දෙවියන් ඇදහිය යුත්තේ කුමන ආකාරයටද?

deva-puja දේව පූජා
79 සං‍යුක්ත තැටියමූලික දේශනා

දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)

දෙවියන් ඇදහිය යුත්තේ කුමන ආකාරයටද?

{00:00} බෞද්ධයෝ දේව පූජා පැවැත්වීම බුදු දහමට පටහැනිද?

 

දැන් මේ තවත් ප්‍රශ්න කීපයක් තියෙනවා, “මා කාලයක් තිස්සේ කතරගම දේව පිළිමයකට පහනක් දල්වනු ලබයි. මා හට අර්ථය – ධර්මය අවබෝධ වූ පසු, එය නවතා දැමීමට මා හට අවශ්‍යය වී තිබේ. එසේ කිරීමෙන් මා හට අවැඩක් සිදුවේද? මේ දේව සංකල්ප සම්පූර්ණයෙන් බැහැර කළ යුතුද? දෙවියන්ට පිංදීම පමණක් ප්‍රමාණවත් ද?” කියලයි මේ අහන්නෙ.

 

දැන් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු ක්‍රමවේද හුඟක් තියෙනවා. දැන් අපි හිතමු, අපි යම්කිසි කෙනෙක් කෙරෙහි ගරු කරනවා, අපිට ලෙඩක් හැදුනහම බෙහෙතක් දෙන වෙද මහත්තයෙක් ඉන්නවා. අපි ඒ වෙද මහත්තයට යම්කිසි ආකාරයක ගතමනාවක්, මොනවා හරි බුලත් හුරුල්ලක තියලා හරි දෙනවා. අපි හිතමු ඔය දැන් තියෙන බටහිර වෙදකම නෙමෙයි, අපේ පැරණි සිංහල වෙද මහත්තයෙක් ලඟට ගිහාම අපි ඔය වැඩේ කරනවා.

 

හැබැයි, වෙද මහත්තයා දෙන බෙහෙතෙන් අපේ රෝගයත් සමනය කරලා, සැනසිල්ලක් එහෙම හම්බුනා නම්, අපි ඒ වෙද මහත්තයට බොහොම ගරු කරනවා. තමන්ට මොනවා හරි කරලා දුන්න ලොකු උදවුවකට, මාරාන්තික රෝගයක් හැදිලා, ඒකට ප්‍රතිකරම කරලා තමන් බේරගත්තාට, එහෙම උදවුවක් කරපු නිසා බොහොම ගරු කරනවා. මොකද, ඒක සාමාන්‍ය කෙනෙකුට කරන්න පුලුවන් දෙයක් නොවන නිසා, ඒක බොහොම වැදගත් ඉගෙනීමකින්, දැනීමකින්, ඥානයකින්, අපිව පරීක්ෂා කරලා බලලා, රෝගය හොයලා, රෝග නිධානය හොයලා, ප්‍රතිකර්ම දීලා සුව කළා.

 

දැන් මෙහෙම අවස්ථාවක් එනකොට අපි මොකද කරන්නෙ, එයාට ගරු කරනවා. ඒ වාගෙම අපිට ලැබිච්ච ලැබිච්ච වෙලාවක, ගහක – කොලක ගෙඩියක් හැදුනත්, අර කරපු උදවුවට කෘතෝපකාර කරන ගුණයෙන් ගිහිල්ලා, වත්තෙ තියෙන පලතුරු ටිකක් හරි හම්බුනහම, ගිහිල්ලා දීලා එනවා. මොනවා හරි, තව කීයක් හරි අතේ තියෙනවා නම්, ඔය බුලත් හුරුල්ලක් සම්බන්ධ කරලා හරි දීලා එන සිරිතක් තියෙනවා. දැන් අපි හිතමුකො, අපිට කරපු උදවුවට කෘතෝපකාරයක් කරනවා, යම්කිසි උදවුවක් තියෙන නිසා. දැන් බුදුරජාණන් වහන්සේ තහනම් කළාද මේක ?

