ගිහි වතක සිට නිවන් දකින හැටි – 3 කොටස හා සම්බන්ධයි
දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)
ගිහි වතේ සිට නිවන් දකින්න තිබෙන හරි මඟ කුමක්ද? - 4 කොටස
{00:00} රෝස මලක පටිච්චසමුප්පාදය : අර ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන ධාතු හතරෙන් හටගත්ත සංකලනය අර රෝස මලේ රිකිලි දිගේ ඇවිදිල්ලා, අර නටුව කියන තැනින් ගිහිල්ලා, ඒ පිපෙන රෝස මල කියන තැනට පිපෙන්න – “තන්හි හා” වෙන්න ඕනේ – “තණ්හා” වෙන්න ඕනේ! එතකොට තමයි ආසන්නයට ඇදලා අරගෙන, නිර්මාණය කරලා, උපාදාන කරලා, භව කරලා, ජාතිය වශයෙන් රෝස මල පුප්පවන්නේ. අන්න උපාදාන වෙන හැටි! “තන්හි හා” වෙනවා. එතකොට, “වේදනා පච්චයා තණ්හා” ඊලඟ සිද්ධාන්තය. “වීමක් දනවන්න” ඕනේ “තන්හි හා” වෙන්න. නැත්නම්, අර ඕජස කියන එක හැදෙන්න ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව කියන ධාතු හතර එකට සංකලනය වීමක් සැකසෙන්න ඕනේ. “ධන” වෙනවා කියන්නේ? “සෘණ” වෙන්නේ නෑ, ධන වෙනවා. “ධන” කියන්නේ එකතු වෙනවා කියන එකයි. යම්කිසි නිර්මාණය වීමක් එක් වෙන්න ඕනේ. ධාතු හතරක එක් වීම නිසා අන්න, “වේදනා” වුනා – වීමක් දනවුනා, වේදනා වුනා. අන්න, වේදනා වුන එක මොකද කරන්නේ? ඒකෙන් තමයි, එක්වීමෙන් සකස් වුනේ අර ඕජස. එතකොට, “වේදනා” වෙන්න නම්, “ස්ඵර්ශ” වෙන්න ඕනේ. මොකද වෙන්න ඕනේ? ස්ඵර්ශයක් ලබනවා! මොනවාද ස්ඵර්ශ ලබන්නේ? ඔය මුල ට පොහොර ටික ස්ඵර්ශ වුනේ නැත්නම්, ජලය ටික ස්ඵර්ශ වුනේ නැත්නම්, අර කොලයට ඉර අවුව ස්ඵර්ශ වුනේ නැත්නම්, එතකොට කොහොමද මේකේ “වීම” නිර්මාණය වෙන්නේ? අන්න, “වීමක් දනවන්න” නම් ඒකට අවශ්‍යය ස්ඵර්ශය ම ලැබෙන්න ඕනේ. මොනවාද ස්ඵර්ශ වෙන්නේ? පොහොර, ජලය, හිරු එළිය, වාතය. ස්ඵර්ශ වෙන්න ඕනේ! අන්න “ඵස්ස පච්චයා වේදනා!” “සළායතන පච්චයා ඵස්සෝ!” – ඒවාට අවශ්‍යය දේ “ආය ස්ථාන” – ආයතන කියන්නේ එකතු වෙන ස්ථාන, අපි අර ඉස්සෙල්ලාත් ආයතන කිවුවේ මේ ඇහැ, කන නෙමෙයි, එකතු වෙන ස්ථාන කිවුවා නේ. එහෙනම්, පොහොර, ජලය සමඟ එතෙන්ට එකතු වෙන්නේ නෑ, මුල ලඟට. එතෙන්ට එකතු කරලා හරි දෙන්න ඕනේ, “ආයස්ථාන” කරන්න ඕනේ – ආයතන කරන්න ඕනේ. ඉර එළිය එතෙන්ට වදින විදිහට, ගස් කොලන් වලින් හෙවන තියෙනවා නම්, ඒක අහක් කරලා හරි හෙවනක් නැතුව හදලා දෙන්න ඕනේ. “ආය ස්ථානයක්” කරන්න ඕනේ – එකතු කරන ස්ථානයක් කරන්න ඕනේ. අන්න මේ වගේ, බාහිර සළායතන තමයි රූප-ශබ්ද-ගන්ධ-රස-ස්ඵර්ශ කියන ඒවා, ධර්ම කියන ඒවා, හටගන්න හටගන්න එතන ඒවා. ආධ්‍යාත්මික සළායතන තමයි ඇස-කන-දිව-නාසය-ශරීරය කියන එකට බලපාන සළායතන. දැන් මේ බාහිර ලෝකේ පෙන්වනකොට බාහිර සළායතන. අභ්‍යන්තර ලෝකය හදනකොට අභ්‍යන්තර සළායතන. අන්න “සළායතන පච්චයා ඵස්සෝ!”
{02:09} මනස මූලික වෙලා සතර මහා භූත හැදෙන හැටි : “නාමරූප පච්චයා සළායතනං!” අන්න, ඔන්න ඔතන තමයි අපි ඇවිල්ලා “මනෝ පුබ්බංගමා ධම්මා“ කියන තැනට කිට්ටු කරලා එන්නේ. දැන් මොකද වෙන්නේ? මේ රෝස මල කියන එකට අවශ්‍යය වන්නා වූ රස ධාතුවක්, ආපෝ ධාතු – තේජෝ ධාතු – වායෝ ධාතු – පඨවි ධාතු වශයෙන් ලෝකේ හටගන්න, මේකට අවශ්‍යය කරන්නා වූ නම්‍යතාවය රුප්පනය වෙන්න ඕනේ, නැත්නම් නාමරූපය නිපදවෙන්න ඕනේ. එහෙනම්, නම්‍යතාවයට ගැලපුනා වූ රූපයෝ හටගත්තහාම, ශුද්ධාෂ්ඨක වශයෙන් හටගන්නා වූ මූල නිර්මාණයේ කොටසක් ආපෝ ධාතු වශයෙන් නම්‍යතාවයක් ගන්නවා, කොටසක් තේජෝ ධාතු වශයෙන් නම්‍යතාවයක් ගන්නවා, කොටසක් වායෝ ධාතු වශයෙන් නම්‍යතාවයක් ගන්නවා, කොටසක් පඨවි ධාතු වශයෙන් නම්‍යතාවයක් අරන් රුප්පනය වෙනවා. අන්න නාමරූප හැදුනා! නාමරූප වශයෙන් ගත්තහම, නම්‍යතාවයයි-රුප්පනයයි, නම්‍යතාවයයි-රුප්පනයයි. අන්න ඒ ටික තමයි ආපෝ ධාතු වශයෙන් තියෙන්නේත් ශුද්ධාෂ්ඨක! තේජෝ ධාතු වශයෙන් ගත්තත් තියෙන්නේ ශුද්ධාෂ්ඨක! බිඳලා බැලුවොත් අන්තිමට ශුද්ධාෂ්ඨක! වායෝ – පඨවි කියලා ගත්තත් අන්තිමට ශුද්ධාෂ්ඨක! ආපෝ–තේජෝ–වායෝ–පඨවි–වර්ණ–ගන්ධ–රස–ඕජා කියන ගති අට. ගති අටෙන් තමයි හටගන්නේ. ඉතින්, ආපෝ-තේජෝ-වායෝ-පඨවි-වර්ණ-ගන්ධ-රස-ඕජා කියන්නේ ගති අටක්. ගති අටෙන් හටගන්නවා ආපෝ ධාතු – ආපෝ භූත, තේජෝ භූත, වායෝ භූත, පඨවි භූත – භූත හතර! එතකොට, ආපෝ භූතයෙන් පටන්ගෙන, ආපෝ මහා භූත, තේජෝ මහා භූත, වායෝ මහා භූත, පඨවි මහා භූත කියලා මේක ඝනීභවනය වෙනවා, තව අවස්ථාවක්! අන්න ඒකෙන් හටගන්නා ඊලඟ අවස්ථාව ආපෝ ධාතු – තේජෝ ධාතු – වායෝ ධාතු – පඨවි ධාතු කියලා ධාතු බවට ඝනීභවනය වෙනවා. අන්න ඒ ධාතු හතර එක් වීමෙන් තමයි මේ ලෝකේ සත්ත්ව–පුද්ගල–ද්‍රව්‍යය–වස්තු පහල වෙන්නේ!
{03:36} රූප නිපදවන්නේ වේදනා භුක්තිය බලාපොරොත්තුවෙන්! : දැන් අවස්ථා ගාණකට එන්නේ. ඉස්සෙල්ලාම එන්නේ, ගතියෙන් එන්නේ. ඒ නිසා ඉස්සෙල්ලා ම මනසට සම්බන්ධ වෙච්ච මනෝ ලක්ෂණයෙන් තමයි ගති හටගන්නේ. අවිද්‍යාවෙන් ගති හතරකුයි, තෘෂ්ණාවෙන් ගති හතරකුයි තියෙනවා. අවිද්‍යා-තෘෂ්ණා අත්වැල් බැඳගත්ත දහම් දෙකක්. ඔන්න ඔය ගති හතර ක්‍රියාත්මක වීම නිසා, ගති අට ක්‍රියාත්මක වීම තමයි ආපෝ-තේජෝ-වායෝ-පඨවි-වණ්න-ගන්ධ-රස-ඕජා අයින් කරන්න, වෙන් කරන්න බැරි “ශුද්ධාෂ්ඨකය” කියන ඉස්සෙල්ලාම පුඤ්ජය හටගන්නේ. ඒ රූප පුඤ්ජයේ මූලික අවස්ථාව තමයි මන, මනස! ඒ නිසා තමයි කිවුවේ, පටිච්චසමුප්පාද හතරක් ගැන කිවුවේ ඔන්න ඕකයි. “විඤ්ඤාණ පච්චයා නාමං – නාම පච්චයා ඡට්ඨායතනං…” ආදී වශයෙන් ගිහිල්ලා “විඤ්ඤාණ පච්චයා නාමරූපං – නාමරූප පච්චයා සළායතනං…” වුනේ හතරවෙනි අවස්ථාවේ කියලා කිවුවා නේ, (පෙර දේශනාව බලන්න / අසන්න) උප්පාද – ථිති අවස්ථාව සම්පූර්ණ වෙනකොට, අන්න චිත්තක්ෂණය සම්පූර්ණ වෙච්ච වෙලාවේදී චිත්තජ රූපයක් නිපදවලා ඉවරයි! ඔන්න ගති වලින් සම්පූර්ණ කරලා නිපදවාපු ශුද්ධාෂ්ඨකය! එහෙනම්, කර්මජ – චිත්තජ කියන මේ දෙකෙන් ලෝකේ රූප නිපදවනවා මූලික වශයෙන්. නිපදවපු රූපය මොකටද නිපදෙවුවේ? වේදනා භුක්තිය බලාපොරොත්තුවෙන්. වේදනා භුක්තිය බලාපොරොත්තුවෙන් නම් ආධ්‍යාත්මික සහ බාහිර දෙකක් එකතු වෙන්න ඕනේ. එහි වින්දනය ලබා ගැනීමට ආස්වාද ගෙන දෙන දේකුයි, ඒ ලබාගැනීමට අවශ්‍යය කරන ආස්වාද ඉන්ද්‍රියකුයි – ආස්වාදයට ගැලපෙන ඉන්ද්‍රියකුයි. මෙන්න මේ දෙක එකට එකතු වීමේ භුක්තිය බලාපොරොත්තුවෙන් තමයි අපි තණ්හාවෙන්නකුත් වෙන්නේ, තණ්හාව කරලා තියෙන්නේ ඔන්න ඕකටයි!
