ගිහි වතක සිට නිවන් දකින හැටි – 2 කොටස

gihi wathaka sita niwan dhakimu
01 සංයුක්ත තැටියමූලික දේශනා

ගිහි වතක සිට නිවන් දකින හැටි – 1 කොටස හා සම්බන්ධයි

 

දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)

ගිහි වතේ සිට නිවන් දකින්න තිබෙන හරි මඟ කුමක්ද? - 2 කොටස

 

{00:00} විපරිණාමය ගැන : ඉතින් එතකොට මේ දෙකෙන් ම එනකොට, මොකද වෙන්නේ? විපරිණාම දුක්ඛයට වැටෙනවා ඔක්කෝම. ඉතින් දුක්ඛ දුක්ඛ, සංඛාර දුක්ඛ, විපරිණාම දුක්ඛ කියන ඔන්න ඔය දුක් තුනක් ඔය ආකාරයෙන් ගොඩනැඟෙනවා. ඉතින්, ලෝකයා ප්‍රිය ස්වභාවයයි – මධුර ස්වභාවයයි කියන යමක් තියෙනවා නම්, ඒක වටිනවා ද නැද්ද කියලා තීරණයක් එනවා ඔන්න ඔතනදී. මේ ප්‍රිය ස්වභාවය – මධුර ස්වභාවය කියන්නේ අපේ මායාවක් මිසක්, අපිට බැඳිලා – රැඳිලා ඉන්න හදාගෙන ගොඩනඟන්න පුලුවන් එකක් නෙමෙයි. (ශ්‍රාවක මහතෙක්): …. මැණිකක් කියලා හිතාගෙන තිරිවානා ගලක් තියන් හිටියා වාගේ! (ස්වාමීන් වහන්සේ) : අන්න, තියන් හිටියා වාගේ! ඔන්න ඕක දකිනවා. ඔන්න, අපිට දුකෙන් මිදෙන තැන දකින්නේ ඔතනින්. දුකෙන් මිදෙන්න නම්, දුකට හේතුව අපි දැකලා තියෙන්න ඕනේ, “වැඩක් නෑකියලා. දුක ට හේතුව කියන්නේ ප්‍රිය ස්වභාවය මධුර ස්වභාවය. ඔන්න ඔය දුක ලෝකයා දකින්නේ නෑ – බාහිර ලෝකයා. ඒක සැපයි කියලා දකින්නේ.

 

{00:47} බුදු දහම අනාත්මවාදී ද? : එහෙනම්, ආර්යය ධර්මය තුළින් තමයි ප්‍රිය ස්වභාවයක් – මධුර ස්වභාවයක් ඇත්නම්, “හරයක් නෑ!” කියලා දකින්න ඕනේ, ඉස්සෙල්ලාම. දැන් ඒකේදී දකිනවා, ඒකේ යථා ධර්මතාවය දැක්කහාම, එහෙම එකක් “ප්‍රියයි – මධුරයි කියලා ගන්න වටිනවාද” කියලා, මානසිකත්වයට ගොඩනැඟිලා එනවා යථාර්තය. “ඒක වටින්නේ නෑ නේ” කියලා එනවා. අන්න, යං දුක්ඛං තදනත්ථා – ඒක දෙන්නේ දුක නම්, අසහනය නම්, කවදාවත් අපි බලාපොරොත්තු වුනා සේ දෙන වස්තු නැත්නම් “මම – මගේ” කියන එක තුළ, අපිට ඕනේ විදිහට පවත්වන්න බෑ! එහෙනම්, ඒක දැක්කාට පස්සේ අපිට එකක් වෙනවා, “එහෙනම්, කොහෙද ඒකේ හරයක්?” අසාරට්ඨේන අනත්ථාසාරත්වයක් නැති නිසා අනත්ථයි කියලා කියන්නේ, නමුත් අද “අනාත්ම” කියනවා ඕකට. ආත්මකියන්නේ ඇත!” – හරවත් ය කියන එක. හර නෑ කියන අනාත්මකියන්නේ නැත!” නැත කියන එකට වෙන වචනයක් තියෙනවා ද? ආත්ම, ඒකේ අනික් පැත්ත අනාත්ම. ඇත යනු එක අන්තයකි, නැත යනු එක අන්තයකි. මේ අන්ත දෙකට නොබැස මාධ්‍යය තුළින් තථාගතයන් වහන්සේ යථාවබෝධය ලැබුවා. “අනාත්ම” නෙමෙයි “අනත්ථ” – අනත්ථ වචනේ! අනත්ථ කියන්නේ? අසාරයි! “අසාරට්ඨේන අනත්ථා!” තෝරලාත් තියෙන්නේ ඔහොමයි. අසාරයි කියන්නේ මොකද? හරයක් නෑ! අන්න, වටිනාකමක් නෑ කියලා දකින්න ඕනේ. ඇත ද නැත ද කියන දෙක අපිට අවශ්‍යය නෑ! ඒ අන්ත දෙක, ඒක ඇති වුනත් එකයි, නැති වුනත් එකයි. ඔය වැඩපිළිවෙල හරයක් නෑ! උච්ඡේද එකට වැටෙනවා එතකොට. ඉතින් “අනාත්මවාදය” කියලා එකක් අද අපිට කියනවා, බුදුරජාණන් වහන්සේ ගේ මේ දහම අනාත්මවාදයි කියලා. ඒක වැරදි නේ, කොහෙද තියෙන්නේ එහෙම කියලා? ඒ එකක් වත් මෙතන නෑ – අනත්ථයි! යථාර්තවාදියි! යථාර්තය පෙන්වන්නේ. අන්න, යථාර්තය නම් මොකද්ද? ඕකේ හරයක් නෑ!

 

{02:38} අනත්ථ ලක්ෂණයෙන් අනාථ බව දකිමු : ලෝකයා හොඳයි කියලා ගන්න ඒවා තියෙනවා, ප්‍රිය ස්වභාව – මධුර ස්වභාව. හැබැයි හරයක් නෑ! ඒක ඇතනැත කියලා ගත්තොත් එහෙම, “නෑ කියන්නේ කොහොමද මේ පෙනිපෙනී තියෙන්නේ?” කියලා මිනිස්සු අහනවා. එතකොට, ඒක තියෙනවා කියලා ගත්තොත් උඹලා ආත්ම දෘෂ්ඨියෙන් යුක්තයිකියලා අනිත් සැරේ කියනවා. එහෙනම්, තර්ක-වාදයට ගෝචර වෙන ප්‍රශ්නයක් වෙනවා එහෙම ගන්න ගියොත්. ඕක තිබුණා නැතා කියන ප්‍රශ්නේ නෙමෙයි තියෙන්න ඕනේ, ඕකේ හරයක් නෑ! ඒකට මොකද කියන්නේ? ඒකට නම් කියන්න දෙයක් නෑ, පිලිගන්න වෙනවා කියන්න වෙනවා අන්තිමට, අහගෙන යනකොට. ඔන්න ඔය වචනේ අපේ සිංහල – ඕක තමයි පද නිරුක්තියක් තියෙනවා. මේ පදයේ නිරුක්තිය හැඟවිලා තියෙන්නේ. අර නිරුක්ති පටිසම්භිදා ඥාණං බුද්ධ ඥාණංකිවුවේ ඔන්න ඔය, ඕක සිවු පිළිසිඹියා ඥාණයක්. ඔය අන්න ඒ වචනේ තියෙන පදයේ අර්ථය හැඟවෙච්චි එකයි මේ ප්‍රශ්නය තියෙන්නේ. අන්න, + ඉච්ඡ අන් + ඉච්ච අනිච්ච ඉච්ච සේ නෑ කියන එකයි මේ වචනෙන් හැඟවිලා තියෙන අර්ථයේ තියෙනවා. අනත්ථ – අනර්ථ කියනවා සංස්කෘතෙන්, අනත්ථ කියනවා පාලියෙන්, අනාථ කියනවා සිංහලෙන්! යමක් දුක නම්, ඒක අනාථයි! අනාථයි කියන්නේ, ඇත නැත කියන දෙකටම අයිති නෑ! අනාථයි. අන්න අනාථ දකිනවා – “අනත්ථ” කිවුවේ අන්න ඒකයි. අල්ලන්න වටිනා කමක් නෑ, අනාථයි. ඇසුරු කළොත් ඉවරෙටම ඉවරයි, අනාතෙමයි. අනාත කියන එක හරි, හොඳටම – ගැඹුරට ම දුක්ඛිත භාවය, අසරණ භාවය, අන්තිම පහත් ම පෙත්ත පෙන්වන එකක් තමයි අනාථ කියන වචනය. ඉතින් ගැණු ළමයෙක් අනාථ වුනා, ගෑණු ළමයෙක් අසරණ වුනා – වචන දෙකක්. අසරණ වුනොත් පිළිසරණක් වෙන්න පුළුවන්. අනාථ වුනොත්? මුලු ජීවිත කාලෙම අනාථයි කියන එකට වැටෙනවා. එහෙනම්, අනාථයි කියලා වචනේ ගන්නේ, අනාථ වුනහම! එයා හදන්න පුලුවන් එක්කෙනෙක් නෙමෙයි. ආන්න ඒ වගේ, අනාථයි කියන වචනයෙන් පෙන්වන යමක් ඇත්නම්, ඒකේ ගන්න – කරන්න මොනම දෙයක් වත් නෑ කියන එකයි. හදන්න බෑ, ගොඩනඟන්න බෑ අනාථ වුනාට පස්සේ. එහෙනම්, මේ ලෝකේ අනාථයි! ඉතා කෙටියෙන් ම කිවුවා නම්.

 

{04:35} අනිච්ච නොදකින තාක් අනාථයි, දැක්කා නම් නාථයි : එහෙනම්, මොනවාද අනිච්ච? මොනවාද කැමති සේ නැත්තේ? මේ ඇහැ අපි බලාපොරොත්තු වෙනවා කැමති සේ පවත්වන්න, ප්‍රිය-මනාප සේ පවත්වන්න. බෑ! අප්‍රිය-අමනාපය එනවා ට අකමැතියි, නමුත් කරන්න දෙයක් නෑ, අප්‍රිය-අමනාප ඒවා එනවා. එහෙනම්, ඇහැ අනිච්චයි! රූප? අපි කොච්චර කැමති වුනත් පවත්වන්න බෑ! අකමැති රූප එනවා, නමුත් කැමති නෑ, කැමති රූප යනවා, ඒකට කැමතිත් නෑ! නමුත්, අපි කොච්චර කැමති නැති වුනත් අකමැති ඒවා එනවා, කැමති ඒවා යනවා. එහෙනම්, ඒ රූපත් අනිච්චයි! ස්ථිර නෑකතාව නෙමෙයි ගන්නේ, අනිච්චයි! කැමති සේ නෑ, ඉච්ච සේ නෑ! ඇහැ කැමති සේ නෑ, රූප කැමති සේ නෑ, කන කැමති සේ නෑ, ශබ්ද කැමති සේ නෑ, නාසය කැමති සේ නෑ, ගන්ධ කැමති සේ නෑ, දිව කැමති සේ නෑ, රසය කැමති සේ නෑ, කය කැමති සේ නෑ, ඵොට්ටබ්බයෝ කැමති සේ නෑ, මන කැමති සේ නෑ, ධර්මයෝ කැමති සේ නෑ! එහෙනම්, ඔය ටික තමයි නාම-රූප කිවුවෙත්, මුලු ලෝකෙම කිවුවෙත්. එහෙනම්, ලෝකේ අනිච්චයි කිවුවේ ඔන්න ඕකයි. කැමති සේ නැත්නම්, ඒ කැමති සේ නැති එකක් කැමති සේ පවත්වන්න ඕනෑ කියලා දෘෂ්ඨියකින් ඒ පසුපස්සේ යනවාද, ඒ තරමට ම එන්නේ දුක! එහෙනම්, මේ ලෝක සත්ත්වයා කරන්නේ ඕක. එහෙනම්, ලෝකයා අනාථයි! සත්‍යය දන්නේ නැති ලෝකයා, අනාථයක් තුළ ගොඩනඟනවා. අනාථයක් තුළ සැරිසරමින්, පිළීසරණක් හොයනවා. අනාථයක කොහොමද පිළිසරණක් හම්බ වෙන්නේ? අන්න යථාර්තය. (ශ්‍රාවක මහතෙක්) : ලෝකය අසරණයි, ධර්මතා අනාථයි! (ස්වාමීන් වහන්සේ) : ඔවු, දැන් දෙකම අහු වෙනවා නේ, දැන් ලෝකය අසරණ වෙලා තියෙන්නෙත් ඒක නේ, සරණක් නෑ! සරණක් නැති දේ අල්ලන්න ගිහාම ගිය එක්කෙනා අනාථ වෙනවා, ඒකනේ සිද්ද වෙන්නේ. අනාථයෙන් මිදුනා නම් නාථයි. අන්න, අනාථ නාථ දැක්කා නම්, බුදුන් දැක්කා! දැන් ධර්මය තුළින් බුදුන් දැක්කා නේ, යෝ ධම්මං ඵස්සති, සෝ මං ඵස්සති – දැක්කේ නැද්ද? අන්න අනාථ – නාථ දැක්ක දාට බුදුන් දැකලා, ධර්මය දැක්කා. එහෙනම්, ධර්මය තියෙන්නේ ඔතන නේද?

