දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)
අසීමිත බුදු ගුණයෙන් නිවැරදිව නවගුණ බල වඩමු
{00:00} : බුදු ගුණ නිවැරදිව වැටහෙන්නෙ බුදුන් වහන්සේ නමකට මයි
මේ නව අරහාදි බුදු ගුණ පිළිබඳව විස්තරයක් කරන්න ගියොත් එහෙම, “අප්‍රමාණ බුදු ගුණ” ප්‍රමාණවත් ව විස්තර කරන්න බෑ. මෙතෙන්දි අපි දැකගත යුතු ක්‍රමයක් තියෙනවා. දැන් ඔය ත්‍රිපිටකයෙ එක තැනක තියෙනවා “විජ්ජා චරණ සම්පන්න කියන්නෙ මොකද?” කියලා එක්තරා ස්ත්‍රියක් ඇවිදිල්ලා, එක්තරා භික්ෂූන් වහන්සේ නමකගෙන් ඇහුවා. <<ත්‍රිපිටක සූචිය අවශ්‍යයි>> “විජ්ජා චරණ සම්පන්න නිසා විජ්ජා චරණ සම්පන්න කියනවා” කියලා උත්තරයක් දුන්නා. බුදුරජාණන් වහන්සේගෙන් ගිහිල්ලා ඇහුවා. “විජ්ජා චරණ සම්පන්න නිසා විජ්ජා චරණ සම්පන්න කියනවා” කියලා උත්තරයක් දුන්නා. දැන් මෙතෙන්දි එයින් එහා උත්තරයක් දුන්නෙ නෑ.
ඒ කියන්නෙ, ඒකට තව වචනයක් දෙන්න බෑ. ඔය වචනය, අප්‍රමාණ ගුණයක් ගැබ් වෙලා තියෙන වචනයක්, ඕක. දැන් “විජ්ජා නැණ අටද, පසළොස් චරණ ගුණයද යුතියෙන් එ මුණි සඳ, පිරුණු විජ්ජා චරණ නම් ලද” කියලා ඉතින් අපිට ඕවා විස්තර කරලත් තියෙනවා, දැන් අපේ කවි වලත්. ඉතින්, “අෂ්ට විද්‍යා, පසළොස් චරණ ධර්ම වලින් යුක්ත හෙයින් විජ්ජා චරණ සම්පන්න කියනවා” කියලා.
හැබැයි, මේ විදිහට අපි කොච්චර කිවුවත්, බුදුරජාණන් වහන්සේ ගේ අෂ්ට විද්‍යා මෙන්න මේවයි කියලා තේරුම් ගන්න එයා බුදු වරයෙක් ම වෙන්න ඕනෙ. උන්වහන්සේ ගේ පසළොස් චරණ ධර්ම මේවයි කියලා තේරුම් ගන්න නම්, ඒ ජාතියෙම බුදු වරයෙක් ඕනෙ. තව කෙනෙකුට ඒක තේරුම් ගන්න බෑ.
දැන් අපි හිතමු, සාමාන්‍ය නිකන් අපි ලෞකික අදහසක් අරං, යම්කිසි උපාධිධාරියෙක්, විද්‍යා ගුරුවරයෙක් ඇවිදිල්ලා ළමයෙකුට මොනවා හරි උගන්වනවා. බාල පංතියෙ ළමයෙක්ගෙත් විද්‍යාව ගැන කියලා දෙනකොට, “විද්‍යාව සර් හරි දක්ෂයි, විද්‍යාව ගැන දන්නවා…” කියලා ළමයා කියන්න පුලුවන්, ළමයගෙ මට්ටමෙන්. හැබැයි, ළමයා විද්‍යාව සර් ගෙ දක්ෂතාවය දැකල ද කිවුවෙ? ඒ ළමයා දන්නවද “විද්‍යාව සර් මෙතෙකින් දක්ෂයි” කියලා කියන්න? “එයාගෙ දක්ෂතාවය මෙන්න මෙච්චර පැතිරිලා තියෙනවා, එයාගෙ මනසට මෙන්න මෙච්චර විද්‍යා කරුණු ගෝචර වෙලා තියෙනවා, ඒ අනුවයි මම කියන්නෙ අපේ ගුරුවරයා විද්‍යාවට මෙච්චර දක්ෂයි කියලා..” කියන්න එහෙම ගෝලයට පුලුවන්ද?
එහෙම කියන්න ක්‍රමයක් නෑ. එක්තරා විශ්වාසයක් තියෙනවා, “ඒ ගුරුවරයා විද්‍යාව පිළිබඳව හොඳ, හසළ දැනුමක් තියෙන කෙනෙක් කියලා මට විශ්වාසයි…” හැබැයි, තරම කියන්න පුලුවන් කමක් නෑ, විස්තර කරන්න බෑ. මෙන්න මේ වගේ, මේ ගුණ පද වලට තව වචන දාන්න බෑ.
{02:22} : මාගධී මූල භාෂාවෙන් කියවෙන නිවැරදි “ගති හඬ”
මේ තමයි “මූල භාෂාව”, මනුස්සයා ගේ මූල භාෂාවෙ පද. මේ මූල භාෂාවෙ පද හැදිලා තියෙන්නෙ “ගති හඬෙන්”. “ගති ගුණයෙන්” නැගෙන “ගති හඬ”. ඒවා බුදුරජාණන් වහන්සේ ගේ තිබෙන්නා වූ ගතිගුණ පිළිබඳව, ඒ ගති ශබ්ද පදය, බුදුරජාණන් වහන්සේට ම ගෝචර වෙලා තමයි ලෝකෙට පිටවුනේ. එහෙනම්, ඒ පදය ඇසුරු කරනකොට ඒ පදය තුළ තියෙන හැඟීමට ක්‍රම-ක්‍රමයෙන් අපේ මනස ලංවෙන්න පටන් ගන්නවා.
ඒක වෙන්නෙ මොකක් නිසාද? අපිට අමතක වෙච්ච දෙයක් තියෙනවා, එක්තරා භාෂාවක්. ඒ භාෂා රටාව අපිට අමතකයි, අද. මේ ලෝකෙ සියලුම සත්වයෝ මේ “ශුද්ධ මාගධී” කියන භාෂාව කතා කරනවා, කාලයක්. අන්තඃකල්ප 80 ක් මේ ලෝකෙ, “මහා කල්පයක්” කියන එකට අන්තඃකල්ප 80 ක් කියන කාලයක් තියෙනවා ලෝකයක් හටගැනීමට, හටගෙන පැවතීමට, විනාශය කරා ගමන් කිරීමට, විනාශ වෙලා පැවතීමට කියන. මෙන්න මේ “මහා කල්පයක්” කියන කාලයක් තුළ, ඔය අන්තඃකල්ප 20 න් 20 ට ඔය කාලය යනවා.
මේ ලෝකෙ විනාස වෙන කාලෙදි මේ ලෝක සත්වයෝ “ආභස්සර” කියන බ්‍රහ්ම ලෝකයේ උපන්නට පස්සෙ, ලෝකෙ විනාස වෙලා තියෙන අන්තඃකල්ප 20යි, ඊට පස්සෙ යළි හටගනිමින් තියෙන අන්තඃකල්ප 20යි, ඔය අන්තඃකල්ප 40 ම ඉන්නෙ එහෙ. අනිත් සැරේ හැදෙන අන්තඃකල්ප විස්සෙ, හැදෙන කාලෙදි තමයි එහෙන් මෙහාට එන්නෙ. මෙහාට ඇවිදිල්ලා, මේ හැදිච්ච කාලෙ ජීවත්වෙන කාලෙ තමයි මේ භාෂා පරිවර්තන හදාගෙන, මූල භාෂාව මතක නැති වෙලා, අපි හදාගත්ත භාෂා තුළින් අපේ ජීවිතය ගෙනියන්නෙ, අදහස් හුවමාරු කරගෙන.
