මහත්ඵල වූ ආර්ය සහ ලෞකික මෛත්‍රී භාවනාව

මෛත්‍රී metta භාවනාව
101 සංයුක්ත තැටියආර්ය මෛත්‍රියභාවනාවිදර්ශනාව

දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)

ලෞකික සහ ආර්ය අර්ථ සහිත මහත්ඵල මෛත්‍රී භාවනාව

 

{00:00} : මෛත්‍රී භාවනාවෙහි ආර්ය අරුත් පෙන්වා දෙන්න 

    තවත් මේ ප්‍රශ්නයක්, ආර්ය මෛත්‍රී භාවනාවේ සඳහන් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා යන පදයන්හි තේරුම විග්‍රහ කරල දෙන්න කියලා, මීට ඉස්සරත් මේක් විග්‍රහ කරලා තියෙනවා. කීප වතාවක්ම විග්‍රහ කලා. ඒ ප්‍රශ්නමයි මේ නැවත නැවතත් අහන්නෙ. දැන් මොකක්ද මේ පෙන්වන්නෙ? දෙපැත්තක අදහස් මෙතන තියෙනවා. එකක් ලෝකයට සාපේක්ෂකව දකින ක්‍රමය. අනික, නිවනට සාපේක්ෂකව දකින ක්‍රමය. ලෝකෝත්තර මාර්ගයට අනුව දකිනවා එකක්. ලෝකයට අනුව දකින ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රම දෙකෙන් එකක් ලොකු පිනක්. අනික නිවන් මගක්, නිවනට උපනිශ්‍රය වෙන නිවන හා සම්බන්ධ කුසල මාර්ගයක්. ඒකත් විශාල පිනක්.

 

{01:00} : ලෞකික මෛත්‍රියත් මහා පිනක්, නමුත් නිවන් දකින්න බැහැ

    මේ වෙනස තෝරගන්න ඕනි. එකක් අයින් කරා ප්‍රතික්ෂේප කරා කියන එක නෙවෙයි. “මා භික්ඛවේ පුඤ්ඤානං භායිත්ත” ආදී වශයෙන් මහණෙනි, පිනට බියවෙන්න එපා කියලා “සුඛං සේතං භික්ඛවේ අධිවචනං පුඤ්ඤන්ති” ආදී වශයෙන්, විග්‍රහ කරපු සූත්‍ර තියෙනවා “මඛාදේව සූත්‍රය”. (මජ්ඣිමනිකාය » මජ්ඣිමපණ්ණාසපාළි » රාජවග්ගො » මඛාදෙව සූත්‍රය)    බුදුරජාණන්වහන්සේම දේශනා කරනවා. මේ ලෞකික වශයෙන් කරන්නා වූ ලෝක සත්වයින්ට නිදුක් වීම, ලෝක සත්වයාගේ නිරෝගී වීම, ලෝ සතුන්ට සුවයක් සැනසිල්ලක් බලාපොරොත්තු වීම, ඒ කියන “නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා” කියලා වඩන්නා වූ මෙත් සිත පැතිරවීම, මහා පිනක් හැටියට විග්‍රහ කරලා පෙන්නනවා. හත් අවුරුද්දක් උන්වහන්සේ බෝධිසත්ව කාලේ ඒ විදිහට වඩලා මහා කල්ප 7 ක් යනකන්, ලෝකය විනාශ වීමෙදි හටගන්න, මහා විනාශ ගිනි ජාලාවටවත් අහුවෙන් නැතුව කල්ප 7 ගත කලා කියනවා, බඹ ලොව ඉපදිලා. ඒකෙ විස්තර කරලා පෙන්වනවා, ඒ තරම් බොහොම ආනිශංස තියෙනවා, ඒ නිසා ඒ පින නරක නෑ කියලා, පින හොඳයි, එපා කිව්වේ නෑ.

 

    හැබැයි ඒ සූත්‍රයේ අවසානයටම පෙන්වනවා, මම එදා ඒ ජාතියේ මෙත් සිතක් වඩලා, සක්විති රජ කෙනෙක් වෙලා හිටපු මඛාදේව රජ්ජුරුවෝ, නර කෙසක් පහල වුනාම, තමන්ගේ රාජ්‍ය, තවදුරටත් තමන්ගේ වැඩිමහල් පුතාට පවරලා, “පුතේ සක්විති රජකම කියන එක එහෙම පවරන්න බෑ. රාජ තානාන්තරය පවරපුවාම  සක්විති වත් පුරලා ඒ සක්විති ඒ චක්‍ර ආදී අවශ්‍ය කරන්නා වූ ඒ සක්විති වතෙන් සක්විති රාජ්‍ය තමන්ගේ පුණ්‍ය මහිමයෙන් ලබන්න ඕනි. ඔබ මෙන්න මේ වත පුරලා ඒ මම ලැබුවා වගේ ඒ ටික ලබාගන්න” කියලා උපදෙස් දීලා. උන්වහන්සේ තවුස් ජීවිතයට ගත වෙනවා. තවුස් ජීවිතය ගත කරලා ඔය කියන ලෞකික මෛත්‍රිය වඩලා, ඒ ජීවිත අවසානයේදී බඹලොව උපදිනවා. මෙහෙම ක්‍රමයක්.