 

{06:24} තිලකුණ පොඩි වුනාට බුදු වරයෙක් පෙන්වා දෙනකල් ඒක වැහිලා : එහෙනම් ඉතින්, ඔය අනාථ – නාථ දකින්න තියෙන ධර්මය පැත්තක තියෙද්දී, ඔය පොඩ්ඩ දැකගන්නේ නැතුව, අපි මොනවාද මේ – මොනවාද අපිට කරන්න තියෙන්නේ? ඉතින් ඔය ටික දැනගන්න බැරිද? එදා මේ පුන්නා දාසිය නිවන් දැක්කේ ඔය ඔය පොඩ්ඩ තෝරාගන්න පුළුවන් හින්දා නේ, හත් අවුරුදු දරුවොත් නිවන් දැක්කේ! (ශ්‍රාවක මහතෙක්) : ඒකට දහම් ශක්තිය වැඩිලා, බෝධි පාක්ෂික ධර්ම වැඩිලා සම්පූර්ණ වෙලා තියෙන්නට ඕනේ නේද? (ස්වාමීන් වහන්සේ) : නෑ ඉතින්, ඕක අපිට නෑ කියන අය අද නෑ කියන්න පුලුවන් ද? ඕන තරම් ඉන්නවා! ඔය පොඩ්ඩ නේ පෙන්නා ගන්න ඕනේ, ඔය පොඩ්ඩ පොඩි වුනාට ලොවුතුරා බුදුරජාණන් වහන්සේ නමක් පෙන්වනකන් හැඟවිලා! මේක වටිනාකම එච්චර ලොකුයි! ඒ නිසා මේ වචන තුන ලෝකේ හැඟවිලා තියෙන වචන තුනක්. ලොවුතුරා බුදු වරයෙක් ම ඕනේ මේක විද්‍යාමාන කරන්න. ඒ තරම් වටිනවා. මේ වටිනා වචන තුන, අර්ථය හැඟවිච්ච නිසා අපිට අත්‍යාවශ්‍යය හරය – මහා හරයක් ලබාගන්න තියෙන එක වැහිලා තියෙනවා. මෙන්න නිවන් හරය වැහිලා තියෙන තැන. (ශ්‍රාවක මහතෙක්) : ඒක තමයි, පටිසම්භිදා ඥාණ සහිත රහතන් වහන්සේලා නැති අඩුපාඩුවක් ද තියෙන්නේ? (ස්වාමීන් වහන්සේ) : අඩුපාඩුව! එතනින් නේ ඕක මතු වෙලා එන්නේ, යථාර්තය මතු කරගන්නේ ඒකෙන්. ඉතින් ඔය ටික අපිට තේරුම් ගන්න ඕනේ. අන්න දැන් අපි දැනගන්නවා වචනයේ පදාර්ථය හරියටම. නිරුක්තිය දැක්කා, එතකොට අන්න ඒ වචනය තුළ ම තියෙනවා අර්ථය!

 

{07:44} වචනයක නියම අරුත වචනය තුළින් ම ගන්න නිරුක්ති ඥාණ අවශ්‍යයි : ඔය වචනයේ තියෙන අර්ථය පැත්තකින් දාලා, අපි ඕකට වෙන වෙන අර්ථ පටලවාගෙන කියන්න ගිහාම, අර ඡින්න භින්න පට ධාරේතීති, භික්ඛු කියලා පෙන්වනවා. භික්ඛාටණේන භික්ඛු කියලා කියනවා. එක්තරා හිඟන්නෙක් කිවුවාලු, “‘එහෙනම් මටත් වැඳපල්ලා පුදපල්ලා කියලා. ඇහුවා ලු මොකද? කියලා, “ඡින්න භින්න පට දරන හින්දා භික්ෂුව කියනවා නම්, මමත් මේ සිඳුනු – බිඳුනු ඒවා තමයි දරන්නේ, ඉතින් මං භික්ෂුවක් වෙන්න එපැයි එහෙමනම්! භික්ඛාටනේන භික්ඛු – මාත් හිඟා කාලා තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසාත් භික්ෂුවක් වෙන්න එපැයි, එහෙනම් මටත් වැඳපලා – පුදපල්ලා, මාත් භික්ෂුවක්!” කිවුවා ලු. දැන් නෑ කියන්නද? සිඳුනු – බිඳුනු පට දරන හෙයින් භික්ඛු කියනවා – ඡින්න භින්න පට ධාරේතීති භික්ඛු. දැන් තෝරලා තියෙනවා. භික්ඛාටනේන භික්ඛු – භික්ඛාටනය කරනවා කියන්නේ පිඬු සිඟා ගන්නවා. ඒ නිසා භික්ඛු කියනවා කියලා ඔය තෝරනකොට, අර හිඟන්නා කියනවා, “එහෙනම් මාත් භික්ෂුවක්!” ඒ අර්ථයෙන් බැලුවොත්. “ඉතින් භික්ෂුවකට කරන ඇප උපස්ථාන මටත් කරපල්ලා කෝ!” කිවුවා. දැන් ඉතින් එහෙම නෑ කියන්න යෑ ඔය වචන වලින් භික්ෂුව තෝරන්න ගියොත්? අන්න, පද නිරුක්තියක් තියෙනවා. භික්ඛුකියන එකේ නිරුක්තියක්, ඒක දැක්කේ නැති නිසයි ප්‍රශ්නේ තියෙන්නේ. “භික්ඛු” – “භිකියන්නේ භවය, “ඛූකියන්නේ ඛය කරනවා, “භවය ක්ෂය කරන හෙයින් භික්ෂුවකිවුවා නම්, හිඟන්නා ට කියන්න පුලුවන්ද මාත් භවය ක්ෂය කරනවා කියලා? ඌ භවයේ ඇලිලා ඉන්නේ. භවය ක්ෂය කරගෙන යන කෙනෙක් ඇත්නම්, ඒ මාර්ගයේ යනවා නම්, එයා භික්ඛු! හැබැයි, භවය ක්ෂය කරන එක “භික්ඛු” කියන වචනයේ තියෙනවා, නිරුක්තිය. පද නිරුක්තිය ඒකයි. පද නිරුක්තිය ගන්න නම්, සිවු පිළිසිඹියා – අර කියන අත්ථ පටිසම්භිදා ඥාණයෙන් ගන්න ඕනේ. (ශ්‍රාවක මහතෙක්) : මට වැටහෙන්නේ, ඔබ වහන්සේ තුළ ඒ ඥාණය වඩලා තියෙනවා (ස්වාමීන් වහන්සේ) : එක්තරා මට්ටමක් තියෙනවා, ඉතින් මං නෑ කියන්නේ නෑ, පේන්න තියෙන දේ නොකියා බැරි නිසා කියනවා. ඒ නිසා තමයි මං ඒ වචන – පද දීලා, නියම යථාර්තය මතු කරලා දෙන්නේ. ඉතින් ඒ නිසා කියන්නේ, ඒකේ තියෙනවා යම්කිසි ආකාරයකින් තේරුම් ගන්න, ඔය යථාර්තය තේරුම් ගන්නේ ඔය ක්‍රමයෙන්. ඉතින් භික්ඛු කියන එකට ඔය මං කිවුව එක, පදය හොඳට පැහැදිලියි මතු කරලා දුන්නාට පස්සේ, නමුත් පොත්පත් වල නෑ, හික්ඛු කියන එකට එහෙම අර්ථය දීලා! භවය ක්ෂය කරන – ඛූ කරනවා කියන්නේ ක්ෂය කර දමනවා, පහත් කර දමනවා, නින්දිත දෙයක් බවට පත් කරලා නිස්සාර දෙයක් බව තේරුම් කරලා දෙනවා. අන්න, භික්ඛු වෙන හැටි! ඉතින් ඕකට ඡින්න – භින්න පට දරන හින්දා භික්ඛු කිවුවාට හරියන්නේ නෑ! භික්ඛාටනය කරන හින්දා භික්ඛු කිවුවාට හරි යන්නේ නෑ! භවය ක්ෂය කර දමන්නා වූ වැඩපිළිවෙලට බැහැපු නිසා භික්ඛු කියනවා කිවුවොත් ගැලපෙනවා. ඒක හිඟන්නාට තියා, මේ ලෝකේ කාටවත් කියන්න බෑ භික්ඛු කියලා එතකොට එහම නැති කෙනෙකුට. අන්න ඒ වගේ දෙයක් ඔය තියෙන්නේ.

 

{10:27} සම්පූර්ණ මඟ වැඩෙන කර්මස්ථානයක් : ඉතින්, “යදනිච්චං තං දුක්ඛං – යං දුක්ඛං තදනත්තා” දැන් ඕක, ඔච්චරයි තෝරා ගන්න තියෙන්නේ! දැන් ඔතන මුලු ධර්මය දැක්කා, අනාථ බව දැක්කා, නාථ බව දැක්කා. මොකද්ද නාථ? එහෙනම්, කාම ලෝකය බැලුවාත් තියෙන්නේ ඔය අනිච්ච – දුක්ඛ – අනත්ථ කොටසමයි. රූප ලෝකෙට බැලුවත් අනිච්ච – දුක්ඛ – අනත්ථ කොටස මයි. අරූප ලෝකෙට බැලුවත් අනිච්ච – දුක්ඛ – අනත්ථ කොටස මයි. එහෙනම්, කාම ලෝක අනාථයි, රූප ලෝක අනාථයි, අරූප ලෝක අනාථයි, සියළුම ලෝක වල තියෙන්නේ ඔච්චරයි – සියළු ලෝක අනාථයි! එහෙනම් මොකද්ද කරන්න ඕනේ? ඕක අල්ලාගෙන ඉන්න යම් ඡන්ද රාගයකින් බැඳිලා ඉන්නවා නම්, ඔන්න ඕක අතැර ගිය දාට ඒකයි නාථ! අතහැරීම නාථයි, අපිට ඕනේ අතහැරගන්න. අතහැරීම වෙත්වා! නොඇල්ම නාථයි, නොඇල්ම වෙත්වා! මිදීම නාථයි, මිදීම වෙත්වා! නිවන ම නාථයි, නිවන ම වෙත්වා! අන්න, පැතුමයි, ධර්මයයි, දෙකම එනවා. ධර්ම ආවර්ජනය වෙනවා, ලෝකයේ ආදීනව දකින්න ඕනේ, නිවනේ ආනිසංස දකින්න ඕනේ, මෙන්න මාර්ගය වැඩෙන හැටි!

 

{11:28} නිවැරදි අස්සාස දහම් පස්සාස දහම් තෝරා ගන්න : දැන් අපි ලඟ, අනාථය අනාථය හැටියට දැක්කාට පස්සේ පහ කළ යුතු දහමක් අපි දකිනවා. පස්සාස කළ යුතු දහමක්! පස්සාස කරනවා කියන්නේ, පහ කරනවාටයි පස්සාස කරනවා කියන්නේ. එතකොට මොකද්ද ඇසුරු කරන්න ඕනේ? නාථත්වය! අතහැරීමක් ඇත්ද, නොඇල්මක් ඇත්ද, මිදීමක් ඇත්ද, යථාවබෝධය ලබා ගන්නා වූ ධර්ම මාර්ගයක් සිහි කිරීමක් ආවර්ජනයක් ඇත්ද, ඒක තමයි ආස්සාස දහම. මෙන්න මේ දහම ආස්සාස කරමින්, ලෝකයේ මෙච්චර කල් ගත්ත අවිද්‍යාසහගත දහම පස්සාස කරමින් කටයුතු කරපු, ඔය අස්සාස – පස්සාසයත් ඔය ආනාපානයෙන් යුක්ත එක්කෙනා නිවන් දකිනවා. ඔන්න ආනාපාන භාවනාව, අස්සාස පස්සාස භාවනාව. දැන් ඔය වෙන එකක් කරලා හරි යයිද? දැන් ආනාපානය කියලා හෝ, අස්සාස – පස්සාසය කියලා හෝ බඩ පුම්බලා – හකුළලා හරි, නාහෙට හුස්ම අරගෙන ඇරලා හරි ඔය ටික වෙනවා ද? පහ කළ යුතු දහම තේරුම් අරන් පහ කරලා දැම්මොත්, ඒ ඇසුරු කළ යුතු වන්නාවූ ධර්මය ඇසුරු කරමින් නිවන ඇසුරට ගත්තොත්, එයා නිවන් දකින්නේ නැද්ද? එතන නිවන් දකිනවා – හේතු තියෙනවා. හැබැයි හුස්මෙන් උඩට අරගෙන – පල්ලෙහාට අරගෙන නිවන් දකින ක්‍රමය මොකද්ද ඇහුවොත් එහෙම, මොනවා කියන්නද? ඕකට මොනවා ගැටගහන්න ගියත් හරියන්නේ නෑ. අන්න අපි දැනගත යුතු දේ! තණ්හාව යම් තැනක ද උපදින්නේ, ගෙවෙන්නෙත් එතන, ක්ෂය කළ යුත්තෙත් එතන. ඡක්ඛු ලෝකේ ප්‍රිය රූපං සාත රූපං, එත්තේසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ත නිවිස්සමානා නිවිස්සති මෙන්න තණ්හා උපදින තැනක්. ඇහැ ලෝකේ ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි, මධුර ස්වභාවයෙන් යුක්තයි. ඒ තෘෂ්ණාව එහි උපදිනවා, එහි පවතිනවා. “එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති” – එතන මයි නිරුද්ධ කරන්න පුලුවන්. අන්න, උපන් තැන ම නිරුද්ධ කරන්න ඕනේ. එහෙනම් ඇහේ උපදින තෘෂ්ණාව, ඇහැ නිසා උපදින තෘෂ්ණාව ඇහැ මුල් කරගෙනයි හටගන්නේ. එතන මයි ඒක නිරුද්ධ කරගන්න ඕනේ. රූපං ලෝකේ පිය රූපං සාත රූපං, එත්තේසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ත නිවිස්සමානා නිවිස්සති – “නිරුජ්ජමානා නිරුජ්ජති” කියන්නේත් එතන! (ශ්‍රාවක මහතෙක්) : නිරුද්ධ කිරීමක් මිස යටපත් වීමක් නෙමෙයි! (ස්වාමීන් වහන්සේ) : යටපත් නෙමෙයි! යටපත් කරන්න එකක් තියෙන්න එපැයි!

