දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)
කර්මස්ථානයක් වැඩීමට පසුබිම සකස් කරගැනීම
{ 0:00:00 } : මූලික පියවර සකස්කර ගැනීම
අද අපි මේ ශ්‍රේෂ්ඨ අවස්ථාවක්, උතුම් සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙන්නෙ. සමාධිය පිළිබඳව මුල ඉඳලම, ඒ වගේම ආරම්භයේ පටන්ගෙන ආධුනික පිංවත් පිරිසටත්, ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේලාටත් උගැනීම අද බලාපොරොත්තුවෙන විශේෂ අවස්ථාවක්. ඉතින් මේ වෙලාවෙදි අපි හොඳින් තේරුම් අරගන්න ඕනෙ, මුල ඉඳලම මොකද ආධුනික පිරිසක් ඉන්න නිසා, කොහොමද අපි කර්මස්ථානයක් වැඩීමට, මූලික පියවර සකස් කරගන්නෙ කියන කාරණය පළමුව හැමදෙනාම තේරුම් අරගන්න ඕනෙ.
අපි දැන් ආරම්භයේදීම කර්මස්ථානයක් ඉල්ලන පිරිසක් හිටියොත්, ඒ පිරිසට අපි කොහොමද ඉස්සෙල්ලාම මේ සාසන කර්මස්ථානයක් ලබාගැනීමට මග පාදා දෙන්නෙ කියන කාරණයේ ඉඳන්ම, අපේ මේ සාකච්ඡාව සිද්ධවෙන්න ඕනෙ. එතකොට අපි හිතමුකො මේ බුද්ධ සාසනය පිළිබඳව සාමාන්‍ය දැනුමක් තිබුනට, මේ කර්මස්ථාන පිළිබඳව දැනීමක් නැති, නමුත් මේ භාවනාව කෙරෙහි කැමති, සාසන කර්මස්ථානයක් වර්ධනය කරගන්න බලාපොරොත්තුවෙන, ඒ පිංවත් දරු දැරියන් ඇතුළු සෑම පිරිසකටම, ඒ උතුම් අවස්ථාව ලබාගන්න නම්, බුදුපියාණන් වහන්සේ දේශනා කල ඒ ධර්මයේ මූලික ලක්ෂණය නැත්නම් ඒ මූලධර්මය, පළමුව තේරුම් අරගන්න ඕනෙ. අපිට ගොඩාක් හිතන්න දෙයක් නැහැ, ගොඩාක් ඉගෙන ගන්න දෙයක් නැහැ, ත්රිපිටකයයි කියල ගොඩක් බලාගන්න, පාලි ඉගෙනගන්න, මේ එකක්වත් අවශ්‍යතාවයක් නැහැ, කර්මස්ථානයක් වැඩීමට මාර්ගය පාදාගන්න.
බුදුපියාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදි සමහර වෙලාවට කිසිම ධර්මයක් පිළිබඳව අහපු නැති, එක එක ආගම්වල හිටපු අය, එක එක දෘෂ්ඨි ගත්ත අය, ඒ අය තමයි ඇවිදිල්ලා බුදුපියාණන් වහන්සේ හමුවෙලා, යම් වෙලාවක ඒ ධර්මයක් අහල, ඊට පස්සෙ බොහෝම සුළු වෙලාවක් තුල අහගත්ත ධර්මයක් අර්ථවත්ව අහගෙන, එහි සාරාංශය කර්මස්ථානයක් වශයෙන් අරගෙන පිටවෙලා, අරණ්‍ය, රුක්මුල්, ශුන්‍යාගාර ආදියට ගිහිල්ල, සමහර වෙලාවට උදේ අනුගමනය කළ කර්මස්ථානයෙන් හවසත් ප්‍රතිඵල ලබාගත්ත. දින ගණනක් ඇතුලතත් ප්‍රතිඵල ලබාගත්ත. ධ්‍යාන, මාර්ග ඵල, අරිහත් ඵලයට එනකන්ම සිද්ධ කරගෙන, සම්පූර්ණ කරගත්ත අවස්ථා ගැන බොහොම අපේ ධර්මයේ සඳහන් වෙනවා.
ඉතින් ඒ වෙලාවෙදි අසූ හාරදහසක් ධර්මස්කන්ධයයි කියන ඔය සියල්ලම අරගෙන එහෙම ලැහැත්ති උනේ නැහැ. එක එක ලක්ෂණ, පද, රස පච්චුපට්ඨාන, පදට්ඨාන ඔය ආදී වශයෙන් අද කියන, මේව එකක්වත් විග්රහ කරගෙන, ඔය තරම් ගොඩාක් අරගෙන ගිහිල්ල නෙමෙයි, ඔය කර්මස්ථානය සම්පූර්ණ කරගත්තෙ. අර්ථවත්ව වටහාගන්න පුළුවන් හරවත් ධර්මයක් බොහොම කෙටියෙන් තේරුම් අරගෙන, ඒ කෙටියෙන් දේශනා කරපු ධර්මයක් අර්ථවත්ව විස්තර කරගෙන, ඒ ධර්ම කාණ්ඩය අරගෙන ගිහිල්ල, ඒ ධර්ම කාණ්ඩය තුලින් තමයි, ධ්‍යාන, මාර්ග ඵල සියල්ලම සම්පූර්ණ කරගත්තෙ. මේ ධ්‍යාන කියන ඒව මාර්ග ඵල ලබාගැනීමට තිබෙන මූලික කර්මස්ථානයේදී පෙන්නා තියෙන්නෙ, “කුමාරයෙකුට ආභරණ වගේ” කියල. අමුතුවෙන් ගන්න දෙයක්, අමුතුවෙන් මහන්සි වෙන්න දෙයක් නැහැ. ධ්‍යාන කියන ඒව නිරායාසයෙන් ලැබෙනවා. හැබැයි මාර්ගය පොඩ්ඩක් හරි වෙනස් උනොත්, ඒ මාර්ගය වෙන පැත්තකට හැරුනොත්, ඒ කර්මස්ථානය වැඩෙන්නෙ නැහැ. වැඩුනට පස්සෙ වැඩුනයි කියල දැනගන්නව මිසක්, කල් තියා දැනගෙන, ඒ ධර්මය වඩනවා නෙමෙයි. වැඩුනට පස්සෙ වැඩුන බව දැනගන්නවා. මේක තමයි තිබුන ක්‍රමය. ඉතින් අපි ඕක තේරුම් අරගන්න ඕනෙ. අන්න ඒ ක්‍රමයමයි අදත්, එදත්, කවදත්, ඔය ආර්ය මාර්ගයක්, ආර්ය ඵලයක් ලබනව නම්, ඔය ක්‍රමය තමයි නියම ක්‍රමය. ඉතින් අද වෙන එකක්, ඒ කාලෙ වෙන එකක්, එහෙම වෙන්නෙ නැහැ.
ඉතින් අපි හොඳින්ම තේරුම් අරගෙන, බුදුපියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුලින් අපි දැනගන්න ඕනේ, ඒ අපිට අවශ්‍ය කරන කර්මස්ථානය ලබාගන්න. කර්මස්ථානයක් දෙනවයි කියල කියන්නෙ, වචනයක් දීල මේක වඩ වඩා ඉන්න කියන එක නෙමෙයි. ඒ කර්මස්ථානය නම්, තමාගේ හිතට ධර්මය තුලින් මතුවෙන්න ඕන. ඒකයි නියම ක්‍රමය. මූලිකව ධර්මය ශ්‍රවණය කිරීම, ඒ තුලින් තමන්ට අවබෝධයක් ලැබීම, ඒ අවබෝධය තුලින් ලැබෙන්නා වූ සාරාංශය තමයි තමාගේ හිතේ කර්මස්ථානයක් විදිහට වැඩෙන්නෙ. ඉතින් මේ වෙලාවෙදි දකින්න තියෙනව, කිසිම ශාස්තෲවරයෙක් ලෝකයට පෙන්නා දුන්නෙ නැති, ඒවාගේම “සත්‍යය” කියන, බුදුපියාණන් වහන්සේට ගෝචර උන, ඒ සත්‍යය ධර්මය විග්රහ කලාට පස්සෙ අන්න ඒ තුලින් ලෝකය කුමක්ද කියල හඳුනා ගැනීම ඉස්සෙල්ලම කරනවා.
{ 0:04:46 } : ලෝකය පිලිබඳ නිවැරදි දෘෂ්ඨිය
“ලෝකය නිත්‍යයි, සැපයි, ආත්මයි” කියන මේ දෘෂ්ඨිය නිසා තමයි මේ ලෝක සත්වයා බොහෝ කල් අනාදියේ පටන් ගමන් කරන්නෙ. ඔන්න ඔය දෘෂ්ඨිය ඉස්සෙල්ල කැපිල යන්න ඕනෙ ධර්මය තුලින්. නිත්‍යයි කියන මේ ලෝකය පිළිබඳව, නිත්‍යයි කියන අදහස වැරදි හැටියටත්, හේතු සාධක ඇතුව දැනගෙන, එහෙනම් මේ ලෝකයේ කිසිම දෙයක් ස්ථිර නෑ කියල – හිත පිලිබඳ වේවා, ගත පිලිබඳ වේවා, කොතන හෝ වේවා, “යමක් හටගත්ත නම්, ඒ හටගත්ත එක වැනසිල යනව, විනාශයට පත්වෙනව” කියල මෙන්න මේ ධර්මය බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුලින් මිසක්, අන්‍ය කිසිම ධර්මයකින් දැනගන්න ලැබිල නැහැ.
ලෝකයේ යම් තාක් පහලවීම් තියෙනව නම්, හටගැනීම් තියෙනව නම්, ඒ හටගත්ත සෑම දේකටම උරුම ධර්මතාවයක් තියෙනවා, විනාශ වීම. ඉතින් එබඳු වන්නා වූ ඒ ධර්මතාවය තේරුම්ගන්න බැරි අන්‍ය ශාස්තෲවරු සදාකාලික ස්ථාන පැනෙව්වා. සමහර වෙලාවට බ්‍රහ්ම ලෝකය, “බ්‍රහ්මන්” ඒ ස්ථාන සදාකාලිකයි කියල පැනෙව්වා. ඒ වගේම එකම දෙවියන් වහන්සේ සදාකාලිකයි කියල පැනෙව්වා. මේ ආදී වශයෙන් ඒ පුද්ගලත්වයන් ඒවට පනවගෙන, කාලෙන් කාලෙ ඒව වෙනස් කරගෙන, එහෙමත් ඇවිදින් තියෙනවා. නමුත් කුමන ශාස්තෲ වරයෙක්වත් සියලු තැන්හි, සියල්ලම, හටගන්න සෑම දෙයක්ම, විනාශ වෙන ස්වභාවයෙන් යුක්තයි කියන ධර්මය පෙන්නුවෙ නැහැ. ඒ සත්‍යය පෙන්නල දුන්නෙ බුදු පියාණන් වහන්සේ පමණයි. ඒ සත්‍යය එහෙම නෙමෙයි කියන්න, කිසිම සමතෙක් තුන් ලෝකයේම බිහිවෙන්නෙ නැහැ. කොයි ලෝකෙකවත් බිහිවෙන්නෙ නැහැ. කිසිම ජගතෙක් බිහිවෙන්නෙ නැහැ, “හටගත්ත සියල්ලෙන් මෙන්න මේ දේ විනාශ නොවී පවතිනව” කියල කියන්න කෙනෙක් නැහැ. එහෙම කිවුව නම් ඒක තේරුම්ගන්න බැරිකම නිසා, නුවණ මදිකම නිසා බැහැපු තීරණයක් මිසක්, මුලා සහගත තීරණයක් මිසක්, සත්‍යය තීරණයක් නෙමෙයි. ඒක ධර්මය තේරුම් ගත්තට පස්සෙ, වැටහුනාට පස්සෙමයි තේරෙන්නෙ ඒක එහෙම බව.
බුදු පියාණන් වහන්සේ ලෝකයට මේ උතුම් ධර්මය දේශනා කරන්න ඉස්සෙල්ල උන්වහන්සේ ආර්ය පර්යේෂණයක් තුලින් ඔය හැම දහමක් පිළිබඳවම විග්රහ කලා, තේරුම් ගත්තා. තේරුම් අරගෙන දැනගත්තා ලෝකයේ හැම කෙනෙක්ම විමුක්තිය කියල පනවන්නෙ, හටගත්ත දෙයක්. කොතන හරි භාවනාවක් කරල, එහෙම නැත්නම් පිං දහම් කරල, ඒ තුලින් ලබන්නා වූ යම්කිසි උපතක් ඇත්නම්, අන්න ඒ උපතක්ම තමයි, විමුක්තිය හැටියට පෙන්නුවෙ. බුදු පියාණන් වහන්සේ මේ බෝධිසත්ව අවස්ථාවේදිම ඒක එහෙම වෙන්න බැහැයි කියන කාරණය, අනුමාන සත්‍ය තීරණයකට බැස්සා. කොතන නමුත් යමක් හටගත්ත නම්, හේතුවක් නිසයි හටගන්නෙ. ඒ හටගත්තා වූ හේතුව, ඒ හටගත්ත දේක පැවැත්මට ඒකාන්තයෙන් ගෙවෙනවා. පෙර නොතිබූ දෙයක් ලෝකයේ හටගත්ත නම්, හේතුවක් මුල් කරගෙනම හටගත්ත දෙයක් මිසක්, එහෙම නැතුව හටගන්න හේතුවක් නැහැ. “අහේතුකව ලෝකයේ යමක් හටගන්න විදිහක් නෑ” කියන මේ ඥාණවන්ත තීරණයට බෝධිසත්ව කාලෙදිම උන්වහන්සේ බැහැල තිබුන.
අන්න ඒකෙන් දැනගත්තා, උන්වහන්සේ ආලාර කාලාම, උද්දකරාමපුත්ත මේ අය ලඟට ගිහිල්ලත් මේ ලෞකික දැහැන් වැඩුවා. ඒ ආර්ය පර්යේෂණයක් කරන අවස්ථාවක. නිගමනයක බැහැපුව නෙමේ, පර්යේෂණ අවස්ථාව. ඒ අවස්ථාවල ඒ අයගෙ අන්තිම කෙලවර, විමුක්තිය හැටියට පෙන්නපු අන්තිම තැන බලපුවහම, ආලාර කාලාම කියන ඒ තාපසතුමා පෙන්නනව, ආකිඤ්චඤ්ඤායතන කියන්නා වූ ස්ථානයක්, නිත්‍ය ස්ථානය හැටියට. ඒක පැවැත්මක්. “යම් තැනක පැවැත්මක් හේතුවක් නිසා හටගත්ත නම්, ඒ හේතුව ඒකට ගෙවිල යනව, ඒ පැවැත්ම කවදාවත් ස්ථිරව පවතින්න විදිහක් නෑ නේද?” කියන එක, මේ මහා බෝධිසත්ව ඥාණයෙන් උන්වහන්සේ නිගමනය කලා. යම් තැනක යමක් හටගත්තා නම්, හටගත්ත දේ කවදහරි ගෙවිල යනව නම්, ඊට පස්සෙ ඒ තත්වය ඉවර වෙනව නම්, ඒක විමුක්තියක් වෙන්න බෑ, සැනසෙන්න බෑ කියන නිගමනය, සත්‍ය තීරණයක් වශයෙන් උන්වහන්සේ ලැබුවා.
ඊට පස්සෙ එතනින් එහාට තමයි, උද්දකරාමපුත්ත කියන තවත් යෝගියෙක් හම්බ උනේ. ඒ යෝගියාගෙන් බලපුවහම තවත් එහාට තිබිච්ච, නැත්නම් ලෝකයේ තිබෙන භවාග්රයයි කියන නේවසඤ්ඤානාසඤ්ඤායතනයයි කියන, යම් තලයක් පිළිබඳව විග්රහ කලා. අන්න ඒ කරගත්ත විග්‍රහයෙන් එතෙන්ටත් උන්වහන්සේ බොහොම සුළු කාලයක් තුලදි පත්වෙලා, ඒ ස්ථානයත් හටගන්න තැනක්, ලෝකයේ කෙබඳු තැනක හෝ කුමන ආකාරයෙන් හෝ හටගැනීමක් උනා නම්, හටගත්ත දේ හේතුවක් නිසාමයි හටගන්නෙ. හේතුවක් නිසා හටගත්ත නම්, හේතුවක් කවදාවත් සදාතනික වෙන්න බැහැ. මොකද? යම් ශක්තියක් ගැබ් කරල, ඒ ශක්තිය තුලින් නිෂ්පාදනයක් යමක් සදහා සිද්ධ උනා නම්, ඒ මොන තැන නමුත් ඒ ශක්තිය ඒකට ගෙවෙන්න ඕනෙ. ඒ ශක්තිය ගෙවිල, ඒක කෙලවර වෙන දවසක් තියෙනව, ඒකාන්තයෙන් ඒ ශක්තිය නැතුව ඒක පවතින්න බැහැ. මෙන්න මේ නිගමනය නිසා දැනගත්ත නේවසඤ්ඤානාසඤ්ඤායතන කියන එක තමයි ලෝකයේ යන්න තියෙන ඉහලම තැන. එතෙන්ට ගියත් මහා කල්ප අසූ හාරදාහක් කියන කාලයක් තුලදී ඒක නැතිවෙලා යනව. මහා කල්ප අසූ හාරදාහකින් නැතිවෙනවා කියල දැනගත්තෙ ලොව්තුරා බුදු උනාට පස්සෙ. නමුත් මුලදි තිබුන එක්තරා නිගමනයක්, යම් තැනක යමක් හටගත්තා නම්, ඒකාන්තයෙන් ඒකට ගෙවීමක් තිබිය යුතුයි. ඒක සදාතනික වෙන්න බැහැ.
එහෙනම් එබඳු වන්නාවූ සදාතනික වෙන්න බැරි තැනක, හටගෙන වැනසුනා නම්, ඔහුට ඊළගට මොකද වෙන්නෙ? අන්න ඒ වෙලාවෙදි දැක්කා, ඔහු සත්‍යය දැකල තිබුනෙ නැත්නම්, ඇත්ත දැකල තිබුනෙ නැත්නම්, ඔහුට සිද්ධ වෙනව එතන කාලෙ ගෙවුනට පස්සෙ, නැවත වාරයක් සසර සැරි සැරීමකට එන්න.
මෙන්න මේ සත්‍ය තීරණයක්, අනුමාණ තීරණයකින් නිගමණයකට බැහැල, මේ එක තැනකවත් නිවන නැහැ කියල, නිවෙන්න පුළුවන් කමක් නැහැ, සැනසෙන්න පුළුවන් කමක් නැහැ. කුමක් නිසාද? මේ සංසාර අනාථ ගමනක් එන බව උන්වහන්සේ තමාගේම ප්රත්යක්ෂ නුවණින් දැනගෙන හිටියා, ඒ බෝධිසත්ව අවස්ථාවේදීම. මොකද ඒ දැහැන් වලටත් පේනව, සසර ගමනක හැටි. භවයෙන් භවය මේ ලෝක සත්වයා ගමන් කරන හැටි. ඒ මිනිස් ඇස ඉක්මවූ දිවැසට දකිනවා. ඒ දකින නිසාම උන්වහන්සේ එදා දැනගෙන හිටිය, යම් තැනක ඉපදුනා නම්, එතැනින් චුත උනා නම්, නැවත වාරයක් මේ සසර ගමනට වැටිල, ආයි සැරයක් සැරිසැරීමක් තියෙන බව. මෙන්න මේ නිසා දැනගත්තා නේවසඤ්ඤානාසඤ්ඤායතන කියන තැන උපන්නත්, ඒක ගෙවිල ගියාට පස්සෙ, ආයිත් එයා සැරිසැරීමට වැටිය යුතුයි.
මෙන්න මේ නිගමනයෙ ඉඳල කල්පනා කලා, “යම් තැනක හටගැනීමක් තියෙනව නම්, එතන විනාශයක් තියෙනවා. යම් තැනක හටගත්ත දෙයක් විනාශ වෙනව නම්, ඒක විමුක්තිය වෙන්න බැහැ. ඒක සැනසුම් සහගත තැන වෙන්න බැහැ. තාවකාලික ප්‍රමාද වෙවී, විවේක කාලයක් ගත කරනවා වගේ ඉන්නව විතරයි. එහෙනම් ඒකෙන් කවදාවත් මම සැනසුනා, මම නිවුනා කියල, සතුටු වෙන්න පුළුවන් තැනක් නෙමෙයි. මොකද? මතු අනාගතයේදී සංසාර ගමනකට නැවත වැටෙනව නම්, යම් තැනක් එහෙම වැටෙද්දි, වැටෙන්න හේතු තියෙද්දි, යම් තැනක මහා කල්ප අසූ හාරදාහක් හිටියත් වැඩක් නැහැ. මොකද හේතුව? කවදහරි මහා කල්ප අසූ හාරදාහ ගෙවෙනව. ඒ ගෙවෙනකං එයා ඉන්න පුළුවන්, මං හරි විවේකයෙන් සැනසිල්ලෙ ඉන්නවා, කරදරයක් නැතුව ඉන්නවා කියල, කොතන හරි ඊට ගැලපෙන අත් බැවක් ලබල. හැබැයි අසූ හාරදාහ ගෙවිච්ච දාට, අනේ අපොයි කියන්න වෙනවා. එයාට මොකද වෙන්නෙ? ආයි සැරයක් අර පෙර වාගෙම සසර ගමනට වැටුන නම්, ඒ සසර ගමනට හිමි, යම් උරුම වන්නා වූ යම් දුක් කරදරයක් ඇත්ද, ඔහුට ඒකෙන් මිදීමක් නැහැ.