{04:54} න්‍යෂ්ඨික පරමාණුක බලය හිතෙන්ම නිපදවූවක් : හැබැයි ඔය තණ්හාව මුල් කරගෙන අවිද්‍යාව නිසා මේක හොඳයි කියලා නිගමනයට බැහැලා, සාරයි කියන නිගමනයෙන් තණ්හාවෙන් භුක්තියට බැස්සාට පස්සේ ඇති වෙන බලාපොරොත්තුව තමයි ඔය නිෂ්පාදනයේ මුල! ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා “මෙබඳු හැඩ දෙයක්, මෙබඳු සුවඳ දෙයක්, මෙබඳු ලස්සන දෙයක්…” මොකද, ඕක අනාදියේ පටන්ගෙන අපිට ආපු සිරිත! ඒ නිසා මොකද වෙන්නේ? ඔය හිත මතක් කරනකොට ම ආදියේ කළාවූ එක මෙතෙන්ට ඇදලා එනවා. ඇදලා ඇවිදිල්ලා මතකයට නඟා දෙනවා “මෙබඳු ලස්සනක් අපි ඉස්සරත් විඳලා තියෙනවා, අනේ ඒ ජාතියේ ලස්සනක් දැනුත් ඇත්නම්!” අන්න බලාපොරොත්තුවක් හැදුනා මතුවට. ඉතින් එදා රෝස මල් පිපුනෙත් අපේ මානසික බලාපොරොත්තුව මුල් කරගෙන හටගත්ත ආරම්භයෙන්, ලෝකයක් නිපදෙවුවා. අන්න නාමරූප නිපදවන හැටි! බාහිර නාමරූප නිපදවනවා අභ්‍යන්තරයේ. ඒ චිත්තජ රූපය නිපදවපුහාම, “චිත්තජ” කියන්නේ හිතෙන් නිපදවනකන් පමණයි. උප්පාද–ථිති–භංග වෙනකොටම චිත්ත අවස්ථාව ඉවරයි, හැබැයි රූපය ඉවර වුනේ නෑ! නිෂ්පාදනය කරපු රූපය තමයි අපිට අර ශුද්ධාෂ්ඨකයේ “න්‍යෂ්ඨික බලයක්” කියලා ඕකට වට වෙනවා. අන්න හිතෙන් දුන්න බලයෙන්! හිතෙන් බල දීලා, හිත ඉවරයි – හිත භංග වුනා. හැබැයි භංග වුනාට පස්සේ මොකද වෙන්නේ, බලය දීපු එක? වස්තුව තියෙනවා. ඕකේ ආයුෂ අන්තඃකල්ප 20 යනකන් ඉවර වෙන්නේ නෑ! අන්තඃකල්ප 40ක් ආයුෂයි මේ මනුස්ස ලෝකේ ඒවාට. නමුත් ඕක ධර්මයේ තියෙනවා, හොයාගන්න බැරුව ඉන්නේ! ඔය ඕකේ තියෙනවා “උතුජ රූපයක්” දැන් එතන පටන්ගෙන අන්තඃකල්ප 40ක් යනකන් උතුජ රූපයක් වශයෙන් න්‍යෂ්ඨික බලයක් ක්‍රියාත්මක වෙනවා රූපය වටා, ඒ පරමාණුවට. අන්න ඒක තමයි, පරමාණුවේ තියෙන න්‍යෂ්ඨික බලය කියන්නේ ඔන්න ඕකට! ඕක තමයි ලෝකයේ බලශක්තියේ මුල. අපේ මනසෙන් ම නිපදවලා, නිපදවපු දේ අපේ බලාපොරොත්තුවෙන් ම නිපදවලා, බලාපොරොත්තුවේ විපාක ප්‍රතිඵලය භුක්ති විඳ විඳා අපි ඉන්නවා ලෝකයක කියලා. අපිම නිපදවාගෙන ඒක භුක්ති විඳිනවා. ඉතින්, ඕකේ ආයුෂ හොයන්න බෑ, “ස්කන්ධ සංස්ථිති නියමය” කියලා විද්‍යාඥයෝ බහිනවා නිගමනයකට, කොච්චර බිඳලා බැලුවත් ඒ කෑල්ලේ තව ස්කන්ධයක් වශයෙන් තව තැනක පවතිනවා.
{06:44} අභිඥා ශක්තියෙන් ශුද්ධාෂ්ඨක සංයුතිය වෙනස් කළ හැකියි : හැබැයි, ශුද්ධාෂ්ඨකය බිඳලා බලන්න විද්‍යාඥයෝ දක්ෂ නෑ! නමුත්, බිඳලා බැලුවත් ඒ ශුද්ධාෂ්ඨකයේ තියෙන්නේ අපේ වැඩ වලට ගන්න ශක්තිය ගැබ් වෙලා! කොච්චර – අන්තඃකල්ප 40ක් භ්‍රමණය වෙන ශක්තියක් ඕකේ තියෙනවා. ඒක දීලා තියෙන්නේ මනසින්. ඒ මනසින් දුන්න ශක්තිය අභිබවා වෙනස් කරන්න තව බලයක් නෑ! එහෙනම්, ඒ බලය ගන්න නම් අභිඥා ලාභියෙක් වෙන්න ඕනේ! අභිඥා ලාභියාට පුලුවන් අරක පාලනය කරලා වෙනස් කරන්න. අන්න එතකොට මොකද කරනනේ? ගලක් වශයෙන් තියෙන එක ඕනේ නම් මලක් කරන්නත් පුලුවන්, ඕන්නම් රත්තරං කරන්නත් පුලුවන්. අධිෂ්ඨාන කරනකොට පරිවර්තනය වෙනවා ඒකේ තියෙන එක ඒ විදිහට. ඒ නිසා අර සාමාන්‍යය පොදු පුද්ගලයාගේ අර අවිද්‍යා – තෘෂ්ණා කර්ම ශක්තිය ක්‍රියාවලියට හැදිච්ච රටාව, ඒ භුක්තියේ පාලනය වෙනස් කරලා මේකෙන් පුලුවන් වෙනවා අභිඥා ලාභියාට තමන්ට ඕනේ එකක් බවට පත් කරන්න ඒකේ තියෙන ශුද්ධාෂ්ඨක ටික. හැදුව ගමන්, ගල රත්තරන්! ඕන්නම් ගල ජලය කරන්න පුලුවන්. අන්න ඒකයි ඒ බලය, ඉතින් ඒකත් පුදුමයක් නෙමෙයි. රටාව ඔන්න ඕකයි.
{07:36} විඤ්ඤාණය කියන්නේ සිත කහටගැන්වුනු පසුවයි : ඉතින්, මෙන්න මේකේ කියනවා, නාමරූප තමයි – අන්න අර නාමරූප වලට හටගත්ත විඤ්ඤාණය මුල් වුනා. “විඤ්ඤාණ” කිවුවේ? හිත කිවුවාට හරියන්නේ නෑ! හිත කියන එකට විඤ්ඤාණය කියනවා අපි සාමාන්‍යය කතාවට විතරයි. හිත විඤ්ඤාණ වෙන්න අවස්ථා 8ක් යන්න ඕනේ. අද මේ අපි විඤ්ඤාණය කියලා කතා කරන්නේ “විඤ්ඤාණ ස්කන්ධයකට!” විඤ්ඤාණ ස්කන්ධ බවට පත් වෙන්නේ 9 වෙනි අවස්ථාවේ. “පබස්සර මිදං භික්ඛවේ චිත්තං” කියන තැන ඉඳලා පටන් ගන්න චිත්ත, “චිත්ත – මනෝ – මානසං – හදයං – පණ්ඩරං – මනෝ මනායතනං – මනේන්ද්‍රියං – විඤ්ඤාණං” අට වෙනි එකට, “විඤ්ඤාණස්කන්ධෝ” නව වෙනි එක! ආගන්තුග උපක්ලේෂයන් ගෙන් කිළිටි වෙලා විඤ්ඤාණ ස්කන්ධ බවට පත් වෙන නව අවස්ථාවකදී තමයි එතෙන්ට පත් වෙන්නේ. “පබස්සර මිදං භික්කවේ චිත්තං – ආගන්තුකේන උපකිලිට්ඨේන උපකිලිට්ඨං“ කියලා පෙන්වුවේ අන්න එතනයි. ආගන්තුග උපක්ලේෂ වලින් උපකිලිටියට පත් වෙනවා. අන්න උපකිලිට්ටට පත් වුනාට පස්සේයි විඤ්ඤාණ බවට පත් වෙන්නේ. නැත්නම් තියෙන්නේ “චිත්ත” විතරයි. ඉතින් එහෙනම් විඤ්ඤාණ නිරෝධ කළ හැකියි! සංඛාර නිරෝධ නම් විඤ්ඤාණ නිරෝධයි. හැබැයි, චිත්ත තියෙනවා. එහෙනම්, බුදුරජාණන් වහන්සේ විඤ්ඤාණ නිරෝධ කළා, නමුත් හිත තිබුණා නේ! අන්න, එහෙනම් හිතට විඤ්ඤාණ කියන්නේ නෑ. ඒක නිකන් චිත්ත, පබස්සර මිදං භික්ඛවේ චිත්තං – ආං ප්‍රභාස්වර චිත්තය බුදුරජාණන් වහන්සේට තියෙනවා. විඤ්ඤාණ එකක් වත් නෑ, විඤ්ඤාණ නිරෝධයි! අන්න, අපි දැකගන්න ඕනේ මොනවාද ඒ විඤ්ඤාණ? චිත්ත බවට පත් වුනහම “ආරම්මණ විජාණන ලක්ෂණය විතරයි” දැනගන්න ලක්ෂණය තියෙනවා, දැනගන්න බලාපොරොත්තුවක් නෑ!
{09:02} අරිහත් වුනහම නැතිවෙන්නේ අවිද්‍යාවෙන් හටගන්න සංඛාර විතරයි : (ශ්‍රාවක මහතෙක්): ස්වාමීන් වහන්ස අර විමුක්ති විඤ්ඤාණය කියලා එකක් තියෙනවාද? (ස්වාමීන් වහන්සේ): තියෙනවා, තියෙනවා! ඒකට තියෙන්නේ කුසළ මූල පච්චයා සංඛාරා – සංඛාර පච්චයා විඤ්ඤාණං… කියලා පටිච්චසමුප්පාදයක් තියෙනවා, ඔන්න ආර්ය පටිච්චසමුප්පාදය! දැන් මේක අහලා නෑ නේ අද වෙනකන්? “කුසලමූල පච්චයා සංඛාරා – සංඛාර පච්චයා විඤ්ඤාණං – විඤ්ඤාණ පච්චයා නාමරූපං – නාමරූප පච්චයා සළායතනං – සළායතන පච්චයා ඵස්සෝ – ඵස්ස පච්චයා වේදනා – වේදනා පච්චයා තණ්හා ඒකේ නෑ! වේදනා පච්චයා පසාදෝ – පසාද පච්චයා අධිමොක්ඛෝ – අධිමොක්ඛ පච්ච්යා භව – භව පච්චයා ජාති : මෙන්න අරිහත් ජාතිය, අන්තිමට! – ජාති පච්චයා ජරා මරණං – ඒව මේතං, ඒව මේතේසං ධම්මානං සමුධයෝ හෝති! කියලා නවතිනවා. දුක්ඛක්ඛන්ධස්ස කියලා ඒකේ කියන්නේ නෑ. ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති කියලා ඒ පටිච්චසමුප්පාදයේ කෙළවර යන්නේ නෑ! අන්න, ඒව මේතේසං ධම්මානං සමුදයෝ හෝති! කියලා නවතිනවා. මෙන්න ආර්ය පටිච්චසමුප්පාදය, මෙන්න අපි අනුගමනය කරන්න ඕනේ එක. එහෙනම්, සියලු විඤ්ඤාණ අපි දුරු කරන්න අපිට අවශ්‍යය නෑ. අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්නා… (ශ්‍රාවක මහතෙක්) : සංඛාර නිරෝධ තත්ත්වයට යන්නේ නැද්ද? (ස්වාමීන් වහන්සේ) : සංඛාර නිරෝධ කරන්නේ, අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්නා සංඛාර විතරයි! මොකද හේතුව? අපේ සසර ගමනට හේතු වෙන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්නා සංඛාර. අපිට ඕනේ සසර දුක දුරු කරගන්න. එතකොට, මෙලොව මේ උපන් කෙනා මැරෙන තුරු ජීවත් විය යුතු ක්‍රමයක් තියෙනවා. ඒ ටික ජීවත් වෙන්නත් අපිට මේ ලෝකේ සම්මතයේ කතා-බහ කරන්න ඕනේ, ජීවත් වෙන ක්‍රමයක් තියෙනවා. ඒ තුළ, ඒක අපිට මේ ජීවිතයේ පමණයි. එහෙනම්, “ස්ව + උපධි + ශේෂ“ වෙච්ච නිර්වාණය කිවුවේ ඒකයි. අනුපධිශේෂයේදී ඒකත් ඉවරයි! එහෙනම්, අරිහත්වය වෙනකන්, කෙළවර කරනකන්, පිරිණිවන්පාන මොහොත වෙනකන්, ජීවත් වෙන්නේ – කුසළ මූල පච්චයා සංඛාරා – සංඛාර පච්චයා විඤ්ඤාණං කියන විඤ්ඤාණය දරාගෙන. හැබැයි, ඒකේ දන්නවා – කුසල මූලයේදී හටගන්නේ අනිච්ච දේ අනිච්ච හැටියට, දුක්ඛ දේ දුක්ඛ හැටියට, අනත්ථ දේ අනත්ථ හැටියට 100%ක් ම දැකලා ඉවරයි, ලෝක සම්මතයෙන් කථා කරනවා. ලෝක සම්මතයේ හොඳයි කියන එක, ලෝක සම්මතයට හොඳයි කියනවා. “මම” කියලා කතා කරනවා, “ඔබ” කියලා කතා කරනවා. ඉතින්, පොත-පෑන කියලා කියනවා. ඒවා ඔක්කෝම කියනවා, ඒ විදිහට හඳුනනවා. හැබැයි, අර අවිජ්ජා පච්චයා සංඛාරා කියන එකේ සංඛාර පච්චයා විඤ්ඤාණං වලින් නෙමෙයි, කුසළ මූල පච්චයා සංඛාරා – සංඛාර පච්චයා විඤ්ඤාණං කියන එකෙනුයි දකින්නේ. ඒකේ වෙනස මොකද්ද? අවිද්‍යා – තෘෂ්ණා දෙකෙන් කෙළෙසීම සිඳ දැමූ විඤ්ඤාණයට කියනවා, කුසළ මූල පච්චයා සංඛාරයෙන් හටගත්ත විඤ්ඤාණය. ඒකේ තියෙන වෙනස මොකද්ද? අර විදිහටම අරගෙන ආවත්, කෙළෙස් කහට නෑ! අන්න ඒකයි වෙනස. ඒ නිසා කියනවා, “පුඤ්ඤා – පාප පහීණයි“, (ශ්‍රාවක මහතෙක්) : ක්‍රියා සිත් නැද්ද?, (ස්වාමීන් වහන්සේ) නමුත් තියෙනවා!