එහෙනම්, මේ හටගෙන පවතින කාලසීමාව වන අන්තඃකල්ප විස්සෙ තමයි මේ සියලුම භාෂා මේ ලෝකෙ බිහිවෙලා තියෙන්නෙ. ඉංග්‍රීසි කිවුවත්, ලතින් කිවුවත්, දෙමළ කිවුවත්, සියලුම භාෂා කිවුවත්, ඔය හැම එකක්ම විවිධාකාර භාෂා බවට පත්වෙලා, මිනිහා ඒ තුළ ජීවත් වෙලා, අදහස් හුවමාරු කරගන්නෙ ඔන්න ඔය ලෝකය හටගෙන, පවතින කාලය තුළ, අන්තඃකල්ප විස්ස තුළ. මෙතනින් ගිය තැන පටන් “ශුද්ධ මාගධී” භාෂාව කතාකරගෙන තමයි මේ සියලුම ලෝක සත්වයෝ ජීවත් වෙන්නෙ. ඒක කවුරුවත් උගන්වන භාෂාවක් නෙමෙයි. “සත්වයාගේ මූල භාෂාව” කිවුවෙ ඒකයි, සහ “මාගධී මූල භාෂාව”.
සත්වයින්ගේ මූල භාෂාව – ඔය මූල භාෂාව, දාන මොන්ටිසෝරිත් නෑ, ළදරු පාසැල් නෑ ඕවා උගන්වන්න. භාෂා ශාස්ත්‍රය, ව්‍යාකරණ ශාස්ත්‍රය උගන්වලා කියන එකක් නෙමෙයි. අද කුරා කුහුඹුවා වෙලා ඉන්න එකා ත්, පළඟැටියා වෙලා ඉන්න එකා ත් එදා ඔය භාෂාව කතා කරපු, අර බ්‍රහ්ම කල්පීය, බ්‍රහ්මයෙක්. එහෙම කාලයක් ඒ සත්වයින්ටත් තිබුණා. මේ ලෝකය හටගෙන, පවතින කාලය තුළදී ඇතිවෙන පුද්ගලයා විසින්, මේ රාග, ද්වේෂ, මෝහ නිසා, ලෝභ, ද්වේෂ, මෝහ ආදියෙන් දූෂණය වීම නිසා ඇතිකරගත්තා වූ පහත් අත්බැවු ලබාගත්ත මේ කාලෙ තමයි සත්තු වෙලා ඉන්නෙ. සතාට ඒවා එකක් වත් කරගන්නත් බෑ. මනුස්සයො වෙලා ඉන්න මට්ටමට ඉන්නෙත් රාගය මුල් කරගත්ත අදහස්, “මිනිස් සංඛාර” නිසා.
{05:30} : “ගති ගුණය” ට අනුව සැකසෙන “ගති හඬ” තමයි ඒ “ගුණ පද” වල තියෙන්නෙ
එහෙනම්, මේ ලෝකෙට ආවට පස්සෙ භාෂා විපර්යාසයන්ට පත්වෙලා, එක එක භාෂා කථා කරනකොට, මූල භාෂාව ඔක්කොටම අමතකයි. හැබැයි, මූල භාෂාවට එන්න නම්, “අලෝභ, අද්වේෂ, අමෝහ” කියන “ගුණය” වැඩෙන්න ඕනෙ. දැන් ඒකෙන් පිරිහිච්ච නිසා තමයි “මූල භාෂාව” පිළිබඳව අපිට හැඟීම් එන්නෙ නැත්තෙ. නමුත්, අලෝභ, අදෝස, අමෝහ ගුණයෙන් “බ්‍රහ්ම ගතිගුණයට” එනකොට, ක්‍රම-ක්‍රමයෙන් අර ආදි මූල භාෂාවේ හැඟීම එන්න පටන් ගන්නවා, ඒ වචන ප්‍රකාශ කරනකොට.
දැන් “අරහං” කියන වචනය භාවිතා කළොත්, රාගක්ෂය වූ, ද්වේෂක්ෂය වූ, මෝහක්ෂය වූ බුදුපියාණන් වහන්සේ ගේ ගති ලක්ෂණයක් තමයි “අරහං” ගති ලක්ෂණය. “අරහං” කියන ශබ්දයෙන්, ගුණ පදයෙන් කියවුනේ අන්න ඒ ගුණය. එහෙනම් වීත රාගී, වීත දෝසී, වීත මෝහී ගුණයක් ඇසුරු කරනකොට, ක්‍රම-ක්‍රමයෙන් ඒ ගුණයේ, ගුණ පදය තුළින් ගුණ හඬ තුළින්, අපි ගෙනියනවා ඒ ගුණය කරා. මේක “ගති හඬ”. ගති හඬ තුළින් ගෙනියනවා ගති ගුණය කරා. එහෙනම්, “ගති හඬ” භාවිතා කරනකොට, අපේ හිත “ගති ගුණය” කරා යනවා. අන්න ඒක උපක්‍රමයෙන් පිරිසිදු කරනවා කිවුවෙ ඔන්න ඕකයි. බුදු ගුණ සිහි කරනකොට උපක්‍රමයෙන් කිළිටි හිත පිරිසිදු වෙනවා කිවුවෙ ඔන්න ඕකටයි.
එතකොට, වීත රාගී, වීත දෝසී, වීත මෝහී මේ ගුණ පදය සිහි කරගෙන යනකොට, එයා දන්නෙ නෑ සුද්ධ වෙන බව. දැන් රෙද්දට අවශ්‍යය රසායනය දාලා හෝදනකොට, රෙද්ද දන්නෙ නෑ රෙද්ද සුද්ධ වෙන බව. කුණු දන්නෙ නෑ, කුණු අර රසායනය නිසා පොඟලා, ඉවත් වෙන බව, මේක ධර්මතාවයක්. ඒ ධර්මතාවයේ පරිදි කුණු ඉවත් වෙනවා, රෙද්ද සුද්ධ වෙනවා. එතකොට, මේක තමයි සිද්ධ වෙන සිද්ධිය. කරන පුද්ගලයා ඒ අවශ්‍යය කරන රසායනය හරියට දැම්මා නම්, ඒ ක්‍රියාවලිය හරියට කළා නම්, රෙද්ද සුද්ධ වෙනවා. වුනාට පස්සෙ, වුන බව දන්නවා.
මෙන්න මේ වගේ, අපිත් ඒ රෙද්ද අපුල්ලනවා වගේ, “හිත” නැමැති රෙද්ද අපුල්ලන්න ඕනෑ මේ පදය නැමැති රසායනය දාලා. ඕක තෝරන්න ගියොත් එහෙම අපිට වැඩේ කරගන්න හම්බවෙන්නෙ නෑ. සබන් කෑල්ල හදලා තියෙන්නෙ මොන රසායන වලින්ද කියලා හොයන්න ගියොත් එහෙම එයාට රෙද්ද හෝදාගන්න හම්බවෙන්නෙ නෑ. ඔය එකක් වත් දන්නෙ නැති, සාමාන්‍ය මට්ටමේ ඉන්න කාන්තාවකට පුලුවන්, “සන්ලයිට් කෑල්ල” අතුල්ලලා, රෙද්ද හෝදාගන්න. හැබැයි, “සන්ලයිට් කෑල්ල” හදලා තියෙන රසායන සංයුතිය දන්නෙ නැතුවට, රෙද්දෙ කුණු යනවා ඒ කෑල්ලෙන් හෝදනකොට. මෙන්න මෙහෙම දෙයක් තමයි මේ ගුණ පද කියන්නෙ. මේවා එක්තරා ලෝකෝතරත්වය කරා ගෙනියන, ලෞකික කහට කපන, “රසායන පද”, රසායන කෑලි. ඕක හරියට තෝරාගත්තහම අපිට ඔය ප්‍රශ්නෙ නෑ.