 

    ඉතින් තම තමන්ගේ පුතාට, පුතාට මොකද කරන්නෙ එකින් එකට ඒ සක්විති පරපුරම ඔය විදියට උපදෙස් දීලා, අර  වගේ වනගත වෙලා, නැත්නම් අර වගේ අරණ්‍යගත වෙලා, ඔය කියන ලෞකික මෛත්‍රී භාවනාව වඩලා බඹ ලොවට යනවා. බොහෝ කාලයක් කල්ප ගානක් බ්‍රහ්ම අත්බැවකින් ඉන්නවා. ඉතින් යම්කිසි කෙනෙක් ඔය කියන උපදෙස කඩලා වයසට ගිහිල්ලත් අර සක්විති රැස් කර කර, අර සක්විති වශයෙන් ඉන්න  සම්පත් ඇති ලෝක සම්මත සම්පත් විඳ විඳ ඉන්නවා. අර කියන මාර්ගය කැඩුවා. “කළණ වැට” කියලා ඕකට කියන්නෙ. ඒ කළණ වැට බිඳ දැම්ම්ට පස්සෙ ඒ පරපුර එයින් ඉවරයි.

 

{04:24} : සක්විති කළණ වැට වගේම ආර්ය කළණ වැටකුත් තියෙනවා

    මෙන්න මෙහෙම කාරණයක් පෙන්නල කියනවා “ආනන්ද, එදා මම පිහිට වූ කළණ වැට ලෞකිකයි. ඒක නිවනට එහෙම හේතු වුනේ නෑ. ඒකෙ අවසාන පුරුෂයා වෙන්න එපා ඔබ කියලා, මං පුතාට ඒ කාලේ කිව්වා. එහෙම කිය කිය ආපු පරපුර යම් දවසක ගෙනිහිල්ලා ඒ පිය පුතු පරම්පරාවේ යම් පුතෙක් ඒක කැඩුවාද, එයින් ඒ කළණ වැට අවසන් වුණා. ඒ වගේ අදත් මම කළණ වැටක් පිහිටුවලා තියෙනවා. එදා කළණ වැටට වඩා ඒක වෙනස්. අද පිහිටපු කළණ වැට නිවනට හේතු වෙනවා. අර වගේ නැවත සසරට එන එකක් නෙවෙයි.  එහෙනම් මෙන්න මේ කියන කළණ වැට ඔබ ඉදිරියට ගෙනියන්න”.

 

    “ඕරත පුත්‍ර” කියලා හඳුන්වනවා. සහජාත දරුවෝ හැටියට බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ, දැන් ආනන්ද හාමුදුරුවන්ටයි මේ කියන්නෙ. “මෙහි අවසන් පුරුක ඔබ වෙන්න එපා. ඉදිරියට ගෙනියන්න. පරපුරෙන් පරපුරට මේ මං කියපු කළණ වැට ගෙනෙන්න. ඒක අවසන් කළොත් කවදාහරි, එදාට ආර්ය කළණ වැට අවසන්. ඒ අවසාන පුද්ගලයා වෙන්නැතුව  මේක ගෙනියන්න” කියලා උපදෙසක් දුන්නා.

 

    ඉතින් අන්න ඒ ආර්ය මෛත්‍රී භාවනාව කියන්නේ ඔන්න ඒ බුදුපියාණන්වහන්සේ දුන්න කළණ වැට. එදා මඛාදේව රජ්ජුරුවෝ වෙලා දීපු කළණ වැට තමයි අද ගෙනියන්නේ, “නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා” කියලා පෙන්නන ලෞකික කළණ වැට. පිනක්, බඹ ලොවට යන්නත් හේතු වෙනවා. හැබැයි ගිහින් ආපහු ඇවිදිල්ලා ආයේ සැරයක් සසර ගමනේ සැරිසරනවා. හොඳ වුනාට නිවන් නෙවෙයි. නිවනට උපනිශ්‍රයක් නෑ කියන එකයි පෙන්නුවේ.

 

{06:29} : ආර්ය කළණ වැට සම්පූර්ණයෙන්ම නිවන මූලිකයි

    නිවනට උපනිශ්‍රය වෙන්න නම් මොකක්ද කරන්න ඕනි. ඒකට හේතු කාරක වන කළණ වැට නිවන සම්බන්ධ වෙන්න ඕනි. “විවේක නිශ්‍රිත, විරාග නිශ්‍රිත, නිරෝධ නිශ්‍රිත, වොස්සග්ග පරිනාමී, මෙත්තා සහගත සති සම්බොජ්ජංගය වඩන්න, ධම්මවිජය සම්බොජ්ජංගය වඩන්න, විරිය සම්බොජ්ජංගය, ප්‍රීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ෂා සම්බොජ්ජංගය වඩන්න. මෙන්න මම ඔබලාට දුන්න නිවනට හේතු වෙන කළණ වැට”.