 

{13:42} නිරෝධ කරනවා කියන්නේ නැති කරනවා නෙමෙයි! : තියෙන එකක් කොහෙද තියෙන්නේ? තියෙනවා කිවුවොත් ආත්ම දෘෂ්ඨිය නේ! හේතු ඵල ක්‍රියාකාරීත්වයක් හදාගෙන තියෙනවා අවිද්‍යාවෙන්, ඔය ක්‍රියාකාරීත්වය නිරෝධ කරනවා. රෝද කියන්නේ කරකවාගෙන යනවා ඒ පස්සේ, රවුම් ගහනවා. නිරෝධ කරනවා කියන්නේ රවුම් ගහන එක නතර කරනවා. ඇති එකක් පස්සේ ගියෙත් නෑ, නැති කතාවකුත් නෑ! එහෙනම්, නිරෝධ කරනවා කියන්නේ නැති කරනවා නෙමෙයි. නැති කරනවා කිවුවොත් ඇති කරපු දෙයක් තියෙන්න ඕනේ. ඇත – නැත කියන අන්ත දෙකක් ඒක! අන්න, රෝද කියන එකේ අනික් පැත්ත – නිරෝධ, චක්‍රය නතර කරනවා. චක්‍රයක් නිසා විද්‍යාමාන වෙනවා, චක්‍රය නැත්නම් නතර වෙනවා. චක්‍රය අපි ක්‍රියාත්මක කරනවා නේ, මොහොතක් ගානේ. අවිද්‍යාවෙන් කරන වැඩපිළිවෙල ඕකනේ. මේ අපි විසින් කරන වැඩපිළිවෙලක් නිසා අපි දුක් විඳිනවා මිසක්, වෙන එකක් කරනවාද? නිරෝධ කරනවා කියන්නේ රවුව් ගහන එක නතර කරනවා. ඊට පස්සේ ඒක රවුම් ගහන්නේ නෑ. අන්න නතර වුනා. දැන් අපි ඔය බලන්න ඔය වචනය අහන හැටි, “කොහේ කොච්චර රවුම් ගහන්න ගිහින් ආවා නේද මෙතන!” අර පැරණි අය තවත් බණිනවා. “කොහෙද රවුම් ගහන්න ගියේ? ගියාද රෝන්දේ ගහන්න?” අන්න අහන වචනයක්. “රෝන්දේ” – රෝ කියන වචනයෙන් පෙන්වන්නේ රෝද කරනවා. රෝද කරන්න ගියොත් අන්ධ වෙනවා, අවිද්‍යා අන්ධකාරයට වැටෙනවා. එහෙනම්, රවුම් ගහන්න ගිහිල්ලා අන්ධ වෙන එක්කෙනාට, රෝ + අන්දය – රෝන්දේ යනවා. රෝන්දේ යනවා කියන වචනය අපේ නිකන් පැරණි වචනයක් වගේ පෙනුණාට, බලන්න දහම් වචනයක් තියෙන්නේ. රවුම් ගහන්න ගිහින් අන්ධ වෙන්න එපා! රෝන්දේ යන්න එපා! රෝන්දේ ගහන්න එපා! අන්න වචනයේ අර්ථ ආපු හැටි. අන්න නිරුක්තිය, රෝ + අන්ද – රෝන්ද. “රෝ” කියන්නේ සැරි සරණවා. “නිරෝ” නෑ, “රෝ!” අපි නිරෝ පැත්තට යන්න ඕනේ ඒක නැති කරගන්න. ඉතින් මේ නිරෝධ වෙනවා කියන්නේ අන්න ඒකයි.

 

{15:23} අස්සාසය හා පස්සාසය මනාව වැඩෙන කර්මස්ථානයක් : දැන් අපිට ආවා කර්මස්ථානයක් ඔතනත්. මෙච්චර වෙලා අහපු එක, කාම ලෝක අනාථයි, රූප ලෝක අනාථයි, අරූප ලෝක අනාථයි, සියළු ලෝක අනාථයි, අතහැරීම නාථයි, අතහැරීම වෙත්වා! නොඇල්ම නාථයි, නොඇල්ම වෙත්වා! මිදීම නාථයි, මිදීම වෙත්වා! නිවන ම නාථයි, නිවන ම වෙත්වා!” දැන් ආස්සාස දහමත් තියෙනවා, අතහැරීම නාථයි – අතහැරීම වෙත්වා, නොඇල්ම නාථයි – නොඇල්ම වෙත්වා, මිදීම නාථයි – මිදීම වෙත්වා, නිවන ම නාථයි – නිවන ම වෙත්වා – ආස්සාස දහම. කාම ලෝක අනාථයි, රූප ලෝක අනාථයි, අරූප ලෝක අනාථයි, සියළු ලෝක අනාථයි – පස්සාස දහම. දැන් ඔය ආස්සාසයයි පස්සාසයයි ඔය කර්මස්ථානය තුළ තියෙනවා. දැන් ඕක කරගෙන යනකොට ආනාපානය සිද්ධ වෙනවා. ඉතින් ආනාපානයේ යන කෙනාට අමුතුවෙන් නිවන් මඟ කියන්න දෙයක් නෑ, ධර්මයෝ – ධර්මයෝ පවත්වනවා! ඉතින්, “ධර්මයෝ ධර්මයෝ පවත්වයි, නිර්වාණ පර තෙරට යාම සඳහා ධර්මයෝ ම ධර්මයෝ පුරවයි” – න චේතනා කරණීය සූත්‍රය හොඳට විස්තර කරලා තියෙනවා, අමුතුවෙන් කරන්න දෙයක් අපිට නෑ කියලා. (ශ්‍රාවක මහතෙක්) : නිවන් දැක්කා කියන්නේ … ධර්මයන් ගේ මතු වීමක්. (ස්වාමීන් වහන්සේ): ඔවු! මතු වෙලා එන එක. ඉතින් මුල හරි නම් අග මතු වෙනවා. (ශ්‍රාවාක මහතෙක්): සෑම චිත්තක්ෂණයක් පාසා ම ධර්මතාවය තමයි මතු වෙන්නේ. (ස්වාමීන් වහන්සේ) : අන්න ඒකයි කියන්නේ!

 

{16:28} නිවැරදි ධර්මය පෙරා ගන්න අභිධර්මය අත්‍යාවශ්‍යයි : ඉතින් ඒ නිසා, ඒ මොහොතක් පාසා ම. ඉතින් දැන් මහත්මයා අභිධර්මය ගැන දන්න කෙනෙක් නේ, හදාරපු කෙනෙක් නේ, දැන් එක චිත්තක්ෂණයක් තුළ, පටිච්ච සමුප්පාද චක්‍ර 16ක් වැඩ කරන බව පෙන්වපු තැනක් අපේ ධර්මයේ තියෙනවා. දැන් අපිට එහෙනම්, පටිච්ච සමුප්පාදය තෝරන්න පුලුවන් ද ගිහිල්ලා නිකන් ලේසියට? එක චිත්තක්ෂණයක් පටන් ගත්ත තැන, “උප්පාද” වෙලා, “ඨිති” වෙලා, “භංග” කියන අවස්ථා තුනට යන්න ඉස්සෙල්ලා, “ඨිති” සම්පූර්ණ වෙනකොට, හතර ආකාරයකින් වැඩ කරන පටිච්ච සමුප්පාද චක්‍ර 4ක් ක්‍රියාත්මක වෙනවා. දැන් අද නම් අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං… ආදී වශයෙන් සූත්‍ර පිටකයේ තියෙන එකක් විග්‍රහ කරන්නේ. නමුත්, විභංගප්‍රකරණයේ, පච්චයාකාර විභංග කියන කොටසක් තියෙනවා. ඒ කොටසේ තියෙනවා සම්පූර්ණ ම මේක ක්‍රියාත්මක වෙන හැටි. දැන් මේ මේක අති සූක්ෂම විද්‍යාවක්. අභිධර්මය අහක් කරලා නිවන් දකින්න, මේ නිවන් දකින්න නෙමෙයි, ධර්මය යටපත් වුනොත් එහෙම ගොඩනඟන්න විදිහක් නෑ! ඒක විශේෂඥ ධර්මයක්, වහගත්තහාම ඇරගන්න තියෙන්නේ එතනින්.

 

{17:25} අභිධර්මයේ වැදගත් කම දැනගන්න ස්ළායතන උදාහරණයක් ගමු : දැන් අපි අහනවා, ආයතන කියන්නේ මොනවාද? අහපුහාම, සූත්‍ර පිටකය බලාගෙන ගිහාම, කිසි තැනක අටුවාවක වත් විග්‍රහ කරලා නෑ ආයතන මොනවාද? ඇස ආයතනයක්, කන, දිව, නාසය, ශරීරය ආයතන හැටියට පෙනවනවා – සළායතන. ඇස කන දිව නාසය ශරීරය මන සළායතන කියනවා. දැන් අපි අහනවා, බුදුරජාණන් වහන්සේ සළායතන නිරොධ කරා ද නැද්ද? කියලා අවිද්‍යා යත්තේව අස්සේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා විඤ්ඤාණ නිරෝධෝ, විඤ්ඤාණ නිරෝධා නාමරූප නිරෝධෝ, නාමරූප නිරෝධා සළායතන නිරෝධෝ..” උන්වහන්සේ අවිද්‍යාව ශේෂයක් නැතුව විරාගයෙන් නිරෝධයට පත් කරපු උත්තමයෙක් ද නැද්ද? කියලා අහපුහාම නෑ කියන්නද? අවිද්‍යාව ශේෂයක් නැතුව විරාගයෙන් නිරෝධයට පත් කරලා තමයි සළායතන නිරෝධ කරලා තියෙන්නේ. කළායතන කියන්නේ ඇස – කන – දිව – නාසය – ශරීරය – මන නම්, ඇස – කන – දිව – නාසය – ශරීරය සළායතන නම්, ලොවුතුරා බුදුරජාණන් වහන්සේට බුදු වුනාට පස්සේ 45 අවුරුද්දක් ඇස කන දිව නාසය ශරීරය මන තිබුණේ නැද්ද? ඇහුවොත් මොකක් කියන්නද? අන්න ඒකනේ වෙන්නේ, කෝ ධර්මය කොහොමද දෙන්නේ? සූත්‍ර පිටකයෙන් විතරක් තෝරන් ගියොත් අභිධර්මය අහක් කරලා, කොහොමද ඕක තෝරන්නේ? එහෙනම්, ඕක තෝරා ගන්න එකක් සූත්‍ර පිටකයේ නෑ, ඕක තියෙනවා විභංග ප්‍රකරණයේ. “චක්ඛු චක්ඛායතන වේද, චක්ඛායතන චක්ඛු වේද?” ප්‍රශ්න දෙකක් අහලා උත්තරේ දෙනවා. “චක්ඛු චක්ඛු වේ – චක්ඛායතන නොවේ, චක්ඛායතන චක්ඛායතන වේ – චක්ඛු නොවේ” කොච්චර ලස්සනට තෝරලා තියෙනවාද? දැන් කොහොමද, අභිධර්මය අහක් කරලා එහෙනම් තෝරන්න පුලුවන් ද ඔය වරද්දපු එක? අන්න ඒක තමයි කිවුවේ, චක්ඛායතනය වෙනයි!

