ධ්‍යාන, සමාධි, මඟ​ ඵල, පෙරහැරේ දහම් අරුත

ධ්‍යාන සමාධි
04 සං‍යුක්ත තැටියආර්ය මෛත්‍රියභාවනාමූලික දේශනා

දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)

ධ්‍යාන, සමාධි, මඟ​ ඵල, පෙරහැරේ සංකේත

 

{0:00:00}: ධ්‍යාන​ සහ සමාධි නිවැරදිව දැනගනිමු

 

ප්‍රශ්න කීපයක්, මේවා පුද්ගලිකව වශයෙනුත්, කාටත් පොදු දෙයක් වශයෙනුත් ලබන්න පුලුවන්. භාවනාවක් ගැන පිංවත් පිරිස් අහලා තියෙනවා ප්‍රශ්නයක්. “ලෝක අනාථයි – නිවනම නාථයි” කියන මේ කර්මස්ථානය වඩපුහාම, පෙරදිත් අර හුස්ම ඉහළ-පහළ ගැනීම නිසා ගත්ත කර්මස්ථානයේදී වැඩූ භාවනාව, ඒකෙන් හඳුනාගත්ත තලයෙන් තලයට ඉහළට යාම සිදුවෙනවා කියලා පෙන්වනවා.

 

දැන් මෙතන මෙහෙමයි වෙන්නෙ, අපි වැඩුව කර්මස්ථානයක් තියෙනවා නම්, ඒ වැඩූ කර්මස්ථාන වල නානාප්‍රකාර සමාධි තියෙනවා. “ධ්‍යාන” වෙනයි, “සමාධි” වෙනයි. සමාධි කියන ඒවගෙ “උපචාර සමාධි” ත් තියෙනවා, ඒ වාගෙම කෝටි ගණන් සමාධි තියෙනවා. ඔය සමාධි මට්ටම් අපි හිතූ හිතූ ආකාරයටත් වෙනවා, අහලා තිබුණ ක්‍රමයටත්, මේවා අධිෂ්ඨාන කරගෙන යනකොට ඒ අනුවත් මතුවෙනවා.

 

දැන් සමහර කෙනෙකුට සමාධියක් මතුවෙන්න පුලුවන් කවුරුහරි කියලා දීලා තිබුණොත් “මේ සමාධිය වඩාගෙන යනකොට ඔලුව නැතිවෙනවා වාගෙ දැනෙනවා” කිවුවොත් එහෙම, එයාට වඩාගෙන යනකොට ඔලුව නැතිවෙනවා දැනෙනවා. ඒකත් සමාධියක්. සමහර කෙනෙකුට කිවුවොත් “අත්දෙක නැතිවෙනවා වාගෙ දැනෙනවා මේ සමාධිය වඩාගෙන යනකොට” කිවුවොත්, එයා ඒ අදහසින් හිටියොත්, එයාට ඒ සමාධියේ පිහිටපුහාම අත්දෙක නැතුවා වාගෙ දැනෙනවා. “ඇඟ නැතිවෙනවා වාගෙ” කිවුවොත් එහෙම ඇඟ නැතිවෙනවා වාගෙ දැනෙනවා.

 

ඔහොම සමාධි කියන ඒවයෙ ස්වභාවයක් තියෙනවා, අපි අහපු අහපු හැටියට, හිතාගත්ත හැටියට ඒ සමාධි එනවා. දැන් සමහර අයගෙ සමාධි ක්‍රම තියෙනවා දීලා, නාසය ලඟ දැනෙන ස්වභාවයක්, නළල ලඟ දැනෙන ස්වභාවයක් – ඇහි බැම ලඟ, නළල …(1:46පැහැදිලි නැත)… වෙලා දැනෙන ස්වභාවයක්, හිස්මුදුනට දැනෙන ස්වභාවයක් ගැන, මෙහෙමත් ඔය ප්‍රථමධ්‍යාන, දුතියධ්‍යාන, තෘතීයධ්‍යාන, චතුර්ථධ්‍යාන කියලා ධ්‍යාන වලට පෙන්වන දේශකයන් වහන්සේලා ඉන්නවා, කර්මස්ථානාචාර්යවරු. ඒවා අහලා කර්මස්ථාන ගන්න අයටත් ඒ ජාතියෙ සමාධි ලැබෙනවා. ඒ කියන්නෙ, එතකොට එයාට දැනෙනවා ඔය නාසය ලඟ හිත හිටියා වාගෙ, නළල ලඟ හිත හිටියා වාගෙ, හිස්මුදුනට හිත හිටියා වාගෙ, ඔය එක එක විදිහට දැනෙනවා.

 

බුදුරජාණන් වහන්සේ ධ්‍යානයක ලක්ෂණ පෙන්වලා තියෙනවා, ඉතින් මේ අපි දකින්න ඕනෙ ඒ ධ්‍යාන ලක්ෂණ ද අපිට මතුවුනේ කියලා. දැන් තලෙන් තලේ ඉහළ යාමට, දැන් අපිට කිවුවොත් එහෙම, දැන් මට එක මහත්මයෙක් ඇවිල්ලා කිවුවා, එයාට යන්න පුලුවන් කිවුවා නේවසඤ්ඤානාසඤ්ඤායතනය ට යනකන්. මම කිවුවා ඒක විස්තර කරන්න, කොහොමද ඒ වෙන්නෙ කියලා. ඒ කියලා දීපු කමය අනුව ශරීරය උඩට ගිහින් නවතිනවා එක තැනක, ඒ එයාට දැනෙන ආකාරය. ඒක ඉස්සෙල්ලාම පෙන්නුවෙ මොකද්ද, රූපාවචර සමාධි වලට අර, නාසය ලඟ හිත හිටිනවා, ඊලඟට ඇස් බැමි ලඟ හිත හිටිනවා, නළලෙ හිත හිටිනවා, ඊට පස්සෙ හිස්මුදුනෙ හිත හිටිනවා මේ තත්වෙට පත්වෙනවා නම්, ශරීරය තියෙන බව දැනෙනවා.

 

දැන් මෙහෙම චතුර්ථධ්‍යානයට වෙනකන් ඒ හතර කියනවා. ඊට පස්සෙ උඩට යනවා දැනෙනවා, හිත ඉහළට යනවා. තලෙන් තලයට හතරකට ගිහින් හිටිනවා. දැන් මේ විදිහට අෂ්ට සමාපත්තියම එයාට වැඩිලා තියෙනවා කියලා එයා ඒ විදිහට කිවුවා. දැන් ඒ කියලා දීලා තියෙන ක්‍රමය. ඒවත් සමාධි තමයි, සමාධි කෝටි ගණන් තියෙනවා කියලා කිවුවෙ ඒකයි. සිතිවිලි ….(3.15 පැහැදිලි නැත)… කියලා කියන එක සමාධියේ අපි අධිෂ්ටාන කරපු හැටියට හිටිනවා.

 

දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දස දිසාවට සමාධි දහයක් තියෙනවා දිවැස් ලබන්න, පෙර දිසාව සිහි කරපුහම හිත පෙර දිසාවට ගිහින් හිටිනවා, වෙන දිසා වලට යන්නෙ නෑ, දකුණු දිසාව හිතුවොත් හිත දකුණු දිසාවට ගිහින් හිටිනවා, වෙන දිසාවකට යන්නෙ නෑ, ඒ පැත්තමයි පේන්නෙ. පිටිපස්ස හිතුවොත් පිටිපස්සට හිටිනවා, උතුරු පැත්ත හිතුවොත් උතුර පෙනෙනවා, වම් අත පැත්තට, ඒ පැත්තට හිතුවොත් ඒ පැත්තට හිටිනවා. යට පැත්තට හිතුවොත් යට පැත්ත පේනවා, උඩ පැත්ත හිතුවොත් උඩ පැත්ත පේනවා, හිත ඒ ඒ පැත්තට ගිහින් හිටිනවා, ඒවත් සමාධි.

 

දැන් මේ “සමාධි” කියන එකයි “ධ්‍යාන” කියන එකයි දෙකක්. සමාධි කෝටි ගණන් තියෙනවා කිවුවෙ ඒකයි, ඒ නිසා හිතූ-හිතූ ආකාරයන් ගෙන් සමාධි ගන්න පුලුවන්. එතකොට “දිවැස” තියෙන සමාධිය තියෙන තැන “දිව කන” නෑ. දිවැස් සමාධිය වැඩුනොත් දිවැසට පේනවා, හැබැයි කට හොල්ලනවා දැනෙනවා මිසක්, පේනවා මිසක්, කෙනෙක් කතා කරනවා නම්, කතාකරන එක ඇහෙන්නෙ නෑ. දැන් අමනුස්සයෙක් කතා කරන එක, දිවැස් සමාධිය ලැබුවොත් අමනුස්සයා ව පේනවා, කතාකරන හැටි පේනවා, අත-පය වලින් කියන ඒවා, පෙන්වන ඒවා, ඒ සළකුණු පේනවා. හැබැයි කට හොල්ලනවා, හඬ ඇහෙන්නෙ නෑ. හඬ ඇහෙන්න අවධානය යොමු කරගෙන ඉඳලා සමාධිය වැඩුවොත් අන්න “දිව කන” සමාධිය වැඩෙනවා, එතකොට කියන එක ඇහෙනවා. දැන් “දිවැස” පහලකරගන්නෙ නැතුව “දිව කනට” යොමු කළොත් එහෙම, හඬ ඇහෙනවා, කියන කෙනා පේන්නෙ නෑ. ඉතින් මේ වගේ, සමාධි කියන ඒවා එක එක විදිහයි. ඒක ඉදිරි පැත්තට වැඩුවොත්, ඉදිරි පැත්තේ කියන ඒවා ඇහෙනවා, පිටිපස්සෙ ඒවා, හරහට ඒවා, දෙපැත්තෙ ඒවා ඇහෙන්නෙ නෑ. ඒ ඒ පැත්තටත් හිත වඩන්න ඕනෙ. ඒ වගේ සමාධි කෝටි ගාණක් හැදෙනවා කිවුවෙ අන්න ඒකයි.

 

{0:04:46} : නිවැරදි ප්‍රථම ධ්‍යානය හඳුනාගනිමු 

 

ඉතින් මේ වගේ සමාධි කියන්නෙයි, ධ්‍යාන කියන්නෙයි දෙකක්, දැන් මේක තේරුම්ගන්න ඕනෙ. සමාධි වැඩූ අයට, වැඩූ වැඩූ ආකාරයෙන් සමාධි පිහිටනවා. සමාධි කියන්නෙ ධ්‍යාන නෙමෙයි. ධ්‍යානයි සමාධියි කියන්නෙ ක්‍රම දෙකක්. දැන් මේකෙ අපි දකින්න ඕනෑ, දැන් ඔය දකින සමාධි වල අපි දැන් හතරවෙනි සමාධියට ම යන ආකාරය දැකපු විස්තරයක් පෙන්නනවා. දැන් ඉහළින් ඉහළට, අවස්ථාවෙන් අවස්ථාවට, මේ තට්ටුවෙන් තට්ටුවට වගේ ඉහළට ගිය අවස්ථාවක්.

 

දැන් අපිත් දන්නවා, ශරීරයට සුවය දැනුනද? ඒක බලන්න ඕනෙ. ප්‍රීතිය දැනුනද? සුඛය දැනුනද? එතකොට යොමු කරගත්තෙ කොතනින් ද ඒක? දැන් ධ්‍යානාංග පහ වෙන් කරන්න ඕනෙ. ධ්‍යානාංග පහ වෙන්කරනකොට, දැන් අපි කියන සමාධි තියෙනවා අපිට වෙන්කරන්න පුලුවන්. දැන් ඉහළ තට්ටුවකට ගියා වගේ දැනිලා, හිත ඉහළට ගිහිල්ලා නවතිනවා, ඊලඟ මට්ටමට ගිහිල්ලා ආයි නවතිනවා. හැබැයි පළවෙනි තට්ටුවට ගියාම එහෙනම් “සවිතක්ක සවිචාර ප්‍රීති සුඛ ඒකග්ගතා” කියන ධ්‍යානාංග පහ විග්‍රහ කරන්න පුලුවන් වෙන්න ඕනෙ, දැනෙන්න ඕනෙ. දැන් ප්‍රීතියයි, සුඛයයි දැනෙන්න ඕනෙ, විශේෂයෙන්. එතකොට ප්‍රීතියයි, සුඛයයි දැනුනහම, ප්‍රීතිය, සුවය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ “මේ ශරීරයේ අස්සක්-මුල්ලක් නෑර ප්‍රීතියෙන්, සුඛයෙන් තෙමා යනවා” කියලා.

 

දැන් අපි උඩට ගියා වගේ දැනුනට පස්සෙ අපිට මේ “ශරීරයේ අස්සක්-මුල්ලක් නෑර ප්‍රීතියෙන්, සුඛයෙන් තෙමායන” ස්වභාවය දැනෙන්නෙ කොහොමද? දැනෙනවද? ඉතින් හිතලා බලන්න ඕනෙ. බුදුරජාණන් වහන්සේ ප්‍රථමධ්‍යාන සමාධිය ගැන දේශනා කරනකොට පෙන්නනවා, ඔය නාන්න ඒකාලෙ ගන්නවා ඉස්සර හඳුන් කුඩු, කොකුම් පොතු, ඕවගේ දේවල් අරගෙන, මැටි, ගොම, එක එක දේවල් අරං එකට අඹරනවා වතුර දාලා. අඹරලා, අපි මිරිස් අඹරනවා වගේ, මිරිස් ගුලි හදනවා වගේ, එක්තරා “නාන සුනු ගුලියක්” හදනවා. මේක අඹරලා පැත්තකින් තිබ්බහම මේ ගුලියම වතුරෙන් තෙත්වෙලා තියෙන්නෙ. හැබැයි, වතුර අහකට වෑස්සෙන්නෙත් නෑ, මේ අස්සක්-මුල්ලක් නෑර වතුරෙන් තෙත් වෙලා තියෙන්නෙ කොහොමද, ඒ වගේ ප්‍රථමධ්‍යානයේදී මේ කය ප්‍රීතියෙන්-සුඛයෙන් අන්න ඒ ආකාරයෙන් අස්සක්-මුල්ලක් නෑර තෙමිලා හිටිනවා, ප්‍රීති සුඛය පැතිරිලා හිටිනවා. එතකොට ඒක තියෙන්නෙ කය තුළයි, දැන් ඉහළට යාමක් තුළ නෙමෙයි. දැන් එතකොට අපි හිතලා බලන්න ඕනෙ ඒ ඉහළට යනවයි කියන එක සමාධියක්. ධ්‍යානය කියන එක අර ප්‍රීතිය, සුඛය මුලු කය තෙමා ගිය සුවයෙන් කය දැනි දැනී තියෙන්න ඕනෙ.

 

දැන් මෙහෙම දැනෙනවද? දැන් මේ ප්‍රශ්නෙ දුන්න කෙනාම කියන්නකො බලන්න… (ශ්‍රාවිකාවක් යමක් ප්‍රකාශ කරයි, පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ):  දැන් ඒ භාවනා කරන වෙලාවෙදි, උඩට ගිහාම, ඔය ප්‍රීතිය-සුඛය කයට දැනෙනවද? (ශ්‍රාවිකාවක් පිළිතුරු දෙයි, පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ):  ශරීරය නොදැනී යනවා… එතකොට ප්‍රීතිය-සුඛය දැනුනෙ කොහාටද? දැන් කයට ප්‍රීතියයි සුඛයයි ශරීරය නොදැනී ගිහාම දැනුනෙ කොහාටද? එතන බුදුරජාණන් වහන්සේ පෙන්වන්නෙ, කරජ කය තෙමී යනවා කියලයි පෙන්නන්නෙ. “ප්‍රථමධ්‍යානයේ දී කරජ කය ප්‍රීතියෙන්-සුඛයෙන්…” කරජ කය කියන්නෙ මස්-ලේ කය. මස්-ලේ කය ප්‍රීතියෙන්, සුඛයෙන් තෙමිලා හිටිනවා, අස්සක්-මුල්ලක් නෑර. එතකොට දැන් අපි හිතට දැනෙන එක ගත්තම, ඒක මානසිකයි. මේ ප්‍රථමධ්‍යානයේදී ඇතිවෙන්නාවූ ප්‍රීති සුඛය කායිකයි. ඔය කායික ප්‍රීතිය-සුඛය කියන එක කය දැනෙන්නෙ නැතුව ගිහාම අපිට ආවද? දැන් හිතලා බලන්න ඕනෙ. මොකද, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යම් ධ්‍යානාංග වල ස්වභාවයක් ඇත්නම්, ඒ පෙන්නලා තිබිච්චි හැටියට එනවද කියලා බලන්න ඕනෙ. සමාධිය අර විදිහට එනවා, ඔවු. කය දැනෙන්නෙ නැතුව ගිහිල්ලා හිත උඩට ගිහාම අපිට එහෙම සමාධියක් තියෙනවා, එතකොට අපිට අර ප්‍රීතිය-සුඛය දැනෙන්නෙ, කරජ කය තෙමායන ප්‍රීතිය-සුඛය අපිට ප්‍රථමධ්‍යානය නැතුව අපි කොහොමද එයින් එහාට යන්නෙ?

 

මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කළ ප්‍රථමධ්‍යානයට මේ කරජ කය ප්‍රීතියෙන්, සුඛයෙන් අර කියන ආකාරයෙන් තෙමී යනවා. ඒක වැටහෙනවද? එතකොට ඒ කිවුව ප්‍රීතියයි, සුඛයයි අපිට දැනගන්න පුලුවන්ද මනසට? මනස උඩට ගියා, කය පැත්තක – කය දැනෙන්නෙ නැතුව ගියා. එතකොට දැන් ඒක සමාධියක්. සමාධි ඕනෙ තරම් තියෙනවා. දැන් ප්‍රථමධ්‍යානයේ තියෙන “සවිතක්ක සවිචාර ප්‍රීති සුඛ ඒකග්ගතා” කියන මේ ටික ලැබුණා නම්, ඒ වෙලාවේ කය හොඳට වැටහෙන අවස්ථාවක්, මස්-ලේ කය වැටහෙන අවස්ථාවක්. මස්-ලේ කය නොවැටහෙන අවස්ථාවක ප්‍රථමධ්‍යානයක් නෑ. ප්‍රථමධ්‍යානයට මේ මස්-ලේ කය හොඳට වැටහෙනවා. ඒ මස්-ලේ කය ප්‍රීතියෙන්, සුඛයෙන් තෙමිලා යනවා. පිරිලා හිටිනවා අස්සක්-මුල්ලක් නෑර.

 

උඩ බැලුවත්, යට බැලුවත්, කය බැලුවත්, අත-පය බැලුවත්, ඇඟිලි බැලුවත්, නියපොතු අගටම යනකන් බැලුවත්, යොමුකර යොමුකර බලන හැමතැනම ප්‍රීතියෙන්, සුඛයෙන් තෙමිලා. ප්‍රීතියෙන් විඩෙන් විඩේ රැලි නැඟෙනවා වාගෙ ප්‍රීතිය මතුවෙවී එනවා, එන එන ගානෙ සුඛය මතුවෙනවා. මේ හරියට යමක රැල්ලක් වදිනවා වාගෙ. ශරීරය තුළ රැලි නැඟිලා තියෙනවා වාගෙ ප්‍රීතිය දැනෙනවා. මූණට වැඩිපුර පේනවා, කයට සුඛය දැනෙනවා. මූණ පිපුන මලක් වාගෙ ප්‍රීතියෙන් පිනා ගිහිල්ලා හිටිනවා. ඒ මූණට නැගෙන ශක්තිය, ආලෝකය නැතත්, ප්‍රීති ශක්තිය, ප්‍රීතිය, සුඛයක් බවට පත්කරගෙන මුලු ශරීරය හැමතැනම විනිවිද යනවා, අස්සක්-මුල්ලක් නෑර.

 

එතකොට මෙතන උඩ යෑමක් එතන සම්බන්ධයක් නෑ. එතකොට දැන් අපි ලබලා තියෙන්නෙ ප්‍රථමධ්‍යානය නම්, බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරපු ධර්මයෙන් පිට යන්න බෑ. ඒ ධර්මයෙන් පිට නම්, ලබලා තියෙන්නෙ සමාධියක් මිසක් ධ්‍යානය නෙමෙයි. එතකොට ධ්‍යානය දැනගන්න ඕනෙ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ මුල යහපත්, මැද යහපත්, අග යහපත්, අර්ථ සහිතයි, ව්‍යඥ්ජන සහිතයි, සර්වාකාරයෙන් පරිපූර්ණයි. එහෙනම්, මේකෙ ආයි සැරයක් අඩු-වැඩි කරලා අපිට ගන්න විදිහක් නෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේ ප්‍රථමධ්‍යානය ලැබෙන්නෙ මෙහෙමයි කිවුවා නම්, ඒ විදිහටම ලැබෙන්න ඕනෙ. එහෙම නැත්නම් ඒක ප්‍රථමධ්‍යානය නෙමෙයි, සමාධි අප්‍රමාණව තියෙනවා, යම් යම් සමාධියන්. සමාධි ලබන්න පුලුවන්.

 

ධ්‍යානාංග වෙන්කරනකොට, මේ කරජ කය ප්‍රීතියෙන්, සුඛයෙන් තෙමායන, ප්‍රථමධ්‍යානයේ ප්‍රීති ධ්‍යානාංගයයි, සුඛ ධ්‍යානාංගයයි අපි කොහොමද ගන්නෙ? වෙන් කරන්නෙ කොතනින්ද? එතකොට අපිට ඒක ක්‍රමානුකූලව, ධ්‍යානය නෙමෙයි මේ ලැබිලා තියෙන්නෙ, සමාධි ලැබිලා තියෙන්නෙ. දැන් ඕක හුඟාක් පටලවාගන්නවා. මේ සමාධියි ධ්‍යානයි කියන දෙක පටලවා ගන්නවා. ඒකයි මේ වෙලා තියෙන්නෙ. සමාධිය වෙන එකක්, ධ්‍යානය තව එකක්. ධ්‍යානය ඉහාත්ම සුඛ විහරණය පිණිසයි, “ඉහාත්මය” කියන්නෙ මේ ඉන්න, ජීවත් වෙලා ඉන්න තාක්කල් මේ සුවයට හේතුවෙන එක්තරා පළවෙනි කොටස.

 

{0:11:30} : බුද්ධ දේශනාවට අනුව ඉතිරි ධ්‍යාන ලක්ෂණත් දැනගනිමු

 

එතකොට ප්‍රීති, සුඛ. ඊලඟට ප්‍රීතිය වෙනුවට මුලු ශරීරයම සුඛයෙන් පිනායන අවස්ථාවක් දෙවෙනි අවස්ථාව වෙනවා. තවත් මේ කරජ කය අත්හැරුනෙ නෑ දෙවෙනි දැහැනට එනකොටත්. දෙවෙනි දැහැනේ පෙන්වලා තියෙන්නෙත්, හරියට වැස්සක් වැහැලා, මහා වැහි වැහැලා පෑවුවට පස්සෙ, උල්පත් හැදිලා පෑවුවට පස්සෙ, පිටින් වැහි වතුර එකතු වෙන්නෙ, මොනවා හරි ඇළ පාරවල් වල වතුර එකතු වෙන්නෙත් නෑ. නමුත් ළිඳක, පොකුණක, වතුර කට මට්ටමට පිරිලා, නිශ්චලව පවතිනවා, වතුර බැහැලා යන්නෙ නෑ. මෙන්න මේ වගේ, මේ ශරීරයේ සුඛයෙන් තෙමා ගිහිල්ලා, සුඛය පවතිනවා, ප්‍රීතිය පවතිනවා, අර කර්මස්ථානය මෙනෙහි කරනකොට එන එක නෙමෙයි, දැන් කරමස්ථානය මෙනෙහි නොකර හිටියත් අර ප්‍රීතියයි, සුඛයයි දෙක නොනැවතී පිහිටලා හිටිනවා, ඒක සමාධියෙන් නැඟෙනවා.

 

“විවේකජං ප්‍රීති සුඛං” ඉස්සෙල්ලා, “සවිතක්කං, සවිචාරං, විවේකජං, ප්‍රීති, සුඛ, ඒකග්ගතා සහිතං” ඒ ප්‍රථමධ්‍යානය එන්නෙ එහෙමයි, විවේකයෙන් හටගන්නෙ. දුතියධ්‍යානයට එන්නෙ “සමාධිජං ප්‍රීති සුඛං” – සමාධියෙන් ජනිත වන්නාවූ ප්‍රීති සුඛය. එතකොට ඒකෙදි, ඒකම අරමුණු කළහැකියි. ඒ ප්‍රීතියම යළි සිහි කළ හැකියි, ඒ සුඛයම යළි සිහි කළ හැකියි. තවමත් කය වැටහෙනවා. කය වැටහෙනවා මිසක් කයෙන් අහකට යන්නෙ නෑ තවම.

 

තුන්වෙනි දැහැනෙදි පෙන්වලා තියෙන්නෙ හරියට නෙළුම් පොහොට්ටුවක්, මානෙල් පොහොට්ටුවක්, ඒ වගේ වතුරෙ හැදෙන මලක පොහොට්ටුවක් වතුරෙ මැදක් ඇවිදිල්ලා තියෙනකොට, ඒ පොහොට්ටුවත් ජලයෙන් තෙත් වෙලා, ජලයෙන් වට කරලා තියෙනවා. කොහොමද දැනෙන්නෙ, ඒ විදිහට මේ කය අර සුඛයෙන් තෙත් වෙලා, ඒ වගේම සුඛයෙන් වට කරලා පවතින විදිහක්, ස්වභාවයක් එනවා. හරියට ඉන්නේ සුඛයක් මධ්‍යයේ. සුව සහගත කිරණක් මුලු ශරීරය වට කරලා, හිතට ම දැනෙනවා, උඩ-යට-වට හැම තැනම විශාල සුව කිරණකින් තමා වට කරලා තියෙන බව. හරියට යමකින් යමක් උස්සන් ඉන්නවා වගේ, ඔය කිරණ ශක්තිය අපිව උස්සගෙන ඉන්නවා වගේ දැනෙනවා. ඉන්නෙ කොහෙද බලපුහම, ඉන්න ආසනය වැටහෙන්නෙ නෑ, ඉන්නෙ සුවයක. හරියට සුව කදම්බයක් මැද්දෙ ඉන්නේ. උඩින්, යටින්, වටින්, හැම තැනින්ම සුවයෙන් වටවෙලා වගේ. අන්න තෘතිය ධ්‍යානය වැටහෙනවා.

 

චතුර්ථ ධ්‍යානයට යනකොට ඒ සුවය ඉක්මවා ගිය සුදු ආලෝකයක් මතුවෙලා, අඟ-පසඟ එකක් වත් පේන්නෙ නැතුව, සුදු රෙද්දකින් හිසේ පටන් දෙපතුළට වැහුවොත්, කොහොමද ඒ අඟ-පසඟ නොපෙනෙන, අර සුදු රෙද්දෙන් වහපු කය වැටහෙන්නෙ කොහොමද, මෙන්න මේ විදිහට සුදු ආලෝකයකින් වටකරලා, මුලු ශරීරයේ අඟ-පසඟ නොදැනෙන, ආලෝකයක් හැටියට දැනෙන අවස්ථාවකට එනවා. මෙන්න චතුර්ථධ්‍යානය. ඉතින් ඔය ටිකෙන් දැන් ඔය කියන චතුර්ථධ්‍යානය, තට්ටුවෙන් තට්ටුවට මනස ඉහළ යනවා පේනවා මිසක්, අර හතරවෙනි තට්ටුවට ගියාත් අර සුදු ආලෝකය තියෙනවද? අපිව සුදු රෙද්දකින් වැහුවා හා සමානව, අඟ පසඟ වැහුවා හා සමාන ස්වභාවයක් මතුවෙනවද? ඉතින් මතුවෙන්නෙ නැත්නම් බුදුපියාණන් වහන්සේ දේශනා කරපු ධ්‍යානය කෝ? එතකොට ඒක ධ්‍යානයක් කියන්නෙ කොහොමද අපි? හැබැයි ඒවා සමාධි. ඔය සමාධි වඩලා හුරු වුනාට පස්සෙ ඒ ඒ කිවුව විදිහටම හිත හිටලා, ඒ ඒ ආකාරයෙන් ශරීරයේ, තමන් අදහස දුන්න හැටියට සමාධියක් මතුවෙනවා. සමයට ඇදිලා හිටිනවා, “සමාධි” කියන්නෙ ඒකයි. දුන්නෙ මොන සමයක් ද, ඒ සමයට ඇදිලා හිටීමට කියනවා, සමාධි.

 

දැන් ප්‍රථමධ්‍යානය යම් ආකාරයක් ද, ප්‍රථමධ්‍යානය හරියට දැක්කා නම්, ප්‍රථමධ්‍යාන සමයට ඇදිලා හිටපුහාම කියනවා, “ප්‍රථමධ්‍යාන සමාධිය”. දුතියධ්‍යානයේ යම් සමයක් ඇත්නම්, ඒ සමයට ඇදිලා හිටපුහාම “දුතියධ්‍යාන සමාධිය”. දුතියධ්‍යානයේ ලක්ෂණත් තියෙන්න ඕනෙ, ඒ ලක්ෂණයට ඇදිලා, වෙන දිහාවක විසිරෙන්නෙ නැතිවෙන්න ඒ තුළ තියෙන්නත් ඕනෙ. එහෙම තිබුණොත් දුතියධ්‍යාන සමාධිය. ඊලඟට තෘතියධ්‍යානයේ ලක්ෂණ ත් මතුවෙන්න ඕනෙ, තෘතියධ්‍යානයට හිත පිහිටලා, එතනින් නැවතිලා තියෙන්නත් ඕනෙ. එතකොට “තෘතියධ්‍යාන සමාධිය”. ඉතින් චතුර්ථධ්‍යාන ලක්ෂණය ආවහම, අර මුලු ශරීරයේම තියෙන්නෙ ආලෝක කඳක්, එළි කඳක් විතරයි. තියෙන්නෙ කොහෙද බලපුහම තියෙන තැනක්, අහවල් තැනකින් ඉන්නවා කියන්නත් බෑ. අත-පය වකුටු කරගෙන ද හිටියෙ, දිග ඇරගෙනද හිටියෙ, එහෙම වෙනසක් හොයන්නත් බෑ. අත-පය තියෙනවද බලපුහම අත-පය නෑ, එහෙම එකකින් නිගමනය කරන්නත් බෑ. “තමා” වෙනුවට තියෙන්නෙ එකම එළි කඳක් විතරයි. එළි කඳක් තියෙනවා, තියෙන්නෙ කොහෙද කියලා බලපුහම තියෙන තැනක් කියන්න බෑ. පොළවෙද තියෙන්නෙ, අහසෙද තියෙන්නෙ, එහෙම කියන්න බෑ. නමුත් තමන්ට වැටහෙනවා, එකම එළි කඳක්, එළියක් විතරයි. මෙන්න මෙතෙන්ට ආවොත් චතුර්ථධ්‍යානය. ඉතින් ඒ සමයට ඇදිලා හිටපුහාම කියනවා, “චතුර්ථධ්‍යාන සමාධිය”.