{ 0:11:54 } : ආර්ය පර්යේෂණය තුලින් නිවන පිලිබඳ අනුමාන ඥාණය
යම් තැනක හටගැනීමක් තියෙනව නම්, හටගත්ත දේ ජරාවට පත්වෙනව නම්, වැහැරිල යනව නම්, වැනසිල යනව නම්, එතැන ඇසුරු කරපු යම් තාක් දේවල් හටගත්ත නම්, හටගත්ත දේ වැහැරෙනව නම්, වැහැරිල විනාශයට පත්වෙනව නම්, එහෙම දෙයක් කවදාවත් මම කියල තබාගන්න, මගේ කියල තබාගන්න, මගේ ආත්මයයි කියල ඉන්න පුළුවන්, සුදුසු තැනක් නෙමෙයි කියන එක, සත්‍යයට අනුකූලව උන්වහන්සේ දැකල නිගමනයක් කලා, “යම් තැනක හටගැනීමක් නැද්ද, එතන විනාශ වෙන්න දේකුත් නැහැ. හටගැනීමක් යම් තැනක නැද්ද, එතන දුක හටගන්න ක්‍රමයකුත් නැහැ”. හටගැනීමක් නැති ස්වභාවයක් ඇත්නම්, අන්න ඒක නිවන විය යුතුයි.
මේ බුදුපියාණන් වහන්සේ මූලිකව නිවන ගැන කරපු තීරණය, බෝධි සත්ව කාලෙදි. මෙන්න මේ තීරණයෙ පිහිටල උන්වහන්සේ බැලුවා, “හටගැනීමක් සහමුලින් නැති කරන්නෙ කොහොමද?”. කොතන හරි හටගැනීමක් තියෙනව නම්, ඒකෙ ගෙවීමක් තියෙනව. හටගැනීමක් නැත්නම් යම් තැනක, එතන ගෙවෙන්න දෙයක් නැහැ, වැනසෙන්න දෙයක් නැහැ, ජරාවට පත්වෙන්න දෙයක් නැහැ. ජරාවක් නැත්නම්, මරණයක් නැත්නම්, ශෝක කරන්න, පරිදේවයක්, දුකක්, දොම්නසක්, උපායාසයක් එන්න, කිසිම දුකකට එන්න හේතුවක් නැහැ.
එහෙනම් “දුක නැත්තේ යම් තැනකද, හටගැනීමක් නැති තැනයි” කියල උන්වහන්සේ ගත්ත තීරණයේ බැහැල තමයි, මේ ආර්ය පර්යේෂණය තුලින් උන්වහන්සේ යම් නිගමනයකට බැස්සෙ. නිවන එතනයි. අන්න ඒක කිසිම කෙනෙක් ලෝකයේ හොයාගෙන තිබුනෙ නැහැ. ලොව්තුරා බුදු පියාණන් වහන්සේට ඇරෙන්න, ලෝකයට දහම් දෙසන්න හේතු කාරක ඇති ආකාරයෙන් දැනගන්න, තව කිසිම සමතෙක් ලෝකයේ පහලවෙලත් නැහැ, පහලවෙන්න හේතුත් නැහැ. ඒක අද වෙනකං ඔප්පු වෙනව. කිසිම ශාස්තෲ වරයෙක් ඒ ධර්මයට ආසන්න ධර්ම මාත්‍රයක්වත් දේශනා කරල නැති නිසා. ඒ නිසා බුදු පියාණන් වහන්සේ බෝධිසත්ව කාලෙදි මූලිකව බැහැපු නිගමනයෙ ඉඳල පර්යේෂණය කිරීමේදී උන්වහන්සේ නිගමනය කලා, හැමතැනම මේ හටගැනීමක් තියෙනව. හටගැනීමක් තියෙනව නම්, හටගත්ත සියල්ලටම වැනසීමක් උරුමයි. හටගත්ත දෙයක් වැනසෙනව නම්, ඒ ස්ථානය මමයි කිවුවොත්, මගෙයි කිවුවොත්, මගේ ආත්මයයි කිවුවොත්, මේක මුලාවක්.
මෙන්න බුද්ධත්වයට හේතුකාරක වන මූලධර්මය පිළිබඳව බෝධිසත්ව අවස්ථාවේදීම, අප්‍රමාණ ගුණ ඇති පාරමිතා බලය නිසාම, උන්වහන්සේට නැගුන අනුමාණ ඥාණයක්. මෙන්න මේ ඥාණයෙ පිහිටල තමයි උන්වහන්සේ කල්පනා කලේ, “එහෙනම් මොකක්ද මාර්ගය? යම් තැනක යමක් හටගන්නව නම්, ඒ හටගන්න දේ වැනසෙනව නම්, මෙන්න මේ හටගත්ත දේ වැනසෙන තැන, මගෙයි කියල අල්ලන්න දෙයක් නැහැ”.
{ 0:14:32 } : සසර ගමනට හේතුව
එහෙනම් ඇයි මේ සත්වයො සැරිසරන්නෙ කුමක් නිසාද කියල බලනකොට දැක්කා, යම් තැනක මමයි කියන හැඟීම තියෙනව නම්, දෘෂ්ඨිය තියෙනව නම්, මගෙයි කියන දෘෂ්ඨිය තියෙනව නම්, මේ මගේ ආත්මයයි කියන මමත්වයෙන් බැහැගත්ත මේ දෘෂ්ඨිය තියෙනව නම්, ඒ තාක්කල් ලෝක සත්වයාට, මමය, මගේය, මගේ ආත්මය කියන මේ දෘෂ්ඨියෙන් මිදෙන්නෙ නැත්නම්, ඒ තරමටම සසර ගමන කෙළවරක් කරන්න බැහැ.
“සසර ගමනට හේතුව නැගෙන්නෙ, මමය, මගේය, මගේ ආත්මයයි කියන මේ තත්වය උඩයි” කියල මූලික වශයෙන් දැනගත්තා. එහෙනම් මමය, මගේය, මගේ ආත්මයයි කියන දෘෂ්ඨියට වැටෙන්න හේතුව මොකක්ද? “ඇත්ත ඇති ආකාරයෙන් දකින්නෙ නැති නිසා” කියලත් දැනගත්තා. “ඇත්ත” කිවුවෙ මොකක්ද? “හටගත්ත යමක් ඇත්නම්, ඒ හටගත්ත තැන සදාකාලිකව පවතින්නෙ නැහැ, කවදහරි ඒක විනාෂ වෙනවා”. අන්න ඒක නොබැලුව නිසාම, නොහිතුව නිසාම, ඒ ස්ථානය නිත්‍යයි, සැපයි, ආත්මයි කියන දෘෂ්ඨියෙන් ලෝක සත්වයා බැඳිච්ච නිසාම, ඇත්ත පේන්නෙ නැති මුලාවකට ලෝක සත්වයා වැටෙනව කියල දැනගත්තා. මෙන්න මේ මුලාව යම් දවසක අත් ඇරගත්ත නම්, පැවැත්මට හේතුකාරක වන, ශක්තිය නිකුත් වෙන්නෙ නැහැ.
{ 0:15:37 } : පැවැත්මේ හටගැනීම පටිච්ච සමුප්පනව දැකීම
පැවැත්මක් හටගන්නෙ නිකං නෙමෙයි, ශක්තියකිං. පැවැත්මට ශක්තිය මොකක්ද? නිත්‍යයි, සැපයි, ආත්මයි කියන මෙන්න මේ දෘෂ්ඨියකට බැහැල, ඒකෙන් මිදෙන්න බැරුව, ඒකට අනුකූල වන්නා වූ දේවල් ප්‍රියයි, මනාපයි, යහපතයි කියල ලෝකය තුල හොයාගෙන අල්ලගෙන, අන්න ඒ සඳහා හිතෙන්, කයෙන්, වචනයෙන් කටයුතු කෙරුවා නම්, මෙන්න මේ නිසා නිත්‍යයි, සැපයි, ආත්මයි කියන දෘෂ්ඨියෙන්, ලෝකෙ කොතන හෝ සාරවත් කියල අරගෙන, මේ එකතූන් සාරත්වයෙන් යුක්තයි කියල අරගෙන, අන්න ඒ සාරත්වය කරා ගමන් කිරීමට, “කාර” කරනවා, නැත්නම් ක්‍රියා කරනවා.
මොනවයින්ද ක්‍රියා කරන්නෙ? හිතෙන් ක්‍රියා කරනව, වචනයෙන් ක්‍රියා කරනව, ක්‍රියාවෙන් ක්‍රියා කරනවා. මෙන්න මේවට කිවුවා “සංකාර” කියල. අන්න “සංකාර” කියල කිවුවෙ මොකක්ද? “සං” කියන්නා වූ එකතූන් සඳහා යමක් කරන්නේද, ඒව සංකාරයි. මෙන්න මේ සංකාර වැඩපිළිවෙල යම්තාක් කල් තියෙනවද, ඒ තාක්කල් එකින් එකට, එකින් එකට දැක්කා, ඒක තිබුනොත් මොකක්ද හටගන්නෙ?
“සං” කියන එකතුවේ කටයුතු කරන්න කරන්න, ලෝකය පිළිබඳව නිත්‍යයි, සැපයි, ආත්මයි කියන දෘෂ්ඨියෙන් “විඤ්ඤාණ” හටගන්නවා. නැත්නම් එක එක විදිහෙ හිත් හටගන්නවා. “මට හිතයි මෙහෙම කෙනෙක් වෙන්න”. අන්න හිතක් හටගත්තා, විඤ්ඤාණයක්. “මට හිතයි මේ ලස්සන දේ බලන්න”; චක්ඛු විඤ්ඤාණයක්. මට හිතයි මේ හොඳ දේ මිහිරි දේ අහන්න; සෝත විඤ්ඤාණයක්. මට හිතයි මේ ගන්ධය ආග්‍රහණය කරන්න; ඝාන විඤ්ඤාණයක්. මට හිතයි මේ රසවත් දේ ඇසුරු කරගෙන රස විඳ විඳ ඉන්න; ජිව්හා විඤ්ඤාණයක්. මට හිතයි මේ ප්‍රිය මනාප ආස්වාදය, ආස්වාද විඳ විඳ ඉන්න කායික වශයෙන්; කාය විඤ්ඤාණයක්. මට හිතයි මේව ගැන හොඳට හිත හිතා ඒ මනෝ ලෝකෙ ආස්වාද විඳින්න; මනෝ විඤ්ඤාණයක්.
මෙන්න මේ විඤ්ඤාණ ටික නිකං නැගෙන්නෙ නැහැ, මේව හේතුවක් ඇතුවයි නැගෙන්නෙ, ආහාරයක් ඇතුවයි නැගෙන්නෙ කියල දැනගත්තා. මොකක්ද මේවට තියෙන ආහාරය? අර ප්‍රියයි, මනාපයි, යහපතයි කියන හැඟීමෙන්, නිත්‍යයි, සැපයි, ආත්මයි කියන දෘෂ්ඨියෙ පිහිටල, ඒව සාරයි කියල අරගෙන, ඒව පිළිබඳ හිතෙන්, කයෙන්, වචනයෙන් කරන්න පටන් ගත්තහම ඇතිවෙන ශක්තිය තමයි, ඔය හිත හට ගන්වන්නෙ කියල දැක්කා. අපි “සංඛාර පච්චයා විඤ්ඤාණං” කියල කිව්වට, එකපාර ඕක තේරෙන්නෙ නැහැ. ඔය විදිහට විග්රහ කරගත්තහම, ඕක හොඳට පැහැදිලිව තේරෙන්න පටන් ගන්නවා.
මෙන්න මේ හිත් හටගත්තහම මොකද වෙන්නෙ? ඒ හිත හටගත්තහම ඒ ජාතියෙ හිතකට බහින අදහස් තියෙනවා. ඒකට නැමිල හිටිනවා. අපි හිතමු යම්කිසි ආකාරයකින් “ලස්සන රූප බලන එක හොඳයි, මට ලස්සන රූප බල බලා ඉන්න ඇත්නම්…” ඔන්න හිත හටගත්තා, නැත්නම් විඤාණය හටගත්තා. ඔය හිත නිසාම ඔහුට බහිනව එක දෙයක්. මොකක්ද? ඒ විඤ්ඤාණය හැමවෙලේම ඉල්ලන දෙයක් තියෙනවා. ඒක තමයි ඒක නිෂ්පාදනය වෙච්ච “ජාතිය”.
අර ලස්සන ඒව බලලම නිෂ්පාදනය කරගත්ත, “මට හිතයි ලස්සන ඒව බලන්න” කියපු අදහසේ පිහිටල, ඒවම නැවත නැවත හොය හොයා, බල බලා, ඇසුරු කරන්න අදහසක් එනවා. ඒකට නැමිල හිටිනවා. අන්න ඒ නැමිල හිටපුවහම කියනව “නාම” උනා. ඒක “රුප්පනය” කරනවා, නැත්නම් නැවත නැවතත් ඔප් නංවාගෙන ඒක භුක්ති විඳින්න බලනවා. එතකොට ඒක “රූප” උනා. ඔන්න ඔය නැමිල හිටල, ඔය රූපයන් පිළිබඳව අදහස එනකොට ඔය විඤ්ඤාණයෙම තමයි ඔය ජාතියෙ නාම-රූප බහින්නෙ කියල කිවුවා.
ඒ ඒ නාම-රූප බහිනකොට, මේක “ප්‍රිය ස්වභාවයයි, මධුර ස්වභාවයයි”. ඕක තමයි ලෝකෙ තියෙන “මාර බන්ධනය” කියන්නෙ. ලෝකයට, ලෝක සත්වයා නිකං ඇදෙන්නෙ නැහැ. මේ ලෝකයේ රූප, ශබ්ධ, ගන්ධ, රස, ස්පර්ෂ ආදී කියන මේ ලෝක සත්වයා භුක්ති විඳින, ඇසුරු කරන දේවල්, ප්‍රිය ස්වභාවයෙන් යුක්ත ඒව තියෙනවා, මධුර ස්වභාවයෙන් යුක්ත ඒව තියෙනවා. අන්න ඒ ප්‍රිය ස්වභාවය නිසාම, මධුර ස්වභාවය නිසාම ලෝක සත්වයා ඒවයේ ඇලෙනවා. ඒව ආස්වාදජනකයි. ආස්වාදජනක නිසාම, ඒ ආස්වාදයෙ බැඳිල, නැවත නැවතත් ඒ ආස්වාදයෙ භුක්ති විඳින්න බලාපොරොත්තුවෙන්, මතු මතු බලාපොරොත්තු ඇතිකර ගන්නවා. මෙන්න මේ බලාපොරොත්තු ඇති කරගෙන, ඒ බලාපොරොත්තු පරිදි ඒවට ගොදුරු වෙලා, ඒව පස්සෙ ගිහිල්ල, ලැබෙන ලැබෙන ඒව අල්ලගෙන භුක්ති විඳින්න යනවා.
ඇහෙන් එන ඒව, ඇහෙන් භුක්ති විඳිනවා. කනෙන් එන ඒව, කනෙන් භුක්ති විඳිනවා. දිවෙන් එන ඒව, දිවෙන් භුක්ති විඳිනවා. නාසයෙන් එන ඒව, නාසයෙන් භුක්ති විඳිනවා. ශරීරයට එන ඒව, ශරීරයෙන් භුක්ති විඳිනවා. මෙන්න මේ භුක්තිය නිසා, මෙහි ප්‍රිය මනාපය නිසාම, ඒවට මේ ඇස, කන, දිව, නාසය, ශරීරය, මන කියන මේ ඉන්ද්රිය හය ඒවට “ආයතන” කරගන්නවා. ඉන්ද්රිය හය ආයතන කරගත්තහම කියනව, ඔය නාම-රූපයන් කෙරෙහි ඒ ප්‍රිය මනාපයේ බැඳීම නිසා “සළායතන” පහල කරගන්නවා කියල.
ඒව ආයතන කරගෙන තමයි ඒ ඒ ධර්මයන්ගේ, ඒ ප්‍රිය මනාප ධර්මයන්ගේ ස්පර්ෂය ලබන්නෙ. ඒව ඇසෙන්, කනෙන්, දිවෙන්, නාසයෙන්, ශරීරයෙන් ඒ අරමුණු අරගැනීමෙන්, ඒවයේ ප්‍රිය ස්වභාවයක් තියෙනවා, මධුර ස්වභාවයක් තියෙනවා කියල හැඟෙනවා. මේකයි ඒ ප්‍රිය ස්වභාවය කියල, ඒව ස්පර්ෂ කරන්න පටන් ගත්තහම, එමගින් “කාම ස්පර්‍ෂයෝ” හටගන්නවා. මෙන්න මේ රූප කාම, ශබ්ද කාම, ගන්ධ කාම, රස කාම, ස්පර්ෂ කාම, ධර්ම කාම කියන, මේ ඉන්ද්රිය හයට ගෝචර වෙන කාමයන් ස්පර්ෂ කරන්න පටන් ගත්තහම, අන්න මොකද වෙන්නෙ, ඕකට කියනව, ඒව ආයතන කරගෙන, ඒවායින් “ස්පර්ෂ” ගන්න පටන්ගත්ත කියල. එසේ ස්පර්ෂ කරන්නම ඕනෙ, වේදනාවක් හටගන්න, වින්දනයක් හටගන්න. ලෝක සත්වයා දුක්ඛ ආස්වාදයෙ නෙමෙයි බැඳෙන්නෙ. අර ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි, මධුර ස්වභාවයෙන් යුක්තයි කිවුව අන්න ඒවයින් ලැබෙන සැප ආස්වාදයෙ තමයි බැඳෙන්නෙ.
සුවයි, සුවයි කියන ආස්වාදයේ හිත බැඳ ගත්තහම, අන්න ඒ බැඳ ගැනීම නිසා මොකද වෙන්නෙ? ඇතිවෙනවා, ඒ “වීම” පිලිබඳ නැවත නැවතත් ඒක කරන ගති ලක්ෂණය. “වීමක් ධන වෙනවා”. ධන වෙනවා කියන්නෙ? ධන, ඍන කියල දෙකක් තියෙනවා. ධන වෙනව කියන්නෙ, එකතු වෙනවා. යම්කිසි වීමක් නැවත නැවත එක් කරන්න, එක් කරන්න පටන් ගන්නකොට, “වීම ධන වීමට” කියනවා “වේදනා වෙනවා”. අපේ භාෂාවෙන් කතා කලහම හොඳට අර්ථ තේරෙනවා. වීමක් එකතු කරගත්තහම, වීම් ගොඩක් එතන මනසෙන් ගන්නවා. අතීතයේ වෙච්චත් එකතු කර ගන්නවා, එවෙලෙ වෙන ඒවත් එකතු කර ගන්නවා, මතු අනාගතයෙ බලාපොරොත්තුත් ඇතිකර ගන්නවා. මේ සියලුම වීම් ධන කරගත්තහම “වේදනා” උනා.
එතකොට මොකද වෙන්නෙ? අන්න අර ප්‍රිය ස්වභාවය, මධුර ස්වභාවය ඒ තුලින් මතුවෙන කොට, ඒකෙ ඇලිල බැඳිල ඉන්න නිසාම, එතන “හා” වෙනවා. “තණ්හි හා වෙනවා”. “තණ්හි හා වෙනකොට” කියනවා, “වේදනා හින්ද – තණ්හා උනා” කියල. මොකටද “තණ්හි හා උනේ”? අර ප්‍රිය ස්වභාවයට, මධුර ස්වභාවයට තියෙන කැමැත්ත නිසා. ඕකට “නන්දි” කියලත් වචනයක් කියනවා. නන්දනය කරනවා.
අන්න එතෙන්ට කැමැත්තෙන් බැඳුනහම, මොකද වෙන්නෙ? අන්න ඒ ස්ථානය කරා ඇදිල හිටිනව ගලවගන්න බැරුව. රූප කාමය මතු උනහම, ඒ ප්‍රිය ස්වභාවය නිසා, මධුර ස්වභාවය නිසා, ඒක හොඳයි කියල නිගමනයක් කරල, අන්න එතන ඇලිල ඉන්නකොට, මොකද වෙන්නෙ? අන්න ඒ උප ස්ථානයට, ඇදිල හිටිනකොට “උපාදාන” උනා කියනවා. එතකොට අපිට ඒක කාමයක් නම්, අපිට කාම භව ඇතිවෙනවා. ඒක රූප ආස්වාදයක් නම්, රූප භව ඇතිවෙනවා. කාම රූපයි දෙකම අහක් කෙරුවහම, අරූප ආස්වාදයක් නම්, ඒකෙ අරූප රාගය හෙවත්, එතන බැඳීම ඇතිවෙනවා. අරූප භව ඇතිවෙනවා.
