කර්මස්ථාන වැඩීමට නිවැරදි දුක්ඛ අරිය සත්‍යය දකින අයුරු

කර්මස්ථාන වැඩීමට පෙර දුක්ඛ අරිය සත්‍යය දැකිය යුතුයි
03 සං‍යුක්ත තැටියමූලික දේශනාසිවු අරි සස්

දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)

සප්ත විසුද්ධියට කර්මස්ථාන වැඩීමට පෙර නිවැරදි දුක්ඛ අරිය සත්‍යය දකින අයුරු

 

{0:00:00} : සප්ත විශුද්ධිය මුල් කරගෙන කර්මස්ථාන වඩන හැටි කියලා දෙන්න…

මාතෘකාවක් වශයෙන් ලැබිලා තියෙන්නෙ, “සප්ත විශුද්ධිය මුල් කරගෙන ආර්ය මාර්ගය වඩා ගැනීමට අවශ්‍යය කරන පහසුම කර්මස්ථානයක් මුලටම තෝරාගන්න, අපි කුමක් ගත යුතුද?” කියන කාරණය.

 

මේකෙදී අපි තේරුම් ගන්ට අවශ්‍යයම කරන කොටස තියෙන්නේ, සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, කංඛාවිතරණ විසුද්ධි, මග්ගාමග්ග ඥාණ දස්සන විසුද්ධි, පටිපදා ඥාණ දස්සන විසුද්ධි, ඥාණ දස්සන විසුද්ධි කියලා විශුද්ධ භාවයට පත්වෙන, නැත්නම් ආර්ය මාර්ගය පූර්ණය කරගන්න තත්වයට පත්වෙන්න අවශ්‍යය කරන කාරණා 7ක් තියෙනවා. අපි ඕවට “සප්ත විසුද්ධිය” කියලා කියනවා. මෙන්න මේ “සප්ත විසුද්ධිය” තෝරාගන්න ඕනෑ ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩන්න ඉස්සෙල්ලාම, මුලින් ම දැනගත යුතු කාරණයක්. මේවා හුඟාක් විග්‍රහ සහිතව තේරුම් ගන්න තියෙනවා එක එක, සතර සතිපට්ඨානය වැඩීම ආදී වශයෙන් විග්‍රහ කරනකොට, ආර්ය අෂ්ඨාංගික මාර්ගය විග්‍රහ කරනකොට.

 

ඉතින් මේක මූලික ධර්මය විග්‍රහ කරගත්තට පස්සේ, අපි කොයි ආකාරයෙන් ගත්තත්, ඒ අනුකූලව අපි හරියට ආර්ය අෂ්ඨාංගික මාර්ගයම, නැත්නම් යථාර්තයම පූර්ණය කරගෙන යනවා නම්, සීල විසුද්ධියෙන් කෙරෙන්නෙත් ඒකමයි. ත්‍රිවිධ සුචරිතය පූර්ණය කරනවා කිවුවත්, සතර සතිපට්ඨානය පූර්ණය කරනවා කිවුවත්, ආර්ය අෂ්ඨාංගික මාර්ගය පූර්ණය කරනවා කිවුවත්, සප්ත බොජ්ඣංග ධර්ම පූර්ණය කරනවා කිවුවත්, මේ කොයි එකෙන් පෙන්නුවත්, සත් තිස් බෝධි පාක්ෂික ධර්ම තුළින් නිවන් මඟයි පෙන්වන්නේ.

 

එහෙනම්, මේකෙදි අපි හොඳින්ම තේරුම් අරගන්ට ඕනෑ, “සප්ත විසුද්ධි” ක්‍රමයත් එක්තරා ක්‍රමයක්. ඔය කියන සත් තිස් බෝධි පාක්ෂික ධර්මය වඩන ක්‍රමයක් තමයි, සප්ත විසුද්ධි මාර්ගයෙන් ගෙනියන ක්‍රමය. දැන් ඔය ක්‍රමයම තමයි, අනික් ක්‍රම වලින් කිවුවත්, ඔය හැම ක්‍රමයකින් ම විග්‍රහ කරනකොට, සප්ත විසුද්ධි ක්‍රමය විග්‍රක කරපු එක, ඔන්නම් ත්‍රිවිධ සුචරිත ක්‍රමයෙන් විග්‍රහ කරන්නත් පුළුවන්. ඒකම සතර සතිපට්ඨානය වශයෙන් විග්‍රහ කරන්නත් පුළුවන්. ඒ වාගෙම, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣංග ආදී, ආර්ය අෂ්ඨාංගික මාර්ගය ආදී වශයෙන් විග්‍රහ කරන්නත් පුළුවන්. මේ කොයි අතින් විග්‍රහ කරගෙන ගියත්, විග්‍රහය යන්නේ ඔය රටාවටයි. එකක් විග්‍රහ කරගත්තහම, ඒ සෑම දෙයක්ම, සෑම ක්‍රමයකම කර්මස්ථානයක් වඩනකොට, සත් තිස් බෝධි පාක්ෂික ධර්ම තුළින් තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය පූර්ණය වෙන්නේ, නැත්නම් සප්ත බොජ්ඣංග පූර්ණය වෙන්නේ, ආදී වශයෙන් කොහොම කිවුවත් පූර්ණය වෙන්නේ ඒ සත් තිස් බෝධි පාක්ෂික ධර්ම තුළින්.

 

විග්‍රහ කරගන්නකොට අපිට පේනවා, එකින් එකට ඒ බෝධි පාක්ෂික ධර්මයන්ට හෝ, ආර්ය අෂ්ඨාංගික මාර්ගයට හෝ, සතර සතිපට්ඨානයට හෝ අඩංගු වෙන හැටි විග්‍රහ කරගන්න පුළුවන්. එතකොටයි තේරෙන්නේ, මොන විදිහෙන් හරි සාසනික මාර්ගයක් අනුගමනය කළා නම්, එක්කෝ ත්‍රිවිධ සුචරිතය පූර්ණය කරන මාර්ගය. ඒ අනුව නම් ඒක විග්‍රහ කළ හැකියි. සතර සතිපට්ඨානය පූර්ණය කරන මාර්ගය වශයෙන් ඕන්නම් එහෙම විග්‍රහ කළ හැකියි. ආර්ය අෂ්ඨාංගික මාර්ගය පූර්ණය වෙන ආකාරයෙන් ඕන්නම් එහෙම විග්‍රහ කළ හැකියි. බොජ්ඣංග භාවනා වශයෙන් ඕන්නම් එහෙම විග්‍රහ කළ හැකියි. කොයි ක්‍රමයෙන් කළත් කරන්නේ, ඔය සත් තිස් බෝධි පාක්ෂික ධර්ම තුළින් නිවන් මඟ වැඩෙන හැටි. ඔය ටික තේරුම් ගන්න ඕනේ.

 

{03:00} : සමාදන් වෙන “වත” සහ “අරිය කාන්ත සීලය” හඳුනා ගනිමු

එහෙනම්, මෙන්න මේ තුළින් අපි දැනගන්ට ඕනෑ “සීල විසුද්ධිය” තෝරා ගන්ට. දැන් අපි සමාදාන වෙන එකක් තියෙනවා නම්, සමාදාන වෙන්නේ “වතක්”. වත විශුද්ධිය නෙමෙයි. දැන් අද වෙනකොට, බොහෝ කොටම පටලවාගෙන තියෙන දෙයක්. දැන්, පංච සීල වත, අශ්ඨාංග සීල වත, නවාංග උපෝසථ වත, ගිහි දස සීල වත, සාමණේර දස සීල වත, උපසම්පදා දස සීල වත කිවුවත්, ඒවාගෙම අපි ආජීව අෂ්ඨමක සීලය කියලා කිවුවත්, ඔය කොයි ආකාරයෙන් කිවුවත්, ගිහි – පැවිදි දෙපාර්ශවයටම යම්කිසි වතක් පූර්ණය කරනවා නම්, [simple_tooltip content=’ත්‍රිපිටක සූචිය බලන්න’ bubbleposition=‘left’] “යං සමාදානං තං වතං” [/simple_tooltip] කියන එකට ඒක වැටෙනවා. යම් සමාදානයක් ඇත්ද, ඒක වතකි. “සංවරට්ඨේන සීලං” – සංවරත්වයෙහි පිහිටීමක් ඇත්ද, ඒ සීලයකි. දැන් මේක හොඳට තේරුම් ගන්ට ඕනෑ.

 

සංවරත්වයෙහි පිහිටීමක් නැත්නම් සීලයක් පහලවෙන්නේ නෑ. සංවරත්වයෙහි පිහිටීමෙන් මයි සීලයක් පහල වෙන්නේ. දැං සංවරත්වයෙහි කොහොමද පිහිටන්නේ? වතෙන් මොකද්ද කරන්නේ? මේ කියන කාරණා අපි එකින් එක විග්‍රහ කරලා දැනගන්න ඕනේ. වතකින් කරනවා, සීලයට ආධාරයක් දෙනවා. වත නැති අයත් සීලය පූර්ණය කරගෙන තියෙනවා, බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ. එක වතක් වත් සමාදන් වුනේ නෑ. නමුත්, බණ අහලා අවසාන වෙනකොට සෝතාපන්න වෙලා.

 

සෝතාපන්න කෙනාට, “අඛණ්ඩ, අචිද්‍ර, අසබල, අකල්මාස” කියන කැඩෙන්නේ නැති, සිදුරු වෙන්නේ නැති, ඒ වාගෙම දුබල වෙන්නේ නැති, කහට බැඳෙන්නේ නැති සීල ගුණයක් ලැබෙනවා. හැබැයි “වත” කියන එක එහෙම නෙමෙයි, කැඩෙනවා. ඒකට හේතු අපි බලන්න ඕනේ. නොකැඩෙන්නේ ඇයි? නොකැඩෙන්නත් හේතුවක් තියෙනවා. මොකද, මේ ධර්මය හේතු-ඵල වාදයක්. ඇයි කැඩෙන්නේ නැත්තේ? ඇයි බිඳෙන්නේ නැත්තේ? ඇයි සිදුරු වෙන්නේ නැත්තේ? ඇයි කහට බැඳෙන්නේ නැත්තේ? ඒකට හේතුව මොකද්ද? ඒකත් අපි දකින්න ඕනේ.

 

දැන් අපි සමාදන් වෙලා ඉන්න දෙයක් තියෙනවා නම්, සමාදන් වෙලා ඉන්න දේ තුළින් අපිට යම්කිසි ආකාරයකින් හොඳට හෝදිසියෙන් ඉන්නකන් ඒ සමාදානය කැඩෙන්නේ නැතුව බේරාගත්තහැකි. මෙහෙම හිතන්නකෝ, අපි නිකන් පොඩි උදාහරණයක් අරන්, මේවා ඉස්සෙල්ලා මූලික උදාහරණ වලින් තෝරාගෙන ඉන්න ඕනේ.

 

යම් කෙනෙක් ගේ යම් හේතුවකින් අත කපනවා. මොනවා හරි අසනීපයක් නිසා ඒ අත කපනවා. අපි අත කපන්න ඉස්සෙල්ලා එයාට කියනවා, “අහවල් ජාතිය බැරි වෙලාවත් අල්ලන්න එපා!” කියලා. “මේ මේ වගේ ජාති අල්ලන්න එපා!” දැන් අපිට, ඔහොම අපිට කවුරුහරි කියනවා. “මොන මොනවද අල්ලන්න එපා?” ඉතින් අපි මොනවා හරි ජාති ටිකක් කියනවා. “කොහේ ගියත්, කොහේදි දැක්කත්, මෙන්න මේ මේ ජාති අල්ලන්න එපා!” අර අත තියෙන තාක්කල්, අත් දෙක තියෙන තාක්කල් ඒ මනුස්සයා හොඳ හෝදිසියකින් ඉන්න ඕනෑ, ඕනකමකුත් තියෙනවා නම්, පුරුද්දට හරි අහුවෙනවා නම්, ඇල්ලෙනවා නම්, එයා හොඳ හෝදිසියකින් ඉන්න ඕනෑ, ඒ කිවුව ජාති මතක තියාගෙන ඉන්න ඕනෑ, අල්ලන්නෙ නැතුව බේරිලා ඉන්න. එයාටත් අල්ලන්නේ නැතුව ඉන්න පුළුවන්.

 

යම් හේතුවකින් මිනිහෙක්ගෙ අත කපනවා. අත් දෙක කපන්න සිද්ධ වුනා. දැන් අත් දෙක නෑ! දැන් එයාටත් කියන්න ඕනැද “අහවල් ජාති එහෙම බැරිවෙලාවත් අල්ලන්න එපා!” කියලා? අවසිහියෙන් හිටියොත් එහෙම අහුවෙයි ද, අත් දෙක නැති කෙනාට? කෙනෙක්ගේ අත් දෙක කපලා දැම්මා නම්, එයා අවසිහියෙන් හිටියත්, සිහියෙන් හිටියත්, “අල්ලන්න එපා!” කියන වචනේ කියන්නවත් ඕනැද එයාට? ඕනකමක් නෑ, මොකෝ අත් දෙක නැත්නම් මොනවා අල්ලන්නද? හොඳයි, අත් දෙක නැති බව එයා දන්නෙ නැතුව ඉන්නවා. ඒත් අහුවෙයිද? අත් දෙක නැති බව සිහි කර කර ඉන්නවා, ඒත් අහුවෙයිද? කොහොම වත් අහුවෙන්න ක්‍රමයක් නෑ.

 

හැබැයි, අත් දෙක තියෙන තාක්කල් එයාට හොඳ පරිස්සමක් තියාගෙන ඉන්න ඕනෑ. “හැම වෙලේම මනා සිහියෙන් ඉන්න, හොඳ සිහියෙන් ඉඳලා මෙන්න මේ වැරදි වැඩ ටික හිතෙන්, කයින්, වචනයෙන් කරන්න එපා!”. එහෙනම්, එයාට ඒක, හිත, කය, වචනය උපකරණයක් වෙලා තියෙනවා නම් යම්කිසි වැරදි වැඩකට, ඒ උපකරණයක් වෙලා තියෙනකන් එයාට සිද්ධ වෙනවා පරෙස්සම් කරගන්න. වත පරෙස්සම් කරගන්න සිද්ධ වෙනවා. වතක හික්මිලා ඉඳලා, ඒ තුළින් එයාට සිද්ධ වෙනවා අර වැරදි පැත්ත, දුශ්චරිත පැත්ත නොකර ඉන්න.

 

හොඳයි, හිත තුළ ඒක වැද්දගැනීමට මූලධර්මයක් තියෙනවා නම්, හේතුවක් තියෙනවා නම්, යම් ක්‍රමයකින් ඒ හේතුව බිඳ දැම්මා නම්, දැන් ඉතින් එයාට වතකින් වැඩක් තියෙනවද? එයාට වතකින් කරන්න දෙයක් නෑ. දුශ්චරිතයට හේතු කාරක වන්නාවූ මානසිකත්වයක් යම් කෙනෙක් ගේ නැතිවුනා නම්, ඊට පස්සේ එයාට දුශ්චරිතයන් ගෙන් වෙන් වෙන්න වතක් පනවන්න ඕනැද? පැනෙවුවත්, නැතත්, එයාගෙන් ඒක සිද්ධ වෙන්න විදිහක් නෑ. මොකද හේතුව? එයාගේ මානසිකත්වය තුළ ඒ දුශ්චරිතය හටගන්න තිබිච්ච හේතුව නෑ.

 

එහෙනම්, ආර්ය අෂ්ඨාංගික මාර්ගය, නැත්නම් මේ ආර්ය මාර්ගය කියන්නේ, ඔන්න ඔය දුශ්චරිත හටගැනීමට තියෙන හේතුව බිඳ හරින ක්‍රමයක්. වත කියන්නේ, ඒ හේතුව බිඳින්නේ නැතුව, ඒක පැත්තකින් තියලා, හොඳට සිහි බුද්ධියෙන් පරිස්සම් වෙවී, නොකර ඉන්න ක්‍රමයක්. දුශ්චරිත නොකර ඉන්නවා. කෙරෙන්න එන්න ඉඩ තියෙනවා, මොකද හේතුව තියෙන නිසා. එහෙනම්, හැමවෙලේම මනා සිහියකින් ඉඳලා, “ඒ මොනවා ආවත් මං ප්‍රාණඝාත කරන්නේ නෑ, මං හොර-මැර, වංචා කරන්නේ නෑ, මං සුරා-සූදු, දුරාචාර කරන්නේ නෑ, මං බොරු කියන්නේ නෑ, මං කේලාම් කියන්නේ නෑ, මං ඵරුෂ වචන කියන්නේ නෑ, මං ප්‍රලාප කියන්නේ නෑ, මං හොඳ සමාදාන වෙච්ච වතක ඉඳලයි මේ ටික කරගෙන ඉන්නේ” කියලා එයාට ඒක කරන්න වෙනවා.

 

එහෙනම්, ඒ මානසිකත්වය සුද්ධ වුනා නම් යම් දවසක, හරි ආකාර ක්‍රමයක් තුළින්, එයාට “මං ප්‍රාණඝාත කරන්නේ නෑ, මං හොර-මැර වංචා කරන්නේ නෑ…” කියලා සමාදන් වෙන්න තියෙනවද එකක්, ඉතුරු වෙලා? සමාදන් වුනත් එකයි, නැතත් එකයි, එයාගෙන් කෙරෙන්න හේතු නෑ. මොකද, හිතේ හටගන්න තිබිච්ච, කහට හටගන්න තිබිච්ච මුල කැපිලා. මෙන්න මේකට කියනවා “අනුශය බිඳිනවා” කියලා, හිත තුළ මතුවෙලා නෑ.ඒකට හේතු කාරකයක් ආපුහාම මතුවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසාම, හේතුකාරකයක් ආපු තැන, මතුවෙන්න ඉඩ තියෙන නිසාම මතුවෙන්න පුළුවන්.

 

අන්න එයාට වතත් ආරක්ෂා කරගෙන බොහෝම සිහියෙන් ඉන්න සිද්ධ වෙනවා ඒ කාලය තුළ. යම් දවසක “අනුශය” කියන එක, අභ්‍යන්තරයෙන් ඒ අරමුණු ආවත්, මතුවෙන්න තිබිච්චි හේතුව නැත්නම්, රාගය නැමැති හේතුව හටගන්න තිබිච්ච රාග මූලය නැත්නම්, ද්වේෂයට හේතු කාරකය නැත්නම්, මෝහයට හේතු කාරකය නැත්නම්, රාගය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා, යම්කිසි දුශ්චරිතයක් හෝ යම් පාපයක් සිද්ධ වෙන්න තිබුණා නම්, දැන් එයාගෙන් සිද්ධ වෙන්න කොහොමවත් ක්‍රමයක් නෑ. මොකද, “අනුශය” බින්ද හින්දා. අන්න, “අනුශය බිඳිනවා” කියන යමක් ඇත්ද, ආර්ය මාර්ගයෙන් සිද්ධ කරගන්නේ ඔන්න ඕකයි.

 

මේකේ වාසනාව තියෙන්නේ “බෞද්ධ” කියන පිරිසටයි. එහෙනම්, මේ බුදු දහම අහලා, හරි ආකාරව තේරුම් අරගෙන, ඒ සඳහා තිබෙන ඖෂධයක් තිබෙනවද, ඒ අනුශය බිඳෙන ඖෂධයක්, අන්න ඒ ඖෂධය අරගෙන නිරෝගී වෙච්ච පුද්ගලයටයි ඔය කියන වාසනාව හම්බවෙන්නෙ. ඔයිට පිටස්තර කිසිම සාසන කියන මාර්ගයක ඔය “අනුශය බිඳින ඖෂධය” නෑ. ඒ අනුශය බිඳින ඖෂධය නැති නිසාම කොයි තරම් වත පුරාගෙන හිටියත් එයා වතේ ඉන්නවා මිසක්, වතේ ඉඳලා හුරු-පුරුදු කරගත්ත ගති ලක්ෂණයක් පහල කරගන්නවා මිසක්, අර අනුශය බිඳිනවා කියන එක සිද්ධ වෙන්නේ නැති නිසා කොයි මොහොතක හරි, කවදා හරි, ආයි සැරයක් අර අපි මතක් කරගෙන තිබිච්ච ආවර්ජනය අමතක වෙච්ච වෙලාවක, මොහොතක හරි අරක කෙරෙන්න පුළුවන්.

 

{10:24} : රාග, ද්වේෂ, මෝහ ක්ෂය කර නිවන් දෙන දහම් ඖෂධය…

එහෙනම්, මෙන්න මේ වාසනාව තියෙන්නේ “ආර්යයන්ට”. ආර්යයෝ කියලා කියන්නේ ඔය ලෝභයට, ද්වේෂයට, මෝහයට හේතු කාරක වන මූලධර්මය හිතෙන් බිඳිලා ගිය අය. මාත්‍රයක් හරි බිඳුනා නම්, එතැන් පටන් ආර්ය මාර්ගයට අවතීර්ණ වුනා. එතැන පටන්ගෙන ඒ මාත්‍රයෙන් මාත්‍රය බිඳලා, බිඳලා කෙළවර කරපු දාට අරිහත් වෙනවා. උන්වහන්සේගෙන් සියළු පවු වලට තිබිච්ච අනුශය බිඳුනා. එහෙනම් ලෝභක්ෂයයි, ද්වේෂක්ෂයයි, මෝහක්ෂයයි, සම්පූර්ණයි!

 

දැන් ලෝභක්ෂය කරන්න, ද්වේෂක්ෂය කරන්න, මෝහක්ෂය කරන්න මේ ආර්ය විනය තුළ මාර්ගයක් තියෙනවා මිසක්, කිසිම විදිහකින් ඔප්පු කරන්න බෑ මෙයින් බැහැර තැනක, ආර්ය විනයෙන් බැහැරව රාගක්ෂය වෙන්න, ද්වේෂක්ෂය වෙන්න, මෝහක්ෂය වෙන්න තව මඟක් තියෙනවා කියලා මොනම තර්කයකින් වත් ඔප්පු කරන්න ක්‍රමයක් නෑ. කියන්න පුළුවන්, “අපේ එකෙත් තියෙනවා, අපේ එකෙත් තියෙනවා” කියලා කියන්න පුළුවන්, හැබැයි ඔප්පු කරන්න බෑ. අවංකවම ඔප්පු කරලා පෙන්නන්න බෑ. එහෙනම්, ඒ සඳහා අවංකව ඔප්පු කරලා පෙන්විය හැකි හේතු-ඵල න්‍යායක් තියෙන එකම ධර්මය, බුද්ධ ධර්මය! මේක ඔප්පු කරන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැතුව.

