ගිහි වතක සිට නිවන් දකින හැටි – 4 කොටස හා සම්බන්ධයි
දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)
ගිහි වතේ සිට නිවන් දකින්න තිබෙන හරි මඟ කුමක්ද? - 5 කොටස
{00:00} ආනාපානසතිය සතර ඉරියවුවේම වැඩිය හැකියි : … අවස්ථා වලදී දැනගත්ත දහම් කොටස් ටිකක්, බොහොම වැදගත් විදිහට ඒවා වටහාගෙන තිබුණා. අනිච්ච – දුක්ඛ – අනත්ථ කියන ත්‍රිලක්ෂණය, මොකද අනිත්‍ය – දුක්ඛ – අනාත්ම කියන වචනයෙන් අද කියන්නේ. ඒ නිසා, ඒ වචනයේ නියම අර්ථය – අනිච්ච – දුක්ඛ – අනත්ථ කියන්නේ මොකද්ද කියලා අපි විග්‍රහ කරලා ඒ ටික දැනගත්තා. ඒ වගේම කරණීය මත්ත සූත්‍රයේ නියම අර්ථය, යථාර්තයෙන් ඒක හොඳට හේතු – ඵල ඇතුව තේරුම් ගත්තා. එතකොට, ඒ වගේම ඒ තේරුම් ගැනීම තුළින් ඒ වගේම ආනාපානසතිය පිළිබඳවත් එක්තරා විස්තරයක් අහලා තේරුම් ගත්තා. දැන් ඒ තේරුම් ගැනීමේදී අපි අර එක තැනක් තිබුණා “ආනාපානසතිය කියන එක ඕනේම තැනකදි වඩන්න පුලුවන්, යන – එන, කරන – කියන, කතා කරන, කතා නොකරන හැම තැනකදීම පහ කළ යුත්ත දැනගෙන පහ කරනවා, ඇසුරු කළ යුත්ත දැනගෙන ඇසුරු කරනවා.” කුමක් ඇසුරු කළ යුතුද? කුමක් පහ කළ යුතුද? යම්කිසි අවිද්‍යා – තෘෂ්ණා සහගත වැඩපිළිවෙලක් ඇත්ද, පහ කළ යුතුයි! කුසල මූල “කුසල මූල පච්චයා සංඛාරා” කියලා පෙනවන්නා වූ යම්කිසි සාසනික මාර්ගයක් ඇත්ද, නිවන් අවබෝධ කරන මාර්ගයක් ඇත්ද, ඇසුරු කළ යුතුයි! ඉතින්, මේකෙදී එක ඉඳගන්නත් පුලුවන්. එක තැන ඉඳන් වඩනවා කියලා කියන්නේ එතනදී කර්මස්ථානයට ඔය දෙකම අඩංගු වෙනවා. ලෝකයේ ආදීනව දැනගන්න පැත්ත සිහි කරන කොට්ඨාසය පහ කළ යුතු සිහි කිරීම්. නිවනේ ආනිසංස පෙන්වන කොට්ඨාසය ඇසුරු කිරීමට සුදුසු කොටස. දැන් “ලෝක අනාථයි – නිවන ම නාථයි!” කෙටි කර්මස්ථානයක්. දැන් ලෝක අනාථයි කියලා සිහි කරනකොට ලෝකයේ ආදීනව සිහි වෙනවා. එතකොට වෙන්නේ ලෝකය පිළිබඳව තියෙන බලාපොරොත්තු පහ වෙන එක. අන්න පස්සාස ධර්මය! නිවනම නාථයි කියනකොට නිවනේ ආනිසංස දකිනවා. ඒක සිහි කරනකොට ආස්සාස ධර්මය. එහෙනම්, ආස්සාස ධර්මයක්, පස්සාස ධර්මයක්, ඔය කර්මස්ථානයේ තියෙනවා. එහෙනම්, එකතැන ඉඳන් වඩනකොටත් ආනාපානය වැඩෙන්නේ ඔය විදිහටයි. එකතැන ඉඳන් කර්මස්ථානයක් වඩනකොට ආන-ආපාන දෙකම වැඩෙන්නේ ඔය ක්‍රමයට. ඒ කියන්නේ හුස්ම නෙමෙයි, ලෝක අනාථයි – නිවනම නාථයි, ලෝක අනාථයි – නිවනම නාථයි… ලෝක අනාථයි කියනකොට පස්සාස වෙන එක එනවා. නිවනම නාථයි කියනකොට ආස්වාස වෙන දහම එනවා. එහෙනම්, ඔතනත් තියෙනවා නේ ධර්ම ආස්වාසයක් සහ ධර්ම පස්සාසයක්. අධර්ම පස්සාසයක් සහ ධර්ම ආස්සාසයක්, ලෝක අනාථයි – නිවනම නාථයි කියන පදයේ තියෙනවා. මෙන්න මෙහෙමයි, කර්මස්ථාන එක තැන ඉඳන් වඩනකොටත් අරගන්නේ ඔහොමයි. ඉතින් ඕකත් තේරුම් ගන්න ඕනේ. එතකොට, එකතැන ඉඳන් වඩන්නත් පුලුවන් ඔය ක්‍රමයට.
{02:10} සෝතාපන්න වීම කියන්නේ දහම් ඇස පහල වීමයි : යන-එන, කතා කරන, කතා නොකරන ආදී වැඩ වලදී “මං කරන, කියන, හිතන දේවල් රාගයට, ද්වේෂයට, මෝහයට හේතු වෙනවාද?” කියලා සිහි කරලා, ඒක රාගයට, ද්වේෂයට, මෝහයට හේතු වෙනවා නම් අවිද්‍යා – තෘෂ්ණා සහගතයි කියලා දැනගෙන, ඒවා පහ කළ යුතුයි කියලා ඉස්සෙල්ලා නිගමනය කරනවා. හැකි අවස්ථාවේ පහ කරගන්නවා. පළමුව සිද්ධ කරන්නේ නිගමනය කරගන්න එක. දෙවෙනි අවස්ථාවේ, ලැබෙන ලැබෙන අවස්ථාවේ පහ කරගන්න එක. දැන් මේකේදී අපි දකින්න ඕනේ, සෝතාපන්න වෙනවයි කියන්නේ ඉස්සෙල්ලාම දැකීම පහල කරගන්න එක. දකින්නේ මොනවාද? ධර්මය ධර්මය හැටියටත්, අධර්මය අධර්මය හැටියටත් ඉස්සෙල්ලා දකින්න ඕනේ. අන්න, දැක්කහාම කියනවා “දහම් ඇස පහල වුනා!” ඉතින්, ඔය විදිහට බලාගෙන යනකොට, බණ අහන වෙලාවක තමයි ඕක සම්පූර්ණ නියම සිද්ධිය තමන්ට අහු වෙන්නේ. අවශ්‍යය අංග සම්පූර්ණ වෙන්න ඕනේ. අංග සම්පූර්ණ වෙන්න ඕනේ කියන්නේ, දැන් සෝතාපන්න වෙනවායි කියන අවස්ථාවේදී ඒ තැනැත්තාට ලැබෙන්න ඕනේ කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය, සත්ධර්ම ශ්‍රවණය – හරියට නිවන් දකින ධර්මය ශ්‍රවණය වෙන්න ඕනේ, එතකොට ඒ වගේම යෝනිසෝ මනසිකාරය කියන නුවණින් මෙනෙහි කිරීම. අනික තමයි ක්ෂණ සම්පත්තිය, නැත්නම් තමන්ට හේතු – වාසනාවන්ත අවස්ථාවක් ලැබිලා තිබීම. ඔය කියන කාරණා හතර තියෙන අවස්ථාවකයි කෙනෙක් සෝතාපන්න වෙන්නේ. දැන් “සෝතාපන්න” කියන එකේ අර්ථ තියෙනවා මෙහෙම, “සෝත හෙවත් ශ්‍රවණයෙන් පැමිණෙන“ කියන අර්ථයෙනුත් සෝතාපන්න කියනවා, එතකොට මේක එකක්. සෝතය කියලා කියන්නේ, අපේ පුරුදු වෙලා තියෙන්නේ සසර ගමනේදී සෝතයක් හා සමානව, ජලාශයක් හා සමානව ගලාගෙන යනවා පහත් පැත්තට. එතකොට, පහත් පැත්තට ගලාගෙන යන එක උඩ පැත්තට හරවාගත්තහාම සෝත ආපන්නයි, ආපසු හැරෙවුවා කියන එක. දැන් “සෝතාපන්න” එක වචනයක්, “සෝත ආපන්න” තව වචනයක්. ඔය දෙපැත්තෙන්ම දහම් අර්ථය එනවා. සෝතයක් ආපස්සට ගන්නවා හා සමානයි කියන එක සෝත ආපන්න. සෝතාපන්න කිවුවහාම, “සෝතයක් හා සමාන වන්නා වූ”, නැත්නම් “සෝතයට පැමිණෙන“ කියන එක. සෝතයෙන් පැමිණෙන, ශ්‍රවණය තුළින් පැමිණෙන. ඔය දෙකෙන්මත් සෝතාපන්න කියන වචනයට අර්ථ ගන්න පුලුවන්. “සෝත” යනු ආර්ය අෂ්ඨාංගික මාර්ගයට නමකි! මෙන්න බුදුරජාණන් වහන්සේ ම පෙන්වලා තියෙන දෙයක්. “සාරිපුත්ත, සෝත සෝත කියනවා, කුමක් නිසා සෝත කියනවාද? ස්වාමීනි, ආර්ය අෂ්ඨාංගික මාර්ගයට සෝත කියනවා!” “සෝතාපන්න සෝතාපන්න කියනවා, කුමක් නිසා සෝතාපන්න කියනවාද?” බුදුරජාණන් වහන්සේ අහනවා. “ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණුන හෙයින් සෝතාපන්න කියනවා!” කියලා බුදුරජාණන් වහන්සේට සැරියුත් හාමුදුරුවෝ උත්තරයක් දුන්නා <<ත්‍රිපිටක සූචිය අවශ්‍යයි>>.