{11:23} රහත් උතුමන්ට පවතින ආනෙඤ්ජාභි සංඛාර : මොකද දැන් බුදුරජාණන් වහන්සේ – හොඳයි සංඛාර නෑ කිවුවොත්, අපි අහනවා මෙහෙම දෙයක්. බුදුරජාණන් වහන්සේ, මේ කියන්නේ දැන් මේ අහනවා එක අවස්ථාවක, කවුද – ධම්මදින්නා තෙරණින් වහන්සේ ගෙන් විශාඛ සිටු තුමා අහනවා, මේ විඤ්ඤාණය පිළිබඳව, මෙහෙමයි අහන්නේ ඒක – අපි දැන් ගත්ත මාතෘකාව පොඩ්ඩක් නැවතුනා, මේ සංඛාර පිළිබඳව අහනවා මෙහෙම කතාවක්. “නිරෝධ සමාපත්තියට සමවැදුන රහතන් වහන්සේ නමක්, අරිහතුන් වහන්සේ නමක් නැවතත් එයින් නැඟී සිටිනකොට ඉස්සෙල්ලාම පහල වෙන්නේ මොන සංඛාරද?” කියලා. එතකොට කියනවා, “විශාඛ, මනෝ සංඛාරයි!” ඊලඟට පහල වෙන්නේ? “වචී සංඛාරයි” ඊට පස්සේ පහල වෙන්නේ? “කාය සංඛාරයි“. <<ත්‍රිපිටක සූචිය අවශ්‍යයි>> දැන් සංඛාර සියල්ලම නිරෝධ කළා නම් මහරහතන් වහන්සේ, නිරෝධ සමාපත්තියෙන් ආපහු එනකොට සමවැදිලා මොන සංඛාර වලටද? ඒ සංඛාර මොනවාද? දැන් සියලු සංඛාර නැති කළා නම් එහෙම, අරිහත්වයට පත් වෙනකොට සියලු සංඛාර නැති වුනා නම්, නිරෝධයට පත් වෙච්චි අරිහතුන් වහන්සේ නැවත නැඟී සිටිනකොට අනුපිළිවෙලින් එන සංඛාර තුනක් කිවුවා, ඉස්සෙල්ලාම මනෝ සංඛාර පහල වෙනවා, ඊලඟට වචී සංඛාර පහල වෙනවා, ඊට පස්සේ කාය සංඛාර පහල වෙනවා කියලා. එහෙනම් අරිහතුන් වහන්සේට මනෝ සංඛාර තියෙන නිසා, වචී සංඛාර, කාය සංඛාර තියෙන නිසා නේද පහල වෙනවා කියලා පෙන්නුවේ? එහෙනම් ඒවා අවිජ්ජා පච්චයා සංඛාරා නෙමෙයි. අන්න ඒ මොන සංඛාර ද? අන්න කුසළ මූල පච්චයා සංඛාරා! එහෙනම්, “කුසළ මූල පච්චයා ආනෙඤ්ජාභි සංඛාරා“ – විග්‍රහ කරලා ගන්න වෙන්නේ ඔතනටත්. කුසළ මූල පච්චයෙන් පහල වෙනවා අරිහතුන් වහන්සේට “ආනෙඤ්ජාභි සංඛාරය”. ආනෙඤ්ජ කියන්නේ ? නැවතත් ජනිත වීම සඳහා ඉඳුවන්නේ නැති එකට කියනවා, ආනෙඤ්ජ! මතු උප්පත්තියට හේතු වෙන්නේ නැති සංඛාර, ආනෙඤ්ජාභි සංඛාර! මේ අත්බැවට විතරයි. ඒ නිසා, පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර ? ඒ දෙක පිං – පවු දෙක, මතු දිගට යන ඒවා, ඒවා නෑ! පුඤ්ඤ – පාප පහීනං. ආනෙඤ්ජාභි සංඛාර ප්‍රහීණ නෑ! අන්න, කුසළ මූල පච්චයා සංඛාර කියන්නේ ආර්ය මාර්ගය වැඩෙන්නේ ඔන්න ඕකයි. “කෝසානි විචෙයිය කේවලානි දිබ්බං මානුසකඤ්ච බ්‍රහ්මකෝසං සබ්බකෝස මූල බන්ධනා පමුත්තෝ කුසළෝතාදි පහුච්චතෝ තථත්තා!” දිව්‍ය කෝෂ, මනුශ්‍යය කෝෂ, බ්‍රහ්ම කෝෂ, සකළවිධ කර්ම කෝෂ, ඒ කියන්නේ උපදින තැන් ඔය, කුස් කියන්නේ. ඒ පිළිබඳ, ඒවායේ ඉපැද්මට හේතු වෙන මූල බන්ධනය වන අවිද්‍යා – තෘෂ්ණාවන් ගේ පහ කිරීමක් ඇත්ද, කුසළ් යැයි කියනු ලැබේ! << ත්‍රිපිටක සුචිය අවශ්‍යයි>> ඔන්න, අවිද්‍යා – තෘෂ්ණා දෙක පහ කරනවා සසර ගමනට හේතු වෙන, ඒකයි කුසළ කියන්නේ.
{14:07} ආනෙඤ්ජාහි සංඛාර අරූප ලෝක වල ඉපදීමට හේතු වෙනවා කිවුවොත් වැරදියි! : (ශ්‍රාවක මහතෙක්): එතකොට ආනෙඤ්ජාභි සංඛාර කියන්නේ නැවත ඉපදීමක් පිණිස නොවන්නා වූ සංඛාර! ධර්මයේ යම් තැන් වල විග්‍රහ කරලා තියෙනවා ආනෙඤ්ජාභි සංඛාර කියලා කියන්නේ අරූපාවචර ලෝකයේ උප්පත්තිය ගෙනදෙන්නා වූ සංඛාර කියලා? (ස්වාමීන් වහන්සේ): එතකොට ආනෙඤ්ජාභි සංඛාර කියන සංඛාර තියෙනවා නම්, විඤ්ඤාණ ඇති වෙලා අරූප ලෝකේ උපදින්න එපැයි මහරහතන් වහන්සේ ? නෑ රහතන් වහන්සේලා, දැන් ආනෙඤ්ජාභි සංඛාර අරිහතුන් වහන්සේට තියෙනවා නේ! ආනෙඤ්ජාභි සංඛාර වලින් අරූප ලෝකේ උප්පත්තියට හේතු වෙන එකක් විතරක් නම් කියන්නේ, ඒකේදී අපිට කියන්න වෙනවා එහෙනම්, අරිහතුන් වහන්සේ අරූපාවචර සංඛාර ඉවර කරලා නෑ නේ! (ශ්‍රාවක මහතෙක්): එහෙමනම් එහෙම විග්‍රහ කරලා තියෙන්නේ මොකද? (ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි කියන්නේ, ඉතින් ඒ මොකද එතෙනදී පෙන්වන්නේ “අකම්ප්‍ය සංඛාරයක්“ කියන වචනය පෙන්වන්නයි ඕක පෙන්වුවේ. මොකද, මෙහෙමයි ඉතින්, ආනෙඤ්ජාභි සංඛාර කියන වචනයෙන් පෙන්වන්නේ “නැවත ජනිත කිරීමට හේතු නොවන“ කියන එකයි. ඒ සංඛාරයේ ස්වභාවය ඒකයි. දැන් ඔය, ලෝකයේ තිබෙනවා මෙන්න මෙහෙම දෙයක්. ඔය ආනෙඤ්ජාභි සංඛාර කියන වචනය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිරුක්ති ධර්මයයි, එතකොට ලෝක සම්මතයේ භාවිතාවයි දෙකක්. ලෝක සම්මතයේ එදා විමුක්තිය සැළසුනා කියලා හිතාගත්තේ අරූපාවචර බ්‍රහ්ම ලෝක වල ඉපදිච්ච අයට. ඒගොල්ලෝ නැවතත් මේ ලෝකේ උපදිනවා කියලා දැක්කේ නෑ, මොකද ලෞකික ඥාණයට දකින්න බෑ! ඒගොල්ලෝ විමුක්ති ස්ථානය හැටියට සැළකුවේ අරූපාවචරය. ඒ නිසා තමයි “නැවත ඉපදීමක් හට නොගන්නා තැන සංඛාර” කියන වචනය දැම්මේ ඒකට. ඒ ඒ බලාපොරොත්තුව ඒකේ තියෙනවා. අරූපාවචර සංඛාර වලට ඒ වචනය ගන්න හේතුව අන්න ඒකයි. මොකද, අරූපාවචර සංඛාර වලටයි ආනෙඤ්ජාභි සංඛාර කියන්නේ කියලා කියන්න හේතුව, නැවත ජනිත වීම බිහි නොකරන සංඛාරය කියන ආනෙඤ්ජාභි සංඛාර කියන වචනය භාවිත කළේ ඒකට ඒ බුදුරජාණන් වහන්සේ පහල වෙන්න ඉස්සෙල්ලා හිටපු අය දන්නේ නෑ ඒකේ උපන් අය නැවත මෙහෙ එන බව. (ශ්‍රාවක මහතෙක්): එතකොට ඒකටත් කියන්න ඕනේ පුඤ්ඤාභි සංඛාර කියල? (ස්වාමීන් වහන්සේ): ඔව්! ඇත්ත වශයෙන්ම ඒකත් පුඤ්ඤාභි සංඛාරයක්! එතකොට එතන තියෙන එක. එතකොට, මෙහෙම දෙයක් තියෙනවා, යම්කිසි පුද්ගලයෙක් ගේ ලෝක වල ඉපදීමේ දී අතහැරපු යමක් තියෙනවා, නැවත උප්පත්තියට හේතු නොවන සකස් කිරීම් තියෙනවා. අවිද්‍යා – තෘෂ්ණා දෙකෙන් තොර වුනාවූ යම්කිසි ආකාරයක “ඉහාත්ම සුඛ විහරණයට” භාවිත කරන යමක් තියෙනවා නම්, ඒ ඉහාත්ම සුඛ විහරණය අවිද්‍යා – තෘෂ්ණා දෙකෙන් තොරයි. ඒ නිසයි ඒක නැවත මතු ජනිත කරන්න හේතු නොවන සංඛාරයක් බවට හෙවත්, ආනෙඤ්ජාභි සංඛාරයක් බවට පත්වෙන්නේ. එතකොට, ඒ නිසා ඒකයි නියම ආනෙඤ්ජාභි සංඛාර! එතකොට, ලෝක සම්මතයේ ලෞකික යෝගීන් වඩන්නා වූ අරූපාවචරයෙන් ලැබෙන සංඛාරය පුඤ්ඤාභි සංඛාරයක්! ඒක ආනෙඤ්ජාභි සංඛාර කියලා ගත්තේ ඒගොල්ලන්ගේ තියෙන නොදැනීමටයි. එතකොට, ධර්මය තුළ විග්‍රහ කරලා තියෙනකොට විග්‍රහය තෝරාගන්න බැරිකම නිසයි එතන ඒකටත් අපි ගත්තේ මේ නැවත උපදින, මේ කියන්නේ ඒ ලෝකේ උපදින සංඛාර කියලා. එහෙම ගන්න ගිය ගමන්ම ආනෙඤ්ජාභි සංඛාර වඩන අරිහතුන් වහන්සේ සංඛාර නිරෝධ කරලා නෑ කියලා ගන්න වෙනවා එහෙම නම්! අරූපාවචරයේ උපදින සංඛාර වලට නම් ආනෙඤ්ජාභි සංඛාර කියන්නේ, අරිහතුන් වහන්සේ ගේ ආනෙඤ්ජාභි සංඛාර මොනවාද? එහෙනම්, ඒවායේත් අරූපාවචර වල උපදින්න එපැයි! ඒකේ තියෙන වෙනස මොකද්ද? අපි ඒක එතකොට දැකගන්න ඕනේ.