ඒ නිසා මේ ලෝක සත්වයා මේ ලෝකෙ සැරිසරනකොට එක්කො කාම භවක, එක්කො රූප භවක, එක්කො අරූප භවක මෙසේ සැරිසරනවා. “භව” යම් තැනක හටගත්ත නම්, ඔය ශක්තියත් එක්කලමයි පැවැත්මේ ශක්තිය මතු බලාපොරොත්තුවත් එක්කයි හටගන්නෙ. මෙන්න මේ ඒ ඒ බවට තියෙන බලාපොරොත්තුව නිසාම, ඒ බවට පත් උනහම, ඒ භවයේ ඉඳගෙන බලාපොරොත්තු වෙනවා මතු මතුත් බලාපොරොත්තු ඇතිකරනවා. “යලි යලිත් රූප බලන්න ඕන. ප්‍රිය මනාප රූප යලි යලිත් ඇත්නම්. ප්‍රිය මනාප ශබ්ද මට යලි යලිත් අහන්න ඇත්නම්. ප්‍රිය මනාප ගන්ධයෝ යලි යලිත් මට ගන්න ඇත්නම්. ප්‍රිය මනාප රසයෝ යලි යලිත් භුක්ති විඳින්න ඇත්නම්. ප්‍රිය මනාප ස්පර්‍ෂයෝ යලි යලිත් මට ගන්න ඇත්නම්. ප්‍රිය මනාප දේවල් යලි යලිත් මට හිත හිතා ඉන්න ඇත්නම්…” මෙන්න මේ කියන බලාපොරොත්තුවක් ඇතිවෙනවා.
මෙන්න මේ බලාපොරොත්තුව ඇතිවෙනකොට මොකද වෙන්නෙ? ශක්තියක් නිකුත් කරනවා. අන්න ඒකට කියනවා “කර්ම ශක්තිය” ඇතිකරන මූලස්ථානය. හිත තුල මේ ටික නැගෙනකොට, මෙන්න මේකෙන් ඇතිවෙන්නා වූ ආස්වාදයෙහි ප්‍රිය මනාපය නිසා, බැඳීම නිසා, යලි යලිත් මතු මතු බැඳීමට හේතුවෙනවා. මතු එබඳුම “තන්හි හා වෙන්න” හෙවත් “තණ්හාවකට” හේතුවෙනවා.
{ 0:24:11 } : තණ්හාව නමැති වඩුවා භවය හදන හැටි
බුදු පියාණන් වහන්සේ බෝධිසත්ව අවස්ථාවේදීම දැක්කා, මෙන්න මේ “තන්හි හා වෙන වඩුවා තමයි, මේ ශරීරය නමැති ගේ හදන්නෙ”. “තණ්හා නමැති වඩුවා ගේ හදනවා කිවුවෙ ඒකයි”. මෙන්න මේ හදාගත්තහම මොකද වෙන්නෙ? අන්න අර භව ශක්තිය නිකුත් කරල, මෙලොවදී කටයුතු කිරීමේදී කර්ම භව කියල එකක් හටගෙන, එයින් ලැබෙන්නා වූ අතිරේක ශක්තියක් ලෝකේ නිදහස් වෙලා තියෙනව, නැවත නැවතත් ඒ අවශ්‍ය දේ නිෂ්පාදනය කරල දෙන්න.
ඇස බලාපොරොත්තු වෙනව ලෝක සත්වයා, ප්‍රිය මනාපයක් ගන්න. එහෙනම් එයාට ඇසක් බලාපොරොත්තු වෙනව, මොකටද? ප්‍රිය මනාපය බලන්න ඇහැක් ඕනෙ නිසා. ඇහෙන් විතරක් ප්‍රිය මනාපය ගන්න බෑ, රූපයකුත් ඕනෙ. ඒ ප්‍රිය මනාපය ගෙනදුන්න ජාතියෙ රූපෙකුත් බලාපොරොත්තුවෙනවා.
කන බලාපොරොත්තුවෙනවා. කනෙන් විතරක් ශබ්දයක් ගන්න බෑ, ශබ්ද ආස්වාදයක් විඳින්න බෑ. ඒ ආස්වාදය ගෙන දෙන්නා වූ ශබ්දයක් ලෝකයෙන් බාහිරින් බලාපොරොත්තුවෙනවා.
නාසයක් බලාපොරොත්තු වෙනවා, ආග්‍රහණ ආස්වාදය විඳින්න. නාසයට විතරක් ආග්‍රහණය ගන්න බැරි නිසා, බාහිරින් ගන්නා වූ ආග්‍රහණයට හේතුකාරක වන්නා වූ ප්‍රිය මනාපයක් බලාපොරොත්තු වෙනවා.
දිව බලාපොරොත්තුවෙනව රස විඳින්න. ඒවාගේම දිව විතරක් තිබුනට මදි, බාහිර ලෝකයෙන් දිවට ගෝචර වෙන්නා වූ රසය කියන දේකුත් එන්න ඕනෙ. ඒකත් බලාපොරොත්තුවෙනවා.
කය බලාපොරොත්තුවෙනවා පහස විඳින්න. කය විතරක් තිබුනට පහස විඳින්න බැහැ, බාහිරින් ඒකට හේතුකාරක වන්නා වූ ආස්වාද දෙන ස්පර්ෂයක් බලාපොරොත්තුවෙනවා. ස්පර්ෂ දෙන දෙයක් ඒ නිසා බලාපොරොත්තුවෙනවා.
මන බලාපොරොත්තු කරගන්නවා, මනෝමය වශයෙන් හිතන්න. හිතමින් ආස්වාද විඳින්න. මනසට ආස්වාද එන්න නිකං බෑ, මනසට යමක් ඝට්ඨනය වෙලා හිත් පහලවෙන්න ඕනෙ. එහෙනම් ධර්ම කියන්නා වූ නාම ධර්මයක් බලාපොරොත්තුවෙනව, මනසෙන් ස්පර්ෂ කරන්න.
මෙන්න මේ බලාපොරොත්තුවක් කියල කියන්නෙ, අපි ඔය කිවුව ආසාව කිවුව එකයි. මෙන්න මේක තමයි අර “වඩුවා” කිවුවෙ. මතු මතුත් ශක්තිය ගෙන දෙන්නෙ, මතු මතුත් භවය හදල දෙන්නෙ ඔන්න ඔය වඩුවා.
දැන් වඩුවාගේ ක්‍රියාකාරීත්වය දෙපැත්තකින් වැඩ කරනවා. එකක් අභ්‍යන්තර ආයතන කියන ඇස, කන, දිව, නාසය, ශරීරය, මන කියන එක හදන්න. අනික බාහිර ආයතන වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ෂ, ධර්ම කියන මේ ටික නිපදවල දෙන්න. මෙන්න මේ කියන අභ්‍යන්තර ආයතනයි, බාහිර ආයතනයි කියන දෙක එකතු කරගෙන, කරන වැඩපිළිවෙල තමයි මේ “සත්වයා” කියන්නෙ.
{ 0:26:34 } : ජාති උදාවීමේ සහ නිරෝධ වීමේ ක්‍රියාවලිය
ආස්වාද විඳිමින් ගමනක් හදාගෙන තියෙන්නෙ ඔය ටිකෙන්. මෙන්න මේ ටික එකතු උනහම තමයි ජාති හැදෙන්නෙ. “භව පච්චයා ජාති” කිවුවෙත් ඔන්න ඕකට. ඔය හටගත්ත ජාතියක් යම් තාක්කල් හටගෙන, මොන ජාතිද හටගන්නෙ? ප්‍රධාන වශයෙන් ඇස් ජාතියක් හටගන්නවා. කන් ජාතියක් හටගන්නවා. නාස් ජාතියක් හටගන්නවා. දිව් ජාතියක් හටගන්නවා. කාය ජාතියක් හටගන්නවා. හිත් ජාතියක් හටගන්නවා. මෙන්න හටගන්න ජාති ටික. ඔය ජාති එක පොදියකටයි ගන්නෙ.
කාම ආස්වාදය විඳින්න නම්, ඔය ජාති පහෙන්ම අරගෙන, හයවෙනි ජාතිය වන, හිත් ජාතියෙන් ආස්වාද විඳිනවා. එහෙනම් ආස්වාදයක් විඳින්න මේ ජාති හය ඕනෙ. අප්‍රමාණ සංසාරයේ පටන්ගෙන ලෝක සත්වයා කරල තියෙන්නෙ, ඔය ජාති හය නිෂ්පාදනය කරගෙන, ඔය ජාති හයට ගෝචර වෙන බාහිර ලෝකයයි කියල යමක් නිෂ්පාදනය කරගෙන, දැනුවත්ව නෙමේ නිෂ්පාදනය කරන්නෙ, ඒ ශක්තිය දුන්නහම, බලාපොරොත්තු ඇතිකරපුවහම, බලාපොරොත්තුවෙන් පහලවෙන ශක්තිය, අපි දැනගෙන හිටියත්, නැතත් ඒක නිෂ්පාදනය කරනවා. මෙන්න මේකට කියනව අපි කර්ම ශක්තියේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මෙන්න මේ බලාපොරොත්තුව යම්තාක්කල් අපිට පවතිනවද, ඒ තාක්කල් මතු මතුත් ජාති පහල කරගන්න ශක්තිය නිෂ්පාදනය කරනවා. යම් දවසක මෙන්න මේ බලාපොරොත්තුව සහමුලින් සිඳීගිය දාට, එබඳු ඇස් ජාතියක්, කන් ජාතියක්, දිව් ජාතියක්, නාස් ජාතියක්, කාය ජාතියක්, හිත් ජාතියක් පහල කරන්න තිබිච්ච ශක්තිය ඉවරයි. ඒ ටික ඉවර උනානම්, රූප ජාතියක්, ශබ්ධ ජාතියක්, ගන්ධ ජාතියක්, රස ජාතියක්, ස්පර්ෂ ජාතියක්, ධර්ම ජාතියක් ආග්‍රහණය කරන්න, නැත්නම් ඇසුරු කරන්න තිබිච්ච හේතුකාරකය ඉවරයි. එදාට සත්වයා ඉවරයි.
අන්න හටගැනීමක් නැති තැන. හටගැනීමක් නැති තැනට පත් උනාට පස්සෙ, ජාතියක් එතන නෑ. ජාතියක් නැත්නම්, ජරාවක් නෑ, ව්‍යාධියක් නෑ, මරණයක් නෑ. මෙන්න බුදු පියාණන් වහන්සේ ක්‍රමානුකූලව දැක්ක පටිච්ච සමුප්පාදය. මෙන්න මේක අපි දැනගන්න ඕනෙ. මෙන්න මේක තමයි ජාතියට හේතුව.
{ 0:28:37 } : සත්වයා විග්රහ කිරීම
දැන් ඉතින් අපි බලාගන්න ඕන එක දෙයක්. නොයෙක් නොයෙක් ආකාරයෙන් මේව ප්‍රබේධ කරල තියෙනවා. මේ ටික ඔක්කොම ගතයි – හිතයි කියලත් ප්‍රබේධ කරල දෙකකට බෙදල තියෙනවා සමහර වෙලාවට. නාම ධර්මයි, රූප ධර්මයි කියලත් ඕකට වෙන්කලා.
තව අවස්ථාවකදි මේ ටික රූප ධර්ම, වේදනා ධර්ම, සංඥා ධර්ම, සංකාර ධර්ම, විඤාණ ධර්ම කියල පහකට වෙන් කරල, පංචස්කන්ධය කිවුවා. ඒ එක අවස්ථාවක්.
ලෝක වශයෙන් අරගෙන මේ සියල්ලම කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය කියල ලෝක තුනකටත් වෙන්කලා. මේ තව ක්‍රමයක්.
ආයතන වශයෙන් අභ්‍යන්තර ආයතන හයකුයි, බාහිර ආයතන හයකුයි කියල, දොළොස් ආයතනයකට වෙන්කලා. චක්ඛායතන, සෝතායතන, ඝානායතන, ජිව්හායතන, කායායතන, මනායතන, රූපායතන, ශබ්ධායතන, ගන්ධායතන, රසායතන, පොට්ඨබ්භායතන, ධම්මායතන කියල ආයතන දොළහකටත් වෙන්කලා.
ධාතු වශයෙන් චක්ඛු ධාතු, රූප ධාතු, චක්ඛු විඤාණ ධාතු, සෝත ධාතු, ශබ්ධ ධාතු, සෝත විඤාණ ධාතු, ඝාන ධාතු, ගන්ධ ධාතු, ඝාන විඤාණ ධාතු, ජිව්හා ධාතු, රස ධාතු, ජිව්හා විඤාණ ධාතු, කාය ධාතු, පොට්ඨබ්භ ධාතු, කාය විඤාණ ධාතු, මනෝ ධාතු, ධර්ම ධාතු, මනෝ විඤාණ ධාතු කියල ධාතු දහ අටකට වෙන්කලා.
දැන් ඔය ඔක්කොගේම කිවුවත් කිවුවෙ, මේ සත්වයාමයි. ඔය එක පැත්තකට විස්තර කරලා මේ සත්වයා කියන ඔය නාම-රූප පිණ්ඩය කිවුව එකම තමයි, ඔය එක එක ආකාරයෙන් ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන් ඔය විදිහට වෙන්කරල දුන්නෙ. ඉතින් ස්කන්ධ වශයෙන් පෙන්නුවත්, ධාතු වශයෙන් පෙන්නුවත්, ආයතන වශයෙන් පෙන්නුවත්, එක එක්කෙනාගේ දැනීම් මට්ටමට අනුව, විග්රහ කරල බලා ගැනීමටයි, මේ සත්වයාම කොටස් කරල පෙන්නුවෙ. ලෝකයම කොටස් කරල තියෙනව ඔතන.
නාමයයි, රූපයයි කිවුවහම, අභ්‍යන්තර නාම-රූප, බාහිර නාම-රූප, කියල දෙපැත්තකින්, සත්වයයි, ලෝකයයි කියන දෙකම වෙන්කලා. එතකොට අනිත් සැරේ ස්කන්ධ වශයෙන් ගත්තහම, එතනත් ඒ ක්‍රමයටම වෙන්කලා. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඤාණස්කන්ධය කියල, ස්කන්ධ පහක් කියලත් වෙන්කලා. ඔය ස්කන්ධ පහ කියල ගත්තහම, පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකයයි කියල, ඒකට නමක් තිබ්බා. පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකයයි කියන වචනෙ කියල එතනත් පෙන්නුව විග්රහ කරල.
{ 0:31:06 } : පංචස්කන්ධය යනු කුමක්ද?
කොහොමද මේ පචස්කන්ධය පෙන්නුවෙ? පලවෙනි එක රූපස්කන්ධය. දැන් අපිට වැදගත් තැනක් තියෙනව, අද භාවනාවෙදිත් දැනගන්න, මං පස්සෙ තව ටිකක් ඒක විග්රහ කරල දෙනවා. ඔය රූපස්කන්ධය කියන එක විග්රහ කරගන්න වෙනවා. මෙන්න මෙහෙම පෙන්නනවා.
දුර වේවා, ළඟ වේවා, පේන වේවා, නොපෙනෙන වේවා, සියුම් වේවා, ඝන වේවා, අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා, රූපයයි යමක් යම් තැනක වීද, යම් තැනක වෙයිද, මතු යම් තැනක වන්නේද, මේ සියලුම ටික එකතු කරල, රූපස්කන්ධයයි කිවුව.
දුර වේවා, ළඟ වේවා, පේන වේවා, නොපෙනෙන වේවා, සියුම් වේවා, ඝන වේවා, අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා, වේදනා යයි පෙර යමක් වීද, දැන් යමක් වෙයිද, මතු යමක් වන්නේද, ඒ සියල්ලම කැටි කරල ගත්තහම, වේදනාස්කන්ධයයි කියල පෙන්නුවා.
දුර වේවා, ළඟ වේවා, පේන වේවා, නොපෙනෙන වේවා, සියුම් වේවා, ඝන වේවා, අතීත වේවා, වර්තමාන වේවා, අනාගත වේවා, සංඥා යයි යමක් යම් තැනක පෙර වීද, දැන් වෙයිද, මතු වන්නේද, ඒ සියල්ලම කැටි කරල කිවුව, සංඥාස්කන්ධයයි කියල. {{ ඛන්ධවිභඞ්ගො }}
එතකොට දැන් අපි රූපය ගැන කිවුව, වේදනා කියන්නෙ කියල මොකක්ද කියල අපි දැනගත්තනෙ. යම්කිසි දෙයක් අපිට දැනෙනව නම්, ඒ දැනෙන ස්වභාවය ඇත්තේ කුමකද? “වේදනා”; “වීම” දැනෙනවා. වීමක් ධන කරනවා. නැත්නම් ඕක නිකං දැනෙන්නෙ නෑ. රූප දැනෙනවා, ශබ්ධ දැනෙනවා, ගන්ධ දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ෂ දැනෙනවා, කියල කිවුවෙ, ඔය “වීම් එකතු උනහම”, සිද්ධවෙන දෙයක්. අන්න වේදනා.
සංඥා කිවුවෙ දැනෙන්නෙ මොනවද? දැනීමෙන් ගෝචර වෙන්නෙ මොනවටද? ඒ ඒ හැඩරුව. මෙබඳු සංඥාවක්. මේ රූපයක ආකාරය, මේ ශබ්ධයක ආකාරය, මේ ගන්ධයක ආකාරය, මේ රසයක ආකාරය, මේ ස්පර්ෂයක ආකාරය, මේ ධර්මතාවයක ආකාරය. මෙන්න මේ ආකාර ස්වභාවයක් මනසෙන් ගන්නව හැඩ ගහගෙන. මෙන්න මේවට කියනව සංඥා. සංඥාවල ස්වභාවය ඕකයි. ඕවෑ ප්‍රිය ස්වභාවය, මධුර ස්වභාවය නිසා, ඒව පිළිබඳව ඇලිල, ඒව පිළිබඳව බැඳිල, යම්කිසි පුද්ගලයෙක් එහි ආස්වාද වශයෙන් හිතනවද, කියනවද, කරනවද, මෙන්න මේ සියල්ලම සංකාර ස්වභාවයට වැටෙනවා. සංකාර කියන්නෙ ඒවා.
දුර වේවා, ළඟ වේවා, පේන වේවා, නොපෙනෙන වේවා, සියුම් වේවා, ඝන වේවා, අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා, සංකාර යයි යමක් පෙර වීද, දැන් වෙයිද, මතු වන්නේද, ඒ සියල්ලම කැටි කරල කිවුව, සංකාරස්කන්ධයයි කියල.
ඔන්න ඔය කියන සිතෙන්, කයෙන්, වචනයෙන්, “ප්‍රියයි මනාපයි” කියන හැඟීමක පිහිටල, ඇලිල, බැඳිල, යම් යම් වැඩ හිතනකොට, කියනකොට, කරනකොට, මෙන්න මේ නිසා ඒවා පිළිබඳව හිතන්න පහලවෙනව යම්කිසි අදහසක්. යම් ගති ලක්ෂණයක් පහලවෙනවා හිතන්න. ඒවගේම නැවත නැවතත් ඒවා ගැන කිය කිය ඉන්න හිතෙනව හිතක්. ඒවම නැවත නැවතත් කර කර ආස්වාද විඳින්නත් තව හිතක් පහලවෙලා, ඒ ආකාරයෙන් හිතන්න පහලවෙච්ච එකෙන් හිතුවිලි පහල කරනවා. කියන්න පහලවෙච්ච එකෙන්, කීම් පහලකරනවා. කරන්න පහලවෙන හිත් වලින්, කරන්න පටන් ගන්නවා. මෙන්න මේවට කියනවා කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර.
ඕව පහලවෙන්නෙ කොහෙද? අර හිතේ. ඒ ඒ ජාතියෙ හිත්වල. හිත කිවුවහම එකක් නෙමෙයි. වැටහෙන නිසා හිත කිවුවට, එතන නැවතිලා නැහැ මේ ලෝක සත්වයා. මොනවා වටහා ගන්නද වෙන් වෙලා ඉන්නෙ? ප්‍රිය ස්වභාව, මධුර ස්වභාව ගෙන දෙන, රූප වටහාගන්න, ශබ්ද වටහාගන්න, ගන්ධ වටහාගන්න, රස වටහාගන්න, ස්පර්ෂ වටහාගන්න. මේවෑත් යෙදෙනවා එක එක මට්ටමට. එක එක ගති ලක්ෂණ තියෙනවා.