 

{18:56} ආයතන හැදෙන හැටි නිරෝධ වෙන හැටි කූඩුවක්තුළින් දැකගමු : දැන් ඕක තෝරා ගන්න මං විස්තරයක් කියන්නම්. ඒක තෝරාගන්නේ මහත්තයා මෙන්න මෙහෙමයි. චක්ඛු ආයතනය තෝරාගන්න ඉස්සෙල්ලා අපි මෙහෙම දකින්න ඕනේ. මේ අපේ පැරැන්නෝ කියනවා නේද මේ අපේ ශරීරයට ශරීර කූඩුවකියලා වචනයක්? මේ “ශරීර කූඩුව”,පංචස්කන්ධ කූඩුව” මෙහෙම කතාවක් කියන්නේ, මේක අපි අද වෙනකන් එනවා, පැරැන්ණන් අතරේ. ඔන්න ඕක හොඳ උපමාවක්! අපේ ඉස්සර ශුද්ධ – මේ අපේ තිබුණා මේ, කියන්නේ අපි ලඟ තිබුණා අටුවා හෙළ අටුවාහෙළ අටුවා වල තිබිච්චා අද නෑ! හෙළ අටුවා පත්ඉරුවක් වත් නෑ අද, ඔක්කෝම විනාස කරලා! පස්සේ ලියාගත්තේ බුද්ධඝෝෂාචාරීන් ගේ අටුවා මුල් කරගත්ත අටුවා තමයි දැන් තියෙන්නේ. ඒක තමයි අද ඕවා වැහිලා තියෙන්නේ. අන්න, දැන් අපි දැනගන්න මෙන්න මෙහෙම දෙයක්, මේ “කූඩුව” කියන වචනය හරි වැදගත් දෙයක් මේ ආයතන පෙන්වන්න. ආයතන හැදුන හැටි, චක්ඛු – චක්ඛායතන නොවෙන බව පෙන්වන්න, හොඳම දෙයක්. දැන් මෙහෙම දෙයක් හිතලා බලමු, “කූඩුවක්” – අපි කඩෙන් කූඩුවක් අරන් එනවා. දැන් මේක මොකද්ද අහපුහාම, එහෙනම් “කූඩුවක්!” මයිනෙක් දැම්මොත්, දැන් මොකද්ද අහනකොට “මයින් කූඩුවක්”, මයිනා අහක් කරලා දැම්මා ගිරවෙක්, කූඩුව එහෙම්මමයි, දැන් “ගිරා කූඩුව”, ඒකා අහක් කරලා දැම්මා හා පැටියෙක්, දැන් “හා කූඩුව”, දැම්මා බලු පැටියෙක් – දැන් “බලු කූඩුව”, කූඩුව එහෙම්මමයි! දාපු දාපු සතා අනුව ඒ කූඩුවට නමක් කිවුවා. හැබැයි, කූඩුව වෙනස් කළේ නෑ, සතා විතරයි ඇතුලට ගත්තේ, පිටට ගත්තේ. දැන් තව එකක් ගමු කෝ, මේ ස්ථානය – දැන් ඉතින් අපි හිතමු මේක, මේ අපි ගන්නවා මේක “ගෘහයක්”. දැන් පශු වෛද්‍ය වැඩපිළිවෙලක් මේකේ කරගෙන යනවා ඇවිදිල්ලා, දැන් මේක මොන ආයතනයද? පශු වෛද්‍යායතනය. ගේ, මෙහෙමමයි! ඔහොම ටික කාලයක් ඉඳලා මේක අයින් කරලා දැම්මා, බැංකු ආයතනය – ග්‍රාමීය බැංකුවක් පිහිටෙවුවා. දැන් මේක බැංකු ආයතනය, ගේ එහෙමමයි! එහෙනම්, ආයතනය වෙනස් වුනේ ඒක ඇතුලේ කරපු වැඩපිළිවෙල නිසා මිසක්, බාහිරින් තිබිච්ච අර කූඩුව නිසා නෙමෙයි. මෙන්න මේ වගේ, ඇහැ කූඩුවක්!” මේක ශුන්‍ය ග්‍රාම නමුදු වේ!” මෙසේ පෙන්වලා තියෙනවා. ඔව්, මේක කූඩුව! මේ කූඩුව තියෙනවා, මේ ගුහාව! “ප්‍රසාද රූපය” මේ ඇහැත් එක්කලා සම්බන්ධයි. ජීවත් වෙලා ඉන්න කෙනාගේ චක්ඛු ප්‍රසාදයයි ඇහැයි ඔක්කෝම සම්බන්ධයක් තියෙනවා. එතකොට, මේක කූඩුව විතරයි! දැන් මේකට බැරිවෙලා හරි අපි කාම දෘෂ්ඨියෙන්, කාම සහගත හැඟීමකින් අපි කාමයෝ ඇසුරු කරන්න පටන් ගත්තොත්, මේක කාම වස්තූන් ගේ කාම දර්ශනයන්ට ආයතනයක් කරගන්නවා. ඒක මේක ඇතුලේ තියෙනකන්, කාමයන්ට ආයතනයක්! මෙන්න ආයතන හැදෙන හැටි! මේ කන තුළින් කාම හඬ අහගන්න කැමති නම්, ඒ තාක් කල් කන් දීලා අහගෙන ඉන්නවා. කන ගත්තා ඇතුලට දාන්න එකක්, කාමයන්ට අන්න ආයතනයක් කරගත්තා. අන්න “සෝත ආයතනයක්” වෙච්ච හැටි, “චක්ඛු ආයතනයක්” වෙච්චි හැටි! එහෙනම්, යම් දවසක රාගක්ෂය නම්, ද්වේෂක්ෂය නම්, මෝහක්ෂය නම්, ආයතන ඉවරයි, කූඩු ටික තියෙනවා! එහෙනම්, මේක ශරීර කූඩුව කිවුවා. අන්න ආයතන නැති වෙච්ච සළායතන නිරෝධ වෙච්චි හැටි! දැන් බුදුරජාණන් වහන්සේට සළායතන නිරෝධයි, කූඩුව තියෙනවා. එහෙනම්, පෙනීම නෙමෙයි මේ කියන්නේ! පෙනීමට බැඳුනු ඡන්ද රාගයක් ඇත්ද, ඒකෙන් තමයි මේක ඇතුලේ පවත්වන්නේ.ඡන්ද රාගය නිරෝධ කරන්නකිවුවා, පෙනීම නිරෝධ කරන්නේ නෑ! ඇහීම නිරෝධ කරන්නේ නෑ! ඇහෙනවා, පේනවා. එහෙනම්, සංඛාර නිරෝධ කරන්න ඕනේ ඔතනින්. ඉතින් එතකොට සංඛාර නිරෝධ කරනකොට, අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්න යම් වැඩපිළිවෙලක් ඇත්ද, ඒක නිරෝධයි! ඒකත් එක්ක තමයි ආයතන හැදෙන්නේ, අන්න ඡන්ද රාගය හැදෙන්නේ එතනින්.

 

{22:23} විශේෂඥ ධර්මය හෙවත් අභිධර්මයෙන් තමයි දහම් ඖෂධය හරියට තෝරා ගන්නේ : ඉතින් කොයි තරම් සියුම් තැන් පැටලිලා ද තියෙන්නේ? ඉතින් ඒකයි කියන්නේ, අභිධර්මයේ වැදගත් හරිය අසීමිතයි! ඒ ටික අයින් කරලා ඉවරවෙලා මේ ධර්මය තෝරන්න ගියොත් එහෙම, පිස්සු හැදෙනවා! අත්‍යාවාශ්‍යය දේ! අභිධර්මය නැතුව කොහොමද ධර්මය තෝරන්නේ? නමුත්, අභිධර්මයේ හරි ගැඹුරු හරියක් තියෙනවා. (ශ්‍රාවක මහතෙක්) : අභිධර්මය ගත්තේ නෑ, සූත්‍ර පිටකය විතරක් අරගෙන අනිත්‍යයි අනිත්‍යයි කිවුවාට හරියන්නේ නෑ! (ස්වාමීන් වහන්සේ) : හරියන්නේ නෑ, හරියන්නේ නෑ! මොනවාත් ගන්න බෑ! ඉතින් අභිධර්මයේ තියෙන්නේ, දැන් මෙහෙමයි, දැන් සමහර අය අහනවා අභිධර්මය පැමිණෙන්න ඉස්සෙල්ලා නිවන් දැක්කේ නැද්ද?” දැක්කා! දැන් මෙහෙම හිතන්නකෝ, වෛද්‍ය වරයෙක් ඉන්නවා, සාමාන්‍යය වෛද්‍ය වරයාට දෙනවා – උගන්වපු විද්‍යාව අනුව “මෙන්න මේ පෙති වර්ගය මෙන්න මේ රෝගයට, මේ රෝග ලක්ෂණ පෙන්වන්නේ මෙහෙමයි” කියලා වෛද්‍ය වරයාට උගන්වනවා. එයාට දෙනවා පෙත්තක නමක් ගහලා, පෙත්තේ හැඩ-රුව කියලා, පෙත්ත පෙන්වලා, “මෙන්න මේ පෙත්ත තමයි මේකට දෙන්නේ” කියලා කියලා වෛද්‍ය වරයාට කියලා දෙනවා. දැන් හොඳයි, එක සමාන වර්ණ ඇති, සමාන හැඩ ඇති, සමාන බර ඇති, යම් කිසි පෙති වර්ක කීපයක් හදලා තිබුණා නම්, එක වගේ ලෙඩ වලට, අර පැකැට් එකේ ගහලා, ඔක්කෝම කරලා, විශේෂඥ ස්ථානයෙන් හදලා එවනකොට, පෙති නිෂ්පාදනාගාරයෙන් හදලා එවනවා අර වගේ. මිනිහා ඉතින් අර ඩොක්ටර් මොකද කරන්නේ, බෝතල් වල දාලා තියාගත්තා, මොනවා මොනවායේ හරි දාලා තියාගත්තා. දැන් අර පෙත්ත බලලා, ලෙඩේ බලලා, ඒ කියන පෙත්ත බැලුවා, බලලා ඒකෙන් පෙත්තක් දුන්නා. බළලෙක් හරි මොකෙක් හරි පැනලා දඩි-බිඩි ගාලා මේක පෙරලුවා! දැන් පෙති ටික කළවම් වුනොත් එහෙම, දැන් දොස්තර අනාථයි! ඇයි? දොස්තර හැඩ රුව දකිනවා, වර්ණය දකිනවා, ප්‍රමාණය දකිනවා, මේ පෙති එක ජාතියේ දෙකක් එහෙම තිබුණා නම් මෙතන, දොස්තරට පුලුවන් ද කලවම් ඇරගන්න? දැන් දොස්තරට පෙති වලින් බෙහෙත් දෙන්න විදිහක් නෑ, පෙත්ත වරදින්න පුලුවන්. දැන් ඔය වෙලාවට මොකද කරන්නේ? මේක විශේෂඥ දොස්තර ලඟට ගෙනියන්න ඕනේ මේක ඇරගන්න. එහෙනම්, විශේෂඥයා ලඟට ගෙනිච්චාට පස්සේ, පරියේෂණයට දාලා බලලා කිවුවහාම, රසායන පරික්ෂණය ඊට වඩා අති සියුම් එකක්. ඒකෙන් තෝරනවා, මෙන්න මේ අහවල් පෙති ටික මෙන්න මේ ටිකයි, මේ මෙන්න මේ අහවල් පෙති ටික කියන්නේ මෙන්න මේ ටිකයි කියලා තෝරලා දුන්නාට පස්සේ, අන්න දැන් ආයි සැරයක් වෛද්‍ය වරයාට පුලුවන් බෙහෙත් දීලා ලෙඩේ හොඳ කරන්න. එහෙනම්, පෙති සකස් කරන නිර්මාණාත්මක අවස්ථාව වගේ තමයි විශේෂඥ ධර්මය හෙවත් අභිධර්මය! ඒ වගේ, ඖෂධය වශයෙන් තියෙන්නේ ධර්මය නම්, සූත්‍ර පිටකය නම්, සූත්‍ර පිටකයේ ඖෂධය වරද්දපු දාට, බළල්ලු පැනලා අර පෙති කළවම් කළා වාගේ, අදත් ඕක වෙලා තියෙන්නේ. එක එක්කෙනා තමන් ගේ මත ලියලා. අන්න දැන් ඉතින් අපිට කළවම් වුනාට පස්සේ, ඇරගන්නේ මොකෙන්ද? අභිධර්මයටම දාලා, සුද්ධ කරලා ගන්න ඕනේ. අන්න වෙලා තියෙන එක.

 

{24:41} විශුද්ධි මාර්ගයේ ආනාපාන විස්තරය : ඉතින්, විභංගප්‍රකරණයේ ආනාපාන විභංගය කියලා එකක් තියෙනවා. අන්න, වැදගත් ම තැනක්. දැන් අපිට “ආනාපානය” විග්‍රහ කරන්න ගිහිල්ලා කියනවා ගණන, අනුපුබ්බංචන, ටුපන, ඨපන ස්ථාන 4ක් ගැන කියනවා. ආස්වාස – ප්‍රස්වාස ගණං කරන්න කියනවා, නාගේ අග හරි තොල් පොටේ හරි හිත තියාගෙන ඉතින්, “එකයි, දෙකයි,” කියලා නාසයේ ආශ්වාස – ප්‍රශ්වාස ගණං කරලා, එකේ ඉඳලා පහ ට ගණිනවා. පහේ ඉඳලා හය, හත, අට, නමය, ඔහොම ගිහිල්ලා ගැණලා, දහයෙන් ආපහු, ආයි සැරයක් අනුලෝම – ප්‍රතිලෝම වශයෙන් යනවා. දැන් මෙහෙම කියලා දීලා තියෙනවා විශුද්ධි මාර්ගයේ. ගණන කියන්නේ හුස්ම ගණින එක. අනුපුබ්බංචනකියන්නේ එක, දෙක, තුන, හතර, පහ – එක, දෙක, තුන, හතර, පහ, හය – එක, දෙක, තුන, හතර, පහ, හය, හත කියලා දහයට වෙනකන් ගැණලා, ආපහු ගණින එක – අනුලෝම, ප්‍රතිලෝම වශයෙන් – අනුපුබ්බංචන. ටුපනකියනකොට කියනවා, නාගේ අග හරි, තොල් පොටේ හරි හුස්ම වදින තැන හිත තියන් ඉන්න. ඨපනකියනවා එතනින් ම හිත වෙනස් කරන්න එපා, පිහිටුවාගෙන එතන ම හිත තියා ඉන්න. ඔන්න ගණං හතර කියලා දීලා තියෙනවා, හතර ක්‍රමයක් තියෙනවා, “ගණන, අනුපුබ්බංචන, ටුපන, ඨපන” කියන හතර, විශුද්ධි මාර්ගයේ, ආනාපානය විග්‍රහ කරන්න ගිහිල්ලා කියලා තියෙන එක. දැන් අපි ඕක කර-කරා ඉන්නවා කියමු කෝ!