 

එහෙනම්, මේ සඳහා තියෙන හේතු-ඵල න්‍යාය, නැත්තම් නියම ධර්ම රටාව දුන්නේ බුදුරජාණන් වහන්සේයි. අන්න ඒක තමයි “දහම් ඖෂධය” කියන්නේ. ඒක බොහෝම අතළොස්සයි. අපිට අද වෙලා තියෙන්නේ, ඒ අතළොස්ස පැත්තකින් තියලා අපි හුඟාක් වැල්වටාරම් පස්සේ යනවා. හුඟාක් බාහිර ධර්මයන් පස්සේ යනවා. මුළු ත්‍රිපිටකය කටපාඩම් කරන්න ලෑස්ති වෙනවා, පිරිත්, සූත්‍ර කටපාඩම් කරන්න ලෑස්ති වෙනවා. ඕවා ඔක්කෝම කටපාඩම් කරගත්ත අය හිටියානේ, ත්‍රිපිටකධාරී භික්ෂූන් වහන්සේලා කියලා, ඉස්සරත්. හැබැයි, පෘතග්ජන කියන තත්වය ඉක්මවපු නැති ත්‍රිපිටකධාරී භික්ෂූන් වහන්සේලා හිටපු බව ධර්මයේ හොඳට පැහැදිලියිව සඳහන් වෙනවා.

 

එහෙනම්, ත්‍රිපිටකයම කටපාඩම් කරගෙන, අර්ථවත්ව දැනගත්තත්, පෘතග්ජන භාවය ඉක්ම ගිහිල්ලා නැති අය ඉඳලා තියෙන බව ඔප්පු කරලා තියෙනවා, පෙන්නලා තියෙනවා. එහෙනම්, කටපාඩම් කරගන්න එක, මතක් කරලා තියාගන්න එක, අර්ථ වටහාගෙන තේරුම් අරගෙන පමණක් හිඳීම, මේ කියන රාගක්ෂයට, ද්වේෂක්ෂයට, මෝහක්ෂයට අවශ්‍යය වන දහම් ඖෂධය එතන තිබිලා නෑ. තිබිලා තියෙනවා, පරිහරණය කරලා නෑ.

 

අපි බෙහෙත් ගෙන්නලා, බෙහෙත් ලියපු පොතක් අරගෙන, පොත කටපාඩම් කරගෙන, ඔක්කොම කරගෙන තියෙනවා, බෙහෙත් හදන හැටිත් දන්නවා, කියන හැටිත් දන්නවා, කරන හැටිත් දන්නවා, පොවන හැටිත් දන්නවා, ඔක්කොම පොතෙන් ඉගෙනගත්තා. හැබැයි, මොහොතක් වත් අපි බෙහෙත හදලා පාවිච්චි කිරීමේ කාර්යයට බැස්සේ නැත්නම්, අපේ ලෙඩේ මාත්‍රයක් වත් හොඳවෙන්න විදිහක් නෑ, පොත කොච්චර කටපාඩම් කරගෙන තිබුණත්, බෙහෙත් පොත. මෙන්න මෙහෙම දෙයක් තමයි මේ ත්‍රිපිටකය කටපාඩම් කරගන්න ගියත්, ත්‍රිපිටකයේ අර්ථ ඔක්කෝම දැනගෙන හිටියත්, ඒ පුද්ගලයා නියම දහම් මාර්ගය තුළ මොහොතකින් හරි එතෙන්ට ආවෙ නැත්නම්, ඒ ක්‍රමය තුළින්, ඔහුට බෙහෙත් පෙවිලා නෑ, ඔහුට බෙහෙත් හැදිලා නෑ.

 

මෙන්න මෙයාට කියනවා “පද පරමයි” – පදය පරම කරගෙන ජීවත් වෙනවා. ඒක තමයි වටිනාම දේ. ඉතින් එයා අහන්නේ “කොයි පොතේද තියෙන්නේ? කොතනද තියෙන්නේ? මොන සූත්‍රයේද ඕක කියලා තියෙන්නේ? අපි පිළිගන්නේ නෑ නැත්නම්”. මෙන්න ගන්නවා නිගමනයකට. එහෙනම්, එයාට පරම වෙලා තියෙන්නේ මොළය නෙමෙයි, බුද්ධිය නෙමෙයි, පදය. අන්න, පදය පරම කරගත්ත එක්කෙනාට කියනවා, “පද පරමයා!” පද පරමයාට නිවන් නෑ. ඉතින් ඕක අපි හොඳට පැහැදිලිව දැනගන්න ඕනේ එකක්.

 

පද නරකයි කියනවා නෙමෙයි, හැබැයි මොන පදය හරි බුද්ධි ගෝචරව තේරුම් අරගෙන, ඒකෙන් නිවන් මඟ එළිදක්වන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක හොඳ දේශකත්වයක්, ඒක හරි වැදගත්. දේශකයන් වහන්සේලා ත්‍රිපිටක ධර්මය හදාරන්න ඕනේ. හදාරලා බුද්ධි ගෝචර කරගන්න ඕනේ. ඒ බුද්ධි ගෝචර කරගෙන දේශනා කරපුහාම විශාල වාසනාවක් ලැබෙනවා. අපවාද කරනවා නෙමෙයි.

 

{13:42} : ත්‍රීපිටකය කටපාඩම් කිරීම නිවන් දැකීමට මඟ නොවේ!

අර පෝඨිල හාමුදුරුවෝ ත්‍රිපිටකධාරී වෙලා, කකුසඳ, කෝණාගම, කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේලාගේ කාලෙම ධර්ම දේශනා කර කර ඇවිදිල්ලා, මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ධර්ම දේශනා කර කර ඉඳලා, එයා උද්දාමයට පත්වෙලා, ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියා හිටියා. “ස්වාමීනි, මෙච්චර කාලෙක ඉඳලා මම ධර්මය දේශනා කරමින් එන්නේ” ඉතින් යන්න ඇරලා, බුදුරජාණන් වහන්සේ “තුච්ඡ පෝඨිල යනවද?” කියලා ඇහුවා. “තුච්ඡ පෝඨිල” කියලා කථා කළා. මොකද කිවුවේ? “තමා තමාගේ වැඩේ කරගන්නේ නැතුව අනුන්ට බණ කිය කියා ඉන්නවා, උඹ උඹේ වැඩේ කරගත්තේ නෑ නේ! මේ සැරේ වත් ඕකෙන් අහක් වෙලා තමන්ගේ වැඩේ කරගන්න බලපං” කියලා අවවාදයක් කළා.

 

දැන් මේක හරි වැදගත්, අපිට. දැන් මෙන්න මේ වෙලාවෙදි ඒ පෝඨිල හාමුදුරුවන්ට එක සිද්ධියක් වුනා. දැන් තමන් ත්‍රිපිටකධාරී, හැබැයි තමන් තමන්ගේ වැඩේ කරගන්න කල්පණා කරනකොට, තමන්ගේ ත්‍රිපිටකධාරීත්වය තමන්ට මදි වෙලා!

 

එහෙනම්, අනුන්ගේ ආධාරයක් අවශ්‍යය නෑ සෝතාපන්න ඵලයට පත්වෙච්චි තැන් පටන්. නමුත්, එතෙන්ට පත්වෙලා නොහිටපු නිසා අනුන්ගේ ආධාරයක් ඕනෑ වෙන තැන එයාට අවශ්‍යයි. එහෙනම්, කොච්චර ත්‍රිපිටකධාරී වෙලා හිටියත් එයාට සිද්ධ වුනා, කොච්චර ධර්ම දේශනා කරමින් හිටියත් එයාට සිද්ධ වුනා ආචාර්ය වරයෙක් හමුවෙලා, ආචාර්ය වරයෙක්ගේ උපදෙස් පරිදි මාර්ගය වඩාගෙන යන්න පළමු උපදෙස ගන්න.

 

මාර්ගය ලැබිලා තිබුණා නම් එයාට එච්චර කල් පහුවෙන්න දෙයක් නෑ. අඩු තරමෙන් සෝතාපන්න වත් වෙලා තියෙන්න එපැයි. අන්න ඒ නිසා තමයි එයාට සිද්ධවුනේ ගුරුවරයෙක් හොයාගෙන කර්මස්ථානයක් ගන්න. මේ වෙලාවෙදි ගුරුවරයෙක් හොයලා කර්මස්ථානයක් ගන්න බලාපොරොත්තුවෙන් මෙයා නොයෙක් නොයෙක් කර්මස්ථානාචාර්යවරු ලඟට ගියා, නමුත් මෙයාගෙන් බණ අහලා, මෙයා ධර්මාසනයේ තියලා පැත්තක ඉඳලා බණ අහපු අය තමයි මේ දැන් කර්මස්ථානාචාර්යවරු. ඒගොල්ලෝ කියනවා, “අපි කොහොමද ඔබවහන්සේට කර්මස්ථාන දෙන්නේ ? අපි ඔබවහන්සේට ගරු කරලා, ධර්මධරයන් වහන්සේ නමක් හැටියට ගරු කරලා, බණ අහලා තියෙන කෙනෙක්. ඔබවහන්සේ ඒ තැනට සම්මත කරලා තියෙන කෙනෙක්. ඉතින් ඔබවහන්සේ අපි ලඟ දනගස්සවන්න අපි කැමති නෑ. අනේ ස්වාමීන්වහන්ස, කොහේහරි කමක් නෑ ගිහිල්ලා, වෙන කෙනෙක් හොයාගන්න. අපිට නම් ඔබවහන්සේට කර්මස්ථාන දෙන්න විදිහක් නෑ” කියලා ඔය විදිහට ප්‍රතික්ෂේප කළා.

 

අන්තිමට, බොහෝම දුර පලාතක ගිහිල්ලා, ආරංචියක් තියෙනවා හොඳ කර්මස්ථානාචාර්යවරයෙක් ඉන්නවා කියලා, බලනකොට පුංචි හාමුදුරු නමක්. අවුරුදු 7-8ක වැනි බොහෝම ලාබාල වශයෙන් හාමුදුරු නමක් හම්බ වුනේ. හැබැයි මාන්නක්කාර කමක් තිබුණේ නෑ. එයාට (පෝඨිල හිමියන්ට) ඕනකම තිබුණේ කොහොමහරි නිවන් දකින්න. ඒ නිසා කැමති වුනා, උන්වහන්සේ ලඟ ගෞරවයෙන් ඉඳලා ඒ කර්මස්ථානය ගන්න.

 

ඉතින්, උන්වහන්සේ (වයසින් ලාබාල කර්මස්ථානාචාරීන් වහන්සේ) ප්‍රකාශ කළේ මොකද? “මම කියන විදිහට අකුරක් නෑර පිළිපදින්න පුළුවන් නම්, ඔබට කර්මස්ථාන දෙන්න මං බාරගන්නවා. හිතුවක්කාර නම් බාරගන්නේ නෑ. ඔබ හිතුමතේ, ඔබේ දැනීමෙන්, ඔබේ හිතුමතේ ඒවා කරන්න ගියොත් මං කියන එක පැත්තකින් තියලා, ඔබවහන්සේ කැමති දිහාවකට යන්න. මගෙන් කර්මස්ථානයක් අවශ්‍යය නම්, මම කියන විදිහට ඒ කටයුත්ත කරන්න පුළුවන් නම් මං බාරගන්නම්!”

 

ඉතින් දන්නවා, බොරු කෙනෙක් නෙමෙයි, ඒ අනුව අහලා, මාර්ගය වඩලා, ප්‍රතිඵල ලැබූ අය ඉන්නවා. මාර්ගය හොඳට තේරෙන්න දක්ෂ කර්මස්ථානාචාර්යවරයෙක් බව පැහැදිලියි. “මැරෙන්න කිවුවත්, මම මැරෙනවා! කියන එක කරනවා!” මේ අධිෂ්ඨානය අරගෙන ඉඳලා කිවුවා, “ඔබවහන්සේ කියන යමක් ඇත්නම්, ඒ සියල්ලට මං අවනතයි. මං ඒක පිළිගන්නවා, මට කර්මස්ථාන දෙන්න”

 

ඒපාර කියනවා, “එහෙනම් හොඳට ඇදගන්නකෝ, සිවුර එහෙම හොඳට ඇඳගෙන පොරවාගන්නකෝ…” පොරවාගත්තා. ලොකු මඩ වලක් පෙන්නලා කිවුවා, “අන්න අර මඩ වලේ පස්ස බලන්නේ නැතුව මං කියනකං යන්න. යන්න, ඉස්සරහට යන්න” දැන් ඒ කර්මස්ථානයේ, මොකද්ද මේ කරන්න හදන්නේ කියලා වත් ඇහුවේ නෑ. “මේක කර්මස්ථානයක් ද මේ? මේක මාරකයක් නේ” එහෙම වත් කතාකරන්න ගියේ නෑ. “වෙන එකක් වෙච්චාවේ, මං කිවුව එක කරනවා” කියලා මඩ වලේ ගියා.

 

දන මට්ටමක් ගියා, පස්ස බලන්නේ නෑ ඉතින්, කෙලින්ම යනවා. ආපහු ප්‍රතිඥාවක් හම්බවෙන්නේ නෑ. ආපහු එන්න කියලා කියන්නේ නෑ. යන්න කිවුවා මිසක්, ඉතින් එන්න කිවුවේ නැති හින්දා ගියා, දිගටම. ඉණ මට්ටමක් ගියා, තවත් යනවා. පපු මට්ටමක් ගියා, තවත් යනවා. “වෙන එකක් වෙච්චාවේ, මැරෙනකම් හරි යනවා!” කර මට්ටමක් ගියා, බොහොම අමාරුවෙන්. දැන් කරවටක් මඩේ එරිලා. තව තියෙන්නේ නාහෙට යන්න විතරයි, ගියොත් මැරෙනවා. “මැරුනොත් මැරිච්චාවේ, මං කියනකම් යනවා” කියලා යනකොට, අන්න උන්වහන්සේ කියනවා ඇහුණා, “හා.. දැන් නවතින්න, හැරෙන්ඩ ආපහු!” හැරුණා, “දැන් ගොඩට එන්න!” ගොඩට ආවා.

 

{17:52} : පෝඨිල හිමියන් නිවන් දුටු කර්මස්ථානය විග්‍රහ කරගනිමු

ඔන්න, මම ඒකයි කිවුවේ දැන් අපි ත්‍රිපිටකය බලන්න ගිහිල්ලා බැලුවොත් එහෙම, ඕකේ සිද්ධිය නෑ, නිරුක්තිය නෑ, ත්‍රිපිටකයේ. ඉතින් ඊට පස්සේ, මඩ හෝදා ගත්තට පස්සේ භාවනාවක් දුන්නා කියලා තියෙනවා, ඒකෙන් රහත් වුනා කියලා තියෙනවා. දැන් ඉතින් අපි දන්නේ නෑ, මොකද්ද ඒ කළේ? මේ ආර්ය විනය තුළ කවදාවත් හරයක් නැති දෙයක් කර්මස්ථානාචාර්යවරයෙක් දෙන්නේ නෑ. ධර්මය හරි නම්, මාර්ගය හරි නම්, වැඩක් නැති දෙයක් දෙන්නේ නෑ. හැබැයි, මේක විග්‍රහ කරලා දෙන්න ඕනෙත් නෑ.

 

දැන් අපි ඇහුවොත් එහෙම “ඔය රෙද්ද ඇඳගෙන එන්නකෝ” කිවුවොත් එහෙම, කාටහරි කියනවා. ඉතින් ඊට පස්සේ, අපි පස්සෙ කාලෙක අහනවා, “මෙහෙම කිවුවා” කියලා තිබුණොත්, “ඒ රෙද්ද ඇඳගන්න කිවුවේ කොහෙද කියලා තිබුණේ නෑ නේ” කිවුවොත් එහෙම ඉතින් ඒකත් අපිට කියලා දෙන්න ඕනේද? රෙද්ද ඉනේ ඇඳගන්නවා මිසක් වෙන කොහේ ඇඳගන්නද? ඉතින් ඇඟට ඇඳගන්නවා මිසක්, වෙන මොනවටවත් අන්දලා එන්න යෑ! ඉතින්, ඒක කියාදෙන්න ඕනේ නෑ.

 

අන්න ඒ වගේ, මේ දහම් දැනුවත්ව ඉන්න කාලය තුළ මේ නිරුක්ති වැටහෙන අවස්ථාවක් තිබුණා. ඔය අවස්ථාව පහු කාලෙක නැතිවෙලා ගියා. ඊටපස්සෙ කියන්න සිද්ධවෙනවා “රෙද්ද ඉනේ ම ඇඳගන්න” කියලා කියන්න වෙනවා. අන්න ඒවගේ අවස්ථාවක් අදත් මතුවෙලා තියෙනවා. මේ නිරුක්ති මතුවෙලා තියෙන්න ඕනෙ කාලෙදි මතුවෙලා නෑ. දැන් “මඩ වලේ කරවටක් ගිහිල්ලා ආපහු එන්න” කිවුවහම, මේකේ නිරුක්තිය මොකද්ද? මේකෙන් පෙන්නපු දහම් අදහසක් එහෙම තිබුණද? ඕක පොතේ නැති නිසා අද විග්‍රහ කරන්න බෑ. පොතේ ඕක වෙනම විග්‍රහ කරලා නැතුවට, අපි එකක් දකිනවා. මේ “මඩ වලක්” උපමා කරලා තියෙන්නේ “කාමයට”.

 

කරවටක් “කාම මඩේ” එරිලා මේ ලෝක සත්වයෝ ජීවත් වෙන්නේ. මෙන්න මේක තමයි මේ උපමාව. කාම මඩේ කරවටක් එරිලයි මේ ලෝක සත්වයෝ පංච කාමයේ රසාස්වාදයේ බැඳි බැඳි ඉන්නේ. දැන් පංච කාමයේ රසාස්වාදයේ බැඳි බැඳි ඉන්න සාමාන්‍ය මනුස්සයෙක් තමයි බණ කියලා, සුද්ධ කරලා, ගොඩට ගන්න තියෙන්නේ. සුද්ධවන්තයින් ගේ ගොඩට ගන්න දෙයක් නෑ නේ. අසුද්ධ වෙලා ඉන්න කෙනෙක් සුද්ධ කරනවා මිසක්, සුද්ධ වෙච්චි කෙනෙක්ගෙ සුද්ධ කරන්න දෙයක් නෑ.

 

එහෙමනම් අපිට අරිහතුන් වහන්සේගේ සුද්ධ කරන්න දේකුත් නෑ. පර ප්‍රත්‍ය රහිත වෙච්ච, අනුන්ගේ ආධාරයක් ඇතුව මාර්ගය දැනගත්ත කෙනාටත් අමුතුවෙන් මාර්ගය කියලා දෙන්න දෙයක් නෑ. එයිටත් මෙහා ඉන්නවානම් යම් කෙනෙක්, පෘතග්ජන භාවෙන් ඉක්මයන බලාපොරොත්තුවෙන්, ආර්ය මාර්ගයට පත්වෙන බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, ඔය මූලික අවස්ථාවේ ඉන්නේ කරවටක් “කාම මඩේ” එරිලා.

 

ලස්සන රූපයක් දැක්කහම බලන්නැතුව ඉන්න බෑ, බලන්න ආසයි. හොඳ මිහිරි සද්දයක් ආපුහම ඒක අහන්ඩ ආසයි. ඒකේ කාමාස්වාද විඳින්න ආසයි. සුවඳක් දැක්කහම නිකං ඉන්ඩ බෑ, අරන් ඉඹලා බලන්න ආසයි. රසයක් දැක්කහම ඉන්ඩ බෑ, පහසක් මතක් වුනහම පහස විඳින්න හිතෙනවා. ඒකේ ආසාවෙන් බැඳිලා. මෙන්න මේ තත්වෙට පත්වෙලා ඉන්නවා නම්, එයාට කියනවා “කරවටක් කාම මඩේ එරිලා ඉන්න පුද්ගලයා”

 

දැන් අපි එහෙනම් ඉස්සෙල්ලාම සුද්ධ වෙන්න තියෙන්නේ ඔතන ඉඳලා. එහෙනම්, මේක තමයි මේ කරවටක් යන්න ඉඩ ඇරියේ. ඉඩ ඇරලා, මෙයාගෙ (පෝඨිල ස්වාමීන් වහන්සේගේ) අඩුපාඩුවක් පෙන්වලා දුන්නා. “දැන් ආපහු එන්න” දැන් එයා ආපහු ආවා. ආපහු ආවෙ කොහොමද? කරවටක් මඩේ එරිලා ඉන්න පුද්ගලයගෙ කකුල් දෙක දියේ තියෙන්නේ අඩියයි, දෙකයි. උඩට එනවා පියවර තියනකොට. හැබැයි, මඩේ ගිහින් තියෙනවා දැන් බඹ ගාණක් ඈතට. දැන් මෙයාට පුළුවන්ද කකුල දික්කරලා, මඩ නැති එකපාර ගොඩ අඩිය තියන්න? එහෙම පාදයක් අයිතිද මේ මනුස්සයට? නැත්තම් මේ හාමුදුරුවනට? නෑ! මේ අඩියයි, දෙකයි අන්තිමට ඈත්කරලා තියන්න පුළුවන්, කකුල් දෙකේ දුර ප්‍රමාණය. මඩේ ඉන්නකොට එච්චර තියාගන්නත් බෑ. නිදහස් පොළවේ අඩි දෙකක් එකපාර උස්සලා කකුල තියලා ඉස්සරහට ගියත්, කරවටක් මඩේ එරිලා ඉන්න පුද්ගලයට කොහොම ගොඩට එන්නද, එහෙම අඩිය තියන්න බලයක් වත් නෑ, පුළුවන් කමක් නෑ. හැබැයි බොහෝම උත්සාහ කරලා, වීර්යය කරලා, අඩි බාගයක් විතර කකුල ඉස්සරහට අරගෙන තියලා, අනික් කකුල බොහොම අමාරුවෙන් ඉස්සරහට අරන් තියලා, එහෙමයි මුළදි එන්න ඕනේ.

