අරිය සඟ ගුණ පූර්ණය කිරීමෙන් සෝතාපන්න වීම

Sanga Guna Purnayen Sovan Vima
03 සං‍යුක්ත තැටියසූ විසි මහා ගුණ

දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)

සඟ ගුණ පූර්ණය කිරීමෙන් සෝතාපන්න වීම

 

{00:00:00} : මරුට නොපෙනෙන මග හෙවත් සූ විසි මහා ගුණ

අපි අද, මේ දුරුතු පොහෝ දින බලාපොරොත්තු වෙන්ට ඕනෙ කාරණය, ආර්ය මාර්ගය පූර්ණය කරගන්ට අපිට පහසුම මාර්ගය කුමක්ද, ඒ සඳහා අපි හැඩගැහෙන්නෙ කොහොමද, මූලික වශයෙන් බෞද්ධයෙක් හැටියට “මරුට නොපෙනී යන මාර්ගය”, මාරයා ගෙ ඇස් වහලා, නිවන් මග හදාගන්න පහසුම මාර්ගය අපි තෝරාගන්න ඕනෑ.

 

යම් තැනක ඇලීම හටගන්නවා නම්, ගැටීම හටගන්නවා නම්, මුලාව හටගන්නවා නම්, මාරයාට පේන මාර්ගයක් වෙනවා. යම් මාර්ගයක් රාගක්ෂය කරන්ට, ද්වේෂක්ෂය කරන්ට, මෝහක්ෂය කරන්ට අවශ්‍යය කරනවා නම්, අන්න ඒ මාර්ගය මාරයා ට පේන්නෙ නෑ.

 

මොකද, රාග සහගත මාර්ගයක් තියෙනවා නම්, ද්වේෂ සහගත මාර්ගයක්, මෝහ සහගත මාර්ගයක් තියෙනවා නම්, ඒක ලෞකිකයි. ලෞකිකත්වය මාරයා ට පේනවා. එහෙනම්, මාරයට නොපෙනෙන මාර්ගය කියන්නෙ රාගක්ෂය වෙන, ද්වේෂක්ෂය වෙන, මෝහක්ෂය වෙන යම් ආර්ය මාර්ග ප්‍රතිපදාවක් තියෙනවා නම්, ඒක මාරයාට පේන්නෙ නෑ.

 

මාරයා කිවුවහම එක මාරයෙන් නෙමෙයි, “පංච මාර” කියලා පෙන්වන ස්ථානයක, “කෙළෙස් මාර” තමයි අපේ ඔය වැඩි හරියක්, එයින් හතර කොටසක් ම තියෙන්නෙ. “දේව පුත්‍ර මාර” කියන ඔය “වසවර්ති මාර” ආදී වශයෙන් කියන එක මාර කොට්ඨාසයක් විතරයි “පුද්ගල මාරත්වය” ට වැටෙන්නෙ. ඒ නිසා “කෙළෙස් මරුන්ට” හසු නොවෙන්ටත්, ඒ පුද්ගලික මාර බලවේග වලට හසු නොවෙන්ටත් යා යුතු මාර්ගය මොකද්ද කියන එක අපි හැමදාම, ඒ මාර්ගය පද වශයෙන් ආවර්ජනා කරනවා.

 

අපි කියනවා ඒවට “ගුණ” කියලා. ගුණ 24 ක් තියෙනවා, අපි ගුණ 24 කිය කිය වන්දනා මාන කර කර ඉන්නවා මිසක්, ඒ ගුණ 24 තුළින් අපි යා යුතු මාර්ගය විග්‍රහ කරලා තේරුම් ගත්තා නම්, අන්න එතන තමයි අපිට තියෙන්නෙ, මරුගෙ ඇස් වහලා, මාරයාට නොපෙනී, පහසුවෙන්, ලේසියෙන්, ඒ ආර්ය මාර්ගය පූර්ණය කරගන්න තිබෙන උතුම් මාර්ගය.

 

අපි “අරහං, සම්මා සම්බුද්ධ, විජ්ජා චරණ සම්පන්න, සුගත, ලෝකවිදූ, අනුත්තරෝ පුරිස ධම්ම සාරථී, සත්ථා දේව මනුස්සානං, බුද්ධෝ, භගවා” කියන ගුණ 9කුත්…

 

“ස්වාක්ඛාත, සංදිට්ඨික, අකාලික, ඒහිඵස්සික, ඕපනයික, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූ” කියන ගුණ 6කුත්…

 

“සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න, ආහුනෙය්‍ය, පාහුනෙය්‍ය, දක්ඛිනෙය්‍ය, අඤ්ජලිකරනෙය්‍ය, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස” කියන මේ ගුණ 9කුත් තියෙන, බුදු ගුණ 9ක්, දහම් ගුණ 6ක්, සඟ ගුණ 9ක් කියලා නිතර කියවනවා.

 

අන්න ඒ ගුණ තුළ තමයි අපිට යන්න තියෙන, මරුගෙ ඇස් වහලා යන්න තියෙන, මාරයාට නොපෙනී යන්න තියෙන නියම ආර්ය මාර්ගය තියෙන්නෙ. ඉතින් ඒ තියෙන ආර්ය මාර්ගයේ වචන ටිකෙන් අපි කිය කියා හිටියට, ඒ අප්‍රමාණ ගුණ, අපිට සම්පූර්ණ ගුණයක්, සම්පූර්ණ කරගන්න අපිට පුළුවන් කමක් නැහැ, ලොවුතුරා බුදු පියාණන් වහන්සේලාටයි ඒ සියළුම ගුණ සම්පූර්ණයෙන් තියෙන්නෙ. ශ්‍රාවකයින්ට තියෙන්නෙ, ශ්‍රාවක ගෝචර, ඥාණයට ගෝචර වෙන මට්ටමක් විතරයි. ඒ ශ්‍රාවක ගෝචර වෙන ගුණ මට්ටම අරිහත්වයට යනකං ඒ මාර්ගය පාදාගන්න අපිට ඇති.

 

නමුත් ඒ ගුණ ටික කිය කියා හිටියට අපිට පුළුවන් කමක් නැහැ ඒ ගුණ මාර්ගය තෝරාගන්න. අන්න ඒ නිසා අපි තෝරාගන්න ඕනෑ, තේරුම් ගන්න ඕනෑ, ඒ ගුණ තුළින් ඇතුල් වෙලා, වර්ධනය කරගන්න මාර්ගය කොහොමද අපි සකස් කරගන්නෙ කියන එක, හොඳින් වටහාගන්න ඕනෑ.

 

{0:03:59} : අග සිට මුලට පූර්ණය කළ යුතු ශ්‍රාවක බෝධිය

අපි දැන් ඔතන තේරුම් ගන්න ඕනෙ කාරණයක් තියෙනවා, මුල ඉඳලා අගට අපි ගුණ කියාගෙන යනවා. ක්‍රියාත්මක කරන්න ඕනෙ අග ඉඳන් මුලටයි. අපි හිතමු, අපිට අවශ්‍යය කරන ඵලයක් ලබාගන්න, යම්කිසි කෙනෙකුට ඕනෑ වෙනවා කොස් ගෙඩියක් කඩාගන්ට, නැත්නම් පොල් ගෙඩියක් කඩාගන්ට. එයාට කොස් ඕන්නම්, පොල් ඕන්නම් මොකද කරන්ට ඕනෑ?

 

ඉස්සෙල්ලාම අවශ්‍යතාවය තේරුම් ගන්නවා. “මට කොස් ගෙඩියක් ඕනෑ” බඩගින්න නිවාගන්ට හරි, තමන්ට අවශ්‍යය කාරණය ඉෂ්ට කරගන්ට, කොස් ගෙඩියක් අවශ්‍යය කෙනා ඉස්සෙල්ලාම හිතන්නේ “මට කොස් ගෙඩියක් හොයාගන්ට ඕනෑ”. ඊටපස්සෙ කල්පණා කරනවා, “කොහොමද කොස් ගෙඩියක් හොයාගන්නෙ? කොස් තියෙන ගහකින් කොස් ගෙඩියක් හොයාගන්ට ඕනෑ” දැන් දෙවෙනි අවස්ථාවට ගත්තා තීරණයක්, කඩාගන්න හැටි.

 

දැන් ඒ කඩාගන්න හැටි දැනගත්තහම, කොහොමද ඒක කඩාගන්නෙ? මොකද්ද ඒකට කරන්න ඕනෙ? කළ යුතු ක්‍රියාමාර්ගය මොකද්ද කියලා ඊට පස්සෙ සිහි කරනවා. අන්න, ක්‍රියාමාර්ගය සිහි කරපුහාම, කොස් ගෙඩිය කඩාගන්න ක්‍රමය අනුගමනය කළ යුතු ආකාරය තේරුම් ගන්නවා. එහෙනම්, මුල ඉඳලා අගට හිතුවා.

 

දැන් කොස් ගෙඩිය අවශ්‍යය කෙනා මොකද කරන්නේ? කොස් ගෙඩිය කඩා ගැනීම සඳහා ක්‍රියාත්මක විය යුතු ක්‍රමය දැනගෙන, ඒකට ඒ සඳහා කළයුතු ක්‍රියාමාර්ගය අනුගමනය කළ යුතුයි කියලා දැනගෙන, ඒ ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමෙන් ආරම්භ කරනවා. නිකං කෙක්කක් බැඳගෙන කඩනවද, කෙනෙක් යවලා කඩාගන්නවද, මොකද්ද කරන්නෙ කියලා, ඒ කඩන ක්‍රියාමාර්ගය තේරුම් අරගෙන, අන්න ඒ ක්‍රියාමාර්ගයෙන් පටන්ගෙන, ආරම්භ කරපුහාම, හරියට දැනගත්ත ක්‍රමය ඒ තුළින් ක්‍රියාත්මක කරනකොට, ඒ ක්‍රියාවේ ඵලය වශයෙන් ඒ කොස් ගෙඩිය කඩාගන්න ක්‍රමය අනුගමනය කරලා, එහි ඵලය වශයෙන් කොස් ගෙඩියක් කඩා ගන්නවා. දැන් අපේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගත්තා.

 

එහෙනම්, මුල ඉඳලා අගට හිතනවා, අග ඉඳලා මුලට ක්‍රියාත්මක කරනවා, මේක තමයි ධර්මතාවය. අන්න ඒ වගෙ තමයි අපිට ඕනෙ “බුද්ධ” වෙන්න. “බුද්ධ” කිවුවම එක පාර හිතෙන්න පුළුවන් ලොවුතුරා බුදු වෙන්නද කියලා. නෑ, ඒ එක “බුද්ධ ක්‍රමයක්” විතරයි. “ලොවුතුරා බුද්ධ, පච්ඡේක බුද්ධ, ශ්‍රාවක බුද්ධ” තුන්තරා බෝධිය කියලා ක්‍රමයකින්, තුන් ආකාරයකින් “බුදු වෙන්න” පුළුවන්.

 

ලොවුතුරා බුදු වුනොත් සර්වඥතා ඥාණය පහල වෙනවා. ඒකට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී පුරලා, නැත්නම් අටාසංඛ්‍ය, සොළොසාසංඛ්‍ය ආදී වන්නාවූ, ශ්‍රද්දාධික, වීර්යාධික, ප්‍රඥාධික කියන ඒ පුද්ගලයන් ගේ ස්වභාවයට අනුව පාරමිතා පූර්ණය කරලයි “ලොවුතුරා බුද්ධ” තත්වයට පත්වෙන්නෙ. එහෙනම්, ලොවුතුරා බුදු වෙන ක්‍රමය පාරමිතා පූර්ණය කරලා, ඒ ආකාරයෙන්, ඒ තුළින් නැගෙන ක්‍රමයක්.

 

“පච්ඡේක බුද්ධ” කියලා කියන්නෙ, අනික් අයට කියාදෙන්න පුළුවන් කමක් නෑ, අනුන්ගෙ ආධාරයක් නැතුව, ධර්මය තමංගේ ස්වයංභූ ඥාණයෙන් ම අවබෝධ කරගෙන, ඒ අරිහත්වයට පත්වීම. හැබැයි, උන්වහන්සේලාට සර්වඥතා ඥාණය පිහිටන්නෙ නැති නිසා, “ෂඩ් අසාධාරණ ඥාණ” කියන, ලොවුතුරා බුදු කෙනෙකුට පිහිටන ගුණ, ඥාණ පිහිටන්නෙ නැති නිසා, අනික් අයට තමං අවබෝධ කරගත්ත ඒ අරිහත් ධර්මය, අරිහත්වයට පත්වෙන ධර්මය කියාදෙන්න පුළුවන් කමක් නෑ.

 

“ශ්‍රාවක බුද්ධ” කියන්නෙ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ශ්‍රවණය කරන්න ලැබිලා, ඒ කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය, පරතෝඝෝෂක ප්‍රත්‍යය, ඒවාගෙම ධර්මානුධර්ම ප්‍රතිපත්තිය අනුගමනය කිරීම, නුවණින් මෙනෙහි කිරීම ආදී, ඒවාගෙම ඒ තැනැත්තාට තිබෙන “ක්ෂණ සම්පත්තිය” හෙවත් ධර්මාවබෝධ කරගන්ට අවශ්‍යය හේතු-වාසනාව සම්පූර්ණ වුනහම, අන්න ඒ තුළින් ලබාගන්නාවූ “සෝතාපන්න” ආදී තත්වයට පත්වෙලා, ඒ මගින් ලබාගන්න දහම් දැනුමෙන් පූර්ණ කරගැනීමෙන් ලබන, අරිහත්වය ලබන මගක් තියෙනවා, අන්න ඒකට කියනවා, “ශ්‍රාවක බුද්ධ”

 

එහෙනම්, බුදුරජාණන් වහන්සේගේ සිවු පිරිස හෙවත් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන සිවු පිරිස හැමවෙලේම බලාපොරොත්තු වෙන්නෙ අන්න ඒ අපි තුන්වෙනුවට කිවුව “ශ්‍රාවක බෝධි ඥාණය” ලබාගෙන, අන්න ඒ තුළින් ඒ තමන්ට අවශ්‍යය කරන බුද්ධත්වය, නැත්නම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ ප්‍රතිඵලය ලබාගැනීම තමයි ශ්‍රාවකයින් විසින් කළයුතුව තිබෙන්නේ.

 

{0:08:33} : අරිය ගුණ පූර්ණයට පෝඨිල හිමියන් ගෙන් ඉගෙන ගනිමු

අන්න ඒ කියන මාර්ගය තමයි අද අපිට අවශ්‍යය වෙලා තියෙන්නෙ, චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගෙන, නිවන් සාක්ෂාත් කිරීම පූර්ණ කරගෙන, සියළු සසර දුක් වලින් මිදීමට හේතු-වාසනා පහල කරගෙන, ඒ අරිහත්වය උදාකරගන්න එකට. එහෙනම්, අන්න ඒ සඳහා අපි විසින් කළ යුතු “ගුණ විය යුතු මාර්ගය” මොකද්ද කියලා දැනගන්ට නම්, “ගුණ විය යුතු මාර්ගය” තමයී ගුණ 24 කියලා කියන්නෙ. “සූ විසි ගුණ” කියලා අපි ඕකට කියනවා.

 

“ගුණ කරනවා” කියන්නෙ? එක පැත්තකින් අපි කියනවා, “ගුණ” වෙනවා. “අගුණ” නම්, ලෙඩක්. මොකද්ද ලෙඩේ? “භව රෝගය”. භව රෝගය ගුණ කරගන්න නම් යා යුතු බෙහෙත් පංතියක් තියෙනවා, 24 ක් බෙහෙත් පංති. අන්න ඒ බෙහෙත් මාලා 24 තුළින් ගියොත්, සම්පූර්ණ ම භව රෝගයෙන් ගුණ වෙලා, සම්පූර්ණ ගුණය ලබාගන්න පුළුවන්. අන්න ඒකට කියනවා මේ 24 ක් ගුණ තුළින් යන්න කියලා.

 

නමුත් ඒ 24 ක් තුළින් යන ගුණ අපි වැඳ වැඳා, පුද පුදා ඉන්න පද බවට පත්කරගෙන ඉන්නවා, හරියට බේත් සීට්ටුවට වැඳ වැඳා, පුද පුදා ඉන්න පිරිසක් වාගෙ. බේත් සීට්ටුව ගෙනත් තියාගෙන, උදේ ඉඳං රෑ වෙනකන් කියෝ කියෝ, ඒකට ගෞරව කර කරා, වැඳ වැඳා හිටියට කවදාවත් ලෙඩේ හොඳ වෙන ක්‍රමයක් නෙමෙයි.

 

බේත් සීට්ටුව නැතුවත් ලෙඩේ හොඳ කරගන්න බෑ. ඒක හොඳට කියවන්නත් ඕනෑ. කියා තියෙන්නෙ මොකද්ද කියලා, බේත් පංතිය හරියට දැනගන්ටත් ඕනෑ. හැබැයි, දැනගත්තට ලෙඩේ හොඳ වෙන්නෙ නම්, දැනගත්ත දේට අනුව ඒ කියා තියෙන විදිහට, හරියට ක්‍රියාත්මක කළොත් නම්, බේත් බිවුවා වෙනවා. ඒ 24 ක් බේත් පංතිය, භව රෝගයට තියෙන බෙහෙත් පංතිය. අන්න ඒ ටික හරියට කරගත්තොත්, ඒ ලෙඩේ සුව වීම වළක්වන්න බෑ, සුව වෙනවා මයි! එහෙනම්, භව රෝගය සුව වෙනවා මයි!

 

එහෙනම්, භව රෝගය සුව කරගන්න තියෙන ක්‍රමය අපි දැනගත්තෙ නැත්තම් අපිට පුළුවන් කමක් නෑ විරුද්ධවාදීන් ගෙන් හෙවත් මාර පාක්ෂික බලවේග වලින් වෙන්වෙලා, නිදහසේ භව රෝගය සුව කරගන්න අපට පුළුවන් කමක් ලැබෙන්නෙ නෑ. අන්න ඒ නිසා, මෙච්චර කාලයක් තිස්සෙ අපි කිය කියා, වැඳ වැඳා, පුද පුදා විතරක් හිටපු ඒ ගුණ 24 තුළින් අනුගමනය කරලා ඒ නිවන් අවබෝධ කරගන්න ක්‍රමය තමයි අද ඉස්සෙල්ලාම අපි දැනගන්ට මේ දේශනාව ශ්‍රවණය කරන්ට ඕනෙ.

 

අපි මුලදි කිවුවා, මුල ඉඳලා අගට හිතලා, තේරුම් අරගෙන, අග ඉඳලා මුලට ක්‍රියාත්මක කරනවා. එහෙනම්, “අනුලෝම ඥාණය” තුළින් අපි ඉස්සෙල්ලා “දර්ශනය” ලබාගන්න ඕනෙ, දැකීම ලබාගන්න ඕනේ. “දස්සනේන පහාතබ්බ” කියන, දර්ශනයෙන් පහ කළ යුත්ත අන්න එතකොට සිද්ධ වෙනවා. මේ තමයි පළමු ආර්ය මාර්ගයට බැහැගැනීම. අන්න ඊට පස්සෙ, ඊට අනුව අනුගමනය කිරීම තුළින් ලෙඩේ සුව කරගන්නවා, නැත්නම් භව රෝගය සුව කරගන්නවා, සංසාර රෝගය සුව කරගන්නවා, සුව කරගතට පස්සෙ ලෙඩේ සුව වුනා, නැත්නම් අරිහත්වයට පත්වුනා, සසර ගමන කෙළවර කළා, සසර දුක නිමා කළා, කියන තත්වයට පත්වෙනවා.

