලා, දෙමවුපියන්ට, වැඩිහිටියන්ට, කුළ දෙටුවන්ට, එකින් එක වෙන් කළා. අර ලැබිච්ච ආදායමෙන්, අර කමතෙ ගොයම් පාගලා ගත්ත වී වලින් කොටස. ඊට පස්සේ අවශ්‍යය කරන ගොවියන්ට ඒගොල්ලන්ගෙ කොටස වෙන් කළා. අග්‍ර කොටස් වෙන් කරලා ඉවරවෙලා. ඊට පස්සෙ නැති-බැරි, දුගී-දුප්පත් අයට කොටසක් වෙන් කළා. එහෙම වෙන් කරලා, වෙන් කරලා, ඉතුරු වෙන කොටස තමයි “මෙන්න මේක මට අයිති කොටස” කියලා අයිතිකාරයා තියාගත්තේ.

 

එතකොට, හතරෙන් තුනක් විතර ගෙවිලා ඉවරයි අනික්වට. අර හතරෙන් එක දැන් සාධාරණයි. අන්න, ලෝකයාට ණය නොවී තමන්ගෙ කොටස ගත්ත හැටි. (ශ්‍රාවක මහතෙක් යමක් පවසයි, පැහැදිලි නැත… ස්වාමීන් වහන්සේ:) අන්න ඒකයි කියන්නේ. ඒ හිමිකම් අනුව දෙන්න ඕනේ. දැන් මේකෙන් ඇතිවුන වැදගත් ම දේ මොකද්ද? සාධාරණ දේ පරිහරණය කරන්න පටන්ගත්ත පුද්ගලයට, එතැන් පටන් අභිවෘධියක් මිස පිරිහීමක් නෑ.

 

එහෙනම්, මේ සැරේ හතරෙන් එකක් අරගත්ත කොටස යම් තරමක් ද, ඊලඟ සැරේ අස්වැන්නෙන් (මේ සැරේ) මුළු අස්වැන්න (ඊලඟ සැරේ) හතරෙන් එකක් වෙන්කරපුහාම ඒකෙ තියෙනවා. ඒ තරම් සශ්‍රීක වෙනවා. බාදක දුරුවෙනවා. ක්ෂුද්‍රජීවී හානි නැතිවෙලා යනවා. මේක තමයි ධර්ම රටාව. දැන් මේ රටාවල් අද නැති නිසා තමයි මේ ලොකු විනාසයකට පත්වෙලා තියෙන්නේ. දැහැමිව උපයන්න පුළුවන් ක්‍රම. ඒවා බුදු දහමේ තිබිච්ච අපේ ආදි බෞද්ධයෝ, ආදි පරපුර ඔය ක්‍රමේ තමයි අපේ චාරිත්‍ර ගෙනාවෙ.

 

{0:27:45} : ආර්යයන්ගෙන් පැවත ආ චාරිත්‍ර, වාරිත්‍ර නැති වී යාමෙන් වුන විනාශය 

ඒක තමයි අපි ගත්ත චාරිත්‍ර කියන්නේ. ච + අරිය + අත්‍ර – චාරිත්‍ර. ආර්ය චිත්තය යම් අතරක ද තියෙන්නෙ, ආර්ය චිත්තයේ ආකාරය යම් තැනක තියෙන එකට කියනවා “චාරිත්‍ර”. ආර්යයෝ විසින් වළකලා දැම්ම ඒවට කියනවා ව + අරිය + අත්‍ර – ආර්යයෝ මොනවද වැළැක්වුවේ, ඒවා අපේ පරම්පරාවේ වැළැක්වුවා. සිහළ පරපුරම ගත්තෙ නෑ. ආර්යයෝ මොනවද ඇසුරු කළේ, සියළ පරම්පරාව ඒවා අනුමත කළා.

 

එහෙනම්, ආර්යයෝ කියන්නේ අපේ බුදුන් ප්‍රමුඛ මහා සංඝරත්නය මුල් කරගත්ත සාසනික උතුම් පිරිස, යමක් නරකයි කිවුවා නම්, අවැඩයි කිවුවා නම්, අත්හැරියා නම්, ඒක ආදර්ශයට අරගෙන තමයි ඉතිරි සෙනග හැඩගැහුනේ, ඉතිරි ජනතාව හැඩගැහුනේ. එහෙනම්, ච + අරිය + අත්‍ර අනුගමනය කළා. ආරිය චිත්තයෙන් අතරට ගත්ත ඒවා අනුගමනය කළා. ව + අරිය + අත්‍ර ඉවත් කරලා දාපු, ආර්යයෝ විසින් අයින් කළාද, ඒක ඒ විදිහටම අයින් කළා. වාරිත්‍ර වලින් වැළකුණා, වාරිත්‍ර කරගෙන ගියා. අන්න, “සිරිත් – විරිත්” කිවුවෙත් ඕකයි. අන්න, බෞද්ධ සිරිත් – විරිත් කියන එකේ අදහස.

 

ඒ නිසා බාධකයක් ආවෙ නෑ, එදා ඉඳලා. අද වෙනකොට ඔය බාදක එන්න පළවෙනි හේතුව ඕකයි. ඉතින් අපි ඉතිහාස කතා කියලා උද්දාම වෙවී ඉන්නවා, “පැරකුම්බා රජ්ජුරුවන්ගෙ කාලෙ කෝටි පහක් සෙනඟ හිටියා, පිටරට හාල් යැවුවා, අපේ සිංහල ජාතියෙ වටිනාකම මෙහෙමයි” කිය කියා, උඩ පැන පැන ඉන්නවා, අපි එතන වැහිලා. ඇයි, එදා එහෙමනං අද බැරි මොකද? එදා බෙහෙත් ගැහුවෙත් නෑ, මොනවා කළෙත් නෑ, ඔක්කොම කරගත්තා නම්, අද ඒක නැත්තෙ මොකද? ඒ අග්‍ර සස්‍යයන්, අග්‍ර දීම, ඒවා ඒ ආකාරයෙන් කරන්නේ නෑ අද.

 

ඉතින් ඒ නිසා ඒවයෙ අභිවෘධිය නැතිවෙලා යනවා. ඉතින් මෙන්න මේ විදිහට දැන් මේකෙදි අපි දකින්න ඕනේ, ඒ දානයක් හදාගන්නකොට ඒකෙ විශේෂත්වය. විශේෂ වෙන්නෙ දානෙ තියෙන ලොකු – පුංචි කමෙන් නෙමෙයි. දැහැමි දාන වස්තුව, ඒ වාගෙම චිත්ත ප්‍රසාදයෙන් යුක්තව, සද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා කියන මේවයින් යුක්ත වෙලා ඒ දානෙ දීමේ පුද්ගලයා තුළ ඇත්වෙන ගුණය, පිළිගන්න කෙනාගෙ තියෙන උත්තරීතර ආර්ය ගුණ, මේ සියළුම දේ හේතු වෙනවා දානයක් මහත් ඵල – මහානිසංස වෙන්න, ප්‍රබල වෙන්න. අන්න එහෙම දාන වල තමයි හුඟාක් විසාල බලයක් තියෙන්නේ.

 

{0:30:00} : ගරුක කර්ම හා නිවැරදි ආසන්න කර්ම වටහා ගනිමු

එතකොට අනික තමයි “ගරුක” කර්ම. “ආසන්න කම්ම, ආචින්න කම්ම, කටත්තා කම්ම” දැන් මේ ගරුක කර්ම කියන්නෙ බලවත් ඒවා. දෙපැත්තටම තියෙනවා. පාප පැත්තටත් තියෙනවා, පංචානන්තරිය කර්ම. ගරු කළ යුතු කර්ම කියන එක නෙමෙයි පෙන්නන්නේ ඒකෙන්. ඒ කියන්නේ, යම්කිසි ඒකට බැඳුනහම, ඒක අරින්න බෑ. ඒ තුළම ක්‍රියාත්මක වෙනවා. ඒක පළවැනි වෙනවා. හොඳ හෝ නරක.

 

දැන් ධ්‍යාන ලාභී අයගෙ ධ්‍යානයෙන් නොපිරිහී කළුරිය කළොත් ගරුක කර්මයක් වෙනවා සමාධිය, ධ්‍යාන සමාධිය. ඒකෙන් ගිහිං ධ්‍යාන ලොව උපදිනවා. ඉතින් ගරුක කර්මයක් තියෙන කෙනාට ගරුක කර්මය මයි ඇදලා එන්නේ. මරණාසන්න මොහොතක හරි, චුත වෙන මොහොතක ලං වෙන්නෙ ගරුක කර්මය.

 

එතකොට, ගරුක කර්මයක් නැත්නම්, “ආසන්න කර්ම” ඊලඟට තියෙනවා. දැන් ආසන්න කර්ම කියනකොට හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නවා ඒ මැරෙන මොහොතේ ආසන්නයෙහි කියන කර්ම කියලා. “සන්න” කියන්නෙ අර්ථය, අර්ථවත්. අර්ථවත් කර්මයක් කරලා තිබුණා නම්, ආපු අර්ථවත් කර්මය තමයි “ආසන්න” කර්මය. මැරෙන මොහොතෙදි ලඟට ආපු කර්මය ආසන්න කර්මය කියලා ලෝක සම්මතයක් තියෙනවා.

 

“ආසන්න” කියන වචනයේ තේරුම “සන්නයට පැමිණි” – අර්ථයට පැමිණි. යම්කිසි කරන ලද කටයුත්තක් අර්ථවත්ව කළා නම්, ප්‍රාණඝාතය අනර්ථයි, ප්‍රාණඝාතයෙන් වෙන්වීම අර්ථයි. අදත්තාදානය අනර්ථයි, අදත්තාදානයෙන් වෙන්වීම අර්ථයි. කාම මිත්‍යාචාරය අනර්ථයි, කාම මිත්‍යාචාරයෙන් වෙන්වීම අර්ථයි. මුසාවාදය අනර්ථයි, මුසාවාදයෙන් වෙන්වීම අර්ථයි. මේ වගේ, දස අකුසල් අනර්ථයි, දස අකුසළයෙන් වෙන්වීම අර්ථයි. අන්න එතකොට, ඒක තමයි “සන්නය” කියන්නේ. ඔන්න ඔය අර්ථයට පැමිණි කෙනාගෙ කර්මය ඒකාන්තයෙන් ඵල දෙනවා, එයා එහෙම ගෙනියන්න බෑ දුගතියකට.

 

නියම “ආසන්න කර්මය” ඕකයි. ගරුක කර්ම ලඟට බලවත් කමෙන් ඊලඟට අඩු මට්ටම ඔය මට්ටමයි. ඒ මොහොතෙ ලඟට එන කර්ම කියන එක අපි ලෝක සම්මතයේ හැටියට කියනවා, මරණාසන්න මොහොතෙදි ලඟට ආපු කර්මය කියලා. හැබැයි මරණාසන්න මොහොතෙදි ලඟට එනවා මයි, එහෙම අර්ථයක් කරලා තිබුණා නම්. අනර්ථයෙන් වෙන්වෙලා, අර්ථවත්ව ජීවත් වෙච්චි කෙනෙක් හිටියා නම්, එයා ගරුක කර්මයක් ලබලා තිබුණෙත් නැත්නම්, ධ්‍යානයක් ලබලා තිබුණෙත් නැත්නම්, ආනන්තරිය පාපකර්ම කරපු නැති කෙනෙක් නම්, එයා යම්කිසි ආකාරයකින් දස අකුසළයෙන් වෙන්වෙලා, අර්ථය දැනගෙන, ධර්මය දැනගෙන, අර්ථවත්ව, ධර්මවත්ව ජීවිතය ගෙනිච්චා නම්, එයා අපාගත කරන්න කවදාවත් බැහැ, ආපු සන්නය තියෙන කර්මය හෙවත් ආසන්න කර්මය ලඟට එනවා. මෙන්න මේක තමයි නියම් ආසන්න කර්මය.

 

(ශ්‍රාවක මහතෙක් ප්‍රශ්නයක් අසයි, ස්වාමීන් වහන්සේ:) අන්න ඒකයි, දැන් “මරණාසන්න” කියන්නෙත් ඒකයි. මරණාසන්නය කියනකොට ආසන්නය දකින්න ඕනේ. “ආසන්න” කියන අර්ථ දෙකක් තියෙනවා. එකක් ලෞකිකයි, එකක් ලෝකෝත්තර පැත්තෙ, ගැඹුරු දහම් අර්ථය. දැන් මේ කාලෙ වෙනකොට ගැඹුරු දහම් අර්ථයයි වැහිලා තියෙන්නෙ. ලෞකික එක ඇරිලා තියෙන්නේ. ඉතින් ආසන්නයට එන්නෙ, අරවගේ හිටපු කෙනෙකුට වෙන එකක් එන්න බෑ. එන්න තියෙන්නෙත් අර අර්ථවත් එකමයි. මොකද ඒක තමයි ඊලඟට බලවත්ව තිබිච්චි එක. දුබලයාට ලං වෙන්න බෑ බලවත් එක තියාගෙන. ඒක තමයි නියම ආසන්න කර්මය.

 

{0:33:14} : ආසන්න, ආචින්න, කටත්තා කර්ම පිළිබඳව

මොකද ඕක ඔහොම කියන්නේ, ආසන්න කරන්න බෑ ලේසියකින් ඔය ලඟදී කියාදුන්නා කියලා. ඕක අර ගැඹුරු සිද්ධියක්, මං ඔයිට ඉස්සෙල්ලත් කියලා තියෙනවා. එක්තරා උපාසක අම්මා කෙනෙක් දඹදිව ගිහිල්ලා, දඹදිව ගිය උපාසකම්මා අන්තිමට මොකද කරන්නේ, මැරෙනකොට පිං පොත කියවන්න කිවුවා, ආසන්න කර්මයක් ගන්න, කොහොමත් යන්න පුළුවන් නේ කියලා. ඉතින් මේ පිං පොත කියවගෙන ගියා. දැන් මරණාසන්නේ පණ අදිනකන්, මේක අහගෙනම පණ අදිනවා.

 

ඔය අතරෙදි මොකද කරන්නෙ, දඹදිව ගිහිල්ලා, ගහක් මුල ඉඳලා, කොස් ගහක් ලඟ ඉඳගෙන බත් කාපු හැටි මතක් වුනා. කියලා තියෙනවා, ලියලා තියෙනවා අර පොතේ. එතන ගැන කියනකොට “ඇ දුවේ, බලාපං කිවුවා, ඒ ගහේ තිබිච්ච කොස් මුල් වල ඉඳං සූ ගාලා කොස්, මට ආසාවෙ බෑ!” කිවුවා. කියනවත් එක්කම පණ ගියා. දැන් දඹදිව ගිය එක ආසන්න කරන්න හම්බුණාද? අන්න ආපු එක. ලෝභකම මුල් කරගත්ත, ආසාව මුල් කරගත්ත තැනට අදහස හිටියා, දඹදිව ගමන අමතක වුනා. පණ යන වෙලාවෙදි ආවෙ ඒකයි.

 

ඉතින් මේක මොකද්ද? අන්න “ආචින්න” කර්ම. ආසන්න කර්ම කියන අර සාරවත් ඒවා තිබුණේ නැත්තම්, ඊට පස්සේ ආචින්න කම්මයක් එනවා. යම්කිසි ආකාරයෙන් තමන් කරගෙන ගිය කර්මයක් තියෙනවා නම්, නිතරම පවත්වගෙන යනවා. ආවේනිකව පවත්වගෙන එනවා, ඊලඟ කර්ම. නිරන්තරයෙන් හුරු පුරුදු කරගත්ත එකක් තියෙනවා නම්, මෙන්න මෙබඳු වන්නාවූ කර්ම රටාවක් තියෙනවා, ඒක ඊලඟට ගලා එනවා, අරවගේ එකක් නොතිබුණා නම්. අන්න ඒක ඊලඟට මතුවෙලා එනවා. එතකොට, එහෙම එහෙකින් උප්පත්තියක් ලබන්න හේතු වෙනවා.