{04:47} නිවන් දකිනවා කියන්නේ හරියටම මොකක්ද? : දැන් හරී වැදගත්, එතකොට අපිට දැන් පෙල දහමේම සෝතාපන්න කියන්නේ මොකද කියන එකට උත්තරය ගන්න. “ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණුන අර්ථයෙන් සෝතාපන්නයි කියනවා!” මෙන්න ලේසිම – පහසුම ක්‍රමය තේරුම් ගන්න. දැන් අපි දකින්න ඕනේ, ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණුනොත් – ආර්ය අෂ්ඨාංගික මාර්ගයට ඇතුළත් වුනොත්, අන්න අපිට සෝතාපන්න කියන තත්ත්වය කියන්න පුලුවන්. දැන් අපි හිතමුකෝ ඕක ඇතුළත් වෙන්නේ කොහොමද කියලා අපිට ප්‍රශ්නයක් එනවා. දැන් යමක් අපිට එපා නම්, අපිට ඒකට ඇතුළත් වෙන්න ඕනේ කියලා හිතෙනවාද? හිතෙන්නේ නෑ නේ! “යමක් අනිච්ච නම්, දුක්ඛ නම්, අනත්ථ නම්, ඒක අපිට වැටහුනා නම්, මම තවත් ඒකට ඇතුළත් වෙලා වැඩක් නෑ” ඔය අදහස එනවා නේ! එහෙනම්, දැන් මට ඕනේ ඒකෙන් ඉවත් වෙන්න නම්, අත්හැරෙන්න නම්, නොඇලෙන්න නම්, මිදෙන්න නම්, ඒ පිළිබඳ දැන් චන්දරාගයක් හෙවත් බැඳීමක් තිබුණා නම් ඒ මුළා සහගත වැඩපිළිවෙලේ, මට ඕනේ ඒකෙන් අත්හැරෙන්න, මිදෙන්න, නොඇලෙන්න කියලා අදහස ආවොත්, “නිවනට පිහිටියා” නේද? දැන් ඉතින් පැමිණිලා තියෙන්නේ නිවනට නේද එතකොට? දැන් එයා දැන් – දැන් එයාට පොට පෑදිලා තියෙන්නේ! ඒ කියන්නේ, ඒ එතෙන්ට පත් වෙන්න දැන් එයා නිකන් නෙමෙයි ඔය නිගමනය ආවේ. “මම දැන් යම් ලෝකයේ, අනිච්ච වූ, දුක්ඛ වූ, අනත්ථ වූ ලෝකයේ, මට අල්ලන්න කිසිම වටිනා දෙයක් කිසි තැනක නෑ, හොඳයි කියලා නිගමනය කරන්න තැනක් නෑ! එහෙනම්, මට දැන් නිගමනය කරන්න තියෙන්නේ ඒ අනිච්ච, දුක්ඛ, අනත්ථ ලෝකය පිළිබඳව යම් චන්දරාගයක් ඇත්ද, ඔය චන්දරාගය අත්හැරීමක්, නොඇල්මක්, මිදීමක් වීමෙන් ඒ දුකෙන් නිදහස් වෙන්න පුලුවන්!” මොකද හේතුව? චන්දරාගයෙන් බැඳුනේ අනිච්ච දේක නම්, දුක්ඛ දේක නම්, අනත්ථ දේක නම්, ඒකාන්තයෙන් ම ඒ දුකට ගෝචර වෙන්න සිද්ධ වෙනවා. ඒක අපිට කිසිම සැකයක් නැතුව දැන් තේරෙනවා. එහෙමනම්, ඒ දුකට එන්න හේතුව චන්දරාගයෙන් බැඳුනොත් නේ! එහෙනම්, මට තියෙන්නේ චන්දරාගයෙන් ඉවත් වෙන එක! එහෙනම්, යම් අවස්ථාවක මට චන්දරාගයෙන් ඉවත් වීමක් ඇත්නම්, එයම ශාන්තයි, එයම ප්‍රණීතයි, ඒකමයි නිවන! දැන් ඔය අදහස එනවා. දැන් ඔය අදහස තමන්ගේ මිසක, අනුන්ගෙන් අහගත්ත කෑල්ලක් කටපාඩම් කරන්නේ නැතුව, ඔය දහම තුළින් තමන්ට ඔය අදහස නැඟුනා නම්, ඔය නැඟුන තැන් පටන් එයා නිවන දැක්කා! “දුටු නිවන් ඇත්තෙක්!”
{07:03} හේතු එක්වීමකින් උදාවන කිසිවක් සැරිසරන්න සුදුසු ධම්ම නෙමෙයි : දැන් එයා දන්නවා, “යං කිංචි සමුදය ධම්මං – සබ්බං තං නිරෝධ ධම්මං ති!” – යම් ධර්මයක් එක්වී උදා වෙනවාද, සමුදය කියන්නේ ඒකයි, හටගත්තාද කිවුවාට හරියන්නේ නෑ! ඊට වඩා හුඟාක් ගැඹුරට ඕකේ අර්ථය හොඳට පැහැදිලිව ගන්න ඕනේ. යම් ධර්මයක් “සං” හෙවත් “සං + උදය – සමුදය” සං කියන්නේ යමක් එක්වීම, සකස් වීම. උදාවෙනවා නම්, සකස් වෙමින් උදාවෙනවා නම්, “සබ්බං තං” – ඒ සියල්ලම “නිරෝධ ධම්මං” – රවුම් ගහන්න වටින ඒවා නෙමෙයි! “නැතිවෙන සුලුයි” කිවුවොත් වැරදියි! දැන් අපිට ඕවා උගන්වලා තියෙන්නේ “යම් ධර්මයක් හටගන්නේද, ඒ සියල්ල නැතිවෙන සුලුයි” අර්ථ දීලා තියෙන්නේ ඔහොමයි. “හටගත් යමක් වේද, ඒ සියල්ල නැතිවෙන සුලුයි” ඔහොමනේ අර්ථ දීලා තියෙන්නේ. දැන්, ඇති – නැති කියන වචන දෙකම අහක් කරලායි යථාවබෝධය ලබන්නේ! “ඇත යනු එක අන්තයක්, නැත යනු එක අන්තයක්” මේ අන්ත දෙකෙන් ම යථාවබෝධය ලබන්න බෑ! එහෙනම්, ඇත කියන එකෙන් නෙමෙයි අපි ගන්නේ, “සමුදය” කියලා කියන්නේ උදාවෙනවා, සකස්වීම උදාවෙනවා, නැත්නම් ගොඩනැඟෙනවා. ඇති දෙයක් කියලා ගත්තොත් තියෙන දෙයක් බවට පත්වෙනවා. ලෝකේ “තියෙන දෙයක්” කියලා ගත්තොත් අපි හිර වෙනවා එතන. “පැවැත්මක ඇති දෙයක්” කියන දෘෂ්ඨියට වැටෙනවා. “ගොඩනැඟෙන දේවල්” – හේතු – ඵල වශයෙන් ගොඩනැඟෙනවා. “නිරෝධ” කියන්නේ ඒවායේ සැරිසරන්න වටින්නේ නෑ, රවුම් ගහන්න වටින්නේ නෑ! දැන් “හටගන්න සියල්ල නැතිවෙන සුලුයි” කිවුවහාම ඔතන එක ප්‍රශ්නයක් එනවා. දැන් අපිට මතක සටහනක් ආවා, දැන් ඕකට කියනවා “නාම-ගෝත්‍ර”. දැන් “නාම ගොත්තං නජීරති“ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දිරන්නේ නෑ නාම-ගෝත්‍ර කියලා.<<ත්‍රිපිටක සූචිය අවශ්‍යයි>> දැන් හටගත්ත එකක් නෙමෙයි නම්, ඉස්සෙල්ලා තිබිච්ච එකක්ද මතක සටහන? කොතෙනදි හරි අපි මොනවා හරි කියලා, කරලා, හිතලා ඕකේ තියෙන මතක සටහන්නේ අපිට ඇතුල් වුනේ, අපේ මතකයේ රැඳුනේ. එතකොට, මතක සටහන කියන්නේ ඇති වෙච්චි එකක් නේද? හටගත්ත – අර විදිහට හැදුන එකක් නේ! හේතුවක් නිසා ක්‍රියාත්මකව සකස් වුන එකක්. දැන් ඒ මතක සටහනට කියනවා, “නාම–ගෝත්‍ර“ (ශ්‍රාවක මහතෙක්): සංඥාවද? ඔව්, නාම-ගෝත්‍රය. සංඥාව කියන්නේ, ඒක ගෝත්‍රය අරමුණු කරලා ඊලඟට ඇති වෙන හිතත් එක්ක හටගන්න එකක්, සංඥා කියන්නේ. ඔය කියන්නේ මතක සංඥා. නැත්නම්, නාම-ගෝත්‍ර පිළිබඳ සංඥාවල් එනවා. සංඥාවෙන් තමයි නාම-ගෝත්‍රයක් අපිට තිබුණු බව, අතීත මතකයක් තිබුණු බව දැනගන්නේ. අපිට දැන් සංඥා විරහිත වුනා නම් මේ වෙලාවේ, අතීතය මතක් කරන්න බෑ! එහෙනම්, අතීතය මතක් කරන්නේ දැන් අපි, දැන් අතීතය අරමුණු කර කරා දැන් ගොඩනඟන සංඥා වලින් හඳුනාගන්නේ.
{09:56} හටගත් සියල්ල නැසෙනසුලු නම් “නාම ගොත්තං නජීරතී” වෙන්නෙ කොහොමද? : එතකොට, මෙන්න මේ අතීත මතකයන් කියන ඒවා නාම-ගෝත්‍ර වලට අයිතියි. නාම–ගෝත්‍ර දිරන්නේ නෑ! එහෙනම්, දිරන්නේ නැති නාම-ගෝත්‍රයක්, මේ ලෝකේ හටගත්ත එකක් තියෙනවා නම්, හටගත්ත සියල්ල දිරණවා – මැරෙණවා කිවුවොත්, අර නාම-ගෝත්‍රය දිරන්න එපැයි! (ශ්‍රාවක මහතෙක්): නාම-ගෝත්‍රය සම්මුතිය! (ස්වාමීන් වහන්සේ): නෑ! සම්මත තමයි හටගන්නේ. සම්මත වලින්මයි නාම-ගෝත්‍ර, මතක සටහන් නේ. දැන් නාම–ගෝත්‍ර කියන්නේ මතක සටහනක්. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා, දැන් අර පෙර විසූ කඳ පිළිවෙල දකින නුවණින්, “මං පෙර මෙබඳු ආකාර වන්නා වූ, මෙබඳු අත්බැවක, මෙබඳු තැනක ඉපදිලා හිටියා, මෙබඳු ආකාර කෑම-බීම ගත්තා, මෙබඳු විදිහට කතා කළා, මෙබඳු නෑදෑ පිරිසක් හිටියා, එතෙන්ට එන්න ඉස්සෙල්ලා, මම ඊට ඉස්සෙල්ලා හිටියේ මෙන්න මෙබඳු අත්බැවක, ඒ අත්බැවේ මගේ නම මේකයි, එතකොට මගේ ගෝත්‍රය මේකයි, මං මේ විදිහට කෑවා – බිවුවා, මෙහෙම පිරිසක් ඇසුරු කළා, මෙහෙම භාෂාවක් කතා කළා, මෙන්න මේ විදිහට ඊට ඉස්සෙල්ලා අත්බැවක් තිබුණා, ඔන්න ඔහොම බලාගෙන යනවා, අනේකවිධ නාම-ගෝත්‍ර සිහි කරනවා කියලා. දැන් නාම-ගෝත්‍ර කියන්නේ, එවුවාට නාම-ගෝත්‍ර කියනබව පෙන්වන්න හොඳට පැහැදිලි තැනක් ඒක, දීඝ නිකායේ තියෙන්නේ විග්‍රහ වෙලා. අන්න, නාම-ගෝත්‍ර කියන්නේ මොනවාද කියන එක ධර්මය තුළින් පැහැදිලි කරලා මත් තියෙනවා. එහෙනම්, ඒ නාම–ගෝත්‍ර කියන ඒවා අපි විසින් කරන, කියන, හිතන වැඩපිළිවෙල තුළින් හටගත්ත ඒවා. එහෙනම්, හටගත්ත හැම දෙයක් ම දිරණවා – වැනසෙනවා කියලා කිවුවා නම්, “නාම ගොත්තං නජීරතී” කියන ධර්මයට ගැලපෙන්නේ නෑ නේ! එහෙනම්, මේ බුදු දහම තුළ නොගැලපෙන දෙයක් තියෙන්න බෑ! අන්න ඒකයි කාරණය. ඉතින්, අපි ඕක නිසා හැම වෙලේම දකින්න ඕනේ, බුදු දහම වෙනස් වෙන්නත් බෑ, අරිහතුන් වහන්සේලා විසින්, මහ රහතන් වහන්සේලා විසින් එදා පවත්වපු, ඒ වගේම ඒ විදිහට ගෙනාපු, සත්‍යය දැක්ක, සත්‍යය මිසක් බොරු නොකියන උන්වහන්සේලා, ඒ සත්‍යය අවබෝධ කරපු සිවුපිළිසිඹියා පත් මහරහතන් වහන්සේලා පෙන්වපු ධර්මය තුළ අපිට එකපාර විවේචනය කරන්න, කඩන්න බිඳින්න බෑ! ඒක හරි භයානකයි. අපි කොතනදීද අපි එහෙම කරන්නේ? ඒ නිසා, අපි හැම වෙලේම බලන්න ඕනේ ඒක පරස්පර වෙලා අපිට පේන්නේ ඇයි? දැන් නාම-ගෝත්‍ර දිරනවා, දැන් සියල්ල දිරනවා, මැරෙනවා කියලා ගත්තොත් එහෙම “නාම ගොත්තං නජීරතී” කියන එකට ඒක අහුවෙන්නේ නෑ නේ! හටගත්ත සියල්ල නැතිවෙන සුලුයි කිවුවොත් එහෙම, “නාම ගොත්තං නජීරතී” කියන එකට ගැලපෙන්නේ නෑ. එහෙනම් මොකද්ද එතන කියවෙන්නේ? කියලා අන්න බලන්න ඕනේ.