 

එහෙනම්, ඒ සඳහා යනකොට අපි මුල ඉඳලා අගට හිතලා, අග ඉඳලා මුලට ක්‍රියාත්මක කරන්න පටන්ගන්න මේ දහම් න්‍යාය හොඳින් තේරුම් අරගන්නකොට, 24 වෙනි ගුණය ඉඳන් අපි ඇතුල්වෙන්න ඕනෙ, ඒ ගුණය තුළට බහින්න ඕනෙ. ඒ ගුණයට කිඳා බැහැලා, අන්න ඒ ගුණය තුළට ඇවිදිල්ලා, එකින් එක අනුපිළිවෙලින්, ගුණයෙන් ගුණයට ආපුහාම “අනුපූර්ව නිවන් මග” ඒ තුළින් අපිට ලබාගන්ට පුළුවන්.

 

හැබැයි අපි ඔය ටික දැක්කෙ නැත්නම්, තේරුම් ගත්තෙ නැත්නම්, අපිට හැමදාම සිද්ධ වෙන්නෙ “ත්‍රිපිටකධාරී” වෙලා හිටියත් වැඩක් නෑ, අර පෝඨිල කියලා හාමුදුරු කෙනෙක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙ හිටියා. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලයේ පටන් බුද්ධ සාසනේ මහණ වෙලා, ත්‍රිපිටකය ඉගෙනගෙන අනික් අයට කිය කියා හිටියා. නමුත් උන්වහන්සේට සෝතාපන්න ඵලය වත් නෑ. මොකද්ද සිද්ධ වෙන්නෙ, ඉගෙනගත්ත එක කිය කියා හිටියා මිසක්, උන්වහන්සේ අනුගමනය කරලා තිබිච්ච නැති නිසා. නමුත් උන්වහන්සේට යම් අවස්ථාවක මේ බුද්ධ සාසනේ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම කියන බුද්ධාන්තර 4 ක් ගියාට පස්සෙ මේ ගෞතම බුද්ධ සාසනෙත් පෙර පුරුද්ද ආවා. ඒ පෙර පුරුද්ද නිසා මොකද්ද සිද්ධ කළේ, අර වගෙම ධර්මය ඉගෙනගෙන, ධර්මය කිය කියා, උද්දාම වෙවී හිටියා.

 

මෙන්න මෙහෙම අවස්ථාවකදී තමන්ට වැටහෙන ඥාණයක් පහල වුනා, පෙර කාලයක පටන්ගෙන ආපු සිරිත. බුදුරජාණන් වහන්සෙත් මේකට ප්‍රශංසා කරයි කියලා හිතාගෙන බොහොම වර්ණනා මුඛයෙන් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා, “ස්වාමීනි, කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලයෙත් මම ත්‍රිපිටකය දරලා, ඉගෙනගෙන, ධර්ම දේශනා කළා. ඊට පස්සෙ කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ කාලයෙදිත් මම එහෙම ත්‍රිපිටකය දරලා, ඉගෙනගෙන, ධර්ම දේශනා කළා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලෙත් මං එහෙම ත්‍රිපිටකය දරලා, ඉගෙනගෙන, ධර්ම දේශනා කළා, දැන් මේ ඔබවහන්සේගේ සාසනෙත් මම ත්‍රිපිටකය ඉගෙනගෙන ධර්ම දේශනා කරනවා…” කියලා බොහෝම උද්දාම හිතකින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මෙහෙම කියනකොට බුදුරජාණන් වහන්සේ නිහඬ වෙලා ඉඳලා, පෝඨිල හාමුදුරුවෝ නැගිටලා යන්න හදනකොට “තුච්ඡ පෝඨිල යනවද?” කියලා ඇහුවා.

 

දැන් හරි ප්‍රශ්නයක් නේ, තුච්ඡ වැඩක් නේ කරලා තියෙන්නෙ කියලා බුදුරජාණන් වහන්සේ නිග්‍රහයක් කරපු අවස්ථාවක් මේ ධර්ම දේශනා කර කර හිටියට. දැන් හිතාගන්න පුළුවන්ද මෙහෙම දෙයක් කියයි කියලා? ඇයි එහෙම කිවුවෙ? “ඔබ ඔබේ වැඩේ කරගන්නෙ නැතුව, ඔබ මේ ධර්මය අනුන්ට කිය කියා ඉන්නවා, ඔබ ඔබේ වැඩේ කරගත්තෙ නෑ නේද තව? ඔබ හිස් දෙයක් කරනවා කියන්නෙ අන්න ඒකයි. මේ වතාවෙ වත් තමංගෙ වැඩේ කරගනිං, තුච්ඡයෙක් වෙන්නෙ නැතුව!”

 

මෙහෙම කිවුවට පස්සෙ මොකද කියන්නෙ, ඒ පෝඨිල හාමුදුරුවොන්ට හරී ලැජ්ජාවක් සහ සංවේගයක් ඇතිවුනා. “ඇත්ත වශයෙන්ම මම මගෙ වැඩේ කරගන්නෙ නැතුව, ඒ ධර්මය අනුගමනය කරලා සසර දුකෙන් මිදෙන්නෙ නැතුව, මං මේ මොකද්ද කරන මෝඩකම? අද ඉඳංම මම තේරුම් ගන්නවා කොහොමහරි මේ මාර්ගය අනුගමනය කරලා, ගමන පූර්ණය කරගැනීමට…” මෙන්න මේ ටික තේරුම් අරගෙන උන්වහන්සේ බලාපොරොත්තු වුනා, කර්මස්ථානාචාර්ය වරයෙක් හම්බවෙලා, භාවනා කර්මස්ථානයක් අරගෙන, ඒ තුළින් ඒ සත්‍ය මාර්ගය, නැත්නම් සීල, සමාධි, ප්‍රඥා ගුණ පූර්ණය කරගෙන, නිවන අවබෝධ කරගන්ට ඕනෑ”ය කියලා, මෙහෙම හිතිලා, බලාපොරොත්තු වුනා ඊට සුදුස්සෙක් හොයාගෙන යන්න.

 

නමුත්, දේශකයන් වහන්සේ නමක් වශයෙන් දේශනා කරපුහාම, ඒ ධර්මශ්‍රවණය කරපු කෙනෙක් ඒ දේශන ගරුත්වය නිසා, අණ පණවන්න කැමති නෑ, විධානය කරවන්න කැමති නෑ, තමංගෙ ගුරුවරයාට, නැත්නම් ආචාර්ය වරයාට. මෙන්න මේ නිසා කවුරුවත් බාරගත්තෙ නෑ කර්මස්ථාන දෙන්න. දැන් මොකද කරන්නෙ, උන්වහන්සේ හැමතැනම හොයාගෙන ඇවිදිනකොට, හත් අවුරුදු පුංචි හාමුදුරු කෙනෙක්, බොහෝම දුර පලාතක, කර්මස්ථානාචාර්ය වරයෙක් වශයෙන් කර්මස්ථාන දෙනවා, උන්වහන්සේගේ වැඩේ කරගෙන. උන්වහන්සේ අරිහත්වයට පත්වෙලා, හත් අවුරුද්ද වුනත්. බොහොම ප්‍රසිද්ධයි, දහම් තේරුම තියෙනවා, සසර හුරුව තියෙනවා.

 

උන්වහන්සේ හමුවෙලා කර්මස්ථානයක් ගන්නකොට, ඒ වෙලාවෙදි උන්වහන්සේ කියනවා “මම කර්මස්ථානයක් දෙන්ඩ බාරගන්නම්. හැබැයි එක තීරණයක් පිට, මම කියාදෙන ආකාරයෙන් කටයුතු කරන්න පුළුවන් නම්, ඒකට විශ්වාසයෙන් නැමෙනවා නම්, ගෞරවයෙන් පිළිගන්නවා නම්, මම කර්මස්ථාන දෙන්නම්…”

“ස්වාමීනි, ඔබවහන්සේ කියන ඕන විදිහකට මම ඒ කටයුත්ත කරන්න කැමතියි…”

“එහෙමනම් ලෑස්ති වෙලා, හොඳට සිවුර හදාගන්න, පොරවගන්න…”

මඩ වලක් පෙන්නලා කියනවා, “මෙන්න මේ මඩ වලේ යන්න…”

කියන දේ කරන්න පොරොන්දු වෙච්ච නිසා ආයි ඇහුවෙ නෑ මොකද කියලා, මඩ වල දිගේම පාතට බැහැගෙන, බැහැගෙන ගියා. යන්ඩ යන්ඩ මඩ වල ගැඹුරුයි, කරවටක් ගියා, “මැරුණත් කමක් නෑ, කිවුව එක කරනවා” කියලා කරවටක් යනකොට, “දැන් නවතින්න…, දැන් ආපහු හැරෙන්න…” ආපහු හැරුණා, “දැන් ආපහු එන්න” කිවුවා. ආපහු ආවා ටිකෙන් ටික. “දැන් ඉතින් හෝදගෙන ලැහැස්ති වෙන්න කර්මස්ථානේ ගන්න” කියලා කිවුවා.

 

දැන් මේ කතාව තියෙනවා පොතේ, ඔය ටික. ඇයි මඩ වලකට යැවුවෙ? ඇයි කරවටක් ගියාම ආපහු හැරෙන්ඩ කිවුවෙ? දැන් ආපහු එන්ඩ කිවුවෙ මොකද? කියපුහාම, ඒ කාරණේ හැඟවිච්ච කාරණයක් වෙලා තියෙනවා. එහෙම දෙයක් දුන්නෙ මොකටද? වැදගත් දෙයක් උන්වහන්සේ එතනින් ම කියාදුන්නා. මෙච්චර කල් පෝඨිල හාමුදුරුවොන්ට වැරදිලා තිබිච්ච හරියයි මේ පෙන්නා දුන්නෙ, උදාහරණයකින්.

 

{0:17:25} : කාම මඩෙන් ගොඩ එන්න ගත යුතු “අනුපූර්ව ශික්ෂාව”

මොකද්ද මේකෙන් පෙන්නුවෙ? කරවටක් මඩේ ගියපු, මඩට ගිහින් ඉන්න පුද්ගලයා ගොඩට ආව හැටි හිතාගන්න. කොහොමද ගොඩට එන්න්? මඩේ ඉන්න පුද්ගලයා ගොඩට එනකොට, කරවටක් මඩේ ඉන්නවා නම්, ගොඩබිම පේනවා පාත ඉන්නකොට. කරවටක් යට ගිහිල්ලා ඉන්නකොට, ගොඩබිමට හැරුණහම, ගොඩබිම හොඳට පේනවා. හැබැයි අඩිය ගහන්න පුලුවන්ද එකපාර ගොඩබිමට, කරවටක් මඩේ ඉඳලා?

 

කරවටක් මඩේ ඉන්න කෙනෙකුට, ගොඩබිම පෙනෙන්ට තිබුණට, එක අඩියෙන් ගොඩබිමට අඩිය තියන්ඩ බෑ. එහෙනම්, ගොඩබිමට අඩිය තියන්නෙ කොහොමද? අඩියෙන් අඩිය, ගොඩ පැත්තට තියෙන මඩට අඩිය තියනවා. එතකොට මොකද වෙන්නෙ, ගොඩ පැත්තට තියෙන මඩට අඩිය තිබ්බහම, අඩියෙන් අඩියට, කරවටක් හිටපු එක්කෙනා පපු මට්ටමක් උඩට ඇවිදිල්ලා. හැබැයි, තවම මඩේ!

 

තව අඩියක් තිබ්බහම, දණ මට්ටමක්, බඩ මට්ටමක්, පෙකණිය දිහාවට, ඉණ දිහාවට, ඉතින් කෙන්ඩ දිහාවට, ඔහොම එකින් එකට, එකින් එකට, ටික ටික, ටික ටික ගොඩ පැත්තට එනවා. ඔහොම අඩි ගණනක් තියාගෙන උඩට එනකොට, වළලුකර දිහාවට තියෙන මඩ මට්ටම තියෙද්දි, තව ඉස්සරහට තිබ්බත්, තවත් මඩ ගෑවෙන තැන්. ඒකත් ක්‍රමාණුකූලව පහු කරලා ගොඩබිමට ආවට පස්සෙ, දැන් හෝදාගන්නවා ඉතුරු මඩ ටික, ගෑවිච්ච මඩ ටික.

 

එහෙනම්, මඩේ ඉඳං මඩ හෝදන්ඩත් බෑ. ගොඩට නෑවිදින් මඩ හෝදන්ඩ බෑ. ගොඩට එනවා නම් එන්ට ඕනෙ, එක පාරට එන්ඩ බැහැ, කරවටක් මඩේ එරිච්ච එක්කෙනා ක්‍රම ක්‍රමයෙන් අඩු මඩ තියෙන පැත්තට ඇවිදිල්ලා, ඇවිදිල්ලා, මඩෙන් එගොඩට ඇවිදිල්ලා, ගෑවිච්ච මඩ ටික හෝදාගත්තහම සුද්ධයි. මෙන්න දුන්න උපමාව. මෙන්න, පෝඨිල හාමුදුරුවන්ට නිවන් දකින්න බැරිවෙච්ච කාරණය.

 

අදත් මේ කාරණේ අපේ බෞද්ධ පිරිස් වලට දේශනා කරන පිංවතුන්ට බොහොම වැදගත් උදාහරණයක්, උපමාවක්. එකපාරටම අරිහත්වයේ ගුණ කියලා, අරිහත්වයට පත් කරන්ඩ ම දඟලනවා. ඉන්නෙ කොහෙද? කරවටක් කාම මඩේ එරිලා. කාම මඩේ කරවටක් එරිලා ඉන්න මිනිහට එකපාර අරිහත්වයට පත්වෙන්න කිවුවට කොහොම කරන්නද?

 

අන්න ඒ වගේ, අරිහත්වයට පත්වෙන්න බණ කිය කියා හිටියට, කවුරුවත් “අනුගමනය කරලා කොහොමද එතෙන්ට එන්නෙ?” – අධෛර්යට වෙනවා. “මඩට අඩිය ගහන්ඩම එපා, එකපාරම ගොඩට අඩිය ගහපං කොහොම හරි…” කිවුවා නම් අර කරවටක් මඩේ එරිලා ඉන්න එක්කෙනාට, කොහොම අඩිය ගහන්නද? වෙහෙසට පත්වෙනවා මිසක්, දුකට පත්වෙනවා මිසක්, වැඩේ කරගන්න බෑ.

 

ඒ නිසා “අනුපූර්ව ශික්ෂා” ක්‍රමයක් තියෙනවා. අනුපූර්ව හික්මෙන ආකාරයක් තියෙනවා, අනුපූර්ව කෙළෙස් අත්හරින ආකාරයක් තියෙනවා. මෙන්න මේ ක්‍රමානුකූලව, අනුපූර්ව මාර්ගය අනුගමනය කළොත් තමයි නිදහසෙන්, පහසුවෙන්, ලේසියෙන් තමන්ට අවශ්‍යය කාම මඩ හෝදාගන්න පුලුවන්. මෙන්න මේක තමයි දීපු ආදර්ශය. අන්න ඒ නිසා තමයි පෝඨිල හාමුදුරුවන්ට තේරුණේ අනුගමනය කළ යුතු ක්‍රමය, අනුපූර්ව ක්‍රමයක්. ඒ අනුපූර්ව ක්‍රමය අනුගමනය කළා නම් කෙළෙස් මඩ හෝදාගන්න පුළුවන්.

 

නමුත් ඔය ටික පොතේ නෑ. උපමාව දීලා තියෙනවා, ඒකෙ නිරුක්තිය, අර්ථය පොතේ නෑ. ඒක ඥාණයට තෝරාගන්න ඕනෙ එකක්. අන්න ඒ නිසා තෝරාගන්න ඕනෙ, ඔන්න ඔය ක්‍රමයටයි ඔය උපමාව දෙන්න හේතුව.

 

{0:20:53} : හොඳින් දහම් ශ්‍රවණය කර “දහම් ඇස” පහල කරගනිමු

එහෙනම්, මේකෙත් පෙන්වනවා අනුපූර්ව ව යන ක්‍රමයක්. දැන් එහෙනම් අපි දැනගන්න ඕනෙ, කරවටක් කෙළෙස් මඩේ එරිලා ඉන්න, කාම මඩේ එරිලා ඉන්න සාමාන්‍ය මනුස්සයා ඉස්සෙල්ලාම කරවටක් තියෙන තැන ඉඳලා පපු මට්ටමට එනකන් වත් එන්නෙ මොන ක්‍රමයෙන්ද? පළමු තැබිය යුතු අදියර මොකද්ද?

 

නිවන ගොඩබිම නම්, ලෝකය, කාම ලෝකය කරවටක් ගිලිලා තියෙන මඩ වල නම්, මේ කාම ලෝකෙ භජනය කරමින්, කාම වස්තු පරිහරණය කරමින් “කාමච්ඡන්දයෙන්” මුසපත් වෙලා, වෙන මොනවා කරන්නත් බෑ ඒක අත්හැරගන්න බැරුව ඉන්න මට්ටමේ අයට, ගැටීමෙන් යුක්තව, ඇලීමෙන් යුක්තව, මුලාවෙන් යුක්තව ඉන්න පිරිසට, අන්න එතනින් ක්‍රම ක්‍රමයෙන් ගැලවිලා යන්න නම් ඉස්සෙල්ලාම අදියරක් තියන්න ඕනෙ. අදියර 24 ක් තිබ්බහම ගොඩ, නැත්නම් නිවන. නිවන නැමැති ගොඩබිමට එනවා. අදියර 24 කින් එන්න තියෙන මාර්ගය අනුපූර්ව ව ආවෙ නැත්නම්, අපිට පුළුවන් කමක් නෑ නිවන නැමැති ගොඩබිමට එන්න.

 

“නිවන නැමැති ගොඩබිම පේනවා, රාගක්ෂය වුනා නම් සහමුළින් ම, සහමුළින් ම ගැටීම ක්ෂය වෙලා ගියා නම්, මුළාව සහමුළින් ක්ෂය වෙලා ගියා නම්, ලෝකයේ කිසිම තැනක ඡන්ද රාගයෙන් ඇලීමක්, බැඳීමක් නැති වුනා නම්, අන්න එදාට කෙළෙස් ගිණි ඉවරයි” කියලා අපි මුලින්ම දැනගන්නවා. “කෙළෙස් ගිණි ඉවර කරගත්තා නම්, සසර ගමනට හේතුවෙන ඡන්ද රාගය දුරු වුනා නම්, ඉන් පසු සසර ගමන ඉවරයි, එහෙනම් සසර දුක ඉවරයි” කියලා දන්නවා.