 

    මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ දීපු එක, අද කියන්න කියන්න හංගන්න හදන්නේ. හේතු ඇතුව විග්‍රහ කරල තියෙන තැන් දේශනා කරලා තියෙද්දි ඒ විග්‍රහය, හේතු, තැන් ඔක්කොම පෙන්නද්දී, හොරට බුදියන් ඉන්න එකා ඇහැරන්න බැරුවා වාගේ තවත් සමහර අය ඕක පිළිගන්නැතුව ඉන්නවා. අර ගත්ත මොට්ට ගතියම අරන් එනවා තවත් පෙළක් වෙලාවට. ත්‍රිපිටක ධර්මය තුළ තියෙන දේ කියා දුන්නත් අහංකාරකම් වලට, ලොකුකම් වලට, පිලිගන්නැති අය ඉන්නවා. දායක දායිකාවෝ නෙවෙයි, ඊට වඩා උසස් උත්තමයෝ හැටියට පෙනී සිටින අය. ඒකට කරන්න දෙයක් නෑ, නමුත් කවදාහරි තේරුම්ගනියි. ආර්ය කළණ වැට තේරුම්ගන්න ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා, ඒ වගේම ඒ දේශනා කළ සූත්‍ර තියෙනවා

 

    දෙවන මෙත්තා සූත්‍රය හෙවත් හලිද්දවසන සූත්‍රය (සංයුත්තනිකාය » මහාවග්ගපාළි » බොජ්ඣඞ්ගසංයුත්තං » සාකච්ඡවග්ගො » හලිද්දවසන (මෙත්තා) සූත්‍රය) කියලා සූත්‍රයේ හොඳට පැහැදිලිව මේ විස්තරය තියෙනවා. අපේ ගෞරවණීය ස්වාමින්වහන්සේලාටත් මතක් කරනවා නිකන්ම මේ හිනාවෙන්නේ නැතුව ඔය ආර්ය මෛත්‍රිය කියන්නේ මොකක්ද කීවම අන්න ඒ සූත්‍රය බලලා වත් හොයාගන්න. එතකොට තේරෙයි බුදුරජාණන් වහන්සේ දුන්න ආර්ය මෛත්‍රිය මොකක්ද? උන්වහන්සේ පහල කරපු මෙත්තා සහගත කළණ වැට මොකක්ද කියලා තේරෙයි. ඒ මඟ වැඩුවොත් ඒක නිවන් මඟ. ඒක තෝරගන්න ඕන.

 

{08:34} : ආර්ය අරුතෙන් “නිදුක් වේවා” කියන්නේ මොකද්ද?

    එහෙනම්, විවේක නිශ්‍රිත, විරාග නිශ්‍රිත, නිරෝධ නිශ්‍රිත, වොස්සග්ග පරිණාමී කියන මේ කාරණා හතර ලබන්න නම් ලෞකික භාවනාවක පිහිටලා බෑ. නිවනට උපනිශ්‍රය වෙන, ලෝකය අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත වශයෙන් දැකලා “අනේ මේ ලෝකේ කියන්නේ මෙහෙම කුණු ගොඩක්නේ”, ඔය මූලික අවබෝධයක් ලබාගෙන, “අනේ ලෝක සත්වයන්ට ප්‍රඥාවට මේක වැටහිලා, කවදාහරි මේ ප්‍රඥා ධර්මය තුලින් මේ කියන කුණු ගොඩින් මිදිච්ච දාට අනුපිලිවෙලින් ලෝක සත්වයා මේ දුක් කන්දරාවන්ගෙන් මිදෙනවනේ”. එහෙනම් ඉස්සෙල්ලම මොන දුකෙන්ද මිදෙන්නේ? මේ ධර්මාවබෝධයක් ලබාගත්ත දාට සතර අපා දුකින් මිදෙනවනේ. මහ දුකකින් මිදෙනවා. සෝතාපන්න ඵලයට පත්වුනාම සතර අපායට පත්වෙන දුකෙන් සදහටම නිදහස්. ආයේ නම් කවදාවත් සතර අපායේ යන් නෑ. මෙන්න පළවෙනි දුකෙන් නිදහස් වීමක් ආවා. “නිදුක් වුණා!”

 