{12:09} සසර පුරාවටම කිසිවක් සැරිසැරීමට සුදුසු දේ නොවෙයි! : අන්න, “රෝධ ධර්ම යි නිරෝධ ධර්මයි” තෝරා ගන්න ඕනේ. රෝධ නැති ධර්ම වලට කියනවා නිරෝධ ධර්ම! රෝධ ඇති ධර්ම වලට කියනව රෝධ ධර්ම. මේ රෝධ ධර්ම කියන එක අපි දැන් භාවිතා වෙලා තිබුණා නම් අපිට ඔය ප්‍රශ්නේ එන්නේ නෑ. “නිරෝධ ධර්ම” කියන එක විතරයි භාවිතා වෙලා තිබුනේ. හැබැයි “රවුම් ගහනවා” කියලා එකක් අපේ ලඟ භාවිතාවේ තිබුණා, “රවුම් ගහන්න එපා!” කියන එකත් අපි දන්නවා. ඔව්, “රෝන්දේ යනවා” අන්න වචනයක් තියෙනවා. රෝන්දේ යනවා කියනවා – රෝ + අන්දේ යනවා – රෝන්දේ යනවා. රෝ කියන්නේ සැරිසරාගෙන යනවා. අවිද්‍යා – තෘෂ්ණා දෙකෙන් බැහැපු වැඩපිළිවෙල තුළ සැරිසරනකොට, අන්ධයා වාගේ යනවා. රෝ + අන්දේ යාම – රෝන්දේ යාම. අන්න වචන නිරුක්ති එන හැටියෙන් බලාගන්න ඕනේ. අන්න සැරිසරණවාට, රවුම් ගහනවාට කියන වචනයක් තමයි “රෝන්දේ!” දැන් ඕක “නිරෝ” කරන්න ඕනේ, රෝ – නිරෝ කරන්න ඕනේ. දැන් රෝධ – නිරෝධ කරන්න ඕනේ. අන්න, නිරෝධ කියලා කියන්නේ “සැරිසරන්නේ නෑ! – සැරිසරන්න වටින්නේ නෑ!” කියලා දැනගත්තා. යමක් අනිච්ච නම්, දුක්ඛ නම්, අනත්ථ නම් ඒ තුළින් ඒ ටික නම් විද්‍යාමාන වෙන්නේ, ලක්ෂණ තුන ඕක නම්, එබඳු වන්නා වූ ලක්ෂණ තුනක් මිසක් එයින් පරිබාහිර දෙයක් ඒ තුළින් එන්නේ නැත්නම්, ඒවා අපිට රවුම් ගහන්න වටින ඒවා නෙමෙයි, අපිට සැරිසරන්න වටින ඒවා නෙමෙයි. හොඳයි කිය කියා ඒ මත්තේ ගියොත් අපිට තව තවත් මුලාවට පත් වෙනවා, දුකට පත්වෙනවා මිසක් වැඩක් වෙන්නේ නෑ, අනාථයි! අන්න ඕක දැනගන්නවා. අන්න ඕක දැනගැනීම තමයි සෝතාපන්න පුද්ගලයාගේ ලැබෙන අදහස, අවබෝධය. (ශ්‍රාවක මහතෙක්): අර නොදන්නාකම නිසා තමයි හිතාගන්නේ අරම. (ස්වාමීන් වහන්සේ): අන්න, නොදන්නාකම නිසා තමයි අපි හිතාගන්නේ අතන හොඳයි, මෙතන හොඳයි කියලා. ආත්මීය වශයෙන් දෘෂ්ඨි ගන්නේ මොකද, ඔය හොඳයි කියන නිගමනය තියෙනකන්. යම් දවසක ඔය නිගමනය අපෙන් අහක් වුනා නම්, අපි ආත්ම දෘෂ්ඨියකින් බැඳෙන්න හේතුවක් නෑ. ආත්මයි කියලා ගන්න වටිනා දෙයක් මේ ලෝකේ කොතැනද තියෙන්නේ ? කොහෙද හටගෙන තියෙන්නේ? ඒක මුලාවේ ම වචනයක්! ආත්මයි කියන යම් සම්මතයක් ඇත්නම් යම් කෙනෙක් ගේ, මේ ලෝකේ හරයක් තියෙනවා, වැදගත් දෙයක් තියෙනවා, වෙනස් නොවෙන දෙයක් තියෙනවා, හොඳ දෙයක් තියෙනවා, පිහිටන්න යහපත් දෙයක් තියෙනවා, මේ ආදී වශයෙන් ගත්ත අදහසක් නිසා තමයි අපි හරවත් දෙයක් අරගන්නේ. අපි බලාගෙන යනකොට, මේ ලෝකේ පවත්වාගෙන ඉන්න, පැවැතමක් තුළ තියාගෙන ජීවත් වෙලා ඉන්න, ගැලපෙන හරවත් දෙයක් තියෙනවාද අහපුහාම, එහෙම හරවත් දෙයක් අපි කිසි තැනක නොදකින්න ඕනේ ධර්මානුකූලව! හරයක් තියෙනවා වාගේ පේනවා, ඒ හරය මොකද්ද කියලා දකින්න ඕනේ. සමහර වෙලාවට අපිට එක තැනකින් තව තැනකට යාමට ආධාරකයක් හම්බ වෙනවා. තව තැනකට යාම වැදගත් නම් ආධාරකය වැදගත් වෙනවා ඒ නිසා.
{14:50} සිරි සත්ධර්මය වත් නිවන වෙනුවෙන් මිස අල්ලාගන්න සුදුසු නෑ! : දැන් ලිඳට වැටිලා ඉන්න මිනිහාට, මඩ ගෑවිච්ච, කුණු – ජරාව ගෑවිච්ච කඹයක් තිබිලා අහුවෙනවා ලිඳේ ගොඩ එන්නේ කොහොමද කියලා කල්පණා කර කරා ඉන්නකොට. දැන් එහාට – මෙහාට යනවා, මඩ තල – තලා යනකොට දැනෙනවා, කකුලට අහු වෙනවා මොකක්හරි, ඇදලා බලපුහාම කඹයක්! හරී සන්තෝසයි, මොකද උඩ තියෙනවා මුලක් හරි, කඳක් හරි තියෙනවා පේනවා. දැන් එයාට උපක්‍රමයක් මතක් වෙනවා “මේ කඹේ අහු වුනා, දැන් මේක උඩ ගහලා කොහොමහරි මද්ද ගහලා කොටේට දාගත්තොත් කඹේ එල්ලිලා ගොඩට ඈහැකි! ෂාහ්, හරි වටිනා දෙයක් අහුවුනා.” එයා සතුටු වෙනවා. හැබැයි, කුණු – මඩේ තිබිච්ච කඹය එයාට වටිනාකමක් කඹය වශයෙන් නෑ! ඒකේ තියෙන්නේ කුණු – මඩ ම තමයි ගෑවිලා තියෙන්නේ. ඒ වුනාට, එයාට ඒක සතුටු වෙන්න හේතුවක් වුනේ කඹය ඕනේ හින්දා නෙමෙයි, කඹය නිසා ගොඩ එන්න පුලුවන් නිසායි. මෙන්න මේ වගේ, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “මේ ධර්මයේත් එල්ලෙන්න යන්න එපා! ධර්මය වටිනවා කියලා එල්ලෙන්න යන්න එපා! මේ ධර්මය හොදයි, මොකක් නිසාද? නිවනට, නිවන් දකින්න සුදුසු වැඩක් නිසා, නිවන් දකින මඟ නිසා” මෙන්න මේ නිසා, ධර්මය පිළිබඳවත් නොඇලී, ඒකෙන් ගන්න වැඩේ ගන්න! මෙන්න මේකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මෙන්න මෙකත් අපි තේරුම් ගත්තා නම්, අපි දන්නවා “මේ ධර්මයේත් එල්ලෙන්න දෙයක් නැත්නම්, මොකේද එල්ලෙන්න තියෙන්නේ, වටිනා දෙයක්? සැරිසරන්න එකක් නෑ නේ!” එහෙනම්, ධර්මය තියෙන්නෙත් සැරිසරසරා ඉන්න නෙමෙයි, මේකෙන් එගොඩ වෙන්න. “ඛුල්ලෝපමං භික්ඛවේ ධම්මං දේසිස්සාමීති, නිස්සරණත්තාය, නොගහනත්ථාය” – මහණෙනි, මේ දහම ඔරුවට උපමා කරනවා. එතෙර වෙන්න මිසක් අල්ලා ගන්න නෙමෙයි. <<ත්‍රිපිටක සූචිය අවශ්‍යයි>>. පෙන්නුවෙත් ඔන්න ඕකයි. ඉතින් ඔන්න ඕක අපිට හරි වැදගත් වෙනවා. මොකද, අපි හුඟ දෙනෙක් බලාපොරොත්තු වෙනවා නිවන් දකින්න ධර්ම මාර්ගය හම්බ වුනහම තවත් ධර්මය පස්සේ යන්න. මොකද, ඒක ධර්ම රතියක හැටි. ඒකත් හරි ආස්වාදයි. ඒ ආස්වාදය නිසාම, ධර්මය හොය හොයා, අර වැඩේ පැත්තකින් තියලා ධර්මය පස්සේ ම යනවා. එක එක ප්‍රශ්න විසඳ විසඳා ඒ පස්සේම යනවා. අන්න ඒකයි, ඔරුව කරේ තියාගෙන වතුරට බහිනවා වගේ වැඩක්! ඉතින් මෙන්න මේක කියලා අපි දකින්න ඕනේ “මේ ලෝකය තුල අල්ලගන්න කිසිම දෙයක් – සබ්බේ ධම්මා අනත්ථාති – යදා පඤ්ඤාය ඵස්සති – අථ නිබ්බින්දති දුක්ඛේ – ඒස මග්ගෝ විසුද්ධියා!” අන්න විසුද්ධි මාර්ගය. සියලු ධර්මයෝ අනත්ථයි කියලා යම් දවසක ප්‍රඥාවෙන් ස්ඵර්ශ කළා නම්, අන්න එදාට දුකෙන් නිදහස් වීමට මාර්ගය පෑදෙනවා. දැන් මෙන්න මේ ටික අපි දකින්න ඕනේ. ඉතින් ඔය ටික හරි, අනිච්ච – දුක්ඛ – අනත්ථ හරියට තේරුම් ගත්තා නම්, ඊට පස්සේ අපිට නිගමනයක් එනවා. “එහෙනම් මොනවා අල්ලන්නද? මොනවායේ රවුම් ගහන්නද? මොනවා හොඳයි කියලා මං නිගමනය කරන්නද? නිගමනය කරන්න බෑ!” අන්න එහෙම නිගමනයක් එනවා.