 

මෙන්න “ගොඩබිම” දැක්කා. දැකපු ගොඩබිමට එන්න නම්, දැන් ඉතින් මොන තාලෙන් හරි අපි කළ යුතු එකක් තියෙනවා, මොකද්ද? ක්‍රම ක්‍රමයෙන් අනුපූර්ව ව රාගක්ෂය කරන්න ඕනෑ. අනුපූර්ව වැඩපිළිවෙලකින් ද්වේෂක්ෂය කරගන්න ඕනෑ. අනුපූර්ව වැඩපිළිවෙලකින් මෝහක්ෂය කරගන්න ඕනෑ. අන්න ඒ අනුපූර්ව වැඩපිළිවෙලක් පැත්තක තියලා, අපි වෙන මොන දහම් සාකච්චා කර කරා හිටියත්, අපේ ගමන අර පෝඨිල හාමුදුරුවන්ගෙ ගමනට සමාන වෙන්න පුලුවන්.

 

එහෙනම්, “පෝඨිලයෙක්” නොවී අපි බලාපොරොත්තු වෙන්ට ඕනෑ හරි ආකාර මාර්ගයට එන්න. “පෝඨිල” කියලා නමක් තියෙනවා, පොට්ට වෙච්ච ලයක් තියෙන කෙනාට කියනවා, පොට්ට වූ, ඇටි ගැහිච්ච ලයක් ඇති එක්කෙනාට – පෝ ඇටි ලය – පෝටිලය… පෝඨිල හැදෙන හැටි.

 

එහෙනම්, ලය පොට්ට කරගත්තහම, ලය කියන්නෙ අපේ හිත. හිතට පේනවා ඇහැ තිබුණොත්, දර්ශන ඥාණය පහල වුනොත්, දහම් ඇස පහල වුනොත්. සිතට දහම් ඇස පහල වුනේ නැත්නම් සිත පොට්ටයි. ලය පොට්ට වුනහම එතන පෝඨිල හැදෙනවා. එහෙනම්, පෝඨිල වෙන්න හොඳ නෑ, ලය පොට්ට කරගන්න හොඳ නෑ. එහෙනම්, ලය පොට්ට කරගන්නෙ නැතුව, දහම් ඇස පහල කරගත්තහම, “පෝඨිලත්වයෙන්” මිදෙනවා. එහෙනම්, අපිත් “පෝඨිලත්වයේ” ඉන්න හින්දා එක එක ආකාරයෙන් “පෝඨිලලා” කියලා හිතාගන්න ඕනෙ. ඉතින් පෝඨිල නොවී, ඒකෙන් ඉක්මිලා, පෝඨිලත්වයෙන් මිදිලා, අපි දහම් ඇස පහල කරගත්තා නම්, එතන පටන්ගෙන අපිට ඇහැක් තියෙනවා, පෝඨිලත්වයෙන් මිදෙනවා ඒකෙන්.

 

එහෙනම්, එක්කෙනෙකුට කියන නමක් වුනාට, ඔය නම් වල තියෙනවා දහම් අර්ථයක් අභ්‍යතරයේ ගැබ් වෙලා. ඒ තුළින් අපි හොඳට දහම් දකින්න පුරුදු වෙන්න ඕනෙ. එහෙනම්, අපේ ලයට, නැත්නම් අපේ හිතට, ඇහැක් නැත්තෙ මොකද? ධර්ම චක්ෂුසය පහලවෙන්න, ධර්මශ්‍රවණය කරන්න ඕනෑ. එහෙනම්, නිවන අවබෝධ කරන ධර්මයක් ඇත්නම්, මාර්ගයක් ඇත්නම්, අපි අනුගමනය කළ යුතු මාර්ගය ධර්මශ්‍රවණය තුළින් නුවණින් මෙනෙහි කරලා, කල්පණා කරලා තේරුම්ගත්තා නම්, අන්න අපිට “දහම් ඇහැ” පහල වෙනවා. නැත්නම් “සෝතාපන්න” කියන තත්වයට පත්වෙනවා.

 

අන්න ඒ දහම් ඇහැ පහල කරගන්න, නැත්නම් “සෝතාපන්න” තත්වයට පත්වෙන යම් දහම් මාර්ගයක් ඇත්ද, අන්න ඒ තුළින් ගුණය ලබාගන්ට ඕනෑ, 24 ක් ගුණ වලින්, 24 වැනි ගුණයේ ඉඳන් ආරම්භ කරලා එන්ඩ ඕනෙ. අන්න 24 වැනි ගුණය මොකද්ද? “අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති” කියන ගුණය.

 

{0:25:05} : නිවැරදිව “සඟ සරණ ගත වීමෙන්” ආරම්භ කරමු

දැන් අපි “අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති” ගුණය කියන්නෙ මොකද්ද කියලා අහලා, සිංහල අර්ථය තෝරගත්තහම, ලෝකයේ “අනුත්තර” වූ පිං කෙතක් කියලා අපි ඕකට උත්තරයක් දෙනවා. ලෝකයේ අනුත්තර වූ පිං කෙතක්. “මේවා තමයි සඟ ගුණයන්” කියලා අපි කිය කියා, වැඳ වැඳා ඉන්නවා.

 

එහෙනම්, බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සංඝයාට වැඳ වැඳා ඉන්ඩ නෙමෙයි, වැන්දා වාගෙම කළ යුතු වැඩක් තියෙනවා, සංඝත්වයට පත්වෙන්න. සංඝත්වයට පත්වුනේ නැත්නම් අපිට අනාථයෝ වෙන්න වෙනවා. සසර ගමනේ තවම අතරමං වෙනවා, වැඳ වැඳා හිටියට අපි එතෙන්ට එන්නෙ නෑ. බේත් සීට්ටුවට වැඳ වැඳා හිටියට අපිට සුව වෙන්නෙ නෑ. බේත් බීලා හොඳ වෙච්චි එක්කෙනෙකුට වැඳ වැඳා හිටියත් අපිට සුව වෙන්නෙ නෑ.

 

එහෙනම්, එයාගෙන් අහගන්ට ඕනෑ, “ඔයා හොඳ වුනේ කොහොම බෙහෙත් බීලද? බේත පාවිච්චි කළේ කොහොමද? ඒක මට කියාදෙන්ට. ඔබ යම් තත්වෙකට පත්වුනා නම්, ඒ සුවයට මාත් පත්වෙන්න ඕනෑ. ඔබ සුවයට පත්වුන ක්‍රමය මට කියන්න. මමත් ඒ ක්‍රමය අනුගමනය කරලා, මාත් සුවයට පත්වෙලා, ඔබ වැන්නෙක් වෙන්න ඕනෑ…” කියලා අන්න අදහස ගත්තා නම්, අන්න “සාසන පිළිසරණ” ගැනීමට, අපි අර “බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි” කියලා කිවුව කාරණය සිද්ධ කරගත්තා වෙනවා.

 

එහෙනම්, එතෙන්ට සිද්ධ කරගත්තොත් මොකද වෙන්නෙ? “යෝ ච බුද්ධං ච ධම්මං ච සංඝං ච සරණං ගතෝ – චත්තාරි අරිය සච්චානි සම්ම පඤ්ඤාය ඵස්සති” කිවුව තැන පූර්ණය කරගත්තා වෙනවා. යමෙක් බුදු සරණ, දම් සරණ, සඟ සරණ ගතවුනා නම්, චතුරාර්ය සත්‍යය සම්‍යක් ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන, නියම ප්‍රඥාවන්තයෙක් බවට පත්වෙනවා, අරිහත්වයට පත්වුනා වෙනවා.

 

අන්න ඒක කරගන්න තමයි අපිට බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ “සරණ යෑමේ” ප්‍රතිඵලය. නමුත්, දැන් අපි කල්පණා කරලා බලන්න ඕනෙ, අපි “සරණ ගතවෙනවා” කියලා මොකද්ද කරන්නෙ? ඔය වචන තුන කියලා, “දැන් මගෙ වැඩේ හරි, මට සරණ සමාදානය තියෙනවා, දැන් මට බය වෙන්න දෙයක් නෑ…” කියලා හිතාගෙන හිටියට එහෙම, ඔය වචනෙ කිය කියා හිටියට නම් සරණ සමාදානය පූර්ණ වුනේ නෑ.

 

එහෙනම් දැනගන්න ඕනෙ, “බුද්ධං සරණයට” පත්වෙන්න නම්, “ධම්මං සරණයට” පත්වෙන්න නම්, “සංඝං සරණයේ” පටන්ගෙන, ක්‍රියාත්මක වෙන්න ඕනෙ. “සංඝං සරණයට” පත්වුනහම, “යදිදං චත්තාරි පුරිස යුගානි, අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ…” කිවුව තැන, සෝවාන් මාර්ගයේත්, අනුගමනය කරලා ඵලය ලැබූ පුද්ගලයෙක් වෙනකොට, අන්න “සාවක සංඝෝ” කියන තැනට අපි මුලින්ම සම්බන්ධ වුනා වෙනවා.

 

එහෙනම්, අපි දැනගන්ට ඕනෑ ගුණ වැඳ වැඳා ඉඳීම පමණක් නෙමෙයි, ගරු කළ යුතු ගුණ වලට ගරු කරන එක හොඳයි, අනුගමනය කරලා, සඟ සරණයට පත්වෙන්නෙ කොහොමද? නැත්නම් “සංඝං සරණං ගච්ඡාමි” කිවුව තැනට පත්වෙලා, “සඟ සරණ ගත” වෙන්නෙ කොහොමද කියන එක හොයාගන්න. “සඟ සරණ ගත” වුනා නම් අපේ වැඩේ හරි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට අපිත් අයිති වෙලා. එහෙනම්, “ආහුනෙය්‍යයි, පාහුනෙය්‍යයි, දක්ඛිනෙය්‍යයි, අඤ්ජලිකරනෙය්‍යයි, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති” කියන මේ ගුණ ටිකෙනුත් යුක්ත වෙනවා. “සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න” කියන ගුණයන්ගෙනුත් යුක්ත වෙනවා.

 

එහෙනම්, සංඝත්වයට අපි පත්වුනා නම්, ගුණ 9 ක් තුළට අපි ඇතුල් වුනා වෙනවා. එහෙනම්, නම ආකාරයකින්, බේත් පංති නමයක් පාවිච්චි කරපු කෙනෙක් වෙන්වා. පාවිච්චි කරලා ගුණ ලැබූ කෙනෙක් වෙන්වා. එහෙනම් අපි දැන් බලාපොරොත්තු වෙන්ට ඕනෑ මෙන්න මේ බේත් පංති නමය පාවිච්චි කරලා ගුණ ලබන පලවෙනි බෙහෙත් සීට්ටුව විග්‍රහ කරලා, තේරුම් අරගෙන, අන්න ඒක කොහොමද පාවිච්චි කරන්නෙ, ඒක පාවිච්චි කළොත් ගුණ ලැබෙනවා මිසක්, කිය කියා හිටියට ගුණ ලැබෙන්නෙ නෑ කියලා තේරුම් අරගෙන, පාවිච්චි කරලා පලවෙනි ගුණයට පත්වෙන්න ඉස්සෙල්ලා බලන්න ඕනෑ.

 

{0:28:58} : හදවත නැමැති, “වැල් වලින් වට වූ අරම” හඳුනා ගන්න

ඒ නිසා, ඒක තේරුම් අරගෙන, දැන් අපි බලමු “අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති” කියන ගුණයට බේත් සීට්ටුව තෝරාගත්තා වාගෙ තෝරාගෙන, අනුගමනය කළයුතු ආකාරය තමං ම දැනගෙන, තමන්ට ප්‍රායෝගිකව කරන්න තියෙන අනුගමනය තම තමන් කරගත යුතුයි. අන්න එතන තමයි කිවුවෙ “අත්ථා හි අත්ථනෝ නාථෝ – කෝහි නාථෝ පරෝසියා…” ආදී වශයෙන් පෙන්නුවෙත්, “අත්ථ දීපා විහරථ, අත්ථ සරණා – අනඤ්ඤ සරණා”  ආදී වශයෙන් පෙන්නුවෙත්, මෙන්න මේ ගුණය දැනගෙන, ප්‍රායෝගිකව අප විසින් ප්‍රගුණ කරගෙන යා යුතු, අනිකෙකුට ගෙන යා නොහැකි, තමන් විසින් ම කරගත යුතු, අන්න ඒ මාර්ගය මොකද්ද කියලා තේරුම් ගන්න පුලුවන් වෙන්නෙ, ඔන්න ඔය ගුණයෙන් පෙන්නපු කාරණේ විස්තර කරලා තේරුම් ගත්තට පසුවයි.

 

ඒ නිසා, “අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති” කියන මේ ගුණය අපි තේරුම් ගන්ට ඕනෑ, ඔතන තියෙනවා උදාහරණයක් පෙන්නලා. (… සුළු කොටසක් පටිගත වී නොමැත…) කරලා බලලා දහම් තෝරාගන්න ක්‍රමය – “ඒවං උපසංහරති” – මෙසේ සංසන්දනය කරලා බලන්න. මෙන්න මේ ක්‍රමය තුළින් සංසන්දනය කරලා බලලා දහම් තෝරාගන්න ක්‍රමය තමයි අපි “අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති” කියන ගුණයෙන් තේරුම් අරගෙන, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නෙ මොකද්ද කියලා හොඳින් වටහා ගන්නෙ.

 

එහෙනම්, “ලෝකයේ අනුත්තර වූ පිං කෙතක්” කියන වචනය අපිට දීලා තියෙනවා. දැන් මේක විග්‍රහ කරගන්ට ඕනෑ. විග්‍රහ කරලා තේරුම් ගන්ට ඕනෑ. අපේ හෙළ අටුවා තිබුන පෙර කාලෙ නම්, සිවුපිළිසිඹියා පත් මහරහතන් වහන්සේලා ඔය ධර්ම පදය, ගුණ පදය හොඳට විග්‍රහ කරලා අපිට දීලා තිබුණා. නමුත් ඒ අටුවා අද අපිට දකින්ට නෑ, පත්ඉරුවක් වත් දකින්ට නෑ. ඒවා ඔක්කොම විනාස කරලා හෝ කුමන්ත්‍රණකාරී ලෙස විනාසයට පත් කරලා කියන එකයි අපිට හිතාගන්න තියෙන්නෙ, යම් යම් විරුද්ධ බලවේග. හැබැයි ඒ කොච්චර විනාස කළත්, අපේ ආදි, පැරණි සිහළුන් ගෙනාපු ක්‍රමයේ තිබෙන වචන මාලාවක් අපි ලඟ අදත් ඉතුරු වෙලා තියෙනවා.

 

කවුරුහරි වැඩක් නැති කතා කිය කියා ඉන්නකොට, “ඔය වැල්වටාරම් මෙහෙ කියන්ඩ එපා!” යම් කෙනෙකුට ඒවා එපා නම්, ගුණයට පත්වෙන කෙනෙක් කැමති නැත්නම් වැඩක් නැති “වැල්වටාරම්” කියව කියවා ඉන්ට, ඒ වෙලාවෙදි කියනවා, “ඔය වැල්වටාරම් වලින් අපිට ඇති වැඩක් නෑ, අනේ ඔය අනුංගෙ ‘වල් පල්’ අපිට මොකටද?” ඔය වචන දෙකක් භාවිත කරනවා. අපේ මේ සිංහල බාසාවට, නැත්නම් මේ “සිහළ” බාසාවට ඔය වචන දෙක මොකටද? කොහොමද හැදුනෙ? “වැල්වටාරම්”, “වල්-පල්” ඔන්න ඔය දෙක අපි ටිකක් හිතලා බලන්ට ඕනෑ, වැදගත් දේකට.

 

“වල්-පල්” කියන වචනයෙන් මොනවද කිවුවෙ? උඩින් – මත්තෙන් එක අර්ථයක් තියෙනවා, හැඟවුනු දහම් අර්ථයක් තියෙනවා. “වැල්වටාරම්” කියනකොට උඩින් – මත්තෙන් එක අර්ථයක් තියෙනවා, ඒකෙ හැඟවුනු දහම් අර්ථයක් තියෙනවා. ඔන්න ඔය හැඟවුනු දහම් අර්ථය පෙන්නන්ඩ තමයි උපමාවක් වශයෙන් “වැල්වටාරම්”, “වල්-පල්” කියන වචන දෙක අපේ භාවිතාවට ආදි බොදුනුවන්ගෙන්, භාවිතාවෙන් ඇවිදිල්ලා, සාම්ප්‍රදායිකව, නමට පමණක් අද නාමිකව, ඔය වචන දෙක භාවිතා කරනවා. හැබැයි නරක දේවල් වලට මයි කියන්නෙ. වැඩක් නැති කතා – බහ, වැඩක් නැති ඒවා කරනකොට, විහිළු – කොළොප්පම් කර කරා ඉන්නකොට, “වල්-පල්”, “වැල්වටාරම්” කියන වචන දෙක අපි භාවිතා කරනවා.

 

“වල්-පල්” කියන්නෙ මොනවද? “පල්” කියන්නෙ ඵල, “වල්” කියන්නෙ කැලෑව. කැලෑවෙ ගෙඩි ජාති වලට කියනවා, “වල් ඵල” – කැලෑවෙ තියෙන ගෙඩි ජාති. “වල්” කියන්නෙ “වල” – වනාන්තරය, “වල” කිවුවෙ කැලෑවට. “වල්” කිවුවෙ කැලෑවෙ තියෙන, “පල්” කිවුවෙ ඵල වලට. කැලෑවෙ තියෙන ගෙඩි ජාති වලට කියනවා, “වල්-පල්”.

 

“වැල් වට අරම්” කියන එක තමයි “වැල්වටාරම්” කිවුවෙ. වැල් වලින් වට වෙලා තියෙන අරම, නැත්නම් කැලෑව. “අරම” කියන්නෙත් කැලෑව. ගස් කොලං, වැල් වලින් වැහිලා, එකින් එකට අහස පේන්නෙ නැති වෙන්න බැඳිලා, හැමතැනම වැහිලා තියෙනකොට, වැල් වලින් වටවෙලා තියෙන අරමක් අපිට දකින්න පුලුවන්.

 

එහෙනම්, අපි ලඟ “වැල්වටාරම්” කොහෙද තිබුණෙ? “වල්-පල්” කොහෙද තිබුණේ? මොනවද උපමා කළේ වල්-පල් වලට, මොනවද වැල්වටාරම් වලට උපමා කළේ? යම්කිසි මනුස්සයෙක් ගෙ හදවත ගුණධර්ම නැති, වැඩකට නැති පුහු දේවල් වලින් වැහිලා, මහා කැලෑවක් වාගෙ පත්වෙලා තියෙනවා නම්, වැල් වලින් වටවෙච්ච අරමක් වාගෙ. ඕකෙන් භුක්ති විඳගන්න තියෙන්නෙ, විද්‍යාමාන කරන ඵලය මොකද්ද, ක්‍රියා ඵලයක් තියෙනවා නම්, කතා ඵලයක් තියෙනවා නම්, වල් ගස් වල ගෙඩි වාගෙ. පරිහරණය කරන්න පෝෂණයක් නෑ, හරයක් ඇති දෙයක් නෙමෙයි. වල් ගස් වල තියෙන බීජ, ගෙඩි කොහෙහරි වැටුනොත්, ඒ පැත්තම වල් වෙලා යනවා. කවදාවත් හොඳ වෙන්න විදිහක් නෑ. “වල්-පල්” වැටුණහම ඕකයි වෙන්නෙ.

