මූලික අටුවා වල අනිච්ච විග්‍රහ වී ඇති අන්දම

මූලික අටුවා අනිච්ච
68 සංයුක්ත තැටියඅනත්ථඅනිච්ච

දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)

මූලික අටුවා වල අනිච්ච විග්‍රහ වී ඇති අන්දම පැහැදිලි කර දෙන්න...

පෙටකොපදෙසෙ ඇතුළු මූලික අටුවා වල අනිච්ච විග්‍රහ වි ඇති අන්දම

    තව ප්‍රශ්නයක් තියෙනවා මීට පෙරත් මේ ඉදිරිපත් කරලා තිබිච්ච ප්‍රශ්නයක්, මේ “පෙටෙකොපදෙසය” කියන්නේ බොහොම පැරණි අටුවා ග්‍රන්ථයක්. අතීතයේ තිබිච්ච හෙළ අටුවා කියන කාලේ තිබිච්ච ඒවා. පරිවර්තනය කරනකොට අහුවෙලා නැති ඒවා. අර කුරුන්දි අට්ටකතා මහා අට්ටකතා ආදී වශයෙන් කියන ඒවා තමයි පරිවර්තනය කරලා ඒ පොතක් ඇහැටවත් දකින්න නැත්තේ. නමුත් මේ පොත් තුනක් තවම ඉතිරි වෙලා තියෙනවා කොහොම කොහොමහරි. පෙටෙකොපදෙසය කියන එකයි, ඒවගේම තවත් ඒ වගේ පොත් දෙකක් තියෙනවා ඉතුරු වෙච්ච. එතකොට ඒ ටිකේ තියෙනවා විවිධාකාර අර්ථ විග්‍රහ කරලා. මේ ත්‍රිලක්ෂණයට අර්ථ විග්‍රහ කරලා තියෙනවා. එතකොට ඒ නිසා ඒවාගෙන් අපිට හුගක් බලාගන්න ආධාර වෙනවා.

 

    අනිත්‍ය නිසා අනිත්‍යයි කිව්ව වචනෙට හොදට විස්තර තියෙනවා මෙවෙයි,…. ඒක නෙමෙයි අර්ථය කියන්නේ. අනිත්‍ය නිසා අනිච්චයි කියනවට වැඩිය ඒ අනිච්ච කියන වචනෙට විවිධ ක්‍රම වලින් ඔය පොත් තුනක විග්‍රහ කරලා තියෙනවා. පටිසම්භිධාමග්ගප්‍රකරණයේ, නෙත්තිප්‍රකරණයේ, පෙටෙකොපදෙසේ,  කියන මෙන්න මේ කියන අටුවා ග්‍රන්ථ තුනේම අනිච්ච කියන්නේ මොකද්ද කියල විග්‍රහ කරලා තියෙනවා විවිධ ක්‍රමවේදයන්ගෙන්. ස්ථිර නැති නිසා අනිච්චයි කියල ඔය එහෙකවත් නෑ. ඊට වඩා හරි ලස්සන හරවත්  විග්‍රහය පැහැදිලිව තියෙනවා. අර බුද්ධඝෝෂ හාමුදුරුවෝ ලිව්වයි කියල තියෙන අටුවා පොත් වල තමයි තියෙන්නේ වෙන මුකුත් නැතිව අනිත්‍ය අනිත්‍යයි අනිත්‍යයි කියන එක. අනාත්මයි කියන ඒකට ආත්මයක් නෑ ආත්මයක් නෑ කියන අර්ථයෙන් අනාත්මයි කියා ලියල තියෙන්නේ. ඒ බුද්ධඝෝෂ හාමුදුරුවෝ ලිව්ව සියලු අටුවා වලට ඔය වචන දෙක අනිච්ච සහ අනත්ත තෝරන්න විග්‍රහ කරලා තියෙනවා.

 

    පෙටෙකොපදෙසේ සහ ඔය මුලදී කිව්ව ඒ පොත් දෙකේ, ඒවායේ ඇත්තේ නෑ ඔය කිව්ව විදියේ  විස්තරයක් ඊට වඩා හරි ගැඹුරු, හරවත් විස්තරයක් තියෙන්නේ. එතකොට ඒක අපිට දැනගන්න හරි වැදගත් වෙනවා. දැන් තේරුම් ගන්න පුළුවන් අතීතයේ තිබිච්ච ත්‍රිලක්ෂණයේ අර්ථ මොනවද කියන එක. නමුත් අද මේවා කියනවට තරහයි, සමහර වෙලාවට සමහර අය. සමහර ස්වාමීන් වහන්සේලාත් අකමැත්ත ප්‍රකාශ කරනවා මම හිතුමත කියනවයි කියල. අර අනිත්‍යයි කියල අල්ල ගත්තු කොක්ක ගලවගන්න බරුවමයි දගලන්නේ. මේවයෙන් කරුණු ඉදිරිපත් කරලා පිළිගන්න කැමති නෑ. ඒකයි කාරණය. ඉතින් ඒ නිසා දකින්න ඕනේ මේකේ දැන් පෙටෙකොපදෙසේ පෙන්නලා තියෙනවා තත්ථ කතමා අනිච්චට්ඨෝ, මේ මෙහි අනිච්චයි කියන අර්ථය කුමක්ද? කියන එකයි ඒකෙ ඔය පාළියෙන් තෙරුම.

 

පීලනට්ඨෝ අනිච්චට්ඨෝ, පීලන අර්ථයෙන් අනිච්චයි කියල අර්ථය දෙනවා.  මේ එකක්.

පභංගට්ඨෝ, තව එකක්, පභංග අර්ථයෙන් කියල.

සම්පාපනට්ඨෝ, ඒ තව අර්ථයක්

විවේකට්ඨෝ, තව අර්ථයක්

අනිච්චට්ඨෝ, කියල තව අර්ථයක්.

 

    ඒ අර්ථ දෙන ආකාරයෙන් අයං අනිච්චට්ඨෝ, මෙන්න මේ  විදියට අනිච්චයි කියල කියනවයි කියල අර්ථ විග්‍රහ කරලා තියෙනවා. ඒ අනිච්චාර්ථය කවර යත්, පීඩන ස්වභාවය අනිත්‍යාර්ථයයි, එකේ සිංහල තේරුම දීල තියෙන හැටි සිංහලට දැන්.

 

    ප්‍රභංගාර්ථය, සම්පාපනාර්ථය, විවේකාර්ථය, අනිත්‍යාර්ථය, මේ අනිත්‍යාර්ථයයි. දැන් මේ විදියට අනිච්ච කියන්නේ මොන අර්ථයෙන්ද කියන එක මේ පෙන්නන ඔය ඒ ගැඹුරුම විස්තර තියෙන අට්‍රුවා පොත් තුනෙන් ඔය මේ පෙන්වා තියෙන්නේ පෙටෙකොපදෙස කියන අටුවා පොත, එකේ තියෙන විස්තරය.

 

පීලනට්ඨෝ

    දැන් මේ අනිච්චාර්ථය මොකද්ද කියල කියනවනම්, පීඩන ස්වභාවය, දැන් එකේ තියෙන වචනෙම ඒ විදිහට සිංහලට ගලපලා ලියල මිසක් මේක විස්තර කරලා නෑ. දැන්  පීඩනය කියල වචනයක් තියෙනවා, “තාඩන පීඩන” කියල අපි කියනවා. කාට හරි කරදර කරනකොට, නැගී සිටින්න බැරි විදියට තෙරපල, හිර කරල, තමලා දානකොට අපි කියනවා,  යටපත් කරනවා, දුක් කරදර දෙනවා, නැගෙන්න ඉඩ දෙන්නේ නෑ, අන්න ඒ වගේ තියෙන ස්වභාවය තමයි, බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න දෙන්නේ නෑ, තෙරපල හිර කරලා තියෙනවා පැත්තකට කරලා. මෙන්න මෙහෙම ලක්ෂණයක් තියෙනවා.

 

    ඒක ප්‍රිය දෙයක් නෙමෙයි. එක අපි කැමති දෙයක් නෙමෙයි. අපි කැමති නෑ අපි නැගී සිටින්න හදනකොට යම්කිසි ක්‍රමේකට අපේ බලාපොරොත්තුවක් ඉෂ්ට කරගන්න අපි බලාපොරොත්තු වෙනකොට  ඒක යටපත් කරනවා නම්, ඒකට යම්කිසි බාධකයක් ඇවිදිල්ලා, අපිට ඒක නගා සිටවන්න බැරි වෙන්න පැත්ත දමනවානම්, පැත්ත දානවා කියන්නේ බෙල්ලෙන් අල්ලලා බිම දානවා කියන එක නෙමෙයි,  අපි මොනවා හරි වැඩක් කරන්න හදනකොට විවිධ බාධක කරදර එනවා, ඒක කරගන්න බැරි වෙන විදියට. ඉතින් ඕක දකින්න ඕනේ.

 

    ගෙයක් හදන්න කියලා බොහොම මහන්සියෙන් කීයක් හරි හරි-හම්බ කරගත්තට පස්සේ ලැහැස්ති වෙලා ඉන්නකොට මොකද වෙන්නේ, හැදෙනවා අසනීපයක්,   ඒකට ඔපරේෂන් කරන්නයි, වැඩ කරන්නයි බැලුවහම අර මුදල වගේ දෙගුණයක් ඕනේ එකක් හැදිලා. දැන් හරි අමාරුවක් වෙනවා පීඩනයට පත් වෙනවා. මදැයි මෙච්චර කල් දගලලා ගෙයක් හාදා ගන්න උත්සහ කරලා ඒකට කීයක් හරි හොයාගත්තා, දැන් හිතට හරි පීඩනයක්, තෙරපුමක්,  වෙන කරන්න දෙයකුත් නෑ ලෙඩේ ඊට වඩා ලොකුයි. ජීවත් වෙන්න ගේ හදන්නේ, මළොත් ගේ හදාගත්තට වැඩක් තියෙනවයි?. අන්න එහෙම ඇති වෙන දෙයක් පීඩනය අර්ථයට පත් වෙනවා.

 

    මොනවා හරි වැඩක් කරන්න හදනකොට තව එක්කෙනෙක් “උඹට ඕනෑ හැටියට මේ වැඩ කරන්න දෙන්න බෑ! මේක මගේ එක, මේක මට ඕනෑ හැටියට කොරගන්න ඕනේ. බලපානවා, අණ පනත් පනවනවා එක එක්කෙනාට ඕනේ හැටියට.  දැන් මේ ලෝකේ ස්වභාවය පීඩන අර්ථය. මෙන්න මේ අර්ථයටත් අනිච්චයි කියනවා. ස්ථිර නැති කතාවක් නෙමෙයි මේ කියන්නේ. ඒකට කිව්ව පැරණි සිංහල වචනේ අනිස! අනිච්ච කියන එක තෝරපු සිංහල වචනේ. අද කියන්නේ අනිසි!