{08:08} : “ඉතිපිසෝ” වැරදියි, බල වැඩෙන්න නම් “ඉතිපි සෝ භගවා” ලෙස ඉඩ තියන්න
දැන් මේ “අරහං, සම්මා සම්බුද්ධ, විජ්ජා චරණ සම්පන්න, සුගත…” පද වෙන් කරලා කියන්න ඕනෑ. ඉතින් “ඉතිපිසෝ භගවා…” ඔහොම ගත්තම “ඉතිපිසෝ” කියලා පදයක් ඇත්තේ ම නෑ. අර ගුණ නවයෙන් යුක්තයි කියලා පෙන්නපු “මෙසේ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ…” කියන එක තමයි “ඉතිපි සෝ භගවා” (“ඉතිපි” සහ “සෝ” යන වචන අතර ඉඩ තියමින්…) කිවුවෙ. නමුත් මුල ම කාලා දැන් තියෙන්නෙ…
නව අරහාදි බුදු ගුණ අරගෙන, බුදු ගුණ කර්මස්ථානයක් වශයෙන් වඩන්න ගිහාම, “ඉතිපිසෝ භගවා…” කියලා පටන් ගන්නකොටම “ඉතිපිසෝ” කියලා වචනයක් නෑ, කියපු මුලු අර්ථය ම කැපුනා එතනින්, රසායනය වෙනස් වුනා. එතකොට ප්‍රතිචාර දක්වන්නෙ නෑ. ඊලඟට කොහෙ ගිහින් බැලුවත් “ඉතිපිසෝ භගවා” මයි කියන්නෙ. හැමහැනම අහලා බැලුවොත්, “ඉතිපි සෝ භගවා” (“ඉතිපි” සහ “සෝ” අතර ඉඩ තබා) කියලා ශබ්ද කරන්නෙ නෑ.
දැන් මං ම්හෙදි හුඟාක් දෙනෙකුට කියලා, කියලා, හුරු කරලා හින්දා දැන් එක්තරා මට්ටමකට පිරිසක් ඒ විදිහට ගන්නවා. නමුත් “ඉතිපි” කියලා පොඩ්ඩක් නවත්තලා “සෝ භගවා” කියලා කියලා කියනවා, ඒත් “ඉතිපිසෝ භගවා” කියලා ම අනිත් අය කියනවා. මොකද, ඒක කොච්චර කිවුවත් තව තේරෙන්නෙ නෑ. ඉතින් “ඉතිපිසෝ භගවා” කිවුවම, එහෙම පදයක් ගලපන්න බැරුව යනවා, පද ගැලපීම නැතුව යනවා. පද ගැලපීම නැත්නම් අර කර්මස්ථානයට බාදකයි.
ඒ නිසා “ඉතිපි සෝ භගවා අරහං, සම්මා සම්බුද්ධෝ, විජ්ජා චරණ සම්පන්නෝ, සුගතෝ, ලෝකවිදූ, අනුත්තරෝ පුරිසධම්මසාරථී…” පදය සම්පූර්ණයෙන් ම ගන්න ඕනෙ. “…සත්ථා දේවමනුස්සානං, බුද්ධෝ, භගවා ති” අන්න, පදෙන් පදේ වෙන් කරලා ගන්න.
{09:38} : නව ගුණ නිවැරදිව ශබ්ද කරමු, නිවැරදි තැනින් වෙන් කර සජ්ඣායනා කරමු
දැන් පෙළක් අය ඔතන අරගන්නකොට අර “අනුත්තරෝ, පුරිසධම්මසාරථි” දෙකට කඩනවා – නව ගුණ, දහ ගුණ කරනවා. දැන් ඔය “බුදුගුණාලංකාරයේ” ත් නව ගුණ, දහ ගුණ කරලා ලියලා තියෙන්නෙ. “අනුත්තරෝ” කියන එක එක පදයක් වශයෙනුයි, “පුරිසදම්මසාරථී” කියන එක තව පදයක් වශයෙනුයි අරගෙන තමයි ඉතින් එච්චර පණ්ඩිතයන් වහන්සේලා ත් නවගුණ ලියන්න ගිහිල්ලා දහගුණ කරලා ලියලා තියෙන්නෙ.
ඉතින්, “අනුත්තරෝ පුරිසධම්මසාරථී” කියන්නෙ එක පදයක් (ගුණයක්). ඉතින් ඔය කියන රටාවල් අපි වෙනස් කරොත් අපිට ඕනෑ හැටියට, ඒකෙ තියෙන “ගුණ බලය” ලබන්න බැරුව යනවා. ඒක අපි හරියට, ඒක වචන, අකුරු හරියට ශබ්ද වෙන්න, ඒකට අවශ්‍යය කරන අදින ප්‍රමාණයෙන්, දීර්ඝ අක්ෂරයක් මාත්‍රා දෙකයි, කෙටි අක්ෂරයක් මාත්‍රා එකයි, හල් අක්ෂරයක් මාතා භාගයයි කියන ක්‍රමයක් තියෙනවා. දැන් මේ ක්‍රම අද වැහිලා තියෙන්නෙ.
එහෙනම් එක එක්කෙනා හිතු – හිතූ මනාපෙට ගාථා සජ්ඣායනා කරනවා. හිතු – හිතූ ලෞකික තාල ඒවට ආරෝපණය කරලා ලස්සන වෙන්න කියනවා, හැඩ වැඩ වෙන්න කියනවා. තමන්ගෙ මුඛරි කම නිසා එක එක විදිහට ශබ්ද, මහප්‍රාණ කරලා කියනවා. ඉතින් එහෙම කියන්න පටන් ගත්තම ඒකෙ තියෙන ගැලපීම නැතුව යනවා. මහප්‍රාණයේ මට්ටමට එහා මහප්‍රාණ කරන්න හොඳ නෑ, අල්පප්‍රාණයේ මට්ටමට එහා පහත් කරන්නත් හොඳ නෑ.
එහෙම කරපුහාම, ඉතින් අද කියන ඒවා මං අහලා තියෙනවා, මට හැමතැනින්ම කර්මස්ථාන ඇහෙන ඒවත් තියෙනවා, අපේ ඒ විශේෂ හාමුදුරුවරුන් ගේ, ඉතින් අර ගුණ කියනකොට, “..අරහං වන සේක…” කියලත් කියනවා. “වන සේක” කියන එකේ “ව.. ව” කරනවා. (නිවැරදි ශබ්දය පිටපත් කළ නොහැකිය, එබැවින් කරුණාකර දේශනාවට සවන් දී නිවැරදි ම හඬ අසන්න). ඉතින් “වන සේක” කියලා වචනයක් නෑ, “සම්මා සම්බුද්ධ නම් වන සේක…” මේ “වන” කියලා වචනයක් භාවිත වෙන්නෙ නෑ. අන්න ශබ්ද වෙනස් ඒවා. ශබ්ද කළ යුතු වචනය ශබ්ද කරන්නෙ නැතුව, ඒක පහත් කරලා ගන්නකොට, ඉතින් ඒවා අපිට අඩුපාඩූ වෙනවා. මොක්ද, “ගුණ හඬ” හරියට එන්න ඕනෙ. “ගුණ හඬ” හරියට ආවෙ නැත්නම්, “ගති හඬ” හරියට ආවෙ නැත්නම් “ගති ගුණ” මතුවෙන්නෙ නෑ.