 

එහෙන නැත්තම් “කටත්තා කර්ම” කියලා කියන්නේ, මේ සසර ගමන තුළදි තමන් විසින් නොයෙක් ආකාරයෙන් සිද්ධ කරපු කර්ම තියෙනවා නම්, ඔන්න ඕවයින් කෝක හරි එකක් ගලාගෙන එනවා අර, අපි අර ඉස්සෙල්ලා කිවුව අර අපරාපරිය කර්ම වලින් එකක් හරි ඇදලා එනවා. ඇදලා ඇවිල්ලා එතනදි ක්‍රියාත්මක වෙනවා. ඉතින් කොයි ආකාරයෙන් හරි කර්මයක් ක්‍රියාත්මක වෙනවා, අරිහත්වයට පත් නොවී තිබුණොත්, ගැළපෙන එකක් ක්‍රියාත්මක වෙනවා චුත වෙන මොහොතක. ඇවිල්ලා, ඊට පස්සෙ කර්ම, කර්ම නිමිති, ගති නිමිති වශයෙන් ඇවිදිල්ලා තමයි ඊලඟ භවයට ආරම්භය හදන්නෙ.

 

{0:35:25} : අතීතය අමතක කරලා, අනාගතය නොසිතා සිටීම බුදු දහමේ නිවන් මඟද?

(ස්වාමීන් වහන්සේ වෙත ලැබුණු ප්‍රශ්නයේ ඉතිරි කොටස කියවා, ඊට ස්වාමීන් වහන්සේ පිළිතුරු සපයයි) කර්මය කෙරෙහි බලපාන සාධක විස්තර සහිතව, නිදර්ශන සහිතව පැහැදිලි කරන්න.

 

දැන් කර්මය කෙරෙහි බලපාන සාධක, පළවෙනි කාරණය තමයි අවිද්‍යාවයි, තෘෂ්ණාවයි. අවිද්‍යාව – තෘෂ්ණාව යම් තාක් තියෙනවද, ඒ තාක්කල් ලෝක සත්වයා මේ කර්මයන්ගෙ, සසර පැවැත්මට හේතුවෙන කර්මයන්ට බහිනවා. එතකොට, කර්මය කියලා කියනකොට, කර්මය නොයෙක් ආකාරයෙන් තියෙනවා. සසර ගමනට හේතුවෙන කර්ම තියෙනවා, ආර්ය මාර්ගය වඩන්න හේතුවෙන කර්ම තියෙනවා. අරිහත්වයට පත්වෙච්ච කෙනා පිරිනිවන් පානකන් ජීවත් වෙනකන් කරන කර්ම කොටසකුත් තියෙනවා.

 

අන්න, “කර්මය නම් ක්‍රියාවයි” කියපු එක තමයි අරිහතුන් වහන්සේට ඉතුරුවෙන එක. “ක්‍රියා සිත්” කියලා කිවුවෙ අන්න ඒ කර්ම වලට. ඒකත් චේතනා තියෙනවා. ඒ චේතනාවෙන් කෙරෙන කර්මයක් තියෙනවා නම්, ක්‍රියාවට සීමා වෙනවා. මතු භවයක් හටගැනීමට ඇතිවෙන බලය ඒකෙ නැඟෙන්නෙ නෑ. මතු පටිසන්ධියක් හටගන්න බලයක් ඒකෙ නැඟෙන්නෙ නෑ.

 

(ශ්‍රාවක මහතෙක් ප්‍රශ්නයක් අසයි, ප්‍රශ්නය පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ:) දැන් එහෙම කියලා අපි ගත්තොත් අපි දකින්න ඕනේ මෙහෙම දෙයක්. දැන් වර්තමාන මොහොතකදී මයි අරිහතුන් වහන්සේලා දැකලා ක්‍රියා කරන්නෙ කිවුවොත්, බුදුරජාණන් වහන්සේ මහා කරුණාවට සමවැදිලා දවසට බලපුහාම පේනවා, යම්කිසි පුද්ගලයෙකුට අද පිහිට වෙන්න තියෙනවා. දැන් වර්තමාන මොහොතක බලාගෙන හිටියා නම් බුදුරජාණන් වහන්සේ ක්‍රියා කරලා තියෙන්නෙ එහෙමද?

 

දැන් “අද දවසෙ, අහවල් වෙලාවක මාර්ග ඵල අවබෝධ කරන්න හේතු වාසනාවන්තයෙක් ඉන්නවා අහවල් තැන” උදේ පාන්දර තමයි මහා කරුණා සමාපත්තියෙන් මේක දකින්නේ. දැකලා තීරණයක් කරනවා. “අද ඔහුට මං සෙතක් – ශාන්තියක් කරන්න යන්න ඕනේ” එහෙනම්, ලොවුතුරා බුදුරජාණන් වහන්සේ වත් මේ වර්තමානයෙ විතරක් හිටියද, අතීතය බලන්නෙ නැතුව? කටයුතු කළාද? අනාගතය බැලුවෙ නැද්ද? බැලුවානේ! යම්කිසි පුද්ගලයෙකුට ධර්ම දේශනා කරනකොට ඔහු ගැන බලන්නෙ නැද්ද, ඔහුගෙ අතීතය ? කොහොමද මෙයා ආවෙ, හේතු වාසනා තියෙනවද ? කියලා. අතීතයක් දැකලා, ඊට ගැලපෙන එකක් තියෙනවද බලලා වඩින්නෙ නැද්ද?

 

දැන් නිරෝධ සමාපත්තියට සමවැදුනු මහරහතන් වහන්සේ නමක්, ඉස්සෙල්ලාම දානෙ ගන්න වඩිනකොට වාසනාවන්තයා හොයාගෙන බලනවා, ඉස්සෙල්ලා. බලනකොට දකිනවා, අතීතයේ දාන මාන දීලා, ඊට සුදුස්සෙක්. මොනවා හරි සුළු දෙයක් නිසා හිරවෙලා ඉන්නවා. එතන බලාගෙන එතෙන්ට වඩිනවා. දැන් එතකොට අතීතය බලන්නෙ නැද්ද? දැන් ඔය අපි වරද්දගත්ත එක දෙයක් තියෙනවා. “අරිහතුන් වහන්සේ වර්තමානයේ ජීවත් වෙනවා, අතීතයත් අමතක කරලා, අනාගතයත් අමතක කරලා” කියලා. මේ දැන් අද දීලා තියෙන්නෙ එක්තරා විදිහක මුලාවක්.

 

මොකද, “භද්දේකරත්න සූත්‍රය” කියලා සූත්‍රයක් තියෙනවා, මේ සූත්‍රය විග්‍රහ කරන්න ගිහිල්ලා පටලවාගෙන තියෙන්නෙ. “ගෙවීගිය අතීතය අමතක කරන්න, ආපු නැති අනාගතයට හිත නොතබන්න. පවතින වර්තමානයේ, ක්‍රියාත්මක වෙන වර්තමනයේ විතරක් හිත තබාගන්න, මේ මොහොතෙ සිටින්න” දැන් මේක භද්දේකරත්න සූත්‍රය කියන සූත්‍රයේ නිවන් දකින මාර්ගයක් හැටියට විග්‍රහ කරනවා.

 

දැන් මොකද්ද මේ අයින් කරන්න කිවුවේ? මොකද්ද අයින් කරලා තියෙන්නේ? දැන් ඕක දකින්න ඕනෙ දෙයක්. “ගෙවීගිය අතීතය පිළිබඳ චන්ද රාගය දුරුකරන්න. නොපැමිණුනු අනාගතය පිළිබඳ තියෙන බලාපොරොත්තු සහගත චන්දරාගය දුරු කරන්න. වර්තමානයේ චන්ද රාගයෙන් බැඳෙන්නෙ නැතුව කටයුතු කරගන්න” – දැන් මේකට මොකද්ද කියන්නේ?

 

“අතීතය ගෙවී ගියා, අමතක කරන්න, අනාගතය ආවෙ නෑ, අමතක කරන්න. වර්තමානයේ ක්‍රියාත්මක වෙන්න” – දැන් මේ දහම කොච්චර පැටලෙනවද? දැන් අපි බලමු බුදුරජාණන් වහන්සේ, ලොවුතුරා බුද්ධත්වයට පත්වුනේ උන්වහන්සේ, ගෙවී ගිය අතිතය අමතක කරලද, නැත්නම් මතක් කරලද? පූර්වේනිවාසානුස්සති ඥාණයෙන් ඉස්සෙල්ලා කළේ මොකද්ද? පූර්වේනිවාසානුස්සති ඥාණය නිසා පළමු අවස්ථාව දැකලා, කිකිලියකගේ පැටියෙක් බිත්තරය බිඳගෙන, කටුව බිඳගෙන එළියට එනවා වාගෙ පළවැනි විද්‍යාව පහළ කළා, පූර්වේනිවාසානුස්සති ඥාණයෙන්.

 

ඊටපස්සෙ දැක්කා “චුතූපපාත ඥාණයෙන්” ලෝක සත්වයෝ චුත වෙන හැටි, චුත වෙලා ගිහින් උප්පත්තිය ලබන හැටි, අනාගතය බැලුවෙ නැද්ද? ඒක බලලා, දෙවෙනි වතාවට පැටවා බිත්තරේ කටුව පලාගෙන එළියට එනවා වගේ දෙවෙනි වතාවට අවිද්‍යාව බිඳගෙන සුද්ධ වුනා.

 

ඊටපස්සේ තුන්වෙනි වතාවට, ඔය ටික යළි යළි බලනකොට, “ආශ්‍රවක්ෂයකර ඥාණය” පහල වෙලා, අර පටිච්ච සමුප්පාදය විග්‍රහ කරගෙන යනකොට ආශ්‍රවක්ෂයකර ඥාණය පහලවෙලා, ලොවුතුරා බුද්ධත්වය ලැබුවා, තුන්වෙනි වතාවට, සියළුම අඳුර දුරුකරලා, අවිද්‍යා පටලය දුරුකරලා, විද්‍යාලෝකයට පත්වුනා කියලා පෙන්වනවා.

 

දැන් ලොවුතුරා බුදුරජාණන් වහන්සේත් අතීතය අමතක කරලා එහෙම බුදු වුනාද? අනාගතය බලන්නෙ නැතුව බුදුවෙලා තියෙනවද? එතකොට මොකද්ද අපිට කියන්නේ? අතීතය නොදැක, අතීතය සිහි නොකර ගන්න පුළුවන්, සතිය විග්‍රහ කරනකොටත් පෙනවනවා, “පෙර බොහෝ කල් සිහි කරලා…” පූර්වේනිවාසානුස්සති ඥාණයෙන්, මේ ආර්ය මාර්ගයට අයිති ඥාණයක්. ජාති එකක්, දෙකක්, තුනක්, හතරක්, දහයක්, පහළොවක්, සීයක්, දෙසීයක්, දාහක්, දෙදාහක්, ලක්ෂයක්, කෝටියක්, සංවර්ථ කල්ප, විවර්ථ කල්ප… මේ ආදි වශයෙන් සිහි කරගෙන අතීතය බලනවා කියලා පෙන්නනවා.

 

මොකටද බැලුවෙ, වැඩක් නෑ නේ! ඒක නිවන් මඟ නෙමෙයි නම්, පූර්වේනිවාසානුස්සති ඥාණයෙන් මේ ආර්ය මාර්ගය වඩන්න කියාදීලා තියෙනවනේ. අරිහත්වයට වෙනකන් ආර්ය මාර්ගය වඩන කෙනෙකුට හොඳට පැහැදිලිව පෙන්වලා දීලා තියෙන දෙයක් තමයි පූර්වේනිවාසානුස්සති ඥාණයෙන් අතීතය බලන ක්‍රමය. සියල්ලන්ටම නෙමෙයි, ත්‍රිවිද්‍යලාභී රහතන් වහන්සේලා එතෙන්ට පත්වුනේ පූර්වේනිවාසානුස්සති ඥාණය අහක් කරලා නෙමෙයි, ඒක බලලාමයි.

 

එහෙනම්, “අතීතය අමතක කරන්න” කිවුවොත්, එහෙම එකක් ඔතන තියෙනවද? හැබැයි, අතිතය බලපුහාම පේනවා, අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ථ වශයෙන් දකිනකොට, “මේකෙ චන්දරාගයෙන් බැඳෙන්න මොනවද දියෙන්නෙ, අතීතයේ?” අන්න එදාට අතීතය අල්ලන්නෙ නෑ. අතීතයේ බැඳෙන යම් මානසිකත්වයක් තියෙනවා නම්, ඒක නැතිවෙලා යනවා. අතීතය මතක් කර කර රස විඳින්න දෙයක් නැතුව යනවා. හැබැයි, අතීතය බලලා, අතීතයේ යථාර්තය දැකලා මයි එතෙන්ට පත්වුනේ. අන්න එතන තියෙනවා, “අතීතය පිළිබඳ අල්ලන්න දෙයක් නැතිනිසා අතීතය මට මෙනෙහි කරන්න දෙයක් නෑ…” යථාවබෝධයේදි ලැබෙන එක. ඒක කරලා බලලා, යථා ධර්මය තුළින් විග්‍රහ කරලා බලලයි එතෙන්ට පත්වුනේ.

 

“ඉතින් මේ වගෙ දේවල් ම නේද, මේ පවතින මතු අනාගතයේ හැදුනොත් හැදෙන්නේ? ඉතින් මොකට අනාගතයක් පතන්නද?” අනාගතයන්ට පතන්න දෙයක් නෑ. වටිනා දෙයක් තියෙනවා නම් එපැයි පතන්න. ඉතින් පතන්නෙ මොනවද? ඒකත් අත්හැරුණා. “දැන් මේ වර්තමානයෙ මොනවා අල්ලගන්නද? මට චන්දරාගයෙන් අල්ලන්න දෙයක් නෑ…” එදිනෙදා ඒ ඒ වෙලාවෙ කළ යුතු යමක් ඇත්ද, ඒ ප්‍රයෝජනය තකා ඒක කරනවා, ඉන්නකන්. එයින් එහාට මේකෙ කොරන්න දෙයක් නැතිනිසා, මං එයින් එහාට මට යන්න දෙයක් නෑ. අන්න, අතීතයේ ස්වභාවයත් දැක්කා, අනාගතයේ ස්වභාවයත් දැක්කා, වර්තමානයේ ජීවත් වෙන ආකාරයත් ධර්මානුකූලව දැක්කා.

 

ඉතින් මේ වගේ මාර්ගයක් තමයි අද “අතීතය අමතක කරන්න, ආපු නැති අනාගතය බලන්න එපා, ඒකත් අමතක කරන්න, වර්තමානයේ ජීවත් වෙන්න” අඩු තරමෙ බුලත් විටක් කන්න පුළුවන්ද බලන්නකො අතීතය අමතක කළොත්? හොඳයි බුලත් කොලේ අඳුරගන්නෙ කොහොමද? බුලත්, කවුරුහරි බුලත් විටක් කන්න දෙනවා, බුලත් වට්ටිය. දැන් කෝ, මේවා බුලත් කියලා දැනගත්තෙ කොහොමද? ඔයිට ඉස්සෙල්ලා බුලත් දැකලා තිබිච්චයින්, ඒ මතකය ගත්තෙ නැත්තම් මේක බුලත් කොළයක් කියලා දැනගන්නවද? අතීතය අමතක කරලා, දැන් කොහොමද එයා බුලත් අඳුනගන්නේ විටක් කන්න? පුවක් අඳුනන්නෙ කොහොමද අඩු තරමේ? බුලත් විටේ හතර පංගුව අඳුන්ගගන්න විදිහකුත් නෑ අතීතය අමතක කරපු කෙනාට.