 

වැල් වට වලින් අරමක් තියෙනවා නම් යම් තැනක, හරි භයානකයි. මොකද? අලි ඉන්නෙ වැල් වටවෙච්ච අරන් වල. කොටි, වලස්සු ඉන්නෙත් වැල් වලින් වටවෙච්ච අරන් වල, “වැල්වටාරම්” වල. නයි, පොළොංගු ඉන්නෙ, නොයෙක් විදිහෙ සැර සත්තු ඉන්නෙ, ඒ වාගෙම ගෝණ, මුවෝ ආදීන් ඉන්නෙ, අනින සත්තු, හපා කන සත්තු, ගොරවන සත්තු, ඒ වාගෙම විසකුරු සත්තු ඉන්නෙ වැල් වලින් වටවෙච්ච මහ කැළෑ වල, “වැල් වට අරම්” වල.

 

අපේ හදවත වැල් වලින් වටවෙච්ච අරමක් වාගෙ තියෙනවා නම්, ඕකෙත් ඉන්නවා ඔය උපමාවෙන්, උපමා – උපමේය සංසන්දනය කරලා දැකගත යුතු සත්ව කොට්ඨාසයන්. එහෙනම් වැල් වලින් වටවෙච්ච අරමට උපමා කරපු හදවතේ උපමාව තේරුම්ගන්ට ඕනෑ.

 

{0:35:17} : පෘතග්ජන හිතක සත්ව ගති ත්‍රිපිටකයම පාඩම් වුනත් යන්නෙ නෑ

මොනවද වැල් වලින් වටවෙන්නෙ? වැල් වලට තනියම වටවෙන්ඩ බෑ, “වල් ගස්” තියෙන්ඩ ඕනෙ. මහා වල් ගස් වල තමයි වැල් වලින් වටවෙලා වහගෙන තියෙන්නෙ, මහා ගස් වල එතිලා. එහෙනම්, අපේ හදවතේ තියෙන මහා කැළෑවෙ තියෙන “වල් ගස්” මොනවද කියලා අපි තේරුම්ගන්ට ඕනෑ. “වල්” විදිහට නැගී සිටිනවා, “වල්” විදිහට බලය පවත්වනවා. එහෙනම්, එයා “වල්” විදිහට, කිසි බයක් – චකිතයක් නැතුව, පාපයට ලැජ්ජාවක් නැතුව, බියක් නැතුව, ඕන පවු වැඩක්, ඕන දුස්චරිතයක් කරන්න තමන්ගෙ බලය ක්‍රියාත්මක කරලා, නැගිලා හිටිනවා.

 

තම තමන්ගෙ මට්ටම් වලට ඔය ජාතියෙ “වල් ගස්” අපේ හදවතේ තියෙනවා නැගිලා ඉන්න. ඕවට යාළුවො එකතු කරගන්නවා, හිත මිත්‍රයො එකතු කරගන්නවා. ඒ ජාතියෙම “වලත්තයො” – “වල” කිවුවෙ කැළෑව. කැළෑවෙ ඇත්තන්ට කියනවා, “වලත්තයා” – කැළේ ඇති අය, වලත්තයො. අන්න, වලත්තයො එකතු කරගන්නවා. දැන් වලත්තයෝ පිරිවරා ගත්තහම, වැල් වලින් වට වෙච්ච අරමක් වාගෙ අපේ හදවත, නැත්නම් හිත.

 

මෙන්න සාමාන්‍ය පෘතග්ජනයා ගේ හිතක ස්වභාවය. එහෙනම්, ඔය වලත්තයොත් එක්කලා එකතු වෙලා, වට කරගෙන, බැඳිලා, රැඳිලා, වලත්තකම් වලට නැඟිලා ඉන්න පුද්ගලයෙක් ඉන්නවා නම්, මොනවද “වලත්තකම්” වලට ගැනෙන්නෙ? දස අකුසල්. ප්‍රාණඝාත කරනවා, සත්ව හිංසා කරනවා, අනුන් විවේචනය කරනවා, අනුන්ට නින්දා, අපහාස කරනවා, කය ඝාතනය කරනවා, වචනය ඝාතනය කරනවා, ගුණ ඝාතනය කරනවා, මෙන්න මේ ජාතියෙ ඒවයින් වැහිලා ඉන්නවා නම්, ඒවට තමන්ගෙ බලය ක්‍රියාත්මක කරනවා නම්, ඒවා තමයි “වල් ගස්”.

 

එබන්දෝ සමඟ එකතු වෙලා, අත්වැල් බැඳගෙන, අර දුස්චරිත වූ, අර “වලත්ත” ගතිය ලෝකේ පතුරුවා හරිනවා නම්, ඒක රජ කරවන්න බලනවා නම්, “වැල් වට අරම්” හැදිලා ඉවරයි. ඔන්න ඔය තැන් වල, ඔය පිරිසට කියනවා “වැල්වටාරම් ඇති පිරිස”. ඔයගොල්ලන්ගෙන් ලෝකයට පිටවෙන්නෙ වැඩකට නැති වල්-පල්, කිසීම ප්‍රයෝජනයක් නැති වචන, අනුන්ට හිංගි – හිංසා ඇතිවෙන වචන, අනුන් ගේ දේ හොර, මැර, වංචාවෙන් ගැනීමට, පෙළඹවීමට, විනාස කිරීමට ගන්න වචන, ක්‍රියා කලාප, සුරා, සූදු, දුරාචාර, බොරුවෙන් රැවටීම, කේළමෙන් බිඳවීම, ඵරුෂ වචනයෙන් සැඩ බවට පත් කිරීම, ප්‍රලාපයෙන් මුලා කිරීම, ලෝභ, දැඩි ලෝභකම් කිරීම, “අනුන්ට නොවේවා! මට වේවා!” කියන දෘෂ්ඨියෙන් කටයුතු කිරීම, දැවි දැවී, තැවි තැවී, අනුන්ට හිංගි – හිංසා කරමින්, දාහ හිතකින් යුක්ත වීම, මේ ආකාරයෙන් මුලාවට පත්වෙලා “වැල්වටාරමක්” වීම. මෙන්න මේවා තමයි “වැල්වටාරමේ” තියෙන්නෙ.

 

ඔන්න “වැල් වට අරම” ට අපේ හදවත උපමා කරපු හැටි, පෘතග්ජන හදවත උපමා කරපු හැටි. එහෙනම්, කැලේ මොක්කුද ඉන්නෙ? ඔය මහා වැල්වටාරම් වල අලි ඉන්නවා. හරිම අහංකාරයි, ගාම්භීරකම් පෙන්නනවා. උද්දාමයට පත්වෙලා, මහන්තත්ත වෙලා, ලොකු මිනිස්සු, කෙලි කාරයො, මෙන්න මේකෙ ඉන්න අලි ටික, ඇත්තු ටික. “අපි තමයි ඇති අය, අපේ අයට තමයි තියෙන්නෙ, උඹලා කවුද? උඹලට මොනවද තියෙන්නෙ? උඹලා සොක්කො, අපි ලොක්කො…” දැන් මේක තමයි අපේ හිත් වල ඉන්න, අර “වැල්වටාරමක්” වැනි හිතක ඉන්න අලි ඇත්තු ටික.

 

ඔය කැළෑව ආශ්‍රය කරලා යම්කිසි කෙනෙක් එනවා දැක්කහම, තමංගෙ ලොකු කම පෙන්නලා අනුන් පහත් කරන්න, ගොරොවා පයිනවා. මේ ගොරෝන ගතිය තමයි මේකෙ ඉන්න වලස්සු. කන්ඩ පයිනවා, ගහන්ඩ පයිනවා මේකෙ ඉන්න කොටි, “වැල් වට අරමක්” නැමැති හදවතේ ඉන්න කොටි. ඔවුන් තමයි ක්‍රියාත්මක වෙලා, එලියට බැහැලා, අපේ කායික, වාචසික ක්‍රියා තුළින් ලෝකයට එළි බහින්නෙ. ඒ වාගෙම කවුරුහරි දැක්කොත්, පොඩ්ඩක් ඇත්නම් කුපිත වෙලා, නොයෙක් ආකාරයෙන් ගහනවා, අනිනවා, සැඩ බවට පත්කරනවා, පුම්බාගෙන, මූන පුප්පාගෙන ඉන්න ගති ලක්ෂණය, මේකෙ ඉන්න නයි. පොඩී වරදකටත්, මහා විනාසයක් කරනවා මේකෙ ඉන්න පොළොංගු. හොරෙන් හැංගිලා ඉඳලා අනුන්ට “කටුව ගහනවා” කියලා එකක් තියෙනවා නේද? මේකෙ ඉන්න කුණකටුවෝ. “වැල් වට අරමක්” නැමැති හදවතේ ඉන්න සත්තු ඔය කියන්නෙ. ඒ වාගෙම කිසීම හරයක් නැතුව, ඕන එකකට අනුන් පහත් කරන්න හූ කියනවා, පාච්චල් කරනවා, කෑ ගහනවා මේකෙ ඉන්න නරි ටික. ඔය ඉන්නෙ, වැල් වට අරමෙ ඉන්න නරි. තමංගෙ තරම දන්නෙ නෑ, ඕනෙ හොඳ තැනකට, වැදගත් තැනකට ගිහිල්ලා, ගඳ පෙනි පෙනී, දුස්සීල දුර්ගන්ධයෙන් උන් මහා ලොක්කො වාගෙ පේන්න යනවා, මේකෙ ඉන්න උරුලෑවො. ඔය ඉන්න කොටස්…

 

ඉතින්, ඕවා මේ අපෙන් විද්‍යාමාන වෙනවා, පෘතග්ජන වැල්වටාරම්, වල්-පල් සහිත මානසිකත්වයක් අපිට තියෙනවා නම්, ඕවා මේ ලෝකේ මනුස්සයින්ගෙන් ම ලෝකෙට විද්‍යාමාන වෙන දේවල්. ඔය විදිහෙ නානාප්‍රකාර සත්තු මේකෙ ඉන්නවා.

 

මානෙන් ලොකු වෙලා, තමංගෙ තියෙන කෑල්ල ලොකුවට පෙන්න පෙන්න, වත්කම් පෙන්නලා, අනික් අයට හොල්ලලා පෙන්නනවා, මොකද… ගස් උඩ හිටං අර වැල් වට අරමෙ ඉන්න වඳුරො, උඩින් හොල්ලලා පෙන්නනවා, තමංගෙ තරම පෙන්නන්න යනවා. නමුත්, දිග නැට්ටක් තමන්ට එල්ලි – එල්ලී තියෙන බව පේන්නෙ නෑ. ඔන්න ඔය වගේ ගති ලක්ෂණ තමයි වැල් වට අරමක් වැනි හදවතක් තියෙන පුද්ගලයාගේ ඇතුලෙ ඉන්න සත්තු ටික, වල් සත්තු ටික.

 

එබඳු වන්නාවූ පෘතග්ජන, “අශ්‍රැතවත් පෘතග්ජනයා” කියන දහම් නොදත් පෘතග්ජනයාගේ ගති ලක්ෂණ ඔන්න ඕවයි. අන්න, “අශ්‍රැතවත් පෘතග්ජනයෙක්” හොයාගන්න තියෙන ලක්ෂණ. හැබැයි නමට මුලු ත්‍රිපිටකයම කටපාඩම් කරගන්න හිතලා කියෙවුවත්, චරිත ලක්ෂණයෙන් ඔය ටික පේනවා නම් “අශ්‍රැතවත් පෘතග්ජනෝ” කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නපු කෙනෙක් මයි. ඇයි? අනුගමනය කරලා, “වැල් වට අරම” සුද්ධ කරලා නෑ, “වල් – පල්” අහක් කරලා නෑ.

 

{0:41:59} : බාල ඇසුරෙන් ආදීනව දැක වෙන්වෙලා, පිං කෙත හදමු

එහෙනම්, මොකද්ද මේ කිවුව උපමාව? අපිට ආවෙ මොකෙන්ද? “අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති” කියන මෙන්න මේ පදය එදා සුද්ධ ඇතුව විග්‍රහ කරලා තිබුණා හෙළ අටුවා වල. අන්න ඒ ටික නැති වුනාට පස්සෙ, පළවැනිම ගුණ වල, ඉස්සෙල්ලාම අතට ගන්න තියෙන බේත් සීට්ටුව වැහිලා ගියා. බෞද්ධ වෙන බේත් සීට්ටුවෙ පළවැනි බෙහෙත් සීට්ටුව වැහුනා ඕකෙන්. දැන් අපි ආයිත් විවෘත කරගන්ට ඕනෑ, වැහිච්ච බෙහෙත් සීට්ටුව සුද්ධ කරලා, අර වැහිලා තියෙන දැලි ටික අහක් කරලා, මඩ ටික අහක් කරලා, බෙහෙත් සීට්ටුව ඔප කරලා, කලු මැදලා අරගෙන, බලන්ඩ ඕනෑ තියෙන්නෙ මොනවද කියලා. දැන් ඒක තමයි මේ කරගෙන යන්නෙ.

 

එහෙනම් දැන් අපි බලනවා, මොකද්ද? “ලෝකයේ අනුත්තර වූ පිං කෙතක්” කියනකොට, අන්න “කෙතකට” කරපු උපමාවක් ඔතන තියෙනවා. “කෙත” උපමා කරගෙන අපි ඇතුලෙ කෙත හදන හැටිත්, බාහිර ලෝකයේ ගොවියෙක් කෙත හදන හැටිත්, උපමා සංසන්දනය කරලා, මේ ගුණය විග්‍රහ කරලා දැනගන්ට ඕනෑ, බේත් සීට්ටුව සුද්ධ කරගන්ට ඕනෑ.

 

එහෙනම් කොහොමද සුද්ධ කරගන්නෙ? කෙතක් හදන්ට ඕනෑ කරන ගොවියෙකුට, පෙර කවදාවත් කෙතක් හදලා තිබිච්ච නැති බිම් ප්‍රදේශයක් ඉස්සෙල්ලාම හමුවෙනවා. එහෙනම්, ඒ බිම් ප්‍රදේශය බලනකොට ඒ ගොවියට ඕනෑ වෙනවා සශ්‍රීක ගොඩබිමක් තියෙන තැනක්. හැබැයි සශ්‍රීක ගොඩබිමක ම තමයි අර මහා ගස් වැවිලා, මහා වැල් වටවෙලා, අර සත්තු ඔක්කෝම ඉන්න බිමක් හම්බවෙන්නෙ. එහෙනම් “මේ බිම නම් හදාගත්තොත් මට ගොවිතැනට හොඳයි, කෙතක් හදාගන්න හොඳ බිම නේ. මෙහෙම තියෙද්දි කෙතක් නැතුවත්, මේ බිම හොඳට කෙතක් කරගන්න පුලුවන්…” මෙන්න ගොවියා තීරණයක් කරනවා “කෙතක්” හදන්න. ඒ ඉන්න, ලෝකෙ ඉන්න ගොවියගෙ වැඩේ.

 

දැන් අපිත් ඉස්සෙල්ලාම දකින්ට ඕනෑ, දැන් ගොවියා බලපුහාම එකපාර කැලේ රිංගන්නෙ නෑ, කැලේ හැටි බලනවා. අන්න කැළෑවෙ හැටි බලනකොට අපි ඉස්සෙල්ලා කිවුවා අලි, කොටි, වලස්සු, ගෝන්නු, මුවො, ඒ වාගෙම සර්පයො, ඔක්කෝම හිටපු කැලේ හැටි දකිනවා. “දැන් මෙහෙම තියෙද්දි නම් කවදාවත් මේක වපුරන්න සුදුසු කෙතක් නෙමෙයි. එහෙනම්, මේ කෙත හදන්න නම් මොකද ඉස්සෙල්ලම කරන්න ඕනෙ? මේ මහා වනාන්තරයක් වෙලා තියෙන ගස් – වැල් ටික ඉස්සෙල්ලා බිම දාන්ට ඕනෑ…” ගොවියා හිතනවා ගස් වැල් ටික ඔක්කෝම බිම දාන්න, කපලා දමන්න ඕනෑ. අවශ්‍යය කරන ආයුධ අරගෙන, පිරිස අරගෙන ගිහිල්ලා ඉස්සෙල්ලාම මොකද කරන්නෙ ගොවියා? අර මහා කැළෑවෙ තියෙන වල් ගස් සහ වල් වැල් කපලා බිම හෙළනවා.

 

මෙච්චර කාලයක් අර වල් ගල්, වල් වැල් වැහිලා තිබිච්ච නිසා ඉර එළිය පොළවට වැටෙන්නෙ නැතුව තිබුණෙ. දැන් මොකද වෙන්නෙ? ගස් ටික කපලා දැම්මා විතරයි, අර අඳුරෙන් වැහිලා තිබිච්ච, උඩින් වැහිලා තිබිච්ච වැස්ම ඉවරයි, ගස් වැල් වල තිබිච්ච අඳුර ඉවරයි, දැන් පොළවට අවුව වැටෙන තත්වෙට පත්වෙලා, ගස් වැල් බිම වැටිලා එළිය වැටුනා. එහෙනම් කැළෑවේ අඳුර තිබුණා මිසක් කැලේ තියාගෙන නම් එළි කරන්න කවදාවත් බෑ. ඉස්සෙල්ලා එළිය හදාගන්න ඕනෑ. අන්න, ඉර එළිය පොළවට වැටෙන්න දැන් හරිගියා. දැන් පොළවෙ තියෙන එකක් පේනවා. දැන් ඔය ඉර එළිය තියෙන ප්‍රදේශයට අර අඳුරෙ හිටපු, අර ගස් වැල් අස්සෙ හිටපු කිසිම සතෙකුට දැන් ඉන්න පරිසරයක් නැතුව ගියා.

 

දැන් මොකද වෙන්නෙ? අලි හිටියා නම් පැනලා යනවා, කොටි – වළස්සු හිටියා නම් පැනලා යනවා, නයි – පොළොංගු, සත්තු හිටියා නම් පැනලා යනවා, දැන් මොකද කරන්නෙ, අර කැලේ බිම දාලා නතර කරන්ට බෑ, ඔය ටික පුච්චලා දමලා, ඔක්කෝම එකම ගින්නක් කරලා, දවලා, අළු කරලා දානවා අර ගොවියා. දැන් හේන වාගෙ, දවපු හේන වාගෙ ඔක්කෝම ගස් කොලං අළු වෙලා ගියහම, වල් සතෙකුට ඉන්ඩ දැන් කොහොමත් සුදුසු පරිසරයක් නොවන තත්වෙට පත්වුනා.

 

මෙන්න ගොවියා කෙත හදපු හැටියට අපිත් දැනගන්ට ඕනෑ අභ්‍යතරයේ කෙතක් හදාගන්න. එහෙනම් හදවත මහා වනාන්තරයක් වෙලා තිබිච්ච, මාන්නක්කාර කම, අසත්පුරුෂ ව නැගී හිටපු ගති ලක්ෂණය, ඒ හා සමඟ එකතු වෙලා හිටපු පිරිස සමඟ තියෙන සම්බන්ධතාවය, මේවා කපලා, කොටලා, විනාස කරලා බිම දාන්න ඕනේ. එහෙනම් ඉස්සෙල්ලාම මාන්නක්කාරකම නැති කරලා, පුහු මාන්නෙ නැති කරලා, අසත්පුරුෂ ගති වලින් නැගී හිටින ගති නැති කරලා, ඒ සමග බැඳිලා, රැඳිලා ඉන්නාවූ පිරිස සමඟ තියෙන සම්බන්ධය නැති කරලා… (සුළු කොටසක් මඟහැරී ගොස් ඇත) අන්න සුද්ධ කරගත්තා නම් ගොවියා ගස් වැල් කපලා, බිම දාලා හදපු කැළෑවෙ තිබුණ යම් තත්වයක් ඇත්ද, දැන් ඒ තත්වෙට පත්වුනා. හදවත නැමැති කැළෑව දැන් ඉවරයි.