 

එහෙනම්, අඩිය තියන්නෙ කොහෙද? අර කරවටක් මඩේ එරිලා ඉන්න පුද්ගලයගෙ ඉන්න තැන මඩගොඩේ ඉඳලා, ගොඩ පැත්තට තියන මඩේ, මඩ පැත්තට තියන මඩේ ගියොත් තව ගැඹුරට ගිහිල්ලා මැරෙනවා හිරවෙලා, ගිලෙනවා. ගොඩ පැත්තට තියෙන මඩේ, අඩි කාලෙන්, බාගෙන්, ටික ටික අඩිය තියලා, බොහොම උත්සාහයෙන් ඉස්සරහට ඉස්සරහට එන්න ඕනේ. හැබැයි පොඩ්ඩක් හරි ඉස්සරහට ආවොත්, ගොඩ පැත්තට තියන මඩට අඩිය තිබ්බොත්, පොඩ්ඩක් හරි ගොඩ එනවා මිසක්, මඩට යන්නෙ නෑ. හැබැයි, අඩිය තිබ්බෙ මඩටමයි! එයා මොකද කරන්නේ? එකින් එකට ආවා. ටිකෙන් ටික ගොඩට ආවා, ඔය විදිහට.

 

දැන් ඉතින් ඉතුරු විස්තරේ මෙයාට තේරුම්ගන්න නුවණක් තියෙනවා. මේ දන්නැති පොඩි දේකින් වැහිලා හිටියේ. එහෙනම්, මෙයා බණ කියන්නෙ කොහොමද? කෙලින්ම අරිහත්වයට පත්වෙන්න බණ කියනවා. මෙන්න මෙච්චරකල් කරලා තිබිච්ච එක. සාමාන්‍ය මිනිහෙක් බණ අහන්න ගියාම අරිහත්වයට පත්වෙන බණ තමයි ඉස්සෙල්ලාම කියන්නේ. කොහොමද ගොඩ එන්නේ? “ඕවා ඔක්කෝම අතාරින්න! සියල්ලම අතාරින්න ඕනේ. එතකන් බෑ මේ මාර්ගය වඩන්න…”

 

දැන් ඔය ජාතියෙ බණ අදත් කියනවනේ! බණක් අහන්න ගිහාම, සම්පූර්ණ සුද්ධ වෙච්ච පුද්ගලයෙක් අරං එන්න, සෝවාන් වෙන්න පෙන්නන්න. විග්‍රහ කරනකොට පෙන්නන්න යන්නෙ, “අන්තිමටම සුද්ධ වෙච්ච පුද්ගලයෙක්ගෙ ලක්ෂණයට පත්වෙච්ච කෙනෙක් තමයි සෝවාන් වෙන්නේ”. දැන් ඕවගේ තත්වෙට පෙන්නලා බණ කියන සිරිතක් අදත් තියෙනවා. අර පෝඨිල හාමුදුරුවන්ගෙ ධර්ම දේශනා කරපු ක්‍රමය.

 

එහෙනම්, “ගොඩ පැත්තට තියෙන මඩ” කිවුවේ දැඩි කාමයන් ගෙන් ලිහිල් කාමයට ටිකෙන් ටික අඩුකරගන්න ඕනේ. එකපාරට අඩුකරන්න බෑ. මහා කාමයකට බැහැලා හිටපු පුද්ගලයට එකපාර ඒකෙන් ගොඩ එන්න බෑ. එහෙනම්, පුද්ගලයා “ක්‍රම-ක්‍රමයෙන්” ගොඩ එන්න ඕනේ.

 

ඉස්සෙල්ලම දැනගන්න ඕනේ කාමයෝ “ආදීනව සහිත” බව. කාමයෝ බල්ලන්ට අහුවෙච්ච මස් කටු වාගෙ. උකුස්සන්ට අහුවෙච්ච මස් කැටි වාගෙ. ඇටසැකිළි වාගෙ, හරයක් නැති ඒවා. ගිණි ගොඩක් වාගෙ. ඉතින් මේ මේ ආකාරයෙන් කාමයන් නිසා තිබෙන ආදීනව ඉස්සෙල්ලා අහලා තේරුම් ගත්ත කෙනෙකුටයි ඕනකම ලැබෙන්නේ “අනේ, මටත් ඒ ගිණිගොඩක් වැනි කාමයන් නිසා රාග, ද්වේෂ, මෝහ කියන ඒවයින් දැවෙන්න සිද්ධවෙනවා. ඒ නිසා අසහනකාරීත්වයක් ඇතිවෙනවා. සසර ගමනෙ පාපයන් කරගන්න සිද්ධවෙනවා. ඒවයෙ විපාක ගෙවන්න ගියොත් සතර අපාගත වෙලා අප්‍රමාණ කාලයක් දුක් විඳින්න සිද්ධ වෙනවා. සසරේ අනාථ වෙන්න සිද්ධ වෙනවා. කවදා ගොඩ එන්නද? කවදා නිදහස් වෙන්නද?”

 

මෙන්න මේ කියන අදහස ඉස්සෙල්ලා ආපුහාම, ඒ පුද්ගලයට ඕනෑකමක් ඇතිවෙනවා, “මට මේ රාග සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත ගිණි ගෙනදෙන ලෝකෙ වැඩපිළිවෙලින් අහක් වෙන්න ලැබුණා නම්, කොච්චර සාන්තද? කොච්චර ප්‍රණීතද? මං කොච්චර අනාථ භාවයෙන් නිදහස් වෙනවද? ඒ ටික කරගත්ත දවසක් මට ලැබුණොත්, එදාට නේද මගෙ සැනසීම හම්බවෙන්නේ!” කියලා මෙන්න මේ මූලික අදහස හිතට එන්න ඕනේ. මේ නිසා, කාමයන්ගෙ ආදීනව පිළිබඳව විස්තර කරලා අහනකොට, ඔය අදහස එනවා.

 

හැබැයි, කරවටක් බැහැලා ඉන්න තත්වයේ හිටපු කෙනාට ඔය අදහස කොච්චර ආවත් මෙච්චර කල් ඇසුරු කරපු රූප රාගයෙන්, සද්ද රාගයෙන්, ගන්ධ රාගයෙන්, රස රාගයෙන්, ඵොට්ටබ්බ රාගයෙන් මිදෙන්න බෑ. පංච කාමයෙන් මිදෙන්න බෑ. හැබැයි ක්‍රම ක්‍රමයෙන් එයා මත් වෙන පැත්ත අත් හැරගන්නවා. පංච කාමය ඇසුරු කළත්, පංච කාමයෙන් මත්වෙන්නේ නෑ. මත් වුන පුද්ගලයට ධර්මය පේන්නේ නෑ. එයාට විශාල ප්‍රමාදයක් වෙනවා. එයාට ඒක අත් හැරලා යන්න බෑ. එහෙනම් මොකද වෙන්නේ? එයා “මජ්ජ” වෙලා, මත්වෙනවා. “පමාද” කියලා ප්‍රමාද වෙනවා, “ඨාන” කියලා අල්ලාගන්නවා. එහෙනම් “මජ්ජ පමාද ඨාන” කියන එකට වැටිලා ඉන්නවා.

 

එහෙනම් මොකටද වැටිලා ඉන්නේ? මොනවයින් ද මත්වුනේ? “සුරාවෙන්” සහ “මේරයෙන්” මත්වෙලා. දැන් “සුරාව” මොකද්ද? “මේරය” මොකද්ද? දැන් මොකද, මෙන්න මේවා තමයි නිරුක්තිය දකින්නේ නැතුව අපි ලෝකයේ අර බණ පොත් වලින් පෙන්වලා තිබෙන ආකාරයෙන් “සුරාව” යි “මේරය” යි විග්‍රහ කරන්න ගිහාම ඇල්කොහොල් වලට සීමා කරගන්නවා. රා, අරක්කු ආදී වන්නාවූ දේවල් වල තියෙන මත්වෙන ඒවට සීමා කරගන්නවා. ඉතින් කියනවා, “පිට්ඨ සුරා, ඕදන සුරා, ඵුස්ස සුරා, පල්ලව සුරා…” ඔය මේ ආදී වශයෙන් සුරා 5ක් වෙන් කරනවා කියලා, ඕකට “මේරා” කියනවා කියලා, “සුරා යම් තැනකද, මේරා එතන” කියලා ඉතින් ඔය වගේ කියනවා, ලෞකික අර්ථ කියනවා. එයිට වඩා හරී ගැඹුරු අර්ථයක් මේ තියෙන්නේ ශික්ෂා පදයේ.

 

{25:54} : “සුරා මේරය මජ්ජ පමාද ඨාන වේරමණී” කිවුවෙ අරක්කු නොබී සිටීමද? 

“සුරා” කියලා කියන්නේ මොනවද? “සරාගික” බව. සුරා කියන්නේ සරාගය. “මේරා” කියන්නේ “මිහිරියාව”. සරාගයෙන් මිහිරියාව ලබන නිසා, පංච කාම අත්හරින්න බෑ. රූප කාමයෝ සරාගිකයි, හරි මිහිරියාවක් තියෙනවා. ශබ්ද කාමයෝ සරාගිකයි, හරි මිහිරි ආස්වාදයක් තියෙනවා. ගන්ධ කාමයෝ සරාගිකයි, හරි මිහිරි ආස්වාදයක් තියෙනවා. රස කාමයෝ සරාගිකයි, ඒකේ මිහිරි ආස්වාදයක් තියෙනවා. ඵොට්ටබ්බ කාමයෝ සරාගිකයි, ඒකේ මිහිරි ආස්වාදයක් තියෙනවා. මෙන්න මේ නිසා කවදාවත් රූප කාම, සද්ද කාම, ගන්ධ කාම, රස කාම, ඵොට්ටබ්බ කාම කියන මේ පංච කාමයෝ සරාගික නිසා, මිහිරියාවෙන් යුක්ත නිසා, ඔන්න ඔය පංච කාමයන්ට කියනවා “සුරා මේරය”

 

ඔන්න ඔය “සුරා මේරය” තියෙන තාක්කල් මේ පෘතග්ජන ලෝක සත්වයා ඕකේ මත්වෙනවා. මත්වුනාට පස්සේ ලෝකෙ අතාරින්න බෑ, ප්‍රමාද වෙනවා. එයාට මේ ලෝකෙට වඩා වැඩි දෙයක් නෑ, ලෝකෝත්තරත්වයට හිත හිටින්නෙ නෑ, බයයි. ලෝකේ ඇසුරු කරන එකේම “ඨාන” කියලා අල්ලාගන්නවා.

 

එහෙනම්, ලෝක සත්වයා, මේ සසර ගමනේ සැරිසරන පෘතග්ජනයා පංච කාමය නැමැති සුරාවෙන්, මිහිරියාවට පත්වෙලා, ඒ පංච කාමයෙන් මත්වෙලා, පංච කාමයේ ප්‍රමාද වෙමින්, පංච කාමයම අල්ලාගෙන ජීවත් වීමට කියනවා, “සුරා මේරය මජ්ජ පමාද ඨාන”

 

පස් වැනි සික්ඛා පදයකින් අපිට විග්‍රහ කරලා තියෙන ගැඹුරු දහම් අර්ථය, වැහිච්ච දහම් අර්ථය ඕකයි. මෙන්න මේක තමයි “සාසනික” දහම් අර්ථය. ලෞකික දහම් අර්ථය මොකද්ද, මත් වෙන, ප්‍රමාද වෙන දේවල්, නැත්තම් මත්පැන් වලින් මත්වෙන්න, ප්‍රමාද වෙන්න යන්නේ නෑ. “මත්වෙන, ප්‍රමාද වෙන මත්පැන් වලින් වළකිමු” කියන සීමා කරගත්ත ලෞකික අර්ථයට ඔය අර්ථය සීමා වෙනවා.

 

එහෙනම්, අපිට දැන් මේ කරගන්න තියෙන වැදගත්ම හරියක් තමයි, පංචකාමය නැමැති සුරාවෙන්, මේරයෙන්, මත්වෙලා, ප්‍රමාද වෙලා, මේ පංච කාම ලෝකේ අල්ලාගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම්, මෙන්න මේකෙන් ඉක්මෙන්න අපි මොකද්ද කරන්න ඕනේ? මේකේ ඉන්නකන් රාග සහගතයි, ද්වේෂ සහගතයි, මෝහ සහගතයි. බය වෙනවා, තැති ගන්නවා, පලා යනවා, නොයෙක් ආකාර වෙහෙස විඳින්න සිද්ධ වෙනවා, අසහනකාරී වෙනවා, මානසිකත්වය, කායිකත්වය හැම වෙලේම අසහනකාරීත්වයට ගෝචර වෙනවා, ශාන්ත බවක්, ප්‍රණීත බවක් දැකගන්න පුළුවන් කමන් නෑ ඕකේ ඉන්නකන්.

 

එහෙනම්, මූලිකම බණ අහපුහාම අපිට ලැබෙන ප්‍රතිඵලය දකින්න ඕනේ. මේ තුළ ඉන්නකන් මේ දාහය එනවා. ඔය පංච කාමයෙන් වෙන්වෙලා ගියා නම් ඔය දාහයෙන් මිදෙනවා. පංච කාමයත් සමඟ දාහයෙන් මිදිච්ච තැනක් හොයන්න බෑ. පංච කාමයත් එක්ක ගිණි හම්බවෙනවා. පංච කාමයෙන් බැහැර වෙලා ගියාට පස්සේ නිවන හම්බවෙනවා. අන්න, නිවන දැනගන්න ඉස්සෙල්ලාම ක්‍රමය. ගිණි කොහෙද තියෙන්නේ, නිවන කොහෙද තියෙන්නේ කියලා ඉස්සෙල්ලා දැකලා ඉන්න ඕනේ. මේක තමයි කියන්නේ, කර්මස්ථාන වඩන්න ඉස්සෙල්ලා කුලප්පු වෙන්නේ නැතුව, කළබල වෙන්නෙ නැතුව, පසුතලය දැනගන්න කියලා.

 

ගිණි කොහෙද තියෙන්නේ, නිවීම කොහෙද තියෙන්නේ? ඔය දෙක දැකලා තියෙන්න ඕනේ. පංච කාමත් එක්ක ගිණි තියෙනවා. ඊට පස්සේ, පංච කාමයන්ට පත්වෙන පුද්ගලයා පංච කාමයෙන් මත්වෙනකොට, ප්‍රමාද වෙනකොට, අල්ලගන්නකොට, පංච කාම භුක්තියට අවශ්‍යය කරන්නාවූ “වස්තු කාමයක්” ඇසුරු කරනවා. පංච කාම “ක්ලේෂ කාමය” ට වැටෙනවා. ක්ලේෂ කාමය නිසා පුද්ගලයා “වස්තු කාමයට” වැටෙනවා, පංච කාමයට අවශ්‍යය කරන දේවල්, උපකරණ රැස්කරන්න ගිහිල්ලා.

 

ලස්සනට මුලාවෙච්ච පුද්ගලයා ලස්සන නිසා මල්ගස් හිටවනවා, හැඩ වැඩ කරනවා, සුන්දර ලෝකයක් මවාගන්නවා, නොයෙක් ආකාරයෙන් වස්තු කාමය රැස්කරනවා. ඒ වගෙම මන වඩන්නාවූ ශබ්ද කාමයට කැමති කෙනා, ඒ සංගීත භාණ්ඩ, ඒකට අවශ්‍යය කරන්නාවූ දේවල් ඔක්කොම වස්තු කාම වශයෙන් රැස් කරගන්නවා. ගන්ධ කාමයට ඕනෑ කෙනා සෙන්ට් වර්ග, පවුඩර් වර්ග, හොඳ හොඳ සුවඳ ගහන දේවල්, ක්‍රීම් වර්ග, ඔක්කොම අරගෙන, ඒවා වස්තු කාම වශයෙන් රැස්කරනවා. රස කාමයෙන් මත්වෙච්ච කෙනා, රසය දෙන්නේ මොන ජාතියේ ආහාරද, ඒවා රැස්කරලා තියාගන්නවා, හොඳ හොඳ රසවත් ආහාර, වස්තු කාම. පහසට, පංච ස්ඵර්ශ කාමයට කැමැත්තේ යම් දෙයක්ද, ඇඳ – පුටු, කොට්ට – මෙට්ට, යාන – වාහන ආදියේ පටන්ගෙන, සුව දෙන, කායික සුඛය දෙන ඒවත්, ස්ත්‍රී නම් පුරුෂයෝ, පුරුෂයෝ නම් ස්ත්‍රී, ඔය ආදී වශයෙන් ස්ත්‍රී – පුරුෂ වශයෙන් සම්බන්ධයත්, මේ සියළුම දේවල් වස්තුකාම වශයෙන් රැස්කරගන්නවා.

 

වස්තුකාමය අත්හැරගන්න බෑ ක්ලේෂ කාමයේ මත්වෙලා ඉන්නකන්. ඒ නිසා ඒ ගින්නට තවත් පිදුරු දාගත්තා වාගෙ. ඇවිලෙන ගින්නට පිදුරු දානවා වාගෙ, වස්තුකාමයන්ට අවශ්‍යය දේවල් රැස්කරන්න ගිහිල්ලා, කාම වස්තු රැස්කරන්න ගිහිල්ලා, එයා මහා ගින්නක් දල්වගෙන, මහා දාහයට පත්වෙලා දැවෙන්න පටන් ගන්නවා. මෙන්න ගිණි වැඩිවෙන්න හේතුව.

 

එහෙනම්, අපි ක්‍රම ක්‍රමයෙන් දැනගන්න ඕනේ, ගිණි අඩු කරන්නේ මොනවයින්ද? කවදාහරි යමක් නිසා ගිණි හටගන්නවා නම්, ඒ දේ අපි ලඟ ඇසුරේ නැත්නම්, ඒ හේතුවෙන් හටගන්න ගින්න නිමුනා. අන්න නිවන් දකින හැටි! ඉස්සෙල්ලා ගිණි දකින්න ඕනේ. නමුත්, ලෝක සත්වයා ගින්නක් නෙමෙයි ඕවයේ දකින්නේ, සිසිලක්! කවදාවත් ලස්සන දෙයක් ගිණි කියලා දකින්නේ නෑ.

 

මන වඩන යම්කිසි වස්තුකාමයක් ගෙන දෙන, ලස්සන රූපයක් තිබුණොත්, “මගේ වාසනාව! සසර පිං කරලා තිබිච්චි නිසයි මට මේක හම්බවුනේ. මං කොච්චර වාසනාවන්තයෙක් ද” කිය කිය සන්තෝස වෙනවා මිසක්, “අනේ, මට ගිණි ගොඩක් අහුවුනා” කියලා ඒකේ දැවෙනවද? ඒකේ දැවෙන්නේ නෑ. හොඳට, හොඳ මිහිරි නාදයක් තමන්ට සතුකරගැනීමට අවශ්‍යය කරන බඩු භාණ්ඩයක්, ඒකට අවශ්‍යය කරන්නාවූ සංගීත භාණ්ඩයක්, මොනවා හරි කමක් නෑ, ඒකට අවශ්‍යය කරන විශේෂ රූපවාහිනී යන්ත්‍රයක්, කැසට් රේඩියෝ යන්ත්‍රයක් වුනත් කමක් නෑ, සංගීතය හොඳට දෙනවා නම්, බොල් හඬ නැත්නම්, හරි මිහිරි නම්, හරි සන්තෝසෙන් බදාගෙන ගෙනත් තියාගන්නවා, වස්තු කාමයෝ. ශබ්ද කාමයට අවශ්‍යය වන්නාවූ වස්තුව රැස්කළා. හැබැයි, එයා සන්තෝස වෙනවා මිසක්, “මට කොච්චර වාසනාවක්ද, මගෙ පෙර පිනක්ද, මට මේවා හම්බවෙනවා…” උද්දාම වෙවී සතුටු වෙනවා මිසක්, එයා දකිනවද, මේ වස්තු කාම වස්තු, කාම වස්තු ගිණි කියලා? එයා දකින්නේ නෑ.

 

ඒ වාගෙම මිහිරි සුවඳ දෙන සෙන්ට් එකක්, පවුඩර් එකක්, අවශ්‍යය කරන සුවඳ මලක්, මොනවා හරි කමක් නෑ, හම්බ වුනා නම් “මගේ හරි වාසනාවක්, මං පිං කරලා තියෙනවා, සංසාරෙත් පිං කරලා ඇති මේවා ලැබෙන්න. නැත්නම් අපිට මේවා ලැබෙනවද? අපි කොච්චර වාසනාවන්තයොද…” මෙහෙම කිය කිය සතුටු වෙනවා මිසක්, එයා කවදාවත් දැකලා නෑ “මට සුවඳ දෙන ගිණි ගොඩක් හම්බවෙලා තියෙනවා” කියලා. එයා ඒකේ ගින්නක් දැකලා නෑ.

 

ඒ වාගෙම හොඳ රසවත් දේවල්, “මගේ වාසනාවට සසරත් දන් දීලා, දීපු වාසනාව තමයි මේ හම්බවෙන්නේ…” කියලා බොහෝම උද්දාමයෙන්, රසවත් දේවල් වැඩිය හම්බවෙනවා නම්, “මං – භව බෝග සම්පත් තියෙනවා මට, හිතූ පැතූ සම්පත් තියෙනවා, රස ආහාර තියෙනවා” කියලා සන්තෝසයෙන් ඒවා අරගෙන සතුටු වෙනවා මිසක්, එයා ඒ වස්තුකාමයට අයිති ඒ කාම වස්තු, ගිණි දෙන දේවල් කියලා දැකලා නෑ. “මට ගිණි ගොඩාක් හම්බුණා” කියලා එහෙම, එහෙම හිතන ගතියක් නෑ. එහෙනම් එයා සිසිලක් හැටියට ගන්නවා.

 

හොඳ ස්ඵර්ශය දෙන, හොඳ පහස දෙන, සුඛාස්වාදය දෙන යම් යම් භාණ්ඩ හම්බවුනා නම්, ස්ත්‍රී – පුරුෂ වශයෙන් හෝ හම්බවුනා නම්, මේ සියල්ලම ඔහු මහා වාසනාවක් පහලවෙච්චි හැටියට හිතනවා මිසක්, එයා පොඩ්ඩක් වත් දැකලා නෑ ඒවායින් ගිණි හටගන්නවා කියලා. ඒවා ගිණි වස්තු බව දැකලා නෑ, ඒවා සිසිල් වස්තු කියලා දකිනවා, ඒවා සුව වස්තු හැටියට දකිනවා මිසක් දුක් වස්තු කියලා දකින්න බෑ.