 

ඉතින් ඔය සමාධි හතර, ඔය ක්‍රමයට, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුකූලව දීඝ නිකායෙ හොඳට පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා සමාධි ලක්ෂණ. {{ත්‍රිපිටක සූචිය}} ඉතින් ඔය ලක්ෂණ වලින් අනුකූල නොවන සමාධි කෝටි-ප්‍ර්කෝටි ගාණක් තව තියෙනවා.

 

හොඳ පැත්තෙ සමාධිත් තියෙනවා, නරක පැත්තෙ සමාධිත් තියෙනවා. දැන් මෙන්න මේ වගේ සමාධියකින් පුද්ගලයෙකුට පුලුවන් “මනෝමය කයකින්” අහක් වෙලා ගිය හැටියට යන්න. හැබැයි මනෝමය කයකින් ගියා නෙමෙයි, එයා “මනෝ ලෝකයේ කයකට” ගියා. දැන් හීන කයෙන් ඇවිදින්න යනවා වගේ හීන ලෝකේ, මේ මනෝ කයෙන් මනෝ ලෝකෙ කයක් නිර්මාණය කරගෙන, ඒකෙ ඇවිදින්න යන්න පුලුවන්. හැබැයි ඒක සමාධියක්, ඒක ධ්‍යානයක් නෙමෙයි. අර බුදුරජාණන් වහන්සේ දේශනා කළ මනෝමය සෘද්ධිය ඒක නෙමෙයි. තමන් මවාගත්ත ලෝකෙකට තමන්ගෙ හිත යයි, හීන ලෝකෙ ඇවිදින්න යනවා වගේ. එතකොටත් කය පැත්තක, තමන් ගියා වගේ දැනෙනවා.

 

ඉතින් මේ වගේ අවස්ථා වලදි අපි දකින්න ඕනෙ එක, චතුර්ථධ්‍යානයෙන් එහාටයි “මනෝමය සෘද්ධිය” තියෙන්නෙ. මනෝමය සෘද්ධිය කියන්නෙ, හරියට තමා මේ ඉන්නවා වගේ, මේ ඉන්න ලෝකෙ ඇවිදින්න යන්න පුලුවන්, මනෝමය සෘද්ධිය වැඩුනහම. එතකොට මනෝමය සෘද්ධියෙන් මේ කය පැත්තක තියලා, මේ කයෙන් වෙන්වෙච්චි කයකින්, මේ කයෙන් ගිහිල්ලා වටපිටාවෙ යනවා වගේ යන්න පුලුවන් එකක්. නමුත් දැන් හුඟ දෙනෙකුට ලබලා තියෙන ඒවා බැලුවම, කයෙන් ගියා කියනවා. ගිහින් තියෙන්නෙ මේ ලෝකෙ නෙමෙයි, ඒ මනෝ ලෝකයේ. ඉතින් මනෝ ලෝකෙ ගිහිල්ලා, මනෝ ලෝකෙ දේවතාවො හම්බෙනවා කියනවා, ඉතින් එක එක කියනවා වුනා කියලා.

 

දැන් මේකට මේ, පැරණි කතාවක් තියෙනවා අර වේදයේ තියෙන කතාවක්, ඔය අන්‍ය යෝගීන් භාවනා කරනකොට, ඔහොම අවස්ථාවකට පත්වෙනවා. මෙන්න මේ වෙලාවෙදි හරියටම මේ මනෝමය කයකින් ගියා වගේම අවස්ථාවක් එනවා. හැබැයි ඒගොල්ලො ඒකට කියනවා, මේක රැවැට්ටිල්ලක්, මේකට කියනවා “විෂ්ණු මායා” කියලා. විෂ්ණු මායා කියලා කියන්නෙ ඒගොල්ලෝ ඒකට අහුවෙන්න එපා කියලා.

 

ඔය විෂ්ණු මායාව එනවට උපක්‍රමයක් වශයෙන් ඒගොල්ලො මොකද කරන්නෙ, ඒ යථාර්තය දැනගෙන නෙමෙයි, පස්සෙ අදහසක් අරගෙන, වටේටම ගිණි ගොඩක් ගහනවා. ගිණි ගොඩේ මැදට වෙනවා මේගොල්ලෝ. ඒ කියන්නෙ වටේට ගිණි, ගිණි වළල්ලක් මැද්දෙ ඒගොල්ලො ඉඳගෙන භාවනා කරනවා. මොකද මේ, විෂ්ණු මායාවට ගිණි හින්දා එන්න බෑ කියනවා, ඒ එක්තරා දෘෂ්ඨියක්. “විෂ්ණු මායාව පෙන්නන්න ඔය විෂ්ණු බලවේග වලට එන්න විදිහක් නෑ නෙ, ගින්දර හින්දා. එතකොට මට ඒකෙන් බේරිලා භාවනා කළහැකියි…” කියන එක තමයි නිගමනය.

 

ඉතින් ඒ කතාවෙදි කියනවා, දැන් ඔහොම එයා භාවනා කර කරා ඉන්නකොට, එක්කෙනෙක් එයා හම්බවෙන්න ආවාලු. ඇවිදිල්ලා ඇහුවලු, “මොකද මේ ගිණි ගොඩක් ගහගෙන, වටේටම?” කියලා. “විෂ්ණු මායා වලින් බේරෙන්න” කිවුවලු. දැන් එයා මනෝ ලෝකෙ, මනෝ කයකින් මේ යනවා, විෂ්ණු මායාවෙන් බේරෙන්න. “විෂ්ණු මායා දැකලා තියෙනවද?” ඇහුවලු (අර ආපු කෙනා). ඒපාර කිවුවලු “මම දැකලා නෑ” කියලා. “එහෙනම් එන්න මාත් එක්කලා විෂ්ණු මායාවක් පෙන්නන්න” කිවුවලු (අර ආපු කෙනා). ඒ පාර එයා (භාවනා කරකර හිටපු කෙනා) ගියා පස්සෙන්. එතකොට කය එතන, එයා නමුත් මනෝ කයකින් තමයි මේ ගියෙ, මනෝමය කයකින් ගියෙ. අර එයාට සමාධියෙන් ලැබූ කය නෙමෙයි මේ කියන්නෙ, මේක එක්තරා විදිහක මානසිකත්වයක්, සිහින ලෝකයක් හා සමාන මානසිකත්වයක්.

 

මේකෙන් ගියාට පස්සෙ මොකද කරන්නෙ, දැන් මෙයා එක්කන් යනවලු දුර ගමනක්, කඳු පාරවල් දිගේ එක්කන් ගියාලු, ප්‍රධාන පාරක් දිගේ ගිහිල්ලා, අඩි පාරක් දිගේ ගිහිල්ලා, මෙයාට විශාල වතුර පිපාසයක් ආවලු, මේ යනකොට. එයා කියනවලු, “මට හරි වතුර තිබහයි..” “ඉතින් එහෙනම් යංකො තව ටිකක් දුර, යනකොට හම්බවෙයි වතුර බොන්න තැනක්, යං…” කියලා එක්කන් යනකොට, එක තැනක තියෙනවා පොඩි පැළක්, ඈත පැළක් පේනවා. “අර තියෙන්නෙ ගෙදරක්, ගිහිල්ලා වතුර ටිකක් බීලා එන්න, මම මෙතන ඉන්නම් එනකල්..”

 

ඊට පස්සෙ මෙයා මොකද කරන්නෙ, වතුර බොන්න ඒකට ගියාට පස්සෙ ලස්සන කාන්තාවක් ඉන්නවා, ඒ පැළේ. එයා බොහෝම හොඳට හිනාවෙලා වතුර එකක් ගෙනත් දුන්නා. දැන් මෙයාටම හිතෙනවා “මොනවටද මම ආපහු යන්නෙ මේ කාන්තාව දැකලා, මෙයා බොහොම මට ලෙංගතුයි..” මෙයාගෙන් “විවාහක ද?” කියලා අහපුහම කිවුවා “නෑ” කියලා. “මාත් එක්ක විවාහ වෙන්න කැමතිද?” ඇහුවම “කැමතියි” කිවුවා. ඒ පාර මොකද කරන්නෙ, දැන් එයා ඒකෙ ඉඳලා ඒ කාන්තාවත් එක්ක විවාහ වුනා.

 

දැන් කල්පණා කරනවා, “අර මනුස්සයා පස්සෙන් ගියොත් එහෙම මට, විෂ්ණු මායා බලන්න ගියොත් මේක නැති වෙනවා, ඒ මනුස්සයා ඔහෙ යන දිහාවක ගියාවෙ, කමක් නෑ, මම මෙතන ඉන්නවා..” කියලා මේ භාර්යාවත් එක්කලා අර මනෝ ලෝකෙ ඉඳලා, දරුවො දෙන්නෙකුත් උපන්නා. දැන් අවුරුදු ගාණක් මෙයා මේ ගෙදර හිටපු හැටියටයි මෙයාට වැටහෙන්නෙ. අර ගෑණි මොකද කරන්නෙ, ඊට පස්සෙ පුලුවාන් තරම් බණින්න පටන්ගත්තා, නින්දා කරන්න පටන්ගත්තා. බණිනකොට, “මං වගේ කාළකන්ණියෙක්, මේ ගෑණි ගෙ උගුලට මං අහු වුනානෙ! අපරාදෙ, මං විෂ්ණු මායා බලන්න ගිය එක මට කරගන්නත් බැරිවුනා, එයා හිටියා නම් එහෙම මං එහෙ ගිහින් ඒක වත් කරගන්නවා, මට ඒක කරගන්නත් නෑ, මට මගෙ වැඩේ කරගන්න නැතිවුනා, දැන් මං මොකද කරන්නෙ? මම යනවා යන්න, කොහොම හරි ආයි යන්න ඕනෙ බලන්න, හොයාගන්න…” කියලා යනකොට, අරයා ඉන්නවා ආයි සැරයක් අර කිවුව තැන, ඇවිදිල්ලා.

 

“අනේ මට සමාවෙන්නා ඕනෙ ඉතින්! මම මෙහෙම යන්න ගියා, මේ ඔබ එක්කන් ගිය ගමන එන්න බැරිවුනා නේ..” “හා කමක් නෑ, දැන් ආපහු යං..” ඒපාර ගියාට පස්සෙ මොකද කරන්නෙ, “ඉතින් මට විෂ්ණු මායාව පෙන්නුවෙ නෑ නෙ…” “ඕක තමයි විෂ්ණු මායාව කියන්නෙ…!” කියලා ඉවරවෙලා ආපහු එක්ක ආවා. ඇවිදින් බලනකොට, එයාට පේනවා ගිණි ගොඩ මැද්දෙ එයාගෙ ශරීරය භාවනා ඉරියවුවෙන් තියෙනවා. “හා දැන් ඉතින් ඇතුලට යන්න..” කිවුවා. ගියාට පස්සෙ මෙයාට ඇහැරුනා. බලනකොට, මෙයා දැකලා තියෙන්නෙ මනෝමය, හීනයක් නොවන, ඊට වඩා මහා හීනයක්, අන්න විශ්ණු මායාව.

 

දැන් තව භාවනා කරන්න ගිහිල්ලා ධ්‍යාන හම්බුනාද? මේ ධ්‍යාන ලබාගෙන ගිය මනෝමය සෘද්ධියක් නෙමෙයි මේ තිබුණෙ. මෙන්න “විෂ්ණු මායා” කියන උපචාර, දැහැන් වල උපචාර අවස්ථාව කෙරෙහි පුද්ගලයා රැවටෙන හැටි. දැන් අද, මේ වගේ තත්වයන් අදත් පෙන්නලා ඔය බොහෝ අය ඔයවගේ ලෝක වලට යනවා, ඔය මනෝමය කයෙන්. මෙහෙම ක්‍රමයක් තියෙනවා, ඉතින් මේවා මායාවල්. ඉතින් මායාවල් වලට රැවටුනහම මොන විදිහකින් වත් මේකෙන් බේරෙන්න හිතෙන්නෙ නෑ.

 

“ඒ ඔක්කොම කියන්නෙ බොරු, මම නම් ඒකාන්තයෙන් මට සමාධිය වැඩිලා තියෙන්නෙ, මට ඔක්කොම හරි!” ඔතන මයි හිත හිටින්නෙ. ඕක තමයි මහ භයානක ම දේ. ඊටපස්සෙ කවදාක වත් ගණං ගන්නෙ නෑ අර කර්මස්ථානාචාර්යවරයෙක් පෙන්වන දේ, ඒක ගණං ගන්නෙ නෑ. එයාට හොරෙන් හරි අර වැඩේ කරනවා. කරලා මොකද වෙන්නෙ, අර අමාරුවෙ වැටෙනවා. දැන් මේක හුඟාක් මේ අපි මේ භාවනා දෙනකොටත් සමහර අය ඔය තත්වයන්ට පත්වෙනවා, ලැබිච්ච දැහැනෙන් පිරිහෙනවා. ඒ සමාධියට හිත හිටලා, ලබාගත්ත දැහැනත් පිරිහවා ගන්නවා. ඊට පස්සෙ දැහැනට සමවදින්නත් බෑ, අර සමාධියෙන් ඉඳගත්ත ගමන් යන්නෙ ඒ ලෝකෙට. ඕවගේ සිද්ධි තියෙනවා.

 

{0:22:16} : වැරදි සමාධි වැඩීමේ අනිටු විපාක… 

 

ආනන්ද මෛත්‍රිය හාමුදුරුවො එක්තරා කාන්තාවකට තරුණ කාලෙ, උන්වහන්සේ ගෙ තරුණ කාලෙ, භාවනාවක් දුන්නා. ඒ උන්වහන්සේ ගෙන් භාවනා ගත්ත පිරිසක් අතරේ කාන්තාවක් හිටියා. කෑගල්ල පැත්තෙ හිටපු කාන්තාවක්. දැන් මෙයා භාවනා කර කර හිටපුහාම, ඉතින් බලන්න මනුස්සයින් ගෙ ස්වභාවය මේ කියන්නෙ, පෘතග්ජන ස්වභාවයෙ හැටි, මෙයාට මේ භාවනාවෙදි අරවගේ යන්න පුලුවන් අවස්ථාවක් වෙලා එයා ගියා, නිදහස් වුනා, ගියා. ගිහින් බලනකොට, ලස්සන මල් වත්තකට ගියෙ. බලනකොට ආනන්ද මෛත්‍රිය හාමුදුරුවොත් මල්වත්තෙ ඉන්නවා. භාවනා කරන්න නෙමෙයි හිත තිබුණෙ, වෙන දිහාවක, ආනන්ද හාමුදුරුවො තමංගෙ ස්වාමිපුරුෂයා කරගත්තා මල්වත්තට ගිහිල්ලා. ඉතින් එයත් එක්කලා ඒ මල් වත්තෙ ජීවත් වෙලා, පැය හතරක් සමාධියෙන් ඉඳලා ආපහු එනවා.

 

ආයි සැරයක් මොකද කරන්නෙ, දවස ගානෙ පැය හතරක් මෙයා භාවනාවෙ. ඉතින් ගෙදර කට්ටිය ඔක්කොම හිතනවා, “පුදුම විදිහට භාවනා කරලා තියෙන කෙනෙක් නෙ” කියලා. අර තරුණ කාලය ම ගතකළේ ඔය භාවනාවෙන්. අන්තිමට එයා මොකද කරන්නෙ, ඒ ලෝකෙට ගියාට පස්සෙ ගර්භනී වෙලා, ගැබිණියක් වෙලා ඒ ලෝකෙ. දරුවො දෙන්නෙක් හම්බුනාලු ඒ ලෝකෙ. දැන් මෙයා දරුවො බලන්න යනවා අර ලෝකෙ ඉඳන් භාවනාවට සමවැදිලා අර පැය හතර. ගිහිල්ලා ඒ දරුවොත් එක්කලා ඉඳලා තමයි එන්නෙ.

 

(උපාසිකාවක් ප්‍රශ්නයක් අසයි, පැහැදිලි නැත…) ස්වාමීන් වහන්සේ : මනෝමයයි, ඔය මනෝමය සෘද්ධි නෙමෙයි ඔය, මනෝ රැවටිල්ලක්. මනෝ ලෝකයට වැටෙන හැටි, මනෝ මුලාවක් ඒ. ඒ මනෝ මුලාවක් කියලා වැටහෙන්නෙ නෑ, ඒක තමයි දැන් අපි හීන ලෝකෙ ගිහිල්ලා, මේ හීනයක් පේන්නෙ කියලා අපිට වැටහෙන්නෙ නෑ නෙ. අන්න ඒ වගේ දෙයක් ඒක. ඒ කියන්නෙ, නින්දෙන් පේන හීන හැබැහින් පේනවා. එහෙම අවස්ථාවක් ඔය කියන්නෙ.

 

ඉතින් මෙතෙන්ට ගිහිල්ලා, අන්තිමට ඔය මරණාසන්න කාලෙ වෙනකොට මෙයාට “ගති නිමිත්තක්” පහලවුනා. මහා කැළෑවකුයි, තිරිසන් පිරිසකුයි පේනවා, තිරිසන්නු. දැන් මෙයා ඇදෙන්නෙ අර තිරිසන් උප්පත්තියට. දැන් භාවනාවක් කළා නම් එහෙම එකක් එන්න පුලුවන්ද? තිරිසන් උපතට තමයි මෙයා ඇදෙන්න යන්නෙ. ඉතින් මෙයා මෙලොවදී කතා කරනවා කවුරුහරි ආවත්, “කොළඹ පැත්තෙ ඉඳන් ආවොත් කවුරුහරි, මට කියහල්ලා… මොකටද, ආනන්ද මෛත්‍රී හාමුදුරුවො කමා කරගන්න ඕනෑ මට. ..” දැන් ඔහොම කතාවක් කියනවා.

 

ඉතින් මට ඕක ආරංචි වුනා. ආනන්ද මෛත්‍රිය හාමුදුරුවො කමා කරන්න ඕනැ යෑ, ඕක මහ පුදුම කතාවක් මේ කියන්නෙ, යම් භික්ෂූන් වහන්සේ නමකගෙන් එහෙම සිද්ධියක් වුනා නම් කමා කරන්න නෙමෙයි, එයත් එක්කලා යන මගුලක යන්න වෙනවා. අපාගත වෙන්න වෙයි, එයා පාරාජිකා වෙලා ඉන්නෙ, එහෙමනම්. මම කියන්නෙ නෑ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවො පාරාජිකා වෙලා ඔහොම එකක් වුනා කියලා, මම ඕක දන්නවා කියනකොට, ඔය වෙච්ච සිද්ධියක් නෙමෙයි, ඕගොල්ලන්ටයි වැරදිලා තියෙන්නෙ, ආනන්ද මෛත්‍රිය හාමුදුරුවො ගැන සැක හිතන්න යන්න එපා ඔය පිළිබඳව, ඕක ඒ තැනැත්ති ගේ මනෝ සංකල්පයක් මතුවෙච්චි හැටි. ඉතින් ආනන්ද හාමුදුරුවො කමා කරගන්න නෙමෙයි, තමාගේ තිබෙන අදහස අහක් කරලා දාගන්න ඕනෙ ඉතින්, මං දන්නෙ නෑ කොහොම කරන්න ඕනෙද කියලා.

 

ඉතින් එහෙම කියලා එයාට මම කිවුවා අහන්න කියලා. ඕක ආනන්ද හාමුදුරුවන්ගේ ස්වභාවික සිද්ධියක් නෙමෙයි, මනෝමය වශයෙන් එයා හදාගත්ත එකක් නේද කියලා අහන්න කිවුවා. “එහෙම එකක් තමයි” කිවුවා එතකොට. මං කිවුවා ඉතින් “බලන්න දැන් ඔයගොල්ලො කොගෙද ඉන්නෙ, දැන් ඔයගොල්ලො හිතාගෙන හිටියෙ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන් ගෙන් මේ වගේ සිද්ධියක් වුනයි කියලා, කොයිතරම් අපරාධයක් ද?” ඉතින් ඒ නිසා මේ වැරදි ආකල්ප වලට බහින්න එපා, මේවගේ දේවල් මනෝමය වශයෙන් සිද්ධ වෙනවා කියලා.

 

දැන් බලන්න, මෙන්න මේ වගේ දේවල් තමයි අදත් මේ පෙන්නන්නෙ, “මේ මනෝමය කයෙන් මම ගියා, මට දැන් මෙහෙම ශක්තියක් තියෙනවා, ධ්‍යානයට පත්වෙලා මං එතෙන්ට ගියා..” දැන් මේ වගේ අපි මහා පුදුම මුලාවකට පත්වෙනවා, මානසික මුලාවකට. ඒ නිසා මේවයෙන් බේරෙන්න ඕනෙ. එහෙනම්, බුදුරජාණන් වහන්සේ යමක් “ධ්‍යානය” යි කියලා, ධ්‍යානයේ ස්වභාවයක් පෙන්නුවා නම්, අපි දැක්ක දැහැන තුළ ඒ ධ්‍යාන ස්වභාවය අපිට පෙනෙන්න ඕනෙ, ඒ ලක්ෂණ මතුවෙන්න ඕනෙ

 

එහෙනම්, මේ කරජ කය ප්‍රීතියෙන්, සුඛයෙන් තෙමා යනවා කිවුවා නම් ප්‍රථමධ්‍යානයේ, දුතියධ්‍යානයේ දී, මේ කරජ කය නොපෙනී යන, නොදැනී යන ප්‍රථමධ්‍යානයක්, දුතීයධ්‍යානයක් නෑ. මස්-ලේ කය, කරජ කය කිවුවෙ මස්-ලේ කයට. දැන් මේ මස්-ලේ කය නොපෙනී යන, නොදැනී යන ප්‍රථමධ්‍යානයක්, දුතීයධ්‍යානයක් නෑ. දැන් අර වගේ අර මනෝමය කයෙන් ගියාට පස්සෙ මස්-ලේ කයක් තියෙනවද කියලා දකින්න බෑ තමයි. දැන් හීන ලෝකෙ, හීනෙන් ඉන්නකොට අපිට පේනවද මස්-ලේ කයක් තියෙන බවක්? අපි දැහැන් ලබලද? නෑ.. හොඳට කම්මැලි කමට බුදියගෙන ඉන්න මිනිහටත් හීන පේනකොට, මිනිහා හීන ලෝකෙ ඉන්නවා, මස්-ලේ කයක් තියෙන බව එයාට දැනෙනවද? කවුරුහරි එයාගෙ ඇඟෙන් අල්ලලා හොල්ලලා යනවා, එයා දන්නවද? ඒකවත් දන්නෙ නෑ. නමුත් එයා ධ්‍යාන ලබලද? නෑ, හොඳ කම්මැලිකමට හොඳට බුදියගෙන ඉන්න කාළකන්ණියෙක් ගෙ නින්දකදිත් ඔය ටික වෙනවා. ඌටත් දැහැන් තිබිලද? එයා මනෝමය ලෝකෙ යන්නෙ නැද්ද?

 

ඉතින් මේවගේ මේ “මනෝ තල” තියෙනවා. දැන් මනෝ තල වලට පිවිසීම ඔය ආකාරයෙන් සිද්ධ වෙනවා. දැන් මේක වෙනම ක්‍රමයක්. ධ්‍යානය කියන්නෙ තව එකක්. ධ්‍යානයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ දහම් රටාව ආවෙ නැත්නම්, ඒක ධ්‍යානයක් ද? හැබැයි පුරුදු කරගත්තට පස්සෙ අපිට ඕවගේ අවස්ථාවල් වලට පත්වෙලා, ශරීරයේ ඉඳන් ඉහළට යනවා, ඉහළට යනවා කියලා ගත්තහම, ශරීරය උඩට ගියා වගේ දැනෙනවා. ශරීරය මනෝමය කයකින් උඩට ගියා වගේ. ඊටපස්සෙ අපි සුවයකිනුත් ඉන්නවා. සුවයෙන් කියන්නෙ, කය නොපෙනෙන අර මනෝමය කයේ නිදහස් සුවය, එහෙම එහෙකිනුත් ඉන්නවා. නමුත් ඒක “ප්‍රීති ධ්‍යානාංගය” වත් “සුඛ ධ්‍යානාංගය” වත් නෙමෙයි.

 

(උපාසිකාවක් ස්වාමීන් වහන්සේ නමක් ගැන ප්‍රශ්නයක් අසයි, පැහැදිලි නැත…) ස්වාමීන් වහන්සේ : ඇයි උන්වහන්සේ තමයි පෙන්නන්නෙ, මේ නහය ලඟයි, ඇහැ ලඟයි, නළල ලඟයි, හිස් මුදුනෙයි යන එකක් ගැන. ඉතින් මන් දන්නෙ නෑ කාගෙ එකක් ද කියලා, උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ගත්ත එකක්ද, කාගෙ එකක්ද කියලා… මම විවේචනය කරන්නෙ නෑ පුද්ගලත්වය. නමුත් ඒ උන්වහන්සේ තමයි ඕක පෙන්නන්නෙ. ඕක පෙන්නලා, ඊට පස්සෙ උඩින් ඉහළට යන්න පෙන්නනවා කයෙන්, අරූපය කියනවා ඒකට. “මේ රූපය අහක් කරලා, අරූපයට ගියා…” ඒක තමයි ඉහළට, ඉහළට ගියා වගේ දැනෙන්නෙ කියලා, අන්තිමට අෂ්ට සමාපත්ති ලාභීන් කියලා කියනවා ඒගොල්ලන්ට. (උපාසිකාවක් තවත් ප්‍රශ්නයක් අසයි, පැහැදිලි නැත…) ස්වාමීන් වහන්සේ : ඉතින් හරි, ඉතින් ඒත් ගෝල පිරිස නේ, ඒ පිරිස වෙන එකක් පෙන්නන්න එපැයි, ඉතින් මේවා ලබන්න බොහොම ලේසියෙන් පුලුවන්. ඒක බැරි කමක් නෑ, හැබැයි. මේ එකක් වත්….

 

මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ. ලෝභ, ද්වේෂ, මෝහ අරමුණු වලින් අහක් වෙලා, නිවන මුල් කරගත්ත පුද්ගලයට, ලෝභක්ෂයට, ද්වේෂක්ෂයට, මෝහක්ෂයට හිත පිහිටනවා. ඒ ලෝභක්ෂය, ද්වෙෂක්ෂය, මෝහක්ෂය කියන්නෙ නිවන. නිවන කරා ඇදී යන පුද්ගලයාට අලෝභ, අද්වේෂ, අමෝහ ගුණය තුළින් තමයි ඇදිලා යන්නෙ ලෝභක්ෂයට, ද්වේෂක්ෂයට, මෝහක්ෂයට. අන්න, ලෝභය නිසා දැවුනා නම්, ද්වේෂය නිසා දැවුනා නම්, හිරවුනා නම්, මෝහය නිසා දැවුනා නම්, හිරවුනා නම්, ඒ ස්වභාවයෙන් තමයි මේ කය ඇසුරු කරගෙන අපේ හිත හිටින්නේ. හිත දැවෙනකොට, තද වෙනකොට, හිර වෙනකොට අර සුවය දැනෙන්නෙ නෑ, නිදහස් සුවය දැනෙන්නෙ නෑ කයට. කය දාහයට පත්වෙලා ඉන්නෙ. එක විදිහට ඉඳගෙන ඉන්න අමාරුයි, වෙහෙස එනවා.

 

එතකොට, මේ කයේ අලෝභ, අද්වේෂ, අමෝහ සහගතව එන මානසිකත්වය නැඟෙනකොට, මේ කයම ඒ අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන් නැඟෙන සුවයෙන් තෙත් වෙනවා. මෙන්න මේ නිසා මේ කය, පැහැදිලිව පෙනි පෙනී තියෙද්දිත්, නිවහල්, නිදහස්, ප්‍රීතියකුත්, ඒ නිදහසත් එක්ක නැඟෙන්නාවූ සුවයකින් මේ කය වටකරගන්නවා. මේ කය අස්සක්-මුල්ලක් නෑර ඒ සුවයෙන් පිනාගිහින් හිටිනවා. එතකොට ඇහැ ඇරලා බැලුවත් අපිට ඉන්න පුලුවන් ඒ සුවයෙන්. දැන් ඔය කියන ක්‍රමයට ඇහැ ඇරලා ඉන්න පුලුවන්ද? බෑ නෙ!

 

{0:29:17} : බුදුපියාණන් වහන්සේගේ උච්චාසයන – මහාසයන මේ අරිය ධ්‍යානයි 

 

දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා, බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන උච්චාසයන-මහාසයන තුනක් ගැන විග්‍රහ කරලා, “දිව්‍යමය උච්චාසයනයයි මහාසයනයයි මම පරිහරණය කරනවා” කියලා එක්තරා බමුණෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ ඒකෙන් පළවෙනි උච්චාසයනය-මහාසයනය හැටියට, “උසසුන්-මහසුන්” කියලා අද මේ කතා කරන වචනයට ගත්ත වචනයක්.