{17:18} අසාරත්වය වැටහුණා නම් සසරත් හරියට දදයක් වගේ දැකිය යුතුයි! : දැන් අපි අහනවා, උපමාවක් වශයෙන් ගත්තොත් “ඒ නිගමනය කළාට ආසාව ඇරිලා නෑ නේ?” අපි අපිට එපා කියලා නිගමනය කරනවා, ආසාව ඇරිලා නෑ. ආසාවන් නිසා අපිට සිද්ධ වෙනවා ඒ ඒ තැන ඇසුරු කරන්න. හැබැයි, ඇසුරු කෙරුවාට අපි දැන් දෘෂ්ඨියකින් යුක්තව නෙමෙයි ඇසුරු කරන්නේ. මෙන්න මේ නිසා කියනවා “දෘෂ්ඨි විප්පයුත්තවයි” ඇසුරු කරන්නේ සෝවාන් පුද්ගලයා. ඔව්, අන්න ඒකයි කියන්නේ, අල්ලන්නේ නැතුව. එතෙනදී අපි දකිනවා, මේක හොඳ නිසා නෙමෙයි, නැතුව බැරි නිසා! ඇයි නැතුව බැරි? ඒකටත් හේතුවක් තියෙනවා. දැන් මදුරුවෙක් කෑවාට පස්සේ කසනවා. ඉතින් සුවද? සුවයකුත් දැනුණා. ඉතින් එතකොට අපි, “තව මදුරුවෙක් කෑවා නම් සුව නම් කහ කහා ඉන්න කැමතිද?” කියලා ඇහුවොත් එහෙම කැමතියි කියන්නද? දැන් මදුරුවා කාලා, මදුරුවා ඇවිදින් විද්දාට පස්සේ, කහපු හින්දා කැසුවා. ඇයි කැසුවේ? සනීපයි! ඉතින් මේ මදුරුවා විද්දහාම කසන එක සනීප නම්, තව මදුරුවෙක් කවාගන්න කැමතිද කස – කසා ඉන්න? ඇයි කසන එක සනීපයි කිවුවා නේ! අපි ඒකට උත්තරයක් දෙනවාද? දැන් දදයක් තියෙනවා. කහනවා! මොකද කහන්නේ? හරි සනීපයි කසනකොට! අනික් අතෙත් හදාගත්තා නම්, තවත් දදයක් කස කසා ඉන්න පුලුවන් නේ! තවත් සනීප දෙකක් නේ එතකොට! දැන් මෙහෙම කිවුවොත් අපි පිළිගන්නවාද? අපි ඒ සනීපයි කියන වචනයත් පිළිගත්තා එතැනදී. නමුත්, ඒකේදි අපි ඇලුම් කළේ නෑ “මේක හොඳ, වටිනා දෙයක්” කියලා. මෙන්න මේ වගේ මේ සසර ගමන කියන්නේ, මේ අත්බැව කියන්නේ දදයක් හා සමානව තේරුම් ගත්ත පුද්ගලයා, අර තියෙන දදය කැසිල්ලට දදය කසනවා වගේ පංච කාම කැසිල්ලක් තියෙනවා මේ ශරීරයේ! මොකද හේතුව? මේ ශරීරය ඇති වෙලා තියෙන මුල හේතුවක් තියෙනවා “කාමාවචර හිතක්!” පෙර භවයේදී මේ පටිසන්ධියකින්, මිනිස් පටිසන්ධියකින් උපන්නේ, ඒ පටිසන්ධියට හේතු වුනේ කාමාවචර වන්නා වූ කුසළයක්. කුසළය කිවුවාට කාමාවචර, සුචරිත, ලෞකික කුසළයක්. අන්න භවාංග බවට පත් වුනේ එතනින්.
{19:11} මරණය කියන්නේ චුතිය නෙමෙයි, භවාංගය කියන්නේ භවාංග සිත නෙමෙයි : දැන් මෙතෙනදී දකින්න ඕනේ “භවාංග හිත” කියන එකයි, “භවාංගය” යි දෙකක්! භවාංග හිත කියන්නේ දෙවෙනි අවස්ථාවක්. දැන් භවාංගයයි, භවාංග හිතයි දකින්න ඕනේ. අන්න, “භවයට අංග වුනේ – භවාංගයි!” ඒ අවශ්‍යයතාවය නිසා ගොඩනැඟුනු ශක්ති විශේෂය තමයි, අන්න ඒකයි ඒ ශක්තිය යි යන්නේ, ශක්තිය හිත නෙමෙයි, ගතත් නෙමෙයි! හිතක් – ගතක් නිපදවන්න මුල් වෙන්නේ ශක්තිය විසින් දෙන වැඩපිළිවෙල, කර්ම ශක්තිය! කර්ම ශක්තියේ ස්වහාවයක් තියෙනවා, සතර මහා භූතයන් ඇසුරේ නම් අපි ජීවත් වෙන්න මේ කර්ම ශක්තිය ගොඩනැඟුවේ, සතර මහා භූතයෝ ඒකට ආකර්ෂණය වෙලා ඊට අනුකූල දේ ගොඩනඟපුහාම, ගතයි සිතයි දෙක හටගන්න මුල අහු වෙනවා. අන්න, ඇසයි රූපයයි හටගෙන, චක්ඛු විඤ්ඤාණය හටගැනීමට පුරේජාත ප්‍රත්‍යයෙන් ඒක කරනවා. අන්න, යම් දවසක ඕක ගියා නම් චුතිය! ආයි සැරයක් ඉවර කරන්නේ නෑ, මතුවට එකක් හදාගෙන තියෙන නිසා මතු ආයි වේගයක් නිකුත් කරපු බලවේගයට ආයි අහු වෙනවා. ඒ වේගයේ ශක්තිය තියෙනකන් ඒකට යනවා. ඒක අවසානයටත් චුතියක් නෑ! දැන් හුඟ දෙනෙක් ගේ මතයක් තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. “හැම කෙනෙක් ම මරණයක්, මරණයක් පාසා චුතියක් එනවා” කියලා. දැන් සැම කෙනෙක් ම මැරෙන – මැරෙන මොහොතක් පාසා චුත වෙන්නේ නෑ! දැන් මේකත් හරි ගැඹුරු තැනක්! (ශ්‍රාවක මහතෙක්): ක්ෂණික මරණ! (ස්වාමීන් වහන්සේ): නෑ නෑ! දැන් අපි ක්ෂණික මරණ කියන්නේ දැන් මේ මේ මොහොතේ ක්ෂණික මරණ තියෙනවා නේ අපිට, ඒක නෙමෙයි. දැන් කෙනෙක් කොහොම හරි වයස්ට ගිහින් හරි ඉඳලා මැරෙන වෙලාවක් තියෙනවා නේ, ඒ මැරෙන්නා වූ සියල්ලෝ ඒ ඒ වෙලාවේ චුත වෙනවා නෙමෙයි! (ශ්‍රාවක මහතෙක්): කර්මජ මරණයද හාමුදුරුවනේ ඔය කියන්නේ? (ස්වාමීන් වහන්සේ): ඔව්, දැන් කර්මජ මරණය කියන එකයි චුතිය කියන්නේ. ඒ අපි මරණාසන්න මොහොතේදී අපිට කර්ම, දැන් මෙහෙම තියෙනවා නේ, කර්මක්ඛය මරණ, ඒ වගේම ආයුක්ඛය මරණ, උභයක්ඛය මරණ, උපච්ඡේදක මරණ. මේ කර්මක්ඛය මරණයක් වුනොත් හරි, උභයක්ඛය මරණයක් වුනොත් හරි තමයි චුතියක් එයාට හටගන්නේ. උභයක්ඛ කියන්නේ කර්ම ශක්තියත් ඉවරයි, ජීවිත කාලෙති ඉවරයි. ඔය දෙක උභයක්ඛ මරණ! එහෙනම්, කර්ම ශක්තිය අවසානයේදී චුතිය ඇවිල්ලා පටිසන්ධියක් අල්ලන්න ඕනේ අවිද්‍යා – තෘෂ්ණා තියෙනවා නම්. එතකොට කර්මක්ෂය වුනා නම්, මේ ජීවිතය පවත්වන්න තව කල් තියෙනවා, ඒත් Heart Attack කියලා එකක් හැදිලා මැරෙන්න ඕනේ. පුද්ගලයා තරුණයි, කය පවත්වන්න බෑ, හිටි ගමන් ම මැරිලා යනවා. මොකද, කර්ම ක්ෂය වුනා. අන්න කර්මක්ෂය වෙලා අවසාන අයට තමයි බොහෝ කොටම ඔය ප්‍රෙශර් කියන්නේ, Heart Attack, අරක මේක කියන ඒවා හුඟාක් හටගන්නේ තරුණ කාලේ, කර්මක්ෂය වෙන්න එනවා. දැන් එයා කර්මක්ෂය වුනා නම්, එයාට අභිඥාලාභියෙක් වෙලා සතර සෘද්ධි පාද වැඩුවොත් නම් ඉන්න පුලුවන් ඉදිරියට! නැත්නම් අර ප්‍රෙෂර් එක ඇරගන්න බෑ! නැත්නම් අර Heart Attack එක නතර කරගන්න බෑ! මොකද, ඒ Heart Attack කියලා අද මේ භාවිතා කරන්නේ, වෙන ලෙඩකුත් නෑ ඇඟේ, එයාලාට හොයාගන්නත් බෑ! ඒගොල්ලෝ කියනවා “මානසිකයි”, කම්පාවට පත් වෙන්න එපා, සංවේගයට පත් වෙන්න එපා, සතුටට පත් වෙන්න එපා, බොහෝම පරිස්සමින් ජීවත් වෙන්න කියලා ඉතින් Doctors ලා කියනවා. මොකද, මානසිකත්වය පොඩ්ඩක් හෙල්ලෙනකොට, කර්මජ වේගය හීන නිසා දරන්න බෑ, “බුහ්” ගාලා ගැලවිලා යනවා! මෙන්න මේකට කියනවා Heart Attack වලින් හැදෙන මරණ, මේ හෘදය කම්පනය වෙනවා කියලා. (ශ්‍රාවක මහතෙක් කථාකරයි – අපැහැදිලියි) : (ස්වාමීන් වහන්සේ) අන්න ඒවගේ දෙයක්. මෝටරය කැරකුනේ නැත්නම් විදුලිය නෑ! මෝටරය කැරකීම කර්මජ නම්, …. අන්න හරි, ඒ වගේ දෙයක්. එතනයි ඒ සිද්ධ වෙන්නේ. ඒ නිසා කර්මජ ක්‍රියාවලියට චුති – පටිසන්ධි – භවාංග මේ ටික අහුවෙනවා.