{09:46}  :  ආර්ය නිරෝගී වීමත් බලමු එහෙනම්…

    හැබැයි මේ ආර්ය විනයෙහි පෙන්වන දෙයක් තමයි ලෝකයා හරි සන්තෝසයෙන් බාරගත්තාට, මේ කාමය කියන එක ගත හිත පෙලන රෝගයක් වාගේ. කාමයෝ රෝගයක්, මහා ලෙඩ ගොඩක්. මේ ආර්ය විනයේ උපමාව ඔය. මෙන්න මේ කාමය නැමති රෝගයෙන් පෙලි පෙලී තමයි මේ ලෝක සත්වයෝ දාහයෙන් දැවි දැවී ඉන්නේ, කාම දාහයෙන් දැවෙනවා. යම් දවසක මේ කාම රාගය, ව්‍යාපාදය කියන මේකෙන් දැවි දැවී, තැවි තැවී ඉන්නකොට කාම රාගයෙන් තැවෙනවා, ව්‍යාපාදයෙන් දැවෙනවා. දැවෙනවා, තැවෙනවා කියන එක තෝරගන්න. දැවෙනවා, තැවෙනවා. දැවෙනකොට පිච්චෙනවා. තැවෙනකොට තැම්බෙනවා. කාම දාහයෙන් තැම්බි තැම්බි ඉන්නවා. එතකොට මොකද වෙන්නෙ? තැවෙනවා, තැවෙනකොට අලුවෙන්නෙ නෑ පිච්චෙන් නෑ. අලුවෙනවට වඩා මෙහා හරියක්. යම් කිසි දෙයක් අරගෙන, කොළ ටිකක් අරගෙන හැළියක දාලා වතුර දාලා තැම්බුවොත් මොකද වෙන්නෙ? කොළ ටික තැවි තැවී, තැවි තැවී තියෙනවා, තැම්බි තැම්බි තියෙනවා මිසක් පිච්චෙන් නෑ, ගිනිගන් නෑ. ඊට වඩා ගිනිගන්න එකක් තියෙනවා. අර වතුර නැති ගින්නට දැම්මොත් එහෙම දැවිලා අළුවෙලා යනවා. ද්වේශය අන්න ඒ ගින්න වාගේ, රාගය රත්වෙච්ච වතුර වාගේ. ඔය දෙකේ වෙනස දකින්න. රාගයෙන් තැවෙනවා, ගින්නෙන් දැවෙනවා, ද්වේශයෙන් දැවෙනවා. “අභිජ්ජා, දෝමනස්ස” කිව්වේ ඔය දෙකට. අභිජ්ජාවන්ගෙන් තැවෙනවා, දොම්නසින් දැවෙනවා. ඔන්න ඔය දැවෙන, තැවෙන දෙකක් තියෙනවා. ඔන්න ඔය දැවෙන තැවෙන දෙකේ ස්වභාවය තෝරගන්න ඕනි.

 

    අන්න ඒක තෝරගත්තහම, රාගය කියන්නෙ මහා රෝගයක්, තැවෙනවා කොච්චර හරි. මේ රෝගයෙන් නිදහස් වෙන්න නම් එක පාරට බෑ. ඔය තැවීමෙන් නිදහස් වෙන්න යමක් කළ යුතුද, ඒ රාගයන්ගේ ආදීනව බලන්න ඕනි, වෙන් වීමේ ආනිශංස දකින්න ඕනි. රාගයන්ගේ ආදීනව බලන්නෙ මොනවයින්ද? අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත වශයෙන් දකින්න ඕනි. වෙන්වීමේ ආනිශංස දකින්නෙ කොහොමද? නිවන නිච්ච වශයෙන්, සුඛ වශයෙන්, අත්ත වශයෙන්, පරමත්ථ වශයෙන් දකින්න ඕනි. ඔන්න ඔය දෙක හරියට දැනගෙන යන්න ඕනි. ඉතින් අනිච්ච-දුක්ඛ-අනත්ත, නිච්ච-සුඛ-අත්ත මොනවද කියලා මීට ඉස්සර විග්‍රහ කරලා හොඳට, ඒවා අහපුවම ඒ පින්වතුන්ට දැනගන්න පුලුවන් ඔය ටික. මෙන්න මේ ටිකමයි දැනගන්න ඕනි එකින් එකට.

 

    සෝවාන් වෙන්නත්, සකෘදාගාමී වෙන්නත්, අනාගාමී වෙන්නත්, අරිහත් වෙන්නත් මොකක්ද කරන්න ඕනි? මේ පංච උපාදානස්කන්ධය අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත වශයෙන්ම බලන්න ඕනි. ඒ බැලීමම ප්‍රගුණ කරන්න ඕනි. කරගෙන කරගෙන යනකොට ඔය ටික වෙනවා. මෙහෙම පුරුදු කරලා, පුරුදු කරලා එන්න ඕනි අවශ්‍ය යථාර්ථය කරා. අන්න එතකොට මොකද වෙන්නෙ? ඔය දාහයයි නැත්නම් දැවීමයි, තැවීමයි, ඔය කියන්නා වූ රාගයයි, ද්වේශයයි දෙක ක්‍රමයෙන් තුනී වෙන්න පටන් ගන්නවා. අර රාග දාහය අඩුවෙන්න පටන් ගන්නවා. පෙර මෙන් දැවෙන් නෑ. උහුලන්න බැරි ගති නෑ. ලොකු සැනසුමක් ලබනවා. සකෘදාගාමී නැමති මාර්ග ඵලය ලබනකොට.

 