ඉතින් එතකොට “ඉතිපිසෝ….. භා…ගවා…” කිවුවට හරියන්නෙ නෑ. (වීවිධ තැන් අදිමින් සජ්ඣායනය කරයි – නිවැරදි හඬ දේශනාවෙන් අසන්න). ඒකෙ අවශ්‍යය කරන මට්ටමක් තියෙනවා. ඉතින් මේවා අද හැඟවිලා නිසා, මේ ශාස්ත්‍ර, මේකෙන් මතුකරගන්න විදිහක් නෑ මොකද්ද ඒ පදයට ගන්න “දීර්ඝ අක්ෂරයට මාත්‍රාව” කියන්නෙ මොකද්ද? මාත්‍රා දෙකකට වැඩිය කියනවා නම්, මාත්‍රාවක ප්‍රමාණය කොච්චරද? දැන් මේවා දැනගන්න ශාස්ත්‍ර අද නැති නිසා මේ මාත්‍රා ගැණගන්න දන්නෙ නෑ. මාත්‍රාවක දීර්ඝ ප්‍රමාණය කොච්චර වෙලාවක් යනකල් දීර්ඝ ද? කොහොමද මාත්‍රාවක ශබ්ද දීර්ඝත්වය දැනගන්නෙ? මාත්‍රා දෙකක ශබ්ද දීර්ඝත්වය කොච්චර මට්ටමකට ද තියෙන්නෙ කියලා දැනගන්නෙ? ඒ ශාස්ත්‍රය වැහිලා නිසා අද හොයාගන්න බෑ.
මොකද, මේක පොත්-පත් වල අද මේක වැහිලා තියෙන එකක්. පොත්-පත් වලත් නෑ, අටුවා නෑ, මොකද “හෙළ අටුවා” දැන් නෑ. “හෙළ අටුවා” වල ඕවා තිබුණා, නමුත් අද “හෙළ අටුවා” ඔක්කොම හංගලා, විනාස කරලා දාලා. ඒ නිසා ඒ වැදගත් ශාස්ත්‍රය නැතිවෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ගාථාව හලලා, කරලා, අපිට ඕනෙ හැටියට එක එක රටා, රටා අරගෙන, එහෙම රඟපාන්න යන්න බෑ. එතකොට කියන්න පුලුවන්, අහගෙන ඉන්නත් පුලුවන්, ඒ “ගති හඬ” ලැබෙන්නෙ නැතිවෙලා, “ගති ගුණය” පහලවෙන්නෙ නෑ. “ගති ගුණය” නැත්නම්, අවශ්‍ය සමාධිය නැගෙන්නෙ නෑ. ඒකයි කාරණය.
ඒත් අකුරු ගණින ක්‍රමය තියෙනවා, අකුරක් ගණිනකොට ඒකට යන මාත්‍රා ගාණ ගණින ක්‍රමයක්. යම්කිසි ගාථාවක් කියනකොට, ගාථාව මාත්‍රා කීයක් තියෙනවද? මේ හෙළ අටුවා නැති නිසා අපිට මේක හොයාගන්න බැරුවට, නමුත් ඉතින් ඕක හොයාගන්න ක්‍රම අපි ඇසුරු කරලා, හොයාගෙන තියෙනවා.
{13:08} : ඝන-තිථි නිවැරදිව, ගාථාවෙ බලය පිහිටන්නෙ සමාධි සිතකින් කියන විටයි
අපි හිතමුකො, නවගුණ ගාථාව කියනකොට, “ඉ” “ති” “පි” අකුරු තුනක් කියවුනා. “සෝ” කිවුවහම දීර්ඝ අක්ෂරයක්. දීර්ඝ අක්ෂරයක් මාත්‍රා 2 යි. “ඉ” “ති” “පි” “සෝ” කියනකොට, මාත්‍රා ඔක්කොම තුනයි, දෙකයි, පහක් 5 ක් කියවුනා. “භ” “ග” “වා” භ යන්නට එකයි, ග යන්නට එකයි, වා යන්නට මාත්‍රා දෙකයි, දැන් මාත්‍රා 4 ක් කියවුනා. “අ” “ර” “හං” කිවුවම එකක් එන්නෙ, එක අකුරක්. ඒ නිසා අ යන්නට එකයි, ර යන්නට එකයි, හං කියන එකටම එකයි මාත්‍රා 3 යි එතන.
ඔය විදිහට මාත්‍රා ගණින්න ඕනෙ, මේ නව ගුණයන්ට ම තියෙන. ගැණපු මාත්‍රා ගාන අරගෙන, අපි ගාථාව කියන්න විනාඩියක් ගියා නම්, විනාඩියක් කියන්නෙ තත්පර 60ක් නෙ, අර තත්පර 60 අර ආපු මාත්‍රා ගණනෙන් බෙදපුහාම, අන්න විනාඩියක් තුළ මේ ගාථාව කිවුවා නම් තත්පර කීයක් මාත්‍රාවකට එනවද කියලා බෙදපුහාම තත්පර ගණනෙන් එනවා. ඕන්නම් විනාඩි දෙකකින් මේක කියන්න පුලුවන්, ටිකක් ඇදගෙන. එතකොට තත්පර 120 බෙදන්න ඕනෙ අර ආපු මාත්‍රා ගණනින්. අන්න එතකොට මාත්‍රාවකට අවශ්‍යය කරන තත්පර ගණන එනවා, කාල සීමාව. අන්න මාත්‍රාවක කාල සීමාව. ඉතින් ඒ නිසා එහෙම ශාස්ත්‍ර ක්‍රමයකින් තමයි මේක දකින්න ඕනෙ.
නමුත් “සමාධියෙන්” හඬ නැගෙනකොට, ඕවා ගොත ගොතා කියන්න ගීහාම හරි අමාරුයි, ඕකෙ න්‍යාය ධර්මය ඔය කියන්නෙ. සමාධියෙන් නම් ඒ ගාථාව කිවුවෙ, ඔය ක්‍රමයට ම තමයි හඬ නැඟිලා එන්නෙ, ඒක වෙනස් වෙන්නෙ නෑ. ඉතින් අන්න ඒ ක්‍රමයට ගන්න ඕනෙ, වේගෙන් කියන්නත් පුලුවන්, හයියෙන් කියන්නත් පුලුවන්, හිමින් කියන්නත් පුලුවන්, ඇදලා කියන්නත් පුලුවන්, හැබැයි මාත්‍රා වෙනස් කරන්නෙ නැතුව කිවුවහම පදයක්, පදයක් ගානෙ, අකුරක්, අකුරක් ගානෙ හරියට හැඟීම, තේරීම එනවා. කොච්කර වේගෙන් කිවුවත් පැහැදිලියි.
ඒ “සමාධි හඬකට” මිසක් ඒක අල්ලන්න බෑ, වේගෙන් කියන්න ගියොත් හැමතැනම පැටලෙනවා. සමහර ඒවා දීර්ඝව කියවෙනවා, සමහර ඒවා ඉක්මනට කියවෙනවා, එතකොට වචන පැටලුනහම අර්ථය ගන්න බෑ.
දැන් පේනවා ඇති, දැන් අපි අර අනුමෝදනා දේශනාව කරනකොට, ඔය කොච්චර වේගෙන් කියවෙනවද? මොටෝ සයිකලේ ස්ටාර්ට් කරපුහාම යන සද්දෙ වගේ, ඒ තරම් වේගවත් අකුරු, වේගෙන් කියාගෙන යනවා. නමුත් කියන ඒවා හොඳට තේරෙනවා අහගෙන ඉන්න එක්කෙනාට, අවධානය විතරයි ඕනෑකම තියෙන්නෙ. “මේ මේ කාරණය යි මේ කියන්නෙ” කියලා එක එකක් නෑර තේරෙන්න පටන්ගන්නවා. පලවෙනි දවසෙ අවධානයෙන් හිටපු මනස යොමුවෙලා නැත්නම් එක දවසක්, දෙකක් යනකම් තේරෙන්නෙ නෑ, ටිකක් අඩුයි. ආයි අවධානය යොමු කරලා අහනකොට හොඳට පැහැදිලිව තේරෙනවා කොච්චර වේගෙන් කිවුවත්. තව වේගෙන් කිවුවා නම් තවත් අහන්න පුලුවන්, තේරුම් ගන්න පුලුවන්.