කාම ගති ලක්ෂණය, ආස්වාදය බලාපොරොත්තුවෙන් එහි ප්‍රිය මනාපයේ බැඳිලා, කාම සහගත රූප වටහාගන්න, රූප ඇසුරු කරන්න. ඒවගේම කාම ශබ්ද, කාම ගන්ධ, කාම රස, කාම ස්පර්ෂ, කාම ධර්ම, මේව ඇසුරු කරන්න යම් හිතක් පහලවෙනවද, යම් හිත් ප්‍රබේධයක් හටගන්නවද, ඒව ඒ ජාතියෙ කාම හිත් කියල හැඳින්නුව, නැත්නම් රාග හිත් කියල හැඳින්නුව. ඔය රාග විඳින්න ගියහම බල්ලන්ට අහුවෙච්ච මස් කටු වාගෙ, උකුස්සන්ට අහුවෙච්ච මස් කැටි වාගෙ, මහ පොරයක් තියෙන දෙයක් ඔය රාග කියන ඒව. රාග අරමුණු. රාගය ගෙනත් දෙන්නා වූ යම් ද්‍රව්‍ය වස්තුවක්, සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු කියන, මේ පැවැත්ම තුල යමකින් කාමය හටගන්නනවද, කාමය බලාපොරොත්තුවෙනවද, ඕව ඔය කාම වස්තු වලට, ලෝක සත්වයා මහ පොරයක් තියෙනවා. අප්‍රමාණ ලෝක සත්වයො මේ පොරේ ඇති කරගෙන, මේ තරඟයට බැඳිල, ඕව මහා තරඟයක් කරගෙන යන ගමනක් මිසක්, ඔන්න ඔය කාම පොරය නිසාම, සිද්ධ වෙනව සටන් කරන්න, තරඟ කරන්න. එකෙක්ගෙන් අනිකට උදුරගන්න. එහෙකුට නොදී, තමා භුක්තිය ලබාගෙන තියාගන්න.
මෙන්න මේ විදිහට ඇතිවෙන හිත් පහලවෙනවා. මේව හරි වටිනවයි කියල දැනගෙන, මේව දුර්ලභයි, මොකද එක එක්කෙනා පොරකාලා අයිති කරගෙන ඉන්න හින්ද. මෙන්න මේ අයිතිය නිසාම, හිතක් පහල වෙනවා. “මගේ ගොඩත් ලොකු කරගන්න ඕනෙ. හැබැයි කාටවත් අතගහන්න දෙන්න බෑ මේකට. ඒක මගෙ ගොඩේ තියාගන්න ඕනෙ”. අන්න ඒකෙන් හටගන්න හිත් වලට කියනවා ලෝභ හිත්. හිත කියන වචනෙ, එක තේරුමක් නෙමෙයි. යම්කිසි තැනක පිහිටල, ඒ පිළිබඳව බලාපොරොත්තු ඇති කරවන, ඒ පිළිබඳව ඒ ඒ අරමුණු බහින්න, පිහිටන අදහස් පිහිටන්න, හිත යැයි යමක යම් සේ පිහිටන්නේද, අන්න ඒ පිහිටන ආකාරය අනුව ඕවට, හිත් වලට නම් වෙන්කරල තියෙනවා.
ඉතින් ලෝභ හිත් කිවුව එකක්. එව්වගෙම එහෙම උනහම එහෙම දෙන්න බෑ කියල, අසාධාරණයි ඕක කියල, මේ මේ ආකාරයෙන් පටන්ගෙන, ක්‍රම ක්‍රමයෙන් ගැටෙන්න පටන් ගන්න හිත් පහල කරන කට්ටියක් ඉන්නවා. කට්ටියක් කියන්න දෙයක් නැහැ, ඉතින් එක එක්කෙනාට පහලවෙනවා. මෙන්න මේ හිත් පහලවෙන ඒවට කියනවා, ද්වේෂ හිත් පහල කරනවා. ඒ හිත තිබුනහම තමයි ඒ ජාතියෙ වැඩ හිතෙන්, කයින්, වචනයෙන් කරන්නෙ. ලෝභය කියන හිත පහල උනහම තමයි, ලෝභ සහගත වන්නා වූ දේවල් හිතෙන්, කයින්, වචනයෙන් කරන්නෙ.
සමහර වෙලාවට ඒ දෙකම කරගන්න බැරි, තේරුම් ගන්න බැරි අවස්ථාවට පත්වෙලා, මුලාවට පත්වෙනවා. මුලාවට පත් උනහම නන්නත්තාරෙ යනව වාගෙ, කිසිම දෙයක් කරගන්න දේ දන්නෙත් නෑ, කියන දේ දන්නෙත් නෑ, හරි දන්නෙත් නෑ, වැරදි දන්නෙත් නෑ, කොහේ හරි ඇලිල, ගැලිල ඉන්නවා. ඕවට කියනව මෝහ හිත් පහලවෙනවා.
ඔය ප්‍රධාන වශයෙන් ලෝභ සිත්, ද්වේෂ සිත්, මෝහ හිත් කියල, ලෝක සත්වයෝ කොටස් වලට වෙන්කර ගන්නවා. ලෝක සත්වයන් අතර යන ඒව, නැණවතුන් විසින් දැකල වෙන් කරනවා, මෙන්න මේ සිත් කොටස මේ කොටසට දාන්න පුළුවන්. මෙන්න මේව ද්වේෂ හිත් කියන කොටසට දාන්න පුළුවන්. මෙන්න මේව මෝහ හිත් කොටසට දාන්න පුළුවන්. එහෙම වෙන්කර ගන්නවා.
එතකොට එව්වගෙම තව කොටසක් ඉන්නවා, “ඒව එහෙම අසාධාරණයෙන් විඳින්න හොඳ නැහැ, කාටත් පොදු වෙන්න ඕන, කාටත් සාධාරණ වෙන්න ඕන”. නැත්නම් මේ මේ ආදී වශයෙන් එක එක විදිහෙ හදාගෙන, “අපි නම් ලෝභ වෙලා ඉන්නෙ නෑ, කවුරුත් එක්කල පොදුවේ භුක්ති විඳිනවා, එහෙම භුක්ති විඳිනවා මිසක් මං නම් ලෝභ වෙලා ඉන්නෙ නෑ”. එහෙම කට්ටියකට හිත් එනවා. ඒවට කිවුව අලෝභ හිත් කියල.
“මම නම් සැඩ පරුෂ වෙලා, තරහ වෙලා, අනිත් අය එක්ක රණ්ඩු වෙවී මේ ආස්වාද විඳින්නෙ නෑ”, ඒ අයට කියනව අද්වේෂ හිත් පහලවෙන අය. ඔය ඔක්කෝම මොනව කරගත්තත් මේව මුලාවනෙ, වැඩක් නැහැනෙ කියල දැනගත්ත කට්ටියට, අමෝහ හිත්.
ඉතින් ලෝභ හිත්, ද්වේෂ හිත්, මෝහ හිත්, අලෝභ හිත්, අද්වේෂ හිත්, අමෝහ හිත් කියල, මෙන්න මේ වගේ මේ හිත් පහලකරගත්තත්, මේ ඔක්කොම එක්කල මේ ලෝක පොදියෙමයි යන්නෙ. මේ නිසා ඥාණයක් මෙතන නෑ. නියම දැනීම නෑ.
ඥාණයෙන් විකෘති බවක් ඇතිකර ගත්ත නිසා, විඤ්ඤාණයක් පහල කරගන්නවා. මෙන්න මේවට කිවුව විඤ්ඤාණ. දැන් මේ විඤ්ඤාණ ගොඩ ගහගෙන, එක එක පැත්තෙ ඒව අරගෙන, ඒ ඒ අදහස් දරාගෙන, සැරිසරන වැඩපිළිවෙලක් තියෙනවා, මේක විඤ්ඤාණ කියනවා.
දුර වේවා, ළඟ වේවා, පේන වේවා, නොපෙනෙන වේවා, සියුම් වේවා, ඝන වේවා, අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා,විඤ්ඤාණයයි යමක් වීද, පෙර වීද, විඤ්ඤාණයයි යමක් දැන් වෙයිද, විඤ්ඤාණයයි යමක් මතු හටගන්නේද, මෙන්න මේ සියල්ලම එකතු කරල කිවුව, විඤ්ඤාණස්කන්ධයයි කියල. {{ ඛන්ධවිභඞ්ගො }}
දැන් රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඤාණස්කන්ධය කිවුවහම, ඔය ටික ඔක්කොම මේ ලෝකෙ පැවැත්මට හදාගත්ත, අර හිතයි, ගතයි, නැත්නම් නාමයයි, රූපයයි කිවුව ටිකේම කරපු විග්‍රහයක් තව විදිහකට. ඔය ටිකමයි ඔතන තියෙන්නෙ. ඔය කිවුවෙත් මේ සත්වයයි, ලෝකයයි. ඔය ටිකම අරගෙන යන්නෙ මොකක් නිසාද?
{ 0:39:56 } : ගති ලක්ෂණයට අනුව ජාතිය උදාවීම
ඔය කිවුව ඇත්ත පෙනෙන්නෙ නැති නිසා, මේව වටිනවයි කියල ගත්ත නිගමනය නිසා, නිත්‍යයි, සැපයි, ආත්මයි කියන දෘෂ්ඨිය නිසා, එයින් පහල කරගත්ත අවිද්‍යාව නිසා, අවිද්‍යාව මුල් කරගත්ත වැඩපිළිවෙලින් ඔය ටික නිෂ්පාදනය කරගෙන ජාති වලට වෙනකං හදාගන්නවා. හදාගෙන ලෝභ ජාති, ද්වේෂ ජාති, මෝහ ජාති, ගැළපෙන, ගැළපෙන විදිහට, ජාති පහලවෙලා හැඩගැහිල එනවා. ඒ අනුව හටගත්තා වූ ඇස, කන, දිව, නාසය, ශරීරය, ඒ ගති ලක්ෂණයට උරුමවෙලා, හැඩතලයක් ගන්නවා.
බැරිවෙලා හරි ඒක බලු ගති ලක්ෂණ නම් තිබුනෙ, ඒ අරගත්ත ඇස, කන, දිව, නාසය, ශරීරය, මන කියන මේ ටික, බලු හැඩයකට හැඩ ගැහෙනවා. ඒ හැඩයේ හටගන්න ගතියෙ රූපය තමයි බලු ගතියෙ රූපය, බලු රූපය. ඕක වෙනස් වෙන්නෙ නෑ, ඕක තමයි ඒකෙ හැඩේ. ඒ වැඩේ තියෙන අසාධාරණ තත්වය උඩ, කවුරුවත් කිවුවට නෙමෙයි, ඒකට උරුම තත්වය උඩ, ඒකෙ හැඩය තමයි බල්ලට තියෙන්නෙ.
ඒ ගතිය සාරධර්ම විනාශ කරන, හරක් ගතියක් නම්, ඒ ගති රුව හරක් හැඩයේ තියෙන ගති රුව වෙනවා. හරකගෙ ගති රුව කියල අපි කියන්නෙ, ඒ හැඩයට පහල වෙච්ච ගති රුවටයි.
ඒක මනුස්ස ගතියකට, සුගති ගතියකට හේතු උනානම්, ඒ ශරීරය මිනිස් ආකාර ගන්නවා. “මිනිහා” කියල අපි හඳුන්වන්නෙ, එයින් ගත්ත ආකාරයේ ලක්ෂණය දැකල ඒකටයි.
මේ ලෝකයේ ඉන්න තරමක් යම් තාක් සත්වයො ඉන්නව නම්, ඔය ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ කියන මෙන්න මේ ගති ලක්ෂණයන්ගෙන් ඇති කරගත්ත, උරුම කරගත්ත, ගති ලක්ෂණය, ගති රුව තමයි, ඒ ඒ ස්වභාවයට අනුව මේ ලෝක සත්වයා ලබන්නෙ. මොන කාලෙක උනත්, මොන කල්පෙක උනත්, මොන තව පිට සක්වලක උනත්, හිතක පහළවෙන ඔය ගති ලක්ෂණය ඔය ටික නිසා, ඒ ගති ලක්ෂණයේ ගති රුව තමයි, කොයි සතාට තියෙන්නෙත්. ඉතින් වෙන සක්වලකට ගිහින් බැලුවත්, මිනිස්සු ඉන්නවා, බල්ලො ඉන්නවා, හරක් ඉන්නවා, බූරුවො ඉන්නවා, ඌරො ඉන්නවා, ඔය ජාතියම තමයි ඉන්න වෙන්නෙ. වෙන එකෙක් හටගන්න බෑ. මොකද හේතුව? ගතියට අනුකූල රුවක් තියෙනවා නම් ඒක වෙනස් වෙන්නෙ නෑ.
මෙන්න මේකෙන් මේ ලෝක සත්වයො, ඒ ඒ ගති රුව අරගෙන, ගති රුවේ නිෂ්පාදනය මුල්වෙලා, අර උපාදාන කල හෙවත් ආසන්නයට ඇදිල හිටපු ඒ ඒ දේ නිෂ්පාදනය කරගෙන, ඒ නිෂ්පාදනය කරගත්ත පොදු ලෝකෙකුත් හදාගෙන, පොදුවේ එකතු වෙලා, ඒ පොදු ලෝකය තුල ඒ ඒ ජාති ස්වභාවයන් ඇසුරු කරගෙන, හැඩරුව අරගෙන, ඒකට අනුකූල වන්නා වූ සතර මහා භූතයන්ගේ ඝනීභවනයන්ට පත්වෙලා, ඒ ඒ මට්ටමේ දුක සැපට ගොදුරු වෙලා, ඒකට උරුම දේවල් විඳගෙන යනවා.
{ 0:42:31 } : ප්‍රිය මධුර ස්වභාවය නිසා සසර සැරිසැරීම
එහෙනම් “ප්‍රියයි, මනාපයි, යහපතයි” කියල යම් දෙයක් ගන්නකොටම එක දෙයක් වෙනවා. මේ අප්‍රමාණ ලෝක සත්වයො පොරකන්නෙ ඕවටමයි. මොකද? මේ ලෝකයේ යමක් ප්‍රිය ස්වභාවයෙන් යුක්ත නම්, මධුර ස්වභාවයෙන් යුක්ත නම්, ඒ නිසාමයි ලෝක සත්වයෝ මේ සැරි සරාගෙන එන්නෙ, හොයාගෙන එන්නෙ. ඒ ප්‍රිය ස්වභාවය, මධුර ස්වභාවය නිසා, එහි තිබෙන ආස්වාද ස්වභාවය නිසා, ඒකෙ අප්‍රමාණ ආදීනවයක්, අප්‍රමාණ දුක් කන්දරාවක්, ඒ ආස්වාද මාත්‍රයෙන් වැහෙනවා, ඒ දුක් කන්දරාව පේන්නෙ නැතුව යනවා. මේකයි “අවිද්‍යාව” කිවුවෙ. “නිත්‍යයි, සැපයි, ආත්මයි” කියන දෘෂ්ඨියේ යම් තාක්කල් යනකං, අර දුක් කන්දරාව ඒ නිසා හටගත්ත ආස්වාදයෙන් වැහිලා. මෝහය, මුලාව කිවුවෙ ඕකට. අවිද්‍යාව කිවුවෙ ඒකට. අන්න ඒකෙන් වැහිල තමයි මේ ලෝක සත්වයා අනන්තයේ පටන් එන්නෙ.
මෙන්න මේක මෙහෙමයි කියල දැක්කෙ බුදු පියාණන් වහන්සේ. දැකල පෙන්නුවා මේකට හේතුවක් තියෙනවා. මෙන්න මේ තිබෙන්නා වූ අවිද්‍යාව දුරු කරල දාන්න ඕනෙ. මෙන්න මේක දුරු කරපුවහම තමයි, ඇත්ත පේන්න පටන්ගන්නෙ. එතකං වැහිල තියෙන ආදීනවය එදාට ඇරෙනවා. මෙන්න මේක ඇරගන්න පුළුවන්කමක් නැහැ ලෝක සත්වයෙකුට මූලික වශයෙන් අර බැඳිල තියෙන මායාවෙන් තාවකාලික මොහොතක හරි ඉවත් වෙනකං. “ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි, මධුර ස්වභාවයෙන් යුක්තයි” කියන මෙතන ඉඳල, කවදාවත් මේ ඇත්ත බලන්න බෑ.
යම් මොහොතක, යම් වෙලාවක, තාවකාලිකව හෝ සංවරත්වයක් ඇතිවෙන්න ඕන, ඉන්ද්‍රියන් සංවර කරගෙන, සංවරත්වයක් ඇතිවෙන්න ඕන, මේ අවස්ථාව ඉක්මවල ඒ වැහිල තියෙන ආදීනවය ඉස්මතු කරල මොහොතක් හරි දකින්න. මෙන්න මේක තමයි මේ කල්‍යාණ මිත්‍රයාගෙන් සිද්ධවෙන සේවය. එහෙම නැත්නම් මේ සාසනයේ සිද්ධවෙන සේවය. සාසනය තුලින් මොකක්ද ලැබෙන්නෙ? උපදෙසක් හම්බෙනවා. “ඔය ප්‍රිය ස්වභාවය, මධුර ස්වභාවය හිතින් අයින් කරගන්න බෑ, ඕක බල බලා ඉන්නකං, අහ අහා ඉන්නකං, ඒකෙ බැඳිල ඉන්නකං. ඒ නිසා කොහොමහරි හිත හික්මවගෙන මොහොතක් වෙලා, ඇස් දෙක සංවර කරගන්න. කන සංවර කරගන්න. දිව, නාසය, ශරීරය, මන සංවර කරගන්න. උත්සාහ අරං ඒ ටික කරගෙන යන්න”.
මෙන්න මේ ඉන්ද්රිය සංවර කරගෙන යම් මොහොතක් ඉන්නව නම්, අන්න ඒ වෙලාවෙදි පුළුවන් කමක් ලැබෙනවා, ඒ බාහිර මන වඩන රූප පිලිබඳ බලාපොරොත්තු මොහොතකට අයින් කරල ඉන්න. “තදංග ප්රහාණය” කියල ඕකට කිවුව. දැන් මේ බණ අහන වෙලාවෙදි මන වඩන රූප පස්සෙ ගිහින් නෑ හිත. ඇස් දෙක ඒව පස්සෙ යන්නෙ නෑ. ඉතින් ප්‍රිය වූ, මනාප වූ, කාම සහගත වූ ශබ්ද අහන්න යවලත් නෑ. අවධානය ඒ පැත්තට නෑ. ප්‍රිය මනාප මිහිරි ඇති රස පිණිස යවලත් නෑ. ප්‍රිය මනාප ගන්ධයන් පිණිස ආග්‍රහණය කරන පැත්තට යවලත් නෑ. ඒ වගෙම කාම ස්පර්ෂයන් පස්සෙ යවලත් නෑ. ඒව ගැන හිතන්න හිත අවධානය යොමු කරලත් නෑ. ඔන්න ඔය ටික නැතුව ඉන්න වෙලාවක, “තදංග ප්රහාණය” කියන අවස්ථාවක් එනවා. ඒ මොහොතට එනවා ටිකෙන් ටික.
මෙන්න මේ වෙලාවෙදි එච්චර කල් වැහිල තිබිච්ච ආදීනව පේන්න පටන්ගන්නව ටිකෙන් ටික. මෙන්න මෙහෙමෙ පේන්න පටන්ගත්තහම තමයි දකින්නෙ, ආස්වාද මාත්‍රයකට ආදීනව ලක්ෂයක් යටකරනව නේද? මෙන්න මේ ආදීනවයේ තරම දැක්කට පස්සෙ මොකද වෙන්නෙ? ආස්වාද මාත්‍රය දෙවෙනි වෙනවා. අප්‍රමාණ ආදීනවය පිළිබඳව කලකිරෙන්න පටන් ගන්නවා, “අනේ මෙහෙම ආදීනවයක් තියෙන දෙයක් නේද මේ ආස්වාදය”. මේක හරියට මාළුවා අල්ලන්න දාපු ඇමක් වාගෙ නේද? එක එක උපමාවෙන් දකිනවා.
රසවත් ඇමක් තියෙනවා, බිලී කොක්කෙ අමුණල තියෙනවා. මාළුවා දන්නෙ නැති නිසා, රසයට ආස්වාදයට ගිජු වෙලා, අර පටලවල තියෙන ඇමට ගහපුවහම, මාළුවා බිලී කොක්කෙ පැටලිලා අප්‍රමාණ දුකක් විඳිනවා, මරණයයි, මරණය හා සමාන දුකකටයි පත් වෙනවා.
මෙන්න මේ ලෝක සත්වයාට දාල තියෙන “ප්‍රිය, මනාප ඇම” තමයි, අප්‍රමාණ දුක් කන්දරාවක් නමැති බිලී කොක්කට අමුනන්නෙ. ඇමිනෙන්න හේතු වෙන්නෙ. ඇම ගිල්ලොත් එහෙම, බේරෙන්න නම් පුළුවන් කමක් හම්බෙන්නෙ නෑ, කොක්කෙන් බේරෙන්න බෑ. අන්න ඇමිනුනා වාගෙ, අර දුක් කන්දරාවට පත්වෙනවා.