 

ලැට් එකට යන්න පුළුවන්ද හදිස්සියට? කොහෙද තියෙන්නේ? ඊට ඉස්සෙල්ලා දැක්ක මතකය අහක් කරලා දැම්මට පස්සෙ ලැට් එක තියෙන තැන දැනගන්නෙ කොහොමද, අතීතය අමතක කළොත්? මොනම දෙයක් වත් කරන්න පුළුවන්ද? ඇත්ත වශයෙන්ම ඒ අතිතය මනසිකාරයෙන් ගොඩනැඟිලා, ඒ තියෙන දත්තයන් පිට තමයි මේ ලෝක සත්වයා ජීවත් වෙන්නේ.

 

දැන් හොඳයි, දැන් යම්කිසි රහතන් වහන්සේ නමකට, එනවා යම් උපාසක මහත්තයෙක්, තමන්ට කැපකරු උපාසක මහත්තයෙක්. නම කියලා කතා කරන්නෙ නැද්ද? “ආ, විශාඛාව! මොකද මේ අවේලාවෙ?” බුදුරජාණන් වහන්සෙත් අහලා තියෙනවා නේ. කොහොමද විශාඛාව බව දැනගත්තේ, අතීතය අමතක කරලා තිබුණා නම්? මේ මොහොතට ඉස්සෙල්ලා මොහොත සිහි කළේ නැත්නම්, විශාඛාව අඳුරගත්තෙ කාගෙන්ද, කොහෙන්ද? අනේපිඬු සිටුතුමා එනවා, කොසොල් රජ්ජුරුවෝ එනවා, “මහරජ” කියලා කතා කරනවා, කොහොමද කතා කළේ? එතකොට දැනගත්තෙ කොහොමද? “ආනන්ද..” බැරිවෙලා සැරියුත් හාමුදුරුවෝ ආවහමත් ආනන්ද කියලා කරලා, “ආ… මට අතීතය අමතක වුනා” කියනවද? එහෙම එකක් තියෙනවද?

 

එතකොට මේ බුදු දහමට මොකද්ද මේ කරල තියෙන්නේ? අතීතය චන්දරාගයෙන් අල්ලලා නෑ. චන්දරාගයෙන් අල්ලගත්ත කෙනා, හරියට පැණි හැළියෙ වැටිච්ච කූඹියා වාගෙ, වටේ යන්න බෑ. චන්දරාගයේ ස්වභාවය ඕකයි. දැන් පැණි තියෙන, ඉරටුවක පැණි ගාලා කියනවා ඇඹලයෙකුට, කියන්න පුළුවන් එකක් නෙමෙයි, උපමාවක්. ඇඹලයෙක් යවනවා, ඉරටුවේ පැණි ගාලා, එහාපැත්තට යන්න. දැන් යයිද එහා පැත්තට? ගිය ගමන්ම පැණි සුවඳ වැටුනා, ඌ ඒක ලෙවකකා ඉන්න පටන් ගත්තට පස්සෙ, ඌට කවදාවත් ඉරෙට්ට දිගේ අනික් පැත්තට ගමනක් නෑ. එහෙනම්, ඌ ඒක ලෙවකන ගති ලක්ෂණය තිබුණෙ නැත්තම්, ඌට අරකෙ ගෑවෙන් නැතුව, ඇඟ ඇලෙන් නැතිවෙන්න යන්න පුළුවන්.

 

මෙන්න මේ වගේ, චන්දරාගයෙන් බැඳීමක් තියෙන කෙනාට අතීතය මතක්වෙන, මතක්වෙන තැන ඇලෙනවා. එයාට නියම යථාර්තය කරා යන්න බෑ අතීතයට. ඒකයි සිද්ධ වෙන්නේ. අනාගතය ගැන හිතන්න ගිය ගිය තැන ඇලෙනවා. එයාට යථාර්තය කරා මානසිකත්වය මෙහෙයවන්න බෑ. එහෙනම්, ඔය දෙපැත්තට හිර වෙවී යන ගමන් මැද ගමන යන්න බෑ. මැද ගමනත් හිරවෙනවා. මොනවහරි ඇලෙන එකක් ආවොත්, ඒකෙ ඇලෙනවා. එයින් එහාට හිතාගන්න බෑ. ගැටෙන්න එකක් ආවොත් ඒකෙ ගැටි ගැටී ඉන්නවා, එයින් එහාට ධර්මයක් හිතාගන්න බෑ.

 

මෙන්න මේ හැම තැනකම “චන්දරාගය” දුරු කරපු දාට නිදහස්. එදාට අතීතය ඇල්ලුවෙ නෑ, අතීතය වැටහෙනවා, හරියටම වැටහෙනවා. තීක්ෂණව වැටහෙන්නෙ එතකොට. මොකද, දැන් චන්දරාගයෙන් ඇලිච්ච කොහොල්ලා ලාටු නෑ. බැඳිච්ච තැන් නෑ, අතීතයේ. අතීතය නිදහස්. නිදහස් මානසිකත්වයට අතීතය හොඳට පේනවා. ආන් එදාට තමයි පේන්න පටන්ගන්නේ, කෙළවරක් නැති අත්බැවු පේන්න පටන්ගන්නේ එතකොට. හිටිය හැටි, කෙරිච්ච හැටි දකින්නෙ එතකොට. අර ඇලිලා ඉන්නකන්…

 

{0:45:17} : චන්දරාගය බලෙන් යටපත් කිරීම බුදු දහමේ මඟ නෙමෙයි

බුදුරජාණන් වහන්සේ පෙන්වලා නෑ, මේ ඉහළට නැගීම ගැන. ඒක ධර්මය තුළින් නැඟිලා එන එකක්. නැඟෙන්න අපි එකක් කරගන්න ඕනේ, කුසළ සීලය තුළ ඉන්න ඕනේ. එක කොටසයි අපිට කරන්න තියෙන්නෙ. ඒ කොටස කරගෙන යනකොට, අර ඇළුම් කරපු චන්දරාගය යයි යමක් ඇත්නම්, චන්දරාගය ගෙවෙන්න පටන්ගන්නවා. චන්දරාගය තියාගෙන, ඒක හිරකරන්න බෑ. චන්දරාගය කියන්නේ ඒ ඒ දේට තියෙන බැඳුනු කැමැත්ත, බැඳිලා ඉන්න ආකාරය.

 

ඒ ස්වභාවය, “මං නම් මේකෙ චන්දරාගය තියන්නෙ නෑ, තියන්නෙම නෑ, තියන්නෙම නෑ..!” කිවුවට හරියන්නෙ නෑ. ඒක, මනසත් එක්කලා සෙල්ලම් කරන්න බෑ. මනසට එන ගති ලක්ෂණයක් තියෙනවා නම්, ඒකට හේතුව බලන්න ඕනේ. එහෙනම්, චන්දරාගය දැනගන්න ඕනෑ, චන්දරාගයට හේතුව දැනගන්න ඕනෑ, චන්දරාග නිරෝධය දැනගන්න ඕනෑ, චන්දරාග නිරෝධ මාර්ගය දැනගන්න ඕනෑ, අරිහත්වයට යනකන් ඔය ටික දැනගත්තොත් ඇති. චතුරාර්ය සත්‍යය ධර්ම රටාවට අනුකූලව චන්දරාගය දැනගන්න එකයි. මෙන්න මේකයි චන්දරාගය කියන්නේ, මේ චන්දරාගයට හේතුව මේකයි, චන්දරාග නිරෝධය මේකයි, චන්දරාග නිරෝධ මාර්ගය මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. අන්තිමට ගිහින් බලනකොට බහින්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට.

 

ඉතින් ඕක හුඟාක් විග්‍රහ කරලා දැනගන්න වෙනවා, මූලධර්මය. එතනින් පස්සෙ කිසි ප්‍රශ්නයක් වත්, ඕකෙ අමුතුවෙන් කරන්න දෙයක් නෑ, ඊට අනුකූලව අපේ ජීවිතය හැඩගස්සාගෙන යන එක තමයි නිවන් දකිනකන්, අරිහත්වයට පත්වෙනකන් කරන්න තියෙන්නේ. බලහත්කාරයෙන් අයින් කරන, බලහත්කාරයෙන්, ආසාවෙන් මිදිලා යන එකක් මේ බුද්ධ සාසනයෙ නෑ. එයින් මිදුනට පස්සෙ “මිදුනෙමි යි දැනගනී” – “මිදුනේ මිදුනෙමි යි දැනගනී”. එතකොට යන ක්‍රමය ඒකයි.

 

“නොබැඳෙන්නේ නොඇලෙයි” – නමුත් ඕකට කියලා තියෙන්නෙ කළකිරෙන්නේ නොඇලෙයි කියලා තමයි පොත්වල විග්‍රහ කරන්න යන්නේ. “කළකිරෙන්නේ නොඇලෙයි, නොඇලෙන්නේ මිදෙයි, මිදුනේ මිදුනෙමියි දැනගනී” – “නිබ්බින්දති” කියලා වචනෙයි ඔතන තියෙන්නේ. “නිබ්බින්දාමීති” ආදී වශයෙන් තියෙනවා. නිබ්බින්දති කියන්නේ නොබැඳෙයි. කළකිරෙනවා කිවුවම, කළකිරිලා, සසර කළකිරිලා කියන වැරදි වචනය ඇවිදිල්ලා තියෙන්නේ මේ බුද්ධ සාසනයට ඕකයි, කළකිරිලා මිදෙනවා කියන එක. කළකිරෙන්න ගියාට පස්සෙ අඬ අඬා ඉන්න වෙනවා, මිදෙන්න හම්බවෙන්නෙ නෑ.

 

“නොබැඳෙන්න” ඕනේ. බැඳෙන්නෙ නැත්නම් මිදෙනවා. අන්න ඒකයි එතන පෙන්නුවෙ. එතකොට, “නොබැඳෙන්නේ නොඇලෙයි, නොඇලෙන්නේ මිදෙයි, මිදුනේ මිදුනෙමියි දැනගනී” මිදුනට පස්සෙ දැනගන්නවා මිදුනා කියලා. මුදවාගන්නවා නෙමෙයි, ධර්ම මාර්ගයේ යනකොට මිදෙනවා. මිදුනට පස්සෙ දැනගන්නවා, ප්‍රත්‍යවේක්ෂා ඥාණයෙන්, “පෙර මට මෙහෙම ආසාවල් තිබුණා, දැන් නෑ නේ..” අන්න මිදිලා, ඒක දැනගන්නවා. බලෙන් මුදවන්න ගියෙ නෑ.

 

ඔය දැන් බලෙන් මුදවන්න ගිහිං තමයි මේ අමාරුවෙ වැටිලා තියෙන්නේ, කරන්න බැරිවෙලා තියෙන්නේ. “මම දාලා යනවා, ඔක්කොම දාලා යනවා ඉක්මණට රහත්වෙන්න” කියලා ගිහිල්ලා, ටික දවසක් ඉඳලා සිවුරු ඇරලා ආපහු වෙනවා. මොකද වෙන්නේ? ගිය වැඩේ කරගන්න බෑ. මිදුනට පස්සෙ පත්වෙන්න තියෙන එකට මිදෙන්න ඉස්සෙල්ලා බලහත්කාරයෙන් පත්වෙන්න ගිහාම පුළුවන්ද?

 

මිදිච්ච අයට සුඛ විහරණයට තියෙන්නේ සිවුර, යථාර්තයෙන් බැලුවොත්. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදි උන්වහන්සේ ප්‍රයෝග සම්පත්තිය උපරිමයට දන්න නිසා, බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරයයි, නන්ද කුමාරයයි මහණ කරලා එතැනට ගත්තා. නමුත් ඒක සියල්ලන්ට කරන්න පුළුවන් එකක් නෙමෙයි. අනික් කෙනෙක්, ඒ ගිහි වතකදී තමා විසින් මේ පරිහරණයේ අන්තිම කෙරෝලට වෙනකන් දකින්න ඕනේ. ඒ ගිහි වතේ ඉන්න බැරි තත්වය එයාටම වැටහෙන්න පටන්ගන්න ඕනේ. ඒ ගිහි වතේ ඉන්න බැරි තත්වය එයාටම වැටහෙන්න පටන්ගන්නවා. ඒ වැටහෙන්න පටන්ගන්නේ ගැටිලා නෙමෙයි. අර නිසරු භාවය දැකලා, අසාරත්වය දැකලා. “අසාරත්වයක් පස්සෙ මං මොකට යන්නද?” එහෙම දැකලා.

 

දැන් අද යන්නෙ එහෙම නෙමෙයි. “හිටපංකො, බයිනවට හොඳ වැඩක් කරන්න. බැණහංකො, මං නැතුවට පස්සේ! ඊට පස්සෙ බලන්නංකො බයින්නෙ මොකාටද කියලා, යනවා යකෝ, මහණ වෙනවමයි! සිල් මෑණි වෙනවමයි! හොඳ පාඩමක් උගන්වන්නම්…” උගන්නන්න යන්නේ. හැබැයි, මානසිකත්වය දූෂ්‍යයි. ගිය ගමන් එතනින් ඉගෙනගන්නවා ඒගොල්ලෝ.

 

එතෙන්ට ගිහාම මොකද වෙන්නේ? “නෙදකිං, ගෙදර හිටියා නං මොකද වෙන්නෙ… මෙතන්ට ආවා, දැන් කොහෙවත් ඉන්න ගෑණුන්ගෙන් මට මේ මේ පද අහන්න වුනා, බයින්න විදිහකුත් නෑ මුන්ට, ගෙදර හිටියා නම් මං ඕවට කියන හැටි දනී, අර මිනිහට හරි, ගෑණිට හරි… යනවා යන්න ආපහු… ” කියලා ආයි, ආපහු එනවා. මොකද වෙලා තියෙන්නේ? මේ යථාර්තය දන්නෙ නැතුව යන ගමන් වල හැටි. ඉතින් එහෙම බෑ යථාර්තයට එන්න.

 

{0:49:23} : චේතනා, කර්ම, පංචස්කන්ධ, පංච උපාදානස්කන්ධ නිරවුල් කරගනිමු

ඉතින් ඔය දකින්නේ මේ කර්ම ශක්තිය බලපාන ආකාරය, දකින්න ඕනෑ එක එක විදිහට. ඉතින් “කර්ම” කියලා කියනකොට, කර්ම ගෙවෙන හැටිත් අපි දකින්න ඕනෑ ඔය ක්‍රමයට. දැන්…

 

“චේතනාහං භික්ඛවේ කම්මං වදාමි – චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා”

 

දැන් කර්ම කරනකොට චේතනාව කර්මයට ප්‍රධාන වෙනවා. ප්‍රධාන කාරණය ඒකයි. ඉතින්, ක්‍රියාව කර්මය වශයෙන් නෙමෙයි ගන්නේ, ක්‍රියාවේ යම් චේතනාවක් ඇත්නම්, චේතනාව කර්මයයි. යම්කිසි ක්‍රියාවක් සිද්ධ කරන්න සිතක් තනන්න ඕනෑ. “චේතනා” කියන වචනයෙන් පෙන්නන්නේ හිත තනනවා, හිතක් ගොඩනඟනවා. ගොඩනඟාපු හිත තුළ තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. ඉස්සෙල්ලාම අපි අදහසක් ඇතිකරගන්නවා.

 

දැන් අපි හිතමුකො මෙහෙම, “යන්න ඕනෑ අනුරාධපුරයට. මොකටද? දැන් අපි ගිහිල්ලා වැඳලා – පුදලා එන්න යනවා…” අදහසක් ගත්තා, ආං හිතක් තැනුවා, හොඳ පැත්තට. දැන් ඊට පස්සෙ අපි මොකද කරන්නේ? “කට්ටිය එක්කලා කතාවෙලා යන්ද?” “හා, යං..” “කවද්ද යන්නේ ?” “හෙට යං එහෙනම්..” ඉතින් කවදා හරි දිනයක් කතා කරගන්නවා. “හා, යං… ලැහැස්ති වෙන්න..” “ඉතින් මාවත් එහෙනම් ගණං ගන්න..” ඒ කට්ටිය එක්කලම ඔන්න කිවුවා. දැන් හිත තැනුවා.