හැබැයි ඔය මාත්‍රා ගණන හරියට වෙනස් වුනා නම්, ඔය තේරුම එන්නෙ නෑ. ඉතින් මේ මාත්‍රාවේ අංශු මාත්‍රයක් වෙනසක් නැති වේගය කොච්චරද කියනවා නම්, අපි වචනයක් කතා කරනකොට ලොවුතුරා බුදුරජාණන් වහන්සේට වචන 512 ක් කියන්න පුලුවන්. අපි වචනයක් කතා කරන වෙලාවට සැරියුත් හාමුදුරුවන්ට වචන 64 ක් කතා කළහැකියි. අපි වචනයක් කියනකොට ආනන්ද හාමුදුරුවොන්ට වචන 8 ක් කතා කළහැකියි. මේ බුද්ධ සාසනයේ අධික වේගය තිබුන තුන් දෙනා.
සාමාන්‍යය කෙනෙක් වචනයක් කතා කරන වෙලාවට වචන 8 ක වේගෙන් කතා කරන්න පුලුවන් ආනන්ද හාමුදුරුවොන්ට. සාමාන්‍යය කෙනෙක් වචනයක් කියනකොට වචන 64ක් කියන්න පුලුවන්, වේගයෙන් දේශනා කරන්න පුලුවන් සැරියුත් හාමුදුරුවන්ට, සාමාන්‍යය කෙනෙක් වචනයක් කියන වෙලාවට වචන 512 ක් කියන වේගයෙන් කතා කරන්න පුලුවන් ලොවුතුරා බුදුරජාණන් වහන්සේට. නමුත්, ලොවුතුරා බුදුරජාණන් වහන්සේ කියන දේශනාවක් තියෙනවා නම්, පුංචි ළමයෙක් අහගෙන හිටියත්, කොච්චර වේගෙන් කිවුවත් තේරෙනවා. මේක අද හිතාගන්න බැරි, පුදුම සහගත දෙයක් වෙනවා මේ ශාස්ත්‍රය දන්නෙ නැති නිසා.
මේකට අවශ්‍යය වෙන්නෙ, ඒ ඒ උන්වහන්සේලා ඉදිරියෙහි ඇතිවන්නා වූ යම්කිසි කෙනෙක් ගෙ චිත්ත සමාධි ස්වභාවයයි, උන්වහන්සේලා ගේ වචන වල තියෙන පැහැදිලි බවයි. මොකද, ඒ කියන න්‍යාය ධර්මය ට අනුකූලව ම නිසා, ඇතිවන්නා වූ පැහැදිලි බවයි. මෙන්න මේ තුළින් තමයි කෙනෙකුට වටහා ගන්න පුලුවන් කොච්චර වේගෙන් කිවුවත්.
{16:48} : ආර්ය සමාධියෙහි පිහිටන්නට නිවැරදි පිරිත් සජ්ඣායනය උපකාර වන හැටි
ඉතින් ඒ නිසා මේකෙදි අපි දකින්න ඕනෑ මේ බුදු ගුණ නවය කියන එක විස්තර කරලා එහෙම ගන්න ගියොත් එහෙම, ඕක කරන්න හම්බවෙන එකක් නෙමෙයි. එහෙනම් අපි දැනගන්න ඕනෑ මේ පද – පද වෙන් වෙන්න අර ක්‍රමාණුකූලව ඒක කියන්න.
“ඉතිපි සෝ භගවා අරහං, සම්මා සම්බුද්ධෝ, විජ්ජා චරණ සම්පන්නෝ, සුගතෝ, ලෝකවිදූ…” ගාණට ම යන්න ඕනෑ “…අනුත්තරෝ පුරිසදම්මසාරථී, සත්ථා දේවමනුස්සානං, බුද්ධෝ, භගවා තී”
(සමව ඉඩ තබමින්, කිසි අකුරක් වැඩිපුර දිගට නො අදිමින්, විශේෂ තාල නොදමමින්, එක් එක් ගුණය අතර ඉඩ තබමින් ස්වාමීන් වහන්සේ සජ්ඣායනා කරයි… මේ හඬ ලක්ෂණ පිටපත් කළ නොහැකි බැවින් දේශනාව අසා ම නිවැරදිව ශ්‍රවණය කරන්න)
මුලයි, මැදයි, අගයි හඬ එක ගානට යන්න ඕනෑ, මේකත් තව එකක්. මුල, මැද, අග තුනේදිම ශබ්දය සමාන වෙන්න ඕනෑ. දැන් සමහරෙක් කියනකොට… “ඉතිපි සෝ භගවා, අරහං, සම්මා…” ඔහොමත් යන ඒවා තියෙනවා. (සෑම වචන්‍යාක ම මුල ශබ්ද නගා ආරම්භ කර, ඒ වචන වල අගට යන විට ශබ්දය වියැකී යන අයුරින් ස්වාමීන් වහන්සේ ම සජ්ඣායනා කර පෙන්වයි… මේ හඬ ලක්ෂණ පිටපත් කළ නොහැකි බැවින් දේශනාව අසා ම නිවැරදිව ශ්‍රවණය කරන්න), වචනයක්, දෙකක් සද්දයි, වචනයක් දෙකක් කන් තියාගෙන ඉන්න ඕනෙ අහන්න. එහෙමත් දේශනා තියෙනවා. ඒවා ගැලපෙන්නෙ නෑ එකක්වත්, ඒවා එක එක ලතාවන්, රටාවන්, මේ ලෞකික කාම ලෝකේ මිනිස්සුන් ගෙ ඒ අදහස් වලට පුද්ගලයා නමන්න පුලුවන්, වසඟ කරන්න පුලුවන්.
එහෙම තියෙනවා සාහිත්‍ය කලාවල්. ඒ සාහිත්‍ය කලාවල් හරියන්නෙ නෑ බුදු දහමට. බුදු දහම සමාධියෙන් නැගෙන්න ඕනෙ එකක්. “සමාධි හඬ” යි සාහිත්‍ය කලා රසයයි කියන්නෙ දෙකක්. දැන් ඕක නිසා එක එක්කෙනාට එක එක විදිහට කියන්න පුලුවන්. දැන් යම්කිසි කෙනෙක් ඔය …(ප්‍රසිද්ධ ගායකයකුගේ නමක් උදාහරණ ලෙස ගනියි)… වගේ, පුද්ගලත්වයෙන් නම කියන්න හොඳ නෑ, නමුත් යම්කිසි, එබඳු යම්කිසි ආකාරයක දේශීය ගායකයෝ කියන්න පටන්ගත්තහම බලන්න ඒ ගාථාවක් එහෙම කොහොමද කියන්නෙ කියලා, සමහර වෙලාවට ගාථාවක් කියලා ඉවරවෙන මට්ටමට, එක අකුරක් අදිනවා. එක එක විදිහට කියනවා, හරි ලස්සනයි, හඬ මිහිරියි, එහෙම තියෙනවා.
ඒ වුනාට ධර්ම අවබෝධයට ඒක ගැලපෙන්නෙ නෑ, සමාධියට ගැලපෙන්නෙ නෑ. අහං ඉන්න පුලුවන්, ඒවා ලෞකික සාහිත්‍ය සමාධියක් ලැබෙනවා. මොකද “සමාධි” කියන ඒවා, “මිත්‍යා සමාධි” ත් තියෙනව නේ, ලෞකික සමාධි ත් තියෙනව නේ. “ආර්ය සමාධියක්” ලබන්න බෑ එහෙම ගැයුවට.