 

බුදුරජාණන් වහන්සේ දේශනා කළා “උපකාර කරන්නෝ දුර්ලභයි, කෘතෝපකාර කරන්නෝ පරම දුර්ලභයි” {{ත්‍රිපිටක සූචිය}} තමන්ට කළ උපකාරයක් දැකලා, ඒකට කෘතෝපකාරයක් කරන අය පරම දුර්ලභයි. එහෙනම්, මේ උපකාර දෙ ආකාරයි. එකක් තමයි නිවන් දකින්න උපකාර කරන එක, ඒ එකක්. අනික තමයි මේ සසරෙ පැවැත්මෙ යනකන්, මේ ලෞකික වශයෙන් අපිට අවශ්‍යය කරන යම්කිසි පෝෂණයක් ඇත්ද, ජීවත් වෙන්න අවශ්‍යයතාවයක් ඇත්ද, ඒ කටයුතු වලට උදවු උපකාර කර දීම. ලෙඩක් – දුකක් හැදුනම ඒවට අවශ්‍යය කරන බේත් – හේත් දෙනවා, ඉන්ඩ තැනක් හදලා දෙනවා, ඒ වාගෙම මොන මොනවා හරි වැවු – අමුණු හදලා දෙනවා, කෙත් වතු හදලා දෙනවා, ගොවිතැන් කරන්න ක්‍රම හදලා දෙනවා, මෙහෙම නොයෙක් ආකාරයෙන් අපිට අවශ්‍යය දේ හදලා දෙනවා, විවිධාකාර ක්‍රම වලින් උදවු කරනවා. යම් යම් අයට පුලුවන් විවිධ උදවු කරන්න. ඉතින් මෙන්න මෙහෙම යමෙක් උදවු කරනවා නම්, ඒ උදවු කරන අයට කෘතෝපකාර සැළකීම උතුම් ගුණයක්.

 

[03:36] සප්ත අපරිහානි ධර්ම වල හයවැන්න බලන්න

 

ඉතින් මේ වගෙ දේවල් කාලෙක පටන්ගෙන එනවා. මේකෙ දැනගන්න වැදගත් දෙයක් තියෙනවා, එක අවස්ථාවක අජාසත්ත රජ්ජුරුවො, බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කාලෙ වෙච්චි සිද්ධියක්. අජාසත්ත කියන රජ්ජුරුවො, ඔය ලිච්ඡවී රාජධානිය කියලා බොහොම සාරවත් රාජධානියක් තියෙනවා. ඔය රාජධානිය යුද්ධ කරලා අල්ලාගන්න ලෑස්ති වෙලා, තමංගෙ ඇමතියෙක් යැවුවා බුදුරජාණන් වහන්සේ ලඟට, පොඩි උපදෙසක් අරගන්න. ඒ ඇමතියා ගිහිල්ලා මේ සිද්ධිය බුදුරජාණන් වහන්සේට කියා හිටියා. “අජාසත් රජතුමා ලිච්ඡවී රාජ්‍යය අල්ලගන්න යන්න ලෑස්ති වෙලා ඉන්නවා, යුද්ධයක් කරන්න…”

 

මේ වෙලාවෙදි ඒකට උත්තර දෙන්නෙ නැතුව, ලඟ හිටපු ආනන්ද හාමුදුරුවන්ට, බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද හාමුදුරුවන් ගෙන්, “ආනන්ද…”, එදා ලිච්ඡවින්ට අර රෝග බය, අමනුස්ස බය, දුර්භික්ෂ බය ඇතිවෙලා විනාස වෙන්න ගිය රට බුදුරජාණන් වහන්සේ වැඩලා, ආශිර්වාද කරලා, ඒ සෙත් බලය මුල් කරගෙන, දුන්න උපදෙස් මුල් කරගෙන, බොහෝ සශ්‍රීක වුනා පහුකාලීනව. අන්න ඒ රටයි මේ විසාලා මහනුවර. එතකොට මොකද කරන්නෙ, බුදුරජාණන් වහන්සේ අර ඇමතියාට උත්තර දෙන්නෙ නැතුව, එයාට ඇහෙන්න ආනන්ද හාමුදුරුවන් ගෙන් විස්තර ඇහුවහම, කාරණා හතක් ගැන අහනවා.

 

“ආනන්ද, ඒ ලිච්ඡවින් පිරිසට අපරිහානී ධර්ම හතක්, සප්ත අපරිහානී ධර්ම කියලා. ඒවා ඒ අය රකිනවද?” ඒ එකින් එක ධර්මයන් විග්‍රහ කළා, ඔතනින් හය වෙනියට විග්‍රහ කරපු කාරණය තමයි, “ඒ ලිච්ඡවින් ගෙ රටේ එතෙක් තිබුණ ඔය දේවාල, කෝවිල් ආදී වශයෙන් තිබිච්ච, දෙවියන් අදහන ස්ථාන තිබුණා. ඒවට කරන්න තිබිච්ච ගරු සත්කාර, පූජා, ඒ අය තවම කරනවද?”