{17:23} ධර්මයේ වැරදුනු තැන් ඉදිරියේදී නිවැරදි වෙයි : අන්න ඒකයි කියන්නේ, මේ ධර්මය තුළ සියුම් තැන් හුඟාක් දුරට අපිට විග්‍රහ කරගන්න වෙලා තියෙනවා. ඔව්, ඇත්ත වශයෙන් හරි අමාරුයි මේ ධර්මය කියන්නේ අපි කොච්චර කිවුවත් මේ විග්‍රහයක් ගන්න තැනක් නම් මං හිතන්නේ නෑ කොහෙවත් තියෙයි කියලා. (ශ්‍රාවක මහතෙක්): විද්වතුන්, අට්ඨකථාචාරීන්, අටුවාචාරීන් වහන්සේලා ලියපු දේ එතකොට හුඟක් වැරදි තැන් තියෙනවා. (ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි කියන්නේ, ඉතින් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ම තියෙනවානේ, ධර්මයට ගැලපෙන්නේ නැද්ද, (ශ්‍රාවක මහතෙක්): ධර්මය පේන්නෙ ම නෑ, ඒත් ස්වාමීන් වහන්ස ඕවා අනාගතයේදී මතුවෙන… (ස්වාමීන් වහන්සේ): ඒකාන්තයෙන් මතුවෙනවා! ඔයිට වඩා තව ඉදිරියට හොඳ ලස්සනට මතු වෙලා එනවා, මේ දැන් විතරක් නෙමෙයි. අංග සම්පූර්ණව, මේවායේ මුල – අග අංග සම්පූර්ණව එකින් එක මතු කරලා දෙන්න පුලුවන් ශක්තියක් එනවා. ඕවා කොයි කාලේ ලියවෙච්චාද, කවදාද ලිවුවේ, කවුද ලිවුවේ, කොහෙද ලිවුවේ, කෝ සාක්කි, ඔක්කොමත් එක්කලා දෙන්න පුලුවන් කාලයක් අනාගතයේ එනවා. ඕවායේ ඔක්කෝම පුරාවිද්‍යා සාක්ෂි හිටං දෙන්න පුලුවන් අවස්ථා එනවා. (ශ්‍රාවක මහතෙක්): ස්වාමීන් වහන්ස, අපිට සංගායනාවක් කිරීමේ අවශ්‍යයතාවයක් තියෙනවා. (ස්වාමීන් වහන්සේ): ඉතින් වෙනවා ඉතින්, ඉදිරි කාලයකදී සමහර වෙලාවට ඉතින් අවශ්‍යය දේ සම්පූර්ණ කරන්න වෙනවා. ඉතින් ඔය ඇත්තවශයෙන් අපිට කරන්න පුලුවන් අවස්ථාවක් ගැන නෙමෙයි කියන්නේ. නමුත්, අපි දකිනවා ඉදිරි කාලයේ දී එදා හිටපු සිවුපිළිසිඹියා මහ රහතන් වහන්සේලා බිහි වෙන්න ඉඩ තියෙනවා. අන්න ඒ බිහි වුනාට පස්සේ අපිට ඔය ප්‍රශ්නය ඉවරයි, උන්වහන්සේලා ඒ ටික කරයි! අපි දන්නේ නෑ කොහොමද කියන එක. නමුත්, එහෙම වෙන්න ඉඩ තියෙන බව හොඳටම පේනවා. (ශ්‍රාවක මහතෙක්): ස්වාමීන් වහන්ස, මේ කියවපු පොත්-පත් ඔක්කෝම වැරදියි නේ එතකොට! (ස්වාමීන් වහන්සේ): ඇත්තවශයෙන් ම කරන්න දෙයක් නෑ, දැන් අපි කල්පණා කරලා බලන්න, දැන් අපි කොච්චර අහලා බැලුවත්… (ශ්‍රාවක මහතෙක්): මෛත්‍රී භාවනාව ගැනත් පොඩ්ඩක් කියන්න… (ස්වාමීන් වහන්සේ): දැන් මෛත්‍රී භාවනාව ගැන බැලුවොත්, ඔව් අපි තව පොඩ්ඩකින් ඒ ගැනත් විස්තරයක් කරමු, බොහොම වැදගත් ඒකත්.
{19:05} තථාගතයන් වහන්සේ වඩපු ආනාපානසතිය කරණීයමත්ත සූත්‍රයේ? : මෙන්න මෙහෙම දෙයක් තියෙනවා, ඔය ආනාපානසතිය ගැන කියනකොට දැනගන්න තියෙන වැදගත් දෙයක් තමයි, මෙන්න මෙහෙම වැදගත් කොටසක් තියෙනවා කාරණා දෙකක් තේරුම් ගන්න. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ තුන් මාසයක්, හය මාසයක්, ඔය වස් කාලේ තුන් මාසයක් ආදී වශයෙන්, “දානේ ගේන භික්ෂුව හැරෙන්න කිසි කෙනෙක් එන්න එපා මා හමුවෙන්න!” කියලා එක්තරා නියෝගයක් පණවලා ගිය අවස්ථා තියෙනවා. මෙන්න මෙහෙම හිටපු අවස්ථාවක දී ඒ තුන් මාසය, හය මාසය ඉක්ම ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂූණ් අමතලා කියනවා, “මහණෙනි, අන්‍ය පරිබ්‍රාජකයෝ ඔබලාගෙන් ඇහුවොත් භවත් ගෞතමයන් වහන්සේ කෙබඳු විහරණයකින් මේ ඉකුත් වස් කාලය වාසය කළාද කියාලා, ආනාපාන සතියෙන් වාසය කළා කියලා කියන්න. ඒ ආනාපානය මොකද්ද කියලා ඇහුවොත්, ඒකට අරිය විහාරය කියාත්, බ්‍රහ්ම විහාරය කියාත්, තථාගත විහාරය කියාත් කියනවා කියලා කියන්න“ <<ත්‍රිපිටක සූචිය අවශ්‍යයි>> මේ වැදගත් දේශනාවක්! ඒ ආනාපානසතිය කුමක්ද කියලා ඇහුවොත්, ඊට අරිය විහාරය කියාත්, බ්‍රහ්ම විහාරය කියාත්, තථාගත විහාරය කියාත් කියනවා කියලා උත්තර දෙන්න. හැබැයි ලෝක සම්මතයේ එකකුයි, සාසනයේ එකකුයි වෙනම තිබුණ බව පැහැදිලිව පෙනෙනවා නේද, ඒ කථාවෙන්ම? එහෙනම්, බුදුරජාණන් වහන්සේ වැඩූ ආනාපානසතිය කිවුවොත් ඒක මොකද්ද කියලා ඇහුවහම ඒකට කාරණා තුනක්, ඒ තුනම “අරිය විහාරය” නම් ආර්ය කියන්නේ බෞද්ධයි, බෞද්ධ මයි! “බ්‍රහ්ම විහාරය” කියන්නේ – බ්‍රහ්ම කියන්නේ බුදුරජාණන් වහන්සේට! තථාගතයන් වහන්සේ කියන්නෙත් බුදුරජාණන් වහන්සේට. එහෙනම්, තථාගතයන් වහන්සේගේ වාසයටම කිවුව නම් තුනක් තමයි ආයේ උන්වහන්සේ ආනාපානසතිය බහුල කොට වාසය කළා කියලා කියන්න, ඒක මොකද්ද කියලා ඇහුවොත්, “ඊට අරිය විහාරය කියාත්, බ්‍රහ්ම විහාරය කියාත්, තථාගත විහාරය කියාත්” කියනවා කියලා කියන්න. දැන් අපිට අරිය විහාරය හෝ බ්‍රහ්ම විහාරය හෝ තථාගත විහාරය හොයාගත්තොත් ත්‍රිපිටකයේ කොහෙන් හරි, ආනාපානසතිය අහු වෙනවා නේද? “බ්‍රහ්මමේතං විහාරං ඉධමාහු” කියලා කරණීය මත්ත සූත්‍රයේ කියනකොට, ලස්සනට කියනවා නේද මේකට බ්‍රහ්ම විහාරයයි කියනවා කියලා? මේකටයි බ්‍රහ්ම විහාරය කියන්නේ කියලා කරණීය මෙත්ත සූත්‍රයේදී අන්තිමට කියවෙනවා. “බ්‍රහ්මමේතං විහාරං ඉධමාහු!” – මෙන්න මේකට බ්‍රහ්ම විහාරය කියනවා. එහෙනම්, ආනාපානසතියෙන් වාසය කළා කියලා කියන්න තථාගතයන් වහන්සේ මේ වස් තුන් මාසය බහුල කොට වාසය කළා කියන්න, ඒක මොකද්ද ඇහුවහම අරිය විහාරය කියාත්, බ්‍රහ්ම විහාරය කියාත්, තථාගත විහාරය කියාත් ඒ ක්‍රමයට කියනවා කියලා කියන්න. දැන් බ්‍රහ්ම විහාරයත් අපි හොයා ගත්තා. එහෙනම්, කරණීය මත්ත සූත්‍රයේ තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ බහුල කොට වාසය කරපු ආනාපානසතිය! දැන් හොඳට පැහැදිලියි නේ? දැන් එතකොට බුදුරජාණන් වහන්සේ කර කර ඉඳලා තියෙන ආනාපානසතිය “බ්‍රහ්ම මේතං විහාරං ඉධමාහු” කියලා පෙන්වපු කරණීය මත්ත සූත්‍රයේ තියෙන්න ඕනේ! අපි ඔප්පු කරලා පෙන්වන්න ඕනේ ඒක ආනාපානසතියක් වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා.
{22:21} කරණීය මත්ත සූත්‍රයෙන් ආනාපානසතිය වඩන හැටි : එතකොට, හරිම වැදගත් හරියක් තමයි ඔතන ඔය කොටස අපි අරගන්න එක. දැන් ආනාපානසති භාවනාව ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවේදී මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. “ඉධ භික්ඛවේ භික්ඛු අරඤ්ඤගතෝවා, රුක්ඛ මූලගතෝවා, සුඤ්ඤාගාරගතෝවා, නිසීදති පල්ලංකං, උජුං කායං, පනිධාය පරිමුඛං, සතිං උපට්ඨපෙත්වා සෝ සතෝව අස්සසති, සතෝව පස්සසති…“ දැන් මෙහෙමයි පටන් ගන්නේ. දැන් මේ භික්ෂුව කායානුපස්සනාවෙන් වාසය කරනවා කියන්නේ කොහොමද කියලා ඕකේ පෙන්වනකොට, දැන් ඔතනින් පටන් ගත්ත ආනාපානසති භාවනාව කරන ආකාරය මුල පටන් ගත්ත හැටි. අරඤ්ඤ ගතෝවා, රුක්ඛ මූල ගතෝවා, සුඤ්ඤාගාර ගතෝවා – දැන් ඔය කාලෙදී ලෝක සම්මතයේ තිබිච්ච ප්‍රශ්න වලටත් පිළිතුරු දීගෙන තමයි ඔය විස්තරය දෙන්නේ. දැන් මිනිස්සුන්ගේ මතයක් තිබුණා “ආරණ්‍යගත වෙලා, රුක් මුල් ගතවෙලා, සුඤ්ඤාගාරගත වෙලායි මේ භාවනාව කරන්න ඕනේ” එබඳු මතයක් තමයි ලෝකේ තිබුණේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, “අරණ්‍යයකට ගියේ හෝ රුක් මුලකට ගියේ හෝ ශුන්‍යාගාරයකට ගියේ හෝ” – කොහේ ගියා හෝ කරන්න ඕනේ එකයි මේ පෙන්නුවේ. ඔතෙන්ට ගියාට හරියන්නේ නෑ, ඔන්න ඒකයි පෙන්නුවේ! “නිසීදති පල්ලංකං” – දැන් පලක් බැඳගෙන වාඩිවෙලා කියලායි අපිට අද පෙන්වන්නේ අර්ථය. මේ ආර්යය විනයේ “පල්ලංකය” කියලා කියන්නේ, “උච්ච අංකය” තමයි උච්ච මානය. මානයෙන් තමයි මනින්නේ, අංකය. “මං පළවැනියා, මෙයා දෙවැනියා..” ඔහොම මැන මැනා ඉන්නේ ලෝකේ තියෙන මාන්නක්කාරවරු. ඔය මාන්නක්කාරකම බිංදුවටම බස්සපුහාම “පල්ලංකයට” බැස්සෙවුවා! පහතම අංකය කියන්නේ “අනතිමානී“ කිවුව තැන, අන්න කරණීය මෙත්ත සූත්‍රයේ ආනාපානසතිය පෙන්වන්න ඕනේ “සුවචෝචස්ස මුදු අනතිමානි“ – අතිමානයට බැස්සහම පල්ලංකයට බැස්සා. එරමිණිය ගොතාගෙන ඉඳීම නෙමෙයි කියන්නේ, කොහොම හිටියා හරි අනතිමානීව ඉන්න ඕනේ! ඉස්සෙල්ලාම වෙන්න ඕනේ අන්න එතෙන්ට පත් වෙන එක. “උජුං කායං” කියනකොට කොඳුඇටපෙළ කෙලින් තියාගෙන කියලායි අපිට උගන්වන්නේ. “කායජ්ජුතුකා – චිත්තජ්ජුතුකා” කියලා මේ ධර්මයේ කායජ්ජුතුකාව හෙවත් කය සෘජු කරන හැටි පෙන්වලා තියෙනවා. ක්‍රියා කළාපය අවංක භාවයට පත් කරගත්තහමයි කායජ්ජුතුකා හැදෙන්නේ. “උජුං කායං” කියන්නේ “සක්කෝ උජූච සූජූච” – අන්න උජුං කායං කරන හැටි! සෘජු වෙන්න, මනා සේ සෘජු වෙන්න. මොනවාද? අවංක වෙන්න, මනා සේ අවංක වෙන්න. නිහතමානීව – අනතිමානී භාවයට පත්වෙලා, මනා සේ අවංක භාවයට පත් වුනහම උජුං කායං වෙලා ඉවරයි!