 

මෙන්න මේනිසා අනාර්‍යයෙකුට කවදාවත් දුක්ඛ ආර්‍ය සත්‍යය දකින්න බෑ. එහෙනම් මොනවද දකින්නේ? ජාති දුකයි, ජරා දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි… ආදී වශයෙන් අපේ ලෞකික අර්ථයකින් විග්‍රහ කරලා තියෙන ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරනම්පි දුක්ඛං ආදී වශයෙන් අපි ඕක දැකලා, ඒවා දුකයි කියලා කියනවා.

 

{33:35} : “දුක” සහ “දුක්ඛ ආර්යය සත්‍යය” අතර වෙනස හඳුනාගනිමු

එහෙනම්, “ජරාවට පත්වෙන එක දුකයි, වැහැරෙන එක දුකයි, මරණයට පත්වෙන එක දුකයි” කියලා අපි ඔතනත් කියනවා. හැබැයි අනිත් සැරේ කියනවා, “ආර්යයෝ හැරෙන්න දුක්ඛ ආර්‍ය සත්‍යය කාටවත් දකින්න බෑ” කියලා.

 

“ඉතින් කියහංකො බලන්න දුක්ඛ ආර්‍යය සත්‍යය, උඹලාගෙ ආර්‍යයෝ දන්න එක” කියලා කිවුවොත් එහෙම අපේ බෞද්ධයෙකුට, අබෞද්ධයෙක් එහෙම… “ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි…”

 

“ඒ කියන්නේ උඹට ජරාව ගෑවුනොත් විතරයි උඹ දුක කියලා දන්නේ? අපේ ජරාව ගෑවුනොත් අපිට දුක වැටහෙන් නෑ කියලද උඹේ හිත?” (අබෞද්ධයා) ඇහුවොත් මොකක් කියන්නද?

 

“දැන් උඹට වැහැරුණොත්, උඹේ කොන්ද කුදු වුනොත්, උඹේ ඇස් පේන්නැති වුනොත්, කන් ඇහෙන්නැති වුනොත් දුකයි කියලා උඹලා දකිනවා කියලා, උඹලා උද්දාම වෙනවා, අපි (බෞද්ධයෝ) විතරයි දුක්ඛ ආර්‍ය සත්‍යය දකින්නේ, අපි (අබෞද්ධයෝ) දකින්නේ නෑ කියලා… යකෝ, අපේ ඇස් අන්ධ වුනොත් අපිට දුක නැද්ද? අපේ කොන්ද කුදු වුනත් ඇඟ වැහැරුණත් අපිට දුක දැනෙන් නැද්ද? අපිට සැපයි කියලා හිතාගන්නවද උඹලා?”

 

ඇහුවොත් මොනවා කියන්නද ? අපේ තර්කය හරිද එතකොට?

 

“බෞද්ධයෝ විතරයි දුක්ඛ ආර්‍ය සත්‍යය දකින්නේ, අබෞද්ධයින්ට, අන්‍යාගමිකයින්ට දුක්ඛ ආර්‍ය සත්‍යය දකින්න බෑ” කියලා අපි මූල නිගමනයක පිහිටලා ඉතින් “ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි” කියලා දුක විග්‍රහ කරනවා.

 

අර මනුස්සයෙක් බැරිවෙලා හරි ඇහුවොත් එහෙම, “යකෝ වැහැරෙනකොට උඹලා විතරක් යෑ, අපි වැහැරෙනකොට අපි සැපයි කියලා හිතාගෙන ඉන්නවද? අපිට යන්න – එන්න බැරිනම්, නැගිටගන්න බැරිනම්, උඹලට විතරද ඒක දුක කියලා තේරෙන්නේ?” ඇහුවොත් එහෙම, ඕක අපිට තේරෙන්නේ නැති වුනොත් අපි මොනවා කියන්නද? මොන හේතු – ඵලයෙන් ඔප්පු කරන්නද? මොට වෙන්න වෙනවනේ අපිට.

 

එහෙනම්, අන්න දකින්නේ නැති දෙයක් තියෙනවා අපි අන්න අර ඉස්සෙල්ලා කිවුව ජාතියේ. “පංච කාම සම්පත්තිය සැපයි” කියලා දකිනවා මිසක්, ඒක දුකයි කියලා දකින මාර්ගයක් තියෙනවා ආර්‍යයන්ට. හැබෑයි උඩින් මත්තෙන් බැලුවට කාටවත් හිතෙන්නේ නෑ කොහොමද පංච කාම සම්පත් දුක වෙන්නේ? එහෙම දකින්න ශක්තියක් ඉස්සෙල්ලා නෑ. අන්න, දහම් අහලා, යථාර්තය වැටහිලා තිබුණා නම්, අන්න එතෙන්දි දැනගන්නවා ඒක දුක වෙන්නෙ කොහොමද? මෙන්න මේක අපි ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. කොච්චර භාවනා කළත් නිවන් දකින්න බෑ මෙන්න මේ මූලධර්මය දැනගන්නකන්.

 

එහෙනම්, චතුරාර්‍ය සත්‍යය පිළිබඳ දුක්ඛ ආර්‍ය සත්‍යය පළමු දකින්න ඕනේ. “දුක දකිනවා” කියලා අපි දකින්නේ අද ලෝක සම්මතයේ “කවුරුත් දකින දුක.” ඔය ලෝක සම්මතයේ කවුරුත් දකින දුක දැකලා නිවන් දකිනවා නම් එහෙම, ලොවුතුරා බුදුවරු පහල වෙන්න ඕනේ නෑ නිවන් දකින්න. මොකද, බුදුරජාණන් වහන්සේ ම දේශනා කරනවා, “දුක්ඛ ආර්‍ය සත්‍යය යම් කෙනෙක් දැක්කා නම්, ඔහු දුක්ඛ සමුදය ආර්‍ය සත්‍යයත් දකී, දුක්ඛ නිරෝධ ආර්‍ය සත්‍යයත් දකී, දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදා ආර්‍ය සත්‍යයත් දකී.” දැන් දුක්ඛ ආර්‍ය සත්‍යය දැක්කා නම් හොඳටම ඇති, අනිත් තුනත් දකිනවා. ධර්මයේ හොඳට පැහැදිලිව පෙන්වලා තියෙනවා.

 

එහෙමනම්, අර මහළු වෙන එක, වයසට යන එක, ලෙඩ හැදෙන එක, නැගිටගන්න බැරිවෙන එක දුකයි කියන එක නම් ඔය දුක්ඛ ආර්‍ය් සත්‍යය කියන්නේ, අබුද්ධෝත්පාද කාලයෙත් ඕක දැකගත්තා නම් එයා නිවන් දකින්න එපැයි, පොඩ්ඩක් හරි. ඒක දුකයි කියලා දැක්කා නම්, එයාටත් දුකට හේතුව වැටහිලා තියෙන්න ඕනේ, දුක්ඛ නිරෝධය වැටහිලා තියෙන්න ඕනේ, දුක්ඛ නිරෝධ මාර්ගය වැටහිලා තියෙන්න ඕනේ. එහෙනම් ලොවුතුරා බුදුවරු පහලවෙන්න ඕනේ නෑ, ඒක දුක නම්, ඕක නම් දුක්ඛ ආර්‍ය සත්‍යය කියන්නේ, ලොවුතුරා බුදුවරු පහලවෙන්න ඕනේ නෑ චතුරාර්‍ය සත්‍යය කියාදෙන්න. මොකද, මේකේ හේතු – ඵල නියමයන් තියෙනවා. “ධර්මයට බහා බලන්න, විනයට බහා බලන්න, සැසඳෙනවා නම් ගන්න…” මෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සතර මහා පිරිසක් පෙන්වලා තියෙන්නේ ඕකයි.

 

දැන් බහා බලනවා අපි, විනයට බහා බලනවා. දැන් බලනකොට නොවෑ මේ පේන්නේ ලස්සනට, සැසඳෙන්නේ නෑ කියලා. ඉතින්, ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි, ඉතින් ඔහොම කියනවා. දැන් ඉතින් ඔහොම කිය කියා ඉන්න එක්කෙනෙක් ගෙන් අහනවා, දැන් ආච්චි – ආතා කියමුකෝ, දැන් දුවට දරුවෙක් හම්බවෙලා, එක්කෝ පුතාගෙ නෝනට දරුවෙක් හම්බවෙලා. මොකද කියන්නේ? කොහොමද දරුවා? “කිරි සප්පයා, බලන්ඩ බෑ බං ආසාවේ… බෝල ගෙඩිය වාගෙ කොල්ලා! මට දැක්කහම ආසාවේ බෑ..!”

 

ආයි ජාතිය දුකයි කිවුව එක්කෙනා කියන්නෙ නැද්ද ඕක? තමන්ගේ ලේලිට හරි, තමන්ගෙ දුවට හරි දරුවෙක් හම්බවෙලා ඉන්නකොට, හොඳ බෝලගෙඩිය වාගෙ කොල්ලෙක්, ලස්සන එකෙක් එහෙම හම්බවෙලා ඉන්නවා කිවුවහම ඇවිදිල්ලා, සන්තෝස වෙලා කියන්නෙ කොහොමද? “අනේ බං, දුක් ගොඩක් හම්බෙලා!” කියනවද ඇවිල්ලා? කියයිද, වැටහෙයිද? ඉතින් ඒකේ දුකක් දැකලා නෑ නේ. එතකොට කොහොමද එයා දකින්නේ? එතකොට දුක දැක්කේ කොහේද? කෝ දුක්ඛ ආර්‍ය සත්‍යය දැකලා? දැන් ජාතිය සැපයි කියලා පෙනි පෙනී දකිනවා නම්…

 

අනිත් සැරේ, කෙනෙක් මැරිලා. කොහෙද ගියේ කියලා හොයනකොට, සාත්තර කියන තැනකින් හරි කමක් නෑ, කවුරුහරි එබඳු ශක්තියක් තියෙන එක්කෙනෙක්ගෙන්, ගුප්ත ශක්තියක් තියෙන කෙනෙක්ගෙන් හරි කමක් නෑ, ගිහිල්ලා, අහලා, හොයලා බලනකොට, “අන්න දිව්‍යලෝකේ ඉපදිලා ලු…” දැන් හරි සන්තෝසයි. අපායෙ ගිහින් කිවුවොත් එහෙම, තිරිසන් ලෝකේ කිවුවොත් එහෙම දුකයි. දැන් එයා ජාති දුක දැක්කා නම් ඉතින්, “අනේ අප්පොච්චියේ බලමුකෝ… දිව්‍ය ලෝකේ උපන්නා නේ, ඉවර වෙන්නේ නැතුව…” එහෙම කියනවද? නෑ, සන්තෝස වෙනවා. ප්‍රේතයෙක් වෙලා ඉන්නවද? පිනක් කරලා හරි දිව්‍යලෝකෙට යවන්න බැරිද? පුළුවන් නම් එහෙම, හරි සන්තෝසයි දිව්‍යලෝකේ කියලා.

 

එහෙනම්, අපි දැන් මෙතන ඔක්කොම ජාති දුකයි කියලා දැකලා තියෙනවද? තිරිසන් ජාති දුකයි කියන්න පුළුවන්. පෙරේතයෙක් වෙලා උපන්නහම, පෙරේත ජාති දුකයි. අපායෙ ගියොත්, අපාගත ජාති දුකයි. එහෙම කියනවා. දෙවියෙක් වුනොත්, බ්‍රහ්මයෙක් වුනොත් එහෙම දුකද කියලා අපි පිළිගන්නවද? එහෙනම්, අපි ඒක පිළිගන්නේ නෑ. දැන් එතකොට මොනවද මේ අපිට පෙන්නලා තියෙන්නෙ? ජාතිය දුකයි කිවුවොත්, අපි කවදා දැන් ඔය තත්වයෙන් ඉක්ම ගිහිල්ලා, ඕක පිළිගන්නද? එහෙනම්, මූල ධර්මයක් වශයෙන් අපි ඔතෙන්ට එන්නේ කොහොමද?

 

{0:39:16} : ආස්වාද නැත්තම් බැඳෙන්නෙ නෑ, ආදීනව නැත්තම් ගැලවෙන්නෙත් නෑ

එක්තරා භික්ෂූන් වහන්සේ නමක් ආරණ්‍යයක වැඩ ඉන්නකොට, එක්තරා මනුස්සයෙක් ඇවිදින් අහනවා, “ස්වාමීනි, ඔබවහන්සේලා මේ ආරණ්‍ය වලට වෙලා, මේ කැළෑ වල, හුදකලාව, පාළු දිවියක් ගතකරමින් ඉන්නේ ඇයි? මොනවා දැකලද? මොන සුවයක් දැකලද ඔය ඉන්නේ?”

 

“මේ ලෝකෙ ඔක්කොම දුකයි නේ, මේ ලෝකෙ දුක නිසා මේකෙන් අහක් වෙන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ, වීර්‍යය කරන්නේ, මේ විදිහට හුදකලා, විවේකී ජීවිතයක් ගතකරමින්.”

 

“මේ මහණ මහ පුදුම මහණෙක් නේ… පෙනි පෙනී තියෙන සැපටත් දුකයි කියන එකා මොකාද? මේක අමුතු ජාතියේ බණක්” කියලා යන්න ගියා. “මේ ඔක්කෝම දුකයි කියනවා, මේ පෙනි පෙනී සැප තියෙනවා. සැප පෙනි පෙනී තියෙද්දී, මේක දුකයි කියලා කියන මේ මෝඩයා කවුද?” කියලා යන්න ගියා.

 

දැන් බුදුරජාණන් වහන්සේට මේ කාරණය ආරංචි වුනා. ආරංචි වෙලා, “ඒ භික්ෂුවට එන්න කියන්න” කිවුවා. “මහණ, ඒ මනුස්සයා ප්‍රශ්නයක් අහනකොට ඔබ කොහොමද විසඳුවේ?”

 

“ස්වාමීනි, මේ ලෝකෙම දුකයි කියලා මම කිවුවා” “ඒ මනුස්සයා මොකද කිවුවේ?” “පෙනි පෙනී තියෙන සැප, පෙනි පෙනී තියෙද්දී, මේ ලෝකෙ දුකයි කියන මෝඩයා කවුද..? කියලා යන්න ගියා” ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා, “ඇයි මෝඩයෝ එහෙම කිවුවේ? කවුද උඹට එහෙම බණක් කියලා තියෙන්නේ? මම දේශනා කරලා තියෙනවද මේ ලෝකෙ ඔක්කොම දුකයි කියලා? කවුද එහෙම බණක් කිවුවේ?”

 

“මහණ, මේ ලෝකේ ප්‍රිය ස්වභාවයක්, මධුර ස්වභාවයක් නැත්තම් ලෝක සත්වයා මෙහි සැරිසරනවද? ඇලෙනවද? ප්‍රිය ස්වභාවයක් ඇති නිසාම, මධුර ස්වභාවයක් ඇති නිසාම නේද මේ ලෝක සත්වයා මේකෙ සැරිසරන්නේ? ඇලෙන්නේ? සසර හොඳයි කියන්නේ? නැත්නම් කියනවද? මේකෙ යම්කිසි ආදීනවයක් තිබිලා, මේක හැඟවිච්ච ආදීනවයක් තියෙනවා, මේක එළිබැස්සෙවුවේ නැත්නම් මේ සත්වයා මිදෙනවද? ” [ත්‍රිපිටක සූචිය]

 

එහෙනම්, මේ ලෝකයේ ප්‍රිය ස්වභාවයක්, මධුර ස්වභාවයක් මතුවෙලා තියෙනවා, ලෝක සත්වයා ඕකට ඇලෙනවා. ඒක නෑ කියන්න බෑ, ඒක තමයි දුකට හේතුව. දුකට හේතුව දුක නෙමෙයි, දුකට හේතුව ප්‍රියයි, මධුරයි. ඒ ප්‍රිය මධුර දේ ඇසුරු කරන්න ගිහිල්ලා දුකට වැටෙනවා. අන්න ඒකයි හැඟවිච්ච ආදීනවය. හැඟවිච්ච ආදීනවය මතුකරගන්න ඕනේ. එතකොට මතුවෙලා තිබෙන්නාවූ අර මායා සහගත සුඛ ස්වභාවයෙන් අර ආදීනවය ආයි යටපත් කරන්න බෑ…”

 

උපමාවක් වශයෙන් පෙන්වනවා, මත්පැන් බීමට රිසි වෙච්ච මනුස්සයෙකුට, කැමති මනුස්සයෙකුට, ඒ සිහි කරන සුවඳත්, රසයත්, ඒ මත් ස්වභාවයත් ඇතිකරන මත්පැන් වීදුරුවක් දීලා, හරි සන්තෝසෙන් ඉන්නකොට කියනවා, “කැමති නම් බොන්න, හැබැයි ඕකට වහ දාලා” දැන් මොකද කරන්නේ? ඒ සුවඳත් දැනෙනවා. ඒ රහත් දැනෙනවා. බිවුවහම වෙරි වෙන එකත් හරි, මත් වෙන එකත් හරි, හැබැයි, මරණය හෝ මරණය සමාන දුකකට පත්වෙන්න පුළුවන් මේ වහ ගැණුනහම. ඒකේ තියෙනවා වහ. වහ අහක් කරලා බොන්න විදිහකුත් නෑ. දැන් බොනවද? වහ දාලා තියෙන බව දන්නවා නම්, කොච්චර ප්‍රිය වුනත් අර මත්පැන් ටික බොන්නේ නෑ. මොකද, ආස්වාදය එක ගුණයක් නම්, ආදීනවය දහස් ගුණයක්. එයා දකිනවා කාරණය.

 

{42:26} : සියල්ල දුක සේ දකින්න කියලා බුද්ධ දේශනාවෙ කියන්නෙ නෑ!

එහෙනම්, “ආස්වාදය ආස්වාදය හැටියට දකින්න. ආදීනවය ආදීනවය හැටියට දකින්න. ආදීනවය, ආදීනවය හැටියට දකින්න. අන්න එදාට නිස්සරණය, නිස්සරණය හැටියට දකී”. [ත්‍රිපිටක සූචිය]. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය. “ආස්වාදය නෑ” කියලා අමුතු බණ කියන්න ගිහාමයි මේ ප්‍රශ්න ඇතිවෙන්නේ.

 

දැන් මේ නිසා, අද වෙනකොටත් කියනවා, “බුදු දහම කියන්නේ දුක පෙන්නන ආගමක්” කියලා මේ වගේ හංවඩුවක් ගහන්න යනවා. අන්‍යාගමිකයොත් මේක කියනවා. “බුදු දහම කියන්නේ ලෝකෙට දුක පෙන්නන එකක්” මෙහෙම කියන්න යනවා.

 

අන්න, බුදු බණ පටහැනි කරලා, බුදු බණ විරුද්ධ කරලා කතා කරන්න ගිය අය කරලා තියෙන අවැඩ! මේකෙන් ලෝකෙට මතුවෙලා තියෙන අදහස. මේ “සියල්ල දුකයි! සියල්ල දුකයි!” කියලා කියන්න පටන්ගෙන තියෙනවා බොහෝකොටම. මෙන්න මේ නිසාම අර පහර කන්න වෙලා තියෙනවා. මේකට උත්තර දෙන්න බැරුව ඇකිලෙන්නත් වෙලා තියෙනවා.

 

ඉතින් කවුරු දේශනා කරපු එකක් ද දේශනා කළේ කියලා බුදුරජාණන් වහන්සේම අහනවා, “කවුද මෝඩයෝ සියල්ල දුකයි කියලා කිවුවේ? සියල්ල දුක නං ලෝක සත්වයා ඇලෙනවද? ප්‍රිය ස්වභාවයක්, මධුර ස්වභාවයක් ලෝකෙ නැත්නම් මේ ලෝක සත්වයා ඇලෙනවද?” [ත්‍රිපිටක සූචිය]

 

එහෙනම්, බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයා රැවැට්ටුවේ නෑ. ඇත්ත ඇති ආකාරයෙන් පෙන්නුවා. යථාර්තය මතුකරගන්න සත්‍යය පෙන්නුවා. එහෙනම්, පේන්න තියෙන දේ, පේන්න තියෙන ආකාරය හරියට පෙන්නුවා. දැන් මේ ටික අපි දැක්කෙ නැතුව, අපි දුක කොහෙද තියෙන්නෙ කියලා දැක්කෙත් නෑ. “සියල්ල දුකයි” කිවුවහම අපිට හොයාගන්න බැරි පැටලුමකට ගියා. අපි අපේ නුවණ මෙහෙයවලා නෑ දැන්, බුද්ධිය මෙහෙයවලා නෑ. කියන්නං වාලේ කියලා. එතකොට, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට විරුද්ධ දෙයක් කියනවා.

 

“සබ්බේ සංඛාරා දුක්ඛා ති” කියන මේ වචනය අරගෙන, “ඇයි, කියා තියෙන්නේ ඔය… සියළු සංඛාරයෝ දුකයි කියලා” කියන්නැද්ද? දැන් අහනවා. “මොකද, සියල්ල දුක නෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑ කියන්නේ කොහොමද? සබ්බේ සංඛාරා දුක්ඛා ති කියලා කියලා නැද්ද?”

 

දැන් අහපුහාම මොකද්ද දෙන උත්තරේ? අන්න අපිට වැදගත් දෙයක් තියෙනවා, කෝ නිරුක්ති තෝරලා? කෝ පෙළ දහමේ වාක්‍යයට නිරුක්තිය? “සංඛාර” තෝරලා කෝ? මොනවද “සංඛාර” කියන්නේ? තෝරලා නෑ නේ!

 

දැන් මේ ටිකේ මේ පසුතලය දෙන්න වෙනවා, මේ බණ කියන්න ඉස්සෙල්ලා. කර්මස්ථාන දෙන්න ඉස්සෙල්ලා මේවා දීලා ඉන්න වෙනවා, මේ පසුතලය හදන්න වෙනවා. එහෙනම් අපි කෝ මොනවද හොයන්නේ? කොහෙද, දුක දකින්නේ නැතුව කොහොමද එයින් එහාට යන්නේ? දුක වෙන් කරගන්නේ නැතුව කොහොමද දුකෙන් මිදෙන්නේ? දුකෙන් මිදෙන මඟ දන්නෙ නැතුව මොකද්ද වඩන්නේ? අන්න තේරුම් ගන්න ඕනේ. එහෙනම්, මේ ටික අපි ඉස්සෙල්ලා හොඳට දකින්න ඕනේ.