 

“ස්වාමීනී, ඒ අය තවම ඒක කරනවා. “

 

“ඒ කරන තාක්කල් ලිච්ඡවින් පරදවන්න බෑ. ඔවුන්ට අභිවෘධියක් මිස පිරිහීමක් නෑ…” මේ හයවෙනි කාරණය {{ ත්‍රිපිටක සූචිය }}

 

ඒ කාලෙදිත් ඕක අයින් කළේ නෑ. එහෙනම්, බුදුරජාණන් වහන්සේ ඒ රටේ තිබ්බ දෙවියන්ට, දේවාල – කෝවිල් වලට කරන පුද පූජා, දැහැමි වත් – පිළිවෙත්, ඒවා ඒ කාලෙ ඉටුකරනවද කියලා අහලා, ඒ ඉටුකරන තාක්කල් ලිච්ඡවින් පරද්දන්න බෑ කියලා කිවුවා නම්, ඒක මිත්‍යාදෘෂ්ඨියකින් වෙන එකක් හැටියට පෙන්නුවෙ නෑ.

 

[06:34] අපිට දෙවියන්ට කෘත ගුණ දැක්වුවට, අපේ හිස මත තියෙන්න ඕනෙ බුදු ගුණයි

 

හැබැයි, අපි එකක් දැනගන්න ඕනෙ. “නිවන් දකින බලාපොරොත්තුවෙන්” නම්, මොන මහා බ්‍රහ්මයා අදහන්න ගියත් මිත්‍යා දෘෂ්ටික වෙනවා, නිවන් දකින බලාපොරොත්තුවෙන්. යම්කිසි කෙනෙකුට, යම්කිසි ආකාරයකින් මේ මෙලොව ජීවත් වෙන කෙනෙකුට ඒ අන්‍යොන්‍ය සම්බන්ධය, ආශිර්වාදයක් අවශ්‍යයි. එබඳු ආශිර්වාදයක් හැබෑ නම්, අන්න ඒ ලබන ආශිර්වාදයක් මුල් කරගෙන, ඒවා ලැබෙන ක්‍රමවේද තියෙනවා. අන්න එහෙම ක්‍රමවේදයක දී ඒ පූජාවක් තියලා, තමන් විසින් කරන්නාවූ උපකාරයට කෘතෝපකාර දැක්වීමේ කිසි ප්‍රශ්නයක් නෑ.

 

හැබැයි ඉතින් ඕක පටන්ගත්තම, ඉතින් ඕක නෙමෙයි කෙරෙන්නෙ. එදා තිබිච්ච ක්‍රමයට වඩා වෙනස් ඒවා කරලා, බුදුන්ට වැඩිය දෙවියන් වඳින්න ක්‍රමයක් හදාගත්තා, දේව මණ්ඩලයම. ඉතින් වැඳගෙන ඉන්න කියලා ඉවරවෙලා කපු මහත්තයා පටන්ගන්නවා, “ශිවමස්තෲ නමෝ රාමං……” කියලා පටන්ගන්නවා. “….ඛන්ධ සේනා සමාගමඃ” කියලා ඉතින් ශ්ලෝකෙ පටන්ගන්නවා. ශිව මුදුන්පත් කරගෙන, රාම ට නමස්කාර කරනවා කියලා පටන් ගන්නවා, ඒ කියන්නෙ විෂ්ණු දෙයියන්ට. “ශිව නැමැති ඊෂ්වර මස්තකප්‍රාප්ත කරලා, රාම දෙවියන්ට නමස්කාර කරනවා, ස්කන්ධ කුමාර දෙවියන් සහිත සමාගමට නමස්කාර කරනවා…” කියලා මෙතන එහෙම එකක් පටන්ගන්නවා.

 

ඉතින් ඕවයෙ අර්ථ දැනගත්තහම කියන්න තියෙන්නෙ මොකද? “ඔක්කෝමලා එක්කලා ගිහිල්ලා බුදුන්ට නමස්කාර කරපල්ලා උඹලා ඔක්කොම. හැබැයි උඹලා කරන උදවුවට, මම උඹලට වෙනම පූජාවක් නම් ගෙනාවා” කියලා පූජාව දීලා එන්න ඕන්නම් දීලා එන්න.