 

    දැන් අපි යමක් කරන්න හදනකොට ඔය අපේ කරන වැඩපිළිවෙලේ ස්වභාවය ඕක නම්,  මම යමක් ඉෂ්ට සිද්ධ කරගන්න බලාපොරොත්තු වෙනකොට ඕකට පහර ගහන පුද්ගලයෝ ඒක  තෙරපල, පීඩනය කරලා දානවනම්, මට නැගෙන්න දෙන්නේ නැත්නම්, මගේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න දෙන්නේ නැතිව  විවිධාකාර කම්කටොලු බාධක එනවනම් හෝ කරනවානම්, එබඳු වැඩ පිළිවෙල, ඒ ක්‍රියාදාමය නිසි ද අනිසි ද? කොච්චර පහසු උත්තරයක්ද මේ අහන්නේ? නිසි අනිසි තෝරාගන්න විතරයි ඕනේ ඉස්සෙල්ලම.  ඒක හොඳද නරකද? නැත්තම් ගැලපෙනවද නැද්ද? අපි ඉතින් විවිධ අදහස් වලින් ඔය අදහස දෙනවා. සමාන වචන. අදහස පෙන්නන. හොඳද නරකද? ඒක ගැලපෙයිද නැද්ද? පිළිගන්න සුදුසුද නැද්ද? නිසිද අනිසිද? මෙන්න මේක තමයි නිසිද අනිසිද කියල අහපු ප්‍රශ්නේ. නිච්චංවා අනිච්චංවාති කියල බුදුරජාණන් වහන්සේ ඇහුවේ ඕක.

 

    වැඩේ මෙහෙම නම්, ස්වභාවය ඕක නම්, එබඳු දේ පරිහරණය කරන එක නිසි ද? හොඳද? සුදුසුද? ගැලපෙනවද? අපි වචන කීපයකින් දුන්න ඒ නිසි කියන අර්ථයට තව වචන , ආදේශ වචන. අනිසිද? නිසිද – අනිසි ද? හොඳද – නරකද? ගැලපෙන්නේ නැද්ද? පුලුවන්ද කරන්න? කටයුතු ගැළපෙනවද? සැනසිල්ලක් ලබන්න පුලුවන්ද? ඔය විවිධ කතාවෙන් අපි අහන්නේ ඕක. ඉතින් එතකොට ඔය උත්තරයක් දෙනවා ඥාණවන්තව, තමන්ට, පොඩි ළමයටත් තේරෙන එකක්නේ…

 

    මම කොහොම හරි ඉගෙන ගන්න හදනවා, පොත් ටිකක් අරගන්න හදනවා, ඊට පස්සේ මොකද කරන්නේ මට කීයක් හරි හම්බ කරලා දෙන්න හිටපු තාත්තට ගහල, අම්මට ගහල, විනාස කරලා, රස්සාව නැති කරලා, මගේ පොත් ටික මගදී පැනලා, කව්රුහරි ඉරල, විනාස කරලා, ඉතින් මට මෙහෙම කරනවානම්, මට ඉගෙන ගන්න දෙන්නේ නැති නම්, මෙහෙම කරන වැඩපිළිවෙල හොඳද නරකද? නිසිද අනිසිද පුතේ  කිව්වොත්, කව්ද නිසියි කියන්නේ? ඒ ළමයවත් කියනවද ඒක නිසියි කියල? ඒක අනිසියි නේ, එහෙම වෙනවනම්. ඉතින් එහෙම වෙන්නේ නැද්ද? ලෝකේ එහෙම එව්වා නැද්ද?

 

    අපිට බාධක කොච්චර තියෙනවද ඉගෙන ගන්න ගියහම. පොත ගන්න හදනවා ළමයට පොතක් අරන් දෙන්න සල්ලි නැහැ. පොත් අරන් දෙන්න තියා කන්න ටික අරන් දෙන්න, හාල් හුන්ඩුවක් අරන් දෙන්න සල්ලිත් නැති දරුවෝ ඉන්නවා, දුප්පත් අය ඉන්නවා ඉතින්. ඒ මේ මනුස්ස වෙලා ඉන්නකොට.  සත්ව වෙලා නම් තව අනාථයෙන් අනාථයි. මේ මනුස්සයෝ හැටියට මොනවා හරි කර කියා ගන්න පුළුවන් උපක්‍රමශීලි හැකියාවක් තියෙන මනුස්සයින්ට වෙන ප්‍රශ්න ඔය, ඒවත් එක ප්‍රශ්නයක්.  පිඩනයට පත් කරනවා. පීලන අර්ථයෙන්. පීලනය කරනවා කිව්වේ එකයි.

 

    ඉතින්, නැගෙන්න ඉඩ දෙන්නේ නෑ, මොකද කරන්නේ, වට පිටාවේ ඉන්නවා, නෑදෑයෝ, හිතවත්තු, ගමේ අය, ළග ළග ඉන්න අය. “උන් මේ අපේ වළන් හෝදපු එවුන්, ඔවුන්ට කව්ද නැගෙන්න දෙන්නේ? කොල්ලා ඉගෙන ගන්නයි හදන්නේ, ඌ විශ්වවිද්‍යාලේ ගියොත් අපේ එකාට මොකද වෙන්නේ, කරපිය හූනියමක් හරි, නැත්තම් කඩපිය ඕකගේ කකුල යන්න බැරි වෙන්න,  මග රැකලා හොරෙන් ගහපිය!” ඕවා කොච්චර වෙනවද? අසත්පුරුෂ සමාජයක් මිසක් සත්පුරුෂ සමාජයක් කොහෙද තියෙන්න්? හොඳට හොයලා බැලුවොත් එහෙම, අභ්‍යන්තරයේ ඔය කුණු නේ ක්‍රියාත්මක වෙන්නේ.

 

    මේ පෘතග්ජන මානසිකත්වය තුළ හැටි. “මට හෝ මගේ එකාට නැගෙන්න බැරිනම් අනෙකාටත් හෙණ ගහලම පල! නැගෙන්නනම් එපා, දෙන්න බෑ, ඉඩ දෙන්නේ නෑ!” මනසේ හැටි ඔහොමයි. අසත්පුරුෂ මනස කියන්නේ ඕකයි. පෘතග්ජනයාගේ ස්වභාවය ඕකයි. මට ලැබෙනවානම් කමක් නෑ, අනෙකාට ලැබෙනවානම්, ඒවා හරියන්නේ නෑ. ඒකට නම් ඉඩ දෙන්න බෑ. “අන්න අරූ දැන් රට යන්න හදන්නේ, මොකටද? කියක් හරි අය කරන් ඇවිත් අපිට වඩා ලොකු ගෙයක් හදන්න. දෙන්න නම් එපා ඉඩ…” මොනවා කරගන්නද මේ හදන්නේ? අනෙකා නැගෙනවට පීලනය.

 

    දැන් ඉතින් මේ අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? කව්රුත් මන වඩන රූප, ශබ්ද, ගන්ධ, රස,  ස්පර්ශ, පරිභෝග කරමින් හොඳ සුදුසු ප්‍රිය මනාප දේවල් ඇසුරු කරමින් ඔහොම ඉන්න තමයි හදන්නේ. ඉන්න ගමන් මොකද කරන්නේ? “හැබැයි මට වඩා අනෙකට ලොකු වෙන්න නම් දෙන්න බෑ, ඌ යටපත් කරගෙන මන් කොහොමහරි ලොකු වෙලාම ඉන්න ඕනේ…” තවත් පැත්තකින් අදහසක් එනවා, මනස දුෂ්‍ය වෙලා. ඉතින් පීලන අර්ථය හැමතැනම. නැගෙන්න බෑ, නැගුනට ඉන්න දෙන්නෙත් නෑ.

 

    ඇමති උනොත් මැති උනොත් මොකද කරන්නේ, “හරී හිටපියකො, තව අවරුදු පහනේ තොට තියෙන්නේ, දෙන්නම් වැඩේ ඊළගට” අදින්න තියෙන ඔක්කොම අංචි අදිනවා නම කැත වෙන්න. පීලන අර්ථය! මේ ලෝකේ සැනසිල්ලක් ලබාගෙන ඉන්න නෑ “ලොව්තුරා බුදුන්” කිව්වම “ඕකා නමෙයි බුදුන් මමයි” කියල, අර ඉස්සෙලා එවුන් කෑ ගහනවා, තව ඉන්නවා බුදුන් බුදුන් කියා ගත්තු අය. මක්කලිගෝසාල කෑ ගහනවා, “ඕකා මොන බුදුවරයෙක්ද, බොරු කිය කිය මායාකරයෙක් රවට්ටනවනේ. මන්නේ බුදුන්!” ඉතින් ඔය විදියට එක එක්කෙනා කෑ ගහනවා කිය කිය. නිගණ්ඨනාථපුත්ත කියනවා “එයා නෙමෙයි බුදුන්, එයා මොන බුදුන්ද, මේ මිනිස්සු රවට්ටනවා බොරුවට. දන්නේ මමයි, මන් තමයි සර්වඥ” පීලන අර්ථය, බුදු හාමුදුරුවොන්ට බුදු බවටත් එල්ල කරලා. අනෙක් ඒවාට මොනවා කරන්නද?

 

    දැන් මේකෙන් දකින්න ඕනේ, මොකද්ද මේ පීලන අර්ථය කියන්නේ කියල. ඔන්න ඔය පීඩනයට පත් කරනවා. මේක ලෝකේ හැටි. මෙන්න මේ නිසා මේ ලෝකේ හොඳයි කියල මොනවත් පරිහරණය කරනකොට නම් දුක කරදරයෙන් වැහෙනවා මිසක් සැනසිල්ලකින් නම් හොඳ දෙයක් පරිහරණය කරන්න ලෝකයක් නෙමෙයි මේ ලෝකේ කියන්නේ. මෙන්න ලෝකේ හැටි, පීලන අර්ථයෙන්. ඕකට අනිච්ච කියනවා. ඔය එක අර්ථයක්. පීලනට්ඨෝ අනිච්චට්ඨෝ! දැන් ස්ථිර නැති කතාවක් ඕකේ ආවද? නැත්නම් ලෝකේ ස්වභාවය අසාර ස්වභාවය මුල් කරගත් අදහසක් ආවද?  අන්න බලන්න ඒක කල්පණා කරලා.

 

පභංගට්ඨෝ

    අනික, පභංගට්ඨෝ, ඒකෙ විග්‍රහ කරලා පෙන්නන්නේ මොකද්ද, පභංගාර්ථය කියල විතරක් වටේ විග්‍රහ කරලා තියෙනවා. නිරුක්තිය ආවේ නෑ. පදේ අර්ථය අවේ නෑ නේ දැන්. කොහොමද පදේ අර්ථය තෝරන්නේ? “මොකද්ද හාමුදුරුවනේ ප්‍රභංග කියන්නේ?” “පැනල පලයන්! පොතේ තියෙන්නේ ඔච්චරයි, අරන් පලයන්! අසත්පුරුෂයෙක්, මළ කරදරයක්  අහන්න එනවා”. අටුවා පෙරළලා බලනවා, බලනවා, ප්‍රභංග වස්තුව එකත් ඉතින් සිංහලෙන් ලියල තියෙන්නේ ප්‍රභංගමයි. ඔය ඉතින් කොහොමද හොයා ගන්නේ? එකේ නිරුක්තියක් කියල එහෙම එකක් පොතක ලියවිලත් නෑ.මොකද්ද ප්‍රභංග කියන්නේ කියල විස්තර කරලත් නෑ. ඉතින් පභංගාර්ථයයෙන් කියල ලියල නිකන් ඉන්නවා. ඉතින් සිංහල පොත හොයල බලපුවාමත් තියෙන්නේ ප්‍රභංගමයි. පාලි  බාසාවෙන් බැලුවොත්  පභංගට්ඨෝ, ප්‍රභංගමයි එතනත් තියෙන්නේ. ඉතින් ප්‍රභංග තෝරන්න සිංහල හොයපුවහම, ශබ්ධකෝෂේ බලපුවහමත් තියෙන්නේ ප්‍රභංග. තව එකක් නෑ. මොකෙන් තොර ගන්නද? දැන් මෙන්න මෙහෙම වෙනවා.