{22:48} භව පච්චයා ජාති වීම කර්ම හා උප්පත්ති වශයෙන් දෙආකාරයි : දැන් ඔතන දැන් අපිට “පටිසන්ධි, භවාංග, චුති” කියලායි මේක උගන්වන්නේ. පටිසන්ධියයි, භවාංගයයි, ඒකේ චුතියයි කියලා. ඕකේ කර්ම රෑන, පුරුක සකස් වෙන්නේ “චුති – පටිසන්ධි – භවාංග“. චුති-පටිසන්ධි-භවාංග, චුති-පටිසන්ධි-භවාංග, මෙහෙමයි යන්නේ. නමුත් අපිට මේ අටුවා, මේකේදි අර්ථ සංග්‍රහයට පෙන්වන්න යන්නේ පටිසන්ධි-භවාංග-චුති, පටිසන්ධි-භවාංග-චුති, කියන කර්ම වැඩපිළිවෙලක්. (ශ්‍රාවක මහතෙක්): ගහක් තියෙනවා කියලා ගන්න, ඒ ඇටයක් තියෙනවා, බීජයක් තියෙනවා, දැන් බීජයේ තියෙනවා – කියන්නේ ඔය ගහෙන් නේ බීජය හැදුනේ. අන්න, ගහේ ඉඳලා බීජය හටගන්නා වෙලාවට තමයි මේකේ ඊලඟට පටිසන්ධියක් හැදෙන්නේ. ඊට පස්සේ දැන් ඒ බීජය නිකන් තියෙනවා. ඒක තමයි ගන්ධබ්බ අවස්ථාව. ඕක දැන් ඕන වෙලාවක තියෙන්න පුලුවන්. හැබැයි ඊලඟට ඕක කොහේ හරි හිටවනවා නේ, (ස්වාමීන් වහන්සේ): ඔය දැන් ගන්ධබ්බ නෙමෙයි මහත්තයෝ ඔතන්ට කියන්නේ. ඕකට කියන්නේ “කර්ම භවය“ . කර්ම භවයේ පිහිටනවා කර්ම බීජය. උප්පත්ති භවයට ඕනේ එක ඇදලා එනවා. (ශ්‍රාවක මහතෙක්): දැන් මනුස්ස ජීවිතයත් ඕකම තමා! (ස්වාමීන් වහන්සේ): ඔවු! දැන් මනුස්ස ජීවිතයේදී කරන කර්ම රැස් වෙන්නේ කර්ම භවයේ. “භව පච්චයා ජාති” කියන එක ක්‍රම ක්‍රම දෙකක්. එකක් තමයි “කම්ම භව පච්චයා කම්ම ජාති“, “උප්පත්ති භව පච්චයා උප්පත්ති ජාති“ එහෙනම් කර්ම භවයයි, උප්පත්ති භවයයි භවයේ අවස්ථා දෙකක්. උප්පත්ති භවයට යනවායි කියලා කියන්නේ කර්ම භවයේ කර්ම බීජයක් යම් මොහොතකදී පටිසන්ධි වශයෙන් ආවහාම, අන්න උප්පත්ති භවයට සම්බන්ධ වෙනවා ඒකෙන්. එතකොට, ඒ තාක් කල් තව සම්බන්ධ වෙච්ච, නොවෙච්ච – පිං පවු දෙකම සම්බන්ධ වෙච්චි හරියක් තියෙනවා අපේ කර්ම භවයට. කර්ම භවයේ තිබුණ පලියේ, ඒවා “අටුව” වාගේ. ඒකේ තියෙනවා. ඕන, ඕන රැස් කරපු ඔක්කෝම බීජ, වපුරපුවා ඔක්කෝම තියෙනවා. ගැලපෙන එකක් දාගත්ත වෙලාවටයි උප්පත්ති භවයට එන්නේ. ඉතින්, උප්පත්ති භවය වෙනයි, කර්ම භවය වෙනයි. ඉතින් උප්පත්ති භවයක්, අපිට උප්පත්ති භව දෙකක් නෑ එක සැරේට. දැන් මේ මිනිස් උප්පත්ති භවය ලබලා මිනිස් කය ලබාගෙන ඉන්නවා. දැන් අපිට දැන් බලු උප්පත්ති භවයක් ලබා දෙන්න හේතු කාරක අපේ බලු කර්ම භවයේ තියෙනවා. කර්ම භවයේ බලු වැඩ කරපුවා ඔක්කෝම තියෙනවා. ඒවා තමයි බලු බීජ. අන්න, ඒක සමහර වෙලාවට ඒ වෙලාවෙදී ආවොත් එහෙම අපිව අන්න බලු උප්පත්ති භවයට යනවා, අර බලු කර්ම භවයේ තිබිච්චි හින්දා. ඉතින්, බලු කර්ම මේ අත්බැවේ නොකළත්, පෙර කරපු ඒවා තියෙනවා අපේ කර්ම භවයට. මෙන්න මේ නිසා මේ “භව පච්චයා ජාති” කියන එක, මේක විග්‍රහ කරගන්න ඕනේ. හරී ගැඹුරුයි – සියුම්! ඒකයි කාරණය. (ශ්‍රාවක මහතෙක්): කරේ තියාගෙන ඉන්නේ, ඕන වෙලාවට වැටෙනවා! (ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි, ඕන වෙලාවට එනවා.
{25:19} කර්ම ඵල දෙන්නේ අනන්තර – සමනන්තර ප්‍රත්‍යය අනුවයි : ඉතින් ඕක එන්නත් තියෙනවා “අනන්තර සමනන්තර ප්‍රත්‍යය“ දෙක කියලා ප්‍රත්‍යය දෙකක්. දැන් මේ අනන්තර – යමක් අනන්තරද, ඒක සමනන්තරයි කියලා, එහෙම නැත්නම් අනන්තර ප්‍රත්‍යයයි සමනන්තර ප්‍රත්‍යයයි අද ආචාර වාද වශයෙන් තෝරා ගන්න බැරුව තියෙන එකක්. පෙළ දහමේ අනන්තර ප්‍රත්‍යයටයි, සමනන්තර ප්‍රත්‍යයටයි නොයේක් විදිහේ වාද එක එක ආචාරවරු මේ දීලා තියෙනවා, නමුත් එක්කෙනෙකුට එක්කෙනෙක් විසඳා ගන්න බෑ! එක්කෙනෙකුට එක්කෙනෙක් පරස්පරයි. නමුත් ඉතින් ඉදිරියට අනික් අයට විසඳාගන්න, ඔය ගැඹුරුම හරියේ තියෙන ඒවා තියෙනවා “පට්ඨානප්‍රකරණයේ“ ආදී වන්නා වූ ඒ විශේෂ කොටස් තියෙනවා. ඒ කියන්නේ, එබඳු දේවල් වලට අපේ දැන් ඔය රේරුකාණේ චන්ද විමල හාමුදුරුවන් ලියලා තියෙනවා සම්පූර්ණ ආදි, පැරණි ඔක්කෝම පොත් බලලා, ආචාර්ය වාද ඔක්කෝම ඉදිරිපත් කරලා, නතරකරලා තියෙනවා. දහම් දැනගන්න පුලුවන් නුවණැත්තෝ… (ශ්‍රාවක මහතෙක්): විසඳුමක් දීලා නෑ? (ස්වාමීන් වහන්සේ): විසඳුමක් දෙන්න බෑ! දෙන්න දන්නෙත් නෑ! මොකද ඒ වෙලා තියෙන්නේ, දැනට ආපු ආචාර්ය වාද ඔක්කෝම දෙනකොට, එක්කෙනෙක් ගේ වාදය එක්කෙනෙක් විවේචනයට ලක් කරනවා – මෙන්න මේ හේතුව උඩ. ඒ විවේචනයට ලක් කරන එකත් හේතු සාධක සහගත නම්, ඒක ඉතින් ඒක විවේචනයක් වශයෙන් පිලිගන්න වෙනවා. එතකොට, එයා අනික් එක විවේචනය කරනවා. ඉතින් ඒකෙත් අඩුපාඩුවක් තියෙනවා. හැබැයි, හරි එක දීපු කෙනෙක් නෑ! පෙළ දහම තියෙනවා. අනන්තර – සමනන්තර ප්‍රත්‍යය දෙක තියෙනවා, තර්ක කර කර ඉන්නවා. ඉතින් මෙන්න මේක තෝරාගන්න බෑ, මේකට නිරුක්ති පටිසම්භිදා ඥාණයකටයි ගෝචර වෙන්න ඕනේ. අන්න එතෙනදී ඕක අහු වෙනවා. අන්න ඒකයි, අර අන්තරා භවය හිරවෙලා තිබුණා වගේ තමයි මේකත්, ඔව්. දැන් “අනන්තර සමනන්තර” කියලා කියන්නේ, ඕන් ඔය වචනයේම තියෙනවා අර්ථය! “අන් + අන්තර” වෙනවාද, අනන්තරයි! “අන්” කියන්නේ ආහාරයට. “අන්තර” වෙනවා කියන්නේ ආහාරයක් යම් තැනක පිහිටනවාද, “අන් + අන්තර” වීම අනන්තර වීම. අනන්තර කියන්නේ නිරන්තරයෙන් කියන්නාහේ හිතක් අරගන්නවා. “නිතරෝම” කියන්නා වූ අදහසක් ගන්නවා අනන්තර කියනකොට. නමුත් අනන්තර කියන්නේ එහෙම අදහසක් නෙමෙයි! “ආහාරයක් අන්තර්ගත වුනාද, අනන්තරයක්!” දැන්, මතු බලු බවක් හටගන්න හේතුකාරක වෙන බලු සංඛාරයක් අපිට ගොඩනඟලා, අපිට බලු කර්ම ශක්තියක් අපේ කර්ම භවයට ගොඩනැඟිලා තැන්පත් වුනා නම්, මෙන්න බලු අනන්තරයක්. දැන් බල්ලෙක් වෙලා උපද්දවන්න ආහාරයක් අන්තර්ගත වෙලා අපේ භවයේ තියෙනවා. අන්න, අන්න බලු අනන්තරයක් අපිට තියෙනවා. හැබැයි, දැන් මේක ක්‍රියාත්මක වෙන්න “සමනන්තරයක්“ එන්න ඕනේ, “සම + අන් + අන්තරයක්!” සමනන්තර කියලා කියන්නේ සම + අන් + අන්තර – සමනන්තර! අන්න වචනය බෙදෙන හැටි බලාගන්න ඕනේ. සම + අන් + අන්තරයක්. “සමාන ආහාරයක්“ යම් තැනක හැදුනාද, අනන්තරය එතෙන්ට ඇදලා එනවා. ඔන්න කාරණය!