 

[08:07] දෙවියන්ට “නමස්කාර” කිරීම සහ බුදු දහම “ඇදහීම” නිවැරදිව තේරුම් ගන්න

 

අර “නමස්කාර කරනවා” කියන වචනය තෝරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා, හැබැයි නමස්කාර කරනවා කියන්නෙ, “අදහනවා” කියලා ගන්නවා එකක්, ඒක නෙමෙයි. ඒ ක්‍රම දෙකක්. තමන්ගෙ යුතුකම් ඉටුකිරීමක් තියෙනවා. ඒකට මේ “ආර්ය විනයේ නමස්කාරය” කියනවා, තමා විසින් කළ යුතු ධර්මතාවයන් ඉෂ්ට සිද්ධ කරලා දෙන එක, ඒක එහෙම කරනවා. ඒක තමයි මේ ආර්ය විනයේ නමස්කාරය කියන්නෙ.

 

හැබැයි “අදහන්නෙ” බුදුරජාණන් වහන්සේයි, ඇසුරු කරලා. අපිට දහනයක් ඇතිවෙවී ඉන්නෙ මේ. මොකද්ද, දැවෙනවා. ලෝකෙ දැවි දැවී ඉන්න හින්දා, දැවීම අත්හරිනකොට “අදහන්න” ඕනෙ, දහනය අත්හරින්න ඕනෙ. එහෙනම්, මේ රාග-දහනය, ද්වේෂ-දහනය, මෝහ-දහනය නිසා දැවි දැවී ඉන්න කෙනා “අදහනයට” පත්වෙන්න ඕනෙ. අදහන කරනවා කියන්නෙ අදහනවා. නැත්නම්, රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය කරනවා නම් යම් මග-ක්‍රමයකින්, අන්න ඒකට මාර්ගයක් ඇත්ද, මාර්ගය ඇසුරු කිරීමට කියනවා, “මාර්ගය අදහනවා”. එය දුන්නේ යම්කිසි උත්තමයන් වහන්සේ නමක් ද, ඒ බුදුන් උදෙසා රාග, ද්වේෂ, මෝහ ක්ෂය කරන්න හෙවත් දහනය අත්හරින්න බුදුන් ඇසුරු කරනවා, දහම් ඇසුරු කරනවා, සඟුන් ඇසුරු කරනවා. ඒ නිසා කියනවා “ත්‍රිවිධ රත්නය අදහනවා” දෙවියන්ට පිං-පෙත් දෙන්න.

 

“අදහන” කියන ලක්ෂණය අරගෙන දෙවියන්ගෙන් වැඳුම්-පිදුම් ගන්න, ඒ ටික කරන්න යන්න අවශ්‍යය නෑ. ඒ හින්දා ඒ ඔය ටික තේරුම් අරන්, සදිසා නමස්කාරය කියන, දෙවුවරු නමස්කාර කරනවා කිවුවෙ මොකද්ද? යුතුකම් ඉටුකිරීම. ඒ ඒ අයට ඉටු කළ යුතු යුතුකම් එහෙම ඉටුකරන්න. ඉටුකරලා ආර්ය මාර්ගයට බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය අර කියන “අංජලිකරණීය” ගුණයෙන් යුක්ත ගතිය, ගුණය තියෙනවා, ඇසුරු කරන්න, නමස්කාර කරන්න, ඒ ටික කරගන්න, හිස්මුදුන් දීලා, දොහොත් මුදුන් දෙන්නෙ අන්න ඒකටයි. ඉතින් දොහොත් මුදුන් දීලා වඳින්න, ඒක වෙනම අංසයක්. ඒක කරන්න තියෙන්නෙ ත්‍රිවිධ රත්නයයි, අනික් අයට යුතුකම් ඉටුකරන්න.

 

[10.14] දේව ගුණ සිහි කර, නිවැරදිව කෘත ගුණ සළකන හැටි…

 

ඒ නිසා දේවාලෙට ගිහිල්ලා, දේවාලෙට පූජා වට්ටියක් තියලා, “ලොවට යහපතක්, ශාන්තියක්, මොනවා හරි කරලා දෙනවා නම් උදවුවක්, උපකාරයක්, යම් දේවතාවෙක්, ඒ දේවතාවන් උදෙසා මගේ මේ කෙරෙන්නාවූ පූජාවෝ පූජා වේවා!” කියලා පූජා කරලා එන්න. ඒක කෙරුවට කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි, තමන් දැනගන්න, මේ ලෞකික වශයෙන් කරන උදවුවක්, උපකාරයකට යම් සම්බන්ධතාවයක් දෙනවද, එක්කෝ එහෙම කරපු එකකට ගුණයක් සළකනවද, ඒකයි මේ කරන්නේ.