 

ඉස්සෙල්ලාම හිත තනාගත්තා අවශ්‍යය දේකට. ඊට පස්සෙ ඒ පුද්ගලයා මොකද කරන්නේ, ඇඳුම් හොයන්න යනවා, සල්ලි හොයන්න යනවා, යාළුවො හොයන්න යනවා, බඩු-මූට්ටු එකතු කරනවා, උණුසුම් බෝතල් හොයනවා, සීතලට අඳින ඒවා, නැත්තම් මොනවා හරි නිතර අඳින්න ගැලපෙන ඒවා හොයනවා, “මොකද, මොනවටද ඔය?” “අනුරාධපුරේ යන්න…” හැබැයි අර වැඩකටයුතු ඔක්කෝම කරනවා එක අදහසක් නිසා, හිතක් තනලා තියෙන හින්දා.

 

දැන් මේ “චේතනා” කියන එක, මොහොතක් මොහොතක් ගානේ එන චේතනාව තියෙනවා. ඉතින් එයාගෙන් වැඩ කරන ගානෙ ඇහුවොත්, “ඔය මොකටද ඇඳුම් හොයන්නේ?” “අනුරාධපුරේ යන්න…” එහෙනම් ඒ සිතේ නැද්ද? එතන පටන් කරන හැම හිතක් ගානෙම චේතනාවක් නැඟෙනවා. මූල චේතනාවක් නැඟුනා ඉස්සෙල්ලා. අන්න, නැඟිච්ච එක මුල්කරගෙන තමයි, ඒක තව ක්‍රියාවට නැඟුනේ නෑ. හැබැයි, ඒක අර ස්කන්ධ වලට වැටුනා, විඤ්ඤාණස්කන්ධයට. ඔන්න විඤ්ඤාණස්කන්ධයට නැඟිලා, විඤ්ඤාණස්කන්ධයේ පිහිටලා තමයි පුද්ගලයා අර චේතනා ගොඩනඟාගෙන, ඒ පස්සෙ යන්නේ.

 

දැන් මේ හරි ගැඹුරු තැනක් මේ චේතනා හොයාගන්න එක. අන්න, විඤ්ඤාණයක් සකස් වෙන හැටි දැනගන්න තමයි පෙන්නුවේ, විඤ්ඤාණය කියන්නේ “දැනෙන හිත” කිවුවට බෑ. විඤ්ඤාණස්කන්ධය ඊට වඩා ගැඹුරු එකක්.

 

මේ ස්කන්ධයකට අතීත, අනාගත, වර්තමාන තුන් කාලයේම ඒවා අයිතියි. ස්කන්ධයක් හැදෙන්නේ නෑ… වර්තමාන මොහොතක් නෙමෙයි ස්කන්ධ කියන්නේ. රූපස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංඛාර ස්කන්ධ, විඤ්ඤාණ ස්කන්ධ කියන්නේ අතීත, අනාගත, වර්තමාන, සියුම්, ඝන, දුර, ලඟ, හීන, ප්‍රණීත රූප යැයි යමක් යම් තැනක වීද, යම් තැනක වෙයිද, මතු යම් තැනක වන්නේද, සියල්ල කැටි කරගත් විට රූපස්කන්ධයයි.

 

අතීත, අනාගත, වර්තමාන, සියුම්, ඝන, දුර, ලඟ, හීන, ප්‍රණීත වේදනා යැයි යමක් යම් තැනක වීද, යම් තැනක වෙයිද, මතු යම් තැනක වන්නේද, සියල්ල කැටි කළ විට වේදනා ස්කන්ධයයි. සංඥා, සංඛාර, විඤ්ඤාණ ස්කන්ධ පෙන්නලා තියෙන්නෙත් ඔහොමයි.

 

(ශ්‍රාවක මහතෙක් ප්‍රශ්නයක් අසයි, පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ:) ඔවු, දැන් ක්ෂණිකව නම් හටගන්නේ, විඤ්ඤාණ. ඒවා ඉතාම කෙටි කාලීනව හටගන්නේ, විඤ්ඤාණ. ක්ෂණික ඒවා… ක්ෂණික සිත් හටගන්නවා කියන්නේ. දැන් අරවගෙදී, ඒවා දීර්ඝ විඤ්ඤාණ තියෙනවා. ඉතින් “විඤ්ඤාණ” කියන වචනේ තෝරගෙන ඉන්න ඕනේ. “විඤ්ඤාණස්කන්ධය” තෝරාගන්න ඕනේ. විඤ්ඤාණස්කන්ධයට බැඳුනහම, මතු අනාගතයේ තියෙන බලාපොරොත්තුවක් නිසා තමයි ලෝක සත්වයා මෙහෙයැවෙන්නේ. අන්න ඒ මෙහෙයැවිල්ල හදාගන්නවා ඒ විඤ්ඤාණයේ පිහිටලා.

 

ඒ විඤ්ඤාණය කාම නම්, කාම විඤ්ඤාණයක පිහිටනවා. ඒ විඤ්ඤාණයේ පිහිටලා තමයි මේ භවයට අවශ්‍යය ඔක්කොම සකස් කරගන්නේ. අර සංඛාර කරන්නේ ඒකට. මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන්නේ මාත්‍ර 5ක්. රූපස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංඛාර ස්කන්ධ, විඤ්ඤාණ ස්කන්ධ කියන්නේ සීමා කරන්න බැරි, අතීත, අනාගත, වර්තමාන කියන කාලත්‍රයක සම්පිණ්ඩනයක්, ඒ ඒ වර්ගයෙන්, ස්කන්ධ. රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංඛාර උපාදානස්කන්ධ, විඤ්ඤාණ උපාදානස්කන්ධ කියන්නෙ ඕවත් සමඟ තිබෙන බැඳීම්.

 

චන්දරාගයෙන් ඒ ස්කන්ධ සමඟ තියෙන බැඳීමත් එක්ක සම්බන්ධ වුනහම උපාදානස්කන්ධ. දැන් මේ උපාදානස්කන්ධයේ යම් චන්දරාගය යන කොටසක් ඇත්ද, ඒ ටිකයි “උපාදානය” ට වැටෙන්නේ. උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති.. කියලා සසර උපදින විදිහට අන්න ඒ උපාදාන කොටස. අර ස්කන්ධය, සසර උපදීමට ගෙනියන්න, ස්කන්ධය පිළිබඳ දැනුවත් වීම බලපාන්නේ නෑ. ඒ ස්කන්ධයේ බැඳුනු චන්දරාගයක් ඇත්ද, ඒ උපාදානයයි. අන්න ඒකයි නිරෝධ කරන එක. ස්කන්ධ නිරෝධ කරන්නෙ නැති නිසා, අමතක කරන්න අවශ්‍යය නෑ. අමතක කළොත් පුද්ගලයා මුලාවට පත්වෙනවා.

 

“අමතක කරලා නිවන් දකිනවා” කිවුවොත්, මේක කවදාවත් වෙලා නෑ. කවුද අමතක වෙලා තියෙන්නේ? ලොවුතුරා බුදුරජාණන් වහන්සේට කවුරුවත් අමතක වුනාද? හිටියට වැඩිය මතක් වුනේ නැද්ද බුදු වුනාට පස්සේ? උන්වහන්සේ බුදු වුනාට පස්සෙ නේ මේ විවරණ අරගත්ත එක මතක් වුනේ. එතකන් දන්නවද විවරණයක් ගත්තා කියලා වත්? ලොවුතුරා බුදු වුනාට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ, “දීපංකර නම් බුදුරජාණන් වහන්සේගේ පාද මූලයෙදි මං මෙහෙම විවරණයක් ගත්තා” කියලා මතක් කළේ, අතීතය. බුදු වුනාට පස්සෙ නේ… එහෙනම්, අතීතය මතක් වෙන්න පටන් ගත්තද, අමතක වෙන්න පටන් ගත්තද මේ ඉහළ ඵලයට එනකොට? හොඳ සිහි බුද්ධියෙන් මතක් වෙන්න පටන්ගත්තා නේ…

 

ඉතින්, අද පෙන්නන්න හදන්නෙ මොකද්ද අපිට? “ඵලය ලබනවා කියන්නෙ මතකය අමතක වෙන එක..” අන්තිමට බලනකොට, හිතාගන්න බැරි දෙයක් මේ කරගන්නේ, මොකුත් ම මතක නැති තත්වයට පත්කරන එක අන්තිමට කියලා දෙන්නේ ඵලය වශයෙන්. ඉතින් කොහොමද යථාර්තයට එන්නේ? චන්දරාගය දුරු කරපුහාම, මතක සටහන හරි තීක්ෂණයි. “මෙහෙමයි කිවුවේ, මෙහෙමයි කළේ..” ඔක්කොම මතකයි. ඉතින් මතක දුරුවෙන්නෙ නෑ මාර්ගඵල අවබෝධයේදී, මතක වැඩිවෙනවා. මතකය පිළිබඳ චන්දරාගය බිඳිලා යනවා. ඔන්න ඕකෙ තියෙන වෙනස.

 

{0:55:23} : අරිහත් වුනු පසු, පෙර රැස් කළ කර්මය නිරෝධ වෙනවද ?

එතකොට, අන්න කර්මයක් සිද්ධ වෙන ආකාරය, අපි දකින්න ඕනේ. “කර්මය” කියන්නෙ එකක්, ඒක චේතනාව මුල්වෙලා, චේතනා – “සංචේතනා” බවට පත්වෙන්න ඕනේ, “සංඛාර” බවට පත්වෙන්න. “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” කියනකොටයි, “චේතනාහං භික්ඛවේ සංඛාරං වදාමි” කියලා දේශනා කළේ නෑ. “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” – කාරණා දෙකක්.

 

කර්මයන්ගෙන් සිද්ධ කරනවා මොනවහරි කායික, වාචසික ක්‍රියාවලියක්. කර්මයෙන් සිද්ධ කරන්නෙ ඒකයි. ඒ කර්මය චන්දරාගයක් සමඟ සම්බන්ධ වෙලා තිබුණොත්, ඒ කර්මය නිකම්ම “ඛාර” නෙමෙයි, “සංඛාර” වෙනවා. කර්මයට කියනවා, “ඛාර”. කර්මය චේතනාවෙන් අවිද්‍යා – තෘෂ්ණා සමඟ සම්බන්ධ වුනහම කියනවා, “සංඛාර”.

 

සංඛාර හැදුනොත් තමයි විඤ්ඤාණ හටගන්නේ. කර්මයෙන් හටගන්න එක, කර්ම කියලා කියන්නේ චේතනාවෙන් හටගන්න එක. සර්ව චිත්ත සාධාරණ චෛතසිකයක් තියෙනවා, “චේතනා” කියලා. මෙන්න මේ චේතනා කියන සර්ව චිත්ත සාධාරණ චෛතසිකය නැතුව එකම හිතක් වත් හටගන්නෙ නෑ. ක්‍රියා කරන්න, කතා කරන්න හිතක් හටගන්නවා නම්, හිතිවිලි හිතන්න හිතක් හටගන්නවා නම්, ඔය සෑම හිතකටම මූලික වෙනවා චේතනාව.

 

චේතනාව කර්මය නම්, සර්ව චිත්ත සාධාරණ චේතනාව, සියළුම කර්ම වලට හේතුවෙනවා. අරිහතුන් වහන්සෙත් හිතනවා, කියනවා, කරනවා. එතනත් චේතනාව තියෙනවා. නමුත්, අරිහතුන් වහන්සේ නිරෝධ කළේ සංඛාර. “ඛාර” නමෙයි “සංඛාර”. ඛාර සිද්ධ වෙනවා කර්මයෙන්, චේතනාවෙන්. ඒ චේතනාව සංඛාර බවට පත්වෙනවා අවිද්‍යා – තෘෂ්ණා නිසා. චේතනාව අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් යුක්ත වුනොත්, අවිද්‍යා – තෘෂ්ණා සහගත වුනොත් සංඛාර නිපදවෙනවා.

 

“යෝ තස්සා යේව තණ්හාය අසේස විරාග නිරෝධා” කියලා ගත්තොත් “සංඛාර නිරෝධෝ”, එතකොට සංඛාර නිරෝධයි. ඉතින් දකින්න ඕනේ, කර්මය නිරෝධ කරලා නෑ, අරිහතුන් වහන්සේ කර්ම නිරෝධ කළේ නෑ, සංඛාර නිරෝධ කළා. සංඛාර නිරෝධ නිසා, උන්වහන්සෙට විඤ්ඤාණ නිරෝධයි, බලාපොරොත්තු නෑ. ඇතිවෙන බලාපොරොත්තු මොනවද, කොටසක් නෑ, කොටසක් තියෙනවා.

 

“ස්ව උපධියට හේතුවෙන ශේෂය” තියෙද්දී අරිහතුන් වහන්සේ කෙළෙස් පරිනිර්වාණයෙන් පිරිනිවන් පාන්නෙ, අරිහත්වයට පත්වෙනකොට. අනුපදිසේස නිර්වාණ ධාතුවෙදි ඔය සියළුම චේතනා ඉවරයි. එතනින් පස්සෙ හිතත් නෑ, ගතත් නෑ. හිත – ගත දෙකම කෙළවරයි. එහෙනම් කියනවා, “සෝපාදිසේස” නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානවා අරිහත්වයෙදි, “අනුපදිසේස” නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානවා අන්තිම පිරිනිවන් මංචකයෙදි. ඇතිවෙන වෙනස ඕකයි.

 

ඉතින් “කර්මය” කියන වචනය හුඟාක් විග්‍රහ සහිතව තෝරාගන්න ඕනේ. කර්මය “සංඛාර” වෙන්නෙ කොහොමද? කර්මය කර්මයක් විතරක් වෙන්නෙ කොහොමද? කර්මයක් විතරක් තිබුණම කියනවා, “ඛාර සිත්” හෙවත් “කර්ම සිත්” – ක්‍රියා සිත්. අරිහතුන් වහන්සෙට ක්‍රියා සිත් විතරයි. චේතනාව නැත්නම් එහෙම එක හිතක් වත් පහලවෙන්න ක්‍රමයක් නෑ. සියළු සිත් වලට සාධාරණ චෛතසිකයක්, චේතනා.

 

ස්ඵර්ශ, වේදනා, සංඥා, චේතනා, ඒකග්ගතා, ජීවිතේන්ද්‍රිය, මනසිකාර කියන සර්ව චිත්ත සාධාරණ චෛතසික හතෙන් එකක් වත් අඩු වුනොත් හිතක් පහලවෙන්න විදිහක් නෑ. ඒක චිත්ත නියමයට විරුද්ධයි එහෙම කිවුවොත්, පහලවෙනවා කිවුවොත්. දැන් චේතනා නැති හිතක් නැති නිසා, සෑම හිතකම කර්මයක් ගොඩනැඟෙනවා. “අවිද්‍යා – තෘෂ්ණා” දුරු කරපු දාට කර්මය ගොඩනැඟෙනවා, සංඛාර ගොඩනැඟෙන්නෙ නෑ. කර්මය අවිද්‍යා – තෘෂ්ණා සහිත වුනොත්, ඒ කර්මය “සංඛාරයක්” වෙනවා.