{28:05} අනන්තර – සමනනතර ප්‍රත්‍යය යෙදෙන හැටි බලමු : දැන් මරණාසන්න මොහොතක් වෙනකොටම කියමුකෝ අපි, අපේ තිබිච්ච කර්ම ශක්තියත් ගෙවිලා. දැන් බල්ලෙක් වෙන්න හේතු වෙන අපේ පාප කර්ම ශක්තිය අපේ භවයේ, අර කර්ම භවයේ තියෙනවා. දැන් අපිට අවසාන මොහොතේදී බලු අදහසක් එහෙම ආවොත් හරි, කවුරුහරි ඇතිකළොත් හරි, අන්න “සම අන් අන්තරයක්” ගොඩනැඟුනා. සම ආහාරයක් ගොඩනැඟුනාද, අනන්තරය ඔතෙන්ට සම්බන්ධයි! ගතියට ගතිය සම්බන්ධයි! අන්න ඇදලා ආවා. ඇදලා ආපු ගමන් මොකද වෙන්නේ? අනන්තර – සමනන්තර ප්‍රත්‍යය දෙකෙන් උප්පත්තිය ලබනවා, බලු උප්පත්තිය. ඔන්න අනන්තර – සමනන්තර එක්වෙන හැටි! දැන් හොඳ දෙයක්, මං තව එකක් පෙන්වන්නම්. ගොයම් ගහක් හිටවපුහාම, ගොයම් ගහේ බීජයට ආහාරයක් අන්තර්ගත වෙනවා ජාතිය බෝ කරගෙන යන්න. මතු ගොයම් ගහක් හටගන්වන්න අවශ්‍යය කරන ආහාරයක්, ගොයම් බීජය හෙවත් වී ඇටයේ තැන්පත් වෙනවා. “අන් අන්තර” වුනා, අන්න අනන්තරයක්. දැන් ඉතින් මොකද වෙන්නේ? මේක පැළ වෙන්න නම්, මේකට සමාන ආහාරයක් අන්තර්ගත වෙන්න ඕනේ කොයි වෙලේ හරි. දැන් “සම අන් අන්තරය” තියෙනවා, කුඹුර මඩවලා, ඔක්කෝම කරලා, මඩට ගහනවා වී ඇටය. ගහපු ගමන් මඩේ තියෙනවා සම අන් අන්තරය, අනන්තරය එතෙන්ට ගියා. අන්න, අනන්තරයි සමනන්තරයි දෙක කළවම් වෙලා වී පැළය නැමැති, ආන්න නැගලා ආවා. ඔන්න අනන්තර සමනන්තර ප්‍රත්‍යය දෙකෙන් තමයි යමක් නිෂ්පාදනය වෙන්නේ කිවුවේ ඔන්න ඕකයි! දැන් කොච්චර පැහැදිලිද! (ශ්‍රාවක මහතෙක්): ගිණි කූරක් ගැහුවත්, ඒත් ඒ වගේ නේද? (ස්වාමීන් වහන්සේ): ඔව්, ඒකත් ඒ වගේ! එකක අන් අන්තරය තියෙනවා, අනිකේ සම අන් අන්තරය තියෙනවා. ඒ අනන්තරයට සමනන්තරය එකට වැදුනහාම ගින්න නැමැති බිහිවීම වෙනවා. අනන්තර – සමනන්තර ප්‍රත්‍යය දෙකෙන් සිද්ධ වෙන්න ඕනේ. ඉතින් යමක්, අනන්තරයක් නැත්නම් සමනන්තරයක් විතරක් තිබිලා කරන්න බැහැ! දැන් “න + අන් + අන්තරික” කියලා එකක් තියෙනවා. අන්න, අර ආහාරයක් අන්තර්ගත වෙන්න අවශ්‍යය නැති කර්ම කොටසක් තියෙනවා, ඒකට සමනන්තරයක් ඕනේ නෑ! “න + අන් + අන්තරික – ආනන්තරික“, අන්න ආනන්තරික වලට, මතුවට අපිට සිතිවිල්ලක්, මොනවා තිබුණේ නැතත් හරියන්නේ නෑ, අපායටම යනවා කිවුවේ ඒකයි. අන්න, එතකොට කරපු කර්ම ශක්තියේ බලයක් තියෙනවා මතු ගොඩනඟාගෙන ඉන්න. ඒ ආනන්තරිකය අපි ගොඩනඟලා දෙන එකක්, උපක්‍රමයක් ඕනේ නෑ, ඒක ඒකෙන් ම ගොඩනඟනවා. ඒ තරම් ශක්තිය බලවත්! ඒ කර්ම ශක්තිය මතු ගොඩනඟාගෙන ඒක පහල කරන්න බලවත්! අපාය නැත්නම්, අපාය හදාගෙන ගිහින් දානවා. අන්න එහෙම එකක්! ඒකට කියනවා, ආනන්තරික කර්ම. (ශ්‍රාවක මහතෙක්): දැන් එතකොට ස්වාමීන් වහන්ස, බද්ධ වෛරයක් හදාගත්තහමත්, ඒකේ ගැඹුරුතාවය වැඩි තරමත් එක්ක මේ ක්ෂණිකව එන්නේ ඒකයි? (ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි එන්නේ. ඒක – ඒක වේගේ වැඩියි. ශක්තිය වැඩි කරනවා, ඒකටම ඇදලා එන්න. අන්න “සම අන් අන්තරය” ට “අන් අන්තරය” එනවා කියන්නේ, දැන් අපි මෙහෙම හිතමුකෝ, යම්කිසි මනුස්සයෙක් ඉන්නවා අපිට හිතවත්. එයාගේ වැරදි එක එක්කෙනා කියනවා. අපිට මොන මොනවා හරි කිවුවාට අපි ගණන් ගන්නේ නැතුවත් ඉන්නවා. අර හිතවත්කම නිසා අපි ගණන් ගන්නේ නෑ. යම් මොහොතකදී ඔහු කෙරෙහි ලොකූ අහිතවත් කමක් අපිට හටගත්තා කියමු යම් හේතුවකින්, අන්න සමනන්තරයක් ආවා! “සම අන් අන්තරයක්” ලං වුනා. දැන් මතක් වෙනවා, “ඕකාගේ හැටි නම් මට දැන් ඉස්සර ඉඳන් මං ගණන් ගත්තේ නැතුවාට, ඕකාගෙ හැටි මෙහෙමයි. මට ඕක තේරුණා. අහවල් කාලේ මට මෙහෙම කරලා තියෙනවා, මේ මේ විදිහට කරලා තියෙනවා…” දැන් ඇදලා එනවා ඔක්කෝම! තේරුණා නේ ඇදලා එන හැටි? එහෙනම්, සමනන්තරය හැදුනහමයි අනන්තරය ඇදිලා එන්නේ. දැන් ඔය වෙලාවෙදී ආයි සැරයක් මොකද වෙන්නේ? “වැරදීමක් මට වුනේ, ඌ නෙමෙයි මේක කරලා තියෙන්නේ… ශෙහ්! මං ඕකට බැන්නා නෙ මෙච්චර කල්! ඕකාට මෙහෙ… ” ආන්න ආයි සැරයක් අනික් අතට හිටියා. “මොනවා කිවුවත් ඌ මට මෙහෙම උදවු කරලා තියෙනවා, අරෙහෙම කරලා තියෙනවා..” දැන් අනික් පැත්තට එනවා. දැන් ඔහු කෙරෙහි හිතවත් වුනා නම් ඇදලා එන්නේ, ඔහු කරපු හොඳ හරිය ඇදලා එන්නේ.
{31:28} යහපත් සමනන්තරයක් සාදා ගැනීම ප්‍රයෝග සම්පත්තියක් : මෙන්න මේ නිසා අපි මෙත් හිතක් වඩනකොට, අපිට සමනන්තරයක් හැදෙනවා, “සම අන් අන්තරයක්” හැදෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ අපිට? ලෝක සත්වයා කෙරෙහි මෛත්‍රී හිතක් පහල කරපු ගමන්ම ලෝකයා කරපු හොඳ වැඩ මයි අපිට හිතට එන්නේ. ලෝකයා කරපු නරක වැඩ අපිට සාපයට හිතට එන්නේ නෑ! ඒ නිසා අපිව දවන්නේ නෑ! “මොනවා කරලා තිබුණත් පවු අනේ, ඕකා නොදන්නා කමට නේ කළේ!” අන්න එහෙම්ම ම අදහස් එනවා. මොකද, අර කරපුවා සාප කරන විදිහට අදහසක් හිතට එන්නේ නෑ. (ශ්‍රාවක මහතෙක් ප්‍රශ්නයක් අසයි, පැහැදිලි නැත)… (ස්වාමීන් වහන්සේ): අන්න හරි, අවශ්‍යය දේ පණිනවා! දැන් අපි ගත්ත සිතිවිලි, අරගත්ත අදහස් වලින් ඒකට හේතු වෙන කර්ම, කර්ම පථයක් වෙන්න කරලා එහෙම තිබුණා නම්, ඒ වෙලාවෙදීම ගොඩනැඟෙනවා, තමන් විසින් ගොඩනඟා ගත්ත සමනන්තරයට අර අනන්තරය එකතු වෙනවා. එකතු වෙලා, අනන්තර – සමනන්තර ප්‍රත්‍යය දෙකෙන් ගොඩනඟනවා අවශ්‍යය කරන පරිසරය, එන්න එන්න බලවත් වෙනවා, අන්න ඒකයි. ඕක තමයි කියන්නේ අඤ්ඤ–මඤ්ඤ ප්‍රත්‍යය තුළින් බලවත් වෙනවා, ආසේවන ප්‍රත්‍යය තුළින් බලවත් වෙනවා, දැන් මැරෙන්න ඉස්සෙල්ලා ඒ එනවා නම් එහෙම, අපි හිතමුකෝ කර්ම ශක්තියේ අවසානය නම් ඇවිදින් තිබුණේ, ඔන්න ඔය වෙලාවෙදී ඇදලා එන කර්ම බලවේගය, අර අපිට ආපු ගොඩනැඟීමට ආපුවා අපි එවෙලේ වර්ධනය කරනවා. ඕකට කියනවා, යළි යළි හිතනකොට ආසේවනය කරනවා – “ආසේවිතාය – භාවිතාය – බහුලීකෘතාය” කිවුවෙත් ආසේවන ප්‍රත්‍යය මුල් කරගෙන. ආසේවනය කියන්නේ යළි යළි සේවනය කරනවා. එතකොට බලවත් වෙනවා. අන්න, බලවත් වෙලා මැරෙන්න දවස් ගණනක් තියලා, කර්ම, කර්ම නිමිති, ගති නිමිති ආදියෙන් ගැලපෙන එකක් මතු වෙලා එනවා. ඕක හිත හිතාගෙන, ආසේවන කර කරා ඉන්නවා. ආසේවනය බලවත් වෙලා, බලවත් වෙලා යනකොට, ගෙනාපු කර්ම ශක්තිය දැන් ගෙවිලා අවසාන වෙන්න ඔන්න මෙන්න කියලා තියෙනකොට, ඒ මට්ටම ඉක්මවා ගිය ගමන් ම චුත වෙන්න ඕනේ! චුත වෙච්ච ගමන්ම, ආන් උපාදාන වෙච්ච එක තමයි ඇදලා ආවේ! (ශ්‍රවක මහතෙක් ප්‍රශ්නයක් අසයි, ස්වාමීන් වහන්සේ ගේ පිළිතුර) : ඔවු, ප්‍රේත වෙන්න හිටපු එක්තරා උපාසක මහත්මයෙක්, එතනින් ගලවලා බඹ ලොවට වෙනකන් යවපු හැටි එක තැනක තියෙනවා. ඔව්, අන්න ඒකයි, එතෙන්ටත් යැවුවා, ඉතින් ඉවර කළේ නැත්තේ මොකද? අන්න ඒකයි කියන්නේ! ඉතින් අනන්තරය – සමනන්තරය මතු කර දෙන්න පුලුවන්! ඒක ප්‍රයෝග සම්පත්තියක්. හැබැයි, සියල්ලන්ටම මතු කරන්න බෑ! තමන්ගේ බලය වැඩිනම් එහෙම කරන්න දේකුත් නෑ! අනන්තර බල වැඩි නම් එහෙම, අන්න ඒකයි! ඒ නිසා ඒ යම්කිසි විදිහකට කෙනෙකුට ප්‍රයෝග සම්පත්තිය උපයෝග කරගෙන, හේතු වාසනා තියෙන කෙනාට අරවගේ වැටෙන තැනකින් ගොඩගන්නත් ක්‍රමයක් තියෙනවා. (ශ්‍රාවක මහතෙක්) : අනන්තර බල වැඩි නම් සමනන්තර එන්නේ නෑ? (ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි! ඉතින් අනන්තර කොච්චර බලවත් කළත්, ආනන්තරික වලට අනන්තර බලවත් කරන්න එකක් නෑ! ඒක ඔක්කෝම අභිබවාගෙන ගිහිල්ලා, අර සමනන්තරය බලවත් කරන්න බෑ, අනන්තරය බලවත්! අනන්තරය ඇදලා එනවා එතෙන්ට. අන්න ඒකයි, සමනන්තර බලවත් වෙනවා. සමනන්තරය ආවේ කොහොමද, හොඳද, නරකද, ඒ අනුව තමයි යන්නේ.