 

එහෙනම්, එදා හිටපු දේවතාවො යි දේවත්වයෙන් අදහන්නෙ කවුද? වැවු-අමුණු හදලා දීලා, කුඹුරු අස්වද්දලා දීලා, නොයෙක් ආකාරයෙන් කටයුතු කරලා, මිනිස්සුන්ට දැහැමින්, සාමයෙන් ජීවත්වෙන්න මඟ පාදලා දීපු අපේ ආදි පැරැන්නෝ බොහෝම වෙහෙස-මහංසි වෙලා ඒවා කළා. ඒවා කළේ මොකටද, තමන්ට කිසිම ලාබ කීර්ති ප්‍රසංසාවක් ගන්න බලාපොරොත්තුන්වෙන් වත් නෙමෙයි. “මේ අපේ ජාතිය, අපේ කුළය විනාස නොවී, මේ බෞද්ධ ගතිලක්ෂණ ලෝකයා අරගෙන, මේ මගින් යහපත සිද්ධ කරගත්තාවෙ, අපි ඒ අය ආරක්ෂා කරන්න ඕනෙ, අපේ පරපුර ආරක්ෂා කරගන්න ඕනෙ, යහපත් මාර්ගයේ යන හින්දා…” මෙන්න මෙහෙම ගුණධර්ම ඇතුව, බෞද්ධ ගුණධර්මයේ පිහිටලා ඒ කටයුතු කරපු අය, ඒ හේතුවෙන්ම දුන්න යහපත අනුවම අද ඒ දේවත්ව වල ඉන්නවා. අන්න ඒ පිරිස් තමයි ඔය කියන්නෙ.

 

ඉතින් ඒ පිරිස් වලට කරන්නාවූ යම්කිසි ආකාරයේ උපකාරයට කෘතෝපකාරය කළාට කිසි ප්‍රශ්නයක් නෑ, ඒක බුද්ධ දේශනාවෙ පෙන්වලා තියෙනවා, අභිවෘධියක් මිසක් පිරිහීමට හේතුවෙන්නෙ නෑ කියලා. හැබැයි ඕක තේරුම් අරගෙන, මේ ලෞකිකව පුංචි වැඩක් අල්ලාගෙන, ඔය වැඩේට බලාපොරොත්තුවෙන් බුදුන් දෙවෙනි කරන්න එහෙම යන්නෙ නැතුව, ඒ පළවෙනි දේ එහෙම කරගන්න.

 

මොනවා හරි, යම්කිසි එබඳු අය තවත් ඒ ආශිර්වාද කරනවා, නැත්තෙ නෑ, එහෙම ඒවා තියෙනවා. ඒ නිසා ඒ ආශිර්වාදයන් ලබාගන්න ඒ කරන කටයුතු කරලා, ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒ නිසා නමුත් අදහන්නෙ බුදුන් බව තේරුම් ගන්න. ධර්මයයි, සංඝ රත්නයයි, ඒ ත්‍රිවිධ රත්නය අදහනවා, “ත්‍රිවිධ රත්නය උදෙසා මාත් කරන වැඳුම් පිදුමක් ඇත්ද, ඒ ආශිර්වාදයත් ඔබලාටත් පුන්‍යානුමෝදනා වශයෙන් දෙනවා” කියලා, කෘතෝපකාර වශයෙන් ගුණයෙන්, එහෙම කරන්න. ඒක නම් කරන්නෙ ඉතින් කිසි ප්‍රශ්නයක් නෑ. ඊට එහා යන්න එපා, දෘෂ්ටිගත වෙන්නෙ නැතුව කරගන්න ඒ ටික.

 

[12:33] පුංචි ළමයින්ට දන් දීලා පිං අනුමෝදන් කළ සිරිත…

 