 

එතකොට, කාය සංචේතනා කාය සංඛාරා, වචී සංචේතනා වචී සංඛාරා, මනෝ සංචේතනා චිත්ත සංඛාරා, සංඛාර තුන් කොටසකට බෙදෙනවා. ආං සංචේතනා… කාය චේතනා, සංඛාර වෙන්නෙ නෑ. කාය සංචේතනා – “සං” කියලා කෑල්ලක් එක්කලා යෙදෙන්නෙ. චේතනා, සංචේතනා දෙකක්. සංචේතනා වෙන්න නම් අවිද්‍යා – තෘෂ්ණා සමඟ චේතනාව එකතුවෙන්න ඕනේ. එතකොට තමයි සංචේතනා හටගන්නෙ, එතකොට තමයි සංඛාර හටගන්නෙ. ඉතින් ඒක දකින්න ඕනේ.

 

ඉතින් අරිහතුන් වහන්සේ සියළු සංඛාර නිරෝධ කළේ නෑ. අරිහතුන් වහන්සේ දැනගත්තා සියළු සංඛාර අනිච්චයි, දුක්ඛයි, අනත්ථයි කියලා. අත්දැකීම ලැබුවා. “සබ්බේ සංඛාරා අනිච්චාති” එහෙම දැක්කා. සියළු සංඛාර අනිච්චයි කියලා දැක්කා. හැබැයි, අනිච්චයි කියලා දැක්කට අතෑරියේ අතාරින්න පුළුවන් කොටස විතරයි. පිරිනිවන්පානකන් අතාරින්න බැරි කොටසක් තියෙනවා. “ස්ව උපධිය ශේෂයි” – තමා පිළිබඳව පැවැත්මට අවශ්‍යය කරන බැඳීමක් තියෙනවා නම්, ඒ ටික ඉතුරුයි.

 

(ශ්‍රාවක මහතෙක් “බන්ධු” පිළිබඳව ප්‍රශ්නයක් අසයි, ස්වාමීන් වහන්සේ:) බන්ධු කියන එකේ බැඳීමේ ක්‍රම දෙකක් තියෙනවා. ඒකත් තියෙනවා. උපධි බන්ධනය, ඒකත් තියෙනවා. ඒක තමයි, බැඳුනොත් තමයි ගලවගන්න බැරි. නිදහසේ පරිහරණය කරන එකත් තියෙනවා. දැන් අල කොලේ උඩ තියෙන වතුර බිංදුව ක්‍රම දෙකකින් අල කොලේ උඩ හිටිනවා. එකක් තමයි තැවරිලා හිටින එක. එකක් තමයි නොතැවරී හිටින එක. දැන් නිකන් කොලේකට වතුර බිංදුවක් වැටුනොත් කොලේ වතුර බිංදුව තියෙනවා, තැවරිලා. නෙළුම් කොලේට වතුර බිංදුවක් වැටුනහම, වතුර බිංදුව කොලේ උඩම තියෙනවා, තැවරෙන්නෙ නැතුව.

 

අන්න, දරා හිටිනවා නම් යමකින්, “ඛාර” වලින් දරා හිටිනවා, “සංඛාර” වලින් තැවරෙනවා. සංඛාර නිරෝධ කරපුහාම තැවරෙන්නෙ නෑ, දරා හිටිනවා. අනුපදිසේස නිර්වාණයට යනකන් දරා හිටිනවා. ඊට පස්සෙ දරන්න එකක් නෑ. ඉතින් කර්මය පිළිබඳව ඔය වගේ විග්‍රහ කරලා දැනගන්න ඕනේ.

 

{1:01:33} : පළමු ප්‍රයෝගය, විඤ්ඤාණ වලට ආහාර දීම වැළැක්වීම, කුසළ සීලය

ගති සම්පත්ති, උපධි සම්පත්ති, කාල සම්පත්ති, ප්‍රයෝග සම්පත්ති. මෙතන හතරක් තියෙනවා. දැන් මේකත් හුඟාක් විග්‍රහ කරලා දැනගන්න ඕනෙ එකක්. සම්පත්තියට හෝ විපත්තියට, මේ දෙකටම පත්වෙන ක්‍රම රටාවක් තියෙනවා. දැන් මේක ගති සම්පත්ති, උපධි සම්පත්ති… දැන් මෙහෙම මෙහෙම, කලවමේ, මිශ්‍රණය තමයි මේ ලියවිලා තියෙන්නේ. මේක පහලවෙන ක්‍රමයක් තියෙනවා.

 

දැන් යම් සමාජයක් හෝ පුද්ගලයෙක් දූෂ්‍ය වුනොත්, එයාට සම්පත්තිය තුළින් නැඟිලා එන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. දූෂ්‍ය වූ මානසිකත්වයක් ඇති කෙනාට නැඟෙන්න ඕනෙ නම්, එයා ආධාර කරගන්න ඕනෙ ප්‍රයෝග සම්පත්තිය, ඉස්සෙල්ලාම. ප්‍රයෝග සම්පත්තිය තුළින් තමයි එයා හොඳ පැත්තට හැරෙන්න ඕනෙ. යමක් මේ ලෝකේ “යහපත්” යන සම්මතයක් තියෙනවා නම්, ඒ සමඟ යෝග වෙන්න ඕනෙ. “ප්‍ර + යෝග” කියන්නේ ඒකයි. ඒ සමඟ යෝග වෙලා, ඒ සමඟ එකතු වෙන්න ඕනේ, හොඳ දේ සමඟ.

 

අන්න එතකොට නරක දේ සමඟ තියෙන ආහාරයෙන්, නරක දේ පැත්ත අත්හැරලා හොඳ දේ සමඟ එකතු වෙනකොට, නරක දේ ජීවත් වෙන්නෙත් ආහාරයකින්, හොඳ දේ ජීවත් වෙන්නෙත් ආහාරයකින්. ආහාරයක් නැතුව කිසිම ගතියක්, කිසිම දෙයක් මේ ලෝකෙ පැවැත්මක් නෑ. සියළුම පැවැත්මට, සත්වයාගේ සියළු පැවැත්මට ආහාරයක් අවශ්‍යයි. ගති පැවැත්මටත් ආහාරයක් අවශ්‍යයි, විඤ්ඤාණ වල පැවැත්මටත් ආහාරයක් අවශ්‍යයි.

 

විඤ්ඤාණ වලට ආහාරය සංඛාර. සංඛාර ආහාර කරගෙන විඤ්ඤාණ ජීවත් වෙනවා. සංඛාර නිරෝධ කළොත් විඤ්ඤාණ නිරෝධ වෙනවා, ආහාර නැති නිසා. ආහාරය ඇති තැනයි ඒක පවතින්නේ. ආහාර නැත්නම් පවතින්නේ නෑ. ඉතින් අපි ලඟ තියෙන්නෙ පාප විඤ්ඤාණයක් නම්, ඒකට පාප සංඛාර ආහාර කරලා දෙනකොට පාප විඤ්ඤාණ පහල වෙනවා, ඒක මෝරනවා.

 

ඒක, ඒ විඤ්ඤාණය නැතිකරගන්න ඕනෙ නම්, ඒක හැදිච්ච හැටි දැනගෙන, හැදිච්ච හේතුව දැනගන, හේතුව නිරෝධ කරලා, ඵලය නිරෝධ කරන්න ඕනේ. වෙන ක්‍රමයක් ඒකට නෑ. යම් සංඛාරයක් පාප නම්, අපිට පාප විඤ්ඤාණයක් ඒකෙන් පහලවෙන්නේ. පහලවෙච්ච පාප විඤ්ඤාණය තව තවත් ජීවත් වෙන්නේ, පාප සංඛාර යළි යළි හිතෙන්, කයෙන්, වචනයෙන් දෙනකොට, ඒවා ආහාර කරගෙන. ඒ හිතෙන්, කයෙන්, වචනයෙන් පප සංඛාර දෙන තාක්කල් පාප විඤ්ඤාණය නැතිකරන්න බෑ. ක්‍රම රටාව අහුවෙලා නෑ.

 

එහෙනම්, “විඤ්ඤාණ දැනගනී, විඤ්ඤාණයට හේතුව දැනගනී, විඤ්ඤාණ නිරෝධය දැනගනී, විඤ්ඤාණ නිරෝධ මාර්ගය දැනගනී…” කියන මෙන්න මේ ටික දැනගන්න ඕනේ. (ශ්‍රාවක මහතෙක් ප්‍රශ්නයක් අසයි, පැහැදිලි නැත, ස්වාමීන් වහන්සේ:) නෑ නෑ නෑ, ඒ මොහොතෙ කතාවක් මෙතන නෑ.

 

දැන් අපි දකින්නෙ මෙහෙමයි, “මොහොතෙදි” කියන කතාවෙදි අපි තේරුම් ගන්න ඕනෙ එකක් තියෙනවා. අපිට යම්කිසි ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි “පූර්වභාග” ක්‍රමය. ඊලඟ එක තමයි “අත්දැකීම් ලබන” මොහොත. පූර්වභාග ක්‍රමයට මනස වඩාගත්තට පස්සෙ ඕකට කියනවා, “පූර්ව භාග ප්‍රතිපදාව”. පූර්වභාග ප්‍රතිපදාවෙන් දියුණු වෙච්ච කෙනාට, ඒ ඒ මොහොතේ එනකොට, යම්කිසි පාපයක් හෝ එනකොට, ඒ මොහොතෙම එයාට පූර්වභාග ප්‍රතිපදාවේ පුහුණුව නිසා “මේක පාපයක්” කියලා එවෙලෙ වැටහෙනවා.

 

එහෙනම්, ඒ “මේක පාපයක්” කියලා එවෙලෙ වැටහෙන්න පූර්වභාග ප්‍රතිපදාව වඩලා තියෙන්න ඕනේ. “පූර්වභාග නුවණ පළමුව පහලවේ, මඟ නැණ පසුව පහලවේ” කිවුවෙ ඒකයි. පළමුව පූර්වභාග නුවණ තියෙන්න ඕනේ. පූර්වභාග නුවණ වඩන්නෙ නැති කෙනෙකුට මාර්ග ඥාණය පහලවෙනවා කිවුවොත්, වෙන්න හේතු නෑ. ඒ හින්දා, පළමුව පූර්වභාග නුවණ පහලවෙලා තියෙන්න ඕනේ.

 

එහෙනම්, පූර්වභාග නුවණෙදි, “අතීතයේ වෙච්චි ඒවට, අතීතයේ හටගත්ත ඒවට මොකද වුනේ? දැන් හටගන්න ඒවට මොකද වෙන්නේ? මතු හටගත්තොත් මොකද වෙන්නේ?” කියලා පූර්වභාග නුවණින් කල්පණා කරලා, කල්පණා කරලා, සිහි කරලා, සිහි කරලා පුරුදු වෙන්න ඕනේ. එතකොට පූර්වභාග නුවණ වැඩෙනවා. එතකොට, ඒ තුළින් දකිනවා “මේවා හරයක් නැති දේවල්”

 

ඊට පස්සෙ, ඇහැට රූපයක් පේනකොට, කනට සද්දයක් ඇහෙනකොට, ඒ ඒ මොහොත එනකොට, අන්න ඒක වැටහෙන වෙලාවෙදි අර මඟ ඵලයක් ලබනවා. අන්න, “මඟ නැණ පසුව පහලවේ” කිවුවෙ අන්න ඒකයි. ඉතින් යම් කෙනෙක්, අපිට දැන් දීලා තියෙන ක්‍රමයට, “අතීතය අමතක කරන්න” ආදී වශයෙන් කියලා, දැන් දැන් මොහොත ගන්න කියලා කියනකොට, ඒක අපි විසින් කරන එකක් නෙමෙයි, කෙරෙන එකක්.

 

{1:05:19} : කුසළ සීලය වැඩීම නිවන් පූර්ණය වීම දක්වාම ප්‍රයෝගයක් වන අයුරු

අපි විසින් වඩන්න ඕනේ, සමාධියට අවශ්‍යය කරන සීලය. “බීජයක් හිටවාගත්ත ගොවියාට, කඳ අවශ්‍යය නම්, මල් – ඵල අවශ්‍යය නම්, මොකද ගොවියා කරන්න ඕනේ?” කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. “ස්වාමීනි, සාත්තු කරන්න ඕනේ” “ඒ සාත්තුවට අමතරව, කඳ වැඩේවා! මල් – ඵල ලැබේවා! කියලා තවත් කරන්න දෙයක් ගොවියාට තියෙනවද?” කියල අහනවා. “නෑ ස්වාමීනි, හරියට කරන ගොවියා සාත්තුව කරන්න ඕනෙ ඒ දෙක ඕනෙ නම්..” “මහණෙනි, ඒ වගේ මේ කුසළ සීලය තමයි සාත්තුව, සමාධිය කඳ කියලා හිතාගන්න, ප්‍රඥාව මල් – ඵල කියලා හිතාගන්න”

 

සමාධිය අවශ්‍යය නම්, ප්‍රඥාව අවශ්‍යය නම්, සාත්තුව කරන්න. සාත්තුව කරනකොට, ධර්මතාවයක් තමයි සමාධිය ලබලා, මල් – ඵල හැටියට ප්‍රඥාව පහලවෙන එක. එහෙනම්, සමාධියටයි, ප්‍රඥාවටයි අමුතුවෙන් කරන්න දෙයක් නෑ කියලා පෙන්වනවා. නමුත්, මේ කාලෙ වෙනකොට කරන්න හදන්නෙ, සමාධිය වඩන්න, ප්‍රඥාව පහලකරන්න, “සමාධි භාවනා, ප්‍රඥා භාවනා” කියලා දේකුත් හදාගන්නවා. “සීල භාවනාව” පැත්තකට දානවා. “සමාධි භාවනාව” වඩන්න යනවා. එතකොට කොහොමද කරන්නේ?

 

ඒ නිසාම, ලෝක සත්වයා දන්නෙ නෑ සමාධිය ලැබෙන ක්‍රමය. ඒ නිසාම සමාධිය ලබන්න බෑ. “කඳ ලැබේවා! කඳ ලැබේවා!” කියලා ගොවියා හිටියොත් සාත්තු නොකර, එයාට කවදාවත් කඳක් හම්බවෙන්නෙ නෑ. “අනේ, මට මල් – ඵල ලැබේවා!” කියලා කොච්චර හිටියත්, මල් ඵල ලැබෙන්නෙ නෑ. ඒ දෙක ඕනෙ නම් එයා සාත්තුව කරන්න ඕනේ. ඔන්න එක උපමාවක්.

 

තවත් උපමාවක් පෙන්වනවා, කිකිළියෙකුට බිත්තර 8ක්, 12ක්, 16ක් ආදී වශයෙන් තිබ්බොත්, කිකිළි මොකද කරන්නෙ කියලා අහනවා. කිකිළි ස්වභාවයෙන් ම ඒ බිත්තර උණුසුම් කරනවා, රකිනවා. මේ බිත්තර උණුසුම් කරන, බිත්තර රකින කිකිළිට, “අනේ මට අහවල් දවසෙ පැටවු ලැබේවා! අහවල් දවසෙ පැටවු ලැබේවා!” කියලා හිතන්නත් ඕනැද? එහෙම හිතිවිල්ලක් ඒ කිකිළිට එනවද කියලා අහනවා. කිකිළිට එහෙම හිතිවිල්ලක් නෑ. නමුත්, කිකිළිගෙ වැඩේ කිකිළි කරනවා. බිත්තර මෝරනවා, කිකිළි මෝරවනවා නෙමෙයි. උෂ්ණය වැඩි වෙනකොට බිත්තර මේරීම ස්වභාවයක්. පැටියා මේරිලා එන එක ස්වභාවයක්. පැටියා එළියට එන්නෙ, බිත්තරේ බිඳගෙන, කිකිළිගෙ වැඩේ කරපුහාම. එතකොට පැටියා ලැබෙනවා.