 

{25:45} විශුද්ධි මාර්ගය, අරිහත් උතුමන් ලියූ ත්‍රිපිටකයට ගලපා බලමු : හොඳයි, ආනාපන විභංගය කියන්නේ ත්‍රිපිටකයට අයිති, අභිධර්ම පිටකයට අයිති, විභංගප්‍රකරණයේ ආනාපාන විභංගය. විභංගයේ තියෙන ආනාපාන විභංගය. ආනාපාන ව්භංගයේත් තියෙනවා ගණන, අනුපුබ්බංචන, ටුපන, ඨපන කියන වචන හතර. හැබැයි, ඒකේ කොහොමද තියෙන්නේ? මේ ප්‍රථමධ්‍යානයයි, මේ ද්විතීයධ්‍යානයයි, මේ තෘතීයධ්‍යානයයි, මේ චතුර්ථධ්‍යානයයි කියලා ගණනින් තේරුම් ගන්න – අන්න ගණන. අනුපූර්ව ව සමවදින්න. ප්‍රථමධ්‍යානයට සම වැදිලා, ඊලඟට ද්විතීයධ්‍යානයට, ඊලඟට තෘතීයධ්‍යානයට, ඊට පස්සේ චතුර්ථධ්‍යානයට, මේක පුරුදු කරගන්න – අනුපුබ්බංචන. ටුපන – පිහිටන්න එකින් එකට, ප්‍රථමධ්‍යානය අධිෂ්ඨාන කරගන්න. ද්විතීය ධ්‍යානයයි මේ, එකින් එක පිහිට-පිහිටා යන්න. ඨපන – ඕනේ නම්, අවශ්‍යය ඕනේ වෙලාවක් පිහිටලා ඉඳලා පුරුදු කරන්න. ඔන්න වෂීකෘත භාවය. ධ්‍යාන හතර වෂී කරන හැටි මේ පෙන්වලා තියෙන්නේ. එතකොට, විභංගප්‍රකරණයේ, ත්‍රිපිටකයේ, මහ රහතන් වහන්සේලා ලිවුව ඒ ගණන අනුපුබ්බංචන ටුපන ඨපන ඔච්චර පැහැදිලි ව පෙන්වලා තියෙද්දී, විශුද්ධි මාර්ගයේ නාහෙන් හුස්ම ගණින්නයි, එක-දෙක-තුන-හතර-පහ කියලා ගණින්නයි, නාහේ අග හරි තොල් පොටේ හරි හුස්ම තියාගන්නයි, එතනම හිත පිහිටුවලා ඉන්නයි කියලා කියනවා. දැන් මොකද්ද ඉතින් යථාර්තය? දැන් ඉතින් මෙතන හොඳට, පැහැදිලි ව පේන්නේ නැද්ද අමුත්තක්? ඔය ඔය විභංගප්‍රකරණය නොබැලූ කෙනෙක් ද ඔය විශුද්ධි මාර්ගය ලියලා තියෙන්නේ? ඒකාන්තයෙන් දැක්ක කෙනෙක් මයි! එහෙනම්, දැක්ක කෙනෙක්, මෙච්චර මේ, අපිට මේ බැලූ බැල්මට පේනවා නම් මේක මෙහෙම එකක් කොහොමද පැටලෙවුවේ, මෙතෙන්ට ගැලපුවේ කොහොමද? මේ හුස්මට ඇල්ලුවේ, ඈඳුවේ මොන හේතුවෙන් ද? එහෙනම්, මෙතන හොඳට පැහැදිලි ව පේනවා නේද, මේ නිවන් දකින්න තියෙන ආර්යය මාර්ගයේ ආනාපාන සතිය පැටලෙන්න මේ ගොතලා තියෙන හැටි! වෙනස් කරලා තියෙන හැටි! හොඳට පැහැදිලියි නේ! බුදු පසේ බුදු මහ රහත් වැනි මහා ප්‍රාඥයින්ට ආනාපාන සතිය සප්‍රාය වේ, මෝහ චරිතයාට ආනාපානයක් නොකියමි!” බුදු රජාණන් වහන්සේ මජ්ජිම නිකායේ දේශනා කරලාත් තියෙනවා. විශුද්ධි මාර්ගයේ කියනවා ආනාපාන සතිය මෝහ චරිතයාට සප්‍රාය වේ!” දැන් කෝ ගැලපීම? ඉතින් කොහෙද හරියන්නේ ඉතින්? ධර්මයට ගැලපිලා කෝ? අන්න, විශුද්ධි මාර්ගයේ එහෙම කියනවා, බුදු රජාණන් වහන්සේ ගේ ආනාපාන සතිය මොකද්ද? ඒක දකින්නේ නෑ!

 

(ශ්‍රාවක මහතෙක්) : ඉතින් ස්වාමීන් වහන්ස, අපේ අයට වැරදිලා තියෙන්නේ, සිවු පිළිසිඹියා පත් අරිහතුන් වහන්සේලා ලියපු එක කියවන්නේ නෑ, අර අහක යන, සාමාන්‍යය… (ස්වාමීන් වහන්සේ) : සිවු පිළිසිඹියා පත් අරිහතුන් වහන්සේලා ගේ බණ අභිධර්මය පස්සෙ හදාගත්ත එකක් කියලා දානවා පැත්තකට. අර විශුද්ධි මාර්ගයේ අරකයි මේකයි කියන එක මුදුන් මල් කඩක් කියලා දරා ගන්නවා, ඒක හරි එකක්! දැන් කොතන ද ඉන්නේ? ඉතින් කාට කියන්නද මේවා? (ශ්‍රාවක මහතෙක්) : එතකොට, බුද්ධඝෝෂ හාමුදුරුවෝ සම්මා දිට්ඨිය – සෝවාන් ඵලයක් වත් නෑ නේද?

 

{28:24} බුද්ධඝෝෂ හාමුදුරුවෝ ආවේ ථේරවාදී පරපුරක් ලඟටද? ලිවුවේ ඇත්තද? : දැන් බුද්ධඝෝෂ හාමුදුරුවෝ කියන්නේ දැන්, ඕං අපි නුවණින් නැති, අඩු ගානේ මේ අපේ ඉතිහාස කතාව වත් බැලුවා නම්, වැදගත් දෙයක් දකින්න පුලුවන්. ඔය මහා විහාරයට ඇවිදිල්ලා ථේරවාදී පරපුරත් එක්ක සම්බන්ධ වුනායි කියලා අපි හිතාගෙන ඉන්නවා බුද්ධඝෝෂ හාමුදුරුවෝ ගැන. ථේරවාදී පරපුරත් එක්ක මහා විහාරයේ සම්බන්ධය තිබුණේ මහා විහාරය ගිණිබත් කරනකන් විතරයි, මුලදී. මහා විහාරය ගිණිබත් කරනකොට සම්පූර්ණ ම මහා විහාරයේ හිටපු භික්ෂූන් වහන්සේලා, ථේරවාදී පරපුර, දාලා යන්න ගියා ඔක්කෝම! දින 7ක් පොත් ගුල් ගිණිගත්තා කියලා මහාවංශයේ විග්‍රහ වෙනවා, මහා විහාරයේ තිබිච්ච පොත්-පත්. එහෙනම් එතකොට, පොත් ගුල් ගිණිගන්න දින 7ක් තිස්සේ, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කරන්න ඉස්සෙල්ලා තිබිලා නැද්ද අපේ පොත්පත්? මොනවාද ගිණි ගත්තේ? එහෙනම්, ඊට පස්සේ ඔය වෙලාව වෙනකොට අභයගිරිය විහාරයයි, මහා විහාරයයි දෙකේ භේදයක් නිසයි ඔය ප්‍රශ්නය මතු වුනේ. ඊට පස්සේ මේ මහා විහාරය ගිණිබත් කරපුහාම, අභයගිරි වාසීන් රාජ පාක්ෂිකයි, ආයේ තනතුරු දරාගෙන, රාජ ඨානාන්තර දරාගෙන, මිනිස්සුන් ගේ හිත් දිනාගන්න ක්‍රම හදාගෙන හිටපු පිරිසක්. ඔය පිරිසෙනුත් කොටසක් භේද වෙලා දක්ෂිණගිරි කියන විහාරයකට ගියා. ඒ නිසා, සාගලිකකියන භික්ෂුවක් දක්ෂිණගිරි කියන විහාරයේ පදිංචි වෙලා, එතන හදාගත්තා තමන්ගේ ගෝල පිරිසක්. අර මහා විහාරය ගිණිබත් කරපුහාම බෞද්ධයින් ගේ ඇති වෙච්ච කෝප – කැරැල්ලක් ඇති වුනා, කෝප වෙලා බෞද්ධයෝ. රජ්ජුරුවෝ ඒකට බය වෙලා, රජ්ජුරුවෝ පොරොන්දු වුනා, මහා විහාරය තිබුණ හැටියටම හදලා දෙනවා කියලා. ඔතන “උඳු” වැපුරුවා කියලා තියෙනවා බිම, හාලා! මොකද, මහා විහාරය විනාශ කරලා ඉස්සෙල්ලා. එතන තිබිච්ච හැටියට හදලා, බාර දුන්නේ කාටද? අර දක්ෂිණගිරිවිහාරයට ගිය අර සාගලිකපරම්පරාවට! දැන් ඊට පස්සේ මහා විහාරය, අලුත් මහා විහාරයේ කවුද ඉන්නේ? අභයගිරියෙන් භේද වෙලා දක්ෂිණගිරි විහාරයට ගිහිල්ලා, ඒකෙන් ආපු කොටස මහා විහාරයේ දැන් ඉන්නේ! දැන් මහා විහාරයේ භික්ෂූන් කියන අන්න එතෙන්ට තමයි ආවේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ! එහෙනම්, බුද්ධඝෝෂ හාමුදුරුවෝ ඇවිදිල්ලා තියෙන්නේ ථේරවාදී පරපුරක් ලඟට ද? ඉතින්, ඔතෙනදී කොහොමද ඇත්තක් ලියවෙන්නේ? ඒගොල්ලන්ට ඕනෑ කම තියෙන්නේ ලාභ – කීර්ති – ප්‍රශංසා ලබාගෙන, ආර්ය මර්ගය පිරිහෝලා දාලා, මිනිස්සු අතර නම තියාගෙන, තමන්ගේ වැඩේ කරගන්න. ඉතින් ඕකනේ වෙලා තියෙන්නේ!

 

{30:37} පෙළ දහම විග්‍රහ කරන්න සිවුපිළිසිඹියාපත ඕනේ : ඉතින් කොහොමද ඔය අටුවාවේ ප්‍රශ්නය, කොහොමද අපි හරියට ගන්නේ? අටුවාවේ කොහොමද විග්‍රහ වෙලා තියෙන්නේ? ඉතින් පෙළ දහම හරි! මොකද? මාතලේ අළු විහාරයට ආදිය ගිහිල්ලා උන්වහන්සේලා, ගිහිල්ලා, හැම තැනම ත්‍රිපිටක පොත් ලියලා, තිබ්බා හංගලා! තිබ්බ නිසා ත්‍රිපිටකය හැඟවුනා – හැඟවිලා, මතු වෙලා ආවා ත්‍රිපිටක වාක්‍යය ටික. අටුවා ලියන්න ගියාට පස්සේ, තමන්ට ඕනේ අටුවා ලිවුවා. ඉතින් ඊට පස්සේ අටුවාවෙන් අපිට හොයා ගන්න බෑ දැන් ත්‍රිපිටකයේ අර්ථය මොකද්ද? අර්ථය වැහුණා! (ශ්‍රාවක මහතෙක්) :ඒක වුනේ ස්වාමීන් වහන්ස, අර සිවුපිළිසිඹියාපත නැති වුනු හින්දා, (ස්වාමීන් වහන්සේ) : අන්න ඒකයි කියන්නේ, ඒ හිටියා නම් මේ පෙළ දහම හොඳටම ඇති! (ශ්‍රාවක මහතෙක්) : රහතන් වහන්සේලා ලියපු එකක් අර්ථ නිරුක්ති වලින් ගන්න බෑ! අර්ථ නිරුක්ති නැති කම නේ? (ස්වාමීන් වහන්සේ) : අන්න ඔව්, ගන්න බෑනේ! ඒකයි. ඉතින් අර්ථ ධර්ම – නිරුක්ති පටිභාන තියෙනවා, නැඟුනා නම්, අර ධර්මය බලනකොට ලස්සනට පේන්න පටන් ගන්නවා, මෙන්න නියම දහම් මාර්ගය! මෙන්න වරද්දලා තියෙන එක! මේකේ හේතුව මෙන්න! ඔය දෙකම කීයහැකි! මෙන්න මේ හේතුවෙන් මේක වැරදියි! මේ හේතුවෙන් මේක හරි! විග්‍රහ කරන්න පුලුවන්.