ඉතින් ඕවා දැනගෙන නෙමෙයි කපු මහත්තයා නම් ඉන්නෙ, දේවාලෙ කපු මහත්තුරු ඉන්නෙ ඕවා දැනගෙන නෙමෙයි. ඒගොල්ලො ඉතින් “ගැතියො”. මොකද්ද කරන්නෙ, “පස්වාන් දහසකට, පස්වාන් දහසකට, පස්වාන් දහසකට බුදු වෙන්න දෙයියනේ, දෙයි හාමුදුරුවනේ…” කියලා පටන්ගන්නවා. “මේ නර පණුවාට, නර ගැතියාට පිහිට වෙන්න…” කියලා පටන්ගන්නවා. පණුවෙක් වෙනවා අපරාදෙ ඒ මනුස්සයා. ඒ පණුවෙක් වෙන්න නම් යන්න එපා උන් අස්සකට. තමං තමංගෙ වැඩේ ඕන්නම් කරන්න, මං දන්නෙ නෑ ඉතින් ඔය පූජාවල් කොහේ කරන්න පුලුවන්ද කියලා. ඔය පූජාවල් ටික ගෙනිච්ච ගමන් රතට මොකක් හරි ඇඳගෙන, ගිහිල්ලා ඉඳගෙන, වැඳගෙන, ඒගොල්ලො තමයි ඕකට ඉදිරිපත් වෙන්නෙ. ඉතින් මට, ඒ ගැන මට විග්‍රහ කරන්න බෑ එතන ගිහිල්ලා ඒ වැඳුම, යාඥා කරන්න සම්බන්ධ වෙන්න කියලා.

 

ඉතින් මං දන්නෑ කරන්නෙ කොහොමද කියලා, නමුත් යම්කිසි දෙවියෙක් වෙනුවෙන්, තමන් දැහැමින්-සාමයෙන් උපයාගත්ත දෙයින් යම්කිසි පූජාවක් කරනවා නම්, ඒවාගෙම තුනුරුවන් උදෙසා දන්පෙත් දීලා පුන්‍යානුමෝදනා කරනවා නම්, එබඳු වන්නාවූ ඒ ආර්යයන්ට, ආර්ය ශ්‍රාවකයාට, “අතදරුවෙක් රකින්නාවූ, දෙමවුපියෙක් අතදරුවෙක් රකින්නා වාගෙ ඒ ආශිර්වාද ලබන්නාවූ දෙවියො ආරක්ෂා කරනවා” කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

 

ඉතින් ඒකෙ නරකක් නැහැ. ඒකයි, අර දේවාලෙ ක්‍රමයයි පටලවන්න බෑ. ඒක වෙන ක්‍රමයක්. ඉතින් තමන් තේරුම්ගන්න ඕනෑ, උපකාර කරන අයට කෘතෝපකාර කරන එක බොහොම හොඳයි. එහෙනම් මොනවා හරි ගොවිතැනක්-බතක් කරගත්තත්, කුඹුරට වී අස්වැන්නක් ගත්තත්, ඉස්සෙල්ලා අස්වැන්නක් අරගෙන, ඒ දෙවියන් වෙනුවෙන් පුන්‍යානුමෝදනාවක් සිද්ධ කිරීමටත්, පූජෝපහාරයක් සිද්ධ වෙන්න සමහර අය පුංචි ළමයින්ට දානයක් දෙනවා, කිරිබත් දානයක්, ඒවා එකතු කරලා. දීලා, ඒ ළමයින්ට දානෙ දුන්න පින ඒ ඒවා අස්වද්දපු, කරපු-කියපු ඒ දේවතාවො මුල් කරගෙන ඒ අයට අනුමෝදන් කරවනවා. ඒ අය ආශිර්වාද කරනවා. අන්න ඒක නියම ක්‍රමයක්! ඉතින් බුදුරජාණන් වහන්සේට හෝ ධර්මයට කියන එක වාගෙ තමයි, ඒ කාලෙ තිබිච්ච සිරිතක්, ඔය පුංචි ළමයින්ට තමයි ඒ දානෙ දුන්නෙ.

 

පුංචි ළමයින්ට දං දීලා කරන ක්‍රමයක් තියෙනවා, කිරිබත් දානෙයක් එහෙම දීලා, ඔය දේවතාවො හරි කැමතියි ඒ විදිහට. මොකද දේවතාවන්ට ඕනෙ කළේ නිවන් දකින්න නෙමෙයි, ඔය සැප-සම්පත් විඳගෙන තව ජීවත්වෙන්න. ඉතින් ඒ නිසා ඒගොල්ලො හුඟක් කැමතියි පුංචි දරුවන්ට. පුංචි දරුවන්ගෙ හිත් අරවගේ කිලිටි වෙලා නැති නිසා, ඒ දරුවන්ට දෙන දානෙ ආනිසංසයන් බොහොම වැඩියි කියන හැඟීමක් ඒ දේවතාවන්ටත් තියෙනවා. ඒ නිසා පුංචි ළමයින්ට කිරිබත් දානයක් දීලා එහෙම පිං දුන්නහම, ඒ දන්න කෙනෙක් කවුරුහරි පුන්‍යානුමෝදනා කරපුහම, ඒකෙන් අර දේවතාවො සතුටු වෙනවා. ඒ නිසා, ඒවගේ සිරිතක් ඒ කාලෙත් තිබුණා.