 

    දැන් අපි ලග තියෙනවා මේ භංග වචනේ තියෙනවා, “ඕකා භංගවිය, ඕකා භංග වෙලා පල, තෝ භංගවිය!” ඉච්චාභංගත්වය, ඔය තියෙන්න භංග කියන වචනේ මොකද්ද? තමන් යම් සෙයින් පවත්වාගන්න කැමතිද, ඒ කැමැත්ත බිඳෙන වැඩ වෙනවා. මෙච්චර කල් මගේ සියලු බලාපොරොත්තු බිදී ගියා, භංග උනා. මෙන්න තව අර්ථයක්. තමන් බලාපොරොත්තු වුන දේ ඉෂ්ට කරගන්න බෑ අතරමැද විවිධාකාර හේතු නිසා බිඳිලා යනවා. බලාපොරොත්තු කඩ වෙලා යනවා. මේක එක වතාවක් නෙමෙයි, වැටෙනකන්ම සිද්ධ වෙනවා. විවිධාකාරයෙන් භංගත්වයට පත් වෙනවා.  මේ අපි ප්‍රියමනාපයන් හොයාගෙන යන ලෝකයේ අපිට ඒවා පස්සේ ගියාම සිද්ධ වෙන දේ. “දුක්ඛ සමුදය” හෙවත් යායං තණ්හා – පෝනෝභවිකා, නන්දිරාග සහගතා, තත්‍ර තත්‍රාභිනන්දනී, සය්‍යතීධං කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියල ඔන්න ඔය තෘෂ්ණාවෙන් ලෝකේ බදන්න ගිහිල්ලා, ඒ ඒ දේවල් බදන්න ගියහම,  ඒ බදන්න යන අයට සිද්ධ වෙන වැඩපිළිවෙල තමයි මේ අනිච්ච කියල කිව්වේ.

 

    ඒ සිද්ධ වෙන දේ තමයි මේ කියන්නේ. බලාපොරොත්තු භංග වෙනවා. ඉච්ඡා කියන්නේ බලවත් කැමැත්ත. ඉච්ඡාභංගත්වයට පත්වෙලා අඬනවා සෝක වෙනවා.  “අනේ, මගේ බලාපොරොත්තුව ඉවරයි! මන් බලාපොරොත්තු වුනේ මේ සැරේ සම්මාන, කොහොමහරි සම්මාන හයක් ගන්න, බලනකොට මට තියෙන්නේ එකයි.  විභාගේවත් පාස් නෑ. මගේ බලාපොරොත්තු ඔක්කොම ඉවරයි!” ළමයා අඩනවා, මනුස්සයෙක් වශයෙන් විඳින ඉච්ඡාභංගත්වයක් ඔය.

 

    “අනේ මන් බලාපොරොත්තු උනා අහවල් රස්සාව කරන්න, ඔක්කොම සුදුසුකම් හරි,  ඒ අස්සේ වෙන එකෙක් පැනලා, පන්දමක් අල්ලලා, ඌ ගිහින් ඒ රස්සාවට. මගේ ඉච්ඡා භංග උනා!” අඬනවා, ශෝක වෙනවා, “මුළු ජීවිතේම මගේ කාලකන්නි කළා” කියල අඩනවා. “මන් බලාපොරොත්තු උන අහවල් ළමයව කසාද බදින්න, අහවල් කෙනා විවාහ කරගන්න, අම්මල තාත්තල කැමති උනේ නෑ .  අනෙක් අය කැමති උනේ නෑ. එක්කෝ දුෂ්ඨයෙක් පැනල ඒකට පහර ගැහුවා. ඉච්ඡා භංග උනා”. දැන් මෙව්වත් භංග තමයි මේ! පභංග.

 

    ඉතින් මේවයින් පිරිලා තියෙන්නේ අපි මේ ප්‍රිය මනාපයි කියල හොයා යන ලෝකේ. තෘෂ්ණාවෙන් යම් තැනක් ප්‍රියයි මනාපයි කියල බදන්න ගියාද, ඒ බදන්න අපේ බලාපොරොත්තුව ඔන්න ඕවයින් වට කරලා තියෙනවා. දුක් දෙනවා, පහර දෙනවා භව අල්ලන්න ගියහම. ඉතින් එතකොට මේ හොඳ එකක් කියල හිතාගෙනයි මේවට බැහැල තියෙන්නේ, අල්ලන්න, හොයන්න. හොඳයි කියල අවිද්‍යාවේ නිගමනයෙන් බැහැගත්ත නිගමනයෙන් ඕවා හොයන්න ගියහම පහරදෙන ආකාර මේ තියෙන්නේ, අනිච්ඡත්වයෙන් පහර දෙනවා. අනිච්ඡත්වය නිසා දුක් විදින්න සිද්ද වෙන හැටි ඔය පෙන්නන්නේ.  අර පභංගට්ඨෝ, ඊළගට මොකද කියන්නේ?

 

සම්පාපනට්ඨෝ

    සම්පාපනට්ඨෝ, තව එකක්. ඉතින් සිංහලෙන් බැලුවම, පාලි වචනේ සිංහලෙන් තෝරාගන්න සිංහල අර්ථය බලපුවහම දීල තියෙනවා සම්පාපනාර්ථය! ඒකමනේ දීල තියෙන්නේ. කොහොමද තෝරගන්නේ? සම්පාප කියන්නේ මොකද්ද කියල බලන්න කියලා සිංහල, සිංහලෙන් ලියා තියෙන එකක් තෝරලා තියෙන එක බලන්න ගියහම, එකෙත් තියෙන්නේ “සම්පාපනාර්ථය” කියල. ඒක මොකද්ද ඉතින් තෝරලා දුන්නේ කවුද? සම්පාප තෝරාගන්න යන්න කව්රු හොයන්නද? කාගෙන් අහගන්නද?

 

    අටුවාව තෝරලා තියෙන එකේ තියෙන සිංහල අර්ථය බලපුවහම එකෙත් ඒ වචනේ එහෙම්මමයි. මොකද්ද සම්පාප කියන්නේ කියල ඇහුවොත් කියල දෙන්න විදියක් නෑ. “මේ වැඩක් නැති එව්වා හොයන්නේ නැතිව පලයන් යන්න!” මොනවහරි කියල පන්නගෙන නිකන් ඉන්නවා.  “ඔන්න අරූ එනවා අදත් මොනවහරි වචනයක් අහන්න, මන් නෑ කියපන්!” හාමුදුරුවෝ ඇතුලට වෙලා දොර වහගන්නවා. අර ඉන්න උපාසක මහත්තය, “හාමුදුරුවෝ මෙහ නෑ පන්සලේ නෑ, මළ කරදරයක් මේකාගෙන්, එනවා එක එක පද අල්ලාගෙන අහන්න”, ඔය උත්තරේ මිසක් වෙන මොකද්ද දෙන්නේ, ත්‍රිපිටක වාඝීශ්වර කිව්වත් දෙන්න වෙන්නේ ඔච්චරනේ. “මං ඕක පොතෙන් බලලා, හොයලා හිටන් කියන්නන්කෝ පස්සේ” කියල කියනවා මිසක් වෙන මොනවා කරන්නද? පද නිරුක්ති දකින්න නුවණක් එන්නේ නැතිනම් කරන්න දෙයක් නෑ, දෙන්න බෑ. ඒකයි වෙලා තියෙන්නේ.

 

    ඉතින් එතකොට, මේ “සං” කරනවා කියල එකක් තියෙනවා, පාප වෙනවා, පාපය කියල කියන්නේ මොනවද? අපිට යම්කිසි ආකාරයෙන් “සැපයි, සැපයි” කියල ගන්න ගියොත් මොනවහරි, ඒක නෙමෙයි හම්බෙන්නේ “දුකයි, දුකයි” කියන එකට වැටෙන්න, පාප පැත්තට වැටෙන්න. පාප කියල කියන්නේ මොකද? පහත් වූ දෙයට පහත්වූ දෙයට. පහත්වූ දෙයට ඇලුම් කරන තැනට වැටෙනවා. එන්න එන්න දුෂ්‍යවන බවට වැටෙන්න හේතුවක් මයි යෙදෙන්නේ. හොඳ එක හොයන්න ගියා, විරුද්ධව ප්‍රශ්නේ මතු වෙලා ආවා. තාඩන පීඩන ආවා, හිතට මොකද උනේ? අඬ අඬා විතරක් නිකන් ඉන්නේ නෑ, “මීට පස්සේ මට හතුරුකම් කරන්න එකෙක් අවොත්  අනිනවා ඕකට පිහියෙන්. මාත් නිකන් ඉන්නේ නෑ”. මොකේටද බැස්සේ අන්තිමට? සං + පාප වුනා. පාපයට සම්ප්‍රාප්ත උනා.  සම්පාපනාර්ථය!

 

    කොහාටද සම්ප්‍රාප්ත වෙන්නේ ඔහොම එකක් උනාම? දුෂ්‍ය පැත්තට, ලෝභයට ද්වේශයට මෝහයට ගැති වෙලා, සම්ප්‍රාප්ත වෙලා. අර අපි ගිය පැත්ත නෙමෙයි, හොඳ පැත්ත නෙමෙයි හම්බෙන්නේ, හොඳ හොයන්න ගිහිල්ලා පහත් පැත්තට වැටෙනවා. දුගති පැත්තට සම්ප්‍රාප්ත වෙනවා. මෙන්න මෙහෙම දෙයක් වෙන දෙයක් නිසා ඔය ප්‍රියයි මනාපයි කියන හොඳයි කියන දේවල් ඇසුරු කරන්න ගියාම සිද්ධ වෙන එකක් නිසා ඔන්න ඔය අර්ථයෙනුත් කියනවා අනිච්චයි කියලා. සම්ප්‍රාප්ත වෙනවා, පාපයට. පාප පැත්ත, මොකද්ද? සම්පාපනාර්ථය!