 

{31:33} ධර්මාවබෝධයේ දී පාපයෝ අතහැරෙන්නේ කවුරුවත් කියන නිසා නෙමෙයි! : දැන් ඉතින්, ඔය ටික පෙන්වනකොට, චත්තාරෝ අස්සසාසෝ අධිගතෝ හෝති!” කියලා, සතර ආස්සාසයක් ලබනවා කියලා පෙන්වලා තියෙනවා අපි දන්න, ඔය හැමෝම දන්න කාලාම සූත්‍රයේ අගට තියෙනවා. වෛර පහක්, භය පහක් දුරු කළ ආර්ය ශ්‍රාවකයා ඉහාත්මයේ ම ආස්සාස 4ක් ලබයි“- “චත්තාරෝ අස්සසාසෝ අධිගතෝ හෝති” අන්න, “අස්සසාස” කියන වචනය පැහැදිලිව තියෙන තැනක්. සතෝව අස්සසති” – සිහියෙන් හුස්ම ගන්න නෙමෙයි කිවුවේ, අන්න ආස්සාසය ගන්න කිවුවේ අන්න එතන තියෙනවා අස්සාසය. මොකද්ද?අස්වැසිලි 4ක් ලබනවා– සැනසීම් 4ක් ලබනවා. මොකද, යථාර්තය දැනගත්ත ඒ ආර්ය ශ්‍රාවකයා, ඒ තමන් විසින් මේ එතෙන්ට පත් වෙනකොට, එයා පාපය අත්හැරිලා යනවා එයාගේ. මොකක් නිසාද? මේ ලෝකයාට වෛරය ඇති කරන, භය ඇති කරන, මේ යම් පංච දුස්චරිතයක් එයාගෙන් කෙරෙන්නේ නැතුව යනවා. එතකොට, අන්න ඒ වෙලාවෙදී මොකද වෙන්නේ? ඔන්න ඔය කියන මේ මේ – නැති වෙලා යන්නේ, කාගෙවත් දෘෂ්ඨි වලට අහු වෙලා නෙමෙයි, කවුරුවත් කියන පද අහලා නෙමෙයි. වරද – වරද හැටියට දැකලා, දුස්චරිතය – දුස්චරිතය හැටියට, නොකටයුත්තක් හැටියට දැකලා යි පහ කර දමන්නේ – ධර්මාවබෝධයේදී!

 

{32:54} අවබෝධය නිසා ලබන අස්සාස හතර මෙන්න මේවා : ඒකාලේ එක එක මත තියෙනවා. එක එක අය – අන්‍ය පරිබ්‍රාජකයෝ ඇවිල්ලා එක එක දේශනා කරලා යනවා. පෙළක් අය ඇවිදිල්ලා කියනවා “යමිකිසි කෙනෙක් කරන්නා” – මෙහෙම, කියන්නේ “පරලොවක් තියෙනවා, කරන ලද පිංපවු වල විපාක පල දෙනවා” දැන් ඔය එක කට්ටියක් ඉතින් මෙහෙම දේශනා කරනවා. “ඒ නිසා පවු කරන්න එහෙම එපා!” එහෙමත් කියනවා. දැන් ඒගොල්ලන් ගේ බණ අහලා මේ සෝවාන් පුද්ගලයා, නැත්නම් මේ ආර්යය ශ්‍රාවකයාට ඒගොල්ලන් ගේ බණ අහලා පවු නොකර ඉන්න ඕනේ කමක් නෑ! මොකද, “මං වරද වරද හැටියට දැකලා, දුස්චරිතය – දුස්චරිතය හැටියට දැකලා, මං මේක අත්හැරලා ඉන්නේ! මට පරලොවක් තිබුණාත් එකයි, නැතත් එකයි! – පිං පවු තිබුණත් එකයි, නැතත් එකයි! මං ඒ නිසා මට මේ අත්හරින්න ඕනේ කමක් නෑ, ඔයාලාගේ කීම අහලා.” (ශ්‍රාවක මහතෙක්) : සහාවස්ස දස්සන සම්පදාය! (ස්වාමීන් වහන්සේ) : අන්න, එතන ලබලා තියෙනවා. පෙලක් අය කියනවා, “පරලොවකුත් නෑ, කරන ලද පිංපවු වල විපාකයකුත් නෑ!” – “ඉතින් මගේ මොකද? මං පවු නොකර ඉන්නේ පරලොවක් නැති හින්දා වත්, පිං-පවු වලට විපාක නැති හින්දා වත් නෙමෙයි, මේවා වැරදි බව මට පේන හින්දා, මේවා දුස්චරිත බව පේන හින්දා, නොකටයුතු බව පේන හින්දා, අවැඩ බව පේන හින්දා” අන්න දෙවෙනි ආස්වාසයත් ලබනවා. “කරන්නා ටයි මේ පවු සිද්ද වෙන්නේ” කියලා තව කට්ටියක් කියනවා, පවු කරපු කෙනාට පවු! “ඉතින් මගේ මොකද?, කොහොමත් මට – පවු කරන කෙනාට පවු වුනත්, පවු නොකරන කෙනාට පවු වුනත් මට ප්‍රශ්නයක් නෑ! මං එහෙම නිසා පවු නොකර ඉන්නවා නෙමෙයි! ඉතින් දැන් ඕගොල්ලන්ගේ බණ මට අහලා අමුතුවෙන් දරා ගන්න එකක් නෑ!” අන්න තුන්වෙනි ආස්වාසයත් ලබනවා. “කරන්නා ට පවු සිදු නොවේ නම්” – “ඉතින් මගේ මොකද? මං මෙලොවත්, පරලොවත් සැනසිල්ලේ ඉන්නවා නේ! මොකද, මං ඒ නිසා වත්, පවු සිද්ද වෙන්නේ නැති හිංදා මං පවු නොකර ඉන්නවා නෙමෙයි, එහෙම ප්‍රශ්නයක් නෑ! මේක වරද-වරද හැටියට මට පේනවා.” මෙන්න මේ ආකාරයෙන් ආස්වාස 4ක් ලබනවා මෙලොවදීම කියලා පෙනවනවා. මෙන්න ආස්වාස! මෙන්න චත්තාරෝ අස්සසාසෝ අධිගතෝ හෝති!” මෙන්න අධිගත කරන එක!

 

{34:39} උදයංගම අත්ථංගම ආස්වාද ආදීනව – නිස්සරණ තමයි ලෝකේ හැම දෙයක්ම : අස්සසාස – “ආස්සාස සූත්‍රය” කියලා සූත්‍රයක් තියෙනවා. අස්සාස සූත්‍රයසහ පරම අස්සාස සූත්‍රයස්ඵර්ශ ආයතන 6 පිළිබඳ උදයංගම අත්ථංගම ආස්වාද ආදීනව – නිස්සරණ තතු සේ දකීද, එකල්හි ආස්වාසයෝ පූර්ණ ය!” මෙන්න, පූර්ණය කරන ආස්වාසයක් මේ සාසනයේ තියෙන්නේ, අරගෙන – අරගෙන පහ කරන එකක් නෙමෙයි! අරගන්න එකක් නෙමෙයි, අරගෙන පහ කරන එකක් නෙමෙයි – පූර්ණ කරන එකක්. චක්ඛු ස්ඵර්ශ ආයතනය – චක්ඛු සංස්ඵර්ශ ආයතනය, සෝත සංස්ඵර්ශ ආයතනය, ඝාන සංස්ඵර්ශ ආයතනය, ජිව්හා සංස්ඵර්ශ ආයතනය, කාය සංස්ඵර්ශ ආයතනය, මනෝ සංස්ඵර්ශායතනය. මෙන්න මේ හය පිළිබඳව, උදයංගම – අත්ථංගම – ආස්වාද – ආදීනව – නිස්සරණ තතු සේ දකීද, එකල් හි ආස්වාසයෝ පූර්ණය වේ! මෙන්න පූර්ණ කරන ආස්වාසය තියෙන තැනක්, මෙන්න සතෝව අස්සසති!” සිහියෙන් අරගන්න කිවුව එක. මොනවාද පූර්ණ කරගන්න ආස්වාස? අන්න, චක්ඛු සංස්ඵර්ශය අපි දකින්න ඕනේ. මේ ඇහෙන් ගන්න ස්ඵර්ශයක් තියෙනවා නම්, සංස්ඵර්ශයක් තියෙනවා. ස්ඵර්ශ සංස්ඵර්ශයක් වෙන්නේ මොකක් නිසාද? ස්ඵර්ශ කරලා නතර කරන්න බෑ, සංස්ඵර්ශ කියන්නේ ඒකත් එක්ක අපි එකතු වෙනවා. මොකක් නිසාද? අවිද්‍යා තෘෂ්ණාව නිසා! අන්න, ආයතනයක් හැදෙන හැටි! සෝත සංස්ඵර්ශය, ඝාන සංස්ඵර්ශය, මේවා හැදෙන්නේ එහෙම. අවිද්‍යාවත් – තෘෂ්ණාවත් එක්ක එකතු වෙලා, අර කියන්නේ – දෘෂ්ඨියෙන් අරගත්තාට පස්සේ,ආත්ම දෘෂ්ඨියෙන්ගත්තාට පස්සේ, අපිට සංස්ඵර්ශ ගොඩනැඟෙනවා. මෙන්න මේ ආයතන 6 පිළිබඳව “උදයංගමය” දකින්න ඕනේ, “අත්ථංගමය” දකින්න – දැන් ඕකට “අස්ඨංගම” කියලා අද තෝරන්න යනවා, හටගැනීම – විනාසය කියලා. “උදයංගමය” කියන්නේ උදා වෙන හැටි. “අත්ථංගමය” කියන්නේ උදා වෙච්චි එක පැවැත්ම පේන හැටි. “ආස්වාද” කියන්නේ ඒකෙන් ලබන ආස්වාදය. “ආදීනව” කියන්නේ ඒකේ අන්තිමට ලැබෙන, වැහැරී යන ආකාරයෙන් ආදීනව දකින්න ඕනේ. ඊලඟට “නෙක්ඛම්ම – නෙක්ඛම්ම” එතකොට, ඒක ඉවර වෙන හැටි. කටයුතු ක්‍රියා කරලා ඉවරයි. මේ සියළුම දේකට, ඇහැ – කන – දිව – නාසය – ශරීරය කියන මේවාටත්, ඒ වාගෙම, රූප – ශබ්ද – ගන්ධ – රස – ඵොට්ටබ්බ – ධර්ම කියන මේවාටත්, උදයංගම – අත්ථංගම – ආස්වාද – ආදීනව – නිස්සරණ කියන ක්‍රියා කලාප, ක්‍රියා පිණ්ඩනයක් තුළ – සම්පිණ්ඩයක් තුළ, සිද්ද වෙන ක්‍රියා දාම තමයි මේ ලෝකේ හැම දෙයක්ම!

 

{37:04} ලෝකේ සියල්ලට පොදු වූ ධර්මතාවය උදාහරණයකින් බලමු : ඇහැ – කන – දිව – නාසය – ශරීරය බැලුවත්, රූප – ශබ්ද – ගන්ධ – රස – ස්ඵර්ශ ගැන බැලුවත්, අභ්‍යන්තර – බාහිර කොහේ බැලුවත්, යමක් නිර්මාණය වෙන්නේ උදයංගමයෙන්, උදා වුනා! උදා වෙච්චි එක, උදා වෙන මට්ටමක් තියෙනවා. ඒ මට්ටමට ආවා – අත්ථංගමයට ආවා. ඊට පස්සේ, ඒක ආස්වාද දෙන කාලයක් ආවා. ඊට පස්සේ, ඒ කාලය ගෙවී ගියා – ආදීනව කාලෙට ආවා. ඊට පස්සේ වැනසිලා ගියා. මෙන්න මේ ක්‍රියාවලිය යි මේ ලෝකේ තියෙන්නේ කියලා හරියට දැක්ක දාට, ආස්වාස පූර්ණයි! ඇසුරු කළ යුත්ත ඔච්චරයි ඇසුරු කරන්නේ, දහම් ඇසුරු කරනවා ඔතෙන්ට එන්න. දැන් ඉතින් බලනවා, කොහොමද ඒක? උදයංගම – ළමයෙක් පිළිසිඳගත්තා, නැත්නම් බඩට ආවා. එතන පටන් ගෙන ළමයා වැඩෙන්න පටන් ගත්තා – උදයංගම වුනා! දැන් ළමයා බිහි වුනා. බිහි වුනාට පස්සේ අවුරුදි 16ක් විතර වෙනකන් ළමයා උදයංගම අවස්ථාවේ, නැඟිලා එනවා. නැගිලා එන්නේ, අවුරුදු 16ක් 17ක් ගියාට පස්සේ මෝරනවා මිසක්, උස යන්නේ නෑ – මහත ඒ වෙන එක, මෝරනවා තියෙන ඇඟ. ඇඟ වැඩිලා ඉවරයි. අන්න, අත්ථංගමයට ආවා. දැන් ඉතින් ආස්වාද – තරුණයා, තරුණිය. ආස්වාද හොයාගෙන යනවා, ආස්වාද කාලේ. ඒ අවස්ථාව ඉක්ම ගියා, මැදි වයසට ආවා, ආදීනව කාලෙට ආවා, මැරිලා ගියා – නෙක්ඛම්ම! ඔය අතර කාලයක් තුළ තමයි – උපතයි මරණයයි අතර ක්‍රියා සිද්ධාන්තය යන්නේ, උදයංගම අත්ථංගම ආස්වාද ආදීනව – නිස්සරණ! ඕකෙන් අහක් වෙලා පැනපු තැනක් කිසිම සත්ත්වයෙකුට නෑ! ගහක් හිටවනවා. අඹ ඇටයක් හිටෙවුවා – උදයංගම. පැල වෙලා ආවා, ඉතින් ගහ වැඩිලා එනවා එක්තරා මට්ටමක් තියෙනවා, අඹ ගහක් ලොකු වෙන මට්ටමක්. ඔයිට වඩා ලොකු වෙන්න බෑ, මෝරනවා මිසක්. අත්ථංගමයට ආවා. ඉතින්, ඵල දරනවා – හොඳ අඹ ගහ, ඇඹුල් අඹ ගහ කියනවා, ඵල දරනවා – ආස්වාද කාලේ. ඊට පස්සේ අඹ ගහ මෝරලා, මෝරලා ගිහිල්ලා, දැන් කොලත් හීං වෙලා, අතුත් කැඩිලා ගිහිල්ලා, ආදීනව කාලේ. ගහ මැරිලා ගියා – නිස්සරණ! අඹ ගහටත් එච්චරයි, කජු ගහටත් එච්චරයි, කොස් ගහට පොල් ගහටත් එච්චරයි, මේ ලෝකේ ද්‍රව්‍යය වස්තූන්ටත් එච්චරයි, අපිටත් එච්චරයි!