{34:53} ප්‍රඥාව වැඩිලා තිබුණා නම්, වොත්තපනය නිවැරදි නිසා අපායෙන් ගැලවෙනවා : (ශ්‍රාවක මහතෙක් ප්‍රශ්නයක් අසයි – පැහැදිලි නැත, ස්වාමීන්වහන්සේ ගේ පිළිතුර) : නෑ! මෙන්න මේකයි වෙන්නේ, ඔය කරන කර්ම බලවේගය මොනවායින් අපිට ඇදිලා ආවත්, මේකත් හරි වැදගත් තැනක්. දැන් අපි හිතමුකෝ පාපකර්ම කරපුවා, හතර අපාගත වෙන්න කරපු පාපකර්ම අපි කරා ඇදි ඇදී එනවා. ඇවිදිල්ලා ඒකට කරන්න පුලුවන් මොකද්ද? “කම්මා විපාකා වත්තන්ති“ – අපි කරපු කර්මයකට අපිට විපාකයක් ගොඩනඟලා දෙන්න පුලුවන්. එහෙනම්, විපාක වශයෙන් අපිට ගොඩනඟන්නේ පසුතලයක්. ඇහැයි – රූපයයි, කනයි – ශබ්දයයි, දිවයි – රසයයි, නාසයයි – ගන්ධයයි, ශරීරයයි – ඵොට්ටබ්බයයි, මනයි – ධර්මයි කියන ඔන්න ඕවා තමයි විපාක වලින් ගොඩනඟලා දෙන්න පුලුවන්. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාන විඤ්ඤාණ, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියන පච්චේජාත වශයෙන් පුරේජාතව අර ටික කර්ම ශක්තියෙන් ගොඩනඟලා දුන්නහම, ඒ ටික මතුවෙනවා. “කම්මා විපාකා වත්තන්ති“ – අන්න ඒක සිද්ධ වුනා දැන්. කර්ම, කර්ම නිමිති, ගති නිමිති වශයෙන් ආවේ විපාක. “විපාකෝ කම්ම සම්භවෝ” කියන තැන ආයි යෙදෙන්න ඕනේ. අන්න අර මරණාසන්න චිත්ත වීථියයි කිවුව එකේ තමයි ඒක යෙදෙන්නේ. විපාකය කර්ම සම්භවයක් බවට පත් කරනවා. අන්න, විපාක චිත්තය තමයි අර අපි ඉස්සෙල්ලා කිවුව අර “අතීත භවාංග, භවාංග චලන, භවාංග උපච්ඡේද” ගිහිල්ලා, “පංචද්වාරාවජ්ජන” ගිහිල්ලා, “සම්පටිච්චන, සංතීරණ” ගිහිල්ලා, “වොත්තපනයට” ආව අවස්ථාවක් ගැන කිවුවා නේ, අන්න “වොත්තපන” කියන අවස්ථාවට ආපුහාම, ඔන්න ඔතනයි අපිව අපායෙන් බේරන තැන! අපි ලඟ යථාවබෝධයෙන් ලත් ප්‍රඥාව වැඩිලා තිබුණා නම්, සංපටිච්චන, සංතීරණ – සංතීරණය කියලා කියන්නේ විපාක තීරණය. ඔව්, විපාක තීරණයෙන් ආපු එකට අනුව අපි ගන්න තීරණය දෙවෙනි වතාවටයි ජවන වලට යන්නේ. අන්න, ජවන වලට යන්න ඉස්සෙල්ලා වොත්තපන කරන ස්ථානයේදී තමයි ඒවා තීරණය කරන්නේ. අන්න, වොත්තපන කරනකොට අපි ලඟ ප්‍රඥාව වැඩිලා තිබුණා නම්, අපි කොයි වෙලාවක වත් වැරදියට වොත්තපනය, ජවනය ක්‍රියාත්මක කරන්න තීරණයක් ගන්නේ නෑ! අන්න ඒකයි.
{37:01} පුරුදු කරපු ගතියට අනුව හැදෙන භවයේ භයානකත්වය : දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්, හොරෙක් ඇවිදිල්ලා අපේ කෙහෙල් කැණක් කපන්න හදනවා අපිට පේනවා. දැන් මේ අපි හිතමුකෝ අපි බලාගෙන හිටියා කියලා මෙහෙම දෙයක්. හැමදාම කෙහෙල් කැනක් හිටවනවා, කෙහෙල් කැන කපාගෙන යනවා නම්, දැන් ඒ මනුස්සයා, ගොවියා මොකද කරන්නේ? හොඳටම තරහෙන් “මේ සැරේ අහු වුනොත් ඕකා ගහ මුල බාවනවා“ කියලා පොල්ලක් අරගෙන රැකලා ඉන්නවා ගහ මුල, කොහේ හරි ඉන්නවා. “හැබැයි මට අහු වුනොත් නම්, කෑලි තියන්නේ නෑ ඕකාගේ!” ඔහොම කිය කියා ඉන්නවා. අපි හිතමු, දැන් මේක තිබිලා මේ මනුස්සයා මැරෙනකොට, ඕක බලවත් වෙලා තිබිලා, ඕක ඇදුනා කියලා. අන්න, “කම්මා විපාකා වත්තන්තී” වශයෙන් ඔහු කියපු – කරපු දේවල් වලට විපාක වශයෙන් මරණාසන්න මොහොතේ ඔහු එක්තරා හීනයක් දකිනවා. හැබෑ හීනයක්! ඔහුට පේනවා කෙහෙල් කොටුව මැවිලා. අන්න, ගති නිමිත්ත පහල වෙන හැටි! කර්ම – කර්ම නිමිති පහල වෙන හැටි. අන්න, ආන් ඒකයි එන්නේ – කෙහෙල් කොටුව පේනවා. දැන් මෙයාගේ අදහස සැකය හැම වෙලේම. “කොයි වෙලේ හරි ඇවිදින් කෙහෙල් කැන කපාගෙන යයි!” දැන් මේ සැකය මතු වෙනවා මෙතනදී. මතුවෙලා බලනකොට, කර්ම ශක්තියෙන් පොල්ලකුත් පැත්තක මවලා. දැන් මරණාසන්න මොහොත, එයා දන්නේ නෑ මැරෙන්න එන බව. වටපිට බල බලා හොරෙක් එනවාත් පේනවා. “ආ, එනවාද? වරෙන් අල්ලගන්න. දෙන්නම් වැඩේ!” දැන් මිනිහා දන්නේ නෑ, මිනිහාගේ ඇඟෙන් නෙමෙයි යන්නේ, ඇඟ බුදි. මනෝමය කයකින් අර පොල්ල පේනවා, පැනලා ගත්තා පොල්ල, කැරකිලා කැරකිලා මිනිහා යනවා. දැන් මොකටද යන්නේ? අරකාට හොඳට ගහන්න! අර එන මිනිහා කවුද? මනෝමය එකෙක් මයි ඒකාත්. ඒකාත් තමාගේ ම ගති රුව. අන්න ඒකයි, භවාංගය තුළින් ඇති වෙලා හටගත්ත එක නේ මේ තියෙන්නේ. ඔව්, ඉතින් මේ චලනය වෙලා මෙතනින් පැනගත්ත ගමන් ම ආන්න අතනින් චුත වුනා! දැන් මෙයා යකෙක් වෙලා. මොකද? පොල්ලක් අරගෙන, දත්මිටි කාගෙන මෙයා යනකොට, ගති ලක්ෂණයට ගති රුවක් මතුවෙලා පැනලා ඉවරයි. දැන් ආපහු එන්න බලනකොට, ආපහු පේනවා මළ මිණිය! එන්න විදිහක් නෑ. දැන් ඉතින් මොකද කරන්නේ? අර අර පොල්ල අතේ තියාගෙන දුවනවා අරකා හොයාගෙන. දැන් මිනිහාගේ මේ මුලාව යම් තරමක් නම්, ගිහින් බලනකොට ඒකා නෑ එතන! ඊට පස්සේ බලනකොට පේනවා අනික් පැත්තේ කෙහෙල් වත්තක්. “යකෝ අර පැත්තේ නේ, පොල් කඩනවා මේන් අර එහා පැත්තේ!” දැන් මේකා මේ වත්තට ආසාවෙන් නම් හිටියේ, ඊට පස්සේ ඌ ලැහැස්ති වෙනවා ඒ වත්තේ “ගෙවලයෙක්” කියලා අපි දැන් “ගෙවල යකා” කියලා කියනවා. දැන් ඌට පේනවා මැවිලා අනික් පැත්තේ ගහක පොල් කඩනවා අර හොරා ගිහිල්ලා. ගන්නවා දඩි – බිඩි ගාලා මේ පැත්තෙන් පැනලා, අරහෙන් පැනලා, දුවනවා නිච්චි නැතුව, දැන් අර ගහ වටේට කොටු කරන්න. ගිහිල්ලා බලනකොට මිනිහා එතන නෑ! “කොහෙද යකෝ මූ ගියේ?” තව ටිකක් හොයලා බලනකොට ඇහෙනවා ගේ පිටිපස්සේ – පිටිපස්සෙන් කුස්සිය පැත්තෙන් රිංගනවා ගේ කඩන්න. එහෙම එකක් පේනවා. “ආං අරූ අර පැත්තෙන් ගේ කඩන්න යනවා” දැන් දුවගෙන එනවා පණ නැහැගන ඌට ගහන්න, ඒ පැත්තෙන්. බලනකොට ඌ එතන නෑ. “යකෝ කොහේ යනවාද මේකා?” දැන් මතක නෑ, ඉස්සෙල්ලා ටික මතක නෑ! එවලේ එවලේ මතකයි, හරියට ඉතින් ඔය පිස්සුව තමයි දිගටම. වත්තේ සැරි සර සරා, දැවි දැවී, තැවි තැවී, කොච්චර හරි අරූට පොල්ලෙන් ගහන්න පන්නනවා! දැන් බැරි වෙලා හරි ගැහුවා නම් එහෙම, ඒ එහෙම එකකුත් ඕකේ තිබුණා නම්, ඊලඟට මිනිහාට නැඟිලා එනවා ඒ සැකයක්, “දැන් අරූ කොයි වෙලේ හරි රැකලා මටත් ගහයි, මාත් පරිස්සම් වෙන්න ඕනේ!” දැන් ඔය අදහසින් ඉන්නකොට, මිනිහා හැම වෙලේම වටපිට බල බලා යනවා. කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙනවා, ඒ ජාතියේම එකෙක් හැදිලා කොහේ හරි පොල්ලකින් ගහන්න මූට! දන්නේ ම නෑ වැදුනා පොලුපාර! ඇදගෙන වැටෙනවා, කර්ම ශක්තියෙන් ගොඩනඟන කර්මජ ශරීරය නිසා ආයි පණ එනවා. ඉතින් ඉවරයක් නෑ ඕක. ඔන්න ඔය වගේ විසාල අරගලයක් තමයි ඔය යක්ෂ ලෝක වල තියෙන්නේ.