{25:07} ආනාපානසතියේ සතිය කියන්නේ ලෞකික සිහිය නෙමෙයි : “පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා” – පරිමුඛං සතිං, මොකද්ද අපි ප්‍රමුඛ කරගන්නේ මොකද්ද? පරිමුඛ කරගන්නවා කියන්නේ අපි ප්‍රමුඛ කරගන්නවා. සතිය ප්‍රමුඛ කරගන්නවා. ප්‍රමුඛ භාවයට පත් කරන්නේ මොකද්ද? සතිය කොහෙද පිහිටුවන්නේ? මේ බුද්ධ සාසනයේ පෙන්වපු සතිය – සම්මා සතිය මේ සාසනයෙන් බැහැර කොහෙවත් නෑ! මොකද්ද සතිය කියන්නේ? දැන් සතියත් ඔතන තෝරාගන්න ඕනේ. ඔය සතිය ප්‍රමුඛ කරලා පිහිටුවාගන්න, සතිය තෝරාගෙන ඉන්න ඕනේ. දැන් සතිය කියන්නේ මොකද්ද කියලා අහපුහාම කියන්නේ, “සතිය කියන්නේ හොඳ සිහියෙන් කටයුතු කරන්න, එතකොට සතිය. සිහි කල්පණාවෙන්, යනකොට යනවා කියලා යන්න, එනවා කියලා එන්න දැන් ඔහොම නේ කියන්නේ, ඉන්නවා කියලා ඉන්න. එතකොට, කරන කරන වැඩේ හොඳට සිහියෙන් කරන්න ඕනේ” කියලා කියන්නේ. හොඳයි, “සති” කියන්නේ – චෛතසිකයක් තියෙනවා සති චෛතසිකය. මේ සතිය කියන එක යෙදෙන්නේ කොහෙද? පිං හිතක පමණයි, කුසළ හිතක පමණයි! කුසළ හිතක සතිය යෙදෙනවා, අකුසල් හිතක සතිය යෙදෙන්නේ නෑ! මේක ධර්මයේ හොඳට පැහැදිලිව පෙන්වලා තියෙනවා, අභිධර්මයේ පෙන්වලා තියෙනවා. හොඳයි, අපි හිතමුකෝ සිහියෙන් කරන වැඩේ සතියෙන් කරනවා කියන්නේ සිහියෙන් කරනවා කියන එක නම්, අපි හිතමු මිනිහෙක් ඌරෙකුට තුවක්කුවක් බඳිනවා කැලේ ගිහිල්ලා, දඩයක්කාරයෙක්. හොඳට සිහි කල්පණාවෙන්නේ කරන්න ඕනේ. තමන්ට පත්තු වෙනවානේ නැත්නම්. තුවක්කුව ගෙනිහිල්ලා, නියම විදිහට බැඳලා, මරුවැල නියම විදිහට ඇදලා, බොහොම පරිස්සමින් මරුවැල ගැට ගහලා, ඒ මිනිහා බොහෝම පරිස්සමින් කරන්න ඕනේ වැඩක් තුවක්කු බඳින එක කැලේ. හොඳ සිහි-නුවණින්, සිහියෙන් කරන්න එපැයි, ඒක සිහියෙන් නොකළා නම් එහෙම ඒ මිනිහාට පත්තු වෙනවා. එහෙනම් අර හොඳ සිහියෙන් කරනවා කිවුවොත් එහෙම ඕකත් සිහියෙන් කරන එකක් වෙන්නේ නැද්ද? එතකොට සිහියෙන් කරන්න ගියොත් මේ පවු වැඩක් නේද කරන්නේ? එහෙනම්, පාප ක්‍රියාවලියකට සතිය යෙදෙනවාද? යෙදෙන්න බෑ! එහෙනම්, ඒකට සතිය යෙදෙන්න බෑ, සිහියෙන් කරනවා කියලා අද හිතන් ඉන්නේ මේ ලෝක සම්මත සිහිය නෙමෙයි ඔය කිවුවේ. ඔය තේරුම් ගන්න ඕනේ එකක්. ඔය සිහිය අබුද්ධෝත්පාද කාලෙත් තිබුණා. නමුත් බුද්ධෝත්පාද කාලයේ මේ බුද්ධ සාසනයේ පවතින සතිය අනිත් සාසනයක නැත්නම්, ඒ සතිය මොකද්ද? ඔන්න ඕක තෝරාගන්න ඕනේ. සතිය නැඟෙනවා – සත්‍යයෙන් නැඟෙනවා සතිය! සත්‍යයට අනුකූල වන්නා වූ යමක් වන්නේද, ඒක සතියයි! සත්‍යය මොකද්ද? මේ දුක යි කියලා දකින්න ඕනේ, මේ දුකට හේතුවයි කියලා දකින්න ඕනේ, මේ දුක්ඛ නිරොධයයි කියලා දකින්න ඕනේ, මේ දුක්ඛ නිරෝධ ගාමිණී මාර්ගයයි කියලා දකින්න ඕනේ. මෙන්න මේක දැකලා ඊට අනුකූලව තමන් කරන ක්‍රියා කලාපය ඊට අනුකූලව කරන්න දක්ෂ වුනොත්, අන්න එයාට සතියක් තියෙනවා! ඒකටයි සතිය කියන්නේ! මෙන්න මේක කුසළ හිතක යෙදෙන සතිය. සතිය තේරුම් ගන්න ඕනේ ඔය විදිහට. අන්න, සතිය මුදුන්පත් කරගෙන – මූඛ්‍ය කරගන්නවා කියන්නේ, නිවන මුල් කරගෙන, නිවනට අවශ්‍යය කරන ක්‍රියා කළාපය දැනගන්න ඕනේ ඉස්සෙල්ලාම. කුමක් කළොත් ද නිවන් දකින්නේ? කොහොම හිතුවොත්ද, කොහොම කිවුවොත්ද, කොහොම කළොත්ද නිවන් දකින්නේ? නිවනට හේතු වෙන්නේ මොන විදිහේ සිතුවිල්ලක්ද, මොන විදිහේ ක්‍රියාවක්ද, මොන විදිහේ කථාවක්ද? මෙන්න මේ කියන කාරණා ටික අවංකව, නිහතමානීව යම්කිසි පුද්ගලයෙක් තේරුම් අරගෙන ඉන්න ඕනේ ඔය භාවනාව කරන්න ඉස්සෙල්ලා. ඔන්න ඕකට කියනවා “පරිමුඛං සතිං උපට්ඨපෙත්වා!”
{28:25} දීර්ඝ අස්සාස – පස්සාස මුලින් කළ යුතුයි : “සෝ සතෝව අස්සසති” – ඔහු විසින් “සතියෙන්” ඇසුරු කරන්න ඕනේ. “සතෝව පස්සසති” – සතියෙන් පහ කර දමන්න ඕනේ. දැන් නිවනට හේතු වෙන ක්‍රියා කළාපය තේරුම් අරගෙන, ඒ ක්‍රියා කළාපයේ සතිය තේරුම් අරන්, නිවනට හේතු වෙන්නේ මෙහෙමයි කියලා තේරුම් අරන්, ඊට ඕනේ එක ඇසුරු කරමින්, ඊට විරුද්ධ දේ පහ කරමින් කටයුතු කිරීම ආරම්භ කරන්න ඕනේ. ඔන්න සෝ සතෝව අස්සසති – සතෝව පස්සසති. “දීඝංවා අස්සසන්තෝ දීඝං අස්සසානීති පජානාති” – දැන් මේක තෝරා ගන්න බුදුරජාණන් වහන්සේ දෙනවා මෙන්න මෙහෙම එකක්. කිළිටි හිත උපක්‍රමයෙන් පිරිසිදු කරගන්න උපමාවක් දුන්නා. හරියට, ගොමස්කඩ කුණු රෙද්දක් සුද්ධ – පවිත්‍ර කරලා, පිරිසිදු රෙද්දක් හදා ගන්නවා වාගේ! මේක කරන්න පුරුදු වෙන්න. මේ දුන්න හොඳ උපමාවක්. මෙන්න මේ උපමාවෙදී අපි දකින්න ඕනේ මේ උපමාව අපිට සංසන්දනය කරගෙන අපේ හිතට. මේ කිළිටි රෙද්ද අපේ මේ චිත්තාවලිය නම්, මේ චිත්තාවලිය තුළ අපි මේ සංසාරයේ පටන් හුරු පුරුදු කරගත්ත, මේ අත්බැවේ හුරු පුරුදු කරගත්ත නොයෙක් ලාමක අකුසළ දහම් තියෙනවා. අකුසළ ක්‍රියා කළාපයන් ගේ හුරුපුරුදු. මේ සමහර හුරු පුරුදු හරී ඝනීභවනයි, බොහොම තදයි, ලේසියෙන් ඇරගන්න බැහැ. හැබැයි ඒවා අපි ඇරගන්න ම ඕනේ. අන්න ඒ නිසා මොකද කරන්න ඕනේ? අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ අඩු–ලුහුඬු පුංචි–පුංචි ඒවා ඇරගන්න නෙමෙයි, දැඩිව බැඳිලා තියෙන මහා දරුණු ලෝභ – ද්වේෂ කුණු ගොඩවල් අයින් කරගන්න එක. “මට මෙහෙම රාගය හටගන්නවා, මෙහෙම ද්වේෂය හටගන්නවා, නැත්නම් මෙහෙම ලෝභය හටගන්නවා, මෙහෙම ද්වේෂය හටගන්නවා” කියලා අපිට මේක තේරෙනවා නම්, අපි හොඳ – මනා නුවණින් ඉඳලා “මට කෙබඳු කෙබඳු දෙයක් ඇසුරු කරනකොට රූප-ශබ්ද-ගන්ධ-රස-ඵොට්ටබ්බ-ධර්ම කියන මේවා ඇසුරු කරනකොට ලෝභය හටගන්නවාද? ඒක මට පාඩුවක්! එහෙනම්, ඉස්සෙල්ලාම මම මේ දැඩි ඒවා අයින් කරගන්න ඕනේ. ඒවා ලේසියෙන් අරින්න බැහැ. දීර්ඝ ලෙස දහම ඇසුරු කරන්න ඕනේ, ඒවායේ අනිච්ච-දුක්ඛ-අනත්ථ තාවය මෙනෙහි කරන්න ඕනේ!” අන්න, මෙනෙහි කරනකොට දීර්ඝ ලෙස ඇසුරු කරනවා. දීර්ඝ ලෙස ඇසුරු කරලා මේවා දීර්ඝ ලෙස, ක්‍රමක්‍රමයෙන් පහ කර දමන්න ඕනේ. එහෙනම්, දීඝංවා පස්සසන්තෝ – එක පාර අයින් කරන්න බෑ මේ ලෝභ කුණු ගොඩවල්, දේවේෂ කුණු ගොඩවල්. බොහෝම ඉවසිල්ලෙන් ඉඳගෙන, ක්‍රියාවට නැඟෙන්න ඉස්සෙල්ලා නවත්තාගෙන, අයින් කරගන්න ඕනේ.