 

{39:05} ආස්වාස කළ යුත්තේ දහම මිසක් හුළඟ නෙමෙයි! : එහෙනම්, හටගත්ත හැම දෙයක් ම උදයංගම – අත්ථංගම – ආස්වාද – ආදීනව – නිස්සරණ කියන මෙන්න මේ ක්‍රියාදාමය තුළ ගංගා ප්‍රවාහයක් නොනවත්වා ගලා යනවා වාගේ ගිහිල්ලා වැනසිලා යනවා! ඕක නවත්වන්න කෙනෙක් නෑ, ඕක ධර්මතාවය! ඔන්න, ධර්මතාවය ධර්මතාවය හැටියට දැක්කා නම්, එතකොට අන්න එදාට මොකද කරන්නේ? ආස්වාසයක් කරගත්තා, ඇත්ත ආස්වාස කළා! අස්වැසිල්ල ලැබෙනවා. එහෙනම්, ඕක ඔහොම නම්, ඕකේ මමකිවුවාට, “මගේකිවුවාට, “මගේ ආත්මයකිවුවට පුලුවන් ද තියා ගන්න? කෝකද හිර කරන්නේ? “මමකියලා ගන්නේ මොකද්ද? “මගේකියන්නේ මොනවාද? මගේ වචනයක් විතරයි ඒක! කිවුවාට සිද්ද වෙනවාද? මම බලාපොරොත්තු වුනාට, ඒක හරියන්නේ නෑ, උදයංගම – අත්ථංගම – ආස්වාද – ආදීනව – නිස්සරණ! ඒ ක්‍රියාවලියක යනවා ඒ තුළ, ඊලඟ වැනසිලා යනවා. ඕක “මම” කිවුවත් නවතින්නේ නෑ, “මගේ” කිවුවත් නවතින්නේ නෑ, “මහ රජ්ජුරුවොන් ගේ” කිවුවත් නවතින්නේ නෑ, “දෙයියන් ගේ, බ්‍රහ්මයන් ගේ” කිවුවත් නවතින්නේ නෑ, නවත්වන්න බෑ! ඔය ධර්මතාවය ඔච්චරයි. එහෙනම්, ඕක නම් ධර්මතාවය, ඕක දැක්ක ගමන් ආස්වාසය පූර්ණයි! ඕක තමයි දැකගන්න ඕනේ. අන්න, දහම් ආස්වාසය හුළඟ නෙමෙයි! ඉතින්, මෙච්චර පැහැදිලි ව පෙන්වලා තියෙද්දී සූත්‍ර වල, හුළඟට පෙනවපු තැනක් කොතන ද තියෙන්නේ?

 

{40:14} ආයු කල්පය කියන්නේ යමකට උරුම කාල ප්‍රදේශය කියන එකයි : (ශ්‍රාවක මහතෙක්) : ස්වාමීන් වහන්ස, දැන් …. මහා කල්පයක් වැඩ හිටියේ නැත්තේ ආනන්ද ස්වාමීන් වහන්සේ වරයක් ඉල්ලුවේ නැති නිසා නේ, එතකොට ඒක ඕකට පටහැනි වෙනවා නේද? (ස්වාමීන් වහන්සේ) : ඒ කිවුවේ? නෑ! ඒ තියෙන්නේ මෙහෙමයි,කපක් හෝ ආසන්න කාලයක් වැඩ ඉන්න පුලුවන්!” සදහට වැඩ ඉන්න බෑ නේ! දැන් උදයංගම – අත්ථංගම – ආස්වාද – ආදීනව – නිස්සරණ, නිස්සරණය වෙන්න ඉස්සෙල්ලා ආදීනව කාලේ නේ ඔය යන්නේ. දැන් උන්වහන්සේ හොඳට පැහැදිලි ව පෙන්නුවා නේ, එක අවස්ථාවක අවුව තපිමින් ඉන්නවා, සීතල වෙලාවේ. වයසට ගිහිල්ලා – අවුරුදු 80ක් වයස. ඒ වෙලාවේදී සිවුරු පොට අහක් කරලා ඉන්නකොට, ආනන්ද හාමුදුරුවෝ කියනවා “අනේ ස්වාමීනි, කොහොම තිබිච්චි ශරීරයක් ද? දැන් මේ කොඳු ඇට ටික මතු වෙලා ඇට සැකිල්ල පේනවා. ඉළ ඇට පේනවා. ඇඟ ඔක්කෝම හම රැලි වැටිලා, මෙච්චර ලස්සනට තිබිච්චි හම. දැන් මේ පේන්නේ කොහොමද?” “ඉතින් ආනන්ද, එහෙම තමයි දරන ලෝක ස්වභාවය මේකයි! හරියට ම ඔය දැන් පූනු ගෙවිච්ච, දිරච්ච බර කරත්තයක්, නාකි ගොනෙක් ඇදගෙන යන්නේ කොහොමද, එහාට වැනෙනවා – මෙහාට වැනෙනවා. ඒ වගේ තමයි දැන් මේ කයත්, බලන්නකෝ ලෝක ධර්මතාවයේ හැටි!” ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා නේ පැහැදිලිව ම මේ කයට වෙන එක! බුද්ධ දේහයටත් ඒක නේ වුනේ! උදයංගම වුනා අත්ථංගම වුනා ආස්වාද ආදීනව – නිස්සරණ! ඒකටත් එච්චරයි! කාලය ටිකක් ඉක්ම කරගන්න පුලුවන්, මොකද්ද මෙතන අර තියෙනවා සතර සෘද්ධි පාද වැඩූ අභිඥා ලාභියෙකුට පුලුවන් කමක් තියෙනවා ඕනේනම් ආයු සංස්කාරය කරලා පොඩ්ඩක් කාලයක් දික් කරගන්න. ඒ දික් කළා කියලා, සදහට තියා ගන්න බෑ නේ! කල්පයක්කියන්නේ ආයුෂ කල්පයක් අවුරුදු 120ක්. ඒ කාලය – ඒ කාලය, ඔවු, එච්චරයි! කල්පකියන්නේ කාල ප්‍රදේශය කියන එකයි. යමකට උරුම කාල සීමාව, කල්පය කියන්නේ. ලෝකෙට – ලෝකෙට නම් ලෝක කල්ප. (ශ්‍රාවක මහතෙක්) : අවුරුදු 80,000ක් වැඩ ඉන්න කාලෙක නම් ආයු කල්පය අවුරුදු 80,000ක්, (ස්වාමීන් වහන්සේ) : ඔවු, අන්න ඒකයි. ජීවිත ආයුෂ නම්, ජීවිත ආයුෂ කල්ප. කාල ප්‍රදේශය කියන එකයි කල්ප කියන්නේ.

 

{42:17} මනෝමය කය ප්‍රගුණ කරලා අවුරුදු දාහක් හිටියත් ධර්මතාවය ඕකමයි! : (ශ්‍රාවක මහතෙක්) : එතකොට දැන් අර අවුරුදු 600 – 2,000 වගේ ජීවත් වෙන හින්දා මේ … (පැහැදිලි නැත) …. (ස්වාමීන් වහන්සේ) : ඔව්, ඉතින් ඒක හරි! මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි නොදන්න පැති හුඟාක් තියෙනවා මේවායේ. දැන් මේ මිනිස් කය තියාගෙන ඉන්න පුද්ගලයාට පුලුවක් කමක් තියෙනවා මනෝමය කයක් මවලා අහකට යන්න. ඒක එක අභිඥා ලාභී පුද්ගලයා අභිඥා ලබලා කරන වැඩක්. ඒ මනෝමය කායිකත්වයෙන් ජීවත් වෙන පුද්ගලයාට පුලුවන් මේ කය පැත්තක තියලා මනෝමය කය ප්‍රගුණ කරගන්න. ඒකෙන් කාලා – බීලා, ඒ කය ජීවත් කරවලා, ඒක ඝනීභවන කරන්න පුලුවන්. ඒ ඝනීභවනය කරගත්ත කෙනා, එයා දකිනවා, “මේ මස් – ලේ සහිතව හටගත්ත, මවු ගේ ශරීරයෙන් හටගත්ත, දෙතිස් කුණප කොට්ඨාසයෙන් යුක්ත මේ කුණු කය, වා – පිත් – සෙම් සහිත මේ කුණු කය තියාගන්න එකෙන් වෙහෙසට පත් වෙනවා, මං මේක දිරලා යන්න ඇරලා, මං මේකේ (මනෝමය කයේ) ඉන්නවා” කියනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අර ඒ අයගේ තමයි අර මේ වැල් ගිහිල්ලා, අත් අස්සෙන් වැල් ගිහිල්ලා එහෙම ගිහිල්ලා, අර ඇට සැකිලි තිබිච්චා වාගේ මෙහෙම ගිහිල්ලා, දිරා – දිරකඩ වෙලා යනවා කියන්නේ, ඔය යෝගීන් ගේ! ඒ ශරීරය ඒ – මස් ලේ ශරීරය. ඒක දිරකඩ වෙනකන්, මනෝමය කයෙන් එයා ජීවත් වෙනවා, පැත්තකට වෙලා. ඉතින්, ටික කාලයක් ගියාට පස්සේ මනෝමය කය ප්‍රගුණ කරගෙන, එයා ඉන්නේ අම්මා – තාත්තා ගෙන් ගත්ත කයේ නෙමෙයි ඒක. ඒ කයට, ඒ ජීවිත කාලයට යම් තරමක් උරුම ද, ඒ කාලය ඉන්න පුලුවන් – ඒක නිර්මාණය කරගත්ත කයට. හැබැයි, ඒ කයත් උදයංගම වෙලා තියෙනවා අත්ථංගම දැන් ආස්වාද කාලේ යනවා. ඕකත් ආදීනවයට පත් වෙලා නිස්සරණයට පත් වෙන දවසක් තියෙනවා කවදා හරි! ඒකයි කාරණය. (ශ්‍රාවක මහතෙක්) : ඉතින් දැන් ඔය අවුරුදු 600 ක විතර හාමුදුරුවනේ ඉන්නවා කියන්නේ, ඒවගේත් ඉන්න පුලුවන් ද? එහෙම වෙන්න පුලුවන් නේ ඉතින්, ඒ ඉන්නේ අර කයෙන්. මේ මස් – ලේ කයෙන්, මේ අපි හිතාගෙන් ඉන්න මස් – ලේ කයෙන් නෙමෙයි.

 