{40:30} ප්‍රඥාවෙන් දකින විට පහල වන තීරණයෙන් අපායගාමී වෙන්නෙ නැහැ : ඔය ගති මිදෙන්නේ කවද්ද? දැන් අපිට කිවුවොත් අපේ තියෙන යම් ගති ලක්ෂණයක්, “ඕක හොඳ නෑ, ඕක අත්හැරගන්න” කියලා, කීදෙනෙක් ගෙන් එක්කෙනෙක් පිළිගනී ද? “අවංකව ම ඇත්ත තමයි කිවුවේ, එයා මට හිතවත්ව කිවුවේ, මං ඒක අත්හැරගන්න ඕනේ!” එහෙම කියලා පිලිගන්නේ කීයෙන් කී දෙනාද? (ශ්‍රාවක මහතෙක්): ඒක නිසා තමයි ස්වාමීන්වහන්ස, ආනාපානසතිය කරන්න කියන්නේ! (ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි කියන්නේ. අකුසල් අයින් කරන්න. එතකොට තමා විසින් ම ඒක දැනගෙන, තමාම ඒක කරගෙන යනකොට, ඔන්න ඔතනදී අපිට තීරණයක් එනවා, දැන් අපි හිතමුකෝ අර මරණාසන්න මොහොතේ මෙසේ ප්‍රගුණ කරගත්ත කෙනෙක් ඉන්නවා කියලා, එයාට කෙහෙල් කොටුවේ කෙහෙල් කැණ කපන්න යනවා. “කැඩෙන දේවල් කැඩෙනවා, බ්ඳෙන දේවල් බිඳෙනවා, වැනසෙන දේවල් වැනසෙනවා, අන්න ඉතින් නිස්සාර දෙයක්. ඉතින් මොනවා කරන්නද? ඕවා රකින්න ගිහිල්ලා දැවි දැවී, තැවි තැවී මං රකින්න යන්න ඕනැයි? ඔහේ කපාගෙන ගියාවේ!” දැන් කර්ම නිමිත්තට පුලුවන් වුනාද ගෙනියන්න? බෑ නේ! අන්න බේරෙන තැන. හතර අපායෙන් නිදහස් වෙන්නේ ඔහොමයි ආර්යය පුද්ගලයා! (ශ්‍රාවක මහතෙක්): ඒ කියන්නේ හාමුදුරුවනේ එක දිගට අනිච්ච, දුක්ඛ, අනත්ථ ම සිහියේ තියාගෙන ඉන්නකොට අර හැම සිතිවිල්ලකට ම ඕක එනවා.. (ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි, එයා දකිනවා ලෝක තත්ත්වය. “මේ ලෝකේ හැටි! ලෝකේ කියන්නේ මෙහෙම තමයි. මේකේ දැවි දැවී, ගැටි ගැටී ගියොත් මටත් සිද්ධ වෙන්නේ කවදා හරි මේ තරඟයට, පොරේට බැහැලා, අර මස් කටු වලට පොරකන බල්ලෝ වාගේ, මස් කැටි වලට පොරකන උකුස්සෝ වාගේ, ගහගෙන – මරාගෙන – කා කොටාගෙන, මේකෙම දැවි දැවී, තැවි තැවී ඉන්නයි මටත් සිද්ධ වෙන්නේ. මේවා හරියට මේ බල්ලන්ගේ තියෙන මස් කටු වාගේ තමයි මේ ලෝකේ සම්පත් කියන ඒවා. මේවා කොහොමද සැනසිල්ලක් ලබා දෙන්නේ? මට කවදා හරි මේවායින් අහක් වෙන්න ඇත්නම්!” ඔන්න ඔය හැඟීම ආපු තැන් පටන් එයා ගෙනියන්නේ ඒකේ “සෝත ආපන්න” නැත්නම් ආපස්සට ගෙනියනවා මිසක් ආපසු අර සසර පැත්තට ගෙනියන්නේ නෑ! (ශ්‍රාවක මහතෙක්) : ඒ කියන්නේ භෞතික දේවල් වල ඇලීම් ගැටීම් වලින් අඩු වෙනවා… (ස්වාමීන් වහන්සේ) : එන්න එන්න අඩු වෙනවා! (ශ්‍රාවක මහතෙක්): භෞතික විතරක් නෙමෙයි, එතකොට ස්වාමීන් වහන්ස අර වොත්තපන අවස්ථාවට එනකොට, ඒ එන්නේ සංඥා ස්කන්ධයද? (ස්වාමීන් වහන්සේ): ඔවු දැන් ඔතනට රූප, වේදනා, සංඥා! සංඛාර කියන එකේදී ජවන සංඛාර ගොඩනැඟුනේ නෑ! ජවන සංඛාර ගොඩනැඟෙන්නේ ඊලඟට ජවන වලට, සංඛාර අවස්ථාවට එන්නේ. (ශ්‍රාවක මහතෙක්): සංඥාව හැම එකේම, හැම චිත්තක්ෂණයක් පාසාම සංඥාව තියෙනවා. (ස්වාමීන් වහන්සේ): තියෙනවා තියෙනවා. ස්ඵර්ශ, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මනසිකාර! (ශ්‍රාවක මහතෙක්): අනිච්ච, දුක්ඛ, අනත්ථ සංඥා ගන්න පුරුදු වෙනවා නම්, වොත්තපන දෙන්නෙත් අනිච්ච, දුක්ඛ, අනත්ථ සංඥාවෙන්! (ස්වාමීන් වහන්සේ): අන්න ඒක තමයි කියන්නේ! ඒකමයි ගන්නේ. වොත්තපනය කෙරුව තැන අපේ ප්‍රඥාව වැඩිලා තිබුණා නම්, ප්‍රඥාව මුල් වෙනවා. එහෙම නැත්නම් මුලාව, අවිද්‍යා – තෘෂ්ණා දෙක මුල් වෙනවා.
{42:57} අනිච්ච–දුක්ඛ–අනත්ථ නිවැරදිව දැකීමයි ගැලවීමට එකම මඟ : මෙන්න මෙහෙම ප්‍රඥාව මුල් වුනොත්, වොත්තපනය කරන්නේ ප්‍රඥාවට අනුවයි! අවිද්‍යා – තෘෂ්ණා මුල් වුනොත්, වොත්තපනය කරන්නේ අවිද්‍යා – තෘෂ්ණා දෙකට අනුව – ඇලීම්, ගැටීම්, මුලා කියන මේ තුනට අනුවයි. අන්න එහෙම වුනොත් තමයි දුගති උප්පත්තියකට හේතු තියෙන්නේ. දැන් සෝතාපන්න පුද්ගලයා සතර අපා උප්පත්තියට හේතු නෑ කියන්නේ ඔන්න ඔය ප්‍රශ්නය උඩ. නිස්සාරයි කියලා දැනගෙන, නිස්සාර ලෝකේ මොන හරයක්ද, අනිච්ච – දුක්ඛ – අනත්ථ කියන මේ ත්‍රිලක්ෂණය දැකලා ම තමයි නිස්සාරත්වය ඒ සමඟම ඒකේ ඒ ප්‍රතිඵලයක් වශයෙනුයි මතුවෙලා එන්නේ. යමෙක් අනිච්චයි – දුක්ඛයි – අනත්ථයි කියන මේ ත්‍රිලක්ෂණය දැක්කා නම්, ඒක මහත්ගත හිත් වලත් උපරිම එකක් වෙනවා! ඒ කියන්නේ ඒ හිත ඒකාන්තයෙන් ඵල දෙන හිතක්! ඒකේ තියෙන බලය තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම්, ඒ හිතකින් කවදාවත් අනිච්ච – දුක්ඛ – අනත්ථ කියන ත්‍රිලක්ෂණය අරමුණු වෙච්ච, නැත්නම් සිහියට නැඟිච්ච යම් චිත්ත ස්වභාවයකින් වොත්තපනය වුනා නම්, කිසිම දවසක සතර අපාගත වීමට හේතු වෙන්නා වූ ජවනයක් නිකුත් කරන්නේ නෑ! ඒ නිසා තමයි එයා සතර අපායෙන් නිදහස් වෙන්න හේතුව. එහෙනම්, ඔතෙනදී සෝතාපන්න වීමට අවශ්‍යය කරන පළවෙනි කාරණය තමයි ඔය කියන “අනිච්චයි – දුක්ඛයි – අනත්ථයි” කියන මේ ත්‍රිලක්ෂණය හරියටම තේරුම් අරගත්තහම ඕකෙන් නැඟෙන තීරණය! යමක් අනිච්ච බව වැටහුණා, දුකයි අනත්ථයි කියලා වැටහුණා, එහෙනම් ලෝකේ නිස්සාරයි කියලා වැටහුණා. අන්න, නිස්සාරත්වය වැටහුණාට පස්සේ ගන්නවා තීරණයක්. “නිස්සාර නම් මං මොකද්ද ගත යුතු තීරණය?” ඒකේ යම් බැඳීමක් ඇත්නම්, යම් චන්ද රාගයක් ඇත්නම්, අත්හැරී – නොඇලී – මිදී ඒ වැඩපිළිවෙල ම කෙළවර කරනවා මිසක්, ඒ පස්සේ ගිහිල්ලා වැඩක් නෑ! ඒකේ රවුම් ගහලා වැඩක් නෑ, නිරෝධ කරන්න ඕනේ! අන්න නිරෝධය දකිනවා, නිරෝධ කළ යුත්ත දකිනවා. ඉතින් නිරෝධ කරන්න ඕනේ, අවිද්‍යාවෙන් – තෘෂ්ණාවෙන් සසර අනාථ බවට පත් වෙන ගමනක් කරන්න තියෙන බලාපොරොත්තුව. ඒකයි නිරෝධ කරන්නේ. එහෙනම්, ඔන්න ඔතනදී අපිට දකින්න ඕනේ, ප්‍රිය ස්වභාවයෙන් – මධුර ස්වභාවයෙන් අපි යමක් ගැන හිතනවා නම්, මෙන්න මේක මයි අපි එතෙන්ට ගෙනියන්න හේතුව. එහෙනම්, දුක්ඛ ආර්යය සත්‍යය දකිනවා කියන්නේ, අපි ඔතෙනදී දකිනවා මේ ප්‍රිය ස්වභාවය – මධුර ස්වභාවයෙන් තියෙන ඒවා හරයක් නෑ! කියලා. අන්න, හරයක් නැති මුලාවක් කියලා දැක්ක දාට ඒ පිළිබඳ යම් චන්ද රාගයක් තියෙනවා නම්, අන්න ඒක හිඳිලා යනවා. ඒ චන්ද රාගය දුරු වුනහම ඒකේ රවුම් ගහන බලාපොරොත්තුව ඉවරයි, නිරෝධයි! ඔහොමයි නිරෝධ කරන්නේ. ඒකේ තියෙන හරය, හරයක් නෑ කියලා නොවැටහෙන තාක් කල්, අසාරයි කියලා නොවැටහෙන තාක් කල් අපිට පුලුවන් කමක් නෑ ඒකේ චන්ද රාගයෙන් මිදෙන්න. අසාරයි කියලා වැටහෙනකොටම ඒ යථාවබෝධ ඥාණය තුළින් ම හරයක් නෑ කියලා ඒකෙන් අත්හැරී, නොඇලී, මිදී යන පැත්තට හිත තියෙනවා, හෙවත් නිවනට හිත තියෙනවා. මෙන්න මෙයා චතුරාර්යය සත්‍යය මාත්‍රයක් හරි දැක්ක කෙනා! එයා දුක දැක්කේ ස්වභාවයෙන් විඳින දුකේ නෙමෙයි! ඒක කවුරුත් දකින එක. ලෝකයා ප්‍රියයි – මනාපයි – යහපතයි කියලා ප්‍රිය ස්වභාවයෙන් – මධුර ස්වභාවයෙන් යමක් බදනවාද, අල්ලනවාද, අන්න ඒක දුකයි කියලා දැක්කා නම්, අන්න එදාට දුක්ඛ ආර්යය සත්‍යය දැක්කා. එතකොට, මේ බදන එක මයි දුකට හේතුව කියලා දැක්කා. තෘෂ්ණාව දුකයි කියලා දැක්කේ අන්න එතනයි. මේක අත්හැරී – නොඇලී – මිදී මේක නිරෝධ කරපුහාම නිරෝධයි කියලා දැක්කා නම් දුක්ඛ නිරෝධය දැක්කා. එහෙනම්, මේක මම ලබා ගත්තේ මෙන්න මේ වතක් පුරලා නෙමෙයි, මෙන්න මේ යථා ධර්මය – යථා සේ මෙනෙහි කරලා, (ශ්‍රාවක මහතෙක්): තන්හි හා වෙන්නේ නෑ මේක අසාර නිසා (ස්වාමීන් වහන්සේ): අන්න හරි, අන්න ඒ නිසා තණ්හා දුරු වෙනවා. තන්හි හා වීම දුරු වුනා නම් උපාදාන හෙවත් ආසන්නයට ඇදීමක් නෑ! එහෙනම් නිර්මාණයක් නෑ, එහෙනම් ජාතියක් නෑ! අන්න බේරෙන හැටි. තන්හි හා වෙන්න හේතුවක් නැතුව ගිහාම තණ්හා ඉවරයි! ඉතින් අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්නා යමක් ඇත්නම්, ඒක තමයි තන්හි හා වෙන්න හේතුව එතනයි තියෙන්නේ. එහෙම නැත්නම් තියෙන්නේ ප්‍රසාද! ප්‍රසාදය කියලා කියන්නේ ඒ පැත්තට යවන එකක් නෙමෙයි. අන්න, ආර්යය මාර්ගය තුළ වේදනා පච්චයා තණ්හා වෙනුවට වේදනා පච්චයා පසාදෝ! අන්න ප්‍රසාදය නැඟිලා ආවාට පස්සේ මොකද වෙන්නේ? පසාද පච්චයා අධිමොක්ඛෝ!
~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~
(මීලඟ කොටස ඉදිරි දේශනාවෙන්)
දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://www.waharaka.com/listen/CD001-05
මීලඟට : නිවනේ නිරෝධ ස්වභාවය, ආර්ය කාන්ත සීලය, අරිය ධ්‍යාන (ගිහි වතක සිට නිවන් දකිමු 6 කොටස)