 

අදත් ඔය පූජා වට්ටි අරන් ඇවිල්ලා, ඒ දානයක් වශයෙන් අනික් අයට ඒ දුන්නහම, “අපි වෙනුවෙන් යම්කිසි කෙනෙක් මෙබඳු පූජෝපහාරයක් තියලා, ඒ අපි වෙනුවෙන් කළයුතු කාර්යයන් ඉෂ්ට කරලා, අපි වෙනුවෙන් අර දානයක් දෙනවා නේද…” කියලා සංතෝස වෙනවා. ඒ සංතෝස වෙන දේවතාවො, තමන්ට එහෙම උදවුවක් කරගන්න, තමන්ට තනියෙන් ඒ ලෝකෙ ඉඳන් කරගන්න බැරි නිසා එහෙම කරලා දෙන්නාවූ පිරිස් වලට සංතෝස වෙලා, ආරක්ෂා කරනවා, ආශිර්වාද කරනවා. ඉතින් එහෙම ක්‍රමයක් තියෙනවා, නැත්තෙ නෑ.

 

[15:35] දෙවි පිහිට ලබපු පාඨලී ගම ගැන ත්‍රිපිටක සාක්ෂි…

 

“පාඨලී ග්‍රාමය” කියලා ග්‍රාමයක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙ, අවසාන කාලසීමාවෙ සිද්ධියක් ඒ කියන්නෙ, ඔය “පාඨලී ග්‍රාමය” කියලා එක්තරා ගමක් ගොඩනැඟුවා දෙන්නෙක්. ඒ කියන්නෙ, එදා හිටපු ඇමතිවරු දෙන්නෙක්. බුදුරජාණන් වහන්සේ ඒ ගම කිට්ටුව ගිය මාවතක එක රාත්‍රියක වැඩ ඉන්නකොට දැක්කා දේවතාවො සිය ගණනක් යනවා එක පැත්තකට. කොහාටද මේ දේවතාවො යන්නෙ කියලා ආවර්ජනා කරලා බලනකොට දැක්කා, “පාඨලී ග්‍රාමය” නැමැති ගමක් හදනවා, “පළොල්ගම” කියලා කියන්නෙ, ඇමතිවරු දෙන්නෙක්. මෙන්න මේ ගම හදනවා දැකලා, ආවර්ජනා කරලා බලනකොට මේ දේවතාවො මොකද කරන්නෙ ගිහිල්ලා කියලා, අර මහා පිනැති, මහා පිං තියෙන, පිංවන්ත පුද්ගලයො අදත් හොඳ සුඛෝපභෝගීව ඉන්නවා. ඇමතිවරු, ඒවගේ තත්වෙ ඉන්න අය. ඒ අය හදනවා අර පාඨලී ග්‍රාමය, විශාල නගරය. ඔය නගරයේ හදන මන්දිර වලට රාජ-රාජ මහාමාත්‍යාදීන් ගෙන් උදවු ලැබෙනවා. මොකද වෙන්නෙ බලනකොට, මහේශාක්‍ය දේවතාවො, රාජ-රාජ මහාමාත්‍යාදී කොට්ඨාශ වලින් ආධාර ලැබෙන්න ඒ අය මෙහෙයවනවා. ඒවා බොහොම වේගෙන් හැදෙනවා, සශ්‍රීකත්වයෙන් නැඟෙනවා. මොකද, මහේශාක්‍ය දේවතාවො අර මහා පිනැතියන්ට කැමතියි, මහා පුන්‍යවන්තයින්ට. ඒගොල්ලො ඇසුරු කරලා ඒගොල්ලන්ට ආධාර කරනවා.

 

එතකොට, මධ්‍යමශාක්‍ය දේවතාවො කියලා කොටසක් ඉන්නවා. අර මහේශාක්‍ය කියන අයට වඩා පල්ලෙහයින්. ඒ අය මධ්‍යම මට්ටමේ පිං-දහම් කරලා ඉපදිච්ච, ඒ පුන්‍ය වාසනාව තියෙන පිරිස් අතර සාමාන්‍ය ස්ථාන වල, සාමාන්‍ය ගෙවල්-දොරවල්, ඒවට ආශිර්වාද කරනවා. සමාජයේ මධ්‍යම මට්ටමින් ඉන්න පිරිස් වලින් ආධාර-උපකාර ඒ අයට ලැබෙනවා, අර ඒවා හදන අයට. ඒවත් ශීඝ්‍රයෙන් හැදිලා එනවා.