{30:44} මුඛ්‍යය නිමිත්ත හා නාසිකග්ගය ලෝකෝත්තර අරුතින් තෝරා ගනිමු : මෙන්න මේ අයින් කරගන්නකොට, එක්තරා පැත්තකින් මේ ලෝකේ ක්‍රමයක් – එකක් තියෙනවා, මොකද්ද මේ ලෝක ක්‍රමය? “මුහුණ හදවත පෙන්වන කැඩපතක් බඳුයි!” කියලා අපි අහලා තියෙනවා. අපේ හදවතේ යම්කිසි සිතිවිල්ලක් නැඟෙනකොටම ඉස්සෙල්ලාම නැඟෙන්නේ මූණට! එහෙනම්, මේ “මුඛ පරිමණ්ඩලය“ ඇසුරු කරගෙන තමයි හටගන්නේ. දැන් ළමයෙකුට එකපාරටම අපි චොකලට් එකක් දෙන්න හදනවා, උදුරා ගන්නවා. ළමයා අඬන්න ඉස්සරවෙලා, කට ඇද කරලා, කජු ලෙල්ල වාගේ හදාගෙන, මූණ අකුලාගෙන ලැහැස්ති වෙනවා, ඊට පස්සේ අඬනවා, ක්‍රියාවට නඟන්නේ පස්සේ. අපිට තරහා යනවා, කාටහරි ගහන්න. ඉස්සෙල්ලා මූණට දැනිලා, කට ඇද වෙලා ගිහිල්ලා, මූණ රෞද්‍ර වෙලා ගිහිල්ලා තමයි ඊට පස්සේ තරහා ආපු ගමන්, ඉස්සෙල්ලාම හඟවනවා , සිතිවිල්ල හඟවනවා මුහුණේ! අපි මූණට හිත තියාගෙන ඉන්නකොට, අපේ මූණට අපි හිත තියාගෙන ඉන්නකොට, අපේ මූණේ ඉරියවු වෙනස් වෙන හැටි අපිට හොඳට පේනවා, ලෝභ – ද්වේෂ හිත් අනුව. අන්න, ලෝභ හිතක් එනකොටම ක්‍රියාවට, කථාවට නඟන්න ඉස්සෙල්ලා මුහුණට පිළිබිඹු වෙනවා දකිනවා හිතේ පිළිබිඹුව. මෙන්න මේ නිසා බොහෝම ලේසියි මේ “මුඛ පරිමණ්ඩලය” මුල් කරගෙන හිත පිහිටුවා ගත්තහාම ඔය ටිකට. ඉතින්, “මුඛ නිමිත්තේවා නාසිකග්ගේවා“ කියලා අටුවා වල විග්‍රහ වෙනවා ඔය දෙක. දැන් මුඛ නිමිත්තේවා, නාසිකග්ගේවා කියන වචනය කියනකොට, ඔතන කාරණා 2ක් තියෙනවා. එකක් පරමාර්ථ අර්ථය, අනික බාහිරෙන් පෙන්නුම් කරන සම්මත අර්ථය. පරමාර්ථ අර්ථයෙන් පෙන්වන ඒවා බාහිරට නිකුත් වෙන්නේ ආධ්‍යාත්මික මානසිකත්වයක් තුළින් බාහිර ගොඩනැඟිලා තියෙන ඒවා. ඒ නිසා මේ “නාසික අග්‍රය” කියන වචනය ගත්තහම, නාසිකග්ග කියන වචනයේ මේ නාසය ලඟට සම්බන්ධ වෙලා, බාහිර ලෝකයේ විද්‍යාමාන වෙනවා අභ්‍යන්තරයේ තිබුණාවූ ගතිලක්ෂණය. මෙන්න මේ නිසා, “න + ආසික + අග්ග” කියන වචනය තමයි නාසිකග්ග කියන්නේ. “ආශ්‍රය නොකිරීම අග්‍ර කරගන්න ඕනේ” – න + ආසික කියන්නේ, ආසික කියන්නේ ආශ්‍රය කිරීම. න + ආසික කියන්නේ ආශ්‍රය නොකිරීම. අපි මේ ඇසුරු කරමින් යන්නේ, ලෝකේ. දැන් අපි යන්නේ මොකටද? ඇසුරු නොකිරීම අග්‍ර කරගෙන. එහෙනම්, “නාසිකග්ග” කරගෙන යන්න ඕනේ! අපි හිත පිහිටුවාගන්න ඕනේ, ආශ්‍රය නොකිරීම අග්‍ර කරගෙන, මූඛ්‍යය නිමිත්ත වන නිවනට! මූඛ්‍යය නිමිත්ත මුඛ නිමිත්ත කිවුවේ, මූඛ්‍යය නිමිත්ත කියන්නේ ප්‍රධාන කරගත්ත නිමිත්ත. මූඛ්‍ය නිමිත්ත, බෞද්ධයාගේ මූඛ්‍යය නිමිත්ත නිවන! හැමවෙලේම නිවනට හිත පිහිටුවාගෙන, නිවන් මඟට හිත පිහිටුවාගන්න ඕනේ. එහෙනම්, මුඛ නිමිත්ත කියන්නේ මූඛ්‍යය නිමිත්ත හෙවත් නිවන! නිවනට හේතු වෙන මාර්ගය “න ආසික අග්‍ර” කරගත්තා කියන්නේ ඇසුරු නොකිරීමේ පැත්ත අග්‍ර කරගත්තා. එහෙනම්, මුඛ නිමිත්ත හෝ නාසිකග්ගයේ හිත පිහිටුවාගන්න කිවුවේ ඔන්න ඕකටයි. නිවනට හිත පිහිටුවාගන්න, නිවන් මඟට හිත පිහිටුවාගෙන, නිතරම හොඳ හෝදිසියකින්, මනා සිහියකින් ඉන්න. “මං මේ කරන – කියන – හිතන දේවල් නිවනට හේතු වෙනවාද? නිවන් මඟ වැඩෙනවාද? ඒකට හේතු වෙනවාද?” මෙන්න මේකෙන් ඉන්න කියලා කිවුවේ ඔන්න ඔය ටිකට!
{33:47} දීඝං, රස්සං, සබ්බකාය පටිසංවේදී, පස්සසිස්සාමීති මොනවාද මේ? : මෙන්න මෙහෙම ඉඳලා තමයි ඇසුරට ගන්නෙයි, පහ කරන්නෙයි. දැන් දීර්ඝ ලෙස ඇසුරු කරන්න වෙනවා දහම. අනිච්ච, දුක්ඛ, අනත්ථ වශයෙන් මෙනෙහි කරන්න වෙනවා. අර මහා දැඩි ලෝභයෙන් අල්ලාගත්ත, ද්වේෂයෙන් ගැටි-ගැටී ඉන්න යම්කිසි සිතක් අපිලඟ තියෙනවා නම් අපේ මානසිකත්වය තුළ, ඒ කුණුගොඩ ඉස්සෙල්ලා සුද්ධ කරගන්න ඕනේ. අන්න ඒ ලොකු කුණු ගොඩ ලේසියෙන් සුද්ධ කරන්න බෑ! එයා දීර්ඝ ලෙස මේක කරගෙන යන්න ඕනේ. ඔහොම ටික කාලයක් කරගෙන යන්කොට අර දීර්ඝ කුණු ගොඩ කැපිලා යනවා. ඊට පස්සේ තියෙන්නේ කෙටි ඒවා. “රස්සංවා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති – රස්සං පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති” අන්න, අනුපූර්ව සික්ඛාවේ යන්නේ මේ. අනුපූර්ව යන්න ඕනේ. එකපාර පුංචි ඒවා කපන්න බෑ! ලොකුවා කපාගෙන ඉවරවෙලා ඊට පස්සේ තියෙන ඒවා කපාගන්න ආන්න ඊට පස්සෙයි වැටහෙන්නේ, පොඩි කුණු. පොඩි පොඩි ලෝභ – ද්වේෂ කෑලි පවා අහු වෙනවා එතකොට. ඒවා කෙටියෙන් ම කපාහරින්න පුලුවන් දැන්. ලොකු හරියයි අමාරු වෙන්නේ. අන්න, පහුවෙන්න පහුවෙන්න මේක ඔහොම ඇරෙනකොට කෙටියෙන් ම කපා හරින්න පුලුවන්, එවෙලේ – එවෙලේ එන ක්ෂණික කෝප කෑලි, පොඩි පොඩි රාග කෑලි, එනකොටම කපාහරින්න ලේසියි! අනිච්ච, දුක්ඛ, අනත්ථ නිස්සාරත්වයක් නේ, මොනවාට අල්ලන්නද? හරයක් නෑ නේ! අන්න, වටහාගෙන වටහාගෙන සිහියෙන් ඉන්නකොට, මනා සිහියෙන් යුතුව ඔය ටික කරගෙන යනවා. දැන් මේක තමයි පටන්ගැන්ම – “රස්සංවා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති, රස්සංවා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති“ එතකොට, අන්න අපි දැන් “සබ්බ කාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති“ – මේ සබ්බ කාය, සබ්බ කාය තෝරා ගන්න ඕනේ. චක්ඛු කාය, සෝත කාය, ඝාන කාය, ජිව්හා කාය, කාය කාය, මනෝ කාය, රූප කාය, සද්ද කාය, ගන්ධ කාය, රස කාය, පොට්ටබ්බ කාය, ධර්ම කාය කියන මෙන්න මේවා ඔක්කෝම සබ්බ කාය! මේ සියලු හුස්ම සමූහය නෙමෙයි මේ කියන්නේ! ඔන්න සබ්බ කාය. මේවා තමයි මේ ඇසුරු කරන්නේ. ඇස-කන-දිව-නාසය-සරීරය-මන-රූප-සබ්ද-ගන්ධ-රස-ස්ඵර්ශ-ධර්ම මෙන්න සබ්බ කාය. “පටිසංවේදී” – ඒවායේ බැඳෙනවා, පටි කියන්නේ බැඳෙනවාට. සංයෝජනයේ බැඳිලා ඉන්නවා. සංවේදනය විඳිනවා අපි. අන්න ඒක දකින්න ඕනේ අපි. දැකලා එහෙනම්, මේ සංවේදී භාවය හෙවත්, මේවායේ – මේවාට බැඳිලා අපි වින්දනය කරන බවක් තියෙනව නම්, මෙන්න මේක මනා සේ දැනගන්න ඕනේ, ඇසුරු කරනකොට. “මෙන්න මේකයි අර මං ඇසුරු කරන්නේ, මේවා කපා හරින්නයි!” යමක ඇස-කන-දිව-නාසය-ශරීරය-මන කියන ඒවාත්, රූප-ශබ්ද-ගන්ධ-රස-ස්ඵර්ශ-ධර්ම කියන මේවාත් කෙරෙහි මගේ චන්ද රාගයක් බැඳෙනවාද, රැඳෙනවාද? අන්න ඒවා බලා ඉන්දැද්දී කියනවා “පටිසංවේදීත්වය” දැකලා, මං මෙන්න මේක නැති කරගන්නයි මේ දහම් ආස්වාසය කරන්නේ. අනිච්ච, දුක්ඛ, අනත්ථ වශයෙන් බලන්නේ ඒකටයි කියලා දැනගන්න ඕනේ. ඒ දැනගෙන හික්මෙන්න ඕනේ. දැනගෙන ඉවරවෙලා, ඒවා පහ කිරීමටයි මං මේ කටයුතු කරන්නේ කියලා හික්මෙන්න ඕනේ, “සබ්බකාය පටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති”
{36:23} කායානුපස්සනාව කියලා හරියටම කියන්නේ මොකක්ද? : “ඵස්සං භයං කායසංඛාරං” මේ ඵස්සම්භය කරනවා කියන්නේ මේ පහ කර දමනවා, මේ කාය සංඛාර. දැන් මේක වැඩක් නෑ කියලා දැනගත්තහාම ඒ පිළිබඳ කරන්නාවූ කටයුතු වලින් අහක් වෙලා හික්මෙණවා. ඒ නිසා, ඒ සඳහා යම් කටයුත්තක් මම කරනවාද, ඒක වැරදියි! මම ඒ කටයුත්ත අතහැරිය යුතුයි, නොඇලිය යුතුයි, මිදිය යුතුයි! කියලා හික්මෙන්න ඕනේ. ඒ සඳහායි මං මේ දහම ඇසුරු කරන්නේ කියලා හික්මෙන්න ඕනේ. මෙන්න මේකට කියනවා “ඵස්සං භයං කායසාංඛාරං අස්සසිස්සාමීති සික්ඛති, ඵස්සං භයං කායසංඛාරං පස්සසිස්සාමීති සික්ඛති!” මේ ශික්ෂණය වෙන හැටි. එතකොට, “යාවදේව ඥාණ මත්ථාය පතිස්සති මත්ථාය“ – මෙහෙම කරනකොටයි ඥාණය මුදුන්පත් වෙන්නේ, සතිය මුදුන්පත් වෙන්නේ! “අනිස්සිතෝච විහරති“ – ලෝකයේ නිශ්‍රයෙන් තොරව වාසය කරනවා. “නච කිංචි ලෝකේ උපාධියති“ – ආත්මාදී වශයෙන් ලෝකේ කිසිම දෙයක් අල්ලන්නේ නෑ! එතකොට, “ඒවම්පි භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති“ – එයා කායානුපස්සනාවෙන් වාසය කරනවා. මේ කායානුපස්සනාව! කොච්චර ලස්සනට, පැහැදිලිව, නිවන් මඟට මුල් කරලා තියෙන එකක්ද? ඉතින්, ඔය කියන ඇලීම, ගැටීම, මුලාවට පත්වෙන මාර්ගය හොයන්නේත් නැතුව, බලන්නේත් නැතුව, ඔය කොහාට හරි වෙලා පැය ගාණක් හුස්ම ඇද ඇදා හිටියොත් ඒ පුද්ගලයා කොහොමද ඔය ප්‍රතිඵලය ලබන්නේ? දැන් මේක නිවන් මඟක් ද, ඒක නිවන් මඟක් ද කියලා දැන් පැහැදිලිව පේනවා නේ! හොඳට පැහැදිලියි, මේ මඟ ගියොත් නිවන් දකිනවා කියන එක. ඥාණය මුදුන්පත් වෙනවා, සතිය මුදුන්පත් වෙනවා, අවසිහි කාරයෝ වෙන්නේ නෑ! නමුත්, ඔය දැන් ඔය කරන කට්ටිය අවසිහි කාරයෝ වෙන්නේ නැද්ද? තිබ්බ දේ තිබ්බ තැන මතක නෑ, යන ගමන මතක නෑ, කරන කියන දේ මතක නෑ, මොකද? “එකක්වත් අරමුණු හිතන්න එපා!” එහෙම එකක් දෙනවා. බුදුරජාණන් වහන්සේ එහෙම දේශනාවක් කළේ නෑ නේ! “යමක් යමක් නිසා රාගය හටගන්නවාද, ද්වේෂය හටගන්නවාද, මෝහය හටගන්නවාද, ඒ ඒ දේ අත්හරින්න!” බුදුරජාණන් වහන්සේ සියල්ල අත්හරින්න දේශනා කළේ නෑ! “යම් යම් තැනක චන්ද රාගයෙන් බැඳෙනවාද, අන්න ඒක අයින් කරගන්න” එතකොට එයාට හිතිවිලි අයින් කරලා නෑ, ක්‍රියා අයින් කරලාත් නෑ, කතා අයින් කරලාත් නෑ! මේ ලෝකේ වැඩිපුරම හිතලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ, වැඩිපුරම කියලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ, වැඩිපුරම කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ! උන්වහන්සේ තරම් හිතපු, කියපු, කරපු කෙනෙක් ලෝකේ නෑ! දික් කළ අතක් වක් කළ සැණින් බඹ ලොවටත් ගිහිල්ලා එන්න පුලුවන්. සක්වළ වටේ ඕන්නම් සක්වළ වටේ යන්නත් පුලුවන්, මනෝමය සෘද්ධියේ යන්නත් පුලුවන්. එහෙනම්, ක්‍රියාකාරීත්වය වැඩියෙන්ම තියෙන්නේ බුදුරජාණන් වහන්සේට. එක්කෙනෙක් වචනයක් කතා කරනකොට වචන 512ක වේගයෙන් කතා කරන්න පුලුවන් ශක්ති විශේෂයක් තියෙනවා. වැඩිපුරම කථාකරන්න පුලුවන්කම තිබුණේ බුදුරජාණන් වහන්සේට. එක්කෙනෙක් යමක් හිතනවා නම්, මිනිහෙකුට කොහොමටවත් හිතාගන්න බැරි, අසීමිත සර්වඥතා ඥාණයෙන්, අනාවරණ ඥාණයෙන් අනන්ත දේවල් හිතනවා. හිතලා කියන්න පුලුවන්. එහෙනම්, වැඩිපුරම හිතලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. නමුත්, අද කියන්නේ “හිතීමයි, කිරීමයි, කීමයි අත්හැරපුහාම නිවන් දකිනවා“, බුදුරජාණන් වහන්සේ හිතීමයි, කීමයි, ක්‍රියාවයි තුළින් උපරිමයට ගිහිල්ලා සර්වඥතා ඥාණයෙන් වැඩ හිටියා. එහෙනම්, එතකොට අපිට මොකද්ද කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “හිතන කියන කරන ඒවායේ චන්දරාගය දුරු කරන්න, නිස්සාර බව දැනගෙන, අවශ්‍යයතාවයට ප්‍රයෝජන ගන්න“ අවශ්‍යයතාවය මොකද්ද? ලෝකයාට ධර්ම දේශනා කරන්න ඕනේ, යමක ඇත්ත – නැත්ත කියලා දෙන්න ඕනේ, සියුම් තැන් විග්‍රහ කරලා දෙන්න ඕනේ, හොඳ ඥාණයක් මෙහෙයවන්න ඕනේ, ඒවා කරන්න ඕනේ. හැබැයි එකක් දැනගන්න, ඒ පිළිබඳ යම් නුවණක් ඇත්ද, ඒකත් කැමති සේ නෑ! ඒකත් අනිච්චයි! ඒක තේරුම් අරන් ඉන්න. ඒක 77ක් ඥාණ දර්ශන වලින් එකක් වූ ඒ ඥාණය පිළිබඳවත් හිත බඳින්න එපා කිවුවේ අන්න ඒකයි, මෙන්න මේ ටිකයි දැනගන්න ඕනේ එකින් එකට.