 

එහෙනම් හදවත නැමැති කැලේ සුද්ධ කරගැනීම කාටවත් කරන්ඩ බෑ, අපි මේ පුහු මාන්නක්කාර ගති, පුහු අහංකාර ගති, වැඩක් නැති හිස් ගති ලක්ෂණ වල නැගී සිටීම, අපි මේ සියල්ලම අපි විසින්ම අත්හැරගන්න ඕනෑ, මේක කාටවත් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඒ අඩුපාඩුව තේරුම් අරගෙන, වන සත්තුන්ට ගැවසෙන්ට වෙන්නාවූ පරිසරය යම් සේ වනාන්තරයක් ද, “අපේ හදවත තුළ ඔය නොයෙක් ආකාර වල් සත්තු ගැවසෙන්නෙ මෙන්න මේ කැළෑව තිබුණොත් තමයි” කියලා හිතාගෙන, හදවතේ කැළෑවෙ ආදීනව දැනගෙන, ඔන්න ඔය ජාතියෙන් පළමුව මොකද කරන්ට ඕනෑ, “අසේවනා ච බාලානං” කියන තත්වයට පත්වුනා වූ ආකාරයෙන් ම “බාල ආශ්‍රය” හෙවත් පාපී, මුලා ගති ඇති පුද්ගලයන්ගෙ ඇසුර අහක් කරලා, තමාගේ එබඳු ගති ලක්ෂණ බිඳ හැරියා නම්, අන්න අපි ගස්-වැල් කපා දාපු හදවතක් හදා ගත්තා.

 

{0:48:15} : සිවුපිළිසිඹියා ඥාණයට හසුවන සත්ව සංඛාර නිරුක්ති

එහෙනම්, එබඳු හදවතකට අහංකාරකම, මාන්නක්කාරකම, ලොකුකම, කඩා පණින සැර ගතිය, තරහ ගතිය, එකක් වත් එන්ඩ ඉඩ නෑ. අනුන්ට සාප කරන ගති, අනුන්ට වින කරන ගති, දොස් කරන ගති ඒ හිතක පහල වෙන්න විදිහක් නෑ, ඒ ජාතියෙ සත්තු ඇතුලෙ නෑ. ඒ වාගෙම ගුණ මකු ගතිය, කුණු කටු ගතිය අභ්‍යන්තරයෙ නෑ දැන්. වඳුරු ගතිය නැති වෙනවා, රිලා ගතිය නැති වෙනවා, රිසි දේ ලොවන ගතිය නැති වෙනවා. රිසි දේ ලොවනකොට, රිසි දේ ලොවලා තමයි “රිලවා” කියන එකට පත්වෙන්නෙ.

 

“වාන්” කියලා පෙන්නන්නෙ බැඳිලා තියෙන බැමි. නැත්නම්, ලෝකයට, යහපතට, සුචරිත බැමි තියෙනවා. ඔය බැමි දුරු කරපුහාම, “වාන්” දුරු කරපු එකා, “වාන් දුරු” කරන නිසා, “වාන් දුරු – වඳුරු” වෙනවා.

 

“මම තමයි ඇති එක්කෙනා” කියන, “අනික් අය නැති එවුන්” කියලා, ඔය මාන්නක්කාර, අහංකාර කමෙන් ඉන්නකොට, “ඇති එකා – ඇතා” වෙනවා. “ඒ මගෙ පිරිස තමයි ඒ…” ලොක්කා කියලා හිතාගෙන ඉන්නකොට, ඒකාගෙ තැන අල්ලාගත්ත එකා, “අල්ලියා – අලියා” වෙනවා. අලි – ඇත්තු හැදෙන හැටි.

 

ඒ වාගෙම, හොඳ හොඳ දේවල් පොල පොලා වෙන් කරලා, අංග වෙන් කරන්න ගිහාම, අංග පොළලා, වෙන් කරලා ගන්න නිසා, “පොළ අඟා – පොළඟා” වෙනවා.

 

කුණු, පහත් වැඩ අරගෙන, අනුන්ට කටුව ගහන ගති නිසා “කුණු කටුවා” වෙනවා,

 

ඔය ගති ලක්ෂණ එකක් වත් දැන් හිතේ හටගන්නෙ නෑ, ඔය ටික අහක් වෙනකොට. ඕවා තමයි “නිරුක්ති”. සත්තුන්ගෙ නමේ තියෙන අර්ථයෙන්, සතා හැදිච්ච අර්ථය, ධර්මය, නිරුක්තිය ඕකයි. සිවුපිළිසිඹියාවට ගෝචර වෙනවා සත්තු හැදෙන හැටි, නම හැදිච්ච හැටි, ඒකට හේතුව, ඔය ආදී වශයෙන් ලෝකයේ ධර්මයෙන් හොඳට පැහැදිලිව පෙන්නුම් කරලා දෙනවා.

 

දැන් ඔය එකකට වත් ඇතුලෙ ඉන්ඩ නැතුවහම මොකද වෙන්නෙ? ඔය කියන්නාවූ අසත්ධර්මයන් හේතුකොටගෙන ගත්ත ගති ලක්ෂණ, ක්‍රියා කලාප සහ කථා විලාස අපි තුළින් පළමුව දුරු වෙනවා, කාටවත් මේක කරලා දෙන්ඩ බෑ, ඒකෙ අවැඩ දැනගෙන, වනචාරි ගති ලක්ෂණ එන හැටි දැනගෙන, වනාන්තරයක් වැනි තත්වයෙන් හිත තිබුණොත් වෙන විනාසය දැනගෙන, ඒ ආදීනව දැකලා මේවා කපා හැරියා නම්, බිඳ හැරියා නම්, අන්න ගොවියා කෙත හදන්ට ඉස්සෙල්ලාම කරපු වැඩේ අපි හදවතේ කරගත්තා වෙනවා. මෙන්න කෙතක් හදන හැටි. අභ්‍යතරයේ කෙත මෙහෙම හදන්ට ඕනෑ, බාහිර කෙත හදන එක උපමා කරගන්ඩ ඕනෑ. “ඒවං උපසංහරති” – මෙසේ සංසන්දනය කරලා බලන්ට ඕනෑ.

 

අන්න, ගොවියා ඊලඟට මොකද කරන්නෙ, අර ඔක්කොම අලු කරලා දැම්මට, වටේ තියෙනවා තව කැළෑව. ඔය වටේ කැලෙන් කොයි වෙලාවක හරි අඳුරු වෙලාවක් ආවොත් එහෙම, අවස්ථාවක් ආවොත් එගෙම, අර කැලේ ඉන්න එවුන් ඇවිදිල්ලා, අර පුච්චපු එකට ඇවිදිල්ලා, පොඩි කරලා දාලා, විනාස කරලා යන්න පුලුවන්. ගහක් – කොළක් හිටවන්න සුදුසු නෑ “වැටක්” බැන්දෙ නැත්නම්.

 

{0:51:15} : සුචරිත වැට සහ මෙත් සිසිල් දිය දමා පිං කෙත අස්වද්දමු

එහෙනම් මොකද කරෙන්නෙ? නැවත පැළවෙන්නෙ නැති අර පිච්චිලා ගිය කෑලි අරගෙන, නැත්නම් කොවුල් කෑලි ඉතුරු වෙච්චා එහෙම අරගෙන, වටේට “දඬු වැටක්” ගහගන්නවා, කෙත හදන්න ගොවියා. මොකටද? පිට ඉන්න සත්තුන්ට සීමා කරගත්ත, සුද්ධ කරගත්ත හරියට ඇතුල් වෙන්ඩ ඉඩ නොදී.

 

එහෙනම් අපිත් මොකද කරන්න ඕනෙ, ඉස්සෙල්ලාම “දඬු වැටක්” ගහගන්න ඕනෙ. මොනවද මේ දඬු වැට? “මම ප්‍රාණඝාත කරන්නෙ නෑ, කරවන්නෙ නෑ, කරන අයට අනුබල දෙන්නෙ නෑ, කිරීම වර්ණනා කරන්නෙ නෑ. එබන්දන් එක්ක මගෙ ඇසුරක් නෑ.” ඒවට වැට බැඳලා.

 

“සුරා, සූදු, දුරාචාර කරන්නෙ නෑ, කරවන්නෙ නෑ, අනුබල දෙන්නෙ නෑ, ඒවා වර්ණනා කරන්නෙ නෑ, ඒවායින්, ඒ පිරිස එක්ක මගෙ සම්බන්ධයක් නෑ…” ඒ එක සම්බන්දෙ නැති වෙන්න වැටක් බැඳගෙන. ශික්ෂා පදයක් අරගෙන, පංච දුස්චරිත වලින් වෙන් වෙන්න සමාදන් වෙලා.

 

“බොරුවෙන් රවට්ටන්නෙ නෑ, මුලාවට පත්කරන මුලා සහගත දේවල් කියන්නෙ නෑ, අසත්‍ය දෙයක් සත්‍ය හැටියට කියන්නෙ නෑ, ධර්මය අධර්මය කරලා කියන්නෙ නෑ, ධර්මානුකූලව ඇත්ත කතා කරනවා…” වැටක් බැඳගත්තා.

 

මෙන්න මේ ආකාරයෙන් පංච දුස්චරිතයෙන් වෙන් වෙච්ච වැටක් බැඳගන්නවා වටේට. දැන් මොකද කරන්නෙ? ගොවියා දඬු වැට දාගත්තා, අපි “හදවතට වැටක්” දාගත්තා බාහිර අසත්ධර්මයන්ට ඇතුල් නොවන්ට.

 

හැබැයි දැන් ගොවියා වැට හදාගත්තට, බීජයක් වපුරන්න තව එක දෙයක් අඩුයි. මේකට වතුර නෑ. එහෙනම් මොකද කරන්නෙ? ගොවියා කල්පණා කරනවා, “මෙහෙම තියෙද්දි නිකං වතුර දැම්මොත් බෑ, වතුර හිටින්න දාගන්න ඕනෙ…” එහෙනම්, අවශ්‍යය කරන ඇල – වේලි බැඳලා, නියරවල් බැඳලා, වතුර පාරක් හරවා ගන්නවා තමන් හදාගන්න කෙතට. පස හදාගෙන, සමතලා කරගෙන, සමතුලිත තත්වයට පස හදාගෙන, නැත්නම් පස සමතුලිත කරගෙන, වතුර දාගත්තහම, වතුර පාර හරවා ගත්තහම ක්‍රමානුකූලව, දැන් නම් බීජයක් දැම්මොත් හොඳට පැළවෙන්ඩ සියලු ඉඩ කඩ තියෙනවා.

 

අන්න ගොවියා කෙත හැදුවා. දැන් අපි අභ්‍යතරයේ “හදවතේ කෙත” හදන එකේ අඩුව හදාගන්න ඕනෑ, ගොවියා උපමා කරගෙන. මොකද කරන්නෙ? “කරුණා මෛත්‍රී සිසිල් ජලාශය” හදවතට හරවා ගන්ඩ ඕනෑ. එහෙනම් “සියලු සත්වයින් කෙරෙහි හිතානුකම්පා” හිත ගන්ඩ ඕනෑ. මෙන්න මේ කරුණා, මෛත්‍රී සිසිල් ජලාසය හදවතට හරවගෙන, මෙත්තා සහගත භාවනානුයෝගීව, ඒක කඩ වෙන්න නොදී, නිතර හදවත කරුණාවෙන්, මෛත්‍රියෙන් පිරී හිටින තත්වයට පත් කරගන්න ඕනෑ. මෙන්න මෙතෙන්ට පත් කරගත්තහම, අන්න “පිං කෙතක්” හදාගෙන අපිත් තියෙනවා, දැන් දාපු දාපු බීජය, “පිං බීජය” දැන් පැළ වෙනවා.

 

හැබැයි දැන් “පිං කෙතක්” බවට හදාගත්තා, තව “අනුත්තර” කරගත්තෙ නෑ. ඒක “අනුත්තර පිං කෙතක්” වෙන්න නම් මොකද කරන්න ඕනෙ? හදාගත්ත කෙතට දාන බීජය “ආර්ය බීජයක්” හෙවත් නිවන් දැකීමට හේතු කාරක වෙන දහම් බීජයක් වෙන්ඩ ඕනෙ. මෙන්න, නිවන් දැකීමට හේතු කාරක වන දහම් බීජයක් රෝපණය කරගන්ට හදවත ඇතුලෙ කෙතක් හදාගත්තා, “අනුත්තර පිං කෙතක්”.

 

දැන් මෙන්න මේකට සුදුසු තත්වෙට පත් කරගත්තා නම් අපි ඔය විදිහට අපේ ප්‍රායෝගික ක්‍රියාවලියෙන්, “අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති” කියන ගුණයට අපි ඇතුළත් වුනා වෙනවා. මෙන්න ගුණ වෙච්ච හැටි. ඔය ගුණය අපි ලඟ නැතුව, කොච්චර බණ ඉගෙනගත්තත්, කොච්චර තර්ක – වාද කළත්, තර්ක වලින් කොච්චර දිනුවත්, “මම බුදු දහම දන්නවා” කියලා හිටියත්, ආර්ය මාර්ගය පූර්ණය කරන ගුණ මාර්ගයට ඇතුළත් වෙන්ඩ බෑ.

 

එහෙනම්, අපි දැනගන්ඩ ඕනෑ “අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති” කියන ගුණයට වැඳ වැඳා ඉඳලා මදි, ඔන්න ඔය ක්‍රමයෙන් ගුණය තේරුම් අරගෙන, ඒ ගුණයට ඇතුළත් වෙච්ච දාට, “මම ගුණයක් තුළට පිවිසුනා” කියන්නාවූ සතුට අපිට ලබන්ඩ පුලුවන්. එහෙනම්, මේ ආර්ය මාර්ගය අනුගමනය කිරීමේ පළමුවැනි පඩියට, නැත්නම් පළමුවැනි ගුණ වෙන බෙහෙත, බෙහෙත් කසාය හදලා, පානය කරලා, ඒ මට්ටමට නිරෝගී වුන කෙනෙක් වෙනවා.

 

{0:55:33} : “අංජලිකරණීය” වෙන්න “අංගුලිකරණීය” දුරලන්න ඕනෙ

එහෙනම්, “අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති” කියන ගුණයට ඇතුළත් වෙලා, ආර්ය මාර්ගයට, මාරයාට නොපෙනෙන මාර්ගයට ඇතුළත් වුන කෙනෙක් වෙනවා. එහෙනම්, ඒ පුද්ගලයාට කවදාවත් ඇලීමෙන්, ගැටීමෙන්, මුලාවෙන් ඇති කරන්නාවූ ආපදාවන්ට ඉඩක් නෑ. ඔය පළවෙනි පදෙන් තේරුම් අරගෙන, අපේ ජීවිතය ඔතෙන්ට හැඩ ගහගත්තා නම්, මෙන්න ආර්ය ගුණ උඩින් 24 වැනි ගුණයට ඇතුළත් වුන කෙනෙක් වෙනවා.

 

මේ ඇරෙන්ඩ, ඒ ටික නොකළොත්, අපිට පුළුවන් කමක් නැහැ ආර්ය මාර්ගය ලබලා දිනන්ට. එහෙනම්, මෙන්න දිනන මාර්ගය. ජය මග එතන. ඉතින් මේ ටික පැත්තකින් තියලා, අපි වෙන මොනවා කිවුවත්, මොන “ඉරි සිවුරු” කියලා, මොන “අභිඥා ලාභීන්” හම්බ වෙන්න ගියත්, මොන විදිහේ සීලවන්ත, ගුණවන්ත හාමුදුරුවන් ගෙන් බණ ඇහුවා කිවුවත්, බුදුරජාණන් වහන්සේ පහල වෙලා ධර්ම දේශනා කළයි කිවුවත්, මහ රහතන් වහන්සේලාගෙන් බණ ඇහුවා කිවුවත්, අපි අපේ වැඩේ කරගත්තෙ නැත්නම් ඔය විදිහට, අපිට නම් ගුණයකට පත්වෙන්ඩ බැහැ, “ගුණ වෙන්ඩ” බෑ. ගුණයෙන් ප්‍රයෝජනය ගත්තා වෙන්නෙ නෑ.

 

එහෙනම් දැන් මොකද කරන්නෙ? ඔන්න ඔය ක්‍රමයට පළවැනි ගුණයට අපි ඇතුළත් වුනොත්, අන්න පළවැනි දහම් ඖෂධය බිවුවා වෙනවා, භව රෝගය සංසිඳුවා ගැනීමේ පළවැනි බෙහෙත් පංතිය පාවිච්ච් කරලා, ඒ මගින් යම් නිරෝගී තාවයක් ලැබිය හැකිද, එතෙන්ට පත්වුනා වෙනවා. දැන් මොකද්ද අපි ඊලඟට කරන්නෙ? ඊලඟ ගුණයටයි දැන් යන්න තියෙන්නෙ. මොකද්ද ඊලඟ ගුණය? “අඤ්ජලිකරණීයෝ”

 

“අඤ්ජලිකරණීය” කියන ගුණයට දැන් අපිට ඇතුළත් වෙන්ඩ තියෙනවා. දැන් අපි එක බෙහෙත් සීට්ටුවක් බීලා ඉවරයි. ඒකෙන් සුව වෙන හරිය සුව වුනා. තව පාරක් සුව කරන්න දෙයක් නෑ. දැන් අපි සුව කරගෙන යනවා, ඊලඟ බෙහෙත් සීට්ටුව ගන්නවා. පොඩ්ඩක් සුවයි, ඉතින් “මහා වෛද්‍යවරයාණන් වහන්සේ” දීලා තියෙන බෙහෙත ඉගෙනගත්තා, බෙහෙත් සීට්ටුව ඉගෙනගෙන, ඒ මග අනුගමනය කරපු වෛද්‍ය පිරිස තමයි භික්ෂු – භික්ෂුණී ආදී වශයෙන් හෝ වේවා, යම් ධර්මධරයන් වහන්සේලා විය යුත්තෙ.

 

එහෙනම් උන්වහන්සේලා බලනවා, “පළවෙනි බෙහෙත් පංතිය නම් හම්බවෙලා තියෙනවා. කොහොමද නාඩි වැටීම? හොඳයි නෙ, කම්පා අඩුයි නෙ! වෙනදා නම් ආපුහාම එහෙ දුවනවා, මෙහෙ දුවනවා, නිච්චි නෑ, අරයගෙ ඒවා, මෙයාගෙ ඒවා, වැරදි, බැණුම් ඉවරයක් නෑ, මට මෙහෙම කිවුවා, අරහෙම කිවුවා, දැන් බලනකොට කම්පා අඩුයි, නාඩි වැටීම අඩුවෙලා. ප්‍රමාණයට ඉක්මවා තිබිච්ච උණ බැහැලා. රත් වෙන්නෙ නෑ දැන්. රත්වීමත් අඩුවෙලා, උණත් අඩුයි..” බලනවා පරීක්ෂණයක් කරලා, රෝගියා පරීක්ෂා කරලා බැලුවා, දැන් හරි. මොකද වෙන්නෙ? දැන් දෙවෙනි බෙහෙත් සීට්ටුව දෙන්ඩ සුදුසුයි.