 

“මම විවේකව, අරණ්‍ය, රුක්මුල්, ශුන්‍යාගාර වැනි ස්ථාන වල, විවේකව වාඩිවෙලා, කොළ ටිකක්, කොළ අතු ටිකක් හරි, කොළ ටිකක් හරි එකතු කරලා දාලා, පුංචි ආසනයක් හදාගෙන, මම ඕකෙ වාඩිවෙනවා. මෙබඳු වන්නාවූ මං මෙසේ ප්‍රථමධ්‍යානයට සමවදිනවා. ඒ ප්‍රථමධ්‍යානයෙන් යුක්තව මාගේ ඉඳගැනීමක් ඇත්ද, හිටගැනීමක් ඇත්ද, ගමන් කිරීමක් ඇත්ද, නිදාගැනීමක් ඇත්ද, මෙන්න මේ කටයුතු සතර, මම සතර ඉරියවු පවත්වනවා ඒ ප්‍රථමධ්‍යානයේ. මෙන්න මේකමයි පළවෙනි දිව්‍යමය උච්චාසයනයයි මහාසයනයයි…” {{ත්‍රිපිටක සූචිය}}

 

දැන් එහෙනම් බුදුරජාණන් වහන්සේට ප්‍රථමධ්‍යානයේ ඉඳලා ඉඳගන්න පුලුවන්, හිටගන්න පුලුවන්, ගමන් කරන්න පුලුවන්, නිදාගන්න පුලුවන්. සතර ඉරියවු අතර තියෙන හැම ඉරියවුවක් ම පවත්වන්න පුලුවන්. එහෙනම්, ප්‍රථමධ්‍යානයෙන් යන්නත් පුලුවන්, එන්නත් පුලුවන්, ඔක්කොම කරන්න පුලුවන්. “එසේ වූ මාගේ සවිතක්ක-සවිචාරයන් පුරවන, සමාධියෙන් හටගත් ප්‍රීති සුඛ ඇති ද්විතීයධ්‍යානයට සමවදිනවා. එසේ වන්නාවූ මාගේ ඉඳගැනීමක් ඇත්ද, හිටගැනීමක් ඇත්ද, ගමන් කිරීමක් ඇත්ද, නිදාගැනීමක් ඇත්ද, ඉරියවු පැවැත්වීමක් ඇත්ද, මෙය මගේ දෙවැනි දිව්‍යමය උච්චාසයනයයි මහාසයනයයි…”

 

එහෙනම්, බුදුරජාණන් වහන්සේ පෙන්වන්නෙ, ද්විතීයධ්‍යානයට සමවැදිලා ඉඳගන්නත් පුලුවන්, හිටගන්නත් පුලුවන්, ගමන් කරන්නත් පුලුවන්, නිදාගන්නත් පුලුවන්, ඉරියවු පවත්වන්නත් පුලුවන්. “එසේවූ මාගේ තෘතීයධ්‍යානයට සමවැදීමක් වෙත්ද, ප්‍රීතියෙන්, විරාගයෙන්, ඒ උපේක්ෂා සහගත සති පාරිශුද්ධියෙන් යුක්ත වන තෘතීයධ්‍යානයට සමවදින මගේ ඉඳගැනීමක් ඇත්ද, හිටගැනීමක් ඇත්ද, ගමන් කිරීමක් ඇත්ද, නිදාගැනීමක් ඇත්ද, ඉරියවු පැවැත්වීමක් ඇත්ද, මේ මගේ තුන්වෙනි දිව්‍යමය උච්චාසයනයයි මහාසයනයයි…”

 

“ඒ ප්‍රීතියේ, විරාගයේ, සුඛයේ සංසිඳීමෙන්, උපේක්ෂා සති පාරිශුද්ධියෙන් යුක්ත වන්නාවූ චිත්ත ප්‍රසාදයෙන් යුක්ත වන චතුර්තධ්‍යානයට මම සමවදිමි. එසේ වන්නාවූ මාගේ ඉඳගැනීමක් ඇත්ද, හිටගැනීමක් ඇත්ද, ගමන්කිරීමක් ඇත්ද, නිදාගැනීමක් ඇත්ද, ඉරියවු පැවැත්වීමක් ඇත්ද, හතරවැනි දිව්‍යමය උච්චාසයනයයි මහාසයනයයි…”

 

එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වන ආකාරයට ප්‍රථමධ්‍යානයට සමවැදිලා, ද්විතීයධ්‍යානයට සමවැදිලා, තෘතීයධ්‍යානයට සමවැදිලා, චතුර්ථධ්‍යානයට සමවැදිලා, ඉඳගන්නත් පුලුවන්, හිටගන්නත් පුලුවන්, යන්නත් පුලුවන්, එන්නත් පුලුවන්, ඔක්කොම කරන්න පුලුවන්.

 

හොඳයි, මනෝමය සෘද්ධියෙන් නවසිය අනූ නවයක් මවලා, තමාත් එක්ක දාහක් පෙනී හිටියා චුල්ල ඵන්තක හාමුදුරුවො. දැන් මවාගෙන ඉන්නකොට ඔක්කොමත් ඒ සෘද්ධි බලයෙන් ම, සෘද්ධිවිධ ඥානයෙන් මවලා, හැමතැනම ඉන්න කට්ටිය, සමහර අය අතුගානවා, සමහර අය සිවුරු ගෙත්තම් කරනවා, ඒ සමහර අය පාත්‍ර නව නවා තියනවා, හෝදලා තියනවා, ඔක්කොම කරනවා වැඩත්, අස්-පස් කරනවා, දැන් ඔහොම එකක් මවාගෙන හිටියා. දැන් අභිඥාපාදක චතුර්ථධ්‍යානයට සමවැදිලානෙ ඔයටික කරන්නෙ. ඔය වෙලාවෙදි ඇහුවා දැන් බුදුරජාණන් වහන්සේ, “හාමුදුරුවනේ තව ඉන්නවා පන්සලේ, ගිහින් එක්ක එන්න”

 

ඒපාර බලපුහාම කිවුවා, මහා ගොඩක් ඉන්නවා කියලා ආපහු කිවුවා. “එතනින් චුල්ලඵන්තක හාමුදුරුවො එක්ක එන්න”, ඒපාර “ස්වාමීනි, චුල්ලඵන්තක හාමුදුරුවො කවුද?” කියලා අර පොඩි හාමුදුරුකෙනෙක් ගෙන් අහනවා. ඔක්කෝම එක්කලා “මම චුල්ලඵන්තක” කිවුවා. “ස්වාමීනි හොයාගන්න බෑ, ඔක්කොම එකවගේ, එක ගානමයි, එක විදිහමයි, හැඩරුවත් එහෙමමයි, ඔක්කොම එක්කලා මම චුල්ලඵන්තක කියනවා නෙ…” ඒපාර නැවතත් ආපහු ගිහින් කිවුවම කිවුවා, “ආයිත් ගිහිල්ලා අහන්න කවුද චුල්ලඵන්තක කියලා, මම චුල්ලඵන්තක කියලා ඉස්සෙල්ලා එක්කෙනෙක් කියයි, අන්න එයා බලාගන්න, අල්ලගන්න එයාව, අනික් අය ඊට පස්සෙ කියයි, ඒ අනික් අය ඕනෙ නෑ, ඒ ඉස්සෙල්ලාම හාමුදුරුවො, ඵන්තක කියන එක්කෙනා අරන් එන්න” කිවුවා. ඒපාර කියනකොටම එයාගෙ අල්ලාගන්න කිවුවා ගිහිල්ලා අත. ඉතින් බලන් හිටියා, “මම චුල්ලඵන්තක” කිවුවා එක්කෙනෙක්. කියනකොට ම දැක්කා කිවුව එක්කෙනාව. අනික් අය පස්සෙ කිවුවෙ. කියනකොටම ගිහිල්ලා අරයා අතින් අල්ලගත්තහම අර අනිත් නවසිය අනූනවයම අතුරුදහන් කළා. {{ත්‍රිපිටක සූචිය}}

 

දැන් මේ සිද්ධියෙදි හොඳ වැදගත් දෙයක් තියෙනවා, අභිඥාපාදක චතුර්ථධ්‍යානයේදී මේ හාමුදුරුවන්ට “කවුද චුල්ලඵන්තක හාමුදුරුවො ?” කියනකොට ඇහුනෙ නැද්ද? “මම චුල්ලඵන්තක” කියලා චතුර්ථධ්‍යානයේ ඉඳලා උත්තර දුන්නෙ නැද්ද? එහෙනම් ඇහුනෙ නැද්ද? කථා කළේ නැද්ද? එහෙනම්, ඔච්චර ඉහළට ගිහිල්ලා, චතුර්ථධ්‍යානයේ ඉඳගෙන, කියන එක අහන්නත් පුලුවන්, වචනෙන් කථා කරන්නත් පුලුවන්. ඉන්නෙ චතුර්ථධ්‍යානයේ. දැන් මේ බුද්ධ දේශනාව තුළ, අපේ ධර්මයේ, ත්‍රිපිටකයේ තියෙන දහම්. දැන් ඔය කියන ජාතියෙ චතුර්ථධ්‍යානයකට ගියාට පස්සෙ පුලුවන්ද ඔයටික කරන්න?  කතාකරන්න එහෙම කටක් තියෙනවද? ඉන්නෙ කොහෙද? එහෙම එකක් නෑ නෙ. දැන් කෝ බුදුරජාණන් වහන්සේ පෙන්නපු චතුර්ථධ්‍යානය?

 

අභිඥාලාභීව ඉන්න අය ආකාසෙන් යනකොට, පෘතග්ජන, නැත්නම් අර ආර්ය තත්වයට පත්වෙච්චි නැති, ඔය ලෞකික දැහැන් ලබාගෙනත් යන්න පුලුවන්. සමහර වෙලාවට ස්ත්‍රීන් ගෙ කටහඬක් අහලා, කුරුල්ලා පාත්වෙනවා වගේ එතෙන්ට පාත්වෙනවලු යන්න බැරුව. එහෙනම් ඇහිලා නැද්ද යන ගමන්, උඩින් යනකොට? එහෙනම් අභිඥාපාදක චතුර්ථධ්‍යානයේ බැහැලද උඩ ඉන්නෙ? ඒකෙ ඉඳලද? එහෙනම් අභිඥාපාදක චතුර්ථධ්‍යානයේ ඉඳලා සෘද්ධි බලයෙන් ආකාසයෙන් යනකොටත් කටහඬක් ඇහෙනකොට, ඒ කටහඬ ඇහිලා නේද පාත්වුනේ එතෙන්ට? හැඟීමකුත් ඇතිවෙලා නේද? දැහැනත් බිඳගෙන නේද පාත්වුනේ? එහෙනම් හැඟීම වත් පාලනය වෙලා තිබුනද? හැඟීමට ගෝචර වෙලා හිටපු නැති කල් ගියා, හැඟීමට කොටුවෙච්චි ගමන්ම, ඒ සද්දෙත් අහලා, ඒ හැඟීමටත් සිතිවිලි පහලවෙලා, එතෙන්ටත් ආපහු වැටෙනවා.

 

{0:34:51} : අරිය දැහැන් වැඩෙද්දී කය නොදැනී යනවා නොවේ, කාය පස්සද්ධි වෙනවා

 

දැන් මේ දේශනාවේ හොඳට පැහැදිලිව මේ දැහැන් ලාභීන්ගේ ස්වභාවයන් පෙන්නලා තියෙනවා. ඉතින් ඔය කියන ජාතියෙ කියන දැහැනකට ගියාට පස්සෙ ඔය කියන කට්ටියට ඇහෙන්නෙත් නෑ, ඉන්න තැන දන්නෙත් නෑ, (35:00 පැහැදිලි නැත) දැනෙන්නෙත් නෑ, එහෙම එහෙකට නෙ ඔය යන්නෙ. එතකොට ඔය කියන එක මොකද්ද? දැන් මෙතෙන්දි දැකගන්න ඕනෙ අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු චතුර්ථධ්‍යානය කෙබඳු එකක්ද? සිහි කරලා බලපුහම එයාට ඕනෙනම් ඒ දැහැනෙ ඉඳගෙන කතාකරන්නත් පුලුවන්, අහන්නත් පුලුවන්. දැහැනෙ ස්වභාවය සිහි කරලා බලනකොට තමංගෙ අඟ-පසඟ පේන්නෙත් නෑ, මොකුත් නෑ, තනිකර ආලෝකයක් තුළ ඉන්නෙ. ආලෝකයෙන් අහනවා, ආලෝකයෙන් ම කතා කරනවා. ආලෝකයක් ම යනවා, ආලෝකයක් ම ඉඳගන්නවා, සිහි කරලා බැලුවොත් ඉඳගත්ත තැන ඉන්නවා, වටපිටාවට ඕනෙ නෑ, දැහැන සිහි කළොත් කෙලින්ම දැහැන, ධ්‍යානය, එතකොට එළි කඳක් විතරයි. ඒකෙ අත්දැකීම ලබාගෙන ම ඕක දකින්න ඕනෙ. එතකොට දැහැන කියන්නෙ, ධ්‍යානය කියන්නෙ අන්න ඒකයි.

 

ඉතින් චතුර්ථ ධ්‍යානයෙන් එහාට තව දැහැන් නෑ. සමාධි අප්‍රමාණව තියෙනවා. ඉතින් ඒ නිසා ධ්‍යානයක් ලබාගන්නකොට, ධ්‍යානයක් ලබාගැනීමේදී ඔය ධ්‍යානාංග පහලවෙන්න ඕනෙ. ඉතින් අපි අර වෙන සමාධි පුරුදු කරගත්තහම, එතෙන්ට යනකොටම අපි වැටෙනවා අර සමාධියට. ගිහිල්ලා ඒ පැරණි සමාධිය තමයි ඊටපස්සෙ ආයි සැරයක් මතුවෙලා එන්නෙ. එතකොට හොයාගන්න බෑ. අපි ඉතින් ඕකෙ අවස්ථා හතරක් දීලා තියෙනවා, දැන් හැබැයි කවුරුහරි කිවුවා නම් අවස්ථා දහයක් තියෙනවා, දහයටම යන්න කියලා, තවත් තට්ටුවෙන් තට්ටුව දහයකට ගිහෑකි. අපිට දීලා තියෙන්නෙ හතර නිසා, අපි හතරෙන් ගිහිල්ලා හරි කියලා ඉන්නවා. ඕන්නම් තට්ටු සීයකට යන්නත් පුලුවන් ඔය විදිහට හිත හදාගෙන.

 

(ශ්‍රාවිකාවක් ප්‍රශ්නයක් අසයි, ප්‍රශ්නය පැහැදිලි නැත) ස්වාමීන් වහන්සේ : පුරුදු කරගත්ත හැටියට. අපිට කිවුවා නම් එහෙම දැහැන් සීයක් තියෙනවා, තට්ටුවෙන් තට්ටුවට, එකින් එකට යන්න පුලුවන් කිවුවොත්, සිය දැහැනටම යන්නත් පුලුවන් කිවුවොත් එහෙම, අපිට අපූරුවට තේරුම්ගන්න පුලුවන් තට්ටුවකට ගියා, තට්ටුවකට ගියා අන්න එතනින් අධිෂ්ටාන කරලා ඊලඟ තට්ටුවට ගියා, ඊලඟට අධිෂ්ටාන කරලා ඒකට ගියා, යන්න පුලුවන් ඉහළට.

 

(ශ්‍රාවිකාවක් ප්‍රශ්නයක් අසයි, ප්‍රශ්නය පැහැදිලි නැත) ස්වාමීන් වහන්සේ : ඔවු, දැන් ඒක මනෝ ලෝකයකට යෑමක්. දැන් මේවගෙන් ගැලවීමට ගන්න ඕනෙ, අපි ඇස් අඩවන් කරගන්න ඕනෙ, පියාගන්නෙ නැතුව. මෙලොව පෙනෙන ගනට ඇස් අඩවන් කරගෙන මේ දැහැනට සමවදින්න ඕනෙ. ඇස් තදින් පියාගත්තට පස්සෙ තමයි කෙලින්ම අර සමාධියට යන්නෙ. තදින් පියවන්නෙ නැතුව ඇස් අඩවන් කරගන්නවා. අඩවන් කරගෙන යන්තමට, මේ ලෝකෙ පේන ගානට පියාගන්නවා. තමා ඉදිරියේ වටපිටාව යන්තමට අඩවන් ඇහැට පේනවා. ඒ ගානට ඇස් පියාගෙන ඉවරවෙලා මේක වඩාගෙන යනවා.

 

ඒ වඩාගෙන යනකොට අපි යන්න ගිහාම අපිට දැනෙනවා, මේ යන්න යන්නෙ අර සමාධියටයි. ධ්‍යානය කය සතුයි. එහෙනම් කයේ සුවයක් දැකලා, කයේ නිදහස් සුවයක් දැකලා, කයේ සුවයට මතුවෙලා එනවා එතකොට, වඩායෙන යනකොට. අත්හැරී, නොඇලී, මිදී යාමක් මිසක් වෙන කොහාටවත් යාමක් එතන නෑ. ආර්ය දැහැන් වල ස්වභාවය ඒකයි. ලෝකෙ අසාරත්වයක් දකිනකොට “කොහේ යන්නද, මොනවා කරන්නද, මොනවද කරන්න ඉතුරු…” එන්න එන්න ඇඟ ලිහිල් වෙලා යනවා, සැහැල්ලු වෙලා යනවා.

 

අන්න සැහැල්ලු භාවයට පත්කරන්නෙ, දැන් ඇඟ තදවෙන්නෙ මොනවා හරි මේ ලෝකෙ යමක් කරන්න හිත හිටියහම. “මට මේ ලෝකෙ කරන්න කිසිම දෙයක් නෑ…” විවේකය. අන්න, විවේක සුවය හිතට ගන්නකොටම ඇඟ නිදහස් වෙනවා. අන්න “පස්සද්ධිය”, සැහැල්ලු වෙනවා. පස්සද්ධිය කිවුවෙ සැහැල්ලුව. අන්න සැහැල්ලුව නිසා මොකද වෙන්නෙ, අර “සුඛය” මතුවෙලා එනවා. නිදහස් ප්‍රීතියයි, සුඛයයි මතුවෙලා එනවා සැහැල්ලුව නිසා. “ප්‍රීති මනස්ස කායෝ පස්සද්ධති”. දැන් මොන ප්‍රීතියද මේ එන්නෙ? “අල්ලාගත්තොත් ගිණි, අත්හැරියොත් නිදහස්” අත්හැරීම නිදහස් බව දකිනකොට, වැටහෙනකොට, විශාල මානසික ප්‍රීතියක් එනවා.

 

“මට ඇත්ත ලැබුණනේ, අත්හැරපුහාම නේ ගිණි නැත්තෙ, අල්ලාගත්තොත් නෙ ගිණි, මේක අත්දැකීමට ම මේක පේනවා නෙ, එහෙනම් අත්හැරපුහාම නෙ නිවන…” ඒ නිවන් මඟ වැඩෙනකොට අත්හැරී, අත්හැරී ගිහින් නිදහස් වෙන මානසිකත්වය තමන්ට වැටහෙනකොට, නිවී යනවා, සැනසී යනවා කියලා විශාල ප්‍රීතියක් ඇතිවෙනවා. අන්න, “ප්‍රීතී මනස්ස, කායෝ පස්සද්ධති” එතකොට මේ මස්-ලේ කයත් එක්කලාම සියලුම හිත-කය දෙකම සැහැල්ලුවට පත්වෙනවා. අන්න ඒක තමයි පස්සද්ධිය කියන්නෙ. “පස්සද්ධ කායෝ සුඛං දේති” අන්න, සැහැල්ලු වන්නාවූ කායිකත්වයටයි සුවය එන්න පටන්ගන්නෙ. “සුඛිනෝ සමාධියති” ඒ සුඛය තමයි අවශ්‍යය සමාධිය කරා ගෙනියන්නෙ. චතුර්ථධ්‍යානයට යනකම්ම ගෙනිහිල්ලා, ඒ සුවයේම ගිහිල්ලා, ආලෝකය මතුකරලා, ආලෝකයේ නිදහස් ස්වභාවයට පත්කරලා, නිදහස්, සුවය ඉක්මවා ගිය නිදහසට පත්වෙනවා. එතකොට ආලෝක ස්වභාවය දැනෙයි. ඉතින් ඒ ක්‍රමයට හුරු කරගන්න ඕනෙ.

 

ඉතින් මොකද කරන්න දෙයක් නෑ, දැන් මේවා සෑහෙන කට්ටියකට දීලා තියෙනවා, මේ සමාධි. දීලා, ඒ සමාධි වලට ගිහිල්ලා, හුඟ දෙනෙක් ඒකට තමයි දැහැන කිය කියා ඉන්නවා ඉතින්, අෂ්ට සමාපත්තියම ලැබුවා කියලා. අන්න ඒ අතරමං වෙලා ඉන්නෙ. ඉතින් අෂ්ට සමාපත්ති ලැබුවා නම් පංච අභිඥා ත් ලැබෙයි, ක්‍රම ක්‍රමයෙන් හරි, ටික ටික හරි. ඉතින් ලැබුණද කියලා බලන්න ඕනෙ.

 

{0:39:31} : බෞද්ධයාගේ නියම ඒකාග්‍රතාවය, අලෝභ, අදෝස, අමෝහ වූ “නිවනයි”

 

(ස්වාමීන් වහන්සේට ලැබුණු ප්‍රශ්නයක් කියවයි) මේ විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකග්ගතා යන ධ්‍යානාංග පහ, එකින් එක ඒවායේ ස්වභාවය… දැන් විතක්ක, විචාර  නෙවෙයි තියෙන්නෙ, “සවිතක්ක-සවිචාර”. දැන් විතර්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකග්ගතා කියලා තමයි මේ කියන්නෙ.

 

“සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛ ඒකග්ගතා සහිතං පඨමජ්ඣානං” {{ත්‍රිපිටක සූචිය}} සවිතක්ක, සවිචාර දෙකෙන් යුක්ත, විවේකයෙන් හටගත්, ප්‍රීතිය ඇති, සුඛය ඇති, ඒකාග්‍රතාවයෙන් යුක්ත වන්නාවූ ධ්‍යානාංග පහ තමයි ප්‍රථමධ්‍යානයේ ධ්‍යානාංග පහ. එහෙනම් සවිතක්ක, සවිචාර, ප්‍රීති, සුඛ, ඒකග්ගතා. මෙන්න මේ කියන ටික තමයි ප්‍රථමධ්‍යානයේ ධ්‍යානාංග පහ.

 

“විතක්ක-විචාර” කියලා කියන්නෙ කාම සංකල්පණා, ව්‍යාපාද සංකල්පණා, විහිංසා සංකල්පණා කියන මේ සංකල්පණා තුනට කියනවා, විතක්ක-විචාර.

 

අව්‍යාපාද සංකල්පණා, අවිහිංසා සංකල්පණා, නෙක්ඛම්ම සංකල්පණා කියන තුනට කියනවා සවිතක්ක-සවිචාර.

 

දැං කාම සංකල්පණාවක් ආවොත් ඒ කාම සංකල්පණාව සවිතක්ක නෙමෙයි විතක්ක, සවිචාර නෙමෙයි විචාර. දහම් සංකල්පණාවක් ආවොත් ඒක අව්‍යාපාදයි, අවිහිංසායි, නෙක්ඛම්මයි. කාරණා තුනෙන් ම යුක්තයි. එහෙනම්, දහම් සංකල්පණාවක ඉන්නවා නම්, දහම් සංකල්පණාවට හිත ගොඩනඟනකොට සවිතක්ක. ඒ දහම් සංකල්පණාවේ හසුරුවනකොට සවිචාර.

 

ඉතින් “ලෝක අනාතයි – නිවන ම නාථයි”. එහෙනම්, අපි රාගයට අයිති නැති, ද්වේෂයට අයිති නැති, මෝහයට අයිති නැති, නැත්නම් ව්‍යාපදයට අයිති නැති, හිංසා-පීඩා වලට අයිති නැති, ඒවගෙම කාමයට අයිති නැති අදහසක් තමයි මෙතන ගත්තෙ ලෝක අනාථයි – නිවන ම නාථයි. ඕකෙ කාම ත් නෑ, ව්‍යාපාද ත් නෑ, විහිංසා ත් නෑ. එහෙනම් ඔතන තියෙන්නෙ අව්‍යාපාද, අවිහිංසා, නෙක්ඛම්ම පැත්තට ගෙනියන අදහසක්, වචන වැලක් ඒ තියෙන්නෙ. අන්න අදහස තේරුම් අරං මේක කියාගෙන යනකොට, අන්න සවිතක්ක-සවිචාර කියන්නෙ ඔය දෙක.

 

එතකොට මොකද වෙන්නෙ, ලෝකය අල්ලගත්තහම තිබිච්ච දාහය බලාගෙන ඉන්දැද්දි අහක් වෙලා නිවන් ශාන්තිය, අත්හැරීමේ නිදහස් ශාන්තියෙ හිත පිහිටනවා. අන්න ඒ හිත පිහිටන තරමට අපිට දැනෙන්න පටන්ගන්නවා, “ලෝක අනාථයි – නිවනම නාථයි” කියලා ඕක භාවනා කරගෙන යනකොට, අනාථ ලෝකයෙන් අත්හැරිලා නිදහස් වෙන ආකාරය තමන්ටම වැටහෙන්න පටන්ගන්නවා. නිවී සැනසී යන ස්වභාවයේ හිත පිහිටනකොට. එතකොට ගත ඒකට අනුකූල වෙන්න පටන්ගන්නවා.

 

අන්න එතකොට අපිට එතන ලැබෙනවා “නිරාමිස ප්‍රීතියක්”. පංච කාම ප්‍රීතියක් නෙමෙයි, පංච කාමයෙන් නිදහස් වුනාම ඇතිවන්නාවූ එක්තරා විශාල ප්‍රීතියක් ඇතිවෙනවා, නිදහස් ප්‍රීතියක්. ඒ නිදහස් ප්‍රීතිය නිසා මේ ශරීරය “නිදහස් සුවය” කරා ගෙනියනවා. මෙන්න මේ නිදහස් සුවය කරා ගෙනියනකොට, මූලික අවස්ථාව මුලු ශරීරයේ අස්සක්-මුල්ලක් නෑර විශාල සුවයකින් තෙමිලා ගිහිල්ලා හිටිනවා, නිදහස් සුවයකින්. ඒ අත්දැකීම ලබලම ඕනෙ ඒක දැකගන්න. අන්න එතකොට, ඒ සුවයට, නිදහස් භාවයට එකඟ වෙලා, ඒ හිත විහිදෙන්නෙ නැතුව එතනම පිහිටලා හිටිනවා, ස්ථිර වෙලා. ඉන්න පුලුවන්.

 

එකපාර ඉන්න බෑ ඕක පටන්ගන්නකොට, විදුලි කොටනවා වගේ ඕක මතුවෙලා ගෙවිලා යනවා, විනාඩියක් විතර මතුවෙලා ඊට පස්සෙ ගෙවිලා යනවා, විනාඩි දෙකක්-තුනක් තිබිලා ගෙවිලා යනවා, ඊට පස්සෙ ආයිත් දවසක කරනකොට ආයි සැරයක් විනාඩි හතරක්-පහක් තිබිලා ගෙවිලා යනවා, ඔහොම ගිහිල්ලා පැය ගණං තියාගන්නත් පුලුවන් වෙනවා, ඊටපස්සෙ අධිෂ්ටාන කරලා ඉන්නත් පුලුවන් වෙනවා, ඔහොම කල් යනකොට හරියනවා. ඇසුරු කරන්න ඕනෑ, භාවිතා කරන්න ඕනෑ, බොහෝ කොට ඇසුරු කරන්න ඕනෑ, කර්මස්ථානය. ඒ විදිහට ඉඳලා කරනකොට තමයි ඒවා හුරුවෙලා එන්නෙ. එතකොට තමයි දැහැන් තුළ, ප්‍රථමධ්‍යානය තුළ බොහෝ වෙලා ඉන්න පුලුවන්, අධිෂ්ටාන කරගෙන. ඔය ක්‍රමයට හුරු කරගන්න ඕනෑ ලැබුනට පස්සෙ. ඉතින් ඕක සසර පුරුදු තියෙන අයට හුඟක් ලේසියෙන්, මේක ඉක්මණින් හුරුවෙලා එනවා. ඉතින් මෙහෙම එතකොට අර ධ්‍යානය දැනගන්නත් ඕනෑ, සමාධිය තේරුම්ගන්නත් ඕනෑ. ඔය එක එක ජාතියෙ සමාධි වලට දැහැන් කියලා රවට්ටනවා. ඒකයි වෙලා තියෙන්නෙ. ඉතින් ඒ නිසයි ඔයවගේ අදහස් වලට එන්නෙ.

 

එතකොට මේ “නිරාමිස ප්‍රීතියයි නිරාමිස සුවයයි” වෙනුවට “ඒකග්ගතා” කිවුවෙ, එකක් අග්‍ර කරගන්නවා. “ඒක + අග්ගතා – ඒකග්ගතා” මොනවද අපි අග්‍ර කරගන්න එක? අපි දහම් දැක්කට පස්සෙ, මේ ලෝකෙ තියෙන, විද්‍යාමාන වෙන සියලුම රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියලා ගත්තත්, ඇහැ, කන, දිව, නාසය, ශරීරය, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්ඵර්ශ ආදී වශයෙන් ඒ විදිහට ගත්තත්, “මේ කිසිම දේක මට හිත අල්ලන්න දෙයක් නෑ, අනිච්චයි, දුක්ඛයි, අනත්ථයි” කියලා තේරුම් ගත්තට පස්සෙ, තම තමන්ට බෞද්ධත්වයේ යථාවබෝධයේ දී අග්‍ර කරගන්න එකක් එනවා. මොකද්ද එතකොට අග්‍ර කරගන්නෙ? “අතහැරීම, නොඇල්ම, මිදීම” හැර තවත් අග්‍ර කරගන්න එකක් තියෙනවද? එහෙනම්, අග්‍ර කරගන්න තියෙන එක “නිවන” අන්න ඒකාග්‍රතාවය, බෞද්ධයින් ගෙ ඒකාග්‍රතාවය නිවන. අත්හැරීමට, නොඇල්මට, මිදීමට හිත පිහිටනවා.

 

අන්න, නිවන මුල් කරගෙන පිහිටියාම හිත විසිරෙන්න තැනක් නෑ. මොනවා අල්ලන්නද? අතහැරීම ම, නොඇල්ම ම, මිදීම ම කියන තැන ලෝකයත් එක්ක සම්බන්ධයක් නැති නිසා, ලෝකයෙන් නිදහස් වෙච්චි තැන හිත පිහිටනවා හෙවත් නිවනෙ හිත පිහිටනවා. නිවන් ස්වභාවය අනුව ඊට ගැලපෙන තැන හිත පිහිටනවා. අන්න, නිවන් වටහාගත්ත කෙනාට හිත පිහිටන්නෙ නිවනෙ කිවුවට, නිවනෙ නෙමෙයි, ඒකග්‍රතාවයේ. නැත්නම් හිත තුළ, උපේක්ෂාවට පත්වෙලා හිත හිටිනවා, යන්න තැනක් නෑ, විසිරෙන්න තැනක් නෑ, ඇදිලා යන්න තැනක් නෑ.

 

ඇදිලා යන හැමතැනම අනිච්චයි, දුක්ඛයි, අනත්ථයි කියලා දැකලා ඒ සියල්ලෙන්ම නිදහස් වුනහම නිදහස් මානසිකත්වයක් ඇතිවෙනවා. අන්න ඒ “නිදහස් මානසිකත්වය” තමයි “ඒකාග්‍රතා” වශයෙන් අපේ හිත නිවන දැක්කහම පිහිටන්නෙ. මෙන්න මේ ස්වභාවයෙන් නිශ්චලයි, දැනීම් සහිතයි, විසිරීම් නෑ, ඒකීයයි, මානසිකත්වය දුවන්නෙ නෑ. මෙන්න මෙබඳු ස්වභාවයක හිත හිටිනවා. ඒ හිත හිටින්නෙ මොකද, රාගයට හේතුවෙන, ද්වේෂයට හේතුවෙන, මෝහයට හේතුවෙන දහම් වල අතහැරීම නිසා, නොඇලීම නිසා, මිදීම නිසා හිත විසිරෙන්න තැනක් නෑ. කුමක් හොයාගෙන යන්නද? යන්න තැනක් නැත්නම් නිස්චලව තියෙන්න ඕනෙ. අන්න ඒ නිස්චලතාවයට කියනවා, “ඒකාග්‍රතාවය”.