මෙන්න මේක අපි දකින්න ඕන ඉස්සෙල්ල. ඕක නිකං දකින්න බෑ කිව්වෙ ඒකයි. මොහොතක් හරි සංවරත්වයට පත්වෙලා, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ඇසුරෙ ඉන්නකොට, ඒ වෙලාවෙදි ඔය පහෙන්ම වෙන්වෙන මොහොතක් ලබන්න පුළුවන් බණ අහන මොහොත. මේක තමයි සාමාන්‍ය කෙනෙකුට, හිත වඩාපු නැති මූලික කෙනෙකුට, සංවර කරගන්න තියෙන මොහොත ඉන්ද්රිය ඔක්කොම. ඔතන ඉන්ද්රිය සංවරත්වය සම්පූර්ණ තියෙනවා. දස අකුසලය ඔතන නැගිල නැහැ.
එහෙනම් ඔය වෙලාවෙදි ඉන්ද්රිය සංවරත්වය තියෙනව නම්, දස අකුසලයෙන් මිදිල ඉන්න වෙලාවක, ඒ වෙලාවෙදි කනට ඇහෙන්නෙ ඒ ගැඹුරු ධර්මය. අන්න ගැඹුරු ධර්මය තුලින් වැටහෙන්න පටන්ගන්නවා – ආනිසංස එහෙකින්, ආදීනව ලක්ෂ ගානක් වැහිල තියෙනවා කියල. මෙන්න වැහිල තියෙන ආදීනව ටික කියල අපිට තේරෙනවා. මෙන්න මේ වෙලාවෙදි ඇති වෙනව අදහසක් – “මෙබඳු වන්නා වූ ආදීනවයන්ගෙන් ගහන වෙලා තියෙන, පිරිල තියෙන, ආස්වාදය නමැති මායාවෙන් වහල තියෙන ලෝකයක් නේද මේ ලෝකය කියන්නෙ. මේකට නේද මේ ලෝක සත්වයා, අපි කවුරුත් රැවටි රැවටි යන්නෙ. ඒ ආස්වාදයන් ඇසුරු කරන්න ගිහිල්ල, අප්‍රමාණ දුකකට පත් වෙනවනෙ…” මෙන්න මේ මූලධර්මය වැටහෙන්න පටන් න්නවා.
මෙන්න මේ වැටහුනාට පස්සෙ වැටහිච්ච එක අයින් කරන්න බැහැ. වැටහෙන්නෙ නැති කල් තමයි ඔච්චර කල් ගියේ. යම් දවසක ඔය ආදීනවය දැක්කා නම්, අර විදිහට හිතනකොට, ඒ දැකපු දැකීම වෙනස් කරන්න බැරුව යනවා. මොකද දැක්කෙ ඇත්තක්. සත්‍යයක් දැක්කා නම්, ඒ සත්‍යය බොරු කරන්න බැරුව යනවා. ආයි සැරයක් ඒ හිතෙන් වෙන එකක් ගන්න බෑ. දැකපු ආදීනවය කවදාවත් වෙනස් කරන්න බෑ.
අපි යම්කිසි දෙයක් වහල තියෙනවා, වහල තියෙන එකක් ඇතුලෙ මොනව තියෙනවද දන්නෙ නැතුව ඉන්න තාක්කල්, හරි ලස්සන මල් පෝච්චිය කිය කිය ඉන්නවා. හරි ලස්සනයි මේක කිය කිය. හැබැයි කොයි වෙලාවෙ හරි ඕක ඇරල බලනකොට ඕකෙ අසූචි තියෙනවා එහෙම දැක්ක නම්, ආයි කවදාවත් ඒ දැකපු එක වෙනස් කරන්න බෑ. ඔය කොච්චර පිටින් ඔප කරල තිබුනත්, ඕක ඇතුලෙ තියෙන්නෙ අසූචි නම් තමයි. ඒක නම් නැත්තෙ නෑ. ඒකත් දකිනවා.
රත්තරං පාට පිටින් ගාල තියෙනවා, බලපුවහම පිත්තල කෑල්ලක්, නැත්නම් වෙන හිස් දෙයක් මැටි බඳුනක්. පිටින් ගාල තියෙනවා වර්ණයක්, බලපුවහම රත්තරන් වාගෙ දිලිසෙනවා. රත්තරන් බඳුනක් කිය කිය ඉන්න පුළුවන් බලනකං. කොයි මොහොතක හරි ඇතුල බලනකොට දැක්ක නම් එහෙම, මැටි බඳුනක පිටින් ඔප කරල ඉවර වෙලා මේ ගාල තියෙන්නෙ මේ පාටක් කියල දැක්ක නම් එහෙම, ආයි සැරයක් කවදාවත් කොයි විදිහක මොහොතක ආයි සැරයක් වටින් බල බලා හිටියත්, ලස්සන බල බලා හිටියත්, “මේක මේ මැටි බඳුනක්, පිටින් ගාල තියෙන එක මිසක්, මේක වෙන එකක් නෙමෙයි” කියල දැක්ක වාගෙ, මේ සත්‍යය දැක්ක තැන් පටන් වෙනස් කරන්න බැරුව යනව, දැකපු සත්‍යය. ආදීනවයන්ගෙන් පිරිලා තියෙන ආස්වාද මාත්‍ර තමයි මේ ලෝකෙ ප්‍රිය මනාප රූප, ප්‍රිය මනාප ශබ්ධ ආදියෙ පිහිටල තියෙන්නෙ. අප්‍රමාණ ආදීනවයකට යට කරල, ඒක හංගල, පිටින් ගාල තියෙන ඔපයක් නේද කියල දකින්න පටන් ගන්නවා.
මෙන්න මේ මූල ධර්මයට ඔය විදිහට එන්න ඕනෙ. මෙන්න මෙතෙන්ට ආවට පස්සෙ දකිනවා, ඔය රූපස්කන්ධය කියන එකට ඇයි සත්වයා හිත බඳින්නෙ? ඕකෙ මන වඩන, ප්‍රිය ස්වභාව ඇති, මධුර ස්වභාව ඇති, ආටෝපයක් තියෙනවා. ඔය රූපස්කන්ධය හැඩතල හදල තියෙන්නෙ අන්න ඒ අටෝපයෙන්. ඇතුලෙ තියෙන රූපස්කන්ධය, කොහොම හටගත්ත එකක්ද කියල බලපුවහම දකිනව, මහා වෙහෙසක් ඇතිකරල නිෂ්ඵල රූප ගොඩක් ඇතිකරගන්න ඕනෙ, ඒ ගොඩ තුලින් ඔප මට්ටම් කරපු ආස්වාදය ලබන්න. ඇතුලත රොඩු ගොඩක් පුරවල තියෙනවා වාගෙ ආපෝ ධාතුවයි, තේජෝ ධාතුවයි, වායෝ ධාතුවයි, පඨවි ධාතුවයි කියල මේ ධාතු හතරක් එක එක ආකාරයෙන් බැඳල හදල තියෙන එකක් ඇතුලෙ, පිටින් කරල තියෙන ඔපය තමයි, මේ රූපයේ මන වඩන හරිය; ප්‍රිය ස්වභාවය ඇති කරන, මධුර ස්වභාවය ඇති කරන හරිය.
ඉතින් ඕක අරගෙන බලනවා, මේ ශරීරයේ ස්වභාවය බැලුවොත් එහෙම, කෙස්, ලොම්, නිය, දත්, සම් කියන මේ ටිකේ තියෙන පිට ඔපය මන වඩන ප්‍රිය ස්වභාවයට, මධුර ස්වභාවයට මතු කරන්න පුළුවන් නම්, “හරි ලස්සන රූපෙ” කිවුව, “හරි ලස්සන සත්වයා, හරි ලස්සන පුද්ගලයා”. ඉතින් ඔය ටිකට ඔපයේ ඇතුලෙ තියෙන හරිය බැලුවොත් එහෙම, අර ආපෝ ධාතුව, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කිවුව; ජලය, ගින්න, වායුව, පොළව කියන ඔය හතර කොටසක එක එක ආකාරයන්ට පරිවර්තනය වෙච්ච ඒවයින් හැදිල තියෙන, අර ලස්සන හැඩ වැඩ නැති ගොඩවල් ටික ඇතුලෙ තියෙන්නෙ.
බැරිවෙලා හරි හැඩ වැඩ ටික පෙරන්ගාල අයින් කරන්න කිවුවොත් එහෙම බලපුවහම, නිය පිටට ගන්න පෙරන්ගාන්න හැඩ වැඩක් ඒකෙ නැහැ. එහෙනම් තිබිල තියෙන්නෙ මොකක්ද? ඔප කරපු මායාවක් මිසක්, මුකුත් ඒකෙ වෙන එකක් තිබිල නැහැ, අනිත් ඔක්කොම අර කුණුගොඩ. අභ්‍යන්තරයෙ ගොඩගහල තිබිච්ච කිලෝ ගානක කුණු ගොඩකින්, සූරල අයින් කරල මෙන්න අර ලස්සන ටික කියල පෙන්නන්න බැරි හරියක, පිට කරපු පොලිෂ් එකක් ඔප මට්ටම් කිරීමක් දැකල, මෙන්න මේකට රැවටිලා තමයි කියන්නෙ, “මේ පුද්ගලයා මට අවශ්‍යමයි, දැක්කහම දාල ඉන්න බෑ, මොන තාලෙන් හරි කීයක් දීල හරි, මොනව කරල හරි මගෙ ඇසුරට ගන්න ඕනෙ. මොන දහවැඩ කරල හරි මම රකින්න ඕනෙ, ලැබුනෙ නැත්නම් මගෙ ජීවිතෙත් මට එපා!”
මේ ඔක්කෝම කියන්නෙ මොකටද? අර ටික පෙරන් ගාල පෙන්නන්න මේකද ඉල්ලුවෙ කියල, මොනව කියන්නද? අර පිට හමට තිබිච්ච කුරුට්ට පෙරන්ගාල, “මෙන්න ඔයා ඉල්ලපු එක” කියල කිවුවොත් එහෙම, ඔයා ගනියිද? නිය පිටින් සූරන තරම් ටික අයින් කෙරුව නම්, මෙන්න ඔය ඉතුරු ගොඩ ඔක්කොම තියෙනවා, මේකෙන් මම අරගත්තෙ කලං බාගයයි, අර මූනෙ තිබිච්ච හංකඩේ සූරල ගත්ත. උඩින් තිබිච්ච කුරුට්ටයි, ඔය අත පයවල පේන්න තිබිච්ච කුරුට්ටයි පොඩ්ඩක් අරගෙන ඉවර වෙලා නිය පිටට අරං, මෙන්න මෙච්චරයි මම ගත්තෙ මෙන්න ඉතුරු ටික කිවුවොත් එහෙම, ඔයාගෙ ඉල්ලපු හරිය ඕං ඔක්කොම තියෙනවා කිවුවොත් ගනීද?
ඒ මොහොත ගත්ත නම් එහෙම, “අපෝ බලන්න බෑ යකා වාගෙ, අප්පොච්චියේ! මං නම් පලාතට යන්නෙ නෑ…” කියන වචනෙ තමයි කියන්නෙ. බැරිවෙලා හරි අර හංකඩේ පොඩ්ඩක් පිච්චුනොත් එහෙම උඩින්, මූන හරි හැඩයි කිවුව හංකඩේට, ඇසිඩ් ටිකක් ගහල එහෙම, ගෑස් එකක් අල්ලල, මොනවයින් හරි හංකඩේ පොඩ්ඩක් ගැහිල එහෙම පලු ගැහිල ගියානම් එහෙම, රැල් වැටිල එහෙම තිබුන නම්, අර පිට තිබිච්ච හංකඩ පොඩ්ඩ, අර කිලෝ ගාන එහෙම්මම තියෙනවා, අර ලස්සනයි කියල පන දෙන්න හදපු ශරීරය. අර පුංචි පොඩ්ඩ අහකට දැම්මොත් එහෙම, “අපෝ මට නම් දැන් කොහොමවත්ම එපා! මග ඇරල යන්න ඕනෙ…” කියල පැනල දුවනවා ඊට පස්සෙ. හරි හැඩයි කිවුව, බැරිවෙලා හරි අවුවේ එක්ක ගියා. අවුවෙ ගිහිල්ල කළුවෙලා පොඩ්ඩක් විරූපී උනා නම්, අර තිබ්ච්ච කුණුගොඩ එහෙම්මම තියෙනවා, ඔපය පොඩ්ඩක් වෙනස්වෙලා ගියා. දැන් ආපුවහම, “අපෝ ඉස්සර නම් ලස්සනයි, දැන් නම් බලන්න බෑ කැතේ, මට නම් ඕනෙ නෑ”, ඔය ටික දැන් කියනවා.
එහෙනම් මේ බැඳිල තියෙන්නෙ, මේ මන වඩන රූප කියන්නෙ මොනවටද? අර සතර මහා භූත ගොඩවල් වලින් අංශු මාත්‍රයක් කියන්නත් බැරි තරම්, ඔප කරපු එකකටයි බැඳිල තියෙන්නෙ. මල් පෝච්චියක් අරගෙන ඇවිදිල්ල, අර වැලි කඩදාසියක් අතුල්ලල, ඊට පස්සෙ තව ටිකක් ඔප වෙන්න දිස්නෙ එන්න ඇතුල්ලුවට පස්සෙ, “ආං දැන් නම් හරි ලස්සනයි, ගෙනියන්න ඕනෙ”. “පොඩ්ඩක් හිටහං…!” කියල අර ටිකක් කටු ගහන වැලි කඩදාසි කෑල්ලක් අරගෙන ආයි සැරයක් දෙපාරක්, තුන් පාරක් වටේට අතුල්ලල, “දැන් කොහොමද?” කියල ඇහුවොත් එහෙම, “අපෝ දැන් නම් එපා” කියනවා. ඇයි? අර තිබිච්ච බඩු ටික ඔක්කොම ඒකෙ තියෙනවා, අහක් කලේ අංශු මාත්‍රයයි, එපා උනා. පොලිෂ් කලේ අංශු මාත්‍රයයි, පන දෙන්න හදල ගන්න හදනවා.
{ 0:54:13 } : ලෝක සත්වයා, ආස්වාද මාත්‍රයකට අප්‍රමාණ ආදීනවයක් විඳින හැටි
දැන් මෙන්න මේක තමයි මේ ලෝකයාගේ ආස්වාද මාත්‍රයෙන් වහල තියෙන රූපය. ප්‍රිය ස්වභාවය, මධුර ස්වභාවය දෙන ආස්වාද මාත්‍රය, වැඩක් නැති මහා කුණු ගොඩක් ඇතුලට දාල, පිට නොකරපු ඔපයෙන් වහල තියෙන ආස්වාද මාත්‍රයට තමන් බැඳිල, අර කුණුගොඩම ගන්නෙ. ඒ හිත අයින් කරන්න බැරි, ඕක විනිවිද ගිහිල්ල විදල බලන්න බැරි නිසා. විද්‍යා කරන්න බෑ. විදගන්න බැරුවහම “අවිද්‍යාව” කිවුව; විදල නෑ; “අවිදු”. විදු කියන්නෙ “විදිනවා”. විද්ද නම් ඇතුල පේනවා. ඇතුල දැක්ක නම් දකිනවා, මොකක්ද මේකෙ අපිට ගන්න තිබුන දේ? මායා මාත්‍රයකට රැවටිලා නේද, කවද පටන් හරි අපි ආව නම්, මට යලිත් එබඳු රූපයක් අවශ්‍යයි කියල බලාපොරොත්තුවක් ඇතිකර ගත්තෙ, ඔය ඇතුලෙ තිබිච්ච කුණුගොඩ දැකල නෙමෙයි, පිට තිබිච්ච මායා මාත්‍රය දැකල. මෙන්න මේක දකින්න පටන් ගන්නවා.
ඉතින් ඔය ටික අරගෙන ඉවරවෙලා, ඉතින් වේදනා අරගන්නෙත් ඔය ටිකෙන්මයි. සංගීත භාණ්ඩයක් අරගන්නවා. අරගෙන ඉවරවෙලා දැන් බලනව සංගීත භාණ්ඩයෙන් අපි මොනවද ගත්තෙ? අර කම්බියකට, අර පතුරකට කම්පනය වෙනකොට එන මිහිරි නාද මාත්‍රයක් දැකල, සිය ගණනක් දීල හරි, දහස් ගානක් දීල හරි, “හොඳ සංගීත භාණ්ඩයක් මට හම්බුනා” කියල, හරි ආසාවෙන් ගන්නවා. දැන් මේ සංගීත භාණ්ඩය ඇතුලෙ තිබිච්ච හරිය මොනවද? අර තත පොඩ්ඩක් බුරුල් කලා නම් එහෙම, අර සද්දෙ ඔක්කොම ඉවරයි. අනිත් ඔක්කොම බඩු ටික තියෙනවා. හැබැයි දැන් ඒ තත සද්ද කරන්න බැරි නම්, ඒ පතුර පොඩ්ඩක් ඇදවෙලා ගියා නම්, ඒ මිහිරි සද්ද මාත්‍රය ආවෙ නැත්නම්, ඒ සද්දෙ දෙන්න හේතු වෙච්ච ඔක්කොම කෑලි ටික ඒකෙ තියෙනවා. “අපෝ මේක එපා, මේක කබලක්නෙ, මේක වැඩක් නෑනෙ!” දැම්මා පැත්තකට. එහෙනම් කබලක්නෙ, වැඩක් නෑ කිවුව එකේ තමයි, කිලෝ ගානක් තිබුනෙ. ඕකෙන් මොකක්ද අහක් කලේ? අර මිහිරි නද මාත්‍ර දෙන, පොඩි වෙනසක් කලා විතරයි. ඒක එපා උනා. එහෙනම් අපි ඒ සංගීත භාණ්ඩයට ඇලුම් කලේ මොකේටද? ඒකෙ තිබිච්ච උප මාත්‍රයක් නිසා, ඒ මහා බර ගොඩක් අරගත්තා. මමයි කියල, මගේ කියල මහා බර ගොඩ ගන්න හේතු උනේ මොකක්ද? අර පිටින් තිබිච්ච ඔප මාත්‍රය. ඒ ටික තමයි ඒකෙන් ගත්තෙ.
මලක් අරගන්නවා, සුවඳක් අරගන්නවා. ඕකෙ තිබිච්ච ගන්ධ මාත්‍රයක් තියෙනවා. අනිත් හරිය ඔක්කොම ඒකෙ තිබිච්ච ජලයයි, ද්‍රව්‍ය වස්තුයි, ඒ ටිකේ තමයි අනිත් හරිය ඔක්කොම තිබුනෙ. දැන් මේ තුලින් තිබිච්ච අර ගන්ධ මාත්‍රයක් තියෙනවා. ඒ ගන්ධ මාත්‍රය ඒකෙ තියෙනකං මොකද කරන්නෙ? සෙන්ට් කුප්පියක් අරගෙන “ඕක ඇරල තියන්න එපා, සුවඳ යනව” කියනවා. ඇරල තිබ්බොත් එහෙම පස්සෙ බලනකොට අර කිවුව ටික තියෙනවා, හැබැයි දැන් සුවඳ නෑ. මේක ඇරල තියල සුවඳ ගිහිල්ල කියනවා. පවුඩර් පෙට්ටියක් ගේනව, ඇරල තියනවා විවෘත කරලා. අහකට ගියෙ පොඩ්ඩයි. අහකට ගිය ටික ගත්තොත් එහෙම, නිය තුඩකට ගන්න හරියක් අහකට ගිහින් නැහැ. අනික් ඔක්කොම ඒකෙ තියෙනවා. ඒ නිය තුඩකට ගත්ත මාත්‍රය නිසා, “හරි හොඳ පවුඩර් ජාතිය” කියල, අරක උස්සගෙන ඉන්නවා, බදාගෙන ඉන්නවා, හරි වටිනා දෙයක් කියල බල බල ඉන්නවා. දැන් ඒකෙ තිබුනෙ මොනවද? ආස්වාද මාත්‍රය නිය පිටට ගන්න තරම් දෙයක් නෑ. ඒ ආස්වාද මාත්‍රය ගාවල රඳල තිබිච්ච වැඩක් නැති හිස් හරියෙ තියෙනවා මහා බරක්.
රසයට අරගෙන තියෙන ඔක්කොගෙම තියෙන හරියට, පොඩ්ඩක් ලුණු වැඩිකලා, පොඩ්ඩක් ලුණු අඩුකලා. නැත්නම් ඒකෙ තියෙන රස මාත්‍රයට පොඩ්ඩක් පරක්කු වෙලා වෙනස් කරල රස මාත්‍රය වෙනස් කළා. අර ද්‍රව්‍ය වස්තුව කිලෝ ගානක් බරට කන්න තියෙනවා. “අපෝ කන්න බෑ, මට වැඩක් නෑ, මේ කෑම කන්න බෑ!” එහෙනම් මොකේටද මේ කෑම එකට කැමති උනේ? අර කිලෝ ගානක් බරට තිබිච්ච ආහාරයට නෙමෙයි කැමති උනේ. ඒකෙ ගෑවිලා තිබිච්ච, ඔප මාත්‍රයක් වාගෙ තිබිච්ච, රස මාත්‍රයක් නිසා, අර මුළු කෑම එකටම වටිනාකම කිවුව. “කීය දීල හරි ගන්න ඕනෙ…” කිලෝ ගානක් හිස් දේකට සල්ලි ගෙවුවා. හිස් දෙයක් බදාගත්තා. ඒ හිස් දේ බදාගත්තෙ මොකක්ද? අර රස කියන මාත්‍රයෙන් වැහිල තිබිච්ච නිසා.