    ඒ මාර්ග ඵලයෙන් පස්සේ අර තිබිච්ච දැඩි බැඳීම නැතුව යනවා ලෝකෙට. මහා මසුරුකමක් තියෙනවා, ආශ්වාද දෙන වස්තු පිළිබඳ මසුරු ගතිය. ඒවා නෑ කවදාවත් එතෙන්ට ගියාට පස්සේ. ඒවායෙන් නිදහස් වෙච්ච ස්වභාවයක් තියෙනවා. රාගයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් නොවුනට, රාගයන් නිසා තැම්බෙන මට්ටමෙන් නිදහස් වෙනවා. ඒ තැම්බෙන ලක්ෂණය නෑ. අයිති කරගෙන, හිර කරගෙන, බැඳෙගෙන, තියාගෙන තැම්බි තැම්බී දඟලන් නෑ. “මම සතු වස්තු අනිකා පැහැර ගන්නවා. ඕකාට හොඳ වැඩක් කරනවා, යදිනවා ඔවුන්ගේ හැත්ත බුරුත්තු වනසලා දානවා මට කරපු අපරාදයට”. ඉතින් ඔය වගේ  විවිධ අදහස අද කොච්චර තියෙනවාද? භාර්යාව අතර ස්වාමිපුරුෂ‍යා අතර කොච්චර ප්‍රශ්නද? දැවි දැවී, එක එකා ගැන පුළුටු මුහුණු හදාගෙන, තැවි තැවී, දැවි දැවී, අඬනවා, හැපෙනවා, “මට වෙච්ච දේක හැටි, අයියෝ මෙහෙම දෙයක්!”. ඉතින් කිය කිය, තව කියන්න ඕනි නෑනෙ ඕවා අත්දැකීම් නේ. ඔන්න ඔය දැවෙන තැවෙන එක නැතිවෙලා යනවා මේ සකෘදාගාමී වෙනකොට. “එච්චර වටිනා දෙයක් හොයා හොයා, බැඳි බැඳී අල්ලන්න, බදන්න වටිනා දේවල් මට ලෝකේ තියෙනවැයි?” ඔන්න ඔය වගේ හැඟීම් අත් ඇරිලා යනවා. ඊට පස්සේ, “මයේ මොකද, ඕන එකක යන්නැතැයි!  මං මගේ වැඩක් බලාගන්නවා, මට ඕනි නිවන් අවබෝධ කරන්න මිසක් ඔය පස්සේ ඕවා රැක රැක ඉන්න නෙවෙයි” ඔය අදහස් එන්න පටන් ගන්නවා. අර ගිනි නිවිලා යනවා. මෙන්න මෙහෙම නිවෙනකොට සැනසෙනකොට මහා රෝගයකින් නිදහස් වෙනවා. මොකක්ද රෝගය? ඔන්න ඔය කියන කාම රෝගයෙන් නිදහස් වෙනවා. සකෘදාගාමී තත්වයට පත්වුනාම නැවත කිසි දවසක ඒ රෝගය හටගන් නෑ, තැවෙන් නෑ, කාම තැවීමෙන් නිදහස් වුණා. මෙන්න මේකට කියනවා “ආර්ය විනයේ නිරෝගී වීම”.

 

{16:11}  :  නිරෝගි වීමයි සුවපත් වීමයි අතර වෙනස මොකද්ද? 

    එතකොට මොකද වෙන්නෙ? තව හැබැයි සුවය ආවේ නෑ. මොකද හේතුව? තවම කාම දාහයන්ගෙන් අහක් වුනාට, ඒ පෙළෙන මහා බරපතළ හරිය අහක් වුනාට, නිදහස් සුවයට තව ආවේ නෑ. “කාමයෙන්ගෙන් අත් ඇරිලා නිදහසේ විවේකීව ඉන්නකොට කොච්චර ශාන්තද, ප්‍රණීතද?” කියන අදහස තව පුර්ණ වුණේ නැති නිසා ඒ කාමයන්ගේ තව ආශ්වාදයට පොඩි පොඩි බැඳීම් තියෙනවා, දැඩි බැඳීම් නැති වුනාට. ඒකෙන් නිදහස් වීම තව සුවයි කියලා වැටහෙන් නැති නිසාම සමාධි සුවය භුක්ති විඳින්න තව අමාරුයි. හැබැයි තව දුරටත් ඔය පංච උපාදානස්කන්ධයට අයිති ලෝකේ අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත වශයෙන් මෙනෙහි කරගෙන, මෙනෙහි කරගෙන යනකොට, ප්‍රඥාවෙන් දකිනකොට, දැක දැකා යනකොට, සිහි කරනකොට, මෙනෙහි කිරීම නෙවෙයි සිහි කිරීම ප්‍රධාන. සතර සතිපට්ඨානය වැඩෙනකොට ඔය ටික වැටහිලා එනවා. අන්න ඒ ටිකත් අත් ඇරිලා ගියාම, “අතහැරී, නොඇලී, මිදී නිදහස් වීම කොච්චර ශාන්තද, ප්‍රණීතද!” කියලා අන්න ඒ විවේක සුවය ශාන්ත ප්‍රණීත වශයෙන් සමාධි සුවය දකින්න පටන් ගන්නවා, “අකම්පි සමාධියක්” වැඩෙනවා. මෙන්න මේ සමාධියට ආපුවාම අනාගාමී ඵලයේ ස්වභාවයක් එනවා. “අහෝ සුඛං , අහෝ සුඛං” කියනවා කියලා කියනවා.