 

{0:44:57} : “සං” කිරීම, සංඛාර, සංඛත නිවැරදිව හඳුනා ගනිමු

“සංඛාර” කියන්නේ මොනවද? දැං “සංඛාර” කියනකොට, දැන් අද හිතාගෙන ඉන්නේ, “මේ ලෝකේ හැමතැනම තියෙන්නේ සංඛාර” දැන් හිතනවා මේ විදිහට. මේ ලෝකේ හැමතැනම “සංඛාර” නම්, බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධයක් ලෝකේ කියලා දේශනා කරන්න ඕනැද? “සංඛාරස්කන්ධය” කිවුවා නම් ඉවරයි නේ, ඒකන්සන්ධයෙන් පුළුවන් නේ ලෝකෙ පෙන්නන්න….

 

අන්න ධර්මයට දාලා බලන හැටි, දැන් බහා හිටින්න ඕනේ හරියට එහෙනම්. එහෙනම්, පංචස්කන්ධයක් වෙන් කරන්න ඕනේ නෑ, ලෝකෙ කියලා… “මේ ලෝකෙම තියෙන්නෙ සංඛාර” කිවුවම, මේ ලෝකෙ….. (පටිගත වීමේදී සුළු කොටසක් මගහැරී ගොස් ඇත)…. “රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන කොටස් පහකින් මේ ලෝකෙ පෙන්නලා තියෙනවා. “සංඛාර” කියන්නේ එක කොටසක් පමණයි.

 

“සබ්බේ සංඛාරා” කියන්නේ සංඛාර කියන කොටසට අයිති සියල්ල. “මුළු ලෝකෙම” කියන එක නෙමෙයි මේ සබ්බේ සංඛාර කියන්නේ. එහෙනම්, සංඛාර කියන එකේ, වචනේ නිරුක්තිය දකින්න ඕනේ. මේ “සං” කියන වචනෙන් පෙන්නන්නේ, මුළු ලෝකේ හටගන්න දේවල්. යමක් යමක් එකතු වෙලා යමක් ගොඩනැගෙනවද, මෙන්න මේ එකතූන්ගෙන් හටගන්න දේවල් වලට “සං” කියනවා. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන ධාතු හතර එකතු වෙලා හට ගත්ත ද්‍රව්‍ය වස්තු, ධාතු හතරෙන් එකතු වෙච්චා “සං”.

 

අන්න ධාතු හතර එකට යෝග උනාම සං-යෝග උනා. එකට බැඳුනාම සං-බන්ධ උනා. එකට පිඩු වුනාම සං-පිණ්ඩ උනා. අන්න ලෝකේ හටගන්න හැටි. වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන චිත්ත චෛයිතසිකයන් එකට බැඳුනාම ඒ ඒ ජාතියේ හිත් හටගන්නවා. අන්න “සං” හටගත්තා.

 

එතකොට නාම ධර්ම හටගන්නේ “සං” කියන එකතුවෙන්. වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ එකිනෙකට සංයෝග වෙලා, සම්බන්ධ වෙලා, සම්පිණ්ඩ වෙලා සකස් උනහම හටගන්නවා අන්න “සං” කියන ගොඩවල්.

 

මෙන්න මේවා කරන්නේ යමක්ද, මේවා නිකන් හටගන්නේ නෑ. යම්කිසි ක්‍රියාදාමයකට ගෝචර වෙච්ච නිසයි මේවා ඒ ඒ ආකාරයෙන් ගොඩනැගෙන්නේ. එහෙනම් මෙන්න මේ ක්‍රියාදාමය යම් කිසි බලවේගයකින් සිද්ධ වෙනවද, මේක උත්සහායක් නිසා, වීර්යයක් නිසා ගොඩනගනවා මිසක්, උත්සහායක්, වීර්යයක් නිසා මතු කරපු ශක්ති විශේෂයක් ක්‍රියාත්මක වීමෙන් ගොඩනැගෙනවා මිසක්, ක්‍රියාත්මක වෙනවා මිසක්, නැත්තම් මේ නාම ධර්මයක් හෝ රූප ධර්මයක් නිකන් ගොඩනැගෙන්නේ නෑ කොතනකවත්. එහෙනම් මේ “සං” කියන්නා වූ ක්‍රියාවලිය යමකින් කරනවද, මෙන්න මේ කරන වැඩපිළිවෙල තියෙන එන්න ඒ ක්‍රියාදාමයට කියනවා “සංඛාර”.

 

යමක් අපිට කරගන්න ආසයි, ඕනකමක් තියෙනවා. “ගෙයක් හදා ගන්න ඕනෑ, ලස්සන ගෙයක්”, ආවා නිගමනය. දැන් “ලස්සන ගේ” කියන්නේ ගඩොල්, වැලි, උළු, ලී ඔක්කෝම එකතු වෙලා කරපු එක. කරපු වැඩේ නම් “කතය”, “කෘතය”, කරපු එක, “සංඛත”.

 

සංඛතයක් හැදුනේ මොකෙන්ද? අර අත්තිවාරම් දාලා, ඔක්කොම බිත්ති බැදලා, ඔක්කොම කරලා, වහළේ ගහලා, ඔක්කොම කරලා, මහා වීර්යයකින්, උත්සාහ වීර්යයකින් මහා වැඩපිළිවෙලක් කිරීමේ ප්‍රතිඵලය තමයි, “සංඛාර” වල ප්‍රතිඵලය තමයි “සංඛතයක්” ගොඩනැගීම. ගෙය නමැති සංඛතය ගොඩනැගුනා.

 

එහෙනම්, ගෘහය කියන්නේ සංඛාරයක් නෙමෙයි සංඛතයක්. ගෘහය ගොඩනැගුනේ සංඛාර නිසා. එනම් අනුන්ගේ ශ්‍රමය නිසා. විශාල ශ්‍රමයක් වැය කරලා ඕනේ එකින් එක ගොඩනගන්න. මෙන්න මේ “සං” කියන එකතූන් ක්‍රියාත්මක කරන්න අපි දාඩිය මුගුරු දාගෙනත් මහන්සි වෙනවා, වෙහෙස වෙනවා. මෙන්න මේ වෙහෙස වෙන ක්‍රියාදාමය “ඛාර!”

 

“සං” නමැති එකතුවක් ක්‍රියාත්මක කරන්න යම් උත්සහායක් වෙහෙසක් ගන්නවද, මෙන්න මේක දුක නැද්ද? දැන් ඕක සැනසුමක්ද? දාඩිය මුගුරු පෙරාගෙන වැඩ කරන එක සැපද? යමක් ගොඩනගන්න උත්සාහ කරනවා, වීර්යය කරනවා. උත්සාහ කරන එක, වීර්යය කරන එක සැපද?

 

හැබැයි මෙන්න මේක වැහිලා තියෙනවා එක දේකින්, මොකටද ඒ තරම් උත්සාහ කරන්නේ? මොකටද මෙච්චර වීර්යය කරන්නේ? කුමක් නිපදවන්නද? මතු අනාගතයේදී මෙන්න මෙබඳු ඵලයක්, සුවදායක ඵලයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

අන්න “ප්‍රිය ස්වභාවයක්, මධුර ස්වභාවයක්” තියෙනවා ලෝකේ. ඔන්න ඔය ප්‍රිය ස්වභාවය මධුර ස්වභාවය නිසාම, ඒ දේ කරා හිත තියාගෙන, ඒ ප්‍රිය ස්වභාවය මධුර ස්වභාවය යමෙකින් විද්‍යමාන කරනවද, මෙන්න මේ ටික බලාපොරොත්තුවෙන් මොකද කරන්නේ ලෝක සත්වයා, අන්න දුකට හේතුව එතනයි තියෙන්නේ, ඒ නිසා වෙහෙසෙනවා, පොර බදනවා, “ඛාර” කරනවා. මෙන්න “සංඛාර”.

 

ඉන් ගොඩනගන්න හදන්නේ පුණ්‍ය දෙයක් නම්, ඒ පුණ්‍ය දේ ගොඩනගන්න කරන වැඩපිළිවෙලට කියනවා “පුණ්‍ය සංඛාර”. ගොඩනගාගන්නේ ආශ්වාද ලබන්න පාප දෙයක් නම්, ඒ ගොඩනගන්න කරන උත්සාහය විර්යයට කියනවා “පාප සංඛාර”, නැත්තම් “අපුණ්‍ය සංඛාර”. එතකොට ගොඩනගාගන්න බලාපොරොත්තු වෙන්නේ එබඳු ප්‍රිය ආශ්වාදයක්, අප්‍රිය දෙයක් නැති මධ්‍යස්ථ දෙයක් නම්, නැති නම් එදිනෙදා ජීවත් වෙන්න අවශ්‍ය දෙයක් නම්, ඕකට කියනවා “ආනෙඤ්ජාභි සංඛාර”.

 

කෝකට හරි උත්සාහයක් වීර්යයක් යෙදෙනවා නම්, “සංඛාර කියන්නේ ඔන්න ඔය කරන උත්සාහයට වීර්යයට”. සංඛාර ද්‍රව්‍ය වස්තු නෙවෙයි. යම් ද්‍රව්‍ය වස්තුවක්, නාම ධර්මයක් හෝ රූප ධර්මයක් ගොඩනගන්න, යම් උත්සාහයක, වීර්යයක යෙදෙනවද, මෙන්න මේ කරන උත්සාහය, වීර්යය, ආධ්‍යාත්මිකව නඟන සංඛාර.

 

{50:42} : ආස්වාද මායාවෙන් වැහිලා තියෙන සංඛාර දුක දකින්න

දුන්න ශක්ති විශේෂය ලෝකෙත් ක්‍රියාත්මක වෙනවා. අපි ආධ්‍යාත්මිකව ගොඩනගලා ශක්ති විශේෂයක් බාහිරයට බැහැර කරපුවහම, බලවත් ශක්ති විශේෂයක් ගොඩනගපු නිසා, ඒක ඉවර වෙනකන් අතරමැද ක්‍රියාදාමයක් හැටියට ක්‍රියාත්මක වෙනවා, ඒ ශක්තිය ඉවර වෙනකන්. හැබැයි බාහිර ලෝකේ ක්‍රියාත්මක වෙන අංශු මාත්‍ර ශක්තියක් ක්‍රියාත්මක වෙනවා නම්, මනසින් ගොඩනගල දුන්න ඒවා නිසා තමයි ඒ ක්‍රියාවලිය බාහිර ලෝකේ දකින්න හම්බෙන්නේ.

 

එහෙනම් බාහිර සංඛාරයක් නිපදවෙනවා නම්, අභ්‍යන්තරයෙන් නිපදවපු උත්සාහය, වීර්යයේ ප්‍රතිඵලයක් තමයි බාහිර ක්‍රියාත්මක වෙන්නේ. අපිට පෙන්නේ නෑ මේ ගුප්ත පැත්ත. නමුත් බාහිර ලෝකේ ක්‍රියාත්මක වන ඒවා අපිට පේනවා. වැහි වහිනවා, කඳු කඩාගෙන යනවා, සුළි සුළං එනවා, විශාල බලවේග ක්‍රියාත්මක වෙනවා, මේවා ඔක්කොම පේනවා. ඕවයේත් යම් ක්‍රියාවලියක් සිද්ධ වෙලා තවත් තවත් දේවල් නිපදවනවා.

 

අන්න ඒවාට ක්‍රියා ශක්තිය කොයින්ද? කවදා හරි මනසකින් ගොඩනගල විහිදෝපුවා. විහිදෝපුවැයෙ දෙවැනි ඵලය! අන්න, විහිදවන වෙලාවේදී ආධ්‍යාත්මික වශයෙන් අපි සංඛාර නිපදවනවා. මෙන්න මේ එක සංඛාරයක්, එහෙනම් උත්සහායක්, වීර්යයක්. ඒ නිපදවපු සංඛාරය බාහිරට දුන්න කාලය තියෙන කල් බාහිරයේ ක්‍රියාත්මක වෙනවා.

 

එහෙනම් ඒකත් අපි දුක සේ ගොඩනගපු දෙයක ප්‍රතිඵලයක් මිසක්, සැපසේ ගොඩනගපු එකක් නෙමෙයි. හැබැයි මේ සංඛාර වලට අපි ප්‍රියයි, මොකක් නිසාද? මතු අර බලාපොරොත්තු වන ප්‍රිය ස්වභාවයක් මධුර ස්වභාවයක් යමකින් ජනිත කරනවා නම් යම් රූපයකින්, අන්න ඒකට ප්‍රියයි. යම් වේදනාවකින් මතු කරනවා නම් ඒකට ප්‍රියයි. සැප වේදනාවක් ඇත්තම් ඒකට ප්‍රියයි. මෙන්න මේ නිසා ඒ ප්‍රිය ස්වභාවයට හිත තියාගෙන, “කොච්චර මහන්සි උනත් කමක් නෑ, කොච්චර උත්සාහ කලත් කමක් නෑ, මේකේ ප්‍රතිඵලයක් ලැබෙනවා… මෙහෙම ආශ්වාද ජනකයි”. අන්න ඒ “ආශ්වාද මායාව” තුලින් අර දුක වහනවා. මෙන්න මේ නිසා ලෝක සත්වයාට මේ සංඛාර දුකයි කියල පෙන්නේ නෑ.

 

මිනිහෙක් කුඹුරක් වැඩ කරනවා, සරු සාරව හැදෙනවා. හැදෙනවා දකින්න දකින්න පෝර ගහනවා, බේත් ගහනවා, වල් පැළ නෙලනවා, එස්නම් බඳිනවා, වතුර නවත්තන ඒවා නවත්තනවා, බහින්න ඕනෙ ඒවා බස්සෝනවා, ඔක්කොම කරලා, හදලා, මිනිහ කරනවා, මහන්සිය මයි වෙන්නේ දාඩිය මුගුරු පෙරාගෙන. හැබැයි ගොයම දිහා බල බලා සතුටු වෙනවා. “හොඳට හැදෙනවා…” හැබැයි ගොයම හොඳට හැදිලා, කොල දාලා විතරක් ආවනම් එහෙම? නැති උනොත් ඵලදාව නැත්නම් එහෙම? “ෂික්, වෙච්ච මහන්සිය…”

 

එහෙනම් එයා සතුටු වෙන්නේ ඵලදාව ගැන හිතල. ගොයම හොඳට හැදෙන හින්දා නෙමෙයි සතුටු වෙන්නේ. කියනවා “ඔය හොඳට වැඩිපුර හැදුනොත් එහෙම ඵලදාව නැති වෙනවා” යි කියලා, හොඳට හැදෙනවට සතුටු වෙන්නේ නෑ. ඵලදාව එන්නේ කොයි ක්‍රමයෙන්ද කියල දැක්කොත්, ඒ ක්‍රමයට හැදෙනවා නම් තමයි, ඒ හැදීම දැකල සතුටු වෙන්නේ. එහෙනම් ගොයම සරුසාරව හැදිලා තියෙනව දැකල සතුටු වෙන්නේ ඵලදාව ගැන හිතාගෙන.

 

මෙන්න මේ වගේ, ලෝක සත්වයන් මේ ආශ්වාදයක් බලාපොරොත්තුවෙන් යමකින් දෙන ආශ්වාදයෙහි හිත බැඳගෙන, එබඳු ආශ්වාදයක් ලබන බලාපොරොත්තුවෙන් ඒ දේ නිපදවන්න උත්සාහ ගන්නවා, වීර්යය ගන්නවා කෙළවරක් නැතිව. මෙන්න මේ “සංඛාරයන්ගේ හටගැනීම දුකයි” කියල පෙන්නේ නෑ, අර ආශ්වාදයෙන් වහන නිසා. ඒ නිසා ඔහු “සංඛාර සැපයි” කියල හිතා ගන්නවා.

 

ඔක්කොම හදල කරලා ඉවර වුනාට පස්සේ අලි කාලා ගියා හේන, පැහුණට පස්සේ. මොකද කරන්නේ? බලනකොට ඇවිදිල්ලා, උදේ බලනකොට රෑ ඔක්කොම හේන, ඔක්කොම කුඹුර අලි කාලා ගිහිල්ලා. “අප්පොච්චියේ වෙච්ච මහන්සියක්. කොච්චර මහන්සි උනාද? කොච්චර වෙහෙස උනාද?” දැන් තමයි වෙහෙස දකින්නේ. අන්න “සංඛාර දුක්ඛය” දකිනවා ප්‍රතිඵලය ගන්න බැරි උනා නම්.

 

ප්‍රතිඵලය හම්බුනා නම් අර ආශ්වාදයෙන් වහනවා, “සංඛාර සැපයි” කියන දෘෂ්ටියක් ඇති කරනවා. “කොච්චර මහන්සි උනත් කමක් නෑ ප්‍රතිඵලය හොඳට තියෙනවා, මහන්සිය හරි සාර්ථකයි!” ඒ මහන්සිය දුකමයි, දුක් සහගත මහන්සිය, අන්න අර ප්‍රතිඵලයක තියෙන ආශ්වාදයෙන් වහනවා. මෙන්න ලෝක සත්වයා නොදැකපු දුකක්. ඔය දුක සාමාන්‍ය ලෝකයා දකින්නේ නෑ.

 

යමක් ආශ්වාදජනකද, මෙන්න මේ ආශ්වාදයේ හිත බැඳගැනීම නිසා, ඒ “ආශ්වාදය වටිනවා” කියන තීරණය නිසා ලෝක සත්වයාට විද්‍යාමාන වුනත් විද්‍යාමාන වුනේ දුකක් කියල පෙන්නේ නෑ. අන්න බාහිර ලෝකයා නොදකින දුකක්. ඔය දුක බාහිර ලෝකයා දකින්නේ නෑ.

 

{54:59} : බෞද්ධ වෙන්නේ ලේ වලින්, ලේබලෙන් නෙමෙයි, හරයක් නැති බව දුටු තරමටයි

එහෙනම් ආර්යයෝ දකින්නේ කොහොමද? ආර්යයෝ කවදා හරි දකිනවා “මේ ප්‍රිය ස්වභාවයයි, මධුර ස්වභාවයයි කියන මේවා හරයක් නෑ…” හරයක් නෑ කියල දකින දහම් ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දුන්නේ, ඇත්තක්මයි දුන්නේ, බොරුවක් නෙමෙයි! බොරුවෙන් රැවැට්ටුවේ නෑ. හරයක් නැති නිසාම හරයක් නෑ කියල බලන්න ක්‍රමයක් තිබිලා, මෙන්න මේ විද්‍යා සිද්ධාන්තයට අනුව බලන්න.

 

ආගම් භේදයක් මේකේ නෑ. කුල, මල, ජාති භේදයකුත් නෑ. ගිහි පැවැදි භේදයකුත් නෑ, කාට හරි නුවණ තියෙනවනම් කල්පණා කරලා බලන්නකෝ ඇත්තද කියලා. ඒක කල්පණා කරන මොහොතක් උනා නම්, ඔහු ගමන් කරන්නේ ආර්යය මාර්ගයේ, ලෝක සම්මත ලේබලේ කෝක උනත්. මෙන්න “ආර්යයෙක් වෙන හැටි” දැනගන්න ඕනේ. ආර්යයෙක් කියන්නේ ලෝක සම්මතයේ තියෙන ලේබල් වලින් නෙමෙයි.

 

පල්ලියේ ඉන්න ෆාදර් ලැහැස්තිවෙලා කල්පණා කරා නම් ඔය ක්‍රමය ඇත්තද කියලා, ෆාදර් අනුගමනය කරන්නේ ඒ වෙලාවේදී සම්මතයෙන් ක්‍රිස්තියානි, නමුත් මාර්ගය ආර්ය මාර්ගයයි. ආර්ය මාර්ගයේ ගමන් කරනවා. ඒක ලෝකයාට පෙන්නේ නෑ.

 

“බෞද්ධයෙක්” කියල කෙනෙක් ඉන්නවා සිවුරු දාගත්ත ස්වාමින්වහන්සේ නමක් ඉන්නවා, ත්‍රිපිටකධාරී වෙලා ඉන්න පුළුවන්. එයා ආශ්වාද දෙන ඒවා, “ඕවා නෙමෙයි බන්, හොඳ ලස්සන ගෙයක් හදාගන්න ඕනේ, ඉන්න තැන් හොදට තියෙන්න ඕනේ, මේවා ඔක්කොම හදල මාබල් අල්ලලා තියෙන්න ඕනේ, මෙහෙමයි ලස්සනට තියෙන්න එපැයි…” එයා එතන නම් ඉන්නේ, එයා ලේ වලින් බෞද්ධයි, ආර්ය මාර්ගයෙන් පිටයි.

 

මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. අපි මේ බෞද්ධ අබෞද්ධ මනින්නෙත් එක්තරා බේද-භින්නතාවයකට, බේද කරගන්න තාලෙකට. මේ නිසා පක්ෂ භේදයක් හැදෙනවා, ආගම් භේදයක් හැදෙනවා. එක එක විදියේ නිල තල භේදයක් හටගන්නවා. සීලවන්ත, ගුණවන්ත භේදයක් හටගන්නවා. මේ ලෝක සම්මතයන් ඇසුරු කරලා හදා ගන්න භේද. ඒ තුලින් අපිට යන්න බෑ ආර්යයත්වය කරා.

 

ඔය සම්මතය පැත්තකින් තියලා, සම්මතය ඉක්මවා ගිය පරමාර්ථයක් දකින්න ඕනේ. මෙන්න මේ පරමාර්ථය තුළින් තමයි නියම බෞද්ධත්වයට පත්වෙන්නේ. තමන්ගේ බුද්ධිය පුබුදුවා ගන්නේ, සත්‍ය ක්‍රමය දරාගෙන හරියට හිතනවා නම්, මොන ආගමක කියල ලේබලය කොහොම තිබුනත්, එන්න පුළුවන් කමක් තියෙනවා ඔතෙන්ට. දැන් මේ අපිට ඔනෑ හැටියට කියනවා නෙමෙයි, සාක්ෂි ඇතිව ඔප්පු කරන ඒවා.