 

    මේ සැගවිලා තියෙන අර්ථය සැගවිලා ගියහම එහෙම්මම ලියනවා. පාපයට සම්ප්‍රාප්ත වන ක්‍රමවේදය හොදට න්‍යානුකුලව පේනවා.  හොදවා හොයන්න ගිහිල්ලා වැරදුනාම මනස දුෂ්‍ය වෙලා, දුෂ්‍ය මනස දැඩි වෙලා, දැඩි එකෙන් රළු බවට පත් වෙලා, පිහිය අතට ගන්නවා, පිස්තොලේ ගන්නවා, තුවක්කුව ගන්නවා, කඩුව ගන්නවා, “පෙති ගහනවා, පරම්පරාව වනසනවා මට කරපු ඒකට. මමනම් නිකන් ඉන්නේ නෑ, මන් අත අරින්නේ නෑ කරපු අපරාධයට, මගේ රස්සාව නැති කරා, යන්න තිබ්බ රස්සාව නැති කරලා පෙත්සන් ගැහුවා, අහුවෙච්චාවේ මගදි අනිනවා ඕකට පිහියෙන්!” මොකද සම්පාපයට පත් වෙනවා. සම්ප්‍රාප්ත වුනා පව් වලට. මෙන්න මෙහෙම දෙයකට පත්කරන ධර්මතාවයක් ඕක. හොඳ ඒවා හොයන්න ගියාම සිද්ධ වෙන එකක්. මෙන්න මේ අර්ථයෙනුත් කියනවා අනිච්චයි කියල. ඉතින් ඕක දකින්න ඕනේ මොකද්ද මේ…

 

විවේකට්ඨෝ

    ඊළගට, දැන් මේකේ කියල තියෙනවා, දැන් මේ විවේකට්ඨෝ කියල වචනයක් තියෙනවා. දැන් “විවේකය ගන්නවා” කියන වචනයක් අරගත්තේ මොකද්ද? නියම විවේකයක් තියෙනවා, ඒක නෙමෙයි මෙතන කියන්නේ. මුළාවට පත්වෙලා ආපු අදහසක් නිසයි මේ කියන්නේ. මුළා වෙච්ච ලෝකයේ පුද්ගලයාට සිද්ධ වෙන දෙයක්. යම්කිසි ආකාරයෙන් තමුන් විසින් කරන්න යන වැඩපිළිවෙල අත් හැරුනම, වෙන කොරන්න දෙයක් නෑ, දාලා නිකන් ඉන්නවා. හරයක් හම්බෙන්නේ නෑ අන්තිමට, කොරලා කොරලා, දගලලා දගලලා, බැරි තැන මොකද කරන්නේ? “වැඩක් නෑ ඔය පස්සේ ගිහිල්ලා, වෙන එකක් හොයන්න ඕනේ, ගිය වැඩෙන් නම් ප්‍රතිඵල ගන්න බෑ!” ඒකට විවේකයක් දෙනවා. සැනසුම් හිතකින් නම් නෙමෙයි විවේකය දෙන්නේ, කොරන්න දෙයක් නැතිවට දාලා නිකන් ඉන්නවා කියන එකයි මේ කිව්වේ.

 

    හරයක් හොයාගෙන උත්සාහා කරලා, වීර්යය කරලා කරලා බලලා, බැරිම තැන තමන්ට බලාපොරොත්තු ඉෂ්ට උනේ නැත්තම්, ඒ වැඩේ දාල නිකන් ඉන්නවා. හැබැයි බොහොම සංවේගයකින් නිකන් ඉන්නේ, නිකන් නෙමෙයි. මෙන්න මෙහෙම විවේකාර්ථයක් දෙනවා කරන වැඩ වලට.

 

    මැණික් කපන්න කියල ගියා මනෝ රාජ්‍ය මවාගෙන, “ලොකු මැණිකක් හම්බුනාට පස්සේ, ලක්ෂ මෙච්චරයි මට ඇවිදිල්ලා ගේත් හදලා, ඔක්කොම කරලා හදාගෙන යනවා” යි කියල ගිහිල්ලා, ගිහින් බලපුවහම කන්න වියදම් කරපු සල්ලිත් නෑ. දඟලලා දඟලලා, “ඌරු ආත්මෙයි, බූරු ආත්මෙයි දෙකේ යනව” යි කියල ලෝක සම්මතයේ කතාවක් තියෙන්නේ! හාරනවට කියනවා, පොළොව හාරනවට කියනවා ඌරු ආත්මයක් ගත කරනව කියල. ඉල්ලන් අදිනවට කියනවා, දාල පණ යනකන් දාඩිය මුගුරු දාගෙන අදිනවා වතුරට හෝදන්න, බූරු ආත්මය ගත කරනවයි කියනවා. මේ ලෝක සම්මතයෙ කතා ටිකක් ඒක, ආත්මයක් නෙමෙයි.  ඌරා වාගේ, බූරුවා වාගේ ඔය දෙක කරනවා මැණික් කපන්න ගිහිල්ලා. මැණික් හාරන්න හොයන්න ගිහිල්ලා. මහන්සිවෙලා මහන්සිවෙලා වැඩක් වුනේ නැත්නම්, හම්බ උනේ නැත්නම්, “අපරාදේ! කන්න වියදම් කරපු සල්ලි මහන්සියවත් ගන්න හම්බුනේ නෑ, මොනවා කරන්නද? අපේ කරුමේ හැටි!” ඒක කියලා, දුක් වෙලා, වැඩේ අත් ඇරලා දාල එනවා. “ආයේ නම් යන්නේ නෑ”. මොකද, විවේක දීලා…  ඔන්න ඕක විවේකාර්ථය කිව්වේ, මේ අනිච්ච්ඡ විවේකාර්ථය ඔන්න ඕකයි. ඔන්න ඔහොම දේවල් වෙනවා අපි කරන වැඩ වලට.

 

    උත්සාහ කරනවා, මේ සැරේ බැරි නම්  ප්‍රයිවෙට් පන්ති යනවා, ගිහිල්ලා කොහොම හරි කමක් නෑ විභාගේ පාස් කරනවා. දඟලනවා, දඟලනවා ෆේල්! බැරි තැන දාලා නිකන් ඉන්නවා. ඉගෙන ගන්න එකට විවේක දීලා. මෙන්න මේක එක විවේකාර්ථයක්. මෙන්න මේකත් කියනවා, අනිසි වැඩක් උනා. කරපු වැඩෙන් ප්‍රයෝජනයක් අවේ නෑ  කියලා දමලා නිකන් ඉන්නේ බොහොම සංවේගයෙන්, ඒ වැඩේ කරන්නෑ, “වැඩක් නෑ ඕවා කරලා. කවදා, කොච්චර මහන්සි උනාද? මම දැන් ඕව කරන්නේ නෑ වැඩක් නැති බව දැක්කා, මට වැඩක් නෑ!”  හැබැයි එපා වෙලා නෙමෙයි, කොරන්න දෙයක් නෑ තමන්ට හම්බෙච්ච පාඩුව විදගෙන වෙන කොරන්න දෙයක් නැති හින්ද දාල නිකන් ඉන්නවා.

 

    දැන් මෙහෙම එව්වාගෙන් ලෝකේ පිරිලා. සත්වයෝ කරන වැඩ වලින් ඔය ටික ඔහොම තමයි වෙලා තියෙන්නේ.  ඉතින් මොනවා කරන්නද? මෙන්න මේකත් කියනවා විවේකට්ඨෝ අනිච්ච්ඡා, අනිච්චට්ඨෝ! ඉතින් අපි දකින්න ඕනේ අපිමේ කරන වැඩ කොච්චර මේ සුන්දර මනෝ ලෝකයක් මවාගෙන, “හරි වැදගත් ලෝකේ, මේ මේ සැප විදින්න පුළුවන්, මේ මේ තත්ව තානාන්තරය මෙහෙමයි” ඕවා කිය කිය හිටියට, ඕවයේ තිබෙන්නේ සම්පුර්ණම මේ මනුස්සයෙක් වෙලා කරගන්න හැකියාවක් තියෙන උපක්‍රමශීලි මනසක් තියෙන, හැකියාවක් තියෙන, සුගතියක ඉන්න එක්කෙනාට මේවාත් ඔය තත්වෙට අසහනය ඇති කරනවා නම් සැප පස්සේ ගිහිල්ලා, ආශ්වාද හොයන පස්සේ ගිහිල්ලා, එහෙම දෙයක් ඇති කරනවා නම්, මොනවද ගන්න තියෙන හරය?  කියලා දකින්න ඕනේ.

 

    අන්න එතකොට දකිනවා අනිච්ච අර්ථය. ස්ථිර නැති කතාවක් නෙමෙයි මේ පෙන්නුවේ. ස්ථිරද නැද්ද කියන එකක් නෙමෙයි, සැප විදින්න ගිහිල්ල වෙච්ච වෙහෙස මේ පෙන්නන්නේ. විවිධාකාර ආපු බාධක, කම්කටොළු මේ පෙන්නනේ. සැප පස්සේ යනවා, දුකට හේතුව තමයි සැප පස්සේ යනවා කියන්නේ. ඒ සැප පස්සේ හොයාගෙන, සැප හොයාගෙන යනකොට සසර ගමනක දුක ගොඩනැගෙනවා.   සැප හොයාගෙන යනවා, සැප නමැති මායාව පෙන්න පෙන්න දුක ගොඩනගනවා. මෙන්න මේ අනිච්ච්ඡ අර්ථයෙන් බලන්න ඒ ටික. ඕක දැක්කහම කියනවා, ඔන්න ඔය ටික දැක්කම අනිච්ච දැක්කා.

 

    මේ පොත් තුනේම තුන් ආකාරයෙකින් ඔය අදහසම පෙන්නනේ. අසහනකාරිත්වයක් ඇති කරන, පෙළලා දමන, දුක් කරදර ඇති කරවන්ට මුල්වෙන ස්වභාවයක් මේ ලෝකේ තියෙනවා මේ පස්සේ ආශ්වාද පස්සේ යනකොට, බලාපොරොත්තුව නම් කවදා කිසිම සත්වයෙක්ට ඉෂ්ට කරලා, “බලාපොරොත්තුව සඵල උනා. මීට පස්සේ මට කිසි ප්‍රශ්නයක් නෑ, එහෙම තත්වයකට පත් උනා. දැන් ඉතින් පුර්ණයි!” කියලා කියන්න නම් ලෝකය ඇතුලේ සැරිසරණ කිසිම සත්වයෙකුට කවදාවත් පුර්ණ වෙලා එහෙම එකක් හම්බවෙලා නෑ.

 

    නැති වෙන්න හේතුව මොකද? එහෙම ධර්මතාවයක් ලෝකේ නැති නිසා. නිච්ච වූ, සුඛ වූ,  අත්ත වූ ධර්මතාවයක් ලෝකේ නැති නිසාම ලෝක සත්වයාට කවදාවත් එහෙම එකක් හම්බෙන්නේ නෑ. ඔන්න ඕක විමර්ශනය කරලා බලන්න කියලයි පෙන්නුවේ.  බුද්ධ ඥාණයෙන් දැකලා, අනන්ත අප්‍රමාණ සංසාරයේ ලෝක සත්වයෝ සැරිසරණ හැටි, මුළාවට පත්වෙලා, නිසි දේවල් හොයාගෙන අනිසි දේවල් පස්සෙම දුවන හැටි දැකලා මෙන්න මේ ආකාරයෙන් විග්‍රහ කරලා දීපුවා තමයි ඔය මූලික අට්ටකතාවල ලස්සනට අර්ථ පෙන්නලා තියෙන්නේ.

 

    ඒ ඔක්කොම අද පැත්තකින් තියල, අනිච්ඡයි කියන්නේ ස්ථිර නෑ, අනිත්‍යයි කියල වචනෙට කැටි කරලා තිබ්බා. ඊට පස්සේ තේරෙන්නේ නැතිව ගියා මේකේ තියෙන දුක. යථාර්තය දකින මානසිකත්වය වැඩෙන්නේ නැතිව ගියා. ලෝකේ ප්‍රියයි මනාපයි යහපතැයි කියල යම් සත්වයෙක්  යමක් හොයාගෙන යනවද, ඔහුට සිද්ධ වෙන්නේ මෙන්න මේ ජාතියේ ඒවාට මුහුණ දීලා, හිස් දේ හිස් අතින් කෙලවර කරන්න මිසක් කිසිම සත්වයෙක්ගේ බලාපොරොත්තු සඵල වෙලා හරි ගියා කියන එකක් මේ ලෝකේ සත්වයකුට නෑ කියලා දැකලා පෙන්නපු මේ දහම බලන්නයි බුදුරජාණන්වහන්සේ ඕක පෙන්නුවේ.