 

මෙන්න මේකත් බුදුරජාණන් වහන්සේ උපමාවට දීලා තියෙනවා. “සමාධියයි, ප්‍රඥාවයි අවශ්‍යය කෙනෙක් ඉන්නවා නම්, කිකිළි බිත්තරේ උණුසුම් කරනවා වාගෙ සීලය වඩන්න, කුසළ සීලය වඩන්න” කිකම්ම සීලය නෙමෙයි, කුසළ සීලය. කුසළ සීලය වැඩුවොත් සමාධියයි, ප්‍රඥාවයි මතුවෙලා එනවා. “සීල සම්පන්න සිල්වත්නට අවිප්‍රතිසාරය උපදීවායි චේතනාවෙන් කටයුත්තක් නැත, ලැබීම ධර්මතාවයකි” අපි කියන්නේ “විපිළිස බව”, හිත කැළඹෙන බව. සීල සම්පන්න නම්, යම් සිල්වත් කෙනෙකුට, ඒ සීල සම්පන්න සිල්වත්නට, අවිප්‍රතිසාරය ගැන හිතන්න දෙයක් නෑ. කම්පා නොවෙන බවට පත්වෙනවා.

 

“අවිප්‍රතිසාරය උපන්නහුට ප්‍රමෝදය ලැබේවායි චේතනාවෙන් කටයුත්තක් නැත, ලැබීම ධර්මතාවයකි”,

“ප්‍රමුදිතයාට ප්‍රීතිය ලැබේවායි චේතනාවෙන් කටයුත්තක් නැත, ලැබීම ධර්මතාවයකි”,

“ප්‍රීති මනස් ඇත්තා හට පස්සද්ධිය හෙවත් සැහැල්ලුව උපදීවා යි චේතනාවෙන් කටයුත්තක් නැත, ලැබීම ධර්මතාවයකි”

“පස්සද්ධිය ඇත්තා හට සුඛය උපදීවා යි චේතනාවෙන් කටයුත්තක් නැත, ලැබීම ධර්මතාවයකි”

“සුඛිත සිත් ඇත්තා හට සමාධිය ලබමි යි චේතනාවෙන් කටයුත්තක් නැත, ලැබීම ධර්මතාවයකි”

 

එහෙනම්, සමාධියට කරන්න හරිය කියලා තියෙන්නෙ, ලස්සනට. “න චේතනා කරණිය” සූත්‍රයේ හොඳට පැහැදිලිව විග්‍රහ කරනවා. සූත්‍ර කීපයක් ම තියෙනවා.

 

“සමාධි සිත් ඇත්තහුට යථාභූතව දකිමි යි, දනිමි යි චේතනාවෙන් කටයුත්තක් නැත, ලැබීම ධර්මතාවයකි”

“යථාභූතව දක්නා හට, දන්නා හට, විරාගයට පැමිණෙමි යි චේතනාවෙන් කටයුත්තක් නැත, ලැබීම ධර්මතාවයකි”

“විරාගිකයාට විමුක්ති ඥාණ දර්ශනය පසක් කරමි යි චේතනාවෙන් කටයුත්තක් නැත, ලැබීම ධර්මතාවයකි”

“මෙසේ කුසළ සීලය අවිප්‍රතිසාරයත්, අවිප්‍රතිසාරය ප්‍රමෝදයත්, ප්‍රමෝදය ප්‍රීතියත්, ප්‍රීතිය පස්සද්ධියත්, පස්සද්ධිය සුඛයත්, සුඛය සමාධියත්, සමාධිය යථාභූත ඥාණ දර්ශනයත්, යථාභූත ඥාණ දර්ශනය නිර්වේදයත්, නිර්වේදය විරාගයත්, විරාගය විමුක්ති ඥාණ දර්ශනයත් ලබා දෙයි”

“මෙසේ ධර්මයෝ ම ධර්මයෝ පවත්වයි, නිර්වාණ පර තෙරට යාම සඳහා ධර්මයෝ ම ධර්මයෝ පුරවයි”

 

මෙච්චර පැහැදිලි කරලා දීලා තියෙන දේශනාව පැහැදිලිව තියෙද්දී, මොකද්ද කරන්නේ? ඉතින් ත්‍රිපිටකය පැත්තකින් තියලා, පෙළ දහම පැත්තකින් තියලා, විශුද්ධි මාර්ගය කියන පස්සේ හදාගත්ත පොතක් මුදුන් මල්කඩට ගෙන, ආචාර්ය වාද වශයෙන් දුන්න එකක්, ඒකෙන්ම භාවනා කරන්න යනවා. ලැබූ කෙනෙක් ඉන්නවද? අන්න වරදින්න හේතුව.

 

{1:09:31} ගති, උපධි, ප්‍රයෝග, කාල සම්පත්ති දහම් මඟ තුළින් ලබන හැටි

ඉතින් මෙතෙනදි අපි දැකගන්න ඕනේ, මේ ආකාරයට අපි දැන් ප්‍රයෝග සම්පත්තිය, ඔය ප්‍රයෝග සම්පත්තිය. අන්න දැන් අපිට සීල… අපි ගත්තා නම් යම්කිසි කුසළ සීලයක් වැඩීමට, ඔන්න ප්‍රයෝගය. ප්‍රයෝග සම්පත්තිය කිවුවෙ ඕකයි. ඔන්න ප්‍රයෝග සම්පත්තිය කරගෙන යනකොට මොකද වෙන්නෙ, එයාට උපදිනවා “ගති සම්පත්තිය”. තිබුණ නරක ගතිය දුරුවෙලා, හොඳ ගතිය පහලවෙනවා. අන්න ගති සම්පත්තිය පහලවෙන හැටි.

 

දැන් ගති සම්පත්තිය පහලවෙන්න, ඔහුගේ පරිසරය, ඔහු ඇසුරු කරන රටාව සකස් වෙන්න පටන්ගන්නවා ගතියට අනුව. ඒක ගතිය සතු වැඩක්. මතුවෙලා, “කාල සම්පත්තිය” හටගන්නවා. ඒ කාල සම්පත්තිය පරිභෝග කරන්නාවූ ඔහුට හිත – කය නිරෝගීව “උපධි සම්පත්තිය” හටගන්නවා. උපධි සම්පත්තිය කියන්නේ ගත – හිත නිරෝගීව, තමන්ට අවශ්‍යය කරන කාරණයට අවශ්‍යය පහසුතාවය සැළසීම. ඔන්න සම්පත්ති හතර.

 

සම්පත්තියක් ලබාගෙන ඉන්න පුද්ගලයෙකුට, විපත්තියට පත්වෙන්නත්… මෙන්න මෙහෙම “ප්‍රයෝග විපත්තිය” ගන්නවා. අරගෙන දුස්චරිත පැත්තට කටයුතු කරන්න පටන්ගන්නවා. අන්න අර තියෙන පැත්ත වෙනුවට දුස්සීල පැත්ත ගන්නවා. ගත්තහම ගතිය දුස්සීල වෙනවා. ගති සම්පත්තියෙන් ඇවිල්ලා “ගති විපත්තියට” බහිනවා. “කාල විපත්තියට” පත්වෙලා, කාල විපත්තියෙන් පරිසර විනාසයට පත්වෙනවා. ඒ පරිසර විනාසය ඇසුරු කරන්නාවූ ලෝක සත්වයාට “උපධි විපත්තිය” හටගෙන විනාස වෙනවා. නොයෙක් ලෙඩ රෝග, මානසික දුක් කරදර, කායික – මානසික ආබාධ, ඔක්කොම හටගන්නවා.

 

ඕක එක්කෙනෙකුට පොදුවෙත් ගන්න පුළුවන්, පොදු සමාජයට පොදුවෙත් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ පොදු සමාජයක් ම පිරිහෙන හැටිත්, දියුණුවෙන හැටිත් ඔය මඟින් දේශනා කරලා තියෙනවා. යම්කිසි සම්පත්තියක් ඇති කාලෙකදි, යම්කිසි රජකෙනෙක් ප්‍රයෝග විපත්තිය තුළින් වැරදි වැඩ කරනවා. රජ්ජුරුවන්ට උපදෙස් හම්බවෙන්නෙ පුරෝහිතයා ගෙන්. පුරෝහිතයා වැරදියට උපදෙස් දුන්නහම මොකද කරන්නේ? රජ්ජුරුවෝ ඒක අනුගමනය කරලා වැරදි පැත්ත ගන්නවා. අන්න ගත්තට පස්සෙ ප්‍රයෝග විපත්තියට බහිනවා.

 

ඒ ප්‍රයෝග විපත්තිය නිසා පුද්ගලයින්ගෙ මානසිකත්වය වෙනස් වෙලා, ගති විපත්තියට බහිනවා. දැන් ගති නරකයි. ගති නරක් වෙනකොට, ඉර – හඳ කක්ෂයෙන් පිට පනිනවා. අන්න විශ්වය ගැන කියලා තියෙන එක. එතකොට ගති, අපේ තියෙන හොඳ ගති හෝ නරක ගති මේ විශ්වයට බලපාන හැටි. ඉර – හඳ කක්ෂයෙන් පිට පනිනවා. කක්ෂයෙන් පිට පැනලා ගමන් කරනකොට, නක්ෂත්‍ර තාරකා ආදී සියල්ලම, තියෙන ඒවා කක්ෂයෙන් පිට පැනලා, විරුද්ධව ක්‍රියාත්මක වෙන්න පටන්ගන්නවා.

 

මේ අනුව, ලෝකයේ හමන වාත වේග වෙනස් වෙනවා, කාල වෙනස් වෙනවා. ඒ වෙනස්වෙලා ගිහිල්ලා අන්න ඒ පුද්ගලයට කාල විපත්තියට හේතු වෙන්න පටන්ගන්නවා. ඒ වෙලාවෙදි මොකද වෙන්නේ ? විරසක සුළං මාර්ග නිසා, ඒ සුළං නොවදින තැන දෙවියන්ගේ දේව විමාන තියෙනවා, අහස් දෙවියන්ගේ. ඒවත් කම්පා වෙන්න පටන්ගන්නවා. දේවතාවෝ කෝප වෙන්න පටන්ගන්නවා.

 

ආයිත් ගති විපත්තිය බලවත් වෙලා, කළට වැහි වහින්නෙ නැතුව යනවා, අකළට වැහි වහිනවා. නියම විදිහට වැස්ස එන්නෙ නැතුව යනවා. නොනිසි විදිහට වැස්ස එනවා. සරුසාර විදිහට වැස්සක් නැතුව යනවා. මේ ආකාරයෙන්, අන්න කාල විපත්තිය හටගෙන, ලෝකයේ කාලය වෙනස් වෙලා යනවා.

 

එතකොට, සස්‍ය භෝග හරියට පැහෙන්නෙ නැතුව යනවා, රසයෙන් පූර්ණ නැතුව යනවා. රසයෙන් තොර වුන, හීන වූ ප්‍රත්‍ය භෝග වලඳන මනුස්සයාට කායික සහ මානසික රෝගාබාධ හටගන්න හේතුවෙලා, පිරිහිලා යනවා. අන්න අනිත් සැරේ ආවා, උපධි විපත්තිය. දැන් හොඳ ලස්සනට විග්‍රහ කරලා තියෙනවා.

 

හදාගන්නෙත් එහෙමයි. සමාජය හදාගන්න ඕනෙ නම්, සියල්ලෝම එකතු වෙලා ප්‍රයෝග සම්පත්තියට බහින්න ඕනේ. ප්‍රයෝග සම්පත්තියට බැස්සහම, ගති සම්පත්තිය ලෝකයේ නැඟිලා එනවා. එතකොට ආයි සැරයක් අර කක්ෂගත වෙනවා නියම විදිහට ඉර – හඳ. කක්ෂගත වුනහම අර හුළං පාරවල් ආයිත් නියමිත විදිහට හරියනවා. දේවතාවෝ සතුටු වෙනවා. කළට වැහි වහින්න පටන්ගන්නවා. වැස්ස, සශ්‍රීක වැස්සක් බවට පත්වෙනවා. එබඳු වන්නාවූ සශ්‍රීකයෙන් නැඟෙන බව – භෝග පෝෂණයෙන්, රසයෙන් අග්‍ර වෙනවා. ඒවා පරිහරණය කරන මනුස්සයාට නිරෝගී භාවය ලැබිලා, ඒ වගේ ශක්තිය ලැබිලා, කායික – මානසික සුවය ලැබිලා, ආයිත් සශ්‍රීක බවට පත්වෙලා, අර උපධි සම්පත්තියට පත්වෙනවා. හදාගන්නෙත් ඔහොමයි.

 

ඉතින් ඔය දෙක ඇරෙන්න, ඔය බුදු දහම අහක් කරලා, කොච්චර බෙහෙත් ගැහුවත්, කොච්චර පොහොර දැම්මත්, සශ්‍රීක ලෝකයක් එහෙම හදන්න බෑ ඒ ජාතියෙන් මොනවා වැවුවත්. ඒ නිසා තමයි ඔය පෝර දාන්නෙත් නැතුව, බේත් ගහන්නෙත් නැතුව, කෝටි ගාණක් සෙනග ඉන්නකොට, සශ්‍රීකත්වයෙන් ඔය රජ කාලෙ තිබුණයි කියන්නේ, උද්දාම වෙවී ඉන්න නෙමෙයි, ක්‍රමය දැනගෙන අපිත් ඒක අනුගමනය කරන්න.

 

ඒ කාලෙ, උද්දාම වෙන්න දෙයක් නෑ, ක්‍රම – ප්‍රයෝග සම්පත්තිය තිබුණ නිසා ඔක්කොම තිබුණා. දැන් ප්‍රයෝග විපත්තිය අනුගමනය කරන ගමන් ආදි රජ කාලෙ ඒවා වර්ණනා කර කර, උද්දාම වෙවී හිටියට, අපිට වැඩක් වෙන්නෙ නෑ. ඉතින්, යථාර්තය දහමෙන් පිට පැනලා, අපි වැරදි පැත්තක උද්දාම වෙවී ඉන්නවා, “ජාතික අභිමානය” කිය කියා.

 

“ජාතික අභිමානය” කිවුවා මිසක්, ඒ ජාතික අභිමානය එසේ හැදුනේ මොන ධර්ම රටාවකින්ද කියලා දැක්කෙ නෑ. ඒක පෙන්නුවෙ බුදු දහමෙන්. ඒ බුදු දහම අනුගමනය කරන එක පැත්තක දාලා, අද වෙනකොට කරන්නෙ මොකද්ද? ප්‍රයෝග විපත්තියට වැඩ කටයුතු කරගන්න ගමන්, අතීත ශ්‍රී විභූතිය වර්ණනා කර කරා ඉන්නවා.

 

ඉතින් අදත් අතීත ශ්‍රී විභූතිය ඕන්නම් ඒ වගේ, ඒකට හේතුකාරක වන ධර්මය, ධර්මයෙන් තේරුම් අරගෙන, ඒක අනුගමනය කරගත්තොත් අවංකව, අමුතුවෙන් කරන්න දෙයක් නෑ, බොහෝම පහසුවෙන් ඒ කියපු තැනට එන්න පුළුවන්. එදාට බේත් ගහන්න ඕනෙත් නෑ, පෝර ගහන්න ඕනෙත් නෑ, භව භෝග සම්පත් අඩුවෙන්නෙත් නෑ, සියල්ලෙන් ම පූර්ණයි. ඉතින්, ඔය ටික විග්‍රහ කරගන්න ඕනෙ ඒකට.

 

{1:14:45} ධ්‍යාන ආලෝකයට අනුව බ්‍රහ්ම ලෝක වල උපත සකස් වන අයුරු

“ගෘහපතිය, මේ භවයෙහි ඉපදීම් සතර ආකාරය. මේ මේ ලෝකයෙහි කෙනෙක් ස්වල්ප වූ ආලෝකය වඩා, පරිත්තාභ අරමුණු කොට, මරණින් මතු පරිත්තාභ දෙවියන් අතර ඉපදේ. මහත් වූ ආලෝකය වඩා, අප්පමාන දෙවියන් අතර උපදිනවා. අපිරිසිදු වූ ආලෝකය වඩා, සංකිරිට්ට වූ දේවතාවන් අතර උපදිනවා.” එතකොට, මෙහි ආලෝකය, මහත් වූ ආලෝකය, කිළිටි ආලෝකය, පිරිසිදු ආලෝකය ලෙස භාවනා වඩනවා යනු කුමක් දැයි පැහැදිලි කරන්න.