 

{57:03} : ලෝක සම්මතය කඩන්නේ නැතුව බුද්ධ නමස්කාරය කළ බමුණා වගේ වෙන්න

බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේදී, බමුණු ආගම දරන එක්තරා බමුණු පිරිසක නායකයෙක් බුදුරජාණන් වහන්සේ හමුවෙන්න ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා ඔය කියන යථාවබෝධ ඥාණය ලබාගත්තා. ලබාගත්තට පස්සේ එයාට දැන් තේරෙනවා, “සත්‍ය මේකයි, හරයක් නැති ලෝක ස්වභාවය හරියටම ඇත්ත. කවුරු කිව්වත් මේක වෙනස් කරන්න බෑ. මේක තමයි යතාර්ථය. මේකෙන් මිදුනොත් නිවන…” ඔය ටික තේරුම් ගන්තා. මේ නිවන් මග ගෙනත් දුන්නු බුදුපියාණන් වහන්සේ කෙරෙහි විශාල ගෞරවයක් හටගත්තා.

 

“මට ශාස්තෲ ධර්මය දුන්නු උන්වහන්සේ මං දැන් කොහොම අත්හරින්නද? මා අනාථභාවයෙන් නිදහස් කර ගත්තේ, උන්වහන්සේගේ ධර්මය අහලනේ මං නිදහස් උනේ. ඒ ධර්මය මට කියා දුන්නු බුදු පියාණන් වහන්සේට මට ගරු කරන්න එපැයි දැන්. හැබැයි මට දැන් ගිහින් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ මගේ අනිත් පිරිස අතරේ…”

 

දැන් පිරිස කවදාවත් කැමති නෑ බුදුරජාණන් වහන්සේට ගරු කරනවට. ගරු කලොත් එහෙම බනිනවා. බුදුරජාණන් වහන්සේටත් දොස් කියනවා, ගරු කරන පිරිසටත් දොස් කියනවා. දැන් හැබැයි දැන් මේකේ නායකයට ඉන්න බෑ ගරු නොකර. දැන් එයා කල්පනා කරනවා, “මට හරි වැඩේ! දැන් වෙනදා වාගේ මගේ පිරිසත් එක්කලා කරත්ත බැඳගෙන මං මේ විදියට යනකොට මගේ වැඩකට, බැරිවෙලා හරි බුදුරජාණන් වහන්සේ අතරමගදී මං දැක්කොත් එහෙම? පිණ්ඩපාත වඩින වෙලාවක හරි, චාරිකාවක වඩින වෙලාවක උන් වහන්සේ දැක්කොත්, මං කොහොමද උන්වහන්සේට ගරු නොකර යන්නේ? ඒක මට දැන් සුදුසු නෑ. මට ඒක කරන්න බෑ. ඒ නිසා මට ගරු කරන්න සිද්ධ වෙනවා. හැබැයි මම ගරු කලොත් මගේ පිරිස මටත් බනිනවා, බුදුරජාණන් වහන්සේටත් බනිනවා. දැන් මං මේකට උපක්‍රමයක් යොදන්න ඕනේ…” කියල, එයා මොකද කරන්නේ?

 

කියනවා, “ස්වාමීනි මෙන්න මේකයි දැන් සිද්ධිය. මේ විදියට ඔබ වහන්සේ වඩිනවා දැක්කොත් දැන් මට කවදාවත් ඔබ වහන්සේට ගරු නොකර යන්න බෑ. මගේ හිත තුළ විශාල ප්‍රසාදයක් ඔබ වහන්සේ කෙරෙහි තියෙන්නේ. මම ඔබ වහන්සේට වැඳුමක් ගැන කියනවා, මං මෙහෙම වැඳුමකින් ඔබ වහන්සේට වඳිනවා, මට ඒක පිළිගන්න”

 

මොකද්ද ඒ වැඳුම? “මගේ කට්ටියට අහු වෙන්නේ නැති වැඳුමක්, මං ඔබ වහන්සේ දැක්ක ගමන්ම මගේ තලප්පාව මං හොඳට හැඩ ගහල බැඳ ගන්නවා, ඒ මගේ හිසේ තියෙන තලප්පාව ගැලෙව්වා කියල ඔබ වහන්සේ පිළිගන්න. මං ගලවන්නේ නෑ, ඒක හොඳට හිර කරලා බැඳගන්නවා. ඊට පස්සේ හරි-බරි ගැහිලා ටිකක් හොදට හැඩගැහෙනවා, ඒ මං මගේ කරත්තෙන් බැස්සා කියල හිතාගන්න, ඔබ වහන්සේට ගරුත්වයෙන්. මං මේ හරකට කෝටුව දිගා කරනවා, ඔබ වහන්සේට දිගා වෙලා නමස්කාර කරා කියල හිතාගන්න. ඊට පස්සේ ආයේ සැරයක් මං හරි-බරි ගැහිලා ඉඳගන්නවා, ඒ මං අයෙත් ඇවිත් කරත්තෙන් ඉඳගත්තා කියල හිතාගන්න. මම ආයෙ සැරයක් අර තලප්පාවට අත තියලා හැඩ ගහ ගන්නවා. ඒ මම නැවත මගේ තලප්පාව බැඳගත්තා කියල හිතාගන්න. මන් ජඃ කියල හරකට අණ දීල ගමන යනවා. ඒ මං ඔබ වහන්සේට ගරු කරලා ගමන ගියා කියලා හිතන්, මෙහම නමස්කාරයක් කරා කියල හිතාගන්න, මේ නමස්කාරය මගේ පිරිසට පෙන්නේ නෑ, මගේ පිරිස තරහා වෙන්නෙත් නෑ මං එක්කලා. මං මෙහෙම නමස්කාරයකින් ඔබ වහන්සේට නමස්කාර කරනවා…” කියනකොට බුදුරජාණන් වහන්සේ ඒක අනුමත කළා. [ත්‍රිපිටක සූචිය – සෝණදණ්ඩ බමුණා]

 

දැන් වැදගත් දෙයක්, දැන් ලෝක සම්මතයෙන් ඒ බමුණා ඉන්නේ කොහෙද? අර කියන බමුණු ආගමේ. නමුත් එයා ඉඳලා තියෙන්නේ කොහෙද? බුදු දහමේ. අනෙක් අය අබෞද්ධයො, අබෞද්ධයෝ අතර මෙයා බෞද්ධයෙක්. දැන් ලෝකයා දන්නවද?

 

මෙන්න මෙහෙම ක්‍රම තියෙනවා. ඒ නිසා අපිට බෞද්ධ අබෞද්ධ මේ ලෝකේ ආගම් අතරින් තෝරගන්න බෑ. අපි හිතා ඉන්න මහා දැඩි නරක ආගමක් කියන එකේ සම්මතයේ ඉන්න පුළුවන් බෞද්ධයෙක්. අපි හිතා ඉන්න මහා බෞද්ධයි කියල හිතා ඉන්න සම්මතය තුළ ඉන්න පුළුවන් අබෞද්ධයෙක්. එහෙනම් බෞද්ධ අබෞද්ධ කියන වචනෙන් ගන්නකොට මේ මේ සම්මත බෞද්ධ අබෞද්ධ දෙකෙන් මේක තෝරන්න බෑ. අන්න ආර්යය බෞද්ධ, ආර්ය අබෞද්ධ තෝරාගන්න, ආර්යයන්ට ගැළපෙන විදියට අබෞද්ධ බෞද්ධ තොරාගන්න ක්‍රමය.

 

{1:00:47} : සංඛාර හටගන්න හේතුවෙන අවිද්‍යාව හඳුනා ගනිමු

දැන් මේක අපි දකින්න ඕනේ, මෙන්න මේකෙදි තමයි අපි දකින්නේ, මෙන්න “සංඛාර සැපයි” කියල හිතා ඉන්නේ මෙන්න මේ අවිද්‍යාවක් උඩ. අවිද්‍යාවක් නිසා නිගමනයක බැහැලා ඉන්නවා, “ලෝකයේ යම් ප්‍රිය ස්වභාවයක් ඇද්ද, මධුර ස්වභාවයක් ඇද්ද මේවා හරි සාරයි, ඒවා අසාර නෑ” මෙන්න අවිද්‍යාවේ තීරණය. අවිද්‍යාව නිසා මේ “සං” කියන එකතූන්, හිත පිළිබඳ වේවා, ගත පිළිබඳ වේවා මේ තියෙන එකතූන්, ලෝකය පිළිබඳ වේවා, ඕවා සාරයි කියන නිගමනයේ ඉන්න තාක්කල් කියනවා, “අවිද්‍යා පච්චයා සංඛාරා” – අවිද්‍යාව නිසා සාරයි කියන නිගමනයක් එනවා.

 

යමක් “සාරයි” කියල නිගමනයේ ඉන්න තාක්කල් ඔහුට කොච්චර වෙහෙස වුනත්, මහන්සි වුනත්, ඒ වෙහෙස මහන්සිය තේරෙන්නේ නෑ, ඒක සැපක් කියල හිතාගෙන, සංසාර සැපක් කියල හිතාගෙන “ඛාර” කරන්න පටන්ගන්නවා. සාරත්වය කියන, “ප්‍රිය මනාප දේ සැපයි” කියන දෘෂ්ටිය නිසා හිතෙන්, කයෙන්, වචනයෙන් ඊට අනුව කටයුතු කරන්න පටන් ගත්තහම කියනවා, අවිද්‍යා ප්‍රත්‍ය කරගෙන සංඛාර හටගන්නවා.

 

දැන් “අවිද්‍යා පච්චයා සංඛාරා” කියන වචනේ කිව්වට ඔය ධර්මය තේරෙන්නේ නෑ. දැන් තේරෙනවා, අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංඛාර වෙන්නේ මොන රටාවකට අනුවද, අවිද්‍යාව නිසා මේ ලෝකේ සාරයි කියන නිගමනයත් දෘෂ්ටියකට බැහැගන්නවා. එහෙනම්, “සං සාරයි” කියන දෘෂ්ටියේ ඉන්නවා, ඔහු එතකන් සංසාරේ!

 

ඔන්න සංසාරේ කියන එක. ඔය “සාරයි” කියන දෘෂ්ටියෙන්, සාරයි කිව්ව කොටසේ යථාර්තය දකිනවා අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ථ වශයෙන්. ඔය සාරයි කියන ඒවා අනිච්චයි කියල දකිනවා, දුක්ඛයි කියල දකිනවා, අනත්ථයි කියල දකිනවා. මෙන්න මේක තෝරා ගන්න ඕනේ දහම් ඖෂධය ගන්න. අසාර ඒවා නෙමෙයි බලන්නේ, සාරයි කියන ඒවගේ යතාර්ථය දකින්න ඕනේ.

 

“යං ලෝකේ ප්‍රිය රූපං, සාත රූපං – එත්තේසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ත නිවීසමානා නිවිස්සති” [ත්‍රිපිටක සූචිය] – ලෝකයේ යම් ප්‍රිය ස්වභාවයක් ඇද්ද, මධුර ස්වභාවයක් ඇද්ද, මේ තෘෂ්ණාව එහි උපදිනවා, එහි පවතිනවා.

 

එහෙනම් අපිට තියෙන්නේ මේ තෘෂ්ණාව උපදින තැන, පවතින තැන දැකලා, ඒ තෘෂ්ණාව උපදින්න හේතුව දැකලා, තෘෂ්ණාව උපදින්න තියෙන හේතුව නිරෝධ කලොත්, තෘෂ්ණාව නමැති ඵලය නිරෝධ උනාම, “තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති” කියන යථාර්තයට එනවා.

 

{1:02:51} : ප්‍රිය මධුර බවක් නෑ කිවුවොත් වැරදියි, ප්‍රිය දේ ප්‍රිය විදිහටම දකින්න

එහෙනම් තණ්හාවයි ක්ෂය කරන්න ඕනේ. එහෙනම් තණ්හාව ක්ෂය කරන්න නම් තණ්හාව බැදිලා තියෙන්නෙ කොහෙද, මොනවැයිද? මන වඩන රූප වල, මන වඩන ශබ්ද, මන වඩන ගන්ධ, මන වඩන රස, මන වඩන ස්පර්ශ, මන වඩන ධර්ම කියන මෙන්න මේ මන වඩන්නා වූ හය ආකාරයන් අරමුණු තුළ, ඒවැයි තමයි මේ ප්‍රිය ස්වභාවය, මධුර ස්වභාවය හිත බැඳෙන්නේ. මෙන්න දුකට හේතුව තියෙන තැන, තෘෂ්ණාව හට ගන්න තැන. මෙන්න මේක දකින්න ඕනේ.

 

කවදා හරි මෙන්න මේක “අසාරයි” කියලා දැක්කා නම්, කිසිම පුද්ගලයෙකුට, මේ දහම් ඖෂධය නොවැටුණු පුද්ගලයෙකුට, තමන්ට හෝ නිකන් සාමාන්‍ය සිතුවිල්ලකින් හිතල හෝ “ප්‍රියයි, මනාපයි” කියන ඒවා “අසාරයි” කියල දකින බෑ. මෙන්න මේ නිසා ආර්ය මාර්ගය අනුගමනය නොකරන කෙනෙකුට “ප්‍රිය මනාපයෝ අසාරයි” කියලා දකින්න ක්‍රමයක් නැති නිසා, ආර්ය මාර්ගයක් වැඩෙන්න විදියක් නෑ ඒ අයට.

 

එහෙනම් “ප්‍රිය මනාපයෝ අසාරයි” කියන එකම ක්‍රමයක් තියෙනවා. මොකද්ද, ඔය ප්‍රියයි, මනාපයි, යහපතයි කියා හිතා ඉන්න ඒවා අනිච්චද, නිච්චද බලන්න. යමක් අනිච්ච නම් ඒක දුකද, සැපද කියල බලන්න. යමක් අනිච්ච නම්, දුක නම් ඒක අත්ථද අනත්ථද කියල නිගමනය කරන්න. ඔන්න විග්‍රහය.

 

දැන් අපි බලාගෙන යන්න ඕනේ, “යදනිච්චං තං දුක්ඛං” [ත්‍රිපිටක සූචිය] කියලා විග්‍රහ කරලා තියෙනවා මේ දහම් ඖෂධය. “යමක් අනිත්‍ය නම් ඒක දුකයි” කියලා සිංහලට උත්තර දෙනවා, භාෂා රීතිය අනුව. “යමක් ස්ථිර නැතිනම් ඒක දුකයි” ඔහොම උත්තරයක් දෙනවා.

 

“යමක්” කිව්වම මේ ලෝකයට ප්‍රිය ස්වභාවය – මධුර ස්වභාවය විතරක් නෙමෙයි, අප්‍රිය – අමධුර ස්වභාවය අහු වෙලා නැද්ද? ප්‍රිය ස්වභාවය, මධුර ස්වභාවය එකක් නම්, ඒ වටා ගෙතිලා තියෙන අප්‍රිය – අමධුර ස්වභාව සිය දහස් ගාණක්. දහස් ගාණක් අප්‍රිය – අමධුර ස්වභාවයන් ගෙන් වට කරපු එකක් තමයි ප්‍රිය මධුර එක. මන වඩන රූපයක් හදාගන්න, එයා ඒ සඳහා වන සියලුම මහන්සිය අප්‍රියයි අමධුරයි. හැබැයි මන වඩන රූපය කෙරෙහි තියෙන මායාවට වැටීම, වසඟ වීම නිසා අර වෙහෙස දුකක් කියල පෙන්නේ නැති කමයි තියෙන්නේ. නමුත් විඳලා තියෙන්නේ අප්‍රිය අමධුර දුකක්, වෙහෙසක්.

 

එතකොට අපි දකිනවා මොකද්ද? එහෙනම් මේ ප්‍රියයි මධුරයි කියන යමක් ඇත්තම් අපි අන්න ඒකෙ යථාර්තය දකින්න ඕනේ. ඒ ප්‍රිය මධුර එක නෑ කියල කිව්වොත් එහෙම ධර්මයට විරුද්ධයි. ඒ නිසා කියනවා, “ආස්වාදය, ආස්වාදය හැටියටම දකින්න.” නැතිව ඒක අහක් කරලා බලන්න බෑ, රැවටෙන්න වෙනවා එතකොට. එතකොට ලෝක සත්වයාට බොරු කිව්වා වෙනවා. බොරුවෙන් ඇත්ත කරගන්න බෑ, ඇත්තම පෙන්නන්න ඕනේ. ඒකෙ යථාර්තයම දක්වන්න ඕනේ.

 

එහෙනම්, ප්‍රිය මධුර එකක් හදාගන්න අප්‍රිය – අමධුර කීයක් පරිවාර කරගෙන තියෙනවාද, ප්‍රිය මධුර එක මැදි කරගන්න? අන්න අපි දකින දේ, “ප්‍රිය මධුර එක නෑ” කියල නිගමනය කලේ නෑ. ලස්සන කියන ප්‍රිය මධුර එකක් හදාගන්න, මිහිරි හඬ කියන එකක් හදාගන්න, මිහිරි ගන්ධය නමැති එකක් හදාගන්න, මිහිරි රසය නමැති එකක් හදාගන්න, මිහිරි ස්ඵර්ෂය නැමැති එකක් හදාගන්න අපි කොච්චර දුක් විඳිනවද?

 

අන්න එක පැත්තක් දකින්න ඕනේ. ඒවා නිකන් ලැබෙන්නේ නෑ. අහම්බෙන් පහළ වෙන්නේ නෑ. මොකක් නිසාද? ඔය ලස්සන කියන, සුවඳ කියන, රස කියන, ඒවාගේම මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ, ධර්ම කියන මේ මන වඩන්න යමක් ඇත්නම්, ඔය තුළ තියෙනවා නම්, ඔය මන වඩන ස්වභාවය කුමක බැඳිලාද, තැවරිලද තියෙන්නේ? මෙන්න මේක ධර්මානුකූලව බලන්න ඕනේ.

 

දැන් “කය ලස්සනයි” කියනවා, ලස්සන කයක් හදාගන්න උත්සාහ කරනවා. දැන් ලස්සනයි කියන එක බැඳිලා තිබුනේ මොනවැයිද කියල බලන්න අන්න බුදුරජාණන් වහන්සේ ක්‍රමයක් දුන්නා, හොයාගන්න.

 

දැන් හිත බැදෙන එකක් තියෙනවා ලස්සන, ලස්සන කයක්. දැන් ඕකේ ඇත්ත නැත්ත බලන්න, “ලස්සන නෑ” කියල කිව්වේ නෑ බුදුරජාණන් වහන්සේ. එහෙම එකක් තියෙනවා, එහෙම එකක් විද්‍යමාන වෙනවා. විද්‍යමාන වන නිසාමයි ලෝක සත්වයෝ ප්‍රිය මධුර වශයෙන් ඒකෙ බැදෙන්නේ. ඒක නෑ කිව්වොත් එහෙම බොරුවක්. අන්න ඒක තමයි දුකට හේතුව. ලස්සන රුපයක් දුකට හේතුවක් කර ගත්තා.

 

{1:07:08} : බැඳෙන්නේ ලස්සනට නම්, ලස්සන කියන්නේ මොකද්ද බලමු…

එහෙනම් ලස්සන රූපය විග්‍රහ කරලා බලන්න. එතකොට ඇත්ත පෙනෙයි. කොහොමද බලන්නේ? ඔය හොදට ලස්සනයි කියන පුද්ගලයෙක් අරගෙන, කොච්චර හිත බැඳෙනවද කියල බලන්න. “කොච්චර සුන්දරද? කොච්චර ලස්සනද? කොච්චර ආශ්වාදජනකද? ඇසුරු කරන්න ලැබුණා නම් කොච්චර හොදද?” නානාප්‍රකාර අදහස් බැඳෙනවා. ඉතින් මේ ලස්සන කියල කිව්වේ මොකද්ද කියල බලන්නකෝ. කොහෙද තියෙන්නේ කියල බලන්න.

 

ගලවගන්න කෙස් ටිකත් අයින් කරලා. ලොම් ටිකත් අයින් කරන්නකෝ, නියපොතු ටිකත් අයින් කරන්න, දත් ටිකත් අයින් කරන්න, හමත් අයින් කරන්න, නහයත් අයින් කරන්න, ඇටත් අයින් කරන්න, ඇට මිදුළුත් අයින් කරන්න කෑලි තිස් දෙහෙකට අයින් කරලා තව එකක් තිබුනනේ “ලස්සන” කියල, තිස්තුන් වෙනි එකත් අයින් කරන්න බලන්න තියෙනවද කියලා? ලස්සන එක බෙදල බෙදල කෑලි තිස් දෙකකට අයින් කලා. දැන් “ලස්සන” කිය කියා එකක් තිබුණා, තිස් තුන්වෙනි එක ඒක. එකත් අයින් කරන්න බැලුවම, කෝ ඉතින් ඒක කොහෙද තියෙන්නේ?

 

එහෙනම් තිස්තුන් වෙනි එක අයින් කරන්න විදියක් නෑ, තිස්දෙක අයින් කරනකොට ඉවරයි. ලස්සන කියල තිබිල තියෙන්නේ අර තිස් දෙකේ. අසුභ තිස් දෙකක එකතුවකින් “ලස්සන” කියන එකක් මතුවුනා. එහෙනම් “ලස්සන” කියල ද්‍රව්‍යක් වස්තුවක් ලොකේ වෙනම තිබුන් නෑ. මොනවැයිද තිබුනේ? අර අසුභ තිස් දෙක අපිව රවට්ටලා. ඒ අසුභ තිස් දෙකම තමයි එක එක විදියට පිහිටියේ. ඒකෙම ඔපමට්ටම තමයි “ලස්සන” කිව්වේ. ඒවයේම හැඩේ තමයි හැඩතලය කිව්වේ.

 

එහෙනම්, කුණු කොටස් තිස් දෙහෙක හැඩ තලය දැකලා, “හරි හැඩයි! හරි හැඩ පුරුෂයා, හරි හැඩ ස්ත්‍රිය” කිව්වා. අර කෑලි තිස් දෙකමයි එක එක විදයට හැඩ ගහල තිබ්බේ. ඒකෙම ඔපමට්ටම තමයි, “හරි පාටයි, හරි පෙනුමයි”, ඒ කෑලි ටිකමයි. ඔය කෑලි ටික ඇරෙන්න, තව “ලස්සන” කියල එකක් ලෝකේ තිබුන්නේ නෑ.