ඉතින් ඒ නිසා හරිආකාරව, දැන් ඔය පිරිත් කියනකොටත් අපි ඔය පුරුද්ද තියෙනවා. “ඒ….. වං……” කිය කිය හුඟාක් වෙලා ඇද ඇදා ඉන්නවා ඉතින්, “මේ….. සුතං” ඒ ටික නිකං ම ගියා. (“ඒවං මේ සුතං” යන කොටස ස්වාමීන් වහන්සේ විසින්ම ඉතා දිකට අදිමින් සජ්ඣායනා කර පෙන්වයි, මේ හඬ ලක්ෂණ පිටපත් කළ නොහැකි බැවින් දේශනාව අසා ම නිවැරදිව ශ්‍රවණය කරන්න) අන්න එහෙම එක එක රටාවල් තියෙනවා. ඕවා ඉතින් කියන්න ලස්සනට හෝ, යම්කිසි එක එක තාල රටාවල්, සාහිත්‍ය රටාවල් තියෙනවා, හැබැයි පිරිතෙන් ලැබෙන්න තියෙන “චිත්ත සමාධිය” ලැබෙන්නෙ නෑ. ඒකයි ඒ, හරියන්නෙ නෑ.
“ඒවං මේ සුතං ඒකං සමයං භගවා…” (නිවැරදි ආකාරයට ස්වාමීන් වහන්සේ විසින්ම සජ්ඣායනා කර පෙන්වයි, මේ හඬ ලක්ෂණ පිටපත් කළ නොහැකි බැවින් දේශනාව අසා ම නිවැරදිව ශ්‍රවණය කරන්න) එතකොට තමයි, ඒ තැනින් තැන අඩු-වැඩි වෙන්න බෑ, ඒ සමාධි හඬකින් ම ගත්තොත් හරි ආකාර හඬ එනවා. ඒ හඬ අහ අහා ඉනකොට චිත්ත සමාධිය, අන්න උපක්‍රමයෙන්, අර කිළිටි රෙද්ද උපක්‍රමයෙන් පිරිසිදු කරනවා වගේ, කිළිටි හිත උපක්‍රමයෙන් පිරිසිදු වෙන්න හේතු වෙනවා “බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති” තුනම.
{19:37} : අරුත නොදැන කිවුවත්, “ගති හඬේ” බලය පෙන්වන කතා
දැන් ධර්මය සජ්ඣායනා කරනවා නම්, ඒ හඬ අහලත් කිරි වවුලො එතනින්, ඒ අත්බැවෙන් මිදිලා මනුස්සයෝ වෙලා උපන්නා, මුවෝ මනුස්සයෝ වෙලා උපන්නා කිවුවෙ, අන්න ඒ “ගති හඬ” අහලා, උන්ට අදහස් තේරෙන්නෙ නෑ. නමුත් උපක්‍රමයෙන් කිළිටි හිත පිරිසිදු කරනවා කිවුව බුද්ධ දේශනාව හොඳට පැහැදිලි වෙන දෙයක් තමයි කිරි වවුලො 500 ක්, මුවෝ 500 ක්, මෙහෙම බණ අහලා, එතෙනින් මැරිලා ඇවිදිල්ලා මනුස්සයෝ වෙලා උපන්නා කියලා අපේ ධර්මයේ තියෙනව නේ, අන්න ඒ තියෙන්න හේතුව ඒකයි. “මණ්ඩුක” දිව්‍ය පුත්‍රයා, බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ, උන්වහන්සේගේ ශබ්දය අහලා, අර ගොපළු කොළුවා ගේ කෝටුවට හිරවෙලා මැරිලා, එවෙලෙම දෙවියෙක් වෙලා ඉපදිලා, ඒ ඉතුරු බණ අහන්න ම දේව අත්බැවයෙන් අහලා, සෝවාන් ඵලයට පත්වෙලා ගියා කියලත් තියෙනවා
දැන් එතකොට එතනින් හොඳටම පේනවා තිරිසනා ට ධර්මය තේරිලා නෙමෙයි එතෙන්ට පත්වුනේ. හැබැයි “ගති හඬ” ඇසුරු කරගෙන, අන්න උපක්‍රමයෙන් කිළිටි හිත පිරිසිදු වෙන ක්‍රමය. ඉතින් ඒ නිසා පිරිත් හඬ, ධර්ම සජ්ඣායනා හඬ බොහොම වැදගත්, ඒක ඒ රටාවට යන්න ඕනෑ. ඉතින් ඒකෙන්, මේ නවගුණ ගාථාව විස්තර කරන්න යන්න ඉස්සෙල්ලා මේ ක්‍රමය දැනගන්න ඕනෑ, පද වෙන් වෙන්න, ඔය කරන ක්‍රමයට, ඉක්මණට කියන්නත් පුලුවන්, ඇදලා කියන්නත්, බොහොම හෙමින් කියන්නත් පුලුවන්, ඉතින් ඕනෑ විදිහට කියන්න පුලුවන්. හැබැයි කිවුවට, අර අක්ෂර – ඝන රටාව හරියට තියෙන්න ඕනෑ, ඒකයි කාරණය.
“ඉතිපි සෝ භගවා, අරහං, සම්මා සම්බුද්ධෝ, විජ්ජා චරණ සම්පන්නෝ, සුගතෝ, ලෝකවිදූ…” (ගුණ පද අතර ඉඩ තබා, ඉතිපි හා සෝ භගවා යන වචන අතර ඉඩ තබා, මඳක් වේගයෙන් ස්වාමීන් වහන්සේ සජ්ඣායනා කර පෙන්වයි, මේ හඬ ලක්ෂණ පිටපත් කළ නොහැකි බැවින් දේශනාව අසා ම නිවැරදිව ශ්‍රවණය කරන්න) ඒත් යන්නෙ ඒ ගාන මයි, ඒකෙත් අක්ෂර හරියටම ගත්ත කාලය වෙන් කරලා බැලුවොත් අර ගාණට ඒ ගණන යනවා.
“ඉතිපි සෝ භගවා, අරහං, සම්මා සම්බුද්ධෝ…” ඒ ගාණටත් ගිහෑකි. (ගුණ පද අතර ඉඩ තබා, ඉතිපි හා සෝ භගවා යන වචන අතර ඉඩ තබා, වේගය අඩු කර ස්වාමීන් වහන්සේ විසින් ම සජ්ඣායනා කර පෙන්වයි, මේ හඬ ලක්ෂණ පිටපත් කළ නොහැකි බැවින් දේශනාව අසා ම නිවැරදිව ශ්‍රවණය කරන්න). ඒත් වචනයේ අකුරක් ගානෙ තේරෙනවා.
“ඉතිපි සෝ භගවා, අරහං, සම්මා සම්බුද්ධෝ, විජ්ජා චරණ සම්පන්නෝ…” ඒත් යනවා, ඒත් අකුරක් ගානෙ තේරෙනවා. (ගුණ පද අතර ඉඩ තබා, ඉතිපි හා සෝ භගවා යන වචන අතර ඉඩ තබා, ඉතා වේගයෙන් ස්වාමීන් වහන්සේ විසින් ම සජ්ඣායනා කර පෙන්වයි, මේ හඬ ලක්ෂණ පිටපත් කළ නොහැකි බැවින් දේශනාව අසා ම නිවැරදිව ශ්‍රවණය කරන්න).