 

අන්න දේශකයන් වහන්සේ දෙනවා දෙවෙනි බෙහෙත් සීට්ටුව. මොකද්ද? එහෙනම් දැන් ඉතින් “අඤ්ජලිකරණීය” බෙහෙත් සීට්ටුව බොන්න. ඒක විග්‍රහ කරලා දෙන්නම්, තේරුම් කරලා දෙන්නම්. ඒකට පත්වෙන්න, ඉතුරු ටික සුව කරගන්න. මෙන්න මේ බෙහෙත් සීට්ටුව අපිත් දැන් ඊලඟට බලන්න ඕනෙ.

 

“ඇඳිලි බැඳ නමස්කාර කිරීම අඤ්ජලිකරණීයයි” කියලා අපිට කියාදීලා තියෙනවා, ඔච්චරයි තියෙන්නෙ. බේත් සීට්ටුවෙ “පොටෝ කොපියක්” නම් හම්බවෙලා තියෙනවා. හැබැයි වෙන පැත්තකට හරවලා දුන්න “පොටෝ කොපිය” මිසක්, ඒකත් පැටලිලා. “අඤ්ජලිකරණීය” කියන්නෙ මොකද්ද අහපුහම ඉතින් “ඇඳිලි බැඳ නමස්කාර කරනවා” කියනවා. අපිට විග්‍රහ කරගන්ඩ, අභ්‍යන්තරයේ තිබිච්ච හරය ගන්ඩ බැරිවුනා.

 

එහෙනම්, දැන් අපි හරය හොයන්ඩ ඕනෑ. මොකද්ද ඒ “අඤ්ජලිකරණීය” කිවුවෙ? ඒකෙ තේරුම මොකද්ද? මේ ලෝකයේ පුද්ගලයො ඉන්නෙ කොතනද? “අංගුලිකරණීය” වෙලා ඉන්නෙ, “අංජලිකරණීය” වෙන්ඩ ඕනෑ. මොකද්ද “අංජලිකරණීය” කියන්නෙ, මොකද්ද “අංගුලිකරණීය” කියන්නෙ?

 

“අංගුලි” කියන්නෙ? අපේ ඇඟිලි වලටත් අංගුලි කියනවා. මේ අත් වල අගට අඬු 10 ක් දික් වෙලා තියෙනවා, “දස අංගුලි” හෙවත් “දස ඇඟිලි” කියලා අපි ඕවට කියනවා. ඇයි මේවට “අංගුලි” කියන්නෙ? අංග ගුලි කරගන්න නිසා අංගුලි කියනවා. “අංග ගුලි කරගෙන්නෙ අංගුලි යි”. මේ නිරුක්ති දකින්ඩ ඕනෑ දහම් තෝරාගන්න. අපි මේ ඇඟිලි දහය ට “අංගුලි” දහයක් කිවුවෙ, අංග ගුලි කරගන්නවා දහයක්. දහයක් අංග ගුලි කරගන්න ලක්ෂණයෙන් අංගුලි දහයක් අපිට හම්බවුනා. “අංග” හොයන්ඩ ඉස්සෙල්ලා, “අංග” කියන්නෙ මොනවද කියලා හොයාගෙන ඉන්ඩ ඕනෑ.

 

යම් තැනක “අං ගෑවෙනවා” නම්, “අංග” ලක්ෂණය එතන දැක්ක හැකියි. “අං” වලින් මොකද්ද කරන්නෙ? අං තියෙන සතෙක් අඟක් යම් තැනක ගානවා නම්, හරි ආස්වාදයක් එහෙම එයිද? කැක්කුමක්, වේදනාවක් එයිද, රිදෙයිද? තැල්මක් හටගනියිද? අඟක් යම් තැනක ගෑවුනොත් කැක්කුමක්, වේදනාවක්, තැල්මක්, පොඩි වීමක් මිසක් සුවයක් නම් හම්බවෙන්නෙ නෑ. අන්න, අං ගෑවෙන යම් ස්වභාවයක් ඇත්ද, ඔය ස්වභාවයට කියනවා “අංග” කියලා.

 

{1:01:30} : දස අකුසළය දිය කර හරිමින් “අංජලිකරණීය” වෙමු

ඔන්න ඔබඳු, ගෑවුනහම තැලෙන, පොඩි වෙන, රිදෙන, අවැඩක් වෙන කාරණා දහයක් තියෙනවා. මොනවද මේ කාරණා දහය? ප්‍රාණඝාතය, සත්ව හිංසාව යමෙක් කරනවා නම්, හිත ඝාතනය කරනවා නම්, කය ඝාතනය කරනවා නම්, වචනය ඝාතනය කරනවා නම්, චරිත ඝාතනය කරනවා නම්, මෙන්න මේ කරපු කරපු තැන රිදෙනවා, පොඩි වෙනවා, නරකක් වෙනවා මිසක් හොඳක් වෙන්නෙ නෑ. මෙන්න පළවෙනි ගෑවෙන අංගය. ඔන්න අංගයක්, අං ගෑවුනා. රිදෙන දෙයක්, තැලෙන දෙයක් උදා වුනා. එහෙනම්, මෙන්න මේකට කියනවා, “ප්‍රාණඝාතය අංගයක්”. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යුක්ත මේ ලෝක සත්වයා ඔය ප්‍රාණඝාතය නැමැති අංගය ගුලි කරගෙන… ඔන්න “අංගුලියක්”.

 

යම් කෙනෙක් අනුන් සතු දේ හොරෙන්, බලෙන් මංකොල්ලෙන් ගන්නවා නම්, කඩා – බිඳ දානවා නම්, විනාස කරනවා නම්, අනුන්ට රිදෙනවා, තැලෙනවා, පොඩි වෙනවා, අවැඩක් වෙනවා. අන්න, අදත්තාදානය තවත් “අංගයක්”. ඕකත් මේ සසරෙ ගමන් කරන සත්වයා ගුලි කරගෙන යන්නෙ. ඔන්න තවත් “අංගුලියක්”.

 

ඒ වාගෙම සුරා, සූදු, දුරාචාර ආදී දුස්චරිතයක් කරනවා නම්, ලෝකයාට රිදෙනවා, තැලෙනවා, පොඩි වෙනවා, අවැඩක් වෙනවා. ඔන්න ඔය කියන සුරා, සූදු, දුරාචාර සහිත, කාම මිත්‍යාචාර සහගත වන්නාවූ “අංගයක්” ගුලි කරගෙන යනවා. ලෝක සත්වයා සසර සැරිසරණ හැටි.

 

බොරුන්වෙන් අනුන් රවට්ටනවා, අභූත චෝදනා නඟනවා, අනුන්ට අවැඩ කරනවා, අධර්මයක් ධර්මය කියලා කියාදෙනවා, ධර්මයක් අධර්මය කියලා කියාදෙනවා. මොකද්ද සිද්ධ වෙන්නෙ? තැලෙනවා, පොඩි වෙනවා, රිදෙනවා, අවැඩක් වෙනවා. අන්න, හතරවෙනියට මුසාවාදය නැමැති “අංගය” ගුලි කරගෙන. ආන් තව “අංගුලියක්”.

 

ප්‍රිය භාවය ශුන්‍ය කර දමනවා, සමගිය බිඳ හරිනවා, අවැඩක්, අසාධාරණයක්, දුකක්, කරදරයක් ලෝකයට සිද්ධ වෙනවා. ප්‍රිය භාවය ශුන්‍ය කරන “අංගයක්” ගුලි කරගන්නවා, පිසුනාවාචා!

 

සැඩ බවට පත්කරනවා, වෛර – ක්‍රෝධ ඇති කරවනවා, එකිනෙකා බිඳවනවා, දැවෙන්න – තැවෙන්න සළස්වනවා. සත්වයාට තැලෙනවා, පොඩිවෙනවා, රිදෙනවා, අවැඩක් වෙනවා, පරුෂාවාචා නැමැති “අංගයක්” ගුලි කරගෙන, තව “අංගුලියක්”.

 

ඒ වාගෙම, ප්‍රලාප දොඩවමින් ලෝකයා මුලාවට පත් කරමින් රවට්ටනවා. මේ අනාථ ලෝකයේ තව තවත් මුලාවට පත්කරලා, සැරි සරන්න හදලා දෙනවා. තවත් “අංගයක් ගුලි කළා. රිදෙනවා, පොඩි වෙනවා, වේදනා දෙනවා මිසක්, සැනසිල්ලක් ලැබෙන්නෙ නෑ. එහෙනම්, සම්පප්‍රලාප “අංගයක්” ගුලි කරලා දුන්නා.

 

“අනුන්ට සම්පත් නොවේවා, මට වේවා!” ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන් දැවි – දැවී, තැවි – තැවී, අනුන්ගෙ සම්පත්තිය කඩාගන්න බලනවා. අයුක්තිය යුක්තියක් කියලා හරවලා, රවට්ටමින්, මුලා කරමින්, තමාගේ මඩිය ලොකු කරගන්න බලනවා. ලෝභය තව “අංගයක්”, ගුලි කරගත්තා. තව “අංගුලියක්”.

 

දැවි – දැවී, තැවි – තැවී ලෝකයාට අවැඩ කරනවා. තව “අංගයක්” ගුලි කරගත්තා, ද්වේෂය. මුලාවට පත්වෙලා, “මේ ලෝකෙ මිසක් වෙන ලෝකයක් නෑ” කියලා මිත්‍යා දෘෂ්ඨියට බහිනවා. තවත් “අංගයක්”

 

අංග දහයක් මෙසේ ගුලි කරගෙන ලෝක සත්වයා සැරිසරණ නිසා, ඔය දහය ගුලි කරගන්ට නිතර පාවිච්චි කරන අඬු දහයක් අපේ තියෙනවා, අතේ. ප්‍රාණඝාතයක් කරන්න ඕනෑ වුනහම ඔය දහයෙන් ගුලි කරලා තමයි ආයුධය අතට ගන්නෙ. අත මිට මොළවාගෙන, ගුලි කරගෙන තමයි අනින්ඩ යන්නෙ. ඇඟිලි තද කරගෙන, මිට මොළවගෙන තමයි අවැඩ කරන්ඩ යන්නෙ. අන්න ඒ ගති ලක්ෂණය නිසා, මේ අඬු දහයටත් “අංගුලි” දහයක් කිවුවා.

 

හොරකම් කරන්ඩ එපැයි, ඇඟිලි මිට මොළවලා තමයි ගන්නෙ. සුරා, සූදු, දුරාචාර සඳහා නිතර පාවිච්චි කරන්නෙත් අංගුලි. බොරුවට, කේලමට, පරුෂයට, ප්‍රලාපයට, කටෙන් වචන කියනකොටත් ක්‍රියාත්මක වෙනවා මේ ඇඟිලි ටික, අංගුලි. ලෝභකම් කරන්න, තරහකම් කරන්න, මෝඩකම් කරන්ඩත් මිට මෙළවෙන්නෙ ඇඟිලි, එහෙනම් අංගුලි.

 

මේ “අංග ගුලි කරගෙන” යන මේ ගමන තුළ අපිට වැඩක් කරන්ඩ තියෙනවා, දැන්. මොකද්ද? ඔය “අංග” දිය කර හරින්ඩ, ජලී කර හරින්න. ඔන්න ඔය “අංග” ටික “ජලී” කර දැම්මහම, නැත්නම් දිය කර දැම්මහම, එකින් එකට වංක වෙලා, ඇකිලිලා, වකුටු වෙලා තිබිච්චා ට මොකද වෙන්නෙ? එකෙන් එක දිග ඇරෙනවා.

 

එහෙනම්, ඒ ලක්ෂණයේ රූප ලක්ෂණය ඇඟිලි වලින් පෙන්වනවා, මානසික ලක්ෂණය අභ්‍යන්තරයෙන් සුද්ධ කරන්න, කරන්න, වකුටු වෙච්චි ඇඟිලි දිග ඇරෙනවා, රූප ලක්ෂණයෙන්. මොකද වෙන්නෙ? ප්‍රාණඝාතය අත්හැරියා, අවංකයි, හොර – මැර – වංචා අත්හැරියා, අවංකයි, වංක නෑ, ඇද දිගහැරියා. සුරා – සූදු – දුරාචාර නෑ, අවංකයි, දිගහැරුනා. බොරු නෑ, කේලම් නෑ, ඵරුෂ වචන නෑ, ප්‍රලාප නෑ, අවංකයි, දිගහැරුණා. ලෝභ නෑ, තරහ නෑ, මෝඩ නෑ, අවංකයි, “සෘජු භාවයට” පත්වුනා.

 

මොකද්ද සිද්ධ වුනේ? අන්න, අවංක වෙනකොට මොකද වුනේ, “අංග” දිය කර හැරියා. අනුන්ට රිදවන, වෙහෙස කරවන, පාපතර දස ආකාරයන් දිය කර හැරියහම කියනවා, “අංග දිය කර හැරපු” තත්වයට පත් වුනහම, “අංජලිකරණීය” වුනා. මෙන්න උතුම් ගුණයක්.

 

එහෙනම්, යම් කෙනෙක් “අංජලිකරණීය” ගුණයට ඇතුළත් වෙනවා මිසක් ඕකට වැඳ වැඳා ඉඳලා වැඩක් නෑ. “යම්තාක් ප්‍රාණඝාත කළා නම්, සත්ව හිංසා කළා නම්, මින් මතුවට අත්හරිනවා. හොර – මැර – වංචා, සුරා – සූදු, දුරාචාර කළා නම්, මින් මතු අත් හරිනවා. බොරුවෙන් රැවැට්ටුවා නම්, කේළමෙන් බිඳෙවුවා නම්, ඵරුෂ වචනයෙන් සැඩ බවට පත්කළා නම්, ප්‍රලාපයෙන් ලෝකයා මුලා කළා නම්, ඔක්කොම අත් හරිනවා, කරන්නෙ නෑ මීට පස්සෙ. ලෝභ කම් කළා නම්, තරහෙන් හිටියා නම්, මෝඩ කම් කළා නම්, ඔක්කොම අත් හරිනවා. ඕවත් එක්කළා මගෙ සම්බන්ධයක් නෑ. මම ආර්ය මාර්ගය තුළ ගුණ වෙවී යන කෙනෙක්. එහෙනම් මං යන්නෙ මොකටද? දෙවැනි ගුණය සම්පූර්ණ කරගන්ඩ, ඇතුළට යන්ටයි, ගුණයට ඇතුළත් වෙන්ටයි. මෙන්න මේ ටික කරගත්තෙ නැති තාක්කල් මං දෙවෙනි ගුණයේ නෑ. එහෙනම් මට ගුණ වෙලා නෑ…”

 

ගුණ වුන බව දැනගන්නෙ කොහොමද? “ඔය ටික අත් හැරුණට පස්සෙ, පෙර මගේ හිත ප්‍රාණඝාතයට නැමෙනවා, සත්ව හිංසාවට නැමෙනවා, දැන් නැමෙන්නෙ නෑ නෙ…” ආ, එහෙනම් ගුණ වෙලා.

 

“පෙර අන් සතු දෙයක් දැක්කහම හොර – මැර – වංචාවෙන් ගන්න හිතෙනවා, දැන් හිතෙන්නෙ නෑ නෙ…” එහෙනම් ගුණ වෙලා, කාගෙන් වත් අහන්ඩ ඕනෙ නෑ.

 

“පෙර සුරාවට, සූදුටව, දුරාචාරයට මගෙ මානසිකත්වය, කායිකත්වය නැමී හිටිනවා, දැන් හිටින්නෙ නෑ නෙ…” එහෙනම් ගුණ වෙලා.

 

“බොරුවෙන් රවට්ටන්න, කේළමෙන් බිඳවන්න, ඵරුෂයෙන් සැඩ බවට පත් කරන්න, ප්‍රලාපයෙන් මුලා කරන්න පෙර මගේ මනස නැමෙනවා, හිත – කය – වචනය ඒ සඳහා ක්‍රියාත්මක වෙනවා, දැන් එහෙම වෙන්නෙ නෑ නෙ…” එහෙනම් ගුණ වෙලා.

 

“පෙර මට ලෝභ හිතක් එනවා, තරහා හිතක් එනවා, මිසදුටු ගති එනවා, දැන් ඒවා එන්නෙ නෑ නෙ….” එහෙනම්, වැඩේ හරි! අන්න ගුණ වෙලා. “එහෙනම් අංජලිකරණීය ගුණය මා තුළ තියෙනවා, අන්න මං ගුණයට ඇතුළත් වෙලා…”

 

{1:09:29} : අවංකව ම ඇති වන අරිය ගුණ කිසි විටක නොසැලෙයි

මෙන්න මෙතෙන්ට තමයි තමා ප්‍රායෝගිකව එන්න ඕනෑ, මේක කාටවත් කරලා දෙන්න බෑ, මේක තමයි “අත්ථ දීපා විහරථ, අත්ථ සරණා, අනඤ්ඤ සරණා…” කිවුවෙ. ඔන්න ගුණ වෙන හැටි. අහගත්ත දේ තමා පිළිපැදලා ඔතෙන්ට ආවොත්, තමන්ට ගුණ වෙන්ඩ පුළුවන්. අන්න එතෙන්ට ගුණ වුනොත් නිවන් දකින මාර්ගයේ විසි හතරක් ගුණ පද තුළින් පල්ලෙහා පදයේ ඉඳලා දෙවෙනි පියවරට ආවා, දෙවෙනි පියවර සම්පූර්ණයි. තව පාරක් කරන්න දෙයක් ඒකෙ නෑ.

 

එහෙනම් දැන් කොතෙන්ටද ආවෙ? ගුණ දෙකක් දැන් තියෙන බව තමාගෙ හිත දන්නවා. තමාට කාගෙන් වත් අහන්න දෙයක් නෑ, සැක නෑ. මම “අනුත්තර පුඤ්ඤක්ඛෙත්ත” කියන ගුණයට ආවා, “අංජලිකරණීය” කියන ගුණය දැන් මා තුළ තියෙනවා…” දැන් කාගෙන් වත් අහන්ඩ ඕනැද? ධර්මය තුළින් විමසලා, විමර්ශනය කරලා, තමා දහම් දැනුවත් බවින් තමා ඉන්න තැන දැනගත්තා. මෙන්න මෙතෙන්ට ආවොත් තමා දිනුම කරා යනවා, ගුණය කරා යනවා කියලා තමන්ට ම හිතාගන්න පුළුවන්. ඔතෙන්ට ආවෙ  නැත්නම්, කාගෙන් වත් අහලා, බොරුවට පෙන්වලා, ලොකෙට බොරු කියලා, “මං මෙහෙමයි…” කියලා, සිවුරක් දරලා හෝ සුදු වතක් දරලා හෝ මොන ජාතියෙන් හරි කමක් නෑ, ශ්‍රමණ ලක්ෂණයෙන් යුක්ත වෙන පිට ලක්ෂණයක් පෙන්වලා හරි කමක් නෑ, යම් කෙනෙක් එහෙම ඉන්නවා නම්, වැඩේ හරියන්නෙ නෑ, කවුරුවත් රවට්ටන්න බෑ, තමන් රැවටෙනවා.