{39:34} සතර සතිපට්ඨානයේම සහ කරණීය මත්ත සූත්‍රයේත් ආනාපානසතිය තියෙනවා : දැන් ඔය තියෙන්නේ කායානුපස්සනාවේ කොටස. “කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ සතර සතිපට්ඨානයම ආනාපානසතියට අඩංගුයි” කියලා මජ්ජිම නිකායේ දේශනා කරනවා <<ත්‍රිපිටක සූචිය අවශ්‍යයි>> වෙන් කරලාත් පෙන්වලා තියෙනවා මෙන්න මෙතෙන්ට වෙනකන් කායානුපස්සනාව, මෙතෙන්ට වෙනකන් වේදනානුපස්සනාව, මෙතෙන්ට වෙනකන් චිත්තානුපස්සනාව, මෙතෙන්ට වෙනකන් ධම්මානුපස්සනාව කියලා. ඔය ඔක්කෝම ආනාපානසතියට විග්‍රහ කරලා තියෙනවා – හතරම! එහෙනම්, ආනාපානසතිය යන යමක් ඇත්ද, සතර සතිපට්ඨානයත් ඒක! එහෙනම්, ආර්ය අෂ්ඨාංගික මාර්ගයත් ඒක, සප්ත බොජ්ජංගයත් ඒකේ, විජ්ජා විමුක්ති ඵලය ලබා දෙන්නෙත් ඒකෙන්. ඔක්කෝටම ඔය භාවනාව තියෙනවා. ඔය හුඟාක් විග්‍රහයක් තියෙනවා. මං ඉතා කෙටියෙන් කළේ. ඕක වෙනම විග්‍රහයක් ගන්න ඕනේ ආනාපානසතිය පිළිබඳ සම්පූර්ණ විග්‍රහයක් මම පස්සේ වෙලාවක දෙන්නම්, හුඟාක් වෙලාව ගන්න නිසා. ඉතාම කෙටියෙන් ආනාපානසති භාවනාව මොකද්ද කියන එක පෙන්වන්නයි ඔය ටික කිවුවේ. එතකොට, දැන් ඕකම තමයි කරණීය මත්ත සූත්‍රයෙන් කෙරෙන්නේ. “කරණීය මෙත්ත සූත්‍රය” නෙමෙයි වචනය, “කරණීය මත්ත සූත්‍රය“! ඕක මෙත් කරන්න තියෙන සූත්‍රයක් නෙමෙයි, “කරණීයම අත්ථ” – කරණීයම + අත්ථ – කරණීය මත්ත. තමා විසින් කළ යුතුම දේ කුමක්ද කියන එකයි. ශාන්ත පද නම් වූ නිවනට පැමිණීම සඳහා තමා විසින් කළ යුතුම වැඩපිළිවෙල මොකද්ද? – කරණීය මත්ත කුසලේන යංතං සංතං පදං අභිසමෙච්ච, සාන්ත පද නම් වූ නිවනට පැමිණීම සඳහා කළ යුතුම දේ කුමක්ද? මෙන්න බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් නඟලා ඕකට උත්තරේ දෙනවා. “සක්කෝ“ – සක්කයෙක් වෙන්න, දැන් ඕකට අපි කියන්නේ දක්ෂයෙක් වෙන්න. දැන් ක්‍රිකට් ගහන එක්කෙනා දක්ෂයෙක් නේද? ලෝකේ කුසලාන එහෙම අරන් ඉන්නේ. දුවලා පැනලාත් ගන්නේ දක්ෂයෝ නේ! දක්ෂයෙක් වෙලා නිවන් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑ! සක්කයෙක් වෙලා නිවන් දකින්න කියලා දේශනා කළා. “සක්ක” කියන්නේ මොකද? සුද්ධවන්තයා, සකා කියන්නේ සක්ක. සුද්ධවන්තව වැඩ කරන කෙනෙක් වෙන්න ඕනේ. අපිරිසිඳු චරිතයක් නැති වෙන්න ඕනේ ඉස්සෙල්ලාම. ශුද්ධ චරිතයක් ඇත්තෙක් වෙන්න ඕනේ, “සැකසුම් සහගත” වැඩ කරන කෙනෙක් වෙන්න ඕනේ. සක්‍ර දෙවියන්ට සක්ක කියනවා, ඇයි සක්ක කියන්නේ? සැකසුම් සහගතව, සුද්ධවන්තව වැඩ කරපු නිසා සක්‍ර දෙවියන්ට සක්ක කියන නම ආවා කියලා දේශනා කරනවා. මෙන්න, අපිත් සක්කයෙක් වෙන්න ඕනේ. එහෙනම්, සුද්ධ වැඩ කරන්න ඕනේ. සුද්ධ විදිහට කතා කරන්න ඕනේ, ක්‍රියා කරන්න ඕනේ, සුද්ධ විදිහට හිතන්න ඕනේ. මෙන්න, ඉස්සෙල්ලාම අවශ්‍යය දේ. අශුද්ධ විදිහට හිතන, කියන, කරන කෙනාට නිවන් මඟ වැහෙනවා. ඒ නිසා පළමුවම හොඳ මනා සිහියකින් ඉඳලා සුද්ධවන්තයෙක් වෙන්න, සක්කයෙක් වෙන්න.
{42:05} කරණීය මත්ත සූත්‍රයේ දහම් අරුත් දැනගනිමු : “උජූච“ – අවංක වෙන්න. “සූජූච“ – මනා සේ, “සූ” කියන්නේ කියන්නේ තමන්ගේ හිත. හිත සෘජු කරගන්න. කය, වචන සෘජු කරගත්තා සේම හිතත් සෘජු කරගත්තාම සූජූචයි. කය-වචනය සෘජු කරගත්තහාම උජූචයි. “උජූච, සූජූච”! “සුවච“ වෙන්න, සුවච කියන්නේ? යම් වචනයක් සුව එළවනවාද, ආං ඒක භාවිත කරන්න. එහෙනම්, මොකද්ද සුවච තේරුම? බුදුපියාණන් වහන්සේ දේශනා කරපු අනිච්චයි, දුක්ඛයි, අනත්ථයි කියන මෙන්න මෙතනයි සුවචය! ඔන්න ඔය සුවචයට පත් වෙන්න. “මුදු“ – මෘදු වෙන්න. සැඩ ගතියට පත්වෙලා බෑ කරන්න, ඕන එකකට නැමෙන්න ඕනේ. ඉවසීමෙන් යුක්ත වෙන්න ඕනේ. මුදු – මොලොක් ගති ලක්ෂණ එන්න ඕනේ. “අනතිමානි“ – අති මාන – මාන ඇත්තෙක් වෙන්න එපා! අන්න අර අපි අර ඉස්සෙල්ලා පෙන්නපු “නිසීදති පල්ලංකං“ කියන එකට ආපු හැටි. ඔය කියපු කාරණා ටික තමයි ඔතන – “නිසීදති පල්ලංකං, උජුං කායං පණිධාය, පරිමුඛං සතිං උපට්ඨපෙත්වා“ කිවුව ටික, ඔය ටිකේ කියවිලා තියෙනවා. එතකොට මොකද කරන්නේ? අන්න එතෙන්ට පත්වෙච්ච කෙනා ඇසුරු කළ යුතු දහමක් තියෙනවා. දැන් ඉස්සෙල්ලා බණ අහපු කෙනාටයි භාවනාව! බණ අහපු නැති කෙනාට භාවනාව බුදුරජාණන් වහන්සේ කරලා නෑ. දස්සනේන පහාතබ්බ ඉස්සෙල්ලා දර්ශනය ලබාගන්න, භාවනාවේන පහාතබ්බ කියලා භාවනාවෙන් පහ කරන කොටස ඊලඟට කරන්න. භාවනාවෙන් පහ කරන්නේ මොකද්ද? අභිජ්ජා – දෝමනස්ස හෙවත් ඇලීම් – ගැටීම් දෙක. ඒක පහ කරන්නයි භාවනාව කරන්නේ. දැන් ඒකට පත් වෙනකොට, සුවචෝචස්ස මුදු අනතිමානි, “සංතුස්සකෝච“ – අනිකේ තියෙනවා. “සං” කියන්නේ සංතානය, හෙවත් අපේ චිත්ත ස්වභාවය, චිත්ත සංතානය. තුටු වෙන්නේ මොකෙන්ද? තුටු කරන්න බෑ කවදාවත්, පාපයක් කරගෙන පාපය සිහි කරලා. වරදක් නැති බවම සිහි කරන්න ඕනේ. තමාගේ සීල ගුණය, ශික්ෂණය වෙච්චි එක සිහි කරන්න, තමාගේ ශුද්ධතාවය සිහි කරන්න. මෙන්න මේක සිහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ආර්යය විනයේ භාවනාව ඔන්න ඕකයි, පළවෙනි භාවනාව! තමාගේ චිත්ත පාරිශුද්ධිය සිහි කරන්න, සීල පාරිශුද්ධිය. සීලය කියලා කියන්නේ “සංවරට්ඨේන සීලං“ – මේ තමන්ගේ පත්වෙලා තියෙන සංවරත්වය. තමාගේ – “මගේ මෙබඳු වැරදි නෑ! මගේ ක්‍රියා කළාපයේ වැරදි නෑ! කතා විලාසයේ වැරදි නෑ! කෙනෙකුට පහර ගහන ඒවා නෙමෙයි. කෙනෙකුට රිදවන්නේ නෑ! හිංගි – හිංසා නෑ! දස අකුසලයට හේතු වෙන ක්‍රියා කළාපයන් මං ලඟ නෑ, කතා විලාසයක් නෑ! මගේ හිතිවිලි වත් මං ඒවාට පහල කරන්නේ නෑ! කොච්චර සුද්ධ ද මා තුළ!” අන්න ඒක සිහි කරන්න කියලා පෙන්වනවා. මෙන්න මේක සිහි කරනකොට මොකද වෙන්නේ? අන්න එතකොට තමයි “සංතුස්සකෝච” වෙන්නේ අන්න එතකොට.