ඉතින් ඒක සමාධියකට ගෝචර වෙච්ච හඬකට තමයි ඒ ශබ්ද රටාව ගෝචර වෙන්නෙ. එතකොට අනික් අය මොකද කරන්නෙ, අන්න “කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය” කියන්නෙ ඒ ශබ්දය ට සවන් දීගෙන ඉන්නවා. සවන් දීගෙන ඉන්නකොට ක්‍රමාණුකූල ව චිත්ත පාරිශුද්ධිය නැඟිලා ඒ හිතත් සමාධිගත වෙනවා, අර කියන හඬට ගැළපෙන්න.
ඊට පස්සෙ, මේක තමයි කිවුවෙ බුදුරජාණන් වහන්සේගේ කාලයේදි නම් “ශ්‍රවණය තුළින් දරාගෙන ගෙනාපු, මුඛ පරම්පරාවෙන් ධර්මය ගෙනාපු” ක්‍රමයක් තිබුණා කියලා. ඒ ක්‍රමය එනකන් “ගති හඬ” හරියට ආවා, “ගති සමාධිය” ඒ ගෝල ශ්‍රාවකයන්ට මතුවුනා. උන්වහන්සේලා ට ඒ සමාධිය නැඟුනාට පස්සෙ අර හඬ රටාව වෙනස් වුනේ නෑ, ඒක හරියටම ආවා. යම් කාලෙකදි ඒවා විනාස වෙලා ගියාට පස්සෙ, නැවත යළි ගොඩනඟාගන්නකොට ඒවා නෑ. ඒ හෙළ අටුවා ත් නෑ, ඒ ක්‍රම ත් නෑ, ඒ හින්දා එක එක්කෙනා, තම තමන්ගේ සාහිත්‍ය රසයන්ට අනුකූලව පිරිත් කියන්න පටන්ගත්තා, භාවිතා කරන්න පටන්ගත්තා. ඒකෙන් ඇතිවුනු වෙනස තමයි අද මේ බලපාලා තියෙන්නෙ.
ඉතින් මේකෙදි අප්‍රමාණ බුදු ගුණ විස්තර කරන්න යන්න අවශ්‍යය නෑ, මේක එක්තරා විදිහක උපක්‍රමයක්. “භයක්, තැති ගැන්මක්, ලොමු දැහැගැන්මක් ඇතිවෙච්ච වෙලාවට මා මෙනෙහි කරන්න, ඔබලාගෙ බය, තැතිගැනුම් නැතිවෙලා යනවා. කුමක් නිසාද? තථාගතයන් වහන්සේ රාගක්ෂයයි, ද්වේෂක්ෂයයි, මෝහක්ෂයයි, බය නෑ, තැති ගන්නෙ නෑ, පලා යන්නෙ නෑ. මේ නිසයි ඔබලාටත් එහෙම ශක්තියක් ලැබෙන්නෙ” කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ අපේ හිත තුළ රැකවරණය හම්බුනා. ගුණය අපි අර ගුණ වලින් කිවුවා.
අපේ කතාවක් තියෙනවා, එක්තරා ළමයි දෙන්නෙක්, ඒ කියන්නෙ අන්‍ය ලබ්ධික පිරිසක, පවුලක ළමයෙකුයි, බෞද්ධ දරුවෙකුයි. මේ දෙන්නෙක් එක්කලා භාවිතා කළා බුදු ගුණයක්. මේ ළමයි දෙන්නා සෙල්ලං කරනකොට “නමෝ බුද්ධාය!” කියලා අර බෞද්ධ ළමයා කියනවා. එතකොට ඒ ළමයා දිනනවා, අර ළමයා පරදිනවා. ඔහොම ඉන්නකොට අර අන්‍යාගමික ළමයා එයාගෙ තාත්තත් එක්කලා සැවැත් නුවරට ගියා ලු බඩු වගයක් මොනවා හරි ගේන්න, හවස් වෙලාවෙ. හරියට ඒ හවස 6 ට, නැත්තම් ඒ වෙලාවට දොර වහනවා, ආයි ඊලඟ දවසෙ උදේ තමයි නුවර දොර වැහුවම ආයි අරින්නෙ. හතුරන් ගෙන් ආරක්ෂාවට කරන වැඩක්, ඒක.
ඉතින් මේ වෙලාවෙදි ඒ කාලෙ තිබුණ ක්‍රම තමයි, දොර වහලා, යක්ෂ සේනාධිපතින්ට පවා පවරණවා ඒවා ආරක්ෂා කරන්න. ඒ කාලෙ තිබිච්ච එක්තරා, අර ආධ්‍යාත්මික ක්‍රම, ගුප්ත ක්‍රම. ඉතින් මේ දොර වහපුහම ඒ යක්ෂයින්ට පවරපු වෙලාව, ආයිත් ඊලඟ දවස වෙනකන් යක්ෂයො තමයි මේක ආරක්ෂා කරන්නෙ. එතෙන්ට එන්න දෙන්නෙ නෑ, සැඩ ඵරුෂ යක්ෂයො යොදවලා තියෙනවා ඒ වගේ වෙලාවට, ඒක ඉතින් එක්තරා ගුප්ත රටාවක්.
දැන් මේ ළමයා එළියෙන් තියලා, වෙලාවට ඉස්සෙල්ලා මොකද කරන්නෙ, මොනවා හරි බඩුවක් ගේන්න අමතක වෙලා, “පුතා ඔතන ඉන්න මම ගිහිල්ලා එනකන්” කියලා තාත්තා ගියා ඇතුළට. යනකොටම අර දොර වැහුවා, මතක නැති වුනා වෙලාව. දැන් ළමයා එළියෙ, තාත්තා ඇතුළෙ. ඊලඟ දවසෙ එළි වෙනකන් මොන හේතුවකට වත් ආයි දොර අරින්නෙ නෑ.
දැන් රෑ වෙනකොට අර ළමයට කරන්න දෙයක් නෑ, අර එතන තිබිච්ච වාසල කවුළුව ලඟ ම කණුවකට හේත්තු වෙලා ළමයා එහෙම්මම ඉන්නකොට, එක්තරා යක්ෂයෙක් දැකලා, මේ ළමයා ව බිලි ගන්න ආවා. දැන් මෙයාට කරන්න දෙයක් නෑ, බේරෙන්න මොකුත් දෙයක් නෑ. මෙයා මොකද කරන්නෙ, දැන් තමංගෙ අර යාලුවා දිනපු හැටි දන්නවා කරදරයක් ආපුහාම. “නමෝ බුද්ධාය” කියලා දිනුවේ. ඒ කියන වචනෙ මතකයි, වෙන මොනවත් අර්ථයක් දන්නෙ නෑ. “නමෝ බුද්ධාය! නමෝ බුද්ධාය! නමෝ බුද්ධාය!” කිවුවා. අර යක්ෂයා වෙවුලන්න පටන් ගත්තා. මිනිස් වෙස් මවාගෙන, එයාගෙ පියාගෙ වෙස් මවාගෙන ඇවිදිල්ලා, එළි වෙනකන් ළමයාව ආරක්ෂා කරලා දීලා, උදේ තාත්තා එනකොට ම එයා අතුරුදහන් වෙලා යන්න ගියා.
දැන් එතකොට ඒ ළමයා “බුද්ධ” කියන ඒ වචනයේ අර්ථය දැනගෙන ද ඒක කිවුවෙ? අන්‍යාගමික ළමයා, අර සම්‍යක් දෘෂ්ඨික ළමයා කිවුව “නමෝ බුද්ධාය!” කියන වචනය විතරයි අහගත්තෙ. ඒ වචනෙන් ආරක්ෂාව ලැබුණෙ නැද්ද? දැන් මෙහෙම දේවල් තියෙනවා. ඒ කාලෙ එහෙම දේවල් වාගෙම මේ කාලෙ අපෙත් අත්දැකීම් තියෙනවා.