 

    ඒක අනිත්‍ය නිසා දුකයි, ස්ථිර නැති නිසා දුකයි කිය කියා ඉන්න පටන් ගත්තා ඉතින් දහම් ඥාණය නැතිව ගියා. ඒකයි කාරණය. දැන් එතකොට මොකද වෙන්නේ? ඔන්න ඔය ආකාරෙට දකින්න ඕනේ විග්‍රහ කරපු හැටියට. ඉතින් අනිච්චට්ඨෝ! අනිච්ච්ඡ කියන එකම අනිස කියල, අනිසි අර්ථයෙන්.  ඔය ඔක්කොම ටික කැටි කරලා සම්පිණ්ඩනය කරලා ප්‍රතිඵලය බලනකොට ඒකට ආපු විසඳුම බලපුවම නිසිද අනිසිද? ඔහොම ඒවා පරිහරණය කරන එක? ප්‍රඥාවේ තීරණයක් ආවා ඒක අනිසියි. නිසි නෑ! හොදවා හොයාගෙන ලෝකේ සැරිසරන්න ගිහිල්ලා නම් කවදාවත් සැනසුමක් හම්බෙන්නේ නෑ, රැවටෙනවා මිසක්. එහෙනම් ඒවා අනිසියි. ඔන්න සත්‍ය තීරණය. ඔන්න ඔය අනිසි අර්ථයෙන් තමයි අනිච්ච කියන්නේ. ඔන්න දැන් ඔය ටිකෙන් අනිච්ච පෙන්නලා දුන්නා ලස්සනට.

 

    දැන් අපිට ඔය අර්ථය අනිත්‍යද කියන එකෙන් දුකද කියල ගත්තාම, දුක එන්නේ මෙන්න මේ අර්ථයෙන් කියල පෙටෙකොපදෙස නමැති අට්ට කතාවෙන් විග්‍රහ උනා.  එතකොට ඊට ඉස්සෙල්ලත් ගත්ත පොත් දෙකක් අපි විග්‍රහ කරලා දුන්නා, ඒ විදියටම එවයෙනුත් ඒ කාරණය සිද්ධ වුනා ඒ විදියටම පෙන්නලා දෙනවා එකෙන් එක.

 

    ඛේනට්ටේන අනිච්චා – උප්පාද වයට්ටෙන අනිච්චා, එතකොට ඒ ආදී වශයෙනුත් ඒ පොත් වල විග්‍රහ කරලා පෙන්නනවා. එතකොට උදයව්‍ය අර්ථයෙන්, උදයව්‍ය කියන්නේ අනිච්චයි කියල. උදය දකින්නේ විසිපස් ලක්ෂණයක් දකියි, වැය දකින්නේ විසිපස් ලක්ෂණයක් දකියි, උදයව්‍ය දකින්නේ පනස් ලක්ෂණයක් දකී කියල තව ක්‍රමයකින් පෙන්නනවා අනිච්ච වෙන හැටි. ඊළග පොතේ පෙන්නනවා උදය කියන්නේ මොකද්ද? මේ ලෝකේ පැවැත්ම උදා වෙන ක්‍රමවේදය. දුක්ඛ සමුදය නිසා ගොඩනැගෙන හැටි. වැය කියන්නේ මොකද්ද? ඒ දුක්ඛ නිරෝධ කිරීමෙන් ඒ ප්‍රතිඵලය නිරෝධ වෙන හැටි. එහෙනම් අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඥ්ඥාණං, විඥ්ඥාණ පච්චයා නාම රූපං ආදී වශයෙන් ලෝකය නමැති දුක් ගොඩ උදා වෙන්නේ ඔන්න ඔය සිද්ධාන්තය ක්‍රමයට අනුවයි කියලා, එහෙම දකින්න. එතකොට උදය ඥාණය පහල වෙනවයි කියල පෙන්නනවා.

 

    මේ දුකෙන් නිදහස් වීමට මොකද්ද කරන්න ඕනේ? යෝතස්සා ඒව තණ්හාය අස්සෙස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා විඥ්ඥාණ නිරෝධෝ, විඥ්ඥාණ නිරෝධා, නාම රූප නිරෝධෝ… මේ ආදී වශයෙන් නිරෝධ චක්‍රය දකින්න. ඒ දැක්කම දකිනවා මෙන්න මේ දුක වැය කර දමන්නේ, කෙලවර කර දමන්නේ ඕකෙන්. මෙන්න මේකට කියනවා උදයව්‍ය ඥාණය. ඛේනට්ටේන අනිච්චා – උප්පාද වයට්ඨේන අනිච්චා ඔන්න ඕකෙන් අනිච්ච දකිනවා.

 

    එතනත් ස්ථිර කතාවක් නෙමේ, නැති කතාවක් නෙමෙයි පෙන්නුවේ. ලෝක ස්වභාවය, පැහැදිලිව දුක ගොඩනැගෙන හැටි සහ දුකෙන් මිදෙන හැටි දකින නුවණ දකිනවා නම්, ඕකටත් කියනවා අනිච්ච දැක්කා. ඉතින් ඕකෙන් දකිනවා, මොකද්ද අනිසි? ලෝකය අනිසියි. නිසි මොකද්ද? නිවන නිසියි. කැටි කරලා ගත්තම උත්තරේ ඔච්චරයි. ලෝකය අනිසියි නිවන නිසියි. “කොහොමද අනිසියි කියන්නේ?” “කොහොමද නිවන නිසියි කියන්නේ?” කිව්වොත්, විස්තරෙන් දෙන්න ඕනේ උත්තරේ. කෙටි කරලා ගත්තම විස්තරේ දැනගත්තාම කෙටි අර්ථය ඕක එනවා.

 

    කව්රුහරි විස්තර කරන්න කිව්වොත්, අර පටිච්ච සමුප්පාදය විස්තර කරන්න ඕනේ. පනස් ලක්ෂණය විස්තර කරන්න ඕනේ. මේ පෙටෙකොපදෙසයේ පෙන්නපු ආකාරයට පීලනාර්ථයෙන් ඒවාගේම පභංගාර්ථයෙන්, ඒවගේම සම්පාපනාර්ථයෙන්, ඒවගේ විග්‍රහ කරන්න පුළුවන් විග්‍රහ කරලා දෙන්න කිව්වොත්. ඊට පස්සේ අහනවා, “දැන් මොකද කියන්නේ? නිසිද අනිසිද?” “අනිසියිනේ!” කෙටි පිළිතුරෙන් දැන් එයාටත් හම්බ වෙනවා.  එහෙනම් අනිච්චයි කියන්නේ අනිසි නිසා. කැමති සේ නැති නිසයි අනිසි උනේ. ඇයි කැමති සේ නෑ කියන්නේ මෙන්න මේවට ගෝචර වෙන අය කැමතිසේ නැද්ද? තමන්ටම උත්තරේ බලාගන්න. අන්න එහෙම විග්‍රහය එන්න ඕනේ.

 

    ඉතින් තත්ථ කථමෝ දුක්ඛට්ඨෝ, අනෙක් කාරණය. ඇයි මෙතන මේ දුක්ඛාර්ථයෙන්? මොකද මේ දුක්ඛාර්ථය කියන්නේ මොකද්ද? දුක කියන්නේ  මොකද්ද? මොන අර්ථයෙන්ද? දැන් ඒකත් අට්ට කතාව ලස්සනට පෙන්නනවා. දුක්ඛං භයට්ටේන, එක පොතක පෙන්නනවා. ඔය ආදී වශයෙන් දුක්ඛ කියන්නේ මොකද්ද කියල.

 

පීලනට්ඨෝ දුක්ඛට්ඨෝ

    ඒවගේ දැන් මෙතන පෙන්නනවා, පෙටෙකොපදෙසයේ දුක්ඛාර්ථයෙන් කතා කරන්නේ මොන අර්ථයෙන්ද? මොකක් නිසාද දුකයි කියන්නේ? පීලනට්ඨෝ දුක්ඛට්ඨෝ, පීලන අර්ථයෙන් දුක්ඛාර්ථයයි. මේ එක අර්ථයක්.  පිඩනයට පත් කරන අර්ථයෙන්මයි. එතකොට අපි අර ඉස්සෙලත් කිව්වා “තාඩන පීඩන” කියලා වචනයක්, පීඩනයට පත් කරනවා, පීලන අර්ථය කියලා. එතකොට අනිච්ච දැක්කා වාගේම ඒකෙම දුක ගැබ් වෙලා තියෙනවා. යම්කිසි පීඩනයකට, තාඩන පීඩනවලට පත් වෙනවා නම්, තමාගේ බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ කරගන්න යනකොට ඇතිවන ප්‍රතිඵලය වශයෙන් අන්‍යන්ගෙන් විරුද්ධ බලවේග ක්‍රියාත්මක වෙලා ඒවායෙන් නොයෙක් ආකාරයෙන් තලා පෙළා දමනවානම්,  නැගෙන්න දෙන්නේ නැත්තම්, මෙන්න මේ නිසා කියනවා දුකයි කියල, ඒකත් දුක් කොටසක්.

 

    මෙන්න මෙහෙම දෙයක් නිසා මේක දුකයි කියා නිගමනය කරනවා. මොනවද? සැප පස්සේ යන එක දුකයි. නිගමනය කලේ මොකෙන්ද? සැප පස්සේ යන කෙනාට මේ මේ විදියේ ලෝකේ බාධක එන්න පටන් ගන්නවා. ලෝක ධර්මතාවයෙත් තියෙනවා, බාධක. විවිධාකාරයෙන් පීඩනයට පත් කරනවා. පෙළා හරිනවා, තාඩන පීඩන ඇති කරනවා. එතකොට අන්න ඒකෙ ගති ලක්ෂණය තමයි ඇති කරන්නේ, පීලනට්ඨෝ දුක්ඛට්ඨෝ!

 

සම-පීලනට්ඨෝ

    අනෙක මොකද්ද? සම-පීලනට්ඨෝ! තව එකක්.  සංවේගයට පත් කරනවා වාගේම,  සංතාපයට පත් කරනවා. පීලනාර්ථය! පෙළනවා. සන්තාපය කියල කියන්නෙත් නොයෙක් ආකාරයෙන් විවිධ ආකල්පවලින් පෙළෙන භාවයට පත් කරනවා, තවන්න පත් කරනවා, තැවීමට, පෙළීමට පත්වෙනවා. සම්පීලනය කරනවා! අන්න ඒ ආකාරයෙන් පෙළෙන්න පටන් ගන්නවා. පෙළීමට පත් කරනවා, ඒකෙන් නැගෙන්න දෙන්නේ නෑ.