(දේශනාවේ සුළු කොටසක් මඟහැරී ගොස් ඇත….)

 

{0:45:22} : ලෞකික යමක් තුළ පැණවිය නොහැකි නිවන වටහාගමු

 

අරමුණක් අරං වඩනවා නම්, අපේ හිත පිහිටන්න අරමුණක් තියෙනවා. ඒක ලෞකික දෙයක්. ඒක පඨවි, නැත්තම් ජලය, නැත්තම් වායුව, එහෙම නැත්නම් ගින්න, එහෙම නැත්නම් එක එක වර්ණ, මොනවාහරි අපි අල්ලගත්ත මේ ලෝකෙ මතක සටහන් තියෙනවා අපිට හිත පිහිටුවාගන්න. ඒ අල්ලාගත්තොත්, හිත එතන පිහිටනවා. ඒ ඔක්කොම අනිච්චයි, දුක්ඛයි, අනත්ථයි නම්, අල්ලගන්න හරයක් නැත්නම්, හිත පිහිටන්න වටිනා දෙයක් නෑ කියලා දැනගත්තහම, නොවටිනා දේක හිත පිහිටනවද? පිහිටලා හිටිනවද? එහෙනම් බෞද්ධයො නොවටිනා දෙයක් හැටියට දකිනවා ලෝකෙ, හිත පිහිටුවන්න වටිනා දෙයක් ලෝකෙ නෑ කියලා දකිනවා.

 

එහෙනම් මොකද වෙන්නෙ, එහෙනම් කොහෙද පිහිටවන්න ඕනෙ? හිත හිතේ පිහිටවන්නත් බෑ, ඒකත් වටින්නෙ නෑ. එහෙනම් මොකේ පිහිටවන්නද? අන්න නිදහස් වෙනවා. විසිරිච්ච ස්වභාවයෙන් නිදහස් වුනහම, කර්ම බලවේගයෙන් යම්කිසි චිත්ත වේගයක් හටගන්නවද, ඒ හටගන්න චිත්ත වේගය තුළ විසිරෙන්න තැනක් නැති නිසා එහෙම්මම තියෙනවා. අපි බලහත්කාරයෙන් ගොඩනඟාගත්ත එකක් නෙමෙයි ඒක, කර්ම බලවේගයෙන් දැනීම ගොඩනඟනවා. අපි “උපන් හිත” කියනවා ඒකට.

 

නැත්නම් අපි සසර ගමනෙදි මිනිහෙක් වෙලා, මනුස්සයෙක් වෙලා උපදින්නෙ පෙර භවයක කරන ලද්දාවූ යම්කිසි සංඛාරයක් නිසා, ඒකෙන් ජනිත වෙච්චි මේ ලෝකෙ යම්කිසි ආකාරයෙන් හටගත්ත විඤ්ඤාණ ස්වභාවයක් ඇත්ද, ආගන්තුක කෙළෙස් වලින් කහටගැන්විලා අයින් වුනහම, අර කර්ම විපාකයෙන් හැදෙන්නාවූ හිත් වැල හැදෙනවා දිගටම. “පබස්සර මිදං භික්ඛවේ චිත්තං” කිවුවෙ අන්න ඒක. “ආරම්මණ විජාණන ලක්ඛණං චිත්තං” කිවුවෙ ඒ නිසා. අරමුණු දැනෙන බව ලක්ෂණයේ තියෙනවා. ආවොත් අරමුණක් දැනෙනවා. මොකේටද දැනෙන්නෙ? අන්න ඒ දැනෙන ස්වභාවයට තමයි කිවුවෙ “චිත්ත” කියලා.

 

ඉතින් ඒ අරමුණු දැනෙන ස්වභාවයට කොයින්ද මතුවෙවී එන්නෙ? පෙර භවයේදී මේ භවයක් ඇතිකරන්න හදාගත්තාවූ හිතක් හටගැනීමට අවශ්‍යය කරන වැඩපිළිවෙලක් කරලා තිබිච්ච නිසා, ඒක ක්‍රියාකාරීත්වයේ ඵලයක් වශයෙන් විද්‍යාමාන වෙන හිත තමයි අර ඉතුරු වුනේ. අන්න ඒ ස්වභාවයට තමයි මේ හිත පිහිටන්නෙ. ඉතින් අන්න ඒ ස්වභාවයට පිහිටනකොට, ලෝකෙ අසාර නම්, අල්ලන්න දෙයක් නැත්නම්, ඇහැ පිළිබඳ හිත පිහිටන්නත් නෑ, රූප පිළිබඳ හිත පිහිටන්නත් නෑ, කන පිළිබඳත් නෑ, සද්ද පිළිබඳත් නෑ, නාසය පිළිබඳත් නෑ, ගන්ධ පිළිබඳත් නෑ, දිව පිළිබඳත් නෑ, රස පිළිබඳත් නෑ, කය පිළිබඳත් නෑ, පහස පිළිබඳත් නෑ, මනසින් ඕවා ගැන හොයන පැත්තෙත් නෑ, ඒ වගෙම එබඳු මානසිකත්වයෙත් නෑ. එහෙනම් ඔයටික අහක් වුනහම ඇලීමෙන් තොරවුනාවූ ස්වභාවයක, අර “පබස්සර” කියන ස්වභාවයක් තියෙනවා, මානසිකත්වය විසිරෙන්නෙ නැති අවස්ථාව. විසිරෙන්න තැනක් නැති නිසා.

 

(ශ්‍රාවිකාවක් ප්‍රශ්නයක් අසයි, ප්‍රශ්නය පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ:) කිවුවෙ අන්න ඒකයි. එතකොට හිත විසින්, හිත දකිමින් එතන පිහිටනවා. හැබැයි හිතේ ඇලිලා නෑ. අල කොලේ උඩ තියෙන වතුර බිංදුව, අල කොලේ නොඇලී අල කොලේ උඩම තියෙනවා වගේ, හිත හිතට ඇලෙන්නෙ නැතිවෙන්න හිත තියෙනවා. මෙන්න මේ ස්වභාවයක් තමයි අර ඒකාග්‍රතාවයට හසුවෙන්නෙ. මේ ස්වභාවය එකින් එකට, ප්‍රථමධ්‍යානයට වඩා දුතියධ්‍යානය සුද්ධයි, එහෙම එකින් එකට සුද්ධ වෙලා, අන්තිමට “පබස්සර මිදං භික්ඛවේ චිත්තං” කියන තැන අරිහතුන් වහන්සේගේ චිත්ත ස්වභාවය. එතෙන්ට එනකන් එනවා. අන්න අපිට අග්‍ර කරගන්න තියෙන එකම දේ ඔන්න ඔච්චරයි. නිවන අග්‍ර කරගන්න පුලුවන්, “ඒකාග්‍රතාවය”.

 

(ශ්‍රාවිකාවක් ප්‍රශ්නයක් අසයි, ප්‍රශ්නය පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ:) ඉතින් ඒ අරමුණු, ඒක තමයි නිවන කියන්නෙ රාගක්ෂය, ඉතින් එතකොට හිත තියෙනවා කියලා දැනගත්තහම, හිත නිවන නෙමෙයි නෙ,

(ශ්‍රාවිකාවක්) තියෙන බව දැනෙන එක?

(ස්වාමීන් වහන්සේ:) ඔවු, දැන් තියෙන බව දැනෙනකොට, ඒක නිවන නම්, නිවන නමින් ලොකයේ පැනෙවුවා නේද නාම ධර්මයක්, මේ පවතින චිත්ත ධර්මයක්? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන, හතරක් තියෙනවා නේ. එහෙනම් ඉතින් චිත්ත පැනෙවුවොත් නිවන කියලා, නිබ්බාන වලට පනවන්නෙ මොකද්ද? චිත්ත, චෛතසික, රූප ලෞකිකයි, නිබ්බාන ලෝකෝත්තරයි. ඉතින් චිත්තයක් නිබ්බාන කියලා පැනෙවුවොත් ගැලපෙනවද? චිත්ත නිබ්බාන වෙන්නෙ කොහොමද?

 

පෙර මට යම්කිසි දෙයක් දකිනකොට රාග අරමුණක රාග අදහස් පහලවෙනවා. දැන් යථාවබෝධය නිසා මං සිහිකරලා බැලුවොත්, දැන් එහෙම වෙනවද? දැන් වෙන්නෙ නෑ. අන්න නිවන. “රාගක්ඛයෝ නිබ්බානං” පෙර මට ගහනකොට, බණිනකොට තරහ එනවා, දැන් එනවද? ඒ වගේ දැන් එන්නෙ නෑ. ඉස්සර ආවද? ඉස්සර ආවා. එහෙනම් මොකද්ද වුනේ? දැන් නෑ. අන්න, “ද්වේෂක්ෂයෝ නිබ්බානං” දැන් නිවන කිවුවෙ හිතක්ද දැන්? ඉස්සර තිබිච්චි හිත දැන් නෑ කියන එක නේද නිවන කිවුවෙ? ඉස්සර රාගය තිබුණා, දැන් නෑ. අන්න නිවන.

 

(ශ්‍රාවිකාවක් ප්‍රශ්නයක් අසයි, ප්‍රශ්නය පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ:) දැන් නෑ. නැති ස්වභාවය වැටහුනේ නැද්ද? වැටහුනා. එහෙනම් නිවන වැටහෙන්නෙ නැද්ද? දැන් නිවන වැටහෙනවා. නිවන වැටහෙනවා, නිවනෙ කියන හිතක් නෑ. නමුත් “පෙර මට මෙහෙම ගිණි තිබුණා, රාග ගිණි තිබුණා, දැන් රාග දාහය නෑ. නැතිබව ඉතුරු සිතට වැටහෙනවා. අන්න ඒ ඉතුරුවෙච්ච හිත ලෞකිකයි. රාගක්ෂය වෙච්චි හිතක් තියෙනවා, ඕකට කියනවා “අසංඛතාච ධාතු”.

 

අසංඛතාච ධාතු කියන්නෙ අසංඛත නෙමෙයි. අසංඛත කියන්නෙ සකස් නොකරන හරිය හෙවත් නිවන. අසංඛත නම් නිවන. අසංඛතාච ධාතු කියන්නෙ නිවන කියලා අද හිතාගෙන ඉන්නවා. අසංඛත කියන්නෙ සකස් කරන්නෙ නෑ කියන එකයි. පෙර රාගය නිසා සකස් කරනවා, රාගික හැඟීම්, රාගික හිතිවිලි, රාගික ක්‍රියා සකස් කරනවා, රාගික කතා සකස් කරනවා. දැන් ඒවා සකස් කරන්න් නෑ. පෙර සකස් කළා, නොදන්න අවිද්‍යාව නිසා. දැන් අවිද්‍යාව දුරුවෙන්න දැන් රාග, ද්වේෂ, මෝහ හිතිවිලි, ක්‍රියා, වදන් සකස් කරන්නෙ නෑ. අන්න අඩුවෙලා ගිය හරිය.

 

එතකොට, රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් හිතිවිලි, ක්‍රියා, වදන් සකස් කළා නම් ඊට පෙර, ඒ අවිද්‍යාවේ තීරණ. අවිද්‍යාව-අවිද්‍යාව හැටියට දැකලා, විද්‍යාවේ හිත පිහිටපුවහම, ලෝකයේ යථාවබෝධයේ හිටපුවාම, “අසාර ලෝකයේ මොනවට මං ඇලෙන්නද, මොනවට ගැටෙන්නද, මොනවට මුලා වෙන්නද? මොනවා හොයාගෙන යන්නද?” අන්න ධර්මාවබෝධය. ඒ ධර්මාවබෝධය හිතට එනකොට, පෙර තිබුණා නම් යම්කිසි සකස් කිරීමක්, රාග, ද්වේෂ, මෝහයන් ගේ සකස් කිරීමක්, දැන් රාග ද්වේෂ මෝහයන් ගේ සකස් කිරීමක් ඒ හිතේ නෑ. අන්න ඒ චිත්ත ධාතුවට කියනවා “අසංඛතාච ධාතු”, සකස් නොකරන චිත්ත ධාතුව.

 

අන්න, “අසංඛතාච ධාතුව” කියන ඒකත් නාම ධර්මයක්. ඒකත් හිතක් මයි. හැබැයි ඒ හිතේ ස්වභාවයක් තියෙනවා, මතු අහුවෙන දේවල් ඒ හිත හදන්නෙ නෑ. අන්න ඒකෙ වෙනස. නැත්තම් හිත නිවන නෙවෙයි. ඒ තත්වයට පත්වුනේ පෙර යමක් තිබිලා දැන් නැති නිසා. පෙර යමක් හටගැනීමේ ස්වභාවයක් තිබුණා, මොනවද රාග ද්වේෂ මෝහ හටගන්න ස්වභාවයක්. දැන් ඒ ස්වභාවය මේ හිතේ නෑ. රාග ද්වේෂ මෝහ හටගන්නවා නම් තමයි සසර ගමනක් හදන්නෙ. දැන් මේ හිත සසර ගමනක් හදන්නෙ නෑ. එහෙනම් මේක තමයි අන්තිම හිත නම්, අරිහත් ඵල චිත්තය. ඒ හිතේ අපිට ඉන්න බැහැ, දැන් අපිට වැටහිලා තියෙන්නෙ ශුද්ධ චිත්තය කිවුවට, අරිහත් ඵලයට පත්වුනහමයි ශුද්ධම චිත්තය වැටහෙන්නෙ. ඊට මෙහාදි අර අකම්ප්‍ය භාවයේ චිත්ත ස්වභාවය වැටහෙනවා. ඒක සියලු ආකාරයේ සර්වප්‍රකාරයෙන් රාගය, ද්වේෂය, මෝහය හිඳිලා නෑ. ඒ වුනාට අර දැඩි හරිය, ගිණිගන්න හරියයි හිඳිලා යන්නෙ.

 

{0:52:21} : ආර්ය දැහැන් තුළින් කෙළෙස් ප්‍රහාණය ප්‍රබලයි, ස්ථිරයි

 

අන්න, ආර්ය ප්‍රථමධ්‍යානය තුළ රාග අනුශයෙන් තොරයි. අනාර්ය ප්‍රථමධ්‍යානය රාග අනුශය සහිතයි. අන්න ඒකයි තියෙන වෙනස. අනුශය තියෙනවා නම්, අරමුණක් ආපු ගමන්ම ඩැහැගන්නවා. අන්න ඒකයි තියෙන වෙනස. ඉතින් දැන් අනාර්ය දැහැනක් වඩපු කෙනාට තමයි අර උඩින් යනකොට එහෙම, ආකාසෙන් ගියත්, අර කවියක් එහෙම අහලා, නැත්නම් ස්ත්‍රියකගෙ හඬක් අහලා පවා ඒ හඬට ඇදලා ගියේ. රාග සහිතයි, අනුශය තිබිච්චි නිසා. අන්න, අනුව සයනය කරනවා, අනුව නිදා සිටිනවා ඒක. අවශ්‍යය කෙනා ආපු ගමන්ම “ටක්” ගාලා නැගිටලා එනවා. ඒකයි සිද්ධ වෙන්නෙ. ඉතින් ඒක තමයි අනුශය කියන්නෙ.

 

ඒ රාග අනුශය තියෙනවා, අනාර්ය දැහැන් වල. (ශ්‍රාවිකාවක් යමක් පවසයි, පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ) : ඔවු, නිවන මුල් කරගෙන ලැබෙන දැහැනට, රාග අනුශය බිඳගෙන යන්නෙ. එහෙනම් අනුශය, ඒ රාගයන් බැඳෙන්නෙ නෑ අදහස් ආවට. ඒ කියන්නෙ සද්දෙ ආවට, රාගික සද්දයක් ආවට, රාගික දර්ශනයක් දැක්කට, ඒකෙන් කුපිත කරන එකක් නෑ එතන. යථාවබෝධය නිසා බිඳිලා, අනුශය බිඳිලා. අන්න එතකොට ලැබෙන්නාවූ ධ්‍යානයක් තියෙනවා. අන්න ඒක තමයි ආර්යයන්ගේ ප්‍රථමධ්‍යානය. අරවා අනාර්ය දැහැන්. ආර්ය ප්‍රථමධ්‍යානය තුළ රාග අනුශයෙන් තොරයි.

 

ආර්ය චතුර්ථධ්‍යානය අවිද්‍යා අනුශයෙන් තොරයි. ආර්යයන්ගේ චතුර්ථධ්‍යානය කියන එක ඉහළටම තියෙන, අරිහත් ඵලයත් එක්ක තියෙන එකක්. එතකොට අනික් අයට අනාර්ය පැත්තෙන් වැඩුනට, අනාර්ය පෘතග්ජන පැත්තට යන එකක් නෙමෙයි ඒක. එතකොට එහෙනම් ආර්යයන්ගේ චතුර්ථධ්‍යානය කියන, ආර්යය කියනකොට සෝතාපන්න, සකෘදාගාමී, අනාගාමී, අරිහත් කියන මේ හතරදෙනාම ආර්ය කොටසට වැටෙනවා. එහෙනම්, ආර්යයන්ට ලැබෙන්නාවූ ධ්‍යානයක් එනවා නම්, එයාගෙ යම් අනුශයක් බිඳහැරියා ද, ඒ මට්ටමට ඒකෙ අනුශය නෑ.

 

එතකොට, තදංග, විශ්කම්භන, සමුච්ඡේද, ඔන්න ඔතෙන්ට ක්‍රම-ක්‍රමයෙන් හිඳිලා යනවා. එතකොට අන්න, සමුච්ඡේද ප්‍රහානය වෙනවා. සහමුළින්ම බිඳිලා යනවා ඒක, යථාවබෝධය උඩ. හැබැයි ඵලය ලැබෙන්නෙ නැත්තෙ “පටිපස්සද්ධි-නිස්සරණ” කියලා තව දෙකක් එන්න ඕනෙ, ප්‍රහාණ දෙකක්.

  • තදංග ප්‍රහාණ,
  • විශ්කම්භන ප්‍රහාණ,
  • සමුච්ඡේද ප්‍රහාණ,
  • පටිපස්සද්ධි ප්‍රහාණ,
  • නිස්සරණ ප්‍රහාණ

කියලා, පස් ආකාරයකින් මේ කෙළෙස් පහවෙලා යන්න ඕනෙ. එහෙනම්, දහම් අවබෝධයෙන්, මේ “ලෝක අනාථයි – නිවනම නාථයි” කියලා, නිවන මුල් කරගෙන ලෝකයේ ආදීනව දකිමින්, නිවනේ ආනිසංස දකිමින් වඩනකොට, සමුච්ඡේද ප්‍රහාණය වෙවී යනවා. කෙළෙස් බිඳිලා යනවා, නැවත මතුවෙන්නෙ නැතිවෙන්න.

 

ඉතින් ආර්ය මාර්ගය තුළ තදංග ප්‍රාණයයි, ලෝකයාගේ තදංග ප්‍රහාණයයි දෙකක්. ආර්යයන්ගේ විශ්කම්භන ප්‍රහාණයයි, ලෝකයාගේ විශ්කම්භන ප්‍රහාණයයි දෙකක්, සමාන නෑ. ආර්යයන්ගේ සමුච්ඡේද ප්‍රහාණය තියෙනවා, සමුච්ඡේද ප්‍රහාණයක් අනාර්යයන්ට නෑ. එහෙම සමුච්ඡේද ප්‍රහාණයට පත්වුනත් මාර්ග ඵලය ලැබුවෙ නෑ තාම. ඵලය ලබන අවසාන මාර්ගක්ෂණයේදී පටිපස්සද්ධි ප්‍රහාණයත්, ඵලක්ෂණයේ දී නිස්සරණ ප්‍රහාණයත් ලැබුවම සම්පූර්ණයි. අන්න මාර්ග-ඵල සම්පූර්ණ වෙන වෙලාව.

 

එහෙනම්, “සංඛාර උපේක්ෂා ඥානය” කියන මට්ටමට හිත වැඩිලා, සමුච්ඡේද ප්‍රහාණයෙන් නවතිනවා. අන්න ඊටපස්සෙ එතනින් මාර්ග-ඵල චිත්ත වීථිය හටගත්ත වෙලාවෙ, අන්න ඒ චිත්තක්ෂණයේදී, මාර්ග චිත්තක්ෂණයේදී පටිපස්සද්ධි ප්‍රහාණයත්, ඒ වගේම ඵල ක්ෂණයේදී නිස්සරණ ප්‍රහාණයත් තියෙන්නෙ. මේ දෙක මතුවෙලා එනවා. අන්න එතකොට ප්‍රහාණ පහම සම්පූර්ණයි. උන්වහන්සේට කවදාවත් සසර ගමනට හේතුවෙන මාත්‍රයක් වත් නෑ.

 

ඒ නිසා තදංග, විශ්කම්භන, සමුච්ඡේද කියන මේ තුනෙන් ආර්යයන්ගේ කෙළෙස් නැතිවීමක් වෙනවා. දහම දකිනකොට තදංග ප්‍රහාණය වෙනවා ඉස්සෙල්ලාම. ලෝකයාත් එක අරමුණක ඉන්නකොට තදංග ප්‍රහාණය වෙනවා. කාරණා දෙකක්. තදංග ප්‍රහාණයේ කාලයක් යනකොට කෙළෙස් විශ්කම්භනය වෙලා යනවා. ආර්යයන්ගේ ධර්මයට අනුකූලවයි ඒක වෙන්නෙ, ආර්ය ධර්මයට. අනාර්යයන්ට අනාර්ය අදහසකින් තමයි විශ්කම්භනය කරන්නෙ, අනාර්යයන්ගෙ එක හරියට බොහොම බාලයි, කොයි මොහොතෙ ආපහු කැඩිලා යනවද දන්නෙ නෑ. ආර්යයෝ විශ්කම්භනය කළොත් එහෙම යථාවබෝධය තුළින් ඒක කරගත්තෙ, ඒ නිසා ඒක නැවත වාරයක්, ඒ විශ්කම්භනය පවා මහා බලවත්. යථාවබෝධය පූර්ණය වෙනකොට ආර්යයන්ට සමුච්ඡේද ප්‍රහාණයක් වෙනවා. සහමුළින්ම පිපිරිලා යනවා මුලින්ම. හැබැයි ඵලය ලබන ආසන්නයට පත්වෙනවා හිත උපේක්ෂා ඥානයට. ඵලය ලබන වෙලාවෙදි පටිපස්සද්ධි, නිස්සරණ කියන ප්‍රහාණ දෙක ඒ චිත්ත වීථියෙදි හම්බෙනවා.

 

{0:56:25} : අරිය දැහැන් වැඩෙමින් අරිහත්වය පූර්ණය වන තෙක් ගමන් මඟ…

 

මෙන්න මේ විදිහටයි ආර්යයන්ගෙ මාර්ග-ඵල ලැබීම සහ ධ්‍යාන ලැබීම. ඉතින් මෙතෙනදි ආර්ය චතුර්ථධ්‍යානයට පත්වෙන්න පුලුවන් සෝවාන්-සකෘදාගාමී අයටත්. අර කියන්නාවූ “සංඛාර උපේක්ෂා ඥාන” කියන මට්ටමට හිත වැඩිලා තමයි එතෙන්ට එන්නෙ. ඉතින් එතෙනදි තදංග, විශ්කම්භන, සමුච්ඡේද කියන තැනට වැඩිලා එනවා ක්‍රම-ක්‍රමයෙන්. හොඳට මනස ප්‍රගුණ කරගත්තොත්, ධර්මාවබෝධයේ දක්ෂ නම්, ප්‍රඥාධික නම්, එයාට කර්මස්ථානය වඩන වෙලාවේ තදංග ප්‍රහාණයි. “මට මේ ලෝකෙන් වැඩක් නෑ…” ඒ අදහස එනවා. හැබැයි ටිකක් වෙලා නිකං ඉන්නකොට ආයි සැරයක් අර වැඩක් නෑ කියපු ලෝකෙ ඇසුරටත් යනවා, ඒකත් තියෙනවා. නමුත් කර්මස්ථානය වඩන වෙලාවෙදි “වැඩක් නෑ” කියලා එනවා.

 

ඔය “වැඩක් නෑ, වැඩක් නෑ” කියලා කර්මස්ථානයෙන් දිනෙන්-දින වඩාගෙන යනකොට, ඊටපස්සෙ කර්මස්ථානයෙන් අහක් වෙලා හිටපුහාමත් “වැඩක් ම නෑ නෙ…” ඒ අදහසෙම නතරවෙලා යනවා. අන්න විශ්කම්භනය වුනා. ඊටපස්සෙ මොකද වෙන්නෙ, හිත තුළට නැඟෙන්නෙම නැති තත්වයට පත්වෙනවා. කොච්චර අදහස් දෙන්න හැදුවත් ඒක රඳන්නෙ නෑ. සමුච්ඡේද ප්‍රහාණය වුනා. අන්න ඒ වෙලාවට, “සංඛාරයන්ගේ උපේක්ෂාවට” පත්වෙනකොට ඔය මට්ටම එන්නෙ.

 

එතකොට මේ සංඛාර වෙහෙසක්, දුකක් කියලා දැක්ක වෙලාවට, “සැප දුකයි” කියලා දැක්ක අවස්ථාව වෙනවා. සැපෙහි උපේක්ෂා වෙනවා, සැප දුකයි කියලා දකින වෙලාවෙදි අන්න පටිපස්සද්ධි, නිස්සරණ දෙක එනවා.

 

“සැප දුකනම් නිවන සැපයි, ලෝකෙ දුකයි…” ලෝකෙ මෙච්චර කල් සැපයි කියලා හිතපු ඒවා එකපාර දුකයි කියලා වැටහෙන්නෙ නෑ. සැපයි, සැපයි කියන ඒවා අන්තිමේදි සැප මධ්‍යස්ථ වෙනවා. සැපයි-සැපයි කියපු ඒවයෙ වටිනාකම අඩුවෙලා යනවා මුලදි-මුලදී. භාවනා වඩන්න වඩන්න සිද්ධවෙන්නෙ ඒකයි. වටිනාකම අඩුවෙලා, අඩුවෙලා ගිහිල්ලා, අන්තිමට මොකද කරන්නෙ, මේ සැපයි කියන ඒවා, අන්තිමට ගිහිල්ලා සැපයි කියන ඒවා මධ්‍යස්ථයි කියලා එනවා. තිබුණත් එකයි, නැතත් එකයි. අන්න එහෙම අවස්ථාවක්. අන්න එතකොට සංඛාරයන් ගේ උපේක්ෂාවට බැහැලා තියෙන්නෙ.

 

“තිබුණොත් දුකයි නෙ” කියලා දකින මොහොතක් එනවා. අන්න මාර්ග ඵලය ලබන මොහොත. ඒ කොයි මොහොතෙ හරි ඒක තිබුණම ඒකෙ දුකක් දකිනවා. එච්චර කල් සැපයි කිය කියා හිටපු ඒවා මධ්‍යස්ථ වෙලා තිබිලා, කොයි මොහොතක හරි දකිනවා මධ්‍යස්ථතාවය ඉක්මවා ගිය දුකක් හැටියට. දකිනකොට ම පටිපස්සද්ධි – නිස්සරණ කියන දෙකෙන් මාර්ග ඵලය පූර්ණය වෙනවා. අන්න එයා තමයි “සැප දුකයි” කියලා දැක්කෙ. දැන් ආර්යයන් වහන්සේලා අතර අරිහතුන් වහන්සේ තමයි ලෝකයා කියන සියලුම පංච කාම සැප කියන ඒවා, පංච කාම දුක කියලා දැකලා තියෙන්නෙ. එතෙන්ට යනකන් ම අනිත් අය දැකලා තියෙන්නෙ ඒ ඒ මට්ටම් වල දුක්. ඒක මධ්‍යස්ථතාවයක්. එකින් එකට අඩුවෙනවා, සැපයි කියන එක, “සැප නැත්තෙ නෑ, හැබැයි ඔය කියන තරම් මහ ලොකුවට එල්ලෙන්න සැපක් ඒකෙ නෑ. නෑ කියලම මං කියන්නෙත් නෑ…” අන්න එහෙම එක අවස්ථාවකට එනවා.

 

ඊට පස්සෙ අල්ලාගෙන මේ අසාධාරණකම්… , දැන් සෝතාපන්න ඵලයට පත්වෙච්ච පුද්ගලයා පංච කාම සම්පත්තිය පිළිබඳව යම්කිසි, එයාගේ ක්ලේෂයන්ගේ බැහැර වීමක් තියෙනවද, “සැප කියන ඒවා නෑ කියලා මං කියන්නෑ, මාත් විඳිනවා පංච කාම සම්පත්තිය, හැබැයි මේ අසාධාරණකම් කරලා, අයුතුකම් කරලා, පවු කරගෙන විඳින්න තරම් වටිනා දෙයක් ඒකෙ මට නෑ…” අන්න පලවෙනි අවස්ථාව. සෝවාන් පුද්ගලයාගෙ පංච කාමයන්ගේ මට්ටම ඒකයි. “අයුතුකම්, අසාධාරණකම් කරලා, අවැඩ කරලා, ඒ විදිහට ඔය සැප පස්සෙ යන්න තරම් වටිනා සැපක් මං මේ ලෝකෙ දකින්නෙ නෑ. එහෙම මන වඩන රූපයක්, මන වඩන ශබ්දයක්, එහෙම ඒවගෙ මගෙ හිත නෑ…” අන්න පලවෙනි අවස්ථාව.

 

ඊටපස්සෙ අනිත් සැරේ මොකද කරන්නෙ, “රැස් කරගෙන මගෙ කිය කියා විඳින්න තරම් වටිනාකමක් මට ඕවයෙ නෑ…” අන්න දෙවෙනි අවස්ථාව, අර සකෘදාගාමී අවස්ථාව. “ඔය කාම වස්තූන්ගෙ ඇලී ඉන්න තරම් වටිනාකමක් මට ඇත්තෙ නෑ…” හැඟීම්, ඒ කාම සංඥාවල් වලත් අල්ලාගන්න වටිනා දෙයක් නෑ කියලා දකිනවා. ඔය පංච කාමයෝ හරයක් නැති දුක් ගොඩක් කියලා දකිනවා, අරිහත් අවස්ථාවෙ.

 

ඉතින් අන්න ඒකයි අවස්ථා හතර එන්නෙ. ඉතින් දැන් පංච කාමයන් පිළිබඳව ආස්වාදයක්, පිළිබඳ ප්‍රිය මනාපය එකපාර ඇරෙන එකක් නෙමෙයි, ඇරෙන්නෙ අර ක්‍රමයට. වටිනාකම ඉස්සෙල්ලා අඩු වෙනවා, පරිහරණය කරන්න වටිනාකමක් නෑ, රැස් කරන්න වටිනාකමක් නෑ කියලා දකිනවා, ඒවා ආස්වාද වශයෙන් භුක්ති විඳ විඳා ඉන්න, රසවත් කියලා ගන්න වටිනාකමක් නෑ කියලා දකිනවා, අන්තිමට ඒක දුකක් කියලා දකිනවා. ඇසුරට ආවොත් එහෙම දුක් ගොඩක් කියලා එයා දකිනවා; ඒ අරිහත්වය. අන්න එහෙමයි ඒ ටික දකින්නෙ.