හරි හොඳ ස්පර්ෂය කියල ගත්ත එකේ බලපුවහම, පොඩ්ඩක් රළු කෙරුව නම් එහෙම අර ස්පර්ෂය ඉවරයි. එහෙනම් එතකොට ඒක එපා වෙනවා. අර මාත්‍රය දැකල, ස්පර්ෂ මාත්‍රයක් ගෑවිලා තියෙන, අර මුළු කුණු කන්දලයක්ම අරගෙනම කිලෝ පනහක් හැටක් බර කුණු කන්දලයක්, හරි වටිනා දෙයක් මගෙ භාර්යාව මෙහෙමයි, ස්වාමි පුරුෂය මෙහෙමයි, හරි හැඩ වැඩයි කියල ගන්නෙ, අර සූරල නිය පිටට ගන්න තරම්වත් තිබිච්ච නැති ඔප මට්ටම් මාත්‍රයකට, අර ඔක්කොම වටිනාකමක් දැම්ම. දාල ඉවරවෙලා අර සුළු මාත්‍රය නිසා, විශාල දුක් ගොඩක්, වෙහෙස ගොඩක්, එකක් කියල ගත්තා. මහ ගොඩක්, කියල ගත්ත එකක් හැටියට. අරගෙන ඒක ආස්වාද දෙන මගෙ වස්තුවක් කියල ගත්තා.
එහෙනම් මෙතන පේනවා මන වඩන රූප, මන වඩන ශබ්ද, මන වඩන ගන්ධ, මන වඩන රස, මන වඩන ස්පර්ෂ කියන යමක් ඇත්ද, ඒ සියල්ලම අංශු මාත්රයි. ඒ අංශු මාත්‍ර ගෑවිලා තියෙන, අප්‍රමාණ කුණු ගොඩවල්, මම කියල ගන්නවා, මගෙ කියල ගන්නවා, මගේ ආත්මය කියල බැඳෙනවා. ඒව ලබාගන්න පොරකනවා. රැස් කරගන්න පොරකනවා. ගොඩ ගහගන්න මහන්සි වෙනවා. කෙළවරක් නැති මහන්සියක් ඇවිල්ල දරාගෙන ඉන්න කුණුගොඩ කුමක් නිසාද? අර මායා මාත්‍ර පහක් මුල්කරගෙන, ඒ මායා මාත්‍ර පහට බැඳිල තිබිච්ච හරිය තමයි ඔය ගත්තෙ. එහෙනම් මේ මුළු ලෝකයක බර උස්සන්න, ඇහැට පෙන්නන්න තරම් ගන්න දෙයක් නැති, මායා මාත්‍ර පහකට පුළුවන්.
මුළු ලෝකයේම තියෙන සියලු ඔපමට්ටම් එකතු කරගත්තත්, අල්ලට ගන්න දෙයක් නෑ. ලෝකයේම අපි ප්‍රියයි කියන සියළුම රූපයන්ගේ ඔප මට්ටම ඔක්කොම එකතුවෙලා, මෙන්න ඒ ඔපමට්ටම කියල ගත්තොත් එහෙම ඒ ඔපමට්ටම එක අල්ලකට ගන්න දෙයක් නෑ, මුළු ලෝකෙම ඔපමට්ටම. මුළු ලෝකයේම සුවඳ කියන ඒවෑ තිබෙන සුවඳ කියන මාත්‍රය වෙන්කරල ගත්තොත්, එක අල්ලකට ගන්න දෙයක් නෑ සුවඳ මට්ටම. අනික් හරිය ඔක්කොම ඒකෙ රැඳිල තිබිච්ච රොඩුගොඩ. මේ ලෝකයේ තියෙන මුළු රස ටික එක්කරල ගත්තොත්, අල්ලකට ගන්න දෙයක් නෑ, අනික් ඔක්කොම ඒකෙ බැඳිල තිබිච්ච රොඩුගොඩ. මේ මුළු ලෝකයේ ආස්වාද දෙන්නා වූ ස්වභාවය කියන එක වෙනම කරගත්තොත්, අල්ලකට ගන්න දෙයක් නෑ, මහා කුණුගොඩ තමයි ඒකෙ බැඳිල තියෙන මුළු ලෝකෙ තියෙන සියලු වස්තු.
එහෙනම් ලෝක සත්වයා අප්‍රමාණ කුණුගොඩක් බදාගෙන ඉන්නෙ මොකක් නිසාද? ඔන්න ඔය මායා මාත්‍රයකින් තාවකාලික රවටන රැවටිල්ලට අහුවෙලා. මෙන්න රූපයේ තත්වය දකින්න ඕනෙ.
රූපස්කන්ධයයි කිවුවහම, රූපස්කන්ධයට ඇයි බැඳුනෙ? කොයි ටිකටද බැඳුනෙ? පෙන්නලා නැතිවෙන මායාවක් නිසා. යම්කිසි රූපයක තියෙන්නා වූ ඒ ප්‍රිය මනාපය කියන ඒ රූප කුණුගොඩ, කඳ ගස්සවන්න, මමය කියල බදාගන්න, ඒ බර ගොඩ පෝෂණය කරවමින්, රැකගෙන ගනිමින්, නොයෙක් ආකාර අප්‍රමාණ දුකක් විඳින්න, හේතුකාරක උන, ඔප මාත්‍රයට පුළුවන් උනා, ලෝක සත්වයා ඔතෙන්ට ඇදල දාන්න. එහෙනම් මේ රූපස්කන්ධය කියන දුක්ඛස්කන්ධයක්, ඔය ඔප මට්ටමෙන් අරං මාත්‍රයක් දීල තියෙනවා. ඒ මාත්‍රය දුන්නෙ වැඩි කාලෙකට නෙමෙයි. කොටුකර ගන්නකං විතරයි.
තරුණකම දුන්නෙ, තරුණිකම දුන්නෙ, විවාහ බැඳගන්නකං, කසාද බැඳගන්නකං විතරයි. බැඳගෙන කරගහගත්තට පස්සෙ අවුරුද්දක් යන්නෑ, දෙකක්, තුනක් යනකොට ඔක්කොම ඉවරයි. දැන් මොකද කරන්නෙ? කුණුගොඩ ඉතුරු උනා. ඔප මට්ටමෙන් රැවැට්ටුවා. වැඩේට ඇදල දැම්මා. “ජීවිතේ ඉවර වෙනකං ගෙවපං. ආයි සෙල්ලම් කරන්න හම්බෙන්නෙ නෑ!” අයිතිවාසිකම් හදාගත්තා, “උඹ මගෙ, මම උඹෙ, උඹට ඕනෙ හැටියට ඒව කරන්න උඹට බෑ, උඹ මගෙ”. “උඹට ඕනෙ හැටියට උඹේ ඒව කරන්න බෑ, උඹත් මගෙ”.
දැන් ඉතින් මොකද වෙන්නෙ? කෙස්වලු පටලවගෙන, තඩි බාපුවා කොච්චර ඇත්ද? මුළු ජීවිත කාලයක් බැලුවොත් එහෙම, ඔය දෙන්න එකිනෙකා කෙරෙහි දැවිච්චා කොච්චර ඇත්ද? ඔය එකිනෙකා කෙරෙහි දැවෙන ඒව එක පැත්තකිං. ඒ දෙන්න අතර දැවීමක් නැතුව හිටියොත්, “අනිකට කරදරයක් වෙයිද, මූට කරදරයක් වෙච්ච එකක්”, දෙන්නට දෙන්න ඒ නිසා දැවිච්ච හරිය බැලුවොත් එහෙම, ඒ ගිනි කන්දරාව එක මොහොතක අළුවෙලා යන්න ඇති. ආදරවන්තයො දෙන්නට, ආදරවන්තියො දෙන්නට කරදරක් වෙයි කියල එහෙම ඇති උනානම්, ඒ හිත නිසා හටගත්ත හරිය බැලුවොත්, ඒ ටිකත් එක මොහොතක අළුවෙලා යන්න ඇති. ඒ තරම් දැවිල්ලක් විඳිනවා. හොරු ගනීද, පැහැරගනීද, ගහයිද, මරයිද, බඩගින්නෙ ඉන්න වෙයිද, නොයෙක් ආකාරයෙන් මේ ශරීරය පෝෂණය කරන්න, ඒවෑ අඩුපාඩු බලාගෙන ජීවත්වෙන්න ඕන, ඒ නිසා ඉන්න තැනක් හදාගන්න ඕනෙ, කන්න දෙයක් හම්බකරගන්න ඕනෙ. මේ ඔක්කොම ආවෙ මොකටද? ආස්වාද මාත්‍රය ඔක්කොටම ලොකු උනා. ඒ ආස්වාද මාත්‍රය අවුරුදු පහක් යන්න ඉස්සෙල්ල, පෙන්නල හැඟවිල ගියා.
මෙන්න මේ පොඩ්ඩ අරගත්තහම රූපස්කන්ධය මාත්‍රයකට, අප්‍රමාණ ආදීනවයකට ලෝක සත්වයා ඇද දමනවා. ඔන්න ඔය මාත්‍රය තෝරගන්න බැරි නිසා, බැඳෙන දේ තමයි රූපස්කන්ධය කෙරෙහි බැඳෙන ආසාව. ආස්වාදයට හේතු වෙන්නෙ ඒ පොඩ්ඩයි. අප්‍රමාණ දුක් කන්දරාවක් කරගහගන්නව, ඔය මාත්‍රය කෙරෙහි රැවටිලා.
ඉතින් ඔතනින් පටන් ගත්තහම ඔය ටිකම තමයි වේදනා කියල කිවුවෙ. සැප වේදනා, සැප වේදනා කිය කිය හෙවුව මිසක්, දුක් වේදනා පස්සෙ යන්න කැමති නෑ. සැප වේදනා මාත්‍රයක් අල්ලගන්න ගිහිල්ල, අප්‍රමාණයක් දුක් වේදනා විඳල තියෙනවා ජීවිතයේ. හැම මොහොතකම කරල තියෙන්නෙ මොකක්ද? ආස්වාද මාත්‍රයක්, සුඛ වේදනා මාත්‍රයට, ඒ දේ අල්ලගන්න ගියහම, අප්‍රමාණයක් දුක් වේදනා විඳිනවා. නමුත් සැප වේදනා මාත්‍රයට තමයි, හිත බැඳ ගන්නෙ. මෙන්න මේ බැඳගත්ත මාත්‍රය නිසා, වේදනා කියන මාත්‍රය තුලම තියෙනවා, වේදනාවේ සැප වේදනා, දුක් වේදනා කියන දෙක තුල, සැප වේදනා මාත්‍රයට, දුක් වේදනා අප්‍රමාණයක්.
හැබැයි අප්‍රමාණ දුක් වේදනාව, සැප වේදනා මාත්‍රයෙන් වහල ගෙනත් දෙනවා. බලපු නැති නිසා, තේරුම් ගත්තෙ නැති නිසා, ඒ සැප වේදනා මාත්‍රයක් මතුවටත් බලාපොරොත්තුවෙන්, අප්‍රමාණ දුක් වේදනා විඳිනවා. එහෙනම් මේ වේදනාස්කන්ධය හැදිල තියෙන්නෙ, සැප වේදනා මාත්‍රයට, අප්‍රමාණ දුක් කන්දරාවක් දාල, ඒ දුක් වේදනා සියල්ලම සැප වේදනා මාත්‍රයෙන් වහල. අන්න රැවටිල්ල, වේදනාවේ රැවටිල්ල. එහෙනම් වේදනාස්කන්ධය කියන එකේ අපිට ගන්න දෙයක් තියෙන්නෙ මොනවද බැලුවොත්, අර ආස්වාද මාත්‍රයේ, සැප වේදනා මාත්‍රයේ අප්‍රමාණ දුක් වේදනා ගොඩකින් වහල. නමුත් මේ දුක් වේදනා ගොඩ පේන්නෙ නෑ, අර මාත්‍රයෙන් අයින්වෙලා බලනකං. අන්න වේදනාස්කන්ධය.
සංඥා කියල ගන්නවා. ඔය සංඥා අතර ප්‍රිය මනාප සංඥා කීයද තියෙන්නෙ? ඒක අල්ලගන්න ගිහිල්ල, අප්‍රිය අමනාප සංඥා කීයක් ලබනවද? දුර ඉඳන් බලනකොට හඳ හරි ලස්සනයි, ලඟට ගියහම දූවිලි ගොඩක් කියල අපි කතාවට කියනවා. ඒවගෙ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ඨබ්භ සංඥා, ධර්ම සංඥා කියල, ඔය සංඥා ගොඩවල් වල, මාත්‍රයක් තියෙනවා, යාන්තං අර ඔප මාත්‍රයක් තියෙනවා, ප්‍රියයි, මනාපයි කියන සංඥා මාත්‍ර. තරුණ, තරුණි කියන්නා වූ සංඥා මාත්‍රයට බැඳිල, මහල්ලා, මැහැල්ල කියන තැනට එනකං, ලබල තියෙන සංඥා කීයද? බැලුවොත් මුළු ජීවිත කාලයක් තුල, තරුණයි කියන සංඥාවෙන්, තරුණ කය කියන සංඥාව ගත්තහම ඒ ආකාරය ගත්තහම, ඒ ආකාරය කොච්චර දවස්ද පැවතුනේ? එතන පටන්ගෙනම ඇද ගැහිච්ච, කුද ගැහිච්ච සංඥාමයි ලැබුවේ මුළු ජීවිත කාලෙම. එතකොට ඒ ජීවිතයෙ කරගහ ගත්තෙ, හරි ලස්සනයි කියන සංඥාව මුල් කරගෙන.
ඇඳුමක් අරං එනවා, හරි ලස්සන ඇඳුම කියල. තාම් පාට තියෙනකං පොඩ්ඩ කාලයක්, හොඳ ඇඳුම කියන වචනෙ තිබුන. ඊට පස්සෙ ඇඳුම දකිනකොට පහළවෙන සංඥා මොනවද? දැන් ඉතින් පාංකඩ ඇඳුම. දැන් වැඩි කාලයක් ලැබිල තියෙන සංඥා මොනවද? හොඳ එකක් අල්ලගන්න ගිහිල්ල, ඒකෙ බැඳිල තිබිච්ච අහිතකර සංඥාවල් ගොඩකට මුහුණ දෙන්න සිද්ධ උනා. “හරි ලස්සන ගේ” කියල සංඥාවකින් බැඳිල, ඒ සංඥාව මුල්කරගෙන හදාගත්ත එක, එන්න එන්න කබල් වෙලා ගිහින් තැන් පටන් වැඩි කාලයක් ගෙවන්නෙ, “දැන් පරණ ගේනෙ, දැන් මේ ආදි කාලෙ ගෙවල්නෙ… දැන් මේව ඔප මට්ටම් ගෙවල් නෙමේ, කෙනෙක් අපේ ගෙදරට ගෙන්නන්න බෑ, ලස්සන ගෙවල් කොච්චර තියෙනවද දැන්, අර අහවල් තැන හදල තියෙනවා හොඳ අලුත් පැටන් එකට ගෙයක්…” දැන් සංඥා වෙනස් වෙලා. එහෙනම් ඒ ඒ සංඥාවක් බලාපොරොත්තුවෙන්, අල්ලගෙන බලපුවහම, ඒක පිරිල තියෙන්නෙ, හිත තියන්න බැරි, ප්‍රණීත නැති, සුව නැති සංඥා ගොඩකින් පිරිල තියෙනවා ඒ එක්කල. හැබැයි සුව නැති සංඥා ගොඩටම මුහුන දෙන්න සිද්ධ උනේ මොකක් නිසාද? සුවයි කියන සංඥා මාත්‍රයක් දැකල, ඒක අල්ලගන්න ගිහිල්ල තමයි අර ගොඩටම මුහුන දෙන්න උනේ.
සංකාර කියල කියනවා. අපි හිතෙන්, කයෙන්, වචනයෙන් රැස්කරන ඒව. ප්‍රියයි, මනාපයි කියන එකක් රැස්කරන්න ගිහිල්ල, අරං ආවට පස්සෙ මොකද වෙන්නෙ? එතන පටන්ගෙන කැඩෙයි, බිඳෙයි, විනාශ වෙයි කියන බය නිසා, දුක් සංකාර නිපදවනවා. දුක සේ කතා කරනවා. දුක සේ හිතනවා. “අනේ කැඩෙයිද? බිඳෙයිද? විනාශ වෙයිද? අනේ කඩයිද? බිඳියිද? විනාශ කරයිද?” දැන් මොනවද මේ ඇතිවෙන්නෙ? ඇතිවෙන ඔක්කොම සිතුවිලි තියෙනව නම්, මෝහ සහගත සංකාර.
කැඩෙන දේ කැඩෙනවා, නමුත් ඒක හිතන්නෙ නෑ එහෙම. බිඳෙන දේ බිඳෙනවා. විනාශ වෙන දේ විනාශ වෙනවා. ධර්මතාවය ඒක උනාට, “එහෙම නම් දීල බැහැ, ඒකට නම් ඉඩ දෙන්න බෑ, කොහොමහරි රැකගන්න ඕනෙ!” බැරි දෙයක් කරන්න, මුලාවෙන් දඟලන අදහස් වලින්ම පිරිල තියෙනවා, ඔය ඔක්කොම සංකාර. ප්‍රියයි, මනාපයි කියන සංකාර මාත්‍රයක් නිසා, අප්‍රිය වූ, අමනාප වූ, සංකාර අප්රමාණයකට ජීවිතයක මූන දෙනවා. ප්‍රියයි, මනාපයි කියන විඤාණයක් පහල කරගෙන, ඔය ටිකෙන් ඒ ගති ලක්ෂණය හිත පිහිටල, ඒක බදාගත්ත තැන් පටන්ගෙන, අප්‍රිය වූ අමනාප වූ සිතුවිලි කෝටි ප්‍රකෝටි ගණන් පහල කරනවා.
එහෙනම් මෙන්න මේකට කියනව රූප, වේදනා, සංඥා, සංකාර, විඤාණ කියන මේ ස්කන්ධ පහක් තුල මායාවකට රැවටිලා අප්‍රමාණ දුක් විඳගෙන, එන්නෙ එක කාලෙක නෙමෙයි. අනන්ත අප්‍රමාණ සංසාරේ ඉඳල, දැක්කෙ නෑ, ඒ බව ඔක්කොම අමතක වෙලා. නමුත් මේ ආපු බව බොරුවක් නෙමෙයි.
{ 1:08:35 } : අනාදියේ පටන්ගෙන එන සසර ගමන සැප සහගත යැයි රැවටීම
දිවැස් ඇති මිනිස් ඇස ඉක්ම වූ දිවැසින් දකිනවා, පෙර අනාදියේ පටන්ගෙන භවයක්, භවයක් පාසා මෙබඳු කය ලබමින්, කය වැනසෙමින්, අනන්ත දුක් විඳිමින් මේ පස්සෙනෙ ඇවිදිල්ල තියෙන්නෙ. බුදු, පසේ බුදු, මහරහත් වැනි උත්තමයන් වහන්සේලාගේ පටන්ගෙන, දිවැස් ඇති උත්තමයො, ලෝකයා නොරවටන උත්තමයො, තමාගේ මහ දිවැස්වලින් දැකල, ලෝකයාට පේනවා මෙහෙම දෙයක් තියෙනවා, බොරු නෙමෙයි, මේක වෙන්නෙ මෙහෙමයි. ඒ හැම දිවැස් ඇත්තා වූ හැම උත්තමයෙක්ම කියල තියෙනව, අනාදියේ පටන්ගෙන භව ගමනක් තියෙනවා. මටත් දිවැසක් ලැබුන, ඕක බොරුවක් කියපු එකම දිවැස්වරයෙක්වත් නෑ. යම් කෙනෙකුට දිවැස් මාත්‍රයක් ලැබුන නම්, ඔහු දැකල තියෙනව, භවයක් දෙකක් හරි. මහ දිවැස් ලැබුව නම්, හැම කෙනෙක්ම දැකල තියෙනවා මට දිවැස තියෙනව, පෙර භවයක් නෑ, බොරුයි ඒ කිවුවෙ කියල, කියපු කෙනෙක් අද වෙනකං නෑ ලෝකෙ.