 

    “අනේ මට වෙච්ච දෙයක්, මගෙ සල්ලි වලට වෙච්ච දේ, මං කරන්න ගිය වැඩේ ඔක්කොම අතරමං වුනා, මහා නියඟයක් ආවා, මෙච්චර වියදම් කරපු කුඹුර ඔක්කොම ඉවරයි, ආයේ ගොඩ ගන්නේ කොහොමද?” ඒවගේම, “මහා ජලාශයක් ආවා,  ගහගෙන ගිහින් ගොයම් ටිකත් එක්ක කුණු වෙලා ගියා, පීදිලා හොදට හැදිච්ච ගොයම් ටික, දැන් මොකද කරන්නේ?” දැන් ඉතින් සම පීලනය! එකෙන් අහක් වෙන්න බෑ, ඒකටමයි ඇදුනේ!. ඒකටම සම වෙලා හිටිනවා මිසක් එකෙන් දැන් ප්‍රතිකර්මයක් ගන්න බෑ. පීලනයට පත් උනා. පීලනය නිකන් එකක් නෙමෙයි, සම-පීලනය කියන්නේ ඒකට සම වදින්න තමයි දැන් වෙන්නේ.  අඬ අඬා ඉන්න වෙනවා, දුක් වෙවී ඉන්න වෙනවා මිසක් කවදාවත් ප්‍රතිකර්මයක් එන්නේ නෑ, කොච්චර ඇඬුවත්, කොච්චර දැඟලුවත්. මොකද? මහන්සි වෙලා, හදලා, ඔක්කොම කරලා, අස්වැන්න ගන්න තිබ්බ කුඹුරේ ඔක්කොම විනාශයි. ආයේ වතුර බැස්සත් වැඩක් නෑ, ගිහිල්ලා බලනකොට ඔක්කොම ගොයම් ටික කුණු වෙලා. ආයේ වැස්සත් වැඩක් නෑනේ නියගෙට අහුවෙලා ඔක්කොම ගොයම් ඔක්කොම පිදුරු වෙලා ගිහිල්ලා විනාස වෙලා ගිහිල්ලා. මොනවා කරන්නද?

 

    හැදුවා ගේ, භූමි කම්පාවක් ආවා, කඩලා ගියා, මොනවා කරන්නද? ගේ කැඩුනා. ගොඩ නගන්නේ කොහොමද? කෑල්ලක්වත් නැහැ ගන්න දෙයක්, යන්තම් පණ බේරාගෙන පැනල දිව්වා අහකට, “මං වටිනාකමෙන් ඔක්කොම හදාගත්තු ගේ ඔක්කොම ඉවරයි, වත්ත ඉවරයි විනාස වෙලා ගිහිල්ලා, ඔක්කොම බිල්ඩින් කැඩිලා ගිහිල්ලා,  මහා ජලයක් ඇවිදිල්ලා, සුනාමියක් ඇවිදිල්ලා ගහගෙන ගිහිල්ලා, කඩාගෙන බිදගෙන ගිහිල්ලා, ඉතුරු වෙලා නෑ!”

 

    වාතයෙන්, ජලයෙන්, ගින්නෙන්, නොයෙක් ආකාර දේවල් වලින්, හොර හතුරු කරදර වලින්, මේ ආදී විවිධාකාර දේවල් වලින් පීලනයට පත් වෙලා, වැනසිලා ගියහම “අනේ වෙච්ච දෙයක්!” කිය කියා ඉන්න වෙනවා, ඒක ආයේ නම් හරි යන්නේ නෑ. ආයේ ප්‍රතිකර්මයක් කරලා ගොඩ ගන්න බැරි ජාතියේ ඒවා සිද්ධ වෙනවා. මේ අපි හොදවා හොයන්න ගියහම, ඒ හොදවත් හොයන්න ගිහිල්ල හොඳවා ගොඩනගන්න ගියහම ඕවාට සිද්ධ වෙන නිසා අපිට විදින්න තියෙන දුක.

 

    හොඳවා හොයන්න ගියා, හොඳවා හොයන්න උත්සාහ කරලා, වීරිය කරලා, නොයෙක් ආකාරයෙන් තැලිලා, පෙළිල ගොඩනගාගත්තු එකක් තිබ්බහම ඒකට ඔය ටික සිද්ධ උනාම මොකද වෙන්නේ? ඉතින් ජීවිත කාලේ තියෙනකන් “මං කරපු දේවල් ඔක්කොම ඉවරයි, මොන කරුමයක් පල දුන්නද දන්නේ නෑ, දැන් ඉතින් වැඩක් නෑ, ලොකුකම් කරන්න ගිහිල්ල වැටුනා, කකුල කැඩුනා, කපන්න සිද්ධ උනා කකුල…” ආයේ දෙවැනි කකුලක් හයි කරන්නද ජීවිතේ තියෙනකන්? නෑ, සම පීඩනයෙන් ඉන්න වෙනවා. “අනේ වෙච්ච දෙයක්! යන්නත් නෑ, එන්නත් නෑ, අයෙ කකුල හදන්නයැ? මොනවා කරන්නද?  අත හදන්නයැ, අත කැඩුනා, කකුල කැඩුනා, අත කැපුවා, කකුල කපුවා, හැදුනා අංශබාගේ, නැගිටගන්න බැරි වුනා, පිළිකාව හදුනා, ආයේ කරන්න දෙයක් නෑ හොඳ කරන්න බෑ…” පීලනයට පත් වෙලා සම පීලනයෙන් ඒකෙම ඉන්න වෙනවා. මෙන්න මේ ගති ලක්ෂණය තියෙනවා සම-පීලනාර්තයෙන් දුක්ඛයි. ඔය සැප හොයන්න ගිය අයට ඕවට ඒකාන්තයෙන් ගොදුරු වෙන්න සිද්ධ වෙනව කියන එකයි මේ පෙන්නන්නේ. ඕක ධර්මතාවය! ධර්මස්වභාවයේ හැටි. ඊට පස්සේ මොකද වෙන්නේ?

 

සංවේගට්ඨෝ

    සංවේගට්ඨෝ! සංවේගය තමයි ඉතින් ඕකෙන් පස්සේ සංවේගේ එනවා. හැම වෙලේම දාහයට පත් වෙවී, ඉතින් බලපුවම මොකද? විවේකයක් තමයි නැගෙන්නේ, ලේ ගමන් කරනවා හෝ ගාලා. ප්‍රෙෂර් ප්‍රෙෂර් කියනවා,  මොකක් වෙලාද ප්‍රෙෂර් උනේ? පීඩනය වැඩි වෙලා. වේගේ වැඩි වෙලානෙ, මොනවා ටික එකතු වෙලාද? ලෝකේ ආශ්වාද හොයන්න, අනිච්ච, දුක්ඛ, අනත්ථ කියන, නැත්තම් අසාර දේවල් වලට එකතු උනාම, ඒවා සමග එක් වෙලා හටගත්ත වේගේ හැටි. සං + වේගය – එකතු වුනාම ඇතිවෙනවා ඕවට මත් වෙලා විවේක විදින්න. ඔය සංවේගාර්ථයන් දුක්ඛයි! මේ ලෝකේ තියෙන එවුවගේ ඕක තියෙනවද නැද්ද කියල විමර්ශනය කරලා බලන්න ඕනේ, කව්රුවත් කරන එකක් නෙමෙයි ලෝක ධර්මතාවයේ හැටි. ඕවට පත් වෙන්න වෙලා දුක් කරදර වලට මූණ දෙන්න සිද්ධ වෙනවා.  සැප පස්සේ ගියාම, ලෝකේ පස්සේ හොඳවා හොය හොය ගියහම සිද්ධ වෙන හැටි. එතකොට මොකද වෙන්නේ?

 

භ්‍යාබාධනට්ඨෝ

    භ්‍යාබාධනට්ඨේ, තව එකක්, භ්‍යාබාධනට්ඨෝ! නොයෙක් ආකාරයෙන් අබාධ හැදෙනවා, ලෙඩරෝග හැදෙනවා, නොයෙක් ආකාරයෙන් දුර්වලකම් ඇති වෙනවා. මෙන්න මෙව්වට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. කයටත් එහෙමයි, හදන දේවල් වලටත් එහෙමයි. විවිධාකාරයෙන් ගොදුරු වෙනවා නොයෙක් ආකාර ආබාධයන්ට. ඒ ගොදුරු වෙන ලක්ෂණයෙන් යුක්තයි ලෝකේ, මෙන්න මේ නිසත් ඒවා දුක්ඛයි කියනවා. දුක් විදින්න සිද්ධ වෙනවා ඒ අර්ථයෙන්.

 

    නොයෙක් ආකාර ලෙඩ රෝග, වගාව හදල ඔක්කොම කරලා ගත්තා, හැදුවට පස්සේ, “ගස්ලඹු ටික හදාගෙන, ඔක්කොම කරලා හොද අස්වැන්නක් ගත්තහැකි” කිය කිය ඉන්නකොට හැදිලා රෝගයක් ඔක්කොම කොළත් කොඩ වෙලා ගිහිල්ල, ගෙඩිත් කොඩ වෙලා, කුණු වෙලා ගිහිල්ලා. බලනකොට පිටි මකුණෝලු, අරින්න බෑ මොකද? දැන් මේ මේ පොඩි පොඩි අදහස් දෙන්නේ දැනගන්න. දැන් අන්න රෝගයක් හැදිලා හදාගත්ත වගාවට, හැදුවා ඔක්කොම ගස් කොලන් හදල ඉවර වෙලා බැලුවාට පස්සේ ඒකට මොකක්හරි ලෙඩක් හැදිලා  ගෙඩි  ඔක්කොම කොඩ වෙලා ගිහිල්ල ගස් වල කොළ හැලිලා ගිහිල්ල මැරෙන්න පටන් ගත්තා. “විෂබීජයක් මොකක් හරි ඇති උනා” කියයි “වෛයිරසයක් ඇති උනා” කියයි, “මගේ වගාව ඔක්කොම විනාසයි, සල්ලිත් ඉවරයි, කරපුවත් ඉවරයි, බලාපොරොත්තු සුන් උනා…”

 

    හැදුනා ලෙඩක්, රෝගයක් කයට, ඉතින් කොර උනා, පැත්ත වැටුනා, ඇස් පෙන්නේ නැතිව ගියා, කන් ඇහෙන්නේ නැතිව ගියා, මොනවා කරන්නද? “මොළේට විෂබීජයක් ගිහිල්ලාලු, බඩට විෂබීජයක් ගිහිල්ලලු, රටේ නැති ඒවා කියනවා දොස්තරලත්, හොද කරන්න බැරිලු!” දැන් අන්න හටගන්න හැටි. දැන් මේවා තමයි මේ කියන්නේ, භ්‍යාබාධන කිව්වේ ඒකයි,  ව්‍යාපාද කියන එක තමයි භ්‍යාබාධ කියල කිව්වේ. ඉතින් ඕවාගේ ව්‍යාපාදයන්ට පත් වෙනවා. අව්‍යාපාද කියන එකක් එහෙම නැති එක. ව්‍යාපාදය ලෝකේ හැටි. ඉතින් ඒකට පත් වෙන කොට ඒකත් දුක්ඛාර්ථයෙන්, අයං දුක්ඛට්ඨෝ!   මෙන්න මේවට දුක්ඛාර්ථය කියනවා. ඉතින් දුක්ඛ දකින්න ඕනේ මේ අර්ථයෙන්.  අනිච්ච දුක්ඛ දකින හැටි.