 

    “අනේ නිදහස් සුවය කොච්චර ශාන්තද, ප්‍රණීතද! එතන ගිනි නෑනේ, ගැටුම් නෑනේ, මොනතරම් මේ ඇසුරේ ඉන්නකොට, ඇලුම් කරන දේවල් එක්ක ඉන්නකොට, මොනතරම් කරදරද? මොන තරම් ප්‍රශ්නද? මේ විවේකය කොච්චර ශාන්තද, ප්‍රණීතද!” මෙන්න මෙහෙම දකින අවස්ථාවක් එනවා. ප්‍රඥාවේ තීරණයකටයි දකින්නෙ ඔය ටික. අත්හැරීමෙන්ම ලබන සැනසුමක්. මෙන්න මෙතෙන්ට ආවට පස්සෙ එතෙක් අත් නොදැකපු මේ විවේක සුවයක් ලබනවා. ඉස්සර නං ඒ විවේක සුවය ගන්න හරි අමාරුයි. මොකද? ගෙදර තනියෙන් දාලා එහෙම ගියොත් මොකද කරන්නෙ? අනිත් අය වෙන ගමනක් ගියොත්, එනකන් හූල්ලනවා. “මං කොන් කොරලා, දැන් මට තැනක් නෑ, ඉස්සර නම් මාත් එක්ක යනවා. දැන් මන් දාලා ගියාම, දැන් මන් නාකිනෙ. දැන් ඉතින් මන් ගියාම උන්ට තරහ ඇති, ලැජ්ජ ඇති. අනේ වෙච්ච දේක හැටි! මට මේකෙ පාලුවේ ඉන්න බෑ. කොහේ යන්නද මං? මටත් එපා වෙලා ඉන්නෙ” ඉතින් ඔය වගේ ඇතුලෙන් මේ පැහැව පැහැව හිත හිතා ඉන්නවා, මොකද? “අහෝ සුඛං” නෑ, විවේක සුවය නෑ තව ඇවිදිල්ලා. තව ලෝකෙ පැත්තෙ රවුමක් ගහන්න හිතේ තියෙන්නෙ. ඒකට පහර වැදුනම දැවෙනවා තැවෙනවා තවත් එක මට්ටමක.

 

    ඔන්න ඔය මට්ටම නැතිවෙලා ගිහිල්ලා, “අනේ සාදු! අද හොඳ දවසක් මට ලැබුනේ. ඔක්කොම ගෙදරින් නිදහස් වෙලා ගියා, මට මගේ පාඩුවේ ඉන්න පුලුවන් හොඳ වෙලාව, අනේ කොච්චර නිදහසක්ද අද, කිසිම කලබලයක් කරදරයක් නෑ. සද්ද බද්දත් නෑ. අර පැත්තෙන් නටනවා, කෑ ගහනවා, ඉතින් සින්දු දානවා, එකක්වත් අද නෑ. නිදහස් වෙනවනේ එන්න එන්න, කෝ නිදහස කොච්චර ශාන්තව, විවේකිව ඉන්න පුලුවන්ද, මට භාවනාවක් කරගෙන මගේ පාඩුවේ ඉන්නත් හොඳ දවස” අදහස් එන්න පුලුවන් එකින් එක. ඔන්න ඔහොම යථාර්තයත් එක්කලා ලෝකේ අත් ඇරුණම ලබන ශාන්තිය නිදහස තමන්ම අත් දැක, දැක “සමාධිය සුවයි” තමන්ට වැටහෙන කාලයක් එනවා. ඔය කාලය ආපුවාම එක්තරා ස්වහාවයක් තමයි අනාගාමී මාර්ගය වැඩෙන ලක්ෂණය. ඕකෙන් ඵලය ලැබුනොත් එහෙම එයා එබඳු අවස්ථාව උපරිම ශාන්ත තත්වයෙන් ප්‍රණීත තත්වයෙන්ම ගන්න තත්වයට පත්වෙනවා. ඊට පස්සෙ හැම මොහොතකම එයාගේ මානසිකත්වය ක්‍රියාත්මක වෙන්නෙ ඔන්න ඔය නිදහස් සුවයෙ පිහිටන එකට, “අනේ මේ නිදහස් සුවය කොච්චර ශාන්තද, ප්‍රණීතද කියලා හිතෙනකොට, අනේ ලෝක සත්වයෝ මේක අත්දැක්කා නම්, කොයි තරම් නිදහස් වෙලා නිදහස් සැනසිල්ලට පත්වෙනවාද!”  මෙන්න මේ අදහස එන්න පටන් ගන්නවා. “අන්න ඒ ශාන්තිය මේ සියලු ලෝක සත්වයොන්ට අනේ ලැබේවා කවදාහරි. මගේ අත්දැකීම මන් ලබපු ශාන්තියට අනේ ලෝක සත්වයොත් පත්වෙනවා නම් කොච්චර ගිනි නිවෙනවද? කොච්චර දාහ ගින්නෙන් මිදෙනවද? ඒක කොච්චර ශාන්තද, ප්‍රණීතද?” කියලා තමන්ට වැටහෙන අත්දැකීමක් එනවා. අන්න ඒ අත්දැකීම ආවාට පස්සේ “ආර්ය විනය තුළ සුවපත් වේවා!” කියන එකේ අදහස එනවා. ආර්ය සුවය දකිනවා. මෙන්න මේ සුවය ලෝකයා කෙරෙහි පතන ස්වභාවයක් ඇත්නම්, විවේක නිශ්‍රිතයි, විරාග නිශ්‍රිතයි, නිරෝධ නිශ්‍රිතයි, වොස්සග්ග පරිනාමීයි. ඔය කියන කාරණා හතරෙන් යුක්තයි.