 

අනුන් කොච්චර රවට්ටන්න හැදුවත්, තමන් හරි නම් තමන් රැවටිලා නෑ, තමන්ට ගුණ තියෙනවා. ඒ නිසා, අනුංගෙන් ඉල්ලගන්න එකක් නෙමෙයි “ගුණය”, අනුංගෙ කටින් කියවාගන්න එකක් නෙමෙයි “ගුණය”. කවුරු මොනවා කිවුවත් කමක් නෑ, තමා තුළින් නැගිලා ආවා නම් තමාගේ හිත දන්නවා. “කාටවත්, දස මාර සේනාව ඇවිදින් කෑ ගැහුවත්, කොච්චර නිග්‍රහ කළත්, මා තුළ තියෙන මේ ගුණය මට පේනවා. මං මේ ගුණයට ඇවිල්ලා නෙ ඉන්නෙ. ඒ නිසා කොහොමද මේකෙන් අහක් කරන්නෙ කෙනෙක්…”

 

එහෙනම්, බුදු පියාණන් වහන්සේ ගේ ධර්මය තුළ යම් ගුණයකට පත් වුනා නම්, ඔය ගුණයෙන් කඩා හෙළන්න දස මාර සේනාවන්ට බෑ. ලෝකයේ කිසිම බලවේගයකට, මොන ජාතියේ අපහාස කරලා වත්, ඔවුන් මැරුවත්, ඒ ගුණය නැති කරන්ඩ බෑ. ඕන්නම් මරලා දමයි. ගුණවතෙක් මළොත් දුගතියට යන්නෙ නෑ. “මා කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් ඇති කෙනෙක් අපාගත වෙන්නෙ නෑ…” කිවුවෙ ඔන්න ඕකයි. “මා” කිවුවෙ කවුද? ඔය “සූ විසි ගුණය” ම තමයි “මා”. සූ විසි ගුණයටයි ශ්‍රද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් පිහිටන්නෙ. ඒ තමයි “බුද්ධ”. සූ විසි ගුණය ම පූර්ණ නම් ඔතන “බුද්ධ”.

 

අන්න, බුද්ධත්වය කරා මේ යන්නෙ, බුදු ගුණයෙන් ඇතුල් වෙන්නෙ. යන ආකාරය ඔහොමයි, එහෙනම් දැන් අපි ගුණ දෙකකට ආවා. දැන් මොකද වෙන්නෙ? “අංජලිකරණීය” ගුණයට එනකොට, ආහුනෙය්‍ය, පාහුනෙය්‍ය, දක්ඛිණෙය්‍ය ගුණයට දැන් අපි ඇතුළත් වෙන්ඩ ඕනෙ. “දක්ඛිණෙය්‍ය” කියන ගුණයට අපි යන්ට ඕනෑ.

 

{1:12:27} : “දක්ඛිණෙය්‍ය” ගුණ බලෙන් සිවුපසය අඩුපාඩු දුරු වෙන හැටි

දැන් මොකද්ද ඊලඟට තියෙන්නෙ? දැන් අපි සුදුසුකම් ලබලා තියෙනවා වැදගත් දේකට. මේ ආර්ය මාර්ගය තුළ අපිට දැන් වැදහත් හරියක් කරන්ඩ අපේ චරිතය හැඩගැහෙන්ඩ ඕනෙ. අපිට කන්න ආහාරයක් දැහැමින් ලැබෙන්න ඕනෑ. දැහැමින් ඉන්න තැනක්, ලෙඩට බෙහෙතක්, ඉනට වස්ත්‍රයක් කියන මේ සිවුපසයක් අපිට අවශ්‍යයි. ඔය කියන සිවුපසයකින් යුක්ත වෙන්ට ඕනෑ දැන් අපේ ඉතිරි වැඩ ටිකට දැහැමින්, සාමයෙන් ලැබිච්ච දෙයක් වෙන්ට ඕනෑ. අයුතු කම්, අසාධාරණයන් කරලා දැන් මින් එහාට යන්න බෑ. ඒකට ඉඩක් නෑ, මානසිකත්වය තුළ, කායිකත්වය තුළ. එහෙනම් අපි මොකද කරන්න ඕනෑ, “දක්ඛිණෙය්‍ය” කියන තැනට වැටෙන්න ඕනෑ.

 

“දක්ඛිණය” – මොනවද? අතේ තියෙන, හදවතේ තියෙන, හිතේ තියෙන, බැඳුනු කුණු, කහට ඉවත් කරගන්න සුදුසු අවස්ථාව දැන් ක්‍රමක්‍රමයෙන් නැගි – නැගී එනවා, උපක්ලේෂ දුරු කරන අවස්ථාව. එහෙනම්, අපේ ජීවනෝපාය සඳහා යම්කිසි කටයුත්තක් අපි කර කරා හිටියා නම්, සසර හේතුත් අපිට බලපානවා. කරන ලද පාපයන්ට විපාක වශයෙනුත් අපිට සමහර වෙලාවට කන්න ආහාරයක් හරියට නැති වෙන්න පුලුවන්, ඉන්න තැනක් හරියට නැති වෙන්න පුලුවන්, ලෙඩට බෙහෙතක්, ඉණට වස්ත්‍රයක් හරියට ගන්න බැරි වෙන්න පුලුවන්.

 

එහෙනම් මොකද වෙන්නෙ? අපිට ඒවා දැහැමින්, සාමයෙන් ලැබෙන මගක් තියෙන්න ඕනෙ. අද මේ මාර්ගය මේ ආකාරයෙන් සුද්ධ කරගෙන එන්න නම්, නිකං පුළුවන් කමක් නෑ. අප්‍රමාණ සංසාරෙ එන ගමනේදි, අති දුර්ලභ ව ලොව පහල වෙන සම්මා සම්බුද්ධ ශාසනයන්හි දී නොයෙක් ආකාරයෙන් සිවුපස වලින් ඇප උපස්ථාන කරලා එබඳු වන්නාවූ උතුම් පිරිස් වලට, ලැබූ පුන්‍ය ශක්තිය අපේ, යටපත් වෙලා තියෙනවා. “අවශ්‍යය පරිසරය” සකස් වෙන්න ඕනෑ ඒවා ඇදලා එන්න, ඒ පුන්‍ය ශක්තිය ඇදලා එන්න, ඒ කුසළ ශක්තිය ඇදලා එන්න, නිකං ඇදෙන්නෙ නෑ.

 

අපේ ගබඩා වල ඒ ශක්ති විශේෂ කොච්චර ගබඩා වෙලා තිබුණත් ඒවා ඇදලා එන්නෙ නැති නිසා, අන්න ඒවා ඇදලා ගන්න නම් අවශ්‍යය පසුතලය අපි හදාගන්න ඕනෙ. මෙන්න මේ පසුතලය හදපුවහම මොකද වෙන්නෙ, “සමනන්තර ප්‍රත්‍යය” කියන එක අපි ලඟ නැගිලා, “අනන්තර ප්‍රත්‍යය” වශයෙන් ගැබ් වෙලා තිබිච්ච අර පිං කඳ ඇදලා ඇවිදිල්ලා සම්බන්ධ වෙනවා. එහෙනම් එදාට අපිට කන්ඩ ආහාරයක්, වෙනදා හරියට ලැබුණෙ නැත්නම් දැන් දැහැමින් ලබන්න මග පෑදෙනවා. ඉන්න තැනක් ලැබුණෙ නැත්නම් හරියට, දැහැමින් ඉන්න තැනක් ලැබෙනවා. ලෙඩට බෙහෙතත් ලැබෙනවා, ඉණට වස්ත්‍රයත් ලැබෙනවා, දැහැමින් – සාමයෙන් උපයා ගන්න සසර කරන ලද පුන්‍ය ශක්තිය ඇදිලා ඇවිදින්, ක්‍රියාත්මක වෙලා, දැන් කරන ලද ශක්තිය සමඟ සම්බන්ධ වෙලා, අපිට පහසු වැඩ පිළිවෙලක් සකස් වෙලා එනවා.

 

එහෙනම්, මෙන්න මේ “දක්ඛිණෙය්‍ය” ඇතිකරගන්න නම් මොකද කරන්න ඕනෙ? ඒ යම් කිසි ආකාරයෙන් ඒ ආර්ය උත්තමයන්ට සිවු පසයෙන් ඇප උපස්ථාන කිරීම ආරම්භ කරනවා. අන්න, ඇප උපස්ථාන කිරීමෙන් ලැබෙන්නාවූ පුන්‍ය ඵලය, කුසල ඵලය සමඟ සසර කරන ලද පින් ඇදලා ඇවිදිල්ලා, ඒ පුන්‍ය ශක්තිය සමඟ එක්වෙලා, අපිට කරදරයක් නැතුව, සිවුපසයකින් යැපෙන මාර්ගයක් හැදෙනවා, සකස් වෙන්න පටන් ගන්නවා. අන්න මාර්ගය සකස් වෙලා එන හැටි.

 

උපාසක උපාසිකාවන්ට මොකද කරන්නෙ? දූ දරුවො හරි කියනවා, “අම්මෙ, තාත්තෙ, ආච්චියෙ, ආතෙ, අපි කන්න – බොන්න දෙන්නම්, ඕගොල්ලො බණ – භාවනාවක් කරගන්න. අපි ඉන්න තැනක් දෙන්නම් හදලා, ඕවට දඟලන්න ඕනෙ නෑ. ඒ ගැන කරදර වෙන්න එපා, ඔයගොල්ලන්ගෙ වැඩ කරගන්න, අපි පහසුකම් සළසන්නම්…” හැබැයි, මේ වචනෙ ඉස්සෙල්ලා ආවෙ නෑ. සසර තිබිච්ච පිං ඇදලා එනකොට, සිවුපසයෙන් උපස්ථානයට නැදෑයො හරි, දූ දරුවො හරි, මුණුපුරෝ – මිණිබිරියෝ හරි අරවා සකස් කරලා දෙන්න පටන් ගන්නවා, ගිහි වතක ඉන්නවා නම්.

 

පැවිදි උත්තමයන්ට නම්, “ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ කරදර වෙන්න ඕනෙ නෑ, පිණ්ඩපාතෙ යන්න ඕනෙත් නෑ, අපි ගෙනත් දෙන්නම් ලඟටම…” ආහාරය හම්බෙනවා. “ඔබවහන්සේට කිසිම දේකින් හොයන්න යන්න ඕනෙ නෑ චීවර, ඔබවහන්සේට අසනීපයක් වුනොත් බෙහෙත් කරන්න අවශ්‍ය පහසුකම් අපි සළසනවා, ඔබවහන්සේට ඉන්න තැන් අපි හදලා දෙනවා. ඔබවහන්සේ සැනසිල්ලේ ආ මාර්ගය පූර්ණය කරගන්න, අපි උදවු කරනවා…” කියලා අන්න පින් ඵල සමඟ සම්බන්ධ වෙනකොට දායක කාරකාදී පිංවතුන්ට හිතෙනවා “මේවා අපි කරලා දෙන්න ඕනෙ…” ඔන්න, වාසනාවක් පහල කරලා දෙන ක්‍රමයක්.

 

මෙන්න මේ කියන වාසනාව එනවා, තමන් විසින් කරනකොට, “පූජකෝ ලභතේ පූජං, වන්දකෝ පටිවන්දනං…” පුදනකොට පිදුම් ලැබෙනවා, වඳිනකොට වැඳුම් ලැබෙනවා. එහෙනම්, සිවුපසයෙන් ඇප – උපස්ථාන කරන්කොට, කාටද? සාසන සිවු පිරිස් වලට ඇප උපස්ථාන කරනකොට, තමන්ටත් ලැබෙනවා එබඳු වාසනාවක්, සිවුපසයෙන් ආධාර, උපකාර ලබන්න. බාදකයක් දුරුවෙලා ගියා.

 

“හරි වැඩේ, මං කන්නෙ කොහොමද රස්සාව නැති වුනොත්? අසාධාරණේ කියලා ඉන්න පුලුවන් ද? රස්සාව නැත්නම් කන්නෙ කොහොමද?” කියන ප්‍රශ්නයක් තිබුණා නම්, දැන් ඒක නෑ. “මං අඳින්නෙ කොහොමද, මට සල්ලි නෑ… කීයක් වත් ගන්න කවුද දෙන්නෙ?” එහෙම ප්‍රශ්නයක් තිබුණා නම්, ඒක නෑ. “ලෙඩක් හැදුනහම බෙහෙතක් ගන්න වත් කීයක් හරි තියෙන්න එපැයි, දැන් මං මොකද කරන්නෙ හම්බකරගන්නෙ නැතුව?” ඒ ප්‍රශ්නෙත් නෑ, ඒක ඔක්කොම විසඳිලා. එහෙනම්, ඉන්න තැනක් ගැන මොනවත් කරන්න දෙයක් නෑ, ඒක විසඳිලා. ඔය ප්‍රශ්න ටික එනකොට, තමන්ට නිදහස් භාවය එනවා කිසී කරදරයක් නැතුව, යහපත් ආකාරයෙන් සැනසිල්ලේ ආර්ය මාර්ගය පූර්ණය කරගන්න.

 

එහෙනම්, අපි මොකද කරන්නෙ? අන්න ඒ කාරණයේ යථාර්තය දැනගෙන, ඒ ආනිසංසය දැනගෙන, කන්න ආහාරය, ඉන්න තැන, ලෙඩට බෙහෙත, ඉණට වස්ත්‍රය කියන, නැත්නම් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍යය කියන සිවුපසයෙන් ගිහිල්ලා ඒ සුදුසු පින්වතුන්ට, උත්තමයන්ට ඇප උපස්ථාන කරලා, “ලෝකෙ අල්ලාගන්න නෙමෙයි, මේ උත්තරීතර වන්නාවූ අරිහත්වය මම ප්‍රාර්ථනා කරමින්, නැත්නම් බලාපොරොත්තුවෙන් ඒ සඳහා මට මග පෑදේවා…!” කියන අධිෂ්ඨානයෙන් යුක්තව ඒ පිං දහම් කරනකොට, තමන්ට නිරායාසයෙන් ඔය උත්තම අවස්ථාව ලැබිලා එනවා, අප්‍රමාණ පිං ක්‍රියාත්මක වෙනවා.

 

මෙන්න මෙතෙන්ට ආවට පස්සෙ, “මගෙන් කිසි වෙලාවක ඒවා අඩුපාඩුවක් වෙලා නෑ, සිවුපසයෙන් කරන්නාවූ ඇප උපස්ථානයෝ මම අවංක හිතින් කරනවා, උත්තමයන් වහන්සේලාගේ ගුණයට ගරු කරලා, උන්වහන්සේලාට ඒ චතුරාර්ය සත්‍යය අවබෝධයට මගේ උදවුව, උපකාරය, මට කරන්න පුලුවන් හරිය මම මෙසේ කරනවා. මටත් ඒ වගේම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න මග පෑදේවා! මේ උදවුව මටත් උදවුවක් වේවා!” මේ අදහසින්, පැතුමෙන් යුක්ත වෙලා අන්න ඒ විදිහේ සිවුපසයෙන් ඇප උපස්ථාන කරන්න පටන් ගත්තහම, තමන් “දක්ඛිණෙය්‍ය” කියන ගුණයට ඇතුළත් වුනා වෙනවා. අවංකව නම් ඒ ටික කළේ, ඔය ගුණයට ඇතුළත් වුන තත්වයට පත්වෙනවා.

 

{ 1:19:06 } : ආර්ය උතුමන් සමඟ “පෑහෙන්න ලැබීමේ” වාසනාව

දැන් ලේසියි, අමාරු හරිය පැන්නා. දැන් මොකද වෙන්නෙ? දැන් තමයි වැදගත් දෙයක් හම්බවෙන්නෙ. “යා දෙක නොරථ රථ, සමඟ පෑහීමක් නැත…” දෙක පෑහෙන්නෙ නෑ දෙ විදිහක හිටියොත්. හැබැයි දැන් මොකද වෙන්නෙ? සකස් වෙලා ඇවිදිල්ලා තියෙනවා සමානත්වයට පෑහෙන්න සුදුසු තත්වයට. න්‍යාය මොකද්ද? “පෑහෙන න්‍යාය”. කවුරු සමගද? මේ සාසනයේ “ආර්යයන්” සමඟ පෑහෙන්න සුදුසු අවස්ථාවට ඇවිදිල්ලා.

 

“යම් ආර්ය ගුණ ඇත්තෙක් වේද, එබඳු ගුණයට අනුකූල, සමාන ගුණය කරා කිට්ටු කරන්නාවූ යම් උපාසක, උපාසිකාවෝ ඇත්නම්, කොච්චර හොඳද? සීලවන්තයි, ගුණවන්තයි, යහපත් සුචරිතයි. සාසන මාර්ගයට ගන්ට, වචනයක් කියාදෙන්ට, සාසන දහමට සුදුස්සෙක් කියලා තෝරාගන්ට, අපිට කළ්‍යාණ මිත්‍රත්වයට සම්බන්ධ කරන්න සුදුසුයි කියලා හිතාගන්ට, මෙන්න මේ තැනැත්තා, මේ තැනැත්තිය සුදුසුයි” කියලා ආර්යයෝ නිගමනය කරලා, “පාහගන්න” තැනක් දකිනවා, ආර්යයෝ සමඟ පෑහෙනවා.

 

අන්න ඊට පස්සෙ මොකද වෙන්නෙ? විශාල වාසනාවක් ආවා, “කළ්‍යාණ මිත්‍ර සම්පත්තියක්”. අත්‍යාවශ්‍යය දේ ට බැස්සා. “පාහුනෙය්‍ය” වුනා. “පාහුනෙය්‍ය” කියන්නෙ මොකද්ද? “පෑහෙන න්‍යාය” ට පත්වුනා. දැන් නම් නියම උපාසකයෙක්, නියම උපාසිකාවක් කියලා අපිට පිළිගන්න පුලුවන්, දකින්න පුලුවන් කියලා, භේදයක් නැතුව එකිනෙකට පෑහෙන ගුණ ලක්ෂණයට භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන්නාවූ මේ සිවු පිරිසේ සමගියෙන් එකට බැඳීමේ ස්වභාවයට පත්වුනා.

 

එහෙනම් ඒ උපාසකයා, ඒ උපාසිකාව, භික්ෂු – භික්ෂුණී කියන අය සමග එක්වෙන්න හොඳයි, ලං වෙන්න හොඳයි, ඇප උපස්ථානයට හොඳයි, එහෙනම් කථා කරගන්න, අවශ්‍යය දෙයක් කරගන්න ගැළපෙනවා දැන්. තමා එකිනෙකාට පෑහීමක් තියෙනවා. පෑහිලා ජීවත් වෙන්න පුලුවන්. මෙන්න මේ සම්පත්තිය ලැබෙනවා.

 

අන්න එතෙන්ට තමන් පත්වුනා නම් කියනවා “පාහුනෙය්‍ය” ගුණයට තමන් ඇතුළත් වෙලා. කාගෙන් වත් අහන්න ඕනෙ නෑ, දැන් පන්නන්නෙ නෑ. මොකෙන්ද පන්නන්නෙ? “උඹ මෙතෙන්ට ඇවිදිල්ලා අද මෙහෙම කතා කර කරා ඉඳලා, මොකද්ද අතන ගිහිල්ලා කියන්නෙ? අනෙකා බිඳවනවා, දුස්චරිත කම් කරනවා, සුදනා වාගෙ මෙතෙන්ට ඇවිදිල්ලා අපි එක්කත් හා වෙන්න එනවා, හරියනවැයි? පලයන්, පලයන්… උඹලා හා වෙන්න සුදුසු අය නෙමෙයි. උඹ ලඟ කියන ගති – සිරිත් නෑ…” යි කියලා “පාහුනෙය්‍ය” ගුණයට ගන්න බැරි නම් පන්නලා දානවා.