 

මෙන්න ඇත්තක්! බොරුවෙන් රැවැට්ටුවේ නෑ, ඇත්ත ඇති ආකාරයෙන් බලන්න දුන්නා. මෙන්න බලනකොට පෙන්නනවා “ලස්සන” කියන්නේ, ආදීනව මැද්දෙන්, ආදීනව තුලින් ඔප්නැංවෙලා තිබිච්ච මායා දර්ශනයක් ඇරෙන්න, තව දෙයක් ලස්සනයි කියල අපිට අල්ලන්න දෙයක් තිබුනේ නෑ. ලස්සන අල්ලගන්න ගියොත් අල්ලගන්න සිද්ධ වෙන්නේ අර කෑලි තිස් දෙක.

 

අන්න අපි දකින්න ඕනේ එකක්, “මේ තැනැත්තා ලැබුනේ නැත්තම්, මේ තැනැත්තිය ලැබුන්නේ නැත්තම් මගේ ජීවිතෙත් මට එපා…!” කිය කිය ඉන්න තරුණයෙකුට හෝ තරුණියකට කියනවා,
“දැන් ඕනමද?”
“ඕනේමයි!”
“නැත්තන්?”
“වහ බොනවා, මැරෙනවා, මට එපා නැත්තම්, ජීවත් වෙලා වැඩකුත් නෑ”
“පොඩ්ඩක් හිටපන්කෝ, මොකද්ද ලස්සන?”
“බලහන්කො, රන් කදක් වාගේ අර මනුස්සය, අර පිරිමියා අර ස්ත්‍රිය…” ඔහොම උත්තරයක් දෙනවා.
“ඔය රන් කඳම උඹට ආපහු දෙනවා, මම සුළු දෙයක් කරනවා, ඉස්සෙල්ල බර කිරල බලපන්”
“කිලෝ හතලියයි, කිලෝ පනහයි” මෙච්චරයි ගාණ කියල ගාණ කියනවා.
හැබැයි මම එක කිලෝ මාත්‍රයක් වත් අයින් කරන්න දෙන්නේ නෑ. ගත්තා ඇසිඩ් ටිකක්, පිච්චෙන අම්ලයක්, ඇතිල්ලුවා මූණේ, අතුල්ලලා කියනවා, “ඕං අරන් පළයන්! දැන් ගනින්කෝ…!”
දැන් මූණ දිහා බලපුවහම මළ යකා වගේ, මළ යක්සණි වගේ. හම පිච්චිලා. දැන් මොකද කරන්නේ?
“කිරලා බලපන්කො රන් කඳ, බර අඩුද? නෑ ඉතින්, රන් කඳ එහෙම්ම තියෙනවා, අරන් පලයන්කෝ…”

 

දැන් ගෙනියයිද? දැන් මේච්චර කල් “රන් කඳ” කියලා නිගමනය දුන්නේ මොකක් නිසාද? අර හංකඩේ තිබිච්ච, මූණේ හංකඩේ තිබිච්ච ඔපමට්ටම් පැහැයක් නිසා. එහෙනම් ඒක මොකේද තිබුණේ? අර හංකඩේ මයි. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නා දුන්නේ, මෙන්න මේ ක්‍රමයට බලන්න මේ මිනිහා රැවටිලද නැද්ද මේ ඉන්නේ? මේ ලස්සන කියන්නේ රැවටීමකටද? ඇත්තකටද? මෙන්න මේක බලන්න. ඔය ලස්සන කියන එකෙන් රවට්ටලා වට කරලා තිබුනේ කුණු ගොඩක්ද? හොඳ එකක්ද? හොඳ එකක් කියල හැඟෙව්වේ මොකද්ද? ඔන්න මායා දර්ශනයට මත් වුනහම පුද්ගලයට පේන හැටි.

 

{1:10:40} : ලස්සන කියන්නේ සිහිනෙන් ගෑ සුවඳක් වගෙයි…

එහෙනම් ඒ පුද්ගලයා ඊට පස්සේ උස්සගන ගිහිල්ල මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? එයාට මොනවා කිව්වත් ගානක් නෑ, ඒ ලස්සන කියන මායාවෙන් අර තිබිච්ච ආදීනව ඔක්කොම වහලා. මිනිහා ගෙනිහින් තියෙන්නේ මොකද්ද? උදේ ඉඳන් රෑ වෙනකන් කුණු පිට කරන කුණු කඳක්. දැන් මොකද කරන්නේ? නාන්නද? සුද්ධ වෙන්නද? “මෙන්න සබන්” දෙනවා. උදේ ඉදන් රෑ වෙනකන් ගඳ පිටකරන කුණු කදක්. “හෝද ගන්න, ආ මේ සුවඳ ටික උලා ගන්න” ඒකත් ගිහින් දෙනවා අමතරව. උලා ගත්තට පස්සේ ඉඹල බලලා, “ඔයා හරි සුවඳයිනේ..” දැන් අපේ හිත මායාවෙන් කොච්චර රවට්ටගෙනද?

 

පිටින් ගාපු සුවඳ පැත්තකින් තියල උරලා බැලුවනම් එහෙම ඒ සුවඳ නැද්ද එන්නේ? “මේ සෙන්ට් එක හරි සුවඳයි නේ” කියන්නේ නැතුව ඇඟේ ගාලා බලලා, ඉඹලා, “ඔයා සුවඳයිනේ” කියනවා. ඇත්ත මොකද්ද? අන්න කල්පනා කරලා බලන්න, මේ ඇත්ත ඇති ආකාරයෙන් බලන්න. බුදු බණ කියන්නේ පොතේ තියෙන එක නෙමෙයි, විග්‍රහ කරගන්න ඕනේ. විග්‍රහ කරලයි ඇත්ත දකින්න ඕනේ. මෙන්න මෙහෙම දකිනකොට අපිට පේනවා අපි කොච්චර මායාවකට රැවටිලද මේ ඉන්නේ!

 

ඇද කුද තියෙන ඇඟේ, “මගේ ඇඟට නම් මේක හරියන්නේ නෑ, මෙන්න මේ ඇඳුම නම් මගේ ඇඟට හොඳට මැච් වෙනවා” එහෙම කියල මොකද කරන්නේ ඇඟට ගැළපෙන ඇඳුම කියල ඇඳුමක් අරගන්නවා. අර ඇද කුද ටික ඇඳුමෙන් වැහිලා ගියාට පස්සේ, “දැන් ඒ ඇඳුමට නම් ඔයා හරි ලස්සනයි”

 

දැන් ඇඳුම – ඇඳුමේ ලස්සනද බැලුවේ, පුද්ගලයට ආරෝපණය වෙලා පුද්ගලයා ලස්සනයි කියල හිතා ගත්තද? අන්න ඇඳුමෙන් ඔප්නංවගත්ත, කන-කර ආභරණ වලින් ඔප් නංවගත්තා, සුවඳ ගාගත්තා, වර්ණය ගාගත්තා, හැඩ ගාගත්තා, පිටින් උලල උලලා අරගත්ත එහෙකට දැන් ඉතින් අපි රැවටිලා, “මෙයා හරි ලස්සනයි” කියල බැස්සා නිගමනයකට. දැන් මේ අපි විසින් අපි රවට්ට ගත්තා. ඇත්ත ඔතන නෑ!

 

මෙන්න ලස්සන කියන මායාව, මායාවක් හැටියට බලන්න. ඉන්ද්‍රජාලයක් වාගේ, ලෝක සත්වයා රවට්ටනවා. රවට්ටලා මොනවද, ලෝක සත්වයා අල්ලලා දමන්නේ මොකේටද? ඔය කුණු ගොඩට. ඒ කුණු ගොඩ ගත්තු තැන් පටන්, ලස්සනේ මුවාවෙන්, ලස්සනට රැවටිලා ඒක ගත්තු තැන් පටන් ඔහු මොකද කරන්නේ? අරන් තියෙන්නේ මොකද්ද?

 

ගඳ ගහන එකක්, ඒ නිසා සෝදන්න ඕනේ. ජරා වෙන එකක්, ඒ නිසා සුද්ධ කරන්න ඕනේ. දිරාපත් වෙන එකක්, කන්න දුන්නේ නැත්තම් පෝෂණය කරේ නැත්තම්, ඒ නිසා අවශ්‍යම දේ දීල පෝෂණය කරන්න ඕනේ. ලෙඩ හැදෙන එකක්, ඒ නිසා බේත් දෙන්න ඕනේ. ඔක්කොම කරලා දුන්නත්, හදාගෙන ගියත්, අර මායාව ගෙවිල යනවා, කුණු ගොඩ ඊට පස්සේ කර ගහගන්න ඕනේ. දැන් නීතියට අහු වෙලා, රැහැනට අහු වෙලා. වෙන බාහිර හිතවත් කමකට අහු වෙලා. මොනවා කරන්නද? “ලස්සන හින්දා ඒ කාලේ ගත්තා, මං ගියා, දැන් බලපුවහම අවරුදු පහයි දහයයි ගියේ, දැන් ඒකාගේ හැටි, මේකිගේ හැටි, අනේ වෙච්ච දෙයක්, දැන් මොනවා කරන්නද?”

 

නීතිය අර පැත්තෙන් හිර කරලා තියෙනවා හොඳට. යුක්ති ධර්මය කියල එකක් ඒ පැත්තෙන් හිර කරලා හොඳටම. ශිෂ්ඨාචාරය කියල එකක් එක පැත්තකින් හිර කරලා හොඳටම. දැන් ශිෂ්ඨාචාරය නිසා, නීතිය නිසා, අර කියන ධර්මය නිසා ඉන්නවා මිසක්, ලස්සන හින්දා ඉන්නවද? නෑ ලස්සන තමයි කොටු කරලා දුන්නේ. කොටු කරගන්නකන් ලස්සන තිබුණා, කොටු කරලා දුන්නට පස්සේ ඒක ගියා. එහෙනම් “ලස්සන කියන්නේ සිහිනෙන් ගෑ සුවඳක් වගේ” කියල දකින්න කිව්වේ ඕකයි.

 

{1:13:29} : යමක ප්‍රිය ස්වභාවය තියෙන්නේ අපි ඒකට කොටුවෙනකන් විතරයි!

අන්න, මේ ලෝකේ අපි මායාව දකින්න ඕනේ, මෙන්න දුකට හේතුව. දුකට හේතුව සාරද, අසාරද කියල බලන්න, දුකට හේතුව කියන ප්‍රිය ස්වභාවය – මධුර ස්වභාවය අපිව මොනවටද කොටු කරන්නේ? අසාරවූ දුක් ගොඩකට කොටු කරලා දමනවා, ප්‍රිය ස්වභාවය – මධුර ස්වභාවය නමැති මායාව.

 

එහෙනම් මායාවේ තිබෙන ස්වභාවය එකක් නම්, ආශ්වාද එකක් නම්, ආදීනව දහසක් ඕකෙ වට කරලා තියෙනවා. ඔය ආදීනව දාහ සිහි කරන්න පටන් ගත්තා නම් අන්න, වහ දාපු මත්පැන් වීදුරුව වාගේ දකිනවා. මත් පැන් වල ආශ්වාදය තියෙනවා, වහ දාපු එක බොන්නේ. ආශ්වාද මායාව තියෙනවා. ආශ්වාද මායාවට රැවටිලා අර දුක කර ගහන්නේ නෑ! අන්න ඥාණවන්ත කම!

 

ඉතින් කවුරුවත් කිව්වේ නෑ මේක එපා කියල දැන්. දැන් බුදුදහමට නිගරු කරලා හරියනවද? “බුදු දහම දුක පෙන්නන ආගමක්” කියල. නෑ, බුද්ධාගම දුකට හේතුවත් පෙන්නපු ආගමක්, දුක විතරක් පෙන්නුවේ නෑ. දුක නිරෝධ කරන එකත් පෙන්නපු එකක්, දුක්ඛ නිරෝධ මාර්ගයත් පෙන්නපු එකක්. එහෙනම් බුදු දහම කෝච්චර සහනදායීද? දැන් “බුදු දහම දුක පෙන්නන ආගමක්” කිව්වොත් යතාර්ථය දන්නේ නැති අය කියන කතාවක් වෙනවා. මෙන්න අපි දකින්න ඕනේ තැනක්.

 

එහෙනම් මේ විදියේ එක දෙයක් මේ අරගත්තේ. “හරිම සුවඳයි!” හරි ප්‍රණීත සුවඳක් දෙන බත් පිඟාන. අපිට ගෙනත් දෙනවා. දැන් ගෙනත් දුන්නට පස්සේ අපි කියනවා “ආ පොඩ්ඩක් ඕක ඇරලා තියහංකෝ, හුඟක් සුවඳද? හුඟක් වටිනවද?”

“කීයක් දීලා කෑවත් කමක් නෑ බං, අහවල් හෝටලයෙන්… හරිම රහයි, හරිම සුවඳයි කෑම”

“එහෙනම් එකෙන් කෑම එකක් අරන් වරෙන්කො…”

තිබ්බා, වරුවක් තියල අරගෙන, “ගනින්කෝ බලන්න අරක…”

ප්‍රිය ස්වභාවය මධුර ස්වභාවය කෝ? “අප්පා… පිළුණු ගඳ ගහනවා බං මේක, දැන් පිළුණු වෙලා නේ…”

 

එහෙනම් අර බත් පිඟානේ තිබ්බ රොඩ්ඩ දැන් එපා වෙලා. එහෙනම් අර පිළුණු ගඳ ගහපු බත් පිඟාන කිරලා බැලුවොත් එහෙම, කිලෝ එකක් නම් තිබුනේ, කිලෝ එකම තියෙනවා. හැබැයි ප්‍රිය ස්වභාවය – මධුර ස්වභාවය ඒකෙන් අතුරුදහන් වෙලා. එහෙනම් ගෑවිලා තිබිච්ච ප්‍රිය ස්වභාවයක්, මධුර ස්වභාවයක් තිබුණා ඒ තුළ. ඒක අල්ලගන්නකන්, ඒක භුක්ති විඳිනකන් විතරයි ඒ මායාව තිබුණේ. අල්ලගත්තට පස්සේ, භුක්ති වින්දට පස්සේ ප්‍රිය ස්වභාවයෙන්, මධුර ස්වභාවයෙන් අල්ලගෙන තියෙන්න මොකද්ද? වැඩකට නැති නිස්සාර ගොඩක්. එහෙනම් නිස්සාර ගොඩකට කොටු කරන්න දාල තිබිච්ච මායාව තමයි අර සුවඳ කිව්වේ.

 

අන්න ලස්සනේ හැටි, සුවඳේ හැටි, රසේ හැටි. දැන් මෙන්න මේ ආකාරයෙන් මේ හිතට, දුකට හේතු වන ප්‍රිය ස්වභාවය – මධුර ස්වභාවය හැම වෙලාවේම බැඳිලා තියෙන්නේ, රැඳිලා තියෙන්නේ සත්වයා කොටු කරන්න. කොටු කරපු වෙලාවෙම මොකද වෙලා තියෙන්නේ? ප්‍රිය ස්වභාවය, මධුර ස්වභාවය ගිලිහිලා යනවා. හැබැයි කොටු වෙච්ච එකෙන් මිදෙන්න බෑ.

 

මේ නිසාම තමයි ලෝක සත්වයා පවට කොටු කරන්නේ. අර ප්‍රිය ස්වභාවය, මධුර ස්වභාවය නිසාම “මොන තාලෙන් හරි මම අයිති කර ගන්නවා, මගේ කර ගන්නවා, මම කර ගන්නවා, ඒ තත්වෙට මම පත්වෙනවා, ඒක මගෙ කරගන්නවා” අන්න මායා දර්ශනය නිසා තව මුළාවකින් එහාට ගිනිච්චා, මත් කළා. මත් කරලා මොකද කරන්නේ? අයුතු කමකට, අසාධාරණේකට සත්‍වයා පෙළෙඹෙව්වා. අයුතු කමෙන්, අසාධාරණෙන් මොකද වෙන්නේ? මහා පාපයකට කරගහ ගත්තා.

 

{1:16:28} : ප්‍රිය මධුර ස්වභාවය නැමැති “ඇම” කෑවොත් අපි කොටු වෙනවා

තත්පරයක් තුළ ඇති කරගන්න පාපේ ගෙවන්න, අවුරුදු කල්ප ගානක් යනවා. “මට විරුද්ධයි, මගේ ප්‍රිය මනාපයට විරුද්ධ එකා, මේකට විරුද්ධව සටන් කරන එකා… මුට ජීවත් වෙන්න දෙන්න හොඳ නෑ, අහුවෙච්ච තැන ඕකා මරණවා!” ගත්තා නිගමනයක්….

 

“මං භාර්යාවක් ගෙනාවා, මං ස්වාමිපුරුෂයෙක් එක්කලා ගියා, මේ තැනැත්තා හෝ තැනැත්තිය ඒක පැහැරගන්න හදනවා, හැබැයි හොඳ වැඩක් කරන්නම්කො, අහු වෙච්චාවෙකෝ කොයි වෙලේ හරි. දෙනවා ඕකිට වහ ටිකක්, දෙනවා ඕකාට වහ ටිකක්, ගහනවා පොල්ලකින් මැරෙන්න…” බැස්සා නිගමනයකට, නිගමනය දැඩි උනා නම් මොකද වෙන්නේ? තත්පරයයි ගියේ පොල්ලෙන් ගහලා මරන්න. ප්‍රාණඝාත පාපකර්මය ගෙවන්න කොච්චර කල් තියෙනවද? කරගත්ත පාපය, පාපයෙන් හටගත්තු දුෂ්‍යතාවය ගෙවන්න හතර අපාගත වෙලා කල්ප කාලාන්තරයක් යන්න ඕනේ.

 

එහෙනම් තත්පරයක් තුළ මායාවට අහු කළේ මොකක් නිසාද? “අර ප්‍රිය ස්වභාවයට – මධුර ස්වභාවයට විරුද්ධව ආපු එකට මං ඉඩ දෙන්නේ නෑ” බැස්සා තරඟෙට. මත් වෙලා අයුත්තක්, අසාධාරණයක් කළා.

 

එහෙනම් ප්‍රිය ස්වභාවය – මධුර ස්වභාවය හිතේ බැඳිලා, රැදිලා තිබුනේ නැතිනම් ඔහු අතින් අර ප්‍රාණඝාතය කෙරෙනවද? කෙරෙන්න හේතුවක් නෑ. හොරකමක් කෙරෙනවද? සුරාවක්, සූදුවක්, දුරාචාරයක්, බොරුවෙන් රැවටීමක්, කේළමෙන් බිදවීමක් කරන්න හේතු තියෙනවද? දස අකුසලය ම කරන්න තියෙන හේතු ඔක්කෝම හැදිලා තියෙන්නේ මොකද්ද? ඔන්න ඔය ප්‍රිය ස්වභාවය මධුර ස්වභාවය නිසා කරන “මත් වීම”.

 

මෙන්න ප්‍රිය ස්වභාවයේ – මධුර ස්වභාවයේ “ප්‍රිය නෑ, මධුර නෑ” කියන්නේ නැතිව, “ඒ ප්‍රිය ස්වභාවය – මධුර ස්වභාවය නිසා අපිට කොයි තරම් ආදීනව ඇති කරනවද? ඒක අපිට කොච්චර අවැඩ ඇති කරනවද? අපිට යහපතක් වෙන්නද ඔය පෙනී සිටින්නේ? එහෙනම් අපි රවට්ටන මායාව!” මෙන්න මේක දකින්න ඕනේ.

 

ඇම ගහලා බිලී කොක්ක දැම්මට පස්සේ මාළුවා ඇම නිසා ගිලිනවා බිලී කොක්ක. බිලී කොක්ක විතරක් දැම්මා නම් කවදාවත් ඒකට ගහන්නේ නෑ. බිලී කොක්ක වහලා, පිටින් ගහපු ඇම නිසා, ඇමට ආසාවෙ ඒකට ගහපු මාළුවන්ට බිලී කොක්කේ පැටලෙන්න වෙනවාමයි. බැරිවෙලා හරි මාළුවෙක් දන්නවා නම් එහෙම “මාව කොටු කරන බිලී කොක්කක ගහලයි මේ ඇම තියෙන්නේ” කියල එහෙම, මාළුවා කවදාවත් අර ඇම කන්න යන්නේ නෑ.

 

මෙන්න මේ වගේ ලෝකයේ බිලී බාන ඇම පහක් තමයි මන වඩන රූප, මන වඩන ශබ්ද, මන වඩන ගන්ධ, මන වඩන රස, මන වඩන ස්ඵර්ශ කියන්නේ. ඔන්න ඔය ඇම ගහලා දාලා තියෙන බිලී කොකු තමයි මේ ලෝකේ හැමතැනම තියෙන්නේ, අහුවුනහම කොටු වෙනවා.

 

මෙන්න මේක නුවණින් විමසල තේරුම් ගත්තු දාට එයා දකිනවා “ලෝකයේ ප්‍රිය ස්වභාවයක් ඇද්ද, මධුර ස්වභාවයක් ඇද්ද, අසාරයි! කැමති සේ නෑ! ඒ ප්‍රිය ස්වභාවයට මධුර ස්වභාවයට කැමතියි. හැබැයි කැමති වෙන්නේ මොකටද? නිරුපද්‍රිතව කරදරයක් නැතිව භුක්ති විදින්න. නමුත් ලෝකය තුල ප්‍රිය ස්වභාවය මධුර ස්වභාවය කියන්නේ මොකද්ද? අපිව කොටු කරන්න තියෙන ඇමක් නම් කොහෙද අපේ කැමැත්ත එකෙන් ඉටු වෙන්නේ? අපි ඉච්ච වශයෙන් කැමති වශයෙන් යම් කිසි දෙයක් බලාපොරොත්තු වුනා නම්, අන්න ඒ ප්‍රිය ස්වභාවය මධුර ස්වභාවය තියෙන යමක් ඇත්නම් කැමති සේ නෑ”

 

{1:19:14} : සංඛාර අනිච්ච වෙන්නේ කැමති සේ නැති නිසා, ස්ථිර නැති නිසා නෙමෙයි…

ඉච්ච සේ නැති නිසා අනිච්චයි කිව්වා. “ස්ථිර නැති නිසා” කියලා ගත්ත ගමන්ම මොකද වෙන්නේ? අපිට යථාර්තය වැටහිලා නෑ. ඒකේ ආදීනවය ඒකෙන්ම දකින්න ඕනේ. එහෙනම් ප්‍රිය ස්වභාවයේ – මධුර ස්වභාවයේ ආදීනවය ඒකෙන්ම දකින්න ඕනේ. “ප්‍රිය ස්වභාවය – මධුර ස්වභාවය ස්ථිර නැති හින්දයි මට එපා වෙන්නේ” කිව්වනම් එහෙම, ප්‍රිය ස්වභාවයෙ, මධුර ස්වභාවයෙ යථාර්තය දැකලා නෙමෙයි නිගමනයට බැස්සේ, ඒක ස්ථිර නැති නිසා.