{44:24} කරණීය මත්ත සූත්‍රය නිවන් මඟට අත්පොතයි : දැන් එතකොට එයාට එක දෙයක් වෙනවා. යමක් නිසා ලෝභය හටගන්නවාද, ද්වේෂය හටගන්නවාද, මෝහය හටගන්නවාද, මට ඒවා වැඩක් නෑ! ඒවා ඔක්කෝම බැහැර කරනවා. බැහැර කරන්න ඕනේ වුනාට පස්සේ මොකද වෙන්නේ? “සුභර“ වෙනවා. දරණ බර මොකද්ද? නිවනට හේතු වෙන, සත්‍යයට හේතු වෙන බර විතරයි දරන්නේ. අන්න සුභර වීම. එතකොට, සංතුස්සකෝච සුභරෝච “අප්පකිච්චෝච” – දැන් කටයුතු කළානම් බහු කටයුතු, ලෝභ ද්වේෂ මෝහ කටයුතු එකක්වත් නෑ. දැන් අල්ප වන්නා වූ, ධර්මයට ගැලපෙන්නාවූ කටයුතු වලට පමණක් ඔහු සීමා වෙලා ඉන්නවා. “සල්ලහුක“ – දැන් එතකොට හිතේ තිබෙන ගතිය මොකද්ද? සැහැල්ලු ගති ලක්ෂණයෙන්, වෘතයෙන් යුක්තයි. එහෙනම්, ඕකට කියනවා “පස්සද්ධියට“ පත් වෙනවා – “පීති මනස්ස කායෝ පස්සද්ධති“ අන්න එතෙන්ට ආවා. “පස්සද්ධ කායෝ සුඛං දේති, සුඛිනෝ සමාධියති“ – මේ සමාධි මාර්ගයට යන්න යන්නේ. ඔන්න ඔතෙන්ට ආපුහාම කියනවා සල්ලහුක වුත්ති. “සංතින්ද්‍රියෝච නිපකෝච“ – සංතින්ද්‍රියෝච – සාන්ත ඉන්ද්‍රිය ඇති කරගන්නවා, ඉන්ද්‍රිය සංසුන් බවට පත් වෙනවා. “නිපක“ – පාක කියන්නේ පැහෙනවා. පැහීමේ පැත්තට යනවා නම් “විපාක” වෙනවා. විපාක – නිපාක කරන්න! පැහෙන පැත්තට හෙවත්, මතු විපාක හටගන්න සසර ගමනට හේතු වන්නාවූ, විපාක හටගන්න ඒවායින් වෙන් වෙලා ඉන්න. අන්න එතකොට නිපක භාවයට පත් වෙනවා. එතකොට, සංතින්ද්‍රියෝච නිපකෝච “අප්පගබ්බෝ“ – ගැබ් කරගන්න ඒවා අල්ප කරන්න. අපි මේ බහු ගබ්බ වෙලා ඉන්නේ, මේ ලෝකේ කෙළවරක් නැති ඒවා අල්ලාගෙන, ලෝභ ද්වේෂ මෝහයන් ගැබ් කරගෙන. ඒවා අහක් කරපුහාම අප්පගබ්බයි. “කුලේසු අනනුගිද්ධෝ“ – මේ අනුකූල වෙන්න යන්න එපා මේ ලෝකේ තියෙන ඒවාට, ඒවායින් ඉවත් වෙන්න. ලෝකයට අනුකූල වෙන්නේ නැතුව ධර්මයට අනුකූල වෙන්න. අන්න එතකොට, “නච ඛුද්දං සමාචරේ“ – ක්ෂුද්‍ර වූ අසමාචාරයක් කරන්න එපා. කුඩා වූ හෝ වරදක් කරන්න එපා කියලා ඕකට කියන්නේ. “කුඩා වූ හෝ වරදක් නොකෙරෙන්නේ කාගෙන්ද?” අහපුහාම, තථාගතයන් වහන්සේගෙන් පමණයි කියලා දේශනා කරනවා. එහෙනම්, අරිහතුන් වහන්සේගෙන් නොකෙරෙන දෙයක් අනික් මිනිහෙකුට කරන්න පුලුවන්ද? කුඩා වූ හෝ වරදක් නොකර ඉන්න? ක්ෂුද්‍ර වූ හෝ අසමාචාරයක් කරන්න එපා, ඥාණවන්තයෝ අපවාද කරන – නච ඛුද්ධං සමාචරේ කියන්නේ “නච ඛුද්ධං අසමාචරේ” – නච ඛුද්ධං සමාචරේ කියන වචනේ සකස් වෙන්නේ එහෙමයි. ක්ෂුද්‍ර වූ අසමාචාරයක් කරන්න එපා. “කිංචි“ – කෙසේද, “යේන විඤ්ඤූපරේ උපවදෙය්‍යුං“ – ඥාණවන්ත වූ අන්‍යයෝ විසින් කරන්නා වූ උපවාදයට කරන්නාවූ දෙයක් කරන්න එපා!
{46:49} නිවන නම් එකම සුවය සැමට ලැබේවා! යන්න අරිය මෙතයි : මෙන්න මෙතෙන්ට වෙනකන් ශුද්ධ වෙලා එන්න ඕනේ, බණ අහලා, අනිච්ච – දුක්ඛ – අනත්ථ තේරුම් ගත්ත කෙනා. එයා දන්නවා නිවන් මඟ, නිවන දන්නවා. නිවනින් මෙපිට සත්ත්වයාට සුවයක් නෑ කියලා දැකලා ඉවරයි. එහෙනම්, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “නිවන හෝ නිවන් මඟ හැර, තපෝ ගුණය හැර, බොජ්ජංග ධර්ම හැර ලෝක සත්ත්වයාට තවත් සුවයක් මම නොදකිමි!” අන්න සුවය දැක්ක කෙනා. එහෙනම්, මොකද්ද එකම සුවය? නිවන් සුවය හැර, නිවන් මඟෙහි ලබන්නා වූ නිවන් මඟ ලැබෙන සුවය හැර තවත් සුවයක් ලෝක සත්ත්වයාට නෑ! කියලා දැක්ක කෙනා තමයි මේ භාවනාවට පටන්ගෙන, “සුඛිනෝවා“ කියන්නේ. ඔන්න සත්ත්වයාට පතන සුඛය! අද සුඛය පතන්නේ මොකද්ද? “කාලා බීලා සැප සම්පත් ලබාගෙන ඉන්න ලැබේවා!” එතකොට යන්නේ ම කොයි පැත්තටද? මාරයාගේ පැත්තේ එකක් නේද ඒක? මේ ලෝකේ කාලා බීලා, සැප සම්පත් විඳගෙන ඉන්න ලෝකේ කෙනෙකුට පතනවා නම්, මාරයාගේ පැතුම ඕක නේ! බුදුරජාණන් වහන්සේ මාරයාගේ පැතුම පතන්නද දේශනා කළේ? නෑ! බුදුරජාණන් වහන්සේ සුඛයක් පෙන්නුවා. “තපෝ ගුණය හැර, නිවන හැර, ලෝකයාට තවත් සුවයක් මම නොදකිම්!” අන්න බුදුරජාණන් වහන්සේ දැක්ක සුවය, පනවපු සුවය. ඔන්න ඔය සුවය පතන්න. අන්න, ආර්යයන් විසින් පතන්නාවූ මෛත්‍රිය! ඔන්න, “ආර්යය මෛත්‍රිය” කියන්නේ ඕකටයි! “ඛේමිනෝ හොන්තු“ – භය නැත්තෝ වෙත්වා කියලා අද මොකද්ද කරන්නේ? භයක් නැතුව, හොර භයක් නැතුව, හතුරු භයක් නැතුව, හොඳට සැප සම්පත් විඳගෙන, හොඳට මේ කාම ලෝකේ ජීවත් වෙලා ඉන්න ලැබේවා කියලා හිතාගෙන පැතුවොත් එහෙම, අද පතන්නේ “ඛේමිනෝවා හොන්තු” කියලා ඕක. මොකද්ද “ඛේම” කියන්නේ? “අසෝකං, විරජං, ඛේමං” – ඛේම කියන්නේ නිවනට! භය නැති එකම තැන ඔච්චරයි, භය නැති කරපු තැන. සසර භය ඉක්මෙවුවේ යම් කෙනෙක්ද, ඔහු ඛේමයට පත් වුනා. එහෙනම්, ලෝකයාට පතන එකම යහපත මොකද්ද? මෙන්න මේ කියන්නා වූ ඛේමයට පත් වෙන්න. මෙන්න මේ නිවන් සුවයට පත්වෙලා භය නැති කරගන්න. “සුඛිනෝවා ඛේමිනො හොන්තු සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්ථා“ – මේ සියලුම සත්ත්වයින්ට මෙන්න මේ යහපත ලැබේවා! මෙන්න මේ නිවන් සුවය ලැබේවා! “යේ කේචි පාණ භූතත්ති“ – යම්කිසි ප්‍රාණියෙක් ඇත්ද, භූතයෙක් ඇත්ද, දැන් කවුද ප්‍රාණියා? කවුද භූතයා? කුමකින් ප්‍රාණ වෙනවාද? කුමකින් භූත වෙනවාද? ඇයි ප්‍රාණියෙක් කියන්නේ? මේ ලෝක සත්ත්වයෝ අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් ගෝචර වෙලා, ඇහෙන් රූප පානය කරනවා, කනෙන් ශබ්ද පානය කරනවා, දිවෙන් රස පානය කරනවා, නාසයෙන් ගන්ධ පානය කරනවා, කයෙන් ස්ඵර්ශ පානය කරනවා, හිතෙන් ධර්ම පානය කරනවා. මෙන්න මේවායෙන් පානය කර කරා මේ ලෝකේ යන නිසා කියනවා “පාණීන්“ කියලා. මෙන්න සත්ත්වයාට ප්‍රාණීන් කියන්න හේතුව. ඕවා පානය කරන්න ගියාම ගොඩනැඟෙන්නේ සංඛාර. ඒකෙන් පහල වෙන භූතය තමයි “ජාතිය!” ඒක තමයි පංචස්කන්ධය වශයෙන් අපි හදාගෙන, මේ මස්-ලේ කයක් හදාගෙන, අපි මේ භූතයක් හදාගෙන ඉන්නේ. එහෙනම්, භූත කියන්නේ මේ ලෝකේ ඉන්න අර ඇස් ලොකු කරගත්ත, අත් පුංචි කරගත්ත, උඩ පාවෙලා යනවා කියන භූතයෝ, එවුන් නෙමෙයි මේ කියන්නේ. මේ “භූතයෝ“ තමයි අපි කවුරුත්. පෙර – පෙර භවයේ පානය කරපු පංච කාමය නිසා “පංච කාම භූතයක්“ දැන් හම්බ වෙලා තියෙනවා. ඒක තමයි මේ ඇස-කන-දිව-නාසය-ශරීරය-මන කියලා මේ තියන් ඉන්නේ, හිත-ගත කිවුවේ. මෙන්න අපේ තියෙන භූතයෝ. ඔය එබඳු ගත නැමැති භූතයක් හදාගෙන සතර මහා භූතයන්ගෙන් හදාගත්ත භූතයට බහින්න හේතුව ඔන්න ඔය පංච කාමයෝ පානය කරන්න යන එකයි. එහෙනම්, සියලුම මේ පාණ-භූතයෝ කිවුවේ ඔන්න ඔය කට්ටියට. මෙන්න මේක තමයි සසර දුකට හේතුව. සුඛය කරා ලබා ඉන්න බැරි මේ පාණ-භූත නිසා. එහෙනම්, “යේ කේචි පාණ භූතත්ති තසාවා ථාවරාවා“ – තසාවා කියන්නේ භය වෙච්චි අය නෙමෙයි, තොස් වෙච්චි අය, සතුටු වෙනවා මේවාට. “ථාවරාවෝ“ – තැවරෙනවා. මොනවායේද තැවරෙන්නේ? ඔය කියන පංච කාමයේ! පංච කාමයෙන් තොස් බවට පත් වෙලා, පංච කාමයෙන් තැවරිලා, “අනවසේසා“ – අවසේසයක් නැතුව මෙන්න මේ තැවරිලා ඉන්න කට්ටියටයි මේ කියන්නේ! දැන් ඔය කට්ටියට “දීඝාවා“ – කවුද මේ කට්ටිය? දැන් ඉතින් දිග සත්තු කියලා පෙන්වනවා. නමුත්, අන්තිමට කියනවා සත්ත්ව-පුද්ගල දෘෂ්ඨියට වැටෙන්නේ නැතුව, සීලයේ පිහිටන්න කියලා, “දිට්ඨිංච අනුපගම්ම සීලවා“ කියන එක තෝරනවා…
~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~
(මීලඟ කොටස ඉදිරි දේශනාවෙන්)
දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://www.waharaka.com/listen/CD001-04
මීලඟට : අස්සාස දහම්, පස්සාස දහම්, අනන්තර සමනන්තර ප්‍රත්‍යය (ගිහි වතක සිට නිවන් දකිමු 5 කොටස)