 

එහෙම ඒවා මොකුත් නෑ, “අඩුපාඩුවක් තියෙනවා නම් සුද්ධ කරගන්නවා. මහා අඩුපාඩු දැන් කොහොමත් නෑ නේ… උඹ හොඳයි…!” අන්න පෑහිලා. ආර්යයෝ ගුණ කියනවා නම් යම් උපාසකයක් ගේ, උපාසිකාවක ගේ, පෑහෙන්න හේතු තිබිච්ච නිසා ගුණ කියනවා. හැබැයි වනචර කමට පෑහිලා නම් ගුණ කියන්නෙ නෑ, ඒක අසත්පුරුෂයෝ මිසක්, එතන ආර්යත්වයක් පලාතක වත් නෑ. එහෙමත් ඒවා බොහෝ කොට ලෝකෙ තියෙනවා. සමහර ස්වාමීන් වහන්සේලාට වේවා, උපාසක – උපාසිකා වේවා, සිල් සමාදන් වෙන්නත් එන්නෙ, ලෝකයාට පේනවා සිල් ගන්න ආවා කියලා, ජෝඩුවට කොහේ හරි තනියෙන් දෙන්නා එක්කලා යන්න ඕනකමක් තියෙනවා, ඔය කොහේ කොහේ හරි දෙන්නෙකුට, ජෝඩු ගැහිලා යන්න ක්‍රමයක් නැති නිසා, අනික් තැන්වල ගියොත්, ඔය රෙස්ට් හවුස් වලට එහෙම ගියොත් බණින හින්දා, හොඳම ලේසි වැඩේ… “සිල් සමාදන් වෙන්න යංකො දෙන්නා එක්කලා… එතකොට අපි දෙන්නට කතා කර කර එකට යන්න පුලුවන්, එකට එන්න පුලුවන්… ” ඔහොම අභ්‍යන්තරයකුත් තියාගෙන සමහර අය සිල් ගන්න එනවා. මේ තව ක්‍රමයක්.

 

මොනවා කියලා හරි කමක් නෑ, හාමුදුරුවො ලඟට, අස්සට රිංගා ගත්තා නම්, “හරිම හොඳයි..! කවුරුවත් දන්නවැයි ඕක? හාමුදුරුවො මං ගැන කියනකොට අනික් අය කොහොමද? මගෙ තත්වෙ ගැන අනික් අයටත් හාමුදුරුවො පිලිගන්න බව පේනවා, හාමුදුරුවො ඉල්ලන ඕන කෙහෙල්මලක් කමක් නෑ, මං දෙනවා, යන්න පුලුවන්…” ඔය ජාතියෙ අය එහෙම “පාහුනෙය්‍ය” නෙමෙයි. අපාගත වීමට හේතු වෙන මහා පාපකර්ම. විනාසයට ම හේතු වෙනවා. සාසනය කවදාවත් මුණගැහෙන්නෙ නැති වෙන්න පාපකර්මයක් ම වෙනවා. භයානක නිසා හොඳට පරිස්සම් වෙන්න ඕනෙ. අංශු මාත්‍රයක් වත් සිතිවිලි කිළිටි කරගන්න හොඳ නෑ. අවංකව උපාසකයෙන් වෙන්න ඕනෑ, අවංකව උපාසිකාවක් වෙන්න ඕනෑ, අවංක භික්ෂුවක් වෙන්න ඕනෑ, අවංක භික්ෂුණියක් වෙන්න ඕනෑ. අන්න එතකොට තමයි නියම “පාහුනෙය්‍ය” ගුණය ඇතිවෙන්නෙ.

 

{ 1:23:00 } : දහම වැටහෙන න්‍යාය දුටුවම, දහම සිතලම සතුටු වෙන හැටි

දැන් මොකද වෙන්නෙ? වැදගත් කාරණා ටික එකතු වෙලා ඉවරයි. කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබුණා, දැන් මොකද වෙන්නෙ? දැන් තමයි හරියට ඇහෙන්නෙ. මෙච්චර කල් ඇහුණට, ගල පිට කැඳ වක්කළා වගේ, ඒ කනෙන් ගත්තා, මේ කනෙන් ගියා. මොකද? පිහිටන්නෙ නෑ, නීවරණයන් ගෙන් වැහිලා හිටපු නිසා. ඔතෙන්ට එනකොට නීවරණ යටපත් වෙලා. දැන් මොකද වෙන්නෙ? දැන් තමයි දහම අහුවෙන්නෙ. දහම කියනකොට, දහම හිතේ රඳා හිටින්නෙ දැන්. “අහු වෙන න්‍යාය” දැන් හම්බවෙලා. චතුරාර්ය සත්‍යය ධර්මය ගැන, ත්‍රිලක්ෂණය ගැන විස්තර කරනකොට, දැන් හොඳට තේරෙනවා “අනේ, මේ ලෝකෙ කියන්නෙ මේක නේද? සසර ගමන කියන්නෙ මෙහෙම අනාථයක් නේද? හරයක් නැති ඒවා නේද මේ ලෝකෙ පිරිලා තියෙන්නෙ, මේ හිත බැඳගෙන තියෙන්නෙ?” අන්න, ඇත්ත අහුවෙන්න පටන් ගත්තා.

 

ඔන්න ඔය ගුණයට පත්වෙනවා දැන්, අර ආර්යයන් ගෙන් ධර්මශ්‍රවණය කරන්න ලැබුණහම. දැන් මොකද වෙලා තියෙන්නෙ, අන්න ඇවිදිලා තියෙනවා “අහුවෙන තැනට සුදුස්සෙක්” වෙලා. බණ කිවුවොත් දැන් තේරෙනවා. ආන්න “ආහුනෙය්‍ය” ගුණයට ආවා. මෙච්චර කල් අහුවෙච්චි නැති බණ දැන් අහුවෙනවා. “මෙච්චර කල් කියපුවා මට තේරුණේ නෑ, අද නම් තේරෙනවා…” දැන් අපිට කියන්න පුලුවන් අවස්ථාවට පත්වෙනවා. “ඒ කාලෙ කියනකොට නම් මට ඔච්චර වැටහුණේ නෑ, දැන් නම් හොඳට වැටහෙනවා ඒ කියන එක…” මොකද? අහුවෙන න්‍යායට පත්වෙලා, “ආහුනෙය්‍ය” වෙලා. මෙන්න “ආහුනෙය්‍ය” ගුණය. දැන් “ආහුනෙය්‍ය, පාහුනෙය්‍ය, දක්ඛිණෙය්‍ය, අංජලිකරණෙය්‍ය, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස” කියන ගුණ පහකට ඇතුළත් වෙලා. දැන් නම් ගුණ තියෙනවා හුඟාක්, තමන්ටම අත්දකින්න තියෙන ගුණ. ගුණ වෙලා තියෙන බව පේනවා.

 

දැන් මොකද එන්නෙ ඊලඟට? “සාමීචිපටිපන්න”, දැන් අන්න පත්වෙන්න තියෙන තැනක්. මෙච්චර කල් සතුටු වුනේ මොනවටද? ලෝකෙන් මොනවා හරි රාග සහගත දෙයක් හම්බුණහම සතුටු වුනා, “හරි වාසනාවක් මට හම්බුණා, සුවිප් එකක් ඇදුනා…” හරි සතුටුයි. එහෙම නැත්නම්, “ඉඩමක් ගන්න හම්බුණා, ආච්චිගෙ ඉඩමක් මට ලියලා දුන්නා, අම්මා ගෙ උඩහ කෑල්ලත් මට ලියලා දුන්නා, මට සතුටු වෙන්න පුලුවන්….” ඕවට තමයි ඉස්සර සතුටු වුනේ. “අන්න අරුන්ගෙ, අපිට විරුද්ධ පවුලෙ එවුන්ට අන්න වැදිලා ලු වැඩේ… ලෙඩක් හැදිලා ලු, කකුල කැඩිලා ලු…” සතුටු වෙනවා. ඔන්න ඉස්සර “සාමීචිපටිපන්න” වෙච්චි ඒවා.

 

ඕවා නෙමෙයි, ඕවා දුක් විය යුතු ඒවා, සංවේග උපැද්දවිය යුත් ඒවා, මේ සසර ගමනේ අතරමං කරන ඒවට පත්වෙලා අපිට සතුටු වෙන්න බෑ. සතුටු වෙන්නෙ මොනවටද කියලා අපි දැනගෙන හිටියෙ නෑ. යම් කෙනෙකුට යම් දවසකදි නිවන් දැකීමට හේතුකාරක වන, සසර දුකෙන් එතෙර වීමට හෙතුකාරක වන යම් අවබෝධයක් යම් දවසක ලැබුණද, ඊට අවශ්‍යය යම් දහම් පදයක් තේරුම් ගන්න යම් දවසක ලැබුණද, අනන්ත – අප්‍රමාණ සංසාරයේ නොලැබූ වාසනා මතුවෙලා, “මට නම් අද සන්තෝස වෙන්න පුලුවන් දෙයක් හම්බුණා, මෙච්චර කල් හම්බෙච්ච නැති, සංසාරෙ අතරමං වෙච්ච ඒවා මෙච්චර කල් හම්බුණේ, සතුටු වෙලා තියෙන්නෙ සතුටු නොවිය යුතු දේවල් වලට, මුලා දේවල් වලට, අද නම් මට සන්තෝස වෙන්න පුලුවන් වැදගත් දෙයක් හම්බුණා…” කියලා සතුටු වෙන්න පුලුවන් නම් යම් දවසක, අන්න ඒ බණ ඇහෙනකොට ඒ තත්වෙට හිත පත්වුනා නම්, අන්න තමන්ට වැටහී ගියා නම්, අන්න ධර්මාවබෝධයෙන් සතුටු වෙන්න පුලුවන් අවස්ථාවට පත්වුනා.

 

මෙන්න මෙයාට කියනවා, ඒ සතුටට පත්වෙන්න පුලුවන් මානසිකත්වයක් ගොඩනැඟිච්ච දාට කියනවා “සාමීචිපටිපන්න” තත්වයට පත්වුනා. සතුටු වෙන්න පුලුවන් වුනේ අන්න එදාටයි. මේ ලෝකෙ තියෙන කුණු – කහළ ගොඩවල් බදාගෙන සතුටු වෙච්ච එක මෙච්චර කල් කළේ. දැන් අද මොකද වෙන්නෙ, නිවන් දකින්න හේතුවෙන ඒවා ලැබෙන, ලැබෙන ගානෙ, තේරෙන, තේරෙන ගානෙ සතුටක් එනවා. “කවදා අහන්නද, කවද්ද මේක මට හම්බෙන්නෙ, දැන් ලැබෙනවා නේද? මොන තරම් වාසනාවක්ද… අනන්ත සංසාර දුක් කෙළවර කරගන්න මට වාසනාවන්ත දේවල් දැන් හම්බෙනවා. කොච්චර සන්තෝස වෙන්න පුලුවන්ද?” මෙන්න මෙහෙම දහම් දැක සතුටුවෙන්න පුලුවන් ඥාණ ශක්තියක්, ගුණයක් පහලවුනා නම්, මෙන්න මේ පහලවුනහම කියනවා “සාමීචිපටිපන්න” බවට පත්වුනා. එයා ඒ ගුණයටත් ඇතුළත් වෙලා.

 

{1:26:51} : අරිය මාර්ගය සෘජු වී සෝතාපන්න ඵලය පූර්ණය කිරීම

දැන් මොකද වෙන්නෙ? මෙන්න මේ දහම් දකිනකොට මෙච්චර කල් ආපු නැති ඥාණය පහලවෙනවා. “දුක්ඛේ ඥාණං, දුක්ඛ සමුදයේ ඥාණං, දුක්ඛ නිරෝධේ ඥාණං, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාය ඥාණං, අයං වුච්චති භික්ඛවේ සම්මා දිට්ඨි” අන්න වැදගත් ම තැනකට ආවා. ඥාණයට පත්වෙනවා දැන්, එන්න එන්න, දවසෙන් දවස දකිනවා, “මෙච්චර කල් සැප කිය-කියා හිටියා, දුක් ගොඩකට, දුක කිය කියා හිටියා අත්හැරීමේ දුකයි කියලා. අනේ, එතන නේ සැප තිබුණේ. එහෙනම් විපරීත දෙයක් නේ අපි මෙච්චර කල් අල්ලගෙන, අනන්ත සංසාරෙ ගමන් කළේ. එහෙනම් අද දකිනවා මෙච්චර කල් ගිහිං තියෙන්නෙ වැදගත් දේ නොවැදගත් කියලා, නොවැදගත් දේ වැදගත් කියලා…

 

මොකද්ද නොවැදගත් දේ? ලෝකය නැමැති කුණු කහළගොඩ! වැදගත් කියලා හිතාගෙන උද්දාම වෙවී හිටියා, අත්හැරී, නොඇලී, මිදී, ආසාවන්ගෙන් මිදී, එවයින් වෙන් වෙන එක මොන තරම් පාඩුවක්ද, එහෙම වුනොත් අනේ ජීවත් වෙලා මොකටද? කියලා හිත හිතා හිටපු නිවන් මග දැන් වැදගත් කියලා පේනවා. කොච්චර ශාන්තද, කොච්චර ප්‍රණීතද?”

 

“ඒතං සන්තං, ඒතං පණීතං, යධිදං සබ්බ සංඛාර සමතෝ… “ දැන් දකිනවා – එයම ශාන්තයි, එයම ප්‍රණීතයි. මොනවද? මේ සියලු සංඛාරයන් ගේ සමථයක් ඇත්ද, “සබ්බූපදි පටිනිස්සග්ගෝ…” – මේ සියලු උපාදානයන් ගේ, බැඳීම් වල ඉවත්වීමක් ඇත්ද, සම්බන්ධය ඉවත් වීමක් ඇත්ද… “තණ්හක්ඛයෝ” – මේ තණ්හා ක්ෂය වීමක් ඇත්ද, “විරාගෝ” – විරාගික බවක් ඇත්ද, “නිරෝධෝ” – ඒ සැරිසැරීම් අත්හැරීමක් ඇත්ද, “නිබ්බානං ති” – මේ බානෙන් මිදීමක් ඇත්ද, නික්මීමක් ඇත්ද, මේක ම නේ ශාන්ත, මේක ම නේ ප්‍රණීත, මේකම නේ නිදහස්.

 

අන්න, නිවන මුල් කරගෙන නිදහස දැකලා මෙන්න මෙතෙන්ට පත්වෙනකොට මොකද වෙන්නෙ? අන්න ආවා “ඤායපටිපන්න” ගුණයට. යම් කෙනෙකුට ඔය තත්වය තේරෙන්න පටන්ගත්තා නම්, ඔහු “ඤායපටිපන්න” ගුණය තුළට ඇතුළත් වෙලා. අන්න තවත් ගුණ වුනා.

 

දැන් මොකද වෙන්නෙ? දැන් නම්, “මේක අපාය මාර්ගය, මේ මාර්ගය අනුගමනය කළොත් දෙවුලොවට, මේ මාර්ගය අනුගමනය කළොත් බඹ ලොවට, මේ මාර්ගය අනුගමනය කළොත් නිවනට. වැදගත් ම දේ නිවනයි, නිවනට මෙන්න මේකයි මාර්ගය කියලා දැනගත්තහම කියනවා, “සෘජු” වුනා මාර්ගය. මෙච්චර කල් වංක වෙලා තිබිච්ච එක, එක එක්කෙනා ගෙන් අහන්න වෙලා තිබිච්ච එක දැන් අහන්න ඕනෙ නෑ. මොකද? දැන් සෘජුව ම දකිනවා “මෙන්න නිවන් මග, මා විසින් යා යුතු මග, අනුගමනය කළ යුතු මග, සැනසීමට මග මෙන්න…” මෙන්න මේක දැක්කට පස්සෙ කියනවා, නිවන් මග තේරුම් ගත්තා, නිවන් මග දැක්කා.

 

අන්න, මෙතෙන්ට පත්වුනාට පස්සෙ මොකද වෙන්නෙ? “උජුපටිපන්න” කියන ගුණයට පත්වුනා. අවංකව ම සෘජු වෙලා පිළිපන්නෙ තියෙනවා, ආයි ඇද නෑ. දැන් මොකද වෙන්නෙ, එසේ අනුගමනය කරන කෙනාට යම් දවසක “මේ දුක” යි කියා තත් වූ පරිදි දැක්කා ද, තමාගේ නුවණ ට සහමුළින් වැටහී ආවා ද, “මේ දුකට හේතුව” යි කියලා හරියට ම දැක්කා ද, “මේ දුක්ඛ නිරෝධය හෙවත් නිවන” යි කියලා, නිරෝධයයි කියලා, හරියට දැක්කා ද, “ඒ සඳහා ඇත්තා වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය හැර තව මාර්ගයක්, මිදෙන්න පුලුවන් කමක් නෑ” කියලා සැක නැතුව සියලු ආකාරයෙන් දැනගත්තා ද, දැක්කා ද, දකිනකොට මොකද වෙන්නෙ? “සූ” කියන්නාවූ, “සුවය” ගෙන දෙන්නාවූ යම් තැනක් ඇත්ද, නිවනක් ඇත්ද,අන්න එතෙන්ට පිළිපන්න කෙනෙක් වෙලා, “සුපටිපන්න” යෙක් බවට පත්වුනා, සෝවාන් වුනා.

 

මෙන්න සෝතාපන්නයෙක් වුනා, ගුණ නමය සම්පූර්ණ වෙනකොට. එහෙනම්, එතැන් පටන් කවදාවත් එයා මේ ලෝකය තුළ “සුවයි, සුවයි” කියලා බැලුවා නම්… “නිවන හැර, නිවන් මඟ හැර තවත් සුවයක් ලෝ සතුන්ට මම නොදකිමි” කිවුව බුද්ධ දේශනාව හරියට දැක්ක කෙනෙක් වෙනවා. එහෙනම් තවත් සුවයක් මේ ලෝකෙ පතන්නෙ නෑ… “මේ ලෝකෙ මොනවා පතන්නද? කොහෙන්ද “සුවය” යි කියලා සැනසුමක් තියෙන්නෙ? “අනාථ” වෙන ලෝකේ සුවයක් තියෙනවා නම්, ලෝකෙ ඇතුලෙ නම් “සුවයි” කියලා අල්ලන්න මට කිසිම තැනක දෙයක් ඇත්තෙ නෑ, යම්කිසි තැනෙකින්, බැඳී – රැඳී සිටීමෙන් අත්හැරීමක්, නොඇල්මක්, මිදීමක් ඇත්ද, යම් තැනක ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව නොපිහිටයි ද, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ආදී වන්නාවූ නාමයක් නොපිහිටයි ද, බැඳීමක් – රැඳීමක් නැද්ද, අන්න එහෙනම් එතෙන තමයි නිදහස…” කියලා දකිනවා, නිවනේ නිදහස.

 

~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~

 

දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://waharaka.com/listen/CD003-02