 

ස්ථිර නෑ කියල ගත්තහම යම් කිසි දෙයක ප්‍රිය ස්වභාවයේ – මධුර ස්වභාවයේ යථාර්තය වැටහෙන්නේ නැති නිසා, ඒක ස්ථිර නැත්තම් තව එකක් පස්සේ යනවා, ගන්නවා නිගමනයට. “ඒක ස්ථිර නැති හින්දා තව එකක් පස්සේ යනවා” ඕකෙන් තමයි සසර ගමන හැදිලා තියෙන්නේ, ස්ථිර නැති හින්දා තව එකක් හොයන හින්දා. එහෙනම් ස්ථිර නෑ කියන එක ප්‍රිය ස්වභාවය – මධුර ස්වභාවය අත්හැරවන්න බල දරන්න පුළුවන් වචනයක් නෙමෙයි.

 

එහෙනම් මොකද්ද වෙන්නේ? “කැමති සේ නෑ” කැමති සේ නැත්තම් තව එකක් අල්ලන්න විදියක් නෑ, කැමති සේ තියෙන එකක් අහුවෙන්නේ නැති නිසා.

 

ස්ථිර නැත්තම්, ස්ථිර නැති එක්කෙනාට ආශ්වාද දැනෙන්නෙ නැති නිසා ඔහු වෙන එකක් පස්සේ යනවා. යන යන එක කැමති සේ නෑ කියලා දැනගත්තොත්, ඒකෙන්ම ඒකෙ යතාර්ථය දැනගන්නවා.

 

අන්න වැහිලා තියෙන තැන. යමක් කැමති සේ නැද්ද, ඒක දුකයි. “යමක් ස්ථිර නැද්ද, ඒක දුකයි” කිව්වොත් ලෝකයේ කොච්චර ස්ථිර නැති උනත් ප්‍රිය ස්වභාවය – මධුර ස්වභාවය තියෙන ඒවා විද්‍යාමාන වෙනවා. අප්‍රිය, අමධුර දේවල් ලෝකේ විද්‍යාමාන වෙනවා. “යමක් ස්ථිර නැතිනම් ඒක දුකයි” කිව්වොත් අර අප්‍රිය අමධුර ස්වභාවයේ ඒවා ස්ථිර නැත්තම් ඒකත් දුකද?

 

අංශභාගේ හැදෙනවා, පිළිකාව හැදෙනවා, ඒකත් “යමක්” කියන එකට අයිතියි. “යමක් ස්ථිර නැත්තම් ඒක දුකයි” කිව්වොත් අංශභාගේ පිළිකාව ස්ථිර නැත්තම් ඒකත් දුකද? කෝ ධර්මයට ගැළපිලා? කෝ ධර්මයට බහා හිටියා, කෝ විනයට බහා හිටින්නේ කොහොමද? ධර්මයට බහා හිටියේ නැතිනම් කොහොමද විනයට බස්සවගන්නේ? ධර්මයට බහා හිටියොත් කාරණා – අකාරණා හරියට තේරුම් අරගෙන ඊට අනුව පිළිපදිනවා, එතකොට විනය.

 

එහෙනම් විනය නගන්න නම් ධර්මය දැකල තියෙන්න ඕනේ. ධර්මය දැක්ක නැති තාක්කල් විනය නගන්න විදියක් නෑ. ධර්මය දකින්න ඕනේ, ඒ නිසා කියනවා “යෝ ධම්මං පස්සති සෝ මං ඵස්සති”, යෝ විනයන් පස්සති සෝ මං ඵස්සති කියල දේශනා කලේ නෑ. “ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී”, “ධම්මො ච යථාධම්මෝ යථා අත්ථෝ තථා පටිපජ්ජි තබ්බන්ති” හැම වෙලේම ධර්මයයි මුල් කලේ. විනය මුල් කරලා කතා කළේ නෑ. ඔය හැමතැනම පෙන්වා තිබෙන්නේ ධර්මය දකින්න ඕනේ.

 

ධර්මය දැක්කේ නැත්තම් ඔහුට විනයක් තෝරගන්න බෑ. ධර්මය දැක්කා නම්, ධර්මයෙන් දැක්කා නම්, “මේක වැඩ සහිතයි, මේක අවැඩ සහිතයි, මේක දරන්නේ මෙන්න මෙබඳු වැඩ සහිත දෙයක්, මේක මෙහෙම අවැඩක් දරන එකක්” මෙන්න මේක දකිනවා. දැක්කට පස්සේ අපි නිගමනයක් කරනවා, “යමක් නිසා අවැඩ නම් ඒක නොකල යුතුයි. යමක් වැඩ සහගතනම් ඒක කල යුතුයි” නොකල යුත්ත නොකල යුත්ත හැටියට දැනගෙන අත අරිනවා, කල යුත්ත කල යුත්ත හැටියට දකින ක්‍රියාත්මක වෙනවා, අන්න විනය.

 

{1:22:03} : නිවැරදිව අනාථ දැක්කා නම්, ධර්මය දැක්කා, බුදුන් දැක්කා…

එහෙනම් ඔය කියන විනය මිසක් හදාපු විනයක් අපි දන්නේ කොහොමද, ඒක විනයක්ද නැද්ද කියල? විනය, විනය හැටියට දකින්න නම් ධර්මය, ධර්මය හැටියට දකින්න ඕනේ. ධර්මය, ධර්මය හැටියට දැක්කාම, විනය එතනම මතුවෙනවා. මෙන්න මේකට කියනවා “අභි-විනය”, ඔය හැඟවිලා තියෙන ධර්මය තමයි අපි දකින්නේ “අභි-ධර්මය”.

 

හැඟවිලා තියෙන හින්දා දකින්න බෑ, හැඟවිලා තියෙන ධර්මය මොකද්ද? දහසක් ආදීනව හැඟවිලා. හැඟවිච්ච දහසක් ආදීනව මතු කරගන්න පුළුවන් වුනානං ධර්මය තුලින්, ධර්මයෙන් අභි-ධර්මයට ආවා. එතකොට ඔහුට දකින්න හම්බෙනවා මෙච්චර කල් සම්මත කරගත් පදේක හිටියට, විනයක් කියල හදාගත්තු එහෙක හිටියා මිසක් අභි-විනය තිබුන්නෑ. අභි-ධර්මය මතු වෙලා ආවට පස්සේ අභි-ධර්මය තුලින් දකිනවා, අභ්‍යන්තරයේ තිබිච්ච ධර්මය තුලින්, “මෙන්න දහසක් ආදීනව”. අභි-ධර්මයෙන් දැක්කා. “එහෙනම් මං ගන්න තීරණය මොකද්ද? පිළිපදින්නේ මොකටද? ඒ පස්සේ තව තවත් ගියොත් මං අනාථයි. ඒක අත් හැරියොත් නාථයි” අනාථ දැක්කා අනාථ හැටියට, නාථ දැක්කා නාථ හැටියට. අන්න අනාථ නාථ දැක්කා නම් කියනවා, “බුදුන් දැක්කා”.

 

කවුද “නාථ අනාථ” කියන්නේ? අප්පටිම බුදුන්, අනාථ නාථ ප්‍රථිමාවක් නෑ, බුදුන්ට ප්‍රථිමාවක් නෑ. බුදුන් කියන්නේ අනාථ නාථ. අනාථ, අනාථ හැටියට දැක්කා නම් නාථ, නාථ හැටියට දැක්කා නම්, ඔහු අනාථ දැකල තියෙනවා, නාථ දැකලා තියෙනවා, අනාථ නාථ දැක්කා නම් බුදුන් දැක්කා. බුදුන් දැක්කා නම් ධර්මය දැක්කා, ධර්මය දැක්කා නම් බුදුන් දැක්කා. මෙන්න බුදුන් දකින හැටි.

 

එහෙනම් ධර්මය තුලින් අපි දකින්න ඕනෑ, “මෙන්න අනාථ දෙයක්, අනාථයට පත් කරන ආදීනව, දහසක් ආදීනව, ආශ්වාද නැමැති මායාවකින් වහලා අපි රවට්ටනවා”. මෙන්න හැඟවිලා, අභ්‍යන්තරයේ හැඟවිලා තියෙන ධර්මය. මෙන්න මේක මතු කරගන්න පුළුවන් උනානම් එදාට කිව්වා, “අභිධර්මධර භික්ෂූන්” හිටියා කියල බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ.

 

එහෙනම් අද අභිධර්මය කියන්නේ, විනය සූත්‍ර අභිධර්මය කියන්නේ ඒ ත්‍රිපිටකේ එන ධර්මය මයි. ඒක ධර්මය තුල තිබෙන විශේෂ කොටස නිසා ඒකට අභිධර්මය කිව්වා. අවබෝධ කරගන්නා අභිධර්මය එකක්, ඔය ධර්මයේ තියෙන විශේෂ කොටස අභිධර්මය කියන එක තව එකක්. එහෙනම් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ “අභිධර්මය දේශනා කරන භික්ෂූන් වහන්සේලා හිටියා” කිව්වේ මොකද්ද? ඔන්න ඔය හැගවිලා තියෙන ආදීනව මතු කරලා පෙන්නන්න පුළුවන් දක්ෂතාවයෙන් යුක්ත අය හිටියා. ඒ අයට කිව්වා “අභිධර්මධර භික්ෂූන් වහන්සේලා”.

 

{1:24:11} : ජාතිපි දුක්ඛා – අප්‍රිය ජාති දුකයි, ප්‍රිය ජාති දුකට හේතුවයි

“මෙන්න ජාතිය, මෙන්න ජාතියට හේතුව, මෙන්න ජාති නිරෝධය, මෙන්න ජාති නිරෝධ මාර්ගය” හරි ආකාරව විග්‍රහ කරලා දෙනවා අභ්‍යන්තරයේ හැඟවිලා තියෙන ආදීනව පෙන්නලා, ජාතියේ හැටි පෙන්නනවා. නමුත් ඒකට මොකද කියන්නේ? “ජාතිය ද දුකයි” කියල, “ජාතිපි දුක්ඛා” කියල තේරුවා අද, “ජාතිය ද දුකයි”. භාෂා නිරුක්තිය අනුව ජාතිය ද දුකයි කියල තේරුවා, ජාතිපි දුක්ඛා කියල.

 

දැන් ඇත්ත බලාපුවහම නුවණට ගෝචර වෙනවද? අර ප්‍රිය මනාප ස්වභාවයක් ඇති ජාති තියෙනවනම්, ඒ ප්‍රිය මනාප ස්වභාවය දුකද? ඒක දුක නෑ. ඒක නිසා තමයි සත්වයා ඇලෙන්නේ. එහෙනම් මොකද්ද පෙන්නුවේ? “ජාති-අපි දුක්ඛා – ජාතිපි දුක්ඛා” – අපි ජාති දුකයි. “ජාති අපි” කියන එකයි වචනේ ජාතිපි කියන්නේ, “ජාතිය ද” කියන අර්ථය නෙමෙයි, ඒක භාෂා නිරුක්තිය. පද නිරුක්තියක් තියෙනවා පද නිරුක්තිය දකිනකන් ධර්මය තෝරන්න බෑ. එහෙනම්, “ජාති-අපි දුක්ඛා – ජාතිපි දුක්ඛා!”

 

“අපි” කියන්නේ? අපි ඉරියාවෙන්, “අපි” හොයාගන්න ඕනේ. පි-ඉරියාව – ප්‍රියාව. අපි-ඉරියාව – අප්‍රියාව. අන්න අපි කියන වචනයෙන් පෙන්නුවේ මොකද්ද? අප්‍රිය සහගත බව. ජාති-අපි කියන්නේ අප්‍රිය ජාති, අපි ජාති. “අප්‍රිය ජාති දුකයි” දැන් මේකට කිසිම තර්කයක් වාදයක් ගේන්න බෑ. අපිට දුක දෙන්නේ අප්‍රිය ජාති. ප්‍රිය ජාති දුක දෙන්නේ නෑ නේ.

 

“ජාති” කියන පොදු නම ගත්තහම, මේකේ ප්‍රිය ජාති තියෙනවා, ඒවාට හිත ඇලෙනවා. අප්‍රිය ජාති තියෙනවා, ඒවාට ගැටෙනවා. ජාති දෙයාකාරයි. කොටසක් ප්‍රිය ජාති, කොටසක් අප්‍රිය ජාති. මේ සියලුම ජාති දුකයි කිව්වොත් එහෙම ලෝකයා ගණන් ගන්නේ නෑ.

 

එහෙනම්, අප්‍රිය ජාති දුකයි. ජාතිවල අප්‍රිය ජාති තියෙනවා. එහෙනම් “ජාති” කියන්නේ? මව් කුසෙන් බිහිවෙන එව්වා විතරක් නෙමෙයි ජාති කියන්නේ. ජාති විවිධාකාරයි, අප්‍රමාණයි! ලෝකේ හටගත්ත හැම එකක්ම හටගත්තාට පස්සේ, හටගත්ත ඒවා ජාති.

 

මෙන්න, ජාති තෝර ගන්න ඕනේ. ජාති කුඩා ජාති තියෙනවා, මහ ජාති තියෙනවා. කුඩා කුඩා ඒවා හැදිලා හටගත්ත මහ ජාති තියෙනවා. ලොකු ලොකු ගොඩවල් වලට ඒ ඒ සම්මත තියා ගන්නවා. පුංචි පුංචි ගොඩවල් වලට ඒ මට්ටමේ සම්මත තියා ගන්නවා. කෙස් ජාති, ලොම් ජාති, නියපොතු ජාති, දත් ජාති, හං ජාති, නහර ජාති, ඇට ජාති, ඔය ජාති වශයෙන් අදත් අපි ළග භාවිතා කරනවා. ඔය ඔක්කොම ජාති, ගස් ජාති, ගල් ජාති, වැල් ජාති, පස් ජාති, ඔය ජාති තමයි ඔක්කොම. සජීවී ඒවා තියෙනවා අජීවී ඒවා තියෙනවා. ඔක්කොම ජාති. මේ ජාති අතර ප්‍රිය ජාති තියෙනවා, අප්‍රිය ජාති තියෙනවා. ඔය ජාති වලින් ප්‍රිය ජාතියක් අවොත් මිනිහා “සුවයි” කියල ගන්නවා. අප්‍රිය ජාතියක් ආවහම “දුකයි” කියල ගන්නවා.

 

මෙන්න අපි දකින්න ඕනේ ඉස්සෙල්ලාම එකක්, ජාති වල වෙනසක් තියෙනවා. සියළුම ජාති දුකයි කිව්වොත් එහෙම, ලෝකේ දුකයි කිව්වහම බුදුරජාණන් වහන්සේ “ඇයි මෝඩයෝ එහෙම කිව්වේ?” කියල බුදුරජාණන් වහන්සේ ඇහුවනේ! ලෝකේ ප්‍රිය ස්වභාවයක්, මධුර ස්වභාවයක් නැත්නම් ලෝක සත්වයා ඇලෙනවද? අප්‍රිය අමධුර ස්වභාවයක් නැත්නම් ලෝකෙන් මිදෙනවද? මේ දෙකම විද්‍යාමානයි.

 

එහෙනම් ජාති වල ඔය දෙකම විද්‍යාමානයි. ප්‍රිය ජාති තියෙනවා, අප්‍රිය ජාති තියෙනවා. එහෙනම් “ප්‍රිය ජාති දුකයි” කිව්වොත් පිළිගන්න හේතු නෑ. “අප්‍රිය ජාති දුකයි. ප්‍රිය ජාති දුකට හේතුවයි”. අන්න දුකයි, දුකට හේතුවයි ජාති වලින්ම දකින්න ඕනේ. ප්‍රිය ජාති දුකට හේතුව. ප්‍රිය ජාති නිසා අල්ලන්න ගියහම අහුවෙන්නේ අප්‍රිය ජාති. ප්‍රිය ජාති එකක් අල්ලන්න ගියහම දහසක් අප්‍රිය ජාති වලට කොටු වෙනවා.

 

එහෙනම් අප්‍රිය ජාති අතරින් මයි ප්‍රිය ජාතියක් මතුවෙලා පේන්නේ. ඒ ප්‍රිය ජාතිය සැප සහගත නිසා, ප්‍රිය ස්වභාවය – මධුර ස්වභාවයෙන් යුක්ත නිසාම තමයි ලෝක සත්වයා අල්ලගන්න ගියහම අප්‍රිය ජාති වලට කොටු වෙන්නේ. ඇම ගහන්න ගියහම බිලී කොක්කට කොටු වෙනවා වාගේ, ප්‍රිය ජාති අල්ලන්න ගිහිල්ල අප්‍රිය ජාති වලට කොටු වෙනවා. අප්‍රිය ජාති දුකයි, ප්‍රිය ජාති දුක නෑ, ප්‍රිය ජාති දුකට හේතුවයි.

 

එහෙනම් ජාති තුළ ම විද්‍යාමාන වෙනවා දුක සහ දුකට හේතුව. අන්න අපි දෙකම දකින්න ඕනේ. ඒක දැක්කේ නැත්තම් අපි බොරුවට රැවටෙනවා. යථාර්තවත් ඇත්ත ගන්න දන්නේ නෑ. එහෙනම් බොරුවට රැවටෙන එක බුදු දහම නෙමෙයි. බුදු දහම කියන්නේ, හැමදේකම හරි ඇත්ත දකින්න ඕනේ. එහෙනම් ප්‍රිය ජාති දුකට හේතුවයි, අප්‍රිය ජාති දුකයි. අන්න ජාති-අපි දුක්ඛා. අප්‍රිය ජාති දුකයි.

 

{1:28:33} : ජරාපි දුක්ඛා – අප්‍රිය ජරාවට පත්වීම දුකයි..

ජරාපි දුක්ඛා! ජරා කියන කොට, දිරා යන ඔක්කොම “ජරා”. එහෙනම් මේ ලෝකේ ප්‍රිය ස්වභාවයෙන්, මධුර ස්වභාවයෙන් යුක්ත ඒවත් දිරා යනවා. අප්‍රිය අමධුර ඒවත් දිරා යනවා. ඒ සැම ජාති වලටම දිරා යෑම උරුමයි. ලෝකයේ යම් ජාතියක් හටගත්තාද, ප්‍රිය ජාති, මධුර ජාති වේවා, අප්‍රිය, අමධුර ජාති වේවා, මේ ඔක්කොමත් ජරාවට පත් වෙනවා. එතකොට ප්‍රිය ජාති ජරාවට පත් වෙනව නම් අපි ඒකට දුක් වෙනවා. අප්‍රිය ජාතියක් ජරාවට පත් වෙනවා, දිරා යනවා. ඒකටත් දුකද?

 

යම්කිසි ජාති වශයෙන් අපි උපමාවක් වශයෙන් ගන්නවා නම්, ගමක ඉන්නවා මහා දාමරිකයෙක්, සල්ලාලයෙක්, බේබද්දෙක්, ගමටම එපා කරපු එකෙක්. මේකා හොඳට හයි-හත්තිය ඇතිව ඉන්නවා නම්, ගමේ මිනිහෙකුට පාරට යන්න බෑ, දොට්ට බැහැල යන්න බෑ, ගහනවා, බණිනවා, හිංගි කරනවා, කඩා වඩා ගන්නවා, නොයෙක් හිංගි හිංසා කරනවා. දැන් මේ දාමරික ජාතියක් අපි දැක්කා. අපිට ප්‍රිය ජාතියක් නෙමෙයි මේක, අප්‍රිය ජාතියක්. අපිට දුක ගෙන දෙනවා. දැන් ඔය, ඔය දාමරිකයා දිරන්න පටන් ගන්නවා, වැහැරෙන්න පටන් ගන්නවා. ලෙඩක් හැදිලා හරි, අසනීපයක් මොකක් හරි වෙලා හරි, වයස ගිහින් හරි, දැන් මේකා වැහැරිලා, මේකාට දැන් හැරමිටියෙන් යන්න වෙලා. දැන් අර ගමේ හිටපු මිනිස්සුන්ට දුකද? “අනේ අර අපිට දාමරික කම් කරපු, අපේ අයට යනකොට, පාරේ ඉන්නකොට මග රැකලා ගහපු, අනේ බලන්නකෝ, හැරමිටියක් අරං දැන් යන්නේ. අපිට හරි දුකයි” කියනවද? “යන්තං ඇති, දෙයියෝ බැලුවා වගේ ඕකාට ලෙඩක් හැදිලා හරි පැත්ත වැටිලා ගිය එකෙන් අපි බේරුනා”. සතුටු වෙනවා නේද?

 

එහෙනම් සියලු “ජරා” ලෝක සත්වයන්ට දුකද? එහෙනම් මේ “ජරා” වල තියෙනවා, “ප්‍රිය ජරාවක්” තියෙනවා, “අප්‍රිය ජරාවක්” තියෙනවා. ප්‍රිය ජරාව, ලෝක සත්වයාට ප්‍රිය දේ ජරාවට පත් වෙනකොට නම් දුකයි, අප්‍රිය දේවල් ජරාවට පත්වෙනකොට ඒක දුක නෑ.

 

එහෙනම් අපි අප්‍රිය කරන්නේ මොන ජරාවටද? ප්‍රිය දේවල් ජරාවකට පත්වෙනව නම්, අපි ඒක ප්‍රිය කරන්නේ නෑ. මෙන්න, “ජරා-අපි දුක්ඛා – ජරාපි දුක්ඛා”. අප්‍රිය ජරාවක් තියෙනවා අපිට, යමක් ප්‍රිය නම්, මධුර නම් ඒක ජරාවට පත් වෙනවට කැමති නෑ. මෙන්න අප්‍රිය ජරාව. ලෝකේ ප්‍රිය ජරාවක් තියෙනවා. අපිට අවැඩ කරනවා නම්, අපිට හිංගි හිංසා කරනවා නම්, ඒක ජරාවට පත් වෙනකොට අපිට ඒක දුක නෑ. එහෙනම් අපිට දුක දෙන්නේ මොනවැයිද? අපි අප්‍රිය කරන එකක් ජරා…….

(පටිගත වී ඇති ආකාරය අනුව දේශනාවේ ඉතිරිය පටිගත වී නැත)

 

 

~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~

 

දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://waharaka.com/listen/CD003-06