 

ඔය දකින එක තුළදි එයා දකින යම් මට්ටමක් තියෙනවා නම්, ඒ මට්ටමේදි එයා දකිනවා, දැන් ආර්යත්වයට පත්වුන කෙනාට මේ ලෝකයේ බලාපොරොත්තු, පැතුම් නෑ. පංච කාම ප්‍රාර්ථනා නෑ. පතන්න තරම් වටින එකක් නෑ කියලා දැකලා ඉවරයි. ඒ නිසා එයා හැමවෙලේම “නිවන සුවයි” කියලා දකිනවා. දැන් නිවනට හේතුකාරක වන කර්මස්ථානයෝ වඩනකොට එයා නිවන් සුව පැත්තට බර වෙනවා. අන්න ඒ බර වෙනකොට තමයි ඒකට ගැලපෙන්නාවූ අර විවේකයෙන් ලබන ප්‍රීති සුඛ නැඟිලා, නිවනට ම හිත හිටින්නෙ, අර ධ්‍යාන මට්ටම් වලට එන්නෙ. අන්න ආර්ය දැහැන් මට්ටම් ලැබෙන හැටි. ඉතින් යථාවබෝධයෙන් ප්‍රඥාව පූර්ණය වෙච්චි වෙලාවට ඵලයත් එක්ක ලැබෙනවා. ඵලයට ලැබෙන්නෙත් තමා දැකපු අත්දැකීම ම ස්ථිර වෙලා.

 

ඉතින් අපි දැන් ඔය යන්නෙ, මේ වෙන පැත්තක් මේ හැම වෙලේම යන්නෙ. ඉතින් මේකෙන් විසාල පිරිසක් මුලාවට පත්වෙලා ඉන්නෙ, මොනවා කරන්නද? මේ පස්සද්ධිය, සමාධිය, ඔය දැන් ඔය පේන්නෙ,(…1:01:25 පැහැදිලි නැත…) දැන් ඔතන. “පස්සද්ධිය” කියලා කියන්නෙ නිදහස් භාවයට පත්වෙනවා, “සමාධිය” කියන්නෙ සමය ට ඇදිලා හිටිනවා. නිවන් සමයට ඇදිලා හිටිනවා කියන එකයි “ආර්ය සමාධිය” කියන්නෙ.

 

{1:01:36} : නිවැරදි පංචස්කන්ධ විග්‍රහය ත්‍රිපිටක බුද්ධ දේශනාව ඇසුරෙන්…

 

පංච උපාදානස්කන්ධය බුදුරජාණන් වහන්සේ දේශනා කළේද? (ස්වාමීන් වහන්සේ ලැබුණු ප්‍රශ්නයක් කියවා පිළිතුරු දෙයි) දැන් උපාදානස්කන්ධ පහ ගැන මොකුත් ප්‍රශ්නයක් නෑ. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය කියලා, උපාදානස්කන්ධ පහ ඔහොමයි පෙන්නලා තියෙන්නෙ. දැන් මේ “සංඥා, සංඛාර, විඤ්ඤාණ, වේදනා, නාම” කවුද මෙහෙම, කොහොමද මෙහෙම කියලා තියෙන්නෙ කොහෙද? “සංඥා, සංඛාර, විඤ්ඤාණ, වේදනා, නාම-රූප” කියලා මේ විදිහට ස්කන්ධ විග්‍රහයක් කරපු තැනක් නෑ ධර්මයේ. කොහෙද තියෙන්නෙ මේවා විග්‍රහ කරලා?

 

(ශ්‍රාවිකාවක් ප්‍රශ්නයක් අසයි, පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ ගේ පිළිතුර) : ඉතින් දැන් අපිට සිද්ධ වෙනවා ත්‍රිපිටකය කපලා, එයාගෙ, ඔය කිවුව හාමුදුරුවන්ගෙ කොටස ඒකට ඇතුළත් කරන්න. දැන් බුදුරජාණන් වහන්සේ මොකද්ද පංච උපාදානස්කන්ධය කියන්නෙ කියලා දේශණා කරපුහම, ඒ ත්‍රිපිටකයෙන් ඒක අයින් කරලා, උන්වහන්සේගෙන් ත්‍රිපිටකයට එකතු කරලා, “මහා සර්වඥ භාෂිතය” කියලා දාන්න වෙනවා කියන එකයි මට කියන්න තියෙන්නෙ. වෙන මොනවා කියන්නද?

 

තම තමන්ගෙ මත අරගෙන ඒගොල්ලො කියනවා ඒක ඊටපස්සෙ, “මේ ඔය පොතේ තියෙන එක නෙමෙයි හරි, මේකයි…” දැන් මෙහෙම තම-තමන්ගෙ මත ගන්නවා. ඉතින් ඒ මත කොහොමද සනාථ කරන්නෙ? (ශ්‍රාවිකාව වැඩිදුර යමක් ප්‍රකාශ කරයි, පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ): හරි හරි, ඉතින් එහෙම වෙන්න පුලුවන්, දැන් සංඥා, සංඛාර, විඤ්ඤාණ, වේදනා, නාම-රූප. දැන් සංඥා හටගන්නෙ මොනවා නිසාද? අපි ඉස්සෙල්ලා බලමුකො සංඥා හටගන්න ඉස්සෙල්ලා හේතුවක් නැද්ද?

 

දැන් රූප සංඥාවක් ඇතිවෙන්න නම් ඊට මුලක් තියෙන්න ඕනෙ. දැන් සංඥාවක් හටගන්නෙ මොනවයින්ද? ඇස නැමැති රූපය නැත්නම්; ඇසට ගෝචර වෙන රූපය නැත්නම්; ඒ දෙකේ ස්ඵර්ශයක් ආවෙ නැත්නම්; ඒ දෙක නිසා හටගත්තාවූ දැනීමක් පහලවුනේ නැත්නම්, සංඥාවක් මුල්වෙන්න පුළුවන්ද? එහෙනම් රූපයි, වේදනයි දෙවෙනි කරලා සංඥා පළවෙනි කරන්න පුළුවන්ද? එතකොට කොහොමද මේ සංඥා, සංඛාර, විඤ්ඤාණ වලින් ස්කන්ධ පටන්ගන්න හදනකොට, සංඥා ස්කන්ධයෙන් පටන්ගන්නෙ මොන රටාවෙද?

 

දැන් මේ තව කියනවා, (ස්වාමීන් වහන්සේ ලියා ඇති ප්‍රශ්නය කියවයි) “තවද රූප, වේදනා, සංඥා, සංඛාර කියා යම්තාක් පිළිගන්නා තුරු ජාති දුක නොදැනේ, නොපෙනේ. පටිච්ච සමුප්පාද දහම, හේතු-ප්‍රත්‍යය තේරුම් ගත නොහැක. පංචස්කන්ධය, පංච උපාදානස්කන්ධය, දෙකක් ලෙස නොදැන රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යනුවෙන් ක්‍රමවත් කරගන්නා තුරු දුක සත්‍ය අන්දමින් නොවැටහේ…”

 

“පංචස්කන්ධය, පංච උපාදානස්කන්ධය, දෙකක් ලෙස නොදැන රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යනුවෙන් ක්‍රමවත් කරගන්නා තුරු…” ආයි සැරයක් ආවෙ අර රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ වලට… “දුක සත්‍ය අන්දමින් නොවැටහේ… සමුදය සත්‍යය කියන්නේ තෘෂ්ණාව නොහොත් සංඛාර බව පෙනෙන තෙක් දුක නොපෙනේ….” “සමුදය සත්‍යය කියන්නේ කියන්නේ තෘෂ්ණාව නොහොත් සංඛාර බව…..” දැන් තෘෂ්ණාව නොහොත් සංඛාර කිවුවහම සංඛාරයි තෘෂ්ණාවයි එකක් හැටියට නෙ ගන්නෙ, දැන් සංඛාර කියන්නෙ මොනවද, තෘෂ්ණාව කියන්නෙ මොනවද? සංඛාරයි තෘෂ්ණාවයි එකක් හැටියට ගන්නවා.

 

එතකොට දැන් නිරෝධ සමාපත්තියට සමවැදිච්ච රහතන් වහන්සේ ඉස්සෙල්ලාම නැවත ආපහු එනකොට ලබන්නෙ මොන සංඛාර ද ඇහුවා, එතකොට කියනවා “මනෝ සංඛාර”. ඊට පස්සෙ? “කාය සංඛාර”, ඊට පස්සෙ “වචී සංඛාර” {{ත්‍රිපිටක සූචිය}} එන ක්‍රමය. දැන් විතක්ක, විචාර, වචී සංඛාර තුන්වෙනියට එනවා. එතකොට මනෝ සංඛාර ඉස්සෙල්ලා පටන්ගන්නවා. වේදනා, සංඥා මනෝ සංඛාරයි. එතකොට වේදනා, සංඥා, ඊට පස්සෙ ආස්වාස-ප්‍රාස්වාසයෝ කාය සංඛාරයි. විතර්ක-විචාරයෝ වචී සංඛාරයි. ඔහොම එකක් තෝරනවා.

 

එතකොට දැන් මේ මෙතන පෙන්නනවා, අරිහතුන් වහන්සේ ඒ සංඛාර තුන් ආකාරයෙන් කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියන තුනට අනුපිළිවෙලින් ආපහු එන හැටි පෙන්නනවා. ඉස්සෙල්ලා මනෝ සංඛාර වලට එනවා, ඊට පස්සෙ කාය සංඛාරයට එනවා, ඊට පස්සෙ වචී සංඛාරයට ඇවිදිල්ලා මෙලොවට එනවා, විද්‍යාමාන වෙනවා; නිරෝධයෙන් ආපහු එන හැටි. එතකොට සංඛාර කියලා කියන්නෙ තෘෂ්ණාව නම්, අර නිරෝධයට පත් මහරහතන් වහන්සේ තෘෂ්ණාව දුරුකරලා නෑ නේද? කොහොමද ගලපන්නෙ? සංඛාර කියන්නෙ තෘෂ්ණාව කියලා ගත්තොත්, “තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති” කියන එක කරලා නෑ නෙ!

 

(ශ්‍රාවිකාවක් යමක් පවසයි, පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ): සංඛාර වලට තෘෂ්ණාව කියන්නෙ නෑ කියන එක නෙ මේ හේතු ඇතුව පෙන්නන්නෙ. තෘෂ්ණා කියලා කියන්නෙ, යම් යම් සංඛාර පිළිබඳව ඡන්ද රාගයක් ඇත්ද, ඒක උපාදානයයි. ඒ උපාදානය කරන්නෙ යම් තැනක් ද, “තණ්හා පච්චයා උපාදානං” යම්කිසි හිතිවිලි-ක්‍රියා-වදන් කියන යමක් ඇත්නම්, මේවයි සංඛාර. මේක කුසළ මූලයෙන් හටගන්න ක්‍රමයක් තියෙනවා, අවිද්‍යාවෙන් හටගන්න ක්‍රමයක් තියෙනවා. අවිද්‍යාවෙන් යම් සංඛාරයක් හටගන්නවා නම්, අවිද්‍යා-තෘෂ්ණා සම්බන්ධයෙන් හටගන්නෙ. ඉතින් සංඛාර කියන ඒවා ඡන්ද රාගයෙන් බැඳුනහම තමයි තෘෂ්ණාව හටගන්නෙ. සංඛාර පිළිබඳව යම් ඡන්ද රාගයක් ඇත්නම්, අන්න ඒක තෘෂ්ණාව. තෘෂ්ණාවයි සංඛාරයි දෙකක් මිස එකක් නෙමෙයි. ඒ නිසා තමයි කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර අරිහතුන් වහන්සේටත් තියෙන්නෙ. සංඛාර කියන්නෙ තෘෂ්ණාව නම්, තෘෂ්ණාව ක්ෂය කළ අරිහතුන් වහන්සේට සංඛාර නැතිවෙන්න ඕනෙ. එතකොට කොහොමද මේකෙ යථාර්තය?

 

දැන් මේ සියුම් තැන් ගැන මේ මේ පොත් ලියනකොට මොනවට මේ අදහස් තම තමන් දැක්කා කියලනේ ලියන්නෙ මේ? “මම දැන් අරිහත්වයට පත්වෙලා ඉන්නෙ, මම යථාවබෝධය ලබලා ඉන්නෙ, මම දැක්ක එකයි, මෙන්න මේකයි හරි එක…” ඔහොම ලියාගෙන යනවා. දැන් මේවා ධර්මයට එකඟ නෑ; ධර්මයට විරුද්ධ වෙනවා. ඒකනෙ වෙලා තියෙන්නෙ මේ. ඉතින් ඒකනෙ මං ඇහුවෙ, සංඥා වලින් පටන්ගන්න මුලක් තියෙනවා දැක්කොත් එහෙම, දැන් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යම්තාක් පිළිගන්න තාක්කල් ඒ ක්‍රමය, එයාට දුකෙන් නිදහස් වෙන්න බෑ කියනවා, සංඥා මුල් කරලා පිළිගන්නකොට නෙ පුලුවන් වෙන්නෙ, දැන් සංඥා මුල් කරපු ස්කන්ධයක් කරන්න පුලුවන්ද රූප, වේදනා ඉස්සෙල්ලා ගන්නෙ නැතුව?

 

දැන් අපි බලන්න ඕනෙ, සංඥාවක් අපිට හටගන්න පුලුවන්ද ඇහැයි රූපයයි දෙක, කනයි ශබ්ද රූපයයි, දිවයි ඒ වගෙම රස රූපයයි, නාසයයි ගන්ධ රූපයයි, කයයි ඵොට්ටබ්බ රූපයයි, මේ ආදී වශයෙන් මේ රූපයන් ගේ සම්බන්ධයක, එකින් එක ඝට්ටනය වීමක් නැතුව පුද්ගලයෙකුට මතුකරගන්න පුලුවන්ද යම් වෙලාවක, දැනීමක්-ස්ඵර්ශයක් එනවද? හැඩතලයක් මතකයට ගන්න පුලුවන්ද රූපයක් නැතුව? රූපයක් නෙ එහෙනම් පළවෙනි වෙලා තියෙන්නෙ රූපය, ඊට පස්සෙ ස්ඵර්ශ කිරීම. ස්ඵර්ශ කරනකොට තමයි වේදනාව එන්නෙ, ඒ වේදනාව නිසා තමයි දැනීම නිසා තමයි, මේ …(පැහැදිලි නැත)… මේ ආකාරයට කියලා සංඥාව මතුවෙන්නෙ. එහෙනම් සංඥාව තුන්වෙනි තැනට මිසක් සංඥාව පළවෙනි කරන්නෙ මොන ධර්මයට අනුවද? ඉතින් ධර්මයට බහා බලනකොට බහා හිටින්නෙ නෑ නෙ. ඉතින් ධර්මයට බහා බලන්න දන්නෙ නැතිකම නිසා උන්වහන්සේලා පට්ටං දොහෝනවා. මොනවා කරන්නද? මහරහතන් වහන්සේලා කිවුවත් කරන්න දෙයක් නෑ, ධර්මානුකූලව පෙනවලා දෙන්න වෙනවා. යථාර්තය ඒකයි.

 

“චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං, තින්නං සංගති ඵස්සෝ, ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපාදානං සම්භවන්ති” {{ත්‍රිපිටක සූචිය}} බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරනකොට එක්තරා භික්ෂූණ් වහන්සේ නමක් පැත්තකට වෙලා අහගෙන ඉඳලා. “මහණ, ඔය ධර්මය ඇහුවද?” “ඇහුවා” “ඕක නිවන් සාක්ෂාත් කරගන්න, අප්‍රමාදව නිවන් සාක්ෂාත් කරගන්න පුලුවන් ඔය කර්මස්ථානය වඩන්න, සිහිකරන්න” උන්වහන්සේට කර්මස්ථානයක් වශයෙන් දුන්නා.

 

“සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඤ්ඤාණං, තින්නං සංගති ඵස්සෝ, ඵස්ස පච්චයා වේදනා….” යන්නෙම රූප, වේදනා, සංඥා, ක්‍රමයට නෙමෙයිද ඔය යන්නෙ? (ශ්‍රාවිකාවක් යමක් පවසයි, ස්වාමීන් වහන්සේ): වෙනවා නේන්නම් ඉතින්, ඒකනෙ අපිට ඕනෙ හැටියට බණ කියන්න ගිහිල්ලා නෙ මේ ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ, එක එක්කෙනාට ඕනෙ හැටියට බණ කියන්න ගිහිල්ලනෙ. ධර්මයට අනුකූලව විස්තර කරන්න බැරි නිසා නෙ.

 

{1:10:29} : අරිය සමාධිය බාහිර අරමුණු නොදැනී යන්නක් නොවේ

 

(ශ්‍රාවිකාවක් තවත් යමක් පවසයි, ස්වාමීන් වහන්සේ): දැන් ඔය කතාවට එච්චර දෙයක් නෙමෙයි, බුදුපියාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදි එක්තරා බමුණෙක් බුදුරජාණන් වහන්සේ ලඟට ඇවිදිල්ලා ආලාර කාලාම තාපසයා පිළිබඳව ලොකූ විස්තරයක් කළා. “ස්වාමීනි, හරි පුදුම සමාධියක් මම දැක්කානෙ… ආලාර කාලාමයන් වහන්සේ…” ඒ කියන්නෙ කාලාම, ආලාර කාලාම නෙමෙයි, කාලාම කියන්නෙ ඒ කොටසක්. ඔය භාවනා කරගෙන යන කොටසක්. ඒ අය මේකට පත්වෙලා ඉන්න, රාමපුත්‍ර කියලා ඒ අයට කියන්නෙ, රාමපුත්‍ර කියන්නෙ ඒ කට්ටිය. “මේ සමාධියට සමවැදිලා ඉන්න වෙලාවට මම දැක්කා, ගැල් පන්සීයක් එතනින් ගියා, මහා දූවිලි පොළවක් තිබුණෙ, මේ දූවිල්ල ඇවිස්සිලා අර සිවුරු ඔක්කෝම දූවිල්ලෙන් තෙමිලා ගියා. එහෙම තෙමිලා ගියාට පස්සෙ උන්වහන්සේ සමාධියෙන් අහක් වෙලා බලපුහම ඇඟේ දූවිලි, මේ කොයින්ද මේ සිවුරු වල දූවිලි නෙ.. මොකද මේ වුනේ? කියලා ඒ වෙලාවෙ ඇහුවා, ඒ අහනකොට, ඇයි ස්වාමීණි මතක නැද්ද, මේ ගැල් පන්සීයක් මෙතනින් ගියා නෙ දැන්… මට දැනුනෙ නෑ, එහෙම එකක් මට වැටහුණේ නෑ. එහෙම එකක් දැනුනෙ නෑ… ඉතින් ස්වාමීණි, පුදුම සමාධියක් ඒක” ඉතින් මෙහෙම සමාධියක ඉන්නවා ඒ රාමපුත්‍ර. කියලා බුදුරජාණන් වහන්සේට මෙහෙම කියනවා.

 

දැන් බුදුරජාණන් වහන්සේට එහෙම කියනකොට, දැන් එයා බුදු දහම තුළ හිටපු එක්කෙනෙක් නෙමෙයිනෙ, යෝගියෙක් නෙ. යෝගී සමාධි නෙ. ඉතින් ඒ අන්න ඒ යෝගීන් ගේ ලැබුවාවූ සමාධි වලින්, ගැල් පන්සීයක් ලඟින් ගිහිල්ලත්, මේ ඔක්කොම දූවිලි තට්ටුවෙන් වැහිලා ගිහිල්ලත්, මෙහෙම තිබිලත් එයා දන්නෙ නෑ. ඒපාර බුදුරජාණන් වහන්සේ අහනවා, “ඉතින් ඒවා හරි පුදුම දෙයක් හැටියට නේද සළකන්නෙ? හොඳයි මෙහෙම දෙයක් වුනොත්? ඒවගේ සමාධියකට බැහැලා, නොදැනී නෙමෙයි, නොපෙනී නෙමෙයි, පෙනීම තියෙද්දිම, ඒ වගේම නො ඇසී නෙමෙයි, ඇසෙන ස්වභාවයත් තියෙද්දිම, දැනෙන ස්වභාවයක් තියෙද්දිම, පියවි තත්වයේ මානසිකත්වයක් තියෙද්දිම, මහා හෙණ හතක් ගහලා, ගොවියොත් මැරිලා, හරකුත් මැරිලා, මහා පිරිසක්, මහා හඬ දීගෙන, කෑ-කෝ ගහගෙන ඇවිදිල්ලා, අර මළ මිණීත් අරගෙන, මර හඬ දිදී යනකොට, අරවගේ ස්වභාවයක, අර සමාධියකට, අමුතු ජාතියේ එහෙම නොපෙනෙන තත්වයකට ගිහිල්ලා නෙමෙයි, නොදැනෙන තත්වෙකට ගිහිල්ලා නෙමෙයි, මේ දැනීම එසේම තියෙද්දි, පියවි තත්වය එසේම තියෙද්දි, ඒ පිළිබඳවත් අවධානයක් තිබුණෙ නැත්තම් පොඩ්ඩක් වත්? ඕකෙන් කොයි සමාධියද ලොකු?”

 

“ස්වාමීණි, දැනීම නැති කරගෙන ඉන්න කෙනාගෙ ඉන්නවා කියන එක කියන්න දෙයක් නෙමෙයිනෙ, ඒකෙ බලවත්ම, පුදුමාකාර දේ පෙනීම, දැනීම, ඇහීම, ඔක්කොම තියෙද්දි එහෙම එහෙකත් අවධානයක් නැතුව ඉන්න පුලුවන් කිවුවම ඒක මහා පුදුමයි නේ…” “එහෙනම් හිතාගන්නකො දැන් මේ ටිකකට ඉස්සෙල්ලා මං මේ ඉන්න මේ පිදුරු කුටිය ලඟ මේ කුඹුරේ හෙණ ගහලා, ගොවියො දෙන්නෙකුත් මැරිලා, හරක් ගාණකුත් විනාස වෙලා, මහා පිරිසක් එක්කලා මෙතනින් ඇවිදිල්ලා මේ මිණීත් අරගෙන මෙතනින් …(1:13:22 පැහැදිලි නැත).. මෙතනින් ගිහින් තියෙනවා. ඉතින් මම දන්නෙ නෑ ඒ සිද්ධිය, මම බැලුවෙ නෑ. මට එහෙම ආවර්ජනා වුනේ නෑ.” “ඉතින් ස්වාමීනි, ඔබවහන්සේ එතකොට ඒවගේ සමාධියකද හිටියෙ?” “නෑ නෑ, එහෙම එකක් නෑ, මේ පියවි තත්වය මයි. මේ දැනීම් එහෙමම තිබුණා, ඇහෙන ස්වභාවයක් තිබුණා. පේන ස්වභාවයක් තිබුණා, ඒ වුනාට එහෙම එකක් අල්ලන්නෙ නෑ. ඒ නිසා ඒකෙ ආවර්ජනයක් නෑ. ඒ නිසා එහෙම එකක් වුනාද නැද්ද කියන එකවත් හෝදිසියකට වැටෙන්නෙ නෑ….”

 

(ශාවිකාවක් යමක් පවසයි, ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි, අවධානය යොමු කරන්න ඕනෑකමක් නෑ. “ඉතින් ස්වාමීණි, හිතක් තියෙද්දි, දැනුවත්ව තියෙද්දි කෙනෙකුට එහෙම ඉන්න පුලුවන් නම්, ඒ සමාධිය කෙබඳු උත්තම සමාධියක් ද? දැන් නිදා ඉන්න මිනිහටත් ඇහෙන්නෙ නෑ, පේන්නෙ නෑ. එහෙනම් නිදා ඉන්න එකත් ලොකු සමාධියක් වෙනවනෙ. නමුත් “ඇහීම තියෙද්දි, පෙනීම තියෙද්දිත් පුද්ගලයාට මානසිකත්වය ආවර්ජනයට යන්නෙ නැත්තම්, ඒක විශේෂයක්. එහෙනම් ඒ සමාධිය තමයි මං ලඟ තියෙන්නෙ…” කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා {{ත්‍රිපිටක සූචිය}}

 

දැන් දවස් ගණන් ඔය යෝගීන් ඉන්නවා, වටේ ඇඟෙන්, උඩින් මුල් යනකනුත් ඉන්න යෝගීන් ඉන්නවා. දින ගණන් සමාධියට සමවැදිලා ඉන්න යෝගීන් ඉන්නවා. ඉතින් ඕක වැඩක්ද, මේ උදේ ඉඳන් හවස් වෙනකන් සමාධියක ඉන්නවා කියන එක? ඉතින් නමුත් ඕවයින්ම තමයි රැවටෙන්නෙ. ඔය දින ගණන් හිටියැහැකි නෙ සමාධියේ, මේ දැනටත් ඉන්න යෝගීන් ඉන්නවනේ එහෙම, ඕනෙතරම්.

 

{1:14:49} : නිරෝධ සමාපත්තියට සමවැදුනු උතුමෙකුගේ ලක්ෂණ 

 

(ශ්‍රාවිකාවක් නිරෝධය පිළිබඳ ප්‍රශ්නයක් අසයි, ස්වාමීන් වහන්සේ): ඔය නිරෝධය කියන එක දැනගන්නකොටයි, නිරෝධය මොකද්ද, නිරෝධ සමාපත්තිය මොකද්ද කියන්නෙ කියලා දැනගන්න එපැයි. නිරෝධ සමාපත්තියට සමවැදුනම හුස්ම පොදක් වත් වැටෙන්නෙ නෑ. ඉතින් පොඩ්ඩක් ඉතින් බලන්න ඕනෙ අනික් අය දිහා, බලන්න පුලුවන් නෙ ඒක. ඒ කියන අය නිරෝධ සමාපත්තියට සමවැදිලා කියලා ඉන්නකොට, අවංකව ම හුස්ම වැටෙනවද කියලා අහක ඉඳං බලාගත්තහැකි නෙවැ, පේනවනේ. පොඩ්ඩක් බලන්නලකෝ. එතකොට බලාගත්තහැකි.

 

නිරෝධ සමාපත්තියට සමවැදිච්ච කෙනා පිළිබඳව අහනවා, සැරියුත් හාමුදුරුවන්ගෙන් ද කොහෙද අහන්නෙ ඒ ප්‍රශ්නෙ, (1:15:23 සිට 1:15:33 තෙක් දේශනාවේ කොටසක් පටිගත වී නොමැත) ඇතිවෙන වෙනස්කම් මොනවද කියලා උන්වහන්සේ ගෙන් අහනවා. උන්වහන්සේ පෙන්වනවා, මළ මිණිය ආයුෂත් ඉවරයි, ශරීර උෂ්ණයත් ඉවරයි, එතකොට ශරීරයේ අඟ-පසඟ ක්‍රියාත්මක වීමකුත් නෑ. ඒවා කුණුවීමේ ස්වභාවයට බරවුනා. මළමිණියෙ තත්වය ඕකයි.

 

එතකොට නිරෝධ සමාපත්තියට සමවැදිච්චි එක්කෙනාගෙ? හුස්ම වැටෙන්නෙත් නෑ, හෘද කම්පණයකුත් නෑ, ඒ දෙකමත් ඉවරයි, හැබැයි ශරීරයේ උෂ්ණය තියෙනවා; ඉන්ද්‍රිය ප්‍රබෝධයි. මළමිණිය එක්කලා තියෙන වෙනස ඔන්න ඔච්චරයි. මළමිණියෙ උෂ්ණය එනවා, ආයුෂ ගෙවිලා ඉවරයි, ඒක දිරන්න පටන්ගන්නවා. මළමිණියකයි නිරෝධ සමාපත්තියේ ඉන්න එක්කෙනාගෙයි තියෙන වෙනස, ශරීරයේ උෂ්ණය තියෙනවා, ශරීරය ප්‍රබෝධයි, ඉන්ද්‍රිය ප්‍රබෝධයි. ඔන්න ඔච්චරයි මළමිණියට වඩා වෙනස තියෙන්නෙ. එහෙනම් මළමිණියෙ හෘද ස්ඵන්දනය නෑ නෙ. මළමිණිය හුස්ම ගන්නෙ නෑ නේ. එහෙනම් අන්න ඒ මළමිණියෙ නැති ඒවා නිරෝධ සමාපත්තියට සමවැදිච්චි එක්කෙනාගෙත් නෑ. මළමිණියට වඩා වෙනසකට මොනවද තියෙන්නෙ අහපුහම කිවුවා, “උෂ්ණය පවතිනවා, ඉඳුරන් ප්‍රබෝධව පවතිනවා දියවෙන්නෙ නැතුව, ඉඳුරන් දිරන්නෙ නෑ” මෙන්න මේ කියන කාරණා දෙක නිරෝධ සමාපත්තියේ ඉන්න කෙනාගෙ තියෙනවා. {{ත්‍රිපිටක සූචිය}}

 

ඉතින් නිරෝධ සමාපත්තියට සමවදින්න පුලුවන් කියලා යම් කෙනෙක් කියනවා නම්, ඔය දෙකෙන්ම බලාගත්තහැකි, හුස්ම ගන්නවද, හෘදය ස්ඵන්දනය අනික පරීක්ෂණයකින් හොයන්න වෙනවනේ. හුස්ම ගන්න එක කෙළින්ම බැලියැහැකිනේ. නිරෝධ සමාපත්තියට ඕනෙ නෑ, චතුර්ථධ්‍යාන සමාපත්තියට සමවැදිච්චි කෙනෙක්ගෙත් බැලුවොත් කය, එයා හුස්ම ගන්නෙ නෑ; හුස්ම ඕනෙ නෑ. එහෙනම් නිරෝධ සමාපත්තිය තියා, චතුර්ථධ්‍යානය වත් තියෙනවද කියලා අහන්න ඕනෑ සමාපත්තිය වඩනවා නම්. ධ්‍යානය වෙනයි, ධ්‍යාන සමාපත්තිය වෙනයි. චතුර්ථ ධ්‍යානයේ සක්මන් කරන්නත් පුළුවන්, ඉරියවු පවත්වන්නත් පුළුවන්, ඔක්කොම පුළුවන්. හැබැයි හුස්ම ගන්න අවශ්‍යයතාවයක් නැහැ, ධ්‍යාන සමාපත්තියට පත්වුනහම මළමිණිය තිබ්බා වගේ තමයි, වෙනසකට තියෙන්නෙ හුස්ම ගැනීම නෑ.