බණ ගැනවත්, ඕවා ගැන හොයපු නැති එක්තරා වයසක මහත්මයෙක් මළා, මැරෙන්න කිට්ටුවෙන වෙලාවෙදි එයා දන්නෙ “ඉතිපිසෝ භගවා අරහං..” විතරයි. ඊට එහා කියන්න, නවගුණ ගාථාව වත් සම්පූර්ණව කියන්න දන්නෙ නෑ. ඉතින් එයාට කනට කරලා කිවුවා “නවගුණ ගාථාව මතකද?” කියලා අහපුහාම “මතකයි” කිවුවා, “කියන්නකො…” ඉතින් “ඉතිපිසෝ භගවා අරහං, ඉතිපිසෝ භගවා අරහං…” කියාගෙන මළා.
ඒ කතාවෙන් ම හිටියා, ඒ කතාවෙන් ම මළා. නමුත් ඉතින් මේවා කිවුවට ලෝකයා දන්නෙ නෑ වෙන්නෙ මොකද්ද කියලා. වෙන පිනක් මොනවත් අපි දැනුවත් ව කරපු කෙනෙකුත් නෙමෙයි, විශේෂ පිං කරන්න ගිය කෙනෙකුත් නෙමෙයි, ඒ එක දවසක් වත් සිල් ගත්ත කෙනෙකුත් නෙමෙයි, රිදී පාට කයක් ඇති දේවතාවෙක් වෙලා උපන්නා. ඉස්සර කථාවක් නෙමෙයි, ඉතා මෑත සිද්ධියක් ඔය.
එයාගෙන් අහපුහාම “කොච්චර කාලයක් ඔය අත්බැව තියෙනවද?” කියලා, “සාසනේ පවතින කල් මේකෙ ඉන්නවා” කිවුවා. එයාට පේනවා කිවුවා සාසනය පවතින තුරු ම, ඒ කියන්නෙ කවදා හරි එයා අරිහත්වයට පත්වෙන්න හේතු වාසනා, නැත්නම් නිවන් දකින්න හේතු වාසනාවක් ලබන බුද්ධාන්තරයක් ඇවිදිල්ලා, ඒ ටික කරගන්නකල් ම ඒ අත්බැවෙන් චුත වෙන්නෙ නෑ. දැන් බලය මොකද්ද ලැබුණෙ? තමං අර්ථය නොදැන නමුත් අර නවගුණ ගාථාව අර පොඩ්ඩ කීම, “අරහං” කීම, “අරහං” කියන ගුණය කියවෙච්ච බලය, ඒ පුන්‍ය මහිමය ඒ…
එහෙනම් මේක අපි, මේකෙ වටිනාකම දකින්න ඕනෙ, ඒක තමයි කියන්නෙ බුදුරජාණන් වහන්සේ, “භයක්, තැති ගැන්මක්, ලොමු දැහැගැන්මක් ඇතිවුනොත් මෙසේ මා මෙනෙහි කරන්න, මා මෙනෙහි කරන ඔබට, ඒකාන්තයෙන් ම භය තැතිගැනුම්, ලොමු දැහැගැනීම් නැති වෙනවා”. එහෙනම් සංසාර භය නැති කරගන්නත් ඒක උදවු දෙනවා, එච්චර වටිනවා.
ඉතින් මෙසේ අර්ථ කරන්න ගියොත් එහෙම, අපිට කරන්න බැරි දෙයක් කරන්න ගිහිල්ලා අමාරුවෙ වැටෙන්න පුලුවන්. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ වත් විස්තර කරන්න බැරි එකක් අපිට තත්පර ගානෙන් විස්තර කරලා ඉවර කරන්න පුලුවන්ද? “රහසින් වත් පවු නොකරන හෙයින්, වාසනාවන්ත – වාසනා කෙළෙස් දුරු කරපු හෙයින්, පූජාවට සුදුසු වූ හෙයින්, අරහං කියන්නෙ” අපි කියලා ඉවරයි. දැන් එතකොට මොකද වෙන්නෙ? මෙන්න මේ වගේ තැන් වලදි අපි පරිස්සම් වෙන්න ඕනෙ.
ඒ නිසා මේ බුදු ගුණ ගාථාව ගුණ නමය වෙන් වෙන්න, ඔය කියන විදිහට හෙමින් හෝ වේගයෙන් හෝ කර්මස්ථානයක් වශයෙන් වඩලා එහෙම හුරු කරගන්න ඕනෙ. මේක උපක්‍රමයෙන් හිත පිරිසිදු කරගන්න එකක්.
චතුරාර්ය සත්‍යය පිළිබඳ දහම් අහලා, නිවනට මාර්ගය පාදාගන්න ඕනෙ. ආරක්ෂාවක් වශයෙන් අර බුදු ගුණ සිහි කරගත්තහම ඇති. දැන් ගුණ සිහි කරලා, ගුණ ගැන අර්ථ විග්‍රහ කරගෙන නෙමෙයි අපි නිවන් දකින්නෙ. නිවන් දකින්න චතුරාර්ය සත්‍යය පිළිබඳව අවශ්‍යය කාරණා අහගන්න ඕනෙ. අනිච්ච, දුක්ඛ, අනත්ථ පිළිබඳව විග්‍රහ කරගන්න ඕනෙ. ඔන්න ඔය ටික ගැන විග්‍රහ කරගත්තොත් අපිට පුලුවන් ඔය කියන තත්වය ලබාගන්න.
{28:13} : “අරිය කාන්ත සීලය” කියන්නෙ මොකද්ද?
(ප්‍රශ්නය): අරිය කාන්ත සීලය, යෝනිසෝ මනසිකාරය යන ධර්ම පද වල අර්ථය පහදා දෙන්න.
(පිළිතුර): “අරිය කාන්ත සීලය” කියලා කියන්නෙ මේකයි, මේක “ආර්යයන්ට” ලැබෙන එකක්. චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගත්තට පස්සෙ, “මේ ලෝකෙ අසාරයි” කියලා දැක්කහම, “ලෝකෙ සාරයි” කියලා හිතා ඉන්න කාලෙ තිබිච්ච රාග ගිණි, ද්වේෂ ගිණි, මෝහ ගිණි, “ලෝකෙ අසාරයි” කියන යථාවබෝධය ලබනකොට නිවිලා යනවා.
මෙන්න මේ නිවෙනකොට, ඒ ආර්ය ගුණයට පත්වෙච්චි කෙනාට විසාල සැනසිල්ලක් උදා වෙනවා. “පෙර කොච්චර රාග ගිණි, ද්වේෂ ගිණි, මෝහ ගිණි මං දැවුවද? කොච්චර අසහනකාරීව ද හිටියෙ? නමුත් මේ සත්‍ය ධර්මාවබෝධයත් එක්කලා මගෙ හිත කොච්චර නිමිලා ගියාද?” මෙන්න මේ “ආර්ය” ගුණයට ඇතිවෙන්නා වූ “කාන්තිය”…
“කාන්ත” කියන වචනයක් තියෙනවා, මේකෙ පද නිරුක්තිය දකින්න ඕනෙ. “ඛය දහම් අන්ත කරපුහාම” ඇතිවෙන්නාවූ අර්ථය තමයි, “ඛ අන්ත > කාන්ත” කියන්නෙ. “ඛ අන් අන්ත” කළා. ඛ අන් අන්ත කියන එක තමයි “කාන්ත” කියන වචනයට පදයේ නිරුක්තිය ආවෙ, “ඛ අන් අන්ත”.
“ඛ අන්” කියන්නෙ, “ඛ” හෙවත් පහත් බවට පත්කරන, “අන්” කියන්නෙ ආහාරය. ඒක කෙළවර කළා කිවුවහම කියනවා, “අන්ත කළා”, “කාන්ත කළා”
~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~
දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://waharaka.com/listen/CD003-04