 

ඒ වගෙම සාමාන්‍යයෙන් ඔය පිං අඩු, අල්පේශාක්‍ය පිරිස් ඉන්නවා. ඒ පිරිස් වලට මොකද කරන්නෙ, අර අල්පේශාක්‍ය දේවතාවො ඒ ස්ථාන වලට ආශිර්වාද කරනවා. ඔය නොයෙක් අයගෙන් ලබන උදවු-උපකාර ලබාගෙන, අත්කම් ආදී වශයෙන් තමන්ගෙන් ලැබෙන්නාවූ උදවු-උපකාර මුල් කරගෙන, වෙහෙස-මහංසි වෙලා කරන්නාවූ උදවු උපකාර දීලා, මේ ආදී වශයෙන් පුංචි අයගෙ ගෙවල්-දොරවල් එහෙම හැදෙනවා.

 

කොහොමහරි දේවතාවන් ගේ ආශිර්වාදය ලැබෙන මේ ගමට සශ්‍රීකත්වයක් නම් උදාවෙනවා කියලා දැක්කා. කවදා හරි මේ ගම හතුරන්ට නම් මෙල්ල කරන්න බෑ. ස්වභාවිකව එන්නාවූ විපතකින් විනාස වුනොත් මිසක්. මෙහෙම දෙයක් දැකලා ආනන්ද හාමුදුරුවන්ට ඊලඟ දවසෙදි ඔය කාරණය දේශනා කළා. ඊට පස්සෙ මොකද කරන්නෙ අර ඇමතිවරු දෙන්නා, ඒ ගම හදලා, බොහොම සශ්‍රීකත්වයෙන් ඔක්කොම ඉෂ්ට කරලා, එම ස්ථානයේ බුදුරජාණන් වහන්සේ වැඩමවලා, සංඝයා වහන්සේලාටත් එක්ක මහා දානයක් දීලා, පුන්‍යානුමෝදනාවක් කරනකොට බුදුරජාණන් වහන්සේ මේ කාරණය විග්‍රහ කරලා, ඒ දෙවියන්ටත් පුන්‍යානුමෝදනා කරලා, “මෙසේ කටයුතු කරන්නාවූ, යුතුකම් ඉටුකරන දේවතාවො, අපිට මෙබඳු යහපතක් කරලා දෙන මේ පිරිස ආරක්ෂා කළ යුතුයි” කියලා අතදරුවන් ආරක්ෂා කරන්නාවූ දෙමාපියො වාගෙ ඒ ගම් ආරක්ෂා කරනවයි කියලා විග්‍රහ කරලා දේශනාවක් කළා. {{ත්‍රිපිටක සූචිය}}

 

[19:08] දෙවියන්ගෙ පිහිට ලෞකික උපකාරයක් වුනත් නිවනක් දෙන්නෙ නෑ

 

ඉතින් ඒ නිසා, ඒවා බුදු දහමෙ තහනම් නෑ. යම්කිසි දෙවි කෙනෙක්ගෙන් පිළිසරණක්, පිහිටක් අරගෙන ඒ ආදී වශයෙන් තමන්ගෙ වැඩ කටයුතු කරගන්න එක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒවා දැනගන්න ඕනෑ නිවන් දකින්න නම් නෙමෙයි. ලෞකික වශයෙන් ලැබෙන ලාභ සකස් කරගැනීමේ අන්‍යොන්‍ය සහයෝගයේ කොටසක් බව. දෙවියන්ට කරගන්න බැරි දේ තමුන් කරලා දෙනවා, තමන්ට කරගන්න බැරි වෙන පැත්තක් තියෙනවා, ඒ පැත්ත දේව ආශිර්වාදයන් ගෙන් උදවු උපකාරයක් වශයෙන් ලැබෙනවා. අන්‍යොන්‍ය සහයෝගය, රැකවරණය, හොර-හතුරන්ගෙන් ආරක්ෂාව, කරදර වෙන්න නොදී රකින එක, ඒ වගේ දේවල් තමයි ඒ දේවාශිර්වාද වලින් ලැබෙන්නෙ.

 

 

~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~

 

දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://www.waharaka.com/listen/CD079-08