 

(ශ්‍රාවිකාවක් යමක් අසයි, පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ): නිරෝධ සමාපත්තියේ චිත්ත නිරෝධයි. සමාපත්තියෙ තියෙන වෙනස ඒකයි, හිතක් නෑ. මළමිණියෙත් හිතක් නෑ. මළමිණියෙ කය ක්‍රියාත්මක වෙන්නෑ, එතකොට ඒ වගෙම නිරෝධ සමාපත්තියේ ඉන්න කෙනාගෙ කය ජීවිත රූපයෙන් ක්‍රියාත්මකයි, කර්ම ශක්තිය. එතකොට උෂ්ණය තියෙනවා, කර්මජ තේජෝ ධාතුව ක්‍රියාත්මකයි. එහෙනම් ඔය කෙනාගෙ ඇඟේ තියෙන්න ඕනෙ ඉතාම පුංචි උෂ්ණත්වයකුයි, සමාපත්තියෙ ඉන්නවා නම්, ඉන්ද්‍රියන් වැටෙන්නෙ නෑ. බෙල්ල කෙළින් තිබ්බා නං ඒ තිබ්බ හැටියට තියෙනවා. දැන් මැරිච්ච කෙනෙක්, මළොත් එහෙම ඉන්න ගමන් බෙල්ල කඩාවැටෙනවා; මළමිණියක් නම්. දැන් බෙල්ල කෙළින් තියන් ඉන්න කෙනෙක් මළොත් එහෙම හෙමින් හෙමින් ගිහිල්ලා බෙල්ල පැත්තට වැටිලා වැටෙනවා. නිරෝධ සමාපත්තියේ ඉන්න කෙනා, මළමිණියට වඩා වෙනසකට තියෙන්නෙ, හිත නෑ. හැබැයි අර ඉන්ද්‍රියන් එකක්වත් වැටෙන්නෙ නෑ. ඒවා තිබ්බ ආකාරයෙන්, ලස්සනට, පැහැදිලිව තියෙනවා. ඒ නිසා එතකොට නිරෝධ සමාපත්තියෙන් ඉන්නවා නම් ඒ ස්වභාවය තියෙන්න ඕනෙ.

 

ඉතින් තවත් එහාට අපේ දහම් පොත්වල නම් පෙන්වලා තියෙනවා, නිරෝධ සමාපත්තියට සමවැදිලා හිටපු කෙනා පිච්චුවට පුච්චන්න බෑ කියලා. ඔන්න ඕන්නම් ඉතින් තවත් එහාට ගියොතින් පුච්චලත් බැලුවහැකි. එහෙමනම් ඒවත් තියෙන්න ඕනෙ. හැබැයි ඒක සෙල්ලම් වැඩක් නෙමෙයි, නිරෝධ සමාපත්තියට සමවදිනවා කියන එක. ඉතින් ඒකෙන් අපි දකින්න ඕනෙ මේවයෙ යථාර්තය මොකද්ද කියලා.

 

(ශ්‍රාවකයෙක් ප්‍රශ්නයක් අසයි, පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ): ඒක සෙල්ලමක් නෙමෙයි, මම දැනුවත්ව එක්තරා මහත්මයෙක් ධාතූන්වහන්සේලා ගැන පර්යේෂණයක් කරන්න ගිහිල්ලා පුච්චලා බලන්න ගියා, පොල්කටු අඟුරු දාලා, පුච්චලා බලන්න ගියා. පොල්කටු අඟුරු “හොස්” ගාලා නිවිලා ගියා, ධාතූන් වහන්සේලාට මොකුත් වුනේ නෑ. හැබැයි එදා පටන් එයාට එක දෙයක් වුනා, කකුල් දෙක ඉදිමිලා පුපුරන්න පටන්ගත්තා,  පටන්ගත්තෙ ඉස්මුදුනෙ ඉඳන් ඕජස් ගලලා. ඔවුනෙ, අන්තිමටත් දැන් අන්තිම අවස්ථාව වෙනකනුත් කකුල් දෙක හොඳ නෑ. කකුල් දෙක තවත් කුණු වෙනවා; පුපුර පුපුර ඉස්ම වැක්කෙරෙනවා, හොඳ කරන්න බෑ. ඉතින් සෙල්ලම් වැඩක් නෙමෙයි, නමුත් එච්චර බලන්න ඕනෙ නෑ, ඉතින් හුස්ම වැටෙනවද කියලා බලපුහම ඇතිනෙ. ඒකෙන් වත් බලාගන්න බැරියෑ.

 

ඉතින් මේවගේ කතා කියනවා. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා, සිවුපිළිසිඹියාපත් මහරහතන් වහන්සේලාගේ සංගායනා, මේ සියල්ලමත් අභිබවා ගිය මහා උගතුන් දැන් ඉන්නවා. (ශාවක පිරිස කතා කරයි, ස්වාමීන් වහන්සේ ): ඔවු, ඒකයි කියන්නෙ. ඉතින් ඒගොල්ලො කවුද? අපි කවුද? එතන තමයි ඉන්නෙ. ඉතින් කල්පණා කරලා බලන්න ඕනෑ මේවා මොනවද වෙන්නෙ කියලා මේ. වැඩක් නෑ නෙ, මේ නිකම්ම ඉඳලා කරන්න පුලුවන් ඊටවඩා ධර්මය පෙන්නන්න පුලුවන් නේ. (ශ්‍රාවිකාවක් යමක් පවසයි, පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ): ඒ ඒකට තමයි ඉතින්, මොනවා කරන්නද? කියාපු දේ තේරුම්ගන්න බැලුවහම, යම් කෙනෙක් ත්‍රිපිටක ධර්මයේ තියෙන දේවල්, ඒ ධර්මය විකෘති කරනවා නම්, කොතනින් කෙළවරක් වෙයිද කියන්න බෑ. හැබැයි අපි කියන කොයි දෙයක් හරි ඒ ධර්මයට එකඟ වෙන්න ඕනෙ. ධර්මයෙන් පෙන්නන්න ඕනෙ සාක්ෂි. (ශ්‍රාවිකාවක් යමක් පවසයි, පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි කියන්නෙ, හරි භයානකයි නේන්නම්.

 

{1:21:10} : සුමධුර සම්මා සම්බුද්ධ දේශනාව සර්ව ආකාරයෙන් පරිපූර්ණයි 

 

ඒ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ආපහු හරවලා, කණපිට ගහලා කියන්න පුලුවන් නම්, එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයට සම්පූර්ණ විරුද්ධයි කතාව. “මහණෙනි, දක්නේ නොදකියි… මෙන්න මේ දහම දන්නවද?” කියලා බුදුරජාණන් වහන්සේ වැඩියා. “දක්නේ නොදකියි!” ඔච්චරයි පෙන්නුවෙ. දැන් භික්ෂූන් වහන්සේලාට විශාල අවදානයක් යොමුවෙලා, ලොකු ප්‍රශ්නයක් මතුවුනා. “කුමක් දක්නේ කුමක් නොදකියිද?” දැන් බුදුපියාණන් වහන්සේ මාතෘකාව කියලා වැඩියා, දේශනා කළේ නෑ නෙ…

 

දැන් මේක හොයාගෙන ගිහිල්ලා ආයි සැරයක් බුදුරජාණන් වහන්සේ ලඟටම ගියා. “ස්වාමීණි, ඔබවහන්සේ මේක අපට දේශනා කරන සේක්වා” කියලා ඉල්ලීමක් කළා. “එහෙනම් මහණෙනි, මේක තේරුම්ගන්න. තථාගතයන් වහන්සේ විසින් යමක් දේශනා කරන ලද්දේද, ඒ දේශනාව තුළ සියලු ආකාරයෙන් පරිපූර්ණයි, මේකට කිසිම ආකාරයකින් අඩුවක් නෑ කියලා දකිනවා..” මේකෙ කිසිම ආකාරයකින් අඩුපාඩුවක් නෑ. අඩුත් නෑ, වැඩිත් නෑ; සියල්ලෙන් පරිපූර්ණයි කියලා දකිනවා. මුළ යහපත්, මැද යහපත්, අග යහපත්, අර්ථ සහිතයි, ව්‍යංජන සහිතයි, සර්වාකාරයෙන් පරිපූර්ණයි. මේ විදිහට ඔය බව දකිනවා. “මේකට මෙන්න මේ ටික වැඩියි කියලා අඩුකරන්නවත්, මේකෙ මේ ටික මේකට එකතු කරන්න ඕනෑ, මේ විදිහට ඒවා එකතු කරන්න හදන්න වත්, එහෙම එකක් ඒ දහමෙ නෑ” කියන එකයි නොදකින එක. බැලුවා හොයලා බලලා, එහෙම එකක් දාන්න විදිහක් නෑ, අහක් කරන්නත් බෑ. මෙන්න මේකට කියනවා “දක්නේ නොදකියි” කියලා. සියල්ලෙන් පරිපූර්ණයි කියලා දකිනවා, මේකෙන් මේ ටික වැඩියි කියලා අඩු කරන්න එකක් නෑ කියලා දකිනවා. බැලුවහම අඩුකරන්න එකක් නෑ, අන්න නොදකින හරිය, ඒ වගෙම “මේක මදි” කියලා එකතු කරන්න විදිහක් නෑ. එහෙම එකක් මේකෙ දාන්න දකින්නෙ නෑ, අන්න නොදකින හරිය {{ත්‍රිපිටක සූචිය}}

 

එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ, දැන් නම් ඉන්නව නේ “දක්නේ නොදකියි” කියන එක “නොදක්නේ දකියි” කියන කට්ටිය ඉන්නවා. ඒ කියන්නෙ බුදුරජාණන් වහන්සේ දැකලා නැති ඒවා දකින අය ඉන්නවා. “බුදුරජාණන් වහන්සේ ට මේක වැරදිලා තියෙන්නෙ, නැත්නම් මහ රහතන් වහන්සේලා සංගායනා කරපු එක වැරදිලා…. ඒක හින්දා තමයි මේ සංඥාවෙ මුළ පටන්ගන්නෙ නැතුව රූප, වේදනා වලින් මුළ පටන්ගත්තෙ..” මොනවා කරන්නද? දැන් මේ හිතාගෙන ඉන්න රටාවල්.

 

(ශ්‍රාවිකාවක් ප්‍රශ්නයක් අසයි, ස්වාමින් වහන්සේ): ඉතින් අවිද්‍යාව නිසා ම නේද රූපයෙන් වේදනාව හටගන්න හැටි දැක්කෙ නැත්තෙ? රූප නැතුව වේදනාවක් හටගන්න විදිහක් නෑ කියලා දැක්කෙ නැත්තෙ ඒක නේද? සංඥාවක් හටගන්නෙ ඒ හේතුවෙන් බව දැක්කෙ නැත්තෙ ඒකනෙ. සංඛාරයක් හටගන්න, ඒ හේතුවෙන් සංඥාව පහලවුනොත් සංඛාර හටගන්න විදිහක් නෑ, සංඛාර පහලවුනොත් විඤ්ඤාණ හටගන්න විදිහක් නෑ නේ. “මහණෙනි, රූපයෙන් තොරව, වේදනාවෙන් තොරව, සංඥාවෙන් තොරව, සංඛාරයෙන් තොරව විඤ්ඤාණයක ගමනක් හෝ හිටීමක් හෝ වැඩීමක් හෝ චුතියක් හෝ නොකියමි..” {{ත්‍රිපිටක සූචිය}} මේ බුද්ධ දේශනාව.

 

එහෙනම් රූපයෙන් තොරව, වේදනාවෙන් තොරව, සංඥාවෙන් තොරව…. “මහණෙනි සංඥාවෙන් තොරව, සංඛාරයෙන් තොරව, විඤ්ඤාණයෙන් තොරව, රූපයෙන් තොරව, වේදනාවෙන් තොරව යනවා…” කියලා එහෙම ක්‍රමයක් දුන්නද? අතරමග කැඩුවද එහෙම? රූපයක් නැති තැනක සංඥාවක් හටගන්නවා කිවුවොත් හේතු නෑ. (ශ්‍රාවිකාවක් යමක් පවසයි, ස්වාමීන් වහන්සේ): කරන්න දෙයක් නෑ ඉතින්, ධර්මය අධර්මය කරගන්න එක සෙල්ලමක් නෙමෙයි; සෑහෙන කාලයක් විඳින්න වෙනවා. මහරහතන් වහන්සේලා වගේ හිතා හිටියට කරන්න දෙයක් නෑ, හරියටම අන්තිම අවස්ථාවෙ කර්ම, කර්ම නිමිති, ගති නිමිති මතුවෙලා අපු වෙලාවටයි පේන්නෙ, අපරාදයක් කරගන්නෙ. විසාල පාපයක් වෙනවා.

 

ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යම් ධර්මයක් ඇත්නම්, ඒ ධර්මය අඩු-වැඩි කරන්න යන එක වටින්නෙ නෑ. අපේ බාසාවෙන් අපිට වැටහෙන දේ විග්‍රහ කරන්න පුලුවන්, හැබයි ඒ ධර්මයට අනුකූලව අපි කියනවා මිසක්, ඒ ධර්මයේ “මේක මෙහෙම දාන්න එපා, මෙහෙම කරන්න” කිවුවොත් ඒක හරියන්නෙ නෑ. “දැන් මේක මාරුකරලා දාන්නකො, වේදනා, සංඥා, සංඛාර, රූප… මේ වේදනා, සංඥා… නැත්නම් සංඥා, සංඛාර, විඤ්ඤාණ, රූප, වේදනා කියලා දාන්නකො…” ඕවගේ ඒවා අපිට කරන්න අයිතියක් නෑ. ඒ මහා අපරාධයක් වෙනවා, එහෙම කරන්න ගියොත් ඒක වැරදෙනවා; ධර්මානුකූල නෑ.

 

පුතාගෙන් අම්මා උපදින්නෙ නෑනේ, පුතාගෙන් තාත්තා උපදින්නෙ නෑනෙ, අම්මාගෙන්, තාත්තාගෙන් පුතෙක් උපදිනවා මිසක්. පුතා පළවෙනි කරලා අම්මා, තාත්තා දෙවෙනි කළොත් වෙයිද? ගැළපෙනවද? අම්මට තාත්තට ඉස්සෙල්ලා පුතා හිටියා, ඊට පස්සෙ අම්ම, තාත්තා උපන්නා කිවුවොත් හරිද? දැන් රූප, වේදනාවට ඉස්සෙල්ලා සංඥා හිටියා කිවුවම අම්මා, තාත්තාට ඉස්සෙල්ලා පුතා, දුව හිටියා කිවුව එකේ අනික. මට පේන්නෙ නම් එහෙමයි. දැන් හිතලා බලන්න ඕනෙ ධර්මයට අනුකූල නොවන දේවල් තියෙනවා හරියට, ඒවා ගලපන්න බෑ. ඔවු, බිත්තරේද ඉස්සෙල්ලා ආවෙ, කිකිලිද ඉස්සෙල්ලා ආවෙ කියන එක කිවුවා වගේ වෙනවනෙ..

 

ඉතින් අනික් අය ඒ ගමන් ගත්තෙත් ඒ ධර්මානුකූල මාර්ගයේ ගියොත් චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්නත් බෑ කියලා එහෙම එහෙකුත් දාලා නෙ දාන්නෙ, රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන රටාව පිළිගන්නකන් එයාට දුක්ඛ සත්‍යය වැටහෙන්නෙ නෑ, දුක්ඛ ආර්යය සත්‍යය වැටහෙන්නෙ නෑ. දැන් එහෙම එකක් නෙ කියන්නෙ. ඉතින් එතකොට “චතුරාර්යය සත්‍යය වටහන්නත් බෑ බුදු බණ අහපු ගමන්, ඒ බණ ඇහුවොත්. මගෙ එක අහපන්!” කියන එකෙ නෙ කියන්නෙ. කොහොමද හරියන්නෙ? ඉතින් මේ වගේ මේ තම-තමන්ගෙ අර එක එක මට්ටම් වල දැනීම් අරගෙන ඊටපස්සෙ ඕකෙන් තර්ක-වාද ගොඩනඟපුහම ඒ දැනීම පිළිබඳව හසළ දැනුමක් නැති අයට ඒක, තර්ක-වාදයක් ඒක, බොරුව බොරුව බව පෙන්නන්න විදිහක් නෑ. ගැලපෙන්නෙ නැති එක මෙහෙම ගැලපෙන්නෙ නෑ කියලා කිවුවට පෙන්නන්න විදිහක් නෑ. ඒකයි සිද්ධ වෙන්නෙ. ඉතින් මේවගේ දේවල් ලිවුවහම ඒකනෙ වෙන්නෙ ඉතින්, ලොකු අමාරුවක වැටෙනවා. වැදගත් ම දේ ඒකයි.

 

{1:28:02} : ත්‍රිහේතුක පටිසන්ධියක් ධ්‍යාන හා මඟ ඵල ලැබීමට උපනිශ්‍ර වන හැටි…

 

අපෙන් තව ප්‍රශ්නයක් අහලා එවලා තියෙනවා, “ත්‍රිහේතුක පටිසන්ධියකින් උප්පත්ති නොවූ අයට ධ්‍යාන-මඟ ඵල නොලැබීමට හේතු මොනවාද?” කියන ප්‍රශ්නය.

 

දැන් මේක හිතාගන්නකො අපි මෙහෙම දෙයක්. අපි දියමන්තියක් අරගෙන ඒ ගල ඔප දානවා. ගල අරං කපලා ඔපමට්ටම් කරනවා, යන්ත්‍රයකින් කරනවා ඔය වැඩේ. තිරිවානා ගලකුත් දීලා ඒ යන්ත්‍රයෙන්ම කපලා ඔපමට්ටම් කරනවා. දැන් දෙකම සමාන දිස්නයක් එයිද? අර යන්ත්‍රය එකමයි, ඔපමට්ටම් කරපු ක්‍රමය එකමයි, එකකින් දියමන්තිය, මැණික ඔපමට්ටම් කළා, අනිකෙන් අර කබොක් ගලක්, තිරිවානා ගලක්, කළු ගල් කෑල්ලක් ඔපමට්ටම් කළා. දැන් කළු ගල, තිරිවානා ගල, කබොක් ගල ඔපමට්ටම් කළෙත් අර මැණික් ගල ඔපමට්ටම් කරපු ක්‍රමයට මයි. ඒ යන්ත්‍ර-සූත්‍ර මයි ගත්තෙ. ඒවත් අරවා වගේ අරං ඒවා මයි ක්‍රියාත්මක කළේ. නමුත් කළු ගලෙන් හෝ තිරිවානා ගලෙන් හෝ කබොක් ගල් කෑල්ලෙන් හෝ පුලුවන් ද අර දියමන්තිය හරි අනික් මැණිකක් හරි ඔපමට්ට්ම් කරපු ඔපය මතුකරන්න? බැරිවෙන්න හේතුව තිබුණෙ අර යන්ත්‍ර-සූත්‍ර වල වත්, ඒ ඔප කරන ක්‍රමයෙ වත් වරද නෙමෙයි, අර ගලට තිබිච්ච උරුම ශක්ති විශේෂයේ හැටි.

 

මෙන්න මේවගේ, මේ “ත්‍රිහේතුක උප්පත්තියක්” කියන්නෙ අලෝභ, අද්වේෂ, අමෝහ කියන මෙන්න මේ හේතු තුනෙන් යුක්තව ලැබූ උපත. යම්කිසි කෙනෙක් පිනක්-දහමක්, සුචරිතයක් කරපුහම, අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන් කළා නම්, ඒ හේතුවෙන් කරගත්ත එකෙන් නැඟෙන ශක්ති විශේෂය අති දීප්තිමත්. අන්න එබඳු වන්නාවූ අලෝභ, අද්වේෂ, අමෝහ කුසළ කර්මයකින්, පුණ්‍ය කර්මයකින් එබඳු හේතුවකින් යමෙක් උපන්නා නම් අන්න ඒ ඉපදිච්ච පුද්ගලයගෙ තියෙන චිත්ත ස්වභාවය අති දීප්තිමත්. අන්න ඒ ඔහුගෙ හටගන්න “සහජ හිත” නැත්නම් “උපන් හිත” එබඳු දීප්තිමත් ස්වභාවයක් තියෙනවා. ඒ හටගන්න කර්ම ශක්තියෙන් හටගන්නවා මනස.

 

“මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඤ්ඤාණං” කියන සිද්ධාන්තයෙනුයි හිතක් හටගන්නෙ. එතකොට අන්න ඒ හටගන්න, මනස මූලිකව හටගන්න මානසිකත්වය, ඒකට ධර්මයන් වැදීමෙන් තමයි හිත් හටගැනීම හටගන්නෙ. දැන් අපි ඉතින් පොඩි උපමාවක් අරගමුකො, මෙහෙම දෙයක්. අපි හරක් හමක් අරගෙන බෙර පළුවකට බඳිනවා නම්, බෙරේකට හම බැඳලා ගන්නකොට, හම අදින්නෙ නැතුව බඳිනවා, එකක්. පොඟවපු හමක් බඳිනවා; ඒක වේලිලා නෑ. ඉතින් මේ විදිහට කඩතොළු වෙච්ච හමක් බඳිනවා, බැඳලා ගහලා බලනවා කෝටුවකින්. අතින් හරි කෝවුවකින් හරි බෙරේට තට්ටුකරලා බලනවා. අර නියම විදිහට පදම් කරලා, නියම විදිහට ඇදලා, නියම විදිහට වේළිලා තියෙන, ඒ හමට වදිනාවූ හඬ නඟන්න පුලුවන්ද අර පොඟපු හමෙන්? කඩතොළු වෙච්ච හමෙන්? නියම විදිහට ඇදපු නැති හමෙන්? දෝංකාරය ගන්න බෑ.

 

එහෙනම් ඒ වගේ යම්කිසි මේ බණ කියනකොට දහම් අවබෝධය ලැබෙන්නෙ කනට බණ ඇහිලා, ඒ තුළින් හිතට අරමුණ ඇවිදිල්ලා, ඒ අරමුණ ඔප්නැංවිලා ආපු දේ තුළින් තමයි යථාවබෝධය ලැබෙන්නෙ. යථාවබෝධය නැඟීම අර හොඳට ඇදපු හමට ගහපුවම හොඳ හඬක් නැඟෙනවා වගේ, ඒ වගේම ගැළපෙන ශබ්ද හඬක් නැඟෙනවා වගේ. නියම කම්පණය නැඟෙන්නෙ එතකොට, නියම විදිහට සංඥා නැඟිලා එන්නෙ එතකොට.

 

ඒ නිසා අර ද්විහේතුක පුද්ගලයට හෝ අහේතුක පුද්ගලයට තියෙන්නෙ අර “මන” කියන කොටස අර කර්ම ශක්තියෙන් ගොඩනඟලා තියෙන්නෙ දුර්වල කරලා. දුර්වල වූ මනකට අරමුණු වැදුනහම අවශ්‍යය කරන්නාවූ නියම තත්වය මනසට මතුකරලා දෙන්නෙ නෑ. ඒ නිසා කවදාවත් යථාවබෝධය ලබන්න තරම් තීක්ෂණ නුවණක් ඇතිවෙන්න ඒ අහන දෙයින් ඔහුට තේරුම්ගන්න බෑ. තේරුම්ගන්න බැරි නිසයි එයාට මාර්ග-ඵල අවබෝධ කරගන්න බැරි. ධ්‍යාන, මාර්ග-ඵල ලැබෙන්නෙ නැත්තෙ ඒකයි. මනස තීක්ෂණ වෙන්න ඕනෙ, මනස නිකං තීක්ෂණය කරන්න බෑ, අභ්‍යන්තර තීක්ෂණත්වය එන්න ඕනෙ. බාහිරින් තීක්ෂණ කරන්න හැදුවට හරියන්නෙ නෑ. කෝටුව කොච්චර හොඳට ගත්තත් පොඟවපු බෙර හමට තළලා නියම සද්දෙ ගන්න බෑ. කොච්චර දක්ෂ බෙරකාරයෙක් ගැහුවත් නියම හඬ ගන්න බෑ. මොකද, අර බැඳලා තියෙන හමේ තියෙන පළුද්ද නිසා; ඒකෙ තියෙන අඩුපාඩුව නිසා. ඒක හරියට කෙරුවා නම් තමයි ඒකෙන් නියම හඬ ගන්න පුලුවන්. නියම බෙර පදය වදින්නෙ එතකොට. ඒ වගේ තමයි, මනසට හඬ ලැබෙන්නෙත් ඔය ක්‍රමයට. මනසට දැනීම් ලැබෙන්නෙ ඔය පිළිවෙලට, ඒකයි හේතුව.

 

තවත් තියෙනවා නම් මොනවාහරි අහන්න එකක් තියෙනවා නම් අහන්න.

 

{1:33:05} : සම්පත්තියක් වගේ අපිව රවටන පංචකාම විපත්තිය නැමැති ඇම…

 

පංච කාම සම්පත්තිය අපිට මිතුරු වෙසින් ඇවිදිල්ලා අපි පිනවන, සතුටු කරවන දෙයක් හැටියට ලෝක සත්වයා හිතං ඉන්නවා. දැන් බුදුපියාණන් වහන්සේ මේකට උපමාවක් දේශනා කරනවා. යම්කිසි මනුස්සයෙකුට අසනීපයක් තියෙනවා නම්, ඔහුට ඇප-උපස්ථාන කරලා, ඔහු නිරෝගි කරන බලාපොරොත්තුවෙන් යම්කිසි මිතුරු වෙසින් කෙනෙක් එනවා. නමුත් ඔහු එන්නෙ උපක්‍රමශීලීව මොහු මරන්න, වසක් දීලා. ඒ බව හඟවන්නෙ නැතුව මිතුරු වෙසින් ඇවිදිල්ලා සැම ඇප-උපස්ථානයක් ම කරනකොට, අර උපස්ථාන ලබන්නා හිතනවා “මට හොඳ මිතුරෙක් හම්බුනා. මේ පුද්ගලයා බොහොම වැදගත් මට…” ඔය අදහසින් ඉන්නවා.

 

පහු කාලෙකදි ඔහුට තේරුම්ගන්න ලැබෙනවා ඔය මිතුරු වෙසින් ඇවිදින් ඉන්නෙ තමා මරලා යන්න, උපක්‍රමශීලිව මරලා යන්න, වසක් දීලා විනාස කරලා යන්න ආපු පුද්ගලයෙක් කියලා. ඔය ටික දැක්කා නම්, දැනගත්ත දාට “මේ මිතුරු වෙසින් මා කරා ඇවිත් තියෙන්නෙ හතුරෙක් නේද” කියලා ඔහු නිගමනය කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා අර මිතුරු වෙසින් හිතන් හිටපු කාලෙත් ඉඳලා තියෙන්නෙ මිතුරෙක්ද? ඒ කාලෙත් ඉඳලා තියෙන්නෙ තමන් නොදැන හිටියත් හතුරෙක් මයි.

 

මෙන්න මේ වගේ, පංචකාම සම්පත්තිය නැමැති හතුරා විනාසයට පත්කරන්න අපි කරා ඇවිදිල්ලා, අපි නොදන්න නිසා මිතුරෙක් හැටියට අපි හිතං ඉන්නවා. යම් දවසකදි මේ මිතුරෙක් හැටියට ඉන්න හතුරගෙ ස්වභාවය දැක්ක දවසට, මෙතෙක් කල් අපි වටා මේ එකතුවෙලා හිටියෙ පංචකාම සම්පත්තිය නැමැති හතුරො මිසක් මිතුරො නෙමෙයි කියලා දැනගන්නවා. එහෙනම් “මෙතෙක් කල් මිතුරෙක් කියලා මං රැවටිලා හිටියා මිසක්, මිතුරෙක් ඉඳලා නෑ නෙ…” කියලා දකිනවා.

 

එහෙනම් අපි “පංචකාම සම්පත්තියක්” කියන වචනෙන් හිතන් ඉන්නෙ “පංචකාම විපත්තිය” යථාර්තය නම් පංචකාම විපත්තිය. යථාර්තය දැක්ක දාටයි ඒක එහෙම කියන්නෙ, එතනක් අපි කියන්නෙ පංචකාම සම්පත්තිය. මොකද, ලෝකයා හැමවෙලේම මිතුරු වෙසින් අරගෙන ඉන්නවා පංචකාම. ඒ අතරත් අර ලෝක සම්මත කතාව මොකද්ද පංචකාම සම්පත්තිය. යථාර්තය හරියට වැටහුන දවසට පංචකාම සම්පත්තිය නෙමෙයි, පංචකාම විපත්තිය නෙ නියම වචනෙ කියලා දැනගන්නවා.

 

හැබැයි ඒ අය කිවුවොත් එහෙම අනික් අයට පංචකාමය විපත්තියක් කියලා, ලෝකයා කියනවා “උඹට පිස්සුද!” කියලා. අපි දැකලා තියෙන්නෙ පංචකාම සම්පත්තියක් හැටියට, අත්දැකීම තියෙන්නෙත් සම්පත්තියක් හැටියට. එහෙම එහෙකට කොහොමද විපත්තියක් කියන්නෙ කියලා, ඒ යථාර්තය කියන පුද්ගලයටත් ගරහන්න පුලුවන්. නමුත් යථාර්තය මොකද්ද? පංච කාමය “ඇමක්” වගේ ලෝක සත්වයා සසර දුකට ඇද දමනවා පස්සෙන් ඇවිදිල්ලා. මායා දර්ශනයක් හැටියට පෙනී හිටලා මුලාවට පත්කරනවා මිසක්, තෘප්තියට පත්කරලා පූර්ණ කරන එකක් නෙමෙයි.

 

එහෙනම්, ලෝක සත්වයාට අසහනකාරී මානසිකත්වයක් ගොඩනඟනඟා, සසර විඳව විඳවා ඉදිරියට ගෙනියනවා. අනන්ත සංසාරෙ පටන් ආපු පුදුම සූක්ෂම හතුරෙක්, හොයාගන්න බැරි නිසා ලෝක සත්වයාට, යථා ධර්මයක් එන තාක්කල් ඕක හොයාගන්න බැරි නිසා තමන්ට තනියෙන් බේරෙන්න ක්‍රමයක් නැති අන්තිම සූක්ෂම සතුරා තමයි පංච කාමය, සම්පත්තියක් වශයෙන් ඉන්නෙ, පස්සෙන් ඉන්නෙ. ධර්මය තුළින් තේරුම්ගත්ත දවසට තමයි හරියටම “මේ හතුරෙක් නෙ, පංචකාමය නැමති සම්පත්තියක් හැටියට ආවෙ හතුරෙක් නෙ, මේකනෙ මට තියෙන පළවෙනි විපත්තිය, මේකෙන් නේද මේ විනාසයට පත්වෙන්නෙ” කියලා අන්න ඇමක් හැටියට දකිනවා.