{43:44} සෘද්ධි විධ පාවිච්චි කරලා හරි ලෝකේ ඉන්න හදන්නේ අනිච්ච දුක්ඛ අනත්ථ දන්නේ නැති නිසා : දැන් අර – දැන් බලන්න ඒක, අපේ ඉන්න, අපේ මහ රහතන් වහන්සේලා අතරත් තිබුණා, අභිඥා ලාභීන් වහන්සේලාට – දැන් අර දබ්බ මල්ල පුත්ත හාමුදුරුවෝ කියන්නේ, දැන් මේවා හදන්න දෙනකොට, වටේ මොකද අර ආසන පනවන්න – සිය ගාණක් ඇවිදිල්ලා එක පාර කියනවා “අපිට විනාඩි පහෙන් ආසන පනවලා දෙන්න” මේ මෙයාගේ මේක බලන්න හදන්නේ – අභිඥා බලය බලන්න! “හොඳයි!” කියනවා, යනවා, ගිහිල්ලා 100ක් විතර මවා ගන්නවා. මවාගෙන, කට්ටිය එක්කලා ගියා, ආසන ටික තිබ්බා, හදලා තිබ්බා, ඉවරයි! “ආ හරි!” කියනවා. අන්න එහෙම ශක්තියක් තියෙනවා. ඒක තමයි මනෝ කය මනෝමය කාය! අන්න ඒක මවන්න පුලුවන්. ඒක තමයි මනෝමය සෘද්ධි සෘද්ධි විධ කියන්නේ. ඒ ශක්ති තියෙන අයට ඒ කය මැවියහැකි, දහසක් – දැන් චුල්ල ඵන්තක හාමුදුරුවෝ දාහක් මවාගෙන හිටියා. ඇවිදින් බලපුහාම කාටවත් හොයන්න බෑ, එයා වාගෙමයි, තව අනිත් හාමුදුරුවොත් එයා වාගෙමයි. කතා – බහත් කරනවා ඒ වගේ, වැඩ-පල ත් කරනවා. ඉතින් ඒවාගේ, ඉතින් උන්වහන්සේලාට ඕනෑ කමක් නෑ මේ ලෝකේ හරයක් නෑ කියලා දැකලා ඉවර හින්දා, ඕක මවාගෙන මෙහෙ ඉන්න ඕනෑ කමක් උන්වහන්සේලාට නෑ. ඉතින්, අවිද්‍යාව තෘෂ්ණාව තියෙන නිසා ම ඔය ජාතියේ එකක් හදාගෙන අවුරුදු ගණන් ජීවත් වෙනවා මේ යෝගීන්! ඒකයි හේතුව ඉතින්, යෝගීන් ඒකේ ජීවත් වෙන්නේ අනිච්ච දුක්ඛ අනත්ථ දන්නේ නැති හින්දා. ඒකයි, ඉතින් ඕක බුදුරජාණන් වහන්සේ ට බැරුව තිබුණාද? නෑ! එහෙම එකක් නෙමෙයි තිබුණේ, බුදුරජාණන් වහන්සේට පැවැත්මේ ඕනෑකම තිබුණේ මාගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවු වනක් පිරිස අධර්මයක් දුටු තැන ධර්මයෙන් කරුණු පෙන්වා අධර්මය යටපත් කර, ධර්මය නඟා සිටුවන්න දක්ෂ වෙනතුරු, අවිනයක් දුටු තැන විනයෙන් කරුණු පෙන්වා අවිනය යටපත් කොට විනය නඟාසිටුවන්න දක්ෂ වෙන තුරු මාරය, මගේ පිරිනිවන් පෑම බලාපොරොත්තු වෙන්න එපා!” කියලා මාරයාට ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ කිවුවා. ඒ ටිකටයි මගේ මේ බුද්ධ පැවැත්ම අවශ්‍යය වෙන්නේ, ඊට පස්සේ මට අවශ්‍යය නෑ ඉන්න. මේ මගේ ආසාවට, මගේ ඕනෑකමට මේ පැවැත්මේ ඉන්නවා නෙමෙයි. අන්න ඒ කතාව කිවුවාට පස්සේ, 45 අවුරුද්දක් ගියාට පස්සේ තමයි අර ආනන්ද හාමුදුරුවොන් ඉන්න වෙලාවෙදි, අහක් වෙන වෙලාවෙදීම ඇවිදින් කිවුවේ, “ස්වාමීනි, ඔබවහන්සේ එදා බුදු වුන අවස්ථාවේදී මට පොරොන්දුවක් වුනා, ඒ කාලේ, මං පිරිනිවන් පාන්න ඉල්ලා හිටිනකොට. මාරය! මාගේ භික්ෂු – භික්ෂුණී, උපාසක – උපාසිකා කියන සිවුවනක් පිරිස අධර්මයක් දුටු තැන අධර්මය යටපත් කර, ධර්මය නඟා සිටුවන්න දක්ෂ වෙනතුරු, අවිනයක් දුටු තැන විනය නඟාසිටුවා අවිනය යටපත් කොට විනය නඟන්න දක්ෂ වෙන තුරු මාගේ පිරිනිවන් පෑම බලාපොරොත්තු වෙන්න එපා කිවුවා, අද ඒ ටික සිද්ද වෙලා ඉවරයි! ඒ පාර, ස්වාමීනි පිරිනිවන් පාන්න.” “මාරය! ඔය කිවුව කාරණය සිද්ද වෙලා තියෙනවා එහෙම්මම, ඒක ඇත්ත. මගේ දැන් ඉතින් බලාපොරොත්තු වෙන්න දෙයක් නෑ, තව තුන් මසකින් මං පිරිනිවන් පානවා, උඹ කලබල වෙන්න ඕනේ නෑ” කියලා අවස්ථාව දුන්නා.

 

{46:15} මහා පාරමිතා බලය නිසා, බුද්ධ කෘත්‍යය නවත්වන්න කාටවත් බෑ! : දැන් මෙතන හොඳට පැහැදිලිව පේන දෙයක් තමයි, එහෙනම් බුදුවරයන් වහන්සේ නමක් ලෝකේ පහල වෙලා වැඩ ඉන්නේ අර අවිද්‍යා – තෘෂ්ණාවෙන් නෙමෙයි. අනික් අයට වාගේ ජීවත් වෙන්න ආසාවට නෙමෙයි. අවශ්‍යය කාරණය කරන්න! හැබැයි, ඒ කාලේ වෙනකන් උන්වහන්සේලා මරන්නත් බෑ, කවදාවත්. එහෙනම්, බුදුන් මරන්න බෑ! බුදුන් ගේ ලේ සොලවනවා කියනවා, ලේ උපද්දවනවා මිසක් – අන්තිම, එයින් එහාට බුදුන්ට කරදරයක් කරන්න බෑ! මොකද, ඒක පාරමිතා පුරපු, අසංඛ්‍ය කල්ප ලක්ෂ ගණන් පාරමිතා පිරුවේ ඕකටයි. ඉතින් ඒකාලේ, මේ ලෝකේ සමතෙක් නෑ ඒ කාලේ අතරමඟ කඩාකප්පල් කරන්න. ඒ නිසයි බුදුරජාණන් වහන්සේව ඒ වගේ විනාස කරන්න බැරි. ඒක පාරමිතා බලයක්!

 

{46:53} සම්මා සම්බුද්ධ රාජ්‍යයටත්, ස්වභාවය එකමයි! ඒ නිසා අප්‍රමාදී වෙන්න : මේ මෙතන මේ උදයංගම – අත්ථංගම – ආස්වාද – ආදීනව – නිස්සරණ කියන එකට කිසි ප්‍රශ්නයක් නෑ! කොච්චර නඟා සිටෙවුවත් ඒකට හිමි කාලය යන්නේ ඔහොමයි. උදයංගමය නැඟී හිටියා, ඉතින් එතකොට, ඊලඟට අත්ථංගමය වැඩිලා ආවා, ඒ ආස්වාද කාලය ඉතින් ඒකෙන් කරන්නාවූ වැඩපිළිවෙලක කරගෙන ගියා. බැරි කාලෙටත් ආවා, ආදීනව කාලෙටත් ආවා, නිස්සරණ වෙලා ඒකත් කෙළවර වුනා. ලොවුතුරා බුද්ධ රාජ්‍යය පහල කළත්, සිද්ද වෙන්නේ ඕක! උදා වුනා උදයංගමය, අත්ථංගමය පැවැත්මට ආවා, ආස්වාදය ඒකෙන් ඉතින් ලොකුවට අනිත් ඔක්කෝම මිත්‍යා දෘෂ්ඨි බිඳ හැරිලා, සම්මා දිට්ඨිය නැඟිලා ඇවිල්ලා විශාල ජයග්‍රාහී තත්ත්වයක් උදා වුනා ආස්වාද, දැන් ඉතින් පිරිහිලා යන කාලේ ආවා, ආදීනව කාලේ එකින් එක අඩුවෙලා අඩුවෙලා ගිහිල්ලා, නිස්සරණ දැන් ඉතින් 5,000ක් යනකොට ඉවරයි! පිරිහිලා යනවා. සරන්න බෑ දැන්, ආයි සාසනය යටපත් වුනා. ඉතින් ඒකත් එච්චරයි! ලෝකේ හැම දෙයක් ම ඔය ක්‍රියාවලියට යටත්. ඉතින්, අපි දකින්න ඕනේ ඕක දකිනවා නම්, එහෙනම් මේ උදයංගම – අත්ථංගම – ආස්වාද – ආදීනව – නිස්සරණ කියන මේ ධර්ම රටාව තුළ, මේක නම් ධර්මතාවය, මේ තුළ නම් ගමන් කරන්නේ මේ හටගත්ත හැම දෙයක් ම, හටගත්ත එකක වැජබෙන්න මට කාලයක් නෑ! ඒක මුලාවක්! එහෙනම්, හටගත්ත එකේදී මට ගන්න තියෙන්නේ ප්‍රයෝජනයක් ඕකෙන්, අත්ථංගමය ආදීනවයට නිස්සරණයට යන්න ඉස්සෙල්ලා හැකි තරම් ඉක්මන් කරලා අප්‍රමාදයෙන් යුතුව ආර්ය මාර්ගය පූර්ණය කරගන්න ඕනේ කියලා අන්න උත්සාහාවන්ත වෙනවා. වෙලා තමන්ගේ වැඩේ කරගන්නවා. අන්න ඒකයි එතන ගන්න නිගමනය! එහෙනම්, එයාටත් හිත අලවන්න දෙයක් නැති බව එයා එතනම දන්නවා. “මං මොනවාට හිත අලවා ගන්නද? මොනවා අල්ලා ගන්නද? කොහෙද අල්ලාගන්න එකක් තියෙන්නේ? මං කිවුවාට පවතින්නේ කෝකද? එහෙම එකක් ලෝකේ නෑ!” අන්න ධර්මතාවය දකිනවා. එතැන පටන්ගෙන එයා මොකද කරන්නේ? “ධර්මතාවයට අනුකූලව යන ලෝකය මට ඕනේ හැටියට හදන්න බෑ! එහෙනම්, මෙච්චර කල් දැඟලුවේ, අනන්ත අප්‍රමාණ සංසාරේ මං දැඟලුවා නම් දඟලලා තියෙන්නේත් ඕකට! දැන් මේ දඟලනවා නම් දඟලන්නේත් ඕකට, බැරි එකක් කොරන්න දැඟලීම අත් හැරලා අද ඉඳන් යථාවබෝධයෙන් කටයුතු කරනවා!” කියලා, “වෙන එකක් වෙච්චාවේ, වෙන්න ඉස්සෙල්ලා ගත යුතු යථාවබෝධය ලබා ගන්න මං මේ ටික කරගන්නවා!” කියලා, ධර්මාවබෝධය ලබා ගන්නවා. මොනවාට වත් කම්පා වෙන්නේ නෑ! ඒකයි අන්තිම නිගමනය.

 

{48:58} චුතිපටිසන්ධි අතර අතරක් නැති බව සහ අන්තරාභවය : දැන් ඉතින් ඔය අභිධර්මය පිලිගන්නේ නැති වෙන්න කියලා, නොයේක් කතා කියන අය ඉන්නවා. දැන් චුතිපටිසන්ධි අතර අතරක් නෑ!” අභිධර්මයේ පෙන්වනවා, ඉතින් අරගොල්ලෝ කියනවා, “අතරක් තියෙනවා – අන්තරා භවයක් තියෙනවා!” ඉතින් කට්ටියක් කියනවා “අපි පිලිගන්නේ නෑ අන්තරා භවය!” (ශ්‍රාවක මහතෙක්) : බුදුරජාණන් වහන්සේ වත් දැක්කේ නෑ නේ චුති-පටිසන්ධි අතර අන්තරයක්? (ස්වාමීන් වහන්සේ) : නෑ! ඇත්ත! දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වපු මෙහෙම තැනක් තියෙනවා. දැන් අපි හිතමු, දැන් ලොකු ප්‍රශ්නයක්, මේ ඕක විසඳාගන්න ඕනේ. අත්‍යාවශ්‍ය ප්‍රශ්නයක් ඕක! චුතියයි පටිසන්ධියයි අතර අන්තරය, දැන් බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙම අහනවා වච්ඡගොත්ත පරිබ්‍රාජකයා.ස්වාමීනි, මේ කයත් අත්හැරියා, මතු කයකට ගියෙත් නෑ! ඒ අතර සත්ත්වයා කුමක් උපාදානය කරගෙන ජීවත් වෙනවාද?” “වච්ඡ! මේ කයත් අත්හැරියා, මතු කයකට ගියෙත් නෑ, මේ අතර සත්ත්වයා තණ්හාව උපාදාන කරගෙන ජීවත් වෙනවා(සංයුක්ත නිකාය > සළායතන වග්ග පාලිය > අඛ්‍යාකත සංයුක්තය > කුතුහලසාලා සූත්‍රය) දැන් බුදුරජාණන් වහන්සේ, මේ කය අත්හැරලා මතු කයකට යන්න ඉස්සරවෙලා අතරක් ගැන පෙන්වලා තියෙනවා, පැහැදිලිවම! චුතූපපාත ඥාණයෙන් ලොව බලන වෙලාවේදී, හරියට හතරමං සංධියක, උඩුමහල් තලයකට වෙලා බලනකොට, කඩ වලට ඇතුල් වෙන මිනිස්සු, කඩ වලින් පිට වෙන අය, පාරේ සැරිසරණ අය, යම් – ඔය වගේ දැක්කා වාගේ, මේ සැරිසරණ සත්ත්වයෝත් මං දැක්කා කියලා, මෙහෙම දේශනාවක් තියෙනවා. දැන් පැහැදිලිව දේශනාවක් තියෙනවා, මෙතනින් මළාට පස්සේ යම් තැනක මතු කයක් හටගන්නකල් අතරක් තියෙන කාලයක් තියෙන බවත්, ඒ කාලේ ජීවත් වෙන බවත්. ඉතින් එතකොට, දැන් එතකොට ඒක ඇත්ත! හැබැයි, චුතියට අනුව පටිසන්ධිය අතර අතරක් නෑ කියන එකත් සම්පූර්ණ ඇත්ත! අභිධර්මය අරගෙන ඉවරවෙලා ඕක බොරු කරන්න බෑ! නමුත්, මොකදද මේ ප්‍රශ්නය එතකොට? දැන් මේක මේ අවුරුදු, දැන් පහනක ඉඳන් විසඳන්න බැරි ප්‍රශ්නයක්, අද වෙනකන් මොන පණ්ඩිතයෙක් වත් ඕක විසඳලා නෑ! වාදය යනවා. දැන් බලමු…

මීලඟට : චුති, පටිසන්ධි, අන්තරාභව, ගන්ධබ්බ ප්‍රශ්නය (ගිහි වතක සිට නිවන් දකින හැටි 3 කොටස)

 

~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර හිමිපාණන් වහන්සේ ~

PDF බාගන්න Download PDF

දේශනාව ශ්‍රවණය කිරීම සඳහා : https://www.waharaka.com/listen/CD001-02