 

{21:02} : “දුකෙන් මිදෙත්වා” කියන එකත් “නිදුක් වෙත්වා” කියන එකට වඩා වෙනස්…

    එතකොට ඔය ආකාරයෙන් මෙත්තා සහගත සති සම්බොජ්ජංගයත් වැඩෙනවා. ධර්ම විජයත් වැඩෙනවා. ඔය ඔක්කොම දැකලා තමයි ඔතන තියෙන්නෙ. එකක් දකිනකොට අනික් ඒවා දැකලා. වීර්ය, ප්‍රීති, පස්සධි, සමාධි, උපේක්ෂා ඔක්කොමත් වැඩෙනවා. මෙන්න මේක ආර්ය මෛත්‍රිය තුළ යන ක්‍රමය. “සුවපත් වෙත්වා” එහෙනම් “නිදුක් වෙත්වා”, “දුකින් මිදෙත්වා”, තවත් එකක් ඉතුරු වෙලානේ. ඇයි ඉස්සෙල්ලා “නිදුක් වුනානේ”, සතර අපා දුකෙන් නිදහස් වෙලා. ආයේ “දුකෙන් මිදෙත්වා” කියන්නෙ? අපි විතරක් කියන එකක් නෙවේ මෙච්චර කල් පාරම්පරිකව ගෙනාපු වචන හතරක් ඔය. මේ හෙළබස තුළ “නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා” කියන එක ගෙනාවා. සියලු සත්වයොන්ටම ඕක කීවේ. දැන් “නිදුක් වෙත්වා!” යි “දුකින් මිදෙත්වා!” යි දෙකක් කියවෙනවා. මොකක්ද දැන් ඉතුරු වුනේ තව?

 

    නිදහස් සුවය ඉතුරු වුනානම් රූපස්කන්ධය එහෙම්මම නෙ. වේදනාස්කන්ධයට දැනෙනවා. සංඥාස්කන්ධයට හැඳිනෙනවා, සංඛාරස්කන්ධය ක්‍රියාත්මක වෙනවා, විඤ්ඤාණස්කන්ධයට මේ දැනීම් ඔක්කොම ගෝචර වෙලා පොදි ගැහෙනවා. මේ පොදිය තමයි මේ දුක් විඳ විඳ ඉන්නේ. ස්කන්ධ දුක්ඛය විඳිනවා. මෙන්න මේකත් දුක් ගොඩක් වැටහිලා එනකොට කියනවා, “අරිහත් මාර්ගඥාණය” නැගෙනවා. ඔය මාර්ගය වැඩෙන්න වැඩෙන්න මොකද වෙන්නෙ, “අනේ මේ කය නැමැති, ගත හිත නැමැති මේ කුණු ගොඩ යම් තාක් පවතිනවාද, දුකක්ම පවතිනවා මිසක් වෙනනම් එකක් පවතින්නෙ නෑ, සැප කියලා එකක් කොහෙද මෙතන තියෙන්නෙ? පැවැත්ම යන යමක් ඇත්ද, දුක් ගොඩක් මිසක් වෙන එකක් නෙවෙයි” කියලා වැටහෙන්න පටන් ගන්නවා. පැවත්ම පිළිබඳ එහෙම වැටහෙනවා කියන්නෙ, අරිහත් මාර්ගඥාණය පූර්ණය වෙන්න පටන් ගන්නවා කියන එකයි.

 

    යම් දවසකදී “මේ පැවත්ම අද මේ මොහොතේ කෙළවර වුණානම් සියලු දුකෙන් නිදහස් නේ. අන්න එතන තමයි පූර්ණ ශාන්තත්වය පූර්ණ ප්‍රණීතත්වය” කියලා හරියටම අවබෝධය පූර්ණ වෙන දවසක් ආවොත්, මරණයට තියෙන බය සම්පූර්ණ ඉවරයි. උන්වහන්සේ එදා පටන් බලාපොරොත්තු වෙන්නෙ “කවද්ද මේ මරණය එන්නෙ? කවද්ද මේ ස්කන්ධ පහ වහලබන්නේ? නැවත නොගෙන සදහට කෙළවර වෙන්නේ, කවද්ද ඒ දවස? අන්න එදා තමයි සියලු දුකෙන් නිදහස් වෙන දවස මගේ” කියලා, මමත්වය කෙළවර වෙලා, අස්මී මානයත් ඉවර වෙලා, දුක් කඳ ඉවර වෙන දවස එච්චරයි කියලා දැක්කට පස්සෙ, අනෙක් අයගේ සියලු බලාපොරොත්තු අහක් කරපු ස්වභාවයක් එනවා.

 