 

දැන් මේ ටික තමයි මෙතන මේ අපිට මෙච්චර වෙලා කියවුනේ. දැන් මෙතන තියෙනවා ආලෝක හතර ආකාරයක් ගැන පෙන්වලා. දැන් “පරිත්ත” අරමුණු කොට, දැන් මේකෙදි තියෙන්නෙ, බෞද්ධයින්ට පෙන්වලා තියෙන්නේ, පොදු භාවනාව, මෛත්‍රී භාවනාව. මේ මෛත්‍රී භාවනාව මුල් කරගෙන පුද්ගලයෝ වඩනවා, දැන් තමාටයි, තමා අවට ප්‍රදේශයටයි සීමා කරලා මෛත්‍රිය.

 

“මම නිදුක් වෙම්වා, නිරෝගි වෙම්වා, සුවපත් වෙම්වා, දුකින් මිදෙම්වා, ඒ වාගෙම මාගේ ගමේ අය…” ඉතින් ඒ ආදි වශයෙන් සීමා කරලා වඩාගන්නවා. ඒ සීමා මට්ටමේදි යම් කෙනෙක්, එතනින් ඒ මට්ටමේදි මළොත් එහෙම, පරිත්තාභ දෙවියන් අතර උපදිනවා. ආලෝකය ටිකයි වැඩුවෙ, ටිකයි ලැබෙන්නේ. හේතුවට අනුවයි ඵලය. “ආලෝක” කිවුවෙ අන්න ඒකයි.

 

දැන් “ආලෝක” කියන වචනය තෝරාගන්න ඕනේ. “ආලෝක” කියන්නෙ එළියටද? මේ මේ පේන, විද්‍යාමාන වෙන එළියද? නැත්නම් මොකද්ද කියලා දකින්න ඕනේ. මේ එළිය “ආලෝක ලක්ෂණය”, ආලෝක මනසක තියෙන උරුම ලක්ෂණ ස්වභාවය තමයි මේ එළිය කියලා කියන්නේ, එළිය වැටෙන එක. “ලෝක” කියන එකේ අනික් පැත්ත “ආලෝක” – අලෝක – ආලෝක. ලෝක අත්හැරපු පැත්තටයි ආලෝක වෙන්නෙ.

 

ලෝකෙ අල්ලන්නෙ මොනවයින්ද, අඳුරු වෙන්න ? “අඳුර” කියන්නෙ මොකද්ද? ආපු දුර – ආ දුර – අඳුර. ආ ලෝකය – ආලෝකය. අඳුරයි, ආලෝකයි තෝරාගන්න ඕනේ. මේ ලෝක සත්වයෝ, මේ ලෝකෙ ආරම්භය හටගන්නකොට, මොකද ලෝකයක් විනාස වෙලා, යළි සක්වළක් බිහිවෙලා ඇවිදිල්ලා, ආරම්භක මනුස්ස ලෝකෙ එනකොට, අර බ්‍රහ්ම කායික ඒ බ්‍රහ්මයෝ එතනින් චුත වෙලා, බ්‍රහ්ම කල්පික මනුස්ස අත්බැවේ උපදිනවා. මෙන්න මේ උපදින කාලෙ දස අකුසල් කරන මානසිකත්වයක් නෑ. ආපු ලෝකෙ හැටි එහෙමයි.

 

ආපු ලෝකෙ හිටියෙ අලෝභ, අදෝස, අමෝහ ගුණයෙන්. එතන ඉඳලා, මේ දස අකුසල් ඇසුරු කරගෙන, ලෝභයට, ද්වේෂයට, මෝහයට පත්වෙවී, ආපු දුර තමයි අද මේ ඉන්නේ. එහෙනම්, කොච්චර දුර ඇවිදිල්ලද, එදා හිටපු තැනින්? ආපු දුර නරකට හිටපු හින්දා, දස අකුසල් සහිත වෙච්චි නිසා, ආපු දුර – ආ දුර – අඳුර වුනා. අන්න, දස අකුසල් ඇසුරු කරනකොට යම් ලක්ෂණයක් ලෝකෙ පහල වුනාද, “අඳුරු ලක්ෂණය” යි. අඳුරේ ලක්ෂණය තමයි අඳුර, පේන්නෙ නැති කම.

 

ආපහු ගියා නම්, ආපු ලෝකෙ තත්වෙට ගියා නම්, අලෝභ, අද්වේශ, අමෝහයි. ඒකෙ ලක්ෂණය යමක් පේන, වැටහෙන ස්වභාවය, ආලෝකයට. එහෙනම්, අපි අලෝභ, අද්වේශ, අමෝහ පැත්තට හිත වැඩුවොත්, අපි යන්නෙ ආලෝක පැත්තට. ඉතින් “මමත් නිදුක් වෙම්වා, නිරෝගි වෙම්වා, සුවපත් වෙම්වා, දුකෙන් මිදෙම්වා, මා අවට ඉන්න පිරිසද…” ආදී වශයෙන්, “මේ ගමේ ඉන්න පිරිසද….” ගත්තහම ඒ මට්ටමට විහිදෙනවා.

 

මොකද්ද, ලෝකෙ අල්ලන පැත්ත නෙමෙයි තියෙන්නෙ. නිදුක්, නිරෝගී, සුවපත්, දුකින් මිදීම කියන මේ හතර යථාර්තයෙන් දැනගත්තහම, ඒක අලෝභ, අද්වේශ, අමෝහ පැත්ත. “අනුන්ට හෙන ගැහුවත් කමක් නෑ, මට හරියනවා නම්” කිවුවොත් එහෙම ලෝභ, ද්වේශ, මෝහ පැත්ත. ඒ පැත්තෙන් අනික් පැත්තටයි මේ යන්නෙ, ආපහු හරවලා. එතකොට ආලෝක පැත්ත.

 

ආලෝක පැත්තෙ ස්වභාවය, දැනෙන, පේන ස්වභාවය. අඳුරු පැත්ත හෙවත්, ආපු දුර පැත්ත, අකුසළයට බැස්සහම, නොදැනෙන – නොපෙනෙන ස්වභාවය. නොදැනෙන – නොපෙනෙන ස්වභාවය අපි අඳුර කියලා දකිනවා. දැනෙන – පේන ස්වභාවය ආලෝකය තුළින් දකිනවා. ඒ ආලෝක කියන වචනයේ අර්ථය එකක්, ආලෝක ලක්ෂණය එකක්. අද ආලෝක ලක්ෂණයටයි ආලෝකය කියන්නෙ, අඳුරේ ලක්ෂණයටයි අඳුර කියන්නේ. අඳුරයි, ආලෝකයයි අඳුරන්නේ නෑ.

 

ඉතින් ආලෝක කියලා කියන්නේ අලෝභ, අදෝස, අමෝහ ලක්ෂණය, ඒ ස්වභාවය. ඒක තමයි ආලෝක ස්වභාවය. අඳුරු ස්වභාවය, ලෝභ, ද්වේෂ, මෝහ ස්වභාවය. ලෝභ, ද්වේශ, මෝහ නිසා කරුවල ස්වභාවයක් ඇතිවෙනවා. ඉතින්, “කරු” කියන්නේ කරනවා. “වලක්” කරගත්තහම මොකද වෙන්නේ? වලක් කරපුහාම කරුවලයි, වලේ වැටෙනවා, පේන්නෙ නැති නිසා. අන්න, “වලක් කළ නිසා” – වලක් කරපු අර්ථයෙන් “කරුවල” කියනවා, වල කරපු නිසා. වලක් තිබුණොත් යන්න බෑ. හැපෙනවා, වැටෙනවා. අන්න, හැපෙන – වැටෙන ගති ලක්ෂණය මුල් කරගෙන තමයි අපි ඕකට “කරුවල” කියන්නේ. ආපු දුර නිසා “අඳුර” කියනවා.

 

ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ඔහු වලක් කණිනවා, වලක් හදාගන්නවා. වලක් හදාගත්තහම ගැටෙනවා, හැපෙනවා අඳුරු වෙනවා. කරපු වල, කරුවල. “වල අත්තයා – වලත්තයා” වල කියන්නෙ, වැටෙන තැන, අඳුරු වෙන තැන, හැපෙන තැන, ගැටෙන තැන, ඒවා තමයි වල කියන්නේ.

 

දැන් වල කියනවා කැළෑවටත්. “වළලනවා” කියන වචනෙ ආවෙ කැළෑවට දානවා කියන එකෙන්. ඊට පස්සෙ තමයි වලක් කපලා දානවා කියන එකට ඒක බැහැගත්තේ. වලේ දානවා කියලා වළලනවා කියනවා. වල කියන්නේ කැළෑව. කැළෑවට විසි කරලා එන එක තමයි ඉස්සර තිබුණේ, අමු සොහොනක් තිබුණේ කැළෑවේ. ඉතින්, වළලනවා කියන්නේ කැළෑවට දාලා එනවා කියන එක, ඒ කාලෙ.

 

ඉතින්, ඕකෙ අපි දකින්න ඕනෑ, අන්න “ආලෝක” කියන්නෙ ඕකයි. ඉතින් “ස්වල්ප වූ ආලෝකය වඩනවා” කියන්නේ සීමා සහිත ප්‍රමාණයකට අලෝභ, අද්වේශ, අමෝහ ගුණයෙන්, සීමා සහිත සත්ව කොටසකට වඩන මෙත. එතකොට “පරිත්ත” යි. ඒකෙන් “පරිත්තාභ” කියන දෙවියන් අතර උපදිනවා. හොඳ වැඩක් කරපු හින්දා ටිකක් හරි, ඒ මට්ටමට ගැලපෙන්නාවූ හේතු ඵලය පරිදි, සුළු එළියක් තියෙන, සුළු දැනීමක් – වැටහීමක් තියෙන, සුළු පෙනීමක් තියෙන, ඒ මට්ටමෙන් උපදිනවා. හැබැයි මේ සාමාන්‍ය මිනිහාගෙ පෙනීම නෙමෙයි මේ කියන මට්ටමට ගියාට පස්සේ, ඒක විසාල එළියක්. යනකොට පැත්තම එළිය කරගෙන යන්න පුළුවන් ස්වයං ප්‍රභා ආලෝකයකුත් එනවා. පරිත්තාභය දෙවියන්ගෙ ආලෝකයත් එහෙම එකක්.

 

එතකොට, “මතත් වූ ආලෝකය” ඒක මහත් විදිහට වඩනවා. සක්වළට, දස දහසක් සක්වළට, අප්‍රමාණ සක්වළට වඩනවා. ඒ හිත අලෝභ, අදෝස, අමෝහ සිතෙන් මෙත්තා සහගත හිත වැඩුවොත් අප්‍රමාණ සක්වළට, අප්‍රමාණ එළියක් වැටෙනවා. නැත්නම්, අන්න ඒක තමයි “මහත් වූ ආලෝකය”. ඒක වඩපුහාම මොකද වෙන්නෙ, අර උසස් දෙවියන් අතර උපදිනවා. අප්පමාණ, අප්පමානාභ, අප්‍රමාණ එළිය තියෙන දෙවියන් අතර. දස දහසක් සක්වළ ඇඟිලි පුරුකෙන් එළිය කරන්නත් පුළුවන් ඒ බ්‍රහ්මයින්ට. එබඳු ආලෝකයක් ඇති බ්‍රහ්ම කායිකව උපදිනවා.

 

“අපිරිසිදු ආලෝකය”, දැන් මේ ආලෝකය වඩනකොටත් ක්‍රමයක් තියෙනවා. එකක් තමයි, “මෙහෙම කළොත් මට යහපතක්…” තමන්ගෙ ආත්ම ලාභයක් බලාගෙනත් මේක කරන අයත් ඉන්නවා. “මෙහෙම කළොත් නොවැ මෙහෙම කරගන්න පුළුවන්, එතකොට මට මෙහෙම දෙවියෙක් වෙන්න පුළුවන්නේ…” අන්න අපිරිසිදු ආලෝකය කිවුවෙ ඒකයි. නරක පැත්තක් නෙමෙයි, හොඳ පැත්තක් ම පැතුවා.

 

යම් පැතුමක් තියෙනවා නම් කෙළෙස් සහිතයි. කෙළෙස් නිසා කියනවා, “අපිරිසිදු” ස්වභාවයෙන් යුක්තයි. එහෙනම්, ඒ වඩන එක කෙළෙස් සහිතව වැඩුවොත්, තමන්ට වාසියට වැඩුවොත්, නැත්නම් තෘෂ්ණාවෙන් බැඳිලා වැඩුවොත්, ඒකට කියනවා, අපිරිසිදු ආලෝකයට ආපුහම අර සංකිලිට්ඨ දේවතාවො අතර උපදිනවා. ඒගොල්ලන්ට අර දෘෂ්ඨිය ඇරෙන්නෙ නෑ. ඒගොල්ලො ලැබුණු සම්පත්තියෙ පවා ඇලෙනවා.

 

දැන් එක්තරා බ්‍රහ්මයෙක් බුදුරජාණන් වහන්සේ ලඟට එන්නෙ නැතුව, බ්‍රහ්ම මානයෙන් මත්වෙලා ඉන්නවා, බ්‍රහ්ම ලොක්කෙක් හැටියට. ඊට මෙහා, පල්ලෙහා හිටපු බ්‍රහ්ම පිරිසෙ ඉන්න දෙන්නෙක් ඇවිල්ලා, බුදුරජාණන් වහන්සෙගෙන් බණ අහලා, අති පාරිශුද්ධියට පත්වුනා, අනාගාමී වැනි යම්කිසි උසස් ඵලයකට පත්වුනා. එහෙම පත්වෙලා, තමන් ඒ ඇප උපස්ථාන කරපු දෙවියන්ට, නැත්නම් අර බ්‍රහ්මයන්ට, ලඟට ගිහිල්ලා එයාටත් කියනවා, බුදුරජාණන් වහන්සෙගෙ ගුණ වර්ණනා කරලා.

 

දැන් මෙයාගෙ ගුණය දෙවෙනි කරලා බුදුරජාණන් වහන්සෙගෙ ගුණ වර්ණනා කරපුහාම මෙයාට හරි හිතට අමාරුයි. මෙයා දාහක් මවලා පෙන්නලා කිවුවා, “මගෙ ප්‍රාතිහාර්යය දැක්කෙ නැතුවද මෙහෙම කියන්නෙ? ඕං බලාගන්න, මගෙ බලේ!” ඒපාර අරගොල්ලො මොකද කරන්නෙ, ඒගොල්ලො ඊට වඩා බල නඟලා තියෙන බව දන්නෙ නෑ, මොකද ශුද්ධ භාවයට පත්වෙලා, බණ අහලා, දහම් අවබෝධය ලැබූ නිසා ඊට වඩා බල තියෙනවා.

 

ඒ පාර “මේ බ්‍රහ්මයා සංවේගයට පත්කරන්න ඕනෑ” කියලා අර ආපු පරිවාරක බ්‍රහ්මයා දෙදාහක් මවලා පෙන්නුවා. “එහෙනම් මේං, මගෙ බලේ බලාගන්න” ඒ පාර ඒ බලය ඉදිරියේ (උසස් බ්‍රහ්මයා) හරි ලැජ්ජාවට පත්වුනා. “මට පුළුවන් කම වගේ, ඒ වගෙ දෙගුණයක් බල මගේ මේ ශ්‍රවකයෙක් වශයෙන් හිටපු කෙනාට තියෙනවනේ, මගෙ පිරිසෙ ඉන්න කෙනෙකුට….”