මෙච්චර කාලෙකට කෙබඳු ආකාරයේ දිවැස් ඇත්තෙක් හරි ලෝකෙ පහලවෙලා තියෙනව නම්, මොන ආගමේ කිවුවත්, බෞද්ධ කිවුවත්, අබෞද්ධ කිවුවත්, දිවැසක් තිබුනාය කියන සම්මතේ හිටිය නම්, ඒ හැම කෙනෙක්ම කියල තියෙනවා, අනාදියේ පටන්ගෙන එන සසර ගමනක, භවයක් අපි දැකල තියෙනවා. අත්බැවෙන්, අත්බව ආපු ගමනක් දැකල තියෙනවා. පෙර ගමනක් තිබිල තියෙනවා. මේ මව් කුසෙන් උප්පත්තියෙන් පටන්ගත්ත එකක් නෙමෙයි මේක, ඊට එහාමයි කියල දැකපු අය ඔක්කොම කියල තියෙනවා. නමුත් අපි ලෝකයා විශ්වාස කරන්නෙ නෑ, උතුමන්ගේ ඇත්ත. නමුත් ලෝකෙට ඇළුම් කරන, ලාභ, කීර්ති, ප්‍රසංශා බලාපොරොත්තු වෙන, ඒවෑ බැඳී රැඳී හිටින අයගේ කතාවක් තියෙනව නම්, ඒක ඇත්ත වෙන්න ඇති කියල කියනවා. නමුත් අපි හොඳටම දන්නවා ලාභය, කීර්තිය, ප්‍රසංශාව බලාපොරොත්තු වෙන එකා කොච්චර බොරු කියනවද තමන්ගේ වැඩේ කරගන්න. හැබැයි ඔහුගේ කීම, ඇත්තයි කියල පිළිගන්න ලෝකයක් හැදිල තියෙනවා.
කිසිම ලාභයක්, කීර්තියක්, ප්රසංශාවක් ලෝකයෙන් බලාපොරොත්තු වෙන්නෙ නැතුව, ඒවාගේම ලෝකයෙන් කිසිම දෙයක් අල්ලගන්නෙ නැතුව, ඒ බැඳීම්, රැඳීම් වලින් අහක්වෙලා, චාම් නිදහස් ජීවිතයක් ගතකරන, මහ උත්තමයන් වහන්සේලාගේ සත්‍යය කියමනක් ගනං ගන්න කැමති නෑ, අර වචනෙ ඊට වඩා ලොකුයි. මොකද මේ මුලාවෙ හැටිමයි ඔය. මුලාවෙන් ලෝකයා වහන හැටි. කවුරු මොනව කිවුවත් කරන්න දෙයක් නෑ, කිසිම ලාභයක්, කීර්තියක්, ප්රසංශාවක් කිසිම ආකාරයෙන් බලාපොරොත්තු නැති, කාම සම්පත්තියකට බැඳිල, රැඳිල ඒවෑ සැරිසැරීමක් නැති, කිසියම් ආකාර ගරු නම්බුවක්වත් බලාපොරොත්තු වෙන්නෙ නැති, එබඳු වන්නා වූ දිවැස් ඇති උත්තමයන් හැම කෙනෙක්ම කියල තියෙනව, අප්‍රමාණයේ පටන්ගෙන සසර ගමනක් තියෙනවා. එහෙනම් ඒක බොරුවක් නෙමෙයි.
එහෙනම් අපි මොකක්ද කරල තියෙන්නෙ? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ කියන මේ ස්කන්ධ පහක් දරාගෙන, අනාදියේ පටන්ගෙන ආපු ඔය ගමනයි. එහෙනම් අනාදියේ පටන් මොකක්ද කරල තියෙන්නෙ? මායා මාත්‍රයකට රැවටිලා, අප්‍රමාණ වෙහෙසකර වන්නා වූ දුක් කන්දරාවට කරගහගෙන ආපු ගමනක් නම් මෙච්චර කල් ඇවිදිල්ල තියෙනවා, මේක නම් බොරුවක් නෙමේ, අමතක වෙලයි තියෙන්නෙ. අද තියෙන්නෙත් ඔච්චරයි. පෙර තිබුනෙත් එච්චරයි. එහෙනම් මතු යන ගමනට තියෙන්නෙත් ඔච්චරයි. ඔයින් එහාට එහෙම තව සැප සහගත රූපස්කන්ධයක් ලෝකෙ හටගන්න විදිහක් නෑ. කවුරුයි කිවුවත් රැවටිලා තියෙන්නෙ ඔතෙන්ට. සැප සහගත වේදනාස්කන්ධයක්, සැප සහගත සංඥාස්කන්ධයක්, සැප සහගත සංකාරස්කන්ධයක්, සැප සහගත විඤ්ඤාණස්කන්ධයක්, අරගත්ත සත්වයෙක් කොහෙවත් නැහැ. හැම කෙනාම මායා මුලා මාත්‍රයකට රවට්ටලා, ඒ වටා ගොදුරුවෙලා තිබෙන මහ දුක් කන්දරාවක් කරගහගෙන, ඒක පෝෂණය කරමින්, ඒක පවත්වමින්, පවත්වන්න බැරි දෙයක් පවත්වන්න හදල දුක් විඳිමින්, ආපු අනන්ත දුක් ගමනක් ඇවිදින් තියෙනවා කිවුවෙ ඕකයි.
{ 1:11:50 } : පංචස්කන්ධ භාවනාවේ වැදගත්ම කොටස
ඉතින් මෙන්න මේ ටික දැන ගත්ත බුදු පියාණන් වහන්සේ සියල්ලන්ගෙන්ම අග්‍ර ඥාණයකින් යුක්ත වෙලා මේකෙ අග මුල, අහු මුළු නෑර පෙන්නුව, හේතුවත් එක්කල. මේක නිකං හටගන්නෙ නෑ, මේක කොහොමද හටගන්නෙ කියල විග්රහ කරල දුන්න. එහෙනම් ස්කන්ධ භාවනාවක් අවශ්‍ය වෙනව කිවුවෙ ඔන්න ඔතෙන්දි ඔය ටික බලන්න, මූලික අවස්ථාව ඔය කථාවට ගත්තෙ.
ස්කන්ධ කියන්නෙ මොනවද? හරයක් ඇති දෙයක්ද? මෙන්න මේකයි මේ විග්රහ කරගත්තෙ මූලිකව ස්කන්ධ වශයෙන්. එහෙනම් අපි ළඟ තියෙන්නෙ මොනවද? ඔය කියන රූපස්කන්ධය, ඔය කියන වේදනාස්කන්ධය, ඔය කියන සංඥාස්කන්ධය, ඔය කියන සංකාරස්කන්ධය, ඔය කියන විඤාණස්කන්ධය යම් තැනක ඇත්ද, එයාට කියනවා සත්වයා, පුද්ගලයා. බාහිර ලෝකයේ ද්‍රව්‍ය වස්තු තමයි ඒවට ආධාරක. ඕව ඔක්කොම අරගෙන මමය, මගේය, මගේ ආත්මය කියල ගත්ත මිත්‍යා දෘෂ්ඨිය නිසා, අප්‍රමාණ දුක් කන්දරාවෙන් මිදෙන්න බැරුව සසර ගමනක් යනවා. මේක වටිනවා කියලම හිතෙනවා.
මෙන්න මේ ටික දැක්කට පස්සෙ අපි දකින්න ඕන පංචස්කන්ධ භාවනාව මොකක්ද කියල. මෙන්න පංචස්කන්ධ භාවනාවක් අරගන්නකොට වැදගත්ම කොටස දැන් තේරුම් ගත්තා. ඔයින් එහා සත්වයෙක් නෑ. ඔය පංචස්කන්ධය ඉක්මවල ඉන්න තවත් ජාතියක සත්වයෙක් ගැන කිසිම කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ. ඔය පංචස්කන්ධයෙන් තොර සත්වයෙක්ගේ ස්වභාවයක් ගැන කතා කරන්න විදිහක් නැහැ. එහෙම සත්වයෙක් ලෝකයේ කිසිම තැනක විද්‍යාමාන නෑ. යම් තැනක සත්වයෙක් කියල විද්‍යාමාන උනාද, ඔය කියන පංචස්කන්ධයෙන් විද්‍යාමාන වෙලා තියෙන්නෙ. වෙන දේකින් විද්‍යාමාන කරල නෑ. විග්රහ කලා නම් පහකට විග්රහ කලා, ස්කන්ධ ඔක්කොම, නැත්නම් හිතයි ගතයි, නැත්නම් නාමයයි රූපයයි, ආදී වශයෙන් කිවුව මේ සත්වයා, ඔන්න ඔය කියන්නා වූ ස්කන්ධ පහකින් වෙන්කරල තියෙනවා, විග්රහ කරගන්න ලේසියට. හැදෙන ආකාරයත් ක්‍රමානුකූලව පෙන්නනවා.
යම්කිසි රූපයක තිබෙන්නා වූ මායා ආකාරය මුල්කරගෙන, එහි රසාස්වාදයෙන්, ප්‍රිය මනාපයෙන් හිත බැන්දාද, අන්න එය මුල්කරගෙන ප්‍රිය මනාප රූපස්කන්ධයයි කියල, මහා දුක් බරක් අරගෙන, ඔපයට රැවටිලා ප්‍රිය මනාප රූපස්කන්ධයයි කියල හිත බැඳ ගත්තා. අන්න ඒ බැඳ ගත්ත හිත නිසා රූපස්කන්ධයෙන් වෙන්වෙන්න බෑ. ඒ රූපස්කන්ධයේ ලැබුනා වූ සැප වේදනා මාත්‍රයක් අල්ලගෙන, ඒ මාත්‍රය ඉක්ම ගියාට පස්සෙ දෙන්නා වූ සියළු දුක් වේදනාවන්ට කරගහගෙන, වේදනාස්කන්ධයක් දරාගෙන එනවා.
ඒ රූපස්කන්ධයේ ප්‍රිය ස්වභාවය, මධුර ස්වභාවය නිසා හටගත්තා වූ සංඥාස්කන්ධයක් අල්ලගෙන, ප්‍රිය මනාප වින්දනයක් විඳින්න බලාපොරොත්තුවෙන්, ඒ සංඥාස්කන්ධය මතකයේ රඳවගෙන, එබඳුම දෙයක් බලාපොරොත්තු වෙනව. නමුත් ඒක තාවකාලිකව ගෙනල්ල කොටුකරල දැම්ම, අර ඇමට අමුණල දැම්ම වගේ. ඊට පස්සෙ කවදාවත් හරි ලස්සනයි කියන සංඥාවෙන් ඉන්න බෑ. හරි හැඩයි කියන සංඥාව තියාගන්න බෑ. මේ ප්‍රිය සංඥාවක්, මේ මධුර සංඥාවක් කියල තියාගන්න බෑ. ඒක අල්ලගත්ත තැන් පටන්ගෙන, අල්ලගත්ත නම් බැඳගත්ත බෙරේ ගහනවා වාගෙ, සිද්ධ වෙනවා අර දුක් සංඥා ඔක්කොගෙම විඳ විඳා එන්න, ගමන යන්න. ප්‍රිය සංකාරය කියල ප්‍රිය රූපයම මුල්කරගෙන, ඒ හැඩෙන් ගත්තා වූ දේට හිත බැඳගෙන, එබඳු දේ මතු මතුත් මට ඕනේ කියල හිතුවිලි, ක්‍රියා, වදන් නගමින්, සංකාර පහල කරගත්ත නම්, පහල කරගත්ත මාත්‍රය ගෙවිල ගිය තැන පටන්, “අනේ අපොයි වෙච්ච දෙයක්!” කියන දුක් සංකාරයන්ගෙන් තමයි පුරවගෙන තියෙන්නෙ. ඒකෙන් යන්න වෙනවා.
එහෙනම් ඕව ඔක්කොම එක්කරල හටගත්ත ගති හිතක් ඇත්ද, හටගත්තා වූ ඒ චිත්ත ගති ස්වභාවය මුල්කරගෙන, බොහෝ කොටම ලෝභ හිත්, ද්වේෂ හිත්, මෝහ හිත්, කියන ඒව විඳිනව. සුඛ හිතක් විඳින්න හම්බෙන්නෙ නෑ, මාත්‍රයට රැවැට්ටුව විතරයි. මායා දර්ශන චිත්ත ස්වභාවයක් පෙන්නල, ඒකට රවට්ටල අනන්ත දුක් පිඬක් විඳිනවා. දුක් විඤාණ මාර්ගයක් ගෙනියනවා.
මෙන්න මේක තමයි “පංචස්කන්ධය, දුක්ඛස්කන්ධයයි” කියල කියන්න හේතුව. මායාවකින් රවට්ටලා තියෙන එක, කවදාවත් සුඛස්කන්ධයක් කියල ගන්න බෑ. එහෙනම් මෙතන මොකද වෙන්නෙ? හටගත්තා නම් යම්කිසි ආකාර රූපස්කන්ධයක්, යම් තැනක පහලඋනානම්, හටගත් තැන් පටන් ඒකට උරුම ධර්මතාවක් තියෙනවා, කිසි කෙනෙකුට වෙනස්කරන්න බැරි දෙයක්, මොකක්ද? “හටගත්තා නම්, විපරිණාමයට පත්වෙනවා, වැනසිලා යනවා”. යම් තැනක කෙබඳු ආකාර හෝ රූපස්කන්ධයක් හටගත්තා නම්, මායා ලෝකයක මායා අවස්ථාවක ඒක බැඳල තබන්න, මම කරගනිං, මගේ කරගනිං, මගේ ආත්මයයි කියල ගනිං, කියන්නා වූ හැඟීම දෙවනව වාගෙ, “මාව උඹේ කරගනිං, මෙන්න මම ලස්සනයි, මෙන්න මම හැඩයි” කියන අවස්ථාවක් දෙනව වාගෙ, ලෝකයා රැවටීමට යම්කිසි අවස්ථාවක් තියෙනව ඕවෑ, ඔන්න ඔය කියන ආස්වාදජනකව පෙන්නන අවස්ථාවක්. අන්න ඒ අවස්ථාවේ මායාවට අහුවෙලා ලෝක සත්වයා මොකද කරන්නෙ? ඕක දරාගන්නවා.
මෙන්න මේ හටගත්ත එක දරාගත්තට මොකද වෙන්නෙ? හටගත්ත එකට ස්වභාවයක් තියෙනව, හටගත්තා නම් ඒ තත්වය ඒකාන්තයෙන් පරිණාමයට පත්වෙනවා. නැත්නම් තත්වය වෙනස් වෙවී, වෙනස් වෙවී යනවා. ඕකට කියනවා නා-නා භාවයට පත්වෙනවා. ඔහොම පත්වෙලා පත්වෙලා ගිහිල්ල මොකද කරන්නෙ? ආස්වාද මාත්‍රයක් දෙන රූපස්කන්ධය, දුක් කන්දරාවක් දෙන්නා වූ රූපස්කන්ධයක් හැටියට ගෙවිල ගෙවිල ගිහිල්ල, නා-නා භාවෝ එක, විනා භාවෝ භාවයට පත්වෙනවා. විනාශයට පත්වෙනවා.
නානත්වයට පත්වෙලා, නානත්වයට පත්වෙලා ගිහිල්ල, ඔය අතරෙදි හැඩ මාත්‍රයක් පෙන්නල, අනිත් ඔක්කොම දුක් මාත්‍ර, ඒවාගේම ඇසට අමිහිරි මාත්‍ර ඒව මතුකරල, මතුකරල දීල, විනාභාවෝ කියල හෙවත් විනාශයට පත්වෙනවා. එහෙනම් යම්කිසි දෙයක් ඔය හැම රූපස්කන්ධයකම තිබුන රසාස්වාදයක් තිබුන නම්, ඒ සෑම දෙයක්ම මොකද කරන්නෙ? ඒ ප්‍රිය ස්වභාවය, ඒ මනාප ස්වභාවය මොහොතකින් තිබිල ඒක වෙනස්වෙලා ගිහිල්ල, නා-නා භාවයට පත්වෙලා, දැන් එපාවෙන තත්වයෙන්ම ඒව දැකල දැකල, විනාභාවෝ කියන විනාශයට පත්වෙනවා.
ජීවිතයක් අරගත්තා තරුණ කාලෙ කියල අවුරුදු දහයක් තිබුන නම්, අන්තිම අවුරුදු දහයක් තියෙයි. එතැන් පටන්ගෙන වෙනස්වෙලා යනවා. ප්‍රියෙහි, මනාපයෙහි කියන තැනට එකතු වෙලා, ප්‍රිය ස්වභාවයයි, මධුර ස්වභාවයයි පෙන්නනවා, තරුණයි කියන කාලෙ බොහොම ටික කාලයක්. එතැන් පටන්ගෙන නා-නා භාවයට පත්වෙන මැදි වයසට ආව. මොහොතක් මොහොතක් පාසා නා-නා භාවය, නොයෙක් නොයෙක් ආකාරයෙන් මෝරාගෙන යනවා. කෙස් ඉදෙනවා, දත් හැලෙනවා, ඇඟ රැලි වැටෙනවා, හම රැලි වැටෙනවා, ඇද කුද ගැහෙනවා, විකෘති වෙනවා. හැබැයි අවුරුදු පහට හරියන්න තව අවුරුදු එකට, දහ පහළොස් ගුණයක් ජීවත්වෙනවා. අසූවක්, අනූවක් යනකං ජීවත්වෙනවා, විනාභාවයට පත්වෙමින්. එහෙනම් නා-නා භාවයට පත්වෙලා යනකොට, අර හැඩයි වැඩයි කිවුව එක වෙනස් වෙච්ච කාලෙම වැඩියි. හැඩයි වැඩයි කිවුව කාලෙ ඉතාම අල්පයි. ඒ හැඩයි වැඩයි කියන කාලෙත්, හත් දවසක් නොකා හිටියොත් එහෙම, වැහැරිලා මැරිල යනවා.
එහෙනම් මේ කයක ඒ ප්‍රියෙහි, මනාපයෙහි කියන ප්‍රිය භාවයක් ඇත්ද, මනාප භාවයක් ඇත්ද, ඒ ප්‍රිය භාවය, මනාප භාවය පවත්වන්නෙ, නානාප්‍රකාර උපක්‍රම තුලින් සුද්ද කරලා. එක දවසක් සුද්ද කරගන්න බැරි උනොත්, ප්‍රිය භාවයත් ඉවරයි, මනාප භාවයත් ඉවරයි. මහා බෝසතාණන් වහන්සේට රැඟුම් පෙන්නන්න ගිය කාන්තාවො ටික, රෑ මැදියම් යාමය වෙනකොට, කුණුකෙල පෙරාගෙන, ඇදගෙන වැටිල, කොන්ඩ අවුල් කරගෙන ඉන්නකොට මොකද උනේ? ප්‍රියෙහි මනාපෙහි ඉවර උනා ඒ ටිකටම. එහෙනම් ඊළඟ දවසෙ මොකද කරන්නෙ? ආයි සුද්ද කරගෙන, හදාගෙන, නැති හැඩ හදාගෙන, නැති ලස්සන මවාගෙන, වෙස් මවාගෙන ඉන්න යක්ෂණියො වගෙ, ලෝකය රවට්ටන්න, කාමයෙන් රවට්ටන්න, වෙස් මවාගෙන ඉදිරිපත් වෙනවා. ඔහොමත් ඉදිරිපත් වෙන්නෙ බොහොම ටික කාලයයි. කවල, පොවල, හංකඩවල තෙල් ගාල හරි කමක් නෑ ඔපමට්ටම් කරගෙන, ගස්ලබු ගාලා හරි, පිපිඤඤ ගාලා හරි කමක් නෑ, මූන හදාගෙන, එන්නෙ මොකටද? ඔය පොඩ්ඩක් හදාගෙන එන්න පටන් ගන්නෙ ලෝකයාට මාර දූවරු රවට්ටන්න එනවා වාගෙ වැඩක් ඔය කරන්නෙ. තමන් ළඟ නැති හැඩය ලෝකයට පෙන්නගෙන, ලෝකයා රවට්ටනවා.