 

අර අපි අර ඉස්සෙල්ලා උපමාවක් කිවුවෙ, මාලු අල්ලන්න යන මනුස්සයෙක් බිලී කොක්කයි, බිලී පිත්තයි, රෑනයි, අල්ලගත්ත මාලු දාන්න ගොට්ටකුයි, ඇමකුයි අරං යනවා. අරං ගියාට පස්සෙ දැන් අපි අහනවා අර මාලුවට හිතට (යහපතට) එකක්වත් ඔතන තිබුණද? මාලුවන්ට යහපතක් කරන එකක්වත් ඔය මාලු අල්ලන්න යන මිනිහා ලඟ තිබුණද? මාලුවන්ට විනාසයක් ඇතිකරන දේවල් ම ඒ මනුස්සයා ලඟ තිබුණා මිසක්, වෙන එකක් තිබුණෙ නෑ. ඕකෙන් ගිහිල්ලා මිනිහා මොකද කරන්නෙ, අර බිලී පිත්තෙ පටලවලා, රැහැනේ අමුණලා, අර බිලී කොක්ක දාගෙන බලා ඉන්නවා ඉන්නවා මාලු අල්ලනකං, අහුවෙයිද එකෙක්වත්? එක මාලුවෙක් වත් ඒකට අහුවෙන්නෙ නෑ.

 

එහෙනම් එතන බිලී කොක්කයි, බිලී පිත්තයි, බිලී කොක්ක බඳින රැහැනයි, අර අල්ලගන්න දාගත්ත මාලු ගොටුවයි, ඔය හතර විතරක් අරගෙන මාලු අල්ලන්න ගියොත් එහෙම, එකෙක්වත් ඔය හතරෙන්ම අල්ලන්න බෑ. එහෙනම් මාලුවන්ට විනාසයක් සිද්ධවෙන්නෙ නෑ ඔය හතරෙන් වත්. හැබැයි ඔය හතරෙන් විනාස කරන්න “ඇම” කියලා එකක් ගෙනිච්චා. ඒක රසවත්. අන්න ඒක අමුණලා දැම්මොත් මොකද වෙන්නෙ, මාලුවන්ට අර මහා විනාසය සිද්ධ වෙනවා. එහෙනම් මාලුවන්ට විනාසය සිද්ධ කරන පළවෙනිම කොටස මොකද්ද ඔය ගෙනිච්චි ඒවයින්? අන්න, ඇම. ඇම නැති දවසට අනිකවා තිබුණත් වැඩක් නෑ. ඇයි අනික් සේරම මාලුවට විනාස කරන දේවල් වලින් රසවත්, ප්‍රිය කරන ඇම තමයි පළවෙනි උගුල.

 

ඒවගේ පංචකාම සම්පත්තිය නැමැති උගුල, ඇම තමයි මේ දුක නැමැති මේ කොක්ක පටලවාගෙන, දාගෙන, මේ සසර ගමනට ගෙනියන පළවෙනි උගුල. ඕක දැකපු දවසට පංචකාමය කියන්නෙ මහ විපත්තියක් මිසක් සම්පත්තියක් නෙමෙයි කියලා දකිනවා. එදාට අපි දකින්නෙ සම්පත්තියක් හැටියට නෙමෙයි, ඒක විපත්තියක් හැටියට. ඒක දකින්න ඕනෑ.

 

(ශ්‍රාවිකාවක් ): එතකොට ස්වාමීන් වහන්ස, ඒක පෙර අකුසළ කර්මයකට නෙමෙයිද?
(ස්වාමීන් වහන්සේ): දැන් පෙර අකුසළ කර්මයකට කියන, අකුසළ කර්ම වලටත් මුල් වුනේ, ඔක්කොම වුනේ අවිද්‍යාවයි, තෘෂ්ණාවයි දෙක. අවිද්‍යාව නිසා, තෘෂ්ණාව නිසා, ඒවයේ බලවත් කම නිසාමයි අකුසළ කර්ම කරලා තියෙන්නෙ. ගහලා හරි, මරලා හරි, කපලා හරි, කොටලා හරි, හොරකම් කරලා හරි, මංකොල්ලකාලා හරි, මොනවා කරලා හරි මගේ පංචකාම සම්පත්තිය විඳගන්න ක්‍රමයක් හොයාගන්න ඕනෙ. ඕකට තමයි ලෝක සත්වයා සියලුම අවැඩ කරලා තියෙන්නෙ, දස අකුසල් ම කරලා තියෙන්නෙ.

 

එහෙනම් දස අකුසළයට ලෝක සත්වයා නිකං බැඳුනෙ නෑ, සම්පත්තියක් මුල්වෙච්ච නිසාමයි, සම්පත්තියක් කියලා ගත්ත කාම ආස්වාදය නිසාමයි දස අකුසළයට ලෝක සත්වයා බැඳිලා තියෙන්නෙ. දැන් ඒ නිසාම තමයි අනන්ත අප්‍රමාණ සතර අපා දුක් විඳලා තියෙන්නෙ. පංචකාම සම්පත්තිය නැමැති උගුල නොතිබුණා නම් ලෝක සත්වයෙක් කවදාවත් සතර අපා දුකකට වැටෙන්නෙ නෑ, වැටෙන්න විදිහක් නෑ. එහෙනම් සතර අපා දුකට ඇද දමන පළවෙනි උගුල තමයි පංචකාම සම්පත්තිය වශයෙන් අපි අරං හිටපු ආස්වාදය. එහෙනම් ඒක තේරුම්ගත්තට පස්සෙ ඒක සැපක් කියලා අපිට නිගමනය කරන්න පුලුවන් කමක් නැතුව යනවා. අන්න දහම් අවබෝධයේදි ලැබෙන තීරණය.

 

{1:39:24}: දුක දකින්න නම් සැප “පිරි සිඳ” දකින්න ඕනේ

ඒ නිසා “සැප දුකක් හැටියට දකින්න, දුක උලක් හැටියට දකින්න, උපේක්ෂාව අනිච්ච හැටියට දකින්න, එතකොට වේදනා පිරිසිඳ දැනගත්තා වෙනවා” කියලා පෙන්නනවා {{ත්‍රිපිටක සූචිය}} වේදනාව පිරිසිඳ දැනගන්න නම් සැප දුකක් හැටියට දකින්න ඕනෙ; දුක උලක් හැටියට දකින්න ඕනෙ; උපෙක්ෂාව අනිච්චතාවයෙන් දකින්න ඕනෙ. මෙන්න මේ සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියන ටික මේ ආකාරයෙන් දැක්ක දවසට වේදනා පිරිසිඳ දැනගත්තා වෙනවා. වේදනා පිරිසිඳ දැනගත්තා නම් වේදනා නිරෝධ වෙනවා. වේදනා නිරෝධ නම් තණ්හා නිරෝධයි, තණ්හා නිරෝධ නම් උපාදාන නිරෝධයි, උපාදාන නිරෝධ නම් භව නිරෝධයි, භව නිරෝධ නම් ජාති නිරෝධයි, ජාති නිරෝධ නම් ජරා, මරණ, සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස සියල්ල නිරෝධයි.

 

දැන් ඕකට “වේදනාවක්, වේදනාවක්..” කිය කියා හිටියට වේදනාව පිරිසිඳ දකිනවා කියන එක වෙන්නෙ නෑ. “පිරි සිඳ” දකින්න කිවුවෙ, වේදනාව ලෝක සත්වයා ප්‍රිය කරනවා. සැප වේදනාව ප්‍රිය කරනවා, දුක් වේදනාවක් එනකොට ඒකෙන් වෙන්වෙලා ආයි සැප වේදනාවට යන්න ප්‍රිය කරනවා. දුක් වේදනාව ප්‍රිය කරන්නෙ නෑ, ඒක සමඟ ගැටෙනවා සැප වේදනාව පස්සෙ දුවන්න. උපේක්ෂා වේදනාවක හිටියොත්, ටික කාලයක් යනකොට “නෑ නෑ සැප වේදනාවට ආයි යන්න ඕනෙ…” කියලා ආයි අදහස එනවා. ආයි අර සැප වේදනාවට ම වැටෙනවා.

 

එහෙනම් “ප්‍රිය භාවය හිඳින්න” නම් ඒකෙ යථාර්තය දකින්න ඕනෙ. වේදනාව කියන්නෙ මොකද්ද? ඒකෙ ස්වභාවය මොකද්ද? ඒක දකින්න ඕනෙ. ඒ රූපය පෙණ පිඩක් වගේ දකින්න ඕනෙ. වේදනාව දිය බුබුලක් වගේ දකින්න ඕනෙ. ඕවා උපමා ඔක්කොම. සංඥාව මිරිඟුවක් වගේ දකින්න ඕනෙ, සංඛාර හරයක් නැති කෙසෙල් කඳක් වගේ දකින්න ඕනෙ. විඤ්ඤාණය මැජික් කාරයෙක් සහ මායාකාරයෙක් වගේ දකින්න ඕනෙ.

 

ඔය උපමා පහෙන් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ දැනගත්තහම පංචස්කන්ධයේ යථාර්තය දැනගත්තා වෙනවා. මේ පංචස්කන්ධය යථාර්තයෙන් දැනගත්ත දවසට පංචස්කන්ධය පිළිබඳ යම් ඡන්ද රාගයක් තිබුණා නම්, ඒකෙන් මිදෙනවා. පංචස්කන්ධයේ ඡන්දරාගයෙන් මිදුනහම යළි-යළි පංචස්කන්ධයක් ගොඩනඟන්නාවූ මුල් ධර්මය ඉවරයි. එහෙනම් පංචස්කන්ධය යළි ගොඩනඟන්නෙ නෑ. පිරිනිවන් පානකන් ඉතුරු පංචස්කන්ධය තියෙනවා, ඡන්දරාගයෙන් දුරුවෙච්චි පංචස්කන්ධය මතු භවයක් හටගන්වන්න හේතුවක් නෑ. එහෙනම් මතු භවයක් නෑ, මේ අන්තිම ජාතියයි. “අයමන්ති මා ජාති, නත්ථිදානි පුනබ්භවෝ” කිවුවෙ ඒකයි.

 

{1:41:45} : පෙරහැරේ සංකේත වලින් “පූර්ව දහම් හරය” දකින හැටි

 

දැන් මේ කාලෙ හුඟාක් දෙනෙක් මේ “සුන්දර බුද්ධාගම” ආදී වචන වලින් මේ පැරණි ආකල්ප, නැත්තම් පැරණි සාම්ප්‍රදායික වැඩපිළිවෙලවල්, මේ බෞද්ධ වැඩපිළිවෙලවල් විවේචනයට පත්කරනවා. දැන් ඔය අතරින් එකක් තමයි පෙරහැර කියන එකත්. “පෙරහැර කියන එක පස්සෙ හදාගත්ත කාලෙන් එකක්, බුදුරජාණන් වහන්සේගේ එකක් නෙමෙයි, එතකොට මේ පෙරහරක් ගැන කතා කරනකොට මේ අද අපි දකින සංකේත ඔක්කොම නිකං මේ ලෝකයා මුළාවට පත්කරන, නිකං විනෝද වැඩපිළිවෙලක්, ළමයි නටවනවා…” දැන් මෙහෙම කියනවා. දැන් මේ පෙරහැර කියන එක තේරුම් අරං නෑ, ඒකෙ තියෙන දහම් අර්ථය.

 

අපි ගන්න යනවා එක්තරා “හරයක්”, සාරධර්මයක්. ඒ තමයි බෞද්ධ සාරධර්මය, විමුක්තිය සඳහා ගොඩනඟන සාරධර්ම. ඒ විමුක්ති සාරධර්මය ගොඩනඟාගන්න ඉස්සෙල්ලා “පූර්ව හරයක්” තියෙනවා; ඊට ඉස්සෙල්ලා පත්විය යුතු සාරධර්මයක්. මහාසාර ධර්මය ගන්න ඉස්සෙල්ලා පත්විය යුතු හරය. පෙරදී ලබාගතයුතු හරයට කියනවා “පෙර හර”. ඒ නිසා පෙරහැර කිවුවා.

 

දැන් බණ අහන්න පංසලට යන්න ඉස්සෙල්ලයි මේ පෙරහැර පවත්වගෙන යන්නෙ. එහෙනම් බණ අහනකොට “මහ හරය” ගත්තහැකි. ඒක ගන්න ඉස්සෙල්ලා පූර්ව හරයක් තියෙනවා ගන්න. ඒකට හැඩගැහෙන්න ඕනෙ, අවශ්‍යය පසුතලය හදාගන්න ඕනෙ. මනස හදාගන්න ඕනෙ පූර්ව හැඩතලයකට, හරවත් වැඩපිළිවෙලකට. මෙන්න මේ පූර්ව සාරධර්මයක් කරා මනස හැඩගහන වැඩපිළිවෙලට කියනවා “පෙරහැර”, පූර්ව හරය කියන එක. මහාසාර ධර්මය ගත්තහම චතුරාර්ය සත්‍යය අහන්න හම්බෙනවා, ඒක තමයි පංසලට ගිහාම හම්බවෙන්නෙ. පංසලට අහන්න කට්ටිය යනකොට, පිරිස එකතුකරගෙන යනකොට තමයි පෙරහැර කරගෙන යන්නෙ. එහෙනම් පෙරහැර පෙන්නගෙන තමයි යන්නෙ. පෙරහැරේ තමයි ඔක්කොම එන්නෙ.

 

දැන් මේ “පෙර හර” මොකද්ද? දැන් ඕක අපි දකින්න ඕනෙ. පෙරහැරේ අනුපිළිවෙලින් තියෙනවා, පිරිසක් ඉන්නවා. පෙරහැරක් හැදෙන හැටි. ඉස්සෙල්ලාම යන්නෙ හක්ගෙඩියක් පිඹගෙන. එක්කෙනෙක් ඉස්සෙල්ලම යනවා. හක්ගෙඩිය පිඹගෙන ගියාට පස්සෙ, ඊලඟට එනවා හේවිසි කාරයො. ඊටපස්සෙ එනවා බෙර කාරයො. ඊටපස්සෙ එනවා දවුල් බෙර කාරයො, අර මහා බෙරයක් අරගෙන “බං බං” ගාලා එකපාර ගගහා එන්නෙ, ඒ කට්ටිය ඊලඟට එනවා. අනුපිළිවලට යන හැටි. හේවිසි කාරයො එනවා, බෙරකාරයො එනවා, දවුල් බෙර කාරයො එනවා, ඔතනින් ආවට පස්සෙ, ඊටපස්සෙ එනවා කස පෙරහැර; කස ගහන කට්ටිය.

 

(ශ්‍රාවිකාවක්) : දැන්නම් ඉස්සෙල්ලම එන්නෙ කස කාරයො (ස්වාමීන් වහන්සේ): ඔවු, දැන් ගහන්නෙ ඒක, මොකද ඒවා මාරු කරගෙන නෙ. මොකද අර සෙනඟ ඈත් කරලා ගන්න ඕනෙවට, අරක ගහගෙන එනකොට මිනිස්සු පැනලා දුවනව නේ, ඉඩදීලා. ඒකට ඒක අරං තියෙන්නෙ; පාර හදාගන්න. නමුත් එදා තිබුණ ඒවා අනුපිළිවෙලින් තිබුණෙ. ඒ කස ගහන කට්ටිය ඊලඟට එනවා එතනින්.

 

ඉතින් එතෙන්ට ආවට පස්සෙ, ඊට පස්සෙ එයින් මෙහාට එනවා ඔය එක එක ජාතියෙ බොරු කකුල් කාරයො. ඊලඟට ඒ කට්ටිය එකතු වෙනවා. ඊට පස්සෙ නරි මූණ දාගෙන, බලු මූණ දාගෙන, අලි මූණ දාගෙන, ඔළුබක්කො නැටුම් කියලා කොටසක් එනවා, මිනිස්සු එක එක මූණු දාගෙන නටනවා, වෙස්මූණු දාගෙන. ආ.. ගිණිබෝල යනවා. ඔවු, ගිණිබෝල කැරකීම තමයි ඊලඟට එන්නෙ. ගිණිබෝල කැරකීම එනවා අරක ලඟට. ගිණිබෝල කරකවන එකට පස්සෙන් තමයි ඔය කියන ඔලු මුරේ එන්නෙ, එක එක විදිහෙ සත්තුන්ගෙ. ඊටපස්සෙ මොකද කරන්නෙ, ඔය එක්කලා එනවා මහා බඩ තියෙන නිලමෙලා, අනිත්සැරේ එනවා ඒ ඇඳගෙන කට්ටියක්, නිලධාරීන්.

 

ඔය කට්ටිය ආවට පස්සෙ කරන්නෙ, දැන් ඊට පස්සෙ නැටුම් කාරයො, එක එක විදිහෙ නැට්ටුවො (දේශනාවේ සුළු කොටසක් මඟහැරී ගොස් ඇත) එතකොට ඊලඟට මොකද කරන්නෙ, ඕකෙ අර කියන විදිහට එක එක විදිහෙ නැටුම් නටන, විහිළු-තහළු කාරයො, කොළොප්පම් කාරයො, ඔයවගේ කට්ටිය එනවා ඊලඟට. ඔවු, හොරණෑ කාරයොත් යනවා. දැන් අතනින් ගිහාම හක්ගෙඩිය ලඟට තමයි හොරණෑ කාරයො එන්නෙ. ඒකෙ අනුපිළිවෙලක් තියෙනවා (1:46:04 දේශනාව පැහැදිලි නැත) හක්ගෙඩිය යනවා, හොරණෑව යනවා ඒක තමයි අනුපිළිවෙලින් එන්නෙ.

 

ඊට පස්සෙ, ඒ ඔක්කොම ගියාට පස්සෙ ශාන්තව, සුදු කොඩි උස්සාගත්ත, සුදු ඇඳගත්ත ළමා පිරිසක් හරි එහෙම පිරිසක් එනවා ඊලඟට. එතකොට ඊලඟට රැස් වළලු අරගෙන පෙළක් අය එනවා, අර කොඩි අරගෙන, ඊටපස්සෙ මල් අරගෙන, රැස් වළලු අරගෙන, ඔය විදිහෙ දේවල් අරං එනවා ඊලඟට. දැන් මෙහෙම තමයි සාදු නාද දීගෙන ඒ කට්ටිය එන්නෙ පෙරහැරේ. අරගොල්ලො අර අර විදිහට යනවා. දැන් මේක තමයි මේ “සුන්දර බුද්ධාගම” කියලා අද කියන්නෙ, “සුන්දර බුද්ධාගමේ” ම කොටසක් තමයි පෙරහැර කියලා.

 

දැන් මේකෙ අපි සංකේතය දැකලා නැති නිසයි එහෙම සුන්දර බුද්ධාගම කියන්නෙ. බණ අහන්න ඉස්සෙල්ලා දැනගතයුතු හරය තමයි ඔය කියලා තියෙන්නෙ. බණ අහන්න පෙර දැනගතයුතු හරය ඕකෙන් දකින්න ඕනෙ; පෙරහැරෙන් දකින්න ඕනෙ. අන්න හක් ගෙඩියක් නාද කරගෙන ඉස්සෙල්ලාම යන්නෙ, “අද මේ පංසලේ සංඛ නාදයක් පවත්වනවා, ශුද්ධ නාදයක් පවත්වනවා…” සංඛය පිළිබිඹු කරලා තියෙන්නෙ ශුද්ධ හඬට, ධර්මශ්‍රවණයට, ධර්ම හඬට. දහම් හඬ සංකේතවත් කරන්නෙ සංඛ නාදයෙන්. අග්‍ර බ්‍රහ්මස්වර නාදය කියන එක පෙන්වන්නෙ සංඛ නාදයකින්, හක්ගෙඩියෙ හඬින්. මෙන්න මේක තමයි අද මේ පංසලේ පවත්වන්නෙ කියන සංකේතය තමයි සංඛ නාදයෙන් ඉස්සෙල්ලාම පෙන්නන්නෙ.

 

ඒ වාගෙම කනට මිහිරි, ධර්ම රටාවක, දහම් හඬ තුළ හොරයක් නෑ. හොරයක් නැති හඬට කියනවා “හොරණෑ හඬ”. හොර නැති හඬ අහන්න එන්න, වංචා-බොරු නැති හඬ අහන්න එන්න කියන එක තමයි හොර නැති හඬ අහන්න එන්න කියන එක තමයි හොරණෑ හඬෙන් පෙන්නන්නෙ ඊලඟට. ඔවු, දහම් හඬ හොර නෑ, ඒක ශාන්තයි-ප්‍රණීතයි. (දේශනාව පැහැදිලි නැත) ගුණයෙන් යුක්තයි. මිහිරියි, මධුරයි. අන්න ඒ හොර නැති හඬ අද පංසලේ පැවැත්වෙනවා, ඒක අහන්න එන්න කියන එක තමයි පෙරහැරේ හොරණෑ කාරයො පෙනන්නෙ. ඔය ඉතින් එකින් එකට යන හැටි.

 

ඊලඟට පෙන්නන්නෙ අපිට දැනගතයුතු ධර්මය, මොකද්ද පෙන්නන්නෙ? “හේවිසි” හඬ ඊලඟට පෙන්නන දේ. ඒකට කියනවා, හේවිසියෙ දෙපැත්ත ඒකෙ ඇස් දෙක. “බෙර ඇහැ” එහෙම කියන්නෙ. ඒකට අර කෝටු දෙකකින් අඩි වේගයෙන් කරකවලා ගහනවා, හරි වේගවත්. දැන් ඕකෙන් පෙන්නන්නෙ මොකද්ද? අපේ ඇස් දෙකට එන එක තමයි හේවිසි ඇස් දෙකෙන් පෙන්නන්නෙ. ඇස් දෙක කරා වේගයෙන් අරමුණු එනවා. කැරකි කැරකි අරමුණු එනවා වේගයෙන්. එන-එන අරමුණක් ඇත්නම් ඒ මුළා සහගත අරමුණ විසි කරන්න, ඒ කියන්නෙ පේන ඒවා, ඔය පේන ඒවා විසිකර දමන්න, අල්ලාගන්න එපා. ආවා-ගියා, ආවා-ගියා මිසක් ඕවා ඉතුරුවෙන්නෙ නෑ. අන්න ඒ සංකේතය තමයි හේවිසි හඬෙන් පෙන්නන්නෙ; බාරගන්න එපා කියන එක.

 

ඊලඟට ඊට වඩා වේගෙ අඩු ගැට බෙර හඬ එනවා. ඊට පස්සෙන් ඊලඟට එන කට්ටිය. (ශ්‍රාවිකාවක් හේවිසි පිළිබඳ ප්‍රශ්නයක් අසයි, ප්‍රශ්නය පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ): එතකොට, යනකොට අපි නිතරම හුරුවෙන්න ඕනෙ පාරෙ යනකොටම අහුවෙන ඒවා විසිකරලා දාන්න. පාරෙ යනකොට ලස්සන ඒවා ඇහේ පුරවගෙන ඇහෙන් ඇදලා ඇදලා ගත්තොත් එහෙම, හිතේ තියාගත්තොත් බණ අහන්න හම්බෙන්නෙ නෑ. ඔය පේන පේන ඒවා විසිකරලා පුරුදුවෙන්න යනකොට. ඒක තමයි විසිකරන්න කියන හරය දෙන්නෙ.

 

ඊටපස්සෙ අනික් සැරේ දෙනවා බෙරය. අපි කනට කියනවා කන් බෙරය කියලා. මේ “භේරි” කියන්නෙ බිහිරි කියන හඬ. “භේරි හඬ” කියනවා වෙලාවකට. කෑ-කෝ ගහන්න එපා, බෙරිහන් දෙන්න එපා, ඒවා නැතිකර දමන්න. ඒ හඬ මහ කරදරයක්. ඒකෙන් සිද්ධවෙන්නෙ දහමට බාදාවක්. මෙන්න මේක, හඬ හඳුනාගන්න. ඒක තමයි පෙන්නන්නෙ, මේක ආවා-ගියා මිසක් මේකෙ අල්ලන්න දෙයක් නෑ; අල්ලාගන්න එපා. ඒකෙ ස්වභාවය තමයි, ගැහැවුවා, ගහපු ගමන්ම හඬ ඉවරයි. ඒ වගේ තමයි අහන දේවල්. ඇහුවා-ගියා, ඇහුවා-ගියා මිසක් තියෙන්නෑ. අපි ඒක තමයි මේ සංකේතයෙන් පෙන්නන්නෙ, ඕකෙ තමයි ගැටගැහෙන්නෙ. කෑ-කෝ ගහමින් කටයුතු කරනකොට ගැටළු ලෙහාගන්න බෑ. ඒවා ගැටළු හැදෙනවා. ගැටළු සහිත හඬ මතුකරගන්න එක තමයි, ඒක මතකතියාගන්න ඕනෙ. “මෙන්න මෙහෙමයි ගැටළු හඬේ හැටි..” ඒක තමයි ගැට බෙර හඬ.

 

දන් ඊටපස්සෙ අරං එනවා තව එකක්, මොකද්ද අර බෙරේ ලඟට අරං යන්නෙ, “දවුල”. දැන් අපි මොකද කරන්නෙ හැමවෙලේම, දැන් දාහය නිසා අහුලන්න පටන්ගෙන ඉන්නවා. අහුවෙච්චි අහුවෙච්චි එක කකා ඉන්නවා. බඩේ බඩගිණි එනකොට, බඩේ දාහය එනකොට, හැමවෙලේම රහ දේවල් හොය හොයා කොච්චර හරි අහුල අහුල කන එක තමයි කරන්නෙ. දාහයට අහුලනවා, දාහයට අහුලනවා කියන්නෙ ආහාර ගන්නවා; කොච්චර හරි අරගෙන කනවා. අන්න ඒක දමයි දවුල ගහනවා කියන්නෙ. ඉතින් හැමවෙලේම කොච්චර හරි ඉවරයක් නෑ, හිත කම්පා කරවනවා, ආස්වාදයෙන් කම්පා කරවනවා. මෙන්න, රසයට ගිජු වෙන්න යන්න එපා, රසයට ගිජු වෙච්චි කෙනාටත් දාහය නිසා අවුලට පත්වෙන්න වෙනවා. දාහයට අහුල අහුල දාගන්නකොට දාහය ම ඇවිලෙනවා. එහෙනම් දාහය අවුලුවාගත්තොත් බණ අහන්න බෑ. ඕකත් තේරුම්ගන්න. ඔන්න ඕක තමයි දවුලෙන් පෙන්නපු සංකේතය.

 

දැන් ඔතෙන්ට යනකොට ඊට පස්සෙ, ඊලඟට තිබුණෙ කස ගහන එක. දැන් ඊට පස්සෙ පොඩි පොඩි වැඩ වලට රණ්ඩු-සරුවල් ඇතිකරගන්න එපා. ඕකෙ අවසානයෙ මහා ගිණි පුපුරක් විසිවෙනවා වගේ මහා සද්දෙට ලොකු විනාසයක් සිද්ධ කරනවා. ඔවා ඇදවෙලා යන්නෙ පටන්ගන්නකොට ම. ඇදේ කෙළවර මහා කම්පණයක් ඇතිකරනවා. ඒක තමයි ඇද ගහපු කසය ගහපුවම වෙන්නෙ කෘෂ භාවයට පත්වෙනවා, කෲර බවට පත්වෙනවා. කෲර බව ආශ්‍රය කරන තත්වයට පත්වෙලා ඔහු කෘෂ බවට පත්වෙනවා. කෘෂ බවට පත්කරන එකට කියනවා කසය. අන්න ඒකෙ තියෙන භයානක කම පෙන්නනවා. සෙල්ලමට පටන්ගත්ත පොඩි අමනාප වැඩපිළිවෙල අවසානය දක්වා ගෙනිච්චොත් මහා කම්පණයක් ඇතිකරලයි නවතින්නෙ කියලා ඒකෙ හැටි බලාගන්න. ඕකත් මතක තියාගන්න. ඒ රණ්ඩු-සරුවල් වෙවී යන්න එපා බණ අහන්න. එතකොට සිද්ධ වෙන්නෙ මෙන්න මේ පුංචියට පටන්ගත්ත එක ලොකු විනාසයකින් කෙළවර වෙනවා. අන්න ඒක තමයි කසයෙන් පෙන්නන්නෙ. කෘෂ බවට පත්වෙනවා, කෲර බවට පත්වෙනවා. (දේශනාව සුලු කොටසක් පැහැදිලි නැත) ඒකෙ හැටි මෙන්න මෙහෙමයි.

 

ඔවු ඊලඟට ගිණි බෝල කරවන්නෝ. දැන් ඔය තැනට ගිහාම, රාග ගිණි, ද්වේෂ ගිණි, මෝහ ගිණි හටගත්තහම, මෝහ ගින්නට බැඳුනහම අපිට පේන්නෙ හැමවෙලේම යන ගමන ගිණි ගමනක්. රාග ගිණි, ද්වේෂ ගිණි, මෝහ ගිණි නිසා ගිණි අරගෙන යන ගමන අපිට පේන්නෙ නෑ ගිණි බෝල හැටියට; එකින් එක එක එකතුවෙච්චි හැටියට. අපිට පේන්නෙ ගිණි රවුම් යනවා. සසර ගමන ගිණි ගෙන යන්නෙ මේ ලෝක සත්වයා. අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් දැවි දැවී, තැවි තැවී ලෝක සත්වයා යනහැටි තමයි අර ගිණි බෝල එක එක අතට කරකවලා පෙන්වන්නෙ. ඇලෙනවා-ගැටෙනවා, ඇලෙනවා-ගැටෙනවා. ඒකෙන් ඇලීමේ ගින්න රාග ගින්නයි, ද්වේෂ ගින්නයි. මෝහය නිසා මේක පටලවා ගන්නවා. එහෙන් පටලවනවා, මෙහෙන් පටලවනවා. ඒකෙන් පෙන්නනවා දෙපැත්ත පටලව පටලවා මේ ගමන යනහැටි. දැන් මෙන්න මේ විදිහට ඉදිරියෙ ගෙනිච්ච ඒවා ඔය විදිහට තේරුම්ගන්නෙ නැතුව ගියොත් සිද්ධ වෙන රාග ගිණි, ද්වේෂ ගිණි නිසා මෝහයේ පැටලිලා ගිණි සහගත ගමනක් යන්න වෙනවා, හොයාගන්න බැරිවෙන. අග-මුල හොයාගන්න බෑ. ඔක්කොම එක්කලා බැඳිලා, පැටලිලා, එකට වටවෙලා, රෝද ගහනවා, රවුම් ගහනවා, නිරෝධ කරන්න බෑ. ඔය රෝදයක් වගේ, රවුමක් වගේ ගින්නට කරකවනකොට පේන්නෙ ඒකයි. අන්න ගිණි ගමනෙ හැටි. ඔය ගිණි ගමන හඳුනගන්න. සසර ගමන ගිණි කියලා හඳුනගන්න. මේකෙ ගිණි චක්‍ර වල තමයි මේ ලෝකයා යන්නෙ කියලා දැනගන්න. ඒවා පටලවාගෙන තමයි මේ ඇලෙමින්, ගැටෙමින්, මුළා වෙමින් තමයි යන්නෙ කියලා බලාගන්න කියන එක තමයි ගිණි බෝල කරකැවීමෙන් ඔය පෙන්නුවෙ.