 

ඒ පාර එයා කියනවා, “බලන්නකො මගෙ මාලිගාව, කොච්චර ලස්සනද? අර ප්‍රාකාර කොච්චර ලොකුද? කොච්චර උසස්ද?” ඒ පාර කියනවා ( සේවක බ්‍රහ්මයෝ ) “ඕවා හරයක් නැති දේවල්, ඕකෙ ඇත්ත දැනගන්න නම් බුදුරජාණන් වහන්සේ ලඟට ගිහිල්ලම දැනගන්න” කියලා එයා සංවේගයට පත්කරලා ගියා. පහු කාලෙක ඒ බ්‍රහ්මයා සංවේගයට පත්වෙලා, බුදුරජාණන් වහන්සේ ලඟට ගිහිල්ලා, බණ අහලා සුද්ධ වුනා කියලා තියෙනවා.

 

අන්න, අර “පරිත්ත” ආලෝකය නිසා, නැත්නම් අර සියුම් ආලෝකයෙන් සංකිලිට්ඨ දේවතාවෙක් වෙලා හිටපු ලක්ෂණය. කිළිටි සහිත නිසා එයාට හිතාගන්න බෑ ගුණ, “බුදුරජාණන් වහන්සේ මෙබඳු උත්තමයෙක් නේද” කියලා කියනකොටත් එයා ඊට වඩා ලොකු වෙන්න හදනවා, අර තියෙන කිළිටි ගතිය නිසා. අන්න, සංකිලිට්ඨ දේවතාවො කියන්නෙ ඒ අය.

 

මේ “පරියුට්ඨාන” දෙවියන්, දැන් ඔතනින් නැගිලා හිටපු අය. අර කිළිටි ගති අත්ඇරලා ඉවරවෙලා ධර්මාවබෝධයක් ලබාගෙන නැගිලා ආපුහම එයා නැවත පහල වැටෙන්නෙ නෑ. අන්න ආර්ය මාර්ගයට ආපු අය. ආර්ය ධර්මය අහලා, ආර්ය ධර්මය තුලින් ඵලය ලැබුණට පස්සේ එයා නැගී හිටියා. එයා ආයෙ බහින්නෙ නෑ. නැත්නම්, මාර්ග-ඵල ලාභී දේවතාවෝ, එතෙන්ට පත්වුන අය, නැවත නොවැටෙන්න නැගී හිටපු අය.

 

ඉතින් ඕකෙ තව තේරුණේ නැති හරියක් එහෙම තියෙනවා නම් කියන්න.

 

{1:24:06} නිවන් වසන පංච ආවරණයෝ සහ ඉන් මිදෙන බුදු අණ

(ප්‍රශ්නය) : “ආවරණ” විස්තර සහිතව පැහැදිලි කරන්නේ නම් මැනවි. කර්මාවරණ, ක්ලේෂාවරණ, විපාකාවරණ, උපවාදාවරණ, ආනාවිතික්කමාවරණ.

 

(ස්වාමීන් වහන්සේ): ආවරණ කරනවා කියලා කියන්නේ යම් ගුණධර්ම වහනවා, ආර්ය මාර්ගය වහනවා, වැහිලා යනවා. යමක් අපි ඇසුරු කරනකොට, ඒකෙන් ඒවා වහන්න දක්ෂ නම්, ඒ වගෙ කාරණා 5ක් තියෙනවා.

 

ඒක තමයි, “කර්මාවරණ” එකක්. කර්මාවරණ කියන්නෙ, යම්කිසි පුද්ගලයෙක් ආනන්තරිය පාපකර්මයක් කළොත්, ඒ ආනන්තරිය පාපකර්මයක් කරගත්ත අත්බැව තුළ ඔහුට මාර්ග ඵල, ධ්‍යාන ලබන්න බෑ. ඒ කර්ම බලයෙන් ඒක ආවරණ වෙනවා. ආනන්තරිය පාපකර්මය එච්චර බලවත්. ඒකෙන් ආවරණ වුනොත් එයාට ඒ අත්බැව තුළ ධ්‍යානයක්, මාර්ග – ඵලයක් ලබාගන්න බෑ, ඒ අත්බැව තුළ. ඒ අර කර්මාවරණයේ ස්වභාවය. ඒක ඒකාන්තයෙන් අපාගත වෙලා, ගෙවලා ඉවර කරලම එන්න ඕනේ, නැවත වතාවක් ඉපදිලා ඕනෑ, ඒක ගෙවිච්ච කාලෙක ඕනෙ ආයි ලබන්න.

 

ඊලඟට තියෙන්නෙ, “ක්ලේෂාවරණ” ඊලඟට. කෙළෙස් වලින් ආවරණය වෙනවා. රාග ක්ලේෂයක්, ද්වේෂය ක්ලේෂයක්, මෝහය ක්ලේෂයක්. හිත කෙළෙසෙන දහම් වලින් යුක්ත පුද්ගලයට, ඒකෙ ඉන්න තාක්කල් දහම් පේන්නෙ නෑ, වැටහෙන්නෙ නෑ. ඒ කෙළෙස් ආවරණ ධර්මයක් වෙනවා.

 

“විපාකාවරණ” කියන්නෙ, යම්කිසි පුද්ගලයෙක් උපදිනකොට, ත්‍රිහේතුක පටිසන්ධියක් නැතුව ද්විහේතුක, අහේතුක වැනි පටිසන්ධියක් ඇතුව උපන්නොත්, ඒ පුද්ගලයටත් ඒ අත්බැවය තුළ නිවන් ලබන්න බෑ. විපාක වශයෙන් උපන් ඒ ගත – හිත දෙකේ තියෙන ස්වභාවය, අඳුරුයි. ඒ ස්වභාවය දුර්වලයි. දුර්වල මානසිකත්වයක් ඇති කෙනෙකුට කොච්චර කිවුවත් තේරෙන්නෙ නෑ. යථාර්තය වටහාගන්න බෑ. ඒ නිසා එයාට නිවන් අවබෝධ කරන්න බෑ. ඒකත් ආවරණයක්.

 

අනික “උපවාදාවරණ”. උපවාදාවරණ කියන්නෙ ආර්ය පුද්ගලයින්ට උපවාද කරනවා. කරපු උපවාදය තියෙනකන්, සමා කරන්නෙ නැති තාක්කල්, ඒ උපවාදය විරුද්ධව බලපානවා, අර ආර්ය මාර්ගය වඩන්න බෑ.

 

අනික තමයි “ආනාවිතික්කමාවරණ” – බුදු අණ කැඩීම. ඒ කියන්නේ, බුදු අණ කියලා කියනකොට ඔතන දකින්න ඕනෑ, බුදු අණ ක්‍රම දෙකකට තියෙනවා. එකක් තමයි බුදුරජාණන් වහන්සේගෙ පැණවීම, විනය පැණවීම. අනික තමයි ධර්මය පිළිබඳ පැණවීම.

 

ධර්මය පිළිබඳව පැණවීම තමයි මෙතන ප්‍රධාන වෙන්නෙ. යම්කිසි කෙනෙක් ඒ ධර්ම මාර්ගය, හරියට පෙන්නපු ධර්ම මාර්ගය විකෘති කරලා, වෙනස් කරගත්තොත්, වෙනස් කරගත්ත ධර්ම මාර්ගයට අනුකූල නැති දේකින් ධර්ම මාර්ගයේ ඵලයක් බලාපොරොත්තු වුනාට බෑ. එහෙනම්, ධ්‍යාන – මාර්ග ඵල කියන්නේ ධර්මානුකූලව ලබන මාර්ගයේ ප්‍රතිඵල. ඒ මාර්ගය, අධර්ම මාර්ගයක් ගත්තොත් අධර්මයෙන්, ධ්‍යානයක්, මාර්ග ඵලයක් ලබන්න බෑ. අන්න බුදු අණ කැඩීම.

 

බුදුරජාණන් වහන්සේගේ ආඥාවේ ප්‍රධාන එක තමයි “සබ්බ පාපස්ස අකරණං – කුසළස්ස උපසම්පදා, සචිත්ත පරියෝ දපනං – ඒතං බුද්ධාන සාසනං” ඔය තමයි බුද්ධ ආඥාව. ඔන්න ඔය බුද්ධ ආඥාව කඩාගෙන නිවන් දකින්න ක්‍රමයක් නෑ. මිදෙන්න ක්‍රමයක්, සුද්ධ වෙන්න ක්‍රමයක් නෑ.

 

එහෙනම්, හැම තැන බැඳෙන, විසිරෙන හිත දමනය කරගෙන, එයා කුසළයෙන් පූර්ණ වෙන්න ඕනෑ. කුසළයෙන් පූර්ණ වුනහම ලැබෙන ප්‍රඥාවෙන් සියළු පවු ගෙවිලා ගිහිල්ලා, “සබ්බ පාපස්ස අකරණං” කියන තැනට පත්වෙනවා.

 

නමුත් දැන් මේ ගාථාව කරන්න හදන්නෙ, ඉස්සෙල්ලාම සියළු පවු නැති කරලා, ඊට පස්සෙ කුසළයෙන් වැඩිලා, ඊට පස්සෙ හැමතැන බැඳෙන – විසිරෙන හිත දමනය කරගත යුතුයි කියලා මේ අනික් අතට ගන්නවා.

 

ඔය ගාථාව පෙන්නලා තියෙන්නෙ මුල ඉඳලා අගටම, ක්‍රියාත්මක කරන්න ඕනේ අග ඉඳන් මුලට. හැම ධර්මයකම ස්වභාවය ඒකයි. විග්‍රහ කරනකොට මූල ප්‍රතිඵලය කියනවා, ඒකට එන හැටි කියනවා, දැන් ඕක තේරුම් ගන්න ඕනෑ. ක්‍රියාත්මක කරනකොට, අග ඉඳලා මුලට ක්‍රියාත්මක කරලා මූල ප්‍රතිඵලය ලබාගන්නේ.

 

“බාහිත පාපී” හෙවත් රහතන් වහන්සේටයි, බාහිත පාපී හෙවත් “සබ්බ පාපස්ස අකරණං” කියන තැනට ආවා කියන්නේ. එතෙන්ටයි මේ එන්න ඕනෑකම තියෙන්නෙ. එතෙන්ට ආපුහම විමුක්තිය.

 

ඒකට එන්න නම් කුසළයෙන් වැඩෙන්න ඕනේ. “කුසළස්ස උපසම්පදා” වෙන්න ඕනෑ. කුසළස්ස උපසම්පදා වෙච්ච කෙනෙකුට තමයි සියළු පවු බැහැර කරගන්න ප්‍රඥාව පහළවෙන්නෙ.

 

ඒක කරගන්න නම් “සචිත්ත පරියෝදපනං” කියන මේ “මම” යි කියන්නාවූ හිත දමනය කරගන්න ඕනේ. තමන්ගෙ හිත් පෙළ දමනය කරගන්න කිවුවට බෑ, “ස්ව චිත්ත” – ස්ව කියන්නෙ, “මේ මේවා මගේ, මේවා මම” ඔය මම, මගේ කියන හැඟීමෙන් ගන්නාවූ මානසිකත්වය දමනය කරන්න ඕනෑ.

 

එතකොට සචිත්ත පරියෝදපනං, එතකොට තමයි සමාධිය වැඩෙන්නෙ, කුසළස්ස උපසම්පදා වෙන්නේ. ඒ හිතට තමයි යථාවබෝධය ලැබෙන්නේ. ඉතින් ඒ ක්‍රමයට ඒ මාර්ගයේ එන්න ඕනේ.

 

{1:28:11} අබල, දුබල, පුත්ත හා අසාර බන්ධන පිළිබඳව

(ප්‍රශ්නය): අබල බන්ධන, දුබල බන්ධන, පුත්ත බන්ධන, අසාර බන්ධන, මේ බන්ධන හතර පැහැදිලි කර දෙන්න.

 

(ස්වාමීන් වහන්සේ): දැන් “අබල බන්ධන” කියන වචනෙන් පෙන්නන්නෙ, දැන් ශ්‍රද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල කියන මේ බල නැත්නම් යම් කෙනෙකුට ආර්ය මාර්ගය වඩාගන්න බෑ. ඒ බල නැති කෙනා.

 

ඒ බල දුර්වල නම් යම් කෙනෙකුට, “දුබල බන්ධන”. ශ්‍රද්ධාව දුර්වල නම්, ඒ වගෙම වීර්යය, සතිය, සමාධිය, ප්‍රඥාව දුර්වල නම්, එයාට තියෙනවා “දුබලතාවය” බන්ධනයක් වෙලා. එතකොටත් ඒ මාර්ගය ලබන්න බෑ.

 

අනික තමයි “පුත්ත බන්ධන”. ඒ කියන්නෙ මේ ලෝකෙ පුත්‍රත්වයෙන් ගන්නවා. පුත්‍ර කියලා කියන්නෙ, තමා විසින් යම්කිසි පුද්ගලයෙක්, යම්කිසි දෙයක්, තමන්ට වැස්මක් කරගන්නවා. එතකොට, ඒ වැස්මක් කරගන්නෙ මොනවද? දැන් “පුත්‍ර” කියන වචනය අරගන්න ඕනෑ ඒ කියන වචනය තෝරගන්න. දැන් “පුත්‍ර” කිවුවහම “පුතා” කියන වචනය ගත්තටම බෑ. දැන් පුත්තු නැත්තං එහෙම ඉතින්, පුත්‍ර බන්ධනය නෑ නෙ එතකොට. එහෙනම් පුත්‍ර බන්ධන කියන්නෙ මොනවද?

 

මේ “පුත්‍ර” කියන වචනයෙන් පෙන්නන්නෙ, “පුහු ස්ථරයක්” හදාගන්නවා. පුහු ස්ථර තමයි පුත්‍ර වෙන්නෙ. ඒ කියන්නෙ, වැඩකට නැති දෙයක් වැස්මක් කරගන්නවා. ඒ ඒ දේවල් “මගෙ” කියලා බදාගත්තහම, “මම” කියලා බදාගත්තහම, “හරි වටිනා දේවල්” කියලා බදාගත්තහම, පුහු දේවල් බදාගන්නවා, ඒකම වැස්මක් කරගන්නවා.

 

දැන් “රාහු ජාතෝ, බන්ධනං ජාතං” කිවුවෙත් ඔතනයි. දරුවෙක් උපන්න නිසා ම නෙමෙයි. ඒ කියන්නෙ, පුහු දේකට හිත බැඳුනොත් එහෙම යන්න බෑ දාලා, අතාරින්න බෑ. ඒවා තමයි “පුත්‍ර බන්ධන” කියන්නෙ, ළමයි විතරක් නෙමෙයි, පිරිමි ළමයි විතරකුත් නෙමෙයි. පුත්‍ර කිවුවෙ ඒකයි.

 

ඉතින් අනික “අසාර බන්ධන”. අනත්ථ ලෝකේ සාරයි කියලා අරං ඉන්න තාක්කල් ඔහු ඉන්නෙ අසාර බන්ධනයක. අසාර දේ අසාරයි කියලා දකින්න ඕනෙ. එහෙනම්, මොනවද ලෝකෙ සාර දෙයක් තියෙන්නෙ? ලෝකෙ කොතන හරි සාරවත් දෙයක් තියෙනවා කියලා නිගමනය කරගෙන හිටියොත්, ඒකෙ බැඳෙනවා, ඒක අත්ඇරලා යන්න බෑ. අන්න ඒ කොතනක හරි සාරත්වයක් හිතාගත්තා නම්, ඒ ලෞකිකත්වය සාරයි කියලා හිතාගත්තොත්, ලෝකෝත්තරත්වයට පත්වෙන්න බෑ. එහෙනම්, ලෞකික හැම දේකම අසාර භාවය ධර්මානුකූලව දකින්න ඕනෙ …

 

~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~

 

දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://waharaka.com/listen/CD002-08