 

අනත්ථට්ඨෝ

    අනෙක තමයි අනත්ථට්ඨ. “තත්ථ කථමෝ අනත්ථට්ඨෝ” – මේ අනාතයි කියන්නේ මොන අර්ථයෙන්ද? අනත්තයි කියන්නේ, අනාත්මයි කියලා මේකෙත් මේ සිංහලට ලියනවා සිංහල ලියනකොට අනත්ත කියන වචනේ මයි දීලා තියෙන්නේ පාළියට, අනාත්මයි කියන අර්ථයෙන් තමයි මේකත් සිංහලට තෝරලා තියෙන්නේ. “මෙහි අනාත්මාර්ථය කවරේද යත්…” ඕක “මෙහි අනත්ථාර්ථය කවරේද යත්…” කිව්වා නම් නියම අර්ථය එනවා. අනත්ථ කියන එකයි මේ විග්‍රහ කලේ. මොන අර්ථයෙන්ද අනත්ත කියන්නේ කියලා. එතකොට අනත්ථ වෙන හැටි පෙනෙනවා.

 

අනිස්සරීයට්ඨෝ

    අනිස්සරීයට්ඨෝ – මහ ඉසුරු සම්පත් තියෙන දෙයක් හැටියට, ඓශ්චර්යවත්,  මහ පුදුමාකාර වටින දෙයක් කියල මෙහෙම ලෝකයා රැවටෙනවා. “හරි පුදුම දෙයක්නේ, හරි පුදුම ලැබීමක් නේ, ආශ්චර්යයිනේ, අත්භූතයිනේ…” මෙහෙම කිය කියා ලෝකයා ආස්වාදයකින් බදන ලෝකයක් තියෙනවා.  මේ ලෝකේ විවිධ පුදුමාකාර දේවල් දැක දැක, මේ පුදුමයි කියල හිතාගෙන ඉන්න කොටසක් තියෙනවා ලෝක සත්වයා, දැන් මොකද්ද වෙන්නේ? නමුත් පුදුමයිද කියල බලා හිටියම මොන පුදුමයක්ද?

 

    ගන්න හරයක් ඇති එකක් ගැන නෙමෙයි මේ හිත හිතා ඉන්නේ. කිසිම වැඩකට නැති ඒවාට පුදුම වෙවී ලෝකයා ඉන්නවා. “හරි පුදුමයිනේ අද විද්‍යාඥයෝ කරලා තියෙන වැඩ” උනුත් ඉවරයි කරපු වැඩේ නිසා ලෝකෙත් ඉවරයි අන්තිමට බලනකොට. හරයක් නෑ බලනකොට කරපු ඒවගේ, හරියට හොයල බලපුවහම තමයි, අපි මේ මහා ඓශ්චර්යයයි කිය කියා හදපුවා කරපුවගේ තියෙන හරයක් නැතිකම දකින්නේ. අන්න එහෙම ඓශ්චර්ය කියල මිනිස්සු හිතා හිටපු එක රැවටිල්ලක් මිසක් ගන්න හරයක් නෑ කියා දැක්කම කියනවා, අසාර අර්ථය කියන්නේ ඔන්න ඕකට. අනත්ථ අර්ථය දකින්න තව එක ක්‍රමයක්. ඓශ්චර්යයක් නැති අර්ථයෙන්, ඒක තමයි කිව්වේ අනිස්සරීයට්ඨෝ!, ඉස්සරී හෙවත් ඉසුරු බවක් නෑ ලෝකේ. ඉසුරුකම් පවත්වන්න තැනකුත් නෑ,

 

    “මම නායකයා” කිය කියා ඉන්නවා රැවටිලා. ඉසුරු බව පවත්වනවා. රජ ඉසුරු පවත්වනවා. නායකත්වය පෙන්නනවා. “මම තමයි උඹලගේ නායකයා, උඹල මගේ යටත් වැසියෝ” මේකත් මේ ඓශ්චර්යය පෙන්නන එකක්, ඉසුරු බව පෙන්නන එකක්.  එහෙම පෙන්නන්න එකක් ලෝකේ නෑ කියල දකින්න ඕනේ.

 

“මම තමයි මේ ලෝකෙට රජ්ජුරුවෝ, බලහංකො මගේ කෙස් ටික දිහා කොහොමද කියලා, මේ…”

“රජතුමනි කෙස් ගහක් පැහිලානේ!”

“මොනවා? ලෝකෙටම රජ කරන මගේ ඔලුවේ තියෙන කෙස් ගහකටවත් මට රජ කරන්න බෑ නේ. මන් කැමති නෑ කෙස් පැහෙනවට. මේ පැහිලනේ!”

“ඉතින් ඔබ වහන්සේ ඔබ වහන්සේගේ කෙස් ටික පැහෙන්නේ නැති විදියට රජ කරව ගන්නකො, ඓශ්චර්යය පවත්වන්නකෝ. පැහෙන්න එපා එක කෙස් ගහක්වත් කියල නවත්වන්නකෝ පුලුවන්ද බලන්න.”

“ඇත්ත තමයි බන්…” පුරෝහිතයට කියනවා. “පුරෝහිත, වැඩක් නෑ රජකම් කොරල මන් යනවා යන්න තපස් රකින්න.  ගිහිල්ල මේ වැඩක් නැති ලෝකේ, අසාර ලෝකෙන් මිදෙන්න කටයුතු කර ගන්නවා. මට වැඩක් නෑ මේ රජ කමෙන්…”

 

    කියලා ඓශ්චර්යය නැති නිසා රජ්ජුරුවෝ දාල යනවා. මේ මහා බෝසතාණන් වහන්සේටත් අනාදියේ ඉස්සර බෝධිසත්ව පාරමිතා පුරනකොට ඉදිච්ච කෙස් ගහ දැකල රජකම අත ඇරලා ගිය හැටි. කෙස් ගහ දැක්කට පස්සේ දැක්කා, “මන් කොහොමද රජෙක් වෙන්නේ? මගේ ඔලුවේ තියෙන කෙස් ගහකටවත් රජකම් කරන්න ඓශ්චර්යයක් පතුරුවන්න බැරි මම, ලෝකෙට මොන ඓශ්චර්යය පැතිරිල්ලක්ද? මේ අසාර වැඩක්නේ කොරන්නේ” අන්න ඒක දකින ක්‍රමයක්. මෙන්න අනත්ථ ලක්‍ෂණයක හැටි. ඓශ්චර්යය පවත්වන්න දෙයක් ලෝකේ නෑ.

 

    තමන් වැඩියෙන්ම කැමති වෙන්නේ තමාගේ ශරීරයට, මේක හොදට පවත්වාගෙන හොදට ජීවත් වෙලා ඕනේ මොන දේ කරගන්නත්. එහෙනම් කාටවත් ඕක කරගන්න හම්බෙන්නේ නෑ. තමන්ගේ ශරීරයටත් තමන්ගේ ඉසුරු පවත්වන්න බෑ, ඊශ්වරත්වය පවත්වන්න බෑ, අධිපති බව පවත්වන්න බෑ. මෙන්න අනත්ත ලක්ෂණයක්. ආත්ම නෑ කියනවට වැඩිය හරි පැහැදිලියි. මේකෙන් දකින්න ඕනේ, “එහෙම එකක් තමයි අපි මේ ආත්ම කොරන්න හදන්නේ.  පුලුවන්ද කය ආත්ම කරන්න? කයේ ස්වභාවය ඕකනේ!” මෙන්න දකින හැටි.

 

    එහෙනම් “මං ශරීරයටවත් ඓශ්චර්යයක් පවත්වන්න බැරි නම්, ශරීරයෙන් බැහැර ලෝකයට මන් කොහොම ඓශ්චර්යය පවත්වන්නද? මොකෙන් පවත්වන්නද? කොහෙද පැවතිලා තියෙන්නේ?  ඔක්කොම රැවටිලා තියෙනවා මිසක් පවත්වල නෑ” එහෙනම් මෙන්න අසාර අර්ථය දැක්කා. නැත්නම්, අනත්ථ අර්ථය දැකපු ක්‍රමයක්.

 

අවසවත්තනට්ඨෝ

    ඊළගට මොකද්ද පෙන්නන්නේ? අනිස්සරීයට්ඨෝ අනත්ථට්ඨෝ, අවසවත්තනට්ඨෝ! අනික. “වසවත්” කියල කියන්නේ තමන්ගේ වසගයෙහි පවත්වන්න පුළුවන් හැකියාව. එහෙම හැකියාවක් මේ ලෝකේ කිසි දෙකට නෑ, හිතා ඉනවා විතරයි. වසවත් මාරයත් හිතා ඉන්නවා “මට ඕනේ හැටියට මේ ලෝකේ පවත්වන්න පුළුවන්” කියල, බැරි දෙයක්, අවිද්‍යාවේ නිගමනයක්. අවසවත්තට්ඨේන,  වසවත් වශයෙන් පවත්වන්න බෑ තමන්ට ඕනේ හැටියට මේ ලෝකේ පවත්වන්න බෑ. මෙන්න මේ අර්ථයෙනුත් කියනවා අනත්ථයි.  තමන්ට කැමති සේ පවත්වන්න බැරි අර්ථයෙනුත් කියනවා අනත්ථයි. එකයි මේ කියන අවසවත්තට්ඨේන.

 

අකාමකාරීකට්ඨෝ

    අකාමකාරීකට්ඨෝ – අනෙක,  කාම වස්තු කියල හිතාගෙන ගිහිල්ල තියෙන්නේ දුක් ගොඩවල්. ඇහැ කාම වස්තුවක්, රූපය කාම වස්තුවක් කියල හිතා ගන්නවා. කාම වස්තුවේ ස්වභාවය මොකද්ද, හොඳට කම් සැප විද විද ඉන්න පුළුවන් කියල. රැවටිලා  ගොදුරු වෙනකන් විතරයි, උගුලට අහු උනා වාගේ. හැමතැනම තියෙන්නේ උගුල්. ඇත්තක් කොහෙද තියෙන්නේ?

 

    “මනමාලි හරි ලස්සනයි” කියලා පුම්බලා, හදලා ගෙනත් දෙනවා. බලපුවහම මොකද්ද වෙලා තියෙන්නේ? තොල් ටික රතු කරලා අරහේ මෙහෙන් පුම්බල තියල රෙදි කෑලි ඔබල තියල ලොකු කරලා, පුම්බල ගෙනල්ල තියෙනවා. බලපුවහම මොකද්ද මේ, රූකඩයක් නේ. නමුත් මඟුල් ගෙදර ෆොටෝ එක ගන්නකොට මනමාලි සරසල එවනකොට හොඳ ලස්සනට සරසල. දෙවඟනක් වගේ පේන්නේ. ඔක්කොම බොරුවට කරලා තියෙන්නේ බලනකොට.

 

    මනමාලයා එනවා, බලපුවහම හොද කඩවසම් පුරුෂයා. බලනකොට ඌ යටට කලිසම් හතරක් විතර ඇදල, උඩින් දික් කලිසමක් ඇදල. පුම්බල තියල. හොඳ ඇගපත තියෙන කඩවසම්, ඌ ලෙහල බැලුවාම නට්ටෙක්. ඒකත් කොර ගැහිලා, කුදු ගැහිලා, බලනකොට මේ වෙන වෙන උපක්‍රම වලින් ඕව ඇරලා, හදලා, ගෙනල්ලා තමයි මනමාලයා, මනමාලි හොදට ලස්සන කරලා ගෙනල්ලා ලෝකෙට සුන්දරත්වයෙන් පෙන්නා දෙන්නේ, දෙවියෙකුයි, දිව්‍ය කුමාරිකාවකුයි ගෙනාව වාගේ තමයි මඟුල් ගෙදර. මේ පෙන්නන ක්‍රමවේදයේ හැටි.