 

ඊලඟට යන්න තියෙන්නෙ, දැන් ඔයිට ඉස්සෙල්ලා එකක් තියෙනවා, ඇත්තු ගෙනියනවා. අන්න, මහන්තත්ත වෙන්න එපා. මහන්තත්වය පෙන්නන්න තමයි ඇතා අරගත්තෙ. ලොකු අය වෙලා, ගරණාදි කමට, ආඩම්බර කමට, මහන්තත්ත කමට යනවා ලෝකෙ. ඔන්න ලෝක සත්වයා යන ගමන ඔය විදිහට ගිහාම. රාග, ද්වේෂ, මෝහයෙන් ගිණිගත්ත සත්වයාට අත්වෙන දේවල්. මනස ඔක්කොම පහත් බවට පත්වෙලා, මහන්තත්ත වෙනවා. ගාම්භීර වෙලා, පුහු ආඩම්බරයෙන් හිස උදුම්මාගෙන, මේ විදිහට ඉන්නවා. අන්න ඇත් පෙරහැර යනවා. හොඳ ලස්සනට සැරසිලා, මහන්තත්ත වෙලා යනවා ලොකු අය කියලා හිතාගෙන. ලොකු කම් අත්හැරලා යන්න, ඔය ලොකු කම් එක්කලා යන අයට මෙහෙමයි වෙන්නෙ. ඒ ලොකුකම් වල හැටි බලාගන්න. ලොකුකම් කරපු එක්කෙනා තිරිසනෙක් වෙනවා, ලොකුවට මහත් වෙලා හිටියට ඕකා තිරිසනෙක්, ඇතා කියන්නෙ, අලියා කියන්නෙ. අන්න ඒ තත්වෙට පත්වෙන්න එපා, ඒ තත්වය බලාගන්න මේකෙන්.

 

ඉතින් ඔය තත්වෙට යන්න පුලුවන් මහන්තත්ත අය මහන්තත්ත වෙලා හිටපුහම, ඒක කරන්න බැරි අය මොකද කරන්නෙ, ලොකු අයගෙ ලොකුකම ගන්නවා. අරගෙන තමයි ඔලුව ලොකු කරගෙන ඉන්නෙ. අන්න “ඔලුබක්කො” නටනවා ඊලඟට. තමංගෙ ඔලුවෙ මට්ටම දන්නෙ නැතුව, මහ ඔලු පැළඳගෙන යනවා; අනුන්ගෙ ඔලු අරගෙන. ඔය තවත් මේ ලෝකෙ අල්ලගත්ත ක්‍රමයක්. ඉතින් නැති හිනාවක් අර ඔලුබක්කා ගෙ අර වෙස්මූණෙන් මතුකරගෙන, අභ්‍යන්තරයේ නැති එකක් පිටට පෙන්නාගෙන, ලොකුකම් පෙන්නගෙන, මහන්තත්තකම් පෙන්නගෙන, නැති අයත් පුහු අහංකාරකමේ යන හැටි. ඉතින් ඔය කට්ටිය යනවා ඊලඟට.

 

ඔය කට්ටිය යනකොට තව කට්ටියක් ඔය එක්කලා එනවා පිටිපස්සෙන්. අර බොරුකකුල් කාරයො. ලොකුකමක් නෑ උන්ගෙ, ලොකුකම් නෑ. ඒ වුනාට අපිත් පොඩි අය නෙමෙයි කියලා ලොකුකම පෙන්නලා උඩඟුකම පෙන්නනවා. බොහොම උඩඟුකමින් යනවා, උඩින් යනවා. හැබෑ කකුල් නැති නිසා බොරුකකුල් බැඳගෙන ඉන්නෙ. නැති ලොකුකම් පෙන්නන කට්ටියක් ඉන්නවා. ඒකත් මේ සමාජයේ, සසර ගමනට යන සමාජයේ හැටි, ඕකත් දැනගන්න. අර බොරුකකුල් බැඳගෙන, කෙට්ටු එකෙක් තමයි බොරුකකුල් බැඳගෙන යන්න දාන්නෙ. මොකද, මොනවත් ඇති හරයක් නෑ, ඒ වුනත් හරිම උඩඟුයි, හරිම අහංකාරයි, “හරි ලොකු මිනිස්සු අපි” කියලා පෙන්නන ගතිලක්ෂණය. ලෝකයා අතර ඉහළින් පෙනී සිටින්න හදන ගතිය. මෙන්න ලෝකෙ ගතියක්, මේකත් අරගන්න, මේ පෙර හරය දැනගන්න. බණ අහන්න ඉස්සෙල්ලා මේවා දැනගෙන ඉන්න ඕනෙ. මේවයින් සිද්ධවෙන්නෙ මේකයි කියලා දැනගන්න ඕනෙ.

 

ඊටපස්සෙ, ඕවා පස්සෙ ගිහාම මිනිස්සු නීචකම් කරනවා. මිනිහෙක් වෙලා ඉඳලා මිනිස් බල්ලෙක් වෙනවා, ඉතින් ලොකු බලු ඔලුවක් දාගෙනත් වන-වනා යනවා. මිනිස් හරකෙක් වෙනවා, හරක් ඔලුවක් ඔලුවෙ දාගෙන ඒකත් පෙන්න පෙන්නා, නරි ඔලුවක් දාගෙන නට නටා යනවා, කයෙන් මිනිහා, නමුත් ගති ලක්ෂණයෙන් තිරිසනා වෙලා. මෙන්න මේ මාර්ගයේ ගියාට පස්සෙ අන්තිමට අපිට හම්බවෙන තිරිසන් ලෝකෙ හැටි. මේකෙ මුල මිනිහෙක් වෙලා කරගන්න ඔය වැඩපිළිවෙල. ඔය ගතිලක්ෂණයෙ මූණුවරවල් ගන්න එපා. ඒක තමයි, ඒකත් දැනගන්න කියලා තමයි ඒ ඔලු දාගෙන පෙන්නන්නෙ.

 

ඊටපසේ යනවා නැට්ටුවො. ඒ කියන්නෙ වැඩකට නැති එක එක නැටුම් නට නටා, හැමතැනම ඒ ඒ පැත්තට, මේ පැත්තට හැරි හැරී, ලෝකයා මුළා කරන, නැට්ටුක්කාර වැඩපිළිවෙලවල්, රඟපෑම්, මෙන්න මේවා අපේ ලෝකෙ තියෙන තව දෙයක්. ඕවත් හඳුනාගන්න. (ශ්‍රාවකයෙක් ප්‍රශ්නයක් අසයි, ප්‍රශ්නය පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ): ඔවු, නිලමෙලත් එක්ක නෙ යන්නෙ. නෑ, නිලමෙලා යනවා ඒ එක්කලා, නැට්ටුවොත් යනකොට ඉස්සරහින් නිලමෙලා යනවා. ඒගොල්ලො යන්නෙ මේ නිල-තල දරාගෙන, බඩ මහතට ලොකුවට දාගෙන යනකොට, මේ ජරාව කාලා, ගොඩගහගෙන ඉන්න අයගෙ හැටි. ඒගොල්ලො පස්සෙ නට-නටා යන, රඟන පිරිස තමයි අර රඟ-රඟා යන්නෙ ඒගොල්ලන් එක්කලා. ඉතින් මේක තමයි මේ සමාජයක් විනාස වෙන හැටි. මේ දූෂ්‍ය සමාජයක කවුරුත් ඔයටික දැනගන්න.

 

ඕක දැනගත්තට පස්සෙ මොකද කරන්නෙ, ඕං ඔය ටිකෙන් අහක් වෙලා, හදවත් පිරිසිදු කරගෙන නිදහස් කරගන්න, අන්න සුදු ඇඳුම් ගත්ත ළමයි කොඩි අරගෙන, සාදුකාර එහෙම දීගෙන යනවා ගුණයට නැමෙන්න. ඔන්න ඔය පූර්වයෙන්, බණ අහන්න ඉස්සෙල්ලා මෙන්න මේ ටික දැනගෙන, ඒවයෙ ආදීනව දැකලා, අහක් වෙච්ච සාන්ත බවට, නිදහස් බවට පත්වෙච්ච පිරිසිදු හදවතින් යුක්තව, අපිත් එක්ක එන්න පන්සලට ගිහිල්ලා අර සංඛ නාදය අහන්න, හොර නැති හඬ අහන්න, කියලා තමයි එක්කයන්නෙ. ඔන්න ඕක තමයි පෙරහැරේ ආධ්‍යාත්මිකව තිබිච්චි සංකේතය, බෞද්ධ සංකේතය.

 

දැන් ඕක අවංකව බැලුවොත් “සුන්දර බුද්ධාගම” තමයි. බුද්ධාගම කොහොමත් සුන්දරයි, බුදු දහම සුන්දරයි. “දර සුන්” කරන එකක් නෙ බුදු දහම, ඒකයි සුන්දර කියන්නෙ. දර වලින් කරන්නෙ ගිණි අවුලුවන එක. දර සුන් කරපුහම ඇවිලෙන ගින්න නිවෙනවා. එහෙනම් සුන්දර බුද්ධාගම කිවුවට වැරදිලා නෑ. හැබැයි කියන්නෙ ඒ අදහසින් නෙමෙයි, ඕක “සුන්දර බුද්ධාගම” කියන වචනෙ හරි, දර සුන් කරන බුදු දහමයි ඔය. දර නිසා, උපාදානය නැමැති දර දාපුහම භවයට ගිණි ඇවිලෙනවා. ඉතින් ඒ නිසා උපාදානය අහක් කරපුහම, දර අහක් කරපුහම, දර සුන් කළා. සුන් කළහම සුන්දරයි.

 

ඉතින් “ආනන්දය, මා උපන් රට කෙතරම් සුන්දරද” කියලා බුදුරජාණන් වහන්සේ අහපුහම, අපේ අය හිතනවා කොයි තරම් ලස්සනද, කොයි තරම් ආසා කරන එකක් ද කියලා හිතාගත්තා කියලා. ඒ උපන් රටේ ස්වභාවය තුළ, ශාන්ත පරිසරය තුළ මේ උපාදානයන් සුන් කරන්න පරිසරය කොච්චර ඒකට ගැළපෙනවද කියලයි ඇහුවෙ. මේ අද හිතං ඉන්නෙ පිරිනිවන්පාන නිසා ලෝකෙට ආසාවෙන් පස්ස බැලුවා කියලා. ඔහොම සින්දුත් හදාගෙන තියෙනවා. හදාගෙන අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආසාවක් කියලා උපහාසාත්මක සින්දුත් ගොතලා තියෙනවා මෙහෙම මහා ආගමික නායකයෙක් පස්ස බලලා තමංගෙ රටේ ලස්සන කිවුවා කියලා. ඉතින් මුළාවට පත්වෙච්චි අදහස් වලින් ඔහොම ලෝකයා මුළා කරනවා.

 

එහෙනම් “සුන්දර” වෙනවා නිවන් දැක්කහම. “ශාන්ත, සුන්දර අමාමහ නිවන්” කියන එකේ අර්ථයකින් ඒ වගේ අර්ථයක් තියෙනවා. “ස” කියන වචනයෙන් පෙන්නන්නෙ සහිත බව, නැත්නම් ලෝකය. අන්තයට පත්කරනවා කියන්නෙ කෙළවරට පත්කරනවා. සුවයි සුවයි කියලා අල්ලාගත්ත ලෝකය අන්තයට පත්කරපුහම කියනවා, සාන්තයි. ඒ සාන්ත වූ, එතකොට සාන්ත, සුන්දර. දර නැමැති උපාදානය සුන් කර දැම්මහම සුන්දරයි. මැරෙන්න දෙයක් ඉතුරුවෙන්නෙ නෑ, පවතින දේකුයි මැරෙන්නෙ. මැරෙන්න එතන දෙයක් නැති නිසා “අමා” වෙනවා. වාන් සහිත වන්නාවූ බැමි වලින් මිදිලා නික්මුණ නිසා මහා නික්මීමට කියනවා “අමා මහ නිවන්” කියලා. සාන්ත, සුන්දර, අමාමහ නිවන් ශාන්තිය කියනවා.

 

ඕක ඉතින් ලෝකයා දකිනවා “හරි සාන්ත, හරි සුන්දර, ලස්සන පැත්තක් වෙන්ටැ, ආයිත් මැරෙන්නෑ ඒකෙ ඉපදුනොත් කවදාවත්, එහෙම එකක් වෙන්ටැ මේ නිවන කියන්නෙ” කියලා හිතාගන්නවා දන්නැත්නම්. ඉතින් ඔන්න පෙරහැරේ කියන පූර්ව හරය ඕකයි. ඔය හරය දැකපු කෙනෙක් බණ අහපුහම තමයි ලොකෙ හැටි දැකලා, ලෝකය කෙරෙහි දැකලා, ඒ පිළිබඳව ආදීනව දැකලා, ඒකෙන් අත්හැරීමේ නිදහස, නිවනේ ආනිසංස දැකලා, ඒක මූලික තේරුමට අරගෙන, “අන්න ඒ නිවනට පත්වෙන බණක් අහන්න අපි යං, හොර නැති හඬක් අහන්න, ශුද්ධ හඬක් අහන්න යං” කියලා පිරිස පස්සෙන් එනවා ඒකට. ඕක තමයි අපේ තිබිච්ච පෙරහැර. දැන් පෙරහැරේ අර්ථය අද යටපත් වෙලා. සෑම දෙයක් ම ඒ වගේ. පූජා, පෙරහැර, හැම දේකම අර්ථ ඔහොම යටපත් වෙලා තියෙන්නෙ.

 

ඉතින් ඕවා, ඔය සාම්ප්‍රදායික ක්‍රම නැතිකරන්න ඕනෙ නෑ, ඒ සංස්කෘතියට පහර ගහන්න ඕනෙ නෑ, ඒකෙ යථා අර්ථය දැනගන්න ඕනෙ. එතකොට ආයි සැරයක් අර පෙර තිබිච්චි දහම් අදහස මතුවෙනවා. “ඕවා වැඩකට නැති ඒවා, නිකං මුළා සහගත වැඩ, මෝඩයින්ගෙ මෝඩකම්…” ඔහොම කියලා ඕවා කපලා දැම්මහම මෙච්චර කල් ගෙනාපු සාරධර්මය දකින්න බැරුව, සීයට තිහක් කපලා දැම්මා වෙනවා. ඉතින් ඕක ඇහුවා නම්, ඊටපස්සෙ කවදාවත් අහගත්ත කෙනා ඔතන පටන්ගෙනම අර පෙරහැර දකිනකොට ඔය අනුව දකිනවා මිසක්, ආයි වෙනස් විදිහට දකින්න දැන් විදිහක් නෑ. අර්ථය වැහිච්ච නිසා තමයි පෙරහැර දැකලා “අද නම් පෙරහැර හරි ලස්සනයි” කියලා යන්නෙ. අලි මෙච්චර හිටියා, ඔහොම කිය කියා ඉතින් කියනවා. ඒ වුනාට “පෙරහර” දැකලා නෑ.

 

{2:05:01} : සෝවාන් වදනෙහි විවිධ නිරුක්ති අර්ථ

 

(ශ්‍රාවිකාවක්): මේ සෝවාන් කියන එකේ පද නිරුක්තියක් තියෙනවද ස්වාමීන් වහන්ස? (ස්වාමීන් වහන්සේ): සුව අතට පත්වුනා නම්, සුව අත පත් හෙයින් සෝතාපන්න කියනවා. සුව අතට පැමිණුනු කියන එක තමයි “සෝ අත පන්න”, සුව අතට පත් කියන එකයි. සුව අතට පත්වෙන්න, “නිවන හැර, තපෝ ගුණය හැර, බොජ්ඣංග ධර්ම හැර, ලෝකයාට තවත් සුවයක් නොදකිමි” {{ත්‍රිපිටක සූචිය}} අන්න ඒ සුව අතට පත්වෙච්ච නිසා කියනවා සෝතාපන්නයි. ඒක වචනයේ පද නිරුක්තිය.

 

“සෝත ආපන්න” කියලා ඒ වගෙම තව එකක් තියෙනවා. ඒත් ඒකටම ගැළපෙන නිරුක්තියක්. “සෝත” කියන්නෙ ගලන ගඟ. “ආපන්න” කියන්නෙ ආපස්සට එනවා. ගැලුවෙ ස්වභාවයෙන් පල්ලෙහට, ඒක ආපස්සට හරවාගත්තා වගේ. ඒ තව අර්ථයක්. ස්වභාවයෙන් පහත් බවට පත්වෙන්නෙ, දැන් උසස් පැත්තට ගලනවා. උඩ අත කියන්නෙ නිවන් පැත්ත, සැනසුම් පැත්ත. පහත් පැත්ත කියන්නෙ සතර අපා පැත්ත. ඒ පැත්තට ගලන්නෙ නැතුව අනික් අතට ගලනවා.

 

(ශ්‍රාවිකාවක්) : “සෝවාන්” කියලා වචනයක් නැද්ද ස්වාමීන් වහන්ස? (ස්වාමීන් වහන්සේ): “සෝවාන්” කියලා අපි සිංහලට කියනවා වචනයක්. “වාන්” කියන වචනයෙන් පෙන්නන්නෙ යම්කිසි, වාන කියන්නෙ බැම්ම කියන එකයි. “සුව බැම්ම” කියන එකයි එතනත් පෙන්නන්නෙ. ඒ සුවය කඩා යන්නෙ නෑ, සුවයෙ පිහිටන්න බැම්මක් බැන්දා වගේ. “සෝවාන්” කියන එකෙත් ඒ අර්ථය තියෙනවා. සුවයට බැඳපු බැම්ම. ඔය නොයෙක් ආකාරයෙන් අර්ථ ගත්තහැකි. පද නිරුක්ති වාක්‍ය වලට ඒ විදිහට යෙදෙනවා.

 

{2:07:26} : මහා බලසම්පන්න පටිභාන කවි අසා මෙත් විදර්ශනා කර්මස්ථාන වඩමු

 

අද මේ පිංවත් පිරිස සීල, සමාධි, ප්‍රඥා ගුණ පූර්ණය කරගෙන නිවන් සාක්ෂාත් කරගැනීම පරම අධිෂ්ටානය කරගනිමින්, සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ දහම් හරය තේරුම් අරගෙන, ඒ ධර්මානුකූලව යථාර්තය අවබෝධ කරගනිමින්, ලෝකයේ අසාරත්වය තේරුම් අරගෙන, ඒ වගේම නිවනෙහි තිබෙන්නාවූ නාථත්වය හෙවත් නිවනේ ශාන්තත්වය තේරුම් අරගෙන, එබඳු වන්නාවූ ඒ නිවන් ශාන්තිය උදාවේවා! ඒ වගේම ලෝක ධර්මතාවයේ අසාර ස්වභාවය වැටහී මේ අසාර වන්නාවූ ලෝකය පිළිබඳව තිබෙන්නාවූ ඡන්ද රාගය අත්හැරී, නොඇලී, මිදී ගොසින්, ඒකාන්තයෙන් ඒ නිවන් ශාන්තියේ අමා දොර ඇරේවා! යහපත උදාවේවා කියන්නාවූ අධිෂ්ටාන තබාගෙන, අපට මෙන් අනන්ත ලෝක සත්වයින්ටත් ඒ අමා ශාන්තිය එසේම උදා වෙත්වා! කියන්නාවූ මේ පරම අධිෂ්ටානයෙන් යුක්තව, අපි අද මේ කර්මස්ථානයන් වඩමින් ඒ උත්තරීතර වන්නාවූ ශාන්තිය උදාකරගන්න බලාපොරොත්තු වෙමු. සෑම සියලු දෙනාම ශාන්තව, නිසංසල වෙන්න ඕනෑ, එසේ වෙලා තමන් විසින් නෙත් අඩවන් කරගෙන, “මගෙන් වදින්නාවූ හුළං පොදක් වේවා, කිසිවෙකුට කරදරයක් ඉන් සිද්ධ නොවේවා! සැනසිල්ල, ශාන්තිය සියලු ලෝ සතුන්ට උදාවේවා!” කියන්නාවූ අධිෂ්ටානයෙන් මේ අප්‍රමාණ මෛත්‍රී චිත්තය අනන්ත ලෝක සත්වයින්ට පතුරුවමින්, අපි අද මේ ආකාර වන්නාවූ මේ කර්මස්ථානය වඩන්න බලාපොරොත්තු වෙමු. මේ මහා ශාන්තිය, තුනුරුවන් ගුණයේ අනන්ත ශාන්තිය, සියලු සත්වයින්ට පිහිටාවා! අප හැමදෙනාට පිහිටමින්, ඒ උතුම් වූ අමා ශාන්තිය උදා කරගන්න සමාධිය ලැබීමට හේතු වේවා! ප්‍රඥා පහල කරන්න හේතු වාසනා වේවා! කියන අධිෂ්ටානයෙන් යුක්තව, සංවර වෙලා, නිහඬතාවයෙන් යුක්ත වෙලා මේ භාවනාවට සමවැදිලා ඉන්න බලාපොරොත්තු වෙන්න. සංවරව අහං ඉන්න. කියන්න අවශ්‍යය නෑ, ඒ විදිහට බලාපොරොත්තු වෙන්න.

 

නිසසල දම් පද දුන් බුදු රජිඳුනි, ගුණ කඳ වැඳගෙන විමසනවා
නිසසල දම් මඟ සමවත ලබනට සම්බුදු නැණ ගුණ මඟ එනවා
නිසසල දම් පද සුවය ලබා අප නිසසල සමවත වෙත එනවා
නිසසල මුණි දම් සඟ යන තෙරුවන් පුදනෙමි, පිළිවෙත නගවනවා.

 

අම දම් රසය සැම සත වෙත පෙවේවා
සැම ලෝ සතගෙ භව දුක් කඳ නිවේවා
සැම සත වෙතට දම් අරුතය වැඩේවා
සැම සත නිවන් සුවයට අද හැරේවා

 

සම්බුදු නැණ නුවණ දුන් බණ පද අසලා
සම්බුදු නුවණ ගෙන සදහම් මුහු කරලා
සම්බුදු සුව ලබා ගුණ දම් මඟ වඩලා
සම්බුදු සමවතට පිවිසෙමු නැණ නඟලා

 

ලෝ සත විඳින මේ භව ගමනක ඇදෙනා
මායා, මුළාව ද වැටහී සැම ලෙසිනා
“පස් කම් සැපයි” යන මිසදිටු හැරලමිනා
සම්දිටු නිවන වේවා සතට ද ඉතිනා

 

සැම ලෝ සතම සිහි කර මේ ලෙස ඉන්නේ
සැම දස දෙස සතට මෙත් ගුණ සිතකින්නේ
නිවනට මඟ දෙවා බාදක හරිමින්නේ
අපි සෙත් පතමු අද මෙත් ගුණ සිතකින්නේ

 

තෙරුවන් මහා සමවත අද මතුවේවා
සැම ලෝ සතගෙ සැම භව ගිණි දුරුවේවා
අසම වු සම මුනිඳු වැඩි ලෙස සිහි වේවා
මුණි රජ ලඟ විලස සැම සමවතෙ වේවා

 

පෙර දිග වසන සත්වයෝද,
පෙර අනු දිග වසන සත්වයෝද,
දකුණු දිග වසන සත්වයෝද,
දකුණු අනු දිග වසන සත්වයෝද,
පසු දිග වසන සත්වයෝද,
පසු අනු දිග වසන සත්වයෝද,
උතුරු දිග වසන සත්වයෝද,
උතුරු අනු දිග වසන සත්වයෝද,
යට දිග වසන සත්වයෝද,
උඩ දිග වසන සත්වයෝද,
මේ මම ද, සියලු සත්වයෝ…

 

සංසාර දුකෙන් මිදෙත්වා!
සංසාර රෝගයෙන් මිදෙත්වා!
සංසාර භයෙන් මිදෙත්වා!
සංසාර ගින්නෙන් මිදෙත්වා!
සංසාර දාහයෙන් මිදෙත්වා!
සංසාර සෝකයෙන් මිදෙත්වා!
සංසාර රාගයෙන් මිදෙත්වා!
සංසාර බැම්මෙන් මිදෙත්වා!
සංසාර සයුරෙන් මිදෙත්වා!
සංසාර කතරෙන් මිදෙත්වා!
සංසාර අඳුරෙන් මිදෙත්වා!
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

 

මේ සසර පැවැත්මක් වන්නේද, මහා දුක් කඳ වන්නේය,
මේ සසර පැවැත්මක් නොවන්නේද, මහා දුක් කඳ නොවන්නේය,
මමද සියලු සත්වයෝ මහා දුක් කඳ දෙවන සසරෙන් මිදෙත්වා!

 

මේ සසර පැවැත්මක් වන්නේද, මහා රෝග කඳ වන්නේය,
මේ සසර පැවැත්මක් නොවන්නේද, මහා රෝග කඳ නොවන්නේය,
මමද සියලු සත්වයෝ මහා රෝග කඳ දෙවන සසරෙන් මිදෙත්වා!

 

මේ සසර පැවැත්මක් වන්නේද, මහා ජරා කඳ වන්නේය,
මේ සසර පැවැත්මක් නොවන්නේද, මහා ජරා කඳ නොවන්නේය,
මමද සියලු සත්වයෝ මහා ජරා කඳ දෙවන සසරෙන් මිදෙත්වා!

 

මේ සසර පැවැත්මක් වන්නේද, මහා ව්‍යාධි කඳ වන්නේය,
මේ සසර පැවැත්මක් නොවන්නේද, මහා ව්‍යාධි කඳ නොවන්නේය,
මමද සියලු සත්වයෝ මහා ව්‍යාධි කඳ දෙවන සසරෙන් මිදෙත්වා!

 

මේ සසර පැවැත්මක් වන්නේද, මහා මරණ කඳ වන්නේය,
මේ සසර පැවැත්මක් නොවන්නේද, මහා මරණ කඳ නොවන්නේය,
මමද සියලු සත්වයෝ මහා මරණ කඳ දෙවන සසරෙන් මිදෙත්වා!

 

මේ සසර පැවැත්මක් වන්නේද, මහා භය කඳ වන්නේය,
මේ සසර පැවැත්මක් නොවන්නේද, මහා භය කඳ නොවන්නේය,
මමද සියලු සත්වයෝ මහා භය කඳ දෙවන සසරෙන් මිදෙත්වා!

 

මේ සසර පැවැත්මක් වන්නේද, මහා හද ගිණි කඳ වන්නේය,
මේ සසර පැවැත්මක් නොවන්නේද, මහා හද ගිණි කඳ නොවන්නේය,
මමද සියලු සත්වයෝ මහා හද ගිණි කඳ දෙවන සසරෙන් මිදෙත්වා!

 

මේ සසර පැවැත්මක් වන්නේද, මහා දාහ ගිණි කඳ වන්නේය,
මේ සසර පැවැත්මක් නොවන්නේද, මහා දාහ ගිණි කඳ නොවන්නේය,
මමද සියලු සත්වයෝ මහා දාහ ගිණි කඳ දෙවන සසරෙන් මිදෙත්වා!

 

මේ සසර පැවැත්මක් වන්නේද, මහා සෝක ගිණි කඳ වන්නේය,
මේ සසර පැවැත්මක් නොවන්නේද, මහා සෝක ගිණි කඳ නොවන්නේය,
මමද සියලු සත්වයෝ මහා සෝක ගිණි කඳ දෙවන සසරෙන් මිදෙත්වා!

 

මේ සසර පැවැත්මක් වන්නේද, මහා රාග ගිණි කඳ වන්නේය,
මේ සසර පැවැත්මක් නොවන්නේද, මහා රාග ගිණි කඳ නොවන්නේය,
මමද සියලු සත්වයෝ මහා රාග ගිණි කඳ දෙවන සසරෙන් මිදෙත්වා!

 

මේ සසර පැවැත්මක් වන්නේද, මහා බැඳුනු බැමි වන්නේය,
මේ සසර පැවැත්මක් නොවන්නේද, මහා බැඳුනු බැමි නොවන්නේය,
මමද සියලු සත්වයෝ මහා බැඳුනු බැමි දෙවන සසරෙන් මිදෙත්වා!

 

මේ සසර පැවැත්මක් වන්නේද, අනන්ත දුක් ගිණි කඳ වන්නේය,
මේ සසර පැවැත්මක් නොවන්නේද, අනන්ත දුක් ගිණි කඳ නොවන්නේය,
මමද සියලු සත්වයෝ අනන්ත දුක් ගිණි කඳ දෙවන සසරෙන් මිදෙත්වා!
මමද සියලු සත්වයෝ අනන්ත දුක් ගිණි කඳ දෙවන සසරෙන් මිදෙත්වා!
මමද සියලු සත්වයෝ අනන්ත දුක් ගිණි කඳ දෙවන සසරෙන් මිදෙත්වා!

 

කාම ලෝක අනාථයි – රූප ලෝක අනාථයි
අරූප ලෝක අනාථයි – සියලු ලෝක අනාථයි
අතහැරීම නාථයි – අතහැරීම වෙත්වා!
නොඇල්ම නාථයි – නොඇල්ම වෙත්වා!
මිදීම නාථයි – මිදීම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!

 

කාම ලෝක අනාථයි – රූප ලෝක අනාථයි
අරූප ලෝක අනාථයි – සියලු ලෝක අනාථයි
අතහැරීම නාථයි – අතහැරීම වෙත්වා!
නොඇල්ම නාථයි – නොඇල්ම වෙත්වා!
මිදීම නාථයි – මිදීම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!

 

කාම ලෝක අනාථයි – රූප ලෝක අනාථයි
අරූප ලෝක අනාථයි – සියලු ලෝක අනාථයි
අතහැරීම නාථයි – අතහැරීම වෙත්වා!
නොඇල්ම නාථයි – නොඇල්ම වෙත්වා!
මිදීම නාථයි – මිදීම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!
නිවන ම නාථයි – නිවන ම වෙත්වා!

 

මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා
ඇට කටු දිරලා මහ පොළවට පස් වෙනවා
හැඩ වැඩ කියලා මෝඩයො මෙහි රැවටෙනවා
අතහැර මිදුන දවසට නිවන ම වෙනවා

 

මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා
ඇට කටු දිරලා මහ පොළවට පස් වෙනවා
හැඩ වැඩ කියලා මෝඩයො මෙහි රැවටෙනවා
අතහැර මිදුන දවසට නිවන ම වෙනවා

 

මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා
ඇට කටු දිරලා මහ පොළවට පස් වෙනවා
හැඩ වැඩ කියලා මෝඩයො මෙහි රැවටෙනවා
අතහැර මිදුන දවසට නිවන ම වෙනවා

 

 

~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~

 

දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://www.waharaka.com/listen/CD004-03