විපරිණාමයට පත්වෙන, මොහොතක් එක පැය දෙකක් එකාකාර තියන්න බැරි ශරීරය, වෙනස් කරගෙන හැඩගහගෙන ඇවිදිල්ල, මූන පෙන්නල මොකක්ද කරන්නෙ? කාම යක්ෂණියන්ගේ කාම ක්‍රියාවලිය ගන්නවා. කාම යක්ෂයින්ගේ කාම ක්‍රියාවලිය ගන්නවා. නමුත් ඇත්තක් නෙමෙයි කලේ. රැවට්ටිලා, රැවට්ටුවා. රැවටි, රැවටි, රවට්ටනවා. කවුද රැවටෙන්නෙ? රවට්ටන්න ගිය එක්කෙනත් රැවටුනා, රැවටිච්ච එකත් රැවටුනා. දෙන්නම රැවටුනා. දැන් මොකක්ද වෙලා තියෙන්නෙ? නා-නා භාවයට පත්වෙන්න පටන් ගන්නවා වැඩිකල් යන්නෙ නෑ. දැන් ඉතින් හැඩගහල පෙන්නන්නද? දත් ටික වැටුනා, දැන් මොකෙන් හැඩගහල පෙන්නන්නද? කෙස් ටික පැහුනා, මොනව කරන්නද? හැම රැලි වැටුනා, දැන් මොනව කරන්නද? දැන් පිපිඤඤ ගෑවට හරියන්නෙත් නෑ, තක්කාලි ගෑවට හරියන්නෙත් නෑ, මොනවා කලත් දැන්නම් ඉතින් අර රැලි වැටිල, වැහැරුන හම හදන්න බෑ. ඔතන පටන්ගෙන මොකක්ද වෙන්නෙ? තව අවුරුද්දක් දෙකක් ගියා, හතරක් පහක් ගියා, දැන් මොනව කරන්නද? දැන් බලපුවහම හොකුත් ඇකිලිලා, ඔක්කොමත් ඉවරයි, හැබැයි මැරුන් නැහැ. තව නා-නා භාවය. දැන් නා-නා භාවය ප්‍රිය මනාපද? නෑ, බලන්නත් කැතයි දැන්. ඕං ඔහොම ගිහිල්ල ගිහිල්ල අන්තිම වෙනකොට මොකද වෙන්නෙ? විනාභාවයකට පත්වෙනකොට බලපුවහම, නා-නා භාවය තුලින් අප්‍රමාණ කාලයක් විකෘති වෙලා ඉඳල, විනාභාවයට පත්වෙලා වැනසිලා යනවා.
එහෙනම් සියළු ප්‍රිය මනාපය ඉතාම අල්ප මාත්‍රයක මායා කාලයක් විතරයි. බඩුවක් ගේනව, හරි ලස්සනයි, හරි චාම් කියනවා, හරි හොඳයි, තාං ඇඳුම, හරි හැඩයි. ගෙනල්ල බලාපුවහම මොකද කරල තියෙන්නෙ? කුණු ගෑවෙන්නෙ නැති ඇඳුමක් හොයාගෙන එන්න බෑ කාටවත්. අරගෙන ගමනක් ගියානම්, ඇඳල ආවනම් ඊට පස්සෙ බලපුවහම, ඕක ආයි සැරයක් ඇඳගෙන එලියට බහින්න බෑ. එහෙනම් ආයි සැරයක් අපි හොරයක් කරනවා. ආයි සුද්ද කරල, ඇකිලිච්ච ඒව මැදල, නැති එකක් ඇතිකර ගත්තා ආයි සැරයක්. දැන් හොඳ ඇඳුම කියල ආයි ඇඳගෙන ගියා. ආයි රැවැට්ටුවා. හැබැයි රවට්ටලා පැය දෙකක් යන්න හම්බෙන්නෙ නෑ, ආයි සැරයක් ඒකට උරුම කුණ ආයි වැටුන, නා-නා භාවයට පත්උනා.
දැන් එහෙනම් හැඩවැඩ කරගත්ත මාත්‍රයයි, මාත්‍රයේ පටන්ගෙන මොකද වෙන්නෙ? නා-නා භාවයට පත්වෙනකොට ඒකෙ හැඩේ ඉවරයි. වැඩිකල් හැඩකරන්න බෑ, කය හැදුව වගේම තමයි, තරුණ කාලෙ හැඩවැඩ කරගෙන, හැඩයි කියල පෙන්නුවා. මහළු උනාට පස්සෙ ඒක ආයි හැඩකරන්න බැරුව වාගෙ, ඇඳුම පොඩ්ඩක් දවස් ගියාට පස්සෙ, චාම් ගතිය ගියාට පස්සෙ, දැන් පාංකඩේ උනා. දැන් ඉතින් ආයි සැරයක් මැදල පෙන්නන්නත් බෑ, හදල පෙන්නන්නත් බෑ, බූල් ඇවිස්සිලා, නරක් වෙච්ච එක දැන් ඇඳගෙන, කොහොම යන්නත් බෑ. මොන ඔප දැම්මත් හරිගස්ස ගන්න බැරි තත්වයක් එනවා.
එහෙනම් ප්‍රියයි, මනාපයි කියන හැම දෙයක්ම ඒ වගේ, ගෙයක් හැදුව, හදල ලස්සනයි කියල, චාම් ගේ කියල හොඳට හිටිය. නමුත් වැඩිකල් යන්න ඉස්සෙල්ල ඕක එහෙන් මෙහෙන් කැඩිල, බිත්ති කැඩිල, ඇතුලෙ ඔක්කොම කහට බැඳිල, ලී දිරල, අර දාල තියෙන උළු හරි කමක් නෑ මොනවහරි කමක් නෑ ඒවත් පරණ වෙලා, ඒවෑ දිය සෙවෙල් බැඳිල, නැවතත් අලුත් ගෙයක් කරන්න බැරි තත්වයට එන්න එන්න පරණ වෙලා යනවා. එතකං මොකද කරන්නෙ? බොරුවට රවට්ට රවට්ට සුදු හුණු ටිකක් ගානවා, වර්ණ ටිකක් ගානවා, බිම පොලිෂ් කරනවා ඔක්කොම කරගෙන නැති දෙයක් ඇතිකර කර ඉන්න ලෝකයක් හදනවා. හරිම සුන්දරයි කියල ලෝකෙ පෙන්නනවා. නා-නා භාවයට පත්වෙනවා. බොහෝ කාලයක් ඒ ගෙයි නා-නා භාවය, ප්‍රිය මනාප නැති දෙයක්. එහෙම ගිහින් ගිහින් අන්තිමට විනා භාවයට පත්උනා.
{ 1:22:06 } : සියළුම ප්‍රිය මනාපයෝ නා-නා භාවයට, විනාශයට පත්වෙනවා
එහෙනම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ෂ කියල බැලුවත්, රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ කියල බැලුවත්, ඔය ඔක්කොම මොකක්ද වෙන්නෙ? “සබ්බේ පි මේ ප්‍රියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති”, මෙන්න කර්මස්ථානය.
“සබ්බේ පි මේ ප්‍රියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති”; “මේ සියළුම ප්‍රිය මනාපයෝ නා-නා භාවයට පත්වෙනවා, විනාශයට පත්වෙනවා”. {{ දසධම්ම සුත්තං }}
දැන් මේ කරපු විග්‍රහය කර්මස්ථානයේ සාරාංශය තමයි. ඔන්න එක කර්මස්ථානයක් ආවා. දැන් කවුරුවත් දුන්න නෙමෙයි, මේ කර්මස්ථානය, අහපු ධර්මය තුලින් සියල්ල කැටිකරල ගත්ත සාරාංශයක්, ආවා කර්මස්ථානයක්, මේක දැන් තමන් සතු කර්මස්ථානයක්. මේක කාගෙවත් එකක් නෙමේ. තමන් දැනගත්ත නම්, මේ කිවුව ධර්මය වැටහුනා නම්, ඔය ධර්මය සාරාංශය එක්කරල ගත්ත, “සබ්බේ පි මේ ප්‍රියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති“. බුදුරජාණන් වහන්සේ දේශනා කලා, ඔන්න ඕක නිතරම මෙනෙහි කරන්න.
“පබ්බජිතෙ අභිණ්නං පච්චවෙක්කිතබ්බං” කිවුවෙ ඔන්න නිවන් මගක්. එහෙනම් මේ බැඳිල තියෙන, රැඳිල තියෙන ආසාවන්ගෙන් දුරුකරගන්න මූලික අවස්ථාවේ කර්මස්ථානය ඔන්න ඕකයි. ඉස්සෙල්ලාම වඩන්න තියෙන කර්මස්ථානය. “සබ්බේ පි මේ ප්‍රියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති“. අර්ථය හොඳට තේරුම් අරගෙන, නිතර සිහිකරන කර්මස්ථානයක් කරගන්නවා. ඕනම ප්‍රිය මනාපයක් දැක්කොත්, “සබ්බේ පි මේ ප්‍රියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති“, පුරුදු කරගන්නවා සිහි කරන්න.
වැඩිකල් යන්න ඉස්සෙල්ල, මෙතෙක් කිවුව සියලු ධර්මය කැටිවෙලා ඔතෙන්ට එනවා. ඇවිදිල්ල යම් ඇලීමක් තිබුනද, මුලාවක් තිබුනද, මොහොතකින් මුලාව අහක්වෙලා යනවා, ධර්මයේ හිත හිටිනවා. නිකන්ම අර මායාවෙන් ගිලිහිලා යනවා. ඔන්න මූලික ඉන්ද්රිය සංවරත්වය ඇතිකර ගැනීමට අවශ්‍ය කරන කර්මස්ථානයක්, තැනට ඔබින විදිහට සිහිකරන්න පුරුදු වෙන්න ඕනෙ.
ඕනම ප්‍රිය මනාපයක් කෙරෙහි හිත ආපු වෙලාවක, “සබ්බේ පි මේ ප්‍රියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති“. ඔය ටික සිහිකරනවා. ඔන්න එක්තරා පළවෙනි කර්මස්ථානයක්, මූලික වශයෙන් ලෝක ධර්මතාවය දැනගන්න.
දැන් අපි දැනගන්නවා එක දෙයක්. අපි කිවුව මේ පංචස්කන්ධයක් ගැන. කොතන සත්වයෙක් වශයෙන් උපන්නත්, ඒ උපන් සත්වයාට තිබුනෙ ස්කන්ධ පහයි; රූපස්කන්ධ, වේදනාස්කන්‍ධ, සංඥාස්කන්‍ධ, සංකාරස්කන්ධ, විඤාණස්කන්ධ කියපු මේ ටික තමයි මේ තිබුනෙ. දැන් මේ රූපස්කන්ධය කියන්නෙ මොකක්ද කියල අපි හොඳට විග්රහ කලා. දැන් මොකක්ද වෙන්නෙ? හටගත්ත රූපස්කන්ධයක් ඇත්නම්, නා-නා භාවයට පත්වෙනව කිවුවෙ, විපරිණාමයට පත්උනා. විනාභාවෝති කිවුවෙ, වැනසිලා ගියා. එහෙනම් හටගත්ත යමක් ඇත්නම්, විපරිණාමයට පත්වෙනවා, වැනසෙනවා. “සබ්බේපි මේ පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවො ති“. ඔන්න එතනත් ධර්මය, අරකටම ගැලපුනා. හටගත්ත ප්‍රිය මනාපයක් යම් තැනක විද්‍යාමාන වෙනව නම්, ඒ සියල්ලම නා-නා භාවයට පත්වෙනවා කිවුවෙ, විපරිණාමයට පත්උනා. විනාභාවෝති කිවුවෙ, වැනසිලා ගියා. මෙන්න ධර්මයේ මූලික ස්ථානය, මූල සිද්ධාන්තය. දහම් අවබෝධයේ මූල සිද්ධාන්තය.
“යං කිංචි සමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං” කිවුවෙත් ඕකයි. යම් ධර්මයක් පහල වෙද්දි සියල්ල නැතිවෙලා යනවා. මේක වෙනස් කරන්න ලෝකයේ කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ. කිසිම දේකින් වෙනස්වෙලත් නැහැ. ධර්මතාවය ඕකයි, සත්‍යය ඕකයි. {{ මහාක‍්ඛන්‍ධකං }}
මෙන්න මෙතෙන්ට ගත්තට පස්සෙ අපි එකක් දකිනවා. දුර වේවා, ළඟ වේවා, පේන වේවා, නොපෙනෙන වේවා, සියුම් වේවා, ඝන වේවා, අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා, රූපස්කන්ධ යැයි යමක් යම් තැනක වීද, ඒ සියල්ල විපරිණාමයට පත්උනා, වැනසුනා.
දුර වේවා, ළඟ වේවා, පේන වේවා, නොපෙනෙන වේවා, සියුම් වේවා, ඝන වේවා, යම්කිසි ආකාරයක, රූපස්කන්ධ යැයි යන යමක් යම් තැනක වෙයිද, දැන් වෙයිද, ඒ සියල්ල විපරිණාමයට පත්වෙනවා, වැනසෙනවා.
දුර වේවා, ළඟ වේවා, පේන වේවා, නොපෙනෙන වේවා, සියුම් වේවා, ඝන වේවා, රූපස්කන්ධ යැයි යමක් යම් තැනක මතු වන්නේද, ඒ සියල්ල විපරිණාමයට පත්වන්නේමය, වැනසී යන්නේමය.
ඔන්න ධර්මතාවය ආවා. ඔය සත්‍යතාවය. මෙන්න රූපස්කන්ධය පිළිබඳව මේ ටික දැක්කට පස්සෙ අපි එකක් දකිනවා. එහෙම නම් එබඳු වන්නා වූ රූපස්කන්ධයක්, මං කෙතෙක් කැමති උනත් මගේ කැමති සේ පවතීද? මගේ කැමතිසේ පවත්වන්න පුළුවන් රූපස්කන්ධයක් ලෝකෙ නැහැ. මමය කියාත් නැහැ, මගෙය කියාත් නැහැ, ලෝකයේ තියන්න පුළුවන් තැනකත් නැහැ. එහෙනම් මෙන්න මේක දකිනවා, මොකක්ද දකින්නෙ?
හටගත්තා වූ රූපස්කන්ධයක් ඇත්නම් විපරිණාමයට පත්වෙනවා, වැනසෙනවා, මේක ධර්මතාවයයි. එබඳු ධර්මතාවයක් ඇත්තා වූ රූපස්කන්ධයක් තුල, කැමති සේ පත්වන්න පුලුවන්ද කියල බලපුවහම, කිසිම ආකාරයකින් අපිට විද්‍යානුකූල තීරණයක් දෙන්න බැහැ. සත්‍යය තීරණයක් දෙන්න බැහැ. “කැමති සේ පැවැත්විය හැකියි මට රූපස්කන්ධයක්” කියන වචනෙ. එහෙනම් මොකක්ද ගත්ත තීරණේ?
රූපස්කන්ධ යැයි යමක් යම් තැනක කෙබඳු ආකාරයෙන් හෝ වේද, ඒ සියල්ලම ඉච්ච නැහැ; කැමති සේ නැහැ; “ අනිච්චයි”. නිත්‍ය නැති බව ඉස්සෙල්ල දැනගත්ත. දැන් දැනගත්ත නිත්‍ය නැති නිසාම තමයි, කැමති සේ පවත්වන්න බැරි, එහෙනම් අනිච්චයි. ඉච්ච සේ පවතින්නෙ නැති නිසා අනිච්චයි. කැමති සේ පවතින්නෙ නැති නිසා ඒකට මොකද වෙන්නෙ? ඒ නිසාමනෙ මේ දුක් විඳින්නෙ, ඒ නිසාමනෙ ඒක දුක වෙන්නෙ! කැමති සේ පවතින්නෙ නැත්නම්, ඒක සැපයිද, දුකයිද ඇහුවොත්, ඒක සැපයි කියල තීරණය කරන්න කිසිම විද්‍යාවක් නැහැ. කැමති සේ පවතින්නෙ නැත්නම්, ඒක දුකමයි. අනිත්‍යයි නෙමේ වචනෙ, ත්‍රිලක්ෂණයෙ වචනෙ, “අනිච්චයි”; “කැමති සේ නැහැ”. කැමති සේ නැති නිසාමයි ලෝක සත්වයා ඒක දුකයි කියන්නෙ.
ඒක හේතු සාධක සහිතමයි. “යදනිච්චං තං දුක්ඛං“ කිවුවෙ ඕකයි. {{ අජ්ඣත්තානිච්චසුත්තං }} යමක් අනිත්‍ය නම් එය දුකයි කියල අද අටුවාවේ තෝරනවා. සත්‍යය මොකක්ද වැහිල ගියා. අර්ථය වැහිල ගියාට පස්සෙ දහම් ගැඹුර එන්නෙ නැහැ. ගැඹුරු අවබෝධය, ගැඹුරු ප්රත්යක්ෂය එන්නෙ නැහැ. විද්‍යාවට එකඟ නැහැ. එහෙනම් මොකක්ද එකඟ වෙන්නෙ?
යමක් කැමති සේ නැද්ද, ඒක නම් දුකයි. ඒක විද්‍යාවට එකඟයි, සත්‍යට එකඟයි. එහෙනම් යමක් කැමති සේ පවතින්නෙ නැති බව ඔප්පු වෙලා ඉවරයි, රූපස්කන්ධය. එබඳු රූපස්කන්ධයක් කැමති සේ පවතින්නෙ නැත්නම්, ඒකාන්තයෙන් ඒක දුක එන බව සත්‍යය නම්, එබඳු වන්නා වූ දෙයක් ඇත්නම්, මමය කියල ගන්න, මගේය කියල ගන්න, මගේ ආත්මයයි කියල ගන්න, එහෙම බැඳෙන්න දෙයක් මොනවත් අදහස් කරන්න දෙයක් ඒකෙ නැහැ.
එහෙනම් මොකක්ද ඒකෙ තියෙන්නෙ? වචනයක් තියෙනව ඕකට කියනව; “යං දුක්ඛං තදනත්ථා“ කියනවා. {{ අජ්ඣත්තානිච්චසුත්තං }} යමක් දුක නම්, ඒක අනාත්මයි කියල මේක තෝරනවා. ආත්ම කියන්නෙ මොකක්ද, අනාත්ම කියන්නෙ මොකක්ද? ඔය දෙපැත්ත හොඳට බලන්න ඕනෙ. අද එක්තරා තැනක හැඟවිලා තියෙන දෙයක්. සියල්ල අනාත්මයි, සියල්ල අනාත්මයි කියල, අපි නිවන් දකින්න හදනවා. ඇත යනු එක අන්තයකි, නැත යනු එක අන්තයකි. මේ අන්ත දෙකට පැමිනෙන්නෙ නැතුව, බුදුරජාණන් වහන්සේ මාධ්‍යය තුලින් නිවන් සත්‍යය කරා ගමන් කලා කියනවා. ඇත යනු එක අන්තයක්. නැත යනු එක අන්තයක්. ඔය අන්ත දෙකටම යන්නෙ නැතුව යන්න, මාධ්‍යය තුලින්.
එහෙනම් මොකක්ද මාධ්‍යය? ආත්ම, අනාත්ම, ඇත, නැත. ආත්ම ඇත. අනාත්ම නැත. ආත්මයක් නෑ. ආත්මයක් තියෙනවා. ඇතයි, නැතයි අන්ත දෙක. නමුත් අද වැහිල තියෙන දෙයක් මේක.
එහෙනම් මොකක්ද වචනෙ? අනත්තා කිවුවෙ මොකක්ද? අනත්ථා පාලියෙන්. අනර්ථ කියන්නෙ සංස්කෘතෙන්. අපේ වචනෙ මොකක්ද? “අනාථ”. ලේසි වචනෙ ලඟම තියෙන්නෙ. සිංහල වචනෙ අනාථ. පාලි වචනෙ අනත්ථ. සංස්කෘත වචනෙ අනර්ථ. වචන පටලව ගන්නෙ මොකටද?
යමක් දුක නම්, “යං දුක්කං තදනත්ථා“; යමක් දුක නම්, එය අනාථයි. අන්න නිවන් දකින වචනෙ “අනාථයි”. එහෙනම් අපි දැකගන්න ඕනෙ මොකක්ද? අනාත්ම නෙමෙයි, අපි දකින්න ඕනෙ, අනාථ දකින්න ඕනෙ. අනාථ කියන වචනෙ එනකොටම අපිට දහම් අර්ථය ඇවිදිල්ල, මාධ්‍යයෙ පිහිටනවා. ආත්ම, අනාත්ම කතා දෙකෙන්ම අපි අහක්වෙලා, අපි පිහිටන්න ඕනෙ අනාථ කියන වචනෙ, අපේ වචනෙ. “තදනත්ථා” කිවුවෙ, එබැවින් ඒක අනාථයි. අන්න අනාථ ධර්ම කියනකොට අපිට විශාල ගැඹුරු වැටහීමක් එනවා.
එහෙනම් මොනවද අනාථ? රූපස්කන්ධය කියන්නෙ ලෝකයේම කොටසක්. රූපස්කන්ධ, වේදනාස්කන්‍ධ, සංඥාස්කන්‍ධ, සංකාරස්කන්ධ, විඤාණස්කන්ධ. මේ ලෝකෙ හැදිල තියෙන්නෙ ඔය ටිකෙන් නම්, රූපයෙන් හැදුනා වූ ලෝකයක් ඇත්නම්, රූපස්කන්ධය රූප ලෝකයයි, රූප ලෝකය අනාථයි. ඔන්න කර්මස්ථානයට වචනයක් ආව. රූප ලෝකෙ හැටි මෙච්චර වෙලා විග්රහ කලා. රූපස්කන්ධයන්ගේ හැටි විග්රහ කරපුවහම දැන් අපි නිගමනයක් කලා, එබඳු රූපස්කන්ධයක් අල්ලගත්තොත් අනාථෙ තමා. අපි අනාථයි. එහෙනම් අපි දකිනවා එක දෙයක්, රූප ලෝක අනාථයි. ඔය රූපස්කන්ධ සියල්ලටම යන රූප ලෝක… (පටිගත වීමේදී සුළු කොටසක් මගහැරී ඇත).
~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~
දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://www.waharaka.com/listen/CD007-01