 

    දැන් මෙන්න මේ මේක තමයි කියන්නේ, මේ හරි කාම වස්තු කියල පෙන්නනවා බලපුවහම තියෙන්නේ මොනවද? ගන්න හරයක් ඇති ඒවා එකක්වත් නෑ. අසාරත්වයේ ලක්ෂණය පෙන්වන තවත් ක්‍රමයක්. මිනිස්සු රැවටෙනවා, හොඳ කාම වස්තුවක් කියල. බලාපුවහම ගන්න හරයක් අභ්‍යන්තර බාහිර කොතනකවත් නෑ. ඒ වස්තුවල ස්වභාවය සතර මහා භූතයන්ගෙන් හටගත්ත කුණු ගොඩවල්. ඒවාගේම ලෝභ ද්වේශ මොහයන්ගෙන් හටගත්ත දාහයෙන් යුක්ත වන්නා වූ චිත්ත ස්වභාවයෙන් කුණු වෙච්චා. ගන්න දෙයක් අභ්‍යන්තරේත් නෑ බාහිරත් නෑ.

 

    ඔන්න ඔය ටික දැක්කම දකිනවා කාමාර්ථයෙන් නම් ගන්න යන්නේ මුළාව නිසා, “මේවා කාම වශයෙන් ගන්න එකක්වත් වටනා දෙයක් නෑ” කියල දකිනවා. ඒක මුළාවක් මිසක්. මෙන්න, අනත්ථ දකින තව ක්‍රමයක්. අකාමකාරීකට්ඨෝ!,  අකාමකාරිත්වයෙන් දකින්න ඕනේ. කාම කියල තියෙන්නේ රැවටිල්ලක්, කාමයට සුදුසු ඒවා නෑ ලෝකේ. “දුකට ගෝචර වෙන යම් තාක් කාමයෝ වශයෙන් විදින්න සුදුසු එව්වා ලෝකේ නෑ” කියල දැක්කනම්, එන්න එදාට දැක්කා අනත්ථ කියන්නේ මොකද්ද? මේ තවත් අර්ථයකින් දැක්ක හැටි.

 

පරිවිදධට්ඨෝ

    ඊළගට තියෙනවා තව අර්ථයක්, මොකද්ද? අකාමාර්ථයෙන් දකින්න ඕනේ ඒ විදියට. දැන් තව අර්ථයක් තියෙනවා මොකද්ද? පරිවිදධට්ඨෝ – අනත්ථට්ඨෝ! මේ තව වචනයක්. මේක වචනේ හොයා ගන්න බැරිව ප්‍රශ්නාර්ථ ලකුණක් දාලත් නවත්වල තියෙනවා. සෝක, පරිදේව කියන එක කතා කරපු තව ක්‍රමයක් ඔය. පරිදේවාර්ථය කියන එකයි මේ පරිවිදධට්ඨෝ කියල කිව්වේ. නමුත් මේකේ අර්ථයට පරිදේවාර්ථය කියන එක ගන්න බැරි නිසා ප්‍රශ්නාර්ථයක් දාල වරහන් දාලා තියෙනවා එකේ අර්ථය හොයා ගන්න බෑ කියල. මේ සිංහලට ලියන්න ගියාට මොනවා කරන්නද?

 

    අපි පරිදේව කියන වචනේ අර්ථය ඕකයි. යළි යළි කොච්චර හරි ප්‍රභේද පත් වෙන්නේ දැවිල්ලක් හටගන්න පැත්තටම වැටෙනවා. යළි යළි රිදෝනවා. මතක් වෙන මතක් වෙන ගානේ රිදෙන එකක් හදල දෙනවා. “මට මතක් වෙන ගානේ ඉන්න බෑ උහුලන්න බෑ. හදවත පැලෙන්න එනවා. පපුවට පිහියෙන් අනිනවා වගේ වේදනයි, මතක් වෙන ගානේ වෙච්ච දේ…” අන්න එහෙමයි ඇති වෙන්නේ. රිදෙන ස්වභාවයක් එනවා, යළි යළි රිදෝනවා. අන්න ඒකට කියනවා පරිවිදධට්ඨ! හැම වෙලේම රිදෙන ගති ලක්ෂණයක් ඇති කරවනවා, මතක් වෙන මතක් වෙන ගානේ. එහෙම එව්වගෙන් තමයි ලෝකේ පිරිලා තියෙන්නේ. අන්න ඒ ගති ලක්ෂණය, ඒකත් අනත්ථ අර්ථයෙන් දකින්න ඕනේ. ඕකටත් කියනවා අනත්ථයි කියල. ඔන්න ඔය අර්ථයන් එදා අයං අනත්ථට්ඨෝති, මෙන්න මේකට කියනවා අනත්ථාර්ථයයි කියල. අනත්ථ කියන්නේ ඕකයි.

 

    දැන් ආත්ම නෑ, ආත්ම නෑ කියල එකක් කියවුනාද ඔතන? එහෙම කතාවක් මුකුත් ආවද? ආත්ම කතාවයි අනාත්ම කතාවයි කියල ආත්මයක් ඇත ආත්මයක් නැත කියන කතා එකක්වත් ආවේ නෑ ඔතෙන්ට. ස්ථිරද නැද්ද කියන කතාවක් ආවෙත් නෑ. දුක කියන එක පෙන්නපු ලස්සන ක්‍රමයකට විස්තර වෙලා ආවා දුක කියන්නේ මොකද්ද කියල. මේ ත්‍රිලක්ෂණය විග්‍රහ කරල තියෙන පැරණිම අටුවා. හරිම වැදගත්.  ඔය අර්ථයෙන් අපිත් අද විග්‍රහ කරපුවහම ත්‍රිලක්ෂණය වැටහෙන්න පටන් ගත්තහම ප්‍රඥාව නැගෙනවා. ඔතන වැහිලා තියෙන තාක්කල් ප්‍රඥාව නගන්න බෑ, බුදු දහමේ ප්‍රතිඵල ගන්න බෑ. ඉතින් අපිට ඕන එව්වා කියන්න ඕනේ නෑ මේ පොත් තුනකම තියෙනවා විග්‍රහ කරලා මූලිකම අටුවා තුනේ. විග්‍රහ කරලා තියෙන හරිය තේරුම් ගත්තනම් නිවන් දැකීමට අවශ්‍ය ත්‍රිලක්ෂණය දැනගන්න පුළුවන්.

 

    පටිසම්භිධාමග්ගප්‍රකරණයයි, නෙත්තිප්‍රකරණයයි, පෙටෙකොපදෙසේයයි කියන මෙන්න මේ පොත් තුනෙන්ම අරගෙන බලන්න කියල අපිට කීයැහැකි, අපි කියන එවුවා ගන්න හොයන්න ඕනේ නෑ,  තේරුම් ගන්න පුලුවන් නම් ත්‍රිලක්ෂණය තෝරගන්න ඔය පොත් තුනේම තියෙනවා. “අනිත්‍ය නිසා ස්ථිර නැති නිසා අනිත්‍යයි, ආත්ම වශයෙන් ගන්න එකක් නැති නිසා අනාත්මයි” කියලා එහෙම කිව්වට තේරෙන්නේ නෑ! ඒ නිසා ඔය විග්‍රහ කරලා තියෙන එක හරියට තෝරගත්තහම ත්‍රිලක්ෂණය අර්ථවත්ව තේරුණා නම් ධර්මාවබෝධය ලබන්න හේතු වෙනවා.

 

    ඉතින් ඕක තෝරගන්න ඕනේ. ඒකයි විස්තර කරන්න උනේ මෙච්චර වෙලා. මොකද “මෙම ගැටලුව දෙවන වරට ඉදිරිපත් කරමි” කියල, මම කිව්වා ඒවගේ එව්වා තියෙනවනම් අත්‍යවශ්‍ය දෙයක් තියෙනවනම් ලියන්නත් කියලා, ඒක හුගක් හොඳයි, නමුත් ඉතින් මුල ඉදන්ම විස්තරයක් කරන්න ඕනේ නිසයි කාලේ ගන්න ඕනේ නිසයි මේක මං එදත් කිව්වේ නැත්තේ, විග්‍රහ කරන්න වෙලාවක් තිබ්බේ නැති නිසා. ඉතින් මේක ඔය විදියට තෝර ගන්න. හරි වැදගත්!

 

 

පීලනට්ඨෝ පීලනට්ඨෝ අනිච්චට්ඨෝ පීඩනය
පභංගට්ඨෝ භංග, ඉච්ඡාභංගත්වයට
සම්පාපනට්ඨෝ එන්න එන්න දුෂ්‍ය වූ බවට වැටෙන්න හේතුවක්මයි
විවේකට්ඨෝ සැනසුම් හිතකින් නම් නෙමෙයි විවේකය දෙන්නේ, කොරන්න දෙයක් නැතිවට දාල නිකන් ඉන්නවා කියන එකයි මේ කිව්වේ.
අනිච්චට්ඨෝ
ඛේනට්ටේන ඛේනට්ටේන අනිච්චා
උප්පාද වයට්ටෙන උප්පාද වයට්ටෙන අනිච්චා
දුක්ඛට්ඨෝ පීලනට්ඨෝ දුක්ඛට්ඨෝ, පීලන අර්ථයෙන් දුක්ඛාර්ථයයි. මේ එක අර්ථයක්.  පිඩනයට පත් කරන අර්ථයෙන්මයි.
සම-පීලනට්ඨෝ! සම-පීලනාර්තයෙන් දුක්ඛයි සන්තාපය
භ්‍යාබාධනට්ටනේන දුක්ඛට්ඨෝ නොයෙක් ආකාරයෙන් අබාධ හැදෙනවා ලෙඩරෝග හැදෙනවා

ව්‍යාපාදයන්ට

අනත්ථට්ඨෝ
අනිස්සරීයට්ඨෝ අනිස්සරීයට්ඨෝ අනත්ථට්ඨෝ!  ඓශ්චර්යවත්  මහ පුදුමාකාර වටින දෙයක් කියල මෙහෙම ලෝකයා රැවටෙනවා
අවසවත්තනට්ඨෝ වසවත් වශයෙන් පවත්වන්න බෑ තමන්ට ඕනේ හැටියට මේ ලෝකේ පවත්වන්න බෑ.
අකාමකාරීකට්ඨෝ! අනත්ථට්ඨෝ ඇහැ කාම වස්තුවක් රූපය කාම වස්තුවක් කියල හිතා ගන්නවා. කාම වස්තුවේ ස්වභාවය මොකද්ද හොඳට කම් සැප විද විද ඉන්න පුළුවන් කියල. රැවටිලා හිටන් ගොදුරු වෙනකන් විතරයි
පරිවිදධට්ඨෝ පරිවිදධට්ඨෝ! අනත්ථට්ඨෝ! දැවිල්ලක් හටගන්න පැත්තටම වැටෙනවා. යළි යළි රිදෝනවා. මතක් වෙන මතක් වෙන ගානේ රිදෙන එකක් හදල දෙනවා. මට මතක් වෙන ගානේ උහුලන්න බෑ ඉන්න බෑ. හදවත පැලෙන්න එනවා

 

 

~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~

 

දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://www.waharaka.com/listen/CD068-31

To Top