    ඉන් මෙහා ඉන්න හැම කෙනාම, “අනේ එහෙම බෑ. මොහොතක් හරි තව ඉන්න ඕනි” කියන අදහසේ ඉන්නවා. අන්න ඒක ඉක්මවපු අදහසක් එන උත්තමයෙක් ඉන්නවා. “මොහොතක් වත් ඉන්නැත්නම්, එතනනෙ ශාන්ත ප්‍රණීත” කියලා දකින එක්කෙනෙක් ඉන්නවා, ඒ උත්තමයා තමයි අරිහත් වෙන්නෙ. ඒක සෙල්ලම් වැඩක් නම් නෙවෙයි. හැබැයි හිතලා කරන්න පුලුවන් එකක් නෙවෙයි. ප්‍රඥාවෙන් දෙන තීරණයක් ඔතන්ට එන්න ඕනි. ප්‍රඥාවේ මුදුන් මල්කඩ, මුදුන් පෙත්ත. ඔන්න ඔතන්ට ආපු දාට අරිහත්වය. එදාට මොකද වෙන්නෙ? උන්වහන්සේ දකිනවා “සියලු දුක් කෙළවර කරන්නා වූ තැනක් ඇත්ද, ඒ තමයි ස්කන්ධ පරිනිර්වාණය. එතනින් පස්සේ නැවතත් දුක හා සම්බන්ධ කිසිම කවදාවත් සත්වත්වයක් ලෝකේ පහල වෙන්නෙ නෑ, අනන්තයේ පටන් ගෙනාපු දුක් කන්දරාවේ අවසානය එතනයි. ආයෙත් එහෙම සත්වයෙක් විද්‍යාමාන වෙන්නෙ නෑ. සදහටම දුක ඉවරයි”. ඔන්න ඕක දකිනවා. මෙන්න මේක ලෝක සත්වයෝ කවදා හරි දැක්කා නම්, ඔන්න ඕක තේරුම් ගත්තා නම්, ඔතෙන්ට පත්වෙලා දුකෙන් නිදහස් වුනා නම්, එදාට තමයි සියලුම දුක් වලින් කෙළවර වෙච්ච ශාන්ත වූ ප්‍රණීත වූ තත්වය. “අන්න ඒක සියලු සත්වයින්ටම ලැබෙත්වා කවදාහරි” කියලා පතන්න පුලුවන් නම්, හිතන්න පුලුවන් නම්, කටයුතු කරන්න පුලුවන් නම්, අන්න ඒකට කියනවා “දුකෙන් මිදෙත්වා” කියලා අවසානෙ ගත්ත තීරණය.

 

{25:35}  : හීන දහම්, මධ්‍යම දහම් හා ප්‍රණීත දහම් නිවැරදිව තෝරාගන්න… 

    මෙන්න මේකට කියනවා “ආර්ය අදහස් හතර”. හැබැයි, මේ හතර උද්දාම වෙලා අරගෙන, “අපි තමයි ලොක්කෝ, අනික් අය දන්නවද මෙච්චර ඒව, අනික් එවුන් මේ පොඩි සොක්කෝ. උන් අරන් ඇවිත් තියෙන්නේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා කියලා”, ඔහොම කියලා එහෙම හිතන්න යන්න එපා! මොකද හේතුව? බුදුරජාණන් වහන්සේ ඒක මෙළොව වශයෙන් පෙන්නුවා. ඒක අවශ්‍යයයි. මේ පැවත්මේ ඉන්න තාක්කල් අවශ්‍ය දෙයක් ඒක. ඒ ටික “මධ්‍යම දහමක්” කියලා දකින්න ඕනි. මේක “ප්‍රණීත දහම” කියලා දකින්න ඕනි. ඊර්ෂ්‍යාව, ක්‍රෝධ, වෛර, මාන්න, පලිගැනීම් ආදිය “හීන දහම්” කියලා දකින්න ඕනි. ඒවා හීන දහම් කියලා දැනගෙන වර්ජනය කරන්න ඕනි, ඉවත් කරන්න ඕනි. මධ්‍යම දහම මධ්‍යම වශයෙන් දැනගෙන, “මේ පැවත්මේ ඉන්නකන් අත්‍යවශ්‍ය දේවල්නේ, ඒ නිසා මේක ඇසුරු කරනවා” කියලා ඒ මට්ටමින් ඒ ටික ගෙනියන්න ඕනි. ඒ උදව් උපකාර අනෝන්‍ය වශයෙන් කරන්න ඕනි. ලෙඩට දුකට පිහිට වෙන්න ඕනි. දුකක් කරදරයක් දැක්කාම ඒකට තමන්ට කරන්න පුලුවන් උදව්වක් උපකාරයක් ඇත්නම් කරන්න ඕනි. හැබැයි මධ්‍යම දහම් මිසක් මුදුන් මල්කඩ වාගේ කරට උස්සන් නම් යන්න එපා. කළ යුතුයි, හොඳයි කියලා ලෝක සම්මතයේ හොඳයි. එපා කියන් නෑ ප්‍රතික්ෂේප කරන් නෑ.

 

    එහෙනම්, “පින” ප්‍රතික්ෂේප කළේ නෑ. “කුසලය” කියලා තියෙනවා ආර්ය කුසලය, අන්න ඒක වඩන්න ඕනි. ඒක තමයි අපි කිව්ව නිවන් මග, ආර්ය මෛත්‍රිය මුදුන් මල්කඩක් වාගේ වඩල දුකෙන් කෙළවර වෙන තැනට යන්න ඕන. ඔන්න ඔය ටික දැනගෙන ආර්ය මෛත්‍රියත් වඩන්න ඕනි, ලෝක මෛත්‍රියත් වඩන්න ඕනි. ඔය දෙක තේරුම් අරන් වඩන්න, එතකොට මේ ධර්මාවබෝධය පූර්ණය වෙනවා, ප්‍රශ්න බාධක එන්නෙ නෑ!

 

~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~

 

දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://www.waharaka.com/listen/CD101-11

 

back to top